ද්වීතීය කථාව

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34


පරිච්ඡේදය 1

1 යොර්දානෙන් එගොඩ කාන්තාරයෙහි පාරාන්ද තොඵෙල්ද ලාබාන්ද හශේරොත්ද දී-සාහාබ්ද අතරේ සූඒ ඉදිරිපිට අරබා සමභූමියේදී මෝසෙස් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කියනලද වචන මේවාය.
2 හොරේබ් සිට කාදෙෂ්-බර්නේයට සෙයිර් කඳුකර මාර්ගයෙන් එකොළොස් දවසක ගමන් දුරය.
3 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්ට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔහු සතළිස්වෙනි අවුරුද්දේ එකොළොස්වෙනි මාසයේ පළමුවෙනි දින ඔවුන්ට කීවේය.
4 හෙෂ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ටද එද්රෙය අසල අෂ්තාරොත්හි වාසයකළ බාෂාන්හි රජවූ ඕග්ටද පහරදුන් පසු,
5 යොර්දානෙන් එගොඩ මෝවබ් දේශයේදී මෝසෙස් මේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්ට පටන්ගෙන මෙසේ කීවේය.
6 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හොරේබ්හිදී අපට කථාකොට: ඔබ සැම මේ කන්දේ විසූ කාලය ඇත.
7 හැරී ගමන්කොට අමෝරිවරුන්ගේ කඳුකරයටද ඊට ළංවූ අරබා සම භූමියෙත් කඳුකරයෙහිත් පාතරටෙහිත් දකුණු දිසාවෙත් කානානිවරුන්ගේ දේශය වන මුහුදුබඩත් සියලු තැන්වලටද ලෙබනොන්ටද මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වාද යන්න.
8 බලව, මම දේශය ඔබ සැම ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව ඔබ සැමගේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ඔවුන්ට පසු ඔවුන්ගේ වංශයටද දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ දේශය හිමිකරගන්නැයි කීසේක.
9 මම ඒ කාලයේදී ඔබට කථාකොට: තනියම ඔබ සැම දරන්ට නොහැක්කෙමි.
10 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම වැඩිකළසේක, ඔබ සැම දැන් ගණනින් අහසේ තාරකා මෙන්ය.
11 ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම දැන් සිටිනවාටත් වඩා දහස් ගුණයක් වැඩිකොට උන්වහන්සේ පොරොන්දුවුණු ලෙස ඔබ සැමට ආශීර්වාදකරනසේක්වා!
12 මම වනාහි තනියම ඔබ සැමගෙන් පැමිණෙන වෙහෙසත් බරත් ඔබ සැමගේ විවාදත් කෙසේ දරම්ද?
13 ප්‍රඥාවන්තවූ බුද්ධිමත්වූ අඳුනන මනුෂ්‍යයන් ඔබ සැමගේ ගෝත්‍ර ප්‍රකාරයට තෝරාගන්න. මම ඔවුන් ඔබ සැම කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නෙමියි කීයෙමි.
14 ඔබ සැම මට උත්තරදෙමින්: ඔබ කී දේ කිරීම අපට යහපතැයි කීවහුය.
15 එහෙයින් මම ප්‍රඥාවන්තවූ අඳුනන්නාවූ මනුෂ්‍යයන් වන ඔබ සැමගේ ගෝත්‍රවල ප්‍රධානීන් ගෙන සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද ඔබ සැමගේ ගෝත්‍රවලට මුලාදෑනීන්ද වශයෙන් ඔවුන් ඔබ සැම කෙරෙහි ප්‍රධානීන් කොට පත්කෙළෙමි.
16 මම ඒ කාලයේදී ඔබ සැමගේ විනිශ්චයකාරයන්ට අණකරමින්: ඔබ සැමගේ සහෝදරයන් අතරේ නඩු අසා මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද ඔහු සමඟ සිටින විදේශියාද අතරේ දැහැමින් විනිශ්චයකරන්න.
17 විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන්දෙන්න; මනුෂ්‍යයන්ට භයනොවෙන්න; මක්නිසාද විනිශ්චය කිරීම දෙවියන්වහන්සේගේය. ඔබ සැමට අමාරු වැඩිවූ කාරණයක් ඇත්නම් මා ළඟට ගෙනෙන්න, මම ඒක විචාරන්නෙමියි කීයෙමි.
18 ඒ කාලයේදී ඔබ සැම විසින් කළ යුතු සියලු දේ ගැනත් ඔබ සැමට අණකෙළෙමි.
19 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ ලෙස අපි හොරේබ්හි සිට ගමන් ගෙන අමෝරිවරුන්ගේ කඳුකරයට යන මාර්ගයෙන් ඔබ සැම දුටු ඒ මහත්වූ භයංකරවූ මුළු කාන්තාරය මැදින් ගොස් කාදෙෂ්-බර්නේයට පැමිණියෙමු.
20 මමද ඔබ සැමට කථාකොට: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන අමෝරිවරුන්ගේ කඳුකරයට ඔබ සැම අවුත් සිටින්නහුය.
21 බලව, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය ඔබ ඉදිරිපිට තබා තිබේ. ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය ඔබ ඉදිරිපිට තබා තිබේ. ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට කීලෙස නැගීගොස් හිමිකරගන්න; භයනොවන්න, නොකැලඹෙන්නැයි කීයෙමි.
22 ඔබ සැම සියල්ලෝද මා ළඟට අවුත්: අප උදෙසා දේශය සෝදිසිකරන පිණිසත් අප විසින් යා යුතු මාර්ගයද පැමිණිය යුතු නුවරවල්ද ගැන හැරී ඇවිත් අපට දන්වන පිණිසත් අපට පෙරටුව මනුෂ්‍යයන් යවමුයයි කීවහුය.
23 ඒ කාරණය මටත් හොඳව පෙනුණේය. මම ගෝත්‍රයකට එක්කෙනෙකු බැගින් ඔබ සැමගෙන් මිනිසුන් දොළොස්දෙනෙකු ගතිමි.
24 ඔව්හු පිටත්වී කන්දට නැගී එෂ්කොල් මිටියාවත දක්වා ගොස් ඒක සෝදිසිකළෝය.
25 ඔව්හු දේශයේ ඵලවලින් ස්වල්පයක් තමුන්ගේ අත්වල රැගෙන අප ළඟට බැස අවුත්: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන දේශය හොඳය කියා අපට දැන්වූහ.
26 එසේවීනුමුත් ඔබ සැම යන්ට නොකැමැතිව ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගසා,
27 ඔබ සැමගේ කූඩාරම්වල සිට කොඳුරමින්: ස්වාමීන්වහන්සේ අපට වෛරවූ බැවින් අප විනාශකරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට මිසර දේශයෙන් අප ගෙනාසේක.
28 අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.
29 එකල්හි මම ඔබ සැමට කථාකොට: තැති නොගන්න, ඔවුන් ගැන භයනොවන්න.
30 ඔබ සැමට පෙරටුව යන්නාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද ඔබ සැමගේ ඇස් හමුයෙහි ඔබ සැම උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම ඔබ සැම උදෙසා යුද්ධකරනවා ඇත.
31 මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලා ගෙනයන්නාක් මෙන් ඔබ සැම මේ ස්ථානයට පැමිණෙන තෙක් ආවාවූ මුළු මාර්ගයෙහිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ උසුලා ගෙනා බව ඔබ දැකලා තිබේ.
32 එහෙත් ඔබ සැම යා යුතු මාර්ගය රාත්‍රියෙහි ගින්නෙන්ද දවාලේ වලාකුළෙන්ද ඔබ සැමට පෙන්වමින්, ඔබ සැමට කූඩාරම් ගසාගන්ට ස්ථානයක් සොයාදෙන පිණිස මාර්ගයෙහි ඔබ සැමට පෙරටුව ගියාවූ,
33 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම මේ කාරණයේදී විශ්වාසකළේ නැත.
34 ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ වචනවල හඬ අසා උදහස්ව:
35 සැබවින් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් හැර මේ නපුරු පරම්පරාවේ මේ මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක්වත් මා විසින් ඔබ සැමගේ පියවරුන්ට දෙන ලෙස දිවුළ ඒ යහපත් දේශය නොදක්නේය;
36 කාලෙබ් වනාහි ඒක දකින්නේය; ඔහු සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගිය බැවින් ඔහු පය ගැසූ දේශය ඔහුටත් ඔහුගේ දරුවන්ටත් දෙන්නෙමියි කියා දිවුළසේක.
37 තවද ස්වාමීන්වහන්සේ ඔබ සැම නිසා මටත් උදහස්ව කථාකොට: ඔබත් එහි ඇතුල් නොවන්නෙහිය.
38 ඔබ ඉදිරිපිට සිටින නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එහි ඇතුල්වන්නේය. ඔහු ශක්තිමත්කරන්න; මක්නිසාද ඒක ඉශ්‍රායෙල්වරුන්ට උරුමකරදෙන්ට සිටින්නේ ඔහුය.
39 තවද කොල්ලයක් වන්නෝයයි ඔබ සැම විසින් කීවාවූ ඔබ සැමගේ බාලයෝද අද යහපතවත් අයහපතවත් නොදැන සිටින ඔබ සැමගේ දරුවෝද එහි ඇතුල්වන්නෝය, ඔවුන්ට මම ඒක දෙන්නෙමි, ඔව්හු ඒක හිමිකර ගන්නෝය.
40 ඔබ සැම වනාහි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කරන්න යයි කීසේක.
41 එවිට ඔබ සැම උත්තරදෙමින්: අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළමුව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ සියල්ල ලෙස අපි ගොස් සටන්කරන්නෙමුයයි මට කියා ඔබ සැම එකිනෙකා තමතමාගේ යුද්ධායුධ බැඳගෙන අහංකාරයෙන් කන්දට නැගීයන්ට සෑදී සිටියහුය.
42 නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ සැමගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න, සටන් නොකරන්න; මක්නිසාද මම ඔබ සැම අතරෙහි නොසිටිමියි කියා ඔවුන්ට කියන්නැයි කීසේක.
43 මම ඔබ සැමට එසේ කීමි, එහෙත් ඔබ සැම නොඅසා ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව කැරළිගසා හිතුවක්කාරකමින් කන්දට නැගී ගියහුය.
44 එවිට ඒ කන්දේ විසූ අමෝරිවරු ඔබ සැමට විරුද්ධව පිටත්ව අවුත් මීමැස්සන් කරන්නාක් මෙන් ඔබ සැම එළවාදමා සේයිර්හිදී හොර්මා දක්වාම ඔබ සැමට පහරදුන්නෝය.
45 ඔබ සැම හැරී ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඇඬුවහුය; එහෙත් ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ හඬ ඇසුවේවත් ඔබ සැමගේ බසට ඇහුම්කන්දුන්නේවත් නැත.
46 මෙසේ ඔබ සැම කාදෙෂ්හි නැවතුණු දවස් ලෙස බොහෝ දවස් එහි වාසය කළහුය.



පරිච්ඡේදය 2

1 එවිට ස්වාමීන්වහන්සේ මට කීලෙස අපි හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට ගමන්කොට බොහෝ දවස් සේයිර් කඳුකරය වටේ ගියෙමුව.
2 ස්වාමීන්වහන්සේ මට කථාකොට:
3 ඔබ සැම මේ කඳුකරය වටකර ගිය කාලය ඇත. උතුරු දෙසට හැරී යන්න.
4 ඔබ සෙනඟට අණකරමින්-සේයිර්හි වසන ඒසව්ගේ පුත්‍රයන් වන ඔබ සැමගේ සහෝදරයන්ගේ සීමාව මැදින් ඔබ සැම යන්නහුය; ඔව්හු ඔබ සැමට භයවන්නෝය. එබැවින් ඔබ සැම හොඳාකාර ප්‍රවේසම්වන්න.
5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද සේයිර් කඳුකරය උරුමයක් කොට ඒසව්ට මා විසින් දී තිබෙන බැවින් ඔවුන්ගේ දේශයෙන් පියවරක් පමණවත් ඔබ සැමට නොදෙන්නෙමි.
6 කන පිණිස ආහාර ඔවුන්ගෙන් මිලදී ගන්න; බොන පිණිස වතුරත් ඔවුන්ගෙන් මිලදී ගන්න.
7 මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ අත්වැඩ සියල්ලෙහිදී ඔබට ආශීර්වාදකළසේක. ඔබ මේ මහත් කාන්තාරය මැදින් ගමන් කළ හැටි උන්වහන්සේ දන්නාසේක. මේ සතළිස් අවුරුද්දක්ම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වූසේක. ඔබට කිසි හිඟයක් නොවීයයි කියන්නැයි කීසේක.
8 මෙසේ අප සේයිර්හි සිටින ඒසව්ගේ පුත්‍රයන් වන අපේ සහෝදරයන් ළඟින් ඒලත් කෙරෙන්ද එශියොන්-ගෙබෙර් කෙරෙන්ද අරබා සමභූමි මාර්ගයෙන් ගියෙමුව. අපි හැරී මෝවබ් කාන්තාර මාර්ගයෙන් ගියෙමු.
9 ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෝවබ්ට සතුරුකමක්වත් ඔහුට විරුද්ධව සටනක්වත් නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් ඔබට කිසි උරුමයක් නොදෙන්නෙමි; මක්නිසාද ආර් මා විසින් ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේයයි කීසේක.
10 (අනාක්වරුන් මෙන් මහත්ව බොහෝව උස්ව සිටි සෙනඟක් වන ඒමිවරු ඉහතදී එහි විසුවෝය.
11 ඔව්හුද අනාක්වරුන් මෙන් රෙඵායිම් යෝධයෝයයි කල්පනාකරනු ලැබේ. එහෙත් මෝවබ්වරු ඔවුන්ට ඒමිවරුයයි කියති.
12 සේයිර්හිද ඉහත දී හෝරිවරු වාසය කළෝය. එහෙත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට දුන් උරුම දේශයට ඔවුන් කළාක් මෙන් ඒසව්ගේ පුත්‍රයෝද ඔවුන් පන්නා දමා තමුන් ඉදිරියෙන් ඔවුන් විනාශකොට ඔවුන්ගේ ස්ථානයෙහි වාසයකළෝය.)
13 දැන් නැගිට ශෙරෙද් ඔයෙන් එතරවෙන්නැයි කීසේක.
14 අපි ශෙරෙද් ඔයෙන් එතරවීමු. අප කාදෙෂ්-බර්නේය කෙරෙන් පිටත්වී ශෙරෙද් ඔයෙන් එතරව යුද්ධකාරයන්ගේ මුළු පරම්පරාව ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ ලෙස සෙනඟ අතරෙන් නැතිවී යන තුරු ගතවුණු කාලය තිස් අට අවුරුද්දක්ය.
15 ඔවුන් නැතිවන තුරුම සෙනඟ අතරෙන් ඔවුන් විනාශකරන පිණිස ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධව තිබුණේය.
16 මෙසේ සියලු යුද්ධකාරයන් සෙනඟ අතරෙන් මැරී නැතිවී ගියාට පසු,
17 ස්වාමීන්වහන්සේ මට කථාකොට:
18 ඔබ අද මෝවබ් සීමාව වන ආර් පසුකර යන්ට සිටිනෙහිය.
19 අම්මොන් පුත්‍රයන් ඉදිරියට ළංවූ කල ඔවුන්ට සතුරුකමක්වත් ඔවුන්ට විරුද්ධකමක්වත් නොකරන්න. අම්මොන් පුත්‍රයන්ගේ දේශයෙන් ඔබට කිසි උරුමයක් නොදෙන්නෙමි. මක්නිසාද මා විසින් එය ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේ.
20 (එයද රෙඵායිම් යෝධයන්ගේ දේශයක්යයි කල්පනා කරනු ලැබේ. රෙඵායිම් යෝධයෝ ඉහතදී එහි විසුවෝය; එහෙත් අම්මොන්වරු ඔවුන්ට සම්සුම්මිවරුයයි කියති;
21 මොව්හු අනාක්වරුන් මෙන් මහත්වූ බොහෝවූ උස්වූ සෙනඟක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් මොවුන් ඉදිරියෙන් විනාශකළසේක; මොව්හු ඔවුන් පන්නාදමා ඔවුන්ගේ ස්ථානයෙහි විසුවෝය.
22 උන්වහන්සේ සේයිර්හි වාසයකළ ඒසව් පුත්‍රයන් ඉදිරියෙන් හෝරිවරුන් විනාශ කිරීමෙන් ඔවුන් උදෙසා කළාක් මෙන්ම මොවුන්ටත් කළසේක; ඔව්හු ඔවුන් පන්නාදමා ඔවුන්ගේ ස්ථානයෙහි අද දක්වා වාසයකරති.
23 කප්තෝර්හි සිට ආ කප්තෝර්වරු ගාශා දක්වා ගම්වල විසූ අව්විවරුනුත් විනාශකොට ඔවුන්ගේ ස්ථානයෙහි විසුවෝය.)
24 ඔබ සැම නැගිට ගමන් ගෙන අර්ණොන් ඔයෙන් එතරට යන්න. බලව, මම හෙෂ්බොන්හි රජවූ අමෝරියවූ සීහොන්ද ඔහුගේ දේශයද ඔබ අතට දුනිමි. ඒක හිමිකර ගන්ට පටන්ගෙන ඔහුට විරුද්ධව යුද්ධ කරන්න.
25 මුළු අහසින් යට සිටින සෙනඟවල් පිටට ඔබ නිසා තැතිගැන්ම හා භය පමුණුවන්ට අද දවසේ පටන්ගනිමි, ඔව්හු ඔබේ ප්‍රවෘත්තිය අසා ඔබ නිසා වෙවුලමින් අතිශයින් කැලඹෙන්නෝයයි කීසේක.
26 එවිට මම කෙදෙමොත් කාන්තාරයේ සිට හෙෂ්බොන්හි රජවූ සීහොන් වෙතට සමාදාන වචන ඇතුව පණිවිඩකාරයන් යවා:
27 ඔබේ දේශය මැදින් යන්ට මට අවසර ලැබේවා. දකුණටවත් වමටවත් නොහැරී මහමාවත යන්නෙමි.
28 සේයිර්හි වාසයකරන ඒසව් පුත්‍රයන්ද ආර්හි වාසය කරන මෝවබ්වරුන්ද මට කළාක්මෙන් ඔබත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන දේශයට අප යොර්දානෙන් එතරව යන තුරු,
29 කන්ට මට ආහාර මිලේට විකුණා, බොන්ට මට වතුර මිලේට දුන මැනවි. පයින් යන්ට පමණක් මට අවසර ලැබේවයි කියා ඇරියෙමි.
30 නුමුත් හෙෂ්බොන්හි රජවූ සීහොන් තමා ළඟින් යන්ට අපට ඉඩ දෙන්ට කැමති නූණේය. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ දවසේ තිබෙන්නාක් මෙන් ඔහු ඔබ අතට පාවාදෙන පිණිස ඔහුගේ ආත්මය දැඩිකොට ඔහුගේ සිත මුරණ්ඩු කළසේක.
31 ස්වාමීන්වහන්සේ මට කථාකොට: බලව, සීහොන්ද ඔහුගේ දේශයද ඔබට පාවා දෙන්ට පටන්ගතිමි. ඔහුගේ දේශය හිමි කරගන්නා පිණිස එය අල්ලාගන්ට පටන් ගන්නැයි කීසේක.
32 එවිට සීහොන්ද ඔහුගේ මුළු සෙනඟද අපට විරුද්ධව සටන්කරන පිණිස යහශ්ට ආවෝය.
33 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු අපට පාවාදුන්සේක; අපි ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ඔහුගේ මුළු සෙනඟටත් පහරදුනිමු.
34 එකල අපි ඔහුගේ සියලු නුවරවල් අල්ලාගෙන සියලුම නුවරවල පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද එක්කෙනෙක්වත් ඉතුරු නොකර සහමුලින්ම විනාශකෙළෙමු.
35 සිව්පාවුන්ද අප අල්ලාගත් නුවරවල සම්පත්ද පමණක් අපට කොල්ලයක් පිණිස ගතිමු.
36 අර්ණොන් ඔය අසබඩ තිබෙන අරොයෙර් පටන්ද මිටියාවතේ තිබෙන නුවර පටන්ද ගිලියද් දක්වා අපට අල්වාගන්ට බැරිතරම් උස්වූ නුවරක් නොතිබුණේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සියල්ලම අපට දුන් සේක.
37 එහෙත් අම්මොන් පුත්‍රයන්ගේ දේශය වන මුළු යබ්බොක් ඔය අසබඩටවත් කඳුකරයේ නුවරවලටවත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට තහනම්කළ කිසි තැනකටවත් ඔබ ළං නූණෙහිය.



පරිච්ඡේදය 3

1 එකල අපි හැරී බාෂාන්ට යන මාර්ගයෙන් නැගී ගියෙමුව. බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද සටන්කරන්ට අපට විරුද්ධව එද්රෙයිට ආවෝය.
2 ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔහුට භයනොවන්න. මක්නිසාද මම ඔහු සහ ඔහුගේ මුළු සෙනඟද ඔහුගේ දේශයද ඔබ අතට පාවා දුනිමි; හෙෂ්බොන්හි වාසයකළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට කළාක්මෙන් ඔහුටත් කරන්නැයි කීසේක.
3 එසේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද අප අතට පාවාදුන්සේක. අපිද ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවන තුරු පහරදුනිමු.
4 එකල අපි ඔහුගේ සියලු නුවරවල් අල්ලාගතිමු; ඔවුන්ගෙන් අල්ලා නොගත් එක නුවරක්වත් නොවීය; එනම් නුවරවල් හැටක් ඇත්තාවූ බාෂාන්හි වූ ඕග්ගේ රාජ්‍යය වන මුළු අර්ගොබ් පළාත අල්ලාගතිමු.
5 මේ සියලු නුවරවල් උස්වූ පවුරුවලින්ද ද්වාරවලින්ද අගුල්වලින්ද සුරක්ෂිතකර තිබුණේය; ඒවා ඇර පවුරු නැති නුවරවල් මහත් ගණනක්ද අල්ලාගතිමු.
6 අප විසින් හෙෂ්බොන්හි රජවූ සීහොන්ට කළාක්මෙන් ඔව්නුත් සහමුලින් විනාශකෙළෙමු, සියලුම නුවරවල පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද සම්පූර්ණයෙන් විනාශකෙළෙමු.
7 එහෙත් සියලු සිව්පාවුන්ද නුවරවල සම්පත්ද අපට කොල්ලයක් කොට ගතිමු.
8 එකල අපි යොර්දානෙන් මෙගොඩ අර්ණොන් ඔයේ පටන් හෙර්මොන් කන්ද දක්වා තිබෙන දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා අතින් ගතිමු.
9 (සීදොන්වරු හෙර්මොන්ට සිරියොන්යයි කියත්, අමෝරිවරු ඊට සෙනීර්යයි කියත්;)
10 තලාවේ සියලු නුවරවල්ද මුළු ගිලියද්ද බාෂාන්හි ඕග්ගේ රාජ්‍යයේ නුවරවල් වූ සලෙකා සහ එද්රෙයි දක්වා මුළු බාෂාන් රටද අල්ලා ගතිමු.
11 (ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.)
12 අපි එකල්හි ඒ දේශය හිමිකරගතිමු. අර්ණොන් ඔය අසබඩ තිබෙන අරෝයෙර් පටන් ගිලියද් කඳුකරයෙන් දෙකෙන් කොටසක් හා එහි නුවරවල්ද රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් දුනිමි.
13 ගිලියද්හි ඉතුරු කොටසද ඕග්ගේ රාජ්‍යයවූ මුළු බාෂාන් රටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයට දුනිමි. (ඒක රෙඵායිම් යෝධයන්ගේ දේශයයයි කියන මුළු බාෂාන් වන මුළු අර්ගොබ් පළාතය.
14 මනස්සේගේ පුත්‍රවූ යායිර් තෙම ගෙෂූර්වරුන්ගේද මාකාත්වරුන්ගේද සීමාව දක්වා මුළු අර්ගොබ් පළාත අල්ලාගන ඒවාට එනම් බාෂාන්ට අද දක්වා තිබෙන්නාක්මෙන් තමාගේ නාමය ප්‍රකාර හව්වොත්-යායිර්යයි නම තැබුවේය.)
15 ගිලියද් මාකීර්ට දුනිමි.
16 තවද ගිලියද් පටන් අර්ණොන් ඔය ඇතුළත දක්වාම තිබෙන පළාතත් අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා තිබෙන පළාතත්,
17 කින්නෙරෙත් පටන් පිස්ගායේ පාවුළට පහළින් තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වා නැගෙනහිරට පිහිටි අරබා සමභූමියත් යොර්දානත් ඒ පළාතත් රූබෙන්වරුන්ට සහ ගාද්වරුන්ට දුනිමි.
18 මම එකල්හි ඔබ සැමට අණකොට: මේ දේශය හිමිකරගන්නා පිණිස ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය ඔබ සැමට දී තිබේ. සන්නාහ සන්නද්ධව ඔබ සැමගෙන් බලවන්තයන් ව සිටින සියල්ලන් ඔබ සැමගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව යන්ට ඕනෑය.
19 එහෙත් ඔබ සැමගේ භාර්යාවෝද බාලයෝද සිව්පාවෝද මා ඔබ සැමට දී තිබෙන නුවරවල සිටිත්වා; (ඔබ සැමට බොහෝ සිව්පාවන් ඉන්න බව දනිමි.)
20 ස්වාමීන්වහන්සේ ඔබ සැම මෙන් ඔබ සැමගේ සහෝදරයන්ද එහි පදිංචිකරවන තුරුද යොර්දානෙන් එගොඩ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට දෙන දේශය ඔවුන් හිමිකරගන්නා තුරුද ඔබ සැම ගොස් පසුව එකිනෙකා මා ඔබ සැමට දී තිබෙන දේශයට හැරී එන්න කියා ඔබ සැමට කීමි.
21 එකල මම යෝෂුවාට අණ දෙමින්: ඔබ සැමගේ ස්වාමීන්වහන්සේ මේ රජුන් දෙදෙනාට කළ සියල්ල ඔබේ ඇසින් දුටුවෙහිය. ඔබ පැමිණෙන සියලු රාජ්‍යවලට ස්වාමීන්වහන්සේ එසේම කරනසේක.
22 ඔවුන්ට භය නොවන්න. මක්නිසාද ඔබ සැම උදෙසා සටන්කරන්නේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීමි.
23 මම එකල්හි ස්වාමීන්වහන්සේට කන්නලව් කොට:
24 අහෝ, ස්වාමීවූ දෙවියන්වහන්ස, ඔබගේ උතුම්කමද බලවත් හස්තයද ඔබගේ මෙහෙකරුවාට පෙන්වන්ට ඔබ පටන්ගත්සේක. මක්නිසාද ඔබගේ ක්‍රියාවලද ඔබගේ බලපරාක්‍රමයේද හැටියට කරන්ට පුළුවන් වෙන මොන දෙවිකෙනෙක් ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඇත්තේද?
25 එගොඩට ගොස් යොර්දානෙන් එතර තිබෙන ඒ යහපත් දේශයද ඒ ශෝභන කඳු රටද ලෙබනොන්ද දකින පිණිස මට යන්ට ඉඩදුන මැනවයි කීයෙමි.
26 එහෙත් ස්වාමීන්වහන්සේ ඔබ සැම නිසා මා කෙරෙහි උදහස්ව මට ඇහුම්කන්නොදී මට කථාකොට: ඔය ඇත, මේ කාරණය ගැන තවත් මට කථානොකරන්න.
27 ඔබ පිස්ගා මුදුනට නැගී ඇස් ඔසවා බස්නා ඉර දෙසද උතුරු දෙසද දකුණු දෙසද නැගෙනහිර දෙසද ඔබේ ඇස් යොමා බලන්න. මක්නිසාද ඔබ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහිය.
28 එහෙත් යෝෂුවාට අණදී ඔහු ධෛර්යමත්කර ඔහු ශක්තිමත්කරන්න. මක්නිසාද ඔහු මේ සෙනඟට පෙරටුව ගොස් ඔබ දක්නා දේශය තෙමේම ඔවුන්ට උරුම කරදෙන්නේයයි මට කීසේක.
29 මෙසේ අපි බෙත්-පෙයෝර් ඉදිරිපිට මිටියාවතේ නැවතී සිටියෙමුව.



පරිච්ඡේදය 4

1 ඉතින් ඉශ්‍රායෙල්වරුනි, ඔබ සැම ජීවත්ව සිට ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් ඔබ සැමට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.
2 මා ඔබට අණකරන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වන පිණිස මා ඔබ සැමට අණකරන වචනයට කිසිවක් එකතුකිරීමවත් එයින් කිසිවක් අඩුකිරීමවත් නොකරන්න.
3 බාල්-පෙයෝර් නිසා ස්වාමීන්වහන්සේ කළ දෙය ඔබ සැමගේ ඇස්වලින් දුටුවහුය. මක්නිසාද බාල්-පෙයෝර් පස්සේ ගිය සියලු මනුෂ්‍යයන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම අතරෙන් විනාශකළසේක.
4 එහෙත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඇලුම්ව සිටි ඔබ සැම සියල්ලෝම අද දවසේ ජීවත්ව සිටිති.
5 බලව, ඔබ සැම හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී ඔබ සැම විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද ඔබ සැමට ඉගැන්වීමි.
6 එබැවින් ඒවා පවත්වමින් කරන්න; මක්නිසාද මෙය මනුෂ්‍ය වර්ගයන් ඉදිරියෙහි ඔබ සැමගේ ප්‍රඥාවත් ඔබ සැමගේ නැණවත්කමත්ය, ඔවුන් මේ සියලු පනත් අසා: සැබවින්ම මේ මහත් ජාතිය ප්‍රඥාවන්තවූ නුවණ ඇත්තාවූ සෙනඟක්යයි කියනවා ඇත.
7 මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප යාච්ඤාකරන සියලු ප්‍රස්තාවයන්හිදීම උන්වහන්සේ අපට ළංව සිටින්නාක් මෙන් වෙන කොයි මහත් ජාතියකට දෙවිකෙනෙක් ළංව සිටින්නේද?
8 අද මා විසින් ඔබ සැම ඉදිරිපිට තබන මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨවූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද?
9 ඔබේ ඇස්වලින් දුටු දේවල් ඔබට මතකනැති නොවන පිණිසත් ඔබේ ජීවිතයේ සියලු දවස්වල ඒවා ඔබේ සිතෙන් පහනොවන පිණිසත් බලාගෙන, ඔබේ ආත්මය ප්‍රවේසමෙන් ආරක්ෂාකරගන්න; ඒවා ඔබේ පුත්‍රයන්ටද ඔබේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න.
10 ඒවා නම්, ස්වාමීන්වහන්සේ මට කථාකොට: සෙනඟ මා ළඟට රැස්කරන්න, ඔවුන් භූමිය මතුපිට ජීවත්වෙන සියලු දවස්වල මට භය වෙන්ට ඉගෙනගන්නා පිණිසත් තමුන්ගේ දරුවන්ට උගන්වන පිණිසත් මාගේ වචන ඔවුන්ට ඇසෙන්ට සලස්වන්නෙමියි මට කීකල ඔබ හොරෙබ්හිදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටි දවසේදී වුණ දේවල්ය.
11 ඔබ සැම වනාහි ළංවී කන්ද මුල සිටියහුය; කන්දද අඳුරත් වලාපටලත් ඝනාන්ධකාරයත් ඇතුව අහස මැද දක්වා ගින්නෙන් ඇවිළී ගියේය.
12 ස්වාමීන්වහන්සේද ගිනි මැද සිට ඔබ සැමට කථාකළසේක. ඔබ සැම වචන හඬ ඇසූ නුමුත් කිසි රූපාකාරයක් දුටුවේ නැත; හඬ පමණක් ඔබ සැමට ඇසුණේය.
13 උන්වහන්සේ ඔබ සැමට පවත්වන්ට අණකළ තමන්වහන්සේගේ ගිවිසුම වන ආඥා දසය ඔබ සැමට දන්වාදී ඒවා ගල්ලෑලි දෙකක ලියූසේක.
14 ඔබ සැම හිමිකරගන්ට යන දේශයේදී ඔබ සැම විසින් පැවැත්විය යුතු පනත් හා විනිශ්චයන්ද ඔබ සැමට උගන්වන්ට ස්වාමීන්වහන්සේ ඒ කාලයේදී මට අණකළසේක.
15 ස්වාමීන්වහන්සේ හොරේබ්හි ගින්න මැද සිට ඔබ සැමට කථාකළ දවසේදී ඔබ සැම කිසි රූපාකාරයක් දුටුවේ නැත.
16 එබැවින් ඔබ සැමම දූෂ්‍යකරගන, පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියෙකුගේ ආකාරයවත්,
17 පොළොවේ කිසි මෘගයෙකුගේ ආකාරයවත්, ආකාශයෙහි පියාසරකරන පියාපත් ඇති කිසි පක්ෂියෙකුගේ ආකාරයවත්,
18 භූමිය පිට බඩගා යන කිසි සතෙකුගේ ආකාරයවත්, පොළොව යට ජලයෙහි ඉන්න කිසි මත්ස්‍යයෙකුගේ ආකාරයවත් යන මේ කොයි රූපාකාරයකට නුමුත් සමානවූ කැපූ රූපයක් සාදානොගන්න හැටියටද,
19 ඔබේ ඇස් අහස දෙසට ඔසවා ඉර සඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොටස්කර දී තිබෙන ඒ දේවලට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන හැටියටද හොඳට ප්‍රවේසම් වන්න.
20 එහෙත් අද තිබෙන්නාක්මෙන් ඔබ සැම තමන්වහන්සේට උරුම සෙනඟක් වන පිණිස ස්වාමීන්වහන්සේ ඔබ සැම රැගෙන යකඩ උදුනක් වැනිවූ මිසරයෙන් ඔබ සැම පිටතට ගෙනාසේක.
21 තවද ස්වාමීන්වහන්සේ ඔබ සැම නිසා මා කෙරෙහි උදහස්ව, මට යොර්දානෙන් එතරට යන්ටත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස ඔබට දෙන ඒ යහපත් දේශයට ඇතුල්වෙන්ටත් නොලැබෙන්නේය කියා දිවුළසේක.
22 මෙසේ මා මේ දේශයෙහි මැරෙන්ට ඕනෑය, මා යොර්දානෙන් එගොඩට නොයා යුතුය. එහෙත් ඔබ සැම එගොඩට ගොස් ඒ යහපත් දේශය හිමි කරගන්නවා ඇත.
23 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම මතක නැතිකොට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට තහනම්කර තිබෙන කිසිවකට සමානවූ රූපයක් සාදා නොගන්ට බලාගන්න.
24 මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විනාශකරන ගින්නක් වන, ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ දෙවිකෙනෙක්ය.
25 ඔබට දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඉපද, ඔබ සැම දේශයෙහි බොහෝ කලක් සිටි කල්හි, ඔබ සැම දූෂ්‍යකම්කරමින්, කොයි දෙයකට නුමුත් සමානවූ රූපයක් සාදාගන, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්වන හැටියට උන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දෙය කළොත්,
26 ඔබ සැම හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් ඔබ සැම ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ ඔබ සැමට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි ඔබ සැමගේ දවස් වැඩිනොවී, ඔබ සැම සහමුලින්ම විනාශ වන්නහුය.
27 ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ඔබ සැම විසුරුවනවා ඇත, ස්වාමීන්වහන්සේ විසින් ඔබ සැම පමුණුවන ජාතීන් අතරෙහි ඔබ සැම ගණනින් ස්වල්පව සිටින්නහුය.
28 එහිදී ඔබ සැම ඇස් පෙනෙන්නේවත් කන් ඇසෙන්නේවත් කෑම කන්නේවත් ගඳ සුවඳ දැනෙන්නේවත් නැත්තාවූ ලී සහ ගල්වලින් මනුෂ්‍යයන්ගේ අතින් සෑදුවාවූ දෙවිවරුන්ට මෙහෙකරනවා ඇත.
29 එහෙත් එතන සිට ඔබ සැම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයමින් ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද සොයන්නහු නම් උන්වහන්සේ ඔබට සම්බවනසේක.
30 ඔබ පීඩා විඳින කලද මේ සියලු දේ ඔබට පැමිණි කලද අන්තිම දවස්වලදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දුන්නොත්,
31 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවන්ත දෙවිකෙනෙක් බැවින් උන්වහන්සේ ඔබ අත්නොහරිනසේක, ඔබ විනාශනොකරනසේක, උන්වහන්සේ ඔබේ පියවරුන් සමඟ දිවුළාවූ ගිවිසුම මතකනැති නොකරනසේක.
32 මක්නිසාද දෙවියන් වහන්සේ පොළොව පිට මනුෂ්‍යයා මැවූ දවසේ පටන් අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා මෙයාකාර මහත් දෙයක් සිද්ධ වුණාද නොහොත් මෙයාකාර දෙයක් අසන්ට යෙදුණාද කියා ඔබට ප්‍රථම තිබුණු පසුගිය දවස්වලින් විභාගකරන්න.
33 ගින්න මැද සිට කථාකරන දෙවියන්වහන්සේගේ හඬ ඔබ විසින් ඇසුවාක් මෙන් වෙන යම් සෙනඟක් අසා ජීවත් වුණාද?
34 නොහොත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයේදී ඔබ සැමගේ ඇස් ඉදිරියෙහි ඔබ සැම උදෙසා කළ සියල්ල ලෙස වෙන යම් දෙවිකෙනෙක් ඇවිත් පරීක්ෂණවලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද යුද්ධයෙන්ද බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකම්වලින්ද එක ජාතියක් වෙන ජාතියක් මධ්‍යයෙන් තමන්ට ගන්ට හැදුයේද?
35 එසේ ඔබට පෙන්වනලද්දේ ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේ බවත් උන්වහන්සේ මිස වෙන දෙවිකෙනෙක් නැති බවත් ඔබ දැනගන්න පිණිසය.
36 උන්වහන්සේ ඔබට උගන්වන පිණිස තමන්වහන්සේගේ හඬ අහසෙන් ඔබට ඇසෙන්ට සලස්වා, පොළොව පිට තමන්වහන්සේගේ මහත් ගින්න ඔබට දැක්වූසේක; උන්වහන්සේගේ වචනද ගින්න මැදින් ඔබට ඇසුණේය.
37 උන්වහන්සේ ඔබේ පියවරුන්ට ප්‍රේමකළ බැවින් ඔවුන්ට පසුව ඔවුන්ගේ වංශය තෝරාගෙන, ඔබට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් ඔබ ඉදිරිපිටින් පන්නාදමා ඔබ ඇතුළට පමුණුවා,
38 අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන්ගේ දේශය ඔබට උරුමයක් කොට දෙන පිණිස තෙමේම ප්‍රකාශවී, ස්වකීය මහත් බලය කරණකොටගෙන ඔබ මිසරයෙන් පිටතට ගෙනාසේක.
39 එබැවින් ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිත් පහත පොළොවෙහිත් දෙවියන්වහන්සේ බවද වෙන දෙවිකෙනෙක් නැති බවද අද දවසේ දැනගෙන ඒ බව ඔබේ සිතේ තබා ගන්න.
40 ඔබටත් ඔබෙන් පසු ඔබේ දරුවන්ටත් ශුභසිද්ධවන පිණිසද ඔබේ දෙවිවූ ස්වාමින්වහන්සේ සදාකාලයටම ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් වැඩිකරගන්නා පිණිසද අද මා විසින් ඔබට අණකරන උන්වහන්සේගේ පනත් සහ ආඥා පවත්වන්නැයි කීවේය.
41 එකල මෝසෙස් පෙර වෛරයක් නොතිබී අත් වැරැද්දෙන් තමාගේ අසල්වාසියා මරන කෙනෙකුට පලා යාමට,
42 යොර්දානෙන් එගොඩ නැගෙනහිර දෙස නුවරවල් තුනක් වෙන්කෙළේය; එසේ කළේ ඔහු එයින් එකකට පලාගොස් ජීවත්වන පිණිසය.
43 ඒ නුවරවල් නම් රූබෙන්වරුන්ට තැනිතලා රටේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද්වරුන්ට ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේවරුන්ට බාෂාන්හි තිබෙන ගෝලන්ද යන මේවාය.
44 මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි තැබූ ව්‍යවස්ථාව මේය.
45 ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආ කල මෝසෙස් යොර්දානෙන් එගොඩදී හෙෂ්බොන්හි වාසයකළාවූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ දේශයෙහි බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවෙත්දී ඔවුන්ට කියාදුන් ශික්ෂාද පනත්ද විනිශ්චයවල්ද මේවාය.
46 මෝසෙස් සහ ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ආ කල සීහොන් රජුට පහරදී,
47 අර්ණොන් ඔයබඩ තිබෙන අරෝයෙර් පටන් හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා යොර්දානෙන් එගොඩ
48 නැගෙනහිරට තිබෙන අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ගේ දේශයද බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයද,
49 පිස්ගායේ පාවුලට පහළින් තිබෙන අරබා සමභූමියේ මුහුද දක්වා යොර්දානෙන් එගොඩ නැගෙනහිරට තිබෙන මුළු අරබා සමභූමියද හිමිකරගත්තෝය.



පරිච්ඡේදය 5

1 මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද ඔබ සැම අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; ඔබ සැම ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.
2 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප සමඟ හොරේබ්හිදී ගිවිසුමක් කළසේක.
3 ස්වාමීන්වහන්සේ මේ ගිවිසුම කළේ අපේ පියවරුන් සමඟ නොව අප සමඟය, එසේය, අද මෙහි ජීවත්ව සිටින සියල්ලන් වන අප සමඟය.
4 ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට ඔබ සැම සමඟ මුහුණට මුහුණ ලා කථාකළසේක.
5 (ස්වාමීන්වහන්සේගේ වචන ඔබ සැමට දන්වන පිණිස එකල්හි මම ස්වාමීන්වහන්සේටත් ඔබ සැමටත් අතරේ සිටියෙමි; මක්නිසාද ඔබ සැම ගින්න නිසා භයවී කන්දට නොනැගී සිටියහුය.) උන්වහන්සේ කථාකොට මෙසේ කීසේක:
6 මම මිසර දේශය වන වහල්කමේ ගෙදරින් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
7 මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.
8 කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් ඔබට සාදා නොගනුව.
9 ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති5:9 හෙවත්, ස්වගෞරවය රක්ෂාකරන්නාවූ. නොඉවසන්නාවූ, මට වෛරවන්නන්ගේ තුන්වෙනි හතරවෙනි පරම්පරා කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,
10 මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.
11 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ5:11 හෙවත්, බොරුවට. ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය නිකරුණේ5:11 හෙවත්, බොරුවට. ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.
12 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස සබත් දවස ශුද්ධකොට පවත්වන්ට බලාගනුව.
13 සදවසක් වැඩකරමින් ඔබේ සියලු වැඩකර්මාන්ත කරගනුව.
14 නුමුත් සත්වෙනි දවස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ ඔබ මෙන් ඔබේ වැඩකාරයාත් ඔබේ වැඩකාරීත් නිවාඩු ගන්න පිණිස ඔබවත් ඔබේ පුතාවත් ඔබේ දුවවත් ඔබේ වැඩකාරයාවත් ඔබේ වැඩකාරීවත් ඔබේ ගවයාවත් ඔබේ කොටළුවාවත් ඔබේ කිසි සිව්පාවෙක්වත් ඔබේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.
15 ඔබත් මිසර දේශයෙහි වැඩකාරයෙක්ව සිටි බවත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද ඔබ එතැනින් පිටතට ගෙනා බවත් සිහිකරන්න. එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සබත් දවස පවත්වන්ට ඔබට අණකළසේක.
16 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් බොහෝවන පිණිසද ඔබට ශුභසිද්ධ වන පිණිසද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස ඔබේ පියාටද ඔබේ මවුටද ගෞරව කරව.
17 මිනී නොමරව.
18 කාමමිථ්‍යාචාරය නොකරව.
19 සොරකම් නොකරව.
20 ඔබේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.
21 ඔබේ අසල්වාසියාගේ භාර්යාවට ආසානොවව; ඔබේ අසල්වාසියාගේ ගෙටවත් ඔහුගේ කෙතටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගොනාටවත් ඔහුගේ කොටළුවාටවත් ඔබේ අසල්වාසියාගේ කිසිම දෙයකටවත් තණ්හා නොවව.
22 මේ වචන ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්නද වලාකුළද කළුවරද මැද සිට ඔබ සැමගේ මුළු සභාවට මහත් හඬකින් කීසේක. උන්වහන්සේ තවත් නොකියා ඒවා ගල්ලෑලි දෙකක ලියා මට දුන්සේක.
23 කන්ද ගින්නෙන් ඇවිළෙද්දී අන්ධකාරය මැදින් පැමිණි හඬ ඔබ සැමට ඇසුණු කල්හි ඔබ සැම එනම් ඔබ සැමගේ ගෝත්‍රවල සියලු ප්‍රධානියෝද ඔබ සැමගේ වැඩිමහල්ලෝද මා ළඟට අවුත් කථාකොට:
24 බලව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ තේජසද මහන්තත්ත්වයද දැක්වූසේක, උන්වහන්සේගේ හඬද ගින්න මැදින් අපට ඇසුණේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සමඟ කථාකරලාත් ඔහු ජීවත්ව සිටින බව අද දවසේ අපි දුටිමුව.
25 ඉතින් අපි මක්නිසා නස්නෙමුද? මේ මහත් ගින්න අප දවා දමනවා ඇත. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ අප විසින් තවත් ඇසුවොත් අප නසිනවා ඇත.
26 මක්නිසාද මාංසමයවූ සියල්ලන්ගෙන්, අප ඇසුවාක් මෙන් ගින්න මැද සිට කථාකරන ජීවමාන දෙවියන්වහන්සේගේ හඬ අසා ජීවත්ව සිටියේ වෙන කවරෙක්ද?
27 ඔබ ළංවී අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ල අසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට කථාකරන සියල්ල අපට කියන්න; අපි ඒ අසා ඒ හැටියට කරන්නෙමුයයි කීවෝය.
28 ඔබ සැම මා සමඟ කථාකළ විට ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ වචනවල හඬ අසා මට කථාකොට: මේ සෙනඟ ඔබට කථාකළ වචනවල හඬ ඇසීමි. ඔවුන් කී සියල්ල මනා ලෙස කීවෝය.
29 අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත!
30 ඔබ ගොස්: ඔබ සැමගේ කූඩාරම්වලට හැරී යන්නැයි ඔවුන්ට කියන්න.
31 එහෙත් ඔබ වනාහි මෙහි මා වෙත සිටින්න, මමද හිමිකරගැනීම පිණිස මා ඔවුන්ට දෙන දේශයෙහි ඔවුන් පවත්වන පිණිස ඔබ ඔවුන්ට ඉගැන්විය යුතුවූ ආඥා පන්තියද පනත්ද විනිශ්චයන්ද ඔබට කියන්නෙමියි කීසේක.
32 එබැවින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ ලෙස කරන්ට බලාගන්න. දකුණටවත් වමටවත් නොහැරෙන්න.
33 ඔබ සැම හිමිකරගන්ට යන දේශයෙහි ඔබ සැම ජීවත්ව සිටින පිණිසත් ඔබ සැමට ශුභ සිද්ධවන පිණිසත් ඔබ සැමගේ දවස් වැඩිකරගන්න පිණිසත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකර තිබෙන මුළු මාර්ගයෙහි හැසිරෙන්න.



පරිච්ඡේදය 6

1 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව ඔබේ ජීවිතයේ සියලු දවස්වල ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් ඔබට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් ඔබේ දවස් වැඩිවෙන පිණිසත්,
2 ඔබ සැම හිමි කරගන්ට එතරව යන්නාවූ දේශයේදී පැවැත්වීමට ඔබ සැමට උගන්වන හැටියට මට අණකළ ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය.
3 එබැවින් ඉශ්‍රායෙල්, ඔබට ශුභ සිද්ධවන පිණිසත් ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී ඔබ සැම අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න.
4 එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේය.
5 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න.
6 මා විසින් අද ඔබට අණකරන මේ වචන ඔබේ සිතේ තිබේවා.
7 ඒවා ඔබේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, ඔබ ගෙයි හිඳින කලද මග යන කලද ඔබ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.
8 ඒවා ඔබේ අතෙහි ලකුණක් පිණිස බැඳගන්න, ඒවා ඔබේ ඇස් අතරෙහි නළල් පටි පිණිස තිබේවා.
9 ඒවා ඔබේ ගෙයි උළුවහු පිටද ඔබේ දොරවල් පිටද ලියන්න.
10 ඔබට දෙන හැටියට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළාවූ දේශයට ඔබ පැමිණෙවු කල්හිත්, ඔබ ගොඩ නොනැගුවාවූ විශාලවූ හොඳවූ නුවරවල්ද,
11 ඔබ නොපිරෙවුවාවූ, සියලු යහපත් දේවලින් පිරී තිබෙන ගෙවල්ද ඔබ නොකැපුවාවූ කපා තිබෙන තටාකද ඔබ නොහිටෙවු මිදිවතුද ඔලීව ගස්ද ඔබ විසින් ලබාගන කාලා තෘප්තියට පැමුණුණ කල්හිත්,
12 මිසර දේශය වන වහල්කමේ ගෙයින් ඔබ පිටතට ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගන්න.
13 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ විසින් භයවෙන්ටත් උන්වහන්සේටම සේවයකරන්ටත් උන්වහන්සේගේ6:13 එනම්, උන්වහන්සේගේ නාමය සහතිකයක් කොට කියා සිටින්ටත්. නාමයෙන් දිවුරන්ටත් ඕනෑය.
14 අන් දෙවිවරුන් වන ඔබ සැම වටකර සිටින ජාතීන්ගේ දෙවිවරුන් අනුව නොයන්න;
15 එසේ කළොත් ඔබ සැම මධ්‍යයෙහි වැඩ සිටින ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අන්‍ය භක්ති6:15 හෙවත්, ස්වගෞරවය රක්ෂාකරන්නාවූ. නොඉවසන්නාවූ දෙවිකෙනෙක් බැවින්, උන්වහන්සේගේ උදහස ඔබට විරුද්ධව ඇවිළ ඔබ පොළොව මතුපිටින් විනාශකරනවා ඇත.
16 මස්සාහිදී කළාක් මෙන් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂානොකරන්න.
17 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද හොඳාකාරයෙන් රක්ෂාකරන්න.
18 ඔබට ශුභ සිද්ධවන පිණිසද ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්ට දිවුළ යහපත් දේශයට ඇතුල්ව එය හිමිකරගන්නා පිණිසද ස්වාමීන්වහන්සේ කී ලෙස ඔබේ සියලු සතුරන් ඔබ ඉදිරියෙන් එළවා දමන පිණිසද,
19 ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හරිව යහපත්ව පෙනෙන දේ කරන්න.
20 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ මේ ශික්ෂාද පනත්ද විනිශ්චයන්ද මොනවාදැයි මතු කාලයෙහිදී ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට,
21 ඔබේ පුත්‍රයාට උත්තරදෙමින්: අපි මිසරයෙහි ඵාරාවෝගේ දාසයෝව සිටියෙමුව; ස්වාමීන්වහන්සේද බලවත් හස්තයකින් අප මිසරයෙන් පිටතට ගෙනාසේක;
22 මිසරයද ඵාරාවෝද ඔහුගේ ගෙදර වාසී සියල්ලන්ද කෙරෙහි ස්වාමීන්වහන්සේ අපේ ඇස් හමුයෙහි මහත්වූ භයානකවූ ලකුණුද ආශ්චර්යද කොට,
23 අපේ පියවරුන්ට දෙන්ට දිවුළ දේශයට අප පමුණුවා, ඒක අපට දෙන පිණිස එතැනින් පිටතට අප ගෙනාසේක.
24 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප විසින් භයවෙන පිණිසත් සෑම කල්ම අපට ශුභසිද්ධවෙන පිණිසත් අද දවසේ මෙන් අප ජීවමානව රක්ෂාකරන පිණිසත් මේ සියලු පනත් ඉෂ්ටකරන්ට ස්වාමීන්වහන්සේ අපට අණකළසේක.
25 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකර තිබෙන ලෙස මේ මුළු ආඥාව පවත්වන්ට බලාගනිමුනම් ඒ අපට ධර්මිෂ්ඨකම වන්නේයයි කියන්න.



පරිච්ඡේදය 7

1 ඔබ හිමිකරගන්ට යන්නාවූ දේශයට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන ඔබට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත ඔබ ඉදිරියෙන් පහකර දමන කල්හිද,
2 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවාදෙන්ටත් ඔබ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද ඔබ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.
3 ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; ඔබේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව ඔබේ පුත්‍රයාට පාවා නොගන්න.
4 මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස ඔබේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස ඔබට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම ඔබ විනාශකරනවා ඇත.
5 එහෙත් ඔවුන්ට මෙසේ කරන්න: ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමා, ඔවුන්ගේ රූප ගින්නෙන් දවන්න.
6 මක්නිසාද ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය. පොළෝතලයෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ස්වාමීන්වහන්සේ තමන් සන්තක සෙනඟක් වන පිණිස ඔබ තෝරාගත් සේක.
7 ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි ඇලුම්වී ඔබ සැම තෝරාගත්තේ අන් සියලු ජනයන්ට වඩා ඔබ සැම ගණනින් වැඩි නිසා නොවේ; මක්නිසාද ඔබ සැම අන් සියලු ජනයන්ට වඩා ස්වල්ප වූහුය.
8 නුමුත් ස්වාමීන්වහන්සේ ඔබ සැම බලවත් හස්තයකින් පිටතට ගෙනැවිත්, වහල්කමේ ගෙදර වන මිසරයේ රජවූ ඵාරාවෝ අතින් ඔබ සැම මිදුවේ උන්වහන්සේ ඔබ සැමට ප්‍රේමකළ නිසාත් ඔබ සැමගේ පියවරුන්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්ට කැමතිවූ නිසාත්ය.
9 එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන්වහන්සේ බවද,
10 උන්වහන්සේට වෛරවන්නන් විනාශ කරන පිණිස උන්වහන්සේ ඔවුන්ගේ මුහුණු ඉදිරිපිට ඔවුන්ට ප්‍රතිඵල දෙන බවද දැනගන්න. උන්වහන්සේ තමන්ට වෛරවන්නා ගැන ප්‍රමාද නොවී ඔහුගේ මුහුණ ඉදිරිපිට ඔහුට ප්‍රතිඵල දෙනසේක.
11 එබැවින් පවත්වන්ට මා විසින් අද ඔබට අණකරන ආඥාවද පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්න. ‍ ජය ලැබෙන බවට පොරොන්දුව
12 තවද ඔබ සැම මේ විනිශ්චයන් අසා ඒවා පවත්වා ඉෂ්ටකරන බැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම හා කරුණාව ඔබ සමඟ පවත්වා,
13 ඔබට ප්‍රේමවී, ඔබට ආශීර්වාදකොට, ඔබ වැඩිකර, ඔබට දෙන ලෙස ඔබේ පියවරුන්ට දිවුළ දේශයෙහිදී ඔබේ ගර්භයෙහි ඵලයට සහ ඔබේ භූමියේ ඵලය වන ඔබේ ධාන්‍යවලටද මුද්‍රික රසයටද තෙල්වලටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාදකරනවා ඇත.
14 ඔබ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශීර්වාද ලබනවා ඇත. ඔබ සැම අතරෙහිද ඔබ සැමගේ සිව්පාවුන් අතරෙහිද පිරිමියෙක්වත් ගැහැනියෙක්වත් ගෑනු සතෙක්වත් වඳ නොවෙයි.
15 ස්වාමීන්වහන්සේ සියලු රෝග ඔබ කෙරෙන් පහකොට, ඔබ දන්නාවූ මිසරයේ අරිෂ්ට රෝගවලින් එකක්වත් ඔබ පිටට නොපමුණුවා, ඔබට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.
16 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; ඔබේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක ඔබට මලපතක් වන්නේය.
17 මේ ජාතීහු මට වඩා වැඩිව සිටිති; ඔවුන් පන්නා දමන්ට මට පුළුවන් කෙසේදැයි ඔබට සිතෙන විට ඔවුන්ට භයනොවන්න.
18 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඵාරාවෝ සහ මුළු මිසරයට කළ දේද
19 ඔබේ ඇස්වලින් දුටු මහත් පරීක්ෂණද ලකුණුද ආශ්චර්යයන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පිටතට ගෙනාවාවූ ඒ බලසම්පන්න හස්තය හා දිගුකළ බාහුවද මනාකොට සිහිකරගන්න. ඔබ භයවෙන්නාවූ සියලුම ජනයන්ට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේම කරනවා ඇත.
20 තවද ඉතුරුවී සැඟවෙන්නාවූ අය ඔබ ඉදිරියෙන් නැතිවී යනතුරු ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් අතරට දෙබරුන් යවනවා ඇත.
21 මහත්වූ භයානකවූ දෙවිකෙනෙක් ව සිටින ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම අතරෙහි සිටින බැවින් ඔවුන් නිසා තැති නොගන්න.
22 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් ඔබ ඉදිරියෙන් ටිකෙන් ටික පහකර දමනවා ඇත. ඔබ ඉක්මනින් ඔවුන් නැතිකර නොදැමිය යුතුය, එසේ කළොත් වන මෘගයෝ ඔබට විරුද්ධව වැඩිවන්නෝය.
23 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවාදී, ඔවුන් නැතිවී යන තුරු මහත්වූ පරාජයකින් ඔවුන් පරාජය කරනවා ඇත.
24 ඔවුන්ගේ රජවරුන්ද උන්වහන්සේ ඔබ අතට පාවා දෙනවා ඇත, ඔබ අහස යටින් ඔවුන්ගේ නාමය නැතිකර දමන්නෙහිය. ඔබ ඔවුන් විනාශකර දමන තුරු කිසි මනුෂ්‍යයෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය.
25 ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් ඔබ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
26 පිළිකුල් දෙයක් ඔබේ ගෙට ගෙනගොස් ඔබ ඊට සමානවී නාස්තියට කැපනොවන්න. ඔබ ඊට ද්වේෂකොට එය සහමුලින්ම පිළිකුල්කොට සිතන්න. මක්නිසාද එය නාස්තියට කැපය.



පරිච්ඡේදය 8

1 ඔබ සැම ජීවත්ව බෝවෙන පිණිසද ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ පියවරුන්ට දිවුළ දේශයට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිසද අද මා විසින් ඔබට අණකරන මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න.
2 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ යටහත්කර, ඔබ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා ඔබ රක්ෂාකරනවාද නැද්දැයි ඔබේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි ඔබ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.
3 උන්වහන්සේ ඔබ යටත්කොට, ඔබ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් ඔබට දන්වාදෙන පිණිස, ඔබ දැනනොගෙන සිටියාවූ ඔබේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් ඔබ පෝෂණයකළසේක.
4 මේ සතළිස් අවුරුද්දේ ඔබේ වස්ත්‍ර ඔබ පිට පරණ නොවීය, ඔබේ පාද ඉදිමුණේ නැත.
5 මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දඬුවම්කරන බව ඔබේ සිතින් කල්පනාකරන්න.
6 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන්න.
7 මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ හොඳ දේශයකට පමුණුවනසේක. එය මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය;
8 එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය;
9 ඒ දේශයේ ඔබට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී ඔබට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් ඔබට පිත්තල හාරාගන්ට පුළුවන.
10 ඔබ කා තෘප්තියට පැමිණ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් යහපත් දේශය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
11 මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතක නැති නොකරන්ට බලාගන්න.
12 ඔබ කා තෘප්තියට පැමිණ හොඳ ගෙවල් ගොඩ නගා එහි වාසය කරන කල්හිත්,
13 ඔබේ ගව රැළවල් හා එළු බැටළු රැළවල් වැඩිවී, ඔබේ රන් රිදීද වැඩිවී, ඔබට ඇති සියල්ලම වර්ධනයවූ කල්හිත්,
14 ඔබේ සිත උඩඟු නොවන හැටියටද, මිසර දේශය වන වහල්කමේ ගෙයින් ඔබ පිටතට ගෙනාවාවූ, ඔබේ මතු කාලයේදී ඔබට යහපත කිරීමට ඔබ යටහත්කර ඔබ සෝදිසිකරන පිණිස,
15 ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය මැදින් ඔබ ගෙනාවාවූ, ගිනිගල් පර්වතයෙන් ඔබට වතුර නික්මවා දී,
16 ඔබේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී ඔබ පෝෂණයකළාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:
17 මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි ඔබේ සිතින් නොකියන හැටියටද බලාගන්න.
18 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද ඔබේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස ඔබට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය.
19 තවද ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කොට අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කොට නමස්කාරකරන්නෙහිනම්, ඔබ සැම සැබවින් විනාශ වෙන බවට අද මම ඔබ සැමට විරුද්ධව සාක්ෂිදෙමි.
20 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්ට ඔබ සැම නොකැමතිවූ බැවින් උන්වහන්සේ ඔබ සැම ඉදිරියෙන් විනාශවෙන්ට සලස්වන ජාතීන් මෙන් ඔබ සැමත් විනාශවෙනවා ඇත.



පරිච්ඡේදය 9

1 එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. දැන් ඔබ යොර්දානෙන් එතරවී, ඔබට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් පන්නා දමන්ටත්, අහස දක්වා පවුරු ඇති මහත් නුවරවල් අල්ලාගන්ටත්,
2 ඔබ දන්නාවූ අනාක්වරුන්ගේ පුත්‍රයන් වන මහත්වූ උස ඇත්තාවූ සෙනඟක් පන්නා දමන්ටත් යන්නෙහිය. අනාක්ගේ පුත්‍රයන් ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටදැයි යන කීම ඔබ අසා තිබේ.
3 එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේම විනාශකරන ගින්නක්ව ඔබට පෙරටුව යන බව අද දැනගන්න; උන්වහන්සේම ඔවුන් විනාශකරනවා ඇත, උන්වහන්සේම ඔවුන් ඔබ ඉදිරියෙහි යටත්කරදෙනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේ ඔබට කී ලෙස ඔබ ඔවුන් පන්නා ඉක්මනින් නැතිකර දමනවා ඇත.
4 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පහකළ පසු: මේ දේශය හිමිකරගැනීමට ස්වාමීන්වහන්සේ මා ගෙනාවේ මාගේ ධර්මිෂ්ඨකම නිසායයි ඔබේ සිතින් නොකියන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාය.
5 ඔවුන්ගේ දේශය හිමිකරගැනීමට ඔබ ඇතුල්වෙන්නේ ඔබේ ධර්මිෂ්ඨකම නිසාවත් ඔබේ සිතේ අවංකකම නිසාවත් නොවේ. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාත් ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ස්වාමීන්වහන්සේ දිවුළ වචනය ඉෂ්ටකරන පිණිසත්ය.
6 එබැවින් ඒ හොඳ දේශය හිමිකරගැනීමට ස්වාමීන්වහන්සේ එය ඔබට දෙන්නේ ඔබේ ධර්මිෂ්ඨකම නිසා නොවන බව දැනගන්න; මක්නිසාද ඔබ තද කුළල් ඇති සෙනඟක්ය.
7 ඔබ කාන්තාරයේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස් කළ හැටි සිහිකරන්න, මතක නැති නොකරන්න. ඔබ මිසර දේශයෙන් පිටත්වුණ දා පටන් මේ ස්ථානයට පැමිණෙන තෙක් ඔබ සැම ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.
8 හොරේබ්හිදීත් ඔබ සැම ස්වාමීන්වහන්සේ උදහස් කළහුය, ස්වාමීන්වහන්සේද ඔබ සැම විනාශකරන තරමට ඔබ සැමට කෝපවූසේක.
9 එසේ වුණේ ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ කළ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි ලබාගන්ට මා කන්දට නැගී, කෑම නොකා වතුර නොබී දවල් සතළිසක් හා රෑ සතළිසක් කන්දේ සිටියාවූද,
10 දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලි දෙක ස්වාමීන්වහන්සේ මට භාරදුන්නාවූද ප්‍රස්තාවේදීය; රැස්වීමේ දවසේ ස්වාමීන්වහන්සේ කන්දෙහිදී ගිනි මැද සිට ඔබ සැමට කථාකළ සියලු වචනවල ප්‍රකාරයට ඒවායේ ලියා තිබුණේය.
11 දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගතවූ කල ස්වාමීන්වහන්සේ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි දෙක මටදී කථාකොට:
12 ඔබ නැගිට මෙතනින් ඉක්මනට බැස යන්න; මක්නිසාද ඔබ මිසරයෙන් ගෙනාවාවූ ඔබේ සෙනඟ දුෂ්ටකම් කළෝය; මා ඔවුන්ට අණකළ මාර්ගයෙන් ඔව්හු අහක්වී තමුන්ට පිළිමයක් වාත්තුකරගන සිටිතියි කීසේක.
13 ස්වාමීන්වහන්සේ තව දුරටත් මට කථාකොට: මේ සෙනඟ බැලුවෙමි, ඔව්හු තද කුළල් ඇති සෙනඟක්ය.
14 මා විසින් ඔවුන් විනාශ කොට ඔවුන්ගේ නාමය අහස යටින් මකාදමන පිණිස මට ඉඩ අරින්න. මම ඔබ ඔවුන්ට වඩා බලවත්වූ මහත්වූ සෙනඟක් වෙන්ට සලස්වන්නෙමියි කීසේක.
15 එවිට මම හැරී කන්දෙන් බැස්සෙමි, කන්ද ගින්නෙන් ඇවුළුණේය. ගිවිසුමේ ලෑලි දෙක මාගේ දෑතෙහි තිබුණේය.
16 මම බැලීමි, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව ඔබ සැම පව්කොට, වහු රූපයක් ඔබ සැමට වාත්තුකරගෙන, ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ මාර්ගයෙන් ඔබ සැම ඉක්මනින් අහක්ව ගිය බව දැක,
17 මම ලෑලි දෙක ගෙන මාගේ දෑතින් වීසිකොට ඔබ සැමගේ ඇස් හමුයෙහි ඒවා බින්දෙමි.
18 ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුවූ දේ කරමින් ඔබ සැම කළාවූ ඔබ සැමගේ සියලුම පාපවල් නිසා මම පළමු වතාවේ මෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැටී දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී සිටියෙමි.
19 මක්නිසාද ඔබ සැම විනාශකිරීමට ස්වාමීන්වහන්සේ ඔබ සැමට විරුද්ධව උදහස්වී සිටිය උදහසද කෝපයද නිසා භයවීමි. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ වතාවේදීත් මට ඇහුම්කන්දුන්සේක.
20 ස්වාමීන්වහන්සේ ආරොන්ද විනාශකරන පිණිස ඔහුට විරුද්ධව ඉතා උදහස්ව සිටිසේක. මම ඒ ප්‍රස්තාවේදී ආරොන් උදෙසාත් යාච්ඤා කෙළෙමි.
21 ඔබ සැමගේ පාපය වන ඔබ සැම සෑදු වස්සා මම අරගන ගින්නෙන් පුලුස්සා දමා, කොටා, ධූලි මෙන් පොඩිවෙන තුරු අඹරා, ඒකේ කුඩු කන්දෙන් ගලාගන ආ ඔයේ හෙළිමි.
22 තවද තාබෙරාහිදීත් මස්සාහිදීත් කිබ්‍රොත්-හත්තාවාහිදීත් ඔබ සැම ස්වාමීන්වහන්සේ උදහස් කළහුය.
23 ඔබ සැම නැගී ගොස් මා ඔබ සැමට දුන් දේශය හිමිකර ගන්නය කියා ස්වාමීන්වහන්සේ කාදේෂ්-බර්නේයේ සිට ඔබ සැම යැවූ විටත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව ඔබ සැම කැරළිගැසුවහුය, ඔබ සැම උන්වහන්සේ විශ්වාස කළේවත් උන්වහන්සේගේ හඬ ඇසුවේවත් නැත.
24 මා ඔබ සැම දැනගත් දවස පටන් ඔබ සැම ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.
25 ස්වාමීන්වහන්සේ ඔබ සැම විනාශකරනසේකැයි කී බැවින් මා වැටී සිටිය දවස් ලෙස දවල් සතළිසකුත් රෑ සතළිසකුත් ස්වාමීන්වහන්සේ ඉදිරියේ වැටී,
26 උන්වහන්සේට යාච්ඤාකරමින්: ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහන්තත්වයෙන් ඔබ මුදාගත්තාවූ, බලවත් හස්තයකින් මිසරයෙන් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟද උරුමයද විනාශනොකළ මැනව.
27 ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සිහිකළ මැනව; මේ සෙනඟගේ මුරණ්ඩුකමවත් දුෂ්ටකමවත් පාපයවත් නොබලා වදාළ මැනව.
28 බැලුවොත් ඔබ යම් දේශයකින් අප පිටතට ගෙනාසේක්ද එහි වැසියන් කථාකොට: ස්වාමීන්වහන්සේ ඔවුන්ට පොරොන්දුවුණ දේශයට ඔවුන් පමුණුවන්ට උන්වහන්සේට නොහැකිවූ බැවින්ද උන්වහන්සේ ඔවුන්ට වෛරවුණ බැවින්ද කාන්තාරයේදී ඔවුන් මරණ පිණිස පිටතට ගෙනාසේකැයි කියනවා ඇත.
29 නුමුත් මොවුන් ඔබගේ මහත් බලයෙන්ද දිගු කළ ඔබගේ බාහුවෙන්ද ඔබ විසින් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟත් ඔබගේ උරුමයත්යයි කීවෙමි.



පරිච්ඡේදය 10

1 ඒ කාලයේදී ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ පළමු ඒවාට සමානවූ ගල්ලෑලි දෙකක් කපාගෙන මා වෙතට කන්දට නැගී එන්න, ලීයෙන් පෙට්ටියක්ද සාදා ගන්න.
2 එවිට ඔබ බිඳ දැමූ පළමු ලෑලිවල තිබුණ වචන ඒ ලෑලිවල ලියන්නෙමි, ඔබ ඒවා පෙට්ටියෙහි තබන්නැයි කීසේක.
3 මමද ෂිට්ටීම් ලීවලින් පෙට්ටියක් සාදා, පළමු ඒවාට සමානවූ ගල්ලෑලි දෙකක් කපා, ලෑලි දෙක මාගේ අතින් රැගෙන, කන්දට නැගුණෙමි.
4 රැස්වීමේ දවසෙහි ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට ඔබ සැමට වදාළ දශවාක්‍යය පළමු ලියවිල්ල ලෙස උන්වහන්සේ ඒ ලෑලිවල ලියා ඒවා මට දුන්සේක.
5 මමද හැරී කන්දෙන් බැස, මා සෑදූ පෙට්ටියෙහි ඒ ලෑලි තැබීමි; ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙස ඒවා එහි තිබේ.
6 (ඉශ්‍රායෙල් පුත්‍රයෝ බීරොත් බෙනෙ-යාකන්හි සිට මොසේරාට පිටත්ව ගියෝය. එහිදී ආරොන් මැරී එහි තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් ඔහු වෙනුවට පූජක තනතුරේ මෙහෙය ඉෂ්ට කෙළේය.
7 එතැනින් ගුද්ගොදාටත් ගුද්ගොදාහි සිට දිය ඔයවල් ඇති රටක් වන යොත්බාතාටත් ඔව්හු පිටත්ව ගියෝය.
8 ඒ කාලයේදී ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන යන පිණිසද අද දක්වා කරන ලෙස ස්වාමීන්වහන්සේට සේවය කිරීමට උන්වහන්සේ ඉදිරියෙහි සිටින පිණිසද උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ස්වාමීන්වහන්සේ ලෙවීගේ ගෝත්‍රය වෙන්කළසේක.
9 එබැවින් ලෙවීට තමාගේ සහෝදරයන් සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත; ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහුට කී ලෙස ස්වාමීන්වහන්සේම ඔහුගේ උරුමයය.)
10 මම පළමු වතාවේ මෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ නැවතුණෙමි. ස්වාමීන්වහන්සේ ඒ වතාවේදීත් මට ඇහුම්කන්දී, ඔබ විනාශකරන්ට නොකැමැතිවූසේක.
11 ස්වාමීන්වහන්සේ මට කථාකොට: නැගිට සෙනඟට පෙරටුව ගමන්කරන්න; ඔවුන්ට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශයට ඔව්හු ඇතුල්ව එය හිමිකරගනිත්වයි කීසේක.
12 ඉතින් ඉශ්‍රායෙල්, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන්වහන්සේට ප්‍රේමකිරීමත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබේ මුළු සිතින්ද ඔබේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත්
13 ඔබේ යහපත පිණිස අද මා විසින් ඔබට අණකරන ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පැවැත්වීමත් මිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?
14 බලව, ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද පොළොව සහ එහි ඇති සියල්ලද අයිති ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ය.
15 එතකුදුවුවත් ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට ප්‍රේමකරන ලෙස ඔවුන් කෙරෙහි ඇලුම්වී, අද තිබෙන්නාක් මෙන් ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ වංශයවූ ඔබ සැම සියලු මනුෂ්‍ය වර්ගයන්ට ඉහල් කොට තෝරාගත්සේක.
16 එබැවින් ඔබ සැමගේ කුළල් තවත් තදකර නොගෙන, ඔබ සැමගේ හෘදයවල චර්මාග්‍රය ඡේද්‍යකරගන්න.
17 මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, මහත්වූ බලසම්පන්නවූ භයංකරවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත.
18 උන්වහන්සේ පියා නැත්තාටද වැන්දඹුවටද යුක්තිය ඉෂ්ටකරදෙන සේක, විදේශියාට කෑම ඇඳීම දෙමින් ඔහුට ප්‍රේමකරනසේක.
19 එබැවින් විදේශියාට ප්‍රේම කරන්න. මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.
20 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව, උන්වහන්සේටම සේවය කොට, උන්වහන්සේටම ඇලුම්ව සිට, උන්වහන්සේගේනාමයෙන් දිවුරන්න.
21 උන්වහන්සේම ඔබේ ප්‍රශංසා භූමියය, උන්වහන්සේම ඔබේ ඇස් වලින් දුටු මේ මහත්වූ භයානකවූ දේ ඔබ උදෙසා කළාවූ ඔබේ දෙවියන්වහන්සේය.
22 සැත්තෑදෙනෙක්වූ ඔබේ පියවරු මිසර දේශයට බැස ගියෝය; දැනුදු ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අහසේ තාරකා මෙන් ගණනින් ඔබ වැඩිකළසේක.



පරිච්ඡේදය 11

1 එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ නියමයන්ද පනත්ද විනිශ්චයන්ද ආඥාද නිතර පවත්වන්න.
2 මා අද දවසේ කථාකරන්නේ ඔබ සැමගේ දරුවන් සමඟ නොවන බව දැනගන්න. ඔවුන් වනාහි ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ දඬුවමද උන්වහන්සේගේ මහන්තත්ත්වයද බලවත් හස්තයද දිගුකළ බාහුවද,
3 උන්වහන්සේ මිසරය මැදදී මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ මුළු දේශයටත් දැක්වූ ලකුණුද ක්‍රියාවන්ද,
4 උන්වහන්සේ මිසරයේ යුද්ධ සේනාව සහ ඔවුන්ගේ අශ්වයන්ටත් රථවලටත් කළ දෙය එනම් ඔවුන් ඔබ සැම ලුහුබැඳ එද්දී උන්වහන්සේ රතු මුහුදේ වතුර ඔවුන් පිටට පමුණුවා අද දවස දක්වා ස්වාමීන්වහන්සේ ඔවුන් විනාශ කළ හැටිද,
5 ඔබ සැම මෙතැනට එන තෙක් උන්වහන්සේ කාන්තාරයේදී ඔබ සැමට කළ දෙයද,
6 උන්වහන්සේ රූබෙන්ගේ පුත්‍රයා වන එලියාබ්ගේ පුත්‍රයන්වූ දාතාන් සහ අබිරාම්ට කළ දෙය එනම් පොළොව ඇගේ මුඛය ඇර ඔවුන් සහ ඔවුන්ගේ පවුල්ද කූඩාරම්ද ඔවුන් අනුව ගිය පණ ඇති සියල්ලන්ද මුළු ඉශ්‍රායෙල් මධ්‍යයෙහි ගිලගත් හැටිද දන්නේවත් දුටුවේවත් නැත.
7 නුමුත් ඔබ සැම ස්වාමීන්වහන්සේ කළාවූ සියලු මහත් ක්‍රියා ඔබ සැමගේ ඇස්වලින් දුටුවහුය.
8 එබැවින් ඔබ සැම ශක්තිමත්ව සිට ඔබ සැම විසින් හිමිකර ගැනීමට එතරව යන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිසද,
9 ඔබ සැමගේ පියවරුන්ටත් ඔවුන්ගේ වංශයටත් දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළාවූ කිරි හා මීපැණි ගලායන්නාවූ දේශය මතුපිට ඔබ සැමගේ දවස් වැඩිකර ගන්නා පිණිසද මා විසින් අද ඔබ සැමට අණකරන මුළු ආඥාව පවත්වන්න.
10 මක්නිසාද ඔබ සැම හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය ඔබ සැම පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑ කරන්නාවූ මිසර දේශය මෙන් නොවේ.
11 නුමුත් ඔබ සැම විසින් හිමිකරගැනීමට එතරව යන දේශය හෙල්වලින් හා මිටියාවත්වලින් යුක්තවූ, අහසෙන් වෑස්සෙන වතුර උරාගන්නාවූ දේශයක්ය;
12 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලා සලකන්නාවූ දේශයක්ය. අවුරුද්ද පටන්ගැන්මේ සිට අවුරුද්ද අන්තිමය දක්වා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් නිරන්තරයෙන් එය කෙරෙහි යොමුවී තිබේ.
13 ඉදින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැම ප්‍රේමකොට ඔබ සැමගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද ඔබ සැමට අණකරන මාගේ අණට ඔබ සැම ඇත්තටම කීකරුවුණොත්,
14 ඔබේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස්කරගන්නා පිණිස මම නිසි කාලයට ඔබ සැමගේ දේශයෙහි වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි.
15 ඔබ කා තෘප්තියට පැමිණෙන පිණිස සිව්පාවුන්ට ඔබේ පිට්ටනිවල තණකොළ හටගන්වා දෙන්නෙමි.
16 ඔබ සැමගේ සිත් රැවටී, ඔබ සැම අහක්ව ගොස්, අන් දෙවිවරුන්ට සේවයකරමින් නමස්කාර නොකරන හැටියට බලාගන්න.
17 එසේ කළොත් ස්වාමීන්වහන්සේගේ උදහස ඔබ සැමට විරුද්ධව ඇවිළ, වැසි නොවසින ලෙසද භූමියේ අස්වැන්න හටනොගන්නා ලෙසද උන්වහන්සේ අහස පියවා ඇත; ඔබ සැමද ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන්නාවූ ඒ හොඳ දේශය මතුපිටින් ඉක්මනින් නැතිවී යනවා ඇත.
18 එබැවින් ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ පියවරුන්ට දිවුළ දේශයෙහි ඔබ සැමගේ දවස්ද ඔබ සැමගේ දරුවන්ගේ දවස්ද පොළොවට ඉහළින්වූ අහස පවත්නා දවස් මෙන් වැඩිවෙන පිණිස,
19 ඔබ සැම මාගේ මේ වචන ඔබ සැමගේ සිතෙහිද ආත්මයෙහිද තබාගෙන, ඒවා ඔබ සැමගේ අත්වල ලකුණක් පිණිස බැඳ, ඔබ සැමගේ ඇස් අතරේ නළල් පටි පිණිසද බැඳ ගන්න.
20 ඔබ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් ඔබ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා ඔබ සැමගේ දරුවන්ට උගන්වන්න.
21 ඒවා ඔබේ ගෙයි උළුවහුද ඔබේ දොරවල්ද පිට ලියන්න.
22 මක්නිසාද මා ඔබ සැමට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන ලෙස ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැම ප්‍රේමකොට උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට ඇලුම්ව සිටින ලෙස ඔබ සැම ඇත්තටම එය පවත්වනවා නම්,
23 ස්වාමීන්වහන්සේ මේ සියලු ජාතීන් ඔබ සැම ඉදිරියෙන් පන්නාදමනවා ඇත, ඔබ සැමද ඔබ සැමට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් අත්පත් කරගන්නවා ඇත.
24 ඔබ සැමගේ පා තබන සියලු තැන් ඔබ සැමට වන්නේය. ඔබ සැමගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පශ්චිම මුහුද දක්වාම වන්නේය.
25 ඔබ සැමට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නොහැකි වන්නේය. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔබ සැම නිසා ඇතිවන්නාවූ භයද තැතිගැන්මද උන්වහන්සේ ඔබ සැම පය තබන මුළු දේශය පිට තබනවා ඇත.
26 මම අද ඔබ සැම ඉදිරියෙහි ආශීර්වාදයක් ශාපයක්ද තබමි;
27 ආශීර්වාදය වන්නේ මා අද ඔබ සැමට අණකරන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට ඔබ සැම කීකරුවුණොත්ය.
28 ශාපය වන්නේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරු නොවී, ඔබ සැම නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින්, මා විසින් අද ඔබ සැමට අණකරන මාර්ගයෙන් අහක්ව ගියොත්ය.
29 තවද ඔබ හිමිකරගන්ට ඇතුල්වෙන දේශයට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පැමිණෙවු කල්හි ගෙරිසීම් කන්ද පිට ආශීර්වාදයද ඒබාල් කන්ද පිට ශාපයද තබන්න. 11:29 නොහොත්, ප්‍රකාශකරන්න.
30 ඒවා යොර්දානෙන් එතර බස්නාහිර පාරට එහායින් අරබා සමභූමියෙහි වාසයකරන කානානිවරුන්ගේ රටෙහි ගිල්ගාල් ඉදිරිපිටවූ මොරේගේ ආලොන් ගස් ළඟ තිබෙනවා නොවේද?
31 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන දේශයට ඇතුල්වී එය හිමිකරගන්න පිණිස ඔබ සැම යොර්දානෙන් එතරට යන්ට සිටිනහුය, ඔබ සැම ඒක හිමිකරගෙන එහි වාසය කරන්නහුය.
32 මා විසින් අද ඔබ සැම ඉදිරියෙහි තබන සියලු පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්ට බලාගන්න.



පරිච්ඡේදය 12

1 ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන දේශයේදී ඔබ සැම භූමිය මතුපිට ජීවත්වෙන සියලුම දවස්වල ඔබ සැම විසින් රක්ෂාකරන පිණිස බලාගන්ට ඕනෑවූ පනත්ද විනිශ්චයවල්ද මේවාය.
2 ඔබ සැම පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට,
3 ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳහෙළා, ඔවුන්ගේ අෂේරා කණු ගින්නෙන් දවා, ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප කපාදමා, ඒවායේ නාම ඒ ඒ ස්ථානවලින් නැතිකර දමන්න.
4 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔබ සැම එයාකාර නොකර,
5 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස ඔබ සැමගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.
6 ඔබ සැමගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද ඔබ සැමගේ අතෙහි එසවීම් පූජාවද ඔබ සැමගේ බාරද ඔබ සැමගේ ස්වෙච්ඡා පූජාද ඔබ සැමගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්,
7 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකළ නිසා, ඔබ සැම අත තබන සියල්ල ගැන ඔබ සැමද ඔබ සැමගේ ගෙයි වැසියෝද ප්‍රීතිවන්න.
8 මෙහි අප විසින් මේ දවසේ එකිනෙකා තම තමාට හරිව පෙනෙන කොයි දේත් කරන්නාක් මෙන් ඔබ සැම එහිදී නොකළ යුතුය.
9 මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන නියම වාසස්ථානයටත් උරුමයටත් ඔබ සැම තවම පැමුණුණේ නැත.
10 එහෙත් ඔබ සැම යොර්දානෙන් එතරට ගොස් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට උරුම කරදෙන දේශයෙහි වසන කල්හිද, ඔබ සැම සුරක්ෂිතව වාසයකරන ලෙස වටකර සිටින ඔබ සැමගේ සියලු සතුරන්ගෙන් උන්වහන්සේ ඔබ සැමට විශ්‍රාමය දුන් කල්හිද,
11 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් ඔබ සැමට අණකරන ඔබ සැමගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද ඔබ සැමගේ අතෙහි එසවීම් පූජාවද ඔබ සැම කැමැත්තෙන්ම වෙන්නාවූ ඔබ සැමගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්,
12 ඔබ සැමද ඔබ සැමගේ පුත්‍රයෝද දූවරුද වැඩකාරයෝද වැඩකාරියෝද ඔබ සැමගේ දොරටු ඇතුළත සිටින්නාවූ, ඔබ සැම සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබුවාවූ ලෙවීයයාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
13 ඔබ දකින සියලු තැන්හිම ඔබේ දවන පූජා නොපුදන්ට බලාගන්න.
14 නුමුත් ඔබේ ගෝත්‍රයන්ගෙන් එකක් තුළවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා වූ ස්ථානයෙහිම ඔබේ දවන පූජා පුදා මා විසින් ඔබට අණකරන සියල්ලත් එහිම කරන්න.
15 එසේ වී නුමුත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන ආශීර්වාදයේ හැටියට ඔබේ සියලු දොරටු ඇතුළේ ඔබේ සිතේ මුළු ආශාවේ හැටියට ඔබට සතුන් මරා මස් කන්ට පුළුවන. මුවමස්ද ගෝනමස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් ඒවා කන්ට පුළුවන.
16 නුමුත් ලේ නොකා එය වතුර මෙන් භූමිය පිට වත්කරන්න.
17 ඔබේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද, තෙලින්ද දෙන දසයෙන් කොටසවත් ඔබේ ගවයන්ගේද එළු බැටළුවන්ගේද කුලුඳුලන්වත් ඔබ වෙන්නාවූ ඔබේ කිසි බාර පූජාවක්වත් ඔබේ ස්වෙච්ඡා පූජාවල්වත් ඔබේ අතේ එසවීම් පූජාවවත් ඔබේ දොරටු ඇතුළතදී නොකෑ යුතුය.
18 නුමුත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයේදී, ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ දුවද ඔබේ දාසයාද ඔබේ දාසීද ඔබේ දොරටු ඇතුළත වසන ලෙවීයයාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා කා, ඔබේ අත තබන සියල්ල ගැන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
19 ඔබේ දේශය මතුපිට ඔබ ජීවත්වෙන සියලුම දවස්වල ලෙවීයයා අත්නොහරින්ට බලාගන්න.
20 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පොරොන්දුවුණු ලෙස ඔබේ සීමාව විශාලකළ කල්හි මස් කන්ට ඔබේ සිත ආශාවෙන නිසා: මම මස් කන්නෙමියි ඔබ කියන විට ඔබේ සිතේ මුළු ආශාව ලෙස මස් කන්ට පුළුවන.
21 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන පිණිස තෝරාගන්න ස්ථානය ඔබට දුර වැඩිනම් ස්වාමීන්වහන්සේ ඔබට දුන් ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද කොයි එකෙක් නුමුත් මා ඔබට අණකළ ලෙස මරා, ඔබේ සිතේ මුළු ආශාව ලෙස ඔබේ දොරටු ඇතුළතදී කන්න.
22 මුව මස්ද ගෝන මස්ද මෙන් ඔබ ඒවා කන්න. අපවිත්‍ර අයටද පවිත්‍ර අයටද එක සමානව ඒවා කන්ට පුළුවන.
23 එහෙත් ලේ නොකන්ට ප්‍රවේසම් වන්න. මක්නිසාද ලේ ප්‍රාණයය; එබැවින් ඔබ මාංසය සමඟ ප්‍රාණය නොකෑ යුතුය.
24 ඔබ එය නොකා වතුර මෙන් එය භූමිය පිට වත්කළ යුතුය.
25 ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිවූ දේ කරන කල්හි ඔබටත් ඔබට පසු ඔබේ දරුවන්ටත් ශුභ සිද්ධවන පිණිස ඔබ එය නොකා සිටින්න.
26 ඔබට තිබෙන ඔබේ ශුද්ධ දේවල්ද ඔබේ බාරවල්ද රැගෙන ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයට පැමිණ,
27 ඔබේ දවන පූජා එනම් මාංසයත් රුධිරයත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පුජාසනය පිට ඔප්පුකරන්න. ඔබේ යාග පූජාවල ලේ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට වත්කරනු ලැබේ, මාංසය ඔබට කන්නට පුළුවන.
28 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන කල්හි ඔබටත් ඔබට පසු ඔබේ දරුවන්ටත් සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස මා ඔබට අණකරන මේ සියලු වචන අසන්ට බලාගන්න.
29 ඔබ විසින් අත්පත්කරගන්ට යන ජාතීන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙන් සිඳදැමූ කල්හි, ඔබ ඔවුන් පන්නාදමා ඔවුන්ගේ දේශයෙහි වාසය කරන විට,
30 ඔවුන් ඔබ ඉදිරියෙන් විනාශකරනු ලැබූ පසු, ඔබ ඔවුන් අනුව යාමට අසුනොවෙන හැටියටත්: මේ ජාතීන් තමුන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නේ කෙලෙසද, මමත් එලෙස කරන්නෙමියි කියමින් ඔවුන්ගේ දෙවිවරුන් ගැන විභාග නොකරන හැටියටත් බලාගන්න.
31 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ විසින් එයාකාර නොකළ යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ද්වේෂකරන්නාවූ පිළිකුල්කරන්නාවූ සියලු දේවල් ඔව්හු තමුන්ගේ දෙවිවරුන් සඳහා කළෝය; ඔවුන්ගේ පුත්‍රයන්ද ඔවුන්ගේ දූවරුන්ද පවා ඔවුන්ගේ දෙවිවරුන්ට ගින්නේ දවා පූජාකරති.
32 මා විසින් ඔබ සැමට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. ඔබ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.



පරිච්ඡේදය 13

1 ඔබ සැම අතරෙහි අනාගතවක්තෘ කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට,
2 ඔබ දැනනොගත්: අන් දෙවිවරුන් අනුව අපි ගොස් ඔවුන්ට සේවය කරමුයයි කියමින්, ලකුණක් හෝ ආශ්චර්යයක් ඔබට නියමකළ කල්හි, ඔහු ඔබට කී ලකුණත් ආශ්චර්යයත් සිද්ධවුණත්,
3 ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැමගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද ඔබ සැම ප්‍රේමකරනවාදැයි දැනගන්ට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම සෝදිසිකරන සේක.
4 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගොස්, උන්වහන්සේට භයව, උන්වහන්සේගේ ආඥා රක්ෂාකොට, උන්වහන්සේගේ හඬට කීකරුව, උන්වහන්සේට සේවයකර, උන්වහන්සේට ඇලුම්ව සිටින්න.
5 ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය; මක්නිසාද යන ලෙස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ මාර්ගයෙන් ඔබ අහක්කිරීමට, ඔබ සැම මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ, වහල්කමේ ගෙයින් ඔබ සැම මුදාගත්තාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් වෙන් වෙන්ටය කියා ඔහු කථාකළ නිසාය. මෙසේ ඔබ සැම අතරෙන් ඒ නපුර පහකරන්න.
6 ඔබ සැම අවට ඔබට කිට්ටුව හෝ ඔබෙන් ඈත්ව හෝ පොළොවේ එක් කොනක සිට අනික් කොන දක්වා සිටින මනුෂ්‍ය වර්ගයන්ගේ දෙවිවරුන්වූ,
7 ඔබවත් ඔබේ පියවරුන්වත් දැන නොගත්: අන් දෙවිවරුන්ට අපි ගොස් සේවය කරමුයයි ඔබේ මවුගේ පුත්‍රවූ ඔබේ සහෝදරයාවත් ඔබේ පුත්‍රයාවත් ඔබේ දුවවත් ඔබේ ළයෙහි හොත් භාර්යාවවත් ඔබේම ප්‍රාණය වැනිවූ මිත්‍රයාවත් ඔබට රහසින් කියා ඔබ පොළඹවන්ට උත්සාහකරන්නේවී නම්,
8 ඔබ ඔහුට එකඟනොවෙන්න, ඔහුට ඇහුම්කන්නොදෙන්න; ඔබේ ඇස ඔහුට දයානොකෙරේවා, ඔහු ඉතුරු කරන්නේවත් සඟවන්නේවත් නැතුව,
9 ඔබ විසින් ඔහු මැරිය යුතුමය; ඔහු මරන පිණිස පළමුකොට ඔබේ අතද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා.
10 වහල්කමේ ගෙයවූ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙන් ඔබ අහක්කරන්ට සෙවූ බැවින්, ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසන්ට ඕනෑය.
11 සියලු ඉශ්‍රායෙල්වරු ඒ අසා භයවී එබඳු දුෂ්ටකමක් ඔබ සැම අතරෙහි තවත් නොකර සිටින්නාහුය.
12 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ වාසය කරන්ට දෙන නුවරකදී සමහර අධමයන් ඔබ සැම අතරෙන් නික්ම ගොස්:
13 ඔබ සැම දැන නොගත්තාවූ අන් දෙවිවරුන්ට සේවයකරන්ට යමුයයි කියමින් තමුන්ගේ නුවරවාසීන් අහක්කර ගන්නාලදැයි කියනවා ඔබ ඇසුවොත්,
14 ඔබ හොඳාකාර සොයා විභාගකර අසන්න; එවිට එබඳු පිළිකුල් දෙයක් ඔබ සැම අතරෙහි කරනලද බව සැබෑවක්නම්, කාරණය සත්තකනම්,
15 ඒ නුවරවාසීන්ට කඩුමුවහතින් පහරදී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩුමුවහතින් සහමුලින් විනාශකරන්න.
16 එහි තිබෙන සම්පත් සියල්ලම වීථිය මැදට රැස්කර, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා නුවරද එහි තිබෙන සම්පත් සියල්ලද ගින්නෙන් පුලුස්සාදමන්න. ඒක නැවත ගොඩනගනු නොලැබ සදාකල්ම ගොඩක්ව තිබේවා.
17 විනාශයට කැපකරනලද දේවලින් කිසිවක් ඔබේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා ඔබ පවත්වමින් උන්වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස,
18 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන්දෙන කල්හි, ස්වාමීන්වහන්සේ තමන්ගේ තද උදහසෙන් හැරී ඔබට කරුණාව පෙන්වා, ඔබට අනුකම්පාකර ඔබේ පියවරුන්ට දිවුළ ලෙස ඔබ වැඩිකරනවා ඇත.



පරිච්ඡේදය 14

1 ඔබ සැම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ දරුවෝය. මළ කෙනෙකු නිසා ශරීරය කපාගැනීමවත් ඔබ සැමගේ ඇස්බැම අතරේ බූගෑමවත් නොකරන්න.
2 මක්නිසාද ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය, ස්වාමීන්වහන්සේද පොළෝතලයෙහි වසන සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් තමන් සන්තක සෙනඟක් වන පිණිස ඔබ තෝරාගත් සේක.
3 කිසි පිළිකුල් දෙයක් නොකන්න.
4 ඔබ සැමට කන්ට පුළුවන්වූ මෘගයෝනම්:
5 ගවයාද බැටළුවාද එළුවාද, ගෝනාද තිත්මුවාද වැලිමුවාද වල්එළුවාද ඕලුමුවාද කුරංගයාද වාතමෘගයාද යන මේ සත්තුය.
6 මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ, වමාරා කන්නාවූ සියලු මෘගයන් ඔබ සැමට කන්ට පුළුවන.
7 එසේ වී නුමුත් වමාරා කනවුන්ගෙන්ද කුරය බෙදී වෙන්ව තිබෙනවුන්ගෙන්ද ඔබ සැම නොකෑ යුතු සත්තු නම්: ඔටුවාත් හාවාත් බෙන්හාවාත්ය; උන් වමාරා කන නුමුත් උන්ගේ කුරය බෙදී නැති නිසා ඔබ සැමට අපවිත්‍රය.
8 ඌරාගේ කුරය බෙදී තිබෙන නුමුත් ඌ වමාරා නොකන නිසා ඔබ සැමට අපවිත්‍රය. ඔබ සැම උන්ගේ මස් නොකෑ යුතුය, උන්ගේ මළකුණු ස්පර්ශනොකළ යුතුය.
9 ජලයෙහි ඉන්න සියල්ලන් අතරෙන් ඔබ සැමට කන්ට පුළුවන් මේ සත්තුය, එනම් වරල් සහ කොරපොතු ඇති සියල්ලන් කන්ට පුළුවන.
10 වරල් සහ කොරපොතු නැති කිසි සතෙකු ඔබ සැම විසින් නොකෑ යුතුය; ඌ ඔබ සැමට අපවිත්‍රය.
11 සියලු පවිත්‍ර පක්ෂීන් ඔබ සැමට කන්ට පුළුවන.
12 එහෙත් ඔබ සැම කන්ට යුතු නැති පක්ෂීහු නම්: රාජාලියාත් මහගිජුලිහිණියාත් මුහුදු උකුස්සාත්ය;
13 ගුරුළාත් කුරුළුගොයාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය;
14 ඒ ඒ වර්ගයේ සියලු කපුටුවෝය;
15 පැස්බරාත් රෑ උකුස්සාත් මුහුදු ලිහිණියාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය;
16 බස්සාත් බකමූණාත් උලමාත්;
17 කරවැල් කොකාත් ගිජුලිහිණියාත් දිය කාවාත්ය;
18 මානකොකාත් ඒ ඒ වර්ගයේ කොක්කුත් හුපුවාත් වවුලාත්ය.
19 පියාපත් ඇත්තාවූ බඩගායන සියලු සත්තු ඔබ සැමට අපවිත්‍රය. උන් නොකෑ යුතුය.
20 පවිත්‍රවූ සියලු පක්ෂීන් ඔබ සැමට කන්ට පුළුවන.
21 ඉබේ මැරුණු කිසි සතෙකුගේ මාංස නොකෑ යුතුය. ඒවා ඔබේ දොරටු ඇතුළත සිටින්නාවූ විදේශියාට කන්ට දෙන්ට හෝ පරදේශියෙකුට විකුණන්ට හෝ ඔබට පුළුවන. මක්නිසාද ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධවූ සෙනඟක්ය. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොතැම්බිය යුතුය.
22 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නිතරම භයවෙන්ට ඉගෙනගන්න පිණිස අවුරුද්දෙන් අවුරුද්ද කෙතේ ඔබේ බීජවලින් හටගන්න සියලු අස්වැන්නෙන් දසයෙන් කොටසක් වෙන්කර,
23 ඔබේ ධාන්‍යවලිනුත් මුද්‍රික රසයෙනුත් තෙල්වලිනුත් දසයෙන් කොටසද ඔබේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී උන්වහන්සේ ඉදිරියෙහි කන්න.
24 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරන කල්හි උන්වහන්සේ ස්වකීය නාමය තබන්ට තෝරාගන්න ස්ථානය ඔබට දුර නිසා ඒවා ගෙනයන්ට බැරි ලෙස ඒ ගමන ඔබට දුර වැඩි නම්,
25 ඒවා මිලේටදී, ඒ මුදල ඔබේ අතේ බැඳ තබාගෙන, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා තැනට ගොස්
26 ඔබේ හිතට රුචිවන කොයි දෙයකට නුමුත් එනම් ගවයන්ට හෝ බැටළුවන්ට හෝ මුද්‍රිකපානයට හෝ මද්‍යපානයට හෝ ඔබේ සිත ඔබට කියන කොයි දෙයකට නුමුත් ඒ මුදල දී ඒවා රැගෙන, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබද ඔබේ ගෙයි වැසියෝද කා ප්‍රීතිවෙන්න.
27 ඔබේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාත් අත්නොහරින්න; මක්නිසාද ඔහුට ඔබ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත.
28 හැම තුන් අවුරුදු කෙළවරදී ඒ අවුරුද්දේ ඔබේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම පිටතට ගෙනවුත් ඔබේ දොරටු ඇතුළෙහි තබන්න.
29 එවිට ලෙවීයයාට ඔබ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැති බැවින් ඔහුත් ඔබේ දොරටු ඇතුළත සිටින විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත් අවුත් කා තෘප්තියට පැමිණෙත්වා; මෙසේ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ කරන ඔබේ අතේ ඇති සියලු වැඩපලවලදී ඔබට ආශීර්වාදකරනවා ඇත.



පරිච්ඡේදය 15

1 හැම අවුරුදු සතක කෙළවරදී ඔබ විසින් මුදාලීමක් කළ යුතුය.
2 මුදාලීමේ පිළිවෙළ මෙසේය: තමාගේ අසල්වාසියාට ණයට දුන් කවුරු නුමුත් ණයට දෙනලද්ද තමාගේ අසල්වාසියාගෙන්වත් සහෝදරයාගෙන්වත් අයනොකර මිදීමක් දෙන්ට ඕනෑය; මක්නිසාද ස්වාමීන්වහන්සේ දෙන මිදීම ප්‍රකාශකරනලද්දේය.
3 පරදේශියෙකුගෙන් නම් ඒක අයකරන්ට ඔබට පුළුවන. එහෙත් ඔබට අයිති යමක් ඔබේ සහෝදරයා ළඟ ඇද්ද, ඔබ එය නිදහස්කර දෙන්න.
4 කොයි හැටි වුවත් ඔබ වෙත දිළින්දෙක් නොසිටිය යුතුය; මක්නිසාද මා විසින් අද ඔබට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න හැටියට ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට මනාකොට ඇහුම්කන්දෙන්නෙහිනම්,
5 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකර ගැනීමට උරුමයක් කොට දෙන දේශයේදී ස්වාමීන්වහන්සේ ඔබට සැබවින් ආශීර්වාද කරනවා ඇත;
6 එසේය, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පොරොන්දුවූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා, ඔබ බොහෝ ජාතීන්ට ණය දෙන්නෙහිය, නුමුත් ණය නොගන්නෙහිය; ඔබ බොහෝ ජාතීන් කෙරෙහි අධිපතිකම්කරන්නෙහිය, නුමුත් ඔව්හු ඔබ කෙරෙහි අධිපතිකම් නොකරන්නෝය.
7 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ යම් නුවරක් තුළ ඔබේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් ඔබ වෙත සිටින්නේ නම්, ඔබ ඔබේ හෘදය දැඩිකරගන්නේවත් ඔබේ දිළිඳු සහෝදරයා වෙතින් ඔබේ අත පියාගන්නේවත් නැතුව,
8 ඔබේ අත ඔහුට විදහා, ඔහුගේ හිඟකමට සෑහෙන පමණ ඇත්තෙන්ම ඔහුට ණයට දෙන්ට ඕනෑය.
9 ඔබ මිදීමේ අවුරුද්දවූ සත්වෙනි අවුරුද්ද ළඟයයි කියමින් ඔබේ සිතේ දුෂ්ට කල්පනාවක් හටගෙන, ඔබේ දිළිඳු සහෝදරයාට නොදෙන ලෙස ඔබේ බැල්ම ඔහු කෙරෙහි අප්‍රසන්න වන බැවින් ඔහු ඔබට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොරනොගසන හැටියටත්, එසේ ඔබ පිටට පාපය නොපැමිණෙන හැටියටත් බලාගන්න.
10 ඔබ ඔහුට දෙන්ටම ඕනෑය, ඔබ ඔහුට දෙන විට ඔබේ සිතේ කනගාටුවක් නොවේවා. මක්නිසාද මේ කාරණය නිසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ සියලු වැඩවලදීත් ඔබේ අත තබන සියල්ලේදීත් ඔබට ආශීර්වාදකරනවා ඇත.
11 දිළින්දෝ කවදාත් දේශයෙහි ඉන්නෝමය. එබැවින් ඔබේ දේශයෙහිදී ඔබේ සහෝදරයාවූ ඔබේ දුප්පතාටත් ඔබේ දිළින්දාටත් ඔබේ අත සැබවින් විදහන්නැයි ඔබට අණකරමි.
12 ඔබේ සහෝදරවූ හෙබ්‍රෙව් පුරුෂයෙක්වත් හෙබ්‍රෙව් ස්ත්‍රියෙක්වත් ඔබට විකුණනලදුව සාවුරුද්දක් ඔබට මෙහෙකළොත්, සත්වෙනි වර්ෂයෙහි ඔහු ඔබ වෙතින් නිදහස්කර හරින්න.
13 ඔහු ඔබ වෙතින් නිදහස්කර හරින කල්හි ඔහු හිස් අතින් නෑර,
14 ඔබේ එළු බැටළු රැළෙන්ද ඔබේ පාවරෙන්ද ඔබේ මිදි පැසෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකළ හැටියට ඔහුට නොමසුරු ලෙස දිය යුතුය.
15 ඔබ මිසර දේශයෙහි වහලෙක්ව සිටි බවද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ මිදූ බවද සිහිකරන්න. එබැවින් මම අද මේ දෙය ඔබට අණකරමි.
16 එහෙත් ඔහු ඔබ සමඟ හොඳින් සිට ඔබටත් ඔබේ පවුලටත් ප්‍රේමකරන බැවින්: මම ඔබෙන් අහක්වී නොයන්නෙමියි කියන්නේ නම්,
17 විදින කටුවක් අරගෙන ඔහුගේ කන දොරට තදකර තබා විදින්න, මෙසේ ඔහු හැම කල්හිම ඔබේ දාසයා වන්නේය. ඔබේ දාසීටත් එසේම කරන්න.
18 ඔබ කෙරෙන් ඔහු නිදහස් කර හැරීම ඔබට අමාරු කාරණාවක් ව නොපෙනේවා; මක්නිසාද ඔහු සාවුරුද්දක් කුලීකාරයෙකුගේ වැඩෙන් දෙපංගුවකට වඩා ඔබට වැඩකෙළේය. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේද ඔබ කරන සියල්ලේදී ඔබට ආශීර්වාදකරනවා ඇත.
19 ඔබේ ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද උපදින සියලු කුලුඳුල් පිරිමි සතුන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකරන්න. ඔබේ ගවයන්ගේ කුලුඳුලාගෙන් වැඩනොගන්න, ඔබේ බැටළුවන්ගේ කුලුඳුලාගෙන් ලෝමද නොකපන්න.
20 ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී අවුරුද්දෙන් අවුරුද්ද ඔබ සහ ඔබේ ගෙයි වැසියෝ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උගේ මස් කන්න.
21 එහෙත් උගේ යම් කැලලක් ඇත්නම්, කොරකමක් හෝ අන්ධකමක් හෝ වෙන යම් නරක කැලලක් ඇත්තේවීනම්, ඌ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න.
22 ඌද ඔබේ දොරටු ඇතුළතදී කන්න. මුව මස්ද ගෝන මස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් එකාකාරයෙන් එය කන්ට පුළුවන.
23 එහෙත් උගේ ලේ නොකා එය වතුර මෙන් පොළොව පිට වත්කරන්න.



පරිච්ඡේදය 16

1 ආබීබ් මාසය සිහිකර ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්න. මක්නිසාද ආබීබ් මාසයේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රාත්‍රියෙහි ඔබ මිසරයෙන් පිටතට ගෙනාසේක.
2 එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න.
3 ඔබ මිසර දේශයෙන් පිටතට ආ දවස ඔබේ ජීවිතයේ සියලු දවස්හි සිහිකරන පිණිස, ඒ සමඟ මුහුන් දැමූ රොටි නොකා, දුක් රොටි වන මුහුන් නොදැමූ ඒවා සත් දවසක් ඒ සමඟ කන්න; මක්නිසාද ඔබ ඉක්මනින් මිසර දේශයෙන් ආවෙහිය.
4 සත් දවසක් ඔබේ සියලු සීමා ඇතුළත ඔබ ළඟ මුහුන් නොතිබේවා; ඔබ පළමුවෙනිදා සවස පූජාකරන මාංසවලින් කිසිවක් උදය දක්වා ඉතිරිව නොතිබේවා.
5 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නාවූ ඔබේ කොයි නුවරකදී නුමුත් පාස්කුව පූජානොකොට,
6 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී, සවස ඉර බසින විට, එනම් මිසරයෙන් ඔබ පිටතට ආ කාලයේ, ඔබ පාස්කුව පූජාකරන්න.
7 තවද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී ඒක පුලුස්සා කා, උදය ඔබේ කූඩාරම්වලට හැරී යන්න.
8 සදවසක් මුහුන් නොදැමූ රොටි කන්න. සත්වෙනිදා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගරුමය රැස්වීමක් වන්නේය; ඒ දවසේදී කිසි වැඩක් නොකරන්න.
9 සති සතක් ඔබට ගණන්කරගන්න. දෑකැත්ත ගොයමට යොදන තැන් පටන් ඒ සති සත ගණන්කරන්ට පටන් ගන්න.
10 එවිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරන හැටියට ඔබේ අතින් සිය කැමැත්තෙන් දෙන්නාවූ පූජා පඬුරකින් සති මංගල්‍යය ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන්න.
11 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ දුවද ඔබේ වැඩකරුවාද ඔබේ වැඩකාරීද ඔබේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද ඔබ සැම අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
12 ඔබ මිසරයෙහි වහලෙක්ව සිටි බව සිහිකරමින්, මේ පනත් රක්ෂාකරන්ට බලාගන්න.
13 ඔබේ පාවරෙන්ද මිදිපැසෙන්ද රැස්කරගත් පසු දවසක් කූඩාරම් මංගල්‍යය පවත්වන්න.
14 ඔබද ඔබේ පුත්‍රයාද ඔබේ දුවද ඔබේ වැඩකරුවාද ඔබේ වැඩකාරීද ඔබේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද ඔබේ මංගල්‍යයෙහිදී ප්‍රීතිවන්න.
15 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී සත් දවසක් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ මුළු අස්වැන්නෙන්ද ඔබේ අත්වල සියලු වැඩවලදීද ඔබට ආශීර්වාද කරනවා ඇත, ඔබද මුළුමනින් ප්‍රීතිමත්වන්න.
16 අවුරුද්දට තුන් වරක් එනම් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද ඔබේ සියලු පිරිමි ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය. ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිස් අතින් නොපෙනී,
17 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දී තිබෙන ආශීර්වාදයේ හැටියට, එකිනෙකා තම තමාගේ පුළුවන්කම ප්‍රකාර දීමනාවක් ඇතුව පෙනී සිටීවා.
18 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන සියලු දොරටුවල ඔබේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා.
19 ඔබ විනිශ්චය නොපෙරළන්න; මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්න. අල්ලසක් නොගන්න; මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරළන්නේය.
20 ඔබ ජීවත්ව ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශය උරුමකරගන්න පිණිස ධර්මිෂ්ඨකමම අනුව යන්න.
21 ඔබ සාදන්නාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය ළඟ කිසියම් වෘක්ෂයකින් කළ අෂේරා කණුවක් සිටුවානොගන්න.
22 ඔබට රූපස්තම්භයක්ද පිහිටුවා නොගන්න; ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඊට ද්වේෂකරනසේක.



පරිච්ඡේදය 17

1 යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න. මක්නිසාද එය ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
2 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නාවූ ඔබේ යම් නුවරක් තුළ ඔබ සැම අතරෙහි සිටින යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් ගොස්,
3 මා විසින් අණ නොකළ අන් දෙවිවරුන්ටවත් ඉරට හෝ සඳටවත් අහස් සේනාවෙන් කිසිවකුටවත් සේවය කරමින්, ඔවුන්ට නමස්කාර කොට,
4 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම කඩකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරන්නේය කියා ඔබට දන්වන්ටත් ඔබ ඒක අසන්ටත් යෙදුණොත්, ඔබ හොඳාකාර විභාගකරන්න. එවිට ඒ පිළිකුල ඉශ්‍රායෙල් තුළ කෙරුණු බව සැබෑ නම්, කාරණයද සත්තක නම්,
5 ඒ නපුරු දේ කළාවූ ඒ පුරුෂයා හෝ ඒ ස්ත්‍රිය හෝ ඔබේ දොරටු ළඟට ගෙනවුත්, ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය මැරෙණ පිණිස ඔවුන්ට ගල් ගසන්න.
6 මරණයට පත්වෙන තැනැත්තා සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් කී සාක්ෂිය පිට මරනු ලබන්නේය; එක සාක්ෂිකාරයෙකුගේ මුඛයේ කීම පිට ඔහු මරණු නොලබන්නේය.
7 ඔහු මරණ පිණිස පළමුකොට සාක්ෂිකාරයන්ගේ අත්ද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා. මෙසේ ඔබ සැම අතරෙන් ඒ නපුර පහකරන්නෙහිය.
8 ඔබේ දොරටු ඇතුළෙහි හටගන්න නඩුවලින් ලේ සහ ලේ අතරේද පැමිණිල්ල සහ පැමිණිල්ල අතරේද පහර සහ පහර අතරේද විනිශ්චයකරන්ට යම් කාරණයක් ඔබට අමාරු වැඩි නම්, ඔබ නැගිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයට ගොස්,
9 ලෙවීවරු වන පූජකයන්ද ඒ දවස්වල සිටින විනිශ්චයකාරයාද ළඟට ගොස් විභාගකරන්න; ඔවුන් ඔබට නඩුවේ තීන්දුව දන්වනවා ඇත.
10 ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ඒ ස්ථානයේ සිට ඔවුන් ඔබට දන්වන තීන්දුව ප්‍රකාර කරන්න; ඔවුන් ඔබට දන්වාදෙන සියල්ලේ හැටියට කරන්ට බලාගන්න.
11 ඔවුන් ඔබට දන්වා දෙන ව්‍යවස්ථාවේද ඔබට කියන විනිශ්චයේද හැටියට කරන්න. ඔවුන් ඔබට දන්වන තීන්දුවෙන් දකුණටවත් වමටවත් නොහැරෙන්න.
12 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකිරීමට එහි සිටින පූජකයාටවත් විනිශ්චයකාරයාටවත් ඇහුම්කන් නොදී අහංකාර කමින් හැසිරෙන මනුෂ්‍යයා මරනු ලැබේවා. මෙසේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකරන්න.
13 මුළු සෙනඟ අසා භයව තවත් හිතුවක්කාරකම් නොකර සිටිනවා ඇත.
14 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණ ඒක හිමිකරගන එහි වාසයකරන විට, මා වටකර සිටින සියලු ජාතීන් මෙන් මා කෙරෙහි රජෙකු පත්කරගන්නෙමියි කීවොත්,
15 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න තැනැත්තා ඔබ කෙරෙහි රජකමට කොහොමහරි පත්කරගන්න. ඔබේ සහෝදරයන් අතරෙන් එක්කෙනෙකු ඔබ රජකමට පත්කර ගන්න; ඔබේ සහෝදරයෙක් නොවන පරදේශියෙකු ඔබ කෙරෙහි රජකර නොගත යුතුය.
16 බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ ඔබ සැමට කීසේක.
17 තමාගේ සිත ඉවත නොහැරෙන පිණිස ඔහු විසින් භාර්යාවන් වැඩිකර නොගත යුතුය. රන් රිදීද බොහෝසෙයින් සපයා නොගත යුතුය.
18 ඔහු තමාගේ රාජ්‍යයෙහි සිංහාසනය පිට හිඳින කල, ලෙවීවරුන් වන පූජකයන් ඉදිරියෙහි තිබෙන පොතේ හැටියට ඔහු මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියා,
19 තමා ළඟ තබාගත යුතුය. ඔහුගේ හෘදය තමාගේ සහෝදරයන් කෙරේ උඩඟුනොවී, ඔහු ආඥාවෙන් දකුණට හෝ වමට හැරී නොගොස්, මේ ව්‍යවස්ථාවේ සියලු වචනද මේ නියෝගද පවත්වා රක්ෂාකරන හැටියට,
20 තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවෙන්ට ඉගෙන ගන්න පිණිසද මෙසේ තමාගේ රාජ්‍යය කෙරෙහි තමාගේ සහ තමාගේ පුත්‍රයන්ගේත් දවස් ඉශ්‍රායෙල් මැද වැඩිකරගන්න පිණිසද තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඒ පිටපත කියවන්නේය.



පරිච්ඡේදය 18

1 ලෙවීවරුන්වූ පූජකයන්ටද ලෙවීගේ මුළු ගෝත්‍රයටද ඉශ්‍රායෙල් සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබේ. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගිනි-පූජාද උන්වහන්සේගේ උරුමයද කන්නෝය.
2 ඔවුන්ට තමුන්ගේ සහෝදරයන් අතරෙහි උරුමයක් නොලැබේ. ස්වාමීන්වහන්සේ ඔවුන්ට කීලෙස ඔවුන්ගේ උරුමය නම් උන්වහන්සේමය.
3 සෙනඟගෙන් එනම් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ යාගයක් පිණිස ඔප්පුකරන තැනැත්තන්ගෙන් පූජකයන්ට ලැබිය යුතු කොටස මේය: ඉස්සරහ ගාතයක්ද දෙකන්සද ආමාශයද පූජකයාට දිය යුතුය.
4 ඔබේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද තෙලින්ද ප්‍රථම ඒවාත් ඔබේ බැටළුවන්ගේ ප්‍රථම ලෝමත් ඔහුට දෙන්න.
5 මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සහ ඔහුගේ පුත්‍රයන්ද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෑම කල්හිම සේවයකිරීමට සිටින පිණිස ඔබේ සියලු ගෝත්‍රවලින් ඔහු තෝරාගත්සේක.
6 මුළු ඉශ්‍රායෙල්හි කොතන නුමුත් තිබෙන ඔබේ යම් නුවරක පොරොත්තුව සිටින ලෙවීයයෙක් එතනින් පිටත්වී ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට තමාගේ සිතේ මුළු ආශාව ඇතුව ආවොත්,
7 එහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින ලෙවීවරුන් වන තමාගේ සියලු සහෝදරයන් කරන්නාක් මෙන් ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සේවය කෙරේවා.
8 තමාගේ පිය උරුමය විකිණීමෙන් ලැබෙන දෙය හැර කන පිණිස එකාකාර කොටස් ඔවුන් සමඟ ඔහුට ලැබිය යුතුය.
9 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණි කල්හි ඒ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියාවල හැටියට කරන්ට ඉගෙන නොගන්න.
10 තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,
11 මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් ඔබ අතරෙහි නොසිටීවා.
12 මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. මේ පිළිකුල් නිසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නා දමනසේක.
13 ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්පූර්ණව සිටින්න.
14 මක්නිසාද ඔබ පන්නාදමන්ට යන්නාවූ මේ ජාතීහු නිමිතිබලන්නන්ටත් පේනකියන්නන්ටත් ඇහුම්කන්දෙති. නුමුත් ඔබට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේ කරන්ට ඉඩදීලා නැත.
15 මා සමාන අනාගතවක්තෘකෙනෙකු ඔබ සැම අතරෙන් ඔබේ සහෝදරයන්ගෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට නැගුටුවා දෙනවා ඇත; ඔබ සැම එතුමාට ඇහුම්කන් දෙන්නහුය.
16 ඒ හැටියට හොරේබ්හි රැස්වීමේ දවසේදී ඔබ කථාකොට: මා නොනස්නා පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ නැවත මට නොඇසේවා, මේ මහත් ගින්නත් තවත් මට නොපෙනේවයි කියා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබ ඉල්ලුවෙහිය.
17 ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔවුන් කී දේ මනා ලෙස කීවෝය.
18 මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඔබ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය.
19 මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි.
20 එහෙත් කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය.
21 ඉදින් ස්වාමීන්වහන්සේ නොකී වචනය අපි කෙසේ දනිමුදැයි ඔබේ සිතින් කියන්නෙහි නම්,-
22 අනාගතවක්තෘ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් කථාකරන දේ ඉෂ්ට නොවන්නේ නම්, නොපැමිණෙන්නේ නම්, ඒ වනාහි ස්වාමීන්වහන්සේ නොකී කාරණයය. ඒ අනාගතවක්තෘතෙම ඒක හිතුවක්කාරකමින් කීවේය, ඔහුට භයනොවන්නැයි මට කීසේක.



පරිච්ඡේදය 19

1 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි සිටින ජාතීන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් සිඳ දමන කල්හි, ඔබ ඔවුන්ගේ දේශය හිමිකරගෙන ඔවුන්ගේ නුවරවල සහ ගෙවල්වල වාසයකරන විට:
2 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන ඔබේ දේශය මධ්‍යයෙහි නුවරවල් තුනක් වෙන්කර ගන්න.
3 මිනීමරන සියල්ලන් එහි පලායන පිණිස මගහරිගස්සා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන ඔබේ දේශයේ සීමාව තුන් කොටසකට බෙදන්න.
4 එහි පලාගොස් ජීවත්වෙන්ට සුදුසු වූ මිනීමරන්නා නම් පළමු තමාගේ අසල්වාසියා කෙරේ වෛරයක් නොතිබී අත් වැරැද්දෙන් ඔහු මරන තැනැත්තාය.
5 යම් මනුෂ්‍යයෙක් ලී කපන්ට තමාගේ අසල්වාසියා සමඟ වනයට ගොස් ගස කපා හෙළන්ට පොරොව ගෙන තමාගේ අත එසෙවූ කල්හි පොරෝ තලය මිටෙන් ගැළවී ඔහුගේ අසල්වාසියා පිට වැටීමෙන් ඔහු මළොත්, එසේ මිනී මරන තැනැත්තේ ජීවත්වන පිණිස ඒ නුවරවලින් එකකට පලායේවා.
6 නැත්නම් සමහරවිට පළමු ඔහු තමාගේ අසල්වාසියාට වෛර නොකළ බැවින්, ඔහු මරනු ලබන්ට නුසුදුසු නුමුත්, ලෙයෙහි පළිය ගන්නාගේ සිත කෝපව තිබෙන කල්හි ඔහු පස්සේ එලවාගෙන ගොස්, ගමන දුර නිසා ඔහු කරා පැමිණ ඔහු මරනවා ඇත.
7 එබැවින් නුවරවල් තුනක් ඔබට වෙන්කර ගන්නැයි කියා ඔබට අණකරමි.
8 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ ප්‍රේමකරමින් උන්වහන්සේගේ මාර්ගවල නිතරම හැසිරෙන හැටියට මා අද ඔබට අණ කරන මේ මුළු ආඥාව ඔබ පවත්වන්ට බලාගන්න විට,
9 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ලෙස ඔබේ සීමාව විශාලකරමින් උන්වහන්සේ ඔබේ පියවරුන්ට දෙන පිණිස පොරොන්දුවූ මුළු දේශය ඔබට දෙනසේක් නම්,
10 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට උරුමයක් කොටදෙන ඒ දේශය මධ්‍යයෙහි නිදොස් ලේ වැගිරවීමෙන් ඔබ පිටට ලෙයේ දෝෂය නොපැමිණෙන පිණිස, මේ නුවරවල් තුන හැර තවත් තුනක් වෙන්කර ගන්න.
11 එහෙත් යමෙක් තමාගේ අසල්වාසියා කෙරෙහි වෛරයක් ඇතුව ඔහු ගැන රැකසිට ඔහුට විරුද්ධව නැගිට ඔහුට මැරෙන්ට පහරදී මේ නුවරවලින් එකකට පලායන්නේනම්,
12 ඔහුගේ නුවර වැඩිමහල්ලෝ එතැනින් ඔහු ගෙන්වාගෙන ඔහු මැරෙණ පිණිස ලෙයෙහි පළිය ගන්නාගේ අතට ඔහු පාවාදෙත්වා.
13 ඔබේ ඇස ඔහු කෙරෙහි දයානොකෙරේවා, ඔබට ශුභ සිද්ධවන පිණිස ඉශ්‍රායෙල් කෙරෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය පහකරන්න.
14 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන දේශයෙහි ඔබට උරුමවෙන්නාවූ ඔබේ උරුමයෙහි පුරාතනයන් විසින් නියමකළාවූ ඔබේ අසල්වාසියාගේ මායිම් ඉවත් නොකරන්න.
15 කොයි අපරාධයකට නුමුත්, මනුෂ්‍යයෙක් කරන පාපවල් අතරෙන් කොයි පාපයකට නුමුත්, එක සාක්ෂිකාරයෙක් කිසිවෙකුට විරුද්ධව නොනැගිටීවා. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ මුඛයෙන් කාරණයක් ස්ථිර වන්නේය.
16 අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙක් යමෙකු පිට වරද තබන පිණිස ඔහුට විරුද්ධව නැගුටුණොත්,
17 ඒ නඩුව ඇති මනුෂ්‍යයෝ දෙන්නාම ස්වාමීන්වහන්සේ ඉදිරියට එනම් ඒ දවස්වල සිටින පූජකයන්ද විනිශ්චයකාරයන්ද ඉදිරියට පැමිණෙත්වා;
18 විනිශ්චයකාරයෝද හොඳාකාරයෙන් විභාගකරත්වා. එවිට ඔහු බොරු සාක්ෂිකාරයෙක් බවත් තමාගේ සහෝදරයාට විරුද්ධව බොරු සාක්ෂි කී බවත් පෙනුණොත්,
19 ඔහු තමාගේ සහෝදරයාට කරන්ට සිතූ හැටියටම ඔහුට කරන්න. මෙසේ ඔබ සැම අතරෙන් නපුර පහකරන්න.
20 සෙස්සෝ ඒ අසා භයව එයාකාර නපුරු දෙයක් ඔබ සැම අතරෙහි තවත් නොකර සිටින්නාහුය.
21 ඔබේ ඇස දයා නොකෙරේවා; ප්‍රාණය හිලව්වට ප්‍රාණයක් ගනුලැබේ, ඇස හිලව්වට ඇසක්ය, දත හිලව්වට දතක්ය, අත හිලව්වට අතක්ය, පය හිලව්වට පයක්ය.



පරිච්ඡේදය 20

1 ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ සටනට ගොස් අශ්වයන් හා රථද ඔබට වඩා ගණනින් වැඩිවූ සෙනඟක්ද දක්නා කල ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ වනසේක.
2 තවද ඔබ සැම සටනට ළංවෙන කල්හි පූජකයා සෙනඟ ළඟට අවුත් කථාකරමින්:
3 ඉශ්‍රායෙල්වරුනි, අසන්න, ඔබ සැම අද ඔබ සැමගේ සතුරන්ට විරුද්ධව සටනට ළංවෙනවාය. ඔබ සැමගේ සිත් ක්ලාන්ත නොවේවා; ඔවුන් නිසා භය නොවන්න, වෙවුලමින් තැති නොගන්න.
4 මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ සතුරන්ට විරුද්ධව ඔබ සැම වෙනුවට සටන්කොට ඔබ සැම ගළවන පිණිස ඔබ සැම සමඟ යනසේකැයි ඔවුන්ට කියාවා.
5 මුලාදෑනියෝද සෙනඟට කථාකරමින්: අලුත් ගෙයක් ගොඩනැගුවේවී නුමුත් එහි ගෙවදීම නොකළ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරීයේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ගෙවදීම කරනවා ඇත.
6 මිදි වත්තක් වවා එහි ඵල භුක්ති නොවින්ද මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් එය භුක්ති විඳිනවා ඇත.
7 ස්ත්‍රියෙකුට විවාහ බස් දී ඈ පාවා නොගත් මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ඈ පාවා ගන්නවා ඇතැයි කියන්ට ඕනෑය.
8 මුලාදෑනීහු සෙනඟට තවත් කථාකර: භයවෙන්නාවූ ක්ලාන්ත සිතක් ඇත්තාවූ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙට හැරීයේවා, නැත්නම් ඔහුගේ සිත මෙන් ඔහුගේ සහෝදරයන්ගේ සිත්ද දියවෙනවා ඇතැයි කියන්ට ඕනෑය.
9 මුලාදෑනීන් සෙනඟට කථාකර තීන්දුවූ කල්හි ඔව්හු සෙනඟ කෙරෙහි සේනාපතියන් පත්කෙරෙත්වා.
10 ඔබ නුවරකට විරුද්ධව සටන්කරන්ට ළංවන කල්හි ඊට සමාදානය ප්‍රකාශකරන්න.
11 ඔබට සමාදාන උත්තරයක් දී දොරටුව ඇර දුන්නොත් එහි සිටින මුළු සෙනඟ ඔබට කප්පන් දෙමින් ඔබට සේවය කළ යුතුය.
12 ඒ නුවර වනාහි ඔබ සමඟ සමාදාන වෙන්ට අකැමතිව ඔබට විරුද්ධව යුද්ධකරන්නේ නම් ඔබ ඒක වටලන්න.
13 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක ඔබ අතට පාවාදුන් කල්හි එහි සිටින සියලු පිරිමින්ට කඩු මුවහතින් පහර දෙන්න.
14 නුමුත් ස්ත්‍රීන්ද බාලයන්ද සිව්පාවුන්ද නුවර තිබෙන සියල්ල එනම් එහි මුළු කොල්ලයද ඔබටම කොල්ලයක් පිණිස අරගන්න; ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන්නාවූ ඔබේ සතුරන්ගෙන් ගන්න කොල්ලය ඔබට කන්නට පුළුවන.
15 මෙහි සිටින මේ ජාතීන්ගේ නුවරවල් නොවන්නාවූ ඔබෙන් ඉතා ඈත්ව තිබෙන සියලු නුවරවලට එසේ කරන්න.
16 එහෙත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට ඔබට දෙන්නාවූ මේ සෙනඟගේ නුවරවල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න.
17 තමුන්ගේ දෙවිවරුන් සඳහා ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා ලෙස කරන්ට ඔවුන් ඔබ සැමට නූගන්වන පිණිසද, එසේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව ඔබ සැම පව් නොකරන පිණිසද,
18 හිත්තීවරුද අමෝරිවරුද කානානිවරුද පෙරිස්සිවරුද හිවීවරුද යෙබූසිවරුද වන ඔවුන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ ලෙස ඔබ විසින් සහමුලින්ම විනාශකර දැමිය යුතුය.
19 ඔබ යම් නුවරක් අල්ලාගන්ට ඊට විරුද්ධව යුද්ධකරමින් බොහෝ දවස් ඒක වටලාගෙන ඉන්න අතර එහි තිබෙන ගස් පොරොවෙන් කපා නාස්ති නොකරන්න; මක්නිසාද ඔබට ඒවායෙන් කන්ට පුළුවන, ඒවා කපා නොදමන්න; කුමක්හෙයින්ද ඔබ විසින් වටලනු ලබන පිණිස කෙතේ වෘක්ෂය මනුෂ්‍යයෙක්ද?
20 කෑමට නුසුදුසු බව ඔබ දන්නා ගස් පමණක් කපා නාස්තිකර, ඔබට විරුද්ධව යුද්ධ කරන නුවර පරාජය වනතුරු ඊට විරුද්ධව පවුරු ගොඩනගන්න.



පරිච්ඡේදය 21

1 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට හිමිකරගැනීමට දෙන දේශයෙහි යමෙකු කෙතේ මරාදමා තිබෙනවා සම්බවුණොත්, ඔහු කා විසින් මැරුවාද කියා නොදන්නවා නම්,
2 ඔබේ වැඩිමහල්ලෝද විනිශ්චයකාරයෝද පිටතට අවුත් ඒ මළකඳ වටේට තිබෙන නුවරවල් දක්වා මැන බලත්වා.
3 එවිට මළකඳට කිට්ටුව තිබෙන නුවර වැඩිමහල්ලෝ වැඩ නොකළාවූ වියගහ නොදැරුවාවූ එළනෑම්බියක් රැළෙන් ගෙන,
4 හාන්ටවත් වපුරන්ටවත් නොයෙදෙන්නාවූ වතුර නිතරම ගලායන්නාවූ මිටියාවතකට ගෙනැවිත්, නෑම්බියගේ බොටුව මිටියාවතේදී කඩත්වා.
5 ලෙවීගේ පුත්‍රයෝවූ පූජකයෝද එහි පැමිණෙත්වා; මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් තමන්ට සේවයකරන පිණිසද ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසද ඔවුන් තෝරාගත් සේක; ඔවුන්ගේ කීමේ හැටියට සියලු විවාදද සියලු දඬුවම්ද වේවා.
6 මළකඳට කිට්ටුව තිබෙන නුවර සියලු වැඩිමහල්ලෝ මිටියාවතේදී බොටුව කඩනු ලැබූ නෑම්බී මත්තේ තමුන්ගේ අත් සෝදා උත්තරදෙමින්:
7 අපේ අත් මේ ලේ වැගිරෙවුවේවත් අපේ ඇස් මෙය දුටුවේවත් නැත.
8 ස්වාමීන්වහන්ස, ඔබ මුදාගත් ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි නිදොස් ලේවල වරද නොතබා ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට කමා වුණමැනවයි කියත්වා. එවිට ඒ ලේ ගැන ඔවුන්ට කමාව ලැබේ.
9 මෙසේ ඔබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කිරීමෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය ඔබ සැම අතරෙන් පහකළ යුතුය. ගෘහ වාස නීති
10 ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ සටනට ගොස් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දෙන විට ඔබ ඔවුන් වහල්කමට අල්වාගෙන,
11 ඔවුන් අතරේ රුව ඇති ස්ත්‍රියෙකු දැක ඈට ඇලුම්වී ඈ භාර්යාව කොට ගත්තොත්, ඈ ඔබේ ගෙදරට ගෙනයන්න;
12 ඈ තමාගේ හිස මුඩුකොට, ඇගේ නියපොතු කපා,
13 ඇගේ වහල්කමේ වස්ත්‍රය තමා කෙරෙන් පහකොට, ඔබේ ගෙයි හිඳ පුරා මාසයක් ඇගේ මවුපියන් ගැන වැලපේවා. ඉන් පසු ඔබ ඈ කරා එළඹ ඇගේ පුරුෂයා වන්නෙහිය, ඈද ඔබේ භාර්යාව වන්නීය.
14 ඉදින් ඔබ ඈ කෙරෙහි ප්‍රසන්න නැත්නම් ඈ මිලේට නොවිකුණා ඈ කැමති තැනකට යන්ට අරින්න. ඔබ ඈට අගෞරව කළ බැවින් ඈ කෙරෙහි වහලියකු කෙරෙහි මෙන් නොහැසිරිය යුතුය.
15 මනුෂ්‍යයෙකුට ප්‍රියවූ තැනැත්තියක්ද අප්‍රියවූ තැනැත්තියක්ද වන භාර්යාවන් දෙදෙනෙක් ඇත්නම්, ප්‍රියවූ තැනැත්තීත් අප්‍රියවූ තැනැත්තීත් දෙන්නාම ඔහු නිසා දරුවන් බිහිකළෝනම්, අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයා කුලුඳුලා වන්නේ නම්,
16 ඔහු තමා සන්තක දේපල තමාගේ පුත්‍රයන්ට උරුම කර දෙන කල්හි කුලුඳුලාව සිටින අප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට ප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතුය.
17 අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයාට තමා සන්තක සියල්ලෙන් දෙකොටසක් දීමෙන් ඔහු කුලුඳුලා කොට පිළිගත යුතුය. මක්නිසාද ඔහුගේ ශක්තියේ පටන්ගැන්ම ඔහුය; කුලුඳුලාගේ වාසි කොටස ඔහුට අයිතිය.
18 තමාගේ පියාගේ හඬටත් මවගේ හඬටත් කීකරු නොවෙන්නාවූ, ඔවුන් ඔහුට දඬුවම්කරන නුමුත් ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නාවූ, මුරණ්ඩුවූ, කැරළිකාර පුත්‍රයෙක් යමෙකුට ඇත්නම්,
19 ඔහුගේ මවුපියෝ ඔහු අල්ලා ඔහුගේ නුවර වැඩිමහල්ලන් වෙතටත් ඔහුගේ ස්ථානයේ දොරටුවටත් ගෙන ගොස්:
20 මේ අපේ පුත්‍රයා මුරණ්ඩුය, කැරළිකාරය, ඔහු අපට කීකරු නොවී නාස්තිකාරයෙක් ව බේබද්දෙක්ව සිටීයයි ඔහුගේ නුවර වැඩිමහල්ලන්ට කියත්වා.
21 එවිට ඔහුගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසත්වා. මෙසේ ඔබ සැම අතරෙන් දුෂ්ටකම පහකරන්න; මුළු ඉශ්‍රායෙල්ද අසා භය වෙනවා ඇත.
22 මරණය ලැබීමට සුදුසු පාපයක් කර මරනු ලැබුවාවූ යමෙක් ඔබ විසින් ගසක එල්ලනු ලැබුවේනම්,
23 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට ඔබට දෙන දේශය ඔබ විසින් අපවිත්‍රකරනු නොලබන පිණිස ඔහුගේ මළකඳ රාත්‍රියෙහි ගසේ තිබෙන්ට නෑර, එය එම මුළු දවසේදීම තැන්පත්කරන්න; මක්නිසාද එල්ලනු ලබන තැනැත්තේ දෙවියන්වහන්සේගෙන් ශාප ලද්දෙක්ය.



පරිච්ඡේදය 22

1 ඔබේ සහෝදරයාගේ ගොනා හෝ ඔහුගේ බැටළුවා හෝ මුළාව යනවා ඔබ දුටු විට උන්ගෙන් මගනෑර උන් නැවත ඔබේ සහෝදරයා ළඟට ඔබ විසින් ගෙනයා යුතුමය.
2 ඔබේ සහෝදරයා ඔබට ළංව නැත්නම්, නොහොත් ඔබ ඔහු නාඳුනනවානම්, ඌ ඔබේ ගෙදරට ගෙනයන්න. ඔබේ සහෝදරයා ඌ සොයා එන තුරු ඌ ඔබ ළඟ සිටීවා, ඌ නැවත ඔහුට භාර දෙන්න.
3 ඔහුගේ කොටළුවා ගැනත් එසේම කරන්න; ඔහුගේ වස්ත්‍රය ගැනත් එසේම කරන්න; ඔබේ සහෝදරයාගෙන් නැතිවුණාවූ ඔබට සම්බවුණාවූ කොයි දෙයක් ගැනත් එසේම කරන්න. ඔබ එයින් මගනෑරිය යුතුය.
4 ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා මග වැටී ඉන්නවා දුටු විට ඌ කෙරෙන් මග නෑර, නැවත උන් නැගුටුවන පිණිස ඔහුට ඔබ විසින් උදව්විය යුතුමය.
5 ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නුමුත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
6 පැටවුන් හෝ බිත්තර ඇති පක්ෂි කූඩුවක් ගසකවත් බිමවත් තිබී ඔබට මගදී සම්බවුණොත්, මව පැටවුන් පිට නොහොත් බිත්තර පිට සිටින්නීනම්, පැටවුන් සමඟ මව අල්වා නොගන්න.
7 ඔබට ශුභ සිද්ධවන පිණිසද ඔබේ දවස් වැඩිවන පිණිසද කෙසේ නුමුත් මවට යන්ට හැර පැටවුන් පමණක් ගන්න.
8 ඔබ අලුත් ගෙයක් ගොඩනගන විට යමෙක් පියස්සෙන් වැටීමෙන් ලේවල දෝෂය ඔබේ ගේ පිටට ඔබ විසින් පමුණුවානොගන්න පිණිස පියස්ස වටේ පවුරක් සාදන්න.
9 ඔබේ මිදි වත්තේ දෙවර්ගයක බීජ නොවපුරන්න. වැපුරුවොත් එහි පලදාව වන ඔබ වපුරන බීජ සහ මිදි වත්තේ අස්වැන්නද ශුද්ධස්ථානයට අයිතිවන්නේය.
10 ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳ නොහාන්න.
11 ලෝම සහ පුළුන් ආදී දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍රවූ වස්ත්‍රයක් ඇඳනොගන්න.
12 ඔබේ පොරවන සළුවේ සතර කොනේ දාවලු සාදාගන්න.
13 මනුෂ්‍යයෙක් භාර්යාවක් පාවාගෙන ඈ කරා එළඹ ඈට වෛරවී කථාකොට:
14 මම මේ ස්ත්‍රිය පාවාගතිමි; ඈ කරා එළඹුණු කල්හි කන්‍යාභාවයෙහි ලකුණු ඈ කෙරෙහි සම්බනොවීයයි නින්දිත වැරදි ඈ කෙරෙහි තබා ඈට විරුද්ධව නරක නාමයක් පතළකළොත්,
15 ඒ යෞවනීගේ පියා සහ මව යෞවනීගේ කන්‍යාකමේ ලකුණ දොරටුවෙහි සිටින නුවර වැඩිමහල්ලන් වෙත ගෙන යෙත්වා.
16 එවිට යෞවනීගේ පියා කථාකොට: මම මාගේ දුව මේ මනුෂ්‍යයාට භාර්යාවකොට පාවාදුනිමි, නුමුත් ඔහු ඈට වෛරවී-
17 ඔබේ දුවගේ කන්‍යාකමේ ලකුණු නුදුටිමියි කියමින් නින්දිත වැරදි තබයි; එහෙත් මාගේ දුවගේ කන්‍යාකමේ ලකුණු මේයයි වැඩිමහල්ලන්ට කියාවා. එවිට ඔව්හු නුවර වැඩිමහල්ලන් ඉදිරියෙහි වස්ත්‍රය දිගඅරිත්වා.
18 ඒ නුවර වැඩිමහල්ලෝද ඒ මනුෂ්‍යයා අල්ලා ඔහුට දඬුවම්කර,
19 ඔහු ඉශ්‍රායෙල් කන්‍යාවකට විරුද්ධව නරක නාමයක් පතළකළ බැවින් රිදී ෂෙකෙල් සියයක් ඔහුට දඩගසා ඒවා යෞවනියගේ පියාට දෙත්වා, ඈ ඔහුගේ භාර්යාව වන්නීය; ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටිය යුතුය.
20 එහෙත් ඒ කාරණය වන යෞවනියගේ කන්‍යාකමේ ලකුණු සම්බනූණ බව සැබෑනම්,
21 ඔව්හු ඈ ඇගේ පියාගේ දොරකඩ ළඟ පිටතට ගෙනවුත්, ඈ තම පියාගේ ගෙදරදී වේශ්‍යාකම් කොට ඉශ්‍රායෙල් අතරේ නින්දිතකම් කළ බැවින්, ඈ මැරෙන පිණිස නුවර මනුෂ්‍යයෝ ඈට ගල්ගසත්වා. මෙසේ ඔබ සැම අතරෙන් දුෂ්ටකම පහකරන්න.
22 පුරුෂයෙකුට සරණපාවාදී සිටින ස්ත්‍රියෙක් සමඟ මනුෂ්‍යයෙක් සයනය කරනවා සම්බවුණොත් ස්ත්‍රිය සමඟ සයනයකළ මනුෂ්‍යයාත් ස්ත්‍රීත් දෙදෙනාම මරනු ලබන්නෝය. මෙසේ ඔබ ඉශ්‍රායෙල් කෙරෙන් දුෂ්ටකම පහකරන්න.
23 පුරුෂයෙකුට විවාහබස්දී සිටින කන්‍යා යෞවනියක් යම් මනුෂ්‍යයෙකුට නුවරදී සම්බවී ඔහු ඈ සමඟ සයනයකළොත්,
24 ඒ යෞවනී නුවර සිටලාත් මොර නොගැසූ බැවින්ද ඒ මනුෂ්‍යයා තමාගේ අසල්වාසියාගේ භාර්යාවට අවමාන්න කළ බැවින්ද ඔවුන් දෙන්නාම ඒ නුවර දොරටුව ළඟට ගෙනගොස් ඔවුන් මැරෙන පිණිස ඔවුන්ට ගල්ගසන්න. මෙසේ ඔබ සැම අතරෙන් දුෂ්ටකම පහකරන්න.
25 එහෙත් විවාහබස්දී සිටින යෞවනිය ඒ මනුෂ්‍යයාට කෙතේදී සම්බවී ඔහු ඈට බලාත්කාරකොට ඈ සමඟ සයනයකරන්නේ නම්, ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා පමණක් මරනු ලබන්නේය.
26 නුමුත් යෞවනියට කිසිවක් නොකරන්න; මරනු ලැබීමට සුදුසු පාපයක් යෞවනී කළේ නැත. මේ කාරණය වනාහි මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව නැගිට ඔහු මරා දැමීම හා සමානය.
27 මක්නිසාද ඈ කෙතේදී ඔහුට සම්බවිය: විවාහ බස් දී සිටි ඒ යෞවනිය මොරගැසූ නුමුත් ඈ ගළවන්ට කිසිවෙක් නොසිටියේය.
28 විවාහ බස් නොදී සිටින කන්‍යා යෞවනියක් මනුෂ්‍යයෙකුට සම්බවී ඔහු ඈ අල්ලා ඈ සමඟ සයනයකරනවා සම්බවුණොත්,
29 ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය.
30 මනුෂ්‍යයෙක් තම පියාගේ භාර්යාව පාවා නොගත යුතුය, තම පියාගේ යහන් වස්ත්‍රයද ඉවත් නොකළ යුතුය.



පරිච්ඡේදය 23

1 කෝෂය පොඩි කරනලද නොහොත් රහසඟ කපනලද කෙනෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය;
2 අවජාතකයෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්නොවිය යුතුය: ඔහුගෙන් පැවත එන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාම ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
3 අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
4 මක්නිසාද ඔබ සැම මිසරයෙන් ආ කල්හි ඔවුන් මාර්ගයේදී කෑමත් වතුරත් රැගෙන ඔබ සැමගේ පෙරමගට නා නිසාත් ඔබට ශාපකරන පිණිස මෙසොපොතාමියේ පෙතෝර්හි සිට බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් ඔබ සැමට විරුද්ධව කුලියට ගත් නිසාත්ය.
5 එසේ වූවත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ප්‍රේමකළ බැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාලාම්ට ඇහුම්කන් නොදී ඒ ශාපය ආශීර්වාදයකට හැරෙවුසේක.
6 ඔබේ සියලු දවස්වල සදාකාලයටම ඔවුන්ගේ සමාදානයවත් ඔවුන්ගේ ශුභසිද්ධියවත් නොසොයන්න.
7 ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු ඔබේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔබ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය.
8 තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන.
9 ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ කඳවුරට යන කල සියලු නපුරු දේවලින් වැලකී සිටින්න.
10 රාත්‍රියේ ධාතුපහවීමක් නිසා අපිරිසිදුවන මනුෂ්‍යයෙක් ඔබ සැම අතරෙහි වේනම්, ඔහු කඳවුරෙන් පිටතට ගොස් කඳවුරට ඇතුල් නොවී සිට,
11 සවස්වන කල වතුර නාගන ඉර බැස්ස විට කඳවුරට ඇතුල්වේවා.
12 එළියට යන පිණිස ඔබට කඳවුරෙන් පිට ස්ථානයක් තිබේවා.
13 ඔබේ ආයුධ අතරේ හාරන හැන්දක් ඔබ ළඟ තිබිය යුතුය; ඔබ එළියට ගියාම ඒකෙන් හාරා ඔබ පහරන දේ පස්සට හැරී වසන්න.
14 මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ගළවා ඔබේ සතුරන් ඔබට පාවාදෙන පිණිස ඔබේ කඳවුර මධ්‍යයෙහි හැසිරෙනසේක; එබැවින් උන්වහන්සේ ඔබ කෙරෙහි යම් අපිරිසිදුකමක් දැක ඔබෙන් අහක්ව නොයන පිණිස ඔබේ කඳවුර පවිත්‍රව තිබිය යුතුය.
15 තමාගේ ස්වාමියා කෙරෙන් ගැළවී ඔබ ළඟට එන වාලෙක් තමාගේ ස්වාමියාට භාරනොදෙන්න.
16 ඔහු තමාට හොඳව පෙනෙනලෙස ඔබේ නුවරවලින් එකක් තුළ තමා තෝරාගන්න ස්ථානයෙහි ඔබ සැම අතරෙහි වාසයකරාවා. ඔහුට පීඩා නොකරන්න.
17 ඉශ්‍රායෙල් දූවරුන්ගෙන්වත් ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන්වත් කිසිවෙක් වේශ්‍යාකමට කැප නොවේවා.
18 වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේකුලීවත් කිසියම් බාරයක් පිණිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
19 පොලීගන්න පිණිස ඔබේ සහෝදරයාට මුදල්වත් ආහාරවත් මිනිසුන් විසින් පොලියට දෙන කිසි දෙයක්වත් ණයට නොදෙන්න.
20 විදේශියෙකුට පොලියට දෙන්ට ඔබට පුළුවන; නුමුත් ඔබ හිමි කරගන්ට යන දේශයෙහි ඔබ අත තබන සියල්ලේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරන පිණිස ඔබේ සහෝදරයාට පොලියට නොදෙන්න.
21 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ බාරයක් වුණ කල්හි ඒක ගෙවන්ට ප්‍රමාදනොවෙන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක ඔබෙන් අයකරනවාම ඇත; ඒක ඔබට පාපයක් වේ.
22 එහෙත් ඔබ බාරයක් නොවී සිටියොත් එයින් ඔබට පාපයක් නැත.
23 ඔබේ තොල්වලින් පිටත්වුණු දෙය පවත්වමින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ විසින් ගිවිසුම් කළාවූ ඔබේ කටින් පොරොන්දුවුණාවූ ස්වෙච්ඡා පූජාව ඉෂ්ටකරන්න.
24 ඔබේ අසල්වාසියාගේ මිදිවත්තට ආ කල්හි ඔබ කැමති පරිද්දෙන් තෘප්තියට පැමිණෙන තුරු මුද්‍රික ඵල ඔබට කන්ට පුළුවන; නුමුත් ඔබේ භාජනයෙහි කිසිවක් දමානොගන්න.
25 ඔබේ අසල්වාසියාගේ ගොයමට ආ කල්හි ඔබේ අතින් කරල් කඩාගන්ට පුළුවන; නුමුත් ඔබේ අසල්වාසියාගේ ගොයමට දෑකැත්තක් නොපොවන්න.



පරිච්ඡේදය 24

1 මනුෂ්‍යයෙක් ස්ත්‍රියෙක් ගෙන ඈ සරණපාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් ඇති බව ඔහුට දැනගන්ට ලැබීම නිසා ඔහු ඈට අප්‍රසන්නවී නම්, ඔහු ඈට අත් ඇරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටත්කර හරීවා.
2 ඈ ඔහුගේ ගෙයින් අහක්වුණාම ඈට ගොස් වෙන කෙනෙකුගේ භාර්යාව වෙන්ට පුළුවන.
3 දෙවෙනි පුරුෂයාත් ඈට ද්වේෂකර ඈට අත්හැරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටකරන්නේ නම්, නොහොත් ඈ භාර්යාකොට ගත් දෙවෙනි පුරුෂයා නසින්නේ නම්,
4 ඈ එසේ කිලුටුවූ පසු ඈ අත්ඇරියාවූ ඇගේ ප්‍රථම පුරුෂයාට නැවත ඈ භාර්යාව කොට ගන්ට නුපුළුවන; මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස ඔබට දෙන දේශයට වරද නොපමුණුවන්න.
5 භාර්යාවකු අලුත පාවාගත් මනුෂ්‍යයෙක් යුද්ධ සේනාව සමඟ පිටත්ව නොයේවා; කිසි වැඩක්ද ඔහුට භාරදෙනු නොලැබේවා. ඔහු අවුරුද්දක් ගෙදර නිදහස්ව සිට තමා පාවාගත් භාර්යාව සන්තෝෂ කෙරේවා.
6 කිසිවෙක් ඇඹරුම් යන්ත්‍රයවත් උඩ ගලවත් උකසට නොගනීවා. මක්නිසාද එය ප්‍රාණය උකසට ගැනීම වේ.
7 යමෙකු විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් වූ තමාගේ සහෝදරයන්ගෙන් කිසිවෙකු සොරකම්කොට ඔහු වාලට ගත් බව හෝ වික්ක බව හෝ දැනගන්ට ලැබුණොත්, ඒ සොරා මරනු ලබන්නේය. මෙසේ ඔබ සැම අතරෙන් දුෂ්ටකම පහකරන්න.
8 කුෂ්ඨරෝගය ගැන ලෙවීවරුන් වන පූජකයන් ඔබ සැමට උගන්වන සියල්ලේ ප්‍රකාරයට හොඳාකාර ඉෂ්ටකරන ලෙස බලාගන්න. මා විසින් ඔවුන්ට අණකළ ලෙස කරන්නට බලාගන්න.
9 ඔබ සැම මිසරයෙන් ආ කල ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මගදී මිරියාම්ට කළ දේ සිහිකරන්න.
10 ඔබේ අසල්වාසියාට ඔබ කිසිවක් ණයට දෙන කල ඔහුගේ උකස ගැනීමට ඔහුගේ ගෙට ඇතුල්නොවී, පිටත සිටින්න,
11 ඔබෙන් ණයට ගන්න තැනැත්තා උකස ඔබ ළඟට පිටතට ගෙනේවා.
12 ඔහු දිළිඳෙක් නම් ඔහුගේ උකස ඔබ ළඟ තිබෙද්දී නිදානොගන්න.
13 ඔහු තමාගේ වස්ත්‍රය පෙරවාගන නිදාගන්න පිණිසද ඔබට ආශීර්වාදකරන පිණිසද ඉරබස්නා කල්හි ඔහුගේ උකස ඔබ විසින් ඔහුට දිය යුතුමය. ඒක ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබට ධර්මිෂ්ඨකම වන්නේය.
14 ඔබේ සහෝදරයන්ගෙන් හෝ ඔබේ දේශයෙහි ඔබේ නුවර දොරටු තුළෙහි සිටින විදේශීන්ගෙන් හෝ යම් දිළිඳුවූ අසරණවූ කුලීකාරයෙකුට පීඩානොකරන්න.
15 ඔහු ඔබට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොර නොගසන පිණිසද එය ඔබට පාපය නොවන පිණිසද ඉර බසින්ට පළමුවෙන් ඔහුගේ දවසේ කුලී ඔහුට දෙන්න; මක්නිසාද ඔහු දිළිඳුය, ඔහුගේ ආශාවද ඒ කෙරෙහි තබා තිබේ.
16 දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා.
17 විදේශියාගේද පියා නැත්තාගේද විනිශ්චය නොපෙරළන්න; වැන්දඹුවගේ වස්ත්‍රය උකසට නොගන්න.
18 ඔබ මිසරයෙහි වහලෙක්ව සිටි බවද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් ඔබ මුදාගත් බවද සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට ඔබට අණකරමි.
19 ඔබේ කෙතෙහි ගොයම් කපන කල්හි කෙතේ ගොයම් මිටියක් මතකනැතිවුණොත් ඒක ගෙනෙන්ට ආපසු නොයන්න. ඔබේ අතේ ඇති සියලු වැඩපලවලදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරන පිණිස ඒක විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.
20 ඔබේ ඔලීව ගහට ගසා ඵල නෙළා ගැනීමේදී අතුවල ඉතුරු වෙන ගෙඩි නැවත සොයා නොයන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.
21 ඔබේ මුද්‍රික වලු කපාගැනීමේදී ඉතිරි ඒවා නැවත නෙළානොගන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.
22 ඔබ මිසර දේශයෙහි වහලෙක් ව සිටි බව සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට ඔබට අණකරමි.



පරිච්ඡේදය 25

1 මනුෂ්‍යයන් අතරේ අරෝවක් හටගැනී ඔවුන් විනිශ්චය පිණිස ආවොත්, විනිශ්චයකාරයෝ ඔවුන් විනිශ්චයකරමින් ධර්මිෂ්ඨයා නිදොස්කර දුෂ්ටයා වරදට පත්කරත්වා;
2 ඉදින් දුෂ්ටයා තළනු ලැබීමට සුදුස්සෙක් නම්, විනිශ්චයකාරයා ඔහු බිම බාවා ඔහුගේ දුෂ්ටකමේ හැටියට තමා ඉදිරියේදී ගණන්කර ඔහුට පහර තළවන්නේය.
3 ඔහුට පහර සතළිසක් තළන්ට පුළුවන, ඊට වඩා නොතැළිය යුතුය. මක්නිසාද ඊට වඩා බොහෝ පහර ඔහුට තැළුවොත් ඔබේ සහෝදරයා ඔබට නීචව පෙනෙනවා ඇත.
4 ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න.
5 සහෝදරයන් එකට වාසයකරන අතර ඔවුන්ගෙන් එක්කෙනෙක් පුත්‍රයෙකු නැතුව මළොත් මළ අයගේ භාර්යාව අන්‍යවූ පිට කෙනෙකුට සරණ නොවිය යුතුය. ඇගේ පුරුෂයාගේ සහෝදරයා ඈ වෙතට පැමිණ ඈ තමාට භාර්යාවකොට පාවාගෙන පුරුෂයාගේ සහෝදරයෙකුගේ යුතුකම ඈට කෙරේවා.
6 තවද මළාවූ සහෝදරයාගේ නාමය ඉශ්‍රායෙල් කෙරෙන් නොමැකෙන පිණිස ඈ වදන කුලුඳුලා මළ සහෝදරයාගේ නාමය දරන්නේය.
7 ඒ මනුෂ්‍යයා තමාගේ සහෝදරයාගේ භාර්යාව පාවාගන්ට අකැමැති නම් ඔහුගේ සහෝදරයාගේ භාර්යාව දොරටුවෙහි සිටින වැඩිමහල්ලන් වෙතට ගොස්: මාගේ පුරුෂයාගේ සහෝදරයා තමාගේ සහෝදරයාට ඉශ්‍රායෙල්හි නාමයක් උපදවන්ට කැමති නැත, ඔහු පුරුෂයෙකුගේ සහෝදරයාගේ යුතුකම මට කරන්ට නොකැමැත්තේයයි කියාවා.
8 එවිට ඔහුගේ නුවර වැඩිමහල්ලෝ ඔහු අඬගස්වා ඔහු සමඟ කථාකරත්වා. ඔහු ස්ථිරව සිට ඈ පාවාගන්ට නොකැමැත්තෙමියි කියන්නේ නම්,
9 ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වැඩිමහල්ලන් ඉදිරියෙහි ඔහු ළඟට ගොස්, ඔහුගේ මිරිවැඩියක් ඔහුගේ පයින් ගළවා, ඔහුගේ මුහුණට කෙළගසා: තමාගේ සහෝදරයාගේ පවුල ගොඩ නොනගන මනුෂ්‍යයාට මෙසේ කළ යුතුයයි උත්තරදෙමින් කියාවා.
10 මිරිවැඩිය මුදනු ලැබූ තැනැත්තාගේ ගෙය යන නම ඉශ්‍රායෙල්වරුන් අතරේ ඔහුට කියනු ලබන්නේය.
11 මනුෂ්‍යයන් එකිනෙකා සමඟ දබරකරන කල එක්කෙනෙකුගේ භාර්යාව ඇගේ පුරුෂයාට ගහන තැනැත්තාගේ අතින් ඔහු ගළවාගන්ට ළංව ඇගේ අත දිගුකර අනික් අයගේ රහසඟ ඇල්ලුවොත්,
12 ඇගේ අත කපාදමන්න, ඔබේ ඇස ඈ කෙරෙහි දයා නොකෙරේවා.
13 ඔබේ මල්ලේ වෙනස් කිරුම් පඩි එනම් ලොකු එකක් සහ කුඩා එකක් තබානොගන්න.
14 ඔබේ ගෙයි වෙනස් මිමි එනම් ලොකු එකක් සහ කුඩා එකක් තබානොගන්න.
15 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ දවස් වැඩිවන පිණිස සම්පූර්ණවූ හරිවූ කිරුම් පඩියක් සහ සම්පූර්ණවූ හරිවූ මිම්මක් ඔබ ළඟ තබා ගන්න.
16 මක්නිසාද එබඳු දේ කරන සියල්ලෝ එනම් අධර්මිෂ්ඨ ලෙස ක්‍රියාකරන සියල්ලෝ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
17 ඔබ සැම මිසරයෙන් ආ කල්හි අමලෙක් විසින් මගදී කළ දේ,
18 එනම් ඔහු දෙවියන්වහන්සේට භයනොවී, ඔබ ක්ලාන්තව වෙහෙසව සිටි කල මගදී ඔබට සම්මුඛව, ඔබ සැමට පස්සෙන් ආවාවූ සියලු දුර්වලයන්ට පහරදුන් හැටි සිහිකරන්න.
19 එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හිමිකරගැනීමට උරුමයක් කොට ඔබට දෙන දේශයේදී වටකර සිටින ඔබේ සියලු සතුරන්ගෙන් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට විශ්‍රාමය දුන් විට, අමලෙක් ගැන සිහිවීම අහස යටින් මකාදමන්න; එය මතකනැති නොකරන්න.



පරිච්ඡේදය 26

1 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස ඔබට දෙන දේශයට ඔබ පැමිණ ඒක හිමිකරගෙන එහි වසන කල්හි,
2 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන ඔබේ දේශයෙන් රැස්කරගන්නාවූ භූමියේ සියලු ඵලවලින් ප්‍රථම ඒවායෙන් ස්වල්පයක් රැගෙන පෙට්ටියක දමාගෙන, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයට යන්න.
3 ඔබ ඒ දවස්වල සිටින පූජකයා ළඟට පැමිණ: ස්වාමීන්වහන්සේ අපට දෙන ලෙස අපේ පියවරුන්ට දිවුළ දේශයට මා ඇවිත් සිටිනවාය කියා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අද ප්‍රකාශකර සිටිමියි ඔහුට කියන්න.
4 පූජකයා ඔබේ අතින් පෙට්ටිය ගෙන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට ඒක තබාවා.
5 එවිට ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකර: මාගේ පියාණෝ නැතිවෙන්ට ගිය අරාමියයෙක්ය, ඔහු ස්වල්පදෙනෙකුන් සමඟ මිසරයට ගොස් එහි වාසය කොට මහත්වූ බලවත්වූ ගණනින් බොහෝවූ ජාතියක් විය.
6 මිසරවරුද අපට නපුරුකම් කරමින් අපට පීඩාකොට අප තද වහල්කමට පත්කළෝය.
7 අපි අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මොරගැසීමුව, ස්වාමීන්වහන්සේ අපේ හඬ අසා, අපේ පීඩාවත් වෙහෙසත් හිරිහැරයත් බලා,
8 බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද මහත් භයංකරකමින්ද ලකුණුවලින්ද හාස්කම්වලින්ද අප මිසරයෙන් පිටතට පමුණුවා,
9 මේ ස්ථානයට අප ගෙනවුත්, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන මේ දේශය අපට දුන්සේක.
10 දැන් ස්වාමීන්වහන්ස, මෙන්න, ඔබ මට දී තිබෙන භූමියේ ඵලවලින් ප්‍රථම ඒවා ගෙනායෙමියි කියා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබා, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට,
11 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබටද ඔබේ පවුලටද දුන් සියලු යහපත් දේ ගැන ඔබද ලෙවීයයාද ඔබ සැම අතරෙහි වසන විදේශියාද ප්‍රීතිවන්න.
12 දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තුන්වෙනි අවුරුද්දේදී ඔබේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම ඔබ වෙන්කර තීන්දුකළ කල්හි, ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද ඔබේ නුවර දොරටු තුළදී කා තෘප්තියට පැමිණෙන පිණිස ඒවා ඔවුන්ට දී,
13 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කථාකොට: ඔබ විසින් මට අණ කළ ඔබගේ මුළු ආඥාව ලෙස පිරිනැමූ දේවල් මම මාගේ ගෙයින් වෙන්කොට ඒවා ලෙවීයයාටද විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද දුනිමි. ඔබගේ ආඥාවලින් කිසිවක් කඩනොකෙළෙමි, ඒවා සිහිනැතිනොකෙළෙමි.
14 මාගේ දුකේදී එයින් කෑවේවත්, අපවිත්‍රකමේදී එයින් අහක්කළේවත්, මළ කෙනෙකු උදෙසා එයින් දුන්නේවත් නැත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්දී, ඔබ මට අණකළ සියල්ල ලෙස කෙළෙමි.
15 ඔබගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටද ඔබ අපේ පියවරුන්ට දිවුළ ලෙස අපට දුන්නාවූ කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන භූමියටද ආශීර්වාදකළ මැනවයි කියන්න.
16 මේ පනත් හා විනිශ්චයවල් පවත්වන්ට අද දවසේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකරනසේක. එබැවින් ඒවා ඔබේ මුළු සිතින්ද ඔබේ මුළු ආත්මයෙන්ද පවත්වන්ට බලාගන්න.
17 ඔබ ස්වාමීන්වහන්සේ ඔබේ දෙවියන්වහන්සේ කොට පිළිගෙන උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයන්ද පවත්වා උන්වහන්සේගේ හඬට කන්දෙන හැටියට අද පොරොන්දුවුණෙහිය.
18 ස්වාමීන්වහන්සේද තමන්ගේ සියලු ආඥා ඔබ විසින් පවත්වන පිණිස තමන් සන්තක සෙනඟක් කොට ඔබට කී ලෙස ඔබ පිළිගන්ටත්,
19 තමන් මැවූ සියලු ජාතීන්ට වඩා කීර්තියෙන්ද නාමයෙන්ද ගෞරවයෙන්ද ඔබ උසස්කරන්ටත්, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී ලෙස ඔබ තමන්වහන්සේට ශුද්ධවූ සෙනඟක් කරගන්ටත් අද ඔබට පොරොන්දුවූසේකැයි කීවේය.



පරිච්ඡේදය 27

1 මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද සෙනඟට අණකරමින්: මා විසින් අද ඔබ සැමට අණකරන මුළු ආඥාව පවත්වන්න.
2 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයට යොර්දානෙන් එතරව ඔබ යන දවසේ මහත් ගල් සිටුවාගන, ඒවායේ හුනු ගා,
3 ඔබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පොරොන්දුවුණ හැටියට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක් ව තිබෙන දේශයට ඇතුල්වෙන පිණිස ඔබ එතරව ගිය කල්හි, මේ ව්‍යවස්ථාවේ සියලු වචන ඒවා පිට ලියන්න.
4 එබැවින් ඔබ සැම යොර්දානෙන් එතරව ගිය විට මා අද ඔබ සැමට අණකරන මේ ගල් ඒබාල් කන්දේ හිටවා හුනු ගාන්න.
5 එහිද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් එනම් ගල්වලින් පූජාසනයක් ගොඩනගන්න. ඊට යකඩ ආවුදයක් නොපොවන්න.
6 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය 27:6 හෙවත්, නොකැඩූ හෝ නොකැපූ.පියවි ගල්වලින් ගොඩනගා, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඒක පිට දවන පූජාවන් පූජාකොට,
7 ශාන්ති පූජාවල්ද ඔප්පුකර, එහිදී කමින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
8 ඒ ගල් පිට මේ ව්‍යවස්ථාවේ සියලු වචන ඉතා පැහැදිලි ලෙස කොටා ලියන්නැයි කීවෝය.
9 මෝසෙස්ද ලෙවීවරුවූ පූජකයෝද සියලු ඉශ්‍රායෙල්වරුන්ට කථාකොට: ඉශ්‍රායෙල්, ඔබ නිශ්ශබ්දව සිට අසන්න; ඔබ අද දවසේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සෙනඟ වූයෙහිය.
10 එබැවින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඔබ කීකරුව මා විසින් අද ඔබට අණකරන උන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන්නැයි කීවෝය.
11 මෝසෙස් එම දවසේදී සෙනඟට අණ කරමින්:
12 ඔබ සැම යොර්දානෙන් එතරට පැමිණි කල්හි සෙනඟට ආශීර්වාදකරන පිණිස සිමියොන්ද ලෙවීද යූදාද ඉස්සාඛර්ද යෝසෙප්ද බෙන්යමින්ද යන මොව්හු ගෙරිසීම් කන්ද පිට සිටිත්වා.
13 ශාපකියන පිණිස රූබෙන්ද ගාද්ද ආෂෙර්ද සාබුලොන්ද දාන්ද නප්තලීද යන මොව්හු ඒබාල් කන්ද පිට සිටිත්වා.
14 ලෙවීවරුද උත්තරදෙමින් සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට ශබ්දනගා මෙසේ කියත්වා-
15 ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා.
16 තමාගේ පියාට හෝ මවට හෝ අගෞරව කරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
17 තමාගේ අසල්වාසියාගේ බිමේ ඉම පහකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
18 අන්ධයා මංමුළාකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
19 විදේශියාගේද පියා නැත්තාගේද වැන්දඹුවගේද විනිශ්චය පෙරළන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
20 තමාගේ පියාගේ භාර්යාව සමඟ සයනයකරන්නාට ශාප වේවා; මක්නිසාද ඔහු තම පියාගේ යහන් වස්ත්‍රය ඉවත්කෙළේය. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
21 කිසියම් මෘගයෙකු සමඟ සයනය කරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
22 තමාගේ සහෝදරීවූ තමාගේ පියාගේ දුව හෝ මවගේ දුව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
23 තමාගේ භාර්යාවගේ මව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
24 තමාගේ අසල්වාසියා රහසින් මරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
25 නිදොස් කෙනෙකු මරන්ට අල්ලස් ගන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
26 මේ ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස ඒවා ස්ථිර නොකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.



පරිච්ඡේදය 28

1 තවද මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කොට තබනසේක.
2 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඔබ කන්දෙන්නෙහි නම් මේ සියලු ආශීර්වාද ඔබ කරා පැමිණ ඔබ සමඟ වන්නේය.
3 ඔබ නුවරෙහි ආශීර්වාදලද්දෙක් වන්නෙහිය, කෙතෙහිත් ආශීර්වාදලද්දෙක් වන්නෙහිය.
4 ඔබේ ගර්භයේ ඵලයටද ඔබේ භූමියේ ඵලයටද ඔබේ සිවුපාවුන්ගේ ඵලයටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාද ලැබෙන්නේය.
5 ඔබේ පැසටද පිටි අනන ඔරුවටද ආශීර්වාද ලැබෙන්නේය.
6 ඔබ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය.
7 ඔබට විරුද්ධව නැගිටින්නාවූ ඔබේ සතුරන් ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු ඔබට විරුද්ධව එක මගකින් අවුත් සත් මගකින් ඔබ ඉදිරියෙන් පලායන්නෝය.
8 ඔබේ ගබඩා කෙරෙහිද ඔබ අත තබන සියල්ලෙහිද ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදය එවා, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයේදී ඔබට ආශීර්වාදකරනසේක.
9 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වා උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබට දිවුළලෙස උන්වහන්සේටම ශුද්ධ සෙනඟක් කොට ඔබ ස්ථිරකරනසේක.
10 ස්වාමීන්වහන්සේගේ නාමය ඔබ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක ඔබට භයවන්නෝය.
11 ස්වාමීන්වහන්සේ ඔබට දෙන ලෙස ඔබේ පියවරුන්ට දිවුළ භූමිය මතුපිට ඔබේ ගර්භයේ ඵලයද ඔබේ සිවුපාවුන්ගේ ඵලයද භූමියේ ඵලයද යහපත පිණිස ඔබට වැඩිකර දෙනසේක.
12 ස්වාමීන්වහන්සේ නිසි කාලයට ඔබේ දේශයට වර්ෂාව දෙන්ටද ඔබේ අත්වල සියලු වැඩට ආශීර්වාද කරන්ටද අහස නමැති තමන්ගේ උතුම් ගබඩාව ඔබට විවෘත කරනසේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන නුමුත් ඔබ ණයට නොගන්නෙහිය.
13 මා අද ඔබ සැමට අණකරන සියලු වචනවලින් ඔබ දකුණටවත් වමටවත් හැරී අන් දෙවිවරුන්ට සේවය කරන්ට ඔවුන් පස්සේ නොගොස්,
14 මා අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වමින් ඉෂ්ටකරන ලෙස ඔබ ඒවාට කීකරුවන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබ වල්ගය නොව හිස වෙන්ට සලස්වනවා ඇත; ඔබද යටින් නොව ඉහළින්ම සිටිනවා ඇත.
15 නුමුත් මා විසින් අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්ට බලාගන්න හැටියට ඔබ උන්වහන්සේගේ හඬට කන්නොදෙන්නෙහිනම්, මේ සියලු ශාප ඔබ පිටට පැමිණ ඔබ අසුකරගන්නේය.
16 ඔබ නුවරෙහි ශාපලද්දෙක්ද කෙතෙහි ශාපලද්දෙක්ද වන්නෙහිය.
17 ඔබේ පැසටද පිටි අනන ඔරුවටද ශාප පැමිණෙන්නේය.
18 ඔබේ ගර්භයේ ඵලයටද ඔබේ භූමියේ ඵලයටද ඔබේ ගවයන්ගේ බෝවීමටද ඔබේ එළු බැටළු පැටවුන්ටද ශාප පැමිණෙන්නේය.
19 ඔබ ඇතුළට එන විටද පිටතට යන විටද ශාප ලබන්නෙහිය.
20 ඔබ විසින් මා අත්හැරීමෙන් කළාවූ ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ විනාශව ඉක්මනින් නැතිව යන තෙක්, ඔබ කරන්ට අත තබන සියල්ලේදී ස්වාමීන්වහන්සේ ශාපයද පරාජයද තරවටුවද ඔබ පිටට එවනසේක.
21 ස්වාමීන්වහන්සේ ඔබ හිමිකරගන්ට යන භූමිය මතුපිටින් ඔබ නැතිකර දමන තුරුම වසංගතය ඔබට ඇලී තිබෙන්ට සලස්වනසේක.
22 ස්වාමීන්වහන්සේ ක්ෂයරෝගයෙන්ද උණෙන්ද උෂ්ණයෙන්ද දැවිල්ලෙන්ද කඩුවෙන්ද ගොයම් වියළීමෙන්ද ගොයම් රෝගයෙන්ද ඔබට පහරදෙනසේක; ඔබ නැතිවීයන තුරු ඒවා ඔබ එළවාගන එනවා ඇත.
23 ඔබේ හිසට උඩින් තිබෙන අහස පිත්තල වන්නේය, ඔබට යටින් තිබෙන භූමිය යකඩ වන්නේය.
24 ස්වාමීන්වහන්සේ ඔබේ දේශයෙහි වර්ෂාව සුනුද ධූලිද වෙන්ට සලස්වනසේක. ඔබ විනාශවෙන තුරු අහසෙන් ඒවා ඔබ පිටට බසින්නේය.
25 ස්වාමීන්වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජයවෙන්ට සලස්වනසේක. ඔබ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. ඔබ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.
26 ඔබේ මළකඳ ආකාශයේ සියලු පක්ෂීන්ටද භූමියේ සියලු මෘගයන්ටද ගොදුරු වන්නේය, කිසිවෙක් උන් භයගන්වා නොඑළවන්නේය.
27 සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද ඔබට පහරදෙනසේක.
28 ස්වාමීන්වහන්සේ උමතුකමද අන්ධකමද විස්මිතභාවයද යන මේවායින් ඔබට පහරදෙනසේක.
29 අන්ධයා අඳුරෙහි අතගගා යන්නාක් මෙන් ඔබ ඉර මුදුන් වේලාවෙහි අතගගා යන්නෙහිය, ඔබේ මාර්ගවලදී ඔබ සඵලනොවන්නෙහිය. ඔබ ගළවන්ට කිසිවෙකු නැතුව ඔබ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නෙහිය.
30 ඔබ භාර්යාවකට විවාහ බස් දෙන නුමුත් අනිකෙක් ඈ සමඟ සයනයකරන්නේය. ඔබ ගෙයක් ගොඩනගන නුමුත් එහි නොවසන්නෙහිය. ඔබ මිදිවත්තක් වවන නුමුත් ඒකේ ඵල භුක්තිනොවිඳින්නෙහිය.
31 ඔබේ ගොනා ඔබේ ඇස් ඉදිරියෙහි මරනු ලබන නුමුත් ඔබ එයින් නොකන්නෙහිය. ඔබේ කොටළුවා ඔබ ඉදිරියෙන් බලහත්කාරයෙන් ගනු ලබන්නේය, නැවත ඌ ඔබට නොලැබෙන්නේය. ඔබේ බැටළුවෝ ඔබේ සතුරන්ට දෙනු ලබන්නෝය, ඔබ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.
32 ඔබේ පුත්‍රයෝද දූවරුද අන් සෙනඟකට දෙනු ලබන්නෝය, ඔවුන් ගැන දවස මුළුල්ලේම බලා සිටීමෙන් ඔබේ ඇස් ක්ෂයවන්නේය. ඔබේ අතේ බලයෙන් කිසිවක් කළනොහැකිවන්නේය.
33 ඔබේ භූමියේ පලදාවද ඔබේ මුළු උත්සාහ ලාභයද ඔබ නොදන්න සෙනඟක් භුක්තිවිඳිනවා ඇත, ඔබ නිරන්තරයෙන් පීඩාවට හා බලාත්කාරයටම ගොදුරුවන්නෙහිය.
34 ඔබේ ඇස්වලින් දකින කාරණා නිසා ඔබ උමතුකමට පැමිණෙන්නෙහිය.
35 ඔබේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස ස්වාමීන්වහන්සේ ඔබේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් ඔබට පහරදෙනසේක.
36 ස්වාමීන්වහන්සේ ඔබද ඔබ කෙරෙහි ඔබ පත්කරගන්න රජුද ඔබවත් ඔබේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී ඔබ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය.
37 ස්වාමීන්වහන්සේ ඔබ පමුණුවන්නාවූ සියලු ජනයන් අතුරෙහි ඔබ මවිතයට හේතුවක්ද උපමාවක්ද නින්දා කීමක්ද වන්නෙහිය.
38 ඔබ බොහෝ බීජ කෙතට ගෙනයන නුමුත් ස්වල්පයක්ම රැස්කරගන්නෙහිය; මක්නිසාද පළඟැටියෝ ඒවා කාදමන්නෝය.
39 ඔබ මිදිවතු වවා ඒවා සශ්‍රීකකරන නුමුත් පණුවන් ඒවා කාදමන බැවින් ඔබ මුද්‍රිකපානය නොබොන්නෙහිය, ඵල නෙළා නොගන්නෙහිය.
40 ඔබේ සියලු සීමාවල ඔලීව ගස් ඔබට තිබෙන නුමුත් ඔලීව තෙල් ගාගන්ට ඔබට නොලැබේ; මක්නිසාද ඔබේ ඔලීව ඵල වැටීයන්නේය.
41 ඔබ පුත්‍රයන්ද දූවරුන්ද ජාතකකරන නුමුත් ඔව්හු ඔබට නොවන්නෝය; මක්නිසාද ඔව්හු වහල්කමට යන්නෝය.
42 ඔබේ සියලු ගස්ද ඔබේ භූමියේ ඵලද පළඟැටියෝ භුක්තිවිඳින්නෝය.
43 ඔබ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව ඔබට වඩා උසස් වන්නේය; ඔබ වැඩි වැඩිව පහත් වන්නෙහිය.
44 ඔහු ඔබට ණයට දෙනවා මිස ඔබ ඔහුට ණයට දෙන්නේ නැත. ඔහු හිස වන්නේය, ඔබ වල්ගය වන්නෙහිය.
45 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට අණකළ තමන්ගේ ආඥාද තමන්ගේ පනත්ද පවත්වන පිණිස උන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් මේ සියලු ශාප ඔබ පිටට පැමිණ, ඔබ නාස්තිවෙන තුරු ඔබ පස්සේ එළවාගෙන ඇවිත් ඔබ අසුකරගන්නේය.
46 ඒවා ලකුණක් හා පුදුමයක් පිණිස ඔබ පිටත් ඔබේ වංශය පිටත් සදාකාලයටම වන්නේය.
47 සියලු දේ පුරාම තිබෙද්දී ඔබ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවය නොකළ නිසා,
48 ස්වාමීන්වහන්සේ ඔබට විරුද්ධව එවන්නාවූ ඔබේ සතුරන්ට ඔබ විසින් බඩගින්නද පිපාසායද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවයකරනවා ඇත. ඔවුන් ඔබ විනාශකර දමන තුරු යකඩ වියගහක් ඔබේ කරේ තබනවා ඇත.
49 මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,
50 ඔබට නොතේරෙන භාෂාවක් කථාකරන්නාවූ ජාතියක් රාජාලියා වේගයෙන් එන්නාක් මෙන් දුර සිට පොළොවේ කෙළවරෙන් ස්වාමීන්වහන්සේ ඔබට විරුද්ධව පමුණුවනසේක.
51 ඔබ විනාශවී යන තුරු ඔව්හු ඔබේ සිව්පාවුන්ගේ ඵලයද ඔබේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු ඔබ නැතිකරදමන තුරු ඔබට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් ඔබේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.
52 ඔබේ මුළු දේශයෙහි තිබෙන්නාවූ ඔබ විශ්වාසය තැබූ ඔබේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු ඔබේ සියලු නුවර දොරටුවලදී ඔබ වටලාගන්නෝය. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් ඔබේ මුළු දේශයෙහි තිබෙන ඔබේ සියලු නුවර දොරටුවලදී ඔව්හු ඔබ වටලාගන්නෝය.
53 ඔබේ සතුරන් විසින් ඔබ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී ඔබේ ශරීරයේ ඵලය වන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් මාංස කන්නෙහිය.
54 ඔබ සැම අතරේ බොහෝ සැපෙන් සිටි සුමුදු මනුෂ්‍යයා වනාහි, ඔබේ සතුරන් විසින් ඔබේ සියලු නුවර දොරටුවලදී ඔබ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී,
55 තමාට කිසිවක් ඉතුරුව නැති බැවින් කන්නාවූ තමාගේ දරුවන්ගේ මාංසයෙන් කොටසක් තමාගේ සහෝදරයාටවත් තමාගේ ළයේ භාර්යාවටවත් ඔහු ඉතුරු කරන තමාගේ අනික් දරුවන්ගෙන් කිසිවෙකුටවත් නොදෙන හැටියට ඔවුන් කෙරෙහි ඔහුගේ බැල්ම අප්‍රසන්න වන්නේය.
56 මෘදුකම සහ සිව්මැළිකම නිසා පතුල බිම තබන්ට අකැමැතිවූ ඔබ සැම අතරේ සිටින මෘදුවූ සිව්මැළිවූ ස්ත්‍රියගේ බැල්ම ඇගේ කකුල් අතරෙන් පිටත එන්නාවූ ඇගේ වැදෑමහ පිළිබඳයෙන්ද,
57 ඈ බිහිකරන්නාවූ ළදරුවන් පිළිබඳයෙන්ද, ඇගේ ළයෙහි පුරුෂයා කෙරෙහිත් ඇගේ පුත්‍රයා කෙරෙහිත් ඇගේ දුව කෙරෙහිත් අප්‍රසන්න වන්නේය. මක්නිසාද ඔබේ සතුරා ඔබේ නුවර දොරටුවලදී ඔබ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී, ඈට කිසිවක් නැති බැවින් ඈ ඔවුන් රහසින් කන්නීය.
58 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යන මේ මහිමවත් භයානක නාමයට භයවෙන හැටියට මේ පොතෙහි ලියා තිබෙන මේ ව්‍යවස්ථාවේ සියලු වචන රක්ෂාකරන්ට බලානොගන්නෙහි නම්,
59 ස්වාමීන්වහන්සේ ඔබ සහ ඔබේ වංශය කෙරෙහි පුදුමවූ පීඩාවල් එනම් මහත්වූ පවතින්නාවූ පීඩාද නපුරුවූ පවතින්නාවූ රෝගද පමුණුවනසේක.
60 ඔබට භය ඉපදෙවූවාවූ මිසරයේ සියලු රෝගත් ඔබ පිටට නැවත පමුණුවනසේක; ඒවාද ඔබට ඇලී තිබෙන්නේය.
61 ඇරත් මේ ව්‍යවස්ථා පොතෙහි නොලියනලද සියලු රෝග පීඩාද ඔබ විනාශවෙන තුරු ස්වාමීන්වහන්සේ ඔබ පිටට පමුණුවනසේක.
62 ඔබ සැම අහසේ තාරකා මෙන් වැඩිවී සිටිය නුමුත්, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් ඔබ සැම ස්වල්ප ගණනක්ව ඉතිරි වන්නාහුය.
63 තවද ඔබ සැමට යහපත කරන්ටත් ඔබ සැම වැඩිකරන්ටත් ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන්, ඔබ සැම විනාශකොට නැතිකරන්ට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක; ඔබ විසින් හිමිකරගැනීමට ඇතුල්වෙන දේශයෙන්ද ඔබ සැම උදුරාදමනු ලබන්නහුය.
64 පොළොවේ එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ස්වාමීන්වහන්සේ ඔබ විසුරුවාදමනසේක; එහිදී ඔබවත් ඔබේ පියවරුන්වත් දැනනොගත් ලීද ගල්දවූ අන් දෙවිවරුන්ට ඔබ සේවයකරන්නෙහිය.
65 ඒ ජාතීන් අතරෙහි ඔබට කිසිපහසුවක්වත් ඔබේ පතුලට කිසි සහනයක්වත් නොලැබෙන්නේය. එහි ස්වාමීන්වහන්සේ මවිතවන සිතක්ද ඇස් වැහැරයාමද ආත්මයේ ක්ලාන්තකමද ඔබට දෙනසේක.
66 ඔබේ ජීවිතය ගැන ඔබට අනුමාන ඇතිවන්නේය; ඔබ රෑ දාවල් භය ඇතුව, ඔබේ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව සිටින්නෙහිය.
67 ඔබේ සිතට පැමිණෙන භීතියද ඔබේ ඇස්වලින් දකින කාරණාද නිසා ඔබ උදයකාලයෙහි: අහෝ, දැන් සවස නම් හොඳය කියාද, සවස්කාලයෙහි: අහෝ, දැන් උදය නම් හොඳය කියාද කියන්නෙහිය.
68 ඔබ තවත් ඒක නොදකින්නෙහියයි මා විසින් ඔබ කී මාර්ගයෙන් නැව්වලින් ස්වාමීන්වහන්සේ ඔබ මිසරයට නැවත ගෙනයනසේක. එහිදී ඔබ සැමගේ සතුරන්ට දාසයන්ද දාසීන්ද කොට ඔබ සැමම විකුණනු ලබන්ට සෑදී සිටින නුමුත් කිසිවෙක් ඔබ සැම මිලේට නොගන්නේයයි කීවේය.



පරිච්ඡේදය 29

1 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ හොරේබ්හිදී කළ ගිවිසුම හැර උන්වහන්සේ මෝවබ් දේශයෙහිදී ඔවුන් සමඟ කරනලෙස මෝසෙස්ට අණකළ ගිවිසුමේ වචන මේය.
2 මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට මෙසේ කීය: ස්වාමීන්වහන්සේ මිසර දේශයෙහි ඔබ සැමගේ ඇස් ඉදිරියේදී ඵාරාවෝටද ඔහුගේ සියලු මෙහෙකරුවන්ටද ඔහුගේ මුළු දේශයටද කළාවූ සියල්ල වන
3 ඔබේ ඇස්වලින් දුටුවාවූ මහත් පරීක්ෂණද ලකුණුද ඒ මහත්වූ පුදුමද ඔබ සැම දුටුවහුය.
4 එසේ නුමුත් දැනගැනීමට සිතක්ද දැකීමට ඇස්ද ඇසීමට කන්ද අද දවස දක්වා ස්වාමීන්වහන්සේ ඔබ සැමට නුදුන්සේක.
5 උන්වහන්සේද: මම සතළිස් අවුරුද්දක් ඔබ සැම කාන්තාරයෙහි ගෙනායෙමි. ඔබ සැමගේ වස්ත්‍ර ඔබ සැම පිට පරණ නොවීය, ඔබේ පයෙහි ඔබේ වහන් පරණ නොවීය.
6 ඔබ සැම රොටි කෑවේවත් මුද්‍රික රස හෝ මද්‍යපානය බීවේවත් නැත. මෙසේ වූයේ මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔබ සැම විසින් දැනගන්නා පිණිසයයි කියනසේක.
7 ඔබ සැම මේ ස්ථානයට පැමුණුණ කල හෙෂ්බොන්හි රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද අපට විරුද්ධව යුද්ධයට ආවෝය. අපි ඔවුන්ට පහරදී,
8 ඔවුන්ගේ දේශය අල්ලාගෙන, රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අන්ධගෝත්‍රයටද එය උරුමයක් කොට දුනිමුව.
9 එබැවින් ඔබ සැම කරන සියල්ලෙහි ඔබ සැම සඵලවන පිණිස මේ ගිවිසුමේ වචන පවත්වා රක්ෂාකරන්න.
10 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට කී හැටියටද, ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ හැටියටද, අද උන්වහන්සේ ඔබ තමන්ට සෙනඟක් කොට ස්ථිරකරන පිණිසත් ඔබේ දෙවියන්වහන්සේ වන පිණිසත්,
11 ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුමටද උන්වහන්සේ අද ඔබ සමඟ කරන දිවුරුමටද ඇතුල්වීමට,
12 ඔබ සැමගේ ප්‍රධානියෝද ඔබ සැමගේ ගෝත්‍රද ඔබ සැමගේ වැඩිමහල්ලෝද ඔබ සැමගේ මුලාදෑනීහුද වන සියලු
13 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සහ ඔබ සැමගේ බාලයන්ද භාර්යාවන්ද ඔබේ දර කපන්නා සහ වතුර අදින්නාත් ඇතුළුව ඔබේ අන්දායම්වල සිටින විදේශියාද යන ඔබ සැම සියල්ලෝම අද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටිනහුය.
14 නුමුත් මේ ගිවිසුමත් මේ දිවුරුමත් මා කරන්නේ ඔබ සැම සමඟ පමණක් නොව
15 මෙහි අද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අප වෙත සිටින්නා සමඟත් අද මෙහි අප වෙත නැති තැනැත්තා සමඟත්ය.
16 (මක්නිසාද මිසර දේශයෙහි අපි කෙසේ විසීමුද කියාත් ඔබ සැම පසුකර ආ ජාතීන් මැදින් අපි කෙසේ පසුකර ආවෙමුද කියාත් ඔබ සැම දන්නහුය;
17 ඔවුන් අතරේ තිබුණ ඔවුන්ගේ පිළිකුල්කම්ද ඔවුන්ගේ ලී ගල් රන් රිදී දේව රූපද ඔබ සැම දුටුවහුය.)
18 එබැවින් ඒ ජාතීන්ගේ දෙවිවරුන්ට සේවයකරන්ට යන පිණිස අද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන සිතක් ඇති පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් පවුලක්වත් ගෝත්‍රයක්වත් ඔබ සැම අතරෙහි නොසිටින හැටියටත් වසද තිත්තකමද හටගන්වන මුලක් ඔබ සැම අතරෙහි නොතිබෙන හැටියටත් බලාගන්න.
19 තවද එබඳු කෙනෙක් මේ දිවුරුමේ වචන අසන විට: මම මාගේ සිතේ මුරණ්ඩුකමින් හැසිරෙම් නුමුත් මට සමාදානය ලැබේයයි කියමින් පිපාසායට බේබදුකම එකතුකරන පිණිස තමාගේ සිතතුළ තමාට ආශීර්වාද කරගත්තොත්,
20 ස්වාමීන්වහන්සේ ඔහුට කමානොවනසේක, ස්වාමීන්වහන්සේගේ උදහස සහ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඇවිළෙන්නේය. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපයද ඔහු පිට පිහිටන්නේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ නාමය අහස යටින් මකාදමා,
21 මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ගිවිසුමේ සියලු ශාපවල ප්‍රකාරයට නපුර පිණිස සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඔහු වෙන්කරනසේක.
22 එවිට ඔබ සැමට පසුව නැගිටින පරම්පරාව වන ඔබ සැමගේ දරුවන්ද දුර රටකින් එන විදේශියාද එසේය, සියලු ජාතීන්ද ඒ දේශයේ පීඩාවල් සහ ස්වාමීන්වහන්සේ ඒක පිටට පැමිණෙවු රෝගද,
23 ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසිනුත් කෝපයෙනුත් විනාශකළාවූ සොදොම් සහ ගොමොරාහිද අද්මා සහ ශෙබොයිම්හිද විනාශය මෙන් ඒ මුළු දේශයෙහි වැපිරීමක්වත් කිසි පලා ජාතියක් වැවීමක්වත් හටගැනීමක්වත් නොවන ලෙස ඒක ගෙන්දගමෙනුත් ලුණුවලිනුත් දාලා තිබෙන බවද දුටු කල්හි:
24 මේ දේශයට ස්වාමීන්වහන්සේ මෙසේ කළේ මක්නිසාද? මේ මහත්වූ උදහසේ බලවත්කමට කාරණය කිමෙක්දැයි කියනවා ඇත.
25 එවිට මනුෂ්‍යයෝ කථාකොට: ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම ඔවුන් අත්හැර ගොස්,
26 ඔවුන් දැනනොගත්තාවූ, උන්වහන්සේ ඔවුන්ට නියම නොකළාවූ අන් දෙවිවරුන්ට සේවයකරන්ටත් නමස්කාරකරන්ටත් යෙදුණු බැවින්,
27 මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපය මේ දේශය පිටට පමුණුවන හැටියට ස්වාමීන්වහන්සේගේ උදහස ඊට විරුද්ධව ඇවුළුණේය;
28 ස්වාමීන්වහන්සේ උදහසෙන්ද කෝපයෙන්ද මහත් අමනාපයෙන්ද ඔවුන් ස්වකීය භූමිය මතුපිටින් අහක්කර, අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන් අන් දේශයකට හෙළාදැමූසේකැයි කියන්නෝය.
29 රහස්වූ දේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අයිතිය. එහෙත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවත්වන පිණිස එළිදරව්කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලයටම අයිතිය.



පරිච්ඡේදය 30

1 තවද මා විසින් ඔබ ඉදිරියෙහි තැබූ ආශීර්වාදයද ශාපයද යන මේ සියලු දේ ඔබ පිටට පැමිණි කල්හි ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් ඔබ පන්නාදැමූ සියලු ජාතීන් අතරේදී ඒවා සිතට ගෙන,
2 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී, අද මා විසින් ඔබට අණකරන සියල්ල ලෙස ඔබද ඔබේ පුත්‍රයෝද මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේගේ හඬට කීකරුවන්නෝ නම්,
3 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ වහල්කම පහකර, ඔබට අනුකම්පාකොට, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ විසිරෙවූ සියලු ජනයන් අතරෙන් ඔබ නැවත රැස්කරගන්නසේක.
4 ඔබෙන් පිටිවහල්කරනු ලැබූ කිසිවෙක් අහසේ කෙළවර දක්වා දුරව සිටියත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් පවා ඔබ රැස්කොට එතැනින් ඔබ ගෙනෙනසේක.
5 ඔබේ පියවරුන් භුක්තිවින්දාවූ දේශය ඔබ විසින් භුක්තිවිඳින පිණිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ එහි පමුණුවා, උන්වහන්සේ ඔබට යහපතකොට, ඔබේ පියවරුන්ට වඩා ඔබ වැඩිකරනසේක.
6 ඔබ ජීවත් වෙන පිණිස ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන හැටියට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ සිතද ඔබේ දරුමුණුබුරන්ගේ සිත්ද චර්මඡේද්‍යය කරනසේක.
7 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේද මේ සියලු ශාප ඔබට පීඩා කළාවූ ඔබේ සතුරන් පිටද ඔබට වෛරවෙන්නන් පිටද තබනවා ඇත.
8 ඔබ හැරී ඇවිත්, ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුව, අද මා විසින් ඔබට අණකරන උන්වහන්සේගේ සියලු ආඥා පවත්වන්නෙහිය.
9 එවිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ අත්වල සියලු වැඩවල ඵලයද ඔබේ ගර්භයේ ඵලයද ඔබේ සිව්පාවුන්ගේ ඵලයද ඔබේ භූමියේ ඵලය ද යහපත පිණිස ඔබට වැඩිකර දෙනසේක.
10 මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන හැටියට ඔබ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන් නැවත ඔබට යහපත පිණිස ඔබ කෙරෙහිත් ප්‍රසන්නවනසේක.
11 අද මා විසින් ඔබට අණකරන මේ ආඥාව ඔබට අමාරු වැඩිවූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොවේ.
12 අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී, එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි ඔබ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය ස්වර්ගයෙහි තිබෙනවා නොවේ.
13 අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා මුහුදෙන් එතරට ගොස් එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි ඔබ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය මුහුදෙන් එතර තිබෙනවාත් නොවේ.
14 නුමුත් ඒ වචනය ලෙස ඔබ කරන පිණිස එය ඔබට ඉතා ළංව ඔබේ මුඛයේද ඔබේ සිතේද තිබේ.
15 මෙන්න, මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද ඔබ ඉදිරියෙහි තැබීමි.
16 එසේය, ඔබ ජීවත්ව සිට වැඩිවෙන පිණිසද ඔබ හිමිකරගන්ට ඇතුල්වෙන දේශයේදී ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාද කරන පිණිසද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥාද පනත්ද විනිශ්චයන්ද පවත්වන්ට මම අද ඔබට අණකරමි.
17 නුමුත් ඔබ කීකරුනොවන හැටියට ඔබේ සිත හැරීගොස්, අන් දෙවිවරුන්ට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත්
18 ඔබ ඇදී ගියොත්, සැබවින් ඔබ සැම විනාශවෙන බව අද ඔබ සැමට දන්වමි; හිමිකරගන්න පිණිස ඇතුල්වීමට ඔබ යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට ඔබ සැමගේ දවස් වැඩිනොවන්නේය.
19 මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද ඔබ සැම ඉදිරියෙහි තැබූ බවට අද ඔබ සැමට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් ඔබත් ඔබේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,
20 ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන හැටියට ඔවුන්ට දිවුළ භූමිය මතුපිට ඔබ වාසයකරන පිණිස, ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ හඬට කීකරුවී, උන් වහන්සේට ඇලුම්ව සිටින්න. මක්නිසාද ඔබේ ජීවනයත් ඔබේ දවස්වල වැඩිවීමත් එයයයි කීවේය.



පරිච්ඡේදය 31

1 තවද මෝසෙස් ගොස් සියලු ඉශ්‍රායෙල්වරුන්ට මේ වචන කීවේය.
2 ඔහු ඔවුන්ට කථාකොට: මම අද අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටිමි; තවත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොහැක්කෙමි. ඔබ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහියයි ස්වාමීන්වහන්සේ මට කීසේක.
3 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පෙරටුව එතරට යනසේක; උන්වහන්සේම ඔබ ඉදිරියෙන් මේ ජාතීන් විනාශකරනසේක, ඔබ ඔවුන්ගේ දේශය හිමිකරගන්නෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස යෝෂුවා ඔබට පෙරටුව යන්නේය.
4 ස්වාමීන්වහන්සේ විනාශකළ අමෝරිවරුන්ගේ රජුන්වූ සීහොන්ට සහ ඕග්ටද ඔවුන්ගේ දේශයටද කළ ලෙස උන්වහන්සේ මොවුන්ටත් කරනසේක.
5 ස්වාමීන්වහන්සේ මොවුන් ඔබ සැමට පාවාදුන් කල්හි මා විසින් ඔබ සැමට අණකළ මුළු ආඥාවේ හැටියට ඔවුන්ට කරන්න.
6 ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඔබ සමඟ යනසේක; උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැතැයි කීවේය.
7 මෝසෙස් යෝෂුවා කැඳවා සියලු ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔහුට කථාකොට: ඔබ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශයට ඔබ ඔවුන් සමඟ ගොස් ඒක ඔවුන්ට උරුමකරදෙනවා ඇත.
8 ස්වාමීන්වහන්සේම ඔබට පෙරටුව යනසේක; උන්වහන්සේ ඔබ සමඟ වනසේක, උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය.
9 මෝසෙස් මේ ව්‍යවස්ථාව ලියා, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීගේ පුත්‍රයන්වූ පූජකයන්ටද සියලු ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ටද එය භාරදී,
10 ඔවුන්ට අණකරමින් කියනුයේ: සෑම අවුරුදු සතක කෙළවරදී, මිදීමේ අවුරුද්දේදී, නියම කාලය වන කූඩාරම් මංගල්‍යයේදී,
11 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් ආ විට, මේ ව්‍යවස්ථාව සියලු ඉශ්‍රායෙල්වරුන් අසාගන සිටිද්දී ඔවුන් ඉදිරිපිට කියවන්න.
12 පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද ඔබේ දොරටු ඇතුළෙහි සිටින විදේශියාද අසා ඉගෙනගන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවී මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්ට බලාගන්න පිණිසද,
13 එය දැනනොගත් ඔවුන්ගේ දරුවන්ද අසා ඔබ සැම හිමිකරගන්ට යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට ඔබ සැම ජීවත්වෙන සියලු දවස්වල ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවෙන්ට ඉගෙනගන්න පිණිසද සෙනඟ රැස්කරන්නැයි කීවේය.
14 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, ඔබ මැරෙන කාලය ආසන්නය. ඔබ යෝෂුවා කැඳවාගන විත් මා විසින් ඔහුට අණකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමෙහි සිටින්නැයි කීසේක. එවිට මෝසෙස් හා යෝෂුවා ගොස් සම්මුඛවීමේ කූඩාරමෙහි සිටියෝය.
15 ස්වාමීන්වහන්සේද වලාටැඹකින් කූඩාරමෙහි පෙනුණුසේක. වලාටැඹ කූඩාරමේ දොරකඩට ඉහළින් පිහිටා සිටියේය.
16 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, ඔබ ඔබේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.
17 ඒ දවසේ මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙන්නේය, මම ඔවුන් අත්හැර මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නෙමි, එවිට ඔව්හු කොල්ලයක් වන්නෝය, ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණෙන්නේය; ඔව්හු ඒ දවසේ කථාකොට: මේ විපත්ති අප පිටට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන්වහන්සේ අප අතරේ නැති නිසා නොවේදැයි කියන්නෝය.
18 ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරීයාමෙන් කළාවූ සියලු දුෂ්ටකම් නිසා ඒ දවසේදී මාගේ මුහුණ සැබවින් සඟවාගන්නෙමි.
19 එබැවින් මේ ගීතිකාව ලියාගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට උගන්වන්න. මේ ගීතිකාව ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව මා උදෙසා සාක්ෂියක් වන පිණිස ඒක ඔවුන්ගේ මුඛයෙහි තබන්න.
20 මක්නිසාද මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලායන්නාවූ දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල්හි, ඔවුන් කා තෘප්තියට පැමිණ තරවූ කල්හි, ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරී ඔවුන්ට සේවයකරමින්, මා එපාකර මාගේ ගිවිසුම කඩකරනවා ඇත.
21 එසේ ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණි කල්හි, මේ ගීතිකාව ඔවුන්ගේ දරුමුණුබුරන්ගේ මුඛවලින් පහවී නොයන බැවින් මෙය ඔවුන්ට උත්තර දෙන සාක්ෂිකාරයෙකු මෙන් සාක්ෂිදරනවා ඇත. මක්නිසාද මා විසින් දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට මත්තෙන් දැන් පවා ඔවුන් කරන ඔවුන්ගේ යෝජනාව දනිමියි කීසේක.
22 එබැවින් මෝසෙස් එම දවසෙහි මේ ගීතිකාව ලියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඉගැන්නුවේය.
23 උන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට අණකරමින්: ඔබ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දිවුළ දේශයට ඔබ ඔවුන් ගෙනයන්නෙහිය. මමද ඔබ සමඟ සිටින්නෙමියි කීසේක.
24 තවද මෝසෙස් මේ ව්‍යවස්ථාවේ වචන තීන්දුවටම පොතක ලියා නිමකළ කල්හි,
25 ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීවරුන්ට මෝසෙස් අණකරමින්:
26 මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි ඔබ සැමට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න.
27 මක්නිසාද මම ඔබේ කැරළිකාරකමද ඔබේ කුළලේ තදකමද දනිමි. ඔබ සැම සමඟ දැන් මා ජීවත්ව සිටියදීම ඔබ සැම ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය; මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහුද?
28 ඔබ සැමගේ ගෝත්‍රවල වැඩිමහල්ලන්ද ඔබ සැමගේ මුලාදෑනීන්ද අසාගන සිටිද්දී මා විසින් මේ වචන කියමින් ඔවුන්ට විරුද්ධව අහසටද පොළොවටද සාක්ෂි පිණිස හඬ ගසන්ට ඔවුන් මා වෙතට රැස්කරන්න.
29 මක්නිසාද මාගේ මරණයෙන් පසු ඔබ සැම සහමුලින් ඔබ සැමම දූෂ්‍ය කරගෙන මා ඔබ සැමට අණකළ මාර්ගයෙන් අහක්ව යන බව දනිමි; එබැවින් මතු දවස්වලදී විපත්තිය ඔබ සැමට පැමිණෙන්නේය; මක්නිසාද ඔබ සැමගේ අත්වල වැඩෙන් ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට ඔබ සැම උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරනවා ඇතැයි කීවේය.
30 මෝසෙස් වනාහි මුළු ඉශ්‍රායෙල් සභාව අසාගන සිටිද්දී මේ ගීතිකාවේ වචන නිමවන තෙක් පැවසුවේය.



පරිච්ඡේදය 32

1 ස්වර්ගයෙනි, කන්දෙව්, මම කථාකරන්නෙමි; පොළොවද මාගේ මුඛයේ වචන අසාවා.
2 මාගේ ශික්ෂාව වර්ෂාව මෙන් බසින්නේය, මාගේ කථාව පිනිමෙන්ද, ළා තණකොළ පිට වැසිපොද මෙන්ද, තණකොළ පිට වැස්ස මෙන්ද පහළ වන්නේය.
3 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. අපගේ දෙවියන්වහන්සේගේ උතුම්කම වර්ණනාකරව්.
4 උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙක, උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.
5 ඔව්හු උන්වහන්සේට විරුද්ධව දුෂ්ටකම් කළෝය, ඔව්හු උන්වහන්සේගේ දරුවෝ නොවෙති, ඔව්හු කැලල් ඇත්තෝය; වංකවූ වංචාකාරවූ වංශයක.
6 අහෝ මෝඩවූ නුවණ නැති ජනයෙනි, ඔබ සැම ස්වාමීන්වහන්සේට මෙසේ ප්‍රතිඵල දෙන්නහුද? ඔබ මිදූ තැනැන්වහන්සේම ඔබේ පියාණෝ නොවනසේක්ද? උන්වහන්සේම ඔබ සාදා ඔබ පිහිටෙවුසේක.
7 පුරාණ දවස් සිහිකරව්, පරම්පරාවෙන් පරම්පරාවට පසුවුණ වර්ෂ කල්පනාකරව්. ඔබේ පියාගෙන් අසව, ඔහු ඔබට පෙන්වන්නේය; ඔබේ වැඩිමහල්ලන්ගෙන් අසව, ඔව්හු ඔබට කියන්නෝය.
8 මහෝත්තමයාණන් ජාතීන්ට උරුමය බෙදාදුන් කල්හිද, මනුෂ්‍ය පුත්‍රයන් වෙන්කළ කල්හිද උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියමකළසේක.
9 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කොටස නම් ස්වකීය සෙනඟය; යාකොබ් උන්වහන්සේගේ උරුම කොටසය.
10 කාන්තාර දේශයකදීද පාළුවූ භයංකරවූ වනයේදීද ඔහු උන්වහන්සේට සම්බවිය; උන්වහන්සේ ඔහු වටකරගෙන, ඔහු රැක බලාගෙන, තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු රක්ෂාකළ සේක.
11 රාජාලියා උගේ කැදැල්ල අවුස්සා, උගේ පැටවුන් පිට තටු ගසමින් උගේ පියාපත් විහිදුවා, උන් අරන් උගේ පියාපත් පිට උසුලන්නාක් මෙන්,
12 ස්වාමීන්වහන්සේ පමණක්ම ඔහු ගෙනගිය සේක, අන් දෙවිකෙනෙක් උන්වහන්සේ සමඟ නොසිටියේය.
13 උන්වහන්සේ ඔහු පොළොවේ උස් තැන් පිට නැගීයන්ට සැලැස්වූ සේක, ඔහුද කෙතේ අස්වැන්න කෑයේය; පර්වතයෙන් මීපැණිද ගිනිගල් පර්වතයෙන් තෙල්ද උන්වහන්සේ ඔහුට පෙවූසේක;
14 දීකිරිවලින් සහ බැටළු කිරිවලින්ද බැටළුපැටවුන්ගෙත් බාෂන්හි බැටළුවන්ගෙත් එළුවන්ගෙත් තෙලින්ද තිරිඟු ඇටවල තරකමින්ද ඔහු පෝෂණය කළසේක; මුද්‍රික ඵලවල ලේ වන පානයද ඔබ බීවෙහිය.
15 එහෙත් යෙෂුරූන් තරවී පයින් ගැසීය. ඔබ තරවී ස්ථුලවී තරබාරු වූයෙහිය. එවිට ඔහු තමා සෑදූ දෙවියන්වහන්සේ අත්හැර, තමාගේ ගැළවීමේ පර්වතය සුළුකොට සිතුවේය.
16 ඔව්හු අන් දෙවිවරුන් කරණකොටගෙන උන්වහන්සේ කෝප කළෝය, පිළිකුල් ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කළෝය.
17 දෙවියන්වහන්සේ නොවන දේවතාවන්ට, එනම් ඔවුන් නොදැන සිටියාවූ දෙවිවරුන්ට, අලුතෙන් පැමිණි අමුතු දෙවිවරුන්ට ඔව්හු පූජාකළෝය. ඔබ සැමගේ පියවරු ඒ දෙවිවරුන්ට භය නූණෝය.
18 ඔබ ජාතක කළ පර්වතය නොසලකන්නෙහිය, ඔබ ඉපදෙවූ දෙවියන්වහන්සේ සිහි නැති කෙළෙහිය.
19 ස්වාමීන්වහන්සේ ඒ දැක, තමන් පුත්‍රයන්ගේද දූවරුන්ගේද කෝප ඉපදවීම නිසා ඔවුන් එපා කළසේක.
20 උන්වහන්සේ කථාකොට: මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගන්නෙමි, ඔවුන්ගේ කෙළවර කුමක් වන්නේදැයි බලන්නෙමි. මක්නිසාද ඔව්හු හිතුවක්කාර වංශයක, අවිශ්වාස දරුවෝය.
21 දෙවි නොවන්නන් කරණකොටගෙන ඔව්හු මා කෝපකළෝය; තමුන්ගේ නිෂ්ඵපකම්වලින් මා උදහස් කළෝය. මමද සෙනඟක් නොවන්නන් කරණකොටගෙන ඔවුන් කෝපකරවන්නෙමි; අඥාන ජාතියක් ලවා ඔවුන් උදහස් කරවන්නෙමි.
22 මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, එයින් පොළොවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය, කඳුවල අත්තිවාරම්ද දැවී යන්නේය.
23 මම ඔවුන් පිට විපත්ති ගොඩකරන්නෙමි; මාගේ ඊගස් සියල්ලම ඔවුන්ට විදින්නෙමි.
24 ඔව්හු සාගතයෙන් ක්ෂයවෙමින්, දවන උෂ්ණයෙන්ද සැර වසංගතයෙන්ද නැතිවී යන්නෝය; මෘගයන්ගේ දත්ද දූවිල්ලේ බඩගායන සතුන්ගේ විෂද ඔවුන්ට විරුද්ධව යවන්නෙමි. පිටතදී කඩුවද
25 ගෙයිදී භීතියද වන්නේය; එය තරුණයා සහ කන්‍යාවද කිරි දරුවා සහ පැසුණු හිසකේ ඇත්තාද විනාශකරන්නේය.
26 ඔවුන්ගේ විරුද්ධකාරයන් වරද්දා සිතමින්, අපේ අතම උසස් වී තිබේ, මේ දේවල් කළේ ස්වාමීන්වහන්සේ නොවේයයි කියමින් සතුරා කෝපකරවීමට මම භය නොවීම් නම්,
27 මම ඔවුන් විසුරුවා දමා, ඔවුන් ගැන සිහි වීම මනුෂ්‍යයන් අතරෙන් නැතිකරදමන්නෙමියි කීමි.
28 මක්නිසාද ඔව්හු දැනුම් නැති ජාතියක, ඔවුන් තුළ තේරුමක් නැත.
29 අහෝ, ඔවුන් ඥානවන්තව, මේක තේරුම්ගෙන, තමුන්ගේ මතු කාලය ගැන මෙනෙහි කළොත් යහපත!
30 ඔවුන්ගේ පර්වතයාණෝ ඔවුන් නොවික්ක සේක් නම්, ස්වාමීන්වහන්සේ ඔවුන් පාවානුදුන්සේක් නම්, එක්කෙනෙකු විසින් දහසක් පන්නාදමන්නෙත්, දෙදෙනෙකුන් විසින් දසදහසක් එළවන්නෙත් කෙසේද?
31 අපේ සතුරන්ගේ විනිශ්චයේ හැටියට පවා, ඔවුන්ගේ පර්වතය අපේ පර්වතයමෙන් නොවේ.
32 මක්නිසාද ඔවුන්ගේ මුද්‍රික වැල සොදොම්හි මුද්‍රිකවැලෙන්ද ගොමොරාහි කෙත්වලින්ද වේ. ඒවායේ වලු විෂ සහිතය, ඒවායේ ඵල තික්තය.
33 ඔවුන්ගේ මුද්‍රිකපානය සර්පයන්ගේ විෂය, පොළඟුන්ගේ සැර විෂය.
34 මෙය මා ළඟ සඟවා, මාගේ ගබඩාවල මුද්‍රකර තබා තිබෙනවා නොවේද?
35 ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.
36 එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.
37 උන්වහන්සේ කථාකොට: ඔවුන්ගේ පූජාවල තෙල කෑවාවූ, ඔවුන්ගේ පාන පූජාවේ මුද්‍රිකපානය බීවාවූ,
38 ඔවුන් විශ්වාසකළ පර්වතය වන ඔවුන්ගේ දෙවිවරු කොතැනද? ඔව්හු නැගිට ඔබ සැමට උපකාරකොට ඔබ සැමගේ ආවරණය වෙත්වා.
39 ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.
40 මක්නිසාද මා සදාකාලේටම ජීවත් වන්නාක්මෙන්, මම මාගේ දිලිසෙන කඩුව මුවහත් කර,
41 යුක්තිය අතට ගනිම් නම්, මාගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නෙමි, මට වෛරවෙන්නන්ටද ප්‍රතිඵල දෙන්නෙමි,
42 මාගේ ඊගස් මැරුම්කෑවුන්ගේද වාලට ගත්තවුන්ගේද ලෙයින් මත්කරන්නෙමි; මාගේ කඩුවද සතුරාගේ කේශ සහිත මුදුනෙන් මාංස කන්නේයයි මාගේ අත ස්වර්ගය දෙසට ඔසවා කියමියි කියනසේක.
43 එම්බා ජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවන්න. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ලේවලට පළිගනිමින්, තමන් එදිරිකාරයන්ට ප්‍රතිඵල දී, ස්වකීය දේශයටත් සෙනඟටත් ක්ෂමා වනසේක.
44 මෝසෙස්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද අවුත් මේ ගීතිකාවේ සියලු වචන සෙනඟ අසාගන සිටිද්දී කීවෝය.
45 මෝසෙස් මුළු ඉශ්‍රායෙල්ට මේ සියලු වචන කියා නිමවා ඔවුන්ට කථාකොට:
46 මේ ව්‍යවස්ථාවේ සියලු වචනවල ප්‍රකාරයට කරන්ට බලාගන්න හැටියට ඔබ සැමගේ දරුවන්ට ඔබ සැම අණකරන පිණිස මා අද ඔබ සැමට ස්ථිරකර කියන්නාවූ සියලු වචනවලට ඔබ සැමගේ සිත් යොමුකරන්න.
47 මක්නිසාද මේක ඔබ සැමට නිෂ්ඵල දෙයක් නොව ඔබ සැමගේ ජීවනයව තිබේ, ඔබ සැම හිමිකරගන්ට යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට මේ දෙය කරණකොටගෙන ඔබ සැමගේ දවස් ඔබ සැම වැඩිකරගන්නවා ඇතැයි කීවේය.
48 එම දවසේදීම ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
49 යෙරිකෝව ඉදිරියේ මෝවබ් දේශයෙහි අබාරීම් කඳු අතරේ තිබෙන නෙබෝ කන්දට ඔබ නැගී, උරුමයක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දෙන කානාන් දේශය බලා,
50 ඔබේ සහෝදරවූ ආරොන් හෝර් කන්දේදී මැරී තමාගේ සෙනඟට එකතුවුණාක් මෙන්, ඔබත් මැරී ඔබේ සෙනඟට එකතුවෙන්න.
51 එසේ වන්නේ ශීන් කාන්තාරයේ කාදෙෂ්හි මෙරිබා ජලය ළඟදී ඔබ සැම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මට විරුද්ධව වරදකොට ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මට ගෞරව නොකළ නිසාය.
52 ඔබ දුර සිට දේශය දක්නෙහිය; එහෙත් මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට ඇතුල් නොවන්නෙහියයි කීසේක.



පරිච්ඡේදය 33

1 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස් තමාගේ මරණයට පළමුවෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කළාවූ ආශීර්වාදය මේය.
2 ඔහු මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේ සීනයිහි සිට ආසේක, සේයිර්හි සිට ඔවුන් කෙරෙහි උදාවූසේක; උන්වහන්සේ පාරාන් කන්දෙන් බැබළුණු සේක, දසදහසක් ශුද්ධවන්තයන් අතරේ සිට ආසේක. ඔවුන් උදෙසා ගිනිමය වූ ව්‍යවස්ථාවක් උන්වහන්සේගේ දකුණතෙහි තිබුණේය.
3 එසේය, උන්වහන්සේ ජනයන්ට ප්‍රේම කරනසේක; ඔවුන්ගේ සියලු ශුද්ධවන්තයෝ ඔබ අතෙහිය. ඔව්හු ඔබ පාමුල හිඳ, ඔබගේ වචන පිළිගන්නෝය.
4 යාකොබ්ගේ සභාවේ උරුමයක් කොට මෝසෙස් අපට ව්‍යවස්ථාවක් පනවා දුන්නේය.
5 ඉශ්‍රායෙල්හි සියලු ගෝත්‍ර වන සෙනඟගේ ප්‍රධානීන් රැස්වූ කල, උන්වහන්සේ යෙෂුරූන්හි රජව සිටිසේක.
6 රූබෙන් නොනැසී ජීවත්වේවා; එහෙත් ඔහුගේ මනුෂ්‍යයෝ ස්වල්ප දෙනෙක් වෙත්වා.
7 යූදාගේ ආශීර්වාදය මේය: ඔහු කියනුයේ- ස්වාමීන්වහන්ස, යූදාගේ හඬ අසා, ඔහුගේ සෙනඟ වෙතට ඔහු ගෙන ආවමැනව. ඔහු සියතින් තමා උදෙසා පොර බැදුවේය; ඔහුගේ එදිරිකාරයන්ට විරුද්ධව ඔබ ඔහුට පිහිටක් වනසේකැයි කීය.
8 ඔහු ලෙවී ගැන කියනුයේ- ඔබ විසින් මස්සාහිදී පරීක්ෂාකර, මෙරීබාහි වතුර ළඟදී විවාදකළාවූ,
9 තමාගේ පියා ගැනත් මවු ගැනත් මම ඔවුන් නුදුටුවෙමියි කීවාවූ, තමාගේ සහෝදරයන් නෑඳින තමාගේ දරුවන් නොදැන සිටියාවූ, ඔබේ ප්‍රිය තැනැත්තා ළඟ ඔබේ 33:9 නික්ම, 28:30 බලනු.තුම්මීම්ද ඔබේ ඌරීම්ද ඇත්තේය. මක්නිසාද ඔව්හු ඔබගේ වචනය පැවැත්තුවෝය, ඔබගේ ගිවිසුමද රක්ෂාකෙරෙති.
10 ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්‍රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය. ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.
11 ස්වාමීන්වහන්ස, ඔහුගේ ශක්තියට ආශීර්වාද කොට, ඔහුගේ අත්වල වැඩය පිළිගත මැනව. ඔහුට විරුද්ධව නැගිටින්නන්ද ඔහුට වෛර වෙන්නන්ද තවත් නොනැගිටින ලෙස, ඔවුන්ගේ තුනටියට ගැසුව මැනවයි කීවේය.
12 ඔහු බෙන්යමින් ගැන කියනුයේස්වාමීන්වහන්සේගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය; උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේයයි කීය.
13 ඔහු යෝසෙප් ගැන කියනුයේ අහසේ අනර්ඝ දේවලින්ද පිනිවලින්ද යට තිබෙන ගැඹුරෙන්ද
14 සූර්යයාගේ අනර්ඝ අස්වැන්නෙන්ද චන්ද්‍ර මාසවල අනර්ඝ වැවිලිවලින්ද
15 පුරාණ කඳුවල උතුම් දේවලින්ද සදාකාල හෙල්වල අනර්ඝ දේවලින්ද
16 භූමිය සහ එහි පූර්ණකමේ අනර්ඝ දේ වලින්ද ස්වාමීන්වහන්සේ ඔහුගේ දේශයට ආශීර්වාද කරන සේක්වා; පඳුරෙහි විසූ තැනන්වහන්සේගේ කරුණාවද යෝසෙප්ගේ හිස පිටටත්, තමාගේ සහෝදරයන් අතරෙහි ශ්‍රේෂ්ඨව සිටි තැනැත්තාගේ හිස් මුදුන පිටටත් පැමිණේවා.
17 ඔහුගේ ගව කුලුඳුලා වනාහි මහිමය දරයි; ඔහුගේ අං කුළු හරකාගේ අං මෙන්ය. එයින් ඔහු ජනයන් පොළොවේ කෙළවර දක්වා එකට තල්ලුකර දමන්නේය. ඒවා නම් එප්‍රායිම්ගේ දසදහස් ගණන්ය, ඒවා මනස්සේගේ දසදහස් ගණන් යයි කීය.
18 ඔහු සාබුලොන් ගැන කියනුයේ-එම්බා සාබුලොන්, ඔබේ නික්ම යාම් ගැනද එම්බා ඉස්සාඛර්, ඔබේ කූඩාරම් ගැනද ප්‍රීති වන්න.
19 ඔව්හු කන්දට ජනයන් කැඳවාගෙන, එහි ධර්මිෂ්ඨකමේ පූජා ඔප්පුකරන්නෝය. මක්නිසාද ඔව්හු මුහුදුවල සම්පූර්ණකමද වැල්ලෙහි සැඟවී තිබෙන වස්තුවද උරාගන්නෝයයි කීය.
20 ඔහු ගාද් ගැන කියනුයේ-ගාද් විශාලකරන තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා. ඔහු සිංහ ධේනුවක් මෙන් හිඳ බාහුව සහ හිස්මුදුනත් ඉරාදමන්නේය.
21 ඔහු ප්‍රථම කොටස තමාටම සපයාගත්තේය, මක්නිසාද නීති දායකයා විසින් කොටසක් එහි ඉතුරුකර තිබුණේය; ඔහු සෙනඟගේ ප්‍රධානීන් කැටුව විත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද ඉශ්‍රායෙල් සමඟ උන්වහන්සේගේ විනිශ්චයන්ද ඉෂ්ටකෙළේයයි කීය.
22 ඔහු දාන් ගැන කියනුයේ-දාන් සිංහ පැටවෙක, ඔහු බාෂාන්හි සිට පනින්නේයයි කීය.
23 ඔහු නප්තලී ගැන කියනුයේ-එම්බා නප්තලී, කරුණාවෙන් තෘප්තියට පැමිණ, ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදයෙන් පූර්ණව සිටින ඔබ, බස්නාහිර දිශාවද දකුණු දිශාවද හිමිකර ගන්නැයි කීය.
24 ඔහු ආෂෙර් ගැන කියනුයේ-ආෂෙර්ට දරුසම්පත ලැබේවා; ඔහු තමාගේ සහෝදරයන්ට ප්‍රීතියක්ව සිටීවා, තමාගේ පාදය තෙලෙහි ගල්වා ගනීවා.
25 ඔබේ අගුල් පොලු යකඩ සහ පිත්තලය; ඔබේ ශක්තියද ඔබේ දවස් මෙන් වන්නේය.
26 අහෝ යෙෂුරූන්, ඔබට උපකාර කරන්ට අහස පිටද ස්වකීය මහිමයෙන් වලාකුල් පිටද නැගී එන්නාවූ දෙවියන්වහන්සේට සමාන කෙනෙක් නැත.
27 සදාකාල දෙවියන්වහන්සේ ඔබේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ ඔබ දරා සිටින්නෝය. ඔබ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා, ඔවුන් විසින් විනාශ කරවයි කීසේක.
28 ඉශ්‍රායෙල් සුරක්ෂිතවද, යාකොබ්ගේ උල්පත හුදකලාවද, ධාන්‍ය හා මුද්‍රික රස ඇති දේශයක වාසය කරයි; එසේය, ආකාශයෙන් ඔහුට පිනි බින්දු වැටෙයි.
29 එම්බා ඉශ්‍රායෙල්, ඔබ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ ඔබට සමාන කවුද? උන්වහන්සේ ඔබට උපකාර කරන පලිහත් ඔබේ මහිමයේ කඩුවත්ය. ඔබේ සතුරෝ ඔබට යටත් වන්නෝය; ඔබද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.



පරිච්ඡේදය 34

1 ඉක්බිති මෝසෙස් මෝවබ් සමභූමිවල සිට යෙරිකෝව ඉදිරිපිට නෙබෝ කන්දේ තිබෙන පිස්ගා මුදුනට නැගුණේය. ස්වාමීන්වහන්සේ ඔහුට දාන් දක්වා තිබෙන මුළු ගිලියද් දේශයද,
2 මුළු නප්තලීයද එප්‍රායිම් සහ මනස්සේ දේශයද අපරදිගවූ මුහුද දක්වා තිබෙන මුළු යූදා රටද,
3 දකුණු දිශාවද ශොවර් දක්වා තිබෙන ඉඳිගස් නුවරවූ යෙරිකෝ මිටියාවතේ සමභූමියද දැක්වූ සේක.
4 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඔබේ වංශයට දෙන්නෙමියි කියා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළ දේශය මේය. ඒක ඔබේ ඇස්වලින් දකින්ට සැලැස්වීමි. එහෙත් ඔබ එහි නොයන්නෙහියයි කීසේක.
5 මෙසේ ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස මෝවබ් දේශයේ ඒ ස්ථානයේදී නැසුණේය.
6 උන්වහන්සේ ඔහු මෝවබ් දේශයේ බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේ තැන්පත්කළසේක; නුමුත් කිසි මනුෂ්‍යයෙක් අද දක්වා ඔහුගේ සොහොන්පළ නොදනියි.
7 මෝසෙස් මැරෙන කල අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටියේය. ඔහුගේ ඇස් අඳුරු නොවීය, ඔහුගේ ස්වාභාවික ශක්තියද අඩු නොවීය.
8 ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ගැන තිස් දවසක් වැලපුණෝය. මෙසේ මෝසෙස් ගැන අඬා වැලපීමේ දවස් ඉකුත්විය.
9 මෝසෙස් තමාගේ අත් නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පිට තැබූ බැවින් ඔහු ප්‍රඥාවේ ආත්මයෙන් පූර්ණ වුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔහුට කීකරුවී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝය.
10 ස්වාමීන්වහන්සේ මෝසෙස් යවා මිසර දේශයෙහි ඵාරාවෝටත් ඔහුගේ සියලු මෙහෙකරුවන්ටත් ඔහුගේ මුළු දේශයටත් කෙරෙවුවාවූ ඒ සියලු ලකුණුද ආශ්චර්යද,
11 සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් ඉදිරියේදී ඔහු පෑවාවූ ඒ මුළු පරාක්‍රමවත් හස්තයද ඒ සෑම මහත් භයානක කමද සම්බන්ධයෙන්,
12 ස්වාමීන්වහන්සේ මුහුණට මුහුණලා ඇඳින්නාවූ මෝසෙස් හා සමාන ප්‍රොපේත කෙනෙක් ඉන් පසු ඉශ්‍රායෙල්හි නොනැගිට්ටේය.