යෝෂුවා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24


පරිච්ඡේදය 1

1ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් මැරුණු පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට කථාකොට කියනසේක්:
2 මාගේ මෙහෙකරුවූ මෝසෙස් මළේය; එබැවින් දැන් ඔබත් මේ මුළු සෙනඟත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යන්න.
3 ඔබ සැම අඩිය තබන සියලුම ස්ථාන මා විසින් මෝසෙස්ට කී ලෙස ඔබ සැමට දුනිමි.
4 කාන්තාරය හා මේ ලෙබනොන් පටන් මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වා හිත්තීවරුන්ගේ මුළු දේශය සහ බස්නාහිර මහමුහුද දක්වාද ඔබ සැමගේ සීමාව වන්නේය.
5 ඔබේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම ඔබ සමඟත් සිටින්නෙමි. ඔබෙන් අහක්ව නොයන්නෙමි, ඔබ අත්නාරින්නෙමි.
6 ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය ඔබ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.
7 මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. ඔබ යන සෑමතැනදීම ඔබට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.
8 මේ ව්‍යවස්ථා පොත ඔබේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාව ල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට ඔබේ මාර්ගය සඵලවී ඔබට ශුභ සිද්ධවන්නේය.
9 මා විසින් ඔබට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීසේක.
10 එවිට යෝෂුවා සෙනඟගේ මුලාදෑනීන්ට අණකරමින් කියනුයේ:
11 ඔබ සැම කඳවුර මුළුල්ලෙහි ගොස් සෙනඟට කථාකර-හිමිකරගැනීමට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන දේශය හිමිකරගන්න පිණිස ඇතුල්වීමට ඔබ සැම තව තුන් දවසකින් මේ යොර්දානෙන් එතරට යන නිසා කෑම සූදානම්කරගන්නය කියා අණකරන්නැයි කීවේය.
12 යෝෂුවා රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අන්ධ ගෝත්‍රයටද කථාකොට:
13 ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබ සැමට අණකර කී දෙය සිහිකරන්න; ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට විශ්‍රාම දී මේ දේශය ඔබ සැමට දෙනසේක.
14 ඔබ සැමගේ භාර්යාවෝද බාලයෝද සිව්පාවෝද මෝසෙස් යොර්දානෙන් මෙගොඩ ඔබ සැමට දී තිබෙන දේශයෙහි සිටිත්වා; නුමුත් ස්වාමීන්වහන්සේ ඔබ සැමට මෙන් ඔබ සැමගේ සහෝදරයන්ට විශ්‍රාම දෙනතෙක්ද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට දෙන දේශය ඔවුන් විසිනුත් හිමිකර ගන්නා තෙක්ද,
15 ඔබ සැමගෙන් බලසම්පන්න පුරුෂයෝව සිටින සියල්ලෝ සන්නද්ධව ඔබ සැමගේ සහෝදරයන්ට පෙරටුව ගොස් ඔවුන්ට උපකාරකරන්න. ඉන්පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර දිශාවෙහි ඔබ සැමට දුන් ඔබ සැමගේ උරුම කොටසවූ දේශයට හැරී ඇවිත් ඒක භුක්තිවිඳින්නැයි කීවේය.
16 ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: ඔබ අපට අණකළ සියල්ල කරන්නෙමුව, ඔබ අප යවන කොතැනට නුමුත් යන්නෙමුව.
17 අප විසින් සියලු කාරණාවලදී මෝසෙස්ට කීකරුවුණාක් මෙන් ඔබටත් කීකරුවන්නෙමුව. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ සිටි ලෙසම ඔබ සමඟත් සිටිනසේක්වා.
18 ඔබ අපට අණකරන සියල්ල ගැන ඔබේ වචන නාසා ඔබේ අණට විරුද්ධව කැරළිගසන කවරෙක් වුවත් මරණයට පත්කරනු ලබන්නේය. ඔබ වනාහි ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්නැයි කීවෝය.



පරිච්ඡේදය 2

1 නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ෂිට්ටීම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත්කර: ඔබ සැම ගොස් දේශයද යෙරිකෝවද බලා එන්නැයි කීවේය. ඔව්හු ගොස් රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ගෙට ඇතුල්ව එහි නැවතී සිටියෝය.
2 එවිට දේශය සොයා බලන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිස්සු අද රෑ මෙහි ආවෝයයි යෙරිකෝවේ රජුට කියනලද්දේය.
3 යෙරිකෝවේ රජ රාහාබ් වෙත පණිවිඩයක් යවා: ඔබ වෙතට ඇවිත් ඔබේ ගෙට ඇතුල්වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මක්නිසාද ඔව්හු මුළු දේශය සොයාබලන්ට ආවෝයයි රාහාබ්ට කියා ඇරියේය.
4 ඒ ස්ත්‍රී ඒ මිනිසුන් දෙදෙනා අඬගහගන ගොස් සැඟෙවුවාය; තවද ඈ කථාකොට: එසේය, ඒ මනුෂ්‍යයෝ මා වෙතට ආවෝය, නුමුත් ඔවුන් කොතැනින් ආවාද කියා නොදැන සිටියෙමි.
5 තවද කළුවර වී දොර වසන වේලාව පමණේදී ඒ මනුෂ්‍යයෝ පිටතට ගියෝය. කොතැනට ගියෝදැයි නොදනිමි. ඉක්මනින් ඔවුන් පස්සේ එළවාගන යන්න; ඔබ සැම ඔවුන් කරා පැමිණෙනවා ඇතැයි කීවාය.
6 නුමුත් ඈ ඔවුන් ගෙයි පියස්ස උඩට ගෙනගොස්, එහි අහුරා තිබුණු හණ දඬු යට ඔවුන් සැඟෙවුවාය.
7 ඒ මනුෂ්‍යයෝ යොර්දානට යන මාර්ගයෙන් තොටුපළවල් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගියෝය. ඔවුන් පස්සේ එළවාගන ගිය අය පිටතට ගිය හැටියේම දොර වසනලද්දේය.
8 ඔවුන් නිදාගන්ට පළමුවෙන් ඈ පියස්ස උඩ ඔවුන් වෙතට ඇවිත්,
9 ඒ මනුෂ්‍යයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දේශය ඔබ සැමට දී තිබෙන බවද ඔබ සැම නිසා භීතිය අප පිට පැමිණ තිබෙන බවද දේශයේ සියලු වැසියන්ගේ සිත් ඔබ සැම නිසා දියවී තිබෙන බවද දනිමි.
10 මක්නිසාද ඔබ සැම මිසරයෙන් පිටතට එන කල ස්වාමීන්වහන්සේ ඔබ සැම ඉදිරියෙහි රතු මුහුදේ වතුර සිඳෙවු හැටිද ඔබ සැම විසින් සිඳදමනලද යොර්දානෙන් එතර සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාවූ සීහොන්ටත් ඕග්ටත් ඔබ සැම කළ දේද ඇසීමුව.
11 ඒ ඇසූ කෙණෙහිම අපේ සිත් දියවගියේය, ඔබ සැම නිසා කිසිවෙකු තුළ ධෛර්යයක් තවත් නොවීය. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවියන්වහන්සේය.
12 ඉතින් මා ඔබ සැමට කරුණාකළ බැවින් ඔබ සැමත් මාගේ පියාගේ පවුලට කරුණාකරමින් මාගේ පියාද මවුද සහෝදරයන්ද සහෝදරියන්ද ඔවුන්ට ඇති සියල්ලන්ද ආරක්ෂාකොට
13 අපේ ප්‍රාණ මරණයෙන් ගළවන හැටියට ස්වාමීන්වහන්සේ ගැන මට දිවුරා සත්‍යවූ ලකුණක් මට දුනමැනවියි ඒ මනුෂ්‍යයන්ට කීවාය.
14 ඒ මනුෂ්‍යයෝ ඈට කථාකොට: අපේ මේ කාරණය ඔබ සැම එළිදරව් නොකරතොත් ස්වාමීන්වහන්සේ දේශය අපට දෙන කල අපි ඔබට කරුණාවෙන්ද සැබෑකමින්ද ක්‍රියාකරන්නෙමුව. එසේ ක්‍රියානොකළොත් අපේ ප්‍රාණ ඔබ සැම වෙනුවට මරණයට පැමිණේවයි කීවෝය.
15 එවිට ඈ ලනුවකින් ඔවුන් කවුළුවෙන් බැස්සෙවුවාය. මක්නිසාද ඇගේ ගෙය නුවර පවුර පිට තිබුණේය, ඈද පවුර පිට වාසයකළාය.
16 ඈ ඔවුන්ට කථාකොට: එළවාගන ගිය අයට ඔබ සැම අසු නොවන පිණිස කඳුකරයට යන්න; ඔවුන් හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු ඔබ සැමගේ ගමන යන්නැයි ඔවුන්ට කීවාය.
17 ඒ මනුෂ්‍යයෝ: ඔබ අප දිවුරවාගත් මේ දිවුරුම ගැන අපි නිදොස්වන්නෙමුව.
18 අප දේශයට ආ කල මේ රතු නූල් පටිය ඔබ අප බැස්සෙවු කවුළුවෙහි බැඳ තබා ඔබේ පියාද මවුද සහෝදරයන්ද ඔබේ පියාගේ ගෙයි වැසි සියල්ලන්ද ඔබ වෙතට ගෙයි එකතුකරගන්න.
19 එවිට කවරෙක්වත් ඔබේ ගෙයි දොරටුවලින් පිටවී වීථියට ගියොත් ඔහුගේ ලේ තමාගේම හිස පිටවන්නේය, අපි නිදොස්ය. ඔබ සමඟ ගෙයි සිටින යමෙකු පිට අතක් හෙළුවොත් ඔහුගේ ලේ අපේ හිස පිට වන්නේය.
20 නුමුත් ඔබ අපේ මේ කාරණය එළිදරව්කළොත් ඔබ අප දිවුරවාගත් දිවුරුම ගැන අපි නිදහස්වන්නෙමුයයි කීවෝය.
21 ඈ: ඔබ සැමගේ වචනවල හැටියට වේවයි කියා ඔවුන් පිටත්කළාය, ඔව්හු ගියෝය. ඈ රතු ලනුව කවුළුවේ බැන්දාය.
22 ඔව්හු ගොස් කඳුකරයට පැමිණ එළවාගන ගිය අය හැරී යනතුරු තුන් දවසක් එහි නැවතුණෝය. එළවාගන ගිය අය මාර්ගයේ සෑම තැනම ඔවුන් සෙවූ නුමුත් සම්බවුණේ නැත.
23 එවිට ඒ මනුෂ්‍යයෝ දෙදෙනා හැරී කඳුකරයෙන් බැස, එතරවී, නූන්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතට අවුත් තමුන්ට සිද්ධවුණු සියල්ල ඔහුට කීවෝය.
24 ඔව්හුද: සැබවින් ස්වාමීන්වහන්සේ මුළු දේශය අපේ අත්වලට දී තිබේ; දේශයේ සියලු වැසියන්ගේ සිත් අප ඉදිරියෙහි දියවීයතියි යෝෂුවාට කීවෝය.



පරිච්ඡේදය 3

1 යෝෂුවා අලුයම නැගිට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ ෂිට්ටීම්හි සිට පිටත්ව යොර්දානට පැමිණ, එතරව යන්ට පළමුවෙන් එහි නැවතුණේය.
2 තවද තුන් දවසකට පසු මුලාදෑනීහු කඳවුර මුළුල්ලෙහි ගොස්,
3 සෙනඟට කථාකොට: ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් ලෙවීවරුන්වූ පූජකයන් එය ගෙනයනවාත් ඔබ සැම දකින විට ඔබ සැමගේ ස්ථානවලින් පිටත්ව ඒ පස්සේ යන්න.
4 එහෙත් මිම්මෙන් රියන් දෙදහසක් පමණවූ ඉඩක් ඔබ සැමටත් ඊටත් අතරේ තිබිය යුතුය. මීට පළමුවෙන් ඔබ සැම මේ මාර්ගයෙහි නොගිය බැවින් ඔබ සැම යන්ට ඕනෑ මාර්ගය දැනගන්න පිණිස ඊට ළංනොවී සිටින්නැයි අණකළෝය.
5 යෝෂුවාද: හෙට ස්වාමීන්වහන්සේ ඔබ සැම අතරේ පුදුම දේ කරන්ට යන නිසා පවිත්‍රවෙන්නැයි සෙනඟට කීවේය.
6 යෝෂුවා පූජකයන්ටද කථාකොට: ඔබ සැම ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව යන්නැයි කීවේය. ඔව්හු ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව ගියෝය.
7 ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මා මෝසෙස් සමඟ සිටියාක් මෙන් ඔබ සමඟත් සිටින බව සියලු ඉශ්‍රායෙල්වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් හමුවෙහි ඔබ උසස් කරන්ට අද දවසේ පටන්ගන්නෙමි.
8 ඔබ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ට අණකොට: ඔබ සැම යොර්දාන් ජලය අද්දරට පැමුණුණාම යොර්දානේ නැවතී සිටින්නය කියා ඔවුන්ට කියන්නැයි කීවේය.
9 යෝෂුවාද: ඔබ සැම මෙහි ළංවී ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ වචන අසන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.
10 යෝෂුවා කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේ ඔබ සැම අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම ඔබ සැම ඉදිරියෙන් කානානිවරුන්ද හිත්තීවරුන්ද හිවීවරුන්ද පෙරිස්සිවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන බවත් ඔබ සැම මෙයින් දැනගන්නහුය.
11 බලව, මුළු පොළොවේ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඔබ සැමට පෙරටුව යොර්දානට යන්නේය.
12 එබැවින් එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් දොළොස්දෙනෙකු තෝරාගන්න.
13 මුළු පොළොවට ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පතුල් යොර්දාන් ජලයේ තබන විට යොර්දාන් ජලය එනම් ඉහළින් එන ජලය නැවතී එක ගොඩක් වී හිටිනවා ඇතැයි කීවේය.
14 සෙනඟ යොර්දානෙන් එතරට යන්ට තමුන්ගේ කූඩාරම්වලින් නික්මගිය විට ගිවිසුම් පෙටිටිය ගෙනයන පූජකයෝ සෙනඟට පෙරටුවෙන් සිටියෝය.
15 පෙට්ටිය ගෙනයන්නන් යොර්දානට පැමිණි විටද පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පාද ජලයේ අද්දර ගැලුණු විටද (ගොයම් කපන කාලය මුළුල්ලෙහි යොර්දානේ ජලය එහි සියලු ඉවුරු ඉක්මවා උතුරායයි)
16 ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.
17 ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ යොර්දාන් මැද වියලි භූමිය පිට ස්ථිරව සිටියෝය, මුළු සෙනඟ යොර්දානෙන් සම්පූර්ණයෙන් එතර වනතෙක් සියලු ඉශ්‍රායෙල්වරු වියලි බිම පිට ගියෝය.



පරිච්ඡේදය 4

1 තවද මුළු සෙනඟ සම්පූර්ණයෙන් යොර්දානෙන් එතරවූ කල ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට:
2 ඔබ සැම එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් මනුෂ්‍යයන් දොළොස්දෙනෙකු තෝරාගෙන,
3 ඔවුන්ට අණකරමින්-ඔබ සැම මෙහි යොර්දාන් මැද පූජකයන්ගේ පාද ස්ථිරව පිහිටි තැන්හි ගල් දොළසක් රැගෙන ඔබ සැම සමඟ එතරට ගෙනගොස්, ඒවා ඔබ සැම අද රෑ නවාතැන් ගන්න ස්ථානයෙහි තබන්ට කියන්නැයි කීසේක.
4 එවිට යෝෂුවා එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් තමා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් නියමකළ මිනිසුන් දොළොස්දෙන කැඳවා,
5 ඔවුන්ට කථාකොට: ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරියෙහි ඔබ සැම යොර්දාන මැදට ගොස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ තබාගන යන්න.
6 මෙසේ කරන්නේ ඒවා ඔබ සැම අතරේ සිහිවීම් ලකුණක් වන පිණිසය. මේ ගල් තිබෙන්නේ කුමටදැයි ඔබ සැමගේ දරුවන් මතු කාලයේ අසනවිට,
7 ඔබ සැම ඔවුන්ට කථාකර: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි යොර්දානේ ජලය බෙදී ගිය නිසාය; පෙට්ටිය යොර්දානෙන් මෙතරට එන විට යොර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේයයි කියන්නැයි කීවේය.
8 ඉශ්‍රායෙල් පුත්‍රයෝ යෝෂුවා අණකළ ප්‍රකාරයට කරමින් ස්වාමීන්වහන්සේ යෝෂුවාට කී ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන හැටියට යොර්දාන මැදින් ගල් දොළසක් රැගෙන, ඒවා තමුන් සමඟ මෙතරට ගෙනැවිත් ඔවුන් නැවතුණ ස්ථානයෙහි තැබුවෝය.
9 යොර්දාන් මැද ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන්ගේ පාද තිබුණු තැනද යෝෂුවා ගල් දොළසක් තැබුවේය. ඒවා අද දක්වා එහි තිබේ.
10 මෝසෙස් විසින් යෝෂුවාට අණකළ සියල්ල ලෙස සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ යෝෂුවාට අණකළ සියලු දෙය කෙළවර වන තෙක් ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයෝ යොර්දාන මැද නැවතී සිටියෝය. සෙනඟද ඉක්මන් කර මෙතරට ආවෝය.
11 මුළු සෙනඟ මෙතරවී නිමවූ කල ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය හා පූජකයෝ සෙනඟ ඉදිරියෙහි මෙතර වූවෝය.
12 රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද සන්නද්ධව මෝසෙස් ඔවුන්ට කී ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව මෙතරට ආවෝය.
13 යුද්ධයට සැරසුණු අය සතළිස් දහසක් පමණ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යෙරිකෝවේ සමභූමිවලට යුද්ධය පිණිස මෙතරට ආවෝය.
14 ඒ දවසේදී ස්වාමීන්වහන්සේ සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහි යෝෂුවා උසස් කළසේක; ඔව්හු මෝසෙස්ට භයව සිටියාක්මෙන් යෝෂුවාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඔහුටත් භයව සිටියෝය.
15 ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට:
16 සාක්ෂි පෙට්ටිය ගෙනයන පූජකයන්ට යොර්දානෙන් ගොඩට නැගීඑන්ට අණකරන්නැයි කීසේක.
17 එබැවින් යෝෂුවා: යොර්දානෙන් ගොඩට නැගී එන්නැයි පූජකයන්ට අණකෙළේය.
18 තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන් යොර්දාන මැදින් ගොඩට අවුත් තමුන්ගේ පාද වියලි භූමිය පිට තැබූ කල, යොර්දානේ ජලය ස්වකීය ස්ථානයට හැරී ඇවිත්, පළමු ලෙස එහි සියලු ඉවුරු ඉක්මවා උතුරා ගියේය.
19 මෙසේ සෙනඟ පළමුවෙනි මස දසවෙනිදා යොර්දානෙන් නැගී අවුත් යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳ ගත්තෝය.
20 ඔවුන් යොර්දානෙන් ගත්තාවූ ඒ ගල් දොළොස යෝෂුවා ගිල්ගාල්හි සිටුවා,
21 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මේ ගල් තිබෙන්නේ කුමකටදැයි මතු කාලයේ ඔබ සැමගේ දරුවන් තමුන්ගේ පියවරුන්ගෙන් අසනවිට,
22 ඔබ සැම ඔවුන්ට කථාකර: ඉශ්‍රායෙල්වරු මේ යොර්දානෙන් මෙතර වියලි බිම පිට ආවෝය.
23 මක්නිසාද පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන් ස්වාමීන්වහන්සේගේ හස්තය බලවත් බව දැනගන්න පිණිසත්, ඔවුන් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සෑම කල්හිම භයවෙන පිණිසත්,
24 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප රතු මුහුදෙන් මෙතර වෙන තුරු එහි ජලය අප ඉදිරියෙන් හින්දවා දැමුවාක් මෙන් ඔබ සැම මෙතර වෙන තුරු ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යොර්දානේ ජලය ඔබ සැම ඉදිරියෙනුත් හින්දවා දැමූසේක කියා දන්වන්නැයි කීවේය.



පරිච්ඡේදය 5

1 ඉශ්‍රායෙල් පුත්‍රයන් මෙතර වෙන තුරු ස්වාමීන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් යොර්දානේ ජලය හින්දවා දැමූ බව යොර්දානට මෙතර බස්නාහිරදිග සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන්ද මුහුද ළඟ සිටි කානානිවරුන්ගේ සියලු රජවරුන්ද ඇසූ කල ඔවුන්ගේ සිත් දියව ගියේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තවත් ඔවුන් තුළ ධෛර්යයක් නොවීය.
2 ඒ කාලයේ ස්වාමීන්වහන්සේ: ගල්පිහියා සාදාගෙන දෙවෙනි වර ඉශ්‍රායෙල් පුත්‍රයන් චර්මඡේද්‍යකරන්නැයි යෝෂුවාට කීසේක.
3 යෝෂුවා ගල්පිහියා සාදා චර්මාග්‍ර-කන්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් චර්මඡේද්‍යකළේය.
4 යෝෂුවා විසින් චර්මඡේද්‍යය කළ කාරණය මේය: මිසරයෙන් ආවාවූ සියලු පිරිමි එනම් සියලු යුද්ධ සෙනඟ මිසරයෙන් ආවාට පසු මගදී කාන්තාරයෙහි මිය ගියෝය.
5 නික්ම ආ සියලු සෙනඟ චර්මඡේද්‍යය ලබා සිටියෝය. නුමුත් මිසරයෙන් එන කල මගදී කාන්තාරයෙහි උපන් සියලු සෙනඟ චර්මඡේද්‍යය නොලබා සිටියෝය.
6 මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය.
7 උන්වහන්සේ ඔවුන් වෙනුවට නැගිටවූ ඔවුන්ගේ දරුවන් මගදී චර්මඡේද්‍යනොකළ බැවින් ඔව්හු අචර්මඡේදිතව සිටියෝය. යෝෂුවා ඔවුන් චර්මඡේද්‍ය කෙළේය.
8 තවද මුළු සෙනඟ චර්මඡේද්‍ය කොට නිමවූ කල ඔවුන්ට සුවවෙන තුරු කඳවුරේ ඔව්හු තමුන්ගේ ස්ථානවල නැවතුණෝය.
9 ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මම අද ඔබ සැම කෙරෙන් මිසරයේ නින්දාව අහකට පෙරළුවෙමියි කීසේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි අද දක්වා කියනු ලැබේ.
10 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ දසසතරවෙනි දා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කුව පැවැත්තුවෝය.
11 පාස්කුවට පසු දවසේදීම ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ මුහුන් නොදැමූ රොටි හා විලඳ කෑවෝය.
12 දේශයේ ධාන්‍යයෙන් ඔවුන් කෑවාට පසුවදා මන්නා නැවතුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තවත් මන්නා නොලැබුණේය; එහෙත් ඔව්හු කානාන් දේශයේ භෝග ඵල ඒ අවුරුද්දේ කෑවෝය. දිව්‍ය අධිපතියා
13 තවද යෝෂුවා යෙරිකෝව ළඟ සිටියදී තමාගේ ඇස් ඔසවා බැලූ කල, තමා ඉදිරිපිට මනුෂ්‍යයෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. යෝෂුවා ඔහු ළඟට ගොස්: ඔබ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය.
14 ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාරකොට: මාගේ ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්දැයි ඇසීය.
15 ස්වාමීන්වහන්සේගේ සේනාපතියාද: ඔබ සිටින තැන ශුද්ධ ස්ථානයක් නිසා ඔබේ පාදවලින් වහන් ගළවන්නැයි යෝෂුවාට කීවේය. යෝෂුවාද එසේ කෙළේය.



පරිච්ඡේදය 6

1 යෙරිකෝව ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. කිසිවෙක් පිටතට නොගියේය, ඇතුළටද නාවේය.
2 ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: බලන්න, යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද ඔබ අතට පාවාදුනිමි.
3 යුද්ධකාරයෝවූ ඔබ සැම සියල්ලෝ නුවර වටකරින් එක වරක් නුවර වටේට යන්න. සදවසක් ඔබ විසින් එසේ කළ යුතුය.
4 පූජකයෝ සත්දෙනෙක් බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යෙත්වා. සත්වෙනි දවසේදී සත් වරක් නුවර වටේට යන්න, පූජකයෝද හොරණෑ පිඹිත්වා.
5 තවද ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත් වන විට, හොරණෑ ශබ්දය ඔබ සැමට ඇසුණාම, මුළු සෙනඟ මහත් ඔල්වර හඬක් පවත්වත්වා; එවිට නුවර පවුර ඇද වැටෙන්නේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගීයත්වයි කීසේක.
6 එවිට නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පූජකයන් කැඳවා ඔවුන්ට කථාකොට: ගිවිසුම් පෙට්ටිය උසුලා ගන්න, පූජකයෝ සත් දෙනෙක් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් රැගෙන යෙත්වයි කීවේය.
7 ඔහු සෙනඟටත් කථාකොට: ඉදිරියට ගොස් නුවර වටේ යන්න, ආයුධ ගත් පුරුෂයෝ ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව යෙත්වයි කීවේය.
8 යෝෂුවා සෙනඟට කථාකොට නිමවූ කල, පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝය. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද ඔවුන්ට පස්සෙන් ගියේය.
9 සන්නද්ධවූ අය හොරණෑ පිඹින පූජකයන්ට පෙරටුව ගියෝය, හොරණෑ පිඹිමින් යද්දී අනික් අය පෙට්ටියට පස්සෙන් ගියෝය.
10 යෝෂුවා සෙනඟට අණකොට කියනුයේ: ඔල්වර හඬ ගසන්ට මා විසින් ඔබ සැමට කියන දවස දක්වා ඔබ සැම ඔල්වරහඬ නොපැවැත්විය යුතුය, ඔබ සැමගේ කටහඬ ඇසෙන්ටවත් ඔබ සැමගේ කටින් කිසි වචනයක් නික්මෙන්ටවත් නොදිය යුතුය. මා කී විට ඔල්වර හඬ පවත්වන්නැයි කීවේය.
11 මෙසේ ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය එක වරක් නුවර වටකර යන්ට සැලැස්විය. ඔව්හු කඳවුරට අවුත් එහි නැවතුණෝය.
12 යෝෂුවා අලුයම නැගුටුණේය, පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය උසුලා ගත්තෝය.
13 පූජකයෝ සත්දෙනා බැටළු අං හොරණෑ සත ගෙන ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පෙරටුව නොනැවතී යමින් හොරණෑ පිම්බෝය. සන්නද්ධවූ අය ඔවුන්ට පෙරටුව ගියෝය; හොරණෑ පිඹිමින් යද්දී අනික් අය ස්වාමීන්වහන්සේගේ පෙට්ටියට පස්සෙන් ගියෝය.
14 මෙසේ දෙවෙනි දවසේදී එක වරක් නුවර වටේට ගොස් කඳවුරට හැරී ආවෝය. සදවසක් ඔව්හු එසේ කළෝය.
15 සත්වෙනි දින පහන්වන වේලේ ඔව්හු නැගිට එම ආකාරයෙන්ම සත් වරක් නුවර වටේට ගියෝය. එදා පමණක් ඔව්හු සත්වරක් නුවර වටේට ගියෝය.
16 සත්වෙනි වර පූජකයන් හොරණෑ පිම්බ කල යෝෂුවා සෙනඟට කථාකොට: ඔල්වර හඬගසන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ සැමට නුවර දී තිබේ.
17 නුවර හා එහි ඇති සියල්ල ස්වාමීන්වහන්සේ උදෙසා මුළුමනින්ම විනාශයට කැප වන්නේය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය අප යැවූ පණිවිඩකාරයන් සැඟෙවු බැවින් ඈද ඈ සමඟ ගෙයි සිටින සියල්ලෝද පමණක් ජීවත්වන්නෝය.
18 විනාශයට කැපවූ දෙයින් කොහොමහරි වළකින්න, නැතහොත් ඔබ සැම කැපකළ පසු කැපවූ දෙයින් යමක් ගත්තොත්, ඔබ සැම ඉශ්‍රායෙල් කඳවුරට ශාප ලැබෙන්ට සලස්වා එය කලඹනවා ඇත.
19 රන් රිදී සියල්ලද පිත්තල සහ යකඩ බඩුද ස්වාමීන්වහන්සේට කැපය. ඒවා ස්වාමීන්වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතුයයි කීවේය.
20 එසේ සෙනඟ ඔල්වර හඬ ගැසූහ, පූජකයෝ හොරණෑ පිම්බෝය. සෙනඟ හොරණෑ ශබ්දය අසා මහත් හඬකින් ඔල්වරහඬ පැවැත්තූ විට පවුර ඇද වැටුණේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගී ගොස් නුවර අල්ලාගෙන,
21 පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.
22 දේශය සොයාබැලූ දෙදෙනාට යෝෂුවා කථාකොට: වේශ්‍යා ස්ත්‍රියගේ ගෙට ගොස් ඔබ සැම ඈට දිවුළ ලෙස ඒ ස්ත්‍රිය සහ ඈට අයිති සියල්ලන් පිටතට ගෙනෙන්නැයි කීවේය.
23 ඔත්තුකාරයෝ වූ ඒ තරුණයෝ ඇතුළට ගොස් රාහාබ්ද ඇගේ පියාද මවුද සහෝදරයන්ද ඈට අයිති සියල්ලන්ද ඇගේ සියලු නෑයන්ද පිටතට ගෙනවුත් ඉශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටත ඔවුන් සිටෙවුවෝය.
24 නුවර හා එහි තිබුණු සියල්ල ගින්නෙන් පුලුස්සා දැමුවෝය. රන් රිදීද පිත්තල හා යකඩ බඩුද පමණක් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවෙහි තැබුවෝය.
25 යෙරිකෝව සෝදිසිකරන්ට යෝෂුවා යැවූ පණිවිඩකාරයන් වේශ්‍යාවවූ රාහාබ් විසින් සැඟවූ බැවින් යෝෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලටද ඈට අයිති සියල්ලන්ටද ජීවත්වෙන්ට ඉඩ හැරියේය; ඈ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි අද දක්වා වාසයකරන්නීය.
26 ඒ කාලයෙහි යෝෂුවා දිවුරමින්: යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩනගන්නේ නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාපලත්තෙක් වේවා. ඔහු එහි අත්තිවාරම තබන විට ඔහුගේ කුලුඳුලාද එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙනවා ඇතැයි ඔවුන්ට කීවේය.
27 මෙසේ ස්වාමීන්වහන්සේ යෝෂුවා සමඟ සිටිසේක; ඔහුගේ කීර්තිය දේශය මුළුල්ලෙහි පතළවිය.



පරිච්ඡේදය 7

1 එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ කැපකළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යූදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙයින් ගත්තේය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව ඇවුළුණේය.
2 තවද යෝෂුවා යෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන් ළඟවූ හායිට යෙරිකෝවේ සිට මනුෂ්‍යයන් යවමින්: ඔබ සැම නැගී ගොස් දේශය සෝදිසිකරගන එන්නැයි ඔවුන්ට කීවේය. ඒ මනුෂ්‍යයෝ නැගී ගොස් හායි සෝදිසිකරගන,
3 යෝෂුවා වෙතට හැරී ඇවිත් ඔහුට කථාකොට: මුළු සෙනඟ යන්ට ඕනෑ නැත; දෙතුන් දහසක් පමණ මනුෂ්‍යයෝ ගොස් හායිට පහරදෙත්වා; එහි සිටින අය ස්වල්ප නිසා මුළු සෙනඟ එහි යැවීමෙන් වෙහෙස කරවන්ට ඕනෑ නැතැයි කීවෝය.
4 ඒ හැටියට සෙනඟගෙන් තුන්දාහක් පමණ මනුෂ්‍යයෝ එහි ගියෝය. නුමුත් ඔව්හු හායි මනුෂ්‍යයන් ඉදිරියෙන් පලා ගියෝය.
5 හායි නුවර මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් තිස් හදෙනෙක් පමණ මැරුවෝය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගොස්, පල්ලමේදී ඔවුන්ට පහරදුන්නෝය. එවිට සෙනඟගේ සිත් දියවී ගොස් වතුර මෙන් වුණේය.
6 යෝෂුවා තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සවස් වන තෙක් මුහුණින් බිම වැටී උන්නේය; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලිද දමාගත්තෝය.
7 යෝෂුවා: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස, අප නැතිකරන පිණිස අමෝරිවරුන් අතට අප පාවාදීමට ඔබ මේ සෙනඟ යොර්දානෙන් මෙගොඩට පැමිණෙවුවේ මක්නිසාද? අනේ අපි යොර්දානෙන් එගොඩ වාසයකරන්ට සතුටුවුණෙමුනම් හොඳය.
8 අහෝ, ස්වාමීන්වහන්ස, ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ සතුරන්ට පිටිපෑවාට පසු මම මක්කියම්ද?
9 කානානිවරුන්ද දේශයේ සියලු වැසියන්ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් සිඳදමනවා ඇත. එවිට ඔබගේ මහත් නාමය ගැන ඔබ කරන්නේ කුමක්දැයි කීය.
10 එවිට ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නැගිටින්න; මක්නිසා මෙසේ මුහුණින් වැතිර ඉන්නෙහිද?
11 ඉශ්‍රායෙල්වරු පව්කළෝය; එසේය, මා ඔවුන්ට අණකළ මාගේ ගිවිසුම ඔවුන් කඩකර තිබේ. එසේය, ඔවුන් කැපකළ දේවලින් අරගන සොරකම්කර, ඒවා සඟවා, ඒවා තමුන්ගේම බඩු අතරේ තබා තිබේ.
12 එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තමුන්ගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට බැරිය, ඔව්හු ශාපයට අසුවුණ බැවින් තමුන්ගේ සතුරන්ට පිටපාති. ඒ කැපවූ දේ ඔබ සැම අතරෙන් නාස්තිකර නොදැමුවොත් මම තවත් ඔබ සැම සමඟ නොසිටින්නෙමි.
13 ඔබ නැගිට සෙනඟ පවිත්‍රකරන්න, ඔවුන්ට කථාකොට: ඔබ සැම හෙට දවසට පවිත්‍රවෙන්න. මක්නිසාද ඉශ්‍රායෙල්වරුනි, ඔබ සැම අතරේ කැපවූ දෙයක් තිබේ, කැපවූ දෙය ඔබ සැම අතරෙන් පහකරන තුරු ඔබ සැමගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට ඔබ සැමට බැරිවේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
14 හෙට ඔබ සැමගේ ගෝත්‍රවල හැටියට ළංවෙන්න. ස්වාමීන්වහන්සේ ගන්නාවූ7:14 එනම්, පස ඇටයෙන් අසුකරගන්නාවූ. ගෝත්‍රය පවුල් වශයෙන් ළංවන්නේය. ස්වාමීන්වහන්සේ ගන්නාවූ7:14 එනම්, පස ඇටයෙන් අසුකරගන්නාවූ. පවුලද පෙළපත් වශයෙන් ළංවන්නේය. ස්වාමීන්වහන්සේ ගන්නාවූ7:14 එනම්, පස ඇටයෙන් අසුකරගන්නාවූ. පෙළපත එකිනෙකා වශයෙන් ළංවන්නේය.
15 කැපවූ දෙය ගත් තැනැත්තා අසුවූ කල්හි ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම කඩකළ නිසාත්, ඉශ්‍රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත්, ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුලුස්සා දමනු ලැබේයයි කියන්නැයි කීසේක.
16 යෝෂුවා අලුයම නැගිට ඉශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍රවල හැටියට ළංකෙරෙවුවේය; යූදා ගෝත්‍රය අසුවිය.
17 ඔහු යූදාගේ ගෝත්‍රය ළංකෙරෙවුවිට ශෙරහිවරුන්ගේ පවුල අසු විය. ශෙරහිවරුන්ගේ පවුල එක එක පෙළපත වශයෙන් ළංකෙරෙවු විට ශබ්දීගේ පෙළපත අසුවිය.
18 ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ළංකෙරෙවු විට යූදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් අසුවිය.
19 යෝෂුවා ආකාන්ට කථාකොට: මාගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දී, උන්වහන්සේට ඇත්ත කියා, ඔබ කළ දේ මාගෙන් නොසඟවා මට දන්වන්නැයි කීවේය.
20 ආකාන් යෝෂුවාට උත්තරදෙමින්: සැබවින් මම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමි, මම මේ මේ ආකාර කෙළෙමි:
21 කොල්ලය අතරේ ශෝභන බබිලෝනිය සළුවක්ද රිදී ෂෙකෙල් දෙසියයක්ද ෂෙකෙල් පනසක් බර ඇති රන්පේනුවක්ද7:21හෙවත්, කූඤ්ඤ හැඩයාකාර කැබෙල්ලක්. මම දැක, ඒවාට ආශාවී, ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ, ඊට යටින් රිදී තිබේ යයි කීවේය.
22 යෝෂුවා පණිවිඩකාරයන් හැරියේය, ඔව්හු කූඩාරමට දිවගියෝය; බලව, එයත් එය යට රිදීත් ඔහුගේ කූඩාරමෙහි සඟවා තිබෙනවා සම්බවුණේය.
23 ඔව්හු කූඩාරම මැද සිට ඒවා යෝෂුවා ළඟටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් ළඟටද ගෙනවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තැබූහ.
24 එවිට යෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරු ශෙරාගේ පුත්‍රවූ ආකාන්ද රිදීද සළුවද රන් පේනුවද7:24 හෙවත්, කූඤ්ඤ හැඩයාකාර කැබෙල්ලක්. ඔහුගේ පුත්‍රයන් හා දූවරුන්ද ඔහුගේ ගවයන්ද කොටළුවන්ද බැටළුවන්ද ඔහුගේ කූඩාරමද ඔහු සන්තක සියල්ලද අරගන ආකොර් මිටියාවතට ගෙනගියෝය.
25 යෝෂුවා: ඔබ අප කැලඹෙවුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අද ඔබ කලඹවනසේකැයි කීවේය. එවිට සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගැසුවෝය; ඔව්හු ඔවුන්ට ගල්ගසා, ඔවුන් ගින්නෙන් පුලුස්සා දැමුවෝය.
26 මහත් ගල් ගොඩක්ද ඔහු පිට ගොඩගැසූහ, එය අද දවස දක්වා තිබේ; ස්වාමීන්වහන්සේ තමන්ගේ බලවත් උදහසෙන් හැරුණුසේක, එබැවින් ඒ ස්ථානයට අද දවස දක්වා ආකොර් මිටියාවතයයි කියනලද්දේය.



පරිච්ඡේදය 8

1 ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: භය නොවෙන්න, නොකැලඹෙන්න. මුළු යුද්ධ සේනාව ඔබ සමඟ ගෙන නැගිට හායිට යන්න. මා විසින් හායි රජු හා ඔහුගේ සෙනඟත් ඔහුගේ නුවරත් ඔහුගේ රටත් ඔබ අතට පාවාදී තිබේ.
2 ඔබ යෙරිකෝවටත් එහි රජුටත් කළ ලෙස හායිටත් එහි රජුටත් කරන්න. නුමුත් එහි කොල්ලය හා සිව්පාවුන් ඔබ සැමට කොල්ලයක් කොට ගන්න. නුවරට එහායින් සේනාවක් රහසේ සිටුවන්නැයි කීසේක.
3 මෙසේ යෝෂුවා හා මුළු යුද්ධ සේනාව හායිට යන පිණිස නැගිට්ටෝය. යෝෂුවා බලසම්පන්න යුද්ධකාරයන් තිස් දාහක් තෝරාගෙන රාත්‍රියේ ඔවුන් යවමින්,
4 ඔවුන්ට අණකොට: ඔබ සැම නුවරට එහායින් සැඟවී සිටින්න, නුවරින් වැඩිදුර නොගොස් සියල්ලෝම සූදානම්ව සිටින්න.
5 මාද මා සමඟ සිටින සියලු සෙනඟද නුවරට ළංවී ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධව පිටතට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව;
6 මක්නිසාද: පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලායන්නෝයයි කියමින්, ඔවුන් නුවරින් ඈත්කරගන්න තුරු ඔවුන් අප පස්සේ එනවා ඇත; එබැවින් අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව.
7 එවිට ඔබ සැම සැඟවී සිටින තැනින් නැගිට ඇවිත් නුවර අල්ලාගන්න. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක ඔබ සැම අතට පාවාදෙන සේක.
8 ඔබ සැම නුවර අල්ලාගත්තාම ඒක ගිනිලන්න; ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස කරන්න. මා ඔබ සැමට අණකළ බව බලාගන්නැයි කීවේය.
9 මෙසේ යෝෂුවා විසින් යවන ලදුව ඔව්හු ගොස් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ සැඟවී සිටියෝය. නුමුත් යෝෂුවා ඒ රාත්‍රියෙහි සෙනඟ අතරේ නැවතී සිටියේය.
10 යෝෂුවා අලුයම නැගිට සෙනඟ රැස්කොට ගණන්කොට ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ සෙනඟට පෙරටුව හායිට ගියේය.
11 මුළු සෙනඟ එනම් ඔහු සමඟ සිටි සියලු යුද්ධකාරයෝ නැගී ළංවී නුවර ඉදිරිපිටට පැමිණ හායිට උතුරෙන් කඳවුරු බැඳගත්තෝය. ඔහුටත් හායිටත් අතරේ මිටියාවතක් විය.
12 ඔහු පන්දහසක් පමණ මනුෂ්‍යයන් රැගෙන ඔවුන් හායිට බස්නාහිරින් බෙතෙල්ටත් හායිටත් අතරේ රහසේ සිටෙවුවේය.
13 එසේ නුවරට උතුරෙන් සිටිය මුළු සමුදාවද නුවරට බස්නාහිරින් රහසේ සිටිය අයද යන සෙනඟ සිටෙවුවායින් පසු යෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවත මැදට ගියේය.
14 තවද හායි රජු එය දුටු කල ඔහු සහ නුවර මනුෂ්‍යයෝ වන ඔහුගේ මුළු සෙනඟත් ඉක්මන්කර අලුයම නැගිට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට අරබා සමභූමිය ඉදිරිපිට නියම ස්ථානයට පිටත්ව ගියෝය; එහෙත් නුවරට එහායින් තමාට විරුද්ධව සමූහයක් සැඟවී ඉන්න බව ඔහු නොදැන සිටියේය.
15 යෝෂුවාද සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන් ඉදිරියෙහි පැරදුණාක් මෙන් කාන්තාරයට යන මාර්ගයෙහි පලාගියෝය.
16 එවිට ඔවුන් පස්සේ එළවාගන යන පිණිස හායි නුවර සිටි මුළු සෙනඟ අඬගස්වා ගන්නාලද්දාහ. ඔව්හු යෝෂුවා පස්සේ එළවාගන ගොස් නුවරින් ඈත්වූවෝය.
17 ඉශ්‍රායෙල්වරුන් පස්සේ යන්ට පිටතට නොගිය එක මනුෂ්‍යයෙක්වත් හායිහි හෝ බෙතෙල්හි හෝ ඉතුරුනොවීය. නුවර නොවසා අත්හැර, ඔව්හු ඉශ්‍රායෙල්වරුන් එළවාගෙන ගියෝය.
18 ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔබේ අතේ තිබෙන හෙල්ලය හායි දෙසට දිගුකරන්න; මක්නිසාද මම ඒක ඔබ අතට දෙන්නෙමියි කීසේක. යෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නුවර දෙසට දිගුකෙළේය.
19 එවිට සැඟවී සිටිය සමුදාව තමුන් සිටි තැනින් වහාම නැගිට, ඔහු අත දිගුකළ කෙණෙහිම දිව ඇවිත් නුවරට වැද ඒක අල්ලා, ඉක්මන්කර ගිනිලෑවෝය.
20 හායි මනුෂ්‍යයන් පස්සට හැරී බැලූ කල නුවර ධූමය අහසට නගින බව ඔව්හු දුටුවෝය, එවිට එහෙන්වත් මෙහෙන්වත් පලායන්ට ඔවුන්ට බලයක් නොතිබුණේය. කාන්තාරය දෙසට පලාගිය සෙනඟ තමුන් ලුහුබැඳ ආවුන් දෙසට හැරුණෝය.
21 යෝෂුවා සහ සියලු ඉශ්‍රායෙල්වරු සැඟවී සිටිය සමුදාව නුවර අල්ලා ගත් බවත් නුවර ධූමය නැගෙන බවත් දැක, හැරී ඇවිත් හායි නුවර මිනිසුන් මැරුවෝය.
22 සෙස්සෝද ඔවුන්ට විරුද්ධව නුවරින් නික්ම ආවෝය; මෙසේ ඔවුන් ඒ පැත්තෙනුත් මේ පැත්තෙනුත් ඉශ්‍රායෙල්වරුන්ට මැදිවුණ කල, ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු වෙන්ට නොහැර ඔවුන්ට පහරදුන්නෝය.
23 හායි රජ පණපිටින් අල්වා යෝෂුවා ළඟට ගෙනාවෝය.
24 ඉශ්‍රායෙල්වරුන් තමුන් පස්සේ කාන්තාරයෙහි එළවාගන ආවාවූ හායිහි සියලු වැසියන් පිටතදී මරා තීන්දුකළ පසුද මෙසේ ඔවුන් සියල්ලන්ම නාස්තිවෙනතුරු කඩු මුවහතින් වැටීගිය පසුද සියලු ඉශ්‍රායෙල්වරු හායිට හැරීගොස් ඊට කඩු මුවහතින් පහරදුන්නෝය.
25 ඒ දවසේදී වැටුණු ස්ත්‍රී පුරුෂයෝ වූ හායිහි සියලු මනුෂ්‍යයෝ දොළොස් දහසක්ය.
26 මක්නිසාද යෝෂුවා හෙල්ලය දිගුකළ තමාගේ අත හායිහි සියලු වැසියන් මුළුමනින්ම විනාශකර දමන තුරු පස්සට නොගත්තේය.
27 නුමුත් සිව්පාවුන්ද ඒ නුවර කොල්ලයද ස්වාමීන්වහන්සේ යෝෂුවාට අණකළ වචනය ප්‍රකාර ඉශ්‍රායෙල්වරු තමුන්ට කොල්ලයක් කොට ගත්තෝය.
28 මෙසේ යෝෂුවා හායි ගිනිලා, එය සදාකල් පවතින ගොඩක් එනම් අද දක්වා පවතින පාළු ස්ථානයක් කෙළේය.
29 ඔහු හායිහි රජ සවස දක්වා ගසක එල්ලා තැබුවේය. ඉර බසින වේලාවේ ඔහුගේ මළකඳ යෝෂුවාගේ අණ පිට ගසින් බා, නුවර දොරකඩ හෙළා, මහත් ගල් ගොඩක් ඒ පිට ගොඩගැසුවෝය. එය අද දවස දක්වා තිබේ.
30 එවිට යෝෂුවා ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකළ පරිදි මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ලෙස,
31 කිසිවෙකු විසින් යකඩයක් නොපෙවුවාවූ. පියවි ගල්වලින් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඒබාල් කන්දෙහි පූජාසනයක් ගොඩනැගුවේය. ඔව්හු ඒක පිට ස්වාමීන්වහන්සේට දවන පූජා පුදා, ශාන්ති පූජාද ඔප්පුකළෝය.
32 ඔහු එහිදී ඒ ගල් පිට මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියුවේය. ඔහු එය ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි ලියුවේය.
33 සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන්ගේ වැඩිමහල්ලෝද මුලාදෑනීහුද විනිශ්චයකාරයෝද ස්වදේශියා සේම විදේශියාද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉසුලූ ලෙවීවරුන්වූ පූජකයන් ඉදිරියෙහි ගිවිසුම් පෙට්ටිය දෙපැත්තේ සිටියෝය; දෙකෙන් කොටසක් ගෙරිසීම් කන්ද ඉදිරිපිටය, දෙකෙන් කොටසක් ඒබාල් කන්ද ඉදිරිපිටය. මෙසේ කළේ පළමුකොටම ඉශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුය කියා ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ හැටියටය.
34 ඉන්පසු ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට ආශීර්වාදයත් ශාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙවුවේය.
35 මෝසෙස් අණකළ සියල්ලෙන් යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සභාවද ස්ත්‍රීන්ද බාලයන්ද ඔවුන් අතරෙහි හැසුරුණ විදේශීන්ද ඉදිරියේදී නොකියෙවු එකද වචනයක් නොවීය.



පරිච්ඡේදය 9

1 යොර්දානෙන් මෙගොඩ කඳු රටෙහිත් පාත රටෙහිත් ලෙබනොන් ඉදිරිපිට තිබෙන මහ මුහුද අසබඩ මුළුල්ලෙහිත් සිටිය හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද කානානිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද සියලු රජවරුන් ඒ ඇසූ කල,
2 ඔව්හු එක් සිත්ව යෝෂුවාට සහ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට එකට රැස්වූවෝය.
3 නුමුත් ගිබියොන් වැසියන් යෝෂුවා විසින් යෙරිකෝවටත් හායිටත් කළදේ ඇසූ විට,
4 ඔව්හු ප්‍රයෝගයෙන් හැසිරෙමින්, තානාපතීන් මෙන් පිටත්ව, පරණ ගෝණිද පැළී පිළියම්කළ පරණ සම් මුද්‍රිකපාන භාජනද තමුන්ගේ කොටළුවන් පිට පටවාගෙන,
5 අණ්ඩ දැමූ පරණ වහන් පයලාගෙන, පරණ වස්ත්‍ර හැඳගන ගියෝය; ඔවුන්ගේ කෑමට ගත් රොටි සියල්ලද වේළී පුස්බැඳී තිබුණේය.
6 ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවා වෙතට ගොස් ඔහුටත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ටත් කථාකොට: අපි දුර රටකින් ආවෙමුව. එබැවින් අප සමඟ ගිවිසුමක් කළමැනවියි කීවෝය.
7 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද: ඔබ සැම අප අතරේ වසනවා වෙන්ට පුළුවන; කෙසේ අපි ඔබ සැම සමඟ ගිවිසුමක් කරමුදැයි හිවීවරුන්ට කීවෝය.
8 ඔව්හු: අපි ඔබවහන්සේගේ දාසයෝයයි යෝෂුවාට කීවෝය. යෝෂුවාද: ඔබ සැම කවුරුද? කොතැනින් ආවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
9 ඔව්හු උත්තරදෙමින්: ඔබවහන්සේගේ දාසයෝවූ අපි ඔබවහන්සේගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිසා බොහෝ දුර රටකින් ආවෙමුව. මක්නිසාද උන්වහන්සේගේ කීර්තියද උන්වහන්සේ විසින් මිසරයෙහි කළ සියල්ලද,
10 යොර්දානෙන් එගොඩ සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙන්නා වන හෙෂ්බොන්හි රජවූ සීහොන්ටත් අෂ්ටාරොත්හි සිටි බාෂාන්හි රජවූ ඕග්ටත් කළ සියල්ලද ඇසීමුව.
11 එබැවින් අපේ වැඩිහිටි මහල්ලෝද අපේ රට වැසි සියල්ලෝද අපට කථාකොට: ඔබ සැමගේ ගමනට ආහාර රැගෙන ඔවුන් සම්මුඛවෙන්ට ගොස්-අපි ඔබවහන්සේලාගේ දාසයෝය කියාද අප සමඟ ගිවිසුමක් කළ මැනවියි කියාද ඔවුන්ට කියන්නැයි අපට කීවෝය.
12 ඔබවහන්සේලා ළඟට එන්ට අප පිටත්වුණ දවසේදී අපේ ආහාර පිණිස මේ රොටි උනුහුම්ව තිබෙද්දීම අපේ ගෙවලින් ගතිමුව; නුමුත් දැන් මේවා වේළී පුස්බැඳීතිබේ.
13 අප විසින් පිරෙවු මේ මුද්‍රිකපාන සම්භාජන අලුත්ව තිබුණේය; දැන් මේවා ඉරී තිබේ. මේ අපේ වස්ත්‍රද වහන්ද ගමන ඉතා දුර නිසා පරණ වී තිබෙනවායයි කීවෝය.
14 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගෙන් දැනුමැතිකම් නොවිචාරා ඔවුන්ගේ ආහාරවලින් පිළිගත්තෝය.
15 යෝෂුවා ඔවුන් සමඟ සමාදානවී, ඔවුන්ගේ ප්‍රාණ ඉතුරුකරන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. සභාවේ අධිපතීහුද ඔවුන්ට දිවුරුම් දුන්නෝය.
16 එහෙත් ඔවුන් සමඟ ගිවිසුමක් කර තුන් දවසකට පසු ඔවුන් තමුන්ගේ අසල්වාසීන් බවත් තමුන් අතරෙහි වාසයකරන බවත් ඔවුන්ට ආරංචිවුණේය.
17 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කොට තුන්වෙනි දින ඔවුන්ගේ නුවරවලට පැමිණියෝය. ඔවුන්ගේ නුවරවල් නම් ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිර්යත්-යෙයාරීම් යන මේවාය.
18 සභාවේ අධිපතීන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔවුන්ට දිවුරුම්දී තිබුණු නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට පහර නුදුන්නෝය. මුළු සභාව අධිපතීන්ට විරුද්ධව කොඳුළෝය.
19 නුමුත් සියලු අධිපතීහු කථාකොට: අපි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔවුන්ට දිවුළෙමුව, එබැවින් ඔවුන්ට අත ගසන්ට නොහැකිවමුව.
20 අප විසින් ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට නොපැමිණෙන පිණිස, ඔවුන්ට ජීවත්වෙන්ට ඉඩහැර, ඔවුන්ට මෙසේ කරමුයයි මුළු සභාවට කීවෝය.
21 තවද අධිපතීහු ඔවුන්ට කථාකොට: ඔව්හු ජීවත්වෙත්වයි කීවෝය. අධිපතීන් විසින් ඔවුන්ට කී හැටියට ඔව්හු වනාහි මුළු සභාවට දර කපන්නෝද දිය අදින්නෝද වූහ.
22 යෝෂුවා ඔවුන් කැඳවා: ඔබ සැම අප අතරේ වාසයකරද්දී-අපි ඔබවහන්සේලාට බොහෝ දුරින් සිටිමුව කියා අප රැවටුවේ මක්නිසාද?
23 ඉතින් ඔබ සැම ශාපලද්දෝය, ඔබ සැමගෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දර කපන්නෝද දිය අදින්නෝද යන දාසයෝ කිසි කලක තොරනොවන්නාහයි ඔවුන්ට කීවේය.
24 ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: මුළු දේශය ඔබවහන්සේලාට දෙන්ටත් ඔබවහන්සේලා ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශකරදමන්ටත් ඔබවහන්සේලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ බව ඔබගේ දාසයන්ට සැබවින් දන්වන්ට යෙදුණේය; එබැවින් අපි ඔබවහන්සේලා නිසා අපේ ප්‍රාණ ගැන ඉතා භයව මේ දේ කෙළෙමුව.
25 ඉතින් අපි ඔබ අතේය; ඔබට යහපත්ව හරිව පෙනෙන ලෙස අපට කළ මැනවියි කීවෝය.
26 ඔහු ඔවුන්ට එලෙසම කොට, ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔවුන් මරානොදමන ලෙස ඔවුන් අතින් ගළවාගත්තේය.
27 අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.



පරිච්ඡේදය 10

1 යෝෂුවා හායි නුවර අල්වා ඒක සිඳදමා, ඔහු යෙරිකෝවටත් එහි රජුටත් කළ හැටියට හායිටත් එහි රජුටත් කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන් අතරේ සිටින බවත් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක් ඇසූ කල,
2 ඔව්හු ඉතා භයවූවෝය, මක්නිසාද ගිබියොන් රාජකීය නුවරක් මෙන් මහත් නුවරක්ව තිබුණේය; ඒක හායිට වඩා මහත් විය, එහි සියලු මනුෂ්‍යයෝද බලවන්තයෝ වූහ.
3 එබැවින් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක්: ගිබියොන්වරුන් යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද සමඟ සමාදානවූ නිසා අප ඊට පහරදෙන පිණිස මා වෙතට අවුත් මට උපකාර කරන්නැයි
4 හෙබ්‍රොන්හි රජවූ හෝහාම්ටද යර්මුත්හි රජවූ පීරාම්ටද ලාකීෂ්හි රජවූ යපියාටද එග්ලොන්හි රජවූ දෙබීර්ටද කියා යැවීය.
5 එබැවින් අමෝරිවරුන්ගේ රජවරු පස්දෙන එනම් යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යර්මුත්හි රජද ලාකීෂ්හි රජද එග්ලොන්හි රජද එකතුව ඔව්හුද ඔවුන්ගේ සියලු සේනාවෝද ගොස් ගිබියොන් ඉදිරියේ කඳවුරු බැඳ ඊට විරුද්ධව යුද්ධ කළෝය.
6 එවිට ගිබියොන් හි මනුෂ්‍යයෝ: ඔබගේ දාසයන් අත්නෑර අප වෙතට ඉක්මනින් අවුත් අප ගළවා අපට උපකාරකළ මැනවි. මක්නිසාද කඳු රටේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධව එකතුවී සිටිතියි ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවාට කියා යැවූහ.
7 එවිට යෝෂුවා මුළු යුද්ධ හමුදාවද සියලු බලවන්ත යුද්ධකාරයන්ද සමඟ ගිල්ගාල් කෙරෙන් නැගී ගියේය.
8 ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද මා විසින් ඔවුන් ඔබ අතට පාවාදී තිබේ; ඔවුන්ගෙන් කිසිවෙක්වත් ඔබ ඉදිරියේ නොසිටින්නේයයි කීසේක.
9 යෝෂුවා ගිල්ගාල්හි සිට රාත්‍රිය මුළුල්ලේ නැගී ගොස් හදිසියෙන් ඔවුන් ළඟට පැමිණියේය.
10 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය.
11 තවද ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලායද්දී, බෙත්-හෝරොන් පල්ලමේදී, අසේකා දක්වා ස්වාමීන්වහන්සේ අහසෙන් මහත් ගල් ඔවුන් පිටට හෙළූසේක, එයින් ඔව්හු මැරුණෝය. ගල් වැස්සෙන් නැසුණු අය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූහ.
12 ස්වාමීන්වහන්සේ අමෝරිවරුන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පාවාදුන් ඒ දවසේදී යෝෂුවා ස්වාමීන්වහන්සේට කථාකොට මුළු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහිදී කියනුයේ: එම්බා සූර්යය, තෝ ගිබියොන් පිටද, චන්ද්‍රය, තෝ ආයාලොන් මිටියාවත පිටද නැවතී සිටිව්යයි කීවේය.
13 එවිට සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සූර්යයා නැවතී සිටියේය, චන්ද්‍රයාද නැවතුණේය. මෙපවත් යාෂාර්ගේ 10:13 හෙවත්-ධර්මිෂ්ඨයාගේ. පොතේ ලියා තිබෙනවා නොවේද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැසීමට ඉක්මන් නොවී අහස මැද සිටියේය.
14 ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ හඬ ඇසූ එබඳු දවසක් ඊට ප්‍රථමවත් පසුවවත් නොවීය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන්කළසේක.
15 ඉක්බිති යෝෂුවාද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිල්ගාල්හි කඳවුරට හැරී ගියෝය.
16 ඒ රජවරුන් පස්දෙනා පලාගොස් මක්කේදාහි ගුහාවේ සැඟවුණාහ.
17 රජවරුන් පස්දෙනා මක්කේදාහි ගුහාවේ සැඟවී ඉන්නවා සම්බවීයයි යෝෂුවාට දන්වනලද්දේය.
18 යෝෂුවාද: ඔබ සැම ගුහාවේ කටට ලොකු ගල් පෙරළා තබා, ඔවුන් මුරකරන්ට මිනිසුන් සිටුවන්න.
19 එහෙත් ඔබ සැම වනාහි නැවතී නොසිටින්න; ඔබ සැමගේ සතුරන් පස්සේ එළවාගෙන ගොස් ඔවුන්ගෙන් පස්සේ සිටින්නන්ට පහර දෙන්න; තමුන්ගේ නුවරවලට ඇතුල්වෙන්ට ඉඩනාරින්න. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් ඔබ සැම අතට දී තිබේ යයි කීවේය.
20 යෝෂුවා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන් විනාශවනතෙක් ඉතා මහත් මැරීමකින් ඔවුන් මරා නිමකළ පසුද, ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නුවරවලට ඇතුල්වූ පසුද,
21 මුළු සෙනඟ මක්කේදාහි කඳවුරට යෝෂුවා වෙතට සුවසේ හැරී ආවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විරුද්ධව කවරෙක්වත් තමාගේ දිව නොසෙල්විය.
22 එවිට යෝෂුවා කථාකොට: ගුහාවේ කට ඇර ඒ රජුන් පස්දෙනා ගුහාවෙන් මා ළඟට ගෙනෙන්නැයි කීය.
23 ඔව්හු එසේ කොට ඒ රජවරුන් පස්දෙනා එනම් යෙරුසලමේ රජද හෙබ්‍රොන්හි රජද යර්මුත්හි රජද ලාකීෂ්හි රජද එග්ලොන්හි රජද ගුහාවෙන් ඔහු ළඟට ගෙනාවෝය.
24 තවද ඔවුන් ඒ රජුන් යෝෂුවා වෙතට ගෙනා කල, යෝෂුවා සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් කැඳවා තමා සමඟ ගිය යුද්ධකාරයන්ගේ අධිපතීන්ට කථාකර: ළංවී ඔබ සැමගේ පාද මේ රජුන්ගේ කුළල් මත්තෙහි තබන්නැයි කීවේය. ඔව්හු ළංව තමුන්ගේ පාද ඔවුන්ගේ කුළල් මත්තෙහි තැබුවෝය.
25 යෝෂුවා ඔවුන්ට කථාකොට: භයනොවී නොකැලඹී සිටින්න, ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද ඔබ සැමට විරුද්ධව යුද්ධකරන ඔබ සැමගේ සියලු සතුරන්ට ස්වාමීන්වහන්සේ මෙසේ කරනසේකැයි කීවේය.
26 ඉන්පසු යෝෂුවා ඔවුන්ට පහරදී මරා, ගස් පහක එල්ලුවේය. ඔවුන් සවස දක්වා ගස්වල එල්ලා තබා තිබුණේය.
27 ඉර බසින වේලාවේ යෝෂුවාගේ අණ පිට ඔව්හු ඔවුන් ගස්වලින් බා ඔවුන් සැඟවී සිටිය ගුහාවේ දමා, අද දක්වාම තිබෙන මහත් ගල් ඒ ගුහා කටෙහි තැබුවෝය.
28 ඒ දවසේ යෝෂුවා මක්කේදා අල්වා ඊටත් එහි රජුටත් කඩු මුවහතින් පහරදී, එකද කෙනෙක්වත් ඉතුරු නොකර, ඔවුන්ද එහි සිටිය සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකරදමා, යෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේය.
29 මක්කේදාහි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලිබ්නාට ගොස් ලිබ්නාට විරුද්ධව යුද්ධකෙළේය.
30 ස්වාමීන්වහන්සේ ඒකත් එහි රජුත් ඉශ්‍රායෙල්වරුන් අතට පාවාදුන්සේක; ඔව්හු එහි සිටිය එක්කෙනෙක්වත් ඉතුරු නොකොට එයටත් එහි සිටිය සියලු ප්‍රාණීන්ටත් කඩු මුවහතින් පහරදී, යෙරිකෝවේ රජුට කළාක් මෙන් එහි රජුටත් කළෝය.
31 ලිබ්නාහි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලාකීෂ්ට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ, ඊට විරුද්ධව යුද්ධකෙළේය.
32 ස්වාමීන්වහන්සේ ලාකීෂ්ද ඉශ්‍රායෙල්වරුන් අතට පාවාදුන්සේක, ඔහු දෙවෙනි දවසේදී එය අල්ලාගන ලිබ්නාට කළ සියල්ල ලෙස ඊටත් එහි සිටිය සියලු ප්‍රාණීන්ටත් කඩු මුවහතින් පහරදුන්නේය.
33 එවිට ගෙශෙර්හි රජවූ හොරාම් ලාකීෂ්ට උපකාර කරන පිණිස ආයේය; යෝෂුවා ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවෙන තුරු ඔහුටත් ඔහුගේ සෙනඟටත් පහරදුන්නේය.
34 ලාකීෂ්හි සිට යෝෂුවා ඉශ්‍රායෙල්වරුන් සමඟ එග්ලොන්ට ගොස් එය ඉදිරිපිට කඳවුරු බැඳ ඊට විරුද්ධව යුද්ධකෙළේය;
35 ඔව්හු ඒ දවසේදී එය අල්ලාගෙන, ඊට කඩු මුවහතින් පහරදී, ලාකීෂ්ට කළ සියල්ල ලෙස එහි සිටි සියලු ප්‍රාණීන්ද ඒ දවසේදී මුළුමනින්ම විනාශකර දැමුවෝය.
36 එග්ලොන්හි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ හෙබ්‍රොන්ට ගොස් ඊට විරුද්ධව යුද්ධකොට එය අල්ලාගෙන,
37 ඊටත් එහි රජුටත් ඊට අයිති සියලු නුවරවලටත් එහි සිටි සියලු ප්‍රාණීන්ටත් කඩු මුවහතින් පහරදී, එග්ලොන්ට කළ සියල්ල ලෙස එක්කෙනෙකුවත් ඉතුරුනොකොට එයද එහි සිටි සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකර දැමුවේය.
38 යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ දෙබීර්ට හැරී ඇවිත් ඊට විරුද්ධව යුද්ධකොට,
39 එය සහ එහි රජුද ඊට අයිති සියලු නුවරවල්ද අල්ලාගෙන, කඩු මුවහතින් පහරදී, එක්කෙනෙකුවත් ඉතුරුනොකර එහි සිටිය සියලු ප්‍රාණීන් මුළුමනින්ම විනාශකර දැමුවේය; ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන්ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන්ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේය.
40 මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය.
41 කාදේෂ්-බර්නේය පටන් ගාසා දක්වාද මුළු ගෝෂෙන් රටෙහි ගිබියොන් දක්වාද යෝෂුවා ඔවුන්ට පහරදුන්නේය.
42 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ බැවින් යෝෂුවා ඒ සියලු රජුන්ද ඔවුන්ගේ දේශයද එකවිටම අල්ලා ගත්තේය.
43 ඉක්බිති යෝෂුවාද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිල්ගාල්හි කඳවුරට හැරී ආවෝය.



පරිච්ඡේදය 11

1 තවද හාශොර්හි රජවූ යාබීන් මේ දේ ඇසූ කල, මාදොන්හි රජවූ යෝබාබ්ටද ෂිම්රොන්හි රජුටද ආක්ෂාප්හි රජුටද,
2 උතුරු දිශාවේ කඳු රටේ සහ කින්නෙරොත්ට දකුණෙන් තිබෙන අරබා සමභූමියෙහිත් පාත රටෙත් බස්නාහිරෙන් තිබෙන දෝර් කඳුකරයෙහිත් සිටිය රජවරුන්ටද,
3 නැගෙනහිරෙන් සහ බස්නාහිර දිගෙනුත් සිටිය කානානිවරුන්ටද අමෝරිවරුන්ටද හිත්තීවරුන්ටද පෙරිස්සිවරුන්ටද කඳු රටේ සිටි යෙබූසිවරුන්ටද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් සිටිය හෙවීවරුන්ටද කියා යැවීය.
4 ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් බොහෝවූ සෙනඟක් වන තමුන්ගේ සියලු සේනාවල්ද අශ්වයන් හා රථ ඉතා මහත් ගණනක්ද ඇතුව පිටත්ව ආවෝය.
5 මේ සියලු රජවරු රැස්වී ඇවිත්, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්ට මෙරොම්හි ජල ළඟ එක්ව කඳවුරු බැඳගත්තෝය.
6 ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන් ගැන භයනොවන්න. මක්නිසාද ඔවුන් මැරුම්කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් සියල්ලන් ඉශ්‍රායෙල්වරුන් අතට පාවා දෙන්නෙමි. ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුලුස්සාදමන්නැයි කීසේක.
7 මෙසේ යෝෂුවා මුළු යුද්ධ සේනාව සමඟ මෙරොම්හි ජල ළඟ සිටි ඔවුන්ට විරුද්ධව හදිසියෙන් අවුත් ඔවුන් මැදට වන්නේය.
8 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන්සේක, ඔව්හු ඔවුන්ට පහරදී මහ ශීදොන් දක්වාද මිස්රෙඵොත්-මයිම් දක්වාද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වාද ඔවුන් එළවාගන ගොස් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහරදුන්නෝය.
9 යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ඔවුන්ට කරමින් ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුලුස්සා දැමුවේය.
10 ඒ ප්‍රස්තාවේ යෝෂුවා හැරී ඇවිත් හාශොර් අල්වාගෙන එහි රජුට කඩුවෙන් පහරදුන්නේය. මක්නිසාද හාශොර් ඉහතදී ඒ සියලු රාජ්‍යවල ප්‍රධාන නුවරව තිබුණේය.
11 ඔව්හු එහි සිටිය සියලු ප්‍රාණීන්ට කඩු මුවහතින් පහරදී ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවෝය. හුස්ම ඇති කිසිවෙක් ඉතුරු නොවීය. ඔහු හාශොර් ගින්නෙන් පුලුස්සා දැමුවේය.
12 යෝෂුවා මේ සියලු රජුන්ගේ නුවරවල්ද එහි සියලු රජුන්ද අල්වාගෙන, ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ ලෙස කඩුමුවහතින් ඔවුන්ට පහරදී ඔවුන් සිඳදැමුවේය.
13 එහෙත් හෙල් පිට පිහිටා තිබුණ සියලු නුවරවලින් හාශොර් මිස එකක්වත් ඉශ්‍රායෙල්වරු පුලුස්සා නොදැමුවෝය.
14 යෝෂුවා හාශොර් පමණක් පුලුස්සා දැමුවේය. ඒ නුවරවල මුළු කොල්ලයද සිව්පාවුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ට කොල්ලයක් කොට ගත්තෝය; නුමුත් තමුන් විසින් සියලු මනුෂ්‍යයන් විනාශකරනු ලබන තුරු ඔවුන්ට කඩු මුවහතින් පහරදුන්නෝය, හුස්ම හෙළන කිසිවෙකු ඔව්හු ඉතුරු නොකළෝය.
15 ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ ලෙස මෝසෙස් යෝෂුවාට අණකෙළේය. යෝෂුවාද එසේ කෙළේය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ලෙන් ඔහු කිසිවක් නොකොට නොසිටියේය.
16 මෙසේ සේයිර්ට නගින මාර්ගයෙහි හලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් දක්වා,
17 කඳු රටද මුළු දකුණු දිශාවද මුළු ගෝෂෙන් රටද පාත රටද අරබා සමභූමියද ඉශ්‍රායෙල් කඳු රටද එහි පාත රටද යන මුළු දේශය යෝෂුවා අත්කරගන, එහි සියලු රජුන්ද අල්වා, ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය.
18 ඒ සියලු රජුන් සමඟ යෝෂුවා බොහෝ කල් යුද්ධ කෙළේය.
19 ගිබියොන්හි වැසියන්වූ හිවීවරුන් මිස වෙන කිසි නුවරක් ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ සමාදාන නොවීය. ඔව්හු යුද්ධයෙන් අවශේෂ සියල්ලම අල්වාගත්තෝය.
20 මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් සමඟ යුද්ධ කරන්ට පැමිණීමට ඔවුන්ගේ සිත් දැඩිකර ගැනීම ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු කාරණයක්ය. මෙසේ වුණේ ඔවුන්ට කරුණානොකර, ඔවුන් මුළුමනින්ම විනාශකර දමා, ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ පරිදි ඔහු විසින් ඔවුන් සිඳදමන පිණිසය.
21 ඒ කාලයෙහි යෝෂුවා අවුත් කඳු රටින්ද හෙබ්‍රොන් කෙරෙන්ද දෙබීර් කෙරෙන්ද අනාබ් කෙරෙන්ද මුළු යූදා කඳු රටෙන්ද මුළු ඉශ්‍රායෙල් කඳු රටෙන්ද අනාක්වරුන් නැතිකර දැමුවේය. යෝෂුවා ඔවුන්ගේ නුවරවල් සමඟ ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවේය.
22 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ දේශයෙහි අනාක්වරුන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය. ගාසාහිද ගාත්හිද අෂ්දොද්හිද පමණක් ඔව්හු ඉතුරුව සිටියෝය.
23 මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී සියල්ල ලෙස යෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර බෙදීම්වල හැටියට ඒක ඔවුන්ට උරුමයක් කොට දුන්නේය. එවිට යුද්ධය නැවතී දේශය නිශ්චලවිය.



පරිච්ඡේදය 12

1 නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය.
2 හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද, මිටියාවත මැද තිබෙන නුවර පටන්ද, අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහිද,
3 නැගෙනහිරට කින්නෙරොත් මුහුද දක්වාත් බෙත්-යෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාවුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහිද ආණ්ඩුකෙළේය.
4 රෙපායිම්වරුන්ගෙන් ඉතුරුව සිටිය බාෂාන්හි රජවූ ඕග්ගේ පළාතටත් පහරදී ඔව්හු එය හිමිකරගත්තෝය. ඔහු අෂ්තාරොත්හිත් එද්‍රයෙහිත් වාසය කොට
5 හෙර්මොන් කන්දද සලෙකාද ගෙෂූර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමාව දක්වා මුළු බාෂාන්ද හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ සීමාව දක්වා ගිලියද් අර්ධයක්ද කෙරෙහි ආණ්ඩුකෙළේය.
6 ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔවුන්ට පහර දුන්නෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඒ රට රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් කොට දුන්නේය.
7 බස්නාහිරට යොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතෙහි තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නගින මාර්ගයෙහි හලක් කන්ද දක්වා යෝෂුවා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහර දුන්නාවූ, යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවලට ඔවුන්ගේ බෙදීම්වල හැටියට උරුමයක් කොට දුන්නාවූ දේශයේ රජවරු මොව්හුය:
8 එනම් කඳු රටෙහිද පාත රටෙහිද අරබා සමභූමියෙහිද කඳු බෑවුම් ළඟද කාන්තාරයෙහිද දකුණු දිශාවෙහිද සිටිය හිත්තීවරුත් අමෝරිවරුත් කානානිවරුත් පෙරිස්සිවරුත් හිවීවරුත් යෙබූසිවරුත්ය.
9 යෙරිකෝවේ රජ එක්කෙනෙක්ය; බෙතෙල් අසල හායිහි රජ එක්කෙනෙක්ය;
10 යෙරුසලමේ රජ එක්කෙනෙක්ය; හෙබ්‍රොන්හි රජ එක්කෙනෙක්ය;
11 යර්මුත්හි රජ එක්කෙනෙක්ය; ලාකීෂ්හි රජ එක්කෙනෙක්ය;
12 එග්ලොන්හි රජ එක්කෙනෙක්ය; ගෙසෙර්හි රජ එක්කෙනෙක්ය;
13 දෙබීර්හි රජ එක්කෙනෙක්ය; ගෙදෙර්හි රජ එක්කෙනෙක්ය;
14 හොර්මාහි රජ එක්කෙනෙක්ය; අරාද්හි රජ එක්කෙනෙක්ය;
15 ලිබ්නාහි රජ එක්කෙනෙක්ය; අදුල්ලාම්හි රජ එක්කෙනෙක්ය;
16 මක්කේදාහි රජ එක්කෙනෙක්ය; බෙතෙල්හි රජ එක්කෙනෙක්ය;
17 තප්පුවාහි රජ එක්කෙනෙක්ය;
18 හේපෙර්හි රජ එක්කෙනෙක්ය; අපෙක්හි රජ එක්කෙනෙක්ය; ලෂ්ෂාරොන්හි රජ එක්කෙනෙක්ය;
19 මාදොන්හි රජ එක්කෙනෙක්ය; හාශොර්හි රජ එක්කෙනෙක්ය;
20 ෂිම්රොන්-මෙරොන්හි රජ එක්කෙනෙක්ය; අක්ෂාප්හි රජ එක්කෙනෙක්ය;
21 තයනාක්හි රජ එක්කෙනෙක්ය; මෙගිද්දෝහි රජ එක්කෙනෙක්ය;
22 කෙදෙෂ්හි රජ එක්කෙනෙක්ය; කර්මෙල්ට අයිති යොක්නෙයාම්හි රජ එක්කෙනෙක්ය;
23 දෝර් කඳුකරේ වූ දෝර්හි රජ එක්කෙනෙක්ය; ගිල්ගාල්හි සිටිය ජාතීන්ගේ රජ එක්කෙනෙක්ය;
24 තිර්ශාහි රජ එක්කෙනෙක්ය. සියලු රජවරු තිස්එක්දෙනෙක්ය.



පරිච්ඡේදය 13

1 යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටි කල ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: ඔබ මහලුව වයෝවෘද්ධව සිටින්නෙහිය, හිමිකරගැනීමට දේශයෙන් විශාල කොටසක් තවම ඉතුරුව තිබේ.
2 තවත් ඉතුරුව තිබෙන දේශය මේය: මිසරය ඉදිරිපිට තිබෙන ෂීහෝර් පටන් කානානිවරුන්ට අයිතිව උතුරේ තිබෙන එක්‍රොන් සීමාව දක්වා
3 පිලිස්තිවරුන්ගේ සියලු පළාත් වන ගාසාවරුද අෂ්දොද්වරුද අෂ්කෙලොන්වරුද ගිත්තීවරුද එක්‍රොන්වරුද යන පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනාගේ පළාත් සහ මුළු ගෙෂූරත් අව්විවරුන්ගේ පළාතත්ය.
4 දකුණු දිශාවේද ශීදොන්වරුන්ට අයිතිවූ මෙයාරාහිද පටන් අපෙක්ට පැමිණෙන තුරු අමෝරිවරුන්ගේ සීමාව දක්වා කානානිවරුන්ගේ මුළු දේශයත්,
5 ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා මුළු ලෙබනොනුත්ය.
6 ලෙබනොන් පටන් මිස්රෙපොත්-මයිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු ශීදොන්වරුන් මම ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දමන්නෙමි. මා විසින් ඔබට අණකළ හැටියට පසඇට දමා එය ඉශ්‍රායෙල්වරුන්ට උරුමයක් කොට බෙදන්න.
7 එබැවින් දැන් මේ දේශය ගෝත්‍ර නවයටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් බෙදාදෙන්නැයි කීසේක.
8 අනික් අර්ධ ගෝත්‍රයටත් රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ඔවුන්ට ලැබී තිබුණේය.
9 එනම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද දීබොන් දක්වා තිබෙන මේදෙබාහි මුළු තලාවද,
10 හෙෂ්බොන්හි රජකම්කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ට අම්මොන් පුත්‍රයන්ගේ සීමාව දක්වා තිබුණු සියලු නුවරවල්ද,
11 ගිලියද්ද ගෙෂූර්වරුන්ගෙත් මයකාත්වරුන්ගෙත් පළාතද මුළු හෙර්මොන් කඳුකරයද අෂ්ටාරොත්හිත් එද්‍රයෙහිත් රජකම් කළාවූ
12 ඕග් රජුගේ මුළු රාජ්‍යය වන සලෙකා දක්වා තිබෙන මුළු බාෂාන්ද යන මේවාය. (ඔහු රෙපායිම් යෝධයන්ගෙන් ඉතුරුව සිටිය කෙනෙකි.) මෝසෙස් ඔවුන්ට පහරදී ඔවුන් පන්නා දැමුවේය.
13 එසේවී නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගෙෂූර්වරුන්ද මයකාත්වරුන්ද පන්නා නොදැමුවෝය. ගෙෂූර්වරුද මයකාත්වරුද අද දක්වා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි වාසය කරති.
14 ලෙවී ගෝත්‍රයට පමණක් ඔහු කිසි උරුමයක් නුදුන්නේය; ඔහු ඔවුන්ට කී ලෙස ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජාවල්ය.
15 මෝසෙස් රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට දුන්නේය.
16 ඔවුන්ගේ පළාත නම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද මේදෙබා ළඟ තිබෙන මුළු තලාවද,
17 හෙෂ්බොන් සහ ඊට අයිතිවූ තලාවේ තිබෙන සියලු නුවරවල් වන දීබොන්ද බාමොත්-බාල්ද බෙත්-බාල්-මෙයොන්ද,
18 යාහශ්ද කෙදේමොත්ද මෙපාත්ද,
19 කිරියාතයිම්ද සිබ්මාද මිටියාවතේ කන්දෙහි තිබෙන ශෙරෙත්-ෂහර්ද,
20 බෙත්-පෙයෝර්ද පිස්ගාහි පාවුලද බෙත්-යෙෂිමොත්ද,
21 තලාවේ සියලු නුවරවල්ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ මුළු රාජ්‍යයද යන මේවාය. ඔහුට සහ දේශයෙහි වාසය කළාවූ සීහොන්ගේ අමාත්‍යයන්ව සිටියාවූ මිදියන්හි අධිපතීන් වන එවීටත් රෙකෙම්ටත් ශූර්ටත් හූර්ටත් රෙබාටත් මෝසෙස් පහරදුන්නේය.
22 ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් මරනලද්දවුන් අතරේ ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් නම් පේනකියන්නාද කඩුවෙන් මැරූහ.
23 යොර්දානද එහි අසබඩද රූබෙන් පුත්‍රයන්ගේ සීමාව විය. එය වනාහි නුවරවල්ද ඒවායේ ගම්ද ඇතුළුව රූබෙන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ට ලැබුණු උරුමයය.
24 මෝසෙස් ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට දුන්නේය.
25 ඔවුන්ගේ පළාත නම් යාශෙර්ද ගිලියද්හි සියලු නුවරවල්ද රබ්බා ඉදිරිපිට තිබෙන අරොයෙර් දක්වා අම්මොන් පුත්‍රයන්ගේ රටෙන් දෙකෙන් කොටසද,
26 හෙෂ්බොන් පටන් රාමත්-මිශ්පේ සහ බෙතොනීම් දක්වාත් මහනයිම් පටන් දෙබීර් සීමාව දක්වාත් තිබෙන පළාතද,
27 හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතුරු කොට්ඨාසය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම්ද බෙත්-නීම්රාද සුක්කොත්ද ශාපොන්ද නැගෙනහිරට යොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වා යොර්දාන සහ සීමාවද යන මේය.
28 ඒ වනාහි නුවරවල්ද ඒවායේ ගම්ද ඇතුළුව පවුල්වල හැටියට ගාද් පුත්‍රයන්ට ලැබුණු උරුමයය.
29 මෝසෙස් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් දුන්නේය. එය මනස්සේ පුත්‍රයන්ගේ අර්ධ ගෝත්‍රයට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.
30 ඔවුන්ගේ පළාත නම් මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජවූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන යායිර්ගේ සියලු නිවාස වන නුවරවල් හැටකුත්ය.
31 ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.
32 මෝසෙස් විසින් නැගෙනහිරට යොර්දානෙන් එගොඩ මෝවබ් සමභූමිවල යෙරිකෝව ළඟදී බෙදාදුන් උරුම කොටස් මේවාය.
33 නුමුත් ලෙවී ගෝත්‍රයට මෝසෙස් කිසි උරුමයක් නුදුන්නේය. ඔවුන්ට කී හැටියට ඔවුන්ගේ උරුමය නම් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය.



පරිච්ඡේදය 14

1 පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද විසින් ඔවුන්ට බෙදා දුන්නාවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි ලැබුණාවූ උරුම කොටස් මේවාය.
2 ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් පස ඇට දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේය.
3 මක්නිසාද ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් යොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුම දුන්නේය. නුමුත් ලෙවීවරුන්ට ඔහු ඔවුන් අතරේ උරුමයක් නුදුන්නේය.
4 මක්නිසාද යෝසෙප්ගේ පුත්‍රයෝ වනාහි මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකක්වූහ. ලෙවීවරුන්ට විසීම පිණිස නුවරවල්ද ඔවුන්ගේ සිව්පාවුන් හා දේපළ උදෙසා ඒ නුවරවල පිට-බිම්ද මිස දේශයේ කිසි කොටසක් ඔව්හු නුදුන්නෝය.
5 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කරමින් දේශය බෙදුවෝය.
6 එවිට යූදාගේ පුත්‍රයෝ ගිල්ගාල්හි සිටි යෝෂුවා වෙතට ආවෝය. කෙනිස්සියවූ යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ට ස්වාමීන්වහන්සේ කාදෙෂ්-බර්නේයේදී මා ගැනත් ඔබ ගැනත් කී කාරණය ඔබ දන්නෙහිය.
7 දේශය සෝදිසිකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල සතළිස් අවුරුද්දක් වයස්ව සිටියෙමි; මමද හැරී ඇවිත් මාගේ සිතේ කල්පනාව ලෙස ඔහුට ප්‍රවෘත්තිය කීවෙමි.
8 එහෙත් මා සමඟ ගිය මාගේ සහෝදරයෝ සෙනඟගේ සිත් දියව යන්ට සැලැස්සුවෝය. නුමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගියෙමි.
9 මෝසෙස් ඒ දවසේ දිවුරමින්: ඔබ සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා සැබවින්ම ඔබ පය තැබූ දේශය ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් සදාකාල උරුමයක් පිණිස වන්නේයයි කීවේය.
10 බලව, ඉශ්‍රායෙල්වරුන් කාන්තාරයෙහි හැසුරුණු කල්හි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට මේ වචනය කී කාලයේ සිට මේ සතළිස් පස් අවුරුද්ද තුළ ස්වාමීන්වහන්සේ කී හැටියට මා ජීවත්කොට රක්ෂාකළසේක. අද මම අසූපස් අවුරුද්දක් වයස්ව සිටිමි.
11 මෝසෙස් මා යැවූ දවසේදී මෙන්ම අදත් මම ශක්තිමත්ව සිටිමි. යුද්ධකරන්ටත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් මාගේ ශක්තිය ඒ කාලයේ තිබුණාක් මෙන්ම දැනුත් තිබේ.
12 එබැවින් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී සඳහන් කළ මේ කන්ද මට දුන මැනවි; එහි අනාක්වරුන් සිටින බවද පවුරු ඇති මහත් නුවරවල් තිබෙන බවද ඔබ ඒ දවසේදී ඇසුවෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස සමහරවිට උන්වහන්සේ මා සමඟ සිට ඔවුන් එළවන්ට මට පුළුවන්කරනසේකැයි කීවේය.
13 යෝෂුවා ඔහුට ආශීර්වාදකොට, යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට හෙබ්‍රොන් නුවර දුන්නේය.
14 එබැවින් කෙනිස්සිය යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමයව තිබේ.
15 මීට පළමුවෙන් හෙබ්‍රොන් නුවරේ නම කිරියත්-අර්බාය; අර්බා වනාහි අනාක්වරුන් අතරෙන් ඉතා මහත් තැනැත්තාය. යුද්ධ නැවතී දේශය නිශ්චලවූවාය.



පරිච්ඡේදය 15

1 යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණු කොටස දකුණට ඒදොම්හි සීමාව වන ශීන් කාන්තාරය දක්වා දකුණු සීමාව තෙක්ම පිහිටා තිබුණේය.
2 ඔවුන්ගේ දකුණු සීමාව ලුණු මුහුදේ කෙළවර වන දකුණට හැරී තිබෙන වරායේ පටන්,
3 අක්‍රාබ්බීම්හි නැගුමට දකුණෙන් වැටී, ශීන් දක්වා ගොස්, කාදෙෂ්-බර්නේයට දකුණෙන් නැගී හෙෂ්රොන්ට ගොස්, අද්දාර්ට නැගී කර්කා දෙසට හැරී ගොස්,
4 අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් ගියේය; ඒ සීමාව මුහුද ළඟ කෙළවරවිය. මෙය ඔබ සැමගේ දකුණු සීමාව වන්නේය.
5 නැගෙනහිර සීමාව යොර්දාන් කෙළවර දක්වා ලුණු මුහුදය. උතුරු පැත්තේ සීමාව නම් යොර්දාන් කෙළවරෙහිවූ මුහුදේ වරාය පටන්ය.
6 එම සීමාව බෙත්-හොග්ලාට නැගී, බෙත්-අරබාට උතුරෙන් ගොස්, රූබෙන්ගේ පුත්‍රවූ බොහන්ගේ ගල ළඟට නැගී,
7 ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැගී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරීගොස්, එතනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවරවුණේය.
8 එතනින් සීමාව යෙබූසිවරුන් වාසය කළ යෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත මැදින් නැගී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන්ද රෙඵාවරුන්ගේ මිටියාවතේ කෙළවරට උතුරෙන්ද තිබෙන කන්ද මුදුනට ගියේය.
9 සීමාව කන්ද මුදුනේ සිට නෙප්තෝවාහි දිය උල්පත ළඟට වැටී, එතනින් එප්‍රොන් කන්දේ නුවරවල් දක්වා ගියේය; එතනින් සීමාව කිරියත්-යෙයාරීම් වන බාලාට ගොස්,
10 බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දටද, එතනින් කෙසාලොන් වන යෙයාරීම් කන්දට උතුරු පැත්තෙන්ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස, තිම්නාට ගියේය.
11 එතනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂීක්කෙරොන්ට වැටී, එතනින් බාලා කන්දට ගොස් යබ්නෙයෙල්ට වැටී, මුහුද ළඟ කෙළවරවුණේය.
12 බස්නාහිර සීමාව නම් මහ මුහුදත් එහි අසබඩත්ය. යූදා පුත්‍රයන්ගේ පවුල්වල හැටියට වටේට තිබුණ ඔවුන්ගේ සීමාව මේය.
13 යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට යූදාගේ පුත්‍රයන් අතරෙහි කොටසක් දුන්නේය. එය හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාය. අර්බා අනාක්වරුන්ගේ පියාය.
14 කාලෙබ් වනාහි අනාක්ගෙන් පැවත ආ ෂේෂයිද අහිමාන්ද තල්මයිද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතනින් පන්නා දැමුවේය.
15 එතනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධව ගියේය. දෙබීර්ට පළමු තිබුණු නම කිරියත්-සේපෙර්ය.
16 කාලෙබ් කථාකොට: කිරියත්-සේපෙර්ට පහරදී ඒක අල්වාගන්න තැනැත්තාට මාගේ දුවවූ අක්සා භාර්යාව කොට පාවාදෙන්නෙමියි කීවේය.
17 කාලෙබ්ගේ සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල් ඒක අල්ලාගත්තේය. කාලෙබ් තමාගේ දුවවූ අක්සා ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය.
18 ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්ට ඔහු ඈට සැලැස්විය; ඈ කොටළුවා පිටින් බැස්සාය; කාලෙබ් ඈට කථාකොට: ඔබට ඕනෑ මොකදැයි ඇසීය.
19 ඈද: මට වරයක් දුන මැනවි; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබේවයි කීවාය. එවිට ඔහු ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඈට දුන්නේය.
20 යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ උරුමය මේය.
21 දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුරවූ නුවරවල් නම්: කබ්ශෙයෙල්ද ඒදෙර්ද යාගුර්ද,
22 කීනාද දිමෝනාද අදාදාද,
23 කෙදෙෂ්ද හාශෝර්ද ඉත්නාන්ද,
24 ශිප්ද තෙලෙම්ද බෙයාලොත්ද,
25 හාශෝර්-හදත්තාද කෙරියොත්-හෙෂ්රෝන් වන හාශෝර්ද,
26 ආමාම්ද ෂෙමාද මෝලාදාද,
27 හශර්-හද්දාද හෙෂ්මොන්ද බෙත්-පෙලෙත්ද,
28 හශර්-ෂූවාල්ද බෙයෙර්-ෂෙබාද බිස්යෝතියාද,
29 බාලාද ඉයීම්ද එශෙම්ද,
30 එල්තෝලද්ද කෙසීල්ද හොර්මාද,
31 ශික්ලග්ද මද්මන්නාද සන්සන්නාද,
32 ලෙබායොත්ද ෂිල්හිම්ද ආයින්ද රිම්මොන්ද යන මේවාය. ගම් සහිතව සියලු නුවරවල් විසිනවයක්ය.
33 තැනිතලා රටෙහි තිබුණු ඒවා නම්: එෂ්තායොල්ද ශොරාද අෂ්නාද,
34 ශානොවාද ඒන්-ගන්නීම්ද තප්පුවාද ඒනාම්ද,
35 යර්මූත්ද අදුල්ලාම්ද සෝකෝද අශෝකාද,
36 ෂයරයීම්ද අදීතයිම්ද ගෙදේරාද ගෙදේරෝතයීම්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ද යන මේවාය.
37 ශෙනාන්ද හදාෂාද මිග්දල්-ගාද්ද,
38 දිල්යාන්ද මිශ්පේද යොක්තෙයෙල්ද,
39 ලාකීෂ්ද බෝශ්කත්ද එග්ලොන්ද,
40 කබ්බොන්ද ලාමාම්ද කිත්ලීෂ්ද,
41 ගෙදේරොත්ද බෙත්-දාගොන්ද නයමාද මක්කේදාද යන නුවරවල් දහසය සහ ඒවායේ ගම්ද යන මේවාය.
42 ලිබ්නාද එතෙර්ද ආෂාන්ද,
43 ඉප්තාද අෂ්නාද නේශීබ්ද,
44 කෙයිලාද අක්ශිබ්ද මරේෂාද යන නුවරවල් නවය සහ ඒවායේ ගම්ද යන මේවාය.
45 එක්‍රොන්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.
46 එක්‍රොන් පටන් බස්නාහිරට මුහුද දක්වා අෂ්දොද් ළඟ තිබෙන සියලු නුවරවල් සහ ඒවායේ ගම්ය.
47 අෂ්දොද්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය; මිසරයේ ඔය සහ මහ මුහුදත් එහි අසබඩත් දක්වා ගාසාද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.
48 කඳු රටේ තිබුණ ඒවානම්: ෂාමීර්ද යත්තීර්ද සෝකෝද,
49 දන්නාද දෙබීර් වන කිරියත්-සන්නාද,
50 අනාබ්ද එෂ්තෙමෝද ආනීම්ද,
51 ගෝෂෙන්ද හෝලොන්ද ගිලෝද යන නුවරවල් එකොළොස සහ ඒවායේ ගම්ද යන මේවාය.
52 අරාබ්ද දූමාද එෂාන්ද,
53 යානීම්ද බෙත්-තප්පුවාද අපේකාද,
54 හුම්තාද හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාද ශියොර්ද යන නුවරවල් නවයද ඒවායේ ගම්ද යන මේවාය.
55 මායොන්ද කර්මෙල්ද ශිප්ද යූතාද,
56 යෙශ්‍රයෙල්ද යොක්දෙයාම්ද සානොවාද,
57 කායින්ද ගිබෙයාද තිම්නාද යන නුවරවල් දසය සහ ඒවායේ ගම්ද යන මේවාය.
58 හල්හුල්ද බෙත්-ශුර්ද ගෙදෝර්ද,
59 මාරාත්ද බෙත්-අනොත්ද එල්තෙකොන්ද යන නුවරවල් හය සහ ඒවායේ ගම්ද යන මේවාය.
60 කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්ද රබ්බාද යන දෙනුවර සහ ඒවායේ ගම්ය.
61 කාන්තාරයෙහි තිබුණ ඒවානම්:
62 බෙත්-අරබාද මිද්දීන්ද සෙකාකාද, නිබ්-ෂාන්ද ලුණු නුවරද ඒන්-ගෙදීද යන නුවරවල් හය සහ ඒවායේ ගම්ය.
63 නුමුත් යෙරුසලමේ වාසයකළ යෙබූසිවරුන් පන්නාදමන්ට යූදා පුත්‍රයන්ට නොහැකි විය. අද දවස දක්වා යෙබූසිවරු යූදා පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.



පරිච්ඡේදය 16

1 යෝසෙප්ගේ පුත්‍රයන්ට වැටුණු කොටසේ සීමාව නැගෙනහිර කාන්තාරය ළඟ තිබෙන යෙරිකෝවේ ජල ළඟ සිට යෙරිකෝව ඉදිරිපිට තිබෙන යොර්දානේ පටන් යෙරිකෝවෙන් කඳුරට මැදින් බෙතෙල්ට නැගීගොස්,
2 බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අටාරෝත්ට පැමිණ,
3 එතනින් බස්නාහිරට යප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත් ගෙසෙර්ටත් බැස ගොස්, මුහුද ළඟ කෙළවරවුණේය.
4 මනස්සේ සහ එප්‍රායිම් යන යෝසෙප් පුත්‍රයෝ මෙසේ තමුන්ගේ උරුමය ලැබූහ.
5 එප්‍රායිම් පුත්‍රයන්ගේ සීමාව ඔවුන්ගේ පවුල්වල හැටියට මෙසේවිය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අටාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වාය;
6 උතුරු සීමාව මික්මෙතාත් සිට බස්නාහිරට ගියේය; එතනින් සීමාව නැගෙනහිරට හැරී තානත්-ෂීලෝ ළඟට ගොස්, යනෝවාට නැගෙනහිරින් එය පසුකර ගියේය;
7 යනෝවෙන් අටාරෝත්ටත් නාරාටත් බැස යෙරිකෝවට පැමිණ යොර්දාන දක්වා ගියේය.
8 තප්පුවා සිට සීමාව බස්නාහිර දෙස කානා ඔයට ගොස් මුහුද ළඟ කෙළවරවුණේය. එප්‍රායිම් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණු උරුමය වනාහි,
9 එය සහ මනස්සේ පුත්‍රයන්ගේ උරුමය තුළ එප්‍රායිම් පුත්‍රයන්ට වෙන්කරන්ට යෙදුණු සියලු නුවරවල්ද ඒවායේ ගම්ද වේ.
10 ඔව්හු ගෙසෙර්හි වාසයකළ කානානිවරුන් පන්නා නොදැමුවෝය. නුමුත් කානානිවරු අද දවස දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත්ව සිටිති.



පරිච්ඡේදය 17

1 යෝසෙප්ගේ කුලුඳුලාවූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේය. මනස්සේගේ කුලුඳුලාවූ, ගිලියද්ගේ පියවූ මාකීර් යුද්ධකාර මනුෂ්‍යයෙක් බැවින් ඔහුට ගිලියද්ද බාෂාන්ද ලැබුණේය.
2 මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබියෙසෙර්ගේ පුත්‍රයන්ටද හේලෙක්ගේ පුත්‍රයන්ටද අස්රීයෙල්ගේ පුත්‍රයන්ටද ෂෙකෙම්ගේ පුත්‍රයන්ටද හේපෙර්ගේ පුත්‍රයන්ටද ෂෙමිදාගේ පුත්‍රයන්ටද ඔවුන්ගේ පවුල්වල හැටියට කොටස් ලැබුණේය. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පිරිමි දරුවෝ මොව්හුය.
3 නුමුත් මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයා වන හෙඵෙර්ගේ පුත්‍රවූ ශෙලෝඵෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නුවූහ. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශාය.
4 ඔව්හු පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද අධිපතීන්ද ඉදිරියට අවුත්: ස්වාමීන්වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දෙන්ට මෝසෙස්ට අණ කළසේකැයි කීවෝය. එබැවින් ඔහු ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය.
5 යොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද්ද බාෂාන්ද හැර මනස්සේට කොටස් දසයක් වැටුණේය.
6 මක්නිසාද මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණේය. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේය.
7 මනස්සේගේ සීමාව ආෂෙර් පටන් ෂෙකෙම් ඉදිරියෙහි තිබෙන මික්මෙතාත් දක්වා විය; එතනින් සීමාව දකුණට ඒන්-තප්පුවාහි වාසීන් කරා ගියේය.
8 තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත් මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් පුත්‍රයන්ට වුණේය.
9 එතනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේය. මේ නුවරවල් මනස්සේගේ නුවරවල් අතරේ එප්‍රායිම්ට හිමිවිය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මුහුද ළඟ කෙළවර වුණේය.
10 දකුණු පැත්ත එප්‍රායිම්ටද උතුරු පැත්ත මනස්සේටද අයිතිය, තවත් ඔහුගේ සීමාවක් මුහුදය; ඒවා උතුරෙන් ආෂෙර්ටත් නැගෙනහිරෙන් ඉස්සාඛර්ටත් යාව තිබේ.
11 තවද ඉස්සාඛර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නුවරවල්ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නුවරවල්ද දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද ඒන්-දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද තයනාක් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද මෙගිද්දෝ වැසියන් සහ ඊට අයිති නුවරවල්ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේය.
12 එහෙත් මනස්සේ පුත්‍රයන්ට ඒ නුවරවල වැසියන් එළවන්ට නොහැකි විය; කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමැතිව සිටියෝය.
13 ඉශ්‍රායෙල් පුත්‍රයන් ශක්තිමත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට පත් කළෝය, එහෙත් ඔවුන් සහමුලින් පන්නා නොදැමූහ.
14 යෝසෙප්ගේ පුත්‍රයෝ යෝෂුවාට කථාකොට: ස්වාමීන්වහන්සේ මේ දක්වා අපට ආශීර්වාදකළ බැවින් අප මහත් සෙනඟක්ව සිටියදී ඔබ එක කොටසක්ද එක පංගුවක්ද පමණක් අපට උරුමයක් කොට දුන්නේ මක්නිසාදැයි කීවෝය.
15 යෝෂුවා උත්තරදෙමින්: ඔබ සැම මහත් සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට ඔබ සැමට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේද රෙඵාවරුන්ගේද රටෙන් කොටසක් එළිකර ගන්නැයි ඔවුන්ට කීවේය.
16 යෝසෙප්ගේ පුත්‍රයෝ කථාකොට: කඳුරට අපට මදිය. මිටියාවත් රටෙහි එනම් බෙත්-ෂෙයාන්හිද ඊට අයිති නුවරවලද යෙශ්‍රෙයෙල් මිටියාවතෙහිද වාසයකරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේයයි කීවෝය.
17 යෝෂුවා එප්‍රායිම්ද මනස්සේද යන යෝසෙප්ගේ වංශයට කථාකොට: ඔබ සැම මහත් සෙනඟක්ය, ඔබ සැමට බොහෝ බලය ඇත්තේය. ඔබ සැමට ලැබෙන්නේ එක කොටසක් පමණක් නොවේය.
18 කඳු රටත් ඔබ සැමට අයිතිවන්නේය; එය වනාන්තරයක් නුමුත් ඔබ සැම එය කපා එළිකරගන්න, එවිට සීමා දක්වාම එය ඔබ සැමට වන්නේය. කානානිවරුන්ට යකඩ රථ තිබෙන නුමුත්, ඔවුන් ශක්තිමත්ව සිටින නුමුත්, ඔබ සැම ඔවුන් පන්නා දමනවා ඇතැයි කීවේය.



පරිච්ඡේදය 18

1 තවද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්ව සම්මුඛවීමේ කූඩාරම එහි පිහිටෙවුවාය. දේශයද ඔවුන් ඉදිරියෙහි යටත්ව තිබුණේය.
2 තමුන්ගේ උරුමය නොලැබූ ගෝත්‍ර සතක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ඉතුරුව සිටියෝය.
3 යෝෂුවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන දේශය හිමිකරගැනීමට යන්ට ඔබ සැම කොපමණකල් ප්‍රමාදවන්නහුද?
4 ඔබ සැම උදෙසා එක එක ගෝත්‍රයට මනුෂ්‍යයන් තුන් දෙනෙකු බැගින් පත්කරන්න. මම ඔවුන් යවන්නෙමි, ඔව්හු පිටත්ව දේශයෙහි ගමන්කොට තමුන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒක සටහන් කරගන මා වෙතට එන්නෝය.
5 ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝය. යූදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටීවා, යෝසෙප්ගේ වංශය උතුරු දිග තිබෙන තමුන්ගේ සීමාව තුළ සිටීවා.
6 ඔබ සැම දේශය සත් කොටසකට බෙදා සටහන්කරගන, මෙහි මා ළඟට එන්න. මම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම වෙනුවට මෙහිදී පස ඇට දමන්නෙමි.
7 මක්නිසාද ලෙවීවරුන්ට ඔබ සැම අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරය. ගාද්ටත් රූබෙන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් ඔවුන්ට දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ලැබී තිබේයයි කීවේය.
8 ඒ මනුෂ්‍යයෝ පිටත්ව ගියෝය. යෝෂුවා දේශයේ සටහනක් ගැනීමට පිටත්ව යන අයට අණකරමින්: ඔබ සැම ගොස් ඒ දේශයෙහි ඇවිද ඒක සටහන්කරගන මා ළඟට හැරී එන්න, මම මෙහිදී ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම උදෙසා පස ඇට දමන්නෙමියි කීවේය.
9 ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් සතකට බෙදා, නුවරවල ප්‍රකාරයට පොතක සටහන්කරගන, ෂීලෝහි කඳවුරේ යෝෂුවා ළගට ආවෝය.
10 යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.
11 බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ කොටස ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ කොටසේ පළාත යූදා පුත්‍රයන්ට හා යෝසෙප් පුත්‍රයන්ටත් අතරේ නියමවුණේය.
12 උතුරු පැත්තෙහි ඔවුන්ගේ සීමාව යොර්දානේ සිට ගොස්, යෙරිකෝවට උතුරු පැත්තෙන් නැගී, කඳු රටෙහි බස්නාහිරට ගොස්, බෙත්-ආවන්හි කාන්තාරය ළඟ කෙළවරවුණේය.
13 එතනින් සීමාව බෙතෙල් නම්වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසුකර පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර්ට බැස්සේය.
14 එතනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තෙහි හැරීගොස්, යූදා පුත්‍රයන්ගේ නුවරක්වූ කිරියත්-යෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවරවුණේය. බස්නාහිර පැත්ත මේය.
15 දකුණු පැත්ත කිරියත්-යෙයාරීම්හි කෙළවර සිට පිහිටා තිබුණේය, සීමාවද බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත ළඟට ගියේය.
16 එතනින් සීමාව හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත ඉදිරිපිට රෙඵාවරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතනින් යෙබූසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතනින් ඒන්-රොගෙල්ට බැස්සේය.
17 එය උතුරෙන් ගොස් ඒන්-ෂෙමෙෂ්ටත්, එතනින් අදුම්මීම්හි නැගුම ඉදිරිපිට තිබෙන ගෙලීලොත්ටත් පැමිණ, එතනින් රූබෙන්ගේ පුත්‍රවූ බොහන්ගේ ගල ළඟට බැස්සේය;
18 එතනින් අරබා සමභූමිය ඉදිරිපිට උතුරු පැත්තෙන් ගොස් අරබා සමභූමියට බැස,
19 එතනින් සීමාව උතුරු පැත්තෙන් බෙත්-හොග්ලාට ගොස්, යොර්දානේ දකුණු කෙළවරේ තිබෙන ලුණු මුහුදේ උතුරු වරායෙහි කෙළවරවුණේය. දකුණු සීමාව මේය.
20 එහි නැගෙනහිර පැත්තේ සීමාව නම් යොර්දානය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට, වටකර සීමාවල හැටියට, ඔවුන්ගේ උරුමය මේය.
21 බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ නුවරවල් නම්: යෙරිකෝවද බෙත්-හොග්ලාද ඒමෙක්-කෙශිශ්ද,
22 බෙත්-අරබාද ශෙමාරයිම්ද බෙතෙල්ද,
23 අව්වීම්ද පාරාද ඔප්‍රාද,
24 කෙපර්-අම්මෝනිද ඔප්නීද ගෙබාද යන නුවරවල් දොළොස සහ ඒවායේ ගම්ය.
25 ගිබියොන්ද රාමාද බෙයේරොත්ද,
26 මිශ්පේද කෙපිරාද මොශාද,
27 රෙකෙම්ද ඉර්පෙයෙල්ද තරලාද,
28 ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.



පරිච්ඡේදය 19

1 දෙවෙනි කොටස සිමියොන්ට එනම් සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ උරුමය ඇතුළත තිබුණේය.
2 ඔවුන්ගේ උරුමය නම්: බෙයර්-ෂෙබා හෙවත් ෂෙබාද මෝලාදාද,
3 හශර්-ෂුවාල්ද බාලාද එශෙම්ද,
4 එල්තොලද්ද බෙතුල්ද හොර්මාද,
5 ශික්ලග්ද බෙත්-මර්කාබොත්ද හශර්-සුසාද,
6 බෙත්-ලෙබායොත්ද ෂාරුහෙන්ද යන නුවරවල් දහතුන සහ ඒවායේ ගම්ය.
7 ආයින්ද රිම්මොන්ද එතෙර්ද ආෂාන්ද යන මේ නුවරවල් සතර සහ ඒවායේ ගම්ය.
8 දකුණු රාමා වන බාලත්-බෙයේර් දක්වා ඒ නුවරවල් වටකර තිබෙන ගම් සියල්ලත්ය. සිමියොන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේය.
9 සිමියොන් පුත්‍රයන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ කොට්ඨාසයෙන් ගන්ට යෙදුණේය. මක්නිසාද යූදා පුත්‍රයන්ගේ කොටස ඔවුන්ට වැඩිව තිබුණේය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පුත්‍රයන්ට උරුමයක් තිබුණේය.
10 තුන්වෙනි කොටස සාබුලොන් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.
11 ඔවුන්ගේ සීමාව බස්නාහිර දෙස මරලාට නැගී, දබ්බෙෂෙත්ටද යොක්නෙයාම් ඉදිරියෙහි තිබෙන ඔය ළඟටද පැමුණුණේය;
12 සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතනින් දාබෙරත්ටද යාපියාටද නැගී ගියේය;
13 එතනින් නැගෙනහිර දෙස ගත්-හේපෙර්ටද එත්-කාශීන්ටද පැමිණ, නෙයා දෙසට පිහිටා තිබෙන රිම්මොන්ට ගියේය.
14 සීමාව ඊට වටකරින් උතුරට හැරී හන්නාතොන්ට ගොස්, ඉප්තා-යෙල් මිටියාවත ළඟ කෙළවර වුණේය;
15 කට්ටාත්ද නහලාල්ද ෂිම්රොන්ද ඉදලාද බෙත්-ලෙහෙම්ද යනාදී නුවරවල් දොළොසක්ද ඒවායේ ගම්ද තිබුණේය.
16 සාබුලොන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය.
17 සතරවෙනි කොටස ඉස්සාඛර්ට එනම් ඉස්සාඛර් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
18 ඔවුන්ගේ පළාතට යෙශ්‍රෙයෙල්ද කෙසුල්ලොත්ද ෂුනෙම්ද,
19 හපාරයිම්ද ෂියොන්ද අනා හරාත්ද,
20 රබ්බිත්ද කිෂියොන්ද එබෙශ්ද,
21 රෙමෙත්ද ඒන්-ගන්නීම්ද ඒන්-හද්දාද බෙත්-පශේශ්ද දක්වා විය;
22 සීමාව තාබෝර්ද ෂහශුමාද බෙත්-ෂෙමෙෂ්ද දක්වා ගියේය; ඔවුන්ගේ සීමාව යොර්දාන ළඟ කෙළවර වුණේය. නුවරවල් දහසයක්ද ඒවායේ ගම්ද තිබුණේය.
23 ඉස්සාඛර් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය.
24 පස්වෙනි කොටස ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
25 ඔවුන්ගේ සීමාව හෙල්කත්ද හලීද බෙටෙන්ද අක්ෂාප්ද,
26 අල්ලම්මෙලෙක්ද අමාද්ද මිෂාල්ද යන මේවාය; බස්නාහිරට සීමාව කර්මෙල්ටත් ෂිහොර්-ලිබ්නාත්ටත් පැමුණුණේය;
27 එතනින් නැගෙනහිරට හැරී බෙත්-දාගොන්ට ගොස්, සාබුලොන්ටත් බෙත්-ඒමෙක්ට සහ නෙයියෙල්ට උතුරෙන් තිබෙන ඉප්තා-යෙල් මිටියාවතටත් පැමිණ, වමට තිබෙන කාබුල්ද,
28 එබ්‍රොන්ද රෙහොබ්ද හම්මොන්ද කානාද මහ ශිදොන්ද දක්වා ගියේය;
29 එතනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නුවරවූ තීර්ට පැමිණ, හෝසාට හැරී අක්සීබ් පළාතේ පටන් ගොස් මුහුද ළඟ කෙළවර වුණේය.
30 උම්මාද අපෙක්ද රෙහොබ්ද අඩංගුය. නුවරවල් විසි දෙකක් සහ ඒවායේ ගම්ද තිබුණේය.
31 ආෂෙර් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය.
32 සවෙනි කොටස නප්තලී පුත්‍රයන්ට එසේය, නප්තලීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
33 ඔවුන්ගේ සීමාව හේලෙප්හි සිට ශානන් නිම්හි තිබුණ අලෝන වෘක්ෂය පටන් අදාමි-නෙකෙබ්ද යබ්නෙයෙල්ද ලක්කුම්ද දක්වා ගොස්, යොර්දාන ළඟ කෙළවර වුණේය.
34 එතනින් සීමාව බස්නාහිරට හැරී අස්නොත්-තාබොර්ට ගොස්, එතනින් හුකොක්ට පැමිණ, දකුණෙන් සාබුලොන්ද බස්නාහිරෙන් ආෂෙර්ද නැගෙනහිරෙන් යොර්දානේ යුදයද දක්වා ගියේය.
35 පවුරු ඇති නුවරවල් නම්: ශිද්දීම්ද ශේර්ද හම්මත්ද රක්කත්ද කින්නෙරෙත්ද,
36 අදාමාද රාමාද හාශොර්ද,
37 කෙදෙෂ්ද එද්‍රෙයිද ඒන්-හාශොර්ද,
38 ඉරොන්ද මිග්දල්-යෙල්ද හොරෙම්ද බෙත්-අනාත්ද බෙත්-ෂෙමෙෂ්ද යන මේවාය; නුවරවල් දහනවයක් සහ ඒවායේ ගම්ද තිබුණේය.
39 නප්තලීගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය.
40 සත්වෙනි කොටස දාන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
41 ඔවුන්ගේ උරුමයේ පළාත නම් ශොරාද එෂ්තායොල්ද ඊර්-ෂෙමෙෂ්ද,
42 ෂාලබ්බීන්ද ආයාලොන්ද ඉත්ලාද,
43 ඒලොන්ද තිම්නාද එක්‍රොන්ද,
44 එල්තෙකේද ගිබ්බෙතොන්ද බාලාත්ද,
45 යෙහුද්ද බෙනේ-බෙරක්ද ගත්-රිම්මොන්ද,
46 මේ-යර්කොන්ද යොප්පාව ඉදිරිපිට තිබෙන පළාත ඇතුළුව රක්කොන්ද යන මේවාය.
47 දාන් පුත්‍රයන්ගේ පළාත ඔවුන්ට මදිව තිබුණ නිසා ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධව යුද්ධකොට එය අල්වාගෙන ඊට කඩු මුවහතින් පහරදී එය හිමිකරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පියවූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝය.
48 දාන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය.
49 මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදාදී නිමකොට ඉශ්‍රායෙල් පුත්‍රයෝ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට තමුන් අතරෙහි උරුමයක් දුන්නෝය.
50 ඔහු ඉල්ලූ නුවර වන එප්‍රායිම් කඳු රටෙහි තිබෙන තිම්නත්-සෙරා ඔව්හු ස්වාමීන්වහන්සේගේ ආඥාව ප්‍රකාර ඔහුට දුන්නෝය. ඔහු ඒ නුවර ගොඩනගා එහි වාසය කෙළේය.
51 පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද ෂීලෝහිදී සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පසඇට දමා බෙදාදුන් උරුමවල් මේවාය. මෙසේ ඔව්හු දේශය බෙදා නිමකළෝය.



පරිච්ඡේදය 20

1 ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට:
2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න-නොදැනුවත්ව වැරදිල්ලකින් යමෙකු මරන අයට පලාගොස් සිටීම පිණිස,
3 මා විසින් මෝසෙස් ලවා ඔබ සැමට කියෙවූ හැටියට ආරක්ෂා නුවරවල් නියමකරගන්න. ඒවා ලේ ගැන පළිගන්නාගෙන් ආරක්ෂාවක් වන පිණිස ඔබ සැමට තිබේවා.
4 ඔහු ඒ නුවරවලින් එකකට පලාගොස් නුවර දොරකඩ සිට ඒ නුවර වැඩිමහල්ලන් ඉදිරියෙහි තමාගේ කාරණය කියා සිටින්නේය; ඔවුන් ඔහු නුවරට පිළිගෙන ඔහු තමුන් සමඟ වාසයකරන පිණිස ඔහුට තැනක් දිය යුතුය.
5 ලේ ගැන පළිගන්න අය ඔහු ලුහුබැඳ ආවොත් මිනීමැරූ තැනැත්තා ඔහු අතට පාවා නොදිය යුතුය; මක්නිසාද පළමු ඔහු තමාගේ අසල්වාසියාට වෛරයක් නොතිබී, අත්වැරැද්දෙන් ඔහු මැරූ නිසාය.
6 ඔහු විනිශ්චය පිණිස සභාව ඉදිරියෙහි සිටින තුරුද ඒ දවස්වල සිටින උත්තම පූජකයා නසින තුරුද ඒ නුවර වසන්නේය. ඉන්පසු මිනී මැරූ තැනැත්තා තමා හැරගිය තමාගේම නුවරටත් තමාගේම ගෙදරටත් හැරීයන්නේයයි කීසේක.
7 මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ්ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම්ද යූදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බාද වෙන්කොට තැබුවෝය.
8 යෙරිකෝවට නැගෙනහිරෙන් යොර්දානෙන් එගොඩ රූබෙන් ගෝත්‍රයෙන් තලාවේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන්ද ඔව්හු නියමකළෝය.
9 වැරදිල්ලකින් මිනීමරන කවුරු නුමුත් සභාව ඉදිරියෙහි සිටින්ට පළමුවෙන් ලේ ගැන පළිගන්නාගේ අතින් මැරුම් නොකන පිණිස පලාගොස් සිටීමට සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඔවුන් අතරෙහි සිටින විදේශීන්ද උදෙසා නියමකරනලද නුවරවල් මේවාය.



පරිච්ඡේදය 21

1 එවිට ලෙවීවරුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීන්ද වෙතට පැමිණ,
2 කානාන් දේශයේ ෂීලෝහිදී ඔවුන්ට කථාකොට: වාසයකිරීමට නුවරවල්ද අපේ සිව්පාවුන්ට ඒවායේ පිට-බිම්ද දෙන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ආඥාකෙරෙවුසේකැයි කීවෝය.
3 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස තමුන්ගේ උරුමයෙන් මෙකී නුවරවල්ද ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.
4 කොහාත්වරුන්ගේ පවුල්වලට පස ඇටය වැටුණේය. ලෙවීවරුන්ගෙන්වූ ආරොන් පූජකයාගේ පුත්‍රයන්ට යූදා ගෝත්‍රයෙන්ද සිමියොන් ගෝත්‍රයෙන්ද බෙන්යමින් ගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
5 කොහාත්ගේ අනික් පුත්‍රයන්ට එප්‍රායිම් ගෝත්‍රයේ පවුල්වලින්ද දාන් ගෝත්‍රයෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දසයක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
6 ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඉස්සාඛර් ගෝත්‍රයේ පවුල්වලින්ද ආෂෙර් ගෝත්‍රයෙන්ද නප්තලී ගෝත්‍රයෙන්ද බාෂාන්හි සිටිය මනස්සේගේ අර්ධගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
7 මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට රූබෙන් ගෝත්‍රයෙන්ද ගාද් ගෝත්‍රයෙන්ද සාබුලොන් ගෝත්‍රයෙන්ද නුවරවල් දොළොසක් ලැබුණේය.
8 ඒ නුවරවල් සහ ඒවායේ පිට-බිම් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝය.
9 යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද මෙහි නම් සඳහන්කරනු ලබන නුවරවල්
10 ඔව්හු ලෙවීගේ පුත්‍රයන්වූ කොහාත්වරුන්ගේ පවුල්වලට අයිති ආරොන්ගේ පුත්‍රයන්ට දුන්නෝය. මක්නිසාද පළමුවෙනි පස ඇටය වැටුණේ ඔවුන්ටය.
11 ඔව්හු යූදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බාද ඒ අවට තිබෙන එහි පිට-බිම්ද ඔවුන්ට දුන්නෝය. අර්බා වනාහි අනාක්ගේ පියාය.
12 එහෙත් නුවර කෙත්ද එහි ගම්ද ඔව්හු යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට දුන්නෝය.
13 ඔව්හු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනීමරන අයට ආරක්ෂා නුවරක්වූ හෙබ්‍රොන් සහ එහි පිට-බිම්ද ලිබ්නා සහ එහි පිට-බිම්ද,
14 යත්තීර් සහ එහි පිට-බිම්ද, එෂ්තෙමෝවා සහ එහි පිට-බිම්ද,
15 හෝලොන් සහ එහි පිට-බිම්ද, දෙබීර් සහ එහි පිට-බිම්ද,
16 ආයින් සහ එහි පිට-බිම්ද යුත්තා සහ එහි පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝය.
17 බෙන්යමින් ගෝත්‍රයෙන් ගිබියොන් සහ එහි පිට-බිම්ද ගෙබා සහ එහි පිට-බිම්ද,
18 අනාතොත් සහ එහි පිට-බිම්ද අල්මොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
19 පූජකයන්වූ ආරොන් පුත්‍රයන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දහතුනක්ය.
20 ලෙවීවරුන් වන කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නුවරවල් එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේය.
21 මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ෂෙකෙම් සහ එහි පිට-බිම්ද ගෙසෙර් සහ එහි පිට-බිම්ද,
22 කිබ්ශයිම් සහ එහි පිට-බිම්ද බෙත්-හෝරොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතර ඔවුන්ට දුන්නෝය.
23 දාන් ගෝත්‍රයෙන් එල්තෙකේ සහ එහි පිට-බිම්ද ගිබ්-බෙතොන් සහ එහි පිට-බිම්ද,
24 අයාලොන් සහ එහි පිට-බිම්ද ගැත්-රිම්මොන් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් සතරත් දුන්නෝය.
25 මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් තයනාක් සහ එහි පිට-බිම්ද ගැත්-රිම්මොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් දෙකත් දුන්නෝය.
26 කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ලැබුණ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දසයක්ය.
27 ඔවුන් ලෙවීවරුන්ගේ පවුල්වලට අයිතිවූ ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ මිනී මරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ එහි පිට-බිම්ද බෙ-යෙෂ්තෙරා සහ එහි පිට-බිම්ද යන නුවරවල් දෙකය.
28 ඉස්සාඛර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ එහි පිට-බිම්ද දාබෙරත් සහ එහි පිට-බිම්ද,
29 යර්මූත් සහ එහි පිට-බිම්ද ඒන්-ගන්නීම් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
30 ආෂේර් ගෝත්‍රයෙන් මිෂාල් සහ එහි පිට-බිම්ද අබ්දොන් සහ එහි පිට-බිම්ද,
31 හෙල්කාත් සහ එහි පිට-බිම්ද රෙහොබ් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
32 නප්තලී ගෝත්‍රයෙන් මිනීමරන අය උදෙසා නියම කළ ආරක්ෂා නුවරක්වූ, ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ එහි පිට-බිම්ද හම්මොත්-දෝර් සහ එහි පිට-බිම්ද කර්තාන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් තුනත් දුන්නෝය.
33 ගේර්ෂොන්වරුන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දහ තුනක්ය.
34 අනික් ලෙවීවරුන් වන මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලට සාබුලොන් ගෝත්‍රයෙන් යොක්නෙයාම් සහ එහි පිට-බිම්ද කර්තා සහ එහි පිට-බිම්ද,
35 දිම්නා සහ එහි පිට-බිම්ද නහලාල් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතර දුන්නෝය.
36 රූබෙන් ගෝත්‍රයෙන් බෙශෙර් සහ එහි පිට-බිම්ද යාහශ් සහ එහි පිට-බිම්ද,
37 කෙදේමොත් සහ එහි පිට-බිම්ද මේපාත් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
38 ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද
39 මහනයිම් සහ එහි පිට-බිම්ද, හෙෂ්බොන් සහ එහි පිට-බිම්ද යාශෙර් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
40 මේ සියල්ල ලෙවීවරුන්ගේ අනික් පවුල් වන මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ නුවරවල්ය; ඔවුන්ගේ කොටස නුවරවල් දොළොසක්ය.
41 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් සතළිස් අටක්ය.
42 මේ නුවරවලින් එක එක නුවර වටකර පිට-බිම් තිබුණේය. ඒ සියලු නුවරවල් ඒ ආකාරව තිබුණේය.
43 මෙසේ ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළාවූ මුළු දේශය උන්වහන්සේ ඔවුන්ට දුන්සේක; ඔව්හු ඒක හිමිකරගෙන එහි විසුවෝය.
44 ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන්වහන්සේ ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධව සිටින්ට නොහැකිවිය; ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවාදුන් සේක.
45 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් අත්නෑරී සියල්ලම සිදුවුණේය.



පරිච්ඡේදය 22

1 එවිට යෝෂුවා රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කැඳවා,
2 ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබ සැමට අණකළ සියල්ල ඔබ සැම පැවැත්තුවහුය, මා ඔබ සැමට අණකළ සියල්ල ගැන මාගේ හඬටත් කීකරුවූහුය.
3 ඔබ සැම අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් ඔබ සැමගේ සහෝදරයන් අත්නෑර සිට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවේ භාරය රක්ෂාකළහුය.
4 දැන් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔබ සැම ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ ඔබ සැමට දුන් උරුම දේශයෙහි ඔබ සැමගේ කූඩාරම්වලට යන්න.
5 එහෙත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැම ප්‍රේමකොට, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥා පවත්වා, උන්වහන්සේට ඇලුම්ව සිට, ඔබ සැමගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද උන්වහන්සේට සේවය කරන හැටියට ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබ සැමට අණකළ ආඥාවද ව්‍යවස්ථාවද රක්ෂාකරන්ට හොඳාකාරයෙන් බලාගන්නැයි කීවේය.
6 මෙසේ යෝෂුවා ඔවුන්ට ආශීර්වාදකොට ඔවුන් යන්ට හැරියේය. ඔව්හු තමුන්ගේ කූඩාරම්වලට යන්ට ගියෝය.
7 මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි උරුමයක් දී තිබුණේය. අනික් අර්ධයට යෝෂුවා ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට යොර්දාන් මෙගොඩ උරුමයක් දුන්නේය. තවද යෝෂුවා ඔවුන්ගේ කූඩාරම්වලට ඔවුන් හරින කල ඔවුන්ට ආශීර්වාදකරමින්:
8 ඔබ සැම බොහෝ ධනයද සිව්පාවුන් ඉතා මහත් ගණනක්ද රිදීද රන්ද පිත්තලද යකඩද බොහෝ වස්ත්‍රද ඇතුව ඔබ සැමගේ කූඩාරම්වලට ගොස්, ඔබ සැමගේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබ සැමගේ සහෝදරයන් සමඟ බෙදාගන්නැයි ඔවුන්ට කීවේය.
9 එවිට රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස තමුන් ලබාගන සිටිය තමුන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන්ට කානාන් දේශයේ තිබෙන ෂීලෝහි සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතින් පිටත්ව ගියෝය.
10 කානාන් දේශයෙහි තිබෙන යොර්දානේ අසබඩ පළාතට ඔවුන් පැමුණුණ කල රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද එහි යොර්දාන ළඟ පූජාසනයක් එනම් දැකීමට මහත් පූජාසනයක් ගොඩනැගුවෝය.
11 එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කානාන් දේශය ඉදිරිපිට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පැත්තෙහි යොර්දාන අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනගා තිබේයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ආරංචිවිය.
12 ඉශ්‍රායෙල් පුත්‍රයන් ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධව යුද්ධයට යන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්වුණාය.
13 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිලියද් දේශයේ සිටි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද වෙතට පූජකවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස්ද,
14 ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් එක එක පිය පෙළපතට අධිපතිව සිටි අධිපතිවරුන් දසදෙනෙක්ද යැවුවෝය. ඔව්හු එකිනෙකා ඉශ්‍රායෙල් දහස් ගණන් අතරෙහි තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝව සිටියෝය.
15 ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:
16 ඔබ සැම අද දවසේ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන පිණිස පූජාසනයක් ගොඩනගා ගැනීමෙන් ඔබ සැම අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගොස් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව කළාවූ මේ අපරාධය කිමෙක්ද?
17 පෙයෝර් පිළිබඳ අපරාධය මදිද? ස්වාමීන්වහන්සේගේ සභාව පිටට වසංගතයක් පැමිණි නුමුත් අද දක්වා අපි ඒ අපරාධයෙන් පවිත්‍ර නොවීමුව.
18 එහෙත් ඔබ සැම අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන්නහුය. මෙසේ ඔබ සැම අද ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසන හෙයින් හෙට උන්වහන්සේ මුළු ඉශ්‍රායෙල් සභාව කෙරෙහි උදහස්වෙනවා ඇත.
19 ඔබ සැමගේ උරුම දේශය අපවිත්‍ර නම් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය පිහිටුවා තිබෙන උන්වහන්සේගේ උරුම දේශයට එතරව අප අතරේ උරුමය ගන්න. නුමුත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය හැර ඔබ සැමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේටත් අපටත් විරුද්ධව කැරළි නොගසන්න.
20 ශෙරාගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්‍රායෙල් සභාව පිටට උදහස නොපැමිණියේද? ඒ මනුෂ්‍යයා තමාගේ අපරාධය කරණකොටගෙන තනියම විනාශනූණේය කියා ස්වාමීන්වහන්සේගේ මුළු සභාව කියනවායයි ඔවුන්ට කීවෝය.
21 රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ඉශ්‍රායෙල්හි දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ට උත්තරදෙමින්:
22 දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම දන්නාසේක, ඉශ්‍රායෙල්ද දැනගන්නවා ඇත; අප විසින් කැරළිකාරකමින්වත් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකමින්වත්, ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන පිණිස අපට පූජාසනයක් ගොඩනගා තිබේ නම්, අද දවසේ අප නොගැළවුව මැනව.
23 ඒක පිට දවන පූජා නොහොත් ආහාර පූජා පුදන්ටවත් ශාන්ති පූජා ඔප්පුකරන්ටවත් ඒක ගොඩනැගුවා නම්, ස්වාමීන්වහන්සේම ඒ ගැන පළිගන්නසේක්වා;
24 අප මේක කළේ ප්‍රවේසම පිණිස අදහසක් ඇතුවය, එනම් මතු කාලයේදී ඔබ සැමගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබ සැමට කම් කිම්ද?
25 රූබෙන් පුත්‍රයෙනි, ගාද් පුත්‍රයෙනි, අපටත් ඔබ සැමටත් අතරේ ස්වාමීන්වහන්සේ යොර්දාන සීමාව කොට තබා තිබෙන නිසා ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැමට කොටසක් නැතැයි කියා මෙසේ ඔබ සැමගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේට භයවීමෙන් වෙන්කරන්නෝයයි අපි සිතීමුව.
26 එබැවින් අපට පූජාසනයක් ගොඩනගා ගැනීමට අපි සූදානම්වෙමුයයි අප විසින් කියාගත්තේ දවන පූජාවල්වත් යාගවල්වත් ඔප්පුකිරීමට නොව,
27 අපේ දවන පූජාවලිනුත් අපේ යාගවලිනුත් අපේ ශාන්ති පූජාවලිනුත් ස්වාමීන්වහන්සේගේ සේවය උන්වහන්සේ ඉදිරියෙහි ඉෂ්ටකිරීම යුතු බවට අප සහ ඔබ සැමද අපට පසුව අපේ පරම්පරාද අතරේ එහි සාක්ෂියක් වන පිණිසත්, ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැමට කොටසක් නැත කියා මතු කාලයේ ඔබ සැමගේ පුත්‍රයන් විසින් අපේ පුත්‍රයන්ට නොකියන පිණිසත්ය.
28 එසේ හෙයින් ඔවුන් අපටවත් අපේ පරම්පරාවලටවත් මතු කාලයේ එසේ කීවොත්: දවන පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට නොව අප සහ ඔබ සැම අතරේ සාක්ෂියක් පිණිස අපේ පියවරුන් සෑදුවාවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්නය කියා අපට කියන්ට පුළුවනැයි අපි කියාගත්තෙමුව.
29 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන්වහන්සේගේ පූජාසනය හැර දවන පූජා හෝ ආහාර පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගසා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යාම අපෙන් දුරුවේවයි කීවෝය.
30 එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේ පුත්‍රයන්ද විසින් කී වචන පූජකවූ පීනෙහාස්ද ඔහු සමඟ සිටිය සභාවේ අධිපතීන් වන ඉශ්‍රායෙල් දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ද ඇසූ කල ඊට ඔව්හු බොහෝසේ සතුටුවූහ.
31 පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් රූබෙන් පුත්‍රයන්ටත් ගාද් පුත්‍රයන්ටත් මනස්සේ පුත්‍රයන්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේ අප අතරේ වසන බව ඔබ සැම මේ ද්‍රෝහිකම ස්වාමීන්වහන්සේට විරුද්ධව නොකළ නිසා අපි අද දැනගතිමුව. මෙසේ ඔබ සැම ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ අතින් ගැළවුවහුයයි කීවේය.
32 එවිට පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද අධිපතීහුද රූබෙන් පුත්‍රයන් හා ගාද් පුත්‍රයන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත හැරී ඇවිත් ඔවුන්ට එපවත් කීවෝය.
33 ඒ කාරණය ඉශ්‍රායෙල් පුත්‍රයන්ට හොඳව පෙනුණේය; එබැවින් රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද වාසයකළ දේශය විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව යුද්ධයට යාම ගැන ඉශ්‍රායෙල් පුත්‍රයෝ තවත් කථානොකොට දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.
34 රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද: ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවට එය අප අතරේ සාක්ෂියක් වන නිසාය කියා ඒ පූජාසනයට ඒද් 22:34 එනම්, සාක්ෂියක්. යන නාමය තැබුවෝය.



පරිච්ඡේදය 23

1 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් වටකර සිටිය ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට විශ්‍රාමය දී බොහෝ කලකට පසු, යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටියදී,
2 යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් වන ඔවුන්ගේ වැඩිමහල්ලන්ද ප්‍රධානීන්ද විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද කැඳවා ඔවුන්ට කථාකොට: මම මහලුව වයෝවෘද්ධවසිටිමි.
3 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම උදෙසා මේ සියලු ජාතීන්ට කළ සියල්ල ඔබ සැම දුටුවහුය; මක්නිසාද ඔබ සැම උදෙසා යුද්ධ කෙළේ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේමය.
4 ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා ඔබ සැමගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා ඔබ සැමට බෙදාදුනිමි.
5 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම, ඔබ සැම ඉදිරියෙන් ඔවුන් එළවා ඔබ සැම ඉදිරිපිටින් ඔවුන් පන්නා දමනවා ඇත; ඔබ සැමද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔවුන්ගේ දේශය හිමිකර ගන්නවා ඇත.
6 එබැවින් ඔබ සැම අතරේ ඉතිරිව සිටින මේ ජාතීන් අතරෙහි නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නාම සඳහන් නොකොට, ඔවුන් ගැන නොදිවුරවා, ඔවුන්ට සේවය නොකර නමස්කාර නොකර සිටින පිණිස,
7 මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න.
8 ඔබ සැම අද දවස දක්වා කළ හැටියට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ම ඇලුම්ව සිටින්න.
9 මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉතා මහත්වූ බලවත්වූ ජාතීන් ඔබ සැම ඉදිරියෙන් පන්නා දැමූසේක. එහෙත් ඔබ සැමට විරුද්ධව සිටින්ට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන්වුණේ නැත.
10 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට කී හැටියට ඔබ සැම උදෙසා යුද්ධකරන්නේ උන්වහන්සේය, එබැවින් ඔබ සැමගෙන් එක්කෙනෙක් දහසක් එළවන්නේය.
11 එහෙයින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න.
12 මක්නිසාද ඔබ සැම යම් හෙයකින් හැරී ගොස්, ඔබ සැම ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, ඔබ සැම ඔවුන් අතරෙහිද ඔවුන් ඔබ සැම අතරෙහිද ගැවසුණොත්,
13 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ සැම විනාශවී යන තුරු, ඔවුන් ඔබ සැමට මලපතක්ද උගුලක්ද ඔබ සැමගේ ඇලපත්වලට කසයක්ද ඔබ සැමගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.
14 බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව ඔබ සැමගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් ඔබ සැම දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම ඔබ සැමට පැමුණුණේය.
15 තවද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී සියලු යහපත් දේ ඔබ සැම කෙරෙහි පැමුණුණාක් මෙන්ම, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ තමන්ගේ ගිවිසුම ඔබ සැම කඩකර ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන කල,
16 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ සැම විනාශවීයන තුරු, සියලු නරක දේවල් ඔබ සැම පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස ඔබ සැමට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ ඔබ සැමට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් ඔබ සැම නැතිකර දමනවා ඇතැයි කීවේය.



පරිච්ඡේදය 24

1 පසුව යෝෂුවා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස්කරවා, ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඔවුන්ගේ ප්‍රධානීන්ද ඔවුන්ගේ විනිශ්චයකාරයන්ද ඔවුන්ගේ මුලාදෑනීන්ද කැඳවිය; ඔව්හු දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටියෝය.
2 යෝෂුවා මුළු සෙනඟට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-පූර්වකාලයෙහි ඔබ සැමගේ පියවරුන් වන ආබ්‍රහම්ගේද නාහොර්ගේද පියවූ තෙරා ප්‍රාත් ගංගාවෙන් එතර වාසයකෙළේය. ඔව්හු අන් දෙවිවරුන්ට සේවයකළෝය.
3 මම වනාහි ඒ ගංගාව එතරින් ඔබ සැමගේ පියවූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ඔහු ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩිකෙළෙමි, මම ඔහුට ඊසාක් දුනිමි.
4 ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.
5 මම මෝසෙස් සහ ආරොන් යවා මා විසින් මිසරය මධ්‍යයෙහි කළ ප්‍රකාරයටම ඊට පීඩාකෙළෙමි. පසුව ඔබ සැම පිටතට ගෙනායෙමි.
6 මා විසින් ඔබ සැමගේ පියවරුන් මිසරයෙන් පිටතට ගෙනා කල ඔබ සැම මුහුද ළඟට ආවහුය; මිසරවරු රථ සහ අසරුවන් ඇතුව ඔබ සැමගේ පියවරුන් පස්සේ එළවාගන රතු මුහුද දක්වා ආවෝය.
7 ඔවුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල උන්වහන්සේ ඔබ සැමටත් මිසරවරුන්ටත් අතරේ අන්ධකාරය තබා, මුහුද ඔවුන් පිටට පමුණුවා, ඔවුන් වසාදැමූසේක; මා විසින් මිසරයේදී කළ දේ ඔබ සැමගේ ඇස්වලින් දුටුවහුය. ඇරත් කාන්තාරයෙහි ඔබ සැම බොහෝ දවස් වාසයකළහුය.
8 තවද යොර්දානෙන් එතර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ඔබ සැම ගෙනායෙමි; ඔව්හු ඔබ සැමට විරුද්ධව යුද්ධකළෝය. මම ඔවුන් ඔබ සැම අතට පාවාදුනිමි, ඔබ සැම ඔවුන්ගේ දේශය හිමිකරගත්තහුය; මම ඔබ සැම ඉදිරියෙන් ඔවුන් විනාශකෙළෙමි.
9 එකල ශිප්පෝර්ගේ පුත්‍රවූ මෝවබ්හි රජවූ බාලාක් නැගිට ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකර, ඔබ සැමට ශාපකරන පිණිස බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ට අඬගසා හැරියේය.
10 එහෙත් මා බාලාම්ට ඇහුම්කන්දෙන්ට නොකැමැතිවූ හෙයින් ඔහු ඔබ සැමට ආශීර්වාදම කෙළේය. මෙසේ මම ඔහුගේ අතින් ඔබ සැම ගැළවීමි.
11 ඔබ සැම යොර්දානෙන් මෙගොඩ වී යෙරිකෝවට පැමුණුණහුය. යෙරිකෝවේ වැසියෝද අමෝරිවරුද පෙරිස්සිවරුද කානානිවරුද හිත්තීවරුද ගිර්ගාෂිවරුද හිවීවරුද යෙබූසිවරුද ඔබ සැමට විරුද්ධව සටන්කළෝය; මම ඔවුන් ඔබ සැම අතට පාවාදුනිමි.
12 මම ඔබ සැමට පෙරටුව දෙබරුන් යැවීමි, උන් අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා ඔබ සැම ඉදිරියෙන් එළෙවුවෝය; ඒක වුණේ ඔබේ කඩුවෙන්වත් ඔබේ දුන්නෙන්වත් නොවේ.
13 මෙසේ ඔබ සැම වැඩ නොකර ලබාගත් දේශයක්ද ඔබ සැම ගොඩනොනැගූ නුවරවල්ද ඔබ සැමට දුනිමි, ඔබ සැම එහි වසන්නහුය; ඔබ සැම නොවැවූ මිදි වතුවලින්ද ඔලීව වතුවලින්ද ඔබ සැම ඵල කන්නහුයයි කීසේක.
14 එබැවින් ඔබ සැම ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. ඔබ සැමගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න.
15 ස්වාමීන්වහන්සේට සේවයකිරීම ඔබ සැමට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය ඔබ සැමගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ ඔබ සැම වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ ඔබ සැම සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්-මමද මාගේ පවුලද-ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.
16 සෙනඟ උත්තරදෙමින්: අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස ස්වාමීන්වහන්සේ අත්හැරීම අපෙන් දුරුවේවා;
17 මක්නිසාද අප සහ අපේ පියවරුන්ද මිසර දේශය වන වාල්කමේ ගෙදරින් පිටතට ගෙනාවෙත්, අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළෙත්, අප ගිය මුළු මාර්ගයේදීද අප පසුකර ආවාවූ සියලු සෙනඟ අතරේදීද අප ආරක්ෂාකළෙත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, උන්වහන්සේමය.
18 ස්වාමීන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ද දේශයෙහි විසූ අමෝරිවරුන්ද අප ඉදිරියෙන් එළවාදැමූසේක. එබැවින් අපිත් ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමුව; මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේයයි කීවෝය.
19 යෝෂුවා සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේට සේවයකරන්ට ඔබ සැමට බැරිය; මක්නිසාද උන්වහන්සේ ශුද්ධවූ දෙවිකෙනෙක්ය; ස්වකීය ගෞරවය රක්ෂාකරන දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ඔබ සැමගේ අපරාධද පාපද කමානොකරනසේක.
20 ඉදින් ඔබ සැම ස්වාමීන්වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට සේවයකරන්නහුනම් උන්වහන්සේ ඔබ සැමට යහපත කළ නුමුත් හැරී ඔබ සැමට විපත්ති පමුණුවා ඔබ සැම විනාශකරනසේකැයි කීවේය.
21 සෙනඟද: නැත, අපි ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමුයයි යෝෂුවාට කීවෝය.
22 යෝෂුවාද: ස්වාමීන්වහන්සේට සේවයකිරීමට ඔබ සැම විසින් උන්වහන්සේ තෝරාගත් බවට ඔබ සැම ඔබ සැමටම විපක්ෂ සාක්ෂිකාරයෝයයි සෙනඟට කීවේය. ඔව්හු: අපි සාක්ෂියයි කීවෝය.
23 එසේ වී නම් ඔබ සැම අතරෙහි ඇත්තාවූ අන්‍ය දෙවිවරුන් පහකර දමා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබ සැමගේ සිත් යොමුකරන්නැයි ඔහු කීවේය.
24 සෙනඟද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අපි සේවයකර, උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙන්නෙමුයයි යෝෂුවාට කීවෝය.
25 මෙසේ යෝෂුවා ඒ දවසේ ෂෙකෙම්හිදී සෙනඟ සමඟ ගිවිසුමක් කොට, ඔවුන්ට පනතක්ද නියෝගයක්ද නියමකෙළේය.
26 යෝෂුවා මේ වචන දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොතෙහි ලියා, මහත් ගලක් රැගෙන එය ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානය ළඟ තිබුණු අලෝන ගස යට පිහිටුවා,
27 මුළු සෙනඟට කථාකොට: මෙන්න, මේ ගල අපට විරුද්ධව සාක්ෂියක් පිණිස තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට කී උන්වහන්සේගේ සියලු වචන ඊට ඇසුණේය. එබැවින් ඔබ සැම විසින් ඔබ සැමගේ දෙවියන්වහන්සේ එපානොකරන පිණිස ඒක ඔබ සැමට විරුද්ධව සාක්ෂියක් පිණිස වන්නේයයි කීවේය.
28 පසුව යෝෂුවා මුළු සෙනඟ තම තමුන්ගේ උරුම ප්‍රදේශවලට පිටත්කර හැරියේය.
29 මේ කාරණාවලට පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එකසිය දස අවුරුදු වයස්ව මළේය.
30 ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම්වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළාහ.
31 ඉශ්‍රායෙල්වරු වනාහි යෝෂුවාගේ සියලු දවස්වලදීද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලු ක්‍රියා දැනගන සිටියාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලදීද ස්වාමීන්වහන්සේට සේවයකළෝය.
32 තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය.
33 ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ද මළේය; ඔව්හු ඔහුගේ පුත්‍රවූ පීනෙහාස්ට එප්‍රායිම් කඳුරටෙහි දෙනලද හෙලේ ඔහු තැන්පත් කළෝය.