1 සාමුවෙල්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31


පරිච්ඡේදය 1

1 එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.
2 ඔහුට භාර්යාවන් දෙදෙනෙක් වූවෝය; එක් තැනැත්තියකගේ නම හන්නාය, අනික් තැනැත්තියගේ නම පෙනින්නාය. පෙනින්නාට දරුවෝ සිටියෝය, නුමුත් හන්නාට දරුවෝ නොසිටියෝය.
3 ඒ මනුෂ්‍යයා ෂිලෝහිදී සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් පූජාකරන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද තමාගේ නුවර සිට නික්ම ගියේය. එහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝවූ හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියෝය.
4 එල්කානා පූජාකරන දවස පැමිණි කල තමාගේ භාර්යාවවූ පෙනින්නාටත් ඇගේ සියලු පුත්‍රයන්ටත් දූවරුන්ටත් කොටස් දුන්නේය.
5 නුමුත් හන්නාට ඔහු දෙකොටසක්. දුන්නේය. මක්නිසාද ඔහු හන්නාට ආදරේව සිටියේය, නුමුත් ස්වාමීන්වහන්සේ විසින් ඇගේ ගර්භය පියවා තිබුණේය.
6 ස්වාමීන්වහන්සේ විසින් ඇගේ ගර්භය පියවනලද බැවින් ඇගේ සැතිරී ඈ කෝපකරන පිණිස ඈට බොහෝසෙයින් තරහ ඉපදෙවූවාය.
7 ඔහු අවුරුද්දෙන් අවුරුද්ද එසේ කෙළේය. ඈ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගිය ප්‍රස්තාවලදී ඒ තැනැත්තී එසේ ඈට තරහ ඉපදෙවූවාය; ඒ නිසා ඈ කෑම නොකා අඬමින් සිටියාය.
8 එවිට ඇගේ පුරුෂයාවූ එල්කානා ඈට කථාකොට: හන්නා, ඔබ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? ඔබේ සිත ශෝකව තිබෙන්නෙත් මක්නිසාද? මා පුත්‍රයන් දසදෙනෙකුට වඩා ඔබට හොඳ නැද්දැයි කීවේය.
9 ෂීලෝහිදී ඔවුන් කා බී පසුව හන්නා නැගිට ගියාය. ඒලී පූජකයා ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ උළුවහුකණුව ළඟ තිබුණ තමාගේ ආසනයේ ඉඳගන උන්නේය.
10 ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය.
11 ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.
12 ඈ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤාකරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේය.
13 මක්නිසාද හන්නා තමාගේ සිත තුළේම කථාකළාය. ඇගේ තොල් පමණක් සෙලවුණේය, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඉන්නිසා ඈ බී මත්වෙලායයි ඒලී සිතුවේය.
14 ඒලී ඈට කථාකොට: ඔබ කොපමණ කල් මත්ව සිටිනවාද? ඔබේ මුද්‍රිකපානය ඔබෙන් පහකරන්නැයි කීවේය.
15 හන්නා උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, එසේ නොවේ, මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්ය. මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබීවෙමි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ ආත්මය වැගිරෙවුවෙමි.
16 ඔබගේ මෙහෙකාරී බෙලියල්ගේ. දුවකැයි කල්පනා නොකළ මැනවි. මක්නිසාද මාගේ දුක සහ සන්තාපයේ අධිකතාව නිසා මේ වනතුරු කථාකෙළෙමියි කීවාය.
17 එවිට ඒලී උත්තරදෙමින්: සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන්වහන්සේ ඔබට ඉෂ්ටකරදෙනසේක්වයි කීවේය.
18 ඈද: ඔබගේ මෙහෙකාරීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේවයි කීවාය. එවිට ඒ ස්ත්‍රී පිටත්ව ගොස් කෑම කෑවාය, ඇගේ මුහුණද තවත් මලානිකව නොතිබුණේය.
19 ඔව්හු අලුයම නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට හැරී ගොස් රාමාහි තමුන්ගේ ගෙදරට පැමුණුණෝය. එල්කානා තමාගේ භාර්යාවවූ හන්නා ඇඳින්නේය; ස්වාමීන්වහන්සේද ඈ සිහිකළසේක.
20 තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඈ: මා ස්වාමීන්වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැයි කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය.
21 එල්කානා නම් මනුෂ්‍යයාද ඔහුගේ මුළු පවුලද අවුරුදු පතා කරන පූජාවත් තමාගේ බාරයත් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස නික්ම ගියෝය.
22 නුමුත් හන්නා ගියේ නැත; මක්නිසාද: ළමයා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනී එහි හැම කල්හිම නැවතී සිටින පිණිස, කිරිවැරුවාම ඔහු ගෙන යන තුරු මම නොයමියි ඈ තමාගේ පුරුෂයාට කීවාය.
23 ඇගේ පුරුෂයාවූ එල්කානා: ඔබට යහපත්ව පෙනෙන දේ කරන්න; ඔහු කිරිවරන තුරු නවතින්න; නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනය ඉෂ්ටකරන සේක්වයි ඈට කීවේය. මෙසේ ඒ ස්ත්‍රී නැවතී තමාගේ පුත්‍රයා කිරිවරන තුරු ඔහුට කිරි දුන්නාය.
24 ඔහු කිරිවැරූ කල ඈ ගොස් ගොන් තුන්දෙනෙක්ද පිටි ඒඵාවක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහු ගෙනගොස් ෂීලෝහි තිබුණු ස්වාමීන්වහන්සේගේ ගෘහයට පැමුණුණාය. ළමයා බාලව සිටියේය.
25 ඔව්හු ගොනා මරා ළමයා ඒලී ළඟට ගෙනාවෝය.
26 ඈද: අනේ මාගේ ස්වාමිනි, ඔබ. ජීවත් වන බව සැබෑවා සේම, මාගේ ස්වාමිනි, මෙහි ඔබ ළඟ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් සිටි ස්ත්‍රී මමය.
27 මේ දරුවා ලබාගන්ට යාච්ඤාකෙළෙමි; ස්වාමීන්වහන්සේද මා උන්වහන්සේගෙන් ඉල්ලූ මාගේ ඉල්ලීම මට දුන්සේක.
28 එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේට නමස්කාර කළෝය.



පරිච්ඡේදය 2

1 හන්නා යාච්ඤාකරමින් කියන්නී-මාගේ සිත ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ, මාගේ අඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි උසස්වී තිබේ. මාගේ මුඛය මාගේ සතුරන්ට විරුද්ධව ඇරී තිබේ; මක්නිසාද මම ඔබගේ ගැළවීම ගැන ප්‍රීතිවෙමි.
2 ස්වාමීන්වහන්සේ මෙන් ශුද්ධවූ එකද කෙනෙක් නැත; මක්නිසාද ඔබ ඇර වෙන දෙවිකෙනෙක් නැත. අපේ දෙවියන්වහන්සේට සමානවූ පර්වතයක් නැත.
3 ඔපමණ උඩඟු ලෙස තවත් කථා නොකරන්න; අහංකාරය ඔබ සැමගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්නා දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක්‍රියාවල් කිරා බලනසේක.
4 බලවන්තයන්ගේ දුනු බිඳී තිබේ පැකුලුණු අයද බලය නමැති ඉඟපටිය බැඳගන සිටිති.
5 තෘප්තිමත්ව සිටියෝ ආහාර ලබන පිණිස කුලීවැඩ කරති. බඩගිනිව සිටි අය එයින් මිදුණෝය. එසේය, වඳ ස්ත්‍රී සත්දෙනෙකු බිහිකළාය: බොහෝ දරුවන් ඇත්තී පිරිහෙන්නීය.
6 ස්වාමීන්වහන්සේ නසන සේක, ජීවත්කරන සේක. මිනීවළට2:6 හෙබ්‍රෙව්: ෂෙයෝල්. පමුණුවනසේක, එයින් නැගුටුවන සේක.
7 ස්වාමීන්වහන්සේ දිළිඳු කරනසේක, පොහොසත්කරනසේක. පහත්කරනසේක, උසස්කරනසේක.
8 අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුමකරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවනසේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේගේය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවු සේක.
9 උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන්ගේ පාද ආරක්ෂාකරනසේක, නුමුත් දුෂ්ටයෝ අන්ධකාරයෙහි විනාශ වන්නෝය. මක්නිසාද ශක්තිය කරණකොටගෙන කිසිවෙක් ජයනොගන්නේය.
10 ස්වාමීන්වහන්සේ සමඟ විවාදකරන්නෝ කැබෙලිකරනු ලබන්නෝය; උන්වහන්සේ අහසෙහි සිට ඔවුන්ට විරුද්ධව ගර්ජනාකරනසේක. ස්වාමීන්වහන්සේ පොළොවේ අන්තයන් විනිශ්චයකරනසේක; උන්වහන්සේ තමන් රජුට බලය දෙනසේක, ස්වකීය අභිෂේකලත් තැනැත්තාගේ අඟ උසස්කරනසේකැයි කීවාය. ඒලීගේ පුත්‍රයන්ගේ දුෂ්ටකම සහ ඒ ගැන තර්ජනකිරීම
11 එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේය. ළමයාද ඒලී පූජකයා ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය.
12 ඒලීගේ පුත්‍රයෝ වනාහි දුර්ජනයෝ2:12 බෙලියල් පුත්‍රයෝ. වූවෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ හැඳිනගන නොසිටියෝය.
13 ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේය: කවුරු නුමුත් පූජාවක් ඔප්පුකරනකල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස්කොක්කක් අතේ ඇතුව ඇවිත්,
14 හට්ටියේ හෝ සැළියේ හෝ කටාරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේය; එවිට කොක්කට අසුවූ සියල්ල පූජකයා තමාටම ගන්නේය. ෂීලෝට පැමිණි සියලු ඉශ්‍රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළෝය.
15 එසේය, තෙල දවන්ටත් පළමුවෙන් පූජකයාගේ වැඩකාරයා ඇවිත් පූජාකරන මනුෂ්‍යයාට කථාකොට: පූජකයාට පුලුස්සන්ට මස් දෙන්න; මක්නිසාද ඔහු අමු මස් මිස උයාපු මස් ඔබෙන් පිළිනොගන්නේයයි කීය.
16 ඉදින් ඒ මනුෂ්‍යයා ඔහුට කථාකොට: දැන්ම තෙල දවනවා ඇත, එවිට සිතේ ආශාවේ පමණටම ගනින්නැයි ඔහුට කීවේ නම්, ඔහු: එසේ නොව ඔබ දැන්ම දෙන්ට ඕනෑය. නැත්නම් බලාත්කාරයෙන් ගන්නෙමියි කියන්නේය.
17 මෙසේ ඒ තරුණයන්ගේ පාපය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉතා මහත්ව තිබුණේය. මක්නිසාද මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ පූජාව සුළුකොට සිතුවෝය.
18 එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හණ ඒඵොද් සැට්ටයක් ඇඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකෙළේය.
19 තවද ඔහුගේ මෑණියෝ ඇගේ පුරුෂයා සමඟ අවුරුදු පූජාව ඔප්පුකරන පිණිස එන කල අවුරුද්දෙන් අවුරුද්ද ඔහුට කුඩා යට ඇඳුමක් සාදාගන ආවාය.
20 ඒලී එල්කානාටත් ඔහුගේ භාර්යාවටත් ආශීර්වාදකරමින්: ඔබ සැම ස්වාමීන්වහන්සේට දුන්නාවූ දීම වෙනුවට ස්වාමීන්වහන්සේ ඔබට මේ ස්ත්‍රියගෙන් වංශයක් දෙනසේක්වයි කීවේය. ඔව්හු තමුන්ගේ ගෙදරට ගියෝය.
21 ස්වාමීන්වහන්සේ හන්නාට කරුණාකළසේක, ඈ ගර්භිණීව පුත්‍රයන් තුන්දෙනෙකුත් දූවරුන් දෙදෙනෙකුත් බිහිකළාය. සාමුවෙල් නම් ළමයා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැඩුණේය.
22 ඒලී ඉතා මහලුව සිටියේය; තමාගේ පුත්‍රයන් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කළ සියල්ලත් සම්මුඛවීමේ කූඩාරම් දොරකඩ සේවයකළාවූ ස්ත්‍රීන් සමඟ ඔවුන් සයනයකරන බවත් ඔහුට ආරංචිවිය.
23 ඔහු ඔවුන්ට කථාකොට: ඔබ සැම මෙයාකාර දේවල් කරන්නේ මක්නිසාද? ඔබ සැමගේ නපුරු ක්‍රියා ගැන මේ හැමදෙනාගෙන්ම මට අසන්ට ලැබේ.
24 මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න; මක්නිසාද මට ලැබෙන ආරංචි හොඳ නැත. ඔබ සැම ස්වාමීන්වහන්සේගේ සෙනඟ වරද කරන්ට සලස්වති.
25 මනුෂ්‍යයෙකුට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් දෙවියන්වහන්සේ ඔහුට යුක්තිය කරනවා ඇත. නුමුත් ස්වාමීන්වහන්සේට විරුද්ධව මනුෂ්‍යයෙක් පව්කළොත් ඔහු වෙනුවට මැදහත්වන්නේ කවුදැයි ඔවුන්ට කීවේය. නුමුත් ඔව්හු තමුන්ගේ පියාගේ හඬට ඇහුම්කන් නුදුන්නෝය, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් නසන්ට අභිප්‍රාකළසේක.
26 සාමුවෙල් නම් ළමයා වැඩෙමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිත් මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ප්‍රසන්නව සිටියේය.
27 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඒලී ළඟට ඇවිත් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබේ පියාගේ වංශය මිසරයෙහි ඵාරාවෝගේ ගෙදර සිටිද්දී මම ඔවුන්ට ප්‍රකාශ නූණෙම්ද?
28 ඔහු මාගේ පූජාසනය පිට පූජා ඔප්පුකරන පිණිසද සුවඳ දුම් ඔප්පු කරන පිණිසද මා ඉදිරියෙහි ඒඵොද් සැට්ටය අඳින පිණිසද මාගේ පූජකයා කොට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මම ඔහු තෝරා නොගතිම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ඔප්පුකරන සියලු ගිනි පූජා මම ඔබේ පියාගේ වංශයට නුදුනිම්ද?
29 මාගේ වාසස්ථානයෙහි ඔප්පු කරන්ට මා අණකර තිබෙන මාගේ යාගයටත් මාගේ පූජාවටත් ඔබ සැම පයින් ගසන්නෙත්, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොට්ඨාසවලින් ඔබම තරකරගන්න පිණිස ඔබ මට වඩා ඔබේ පුත්‍රයන්ට ගෞරවකරන්නෙත් මක්නිසාද?
30 එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබේ වංශයත් ඔබේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.
31 බලව, ඔබේ වංශයේ මහලු මිනිහෙක් නොසිටින ලෙස ඔබේ බාහුවද ඔබේ පියාගේ වංශයේ බාහුවද මා විසින් සිඳදමන කාලයක් පැමිණෙන්නේය.
32 දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට යහපත කරන කාලය මුළුල්ලේ, මාගේ වාසස්ථානයෙහි විපත ඇති බව ඔබ දකිනවා ඇත. ඔබේ වංශයේ මහලු මිනිහෙක් කවදාවත් නොසිටින්නේය.
33 මාගේ පූජාසනය ළඟින් මා විසින් සිඳිනු නොලබන ඔබට අයිති මනුෂ්‍යයා ඉතුරුවෙන්නේ ඔබේ ඇස් ක්ෂයවී යන්ටත් ඔබේ හෘදය ශෝකාතුර වෙන්ටත් සලස්වන පිණිසය. ඔබේ වංශයෙන් පැවත එන සියල්ලන් මධ්‍යම වයසේදීම මැරෙනවා ඇත.
34 ඔබේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නී සහ පීනෙහාස් කෙරෙහි පැමිණෙන දෙය ඔබට ලකුණක් වන්නේය; එනම් ඔවුන් දෙදෙනාම එක දවසේදී මැරෙන්නෝය.
35 මාගේ සිතේද මාගේ කල්පනාවේද හැටියට කරන්නාවූ විශ්වාසවූ පූජකයෙකු මම නැගුටුවාගෙන, ඔහුට ස්ථිරවූ වංශයක් උපදවා දෙන්නෙමි; ඔහු මාගේ අභිෂේකලත් තැනැත්තා ඉදිරියෙහි සෑමකල්ම හැසිරෙන්නේය.
36 තවද ඔබේ වංශයෙහි ඉතුරුවෙන හැමදෙනා රිදී මිලයක්ද රොටියක්ද ලබාගන්න පිණිස ඇවිත් ඔහු ඉදිරියේ වැඳ වැටී: අනේ රොටී කෑල්ලක් කන පිණිස පූජක තනතුරකට මා පත්කළ මැනවැයි කියනවා ඇත කියා කියනසේකැයි කීවේය.



පරිච්ඡේදය 3

1 සාමුවෙල් නම් ළමයා ඒලී ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය. ඒ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ වචනය දුර්ලභවිය; දර්ශන බොහොමයක්ද නොවීය.
2 ඒ කාලයේ ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන ලෙස අඳුරුවෙන්ට පටන්ගෙන තිබුණේය.
3 එකල ඒලී තමාගේ ස්ථානයෙහි සැතපෙද්දීත්, දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිබුණාවූ ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාමුවෙල් නිදාඉඳිද්දීත්, දෙවියන්වහන්සේගේ පහන නිවෙන්ට පළමුවෙන්,
4 ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට හඬගැසූසේක.
5 ඔහු: මම මෙහියයි කියා, ඒලී ළඟට දිවගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. ඔහුද: මම හඬනොගැසීමි; නැවත නිදාගන්නැයි කීවේය. ඔහු ගොස් නිදාගත්තේය.
6 ස්වාමීන්වහන්සේ නැවතත්: සාමුවෙල් කියා හඬගැසූසේක. සාමුවෙල් නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. මාගේ පුත්‍රය, මම හඬනොගැසීමි; නැවතත් නිදාගන්නැයි ඔහු කීවේය.
7 සාමුවෙල් ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේ නොහැඳින්නේය, ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහුට එළිදරව්නොවීය.
8 ස්වාමීන්වහන්සේ තුන්වෙනි වරත් නැවත සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. එවිට ස්වාමීන්වහන්සේ ළමයාට හඬගසන බව ඒලී දැනගත්තේය.
9 එබැවින් ඒලී සාමුවෙල්ට කථාකොට: ඔබ ගොස් නිදාගන්න. ඔබට හඬගැසුවොත්-ස්වාමීන්වහන්ස, කථාකළමැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවාය කියා කියන්නැයි කීවේය. සාමුවෙල් ගොස් තමාගේ ස්ථානයෙහි නිදාගත්තේය.
10 ස්වාමීන්වහන්සේ ඇවිත් සිට වෙන වතාවලදී මෙන්: සාමුවෙල්, සාමුවෙල් කියා හඬගැසූසේක. එවිට සාමුවෙල්: කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවායයි කීවේය.
11 ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මෙන්න, මම ඉශ්‍රායෙල්හි කාරණයක් කරන්නෙමි, ඒක අසන සියල්ලන්ගේ කන් දෙක ලෙළදෙන්නේය.
12 මා විසින් ඒලීගේ වංශය ගැන කී සියල්ලම මුල පටන් අග දක්වා ඒ දවසේදී ඒලීට විරුද්ධව ඉෂ්ටකරන්නෙමි.
13 ඔහුගේ පුත්‍රයන් තමුන් පිටට ශාපයක් පමුණුවාගන්න බව ඔහු දැනගනත් ඔවුන් නොවැලැක්වූ අපරාධය නිසා මම ඔහුගේ වංශය සෑමකල්ම විනිශ්චයකරන්නෙමියි ඔහුට දැන්වීමි.
14 එබැවින් ඒලීගේ වංශයේ අපරාධය පූජා වෙන්වත් පඬුරෙන්වත් කිසිකලක පහකරනු නොලබන්නේය කියා ඒලීගේ වංශයට මා දිවුරා තිබේයයි කීසේක.
15 සාමුවෙල් පහන්වෙන තුරු නිදාහිඳ, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි දොරවල් ඇරියේය. නුමුත් සාමුවෙල් දර්ශනය ඒලීට දන්වන්ට භයව සිටියේය.
16 එවිට ඒලී: මාගේ පුත්‍රය, සාමුවෙල්යයි කියා සාමුවෙල්ට හඬගැසුවේය. ඔහුද: මම මෙහියයි කීවේය.
17 එවිට ඔහු: ස්වාමීන්වහන්සේ ඔබට කී කාරණය මොකද? ඒක මාගෙන් නොසඟවන්න. උන්වහන්සේ ඔබට කී සියලු දෙයින් ඔබ යමක් මාගෙන් සඟවන්නෙහිනම් දෙවියන්වහන්සේ ඔබට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වයි කීවේය.
18 සාමුවෙල් කිසිවක් නොසඟවා ඒ සියල්ලම ඔහුට කීවේය. එවිට ඔහු: උන්වහන්සේ ස්වාමීන්වහන්සේය; උන්වහන්සේට යහපත්ව පෙනෙන හැටියට කරනසේක්වයි කීවේය.
19 සාමුවෙල් වැඩුණේය, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ වචනවලින් එකක්වත් සිස්වෙන්ට ඉඩ නුදුන්සේක.
20 සාමුවෙල් ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘ කෙනෙකු හැටියට ස්ථිරකරනලද බව දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටි සියලු ඉශ්‍රායෙල්වරු දැනගත්තෝය.
21 ස්වාමීන්වහන්සේ ෂීලෝහිදී නැවතත් පෙනුණුසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනයෙන් ෂීලෝහි සාමුවෙල්ට එළිදරව්වුණසේක.



පරිච්ඡේදය 4

1 ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පිටත්ව ගොස් එබෙන්-එසෙර් ළඟ කඳවුරු බැඳගත්තෝය. පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්තෝය.
2 පිලිස්තිවරුන් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටනට සැරසී යුද්ධය පැතිර ගිය විට, ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙහි පරාජය වූහ. ඔව්හු යුද භූමියෙහි සේනාවෙන් මනුෂ්‍යයන් හාරදාහක් පමණ මැරුවෝය.
3 සෙනඟ කඳවුරට ආ කල ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝ කථාකොට: ස්වාමීන්වහන්සේ අද පිලිස්තිවරුන් ඉදිරියෙහි අප විසුරුවාදැමුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස අපි ඒක ෂීලෝවෙන් ගෙන්වාගනිමුයයි කීවෝය.
4 ඒ හැටියට සෙනඟ ෂීලෝට මිනිසුන් යවා කෙරුබ් පිට වැඩහිඳින, සේනාවල ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන්වා ගත්තෝය. හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා එහි දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් සමඟ සිටියෝය.
5 ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට පැමිණි කල සියලු ඉශ්‍රායෙල්වරු පොළොව දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් ඝෝෂාකළෝය.
6 පිලිස්තිවරු ඒ ඝෝෂාවේ ශබ්දය අසා: හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ තිබෙන මේ මහත් ඝෝෂා ශබ්දය කිමෙක්දැයි කීවෝය. ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය කඳවුරට පැමිණි බව ඔව්හු දැනගත්තෝය.
7 එවිට පිලිස්තිවරු භයවුණෝය, මක්නිසාද: දෙවියන්වහන්සේ කඳවුරට වැඩියසේකැයි ඔව්හු කීවෝය. ඔව්හු කථාකොට: අපට දුක්වේ! මක්නිසාද මෙබඳු දෙයක් මීට ප්‍රථම නොවීය.
8 අපට දුක්වේ! මේ බලවන්ත දෙවිවරුන්ගේ අතින් අප ගළවන්නේ කවුද? මේ වනාහි කාන්තාරයේදී මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහරදුන් දෙවිවරුය.
9 පිලිස්තිවරුනි, ශක්තිමත්ව පුරුෂයන්මෙන් සිටින්න, හෙබ්‍රෙව්වරුන් ඔබ සැමට මෙහෙකරුවන් වූ ලෙස ඔබ සැම ඔවුන්ට මෙහෙකරුවන් නොවන පිණිස පුරුෂයන් මෙන් සිට සටන්කරන්නැයි කීවෝය.
10 පිලිස්තිවරු සටන්කළෝය, එවිට ඉශ්‍රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරමට පලාගියෝය. ඉතා මහත් නාස්තියක් සිදුවිය; ඉශ්‍රායෙල්වරුන්ගෙන් පාබළ සෙනඟ තිස්දාහක් වැටුණෝය.
11 දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණේය; ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මැරුම්කෑවෝය.
12 බෙන්යමින් මනුෂ්‍යයෙක් සේනාවෙන් දුවගොස්, තමාගේ ඇඳුම් ඉරාගන, හිසේ පස් දමාගන, ඒ දවසේ ෂීලෝට ආයේය.
13 ඔහු එන කොට ඒලී පාර අද්දර තිබුණ තමාගේ ආසනයේ හිඳගන බලා උන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන ඔහුගේ හිත ගැහි ගැහී තිබුණේය. ඒ මනුෂ්‍යයා නුවරට ඇවිත් එපවත් කී කල නුවර වැසි සියල්ලෝ මොරගැසුවෝය.
14 ඒලී ඒ මොරගැසීමේ ශබ්දය අසා: අර කෝලාහල ශබ්දය කිමෙක්දැයි ඇසීය. ඒ මනුෂ්‍යයා ඉක්මනින් ඇවිත් ඒලීට දැන්නුවේය.
15 ඒලී වනාහි අනූ අට අවුරුද්දක් වයස්ව සිටියේය; ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය.
16 ඒ මනුෂ්‍යයා කථාකොට: සේනාවේ සිට ආ තැනැත්තා මමය, අද සේනාවේ සිට පලා ආමියි ඒලීට කීවේය. ඔහුද: මාගේ පුත්‍රය, එහි සිද්ධවුණේ කිමෙක්දැයි ඇසුවේය.
17 පණිවිඩකාරයා උත්තර දෙමින්: ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය, සෙනඟ අතරේ මහත් නාස්තියක්ද වුණේය, ඔබගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මළෝය, දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණායයි කීවේය.
18 ඔහු දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන සඳහන්කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේය. මක්නිසාද ඔහු මහලු මනුෂ්‍යයෙක්ව බරව සිටියේය. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.
19 ඔහුගේ ලේලි වන පීනෙහාස්ගේ භාර්යාව ගර්භිණීව බිහිකරන්ට ළංව සිටියාය. දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ බවත් ඇගේ මාමණ්ඩියද පුරුෂයාද මැරුණු බවත් ඈ ඇසූ කල, ප්‍රසව වේදනා හටගෙන නැබුරුවී බිහිකළාය.
20 ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කථාකොට: භයනොවන්න; ඔබ පුත්‍රයෙකු බිහිකළායයි ඈට කීවෝය. නුමුත් ඈ උත්තර දුන්නේවත් සැලකුවේවත් නැත.
21 දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ නිසාද ඇගේ මාමණ්ඩියත් පුරුෂයාත් නිසාද ඈ: ඉශ්‍රායෙල් කෙරෙන් තේජස පහව ගියේය කියා දරුවාට ඊකාබොද්4:21 එනම්, තේජස පහව ගියේය. යන නම තැබුවාය.
22 ඕතොමෝ: දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ හෙයින් තේජස ඉශ්‍රායෙල් කෙරෙන් පහව ගියේයයි කීවාය.



පරිච්ඡේදය 5

1 පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන එබෙන්-එසෙර්හි සිට අෂ්දොද්ට ගෙනාවෝය.
2 පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන ඒක දාගොන්ගේ ගෘහයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූහ.
3 අෂ්දොද්හි මනුෂ්‍යයන් පසුවදා අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී තිබෙනවා දුටුවෝය. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහුගේ ස්ථානයෙහි සිටෙවුවෝය.
4 ඔවුන් පසුවදා උදය අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී, දාගොන්ගේ හිසද අත් දෙකද කපාදමා එළිපත්ත උඩ තිබෙනවා දුටුවෝය; දාගොන්ට ඉතුරුව තිබුණේ කඳ පමණක්ය.
5 ඒ නිසා අද දවස දක්වා දාගොන්ගේ පූජකයෝවත් දාගොන්ගේ ගෘහයට ඇතුල්වෙන්නාවූ වෙන කිසිවෙක්වත් අෂ්දොද්හි තිබෙන දාගොන්ගේ එළිපත්ත නොපාගති.
6 එවිට ස්වාමීන්වහන්සේගේ හස්තය අෂ්දොද් වැසියන් කෙරෙහි බරව තිබුණේය, උන්වහන්සේ ඔවුන්ට එනම් අෂ්දොද්හි සහ එහි දිශාවල වැසියන්ට කලල් ගඩු කරණකොටගෙන පහරදී ඔවුන් නාස්තිකළසේක.
7 අෂ්දොද් මනුෂ්‍යයෝ ඒ බව දැක: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප ළඟ නොතිබිය යුතුය. මක්නිසාද උන්වහන්සේගේ හස්තය අප පිටත් අපේ දෙවිවූ දාගොන් පිටත් තදව තිබේයයි කීවෝය.
8 එබැවින් ඔව්හු පණිවිඩ යවා, පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් තමුන් ළඟට රැස්කර: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන අප විසින් කුමක් කටයුතුදැයි කීවෝය. ඔව්හුද: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගාත්ට ගෙනයනු ලැබේවයි කීවෝය. එසේ ඔව්හු ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගෙනගියෝය.
9 තවද ඔවුන් ඒක ගෙනගිය පසු ස්වාමීන්වහන්සේගේ හස්තය ඒ නුවර පිටට ඉතා මහත් කැලඹීමක් ඇතුව පැමුණුණේය. උන්වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන්ට පහරදුන්සේක, ගඩුද ඔවුන් පිට හටගත්තේය.
10 එවිට ඔව්හු දෙවියන්වහන්සේගේ පෙට්ටිය එක්‍රොන්ට හැරියෝය. දෙවියන්වහන්සේගේ පෙට්ටිය එක්‍රොන්ට පැමිණි කල එක්‍රොන්වරු මොරගසමින්: අපද අපේ සෙනඟද නසන්ට ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප ළඟට ගෙනාවෝයයි කීවෝය.
11 එබැවින් ඔව්හු පණිවිඩ යවා පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස්කර: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප හා අපේ සෙනඟ නාස්තිනොකරන පිණිස එය ස්වකීය ස්ථානයට හැරී යන්ට යවන්නැයි කීවෝය. මක්නිසාද නුවර මුළුල්ලෙහි මරණීය කැලඹීමක් හටගත්තේය; දෙවියන්වහන්සේගේ හස්තය එහි ඉතා බරව තිබුණේය.
12 නොමැරුණු මනුෂ්‍යයෝ ගඩුවලින් පීඩා වින්දෝය. නුවරුන්ගේ විලාපයද අහස දක්වා නැගුණේය.



පරිච්ඡේදය 6

1 ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබුණේය.
2 පිලිස්තිවරු පූජකයන්ද පේනකියන්නන්ද කැඳවා: අප විසින් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ගැන කරන්ට ඕනෑ මොකද? එය ස්වකීය ස්ථානයට මොන දෙයක් සමඟ ඇරිය යුතුද කියා අපට දන්වන්නැයි කීවෝය.
3 ඔව්හු: ඔබ සැම ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය හරින්නහුනම්, එය සිස්ව නෑර උන්වහන්සේට අපරාධ පූජාවක්දී යවන්න. එවිට ඔබ සැමට සුවවන්නේය, උන්වහන්සේගේ හස්තය ඔබ සැම කෙරෙන් පහනොවන්නේ මක්නිසාද කියා ඔබ සැමට දැනගන්ට ලැබේයයි කීවෝය.
4 එවිට ඔව්හු: උන්වහන්සේට මොන අපරාධ පූජාවක්දී හරින්නෙමුදැයි ඇසුවෝය. ඔව්හු කථාකොට: පිලිස්තිවරුන්ගේ අධිපතීන්ගේ ගණන ලෙස රන් ගඩු පසකුත් රන් මීයන් පසකුත්ය. මක්නිසාද ඔබ සැම සියල්ලන්ද ඔබ සැමගේ අධිපතීන්ද කෙරෙහි පැමුණුණේ එක පීඩාවක්ය.
5 එබැවින් ඔබ සැමගේ ගඩුවල රූපද රට නාස්තිකරන ඔබ සැමගේ මීයන් සමාන රූපද සාදා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. සමහරවිට උන්වහන්සේ ස්වකීය හස්තය ඔබ සැම කෙරෙන්ද ඔබ සැමගේ දෙවිවරුන් කෙරෙන්ද ඔබ සැමගේ දේශය කෙරෙන්ද අහක්කරගන්නවා ඇත.
6 මිසරවරුන් හා ඵාරාවෝ තමුන්ගේ සිත් දැඩිකරගත් ලෙස ඔබ සැමත් සිත් දැඩිකරගන්නේ මක්නිසාද? උන්වහන්සේ ඔවුන් අතරේ පුදුම ලෙස ක්‍රියාකළ විට ඔවුන් සෙනඟට යන්ට අවකාශ දුන්නා නොවේද? ඔවුන් පිටත්ව ගියා නොවේද?
7 ඉතින් දැන් අලුත් ගැළක් සාදාගන, වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු රැගෙන ගැළට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් අරන් ගෙයි නවත්වා,
8 ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන ගැළ පිට තබා, අපරාධ පූජාවක් පිණිස උන්වහන්සේට දෙන රන් බඩු එහි පැත්තක කුඩා කරඬුවක තබා ඒක යන්ට හැර,
9 බලාසිටින්න. ඉදින් ඒකේ සීමාවට යන මාර්ගයෙන් බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදුකළේ උන්වහන්සේ බව එයින් පෙනෙයි, නැත්නම් අපට පහර දුන්නේ උන්වහන්සේගේ හස්තය නොව ඒක ඉබේම අපට පැමුණුණ බව අපට පෙනෙනවා ඇතැයි කීවෝය.
10 ඒ මනුෂ්‍යයෝ එසේ කරමින් කිරි එළදෙනුන් දෙන්නෙක් අරන් ගැළට බැඳ, උන්ගේ වස්සන් ගෙයි වසා තබා,
11 ස්වාමීන්වහන්සේගේ පෙට්ටියද රන් මීයන් සහ ඔවුන්ගේ ගඩුවල රූප දැමූ කුඩා කරඬුවද ගැළෙ තැබුවෝය.
12 එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට කෙළින් යන පාරේ ගියෝය; දකුණටවත් වමටවත් නොහැරී කෑගසගසා ඒ මාවත දිගේම ගියෝය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝද බෙත්-ෂෙමෂ්හි සීමාව දක්වා උන් පස්සේ ගියෝය.
13 බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු මිටියාවතේ තිරිඟු කපමින් සිටියෝය. ඔව්හු ඇස් ඔසවා බලා පෙට්ටිය දැක, ඒක දුටු නිසා ප්‍රීතිවූහ.
14 ගැළද බෙත්-ෂෙමියවූ යෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේය, එහි ලොකු ගලක් තිබුණේය. ඔව්හු ගැළේ ලී පළා, එළදෙනුන් ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට ඔප්පුකළෝය.
15 ලෙවීවරු ස්වාමීන්වහන්සේගේ පෙට්ටියද රන් බඩු දමා තිබුණු කරඬුවද බා මහ ගල පිට තැබුවෝය. බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ ඒ දවසේදී ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු කොට යාගද පිදුවෝය.
16 පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනා ඒ දැක එදාම එක්‍රොන්ට හැරී ගියෝය.
17 පිලිස්තිවරුන් විසින් අපරාධ පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට දුන්නාවූ රන් ගඩු මේවාය: අෂ්දොද් උදෙසා එකක්ය, ගාසා උදෙසා එකක්ය, අෂ්කෙලොන් උදෙසා එකක්ය, ගාත් උදෙසා එකක්ය, එක්‍රොන් උදෙසා එකක්ය.
18 තවද ඔවුන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය තැබුවාවූ බෙත්-ෂෙමිය යෝෂුවාගේ කෙතෙහි අද වන තෙක් පවත්නාවූ මහ ගල දක්වා තිබෙන පවුරු සහිත නුවරවල්ද පිටිසර ගම්ද ඇතුළුව අධිපතීන් පස්දෙනාට අයිතිවූ පිලිස්තිවරුන්ගේ සියලු නුවරවල ගණනේ හැටියට දුන් රන් මීයෝ මේය.
19 බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.
20 බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ කථාකොට: ස්වාමීන්වහන්සේ එනම් මේ ශුද්ධ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්ට කාට පුළුවන්ද? උන්වහන්සේ අප වෙතින් කා වෙතට යවමුදැයි කීවෝය.
21 ඔව්හු: පිලිස්තිවරුන් විසින් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය නැවත ගෙනැවිත් තිබේ; ඔබ සැම ඇවිත් ඒක අරගන යන්නැයි කිරියත්-යෙයාරීම් වැසියන්ට පණිවිඩකාරයන් අත කියා යැවුවෝය.



පරිච්ඡේදය 7

1 කිරියත්-යෙයාරීම් මනුෂ්‍යයෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රැගෙන හෙල පිට තිබුණු අබිනාදාබ්ගේ ගෙට ගෙනගොස්, ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය රක්ෂාකරන පිණිස ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් පත්කළෝය.
2 තවද පෙට්ටිය කිරියත්-යෙයාරීම්හි තැබූ දවස පටන් දීර්ඝ කාලයක් එනම් විසි අවුරුද්දක් ගතවිය. මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ සොයා වැලපුණෝය.
3 සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: ඔබ සැමගේ මුළු සිතින් ඔබ සැම ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, ඔබ සැම අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා ඔබ සැමගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් ඔබ සැම ගළවාගන්නවා ඇතැයි කීවේය.
4 එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ බාල් දේවතාවන්ද අෂ්ටාරොත්ද පහකරදමා ස්වාමීන්වහන්සේට පමණක් සේවයකළෝය.
5 සාමුවෙල්ද: මා ඔබ සැම උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් මිශ්පාට රැස්කරන්නැයි කීවේය.
6 ඔව්හු මිශ්පාට රැස්වී වතුර ඇද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට, ඒ දවසේ නිරාහාරව සිට: අපි ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුයයි එහිදී කීවෝය. සාමුවෙල් මිශ්පාහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් විනිශ්චයකෙළේය.
7 ඉශ්‍රායෙල් පුත්‍රයන් මිශ්පාට රැස්ව සිටින බව පිලිස්තිවරුන් ඇසූකල පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැගී ආවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ අසා පිලිස්තිවරුන්ට භය වූවෝය.
8 ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේ අතින් අප ගළවන පිණිස අප උදෙසා උන්වහන්සේට නොනැවතී යාච්ඤාකළමැනවැයි සාමුවෙල්ට කීවෝය.
9 සාමුවෙල් කිරිබොන බැටළු පැටවෙකු රැගෙන ස්වාමීන්වහන්සේට මුළු දවන පූජාවක් කොට ඔප්පුකර, ඉශ්‍රායෙල්වරුන් උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; ස්වාමීන්වහන්සේ ඔහුට උත්තර දුන්සේක.
10 සාමුවෙල් දවන පූජාව ඔප්පුකරන කල්හිම පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට ළංවූහ. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේ මහත් ශබ්දයකින් පිලිස්තිවරුන් මත්තෙහි ගර්ජනාකොට ඔවුන් විසුරුවා දැමූසේක; ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙහි පැරදුණෝය.
11 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ මිශ්පායෙන් නික්ම පිලිස්තිවරුන් පස්සේ එළවාගන ගොස් බෙත්-කාර්හි පාවුලට පැමිණෙන තුරු ඔවුන්ට පහරදුන්නෝය.
12 එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර්. යන නම තැබුවේය.
13 මෙසේ පිලිස්තිවරු යටත්කරනු ලැබ, තවත් ඉශ්‍රායෙල්ගේ සීමාවට ඇතුල්නුවූහ. ස්වාමීන්වහන්සේගේ හස්තයද සාමුවෙල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව තිබුණේය.
14 පිලිස්තිවරුන් විසින් එක්‍රොන් පටන් ගාත් දක්වා ඉශ්‍රායෙල්වරුන්ගෙන් ගත්තාවූ නුවරවල් ඉශ්‍රායෙල්වරුන්ට නැවත ලැබුණේය; ඉශ්‍රායෙල්වරු ඒවායේ සීමාවලුත් පිලිස්තිවරුන්ගේ අතින් ගළවාගත්තෝය. ඉශ්‍රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ සමාදානය පැවතුණේය.
15 සාමුවෙල් තමාගේ ජීවිතයේ සියලු දවස්වල ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.
16 ඔහු අවුරුද්දෙන් අවුරුද්ද පිටත්වී බෙතෙල්ටත් ගිල්ගාල්ටත් මිශ්පාටත් පිළිවෙළින් ගොස්, ඒ සියලු ස්ථානවලදී ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකර,
17 රාමාට හැරී ආවේය, මක්නිසාද ඔහුගේ ගෙය තිබුණේ එහිය; එහිදී ඔහු ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. ඔහු එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේය.



පරිච්ඡේදය 8

1 සාමුවෙල් මහලුවූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්‍රායෙල්වරුන්ට විනිශ්චයකාරයන් කොට පත්කෙළේය.
2 ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම යෝවෙල්ය; ඔහුගේ දෙවෙනියාගේ නම අබියාය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූවෝය.
3 නුමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ මාර්ගවල නොහැසිර, අයුතු ලාභය පිණිස ඉවතට හැරී, අල්ලස් ගෙන විනිශ්චය පෙරළුවෝය.
4 එවිට ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වී රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කථාකොට:
5 ඔබ මහලුව සිටිනෙහිය, ඔබගේ පුත්‍රයෝ ඔබගේ මාර්ගවල නොහැසිරෙති. ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චයකරන පිණිස අපටත් රජෙකු පත්කළ මැනවැයි කීවෝය.
6 එහෙත්: අප විනිශ්චයකරන්ට අපට රජෙකු දුන මැනවැයි කී කීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.
7 ස්වාමීන්වහන්සේද: සෙනඟ ඔබට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු ඔබ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය.
8 මා විසින් ඔවුන් මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දවස දක්වා මා අත්හැර වෙන දෙවිවරුන්ට සේවයකරමින් ඔවුන් කළාවූ සියලු ක්‍රියාවල හැටියට ඔව්හු ඔබටත් කරති.
9 දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. එසේවී නුමුත් ඔවුන් කෙරෙහි රජකම් කරන රජුගේ අන්දම ඔවුන්ට දන්වමින් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නැයි කීසේක.
10 එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට ස්වාමීන්වහන්සේගේ සියලු වචන කීවේය.
11 ඔහු කථාකොට: ඔබ සැම කෙරෙහි රජකම්කරන්නාවූ රජුගේ අන්දම මෙසේ වන්නේය. ඔහු ඔබ සැමගේ පුත්‍රයන් ගෙන තමාගේ රථාචාර්යයන් හා අසරුවන් කොටද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත්කරගන්නේය.
12 ඔහු ඔවුන් සහස්‍රාධිපතීන් කොටද පනසාධිපතීන් කොටද පත්කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද්ධායුධත් රථායුධත් සාදන්ටද පත්කරගන්නේය.
13 ඔහු ඔබ සැමගේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිසද කෑම උයන පිණිසද රොටි පුලුස්සන පිණිසද ගන්නේය.
14 ඔහු ඔබ සැමගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද අතරෙන් ඉතා හොඳ ඒවා අරන් තමාගේ සේවකයන්ට දෙන්නේය.
15 ඔබ සැමගේ ධාන්‍යවලින්ද මුද්‍රිකඵලයෙන්ද දසයෙන් කොටසක් ගෙන තමාගේ ඇමතියන්ටත් සේවකයන්ටත් දෙන්නේය.
16 ඔබ සැමගේ වැඩකාරයන්ද වැඩකාරියන්ද ඔබ සැමගේ ශෝභනවූ තරුණයන්ද ඔබ සැමගේ කොටළුවන්ද ගෙන තමාගේ වැඩට පත්කරගන්නේය.
17 ඔහු ඔබ සැමගේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේය. ඔබ සැම ඔහුගේ සේවකයෝ වන්නහුය.
18 ඒ දවසෙහි ඔබ සැම තෝරාගත් ඔබ සැමගේ රජු නිසා ඔබ සැම කෑගසනවා ඇත; නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේදී ඔබ සැමට උත්තරදෙන්නේ නැතැයි කීවේය.
19 එහෙත් සෙනඟ සාමුවෙල්ගේ හඬට කීකරුවෙන්ට කැමති නොවී කථාකොට: නැත;
20 අපත් සෑම ජාතීන්ට සමාන වන පිණිසද අපේ රජ විසින් අප විනිශ්චයකරන පිණිසද අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල් කරන පිණිසද අප කෙරෙහි රජෙක් සිටින්ටම ඕනෑයයි කීවෝය.
21 සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කීවේය.
22 ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී ඔවුන්ට රජෙකු පත්කරන්නැයි ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කීසේක. සාමුවෙල්ද: ඔබ සැම එකිනෙකා තමතමාගේ නුවරට යන්නැයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට කීවේය.



පරිච්ඡේදය 9

1 බෙන්යමිය මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ, අපියාගේ පුත්‍රයා වන බෙඛෝරත්ගේ පුත්‍රවූ ශෙරොර්ගේ පුත්‍රයා වන අබියෙල්ගේ පුත්‍රවූ කීෂ් නම්වූ බෙන්යමිය මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු මහත් ධනවතෙක්ය.
2 ඔහුට සාවුල් නම්වූ තරුණ ශෝභන පුත්‍රයෙක් සිටියේය. ඔහුට වඩා ශෝභන කෙනෙක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ සිටියේ නැත. ඔහු සෙනඟ අතරේ සියලුදෙනාටම වඩා උරහිස පටන් ඉහළට උස්ව සිටියේය.
3 සාවුල්ගේ පියවූ කීෂ්ගේ කොටළුවෝ නැතිවුණෝය. කීෂ් තමාගේ පුත්‍රවූ සාවුල්ට කථාකොට: ඔබ වැඩකාරයන්ගෙන් එක්කෙනෙකු අඬගහගෙන පිටත්ව ගොස් කොටළුවන් සොයාන්නැයි කීවේය.
4 ඔහු එප්‍රායිම් කඳු රටෙහිද ෂාලිෂා රටෙහිද ඇවිද්ද නුමුත් උන් සම්බවුණේ නැත. ඔව්හු ෂාලීම් රටෙහිත් ඇවිද්දෝය, උන් එහිත් නැති බැවින් ඔහු බෙන්යමින් රටෙහිද ඇවිද්දේය. නුමුත් ඔවුන්ට උන් සම්බවුණේ නැත.
5 ඔවුන් ශූප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි තමාගේ වැඩකාරයාට කථාකොට: අපි හැරී යමු; නැත්නම් මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වෙනවා ඇතැයි කීවේය.
6 ඔහුද: මේ නුවර දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් සිටී, ඒ මනුෂ්‍යයා ගෞරවණීය කෙනෙක්ය; ඔහු කියන සියල්ල සැබවින් සිදුවෙයි. අපි එහි යමු; සමහරවිට අප යන ගමන ගැන ඔහු අපට දන්වනවා ඇතැයි ඔහුට කීවේය.
7 එවිට සාවුල් තමාගේ වැඩකාරයාට කථාකොට: යනවානම් අපි ඒ මනුෂ්‍යයාට කුමක් ගෙනයමුද? මක්නිසාද අපේ භාජනවල තිබුණ කෑම කම්මුතුවිය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙනයන්ට කිසි තෑග්ගක් නැත්තේය. අප ළඟ කුමක් තිබේදැයි කීවේය.
8 වැඩකාරයා නැවත සාවුල්ට උත්තරදෙමින්: මා අතේ රිදී ෂෙකෙලකින් සතරෙන් පංගුවක් තිබේ. අපේ මාර්ගය අපට දන්වන පිණිස ඒක දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමියි කීවේය.
9 (පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.)
10 එවිට සාවුල්: ඔබ කීවා හොඳයි; එන්න, අපි යමුයයි තමාගේ වැඩකාරයාට කීවේය. මෙසේ ඔව්හු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝය.
11 ඔව්හු නුවර නැගුමේ යන කල, යෞවනියන් වතුර අදින පිණිස පිටතට එනවා ඔවුන්ට සම්බව: දිවස් ඇත්තා මෙහි ඉන්නවාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
12 ඔව්හු උත්තරදෙමින්: ඉන්නවාය; ඔහු ඔබ ඉදිරියෙහිය. ඉක්මන්කරන්න, මක්නිසාද උස් තැනදී අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට ඇවිත් සිටියි.
13 ඔබ සැම නුවරට ඇතුල්වූ වහාම කෑම කන පිණිස උස් තැනට නගින්ට මත්තෙන් ඔහු සම්බවෙයි. මක්නිසාද ඔහු පූජාවට ආශීර්වාදකරන බැවින් ඔහු එනතුරු සෙනඟ කන්නේ නැත; කැඳවනලද්දෝ ඉන් පසුව කති. ඉන් නිසා යන්න; මක්නිසාද මේ වේලාවට ඔහු ඔබ සැමට සම්බවේයයි කීවෝය.
14 ඔවුන් නුවරට ගොස් නුවර ඇතුළට පැමිණදේදී සාමුවෙල් උස් තැනට යන පිණිස ඔවුන් ඉස්සරහට පිටතට ආවේය.
15 සාවුල් එන්ට දවසකට ප්‍රථම ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට:
16 මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු ඔබ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය.
17 සාමුවෙල් සාවුල් දුටු විට ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: මෙන්න, මා ඔබට කී මනුෂ්‍යයා! මොහු මාගේ සෙනඟ කෙරෙහි බලය පවත්වන්නේයයි කීසේක.
18 එවිට සාවුල් දොරටුවේදී සාමුවෙල් ළඟට ඇවිත්: දිවස් ඇත්තාගේ ගෙය තිබෙන්නේ කොතනද කියා මට දැන්නුවමැනවැයි කීවේය.
19 සාමුවෙල්ද සාවුල්ට උත්තර දෙමින්: දිවස් ඇත්තා මමය; මට පෙරටුව උස් තැනට යන්න, මක්නිසාද ඔබ සැම අද මා සමඟ කෑම කන්ට ඕනෑය. හෙට උදේ ඔබ යන්ට හරින්නෙමි, ඔබේ සිතේ තිබෙන සියල්ලද ඔබට දන්වන්නෙමි.
20 තුන් දවසකට පළමුවෙන් නැතිවූ ඔබේ කොටළුවන්ගේ කාරණය සිතට නොගන්න; උන් සම්බවුණාය. ඉශ්‍රායෙල්හි ආශාවිය යුතු සියල්ල කා උදෙසාද? ඔබ උදෙසාත් ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේදැයි කීවේය.
21 සාවුල් උත්තර දෙමින්: මම ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක්ව තිබෙන බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්‍රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවේය.
22 තවද සාමුවෙල් සාවුල් හා ඔහුගේ වැඩකාරයත් කැඳවාගෙන ආගන්තුක ශාලාවට ඇතුල්වී, ගණනින් තිහක් පමණ වූ කැඳවනලද මනුෂ්‍යයින් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන් හින්දෙවුවේය.
23 සාමුවෙල් අරක්කැමියාට කථාකොට: ඔබ ළඟ තබාගන්ට කියා මා ඔබට දුන්නාවූ කොටස මෙහි ගෙනෙන්නැයි කීවේය.
24 අරක්කැමියා ගාතයද ඊ පිට තිබුණු දේද ගෙනැවිත් සාවුල් ඉදිරිපිට තැබුවේය. සාමුවෙල්ද: මෙන්න ඔබ උදෙසා තැබූ ඒවා! මේවා ඔබ ඉදිරිපිට තබාගෙන කන්න; මක්නිසාද මා විසින් සෙනඟ කැඳෙවුවායයි කී වේලාවට මේවා ඔබ උදෙසා වෙන්කොට තබන ලද්දේයයි කීවේය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ කෑයේය.
25 ඔවුන් උස්තැනින් නුවරට බැස ආ කල සාමුවෙල් සාවුල් සමඟ පියස්ස උඩදී කථාකෙළේය.
26 ඔව්හු අලුයම නැගුටුණෝය. තවද පහන්වෙන වේලාව පමණේදී සාමුවෙල් සාවුල්ට පියස්ස උඩට අඬගසා: මා විසින් ඔබ පිටත්කරන පිණිස නැගිටින්නැයි කීවේය. සාවුල් නැගිට්ටේය, ඔවුන් දෙදෙනා එනම් ඔහු සහ සාමුවෙල් පිටතට ගියෝය.
27 ඔවුන් බැස යන කල නුවර කෙළවරදී සාමුවෙල් සාවුල්ට කථාකොට: අපට පෙරටුව යන්ට ඔබේ වැඩකාරයාට කියා, මා විසින් ඔබට දෙවියන්වහන්සේගේ වචනය දන්වන පිණිස ඔබ දැන් නවතින්නැයි කීවේය. වැඩකාරයා ඉස්සරව ගියේය.



පරිච්ඡේදය 10

1 එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට ඔබ ආලේපකළසේක් නොවේදැයි කීය.
2 ඔබ අද මා ළඟින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ශෙල්ශාහි තිබෙන රාඛෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝය; ඔවුන් ඔබට කථාකොට-ඔබ සොයන්ට ගිය කොටළුවෝ සම්බවුණෝය. ඔබේ පියාණෝ කොටළුවන්ගේ කාරණය අත්හැර: මාගේ පුත්‍රයා ගැන මක්කරම්දැයි කියමින් ඔබ සැම ගැන ශෝකවන්නේයයි කියනවා ඇත.
3 එවිට ඔබ එතැනින් තවත් දුර ගොස් තාබොර්හි අලෝන වෘක්ෂය ළඟට පැමින්නාම, එක්කෙනෙක් එළුපැටියන් තුන්දෙනෙක්ද එක්කෙනෙක් රොටි තුනක්ද එක්කෙනෙක් මුද්‍රිකපාන භාජනයක්ද රැගෙන දෙවියන්වහන්සේ ළඟට බෙතෙල්ට යන මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔබට සම්බවන්නෝය.
4 ඔවුන් ඔබට ආචාර කොට රොටි දෙකක් ඔබට දෙනවා ඇත; ඒවා ඔවුන් අතින් පිළිගන්න.
5 ඊට පසුව ඔබ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. ඔබ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා ඔබට සම්බවන්නේය.
6 එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔබ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය, ඔබ ඔවුන් සමඟ ධර්මවාක්‍ය පවසමින් අන්‍යාකාර මනුෂ්‍යයෙක් වන්නෙහිය.
7 මේ ලකුණු ඔබට පැමිණි කල ඔබ ප්‍රස්තාවේ හැටියට ක්‍රියාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටිනසේක.
8 ඔබ මට පෙරටුව ගිල්ගාල්ට යන්න; මම වනාහි දවන පූජා ඔප්පුකරන පිණිසත් ශාන්ති පූජාවල යාගයන් පූජාකරන පිණිසත් ඔබ ළඟට එන්නෙමි. මා ඔබ ළඟට ඇවිත් ඔබ කළයුතු දේ ඔබට දන්වන තුරු සත් දවසක් බලාසිටින්නැයි කීවේය.
9 තවද ඔහු සාමුවෙල් වෙතින් යන්ට පිටිපෑ කල දෙවියන්වහන්සේ ඔහුට අමුතු සිතක් දුන්සේක. ඒ සියලු ලකුණු ඒ දවසේදී සිද්ධවුණේය.
10 ඔවුන් ඒ හෙල ළඟට පැමිණි කල, බලව, ප්‍රොපේත කණ්ඩායමක් ඔහුට සම්බවිය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි ආනුභාසම්පන්නව පැමිණියේය, එවිට ඔහු ඔවුන් අතරේ ධර්මවාක්‍ය පැවසුවේය.
11 පළමු ඔහු ඇඳින සිටි හැමදෙනාම ඔහු ප්‍රොපේතවරුන් සමඟ ධර්මවාක්‍ය පවසනවා දුටු කල ඔවුනොවුන්ට කථාකොට: කීෂ්ගේ පුත්‍රයාට මේ මක්වෙලාද? සාවුලුත් ප්‍රොපේතවරුන් සමඟ සිටිනවාදැයි කීවෝය.
12 ඒ ස්ථානයේ එක්කෙනෙක් උත්තරදෙමින්: ඔවුන්ගේ පියා කවුදැයි කීවේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේ සිටින්නේද යන කීමක් හටගත්තේය.
13 ඔහු ධර්මවාක්‍ය පවසා නිමවූ කල උස් තැනට ආයේය.
14 සාවුල්ගේ බාප්පා: ඔබ සැම කොතැනට ගියාදැයි ඔහුගෙන්ද ඔහුගේ වැඩකාරයන්ගෙන්ද ඇසුවේය. අපි කොටළුවන් සොයන්ට ගියෙමුව. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට පැමුණුණෙමුයයි ඔහු කීවේය.
15 සාමුවෙල් ඔබ සැමට කීවේ මොකද කියා මට කියන්නැයි සාවුල්ගේ බාප්පා කීය.
16 සාවුල්ද: කොටළුවන් සම්බවුණ බව ඔහු අපට පැහැදිලි ලෙස දැන්නුවේයයි තමාගේ බාප්පාට කීවේය. නුමුත් රජකම ගැන සාමුවෙල් කී කාරණය ඔහුට දැන්නුවේ නැත.
17 සාමුවෙල් ස්වාමීන්වහන්සේ වෙතට මිශ්පාට සෙනඟ රැස්කරවා,
18 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙනැවිත් මිසරවරුන්ගේ අතින්ද ඔබ සැමට පීඩාකළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන්ද ඔබ සැම ගළවාගතිමි.
19 එහෙත් ඔබ සැමගේ සියලු විපත්තිවලින්ද පීඩාවලින්ද ඔබ සැම ගැළෙවූ ඔබ සැමගේ දෙවියන්වහන්සේ ඔබ සැම අද එපාකර: රජකෙනෙකු අප කෙරෙහි පත්කරන්ට ඕනෑයයි උන්වහන්සේට කීවහුය. එබැවින් දැන් ඔබ සැමගේ ගෝත්‍ර හා දහස් ගණන් ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කියනසේකැයි කීවේය.
20 මෙසේ සාමුවෙල් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ළංකෙරෙවු විට බෙන්යමින් ගෝත්‍රය ගන්නාලද්දේය.
21 බෙන්යමින් ගෝත්‍රය පවුල් වශයෙන් ළංකෙරෙවු විට මට්රීගේ පවුල ගන්නා ලද්දේය. කීෂ්ගේ පුත්‍රවූ සාවුල්ද ගන්නාලද්දේය; නුමුත් ඔවුන් ඔහු සෙවූ විට ඔහු සම්බවුණේ නැත.
22 එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.
23 ඔව්හු දුවගොස් ඔහු එතැනින් ගෙනාවෝය; ඔහු සෙනඟ අතරේ සිටි කල උරඉස් පටන් ඉහළට හැමදෙනාටම වඩා උස්ව සිටියේය.
24 සාමුවෙල් මුළු සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේ තෝරාගත් තැනැත්තාට සමාන කෙනෙක් මුළු සෙනඟ අතරේ නැති බව ඔබ සැමට පෙනෙනවාදැයි කීවේය. මුළු සෙනඟද රජු සැරදේවා කියා මොරගැසූහ.
25 එවිට සාමුවෙල් රජකමේ විධිය සෙනඟට කියාදී, ඒක පොතෙහි ලියා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තැබුවේය. සාමුවෙල් මුළු සෙනඟ හරිනුයේ, එකිනෙකා තම තමාගේ ගෙදරට යන්ට හැරියේය.
26 සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය; දෙවියන්වහන්සේ විසින් සිත පොළොඹවනලද සේනාවද ඔහු සමඟ ගියාය.
27 නුමුත් සමහර දුර්ජනයෝ. කථාකොට: මේ මනුෂ්‍යයා අප ගළවන්නේ කොහොමදැයි කියා ඔහු සුළුකොට සිතා ඔහුට කිසි තෑග්ගක් නොගෙනාවෝය. නුමුත් ඔහු නිශ්ශබ්දව සිටියේය.



පරිච්ඡේදය 11

1 එවිට අම්මොනිය නාහාෂ් ඇවිත් යාබෙෂ්-ගිලියද්ට විරුද්ධව කඳවුරු බැන්දේය. යාබෙෂ්හි සියලු මනුෂ්‍යයෝ: අප සමඟ ගිවිසුමක් කළ මැනවි, එවිට අපි ඔබට මෙහෙකරන්නෙමුයයි නාහාෂ්ට කීවෝය.
2 අම්මොනිය නාහාෂ්ද: ඔබ සැම සියල්ලන්ගේ දකුණු ඇස් උගුලාදමා, එයින් සියලු ඉශ්‍රායෙල්වරුන් පිටට නින්දාවක් පමුණුවන්ට මට ඉඩදුන්නොත්, ඔබ සැම සමඟ ගිවිසුමක් කරන්නෙමියි ඔවුන්ට කීවේය.
3 යාබෙෂ්හි වැඩිමහල්ලෝද: අප විසින් සියලු ඉශ්‍රායෙල් පළාත්වලට පණිවිඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුනමැනවි. එවිට අප ගළවන්ට කිසිවෙක් නැත්නම් ඔබ වෙතට පිටතට එන්නෙමුයයි ඔහුට කීවෝය.
4 එකල පණිවිඩකාරයෝ සාවුල් සිටි ගිබියාට ඇවිත් ඒ කාරණා සෙනඟ ඉදිරියෙහි කීවෝය. මුළු සෙනඟ ශබ්දනගා ඇඬූහ.
5 ඒ වේලාවට සාවුල් කෙතේ සිට හරකුන් පස්සෙන් ආවේය. තවද: සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසාදැයි සාවුල් ඇසුවේය. ඔව්හු යාබෙෂ්හි මනුෂ්‍යයන්ගේ වචන ඔහුට දැන්නුවෝය.
6 සාවුල් මේ වචන ඇසූ විට දෙවියන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ කෝපයද අතිශයින් ඇවුළුණේය.
7 ඔහු ගොන් බානක් ගෙන උන් කෑලිවලට කපා: සාවුල්ද සාමුවෙල්ද පස්සේ පිටත්ව නොඑන යමෙක් ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේම කරනු ලැබේය කියා ඒවා පණිවිඩකාරයන් අත ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට හැරියේය. සෙනඟ පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පහළවී ඔව්හු එක්කෙනෙකු මෙන් පිටත්ව ආවෝය.
8 ඔහු බෙශෙක්හිදී ඔවුන් ගණන්කෙළේය; ඉශ්‍රායෙල් පුත්‍රයන් තුන් ලක්ෂයක්ද යුදා මනුෂ්‍යයන් තිස්දාහක්ද සිටියෝය.
9 එවිට ආවාවූ පණිවිඩකාරයන්ට ඔව්හු කථාකොට: හෙට අව්ව තදවෙන වේලාවට ඔබ සැමට ගැළවීම ලැබේය කියා යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැයි කීවෝය. පණිවිඩකාරයෝ ගොස් යාබෙෂ්හි මනුෂ්‍යයන්ට දැන්නුවෝය; ඔව්හුද ප්‍රීතිවුණෝය,
10 එබැවින් යාබෙෂ්හි මනුෂ්‍යයෝ: හෙට අපි ඔබ සැම ළඟට එන්නෙමුව, එවිට ඔබ සැමට හොඳව පෙනෙන සියල්ලේ හැටියට අපට කරන්ට ඔබ සැමට පුළුවනැයි කීවෝය.
11 පසුවදා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේය; ඔව්හු එළිවන සාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට පැමිණ ඉර මුදුන් වේලාව දක්වා අම්මොනිවරුන්ට පහර දුන්නෝය. තවද දෙදෙනෙක් එක තැනක නොසිටින හැටියට ඉතිරිවුණ අය විසුරුවනු ලැබූහ.
12 සෙනඟ සාමුවෙල්ට කථාකොට: සාවුල් අප කෙරෙහි රජකම්කරන්ටදැයි කීවේ කවුද? ඒ මනුෂ්‍යයන් මරණ පිණිස ඔවුන් ගෙනෙන්නැයි කීවෝය.
13 සාවුල්ද: අද දවසේ කිසිවෙක් මරණයට පත්කරනු නොලැබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල්හි ගැළවීමක් ඉෂ්ටකළසේකැයි කීවේය.
14 එවිට සාමුවෙල් සෙනඟට කථාකොට: එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහිදී රජකම නැවත ස්ථිරකරගනිමුයයි කීවේය.
15 මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.



පරිච්ඡේදය 12

1 සාමුවෙල් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කථාකොට: මෙන්න, ඔබ සැම මට කී සියල්ල ගැන මම ඔබ සැමගේ හඬට ඇහුම්කන්දී ඔබ සැම කෙරෙහි රජෙකු පත්කෙළෙමි.
2 දැන් රජ්ජුරුවෝ ඔබ සැම ඉදිරියෙහි හැසිරෙන්නෝය. මම නම් මහලුය, මාගේ හිසකෙස් පැහී තිබේ; මාගේ පුත්‍රයෝත් ඔබ සැම සමඟ සිටිති. මම බාල වයසේ පටන් අද දක්වා ඔබ සැම ඉදිරියෙහි හැසුරුණෙමි.
3 මම මෙහිය. මම කාගේ හරකා ගතිම්ද? කාගේ කොටළුවා ගතිම්ද? කාට අයුක්තියක් කෙළෙම්ද? කාට බලාත්කාරකමක් කෙළෙම්ද? මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්දැයි ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉදිරියෙහි මට විරුද්ධව සාක්ෂි දෙන්න, එවිට මම එය නැවත ඔබ සැමට දෙන්නෙමියි කීවේය.
4 ඔව්හුද: ඔබ අපට අයුක්තියක් කළේවත් බලාත්කාරකමක් කළේවත් කිසිවෙකුගේ අතින් මොකවත් ගත්තේවත් නැතැයි කීවෝය.
5 ඔහුද: ඔබ සැමට මා අත වරදක් සම්බනූණු බවට ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේද අද දවසේ ඔබ සැමට විරුද්ධව සාක්ෂිකාරයෝ ව සිටිතියි ඔවුන්ට කීවේය. ඔව්හුද: උන්වහන්සේ සාක්ෂියයි කීවෝය.
6 සාමුවෙල් සෙනඟට කථාකොට: මෝසෙස් සහ ආරොන් පත්කළෙත් මිසරයෙන් ඔබ සැමගේ පියවරුන් ගෙනාවෙත් ස්වාමීන්වහන්සේය.
7 එබැවින් ඔබ සැමටත් ඔබ සැමගේ පියවරුන්ටත් ස්වාමීන්වහන්සේ කළාවූ සියලු ධර්මිෂ්ඨ ක්‍රියා ගැන මා විසින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැමට මතක්කර දෙන පිණිස නිශ්චලව සිටින්න.
8 යාකොබ් මිසරයට පැමිණියාට පසු ඔබ සැමගේ පියවරුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ විට ස්වාමීන්වහන්සේ මෝසෙස්ද ආරොන්ද යවා ඔබ සැමගේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ ස්ථානයෙහි වාසයකෙරෙවුසේක.
9 එහෙත් ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතකනැතිකළෝය, එවිට උන්වහන්සේ හාශොර්හි සේනාපතියාවූ සීසෙරා අතටත් පිලිස්තිවරුන් අතටත් මෝවබ්හි රජු අතටත් ඔවුන් පාවාදුන්සේක, ඔව්හුද ඔවුන්ට විරුද්ධව යුද්ධකළෝය;
10 එවිට ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසමින්: අපි ස්වාමීන්වහන්සේ අත්හැර බාල් දේවතාවන්ටත් අෂ්ටාරොත්ටත් සේවයකිරීමෙන් පව්කෙළෙමුව. එහෙත් දැන් අපේ සතුරන්ගේ අතින් අප ගැළවුව මැනව, අපි ඔබවහන්සේට සේවයකරන්නෙමුයයි කීවෝය.
11 ස්වාමීන්වහන්සේ යෙරුබ්බාල්ද බෙදාන්ද යෙප්තාද සාමුවෙල්ද එවා වටකර සිටි ඔබ සැමගේ සතුරන්ගේ අතින් ගැළවූසේක, එවිට ඔබ සැම සුරක්ෂිතව වාසයකළහුය.
12 නුමුත් අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් ඔබ සැමට විරුද්ධව එන බව ඔබ සැම දුටු කල, ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ රජව සිටි නුමුත් ඔබ සැම-එසේ නොවේ, රජකෙනෙක් අප කෙරෙහි රජකම්කරන්ට ඕනෑයයි කීවහුය.
13 ඉතින් ඔබ සැම තෝරාගත්තාවූ ඔබ සැම ඉල්ලුවාවූ රජ්ජුරුවන් බලන්න. ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි රජ කෙනෙකු පත්කළසේක.
14 ඔබ සැම ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව කැරළි නොගසා උන්වහන්සේට භයව උන්වහන්සේට සේවයකොට උන්වහන්සේගේ හඬට කීකරුව සිටිනවානම්, ඔබ සැමත් ඔබ සැම කෙරෙහි රජකම්කරන රජුත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පස්සේ යනවානම්, යෙහෙකි.
15 නුමුත් ඔබ සැම ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නොදී උන්වහන්සේගේ අණට විරුද්ධව කැරළි ගසන්නහුනම්, උන්වහන්සේගේ හස්තය ඔබ සැමගේ පියවරුන්ට විරුද්ධව තිබුණාක් මෙන් ඔබ සැමටත් විරුද්ධවන්නේය.
16 එබැවින් දැන් නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ ඇස් හමුවෙහි කරන්ට යන මේ මහත් දෙය බලන්න.
17 දැන් තිරිඟු කපන කාලය නොවේද? අහස් ගර්ජනාවද වර්ෂාවද එවන ලෙස මම ස්වාමීන්වහන්සේට යාච්ඤා- කරන්නෙමි; රජෙකු ඉල්ලීමෙන් ඔබ සැම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කළ දුෂ්ටකම මහත් බව එයින් ඔබ සැම දැන තේරුම් ගන්නවා ඇතැයි කීවේය.
18 සාමුවෙල් ස්වාමීන්වහන්සේට යාච්ඤා කෙළේය; ස්වාමීන්වහන්සේ එදා අහස් ගර්ජනාවද වර්ෂාවද එවූසේක. එවිට මුළු සෙනඟ ස්වාමීන්වහන්සේටත් සාමුවෙල්ටත් බොහෝසෙයින් භයවූහ.
19 එවිට මුළු සෙනඟද: අප නොනසින පිණිස ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔබගේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤාකළමැනවි. මක්නිසාද රජෙකු ඉල්ලීමේ වැරැද්ද අපේ අනික් සියලු පාපවලට එකතුකෙළෙමුයයි සාමුවෙල්ට කීවෝය.
20 සාමුවෙල් සෙනඟට කථාකොට: භයනොවන්න. ඔබ සැම ඇත්තෙන්ම මේ මුළු වැරැද්ද කළහුය. එහෙත් ස්වාමීන්වහන්සේ අනුව යාම අත්නොහැර ඔබ සැමගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේට සේවයකරන්න; අහක්ව නොයන්න.
21 එසේ ගියොත් පිහිටවෙන්ටවත් ගළවන්ටවත් නොහැකිවූ නිරර්ථක දේ අනුව යන්නෝ වන්නහුය. මක්නිසාද ඒවා නිරර්ථක දේවල්මය.
22 ස්වාමීන්වහන්සේ ඔබ සැම ස්වකීය සෙනඟ කරගන්ට ප්‍රසන්නවූ බැවින් තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනඟ අත්නොහරිනසේක.
23 ඇරත් මා විසින් ඔබ සැම උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කිරීම මාගෙන් දුරුවේවා. මම යහපත්වූ හරිවූ මාර්ගය ඔබ සැමට උගන්වන්නෙමි.
24 ස්වාමීන්වහන්සේට භයව ඔබ සැමගේ මුළු සිතින් උන්වහන්සේට සැබෑලෙස සේවයකරන්න. මක්නිසාද උන්වහන්සේ ඔබ සැම උදෙසා කොපමණ මහත්දේ කළසේක්ද කියා බලන්න.
25 නුමුත් ඔබ සැම තවත් නපුරම කරනවානම් ඔබ සැමද ඔබ සැමගේ රජුද නාස්ති වෙනවා ඇතැයි කීවේය.



පරිච්ඡේදය 13

1සාවුල් රජකමට පැමිණෙන විට ඔහු අවුරුදු තිහක් 13:1 මුල් පිටපත්වල ගණනක් නොපෙනෙන නුමුත් ඇතැම්හු මෙසේ තිහක් යයි කියති. වයස්ව සිටියේය. ඔහු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි දෑවුරුද්දක් රජකම්කෙළේය.
2 තවද සාවුල් ඉශ්‍රායෙල්වරුන්ගෙන් තුන්දාහක් මනුෂ්‍යයන් තෝරාගත්තේය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හිද බෙතෙල් කන්දේද සිටියෝය, දාහක් යොනාතාන් සමඟ බෙන්යමින් ගිබියාහි සිටියෝය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට හැරියේය.
3 යොනාතාන් ගෙබාහි සිටි පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන්නේය, එපවත් පිලිස්තිවරුන්ට ආරංචිවිය. සාවුල්ද හෙබ්‍රෙව්වරු අසත්වයි කියා දේශය මුළුල්ලෙහි හොරණෑව පිම්බෙවුවේය.
4 සාවුල් විසින් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන් බවත් පිලිස්තිවරුන් ඉශ්‍රායෙල්ට පිළිකුල්කළ බවත් සියලු ඉශ්‍රායෙල්වරුන්ට සැලවිය. සෙනඟද ගිල්ගාල්හි සිටිය සාවුල් වෙතට රැස්වූවෝය.
5 පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරළේ වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.
6 තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය.
7 සමහර හෙබ්‍රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය.
8 ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය.
9 එවිට සාවුල්: දවන පූජාව හා ශාන්ති පූජා මා ළගට ගෙනෙන්නැයි කීවේය. ඔහු දවන පූජාව ඔප්පුකෙළේය.
10 ඔහු දවන පූජාව ඔප්පුකර තීන්දුවුණ හැටියේම සාමුවෙල් ආයේය; සාවුල්ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමගට ගියේය.
11 සාමුවෙල්: ඔබ කුමක් කෙළෙහිදැයි ඇසීය. සාවුල් කථාකොට: සෙනඟ මා වෙතින් විසිර යන බවත් නියමකළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස්වී සිටින බවත් දුටු බැවින්,
12 මම කථාකොට: මා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට මත්තෙන් පිලිස්තිවරු මට විරුද්ධව ගිල්ගාල්ට එන්නෝය කියා, අකැමැත්තෙන් දවන පූජාව පූජාකෙළෙමියි කීවේය.
13 සාමුවෙල්ද සාවුල්ට කථාකොට: ඔබ අණුවන ලෙස ක්‍රියාකෙළෙහිය. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ උන්වහන්සේගේ ආඥාව රක්ෂාකළේ නැත. රක්ෂාකළා නම් ස්වාමීන්වහන්සේ ඔබේ රජකම ඉශ්‍රායෙල් කෙරෙහි සදාකාලේටම ස්ථිරකරනවා ඇත.
14 නුමුත් දැන් ඔබේ රජකම පවතින්නේ නැත. ස්වාමීන්වහන්සේ ඔබට අණකළ දේ ඔබ රක්ෂානොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟවූ මනුෂ්‍යයෙකු සොයාගන තමන්ගේ සෙනඟ කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියමකර තිබේයයි කීවේය.
15 සාමුවෙල් පිටත්වී ගිල්ගාලෙන් බෙන්යමින් ගිබියාට ගියේය. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන්කෙළේය, ඔව්හු හසියයක් පමණ වූහ.
16 සාවුල්ද තමාගේ පුත්‍රවූ යොනාතාන්ද ඔවුන් සමඟ සිටි සෙනඟද බෙන්යමිය ගෙබාහි නැවතී සිටියෝය. නුමුත් පිලිස්තිවරු මික්මාෂ්හි කඳවුරු බැන්දෝය.
17 පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් කොල්ලකාරයෝ කණ්ඩායම් තුනක් ව නික්ම ආවෝය. එක කණ්ඩායමක් ඕප්‍රාට යන මාර්ගයෙන් ෂුවාල් රටට ගියේය.
18 එක කණ්ඩායමක් බෙත්හොරොන්ට යන මාර්ගයෙන් ගියේය. එක කණ්ඩායමක් කාන්තාරයට යන්නාවූ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන සීමාවේ මාර්ගයෙන් ගියේය.
19 මුළු ඉශ්‍රායෙල් දේශයෙහි ආචාරියෙක් නොසිටියේය. මක්නිසාද: හෙබ්‍රෙව්වන් කඩුද හෙල්ලද සාදානොගන්න පිණිසයයි පිලිස්තිවරු කීවෝය.
20 සියලු ඉශ්‍රායෙල්වරු තම තමුන්ගේ හීවැලද දෑකැත්තද පොරොවද උදැල්ලද මුවහත් කරන්ට පිලිස්තිවරුන් ළඟට ගියෝය;
21 එහෙත් උදලුද දෑකැතිද යකඩ කොකුද පොරෝද මුවහත් කරන්ටත් කෙවිට හරිගස්සන්ටත් ඔවුන්ට පීරක් තිබුණේය.
22 මෙසේ යුද්ධ දවසේදී සාවුල්ටත් ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ටත් මිස සාවුල් සහ යොනාතාන් සමඟ සිටි සෙනඟගෙන් කිසිවෙකු අතේ කඩුවක්වත් හෙල්ලයක්වත් තිබුණේ නැත.
23 පිලිස්තිවරුන්ගේ මුර සමුදාව මික්මාෂ්හි කඳු පාරට ගියේය.



පරිච්ඡේදය 14

1 එක් දවසක් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යමුයයි කීවේය. නුමුත් ඔහු තමාගේ පියාට දැන්නුවේ නැත.
2 සාවුල් ගිබියාහි කෙළවර මිග්‍රොන්හි තිබෙන දෙළුම් ගස යට සිටියේය. ඔහු සමඟ සිටි සෙනඟ හසියයක් පමණ මනුෂ්‍යයෝය.
3 ෂීලෝහි ස්වාමීන්වහන්සේගේ පූජකයාව සිටි ඒලීගේ පුත්‍රවූ පීනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදරවූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා එහි ඒඵොද් සැට්ටයක් ඇඳගන සිටියේය. යොනාතාන් ගිය බව සෙනඟ නොදැන සිටියෝය.
4 පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යොනාතාන් යන්ට උත්සාහකළ කඳු පාරවල් අතරේ එක පැත්තක ගිරිකුළක්ද අනික් පැත්තේ ගිරිකුළක්ද තිබුණේය. එකක නම බෝශෙශ්ය, අනිකේ නම සෙනේය.
5 එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිටද අනික් එක දකුණට ගෙබා ඉදිරිපිටද උස්ව තිබුණේය.
6 යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.
7 ඔහුගේ ආයුධ ගෙනයන්නාද: ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න. එහි යමු, ඔබේ සිතේ හැටියටම මම ඔබ සමඟ සිටිමියි ඔහුට කීවේය.
8 එවිට යොනාතාන්: අපි මේ මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙමුව.
9 එවිට ඔවුන්ඔබ සැම ළඟට අප එන කල් නවතින්නැයි අපට කීවොත් අපි ඔවුන් ළඟට නැගී නොගොස් අපේ ස්ථානයෙහිම සිටිමුව.
10 එහෙත් ඔවුන්අප ළඟට නැගී එන්නැයි කීවොත්, අපි නැගී යමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබේ. ඒක අපට ලකුණ වන්නේයයි කීය.
11 ඔවුන් දෙදෙනා ගොස් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පෙනුණාහ. පිලිස්තිවරු: අන්න, හෙබ්‍රෙව්වෝ සැඟවී සිටින ගුහාවලින් පිටතට එතියි කීවෝය.
12 මුර සමුදාවේ මිනිස්සු යොනාතාන්ටත් ඔහුගේ ආයුධ ගෙනයන්නාටත් කථාකොට: අප ළඟට නැගී එන්න, අපි ඔබ සැමට කාරණයක් පෙන්වන්නෙමුයයි කීවෝය. යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: මා පස්සේ එන්න, ස්වාමීන්වහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදී තිබේයයි කීවේය.
13 යොනාතාන්ද ඔහු පස්සේ ඔහුගේ ආයුධ ගෙනයන්නාද අත් පා ගගහා නැගී ගියෝය. ඔව්හු යොනාතාන් ඉදිරියෙහි පැරදී වැටුණෝය; ආයුධ ගෙනයන්නාද ඔහු පස්සේ ගොස් ඔවුන් මැරුවේය.
14 යොනාතාන්ද ඔහුගේ ආයුධ ගෙනයන්නාද මුලදී මෙසේ මැරුවේ අක්කරයක බිමේ හීවිටි බාගයක දිග ප්‍රමාණය හරියේ විසි දෙනෙකු පමණය.
15 කඳවුරේද එළිමහනේද මුළු සෙනඟ අතරේද වෙවුලුමක් හටගත්තේය; මුර සමුදාවත් කොල්ලකාරයොත් වෙවුලුවෝය. පොළොව කම්පාවිය; මෙසේ ඉතා මහත් වෙවුලුමක් වූයේය.
16 බෙන්යමින් ගිබියාහි සාවුල්ගේ රැකවල්ලු බැලූ විට ඒ සමූහයා අඩුවෙවී ඔබ මොබ විසිර යනවා දුටුවෝය.
17 එවිට සාවුල් තමා සමඟ සිටි සෙනඟට කථාකොට: අප කෙරෙන් ගියේ කවුද කියා ගණන්කර බලන්නැයි කීවේය. ඔවුන් ගණන්කළ විට යොනාතාන්ද ඔහුගේ ආයුධ ගෙනයන්නාද එහි නැති බව පෙනී ගියේය.
18 සාවුල් අහියාට කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මෙහි ගෙනෙන්නැයි කීවේය. මක්නිසාද එකල්හි දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත තිබුණේය.
19 සාවුල් පූජකයාට කථාකරන අතර පිලිස්තිවරුන්ගේ කඳවුරේ තිබුණ කෝලාහලය වැඩි වැඩිව පැවැත්තේය. ඔබේ අත අහකට ගන්නැයි සාවුල් පූජකයාට කීය.
20 එවිට සාවුල්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද එකට රැස්ව යුද්ධයට පැමිණියෝය. එවිට එක එක මනුෂ්‍යයාගේ කඩුව තම තමා ළඟ සිටි තැනැත්තාට විරුද්ධව තිබී, ඉතා මහත් විසිරීමක් හටගෙන තිබෙන බව ඔව්හු දුටුවෝය.
21 අවට ප්‍රදේශවලින් පිලිස්තිවරුන් සමඟ කඳවුරට ඇවිත් පෙර ලෙස ඔවුන් සමඟ සිටියාවූ හෙබ්‍රෙව්වරුන් සාවුල් හා යොනාතාන් සමඟ සිටි ඉශ්‍රායෙල්වරුන්ට එකතු වුණෝය.
22 එසේම එප්‍රායිම් කඳු රටේ සැඟවී සිටි සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයොත් පිලිස්තිවරුන් පලායන බව අසා සටන්කරමින් ඔවුන් පස්සේ හයියෙන් එළවාගන ගියෝය.
23 මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක. යුද්ධයද බෙත්-ආවන් ඉක්මවා පැවතුණේය.
24 ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත.
25 මුළු සෙනඟ වනයට පැමින්නෝය; එහි බිම පිට මීපැණි තිබුණේය.
26 සෙනඟ වනයට පැමිණි විට මීපැණි වැගිරෙනවා දුටුවෝය. නුමුත් සෙනඟ දිවුරුම ගැන භයවූ බැවින් කවරෙක්වත් තමාගේ අත කටට ගත්තේ නැත.
27 නුමුත් තමාගේ පියා සෙනඟ දිවුරවනවා යොනාතාන්ට ඇසුණේ නැත. ඔහු තමාගේ අතේ තිබුණු සැරයටිය දිඟුකොට එහි අග මීවදයක ගල්වා ඒවා අරගන කටට ගත්තේය; එයින් ඔහුගේ ඇස් පැහැදුණේය.
28 එවිට සෙනඟගෙන් එක්කෙනෙක් කථාකරමින්: ඔබේ පියාණෝ අද කෑම කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ තදින් දිවුරෙවුවාහ. මෙසේ සෙනඟද විඩාවී සිටිතියි කීවේය.
29 එවිට යොනාතාන් කථාකොට: මාගේ පියාණන් දේශය කළඹා තිබේ. මේ මීපැණි ටික කෑමෙන් මාගේ ඇස් පැහැදුණ හැටි බලන්න.
30 ඉදින් සෙනඟ තමුන්ගේ සතුරන්ගෙන් ලබාගත් කොල්ලයෙන් රිසිසේ අද කෑවානම් තව කොපමණ හොඳද? මක්නිසාද දැනට පිලිස්තිවරුන් අතරෙහි මහත් නාස්තියක් වී නැතැයි කීවේය.
31 ඔව්හු ඒ දවසේදී මික්මාෂ් පටන් ආයලොන් දක්වා පිලිස්තිවරුන්ට පහරදුන්නෝය. සෙනඟ ඉතා විඩාවී සිටියෝය.
32 සෙනඟ කොල්ලය පිටට පැන, බැටළුවන්ද හරකුන්ද වස්සන්ද අරගන බිමදමා මරා, ලේ පිටින් කෑවෝය.
33 එවිට: සෙනඟ ලේ පිටින් කෑමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කරතියි කියා සාවුල්ට දන්වනලද්දේය. ඔහුද: ඔබ සැම ද්‍රෝහි ලෙස ක්‍රියාකළහුය. අද මා ළඟට මහත් ගලක් පෙරළා ගෙන එන්නැයි කීවේය.
34 තවද සාවුල්: ඔබ සැම සෙනඟ අතරට ගොස්-ලේ සමඟ කෑමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්නොකර, ඔබ සැම එකිනෙකා තම තමාගේ හරකාද තම තමාගේ බැටළුවාද මා ළඟට ගෙනැවිත් මෙහි මරා කන්නැයි කියන්ට කීවේය. මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි මැරුවෝය.
35 සාවුල් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේය. එය ඔහු විසින් ස්වාමීන්වහන්සේට ගොඩනැගූ පළමුවෙනි පූජාසනයය.
36 තවද සාවුල් කථාකොට: අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් පස්සේ ගොස් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොකර පහන්වෙන තෙක් ඔවුන්ගෙන් කොල්ලගනිමුයයි කීවේය. ඔව්හුද: ඔබට හොඳව පෙනෙන කොයි දේ වුවත් එය කළ මැනවැයි කීවෝය. එවිට පූජකයා: අපි මෙහි දෙවියන්වහන්සේ වෙතට ළංවමුයයි කීවේය.
37 සාවුල්ද: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ට ඕනෑද? ඔබවහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදෙනසේක්දැයි දෙවියන්වහන්සේගෙන් විචාළේය. නුමුත් උන්වහන්සේ එදා ඔහුට උත්තර නුදුන්සේක.
38 එවිට සාවුල් කථාකොට: සෙනඟගේ සියලු ප්‍රධානියෙනි, මෙහි ඇවිත්, අද මේ පාපය සිද්ධවුණේ කුමක් කරණකොටගෙනද කියා බලා දැනගන්න.
39 මක්නිසාද එය තිබෙන්නේ මාගේ පුත්‍රවූ යොනාතාන් කෙරෙහි වුණත්, ඉශ්‍රායෙල් ගළවන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු නසින්නටම ඕනෑයයි කීවේය. නුමුත් මුළු සෙනඟ අතරෙන් කිසිවෙක් ඔහුට උත්තර දුන්නේ නැත.
40 එවිට ඔහු: ඔබ සැම එක පක්ෂයක සිටින්න, මමද මාගේ පුත්‍රවූ යොනාතාන්ද අනික් පක්ෂයේ සිටිමුයයි සියලු ඉශ්‍රායෙල්වරුන්ට කීවේය. ඔබට යහපත්ව පෙනෙන දෙයක් කළමැනවයි සෙනඟ සාවුල්ට කීවෝය.
41 සාවුල්ද: ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, හරි දේ පෙන්වාදුනමැනවයි ස්වාමීන්වහන්සේට කීවේය. පසඇට දැමූ විට සාවුල් සහ යොනාතාන් අසුවුණෝය, සෙනඟ ගැළවුණෝය.
42 මා සහ මාගේ පුත්‍රවූ යොනාතාන් අතරේ පසඇට දමන්නැයි සාවුල් කීය. එවිට යොනාතාන් අසුවිය.
43 ඔබ කළේ මොකද කියා මට කියන්නැයි සාවුල් යොනාතාන්ට කීවේය. යොනාතාන් ඔහුට කියනුයේ: මාගේ අතේ තිබුණු සැරයටියේ අගින් මීපැණි ටිකක් ගෙන කෑවා සැබෑය; ඔන්න, මා නසින්ට ඕනෑයයි කීවේය.
44 සාවුල්ද: යොනාතාන්, ඔබ නසින්ටම ඕනෑය, නැත්නම් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කීයේය.
45 එවිට සෙනඟ සාවුල්ට කථාකොට: ඉශ්‍රායෙල්හි මේ මහත් ගැළවීම සිද්ධකළ යොනාතාන් නසින්ට ඕනෑද? එසේ නොවේවා. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔහුගේ හිසෙන් කේශයක්වත් බිම නොවැටෙන්නේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ සමඟ අද දවසේ ක්‍රියාකෙළේයයි කීවෝය. මෙසේ යොනාතාන් නොනසින ලෙස සෙනඟ ඔහු මුදාගත්තෝය.
46 එවිට සාවුල් පිලිස්තිවරුන් පස්සේ නොගොස් හැරී ආවේය. පිලිස්තිවරු තමුන්ගේ ස්ථානයට ගියෝය.
47 මෙසේ සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම ලැබුවායින් පසු වටකර සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත් අම්මොන් පුත්‍රයන්ටත් ඒදොම්වරුන්ටත් ශෝබාහි රජුන්ටත් පිලිස්තිවරුන්ටත් විරුද්ධව යුද්ධ කෙළේය. ඔහු ගිය ගිය තැන ජයගත්තේය.
48 ඔහු වික්‍රමාන්විතව ක්‍රියාකරනුයේ, අමලෙක්වරුන්ට පහරදී, ඉශ්‍රායෙල් කොල්ලකන අයින්ගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේය.
49 සාවුල්ගේ පුත්‍රයෝනම් යොනාතාන්ද ඉශ්වීද මල්කීෂුවාද යන මොව්හුය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නාම මේය: වැඩිමහල් දුවගේ නම මේරබ්ය, බාල දුවගේ නම මීඛල්ය.
50 සාවුල්ගේ භාර්යාවගේ නම අහීනොවම්ය, ඈ අහීමයශ්ගේ දුවය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර්ය, ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයාය.
51 සාවුල්ගේ පියා කීෂ්ය. අබ්නේර්ගේ පියවූ නේර් අබියෙල්ගේ පුත්‍රයාය.
52 සාවුල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව දරුණුවූ යුද්ධ පැවතුණේය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු තමා යටතට පත්කරගත්තේය.



පරිච්ඡේදය 15

1 සාමුවෙල් සාවුල්ට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ඔබ රජකොට ආලේපකරන පිණිස මා එවූසේක. එබැවින් දැන් ස්වාමීන්වහන්සේගේ වචනවල හඬට ඇහුම්කන් දෙන්න.
2 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් මිසරයෙන් එන කල අමලෙක්වරුන් ඔවුන්ට කළ දේ එනම් ඔවුන්ට විරුද්ධව මාර්ගයෙහි සිටි හැටි සිහිකරමි.
3 දැන් ඔබ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.
4 සාවුල් සෙනඟ එකතුකරවා තෙලායිම්හිදී ඔවුන් ගණන්කෙළේය, පාබළ සෙනඟ දෙලක්ෂයක්ද යුදා මනුෂ්‍යයෝ දසදහසක්ද සිටියෝය.
5 සාවුල් අමලෙක්වරුන්ගේ නුවර ළඟට පැමිණ මිටියාවතේ සැඟවී රුක සිටියේය.
6 තවද සාවුල් කේනිවරුන්ට කථාකොට: මා විසින් අමලෙක්වරුන් සමඟ ඔබ සැම විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙන් අහක්ව යන්න. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් එද්දී ඔබ සැම ඔවුන් සියල්ලන්ට කරුණාකළහුයයි කීවේය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක්ව ගියෝය.
7 සාවුල්ද හවිලා පටන් මිසරය ඉදිරිපිට තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේය.
8 ඔහු අමලෙක්වරුන්ගේ රජවූ ආගග් පණපිටින් අල්ලාගෙන මුළු සෙනඟ කඩුමුවහතින් සහමුලින්ම විනාශකර දැමුවේය.
9 එහෙත් සාවුල් සහ සෙනඟ ආගග්ද බැටළුවන් හා ගවයින්ගෙනුත් තර සතුන්ගෙනුත් ඉතා හොඳ එවුන්ද බැටළු පැටවුන්ද සියලු හොඳ දේවල්ද සහමුලින්ම විනාශකර දමන්ට අකැමැතිව ඉතිරි කරගත්තෝය. නුමුත් නුසුදුසුවූ නොවටින්නාවූ සියල්ලම ඔව්හු විනාශකර දැමුවෝය.
10 එවිට ස්වාමීන්වහන්සේගේ වචනය සාමුවෙල් වෙතට පැමිණ:
11 මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.
12 සාමුවෙල් උදය සාවුල් සම්බවෙන්ට යන පිණිස වේලාසනින් නැගිට්ටේය; එවිට: සාවුල් කර්මෙල්ට පැමිණ, එහි ජයස්තමහයක් පිහිටුවා, හැරී ගිල්ගාල්ට බැස යන්ට ගියේයයි සාමුවෙල්ට දන්වනලද්දේය.
13 සාමුවෙල් සාවුල් ළඟට පැමුණුණු කල සාවුල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේවා. මම ස්වාමීන්වහන්සේගේ වචනය ඉෂ්ටකෙළෙමියි කීය.
14 සාමුවෙල්ද: එසේ නම් මාගේ කන්වල වැටෙන මේ බැටළු හඬත් මට ඇසෙන ගවයින්ගේ හඬත් කිමෙක්දැයි ඇසුවේය.
15 සාවුල් කථාකොට: සෙනඟ අමලෙක්වරුන්ගෙන් උන් ගෙනාවෝය. මක්නිසාද ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිස සෙනඟ බැටළුවන්ගෙන්ද ගොනුන්ගෙන්ද ඉතා හොඳවුන් ඉතුරුකරගත්තෝය; අනික් එවුන් සහමුලින් විනාශකර දැමුවෙමුයයි කීවේය.
16 එවිට සාමුවෙල්: නවතින්න, මේ රාත්‍රියේ ස්වාමීන්වහන්සේ මට කී කාරණය ඔබට දන්වමියි සාවුල්ට කීවේය. කිව මැනවැයි ඔහු කීය.
17 සාමුවෙල් කථාකොට: ඔබ සුළු කෙනෙකැයි ඔබම සිතූ නුමුත්, ඔබ ඉශ්‍රායෙල් ගෝත්‍රයන් කෙරෙහි අධිපතිකරනු ලැබුවා නොවේද? ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට ඔබ ආලේප කළසේක;
18 ස්වාමීන්වහන්සේද ඔබ ගමනක් යවමින්: අමලෙක්වරුන් වන පව්කාරයන් විනාශකරදමා, ඔවුන් නැතිවී යන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධකරන්නැයි කීසේක.
19 ඉතින් ඔබ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, කොල්ලය පිටට පැන, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළේ මක්නිසාදැයි කීවේය.
20 සාවුල්ද: නැත, මම ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුව, ස්වාමීන්වහන්සේ මා යැවූ ගමන ගොස්, අමලෙක්වරුන්ගේ රජවූ ආගග් ගෙනාවෙමි, අමලෙක්වරුන්ද සහමුලින්ම විනාශකර දැමීමි.
21 නුමුත් සෙනඟ වනාහි විනාශයට කැපවූ දේවලින් ප්‍රධාන කොට්ඨාසය වන බැටළුවන්ද ගවයන්ද කොල්ලය අතරෙන් රැගෙන ගිල්ගාල්හිදී ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිස ආවෝයයි සාමුවෙල්ට කීවේය.
22 සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.
23 මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. ඔබ ස්වාන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් ඔබ රජකමෙන් පහකළසේකැයි කීවේය.
24 සාවුල් සාමුවෙල්ට කථාකොට: මම පව්කෙළෙමි. මක්නිසාද මම සෙනඟට භයවී ඔවුන්ගේ හඬට කීකරුවූ බැවින් ස්වාමීන්වහන්සේගේ ආඥාවද ඔබගේ වචනද කඩකෙළෙමි.
25 එහෙත් ඔබ දැන් මගේ පාපයට කමාවී, මා විසින් ස්වාමීන්වහන්සේට නමස්කාර කරන පිණිස මා සමඟ හැරී අව මැනවැයි සාමුවෙල්ට කීවේය.
26 මම ඔබ සමඟ හැරී නොඑමි. මක්නිසාද ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය පහකෙළෙහිය, ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටීමෙන් ඔබ පහකළසේකැයි සාමුවෙල් සාවුල්ට කීවේය.
27 සාමුවෙල් යන්ට හැරෙන විට සාවුල් ඔහුගේ සළුවේ කෙළවර අල්ලාගත්තේය, එවිට ඒක ඉරුණේය.
28 සාමුවෙල් ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල් රජකම ඔබෙන් පැහැරගෙන ඔබට වඩා යහපත්වූ ඔබේ අසල්වාසියෙකුට දී තිබේ.
29 ඇරත් ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ බොරු නොකියනසේක, නොතැවෙනසේක. මක්නිසාද තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයයි කීවේය.
30 එවිට ඔහු: මම පව්කෙළෙමි. එහෙත් දැනට මාගේ සෙනඟගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල්වරුන්ද ඉදිරියේදී මට ගෞරවය දී, මා විසින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරන පිණිස මා සමඟ හැරී අවමැනවැයි කීවේය.
31 එවිට සාමුවෙල් හැරී සාවුල් සමඟ ගියේය; සාවුල්ද ස්වාමීන්වහන්සේට නමස්කාරකෙළේය.
32 එවිට සාමුවෙල්: අමලෙක්වරුන්ගේ රජවූ ආගග් මා ළඟට ගෙනෙන්නැයි කීවේය. ආගග්ද: වෙවුල වෙවුලා ඔහු ළඟට ඇවිත්-සැබවින්ම මරණයේ තික්තකම පහව ගියේයයි කීය.
33 සාමුවෙල්ද: ඔබේ කඩුව ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක්මෙන් ඔබේ මෑණියොත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැත්තියක් වන්නීයයි කීය. සාමුවෙල් ගිල්ගාල්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලිකොට කපාදැමුවේය.
34 ඉක්බිති සාමුවෙල් රාමාට ගියේය; සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය.
35 ඉන්පසු සාමුවෙල් තමා මැරෙන දවස දක්වා තවත් සාවුල් දකින්ට නායේය. නුමුත් සාමුවෙල් සාවුල් ගැන ශෝකවිය. ස්වාමීන්වහන්සේද සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට පත්කළ බැවින් තැවුණුසේක.



පරිච්ඡේදය 16

1 ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී ඔබ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? ඔබේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට ඔබ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.
2 සාමුවෙල්ද: මා යන්නේ කොහොමද? එය සාවුල්ට සැලවුණොත් ඔහු මා මරනවා ඇතැයි කීවේය. ස්වාමීන්වහන්සේද ඔබ වැස්සියක් ගෙනගොස්: මම ස්වාමීන්වහන්සේට පූජා කරන්ට ආවෙමියි කියන්න.
3 යෙස්සේද පූජාවට කැඳවාගන්න, එවිට ඔබ විසින් කටයුතු දේ මම ඔබට පෙන්වන්නෙමි. මා ඔබට කියන තැනැත්තා මට ආලේපකරන්නැයි කීසේක.
4 සාමුවෙල් ස්වාමීන්වහන්සේ කී දේ කොට බෙත්-ලෙහෙමට ආයේය. එවිට නුවර වැඩිමහල්ලෝ වෙවුලමින් ඔහු සම්මුඛවෙන්ට අවුත්: ඔබ එන්නේ සමාදානයෙන්දැයි ඇසූහ.
5 සමාදානයෙන්ය. ස්වාමීන්වහන්සේට පූජාකරන්ට ආවෙමි. ඔබ සැම පවිත්‍රවී මා සමඟ පූජාවට එන්නැයි ඔහු කීවේය. ඔහු යෙස්සේද ඔහුගේ පුත්‍රයන්ද පවිත්‍රකොට පූජාවට කැඳෙවුවේය.
6 ඔවුන් ආ කල ඔහු එලියාබ් දෙස බලා: සැබෑවටම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ උන්වහන්සේ ඉදිරියෙහි සිටීයයි කියාගත්තේය.
7 නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.
8 එවිට යෙස්සේ අබිනාදාබ්ට හඬගසා සාමුවෙල් ඉදිරිපිටින් යන්ට සැලැස්විය. මොහුවත් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි ඔහු කීය.
9 එවිට යෙස්සේ ෂම්මා ඔහු ළඟින් යන්ට සැලැස්විය. මොහුවත් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි ඔහු කීවේය.
10 මෙසේ යෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙක් සාමුවෙල් ඉදිරිපිටින් යන්ට සැලැස්සුවේය. සාමුවෙල්ද: මොවුන් ස්වාමීන්වහන්සේ තෝරානොගත්සේකැයි යෙස්සේට කියා,
11 ඔබේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවාදැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කථාකොට: තව ඉතිරිව ඉන්නේ බාලයාය, ඔහු බැටළුවන් බලාගන සිටිනවායයි කීවේය, සාමුවෙල්ද: කෙනෙක් යවා ඔහු ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි කෑමට ඉඳ නොගන්නෙමුයයි යෙස්සේට කීය.
12 එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක.
13 එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේපකෙළේය. එදින පටන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව දාවිත් කෙරෙහි පැමිණියේය. සාමුවෙල් නැගිට රාමාට ගියේය.
14 නුමුත් ස්වාමීන්වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහු කැලඹුවේය.
15 සාවුල්ගේ සේවකයෝ ඔහුට කථාකොට: දැන් දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔබ කලඹයි.
16 දක්ෂ වීණාකාරයෙකු සොයන්ට අපේ ස්වාමිතුමා ඔබ ඉදිරිපිට සිටින ඔබගේ සේවකයන්ට අණකෙරේවා. එවිට දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මය ඔබ කෙරෙහි තිබෙන කල, ඔබට සුවවෙන පිණිස ඔහු තමාගේ අතින් ගායනාකරන්නේයයි කීවෝය.
17 සාවුල් කථාකොට: හොඳට ගායනාකරන මනුෂ්‍යයෙකු සොයා ඔහු මා ළඟට ගෙනෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය.
18 එවිට වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් උත්තර දෙමින්: ගායනාකරන්ට දන්නාවූ, බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙකු දුටිමි, ඔහු බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක්ව, යුද්ධකාරයෙක්ව, කථාවෙහි දක්ෂවූ රූපසම්පන්නවූ කෙනෙක්ව සිටියි, ස්වාමීන්වහන්සේත් ඔහු සමඟයයි කීවේය.
19 එබැවින් සාවුල් යෙස්සේ වෙත පණිවිඩකාරයන් යවා: බැටළුවන් සමඟ සිටින ඔබේ පුත්‍රවූ දාවිත් මා ළඟට එවන්නැයි කියා යැවීය.
20 එවිට යෙස්සේ රොටිද මුද්‍රිකපාන භාජනයක්ද එළුපැටවෙක්ද කොටළුවෙකු පිට පටවා ඒවා තමාගේ පුත්‍රවූ දාවිත් අත සාවුල්ට ඇරියේය.
21 දාවිත් සාවුල් ළඟට ඇවිත් ඔහු ඉදිරියෙහි සිටියේය. ඔහුද ඔහුට ඉතා ආදරේවිය; ඔහු සාවුල්ගේ ආයුධ ගෙනයන්නා වුණේය.
22 දාවිත් මාගේ ඇසට ප්‍රිය නිසා ඔහු මා ඉදිරියෙහි සිටීවයි සාවුල් යෙස්සේට කියා යැවීය.
23 තවද දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මය සාවුල්ට පැමිණි කල දාවිත් තෙමේ වීණාව ගෙන අතින් ගායනාකෙළේය. එයින් සාවුල්ට පහසුවද සුවයද ලැබී නපුරු ආත්මය ඔහුගෙන් පහව ගියේය.



පරිච්ඡේදය 17

1 පිලිස්තිවරු තමුන්ගේ සේනාවන් යුද්ධයට රැස්කළෝය, ඔව්හු යුදාට අයිතිවූ සොකෝහි එකතුව සොකෝටත් අසේකාටත් අතරේ එඵෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්තෝය.
2 සාවුල්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද රැස්ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳ පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියෝය.
3 පිලිස්තිවරු එක පැත්තක තිබුණු කන්දේද ඉශ්‍රායෙල්වරු අනික් පැත්තේ තිබුණු කන්දේද සිටියෝය. ඔවුන්ට අතරේ මිටියාවතක් තිබුණේය.
4 ගාත්හි වැසියෙක්වූ ගොලියත් නම්වූ හරියන් හමාරක් උස ඇති මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් පිටතට ආවේය.
5 ඔහුගේ හිසෙහි පිත්තල තොප්පියක් තිබුණේය, ඔහු ලෝහ හැට්ටයක් පැළඳගෙන සිටියේය; සැට්ටයේ පිත්තලවල බර ෂෙකෙල් පන්දහසක්ය.
6 ඔහුගේ පාදවල පිත්තල වැසුම් තිබුණේය, ඔහුගේ පිටිකරෙහි පිත්තලමය කුඩා හෙල්ලයක් තිබුණේය.
7 ඔහුගේ මහ හෙල්ලයේ මිට වියන දණ්ඩට සමානය; ඔහුගේ හෙල්ලයේ තලය යකඩ ෂෙකෙල් හසියයක බරය. ඔහුගේ පලිහ ගෙනයන්නා ඔහුට පෙරටුවෙන් ගියේය.
8 ඔහු සිට ඉශ්‍රායෙල් සේනාවන්ට මොරගසා: ඔබ සැම යුද්ධ පිළිවෙළින් සිටින්ට පිටතට එන්නේ මක්නිසාද? මම පිලිස්තියයෙක් නොවම්ද? ඔබ සැම සාවුල්ගේ සේවකයෝ නොවෙත්ද? මා ළඟට එන පිණිස ඔබ සැම වෙනුවට මනුෂ්‍යයෙකු තෝරාගන්න.
9 මා සමඟ සටන් කොට මා මරන්ට ඔහුට පුළුවන්වුණොත්, අපි ඔබ සැමගේ මෙහෙකරුවෝ වන්නෙමුව. නුමුත් මා ඔහුගෙන් ජයගෙන ඔහු මැරුවොත්, ඔබ සැම අපේ මෙහෙකරුවන්ව අපට සේවයකරන්ට ඕනෑයයි කීවේය.
10 තවද ඒ පිලිස්තියයා: මම ඉශ්‍රායෙල් සේනාවන්ට අද දවසේ මිගකියමි; මා සමඟ සටන් කරන්ට මනුෂ්‍යයෙක් දෙන්නැයි කීවේය.
11 සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝසෙයින් භයපත්වූහ.
12 දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය.
13 යෙස්සේගේ වැඩිමහල් පුත්‍රයන් තුන්දෙනා සාවුල් අනුව යුද්ධයට ගියෝය. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාගේ නාම මෙසේය: කුලුඳුලා එලියාබ්ය, දෙවෙනියා අබිනාදාබ්ය, තුන්වෙනියා ෂම්මාය.
14 දාවිත් සියල්ලන්ට බාලයාය. වැඩිමහල් තුන්දෙන සාවුල් අනුව ගියෝය.
15 දාවිත් වනාහි බෙත්-ලෙහෙම්හි තමාගේ පියාගේ බැටළුවන් බලාගන්ට සාවුල් වෙතින් ඔබ මොබ ගියේය.
16 ඒ පිලිස්තියයා සතළිස් දවසක් උදයත් සවසත් ඉස්සරහට ඇවිත් පෙනීසිටියේය.
17 යෙස්සේ තමාගේ පුත්‍රවූ දාවිත්ට කථාකොට: මේ විලඳවලින් ඒඵාවක්ද මේ රොටි දසයද රැගෙන කඳවුරට ඔබේ සහෝදරයන් ළඟට ඉක්මනින් ගොස් ඔවුන්ට දෙන්න;
18 ඔවුන්ගේ සහස්‍රාධිපතියාට මේ කේජුගෙඩි දහයද ගෙනගොස්, ඔබේ සහෝදරයන්ගේ සැපසනීප කොහොමදැයි බලා, ඔවුන්ගේ තොරතුරු දැනගෙන එන්නැයි කීවේය.
19 සාවුල්ද ඔව්හුද ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් සියලුදෙනාද ඒලානම් මිටියාවතේ පිලිස්තිවරුන් සමඟ සටන්කරමින් සිටියෝය.
20 දාවිත් අලුයම නැගිට, බැටළුපාලයෙකුට බැටළුවන් භාරදී, යෙස්සේ තමාට අණකළ ලෙස අරගෙන ගොස්, ගැල් තිබුණු ස්ථානයට පැමුණුණේය. එවිට සේනාව යුද්ධ-භූමියට යමින් ඔල්වර හඬ පැවැත්තුවෝය.
21 ඉශ්‍රායෙල්වරුද පිලිස්තිවරුද සේනාවට විරුද්ධව සේනාවක් වශයෙන් යුද්ධ පිළිවෙළින් සිටියාහ.
22 දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය.
23 ඔහු ඔවුන් සමඟ කථාකරන කල, බලව, ගාත්හි ගොලියත් නම් පිලිස්තිය මල්ලවයා පිලිස්තිවරුන්ගේ සමුදාවලින් පිටත්ව අවුත් ඒ වචනවල හැටියට කථාකෙළේය. දාවිත්ට ඒවා ඇසුණේය.
24 සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ඒ මනුෂ්‍යයා දුටු විට බොහෝසෙයින් භයවී ඔහු ඉදිරියෙන් දිවුවෝය.
25 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ කථාකොට: ඉස්සරහට එන්නාවූ අර මනුෂ්‍යයා ඔබ සැම දැක්කහුද? ඉශ්‍රායෙල්වරුන්ට මිගකියන්ටම ඔහු ඇවිත් සිටියි. රජ්ජුරුවෝ ඔහු මරන මනුෂ්‍යයා බොහෝ වස්තුවෙන් පොහොසත්කොට, තමාගේ දුව ඔහුට සරණ පාවාදී, ඉශ්‍රායෙල්හි ඔහුගේ පියාගේ පවුලට නිදහසද දෙන්නාහයි කීවෝය.
26 දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.
27 සෙනඟ ඒ වචනවල හැටියට ඔහුට කථාකොට: ඔහු මරන තැනැත්තාට මෙසේ කරනු ලැබේයයි කීවෝය.
28 ඔහු මිනිසුන්ට කථාකරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරවූ එලියාබ් අසාගෙන සිටියේය; එවිට එලියාබ් දාවිත් කෙරෙහි කෝපවී: ඔබ ආවේ මොකටද? කාන්තාරයෙහි ඉන්න ඒ බැටළුවන් ස්වල්පදෙනා ඔබ කාට භාරදී ආවාද? ඔබේ උඩඟුකමත් සිතේ මුරණ්ඩුකමත් මම දනිමි; ඔබ ආවේ යුද්ධය බලන පිණිසයයි කීවේය.
29 දාවිත්ද: මම දැන් මක්කෙළෙම්ද? වචනයක් කීවා පමණක් නොවේදැයි කියා,
30 ඔහු වෙතින් අනිකෙකු දෙසට හැරීගොස් ඒ හැටියටම කථාකෙළේය. මිනිස්සු පළමු හැටියටම ඔහුට නැවතත් උත්තරදුන්නෝය.
31 දාවිත් කී වචන සැලවූ කල මනුෂ්‍යයෝ සාවුල්ට එපවත් දැන්නුවෝය; සාවුල්ද ඔහු අඬගස්වා හැරියේය.
32 දාවිත් සාවුල්ට කථාකොට: කිසිවෙකුගේ සිත ඔහු නිසා ක්ලාන්ත නොවේවා; ඔබගේ මෙහෙකරුවාවූ මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන්කරමියි කීය.
33 සාවුල්ද: මේ පිලිස්තියාට විරුද්ධව ගොස් ඔහු සමඟ සටන්කරන්ට ඔබට බැරිය. මක්නිසාද ඔබ තරුණයෙක්ය, ඔහු වනාහි තරුණ වයස පටන් යුද්ධකාරයෙක්ව සිටින්නෙකැයි දාවිත්ට කීවේය.
34 දාවිත්ද: ඔබගේ මෙහෙකරුවා තමාගේ පියාගේ බැටළුවන් බලාගන සිටිද්දී සිංහයෙකුත් වලසෙකුත් ඇවිත් රැළෙන් බැටළුවෙකු ගත්තෝය.
35 මම ඌ පස්සේ ගොස් ඌට ගසා උගේ කටින් බැටළුවා ගළවාගත්තෙමි. ඌ මට විරුද්ධව නැගිට්ට විට මම ඌ රැවුලෙන් අල්ලා ඌට ගසා මැරුවෙමි.
36 ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.
37 තවද දාවිත්: සිංහයාගේ නියපහරින්ද වලසාගේ නියපහරින්ද මා ගැළවූ ස්වාමීන්වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවනසේකැයි කීවේය. සාවුල් කථාකොට: යන්න, ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටින සේක්වයි දාවිත්ට කීවේය.
38 තවද සාවුල් තමාගේ ඇඳුම් දාවිත්ට හඳවා, ඔහුගේ හිසේ පිත්තල තොප්පියක් දමා, යුද්ධ හැට්ටයක් ඔහුට පැළඳෙවුවේය.
39 දාවිත් තමාගේ ඇඳුම පිට කඩුව බැඳගන ඇවිදින්ට උත්සාහකෙළේය; මක්නිසාද ඔහු ඒවා ඇඳලා පුරුදු නැත. එවිට දාවිත් සාවුල්ට කථාකොට: මා මේවා ඇඳලා පුරුදු නැති බැවින් මේවා ඇඳගන යන්ට බැරියයි කියා,
40 ඒවා ගළවා දමා, තමාගේ සැරයටිය අතින්ගෙන, දොළෙන් සිලුටු ගල් පහක් තෝරාගෙන තමා ළඟ තිබුණු එඬේර මල්ලේ එනම් පසුම්බියේ දමාගන, අතින් ගල්පටිය අරන් පිලිස්තියයා දෙසට යන්ට ගියේය.
41 පිලිස්තියයාද පිටත්ව ඇවිත් දාවිත්ට ළංවේගන ආවේය; පලිහ ගෙනයන මනුෂ්‍යයාත් ඔහුට පෙරටුවෙන් ආවේය.
42 පිලිස්තියයා බලා දාවිත් දුටු විට ඔහුට ගර්හාකෙළේය. මක්නිසාද ඔහු රතු පාටවූ, ශෝභමාන පෙනීමක් ඇත්තාවූ තරුණයෙක් පමණක් විය.
43 පිලිස්තියයා දාවිත්ට කථාකොට: තෝ සැරයටි රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක්දැයි කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස්කීවේය.
44 තවද පිලිස්තියයා: මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙන්නෙමියි දාවිත්ට කීවේය.
45 එවිට දාවිත්: තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දාකළ ඉශ්‍රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි.
46 අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි; මෙසේ ඉශ්‍රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත.
47 ස්වාමීන්වහන්සේ කඩුවෙන් හා හෙල්ලයෙන් නොගළවන බව මේ මුළු සමූහයාත් දැනගන්නවා ඇත. මක්නිසාද යුද්ධය ස්වාමීන්වහන්සේය, උන්වහන්සේද ඔබ සැම අප අතට පාවාදෙනසේකැයි පිලිස්තියයාට කීවේය.
48 තවද පිලිස්තියයා නැගිට දාවිත්ට විරුද්ධව ළංවෙද්දී දාවිත් ඉක්මන්කොට පිලිස්තියයාට විරුද්ධව සේනාව දෙසට දුවගොස්,
49 මල්ලේ අතදමා එයින් ගලක් අරන්, ඒක ගල්පටියෙන් විද්දේය; ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී ඔහුගේ නළලේ ගිලී ඔහු මුහුණින් බිම වැටුණේය.
50 මෙසේ දාවිත් ගල්පටියෙන්ද ගෙලන්ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහරදී, ඔහු මැරුවේය; නුමුත් දාවිත්ගේ අතේ කඩුවක් තිබුණේ නැත.
51 එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට, ඔහුගේ කඩුව අල්ලා කොපුවෙන් ඇද ඔහු මරා, එයින් ඔහුගේ හිස කපා දැමුවේය. පිලිස්තිවරු තමුන්ගේ බලවතා මැරුණු බව දැක පලාගියෝය.
52 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද යුදා මනුෂ්‍යයෝද නැගිට, ඔල්වර හඬ පවත්වා, පිලිස්තිවරුන් පස්සේ ගායිට පැමිණෙන තැන දක්වාත් එක්‍රොන්හි දොරටු දක්වාත් එළවාගන ගියෝය. මැරුම් කෑ පිලිස්තිවරු ෂාරයිම්ට යන මාර්ගයෙහි ගාත් දක්වාද එක්‍රොන් දක්වාද වැටුණෝය.
53 ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිලිස්තිවරුන් පස්සේ එළවායාමෙන් හැරී ඇවිත් ඔවුන්ගේ කඳවුර කොල්ලකා ගත්තෝය.
54 දාවිත් පිලිස්තියයාගේ හිස අරගන යෙරුසලමට ගෙනාවේය; නුමුත් ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තැබුවේය.
55 දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.
56 රජ තෙමේද: මේ තරුණයා කාගේ පුත්‍රයාද කියා අසන්නැයි කීවේය.
57 දාවිත් පිලිස්තියයා මරා හැරී එනකල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේය, පිලිස්තියයාගේ හිසද ඔහුගේ අතේ තිබුණේය.
58 තරුණය, ඔබ කාගේ පුත්‍රයාදැයි සාවුල් ඔහුගෙන් ඇසීය. මම ඔබගේ මෙහෙකරුවූ බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙක්මියි දාවිත් උත්තරදුන්නේය.



පරිච්ඡේදය 18

1 තවද ඔහු සාවුල්ට කථාකොට නිමවූ කල යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැදී, යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් ඔහුට ආදරේවිය.
2 ඒ දවසේ සාවුල් ඔහු නවත්වාගෙන, ඔහුගේ පියාගේ ගෙදරට හැරීයන්ට තවත් ඔහුට ඉඩ නුදුන්නේය.
3 යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් දාවිත්ට ආදරේවූ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්තෝය.
4 යොනාතාන් තමාගේ සළුව ගළවා ඒකද කඩුවත් දුන්නත් ඉඟපටියත් ඇතුළුව තමාගේ ඇඳුමද දාවිත්ට දුන්නේය.
5 දාවිත් වනාහි සාවුල් තමා යැවූ හැම තැනටම ගොස් නුවණින් 18:5 හෙවත්, සඵලත් විය. හැසුරුණේය. සාවුල් ඔහු යුද්ධකාරයන් කෙරෙහි ප්‍රධානියා කෙළේය, මුළු සෙනඟද සාවුල්ගේ සේවකයෝද ඊට ප්‍රසන්නවූහ.
6 තවද දාවිත් පිලිස්තියයා මරා හැරී එන මාර්ගයේදී කාන්තාවෝ සියලු ඉශ්‍රායෙල් නුවරවලින් නික්ම ගායනාකරමින්ද නටමින්ද රබානුත් ප්‍රීති හඬත් අත්තාලමුත් ඇතුව සාවුල් රජ්ජුරුවන්ගේ පෙරමගට ආවෝය.
7 කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය.
8 සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්‍රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය.
9 එදා පටන් සාවුල් දාවිත් දෙස ඇස් හෙළා සිටියේය.
10 තවද පසුවදා දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් සාවුල්ට ආවේශවිය, ඔහු ගේ ඇතුළෙදී ධර්මවාග් ලීලාවෙන් දෙඩෙව්වේය. එවිට දාවිත් වෙන දවස්වල මෙන් අතින් වීණාව ගෑවේය. සාවුල්ගේ අතේ හෙල්ලය තිබුණේය.
11 මම බිත්තියටම වදින්ට දාවිත්ට අනිමියි සිතා ඔහු හෙල්ලය වීසිකෙළේය. දාවිත් ඔහු ඉදිරියෙන් දෙවරක් ගැළවී ගියේය.
12 ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ සිටි නිසාත් සාවුල්ගෙන් පහව ගිය නිසාත් සාවුල් ඔහුට භයවුණේය.
13 ඒ නිසා සාවුල් තමා වෙතින් ඔහු අහක්කොට සහස්‍රාධිපතියෙකු කෙළේය; මෙසේ ඔහු සෙනඟට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.
14 දාවිත් තමාගේ සියලු මාර්ගවලදී නුවණින් හැසුරුණේය; ස්වාමීන්වහන්සේ ද ඔහු සමඟ සිටිසේක.
15 ඔහු බොහෝ නුවණින් හැසිරෙන බව සාවුල් දැක ඔහුට භයවිය.
16 නුමුත් සියලු ඉශ්‍රායෙල්වරුද යුදාවරුද දාවිත්ට ප්‍රේමකළෝය; මක්නිසාද ඔහු ඔවුන්ට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.
17 සාවුල් දාවිත්ට කථාකොට: මෙන්න, මාගේ වැඩිමහල් දුවවූ මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ වූකලී මා උදෙසා වික්‍රමාන්විතව ස්වාමීන්වහන්සේගේ යුද්ධයන් කරන්නැයි කීවේය. මක්නිසාද සාවුල්: මාගේ අත නොව පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටේවයි සිතුවේය.
18 දාවිත් සාවුල්ට කථාකොට: රජ්ජුරුවන්ට බෑනා වෙන්ට මම කවුද? මාගේ ජීවිතයවත් ඉශ්‍රායෙල්හි මාගේ පිය වංශයවත් මොකක්දැයි කීවේය.
19 නුමුත් සාවුල්ගේ දුවවූ මේරබ් දාවිත්ට දෙන්ට නිසි කාලයේදී ඕතොමෝ මෙහොලාතිය අද්‍රියෙල්ට භාර්යාවකොට දෙනලද්දේය.
20 තවද සාවුල්ගේ දුවවූ මීඛල් දාවිත්ට ආදරේවූවාය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේය.
21 සාවුල් ඊට ප්‍රසන්නවී කථාකොට: පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටෙන පරිද්දෙන් ඔහුට ඈ මලපතක් වෙන පිණිස ඈ ඔහුට දෙන්නෙමියි කීවේය. එබැවින් සාවුල් දෙවෙනි වතාවට දාවිත්ට කථාකොට: ඔබ අද මාගේ බෑනාවෙන්ට ඕනෑයයි කීවේය.
22 සාවුල් තමාගේ සේවකයන්ට අණකරමින්: ඔබ සැම දාවිත් සමඟ රහස් ලෙස කථාකොට-රජ්ජුරුවෝ ඔබ කෙරෙහි ප්‍රසන්නය, ඔහුගේ සියලු සේවකයෝද ඔබට ප්‍රේමකරති. එබැවින් රජ්ජුරුවන්ගේ බෑනා වෙන්න කියා කියන්නැයි කීවේය.
23 සාවුල්ගේ සේවකයෝ දාවිත්ට ඒ වචන කීවෝය. දාවිත් කථාකොට: මම නම් දිළිඳුවූ සුළුවූ කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑනා වීම සුළු දෙයක්මෙන් ඔබ සැමට පෙනේදැයි කීවේය.
24 සාවුල්ගේ සේවකයෝ: දාවිත් මෙලෙස කීවේය කියා ඔහුට දැන්වුවෝය.
25 එවිට සාවුල් කථාකොට: රජුගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට කිසි දායාදයක් ඕනෑ නැත කියා දාවිත්ට කියන්නැයි කීය. නුමුත් සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්ට කල්පනාකෙළේය.
26 ඔහුගේ සේවකයන් මේ වචන දාවිත්ට දැන්වූ කල දාවිත් රජුගේ බෑනා වෙන්ට සතුටුවිය.
27 ඒ දවස් සම්පූර්ණ වෙන්ට පළමුවෙන්, දාවිත් සහ ඔහුගේ මිනිස්සු පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරුවෝය; දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙනායේය, ඔහු රජුගේ බෑනා වෙන පිණිස මිනිස්සු ඒවා සම්පූර්ණ ගණන ලෙස රජු ඉදිරියෙහි තැබුවෝය. සාවුල් තමාගේ දූවූ මීඛල් ඔහුට භාර්යාවකොට පාවාදුන්නේය.
28 ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ සිටින බව සාවුල් දැක තේරුම්ගත්තේය; සාවුල්ගේ දුවවූ මීඛල් දාවිත්ට ආදරේවූවාය.
29 ඉන්නිසා සාවුල් තව වඩාත් දාවිත්ට භයවුණේය; සාවුල් නිරන්තරයෙන්ම දාවිත්ට සතුරුව සිටියේය.
30 පිලිස්තිවරුන්ගේ අධිපතීහු පිටත්ව ආවෝය. තවද ඔව්හු යම් පමණ වර පිටත්ව ආවෝද එපමණ වර දාවිත් සාවුල්ගේ සියලු සේවකයන්ට වඩා නුවණින් හැසුරුණේය; ඒ නිසා ඔහුගේ නාමය ඉතා අනර්ඝ කොට සලකන ලද්දේය.



පරිච්ඡේදය 19

1 තවද සාවුල් දාවිත් මරන්ට කියා තම පුත්‍රවූ යොනාතාන්ටත් තමාගේ සියලු සේවකයන්ටත් කීවේය.
2 නුමුත් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් දාවිත් කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටියේය. යොනාතාන් එය දාවිත්ට දන්වමින්: මාගේ පියවූ සාවුල් ඔබ මරන්ට සොයන්නේය. ඒ නිසා ඔබ හෙට උදේ ප්‍රවේසම්වී රහස් තැනක සැඟවී සිටින්න.
3 මම ඇවිත් ඔබ සිටින කෙතෙහි මාගේ පියාණන් ළඟ සිට ඔබ ගැන මාගේ පියාණන් සමඟ කථාකොට, කාරණ දැනගන ඔබට දන්වන්නෙමියි දාවිත්ට කීවේය.
4 යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට දාවිත්ගේ ගුණ කියමින්: රජ්ජුරුවෝ තමාගේ සේවකයාවූ දාවිත්ට විරුද්ධව පව් නොකෙරෙත්වා; මක්නිසාද ඔහු ඔබට විරුද්ධව පව් නොකෙළේය, ඔබ පිළිබඳවූ ඔහුගේ ක්‍රියාවලුත් ඔබට ඉතා ප්‍රයෝජනවත්ය.
5 කුමක් හෙයින්ද ඔහු තමාගේ ප්‍රාණය නොසලකා ගොස් පිලිස්තියයා මැරුවේය, එයින් ස්වාමීන්වහන්සේ සියලු ඉශ්‍රායෙල්වරුන්ට මහත් ගැළවීමක් ඉෂ්ටකර දුන්සේක. ඔබ ඒ දැක ප්‍රීතිවූයෙහිය. එබැවින් නිෂ්කාරණයේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව්කරන්ට හදන්නේ මක්නිසාදැයි කීවේය.
6 සාවුල් යොනාතාන්ගේ හඬට ඇහුම්කන්දී: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු මරනු නොලබන්නේයයි දිවුරුවේය.
7 යොනාතාන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගන ගියේය, හෙතෙම පෙර ලෙස ඔහු ඉදිරියෙහි සිටියේය.
8 නැවතත් යුද්ධයක් විය. දාවිත් පිටත්ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන් අතරේ මහත් නාස්තියක් කෙළේය; ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.
9 තවද සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන ගෙයි හිඳින අතර ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහුට ආවේශවිය; දාවිත් තමාගේ අතින් වීණාව ගෑවේය.
10 සාවුල්ද බිත්තියටම වදින පිණිස හෙල්ලයෙන් දාවිත්ට අනින්ට උත්සාහ කෙළේය; නුමුත් ඔහු සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේය, හෙල්ලය බිත්තියට වැදුණේය. නුමුත් දාවිත් පලාගොස් ඒ රාත්‍රියේ ගැළවුණේය.
11 දාවිත් ගැන රැකසිට පසුවදා උදය ඔහු මරන පිණිස සාවුල් ඔහුගේ ගේ ළඟට පණිවිඩකාරයන් යැවීය. එය දාවිත්ගේ භාර්යාවවූ මීඛල් ඔහුට දන්වා: අද රාත්‍රියේ ඔබේ ප්‍රාණය ගළවා නොගත්තොත් හෙට ඔබ මරනු ලබනවා ඇතැයි ඔහුට කීවාය.
12 මීඛල්ද කවුළුවෙන් දාවිත් බැස්සෙවුවාය. ඔහු පලා ගොස් ගැළවුණේය.
13 මීඛල් තෙරඵීම් රූපය රැගෙන ඇඳේ තබා, ඒකේ ඉස යට එළු ලොම් කොට්ටයක් තබා, ඒක රෙදිවලින් වැසුවාය.
14 දාවිත් ගෙනෙන්ට සාවුල් පණිවිඩකාරයන් යැවූ කල: ඔහු ලෙඩින්යයි ඈ කීවාය.
15 දාවිත් බලන්ට සාවුල් නැවත පණිවිඩකාරයන් යවා ඔහු මරන පිණිස ඇඳත් පිටින් මා ළඟට ගෙනෙන්නැයි කීවේය.
16 පණිවිඩකාරයන් ඇතුල්වූ කල හිසට තිබූ එළු ලොම් කොට්ටය සමඟ තෙරඵීම් රූපය ඇඳේ තිබුණේය.
17 ඔබ මෙසේ මා රවටා මාගේ සතුරාට ගැළවී යන්ට ඉඩ ඇරියේ මක්නිසාදැයි සාවුල් මීඛල්ගෙන් ඇසීය. මීඛල් උත්තරදෙමින්: මා විසින් ඔබ නොමරන පිණිස මා යන්ට ඇරින්න කියා ඔහු මට කීවේයයි සාවුල්ට කීවාය.
18 මෙසේ දාවිත් පලාගොස් ගැළවී රාමාහි සිටි සාමුවෙල් ළඟට පැමිණ, සාවුල් තමාට කළ සියල්ල ඔහුට දැන්නුවේය. එවිට ඔහු සහ සාමුවෙල් ගොස් නායොත්හි විසුවෝය.
19 දාවිත් රාමායේ නායොත්හි සිටින්නේයයි සාවුල්ට දන්වනලද්දේය.
20 සාවුල් දාවිත් ගෙනෙන්ට පණිවිඩකාරයන් යැවීය. ඔවුන් ධර්මවාක්‍ය පවසමින් සිට ප්‍රොපේත මණ්ඩලයද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයාව සිටින බවද දුටු විට දෙවියන්වහන්සේගේ ආත්මය සාවුල්ගේ පණිවිඩකාරයන් කෙරෙහි පැමුණුණේය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.
21 ඒ බව සාවුල්ට දැන්වූ කල ඔහු වෙන පණිවිඩකාරයන් යැවීය. ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය. සාවුල් නැවතත් තුන්වෙනි වර පණිවිඩකාරයන් යැවීය, ඔව්හුද ධර්මවාක්‍ය පැවසුවෝය.
22 එවිට ඔහුත් රාමාට ගොස් සේබූහි තිබෙන මහත් ළිඳ ළඟට පැමිණ: සාමුවෙල් සහ දාවිත් කොතන සිටිනවාදැයි ඇසුවේය. අන්න, ඔවුන් රාමායේ නායොත්හි සිටිනවායයි කෙනෙක් ඔහුට කීවේය.
23 ඔහු රාමායේ නායොත්ට ගියේය. එවිට ඔහු කෙරෙහිත් දෙවියන්වහන්සේගේ ආත්මය පහළවූයෙන් ඔහු රාමාහි නායොත්ට පැමිණෙන තුරු ධර්මවාක්‍ය පවස පවසා, ගියේය.
24 ඔහු තමාගේ වස්ත්‍ර ගළවා දමා, සාමුවෙල් ඉදිරියෙහි ධර්මවාක්‍ය පවසා, ඒ මුළු දවාලෙත් ඒ මුළු රාත්‍රියෙත් නග්නව වැටී උන්නේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේදැයි මනුෂ්‍යයෝ කියති.



පරිච්ඡේදය 20

1 දාවිත් රාමායේ තිබෙන නායොත්හි සිට පලාගොස් යොනාතාන් ළඟට පැමිණ කථාකොට: ඔබේ පියාණන් මා මරන්ට සොයන්නේ මම කුමක් කෙළම්ද? මාගේ අපරාධය කිමෙක්ද? ඔහු ඉදිරියෙහි මා කළ පාපය මොකදැයි ඇසුවේය.
2 ඔහුද: එසේ නොවේවා; ඔබ නොනස්නෙහිය. බලව, මාගේ පියා මට නොදන්වා ලොකු හෝ සුළු හෝ කිසි දෙයක් නොකරන්නේය. මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්නේ මක්නිසාද? ඒක එසේ නොවේයයි කීවේය.
3 දාවිත්ද තවත් දිවුරමින්: ඔබ මට කරුණාව ඇති බව ඔබේ පියා හොඳාකාරයෙන් දන්නේය; ඉන්නිසා: යොනාතාන් කනගාටු නොවෙන පිණිස ඔහු මේක දැනනොගනීවයි ඔහු කියයි. නුමුත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, ඔබේ ප්‍රාණයද ජීවත්වන සේම, සැබවින් මටත් මරණයටත් අතරේ ඇත්තේ එක අඩියක් පමණයයි කීවේය.
4 යොනාතාන්ද: ඔබ කැමති කොයි දෙයක් නුමුත් ඔබ නිසා කරන්නෙමියි කීය.
5 දාවිත් යොනාතාන්ට කථාකොට: හෙට අමාවක බැවින් මා නොවරදවාම රජ්ජුරුවන් සමඟ කෑමට ඉඳගත යුතුය. නුමුත් තුන්වෙනිදා සවස වෙනතුරු මා කෙතේ සැඟවී සිටින පිණිස මට යන්ට ඉඩ අරින්න.
6 ඉදින් මා කොතනද කියා ඔබේ පියා ඇසුවොත්: ස්වකීය නුවරවූ බෙත්-ලෙහෙම්හි මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජාවක් ඔප්පුකරන බැවින් එහි ගොහින් එන්ට ඔහු උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේයයි කියන්න.
7 ඉදින් ඔහු: හොඳයයි කීවොත්, ඔබේ මෙහෙකරුවාවූ මට සමාදානය ලැබෙයි. ඔහු කිපුණොත්, ඔහු විසින් මට නපුරක් නියමකරගන තිබෙන බව දැනගන්න.
8 එවිට ඔබේ මෙහෙකරුවාවූ මට ඔබ කරුණාව පෙන්වන්ට ඕනෑය; මක්නිසාද ඔබේ මෙහෙකරුවා සමඟ ඔබ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෙහිය. නුමුත් මා කෙරෙහි වරදක් ඇත්නම් ඔබම මා මරන්න; ඔබේ පියාණන් වෙතට මා ගෙනයන්නේ මක්නිසාදැයි කීවේය.
9 යොනාතාන්ද: ඔබට එසේ නොවේවා. ඔබ පිටට නපුරක් පමුණුවන්ට මාගේ පියා නියමකරගන සිටින බව මම ඇත්තටම දැනගතිම්නම් මා ඒක ඔබට දන්වන්නේ නැද්දැයි කීවේය.
10 එවිට දාවිත්: ඔබේ පියාණන් ඔබට තදලෙස උත්තර දුන්නොත් මට දන්වන්නේ කවුදැයි යොනාතාන්ගෙන් ඇසුවේය.
11 යොනාතාන්ද: එන්න, කෙතට යමුයයි දාවිත්ට කීය. ඔවුන් දෙදෙනා කෙතට ගියෝය.
12 යොනාතාන් දාවිත්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සාක්ෂි වන සේක්වා; හෙටවත් අනිද්දාවත් මේ වේලාවට පමණ මා විසින් මාගේ පියාගේ අදහස සොයාබැලුවාම දාවිත්ට හොඳක් වෙන්ට තිබේනම් ඔබට දන්වන පිණිස මා ඔබට පණිවිඩ එවන්නේ නැද්ද?
13 මාගේ පියා ඔබට නපුරක් කරන්ට කැමැත්තේ නම්, ඔබ සමාදානයෙන් යන පිණිස මා ඒක ඔබට දන්වා ඔබ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් ඔබ සමඟත් සිටිනසේක්වා.
14 ඇරත් මා නොනස්නා ලෙස ඔබ ස්වාමීන්වහන්සේගේ කරුණාව මා ජීවත්ව සිටින තුරුම මට පෙන්වනවා පමණක් නොව,
15 මාගේ වංශයෙන් ද ඔබේ කරුණාව කවදාවත් පහනොකරන්න. එසේය, ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා භූමිය මතුපිටින් සිඳදැමූ කල්හිත් එසේ නොකරන්නැයි කීවේය.
16 මෙසේ යොනාතාන් දාවිත්ගේ වංශය සමඟ ගිවිසුමක් කොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් අතින් ඒක අය කරන සේක්වයි කීවේය.
17 යොනාතාන් දාවිත් කෙරෙහි පැවති ආදරය නිසා නැවත ඔහු දිවුරෙවුවේය. මක්නිසාද ඔහු තමාගේ ප්‍රාණයටමෙන් ඔහුට ආදරේවුණේය.
18 එවිට යොනාතාන් ඔහුට කථාකොට: හෙට අමාවකය, ඔබේ ආසනය සිස්වන බැවින් ඔබ එහි නැති බව පෙනෙන්නේය.
19 ඔබ තුන් දවසක් නැවතී සිට ඉක්මනින් බැස ඇවිත්, මේ කාරණාව කෙරෙද්දී ඔබ සැඟවී සිටි තැනට පැමිණ, එසෙල් ගල ළඟ සිටින්න.
20 එවිට මම ඉලක්කයකට විදින්නාක්මෙන් එහි පැත්තකට ඊගස් තුනක් විද,
21 ඊගස් සොයාගන එන්ට ළමයා හරින්නෙමි. ඊගස් ඔබට මෙහායින්ය, ඒවා ගෙනෙන්නැයි මම ළමයාට කියම්නම් ඔබ එන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබට සමාදානය මිස වෙන කිසිවක් නැත්තේය.
22 නුමුත් මම ළමයාට: ඊගස් ඔබට එහායින්ය කියම් නම්, ඔබ යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ යන්ට අරිනසේක.
23 තවද ඔබත් මාත් කථාකළ කාරණය ගැන වනාහි ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඔබත් මාත් අතරේ වනසේකැයි කීවේය.
24 ඒ හැටියට දාවිත් කෙතේ සැඟවුණේය. අමාවක පැමිණි විට රජ්ජුරුවෝ කෑම කන්ට හිඳගත්තාහ.
25 වෙනදා මෙන් රජ්ජුරුවෝ බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තාහ; යොනාතාන් නැගිට සිටියේය, අබ්නේර්ද සාවුල්ගේ පැත්තක හිඳගත්තේය. නුමුත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය.
26 එහෙත් සාවුල් ඒ දවසේ කිසිවක් කීවේ නැත. මක්නිසාද: ඔහුට මොකක් නුමුත් වෙලාය, ඔහු පවිත්‍ර නැත; ඇත්තටම පවිත්‍ර නැතැයි ඔහු කල්පනා කෙළේය.
27 අමාවකට පසුවදා වන දෙවෙනි දිනත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය. සාවුල් තමාගේ පුත්‍රවූ යොනාතාන්ට කථාකොට: යෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මක්නිසාදැයි කීවේය.
28 යොනාතාන් සාවුල්ට උත්තරදෙමින්: දාවිත් බෙත්-ලෙහෙමට යන පිණිස ඕනෑකමින් මාගෙන් ඉල්ලා-
29 මට යන්ට අවසර දුන මැනවි; මක්නිසාද ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේය; මාගේ සහෝදරයාද එහි එන්ට මට අණ කෙළේය. එබැවින් ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මාගේ සහෝදරයන් දකින පිණිස යන්ට මට අවසර ලැබේවයි කියා සිටියේය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා යයි කීවේය.
30 එවිට සාවුල්ගේ කෝපය යොනාතාන්ට විරුද්ධව ඇවිළ, ඔහු කථාකොට: හිතුවක්කාර කැරළිකාර ස්ත්‍රියකුගේ පුත්‍රය, ඔබට ලජ්ජාවත් ඔබේ මෑණියන්ට ලජ්ජාවත් හා අගෞරවයත් පැමිණෙන ලෙස ඔබ යෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම්ව සිටින බව මම නොදනිම්ද?
31 මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම ඔබවත් ඔබේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය.
32 යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට උත්තරදෙමින්: ඔහු මරන්ට ඕනෑ මක්නිසාද? ඔහු කෙළේ මොකදැයි කීවේය.
33 එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසිකෙළේය. දාවිත් මරන්ට තමාගේ පියා නියමකරගන සිටින බව එයින් යොනාතාන් දැනගත්තේය.
34 යොනාතාන් තද කෝපයෙන් මේසයෙන් නැගිටගොස් මාසයේ දෙවෙනිදා කෑම නොකා සිටියේය. මක්නිසාද තමාගේ පියා දාවිත්ට අගෞරවකළ බැවින් ඔහු දාවිත් ගැන ශෝකවුණේය.
35 පසුවදා උදය යොනාතාන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේදී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේය.
36 ඔහු ළමයාට කථාකොට: ඔබ දුවගොස්, මා විසින් විදින ඊගස් සොයාගන එන්නැයි කියා, ළමයා දුවද්දී ඔහුට එහායින් යන්ට ඊගහක් විද්දේය.
37 යොනාතාන් විද්ද ඊගහ තිබෙන තැනට ළමයා පැමුණුණු කල යොනාතාන් ළමයාට මොරගසා: ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේදැයි කීවේය.
38 යොනාතාන් ළමයාට මොරගසා: කඩිසරවී ඉක්මන් වෙන්න, ප්‍රමාදවෙන්ට එපායයි කීය. යොනාතාන්ගේ ළමයාද ඊගස් එකතුකරගන තමාගේ ස්වාමියා ළඟට ආවේය.
39 නුමුත් ළමයා කිසිවක් දැනනොගත්තේය. යොනාතාන් සහ දාවිත් පමණක් ඒ කාරණය දැනගන සිටියෝය.
40 යොනාතාන් තමාගේ ආයුධ ළමයාට දී: මේවා නුවරට අරගන යන්නැයි ඔහුට කීවේය.
41 ළමයා ගියපසු දාවිත් දකුණු පැත්තෙන් නැගිට ඇවිත් මුහුණින් බිමවැටී තුන් විටක් වැන්දේය. ඔව්හු එකිනෙකා සිඹගන දෙදෙනා එක්ව ඇඬුවෝය. දාවිත් වඩාම ඇඬුවේය.
42 යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරේද මාගේ වංශය සහ ඔබේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.



පරිච්ඡේදය 21

1 එවිට දාවිත් නොබ්හි අභිමෙලෙක් පූජකයා වෙතට පැමුණුණේය. අහිමෙලෙක් දාවිත් සම්බවෙන්ට වෙවුලමින් ඇවිත්: කිසිවෙකු ඔබ සමඟ නැතුව තනියම ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.
2 දාවිත්ද: රජ්ජුරුවෝ වැඩක් මට නියමකොට-මා විසින් ඔබ යවන්නාවූ ඔබට අණ කළාවූ කාරණය ගැන කිසිවෙක් මොකටවත් දැනනොගනීවයි මට කීවාහ. අසවල් ස්ථානයට යන්ට කියා මා විසින් සේවකයන්ට දන්වා තිබේ.
3 දැන් ඔබේ අතයට තිබෙන්නේ මොනවාද? මා අතට රොටි පහක් හෝ වෙන තිබෙන දෙයක් හෝ දුනමැනවැයි පූජකවූ අහිමෙලෙක්ට කීවේය.
4 පූජකයා දාවිත්ට උත්තරදෙමින්: ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත; සේවකයෝ ස්ත්‍රීන්ගෙන් වැලකී සිටියෝනම් දෙන්ට පුළුවනැයි කීවේය.
5 දාවිත් පූජකයාට උත්තරදෙමින්: සැබෑවටම දැන් තුන්දවසක් පමණ ස්ත්‍රියෝ අපෙන් වෙන්ව සිටියාහුය; මේක සාමාන්‍ය ගමනක් වුණේවී නුමුත් මා පිටත්වෙන කොට සේවකයන්ගේ භාජන ශුද්ධව තිබුණේය; කොපමණ වැඩියෙන් අද ඒවා ශුද්ධව නොතිබේදැයි ඔහුට කීවේය.
6 එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් අහකට ගත් පිදීමේ රොටි මිස වෙන රොටි එහි නොතිබුණු බැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේය. ඒවා අහකට ගත්තේ එම දවසේදී උණු රොටි තබන පිණිසය.
7 තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය.
8 දාවිත් අහිමෙලෙක්ට කථාකොට: මෙහි ඔබ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් නැද්ද? රජ්ජුරුවන්ගේ කටයුත්ත ඉක්මන් බැවින් මාගේ කඩුවවත් ආයුධවත් නොගෙනායෙමියි කීවේය.
9 පූජකතෙමේ: ඔබ විසින් ඒලා මිටියාවතේදී මැරූ පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුව රෙද්දකින් ඔතා ඒඵොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්ට කැමතිනම් අරගන්න. ඒක මිස වෙන එකක් මෙහි නැතැයි කීවේය. ඒ වාගේ වෙන එකක් නැත, ඒක මට දෙන්නැයි දාවිත් කීවේය.
10 දාවිත් පිටත්වී සාවුල්ට භයින් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජවූ ආඛීෂ් වෙතට පැමුණුණේය.
11 ආඛීෂ්ගේ සේවකයෝ ඔහුට කථාකොට: මොහු දේශයෙහි රජවූ දාවිත් නොවේද? සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකා කළේ මොහු ගැන නොවේදැයි කීවෝය.
12 දාවිත් ඒ වචන සිතටගෙන ගාත්හි රජවූ ආඛීෂ්ට බොහෝසෙයින් භයවුණේය.
13 ඔවුන් ඉදිරියේදී ඔහු තමාගේ හැසිරීම වෙනස්කොට, පිස්සු වැටුණාක් මෙන් ඔවුන් ළඟදී හඟවමින්, වාසල්දොර පහුරුගෑවේය, තමාගේ කෙළ රැවුල පිට වැටෙන්ටත් ඇරියේය.
14 එවිට ආඛීෂ් තමාගේ සේවකයන්ට කථාකොට: මෙන්න, මේ මනුෂ්‍යයා පිස්සෙක් බව ඔබ සැමට පෙනේ. ඔබ සැම ඔහු මා ළඟට ගෙනාවේ මක්නිසාද?
15 මා ඉදිරියෙහි පිස්සු විකාරකරන්ට මොහු ගෙනාවේ පිස්සන් මට හිඟ නිසාද? මොහු මාගේ ගෙට එන්ට යුතුදැයි කීවේය.



පරිච්ඡේදය 22

1 එවිට දාවිත් එතනින් ගැළවී ගොස් අදුල්ලාම්හි ගුහාවට පැමුණුණේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා එහි ඔහු ළඟට ගියෝය.
2 විපතට පත්වූ සියල්ලෝද ණයතුරැස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ.
3 දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස් මෝවබ් රජුට කථාකොට: දෙවියන්වහන්සේ මට කරන්ට යන්නේ කුමක්දැයි මා විසින් දැනගන්නතුරු මාගේ මවුපියන් අවුත් ඔබ සැම වෙත සිටින්ට අවසර ලැබේවයි කීවේය.
4 ඔහු මෝවබ් රජු ඉදිරියට ඔවුන් කැඳවාගන ගියේය. ඔව්හුද දාවිත් කොටුවෙහි සිටි කාලය මුළුල්ලේම රජු වෙත වාසයකළෝය.
5 ගාද් නම් අනාගතවක්තෘ තෙම දාවිත්ට කථාකොට: කොටුවෙහි නොසිට යුදා රටට පිටත්ව එන්නැයි දාවිත්ට කීවේය. එවිට දාවිත් පිටත්ව හෙරෙත් වනයට පැමුණුණේය.
6 දාවිත් සහ ඔහු සමඟ වූ මනුෂ්‍යයන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැලවිය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇතුව ගිබියායේ රාමාහි තිබුණු ඒෂෙල් ගස යට ඉඳගන උන්නේය, ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියෝය.
7 සාවුල් තමා වෙත සිටි තමාගේ සේවකයන්ට කථාකොට: බෙන්යමින්වරුනි, අසන්න; යෙස්සේගේ පුත්‍රයා ඔබ සැම හැමදෙනාට කෙත්ද මිදිවතුද දෙනවා ඇද්ද? ඔබ සැම සියල්ලන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද කරනවා ඇද්ද?
8 නැත්නම් ඔබ සැම සියල්ලන් මට විරුද්ධව කුමන්ත්‍රණය කරගන සිටින්නේ මක්නිසාද? මාගේ පුත්‍රයා යෙස්සේගේ පුත්‍රයා සමඟ ගිවිසුමක් කරගන්න කල කිසිවෙක් මට නොදැන්නුවෙත්, මා ගැන දුක්වෙන කිසිවෙක් ඔබ සැම අතරේ නැත්තෙත්, අද දවසේ සිද්ධවී තිබෙන හැටියට මාගේ පුත්‍රයා විසින් මාගේ මෙහෙකරුවා මට විරුද්ධව රැකසිටීමට පෙළෙඹවු බව මට නොදන්වන්නෙත් මන්දැයි කීවේය.
9 එවිට සාවුල්ගේ මෙහෙකරුවන්ගේ ප්‍රධානියාව සිටිය ඒදොමිය දොවෙග් උත්තරදෙමින්: යෙස්සේගේ පුත්‍රයා නොබ්හි සිටින අහිතුබ්ගේ පුත්‍රවූ අහිමෙලෙක් ළඟට එනවා දුටිමි.
10 හෙතෙම ස්වාමීන්වහන්සේගෙන් ඔහු උදෙසා විචාරා, ඔහුට ආහාර දී, පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේයයි කීවේය.
11 එවිට රජතෙමේ අහිතුබ්ගේ පුත්‍රවූ අහිමෙලෙක් නම් පූජකයාටද නොබ්හි සිටි පූජකයන් වන ඔහුගේ පිය වංශයේ සියල්ලන්ටද අඬගස්වා ඇරියේය. ඔවුන් සියල්ලෝ රජු ළඟට ආවෝය.
12 එවිට සාවුල්: අහිතුබ්ගේ පුත්‍රය, අසන්නැයි කීය. ඔහු: මාගේ ස්වාමිනි, මම මෙහියයි උත්තරදුන්නේය.
13 සාවුල්ද: ඔබත් යෙස්සේගේ පුත්‍රයාත් මට විරුද්ධව කුමන්ත්‍රණය කළේ මක්නිසාද? ඔබ ඔහුට ආහාරද කඩුවක්ද දුන්නෙහිය, අද දවසේ පෙනෙන හැටියට, ඔහු මට විරුද්ධව රැකසිටීමට නැගිටින පිණිස ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාළෙහියයි ඔහුට කීවේය.
14 එවිට අහිමෙලෙක් රජුට උත්තරදෙමින්: රජ්ජුරුවන්ගේ බෑනාවූ, ඔබගේ මන්ත්‍රණ සභාවට ඇතුළත්වූ, ඔබගේ ගෘහයේ ගරුතරව සිටින්නාවූ දාවිත් මෙන් ඔබගේ සියලු මෙහෙකරුවන් අතරෙන් විශ්වාසව සිටින්නේ කවුද?
15 මා ඔහු උදෙසා දෙවියන්වහන්සේගෙන් විචාරන්ට පටන් ගත්තේ මේ දවසේදීද? එය මාගෙන් දුරුවේවා. රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාවූ මා කෙරෙහිවත් මාගේ පිය වංශයේ කිසිවෙකු කෙරෙහිවත් වරද නොතබත්වා. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා මේ මුළු කාරණය ගැන අඩු වශයෙන්වත් වැඩි වශයෙන්වත් කිසිවක්ම නොදන්නේයයි කීවේය.
16 රජ්ජුරුවෝ: අහිමෙලෙක්, ඔබත් ඔබේ මුළු පිය වංශයේ සියලු දෙනාත් සැබවින් මරනු ලබන්ට ඕනෑයයි කීය.
17 රජතෙම තමා වෙත සිටි මුරකාරයන්ට කථාකොට: ඔබ සැම ළංවී ස්වාමීන්වහන්සේගේ පූජකයන් මරන්න; මක්නිසාද ඔව්හුද දාවිත්ට එකතුව සිටිති, ඔහු පලායන බව දැනගනත් ඔවුන් මට එය එළිදරව්කළේ නැතැයි කීවේය. එහෙත් රජුගේ සේවකයෝ ස්වාමීන්වහන්සේගේ පූජකයන්ට පහරදෙන්ට තමුන්ගේ අත් දිගුකරන්ට නොකැමැතිවූවෝය.
18 එවිට රජ: ඔබ ළංවී පූජකයන්ට පහරදෙන්නැයි දොවෙග්ට කීවේය. ඒදොමිය දොවෙග් ළංවී පූජකයන්ට පහරදී, සිහින් හණරෙදි ඒඵොද් සැට්ටයක් ඇඳ සිටියාවූ අසූපස් දෙනෙකු ඒ දවසේදී මැරුවේය.
19 ඔහු පූජකයන්ගේ නුවර වන නොබ්ට එනම් එහි සිටි පුරුෂයන්ට හා ස්ත්‍රීන්ටත් බාලයන්ට හා කිරිදරුවන්ටත් ගවයන්ට හා කොටළුවන්ටත් බැටළුවන්ටත් කඩු මුවහතින් පහරදුන්නේය.
20 නුමුත් අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ අබියාතර් ගැළවී දාවිත් වෙතට පලාගියේය.
21 සාවුල් ස්වාමීන්වහන්සේගේ පූජකයන් මැරූ බව අබියාතර් දාවිත්ට දැන්නුවේය.
22 දාවිත්ද: ඒදොමිය දොවෙග් එහි සිටිය බැවින් ඔහු සාවුල්ට නිසැකින්ම දන්වන බව මම ඒ දවසේදී දැනගතිමි. ඔබේ පිය වංශයේ සියල්ලන්ගේ මරණයට හේතුවූයේ මමය.
23 ඔබ මා ළඟ සිටින්න, භයනොවන්න; මා මරන්ට සොයන්නා ඔබත් මරන්ට සොයන්නේය. නුමුත් ඔබ මා වෙත සුරක්ෂිතව සිටින්නෙහියයි අබියාතර්ට කීවේය.



පරිච්ඡේදය 23

1 එකල පිලිස්තිවරු කෙයිලාට විරුද්ධව යුද්ධකරමින් පාවරවලින් කොල්ලකතියි දාවිත්ට දන්වනලද්දේය.
2 එබැවින්: මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහරදෙන්ටදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ඔබ ගොස් පිලිස්තිවරුන්ට පහරදී කෙයිලා ගළවන්නැයි ස්වාමීන්වහන්සේ දාවිත්ට කීසේක.
3 නුමුත් දාවිත්ගේ මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: අපි මෙහි යුදාහිදී භයෙන් සිටිමුව. පිලිස්තිවරුන්ගේ සමුදාවලට විරුද්ධව අපි කෙයිලාට ගියොත් කොපමණ වැඩියෙන් භයනොවන්නෙමුදැයි කීවෝය.
4 එවිට දාවිත් නැවත ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නැගිට කෙයිලාට යන්න; මම ඔබ අතට පිලිස්තිවරුන් පාවාදෙන්නෙමියි කීසේක.
5 එවිට දාවිත්ද ඔහුගේ මිනිස්සුද කෙයිලාට ගොස් පිලිස්තිවරුන් සමඟ යුද්ධකොට, ඔවුන්ගේ සිව්පාවුන් අල්ලාගන, මහත් නාස්තියකින් ඔවුන් නාස්තිකළෝය. මෙසේ දාවිත් කෙයිලාහි වැසියන් ගැළෙවුවේය.
6 අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒඵොද් සැට්ටයක් ඇතුව ආයේය.
7 දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේය. සාවුල්ද: දෙවියන්වහන්සේ ඔහු මා අතට පාවාදුන්සේක; මක්නිසාද ඔහු වාසල් දොරවල්ද අගුල්ද ඇති නුවරකට ඇතුල්වීමෙන් අසුවුණේයයි කීවේය.
8 සාවුල් දාවිත් සහ ඔහුගේ මිනිසුන් වටලන පිණිස කෙයිලාට යන්ට මුළු සෙනඟ යුද්ධයට අඬගස්වාගත්තේය.
9 තමාට අන්තරාකරන්ට සාවුල් උපා යොදන බව දාවිත් දැනගත් විට: ඒඵොද් සැට්ටය මෙහි ගෙනෙන්නැයි ඔහු පූජකවූ අබියාතර්ට කීවේය.
10 එවිට දාවිත්: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නුවර විනාශකරන පිණිස එන්ට සොයන බව ඔබගේ මෙහෙකරුවාවූ මට සැබවින් සැලවී තිබේ.
11 කෙයිලාහි මනුෂ්‍යයන් ඔහු අතට මා පාවාදෙනවා ඇද්ද? ඔබගේ මෙහෙකරුවාට සැලවුණු ලෙස සාවුල් එනවා ඇද්ද? ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාට දැන්නුව මැනවයි කීවේය. ඔහු එන්නේයයි ස්වාමීන්වහන්සේ කීසේක.
12 එවිට දාවිත්: කෙයිලාහි මනුෂ්‍යයන් මා සහ මාගේ මිනිසුන් සාවුල් අතට පාවාදෙනවා ඇද්දැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: ඔවුන් පාවාදෙනවා ඇතැයි කීසේක.
13 එවිට දාවිත්ද හසියයක් පමණවූ ඔහුගේ මිනිස්සුද නැගිට කෙයිලායෙන් පිටත්වී තමුන්ට යන්ට පුළුපුළුවන් තැන්වලට ගියෝය. දාවිත් කෙයිලායෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වනලද්දේය; එවිට ඔහු තමාගේ ගමන නැවැත්තුවේය.
14 දාවිත් කාන්තාරයේ බලකොටුවල වාසයකරමින් ශීප් කාන්තාරයේ තිබෙන කඳු රටේ සිටියේය. සාවුල් හැමදාම ඔහු සෙවුවේය, නුමුත් දෙවියන්වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන්සේක.
15 දාවිත්ද තමා මරන්ට සාවුල් පිටත්ව ආ බව දුටුවේය. එකල දාවිත් ශීප් කාන්තාරයේ තිබුණ කැලෑවක සිටියේය.
16 එවිට සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් නැගිට අවුත් කැලෑවේ සිටි දාවිත් ළඟට ගොස්, දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ අත බලවත්කරමින්,
17 ඔහුට කථාකොට: භයනොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට ඔබ අසුනොවන්නෙහිය; ඔබ ඉශ්‍රායෙල් කෙරෙහි රජවන්නෙහිය, මමද ඔබට දෙවෙනියා වන්නෙමි; මාගේ පියවූ සාවුල්ද ඒ බව දන්නේයයි ඔහුට කීය.
18 ඔවුන් දෙදෙනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෝය. දාවිත් කැලෑවෙහි සිටියේය, යොනාතාන් තමාගේ ගෙදරට ගියේය.
19 එවිට ශීප් වැසියෝ ගිබියාහි සිටි සාවුල් ළඟට අවුත්: දාවිත් අප අතරේ මරුකතරට දකුණෙන් තිබෙන හකීලා හෙලේ කැලෑවේ බලකොටුවල සැඟවී සිටිනවා නොවේද?
20 එබැවින් රජ්ජුරුවෙනි, එන්ට ඔබගේ සිතේ ඇති මුළු ආශාව ලෙස අවමැනවි; රජ්ජුරුවන් අතට ඔහු අල්වාදීම අපේ වැඩක්යයි කීවෝය.
21 සාවුල්: ඔබ සැම මට අනුකම්පාකළ නිසා ස්වාමීන්වහන්සේගෙන් ඔබ සැමට ආශීර්වාදවේවා.
22 ඉතින් ඔබ සැම ගොස් තව සෝදිසිකර, ඔහු ගැවසෙන ඔහුගේ ස්ථානයත් එහි ඔහු දුටුවේ කව්ද කියාත් බලා දැනගන්න. මක්නිසාද ඔහු බොහෝ උපාය දක්ෂව හැසිරෙන බව මට දැනගන්ට ලැබී තිබේ.
23 ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් ස්ථාන බලා, සත්තකලෙස දැනගෙන, මා ළඟට නැවත එන්න, එවිට මම ඔබ සැම සමඟ ගොස්, ඔහු රටේ ඉන්නවා නම්, යුදාහි සියලු දහස්ගණන් අතරෙහි ඔහු සොයාගන්නෙමියි කීවේය.
24 ඔව්හු පිටත්ව සාවුල්ට පළමුවෙන් ශීප්ට ගියෝය. එහෙත් දාවිත් සහ ඔහුගේ මිනිස්සු මරුකතරට දකුණු දිගින් අරබා සමභූමියෙහි තිබෙන මායොන් කාන්තාරයේ සිටියෝය.
25 සාවුල්ද ඔහුගේ මිනිස්සුද ඔහු සොයන්ට ගියෝය. ඒ බව දාවිත්ට දන්වනලද බැවින් ඔහු පර්වතයට බැස ඇවිත් මායොන් කාන්තාරයෙහි සිටියේය. සාවුල් ඒ අසා මායොන් කාන්තාරයෙහි දාවිත් පස්සේ එළවාගන ගියේය.
26 සාවුල් කන්දේ එක පැත්තකින්ද දාවිත් හා ඔහුගේ මිනිස්සු කන්දේ අනික් පැත්තෙන්ද ගියෝය. සාවුල් සහ ඔහුගේ මිනිසුන් දාවිත් සහ ඔහුගේ මිනිසුන් අල්ලාගන්න පිණිස වටකළ නිසා දාවිත් සාවුල්ට භයෙන් ගැළවීයන්ට ඉක්මන්කෙළේය.
27 එහෙත් සාවුල් ළඟට පණිවිඩකාරයෙක් ඇවිත්: කොල්ලකෑමට පිලිස්තිවරුන් රටට ඇවිත් සිටින නිසා ඉක්මනින් අවමැනවැයි කීවේය.
28 එබැවින් සාවුල් දාවිත් පස්සේ එළවාගනයාමෙන් හැරී ඇවිත් පිලිස්තිවරුන්ට විරුද්ධව ගියේය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට සෙල-හම්මාලෙකොත්. යන නම තැබුවෝය.
29 දාවිත් එතනින් ගොස් ඒන්-ගෙදියේ බලකොටුවල සිටියේය.



පරිච්ඡේදය 24

1 තවද සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ යාමෙන් හැරී ආ කල: දාවිත් ඒන්-ගෙදියේ කාන්තාරයෙහි සිටිනවාය කියා ඔහුට දන්වනලද්දේය.
2 එවිට සාවුල් සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් තුන්දහසක් රැගෙන වල් එළුවන් ගැවසෙන පර්වත පිට දාවිත් හා ඔහුගේ මිනිසුන් සොයන්ට ගියේය.
3 ඔහු මාර්ගයෙහි තිබුණු බැටළු ගාල්වලට පැමුණුණේය. සාවුල් ශරීර කෘත්‍යය සඳහා එහි තිබුණ ගුහාවකට ඇතුල්වුණේය. දාවිත්ද ඔහුගේ මිනිස්සුද ගුහාවේ ඇතුල් භාගවල සිටියෝය.
4 එවිට දාවිත්ගේ මිනිස්සු කථාකොට: මෙන්න, ඔබට හොඳව පෙනෙන ලෙස ඔබේ සතුරාට කරන පිණිස මම ඔබ අතට ඔහු පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීවේ අද දවස ගැනයයි කීවෝය. එවිට දාවිත් නැගිට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපාගත්තේය.
5 නුමුත් පසුව දාවිත්ගේ සිත සාවුල්ගේ සළුවේ කොන කපාගත් බැවින් ඔහුට දොස් තැබුවේය.
6 ඔහු තමාගේ මිනිසුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන් එනම් මාගේ අත දිගුකිරීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වා, මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තායයි කීවේය.
7 මෙසේ සාවුල්ට විරුද්ධව නැගිටින්ට දාවිත් තමාගේ මිනිසුන්ට ඉඩනෑර මේ වචන වලින් ඔවුන් නවත්වා ගත්තේය. සාවුල් ගුහාවෙන් පිටත්ව යන්ට ගියේය.
8 ඉන්පසු දාවිත් නැගිට ගුහාවෙන් පිටතට ගොස්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සැයි කියා සාවුල්ට මොරගැසීය. සාවුල් පස්සට හැරී බැලූ කල දාවිත් මුහුණින් බිමට නැමී වැඳ,
9 සාවුල්ට කථාකොට: දාවිත් ඔබට අනතුරු කරන්ට සොයන්නේයයි කියන මනුෂ්‍යයන්ගේ වචනවලට ඔබ ඇහුම්කන්දෙන්නේ මක්නිසාද?
10 ස්වාමීන්වහන්සේ අද ගුහාවේදී ඔබ මා අතට පාවාදුන් බව ඔබගේ ඇස් වලටම මේ දවසේදී පෙනුණේය. සමහරු ඔබ මරන්ටය කියා මට කීවෝය. නුමුත් මම ඔබට කරුණාකෙළෙමි; මක්නිසාදමාගේ ස්වාමියා ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධව මාගේ අත දිගුනොකරමියි කීමි.
11 තවද මාගේ පියාණෙනි, බැලුව මැනවි, ඔබගේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුවමැනවි. මා ඔබ නොමරා ඔබගේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක්වත් අපරාධයක්වත් නැති බවද මා ඔබට විරුද්ධව පව් නොකළ බවද බලා දැනගතමැනවි, එහෙත් මාගේ ප්‍රාණය නසන්ට ඔබ මා පස්සේ එළවාගන එන්නෙහිය.
12 ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරේ විනිශ්චයකොට මා නිසා ඔබගෙන් පළිගන්නාසේක්වා. මාගේ අත නම් ඔබ පිටට නොපැමිණෙන්නේය.
13 පුරාතනයන්ගේ උපදේශ කීම ලෙස: දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙන්නේය. නුමුත් මාගේ අත ඔබ පිටට නොපැමිණෙන්නේය.
14 ඉශ්‍රායෙල්වරුන්ගේ රජතුමා කා පස්සේ පිටත්ව ආවේද? ඔබ කා පස්සේ එළවාගෙන එනවාද? මළ බල්ලෙක් පස්සේය, බලුමැක්කෙක් පස්සේය.
15 එබැවින් ස්වාමීන්වහන්සේ විනිශ්චයකාරයා වී මාත් ඔබත් අතරේ විනිශ්චයකොට, මාගේ විත්තිය කියා, ඔබගේ අතින් මා ගළවනසේක්වයි කීවේය.
16 දාවිත් මේ වචන සාවුල්ට කියා තීන්දුකළ විට සාවුල් කථාකොට: මාගේ පුත්‍රවූ දාවිත්, ඔය ඔබේ හඬද කියා ශබ්දනගා ඇඬුවේය.
17 ඔහු දාවිත්ට කථාකොට: ඔබ මට වඩා ධර්මිෂ්ඨය. මක්නිසාද මා ඔබට නපුර කළ නුමුත් ඔබ මට යහපත කෙලෙහිය.
18 ස්වාමීන්වහන්සේ ඔබ අතට මා පාවාදුන් විට ඔබ මා නොමැරූ බැවින් ඔබ මට යහපත කළ බව අද පෙන්වා දුන්නෙහිය.
19 මනුෂ්‍යයෙකුට තමාගේ සතුරා අසුවුණොත් ඔහු සුවසේ යන්ට හරීද? එබැවින් ඔබ අද දවසේ මට කළ කාරණය ගැන ස්වාමීන්වහන්සේ ඔබට යහපත් විපාකයක් දෙනසේක්වා.
20 ඉතින් සැබෑවටම ඔබ රජවෙන බවත් ඉශ්‍රායෙල් රජකම ඔබේ අතේ ස්ථිරවෙන බවත් දනිමි.
21 ඒ නිසා මට පසුව මාගේ වංශය ඔබ විසින් සිඳ නොදමන ලෙසත් මාගේ පිය වංශයෙන් මාගේ නම නැතිකරනොදමන ලෙසත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මට දිවුරන්නැයි කීවේය.
22 දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේය. ඉක්බිති සාවුල් ගෙදර ගියේය; නුමුත් දාවිත්ද ඔහුගේ මිනිස්සුද බලකොටුවට නැගී ගියාහ.



පරිච්ඡේදය 25

1 තවද සාමුවෙල් මළේය; සියලු ඉශ්‍රායෙල්වරු රැස්ව ඔහු ගැන වැලපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත්කළෝය. දාවිත්ද පිටත්ව පාරාන් කාන්තාරයට බැස ගියේය. කර්මෙල්හි සම්පත් ඇති මනුෂ්‍යයෙක් මායොන්හි සිටියේය.
2 ඒ මනුෂ්‍යයා මහත් ධනවතෙක්ය, ඔහුට බැටළුවන් තුන්දහසක්ද එළුවන් දහසක්ද සිටියෝය. ඔහු වනාහි කර්මෙල්හි තමාගේ බැටළුවන්ගේ ලොම් කප්පවමින් සිටියේය.
3 ඒ මනුෂ්‍යයාගේ නම නාබල්ය; ඔහුගේ භාර්යාවගේ නම අබීගායිල්ය. ඒ ස්ත්‍රී වනාහි බුද්ධිමත්, රූප ශෝභාව ඇති තැනැත්තියක් වූවාය. එහෙත් ඒ මනුෂ්‍යයා ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ කෙනෙකි. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.
4 නාබල් තමාගේ බැටළුවන්ගේ ලොම් කප්පවන බව කාන්තාරයේදී දාවිත්ට සැලවිය.
5 දාවිත් යෞවනයන් දස දෙනෙකු යවමින්: ඔබ සැම කර්මෙල්ට ගොස්, නාබල් ළඟට පැමිණ, මාගේ නාමයෙන් ඔහුගේ සැප සනීප අසා,
6 සම්පත් ඇති ඔහුට කථාකොට-ඔබට සමාදානය වේවා, ඔබේ පවුලටත් සමාදානය වේවා, ඔබට ඇති සියල්ලටත් සමාදානය වේවා.
7 ඔබට බැටළු ලොම් කපන්නන් සිටින බව ඇසීමි. ඔබේ බැටළු එඬේරු අප සමඟ සිටියෝය, අප ඔවුන්ට හිංසාකළේවත් ඔවුන් කර්මෙල්හි සිටි මුළු කාලයෙහි ඔවුන්ගෙන් කිසිවක් නැතිවුණේවත් නැත.
8 ඔබේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් ඔබට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට ඔබේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. ඔබේ මෙහෙකරුවන්ටත් ඔබේ පුත්‍රවූ දාවිත්ටත් ඔබට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.
9 දාවිත්ගේ යෞවනයෝ ගොස් ඒ සියලු වචනවල ප්‍රකාරයට දාවිත්ගේ නාමයෙන් කථාකර නැවැත්තෝය.
10 නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට උත්තරදෙමින්: දාවිත් කවුද? යෙස්සේගේ පුත්‍රයා කවුද? මේ කාලයේ තම තමුන්ගේ ස්වාමිවරුන් වෙතින් පලායන මෙහෙකරුවෝ බොහෝය.
11 එසේවීනම් මා විසින් මාගේ රොටිද මාගේ වතුරද මාගේ බැටළු ලොම් කපන්නන්ට මා විසින් මැරූ සතුන්ගේ මස්ද අරන් කොතැනින් ආවාද කියා මා නොදන්න මිනිසුන්ට දෙන්ටදැයි කීවේය.
12 එවිට දාවිත්ගේ යෞවනයෝ හැරී ගොස් දාවිත් ළඟට පැමිණ ඒ සියලු වචනවල ප්‍රකාරයට ඔහුට දැන්නුවෝය.
13 දාවිත්ද: නූඹලා එකිනෙකා තම තමාගේ කඩුව බැඳගන්නැයි තමාගේ මිනිසුන්ට කීය. ඔව්හු හැමදෙනම තම තමුන්ගේ කඩු බැඳගත්තෝය; දාවිත්ද තමාගේ කඩුව බැඳගත්තේය. මිනිසුන් හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝය; දෙසියයක් බඩු ළඟ නැවතී සිටියෝය.
14 නුමුත් වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් නාබල්ගේ භාර්යාවවූ අබීගායිල්ට කථාකොට: අපේ ස්වාමියාට ආචාරකරන පිණිස දාවිත් කාන්තාරයේ සිට පණිවිඩකාරයන් එවුවේය; ඔහු ඔවුන්ට බැණවැදුණේය.
15 ඒ මනුෂ්‍යයෝ නම් අපට ඉතා යහපත්ව සිටියෝය, අප කෙත්වල සිටියදී ඔවුන් සමඟ ගැවසුණු මුළුකාලයේදී අපට අන්තරායක් වුණේවත් අපෙන් කිසිවක් නැතිවුණේවත් නැත.
16 අප බැටළුවන් බලාගනිමින් ඔවුන් සමඟ සිටි මුළු කාලයේ ඔව්හු රෑ දාවල් අපට ප්‍රාකාරයක්ව සිටියෝය.
17 ඒ නිසා දැන් ඔබ ඒ දැනගන කුමක් කටයුතුදැයි කල්පනාකළ මැනවි; මක්නිසාද අපේ ස්වාමියාටත් ඔහුගේ මුළු පවුලටත් විරුද්ධව අනතුරක් නියමකර තිබේ. ඔහු වනාහි යමෙකුට ඔහු සමඟ කථාකරන්ට බැරි තරම් දුර්ජනයෙක්යයි. කීය.
18 එවිට අබීගායිල් ඉක්මන්කර, රොටි දෙසියයක්ද මුද්‍රිකපාන භාජන දෙකක්ද පුලුස්සාපු බැටළුවන් පස්දෙනෙක්ද විලඳ නැළි පහක්ද වියළි මුද්‍රිකඵල පොකුරු සියයක්ද අත්තික්කා කැටි දෙසියයක්ද රැගෙන, ඒවා කොටළුවන් පිට පටවා,
19 ඇගේ වැඩකාරයන්ට කථාකොට: ඔබ සැම මට පෙරටුව යන්න; මම ඔබ සැමට පස්සෙන් එන්නෙමියි කීවාය. එහෙත් ඇගේ පුරුෂයාවූ නාබල්ට ඈ ඒ බව කීවේ නැත.
20 ඈ කොටළුවා පිට නැගී කන්දේ මුවාව තිබුණ ස්ථානයකින් බැසයද්දී දාවිත්ද ඔහුගේ මිනිස්සුද ඈ ඉදිරිපිට බැස ආවෝය; ඈද ඔවුන්ට මුණගැසුණාය.
21 තවද: සැබවින් කාන්තාරයෙහි මොහුට ඇති සියල්ලෙන් කිසිවක් නැතිනොවන ලෙස මොහු සන්තක සියල්ල මා විසින් ආරක්ෂාකළ එක නිෂ්ඵලය. මොහු මට යහපතට අයහපතෙන් ප්‍රතිදානය කෙළේය.
22 මා විසින් මොහුගේ සියලු පිරිමින්ගෙන් එක්කෙනෙක්වත් හෙට එළිවෙනතුරු ඉතිරිකළොත් දෙවියන්වහන්සේ දාවිත්ගේ සතුරන්ටත් එසේත් ඊට වැඩියත් කරනසේක්වයි දාවිත් කියා තිබුණේය.
23 අබීගායිල් දාවිත් දැක, ඉක්මනින් කොටළුවා පිටින් බැස, දාවිත් ඉදිරියෙහි මුහුණින් බිමට වැටී වැඳ,
24 ඔහුගේ පාමුල වැටී කථාකොට: ඒ අපරාධය මා පිට, මාගේ ස්වාමිනි, මා පිටම වේවා. ඔබට කථාකරන්ට ඔබගේ මෙහෙකාරීට අවසර ලැබේවා, ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනවි.
25 මාගේ ස්වාමිනි, ඒ දුර්ජන. මනුෂ්‍යයාවූ නාබල් ගැන නොසැලකුව මැනවි. ඔහුගේ නාමය යම්සේද ඔහුගේ ගතියත් එසේමය; ඔහුගේ නම නාබල්ය,. මෝඩකම ඔහු තුළ තිබේ. එහෙත් ඔබගේ මෙහෙකාරීවූ මම මාගේ ස්ස්වාමිවූ ඔබ විසින් එවූ යෞවනයන් නුදුටිමි.
26 දැන් මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත් වන බව සැබෑවා සේම, ලේ වැගිරීමේ අපරාධයෙන්ද ඔබගේම අතින් පළිගැනීමෙන්ද ස්වාමීන්වහන්සේ ඔබ වැලැක්වූ සේක්මය, එබැවින් ඔබගේ සතුරෝද මාගේ ස්වාමියාට අන්තරාකරන්ට සොයන්නෝද නාබල් මෙන් වෙත්වා.
27 ඉතින් ඔබගේ වැඩකාරීවූ මා විසින් මාගේ ස්වාමියාට ගෙනාවාවූ මේ තෑග්ග මාගේ ස්වාමියා අනුව යන යෞවනයන්ට දෙනුලැබේවා.
28 ඔබගේ මෙහෙකාරීගේ වරදට කමාවුණමැනවි. මක්නිසාද මාගේ ස්වාමියා ස්වාමීන්වහන්සේගේ යුද්ධකරන බැවින් ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට ස්ථිරවූ වංශයක් සාදාදෙනසේක්මය, ඔබගේ සියලු දවස්වලදී ඔබ තුළ නපුර දකිනු නොලබන්නේය.
29 ඔබ පස්සේ එළවාගන ඇවිත් ඔබගේ ප්‍රාණය හානිකරන්ට මනුෂ්‍යයෙක් නැගුටුණත්, මාගේ ස්වාමියාගේ ප්‍රාණය ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත ජීවතුන්ගේ මිටියෙහි බඳිනු ලැබ, ඔබගේ සතුරන්ගේ ප්‍රාණ උන්වහන්සේ ගල් පටියෙන් මෙන් විසිකරදමනසේක.
30 තවද ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියා ගැන කී සියලු යහපත්කම් ප්‍රකාර ඔබට කර ඔබ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කළ කල්හි,
31 මාගේ ස්වාමියා නිකරුණේ ලේ වැගිරෙවුවාය කියාවත් තමාගේම අතින් පළිගත්තාය කියාවත් මේක ඔබට චිත්ත ඛේදයක් හෝ ශෝකයක් නොවන්නේය. තවද ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට යහපත කළ කල්හි ඔබගේ මෙහෙකාරී සිහිකළ මැනවැයි කීවාය.
32 දාවිත් අබීගායිල්ට කථාකොට: මා සම්බවෙන්ට අද දවසේ ඔබ එවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා.
33 ඔබේ නුවණටද ප්‍රශංසා වේවා, ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැලැක්වූ ඔබට ආශීර්වාද වේවා.
34 මක්නිසාද ඔබට හිංසා කිරීමෙන් මා වැලැක්වුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබ ඉක්මනින් මා සම්බවෙන්ට නාවා නම්, නාබල්ට අයිති එක පිරිමියෙක්වත් හෙට එළිවෙනකොට ඉතුරු නොවන්නේයයි කීවේය.
35 මෙසේ දාවිත් ඈ තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන: ඔබේ ගෙදරට සමාදානයෙන් යන්න; මම ඔබේ හඬට ඇහුම්කන්දී ඔබ පිළිගතිමියි කීවේය.
36 අබීගායිල් නාබල් ළඟට පැමිණිවිට, රාජ මංගල්‍යයක් මෙන් ඔහු තමාගේ ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේය; තවද නාබල්ගේ සිත ප්‍රීතිමත්ව තිබුණේය, මක්නිසාද ඔහු හොඳටම මත්වී සිටියේය. එබැවින් පසුවදා එළිවෙන තුරු ඈ කිසිවක් ඔහුට දැන්නුවේ නැත.
37 පසුවදා නාබල්ගේ වෙරි සිඳුණු කල ඔහුගේ භාර්යාව ඔහුට මේ කාරණා දැන්නුවාය, එවිට ඔහුගේ සිත ඔහු තුළ කිඳාගොස් ඔහු ගලක් මෙන් විය.
38 ඊට දස දවසකට පමණ පසු ස්වාමීන්වහන්සේ නාබල්ට පහරදුන්සේක, ඔහු මළේය.
39 නාබල් මැරුණු බව දාවිත් අසා: නාබල් අතින් මට වුණ නින්දාව ගැන යුක්තිය කළාවූ, තමන්ගේ මෙහෙකරුවා නපුරෙන් වැලැක්වුවාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ නාබල්ගේ නපුරුකම් ඔහුගේ හිස පිටටම හැරවූසේකැයි කීය. දාවිත් අබීගායිල් තමාට භාර්යාව කොට පාවාගන්නා පිණිස ඈ සමඟ කථාකරන්ට පණිවිඩකාරයන් හැරියේය.
40 දාවිත්ගේ සේවකයෝ කර්මෙල්හි අබීගායිල් ළඟට පැමිණ ඈට කථාකරමින්: දාවිත් තමාට භාර්යාව වීමට ඔබ කැඳවාගන යන පිණිස ඔබ වෙතට අප එවුවේයයි කීවෝය.
41 ඈද නැගිට මුහුණින් බිමට නැමී: ඔබගේ දාසී මාගේ ස්වාමියාගේ සේවකයන්ගේ පාද සෝදන්ට දාසියකැයි කීවාය.
42 එවිට අබීගායිල් ඉක්මන්කර කොටළුවෙකු පිට නැගී පිටත්වුණාය, ඇගේ තරුණියෝ පස්දෙනෙක්ද ඈ අනුව ගියෝය; එසේ ඈ දාවිත්ගේ පණිවිඩකාරයන් කැටුව ගොස් ඔහුගේ භාර්යාව වූවාය.
43 දාවිත් යෙස්‍රෙයෙල්හි අහිනොවම්ද පාවාගත්තේය; ඔවුන් දෙදෙනාම ඔහුට භාර්යාවූවෝය.
44 සාවුල් විසින් දාවිත්ගේ භාර්යාවවූ තමාගේ දුවවූ මීඛල් ගල්ලීම්හි විසූ ලායිෂ්ගේ පුත්‍රවූ පල්තීට දෙනලද්දීය.



පරිච්ඡේදය 26

1 ශීප්වරු ගිබියාහි සිටි සාවුල් ළඟට ඇවිත්: දාවිත් මරුකතර ඉදිරියේ තිබෙන හකීලා හෙලේ සැඟවී ඉන්නවා නොවේදැයි කීවෝය.
2 එවිට සාවුල් පිටත්වී, ඉශ්‍රායෙල්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් තුන්දහසක් ඇතුව ශීප් කාන්තාරයෙහි දාවිත් සොයන පිණිස ශීප් කාන්තාරයට ගියේය.
3 සාවුල් මරුකතර ඉදිරිපිට මාර්ගය ළඟ තිබෙන හකීලා හෙලේ කූඩාරම් ගසාගත්තේය. එහෙත් දාවිත් කාන්තාරයෙහි සිටියේය, සාවුල් තමා පස්සේ කාන්තාරයට ඇවිත් සිටින බව ඔහු දුටුවේය.
4 ඒ නිසා දාවිත් ඔත්තුකාරයන් යවා සාවුල් ඇවිත් සිටිනවා සැබෑ බව දැනගත්තේය.
5 එවිට දාවිත් පිටත්වී සාවුල් කූඩාරම් ගසාගන සිටි ස්ථානයට ඇවිත් සාවුල්ද ඔහුගේ සේනාපතිවූ නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද නිදා උන් ස්ථානය දුටුවේය. සාවුල් ගැල් තිබුණු ස්ථානයේ වැදහොත්තේය, සෙනඟ ඔහු වටකර කූඩාරම ගසාගන සිටියෝය.
6 එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත්‍රවූ, යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයිටත් කථාකොට: සාවුල් ළඟට මා සමඟ කඳවුරට යන්නේ කවුදැයි ඇසුවේය. මම ඔබ සමඟ යමියි අබිෂයි කීවේය.
7 මෙසේ දාවිත්ද අබිෂයිද රාත්‍රියෙහි සෙනඟ ළඟට පැමිණිවිට, සාවුල් තමාගේ හෙල්ලය තමාගේ හිස ළඟ බිම සිටුවා, ගැල් තිබුණු ස්ථානයේ නිදා ඉන්නවා දුටුවෝය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදාඋන්නෝය.
8 එවිට අබිෂයි දාවිත්ට කථාකොට: දෙවියන්වහන්සේ අද ඔබගේ සතුරා ඔබ අතට පාවාදුන්සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමටම ඇනදමන්ට මට අවසර දුනමැනවි, ඔහුට පහර දෙකක් නොගසන්නෙමියි දාවිත්ට කීය.
9 දාවිත් කථාකොට: ඔහු විනාශනොකරන්න. ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව තමාගේ අත දිගුකර නිර්දෝෂව සිටින්ට පුළුවන් කාටදැයි අබිෂයිට කීවේය.
10 තවද දාවිත් කියනුයේ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ ඔහුට පහර දෙනසේක; නැතහොත් ඔහු මැරෙන දවස පැමිණෙන්නේය; නොහොත් ඔහු යුද්ධයට ගොස් නාස්තිවන්නේය.
11 මාගේ අත ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව දිගුකිරීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වා. එහෙත් ඔහුගේ හිස ළඟ තිබෙන හෙල්ලයත් වතුර භාජනයත් අරගන්න, අපි යමුයයි කීවේය.
12 මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් ගෙන අහක්ව ගියේය; ඒක කවුරුවත් දුටුවේ නැත, දැනගත්තෙත් නැත, කිසිවෙක් පිබිදුණෙත් නැත. සියල්ලෝම නිදාඋන්නෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් බර නින්දක් ඔවුන්ට පැමිණ තිබුණේය.
13 එවිට දාවිත් අනික් පැත්තට ගොස්, දෙගොල්ල අතරේ මහත් ඉඩ ප්‍රමාණයක් ඇති වන ලෙස කන්ද මුදුනේ දුරින් සිටියේය.
14 තවද දාවිත් සෙනඟටත් නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ටත් හඬගසා: අබ්නේර්, ඔබ උත්තර නොදෙන්නෙහිදැයි කීය. එවිට අබ්නේර් උත්තරදෙමින්: රජ්ජුරුවන්ට හඬගසන ඔබ කවුදැ යි ඇසුවේය.
15 දාවිත්ද: ඔබ වික්‍රමාන්විත මනුෂ්‍යයෙක් නොවේද? ඉශ්‍රායෙල්හි ඔබ හා සමාන කෙනෙක් කවුද? ඔබේ ස්වාමිවූ රජ්ජුරුවන් ඔබ විසින් රැකවල් නොකළේ මක්නිසාද? ඔබේ ස්වාමිවූ රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුල්වූයේය.
16 ඔබ කළ මේ දෙය හොඳ නැත. ඔබ සැම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා වන ඔබ සැමගේ ස්වාමියා රැකවල් නොකළ නිසා ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ සැම මරණයට සුදුස්සෝය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් දැන් කොහේද කියා බලන්නැයි කීවේය.
17 සාවුල් දාවිත්ගේ හඬ ඇඳින: මාගේ පුත්‍රවූ දාවිත්, ඔය ඔබේ හඬදැයි ඇසීය. දාවිත්ද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, ඒ මාගේ හඬය.
18 මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා පස්සේ එළවාගන එන්නේ මක්නිසාද? මා කළේ මොකද? මා අත තිබෙන දෝෂය මොකද?
19 එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: ඔබ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැදී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.
20 නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ ඉදිරිපිටින් දුරුව මාගේ ලේ බිම නොවැටේවා. මක්නිසාද යමෙක් කඳුවල වටුවෙකු පස්සේ එළවාගන යන්නාක්මෙන් ඉශ්‍රායෙල් රජ්ජුරුවෝ බලු මැක්කෙක් සොයන්ට පිටතට ආවෝයයි කීවේය.
21 එවිට සාවුල්: මම පව්කෙළෙමි. මාගේ පුත්‍රවූ දාවිත්, හැරීඑන්න. මාගේ ප්‍රාණය අද දවසේ ඔබට අනර්ඝව පෙනුණු නිසා ඔබට තවත් හිංසා නොකරන්නෙමි. මම මෝඩයෙක් මෙන් හැසිර බොහෝසේ මුළාවීමියි කීවේය.
22 දාවිත් උත්තරදෙමින්: රජ්ජුරුවන්ගේ හෙල්ලය මෙන්න! යෞවනයන්ගෙන් එක්කෙනෙක් මෙහි ඇවිත් ඒක ගෙන ගියාවේ
23 ස්වාමීන්වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ ධර්මිෂ්ඨකමද විශ්වාසකමද ලෙස විපාකදෙනසේක්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඔබ මා අතට පාවාදුන් නුමුත් මම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට විරුද්ධව මාගේ අත දිගුකරන්ට නොකැමැතිවීමි.
24 ඉතින් අද දවසේ ඔබගේ ප්‍රාණය මට උතුම්ව පෙනුණාක් මෙන් මාගේ ප්‍රාණයද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි උතුම්ව පෙනේවා, උන්වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවනසේක්වයි කීවේය.
25 එවිට සාවුල් කථාකොට: මාගේ පුත්‍රවූ දාවිත්, ඔබට ආශීර්වාදවේවා. ඔබ මහත් දේ ඉෂ්ටකරන්නෙහිය, ඒකාන්තයෙන් ජයගන්නෙහියයි දාවිත්ට කීවේය. පසුව දාවිත් යන්ට ගියේය, සාවුල්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.



පරිච්ඡේදය 27

1 දාවිත් තමාගේ සිතින් කල්පනාකොට: යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවීයාම මිස වෙන හොඳ විධියක් මට නැත; සාවුල්ද මුළු ඉශ්‍රායෙල් සීමාව තුළේ තවත් මා සෙවීමෙන් මත්තට වලකිනවා ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවෙන්ට මට පුළුවන්වේයයි කීවේය.
2 එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මනුෂ්‍යයන් හසියයද පිටත්වී මායොක්ගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකීෂ් වෙතට ගියෝය.
3 දාවිත් සහ ඔහුගේ මිනිස්සුද ඔවුනොවුන්ගේ පවුල්ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාවව සිටියාවූ කර්මෙලිය අබීගායිල්ද ආකීෂ් වෙත ගාත්හි විසුවෝය.
4 දාවිත් ගාත්ට පලාගිය බව සාවුල්ට දන්වනලද්දේය. ඔහු තවත් ඔහු නොසෙවුවේය.
5 තවද දාවිත් ආකීෂ්ට කථාකොට: ඔබගේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මට වාසයකිරීමට පිටිසර නුවරක යම් ස්ථානයක් ලැබේවා. ඔබගේ මෙහෙකරුවා ඔබ සමඟ රජ නුවර වාසයකරන්නේ මක්නිසාදැයි කීවේය.
6 ආකීෂ්ද ඒ දවසේදී ශික්ලග් නුවර ඔහුට දුන්නේය. ඒ නිසා ශික්ලග් අද දක්වා යුදාහි රජවරුන්ට අයිතිය.
7 දාවිත් පිලිස්තිවරුන්ගේ රටේ විසූකාලය පුරා එක් අවුරුදු සාරමාසයක්ය.
8 දාවිත්ද ඔහුගේ මිනිස්සුද පිටත්ව ගෙෂූර්වරුන්ටද ගිර්ශීවරුන්ටද අමලෙක්වරුන්ටද විරුද්ධව ගියෝය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වාද මිසරදේශය දක්වාද පුරාණයේ සිට දේශයේ වැසියෝ වූහ.
9 දාවිත් පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් ඉතුරු නොකර දේශයේ සියල්ලන් මරාදමා, බැටළුවන්ද ගවයින්ද කොටළුවන්ද ඔටුවන්ද වස්ත්‍රද අරගෙන හැරී ආකීෂ් ළඟට ආවේය.
10 අද ඔබ සැම කොයි පළාතට විරුද්ධව ගියහුදැයි ආකීෂ් ඇසුවේය. දාවිත්ද: යුදාහි දකුණු දිශාවටද යෙරාමෙයෙල්වරුන්ගේ දකුණු දිශාවටද කේනිවරුන්ගේ දකුණු දිශාවටද විරුද්ධව ගියෙමුයයි කීවේය.
11 ගාත්ට ගෙනඑන පිණිස දාවිත් පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් ඉතුරුකළේ නැත; මක්නිසාද: දාවිත් මේ මේ ආකාර කළේය කියා ඔවුන් අපට විරුද්ධව කාරණා දන්වන්ට පුළුවනැයි ඔහු සිතුවේය. ඔහු පිලිස්තිවරුන්ගේ රටේ සිටි කාලය මුළුල්ලෙහි ඔහුගේ හැසිරීම එයාකාරව තිබුණේය.
12 ආකීෂ් දාවිත් විශ්වාසකොට: ඔහු තමාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් තමාට මුළුමනින් පිළිකුල්කරන්ට සලස්වාගත් බැවින් ඔහු සෑම කල්හිම මාගේ මෙහෙකරුවා වන්නේයයි කීවේය.



පරිච්ඡේදය 28

1 තවද ඒ දවස්වලදී පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව සටන් කරන පිණිස තමුන්ගේ සේනා යුද්ධයට රැස්කළෝය. ආකීෂ් දාවිත්ට කථාකොට: ඔබ හා ඔබේ මිනිසුන් මා සමඟ සමුදාව අතරේ යන්ට ඕනෑ බව දැනගන්නැයි කීවේය.
2 දාවිත්ද: එබැවින් ඔබගේ මෙහෙකරුවා කරන දෙය ඔබ දැනගන්නවා ඇතැයි ආකීෂ්ට කීය. ආකීෂ්ද: එබැවින් ඔබ සෑමකල්හිම මාගේ හිස රක්ෂාකරන්නා කොට පත්කරමියි දාවිත්ට කීවේය.
3 මේ කාලයට ප්‍රථම සාමුවෙල් මළේය. සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහුගේම නුවරවූ රාමාහි ඔහු තැන්පත් කළෝය. සාවුල් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේශයෙන් පහකරදමා තිබුණේය.
4 පිලිස්තිවරු රැස්වී ඇවිත් ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝය. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කෙළේය, ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්තෝය.
5 සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දැක භයවිය, ඔහුගේ සිතද බොහෝසෙයින් වෙවුලුවේය.
6 සාවුල් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල ස්වාමීන්වහන්සේ ස්වප්නවලින්වත් ඌරිම්වලින්වත් අනාගතවක්තෘන් ලවාවත් ඔහුට උත්තර නුදුන්සේක.
7 එවිට සාවුල් තමාගේ සේවකයන්ට කථාකොට: ආත්ම බන්ධනකාර ස්ත්‍රියෙක් මට සොයන්න, මම ඈ ළඟට ගොස් ඇගෙන් විචාරන්නෙමියි කීවේය. ඔහුගේ සේවකයෝද: ආත්ම බන්ධනකාර ස්ත්‍රියෙක් ඒන්-දොර්හි සිටිනවායයි ඔහුට කීවෝය.
8 සාවුල් අමුතු වස්ත්‍ර ඇඳ, වෙස්වළාගන, මිනිසුන් දෙදෙනෙකු සමඟ ගොස්, රාත්‍රියේ ඒ ස්ත්‍රී වෙතට පැමිණ ඈට කථාකොට: ආත්ම බන්ධනයෙන් මට පේන කියන්න, මා ඔබට කියන තැනැත්තා මට නැගුටුවා දියන්නැයි කීවේය.
9 ස්ත්‍රීද: සාවුල් කළ දෙය එනම් ඔහු ආත්ම බන්ධනකාරයන් සහ අනවිනකාරයන් දේශයෙන් සිඳදැමූ හැටි ඔබ දන්නෙහිය. එසේ නම් මා නසන පිණිස ඔබ මාගේ ප්‍රාණයට මලපතක් තබන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය.
10 ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේ කාරණය නිසා ඔබට කිසි දඬුවමක් නොවන්නේයයි සාවුල් ඈට කියා ස්වාමීන්වහන්සේ ගැන ඈට දිවුළේය.
11 එවිට ඒ ස්ත්‍රී: මම ඔබට කවුරු නැගුටුවා ගෙනෙම්දැයි කීවාය. ඔහු: සාමුවෙල් මට නැගුටුවා ගෙනෙන්නැයි කීය.
12 ඒ ස්ත්‍රී සාමුවෙල් දුටු කල මහත් හඬින් කෑගැසුවාය. ඈ සාවුල්ට කථාකොට: ඔබ මා රැවටුවේ මක්නිසාද? ඔබ නම් සාවුල්යයි ඔහුට කීවාය.
13 රජද: භයනොවෙන්නැයි කියා-ඔබට පෙනෙන්නේ කුමක්දැයි ඇගෙන් ඇසුවේය. දෙවිකෙනෙක් පොළොවෙන් නැගී එනවා මට පෙනේ යයි ස්ත්‍රී සාවුල්ට කීවාය.
14 ඔහුගේ හැටි කොහොමදැයි ඔහු ඇගෙන් ඇසුවේය. ඈ: මහලු මනුෂ්‍යයෙක් නැගීඑන්නේය; ඔහු සළුවක් පෙරවාගෙන ඉන්නේයයි කීවාය. ඒ සාමුවෙල් බව සාවුල්ට දැනී ඔහු මුහුණින් බිමට නැමී වැන්දේය.
15 එවිට සාමුවෙල්: මා නැගිටවීමෙන් ඔබ මා කැලඹුවේ මක්නිසාදැයි සාවුල්ගෙන් ඇසුවේය. සාවුල්ද: මම තද අමාරුවට පත්ව සිටිමි; පිලිස්තිවරු මට විරුද්ධව යුද්ධකෙරෙති, දෙවියන්වහන්සේ මා කෙරෙන් අහක්ව ගියසේක, උන්වහන්සේ දැන් අනාගතවක්තෘන් කරණකොටගෙනවත් ස්වප්නවලින්වත් මට උත්තරදෙන්නේ නැත. එබැවින් මා විසින් කළයුතුදේ ඔබ මට දන්වන පිණිස ඔබට අඬගැස්වීමියි කීවේය.
16 එවිට සාමුවෙල්: ස්වාමීන්වහන්සේ ඔබ කෙරෙන් අහක්වී ඔබට විරුද්ධව සිටිද්දී ඔබ මාගෙන් අසන්නේ මක්නිසාද?
17 ස්වාමීන්වහන්සේ මා ලවා කියෙවූ හැටියට ඉෂ්ටකළසේක. ස්වාමීන්වහන්සේ ඔබ අතින් රජකම පැහැරගෙන ඔබේ අසල්වාසීවූ දාවිත්ට දුන්සේක.
18 ඔබ ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස අමලෙක්වරුන් කෙරේ ඉෂ්ටනොකර උන්වහන්සේගේ හඬට අකීකරුවූ බැවින් උන්වහන්සේ අද දවසේ ඔබට මේ දෙය කළසේක.
19 ඇරත් ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන් අතට ඔබ සමඟ ඉශ්‍රායෙල්වරුන් පාවාදෙනසේක. හෙට ඔබ සහ ඔබේ පුත්‍රයන් මා සමඟ සිටිනවා ඇත. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් සමුදාවත් පිලිස්තිවරුන් අතට පාවාදෙනසේකැයි කීවේය.
20 එවිට සාවුල් එකෙණෙහිම බිම වැතිර සාමුවෙල්ගේ වචන නිසා අතිශයින් භයවූයේය. ඔහු එදා මුළු දවාලෙහිවත් රාත්‍රියෙහිවත් කෑම නොකෑ නිසා ඔහු තුළ කිසි ශක්තියක් නොතිබුණේය.
21 ඒ ස්ත්‍රී සාවුල් ළඟට ඇවිත්, ඔහු ඉතා කැළඹී සිටි බව දැක ඔහුට කථාකොට: ඔබගේ දාසීවූ මම ඔබගේ හඬට කීකරුව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී වචන ඇසීමි.
22 ඒ නිසා ඔබත් දැන් ඔබගේ දාසීගේ වචන අසා, ඔබ ඉදිරියෙහි රොටි කෑල්ලක් තබන්ට මට අවසර දී, ඔබ මාර්ගයෙහි යන කල ඔබට ශක්තිය ඇතිවෙන පිණිස කෑව මැනවැයි කීවාය.
23 නුමුත් ඔහු අකැමැතිව: මම නොකමියි කීය. නුමුත් ඔහුගේ සේවකයෝද ඒ ස්ත්‍රීද ඔහුට පෙරැත්තකළ නිසා ඔහු ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී බිමින් නැගිට ඇඳේ හිඳගත්තේය.
24 ඒ ස්ත්‍රීට තරකරපු වස්සෙක් ගෙදර උන්නේය; ඈ ඉක්මනින් ඌ මරා, පිටි අරන් අනා, මුහුන් නොදැමූ රොටි පුලුස්සා,
25 ඒවා සාවුල්ද ඔහුගේ සේවකයන්ද ඉදිරියෙහි තැබුවාය; ඔව්හුද කා නැගිට ඒ රාත්‍රියේම පිටත්ව ගියෝය.



පරිච්ඡේදය 29

1 පිලිස්තිවරු තමුන්ගේ සියලු සමුදාවල් අපේක්ට රැස්කළෝය. ඉශ්‍රායෙල්වරුද යෙස්‍රෙයෙල්හි තිබෙන උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය.
2 පිලිස්තිවරුන්ගේ අධිපතීහු සිය ගණන්ද දහස් ගණන්ද වශයෙන් ආවෝය. දාවිත්ද ඔහුගේ මිනිස්සුද ආකීෂ් සමඟ ඔවුන්ට පස්සෙන් ආවෝය.
3 එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු: මේ හෙබ්‍රෙව්වෝ මෙහි මක්කෙරෙද්දැයි ඇසුවෝය. ආකීෂ් පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන්ට කථාකොට: මොහු ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ සාවුල්ගේ සේවකයෙක්ව සිටිය දාවිත් නොවේද? මොහු දැන් කලක නොහොත් අවුරුදු ගණනක සිට මා සමඟ සිටියි, ඔහු මට එකතුවුණදා පටන් අද දක්වා ඔහු අත කිසි වරදක් මට සම්බවුණේ නැතැයි කීවේය.
4 එහෙත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝපවී ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයාට ඔබ නියමකළ ස්ථානයට හැරී යන පිණිස ඔහු යන්ට හරින්න, ඔහු යුද්ධයේදී අපට විරුද්ධකාරයෙකු නොවෙන පිණිස ඔහු අප සමඟ යුද්ධයට නොයේවා. මේ මිනිහා නැවත තමාගේ ස්වාමියා හා සමඟි වෙන්නේ මොකකින්ද? මේ මිනිසුන්ගේ හිස් කරණකොටගෙන නොවේද?
5 සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීය යි කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකාකළේ මේ දාවිත් ගැන නොවේදැයි කීවෝය.
6 එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔබ අවංකව හැසුරුණෙහිය, ඔබ සමුදාව අතරෙහි මා සමඟ ආගිය හැටි මට හොඳව පෙනුණේය. ඔබ මා ළඟට ආදා පටන් අද දක්වා ඔබ අත කිසි නපුරක් මට සම්බවුණේ නැත.
7 එසේ වුවත් අධිපතීන් ඔබට කැමති නැත. එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් අප්‍රසන්නනොවෙන පිණිස දැන් සමාදානයෙන් හැරී යන්නැයි කීවේය.
8 දාවිත්ද: මම කුමක් කෙළම්ද? මා ඇවිත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධව සටන්කරන්ට බැරි හැටියට මා ඔබ ඉදිරියට පැමුණුණදා පටන් අද දවස දක්වා ඔබගේ මෙහෙකරුවා අත සම්බවුණ වරද මොකදැයි ආකීෂ්ගෙන් ඇසුවේය.
9 ආකීෂ් උත්තරදෙමින්: ඒක දනිමි, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන් ඔබ මාගේ ඇස් හමුවෙහි යහපත් බව දනිමි. නුමුත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු-ඔහු අප සමඟ යුද්ධයට නොයන්නේයයි කීවෝය.
10 එබැවින් ඔබ සමඟ ආ ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ අලුයම නැගිට එළිවන කොටම පිටත්වෙන්නැයි දාවිත්ට කීවේය,
11 මෙසේ දාවිත්ද ඔහුගේ මිනිස්සුද පිලිස්තිවරුන්ගේ දේශයට හැරී යන පිණිස උදයම පිටත්වෙන්ට නැගුටුණෝය. පිලිස්තිවරු යෙස්‍රෙයෙල්ට ගියෝය.



පරිච්ඡේදය 30

1 තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා ශික්ලග්ට පැමුණුණෝය, ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිශාවටත් ශික්ලග්ටත් විරුද්ධව ඇවිත්, ශික්ලග්ට පහරදී, ඒක ගින්නෙන් පුලුස්සා දමා,
2 එහි සිටි ස්ත්‍රීන්ද ලොකු කුඩා සියල්ලන්ද වාලට ගෙන, කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගන යන්ට ගියෝය.
3 දාවිත්ද ඔහුගේ මිනිස්සුද නුවරට පැමිණි කල, ඒක ගිනිලා තිබෙන බවත් ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද වාලට අසුවී ගිය බවත් දුටුවෝය.
4 එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සෙනඟද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැතිවෙන තුරුම ශබ්දනගා ඇඬුවෝය.
5 දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටි අබීගායිල්ද වාලට අසුවී ගියෝය.
6 දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.
7 ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය.
8 මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද ඔබ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.
9 එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මිනිසුන් හසියයද ගියෝය. ඔවුන් බෙසොර් ඔය ළඟට පැමුණුණුවිට නවත්වායන්ට සිදුවූ අය එහි නැවතුණෝය.
10 එහෙත් දාවිත් සහ මිනිසුන් හාරසියයක් එළවාගන ගියෝය. බෙසොර් ඔයෙන් එගොඩට යන්ට බැරිතරම් වෙහෙසව සිටියාවූ මිනිසුන් දෙසියයක් නැවතුණෝය.
11 මිසර මනුෂ්‍යයෙක් පිටතදී ඔවුන්ට සම්බවී, ඔහු දාවිත් ළඟට ගෙනවුත් කන්ට රොටිද බොන්ට වතුරද ඔහුට දුන්නෝය.
12 තවද ඔව්හු අත්තික්කා කැටියකින්, කැබෙල්ලක්ද මුද්‍රිකඵල පොකුරු දෙකක්ද ඔහුට දුන්නෝය; ඔහු කෑ පසු ප්‍රාණවත්විය. මක්නිසාද ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේවත් වතුර බීවේත් නැත.
13 ඔබ කාට අයිතිද? කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම අමලෙක් මනුෂ්‍යයෙකුගේ වැඩකාරයෙක්ව සිටින මිසරිය යෞවනයෙක්ය; තුන් දවසකට ඉස්සර මට අසනීපවූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැරදමා ගියේය.
14 අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත් යුදාට අයිති පළාතටත් කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධව යුද්ධකෙළෙමුව; ශික්ලග් ගින්නෙන් පුලුස්සා දැමීමුයයි කීවේය.
15 ඒ සමුදාව ළඟට යන්ට ඔබ මට මග පෙන්වනවාදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මා නොමරන හැටියටත් මාගේ ස්වාමියාගේ අතට පාවානොදෙන හැටියටත් දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔබ මට දිව්රුම්දෙතොත් මම ඒ සමුදාව ළඟට පැමිණෙන්ට ඔබට මග පෙන්වමියි කීවේය.
16 තවද ඔහු විසින් ඒ ස්ථානයට ඔහු පැමිණෙවු විට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත් යුදා දේශයෙනුත් ගත්තාවූ මහත්වූ මුළු කොල්ලය නිසා කමින් බොමින් නටමින් බිම මුළුල්ලෙහිම විසිර සිටියෝය.
17 දාවිත් ඇඳිරි වේලාවේ පටන් පසුවදා සවස දක්වා ඔවුන්ට පහරදුන්නේය. ඔටුවන් පිටනැගී පලාගියාවූ යෞවනයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත.
18 මෙසේ දාවිත් අමලෙක්වරුන් විසින් ගෙන ගිය සියල්ලත් තමාගේ භාර්යාවන් දෙදෙනාත් ගළවා ගත්තේය.
19 ලොකු කුඩා සියල්ලන්ගෙන්ද පුත්‍රයන්ගෙන්ද දූවරුන්ගෙන්ද කිසිවෙක්වත් කොල්ලයවත් ඔවුන් ගත්තාවූ කිසිවක්වත් අඩු නැතුව දාවිත් සියල්ලම නැවත ගෙනාවේය.
20 සියලු එළු බැටළුවන්ද ගවයින්ද දාවිත් ගත්තේය, උන් අනික් සිව්පාවුන්ට පෙරටුවෙන් දක්කමින්: මෙය දාවිත්ගේ කොල්ලයයයි කීවෝය.
21 දාවිත් අනුව යන්ට බැරි ලෙස වෙහෙසව සිටියාවූ, බෙසොර් ඔය ළඟ සිටින්ට ඇරියාවූ මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමගට ආවෝය. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔවුන්ට ආචාරකෙළේය.
22 එවිට දාවිත් සමඟ ගිය මිනිසුන් අතරෙන් නපුරුවූ දුර්ජනවූ. මිනිසුන් සියල්ලෝ කථාකොට: අප සමඟ නොගිය සියලු මිනිසුන්ට එක එකා තම තමාගේ භාර්යාවද දරුවන්ද අරගන යන පිණිස ඔවුන් දෙනවා මිස අප විසින් ගළවාගත් කොල්ලයෙන් කිසිවක් නොදෙමුයයි කීවෝය.
23 එකල දාවිත්: මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න, උන්වහන්සේ අප ආරක්ෂාකර අපට විරුද්ධව ආවාවූ සමුදාව අප අතට පාවාදුන්සේක.
24 මේ කාරණය ගැන ඔබ සැමට ඇහුම්කන්දෙන්නේ කවුද? යුද්ධයට යන අයගේ කොටස යම්සේද බඩු ළඟ නවතින අයගේ කොටසත් එසේම වන්නේය. ඔවුන් විසින් එක සමානව බෙදාගත යුතුයයි කීවේය.
25 තවද ඔහු මේ කාරණය එදා පටන් අද දක්වා ඉශ්‍රායෙල් කෙරෙහි පනතක් හා නියෝගයක් කොට නියමකෙළේය.
26 දාවිත් ශික්ලග්ට පැමුණුණු විට තමාගේ මිත්‍රයන් වන යුදාහි වැඩිමහල්ලන්ට කොල්ලයෙන් කොටස් යවමින්: මෙන්න, ස්වාමීන්වහන්සේගේ සතුරන්ගෙන් ගත් කොල්ලයෙන් ඔබ සැමට තෑගියයි කියා ඇරියේය;
27 එසේ ඇරියේ බෙතෙල්හිද දකුණු රාමොත්හිද යත්තීර්හිද;
28 අරෝයෙර්හිද සිප්මෝත්හිද එෂ්තෙමොවාහිද;
29 රාකාල්හිද යෙරමෙයෙල්වරුන්ගේ නුවරවලද කේනිවරුන්ගේ නුවරවලද;
30 හොර්මාහිද බොර්-ආෂාන්හිද අතාබ්හිද;
31 හෙබ්‍රොන්හිද දාවිත් සහ ඔහුගේ මිනිසුන් ගැවසුණ සියලු තැන්වලද සිටි වැඩිමහල්ලන්ටය.



පරිච්ඡේදය 31

1 පිලිස්තිවරු වනාහි ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගොස්, ගිල්බෝවා කන්දේදී මැරුම්කා වැටුණෝය.
2 පිලිස්තිවරු සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද පස්සේ එළවාගන ගොස් සාවුල්ගේ පුත්‍රයන්වූ යොනාතාන්ද අබිනාදාබ්ද මල්කී-ෂුවාද මැරුවෝය.
3 සටන සාවුල්ට විරුද්ධව බලවත් විය, දුනුවායෝ ඔහුට ළංවූහ; ඔහු දුනුවායන් නිසා තද අමාරුවට පත්විය.
4 එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කරන්ට කැමතිවුණේ නැත; මක්නිසාද ඔහු ඉතා භයව සිටියේය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටුණේය.
5 සාවුල් මැරුණු බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දුටු විට ඔහුද තමාගේ කඩුව පිට වැටී ඔහු සමඟ මළේය.
6 මෙසේ සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ඔහුගේ ආයුධ ගෙනයන්නාද ඔහුගේ සියලු මිනිස්සුද ඒ දවසේදී එකවිටම මැරුණෝය.
7 ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පලා ගිය බවත් සාවුල්ද ඔහුගේ පුත්‍රයන්ද මැරුණ බවත් මිටියාවතට මෙහායින්ද යොර්දානෙන් මෙගොඩද සිටි ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දැක නුවරවල් අත්හැර පලාගියෝය; පිලිස්තිවරු ඇවිත් එහි වාසයකළෝය.
8 තවද පසුවදා මැරුම්කෑ අයගෙන් කොල්ලය ගන්ට පිලිස්තිවරුන් ආ කල සාවුල්ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනාද ගිල්බෝවා කන්දේ වැටී ඉන්නවා ඔවුන්ට සම්බවුණේය.
9 ඔව්හු ඔහුගේ හිස කපා දමා, ඔහුගේ ආයුධ ගළවා, එපවත් තමුන්ගේ දේවාලයෙහිත් සෙනඟ අතරෙහිත් ප්‍රකාශකරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි හැරියෝය.
10 ඔහුගේ ආයුධ ඔව්හු අෂ්ටාරොත්ගේ ගෘහයේ තැබුවෝය. ඔහුගේ ශරීරය බෙත්-ෂාන්හි පවුරට සවිකර එල්ලා තැබුවෝය.
11 පිලිස්තිවරුන් සාවුල්ට කළ දේ ගැන යාබෙෂ්-ගිලියද් වැසියන් ඇසූ කල,
12 සියලු වික්‍රමාන්විත මනුෂ්‍යයෝ නැගිට, මුළු රාත්‍රියේ ගොස්, බෙත්-ෂාන්හි පවුරෙන් සාවුල්ගේ මළකඳද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන්ද රැගෙන යාබෙෂ්ට ඇවිත්,
13 එහිදී ඒවා දවා, ඔවුන්ගේ ඇට රැගෙන යාබෙෂ්හි ඒෂෙල් ගසයට වළලා, සත් දවසක් නිරාහාරව සිටියෝය.