2 සාමුවෙල්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24


පරිච්ඡේදය 1

1 තවද සාවුල් මැරුණු පසු, දාවිත් අමලෙක්වරුන් නසා හැරී ඇවිත් ශික්ලග්හි දෙදවසක් සිටියායින් පසු,
2 තුන්වෙනිදා මනුෂ්‍යයෙක් තමාගේ ඇඳුම් ඉරාගන හිසේ පස් දමාගෙන සාවුල් වෙතින් කඳවුරෙන් නික්ම ආයේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේය.
3 ඔබ කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම ඉශ්‍රායෙල් කඳවුරෙන් ගැළවී ආයෙමියි ඔහුට කීය.
4 එවිට දාවිත්: එහි සිදුවුණේ කිමෙක්දැයි මට කියන්නැයි ඔහුට කීවේය. ඔහු උත්තරදෙමින්: සෙනඟ යුද්ධයෙන් පලාගියෝය, සෙනඟගෙන් බොහෝ දෙනෙක්ද වැටී මළෝය; සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද මැරුණෝයයි කීවේය.
5 එකල දාවිත්: සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් මළ බව ඔබ දන්නේ කොහොමදැයි තමාට කී යෞවනයාගෙන් ඇසීය.
6 ඔහුට දැන්වූ යෞවනයා කථාකොට: මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමුණුණෙමි. ඒ වේලාවේ සාවුල් තමාගේ හෙල්ලයට හේත්තුවී උන්නේය; රථ හා අසරුවෝ ඔහු පස්සේ සැරෙන් එළවාගන ආවෝය.
7 ඔහු පස්සට හැරී මා දැක මට අඬගැසීය. මම මෙහියයි උත්තරදුනිමි.
8 ඔබ කවුදැයි ඔහු මාගෙන් ඇසුවේය. මම අමලෙක් මනුෂ්‍යයෙක්මියි ඔහුට උත්තරදුනිමි.
9 ඔහු මට කථාකොට: මා ළඟ සිට මා මරන්න, මක්නිසාද මම ගාවිනාවෙන් සිටිමි; මාගේ පණද සම්පූර්ණයෙන් තවම මා තුළ තිබේයයි කීවේය.
10 එවිට මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි, මක්නිසාද ඔහු වැටුණායින් පසු ජීවත්වෙන්නේ නැති බව සත්තක ලෙස මට දැනුණේය. මම ඔහුගේ හිසේ තිබුණු කිරීටයද අතේ දමා තිබුණු වළල්ලද රැගෙන මෙහි මාගේ ස්වාමියා ළඟට ගෙනායෙමියි කීවේය.
11 එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද තමුන්ගේ වස්ත්‍ර අල්වා ඉරාගෙන,
12 සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද ස්වාමීන්වහන්සේගේ සෙනඟද ඉශ්‍රායෙල් වංශයද කඩුවෙන් වැටුණු නිසා ඔවුන් ගැන වැලපෙමින් හඬමින් සවස දක්වා නිරාහාරයෙන් සිටියෝය.
13 දාවිත් තමාට එපවත් කී තරුණයාට කථාකොට: ඔබ කොහේ කෙනෙක්දැයි ඇසීය. මම විදේශියෙක්වූ අමලෙක් මනුෂ්‍යයෙකුගේ පුතෙක් වෙමියි ඔහු කීවේය.
14 දාවිත්ද: ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා විනාශකිරීමට භය නැතුව ඔබේ අත දිගුකළේ කෙසේදැයි ඔහුට කියා,
15 තරුණයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: ඔබ ගොස් ඔහුට පහරදෙන්නැයි කීය. ඔහුද පහරදී ඔහු මැරුවේය.
16 දාවිත් ඔහුට කථාකොට: ඔබේ ලේ ඔබේම හිස පිට වේවා; මක්නිසාද-මම ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා මැරුවෙමියි කියා ඔබේම මුඛය ඔබට විරුද්ධව සාක්ෂිදුන්නේයයි කීවේය.
17 දාවිත්, සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් ගැන මේ විලාප ගීය කියමින් වැලපුණේය.
18 ධනුර්. ගීය නම්වූ ගීය යුදා පුත්‍රයන්ට උගන්වන්ටත් ඔහු නියමකෙළේය. ඒක යාෂාර්ගේ. පොතේ ලියා තිබේ.
19 එම්බා ඉශ්‍රායෙල්, ඔබේ අලංකාරය උස් තැන්හිදී නාස්තිවුණේය! අහෝ! බලවතුන් වැටුණු හැටි!
20 පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීතිනොවන පිණිසද අචර්මඡේදිතයන්ගේ දූවරුන් ජයඝෝෂා නොකරන පිණිසද එය ගාත්හි නොදන්වව්, අෂ්කෙලොන් වීදිවල ප්‍රකාශනොකරව්.
21 එම්බා ගිල්බෝවා කඳුනි, ඔබ. පිට පිනිවත් වර්ෂාවවත් නොවැටේවා, ප්‍රථම ඵල පූජා පිට්ටනිද නොතිබේවා. මක්නිසාද බලවතුන්ගේ පලිහ වන සාවුල්ගේ පලිහ තෙලින් ආලේපකරනු නොලැබුවාක් මෙන් අගෞරව ලෙස අහක දමනලද්දේය.
22 මරනලද්දවුන්ගේ ලෙයින්ද බලවතුන්ගේ තෙලින්ද යොනාතාන්ගේ දුන්න පස්සට නොපැන්නේය, සාවුල්ගේ කඩුවද සිස්ව හැරීනායේය.
23 සාවුල් හා යොනාතාන් ජීවත්ව සිටියදී ප්‍රේමවත්ව ප්‍රසන්නව සිටියෝය, තමුන්ගේ මරණයේදී ඔව්හු වෙන්නූණෝය, ඔව්හු රාජාලීන්ට වඩා වේගවත් වූය, සිංහයන්ට වඩා බලවත් වූය.
24 ඉශ්‍රායෙල් දූවරුනි, ප්‍රියකරු රතු වස්ත්‍ර ඔබ සැමට පැලෙඳවුවාවූ, ඔබ සැමගේ වස්ත්‍ර රන් ආභරණවලින් සැරසුවාවූ සාවුල් ගැන අඬව්.
25 අහෝ බලවතුන් සටන මැදදී වැටුණු හැටි! අහෝ යොනාතාන්, ඔබේ උස් තැන් පිට ඔබ මැරුම්කෑවෙහිය.
26 මාගේ සහෝදරවූ යොනාතාන්, ඔබ ගැන මට ශෝකය ඇත්තේය. ඔබ මට ඉතා ප්‍රියකරුව සිටියෙහිය. මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුමය, ස්ත්‍රීන්ගේ ආදරයට වඩා මහත්ය.
27 අහෝ බලවතුන් වැටුණු හැටි! යුද්ධායුධත් නාස්තිවුණ හැටි!



පරිච්ඡේදය 2

1 ඉන්පසු දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා යුදාහි යම් නුවරකට යන්ටදැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්නැයි ඔහුට කීසේක. මා කොතැනට යන්ටදැයි දාවිත් ඇසුවේය. හෙබ්‍රොන්ටයයි උන්වහන්සේ කීසේක.
2 එවිට දාවිත්ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම්ද කර්මෙලිය නාබල්ගේ භාර්යාවව සිටියාවූ අබිගායිල්ද එහි ගියෝය.
3 දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේය. ඔව්හු හෙබ්‍රොන් නුවරවල වාසය කළෝය.
4 තවද යුදාහි මනුෂ්‍යයෝ ඇවිත් එහිදී දාවිත් යුදා වංශය කෙරෙහි රජ කොට ආලේපකළෝය. සාවුල් තැන්පත්කෙළේ යාබෙෂ්-ගිලියද්හි මනුෂ්‍යයන් විසින්යයි දාවිත්ට දන්වනලද්දේය.
5 දාවිත් යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන් වෙතට පණිවිඩකාරයන් යවමින්: ඔබ සැමගේ ස්වාමියාවූ සාවුල්ට ඔබ සැම මේ කරුණාව පෙන්වා ඔහු තැන්පත්කළ බැවින් ස්වාමීන්වහන්සේගෙන් ඔබ සැමට ආශීර්වාද වේවා.
6 දැන් ස්වාමීන්වහන්සේ ඔබ සැමට කරුණාවත් සැබෑකමත් පෙන්වනසේක්වා. ඔබ සැම මේ දේ කළ නිසා මමත් එසේම ඔබ සැමට යහපත කරන්නෙමි.
7 එබැවින් ඔබ සැමගේ අත් බලවත් වේවා. ඔබ සැම වික්‍රමාන්විතව සිටින්න. මක්නිසාද ඔබ සැමගේ ස්වාමිවූ සාවුල් මළේය, ඇරත් යුදා වංශය තමුන් කෙරෙහි රජකොට මා ආලේපකෙළේයයි කියන්ට කීවේය.
8 තවද නේර්ගේ පුත්‍රවූ, සාවුල්ගේ සේනාපතිවූ අබ්නේර් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් කැඳවාගන මහනායිම්ට ගොස්,
9 ගිලියද්ද අෂූර්වරුන්ද යෙස්‍රෙයෙල්ද එප්‍රායිම්වරුන්ද බෙන්යමින්වරුන්ද මුළු ඉශ්‍රායෙල්ද කෙරෙහි ඔහු රජකමට පත්කෙළේය.
10 (සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත-ඉශ්‍රායෙල්හි රජකම්කරන්ට පටන්ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස්ව සිටියේය, ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේය.) නුමුත් යුදා වංශය පමණක් දාවිත්ට ඇලුම්වුණේය.
11 දාවිත් හෙබ්‍රොන්හි යුදා වංශයට රජව සිටි කාලය සත් අවුරුදු හමාසයක්ය.
12 නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝද මහනායිම් සිට පිටත්ව ගිබියොන්ට ගියෝය.
13 ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද දාවිත්ගේ සේවකයෝද පිටත්ව ගොස් ගිබියොන් පොකුණ ළඟදී මුණගැසී එක පක්ෂයක් පොකුණේ එක පැත්තකද අනික් පක්ෂය පොකුණේ අනික් පැත්තේද හිඳගත්තෝය.
14 අබ්නේර්: තරුණයෝ නැගිට අප ඉදිරියෙහි ක්‍රීඩාකෙරෙත්වයි යෝවාබ්ට කීය. යෝවාබ්ද: ඔව්හු එසේ කෙරෙත්වයි කීය.
15 එවිට සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්යමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළොස් දෙනෙක්ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළොස් දෙනෙක්ද නැගිට ගියෝය.
16 එවිට ඔව්හු එකිනෙකා තමතමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා කඩුවෙන් ළැපැත්තට ඇන එක්ව වැටුණෝය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට හෙල්කත්-හශ්ශුරීම්2:16 එනම්, මුවහත් පිහිය කෙත. යන නම තබනලද්දේය.
17 ඒ දවසේ සටන ඉතා බලවත්විය; අබ්නේර්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝය.
18 ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.
19 අසාහෙල් අබ්නේර් පස්සේ එළවාගන යනුයේ, දකුණටවත් වමටවත් නොහැරී අබ්නේර් පස්සේම ගියේය.
20 එවිට අබ්නේර් පස්සට හැරී: ඔබ අසාහෙල්දැයි ඇසීය. එසේයයි ඔහු කීය.
21 අබ්නේර්: ඔබ දකුණට හෝ වමට හෝ හැරී, යෞවනයන්ගෙන් එක්කෙනෙකු අල්ලා, ඔහුගේ ආයුධ හැරගන්නැයි ඔහුට කීවේය. නුමුත් අසාහෙල් ඔහු වෙතින් අහක්ව යන්ට කැමති නොවීය.
22 නැවතත් අබ්නේර්: මා වෙතින් අහක්ව යන්න, මක්නිසාද මම ඔබ බිමට ගසාහෙළන්නෙම්ද? එසේ කළොත් මා ඔබේ සහෝදරවූ යෝවාබ්ට මාගේ මුහුණ ඔසවන්නේ කොහොමදැයි අසාහෙල්ට කීවේය.
23 එහෙත් ඔහු අහක්ව යන්ට අකැමැතිවිය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේය, හෙල්ලය ඔහුගේ පිටෙන් නික්මුණේය; ඔහු එතැනම මළේය. තවද අසාහෙල් වැටී මැරුණු තැනට ආ සියල්ලෝම නැවතුණෝය.
24 නුමුත් යෝවාබ්ද අබිෂයිද අබ්නේර් ලුහුබඳවා ගොස් ඉරබැස්ස විට ගිබියොන් කාන්තාරයට යන මාර්ගයෙහි ගීයා ඉදිරිපිට තිබෙන අම්මා හෙලට පැමුණුණෝය.
25 බෙන්යමින් පුත්‍රයෝ අබ්නේර් වෙතට රැස්වී එක කණ්ඩායමක්ව හෙලක් මුදුනේ නැවතී සිටියෝය.
26 එවිට අබ්නේර් යෝවාබ්ට අඬගසා: කඩුව නිතරම විනාශකරන්ටද? එයින් අන්තිමේදී තික්තකම හටගන්න බව ඔබ නොදන්නෙහිද? එසේවී නම් තමුන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්ට කියා ඔබ කොපමණ කල් සෙනඟට අණනොකර සිටිනෙහිදැයි කීවේය.
27 යෝවාබ්ද: දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ කථානොකෙළහිනම් සැබවින් සෙනඟ උදයේම තමුන්ගේ සහෝදරයන් ලුහුබැඳ නොගොස් හැරී යන්ට තිබුණේයයි කීවේය.
28 එවිට යෝවාබ් හොරණෑව පිම්බේය, මුළු සෙනඟද නැවතුණේය, ඔවුන් තවත් ඉශ්‍රායෙල්වරුන් පස්සේ එළවාගන ගියේවත් තවත් යුද්ධකෙළේවත් නැත.
29 අබ්නේර් සහ ඔහුගේ මිනිස්සු ඒ රාත්‍රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස්, යොර්දානෙන් එගොඩව, මුළු බිත්රොන් මැදින් ගොස්, මහනායිම්ට පැමුණුණෝය.
30 යෝවාබ් තෙමේ අබ්නේර් ලුහුබැඳ යාමෙන් හැරී ඇවිත් මුළු සෙනඟ රැස්කෙළේය, එවිට දාවිත්ගේ සේවකයන්ගෙන් මිනිසුන් දහනවදෙනෙක්ද අසාහෙල්ද නැති බව පෙනුණේය.
31 නුමුත් දාවිත්ගේ සේවකයෝ බෙන්යමින්වරුන්ගෙන්ද අබ්නේර්ගේ මිනිසුන්ගෙන්ද තුන්සිය හැටකට පහරදී මැරුවෝය.
32 ඔව්හු අසාහෙල් රැගෙන බෙත්-ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය. යෝවාබ්ද ඔහුගේ මිනිස්සුද මුළු රාත්‍රියේ ගොස් එළිවෙන කොට හෙබ්‍රොන්ට පැමුණුණේය.



පරිච්ඡේදය 3

1 තවද සාවුල්ගේ වංශයත් දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධය පැවතුණේය. දාවිත් වනාහි වඩ වඩා බලවත්වේගන ගියේය, නුමුත් සාවුල්ගේ වංශය වඩ වඩා බෙලහීන වේගන ගියේය.
2 හෙබ්‍රොන්හිදී දාවිත්ට පුත්‍රයෝ උපන්නෝය. ඔහුගේ කුලුඳුලා නම් යෙස්‍රෙයෙලිය අහිනොවම්ගෙන් උපන් අම්නොන්ය;
3 ඔහුගේ දෙවෙනියා කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටියාවූ අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ්ය; තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයඛාගේ පුත්‍රවූ අබ්සලොම්ය;
4 සතරවෙනියා හග්ගිත්ගේ පුත්‍රවූ අදොනියාය; පස්වෙනියා අබිටල්ගේ පුත්‍රවූ ෂෙපටියාය;
5 සවෙනියා දාවිත්ගේ භාර්යාව වූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම්ය. මොව්හු හෙබ්‍රොන්හිදී දාවිත්ට උපන්නෝය. අබ්නේර් ඊෂ්-බොෂෙත් හැර ගොස් දාවිත්ට එකතුවීම
6 සාවුල්ගේ වංශයද දාවිත්ගේ වංශයද අතරේ යුද්ධය පැවතෙද්දී අබ්නේර් සාවුල්ගේ වංශය උදෙසා බලවත් විය.
7 අයාගේ දූවූ රිශ්පා නම් උප භාර්යාවක් සාවුල්ට සිටියාය. ඊෂ්-බොෂෙත්ද: ඔබ මාගේ පියාණන්ගේ උප භාර්යාව වෙතට පැමුණුණේ මන්දැයි අබ්නේර්ට කීවේය.
8 එවිට අබ්නේර් ඊෂ්-බොෂෙත්ගේ වචන ගැන ඉතා කෝපවී: මම යුදාට අයිති බලු හිසක්ද? මම දාවිත් අතට ඔබ අසුකරනොදී, අද දක්වා ඔබේ පියවූ සාවුල්ගේ වංශයටත් ඔහුගේ සහෝදරයන්ටත් ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්වමි, එහෙත් අද ඔබ මේ ස්ත්‍රිය ගැන මා කෙරෙහි වරද පමුණුවයි.
9 රජකම සාවුල්ගේ වංශයෙන් අහක්කර, දාවිත්ගේ සිංහාසනය දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යුදාවරුන්ද කෙරෙහි පිහිටුවන පිණිස,
10 ස්වාමීන්වහන්සේ දාවිත්ට දිවුළ ලෙස මම ඔහුට නොකෙළෙම්නම් දෙවියන්වහන්සේ අබ්නේර්ට එසේමත් ඊට වැඩියත් කරනසේක්වයි කීවේය.
11 ඔහු අබ්නේර්ට භයවුණ බැවින් තවත් එක වචනයක්වත් කියා උත්තරදෙන්ට නොහැකිවිය.
12 එවිට අබ්නේර් තමා වෙනුවෙන් දාවිත් වෙතට පණිවිඩකාරයන් යවා: දේශය කාට අයිතිදැයි කියාත් ඔබ මා සමඟ ගිවිසුමක් කළොත් සියලු ඉශ්‍රායෙල්වරුන් ඔබ වෙත හරවාගන්නා පිණිස මාගේ අත ඔබ සමඟ වන්නේය කියාත් කියන්ට කීවේය.
13 දාවිත්ද කථාකොට: යහපත; මම ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමි. නුමුත් ඔබ විසින් එක දෙයක් කළ යුතුය, එනම් ඔබ මා දකින්ට එන විට පළමුකොට සාවුල්ගේ දූවූ මීඛල් කැඳවාගන එන්ට ඕනෑය, නැත්නම් ඔබ මාගේ මුහුණ නොදක්නෙහියයි කීවේය.
14 තවද දාවිත් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් වෙතට පණිවිඩකාරයන් යවා: පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍රදී ලබාගත් මාගේ භාර්යාවවූ මීඛල් මට දෙන්නැයි කියන්ට කීවේය.
15 ඊෂ්-බොෂෙත් මිනිසුන් යවා, ඇගේ පුරුෂයා වන ලායිෂ්ගේ පුත්‍රවූ පල්ටියෙල් වෙතින් ඈ ගෙන්නෙවුවේය.
16 ඇගේ පුරුෂයා ඈ සමඟ ගොස් බහුරීම් දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේය. එවිට අබ්නේර්: හැරී යන්නැයි ඔහුට කීය. ඔහු හැරී ගියේය.
17 අබ්නේර් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ කථාකොට: දාවිත් ඔබ සැම කෙරෙහි රජකර ගන්න පිණිස ඔබ සැම පසුගිය කාලයෙහි සෙ වුහුය.
18 දැන් එසේ කරන්න. මක්නිසාද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පිලිස්තිවරුන්ගේ අතින්ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින්ද මාගේ මෙහෙකරුවූ දාවිත් ලවා මම ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ දාවිත් ගැන කියා තිබේයයි කීවේය.
19 අබ්නේර් බෙන්යමින්වරුන් සමඟත් කථාකෙළේය. ඉන්පසු අබ්නේර් ඉශ්‍රායෙල්වරුන්ටද මුළු බෙන්යමින් වංශයටද හොඳව පෙනුණු සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ටත් කියන්ට ගියේය.
20 මෙසේ අබ්නේර්ද ඔහු සමඟ මනුෂ්‍යයන් විසිදෙනෙක්ද හෙබ්‍රොන්හි සිටි දාවිත් ළඟට පැමුණුණෝය. දාවිත් අබ්නේර්ටත් ඔහු සමඟ සිටි මනුෂ්‍යයන්ටත් මංගල්‍යකෑමක් පිළියෙළ කෙළේය.
21 අබ්නේර් දාවිත්ට කථාකොට: මම පිටත්ව ගොස් සියලු ඉශ්‍රායෙල්වරුන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙතට රැස්කරගන එන්නෙමි, මෙසේ ඔබගේ සිතට ආසා ඇති සියල්ලන් කෙරෙහි ඔබ රජකම්කරනවා ඇතැයි කීවේය. දාවිත් අබ්නේර් යන්ට ඇරියේය; ඔහු සමාදානයෙන් ගියේය.
22 ඉන්පසු දාවිත්ගේ සේවකයෝද යෝවාබ්ද කොල්ලකෑම පිණිස පිටත්ව ගොස් බොහෝ වස්තු ලබාගන හැරී ආවෝය. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නොසිටියේය; මක්නිසාද දාවිත් ඔහු යන්ට හැරියේය, ඔහු සමාදානයෙන් ගියේය.
23 නුමුත් යෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාවද ආ විට: නේර්ගේ පුත්‍රවූ අබ්නේර් රජු ළඟට ආයේය, රජු ඔහු යන්ට හැරියේය, ඔහු සමාදානයෙන් ගියේය කියා යෝවාබ්ට කියනලද්දේය.
24 එවිට යෝවාබ් රජ්ජුරුවන් ළඟට ඇවිත්: ඔබ කළේ කුමක්ද? අබ්නේර් ඔබ වෙතට ආයේය; ඔහු ගොහින් ඉවරය. ඔබ එසේ ඔහුට යන්ට හැරියේ මක්නිසාද?
25 නේර්ගේ පුත්‍රවූ අබ්නේර් ඔබ රවටා, ඔබගේ යාම ඊමත් ඔබ කරන සියල්ලත් දැන ගන්ට ආ බව ඔබ දන්නෙහියයි කීවේය.
26 යෝවාබ් දාවිත් වෙතින් පිටතට ඇවිත් අබ්නේර් පස්සේ පණිවිඩකාරයන් යැවීය, ඔව්හු සිරා ළිඳ ළඟ සිට ඔහු නැවත කැඳවාගන ආවෝය. නුමුත් දාවිත් ඒ බව නොදත්තේය.
27 අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.
28 ඉන්පසු දාවිත් ඒ අසා: මමත් මාගේ රාජ්‍යයත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ගේ ලේ ගැන සදාකාලේටම නිදොස්ය.
29 ඒ වරද යෝවාබ්ගේ හිස පිටත් ඔහුගේ පියාගේ මුළු වංශය පිටත් පැමිණේවා; යෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහයක් ඇති කෙනෙක් හෝ කුෂ්ඨරෝගකාරයෙක් හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙක් හෝ කඩුවෙන් වැටෙන කෙනෙක් හෝ කෑම හිඟවූ කෙනෙක් හෝ නැතුව නොසිටීවයි කීවේය.
30 අබ්නේර් ගිබියොන්හි සටෙන්දී තමුන්ගේ සහෝදරවූ අසාහෙල් මැරූ නිසා යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබීෂයිද මෙසේ ඔහු මරාදැමුවෝය.
31 දාවිත් යෝවාබ්ටත් ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කථාකොට: ඔබ සැමගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි ඇඳගන, අබ්නේර්ට පෙරටුවෙන් වැලපෙමින් යන්නැයි කීවේය. දාවිත් රජද දෙනය පස්සෙන් ගියේය.
32 ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත්කළෝය. රජ ශබ්ද නගා අබ්නේර්ගේ සොහොන්පළ ළඟදී ඇඬීය. මුළු සෙනඟද ඇඬුවෝය.
33 රජ්ජුරුවෝ අබ්නේර් ගැන විලාප ගීයක් කියමින්: මෝඩයෙක් මැරෙන්නාක් මෙන් අබ්නේර් මැරෙන්ට යුතුද?
34 ඔබේ අත් නොබඳිනලද්දේය, ඔබේ පාදවල විලංගු නොදමනලද්දේය. දුෂ්ටයන් ඉදිරිපිට මනුෂ්‍යයෙක් වැටෙන්නාක්මෙන් ඔබ වැටුණෙහියයි කීවේය. නැවතද මුළු සෙනඟ ඔහු ගැන ඇඬුවෝය.
35 දවහල් ව තිබියදීම දාවිත්ට කෑම කන්ට සලස්වන පිණිස මුළු සෙනඟ ආවෝය; නුමුත් දාවිත්: මා විසින් රොටිවත් වෙන කිසි දෙයක්වත් ඉර බහින තෙක් කටට ගත්තොත් දෙවියන්වහන්සේ එසේමත් ඊට වැඩියත් මට කරනසේක්වයි කියා දිවුළේය.
36 මුළු සෙනඟද ඒක දැනගත්තෝය, ඒක ඔවුන්ට යහපත්ව පෙනුණේය. එසේම රජ්ජුරුවන් කළ සියල්ලත් මුළු සෙනඟට යහපත්ව පෙනුණේය.
37 මෙසේ නේර්ගේ පුත්‍රවූ අබ්නේර් මැරීම රජ්ජුරුවන් කෙරෙන් නොවූ බව මුළු සෙනඟද සියලු ඉශ්‍රායෙල්වරුද ඒ දවසේ දැනගත්තෝය.
38 රජ්ජුරුවෝ තමාගේ සේවකයන්ට කථාකොට: අද දවසේ ඉශ්‍රායෙල්හි අධිපතියෙක්ද උත්තමයෙක්ද වැටුණු බව ඔබ සැම දන්නේ නැද්ද?
39 මම රජ මෙන් ආලේපලත්තෙම් නුමුත් අද දුර්වලව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයෝ වූ මේ මනුෂ්‍යයෝ මට සැර වැඩිය. නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස ස්වාමීන්වහන්සේ විපාක දෙනසේක්වයි කීවේය.



පරිච්ඡේදය 4

1 අබ්නේර් හෙබ්‍රොන්හිදී මැරුණු බව සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ට සැලවූ විට ඔහුගේ අත් බෙලහීන විය, සියලු ඉශ්‍රායෙල්වරුද කැලඹුණෝය.
2 සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ.
3 බෙයේරොත්වරු ගිත්තායිම්ට පලාගොස් අද දක්වා එහි විදේශියෝව සිටිති.)
4 සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන්ට පාද කොරවූ පුත්‍රයෙක් සිටියේය. යෙස්‍රෙයෙල්හි සිටි සාවුල් සහ යොනාතාන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙක් ව සිටියේය, ඔහුගේ කිරි මවු ඔහු වඩාගෙන පලාගියාය. ඈ ඉක්මන්කර පලා යන අතර ඔහු වැටී කොරවුණේය. ඔහුගේ නම මෙඵිබොෂෙත්ය.
5 තවද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝවූ රේඛාබ්ද බානාද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේදී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුල්වුණෝය, ඉරමුදුන් වේලාව නිසා ඔහු සැතපී උන්නේය.
6 ඔව්හු තිරිඟු ගෙනයන්ට එන්නාක් මෙන් ගේ ඇතුළට පැමිණ ඔහුගේ බඩට ඇන්නෝය. රේඛාබ්ද ඔහුගේ සහෝදරවූ බානාද පැනලා ගියෝය.
7 එසේ ඔහු තමාගේ සැතපෙන ගෙයි ඇඳේ නිදා ඉන්දදී ඔව්හු ගෙට ඇතුල්වී ඔහුට ඇන, ඔහු මරා, ඔහුගේ හිස කපාදමා, එය රැගෙන මුළු රාත්‍රියේ අරබා සමභූමියේ පාරෙන් ගියෝය.
8 ඔව්හු හෙබ්‍රොන්හි සිට දාවිත් ළඟට ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනැවිත් රජුට කථාකොට: ඔබ මරන්ට සෙවුවාවූ ඔබට සතුරුවූ සාවුල්ගේ පුත්‍රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් උදෙසා අද දවසේ සාවුල්ගෙන්ද ඔහුගේ වංශයෙන්ද පළිගත්සේකැයි කීවෝය.
9 දාවිත්ද බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වන රේඛාබ්ටත් ඔහුගේ සහෝදරවූ බානාටත් උත්තර දෙමින්: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම,
10 යහපත් ආරංචියක් ගෙනෙමියි සිතාගන එක් කෙනෙක් සාවුල් මැරුණේය කියා මට දැන්වූ විට මම ඔහු අල්වා ශික්ලග්හිදී මරාදැමුවෙමි, ඔහු ගෙනා ආරංචිය ගැන මා විසින් දුන් විපාකය ඒකය.
11 තමාගේ ගෙයි තමාගේ යහනේ ඉන්දදී ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු මරාදැමු දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්ට ඕනෑ නොවේද? එබැවින් මම ඔහුගේ ලේ ඔබ සැමගේ අතින් අයකර ඔබ සැම දැන් පොළොවෙන් පහනොකරන්නෙම්දැයි කීවේය.
12 දාවිත් තමාගේ යෞවනයන්ට අණ දුන්නේය, ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා, හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබුවෝය. නුමුත් ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළෝය.



පරිච්ඡේදය 5

1 එකල සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙතට ඇවිත්: අපි ඔබගේ ඇට හා මාංසයත්ය.
2 පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට-ඔබ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය.
3 මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය.
4 දාවිත් රජවෙන කල තිස් අවුරුදු වයස් වූයේය, ඔහු සතළිස් අවුරුද්දක් රජකම්කෙළේය.
5 ඔහු හෙබ්‍රොන්හි යුදාවරුන් කෙරෙහි රජකම්කළේ සත් අවුරුදු හමාසයක්ය, යෙරුසලමේ ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන්ද යුදාවරුන්ද කෙරෙහි රජකම්කළේ තිස්තුන් අවුරුද්දක්ය.
6 රජුද ඔහුගේ මිනිස්සුද රටේ වැසියන්වූ යෙබූසිවරුන්ට විරුද්ධව යෙරුසලමට ගියෝය. ඔව්හුද: දාවිත්ට මෙහි ඇතුල්වෙන්ට බැරියයි කියා දාවිත්ට කථාකොට-ඔබ මෙහි ඇතුල් නොවන්නෙහිය, අන්ධයන් හා කොරුන් ඔබ පහකරදමනවා ඇතැයි කීවෝය.
7 නුමුත් දාවිත් සියොන් බලකොටුව අල්ලා ගත්තේය; එය දාවිත්ගේ නුවර විය.
8 ඒ දවසේදී දාවිත් කථාකොට: යෙබූසිවරුන්ට පහර දෙන සියල්ලෝම වතුර පාරට වැද, දාවිත්ගේ ආත්මය ද්වේෂකරන ඒ කොරුන්ටත් අන්ධයන්ටත් පහර දෙත්වයි කීවේය. එබැවින් අන්ධයාටත් කොරාටත් ගෙට ඇතුල්වෙන්ට නොලැබේයයි මනුෂ්‍යයෝ කියත්.
9 දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය, ඊට දාවිත්ගේ නුවරයයි නම් කෙළේය. දාවිත් මිල්ලෝ පටන් වටකරින්ද ඇතුළතින්ද ගොඩනැඟුවේය.
10 දාවිත් වඩ වඩා උතුම් වේගන ගියේය; මක්නිසාද සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක.
11 තවද තීර්හි රජවූ හීරාම් පණිවිඩකාරයන්ද කිහිරි ලීද වඩුවන්ද ගල් වඩුවන්ද දාවිත් වෙතට එවුවේය. ඔව්හු දාවිත්ට ගෙයක් ගොඩනැඟුවෝය.
12 තමා ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ස්වාමීන්වහන්සේ විසින් පිහිටෙවු බවත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසා තමාගේ රාජ්‍යය උසස්කළ බවත් දාවිත් දැනගත්තේය.
13 දාවිත් හෙබ්‍රොන්හි සිට ආවාට පසු තවත් උප භාර්යාවන්ද භාර්යාවන්ද යෙරුසලමෙන් පාවාගත්තේය. තව පුත්‍රයෝද දූවරුද දාවිත් නිසා උපන්නෝය.
14 යෙරුසලමේදී ඔහු නිසා උපන්නවුන්ගේ නම් මේය: ෂම්මුවාද ෂෝ‍‍බාබ්ද නාතාන්ද සාලමොන්ද,
15 ඉබ්හාර්ද එලීෂුවාද; නෙපෙග්ද යපියාද;
16 එලීෂාමාද එලීයාදා සහ එලිපෙලෙත්ද යනුයි.
17 දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනලද බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය; දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේය.
18 පිලිස්තිවරු ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය.
19 දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා පිලිස්තිවරුන්ට විරුද්ධව යන්ටද? ඔබවහන්සේ ඔවුන් මා අතට පාවාදෙනසේක්දැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්න. මක්නිසාද මම සැබවින් පිලිස්තිවරුන් ඔබ අතට පාවාදෙන්නෙමියි දාවිත්ට කීසේක.
20 දාවිත් බාල්-පෙරාශීම්ට ඇවිත් එහිදී ඔවුන්ට පහරදී: ස්වාමීන්වහන්සේ ජල බිඳීමක් මෙන් මා ඉදිරියේ මාගේ සතුරන් බින්දසේකැයි කීවේය. එබැවින් ඔහු ඒ ස්ථානයට බාල්-පෙරාශීම්යයි. නම් තැබීය.
21 ඔව්හු තමුන්ගේ රූප එහි දමා ගියෝය, දාවිත්ද ඔහුගේ මිනිස්සුද ඒවා රැගෙන ගියෝය.
22 පිලිස්තිවරු නැවතත් ඇවිත් රෙඵාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝය.
23 දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල්හි උන්වහන්සේ: ඔබ ඉස්සරහට නොයන්න. වටකරින් ඔවුන්ට පිටිපස්සෙන් ගොස් ඇඹිල්ල ගස්වලට ඉස්සරහපිටින් ඔවුන් ළඟට පැමිණියන්න.
24 තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් ඔබට ඇසෙනකල කඩිසර වෙන්න. මක්නිසාද ඒ වේලාවට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස ඔබට පෙරටුව පිටත්ව යනසේකැයි කීසේක.
25 දාවිත් ස්වාමීන්වහන්සේ අණකළ හැටියට කොට ගෙබාහි සිට ගෙසේර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේය.



පරිච්ඡේදය 6

1 ඉශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් සියල්ලන් වන තිස්දහසක් මනුෂ්‍යයන් දාවිත් නැවත රැස්කෙළේය.
2 දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යුදාහි බායාලෙට ගියේය.
3 ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය හෙලෙහි තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් අලුත් ගැළක තබා ගෙනාවෝය. අබිනාදාබ්ගේ පුත්‍රයෝවූ උස්සාද අහියෝද අලුත් ගැළ දැක්කුවෝය.
4 ඔව්හු හෙලෙහි තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙන ගැළේ තබා ගෙනාවෝය. අහියෝ ගිවිසුම් පෙට්ටියට පෙරටුව ගියේය.
5 දාවිත් සහ මුළු ඉශ්‍රායෙල් වංශය සියලු ආකාර දේවදාර තූර්යභාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද වීණාවලින්ද රබන්වලින්ද කයිතාලම්වලින්ද අත්තල්වලින්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගායනාකරමින් නැටූහ.
6 ඔවුන් නාබොත්ගේ පාවරට පැමිණි විට හරක් දැඟලූ බැවින්, උස්සා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට අත දිඟුකොට එය ඇල්ලුවේය.
7 එවිට ස්වාමීන්වහන්සේගේ උදහස උස්සාට විරුද්ධව ඇවුළුණේය; ඒ වරද නිසා දෙවියන්වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මළේය.
8 ස්වාමීන්වහන්සේ උස්සාට පහරදුන් බැවින් දාවිත් ඛෙදයට පත්වී ඒ ස්ථානයට පෙරෙශ්-උස්සා. යන නම තැබුවේය,
9 ඒ නාමය අද දක්වා පවතී. ඒ දවසේදී දාවිත් ස්වාමීන්වහන්සේට භයව: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා ළඟට එන්නේ කෙසේදැයි කීවේය.
10 මෙසේ දාවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්ට අකැමැතිව අහකට හරවා ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය.
11 ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයි තුන් මාසයක් තිබුණේය. ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළසේක.
12 තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය.
13 තවද ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය උසුලන්නන් අඩි හයක් ගිය කල ඔහු ගොනෙක්ද තර වස්සෙක්ද පූජාකෙළේය.
14 දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය.
15 මෙසේ දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ඔල්වරහඬත් හොරණෑ ශබ්දයත් ඇතුව ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.
16 තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් ඔහු හෙළාදැක්කාය.
17 තවද ඔව්හු ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇතුළට ගෙනවුත් දාවිත් ඊට පිහිටුවා තිබුණ කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි එය තැබුවෝය. දාවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජා හා ශාන්ති පූජා ඔප්පුකෙළේය.
18 දාවිත් දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකර තීන්දුකළ පසු සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාදකෙළේය.
19 තවද ඔහු මුළු සෙනඟට එනම් ඉශ්‍රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාටත් ස්ත්‍රීටත් රොටියකුත් මස් කැබෙල්ලකුත් වියළි මුද්‍රිකඵල කැටියකුත් දුන්නේය. එවිට මුළු සෙනඟ තම තමුන්ගේ ගෙවලට ගියෝය.
20 දාවිත්ද තමාගේ ගෙයි වැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරීගියේය. සාවුල්ගේ දූවූ මීඛල් දාවිත්ගේ පෙරමගට අවුත් කථාකොට: කමකට නැති කෙනෙක් ලජ්ජා නැතිව තමාගේ ඇඳුම් ගළවා දමන්නාක් මෙන් අද තමාගේ මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගළවාදැමූ ඉශ්‍රායෙල් රජතුමා අද කොපමණ තේජවත් නොවීදැයි කීවාය.
21 දාවිත් මීඛල්ට කථාකොට: ඒ සිද්ධවුණේ ස්වකීය සෙනඟ වන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි අධිපතියා කොට පත්කරන පිණිස ඔබේ පියාත් ඔහුගේ මුළු වංශයත් පහකොට මා තෝරාගත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිය. ඒ නිසා මම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ක්‍රීඩාකරන්නෙමි,
22 මම ඊටත් වඩා නීචව මාගේම ඇස් ඉදිරිපිට පහත්වන්නෙමි. නුමුත් ඔබ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමියි කීවේය.
23 එබැවින් සාවුල්ගේ දුවවූ මීඛල්ට ඈ මැරෙන දවස දක්වා දරුවෙක් නොලැබුණේය.



පරිච්ඡේදය 7

1 රජුගේ සියලු සතුරන්ගෙන් ස්වාමීන්වහන්සේ ඔහුට හාත්පසින්ම නිදහස දුන්නායින් පසු ඔහු තමාගේ ගෘහයේ වාසයකරන අතර,
2 රජ ප්‍රොපේතවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම දැන් කිහිරි ලී ගෙයක වසමි, එහෙත් දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිර ඇතුළේ වාසයකරනවායයි කීවේය.
3 එවිට නාතාන්: ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි රජුට කීවේය.
4 තවද එම රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ:
5 ඔබ ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියන්න-මාගේ වාසස්ථානය කොට ඔබ මට ගෘහයක් ගොඩනගන්නෙහිද?
6 මම ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ගෙනා දවස පටන් අද දක්වා ගෙයක නොවැස කූඩාරමකද මණ්ඩපයකද හැසුරුණෙමි.
7 මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනයකරන්ට මාගෙන් අණ ලැබූ යම් ඉශ්‍රායෙල් ගෝත්‍රයකට: ඔබ සැම මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැගුවේ මක්නිසාද යන වචනයක් මා සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි හැසුරුණ කොයි ස්ථානයකදීවත් කීවෙම්ද?
8 එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද ඔබ ගත්තෙමි.
9 ඔබ ගිය හැම තැන්හිම මම ඔබ සමඟ සිට ඔබේ සතුරන් ඔබ ඉදිරියෙන් සිඳ දැමුවෙමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාමය මෙන් මහත් නාමයක් ඔබට සාදා දෙන්නෙමි.
10 මාගේ සෙනඟ වූ ඉශ්‍රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකරමින් තවත් අහක් නොවෙන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි;
11 මුලදී කළ ලෙසද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි විනිශ්චයකාරයන් පත්කළ කාලයේ සිට කළ ලෙසද දුෂ්ටකමේ දරුවෝ තවත් ඔවුන්ට පීඩා නොකරන්නෝය. ඔබේ සියලු සතුරන්ගෙන් ඔබට නිදහස ලැබෙන්ට සලස්වන්නෙමි. ඇරත් ස්වාමීන්වහන්සේ ඔබට වංශයක් සාදාදෙන බව ස්වාමීන්වහන්සේ ඔබට දන්වන සේක.
12 ඔබේ දවස් සම්පූර්ණවී ඔබේ පියවරුන් සමඟ ඔබ සැතපුණු කල්හි, මම ඔබෙන් පැවත එන ඔබේ බීජය ඔබට පසුව පිහිටුවා ඔහුගේ රජකම ස්ථිරකරන්නෙමි.
13 ඔහුම මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්නේය, ඔහුගේ රජකමේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරන්නෙමි.
14 මම ඔහුට පියා වන්නෙමි, ඔහු මට පුත්‍රයා වන්නේය. ඔහු අයුතුකම් කළොත් මම මනුෂ්‍යයන්ගේ ඉපලෙන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ පහරවලින්ද ඔහුට දඬුවම් කරන්නෙමි;
15 එහෙත් ඔබ ඉදිරියෙන් මා විසින් අහක්කළ සාවුල්ගෙන් මාගේ කරුණාව පහකළාක් මෙන් ඔහුගෙන් එය පහනොවන්නේය.
16 ඔබේ වංශයද රජකමද ඔබ ඉදිරියෙහි සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය. ඔබේ සිංහාසනයද සදාටම පිහිටුවනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.
17 මේ සියලු වචනවල හැටියටත් මේ මුළු දර්ශනය ලෙසත් නාතාන් දාවිත්ට කීවේය.
18 එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද?
19 එහෙත් ස්වාමිවූ දෙවියන්වහන්ස, මේකත් ඔබ ඉදිරියෙහි මදිව මතු බොහෝ කලකට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ කථාකළසේක; ඒත් ස්වාමිවූ දෙවියන්වහන්ස, මනුෂ්‍ය ප්‍රකාරයටය.
20 දාවිත් ඔබට තවත් මක්කියන්ටද? ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබනම් ඔබගේ මෙහෙකරුවා දන්නාසේක.
21 ඔබ මේ මුළු මහත් දේ කොට ඔබගේ මෙහෙකරුවාට දැන්නුවේ ඔබගේ වචනය නිසාත් ඔබගේ සිතේ හැටියටත්ය.
22 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබවහන්සේ උතුම්ව සිටිනසේක. අපේ කන්වලින් ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත, ඔබ ඇර වෙන කිසි දෙවිකෙනෙක්ද නැත.
23 පොළොවේ මොන ජාතියක් ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට සමානද? මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදාගන්න පිණිස ඊමටත් තමන්ට නාමයක් උපදවාගැනීමටත් ඔබ මිසරයෙන්ද ජාතීන්ගෙන්ද ඔවුන්ගේ දෙවිවරුන්ගෙන්ද ඔබට මුදාගත්තාවූ ඔබගේ සෙනඟ ඉදිරියේදී ඔබගේ දේශය උදෙසා ඔබ මහත්වූ භයානකවූ දේ කළසේක.
24 මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඔබ සදාකාලේටම ඔබට සෙනඟක් කොට ස්ථිරකරගන ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක.
25 ඉතින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාද ඔහුගේ වංශයද ගැන ඔබ කී වචනය සදාකාලේටම ස්ථිරකොට ඔබ කී ලෙස කළමැනව.
26 ඉශ්‍රායෙල් කෙරෙහි දෙවියන්වහන්සේව සිටින්නේ සේනාවල ස්වාමීන්වහන්සේයයි කියනු ලැබීමෙන් ඔබගේ නාමය සදාකල් වර්ණනාකරනු ලැබේවා. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථිරව තිබේ.
27 මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස,--මම ඔබට වංශයක් සාදන්නෙමියි කියා ඔබගේ මෙහෙකරුවාට ඔබ එළිදරව් කළසේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පුකරන්ට ඔබගේ මෙහෙකරුවා, ධෛර්ය ගත්තේය.
28 ඉතින් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබම දෙවියන්වහන්සේය, ඔබගේ වචන සැබෑමය, ඔබද ඔබගේ මෙහෙකරුවාට මේ යහපත් දෙය පොරොන්දුවූසේක.
29 එබැවින් ඔබගේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදාකාලේටම පවතින පිණිස ඊට ආශීර්වාදකරන්ට ඔබ කැමතිවනසේක්වා. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබ ඒක කීසේක. ඔබගේ ආශීර්වාදයෙන් ඔබගේ මෙහෙකරුවාගේ වංශය සදාකාලේටම ආශීර්වාදකරනු ලබාවයි කීවේය.



පරිච්ඡේදය 8

1 ඉන්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගෙන, අගනුවර ප්‍රධානකම පිලිස්තිවරුන් අතින් පැහැර ගත්තේය.
2 ඔහු මෝවබ්වරුන්ටත් පහරදී, ඔවුන් බිම දිගාවෙන්ට සලස්වා, ලනුවකින් මැන්නේය; මරණ පිණිස පේළි දෙකක්ද ඉතුරුකරන පිණිස එක සම්පූර්ණ පේළියක්ද මැන්නේය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ ව කප්පන් ගෙනාවෝය.
3 තවද රෙහෝබ්ගේ පුත්‍රයාවූ ශෝබාහි රජවූ හදද්එසෙර් ප්‍රාත් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්ට යද්දී දාවිත් ඔහුටත් පහරදී,
4 අසරුවන් එක්දාස් සත්සියයක්ද පාබළ සෙනඟ විසිදාහක්ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතුරුකරගන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කැපුවේය.
5 දමස්කයෙහි සිරියවරු ශෝබාහි රජවූ හදද්එසෙර්ට උපකාරකරන්ට ආවෝය, එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදාහකට පහර දී,
6 දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
7 දාවිත් හදද්එසෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පලිස් රැගෙන යෙරුසලමට ගෙනාවේය.
8 බෙටාද බෙරොතයිද යන හදද්එසෙර්ගේ නුවරවලින් දාවිත් රජ පිත්තල බොහෝසෙයින්ම ගත්තේය.
9 දාවිත් හදද්එසෙර්ගේ මුළු සේනාවට පහරදුන් බව හමාත්හි රජවූ තොයි අසා,
10 දාවිත් එසේ හදද්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් නිසා දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ යෝරාම් එවුවේය. මක්නිසාද හදද්එසෙර් සහ තොයි අතරේ යුද්ධ පැවතුණේය. යෝරාම් රිදී බඩුද රන් බඩුද පිත්තල බඩුද ගෙනාවේය.
11 දාවිත් රජ යටත්කරගත් සියලු ජාතීන් වන සිරියවරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද
12 අමලෙක්වරුන්ගෙන්ද රෙහෝබ්ගේ පුත්‍රයාවූ ශෝබාහි රජවූ හදද්එසෙර්ගෙන් ගත් කොල්ලයෙන්ද කැපකළාවූ රන් රිදී සමඟ ඒවාත් ස්වාමීන්වහන්සේට කැපකළේය.
13 දාවිත් ලුණු මිටියාවතේදී සිරියවරුන්ගෙන් දහඅට දාහකට පහරදී හැරී ආ කල ඔහු කීර්තිමත්වුණේය.
14 ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක.
15 දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ටකෙළේය.
16 ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සේනාපතියාව සිටියේය; අහිලූද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාත් වාර්තාකරුවාව සිටියේය.
17 අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය,
18 යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.



පරිච්ඡේදය 9

1 දාවිත් කථාකොට: සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරුව සිටිනවාද? සිටිනවා නම් මම යොනාතාන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමියි කීවේය.
2 සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය, ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගන ආ කල: ඔබ ශීබාදැයි රජ ඔහුගෙන් ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඒයයි කීවේය.
3 රජද: සාවුල්ගේ වංශයේ කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව ඇත්නම් මම ඔහුට දෙවියන්වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමියි කීවේය. ශීබාද: යොනාතාන්ගේ පුත්‍රයෙක් තවම සිටියි, ඔහු පාදකොරවූ කෙනෙක්යයි රජුට කීවේය.
4 එවිට: ඔහු කොතැනදැයි රජ ඔහුගෙන් ඇසුවේය. ශීබාද: ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත්‍රවූ මාකීර්ගේ ගෙදර සිටීයයි රජුට කීය.
5 එවිට දාවිත් රජ පණිවිඩ යවා ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත්‍රවූ මාකීර්ගේ ගෙදරින් ඔහු ගෙන්වූයේය.
6 සාවුල්ගේ පුත්‍රයා වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් දාවිත් වෙතට ඇවිත් මුහුණින් වැටී වැන්දේය. දාවිත්ද: මෙපිබොෂෙත්යයි කීය. ඔබගේ මෙහෙකරුවා මෙහියයි ඔහු උත්තරදුන්නේය.
7 දාවිත් කථාකොට: භයනොවෙන්න. සැබෑවටම ඔබේ පියවූ යොනාතාන් නිසා මම ඔබට කරුණාව පෙන්වා ඔබේ පියවූ සාවුල්ගේ සියලු ගම්බිම් ඔබට නැවත දෙන්නෙමි; ඔබ වනාහි මාගේ මේසයේ නිතර කෑම කන්නෙහියයි ඔහුට කීය.
8 ඔහු වැඳ කථාකොට: ඔබ විසින් මා වැනි මළ බල්ලෙකු සැලකීමට ඔබගේ මෙහෙකරුවා කවුදැයි කීවේය.
9 එවිට රජ සාවුල්ගේ වැඩකාරයා වූ ශීබාට අඬගසා: සාවුල්ටත් ඔහුගේ මුළු වංශයටත් අයිතිව තිබුණ සියල්ල ඔබේ ස්වාමිහුගේ පුත්‍රයාට දුනිමි.
10 එබැවින් ඔබේ ස්වාමිහුගේ පුත්‍රයාට ආහාර කන්නට ලැබෙන පිණිස ඔබ සහ ඔබේ පුත්‍රයෝද ඔබේ වැඩකාරයෝද ඔහු උදෙසා ඒ බිම් වගාකොට එහි අස්වැන්න ගෙනෙන්න. නුමුත් ඔබේ ස්වාමිහුගේ පුත්‍රවූ මෙපිබොෂෙත් මාගේ මේසයේ නිතරම කෑම කනවා ඇතැයි කීවේය. ශීබාට පුත්‍රයන් පසළොස්දෙනෙක් හා වැඩකාරයන් විසිදෙනෙක් සිටියෝය.
11 එවිට ශීබා: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාට අණකරන සියල්ල ලෙස ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. මෙපිබොෂෙත් වනාහි රාජ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් රජුගේ මේසයේ කෑම කෑවේය.
12 මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් විය. ශීබාගේ ගෙයිවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයෝව සිටියෝය.
13 මෙලෙස මෙපිබොෂෙත් යෙරුසලමේ විසීය. මක්නිසාද ඔහු රජුගේ මේසයේ නිතරම කෑම කෑවේය; ඔහුගේ දෙපයම කොරව තිබුණේය.



පරිච්ඡේදය 10

1 ඉන්පසු අම්මොන් පුත්‍රයන්ගේ රජ මැරුණේය, ඔහුගේ පුත්‍රවූ හානුන් ඔහු වෙනුවට රජවුණේය.
2 දාවිත්ද: හානුන්ගේ පියවූ නාහෂ් මට කරුණාව පෙන්වූ ලෙස මම හානුන්ට කරුණාව පෙන්වන්නෙමියි කියා, ඔහුගේ පියා ගැන ඔහු සනසන පිණිස තමාගේ සේවකයන් අත කියා ඇරියේය. දාවිත්ගේ සේවකයෝ අම්මොන් පුත්‍රයන්ගේ දේශයට පැමුණුණෝය.
3 එහෙත් අම්මොන් පුත්‍රයන්ගේ අධිපතීහු තමුන්ගේ ස්වාමිවූ හානුන්ට කථාකොට: දාවිත් ඔබ ළඟට සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබගේ පියාණන්ට ගෞරවකරන්නේයයි ඔබ සිතනවාද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙතට එව්වේ නුවර සෝදිසිකර ඔත්තු බලා ඒක විනාශකරන අදහසින් නොවේදැයි කීවෝය.
4 එබැවින් හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා ඔවුන්ගේ රැවුලෙන් බාගයක් බූගා දමා, තට්ටම් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා, ඔවුන් යන්ට ඇරියේය.
5 ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බවෙන්ට මිනිසුන් ඇරියේය; මක්නිසාද ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් ලජ්ජාවට පැමිණ සිටියෝය. ඔබ සැමගේ රැවුල් වැඩෙන කල් යෙරිකෝවෙහි නැවතී සිට පසුව හැරී එන්නැයි රජ කියා ඇරියේය.
6 තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය.
7 දාවිත් ඒ අසා යෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවුවේය.
8 අම්මොන් පුත්‍රයෝ පිටතට ඇවිත් දොරටුව ළඟ යුද්ධයට පිළිවෙළින් සිටියෝය; ශෝබාහිද රෙහෝබ්හිද ටෝබ්හිද මයකාහිද මනුෂ්‍යයොත් භූමියෙහි වෙනම සිටියෝය.
9 ඉස්සරින්ද පස්සෙන්ද යුද්ධය තමාට විරුද්ධව යොදා තිබෙන බව යෝවාබ් දැක සියලු බලවන්ත ඉශ්‍රායෙල්වරුන්ගෙන් පංගුවක් තෝරාගෙන සිරියවරුන්ට විරුද්ධව සිටුවා,
10 අනික් සෙනඟ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සිටුවන පිණිස ඔවුන් තමාගේ සහෝදරවූ අබිෂයි අතට භාරදී කථාකොට;
11 සිරියවරුන් මට වඩා බලවත්වුණොත් ඔබ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් ඔබට වඩා බලවත්වුණොත් මම ඇවිත් ඔබට උපකාරකරන්නෙමි.
12 ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය.
13 මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.
14 සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයෝ දැක ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් අම්මොන් පුත්‍රයන් වෙතින් යෙරුසලමට හැරී ආයේය.
15 සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක එකට රැස්වූවෝය.
16 හදර්එසෙර්ද ප්‍රාත් ගංගාවට එගොඩින් සිටිය සිරියවරුන් ගෙන්වාගත්තේය. ඔව්හුද ඔවුන්ට පෙරටුව හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝ‍‍බාද හේලාම්ට ආවෝය.
17 එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩවී හේලාම්ට ගියේය.
18 සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝ‍‍බාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය.
19 එවිට හදර්එසෙර්ට සේවකයෝවූ සියලු රජවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන්ට සේවයකළෝය. මෙසේ සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට භයවූහ.



පරිච්ඡේදය 11

1 තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත්ව යන කාලයේ දාවිත් යෝවාබ්ද ඔහු සමඟ තමාගේ සේවකයන්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද හැරියේය; ඔව්හු අම්මොන් පුත්‍රයන් විනාශකොට රබ්බා වටලූහ. නුමුත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේය.
2 දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.
3 දාවිත් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කෙරෙව්වේය. එක්කෙනෙක් කථාකොට: ඈ එලියාම්ගේ දුවවූ, හිත්තීය උරියාගේ භාර්යාවවූ බැත්-ෂෙබා නොවේදැයි කීය.
4 දාවිත් පණිවිඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේය; ඈ ඔහු ළඟට ආවාය, ඔහු ඈ සමඟ සයනය කෙළේය. (ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදුවී සිටියාය.) ඈ තමාගේ ගෙදරට හැරී ගියාය.
5 ඒ ස්ත්‍රි ගැබ්ගෙන: මම භාර්භණීව සිටිමියි දාවිත්ට දන්වා යැවුවාය.
6 එවිට දාවිත්: හිත්තීය උරියා මා වෙතට එවන්නැයි යෝවාබ්ට කියා යැවීය. යෝවාබ් දාවිත් ළඟට උරියා හැරියේය.
7 උරියා ඔහු ළඟට ආ කල දාවිත් යෝවාබ්ගේද සෙනඟගේද සැපසනීපත් යුද්ධය කෙරීගනයන හැටිත් ඔහුගෙන් විචාළේය.
8 පසුව දාවිත්: ඔබ ගෙදර ගොස් ඔබේ පාද සෝදාගන්නැයි උරියාට කීවේය. උරියා රජ ගෙදරින් පිටතට ගියේය, රජුගෙන් ආහාර කොටසක් ඔහු පස්සෙන් හරින ලද්දේය.
9 එහෙත් උරියා තමාගේ ගෙදරට නොගොස් තමාගේ ස්වාමිහුගේ සියලු මෙහෙකරුවන් සමඟ රජ ගෙයි දොරකඩ නිදාගත්තේය.
10 උරියා තමාගේ ගෙදරට නොගියේයයි දාවිත්ට දැන්වූකල දාවිත් උරියාට කථාකොට: ඔබ ගමනක් ගොස් ආවා නොවේද? ඔබ ගෙදර නොගියේ මක්නිසාදැයි ඇසුවේය.
11 උරියා දාවිත්ට කථාකොට: ගිවිසුම් පෙට්ටියද ඉශ්‍රායෙල්වරුද යුදාවරුද පැල්වල සිටිති; මාගේ ස්වාමිවූ යෝවාබ්ද මාගේ ස්වාමිහුගේ සේවකයෝද එලිමහනේ කඳවුරු බැඳගෙන සිටිති; එසේ නම් මම කන්ටත් බොන්ටත් මාගේ භාර්යාව සමඟ සයනයකරන්ටත් මාගේ ගෙදරට යම්ද? ඔබ ජීවත්වන බවද ඔබගේ ආත්මය ජීවත්වන බවද සැබෑවාසේම මම එසේ නොකරමියි කීය.
12 දාවිත්ද: අදත් මෙහි සිටින්න, හෙට ඔබ යන්ට හරින්නෙමියි උරියාට කීවේය. එසේ උරියා එදාත් පසුවදාත් යෙරුසලමෙහි සිටියේය.
13 පසුව දාවිත් ඔහු කැඳවූ කල්හි ඔහු ඇවිත් රජ ඉදිරියෙහි කෑවේය, බීවේය; රජතෙමේ ඔහු වෙරිකෙළේය. ඔහු සවස තමාගේ ස්වාමිහුගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදාගන්ට පිටතට ගියේය. එහෙත් තමාගේම ගෙදරට ගියේ නැත.
14 පසුවදා දාවිත් යෝවාබ්ට ලියුමක් ලියා ඒක උරියා අත ඇරියේය.
15 ඒ ලියුමේ ලිව්වේ: සටන ඉතා බලවත්ව තිබෙන තැන පෙරමුණේම උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වෙන්නය කියාය.
16 යෝවාබ් නුවර රැක සිටියදී, වික්‍රමාන්විත මනුෂ්‍යයන් සිටින බව ඔහු දන්න ස්ථානයෙහි උරියා සිටෙව්වේය.
17 නුවර මනුෂ්‍යයෝ පිටතට ඇවිත් යෝවාබ් සමඟ යුද්ධකළෝය. එවිට සෙනඟගෙන් එනම් දාවිත්ගේ සේවකයන්ගෙන් සමහරෙක් වැටුණෝය; හිත්තීය උරියා ද මැරුම් කෑවේය.
18 එවිට යෝවාබ් යුද්ධය ගැන සියලු කාරණා දාවිත්ට දන්වා ඇරියේය;
19 ඔහු පණිවිඩකාරයාට කථාකොට: ඔබ යුද්ධය ගැන සියලු කාරණා රජ්ජුරුවන්ට කියා නිමවූ කල,
20 රජු කෝපවී: ඔබ සැම සටන්කරන පිණිස නුවරට එපමණ ළංවුණේ මක්නිසාද? ඔවුන් පවුරේ සිට විදින බව දන්නේ නැද්ද?
21 යෙරුබ්බෙෂෙත්ගේ පුත්‍රවූ අබිමෙලෙක් මරනලද්දේ කා විසින්ද? තේබේශ්හිදී ස්ත්‍රියෙක් පවුරේ සිට ඔහු පිටට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නොවේද? ඔබ සැම එපමණ පවුරට ළංවුණේ මක්නිසාදැයි ඔබට කීවොත්-ඔබගේ සේවකයාවූ හිත්තීය උරියාද මළේයයි කියන්නැයි ඔහුට අණකෙළේය.
22 මෙසේ පණිවිඩකාරයා ගොස් යෝවාබ් තමා අත කියා හැරිය සියල්ල දාවිත්ට දැන්නුවේය.
23 පණිවිඩකාරයා දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයන් අපට විරුද්ධව බලවත්වී අපට විරුද්ධව පිටතට ආ විට අපිත් දොරටුව දක්වා ඔවුන්ට විරුද්ධව ගියෙමුව.
24 එවිට දුනුවායෝ පවුරේ සිට ඔබගේ සේවකයන්ට විද්දෝය; රජ්ජුරුවන්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මළෝය, හිත්තීය උරියා නම්වූ ඔබගේ සේවකයාත් මළේයයි කීවේය.
25 එවිට දාවිත් පණිවිඩකාරයාට කථාකොට: ඔබ යෝවාබ්ට මෙසේ කියන්න-මේ කාරණය ගැන කනගාටු නොසිතන්න; මක්නිසාද කඩුව එකෙකු නසන්නාක් මෙන් අනිකෙකුද නසන්නේය. නුවරට විරුද්ධව සටන තව බලතරකොට ඒක බිඳහෙලන්න කියා ඔහුට ධෛර්ය දෙන්නැයි කීවේය.
26 උරියාගේ භාර්යාව තමාගේ පුරුෂයාවූ උරියා මැරුණු බව අසා තමාගේ පුරුෂයා ගැන වැලපුණාය.
27 වැලපීමේ කාලය නිමවූ කල දාවිත් තමාගේ ගෙට ඈ ගෙන්වාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වී ඔහුට පුත්‍රයෙකු බිහිකළාය. නුමුත් දාවිත් කළ ක්‍රියාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණේය.



පරිච්ඡේදය 12

1 තවද ස්වාමීන්වහන්සේ දාවිත් වෙතට නාතාන් යැවූසේක. ඔහු දාවිත් ළඟට ඇවිත් කථාකොට: එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියෝය; එක්කෙනෙක් ධනවතෙක්ය, අනික් අය දිළින්දෙක්ය.
2 ධනවතාට බැටළු රැළවල්ද ගව රැළවල්ද ඉතා මහත් ගණනක් වූහ.
3 නුමුත් දිළින්දාට තමා මිලේට ගෙන ඇතිකළාවූ එක කුඩා බැටළු වැස්සියෙකු හැර වෙන කිසිවක් නොවීය. ඈ ඔහු වෙතම ඔහුගේ දරුවන් සමඟ වැඩෙමින්ද ඔහුගේ කෑම ටිකෙන් කමින්ද ඔහුගේ කුසලානෙන් බොමින්ද ඔහුගේ ළයෙහි හෝමින්ද ඔහුට දුවෙකු මෙන් සිටියාය.
4 ධනවතා ළඟට ගමන් යන්නෙක් ආයේය, ඔහු තමා ළඟට ආ මගියාට කෑම පිළියෙළකරන පිණිස තමාගේම බැටළුවන්ගෙන්වත් ගවයින්ගෙන්වත් ගන්ට අකැමැතිවී දිළින්දාගේ බැටළු වැස්සිය රැගෙන තමා ළඟට ආ මනුෂ්‍යයාට කෑම පිළියෙළකෙළේයයි ඔහුට කීය.
5 එවිට දාවිත්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිළ, ඔහු නාතාන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය.
6 ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.
7 එවිට නාතාන් දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයා ඔබය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම ඔබ ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකර මමම ඔබ සාවුල් අතින් ගළවාගතිමි.
8 මම ඔබේ ස්වාමිහුගේ වංශයද ඔබේ ළයට ඔබේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්‍රායෙල් සහ යුදා වංශයත් ඔබට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ ඔබට දෙන්නෙමි.
9 ඔබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? ඔබ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව ඔබට භාර්යාව කොට ගත්තෙහිය, ඔබ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය.
10 ඉතින් ඔබ මා සුළුකොට සිතා හිත්තීය උරියාගේ භාර්යාව ඔබට භාර්යා කොට ගත් බැවින් කඩුව කිසිකලක ඔබේ වංශයෙන් පහනොවන්නේය.
11 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම ඔබට විරුද්ධව ඔබේම පවුලෙන් විපත්ති උපදවා, ඔබේ ඇස් ඉදිරියේදී ඔබේ භාර්යාවන් රැගෙන ඔබේ අසල්වාසියෙකුට දෙන්නෙමි; හෙතෙම මේ සූර්යයා ඉදිරියෙහි ඔබේ භාර්යාවන් සමඟ සයනයකරන්නේය.
12 මක්නිසාද ඔබ ඒක රහසින්කෙළහිය. නුමුත් මම සියලු ඉශ්‍රායෙල්වරුන්ද සූර්යයාද ඉදිරියෙහි මේ දේ කරවන්නෙමියි කියනසේකැයි කීවේය.
13 එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ ඔබේ පාපය පහකළසේක, ඔබ නොනස්නෙහිය.
14 නුමුත් ඔබ මේ ක්‍රියාව කරණකොටගෙන අපහාසකරන්ට ස්වාමීන්වහන්සේගේ සතුරන්ට අවකාශ දුන් බැවින් ඔබ නිසා උපන් ළදරුවා සැබවින්ම මැරෙන්නේයයි දාවිත්ට කීයේය.
15 නාතාන් තමාගේ ගෙදරට ගියේය. උරියාගේ භාර්යාව දාවිත් නිසා බිහිකළ ළදරුවාට ස්වාමීන්වහන්සේ පහරදුන්සේක, ළදරුවා ඉතා රෝගාතුරවිය.
16 එබැවින් දාවිත් ළදරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කෙළේය; දාවිත් නිරාහාරව සිට ගෙට ඇතුල්වී රාත්‍රිය මුළුල්ලෙහි බිම වැතිර උන්නේය.
17 ඔහු බිමෙන් නැගුටුවන්ට ඔහුගේ ගෙදර වැඩිමහල්ලෝ නැගිට ඔහු ළඟ සිටියෝය. එහෙත් ඔහු කැමතිවුණේ නැත, ඔවුන් සමඟ කෑම කෑවෙත් නැත.
18 සත්වෙනිදා ළදරුවා මැරුණේය. දාවිත්ගේ සේවකයෝ ළදරුවා මැරුණු බව ඔහුට දන්වන්ට භයවූහ. මක්නිසාද: ළදරුවා ජීවත්ව සිටියදී අප ඔහුට කථාකළ විට ඔහු අපේ හඬට ඇහුම්කන්දුන්නේ නැත. ඉදින් දැන් ළදරුවා මැරුණ බව ඔහුට කීවොත් තමාටම යම් අනතුරක් කරනොගන්නේදැයි ඔව්හු කීවෝය.
19 නුමුත් දාවිත් තමාගේ මෙහෙකරුවන් කොඳුරනවා දැක ළදරුවා මැරුණු බව ඔහුට දැනී: ළදරුවා මැරුණාදැයි මෙහෙකරුවන්ගෙන් ඇසීය. මැරුණායයි ඔව්හු කීවෝය.
20 එවිට දාවිත් බිමින් නැගිට නා තෙල්ගාගන, තමාගේ වස්ත්‍ර මාරුකර, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වී නමස්කාරකොට, පසුව තමාගේ ගෙට ආයේය; තවද ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්ට කියා ඉල්ලා කෑම අනුභවකෙළේය.
21 එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔබ කළ මේ දේ මොකද? ළදරුවා ජීවත්ව සිටියදී ඔබ ඔහු ගැන නිරාහාරව ඇඬුවෙහිය; නුමුත් ළදරුවා මැරුණු විට ඔබ නැගිට කෑම කෑයෙහියයි කීවෝය.
22 ඔහුද: ළදරුවා ජීවත්ව සිටියදී මම නිරාහාරව සිට ඇඬුවෙමි. මක්නිසාද-ළදරුවා ජීවත්වෙන ලෙස ස්වාමීන්වහන්සේ මට කරුණාකරනසේක්ද නැද්දැයි දන්නේ කවුදැයි සිතුවෙමි.
23 නුමුත් දැන් ඔහු මැරුණායින් පසු කුමට නිරාහාරව සිටිම්ද? ඔහු නැවත ගෙන්වාගන්ට මට පුළුවන්ද? මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැතැයි කීය.
24 පසුව දාවිත් තමාගේ භාර්යාවවූ බැත්-ෂෙබා සනසා ඈ ළඟට පැමිණ ඈ සමඟ සයනයකෙළේය. ඈ පුත්‍රයෙකු බිහිකළාය, ඔහු සාලමොන් යන නාමය ඔහුට තැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක;
25 උන්වහන්සේ අනාගතවක්තෘවූ නාතාන් අත කියා හැරියසේක, ස්වාමීන්වහන්සේ නිසා ඔහුට .යෙදීදියා යන නම තබන ලද්දේය.
26 යෝවාබ් අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාට විරුද්ධව යුද්ධකොට රාජධානිය අල්ලාගත්තේය.
27 යෝවාබ් දාවිත් වෙතට පණිවිඩකාරයන් යවමින්: රබ්බාට විරුද්ධව යුද්ධකෙළෙමි, ජල නුවරද අල්වාගතිමි.
28 එබැවින් මා විසින් ඒ නුවර අල්ලා ගැනීමෙන් ඊට මාගේ නාමය නොලැබෙන පිණිස ඔබ ඉතිරි සෙනඟ රැස්කරගෙන නුවරට විරුද්ධව කඳවුරු බැඳ ඒක අල්වාගත මැනවියි කියන්ට කීවේය.
29 දාවිත් වනාහි මුළු සෙනඟ රැස්කරගන රබ්බාට ගොස් ඊට විරුද්ධව සටන්කොට එය අල්වාගත්තේය.
30 ඔහු ඔවුන්ගේ රජුගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගත්තේය; ඒකේ බර රන් තලෙන්තයක්ය, එහි අනර්ඝ මැණික් ගල් අල්ලා තිබුණේය; ඒක දාවිත්ගේ හිසේ තබන ලද්දේය. ඔහු නුවරින් කොල්ලය බොහෝ සෙයින්ම ගෙනායේය.
31 ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා .කියත්වලින්ද මඩින යකඩ යන්ත්‍රවලින්ද යකඩ පොරෝවලින්ද කපා දැමුවේය, ගඩොල් උදුන මැදින් යන්ටද සැලැස්සුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත් සහ මුළු සෙනඟ යෙරුසලමට හැරී ආවෝය.



පරිච්ඡේදය 13

1 ඉන්පසු මෙසේ සිදුවිය. දාවිත්ගේ පුත්‍රවූ අබ්සලොම්ට තාමාර් නම්වූ රූපවත් සහෝදරියක් සිටියාය; දාවිත්ගේ පුත්‍රවූ අම්නොන් ඈට පෙම් බැන්දේය.
2 අම්නොන් තමාගේ සහෝදරීවූ තාමර් නිසා අසනීපවෙන තරම් කනස්සලුව සිටියේය; මක්නිසාද ඈ කන්‍යාවක්ය; ඈට යමක් කරන්ට තමාට උගහට බවත් අම්නොන්ට පෙණුණේය.
3 නුමුත් දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් නම්වූ මිත්‍රයෙක් අම්නොන්ට සිටියේය. යොනාදාබ් ඉතා උපා දක්ෂ මනුෂ්‍යයෙකි.
4 ඔහු: රාජ පුත්‍රය, ඔබ දවසින් දවස මෙසේ කෘශවෙන්නේ මක්නිසාද? මට කියන්නේ නැද්දැයි ඔහුට කීය. එවිට අම්නොන්: මාගේ සහෝදරයා වන අබ්සලොම්ගේ සහෝදරීවූ තාමර්ට ආලය ඇත්තෙමියි ඔහුට කීය.
5 යොනාදාබ්ද: ඔබ ලෙඩින් ඉන්නාක්මෙන් ඔබේ යහනේ වැතිර හිඳ ඔබේ පියාණන් ඔබ බලන්ට ආකල ඔහුට කථාකොට-මාගේ සහෝදරීවූ තාමර් ඇවිත් මට කෑම දෙන්ටත් මට පෙනෙන ලෙස මා ඉදිරියෙහි කෑම පිළියෙළ කරන්ටත් ඇගේ අතින් මට එය කන්ටත් අවසර දුනමැනවියි ඔහුට කියන්නැයි කීවේය.
6 මෙසේ අම්නොන් ලෙඩින් ඉන්නාක්මෙන් වැතිර උන්නේය. රජු අම්නොන් බලන්ට ආ කල ඔහු රජුට කථාකොට: මා විසින් මාගේ සහෝදරීවූ තාමාර්ගේ අතින් කන පිණිස ඈ මාගේ ඇස් ඉදිරියේදී රොටි දෙකක් සාදාවයි කීවේය.
7 එවිට දාවිත්: ඔබේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගොස් ඔහුට කෑම සාදා දෙන්නැයි ගෙදර උන් තාමර්ට කියා යැවීය.
8 එවිට තාමර් ඇගේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගියාය; ඔහු නිදා සිටියේය. ඈ පිටි රැගෙන අනා ඔහුගේ ඇස් ඉදිරියේදී රොටි සාදා
9 පුලුස්සා ඇතිලිය ගෙනැවිත් ඔහු ඉදිරියෙහි ඒවා හෙළුවාය; එහෙත් ඔහු කන්ට කැමතිවුණේ නැත. අම්නොන්: හැමදෙනාම මා වෙතින් පිටතට යන්නැයි කීය. සියලු දෙනාම ඔහු වෙතින් පිටතට ගියෝය.
10 අම්නොන්: මා ඔබේ අතින් කන පිණිස කෑම ඇතුල්ගෙට ගෙනෙන්නැයි තාමර්ට කීවේය. තාමර්ද ඈ සෑදූ රොටි රැගෙන ඇතුල් ගෙයි උන් ඇගේ සහෝදරවූ අම්නොන් ළඟට ගෙනගියාය.
11 ඒවා ඔහුට කන්ට ළඟට ගෙනගිය විට ඔහු ඈ අල්වා: මාගේ සහෝදරිය, ඇවිත් මා සමඟ සයනය කරන්නැයි ඈට කීවේය.
12 එවිට ඈ: මාගේ සහෝදරය, එසේ නොවේවා, මට අවනම්බු නොකරන්න; ඉශ්‍රායෙල්හි එබඳු දෙයක් කරන්ට යුතු නැත; මේ නින්දිතකම නොකරන්න.
13 එසේ කළොත් මම මාගේ නින්දාව කොතැනට ගෙනයම්ද? ඔබත් ඉශ්‍රායෙල්හි නින්දිතයන්ගෙන් එක්කෙනෙකු මෙන් වන්නෙහිය. ඉන්නිසා රජ්ජුරුවන්ට කථාකරන්න; ඔහු මා ඔබට නොදී සිටින්නේ නැතැයි කීවාය.
14 නුමුත් ඔහු ඇගේ හඬට කන්නොදී ඈට වඩා ශක්තිමත් බැවින් ඈට බලාත්කාරකොට ඈ සමඟ සයනයකෙළේය.
15 එවිට අම්නොන් ඉතා මහත් වෛරයකින් ඈට වෛරවුණේය; මක්නිසාද ඔහු ඈට වුණාවූ වෛරය පළමු ඈට බැන්දාවූ ආලයට වඩා මහත්ව තිබුණේය. නැගිට යන්නැයි අම්නොන් ඈට කීය.
16 එසේ නොකරන්න, මා යන්ට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත්යයි ඈ ඔහුට කීවාය.
17 නුමුත් ඔහු ඈටඇහුම්කන් නොදී තමාට සේවයකළ වැඩකාරයාට අඬ ගසා: මේ ස්ත්‍රිය මා ළඟින් පිටත ඇර දොර අගුල්ලන්නැයි කීවේය.
18 ඈ නානා වර්ණ වස්ත්‍රයක් ඇඳගෙන සිටියාය. මක්නිසාද රජුගේ කන්‍යා දූවරු එබඳු සළු ඇන්දෝය. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර දොරේ අගුළුදැමුවේය.
19 එවිට තාමර් තමාගේ හිසේ අලු දමාගන, ඇඳගන සිටිය නානා වර්ණ. වස්ත්‍රය ඉරාගන, හිසේ අත තබාගන, කෑගසමින් ගියාය.
20 ඇගේ සහෝදරවූ අබ්සලොම් ඈට කථාකොට: ඔබේ සහෝදරවූ අම්නොන් ඔබ සමඟ උන්නාද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්දව හිඳින්න. ඔහු ඔබේ සහෝදරයාය; මේ කාරණය සිතට නොගනින්නැයි ඈට කීවේය. තාමර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙයි අසරණ භාවයෙන් විසුවාය.
21 දාවිත් රජ මේ සියලු දේ අසා ඉතා උදහස් විය.
22 නුමුත් අබ්සලොම් අම්නොන්ට හොඳක්වත් නරකක්වත් කථා නොකෙළේය. මක්නිසාද තමාගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බු කළ බැවින් අබ්සලොම් ඔහුට වෛර බැන්දේය.
23 මීට පුරා දෑවුරුද්දකට පසු එප්‍රායිම්ට නුදුරුවූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූවෝය. අබ්සලොම් සියලු රාජ පුත්‍රයන් කැඳෙවුවේය.
24 ඔහු රජු වෙතට ඇවිත් කථාකොට: ඔබගේ මෙහෙකරුවාට බැටළුලොම් කපන්නෝ සිටිති; ඉතින් රජුද තමන්ගේ සේවකයන්ද ඔබගේ මෙහෙකරුවා සමඟ අවමැනවියි කීවේය.
25 රජද: නෑ, මාගේ පුත්‍රය, අපි සියල්ලෝම නොඑන්නෙමුව, ආවොත් ඔබට බරක් වේයයි අබ්සලොම්ට කීවේය. ඔහු පෙරැත්තකළ නුමුත් ඔහු යන්ට කැමති නොවීය, නුමුත් ඔහුට ආශීර්වාදකෙළේය.
26 එකල අබ්සලොම්: එසේ නම් මාගේ සහෝදරවූ අම්නොන්ට අප සමඟ යන්ට අවසර ලැබේවයි කීවේය. ඔහු ඔබ සමඟ යන්නේ කුමටදැයි රජ ඇසුවේය.
27 නුමුත් අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළේය, එවිට ඔහු අම්නොන්ද රජුගේ සියලු පුත්‍රයන්ද ඔහු සමඟ යන්ට ඉඩදුන්නේය.
28 අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: මෙන්න, බලන්න, අම්නොන්ගේ සිත මුද්‍රික පානයෙන් ප්‍රීතිවී තිබෙන විට-අම්නොන්ට පහරදෙන්නැයි මා ඔබ සැමට කීවාම ඔහු මරන්න, භයනොවෙන්න. ඔබ සැමට අණකෙළේ මම නොවෙම්ද? ධෛර්යවත්ව වික්‍රමාන්විතව සිටින්නැයි කීවේය.
29 අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණකළ ලෙස අම්නොන්ට කළෝය. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැගිට තම තමුන්ගේ අශ්වතරයන් පිට නැගී පලාගියෝය.
30 ඔවුන් මාර්ගයෙහි යද්දී: අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් මැරුවේය, එක්කෙනෙක්වත් ඉතුරුව නැත කියා දාවිත්ට සැලවිය.
31 එවිට රජ නැගිට තමාගේ වස්ත්‍ර ඉරාගෙන බිම වැතුරුණේය; ඔහුගේ සියලු සේවකයෝද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන ළඟ සිටියෝය.
32 තවද දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත්‍රවූ යොනාදාබ් කථාකොට: රජුගේ පුත්‍රයන් වන ඒ යෞවනයන් සියල්ලන්ම ඔව්හු මැරුවෝයයි මාගේ ස්වාමියා නොසිතාවා; අම්නොන් පමණක් මළේය. මක්නිසාද අබ්සලොම්ගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බුකළදා පටන් අබ්සලොම් විසින් එය නියමකර තිබුණේය.
33 ඒ නිසා සියලු රාජ පුත්‍රයෝ මළෝයයි සිතන හැටියට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කාරණය සිතට නොගතමැනවි. අම්නොන් පමණක් මළේයයි කීවේය.
34 එහෙත් අබ්සලොම් පලාගියේය. රැකවලෙහි සිටි යෞවනයා තමාගේ ඇස් ඔසවා බැලූවිට මහත් සෙනඟක් කන්දේ පැත්තකින් තමා පිටිපස්සේ තිබුණ මාර්ගයෙහි එනවා දුටුවේය.
35 යොනාදාබ් රජුට කථාකොට: අන්න රාජ පුත්‍රයෝ එන්නාහ. ඔබගේ මෙහෙකරුවා කී ලෙසම සිද්ධවී තිබේයයි කීවේය.
36 තවද ඔහු කථාකොට නිමවූ විට රාජ පුත්‍රයෝ ඇවිත් ශබ්දනගා ඇඬුවෝය. රජද ඔහුගේ සියලු සේවකයෝද අතිශයින් ඇඬුවෝය.
37 අබ්සලොම් ගෙෂූර්හි රජවූ අම්මිහුද්ගේ පුත්‍රවූ තල්මයි වෙතට පලාගියේය. දාවිත් තමාගේ පුත්‍රයා ගැන හැමදාම වැලපුණේය.
38 මෙසේ අබ්සලොම් ගෙෂූර්ට පලාගොස් එහි තුන් අවුරුද්දක් සිටියේය.
39 අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් රජ සැනසී සිටි බැවින් ඔහු අබ්සලොම් ළඟට යන්ට ඉතා ආශාවිය.



පරිච්ඡේදය 14

1 රජුගේ සිත අබ්සලොම් කෙරෙහි ඇලුම්ව තිබෙන බව ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ට දැනුණේය.
2 එවිට යෝවාබ් තෙකෝවායෙන් නුවණක්කාර ස්ත්‍රියෙක් ගෙන්වාගන ඈට කථාකොට: ඔබ වැලපෙන්නාක් මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නොගා, මැරුණ කෙනෙකු ගැන බොහෝ කල් වැලපුණු ස්ත්‍රියෙක් මෙන් වී,
3 රජු ළඟට ගොස් මේ මේ වචනවල හැටියට ඔහුට කියන්නැයි කියා ඒ වචන ඇගේ කටට දුන්නේය.
4 තෙකෝවාහි ස්ත්‍රී රජු ළඟට ගොස් මුහුණින් බිම වැටී වැඳ: අනේ රජ්ජුරුවෙනි, පිහිටවුවමැනවැයි කීවාය.
5 රජ: ඔබට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: සැබවින් මම වැන්දඹුවක්මි, මාගේ පුරුෂයා මැරුණේය.
6 ඔබගේ දාසීට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය, ඒ දෙදෙනා පිටතදී ඩබර කරගත්තෝය, ඔවුන් නවත්වන්ට කිසිවෙක් නොසිටිය නිසා එක්කෙනෙක් අනිකාට ගසා ඔහු මැරුවේය.
7 ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබගේ දාසීට විරුද්ධව නැගිට: තමාගේ සහෝදරයා මැරූ තැනැත්තා ඔහු විසින් මරනලද සහෝදරයාගේ ප්‍රාණය උදෙසා අප විසින් මරන පිණිස අපට දෙන්න, මෙසේ අපි උරුමක්කාරයාත් විනාශ කරන්නෙමුයයි කියති. මේ ආකාරයෙන් මාගේ පුරුෂයාට පොළෝ මතුපිට නාමයක්වත් දරුවෙක්වත් නොපවතින ලෙස ඔවුන් මට ඉතුරුව තිබෙන අඟුර නිවනවා ඇතැයි කීවාය.
8 රජද: ඔබ ගෙදර යන්න, මම ඔබ ගැන අණදෙමියි ස්ත්‍රියට කීවේය.
9 තෙකෝවාහි ස්ත්‍රී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි ඒ දෝෂය මා පිටත් මාගේ පිය වංශය පිටත් වේවා. රජද රජුගේ සිංහාසනයද නිර්දෝෂවේවයි රජුට කීවාය.
10 රජද: ඔබට විරුද්ධව කථාකරන අය මා ළඟට ගෙනෙන්න, එවිට ඔහු තවත් ඔබට අතනොගසන්නේයයි කීවේය.
11 එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.
12 එවිට ඒ ස්ත්‍රී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට වචනයක් කියන්ට ඔබගේ දාසීට අවසර ලැබේවයි කීවාය. කියන්නැයි ඔහු කීවේය.
13 ස්ත්‍රීද: එසේවීනම් ඔබ දෙවියන්වහන්සේගේ සෙනඟට විරුද්ධව එබඳු දෙයක් කල්පනාකළේ මක්නිසාද? පන්නාදමනු ලැබූ තමන්ගේම තැනැත්තා නැවත ගෙන්වා නොගන්න බැවින් රජ්ජුරුවෝ දැන් කී කාරණය නිසා වරදකාරයෙක් මෙන් සිටින්නාහ.
14 කුමක්හෙයින්ද බිම වැගුරුණ වතුර එකතුකරගන්ට බැරුවාක්මෙන් අප මැරෙන්ටම ඕනෑය; දෙවියන්වහන්සේ වනාහි ප්‍රාණය හානි නොකොට, පන්නාදමනු ලැබූ අය තමන් වෙතින් තවත් පිටවහලෙකු නොවනලෙස යෝජනාකරගන්නාසේක.
15 එබැවින් මා දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට මේ කාරණාව කියන්ට ඇවිත් සිටින්නේ සෙනඟ මා භයගැන්වූ නිසාය. එබැවින්: මම රජ්ජුරුවන්ට කථාකරමි; සමහර විට රජ්ජුරුවන් තමන් දාසියගේ ඉල්ලීම ඉෂ්ටකරනවා වෙන්ට පුළුවන.
16 මක්නිසාද දෙවියන්වහන්සේගේ උරුමයෙන් මාත් මාගේ පුත්‍රයාත් එක වරම නැතිකර දමන්ට හදන මනුෂ්‍යයාගේ අතින් තමන්ගේ දාසිය ගළවන්ට රජ්ජුරුවන් ඇහුම්කන්දෙනවා ඇතැයි මම සිතුවෙමි.
17 එබැවින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේවයි ඔබගේ දාසී කීවාය. මක්නිසාද යහපත අයහපත විමසීමට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු හා සමානය. එබැවින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේක්වයි කීවාය.
18 එවිට රජ උත්තරදෙමින්: මා ඔබෙන් අසන දෙය මාගෙන් සඟවන්ට එපායයි ස්ත්‍රියට කීවේය. ස්ත්‍රීද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කථාකෙරෙත්වයි කීවාය.
19 රජද: මේ සියල්ල සම්බන්ධව යෝවාබ්ගේ අත ඔබ සමඟදැයි ඇසුවේය. ස්ත්‍රී උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ ආත්මය ජීවත්වන බව සැබෑවාසේම මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී සියල්ලෙන් දකුණටවත් වමටවත් හැරෙන්ට කිසිවෙකුට නුපුළුවන. එසේය, ඔබගේ සේවකවූ යෝවාබ්ම මට අණකර ඔහුම මේ සියලු වචන ඔබගේ දාසීගේ කටට දුන්නේය.
20 ඔබගේ සේවකයාවූ යෝවාබ් මෙසේ කළේ කාරණයේ අන්දම හරවා පෙන්වන පිණිසය. නුමුත් පොළොවේ සියල්ල දැනගැනීමට මාගේ ස්වාමියාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේගේ දූතයෙකුගේ ප්‍රඥාව හා සමානයයි කීවාය.
21 එවිට රජ යෝවාබ්ට කථාකොට: මෙන්න, මම ඒ කාරණය ඉෂ්ටකෙළෙමි. ඔබ ගොස් අබ්සලොම් යෞවනයා කැඳවාගෙන එන්නැයි කීවේය.
22 යෝවාබ් මුහුණින් බිම වැටී වැඳ රජුට ස්තුතිකොට: රජ්ජුරුවන් විසින් තමන් මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ටකළ නිසා මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන බව ඔබගේ මෙහෙකරුවා දැන් දන්නේයයි කීවේය.
23 මෙසේ යෝවාබ් පිටත්ව ගෙෂූර්ට ගොස් අබ්සලොම් යෙරුසලමට කැඳවාගන ආවේය.
24 රජද: ඔහු තමාගේ ගෙදරට යේවා, ඔහු මාගේ මුහුණ නොදක්නේයයි කීවේය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේය, ඔහු රජුගේ මුහුණ දුටුවේ නැත.
25 අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්‍රායෙල්හි සිටියේ නැත. පතුළ පටන් හිස්මුදුන දක්වා ඔහුට කිසි කැලලක් නොවීය.
26 ඔහු තමාගේ හිසකේ අවුරුද්දෙන් අවුරුද්ද කැපුවේය; ඒවා කැපුවේ ඔහුට බරව තිබුණ නිසාය. ඔහු හිසකේ කැපූ විට එය කිරා බැලුවේය, ඒවායේ බර රාජ පඩියෙන් ෂෙකෙල් දෙසියයක් විය.
27 අබ්සලොම්ට පුත්‍රයන් තුන්දෙනෙක්ද එක දුවක්ද උපන්නෝය, ඇගේ නම තාමර්ය. ඈ ශෝභන පෙනීමක් ඇති ස්ත්‍රියෙක් වූවාය.
28 අබ්සලොම් රජුගේ මුහුණ නොදැක දෑවුරුද්දක්ම යෙරුසලමෙහි වාසයකෙළේය.
29 එවිට අබ්සලොම් යෝවාබ් රජු ළඟට යවන පිණිස ඔහුට හඬගසා ඇරියේය; නුමුත් ඔහු එන්ට කැමති නොවීය. ඔහු නැවත දෙවෙනි වර ඇරියේය, එහෙත් ඔහු එන්ට කැමතිවුණේ නැත.
30 එබැවින් ඔහු තමාගේ වැඩකාරයන්ට කථාකොට: බලන්න, යෝවාබ්ගේ කෙත මගේ කෙත ළඟය, එහි ඔහුට යව ගොයම් තිබේ; ඔබ සැම ගොස් එය ගිනිලන්නැයි කීවේය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තිබුවෝය.
31 එවිට යෝවාබ් නැගිට අබ්සලොම් ළඟට ඔහුගේ ගෙදරට ඇවිත්: ඔබේ වැඩකාරයන් මාගේ කෙතට ගිනිතැබුවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.
32 අබ්සලොම්ද යෝවාබ්ට කථාකොට: මම ගෙෂූර් සිට කුමට ආයෙම්ද? මේ වනතුරුත් එහි සිටියෙම් නම් මට හොඳය කියා කියන්ට ඔබ රජු වෙතට යවන පිණිස, මෙහි එන්න කියා ඔබට කියා එවුවෙමි. ඉතින් මට රජුගේ මුහුණ දකින්ට ලැබේවා; මා තුළ අපරාධයක් ඇත්නම් ඔහු මා මැරුවාවේයි කීවේය.
33 යෝවාබ් රජු ළඟට ඇවිත් එපවත් ඔහුට දැන්නුවේය. ඔහු අබ්සලොම් කැඳවූ කල හෙතෙම රජු ළඟට ඇවිත් රජු ඉදිරියෙහි මුහුණින් බිමට නැමී වැන්දේය. රජද අබ්සලොම් සිඹගත්තේය.



පරිච්ඡේදය 15

1 ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය.
2 තවද අබ්සලොම් අලුයම නැගිට දොරටුවට යන මාර්ගයේ අයිනේ සිට, විනිශ්චය පිණිස රජු වෙතට පැමිණීමට නඩුවක් ඇති එකිනෙකාට අඬගසා: ඔබ මොන නුවරට අයිතිදැයි ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඉශ්‍රායෙල් ගෝත්‍රයකට අයිතියයි කීවේය.
3 අබ්සලොම්: ඔන්න ඔබේ කාරණා හොඳය, හරිය; නුමුත් ඔබේ කාරණා අසන පිණිස රජු විසින් පත්කරනලද කෙනෙක් නැතැයි ඔහුට කීවේය.
4 ඇරත් අබ්සලොම් කථාකොට: දේශයේ විනිශ්චයකාරයා කොට මා පත්කළොත් යහපත! එවිට නඩුවක් හෝ පැමිණිල්ලක් ඇති කවුරු නුමුත් මා වෙතට ආ කල්හි මම ඔහුට යුක්තිය කරන්නෙමියි කීවේය.
5 යමෙක් ඔහුට වඳින්ට ළංවූ කල ඔහු තමාගේ අත දිඟුකොට ඔහු අල්වා සිඹගත්තේය.
6 විනිශ්චය පිණිස රජු ළඟට ආ සියලු ඉශ්‍රායෙල්වරුන්ට අබ්සලොම් මෙයාකාර කොට, හොරෙන් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගත්තේය.
7 තවද සතර. අවුරුද්දකට පසු අබ්සලොම් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේට වුණාවූ මාගේ බාරය හෙබ්‍රොන්හිදී ඉෂ්ටකරන පිණිස යන්ට මට අවසර ලැබේවා.
8 මක්නිසාද ඔබගේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටියදී: ස්වාමීන්වහන්සේ සැබවින් මා නැවත යෙරුසලමට පමුණුවන්ට යෙදුණොත් මම ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමියි කියා බාරයක් වුණේයයි කීවේය.
9 සමාදානයෙන් යන්නැයි රජ ඔහුට කීවේය. ඔහු නැගිට හෙබ්‍රොන්ට ගියේය.
10 නුමුත් අබ්සලොම් ඉශ්‍රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙහි ඔත්තුකාරයන් යවා: ඔබ සැමට හොරණෑ ශබ්දය ඇසුණු කෙණෙහිම-අබ්සලොම් හෙබ්‍රොන්හි රජවී සිටීයයි කියන්නැයි කියන්ට කීවේය.
11 තවද කැඳවනලද මනුෂ්‍යයන් දෙසියයක් අබ්සලොම් සමඟ යෙරුසලමෙන් ගියෝය; ඔව්හු කිසිවක් නොදැන තමුන්ගේ අවංකකමින් ගියෝය.
12 අබ්සලොම් පූජා ඔප්පුකරන අතර දාවිත්ගේ මන්ත්‍රියෙක්වූ ගීලොනිය අහිතොපෙල් ඔහුගේ නුවරවූ ගීලොයෙන් ගෙන්වාගත්තේය. මෙසේ කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතුවුණෝය.
13 පණිවිඩකාරයෙක් දාවිත් කරා ඇවිත්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් අබ්සලොම් දෙසට හැරීගියේයයි කීවේය.
14 එවිට දාවිත් යෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කථාකොට: අපි පිටත්ව පලායමු; නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් ගැළවෙන්නේ නැත. ඔහු වහාම අප කරා පැමිණ අප පිටට අනතුරු පමුණුවා, කඩුමුවහතින් නුවරට පහරනොදෙන පිණිස, යන්ට ඉක්මන්කරන්නැයි කීවේය.
15 රජුගේ සේවකයෝ රජුට කථාකොට: අපගේ ස්වාමිවූ රජ්ජුරුවන් නියමකරන කොයි දෙයක් නුමුත් කරන්ට ඔබගේ සේවකයෝ සෑදී සිටිතියි කීවෝය.
16 එවිට රජුද ඔහු අනුව ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද පිටත්ව ගියෝය. උප භාර්යාවන්වූ ස්ත්‍රීන් දසදෙනෙක් රජ තෙමේ ගෙදර බලාගැනීමට නවත්වා ගියේය.
17 මෙසේ රජද ඔහු අනුව සියලු සෙනඟද පිටත්ව ගොස් බෙත්-මෙර්හාක්හි නැවතුණෝය.
18 ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟින් පැත්තෙන් ගියෝය. සියලු කෙරෙතිවරුද සියලු පෙලෙතිවරුද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තියයන්වූ මනුෂ්‍යයන් හසියයක්ද ඔහුට පෙරටුවෙන් ගියෝය.
19 එවිට රජ ගිත්තීය ඉත්තයිට කථාකොට: ඔබත් අප සමඟ එන්නේ මක්නිසාද? හැරී ගොස් රජු සමඟ සිටින්න. මක්නිසාද ඔබ විදේශියෙක්ය, ඔබේ රටින් පිටවුණ කෙනෙක්ය; ඔබේ ස්ථානයට හැරී යන්න.
20 ඊයේ ආවාවූ ඔබට අද එහා මෙහා අප සමඟ යන්ට සැලැස්වීම යුතුද? මම වනාහි යන්ට පුළුවන් කොතනට නුමුත් යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගන යන්න; කරුණාවත් සැබෑකමත් ඔබ සමඟ වේවයි කීවේය.
21 ඉත්තයි රජුට උත්තර දෙමින්: ස්වාමීන්වහන්සේ ජීවමාන බවද රජු ජීවත්වන බවද සැබෑවා සේම, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සිටින්නේ යම් තැනෙක්හිද එතැන්හිම මැරෙන්ට හෝ ජීවත්වෙන්ට හෝ ඔබගේ මෙහෙකරුවා සිටින්නේයයි කීවේය.
22 දාවිත්ද: ගොස් එගොඩවෙයන්නැයි ඉත්තයිට කීය. එවිට ගිත්තීය ඉත්තයිද ඔහුගේ සියලු මිනිස්සුද ඔහු සමඟ සිටි සියලු බාලයෝද එගොඩවූවෝය.
23 මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැනම මිනිස්සු මහත් හඬින් ඇඬුවෝය. රජ තෙමේ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩව ගියේය, මුළු සෙනඟද කාන්තාරයට යන මාර්ගය දෙසට එගොඩව ගියෝය.
24 ශාදොක්ද ඔහු සමඟ සියලු ලෙවීවරුද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආවෝය; මුළු සෙනඟ නුවරින් ඇවිත් නිමවෙන තුරු ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය බිම තැබුවෝය. අබියාතර්ද ඇවිත් සිටියේය.
25 රජ ශාදොක්ට කථාකොට: දෙවියන්වහන්සේගේ පෙට්ටිය නැවත නුවරට ගෙනිය‍න්න. ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබුණොත් උන්වහන්සේ නැවත මා ගෙනැවිත් ඒකත් එහි වාසස්ථානයත් මට පෙන්වනවා ඇත.
26 නුමුත්-මම ඔබ කෙරෙහි ප්‍රසන්න නොවෙමියි උන්වහන්සේ කියනසේක් නම්, මම මෙහිය, උන්වහන්සේට යහපත්ව පෙනෙන ලෙස මට කරනසේක්වයි කීවේය.
27 රජ පූජකවූ ශාදොක්ට තව දුරටත් කතාකොට: ඔබට තේරෙනවාද? ඔබේ පුත්‍රවූ අහිමයාශ්ද අබියාතර්ගේ පුත්‍රවූ යොනාතාන්ද යන ඔබ සැමගේ පුත්‍රයන් දෙදෙනා සමඟ සමාදානයෙන් නුවරට හැරීයන්න.
28 මෙන්න, මට දන්වන්ට ඔබ සැමගෙන් ආරංචි ලැබෙන තුරු කාන්තාරයේ සමභූමිවල නවතින්නෙමියි කීවේය.
29 එබැවින් ශාදොක්ද අබියාතර්ද දෙවියන්වහන්සේගේ පෙට්ටිය නැවත යෙරුසලමට ගෙනගොස් එහි සිටියෝය.
30 දාවිත් අඬ අඬා හිස වසාගන වහන්නැතුව ඔලීව කන්දට නගින පාරේ ගියේය. ඔහු සමඟ සිටි මුළු සෙනඟද තම තමුන්ගේ හිස් වසාගන අඬමින් නැගී ගියෝය.
31 අහිතොපෙල් කුමන්ත්‍රණකාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වනලද්දේය. එවිට දාවිත්: අහෝ, ස්වාමීන්වහන්ස, අහිතොපෙල්ගේ මන්ත්‍රණය මෝඩකමට හැරවුව මැනවයි කීවේය.
32 තවද දෙවියන්වහන්සේට නමස්කාරකරන ස්ථානයවූ කන්ද මුදුනට දාවිත් පැමුණුණු විට අර්කීය හූෂයි තමාගේ උතුරුසළුව ඉරාගන, හිස පිට පස් දමාගන, ඔහුගේ පෙරමගට ආයේය.
33 දාවිත්ද: ඔබ මා සමඟ ගියොත් ඔබ මට බරක් වන්නේය.
34 නුමුත් ඔබ නුවරට හැරී ගොස් අබ්සලොම්ට කථාකර-රජ්ජුරුවෙනි, මම ඔබගේ සේවකයා වෙමි; පළමු මම ඔබගේ පියාගේ සේවකයෙක්ව සිටියාක්මෙන් දැන් ඔබගේ සේවකයෙක් වෙමියි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්ට ඔබට පුළුවන් වන්නේය.
35 පූජකවූ ශාදොක් සහ අබියාතර් ඔබ සමඟ එහි සිටිනවා නොවේද? එබැවින් රජ ගෙදරින් අසන්ට ලැබෙන කොයි දෙයක් නුමුත් ඔබ පූජකයන්වූ ශාදොක්ටත් අබියාතර්ටත් දන්වාපන්න.
36 ඔවුන්ගේ පුත්‍රයන් දෙදෙනා වන ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් හා අබියාතර්ගේ පුත්‍රවූ යොනාතාන්ද එහි ඔවුන් සමඟ සිටිති; ඔබ සැම දැනගන්න සියලු දේ ඔවුන් අත මට කියා එවන්නැයි කීවේය.
37 මෙසේ දාවිත්ගේ මිත්‍රවූ හූෂයි නුවරට ආයේය; අබ්සලොම්ද යෙරුසලමට ආයේය.



පරිච්ඡේදය 16

1 දාවිත් කඳු මුදුනෙන් ටිකක් ඔබ්බට ගිය විට මෙපිබොෂෙත්ගේ වැඩකාරයාවූ ශීබා ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙක්ද උන් පිට පැටෙවු රොටි දෙසියයක්ද වියළි මුද්‍රිකඵල පොකුරු සියයක්ද ඉඳිඵල තට්ටු සියයක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහුගේ පෙරමගට ආයේය.
2 මේවා මොකටදැයි රජ ශීබාගෙන් ඇසුවේය. ශීබාද: කොටළුවන් රජ්ජුරුවන්ගේ පවුලට නැගීයන්ටත් රොටි හා ඉඳිඵල යෞවනයන්ට කන්ටත් මුද්‍රිකපානය කාන්තාරයේදී වෙහෙසෙන්නන්ට බොන්ටත්යයි කීවේය.
3 එවිට රජ: ඔබේ ස්වාමියාගේ පුත්‍රයා කොතනදැයි ඇසුවේය. ශීබාද: ඔහු යෙරුසලමෙහි නැවතී සිටියි. මක්නිසාද-ඉශ්‍රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය නැවත මට දෙනවා ඇත කියා ඔහු කීවායයි රජුට කීවේය.
4 එවිට රජ: බලව, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට වේවයි ශීබාට කීය. ශීබාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මම ඔබ බැහැදකිමි; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවයි කීවේය.
5 දාවිත් රජ බහුරීම්ට ආ කල, සාවුල්ගේ වංශ-පෙළපතට අයිතිවූ, ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි නම් මනුෂ්‍යයෙක් එතැනින් පිටත්වී දෙස් කිය කියා යමින්,
6 දාවිත්ටත් දාවිත් රජුගේ සියලු සේවකයන්ටත් ගල්ගැසීය. මුළු සෙනඟද සියලු බලවන්තයෝද දාවිත්ගේ දකුණු පසෙහිද වම් පසෙහිද සිටියෝය.
7 ෂිමෙයි දෙස් තබමින් කියනුයේ: මිනීමරු මනුෂ්‍යය, දුර්ජන. මනුෂ්‍යය, යන්න, යන්න.
8 සාවුල් වෙනුවට රජවුණාවූ ඔබ පිටට ස්වාමීන්වහන්සේ සාවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ පමුණුවා, ඔබේ පුත්‍රවූ අබ්සලොම් අතට රජකම භාරදුන්සේක. ඔන්න, ඔබ විපත්තියට අසුවී ඉන්නෙහිය, මක්නිසාද ඔබ මිනිමරුවෙක්යයි කීවේය.
9 එවිට ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට කථාකොට: අර මළ බල්ලා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මක්නිසාද? ගොස් ඔහුගේ හිස කපාදමන්ට මට අවසර ලැබේවයි කීවේය.
10 රජද: ශෙරුයාගේ පුත්‍රයෙනි, ඔබ සැමගෙන් මට කම් කිම්ද? ඔහු දෙස් කීවේ මක්නිසාද? දාවිත්ට දෙස් කියන්නැයි ස්වාමීන්වහන්සේ ඔහුට කියා තිබේ නම්-ඔබ මෙසේ කළේ මක්නිසාදැයි කියන්ට පුළුවන් කවරෙකුටදැයි කීවේය.
11 තවද දාවිත් අබිෂයිටත් තමාගේ සියලු සේවකයන්ටත් කථාකොට: මා තුළෙන් නික්මුණාවූ මාගේ පුත්‍රයා මා නසන්ට සොයන්නේය. ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්යමියයාට දැන් එසේ කරන්ට බැරිද? ඔහු නිකම් උන්නාවේ, දෙස් කීවාවේ; මක්නිසාද එසේ කරන්ට ස්වාමීන්වහන්සේ ඔහුට කීසේක.
12 සමහරවිට මට කරනලද අයුක්තිය දෙස ස්වාමීන්වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනවා ඇතැයි කීවේය.
13 මෙසේ දාවිත් හා ඔහුගේ මිනිසුන් මාර්ගයෙහි යද්දී ෂිමෙයි ඔහුට ඉදිරිපිටින් කන්දේ පැත්තකින් යනුයේ දෙස් කියමින්ද ඔහු දෙසට ගල්ගසමින් දූලි දම දමාද ගියේ ය.
14 රජද තමා වෙත සිටි මුළු සෙනඟ සමඟ වෙහෙසව ඇවිත් එහි විඩා සන්සිඳුවාගත්තේය.
15 නුමුත් අබ්සලොම්ද ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් වන මුළු සෙනඟද ඔහු සමඟ අහිතොපෙල්ද යෙරුසලමට ආවෝය.
16 තවද දාවිත්ගේ මිත්‍රයාවූ අර්කීය හූෂයි අබ්සලොම් ළඟට පැමිණුණ විට: රජු සැරදේවා, රජු සැරදේවයි කීවේය.
17 අබ්සලොම්ද: ඔබේ මිත්‍රයා කෙරෙහි ඇති ඔබේ කරුණාව මේකද? ඔබේ මිත්‍රයා සමඟ නොගියේ මක්නිසාදැයි හූෂයිට කීවේය.
18 හූෂයිද: එසේ නොවෙයි; ස්වාමීන්වහන්සේද මේ සෙනඟද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ද විසින් තෝරාගත් තැනැත්තාට මම එකතුව ඔහු සමඟ සිටින්නෙමි.
19 ඇරත් මා විසින් සේවයකළ යුතු කාටද? ඔහුගේ පුත්‍රයා ඉදිරියෙහි නොවේද? මම ඔබගේ පියාණන් ඉදිරියෙහි සේවය කළාක් මෙන් ඔබ ඉදිරියෙහිත් සේවය කරන්නෙමියි අබ්සලොම්ට කීවේය.
20 එවිට අබ්සලොම් අහිතොපෙල්ට කථාකොට: අප විසින් කුමක් කටයුතුදැයි මන්ත්‍රණය කොට කියන්නැයි කීවේය.
21 අහිතොපෙල්ද: ඔබගේ පියාණන් ගෙදර ප්‍රවේසම් කිරීමට සිටවා ගිය ඔහුගේ උපභාර්යාවන් කරා එළඹෙන්න; එවිට සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ පියාණන්ට ඔබ පිළිකුලක්ව සිටින බව අසන්නෝය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලන්ගේ අත් සවිවන්නේයයි අබ්සලොම්ට කීවෝය.
22 මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් ගැසුවෝය; අබ්සලොම්ද සියලු ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේදී තමාගේ පියාගේ උපභාර්යාවන් කරා එළඹුණේය.
23 ඒ දවස්වලදී අහිතොපෙල් දුන් මන්ත්‍රණය මනුෂ්‍යයෙකු විසින් දෙවියන්වහන්සේගේ මුඛයෙන් විචාරීමක්මෙන් විය. දාවිත්ටත් අබ්සලොම්ටත් අහිතොපෙල්ගේ සියලු මන්ත්‍රණ එයාකාරව තිබුණේය.



පරිච්ඡේදය 17

1 තවද අහිතොපෙල් අබ්සලොම්ට කථාකොට: මනුෂ්‍යයන් දොළොස් දහසක් තෝරාගෙන අද රාත්‍රියේ පිටත්ව දාවිත් පස්සේ එළවාගන යන්ට මට අවසර ලැබේවා.
2 ඔහු වෙහෙසව අත්හෙළා සිටියදී මම ඔහුට විරුද්ධව පැමිණ ඔහු භයගන්වන්නෙමි. එවිට ඔහු සමඟ සිටින මුළු සෙනඟ පලායනවා ඇත: මම රජුට පමණක් පහරදී,
3 මුළු සෙනඟ ඔබ වෙතට හරවාගන්නෙමි. ඔබ විසින් සොයන මනුෂ්‍යයා වනාහි සියල්ලන්ගේ හැරී ඒම හා සමානය. මෙසේ මුළු සෙනඟ සමාදානයෙන් සිටිනවා ඇතැයි කීවේය.
4 ඒ කීමට අබ්සලොම්ද සියලු ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද ප්‍රසන්න වූහ.
5 එවිට අබ්සලොම්: දැන් අර්කීය හූෂයිටත් අඬගසන්න, ඔහු කියන දේත් අසමුයයි කීවේය.
6 හූෂයි අබ්සලොම් ළඟට ආ කල්හි අබ්සලොම් ඔහුට කථාකොට: අහිතොපෙල් මේ ආකාරයෙන් කථාකෙළේය. ඔහුගේ කීම ලෙස කරමුද? නැත්නම් ඔබ කථාකරන්නැයි කීය.
7 හූෂයි අබ්සලොම්ට කථාකොට: අහිතොපෙල් මේ වතාවේ කළ මන්ත්‍රණය හොඳ නැතැයි කීවේය.
8 හූෂයි වැඩි දුරටත් කියනුයේ: ඔබගේ පියාණන් හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත් වනයෙහි පැටියන් නැතිවුණ වැලහින්නියක් මෙන් කෝපව සිටින බවත් ඔබ දන්නෙහිය. ඔබගේ පියාණෝ යුද්ධකාරයෙක්ය, ඔහු රාත්‍රියෙහි සෙනඟ සමඟ නවතින්නේ නැත.
9 දැන් ඔහු වළක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද පටන්ගැන්මේදීම ඔවුන්ගෙන් සමහර දෙනෙක් වැටුණාම ඒ අසන කවුරු නුමුත්-අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මැරීමක් සිදුවීයයි කියනවා ඇත.
10 එවිට සිංහයෙකුගේ සිත මෙන් සිතක් ඇති බලවන්තයා පවා මුළුමනින්ම මලානික වෙනවා ඇත. මක්නිසාද ඔබගේ පියාණන් බලවන්තයෙක් බවත් ඔහු සමඟ සිටින අය වික්‍රමාන්විත මනුෂ්‍යයන් බවත් සියලු ඉශ්‍රායෙල්වරු දනිති.
11 මා කියන මන්ත්‍රණය නම්: දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සිටින සියලු ඉශ්‍රායෙල්වරුන් ගණනින් මුහුදු වෙරළේ වැලි මෙන් ඔබ වෙතට රැස්කරගන ඔබම සටනට යන ලෙසය.
12 එසේ ඔහු සිටින යම් ස්ථානයකට අපි ඔහු වෙතට පැමිණ, භූමි මතුයෙහි පිනි වැටෙන්නාක් මෙන් ඔහු පිටට බැස එන්නෙමුව. එවිට ඔහුවත් ඔහු සමඟ සිටින සියලු මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවන්නේය.
13 ඇරත් ඔහු නුවරකට ඇතුල්වී සිටියොත් සියලු ඉශ්‍රායෙල්වරුන් ඒ නුවරට ලනු දමා, එහි කුඩා ගලක්වත් සම්බනොවෙන තුරු අපි ගඟටම ඒක ඇදදමන්නෙමුයයි කීවේය.
14 අබ්සලොම්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද: අහිතොපෙල්ගේ මන්ත්‍රණයට වඩා අර්කීය හූෂයිගේ මන්ත්‍රණය හොඳයයි කීවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ අබ්සලොම් පිටට නාස්තිය පමුණුවන පිණිස අහිතොපෙල්ගේ හොඳ මන්ත්‍රණය නිෂ්ඵල කරන්ට නියමකර තිබුණේය.
15 එකල හූෂයි පූජකයන්වූ ශාදොක්ටත් අබියාතර්ටත් කථාකොට: අහිතොපෙල් මේ මේ ආකාරයෙන් අබ්සලොම්ටත් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ටත් මන්ත්‍රණය දුන්නේය; මම මේ මේ ආකාරයෙන් මන්ත්‍රණය දුනිමි.
16 එබැවින් දැන් ඉක්මනින් පණිවිඩයක් යවා: රජුද ඔහු සමඟ මුළු සෙනඟද නැතිනොවන පිණිස අද රෑ කාන්තාරයේ සමභූමිවල නොනැවතී කොහොම නුමුත් එගොඩවෙන්ට ඕනෑයයි දාවිත්ට දන්වන්නැයි කීවේය.
17 යොනාතාන්ද අහිමයාශ්ද තමුන්ගේ නුවර ඇතුළට එනවා දක්නා නොලබන පිණිස ඒන්-රොගෙල් ළඟ සිටියෝය; වැඩකාරියක් ගොස් ඔවුන්ට දැන්නුවාය; ඔව්හු ගොස් දාවිත් රජුට දැන්නුවෝය.
18 නුමුත් තරුණයෙක් ඔවුන් දැක අබ්සලොම්ට දැන්නුවේය. ඔවුන් දෙදෙනාම ඉක්මනින් ගොස් බහුරීම්හි මනුෂ්‍යයෙකුගේ ගෙදරට පැමුණුණෝය; ඔහුගේ මිදුලෙහි ළිඳක් තිබුණේය; ඔව්හු ඒකට බැස්සෝය.
19 ස්ත්‍රීද වැස්ම රැගෙන ළින් කෙට් එළා, කිසිවක් දැනනොගන්නා හැටියට ඒ පිට ඇඹරෑ ධාන්‍ය වනා තැබුවාය.
20 අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රී ළඟට ඒ ගෙදරට ඇවිත්: අහිමයාශ්ද යොනාතාන්ද කොතැනදැයි ඇසුවෝය. ඒ ස්ත්‍රී: ඔව්හු වතුර ඇළෙන් එගොඩවූවෝයයි කීවාය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බනූණ බැවින් යෙරුසලමට හැරී ගියෝය.
21 තවද ඔවුන් ගිය පසු, ඔව්හු ළිඳෙන් ගොඩනැගී ගොස් දාවිත් රජුට දන්වමින්: ඔබට විරුද්ධව අහිතොපෙල් මෙසේ මන්ත්‍රණයකළ නිසා පිටත්වී ඉක්මනින් ඇළෙන් එගොඩවුවමැනවැයි දාවිත් රජුට කීවෝය.
22 එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද පිටත්ව යොර්දානෙන් එගොඩවූවෝය. එළිවෙනකොට ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් යොර්දානෙන් එගොඩ නොගොස් ඉතුරුව සිටියේ නැත.
23 තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ. ගෙදර කාරණ සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.
24 දාවිත් මහනායිම්ට ආයේය. අබ්සලොම්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද යොර්දානෙන් එගොඩට ගියෝය.
25 තවද අබ්සලොම්ද යෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා කෙළේය. අමාසා වූකලී නාහාෂ්ගේ දුවක්වද යෝවාබ්ගේ මවුවූ ශෙරුයාගේ සහෝදරියක්වද සිටි අබිගායිල් කරා පැමුණුණු ඉත්රා නම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙකුගේ පුත්‍රයාය.
26 ඉශ්‍රායෙල්වරුද අබ්සලොම්ද ගිලියද් රටෙහි අන්දායම් බැඳගත්තෝය.
27 දාවිත් මහනායිම්ට පැමුණුණු විට අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත්‍රවූ ෂෝ‍‍බිද ලෝ-දෙබාර්හි අම්මීයෙල්ගේ පුත්‍රවූ මාඛීර්ද රොගේලීම්හි ගිලියදිය බර්සිල්ලයිද,
28 යහන්, තළි, මැටි භාජන, කෑමට තිරිඟු, යව, පිටි, විලඳ, මෑ, කොල්ලු, බැදපු මුං,
29 මීපැණි, වෙඬරු, බැටළුවන්, එළ දීකිරි යන මේවා දාවිත්ටත් ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝය. මක්නිසාද: සෙනඟ කාන්තාරයෙහි බඩගිනිව වෙහෙසව පිපාසාව සිටිත්යයි ඔව්හු කීවෝය.



පරිච්ඡේදය 18

1 දාවිත් තමා සමඟ සිටි සෙනඟ ගණන්කොට ඔවුන් කෙරෙහි සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පත් කෙළේය.
2 තවද දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් යෝවාබ් යටතේද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි යටතේද තුනෙන් කොටසක් ගිත්තිය ඉත්තයි යටතේද පිටත්කර හැරියේය.
3 මමත් ඔබ සැම සමඟ යමියි සෙනඟට රජ කීය. නුමුත් සෙනඟ: ඔබ නොගිය යුතුය. මක්නිසාද අප පලාගියත් ඔවුන් අප ගැන සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත. නුමුත් ඔබ අපෙන් දස දාහක් මෙන්ය. එබැවින් අපට උපකාරකරන්ට සූදානම්ව ඔබ නුවර සිටියොත් මැනවැයි කීවෝය.
4 ඔබ සැමට ඉතා හොඳව පෙනෙන හැටියක් කරමියි රජ ඔවුන්ට කීය. රජ දොරටුවේ පැත්තකින් සිටිද්දී සියලු සෙනඟ සියය සියය බැගින්ද දහස දහස බැගින්ද පිටත්ව ගියෝය.
5 රජ යෝවාබ්ටද අබිෂයිටද ඉත්තයිටද කථාකොට: මා නිසා ඒ යෞවනයාට, අබ්සලොම්ට මෘදුකමින් ක්‍රියාකරන්නැයි අණකෙළේය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට අණකරනවා මුළු සෙනඟට ඇසුණේය.
6 මෙසේ සෙනඟ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව පිටතට ගියෝය. සටන එප්‍රායිම් වනයෙහිදී සිදුවිය.
7 එතැනදී ඉශ්‍රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝය, එදා මහත් මැරීමක් සිදුවී මනුෂ්‍යයන් විසිදහසක් මැරුණෝය.
8 යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශවුණාට වැඩි සෙනඟක් වනයෙන් විනාශවුණෝය.
9 අබ්සලොම් තම අශ්වතරයා පිට නැගී යද්දී දාවිත්ගේ සේවකයන්ට මුණගැසුණේය. අශ්වතරයා මහත් අලෝන ගසක ඝන ශාඛා යටින් යද්දී ඔහුගේ හිස අලෝන ගසට අසුවී ඔහු අහසටත් පොළොවටත් අතරේ එල්ලී උන්නේය; ඔහු නැගීසිටි අශ්වතරයා යන්ට ගියේය.
10 එක්තරා මනුෂ්‍යයෙක් ඒ දැක යෝවාබ්ට දන්වමින්, අබ්සලොම් අලෝන ගසක එල්ලී ඉන්නවා දුටිමියි කීවේය.
11 යෝවාබ් තමාට එපවත් කී මනුෂ්‍යයාට කථාකොට: එසේ දුටු ඔබ එහිදී ඔහු ගසා නොහෙළුවේ මක්නිසාද? එසේ කෙළෙහිනම් රිදී දසයක්ද ඉඟපටියක්ද මම ඔබට දෙන්නෙමියි කීවේය.
12 ඒ මනුෂ්‍යයාද: මට අත්පිට රිදී දහසක් ලැබුණත් රජුගේ පුත්‍රයාට විරුද්ධව මාගේ අත දිගුනොකරමි. මක්නිසාද කවුරුවත් අබ්සලොම් යෞවනයාට අත නොගසන ලෙස බලාගන්නය කියා අප අසාගන සිටියදී රජ්ජුරුවෝ ඔබටත් අබිෂයිටත් ඉත්තයිටත් අණකළහ.
13 එසේ මම ඔහුගේ ජීවිතයට විරුද්ධව ද්‍රෝහිකම් කෙළෙම්නම් ඔබම මට විරුද්ධව සිටිනවා ඇත, මක්නිසාද කිසි දෙයක් රජුගෙන් සැඟවී නැතැයි කීවේය.
14 එවිට යෝවාබ්: මට මෙසේ ඔබ සමඟ ප්‍රමාදවෙවී ඉන්ට බැරිය කියා හෙල්ල තුනක් අතින් ගෙන අබ්සලොම් අලෝන ගස මැද පණ ඇතුව සිටිද්දීම එයින් ඔහුගේ හෘදයට ඇන්නේය.
15 යෝවාබ්ගේ ආයුධ ගෙනයන මෙහෙකරුවෝ දස දෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහරදී ඔහු මැරුවෝය.
16 යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට සෙනඟ ඉශ්‍රායෙල්වරුන් ලුහුබැඳ යාමෙන් හැරී ආවෝය. මක්නිසාද යෝවාබ් සෙනඟ නැවැත්තුවේය.
17 ඔව්හු අබ්සලොම් රැගෙන වනයෙහි තිබුණ මහත් වළේ හෙළා ඔහු පිට ඉතා මහත් ගල්ගොඩක් නැගුවෝය. සියලු ඉශ්‍රායෙල්වරුද තම තමුන්ගේ කූඩාරම්වලට පලා ගියෝය.
18 අබ්සලොම් ජීවත්ව සිටියදී: මාගේ නාමය සිහිපත් කරවන්ට පුත්‍රයෙක් නැත කියා රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා උදෙසා පිහිටුවා, ඊට තමාගේ නාමයේ හැටියට නම් කෙළේය. අද දක්වා ඊට අබ්සලොම් ටැඹයයි කියති.
19 එකල ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් කථාකොට: ස්වාමීන්වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්ට මට අවසර ලැබේවයි කීවේය.
20 යෝවාබ්ද: අද ඔබ ආරංචි ගෙන නොයන්න, වෙන දවසක ආරංචි ගෙනයන්ට පුළුවන. නුමුත් රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ආරංචි ගෙනයන්ට එපායයි ඔහුට කීවේය.
21 එවිට යෝවාබ්: ගොස් ඔබ දුටු කාරණා රජුට දන්වන්නැයි කුශියයාට කීවේය. කුශියයා යෝවාබ්ට වැඳ දිවුවේය.
22 එවිට ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් නැවතත් යෝවාබ්ට කථාකොට: කොහොම නුමුත් මටත් කූශියයා පස්සේ දුවන්ට අවසර දුනමැනවැයි කීවේය. යෝවාබ්ද: මාගේ පුත්‍රය, ඔබට සෑහෙන ආරංචි නැති කොට දුවන්නේ මක්නිසාදැයි ඇසුවේය.
23 එහෙත් ඔහු: මක්වෙතත් දුවමියි කීවේය. ඔහුද: දුවන්නැයි ඔහුට කීය. එවිට අහිමයාශ් සමභූමියේ මාවතින් දුවගොස් කූශයයා පසුකර ගියේය.
24 දාවිත් දොරටු දෙකට අතරේ ඉඳගන උන්නේය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේය, ඔහු ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් තනියම දුවගන එනවා දුටුවේය.
25 මුරකාරයා මොරගසා එපවත් රජුට කීය. ඔහු තනියම එන්නේ නම් ආරංචි ගෙනෙන්නේයයි රජ කීවේය. ඔහු ඉක්මනට ඇවිත් ළංවුණේය.
26 මුරකාරයා තවත් මනුෂ්‍යයෙකු දුව එනවා දැක දොරටුපාලයාට අඩගසා: තව මනුෂ්‍යයෙක් තනියම දුව එන්නේයයි කීවේය. එවිට රජ: ඔහුත් ආරංචි ගෙනෙන්නේයයි කීය.
27 මුරකාරයාද: පළමුවෙනි අයගේ දිවීම ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ්ගේ දිවීම වාගේ මට පෙනේයයි කීවේය. රජද: ඔහු යහපත් මනුෂ්‍යයෙක්ය, හොඳ ආරංචි ඇතුව එන්නේයයි කීය.
28 අහිමයාශ් මොරගසා: සියල්ල. යහපතැයි රජුට කියා මුහුණින් බිමට නැමී රජුට වැඳ කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට විරුද්ධව තමුන්ගේ අත් එසෙවු මනුෂ්‍යයන් පාවාදුන් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීවේය.
29 අබ්සලොම් යෞවනයා සුවසේ සිටිනේදැයි රජ ඇසුවේය. එවිට අහිමයාශ්: යෝවාබ් විසින් රජ්ජුරුවන්ගේ මෙහෙකරුවාත් ඔබගේ මෙහෙකරුවූ මාත් එවන කොට මහත් කෝලාහලයක් දුටිමි, නුමුත් එය කිමෙක්දැයි නොදත්තෙමියි උත්තරදුන්නේය.
30 පැත්තකටවී මෙහි සිටින්නැයි රජ ඔහුට කීය. ඔහු පැත්තකට වී සිටියේය.
31 එවිට කුශියයා ආවේය. කුශියයා කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මක්නිසාද ඔබට විරුද්ධව නැගුටුණු සියල්ලන්ගෙන් ස්වාමීන්වහන්සේ අද ඔබ උදෙසා පළිගත්සේකැයි කීවේය.
32 එවිට රජ: අබ්සලොම් යෞවනයා සුවසේ සිටිනේදැයි කූශියයාගෙන් ඇසුවේය. කූශියයාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සතුරෝද ඔබට අන්තරාකරන්ට ඔබට විරුද්ධව නැගිටින සියල්ලෝද ඒ යෞවනයා මෙන් වෙත්වයි උත්තරදුන්නේය.
33 එවිට රජ බොහෝසෙයින් කම්පාවී, දොරටුවේ උඩුමහලට නැගී ගොස් ඇඬුවේය. ඔහු යමින්ම: අහෝ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රවූ අබ්සලොම්! ඔබ වෙනුවට මා මැරුණා නම් යහපත, අහෝ, අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රයයි කීවේය.



පරිච්ඡේදය 19

1 තවද රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා යෝවාබ්ට දන්වන ලද්දේය.
2 රජ තමාගේ පුත්‍රයා ගැන ශෝකවන්නේයයි ඒ දවසේ සෙනඟට සැලවුණු බැවින් ඒ දවසේ ඇතිවූ ජය මුළු සෙනඟට වැලපීමක් වුණේය.
3 මක්නිසාද යුද්ධයේදී පලායන සෙනඟ ලජ්ජා සහිතව හොරෙන් එන්නාක් මෙන්, ඒ දවසේදී සෙනඟ හොරෙන් නුවරට ඇතුල්වුණෝය.
4 රජ තමාගේ මුහුණ වසාගෙන: අනේ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, අනේ, අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය කියා මහත් හඬින් ඇඬුවේය.
5 යෝවාබ්ද රජු ළඟට ගෙට ඇතුල්වී කථාකොට: ඔබට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමෙන්ද ඔබට ප්‍රේමකරන්නන්ට වෛරවීමෙන්ද ඔබගේ ජීවිතයත් ඔබගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ජීවිතත් ඔබගේ භාර්යාවන්ගේ ජීවිතත් ඔබගේ උපභාර්යාවන්ගේ ජීවිතත් අද ගැළවුවාවූ ඔබගේ සියලු සේවකයන්ගේ මුහුණු ඔබ අද ලජ්ජා කෙළෙහිය.
6 මක්නිසාද අධිපතීන්ගෙන්වත් සේවකයන්ගෙන්වත් ඔබට කමක් නැති බව ඔබ අද පෙන්නුවෙහිය. අප සියල්ලන්ම අද මැරුණත් අබ්සලොම් ඉතුරුවුණා නම් ඔබ ඉතා ප්‍රසන්නවන බව අද මට පෙනෙයි.
7 එබැවින් දැන් නැගිට පිටතට ගොස් ඔබගේ සේවකයන්ට කරුණාවෙන් කථාකළ මැනවි. ඔබ පිටත නොගියොත් ඔබ සමඟ අද රෑ කිසිවෙක් නොසිටින බවට ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරමි. එයින් ඔබගේ බාලවයසේ පටන් දැන් දක්වා ඔබට සිදුවුණු සියලු අන්තරාවලට වඩා ඔබට අන්තරාවේයයි කීවේය.
8 එවිට රජ නැගිට දොරටුවේ හිඳගත්තේය. රජ දොරටුවේ හිඳිනේයයි මුළු සෙනඟට දන්වනලද්දේය. මුළු සෙනඟද රජු ඉදිරියට ආවෝය. ඉශ්‍රායෙල්වරු තම තමුන්ගේ කූඩාරම්වලට පලාගොස් සිටියෝය.
9 සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි සෙනඟ විවාදකරමින්: රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා පිලිස්තිවරුන්ගේ අතින්ද ඔහුම අප ගළවාගත්තාහ; එහෙත් දැන් ඔහු අබ්සලොම් වෙතින් රටින් පලාගියේය.
10 අප කෙරෙහි අප විසින් පත්කරගත් අබ්සලොම්ද යුද්ධයේදී මැරුණේය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ සැම නිශ්ශබ්දව සිටින්නේ මක්නිසාදැයි කීවෝය.
11 එවිට දාවිත් රජ පූජකයන් වන ශාදොක්ටත් අබියාතර්ටත් මෙසේ කියා ඇරියේය: ඔබ සැම යුදාහි වැඩිමහල්ලන්ට කථාකොට-රජ්ජුරුවන් තමාගේ ගෙට ගෙන්වන්ට මුළු ඉශ්‍රායෙල් කරන කථාව ඔහුට සැලවී තිබෙද්දී රජ්ජුරුවන් තමාගේ ගෙට නැවත ගෙනෙන්ට ඔබ සැම අන්තිමයන් වන්නේ මක්නිසාද?
12 ඔබ සැම මාගේ සහෝදරයෝය, මාගේ ඇට සහ මාංසයත්ය. එබැවින් රජ්ජුරුවන් නැවත ගෙනෙන්ට ඔබ සැම අන්තිමයන් වෙන්නේ මක්නිසාදැයි කියන්න.
13 තවද අමාසාට කථාකොට: ඔබ මාගේ ඇට සහ මාංශයත් නොවේද? ඔබ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය.
14 මෙසේ ඔහු සියලු යුදා මනුෂ්‍යයන්ගේ සිත් එක්කෙනෙකුගේ සිත මෙන් නමා ගත්තේය; ඔව්හුද: ඔබගේ සියලු සේවකයන් සමඟ හැරී අවමැනවැයි රජුට කියා ඇරියෝය.
15 එවිට රජ හැරී යොර්දාන් ළඟට ආයේය. යුදාවරුද යොර්දානෙන් මෙගොඩට රජු කැඳවාගන එන පිණිස රජුගේ පෙරමගට යන්ට ගිල්ගාල්ට ආවෝය.
16 තවද බහුරීම්හි බෙන්යමිය ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි ඉක්මන්කර යුදා මනුෂ්‍යයන් සමඟ දාවිත් රජුගේ පෙරමගට බැස ආවේය.
17 ඔහු සමඟ බෙන්යමින් මනුෂ්‍යයන් දහසක්ද සාවුල්ගේ වංශයේ සේවකයෙක්වූ ශීබාද ඔහු සමඟ තමාගේ පුත්‍රයෝ පහළොස්දෙනාද තමාගේ වැඩකාරයන් විසිදෙනාද සිටියෝය; ඔව්හු රජු ඉදිරියෙහි යොර්දාන මැදින් ගියෝය.
18 රජ ගෙදර වැසියන් මෙගොඩකරන්ටත් ඔහුගේ කැමැත්තක් කරන්ටත් පාරුවක් එගොඩට ගියේය. ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි යොර්දානෙන් එගොඩවුණ කල රජු ඉදිරියෙහි වැටී,
19 කථාකොට: මාගේ ස්වාමියා මා ගණනට කිසි අපරාධයක් නොතැබුව මැනවි, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් යෙරුසලමෙන් පිටත්ව ගිය දවසේදී ඔබගේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ රජතුමා සිහිනොකළ මැනවි, එය සිතට නොගත මැනවි.
20 මක්නිසාද ඔබගේ දාසයාවූ මා පව්කළ බව මම දනිමි. එබැවින් යෝසෙප්ගේ මුළු වංශය අතරෙන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ පෙරමගට බැස එන්ට මම පළමුකොටම ආවෙමියි කීය.
21 එහෙත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි උත්තරදෙමින්: ෂිමෙයි ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට දෙස් කී බැවින් ඔහු මරනුලැබිය යුතු නොවේදැයි කීය.
22 දාවිත්ද: ශෙරුයාගේ පුත්‍රයෙනි, ඔබ සැම අද මට එදිරිවීමට ඔබ සැමත් මාත් අතරේ තිබෙන සම්බන්ධකම මොකද? අද ඉශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවෙකු මරණයට පත්කරන්ට යුතුද? මක්නිසාද අද මා ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටින බව මම නොදනිම්දැයි කීවේය.
23 තවද: ඔබ නොනස්නෙහියයි රජ ෂිමෙයිට කියා දිවුළේය.
24 සාවුල්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් රජුගේ පෙරමගට ආයේය; ඔහු රජු ගිය දා පටන් සමාදානයෙන් ආ දවස දක්වා තමාගේ පාදත් රැවුලත් හරිගස්සා ගත්තේවත් තමාගේ ඇඳුම් සේදුවේවත් නැත.
25 තවද ඔහු රජු සම්මුඛවෙන්ට යෙරුසලමට ආ කල රජ කථාකොට: මෙපිබොෂෙත්, ඔබ මා සමඟ නොගියේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.
26 ඔහු උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මාගේ වැඩකාරයා මා රැවටුවේය. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා කොර බැවින්-කොටළුවෙකු සූදානම්කරගන ඌ පිට නැගී රජ්ජුරුවන් සමඟ යමියි ඔබගේ මෙහෙකරුවා කීවේය.
27 ඔහු මාගේ ස්වාමිවූ රජුට ඔබගේ මෙහෙකරුවා ගැන කේලාම් කීවේය. එහෙත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ය. ඔබගේ ඇස් හමුවෙහි හොඳව තිබෙන දේ කළමැනවි.
28 මක්නිසාද මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමිවූ රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූහ. එසේවී නුමුත් ඔබගේම මේසයෙන් කන තැනැත්තන් අතරේ ඔබ ඔබගේ මෙහෙකරුවා සිටෙවුවෙහිය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්ට මට ඇති යුතුකම මොකදැයි කීය.
29 රජද: ඔබේ කාරණා ගැන තවත් කථාකරන්නේ මන්ද? ඔබත් ශීබාත් බිම බෙදාගන්න ලෙස මම කියමියි ඔහුට කීවේය.
30 මෙපිබොෂෙත්ද: එසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ ගෙදරට සමාදානයෙන් ආ බැවින් සියල්ලම වුණත් ඔහු ගත්තාවේයයි රජුට කීවේය.
31 තවද ගිලියදිය බර්සිල්ලයි රොගේලීම් සිට ඇවිත් යොර්දානෙන් මෙගොඩට රජු ගෙනෙන පිණිස ඔහු සමඟ යොර්දානෙන් මෙගොඩට ආයේය.
32 බර්සිල්ලයි ඉතා මහලුව අසූ අවුරුද්දක් වයස්ව සිටියේය. ඔහු රජු මහනායිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයාදුන්නේය; ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙකි.
33 රජද: මා සමඟ යන්ට එන්න, යෙරුසලමේ මා වෙත ඔබ පෝෂ්‍යකරන්නෙමියි බර්සිල්ලයිට කීවේය.
34 බර්සිල්ලයිද: රජ්ජුරුවන් සමඟ යෙරුසලමට යන්ට මාගේ ජීවිතයේ තවත් ඉතිරිව තිබෙන අවුරුදුවල දවස් කොපමණද?
35 මම දැනට අසූ අවුරුද්දක් වයස්ව සිටිමි. හොඳ නරක මට දැනෙනවාද? ඔබගේ මෙහෙකරුවූ මට කන බොන දේවල රස දැනේද? ගී කියන පුරුෂයන්ගෙත් ගී කියන ස්ත්‍රීන්ගෙත් හඬ මට තවත් අසන්ට පුළුවන්ද? එබැවින් ඔබගේ මෙහෙකරුවා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට තවත් බරක් වෙන්නේ කුමටද?
36 ඔබගේ මෙහෙකරුවා රජ්ජුරුවන් සමඟ යොර්දානෙන් එගොඩට යෑම සුළු දෙයක්ය. එබැවින් රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ මක්නිසාද?
37 මාගේම නුවර මාගේ පියාණන්ගෙත් මාගේ මෑණියන්ගෙත් සොහොන්පළ ළඟ මා මැරෙන පිණිස ඔබගේ මෙහෙකරුවාට හැරී යන්ට අවසර ලැබේවා. නුමුත් ඔබගේ මෙහෙකරුවූ කිම්හාම්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ එගොඩ ගියාවේ; ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කළ මැනවැයි කීවේය.
38 රජද: කිම්හාම් එගොඩ මා සමඟ යේවා, ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කරන්නෙමි. ඔබ මාගෙන් ඉල්ලන සියල්ලත් ඔබට කර දෙන්නෙමියි කීවේය.
39 මුළු සෙනඟ යොර්දානෙන් මෙගොඩවුණෝය, රජද මෙගොඩවුණේය. රජතෙමේ බර්සිල්ලයි සිඹ ඔහුට ආශීර්වාදකෙළේය; ඔහු තමාගේ ස්ථානයට හැරීගියේය.
40 මෙසේ රජ මෙගොඩවී ගිල්ගාල්ට ආවේය, කිම්හාම්ද ඔහු සමඟ ආවේය. මුළු යුදා සෙනඟද ඉශ්‍රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක්ද රජු මෙගොඩට කැඳවාගන ආවෝය.
41 එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ රජු ළඟට අවුත් රජුට කථාකොට: අපේ සහෝදරවූ යුදා මනුෂ්‍යයන් ඔබ හොරෙන් අඬගසාගන රජුද ඔහුගේ ගෙයි වැසියන්ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මනුෂ්‍යයන්ද යොර්දානෙන් මෙගොඩට ගෙනාවේ මක්නිසාදැයි ඇසුවෝය.
42 සියලු යුදා මනුෂ්‍යයෝ ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජ්ජුරුවන් අපේ නෑයෙක් නිසාය. ඔබ සැම මේ කාරණය ගැන කෝපවෙන්නේ මක්නිසාද? රජුගේ වියදමෙන් අපි කොහෙත්ම කෑවෙමුද? නොහොත් ඔහු අපට කිසි තෑග්ගක් දුන්නේදැයි කීවෝය.
43 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ යුදා මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජුගෙන් දස කොටසක් අපට තිබේ, දාවිත්ගෙනුත් ඔබ සැමට වඩා අයිතිකම අපට ඇත්තේය. ඔබ සැම අප සුළුකොට සිතුවේ මක්නිසාද? රජු නැවත ගෙනෙන්ට පළමුකොට කථාකළේ අප නොවේදැයි කීවෝය. නුමුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ වචනවලට වඩා යුදා මනුෂ්‍යයන්ගේ වචන සැරව තිබුණේය.



පරිච්ඡේදය 20

1 බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන 20:1 බෙලියල්ගේ මනුෂ්‍යයෙක්. මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.
2 එවිට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දාවිත් අත්හැර බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා පස්සේ ගියෝය. නුමුත් යොර්දාන් පටන් යෙරුසලම දක්වාම යුදා මනුෂ්‍යයෝ තමුන්ගේ රජුට ඇලුම්ව සිටියෝය.
3 දාවිත් යෙරුසලමෙහිවූ තමාගේ ගෙදරට පැමුණුණ විට ගෙය ප්‍රවේසම්කිරීමට රජු විසින් සිටුවාගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන හිරකර තබා ඔවුන් පෝෂ්‍යකෙළේය, නුමුත් ඔවුන් කරා නොඑළඹුණේය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා හිරෙහිම වැන්දඹු භාවයෙහි සිටියෝය.
4 තවද රජ අමාසාට කථාකොට: තුන් දවසකින් යුදා මනුෂ්‍යයන් මා වෙතට අඬගස්වන්න, ඔබත් මෙහි සිටින්නැයි කීය.
5 මෙසේ අමාසා යුදා මනුෂ්‍යයන් අඬගස්වාගන එන්ට ගොස් ඔහුට නියමකළ කාලයට වඩා ප්‍රමාදවිය.
6 දාවිත් අබිෂයිට කථාකොට: දැන් අබ්සලොම්ට වඩා, බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා අපට අනතුරුකරනවා ඇත. ඔහු පවුරු ඇති නුවරවල් අත්කරගෙන අපෙන් ගැළවී නොයන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගන ඔහු ලුහුබැඳ යන්නැයි කීවේය.
7 එවිට යෝවාබ්ගේ මිනිස්සුද කෙරෙතිවරුද පෙලෙතිවරුද සියලු බලවන්තයෝද ඔහු පස්සේ පිටත්ව ගියෝය. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු යෙරුසලමෙන් නික්ම ගියෝය.
8 ඔවුන් ගිබියොන්හි තිබෙන මහ ගල ළඟ සිටියදී අමාසා ඔවුන් ඉදිරියට ආයේය. යෝවාබ් තමාගේ යුද්ධ ඇඳුම් ඇඳ ඒ උඩ ඉඟ පටියක් බැඳගන උන්නේය, කඩුවක්ද කොපුවේ දමා ඔහුගේ ඉඟටියේ එයින් බැඳ තිබුණේය; ඔහු පිටතට යද්දී ඒක වැටුණේය.
9 යෝවාබ් අමාසාට කථාකොට: මාගේ සහෝදරය, ඔබ සුවසේ සිටිනෙහිදැයි අමාසාට කියා ඔහු සිඹින්ට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේය.
10 නුමුත් අමාසා යෝවාබ් අතේ තිබුණු කඩුව ගැන නොසැලකුවේය. යෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන එක පහරකින්ම ඔහුගේ අතුණු බිම වැගිරෙවුවේය, මෙසේ ඔහු මළේය. යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබිෂයිද බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබැඳ ගියෝය.
11 යෝවාබ්ගේ සේවකයන්ගෙන් එක්කෙනෙක් අමාසා ළඟ සිට; යෝවාබ්ට හිතවත්වූ දාවිත්ගේ පක්ෂයට සිටින්නාවූ කවුරු නුමුත් යෝවාබ් පස්සේ යේවයි කීවේය.
12 අමාසා වනාහි මහමාවත මැද ලෙයෙහි පෙරළී උන්නේය. ඉන්නිසා මුළු සෙනඟ නවතින බව ඒ මනුෂ්‍යයා දැක, අමාසා ළඟින් එන සියල්ලන් මෙසේ නවතින බව ඔහු දුටු කල්හි, ඔහු අමාසා මාවතෙන් කෙතට ගෙනගොස් ඔහු පිට රෙද්දක් හෙළුවේය.
13 ඔහු මාවතින් අහක්කළායින් පසු මුළු සෙනඟ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා ලුහුබඳින පිණිස යෝවාබ් පස්සේ ගියෝය.
14 ෂෙබා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රද සියලු බේරීවරුන්ද අතරේ ගොස් ආබෙල්ටත් බෙත්-මයකාටත් පැමුණුණේය. මිනිස්සු රැස්වී ඔහු පස්සේ ගියෝය.
15 ඔව්හු ඇවිත් බෙත්-මයකාහි ආබෙල් වටලාගන නුවර ඉදිරිපිට ගොඩැල්ලක් ඉදිකළෝය; එය පවුර ඉදිරිපිට තිබුණේය. යෝවාබ් සමඟ සිටි මුළු සෙනඟද පවුර හෙළාදමන්ට ඊට පහරදුන්නෝය.
16 එවිට ප්‍රඥාවන්ත ස්ත්‍රියෙක් නුවර සිට මොරගසා: මෙන්න අසන්න, අසන්න; මා යෝවාබ් සමඟ කථාකරන පිණිස මෙහි ළඟාවෙන්ට කියා ඔහුට කිවමැනවියි කීවාය.
17 ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රී: ඔබ යෝවාබ්දැයි ඇසුවාය. ඔහුද: එසේයයි උත්තරදුන්නේය. එවිට ඈ: ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුවමැනවියි ඔහුට කීවාය. ඔහුද: මම අසමියි කීවේය.
18 එවිට ඈ කථාකොට: ඔව්හු සැබවින්ම ආබෙල්හිදී විචාරන්නෝය කියා කථාකරන්ට පුරාණ කාලයේදී මනුෂ්‍යයෝ පුරුදුව සිටියෝය. එසේ ඔව්හු කාරණය තීන්දුකළෝය.
19 මම වනාහි සමාදානය හා විශ්වාසයෙන් යුක්තවූ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක්කෙනෙකි. ඔබ ඉශ්‍රායෙල්හි නුවරක්ද මවුකෙනෙක්ද නැතිකරන්ට හදන්නෙහිය. ස්වාමීන්වහන්සේගේ උරුමය නාස්තිකරන්නේ මක්නිසාදැයි කීවාය.
20 යෝවාබ් උත්තරදෙමින්: නැති නාස්ති කිරීම මාගෙන් දුරුවේවා, දුරුවේවා.
21 මේ කාරණය එසේ නොවේ. බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ එප්‍රයිම් කඳු රටේ මනුෂ්‍යයෙක් දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. ඔහු පමණක් පාවා දෙන්න, එවිට මම නුවරින් අහක්ව යන්නෙමියි කීවේය. ඒ ස්ත්‍රීද: ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙතට වීසිකරනු ලබන්නේයයි යෝවාබ්ට කීවාය.
22 එවිට ඒ ස්ත්‍රී ඇගේ ප්‍රඥාවෙන් යුක්තව මුළු සෙනඟ ළඟට ගියාය. ඔව්හු බික්‍රිගේ පුත්‍රවූ ෂෙබාගේ හිස කපා යෝවාබ් වෙතට වීසිකළෝය. යෝවාබ් හොරණෑව පිම්බේය, එවිට ඔව්හු නුවරින් තම තමුන්ගේ කූඩාරම්වලට විසිර ගියෝය. යෝවාබ්ද යෙරුසලමට රජු වෙතට හැරී ආවේය.
23 යෝවාබ් මුළු ඉශ්‍රායෙල් සේනාවට අධිපතියාය. යෙහොයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් අධිපතියාය.
24 අදොරාම් රාජකාරියේ මුලාදෑනියාය. අහිලුද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාත් වාර්තාකරුවාය.
25 ෂෙවා වනාහි ලේකම්ය. ශාදොක්ද අබියාතර්ද පූජකයෝය.
26 යායිර්හි ඊරාත් දාවිත්ගේ මන්ත්‍රීවරයෙක්ය.



පරිච්ඡේදය 21

1 දාවිත්ගේ දවස්වලදී අවුරුද්දෙන් අවුරුද්ද තුන් අවුරුද්දක්ම සාගතයක් විය; දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකළ විට ස්වාමීන්වහන්සේ: සාවුල් විසින් ගිබියොන්වරුන් මැරූ බැවින් ඔහු නිසාත් ඔහුගේ කුරිරු වංශය නිසාත්යයි කීසේක.
2 (ගිබියොන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නොව අමෝරිවරුන්ගෙන් ඉතිරිව සිටිය කොට්ඨාසයක්ය; ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නුමුත් සාවුල් ඉශ්‍රායෙල් පු ත්‍රයන්ටත් යුදාටත් ඇති තමාගේ ජ්වලිතකම නිසා ඔවුන් මරන්ට සෙවුවේය.)
3 දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: ඔබ සැම උදෙසා කුමක් කරම්ද ඔබ සැම ස්වාමීන්වහන්සේගේ උරුමයට ආශීර්වාදකරන පිණිස මා මොන දෙයකින් සමඟිකමක්කළ යුතුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
4 ගිබියොන්වරුද: සාවුල්ට සහ ඔහුගේ වංශයට විරුද්ධව අපට ඇත්තේ රිදී රත්රන් ගැන කාරණයක් නොවේ; ඉශ්‍රායෙල්හි යමෙකු මැරීම අපේ වැඩක් නොවේයයි ඔහුට කීවෝය. ඔහුද: ඔබ සැම කියනදෙයක් ඔබ සැමට කරදෙමියි කීවේය.
5 ඔව්හු රජුට කථාකොට: අප නැතිකළාවූ, අප ඉශ්‍රායෙල්වරුන්ගේ කොයි සීමාවකවත් නොසිට නැතිවීයන ලෙස
6 අපට විරුද්ධව උපා යෙදූ මනුෂ්‍යයාගේ පුත්‍රයන්ගෙන් පුරුෂයන් සත්දෙනෙකුන් අපට පාවාදුන මැනවි. අපිද ස්වාමීන්වහන්සේ විසින් තෝරාගත් සාවුල් සිටි ගිබියාහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමුයයි කීවෝය. එවිට රජ: ඔවුන් දෙන්නෙමියි කීවේය.
7 නුමුත් ඔවුන් අතරේ එනම් දාවිත් සහ සාවුල්ගේ පුත් යොනාතාන් අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කරන්ට යෙදුණු දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් ඉතුරු කෙළේය.
8 නුමුත් ඔහු අයාගේ දුවවූ රිශ්පා සාවුල් නිසා බිහිකළ අර්මොනිද මෙපිබොෂෙත්ද යන පුත්‍රයන් දෙදෙනද සාවුල්ගේ දුවවූ මීඛල් මෙහොලාතිය බර්සිල්ලයිගේ පුත්‍රවූ අද්‍රියෙල් නිසා බිහිකළ පුත්‍රයන් පස්දෙනාද ගෙන,
9 ගිබියොන්වරුන් අතට පාවාදුන්නේය, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝය, මෙසේ ඒ සත්දෙනා එකවිටම වැටුණෝය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්ට පටන්ගන්න කාලයේ පළමුවෙනි දවස්වලදීය.
10 එවිට අයාගේ දුවවූ රිශ්පා ගෝනි රෙදි අරගන ගොස් පර්වතය පිට අතුරා ඉඳ, ගොයම් කපන කාලයේ පටන්ගැන්මේ සිට ඔවුන් පිට අහසින් වැසි වසින තුරු දවල් ආකාශයේ පක්ෂීන්ටවත් රෑ වනයේ මෘගයන්ටවත් ඔවුන් ළඟට පැමිණෙන්ට ඉඩනොදී සිටියාය.
11 අයාගේ දූවූ සාවුල්ගේ උපභාර්යාවවූ රිශ්පා කළ දෙය දාවිත්ට දන්වනලද්දේය.
12 පිලිස්තිවරුන් විසින් ගිල්බොවාහි සාවුල් මැරූ දවසේදී පිලිස්තිවරු සාවුල් සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන් බෙත්-ෂාන්හි වීථියේ එල්ලාදැමුවෝය. එතැනින් ඔවුන්ගේ ඇට යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන් විසින් හොරෙන් ගෙන ගොස් තිබුණේය.
13 දාවිත් ගොස් සාවුල්ගේ ඇට සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේ ඇට එතැනින් ගෙනායේය. එල්ලා දමනලද තැනැත්තන්ගේ ඇටත් ඔව්හු එකතුකළෝය.
14 සාවුල්ගේද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේද ඇට බෙන්යමින් රටේ ශේලාහි තිබෙන ඔහුගේ පියවූ කීෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කොට රජු විසින් අණකළ සියල්ල කළෝය. ඉන්පසු දේශය ගැන කළ කන්නලව්ව දෙවියන්වහන්සේ පිළිගත්සේක.
15 නැවත ඉශ්‍රායෙල් සමඟ පිලිස්තිවරුන්ගේ යුද්ධයක් විය; දාවිත්ද තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන්කෙළේය. දාවිත් විඩාවට පැමිණියේය.
16 එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.
17 නුමුත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට උපකාරකොට පිලිස්තියයාට පහරදී ඔහු මැරුවේය. එවිට දාවිත්ගේ මිනිස්සු: ඉශ්‍රායෙල්ගේ පහන නොනිවන පිණිස ඔබ තවත් අප සමඟ යුද්ධයට නොයායුතුයයි දිවුරා දාවිත්ට කියා සිටියෝය.
18 ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ සප් මැරුවේය.
19 නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්-ලෙහෙමිය යාරේ-ඔරෙගීම්ගේ පුත්‍රවූ එල්හානාන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරයා මැරුවේය. ඔහුගේ හෙල්ලයේ මිට වියන දණ්ඩක් හා සමානය.
20 නැවතත් ගාත්හි යුද්ධයක්විය, එහි බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෙක් සිටියේය. ඔහුගේ අත්වලත් පාදවලත් හය හය බැගින් ගණනින් ඇඟිලි විසිහතරක් ඔහුට තිබුණේය; ඔහුත් යෝධයා නිසා උපන් කෙනෙක්ය.
21 ඔහු ඉශ්‍රායෙල්වරුන්ට මිග කී කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යොනාතාන් ඔහු මැරීය.
22 ඒ සතරදෙනා ගාත්හිදී යෝධයා නිසා උපන්නෝය; ඔව්හු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පැරදී වැටුණෝය.



පරිච්ඡේදය 22

1 ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින්ද සාවුල්ගේ අතින්ද ඔහු ගැළවූ කල ඔහු මේ ගීතිකාවේ වචන ස්වාමීන්වහන්සේට කියනුයේ:
2 ස්වාමීන්වහන්සේ මාගේ පර්වතය මාගේ බලකොටුවය, මාගේ, මාගේම මිදුම්කාරයාණෝය;
3 මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය, මාගේ රක්ෂාස්ථානයය; මාගේ ගැළවුම්කාරයාණෝය, බලාත්කාරකමෙන් ඔබ මා ගළවනසේක.
4 ප්‍රශංසනීයවූ ස්වාමීන්ට අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් ගැළවෙන්නෙමි.
5 කුමක්හෙයින්ද මරණය නමැති තරංගයෝ මා වටකළෝය, අධර්මය නැමති ජලධාරාවෝ මා භයගැන්වූය.
6 ෂෙයොලේ බැමි මා අවටින් විය, මරණයේ මලපත් මා පිටට ආයේය.
7 මාගේ විපතේදී ස්වාමීන්ට අයැදීමි, එසේය, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවේ සිට මාගේ හඬ ඇසූසේක, මාගේ හඬ උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
8 එවිට පොළොව සෙලවී කම්පාවිය, අහසේ අත්තිවාරම්ද වෙවුලා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස් වූසේක.
9 උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය. උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවුළුණේය.
10 උන්වහන්සේ අහස නමාගෙන බැස්සසේක; උන්වහන්සේගේ පාද යට ඝනාන්ධකාරය විය.
11 උන්වහන්සේ කෙරුබයෙකු පිට නැගී පියාසරකළසේක. එසේය, උන්වහන්සේ හුළඟ නැමැති පියාපත් පිට පෙනුණුසේක.
12 උන්වහන්සේ අන්ධකාරයද ජලරාශිය වන අහසේ ඝන වලාකුල්ද තමන් වටකොට මණ්ඩපයන් කරගත්සේක.
13 උන්වහන්සේ ඉදිරියෙහිවූ දීප්තිය නිසා අඟුරු දැල්වී ගියේය.
14 ස්වාමීන්වහන්සේ අහසේ සිට ගර්ජනාකළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක.
15 උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; විදුලිය එවා ඔවුන් පරාජයකළසේක.
16 එකල ස්වාමීන්ගේ තරවටුවෙන්ද උන්වහන්සේගේ නාසා වාතය නිසාද සමුද්‍ර පතුල් ප්‍රකාශවුණේය, පොළොවේ අත්තිවාරම්ද ප්‍රකාශ විය.
17 උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත්සේක;
18 මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද උන්වහන්සේ මා මුදාගත්සේක; මක්නිසාද ඔව්හු මට වඩා බලවත් වූය.
19 මාගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය. නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ ආධාරය වූසේක.
20 උන්වහන්සේ විශාල ස්ථානයකට මා ගෙනාසේක. උන්වහන්සේ මා කෙරෙහි ප්‍රසන්නවූ බැවින් මා මිදූසේක.
21 ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක. මාගේ අත්වල පිරිසිදුකම ලෙස මට ප්‍රතිඵල දුන්සේක.
22 මක්නිසාද මම ස්වාමීන්ගේ මාර්ග රක්ෂාකෙළෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ට ලෙස අහක්ව නොගියෙමි.
23 උන්වහන්සේගේ සියලු විනිශ්චයයෝ මා ඉදිරියෙහි වූය. උන්වහන්සේගේ පනත්වලින් අහක්ව නොගියෙමි.
24 මම උන්වහන්සේ වෙත නිර්දෝෂව 22:24 හෙවත්, සම්පූර්ණව. සිටියෙමි, මාගේ අයුතුකමින් වැලකුණෙමි.
25 එබැවින් ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙසත් උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිවූ මාගේ පිරිසිදුකම ලෙසත් මට ප්‍රතිඵල දුන්සේක.
26 කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක, නිර්දෝෂ තැනැත්තා සමඟ නිර්දෝෂ 22:26 හෙවත්, සම්පූර්ණ බව. බව දක්වනසේක;
27 පිරිසිදු අය සමඟ ඔබ පිරිසිදු බව දක්වනසේක; හිතුවක්කාර අය සමඟ විරුද්ධව බව දක්වනසේක.
28 ඔබ පීඩිත සෙනඟ ගළවනසේක. එහෙත් උඩඟුවූවන් පහත්කරන පිණිස ඔබගේ ඇස් ඔවුන් දෙසට යොමා තිබේ.
29 මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පහනය. ස්වාමීන්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝකකරනසේක.
30 මක්නිසාද ඔබ කරණකොටගෙන සමුදාවකට විරුද්ධව දුවමි. මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරක් උඩින් පනිමි.
31 දෙවියන්වහන්සේගේ මාර්ගය වනාහි සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට පලිහක් වනසේක.
32 මක්නිසාද ස්වාමීන්වහන්සේ මිස දෙවියන්වහන්සේ වෙන කවුද? අපේ දෙවියන්වහන්සේ මිස පර්වතයක් වෙන කවුද?
33 දෙවියන්වහන්සේ මාගේ බලකොටුවය. උන්වහන්සේ නිර්දෝෂ 22:33 හෙවත්, සම්පූර්ණ. අයට මාර්ගය පෙන්වනසේක.
34 උන්වහන්සේ මාගේ පාද මුවදෙනුන් ගේ පාද මෙන් කරනසේක. මාගේ උස් තැන්වල මා පිහිටුවනසේක.
35 උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුහුණුකරන සේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමන්නේය.
36 ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක. ඔබගේ මෘදුකම මා උසස්කෙළේය.
37 ඔබ මා යට මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය.
38 මම මාගේ සතුරන් ලුහුබැඳ ගොස් විනාශකෙළෙමි; මම ඔවුන් වනසන තුරු හැරී නායෙමි.
39 නැගිටින්ට බැරිවන ලෙස මම ඔවුන්ට පහරදී ඔවුන් සුන්කෙළෙමි. එසේය, ඔව්හු මාගේ පාද යට වැටුණෝය.
40 මක්නිසාද ඔබ සටන් පිණිස බලයෙන් මාගේ ඉඟටිය සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ අවනතකරවූසේක.
41 මට ද්වේෂකරන්නන් මා විසින් සිඳදමන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටිපාන්ට සැලැස්වූසේක.
42 ඔව්හු බැලුවෝය, නුමුත් ගළවන්ට කිසිවෙක් නොවීය; ස්වාමීන් දෙස බැලුවෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නුදුන්සේක.
43 එකල මම පොළොවෙහි ධූලි මෙන් ඔවුන් සුණුකෙළෙමි, වීථිවල මඩ මෙන් ඔවුන් පාගා විසුරුවාදැමීමි.
44 ඔබ මාගේ සෙනඟගේ ඩබරවලින් මා මුදාගත්සේක; ජාතීන්ට ප්‍රධානියා වීමට රක්ෂාකළසේක මා විසින් නොහැඳින්න සෙනඟක් මට මෙහෙකරන්නෝය.
45 විදේශීහු මට යටත්කම පාන්නෝය මා ගැන ඇසූ කෙණෙහිම ඔව්හු මට කීකරු වන්නෝය.
46 විදේශීහු මලානිකවී තමුන් සැඟවී හුන් තැන්වලින් වෙවුලමින් පිටත එන්නෝය.
47 ස්වාමීන්වහන්සේ ජීවත්ව සිටිනසේක; මාගේ පර්වතයාණන්ට ප්‍රශංසා වේවා; මාගේ ගැළවීමේ පර්වතය වන දෙවියන්වහන්සේ උසස්වනසේක්වා.
48 උන්වහන්සේ මා උදෙසා පළිගන්නාවූ; ජාතීන් මට යටත්කර දෙන්නාවූ,
49 මාගේ සතුරන්ගෙන් මා මුදාගන්නාවූ දෙවියන්වහන්සේය. එසේය, මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස්කරනසේක. බලාත්කාර මනුෂ්‍යයාගෙන් මා ගළවනසේක.
50 එබැවින් ස්වාමීන්වහන්ස, ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
51 උන්වහන්සේ තමන් රජහට මහත් ගැළවීම දෙනසේක. තමන්ගේ අභිෂේකලත් තැනැත්තා වන දාවිත්ටත් ඔහුගේ වංශයටත් සදාකල් කරුණාව පෙන්වනසේකැයි කීවේය.



පරිච්ඡේදය 23

1 තවද දාවිත්ගේ අන්තිම වචන මේවාය. යෙස්සේගේ පුත්‍රයාද උසස්කරනු ලැබූ මනුෂ්‍යයාද යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉශ්‍රායෙල්ගේ මිහිරි ගීතිකාකාරයාදවූ දාවිත් මෙසේ කියන්නේය:
2 ස්වාමීන්වහන්සේගේ ආත්මය මා ලවා කථාකෙරෙවුසේක, උන්වහන්සේගේ වාක්‍යයද මාගේ දිවේ තිබුණේය.
3 ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කීවෙත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් මට කථා කළෙත් මෙසේය- දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය.
4 ඒ තෙමේ වලාකුල් නැතුව ඉර උදාවන කල්හි තිබෙන උදය ආලෝකයද වැස්සෙන් පසුව බබළන දීප්තිය කරණකොටගෙන පොළොවෙන් හටගන්න ළපටි තෘණද මෙන් වන්නේය.
5 සැබවින් මාගේ වංශය දෙවියන්වහන්සේ ඉදිරියෙහි එසේම පවතිනු නොවේද? මක්නිසාද සියල්ල ගැන නියම ලෙස ස්ථිරකර තිබෙන සදාකාල ගිවිසුමක් උන්වහන්සේ මා සමඟ කළසේක. ඒ මාගේ මුළු ගැළවීමත් මාගේ මුළු ප්‍රසන්නයත් වේ. උන්වහන්සේ එය වැඩෙන්ට නොසලස්වනසේක්ද?
6 නුමුත් සියලු දුර්ජනයෝ. අතින් නාල්ලන්නාවූ අහක දමන්නාවූ කටු ගස්වලට සමානය.
7 ඒවා අල්ලන මනුෂ්‍යයා යකඩ සහ හෙල්ල මිටක්ද රැගෙන සිටිය යුතුය; ඒවා තිබෙන තැනම මුළුමනින් ගින්නෙන් දවා දමනු ලබන්නේය. දාවිත් රජුගේ බලවන්තයෝ
8 දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාම මේවාය: අධිපතීන්ට ප්‍රධානවූ තාකෙමොනිය යොෂෙබ්-බෂ්ෂෙබෙත්ය; ඔහු එක් වතාවකදී අටසිය දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරුවේය.
9 ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර්ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස්ව සිටිද්දී ඒ ස්ථානයෙහි දාවිත් සමඟ සිට ඔවුන්ට මිග කී බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය, ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද ගොස් සිටියෝය.
10 ඔහු නැගිට තමාගේ අතට වෙහෙසවී තමාගේ අත කඩුවට ඇලෙන තුරු පිලිස්තිවරුන්ට පහර දුන්නේය. ස්වාමීන්වහන්සේ එදා මහත් ජයක් සාදා දුන් සේක; සෙනඟ ද කොල්ලය ගන්ට පමණක් ඔහු පස්සේ ගියෝය.
11 ඊළඟට හාරාරිය අගීගේ පුත්‍රවූ ෂම්මාය. පිලිස්තිවරු හමුදාවක්ව කොල්ලු පුරාම තිබුණු බිම් කොටසක රැස්ව සිටියෝය; සෙනඟද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය.
12 නුමුත් ඔහු බිම් කොටස මැද සිට ඒක බේරාගන පිලිස්තිවරුන් මැරුවේය. ස්වාමීන්වහන්සේ මහත් ජයක්. සාදාදුන්සේක.
13 ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේදී ගොස් දාවිත් සිටි අදුල්ලම් ගුහාවට බැස ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන උන්නාහ.
14 දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්-ලෙහෙම්හි සිටියාහ.
15 දාවිත් තද ආශාවක් ඇත්තේ: අනේ බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර කවුරුවත් මට බොන්ට ගෙනක් දෙනවා නම් හොඳයයි කීවේය.
16 එවිට ඒ බලවන්තයන් තුන්දෙනා පිලිස්තිවරුන්ගේ සේනාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් ඔහු ඒවා බොන්ට අකැමැතිව ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට:
17 ස්වාමීන්වහන්ස, මෙසේ කිරීම මාගෙන් දුරුවේවා. තමුන්ගේ ප්‍රාණය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ රුධිරය බොන්ට යුතුදැයි කියා ඒවා බොන්ට අකැමැතිවුණේය. ඒ බලවන්තයෝ තුන්දෙනා මේ දේවල් කළෝය.
18 ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නාමයක් ලැබීය.
19 තුන්දෙනා අතරෙන් ඔහු ඉතා ගරුතර තැනැත්තා නොවේද? එබැවින් ඔහු ඔවුන්ගේ අධිපතියා කරනලද්දේය. එසේ වුවත් ඔහු පළමුවෙනි තුන්දෙනාගේ ප්‍රමාණයට නොපැමිණියේය.
20 මහත් ක්‍රියාවල් කළාවූ, කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙන්නා මැරුවේය. හිම වැටෙන දවසකදී ඔහු බැස ගොස් වළක් ඇතුළෙහිදී සිංහයෙකු මැරුවේය.
21 ඔහු එඩිතර පෙනීමක් ඇති මිසර මනුෂ්‍යයෙකුත් මැරුවේය. මිසරයාගේ අතේ හෙල්ලයක් තිබුණේය; එහෙත් ඔහු පොල්ලක් ඇතුව මිසරයා ළඟට ගොස් ඔහුගේ අතින් හෙල්ලය උදුරාගෙන ඔහුගේම හෙල්ලයෙන් ඔහු මැරුවේය.
22 යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා මේ දේවල් කොට බලවන්තයන් තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය.
23 ඔහු තිස්දෙනාට වඩා ගරුතර කෙනෙක්ය, එහෙත් පළමුවෙනි තුන්දෙනාගේ ප්‍රමාණයට නොපැමිණියේය. දාවිත් තමාගේ මුරකාරයන් කෙරෙහි ඔහු අධිපතියා කෙළේය.
24 යෝවාබ්ගේ සහෝදරවූ අසාහෙල් වනාහි තිස් දෙනාගෙන් එක්කෙනෙක්ය; තවත් අය නම් බෙත්-ලෙහෙම්හි දෝදෝගේ පුත්‍රවූ එල්හානාන්ය;
25 හරොදිය ෂම්මාය, හරොදිය එලිකාය;
26 පල්තිය හෙලෙශ්ය, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත්‍රවූ ඊරාය;
27 අනාතෝතිය අබියෙසෙර්ය, හුෂාතිය මෙබුන්නයිය;
28 අහොහිය ශල්මොන්ය, නෙටොපාතිය මහරයිය;
29 නෙටොපාතිය බානාගේ පුත්‍රවූ හෙලෙබ්ය, බෙන්යමින් පුත්‍රයන්ගේ ගිබියාහි රීබයිගේ පුත්‍රවූ ඉත්තයිය;
30 පිරාතොනිය බෙනායාය, ගාෂ්හි දොළවල හිද්දයීය;
31 අර්බාතිය අබී-යල්බොන්ය, බර්හුමිය අස්මාවෙත්ය;
32 ෂාල්බොනිය එලියාබාය, යාෂෙන්ගේ පුත්‍රයන්ගෙන් යොනාතාන්ය;
33 හරාරිය ෂම්මාය, අරාරිය ෂාරාර්ගේ පුත්‍රවූ අහියාම්ය;
34 මයකාතියයාගේ පුත්‍රයා වන අහස්බයිගේ පුත්‍රවූ එලිපෙලෙත්ය, ගීලොනිය අහිතොපෙල්ගේ පුත්‍රවූ එලියාම්ය;
35 කර්මෙලිය හෙශ්රයිය, අර්බිය පයරයිය;
36 ශෝබාහි නාතාන්ගේ පුත්‍රවූ ඉගාල්ය, ගාදිය බානීය;
37 අම්මොනිය ශෙලෙක්ය, ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙයේරොතිය නහරයිය;
38 ඉත්රිය ඊරාය, ඉත්රිය ගාරෙබ්ය; හිත්තීය උරියාය.
39 ඒ සියල්ලෝ තිස් සත්දෙනෙක්ය.



පරිච්ඡේදය 24

1 නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. උන්වහන්සේද: ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යුදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක.
2 රජතෙමේ තමා සමඟ සිටි සේනාපතියාවූ යෝවාබ්ට කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස ඔබ සැම දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන්කරන්නැයි කීවේය.
3 යෝවාබ් රජුට කථාකොට: දැන් සිටින ගණන කොපමණ වුවත් ඊට වඩා ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙනඟ සිය ගුණයක් වැඩිකරනසේක්වා, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සියැසින් දකින්ටත් ලැබේවා. නුමුත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් මේ කාරණයට ප්‍රියවන්නේ මක්නිසාදැයි කීවේය.
4 එහෙත් යෝවාබ්ගේද සේනාපතීන්ගේද වචනය යටපත් වී රජුගේ වචනය ස්ථිරවිය. යෝවාබ්ද සේනාපතීහුද ඉශ්‍රායෙල් සෙනඟ ගණන්කරන පිණිස රජු ඉදිරියෙන් පිටත්ව ගියෝය.
5 ඔව්හු යොර්දානෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් මිටියාවත මැද තිබෙන නුවරට දකුණෙන් යාසේර් දෙසට කූඩාරම් පිහිටුවාගත්තෝය.
6 එතනින් ඔව්හු ගිලියද්ටත් තාතීම්-හොද්ෂි රටටත් පැමුණුණෝය; එතනින් දාන්-යාන්ටත් ශීදොන් වටකර ස්ථානවලටත් පැමිණියාහ.
7 එතනින් පවුරු ඇති තීර්ටත් හිවීවරුන්ගේද කානානිවරුන්ගේද සියලු නුවරවලටත් පැමිණියාහ. යුදාහි දකුණු දිශාවේ බෙයෙර්-ෂෙබා දක්වාද ගියෝය.
8 මෙලෙස ඔව්හු මුළු දේශයෙහි ඇවිද නව මස් විසි දවස කට පසු යෙරුසලමට ආවෝය.
9 යෝවාබ් ගණන්කොට සෙනඟගේ මුළුගණන රජුට දුන්නේය. කඩුගත් යුද්ධකාර ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් අට ලක්ෂයක්ද යුදා මනුෂ්‍යයන් පන්ලක්ෂයක්ද සිටියෝය.
10 දාවිත් සෙනඟ ගණන්කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබුවේය. දාවිත් ස්වාමීන්වහන්සේට කථාකොට: මම මේ දේ කිරීමෙන් බොහෝසෙයින් පව්කෙළෙමි. දැන් ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව; මක්නිසාද බොහෝ අනුවණ ලෙස ක්‍රියාකෙළෙමියි කීවේය.
11 දාවිත් උදයේ නැගුටුණු කල දාවිත්ගේ දර්ශකයා වන ගාද් ප්‍රොපේතවරයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමිණ:
12 ඔබ ගොස් දාවිත්ට මෙසේ කියන්න-මම කාරණා තුනක් ඔබ ඉදිරියෙහි තබමි; මා විසින් ඔබට කරන පිණිස එයින් එකක් තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
13 ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට දන්වමින්: ඔබ කැමති කොයි එකටද? ඔබේ දේශයේ සත් අවුරුද්දක් සාගතය ඔබට පැමිණෙනවාටද? නොහොත් තුන් මාසයක් ඔබේ සතුරන් ඔබ පස්සේ එළවාගෙන එද්දී ඔබ ඔවුන් ඉදිරියෙන් පලායනවාටද? නොහොත් ඔබේ දේශයෙහි තුන්දවසකට වසංගතයක් පැමිණෙනවාටද? දැන් ඉතින් කල්පනාකර මා එවූ තැනන්වහන්සේට කෙබඳු උත්තරයක් මා විසින් දිය යුතුදැයි කල්පනාකර බලන්නැයි කීවේය.
14 දාවිත්ද: මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමීන්වහන්සේගේ අතට භාරවන්නෙමු; මක්නිසාද උන්වහන්සේගේ අනුකම්පාව මහත්ය. මනුෂ්‍යයින්ගේ අතට අසුනොවෙම්වායි ගාද්ට කීවේය.
15 මෙසේ ස්වාමීන්වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්‍රායෙල් අතරට වසංගතයක් එවූසේක. එයින් දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මනුෂ්‍යයන් සැත්තෑදහසක් මැරුණෝය.
16 දේවදූතයා යෙරුසලම විනාශකරන්ට තමාගේ අත ඒ දෙසට දිගුකළ විට ස්වාමීන්වහන්සේ විපත ගැන තැවී සෙනඟ විනාශකරන දූතයාට කථාකොට: ඉතින් ඇත, ඔබේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය අරව්නාගේ පාවර ළඟ සිටියේය.
17 දාවිත්ද සෙනඟට පහර දෙන දූතයා දැක ස්වාමීන්වහන්සේට කථාකොට: මම පව්කෙළෙමි, මම අපරාධකෙළෙමි. නුමුත් මේ බැටළුවෝ කුමක් කළෝද? අනේ ඔබගේ අත මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.
18 එදින ගාද් දාවිත් ළඟට අවුත්: ඔබ ගොස් යෙබූසිය අරව්නාගේ පාවරේ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගන්නැයි ඔහුට කීවේය.
19 දාවිත් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස ගාද්ගේ කීමේ හැටියට නැගී ගියේය.
20 අරව්නා බැලූ විට රජුද ඔහුගේ සේවකයන්ද තමා වෙතට එනවා දැක පිටතට ඇවිත් මුහුණින් බිමට නැමී රජුට වැඳ:
21 මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිසදැයි ඇසුවේය. වසංගතය සෙනඟගෙන් පහවෙන පිණිස ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගීමට පාවර ඔබෙන් මිලේට ගැනීමටයයි දාවිත් කීවේය.
22 අරව්නාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමන්ට හොඳව පෙනෙන දෙයක් රැගෙන පූජාකෙරෙත්වා. මෙන්න, දවන පූජාවට ගවයෝ සිටිති, දර පිණිස මඩින යන්ත්‍රද ගවයන්ගේ වියගස්ද තිබේ.
23 රජ්ජුරුවෙනි, අරව්නා මේ සියල්ල රජ්ජුරුවන්ට දෙන්නේයයි දාවිත්ට කීවේය. තවද අරව්නා කථාකොට: ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පිළිගන්නාසේක්වයි රජුට කීවේය.
24 රජද: එසේ නොව මිල ගණනකට එය ඔබෙන් ගනිමි. මට වියදමක් නැතුව මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු නොකරමියි අරව්නාට කීවේය. එසේ දාවිත් පාවරද ගවයන්ද රිදී ෂෙකෙල් පනසකට ගත්තේය.
25 එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ දේශය ගැන කන්නලව්ව පිළිගත්සේක, වසංගතයද ඉශ්‍රායෙල් අතරෙන් නැවතුණේය.