2 ලේකම්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36


පරිච්ඡේදය 1

1 දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් තමාගේ රජකමෙහි ස්ථිරවිය, ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතාම උසස් කළසේක.
2 සාලමොන් සියලු ඉශ්‍රායෙල්වරුන්ට එනම් සහස්‍රාධිපතීන්ටද ශතාධිපතීන්ටද විනිශ්චයකාරයන්ටද පිය වංශවල ප්‍රධානීන් වූ මුළු ඉශ්‍රායෙල්හි අධිපතීන් සියල්ලන්ටද අණකෙළේය.
3 ඉක්බිති සාලමොන්ද ඔහු සමඟ මුළු සභාවද ගිබියොන්හි තිබෙන උස්තැනට ගියෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් කාන්තාරයේදී සෑදූ දෙවියන්වහන්සේගේ සම්මුඛවීමේ කූඩාරම එහි තිබුණේය.
4 නුමුත් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත් ඊට සූදානම්කළ ස්ථානයට කිරියත්-යෙයාරීම් සිට දාවිත් විසින් ගෙනැවිත් තිබුණේය. මක්නිසාද ඔහු යෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණේය.
5 තවද හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශල්යෙල් සෑදූ පිත්තල පූජාසනය ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරිපිට තිබුණේය. සාලමොන්ද සභාවද ඊට ළඟාවුණෝය.
6 එහි සාලමොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට තිබෙන පිත්තල පූජාසනය පිට දවන පූජාවල් දහසක් ඔප්පු කෙළේය.
7 එදා රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී: මා විසින් ඔබට දිය යුතු කුමක්ද කියා ඉල්ලන්නැයි ඔහුට කීසේක.
8 සාලමොන්ද: ඔබ මාගේ පියවූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකොට පත්කළසේක.
9 දැනුදු දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිරවේවා. මක්නිසාද ගණනින් පොළොවේ ධූලි මෙන් වූ සෙනඟක් කෙරෙහි ඔබ මා රජකොට පත්කළසේක.
10 එබැවින් මා මේ සෙනඟ ඉදිරියෙහි යන එන පිණිස මට ප්‍රඥාවත් දැනගැන්මත් දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මහත්වූ සෙනඟ විනිශ්චයකරන්ට කාට පුළුවන්දැයි දෙවියන්වහන්සේට කීවේය.
11 දෙවියන්වහන්සේ සාලමොන්ට කථාකොට: මේක ඔබේ සිතේ තිබී, ඔබ වස්තුවවත් සම්පත්වත් ගෞරවයවත් ඔබට වෛරවෙන්නන්ගේ ජීවිතවත් ඉල්ලන්නේ නැතුව, දීර්ඝායුෂද නොඉල්ලා, ඔබේ පාලනයට මා විසින් භාරදුන් මාගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ප්‍රඥාවද දැනගැන්මද ඉල්ලූ නිසා,
12 ප්‍රඥාවත් දැනගැන්මත් ඔබට දුනිමි; තවද ඔබට පළමුවෙන් සිටි කොයි යම් රජකෙනෙකුටවත් නොතිබුණාවූ, ඔබට පසුව කොයි රජ කෙනෙකුටවත් නොලැබෙන තරම් වස්තුවත් සම්පතත් ගෞරවයත් ඔබට දෙන්නෙමියි කීසේක.
13 එවිට සාලමොන් ගිබියොන්හි උස්තැන තිබුණ සම්මුඛවීමේ කූඩාරම වෙතින් යෙරුසලමට ආවේය; ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කෙළේය.
14 තවද සාලමොන් රථද අසරුවන්ද රැස්කරගත්තේය. ඔහු එක්දාස් හාරසියයක් රථද දොළොස් දහසක් අසරුවන්ද ඇතුව සිටියේය. ඔහු ඒවා රථ-නුවරවලද රජු ළඟ යෙරුසලමෙහිද තැබුවේය.
15 ඇරත් රජ රන් රිදී යෙරුසලමෙහි ගල් මෙන්ද, කිහිරි ගස් පාත රටෙහි තිබෙන අත්තික්කා ගස් මෙන්ද ගණනින් වැඩිවෙන්ට සැලැස්සුවේය.
16 සාලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙනලද්දෝය; රජුගේ වෙළෙන්දෝ උන් රැළක් රැළක් වශයෙන් මිල ගණනකට ලබාගත්තෝය.
17 ඔව්හු රථයක් රිදී ෂෙකෙල් හසියය බැගින්ද අශ්වයෙක් එකසිය පනහ බැගින්ද මිසරයෙන් ගෙනාවෝය. එසේම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත් සිරියේ රජුන්ටත් ගෙනත් දුන්නෝය.



පරිච්ඡේදය 2

1 සාලමොන් ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක්ද තමාගේ රාජ්‍යයට ගෘහයක්ද ගොඩනගන්ට අදහස්කරගන,
2 බර අදින පිණිස මිනිසුන් සැත්තෑ දහසක්ද කඳුවල ලී කපන මිනිසුන් අසූ දහසක්ද ඔවුන් කෙරෙහි මුලාදෑනීන් තුන්දහස් හසියයක්ද නියමකෙළේය.
3 සාලමොන් තීර්හි හූරාම් රජුට පණිවිඩයක් යවමින්: මාගේ පියවූ දාවිත්ට වාසයකිරීමට ගෙයක් ගොඩනැගීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ක්‍රියාකළාක් මෙන් මා සමඟත් ක්‍රියාකළමැනවි.
4 මම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගා උන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවසද සබත් දවස්වලද අමාවක්වලද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යවලදීද දවන පූජා ඔප්පුකරන පිණිසත්, ඒක උන්වහන්සේට කැපකරන්ට යමි. මේක සදාකල්ම ඉශ්‍රායෙල්ට නියෝගයක්ය.
5 අපේ දෙවියන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් නිසා මා විසින් ගොඩනගන ගෘහය මහත්ය.
6 නුමුත් ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද උන්වහන්සේ දරන්ට අනවකාශව තිබෙද්දී උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට කාට පුළුවන්කම තිබේද? උන්වහන්සේ ඉදිරියෙහි සුවඳදුම් ඔප්පුකිරීමට මිස උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මම කවරෙක්ද?
7 ඉතින් මාගේ පියවූ දාවිත් විසින් සොයා දුන්නාවූ මා ළඟ යුදාහිත් යෙරුසලමෙහිත් සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ, රන් රිදී පිත්තල යකඩ වැඩත් රත්නිල්, රතු, නිල්වන් නූල් වැඩත් කිරීමට දක්ෂවූ, සියලු ආකාර කැටයම්-වැඩ කරන්ට දන්නාවූ මනුෂ්‍යයෙකු මා ළඟට එවුවමැනවි.
8 කිහිරි ලීද දේවදාර ලීද හඳුන් ලීද ලෙබනොන්හි සිට මා වෙත එවුව මැනවි. මක්නිසාද ඔබගේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කපන්ට දක්ෂ බව දනිමි; මාගේ මෙහෙකරුවන් ඔබගේ මෙහෙකරුවන් සමඟ සිටිනු ඇත.
9 මට ලී බොහෝසෙයින්ම සූදානම්කළ යුතුව තිබේ. මක්නිසාද මා විසින් ගොඩනගන ගෘහය මහත්වූ ආශ්චර්යමත්වූ එකක් වන්නේය.
10 මම ලී කපන්නන් වන ඔබගේ මෙහෙකරුවන්ට හෝජන පිණිස තිරිඟු කෝර. විසි දහසක්ද යව කෝර විසි දහසක්ද මුද්‍රිකපාන බාත් විසි දහසක්ද තෙල් බාත්. විසි දහසක්ද දෙන්නෙමියි කියා යැවීය.
11 එවිට තීර්හි රජවූ හූරාම් සාලමොන්ට ලියුමකින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට ප්‍රේමකරන නිසා උන්වහන්සේ ඔබ ඔවුන් කෙරෙහි රජකොට පත්කළසේකැයි කීය.
12 තවද හූරාම් කියනුයේ: අහසත් පොළොවත් මැවුවාවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද ස්වාමීන්වහන්සේට ගෘහයක්ද තමාගේ රාජ්‍යයට ගෘහයක්ද ගොඩනැගීමට සිහිකල්පනාවෙන් හා නුවණින් යුක්තවූ ප්‍රඥාවන්ත පුත්‍රයෙකු උන්වහන්සේ දාවිත් රජුට දුන්සේක.
13 ඉතින් මට පියෙක්වූ, ප්‍රඥාවන්තවූ, නුවණින් යුක්තවූ මනුෂ්‍යයෙක් වන හූරාම් එවමි.
14 ඔහු දාන්ගේ දූවරුන්ගෙන්වූ තැනැත්තියෙකුගේ පුත්‍රයාය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්ය. ඔබගේ දක්ෂ මනුෂ්‍යයන්ද ඔබගේ පියවූ මාගේ ස්වාමිවූ දාවිත්ගේ දක්ෂ මනුෂ්‍යයන්ද සමඟ ඔහුට නියමකරන සියලු ආකාර වැඩ සොයා දැනගන්ටද රන්, රිදී, පිත්තල, යකඩ, ගල්, ලී වැඩ හා රත්නිල්, නිල්වන්, සිහින් හණ, රතු නූල් වැඩ කරන්ටද කොයියම් කැටයම් වැඩක් නුමුත් කරන්ටද ඔහු සමර්ථය.
15 ඉතින් මාගේ ස්වාමියා කී තිරිඟුද යවද තෙල්ද මුද්‍රිකපානයද තමන් මෙහෙකරුවන්ට එවනු ලැබේවා.
16 අපිද ඔබගේ මුළු ඕනෑකමේ හැටියට ලෙබනොන් සිට ලී කපා ඒවා පහුරුබැඳ, යොප්පාවට මුහුදෙන් ඔබට ගෙනැවිත් දෙන්නෙමුව; එවිට ඔබට ඒවා යෙරුසලමට ගෙන්වා ගත හැකි යයි කීවේය.
17 සාලමොන් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පියවූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ගණන්කෙළේය; ඔව්හු එක්ලක්ෂ පනස් තුන්දාස් හසියයක් වූවෝය.
18 ඔහු ඔවුන්ගෙන් හැත්තෑදාහක් බර අදින පිණිසද අසූ දහසක් කඳුවල ලී කැපීමටද තුන්දහස් හසියයක් සෙනඟ ලවා වැඩකරවන මුලාදෑනීන් කොටද පත්කෙළේය.



පරිච්ඡේදය 3

1 එකල සාලමොන් යෙරුසලමෙහි තමාගේ පියවූ දාවිත්ට ස්වාමීන්වහන්සේ පෙනුණු මොරියා කන්දේ යෙබූසියවූ ඔර්ණන්ගේ කමතේ දාවිත් විසින් නියමකළ ස්ථානයෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.
2 ඔහු තමාගේ රජකමේ හතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ දෙවෙනිදා ඒක ගොඩනගන්ට පටන්ගත්තේය.
3 දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමට සාලමොන් ලූ අත්තිවාරම මේය. පළමු තිබුණ රියන් මිම්මේ හැටියට දිග හැට රියනක්ය, පළල විසි රියනක්ය.
4 ඉස්සරහ තිබුණ ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, උස එකසිය විස්සක්ය. එහි ඇතුළත ඔහු පවිත්‍ර රනින් වැසුවේය.
5 ඔහු ලොකු ගෘහයේ ඇතුළ දේවදාර ලීවලින් වසා, එහි හොඳ රත්රන් වසා, ඒ මතුපිට තල්ගස්ද දම්වැල්ද සාදා,
6 අලංකාරය පිණිස අනර්ඝ ගල්වලින් ගෘහය සැරසුවේය. ඒ රන් පර්වායිම්හි රන්ය.
7 ඔහු ගෘහයද බාල්කද උළුවහුද ඒකේ බිත්තිද දොරවල්ද ඇතුළුව රනින් වැසුවේය. බිත්තිවල කෙරූබ්-රූපද කැටයම්කෙළේය.
8 ඔහු අති ශුද්ධ ගෘහයක් සෑදුවේය; ඒකේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, ඒකේ පළලත් විසි රියනක්ය. ඔහු එය හොඳ රන් තලෙන්ත හසියයකින් පමණ වැසුවේය.
9 ඇණවල බර රන් ෂෙකෙල් පනහක්ය. ඔහු උඩුමහල් ගෙවලුත් රනින් වැසුවේය.
10 ඔහු අති ශුද්ධස්ථානයෙහි කෙරූබ්-රූප දෙකක් කපා සාදා තැබුවේය; ඒවා රනින් වසන ලද්දේය.
11 කෙරූබ්-රූපවල පියාපත්වල දිග විසි රියනක්ය. එකක පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ බිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපත රියන් පහක් දික්ව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට තට්ටුවෙන ලෙසද තිබුණේය.
12 අනික් කෙරූබ්-රූපයේ පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ බිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපතත් රියන් පහක් දිගව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට වැදෙන ලෙසද තිබුණේය.
13 මේ කෙරූබ්-රූපවල පියාපත් විසි රියනක් විහිදී තිබුණේය. ඒවා කෙළින් පිහිටී තිබුණේය, ඒවායේ මුහුණු ගෘහය දෙසට විය.
14 ඔහු නිල්, රත්නිල්, රතු නූල්වලිනුත් සිහින් හණ නූල්වලිනුත් තිරයද ඒ පිට කෙරූබ්-රූපද සෑදුවේය.
15 ගෘහය ඉදිරිපිට ඔහු රියන් තිස් පහක් උස ඇති කුළුනු දෙකක් සෑදුවේය, එක ඒකේ මුදුන පිට තිබුණ පේකඩය පස් රියනක්ය.
16 දේව වාක්‍යස්ථානයෙහි ඔහු දම්වැල් සාදා, ඒවා කුළුනු මුදුන්වල තබා දෙළුම් සියයක් සාදා, ඒවා දම්වැල්වල එල්ලුවේය.
17 ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුළුනු, එකක් දකුණු පැත්තේද එකක් වම් පැත්තේද පිහිටුවා, දකුණු එකට යාකීන්. යන නමද වම් එකට බෝවස්. යන නමද තැබුවේය.



පරිච්ඡේදය 4

1 ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.
2 ඔහු මුහුදත් වාත්තුකර සෑදුවේය. ඒකේ ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දහයක්ය, එය වටකුරුව තිබුණේය. ඒකේ උස පස් රියනක්ය, ඒකේ වට ප්‍රමාණය තිස් රියනක් විය.
3 ඒකේ පහළ කොට්ඨාසයේ, රියනකට ගවරූප දසයක් බැගින්, එය වාත්තුකරන විට වාත්තුකළ දෙපේළියක ගවරූප වටකරින්ම තිබුණේය.
4 ඒක ගවරූප දොළොසක් පිට තබා තිබුණේය. තුනක් උතුරු දෙසටද තුනක් බටහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගෙනහිර දෙසටද හැරී තිබුණේය. මුහුද ඒවාට උඩින් ඒවා පිට තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය.
5 ඒකේ ඝනකම අල්ලක පළලය; ඒකේ ගැටිය කුසලාන් ගැටියක වැඩ මෙන් මානෙල් මලක් ලෙස සාදා තිබුණේය. එහි බාත් තුන්දහසක් ඇල්ලුවේය.
6 සේදීම පිණිස ඔහු භාජන දසයක් සාදා පහක් දකුණු පැත්තේද පහක් වම් පැත්තේද තැබුවේය; දවන පූජාව සම්බන්ධ දේ එහි සෝදනලද්දේය. නුමුත් මුහුද තිබුණේ පූජකයන්ට සේදීම පිණිසය.
7 රන් පහන්-රුක් දසයත් ඒවායේ නියමයේ හැටියට ඔහු සාදා මාලිගාවෙහි දකුණේ පහකුත් වමේ පහකුත් තැබුවේය.
8 ඔහු මේස දසයක්ද සාදා, පහක් මාලිගාවෙහි දකුණේද පහක් වමේද තැබුවේය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේය.
9 පූජකයන්ගේ මළුවද මහ මළුවද ඒ මළුවට දොරවල්ද සාදා, ඒ දොරවල් පිත්තලෙන් වැසුවේය.
10 මුහුද වනාහි ඔහු දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරෙහි තැබුවේය.
11 තවද හූරාම් සැළිත් හැඳිත් තාලිත් සෑදුවේය. මෙසේ හූරාම් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සාලමොන් රජුට කළ වැඩ ඉෂ්ටකොට නිමකෙළේය.
12 එනම් කුළුනු දෙකද, කුළුනු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙකද, කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,
13 කුළුනු පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයද යන මේවාය.
14 ඔහු මැහිද සෑදුවේය, මැහි පිට තිබුණු භාජනද
15 එක මුහුදද ඒ යට ගවයන් දොළොසද
16 සැළිද හැඳිද මස් කොකුද ඒවායේ සියලු බඩුද ඔහු සෑදුවේය. ඔහුට පියෙක්වූ හූරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ ඒ බඩු ඔපදැමූ පිත්තලෙන්ය.
17 යොර්දාන් සමභූමියෙහි සුක්කොත්ද ශෙරෙදාද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තුකෙරෙවුවේය.
18 මෙසේ සාලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේය. පිත්තලවල බරද දැනගත නොහැකි විය.
19 සාලමොන් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු වන රන් පූජාසනයද පිදීමේ රොටි තිබුණු මේසද;
20 දේව වාක්‍යස්ථානය ඉදිරිපිට නියමයේ හැටියට දැල්වීමට පවිත්‍ර රන් පහන්-රුක්ද ඒවායේ පහන්ද;
21 රනින් එනම් ඉතා අනර්ඝ රනින් මල්ද පහන්ද අඬුද;
22 පවිත්‍ර රනින් පහන් කතුරුද තලිද හැඳිද ගිනි කබල්ද සෑදෙවුවේය. ගෘහයට ඇතුල්වන තැන එනම් අති ශුද්ධස්ථානයේ ඇතුල් දොරවල්ද ගෘහයේ එනම් මාලිගාවේ දොරවල්ද රනින් විය.



පරිච්ඡේදය 5

1 මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කළාවූ සියලු වැඩ සම්පූර්ණවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකර තිබුණු දේවල් එනම් රිදීද රන්ද සියලු භාණ්ඩද ඇතුළට ගෙනවුත් දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.
2 එකල සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරවූ සියොන්හි සිට ගෙනෙන්ට ඉශ්‍රායෙල්ගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද යෙරුසලමට රැස්කෙරෙවුවේය.
3 සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද සත්වෙනි මාසයේ පැවැත්වූ මංගල්‍යයේදී රජු වෙතට රැස්වූවෝය.
4 ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලන් ආ කල ලෙවීවරු ගිවිසුම් පෙට්ටිය උසුලාගන,
5 පෙට්ටියද සම්මුඛවීමේ කූඩාරමද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩද ගෙනාවෝය; පූජකයොත් ලෙවීවරුත් ඒවා ගෙනාවෝය.
6 සාලමොන් රජු හා ඔහු වෙත රැස්ව සිටිය මුළු ඉශ්‍රායෙල් සභාව කියන්ටවත් ගණින්ටවත් බැරි තරම් බැටළුවන්ද ගවයින්ද පූජාකරමින් ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටියෝය.
7 පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දේව වාක්‍යස්ථානයට ගෙනැවිත්, කෙරූබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝය.
8 එසේ පෙට්ටියේ ස්ථානයට උඩින් විහිදී තිබුණ කෙරූබ්වරුන්ගේ පියාපත්වලට පෙට්ටියත් ඒකේ පොලුත් උඩින් වැසී තිබුණේය.
9 පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් පෙට්ටියෙන් පිට දේව වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ.
10 ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හෝරෙබ්හිදී එහි තිබූ ගල්ලෑලි දෙක මිස පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය.
11 (එතැන සිටි පූජකයෝ පංක්ති පිළිවෙළ නොපවත්වා, සියල්ලෝම පිරිසිදුවී සිටියෝය.
12 ආසාප්ද හේමාන්ද යෙදුතුන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගීතිකාකාරයෝවූ ලෙවීවරු සියල්ලෝම සිහින් හණ සළු හැඳ, අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව, පූජාසනයට පෙර දිගින් සිටියෝය, ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝය.)
13 එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.
14 ඒ වලාපටලය නිසා පූජකයන්ට සේවය කිරීම පිණිස සිටින්ට බැරිවිය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජසින් දෙවියන්වහන්සේගේ ගෘහය පිරීගියේය.



පරිච්ඡේදය 6

1 එවිට සාලමොන් කථාකොට: තමන්වහන්සේ ඝනාන්ධකාරයෙහි වසනසේකැයි ස්වාමීන්වහන්සේ වදාළසේක.
2 නුමුත් මම ඔබට නිවාස ගෘහයක්ද සදාකල්ම ඔබට වැඩසිටීමට ස්ථානයක්ද ගොඩනැඟුවෙමියි කීවේය.
3 රජතෙමේ මුහුණ හරවා මුළු ඉශ්‍රායෙල් සභාව නැගිට සිටිද්දී මුළු ඉශ්‍රායෙල් සභාවට ආශීර්වාදකෙළේය.
4 ඔහු කථාකොට කියනුයේ: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා, මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකොට-
5 මා විසින් මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස ගෘහයක් ගොඩනගන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි; මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියාව සිටින්ට කිසි මනුෂ්‍යයෙක්ද තෝරා නොගතිමි.
6 නුමුත් මාගේ නාමය තැබීමට යෙරුසලමද මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානියා වන පිණිස දාවිත්ද තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.
7 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ පියවූ දාවිත්ගේ සිතේ තිබුණේය.
8 නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට: මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔබේ සිතේ තිබුණේය, එය ඔබේ සිතේ පැවතීම හොඳය.
9 එසේවී නුමුත් ඔබ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; ඔබ තුළෙන් නික්මෙන ඔබේ පුත්‍රයාම මාගේ නාමයට ඒ ගෘහය ගොඩනගන්නේයයි කීසේක.
10 ස්වාමීන්වහන්සේ තමන් කී වචනය ඉෂ්ටකර තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ කී හැටියට මම මාගේ පියවූ දාවිත් වෙනුවෙන් නැගිට ඉශ්‍රායෙල් සිංහාසනයේ හිඳ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනැඟුවෙමි.
11 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ කළ ගිවිසුම අඩංගුවූ පෙට්ටිය එහි තැබුවෙමියි කීවේය.
12 එවිට ඔහු මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහා ගත්තේය.
13 මක්නිසාද සාලමොන් පස් රියනක් දිග ඇති, පස් රියනක් පළල ඇති, තුන් රියනක් උස ඇති පිත්තල මංචකයක් සාදා, මළුව මැද තබා තිබුණේය; ඔහු ඒක උඩ සිට මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තමාගේ අත් විදහාගන කියනුයේ:
14 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඔබට සමානවූ දෙවිකෙනෙක් නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත් කරුණාවත් පවත්වනසේක.
15 ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ පොරොන්දුවූ දේ ඔබ ඔහුට ඉෂ්ටකරදුන්සේක. එසේය, ඔබ ස්වකීය මුඛයෙන් ඒක කියා, අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.
16 එබැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වකීය මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට කථාකොට: ඔබ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් ඔබේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පවත්වන හැටියට තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම්වන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිදීමට මා ඉදිරියෙහි ඔබට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ට කළමැනව.
17 එබැවින් දැන් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාවූ දාවිත්ට ඔබ කී ඔබගේ වචනය ස්ථිරවේවා.
18 නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වසනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊටත් වඩා කොපමණ මදිද!
19 එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවද කන්නලව්වද සලකා, ඔබ ඉදිරියෙහි ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන ඉල්ලීමද යාච්ඤාවද ඇසුව මැනව.
20 ඔබ යම් ස්ථානයක් ගැන-මාගේ නාමය එහි තබන්නෙමියි කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා; මේ ස්ථානය දෙසට හැරී ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව.
21 ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්වට කන්දුන මැනව. එසේය, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමාකළ මැනව.
22 යමෙක් තමාගේ අසල්වාසියාට විරුද්ධව වරද කොට, ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහු පිට තබනලදුව, ඔහු ඇවිත් මේ ගෘහයේ ඔබගේ පූජාසනය ඉදිරිපිට දිවුළොත්,
23 ඔබ ස්වර්ගයෙහි සිට අසා වදාරමින්, දුෂ්ටයාට ප්‍රතිඵල දී, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව.
24 ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඔබට විරුද්ධව පව්කළ බැවින් සතුරා ඉදිරියෙහි පරාජයවූ කල ඔව්හු ඔබ වෙතට හැරී ඔබගේ නාමය ප්‍රකාශකර මේ ගෘහයෙහිදී ඔබට යාච්ඤාකොට කන්නලව්කරන්නෝ නම්,
25 ඔබ ස්වර්ගයෙහි සිට අසා, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ පාපය කමාකොට, ඔවුන්ටත් ඔවුන්ගේ පියවරුන්ටත් ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.
26 ඔවුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන බැවින් ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤාකොට ඔබගේ නාමය ප්‍රකාශකර තමුන්ගේ පාපය අත්හරින්නෝ නම්,
27 ඔබ ස්වර්ගයෙහි සිට අසා, ඔවුන් විසින් යායුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නාදුන් කල, ඔබගේ මෙහෙකරුවන්ගෙත් ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගෙත් පාපයට කමාවී, උරුමයක් කොට ඔබගේ සෙනඟට ඔබ දී තිබෙන ඔබගේ දේශයට වර්ෂාව එවුව මැනව.
28 දේශයට සාගතයක් පැමුණුණොත්, නොහොත් වසංගතයක් ආවොත්, නොහොත් ගොයම් වියළීයාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමුණුණොත්, ඔවුන්ගේ දේශයේ නුවරවල ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගන්ට හෝ මොන පීඩාවක් නුමුත් මොන රෝගයක් නුමුත් පැමිණෙන්ට හෝ යෙදුණොත්,
29 කොයි මනුෂ්‍යයෙකු විසින් නුමුත්, ඔබගේ මුළු සෙනඟවූ ඉශ්‍රායෙල් විසින් නුමුත්, තම තමුන්ගේ සිත්වල පීඩාවද දුකද දැනගන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්,
30 ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, කමාවී, ඔබ අපේ පියවරුන්ට දුන් භූමිය මතු පිට ඔවුන් ජීවත්වෙන සියලු දවස්වල ඔබ කෙරෙහි භයවී ඔබගේ මාර්ගවල හැසිරෙන පිණිස,
31 සිත් දන්නාවූ ඔබ එකිනෙකාට තම තමාගේ සියලු මාර්ගවල හැටියට විපාක දුන මැනව; (මක්නිසාද ඔබ පමණක්ම සියලු මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් දන්නාසේක.)
32 තවද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් නොවන විදේශීන් ඔබගේ උතුම් නාමයත් බලවත් හස්තයත් දිගුකළ බාහුවත් නිසා දුරු රටක සිට ඇවිත් මේ ගෘහය දෙසට හැරී යාච්ඤාකළොත්,
33 ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟද ඔබගේ නාමය හැඳිනගෙන ඔබ කෙරෙහි භයවෙන පිණිසත්, මා විසින් ගොඩනැගූ මේ ගෘහයට ඔබගේ නාමය තබා තිබෙන බව දැනගන්නා පිණිසත්, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, විදේශියා ඔබගෙන් ඉල්ලන සියල්ල ලෙස ඔහුට කළමැනව.
34 ඔබගේ සෙනඟ තමුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔබ විසින් යවන යම් මාර්ගයකින් ගොස්, ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනගනලද ගෘහයද දෙසට හැරී ඔබට යාච්ඤාකරන්නෝ නම්,
35 ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කළමැනව.
36 ඉදින් ඔව්හු ඔබට විරුද්ධව පව්කළොත් (මක්නිසාද පව්නොකරන කෙනෙක් නැත), ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දුන්නොත්, ඔවුන් වාලට ගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන දේශයකට ඔවුන් ගෙනයනු ලැබුවොත්,
37 ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් කල්පනාකොට, හැරී, ඔවුන් වාල්ව සිටින දේශයේදී ඔබට කන්නලව්කර: අපි පව්කෙළෙමුව, අපි හිතුවක්කාරකම්කොට දුෂ්ට ලෙස ක්‍රියාකෙළෙමුයයි කියමින්,
38 ඔවුන් වාලට ගෙනගියවුන්ගේ දේශයෙහිදී ඔවුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයද ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනැගූ ගෘහයද දෙසට හැරී යාච්ඤාකරන්නෝ නම්,
39 ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කොට, ඔබට විරුද්ධව පව්කළාවූ ඔබගේ සෙනඟට කමාවුව මැනව.
40 දැන්, මාගේ දෙවියන්වහන්ස, මේ ස්ථානයෙහිදී කරන යාච්ඤාවට ඔබගේ ඇස් ඇරී ඔබගේ කන් යොමුවී තිබේවා.
41 ඉතින්, දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ නැගිට ඔබගේ බලයේ ගිවිසුම් පෙට්ටිය සමඟ ඔබගේ නිවාසයට වැඩිය මැනව. දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ පූජකයෝ ගැළවීම පැළඳගෙන සිටිත්වා, ඔබගේ ශුද්ධවන්තයෝද යසසින් ප්‍රීතිවෙත්වා.
42 දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ මුහුණ ඉවත නොහැරෙවුව මැනව. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ට දුන් කරුණාවල් සිහිකළමැනවයි කියා යාච්ඤාකෙළේය.



පරිච්ඡේදය 7

1 සාලමොන් යාච්ඤාකොට නිමකළ විට අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද දවාදැම්මේය; ස්වාමීන්වහන්සේගේ තේජසින් ගෘහය පිරීගියේය.
2 ස්වාමීන්වහන්සේගේ තේජසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරී තිබුණු නිසා පූජකයන්ට ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වෙන්ට බැරිවිය.
3 සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිනි බසිනවාත් ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහය පිට තිබෙනවාත් දැක, ගල් අතුළ බිමට තමුන්ගේ මුහුණු නමා නමස්කාරකොට: මක්නිසාද උන්වහන්සේ යහපතය‍; උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය කියමින් ස්වාමීන්වහන්සේට ස්තුතිකළෝය.
4 පසුව රජද මුළු සෙනඟද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පුකළෝය.
5 සාලමොන් රජ ගවයින් විසි දෙදහසක්ද බැටළුවන් එක්ලක්ෂ විසි දහසක්ද ඔප්පුකෙළේය. මෙසේ රජද මුළු සෙනඟද දෙවියන්වහන්සේගේ ගෘහය කැපකළෝය.
6 පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.
7 තවද සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබුණු මිදුලේ මැද භාගය විශුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පූජාද ශාන්ති පූජාවල තෙලද එහි ඔප්පුකෙළේය. එසේ කළේ සාලමොන් සෑදූ පිත්තල පූජාසනය දවන පූජාවද ආහාර පූජාවද තෙලද අල්ලන්ට මදි නිසාය.
8 මෙසේ ඒ කාලයේදී සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද හමාත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා සිට ආවාවූ ඉතාමහත් සමූහයක්ද මංගල්‍යය පැවැත්තුවෝය.
9 අටවෙනිදා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූහ. මක්නිසාද ඔව්හු සත් දවසක් පූජාසනයේ කැපකිරීමද සත් දවසක් මංගල්‍යයද පැවැත්තුවෝය.
10 සත්වෙනි මාසයේ විසි තුන්වෙනිදා ඔහු සෙනඟ තමුන්ගේ කූඩාරම්වලට යන්ට හැරියේය, ඔව්හුද ස්වාමීන්වහන්සේ දාවිත්ටත් සාලමොන්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් කළ යහපත ගැන ප්‍රීතිව සන්තෝෂ සිත් ඇතුව ගියෝය.
11 මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජුගේ ගෘහයද නිමකෙළේය. ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් තමාගේම ගෘහයෙහිත් කරන්ට සාලමොන්ගේ සිතට ආ සියල්ලත් ඉෂ්ටකෙළේය.
12 එවිට ස්වාමීන්වහන්සේ රාත්‍රියේ සාලමොන්ට පෙනී කථාකොට: මම ඔබේ යාච්ඤාව අසා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරාගතිමි.
13 වැසි නොවසින ලෙස මම අහස වසන්නෙම්නම්, නොහොත් රට පාළුකිරීමට පළගැටියන්ට අණකරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම්නම්,
14 මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි.
15 දැනුදු මේ ස්ථානයේදී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇරී මාගේ කන් යොමුකරනු ලැබේ.
16 මෙසේ මාගේ නාමය මේ ගෘහයෙහි සදාකාලේටම තිබෙන පිණිස මෙය තෝරාගන විශුද්ධ කෙළෙමි. මාගේ ඇස්ද මාගේ සිතද නිතරම මෙහි වන්නේය.
17 ඉතින් ඔබේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් ඔබ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් ඔබට අණකළ සියල්ල ලෙස කරමින්, මාගේ පනත්ද විනිශ්චයන්ද පවත්වන්නෙහි නම්:
18 ඉශ්‍රායෙල්හි ආණ්ඩුකාරයෙක් වීමට ඔබෙන් කෙනෙක් නැතිව නොයන්නේය කියා මා විසින් ඔබේ පියවූ දාවිත්ට ගිවිස්වූ ලෙස ඔබේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිරකරන්නෙමි.
19 නුමුත් ඔබ සැම හැරී මා විසින් ඔබ සැම ඉදිරියෙහි තබා තිබෙන මාගේ පනත්ද ආඥාද අත්හැර ගොස් වෙන දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන්නහු නම්,
20 මා විසින් ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින්ම පහකරදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් අහකදමා, ඒක සියලු ජාතීන් අතරේ උපමාවක්ද නින්දා පාඨයක්ද කරන්නෙමි.
21 මෙපමණ උසස්ව තිබෙන මේ ගෘහය ළඟින් යන සියල්ලෝ විස්මයට පත්ව: ස්වාමීන්වහන්සේ මේ දේශයටත් මේ ගෘහයටත් මක්නිසා මෙසේ කළසේක්දැයි අසන්නෝය.
22 එවිට මනුෂ්‍යයන් කථාකොට: ඔවුන් මිසර දේශයෙන් ගෙන ආ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට ඇලුම්ව ඔවුන්ට නමස්කාරකොට සේවයකළ නිසා උන්වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිටට පැමිණෙවුසේකැයි කියනවා ඇතැයි ඔහුට කීසේක.



පරිච්ඡේදය 8

1 සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේ ගෘහයද ගොඩනැගීමට ගතකළ විසි අවුරුද්දට පසු,
2 හූරාම් විසින් සාලමොන්ට දුන් නුවරවල් සාලමොන් ගොඩනගා, එහි ඉශ්‍රායෙල් පුත්‍රයන් වාසයකෙරෙවුවේය.
3 සාලමොන් හමාත්-ශෝබාට ගොස් එය යටත්කරගත්තේය.
4 ඔහු කාන්තාරයෙහි තද්මොර්ද හමාත්හි ගොඩනැගූ ගබඩා-නුවරවල් සියල්ලද ගොඩනැඟුවේය.
5 එසේම ඉහළ බෙත්-හෝරන්ද පහළ බෙත්-හෝරන්ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නුවරවල්ද;
6 බාලාත්ද සාලමොන්ට තිබුණ සියලු ගබඩා-නුවරවල්ද තමාගේ රථවලට සියලු නුවරවල්ද තමාගේ අසරුවන්ට නුවරවල්ද යෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් සාලමොන් තමාගේ සතුට පිණිස ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැඟුවේය.
7 ඉශ්‍රායෙල්ගෙන් නුවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් විනාශනොකළාවූ හිත්තිවරුන්ගෙන්ද අමෝරිවරුන්ගෙන්ද පෙරිස්සිවරුන්ගෙන්ද හිවීවරුන්ගෙන්ද යෙබූසිවරුන්ගෙන්ද
8 ඉතිරිවූ මුළු සෙනඟට පසුව දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේය.
9 නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සාලමොන් තමාගේ වැඩට කිසිවෙකු දාසයෙකු කොට පත් නොකෙළේය. ඔව්හු වනාහි යුද්ධ කාරයෝව ඔහුගේ අධිපතියෝව ඔහුගේ රථාධිපතියෝව ඔහුගේ අසරුවෝව සිටියෝය.
10 සෙනඟ කෙරෙහි ආණ්ඩුකළාවූ ප්‍රධාන මුලාදෑනිවරුන් දෙසිය පනස්දෙනෙකුත් සාලමොන් රජුට සිටියෝය.
11 සාලමොන් වනාහි ඵාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය උදෙසා ගොඩනැගූ ගෘහයට ගෙනාවේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පැමුණුණ ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක් ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ ගෘහයෙහි නොවිසිය යුතුයයි ඔහු කීවේය.
12 එකල සාලමොන් ද්වාරමණ්ඩපය ඉදිරිපිට තමා ගොඩනගා තිබුණ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පුකෙළේය.
13 සබත් දවස්වලදීද අමාවක්වලදීද නියම මංගල්‍යවලදීද අවුරුද්දට තුන්වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පුකෙළේය.
14 තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.
15 කොයි කාරණයක් ගැනවත් අගනා වස්තු ගැනවත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නොවූහ.
16 ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම ලූ දවස දක්වාත් ඒක නිමවන තුරුත් සාලමොන්ගේ සියලු වැඩ සූදානම්ව තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහය සම්පූර්ණවිය.
17 එකල සාලමොන් ඒදොම් දේශයේ මුහුදුබඩ තිබෙන එශීයොන්-ගෙබෙර්ටත් ඒලොත්ටත් ගියේය.
18 හූරාම් තමාගේ සේවකයන් අත නැව්ද මුහුදේ කාරණා දන්නාවූ සේවකයන්ද ඔහු වෙතට එවුවේය; ඔව්හු සාලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය පනහක් සාලමොන් රජු වෙතට ගෙනාවෝය.



පරිච්ඡේදය 9

1 ෂෙබාහි බිසව සාලමොන්ගේ කීර්තිය අසා ගැටලු ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහත් රාශියකුත් අනර්ඝ ගලුත් පැටෙවු ඔටුවන්ද ඇතුව යෙරුසලමට ආවාය. ඈ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළාය.
2 සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඈට තෝරා කීයේය. ඈට පැහැදිලිකළ නොහැකිවන ලෙස කිසිවක් සාලමොන්ගෙන් සැඟවී නොතිබුණේය.
3 ෂෙබාහි බිසව සාලමොන්ගේ ප්‍රඥාවද ඔහු විසින් ගොඩනගනලද ගෘහයද ඔහුගේ මේසයේ කෑමද
4 ඔහුගේ මෙහෙකරුවන්ගේ හිදීම හා ඔහුගේ ඇමතියන්ගේ සේවයද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ පානපාත්‍රා දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම්ද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයට නගින පඩි පෙළද දුටු කල ඕතොම මවිතවූවාය.
5 ඈ රජුට කථාකොට: මාගේ දේශයේදී ඔබගේ කාරණාද ඔබගේ ප්‍රඥාවද ගැන මා ඇසූ ප්‍රවෘත්තිය සැබෑය.
6 එසේ වී නුමුත් ඇවිත් මාගේම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබගේ ප්‍රඥාවේ මහත්කමෙන් අර්ධයක්වත් මට නොකියනලද්දේය. මා ඇසූ කීර්ති ප්‍රමාණයටත් වඩා ඔබ උසස්ව සිටිනෙහිය.
7 ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, ඔබ ඉදිරියෙහි නිතරම සිට ඔබගේ ප්‍රඥාව අසන ඔබගේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝය.
8 ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා රජකොට තමන්ගේ සිංහාසනයෙහි ඔබ පිහිටුවන්ට ඔබ කෙරෙහි ප්‍රසන්නවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. ඔබගේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ප්‍රේමකළ බැවින් ඔවුන් සදාකාලයටම ස්ථිරකරන පිණිස ඔවුන්ට විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ ඔවුන් කෙරෙහි රජකොට පත්කළසේකැයි කීවාය.
9 තවද ඕතොම රන් තලෙන්ත එකසිය විස්සක්ද සුගන්ධ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ෂෙබාහි බිසව සාලමොන් රජුට දුන් සුගන්ධ ද්‍රව්‍ය සමාන ඒවා තවත් නොලැබුණේය.
10 ඕපීර් සිට රන් ගෙනා හූරාම්ගේ සේවකයෝද සාලමොන්ගේ සේවකයෝද හඳුන් ලී සහ අනර්ඝ ගල් ගෙනාවෝය.
11 රජ ඒ හඳුන් ලීවලින් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සහ රාජ ගෘහයෙහිත් ගරාදිවැටවල්ද9:11 නොහොත්, පඩි පෙළවල්. ගායනාකාරයන්ට වීණා සහ කුඩා වීණාද සෑදෙවුවේය. ඊට පළමුවෙන් එබඳු ඒවා යුදා දේශයේ නොදක්නා ලද්දේය.
12 ෂෙබාහි බිසව සාලමොන් රජුට ගෙනාවාවූ දේවල් වෙනුවට දුන් ඒවා හැර ඇගේ මුළු කැමැත්තලෙස ඈ ඉල්ලූ සියල්ලත් රජ තෙමේ ඈට දුන්නේය. මෙසේ ඈත් ඇගේ සේවකයොත් තමුන්ගේ දේශයට හැරී ගියෝය.
13 සාලමොන්ට ගමන්කාර වෙළෙන්දන්ගෙන්ද වෙනත් වෙළඳුන්ගෙන්ද ලැබුණ රන් හැර අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය.
14 අරාබියේ සියලු රජවරුද දේශයේ ආණ්ඩුකාරයෝද සාලමොන්ට රන් රිදී ගෙනාවෝය.
15 සාලමොන් රජ තළාපු රනින් පලිස් දෙසියයක් සෑදුවේය. එක එක පලිහට තලාපු රන් ෂෙකෙල් හසියයක් ඇල්ලුවේය.
16 ඔහු කුඩා පලිස් තුන්සියයක් තළාපු රනින් සෑදුවේය; එක එක කුඩා පලිසට රන් ෂෙකෙල් තුන්සියයක් ඇල්ලුවේය. රජ ලෙබනොන් වනය නම් ගෘහයෙහි ඒවා තැබුවේය.
17 තවද රජ ඇත්දත්වලින් මහත් සිංහාසනයක් සාදා පවිත්‍ර රනින් ඒක වැසුවේය.
18 සිංහාසනයට සවිකළ පඩි හයක්ද රන් පාපුටුවක්ද ආසනයේ දෙපැත්තෙහි අත්දඬු සහ අත්දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබුණේය.
19 පඩි හය පිට දෙපැත්තේ සිංහ රූප දොළොසක්ද වූහ. කොයි රාජ්‍යයකවත් එබඳු එකක් සාදා තිබුණේ නැත.
20 සාලමොන් රජුගේ පානපාත්‍රා සියල්ලම රනින් වූයේය, ලෙබනොන් වනය නම් ගෘහයෙහි සියලු භාජනත් පවිත්‍ර රනින් විය. සාලමොන්ගේ දවස් වලදී රිදී අගයක් නොවීය.
21 මක්නිසාද හූරාම්ගේ සේවකයන් සමඟ තර්ෂිෂ්ට යන නැව් රජුට තිබුණේය. ඒ තර්ෂිෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.
22 මෙසේ සාලමොන් රජ වස්තුවෙනුත් ප්‍රඥාවෙනුත් පොළොවේ සියලු රජවරුන්ට වඩා උතුම්ව සිටියේය.
23 දෙවියන්වහන්සේ සාලමොන්ගේ සිතේ තබා තිබුණු ප්‍රඥාව අසන පිණිස පොළොවේ සියලු රජවරු ඔහු වෙතට ආවාහ.
24 ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමුන්ගේ තෑගි වන රිදී භාජනද රන් භාජනද වස්ත්‍රද යුද්ධායුධද සුගන්ධ ද්‍රව්‍යද අශ්වයන්ද අශ්වතරයන්ද නියම ගණනක් ගෙනාවෝය.
25 සාලමොන්ට ගාල් හාර දහසක අශ්වයෝ සිටියෝය, රථද තිබුණේය. අසරුවෝ දොළොස් දහසකුත් සිටියෝය. රජ ඒවා රථනුවරවලද තමා ළඟ යෙරුසලමෙහිද තැබුවේය.
26 ඔහු ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සිටිය සියලු රජවරුන් කෙරෙහි ආණ්ඩුකෙළේය.
27 තවද රජ යෙරුසලමෙහි, රිදී ගල් මෙන්ද කිහිරි ලී පාත රටේ තිබෙන අත්තික්කා ගස් මෙන්ද බොහෝ වෙන්ට සැලැස්සුවේය.
28 මිසරයෙනුත් සියලු දේශවලිනුත් අශ්වයෝ සාලමොන්ට ගෙනෙනලදහ.
29 සාලමොන්ගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ප්‍රොපේතවූ නාතාන්ගේ ඉතිහාසයේද ෂිලොනිය අහියාගේ අනාගතවාක්‍යයේද නබොත්ගේ පුත්‍රවූ යෙරොබොවම් ගැන දිවස් ඇත්තා වන ඉද්දෝ ලියු දර්ශනයේද ලියා තිබෙනවා නොවේද?
30 සාලමොන් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි යෙරුසලමෙහි හතළිස් අවුරුද්දක් රජකම්කෙළේය.
31 සාලමොන් තමාගේ පියවරුන් හා සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ රෙහොබොවම් ඔහු වෙනුවට රජවිය.



පරිච්ඡේදය 10

1 තවද රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකමට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය.
2 සාලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නබොත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයේදී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේය.
3 ඔව්හු පණිවිඩයක් යවා ඔහු ගෙන්වාගත්තෝය; එවිට යෙරොබොවම්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඇවිත් රෙහොබොවම්ට කථාකොට:
4 ඔබගේ පියාණෝ අපේ වියගහ බර කළහ. ඒ නිසා ඔබගේ පියාණන්ගේ අමාරු සේවයද ඔහු අප පිට තැබූ ඔහුගේ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයයි කීවෝය.
5 ඔහුද: ඔබ සැම තුන් දවසකින් නැවත මා ළඟට එන්නැයි ඔවුන්ට කීවේය. සෙනඟ ගියෝය.
6 රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණයකරමින්: මා විසින් මේ සෙනඟට උත්තරදෙන පිණිස ඔබ සැම මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඇසුවේය.
7 ඔව්හුද: ඔබ මේ සෙනඟට කරුණාවන්තව, ඔවුන් ප්‍රසන්නකොට, ප්‍රිය වචන ඔවුන්ට කථාකළොත්, ඔවුන් සෑම කල්හිම ඔබගේ මෙහෙකරුවන් වෙනවා ඇතැයි ඔහුට කීවෝය.
8 එහෙත් වැඩිමහල්ලන් ඔහුට දුන්නාවූ දැනමිතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණාවූ තමා ඉදිරියෙහි සිටි තරුණයන් සමඟ මන්ත්‍රණයකරමින්:
9 ඔබගේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනවැයි මට කීවාවූ මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සැම මන්ත්‍රණයකර කියන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසුවේය.
10 ඔහු සමඟ වැඩුණ තරුණයෝ ඔහුට කථාකොට: ඔබගේ පියාණෝ අපේ වියගහ බරකළහ, එහෙත් ඔබ ඒක අපට සැහැල්ලුකළ මැනවැයි කියා ඔබට කීවාවූ ඒ සෙනඟට ඔබ කථාකොට-මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ හුළගිල්ල ලොකුය.
11 මාගේ පියාණෝ ඔබ සැම පිට බර වියගහක් තැබුවාහ, මම ඔබ සැමගේ වියගහ වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් ඔබ සැමට දඬුවම්කළහ, මම වනාහි ඔබ සැමට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කිය යුතුයයි කීවෝය.
12 තුන්වෙනිදා නැවත මා ළඟට එන්නැයි රජ කී හැටියට යෙරොබොවම්ද මුළු සෙනඟද තුන්වෙනිදා රෙහොබොවම් ළඟට ආවෝය.
13 රජ ඔවුන්ට රළු ලෙස උත්තරදෙමින්, වැඩිමහල්ලන්ගේ මන්ත්‍රණය අත්හැර,
14 තරුණයන්ගේ මන්ත්‍රණය ප්‍රකාර ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ ඔබ සැමගේ වියගහ බරකළහ, මම එය වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් ඔබ සැමට දඬුවම්කළහ, මම ඔබ සැමට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කීවේය.
15 මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ෂිලොනිය අහියා ලවා නබොත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ට කියෙවු ස්වකීය වචනය ඉෂ්ටකරන පිණිස ඒ කාරණය දෙවියන්වහන්සේගෙන් පැමුණුණේය.
16 සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, ඔබ සැමගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්නි, ඔබේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.
17 නුමුත් යුදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම්කෙළේය.
18 එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ හදොරාම් යැවුවේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහුට ගල්ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය.
19 මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරළිගැසූහ.



පරිච්ඡේදය 11

1 රෙහොබොවම් යෙරුසලමට පැමුණුණ විට, තමාට රාජ්‍යය නැවත ලබාගන්ට ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔහු යුදා වංශයද බෙන්යමින් වංශයද වන තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූදහසක් රැස්කෙළේය.
2 නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ ෂෙමායා වෙතට පැමිණ කියනුයේ:
3 ඔබ සාලමොන්ගේ පුත්‍රවූ යුදාහි රජවූ රෙහොබොවම්ටත් යුදා සහ බෙන්යමින්හි සියලු ඉශ්‍රායෙල්වරුන්ටත් කථාකොට-
4 ඔබ සැම නොයන්න, ඔබ සැමගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න, එක එකා තම තමාගේ ගෙදරට හැරී යන්න; මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කියන්නැයි කීය. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනවලට ඇහුම්කන්දී, යෙරොබොවම්ට විරුද්ධව නොගොස් හැරී ආවෝය.
5 රෙහොබොවම් යෙරුසලමෙහි වාසයකරමින් ආරක්ෂාව පිණිස යුදාහි නුවරවල් ගොඩනැඟුවේය.
6 ඔහු බෙත්-ලෙහෙම්, ඒතාම්, තෙකෝවා,
7 බෙත්-ශූර්, සෝකෝ, අදුල්ලාම්,
8 ගාත්, මාරෙෂා, ශීප්,
9 අදොරයිම්, ලාකීෂ්, අසේකා,
10 ශොරා, අයාලොන්, හෙබ්‍රොන් යන යුදාහිද බෙන්යමින්හිද තිබෙන නුවරවල් බලකොටු නුවරවල් කෙළේය.
11 ඔහු බලකොටු සවිකර, එහි අධිපතීන් සිටුවා, ආහාර සහ තෙල්ද මුද්‍රිකපානයද රැස්කොට තැබුවේය.
12 යළිත් හෙතෙම එක එක නුවර පලිස් සහ හෙල්ල තබා, ඒවා ඉතා බලවත් ලෙස සවිකෙළේය. ඔහුට තිබුණේ යුදා සහ බෙන්යමින් ප්‍රදේශවල්ය.
13 සියලු ඉශ්‍රායෙල්වරුන් අතරෙහි සිටි පූජකයෝද ලෙවීවරුද තමුන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙතට ආවෝය.
14 මක්නිසාද යෙරොබොවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක්කළ නිසා, ඔව්හු තමුන්ගේ පිට-බිම්ද තමුන්ගේ උරුමයද අත්හැර යුදාටත් යෙරුසලමටත් ආවෝය.
15 තවද ඔහු තමා විසින් සෑදූ උස්තැන්වලටත් එළුවන්ටත්. වස්සන්ටත් පූජකයන් පත්කරගත්තේය.
16 යළිදු, ලෙවීවරුන්ට පසු සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගත් අය තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිස යෙරුසලමට ආවෝය.
17 මෙසේ ඔව්හු යුදා රාජ්‍යය ශක්තිමත්කොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම් තුන් අවුරුද්දකට ස්ථිරකළෝය. මක්නිසාද ඔව්හු තුන් අවුරුද්දක් දාවිත්ගේද සාලමොන්ගේද මාර්ගයෙහි හැසුරුණෝය.
18 තවද රෙහොබොවම් දාවිත්ගේ පුත්‍රවූ යෙරිමොත්ගේද යෙස්සේගේ පුත්‍රවූ එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේද දූවූ මාහලත් භාර්යාව කොට පාවාගත්තේය.
19 ඈ යෙවූෂ්ද ෂෙමරියාද සාහම්ද යන පුත්‍රයන් ඔහු නිසා බිහිකළාය.
20 ඈට පසුව ඔහු අබ්සලොම්ගේ දූවූ මයකා පාවාගත්තේය; ඈ අබියාද අත්තයිද සීසාද ෂෙලොමිත්ද ඔහු නිසා බිහිකළාය.
21 රෙහොබොවම් තමාගේ සියලු භාර්යාවන්ටත් උප භාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූවූ මයකාට ආදරේවිය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත් උප භාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේය, පුත්‍රයන් විසිඅටදෙනෙක්ද දූවරුන් හැටදෙනෙක්ද ඔහුට උපන්නෝය.
22 රෙහොබොවම් වනාහි මයකාගේ පුත්‍රවූ අබියා රජකමට පත්කරන්නට සිතා ඔහු ඔහුගේ සහෝදරයන් අතරේ අධිපතියා කොට ප්‍රධානකමට පත්කෙළේය.
23 ඔහු නුවණින් හැසිර, තමාගේ සියලු පුත්‍රයන්ගෙන් කීපදෙනෙක් යුදාහිත් බෙන්යමින්හිත් පළාත් මුළුල්ලෙහි එනම් සියලු බලකොටු නුවරවලට බෙදා යවා, බොහෝසෙයින් ඔවුන්ට ආහාර දුන්නේය. ඔවුන්ට බොහෝ භාර්යාවන්ද සොයාදුන්නේය.



පරිච්ඡේදය 12

1 තවද රෙහොබොවම්ට රාජ්‍යය ස්ථිරවී ඔහු බලවත්වූ කල්හි, ඔහුත් සියලු ඉශ්‍රායෙල්වරුත් ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝය.
2 ඔවුන් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළ නිසා රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේදී මිසරයේ රජවූ ෂීෂක්,
3 දොළොස් සියයක් රථද සැටදහසක් අසරුවන්ද ඇතුව යෙරුසලමට විරුද්ධව ආයේය; ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලූබ්වරුද සුක්කිවරුද කූෂ්වරුද ගණනාවක් නැතුව සිටියෝය.
4 ඔහු යුදාට අයිති බලකොටු නුවරවල් අල්ලා පසුව යෙරුසලම දක්වා ආයේය.
5 එවිට ප්‍රොපේතවූ ෂෙමායා රෙහොබොවම් වෙතටත් ෂීෂක්ට භයින් යෙරුසලමෙහි රැස්ව සිටි යුදාහි අධිපතීන් වෙතටත් ඇවිත් ඔවුන්ට කථාකොට: ඔබ සැම මා අත්හැරියහුය, එබැවින් මමත් ඔබ සැම ෂීෂක් අතට අත්හැරියෙමියි ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
6 එවිට ඉශ්‍රායෙල්හි අධිපතීහුද රජද යටත්වී: ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේකැයි කීවේය.
7 ඔවුන් යටත්වූ බව ස්වාමීන්වහන්සේ දුටු විට උන්වහන්සේගේ වචනය ෂෙමායා වෙතට පැමිණ: ඔව්හු යටත්වූවෝය; මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි, මාගේ උදහසද ෂීෂක් අතින් යෙරුසලම පිටට වගුරුවනු නොලබන්නේය.
8 එසේවී නුමුත් මාගේ සේවයද දේශවල රාජ්‍යයන්ගේ සේවයද ඔවුන් දැනගන්නා පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ යයි වදාළසේක.
9 මෙසේ මිසරයේ රජවූ ෂීෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජගෙයි තිබුණු වස්තුද හැරගෙන ගියේය; ඔහු සියල්ලම ගෙනගියේය. සාලමොන් සෑදූ රන් පලිස්ද ඔහු ගෙනගියේය.
10 රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල්කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය.
11 රජු ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන සියලු ප්‍රස්තාවයන්හිදී මුරකාරයෝ ඒවා ඔසවාගෙන ඇවිත් නැවත මුරගෙට ගෙනගියෝය.
12 තවද ඔහු යටත්වුණ විට ඔහු මුළුමනින්ම විනාශනොකරන හැටියට ස්වාමීන්වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරුණේය. ඇරත් යුදාහිද යහපත් දේ සම්බවුණේය.
13 මෙසේ රෙහොබොවම් රජ යෙරුසලමෙහි ස්ථිරවී රජකම්කෙළේය. රෙහොබොවම් තෙම රජවෙන කල සතළිස් එක් අවුරුද්දක් වයස්ව සිටියේය, ඔහු ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන්ට සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නුවරවූ යෙරුසලමෙහි දහහත් අවුරුද්දක් රජකම්කෙළේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය.
14 ඔහු ස්වාමීන්වහන්සේ සෙවීමට තමාගේ සිත යොමුනොකර නපුරුකම් කෙළේය.
15 මුල පටන් අන්තිම දක්වා රෙහොබොවම්ගේ ක්‍රියා ප්‍රොපේතවූ ෂෙමායාගේද ඉද්දෝ නම් දිවස් ඇත්තාගේද කථාන්තරවල පරම්පරා වශයෙන් ලියා තිබෙනවා නොවේද? රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය.
16 රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ අබියා ඔහු වෙනුවට රජවුණේය.



පරිච්ඡේදය 13

1 යෙරොබොවම් රජුගේ දහඅටවෙනි අවුරුද්දේදී අබියා යුදා කෙරෙහි රජවී
2 තුන් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මීකායාය, ඈ ගිබියාහි උරියෙල්ගේ දුවෙක්ය. අබියාද යෙරොබොවම්ද අතරේ යුද්ධ තිබුණේය.
3 එවිට අබියා යුද්ධයට බලවන්තයන්වූ තෝරාගත් මනුෂ්‍යයන් සාරලක්ෂයකින් යුත් සේනාවක් ඇතුව යුද්ධ ආරම්භකෙළේය. යෙරොබොවම්ද ඔහුට විරුද්ධව බලසම්පන්න තෝරාගත් මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇතුව යුද්ධ පිළිවෙළින් සිටියේය.
4 එවිට අබියා එප්‍රායිම් කඳු රටේ තිබෙන ශෙමරායිම් කන්ද උඩ සිට කියනුයේ: යෙරොබොවම් සහ සියලු ඉශ්‍රායෙල්වරුනි, මාගේ බස් අසන්න;
5 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කිරීම දාවිත්ටද ඔහුගේ පුත්‍රයන්ටද ලුණු ගිවිසුමකින් සදාකාලේටම දුන් බව ඔබ සැම දැනගතයුතු නොවේද?
6 එහෙත් දාවිත්ගේ පුත්‍රයා වන සාලමොන්ගේ සේවකවූ නබොත්ගේ පුත්‍රවූ යෙරොබොවම් නැගිට තමාගේ ස්වාමියාට විරුද්ධව කැරළි ගැසුවේය.
7 කමකට. නැති දුර්ජනයෝවූ මනුෂ්‍යයෝ ඔහුට එකතුව සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට විරුද්ධව තමුන්ම සවිකරගත්තෝය, ඔහු බාලව සිතින් මෘදුව සිටි බැවින් ඔවුන්ට විරුද්ධව සිටින්ට ඔහුට බැරිවුණේය.
8 දැන් ඔබ සැම දාවිත්ගේ පුත්‍රයන් අතේ තිබෙන ස්වාමීන්වහන්සේගේ රාජ්‍යයට විරුද්ධව සිටින්ට කල්පනාකරන්නහුය; ඔබ සැම මහත් සමූහයක්ය, දෙවිවරුන් කොට යෙරොබොවම් ඔබ සැමට සාදාදුන් රන් වස්සොත් ඔබ සැම සමඟ වෙති.
9 ඔබ සැම ආරොන්ගේ පුත්‍රයන් වන ස්වාමීන්වහන්සේගේ පූජකයන්ද ලෙවීවරුන්ද එළවාදමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියමකරගත්තා නොවේද? මෙසේ කැපවෙන පිණිස නාඹු ගොනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නුමුත් දෙවි නොවන්නන්ට පූජකයෙක් වන්නේය.
10 නුමුත් අපේ දෙවියන්වහන්සේ නම් ස්වාමීන්වහන්සේය, අපි උන්වහන්සේ අත්නොහැරියෙමුව; ස්වාමීන්වහන්සේට සේවයකරන පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝද තමුන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරුද අපට සිටිති.
11 ඔව්හු ස්වාමීන්වහන්සේට හැම උදයද හැම සවසද දවන පූජාත් සුවඳ දුම් ඔප්පුකරති. පිදීමේ රොටි රන් මේසය උඩ තබති, රන් පහන්-රුක සමඟ එහි පහන් හැම සවසම දල්වති. මක්නිසාද අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ භාරය පවත්වමුව; නුමුත් ඔබ සැම උන්වහන්සේ අත්හැරියහුය.
12 මෙන්න, දෙවියන්වහන්සේ අප කෙරෙහි ප්‍රධානව අප සමඟ සිටිනසේක, ඔබ සැමට විරුද්ධව පිඹින පිණිස හොරණෑ ගත් උන්වහන්සේගේ පූජකයෝද සිටිති. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද ඔබ සැම සඵල නොවන්නහුයයි කීවේය.
13 නුමුත් ඔවුන්ට පිටිපසින් එන පිණිස යෙරොබොවම් රහසින් සේනාවක් වටේට යැවීය. මෙසේ ඔව්හු යුදාවරුන්ට ඉස්සරහපිටින්ද රහස් සේනාව ඔවුන්ට පිටිපස්සෙන්ද සිටියෝය.
14 යුදාවරු හැරී බැලූවිට තමුන්ට විරුද්ධව ඉස්සරහින්ද පස්සෙන්ද යුද්ධය තිබෙන බව දැක ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය, පූජකයෝ හොරණෑ පිම්බෝය.
15 එවිට යුදා මනුෂ්‍යයන් ඔල්වර හඬ ගැසූකල දෙවියන්වහන්සේ යෙරොබොවම් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් අබියාටත් යුදාවරුන්ටත් පැරදෙවුසේක.
16 එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ යුදාවරුන් ඉදිරියෙන් පලාගියෝය. දෙවියන්වහන්සේ ඔවුන් යුදා අතට පාවාදුන්සේක.
17 අබියාද ඔහුගේ සෙනඟද මහත් මැරීමකින් ඔවුන් මැරුවෝය. තෝරාගත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් පන්ලක්ෂයක් මැරුම්කා වැටුණෝය.
18 මෙසේ ඒ කාලයේදී ඉශ්‍රායෙල් පුත්‍රයෝ යටත්කරනලද්දෝය, යුදාවරු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ.
19 අබියා තෙමේ යෙරොබොවම් ලුහුබඳවා ගොස් බෙතෙල් සහ ඊට අයිති නුවරවල්ද යෙෂානා සහ ඊට අයිති නුවරවල්ද එප්‍රො‍්න් සහ ඊට අයිති නුවරවල්ද අල්ලාගත්තේය.
20 තවද යෙරොබොවම් අබියාගේ කාලයේදී නැවත බලවත් නොවීය. ස්වාමීන්වහන්සේ ඔහුට පහරදුන්සේක, ඔහු මළේය.
21 නුමුත් අබියා බලවත්විය, හෙතෙම භාර්යාවන් දහහතර දෙනෙකු පාවාගත්තේය, පුත්‍රයන් විසි දෙදෙනෙක්ද දූවරුන් දහසය දෙනෙක්ද ඔහුට දාව උපන්නෝය.
22 අබියාගේ අනික් ක්‍රියාද ඔහුගේ මාර්ගද කියමන්ද ප්‍රොපේතවූ ඉද්දෝගේ අටුවා පොතෙහි ලියා තිබේ.



පරිච්ඡේදය 14

1 මෙසේ අබියා තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය, ඔහුගේ පුත්‍රවූ ආසා ඔහු වෙනුවට රජවුණේය. ඔහුගේ කාලයෙහි දස අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.
2 ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි යහපත්ව හරිව තිබුණ දේ කෙළේය.
3 මක්නිසාද ඔහු අන්‍ය පූජාසනද උස් තැන්ද පහකොට, රූපස්තම්භ බිඳ, අෂේරා කණු කපාදැමුවේය;
4 තවද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ටද ව්‍යවස්ථාවත් ආඥාවත් පවත්වන්ටද යුදාවරුන්ට අණකෙළේය.
5 ඔහු යුදාහි සියලු නුවරවලින් උස්තැන් සහ සූර්ය-රූප පහකෙළේය. රාජ්‍යයද ඔහු ඉදිරියෙහි නිශ්චලව තිබුණේය.
6 තවද ඔහු යුදාහි බලකොටු නුවරවල් ගොඩනැඟුවේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහුට නිවාඩුව දුන් බැවින් දේශය නිශ්චලව තිබුණාය, ඒ අවුරුදුවල ඔහුට යුද්ධයක් නොවීය.
7 ඔහු යුදාවරුන්ට කථාකොට: අපි මේ නුවරවල් ගොඩනගා අවට පවුරුද කොටුද දොරටුද අගුල්ද සාදමු; අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙවූ බැවින් දේශය තවම නිරවුල්ව අප ඉදිරියෙහි තිබේ; අපි උන්වහන්සේ සෙවුවෙමුව, උන්වහන්සේද හැම අතින්ම අපට නිවාඩුව දී තිබේයයි කීවේය. මෙසේ ඔව්හු ගොඩනගමින් සඵලවූවෝය.
8 යුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින්ද බෙන්යමින්ගෙන් පලිස් දරන දුනුගත් දෙලක්ෂ අසූදහසකින්ද යුක්තවූ සේනාවක් ආසාට සිටියාය. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.
9 ඔවුන්ට විරුද්ධව කූෂ්හි සෙරා දශලක්ෂයක් සෙනඟද රථ තුන්සියයක්ද අඩංගුවූ සේනාවක් ඇතුව පිටත්වී මාරෙෂා දක්වා ආයේය.
10 ආසා වනාහි ඔහුට විරුද්ධව ගියේය. එවිට මාරෙෂාහි ශෙපාතා මිටියාවතෙහි ඔව්හු යුද්ධ පිළිවෙළින් සිටගත්තෝය.
11 ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට ස්වාමීන්වහන්ස, බලසම්පන්න අයත් බෙලහීන අයත් අතරේ පිහිට වෙන්ට ඔබ හැර කිසිවෙක් නැත්තේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපට පිහිටවුවමැනව; මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව. ස්වාමීන්වහන්ස, ඔබ අපේ දෙවියන්වහන්සේය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවයි කීවේය.
12 ස්වාමීන්වහන්සේ ආසා සහ යුදාවරුන් ඉදිරියෙහි කූෂ්වරුන් පැරදවූසේක; කූෂ්වරු පලාගියෝය.
13 ආසාද ඔහු සමඟ සිටි සෙනඟද ගෙරාර් දක්වා ඔවුන් ලුහුබැන්දෝය. කූෂ්වරුන්ගෙන් කිසිවෙක් ජීවත්ව ඉතුරු නොවෙන ලෙස ඔව්හු වැටුණෝය; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ සේනාවද ඉදිරියෙන් විනාශකරනු ලැබුවෝය; ඔව්හු ඉතා මහත් කොල්ලයක්ද අරගෙන ආවෝය.
14 ගෙරාර් අවට සියලු නුවරවලට ඔව්හු පහරදුන්නෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් ඔවුන් පිටට භීතියක් පැමුණුණේය. ඔව්හු ඒ සියලු නුවරවල් කොල්ලකෑවෝය; ඒවායේ බොහෝ කොල්ලය තිබුණේය.
15 ඔව්හු සිව්පාවුන්ගේ මඩුවලටත් පහරදී බොහෝ බැටළුවන්ද ඔටුවන්ද අල්ලාගෙන යෙරුසලමට හැරී ආවෝය.



පරිච්ඡේදය 15

1 තවද දෙවියන්වහන්සේගේ ආත්මය ඕදෙද්ගේ පුත්‍රවූ අසරියා කෙරෙහි පැමිණියේය.
2 ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යුදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, ඔබ සැම ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ ඔබ සැම සමඟ සිටිනසේක; ඔබ සැම උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ ඔබ සැමට සම්බවෙනවා ඇත. ඔබ සැම උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද ඔබ සැම අත්හරිනවා ඇත.
3 බොහෝ කාලයක සිට ඉශ්‍රායෙල්වරු සැබෑවූ දෙවියන්වහන්සේ ද උගන්වන පූජකයෙක්ද ව්‍යවස්ථාවද නැතුව සිටියෝය.
4 නුමුත් ඔවුන් තමුන්ගේ විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ සෙවූ කල උන්වහන්සේ ඔවුන්ට සම්බවූසේක.
5 ඒ කාලවලදී පිටත ගිය කෙනෙකුටවත් ඇතුළට ආ කෙනෙකුටවත් කිසි සමාදානයක් නැතුව දේශවල සියලු වැසියන්ට මහත් පීඩා පැමුණුණේය.
6 ජාතියක් කරණකොටගෙන ජාතියක්ද නුවරක් කරණකොටගෙන නුවරක්ද පොඩිකරනු ලැබුවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන් පෙළූසේක.
7 එහෙත් ඔබ සැම අත්හෙළා නොගෙන ශක්තිමත් වෙන්න. මක්නිසාද ඔබ සැමගේ වැඩට විපාක ලැබෙන්නේයයි කීවේය.
8 ආසා මේ වචනය ප්‍රොපේතවූ ඕදෙද්ගේ අනාගතවාක්‍යයද ඇසූ කල ධෛර්ය උපදවාගන, යුදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් මුළු දේශයෙන්ද එප්‍රායිම් කඳු රටින් තමා විසින් අල්ලාගත් නුවරවලින්ද පිළිකුල් දේවල් අහක්කෙළේය; ඔහු ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපය ඉදිරිපිට තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනයද අලුත්වැඩියාකෙළේය.
9 තවද ඔහු සියලු යුදාවරුන්ද බෙන්යමින්වරුන්ද ඔවුන් සමඟ එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද සිමියොන්ගෙන්ද ඇවිත් සිටියාවූ ආගන්තුකයන්ද රැස්කරගත්තේය. මක්නිසාද ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්‍රායෙල්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට එකතුවුණෝය.
10 ආසාගේ රජකම්කිරීමේ පහළොස්වෙනි අවුරුද්දේ තුන්වෙනි මාසයේදී ඔව්හු යෙරුසලමට රැස්වූහ.
11 ඔවුන් ගෙනාවාවූ කොල්ලයෙන් ගවයන් සත් සියයකුත් බැටළුවන් සත් දහසකුත් ස්වාමීන්වහන්සේට ඔව්හු ඒ දවසේ පූජාකළෝය.
12 තවද ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද සොයන්ටත්,
13 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොසොයන සියල්ලන් ලොකු වුවත් කුඩා වුවත් පුරුෂයෙක් වුවත් ස්ත්‍රියෙක් වුවත් මරණයට පත්කරන්ටත් ගිවිසුමක් කළෝය.
14 ඔව්හු මහත් හඬද ඝෝෂාවද හොරණෑවලත් නළාවලත් ශබ්දයද ඇතුව ස්වාමීන්වහන්සේට දිවුරුම් දුන්නෝය.
15 සියලු යුදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක.
16 ආසා රජුගේ මෑණියන්වූ මයකා විසින් අෂේරාට පිළිකුල් රූපයක් සෑදූ නිසා ආසා ඇය බිසෝකමෙන් අහක්කර, ඇගේ පිළිමය කපාදමා සුණුකර, කිද්‍රොන් ඔය ළඟදී එය පුලුස්සා දැමුවේය.
17 නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් උස්තැන් පහකරනු නොලැබුවේය. එසේ වුවත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී සම්පූර්ණව තිබුණේය.
18 ඔහු තමාගේ පියා විසින්ද තමා විසින්ද කැප කළ රන් රිදී සහ බඩු දෙවියන්වහන්සේගේ ගෘහය ඇතුළට ගෙනාවේය.
19 ආසාගේ රජකම්කිරීමේ තිස්පස්වෙනි අවුරුද්ද දක්වා තවත් යුද්ධ නොවීය.



පරිච්ඡේදය 16

1 ආසාගේ රජකම්කිරීමේ තිස්හවෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ බයෙෂා රජ යුදාට විරුද්ධව ගොස් යුදාහි රජවූ ආසා වෙතට කිසිවෙකුට යන්ට එන්ට ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැඟුවේය.
2 එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහයේද රජගෙයිද ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසයකළාවූ සිරියේ රජවූ බෙන්හදද්ට ඒවා යවමින්:
3 මාගේ පියාද ඔබගේ පියාද අතරේ තිබුණාක් මෙන් මා සහ ඔබ අතරේද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි; ඉශ්‍රායෙල්හි රජවූ බයෙෂා මා වෙතින් අහක්ව යන පිණිස ඇවිත් ඔබ ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩකළ මැනවැයි කියා හැරියේය.
4 එවිට බෙන්හදද් ආසා රජුට ඇහුම්කන්දී, තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්‍රායෙල් නුවරවලට විරුද්ධව යැවීය; ඔව්හු ඊයොන්ටත් දාන්ටත් ආබෙල්-මයිම්ටත් නප්තලීහි සියලු ගබඩා නුවරවලටත් පහර දුන්නෝය.
5 බයෙෂා ඒ ඇසූ විට ඔහු රාමා නගරය ගොඩනැගීමෙන් නැවතී තමාගේ වැඩ අත්හිටෙවුවේය.
6 එවිට ආසා රජ සියලු යුදාවරුන් කැඳවාගන ගොස්, බයෙෂා ගොඩනැගූ රාමාහි ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබාද මිශ්පාද ගොඩනැඟුවේය.
7 එකල්හි හනානි නම් දිවස් ඇත්තා යුදාහි රජවූ ආසා ළඟට අවුත් කථාකොට: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා සිරියේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී ගියාය.
8 කූෂ්වරුන්ද ලූබ්වරුන්ද රථ සහ අසරුවන් මහත් රාශියක් ඇති මහත් සේනාවක්ව සිටියා නොවේද? එහෙත් ඔබ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා උන්වහන්සේ ඔවුන් ඔබ අතට පාවාදුන්සේක.
9 මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන ඔබ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය.
10 එවිට ආසා තෙමේ දිවස් ඇත්තා කෙරෙහි කෝපව ඔහු හිරගෙයි දැමීය; මක්නිසාද ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස්ව සිටියේය. එම කාලයේම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩාකෙළේය.
11 බලව, ආසාගේ ක්‍රියා මුල පටන් අග දක්වා යුදාහිද ඉශ්‍රායෙල්හිද රජුන්ගේ පොතෙහි ලියා තිබේ.
12 ආසාගේ රජකම්කිරීමේ තිස්නවවෙනි අවුරුද්දේදී ඔහුගේ පාදවල රෝගයක් විය; ඔහුගේ රෝගය තදබල විය. එහෙත් ඔහු තමාගේ රෝගයේදී ස්වාමීන්වහන්සේ නොව වෙදුන් සෙවුවේය.
13 ආසා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔහු මැරුණේ තමාගේ රජකම්කිරීමේ සතළිස් එක්වෙනි අවුරුද්දේදීය.
14 ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගන තිබුණු ඔහුගේම සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය, යළිත් තෛල මිශ්‍රකරන්නාගේ ශාස්ත්‍රය ලෙස පිළියෙළකළ නොයෙක් ආකාර සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූහ. ඔව්හු ඔහු උදෙසා ඉතා මහත් ගිනිමැලයක් දැල්වුවෝය.



පරිච්ඡේදය 17

1 ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජවී ඉශ්‍රායෙල්ට විරුද්ධව තමාගේ බලය පිහිටුවාගත්තේය.
2 ඔහු යුදා රටේ සියලු බලකොටු නුවරවල හමුදාවන් සිටුවා, යුදා දේශයෙහිද තමාගේ පියවූ ආසා අල්ලාගත් එප්‍රායිම් නුවරවලද මුර සේනාවන් සිටෙවුවේය.
3 ස්වාමීන්වහන්සේ යෙහෝෂාපාට් සමඟ සිටිසේක. මක්නිසාද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ ප්‍රථම මාර්ගවල හැසිර, බාල් දේවතාවුන්ට සේවය නොකර,
4 තමාගේ පියාගේ දෙවියන්වහන්සේට සේවයකරමින්, ඉශ්‍රායෙල්වරුන්ගේ ක්‍රියාවල ප්‍රකාරයට නොව උන්වහන්සේගේ ආඥාවල ප්‍රකාරයට හැසුරුණේය.
5 එබැවින් ස්වාමීන්වහන්සේ රාජ්‍යය ඔහු අතේ ස්ථිරකළසේක; සියලු යුදාවරු යෙහෝෂාපාට්ට තෑගි ගෙනාවෝය; වස්තුවද ගෞරවයද ඔහුට බොහෝසෙයින් තිබුණේය.
6 ඔහුගේ සිතද ස්වාමීන්වහන්සේගේ මාර්ගවල ධෛර්යවත්වී, නැවත ඔහු යුදා රටින් උස්තැන්ද අෂේරා කණුද පහකෙළේය.
7 තවද ඔහු තමාගේ රජකමේ තුන්වෙනි අවුරුද්දේදී යුදා නුවරවල උගන්වන පිණිස තමාගේ අධිපතීන් වන බෙන්-හයිල්ද ඔබදියාද ශෙකරියාද නෙතනේල්ද මීකායාද,
8 ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායාද නෙතනියාද ශෙබදියාද අසාහෙල්ද ෂෙමීරාමොත්ද යෙහෝනාතාන්ද අදෝනියාද ටෝබියාද ටෝබ්-අදෝනියාද ඔවුන් සමඟ පූජකයන්වූ එලීෂාමාද යෙහෝරාම්ද යැවුවේය.
9 ඔව්හුද යුදාහි උගන්වමින්, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන යුදාහි සියලු නුවරවලට ගොස්, සෙනඟ අතරෙහි ඉගැන්නුවෝය.
10 යුදා අවට දේශවල සියලු රාජ්‍යයන් පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පැමුණුණ නිසා ඔව්හු යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධ නොකළෝය.
11 පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් යෙහෝෂාපාට්ට තෑගිද රිදීද කප්පන් පිණිස ගෙනාවෝය; අරාබිවරුත් බැටළුවන් හත්දාස් හත්සියයක්ද එළුවන් හත්දාස් හත්සියයක්ද යන සිවුපාවුන් ගෙනාවෝය.
12 යෙහෝෂාපාට් අතිශයින් උතුම්ව යුදාහි බලකොටුද ගබඩා නුවරවල්ද ගොඩනැඟුවේය.
13 ඔහුට යුදා නුවරවල බොහෝ වැඩපළ තිබුණේය; යුද්ධකාර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයොත් යෙරුසලමෙහි සිටියෝය.
14 ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේය: යුදාගෙන් සහස්‍රාධිපතියෝ නම්-අධිපතියාවූ අද්නාය, ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝය.
15 ඊළඟට අධිපතියාවූ යෙහෝහානාන්ය, ඔහු සමඟ දෙලක්ෂ අසූදාහක් සිටියෝය;
16 ඊළඟට කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේට භාරවුණාවූ සික්රීගේ පුත්‍රවූ අමසියාය; ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝය.
17 බෙන්යමින්ගෙන් බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්වූ එල්යාදාය, ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධවූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝය.
18 ඊළඟට යෙහෝසාබාද්ය, යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදාහක් ඔහු සමඟ වූවෝය.
19 ඔව්හු රජුට මෙහෙකළාවූ අයය, ඔවුන් ඇර රජු විසින් මුළු යුදාහි බලකොටු නුවරවල සිටෙවු අයත් මෙහෙකළෝය.



පරිච්ඡේදය 18

1 තවද යෙහෝෂාපාට්ට බොහෝසෙයින් වස්තුවද ගෞරවයද තිබුණේය; ඔහු ආහබ් සමඟ නෑකම් බැඳගත්තේය.
2 අවුරුදු ගණනකට පසු ඔහු සමාරියට ආහබ් ළඟට ගියේය. එවිට ආහබ් ඔහුද ඔහු සමඟ සිටි සෙනඟද උදෙසා බොහෝ බැටළුවන්ද ගවයන්ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්ට ඔහු පෙළඹෙවුවේය.
3 ඉශ්‍රායෙල් රජවූ ආහබ් නැවත යුදාහි රජවූ යෙහෝෂාපාට්ට කථාකොට: ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. ඔහුද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය; යුද්ධයේදී අපි ඔබ සමඟ සිටින්නෙමුයයි ඔහුට උත්තරදුන්නේය.
4 තවද යෙහෝෂාපාට්: අද ස්වාමීන්වහන්සේගේ වචනය විචාළ මැනවැයි ඉශ්‍රායෙල් රජුට කීවේය.
5 එකල ඉශ්‍රායෙල් රජ ගණනින් හාරසියයක්වූ ප්‍රොපේතවරුන් රැස්කොට: අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්ටද නොහොත් මා නොගොස් සිටින්ටදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හුද: ගිය මැනවි; දෙවියන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.
6 නුමුත් යෙහෝෂාපාට් මොවුන් හැර අප විසින් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක් මෙහි නැද්දැයි ඇසුවේය.
7 ඉශ්‍රායෙල් රජද: ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත්‍රවූ මීකායා නම්වූ තව එක්කෙනෙක් සිටියි, නුමුත් ඔහු නිතරම මා ගැන නපුරක් මිස යහපතක් අනාගතවාක්‍යයෙන් නොකියන නිසා මම ඔහුට වෛරවෙමියි යෙහෝෂාපාට්ට කීවේය. යෙහෝෂාපාට්: රජ්ජුරුවෝ එසේ නොකියන්නයි කීවේය.
8 එවිට ඉශ්‍රායෙල් රජ ඇමතියෙකුට අඬ ගසා: ඉම්ලාගේ පුත්‍රවූ මීකායා ඉක්මනින් ගෙන්වන්නැයි කීවේය.
9 ඉශ්‍රායෙල් රජද යුදාහි රජවූ යෙහෝෂාපාට්ද රාජවස්ත්‍ර හැඳ තම තමුන්ගේ සිංහාසනවල හිඳගත්තෝය, ඔව්හු සමාරියේ දොරකඩ එළිමහන් තැනක වාඩිවී උන්නෝය; සියලු ප්‍රොපේතවරු ඔවුන් ඉදිරියෙහි අනාගතවාක්‍ය කීවෝය.
10 කෙනයනාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් විනාශවන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහිය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
11 සියලු ප්‍රොපේතවරුද එසේම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් සඵලවුණ මැනවි. ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.
12 මීකායා කැඳවාගෙන එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථාකොට: බලව, ප්‍රොපේතවරුන්ගේ වචන එක ලෙසම රජු ගැන යහපත්ව තිබේ. ඒ නිසා ඔබේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවේය.
13 මීකායාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මාගේ දෙවියන්වහන්සේ කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
14 ඔහු රජු ළඟට ආකල රජු ඔහුට කථාකොට: මීකායා, අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්ටද නැතහොත් මා නොගොස් සිටින්ටදැයි ඔහුගෙන් ඇසුවේය; ඔහුද: ගොස් සඵලවෙන්න; ඔව්හු ඔබ සැම අතට පාවාදෙනු ලබන්නෝයයි කීය.
15 රජ තෙමේ: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන ලෙස මම කී වරක් ඔබ දිවුරවම්දැයි ඔහුට කීය.
16 එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර ඉඳිනු දුටුමි. එවිට ස්වාමීන්වහන්සේ-මොවුන්ට ස්වාමියෙක් නැත; එකිනෙකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරීයේවයි කියා වදාළසේකැයි කීවේය.
17 ඉශ්‍රායෙල් රජද: ඔහු මා ගැන අනාගත වාක්‍යයෙන් නරකක් මිස යහපතක් නොකියන්නේය කියා මම ඔබට නොකීයෙම්දැයි යෙහෝෂාපාට්ට කීවේය.
18 මීකායා කථාකොට: එබැවින් ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනයෙහි වැඩහිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේගේ දකුණු පැත්තේද වම් පැත්තේද සිටිනවාත් දුටුමි.
19 ස්වාමීන්වහන්සේද—ඉශ්‍රායෙල් රජවූ ආහබ් රාමොත්-ගිලියද්හිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු කැමතිකරවන්නේ කවුදැයි ඇසූසේක. එවිට එක්කෙනෙක් මේ ආකාරද අනික් කෙනෙක් ඒ ආකාරද කීවේය.
20 එකල ආත්මයක් ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට: මම ඔහු කැමතිකරවමියි කීය. කුමකින්දැයි ස්වාමීන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක.
21 මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක්වෙමියි ඔහු කීවේය. උන්වහන්සේද: ඔබ ගොස් ඔහු පොළඹවා සඵලවන්නෙහිය. ගොස් එසේ කරන්නැයි කීසේක.
22 එබැවින් ස්වාමීන්වහන්සේ ඔබගේ මේ ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් තැබූසේක; ස්වාමීන්වහන්සේ ඔබ ගැන නරකක් කියා තිබේයයි කීවේය.
23 එවිට කෙනයනාගේ පුත්‍රවූ ශෙදෙකියා ළංවී මීකායාගේ කම්මුලට ගසා: ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔබට කථාකරන්ට මා කෙරෙන් ගියේ මොන මාර්ගයෙන්දැයි ඇසුවේය.
24 මීකායාද: බලව, ඔබ සැඟවෙන්ට ඇතුල් ගෙයකට යන දවසේදී දැනගන්නෙහියයි කීවේය.
25 ඉශ්‍රායෙල් රජ: ඔබ සැම මීකායා රැගෙන නුවර අධිපතියාවූ ආමොන්ද රජුගේ පුත්‍රවූ යෝවාෂ්ද ළඟට ගෙනගොස්,
26 මොහු හිරගෙයිලා, මා සමාදානයෙන් හැරී එන තුරු මොහුට කන්ට දුක් කෑමද දුක් වතුරද දෙන්නය කියා කියන්නැයි කීවේය.
27 මීකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත් ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැතැයි කියා: ජනයෙනි, ඔබ සැම සියල්ලෝම අසන්නැයි කීවේය.
28 මෙසේ ඉශ්‍රායෙල් රජද යුදාහි රජවූ යෙහෝෂාපාට්ද රාමොත්-ගිලියද්ට ගියෝය.
29 ඉශ්‍රායෙල් රජ යෙහෝෂාපාට්ට කථාකොට: මම වෙස් මාරුකරගන යුද්ධයට යන්නෙමි; නුමුත් ඔබ ඔබගේ වස්ත්‍ර හැඳගතමැනවියි කීවේය. මෙසේ ඉශ්‍රායෙල් රජ වෙස් මාරුකරගත්තේය; ඔව්හු සටනට ගියෝය.
30 සිරියේ රජ තමාගේ රථාධිපතීන්ට අණකරමින්: ඉශ්‍රායෙල් රජු සමඟ මිස ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැයි අණකර තිබුණේය.
31 රථාධිපතීහු යෙහෝෂාපාට් දුටු විට: මොහු ඉශ්‍රායෙල් රජය කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට ඔහු වටකරගත්තෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය, ස්වාමීන්වහන්සේ ඔහුට පිහිටවී ඔහු වෙතින් ඔවුන් අහක්කෙරෙවුසේක.
32 ඔහු ඉශ්‍රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳ යාමෙන් ආපසු හැරුණෝය.
33 නුමුත් එක්තරා මනුෂ්‍යයෙක් දුන්න තැත්කවා නොදැනම ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේය. එවිට ඔහු: ඔබේ අත හරවා මා සේනාවෙන් පිටතට ගෙනියන්න; මක්නිසාද මට හොඳටම තුවාලවීයයි රථාචාර්යයාට කීවේය.
34 ඒ දවසේ යුද්ධය තදබල විය. එසේවී නුමුත් ඉශ්‍රායෙල් රජ සවස්වෙන තුරු සිරියවරුන්ට ඉදිරි-පිට ආධාර ඇතුව රථයේ කෙළින් සිටුවනු ලැබ, ඉර බසින වේලාව පමණේදී මළේය.



පරිච්ඡේදය 19

1 යුදාහි රජවූ යෙහෝෂාපාට් යෙරුසලමේ තමාගේ ගෙට සමාදානයෙන් හැරීගියේය.
2 නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් ඔබට යුතුද? මේ කාරණය නිසා ඔබ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.
3 එසේ වුවත් ඔබ අෂේරා කණු දේශයෙන් පහකරදැමීමද, දෙවියන්වහන්සේ සෙවීමට ඔබේ සිත යොමුකිරීමද නම්වූ යහපත් කාරණා ඔබට ඇත්තේයයි කීවේය.
4 යොහෝෂාපාට් යෙරුසලමෙහි වාසය කෙළේය. ඔහු නැවත බෙයෙර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳුරට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් හරවාගත්තේය.
5 ඔහු යුදා දේශයේ සියලු බලකොටු නුවරවල නුවරක් නුවරක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කථාකොට:
6 ඔබ සැම කරන්නේ මොකද කියා බලාගන්න. මක්නිසාද ඔබ සැම විනිශ්චයකරන්නේ මනුෂ්‍යයා උදෙසා නොව ස්වාමීන්වහන්සේ උදෙසාය; විනිශ්චයේදී උන්වහන්සේ ඔබ සැම සමඟ වනසේක.
7 එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව ප්‍රවේසමින් ක්‍රියාකරන්න; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අයුක්තියක්වත් මනුෂ්‍යයන්ගේ තරාතිරම් බැලීමක්වත් අල්ලස් ගැනීමක්වත් නැතැයි විනිශ්චයකාරයන්ට කීවේය.
8 තවද යෙහෝෂාපාට් ලෙවීවරුන්ගෙන්ද පූජකයන්ගෙන්ද ඉශ්‍රායෙල් පියවංශවල ප්‍රධානීන්ගෙන්ද සමහරෙකුන් ස්වාමීන්වහන්සේගේ විනිශ්චය උදෙසාත් පැමිණිලි උදෙසාත් යෙරුසලමෙහි සිටෙවුවේය. ඔව්හු යෙරුසලමට හැරී ආවෝය.
9 ඔහු ඔවුන්ට අණකොට: ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව විශ්වාසකමින්ද සම්පූර්ණ සිතින්ද මෙසේ කරන්න.
10 තමුන්ගේ නුවරවල වාසය කරන ඔබ සැමගේ සහෝදරයන්ගේ ලේ වැගිරවීම ගැනවත් ව්‍යවස්ථාව සහ ආඥාව ගැනවත් පනත් හා විනිශ්චයයන් ගැනවත් ඔබ සැම වෙතට පැමිණෙන සියලු පැමිණිලිවලදී ඔවුන් ස්වාමීන්වහන්සේට විරුද්ධව වරදකාරයන් නොවන පිණිසත්, ඔබ සැම සහ ඔබ සැමගේ සහෝදරයන් කෙරෙහි උදහස නොපැමිණෙන පිණිසත්, ඔවුන්ට අවවාදකරන්න. ඔබ සැම වරදකාරයන් නොවන පිණිස මෙසේ කරන්න.
11 මෙන්න, ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැන උත්තම පූජකවූ අමරියාද රජුගේ සියලු කාරණා ගැන යුදා වංශයේ අධිපතියාවූ ඉෂ්මායෙල්ගේ පුත්‍රවූ සෙබදියාද ඔබ සැමගේ ප්‍රධානියෝය. ලෙවීවරුද ඔබ සැම ඉදිරියෙහි මුලාදෑනීහු වෙති. ධෛර්යවත්ව ක්‍රියාකරන්න, ස්වාමීන්වහන්සේ යහපතුන් සමඟ වනසේක්වයි කීවේය.



පරිච්ඡේදය 20

1 මින්පසු මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන්සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය.
2 එවිට සමහරෙක් ඇවිත් යෙහෝෂාපාට්ට කථාකොට: මුහුද එගොඩින් සිරියේ සිට මහත් සමූහයක් ඔබට විරුද්ධව එන්නාහ; ඔව්හු හශශොන්-තාමාර්හි (ඒන්-ගෙදිය කියන්නෙක් ඊටමයි) සිටිතියි කියා දැන්නුවෝය.
3 එවිට යෙහෝෂාපාට් භයවී, ස්වාමීන්වහන්සේ සොයන්ට සිත යොමුකර, යුදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශකෙළේය.
4 ස්වාමීන්වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස යුදාවරු රැස්වූවෝය. යුදාහි සියලු නුවරවලින් ඔව්හු ස්වාමීන්වහන්සේ සොයන්ට ආවෝය.
5 එවිට යෙහෝෂාපාට් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අලුත් මළුව ඉදිරිපිට යුදා සහ යෙරුසලමේ සිට රැස්වූ සභාව මැද සිට කියනුයේ:
6 අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වර්ගයෙහි දෙවියන්වහන්සේ නොවනසේක්ද? ජාතීන්ගේ සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකරන්නෙත් ඔබ නොවේද? ඔබගේ අතේ බලය හා පරාක්‍රමය තිබේ, ඔබට විරුද්ධව සිටින්ට පුළුවන් කෙනෙකුත් නැත. අපේ දෙවියන්වහන්ස,
7 ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඉදිරිපිටින් ඔබම මේ දේශයේ වැසියන් පන්නාදමා, ඔබගේ මිත්‍රවූ ආබ්‍රහම්ගේ වංශයට ඒක සදාකාලයටම නුදුන්සේක්ද?
8 ඔව්හු මෙහි වාසයකොට, ඔබගේ නාමයට මෙහි ශුද්ධස්ථානයක් ගොඩනගා කථාකොට-
9 අප පිටට යම් විපත්තියක් එනම් කඩුව හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමුණුණොත්, ඔබගේ නාමය මේ ගෘහයෙහි තබා තිබෙන නිසා, අපි මේ ගෘහය හා ඔබ ඉදිරියෙහි සිට අපේ දුකේදී ඔබට යාච්ඤාකරන්නෙමුව, එවිට ඔබ ශ්‍රවණය කොට ගළවනසේකැයි කීවෝය.
10 බැලුවමැනව, ඉශ්‍රායෙල් මිසරයෙන් ආකල අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ද සෙයිර් කඳුකරයේ වැසියන්ද අතරට පැමිණෙන්ට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශනොකර, ඔවුන් වෙතින් අහක්ව ගියෝය.
11 එහෙත් ඔබ අපට හිමිකරදුන් ඔබගේ උරුමයෙන් අප පන්නාදමන්ට ඊමෙන් ඔවුන් අපට ප්‍රතිඵල දෙන හැටි බැලුවමැනව.
12 අපේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරනසේක්ද? මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේයයි කීවේය.
13 මුළු යුදා තමුන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද සමඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියෝය.
14 එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ලෙවීය මත්තනියාගේ පුත්‍රවූ යෙයියෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යහසීයෙල් කෙරෙහි පහළ වූයේය.
15 ඔහු කථාකොට: සියලු යුදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝෂාපාට් රජ්ජුරුවෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ ඔබ සැමට මෙසේ කියනසේක-මේ මහත් සමූහයා නිසා භයනොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය ඔබ සැමගේ නොව දෙවියන්වහන්සේගේය.
16 හෙට ඔවුන්ට විරුද්ධව යන්න. බලව, ඔව්හු ශීශ් නම් නැගුමෙන් නැගී එති; යෙරුයෙල් කාන්තාරයට ඉස්සරහපිට මිටියාවතේ කෙළවරදී ඔව්හු ඔබ සැමට සම්බවන්නෝය.
17 යුදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී ඔබ සැම සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ ඔබ සැමට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය.
18 එවිට යෙහෝෂාපාට් මුහුණින් බිමට නැමුණේය. සියලු යුදාවරුද යෙරුසලමේ වැසියෝද ස්වාමීන්වහන්සේට නමස්කාරකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැඳවැටුණෝය.
19 කොහාතිවරුන්ගේ පුත්‍රයෝද කොරාවරුන්ගේ පුත්‍රයෝද වන ලෙවීවරු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඉතා මහත් හඬකින් ප්‍රශංසා කිරීමට නැගුටුණෝය.
20 ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යුදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට ඔබ සැම ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ සැම සඵලවන්නහුයයි කීවේය.
21 ඔහු සෙනඟ සමඟ මන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේට ගීතිකාකරන්නන් පත්කෙළේය. ඔව්හු යුද්ධ සේනාවට පෙරටුව යමින්, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්-ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල්ම
22 ඔවුන් ප්‍රීති ඝෝෂාවද ප්‍රශංසාවද පටන්ගත් වේලාවේදී යුදාට විරුද්ධව ඇවිත් සිටි අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ටද සෙයිර් කඳුකරයේ වැසියන්ටද විරුද්ධ ස්වාමීන්වහන්සේ රැක සිටින සේනාවක් සිටෙවුසේක; ඔව්හු පැරදුණෝය.
23 මක්නිසාද අම්මොන් සහ මෝවබ් පුත්‍රයන් සෙයිර් කඳුකරයේ වැසියන් සිඳදමා විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව නැගිට්ටෝය. සෙයිර් වැසියන් මුළුමනින්ම නැතිකළායින් පසු ඔව්හු එකෙක් අනිකෙකු විනාශකරන්ට උපකාරවූහ.
24 යුදාවරු වනාහි කාන්තාරයේ මුරකොටුව උඩට ඇවිත් ඒ සමූහයා දෙස බැලූ විට, ඔවුන් මළකඳන්ව බිම වැටී ඉන්නවා දුටුවෝය, ගැළවුණාවූ කිසිවෙක්ද නොසිටියේය.
25 යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල වස්තුවද මළකඳන්ද. අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය.
26 සතරවෙනිදා ඔව්හු බෙරාකා. මිටියාවතේ රැස්වුණෝය; ඔවුන් එහිදී ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා. මිටියාවතයයි කියනලද්දේය.
27 එවිට යුදා සහ යෙරුසලමේ සියලු මනුෂ්‍යයෝද ඔවුන්ට පෙරටුව යෙහෝෂාපාට්ද ප්‍රීතියෙන් යෙරුසලමට හැරී යන්ට පිටත් වුණෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීතිවෙන්ට ඔවුන්ට සැලැස්සූසේක.
28 ඔව්හු වීණාද මහ වීණාද හොරණෑද ඇතුව යෙරුසලමට ස්වාමීන්වහන්සේගේ ගෘහයට ආවෝය.
29 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ සතුරන්ට විරුද්ධව සටන්කළ බව දේශවල සියලු රාජ්‍යයන් ඇසූ විට ඔවුන් පිටට දෙවියන්වහන්සේගෙන් භීතියක් පැමිණියේය.
30 මෙසේ යෙහෝෂාපාට්ගේ රාජ්‍යය නිශ්චලව තිබුණේය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේ හාත්පසින්ම ඔහුට සමාදානය දුන්සේක.
31 යෙහෝෂාපාට් යුදා කෙරෙහි රජකම්කෙළේය. ඔහු රජවෙනකල අවුරුදු තිස්පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමෙහි විසිපස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මෑණියන්ගේ නම අසූබාය, ඈ ෂීල්හිගේ දුවය.
32 ඔහු තමාගේ පියවූ ආසාගේ මාර්ගයෙහි හැසිරෙමින්, එයින් අහක්නොවී, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
33 එසේ වුවත් උස්තැන් අහක්නොකරනලද්දේය; ඒ වන තුරු සෙනඟ තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ දෙසට තමුන්ගේ සිත් යොමුකළෙත් නැත.
34 යෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහි අන්තර්ගතවූ, හනානීගේ පුත්‍ර යේහුගේ ඉතිහාසයෙහි ලියා තිබේ.
35 මින්පසු යුදාහි රජවූ යෙහෝෂාපාට් ඉතා දුර්ජන ලෙස හැසුරුණු ඉශ්‍රායෙල් රජවූ අහසියාට එකතුවුණේය.
36 ඔහු තර්ෂිෂ්ට යාමට නැව් සාදන පිණිස ඔහුට එකතුවිය. ඔව්හු එශියොන්-ගෙබෙර්හි නැව් සෑදුවෝය.
37 එවිට මරේෂාහි දෝදාවාහුගේ පුත්‍රවූ එලියෙසෙර් යෙහෝෂාපාට්ට විරුද්ධව අනාගතවාක්‍ය පවසමින්: ඔබ අහසියාට එකතුවුණු නිසා ස්වාමීන්වහන්සේ ඔබේ වැඩ බින්දසේකැයි කීයේය. තවද නැව් බිදී තර්ෂිෂ්ට යන්ට බැරිවිය.



පරිච්ඡේදය 21

1 යෙහෝෂාපාට් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත්කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝරාම් ඔහු වෙනුවට රජවුණේය.
2 යෙහෝෂාපාට්ගේ පුත්‍රයෝවූ අසරියාද යෙහීයෙල්ද සෙකරියාද අසරියාද මීකායෙල්ද ෂෙපාටියාද යන මොව්හු ඔහුගේ සහෝදරයෝය. මේ සියල්ලෝ ඉශ්‍රායෙල් රජවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රයෝය.
3 ඔවුන්ගේ පියා රන් රිදීද අනර්ඝ දේවල්ද වන බොහෝ තෑගි යුදාහි බලකොටු නුවරවල් ඇතුළුව ඔවුන්ට දුන්නේය. නුමුත් යෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය දුන්නේය.
4 යෙහෝරාම්ද තමාගේ පියාගේ රාජ්‍යයට පැමිණ බලවත්වූ කල, තමාගේ සියලු සහෝදරයන්ද ඉශ්‍රායෙල්හි සමහර අධිපතීන්ද කඩුවෙන් මැරීය.
5 යෙහෝරාම් තිස් දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි අට අවුරුද්දක් රජකම්කෙළේය.
6 ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුවෙක් සරණපාවාගත්තේය. මෙසේ ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
7 නුමුත් ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසාද ඔහුටත් ඔහුගේ දරුවන්ටත් සෑම කල්හිම පහනක් දෙන්ට පොරොන්දුවූ නිසාද දාවිත්ගේ වංශය නැතිකරන්ට අකැමැතිවූසේක.
8 ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා යුදාවරුන් යටතෙන් අහක්ව, තමුන් කෙරෙහි රජෙකු පත්කරගත්තෝය.
9 එවිට යෙහෝරාම් තමාගේ අධිපතීන්ද සියලු රථද සමඟ ගොස් රාත්‍රියේ නැගිට තමා වටකර සිටි ඒදොම්වරුන්ටත් රථාධිපතීන්ටත් පහරදුන්නේය.
10 මෙසේ ඒදොම්වරු අද දක්වා යුදාවරුන් යටතෙන් අහක්වී සිටිති. තවද ලිබ්නාවරුත් එම කාලයේදී කැරළිගසා ඔහු යටතෙන් අහක්වුණෝය. මෙසේ වුණේ ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.
11 ඇරත් ඔහු යුදා කඳුවල උස්තැන් සාදා යෙරුසලමේ වැසියන් වේශ්‍යාකමට. පමුණුවා, යුදාවරුන් මුළාකෙරෙවුවේය.
12 තවද ප්‍රොපේතවූ එලියාගෙන් ඔහුට ලියවිල්ලක් ලැබුණේය, එනම්: ඔබේ පියවූ යෙහෝෂාපාට්ගේ මාර්ගවලත් යුදාහි රජවූ ආසාගේ මාර්ගවලත් ඔබ නොහැසිර,
13 ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, ආහබ්ගේ වංශය කළාක් මෙන් යුදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යාකමට 21:13 එනම්, අන් දෙවිවරුන් ඇදහීමට. පමුණුවා, ඔබේ පියාගේ වංශය වන ඔබට වඩා යහපත්වූ ඔබේ සහෝදරයන් මැරූ බැවින්,
14 ස්වාමීන්වහන්සේ ඔබේ සෙනඟටත් ඔබේ දරුවන්ටත් ඔබේ භාර්යාවන්ටත් ඔබේ සියලු සම්පත්වලටත් මහත් පීඩාවකින් පීඩාකරනවා ඇත.
15 ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටීයන ලෙස ඔබේ බඩවැල්වල දරුණු රෝග වන්නේයයි ඔබේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි එහි ලියා තිබුණේය.
16 ඒ හැටියට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේද කූෂ්වරුන්ට ළංව වාසයකරන අරාබිවරුන්ගේද සිත් යෙහෝරාම්ට විරුද්ධව පෙළෙඹවූසේක.
17 ඔව්හු යුදාට විරුද්ධව අවුත් ඇතුළට වැද, රජගෙදර තිබුණු සම්පත් සියල්ලද ඔහුගේ පුත්‍රයන්ද භාර්යාවන්ද රැගෙන ගියෝය; ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයාවූ යෙහෝවාහාස් හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරිනොවීය.
18 මේ සියල්ලට පසු ඔහුගේ බඩවැල්වල වැළඳි අසාධ්‍ය රෝගයකින් ස්වාමීන්වහන්සේ ඔහුට පහරදුන්සේක.
19 කල්යාමෙන්, දෑවුරුද්දක් පසුවූ කල, ඔහුගේ රෝගය නිසා ඔහුගේ බඩවැල් වැටී ගියේය, ඔහු දරුණු රෝග වේදනාවෙන් මළේය. ඔහුගේ පියවරුන් ගැන ගිනි මැලයක් දැල්වූවාක් මෙන් ඔහුගේ සෙනඟ ඔහු ගැන ගිනිමැලයක් නොදැල්වූහ.
20 ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී අට අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කනගාටුනූණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝය, නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේය.



පරිච්ඡේදය 22

1 යෙරුසලමේ වැසියෝ ඔහුගේ බාල පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය. මක්නිසාද අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව සියලු වැඩිමහල් පුත්‍රයන් මැරුවෝය. එබැවින් යුදාහි රජවූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම්කෙළේය.
2 අහසියා හතළිස් දෑවුරුදු වයසේදී රජවී, අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතලියාය, ඈ ඔම්රීගේ දුවෙක්ය.
3 ඔහුද ආහබ්ගේ වංශයේ මාර්ගවල හැසුරුණේය. මක්නිසාද දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුගේ මන්ත්‍රණකාරී වූවාය.
4 ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. මක්නිසාද ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුට මන්ත්‍රණකාරයෝ වූහ.
5 ඔහුත් ඔවුන්ගේ මන්ත්‍රණය ලෙස හැසිර, ආහබ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙහෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාලකළෝය.
6 ඔහු සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව සටන්කරන අතර රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හිදී සුවකරවාගන්න පිණිස ඔහු හැරී ආවේය. යුදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෙහෝරාම් රෝගාතුරව සිටි බැවින් ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.
7 යෝරාම් ළඟට යාම නිසා අහසියාටවූ විනාශය දෙවියන්වහන්සේ කෙරෙන් විය. මක්නිසාද ඔහු ගිය කල ආහබ්ගේ වංශය සිඳ දමන පිණිස ස්වාමීන්වහන්සේ විසින් ආලේපකළාවූ නිම්ෂීගේ පුත්‍රවූ යේහුට විරුද්ධව ඔහු යෙහෝරාම් සමඟ ගියේය.
8 තවද යේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ටකරද්දී යුදාහි අධිපතීන්ද අහසියාට සේවයකළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන්ද සම්බව ඔහු ඔවුන් මැරුවේය.
9 ඔහු අහසියා සොයා ගියේය, ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්වා යේහු ළඟට ගෙනවුත් මැරුවෝය; තවද ඔව්හු කථාකොට: මොහු වනාහි තමාගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ සෙවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රයායයි කියා ඔහු තැන්පත් කළෝය. රාජ්‍යය පවත්වාගන්ට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.
10 එකල අහසියාගේ මවුවූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු යුදා රාජවංශය නැතිකළාය.
11 නුමුත් රජුගේ දූවූ යෙහෝෂබත් මරනු ලැබූ රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහුද ඔහුගේ කිරි මවද යහන් තුබූ ගබඩාවෙහි සඟවා තැබුවාය. මෙසේ යෙහෝරාම් රජුගේ දූවූ, යෙහෝයාදා පූජකයාගේ භාර්යාවවූ, අහසියාගේ සහෝදරීවූ යෙහෝෂබත් අතලියා විසින් ඔහු නොමරන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවාය.
12 ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේය. අතලියා දේශය කෙරෙහි රජකම්කළාය.



පරිච්ඡේදය 23

1 සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා ධෛර්ය උපදවාගන, ශතාධිපතීන් වන යෙරොහාම්ගේ පුත්‍රවූ අසරියාද යෙහෝහානාන්ගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද ඕබෙද්ගේ පුත්‍රවූ අසරියාද අදායාගේ පුත්‍රවූ මයසේයාද සික්රීගේ පුත්‍රවූ එලීෂාපාට්ද ගිවිසුමකින් බැඳ ගත්තේය.
2 ඔව්හු යුදාහි ඔබ මොබ ගොස්, යුදාහි සියලු නුවරවලින් ලෙවීවරුන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ පියවංශවල ප්‍රධානීන්ද රැස්කරගෙන යෙරුසලමට ආවෝය.
3 මුළු සභාව දෙවියන්වහන්සේගේ ගෘහයේදී රජු හා සමඟ ගිවිසුමක් කරගත්තාය. යෙහෝයාදා ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ පුත්‍රයන් ගැන කී ප්‍රකාරයට රජුගේ පුත්‍රයා රජවිය යුතුය.
4 ඔබ සැම කරන්ට ඕනෑ දේ මේය: සබත් දවසේදී ඇතුල්වෙන පූජකයන්ද ලෙවීවරුන්ද වන ඔබ සැමගෙන් තුනෙන් කොටසක් දොරටුපාලයන් විය යුතුය;
5 තුනෙන් කොටසක් රජගෙයිද තුනෙන් කොටසක් අත්තිවාරම් දොරටුවෙහිද සිටිය යුතුය. මුළු සෙනඟද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මණ්ඩපවල සිටිත්වා.
6 නුමුත් පූජකයන්ද ලෙවීවරුන්ගෙන් සේවයකරන්නන්ද හැර වෙන කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල් නොවේවා; ඔව්හු විශුද්ධව සිටින නිසා ඇතුල්වෙත්වා. නුමුත් මුළු සෙනඟ ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වාවා.
7 ලෙවීවරුද එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිටිත්වා; ගෘහයට ඇතුල්වෙන කවුරු නුමුත් මරනු ලබාවා. රජු ඇතුල්වන කල්හිද පිටත යන කල්හිද ඔබ සැම ඔහු සමඟ සිටින්නැයි කීවේය.
8 ලෙවීවරුද සියලු යුදාවරුද යෙහෝයාදා පූජකයා විසින් අණකළ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන සබත් දවසේදී ඇතුල්වෙන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝය; මක්නිසාද යෙහෝයාදා පූජක තෙම රැකවල් පංක්ති නිදහස්කර නොහැරියේය.
9 යෙහෝයාදා පූජකයා දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල සහ පලිස්ද මහ පලිස්ද ශතාධිපතීන්ටදී,
10 මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධය අතේ ඇතුව ගෘහයේ දකුණු පැත්තේ සිට ගෘහයේ වම්පැත්ත දක්වා පූජාසනයත් ගෘහයත් ළඟ රජු වටකර සිටෙවුවේය.
11 එවිට ඔව්හු රාජ පුත්‍රයා පිටතට ගෙනවුත් ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත්කළෝය. යෙහෝයාදාද ඔහුගේ පුත්‍රයෝද ඔහු ආලේපකොට: රජ සැරදේවයි කීවෝය.
12 සෙනඟ දුවමින් රජු වර්ණනාකරන ඝෝෂාව අතලියාට ඇසුණ විට, ඈ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටි සෙනඟ ළඟට ආවාය.
13 ඈ බැලූ විට ඇතුල්වෙන තැන රජ තමාගේ මංචකය උඩ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත්, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත්ව හොරණෑ, පිඹිනවාත්, ගීකියන්නන්ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන්ද ප්‍රශංසා ගී කියනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමයයි කීවාය.
14 එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන් පිටතට ගෙනවුත් ඔවුන්ට කථාකොට: ඇය පේළි අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය.
15 ඈට දෙපසින් ඉඩඇරිය විට ඈ රජගෙදරට අශ්ව දොරටුවෙන් ගියාය. එහිදී ඔව්හු ඈ මැරුවෝය.
16 ස්වාමීන්වහන්සේගේ සෙනඟව සිටින ලෙස යෙහෝයාදා තමා සහ මුළු සෙනඟත් රජුත් අතරේ ගිවිසුමක් කෙළේය.
17 මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩාදමා, ඔහුගේ පූජාසනද ඔහුගේ පිළිමද බිඳදමා, පූජාසන ඉදිරියේදී බාල්ගේ පූජකයාවූ මත්තන් මැරුවෝය.
18 තවද දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතියද ගීකීමද ඇතුව ස්වාමීන්වහන්සේගේ දවන පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පුකිරීමට, යෙහෝයාදා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙයවල් දාවිත් විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි බෙදා නියමකළ ලෙවීවරුන්වූ පූජකයන් අතට භාරකෙළේය.
19 යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙක් ඇතුල් නොවන පිණිස ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරකඩවල දොරටුපාලයන් සිටෙවුවේය.
20 තවද ඔහු ශතාධිපතීන්ද වංශාධිපතීන්ද සෙනඟගේ ආණ්ඩුකාරයන්ද දේශයේ මුළු සෙනඟද කැඳවාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිට රජු ගෙනගියේය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජගෙට පැමිණ රජ්ජුරුවන් රාජාසනයෙහි හිදෙවුවෝය. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීතිවූහ,
21 නුවරද නිශ්චලව තිබුණාය. තවද ඔව්හු අතලියා කඩුවෙන් මැරුවෝය.



පරිච්ඡේදය 24

1 යෝවාෂ් සත් අවුරුදු වයසේ රජවී යෙරුසලමෙහි සතළිස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම ශීබියාය, ඈ බෙයෙර්-ෂෙබාහි ස්ත්‍රියෙක්ය.
2 යෙහෝයාදා පූජකයාගේ කාලය මුළුල්ලෙහි යෝවාෂ් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
3 යෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු ගෙනදුන්නේය; ඔහුට දාව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය.
4 ඉන්පසු යෝවාෂ් ස්වාමීන්වහන්සේගේ ගෘහය ප්‍රකෘතිමත්කරන්ට සිතට ගෙන,
5 පූජකයන්ද ලෙවීවරුන්ද රැස්කරගෙන ඔවුන්ට කියනුයේ: ඔබ සැම යුදාහි නුවරවලට ගොස් අවුරුද්දෙන් අවුරුද්ද ඔබ සැමගේ දෙවියන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන් මුදල් එකතුකරන්න, ඒ කාරණය ගැන ඉක්මන්වෙන්නැයි කීවේය. නුමුත් ලෙවීවරු ඉක්මන් නොවූහ.
6 එවිට රජ තෙමේ ප්‍රධානියාවූ යෙහෝයාදා කැඳවා: ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්‍රායෙල් සභාවද විසින් සාක්ෂි-කූඩාරම උදෙසා නියමකළ සුංගම් මිල ලෙවීවරුන් විසින් යුදා සහ යෙරුසලමෙන් එකතුකර ගෙනෙන හැටියට ඔබ බලානොගත්තේ මක්නිසාදැයි ඇසුවේය.
7 මක්නිසාද දුෂ්ටවූ අතලියා සහ ඇගේ පුත්‍රයෝ දෙවියන්වහන්සේගේ ගෘහය කඩා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කැපවූ සියලු දේවල් බාල් දේවතාවුන් උදෙසා පාවිච්චියට ගත්තෝය.
8 තවද පෙට්ටියක් සාදා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණකෙළේය.
9 එවිට දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් කාන්තාරයේදී ඉශ්‍රායෙල්ට නියමකළ සුංගම ස්වාමීන්වහන්සේ උදෙසා ගෙනෙන්ට කියා යුදාහි සහ යෙරුසලමෙහි ප්‍රසිද්ධියක් කරනලද්දේය.
10 එවිට සියලු අධිපතීහුද මුළු සෙනඟද සන්තෝෂව, තීන්දුවෙන තුරු මුදල් ගෙනැවිත් පෙට්ටියේ දැම්මෝය.
11 මෙයාකාරයෙන් ඒ පෙට්ටිය ලෙවීවරුන් ලවා රාජ ගබඩාවට ගෙන්වන විටත්, බොහෝ මුදල් තිබෙන බව දකින විටත්, රජුගේ ලේකම්ද උත්තම පූජකයාගේ සේවකයාද ඇවිත් පෙට්ටිය හිස්කර, ඒක නැවත ගෙන ගොස් පළමු තිබුණු තැන තැබුවෝය. ඔව්හු දවසින් දවස මෙසේ කොට බොහෝ මිල එකතුකළෝය.
12 රජු සහ යෙහෝයාදා ස්වාමීන්වහන්සේගේ ගෘහ මෙහෙයේ කටයුතු කරවන්නන්ට ඒවා දුන්නෝය; ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන්ද වඩුවන්ද ස්වාමීන්වහන්සේගේ ගෘහය හරිගැස්සීමට යකඩ සහ පිත්තල වැඩ කරන්නන්ද කුලියට ගත්තෝය.
13 කම්කරුවෝ වීර්යයෙන් වැඩකළෝය, මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණකරනලද්දේය; ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය නිසි ලෙස පිහිටුවා ඒක සවිකළෝය.
14 වැඩ නිමකළ පසු ඔව්හු ඉතිරි මිල රජු සහ යෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝය, එයින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට භාණ්ඩ එනම් මෙහෙයටත් පූජා ඔප්පුකිරීමටත් බඩුද හැඳිද රන් රිදී භාජනද සාදනලද්දේය. යෙහෝයාදාගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දවන පූජා නිතරම ඔප්පුකරනලද්දේය.
15 නුමුත් යෙහෝයාදා මහලුව වයසින් පූර්ණව මළේය; මැරෙන කල ඔහු අවුරුදු එකසිය තිහක් වයස්ව සිටියේය.
16 ඔහු ඉශ්‍රායෙල්හිද දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෘහය උදෙසාද යහපතකළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත්කරනු ලැබීය.
17 යෙහෝයාදා මැරුණු පසු යුදාහි අධිපතීහු ඇවිත් රජුට වැන්දෝය. එවිට රජ ඔවුන්ට ඇහුම්කන්දුන්නේය.
18 ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය අත්හැර අෂේරා කණුවලටත් පිළිමවලටත් සේවයකළෝය. ඔවුන්ගේ මේ වරද නිසා යුදාද යෙරුසලමද පිටට උදහස පැමිණියේය.
19 නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හරවන පිණිස උන්වහන්සේ ප්‍රොපේතවරුන් ඔවුන් අතරට එවූ සේක; ඒ ප්‍රොපේතවරුන් ඔවුන්ට අවවාදකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.
20 දෙවියන්වහන්සේගේ ආත්මය යෙහෝයාදා පූජකයාගේ පුත්‍රවූ ශෙකරියා කෙරෙහි පැමිණියේය; ඔහු සෙනඟට ඉහළින් නැගිට සිට ඔවුන්ට කථාකොට: දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැම ස්වාමීන්වහන්සේගේ ආඥා කඩකරන්නේ මක්නිසාද? ඔබ සැමට සඵලයක් නොවන්නේය. ඔබ සැම ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා උන්වහන්සේත් ඔබ සැම අත්හැරියසේකැයි කීවේය.
21 ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේදී ඔහුට ගල්ගැසුවෝය.
22 මෙසේ යෝවාෂ් රජ ඔහුගේ පියවූ යෙහෝයාදා තමාට කළ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරීය. ඔහු මැරෙද්දී කථාකොට: ස්වාමීන්වහන්සේ මේක බලා ප්‍රතිඵල දෙනසේක්වයි කීවේය.
23 ඊළඟ අවුරුද්දෙහි සිරියවරුන්ගේ සේනාව ඔහුට විරුද්ධව ආවෝය. ඔව්හු යුදාටත් යෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකරදමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට ඇරියෝය.
24 සිරියවරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙක්ව පැමිණි නුමුත්, යුදාවරුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා ස්වාමීන්වහන්සේ ඉතා මහත් සේනාවක් ඔවුන් අතට පාවාදුන්සේක. මෙසේ ඔව්හු යෝවාෂ් කෙරෙහි දඬුවම් පැමිණෙවුවෝය.
25 ඔහු බොහෝ තුවාලවී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගියාට පසු, ඔහුගේ සේවකයෝ පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයන්ගේ ලේ ගැන ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුගේ ඇඳේදී ඔහු මැරුවෝය, මෙසේ ඔහු මළේය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළ නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝය.
26 ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකළ අය නම්: අම්මොනිය ස්ත්‍රියෙක් වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ සාබාත් සහ මෝවබිය ස්ත්‍රියෙක් වන ෂිම්රීත්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ය.
27 ඔහුගේ පුත්‍රයන් ගැනද ඔහු පිට තබනලද බරේ මහත්කම සහ දෙවියන්වහන්සේගේ ගෘහය දෙවනු ගොඩනැගීම ගැනද රාජාවලි අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.



පරිච්ඡේදය 25

1 අමශියා විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙහෝයද්දාන්ය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
2 ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය, නුමුත් සම්පූර්ණ සිතකින් නොවේය.
3 තවද රජකම ඔහු කෙරෙහි ස්ථිර වුණ කල, ඔහු තමාගේ පිය රජ්ජුරුවන් මැරුවාවූ තමාගේ සේවකයන් මරාදැම්මේය.
4 නුමුත්: දරුවන් නිසා පියවරුවත් පියවරුන් නිසා දරුවෝවත් මරනු නොලබත්වා, එක එකා තම තමාගේම පාපය නිසා මරනු ලබාවයි කියා ස්වාමීන්වහන්සේ අණකළ ලෙස, මෝසෙස්ගේ පොතේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේය.
5 තවද අමශියා යුදාවරුන් රැස්කර, මුළු යුදාහිද බෙන්යමින්හිද ඔවුන්ගේ පියවංශවල හැටියට ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද යටතේ පත්කොට, විසිඅවුරුද්ද පටන් ඉන් ඉහළට වයස්වූවන් ගණන්කර, හෙල්ලද පලිස්ද දරා යුද්ධයට යන්ට දක්ෂවූ තෝරාගත් මනුෂ්‍යයන් තුන් ලක්ෂයක් සිටින බව දැනගත්තේය.
6 තවද ඔහු ඉශ්‍රායෙල්වරුන්ගෙන් යුද්ධ දක්ෂයන් ලක්ෂයක් රිදී තලෙන්ත සියයකට කුලියට ගත්තේය.
7 නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඔහු ළඟට ඇවිත්: රජ්ජුරුවෙනි, සියලු එප්‍රායිම් පුත්‍රයන් වන ඉශ්‍රායෙල්වරුන් සමඟ ස්වාමීන්වහන්සේ නොසිටින නිසා ඉශ්‍රායෙල් යුද්ධ සේනාව ඔබ සමඟ නොයත්වා.
8 නුමුත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත්වී සටනට බලවත් වෙන්න; දෙවියන්වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළාදමනසේක; මක්නිසාද උපකාරකරන්ටත් හෙළාදමන්ටත් දෙවියන්වහන්සේට බලය ඇත්තේයයි කීවේය.
9 අමශියාද: එසේ නම් මා ඉශ්‍රායෙල් සේනාවට දුන් තලෙන්ත සියය ගැන අපි මක්කරමුදැයි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගෙන් ඇසුවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: ඊට වඩා ඔබට දෙන්ට ස්වාමීන්වහන්සේට පුළුවනැයි කීවේය.
10 එකල අමශියා එප්‍රායිම්හි සිට තමා වෙතට ආ හමුදාව ස්වකීය ස්ථානයට යන පිණිස වෙන්කෙළේය. ඒ නිසා ඔවුන්ගේ කෝපය යුදා කෙරෙහි බොහෝසෙයින් ඇවිළ, ඔව්හු තද කෝපයෙන් තමුන්ගේ ස්ථානයට හැරී ගියෝය.
11 ඉක්බිති අමශියා ධෛර්ය උපදවා, තමාගේ සෙනඟ කැඳවාගෙන ලුණු මිටියාවතට පැමිණ සෙයිර් පුත්‍රයන්ගෙන් දසදහසක් මැරීය.
12 යුදා පුත්‍රයෝ තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝය, ඔවුන් සියල්ලෝද සුනුවිසුනු වූහ.
13 අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියාවූ හමුදාවේ මනුෂ්‍යයෝ සමාරියේ සිට බෙත්හෝරොන් දක්වා යුදාහි නුවරවලට වැද, එහිදී තුන්දහසකට පහරදී බොහෝ කොල්ලය ගත්තෝය.
14 අමශියා ඒදොම්වරුන් මරා ආවායින් පසු ඔහු සෙයිර් පුත්‍රයන්ගේ දෙවිවරුන් ගෙනැවිත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පුකෙළේය.
15 එවිට ස්වාමීන්වහන්සේගේ උදහස අමශියා කෙරෙහි ඇවුළුණේය, උන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඔහු වෙතට යැවූසේක. ඔහු කථාකොට: තමුන්ගේ සෙනඟ ඔබේ අතින් ගළවා නොගත් සෙනඟගේ දෙවියන් වෙතට මක්නිසා හැරුණෙහිදැයි ඔහුගෙන් ඇසුවේය.
16 මෙසේ ඔහු රජු සමඟ කථාකරද්දී අමශියා ඔහුට කථාකොට: ඔබ රජුගේ මන්ත්‍රියෙකු කොට පත්කෙළෙමුද? නිකම් සිටින්න; ඔබ මරනු ලබන්නේ කුමටදැයි කීවේය. එවිට ප්‍රොපේත තෙම නැවතී: ඔබ මාගේ දැනමිතිකම නොඅසා මේක කළ බැවින් දෙවියන්වහන්සේ ඔබ විනාශකරන්ට නියමකරගත් බව මට පෙනේයයි කීවේය.
17 එකල යුදාහි රජවූ අමශියා මන්ත්‍රණයකොට: එන්න, අපි මුණගැසෙමුව කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාස්ගේ පුත්‍රයා වන ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ට කියා හැරියේය.
18 ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් උත්තරදෙමින්: ඔබේ දුව මාගේ පුත්‍රයාට භාර්යා කොට පාවාදෙන්නැයි ලෙබනොන්හි තිබෙන ගොකටු ගස ලෙබනොන්හි තිබෙන කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වනමෘගයෙක් එහි යන විට ගොකටු ගස පාගාදැමීය.
19 මෙන්න, ඒදොම්වරුන්ට පහරදුන්නෙමියි ඔබ කියයි; ඔබේ සිතද පාරට්ටු කරන පිණිස අහංකාරවී තිබේ. ගෙදර සිටින්න; ඔබද ඔබ සමඟ යුදාවරුන්ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදිවෙන්නේ මක්නිසාදැයි යුදාහි රජවූ අමශියාට කියා හැරියේය.
20 නුමුත් අමශියා ඇහුම්කන් නුදුන්නේය; මක්නිසාද ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙතට හැරුණු බැවින් ඔවුන් පාවාදෙන පිණිස ඒක දෙවියන්වහන්සේ කෙරෙන් පැමුණුණේය.
21 මෙසේ ඉශ්‍රායෙල්හි රජවූ යෝවාෂ් පිටතට ගියේය; ඔහුද යුදාහි රජවූ අමශියාද යුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී මුණගැසුණෝය.
22 යුදාවරුන් ඉශ්‍රායෙල්වරුන්ට පරාජයවී එක් එක්කෙනා තම තමාගේ කූඩාරමට පලාගියේය.
23 ඉශ්‍රායෙල්හි රජවූ යෝවාෂ් තෙමේ යෙහෝවාහාශ්ගේ පුත්‍රවූ යෝවාෂ්ගේ පුත්‍රයා වන යුදාහි රජවූ අමශියා බෙත්-ෂෙමෙෂ්හිදී අල්ලාගෙන යෙරුසලමට ගෙනවුත්, එප්‍රායිම් දොරටුව සිට කොනේ දොරටුව දක්වා යෙරුසලමේ පවුරෙන් රියන් හාරසියයක් බිඳහෙළා,
24 දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඕබෙද්-ඒදොම් ළඟ තිබුණු රන් රිදී සියල්ලද සියලු භාජනද රජ ගෙයි වස්තුද ඇපකාරයන්ද රැගෙන සමාරියට හැරීගියේය.
25 යෙහෝවාහාස්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ මරණයෙන් පසු යුදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශියා අවුරුදු පහළොහක් ජීවත්ව සිටියේය.
26 අමශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා යුදාහි රජුන්ගේද ඉශ්‍රායෙල් රජුන්ගේද පොතෙහි ලියා තිබෙනවා නොවේද?
27 අමශියා ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගිය පසු මනුෂ්‍යයෝ යෙරුසලමෙහි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහිදී ඔහු මරා,
28 අශ්වයන් පිට තබා ගෙනවුත්, දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත්කළෝය.



පරිච්ඡේදය 26

1 එකල යුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්වූ උස්සියා කැඳවාගන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.
2 රජු තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලොත් ගොඩනගා එය යුදාට නැවත අයිතිකරගත්තේය.
3 උස්සියා දහසය අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි පනස් දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙකිලියාය, ඈ යෙරුසලමේ ස්ත්‍රියෙක්ය.
4 ඔහු මාගේ පියවූ අමශියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
5 දේවදර්ශන පිළිබඳ තේරුම් ඇත්තාවූ ශෙකරියාගේ දවස්වලදී ඔහු දෙවියන්වහන්සේ සෙවුවේය. ඔහු ස්වාමීන්වහන්සේ සෙවූතාක්ම දෙවියන්වහන්සේ ඔහු සඵල කළ සේක.
6 ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට, ගාත්හි පවුරත් යබ්නෙහි පවුරත් අෂ්දෝද්හි පවුරත් බිඳදමා, අෂ්දෝද් රටෙහිද පිලිස්තිවරුන් අතරේද නුවරවල් ගොඩනැඟුවේය.
7 දෙවියන්වහන්සේ පිලිස්තිවරුන්ටත් ගුර්-බාල්හි සිටි අරාබිවරුන්ටත් මෙයූනිවරුන්ටත් විරුද්ධව ඔහුට උපකාරකළසේක.
8 අම්මොනිවරුත් උස්සියාට තෑගි දුන්නෝය. ඔහු ඉතාම බලවත්වූ බැවින් ඔහුගේ නාමය මිසරයේ සීමාව දක්වා පතළව ගියේය.
9 තවද උස්සියා යෙරුසලමේ කොනේ දොරටුව උඩද මිටියාවතේ දොරටුව උඩද පවුරු මුළුවලද මුරකොටු ගොඩනගා ඒවා සවිකෙළේය.
10 ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.
11 යුද්ධයට යන්නාවූ සේනාවක්ද උස්සියාට සිටියාය. ලේකම් වන යෙයියෙල් විසින්ද මුලාදෑනියාවූ මයසේයා විසින්ද ඔවුන් ගණන් කළ ගණනේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙක්වූ හනනියාගේ අත යටතේ හමුදා වශයෙන් සේවයට පිටත්ව ගියෝය.
12 බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පියවංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදාස් හසියයක්ය.
13 ඔවුන් යටතේ සතුරාට විරුද්ධව රජුට උදව්වන පිණිස බලවත් ලෙස යුද්ධකරන මිනිසුන් තුන්ලක්ෂ හත්දාස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් සිටියාය.
14 උස්සියා ඒ මුළු සේනාවට පලිස්ද හෙල්ලද තොප්පිද යුද්ධ සැට්ටද දුනුද වීසිකිරීමට ගල්ද පිළියෙළ කෙළේය.
15 තවද ඔහු ඊගස්වලින්ද ලොකු ගල්වලින්ද විදින්ට මුර කොටු උඩත් කොත් උඩත් තබන පිණිස දක්ෂ මිනිසුන් විසින් සොයා දැනගත් යන්ත්‍ර යෙරුසලමෙහි සෑදෙවුවේය. ඔහුගේ නාමය දස දෙස පතළව ගියේය; මක්නිසාද බලවත්වන ලෙස පුදුමාකාරයෙන් ඔහුට උපකාර ලැබුණේය.
16 නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.
17 නුමුත් අසරියා පූජකයාද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන්ව සිටි ස්වාමීන්වහන්සේගේ පූජකයන් අසූ දෙනෙක්ද උස්සියා රජු පස්සේ ගොස් ඇතුල්වී,
18 ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.
19 එවිට උස්සියා උදහස් විය; සුවඳ දුම් ඔප්පුකිරීමට දුම් භාජනයක් ඔහුගේ අතේ තිබුණේය; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දුම් පූජාසනය ළඟ ඔහු පූජකයන් සමඟ උදහස්ව සිටියදී, පූජකයන් ඉදිරියෙහි ඔහුගේ නළලේ කුෂ්ඨරෝගය හටගත්තේය.
20 උත්තම පූජකයාවූ අසරියාද සියලු පූජකයෝද ඔහු දෙස බැලූ විට ඔහුගේ නළලේ කුෂ්ඨරෝගය තිබෙන බව දැක, ඔහු එතනින් වහාම නෙරපාදැමුවෝය; එසේය, ස්වාමීන්වහන්සේ තමාට පහරදුන් නිසා පිටතට යන්ට ඔහුම ඉක්මන්කෙළේය.
21 උස්සියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව සිටියේය, කුෂ්ඨරෝගියෙක් ලෙස වෙන්වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසයකෙළේය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වීම ඔහුට තහනම්ව තිබුණේය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.
22 උස්සියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොශ්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා විසින් ලියනලද්දේය.
23 උස්සියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; මනුෂ්‍යයෝ ඔහු කුෂ්ඨරෝගියෙක් කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන්පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් ඔහු වෙනුවට රජවුණේය.



පරිච්ඡේදය 27

1 යෝතාම් විසිපස් අවුරුදු වයසේදී රජවී, යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙරූෂාය, ඈ ශාදොක්ගේ දුවෙක්ය.
2 තමාගේ පියවූ උස්සියා කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. නුමුත් ඔහු ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වුණේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝය.
3 ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුවද ඕපෙල් පවුරේ බොහෝ තැන්ද ගොඩනැඟුවේය.
4 යුදා කඳු රටෙහි නුවරවල්ද මූකළාන්වල බලකොටුද මුරකොටුද ඔහු ගොඩනැඟුවේය.
5 ඔහු අම්මොන් පුත්‍රයන්ගේ රජුට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් ජයගත්තේය. අම්මොන් පුත්‍රයෝ ඒ අවුරුද්දේ රිදී තලෙන්ත සියයක්ද තිරිඟු කෝර. දසදහසක්ද යව දසදහසක්ද ඔහුට දුන්නේය. දෙවෙනි තුන්වෙනි අවුරුදුවලදීත් අම්මොන් පුත්‍රයෝ එසේම ගෙවුවෝය.
6 මෙසේ යෝතාම් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හරි මාර්ගවල හැසුරුණ බැවින් බලවත් විය.
7 යෝතාම්ගේ අනික් ක්‍රියාද සියලු යුද්ධද ඔහුගේ මාර්ගද ඉශ්‍රායෙල් සහ යුදා රජුන්ගේ පොතෙහි ලියා තිබේ.
8 ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය.
9 යෝතාම් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත් කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ ආහාස් ඔහු වෙනුවට රජවිය.



පරිච්ඡේදය 28

1 ආහාස් විසි අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය.
2 ඔහු තමාගේ පියවූ දාවිත් කළාක් මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකොට, ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගවල හැසිරෙමින්, බාල් දේවතාවුන්ට වාත්තු පිළිමද සෑදුවේය.
3 ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය.
4 ඔහු උස්තැන්වලත් හෙල් පිටත් සියලු අමු ගස් යටත් පූජාද සුවඳ දුම්ද ඔප්පුකෙළේය.
5 ඒ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සිරියේ රජු අතට පාවාදුන්සේක; සිරියවරු ඔහුට පහරදී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙනගියෝය. ඔහු ඉශ්‍රායෙල් රජු අතටත් අසුවී ඒ රජ තෙමේ මහත් මැරීමකින් ඔහුට පහර දුන්නේය.
6 රෙමලියාගේ පුත්‍රවූ පෙකා බලවන්තයන්ව සිටි එක්ලක්ෂ විසි දහසක් එක දවසේ යුදාහිදී මැරුවේය; මෙසේ වුණේ ඔවුන් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.
7 එප්‍රායිම්හි බලසම්පන්න මනුෂ්‍යයෙක්වූ සික්රී තෙම රජුගේ පුත්‍රවූ මයසේයාද රජ ගෙයි අධිපතියාවූ අස්රිකාම්ද රජුගේ දෙවෙනියාවූ එල්කානාද මැරුවේය.
8 තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරයන්ගෙන් ස්ත්‍රීන්ද පුත්‍රයන්ද දූවරුන්ද දෙලක්ෂයක් අල්ලාගන, ඔවුන්ගෙන් මහත් කොල්ලයකුත් රැගෙන, ඒ කොල්ලය සමාරියට ගෙනගියෝය.
9 නුමුත් එහි සිටි ඕදෙද් යන නමැති ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේත කෙනෙක් සමාරියට ආ සේනාව සම්මුඛවෙන්ට පිටත්ව ගොස් ඔවුන්ට කථාකොට: ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ යුදා කෙරෙහි උදහස්වූ නිසා උන්වහන්සේ ඔවුන් ඔබ සැම අතට පාවාදුන්සේක, ඔබ සැම අහසට නැගෙන තරම් මහත් කෝපයකින් ඔවුන් මැරුවහුය.
10 දැනුත් යුදාහිද යෙරුසලමේද දරුවන් දාසයන්ද දාසීන්ද කොට යටත්කරගන්ට ඔබ සැම අදහස් කරන්නහුය. නුමුත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව කළ අපරාධ ඔබ සැම පිටත් නැද්ද?
11 එබැවින් මට ඇහුම්කන්දී ඔබ සැමගේ සහෝදරයන්ගෙන් අල්වාගත් තැනැත්තන් ආපසු යවන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තද උදහස ඔබ සැම කෙරෙහි තිබේයයි කීවේය.
12 එකල එප්‍රායිම් පුත්‍රයන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙක් වූ යොහානාන්ගේ පුත්‍රවූ අසරියාද මෙෂිල්ලේ-මොත්ගේ පුත්‍රවූ බෙරෙකියාද ෂල්ලුම්ගේ පුත්‍රවූ යෙහිස්කියාද හද්ලයිගේ පුත්‍රවූ අමාසාද යුද්ධයෙන් ආ අයට විරුද්ධව නැගිට සිට,
13 ඔවුන්ට කථාකොට: අල්ලාගන ආ තැනැත්තන් මෙහි නොගෙනායුතුය, මක්නිසාද ස්වාමීන්වහන්සේට විරුද්ධව අප කළ වරද හැර අපේ පාප සහ අපේ අපරාධ වැඩිකරන්ට ඔබ සැම සිතන්නහුය. මක්නිසාද අපේ අපරාධය මහත්ය, තද උදහසද ඉශ්‍රායෙල් කෙරෙහි තිබේයයි කීවේය.
14 එවිට ආයුධ ගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අයින් සහ කොල්ලය අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැරදමා ගියෝය.
15 එවිට නම් සඳහන්වූ මනුෂ්‍යයෝ නැගිට, අසුවුණ අය කැඳවාගන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍රදී, ඔවුන්ට පළඳවා, ඔවුන්ට වහන්ද කෑම බීමද දී, තෙල් ගා, බෙලහීනව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවරවූ යෙරිකෝවට ඔවුන්ගේ සහෝදරයන් වෙතට ගෙනවුත්, පසුව සමාරියට හැරී ගියෝය.
16 ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාරකරන්ට කියා අෂූර්හි රජුන් වෙතට පණිවිඩයක් ඇරියේය.
17 මක්නිසාද ඒදොම්වරු නැවත ඇවිත් යුදාවරුන්ට පහරදී සමහරුන් අල්ලාගන ගියෝය.
18 පිලිස්තිවරුද පාත රටේ සහ යුදාහි දකුණු දිශාවේ නුවරවලට වැද, බෙත්-ෂෙමෙෂ්ද අයාලෝන්ද ගෙදේරෝත්ද සොකෝව සහ ඒකේ ගම්ද තිම්නා සහ ඒකේ ගම්ද ගිම්සෝ සහ ඒකේ ගම්ද අල්ලාගෙන, එහි වාසයකළෝය.
19 මක්නිසාද යුදාහි රජවූ ආහාස් යුදාවරුන් සල්ලාලකමට පමුණුවා ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළ බැවින්, ස්වාමීන්වහන්සේ යුදා මනුෂ්‍යයන් යටත්කළසේක.
20 අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නේසර් ඔහු වෙතට ඇවිත් ඔහුට පීඩාකළා මිස ඔහු ශක්තිමත් කළේ නැත.
21 ආහාස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන්ද රජුගෙත් අධිපතීන්ගෙත් ගෙදරවලින්ද වස්තු රැගෙන අෂූර්හි රජුට දුන් නුමුත් එයින් ඔහුට පලක් නොවීය.
22 මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේදී තව තව ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කෙළේය.
23 තමාට පහරදුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජාකොට: සිරියේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිටවෙන බැවින් ඔවුන් මටත් පිහිටවෙන පිණිස මම ඔවුන්ට පූජාකරමියි කීය. නුමුත් ඔව්හු ඔහුගේද මුළු ඉශ්‍රායෙල්ගේද විනාශයට හේතුවූහ.
24 ආහාස් දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ එකතුකර, දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ කැබෙලිකොට කපා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරවල් වසා, යෙරුසලමේ සියලු මුළුවල පූජාසන සාදාගත්තේය.
25 යුදාහි සියලු නුවරවලම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ඔහු උස්තැන් සාදා තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.
26 මුල පටන් අග දක්වා ඔහුගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු මාර්ගද යුදා සහ ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහි ලියා තිබේ.
27 ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔව්හු යෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝය; මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජ විය.



පරිච්ඡේදය 29

1 හෙසකියා විසිපස් අවුරුදු වයසේදී රජවී විසිනව අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අබියාය, ඈ ශෙකරියාගේ දුවෙක්ය.
2 ඔහුගේ පියවූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
3 ඔහු තමාගේ රජකම් කිරීමේ පළමුවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරවල් ඇර ඒවා හරිගැස්සුවේය.
4 ඔහු පූජකයන්ද ලෙවීවරුන්ද ගෙන්වාගෙන, නැගෙනහිරින් වූ එළිමහන් තැන ඔවුන් රැස්කර,
5 ඔවුන්ට කථාකොට: ලෙවීවරුනි, මට ඇහුම්කන්දෙන්න; ඔබ සැමම දැන් පවිත්‍රවී, ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයත් පවිත්‍රකොට, ශුද්ධස්ථානයෙන් කිලුටුකම පහකරන්න.
6 මක්නිසාද අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කොට, උන්වහන්සේ අත්හැර ස්වාමීන්වහන්සේගේ වාසස්ථානය වෙතින් තමුන්ගේ මුහුණු අහක්කරගන පිටිපෑවෝය.
7 ද්වාරමණ්ඩපයේ දොරටුත් ඔව්හු වසා තබා, පහන් නිවා, ශුද්ධස්ථානයෙහි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට සුවඳ දුම්වත් දවන පූජාවත් ඔප්පු නොකළෝය.
8 ඒ නිසා ස්වාමීන්වහන්සේගේ උදහස යුදා සහ යෙරුසලම කෙරෙහි පැමිණියේය, ඔබ සැමගේ ඇස්වලට පෙනෙන හැටියට ඔබ මොබ විසිකරනු ලැබීමටත් පුදුමයක් සහ නින්දාවක් වීමටත් උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක.
9 මේ නිසා අපේ පියවරු කඩුවෙන් වැටුණෝය, අපේ පුත්‍රයෝද දූවරුද භාර්යාවෝද වහල්කමෙහි සිටිති.
10 ඉතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ තද උදහස අප කෙරෙන් පහව යන පිණිස උන්වහන්සේ සමඟ ගිවිසුමක් කරන්ට මාගේ සිතේ තිබේ.
11 මාගේ පුත්‍රයෙනි, දැන් අලසව නොසිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්ටත් උන්වහන්සේට සේවයකරන්ටත් උන්වහන්සේගේ සේවකයන් ව සුවඳ දුම් ඔප්පුකරන්ටත් උන්වහන්සේ ඔබ සැම තෝරාගත්සේකැයි කීවේය.
12 එවිට කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමසයිගේ පුත්‍රවූ මාහත්ද අසරියාගේ පුත්‍රවූ යෝවෙල්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත්‍රවූ කීෂ් සහ යෙහල්ලෙලෙල්ගේ පුත්‍රවූ අසරියාද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත්‍රවූ යෝවාද යෝවාගේ පුත්‍රවූ ඒදෙන්ද;
13 එලිශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ෂිම්රීද යෙවූයෙල්ද ආසාප්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියාද මත්තනියාද;
14 හේමාන්ගේ පුත්‍රයන්ගෙන් යෙහූවෙල්ද ෂිමෙයිද; යෙදූතුන්ගේ පුත්‍රයන්ගෙන් ෂෙමායාද උස්සීයෙල්ද යන ලෙවීවරු නැගිට,
15 තමුන්ගේ සහෝදරයන් රැස්කර, තුමූම පවිත්‍රවී, රජුගේ ආඥාව පරිද්දෙන් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරිසිදුකරන්ට ආවෝය.
16 පූජකයෝ ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරිසිදුකරන පිණිස එහි ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සම්බවුණ සියලු කිලුටු දේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවට ගෙනාවෝය. ලෙවීවරු ඒවා කිද්‍රොන් ඔයට ගෙනයන පිණිස අරගත්තෝය.
17 ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා පවිත්‍රකරන්ට පටන්ගෙන, මාසයේ අටවෙනිදා ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපයට ආවෝය; අටදවසකින් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහය පවිත්‍රකර, පළමුවෙනි මාසයේ දහසයවෙනිදා නිමකළෝය.
18 එවිට ඔව්හු හෙසකියා රජු වෙතට රාජ මාලිගාව ඇතුළට ගොස් කථාකොට: අපි ස්වාමීන්වහන්සේගේ මුළු ගෘහයත් දවන පූජා පුදන පූජාසනයත් ඊට අයිති සියලු භාණ්ඩත් රොටි මේසයත් ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදුකෙළෙමුව.
19 ඇරත් ආහාස් රජු රජකම්කරන කල තමාගේ ද්‍රෝහිකමේදී අහකදැමූ සියලු භාණ්ඩත් අපි සූදානම්කර පවිත්‍රකෙළෙමුව; ඒවා ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේයයි කීවෝය.
20 එවිට හෙසකියා රජ අලුයම නැගිට නුවර අධිපතීන් රැස්කරවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගියේය.
21 ඔව්හු රාජ්‍යයද ශුද්ධස්ථානයද යුදාවරුන්ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් බැටළුපැටවුන් සත්දෙනෙකුත් එළුවන් සත්දෙනෙකුත් ගෙනාවෝය. උන් ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඔප්පුකරන්ට ඔහු පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන්ට කීවේය.
22 ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝය. බැටළුවන්ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝය. එසේම බැටළු පැටවුන්ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝය.
23 පාප පූජාවේ එළුවන් ඔව්හු රජු සහ සභාව ඉදිරියට ගෙනාවෝය; ඔව්හු තමුන්ගේ අත් උන් පිට තැබුවෝය.
24 එවිට පූජකයෝ උන් මරා, මුළු ඉශ්‍රායෙල් උදෙසා සමඟිකමක් කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝය. මක්නිසාද මුළු ඉශ්‍රායෙල් උදෙසා දවන පූජාවත් පාප පූජාවත් ඔප්පුකළ යුතුයයි රජ නියමකෙළේය.
25 තවද ඔහු දාවිත්ගේද රජුගේ දිවස් ඇත්තාවූ ගාද්ගේද ප්‍රොපේතවූ නාතාන්ගේද අණ පරිද්දෙන් අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටෙවුවේය. මක්නිසාද ඒ ආඥාව ස්වාමීන්වහන්සේගෙන් ප්‍රොපේතවරුන් අතින් වූයේය.
26 ලෙවීවරු දාවිත්ගේ තූර්යභාණ්ඩද පූජකයෝ හොරණෑද රැගෙන සිටියෝය.
27 හෙසකියාද පූජාසනය පිට දවන පූජාව ඔප්පුකරන්ට අණකෙළේය. දවන පූජාව පටන්ගන්න වේලාවට ස්වාමීන්වහන්සේගේ ගීතිකාවද හොරණෑද ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව පටන්ගන්නාලද්දේය.
28 මුළු සභාව වැඳවැටී උන්නාය, ගී කියන්නෝ ගී කීවෝය. හොරණෑකාරයෝ නළා පිම්බෝය; දවන පූජාව නිමවන තුරු සියල්ල එසේ පැවතුණේය.
29 පූජාකර නිමවූ කල රජද ඔහු සමඟ සිටි සියල්ලෝද නැමී වැන්දෝය.
30 හෙසකියා රජද අධිපතීහුද දාවිත්ගෙත් දිවස් ඇත්තා වන ආසාප්ගෙත් වචනවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්ට ලෙවීවරුන්ට අණකළෝය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී කියා, හිස් නමා වැන්දෝය.
31 එවිට හෙසකියා කථාකොට: දැන් ඔබ සැමම ස්වාමීන්වහන්සේට කැපවී සිටින බැවින් ළංවී යාගද ස්තුති පූජාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්නැයි කීවේය; සභාව යාගද ස්තුති පූජාද කැමති සියල්ලෝ දවන පූජාද ගෙනාවෝය.
32 සභාව ගෙනා දවන පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත් බැටළුවන් සියයකුත් බැටළුපැටවුන් දෙසියයකුත්ය. මේ සියල්ල ස්වාමීන්වහන්සේට දවන පූජාවක් පිණිසය.
33 කැපකළ දේ නම් ගොන් හසියයකුත් බැටළුවන් තුන් දහසකුත්ය.
34 නුමුත් පූජකයන් මදිවූ නිසා සියලු දවන පූජා හමගහන්ට බැරිවිය. ඒ නිසා ඔවුන්ගේ සහෝදරයෝවූ ලෙවීවරු වැඩේ තීන්දුවෙන තුරුත් අනික් පූජකයන් පවිත්‍රවෙන තුරුත් ඔවුන්ට උදව්වූවෝය. මක්නිසාද තුමූම පවිත්‍රවීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංකව සිටියෝය.
35 ශාන්ති පූජාවල තෙලත් දවන යාග සඳහාවූ පාන පූජාවලුත් ඇතුළුව දවන පූජා බොහෝසෙයින් තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිළිවෙළට යොදනලද්දේය.
36 දෙවියන්වහන්සේ සෙනඟ උදෙසා සූදානම්කළ දේ ගැන හෙසකියාද මුළු සෙනඟද ප්‍රීතිවූහ. මක්නිසාද මේ කාරණය හදිසියෙන් සිද්ධකරනලද්දේය.



පරිච්ඡේදය 30

1 ඉන්පසු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන්ට කියා හෙසකියා ඉශ්‍රායෙල් රටද යුදා දේශයද මුළුල්ලෙහි කියා ඇරියේය, එප්‍රායිම් සහ මනස්සේටත් ලියුම් ලියා ඇරියේය.
2 සෑහෙන පමණ පූජකයන් පවිත්‍රනොවූ නිසාත්, සෙනඟ යෙරුසලමට රැස්නූණ නිසාත්, නියම කාලයට පාස්කුව පවත්වන්ට නොහැකිව,
3 දෙවෙනි මාසයේ එය පවත්වන්ට රජද ඔහුගේ අධිපතීහුද සම්මතකරගත්තෝය.
4 ඒ කාරණය රජුටත් මුළු සභාවටත් හරිව පෙනුණේය.
5 ලියා තිබෙන හැටියට පාස්කුව බොහෝ කාලයක පටන් නොපැවැත්වූ බැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පාස්කුව යෙරුසලමෙහි පවත්වන පිණිස එන්ට කියා ඔව්හු බෙයෙර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්‍රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධකරන ලෙස නියෝගයක් කළෝය.
6 මෙසේ පණිවිඩකාරයෝ රජුගෙන්ද ඔහුගේ අධිපතීන්ගෙන්ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්‍රායෙල් රටද යුදා දේශයද මුළුල්ලෙහි ගොස් කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න, එවිට උන්වහන්සේ අෂූර්හි රජුන්ගේ අතින් ගැළවී ඉතුරුව සිටින ඔබ සැම වෙතට හැරෙනවා ඇත.
7 තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළාවූ ඔබ සැමගේ පියවරුන්ටත් සහෝදරයන්ටත් සමාන නොවෙන්න; ඔබ සැමට පෙනෙන හැටියට උන්වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවාදුන්සේක.
8 ඉතින් ඔබ සැමගේ පියවරුන් මෙන් ඔබ සැමගේ කුළල් තදකර නොගෙන, ස්වාමීන්වහන්සේට ගිවිසුම් දී, උන්වහන්සේ සදාකාලයටම පවිත්‍රකළ උන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්වී, උන්වහන්සේගේ තද උදහස ඔබ සැම කෙරෙන් පහවන පිණිස ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්න.
9 මක්නිසාද ඔබ සැම ස්වාමීන්වහන්සේ වෙතට හැරුණොත්, ඔබ සැමගේ සහෝදරයන්ද දරුවන්ද තමුන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනවා ඇත. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවද අනුකම්පාවද ඇත්තාවූ කෙනෙක්ය, ඔබ සැම උන්වහන්සේ වෙතට හැරුණොත් උන්වහන්සේ ස්වකීය මුහුණ ඔබ සැම කෙරෙන් හරවා නොගන්නාසේකැයි කීවෝය.
10 මෙසේ පණිවිඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වාම නුවරින් නුවරට ගියෝය. නුමුත් මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම්කළෝය.
11 එසේ වුවත් ආෂෙර්හිද මනස්සේහිද සාබුලොන්හිද නොයෙක් දෙනෙක් යටත්වී යෙරුසලමට ආවෝය.
12 ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යුදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.
13 මෙසේ දෙවෙනි මාසයේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන පිණිස ඉතා මහත් සභාවක්වූ බොහෝ සෙනඟ යෙරුසලමට රැස්වුණෝය.
14 ඔව්හු නැගිට යෙරුසලමෙහි තිබුණු පූජාසන පහකළෝය, සියලු දුම් පූජාසනත් පහකොට කිද්‍රොන් ඔයට දැමුවෝය.
15 යළිත් ඔව්හු දෙවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය. පූජකයෝද ලෙවීවරුද ලජ්ජාවට පැමිණ, තුමූම පවිත්‍රවී, ස්වාමීන්වහන්සේගේ ගෘහයට දවන පූජා ගෙනාවෝය.
16 ඔව්හු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තමුන්ගේ පිළිවෙළින් තමුන්ගේ ස්ථානවල සිටියෝය. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝය.
17 මක්නිසාද පවිත්‍ර නොවූ බොහෝ දෙනෙක් සාභාවෙහි සිටියෝය. ඒ නිසා ස්වාමීන්වහන්සේට පවිත්‍රකරන පිණිස පිරිසිදු නොවූ සියල්ලන් උදෙසා පාස්කු බැටළුපැටවුන් මැරීම ලෙවීවරුන්ට බාරවිය.
18 මක්නිසාද ජනයන්ගෙන් මහත් සමූහයක් එනම් එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද ඉස්සාඛර්ගෙන්ද සාබුලොන්ගෙන්ද බොහෝ දෙනෙක් පිරිසිදු නොවී, ලියවී තිබෙන අන්දමට වෙනස්ව, පාස්කුව කෑවෝය. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤාකරමින්:
19 ශුද්ධස්ථානයේ පවිත්‍රකිරීම ලෙස පිරිසිදු නොවී නුමුත් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන දෙවියන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගන සිටින සියල්ලන්ට කරුණාවන්තවූ ස්වාමීන්වහන්සේ කමාවනසේක්වයි කීවේය.
20 ස්වාමීන්වහන්සේ හෙසකියාට ඇහුම්කන්දී සෙනඟ සුවකළසේක.
21 යෙරුසලමෙහි සිටි ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් මහත් ප්‍රීතියකින් පැවැත්තුවෝය. ලෙවීවරුද පූජකයෝද බොහෝ ශබ්ද ඇති තූර්යභාණ්ඩ රැගෙන ගී කියමින්, ස්වාමීන්වහන්සේට දවසින් දවස ප්‍රශංසාකළෝය.
22 හෙසකියා ස්වාමීන්වහන්සේගේ මෙහෙය ගැන සමර්ථකම ඇති සියලු ලෙවීවරුන්ට මිත්‍රකමින් කථාකෙළේය. ඔව්හු ශාන්ති පූජා ඔප්පුකරමින්ද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්ද සත් දවසක් මංගල්‍ය පූජාවලින් කෑවෝය.
23 මුළු සභාවද තවත් සත් දවසක් මංගල්‍යය පවත්වන්ට සම්මතකරගෙන, එය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය.
24 මක්නිසාද යුදාහි රජවූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක්ද පූජා සඳහා සභාවට දුන්නේය; අධිපතීහුද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක්ද පවිත්‍රවුණෝය.
25 යුදාහි මුළු සභාවද පූජකයෝද ලෙවීවරුද ඉශ්‍රායෙල් දේශයෙන් ඇවිත් සිටියාවූ නොහොත් යුදාහි වාසය කළාවූ විදේශියෝද ප්‍රීතිවුණෝය.
26 මෙසේ යෙරුසලමෙහි මහත් ප්‍රීතියක් විය. මක්නිසාද දාවිත්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ සාලමොන්ගේ කාලයට පසු යෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නොවීය.
27 එවිට ලෙවීවරුවූ පූජකයෝ නැගිට සෙනඟට ආශීර්වාදකළෝය. ඔවුන්ගේ හඬ අසනු ලැබ, ඔවුන්ගේ යාච්ඤාව උන්වහන්සේගේ පිරිසිදු වාසස්ථානය වන ස්වර්ගයට නැංගේය.



පරිච්ඡේදය 31

1 මේ සියල්ල නිමවූ කල එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරු යුදාහි නුවරවලට ගොස් රූපස්තම්භ බිඳදමා, අෂේරා කණු කපාදමා, මුළු යුදාගෙන්ද බෙන්යමින්ගෙන්ද එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද උස්තැන් සහ පූජාසන නැතිවීයන තුරු ඒවා කඩාදැමුවෝය. ඉන්පසු සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ නුවරවල තම තමුන්ගේ උරුම දේශවලට හැරී ගියෝය.
2 හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.
3 තවද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිද්දෙන් දවන පූජා සඳහා එනම් උදේ සවස දවන පූජාද සබත් දවස්, අමාවක් සහ නියම මංගල්‍ය සම්බන්ධ දවන පූජාද සඳහා ඔහු ස්වකීය සම්පතින් රාජ කොටස නියමකෙළේය.
4 ඇරත් පූජකයන්ද ලෙවීවරුන්ද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටින පිණිස ඔවුන්ගේ කොටස දෙන්ට කියා ඔහු යෙරුසලමෙහි විසූ සෙනඟට අණකෙළේය.
5 මේ ආඥාව පතළවුණ විට ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝසෙයින්ම ධාන්‍යවලත් මුද්‍රික යුසයෙත් තෙල්වලත් මීපැණිවලත් භූමියේ සියලු අස්වැන්නෙහිත් ප්‍රථමඵල සහ සියල්ලෙන් දසයෙන් කොටසක්ද යහමින් ගෙනාවෝය.
6 යුදාහි නුවරවල විසූ ඉශ්‍රායෙල් සහ යුදා පුත්‍රයෝ ගොනුන්ගෙනුත් බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාවෝය, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකළාවූ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක්ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබුවෝය.
7 ඔව්හු තුන්වෙනි මාසයේදී ඒ ගොඩවල් තබන්ට පටන්ගෙන හත්වෙනි මාසයේදී නිමකළෝය.
8 හෙසකියාද අධිපතීහුද ඇවිත් ගොඩවල් බලා ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් ප්‍රශංසාකළෝය.
9 හෙසකියා ඒ ගොඩවල් ගැන පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද විභාගකෙළේය.
10 එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයාවූ අසරියා ඔහුට උත්තරදෙමින්: සෙනඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්ට පටන්ගත්දා සිට අපි සෑහෙන පමණ කා බොහෝ සෙයින් ඉතුරු කෙළෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාදකළසේක; මේ රාශියද ඉතිරිවී තිබේයයි කීවෝය.
11 එකල හෙසකියා ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඇතුල්ගෙවල් පිළියෙළකරන්ට අණකෙළේය; ඔව්හු එසේ පිළියෙළකොට,
12 පඬුරුද දසයෙන් කොටස්ද කැපකළ දේවල්ද විශ්වාසලෙස ඇතුළට ගෙනාවෝය. ලෙවීයවූ කොනනියා ඒවා බලාගැනීමට පත්ව සිටියේය, ඔහුගේ සහෝදර ෂිමෙයි ඔහුට දෙවෙනියාව සිටියේය.
13 හෙසකියා රජුගෙත් දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියාවූ අසරියාගෙත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදරවූ ෂිමෙයි යටතේ යෙහීයෙල්ද අසසියාද නහත්ද අසාහෙල්ද යෙරීමොත්ද යෝසාබාද්ද එලීයෙල්ද ඉස්මාඛියාද මාහත්ද බෙනායාද යන මොව්හු මුලාදෑනියෝව සිටියෝය.
14 නැගෙනහිර දොරටු පාලයාවූ, ලෙවීයවූ, ඉම්නාගේ පුත්‍රවූ කෝරේ ස්වාමීන්වහන්සේගේ පඬුරුත් අති ශුද්ධදේත් බෙදාදෙන පිණිස සිය කැමැත්තෙන්ම දෙවියන්වහන්සේට ඔප්පුකළ දේවල් කෙරෙහි පත්ව සිටියේය.
15 ඔහු යටතේ වාර පිළිවෙළින් තමුන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදාදෙන පිණිස ඒදෙන්ද මිනියාමින්ද යේෂුවාද ෂෙමායාද අමරියාද ෂෙකනියාද පූජකයන්ගේ නුවරවල පත්ව සිටියෝය.
16 තුන් අවුරුදු වයසේ පටන් වංශ වශයෙන් ලියවුණ ඔවුන්ගේ පිරිමින් හැර තමුන්ගේ පංක්තිවල හැටියට තමුන්ගේ තනතුරු ලෙස සේවය කිරීමට දවසින් දවස ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වූ සියල්ලන්ටත් එසේ දුන්නෝය.
17 එනම් තමුන්ගේ පියවංශවල හැටියට ලියවුණාවූ, අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇත්තාවූ, තමුන්ගේ පංක්තිවල තමුන්ගේ තනතුරුවල සිටියාවූ පූජකයන්ද ලෙවීවරුන්ද,
18 ලියවුණාවූ ඔවුන්ගේ සියලු බාලයන්ද ඔවුන්ගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද යන මුළු සභාවට දුන්නෝය. තවද තමුන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධව සිටියෝය.
19 තවද තමන්ගේ නගරබද පිට-බිම්වල විසූ පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියවුණ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් සඳහන්වූ මනුෂ්‍යයෝ සියලු නුවරවල පත්ව සිටියෝය.
20 හෙසකියා යුදා මුළුල්ලෙහි මෙසේ කරමින් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව, හරිව, යුතුව තිබුණු දේ කෙළේය.
21 ඔහු තමාගේ දෙවියන්වහන්සේ සොයමින් උන්වහන්සේගේ ගෘහයේ මෙහෙයද ව්‍යවස්ථාවද ආඥාවද සම්බන්ධව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ටකොට සඵලවිය.



පරිච්ඡේදය 32

1 මේ කාරණාවලටත් මේ විශ්වාස මෙහෙයටත් පසුව අෂූර්හි රජවූ සෙනකෙරිබ් ඇවිත් යුදාට ඇතුල්ව, පවුරු ඇති නුවරවල් අල්ලාගන්ට සිතා ඒවාට විරුද්ධව කඳවුරු බැන්දේය.
2 සෙනකෙරිබ් ඇවිත් යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට යන බව හෙසකියා දැක,
3 නුවරට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්ට තමාගේ අධිපතීන්ද බලවන්තයන්ද සමඟ මන්ත්‍රණයකරගත්තේය; ඔව්හු ඔහුට උපකාරකළෝය.
4 මෙසේ මහත් සෙනඟක් රැස්ව කථාකොට: අෂූර්හි රජුන් ආ විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්ට ඉඩ තබන්නේ කුමටදැයි කියා සියලු උල්පත්ද දේශය මැදින් ගලායන ඔයද නැවැත්තූහ.
5 ඔහු ධෛර්ය උපදවාගෙන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැඟුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනගා, දාවිත්ගේ නුවර තිබුණ මිල්ලෝ සවිකර, බොහෝ ආයුධ හා පලිස් සෑදුවේය.
6 ඔහු සෙනඟ කෙරෙහි යුද්ධාධිපතීන් පත්කොට, නුවර දොරකඩ එළිමහන් තැන් ඔවුන් රැස්කරගන ඔවුන්ට මිත්‍රකමින් කථාකොට:
7 අෂූර්හි රජුටවත් ඔහු සමඟ සිටින මුළු සමූහයාටවත් භයනොවී නොකැලඹී බලවත්ව සවිව සිටපල්ලා. මක්නිසාද ඔහු සමඟ සිටින්නන්ට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේය.
8 ඔහු සමඟ ඇත්තේ මාංසමය හස්තයක්ය; නුමුත් අපට පිහිටවී අපේ යුද්ධයන් කරන පිණිස අප සමඟ සිටින්නේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීවේය. සෙනඟ යුදාහි රජවූ හෙසකියාගේ වචන කෙරෙහි විශ්වාසය තැබූහ.
9 මින්පසු අෂූර්හි රජවූ සෙනකෙරිබ් තෙම තමාගේ මුළු සේනාව ඇතුව ලාකීෂ් ඉදිරිපිට සිටියදී, යෙරුසලමෙහි සිටි යුදාහි රජවූ හෙසකියාටත් යෙරුසලමෙහි සිටි සියලු යුදාවරුන්ටත් තමාගේ සේවකයන් අත කියා යවනුයේ:
10 අෂූර්හි රජවූ සෙනකෙරිබ් මෙසේ කියන්නේය-ඔබ සැම යෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාසකරගෙනද?
11 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ අතින් අප ගළවාගන්නසේකැයි කියමින් හෙසකියා ඔබ සැම පොළඹන්නේ සාපිපාසයෙන් මැරෙන්ට ඔබ සැම භාරදෙන පිණිස නොවේද?
12 උන්වහන්සේගේ උස්තැන්ද පූජාසනද පහකොට: ඔබ සැම එකම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාරකරන්ටත් ඊපිට සුවඳ දුම් ඔප්පුකරන්ටත් ඕනෑය කියා යුදාටත් යෙරුසලමටත් අණකළේ මේ හෙසකියා නොවේද?
13 මා සහ මාගේ පියවරුන් විසින් දේශවල සියලු ජනයන්ට කළ දේ ඔබ සැම දන්නේ නැද්ද? දේශවල ජාතීන්ගේ දෙවිවරුන්ට කොයි අන්දමකින්වත් ඔවුන්ගේ දේශය මාගේ අතින් ගළවාගන්ට පුළුවන්වුණේද?
14 ඔබ සැම මාගේ අතින් ගළවන්ට ඔබ සැමගේ දෙවියන්ට පුළුවන්වෙන ලෙස, මාගේ පියවරුන් විසින් සිඳදැමූ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරුන් අතරෙන් තමාගේ සෙනඟ මාගේ අතින් ගළවන්ට කාට පුළුවන්වීද?
15 එබැවින් ඔබ සැම රවටන්ටවත් මෙලෙස ඔබ සැම පොළඹන්ටවත් හෙසකියාට ඉඩනොදෙන්න, ඔහු විශ්වාස නොකරන්න. මක්නිසාද කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවිකෙනෙකුටවත් තමාගේ සෙනඟ මාගේ අතින්වත් මාගේ පියවරුන්ගේ අතින්වත් ගළවාගන්ට පුළුවන් නොවීය. එසේවී නම් ඔබ සැමගේ දෙවියන්වහන්සේ ඔබ සැම මාගේ අතින් ගළවන්නේ කොහොමදැයි කීවේය.
16 ඔහුගේ සේවකයෝ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ මෙහෙකරුවූ හෙසකියාටත් විරුද්ධව තවදුරටත් කථාකෙළේය.
17 තවද ඔහු දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමුන්ගේ සෙනඟ මා අතින් නොගැළවූවාක් මෙන් හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නින්දාකර, උන්වහන්සේට විරුද්ධව කථාකරන පිණිස ලියුම් ලියා එවුවේය.
18 ඔවුන් නුවර අල්ලාගන්න පිණිස, පවුර පිට සිටි යෙරුසලමේ සෙනඟ භයගන්වන්ටත් ඔවුන් කලඹන්ටත් ඔව්හු යුදෙව් භාෂාවෙන් මහත් හඬකින් මොරගසා,
19 මනුෂ්‍ය අත් වැඩ වන පොළෝ ජනයන්ගේ දෙවිවරුන් ගැන කථාකරන්නාක් මෙන් යෙරුසලමේ දෙවියන්වහන්සේ ගැන කථාකළෝය.
20 ඒ නිසා හෙසකියා රජද ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායාද යාච්ඤාකොට ස්වර්ගයට මොරගැසූහ.
21 එවිට ස්වාමීන්වහන්සේ දේවදූතයෙකු එවූසේක, ඔහු අෂූර්හි රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධකාරයන්ද ප්‍රධානීන්ද අධිපතීන්ද සිඳදැමුවේය. මෙසේ ඔහු ලජ්ජා මුහුණින් යුක්තව තමාගේ දේශයට හැරීගියේය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාට දාව උපන් තැනැත්තෝ එහිදී ඔහු කඩුවෙන් මැරුවෝය.
22 මෙසේ ස්වාමීන්වහන්සේ හෙසකියාද යෙරුසලමේ වැසියන්ද අෂූර්හි රජවූ සෙනකෙරිබ්ගේ අතින්ද අනික් සියල්ලන්ගේ අතින්ද ගළවා, හැම අතින්ම ඔවුන් ආරක්ෂාකළසේක.
23 එවිට බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේට පඬුරුද යුදාහි රජවූ හෙසකියාට අනර්ඝ දේද යෙරුසලමට ගෙනාවෝය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි උතුම්ව සිටියේය.
24 ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට කථාකොට ලකුණක් ඔහුට දුන්සේක.
25 එහෙත් හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට යුතු ලෙස නොහැසිර සිතින් උඩඟුවිය. ඒ නිසා ඔහු පිටටත් යුදා සහ යෙරුසලම පිටටත් උදහස පැමිණියේය.
26 නුමුත් තමාගේ සිතේ උඩඟුකම ගැන හෙසකියාද යෙරුසලමේ වැසියන්ද යටත්වූ නිසා හෙසකියාගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් පිටට නොපැමිණියේය.
27 හෙසකියාට වස්තුද ඓශ්වර්යද අතිශයින්ම තිබුණේය. ඔහු රන් රිදීවලටත් අනර්ඝ ගල්වලටත් සුවඳ ද්‍රව්‍ය වලටත් පලිස්වලටත් සියලු ආකාර අනර්ඝ බඩුවලටත් ගබඩාගෙවල්ද,
28 ධාන්‍යවල අස්වැන්නටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ගබඩාද, සියලු ආකාර මෘගයන්ට පට්ටිද, රැළවලට ගාල්ද සෑදෙවුවේය.
29 දෙවියන්වහන්සේ ඔහුට සම්පත් අතිශයින්ම දුන් නිසා ඔහු නුවරවල්ද බොහෝ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද සපයාගත්තේය.
30 මෙම හෙසකියා ගීහොන්හි වතුරේ ඉහළ උල්පත නවත්වා ඒවා දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැසඑන්ට සැලැස්සුවේය. හෙසකියා තමාගේ සියලු වැඩවලදී සඵලවුණේය.
31 එසේවුවත් දේශයෙහි සිද්ධවුණ ආශ්චර්යය ගැන විභාගකරන්ට බබිලෝනියේ අධිපතීන් විසින් තානාපතියන් ඔහු ළඟට එවූ කල, ඔහුගේ සිතේ තිබුණ සියල්ල දැනගන්න පිණිස දෙවියන්වහන්සේ ඔහු සෝදිසි කිරීමට අත්හැරියසේක.
32 හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ භක්තිමත් කෘත්‍යන්ද ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘතැනගේ දර්ශන පොතෙහිද යුදා සහ ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහිද ලියා තිබේ.
33 හෙසකියා තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාසයෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ මරණයේදී සියලු යුදාවරුද යෙරුසලමේ වැසියෝද ඔහුට ගෞරවකළෝය. ඔහුගේ පුත්‍රවූ මනස්සේ ඔහු වෙනුවට රජවිය.



පරිච්ඡේදය 33

1 මනස්සේ දොළොස් අවුරුදු වයසේදී රජවී පනස්පස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.
2 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
3 තමාගේ පියවූ හෙසකියා කඩාදැමූ උස්තැන් ඔහු නැවත ගොඩනගා, බාල් දේවතාවන්ට පූජාසන නගා, අෂේරා කණුද සෑදුවේය. ඔහු අහසේ මුළු සේනාවටත් නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.
4 තවද: මාගේ නාමය යෙරුසලමෙහි සදාකාලේටම පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කීවාවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේය.
5 තවද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මණ්ඩප දෙකේ මුළු අහස් සේනාවට පූජාසන ගොඩනැඟුවේය.
6 ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේදී ගින්නෙන් කැපකෙළේය. ඔහු නිමිති බැලීම්ද ශාස්ත්‍රකීම්ද මායම්ද ව්‍යවහාරකොට, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රයකෙළේය. ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය.
7 ඔහු සෑදූ දේවතා රූපයද දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන දෙවියන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිත් මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගත් යෙරුසලමෙහිත් මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.
8 මෝසෙස් අතින් ඉශ්‍රායෙල්වරුන් ලැබූ මුළු ව්‍යවස්ථාවේද පනත්වලද නියෝගවලද ප්‍රකාරයට මා ඔවුන්ට අණකළ සියල්ල කරන හැටියට ඔව්හු බලාගන්නෝනම්, ඔබ සැමගේ පියවරුන්ට මා නියමකළ දේශයෙන් ඔවුන්ගේ පාද තවත් අහක්ව යන්ට නොසලස්වන්නෙමියි කීසේක.
9 නුමුත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යුදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය.
10 ස්වාමීන්වහන්සේ මනස්සේටත් ඔහුගේ සෙනඟටත් කථාකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.
11 ඒ නිසා ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධව පැමිණෙවුසේක. ඔව්හු මනස්සේ අල්වා විලංගුවලින්ද දම්වැල්වලින්ද බැඳ බබිලෝනියට ගෙන ගියෝය.
12 ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කොට, තමාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත්වී,
13 උන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට ඇහුම්කන්දී ඔහුගේ කන්නලව්ව අසා යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවුසේක. එවිට ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව මනස්සේ දැනගත්තේය.
14 මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය-දොරටුවෙන් ඇතුල්වන තැන දක්වා ඕපෙල් වටේට ඉතා උසට පවුරක් ගොඩනගා, යුදාහි පවුරු ඇති සියලු නුවරවල සේනාපතීන් සිටෙවුවේය.
15 ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් අන් දෙවිවරුන්ද පිළිමයද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්දෙහිත් යෙරුසලමෙහිත් ඔහු ගොඩනගා තිබුණ සියලු පූජාසනද පහකොට නුවරින් පිටත දැමුවේය.
16 තවද ඔහු ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට ශාන්ති පූජාද ස්තුති පූජාද ඔප්පුකොට, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්ට යුදාවරුන්ට අණකෙළේය.
17 එහෙත් සෙනඟ ඊට පසුත් උස්තැන්වල පූජාකළෝය, නුමුත් එසේ කෙළේ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පමණක්ය.
18 මනස්සේගේ අනික් ක්‍රියාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ඔප්පුකළ යාච්ඤාවද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට කථාකළ දිවස් ඇත්තන්ගේ වචනද ඉශ්‍රායෙල් රජවරුන්ගේ කථාන්තරයෙහි ලියා තිබේ.
19 ඔහුගේ යාච්ඤාවද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දුන් හැටිද ඔහුගේ සියලු පාපයන්ද ඔහුගේ ද්‍රෝහිකමද ඔහු යටහත්වෙන්ට පළමුවෙන් උස්තැන් ගොඩනැඟුවාවූ, අෂේරා කණු සහ කැපූ රූප සිටෙවුවාවූ ස්ථානද හෝසයිගේ කථාන්තර පොතෙහි ලියා තිබේ.
20 මෙසේ මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ ගෙයි තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවිය.
21 ආමොන් විසිදෑවුරුදු වයසේදී රජවී දෑවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.
22 ඔහු තමාගේ පියවූ මනස්සේ කළාක් මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින්, තමාගේ පියවූ මනස්සේ සෑදූ සියලු රූපවලට පූජාකොට සේවයකෙළේය.
23 ඔහුගේ පියවූ මනස්සේ යටහත් වුණාක්මෙන් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත් නොවීය; මක්නිසාද මෙම ආමොන් වඩ වඩා අපරාධකෙළේය.
24 ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේම ගෙයිදී ඔහු මැරුවෝය.
25 නුමුත් දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධව මන්ත්‍රණයකළ සියල්ලන් මරා ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය.



පරිච්ඡේදය 34

1 යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස්එක අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.
2 ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කරමින්, දකුණටවත් වමටවත් නොහැරී, තමාගේ පියවූ දාවිත්ගේ මාර්ගවල හැසුරුණේය.
3 ඔහුගේ රජකම්කිරීමේ අටවෙනි අවුරුද්දේ, ඔහු බාලව සිටියදීම, තමාගේ පියවූ දාවිත්ගේ දෙවියන්වහන්සේ සොයන්ට පටන්ගෙන, දොළොස්වෙනි අවුරුද්දේදී උස්තැන්ද අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද පහකර, යුදා සහ යෙරුසලම පිරිසිදුකරන්ට පටන්ගත්තේය.
4 ඔහු ඉදිරිපිටදී බාල්ගේ පූජාසන කඩා දමනලද්දේය; ඒවාට උඩින් තිබුණු සූර්ය-රූප ඔහු කපාදමා, අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද බිඳ කුඩුකොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඉස්සේය.
5 පූජකයන්ගේ ඇට ඔවුන්ගේ පූජාසන පිට ඔහු පුලුස්සා, යුදාද යෙරුසලමද පිරිසිදුකෙළේය.
6 එසේම ඔහු නප්තලී දක්වා හාත්පසින්ම මනස්සේහිද එප්‍රායිම්හිද සිමියොන්හිද නුවරවල් මුළුල්ලෙහි ඔවුන්ගේ ගෙවල් බිඳදැම්මේය.
7 ඔහු ඉශ්‍රායෙල් දේශය මුළුල්ලෙහි තිබුණ පූජාසන කඩාදමා, අෂේරා කණුද කැපූ රූපද බිඳදමා, කුඩුකර, සියලු සූර්ය-රූප කපාදමා, යෙරුසලමට හැරීආයේය.
8 තවද ඔහුගේ රජකම්කිරීමේ දහඅටවෙනි අවුරුද්දේදී දේශයත් ගෘහයත් පවිත්‍රකළාට පසු, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියාකරන පිණිස, අසලියාගේ පුත්‍රවූ ෂාපාන්ද නුවර අධිපතියාවූ මයසේයාද වාර්තාකරුවා වන යෝවාහාස්ගේ පුත්‍රවූ යෝවාද හැරියේය.
9 ඔව්හු උත්තම පූජකයාවූ හිල්කියා ළඟට පැමිණ, දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ, දොරටුපාලයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන්ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරුව සිටිය සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන්ද සියලු යුදාවරුන්ගෙන්ද බෙන්යමින්වරුන්ගෙන්ද යෙරුසලමේ වාසීන්ගෙන්ද එකතුකර ගත්තාවූ මුදල් භාරගෙන,
10 ස්වාමීන්වහන්සේගේ ගෘහය හරිගැස්සීමටත් අලුත්වැඩියාකිරීමටත් ගෘහයේ වැඩේකරන කර්මාන්තකාරයන්ට දෙන පිණිස, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩකිරීමට පත්වී සිටිය තැනැත්තන් අතට ඒවා දුන්නෝය.
11 ඔව්හු කැපූ ගල්ද යුදා රජුන් විසින් නැතිකළ ගෙවල යටලීවලට සහ බාල්කවලටත් ලීද මිලේට ගන්න පිණිස වඩුවන්ටත් ගල්වඩුවන්ටත් ඒවා දුන්නෝය.
12 ඒ මනුෂ්‍යයෝ විශ්වාසලෙස වැඩකළෝය. වැඩ බලා කරවීමට ඔවුන් කෙරෙහි මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුවූ යහත්ද ඔබදියාද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියාද මෙෂුල්ලාම්ද පත්වී සිටියෝය. ලෙවීවරු සියල්ලෝම තූර්ය භාණ්ඩ ගැන තේරුම් ඇති අය වූහ.
13 ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත් එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් මුලාදෑනියෝව සිටියෝය. ලෙවීවරුන්ගෙන් සමහරු ලියන්නෝව මුලාදෑනියෝව දොරටුපාලයෝව සිටියෝය.
14 තවද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනා මුදල් ඔවුන් එළියට ගන්නකල මෝසෙස්ගේ අතින් දෙනලද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා පොත හිල්කියා පූජකයාට සම්බවිය.
15 හිල්කියා තෙමේ ලේකම්වූ ෂාපාන්ට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබී මට සම්බවීයයි කියා ඒ පොත ෂාපාන්ට භාරදුන්නේය.
16 ෂාපාන්ද පොත අරන් නැවත රජු ළඟට ගෙනගොස්: ඔබගේ මෙහෙකරුවන්ට භාරදුන් සියල්ලම ඔව්හු කෙරෙති.
17 ස්වාමීන්වහන්සේගේ ගෘහයේ තිබුණ මුදල් ගෙන ඔව්හු මුලාදෑනීන් අතටත් කර්මාන්තකාරයන් අතටත් දුන්නෝයයි රජුට දැන්විය.
18 තවද ලේකම්වූ ෂාපාන් රජුට කථාකොට: පූජකවූ හිල්කියා මට පොතක් භාරදුන්නේය කියා, රජු ඉදිරිපිට එයින් කියෙවුවේය.
19 රජ වනාහි ව්‍යවස්ථාවේ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගත්තේය.
20 තවද රජ හිල්කියාටද ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටද මීකාගේ පුත්‍රවූ අබ්දොන්ටද ලේකම්වූ ෂාපාන්ටද රජුගේ සේවකයාවූ අසායාටද අණකොට:
21 ඔබ සැම ගොස් මා උදෙසාත් ඉශ්‍රායෙල්ගෙන්ද යුදාගෙන්ද ඉතුරුව සිටින්නන් උදෙසාත් සම්බවූ පොතේ වචන ගැන ස්වාමීන්වහන්සේගෙන් විමසන්න. මක්නිසාද මේ පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට කරන ලෙස අපේ පියවරුන් ස්වාමීන්වහන්සේගේ වචනය රක්ෂා නොකළ බැවින් අප කෙරෙහි වගුරුවා තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය.
22 එවිට හිල්කියාද රජුගේ ආඥාව ලැබූ අනික් අයද හස්රාගේ පුත්‍රයා වන තොක්හත්ගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් ප්‍රොපේතවරිය වෙතට ගොස් ඒ හැටියට ඈට කථාකළෝය; ඕතොම යෙරුසලමේ දෙවෙනි කොටසෙහි විසුවාය.
23 ඈ ඔවුන්ට කියන්නී: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැම මා වෙතට එවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න:
24 බලව, මම මේ ඉඩම පිටටත් මෙහි වැසියන් පිටටත් විපත එනම්, යුදා රජු ඉදිරියෙහි කියෙවු පොතෙහි ලියා තිබෙන සියලු ශාපවල් පමුණුවන්නෙමි.
25 ඔවුන් මා අත්හැර තමුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝපකරන හැටියට වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකළ බැවින් මාගේ උදහස මේ ඉඩම පිටට වගුරුවා තිබේ, ඒක නිවෙන්නෙත් නැත.
26 නුමුත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ඔබ සැම එවූ යුදාහි රජුට මෙසේ කියන්න-ඔබ ඇසූ වචන සම්බන්ධව ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
27 මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් විරුද්ධව දෙවියන්වහන්සේ කියා තිබෙන වචන ඔබ ඇසූ විට ඔබේ සිත මොළොක්වී ඔබ උන්වහන්සේ ඉදිරියෙහි යටහත්වූ බැවිනුත්, ඔබ මා ඉදිරියෙහි යටහත්වී ඔබේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි ඇඬූ බැවිනුත්, මමත් ඔබට කන්දුනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
28 මම ඔබේ පියවරුන් වෙතට ඔබ පමුණුවන්නෙමි, මා විසින් මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් පමුණුවන සියලු විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හුද හැරී ඇවිත් රජුට සැලකළෝය.
29 එවිට රජ පණිවිඩකාරයන් යවා යුදා සහ යෙරුසලමේ සියලු වැඩිමහල්ලන් රැස්කරවාගන,
30 යුදාහි සියලු මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද පූජකයන්ද ලෙවීවරුන්ද ලොකු කුඩා මුළු සෙනඟද සමඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගියේය. තවද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබී සම්බවූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගන සිටිද්දී කියෙවුවේය.
31 රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.
32 ඔහු යෙරුසලමෙහිද බෙන්යමින්හිද සිටි සියල්ලන් ඊට එකඟවෙන්ට සැලැස්සුවේය. යෙරුසලමේ වැසියෝද දෙවියන්වහන්සේගේ එනම් තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේගේ ගිවිසුම ලෙස කළෝය.
33 යොෂියා වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්‍රායෙල්හි සිටි සියල්ලන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්ට සැලැස්සුවේය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් පහව නොගියෝය.



පරිච්ඡේදය 35

1 යොෂියා යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්තුවේය. ඔව්හු පළමුවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.
2 ඔහු පූජකයන් ඔවුන්ගේ තනතුරුවල සිටුවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට ඔවුන් ධෛර්යකෙරෙවුවේය.
3 සියලු ඉශ්‍රායෙල්වරුන්ට ඉගැන්නුවාවූද ස්වාමීන්වහන්සේ උදෙසා ශුද්ධව සිටියාවූද ලෙවීවරුන්ට ඔහු කථාකොට: ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් විසින් සෑදූ ගෘහයෙහි ශුද්ධ පෙට්ටිය තබන්න; ඔබ සැමගේ කර පිට තවත් බරක් නැත. දැන් ඔබ සැමගේ දෙවිවු ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් සේවයකර,
4 ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ ලියවිල්ලේද ඔහුගේ පුත්‍රවූ සාලමොන්ගේ ලියවිල්ලේද ප්‍රකාරයට ඔබ සැමගේ පියවංශවල හැටියට ඔබ සැමගේ පංක්ති ලෙස සූදානම්වී,
5 සෙනඟගේ පුත්‍රයන් වන ඔබ සැමගේ සහෝදරයන් උදෙසා පියවංශවල බෙදීම්වල හැටියටද ලෙවීවරුන් උදෙසා පියවංශයකින් කොටසක් ඇතුවද ශුද්ධස්ථානයෙහි සිට,
6 පාස්කු බැටළුපැටවුන් මරන්න. ඔබ සැම පවිත්‍රව, මෝසෙස් අතින් ලැබුණ ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබ සැමගේ සහෝදරයන් උදෙසා උන් සූදානම්කරන්නැයි කීවේය.
7 යොෂියා රජද, ඇවිත් සිටි සෙනඟගේ පුත්‍රයන් සියල්ලන්ට පාස්කු පූජා පිණිසම ගණනේ හැටියට බැටළුපැටවුන්ද එළු පැටවුන්ද තිස්දහසකුත් ගොනුන් තුන්දහසකුත් තමාගේම සම්පතෙන් දුන්නේය.
8 ඔහුගේ අධිපතීහුද සෙනඟටත් පූජකයන්ටත් ලෙවීවරුන්ටත් සිය කැමැත්තෙන්ම දුන්නෝය. දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියෝවූ හිල්කියාද සෙකරියාද යෙහියෙල්ද පාස්කු පූජා පිණිස බැටළුපැටවුන් දෙදාස් හසියයකුත් ගොනුන් තුන්සියයකුත් පූජකයන්ට දුන්නෝය.
9 ලෙවීවරුන්ගේ අධිපතියෝවූ කොනනියාද ෂෙමායා සහ නෙතනෙල් යන ඔහුගේ සහෝදරයෝද හෂබියාද යෙයියෙල්ද යෝසාබාද්ද පාස්කු පූජා පිණිස බැටළුපැටවුන් පන් දහසකුත් ගොනුන් පන්සියයකුත් ලෙවීවරුන්ට දුන්නෝය.
10 මෙසේ සේවය සූදානම්කරනලද්දේය, පූජකයෝ තමුන්ගේ ඉඩමේද ලෙවීවරු තමුන්ගේ පංක්තිවල ප්‍රකාරයටද රජුගේ ආඥාව පරිද්දෙන් සිටියෝය.
11 ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝය, පූජකයෝද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝය, ලෙවීවරු සතුන් හමගැසුවෝය.
12 ඔව්හු මෝසෙස්ගේ පොතෙහි ලියා තිබෙන ලෙස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස දවන පූජාව සෙනඟගේ පුත්‍රයන්ගේ පියවංශ බෙදීම්වල හැටියට දීමට වෙන්කළෝය. ගවයින් ගැනත් එසේම කළෝය.
13 ඔව්හු පාස්කුව ව්‍යවහාරය ලෙස ගින්නෙන් පුලුස්සා, ශුද්ධවූ අනික් ඒවා ඇතිලිවලද කටාරම්වලද හැළිවලද තම්බා, ඉක්මනින් මුළු සෙනඟට ගෙනැත් දුන්නෝය.
14 ඉන්පසු ඔව්හු තමුන්ටත් පූජකයන්ටත් පිළියෙළ කළෝය; මක්නිසාද ආරොන්ගේ පුත්‍රයෝවූ පූජකයෝ දවන පූජාද තෙලද රෑ වෙනතුරු ඔප්පුකරමින් සිටියෝය. ලෙවීවරුද තමුන්ටත් ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ටත් පිළියෙළකළෝය.
15 ආසාප්ගේ පුත්‍රයෝවූ ගීතිකාකාරයෝද දාවිත්ගෙත් ආසාප්ගෙත් හේමාන්ගෙත් රජුගේ දිවස් ඇත්තාවූ යෙදූතුන්ගෙත් ආඥාවේ ප්‍රකාරයට තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය; දොරටුපාලයෝ එක එක දොරටුවෙහි සිටියෝය. තමුන්ගේ සේවයෙන් අහක්ව යන්ට ඔවුන්ට ඕනෑකළේ නැත, මක්නිසාද ඔවුන්ගේ සහෝදරවූ ලෙවීවරු ඔවුන් උදෙසා පිළියෙළකළෝය.
16 මෙසේ යොෂියා රජුගේ ආඥාව ලෙස පාස්කුව පවත්වන්ටත් ස්වාමීන්වහන්සේගේ පූජාසන පිට දවන පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ මුළු මෙහෙය එම දවසේ පිළියෙළකර තිබුණේය.
17 එහි සිටි ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාස්කුවත් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත්තුවෝය.
18 එයාකාර පාස්කුවක් ප්‍රොපෝතවූ සාමුවෙල්ගේ කාලයට පසුව ඉශ්‍රායෙල්වරුන් අතරේ නොපවත්වනලද්දේය; යොෂියාද පූජකයන්ද ලෙවීවරුන්ද එහි සිටි යුදා හා ඉශ්‍රායෙල්හි සියල්ලන්ද යෙරුසලමේ වැසියන්ද පැවැත්තුවාක් මෙන් ඉශ්‍රායෙල් රජුන්ගෙන් කිසිවෙක්වත් එයාකාර පාස්කුවක් පැවැත්තුවේ නැත.
19 ඒ පාස්කුව පැවැත්තුවේ යොෂියාගේ රජකම්කිරීමේ දහඅටවෙනි අවුරුද්දේදීය.
20 යොෂියා මේ සියල්ල කර ගෘහය පිළියෙළකළාට පසු, මිසරයේ රජවූ නෙකෝ ප්‍රාත් ළඟ තිබෙන කර්කෙමිෂ්ට විරුද්ධව යුද්ධකරන්ට ආවේය. යොෂියා ඔහුට විරුද්ධව පිටත්ව ගියේය.
21 නුමුත් ඔහු තානාපතියන් ඔහු වෙතට එවමින්: යුදාහි රජ්ජුරුවෙනි, මාගෙන් ඔබට කම මොකද? ඔබට විරුද්ධව නොව මා සමඟ යුද්ධකරන වංශයට විරුද්ධව අද මම එමි; ඉක්මන්වෙන්ට කියා දෙවියන්වහන්සේ මට අණකළසේක. දෙවියන්වහන්සේ මා සමඟ සිටිනසේක. උන්වහන්සේ ඔබ විනාශනොකරන පිණිස උන්වහන්සේගේ කාරණා ගැන හරස් නොවිය යුතුයයි කියා එවුවේය.
22 නුමුත් යොෂියා නෙකෝ කී දෙවියන්වහන්සේගේ වචනය නාසා, ඔහු වෙතින් අහක්ව නොගොස්, ඔහු සමඟ යුද්ධකරන පිණිස, වෙස් මාරුකරගන, මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමුණුණේය.
23 දුනුකාරයෝ යොෂියා රජුට විද්දෝය; එවිට රජ: මට බොහෝ තුවාලවූ බැවින් මා අහකට ගෙනයන්නැයි තමාගේ සේවකයන්ට කීය.
24 ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙවෙනි රථයට නංවාගන යෙරුසලමට ආවෝය; ඔහු මැරී තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත්කරනලද්දේය. සියලු යුදාවරුද යෙරුසලමේ වැසියෝද යොෂියා ගැන වැලපුණාහ.
25 යෙරෙමියා වනාහි යොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේය. ගී කියන සියලු මිනිස්සුද ගීකියන සියලු ස්ත්‍රිහුද අද දක්වා තමුන්ගේ විලාප ගීතිකාවලින් යොෂියා ගැන කථාකරති; ඔව්හු ඒවා ඉශ්‍රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝය. ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ.
26 යොෂියාගේ අනික් ක්‍රියාද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩද,
27 මුල පටන් අග දක්වා ඔහුගේ කාරණාද ඉශ්‍රායෙල් සහ යුදා රජවරුන්ගේ පොතෙහි ලියා තිබේ.



පරිච්ඡේදය 36

1 එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගෙන, ඔහුගේ පියා වෙනුවට ඔහු යෙරුසලමෙහි රජකමට පත්කළෝය.
2 යෝවාහාස් විසිතුන් අවුරුදු වයසේදී රජවී, යෙරුසලමෙහි තුන් මාසයක් රජකම්කෙළේය.
3 මිසරයේ රජතෙමේ යෙරුසලමේදී ඔහු අහක්කර, රිදී තලෙන්ත සියයකුත් රන් තලෙන්තයකුත් දේශයට දඩගසා,
4 ඔහුගේ සහෝදරවූ එලියාකීම් යුදා සහ යෙරුසලම කෙරෙහි රජකමට පත්කොට, ඔහුගේ නාමය යෙහෝයාකීම්ය කියා වෙනස්කෙළේය. තවද නෙකෝ ඔහුගේ සහෝදරවූ යෝවාහාස් රැගෙන මිසරයට ගියේය.
5 යෙහෝයාකීම් විසිපස් අවුරුදු වයසේදී රජවී, එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
6 බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ඔහුට විරුද්ධව ඇවිත්, බබිලෝනියට ගෙනයන පිණිස දම්වැල්වලින් ඔහු බැන්දේය.
7 ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සමහර භාණ්ඩත් නෙබුකද්නෙශර් බබිලෝනියට ගෙනගොස් බබිලෝනියේ තමාගේ මාලිගාවෙහි තැබුවේය.
8 යෙහෝයාකීම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ පිළිකුල් දේවල්ද ඔහුට විරුද්ධව දැනගත් කාරණාද ඉශ්‍රායෙල් සහ යුදා රජවරුන්ගේ පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත්‍රවූ යෙහෝයාකීන් ඔහු වෙනුවට රජවිය.
9 යෙහෝයාකීන් දහඅට අවුරුදු වයසේදී රජකම්කරන්ට පටන්ගෙන, තුන්මස් දස දවසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
10 ඊළඟ අවුරුද්දේදී නෙබුකද්නෙශර් රජ ඔහු සහ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදරවූ ශෙදෙකියා යුදා සහ යෙරුසලම කෙරෙහි රජකොට පත්කෙළේය.
11 සෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී, එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.
12 ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය; ස්වාමීන්වහන්සේගේ වචන කී අනාගතවක්තෘවූ යෙරෙමියා ඉදිරියෙහි ඔහු යටහත්වුණෙත් නැත.
13 තවද ඔහු දෙවියන්වහන්සේගේ නමින් ඔහු දිවුරෙවු නෙබුකද්නෙශර් රජුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නොහැරෙන ලෙස තමාගේ කුළල තදකරගන තමාගේ සිත දැඩිකරගත්තේය.
14 පූජකයන්ගේ සියලු ප්‍රධානීහුද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල්වල හැටියට බොහෝසේ අපරාධකරමින්, ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි විශුද්ධකළ උන්වහන්සේගේ ගෘහය අපවිත්‍රකළෝය.
15 ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟටත් ස්වකීය වාසස්ථානයටත් අනුකම්පාකළ නිසා උන්වහන්සේ අලුයම්හි නැගිට පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක.
16 එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.
17 ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජු පැමිණෙවුසේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථාන ගෘහයෙහිදී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරුවෝය. ඔහු යෞවනයාටවත් කන්‍යාවටවත් මහල්ලාටවත් පැසුණු හිසකේ ඇත්තාටවත් අනුකම්පා නොකෙළේය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවාදුන්සේක.
18 ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ ලොකු කුඩා සියලු භාණ්ඩද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජුගෙත් ඔහුගේ අධිපතීන්ගෙත් වස්තුද යන සියල්ලම බබිලෝනියට ගෙනගියේය.
19 ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය දවා දමා, යෙරුසලමේ පවුර කඩාදමා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණ අනර්ඝවූ සියලු බඩු විනාශ කළෝය.
20 කඩුවෙන් ගැළවුණු අය ඔහු බබිලෝනියට ගෙනගියේය; ඔව්හු පාර්සිවරුන්ගේ රජකම්කිරීම දක්වා ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දාසයෝව සිටියෝය.
21 මෙසේ වුණේ දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු යෙරෙමියාගේ මුඛයෙන් කියවනලද ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණවෙන පිණිසය. සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවෙනතුරු, දේශය පාළුව තිබුණු කාලය මුළුල්ලෙහි එය සබත් විවේකය ගත්තේය.
22 නුමුත් ස්වාමීන්වහන්සේ යෙරමියාගේ මුඛයෙන් කියෙවු වචනය සම්පූර්ණවෙන පිණිස පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක. ඔහු වනාහි: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ;
23 තවද උන්වහන්සේ යුදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ. උන්වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ සැම අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිටිනසේක්වා, ඔහු එතැනටයේවයි පාර්සියාවේ කෝරෙෂ් කියන්නේය කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධියක් කොට, ලියවිල්ලෙනුත් එය පතළ කෙරෙවුවේය.