එස්තර්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10


පරිච්ඡේදය 1

1 තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය.
2 අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේ ඔහු ෂූෂන් බලකොටුවේ. තිබුණ තමාගේ රාජ්‍යයේ සිංහාසනයෙහි වැඩහුන් දවස්වලදී,
3 තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පාර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතීන්ටද රටවල උත්තමයන්ටද අධිපතීන්ටද තමා ඉදිරියෙහි මංගල්‍ය කෑමක් දුන්නේය.
4 එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ උතුම් වස්තුද තමාගේ මහිමශ්‍රීයේ අනර්ඝතාවද බොහෝ දවස් එනම් දවස් එකසිය අසූවක් පෙන්නුවේය.
5 ඒ දවස් පසුවුණ විට රජතෙමේ ෂූෂන් බලකොටුවේ. සිටි ලොකු කුඩා සියලු සෙනඟට රජමාලිගාවේ උයනේ මළුවෙහි සත් දවසක් මංගල්‍ය කෑමක් දුන්නේය.
6 එහි සුදු පාටද කොළ පාටද නිල් පාටද ඇති තිර සිහින් හණ ලනුවලිනුත් රත්නිල් ලනුවලිනුත් රිදී මුදුවලින් සුදුගල් කුළුනුවලට බැඳ තිබුණේය. රතු සුදු කහ කළු යන පාට ඇති ගල් අල්ලාපු බිමක් පිට රන් රිදී යහන් වූහ.
7 බොන්ට දුන්නේ රන් කුසලාන්වලින්ය. කුසලාන්ද එකිනෙකට වෙනස්ව තිබුණේය. රාජ මුද්‍රිකපානය රජුගේ ත්‍යාගවත්කම ලෙස බොහෝසෙයින්ම තිබුණේය.
8 බොන්ට යෙදුණේ නියෝගය ලෙසය; කිසිවෙකුට බලාත්කාරකළේ නැත. මක්නිසාද එක එක මනුෂ්‍යයාගේ ප්‍රසන්නකමේ හැටියට කරන ලෙස රජු විසින් තමාගේ ගෙයි සියලු මුලාදෑනීන්ට නියමකර තිබුණේය.
9 වස්තී බිසවද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේදී ස්ත්‍රීන්ට මංගල්‍ය කෑමක් දුන්නාය.
10 සත්වෙනිදා රජුගේ සිත මුද්‍රිකපානයෙන් පිනාගිය විට, වස්තී බිසව පෙනීමට ඉතා ලක්ෂණ නිසා ඇගේ අලංකාරකම ජනයන්ටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස,
11 ඈට ඔටුන්න පළඳවා රජු ඉදිරිපිටට කැඳවාගෙන එන්ට අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියෙහි සේවයකළාවූ මෙහූමාන්ද බිස්තාද හර්බෝනාද බිග්තාද අබග්තාද සේතර්ද කර්කස්ද යන නපුංසකයන් සත්දෙනාට අණකෙළේය.
12 නුමුත් නපුංසකයන් අත රජු කියා ඇරිය අණට එන්ට වස්තී බිසව අකමැතිවූවාය. එබැවින් රජ ඉතා උදහස්වී, ඔහුගේ කෝපය ඔහු තුළ ඇවුළුණේය.
13 එවිට රජ කාලයන් දන්නාවූ ප්‍රඥාවන්තයන්ට කථාකොට: අහෂ්වේරොෂ් රජ නපුංසකයන් අත කියා ඇරිය ආඥාව වස්තී බිසව ඉෂ්ටනොකළ බැවින් නීතිය ප්‍රකාරයට ඈට මක්කළයුතුදැයි ඇසුවේය.
14 මක්නිසාද රජුගේ කාරණා නීතියත් විනිශ්චයත් දන්න සියල්ලන් ඉදිරියට පමුණුවන සිරිතක් තිබුණේය.
15 ඔහු ළඟම සිටියේ රජුගේ මුහුණ දැක රාජ්‍යයේ ප්‍රධාන ස්ථානයෙහි ඉඳගත්තාවූ, පාර්සියාවේද මේදියාවේද අධිපතීන් සත්දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා සහ මෙමූකාන්ය.
16 මෙමූකාන් රජු සහ අධිපතීන් ඉදිරියෙහි උත්තරදෙමින්: වස්තී බිසව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල සිටින ජාතීන්ටත් වරදක් කළාය.
17 මක්නිසාද බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැලවුණාම: අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්ට අණකළ නුමුත් ඈ ආවේ නැතැයි ඔවුන් කියා තමුන්ගේ පුරුෂයන් සුළුකොට සිතනවා ඇත.
18 පාර්සියාවේද මේදියාවේද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැලවුණාම රජුගේ සියලු අධිපතීන්ට අද දවසේදී එසේම කියනවා ඇත. එයින් සුළුකම්කිරීමද උදහසද බොහෝසෙයින් හටගන්නවා ඇත.
19 රජ්ජුරුවන් සතුටු නම් වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ වෙන්ටත්, එය වෙනස් නොවන පිණිස පාර්සිවරුන්ගේද මේදවරුන්ගේද ව්‍යවස්ථා අතරෙහි ලියා තබන්ටත් යෙදේවා; ඇගේ බිසෝකමද ඈට වඩා හොඳ තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේවා.
20 රජු විශාලවූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි පනවන නියෝගය ඇසූ කල්හි සියලුම භාර්යාවන් ලොකු කුඩාවූ තම තමුන්ගේ පුරුෂයන්ට ගෞරව දෙනවා ඇතැයි කීවෝය.
21 ඒ කීමට රජද අධිපතීහුද ප්‍රසන්නවූහ; රජ මෙමූකාන්ගේ කීම ලෙස කරමින්,
22 එක එක පුරුෂයා විසින් තම තමාගේ ගෙදර ආණ්ඩුකරන හැටියටද, තමාගේ සෙනඟගේ භාෂාවෙන් එය ප්‍රකාශකරන හැටියටද, එක එක රටේ අකුරුවලිනුත් එක එක සෙනඟගේ භාෂාවෙනුත් ලියුම් ලියා ඇරියේය.



පරිච්ඡේදය 2

1 මේ කාරණාවලට පසු, අහෂ්වේරෝෂ්ගේ කෝපය සංසිඳුණු කල්හි, ඔහු වස්තී සහ ඈ කළ දේද ඈට විරුද්ධව කළ නියමයද සිහිකෙළේය.
2 එවිට රජුට සේවයකළ ඔහුගේ මෙහෙකරුවෝ කථාකොට: රූපසම්පන්න කන්‍යා තරුණියන් රජු උදෙසා සොයත්වා.
3 එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් ෂූෂන් බලකොටුවේ තිබෙන ස්ත්‍රීන්ගේ ගෙයි රජ්ජුරුවන්ගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට රැස්කරගන එන පිණිස රජ්ජුරුවන් තමාගේ රාජ්‍යයේ සියලු රටවල මුලාදෑනීන් නියමකරන්ටත්, ඒ තැනැත්තියන්ගේ පවිත්‍රවීම පිණිස නිසි දේ ඔවුන්ට දෙන්ටත් යෙදේවා.
4 එවිට රජ්ජුරුවන්ට ප්‍රියව පෙනෙන තරුණිය වස්තී වෙනුවට බිසෝ වේවායි කීවෝය. ඒ කාරණාවට රජ ප්‍රසන්නවී එලෙස කෙළේය.
5 බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගන ගිය යූදාහි රජවූ යෙකොනියා සමඟ
6 ගෙනයනු ලැබූ අය අතරේ යෙරුසලමෙන් ගෙනයනලද බෙන්යමියයෙක්වූ කීෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යායිර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම්වූ යුදෙව්වෙක් ෂූෂන් බලකොටුවෙහි සිටියේය.
7 ඔහු තමාගේ බාප්පාගේ දුවූ හදස්සා එනම් එස්තර් ඇතිකරගත්තේය. මක්නිසාද ඇගේ පියාවත් මවුවත් ජීවත්ව සිටියේ නැත, ඈ වනාහි ශෝභනවූ රූපසම්පන්න තැනැත්තියක් වූවාය; ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාට දුවෙක් කොට පිළිගත්තේය.
8 තවද රජුගේ ආඥාවත් නියෝගයත් සැලවූ කල්හි බොහෝ තරුණියන් ෂූෂන් බලකොටුවට හෙගයිගේ රැකවරණයට රැස්වෙද්දී, එස්තර්ද රජගෙට, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට, ගෙනෙනලද්දීය.
9 තරුණීද ඔහු ප්‍රියවී ඔහුගෙන් කරුණාව ලැබුවාය; ඔහු ඉක්මන්කර ඇගේ පවිත්‍රවීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය; ඈට දීමට සුදුසුවූ, රජ ගෙදරින් තෝරනලද තරුණියන් සත්දෙනෙක්ද ඈට දී, ඈ සහ ඇගේ වැඩකාරියන් ස්ත්‍රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයට පැමිණෙවුවේය.
10 එස්තර් තොමෝ ඇගේ ජාතියවත් ඇගේ සෙනඟවත් එළිදරව් නොකළාය; මක්නිසාද එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණකර තිබුණේය.
11 මොර්දෙකයි වනාහි එස්තර්ගේ ශුභසිද්ධියත් ඈට මක්වේද කියාත් දැනගන්න පිණිස ස්ත්‍රීන්ගේ ගෙයි මිදුල ඉස්සරහපිට දවස්පතා ඇවිද්දේය.
12 එක එක තරුණිය ස්ත්‍රීන්ගේ නියෝගය ප්‍රකාරයට දොළොස් මාසයක් වන ඔවුන්ගේ පවිත්‍රවීමේ කාලයෙන් පසු, එනම් සුවඳලාටු තෙල් සමසක්ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්‍රීන්ගේ පවිත්‍රවීමේ තෛල සමසක්ද පාවිච්චිකළායින් පසු, අහෂ්වේරොෂ් රජු ළඟට යන්ට ඒ ඒ තැනැත්තියගේ වාරය පැමුණුණාම,
13 ඈ රජු ළඟට පැමුණුණේ මෙසේය, එනම් ස්ත්‍රීන්ගේ ගෙයින් ඈ සමඟ ගෙනයන පිණිස ඈ ඉල්ලූ කොයි දෙයක් වුවත් ඈට දෙනලද්දේය.
14 ඈ සවස ගොස් පසුවදා ස්ත්‍රීන්ගේ දෙවෙනි ගෙට, රජුගේ නපුංසකයාවූ උප භාර්යාවන්ගේ රැකවලාවූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට, හැරී ආවාය. රජු ඈට ප්‍රියව නම කියා ඈට අඬගැසුවොත් මිස නැත්නම් ඈ රජු ළඟට තවත් පැමුණුණේ නැත.
15 මොර්දෙකයි විසින් දුවකොට හදාගත්තාවූ, තමාගේ බාප්පා වන අබිහයිල්ගේ දූවූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමුණුණ විට රජුගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයි නියමකළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවාය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රියවුණෝය.
16 මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ සත්වෙනි අවුරුද්දේ තේබෙත් නම් දසවෙනි මාසයේදී රජගෙට රජු වෙතට ගෙනයනු ලැබුවාය.
17 රජද සියලුම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ආදරේවී, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාවද ආදරයද පෙන්වා, ඇගේ හිසේ රාජ ඔටුන්න තබා, වස්තී වෙනුවට ඇය බිසව කරගත්තේය.
18 රජ තමාගේ සියලු අධිපතීන් හා සේවකයන්ට එස්තර්ගේ මංගල්‍යය වන මහත් මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය; රටවලට නිදහසක්ද දී රජුගේ ත්‍යාගවත්කම ලෙස තෑගි දුන්නේය.
19 දෙවෙනි වතාවේ කන්‍යාවන් රැස්කරන කල මොර්දෙකයි රජවාසල හිඳගන උන්නේය.
20 එස්තර් මොර්දෙකයි ඈට අණකළ ලෙස ඇගේ සෙනඟත් ජාතියත් නොදන්වා සිටියාය. මක්නිසාද එස්තර් මොර්දෙකයි වෙත වැඩෙද්දී කළාක්මෙන් ඈ ඔහුගේ කීම ඉෂ්ටකළාය.
21 ඒ දවස්වලදී මොර්දෙකයි රජ වාසල වාඩිව ඉන්න කල්හි වාසල් රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිග්තාන් සහ තෙරෙෂ් කෝපවී, අහෂ්වේරොෂ් රජු මරන්ට සෙවුවෝය.
22 මොර්දෙකයිට ඒ බව දැනගන්ට ලැබී ඔහු එස්තර් බිසවට දැන්නුවේය. එස්තර්ද මොර්දෙකයිගේ නාමයෙන් රජුට කීවාය.
23 ඒ කාරණය විභාගකළ කල්හි සැබෑ බව පෙනීගිය නිසා ඔවුන් දෙදෙනා ගසක එල්ලනු ලැබූහ. ඒ කාරණය රජු ඉදිරියේදී ලේකම් පොතෙහි ලියා තබනලද්දේය.



පරිච්ඡේදය 3

1 මේ කාරණාවලට පසු අහෂ්වේරොෂ් රජ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් උසස්කරමින් උතුම්කමට පමුණුවා, තමා වෙත සිටිය සියලු අධිපතීන්ට වඩා උත්තම ආසනයක් ඔහුට දුන්නේය.
2 රජවාසල සිටි රජුගේ සියලු සේවකයෝද හාමාන්ට නැමී වැන්දෝය. මක්නිසාද ඔහු ගැන රජ එසේ අණකර තිබුණේය. නුමුත් මොර්දෙකයි ඔහුට හිස නැමුවේවත් වැන්දේවත් නැත.
3 එවිට රජවාසල සිටි රජුගේ සේවකයෝ: ඔබ රජුගේ අණ කඩකරන්නේ මක්නිසාදැයි මොර්දෙකයිට කීවෝය.
4 ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නුමුත් ඔහු ඇහුම්කන්නුදුන් බැවින්, මොර්දෙකයිගේ කාරණා ස්ථිරවේදෝ කියා බලන පිණිස ඔව්හු හාමාන්ට දැන්නුවෝය. මක්නිසාද තමා යුදෙව්වෙක් බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේය.
5 මොර්දෙකයි තමාට නැමී නමස්කාර නොකරන බව හාමාන් දැක කෝපයෙන් පිරුණේය.
6 නුමුත් මොර්දෙකයි කෙරෙහි පමණක් අත් හෙළීම ඔහුට ඉතා සුළුව පෙනුණේය; මක්නිසාද මොර්දෙකයිගේ ජාතිය ගැන ඔහුට දන්වලද්දේය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟවූ සියලු යුදෙව්වරුන් නැතිකරන්ට සෙවුවේය.
7 අහෂ්වේරොෂ් රජුගේ දොළොස්වෙනි අවුරුද්දේ නීසාන් මාසය නම්වූ පළමුවෙනි මාසයේ පටන් හාමාන් ඉදිරියෙහි දවසින් දවස මාසයෙන් මාසය අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසය දක්වා පූර් එනම් පසඇට දැමුවෝය.
8 එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කථාකොට: ඔබගේ රාජ්‍යයේ සියලු රටවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර වෙනම සිටිති; ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස්ය; ඔවුන් රජුගේ ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින් ඔවුන්ට සිටින්ට ඉඩදීම රජ්ජුරුවන්ට වටින්නේ නැත.
9 රජතුමා ප්‍රසන්න නම් ඔවුන් නැතිකරදමන හැටියට ලියාහරිනු ලැබේවා. මමද රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී තලෙන්ත දසදහසක් කිරා දෙන්නෙමියි කීවේය.
10 රජ තමාගේ අතින් මුදුව ගළවා යුදෙව්වරුන්ගේ සතුරාවූ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන්ට දී ඔහුට කථාකොට:
11 රිදී ඔබට වේවා, ඔබට හොඳව පෙනෙන දෙයක් කරන්ට ඒ සෙනඟ එසේම ඔබ සැමට දී තිබේයයි කීවේය.
12 එවිට පළමුවෙනි මාසයේ දහතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන්ට අඬගස්වා, හාමාන් අණකළ සියල්ල ලෙස රජුගේ දිසාධිපතීන්ටද සියලු රටවල ආණ්ඩුකාරයන්ටද එක එක සෙනඟගේ අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද ලියුම් ලියවා හැරියේය; අහෂ්වේරොෂ් රජුගේ නමින් ඒවා ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකෙළේය.
13 අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා තරුණයන්ද මහල්ලන්ද බාලයන්ද ස්ත්‍රීන්ද යන සියලු යුදෙව්වරුන් එක දවසේම නැතිකරදමන්ටත් මරන්ටත් විනාශකරන්ටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්ටත් කියා රජුගේ සියලු රටවලට පණිවිඩකාරයන් අත ලියුම් අරිනලද්දේය.
14 ඒ දවසට සූදානම්ව සිටින ලෙස එක එක පළාතට නියෝගයක් දෙන පිණිස ඒ ලියවිල්ලේ පිටපතක් සියලු ජනයන්ට ප්‍රසිද්ධකරනලද්දේය.
15 පණිවිඩකාරයෝ රජුගේ ආඥාව පිට ඉක්මන්කර පිටත්ව ගියෝය, ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය. රජද හාමාන්ද බිමට හිඳගත්තෝය; නුමුත් ෂූෂන් නුවර කැළඹුණාය.



පරිච්ඡේදය 4

1 තවද කෙරුණු සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු තමාගේ වස්ත්‍ර ඉරා, අලු ඇතුව, ගෝණි රෙදි හැඳගන, නුවර මැදට ගොස් මහත්වූ දුක්ඛිතවූ හඬකින් මොරගසමින්,
2 රජවාසල ඉදිරිපිටටම පැමුණුණේය. රජවාසලට වනාහි ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට ඇතුල්වෙන්ට අවසර නැත.
3 තවද රජුගේ ආඥාවද නියෝගයද පැමුණුණු සියලු රටවල යුදෙව්වරුන් අතරේ මහත් වැලපීමද නිරාහාරව සිටීමද ඇඬීමද විලාපකීමද විය; බොහෝ දෙනෙක් ගෝණි රෙදි සහ අලු පිට වැතිරගත්තෝය.
4 එවිට එස්තර්ගේ මෙහෙකාරියෝද නපුංසකයෝද අවුත් එපවත් ඈට දැන්නූහ; එකල බිසව ඉතා ශෝක වුණාය. මොර්දෙකයිගෙන් ගෝණි රෙදි ගළවාදමා අන්දවන පිණිස ඈ ඔහුට ඇඳුම් යැවුවාය. නුමුත් ඔහු ඒවා පිළිගත්තේ නැත.
5 එවිට එස්තර් ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත්කළ නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ හාතාක්ට අඬගසා, කාරණාව මොකද කියාත් මේ මක්නිසාද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්ට අණකළාය.
6 මෙසේ හාතාක් රජවාසල ඉදිරිපිට තිබුණු නුවර වීදියට මොර්දෙකයි ළඟට ගියේය.
7 එවිට මොර්දෙකයි තමාට සිද්ධවුණ සියල්ලත් යුදෙව්වරුන් නැතිකරන පිණිස හාමාන් විසින් ඔවුන් ගැන රාජ භාණ්ඩාගාරයට ගෙවන්ට පොරොන්දුවූ මුළු මුදල් ගණනත් ඔහුට කීයේය.
8 තවද ඔවුන් විනාශකරන්ට ෂූෂන්හිදී දුන් නියෝගපත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණකරන ලෙසද ඔහුට කීයේය.
9 හාතාක් ඇවිත් මොර්දෙකයිගේ වචන එස්තර්ට දැන්නුවේය.
10 එකල එස්තර් හාතාක්ට කථාකොට:
11 අඬගසනු නොලැබ ඇතුල් මළුවට රජු වෙතට ඇතුල්වෙන කොයි පුරුෂයෙකු වුවත් ස්ත්‍රියෙකු වුවත් නොනස්නා පිණිස රජ ඒ අය දෙසට රන් ජයකොන්තය දිගුකළොත් මිස, නැත්නම් ඔහු ගැන ඇත්තේ එකම නියමයක් බව එනම් ඔහු මැරිය යුතු බව රජුගේ සියලු සේවකයෝද රජුගේ රටවල සෙනඟද දනිති. ඇරත් රජු ළඟට යන්ට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමියි කියා මොර්දෙකයිට කියන්ට අණකළාය.
12 එස්තර්ගේ වචන මොර්දෙකයිට දන්වනලද්දේය.
13 එවිට මොර්දෙකයි එස්තර්ට උත්තර යවමින්: රජගෙදර ඉන්න නිසා සියලු යුදෙව්වරුන්ගෙන් ඔබ පමණක් ගැළවේය කියා සිතා නොගන්න.
14 මක්නිසාද මේ ප්‍රස්ථාවේදී ඔබ නිශ්ශබ්දවම සිටියොත් වෙන තැනකින් යුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනවා ඇත, නුමුත් ඔබ සහ ඔබේ පියවංශය නැතිවන්නේය. ඔබ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි ප්‍රස්ථාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදැයි කියා කියන්ට අණකෙළේය.
15 එවිට එස්තර් මොර්දෙකයිට උත්තර යවමින්:
16 ගොස් ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් රැස්කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දාවල් නොකා නොබී නිරාහාරව සිටින්න. මමත් මාගේ වැඩකාරියොත් එසේම නිරාහාරව ඉන්නෙමුව; එවිට නීතියට එකඟ නැති නුමුත් මම රජු ළඟට යන්නෙමි. මා නැතිවුණොත් නැතිවුණාවේ කියා කියන්ට කීවාය.
17 එවිට මොර්දෙකයි ගොස් තමාට එස්තර් අණකළ සියල්ල ලෙස කෙළේය.



පරිච්ඡේදය 5

1 තවද තුන්වෙනිදා එස්තර් රාජවස්ත්‍ර පැළඳගන රජගෙය ඉදිරිපිට තිබුණ රජගෙයි ඇතුල් මිදුලට ගොස් සිටියාය. රජ තෙමේ රජගෙයි රාජ සිංහාසනයෙහි ගෙයි දොරකඩ ඉදිරිපිට වැඩහුන්නේය.
2 එවිට රජ එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඈ කෙරෙහි කරුණාකොට, තමාගේ අත තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේය. එස්තර් ළංව ජයකොන්තයේ මුදුනේ අග ස්පර්ශකළාය.
3 එකල රජ ඈට කථාකොට: එස්තර් බිසව, ඔබට ඕනෑ මොකද? ඔබේ අයදීම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඔබට දෙනු ලැබේයයි කීයේය.
4 එස්තර්ද: රජ්ජුරුවන්ට හොඳව පෙනේනම් මා විසින් රජ්ජුරුවන්ට පිළියෙළකර තිබෙන මංගල්‍ය කෑමට රජ්ජුරුවන්ද හාමාන්ද අද අවමැනවැයි කීවාය.
5 එවිට රජ එස්තර් කී ලෙස කරන්ට හාමාන් ඉක්මන්කරවන්නැයි කීවේය. මෙසේ රජද හාමාන්ද එස්තර් පිළියෙළකළ මංගල්‍යයට ආවෝය.
6 රජතෙමේ මුද්‍රිකපාන මංගල්‍යයේදී එස්තර්ට කථාකොට: ඔබේ ඉල්ලීම මොකද? ඒක ඔබට දෙනු ලැබෙන්නේය, ඔබේ අයදුම මොකද? රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුණත් ඒක ඉෂ්ටකරනු ලැබේයයි කීවේය.
7 එවිට එස්තර් උත්තරදෙමින්: රජ්ජුරුවන්ගෙන් මට කරුණාව ලැබී තිබේ නම්,
8 එසේම මා ඉල්ලන දේ දෙන්ටත් මාගේ අයදුම ඉෂ්ටකරන්ටත් රජතුමා ප්‍රසන්න නම්, මාගේ ඉල්ලීම සහ අයදුම නම් රජ්ජුරුවන්ටත් හාමාන්ටත් මා විසින් පිළියෙළකරන මංගල්‍යයට ඔබ සහ හාමාන් එන ලෙසය, එවිට රජුගේ කීම ලෙස හෙට කරන්නෙමියි කීවාය.
9 හාමාන්ද ඒ දවසේදී සන්තෝෂවී ප්‍රීතිමත් සිතකින් පිටතට ගියේය. එහෙත් හාමාන් තෙම රජවාසල උන් මොර්දෙකයි තමා ඉදිරියෙහි නැගිට්ටේවත් තමා සැලකුවේවත් නැති බව දැක ඔහු කෙරෙහි උදහසින් පිරුණේය.
10 එසේ වුවත් ඔහු කෝපය සංසිඳුවාගන, ගෙට ඇවිත් තමාගේ මිත්‍රයන්ද තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ද කැඳවාගෙන,
11 තමාගේ වස්තුවේ ඓශ්වර්යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අනික් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිවූ සියල්ල පැවසුවේය.
12 හාමාන් තවත් කථාකොට: එස්තර් බිසව පිළියෙළකළ මංගල්‍ය කෑමට මා මිස රජු සමඟ වෙන කිසිවෙක් ගෙන්නෙව්වෙත් නැත; හෙටත් රජු සමඟ එන්ට ඈ විසින් ආරාධනාකරනු ලැබීමි.
13 එහෙත් යුදෙව්වා වන මොර්දෙකයි රජවාසල ඉඳගන ඉන්නවා මට පෙනෙනකල් මේ සියල්ල මට මොකටදැයි කීවේය.
14 එකල ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුගේ සියලු මිත්‍රයෝද ඔහුට කථාකොට: පනස් රියනක් උස ඇති එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි ඒකේ එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කථාකර, ඉන්පසු රජු සමඟ මංගල්‍යයට ප්‍රීතියෙන් පැමිණෙන්නැයි කීවෝය. ඒ කීමට හාමාන් ප්‍රසන්නව එල්ලුම් ගහ සෑදෙවුවේය.



පරිච්ඡේදය 6

1 එදා රාත්‍රියේ රජුට නින්ද නොගොස් ඉකුත්වූ කාලයේ කරුණු සඳහන්වූ ලේකම් පොත ගෙනෙන්ට අණකෙළේය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේය.
2 එවිට අහෂ්වේරොෂ් රජු මරන්ට සෙවුවාවූ වාසල් රැකවලුන්ගෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිග්තාන්ද තෙරෙෂ්ද ගැන මොර්දෙකයි දැන්වූ වග ලියා තිබෙනවා සම්බවිය.
3 මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරනලද්දේදැයි රජු ඇසුවේය. ඔහුට කිසි දෙයක් කළේ නැතැයි රජුට සේවයකරන මෙහෙකරුවෝ කීවෝය.
4 රජද: මිදුලේ ඉන්නේ කවුදැයි ඇසීය. හාමාන් වනාහි තමා විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේ ඔහු එල්ලාදමන්ට රජුට කථාකරන පිණිස රජගෙදර පිටත මිදුලට ඇවිත් සිටියේය.
5 හාමාන් මිදුලේ සිටිනවායයි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කීවෝය. ඔහු ඇතුළට ඒවයි රජ කීය.
6 හාමාන් ඇතුල්වුණ විට රජ ඔහුට කථාකොට: රජු විසින් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට කරන්ට ඕනෑ මොකදැයි ඇසුවේය. හාමාන්ද: මට මිස රජු ගෞරවකරන්ට කැමැති කාටදැයි තමාගේ සිතින් සිතාගන, රජුට කථාකොට:
7 රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කළ යුතුය-
8 රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක්ද රජ්ජුරුවන් නැගී යන්නාවූ, රාජ ඔටුන්න හිසේ දරන්නාවූ අශ්වයාද ගෙනවුත්,
9 වස්ත්‍රයද අශ්වයාද රජුගේ ඉතා උතුම් අධිපතීන්ගෙන් එක්කෙනෙකු අතට භාරෙදන්ටත්, රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට එය පළඳවා ඔහු අශ්වයා පිට නංවා නුවර වීථිය දිගේ ගෙනයමින්-රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුවෙන් ඝෝෂණයකර කියන්ටත් යෙදේවයි කීවේය.
10 එවිට රජ හාමාන්ට කථාකොට: ඉක්මන්කර ඔබ කී වස්ත්‍රයද අශ්වයාද රැගෙන, රජවාසල හිඳින යුදෙව්වාවූ මොර්දෙකයිට එසේ කරන්න; ඔබ කී සියල්ලෙන් කිසිවක් අඩුනොවේවායි කීවේය.
11 එවිට හාමාන් වස්ත්‍රයද අශ්වයාද රැගෙන මොර්දෙකයි සරසා, ඔහු නුවර වීථිය දිගේ අසුපිටින් යන්ට සලස්වා: රජ්ජුරුවන් විසින් ගෞරවකරන්ට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුව ඝෝෂණයකර කීවේය.
12 පසුව මොර්දෙකයි රජවාසලට හැරී ආවේය. නුමුත් හාමාන් වැලපෙමින් හිස වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස්,
13 තමාට සිද්ධවූ සියල්ල තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ටද තමාගේ සියලු මිත්‍රයින්ටද කීවේය. එවිට ඔහුගේ උපදේශකයෝද ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුට කථාකොට: ඔබ මොර්දෙකයි ඉදිරියෙහි වැටෙන්ට පටන්ගත්තෙහිය, ඔහු යුදෙව් වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධව සිටින්ට ඔබට බැරිවෙයි, ඔහු ඉදිරියෙහි ඔබ වැටෙනවාම ඇතැයි කීවෝය.
14 ඔවුන් ඔහු සමඟ කථාකරද්දීම රජුගේ නපුංසකයෝ ඇවිත් එස්තර් පිළියෙළකළ මංගල්‍යයට හාමාන් කැඳවාගනයන්ට ඉක්මන්කළෝය.



පරිච්ඡේදය 7

1 මෙසේ රජද හාමාන්ද එස්තර් බිසව සමඟ පාන උත්සවයට ආවෝය.
2 දෙවෙනි දවසෙත් මුද්‍රිකපාන මංගල්‍යයේදී රජ එස්තර්ට කථාකොට: එස්තර් බිසව, ඔබේ ඉල්ලීම මොකද? ඒක ඔබට දෙනු ලැබේ; ඔබේ අයදුම මොකද? එය රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුවත් ඉෂ්ටකරනු ලැබේයයි කීය.
3 එවිට එස්තර් බිසෝ උත්තරදෙමින්: රජ්ජුරුවෙනි, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේම රජ්ජුරුවන් ප්‍රසන්නනම්, මාගේ ඉල්ලීමට මාගේ ප්‍රාණයද මාගේ අයදුමට මාගේ ජාතියද මට දෙනු ලැබේවා.
4 මක්නිසාද මමත් මාගේ ජාතියත් නාස්තියටද මරාදැමීමටද විනාශයටද විකුණනු ලැබීමුව. දාස දාසීන් කොට අප වික්කා පමණක් නම් නිශ්ශබ්දව සිටින්නෙමි, නුමුත් එදිරිකාරයාට රජුගේ අලාභය පිරිමසාදෙන්ට නුපුළුවනැයි කීවාය.
5 එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවට කථාකොට: මෙසේ කරන්ට සිතින් නිර්භීතව සිටින තැනැත්තා කවුද? ඔහු කොතැනදැ යි ඇසීය.
6 එස්තර්ද: එදිරිකාරයෙක්ද සතුරෙක්ද වූ මේ දුෂ්ට හාමාන්යයි කීවාය. එවිට හාමාන් රජුද බිසවද ඉදිරියෙහි භයපත්විය.
7 රජ කෝපව මුද්‍රිකපාන මංගල්‍යයෙන් නැඟිට මාලිගාවේ උයනට ගියේය. රජු විසින් තමාට විරුද්ධව නපුරක් නියමකර තිබෙන බව දැක හාමාන් තමාගේ ප්‍රාණය උදෙසා එස්තර් බිසවට කන්නලව් කරන්ට නැවතුණේය.
8 රජ මාලිගාවේ උයනෙන් මුද්‍රිකපාන ශාලාවට හැරී ආවිට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේය. එවිට රජ: ගෙයි මා ඉදිරිපිටදී ඔහු බිසවට බලාත්කාරකරන්ටත් යනවාදැ යි කීවේය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම ඔව්හු හාමාන්ගේ මුහුණ වැසූහ.
9 නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ හර්බෝනා රජු ඉදිරියෙහි කථාකොට: ඇරත් රජුගේ ශුභසිද්ධියට කථාකළාවූ මොර්දෙකයිට හාමාන් විසින් සෑදෙවු පනස් රියනක් උස ඇති එල්ලුම්ගහ හාමාන්ගේ ගෙදර ළඟ හිටවා තිබේයයි කීය. ඔහු ඒකේ එල්ලාදමන්නැයි රජ කීවේය.
10 එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.



පරිච්ඡේදය 8

1 ඒ දවසේදී අහෂ්වේරොෂ් රජ යුදෙව්වරුන්ගේ සතුරාවූ හාමාන්ගේ ගේදොර එස්තර් බිසවට දුන්නේය. තවද මොර්දෙකයි රජු ඉදිරියට පැමුණුණේය; මක්නිසාද එස්තර් විසින් ඇයට ඔහු ඇති නෑකම රජුට දන්වා තිබුණේය.
2 රජතෙමේ හාමාන්ගෙන් ආපසු ගත්තාවූ තමාගේ මුදුව ගළවා මොර්දෙකයිට දුන්නේය. එස්තර් තොමෝ මොර්දෙකයි හාමාන්ගේ ගේදොර කෙරෙහි ප්‍රධානියා කළාය.
3 එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කථාකොට රජුගේ පාමුල වැටී: අගාගිය හාමාන් අදහස් කළ නපුරද යුදෙව්වරුන්ට විරුද්ධව ඔහු යෝජනා කළ උපායද පහකරන මෙන් අඬා කන්නලව්කළාය.
4 රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගුකෙළේය. එවිට එස්තර් නැඟිට රජු ඉදිරියෙහි සිට කථාකොට:
5 රජ්ජුරුවන් ප්‍රසන්න නම්, ඔබගෙන් මට කරුණාවද ලැබී තිබේනම්, එසේම කාරණය රජ්ජුරුවන්ට හරිව පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රියවී නම්, රජුගේ සියලු රටවල සිටින යුදෙව්වරුන් විනාශකරන්ට අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් කළ යෝජනාව එනම් ඔහු ලියා යැවූ ලියුම් අවලංගුකරන පිණිස ලියා අරිනු ලැබේවා.
6 මක්නිසාද මාගේ ජාතියට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගන ඉන්නේ කොහොමද? මාගේ නෑයන්ගේ විනාශය දැක දැක ඉවසාගන ඉන්නේ කොහොමදැයි කීවාය.
7 එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවටත් යුදෙව්වාවූ මොර්දෙකයිටත් කථාකොට: හාමාන්ගේ ගෙය එස්තර්ට දුනිමි, ඔහු යුදෙව්වරුන් පිට අත හෙළූ නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලාදැමුවෝය.
8 ඉතින් ඔබ සැමට හොඳව පෙනෙන හැටියට ඔබ සැම යුදෙව්වරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකර අරින්න. මක්නිසාද රජුගේ නාමයෙන් ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකළ පත්‍රයක් කාටවත් අවලංගුකරන්ට බැරියයි කීවේය.
9 එකල සීවාන් මාසය වන තුන්වෙනි මාසයේ විසිතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන් ගෙන්වනු ලැබ, මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස යුදෙව්වරුන්ටද රටවල් එකසිය විසිහතක්වූ ඉන්දියාවේ සිට කූෂ් දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ටද ආණ්ඩුකාරයන්ටද පළාත්වල අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන්ද ලියා යවනලද්දේය.
10 ඔහු අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුදුවෙන් මුද්‍රාකොට, රජුගේ අස්හළේ උපන් රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගීයන පණිවිඩකාරයන් අත ලියුම් හැරියේය.
11 එහි ලියා තිබුණේ: එක දවසේම එනම් අදාර් මාසයවූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනි දින රැස්වී,
12 තමුන්ගේ ප්‍රාණ උදෙසා විරුද්ධව සිටින්ටත් තමුන්ට අන්තරායකරන්ට කැමතිවූ සෙනඟද දේශවාසීන්ද යන සියලුම සේනාවල් බාලයන්ද ස්ත්‍රීන්ද ඇතුළුව නැතිකරන්ටත් මරාදමන්ටත් විනාශකරන්ටත් ඔවුන්ගේ දේපළ කොල්ලකාගන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලුම රටවල එක එක නුවර සිටින යුදෙව්වරුන්ට රජ අවසර දෙන්නේය යනුයි.
13 එක එක පළාතට නියෝගය දෙන පිණිසත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් පළිගැනීමට ඒ දවසට සූදානම්ව සිටින පිණිසත් ඒ ලියවිල්ලේ පිටපතක් සියලුම ජනයන් වෙත ප්‍රසිද්ධ කර යවනලද්දේය.
14 පණිවිඩකාරයෝ රාජසේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත්ව ගියෝය; ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය.
15 මොර්දෙකයි නිල් හා සුදු රාජ වස්ත්‍රද ලොකු රන් ඔටුන්නක්ද රත්නිල් සිහින් හණ සළුවක්ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේය. ෂූෂන් නුවර වැසියෝද ඝෝෂාකර ප්‍රීතිවූහ.
16 යුදෙව්වරුන්ට එළියද ප්‍රීති සන්තෝෂයද ගෞරවයද ලැබුණේය.
17 රජුගේ අණ සහ නියෝගය පැමිණි සියලු රටවලත් සියලු නුවරවලත් යුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂයද මංගල්‍යයක් සහ ශුද්ධ දවසක්ද විය. දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක් යුදෙව්වෝ වුණෝය; මක්නිසාද යුදෙව්වරුන් නිසා භයක් ඔවුන් පිටට පැමුණුණේය.



පරිච්ඡේදය 9

1 රජුගේ ආඥාව සහ නියෝගය ඉෂ්ටවීමට පැමින්නාවූ, යුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වන්ට බලාපොරොත්තුව සිටි නුමුත් යුදෙව්වරුන්ම තමුන්ගේ වෛරකාරයන් කෙරෙහි බලය පවත්වන හැටියට කරුණු අනික් අතට හැරුණාවූ දවස වන අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා,
2 යුදෙව්වරු තමුන්ට අනතුරු කරන්ට උපා යෙදූ අය පිට අත්හෙළන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල තමුන්ගේ නුවරවල රැස්වුණෝය. ඔවුන්ට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නුපුළුවන්විය; මක්නිසාද ඔවුන් නිසා භයක් සියලු ජනයන් පිට පැමුණුණේය.
3 රටවල සියලු අධිපතියෝද දිශාධිපතියෝද ආණ්ඩුකාරයෝද රාජකාරිය කරන්නෝද යුදෙව්වරුන්ට උපකාරකළෝය; මක්නිසාද මොර්දෙකයි නිසා භයක් ඔවුන් පිටට පැමිණ තිබුණේය.
4 කුමක්හෙයින්ද මොර්දෙකයි රජගෙදර උත්තමයෙක්ව සිටියේය, ඔහුගේ කීර්තියද සියලු රටවල පතළවී ගියේය. මොර්දෙකයි නම් ඒ පුරුෂ තෙමේ වඩ වඩාත් උසස් විය.
5 එසේ යුදෙව්වරු තමුන්ගේ සියලු සතුරන්ට කඩුවෙන් පහරදී මරා විනාශ කළෝය, තමුන්ගේ වෛරකාරයන්ට තමුන්ගේ කැමැත්තේ හැටියට කළෝය.
6 ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු මනුෂ්‍යයන් පන්සියයක් මරා නැතිකර දැමූහ.
7 යුදෙව්වරුන්ගේ එදිරිකාරවූ හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාවූ පර්ෂාන්දාතාද දල්පොන්ද අස්පාතාද,
8 පෝරාතාද අදලියාද අරීදාතාද,
9 පර්මෂ්තාද අරීසයිද අරීදයිද වයිසාතාද ඔවුන් විසින් මරාදමනු ලැබුවෝය.
10 නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය.
11 එදා ෂූෂන් බලකොටුවේදී මැරුම්කෑ අයින්ගේ ගණන රජු ඉදිරිපිටට ගෙනෙනලද්දේය.
12 එවිට රජ එස්තර් බිසවට කථාකොට: ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු වනාහි මනුෂ්‍යයන් පන්සියයක්ද හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද මරා නැතිකළෝය. රජුගේ අනික් රටවල මක්කරන්ට නැද්ද? ඉතින් ඔබේ ඉල්ලීම මොකද? ඒක ඔබට දෙනු ලැබේ. තවත් ඔබේ අයදුම මොකද? ඒක ඉෂ්ටකරනු ලැබේවයි කීවේය.
13 එවිට එස්තර් කථාකොට: රජ්ජුරුවන් ප්‍රසන්න නම් ෂූෂන්හි සිටින යුදෙව්වරුන්ට අද දවසේ නියෝගයේ හැටියට හෙටත් කරන්ට අවසර ලැබේවා, හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද එල්ලුම්ගහේ එල්ලා තබත්වයි කීවාය.
14 රජ එසේ කරන්ට අණකෙළේය. එවිට ෂූෂන්හි නියෝගයක් දෙන්ට යෙදුණේය; ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා එල්ලා තැබුවෝය.
15 ෂූෂන්හි සිටි යුදෙව්වරුද අදාර් මස දහහතරවෙනි දවසෙත් රැස්වී ෂූෂන්හි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය.
16 රජුගේ රටවල සිටි අනික් යුදෙව්වරුද රැස්ව, තමුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා විරුද්ධව සිට, තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වී, තමුන්ගේ වෛරකාරයන්ගෙන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට අත නොපෙවුවෝය.
17 අදාර් මස දහතුන්වෙනිදා ඔව්හු එසේ කර දහහතරවෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය.
18 ෂූෂන්හි සිටිය යුදෙව්වරු වනාහි ඒ මාසයේ දහතුන්වෙනිදාත් දහහතරවෙනිදාත් රැස්වී, පහළොස්වෙනිදා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය.
19 ඒ නිසා පවුරු නැති නුවරවල වාසයකරන පිටිසර යුදෙව්වරු අදාර් මාසයේ දහහතරවෙනි දවස ප්‍රීතිමත්වූ, සන්තෝෂ සහිතවූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ මංගල්‍ය දවසක් කරගනිති.
20 මොර්දෙකයිද මේ දේවල් ලියා අහෂ්වේරොෂ් රජුගේ සියලුම රටවල ළඟ හා දුර සිටි සියලු යුදෙව්වරුන්ට ලියුම් යවා,
21 අදාර් මාසයේ දහහතරවෙනිදාත් පහළොස්වෙනිදාත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වුණ දවස් කොටද ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත් ඔවුන්ගේ වැලපීම සන්තෝෂ දවසකටත් හැරුණු මාසය කොටද අවුරුදු පතා පවත්වමින්,
22 ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.
23 යුදෙව්වරු වනාහි තමුන් පටන්ගත් ලෙසත් මොර්දෙකයි තමුන්ට ලියා ඇරිය ලෙසත් කරන්ට එකඟවුණෝය;
24 මක්නිසාද යුදෙව්වරුන්ගේ එදිරිකාරයාවූ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් යුදෙව්වරුන් නැතිකිරීමට ඔවුන්ට විරුද්ධව යෝජනාකර ඔවුන් විනාශකරන්ට පූර් එනම් පසඇට දැමුවේය;
25 නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.
26 එබැවින් පූර් යන නාමයේ හැටියට ඒ දවස්වලට පූරීම් යන නම තැබුවෝය. එසේ යුදෙව්වරු ඒ පත්‍රයේ සියලු වචනද ඒ ගැන තමුන් දුටු දේද තමුන්ට සිද්ධවුණ දේද නිසා,
27 ඒ දවස් දෙක ගැන ලියූ ප්‍රකාරයටත් ඒවායේ නියම කාලයේ ප්‍රකාරයටත් ඒවා අවුරුද්දෙන් අවුරුද්ද නොවරදවා පවත්වන ලෙසද, පරම්පරාවෙන් පරම්පරාවට එක එක පවුල විසිනුත් එක එක රටෙත් එක එක නුවරත් ඒ දවස් සිහිකර පවත්වන ලෙසද,
28 පූරීම් දවස් යුදෙව්වරුන් අතරෙන් පහවෙන්ටවත් ඒවා සිහිකිරීම තමුන්ගේ වංශයෙන් අත්හිටින්ටවත් නොදෙන ලෙසද නියමකර, තමුන්ද තමුන්ගේ වංශයද තමුන්ට එකතුවෙන සියල්ලන්ද වෙනුවට පිළිගත්තෝය.
29 එවිට අබිහයිල්ගේ දුවවූ එස්තර් බිසවද යුදෙව්වාවූ මොර්දෙකයිද ඒ පූරීම් පත්‍රය ස්ථිරකරන්ට ඉතා බලවත් ලෙස මේ දෙවෙනි ලියුම ලියා ඇරියෝය.
30 එසේ අහෂ්වේරොෂ්ගේ රාජ්‍යයේ රටවල් එකසිය විසිහතේ සිටිය සියලු යුදෙව්වරුන්ට සමාදාන සහිතවූ සත්‍යවූ වචන ඇති ලියුම් ලියා ඇර,
31 නිරාහාරවීමෙත් ඔවුන්ගේ වැලපීමෙත් කාරණා ගැන යුදෙව්වාවූ මොර්දෙකයිද එස්තර් බිසවද ඔවුන්ට නියමකළ හැටියටත්, ඔවුන්ම තමුන්ටද තමුන්ගේ වංශයටද නියමකරගත් හැටියටත්, ඒ පූරීම් දවස් ඒවායේ නියම කාලයට ස්ථිරකළෝය.
32 එස්තර්ගේ ආඥාවෙන් ඒ පූරීම් සම්බන්ධ කාරණා ස්ථිරවිය; එය පොතෙහිද ලියා තබනලද්දේය.



පරිච්ඡේදය 10

1 අහෂ්වේරොෂ් රජ දේශයටත් මුහුදේ දිවයින්වලටත් කප්පන් නියමකෙළේය.
2 ඔහුගේ බලපරාක්‍රමයේ සියලු ක්‍රියාද රජු විසින් උසස්කළ මොර්දෙකයිගේ උසස්කමේ විස්තරද මේදියාවෙත් පාර්සියාවෙත් රජවරුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?
3 යුදෙව්වාවූ මොර්දෙකයි අහෂ්වේරොෂ් රජුට දෙවෙනියාව, යුදෙව්වරුන් අතරේ උත්තමයෙක්ව, තමාගේ සහෝදර සමූහයාට ප්‍රිය කෙනෙක්ව සිටියේය; ඔහු තමාගේ සෙනඟගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සමාදානය උදෙසා ක්‍රියාකෙළේය.