යෝබ්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42


පරිච්ඡේදය 1

1 යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.
2 ඔහුට පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද උපන්නෝය.
3 ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.
4 තවද ඔහුගේ පුත්‍රයෝ ගොස් එකිනෙකා තම තමාගේ දවසේ, තම තමාගේ ගෙදරදී, මංගල්‍යයක් පවත්වන්ටත් තමුන් සමඟ කෑම බීම පිණිස තමුන්ගේ සහෝදරියන් තුන්දෙනාට අඬගස්වා අරින්ටත් පුරුදුව සිටියෝය.
5 ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.
6 තවද එක් දවසක දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද1:6 එනම්, එදිරිකාරයා. ඔවුන් අතරෙහි ආයේය.
7 එවිට ස්වාමීන්වහන්සේ: ඔබ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආවෙමියි කීවේය.
8 එවිට ස්වාමීන්වහන්සේ: ඔබ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක.
9 සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: යෝබ් දෙවියන්වහන්සේ කෙරෙහි භයවන්නේ නිකමටද?
10 ඔබවහන්සේ ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාදකළසේක, ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ.
11 නුමුත් ඔබගේ අත දිගුකර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇතැයි කීවේය.
12 එවිට ස්වාමීන්වහන්සේ සාතන්ට කථාකොට: බලව, ඔහුට ඇති සියල්ල ඔබේ අත යටතේය; නුමුත් ඔහුට විරුද්ධව නම් ඔබේ අත දිගු නොකරන්නැයි කීසේක. සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගියේය.
13 තවද එක් දවසක් ඔහුගේ පුත්‍රයන් හා දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර ආහාර ගනිමින් මුද්‍රිකපානය බොමින් සිටියදී මෙසේ සිද්ධවිය.
14 පණිවිඩකාරයෙක් යෝබ් වෙතට ඇවිත්: ගවයන් සීසාමින්ද උන් ළඟ කොටළු දෙනුන් තණ කමින්ද සිටින අතර
15 ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
16 ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
17 ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
18 ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: ඔබගේ පුත්‍රයන් සහ දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙයි කමින්ද මුද්‍රිකපානය බොමින්ද සිටියදී,
19 තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.
20 එවිට යෝබ් නැඟිට, තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම වැටී වැඳ:
21 නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවේවයි කීවේය.
22 මේ සියල්ලේදී යෝබ් පව්කෙළේවත් අඥානකමින් දෙවියන්වහන්සේට දොස් තැබුවේවත් නැත.



පරිච්ඡේදය 2

1 නැවතත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිට පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඔවුන් අතරෙහි ආයේය.
2 එවිට ස්වාමීන්වහන්සේ: ඔබ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආයෙමියි කීවේය.
3 එවිට ස්වාමීන්වහන්සේ: ඔබ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනා කෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ කෙනෙක් පොළොවෙහි නැත. කරුණක් නැතුව ඔහු නාස්තිකරන්ට ඔබ ඔහුට විරුද්ධව මා පෙළඹෙවු නුමුත්, ඔහු තමාගේ අවංකකම තවම පවත්වාගන සිටීයයි සාතන්ට කීසේක.
4 සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.
5 නුමුත් ඔබගේ අත දිගුකර ඔහුගේ ඇටවලටත් ඔහුගේ මාංසයටත් තැබුවොත්, ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබට දොස් කියනවා ඇතැයි කීවේය.
6 එවිට ස්වාමීන්වහන්සේ: බලව, ඔහු ඔබ අතෙහිය; නුමුත් ඔහුගේ ජීවිතය ඉතුරුකරන්නැයි සාතන්ට කීසේක.
7 සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය.
8 ඔහු තමාගේ ඇඟ කසාගන්ට කැබිලිත්තක් ගත්තේය; තවද ඔහු අලුවල හිඳගත්තේය.
9 එවිට ඔහුගේ භාර්යාව: ඔබේ අවංකකම තවම පවත්වාගෙන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙවයි කීවාය.
10 එහෙත් ඔහු ඈට කථාකොට: ඔබ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත. මිත්‍රයන් තුන්දෙනාගේ පැමිණීම
11 යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.
12 ඔව්හු දුරදීම තමුන්ගේ ඇස් ඔසවා බලා, ඔහු නෑඳින, ශබ්ද නඟා අඬා, තම තමුන්ගේ සළු ඉරාගෙන, අහස දෙසට තමුන්ගේ හිස් පිට පස් ඉහගත්තෝය.
13 මෙසේ ඔව්හු රෑ සතකුත් දවල් සතකුත් ඔහු සමඟ බිම හිඳගන උන්නෝය, කිසිවෙක්ද ඔහුට වචනයක්වත් කීවේ නැත. මක්නිසාද ඔහුගේ ශෝකය ඉතා මහත් බව ඔව්හු දුටුවෝය.



පරිච්ඡේදය 3

1 ඉන්පසු යෝබ් තමාගේ මුඛය හැර තමාගේ දවසට ශාපකෙළේය.
2 යෝබ් කථාකොට මෙසේ කීවේය:
3 මා උපන් දවසත් පිරිමි ළමයෙක් පිළිසිඳුණේය කී රාත්‍රියත් නැති වේවා.
4 ඒ දවස අන්ධකාරය වේවා; දෙවියන්වහන්සේ ඉහළ සිට ඒක නොසලකා හරිනසේක්වා, ඒ කෙරෙහි ආලෝකය නොබැබළේවා.
5 අඳුරත් මරණ සෙවණත් ඒක හිමිකර ගනිත්වා; වලාපටලයක් ඒ පිට රැදී තිබේවා; දවාල කළුවරකරන සියල්ලට ඒක භයපත්වේවා.
6 ඒ රාත්‍රිය වනාහි ඝනාන්ධකාරයට අසුවේවා. ඒක අවුරුද්දේ දවස් අතරේ ප්‍රීති නොවේවා; ඒක මාසවල ගණනට නොපැමිණේවා.
7 ඒ රාත්‍රිය වඳ එකක් වේවා; ඒ තුළ කිසි ප්‍රීතිමත් හඬක් නොඇසේවා.
8 දවස්වලට ශාපකරන්නාවූ, ලෙවියාතන් පුබුදුවන්ට සමර්ථව සිටින්නාවූ අය ඊට ශාපකෙරෙත්වා.
9 ඒකේ සවස්කාලයේ තාරකාවෝ අඳුරුවෙත්වා. එළිය ගැන බලා සිටින නුමුත් එය ඊට නොලැබේවා; අලුයම නමැති ඇසිපිය දකින්ටත් නොලැබේවා.
10 මක්නිසාද ඒක මා බිහිකල කුසේ දොරවල් නොවැසුවේය, මාගේ ඇස්වලින් දුකද නොසැගෙවුවේය.
11 මා උපන් සැටියේම නොමැරුණේ මන්ද? කුසින් බිහිවෙද්දී මගේ පණ තුරන් නොවූයේ මක්නිසාද?
12 උකුළ මා පිළිගත්තේ මන්ද? මා කිරිබොන පිණිස තන සූදානම්ව තිබුණේ මක්නිසාද?
13 එසේ නොතිබුණා නම් මා දැන් සැතපී, පැමිණෙන්නේය, නිෂ්කලංකව නිදාගන්ට යෙදෙනවා ඇත.
14 එසේ, නටබුන් තැන් ගොඩනඟා ගත්තාවූ, පොළොවේ රජුන් හා මන්ත්‍රීන් සමඟ,
15 නොහොත් රන් ඇත්තාවූ, තමුන්ගේ ගෙවල් රිදීයෙන් පුරවා ගත්තාවූ අධිපතීන් සමඟ, මට නිශ්චලයෙන් ඉන්ට තිබුණේය.
16 නොහොත් සඟවනලද ගබ්සාවක් මෙන්ද එළිය නුදුටු ළදරුවන් මෙන්ද මට පැවැත්මක් නොවෙනවා ඇත.
17 එහි දුෂ්ටයෝ කරදර කිරීමෙන් නැවතී හිඳිති, වෙහෙසට පත්වූවෝ එහි විශ්‍රාමය ලබති.
18 හිරකාරයෝ එහි එක්ව පහසු විඳිති; විධාන දෙන්නාගේ හඬ ඔවුන්ට නොඇසෙයි.
19 කුඩා අයත් ලොකු අයත් එහි සිටිති; දාසයාද තම ස්වාමියාගෙන් නිදහස්ව සිටියි.
20 උන්වහන්සේ දුඃඛිත අයට එළියත් ශෝක සිත් ඇත්තන්ට ජීවිතයත් දෙන්නේ මන්ද?
21 ඔවුන් මරණය ගැන බලාපොරොත්තුවෙන නුමුත්, නිදන් වස්තුවලට වඩා එය සොයන නුමුත්, ඒක නොපැමිණෙන්නේය.
22 මිනීවළ සම්මුඛවෙන කල ඔව්හු සන්තෝෂව, අතිශයින් ප්‍රීති වන්නෝය.
23 දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු වටකොට වැටක් බැඳ, ඔහුගේ මාර්ගය නොපෙනී තිබියදී, ඔහුට එළිය දී තිබෙන්නේ මක්නිසාද?
24 එසේය, මාගේ කෑම මෙන් මාගේ සුසුම්ලෑම පැමිණෙන්නේය, මාගේ කෙඳිරිගෑමද වතුර මෙන් වැගිරෙන්නේය.
25 මක්නිසාද මා භයවන දේ මට මා භයපත්කරන දේ මට සිද්ධ වෙන්නේය.
26 මට පහසුවක් නැත, මට නිශ්චලතාවක් නැත, නිවාඩුවක් නැත; එහෙත් දුක පැමිණේයයි කීවේය.



පරිච්ඡේදය 4

1 එවිට තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:
2 යමෙක් ඔබ සමඟ කථාකරන්ට සිතට ගත්තොත් ඔබ අප්‍රසන්න වන්නෙහිද? නුමුත් කථාව නවතාගන්ට පුළුවන් කාටද?
3 බලව, ඔබ බොහෝදෙනෙකුට දැනමුතුකම් දී, හෙළා වැටුණු අත් බලවත්කෙළෙහිය.
4 සෙලවෙන තැනැත්තා ඔබේ වචන වලින් ඔබ ස්ථිරකෙළෙහිය, නැමෙන දණහිස් සවිකෙළෙහිය.
5 එහෙත් දැන් ඒක ඔබට පැමිණි බැවින් ඔබ ක්ලාන්තවන්නෙහිය; එය ඔබට වදින නිසා ඔබ කැලඹෙන්නෙහිය.
6 ඔබේ විශ්වාසය ඔබේ භක්තියත්, ඔබේ බලාපොරොත්තුව ඔබේ මාර්ගවල අවංකකමත් නොවේද?
7 නිදොස්ව සිට විනාශවුණේ කවුද කියාත් අවංක අය සිඳිනු ලැබුවේ කොතැනද කියාත් කල්පනාකරන්න.
8 මා දැක තිබෙන හැටියට අධර්මිෂ්ඨකම හාලා අයුක්තිය වපුරන්නෝ ඒවාම කපාගනිති.
9 දෙවියන්වහන්සේගේ හුස්මට ඔව්හු විනාශවන්නෝය, උන්වහන්සේගේ උදහස නමැති සුළං පහරින් ඔව්හු පහව යන්නෝය.
10 සිංහයාගේ ගර්ජනාවත් රෞද්‍ර සිංහයාගේ හඬත් නැතිවිය, තරුණ සිංහයන්ගේ දත්ද බිදී තිබේ.
11 මහලු සිංහයා ගොදුරු නැතුව විනාශ වන්නේය, සිංහධේනුවගේ පැටව්ද විසිරයන්නෝය.
12 කාරණාවක් රහසින් මට දන්වනලද්දේය, එහි ශබ්දය හෙමින් මාගේ කනේ වැටුණේය.
13 බරවූ නින්ද මනුෂ්‍යයන් පිට පැමිණෙන වේලාවට, රාත්‍රි දර්ශනවලින් හටගන්නා සිතිවිලි වලදී,
14 මාගේ සියලුම ඇට වෙවුලෙවුවාවූ භීතියක්ද චංචලයක්ද මට පැමුණුණේය.
15 එවිට ආත්මයක් මාගේ මුහුණ ඉදිරියෙන් ගියේය; මාගේ ඇඟේ මයිල්ද කෙලින් සිටියේය.
16 ආත්මය නැවතුණේය, නුමුත් ඒකේ ආකාරය දැනගන්ට මට නොහැකි විය; මාගේ ඇස් ඉදිරියෙහි ස්වරූපයක් තිබුණේය. නිශ්ශබ්දකමක්ද වූයේය, එවිට හඬක් මට ඇසුණේය; එනම්,
17 මනුෂ්‍යයා දෙවියන්වහන්සේට වඩා ධර්මිෂ්ඨද? මනුෂ්‍යයෙක් තමාගේ මැවුම් කාරයාණන්ට වඩා පිරිසිදුද?
18 බලව, උන්වහන්සේ තමන් මෙහෙකරුවන් කෙරෙහි විශ්වාසය නොතබනසේක; තමන්ගේ දූතයෝ අනුවණයෝයයි ඔවුන්ට දොස් තබනසේක.
19 ධූලියෙහි අත්තිවාරම ඇති, මැටි ගෙවල වාසයකරන්නන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද! කාවෙකු මෙන් ඔව්හු පොඩිකරනු ලබති.
20 උදය පටන් සවස දක්වා ඔව්හු පොඩිවී යති, ඔව්හු සදාකාලයටම නැතිවී යති, කිසිවෙක් එය නොසලකයි.
21 ඔවුන් තුළ තිබෙන උතුම්කම පහව නොයන්නේද? ඔව්හු ප්‍රඥාව නැතුවම මැරෙති.



පරිච්ඡේදය 5

1 ඉතින් අඬගසන්න; ඔබට උත්තරදෙන කෙනෙක් ඇද්ද? ඔබ ශුද්ධ තැනැත්තන්ගෙන් කවරෙකු දෙසට හැරෙන්නෙහිද?
2 මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.
3 අඥානයා මුල් අදිනවා මම දුටිමි; නුමුත් වහාම ඔහුගේ නිවසට ශාප කෙළෙමි.
4 ඔහුගේ දරුවෝ සුරක්ෂිතකමෙන් දුරුව සිටිති, ඔව්හු දොරටුවේදී පොඩිකරනු ලබති, ඔවුන් ගළවන්ට කිසිවෙක් නැත්තේය.
5 ඔවුන්ගේ අස්වැන්න බඩගිනි ඇත්තා කන්නේය, එය කටුගස් අතරෙන් පවා ගන්නේය, මලපත ඔවුන්ගේ වස්තුව ගිලගන්ට කට අයා සිටියි.
6 මක්නිසාද විපත්තිය ධූලියෙන් හට නොගනියි, දුක භූමියෙන් පැන නොනගියි
7 එසේය, ගිනි පුපුරු උඩට නගින්නාක්මෙන් මනුෂ්‍යයා දුක් විදීමට උපදින්නේය.
8 එහෙත් මම නම් දෙවියන්වහන්සේ දෙසට හැරී, මාගේ කාරණය දෙවියන්වහන්සේට භාරදෙන්නෙමි.
9 සොයා දැනගන්ට බැරි මහත් දේද ගණන් නැති පුදුම දේද උන්වහන්සේ කරනසේක.
10 පහත්ව ඉන්නන් උසස්කරන්ටත්, ශෝකයෙන් ඉන්නන් සුරක්ෂිත කරන්ටත්,
11 උන්වහන්සේ පොළොව පිටට වැසි වස්වනසේක, කෙත් පිටට වතුරත් එවනසේක.
12 ප්‍රයෝගකාරයන්ගේ අතින් කරන්ට ගත් දෙය ඉෂ්ටකරන්ට බැරිවන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ උපායන් නිෂ්ඵලකරනසේක.
13 උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම ප්‍රයෝගයෙන් අසුකරගන්නසේක. රැවටිලිකාරයන්ගේ මන්ත්‍රණයද පෙරළී යන්නේය.
14 ඔව්හු දවාලේදී අන්ධකාරයට අසුවී, රාත්‍රියෙහි මෙන් ඉරමුදුන් වේලේදී අතගගා යති.
15 එසේ උන්වහන්සේ ඔවුන්ගේ මුඛය නමැති කඩුවෙන්ද බලවන්තයාගේ අතින්ද දිළින්දා ගළවනසේක.
16 මෙසේ දුප්පතාට බලාපොරොත්තුව තිබේ, අධර්මිෂ්ඨකමද තමාගේ කට පියාගනියි.
17 බලව, දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. එබැවින් සර්වපරාක්‍රමයාණන්ගේ දඬුවම්කිරීම සුළු නොකරන්න.
18 මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක; උන්වහන්සේ පහරදෙනසේක, උන්වහන්සේගේම අත්වලින් සුවකරනසේක.
19 විපත්ති හයකින් උන්වහන්සේ ඔබ ගළවනසේක; එසේය, හතකිනුත් ඔබට අනතුරක් නොවන්නේය.
20 සාගතයේදී මරණයෙන්ද යුද්ධයේදී කඩුවේ බලයෙන්ද උන්වහන්සේ ඔබ මුදනසේක.
21 දිව නමැති කසයෙන් ඔබ සඟවනු ලබන්නෙහිය; විනාශය එන කල භයනොවී සිටින්නෙහිය.
22 විනාශයටත් කෑම හානියටත් ඔබ සිනාසෙන්නෙහිය; පොළොවේ මෘගයන්ටද භයනොවී සිටින්නෙහිය.
23 මක්නිසාද වනයේ ගල් සමඟ පවා ඔබේ ගිවිසුමක් වන්නේය; වනයේ මෘගයෝද ඔබ සමඟ සමාදානයෙන් ඉන්නෝය.
24 මෙසේ ඔබේ කූඩාරම සමාදානයෙන් තිබෙන බව ඔබ දැනගන්නෙහිය; ඔබේ ගාල බලන්ට ගිය කල කිසිවක් නැතිනුවූ බවද දකින්නෙහිය.
25 තවද ඔබේ වංශය බොහෝ බවද ඔබෙන් පැවත එන්නන් පොළොවේ තණකොළ මෙන් වන බවද ඔබ දැනගන්නෙහිය.
26 ගොයම් මිටියක් නියම කාලයේදී ගෙනයනු ලබන්නාක්මෙන් ඔබ වයසින් පූර්ණව සොහොනට පැමිණෙන්නෙහිය.
27 මෙන්න මේක අපි සෝදිසිකර, එසේම බව දැනගතිමුව; ඔබ මේක අසා, ඔබ උදෙසාම දැනගන්නැයි කීවේය.



පරිච්ඡේදය 6

1 එවිට යෝබ් උත්තරදෙමින් මෙසේ කීවේය:
2 අනේ මාගේ ශෝකය කිරා බලන්ටත් මාගේ මුළු විපත්තිය තරාදිවල දමන්ටත් යෙදුණොත් යහපත!
3 එවිට ඒක මුහුදේ වැලිවලට වඩා බරවන්නේය. එබැවින් මාගේ වචන අනුවණව තිබුණේය.
4 මක්නිසාද සර්වපරාක්‍රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය. දෙවියන්වහන්සේගේ භයානකකම් මට විරුද්ධව සැරසී තිබේ.
5 තණකොළ තිබෙන විට වල් කොටළුවා රාවය දෙයිද? පිදුරු ළඟ තිබෙද්දී ගොනා තප්පුලයිද?
6 රස නැති දේ ලුණු නැතුව කනවාද? නොහොත් බිත්තර සුදු මදයේ රසක් ඇද්ද?
7 මාගේ ආත්මය ඒවාට අතගසන්ට අකැමැතිය; ඒවා මට පිළිකුල් ආහාර මෙන්ය.
8 අහෝ මාගේ ඉල්ලීම මට ලැබුණොත්, මා ආශාවන දෙය දෙවියන්වහන්සේ මට දුන්නොත් යහපත!
9 එනම් දෙවියන්වහන්සේ මා පොඩිකරදමන්ට සතුටුවී, ස්වකීය හස්තිය දිඟුකොට මා සිඳ දමනසේක්වා!
10 එසේ මට නැවත සැනසීම වන්නේය; මමද මා ඉතුරු නොකරන වේදනාවට ප්‍රීතිමත් වන්නෙමි. මක්නිසාද මම ශුද්ධ තැනැන්වහන්සේගේ වචන එපා නොකෙළෙමි.
11 මා බලාපොරොත්තුව සිටින පිණිස මාගේ ශක්තිය මොකක්ද? මා ඉවසිල්ලෙන් පසුවෙන පිණිස මාගේ අන්තිමය මොකක්ද?
12 මාගේ ශක්තිය ගල්වල ශක්තියද? නොහොත් මාගේ මාංසය පිත්තලද?
13 මාගේ උපකාරය මා තුළෙහි නැතිවී, පිහිට මාගෙන් සහමුලින් පහව ගියා නොවේද?
14 ක්ලාන්තවෙන්ට ළංව සිටින අයට තම මිත්‍රයාගෙන් කරුණාව ලැබිය යුතුය; නොලැබුණොත්, ඔහු සර්වපරාක්‍රමයාණන් කෙරෙහි භයවීම අත්හරින්නේය,
15 මාගේ සහෝදරයෝ ඔයක් මෙන්ද පහවී යන ඔයවල දිය පාරවල් මෙන්ද රැවටිලි ලෙස ක්‍රියාකළෝය.
16 ඒවා හිම කැටිවලින් කළුපාට වන්නේය, හිම ඒවායෙහි නොපෙනී යන්නේය.
17 ඒවා උණුවූ කල නොපෙනී යන්නේය. ග්‍රීෂ්මවෙනවිට ඒවායේ ස්ථානයෙන් හිදී යන්නේය.
18 ඒවායේ මාර්ගවල යන ගමන්කාර හමුදාවෝ අහකට හැරී, කාන්තාරයට ගොස් විනාශ වන්නෝය.
19 තේමාහි ගමන්කාර හමුදාවෝ ඒවා ගැන බලා සිටියෝය, ෂෙබාහි සමූහයෝ ඒවා බලාපොරොත්තුවුණෝය.
20 ඔව්හු බලාපොරොත්තුව සිට ලජ්ජාවට පත්වුණෝය; ඔව්හු එතැනට පැමිණ වියවුල්වූවෝය.
21 එලෙසම දැන් ඔබ සැම හිස්කම වුණාහුය; ඔබ සැම භයංකරකමක් දැක භයවී ඉන්නහුය.
22 මට යමක් දෙන්න කියාවත්, ඔබ සැමගේ දෙයින් මා උදෙසා තෑග්ගක් දෙන්නය කියාවත්,
23 එදිරිකාරයාගේ අතින් මා ගළවා ගන්නය කියාවත්, පීඩාකරන්නන්ගේ අතින් මා මුදන්නය කියාවත් මම කීයෙම්ද?
24 මට උගන්වන්න, එවිට මම නිශ්ශබ්දව සිටින්නෙමි. මට වැරදුණේ කුමක් ගැනද කියාත් මට තේරුම්කර දෙන්න.
25 අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් ඔබ සැමගේ අවවාදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?
26 බලාපොරොත්තුවක් නැත්තාගේ කීම සුළඟට යද්දී ඔබ සැම වචනවලට තරවටුකරන්ට සිතන්නහුද?
27 එසේය, ඔබ සැම පියා නැත්තා ගැන පවා පසඇට දමා, ඔබ සැමගේ මිත්‍රයා වෙළඳාම් බඩුවක් කරගන්නහුය.
28 ඉතින් කරුණාකර මා දෙස බලන්න; ඔබ සැමගේ මුහුණ ඉදිරියෙහිම මම බොරුකියම්ද?
29 ඉතින් හැරෙන්න, කිසි අයුත්තක් සිද්ධ නොවේවා; එසේය, හැරෙන්න, මාගේ කාරණය සාධාරණය.
30 මාගේ දිවෙහි අයුක්තියක් තිබේද? මාගේ රසේන්ද්‍රියයට නපුරු දේ දැනගන්ට බැරිද?



පරිච්ඡේදය 7

1 පොළොවේදී යුද්ධ සේවයක් මනුෂ්‍යයාට තිබෙනවා නොවේද? ඔහුගේ දවස් කුලීකාරයෙකුගේ දවස් මෙන් නොවේද?
2 සෙවණැල්ලට ඉතා ආශාවන්නාවූ මෙහෙකරුවෙකු මෙන්ද, කුලී ලබන්ට බලා ඉන්නාවූ කුලීකාරයෙකු මෙන්ද,
3 නිෂ්ඵලකමේ මාස මට උරුමව තිබේ, වෙහෙස ගෙනදෙන රැයවල්ද මට නියමවී තිබේ.
4 මා නින්දට යන කල: රාත්‍රිය පසුවී කොයි වේලේ නැගිටින්නෙම්දැ යි කියමි; පහන්වෙන තුරු මම පෙරළි පෙරළී ඉඳිමි.
5 පණුවන්ගෙන්ද පස්කැටිවලින්ද මාගේ මාංසය වැසී තිබේ; මාගේ හම ඇකිළී වණවී තිබේ.
6 මාගේ දවස් වියන්නාගේ නඩාවට වඩා ඉක්මන්ව, බලාපොරොත්තුවක් නැතුව ගෙවී යන්නේය.
7 අනේ මාගේ ජීවිතය සුළඟක් බව සිහිකළ මැනව. මාගේ ඇස තවත් ශුභය නොදක්නේය.
8 මා දකින අයගේ ඇස තවත් මා නොදක්නේය. ඔබගේ ඇස් මා දෙස තිබේ, නුමුත් මා නැත්තේය.
9 වලාකුළ නැතිවී නොපෙනී යන්නාසේම ෂෙයෝලට7:9 එනම්, මිනීවළට. බසින අය තවත් නැගීනොඑන්නේය.
10 ඔහු නැවත තමාගේ ගෙදරට හැරී නොඑන්නේය, ඔහුගේ ස්ථානයද නැවත ඔහුව දැන නොගන්නේය.
11 ඒ නිසා මම මාගේ මුඛය නවත්වා නොගෙන, මාගේ ආත්මයේ තද වේදනාවෙන් කථාකර, මාගේ ප්‍රාණයේ ශෝකයෙන් විලාප කියන්නෙමි.
12 ඔබ මට විරුද්ධව මුර තබන්නේ මම මුහුදක්ද? නොහොත් තල්මසෙක්ද?
13 මාගේ ඇඳ මා සනසන්නේය කියාත් මාගේ යහන මාගේ ශෝකය සහනය කරන්නේය කියාත් මා කියන කල,
14 ඔබ ස්වප්නවලින් මා භය ගන්වනසේක, දර්ශනවලින්ද මා ත්‍රස්තකරනසේක.
15 ඒ නිසා බෙල්ල මිරිකා නසනු ලැබීමටත්, මාගේ මේ ඇටවලට වඩා මරණයටත් මාගේ ආත්මය කැමතිවන්නේය.
16 මම ක්ෂයවී ඉඳිමි; මම සෑමකල්ම ජීවත් නොවන්නෙමි. මාගේ දවස් හුස්මක්ව තිබෙන නිසා මාගෙන් ඔබගේ අත අහකට ගත මැනව.
17 ඔබ විසින් මනුෂ්‍යයා උසස්කරන්ටත්, ඔහු කෙරෙහි ඔබගේ සිත තබන්ටත්,
18 උදයෙන් උදය ඔහු සලකන්ටත්, මොහොතෙන් මොහොත ඔහු සෝදිසිකරන්ටත් ඔහු මොකක්ද?
19 කෙල ගිලිනතුරුවත් ඔබ මා කෙරෙන් ඉවත නොබලා සිටින්නෙක්, මට නිකම් ඉන්ට නෑර සිටින්නත් කොපමණ කල්ද?
20 මනුෂ්‍යයන්ගේ ආරක්ෂාකාර තැනැන්වහන්ස, මා පව්කර තිබෙන නුමුත් ඔබට කුමක් කරම්ද? මා මටම බරක් වන ලෙස, ඔබ විසින් පහරදීමට ඉලක්කයක් කොට මා තබාගත්තේ මක්නිසාද?
21 ඔබ මාගේ වරදට කමාවී, මාගේ අපරාධය පහ නොකරන්නේ මක්නිසාද? මම ඉක්මනින් ධූලියෙහි නිදන්නෙමි, ඔබ මා බොහෝසේ සොයන නුමුත් මම නොසිටින්නෙමියි කීවේය.



පරිච්ඡේදය 8

1 එකල ෂූහිය බිල්දද් උත්තර දෙමින් කියනුයේ:
2 ඔබ මේවා පවසන්නෙත් ඔබේ මුඛයේ වචන බලවත් හුළඟක්ව තිබෙන්නෙත් කොපමණ කල්ද?
3 දෙවියන්වහන්සේ විනිශ්චය පෙරළනසේක්ද? නොහොත් සර්වපරාක්‍රමයාණෝ යුක්තිය පෙරළනසේක්ද?
4 ඔබේ දරුවන් උන්වහන්සේට විරුද්ධව පව්කරන්ටත්, උන්වහන්සේ ඔවුන්ගේ අපරාධයේ බලයට ඔවුන් පාවාදෙන්ටත් යෙදුණේ නම්,
5 ඔබ දෙවියන්වහන්සේ ඕනෑකමින් සොයා, සර්වපරාක්‍රමයාණන්ට කන්නලව් කරන්නෙහි නම්,
6 ඔබ පිරිසිදුව අවංකව සිටින්නෙහි නම්, සැබෑවටම දැන් ඔබ උදෙසා උන්වහන්සේ පිබිද, ඔබේ ධර්මිෂ්ඨකමේ නිවාසය සමාදානයෙන් වර්ධනයකරනසේක.
7 ඔබේ පටන්ගැන්ම කුඩා නුමුත් ඔබේ අන්තිමය බොහෝසෙයින් වැඩිවන්නේය.
8 එසේය, ප්‍රථම පරම්පරාවෙන් අසන්න, ඔවුන්ගේ පියවරුන් විභාගකළ දේට සිත යොමුකරන්න.
9 (මක්නිසාද අපි නම් ඊයේ දවසේ අයවල්ය, කිසිවක් නොදනිමුව, මක්නිසාද පොළොවෙහි අපේ දවස් සෙවණැල්ලක්ය.)
10 ඔව්හු ඔබට උගන්වා ඔබට කියාදී, තමුන්ගේ සිතින් නික්මෙන වචන නොකියන්නෝද?
11 මඩ නැති තැන පන් වැවේද? වතුර නැතුව මහ පන් වැඩේද?
12 ඒවා කපා නොදමා අමුව තිබෙද්දීම සියලු පලා ජාතිවලට පළමුවෙන් මැලවෙන්නේය.
13 දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියල්ලන්ගේ මාවත් එසේමය; අභක්තිකයාගේ බලාපොරොත්තුවද නැතිවන්නේය.
14 ඔහුගේ විශ්වාසය සිදී යන්නේය, ඔහුගේ රක්ෂාස්ථානයද මකුළු දැලක්ය.
15 ඔහු තමාගේ ගෙට හේත්තුවුණාම ඒක නොතිබී යයි; ඔහු එය තදින් ඇල්ලුවාම ඒක නොපවතියි.
16 ඔහු සූර්යයා ඉදිරියෙහි සශ්‍රීකවී, ඔහුගේ රිකිළි ඔහුගේ වත්තේ සෑම තැනම විහිදී යන්නේය.
17 ඔහුගේ මුල් ගල් ගොඩ උඩ එතෙන්නේය. ඔහු ගල් ඉඩමට පැමිණෙන්නේය.
18 ඔහු තමාගේ ස්ථානයෙන් නාස්තිවී ගියාම: මම ඔබ නුදුටිමියි කියා, ඒක ඔහු එපාකරන්නේය.
19 ඔහුගේ මාර්ගයේ ප්‍රීතිය නම් මේය, ඒ බිමෙන් වෙන අය නැගී එන්නෝය.
20 දෙවියන්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් පහකර දමන්නේවත් නපුර කරන්නන්ට ආධාර වෙන්නේවත් නැත.
21 උන්වහන්සේ ඔබේ මුඛය සිනාවෙනුත් ඔබේ තොල් ප්‍රීති ඝෝෂාවෙනුත් පුරවනසේක.
22 ඔබට වෛරවෙන්නෝ ලජ්ජාවෙන් අඳවනු ලබන්නෝය; දුෂ්ටයන්ගේ කූඩාරම නැතිවන්නේයයි කීවේය.



පරිච්ඡේදය 9

1 එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 ඒ එසේමයයි මම සැබවින් දනිමි. නුමුත් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කෙසේද?
3 උන්වහන්සේ ඔහු සමඟ විවාද කරන්ට කැමතිවුණොත්, උන්වහන්සේට දහසකින් එකකටවත් උත්තරදෙන්ට ඔහුට බැරිය.
4 උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද?
5 උන්වහන්සේ හදිසියෙන්ම කඳු පහකර, තමන්ගේ උදහසින් ඒවා පෙරළා දමනසේක.
6 උන්වහන්සේ පොළොව ඒකේ ස්ථානයෙන් සොලවා හරිනසේක, ඒකේ කණුද වෙවුලන්නේය.
7 ඉර නොපායන හැටියට උන්වහන්සේ අණකරනසේක; තාරකා මුද්‍රකර තබනසේක.
8 උන්වහන්සේ පමණක්ම අහස දිගහරිනසේක, මුහුදු රැළ පිටද ඇවිදිනසේක.
9 උන්වහන්සේ මහවලසාද මුවසිරසද හත්දින්නද දක්ෂිණ නිවාසද සාදනසේක.
10 උන්වහන්සේ සොයා දැනගන්ට බැරිවූ මහත් දේද ගණන් නැති පුදුමවල්ද කරනසේක.
11 බලව, උන්වහන්සේ මා ළඟින් යන නුමුත් මට පෙනෙන්නේ නැත; මා පසුකර යන නුමුත් මට දැනෙන්නේ නැත.
12 උන්වහන්සේ අල්ලාගන්න කල උන්වහන්සේ වලක්වන්නේ කවුද? ඔබ මක්කරනවාදැයි උන්වහන්සේට කියන්ට පුළුවන් කාටද?
13 දෙවියන්වහන්සේ තමන් උදහස පහකර නොගන්නාසේක; උඩඟු උපකාරකාරයෝ උන්වහන්සේට යටත්වෙති.
14 එසේවී නම් මම උන්වහන්සේට උත්තර දෙමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට මාගේ වචන තෝරාගන්නේ කොහොමද?
15 මම ධර්මිෂ්ඨවුවත්, උන්වහන්සේට උත්තර නොදී, මාගේ විරුද්ධකාරයාට කන්නලව් කරන්නෙමි.
16 මා යාච්ඤාකළ විට උන්වහන්සේ මට උත්තරදුන්නත්, උන්වහන්සේ මාගේ හඬට කන්දුන් බව විශ්වාස නොකරන්නෙමි.
17 මක්නිසාද උන්වහන්සේ කුණාටුවකින් මා පොඩිකර, නිකරුණේ මාගේ තුවාල වැඩිකරනසේක.
18 උන්වහන්සේ මට හුස්ම ගන්ටනොදී, තික්තකම්වලින් මා පුරවනසේක.
19 ශක්තිය ගැන කථාකරමු නම් එය ඇත්තේ උන්වහන්සේටය; විනිශ්චය ගැන නම් මට කාලයක් නියමකරන්නේ කවරෙක්ද?
20 මම ධර්මිෂ්ඨයයි කීවත් මාගේ මුඛය මා වරදට පත්කරන්නේය, මම නිදොස්යයි කීවත් එය මා වරදකාරයෙක් බව ඔප්පුකරන්නේය.
21 මා නිදොස් වුවත් මාගේ ප්‍රාණය ගැන නොසලකමි; මාගේ ජීවිතය සුළුකොට සිතමි.
22 කොයි එකත් එකය; එහෙයින්: උන්වහන්සේ සම්පූර්ණ අය සහ දුෂ්ටයාද විනාශකරනසේකැයි කියමි.
23 විපත නමැති කස පහරින් හදිසියෙන් මරණය වුවත්, නිදොස් අයගේ විපත්තියට උන්වහන්සේ සිනාසෙනසේක.
24 පොළොව දුෂ්ටයාගේ අතට භාරදී තිබේ. එහි විනිශ්චයකාරයන්ගේ මුහුණු උන්වහන්සේ වසනසේක; ඒ උන්වහන්සේ නොවේනම් වෙන කවුද?
25 මාගේ දවස් දුවන පණිවිඩකාරයෙකුට වඩා වේගවත්ය. ඒවා හොඳක් නොදැක පලායයි.
26 ඒවා ඉක්මනින් දුවන නැව් මෙන්ද ගොදුර පිටට වේගයෙන් බැස යන රාජාලියෙකු මෙන්ද පහව ගියේය.
27 මාගේ විලාපය මතකනැතිකර, මාගේ දුක්මුසු පෙනීම වෙනස් කරගෙන, සොම්නස්වන්නෙමියි කීවත්,
28 මාගේ සියලු දුක්වලට භයෙන් සිටිමි, ඔබ මා නිර්දෝෂ කොට ගණන් නොගන්න බව දනිමි.
29 මම වරදකාරයෙක් වන්නෙමි; එබැවින් නිෂ්ඵලයේ කුමට වෙහෙසෙම්ද?
30 මා හිම දියෙන් නාගන, මාගේ අත් කොපමණ පවිත්‍රකර ගත්තත්,
31 ඔබ මා මඩ වළේ හෙළනසේක, මාගේම ඇඳුම් මට පිළිකුල්ය.
32 මක්නිසාද මා විසින් උන්වහන්සේට උත්තරදෙන්ටත්, මා උන්වහන්සේ සමඟ විනිශ්චයට පැමිණෙන්ටත් පුළුවන්වන ලෙස, උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයෙක් නොවේය,
33 අප දෙගොල්ල කෙරෙහි තමාගේ අත තබන්ට අප අතරේ බේරුම්කාරයෙක් නැත.
34 උන්වහන්සේ තමන් ඉපල මා කෙරෙන් පහකරගන්නසේක්වා, උන්වහන්සේගේ භීතිය මා ත්‍රස්ත නොකෙරේවා.
35 එවිට මම උන්වහන්සේට භය නැතුව කථාකරන්නෙමි; මක්නිසාද එසේ වීමට මා තුළ කාරණයක් නැත.



පරිච්ඡේදය 10

1 මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය; මාගේ විලාපය වලක්වා නොගෙන, මාගේ ආත්මයේ ශෝකයෙන් කථා කරන්නෙමි.
2 දෙවියන්වහන්සේට මම මෙසේ කියන්නෙමි: මා වරදට පත් නොකළ මැනව; කුමක් නිසා මා සමඟ විවාදකරනසේක්දැයි මට දැන්නුව මැනව.
3 ඔබ විසින් පීඩාකිරීමත්, ඔබගේ අත්වැඩය හෙළාදැකීමත්, දුෂ්ටයන්ගේ මන්ත්‍රණය කෙරෙහි බැබළීමත් ඔබට සුදුසුද?
4 ඔබට මාංසමය ඇස් තිබේද? නොහොත් මනුෂ්‍යයාට පෙනෙන්නාක්මෙන් ඔබට පෙනෙන්නේද?
5 ඔබගේ දවස් මනුෂ්‍යයාගේ දවස් වාගේද? නොහොත් ඔබගේ අවුරුදු මනුෂ්‍යයාගේ අවුරුදු වාගේද?
6 මක්නිසාද මා දුෂ්ටයෙක් නොවන බවද ඔබගේ අතින් මුදන්ට පුළුවන් කිසිකෙනෙක් නැති බවද ඔබ දන්න නුමුත්,
7 ඔබ මාගේ අපරාධය විමසනසේක, මාගේ පාපයක් සොයා බලනසේක.
8 ඔබගේ අත්වලින් මා හැඩහුරුකොට සහමුලින්ම මා සෑදූ නුමුත්, ඔබ මා නාස්තිකරනසේක.
9 ඔබ මා මැටිවලින් මෙන් සෑදූ බව සිහිකරන ලෙස අයදිමි: ඔබ මා නැවත පස්වලට හරවනසේක්ද?
10 ඔබ මා කිරි මෙන් වත්කර, මිදුණු කිරි මෙන් මිදෙන්ට සලස්වා,
11 හමෙන්ද මාංසයෙන්ද මා පළඳවා, ඇටවලින්ද නහරවලින්ද මා වියන්ට නොයෙදුණේද?
12 ඔබ මට ජීවිතයත් කරුණාවත් දී, ඔබගේ දයා බැල්මෙන් මාගේ ආත්මය ආරක්ෂාකළසේක.
13 එහෙත් මේ දේවල් ඔබගේ සිතෙහි සඟවා තබාගත්සේක; මේ කාරණය ඔබගේ කල්පනාවෙහි තිබුණු බව දනිමි.
14 මම පව්කෙරෙම්නම් ඔබ එය බලා ගන්නසේක, මාගේ අපරාධයෙන් ඔබ මා නිදොස් නොකරනසේක.
15 මා දුෂ්ටයෙක්නම් මට දුක්වේ; මා ධර්මිෂ්ඨවුවත්. ලජ්ජාවෙන් පිරී, මාගේ පීඩාව දෙස බලමින්, මාගේ හිස නොඔසවා ඉන්නෙමි.
16 මාගේ හිස එසෙවුවොත් ඔබ සිංහයෙකු මෙන් මා පස්සේ එළවා, නැවත පුදුම ලෙස මා කෙරෙහි බලය පානසේක.
17 අමුතු සාක්ෂි මට විරුද්ධව පමුණුවා, මා කෙරෙහි ඔබගේ උදහස වැඩි කරනසේක; සේනාව පිට සේනාව මා කරා එන්නාහ.
18 එබැවින් ඔබ මා කුසෙන් බිහිකළේ මන්ද? එසේ නොකළානම් මා නැසී කිසි ඇසකට නොපෙනී යනවා ඇත.
19 එකල මා නුවූවාක්මෙන් වෙනවා ඇත; කුසෙන් මිනිවළට ගෙනයනු ලබනවා ඇත.
20 මාගේ දවස් ස්වල්ප නොවේද? එබැවින් නැවතුණ මැනව; හැරී නේන ස්ථානයට,
21 එනම් අන්ධකාරයේද මරණ සෙවණේද දේශයවූ, අන්ධකාරය වැනි තද කළුවරද
22 පිළිවෙළක් නැතුව මරණ සෙවණද ඇත්තාවූ, එළියත් අන්ධකාරයව පවත්නාවූ දේශයට මා යන්ට පළමුවෙන්, මට ස්වල්පයක් සැනසිල්ල ලැබෙන පිණිස, මාගෙන් අහක්වුව මැනවයි කීවේය.



පරිච්ඡේදය 11

1 එවිට නයමාතිය ශෝපර් උත්තර දෙමින් කියනුයේ:
2 වචන රාශියට උත්තරදිය යුතු නොවේද? නොහොත් අධික කථාකාරයාම නිර්දෝෂ වේද?
3 මනුෂ්‍යයන් ඔබේ ප්‍රලාපවලට නිශ්ශබ්දව සිටින්ටද? ඔබ කවටකම්කරන කල කිසිවෙක් ඔබ ලජ්ජාවට නොපමුණුවන්නේද?
4 මක්නිසාද: මාගේ හැසිරීම නිදොස්ය, මම ඔබගේ ඇස් හමුයෙහි පවිත්‍රව සිටිමියි ඔබ කියන්නෙහිය.
5 අහෝ, දෙවියන්වහන්සේ කථාකොට, ඔබට විරුද්ධව උන්වහන්සේගේ තොල් විවරකරනසේක්වා!
6 ප්‍රඥාවේ රහස්ද උන්වහන්සේගේ ඥානය නානාප්‍රකාර බවද ඔබට පෙන්වනසේක්වා! එබැවින් දෙවියන්වහන්සේ ඔබේ සියලු අයුතුකම්වල ප්‍රමාණයට වඩා අඩුවෙන් ඔබට දඬුවම්කරන බව දැනගන්න.
7 දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට ඔබට පුළුවන්ද? සර්වපරාක්‍රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට ඔබට පුළුවන්ද?
8 ඒක ස්වර්ගය මෙන් උසය; ඔබට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට 11:8 හෙවත්, මිනීවළට. වඩා ගැඹුරුය; ඔබට දැනගන්ට පුළුවන් කුමක්ද?
9 ඒකේ මිම්ම පොළොවට වඩා දිගය, මුහුදට වඩා පළලය.
10 උන්වහන්සේ අවුත් හිරකොට විනිශ්චයට අඬගැසුවොත්, උන්වහන්සේ වලක්වන්නේ කවුද?
11 මක්නිසාද උන්වහන්සේ බොරුකාරයන් දන්නාසේක; කල්පනා නොකරන්නාක්මෙන් සිටින නුමුත් උන්වහන්සේ අධර්මිෂ්ඨකම දක්නාසේක.
12 නුමුත් නිරර්ථක මනුෂ්‍යයා අනුවණව සිටින්නේය, එසේය, මනුෂ්‍යයා වල් කොටළුවෙක්ව උපදින්නේය.
13 ඔබේ අතේ අයුක්තිය තිබේ නම් ඒක පහකරන්න, අධර්මිෂ්ඨකමද ඔබේ කූඩාරම්වල වාසය නොකෙරේවා.
14 එවිට ඔබ ඔබේ සිත හරි ආකාර යොමුකොට උන්වහන්සේ දෙසට ඔබේ අත් දිගු කළොත්,
15 ඔබ කැලලක් නැතුව ඔබේ මුහුණ ඔසවාගන, ස්ථිරව භය නැතුව සිටිනවා ඇත.
16 එසේය, ඔබ ඔබේ දුක මතකනැති කර, බැසගිය ජලය මෙන් ඒ ගැන සිතනවා ඇත.
17 ඔබේ ජීවිතය ඉරමුදුන් වේලාවටත් වඩා දීප්තිමත් වන්නේය; අන්ධකාරය තිබෙන නුමුත් එය පහන් වේලාව මෙන් වන්නේය.
18 බලාපොරොත්තුව තිබෙන බැවින් ඔබ විශ්වාසයෙන් සිටින්නෙහිය; එසේය, ඔබ වටකර සෝදිසිකර බලා, සුරක්ෂිතව සැතපෙන්නෙහිය.
19 ඔබ කිසිවෙකුගෙන් භයක් නොලැබ නිදාගන්නෙහිය; එසේය, බොහෝ දෙනෙක් ඔබෙන් කරුණාව සොයන්නෝය.
20 නුමුත් දුෂ්ටයන්ගේ ඇස් ක්ෂයවන්නේය, ඔවුන්ට ගැළවීමක් නොලැබෙන්නේය, ඔවුන්ගේ බලාපොරොත්තුවද ප්‍රාණය ඉකුත්වීමයයි කීවේය.



පරිච්ඡේදය 12

1 එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 නොඅනුමානවම මිනිස්සු නම් ඔබ සැමය, ඔබ සැම නසින විට ප්‍රඥාවත් නසිනවා ඇත.
3 මටත් ඔබ සැමට වාගේම බුද්ධිය තිබේ; මම ඔබ සැමට අඩු නැත. එසේය, මෙබඳු දේ නොදන්නේ කවුද?
4 මම දෙවියන්වහන්සේට යාච්ඤා කොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක්වූ කෙනෙක් මෙනි. ධර්මිෂ්ඨවූ අවංක මනුෂ්‍යයා විහිලුවක්ය.
5 සැපෙන් සිටින අය තමාගේ සිතින් විපත්තිය ඇත්තා සුළුකරන්නේය; පාද ලිස්සන්නාවූ අයට ඒ සුළුකිරීම සූදානම්ව තිබේ.
6 කොල්ලකාරයන්ගේ කුඩාරම් සඵල වෙති, දෙවියන්වහන්සේ උදහස්කරවන්නෝද සුරක්ෂිතව සිටිති; දෙවියන්වහන්සේ ඔවුන් අතට බොහෝසෙයින් දෙනසේක.
7 එහෙත් මෘගයන්ගෙන් අසන්න, උන් ඔබට උගන්වනවා ඇත; අහසේ පක්ෂීන්ගෙන් අසන්න, උන්ද ඔබට දන්වනවා ඇත.
8 නොහොත් පොළොවට කථාකරන්න, එවිට ඒක ඔබට උගන්වනවා ඇත; මුහුදේ මත්ස්‍යයන් ඔබට කියාදෙනවා ඇත;
9 ස්වාමීන්වහන්සේගේ අත මෙය කළ බව මේ සියල්ලෙන් දැන නොගන්නේ කවුද?
10 ජීවත්වෙන සියලු සත්වයන්ගේ පණද මුළු මනුෂ්‍ය වර්ගයාගේ ආත්මද උන්වහන්සේගේ අතෙහිය.
11 උඩුතල්ල කෑම රසබලන්නාක්මෙන්, කන වනාහි වචන විමසනවා නොවේද?
12 ප්‍රඥාව මහල්ලන් අතරෙහිය, වයස් වැඩිවීම ඥානයය.
13 ප්‍රඥාවත් බලයත් ඇත්තේ උන්වහන්සේ වෙතය; මන්ත්‍රණය හා නුවණ ඇත්තේ උන්වහන්සේටය.
14 බලව, උන්වහන්සේ කඩාදැමුවාම ගොඩනඟනු නොලබන්නේය; උන්වහන්සේ මනුෂ්‍යයෙකු වසාතැබුවාම නිදහසක් නොවන්නේය.
15 උන්වහන්සේ වතුර නැවැත්තුවාම ඒවා හිදී යන්නේය; නැවත උන්වහන්සේ ඒවා යැවුවාම ඒවාට පොළොව පෙරළෙන්නේය.
16 බලයත් සමර්ථකමත් තිබෙන්නේ උන්වහන්සේ වෙතය; මුළාවෙන්නාත් මුළාකරන්නාත් උන්වහන්සේට අයිතිය.
17 උන්වහන්සේ මන්ත්‍රීන් වහල්කමට පමුණුවනසේක, විනිශ්චයකාරයන්ද මෝඩයන් කරනසේක.
18 උන්වහන්සේ රජුන්ගේ බැම්ම ලිහාදමා, ඔවුන්ගේ කටියෙහි පටියක් බඳිනසේක.
19 උන්වහන්සේ පූජකයන් වහල්කමට පමුණුවනසේක, බලවතුන් හෙළාදමනසේක.
20 උන්වහන්සේ විශ්වාස අයගෙන් කථාව පහකරනසේක; වැඩිමහල්ලන්ගේ දැනගැන්මද ඉවත් කරනසේක.
21 උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, සවි ඇත්තන්ගේ ඉඟපටිය මුදනසේක.
22 උන්වහන්සේ අන්ධකාරයෙන් ගැඹුරු දේ එළිදරව්කර, මරණ සෙවණ ආලෝකයට පමුණුවනසේක.
23 උන්වහන්සේ ජාතීන් වර්ධනය කරනසේක, ඔවුන් නැතිකරනසේක. උන්වහන්සේ ජාතීන් පැතිරයන්ට සලස්වනසේක, ඔවුන් වහල්කමටත් ගෙනයනසේක.
24 උන්වහන්සේ පොළොවේ ජන ප්‍රධානීන්ගේ බුද්ධිය පහකොට, ඔවුන් පාරක් නැති කාන්තාරයක මුළාවයන්ට සලස්වනසේක.
25 ඔව්හු එළිය නැතුව අඳුරේ අතගා යන්නෝය, උන්වහන්සේ ඔවුන් බේබද්දෙකු මෙන් ඔබ මොබ යන්ට සලස්වනසේක.



පරිච්ඡේදය 13

1 බලව, මේ සියල්ල මාගේ ඇසින් දැක, මාගේ කනින් අසා තේරුම්ගතිමි.
2 ඔබ සැම දන්නා දේ මමත් දනිමි. මම ඔබ සැමට අඩු නැත.
3 සැබවින් මම සර්වපරාක්‍රමයාණන්ට කථාකොට, දෙවියන්වහන්සේට කාරණා කියා සිටින්ට කැමැත්තෙමි.
4 ඔබ සැම නම් බොරු ගොතන්නෝය, ඔබ සැම සියල්ලෝම නොවටිනා වෙද්දුය.
5 ඔබ සැම නිශ්ශබ්දවම සිටියොත් හොඳය. එය ඔබ සැමට ප්‍රඥාව වන්නේය
6 ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න.
7 ඔබ සැම දෙවියන්වහන්සේ උදෙසා අසාධාරණ ලෙස කථාකරනවාද? උන්වහන්සේ උදෙසා වංචාකාර ලෙස කථාකරනවාද?
8 ඔබ සැම උන්වහන්සේගේ තරම බලනවාද? දෙවියන්වහන්සේ වෙනුවට වගකියනවාද?
9 උන්වහන්සේ ඔබ සැම විමසා බැලුවොත් හොඳද? නොහොත් මනුෂ්‍යයෙකු රවටන්නාක්මෙන් උන්වහන්සේ රවටන්නට ඔබ සැමට පුළුවන්ද?
10 ඔබ සැම රහසින් තරාතිරම බලනවානම් උන්වහන්සේ ඔබ සැමට දඬුවම් කරනවාම ඇත.
11 උන්වහන්සේගේ මහිමතාව ඔබ සැම භය නොගන්වන්නේද? උන්වහන්සේගේ භයංකරකම ඔබ සැම පිටට නොපැමිණෙන්නේද?
12 ඔබ සැමගේ පැණවත් කීම් අළු වැනි උපදේශවල්ය, ඔබ සැමගේ බලකොටු මැටි බලකොටුය.
13 නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න. සිද්ධවෙන දෙයක් සිද්ධවුණාවේ.
14 මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙක් මාගේ ප්‍රාණය මාගේ අතේ තබාගන ඉන්නෙක් මක්නිසාද?
15 උන්වහන්සේ මා මරනවා ඇත; මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි.
16 මේකත් මාගේ ගැළවීම වන්නේය; මක්නිසාද අභක්තිකයෙක් උන්වහන්සේ ඉදිරියට නොඑන්නේය.
17 මාගේ කථාව හොඳාකාර අසන්න, මාගේ කීමද ඔබ සැමගේ කන්වල වැටේවා.
18 මෙන්න, මම මාගේ විත්තිය පිළියෙළ කළෙමි; මා නිදොස්වෙන බව මම දනිමි.
19 මට විරුද්ධව නඩුකියන කෙනෙක් ඇද්ද? එසේ ඇත්නම් මම නිශ්ශබ්දව සිට නසින්නෙමි.
20 කාරණා දෙකක් පමණක් මට නොකළමැනව, එවිට ඔබ ඉදිරියෙන් නොසැඟවී සිටින්නෙමි.
21 ඔබගේ අත මා කෙරෙන් අහක්කර ගත මැනව; ඔබගේ භයංකරකම මා බිය නොකෙරේවා.
22 එවිට ඔබ අඬගැසුවාම උත්තරදෙන්නෙමි; නොහොත් මට කථාකරන්ට ඉඩදී උත්තරදුන මැනව.
23 මාගේ අපරාධ සහ පව් කොපමණද? මාගේ වරදත් මාගේ පාපයත් මට දැන්නුව මැනව.
24 ඔබගේ මුහුණ ඔබ සඟවා, මා ඔබගේ සතුරෙකුකොට ගණන්ගන්නේ මක්නිසාද?
25 හුළඟට ගසාගන යන කොළයකට ඔබ හිරිහැරකරනසේක්ද? වියළි ඉපනැල්ල පස්සෙන් එළවාගන යනසේක්ද?
26 මක්නිසාද ඔබ මට විරුද්ධව කර්කශ කාරණා ලියනසේක, මාගේ යෞවන කාලයේ අයුතුකම්ද මගේ ගණනට තබනසේක.
27 ක්ෂයවෙන්නාවූ දිරාගිය දෙයක් මෙන්ද කාවුන් කෑ වස්ත්‍රයක් මෙන්ද වෙම් නුමුත්,
28 ඔබ මාගේ පාද දඬුකදේ දමා, මාගේ සියලුම මාවත් රැකසිටිනසේක; ඔබ මාගේ පතුල්වලට මායිම් තබනසේක.



පරිච්ඡේදය 14

1 ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය.
2 ඔහු මලක් මෙන් හටගෙන පහවීයන්නේය, ඔහු නොපැවතී සෙවණැල්ල මෙන් පලායන්නේය.
3 එබඳු අයෙකු දෙස ඔබගේ ඇස් අරිනසේක්ද? මා ඔබ හමුයෙහි විනිශ්චයට පමුණුවනසේක්ද?
4 අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්ට කාට පුළුවන්ද? කාටවත් බැරිය.
5 ඔහුගේ දවස් නියමව, ඔහුගේ මාස ගණන ඔබ වෙත තිබෙන නිසාත්, ඔහු පිටතට නොයන හැටියට ඔබ ඔහුගේ මායිම් පිහිටුවා තිබෙන නිසාත්,
6 ඔහු තමාගේ දවස කුලීකාරයෙකු මෙන් භුක්තිවිඳ නිමවෙන තුරු, ඔහු නිෂ්කලංකය ලබන පිණිස, ඔබගේ ඇස් ඔහු කෙරෙන් හරවාගත මැනව.
7 මක්නිසාද ගහක් කපාදැමුවොත් ඒක දෙවනු ලියලා, ඒකේ රිකිලි හටගන්නේය යන බලාපොරොත්තුව ඇත්තේය.
8 ඒකේ මුල බොහෝ කල් පොළොවෙහි පරණවී, ඒකේ කඳ බිමෙහි මැරුණත්,
9 වතුරට පෙඟීමෙන් ඒක දළුලා, පැළෑටියක් මෙන් අතු ලියලනවා ඇත.
10 නුමුත් මනුෂ්‍යයා මැරී දිරායන්නේය. එසේය, මනුෂ්‍යයා තුරන්ව ගියාම ඔහු කොතනද?
11 වැවකින් වතුර අඩුවෙන්නාක්මෙන්ද ගංගාවක් හිදී වියළීයන්නාක්මෙන්ද
12 මනුෂ්‍ය තෙම සැතපුණු කල නොනැගිටින්නේය; අහස නැතිවීයන තුරු ඔව්හු නොපිබිදෙන්නෝය, තමුන්ගේ නින්දෙන් නැගුටුවනු නොලබන්නෝය.
13 අහෝ, ඔබවහන්සේ මා ෂෙයෝලෙහි 14:13 හෙවත්, මිනීවළෙහි. වසා තබා, ඔබගේ උදහස පහවන තුරු මා සඟවා, මට කාලයක් නිමකොට, මා සිහිකරනසේක් නම් කැමැත්තෙමි!
14 මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි.
15 ඔබ අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවනසේක.
16 එසේ නුමුත් දැන් ඔබ මාගේ පියවර ගණන්කරනසේක; ඔබ මාගේ පාපය ගැන රැකසිටිනවා නොවේද?
17 මාගේ වරද මල්ලක දමා මුද්‍රාකර තිබේ; ඔබ මාගේ අපරාධය වහලා තබනසේක.
18 සැබවින් කන්ද වැටී පොඩිවෙන්නේය, පර්වතයද ඒකේ ඉඩමෙන් පහවයන්නේය;
19 ගල් වතුරට ගෙවීයන්නේය; ඒවායේ ගැලීමට පොළොවේ පස් ගහගන යන්නේය; එසේම ඔබ මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව නැතිකරනසේක.
20 ඔබ නිතරම ඔහු පරාජයකරනසේක, ඔහු අහක්ව යන්නේය; ඔබවහන්සේ ඔහුගේ මුහුණ වෙනස්කර ඔහු හරිනසේක.
21 ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන නුමුත් ඔහු නොදනියි; ඔවුන් සුළුකරනු ලබන නුමුත් ඔවුන් ගැන ඔහු නොදන්නේය.
22 එහෙත් ඔහුගේ මාංසයට ඒකේම වේදනා දැනෙන්නේය. ඔහුගේ ප්‍රාණයද ඔහු තුළෙහිම වැලපෙන්නේයයි කීවේය.



පරිච්ඡේදය 15

1 එකල තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:
2 ප්‍රඥාවතෙක් සුළඟ වැනි හිස්වූ දැනගැන්මෙන් උත්තරදෙමින්, නැගෙනහිර සුළඟින් තමාගේ ළය පුරවාගන්නේද?
3 ඔහු නිෂ්ඵල වචනවලින් හෝ අප්‍රයෝජන කථාවලින් හෝ විවාද කරනවා ඇද්ද?
4 එසේය, ඔබ භක්තිය දුරුකර, දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙනෙහිකිරීම නවත්වන්නෙහිය.
5 ඔබ ප්‍රයෝගකාරයන්ගේ දිව තෝරාගන්න නුමුත්, ඔබේ අයුතුකම ඔබේ මුඛයෙන් ඔප්පුවෙන්නේය;
6 මා නොව ඔබේම මුඛය ඔබ වරදට පත්කරන්නේය; එසේය, ඔබේම තොල් ඔබට විරුද්ධව සාක්ෂිදෙන්නේය.
7 උපන්නාවූ පළමුවෙනි මනුෂ්‍යයා ඔබද? නොහොත් ඔබ හෙල්වලට පළමුවෙන් ඉපදුණාද?
8 ඔබ දෙවියන්වහන්සේගේ මන්ත්‍රණ සභාවෙහි හිඳ, ඔබ වෙත ප්‍රඥාව තබාගන්නෙහිද?
9 අප නොදන්න මොන දෙයක් ඔබ දන්නවාද? අපට නැති මොන දැනගැන්මක් ඔබට තිබෙනවාද?
10 ඔබේ පියාටත් වඩා මහලුවූ හිස පැසුණු අයද ඉතා වයස්ගතවූවෝද අප අතරේ සිටිති.
11 දෙවියන්වහන්සේගේ සැනසිලිත් ඔබ සමඟ මෘදුලෙස කථාකරන වචනයත් ඔබට මදිද?
12 දෙවියන්වහන්සේට විරුද්ධව ඔබේ සිත හරවා, ඔබේ කටින් මෙබඳු වචන නික්මවන හැටියට,
13 ඔබේ සිත ඔබව ගෙනයන්නේ මන්ද? ඔබේ ඇස් ඉඟිකරන්නෙත් මක්නිසාද?
14 මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?
15 බලව, උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් කෙරෙහි විශ්වාසය නොතබනසේක. එසේය, ස්වර්ගවල් උන්වහන්සේගේ ඇස් ඉදිරිපිට පිරිසිදු නැත.
16 එසේ නම් පිළිකුල්වූ, කිළිටුවූ, අපරාධය වතුර මෙන් බොන්නාවූ මනුෂ්‍යයා පිරිසිදුකමින් ඊටත් කොපමණ අඩු නොවන්නේද?
17 ඔබට පෙන්වන්නෙමි, මා කියන දේ අසන්න; මා දැක තිබෙන දේද කියාදෙන්නෙමි.
18 එය ප්‍රඥාවන්තයෝ තමුන්ගේ පියවරුන්ගෙන් දැනගෙන, නොසඟවා දැන්නුවෝය.
19 දේශය දෙනලද්දේ ඔවුන්ට පමණක්ය, විදේශිකයෙක්ද ඔවුන් අතරට නොපැමුණුණේය.
20 දුෂ්ටයා තමාගේ සියලු දවස්වලද බලාත්කාරකාරයාට නියමකර තිබෙන අවුරුදු ගණන මුළුල්ලෙහිද වේදනාවෙන් පෙළෙන්නේය.
21 භයංකර ශබ්ද ඔහුගේ කන්වලට ඇසෙන්නේය; සමෘධියේදී නාස්තිකරන්නා ඔහු පිටට පැමිණෙන්නේය.
22 තමා අන්ධකාරයෙන් මිදෙන්නේය කියා ඔහු විශ්වාස නොකරයි; ඔහු කඩුවට නියමව සිටින්නේය.
23 කෑම කොතැන තිබේද කියා සොයමින් ඔහු ඔබ මොබ යන්නේය; අන්ධකාරයේ දවස තමාගේ අත ළඟ සූදානම්ව තිබෙන බව ඔහු දන්නේය.
24 විපත්තියත් වේදනාවත් ඔහු භයගන්වා, සටනට සැරසී සිටින රජෙකු මෙන් ඔහු පරාජයකරන්නේය.
25 මක්නිසාද ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ අත දිගුකළේය, සර්වපරාක්‍රමයාණන්ට විරුද්ධව උඩඟුකම් කර,
26 තමාගේ පලිස් ඝන ලෙස එකිනෙකට යාකරගන, තද කුළලක් ඇතුව උන්වහන්සේට විරුද්ධව දුවන්නේය.
27 ඔහු තමාගේ මුහුණ තරකමෙන් වසා, තුනටිය තරකරගෙන,
28 පාළු නුවරවලද වැසියන් නැත්තාවූ ගල් ගොඩවල් වෙන්ට නියමවූ ගෙවල්වලද වාසයකළේය.
29 ඔහු පොහොසත් වන්නේවත්, ඔහුගේ වස්තුව පවතින්නේවත්, ඔවුන්ගේ සම්පත් පොළොවෙහි පැතිර යන්නේවත් නැත.
30 ඔහු අන්ධකාරයෙන් පිටවී නොයන්නේය; ගිනි දළුවට ඔහුගේ අතු වියළී, උන්වහන්සේගේ මුඛයේ හුස්මට ඔහු පහව යන්නේය.
31 තමාම රවටාගනිමින් ඔහු දුෂ්ටකම කෙරෙහි විශ්වාසය නොතබාවා. මක්නිසාද දුෂ්ටකම ඔහුගේ විපාකය වන්නේය.
32 ඔහුගේ කාලයට පළමුවෙන් එය ඉෂ්ට වන්නේය, ඔහුගේ තල්අත්ත අමුව නොතිබෙන්නේය.
33 ඔහු මුද්‍රිකවැල මෙන් තමාගේ නො පැසුණු ඵල හෙළාදමන්නේය, ඔලීව ගස මෙන් තමාගේ මල් සොලවාදමන්නේය.
34 මක්නිසාද අභක්තිකයාගේ සමාගම නිස්සාරය; අල්ලස් ගැනීමේ කූඩාරම්ද ගින්නට දාලා යන්නේය.
35 ඔව්හු අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහිකරන්නෝය, ඔවුන්ගේ ගර්භයද ප්‍රයෝගය යොදන්නේයයි කීවේය.



පරිච්ඡේදය 16

1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. ඔබ සැම සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය.
3 සුළඟ වැනි වචනවල කෙළවරක් ඇද්ද? නොහොත් උත්තරදීමට ඔබ පොළඹවන්නේ කුමක්ද?
4 මටත් ඔබ සැම වාගේ කථාකරන්ට පුළුවන; මා සිටින ස්වභාවෙහි ඔබ සැම සිටියොත්, ඔබ සැමට විරුද්ධව වචන ගොතා, ඔබ සැම දෙසට මාගේ හිස වනන්ට මට පුළුවන.
5 එහෙත් මාගේ මුඛයෙන් ඔබ සැම ශක්තිමත්කර, මාගේ තොල්වල සැනසිල්ලෙන් ඔබ සැම උසුලන්නෙමි.
6 මා කථාකරන නුමුත් මාගේ ශෝකය නොසන්සිඳෙයි. කථා නොකර උන්නත් මට ලැබෙන පහසුව කිමෙක්ද?
7 සැබවින්ම උන්වහන්සේ මා වෙහෙසූසේක; ඔබවහන්සේ මාගේ මුළු සමාගම පාළු කළසේක.
8 ඔබ මා අල්ලාගත්සේක, ඒක මට විරුද්ධව සාක්ෂියක්ය. මාගේ කෙට්ටුකම මට විරුද්ධව නැගිටියි, ඒක මාගේ මුහුණ ඉදිරියෙහි සාක්ෂිදෙයි.
9 උන්වහන්සේ තමන් කෝපයෙන් මා ඉරා දමා මට ද්වේෂකළසේක; උන්වහන්සේ මට විරුද්ධව දත්මිටි කෑසේක. මාගේ එදිරිකාරයා මා දෙසට තමාගේ ඇස් යොමුකරන්නේය.
10 ඔව්හු මට විරුද්ධව තමුන්ගේ කට අයා, නින්දාකරමින් මාගේ කම්මුලට ගැසුවෝය. ඔව්හු එක්ව මට විරුද්ධව සම්බන්ධ වෙති.
11 දෙවියන්වහන්සේ අභක්තිකයාට මා පාවාදෙනසේක; දුෂ්ටයන්ගේ අත්වලට මා විසිකරනසේක.
12 මම සුවසේ සිටියෙමි, උන්වහන්සේ මා පොඩිකළසේක; මාගේ බෙල්ල අල්ලා, මා බිමගසා සුන්කර, ඉලක්කයක් කොට මා තබාගත්සේක.
13 උන්වහන්සේගේ දුනුවායෝ මා වටකරගන සිටිති, උන්වහන්සේ කරුණා නොකර, මාගේ වකුගඩු පළා, මාගේ පිත බිම වගුරුවනසේක.
14 උන්වහන්සේ බිඳුම් පිට බිඳුම් කොට, මා පොඩිකරනසේක; යුද්ධකාරයෙකු මෙන් මට විරුද්ධව දුව එනසේක.
15 ගෝණි රෙදි මාගේ හම පිට මහගන, මාගේ ඇඟ දූවිල්ලෙහි දමාගන සිටිමි.
16 මාගේ මුහුණ ඇඬීමෙන් රතුවී තිබේ, මාගේ ඇසිපිය පිටද මරණයේ සෙවණ තිබේ.
17 කිසි බලාත්කාරකමක් මාගේ අත්වල නැති නුමුත්, මාගේ යාච්ඤාව පිරිසිදු නුමුත්, මට එසේ වී තිබේ.
18 එම්බා පොළොව, මාගේ ලේ වසා නොගන්න, නැවතීමේ ඉඩමක්ද මාගේ මොරගැසීමට නොතිබේවා.
19 දැන් පවා මාගේ සාක්ෂිය ස්වර්ගයෙහිය; මාගේ සාක්ෂිකාරයාද උසස්ථානයෙහි සිටියි.
20 මාගේ යහළුවෝ මට නින්දාකෙරෙති. මාගේ ඇස දෙවියන්වහන්සේ දෙසට කඳුළු වගුරුවයි.
21 එසේ කරන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක් තවත් මනුෂ්‍යයෙකුට යුක්තිය කරන්නාක්මෙන් දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි මනුෂ්‍යයෙකුට යුක්තිය කරන පිණිසය.
22 මක්නිසාද අවුරුදු ස්වල්පයකට පසු, මම ආපසු නොඑන මාවතෙහි යන්නෙමි.



පරිච්ඡේදය 17

1 මාගේ ආත්මය ක්ෂයවී මාගේ දවස් ගෙවී ගියේය, මට ඇත්තේ මිනීවළය.
2 සැබෑවටම සරදම්කාරයෝ මා වෙත සිටිති, මාගේ ඇස ඔවුන්ගේ විරුද්ධකම් දෙසටම යොමුවී තිබේ.
3 ඔබ වෙතම උකසක් තබාගෙන මට ඇපවුව මැනව; මාගේ අතට අතගසන්ට ඉන්නේ වෙන කවුද?
4 මක්නිසාද ඔබවහන්සේ ඔවුන්ගේ සිත්වලින් නුවණ සඟවා තිබේ. එබැවින් ඔබ ඔවුන් උසස් නොකරනසේක.
5 තමාගේ මිත්‍රයන් කොල්ලයක් පිණිස පාවාදෙන යමෙක් ඇද්ද, ඔහුගේ දරුවන්ගේ ඇස් පවා ක්ෂයවී යනවා ඇත.
6 උන්වහන්සේ මා සෙනඟ අතරේ නින්දා පාඨයක් කළසේක; මම ඔවුන්ට කෙලහීමක් වී සිටිමි.
7 මාගේ ඇස් ශෝකයෙන් අඳුරුවී තිබේ, මාගේ අවයව සියල්ලම සෙවණැල්ලක් මෙන්ය.
8 අවංක මිනිස්සු මේ ගැන විස්මිත වෙති, නිර්දෝෂ තැනැත්තා අභක්තිකයාට විරුද්ධව ඇවිස්සී සිටින්නේය.
9 එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.
10 නුමුත් ඔබ සැම සියලු දෙනා දැන් හැරී එන්න. ඔබ සැම අතරේ ප්‍රඥාවන්තයෙක් මට සම්බ නොවන්නේය.
11 මාගේ දවස් පහවී, මාගේ සිතේ සම්පත වන මාගේ අදහස් කඩවී තිබේ.
12 ඔව්හු රාත්‍රිය දවාලට පෙරළති. එළිය අන්ධකාරයට ළඟයයි කියති.
13 මාගේ ගෙය කොට ෂෙයෝල 17:13 හෙවත්, මිනීවළ. ගැන බලා සිටිමි, අන්ධකාරයෙහි මාගේ යහන අතුළෙමි.
14 ඔබ මාගේ පියායයි කුණුවීමටත් ඔබ මාගේ මවු සහ සහෝදරීයයි පණුවාටත් කීවෙමි.
15 එසේ නම් මාගේ බලාපොරොත්තුව කොතැනද? මාගේ බලාපොරොත්තුව පෙනෙන්නේ කාටද?
16 ධූලියෙහි නිශ්චලය ලැබූ හැටියේම ඒක ෂෙයෝලේ 17:16 එනම්, මිනීවළේ. අගුල් දක්වා බසිනවා ඇතැයි කීවේය.



පරිච්ඡේදය 18

1 එවිට ෂූහියවූ බිල්දද් උත්තරදෙමින් කියනුයේ:
2 18:2 හෙවත්, ඔබ සැමගේ කථාව නිමවන්නේ කවදාද? ‍ ‍ඔබ සැම කොපමණ කල් වචනවලට උගුල් තබන්නහුද? තේරුම්ගන්න, පසුව කථාකරමුව.
3 අප තිරිසනුන් මෙන් ගණන්ගනු ලබන්නෙත් ඔබ සැමගේ ඇස්වලට අපවිත්‍රව පෙනෙන්නෙත් මක්නිසාද?
4 තමාගේ කෝපයෙන් තමාම ඉරා ගන්න කෙනෙක්වූ ඔබ නිසා, පොළොව අත්හරිනු ලබන්ටත් නොහොත් පර්වතය ස්වකීය ස්ථානයෙන් අහක්ව යන්ටත් ඕනෑද?
5 එසේය, දුෂ්ටයාගේ එළිය නිවීයන්නේය, ඔහුගේ ගිනිදැල්ද නොබැබළෙන්නේය.
6 එළිය ඔහුගේ කූඩාරමෙහි අඳුරු වන්නේය, ඔහුට උඩින් ඔහුගේ පහනද නිවී යන්නේය.
7 ඔහුගේ වේගවත් අඩි හිරවන්නේය, තමාගේම මන්ත්‍රණයෙන් ඔහු වැටෙන්නේය.
8 මක්නිසාද තමාගේ පාදවලින් ඔහු දැලකට අසුවන්නේය, ඔහු මලපත් උඩ ඇවිදින්නේය.
9 උගුලක් ඔහුගේ විලුඹ අසුකරගන්නේය, මලපතක් ඔහු අල්ලාගන්නේය.
10 ඔහුට බිම තොණ්ඩුවක්ද පාරේ උගුලක්ද සඟවා තබා තිබේ.
11 භීතිය ඔහු හාත්පසින් භයගන්වමින් ඔහුගේ පාද ළඟම එළවා යන්නේය.
12 බඩගින්නෙන් ඔහුගේ ශක්තිය හීනවන්නේය, කොරගසමින් යන ඔහුට විපත්තිය ළංවන්නේය.
13 එය ස්වකීය හමේ කොටස් කාදමන්නේය. ඔහුගේ කුළුඳුලා ඔහුගේ අවයව කාදමන්නේය.
14 ඔහු තමාගේ විශ්වාසය වන තමාගේ කූඩාරමෙහි උදුරනු ලැබ, භයංකරකම්වල 18:14 එනම්, මරුවා.‍ රජු ළඟට ගෙනයනු ලබන්නේය.
15 ඔහුට අයිති නැති අය ඔහුගේ කූඩාරමෙහි වසන්නෝය; ඔහුගේ නිවස පිටටද ගෙන්දගම් වස්වනු ලබන්නේය.
16 යටින් ඔහුගේ මුල් වියළීයයි, උඩින් ඔහුගේ අතු කපාදමනු ලබන්නේය.
17 ඔහු ගැන සිහිවීම පොළොවෙන් නැතිවීයන්නේය, අසල ගම්වල ඔහුගේ නම නොකියවෙන්නේය.
18 එළියෙන් අඳුරට ඔහු තල්ලුකරනු ලැබ, ලෝකයෙන් එළවනු ලබන්නේය.
19 ඔහුගේ සෙනඟ අතරේ ඔහුට දරුවෙක්වත් මුනුබුරෙක්වත් නොසිටී, ඔහුගේ වාස භූමියෙහි ඉතුරුව සිටින කෙනෙක්ද නැත.
20 භීතිය පළමු සිටි අය අසුකරගත්තාක්මෙන් පසුව පැමිණෙන අය ඔහුගේ දවස ගැන විස්මපත්වන්නෝය.
21 සැබවින් අධර්මිෂ්ඨයන්ගේ වාසස්ථාන මෙසේය, දෙවියන්වහන්සේ නාඳුනන්නාගේ ඉඩමද මෙයාකාරයයි කීවේය.



පරිච්ඡේදය 19

1 එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 ඔබ සැම කොපමණ කල් මාගේ ආත්මය වෙහෙසමින්, වචනවලින් මා පොඩිකරන්නහුද?
3 දැන් දස වරක් ඔබ සැම මට නින්දා කළහුය; ලජ්ජා නැතුව මට අයුක්තිය කළහුය.
4 මා ඇත්තටම වැරදි කළා නම්, මාගේ වැරැද්ද පවතින්නේ මා කෙරෙහිමය.
5 ඔබ සැම සැබෑවටම මට විරුද්ධව උසස් වෙන්ට නම්, මාගේ නින්දාව මට විරුද්ධව ඔප්පුකරන්න.
6 ඉතින් දෙවියන්වහන්සේ මාගේ කාරණා පෙරළා, තමන් දැල මා වටකර හෙළා තිබෙන බව දැනගන්න.
7 මෙන්න, මා අයුත්ත ගැන මොරගසන නුමුත්, මට උත්තරයක් නැත. පිහිට ඉල්ලා මොරගසන නුමුත් යුක්තිය ඉෂ්ටවීමක් නැත.
8 මා පිටත නොයන හැටියට උන්වහන්සේ මාගේ පාර අහුරා, මාගේ මාවත්වල අන්ධකාරය තබා තිබේ.
9 උන්වහන්සේ මාගේ ඉසුර මාගෙන් උදුරාදමා, මාගේ හිසෙන් ඔටුන්න පහකර තිබේ.
10 මා නැතිවීයන හැටියට වටකරින් උන්වහන්සේ මා කඩාදමා, මාගේ බලාපොරොත්තුව ගහක්මෙන් උදුරා දැමූසේක.
11 උන්වහන්සේ තමන් උදහස මට විරුද්ධව අවුළුවා, තමන්ගේ එදිරිකාරයෙකු ලෙස මා ගණන්ගන්නාසේක.
12 උන්වහන්සේගේ හමුදාවෝ එක්ව ඇවිත් මට විරුද්ධව තමුන්ගේ මාර්ගය උසට ගොඩනගා, මාගේ කූඩාරම වටකරින් කඳවුරු බඳිති.
13 උන්වහන්සේ මාගේ සහෝදරයන් මා වෙතින් දුරුකළසේක, මාගේ ඇඳුනුම්කාරයෝද මාගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වුණෝය.
14 මාගේ නෑයෝ අහක්වී, මාගේ හිතේසි මිත්‍රයෝ මා මතක නැතිකළෝය.
15 මාගේ ගෙදර නැවතී සිටින්නෝද මාගේ වැඩකාරියෝද මා අන්‍යයෙකු කොට ගණන්ගනිති, ඔවුන්ට මම විදේශියෙකු මෙන්ය.
16 මාගේ වැඩකාරයාට අඬගැසුවත් ඔහු මට උත්තර නොදෙයි, මාගේ මුඛයෙන් ඔහුට කන්නලව් කරන්ට සිදුවී තිබේ.
17 මාගේ හුස්ම මාගේ භාර්යාවට අප්‍රියය, මාගේ මවුගේ කුසේ උපන් දරුවන්ට මම පිළිකුලක්ය.
18 බාලයෝ පවා මා හෙළාදකිති; මා නැඟිටින්ට හදන විට ඔව්හු මට විරුද්ධව කථාකෙරෙති.
19 මාගේ සියලු හිත මිත්‍රයෝම මට පිළිකුල්කරති. මා විසින් ප්‍රේමකළ අය මට විරුද්ධවී සිටිති.
20 මාගේ ඇට මාගේ හමටත් මාංසයටත් ඇලී තිබේ, මා ඉතිරිවී ඉන්නේ මාගේ දත්වල හම පමණක් ඇතුවය.
21 අනේ මාගේ මිත්‍රයෙනි, මට අනුකම්පාකරන්න, අනුකම්පාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ හස්තය මට පහරදුන්නේය.
22 ඔබ සැම දෙවියන්වහන්සේ මෙන් මා පස්සේ එළවාගෙන එන්නෙත් මාගේ මාංසය කෑමෙන් තෘප්තියට නොපැමිණ සිටින්නෙත් මක්නිසාද?
23 අනේ මාගේ වචන දැන් ලියනු ලැබුවොත් කොපමණ හොඳද! ඒවා පොතක සටහන්කර තබන්ටත්,
24 යකඩ පන්හිඳකින් හා ඊයම්වලින් සදාකාලේටම පර්වතයෙහි කොටා තබන්ටත් යෙදුණොත් කොපමණ හොඳද!
25 එහෙත් මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි.
26 මේ මාගේ හම නැතුව ගියායින් පසු, මාගේ මාංසය නැතුව නුමුත් දෙවියන්වහන්සේ දකින්නෙමි.
27 මමම උන්වහන්සේ දකින්නෙමි, අන්‍යයෙක් නොව මාගේම ඇස් උන්වහන්සේ දකින්නේය. මාගේ හෘදයවස්තුව මා තුළෙහි ක්ෂයවී තිබේ.
28 කාරණාවේ මුල මා තුළ සම්බවූ හෙයින්, අපි ඔහුට කෙසේ පීඩාකරමෝදැයි ඔබ සැම කියන්නහු නම්,
29 කඩුවට භයවෙන්න; මක්නිසාද විනිශ්චයක් ඇති බව ඔබ සැම දැනගන්න පිණිස උදහස කඩුවේ දඬුවම පමුණුවන්නේයයි කීවේය.



පරිච්ඡේදය 20

1 එකල නයමාතිය ශෝපර් උත්තරදෙමින් කියනුනේය:
2 ඒ නිසා එනම් මා තුළ තිබෙන මාගේ ඉක්මන්කම නිසා මාගේ සිතිවිලිවලින් මට උත්තර ලැබෙන්නේය.
3 මා ලජ්ජාවට පමුණුවන තරවටුව ඇසීමි, මාගේ තේරුම්ගැනීමේ ආත්මයද මට උත්තරදෙන්නේය.
4 පුරාණයේ සිටම, මනුෂ්‍යයා පොළොවෙහි පිහිටුණ තැන් පටන්, වුණාවූ මේ කාරණාව වන,
5 දුෂ්ටයන්ගේ ජයඝෝෂාව ලුහුඬු බවත් අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් බවත් නොදන්නෙහිද?
6 ඔහුගේ උතුම්කම අහස දක්වා නැග්ගත්, ඔහුගේ ඉස වලාකුල්වලට හැපුණත්,
7 ඔහුගේම අශූචි මෙන් ඔහු සදාකාලයටම නැතිවී යන්නේය, ඔහු දුටු අය: ඔහු කොයිදැයි අසන්නෝය.
8 ඔහු හීනයක් මෙන් පහවී ගොස් නොපෙනී යන්නේය. රාත්‍රියේ දර්ශනයක් මෙන් පන්නනු ලබන්නේය.
9 ඔහු දුටු ඇස තවත් ඔහු නොදකින්නේය; ඔහුගේ ඉඩමෙහිද ඔහු තවත් නොපෙනෙන්නේය.
10 ඔහුගේ දරුවෝ දුප්පතුන්ගේ කරුණාව සොයන්නෝය, ඔහුගේ අත් ඔහුගේ සම්පත් ආපසු දෙන්නේය.
11 ඔහුගේ ඇට ඔහුගේ යෞවනභාවයෙන් පිරී තිබෙන නුමුත්, එය ඔහු සමඟ ධූලියෙහි වැදහෙන්නේය.
12 දුෂ්ටකම ඔහුගේ මුඛයෙහි මිහිරිව තිබෙන නුමුත්, ඔහු ඒක තමාගේ දිව යට සඟවා ගන්න නුමුත්;
13 ඒක අත් නොහැර ඉතුරුකොට තමාගේ මුඛය තුළ තබාගන්න නුමුත්;
14 ඔහුගේ කෑම ඔහුගේ අතුණුවල වෙනස්වී, ඔහු තුළ සර්පයන්ගේ විෂ වන්නේය.
15 ඔහු වස්තු ගිලගත් නුමුත් ඒවා වමාරන්නේය. දෙවියන්වහන්සේ ඒවා ඔහුගේ බඩෙන් පිටකරනසේක.
16 ඔහු සර්පයන්ගේ විෂ උරාබොන්නේය. පොළඟාගේ දිවෙන් ඔහු මැරුම්කන්නේය.
17 ඔහු ඔයවල්ද මීපැණි හා ගිතෙල් ගලායන ගංගාද නොදකින්නේය.
18 ඔහු උත්සාහකොට ලබාගත් දේ භුක්ති නොවිඳ ආපසු දෙන්නේය; තමා ලබාගත් සම්පත් ප්‍රමාණයට ප්‍රීති නොවන්නේය.
19 මක්නිසාද ඔහු දුප්පතුන්ට පීඩා කොට ඔවුන් අත්හැරියේය; තමා ගොඩ නොනැගූ ගෙවල් ඔහු බලාත්කාරයෙන් ගත්තේය.
20 ඔහු තමාගේ ළය තුළ නිශ්චලය නැතුව සිටි බැවින්, තමා ප්‍රියවන දේවලින් කිසිවක් ගළවා නොගන්නේය.
21 ඔහුගේ තෘෂ්නාවට ගොදුරු නොවූ දෙයක් නැත; එබැවින් ඔහුගේ සැපත නොපවත්නේය.
22 ඔහු බහුලත්වයෙන් සෑහී සිටින කල ඔහුට හිඟවන්නේය. දුඃඛිතයන්ට පැමිණෙන හැම දුකම ඔහු පිටට පැමිණෙන්නේය.
23 ඔහු තමාගේ බඩ පුරවාගන්ට හදන කල, දෙවියන්වහන්සේ තමන් බලවත් උදහස ඔහු පිට හෙළනසේක, ඔහු කෑම කන කල උන්වහන්සේ එය ඔහු පිටට වස්වනසේක.
24 ඔහු යකඩ ආයුධයෙන් පලාගියත්, පිත්තල දුන්නෙන් ඔහු සිදුරුකරනු ලබන්නේය.
25 ඔහු ඒක අදින විට ඒක ඔහුගේ ඇඟෙන් නික්මෙන්නේය. එසේය, දිලිසෙන තුඩ ඔහුගේ පිතෙන් පිටවෙන්නේය; භීති ඔහු කෙරෙහි වන්නේය.
26 ඔහුගේ නිධාන වෙනුවට සියලු ආකාර අන්ධකාරය රැස්කර තිබේ. මනුෂ්‍යයා විසින් නොදැල්වූ ගින්නක් ඔහු දවා දමා, ඔහුගේ කූඩාරමෙහි ඉතිරිව තිබෙන දේ නාස්තිකරන්නේය.
27 අහස ඔහුගේ අයුතුකම් එළිදරවු කරන්නේය. පොළොවද ඔහුට විරුද්ධව නැගිටින්නේය.
28 ඔහුගේ ගෙයි සම්පත් පහව යන්නේය, උදහස් දවසේදී ඒවා පාවී යන්නේය.
29 දුෂ්ට මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ ගෙන් පැමිණෙන කොටසත් දෙවියන්වහන්සේ ඔහුට නියමකළ උරුමයත් මේයයි කීවේය.



පරිච්ඡේදය 21

1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 මාගේ කථාව සැලකිල්ලෙන් අසන්න; මේක ඔබ සැමගේ සැනසීම් වේවා.
3 මටත් කථාකරන්ට ඉඩ අරින්න; මා කථාකළායින් පසු නින්දාකරන්න.
4 මාගේ පැමිණිල්ල කරන්නේ මනුෂ්‍යයාටද? මා ඉවසිලි නැතුව නොසිටින්ට කාරණය මොකද?
5 මා දෙස බලා විස්මපත්වී, අතින් කට වසාගන්න.
6 සිහිවෙන විටම මම කැලඹෙමි, තැතිගැන්ම මාගේ මාංසය අල්වාගනියි.
7 දුෂ්ටයන් ජීවත්වන්නෙත්, වෘද්ධ වයසට පැමිණ බලවත්වන්නෙත් මක්නිසාද?
8 ඔවුන් ඉදිරියෙහි ඔවුන්ගේ වංශයද ඔවුන්ගේ ඇස් හමුයෙහි ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ පිහිටෙන්නෝය.
9 ඔවුන්ගේ ගෙවල් භයින් තොරව සුරැකිව තිබේ, දෙවියන්වහන්සේගේ ඉපලද ඔවුන් පිට නැත.
10 ඔවුන්ගේ ගොනා නොවරද්දා පැටවුන් ජනිතකරයි; ඔවුන්ගේ එළදෙන ගබ්සා නොවී බිහිකරයි
11 ඔවුන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති, ඔවුන්ගේ දරුවෝද නටති.
12 ඔව්හු රබානද වීණාවද ඇතුව ගීතිකා කියති, නළාවේ ශබ්දයටද ප්‍රීතිවෙති.
13 ඔව්හු සැපතින් දවස් යවති, ඇසිල්ලකින් ෂෙයෝලට 21:13 එනම්, මිනීවළට. බැසයති.
14 ඔව්හු දෙවියන්වහන්සේට කථාකොට: අප වෙතින් අහක්ව ගිය මැනව; මක්නිසාද ඔබගේ මාර්ග දැනගැන්මට අපි නොකැමැත්තෙමුව.
15 අප විසින් සර්වපරාක්‍රමයාණන්ට මෙහෙකරන්ට උන්වහන්සේ කවුද? උන්වහන්සේට යාච්ඤාකළත් අපට මොන ප්‍රයෝජනයක් වේදැයි කීවෝය.
16 බලව, ඔවුන්ගේ සමෘද්ධිය ඔවුන්ගේ අතේ නොවේය. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ.
17 දුෂ්ටයන්ගේ පහන නිවී, ඔවුන්ගේ විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නෙතේ, දෙවියන්වහන්සේ ස්වකීය කෝපයෙන් දුක් බෙදාදෙන්නෙත්,
18 ඔවුන් සුළඟට ගහගනයන ඉපනැල්ල මෙන්ද සුළඟට අසුවීයන බොල් මෙන්ද වෙන්නෙත් කොපමණ වාරවලද?
19 දෙවියන්වහන්සේ ඔහුගේ අපරාධය ඔහුගේ දරුවන්ට රැස්කර තබනසේකැයි ඔබ සැම කියන්නහුය. ඔහු දැනගන්න පිණිස උන්වහන්සේ ඔහුටම ප්‍රතිඵල පමුණුවනසේක්වා.
20 ඔහුගේ විනාශය ඔහුගේම ඇස්වලට පෙනේවා, ඔහු සර්වපරාක්‍රමයාණන්ගේ උදහස පානයකෙරේවා.
21 ඔහුගේ මාස ගණන මැදින් සිඳිනු ලැබූ කල්හි තමාට පසුව සිටින ඔහුගේ පවුලෙන් ඔහුට මොන සතුටක්ද?
22 උත්තමයන් විනිශ්චයකරන්නාවූ දෙවියන්වහන්සේට දැනගැන්ම උගන්වන්ට යමෙකුට පුළුවන්ද?
23 එක්කෙනෙක් සම්පූර්ණයෙන් සැපපහසු ඇතුව මුළු ශක්තියෙන් සිටියදී මියයන්නේය.
24 ඔහුගේ ඇළපත් තෙලෙන් පිරී, ඔහුගේ ඇටමිදුළු තෙත්ව තිබෙන්නේය.
25 තවත් කෙනෙක් කිසි සැපතක් නොවිඳ, සිත් ශෝකයෙන් සිට මියයන්නේය.
26 ඔව්හු එක්ව දූවිල්ලෙහි වැදහෙති, පණුවෝද ඔවුන් වසාගනිති.
27 බලව, ඔබ සැමගේ සිතිවිලිත් ඔබ සැම අයුතුලෙස මට විරුද්ධව කරන යෝජනාත් දනිමි.
28 මක්නිසාද: අධිපතියාගේ ගෘහය කොතැනද කියාත් දුෂ්ටයන් වාසයකළ කූඩාරම කොතැනද කියාත් ඔබ සැම අසති.
29 මගයන්නන්ගෙන් ඔබ සැම අහලා නැද්ද? එසේනම් ඔබ සැම ඔවුන්ගේ සලකුණු නොදැන සිටිනවාද?
30 එනම් නපුරා විපත්ති දවසට ඉතුරුකර සිටින බවත් ඔවුන් උදහස් දවසට පිටත ගෙනයනු ලබන බවත්ය.
31 ඔහුගේ මාර්ගය ඔහුගේ මුහුණ ඉදිරියෙහි ප්‍රකාශකරන්නේ කවුද? ඔහු කළ දෙයට ඔහුට විපාක දෙන්නේ කවුද?
32 එහෙත් ඔහු පවා මිනීවළට ගෙනයනු ලබන්නේය, සොහොනද මුරකරනු ලැබේ.
33 මිටියාවෙත් පිඩලි ඔහුට මිහිරිවන්නේය, සියලු මනුෂ්‍යයෝ ඔහුට පස්සෙනුත් ඔහුට පෙරටුවෙනුත් ගණනාවක් නැතුව පෙළ නොකැඩී යති.
34 එසේනම් ඔබ සැමගේ උත්තරවල බොරුව පමණක් තිබෙද්දී නිරර්ථකලෙස ඔබ සැම මා සනසන්ට හදන්නේ කෙසේදැ යි කීවේය.



පරිච්ඡේදය 22

1 එකල තේමානිය එලීපස් උත්තරදෙමින් කියනුයේ:
2 මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේට ප්‍රයෝජනවිය හැකිද? සැබවින් නුවණ ඇති තැනැත්තේ තමාටම ප්‍රයෝජනවත්ව සිටියි.
3 ඔබ ධර්මිෂ්ඨව සිටියත් සර්වපරාක්‍රමයාණන්ට එයින් කිසි සතුටක් ඇද්ද? ඔබ ඔබේ මාර්ග සම්පූර්ණකරගත්තත් එයින් උන්වහන්සේට කිසි ලාභයක් ඇද්ද?
4 උන්වහන්සේ ඔබට තරවටුකර ඔබ සමඟ විනිශ්චයට පැමිණෙන්නේ ඔබේ භක්තිය නිසාද?
5 ඔබේ දුෂ්ටකම මහත්ව තිබෙනවා නොවේද? ඔබේ අයුතුකම්වලට කෙළවරක් නැත.
6 මක්නිසාද ඔබ කාරණයක් නැතුව ඔබේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය, ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය.
7 ක්ලාන්ත අයට ඔබ බොන්ට වතුර නුදුන්නෙහිය, බඩගිනි අයට කෑම නොදී සිටියෙහිය.
8 නුමුත් බලවතාට දේශය අයිති විය; ගරුකටයුතු තැනැත්තේද එහි වාසයකෙළේය.
9 ඔබ වැන්දඹුවක් හිස් අතින් ඇරියෙහිය, පියා නැත්තන්ගේ අත්ද කඩනලද්දේය.
10 ඒ නිසා ඔබ වටකර මළපත් තිබෙයි, හදිසි භීතිය ඔබ කලඹන්නේය,
11 නොහොත් ඔබට නොපෙනෙන හැටියට අන්ධකාරයද ජල රාශියද ඔබ වසාගන්නේය.
12 දෙවියන්වහන්සේ ස්වර්ගයේ උසස් තැන්හි නොසිටිනසේක්ද? මුදුන්ම තාරකාව කොපමණ උසදැයි බලන්න!
13 ඔබ කථාකොට: දෙවියන්වහන්සේ දන්නේ කුමක්ද? ඝනාන්ධකාරය මැදින් සිට උන්වහන්සේට විනිශ්චයකරන්ට පුළුවන්ද?
14 උන්වහන්සේට නොපෙනෙන හැටියට ඝන වලාකුල් උන්වහන්සේට මුවාවක්ව තිබේ; උන්වහන්සේ ආකාශ කුක්ෂිය මත්තෙහි ගමන්කරනසේකැයි කියන්නෙහිය.
15 දුෂ්ට මනුෂ්‍යයන් ඇවිද්දාවූ පුරාණ මාවතෙහිම ඔබ හැසිරෙන්නෙහිද?
16 ඔව්හු නියම කාලයට පළමුවෙන් උදුරාගනු ලැබුවෝය, ඔවුන්ගේ අත්තිවාරමද ජලප්‍රවාහයකින් මෙන් ගහගන ගියේය.
17 අප වෙතින් අහක්ව ගිය මැනව කියාත් සර්වපරාක්‍රමයාණන් අපට මක්කරනවා ඇද්ද කියාත් ඔව්හු දෙවියන්වහන්සේට කීවෝය.
18 එහෙත් උන්වහන්සේ යහපත් දෙයින් ඔවුන්ගේ ගෙවල් පිරෙවුසේක. නුමුත් දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ.
19 ධර්මිෂ්ඨයෝ ඒ දැක සන්තෝෂවෙති; නිර්දෝෂ අය අපහාසයෙන් ඔවුන්ට සිනාසී:
20 අපට විරුද්ධව නැගුටුණු අය සැබවින් සිඳිනු ලැබුවෝය, ඔවුන්ගේ ඉතිරිවූ දෙය ගින්නෙන් දාලා ගියේයයි කියති.
21 ඉතින් උන්වහන්සේ ඇඳිනගෙන සමාදානවෙන්න. එයින් ඔබට ශුභසිද්ධ වන්නේය.
22 උන්වහන්සේගේ මුඛයෙන් ව්‍යවස්ථාව පිළිගෙන, උන්වහන්සේගේ වචන ඔබේ හිතේ තබාගන්න.
23 ඔබ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම ඔබේ කූඩාරම්වලින් පහකළොත්, ඔබ පිහිටුවනු ලබන්නෙහිය.
24 ඔබේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න;
25 එවිට සර්වපරාක්‍රමයාණෝ ඔබේ වස්තුවද ඔබට අනර්ඝ රිදීද වනසේක.
26 මක්නිසාද එකල ඔබ සර්වපරාක්‍රමයාණන් කෙරෙහි ප්‍රීතිමත්වී, ඔබේ මුහුණ දෙවියන්වහන්සේ දෙසට ඔසවනවා ඇත.
27 ඔබ උන්වහන්සේට යාච්ඤාකරන කල උන්වහන්සේ ඔබට උත්තර දෙනවා ඇත; ඔබද ඔබේ භාර ඉෂ්ටකරනවා ඇත.
28 ඔබ කාරණයක් නියමකරගත් කල්හි ඒක ඔබට ස්ථිරවන්නේය; ඔබේ මාර්ග කෙරෙහිද එළිය බැබළෙන්නේය.
29 ඔවුන් පහකරනු ලබන විට: උසස්වීම ඇත කියා ඔබ කියන්නෙහිය; උන්වහන්සේද යටහත් ඇස් ඇති අය ගළවනසේක.
30 නිදොස් නොවන තැනැත්තා පවා උන්වහන්සේ මුදනසේක; එසේය, ඔබේ අත්වල පිරිසිදුකම නිසා ඔහු මුදනු ලැබේයයි කීවේය.



පරිච්ඡේදය 23

1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 අද දක්වාම මාගේ විලාපය දුක්ඛිතය; මට වැදී තිබෙන පහර මාගේ කෙඳිරිගෑමට වඩා බරය.
3 අහෝ උන්වහන්සේගේ ආසනය ළඟටම පැමිණ, උන්වහන්සේ සම්බවෙන්ට පුළුවන් තැන දැනගන්ට ඇත්නම්!
4 එවිට උන්වහන්සේ ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළට තබන්නෙමි, මාගේ මුඛයද තර්කවලින් පුරවන්නෙමි.
5 උන්වහන්සේ මට උත්තරදෙන වචන දැනගන්නෙමි, මට කියන දේ තේරුම්ගන්නෙමි.
6 උන්වහන්සේ තමන් බලයේ මහත් කරමින් මා සමඟ විවාදකරනවා ඇද්ද? නැත, උන්වහන්සේ මට ඇහුම්කන් දෙනවා ඇත.
7 එහිදී ධර්මිෂ්ඨ අයට උන්වහන්සේ සමඟ කාරණා කියා සිටින්ට පුළුවන; මෙසේ මාගේ විනිශ්චයකාරයාණන්ගෙන් සදාකාලයටම මිදෙන්ට මට පුළුවන්වන්නේය.
8 නුමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත; මා පස්සට ගියත් උන්වහන්සේ දකින්ට නොහැකිවෙමි.
9 වම් පැත්තෙහි උන්වහන්සේ ක්‍රියා කරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තෙහිද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක.
10 එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.
11 මාගේ පාදය උන්වහන්සේගේ අඩි පාර අනුවම ගියේය; මම අහක් නොවී උන්වහන්සේගේ මාර්ගයෙහිම ගියෙමි.
12 උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ 23:12 නොහොත්, මාගේම නියෝගයකට වඩා. වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.
13 එහෙත් උන්වහන්සේගේ අදහස එකක්මය, උන්වහන්සේ හරවන්නේ කවුද? තමන්වහන්සේගේ සිතට කැමති දෙයම උන්වහන්සේ කරනසේක.
14 එසේය, මා ගැන නියමකර තිබෙන දේ උන්වහන්සේ ඉෂ්ටකරනසේක. එබඳු බොහෝ කාරණා උන්වහන්සේ වෙත තිබේ.
15 එබැවින් මම උන්වහන්සේ ඉදිරියෙහි කැලඹෙමි; කල්පනාකරන කල උන්වහන්සේ ගැන භයවෙමි.
16 දෙවියන්වහන්සේ මාගේ සිත ක්ලාන්තකළසේක. සර්වපරාක්‍රමයාණෝ මා කැලඹූසේක.
17 ඒ වනාහි අන්ධකාරය පැමිණෙන්ට මත්තෙන් මා සිඳිනු නොලැබූ නිසාත් උන්වහන්සේ මාගේ මුහුණෙන් ඝනාන්ධකාරය නොසැඟෙවු නිසාත්ය.



පරිච්ඡේදය 24

1 සර්වපරාක්‍රමයාණන් විසින් කාලයන් නියමකර නැත්තේ මන්ද? උන්වහන්සේ අඳුනන අය උන්වහන්සේගේ දවස් නොදකින්නේ මන්ද?
2 මායිම් පහකරන්නාවූ අය සිටිති; ඔව්හු මෘග රැළවල් පැහැරගෙන ගොස් තණ කවති.
3 ඔව්හු පියා නැත්තාගේ කොටළුවා දක්කාගන යති, වැන්දඹුවගේ හරකා උකසට ගනිති.
4 ඔව්හු දිළිඳුන් මාර්ගයෙන් හරවති. පොළොවේ දුප්පත් සියල්ලෝ එක්ව සැඟවෙති.
5 කාන්තාරයේ වල් කොටළුවන් මෙන් ඔව්හු කෑම සොයමින්ම තමුන්ගේ වැඩේට පිටත්ව යති; මරුකතර ඔවුන්ගේ දරුවන්ට කෑම දෙයි.
6 ඔව්හු කෙතේ කටුසර බෝග කපාගනිති; දුෂ්ටයාගේ මිදිවත්තේ ඉතිරි ඵලද අවුලාගනිති.
7 ඔව්හු රෑ මුළුල්ලේ වස්ත්‍ර නැතුව නග්නව ලගිති, ශීතලට වැස්මකුත් ඔවුන්ට නැත.
8 ඔව්හු කඳුවල වැස්සට තෙමී, මුවාවක් නැති හෙයින් පර්වතයට ඇලී හිඳිති.
9 පියා නැත්තා ළයෙන් උදුරාගන්නොත් අසරණයාගෙන් උකසක් ගන්නොත් ඇත.
10 එබැවින් ඔව්හු ඇඳුම් නැතුව නග්නව ඇවිදිති, සාගින්නෙන් යුක්තව ගොයම් මිටි ගෙනයති;
11 ඒ මනුෂ්‍යයන්ගේ තාප්ප ඇතුළෙහි ඔව්හු තෙල් හිඳිති; මිදි යන්ත්‍ර පාගමින් පිපාසය විඳිති.
12 ජනගහනවූ නුවර තුළ සිටි මරණාසන්න වූවත් කෙඳිරිගාති, තුවාලවූවන්ගේ ආත්මද මොරගසති. එහෙත් දෙවියන්වහන්සේ ඒ වරද නොසලකනසේක.
13 මොව්හු ආලෝකයට විරුද්ධව කැරළි ගසන්නෝ වෙති; මොව්හු ඒකේ මාර්ගයන් නොදනිති, ඒකේ මාවත්වල නොපවතී.
14 මිනීමරුවා එළිවෙන විටම නැඟිට අසරණයාත් දිළින්දාත් මරන්නේය; රාත්‍රියේ ඔහු සොරෙකු මෙන් වේ.
15 කාමමිථ්‍යාචාරිකයාගේ ඇසද ඇඳිරිවෙන තුරු බලා සිට: කිසි ඇසකට මා නොපෙනෙන්නේය කියා ඔහු තමාගේ මුහුණේ වැස්මක් දමාගනී.
16 ඔව්හු අන්ධකාරයේදී ගෙවල් උමංකණිති. දවාලෙහි සැඟවී ඉඳිති; ඔව්හු එළිය නොදනිති.
17 මක්නිසාද පහන්වීම ඔවුන් සියල්ලන්ට මරණ සෙවණ වැනිය; මක්නිසාද ඔව්හු මරණ සෙවණේ භයංකරකම් දනිති.
18 ඔහු වනාහි ජලය මතුපිට තිබෙන සැහැල්ලු දෙයක් මෙන්ය; ඔවුන්ගේ කොටස පොළොවෙහි ශාපලත් එකක්ය. මිදිවතු දෙසට ඔහු නොහැරෙයි.
19 නියඟය හා ග්‍රීෂ්මය හිම වතුර සිඳදමන්නේ යම්සේද, ෂෙයෝල 24:19 හෙවත්, මිනීවළ. වනාහි පව්කළ අයට එසේම කරන්නේය.
20 ඔහු බිහිකළ තැනැත්තී ඔහුව මතක නැතිකරයි; ඔහු පණුවන්ට මිහිරි කෑමක් වන්නේය. ඔහු තවත් සිහි නොවන්නේය. අධර්මිෂ්ඨකමද ගහක් මෙන් කඩා දමනු ලබන්නේය.
21 දරුවන් බිහිනොකරන වඳ ස්ත්‍රියට ඔහු පීඩාකරයි; වැන්දඹුවට යහපත කරන්නෙත් නැත.
22 ඔහු තමාගේ බලයෙන් බලවත් අය අහකට ඇද දමයි. ඔහු නැගිටින කල කිසිවෙකුට තමාගේ ජීවිතය ගැන විශ්වාසයක් නැත.
23 දෙවියන්වහන්සේ ඔවුන්ට සුවසේ සිටින්ට දෙන විට ඔව්හු නිශ්චලව සිටිති; උන්වහන්සේගේ ඇස් ඔවුන්ගේ මාර්ග දෙස තිබෙයි.
24 ඔව්හු උසස්වෙන නුමුත් ටික කලකින් නැතුව යති; එසේය, ඔව්හු පහත්කරනු ලැබ අන් සියල්ලන් මෙන් තුරන්ව යති, ගොයම් කරල් මෙන් කපනු ලබති.
25 ඒ එසේ නොවේනම් මා බොරුකාරයෙක් බව ඔප්පුකොට මාගේ කථාව නිෂ්ප්‍රභාකරන්නේ කවුදැයි කීවේය.



පරිච්ඡේදය 25

1 එවිට ෂූහියවූ බිල්දද් උත්තර දෙමින් කියනුයේ:
2 අධිපතිකමද භයංකරකමද උන්වහන්සේ වෙත තිබේ; උන්වහන්සේ තමන් උස් තැන්වලදී සමාදානය සිදුකරනසේක.
3 උන්වහන්සේගේ හමුදාවලට ගණනක් තිබේද? උන්වහන්සේගේ එළිය නොපායන්නේ කා කෙරෙහිද?
4 එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියෙකුගෙන් උපන් තැනැත්තා පවිත්‍රවන්නේ කොහොමද?
5 බලව, චන්ද්‍රයා පවා දීප්තිමත් නොවේ; තාරකාද උන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නොවෙති.
6 පණුවෙක් වැනිවූ මනුෂ්‍යයාත් පණුවෙක් වැනිවූ මනුෂ්‍ය පුත්‍රයාත් ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේදැයි කීවේය.



පරිච්ඡේදය 26

1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2 ඔබ ශක්තිය නැත්තාට උපකාරකළ හැටි! බලය නැති හස්තය මුදාදුන් හැටි!
3 නුවණ නැත්තාට දැනුමැතිකම් දී, සැබෑ දැනගැන්ම බොහෝසෙයින් ප්‍රකාශකළ හැටි!
4 ඔබ කාට වචන කීවෙහිද? ඔබෙන් නික්ම ආවේ කාගේ ආත්මයද? 26:4 හෙවත්, හුස්ම.
5 ජලය හා එහි වැසියන්ට යටින් නැසීගිය අය වෙවුලති.
6 ෂෙයෝල 26:6 එනම්, මිනීවළ. උන්වහන්සේ ඉදිරිපිට ඇරී තිබේ, අබද්දොනටද 26:6එනම්, විනාශය. වැස්මක් නැත.
7 උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරිනසේක, පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක.
8 උන්වහන්සේ තමන්ගේ ඝන වලාකුල්වල වතුර බැඳ තබනසේක; වලාකුළද ඒ යටින් නොපැළෙයි.
9 උන්වහන්සේ තමන් වලාකුළ අතුරා, සිංහාසනය නොපෙනෙන ලෙස වසනසේක.
10 එළිය අඳුරට මාරුවෙන මායිම දක්වා උන්වහන්සේ ජල මතුයෙහි චක්‍රයක් ඇඳ තිබේ.
11 උන්වහන්සේගේ තරවටුවට අහසේ කණු වෙවුලා ත්‍රස්තවෙති.
12 උන්වහන්සේ තමන්ගේ බලයෙන් මුහුද නිශ්චලකරනසේක; 26:12 නොහොත්, චංචලකරනසේක. තමන්වහන්සේගේ නුවණින් රාහබ්ට 26:12 එනම්, උඩඟුකම හෙළාදමනසේක. ඇන දමනසේක.
13 උන්වහන්සේගේ ආත්මය කරණකොටගෙන අහස අලංකාරව තිබේ; උන්වහන්සේගේ අත ශීඝ්‍ර සර්පයා තුවාලකළසේක.
14 මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.



පරිච්ඡේදය 27

1 නැවත යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ:
2 මාගේ යුක්තිය වැලැක්වූ දෙවියන්වහන්සේද මාගේ ආත්මය ශෝකකළාවූ සර්වපරාක්‍රමයාණන්ද ජීවමාන බව සැබෑවාසේම,
3 (මාගේ හුස්ම මා තුළේද, දෙවියන්වහන්සේ දුන් පණ මාගේ නාසේද තිබෙන තුරුම,)
4 සැබවින් මාගේ තොල්වලින් අධර්මිෂ්ඨ දෙයක් නොකියන්නෙමි, මාගේ දිවෙන් ප්‍රයෝගයක් නොනික්මවන්නෙමි.
5 ඔබ සැම නිදොස්කිරීම මාගෙන් දුරුවේවා. මා නසින තුරුම මාගේ අවංකකම පහ නොකරන්නෙමි.
6 මාගේ ධර්මිෂ්ඨකම අත්නෑර ඒක අල්ලාගනම සිටින්නෙමි. මට දිවි ඇති තාක් මාගේ සිත මට වරද නොතබන්නේය.
7 මාගේ සතුරා දුෂ්ටයෙකු මෙන්ද මාගේ විරුද්ධකාරයා අධර්මිෂ්ඨයෙකු මෙන්ද වේවා.
8 අභක්තිකයා කොල්ලකාගන්න නුමුත්, දෙවියන්වහන්සේ ඔහුගේ ප්‍රාණය අහක්කරගන්න විට ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද?
9 විපත ඔහු පිටට පැමිණෙන විට දෙවියන්වහන්සේ ඔහුගේ හඬගැසීම අසනවා ඇද්ද?
10 ඔහු සර්වපරාක්‍රමයාණන් තුළ ප්‍රීතිවී, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤාකරනවා ඇද්ද?
11 සර්වපරාක්‍රමයාණන් වෙත තිබෙන දේ නොසඟවා, දෙවියන්වහන්සේගේ හස්තය ගැන ඔබ සැමට උගන්වන්නෙමි.
12 බලව, ඔබ සැම සියල්ලෝම එය දුටුවෝය; එසේනම් ඔබ සැම මෙසේ නිෂ්ඵල දේ කථාකරන්නේ මක්නිසාද?
13 දෙවියන්වහන්සේගෙන් දුෂ්ට මනුෂ්‍යයෙකුට ලැබෙන කොටසත් බලාත්කාරකාරයන්ට සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් මේය.
14 ඔහුගේ දරුවන් බෝවෙතත් ඒ කඩුවටය; ඔහුගෙන් පැවත එන්නෝද කෑමෙන් තෘප්තියට නොපැමිණෙන්නෝය.
15 ඔහුගෙන් ඉතුරු අය වසංගතයෙන් මිනීවළට පත්වන්නෝය, ඔහුගේ වැන්දඹුවෝද නොවැලපෙන්නෝය.
16 ඔහු පස් වාගේ රිදී ගොඩකරගන, මැටි වාගේ වස්ත්‍ර සපයාගත්තත්,
17 ඔහු සපයන ඒවා ධර්මිෂ්ඨයා ඇඳගන, නිර්දෝෂ අය ඒ රිදී බෙදාගන්නවා ඇත.
18 කාවා 27:18 නොහොත්, මකුළුවා. මෙන්ද පැල් රකින්නා සාදන මඩුවක් මෙන්ද ඔහු තමාගේ ගෙය ගොඩනගයි.
19 ඔහු පොහොසත්ව සැතපෙන නුමුත් තවත් 27:19 නොහොත්, වළලනු නොලබන්නේය. එසේ නොකරන්නේය; ඔහු තමාගේ ඇස් ඇර බලන්නේය, එවේලේම නැතිවී යන්නේය.
20 භයානකකම් ජලයන් මෙන් ඔහු පිටට පැමිණෙන්නේය; රාත්‍රියේදී කුණාටුවක් ඔහු පැහැරගෙන යන්නේය.
21 පෙරදිග සුළඟින් ඔහු ගෙනයනු ලබන්නේය, ඔහුද පහව යයි; එය ඔහුගේ ස්ථානයෙන් ඔහු හෙළා දමයි.
22 ඔහු දෙවියන්වහන්සේගේ හස්තය කෙරෙන් පලායන්ට හදන නුමුත්, උන්වහන්සේ ඔහුට කරුණා නොකොට ඔහු පිටට පහර එවනවා ඇත.
23 මනුෂ්‍යයෝ අත්පිඩිගසා නිග්‍රහකොට ඔහුගේ ස්ථානයෙන් ඔහු පන්නා දමන්නාහුය.



පරිච්ඡේදය 28

1 සැබවින් රිදී තිබෙන ආකරයක්ද පිරිසිදුකරන රනට ස්ථානයක්ද තිබේ.
2 යකඩ පොළොවෙන් හාරාගනු ලැබේ. ගල් උණුකර පිත්තල ලබාගනිති.
3 මනුෂ්‍යයා අන්ධකාරය පහකොට ඝනාන්ධකාරයෙත් මරණ සෙවණෙත් ගල් තීන්දුවටම සොයයි.
4 මිනිසුන් වාසයකරන තැනට දුරින් ඔහු පොළොව හාරා බසියි; ඔව්හු මනුෂ්‍යයන්ගෙන් ඈත්ව, පාදයට නොදැනෙන හැටියට එල්ලී ඉඳ එහා මෙහා පදිති.
5 පොළොවෙන් කෑම හටගනියි. නුමුත් ඇතුළත ගින්නෙන් මෙන් පෙරළා තිබේ.
6 ඒකේ ගල් අතරේ නීලමාණික්‍යද රන් සුණුද තිබේ.
7 ඒ මාවත කිසි පක්ෂියෙක් නොදනියි, උකුස්සාගේ ඇසට ඒක නොපෙනුණේය.
8 චණ්ඩ මෘගයෝ එහි පය නොතැබුවෝය, රෞද්‍ර සිංහයෙක්ද ඒ ළඟින් නොගියේය.
9 ඔහු තමාගේ අත ගිනිගල් පර්වතයට විරුද්ධව දිඟුකොට, කඳු මුලින්ම පෙරළන්නේය.
10 ඔහු පර්වතවල දිය පාරවල් කපා සියලු ආකාර අනර්ඝ දේ තමාගේ ඇසින් දකින්නේය.
11 නොවැස්සෙන හැටියට ඔහු ගංගා අහුරයි; සැඟවී තිබෙන දේ එළියට ගෙනෙයි.
12 නුමුත් ප්‍රඥාව සම්බවන්නේ කොතැන්හිද? නුවණ තිබෙන තැන කොහේද?
13 මනුෂ්‍යයා ඒකේ අගය නොදනියි; ජීවතුන්ගේ දේශයෙහි ඒක සම්බනොවෙයි.
14 ඒක මා තුළ නැතැයි ගැඹුර කියන්නේය. ඒක මා වෙත නැතැයි මුහුදත් කියන්නේය.
15 රත්රන් දීලා ඒක ගන්ට බැරිය, ඒකේ වටිනාකමට රිදී කිරා දීලාවත් එය ලබාගත නොහැකිය.
16 ඒක ඕපීර්හි රනින්වත් අනර්ඝ නඛමාණික්‍යයෙන්වත් නීලකාන්තයෙන්වත් මිලකරන්ට බැරිය.
17 රන්වන් වීදුරුවත් ඊට සමාන නොවේ; පවිත්‍ර රන් ආභරණවලට ඒක මාරුකරන්ට බැරිය.
18 රතුකැට සහ පළිඟු සඳහන් කරන්ටවත් වුවමනා නැත. එසේය, ප්‍රඥාව මුතුවලටත් වඩා අගේය.
19 කූෂ්හි පුෂ්පරාග ඊට සමාන නොවේ. පවිත්‍ර රනින් ඒකේ අගය නියමකරන්ට බැරිය.
20 එසේ වී නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනින්ද? නුවණ තිබෙන තැන කොහේද?
21 ඒක පණ ඇති සියල්ලන්ගේ ඇස්වලට නොපෙනී, ආකාශ පක්ෂීන්ගෙන්ද සැඟවී තිබේ.
22 ඒකේ කීර්තිය අපේ කන්වලින් ඇසීමුයයි විනාශයත් 28:22 පරිච්ඡේද
26 .6 බලනු. මරණයත් කියති.
23 ඒකේ මාර්ගය දෙවියන්වහන්සේට තේරුම් තිබේ, එය තිබෙන ස්ථානයද උන්වහන්සේ දන්නාසේක.
24 මක්නිසාද උන්වහන්සේ පොළොවේ කෙළවරවල් දක්වා බලා, අහස යට සියල්ල දකිනසේක.
25 උන්වහන්සේ සුළඟ නිසි බරට හදන්ටත්, ජලයන් මිම්මකින් මනින්ටත්,
26 වර්ෂාවට නියෝගයක්ද ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්ටත් යෙදුණු විට,
27 උන්වහන්සේ ඒක දැක කියාදුන්සේක; ඒක ස්ථිරකර සෝදිසිකළසේක.
28 උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.



පරිච්ඡේදය 29

1 නැවතත් යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ:
2 අනේ, ඉස්සර මාස වන දෙවියන්වහන්සේ මා රැකවල්කළ දවස්වලදී මෙන් මට සිටින්ට ඇත්නම්!
3 එකල උන්වහන්සේගේ පහන මාගේ හිසට උඩින් බැබළුණේය, මමද උන්වහන්සේගේ එළියෙන් අන්ධකාරය මැදින් ගියෙමි;
4 මාගේ සරත් කාලයෙහි මා සිටි ලෙසම සිටින්ට ඇත්නම්! එකල දෙවියන්වහන්සේගේ මිත්‍ර ලාභය 29:4 එනම්, සමෘද්ධිය ඇතිවූ කාලය. මාගේ කූඩාරම කෙරෙහි තිබුණේය;
5 සර්වපරාක්‍රමයාණෝ ඒ දක්වා මා සමඟ සිටිසේක, මාගේ දරුවෝද මා වටකර සිටියෝය.
6 එකල මාගේ පියවර ගිතෙලින් සෝදා ගතිමි, පර්වතයෙන්ද තෙල් ගංගා මා වෙත ගලා ආවේය.
7 මා නුවර දොරටුව ළඟට නික්ම ගොස් එළිමහනෙහි මාගේ ආසනය තැබූ කල,
8 තරුණයෝ මා දැක සැඟවුණෝය, මහල්ලෝද නැගිට සිටියෝය.
9 අධිපතීහු කථාව නවත්වා සිටියෝය, අතින් තමුන්ගේ කට වසාගත්තෝය.
10 උත්තමයින්ගේ හඬ නැවතී, ඔවුන්ගේ දිව ඔවුන්ගේ උඩුතල්ලේ ඇලුණේය.
11 මක්නිසාද කන ඇසූ කල්හි මට ආශීර්වාදකෙළේය; ඇසද මා දුටු කල්හි මා ගැන වර්ණනා කෙළේය.
12 මක්නිසාද හඬා සිටි අසරණයාද පියා නැත්තා සහ උපකාරකාරයෙක් නැත්තාද ගැළෙවුවෙමි.
13 නාස්තිවෙන්ට ළංව සිටි අයගේ ආශීර්වාදය මා පිටට පැමුණුණේය. වැන්දඹුවගේ සිතත් ප්‍රීතියෙන් පිනායන්ටද සැලැස්වීමි.
14 මම ධර්මිෂ්ඨකම පැළඳගතිමි, එයද මා පැළඳගත්තේය; මාගේ යුක්තිය සළුවක්ද මකුටයක්ද මෙන් තිබුණේය.
15 මම අන්ධයාට ඇස්ව කොරාට පාදව සිටියෙමි.
16 මම දිළිඳාට පියෙක් වීමි; මා නොදැන සිටි අයගේ කාරණය සොයා බැලීමි.
17 මම අධර්මිෂ්ඨයාගේ හක්ක බිඳදමා, ඔහුගේ අත්වලින් ගොදුර උදුරා හැරියෙමි.
18 එවිට මම කථාකොට: මාගේ කැදැල්ලෙහි නසින්නෙමි, මාගේ දවස්ද වැලි මෙන් වැඩිවන්නේය.
19 මාගේ මුල ජලය දක්වා පැතිර ගියේය, පිනිද රෑ මුළුල්ලේ මාගේ අත්ත පිට පවතින්නේය.
20 මාගේ ඉසුර මා කෙරෙහි අමුව තිබේ, මාගේ දුන්නද මාගේ අතෙහි අලුත්වන්නේයයි කීමි.
21 මනුෂ්‍යයෝ මට ඇහුම්කන්දී බලාසිට, මාගේ දැනමුතුකම ලබන්ට නිශ්ශබ්දවුණෝය.
22 මාගේ වචනවලට පසු ඔව්හු කථානොකර සිටියෝය; මාගේ කථාව පිනි මෙන් ඔවුන් පිට වැටුණේය.
23 වැස්ස ගැන මෙන් ඔව්හු මා ගැන බලාසිටියෝය; අන්තිම වර්ෂාව ගැන මෙන් තමුන්ගේ මුඛය ඇරගන සිටියෝය.
24 මා සිනාසී ඔවුන් දෙස බැලූ කල ඔව්හු විශ්වාස නොකළෝය; මාගේ මුහුණේ එළියද නොසලකා නොසිටියෝය.
25 මම ඔවුන්ගේ මාර්ගය නියමකරදී, ප්‍රධානියාව හිඳ, හමුදාවෙහි රජෙකු මෙන්ද වැලපෙන්නන් සනසන්නෙකු මෙන්ද වාසයකෙළෙමි.



පරිච්ඡේදය 30

1 නුමුත් දැන් වයසින් මට වඩා බාලයෝ මට සරදම්කරති, ඔවුන්ගේ පියවරුන් මාගේ මෘග රැළේ බල්ලන් සමඟ සිටවන්ටවත් වටීයයි නොසිතුවෙමි.
2 එසේය, ඔවුන්ගේ අත්වල ශක්තියෙන් මට ඇති කම මොකද? ඔව්හු වනාහි බලය පිරිහී ගියාවූ මනුෂ්‍යයෝය.
3 හිඟකමද සාගතයද නිසා ඔව්හු කෘශව සිටිති; ඔව්හු පාළුවූ නිස්සාරවූ අඳුරු ඉඩම්වලදී, වියළි 30:3 නොහොත්, මරුකතරෙන් යන්තම් රක්ෂාවෙමින්. බිම්හි කෑම සොයමින්;
4 ලුණු ගස් පඳුරු පිටින් උදුරාගනිති; රොතෙම් මුල් ඔවුන්ගේ කෑම වේ.
5 ඔව්හු මනුෂ්‍යයන් අතරෙන් එළවනු ලබති; මනුෂ්‍යයෝ සොරෙකුට මෙන් ඔවුන්ට විරුද්ධව කෑගසමින් ඔවුන් ලුහුබඳිති.
6 අඳුරු මිටියාවත් කුහරවලද පොළොවෙන් පර්වතවලත් ගුහාවලද ඔව්හු වාසයකෙරෙති.
7 පඳුරු අතරේ ඔව්හු මොරගසති, කටුගස් යට ලගිති.
8 ඔව්හු මෝඩයන්ගේ පුත්‍රයෝය; එසේය, නීචයන්ගේ පුත්‍රයෝය; ඔව්හු දේශයෙන් තල්ලුකරදමනු ලැබුවෝය.
9 දැන් වනාහි මම ඔවුන්ගේ ගීතිකාව වී සිටිමි, එසේය, ඔවුන්ට නින්දා පාඨයක්ව සිටිමි.
10 ඔව්හු මා පිළිකුල්කොට මාගෙන් දුරුවෙති, මාගේ මුහුණ ඉදිරියෙහි කෙළගසන්ට භය නැත්තෝය.
11 උන්වහන්සේ තමන්ගේ පටිය ලිහා මට පීඩාකළ බැවින්, ඔව්හු මා ඉදිරියෙහි කටකලියාව අහක දැමුවෝය.
12 මාගේ දකුණු පැත්තෙහි කොලු රැළක් නැගිටිති; ඔව්හු මාගේ පාද තල්ලුකරදමති, මට විරුද්ධව ඔවුන්ගේ විනාශකාර මාර්ග ගොඩකරති.
13 ඔව්හු මාගේ පාර පෙරළාදමති, උදව්කාරයෙක් නැතුව සිටියදී, ඔව්හු මාගේ විපත්තිය වැඩිකරති.
14 ඔව්හු පළල් කපල්ලකින් මෙන් වැද, බිඳුණු තැන මැදින් මා පිටට පෙරළී එති.
15 භයානකකම් මා පිටට හැරී තිබේ; ඒවා සුළඟ මෙන් මාගේ ගරුත්වය ලුහුබැඳ එති; මාගේ ඉසුර වලාකුළක් මෙන් පහව ගියේය.
16 දැන් මාගේ ආත්මය මා තුළ වැගිරෙයි; විපත්ති දවස් මා අල්ලාගත්තේය.
17 රාත්‍රියේදී මාගේ ඇට මා තුළ සිදුරුවේ; මා විකාකන වේදනාවෝ විශ්‍රාම නොගනිති.
18 මාගේ රෝගයේ තදකම නිසා මාගේ වස්ත්‍රය දුර්වර්ණවී තිබේ. මාගේ සළුවේ කරපටිය මෙන් එය මා වටේ ඇලී තිබේ.
19 උන්වහන්සේ මා මඩේ හෙළූසේක, මම දූවිලි සහ අළු මෙන් වී සිටිමි.
20 මා ඔබට හඬගසන නුමුත් ඔබ මට උත්තර නොදෙනසේක; මා නැගිට සිටින නුමුත් ඔබ මා දෙස නිකම් බලාසිටිනසේක,
21 ඔබ මට කෲරතර වී සිටිනසේක, ඔබගේ අතේ බලයෙන් මට පීඩාකරනසේක.
22 ඔබවහන්සේ මා සුළඟට අසුකරදී, ගසාගන ගොස්, කුණාටුවෙන් දියවෙන්ට සලස්වනසේක.
23 මක්නිසාද ඔබ මරණයටත් ජීවත්ව සිටින සියල්ලන්ට නියමවූ ගෙටත් මා පමුණුවන බව දනිමි.
24 සැබවින් උන්වහන්සේ ජරාවාස පස් ගොඩකට විරුද්ධව තමන් අත දිගු නොකරනසේක; මේ කාරණා නිසා තමාගේ විනාශයේදී වුවත් යමෙකුට මොරගැසිය හැක්කේය.
25 දුකට පත්වූ අය ගැන මා වැලපුණේ නැද්ද? දිළිඳුන් ගැන මාගේ ආත්මය ශෝක නොවීද?
26 මා විසින් සැපත බලාසිටි කල විපත පැමිණියේය; එළිය ගැන බලාසිටිද්දී අන්ධකාරය පැමිණියේය.
27 මාගේ බඩවැල් නොනැවතී චංචල වෙති; විපත්ති දවස් මා පිටට පැමිණ තිබේ.
28 මම අව්වෙන් නොව ශෝකයෙන් කළුවී ඇවිදිමි; සභාවෙහි නැගිට පිහිට ඉල්ලා කෑ ගසමි.
29 මම සිවලුන්ට සහෝදරයෙක්ද පැස්බරුන්ට සමාගම්කාරයෙක්ද වී සිටිමි.
30 මාගේ හම කළුවී මා කෙරෙන් වැටෙන්නේය, මාගේ ඇට උෂ්ණයෙන් දැවෙන්නේය.
31 එබැවින් මාගේ වීණාව වැලපීමටත් මාගේ නළාව හඬන්නන්ගේ ශබ්දයටත් මාරුවී තිබේ.



පරිච්ඡේදය 31

1 මාගේ ඇස් සමඟ ගිවිසුමක් කෙළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද?
2 ඉහළ සිටින දෙවියන්වහන්සේගෙන් ලැබෙන කොටසත් උසස් තැන්හි සිටින සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් කිමෙක්ද?
3 අධර්මිෂ්ඨයාට විනාශයත් අයුතුකම්කරන්නන්ට විපත්තියත් නොවේද?
4 උන්වහන්සේ මාගේ මාර්ග දැක, මාගේ සෑම අඩි ගණන්කරනවා නොවේද?
5 මා බොරුකාරකමෙන් හැසිරෙන්ටත් මාගේ පය වංචාවට ඉක්මන්වෙන්ටත් යෙදුණා නම්,
6 (උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නමැති තරාදියෙන් මා කිරාබලනසේක්වා, එවිට දෙවියන්වහන්සේ මාගේ අවංකකම දැනගන්නවා ඇත;)
7 මාගේ අඩිය මාර්ගයෙන් අහක්ව යන්ටත්, මාගේ සිත මාගේ ඇස් අනුව යන්ටත්, මාගේ අත්වලට කිසි කිලුටක් ඇලෙන්ටත් යෙදුණා නම්,
8 මා වපුරන ඒවා වෙන කෙනෙක් අනුභව කෙරේවා; එසේය, මාගේ කෙතේ අස්වැන්න උදුරාදමනු ලැබේවා.
9 මාගේ සිත ස්ත්‍රියෙක් කෙරෙහි ඇදීගියේ නම්, මම මාගේ අසල්වාසියාගේ දොරකඩ ළඟ රැක සිටියෙම් නම්,
10 මාගේ භාර්යාව වෙන කෙනෙකුට ධාන්‍ය අඹරාවා, අන්‍යයෝද ඈ සමඟ සයනයකෙරෙත්වා.
11 මක්නිසාද එය දූෂ්‍ය අපරාධයක්ය; එසේය, එය විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතුවූ අයුතුකමක්ය.
12 එය විනාශය දක්වාම දවන ගින්නක්ය, එයින් මාගේ මුළු සම්පත උදුරාදමනු ලබන්නේය.
13 මාගේ වැඩකාරයාවත් වැඩකාරීවත් මා සමඟ විවාදකරන විට මම ඔවුන්ගේ යුක්තිය නොසලකා ඇරියෙම්නම්,
14 දෙවියන්වහන්සේ නැගිටින විට මම කුමක් කරම්ද? උන්වහන්සේ විභාගකරන කල මා කවර උත්තරයක් දෙන්ටද?
15 කුසෙහි මා සෑදූ උන්වහන්සේ ඔහුත් නොසෑදූසේක්ද? ගර්භයෙහි අප තැනුවේ එක්කෙනෙක්ම නොවේද?
16 (පියා නැත්තා මාගේ බාල වයසේ පටන් පිය කෙනෙකු ළඟ මෙන් මා ළඟ ඇතිකළාවූද මාගේ මවු කුස පටන් වැන්දඹුවට ආධාරවුණාවූද මම)
17 දුප්පතුන් ආශාවූ දේ ඔවුන්ගෙන් වැලැක්වීම් නම්, නොහොත් වැන්දඹුවගේ ඇස් ක්ෂය වෙන්ට සැලැස්වීම් නම්,
18 පියා නැත්තාට මාගේ කොටසෙන් කන්ට නොදී තනියම ඒක කෑවෙම් නම්,
19 යමෙක් වස්ත්‍ර නැතිකමින් නසින බවත් දිළින්දාට වැස්මක් නැති බවත් මා දුටු විට,
20 මට ආශීර්වාදකරන හැටියට ඔහුගේ ඉඟටිය මාගේ බැටළු ලොම්වලින් උණුහුම් නොවී නම්,
21 මාගේ උපකාරකාරයෙක් දොරටුවේ සිටිනවා මා දුටු නිසා පියා නැත්තාට විරුද්ධව මාගේ අත එසවීම් නම්,
22 මාගේ උරහිස ඒකේ සන්ධිස්ථානයෙන් ගැළවී වැටේවා, මාගේ හස්තය ඒකේ වැලමිටේන් බිදීයේවා.
23 මක්නිසාද දෙවියන්වහන්සේගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය, උන්වහන්සේගේ මහන්තත්ත්වය ඉදිරියෙහිද මට කිසිවක් කළ නොහැකිවිය.
24 මම රත්රන් මාගේ බලාපොරොත්තුව කොට ගතිම් නම්, ඔබ මාගේ විශ්වාසයයයි පවිත්‍ර රනට කීයෙම් නම්,
25 මාගේ සම්පත වැඩි නිසාත් මාගේ අත හුඟක් සම්බකරගත් නිසාත් ප්‍රීතිවීම් නම්,
26 ඉර බැබළෙන හැටිද හඳ දීප්තිමත්ව ගමන්කරන බවද මා දුටු විට
27 මාගේ සිත රහසින් පෙලඹී, මාගේ මුඛය මාගේ අත සිඹගත්තේ නම්,
28 ඉහළ සිටින දෙවියන්වහන්සේ මා විසින් එපාකළ නිසා, ඒකත් විනිශ්චයකාරයන් විසින් දඬුවම්කළ යුතු අපරාධයක්ය.
29 මට වෛරවූ අයට පැමිණි විනාශයට මම සන්තෝෂවී, ඔහු විපත්තියට අසුවූ විට ප්‍රීතිවීම්නම්,
30 (එසේය, ඔහුගේ ජීවිතයට විරුද්ධව දෙස් කීමෙන් මාගේ මුඛයට පව්කරන්ට ඉඩනෑරියෙමි;)
31 ඔහුගේ කෑමෙන් තෘප්තිමත් නොවූ කෙනෙක් පෙන්වන්නේ කවුදැයි මාගේ කූඩාරමේ මනුෂ්‍යයෝ නොකීවෝ නම්,
32 අමුත්තා රාත්‍රිය එළියේ පසු නොකළේය; ගමන්කාරයාට මාගේ දොරවල් ඇරියෙමි;
33 මාගේ අයුතුකම මාගේ ළයේ සඟවා ගනිමින් මනුෂ්‍ය අන්දමින් මාගේ අපරාධ වැසීම් නම්,
34 මහත් සමූහයාට මා භයවූ නිසාත්, පවුල්වල හෙළාදැක්ම මා කැලඹූ නිසාත්, මා නිශ්ශබ්දව සිටි ගෙයින් පිට නොගියෙම් නම් -
35 අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්! (මෙන්න, මාගේ අත්සන තබමි, සර්වපරාක්‍රමයාණෝ මට උත්තරදෙනසේක්වා;) මාගේ එදිරිකාරයා මට විරුද්ධව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!
36 සැබැවින් ඒක මාගේ කර පිට තබා ගන්නෙමි; ඔටුන්නක් මෙන් බැඳගන්නෙමි.
37 මාගේ අඩිවල ගණන උන්වහන්සේට කියා සිටින්නෙමි; අධිපතියෙකු මෙන් උන්වහන්සේ ළඟට යන්නෙමි.
38 මාගේ බිම මට විරුද්ධව කෑගසා නම්, එහි සියලු හීවිටි අඬා පැමිණිලි කෙරේනම්,
39 මම මිල නොදී ඒකේ අස්වැන්න කා, ඒකේ අයිතිකාරයන්ගේ ප්‍රාණ හානි කෙළෙම් නම්,
40 තිරිඟු වෙනුවට කටුගස්ද යව වෙනුවට වල්ගස්ද වැවේවායි කීවේය. යෝබ්ගේ වචන නිමි.



පරිච්ඡේදය 32

1 තමාම ධර්මිෂ්ඨ යයි යෝබ් සිතූ බැවින් මේ මනුෂ්‍යයන් තුන්දෙන ඔහුට උත්තරදීම නැවැත්තුවෝය.
2 එවිට රාම්ගේ පෙළපතේ බූසිය බාරෙකල්ගේ පුත්‍රවූ එලීහුගේ උදහස ඇවුළුණේය.යෝබ් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය.
3 ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාද යෝබ් කෙරෙහි වරද තැබූ නුමුත් ඔහුට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණ බැවින් ඔවුන්ටත් විරුද්ධව ඔහුගේ උදහස ඇවුළුණේය.
4 එලීහු යෝබ්ට උත්තර නොදී ප්‍රමාදව සිටියේය, මක්නිසාද ඔව්හු ඔහුට වඩා වැඩිමහල්ය.
5 මේ මනුෂ්‍යයන් තුන්දෙනාගේ මුඛයෙහි උත්තරයක් නැති බව එලීහු දුටු විට ඔහුගේ උදහස ඇවුළුණේය.
6 එකල බූසිය බාරෙකල්ගේ පුත්‍රවූ එලීහු උත්තරදෙමින් කියනුයේ: මම වයසින් බාලව සිටිමි ඔබ සැම නම් වයෝවෘද්ධයෝය; එබැවින් මම පස්සට වී මා දන්නා දේ ඔබ සැමට කියන්ට භයවීමි.
7 වෘද්ධ 32:7 එනම්, වයෝවෘද්ධයන්. වයස කථාකළ යුතුය, අවුරුදු රාශිය ප්‍රඥාව ඉගැන්විය යුතු යයි කීමි.
8 එහෙත් මනුෂ්‍යයා තුළ ආත්මයක් ඇත්තේමය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්මද ඔවුන්ට ඥානය දෙන්නේය.
9 ප්‍රඥාවන්තව සිටින්නේ මහත් අයම නොවේ, යුක්තිය දැනෙන්නේ වැඩිමහල්ලන්ටම නොවේ.
10 එබැවින්: මාගේ වචන අසන්න; මමත් දන්න දේ කියන්නෙමියි කීමි.
11 මම ඔබ සැමගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැ යි ඔබ සැම සොයාගන්න තුරු ඔබ සැමගේ වාදයට ඇහුම්කන්දුනිමි,
12 එසේය, ඔබ සැමට මගේ සිත යොමු කෙළෙමි, එහෙත් යෝබ් හගිස්වන්ටවත් ඔහුගේ වචනවලට උත්තරදෙන්ටවත් කෙනෙක් ඔබ සැම අතරේ නොවීය.
13 එබැවින්: අපට ප්‍රඥාව සම්බවිය; මනුෂ්‍යයා නොව දෙවියන්වහන්සේ ඔහු පරාජයකරනවා ඇතැයි නොකියන්ට බලාගන්න.
14 මක්නිසාද ඔහු තමාගේ වචන මට විරුද්ධව යොමු නොකළේය; මමත් ඔබ සැමගේ කථාවලින් ඔහුට උත්තර නොදෙන්නෙමි.
15 ඔව්හු කැලඹී තවත් උත්තර නොදී සිටිති, කියන්ට ඔවුන්ට වචන නැත.
16 එසේ ඔවුන් කථානොකර, තවත් උත්තරනොදී, නිකම් සිටින නිසා මම බලා සිටිම්ද?
17 ඉතින් මමත් මාගේ වාරයේදී උත්තර දෙන්නෙමි, මමත් දන්න දේ කියන්නෙමි.
18 මක්නිසාද මම වචනවලින් පිරී සිටිමි; මා තුළ තිබෙන ආත්මය මා පොලඹවන්නේය.
19 මෙන්න, මාගේ බඩ රැස්නොගිය මුද්‍රකපානයත් පිපිරෙන්ට ළංවූ අලුත් සම්භාජනත් මෙන්ය.
20 මට පහසු ලැබෙන පිණිස කථාකර, මාගේ තොල් ඇර උත්තර දෙන්නෙමි.
21 මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා; කිසි මනුෂ්‍යයෙකුට ඉච්චා නොකරන්නෙමි.
22 මක්නිසාද ඉච්චාකරන්ට මම නොදනිමි. එසේ කළොත් මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ඉක්මනින් මා තුරන්කරනවා ඇත.



පරිච්ඡේදය 33

1 ඒ කොයිහැටි නුමුත්, යෝබ්, මාගේ කථාව අසා, මාගේ සියලු වචනවලට ඇහුම්කන් දෙන්න.
2 මෙන්න, මාගේ මුඛය ඇරියෙමි, මාගේ මුඛයෙහි මාගේ දිව කථාකෙළේය.
3 මාගේ කීම් මාගේ සිතේ අවංකකමින් වන්නේය; මාගේ තොල්ද තමුන් දන්නා දේ පිරිසිදු ලෙස කථාකරන්නේය.
4 දෙවියන්වහන්සේගේ ආත්මය මා සෑදුවේය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්ම මා ජීවත්කරන්නේය.
5 ඔබට පුළුවන්නම් මට උත්තරදෙන්න; මට විරුද්ධව සැරසී නැගිට සිටින්න.
6 දෙවියන්වහන්සේ වෙත ඔබ යම්සේද මමත් එසේ වෙමි. මමත් මැටියෙන් සාදනලද්දෙමි.
7 මාගේ භීතිය ඔබ ත්‍රස්ත නොකරන්නේය; මාගේ බලගතුකම ඔබට බරක් නොවන්නේය.
8 සැබවින් මා අසාගන සිටියදී, ඔබේ වචනවල ශබ්දය මට ඇසෙන ලෙස ඔබ කථාකොට:
9 මම පවිත්‍රව වරදක් නැතුව සිටිමි; මම නිදොස්ව අයුතුකමක් නැතුව සිටිමි.
10 උන්වහන්සේ මා ගැන විරුද්ධ කාරණා සොයාගන, සතුරෙකු කොට මා ගණන්ගන්නාසේක;
11 මාගේ පාද දඬුගසනසේක; මාගේ සියලු මාවත්වල මුරකරනසේකැයි කීවෙහිය.
12 මේ ගැන ඔබ ධර්මිෂ්ඨලෙස කථානොකෙළෙහිය, මම ඔබට උත්තර දෙන්නෙමි; මක්නිසාද දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට වඩා උතුම්ය.
13 උන්වහන්සේට විරුද්ධව ඔබ විවාද කරන්නේ මක්නිසාද? උන්වහන්සේ වනාහි තමන්ගේ කිසි කාරණයක් ගැන උත්තර නොදෙනසේක.
14 මක්නිසාද මනුෂ්‍යයා නොසලකන නුමුත් දෙවියන්වහන්සේ එක වරදක්, එසේය, දෙවරක්,
15 ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක.
16 එකල මනුෂ්‍යයා ඔහුගේ අදහසින් හරවන පිණිසද, උඩඟුකම මනුෂ්‍යයාගෙන් පහකර,
17 ඔහුගේ ප්‍රාණය මිනීවළෙනුත් ඔහුගේ ජීවිතය කඩුවේ විනාශයෙනුත් ආරක්ෂාකරන පිණිසද,
18 උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ කන් අරවා, ඔවුන්ට දුන් දැනමුතුකම් මුද්‍රාකරනසේක.
19 ඔහු තමාගේ යහනේදී වේදනාවෙන්ද තමාගේ ඇටවල නිරන්තර පොරයකින්ද දඬුවම් ලබන්නේය.
20 ඔහුගේ ප්‍රාණය කෑමටද ඔහුගේ ආත්මය රස භෝජනයටද අප්‍රියකරන්නේය.
21 නොපෙනෙන ලෙස ඔහුගේ මාංසය ක්ෂයවී, නොපෙනුණාවූ ඔහුගේ ඇට පෑදෙන්නේය.
22 එසේය, ඔහුගේ ප්‍රාණය මිනීවළටත් ඔහුගේ ජීවිතය විනාශකාරයන්ටත් ළංවන්නේය.
23 මනුෂ්‍යයාට ඔහුගේ යුතුකම දක්වන පිණිස දහසක් අතරෙන් එක්කෙනෙක් වන දූතයෙකු එනම් තේරුම්කරදෙන කෙනෙකු ඔහුට ඇත්නම්,
24 උන්වහන්සේ ඔහුට කරුණාකොට: මිනීවළට නොබසින ලෙස ඔහු මුදන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත.
25 එවිට දරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත්වී, ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත.
26 ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කරනවා ඇත, උන්වහන්සේ ඔහු පිළිගෙන, උන්වහන්සේගේ මුහුණ ප්‍රීතියෙන් දකින්ට සලස්වා, නැවත මනුෂ්‍යයාට ඔහුගේ ධර්මිෂ්ඨකම පමුණුවනවා ඇත.
27 ඔහු මනුෂ්‍යයන් ඉදිරියේ ගීතිකා කරමින්: මම පව්කොට යුක්තිය පෙරළුවෙමි, එහෙත් මට කිසි ප්‍රතිඵලයක් නොවීය.
28 මිනීවළට යාමෙන් උන්වහන්සේ මාගේ ප්‍රාණය මිදූසේක, මාගේ ජීවිතයද එළිය දකින්නේයයි කියනවා ඇත.
29 මනුෂ්‍යයාට ජීවත්වීමේ එළිය ලැබීමට ඔහුගේ ප්‍රාණය මිනීවළෙන් නැවත ගෙනෙන පිණිස,
30 දෙවියන්වහන්සේ දෙවරක්, එසේය, තුන්වරක්, මේ සියල්ල ඔහුට කරනසේක.
31 එම්බා, යෝබ්, සැලකිල්ලෙන් ඇහුම්කන්දෙන්න; නිශ්ශබ්දව සිටින්න, මම කථාකරන්නෙමි.
32 කියන්ට යමක් ඇත්නම් මට උත්තරදී, කථාකරන්න, මක්නිසාද ඔබ ධර්මිෂ්ඨ බව පෙන්වන්ට කැමැත්තෙමි.
33 නැත්නම් මට ඇහුම්කන්දී, නිශ්ශබ්දව සිටින්න, මම ඔබට ප්‍රඥාව උගන්වන්නෙමියි කීවේය.



පරිච්ඡේදය 34

1 ඇරත් එලීහු උත්තර දෙමින් කියනුයේ:
2 ප්‍රඥාවන්තයෙනි, මාගේ වචන අසන්න; දැනගැන්ම ඇත්තෙනි, මට ඇහුම්කන්දෙන්න.
3 මක්නිසාද උඩුතල්ල කෑම රස බලන්නාක්මෙන් කනද වචන විමසන්නේය.
4 අපිම යුක්තිය සෝදිසිකර, යහපත කොයි එකද කියා අප අතරෙහි දැනගනිමු.
5 මක්නිසාද යෝබ් කථාකොට: මම ධර්මිෂ්ඨයෙමි, දෙවියන්වහන්සේ මාගේ යුක්තිය පහකළසේක.
6 යුක්තිය මා කෙරෙහි තිබෙන නුමුත් මම බොරුකාරයෙකැයි ගණන්ගනු ලබමි, මා අත අපරාධයක් නැති නුමුත් මාගේ තුවාලය අසාධ්‍යයයි කීවේය.
7 යෝබ්ට සමාන මනුෂ්‍යයා කවරේද? ඔහු නින්දාව වතුර මෙන් බොන්නේය.
8 අයුතුකම්කරන්නන් හා සමාගම්වී, දුෂ්ට මනුෂ්‍යයන් සමඟ හැසිරෙන්නේය.
9 මක්නිසාද: දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමෙන් මනුෂ්‍යයෙකුට කිසි ප්‍රයෝජනයක් නැතැයි ඔහු කීය.
10 එබැවින් තේරුම් ඇති මනුෂ්‍යයෙනි, මට ඇහුම්කන්දෙන්න; දෙවියන්වහන්සේගෙන් දුෂ්ටකම් කිරීමද සර්වපරාක්‍රමයාණන්ගෙන් අයුතුකම් කිරීමද දුරුවේවා.
11 මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ ක්‍රියා ලෙස ඔහුට ප්‍රතිඵල දී, ඒ ඒ අයගේ හැසිරීමේ හැටියට ඔහුට සිද්ධවෙන්ට සලස්වනසේක.
12 එසේය, සැබවින්ම දෙවියන්වහන්සේ දුෂ්ටකම් නොකරනසේක, සර්වපරාක්‍රමයාණෝ යුක්තිය නොපෙරළනසේක.
13 උන්වහන්සේට පොළොව භාරදුන්නේ කවුද? නොහොත් සකල ලෝකය පිහිටෙවුවේ කවුද?
14 උන්වහන්සේ තමන් සිත මනුෂ්‍යයා දෙසට යොමුකොට, ඔහුගේ ආත්මයද හුස්මද තමන් වෙතට එකතුකරගත්තොත්,
15 මාංසමයවූ සියල්ලෝ එකවිටම නසින්නෝය, මනුෂ්‍යයා දූවිල්ලට හැරීයන්නේය.
16 ඉතින් ඔබට ඥානය ඇත්නම් මේක අසා, මාගේ වචනවල හඬට ඇහුම්කන් දෙන්න.
17 සැබවින්ම යුක්තියට වෛරවෙන කෙනෙකුට ආණ්ඩුකරන්ට පුළුවන්ද? ධර්මිෂ්ඨවූ බලවත්වූ තැනන්වහන්සේ පිට ඔබ වරද තබන්නෙහිද?
18 රජෙකුට: නපුරාය කියාවත් උත්තමයන්ට: දුෂ්ටයෝය කියාවත් කියන්ට යුතුද?
19 එසේනම් අධිපතීන්ගේ තරාතිරම් නොබලන්නාවූ, දිළින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නාවූ තැනන්වහන්සේට එසේ කියන්නේ කොහොමද? මක්නිසාද ඔවුන් සියල්ලෝම උන්වහන්සේගේ අත්වල කර්මාන්තය.
20 ඇසිල්ලකින්, මධ්‍යම රාත්‍රියෙහි පවා, ඔව්හු නසින්නෝය; සෙනඟ කලඹනු ලැබ පහව යන්නෝය, බලවන්තයෝද අතක් 34:20 එනම්, මනුෂ්‍ය ක්‍රියාවක් නැතුව. නැතුව පහකරනු ලබන්නෝය.
21 මක්නිසාද උන්වහන්සේගේ ඇස් මනුෂ්‍යයාගේ මාර්ග කෙරෙහිය, ඔහුගේ සියලු යාම් ඊම් උන්වහන්සේ දක්නාසේක.
22 අයුතුකම්කරන්නන්ට සැඟවී ඉන්ට පුළුවන්වූ අන්ධකාරයක්වත් මරණ සෙවණක්වත් නැත.
23 මක්නිසාද මනුෂ්‍යයෙක් දෙවියන් වහන්සේ වෙතට විනිශ්චයට පමුණුවන පිණිස, ඔහු ගැන වැඩි කල් කල්පනාකරන්ට උන්වහන්සේට ඕනෑ නැත.
24 විභාගයක් නැතුව උන්වහන්සේ බලවතුන් පොඩිකරදමා, ඔවුන් වෙනුවට වෙන තැනැත්තන් සිටුවනසේක.
25 එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියා දැන, ඔවුන් සුන්වන ලෙස රාත්‍රියේදී ඔවුන් පෙරළාදමනසේක.
26 ඔවුන් උන්වහන්සේ අනුවයාමෙන් අහකට හැරී, උන්වහන්සේගේ සියලුම මාර්ග නොසලකා හැර,
27 දුප්පතාගේ මොරගැසීම උන්වහන්සේ වෙතට පැමිණෙන්ට සැලැස්වූ බැවින්ද, අසරණයන්ගේ මොරගැසීම උන්වහන්සේට ඇසුණු බැවින්ද,
28 මනුෂ්‍යයන්ට පෙනෙන ස්ථානයේදී උන්වහන්සේ දුෂ්ටයන් හැටියට ඔවුන්ට පහරදෙනසේක.
29 උන්වහන්සේ ශාන්තිය දෙන විට වරද තබන්නේ කවුද? උන්වහන්සේ තමන් මුහුණ සඟවන විට එය දකින්නේ කවුද?
30 එසේ අභක්තික මනුෂ්‍යයා රජකම් නොකරන ලෙසද, කිසිවෙකු විසින් සෙනඟ මලපතට අසුකර නොගන්න ලෙසද, ජාතියක් ගැන වේවා, එක මනුෂ්‍යයෙක් ගැන වේවා, එකාකාර සිද්ධ වන්නේය.
31 මක්නිසාද යමෙක් දෙවියන් වහන්සේට කථාකොට: මම දඬුවම වින්දෙමි, තවත් වරද නොකරන්නෙමි.
32 මට නොපෙනෙන දේ මට පෙන්නුව මැනව. මම අපරාධ කෙළෙම්නම් තවත් නොකරන්නෙමියි කීවේද?
33 උන්වහන්සේගේ විපාකය ඔබ එපා කරන්නේ එය ඔබ කැමති ලෙස දිය යුතු නිසාද? මක්නිසාද මා විසින් නොව ඔබම තෝරාගත යුතුය. එබැවින් ඔබ දන්න දේ කියන්න.
34 සිහි ඇති මනුෂ්‍යයෝද මාගේ වචන අසන සියලු නුවණ ඇත්තෝද කථාකොට:
35 යෝබ් දැනගැන්ම නැතුව කථාකරන්නේය, ඔහුට වචන ප්‍රඥා රහිතයයි මට කියන්නෝය.
36 දුෂ්ට මනුෂ්‍යයන් මෙන් යෝබ් උත්තරදෙන බැවින් ඔහු තීන්දුවටම සෝදිසිකරනු ලබන්නේනම් යෙහෙකි.
37 මක්නිසාද ඔහු තමාගේ පාපයට කැරළිකාරකම එකතුකොට, අප අතරේ අත්පිඩිගසා, දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ වචන වැඩිකෙරේයයි කීවේය.



පරිච්ඡේදය 35

1 එලීහු තවත් කථාකරමින් කියනුයේ:
2 මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි ඔබ කී එක හරිය කියා ඔබ සිතනවාද?
3 මක්නිසාද: එයින් ඔබට ඇති වාසිය මොකද කියාත්, මා පව්කළානම් ලැබෙනවාට වඩා මට මොන ප්‍රයෝජනයක් ලැබේද කියාත් ඔබ කියන්නෙහිය,
4 ඔබටත් ඔබ සමඟ සිටින ඔබේ මිත්‍රයන්ටත් මම උත්තරදෙමි.
5 අහස දෙසට ඇස් ඔසවා බලා, ඔබට ඉතා ඉහළින් තිබෙන ආකාශය බලා කල්පනාකරන්න.
6 ඔබ පව්කළත් ඔබ උන්වහන්සේට විරුද්ධව කුමක් කරනවාද? ඔබේ වරද වැඩිවුණත් ඔබ එයින් උන්වහන්සේට කරන්නේ කුමක්ද?
7 ඔබ ධර්මිෂ්ඨව සිටියත් ඔබ උන්වහන්සේට දෙන්නේ කුමක්ද? නොහොත් ඔබේ අතින් උන්වහන්සේට ලැබෙන්නේ කුමක්ද?
8 ඔබේ දුෂ්ටකමෙන් ඔබ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන; එසේම ඔබේ ධර්මිෂ්ඨකමෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුට ප්‍රයෝජනයක් වෙන්ටත් පුළුවන.
9 පීඩා රාශිය නිසා ඔව්හු කෑගසති; බල ඇත්තන්ගේ හස්තය නිසා මොරගසති.
10 එහෙත්: පොළොවේ මෘගයන්ට වඩා අපට උගන්වන්නාවූ, ආකාශයේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවන්ත කරන්නාවූ,
11 රාත්‍රියේදී ගීතිකා දෙන්නාවූ මාගේ මැවුම්කාර දෙවියන්වහන්සේ කොතැනදැයි කිසිවෙක් නොඅසන්නේය.
12 එහි ඔවුන් කෑගසන නුමුත්, නපුරන්ගේ උඩඟුකම නිසා, කිසිවෙක් උත්තර නොදෙන්නේය.
13 සැබවින්ම දෙවියන්වහන්සේ නිෂ්ඵලකමට ඇහුම්කන් නොදෙනසේක, සර්වපරාක්‍රමයාණෝ ඒක නොසලකනසේක.
14 එසේනම්: මම උන්වහන්සේ දෙස නොබලමියි ඔබ කියන විට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? නඩුව උන්වහන්සේ ඉදිරියෙහි තිබේ, උන්වහන්සේ ගැන බලාසිටින්න.
15 නුමුත් දැන් උන්වහන්සේ උදහසින් දඬුවම් නොකළ නිසාත්, අපරාධය තදලෙස නොසලකන නිසාත්,
16 යෝබ් තමාගේ මුඛය නිෂ්ඵලලෙස ඇර, දැනගැන්ම නැතුව වචන වැඩිකරගන්නේයයි කීවේය.



පරිච්ඡේදය 36

1 එලීහු තවත් කථාකරමින් කියනුයේ:
2 මා ඔබට පෙන්වාදෙන පිණිස මා ගැන ටිකක් ඉවසන්න; මක්නිසාද දෙවියන්වහන්සේ උදෙසා තවත් දේ කියන්ට තිබේ.
3 මාගේ දැනගැන්ම දුර සිට ගෙනැවිත්, මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ධර්මිෂ්ඨ බව පෙන්වන්නෙමි.
4 මක්නිසාද සැබවින්ම මාගේ වචන බොරු නැත. හරි දැනගැන්ම ඇත්තෙක් ඔබ වෙත සිටින්නේය.
5 මෙන්න, දෙවියන්වහන්සේ බලවත්ය, එහෙත් කිසිවෙකු සුළු නොකරනසේක. උන්වහන්සේ ඥානශක්තියෙන් බලවත්ය.
6 උන්වහන්සේ දුෂ්ටයන් ආරක්ෂා නොකරනසේක. නුමුත් අසරණවූ අයට යුක්තිය ඉෂ්ටකරදෙනසේක.
7 උන්වහන්සේ තමන් ඇස් ධර්මිෂ්ඨයන් වෙතින් අහක් නොකර, ඔවුන් උසස්වෙන හැටියට රජුන් සමඟ නිතරම සිංහාසනයෙහි සිටුවනසේක.
8 ඔව්හු විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති බැඳුම්වලට අසුවී සිටිත්නම්,
9 උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවද ඔවුන්ගේ අපරාධ එනම් ඔවුන් උඩඟුකම් කළ බවද ඔවුන්ට පෙන්වා,
10 දැනමුතුකමට ඔවුන්ගේ කන් අරවා, අයුතුකමෙන් හැරෙන්ට කියා ඔවුන්ට අණකරනසේක.
11 ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.
12 නුමුත් නාසා සිටියොත්, ඔව්හු කඩුවෙන් විනාශවන්නෝය, අනුවණකමින් නසින්නෝය.
13 නුමුත් අභක්තික සිත් ඇත්තෝ උදහස රැස්කරගනිති. උන්වහන්සේ ඔවුන් බඳිනකල ඔව්හු කන්නලව් නොකරති.
14 ඔව්හු යෞවන වයසේදී නසිති; ඔවුන්ගේ ජීවිතය දූෂ්‍යවූවන් අතරේ විනාශවෙයි.
15 උන්වහන්සේ පීඩා විඳින්නන් පීඩාකරණකොටගෙන මුදා, පීඩිතකමේදී ඔවුන්ගේ කන් අරිනසේක.
16 එසේය, උන්වහන්සේ ඔබ විපත්තිවලින් මුදා අවහිරකමක් නැති විශාල තැනකට පමුණුවනසේක; ඔබේ මේසයෙහි භෝජනයද තරකමින් පූර්ණවන්නේය.
17 නුමුත් ඔබ දුෂ්ටයාගේ දඬුවමින් පිරී සිටින්නෙහිය. විනිශ්චය හා යුක්තිය ඔබ අල්වාගන්නේය.
18 එබැවින් දඬුවමට විරුද්ධව කෝපයෙන් නොපෙළඹෙන්න; මිදීමේ මිලයේ මහත්කම නිසා මුළා නොවෙන්න.
19 දුකට පත් නොවෙන ලෙස ඔබේ වස්තුවවත් ඔබේ ශක්තියේ මුළු බලයවත් සෑහෙන්නේද?
20 ජනයන් තමුන්ගේ ස්ථානයෙන් සිඳිනු ලබන රාත්‍රියට ආශා නොවෙන්න.
21 ප්‍රවේසම්වෙන්න, අධර්මිෂ්ඨකමට සිත නොදෙන්න. මක්නිසාද පීඩාවට වඩා ඔබ ඒක තෝරාගත්තෙහිය.
22 බලව, දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් උසස්ව සිටිනසේක. උන්වහන්සේට සමාන ගුරුවරයා කවුද?
23 උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේට නියමකෙළේ කවුද? නොහොත්: ඔබ අධර්මිෂ්ඨකම් කළසේකැයි කියන්ට පුළුවන් කාටද?
24 මනුෂ්‍යයන් ගීයෙන් ප්‍රශංසාකළාවූ උන්වහන්සේගේ කර්මාන්ත වර්ණනා කරන්ට සිහිකරගන්න.
25 සියලු මනුෂ්‍යයෝ ඒ දෙස බැලුවෝය; මනුෂ්‍යයා දුර සිට බලන්නේය.
26 බලව, අපට දැනගත නොහැකි තරම් දෙවියන්වහන්සේ උතුම්ය; උන්වහන්සේගේ අවුරුදුවල ගණන සොයා දැනගත නොහැකිය.
27 උන්වහන්සේ දිය බින්දු ඉහළට ඇදගන්න කල උන්වහන්සේගේ මීදුමෙන් වැස්ස සෑදෙන්නේය.
28 ඒවා වලාකුල්වලින් වැගිරී බොහෝසේ මනුෂ්‍යයන් පිටට වහින්නේය.
29 නුමුත් වලාපටලයේ පැතිර යාම වන උන්වහන්සේගේ මණ්ඩපයේ ගර්ජනා යමෙකුට තේරුම්ගත හැක්කේද?
30 බලව, උන්වහන්සේ. තමන් ආලෝකය තමන් වටකර විහිදුවා, මුහුදේ පතුළ වසනසේක.
31 මක්නිසාද එයින් උන්වහන්සේ ජනයන්ට දඬුවම්කරනසේක; ආහාරද බොහෝසෙයින් දෙනසේක.
32 උන්වහන්සේ ස්වකීය අත් විදුලියෙන් පුරවාගෙන, නියම ලකුණට වදින ලෙස ඊට අණකරනසේක.
33 ඒකේ ගර්ජනාව උන්වහන්සේ ගැන දන්වන්නේය. පැමිණෙන කුණාටුව ගවයන්ටද දැනෙන්නේය.



පරිච්ඡේදය 37

1 එසේය, ඊට මාගේ සිත වෙවුලා ඒකේ ස්ථානයෙන් ඉවත්වෙයි.
2 උන්වහන්සේගේ හඬේ ගර්ජනාවත් උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන ගෙරවීමත් හොඳට අසන්න.
3 උන්වහන්සේ ඒක මුළු අහස යටද තමන්ගේ විදුලිය පොළොවේ කෙළවර දක්වාද යවනසේක.
4 ඊට පස්සෙන් ශබ්දයක් ගොරවාගන යන්නේය; උන්වහන්සේ තමන් මහන්තත්වයේ හඬින් ගර්ජනාකරනසේක. උන්වහන්සේගේ හඬ ඇසෙන විට උන්වහන්සේ ඒවා ප්‍රමාද කරන්නෙත් නැත.
5 දෙවියන්වහන්සේ ස්වකීය හඬින් පුදුමලෙස ගර්ජනාකරනසේක. අප නොදන්න මහත් දේ කරනසේක.
6 මක්නිසාද උන්වහන්සේ හිමවලටත් එසේම වර්ෂාවටත් තමන් තද වර්ෂාවලටත් කථාකොට: පොළොවට බසිව්යයි කියනසේක.
7 උන්වහන්සේගේ කර්මාන්තය වන සියලු මනුෂ්‍යයන් ඒක දැනගන්නා පිණිස උන්වහන්සේ හැම මිනිසුන්ගේ අත් මුද්‍රාකර තබනසේක.
8 එකල මෘගයොත් ගුහාවලට ඇතුල්වී, උන්ගේ බෙනවල නවතින්නෝය.
9 දකුණු නිවාසයෙන් සුළිසුළඟද උතුරෙන් ශීතලයද පැමිණෙන්නේය.
10 දෙවියන්වහන්සේගේ හුස්මෙන් වතුර මිදෙන්නේය. පළල් ජලධාරා අවහිරවන්නේය.
11 එසේය, උන්වහන්සේ දියෙන් වලා පටලය බරකරනසේක; ස්වකීය විදුලි-වලාකුළ විහිදුවනසේක.
12 දඬුවමක් වශයෙන් හෝ තමන්ගේ පොළොව උදෙසා හෝ කරුණාවක් වශයෙන් හෝ උන්වහන්සේ ඒවා පමුණුවන විට,
13 උන්වහන්සේ ඒවාට අණකරන සියල්ලම මිනිස් වාසයවූ ලෝකය මතුපිට එයින් සිද්ධවෙන පිණිස, ඒවා උන්වහන්සේගේ නියමය ප්‍රකාර හැම දිශාවලට හැරී යන්නෝය.
14 එම්බා, යෝබ්, මීට ඇහුම්කන්දීගන සිටින්න. නිශ්චලව සිට දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියා කල්පනාකරන්න.
15 දෙවියන්වහන්සේ ඒවාට අණදී, තමන් වලාකුළේ විදුලිය බැබළෙන්ට සලස්වන්නේ කොහොමද කියා ඔබ දන්නෙහිද?
16 දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය ඔබ දන්නවාද?
17 දකුණු සුළඟින් පොළොව නිශ්චලවූ කල ඔබේ ඇඳුම් උණුහුම්වෙන්නේ කෙසේදැයි දන්නවාද?
18 වාත්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්ට ඔබට පුළුවන්ද?
19 අප විසින් උන්වහන්සේට කිය යුතුදේ ඔබ අපට දන්වන්න. අන්ධකාරය නිසා අපේ කථාව පිළියෙළකරන්ට අපට බැරිය.
20 මා කථාකරන්ට කැමති බව උන්වහන්සේට දන්වන්ටද? නොහොත් මනුෂ්‍යයෙක් නාස්ති කරනු ලබන්ට ආශාවිය යුතුද?
21 ඉතින් හුළඟ ගසා අහස පැහැදුණාම, එහි දීප්තිමත් එළිය දරන්ට මනුෂ්‍යයන්ට බැරිය.
22 උතුරු දිගින් රන්වන් අලංකාරය පැමිණෙන්නේය. දෙවියන්වහන්සේ වෙත භයානක මහිමය ඇත්තේය.
23 සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය; උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨ කමෙන්ද උතුම්ව සිටිනසේක, උන්වහන්සේ පීඩා නොකරනසේක.
24 එබැවින් මනුෂ්‍යයෝ උන්වහන්සේට භයවෙති. උන්වහන්සේ ප්‍රඥා සිත් ඇත්තන් නොසලකනසේකැයි කීවේය.



පරිච්ඡේදය 38

1 එවිට ස්වාමීන්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තරදෙමින් මෙසේ කීසේක:
2 අනුවණ වචනවලින් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද?
3 ඉතින් පුරුෂයෙකු මෙන් ඔබේ ඉඟටිය බැඳගෙන, මා ඔබෙන් අසන විට මට කියන්න.
4 මා පොළොව පිහිටෙවු කල ඔබ කොතැන සිටියෙහිද? ඔබ දන්නෙහිනම් කියන්න.
5 ඒකේ මිමි නියමකළේ කවුද? ඔබ දන්නෙහිද? නොහොත් ඊපිට ලනුව ඇද්දේ කවුද?
6 ඒකේ අත්තිවාරම් දැමුවේ මොකක් පිටද? පහන් තාරකා එක්ව ගීතිකාකරමින්,
7 දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පවත්වද්දී, ඒකේ කොනේ ගල තැබුවේ කවුද?
8 මුහුද බිහිවී ගැබින් නික්ම ආ විට, ඒක දොරවලින් වසා තැබුවෙත් කවුද?
9 මා විසින් වලාකුල් ඒකේ වස්ත්‍රයද ඝනාන්ධකාරය ඊට වෙළන පටියද කොට තබා,
10 ඊට මාගේ මායිම නියමකර, අගුල් සහ දොරවල්ද තබා:
11 මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; ඔබේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.
12 එළිය පොළොවේ කෙළවරට පැමිණීමෙන් දුෂ්ටයන් එතැනින් හෙළාදමනු ලබන හැටියට,
13 ඔබේ සෑම දවස්වල ඔබ උදයට අණකොට අලුයමට ඒකේ ස්ථානය දැන්නෙවුවෙහිද?
14 එය මුද්‍රා තබනලද මැටි මෙන් සියල්ල වෙනස්වී, වස්ත්‍රයකින් පැළදී තිබෙන්නාක්මෙන් පෙනෙන්නේය.
15 එවිට දුෂ්ටයන්ගේ එළිය ඔවුන්ගෙන් පහවන්නේය, එසෙවූ හස්තයද බිඳදමනු ලබන්නේය.
16 ඔබ මුහුදේ උල්පත් ළඟට පැමිණියෙහිද? නොහොත් ගැඹුරේ රහස් තැන්වල ඇවිද්දෙහිද?
17 මරහුගේ දොරටු ඔබට ප්‍රකාශවීද? නොහොත් මරණ සෙවණේ දොරටු ඔබ දුටුවෙහිද?
18 ඔබ පොළොවේ පළල කල්පනාකර බැලුවෙහිද? ඒ සියල්ල දන්නෙහිනම් කියන්න.
19 ඔබ එළිය ඒකේ මායිමට ගෙනයන පිණිසත්, ඒකේ නිවාසයට යන මාවත් ඔබ විසින් තේරුම්ගන්නා පිණිසත්.
20 එය වාසයකරන තැනට යන මාර්ගය කොහේද? අන්ධකාරයේ ස්ථානයත් කොතැනද?
21 ඔබ එවකට ඉපිද සිටිය බැවින්ද ඔබේ දවස් ගණනත් බොහෝ බැවින්ද නිසැකව ඔබ දන්නෙහිය!
22 කැලඹීමේ කාලයටද යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරුකර තබා තිබෙන
23 හිම ගබඩා ළඟට ඔබ පැමින්නෙහිද? නොහොත් ගල්වැසි ගබඩා දුටුවෙහිද?
24 එළිය විහිදෙන්නෙත් නැගෙනහිර සුළඟ පොළොව පිට පැතිරෙන්නෙත් මොන මාර්ගයෙන්ද?
25 මනුෂ්‍යයෙකු නැති දේශයකටත් කිසි මනුෂ්‍යයෙකු නැති කාන්තාරයටත් වැසි වස්වා,
26 වනයද පාළු තැන්ද සනහා, තෘණ වැවෙන්ට සැලැස්වීමට,
27 වර්ෂාවට පාරවල්ද අකුණුවල විදුලියට මාර්ගයක්ද විවරකළේ කවුද?
28 වර්ෂාවට පියෙක් ඇද්ද? පිනි බින්දු ඉපදෙවුවේ කවුද?
29 හිමකැට කාගේ ගැබෙන් නික්මුණාද? අහසේ සිනිදු හිම ජනිතකළේ කවුද?
30 ගලක් ඇතුළෙහි මෙන් වතුර සැඟවී තිබේ, ගැඹුරේ මතුපිටද මිදී තිබේ.
31 හත්දින්නේ තරුවැළ බඳින්ට ඔබට පුළුවන්ද? නොහොත් මුවසිරසේ බැඳුම් මුදන්ට පුළුවන්ද?
32 මස්සරොත් 38:32 එනම්, රාශිලග්න. ඒවායේ නියම කාලයට නික්මවන්ට ඔබට පුළුවන්ද? පිරිවර සහිත මහ වලසා ගෙනයන්ට ඔබට පුළුවන්ද?
33 ඔබ අහසේ නියෝග දන්නවාද? නොහොත් ඒකේ ආණ්ඩුබලය පොළොව කෙරෙහි පිහිටුවන්ට ඔබට පුළුවන්ද?
34 වතුර රාශියක් ඔබ පිටට පැමිණෙන හැටියට වලාකුල්වලට ඔබේ හඬ නගන්ට පුළුවන්ද?
35 විද්‍යුල්ලතා නික්මයන ලෙස ඒවා යවන්ට ඔබට පුළුවන්ද? ඒවා: අපි මෙහියයි ඔබට කියනවා ඇද්ද?
36 අධ්‍යාත්මයෙහි ප්‍රඥාව තැබුවේ කවුද? නොහොත් සිතට නුවණ දුන්නේ කවුද?
37 ධූලි කැටි ගැසෙන කල්හිද, පිඩලි එකට ඇලෙන කල්හිද,
38 ප්‍රඥාවෙන් වලාකුල් ගනින්ට කාට පුළුවන්ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන්ද?
39 ඔබ සිංහධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහිද? තරුණ සිංහයන් උන්ගේ ගුහාවල ලැග,
40 කැලෑවේ සැඟවී බලා සිටින විට, ඔබ උන්ගේ ආශාව සංසිඳවනවාද?
41 කපුටුවාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන්වහන්සේට කෑගසන විට ඌට ගොදුරු සපයාදෙන්නේ කවුද?



පරිච්ඡේදය 39

1 පර්වතවල වල් එළුවන් බිහිකරන කාලය ඔබ දන්නවාද? නොහොත් මුවදෙනුන් විළිරුදා විඳින වේලාව ඔබට දැනගන්ට පුළුවන්ද?
2 උන්ට සම්පූර්ණවන මාස ගණන් කරන්ට ඔබට පුළුවන්ද? උන් බිහිකරන කාලය ඔබ දන්නවාද?
3 උන් නැමී උන්ගේ පැටවුන් බිහිකර උන්ගේ රුදා පහකරගනිති.
4 උන්ගේ පැටව් ලොකුවී, එළියෙහි වැඩී, පිටත්ව ගොස් නෑවිත් සිටිති.
5 වල් කොටළුවා නිදහස්කර හැරියේ කවුද? නොහොත් වල් කොටළුවාගේ බැඳුම් මිදුවේ කවුද?
6 මම කාන්තාරය උගේ ගෙයද ලුණු භූමිය උගේ වාසස්ථානයද කොට නියමකෙළෙමි.
7 ඌ නගරයේ ඝෝෂාවට සිනාසෙයි, දක්කන්නාගේ මොරගැසීම් ඌට නෑසෙයි.
8 කඳුකර පළාත උගේ ගොදුරු බිමය, ඌ සෑම අමු දේ සොයයි.
9 කුළුහරකා ඔබට වැඩකරන්ට කැමතිවේද? ඌ ඔබේ ගාලේ ලගිනවා ඇද්ද?
10 කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට ඔබට පුළුවන්ද? නොහොත් ඌ ඔබ පස්සේ මිටියාවත් පෝරුගානවා ඇද්ද?
11 උගේ ශක්තිය මහත් බැවින් ඔබ ඌ විශ්වාසකර, ඔබේ වැඩ ඌට භාරදෙන්නෙහිද?
12 ඌ ඔබේ අස්වැන්න ගෙනැවිත් ඔබේ පාවරට එකතුකරනවා ඇත කියා ඔබ ඌ කෙරෙහි විශ්වාසය තබන්නෙහිද?
13 පැස්බරාගේ පියාපත් ප්‍රීතිමත්ලෙස වැනෙයි, නුමුත් ඒ පියාපත් හා පිහාටු කරුණාවත්ද?
14 නැත, ඌ උගේ බිජු බිම දමා, ධූලියෙහි උණුසුම්කර,
15 ඒවා පයට පෑගෙන්ටත් වල් සතුන්ට පොඩිවෙන්ටත් පුළුවන් බව මතකනැතිකරන්නේය.
16 උගේ පැටවුන් ඌට අයිති නැතුවාක් මෙන් ඌ උන්ට තදකම් පාන්නේය. උගේ මහන්සිය නිෂ්ඵල නුමුත් ඊට උගේ සැලකිල්ලක් නැත;
17 මක්නිසාද දෙවියන්වහන්සේ උගෙන් ප්‍රඥාව වලක්වා, ඌට නුවණ නොදී ඇරියසේක.
18 ඌ පියාපත් උස්සා ගසාගන යන කල, ඌ අශ්වයාටත් අසරුවාටත් සිනාසෙන්නේය.
19 ඔබ අශ්වයාට වෙර දුන්නෙහිද? ‍ලෙළදෙන කෙඳිවලින් උගේ බෙල්ල පැළදෙවුවෙහිද?
20 ඌට පළඟැටියෙකු මෙන් පනින්ට සැලැස්සුවෙහිද? උගේ හේෂාවරයේ බලවත්කම භයංකරය.
21 ඌ මිටියාවතෙහි කුරගසා, ශක්තිය නිසා ප්‍රීතිමත්වී, යුද්ධායුධවලට මූණපාන්ට යන්නේය.
22 ඌ භයට සරදම්කොට තැති නොගෙන සිටින්නේය; කඩුවටද පිටු නොපාන්නේය.
23 ඊකොපුවද දිලියෙන හෙල්ලයද කුඩා හෙල්ලයද ඌට වැදී ශබ්ද නගින්නේය.
24 සැරකමෙන්ද කෝපයෙන්ද ඌ වේගයෙන් පැනයන්නේය; ඇසෙන්නේ හොරණෑ ශබ්දය බව ඌ විශ්වාස නොකර,
25 ඇසෙන එක එක හොරණෑ ශබ්දයට ඌ: අහා! කියමින්, දුරදීම සටනටද සේනාපතීන්ගේ ගර්ජනාව හා ඝෝෂාවටද ඉව අල්ලයි.
26 උකුස්සා ඉහළ නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විදහන්නේ ඔබේ නුවණින්ද?
27 නොහොත් රාජාලියා උඩට ඉගිලී උගේ කැදැල්ල උස් තැන සාදන්නේ ඔබේ අණටද?
28 ඌ පර්වතය පිට වාසයකරන්නේය, පර්වතයේද පර්වත කූටයේද වසන්නේය.
29 එතැන සිට ඌ ගොදුරු සොයන්නේය; දුරදීම උගේ ඇස්වලට පෙනෙන්නේය.
30 උගේ පැටව්ද ලේ උරා බොති. මළකඳන් ඇති තැනම ඌ සිටින්නේයයි කීසේක.



පරිච්ඡේදය 40

1 තවද ස්වාමීන්වහන්සේ යෝබ්ට උත්තරදෙමින්:
2 පොරට සිටින්නා සර්වපරාක්‍රමයාණන්වහන්සේ සමඟ විවාදකරන්නේද? දෙවියන්වහන්සේ සමඟ විවාද කරන්නා ඊට උත්තරදෙවයි කීසේක.
3 එකල යෝබ් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්:
4 මම නීචයෙක්මි; ඔබට උත්තරයක් දෙන්නේ කෙසේද? මාගේ අතින් කට වසාගනිමි.
5 මම එක වරක් කථාකෙළෙමි, එහෙත් උත්තර නොදෙන්නෙමි; එසේය, දෙවරක් කථාකෙළෙමි, නුමුත් තවත් එසේ කථා නොකරන්නෙමියි කීය.
6 එවිට ස්වාමීන්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තරදෙමින් කියනසේක්:
7 ඉතින් පුරුෂයෙකු මෙන් ඔබේ ඉඟටිය බැඳගෙන, මා ඔබෙන් අසන අතර මට දන්වන්න.
8 ඔබ මාගේ විනිශ්චය පවා අවලංගුකර, ඔබම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට වරද තබන්නෙහිද?
9 නොහොත් දෙවියන්වහන්සේට වාගේ හස්තයක් ඔබට තිබේද? උන්වහන්සේ වාගේ ශබ්දයකින් ගර්ජනාකරන්ට ඔබට පුළුවන්ද?
10 උත්කෘෂ්ටකමෙන්ද ඓශ්වර්යයෙන්ද සැරසී, මහිමයද මහන්තත්වයද පැළඳ ගන්න.
11 ඔබේ උදහස වගුරුවා හැර, උඩඟු සියල්ලන් බලා, ඔවුන් පහත් කරන්න.
12 උඩඟු සියල්ලන් බලා යටත්කර, දුෂ්ටයන් ඔවුන්ගේ ස්ථානයෙහි පාගා දමන්න.
13 ඔවුන් සියල්ලන් ධූලියෙහි සඟවා, ඔවුන්ගේ මුහුණු කළුවර ස්ථානයෙහි බැඳ තබන්න.
14 එවිට ඔබේ දකුණත ඔබ ගළවන්ට පොහොසත් බැවින්, මමත් ඔබට ප්‍රශංසාකරන්නෙමි.
15 බෙහමොත්. බලන්න, ඔබ මෙන් ඌත් සෑදුවෙමි; ඌ ගොනෙකු මෙන් තණකොළ කයි.
16 උගේ තුනටියෙහි තිබෙන උගේ ශක්තියත් උගේ බඩේ මස්ගොබවල තිබෙන උගේ බලයත් කල්පනාකරන්න.
17 ඌ උගේ වල්ගය කිහිරි ගසක් මෙන් වනන්නේය; උගේ කළවාවල නහර එකට ගෙතී තිබේ.
18 උගේ ඇට පිත්තල වැනිය; උගේ ඉළඇට යකඩ පොලු වාගේය.
19 දෙවියන්වහන්සේගේ වැඩවලින් ඌ ප්‍රධානියාය. ඌ සෑදූ තැනන්වහන්සේ උගේ කඩුව සපයාදෙනසේක.
20 මක්නිසාද ඌට කෑම සම්බවෙන්නේ වනයේ සියලු සත්වයන් ක්‍රීඩාකරන කඳුවලය.
21 ඌ නෙළුම් ගස් යට, බටවලද වගුරේද මුවාවෙහි ලගින්නේය.
22 නෙළුම් ගස් ඌට සෙවණ දෙයි; දොළේ නළා ගස්වලින් ඌ වටවී සිටියි.
23 ගංගාවක් ගලන නුමුත් ඌ තැති නොගන්නේය, යොර්දාන උගේ කට දක්වා ගලා එන නුමුත් ඌ නිර්භීතව සිටියි.
24 ඌ බලාසිටියදී ඌ අල්ලාගන්ටවත් උගේ නාසය මලපත්වලින් සිදුරු කරන්ටවත් පුළුවන්ද?



පරිච්ඡේදය 41

1 කිඹුලා බිලිකටුවකින් අදින්ටවත් උගේ දිව ලනුවකින් පහත්කරන්ටවත් ඔබට පුළුවන්ද?
2 උගේ නාසයේ වැල්පටක් දමන්ටවත් උගේ හක්ක උලකින් සිදුරු කරන්ටවත් ඔබට පුළුවන්ද?
3 ඌ ඔබට බොහෝ කන්නලව් කරනවා ඇද්ද? නොහොත් මෘදු වචන ඔබට කියනවා ඇද්ද?
4 ඔබ හැම කලටම ඌ මෙහෙකරුවෙක් කොට ගන්න පිණිස ඌ ඔබ සමඟ ගිවිසුමක් කරනවා ඇද්ද?
5 පක්ෂියෙකු සමඟ මෙන් ඔබ ඌ සමඟ සෙල්ලම්කරනවාද? නොහොත් ඔබේ තරුණියන්ට ඌ බැඳ දෙනවාද?
6 මසුන් අල්ලන්නෝ උගෙන් වෙළඳාම්කර, වෙළඳුන් අතරේ ඌ බෙදන්නෝද?
7 උගේ හමට හෙල්ලවලින්වත් උගේ ඔළුවට මස් හෙල්ලවලින්වත් අනින්ට ඔබට පුළුවන්ද?
8 ඔබේ අත ඌ පිට තබා, සටන සිහිකරන්න, තවත් එසේ නොකරන්න.
9 අන්න, ඌ ගැන බලාපොරොත්තුවීම නිෂ්ඵලය. යමෙක් ඌ දුටු පමණින් වැටෙනවා නොවේද?
10 ඌ අවුස්සන තරමට ධෛර්ය ඇති කෙනෙක් නැත. එසේ වීනම් මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද?
11 පළමුකොට මට යමක් දුන්නේ කවුද? දුන්නානම් ඔහුට ප්‍රතිඵල දෙන්නෙමි. මුළු අහස යට තිබෙන සියල්ල මාගේය.
12 උගේ ගාත්‍රාද බලයේ ශක්තියද නිසි ශරීර ලක්ෂණද ගැන නිශ්ශබ්දව නොසිටින්නෙමි.
13 උගේ පිට වස්ත්‍රය ගළවන්ට කාට පුළුවන්ද? උගේ දත් දෙපේළියට ළංවන්නේ කවුද?
14 උගේ මුහුණේ දොරවල් අරින්ට පුළුවන් කාටද? උගේ දත් අවටින් භීතිය තිබේ.
15 තද මුද්‍රාවකින් වැසුවාක්මෙන්වූ උගේ ශක්තිමත් කොරපොතු උගේ පාරට්ටුවය.
16 ඒවා අස්සට හුළඟ ඇතුල් නොවෙන හැටියට ඒවා එකිනෙකට යාව තිබේ.
17 ඒවා එකිනෙකට ඇලී, වෙන්කරන්ට බැරි ලෙස එකිනෙකට සම්බන්ධව තිබේ.
18 උගේ කිඹිසීම්වලින් එළියක් බබළයි; උගේ ඇස් අලුයම නමැති ඇසිපිය වැනිය.
19 උගේ කටින් ගිනිදැල් නික්මෙන්නේය, ගිනිපුපුරු පැනනගින්නේය.
20 ලිපේ තිබෙන හැළියකින්ද දැවෙන කටාරමකින්ද මෙන් උගේ නාස්පුටවලින් දුම් නගින්නේය.
21 උගේ හුස්මට අඟුරු පත්තුවෙන්නේය. ගිනිදැලක්ද උගේ කටින් නික්මෙන්නේය.
22 උගේ බෙල්ලෙහි බලය රඳා තිබේ, ඌ ඉදිරියෙහි භීතිය නටන්නේය.
23 උගේ මස්පිඩු එකට ඇලී, නොසෙල්වෙන හැටියට ඌ පිට තදව තිබේ.
24 උගේ සිත ගලක් මෙන් තදය; එසේය, යට ඇඹරුම් ගල මෙන් තදය.
25 ඌ නැගිටින කල බලවන්තයෝ භයපත්වී, අධික භය නිසා උමතුවෙති.
26 කඩුවද හෙල්ලයද කුඩා හෙල්ලයද ඊතලයද ඇතුව ඌට විරුද්ධව පැමින්නත්, ඒවා නිෂ්ඵලවෙයි.
27 යකඩ පිදුරු මෙන්ද පිත්තල දිරාගිය ලී මෙන්ද ඌ ගණන්ගන්නේය.
28 ඊගස කෙරෙන් ඌ පලා නොයන්නේය; පටියෙන් ගසන ගල් ඌට ඉපනැලිමෙන් වේ.
29 පොලු ඉපනැල්ල මෙන් ඌ ගණන්ගන්නේය; කුඩා හෙල්ලය සොලවන විට ඌ සිනාසෙන්නේය.
30 උගේ යටිපැත්ත තියුණු කැබලිති වැනිය. මඩින යන්ත්‍රයක් මෙන් ඌ මඩේ ඇදෙන්නේය.
31 සැළියක වතුර මෙන් ඌ ගැඹුර නටවන්නේය. මුහුද තෛලයක් මෙන් කරන්නේය.
32 ඌ යන කල පස්සෙන් පාර දිලියෙන්නේය; ගැඹුරට පැසුණු හිසකේ ඇතිවූවාක්මෙන් පෙනීයයි.
33 ඌට සමාන එකෙක් භූමිය මතුපිට නැත; භය නොගන්න හැටියට ඌ මවනු ලැබුවේය.
34 ඌ උසස්ව තිබෙන සියල්ල බලන්නේය. ඌ සියලු චණ්ඩ මෘගයන් කෙරෙහි රජ ව සිටින්නේයයි කීසේක.



පරිච්ඡේදය 42

1 එවිට යෝබ් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින් කියනුයේ:
2 ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි.
3 දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි.
4 අනේ ඇසුව මැනව, එවිට මම කථාකරන්නෙමි; මා ඔබගෙන් අසන කල්හි මට දැන්නුව මැනව.
5 මා ඔබ ගැන කනින් අසා තිබුණේය; නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි.
6 එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.
7 තවද ස්වාමීන්වහන්සේ මේ වචන යෝබ්ට කී පසු ස්වාමීන්වහන්සේ තේමානිය එලීපස්ට කථාකොට: මාගේ සේවකයාවූ යෝබ් මෙන් ඔබත් ඔබේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස ඔබ සැම කෙරෙහි ඇවිළ තිබේ.
8 එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, ඔබ සැම වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් ඔබ සැම උදෙසා යාච්ඤාකරන්නේය; එවිට ඔබ සැමගේ මෝඩකමේ හැටියට මා විසින් ඔබ සැමට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ ඔබ සැම මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක.
9 එබැවින් තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ගොස් ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කළෝය. ස්වාමීන්වහන්සේද යෝබ් පිළිගත්සේක.
10 තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විට ස්වාමීන්වහන්සේ ඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක.
11 එවිට ඔහුගේ සියලු සහෝදරයෝද ඔහුගේ සියලු සහෝදරියෝද පළමු ඔහු ඇඳින සිටි සියල්ලෝද ඔහු ළඟට ඇවිත්, ඔහුගේ ගෙදර ඔහු සමඟ කෑම කා, ස්වාමීන්වහන්සේ ඔහුට පැමිණෙවු සියලු විපත්ති ගැන ඔහු සමඟ ශෝකවී, ඔහු සැනසුවෝය. එක් එක්කෙනා කෙසීටා [නම්] මිලයකුත් එක් එක්කෙනා රන් මුදුවකුත් ඔහුට දුන්නේය.
12 මෙසේ ස්වාමීන්වහන්සේ යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාදකළසේක. බැටළුවන්ද එළුවන්ද දහහතර දහසකුත් ඔටුවන් හදහසකුත් ගොන්බාන් දහසකුත් කොටළුදෙනුන් දහසකුත් ඔහුට සිටියෝය.
13 ඒ ඇර පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද ඔහුට සිටියෝය.
14 ඔහු පළමුවෙනි තැනැත්තීට යෙමීමා යන නමද දෙවෙනි තැනැත්තීට කෙශියා යන නමද තුන්වෙනි තැනැත්තීට කෙරෙන්-හප්පූක් යන නමද තැබීය.
15 යෝබ්ගේ දූවරුන් මෙන් රුව ඇති ස්ත්‍රීහු ඒ මුළු දේශයෙහි නොසිටියාහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දුන්නේය.
16 ඉන්පසු යෝබ් එකසිය හතළිස් අවුරුද්දක් ආයු වළඳා, සතරවෙනි පරම්පරාව දක්වා තමාගේ පුත්‍රයන්ද පුත්‍රයන්ගේ පුත්‍රයන්ද දුටුවේය.
17 ඉක්බිති යෝබ් මහලුව වයසින් පූර්ණව මළේය.