ගීතාවලිය 1

1 දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ,
2 ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.1:2හෙවත්, පිනැත්තේය.
3 ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.
4 දුෂ්ටයෝ එසේ නොව, සුළඟින් විසිර යන බොල් හා සමානය.
5 එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද පව්කාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය.
6 මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක. නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශවන්නේය.



ගීතාවලිය 2

1 මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනාකෙරෙද්ද?
2 ස්වාමීන්ටද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති.
3 අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමුයයි කියති.
4 ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාසකරනසේක.
5 එකල්හි උන්වහන්සේ කෝපයෙන් ඔවුන්ට කථාකොට, තමන් උදහසින් ඔවුන් කළඹනසේක්:
6 මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක.
7 මම නියමය ප්‍රකාශකරන්නෙමි. ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ මාගේ පුත්‍රයෙහිය; අද ඔබ ජනිතකෙළෙමි.
8 මාගෙන් ඉල්ලව, එවිට ඔබේ උරුමයට ජාතීන්ද ඔබේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි.
9 ඔබ ඔවුන් යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණුකරන්නෙහියයි කීසේක.
10 එබැවින් රජදරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්.
11 ස්වාමීන්ට භයින් මෙහෙකරව්, වෙවුලුම් සහිතව ප්‍රීතිවව්.
12 පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, ඔබ සැමද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.



ගීතාවලිය 3

1 ස්වාමිනි, මාගේ එදිරිකාරයෝ කොපමණ වැඩිවූද! මට විරුද්ධව නැගිටින්නෝ බොහෝය.
2 දෙවියන්වහන්සේ තුළ ඔහුට ගැළවීමක් නැතැයි මාගේ ප්‍රාණය ගැන කියන්නෝ බොහෝය.
3 නුමුත් ස්වාමිනි, ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක.
4 ස්වාමීන්ට මාගේ ශබ්දයෙන් හඬගසමි, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තරදෙනසේක.
5 මම වැතිරී නිදාගතිමි; මම පිබිදුණෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ මා දරනසේක.
6 මට විරුද්ධව මා වටකොට රැස්ව සිටින්නාවූ දස දහස් ගණන් සෙනඟට භය නොවන්නෙමි.
7 ස්වාමිනි, නැගුටුණ මැනව; මාගේ දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබ මාගේ සියලු සතුරන්ගේ කන්සයට ගැසූසේක; දුෂ්ටයන්ගේ දත් බින්දසේක.
8 ගැළවීම ස්වාමීන්ට අයිතිය. ඔබගේ ආශීර්වාදය ඔබගේ සෙනඟ කෙරෙහි වේවා.



ගීතාවලිය 4

1 මාගේ ධර්මිෂ්ඨකමේ දෙවියන්වහන්ස, මා හඬගසන කල මට උත්තර දුන මැනව; විපත්තියේදී ඔබ මා මිදූසේක. මට කරුණකොට මාගේ යාච්ඤාව ඇසුව මැනව.
2 මනුෂ්‍ය පුත්‍රයෙනි, මාගේ ගෞරවය කොපමණ කල් අගෞරවයට පෙරළන්නහුද? ඔබ සැම කොපමණ කල් නිෂ්ඵල දේට ඇලුම්ව බොරුව සොයන්නහුද?
3 නුමුත් ස්වාමීන්වහන්සේ භක්තිවන්තයා තමන්ටම වෙන්කරගත් බව දැනගනිව්. ස්වාමීන්ට මා හඬගසන කල උන්වහන්සේ අසනසේක.
4 භයින් සිටිව්, පව් නොකරව්. යහනේදී ඔබ සැමගේ ම සිතින් විමසා නිශ්චලවව්.
5 ධර්මිෂ්ඨකමේ පූජා පුදමින්, ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබව්.
6 අපට යහපතක් දක්වන්නේ කවරෙක්දැයි බොහෝ දෙන කියති. ස්වාමිනි, ඔබගේ මුහුණේ එළිය අප කෙරෙහි බැබළෙවුව මැනව.
7 ඔවුන්ගේ ධාන්‍ය හා මුද්‍රිකපානය වැඩිවූ කල්හි ඔවුන්ට ඇති ප්‍රීතියට වඩා ඔබ මාගේ සිතේ ප්‍රීතියක් ලූසේක.
8 මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි. මක්නිසාද ස්වාමිනි, ඔබ මා උදක්ම සුවසේ වාසයකරවනසේක.



ගීතාවලිය 5

1 ස්වාමිනි, මාගේ වචනවලට කන් යොමුකර, මාගේ භාවනාව සැලකුව මැනව.
2 මාගේ රජ්ජුරුවෙනි, මාගේ දෙවියන්වහන්ස, ඔබට යාච්ඤාකරමි; මාගේ හඬගැසීමේ ශබ්දයට ඇහුම් කන්දුන මැනව.
3 ස්වාමිනි, උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක; උදය වේලෙහි ඔබට මාගේ යාච්ඤාව පිළියෙළකොට බලාසිටින්නෙමි.
4 මක්නිසාද ඔබ දුෂ්ටකමට ප්‍රියවූ දෙවිකෙනෙක් නොවනසේක. නපුර5:4නොහොත්, නපුරා. ඔබ වෙත නොරඳන්නේය.
5 අහංකාරීහු ඔබගේ ඇස් හමුයෙහි නොසිටින්නෝය. අපරාධ ක්‍රියාකරන සියල්ලන්ට ඔබ ද්වේෂකරනසේක.
6 ඔබ බොරු කියන්නන් විනාශකරනසේක. මිනීමරුවූ ප්‍රයෝගකාරවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ පිළිකුල් කරනසේක.
7 මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි. ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි.
8 ස්වාමිනි, මාගේ සතුරන් නිසා ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ගෙනගිය මැනව; මා ඉදිරියෙහි ඔබගේ මාර්ගය සමතලා කළ මැනව.
9 මක්නිසාද ඔවුන්ගේ මුඛයෙහි කිසි සැබෑකමක් නැත; ඔවුන්ගේ සිත අතිශයින් දුෂ්ටය. ඔවුන්ගේ උගුර විවරවූ මිනීවළක්ය; ඔව්හු දිවෙන් චාටු බස් කියති.
10 දෙවියන්වහන්ස, ඔවුන් වරදකාරයන් මෙන් සැලකුව මැනව; ඔව්හු ස්වකීය මන්ත්‍රණයෙන්ම වැටෙත්වා. ඔවුන්ගේ අපරාධ රාශිය නිසා ඔවුන් බැහැරකළ මැනව; මක්නිසාද ඔව්හු ඔබට විරුද්ධව කැරළිගැසූය.
11 නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා, ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා. ඔබගේ නාමයට ප්‍රේමකරන්නෝ ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා.
12 මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශීර්වාද කරනසේක; ස්වාමිනි, ඔබ පලිහකින් මෙන් කරුණාවෙන් ඔහු වටකරනසේක.



ගීතාවලිය 6

1ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව, ඔබගේ තද කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව.
2 ස්වාමිනි, මම මැලවී සිටිමි; එබැවින් මට කරුණාකළ මැනව. ස්වාමිනි, මාගේ ඇට චලිතව තිබේ; එබැවින් මා සුවකළ මැනව.
3 මාගේ ආත්මයද අතිශයින් කැලඹී තිබේ. ස්වාමිනි, ඔබ ප්‍රමාදවන්නේ කොපමණ කල්ද?
4 ස්වාමිනි, හැරී මාගේ ප්‍රාණය නිදහස්කළමැනව. ඔබගේ කරුණාව නිසා මා ගැළවුවමැනව.
5 මක්නිසාද මරණයේදී. ඔබ සිහි කිරීමක් නැත. ෂෙයෝලේදී. ඔබට ස්තුතිකරන්නේ කවරෙක්ද?
6 මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි.
7 මාගේ ඇස ශෝකයෙන් ක්ෂයවී මගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි.
8 අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක.
9 ස්වාමීන්වහන්සේ, මාගේ කන්නලව්ව ඇසූසේක; ස්වාමීන්වහන්සේ, මාගේ යාච්ඤාව පිළිගන්නාසේක.
10 මාගේ සියලු සතුරෝ ලජ්ජාවට පැමිණ බොහෝසෙයින්ම කැලඹෙන්නාහුය. ඔව්හු පසුබටව හදිසියෙන් ලජ්ජාවට පැමිණෙන්නාහුය.



ගීතාවලිය 7

1 මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ සරණ කොට ගනිමි. මා ලුහුබැඳ එන්නාවූ සියල්ලන්ගෙන් මා ගළවා නිදහස්කළ මැනව.
2 නැතහොත් ගළවන්නෙක් නැති කල්හි ඔහු සිංහයෙකු මෙන් මාගේ ආත්මය කැබලිකොට ඉරාදමන්නේය.
3 මාගේ දෙවිවූ ස්වාමිනි, මම මේක කෙළෙම්නම්; මා අත අයුතුකමක් ඇත්නම්;
4 මා සමඟ සමාදානයෙන් සිටිය තැනැත්තාට නපුරක් කෙළෙම් නම්; (සැබවින් නිකරුණේ මට එදිරිව සිටි තැනැත්තා මම ගැළවීමි.)
5 සතුරා මාගේ ආත්මය ලුහුබැඳ අල්වා අසුකර ගනීවා; එසේය, ඔහු මාගේ ප්‍රාණය බිමදමා, පාගා, මාගේ ගෞරවය ධූලියෙහි හෙළාවා.
6 ස්වාමිනි, ඔබගේ උදහසින් නැඟුටුණ මැනව, මාගේ එදිරිකාරයන්ගේ කෝප වේගයට විරුද්ධව සිටිය මැනව. මා උදෙසා පිබිදුණ මැනව; ඔබ විසින් විනිශ්චය නියමකර තිබේ.
7 ජන සමූහයෝ රැස්ව ඔබ වටකර සිටිත්වා. ඔබද ඔවුන් මතුයෙන් උසස්ථානයට නැවත වැඩිය මැනව.
8 ස්වාමීන්වහන්සේ මනුෂ්‍යජාතීන්ට යුක්තිය සලසා දෙනසේක. ස්වාමිනි, මාගේ ධර්මිෂ්ඨකම හා මා තුළ පවතින අවංකකම පරිද්දෙන් මා විනිශ්චයකළ මැනව.
9 අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.
10 මාගේ පලිහ අවංක සිත් ඇත්තන් ගළවන දෙවියන්වහන්සේ සමඟය.
11 දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චය කාරයෙක, එසේය, සැමදාම උදහස්වන දෙවි කෙනෙක.
12 යමෙක් නොහැරේනම් උන්වහන්සේ තමන්ගේ කඩුව මුවහත් කරනසේක; උන්වහන්සේ දුන්න තැත්කවා සූදානම්කළසේක.
13 උන්වහන්සේ ඔහුට මරණායුධ පිළියෙළකළසේක; උන්වහන්සේ තමන් ඊගස් ගිනි-ඊගස් කරනසේක.
14 බලව, ඔහු අයුතුකම ප්‍රසූතකිරීමට වේදනා විඳියි; එසේය, ඔහු නපුරුකම ගැබ්ගෙන, බොරුව ප්‍රසූතකෙළේය.
15 ඔහු වළක් කැණ ගැඹුරුකොට හෑරුවේය, තමා හෑරූ බොරු වළේ තෙමේම වැටුණේය.
16 ඔහුගේ නපුරුකම ස්වකීය හිස පිටට හැරෙන්නේය, ඔහුගේ බලාත්කාරකම ස්වකීය ඉස් මුදුනෙහි වැටෙන්නේය.
17 ස්වාමීන්ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි. මහෝත්තමවූ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.



ගීතාවලිය 8

1 අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස,. ඔබගේ නාමය පෘථිවිය මුළුල්ලෙහි කොපමණ උතුම්ද! ඔබ ස්වකීය මහිමය අහස්තල මත්තෙහි තැබූසේක.
2 සතුරාද පළිගන්නාද නිශ්ශබ්දකරන පිණිස, ඔබගේ එදිරිකාරයන් නිසා, ඔබ බාලයන්ගේද කිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක.
3 ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල;
4 ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?
5 ඔබ ඔහු දෙවියන්වහන්සේට8:5නොහොත්, දේවදූතයන්ට. මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක.
6 ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.
7 එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද;
8 ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද, මුහුදු මාර්ගවල යන්නාවූ සියල්ලෝද යන මොව්හුය.
9 අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද!



ගීතාවලිය 9

1 ස්වාමීන්ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි; ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි.
2 ඔබ කෙරෙහි ප්‍රීතිව සන්තෝෂ වන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
3 මාගේ සතුරන් ආපසු හැරෙන කල, ඔව්හු ඔබ ඉදිරියෙහි පැකිල විනාශවෙති.
4 මක්නිසාද ඔබ මාගේ කාරණයද යුක්තියද ඉෂ්ටකළසේක; ඔබ ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරමින් සිංහාසනයෙහි වැඩහුන්සේක.
5 ඔබ ජාතීන්ට තරවටුකොට දුෂ්ටයන් විනාශකළසේක, සදාකාලේටම ඔවුන්ගේ නාමය මැකූසේක.
6 සතුරෝ කෙළවරකට පැමිණියෝය, ඔව්හුද ඔබ විසින් පෙරළාදැමූ නුවරවල්ද සදාකාලයටම නාස්තිවූය; ඒවා ගැන සිහිවීම පවා නැතිවිය.
7 එහෙත් ස්වාමීන්වහන්සේ සදාකල්ම රජව වැඩහිඳිනසේක. උන්වහන්සේ තමන් සිංහාසනය විනිශ්චය පිණිස පිළියෙළකළසේක.
8 උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් ලෝකයා විනිශ්චයකරනසේක, අවංකකමින් ජනයන්ට යුක්තිය සලස්වාදෙනසේක.
9 ස්වාමීන්වහන්සේ පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වනසේක, විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක;
10 ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය; මක්නිසාද ස්වාමිනි, ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක.
11 සියොන්හි වාසයකරන ස්වාමීන්ට ප්‍රශංසා ගී කියව්; සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.
12 මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක. දිළිඳාගේ මොරගැසීම මතකනැති නොකරනසේක.
13 මා විසින් ඔබගේ ප්‍රශංසා සියල්ල ප්‍රකාශකරන පිණිසද, සියොන් දුවගේ දොරටුවලදී ඔබගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන පිණිසද,
14 ස්වාමිනි, මට කරුණාකළ මැනව; මරණ ද්වාරවලින් මා ඔසවන්නාවූ ඔබ, මට ද්වේෂකරන්නන්ගෙන් මා විඳින පීඩා බැලුව මැනව.
15 ජාතීහු තමුන් හෑරූ වළේ කිඳාගොස් සිටිති. ඔවුන් රහසින් හෙළූ දැලට ඔවුන්ගේම පා අසුවී තිබේ.
16 ස්වාමීන්වහන්සේ යුක්තිය ඉෂ්ටකොට තමන්ම දැක්වූසේක; දුෂ්ටයා තමා අතින් කළ ක්‍රියායෙහිම අසුවී සිටියි.
17 දුෂ්ටයෝ, එසේය, දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියලු ජාතීහු ෂෙයෝලට. හැරීයන්නාහුය.
18 මක්නිසාද දුප්පතා නිතරම මතකනැති නොවන්නේය, දිළිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය.
19 ස්වාමිනි, නැගුටුණ මැනව; මනුෂ්‍යයා ජය නොගනීවා. ජාතීහු ඔබ ඉදිරියේ විනිශ්චයකරනු ලබත්වා.
20 ස්වාමිනි, ඔවුන්ට භය පැමිණෙවුව මැනව, ජාතීහු තමුන් මනුෂ්‍යයන් පමණක් බව දැනගනිත්වා.



ගීතාවලිය 10

1 ස්වාමිනි, ඔබ කුමට දුරුව සිටිනසේක්ද? විපත්ති කාලවලදී කුමට සැඟවී සිටිනසේක්ද?
2 දුෂ්ටයාගේ අහංකාරකමෙන් දිළිඳා දැවෙන්නේය; ඔවුන් විසින් යොදන ප්‍රයෝගවලින් තුමූම අසුවෙත්වා.
3 මක්නිසාද දුෂ්ටයා තමාගේ සිතේ ආශාව ඉෂ්ටවීම ගැන පාරට්ටුකරගනියි, ලෝභි තැනැත්තේද ස්වාමීන් අත්හරියි, එසේය, උන්වහන්සේ හෙළාදකියි.
4 දුෂ්ටයා අහංකාරයෙන් කථාකොට: උන්වහන්සේ පළි නොගන්නසේකැයි කියයි. දෙවිකෙනෙක් නැත යනු ඔහුගේ මුළු සිතිවිල්ල වේ.
5 ඔහුගේ මාර්ග සෑමවිටම ස්ථිරය; ඔබගේ විනිශ්චයෝ ඔහුට නොපෙනෙන තරම් ඉහළය. ඔහු තමාගේ සියලු සතුරන් කෙරේ අහංකාරයෙන් පිපෙයි.
6 ඔහුද: මම නොසෙල්වන්නෙමි; සියලු පරම්පරා දක්වා විපත්ති නොවිඳින්නෙමියි සිතින් කියයි.
7 ඔහුගේ මුඛය ශාපයෙන්ද රුවටිල්ල හා බලාත්කාරයෙන්ද පිරී තිබේ. ඔහුගේ දිව යට නපුරුකම හා අයුතුකම ඇත.
8 ඔහු ගම්වල රැක හිඳින තැන්හි නැවතී සිට අප්‍රකාශ ස්ථානවලදී නිර්දෝෂයන් මරයි. ඔහුගේ ඇස් අසරණ අයට විරුද්ධව රහසින් යොමා තිබේ.
9 සිංහයා ගුහාවේ රැක සිටින්නාක්මෙන් ඔහු අප්‍රකාශ ස්ථානයෙහි රැක සිටියි. දිළිඳා අල්ලාගන්ට මග රැකසිටියි. ඔහුගේ දැල ඇද දිළිඳා අල්ලයි.
10 ඔහු බිම ලැග සිටියි, නැඹුරුව සිටියි, ඔහුගේ බලවතුන් කරණකොටගෙන අසරණ අය වැටෙති.
11 ඔහු කථාකොට: දෙවියන්වහන්සේට මතකනැතිවිය; උන්වහන්සේ මුහුණ සඟවාගන්නාසේක; උන්වහන්සේ කිසිකලෙක එය නොදක්නේයයි සිතින් කියයි.
12 ස්වාමිනි, නැගුටුණ මැනව; දෙවියන්වහන්ස, ඔබගේ අත එසෙවුව මැනව. දිළිඳුන් මතකනැති නොකළ මැනව.
13 දුෂ්ටයා දෙවියන්වහන්සේට නින්දා කරන්නෙත් ඔබ පළි නොගන්නසේකැයි සිතින් කියන්නෙත් මක්නිසාද?
14 ඔබ එය දුටුසේක; මක්නිසාද ස්වකීය හස්තයෙන් විපාකදෙන පිණිස ඔබ නපුරුකම සහ වෛරය දෙස බලනසේක. අසරණ තැනැත්තේ ඔබට භාරවෙයි; ඔබ පියා නැත්තාගේ උපකාරකාරයාණෝ වූසේක.
15 දුෂ්ටයාගේ බාහුව බින්ද මැනව; නපුරාගේ දුෂ්ටකම කිසිත් ඉතුරු නොවී යනතුරු සෙවුව මැනව.
16 ස්වාමීන්වහන්සේ සදාකාලයටම රජ්ජුරුවෝය. ජාතීහු උන්වහන්සේගේ දේශයෙන් විනාශවූවෝය.
17 ස්වාමිනි, ඔබ යටහතුන්ගේ කැමැත්ත ඇසූසේක. භූමිකවූ මනුෂ්‍යයාගෙන් තවත් භය නොපැමිණෙන පිණිස,
18 පියා නැත්තා සහ පීඩා විඳින්නා විනිශ්චයකරන්ට, ඔබ ඔවුන්ගේ සිත් සූදානම්කරනසේක, ඔබ කන්දී අසනසේක.



ගීතාවලිය 11

1 මම ස්වාමීන් සරණ කොට ගනිමි. පක්ෂියෙකු මෙන් ඔබේ කන්දට පලායවයි මාගේ ආත්මයට ඔබ සැම කෙසේ කියවුද?
2 බලව, දුෂ්ටයෝ දුන්න නමති, අවංක සිත් ඇත්තන්ට අඳුරෙහි විදින පිණිස ඔව්හු ඊගස දුනුදියෙහි යොදති.
3 අත්තිවාරම් විනාශවූවොත් ධර්මිෂ්ඨයා කුමක් කළ හැක්කේද?
4 ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධ මන්දිරයෙහි වැඩසිටිනසේක, ස්වාමීන්ගේ සිංහාසනය ස්වර්ගයෙහිය; උන්වහන්සේගේ ඇස්වලින් මනුෂ්‍ය පුත්‍රයන් බලා ඇසිපියවලින් ඔවුන් පරීක්ෂාකරනසේක.
5 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා විමසනසේක. නුමුත් උන්වහන්සේගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂකරයි.
6 දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.
7 මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ප්‍රියවනසේක. අවංක අය උන්වහන්සේගේ මුහුණ දකින්නෝය.



ගීතාවලිය 12

1 ස්වාමිනි, පිහිටවුව මැනව; මක්නිසාද භක්තිවන්තයෝ පිරිහෙති; විශ්වාස අය මනුෂ්‍යපුත්‍රයන් අතරෙන් නැතිවෙති.
2 ඔවුන් සෑම දෙන තමුන්ගේ අසල්වාසියා සමඟ නිෂ්ඵල දේ කථාකරති. ඔව්හු චාටු සහිත මුඛයෙන් හා දෙසිතින් කථාකෙරෙති.
3 අපේ දිවෙන් ජයගන්නෙමුව; අපේ තොල් අපේමය; අපට ස්වාමියා කවුදැයි කියන්නාවූ
4 චාටු සහිත මුඛ සහ මහත් කාරණා කියන දිවද ස්වාමීන්වහන්සේ කපාහරිනසේක.
5 දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
6 පොළොවේ උදුනක සත් වරක් පවිත්‍රකළ රිදී මෙන් ස්වාමීන්ගේ වචන පිරිසිදුය.
7 ස්වාමිනි, ඔබ ඔවුන් ආරක්ෂාකරනසේක, මේ පරම්පරාවෙන් සෑමකල්ම ඔබ ඔවුන් රැකගන්නසේක. දුශ්චරිතය මනුෂ්‍යපුත්‍රයන් අතරෙහි උසස්වෙන කල දුෂ්ටයෝ සියලු දෙසම ඇවිදිති.



ගීතාවලිය 13

1 ස්වාමිනි, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටිනසේක්ද? කොපමණ කල් ඔබගේ මුහුණ මාගෙන් සඟවනසේක්ද?
2 කොපමණ කල් මාගේ ආත්මයෙන් මන්ත්‍රණ යොදමින්, දවස මුළුල්ලේ මාගේ සිතෙහි ශෝකය ඇතුව සිටිම්ද? කොපමණ කල් මාගේ සතුරා මා කෙරේ උසස්වන්නේද?
3 මාගේ දෙවිවූ ස්වාමිනි, මා සලකා මට උත්තරදුන මැනව. මරණ නින්දට මා නොපැමිණෙන පිණිස මාගේ ඇස් එළියකළ මැනව.
4 නැත්නම්: ඔහුගෙන් ජයගතිමියි මාගේ සතුරා කියන්නේය; මා චංචලවන කල මාගේ එදිරිකාරයෝද ප්‍රීතිවන්නෝය.
5 එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාසකෙළෙමි; මාගේ සිත ඔබගේ ගැළවීමෙහි ප්‍රීති වන්නේය.
6 ස්වාමීන්වහන්සේ මට යහපත්කම් කළ නිසා උන්වහන්සේට ගායනාකරන්නෙමි.



ගීතාවලිය 14

1 අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.
2 නුවණින් ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක.
3 සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.
4 ආහාර කන්නාක්මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, ස්වාමීන්ට හඬ නොගසන්නාවූ, අයුතුකම් කරන සියල්ලන්ට කිසි දැනගැන්මක් නැද්ද?
5 ඔව්හු එහි මහත් භයින් සිටියෝය. මක්නිසාද දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාවෙහි සිටිනසේක.
6 ස්වාමීන්වහන්සේ දිළිඳාගේ රක්ෂාස්ථානය බැවින් ඔබ සැම ඔහුගේ මන්ත්‍රණය ලජ්ජාවට පෙරළන්නහුය.
7 අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත! ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ වහල්කමින් මුදා ගෙනෙන කල්හි, යාකොබ් ප්‍රීතිවන්නේය, ඉශ්‍රායෙල් සන්තෝෂවන්නේය.



ගීතාවලිය 15

1 ස්වාමිනි, ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද?
2 අවංකලෙස හැසිරෙන්නාවූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ, සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තේය.
3 ඔහු තමාගේ දිවෙන් කේලාම් නොකියයි, තමාගේ මිත්‍රයාට නපුර නොකරයි, තමාගේ අසල්වාසියාට විරුද්ධව නින්දා බසක් පතළ නොකරයි.
4 අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි; නුමුත් ඔහු ස්වාමින් කෙරෙහි භය ඇත්තන්ට ගෞරවකරයි. තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.
5 ඔහු මුදල් පොළියට නොදෙයි, නිර්දෝෂයාට විරුද්ධව අල්ලස්ද නොගනියි. මෙසේ කරන තැනැත්තේ කිසි කලෙකත් නොසෙල්වන්නේය.



ගීතාවලිය 16

1 දෙවියන්වහන්ස, මා ආරක්ෂාකළ මැනව. මක්නිසාද ඔබ සරණ කොටගනිමි.
2 ඔබ මාගේ ස්වාමීන්වහන්සේය, ඔබ හැර යහපතක් මට නැතැයි ස්වාමීන්ට කීමි.
3 පොළොවේ සිටින ශුද්ධවන්තයෝ වනාහි මාගේ මුළු ප්‍රීතිය උපදවන උත්තමයෝය.
4 ස්වාමීන් අත්හැර අන් දෙවිකෙනෙකු පිළිගන්නන්ගේ දුක් බෝවන්නේය. ඔවුන් ලෙයින් කරන පාන පූජා මම පූජා නොකරන්නෙමි, ඔවුන්ගේ නම් මාගේ කටින් නොකියන්නෙමි.
5 මාගේ උරුම කොටසත් කුසලාන්කොටසත් ස්වාමීන්වහන්සේය. ඔබ මාගේ කොටස රක්ෂාකරනසේක.
6 මට මායිම් වුණේ ප්‍රසන්න තැන්වලය; එසේය, මට ප්‍රියකරු උරුමයක් ඇත.
7 මට දැනමිතිකම් දුන්නාවූ ස්වාමීන්ට ස්තුති ප්‍රශංසාකරන්නෙමි; එසේය, රාත්‍රි භාගයෙහිදී මාගේ සිතිවිලිවලින් මට ගුරුකම් ලැබේ.
8 ස්වාමීන් නිතර මා ඉදිරියෙහි තබාගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල්වන්නෙමි.
9 එබැවින් මාගේ සිත සන්තෝෂවේ, මාගේ ගෞරවය ප්‍රීතියෙන් පිනයි. මාගේ මාංසයද සුරැකිව වසන්නේය.
10 මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි 16:10හෙවත්, පාතාලයෙහි. තිබෙන්ට නාරිනසේක; ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්ට නොදෙනසේක.
11 ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.



ගීතාවලිය 17

1 ස්වාමිනි, යුක්තිය ඇසුව මැනව, මාගේ හඬගැසීම සැලකුව මැනව; වංකවූ තොල්වලින් නොනික්මෙන මාගේ යාච්ඤාවට කන්දුන මැනව.
2 මාගේ නඩුතීන්දුව ඔබ ඉදිරියෙන් පැමිණේවා; ඔබගේ ඇස් යුක්තිය බලාවා,
3 ඔබ මාගේ සිත පරීක්ෂාකළසේක; රාත්‍රියේ මා බැලූසේක; ඔබ මා විමසූසේක, මා තුළ කිසි නපුරු අදහසක් නොදක්නාසේක; මාගේ මුඛයෙන් වරද නොකරන්ට නියමකරගතිමි.
4 මනුෂ්‍යයන්ගේ ක්‍රියා කෙසේ වූවත් මම ඔබගේ තොල්වල වචනය කරණකොටගෙන බලාත්කාරකරන්නන්ගේ මාර්ගවලින් වැලකී සිටියෙමි.
5 මාගේ අඩි ඔබගේ මාවත්වල ස්ථිරලෙස පිහිටියේය, මාගේ පාද නොලිස්සුවේය.
6 දෙවියන්වහන්ස, ඔබ මට උත්තරදෙන නිසා මම ඔබට හඬගැසීමි. ඔබගේ කන් මා දෙසට යොමුකොට මාගේ බස් ඇසුව මැනව.
7 ඔබ කෙරෙහි සරණගන්නවුන් විරුද්ධකාරයන්ගෙන් ඔබගේ දකුණතින් ගළවන තැනන්වහන්ස, ඔබගේ පුදුමවූ කරුණාගුණය දැක්වුව මැනව.
8 මාගෙන් කොල්ලකන්නාවූ දුෂ්ටයන්ගෙන්ද මා මරන්ට කැමතිවූ මා වටකරගන්න සතුරන්ගෙන්ද
9 ඇසේ කළුරුවාව මෙන් මා රක්ෂාකළ මැනව, ඔබගේ පියාපත් සෙවණෙහි මා සඟවාගත මැනව.
10 ඔව්හු තමුන්ගේම තෙලින් තරවී සිටිති. කටින් උඩඟුලෙස කථාකරති.
11 දැනුදු ඔව්හු අපේ අඩිපාර බලා අප වටකරගන සිටිති. අප බිම හෙළන්ට ඇස් යොමුකර සිටිති.
12 ඔහු ගොදුරට ගිජුවූ සිංහයෙකුටත් රහස් තැන්වල රැකහිඳින තරුණ සිංහයෙකුටත් සමානය.
13 ස්වාමිනි, නැගුටුණ මැනව, ඔහුට විරුද්ධව සිටිය මැනව, ඔහු පහත හෙළුව මැනව;
14 ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.
15 මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි. මම පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි.



ගීතාවලිය 18

1 මාගේ ශක්තියවූ ස්වාමිනි, ඔබට ප්‍රේමකරමි.
2 ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.
3 ප්‍රශංසා ලැබිය යුතුවූ ස්වාමීන්ට හඬගසන්නෙමි. මෙසේ මාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නෙමි.
4 මරහුගේ ලනුවලින් වෙළනු ලැබීමි, අධර්මය නමැති ජල ප්‍රවාහයෝ මා භයගැන්වූය.
5 ෂෙයෝලේ 18:5හෙවත්, පාතාලයේ. බැඳුම් මා වටින් විය. මරණයේ මලපත් මා පිටට ආයේය.
6 මාගේ විපත්තියේදී ස්වාමීන්ට හඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවෙහි සිට මාගේ හඬ ඇසූසේක, උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
7 එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.
8 උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවිළගත්තේය.
9 උන්වහන්සේ අහස නමාගන බැස්සසේක; උන්වහන්සේගේ පාද යට ඝනාන්ධකාරය විය.
10 උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක.
11 උන්වහන්සේ අන්ධකාරය තමන්ට ආවරණයක්ද, ජලධාරාවල අන්ධකාරය සහ ආකාශ ඝන වලාකුල් තමන් වටකොට මණ්ඩපයක්ද කරගත්සේක.
12 උන්වහන්සේ ඉදිරියෙහිවූ දීප්තිය නිසා උන්වහන්සේගේ ඝන වලාකුල් පහව ගියේය; ගල්වැසිද ගිනි අඟුරුද විය.
13 ස්වාමීන්වහන්සේ අහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක; ගල්වැසිද ගිනි අඟුරුද විය.
14 උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; එසේය, බොහෝ විදුලි එවා ඔවුන් පරාජයකළසේක.
15 එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය.
16 උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත්සේක.
17 උන්වහන්සේ මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද මා මුදාගත්සේක, මක්නිසාද ඔව්හු මට වඩා බලසම්පන්න වූය. ‍
18 මගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය. නුමුත් ස්වාමීන්වහන්සේ මට ආධාරවූසේක.
19 උන්වහන්සේ විශාල ස්ථානයකට මා ගෙනාසේක; උන්වහන්සේ මා කෙරෙහි ප්‍රසන්නවූ බැවින් මා මිදූසේක.
20 ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක; මාගේ අත්වල පිරිසිදුකම ලෙස මට ප්‍රතිඵල දුන්සේක.
21 මක්නිසාද මම ස්වාමීන්ගේ මාර්ගවල පැවතුණෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ටලෙස අහක්ව නොගියෙමි.
22 මක්නිසාද උන්වහන්සේගේ සියලු විනිශ්චයෝ මා ඉදිරියෙහි වූහ, උන්වහන්සේගේ පනත්ද මා කෙරෙන් පහ නොකෙළෙමි.
23 මම උන්වහන්සේ වෙත නිර්දෝෂව සිටියෙමි, මාගේ අයුතුකමෙන් වැලකී සිටියෙමි.
24 එබැවින් ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙසත් උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි මාගේ අත්වල පිරිසිදුකම ලෙසත් මට ප්‍රතිඵල දුන්සේක.
25 කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක; නිර්දෝෂ 18:25හෙවත්, සම්පූර්ණ මනුෂ්‍යයා. තැනැත්තා සමඟ නිර්දෝෂ 18:25හෙවත්, සම්පූර්ණ බව. බව දක්වනසේක;
26 පිරිසිදු අය සමඟ ඔබ පිරිසිදු බව දක්වනසේක; හිතුවක්කාර අය සමඟ විරුද්ධ බව දක්වනසේක.
27 මක්නිසාද ඔබ පීඩිතවූ සෙනඟ ගළවනසේක; නුමුත් උඩඟු ඇස් පහත්කරනසේක.
28 එසේය, ඔබ මාගේ පහන දල්වනසේක. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝකකරනසේක.
29 මක්නිසාද ඔබ කරණකොටගෙන හමුදාවකට විරුද්ධව දුවමි; මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරකින් පනිමි.
30 දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක් වනසේක.
31 මක්නිසාද ස්වාමීන් හැර දෙවිකෙනෙක් කවුද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයක් කවරේද?
32 මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල 18:32හෙවත්, සම්පූර්ණ. කරනසේක.
33 උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක. මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක.
34 උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති.
35 තවද ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක. ඔබගේ දකුණත මා දැරුවේය, ඔබගේ මෘදුකම මා උසස්කෙළේය.
36 ඔබ මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය.
37 මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගන්නෙමි. ඔවුන් විනාශවෙන තුරු හැරී නොඑන්නෙමි.
38 නැගිටින්ට බැරිවන ලෙස ඔවුන්ට පහරදෙන්නෙමි. ඔව්හු මාගේ පාදයට වැටෙන්නාහුය.
39 මක්නිසාද ඔබ මාගේ ඉණ බලයෙන් සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ මැඩපැවැත්වූසේක.
40 ගේ වෛරකාරයන් මා විසින් සිඳිනු ලබන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටුපාන්ට සැලැස්සූසේක.
41 ව්හු මොරගැසුවෝය, නුමුත් ගළවන්ට කිසිවෙක් නොවීය. ස්වාමීන්ට මොරගැසුවෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නුදුන්සේක.
42 ඒකල මම සුළඟ ඉදිරියෙහි ධූලි මෙන් ඔවුන් සුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් වීසි කෙළෙමි
43 ඔබ ගේ විවාදවලින් මා මුදා ගත්සේක; ඔබ මා ජාතීන්ගේ ප්‍රධානියා කළසේක. මා විසින් ඇඳින නොගත් සෙනඟක් මට මෙහෙකරන්නේය.
44 ඔව්හු මා ගැන ඇසූ කෙණෙහිම මට කීකරුවන්නාහුය. විදේශීහු මට යටත්වන්නාහුය.
45 විදේශීහු මලානිකව, තමන් සැඟවී හුන් තැන්වලින් වෙවුලමින් පිටත එන්නෝය.
46 ස්වාමීන්වහන්සේ ජීවත්වනසේක; මාගේ පර්වතයවූ උන්වහන්සේට ප්‍රශංසාවේවා; මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ උසස්වනසේක්වා.
47 උන්වහන්සේ වනාහි මා උදෙසා පළිගන්නාවූ, ජාතීන් මට යටත්කරදෙන්නාවූ දෙවියන්වහන්සේය.
48 උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදාගන්නාසේක. එසේය, මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස්කරනසේක. බලාත්කාරකරන්නාගෙන් මා ගළවාගන්නසේක.
49 එබැවින් ස්වාමිනි, ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
50 උන්වහන්සේ තමන් රජහට මහත් ගැළවීම දෙනසේක; තමන්ගේ අභිෂේකලත් තැනැත්තා වන දාවිත්ටත් ඔහුගේ වංශයටත් සදාකල් කරුණාව පෙන්වනසේක.



ගීතාවලිය 19

1 අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.
2 දවාල දවාලට කථාකරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි.
3 කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි.
4 ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිරගියේය. එහි උන්වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවුසේක.
5 ඔහු තමාගේ භවනයෙන් නික්මෙන මනමාලයෙකු වැනිය, තමාගේ ගමන දුවන්ට ශක්තිමත් කෙනෙකුමෙන් ප්‍රීතිවෙයි.
6 ඔහුගේ නික්මයාම අහසේ කෙළවරෙන් වේ, වටේට යාමත් එහි කෙළවර දක්වාවේ. ඒකේ රස්නය නොවැදෙන කිසිවක් නැත්තේය.
7 ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය.
8 ස්වාමීන්ගේ පනත් සාධාරණය, සිත ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය.
9 ස්වාමීන් කෙරෙහි භය පිරිසිදුය, සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය.
10 ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. මීපැණියටත් මීවදයටත් 19:10හෙවත්, පැණි වෑස්සෙන මීවදයටත්. වඩා මිහිරිය.
11 තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.
12 ස්වකීය වැරදි දැනගත හැකි කාටද? නොදන්නා වරදවලින් මා නිදොස් කළ මැනව.
13 එඩිතරව පව්කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව; ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා. එවිට මම නිර්දෝෂ. වන්නෙමි, මහත් අපරාධයෙන් නිදොස්වන්නෙමි.
14 මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමීනි, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.



ගීතාවලිය 20

1 විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ ඔබට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය ඔබ උසස්කෙරේවා;
2 ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවනසේක්වා, සියොන්හි සිට ඔබ ශක්තිමත් කරනසේක්වා;
3 ඔබේ පූජා සියල්ල සිහිකරනසේක්වා, ඔබේ දවන පූජාව පිළිගන්නාසේක්වා;
4 ඔබේ සිතේ ආශාව ලෙස ඔබට දෙනසේක්වා, ඔබේ මන්ත්‍රණ සියල්ල ඉෂ්ටකරනසේක්වා.
5 ඔබේ ගැළවීම ගැන අපි ජය ඝෝෂාකරන්නෙමුව, අපේ දෙවියන්වහන්සේගේ නමින් අපගේ කොඩි නගන්නෙමුව. ස්වාමීන්වහන්සේ ඔබේ සියලු ඉල්ලීම් ඉෂ්ටකරනසේක්වා.
6 ස්වාමීන්වහන්සේ තමන් අභිෂේකලත් තැනැත්තා ගළවන බව දැන් දනිමි; උන්වහන්සේ තමන් ශුද්ධවූ ස්වර්ගයේ සිට, තමන් දකුණතේ ගැළවීමේ ශක්තියෙන් ඔහුට උත්තරදෙනසේක.
7 සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.
8 ඔව්හු නැමී වැටී සිටිති. නුමුත් අපි නැගිට කෙළින් සිටිමුව.
9 ස්වාමිනි, ගැළවුව. මැනව. අප හඬගසන කල රජ්ජුරුවෝ අපට උත්තරදෙනසේක්වා.



ගීතාවලිය 21

1 ස්වාමිනි, රජතෙම ඔබගේ ශක්තියෙන් ප්‍රීතිවන්නේය; ඔබගේ ගැළවීම කෙරෙහි ඔහු කොපමණ මහත් ලෙස ප්‍රීතිවන්නේද!
2 ඔහුගේ සිතේ ආශාව ලෙස ඔබ ඔහුට දුන්සේක, ඔහුගේ මුඛයෙන් ඉල්ලූ දේ ඔහුගෙන් නොවැලැක්වූසේක.
3 මක්නිසාද ඔබ යහපත් වරයන් රැගෙන ඔහු ඉදිරියට එනසේක, ඔහුගේ හිස පිට පවිත්‍ර රන් ඔටුන්නක් තබනසේක.
4 ඔහු ඔබගෙන් ජීවිතය ඉල්ලුවේය; ඔබ ඔහුට සදාකල් පවතින දීර්ඝායුස දුන්සේක.
5 ඔබගෙන් ලැබුණු ගැළවීම කරණකොටගෙන ඔහුගේ ප්‍රශංසාව මහත්ය. ඔබ ගෞරවය හා මහිමය ඔහු පිට තබනසේක.
6 මක්නිසාද ඔබ සදාකල්ම ඔහු ඉතා ආශීර්වාදලද්දෙක් කරනසේක. ඔබ ඉදිරියෙහි වූ ප්‍රීතියෙන් ඔහු සන්තෝෂකරවනසේක.
7 මක්නිසාද රජතෙම ස්වාමීන් කෙරෙහි විශ්වාසකරයි, මහෝත්තමයාණන්ගේ කරුණාගුණයෙන් ඔහු නොසෙල්වී සිටින්නේය.
8 ඔබේ අතට ඔබේ සියලු සතුරෝද ඔබේ දකුණතට ඔබට වෛරවන්නෝද අසුවන්නෝය.
9 ඔබ කෝපවූ කල ඔවුන් ගිනි උදුනක්මෙන් කරනසේක. ස්වාමීන්වහන්සේ තමන් උදහසින් ඔවුන් නැතිකර දමනසේක, ගින්නද ඔවුන් දවා ලන්නේය.
10 ඔබ ඔවුන්ගේ වංශය පොළොවෙන්ද ඔවුන්ගෙන් පැවත එන්නන් මනුෂ්‍ය පුත්‍රයන් අතරෙන්ද විනාශකරනසේක.
11 මක්නිසාද ඔව්හු ඔබට විරුද්ධව නපුර සිතුවෝය. තමුන්ට ඉෂ්ටකරන්ට බැරිවූ උපායක් යෙදුවෝය.
12 මක්නිසාද ඔවුන් පිටුපාන්ට ඔබ සලස්වනසේක, ඔබගේ දුනුදිය රැගෙන ඔවුන්ගේ මුහුණු දෙසට යොදනසේක.
13 ස්වාමිනි, ස්වකීය ශක්තියෙන් උසස් වුවමැනව. එවිට අපි ගී කියමින් ඔබගේ බලය ගැන ප්‍රශංසාකරන්නෙමුව.



ගීතාවලිය 22

1 මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද? මට පිහිට නොවී, මාගේ මොරගැසීමේ වචනවලින් මෙසේ දුරුව සිටින්නේ මක්නිසාද?
2 මාගේ දෙවියනි, දාවල් ඔබට හඬ ගසමි, එහෙත් ඔබ උත්තර නොදෙනසේක; රාත්‍රියේද නිශ්ශබ්දව නොසිටිමි.
3 නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.
4 අපේ පියවරු ඔබ කෙරෙහි විශ්වාස කළෝය. ඔව්හු විශ්වාසකළෝය, ඔබද ඔවුන් මිදූසේක.
5 ඔව්හු ඔබට හඬගැසුවෝය, මුදනු ලැබුවෝය; ඔබ කෙරෙහි විශ්වාසකළෝය, ලජ්ජානුවූවෝය.
6 මම නම් මනුෂ්‍යයෙක් නොව පණුවෙක්මි; මිනිසුන් අතරෙහි නින්දිතයෙක්මි, සෙනඟ විසින් හෙළාදක්නා ලද්දෙක්මි.
7 මා දකින සියල්ලෝම මට කවටකම් කෙරෙති. ඔව්හු තොල් දික්කරමින්, හිස වනමින්:
8 ස්වාමින්ට භාරවෙව; උන්වහන්සේ ඔහු මුදනසේක්වා; උන්වහන්සේ ඔහු කෙරෙහි ප්‍රසන්න බැවින් ඔහු මුදනසේක්වයි කියති.
9 එහෙත් මවු කුසින් මා බිහිකළ තැනන්වහන්සේ ඔබමය; මාගේ මවුගේ ළයෙහි හුන්කල ඔබ මා විශ්වාසයෙන් සිටින්ට සැලැස්සූසේක.
10 මවු ගැබෙහි පටන් ඔබගේ ආරක්ෂාවට භාරදෙනු ලදිමි, මාගේ මවගේ කුසෙහි පටන් මාගේ දෙවියන්වහන්සේ ඔබය.
11 මා කෙරෙන් දුරුනූව මැනව; මක්නිසාද දුක ළඟය; පිහිටවෙන්ට කිසිවෙක් නැත්තේය.
12 බොහෝ ගොන්නු මා වටකර සිටිති. බාෂාන්හි සවි ඇති ගොන්නු මා වටලා සිටිති.
13 ගොදුරුකමින් ගොරවන සිංහයෙකුමෙන් ඔව්හු මා දෙස බලා කට අරිති.
14 මම වතුර මෙන් වැගිරයෙමි, මාගේ ඇට සියල්ල අවසන්ධිවේ. මාගේ සිත ඉටි මෙන් වේ; එය මා තුළෙහි උණුවී තිබේ.
15 මාගේ සවිය කැබිලිත්තක් මෙන් වියළී තිබේ; මාගේ දිවද තල්ලේ ඇලෙයි; ඔබ මා මරණ ධූලියට ගෙනාසේක.
16 මක්නිසාද බල්ලෝ මා වටකළෝය. නපුරන් රැළ මා වටලා ගත්තුය; ඔව්හු මාගේ අත්පා සිදුරුකළෝය.
17 මාගේ ඇට සියල්ල ගණන්කළ හැක්කෙමි; ඔව්හු මා දෙස රවා බලති.
18 මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති, මාගේ සළුව පිණිස පසඇට දමති.
19 නුමුත්, ස්වාමිනි, ඔබ දුරුනූව මැනව. මාගේ බලය වන ඔබ, මට පිහිට වෙන්ට ඉක්මන්වුව මැනව.
20 මාගේ ප්‍රාණය කඩුවෙන්ද මාගේ ප්‍රිය 22:20නොහොත්, තනිවූ ප්‍රාණය. ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුව මැනව.
21 සිංහයාගේ මුඛයෙන් මා ගැළවුව මැනව; එසේය, වල් ගොනුන්ගේ අං අතරෙහිවූ මට ඔබ උත්තරදුන්සේක.
22 ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශකරන්නෙමි, සභා මධ්‍යයෙහි ඔබට ප්‍රශංසාකරන්නෙමි.
23 ස්වාමින් කෙරෙහි භය ඇත්තෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්; යාකොබ් වංශයේ සියල්ලෙනි, උන්වහන්සේට ගෞරවකරව්; ඉශ්‍රායෙල් වංශයේ සියල්ලෙනි, උන්වහන්සේ කෙරෙහි භයින් සිටිව්.
24 මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක; ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක; ඔහු හඬගැසූ කල උන්වහන්සේ ඇසූසේක.
25 මහත් සභාවේදී මාගේ ප්‍රශංසාව පැමිණෙන්නේ ඔබ කෙරෙන්ය. උන්වහන්සේට භයවෙන්නන් ඉදිරියේ මාගේ භාර ඉෂ්ටකරන්නෙමි.
26 යටහත් සිත් ඇත්තෝ අනුභවකොට තෘප්තියට පැමිණෙන්නාහුය. ස්වාමීන් සොයන්නෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නාහුය. ඔබ සැමගේ සිත සදාකල් ජීවත්වේවා.
27 පොළොවේ සියලු සීමාවෝ සිහිකරමින් ස්වාමීන් වෙතට හැරෙන්නෝය. ජාතීන්ගේ සියලු ගෝත්‍රයෝ ඔබ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය.
28 මක්නිසාද රාජ්‍යය ස්වාමීන්වහන්සේගේය. උන්වහන්සේ ජාතීන් කෙරෙහි ආණ්ඩුකාරයාණෝය.
29 පොළොවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභවකොට නමස්කාරකරන්නාහුය. ධූලියට බසින්නෝ, එනම් තමුන්ගේ දිවි රැකගත නොහැකි අය, උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නාහුය.
30 වංශයක් උන්වහන්සේට මෙහෙකරන්නේය; මතු පරම්පරාවට ස්වාමීන් ගැන එපවත් කියනු ලබන්නේය.
31 ඔව්හු පැමිණ උන්වහන්සේ මෙසේ කළසේක කියා මතු උපදින සෙනඟකට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නාහුය.



ගීතාවලිය 23

1 ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.
2 උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක.
3 උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක.
4 එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.
5 මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි.
6 සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.



ගීතාවලිය 24

1 පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය.
2 මක්නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටෙවුසේක, ගංගා පිට ස්ථිරකළසේක.
3 ස්වාමීන්ගේ කන්දට නගින්නේ කවුද? උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහි සිටින්නේ කවුද?
4 පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තාවූ, තමාගේ ආත්මය නිෂ්ඵලකමට. යොමුනොකළාවූ, වංචාවෙන් නොදිවුළාවූ තැනැත්තේමය.
5 ඔහු ස්වාමීන්ගෙන් ආශීර්වාදයක්ද තමාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ ගෙන් ධර්මිෂ්ඨකමද ලබන්නේය.
6 උන්වහන්සේ සොයන්නන්ගේ, එනම් යාකෝබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මුහුණ සොයන්නන්ගේ පරම්පරාව මේය.
7 ද්වාරයෙනි, ඔබ සැමගේ හිස් ඔසවව්; සදාකාලික 24:7නොහොත් පුරාණ. ද්වාරයෙනි, උස්වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක.
8 තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්‍රම සහිත ස්වාමීන්වහන්සේය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමීන්වහන්සේය.
9 ද්වාරයෙනි, ඔබ සැමගේ හිස් ඔසවව්. එසේය, සදාකාලික ද්වාරයෙනි, හිස් ඔසවව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක.
10 මේ තේජසේ රජ්ජුරුවෝ කවුද? සේනාවල ස්වාමීන්වහන්සේය, තේජසේ රජ්ජුරුවෝ උන්වහන්සේය.



ගීතාවලිය 25

1 ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවමි.
2 මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි, මම ලජ්ජා නොවෙම්වා; මා කෙරෙහි ජය නාද පවත්වන්ට මාගේ සතුරන්ට ඉඩ නුදුන මැනව.
3 එසේය, ඔබ කෙරෙහි බලා සිටින කවරෙක්වත් ලජ්ජා නොවන්නේය. නිෂ්කාරණයේ ද්‍රෝහිකම්කරන්නෝ ලජ්ජාවන්නෝය.
4 ස්වාමිනි, ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.
5 ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේය; දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලාසිටිමි.
6 ස්වාමිනි, ඔබගේ මෘදුවූ දයාබරකම්ද කරුණාගුණයන්ද සිහිකළ මැනව; මක්නිසාද ඒවා පෙර සිට පවත්නේය.
7 ස්වාමිනි, මාගේ යෞවන වයසේ පව්වත් මාගේ අපරාධවත් සිහි නොකළ මැනව. ස්වාමිනි, ඔබගේ යහපත්කම නිසා ඔබගේ කරුණාව පරිද්දෙන් මා සිහිකළ මැනව.
8 ස්වාමීන්වහන්සේ යහපත්ය, අවංකය. එහෙයින් උන්වහන්සේ පව්කාරයන්ට මාර්ගය උගන්වනසේක.
9 උන්වහන්සේ යටහතුන් යුක්තියෙහි හසුරුවනසේක. යටහතුන්ට තමන්ගේ මාර්ගය උගන්වනසේක.
10 ස්වාමීන්ගේ, ගිවිසුමද ශික්ෂාද රක්නවුන්ට උන්වහන්සේගේ සියලු මාවත් කරුණාව හා සැබෑකමද වෙති.
11 ස්වාමිනි, මාගේ අයුතුකම මහත් බැවින් ඔබගේ නාමය නිසා ඊට කමාවුව මැනව.
12 ස්වාමීන් කෙරෙහි භය ඇත්තේ කවරේද? ඔහු විසින් තෝරාගත යුතු මාර්ගය උන්වහන්සේ උගන්වනසේක.
13 ඔහුගේ ආත්මය සුවසේ වසන්නේය; ඔහුගේ වංශය දේශය උරුමකරගන්නේය.
14 ස්වාමීන්ගේ රහස 25:14එනම්, මිත්‍රකම. උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.
15 මාගේ ඇස් නිතරම ස්වාමීන් දෙසට යොමුව තිබේ; මක්නිසාද උන්වහන්සේ මාගේ පාද දැලෙන් මුදාගන්නාසේක.
16 මා දෙසට හැරී මට කරුණාකළ මැනව; මක්නිසාද මම අසරණයෙමි, පීඩිතයෙමි.
17 මාගේ සිතේ දුක් වැඩිව තිබේ. මාගේ විපත්තිවලින් මා මුදාගත මැනව.
18 මාගේ පීඩාව සහ වේදනාවද බැලුව මැනව; මාගේ සියලු පව් කමාකළ මැනව.
19 මාගේ සතුරන් බැලුව මැනව, මක්නිසාද ඔව්හු බොහෝය; කෲරවූ වෛරයෙන් ඔව්හු මට වෛරවෙති.
20 මාගේ ආත්මය ආරක්ෂාකොට මා මිදුව මැනව. ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින් මම ලජ්ජා නොවෙම්වා.
21 සත්‍යකමත් අවංකකමත් මා රකීවා, මක්නිසාද ඔබ කෙරෙහි බලා සිටිමි.
22 දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල් ඔහුගේ සියලු දුක්වලින් මිදුව මැනව.



ගීතාවලිය 26

1 ස්වාමිනි, මා විනිශ්චයකළ මැනව, මක්නිසාද මම නිර්දෝෂකමින්. හැසුරුණෙමි. මම නොසෙල්වී ස්වාමීන් කෙරෙහි විශ්වාසකෙළෙමි.
2 ස්වාමිනි, මා සෝදිසිකොට පරීක්ෂාකළ මැනව; මාගේ හෘදයත් සිතත් විමසා බැලුව මැනව.
3 මක්නිසාද ඔබගේ කරුණාගුණය මාගේ ඇස් හමුයෙහිය; ඔබගේ සැබෑකමෙහි හැසුරුණෙමි.
4 මම බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි; රැවටිලිකාරයන් සමඟද නොයමි.
5 නපුරුකම් කරන්නන්ගේ සමාගමට වෛරවෙමි, දුෂ්ටයන් සමඟ හිඳ නොගන්නෙමි.
6 ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද,
7 නිදොස්කමින් මාගේ අත් සෝදා, ඔබගේ පූජාසනය ප්‍රදක්ෂිණ කරන්නෙමි.
8 ස්වාමිනි, ඔබගේ ගෘහ වාසයටත් ඔබගේ තේජස පිහිටි ස්ථානයටත් ප්‍රේමකරමි.
9 පව්කාරයන් සමඟ මාගේ ආත්මයත් මිනීමරන්නන් සමඟ මාගේ ජීවිතයත් එක් නොකළ මැනව.
10 ඔවුන්ගේ අත්වල පවිටුකම ඇත්තේය, ඔවුන්ගේ දකුණත අල්ලසින් පිරී තිබේ.
11 මම වනාහි නිර්දෝෂකමින්. හැසිරෙන්නෙමි. මා මුදා මට කරුණාකළ මැනව.
12 මගේ පය සමබිමෙක්හි පිහිටා තිබේ. සභාවලදී ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි.



ගීතාවලිය 27

1 ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?
2 නපුරුකම්කරන්නෝ එනම් මාගේ එදිරිකාරයන් හා සතුරෝ මාගේ මාංසය කන පිණිස මට විරුද්ධව ආ කල පැකිල වැටුණෝය.
3 සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත්, මාගේ සිත භය නොවන්නේය. මට විරුද්ධව යුද්ධයක් හටගත්තත්, එකල්හිත් මම සුරක්ෂිතව සිටින්නෙමි.
4 ස්වාමීන්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය.
5 මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක.
6 දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය; උන්වහන්සේගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; ස්වාමීන්ට ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.
7 ස්වාමිනි, මාගේ ශබ්දයෙන් හඬගසනකල ඇසුව මැනව. මට කරුණාකොට උත්තරදුන මැනව.
8 මාගේ මුහුණ සොයව්යයි ඔබ කීකල, ස්වාමිනි, ඔබගේ මුහුණ සොයන්නෙමියි මාගේ සිත ඔබට කීය.
9 ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; උදහසින් ඔබගේ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ පිහිට වූසේක; මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මා පහ නොකළ මැනව, අත් නොහළ මැනව.
10 මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නුමුත් ස්වාමීන්වහන්සේ මා පිළිගන්නසේක.
11 ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; මාගේ සතුරන් නිසා සමතලා මාර්ගයෙක්හි මා ගෙනගිය මැනව.
12 මාගේ එදිරිකාරයන්ගේ කැමැත්තට මා භාර නුදුන මැනව. මක්නිසාද බොරු සාක්ෂිකාරයෝද කෲරකමින් තර්ජනකරන්නෝද මට විරුද්ධව නැගිට සිටිති.
13 ජීවතුන්ගේ දේශයෙහි ස්වාමීන්ගේ. යහපත්කම දකින්ට ලැබේයයි නොඇදහුවෙම් නම් කොපමණ අසරණද?
14 ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.



ගීතාවලිය 28

1 ස්වාමිනි, ඔබට හඬගසන්නෙමි; මාගේ පර්වතයාණෙනි මට කන් නොදී නොසිටිය මැනව. ඔබ නිශ්ශබ්දවූසේක්නම්, වළට බසින්නන් හා සමාන වන්නෙමි.
2 මා ඔබට හඬගසන කලද ඔබගේ ශුද්ධ වාග්භූමිය දෙසට මාගේ අත් ඔසවන කලද මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.
3 තමුන්ගේ අසල්වාසීන් සමඟ සමාදානයෙන් කථාකරන නුමුත් සිත්වල නපුරුකම ඇත්තාවූ දුෂ්ටයන්ද අයුතුකම් කරන්නන්ද සමඟ මා ඇද. නොදැමුව මැනව.
4 ඔවුන්ගේ ක්‍රියාව හැටියටත් හැසිරීම්වල දුෂ්ටකම හැටියටත් ඔවුන්ට විපාක දුන මැනව. ඔවුන් අතින් කළ ක්‍රියා ලෙස ඔවුන්ට කළ මැනව; ඔවුන්ට සුදුසුලෙස ප්‍රතිඵල දුනමැනව.
5 ඔවුන් ස්වාමීන්ගේ ක්‍රියා හෝ උන්වහන්සේගේ හස්තකර්ම හෝ නොසලකන බැවින් උන්වහන්සේ ඔවුන් බිඳ දමනසේක, ගොඩ නොනගනසේක.
6 ස්වාමීන්ට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.
7 ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
8 ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ශක්තියය, උන්වහන්සේ තමන්ගේ අභිෂේකලත් තැනැත්තාට ගැළවීමේ බලකොටුවක් වනසේක.
9 ඔබගේ සෙනඟ ගළවා, ඔබගේ උරුමයවූවන්ට ආශීර්වාදකළ මැනව. ඔවුන් පෝෂණයකරමින්, සදාකල්ම ඉසුලුව මැනව.



ගීතාවලිය 29

1 බලවතුන්ගේ පුත්‍රයෙනි, ස්වාමීන්ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන්ට දෙව්.
2 ස්වාමීන්ගේ නාමයට දියයුතු මහිමය දෙව්; ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්.
3 ස්වාමීන්ගේ ශබ්දය ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක.
4 ස්වාමීන්ගේ ශබ්දය බලවත්ය; ස්වාමීන්ගේ ශබ්දය මහිමයෙන් පූර්ණය.
5 ස්වාමීන්ගේ ශබ්දය කිහිරිගස් බිඳියි; එසේය, ස්වාමීන්වහන්සේ ලෙබනොන්හි කිහිරිගස් කැබෙලිකොට බිඳිනසේක.
6 උන්වහන්සේ ඒවා වස්සෙකු මෙන්ද ලෙබනොන් සහ සිරියොන් කඳු තරුණ වල් ගොනෙකු මෙන්ද පෙම්කෙළින්ට සලස්වනසේක.
7 ස්වාමීන්ගේ ශබ්දය ගිනිදැල් බෙදයි.
8 ස්වාමීන්ගේ ශබ්දය වනාන්තරය සොලවයි; ස්වාමීන්වහන්සේ කාදෙෂ් වනාන්තරය සොලවනසේක.
9 ස්වාමීන්ගේ ශබ්දය මුවදෙනුන් ප්‍රසවයකරවයි, වනය පාළුකරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ල: මහිමය වේවා කියයි.
10 ස්වාමීන්වහන්සේ ජලගැල්මෙහිදී රජෙකු මෙන් වැඩහුන්සේක; එසේය, ස්වාමීන්වහන්සේ රජෙකු මෙන් සදාකල් වැඩහිඳිනසේක.
11 ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.



ගීතාවලිය 30

1 ස්වාමිනි, ඔබ වර්ණනාකරමි; මක්නිසාද ඔබ මා උසස්කළසේක, මාගේ සතුරන්ට මා සඳහා ප්‍රීතිවෙන්ට නුදුන්සේක.
2 මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබට මොරගැසීමි, ඔබද මා සුවකළසේක.
3 ස්වාමිනි, ඔබ ෂෙයෝලෙන්. මාගේ ආත්මය ගොඩගත්සේක. මා වළට නොබසින පිණිස මාගේ ජීවිතය ආරක්ෂාකළසේක.
4 ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.
5 මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.
6 මම වනාහි සැපතෙදී කථාකොට: කිසිකලෙකත් නොසෙල්වන්නෙමියි කීමි.
7 ස්වාමිනි, ඔබගේ කරුණාවෙන් ඔබ මාගේ කන්ද ශක්තිමත්කොට පිහිටෙවුසේක. ඔබ මුහුණ සඟවාගත්සේක; මම කැලඹුණෙමි.
8 ස්වාමිනි, ඔබට හඬගැසීමි; ස්වාමීන්ට කන්නලව්කෙළෙමි.
9 මා වළට බසින කල මාගේ ලෙයින් ඇති ප්‍රයෝජනය කිම්ද? ධූලි ඔබට ප්‍රශංසාකරන්නේද? ඔබගේ සත්‍යතාව ප්‍රකාශකරන්නේද?
10 ස්වාමිනි, ඇහුම්කන්දී මට කරුණාකළ මැනව. ස්වාමිනි, ඔබ මාගේ ආධාරකාරයා වුව මැනව.
11 ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක; ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉණ සැරසූසේක.
12 කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි.



ගීතාවලිය 31

1 ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසකරමි; කිසිකලකත් ලජ්ජා නොවෙම්වා. ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මිදුව මැනව.
2 මා දෙසට ඔබගේ කන නමා, ඉක්මනින් මා මිදුව මැනව. මා ගළවන්ට ශක්තිමත් පර්වතයක්ද ආරක්ෂා ගෘහයක්ද වුව මැනව.
3 මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව.‍
4 ඔවුන් රහසින් මට හෙළූ දැලින් මා බැහැරගත මැනව; මක්නිසාද ඔබ මාගේ රක්ෂාස්ථානයය.
5 ඔබ අතට මාගේ ආත්මය භාරදෙමි. සැබෑකමේ දෙවිවූ ස්වාමිනි, ඔබ මා මිදූසේක.
6 බොරුවූ හිස්වූ දේ සලකන්නන්ට ද්වේෂකරමි. නුමුත් මම ස්වාමීන් කෙරෙහි විශ්වාස කරමි.
7 ඔබගේ කරුණාව ගැන සතුටුව ප්‍රීති වන්නෙමි. මක්නිසාද ඔබ මාගේ පීඩාව දුටුසේක; පීඩාවලදී මාගේ ආත්මය හැඳිනගත්සේක.
8 ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක; විශාල භූමියක මාගේ පාද පිහිටෙවුසේක.
9 ස්වාමිනි, මට කරුණාකළ මැනව, මක්නිසාද මම දුකින් සිටිමි. මාගේ ඇස, එසේය, මාගේ ආත්මයත් ශරීරයත් ශෝකයෙන් වැහැරයයි.
10 මාගේ ජීවිතය කනගාටුවෙන්ද මාගේ අවුරුදු සුසුම්ලීමෙන්ද ගෙවී තිබේ. මාගේ අයුතුකම නිසා මාගේ ශක්තිය පිරිහෙයි, මාගේ ඇටද ක්ෂයවී තිබේ.
11 මාගේ සියලු එදිරිකාරයන් නිසා අධික වශයෙන් මාගේ අසල්වාසීන්ට නින්දාවක්ව සිටිමි, මා අඳුනන්නන්ට භීතියක්ව සිටිමි. පිටතදී මා දුටුවෝ මා කෙරෙන් පලාගියෝය.
12 සිතින් තොරවූ මළ තැනැත්තෙකු මෙන් මතක් නොවී සිටිමි. බිඳුණු භාජනයක් මෙන් වෙමි.
13 මක්නිසාද බොහෝ දෙනෙකුගේ කෙලසුම් බස් ඇසීමි, හාත්පස භීතිය ඇත්තේය. මට විරුද්ධව එක්ව මන්ත්‍රණයකරද්දී, ඔව්හු මාගේ ජීවිතය පැහැරගන්ට උපා යෙදුවෝය.
14 එහෙත් ස්වාමිනි, මම ඔබ කෙරෙහි විශ්වාසකෙළෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කීමි.
15 මාගේ කාලයන් ඔබ අතේය. මාගේ සතුරන් අතින්ද මට පීඩා කරන්නන්ගෙන්ද මා මුදාහැරිය මැනව.
16 ඔබගේ මෙහෙකරුවා කෙරෙහි ඔබගේ මුහුණ බැබළෙවුව මැනව. ඔබගේ කරුණාවෙන් මා ගැළෙවුව මැනව.
17 මම ලජ්ජා නොවෙම්වා; මක්නිසාද ඔබට හඬගැසීමි. දුෂ්ටයෝ ලජ්ජාවෙත්වා, ෂෙයෝලෙහි 31:17හෙවත්, පාතාලයෙහි. නිශ්ශබ්දවෙත්වා.
18 ආඩම්බරයෙන් හා හෙළාදැක්මෙන් ධර්මිෂ්ඨයාට විරුද්ධව උඩඟුලෙස කථා කරන්නාවූ බොරුකියන තොල් නිශ්ශබ්දවේවා.
19 ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!
20 මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණවලින් ඔබ හමුයෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක. මුඛ විවාදයෙන් ඔවුන් විමානයෙක්හි රහස්ලෙස ආරක්ෂාකරනසේක.
21 ස්වාමීන්ට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ශක්තිමත් නුවරදී තමන් පුදුමවූ කරුණා ගුණය මට පෙන්වූසේක.
22 මම වනාහි: ඔබගේ ඇස් හමුයෙන් සිඳිනු ලබමියි ඉක්මන්කමින් කීයෙමි. එහෙත් මා ඔබට මොරගැසූ කල ඔබ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.
23 ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රේමකරව්. ස්වාමීන්වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂාකරනසේක, උඩඟුලෙස ක්‍රියාකරන්නාට බොහෝසෙයින් ප්‍රතිඵලදෙනසේක.
24 ස්වාමීන් කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ශක්තිමත් වව්; තොපගේ සිත ධෛර්යවත් වේවා.



ගීතාවලිය 32

1 අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාද ලද්දෙක්ය.
2 ස්වාමීන්වහන්සේ යමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, යමෙකුගේ සිතේ වංචාවක් නැත්තේද, ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය.
3 මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය.
4 මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය.
5 මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.
6 එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්‍රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය.
7 මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය; දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්ෂාකරනසේක; මිදීමේ ගීතිකාවලින් ඔබ මා වටකරනසේක.
8 ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.
9 තේරුම් නැති අශ්වයෙක් හෝ අශ්වතරයෙක් මෙන් නොවව්. උන් දමනයකරන පිණිස කටකලියාව සහ පටිය දැමිය යුතුය, නැතහොත් උන් ඔබට ළං නොවෙති.
10 දුෂ්ටයාට බොහෝ දුක් පැමිණෙන්නේය. නුමුත් ස්වාමීන් කෙරෙහි විශ්වාස කරන තැනැත්තේ කරුණාවෙන් වටකරනු ලබන්නේය.
11 ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි සතුටුව ප්‍රීතිවව්. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති නාද කරව්.



ගීතාවලිය 33

1 ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත් වව්. ප්‍රශංසාකිරීම අවංකයන්ට හොබනේය.
2 වීණාවෙන් ස්වාමීන්ට ස්තුතිකරව්. තත් දවසේ වීණාව රැගෙන උන්වහන්සේට ප්‍රශංසා ගීතිකා කියව්.
3 උන්වහන්සේට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මහත් ශබ්දයකින් දක්ෂලෙස වාදනය කරව්.
4 මක්නිසාද ස්වාමීන්ගේ වචනය සෘජුය; උන්වහන්සේගේ ක්‍රියා සියල්ල විශ්වාසකමෙන් කෙරෙන්නේය.
5 උන්වහන්සේ ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවනසේක. පොළොව ස්වාමීන්ගේ කරුණා ගුණයෙන් පූර්ණය.
6 ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.
7 උන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ගොඩක් සේ රැස්කොට, ගැඹුරු ජලයන් ගබඩාවල නිධාන කොට තබනසේක.
8 මුළු පොළොව ස්වාමීන්ට භයවේවා. ලෝ වැසි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි භයින් සිටිත්වා.
9 මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය.
10 ස්වාමීන්වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක. මනුෂ්‍ය වර්ගයන්ගේ සිතිවිලි නිෂ්ඵල කරනසේක.
11 ස්වාමීන්ගේ මන්ත්‍රණය සදාකාලයටද උන්වහන්සේගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය.
12 ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ ඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාද ලද්දෝය.
13 ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලනසේක; සියලු මනුෂ්‍යපුත්‍රයන් දක්නාසේක;
14 උන්වහන්සේ ස්වකීය වාසස්ථානයේ සිට පොළෝවාසී සියල්ලන් දෙස බලනසේක;
15 ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේමය, ඔවුන්ගේ සියලු ක්‍රියා සලකන්නෙත්‍ උන්වහන්සේමය.
16 මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත. බලසම්පන්න මනුෂ්‍යයෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැළවෙයි.
17 ආරක්ෂා පිණිස අශ්වයෙක් නිෂ්ඵලය. ඌ ස්වකීය මහත් බලයෙන් කිසිවෙකු නොගළවන්නේය.
18 බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්,
19 දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ.
20 අපේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලාසිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
21 අප උන්වහන්සේගේ ශුද්ධ නාමය විශ්වාසකළ නිසා අපේ සිත උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය.
22 ස්වාමීනි, ඔබ කෙරෙහි අප බලාපොරොත්තුව සිටිය ආකාරයෙන් ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා.



ගීතාවලිය 34

1 සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය.
2 මාගේ ආත්මය ස්වාමීන්ගේ ගුණ වර්ණනාකරන්නේය. යටහත් සිත් ඇත්තෝ ඒ අසා සන්තෝෂවන්නෝය.
3 මා සමඟ ස්වාමීන් වර්ණනාකරව්, අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස්කරමු.
4 ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක.
5 ඔව්හු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ මුහුණු කිසි කලකත් ලජ්ජා නොවන්නේය.
6 මේ දුප්පතා මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක.
7 ස්වාමීන්ගේ දූතයා උන්වහන්සේට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි.
8 ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
9 ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට භයවව්. මක්නිසාද උන්වහන්සේට භයවන්නන්ට කිසි හිඟයක් නැත.
10 තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.
11 දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම ඔබ සැමට උගන්වන්නෙමි.
12 ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?
13 ඔබේ දිව නපුරෙන්ද ඔබේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව.
14 නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.
15 ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ,
16 නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන්ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ.
17 ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.
18 ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.
19 ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.
20 උන්වහන්සේ ඔහුගේ ඇට සියල්ල ආරක්ෂාකරනසේක. එයින් එකක්වත් නොබිඳේ.
21 නපුර දුෂ්ටයා නසන්නේය. ධර්මිෂ්ඨයාට ද්වේෂකරන්නෝ වරදට පත්කරනු ලබන්නෝය.
22 ස්වාමීන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදනසේක. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන කිසිවෙක්වත් වරදට පත්කරනු නොලබන්නේය.



ගීතාවලිය 35

1 ස්වාමිනි, මා සමඟ විවාදකරන්නන් සමඟ විවාදකළ මැනව. මට විරුද්ධව යුද්ධකරන්නන්ට විරුද්ධව යුද්ධකළ මැනව.
2 පලිහත් මහ පලිහත් ගෙන, මට පිහිටවෙන පිණිස නැගුටුණ මැනව.
3 හෙල්ලයත් ඇද මා ලුහුබඳින්නන් වැලැක්වුව මැනව. මම ඔබ සැමගේ ගැළවීමයයි මාගේ ආත්මයට කිව මැනව.
4 මාගේ ප්‍රාණය සොයන්නෝ ලජ්ජාවී අගෞරවයට පැමිණෙත්වා. මට අන්තරාය යොදන්නෝ පස්සට හරවනු ලැබ වියවුල්වෙත්වා.
5 ඔව්හු හුළඟ ඉදිරියෙහි බොල් මෙන් වෙත්වා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් එළවා යේවා.
6 ඔවුන්ගේ මාර්ගය අඳුරුව ලිස්සන්නේවේවා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් ලුහුබදීවා.
7 මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය.
8 නොදැනී විනාශය ඔහු පිටට පැමිණේවා; ඔහු සඟවා තිබූ දැලට ඔහුම අසුවේවා; ඔහු විනාශයට පැමිණ එහි වැටේවා.
9 මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි සතුටුවන්නේය. උන්වහන්සේගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන්නේය.
10 ස්වාමීනි, දුප්පතා ඔහුට වඩා බල වන්තයාගෙන් මුදන්නාවූ, දුප්පතා හා දිළිඳා කොල්ලකාරයාගෙන් ගළවන්නාවූ ඔබ සමාන කවරේදැයි මාගේ ඇට සියල්ලෙන් කියවෙන්නේය.
11 අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෝ නැඟිට, මා නොදන්න කාරණා ගැන මාගෙන් අසති.
12 මාගේ ආත්මය අසරණවන ලෙස ඔව්හු මට යහපත වෙනුවට නපුර කෙරෙති.
13 මම වනාහි ඔවුන් රෝගාතුරවූ කල ගෝණිරෙදි ඇන්දෙමි. නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට පීඩාකරගතිමි; මාගේ යාච්ඤාවද මාගේම ළයට හැරී ආයේය.
14 මාගේ මිත්‍රයෙක් නොහොත් සහෝදරයෙක් මෙන් ඔහු ගැන ක්‍රියා කෙළෙමි. මෑණියන් ගැන ශෝකවන්නෙකුසේ දුකින් වැතිර සිටියෙමි.
15 එහෙත් මා පැකුලුණු කල ඔව්හු ප්‍රීතිමත්ව රැස්වූවෝය. නීචයෝ මට විරුද්ධව රැස්වූය, එය දැන නොගත්තෙමි; ඔව්හු නොනැවතී මා ඉරාදැමුවෝය.
16 මංගල්‍යවලදී අභක්තික කවටයන් මෙන් ඔව්හු මට එදිරිව දත්මිටිකෑවෝය.
17 ස්වාමීනි, ඔබ කොපමණ කල් බලා සිටිනසේක්ද? මාගේ ආත්මය ඔවුන් යොදන විනාශවලින්ද මාගේ ප්‍රිය ප්‍රාණය සිංහයන්ගෙන්ද මුදාගත මැනව.
18 මහත් සභාවේදී ඔබට ස්තුතිකරන්නෙමි. බොහෝ සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරන්නෙමි.
19 මට සතුරුව සිටින්නෝ අයුත්තේ මා ගැන ප්‍රීතිමත් නොවෙත්වා. නිෂ්කාරණයේ මට වෛරවන්නෝ ඇස ඉඟි නොකෙරෙත්වා.
20 මක්නිසාද ඔව්හු සමාදානය පිණිස කථා නොකෙරෙති. දේශයෙහි නිශ්චලව සිටින්නන්ට විරුද්ධව වංචා වචන යොදති.
21 එසේය, ඔව්හු මට විරුද්ධව කට අයා: ඔහෝ, ඔහෝ, අපේ ඇසින් දුටිමුයයි කීවෝය.
22 ස්වාමීනි, ඔබ එය දුටුසේක, නිශ්ශබ්ද නූව මැනව. ස්වාමීනි, මා කෙරෙන් ඈත් නූව මැනව;
23 මාගේ දෙවියනි, මාගේ ස්වාමීනි, මාගේ යුක්තිය පිණිස එනම් මාගේ කාරණය සඳහා පිබිද නැගුටුණ මැනව.
24 මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබගේ ධර්මිෂ්ඨකම ලෙස මා විනිශ්චයකළ මැනව; මා ගැන ඔව්හු ප්‍රීති නොවෙත්වා.
25 ඔහෝ, අපේ කැමැත්ත සිදුවීයයි ඔව්හු සිතින් නොකියත්වා. අපි ඔහු ගිලගතිමුයයි නොකියත්වා.
26 මාගේ අන්තරායට ප්‍රියවන්නෝ එක්ව ලජ්ජාවී වියවුල්වෙත්වා. මට විරුද්ධව උඩඟුවෙන්නෝ තුමූම ලජ්ජාවෙනුත් නින්දාවෙනුත් හඳවනු ලබත්වා.
27 මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා. එසේය: තමන් මෙහෙකරුවාගේ යහපතට ප්‍රියවූ ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි ඔව්හු නිතරම කියත්වා.
28 මාගේ දිව ඔබගේ ධර්මිෂ්ඨකම ගැනද ප්‍රශංසාව ගැනද දවස මුළුල්ලේ කථාකරන්නේය.



ගීතාවලිය 36

1 දුෂ්ටයාගේ ඇස් හමුයේ දෙවියන්වහන්සේට භයක් නැති බව ඔහුගේ අපරාධය මාගේ සිතට හඟවා දෙයි.
2 මක්නිසාද ස්වකීය අයුතුකම එළිදරව්වෙන්නේවත් පිළිකුල්වන්නේවත් නැතැයි ඔහු තමාගේ ඇස් හමුයෙහි තමාටම චාටුකරගනියි.
3 ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන් ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී.
4 ඔහු තමාගේ යහනේදී අයුතුකම යොදයි; යහපත් නුවූ මාර්ගයක හැසිරෙයි; නපුරට පිළිකුල් නොකරයි.
5 ස්වාමිනි, ඔබගේ කරුණාගුණය ස්වර්ගයෙහිය; ඔබගේ විශ්වාසකම ආකාශය දක්වා පවත්නේය.
6 ඔබගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ කඳු මෙනි; ඔබගේ විනිශ්චයෝ මහමුහුද මෙන් ගැඹුරුය. ස්වාමිනි, ඔබ මනුෂ්‍යයාද මෘගයාද ආරක්ෂාකරනසේක.
7 දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය කොපමණ අනර්ඝද මනුෂ්‍ය පුත්‍රයෝ ඔබගේ පියාපත් සෙවණෙහි ආරක්ෂාව ලබති.
8 ඔව්හු ඔබගේ ගෘහයේ පූර්ණකමෙන් බොහෝසේ තෘප්තියට පැමිණෙන්නෝය; ඔබගේ ප්‍රීතිය නමැති ගංගාවෙන් ඔබ ඔවුන්ට පානයකරවනසේක.
9 මක්නිසාද ජීවනයේ උල්පත ඔබ සමඟය. ඔබගේ එළියෙන් අපි එළිය දක්නෙමුව.
10 ඔබ අඳුනන්නන්ට ඔබගේ කරුණා ගුණයත් අවංක සිත් ඇත්තන්ට ඔබගේ ධර්මිෂ්ඨකමත් පැවැත්තුව මැනව.
11 උඩඟුකමේ පය මට විරුද්ධව නොඒවා, දුෂ්ටයන්ගේ අත මා නොඑළවන්නේ වේවා.
12 අයුතුකම්කරන්නෝ වැටී සිටිති. ඔව්හු හෙළනු ලැබුවෝය, නැගිටින්ට නොහැකිවන්නෝය.



ගීතාවලිය 37

1 නපුරකරන්නන් නිසා කල නොකිරෙව, අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව.
2 මක්නිසාද ඔව්හු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය, නිල් පලා මෙන් වියළෙන්නෝය.
3 ස්වාමින් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.
4 ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.
5 ඔබගේ මාර්ගය ස්වාමීන්ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.
6 උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද ඔබගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක.
7 ස්වාමීන් 37:7 හෙවත්, ස්වාමීන් තුළ නිශ්චලව සිට. කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ටකරගන්නාද නිසා කල නොකිරෙව.
8 තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය.
9 මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නනෝය. නුමුත් ස්වාමීන් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය.
10 මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, ඔබ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය.
11 නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.
12 දුෂ්ටයා ධර්මිෂ්ඨයාට විරුද්ධව උපා යොදමින් ඔහුට විරුද්ධව දත්මිටිකයි.
13 ස්වාමීන්වහන්සේ ඔහුට සිනාසෙනසේක. මක්නිසාද ඔහුගේ දවස පැමිණෙන බව උන්වහන්සේට පෙනෙයි.
14 දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය.
15 ඔවුන්ගේ කඩුව ඔවුන්ගේම හෘදයට ඇතුල්වන්නේය. ඔවුන්ගේ දුනුද බිඳිනු ලබන්නේය.
16 බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියට වඩා ධර්මිෂ්ඨයාට ඇති ස්වල්පය යහපත.
17 මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පිහිටවනසේක.
18 භක්තිවන්තයන්ගේ. දවස් ස්වාමීන්වහන්සේ දන්නාසේක. ඔවුන්ගේ උරුමයද සදාකල් පවතින්නේය.
19 ඔව්හු විපත්ති කාලයේදී ලජ්ජා නොවන්නෝය. දුර්භික්ෂ දවස්වලදී තෘප්තියට පැමිණෙන්නෝය.
20 නුමුත් දුෂ්ටයෝ විනාශවන්නෝය, ස්වාමීන්ගේ සතුරෝද ගොදුරු. බිම්වල සාරවූ කොටස මෙන් වන්නෝය. ඔව්හු ක්ෂයවන්නෝය; දුම මෙන් සහමුලින්ම ක්ෂයවන්නෝය.
21 දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි. නුමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි.
22 මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය; උන්වහන්සේගෙන් ශාපලද්දෝ සිඳිනු ලබන්නෝය.
23 මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථිරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීතිවනසේක.
24 ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්තයෙන් ඔහුට ආධාරකරන සේක.
25 මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.
26 දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියාකරමින් ණයට දෙයි; ඔහුගේ වංශයද ආශීර්වාද ලබයි.
27 නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව.
28 මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.
29 ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.
30 ධර්මිෂ්ඨයාගේ මුඛය ඥානය කථා කරයි, ඔහුගේ දිවද යුක්තිය කියයි.
31 ඔහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔහුගේ සිතෙහිය; ඔහුගේ අඩිවලින් එකක්වත් නොලිස්සන්නේය.
32 දුෂ්ටයා ධර්මිෂ්ඨයා බලා රැක හිඳ ඔහු මරන්ට සොයයි.
33 ස්වාමීන්වහන්සේ ඔහුගේ අතට ඔහු අත් නාරිනසේක, ඔහු විනිශ්චයකරනු ලබන කල වරදට පත් නොකරනසේක.
34 ස්වාමීන් කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය ඔබට උරුමවන පිණිස උන්වහන්සේ ඔබ උසස්කරනසේක. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය.
35 දුෂ්ටයා ඉතා බලවත්ව ජන්ම භූමියෙහි වැවෙන අමු ගසක් මෙන් විශාලවෙනවා දුටිමි.
36 එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව ඔහු එහි නැත. එසේය, ඔහු සෙවුවෙමි, නුමුත් මට සම්බ නොවීය.
37 නිර්දෝෂ. තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.
38 අපරාධකාරයෝ එකට විනාශකරනු ලබන්නෝය; දුෂ්ටයන්ගේ දිවි. කෙළවර සිඳිනු ලබන්නේය.
39 නුමුත් ධර්මිෂ්ඨයන්ගේ ගැළවීම ස්වාමීන්ගෙන්ය. විපත්ති කාලයේදී උන්වහන්සේ ඔවුන්ගේ බලකොටුව වනසේක.
40 ස්වාමීන්වහන්සේ ඔවුන්ට පිහිටව, ඔවුන් මුදනසේක. ඔවුන් උන්වහන්සේ සරණගත් නිසා, උන්වහන්සේ ඔවුන් දුෂ්ටයන්ගෙන් මුදා ගළවනසේක.



ගීතාවලිය 38

1 ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව. ඔබගේ කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව.
2 මක්නිසාද ඔබගේ ඊගස් මට තදින් ඇනී තිබේ, ඔබගේ අතද මා පිට බරවේ.
3 ඔබගේ උදහස නිසා මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත; මාගේ පාපය නිසා මාගේ ඇටවලට කිසි සැපයක් නැත.
4 මක්නිසාද මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බරවෙයි.
5 මාගේ මෝඩකම නිසා මාගේ තුවාල දුර්ගන්ධව පිළිකුල්ව තිබේ.
6 මම වේදනා විඳිමින් අතිශයින් නැමී වැතිර සිටිමි; දවස මුළුල්ලේම වැලපෙමින් පසුවෙමි.
7 මක්නිසාද මාගේ තුනටිය දැවිල්ලෙන් පිරී තිබේ; මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත.
8 මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි. මාගේ සිතේ කැළඹීම නිසා මොර ගෑමි.
9 ස්වාමිනි, මාගේ මුළු ආශාව ඔබ ඉදිරියෙහිය; මාගේ සුසුම්ලෑමද ඔබගෙන් සැඟවී නැත.
10 මාගේ හෘදය සැලෙයි, මාගේ ශක්තිය හීනවෙයි. මාගේ ඇසේ එළිය පවා මා කෙරෙන් පහව ගියේය.
11 මට ආදර ඇත්තෝද මාගේ මිත්‍රයෝද මාගේ විපත්තිය කෙරෙන් ඈත්ව සිටිති; මාගේ නෑයෝ දුරින් සිටිති.
12 මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ මට මලපත් තබති; මට අන්තරායකරන්ට සොයන්නෝ නපුරු දේ කථාකරමින්, දවස මුළුල්ලේ ප්‍රයෝග යොදති.
13 එහෙත් මම බිහිරෙකු මෙන් නොඅසන්නෙමි; කට නාරින ගොළුවෙකුද මෙන් වෙමි.
14 එසේය, මම නොඇසෙන්නාවූ, තමාගේ මුඛයෙහි තරවටුකිරීම් නැත්තාවූ මනුෂ්‍යයෙකු මෙන් වෙමි.
15 මක්නිසාද, ස්වාමිනි, මම ඔබ කෙරෙහි බලා සිටිමි. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබම උත්තර දෙනසේක.
16 මක්නිසාද: ඔව්හු මා කෙරෙහි ප්‍රීති නොවෙත්වායි මම කීයෙමි. මාගේ පය ලිස්සන විට ඔව්හු මට විරුද්ධව තමුන්ම උසස්කරගනිති.
17 මම පැකිලෙන්ට ළංව සිටිමි, මාගේ දුකද නිතරම මා ඉදිරියෙහිය.
18 මක්නිසාද මාගේ අයුතුකම කියාදෙමි; මාගේ පාපය නිසා දුක්වෙමි.
19 නුමුත් මාගේ සතුරෝ ප්‍රාණවත් වෙති, බලවත්වෙති. අයුතුලෙස මට වෛරවන්නෝද වැඩිවූවෝය.
20 මා යහපත අනුව යන නිසා, යහපතට නපුරකරන්නොත් මට සතුරු වෙති.
21 ස්වාමිනි, මා අත් නෑරිය මැනව. මාගේ දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුව නොසිටිය මැනව.
22 මාගේ ගැළවීම වූ ස්වාමිනි, මට උපකාර පිණිස ඉක්මන්වුව මැනව.



ගීතාවලිය 39

1 මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.
2 මම නිශ්ශබ්දව ගොළුවීමි, යහපත ගැන පවා කථාවෙන් වැලකුණෙමි; එවිට මාගේ ශෝකය ඇවිස්සුණේය.
3 මාගේ සිත මා තුළ උණුවිය; මා මෙනෙහිකරද්දීම ගින්න ඇවුළුණේය. එවිට මාගේ දිවෙන් කථාකෙළෙමි.
4 ස්වාමිනි, මාගේ දිවි කෙළවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව; මම කොපමණ බෙලහීනයෙම්දැ යි මට දැනේවා.
5 බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක; මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක්මෙනි. සැබවින් කොයි මනුෂ්‍යයාත් ස්වකීය උත්තම අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්ඵලකමය.
6 සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵල භාවයෙන් හැසිරෙයි. සැබවින් ඔව්හු නිෂ්කාරණයේ කැලඹෙති. ඔහු වස්තු රැස්කරයි, ඒවා හිමිකර ගන්නේ කවුදැයි නොදනියි.
7 දැන් වනාහි, ස්වාමිනි, මම කුමක් බලා සිටිම්ද? මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය
8 මාගේ සියලු වරදවලින් මා මිදුව මැනව. අඥානයාට මා නින්දා හේතුවක් නොකළ මැනව.
9 ඔබ එය කළ නිසා, මම ගොළුවීමි, මුඛය නොහැර සිටියෙමි.
10 ඔබගේ පහර මා කෙරෙන් ඉවත්කළ මැනව. ඔබගේ අත් පහරෙන් මම ක්ෂයවීමි.
11 ඔබ අයුතුකම නිසා තරවටුකිරීම් වලින් මනුෂ්‍යයාට දඬුවම්කරන කල කාවෙකු මෙන් ඔහුගේ අලංකාරය ක්ෂයකරවනසේක. සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵලකමය.
12 ස්වාමිනි, මාගේ යාච්ඤාව අසා, මාගේ මොරගැසීමට කන්දුන මැනව; මාගේ කඳුළු දැක නිශ්ශබ්ද නූව මැනව. මක්නිසාද මම ඔබ ඉදිරියෙහි විදේශියෙක්ද මාගේ පියවරුන් මෙන් මාර්ගිකයෙක්ද වෙමි.
13 මා මෙයින් ගොස්, නැතිවී යන්ට ප්‍රථම, මට ශක්තිය ලැබෙන පිණිස කල් දුන මැනව.



ගීතාවලිය 40

1 මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටියෙමි; උන්වහන්සේ කන් යොමා මාගේ මොරගැසීම ඇසූසේක.
2 උන්වහන්සේ භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථිරකළසේක.
3 උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව,
4 ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝය. ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නාවූ, උඩඟුකාරයන්වත් බොරුවලට හැරෙන්නන්වත් නොසලකන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දෙක්ය.
5 මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ විසින් කළ පුදුම ක්‍රියාද, අප කෙරෙහි ඇති ඔබගේ සිතිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියෙහි පිළිවෙළින් තැබිය නොහැකිය; ඒවා ප්‍රකාශකරන්ටත් ඒ ගැන කථා කරන්ටත් කැමැත්තෙමි, නුමුත් ඒවා ගණන්කරන්ට පුළුවන්වාටත් වැඩිය.
6 ඔබ පූජාවටත් පඬුරටත් ප්‍රසන්න නැත; ඔබ මාගේ කන් පෑදූසේක. ඔබ දවන පූජා සහ පාප පූජා වුවමනා නොකළසේක.
7 එවිට මම කථාකොට: මෙන්න, මම ඇවිත් සිටිමි; පොත් කාණ්ඩයෙහි මා ගැන ලියන ලද්දේය.
8 මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහියයි කීමි.
9 මහත් සභාවේදී ධර්මිෂ්ඨකම ප්‍රකාශ කෙළෙමි; බැලුව මැනව, මාගේ තොල් නොවලක්වන්නෙමි, ස්වාමිනි, ඔබ දන්නාසේක.
10 ඔබගේ ධර්මිෂ්ඨකම මාගේ සිත තුළෙහි සඟවා නොගතිමි; ඔබගේ විශ්වාසකම හා ගැළවීම ප්‍රකාශකෙළෙමි. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් මහත් සභාවෙන් නොසැඟවීමි.
11 ස්වාමිනි, ඔබගේ දයාව මාගෙන් නොවැලැක්වුව මැනව. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් නිතර මා ආරක්ෂාකෙරේවා.
12 මක්නිසාද ගණන් නැති උවදුරින් වටකරනු ලදිමි, හිස නගන්ට බැරි තරම් මාගේ අයුතුකම් මා පිට පැමුණුණේය; ඒවා මාගේ හිසකෙස්වලට වැඩිය, මාගේ සිතද මා 40:12 හෙවත්, ක්ලාන්ත විය. හැර ගියේය.
13 ස්වාමිනි, මා මුදන්ට සතුටුවුව මැනව. ස්වාමිනි, මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.
14 මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ එක්ව ලජ්ජාවෙත්වා, වියවුල්වෙත්වා. මාගේ අන්තරායට ප්‍රියවන්නෝ ආපසු හැරී අගෞරවයට පැමිණෙත්වා.
15 මට: ඔහෝ, ඔහෝ කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා අසරණ වෙත්වා.
16 ඔබ සොයන සියල්ලෝ ඔබ කෙරෙහි සන්තෝෂවෙත්වා, ප්‍රීතියට පැමිණෙත්වා. ඔබගේ ගැළවීමට ප්‍රියවන්නෝ: ස්වාමීන්වහන්සේ උතුම්වනසේක්වයි නිතර කියත්වා.
17 නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; එහෙත් ස්වාමීන්වහන්සේ මා සිහි කරනසේක. ඔබ මාගේ උපකාරයය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්ස, පමා නූව මැනව.



ගීතාවලිය 41

1 දිළින්දා සලකන්නා ආශීර්වාදලද්දේය. විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ ඔහු මුදනසේක.
2 ස්වාමීන්වහන්සේ ඔහු රක්ෂාකරනසේක, ඔහුගේ දිවි රක්නාසේක, ඔහු පොළොවෙහි ආශීර්වාදලද්දෙක් වන්නේය; ඔහුගේ සතුරන්ගේ කැමැත්තට ඔහු භාර නුදුන මැනව.
3 ස්වාමීන්වහන්සේ ඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලනසේක. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස්කරනසේක.
4 මම කථාකොට: ස්වාමිනි, මට කරුණාකළ මැනව. ඔබට විරුද්ධව පව්කෙළෙමි, එබැවින් මාගේ ආත්මය සුවකළ මැනවයි කීමි.
5 මාගේ සතුරෝ මට විරුද්ධව නපුර කථාකරමින්: කවදා ඔහු මැරෙන්නේද? කවදා ඔහුගේ නාමය මැකෙන්නේදැයි කියති.
6 ඔහු මා බලන්ට ආවොත් නිෂ්ඵල දේ කථාකරයි; ඔහුගේ සිත අයුතුකම් රැස්කරගනියි. ඔහු පිටත යන කල එය ප්‍රකාශකරයි.
7 මට වෛරවෙන සියල්ලෝ මට විරුද්ධව එක්ව කොඳුරති. ඔව්හු මට අන්තරායකිරීමට උපා යොදති.
8 නපුරු ලෙඩක් මොහුට වැළදී තිබේ; ඔත්පළව ඉන්න මොහු ආයෙත් නොනැගිටින්නේයයි කියති.
9 එසේය, මා විසින් විශ්වාසකළාවූ, මාගේ භෝජනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය.
10 නුමුත් මා විසින් ඔවුන්ට විපාක දෙන පිණිස, ස්වාමිනි, මට කරුණාකොට මා නැගිටෙවුව මැනව.
11 මාගේ සතුරා මා කෙරෙහි ජය ඝෝෂා නොපවත්වන්නේය, ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි.
12 මා වනාහි ඔබ මාගේ අවංකකමෙහි දරා සිටිනසේක, සදාකල්ම ඔබ ඉදිරියෙහි මා තබාගන්නාසේක.
13 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.



ගීතාවලිය 42

1 දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය.
2 දෙවියන්වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ. මම කවදා ඇවිත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනෙම්ද?
3 ඔබේ දෙවියන්වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල, මාගේ කඳුළු දිවා රාත්‍රි දෙක්හි මට කෑම විය.
4 මංගල්‍ය පවත්වන සමූහයකට පෙරටුව, ප්‍රීති ප්‍රශංසා ශබ්ද සහිතව, ඔවුන් කැටුව දේවමන්දිරයට ගිය ආකාරය සිහිකරමින්, මාගේ ආත්මය වගුරුවමි.
5 එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.
6 මාගේ දෙවියන්වහන්ස, මාගේ ආත්මය මා තුළෙහි මලානිකවෙයි. එබැවින් යොර්දාන් දේශයෙත් හෙර්මොන් කඳුවලත් මිශාර් කන්දෙත් සිට ඔබ සිහිකරමි.
7 ඔබගේ ජලධාරාවල ඝෝෂාවෙන් ගැඹුර ගැඹුරට හඬගසයි. ඔබගේ සියලු රැළ සහ තරංගයෝ මා වසාගත්තෝය.
8 එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ කරුණාගුණය දිවාභාගයේදී නියමකරනසේක, රාත්‍රිභාගයේදීත් උන්වහන්සේට ගීතිකාවක්, එනම් මාගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක්, මා සමඟ වන්නේය.
9 ඔබ කුමට මා සිහිනැතිකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්දැ යි මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේට කියන්නෙමි.
10 මාගේ එදිරිකාරයෝ: ඔබේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති.
11 එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.



ගීතාවලිය 43

1 දෙවියන්වහන්ස, මා විනිශ්චයකොට, අභක්තික ජාතියකට විරුද්ධව මා උදෙසා කාරණා කිව මැනව. කපටිවූ අසාධාරණවූ මනුෂ්‍යයාගෙන් මා මුදාගත මැනව.
2 මක්නිසාද ඔබ මාගේ ශක්තියවූ දෙවියන්වහන්සේය; කුමක් නිසා ඔබ මා පහකළසේක්ද? සතුරාගේ පීඩාව නිසා කුමට විලාප කියමින් පසුවෙම්ද?
3 ඔබගේ එළියත් සැබෑකමත් එවුව මැනව; ඒවා මා ගෙනයෙත්වා. ඒවා ඔබගේ ශුද්ධවූ කන්දටත් ඔබගේ මණ්ඩපවලටත් මා පමුණුවත්වා.
4 එවිට මම දෙවියන්වහන්සේගේ පූජාසනය ළඟට, එනම් මාගේ අධික ප්‍රීතියවූ දෙවියන්වහන්සේ වෙතට, යන්නෙමි. දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, වීණාවෙන් ඔබට ප්‍රශංසාකරන්නෙමි.
5 එම්බා මගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.



ගීතාවලිය 44

1 දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.
2 ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක; ඔබ මනුෂ්‍ය වර්ගයන්ට පීඩාකොට මොවුන් පැතිරවූසේක.
3 මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.
4 දෙවියන්වහන්ස, ඔබ මාගේ රජ්ජුරුවෝය. යාකොබ්ට මිදීම වේවයි අණකළ මැනව.
5 ඔබ කරණකොටගෙන අපේ එදිරිකාරයන් හෙළාදමන්නෙමුව. අපට විරුද්ධව නැගිටින්නන් ඔබගේ නාමය කරණකොටගෙන පාගා දමන්නෙමුව.
6 මක්නිසාද මාගේ දුන්න විශ්වාස නොකරන්නෙමි, මාගේ කඩුවද මා නොගළවන්නේය.
7 ඔබ අපේ එදිරිකාරයන්ගෙන් අප ගළවා, අපට වෛරවෙන්නන් ලජ්ජාවට පැමිණවූසේක.
8 අපි දවස මුළුල්ලේම දෙවියන්වහන්සේ වර්ණනාකෙළෙමුව, ඔබගේ නාමයට සදාකල් ස්තුතිකරන්නෙමුව.
9 නුමුත් ඔබ අප පහකොට අගෞරවයට පැමිණවූසේක; අපේ සේනාවන් සමඟ නොයනසේක.
10 ඔබ එදිරිකාරයා කෙරෙන් අප ආපසු හරවනසේක. අපට වෛරවන්නෝද කොල්ලකාගනිති.
11 කෑම පිණිස නියමවූ බැටළුවන් මෙන් ඔබ අප පාවාදී, ජාතීන් අතරේ අප විසිරවූසේක.
12 ඔබ ස්වකීය සෙනඟ නොමිලයේ විකුණනසේක, ඔවුන්ගේ අගයෙන්ද ඔබ වස්තු වැඩිකර නොගත්සේක.
13 ඔබ අපේ අසල්වාසීන්ට අප නින්දාවක්ද, අප අවට සිටින්නන්ට හෙළාදැක්මක් හා අපහාසයක්ද වෙන්ට සලස්වනසේක.
14 ඔබ ජාතීන් අතරේ අප නින්දා වාක්‍යයක්ද, මනුෂ්‍ය වර්ගයන් අතරේ හිස් වැනීමට කරුණක්ද වෙන්ට සලස්වනසේක.
15 නින්දාකරන්නාගෙත් අපහාස කරන්නාගෙත් ශබ්දය නිසාද, සතුරා සහ පළිගන්නා නිසාද,
16 දවස මුළුල්ලේ මාගේ අගෞරවය මා ඉදිරියෙහිය, මාගේ මුහුණේ ලජ්ජාවද මා වසාගත්තේය.
17 මේ සියල්ල අපට පැමිණියේය; එහෙත් ඔබ සිහිනැති නොකෙළෙමුව, ඔබගේ ගිවිසුම ගැන වංචාවෙන් ක්‍රියා නොකෙළෙමුව.
18 සිවලුන්ගේ වාසස්ථානයේදී ඔබ අප සම්පූර්ණයෙන් බින්ද නුමුත්, මරණ සෙවණෙන් අප වැසූ නුමුත්, 44:18 නොහොත්, නුමුත්.
19 අපේ සිත පසුබට නොවීය, අපේ පාද ඔබගේ මාර්ගයෙන් ඉවත් නොවීය.
20 අපේ දෙවියන්වහන්සේගේ නාමය සිහිනැති කෙළෙමු නම්, අන් දෙවියෙකුට අත් දිගුකෙළෙමු නම්,
21 දෙවියන්වහන්සේ එය නොසොයනසේක්ද? මක්නිසාද උන්වහන්සේ සිතේ රහස් දන්නාසේක.
22 එසේය, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මැරීමට නියම බැටළුවන් මෙන් ගණිනලද්දෝ වමුව.
23 ස්වාමිනි, පිබිදුණ මැනව, ඔබ මක්නිසා නිදනසේක්ද? නැගුටුණ මැනව, සදාකාලයටම අප පහ නොකළ මැනව.
24 කුමක්හෙයින් ඔබගේ මුහුණ සඟවමින්, අපේ විපත්තිය සහ පීඩාව සිහිනැති කරනසේක්ද?
25 අපේ ආත්මය ධූලියට නැමී තිබේ. අපේ උදරයද බිමට ඇලෙයි.
26 අපට උපකාර පිණිස නැගුටුණ මැනව, ඔබගේ කරුණාගුණය නිසා අප මිදුවමැනව.



ගීතාවලිය 45

1 යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි. මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.
2 ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක; ඔබගේ තොල්වල අනුග්‍රහය වගුරුවනලද්දේය. එබැවින් දෙවියන්වහන්සේ ඔබට සදාකාලයටම ආශීර්වාදකළසේක.
3 බලවන්තයාණෙනි, ඔබගේ තේජස හා මහිමය නමැති කඩුව ඉඟටියෙහි බැඳගත මැනව.
4 සැබෑකමත් මොළොක්කමත් ධර්මිෂ්ඨකමත් සඳහා ස්වකීය මහිමයෙන් යුක්තව ජය රථයෙන් වැඩිය මැනව. ඔබගේ දකුණත ඔබට භයානක කාරණා උගන්වන්නේය.
5 ඔබගේ ඊගස් තියුණුය; මනුෂ්‍ය වර්ගයෝ ඔබට පරාජයව වැටෙති, රජුගේ සතුරන්ගේ හෘදයට ඒවා ඇනී තිබේ.
6 දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයක්ය.
7 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂකළසේක. එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේපකළසේක.
8 ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි; ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවුවෝය.
9 ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.
10 දියණියෙනි, අසව, කල්පනාකරව, කන් යොමුකරව; ඔබේම සෙනඟත් ඔබේ පියාණන්ගේ ගෙදරත් සිහිනැතිකරව;
11 එවිට රජතෙම ඔබේ රූපශ්‍රීයට ආශාවෙයි. මක්නිසාද උන්වහන්සේ ඔබේ ස්වාමීය; උන්වහන්සේට නමස්කාර කරව.
12 තීර්හි දුව පඬුරක් රැගෙන එන්නීය; සෙනඟ අතරේ ධනවන්තයෝ පවා ඔබෙන් කරුණාව ඉල්ලන්නෝය.
13 රාජදූ තොමෝ මාලිගාව තුළෙහි සියලු ආකාර තේජසින් යුක්තවන්නීය. ඇගේ වස්ත්‍ර රනින් විසිතුරු කරනලද්දේය.
14 මල්කම්කළ සළුවෙන් සරසනලද ඈ රජු වෙත පමුණුවනු ලබන්නීය. ඈ අනුව යන්නාවූ ඇගේ යහළු කන්‍යාවෝ ඔබ වෙත පමුණුවනු ලබන්නෝය.
15 ඔව්හු සන්තෝෂයෙන් හා ප්‍රීතියෙන් ගෙනයනු ලබන්නෝය. ඔව්හු රාජ මාලිගාවට ඇතුල්වන්නෝය.
16 ඔබගේ පියවරුන් වෙනුවට දරුවෝ සිටින්නාහුය, ඔබ ඔවුන් මුළු පොළොවෙහි අධිපතීන් කරන්නෙහිය.
17 මම ඔබගේ නාමය සියලු පරම්පරාවන්හි සිහිකරවන්නෙමි. එබැවින් මනුෂ්‍ය වර්ගයෝ සදාකල්හිම ඔබට ස්තුතිකරන්නෝය.



ගීතාවලිය 46

1 දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.
2 එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්,
3 එහි ජල ගුගුරා කැලඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පාවෙතත් භය නොවන්නෙමුව.
4 ගංගාවක් ඇත, එහි දියපාරවල් මහෝත්තමයාණන්ගේ මණ්ඩපවල ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ නුවර ප්‍රීතිමත්කරයි.
5 දෙවියන්වහන්සේ ඒ මැද සිටිනසේක; එය නොසෙල්වන්නේය. දෙවියන්වහන්සේ අලුයම්හිම එයට උපකාරකරනසේක.
6 ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.
7 සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.
8 එව්, ස්වාමීන්ගේ ක්‍රියාවන්, එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන්, බලව්.
9 උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.
10 නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.
11 සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.



ගීතාවලිය 47

1 සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අත්පොළසන්දෙව්; ජයනාදයෙන් දෙවියන්වහන්සේට හඬනගව්.
2 මක්නිසාද මහෝත්තමවූ ස්වාමීන්වහන්සේ භයංකරය; උන්වහන්සේ මුළු පොළොව කෙරෙහි මහත් රජෙක් වනසේක.
3 උන්වහන්සේ අපට මනුෂ්‍ය වර්ගයන්ද අපේ පාදවලට ජාතීන්ද යටත්කර දෙනසේක.
4 උන්වහන්සේ තමන්ට ප්‍රියවූ යාකොබ්ගේ මහිමය නැමැති අපේ උරුමය අප සඳහා තෝරාදෙනසේක.
5 දෙවියන්වහන්සේ ජයඝෝෂාවක් ඇතුව නැගී ගියසේක, ස්වාමීන්වහන්සේ හොරණෑ ශබ්දයක් ඇතුව නැගී ගියසේක.
6 දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. අපේ රජ්ජුරුවන්ට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්.
7 මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්‍රශංසා ගී කියව්.
8 දෙවියන්වහන්සේ ජාතීන් කෙරෙහි රජකම්කරනසේක. දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ සිංහාසනයෙහි වැඩහිඳිනසේක.
9 ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේගේ සෙනඟ වන පිණිස, මනුෂ්‍ය වර්ගයන්ගේ අධිපතීහු රැස්ව සිටිති. මක්නිසාද පොළොවේ පලිස් දෙවියන්වහන්සේට අයිතිය; උන්වහන්සේ අතිශයින් උසස්ව සිටිනසේක.



ගීතාවලිය 48

1 අපේ දෙවියන්වහන්සේගේ නුවර වන උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා කටයුතුය.
2 උතුරු පැත්තේ තිබෙන මහා රජ්ජුරුවන්ගේ නුවරවූ සියොන් කන්ද උසින් අලංකාරය, මුළු පොළොවට ප්‍රියකරුය.
3 දෙවියන්වහන්සේ බලකොටුවක් පිණිස එහි මාලිගාවල තමන්ම ප්‍රකාශවූසේක.
4 මක්නිසාද රජවරු රැස්වූවෝය, ඔව්හු එක්ව ගියෝය.
5 ඔව්හු එය දැක විස්මයට පත්වූවෝය; ඔහු තැතිගෙන පලාගියෝය.
6 එහිදී ඔවුන්ට වෙවුලුමත් ප්‍රසූතිකාවකට සේ වේදනාවත් හටගත්තේය.
7 ඔබ පෙරදිග සුළඟෙන් තර්ෂිෂ්හි නැව් බිඳිනසේක.
8 අප විසින් ඇසූ ලෙසම සේනාවල ස්වාමීන්ගේ නුවරදී, අපේ දෙවියන්වහන්සේගේ නුවරදී, දුටිමුව. දෙවියන්වහන්සේ එය සදාකල් පිහිටුවනසේක.
9 දෙවියන්වහන්ස, ඔබගේ මන්දිරය මැදදී ඔබගේ කරුණාගුණය මෙනෙහි කෙළෙමුව.
10 දෙවියන්වහන්ස, ඔබගේ නාමය ලෙසම ඔබගේ ප්‍රශංසාවත් පොළොවේ සීමා දක්වා වේ. ඔබගේ දකුණත ධර්මිෂ්ඨකමින් පූර්ණය.
11 ඔබගේ විනිශ්චයන් නිසා සියොන් කන්ද සන්තෝෂවේවා, යූදාගේ දූවරු ප්‍රීතිවෙත්වා.
12 මතු පරම්පරාවට කියන පිණිස සියොන් වට ඇවිදිව්, එහි හාත්පස යව්.
13 එහි බලකොටු ගණන්කරව්; එහි ප්‍රාකාර හොඳින් බලා, එහි මාලිගා සෝදිසිකරව්.
14 මක්නිසාද මේ දෙවියන්වහන්සේ සදාකල්හිම අපේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ මරණය දක්වා අපට මග පෙන්වනසේක.



ගීතාවලිය 49

1 සියලු මනුෂ්‍ය වර්ගයෙනි, මේ අසව්; උත්තමාධම
2 පොහොසත් අපොහොසත් ලෝවැසි සියල්ලෙනි, එක්ව කන්දෙව්.
3 මාගේ මුඛය ඥානය කථාකරන්නේය; මාගේ සිතේ භාවනාකිරීම ප්‍රඥාව ගැන වන්නේය.
4 උපමාවකට කන යොමුකරන්නෙමි. මාගේ ගාම්භීර වාක්‍ය වීණාවෙන් එළිදරව්කරන්නෙමි.
5 මා ලුහුබඳින අයුතුකම මා වටකරන කල, විපත්ති දවස්වලදී කුමට භයවෙම්ද?
6 ස්වකීය ධනය විශ්වාසකරන්නාවූ, තමුන්ගේ වස්තු වැඩිකමෙන් අහංකාර වෙන්නාවූ කිසිවෙක්,
7 තමාගේ සහෝදරයා සදාකල් ජීවත්වන පිණිසද කුණුවීම නොදක්නා පිණිසද
8 ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ.
9 ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය.
10 මක්නිසාද ප්‍රඥාවන්තයන් මැරී යන බවත්, අඥානයාද අල්ප බුද්ධි ඇත්තාද යන දෙදෙනාම විනාශවෙන බවත්, ස්වකීය ධනය අනුන්ට තබා යන බවත් ඔහු දක්නේය.
11 ඔවුන්ගේ සිතේ කල්පනාව නම්, තමුන්ගේ ගෙවල් සදාකාලේටද තමුන්ගේ වාසස්ථාන පරම්පරාවෙන් පරම්පරාවටද පවතින්නේය යනුයි; ඔවුන්ගේ ගම්බිම්වලට ස්වකීය නම් තබති.
12 එහෙත් මනුෂ්‍යයා ගෞරවයෙන් යුක්තව නොපවත්නේය; ඔහු විනාශවන තිරිසනුන් හා සමානය.
13 ඔවුන්ගේ මේ විධිය ඔවුන්ගේ මෝඩකමය. එහෙත් ඔවුන්ට පසුව එන්නෝ ඔවුන්ගේ කීම් පිළිගනිති.
14 ඔව්හු බැටළු රැළක් මෙන් ෂෙයෝලට නියමකරනු ලබති; මරණය ඔවුන්ගේ එඬේරා වන්නේය. අවංකයෝ උදය කාලයෙහි ඔවුන් කෙරෙහි බල පවත්වන්නෝය; ඔවුන්ගේ අලංකාරය වාසස්ථානයක් නොලැබ විනාශවන පිණිස ෂෙයෝලට කැපවන්නේය.
15 නුමුත් දෙවියන්වහන්සේ මා පිළිගන්න නිසා ෂෙයෝලේ 49:15 හෙවත්, පාතාලයේ. බලයෙන් මාගේ ආත්මය මුදාගන්නාසේක.
16 යමෙක් ධනවත් වන කල්හිද ඔහුගේ ගෙයි ඓශ්වර්යය වැඩිවන කල්හිද භය නොවව.
17 මක්නිසාද ඔහු මැරෙන කල කිසිවක් ගෙන නොයන්නේය; ඔහුගේ ඉසුර ඔහු අනුව නොයන්නේය.
18 ඔහු ජීවත්ව සිටියදී තමා ගැනම පාරට්ටුකරගත්තේවී නුමුත්, ඔබ ඔබටම ශුභසිද්ධකරගන්නා කල්හි මනුෂ්‍යයන් ඔබට ප්‍රශංසා කරන නුමුත්,
19 ඔහු තම පියවරුන්ගේ පරම්පරාවට යන්නේය; ඔව්හු කිසිකලෙකත් එළිය නොදක්නෝය.
20 ගෞරව ලබන්නාවූ නුවණ නැත්තාවූ මනුෂ්‍යයා විනාශවෙන තිරිසනුන් හා සමානය.



ගීතාවලිය 50

1 දෙවියන්වහන්සේ, ස්වාමීවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.
2 අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.
3 අපේ දෙවියන්වහන්සේ වඩිනසේක, නිශ්ශබ්ද නොවනසේක. උන්වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශකරන්නේය, උන්වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධිකවන්නේය.
4 උන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ඉහළ අහසටත් පෘථිවියටත් හඬගසනසේක.
5 පූජා කරණකොටගෙන මා සමඟ ගිවිසුමක් කළාවූ මාගේ ශුද්ධවන්තයන් මා වෙතට රැස් කරව්.
6 අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේම විනිශ්චයකාරයාණෝය.
7 එම්බා, මාගේ සෙනඟෙනි, අසව්, මම කථාකරන්නෙමි; එම්බා, ඉශ්‍රායෙල්, ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නෙමි. මම දෙවියන්වහන්සේය, එසේය, ඔබේ දෙවියන්වහන්සේය.
8 ඔබේ පූජා ගැන ඔබට තරවටු නොකරන්නෙමි; ඔබේ දවන පූජාද නිතර මා ඉදිරියෙහි තිබේ.
9 ඔබේ ගෙයින් ගොනෙක්වත් ඔබේ ගාල්වලින් එළුවන්වත් නොගන්නෙමි.
10 මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය.
11 කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේය.
12 මට බඩගිනි වීනම්, ඔබට නොකියන්නෙමි. මක්නිසාද ලෝකයත් එහි පූර්ණකමත් මාගේය.
13 මම ගව මස් අනුභවය හෝ එළු ලේ පානය කෙරෙම්ද?
14 දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව; මහෝත්තමයාණන්ට ඔබේ භාර ඉෂ්ට කරව.
15 තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම ඔබ මුදාහරින්නෙමි, ඔබ මට ගෞරවකරන්නෙහිය.
16 නුමුත් දුෂ්ටයාට දෙවියන්වහන්සේ කථාකොට: මාගේ පනත් ප්‍රකාශකිරීමෙන් හෝ මාගේ ගිවිසුම ඔබේ කටට ගැන්මෙන් ඔබට කම් කිම්ද?
17 මක්නිසාද ඔබ ගුරුකම් ලැබීමට අප්‍රියවන්නෙහිය, මාගේ වචනවලට පිටුපාන්නෙහිය.
18 ඔබ සොරෙකු දුටු කල ඔහු හා සමාගම් වුණෙහිය, කාමමිථ්‍යාචාරිකයන් සමඟ කොටස්කාරයෙක් වූවෙහිය.
19 ඔබේ කට නපුරට දී තිබේ, ඔබේ දිවද රැවටිලි යොදයි.
20 ඔබ ඉඳගෙන ඔබ සැමගේ සහෝදරයාට විරුද්ධව කථාකෙරෙහිය; ඔබේම මෑණියන්ගේ පුත්‍රයාට විරුද්ධව කේලාම්කියන්නෙහිය.
21 මේවා ඔබ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් ඔබට සමානයයි සිතුයෙහිය. එහෙත් ඔබට තරවටුකරන්නෙමි, ඔබේ ඇස් හමුයෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.
22 දෙවියන්වහන්සේ සිහිනැතිකරන්නෙනි, මා විසින් ඉරනු නොලබන පිණිසත් ගළවන්ට කෙනෙක් නැති නොවන පිණිසත් මෙය කල්පනාකරව්.
23 ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.



ගීතාවලිය 51

1 දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව.
2 මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.
3 මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය.
4 ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි. එබැවින් ඔබ කථාකරන කල සාධාරණසේක, විනිශ්චයකරන කල ඔබ ශුද්ධසේක.
5 බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි; මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය.
6 බැලුව මැනව, අධ්‍යාත්මයෙහි සත්‍යතාවට ඔබ කැමැතිවනසේක. අප්‍රකාශවූ හෘදයෙහි ඔබ මට ඥානය දැනගන්ට සලස්වනසේක.
7 හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.
8 ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව.
9 මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සඟවාගත මැනව, මාගේ සියලු අයුතුකම් මැකුව මැනව.
10 දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථීර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.
11 ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව.
12 ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව.
13 එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි; පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නෝය.
14 දෙවියන්වහන්ස, මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මිනීමැරීමේ අපරාධයෙන් මා මුදාහැරිය මැනව; මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්දනගා ගීතිකාකරන්නේය.
15 ස්වාමිනි, කට අරින්ට මට පිහිටවුව මැනව; එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දන්වන්නේය.
16 මක්නිසාද ඔබ පූජාවට නොකැමතිසේක; කැමතිසේක් නම් එය දෙන්නෙමි. ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවනසේක.
17 දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට නොසිතනසේක.
18 ඔබගේ ප්‍රසන්නයෙන් සියොනට යහපත සිදුකළ මැනව; යෙරුසලමේ පවුරු ගොඩනැගුව මැනව.
19 එකල ධර්මිෂ්ඨකමේ පූජාවලට, එනම් දවන පූජාව හා මුළු දවන පූජාවට, ඔබ ප්‍රියවනසේක. එවිට ඔව්හු ඔබගේ පූජාසනය පිට ගොනුන් පූජාකරන්නාහුය.



ගීතාවලිය 52

1 එම්බා බලවන්තය, ඔබ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටුකරගන්නෙහිද? දෙවියන්වහන්සේගේ කරුණාව නිතරම පවත්නේය.
2 ඔබේ දිව තියුණු දැළි පිහියකට සමානව රැවටිලිකරමින්, දුෂ්ටකමම යෝජනාකරයි.
3 ඔබ යහපතට වඩා නපුරටත් ධර්මිෂ්ඨකම කථාකිරීමට වඩා බොරු කීමටත් ප්‍රිය ඇත්තෙහිය.
4 එම්බා කපටි දිව, ඔබ සියලු ආකාර නාස්තික වචනවලට ප්‍රිය ඇත්තෙහිය.
5 දෙවියන්වහන්සේ ඔබ සදාකාලේටම බිඳ දමනසේක, උන්වහන්සේ ඔබ අල්වා ඔබ සැමගේ කූඩාරමෙන් ඇද දමනසේක, ජීවතුන්ගේ දේශයෙන් ඔබ උදුරා දමනසේක.
6 ධර්මිෂ්ඨයෝ ඒ දැක භයවී, ඔහුට සිනාසෙමින්:
7 බලව, දෙවියන්වහන්සේ තමාගේ ශක්තිය 52:7 නොහොත්, ආරක්ෂා ස්ථානය. කොට නොගත්තාවූ, තමාගේ බොහෝ වස්තු කෙරේ විශ්වාසය තැබුවාවූ, තමාගේ දුෂ්ටකමෙහි බලවත්වූ මනුෂ්‍යයා මේයයි කියන්නෝය.
8 මම වනාහි දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සරු ඔලීව ගහක් වැන්නෙමි. දෙවියන්වහන්සේගේ කරුණාව කෙරෙහි සදාකාලයටම විශ්වාසය තබමි.
9 ඔබ එසේ කළ නිසා සදාකල් ඔබට ස්තුතිකරන්නෙමි. තවද ඔබගේ ශුද්ධවන්තයන් ඉදිරියෙහිදී ඔබගේ නාමය කෙරෙහි බලා සිටින්නෙමි, මක්නිසාද ඒ යහපත්ය.



ගීතාවලිය 53

1 අඥානයා: දෙවිකෙනෙක් නැතැයි තමාගේ සිත තුළ කියාගත්තේය. ඔව්හු දූෂ්‍යව, පිළිකුල්වූ අයුතුකම් කළෝය; යහපත කරන්නෙක් නැත.
2 නුවණින් හැසිරෙන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දක්නා පිණිස, දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍ය පුත්‍රයන් දෙස බැලූසේක.
3 ඔවුන් සියලු දෙනාම ආපසු ගියෝය; ඔව්හු එක ලෙස කිලුටුවී සිටිති; යහපත කරන්නෙක් නැත, එක්කෙනෙක්වත් නැත.
4 ආහාර කන්නාක් මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, දෙවියන්වහන්සේට යාච්ඤා නොකරන්නාවූ, අයුතුකම් කරන්නන්ට දැනුමක් නැද්ද?
5 භයක් නැති තැනදී ඔව්හු බොහෝසෙයින් භයපත්වූවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ ඔබට විරුද්ධව කඳවුරු බැඳගත් තැනැත්තාගේ ඇට විසිරවූසේක; දෙවියන්වහන්සේ ඔවුන් එපාකළ නිසා ඔබ ඔවුන් ලජ්ජාවට පත් කෙළෙහිය.
6 අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත! දෙවියන්වහන්සේ ස්වකීය සෙනඟ වහල්කමෙන් මුදා ගෙනෙන කල්හි යාකොබ් ප්‍රීතිවන්නේය, ඉශ්‍රායෙල් සන්තෝෂවන්නේය.



ගීතාවලිය 54

1 දෙවියන්වහන්ස, ඔබගේ නාමය කරණකොටගෙන මා ගැළෙවුව මැනව, ඔබගේ බලයෙන් මට යුක්තිය කළ මැනව.
2 දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාව ඇසුව මැනව; මාගේ මුඛයේ වචනවලට කන්දුන මැනව.
3 මක්නිසාද විදේශීහු මට විරුද්ධව නැගිට සිටිති, බලාත්කාරකරන්නෝද මාගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවෝය. ඔව්හු තමුන් ඉදිරියෙහි දෙවියන්වහන්සේ තබා නොගත්තෝය.
4 බලව, දෙවියන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය. මාගේ ප්‍රාණය ආරක්ෂාකරන්නන් අතරේ ස්වාමීන්වහන්සේ සිටිනසේක.
5 උන්වහන්සේ මාගේ සතුරන්ගේ නපුරට විපාක දෙනසේක. ඔබගේ සැබෑකම නිසා ඔවුන් විනාශ කළ මැනව.
6 මම ස්වේච්ඡා පූජාවක් රැගෙන ඔබට පුදන්නෙමි. ස්වාමිනි, ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඒ යහපත්ය.
7 මක්නිසාද උන්වහන්සේ සෑම දුක්වලින් මා මිදූසේක; තවද මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසින් දුටිමි.



ගීතාවලිය 55

1 දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව්ව කෙරෙන් නොසැඟවුණ මැනව,
2 මා දෙසට කන් යොමා මට උත්තර දුන මැනව. සතුරාගේ ශබ්දය නිසාත්, දුෂ්ටයාගේ පීඩාව නිසාත්, මම කැලඹුණු සිතින් මැසිවිලි කියමින් කෙඳිරිගාමි.
3 මක්නිසාද ඔව්හු මා පිට අයුතුකම් පවරති, තරහෙන් මට පීඩාකෙරෙති.
4 මාගේ සිත මා තුළ තද වේදනා සහිත වෙයි. මරණ භීතිය මා පිට වැටී තිබේ.
5 භයත් වෙවුලුමත් මා කරා පැමිණ තිබේ, භයංකරය මා වසාගත්තේය.
6 මමද කථාකොට: අනේ මට කොබොයියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි.
7 බලව, එසේනම් මම ඈත පලාගොස්, වනයෙහි නවාතැන් ගන්නෙමි.
8 සැර හුළඟෙන්ද කුණාටුවෙන්ද ආරක්ෂා ස්ථානයකට ඉක්මන්කර යන්නෙමියි කීයෙමි.
9 ස්වාමිනි, නාස්තිකළ මැනව, ඔවුන්ගේ කථාව භේදකළ මැනව. මක්නිසාද නුවර බලාත්කාරයත් විවාදයත් දුටිමි.
10 ඔව්හු දිවා රාත්‍රි දෙක්හි ඒකේ පවුරු පිට ඔබ මොබ යති. අයුතුකමත් අපරාධයත් එහි මැද ඇත්තේය.
11 ඒ මැද දුෂ්ටකමත් ඇත්තේය. බලාත්කාරයත් වංචාවත් එහි වීථි වලින් ඉවත්ව නොයන්නේය.
12 මක්නිසාද මට නින්දාකළේ සතුරෙක් නොවේ; එසේ වූයේනම් මට ඉවසිය හැක්කේය. මට විපක්ෂව තමාම උසස්කරගත්තේ මට වෛරවූ තැනැත්තේ නොවේ; එසේ වූයේනම් මම ඔහු කෙරෙන් සැඟවී යන්නෙමි.
13 නුමුත් එසේ කළේ මා සමාන මනුෂ්‍යයෙක්වූ, මාගේ සමාගම්කාරයෙක්වූ, මාගේ හිතේසි මිත්‍රයෙක්වූ ඔබමය.
14 අපි එක්ව ප්‍රිය මන්ත්‍රණ පැවැත්වීමුව, සමූහයා සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සක්මන් කෙළෙමුව.
15 හදිසියෙන් ඔවුන්ට මරණය පැමිණේවා, ඔව්හු පණපිටින් වළට බසිත්වා. මක්නිසාද දුෂ්ටකම ඔවුන්ගේ වාසස්ථානයෙහි, ඔවුන් මැද, ඇත්තේය.
16 මම වනාහි දෙවියන්වහන්සේට යාච්ඤාකරන්නෙමි; එවිට ස්වාමීන්වහන්සේ මා ගළවනසේක.
17 සවස සහ උදයද දාවල්ද දුක් කියමින් සුසුම්ලන්නෙමි. උන්වහන්සේද මාගේ බස් අසනසේක.
18 මට විරුද්ධව පැමුණුණ සටනෙන් උන්වහන්සේ මාගේ ප්‍රාණය මුදා සමාදානය දුන්සේක. මක්නිසාද බොහෝ දෙනෙක්ම මට විරුද්ධව සිටියාහුය.
19 දෙවියන්වහන්සේ, එනම් පුරාණයේ සිට වැඩවසන තැනන්වහන්සේ අසා, විපරීති රහිතවූ, දේව භය නැත්තාවූ ඔවුන්ට උත්තරදෙනසේක.
20 ඔහු තමා සමඟ සමාදානයෙන් සිටි අයට විරුද්ධව අත් දිගුකෙළේය. තමාගේ ගිවිසුම කඩකෙළේය.
21 ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.
22 ඔබේ බර ස්වාමින් පිට තබව, උන්වහන්සේ ඔබ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.
23 නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.



ගීතාවලිය 56

1 දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව; මක්නිසාද මනුෂ්‍යයා මා ගිලගන්ට කැමැත්තේය. ඔහු දවස මුළුල්ලේම යුද්ධකරමින් මට පීඩාකරයි.
2 මාගේ එදිරිකාරයෝ දවස මුළුල්ලේම මා ගිලදමන්ට කැමැත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක්ම උඩඟු කමින් මට විරුද්ධව යුද්ධකරති.
3 මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි.
4 මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?
5 දවස මුළුල්ලේම ඔව්හු මාගේ වචන වරදවා පෙන්වති. ඔවුන්ගේ කල්පනා සියල්ලම මට උපද්‍රව පිණිසය.
6 ඔව්හු රැස්වෙති, සැඟවී සිටිති. මාගේ ප්‍රාණය නසන්ට ඔවුන් බලා සිටියාක්මෙන්ම, ඔව්හු මාගේ අඩිපාර රැක ඉඳිති.
7 ඔව්හු අයුතුකම් කරණකොටගෙන ගැළවී යන්නෝද? දෙවියන්වහන්ස, උදහසින් මනුෂ්‍ය වර්ගයන් හෙළාදැමුව මැනව.
8 ඔබ මාගේ මුළාවයාම් ගණිනසේක. මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියනලද්දේ නොවේද?
9 මා යාච්ඤාකරන දවසේ මාගේ සතුරෝ ආපසු හැරී යන්නෝය. මෙය මම දනිමි, දෙවියන්වහන්සේ මාගේ පක්ෂයෙහිය.
10 මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. ස්වාමීන්වහන්සේ තුළ උන්වහන්සේගේ වචනය වර්ණනාකරන්නෙමි.
11 දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කුමක් කරයිද?
12 දෙවියන්වහන්ස, ඔබට වූ භාර මා පිට තිබේ. මම ඔබට ස්තුති පූජා පුදන්නෙමි.
13 මක්නිසාද ඔබ මාගේ ප්‍රාණය මරණයෙන් මිදූසේක. මා ජීවතුන් පිළිබඳ එළියෙහි දෙවියන්වහන්සේ ඉදිරිපිට හැසිරෙන පිණිස ඔබ මාගේ පාද පැකිලීමෙන් නොවැලැක්වූසේක්ද?



ගීතාවලිය 57

1 දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව, මට කරුණාකළ මැනව; මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණකොට ගනියි. එසේය, මේ විපත්ති නිමවන තෙක්, ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.
2 මහෝත්තමවූ දෙවියන්වහන්සේට, එනම් මට සියලු දේ කරදෙන්නාවූ දෙවියන්වහන්සේට හඬගසන්නෙමි.
3 මා ගිලගන්ට කැමති තැනැත්තා නින්දාකරන කල උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා මා ගළවනසේක; දෙවියන්වහන්සේ ස්වකීය කරුණාවත් සැබෑකමත් එවනසේක.
4 මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය; ගිනි මෙන් රළුවූ තැනැත්තන් අතරෙහි, එනම් හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිව්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහි වැතිර සිටිමි.
5 දෙවියන්වහන්ස, ඔබ අහසට වඩා උසස්වුව මැනව; ඔබගේ මහිමය මුළු පොළොවට ඉහළින් තිබේවා.
6 ඔව්හු මාගේ පාදවලට දැලක් එළූය; මාගේ ආත්මය අවනතව තිබේ. ඔව්හු මා ඉදිරියේ වළක් හෑරුවෝය; තුමූම ඒ මැදට වැටුණෝය.
7 දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය, මාගේ සිත ස්ථිරය. මම ගීතිකාකරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.
8 මාගේ ගෞරවය පිබිදෙව; කුඩා වීණාවත් මහ වීණාවත් පිබිදෙව්. මමත් ඉතා අලුයම පුබුදින්නෙමි.
9 ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි; ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
10 මක්නිසාද ඔබගේ කරුණාව අහස දක්වාද ඔබගේ සැබෑකම වළාකුල් දක්වාද විශාලව තිබේ.
11 දෙවියන්වහන්ස, ඔබ අහසට වඩා උසස්වුව මැනව; ඔබගේ මහිමය මුළු පොළොවට ඉහළින් තිබේවා.



ගීතාවලිය 58

1 බලවන්තයෙනි, සැබවින් ඔබ සැම යුක්තිය ප්‍රකාශකරවුද? මනුෂ්‍ය පුත්‍රයෙනි, ඔබ සැම අවංක ලෙස විනිශ්චයකරවුද?
2 එසේය, ඔබ සැම සිතින් දුෂ්ටකම් කරන්නහුය; පොළොවෙහි ඔබ සැමගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය.
3 දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති.
4 ඔවුන්ගේ විෂ සර්පවිෂ මෙන්ය. ඔව්හු කන් වසාගන්න බිහිරි පොළඟාට සමානය;
5 මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි.
6 දෙවියන්වහන්ස, ඔවුන්ගේ මුඛයෙහි ඔවුන්ගේ දළ බින්ද මැනව. ස්වාමිනි, තරුණ සිංහයන්ගේ මහා දත් බිඳදැමුව මැනව.
7 ඉක්මනින් බහින වතුර මෙන් ඔව්හු දියව යෙත්වා. උන්වහන්සේ 58:7 නොහොත්-ඔහු තමාගේ ඊගස් යොදන කල ඒවා සිඳිනු ලැබුවාක් මෙන් වෙත්වා. තමන්ගේ ඊගස් තැත් කවන කල ඔව්හු සිඳිනු ලැබූවන් මෙන් වෙත්වා.
8 දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා.
9 ඔබ සැමගේ සැළිවලට කටුදරඋෂ්ණය වදින්ට පළමුවෙන්, උන්වහන්සේ අමු දරත් දැවෙන දරත් එක ලෙසම සුළිහුළඟකින් පහ කරනසේක.
10 පළිගැනීම දකින කල ධර්මිෂ්ඨයා ප්‍රීතිවන්නේය. දුෂ්ටයාගේ ලෙයින් තමාගේ පාද සෝදාගන්නේය.
11 එවිට: සැබවින්ම ධර්මිෂ්ඨයාට විපාකයක් ඇත්තේය, සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දෙවිකෙනෙක් ඇත්තේයයි මනුෂ්‍යයෝ කියන්නෝය.



ගීතාවලිය 59

1 මාගේ දෙවියන්වහන්ස, මාගේ සතුරන්ගෙන් මා මිදුව මැනව. මට විරුද්ධව නැගිටින්නන් කෙරෙන් උස්තැනක මා සිටෙවුව මැනව.
2 අයුතුකම් කරන්නන්ගෙන් මා මුදා, මිනීමරු මිනිසුන්ගෙන් මා ගැළෙවුව මැනව.
3 මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණය නසන්ට රැක හිඳිති; බලවන්තයෝ මට විරුද්ධව රැස්වෙති. ස්වාමිනි, ඒ මාගේ අපරාධයක්වත් පාපයක්වත් නිසා නොවේ.
4 මාගේ දෝෂයක් නැතුව ඔව්හු දුව ඇවිත් සූදානම්වෙති. මට උපකාරකරන්ට පිබිද බැලුව මැනව.
5 සේනාවල දෙවිවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමිනි, සියලු අන්‍ය ජාතීන් විමසන පිණිස නැගුටුණ මැනව. දුෂ්ටවූ අපරාධකාර කිසිවෙකුටත් කරුණා නොකළ මැනව.
6 ඔව්හු සවස ආපසු එති, බල්ලෙකු මෙන් ගොරවමින්, නුවර වටකර යති.
7 බලව, ඔවුන්ගේ කටින් ශබ්ද නික්මවති; ඔවුන්ගේ තොල්වල කඩු ඇත. මක්නිසාද: ඇසෙන්නේ කාටදැයි ඔව්හු කියති.
8 එහෙත් ස්වාමිනි, ඔබ ඔවුන්ට සිනාසෙනසේක; ඔබ සියලු අන්‍ය ජාතීන්ට කවටකම් කරනසේක.
9 මාගේ ශක්තියවූ තැනන්වහන්ස, ඔබ පතා සිටින්නෙමි. මක්නිසාද දෙවියන්වහන්සේ මාගේ බලකොටුවය.
10 මට කරුණාකරන දෙවියන්වහන්සේ මා පෙරටුව යනසේක. දෙවියන්වහන්සේ මාගේ සතුරන් කෙරෙහි මාගේ ආශාව ඉෂ්ටවූ බව දකින්ට සලස්වනසේක.
11 අපේ පලිහවූ ස්වාමිනි, මාගේ සෙනඟට මතකනැති නොවන පිණිස, ඔවුන් නොනැසුව මැනව. ඔබගේ බලයෙන් ඔවුන් විසුරුවා පහත හෙළුව මැනව.
12 ඔවුන්ගේ කෙටේ පාපය හා තොල්වල වචන නිසාද, ඔවුන් කියන ශාප බොරු බස් නිසාද, ඔව්හු අහංකාරයෙන් සිටියදීම අසුවෙත්වා.
13 උදහසින් ඔවුන් විනාශකළ මැනව, නැතිවෙන පිණිස විනාශකළ මැනව. දෙවියන්වහන්සේ පොළොවේ කෙළවර දක්වා යාකොබ් අතරෙහි ආණ්ඩුකරන බව ඔව්හු දැනගනිත්වා.
14 ඔව්හු සවස ආපසු එත්වා, බල්ලෙකු මෙන් ගොරවමින් නුවර වටකර යෙත්වා.
15 ඔව්හු ගොදුරු පිණිස ඔබ මොබ යමින්, තෘප්තිමත් නොවූ නම් මුළු රාත්‍රිය ගතකරන්නෝය.
16 නුමුත් මම ඔබගේ ශක්තිය ගැන ගී කියන්නෙමි; එසේය, අලුයම්හි ශබ්ද නගා ඔබගේ කරුණාව වර්ණනාකරන්නෙමි. මක්නිසාද ඔබ මාගේ බලකොටුවද මාගේ විපත්ති දවසේදී මට රක්ෂා ස්ථානයක්ද වූසේක.
17 මාගේ ශක්තියවූ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි. මක්නිසාද දෙවියන්වහන්සේ මාගේ බලකොටුවය, මට කරුණාකරන දෙවියන්වහන්සේය.



ගීතාවලිය 60

1 දෙවියන්වහන්ස, ඔබ අප ඉවතලූසේක, අප විසුරුවා දැමූසේක; ඔබ උදහස්වූසේක; අප පළමු ස්වභාවයට පැමිණෙවුව මැනව.
2 ඔබ දේශය කම්පාකරවූසේක; එය ඉරා දැමූසේක. ඒකේ බිඳුම් පිළියම්කළ මැනව; මක්නිසාද එය සෙලවෙයි.
3 ඔබ ස්වකීය සෙනඟට දුෂ්කර දේ දැක්වූසේක. මත්කරවන මුද්‍රිකපානය අපට පෙවූසේක.
4 සත්‍යතාව සඳහා නංවා පෙන්වන පිණිස, ඔබ කෙරෙහි භය ඇත්තන්ට ඔබ ධජයක් දුන්සේක.
5 ඔබගේ ප්‍රිය තැනැත්තන් මුදනු ලබන පිණිස ඔබගේ දකුණතින් ගළවා අපට උත්තරදුන මැනව.
6 දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධකමින් කථාකළසේක; මම ප්‍රීතිමත්වන්නෙමි. ෂෙකෙම් බෙදා දෙන්නෙමි, සුක්කොත් මිටියාවත මැන දෙන්නෙමි.
7 ගිලියද් මාගේය, මනස්සේද මාගේය; එප්‍රායිම්ද මාගේ හිසට ආරක්ෂාවය; යූදා මාගේ ජයකොන්තයය.
8 මෝවබ් මාගේ සෝදන භාජනයය; ඒදොම් පිට මාගේ වහන් හෙළන්නෙමි. එම්බා පිලිස්තියාව, මා නිසා ඝෝෂා පවත්වව.
9 බලවත් නුවරට මා පමුණුවන්නේ කවුද? ඒදොම්ට මා පැමිණෙවුවේ කවුද?
10 දෙවියන්වහන්ස, අප ඉවත හළේ ඔබ නොවේද? ඇරත්, දෙවියන්වහන්ස, ඔබ අපේ සේනාවන් සමඟ නොයනසේක.
11 එදිරිකාරයාට විරුද්ධව අපට පිහිටවුව මැනව. මක්නිසාද මනුෂ්‍යයාගේ පිහිට නිෂ්ඵලය.
12 දෙවියන්වහන්සේ කරණකොටගෙන වික්‍රමාන්විතව ක්‍රියාකරන්නෙමුව. මක්නිසාද අපේ එදිරිකාරයන් පාගා දමන්නේ උන්වහන්සේමය.



ගීතාවලිය 61

1 දෙවියන්වහන්ස, මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යාච්ඤාවට කන්දුන මැනව.
2 මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි. මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව.
3 මක්නිසාද ඔබ මට රක්ෂාස්ථානයක්ද සතුරා කෙරෙන් බලකොටුවක්ද වූසේක.
4 මම ඔබගේ මණ්ඩපයෙහි සදාකල් වාසයකරන්නෙමි. ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.
5 මක්නිසාද, දෙවියන්වහන්ස, ඔබ මාගේ භාර ඇසූසේක. ඔබගේ නාමය කෙරෙහි භය ඇත්තන්ගේ උරුමය මට දුන්සේක.
6 ඔබ රජහුගේ ආයු වැඩිකරනසේක. ඔහුගේ අවුරුදු බොහෝ පරම්පරා මෙන් වන්නේය.
7 ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකල් වසන්නේය. ඔහු ආරක්ෂාකරන පිණිස කරුණාවත් සත්‍යතාවත් පිළියෙළකළ මැනව.
8 එවිට මාගේ භාර දවස්පතා ඉෂ්ට කරන පිණිස ඔබගේ නාමයට සදාකල් ප්‍රශංසා ගී කියන්නෙමි.



ගීතාවලිය 62

1 මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි. මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය.
2 මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි.
3 මනුෂ්‍යයෙකු ඇල ගැසූ බිත්තියක් මෙන්ද සෙලවෙන වැටක් මෙන්ද නැතිකරන පිණිස ඔබ සැම සියල්ලෝ කොපමණ කල් ඔහුට විරුද්ධව සිටින්නහුද?
4 ඔහුගේ උතුම්කමෙන් ඔහු නෙරපා හෙළන්ට පමණක් ඔව්හු මන්ත්‍රණයකෙරෙති; ඔව්හු බොරුවට ප්‍රියවෙති; තමුන්ගේ මුඛයෙන් ආශීර්වාදකරන නුමුත් සිතින් ශාපකෙරෙති.
5 මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය.
6 මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි.
7 මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය.
8 ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ ඔබ සැමගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.
9 සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත; ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය.
10 බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.
11 දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,
12 ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.



ගීතාවලිය 63

1 දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.
2 මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින පිණිස ශුද්ධස්ථානයේදී ඔබ දෙස බලා සිටියෙමි.
3 මක්නිසාද ඔබගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත; මාගේ තොල් ඔබට ප්‍රශංසාකරන්නේය.
4 මෙසේ මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසාකරන්නෙමි. ඔබගේ නාමයෙන් මාගේ අත් ඔසවන්නෙමි.
5 මාගේ යහනේදී ඔබ සිහිකරන කලද, රෑ යාම්වලදී ඔබ මෙනෙහිකරන කලද,
6 මාගේ ආත්මය ඇටමිදුලුවලින්ද තෙලින්ද මෙන් තෘප්තියට පැමිණෙන්නේය; මාගේ මුඛයද ප්‍රීතිමත් තොල්වලින් ඔබට ප්‍රශංසාකරන්නේය.
7 මක්නිසාද ඔබ මාගේ පිහිට වූසේක, මම ඔබගේ පියාපත් සෙවණෙහි ප්‍රීති වන්නෙමි.
8 මාගේ ආත්මය ඔබට ඇලුම්ව ඔබ අනුව යයි. ඔබගේ දකුණත මා උසුලයි.
9 නුමුත් මාගේ ආත්මය විනාශකරන්ට සොයන්නෝ පොළොවේ ගැඹුරු තැන්වලට යන්නෝය.
10 ඔව්හු කඩුවේ බලයට පාවාදෙනු ලබන්නෝය. සිවලුන්ට ගොදුරක් වන්නෝය.
11 නුමුත් රජතෙමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවන්නේය. උන්වහන්සේ ගැන දිවුරන සියල්ලෝ ප්‍රීති ප්‍රකාශකරන්නෝය; මක්නිසාද බොරු කියන්නන්ගේ කට පියනු ලබන්නේය.



ගීතාවලිය 64

1 දෙවියන්වහන්ස, මාගේ විලාපයේදී මාගේ හඬට කන්දුන මැනව. සතුරු භයින් මාගේ ප්‍රාණය රැකගත මැනව.
2 නපුරුකම් කරන්නන්ගේ රහස් මන්ත්‍රණයෙන්ද අයුතුකම් කරන්නන්ගේ කෝලාහලයෙන්ද මා සඟවාගත මැනව.
3 රහස් තැන්වලදී නිර්දෝෂ අයට විදින පිණිස ඔව්හු කඩුවක් මෙන් තමුන්ගේ දිව මුවහත් කොට,
4 තික්ත වචන නමැති ඊගස් යෙදුවෝය. හදිසියෙන් ඔව්හු ඔහුට විද භයක් නැතුව සිටිති.
5 ඔව්හු නපුරු කාරණයෙක්හි තමුන්ම ධෛර්යකරගනිති; මලපත් සඟවා තැබීම ගැන කථාකෙරෙති; ඒවා පෙනෙන්නේ කාටදැයි ඔව්හු කියති.
6 ඔව්හු අයුතුකම් සොයති; අපි තියුණු යෝජනාවක් කරගතිමුයයි කියති. හැමදෙනාගේම අභ්‍යන්තර කල්පනාවත් සිතත් ගැඹුරුය.
7 නුමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට විදිනසේක; ඊගහකින් හදිසියෙන් ඔවුන්ට තුවාල වන්නේය.
8 ඔවුන්ගේ දිව මෙසේ තමුන්ටම විරුද්ධවී, ඔවුන්ගේ පැකිලීම සිදුවන්නේය. ඔවුන් දකින සියල්ලෝ හිස වනන්නෝය.
9 සියලු මනුෂ්‍යයෝ භයවන්නෝය; ඔව්හු දෙවියන්වහන්සේ කළ දේ ප්‍රකාශකරන්නෝය, උන්වහන්සේගේ ක්‍රියාව ගැන නුවණින් කල්පනාකරන්නෝය.
10 ධර්මිෂ්ඨයා ස්වාමීන් තුළ සන්තෝෂවන්නේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නේය; අවංක සිත් ඇති සියල්ලෝද ජය ප්‍රකාශකරන්නෝය.



ගීතාවලිය 65

1 දෙවියන්වහන්ස, සියොන්හී ඔබට ප්‍රශංසාව නිශ්චලව තිබේ. භාරයද ඔබට ඔප්පුකරනු ලබන්නේය.
2 යාච්ඤා අසන තැනන්වහන්ස, මාංසමයවූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය.
3 අයුතුකම් මාගෙන් ජයගනියි. ඔබ වනාහි අපේ අපරාධ පහකර දමනසේක.
4 ඔබගේ මිදුල්වල වාසයකරන පිණිස ඔබ තෝරාගන්නාවූ, ඔබට ළංවෙන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දේය. ඔබගේ ගෘහයවූ ඔබගේ ශුද්ධ මන්දිරයේ යහපතින් අපි තෘප්තියට පැමිණෙන්නෙමුව.
5 පොළොවේ සියලු සීමාවලද මුහුදේ දුරස්තර තැන්වලද සිටින්නන්ගේ විශ්වාසයවූ අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබ භයානක දේවලින් ධර්මිෂ්ඨලෙස අපට උත්තරදෙනසේක.
6 උන්වහන්සේ බලය නමැති ඉඟපටියෙන් සැරසුණුසේක්, තමන් ශක්තියෙන් කඳු ස්ථිරකොට පිහිටුවනසේක.
7 උන්වහන්සේ මුහුදු ඝෝෂාවද එහි රැළ ඝෝෂාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලාහලයද සංසිඳුවනසේක.
8 ඉතා දුර සීමාවල වසන්නෝද ඔබගේ ලකුණුවලට භයවෙති. ඔබ උදයද සවසද නික්මෙන ස්ථාන ප්‍රීතිමත්කරවනසේක.
9 ඔබ පොළොව බලා ඊට වැසි වස්වනසේක, බොහෝසෙයින් එය සාරවත් කරනසේක; දෙවියන්වහන්සේගේ ගංගාව වතුරෙන් පිරී තිබේ. ඔබ පොළොව මෙසේ පිළියෙළකොට ඔවුන්ට ධාන්‍ය සපයාදෙනසේක.
10 ඔබ එහි හීවිටි බොහෝසේ තෙමමින්, එහි පිඩලි සමතලා කරනසේක. ඔබ වැස්සෙන් එය බුරුල්කරමින්, එහි පැළෑටිවලට ආශීර්වාදකරනසේක.
11 ඔබ ස්වකීය යහපත්කම නමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසනසේක; ඔබගේ මාවත්වලින් සාරත්වය වැගිරෙයි.
12 ඒවා වනයෙහි පිට්ටනිවල වැගිරෙයි. හෙල්ද ප්‍රීතිය නමැති පටියෙන් සැරසී තිබේ.
13 ගොදුරු බිම් සිව්පා රැළවලින් පැළදීයයි; මිටියාවත්ද ගොයමින් වැසී තිබේ; ඒවා ප්‍රීතියෙන් ඝෝෂාකරමින් ගායනා කරති.



ගීතාවලිය 66

1 පොළෝවැසි සියල්ලෙනි, දෙවියන්වහන්සේට ප්‍රීති නාද පවත්වව්.
2 උන්වහන්සේගේ නාමයේ මහිමය ගැන ගී කියව්. උන්වහන්සේගේ ප්‍රශංසාව කීර්තිමත් කරව්.
3 ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද! ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරෝ ඔබට යටත්වන්නෝය.
4 පොළොවේ සියල්ලෝම ඔබට නමස්කාරකරන්නෝය, ඔබට ගී කියන්නෝය; ඔබගේ නාමයට ගී කියන්නෝයයි දෙවියන්වහන්සේට කියව්.
5 එව්, දෙවියන්වහන්සේගේ ක්‍රියා බලව්; මනුෂ්‍ය පුත්‍රයන් කෙරෙහි උන්වහන්සේගේ ක්‍රියා කිරීම භයංකරය.
6 උන්වහන්සේ මුහුද වියළි බිමක් කළසේක. ඔව්හු ගංගාව මැදින් පයින් ගියෝය. එහිදී අපි උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමුව.
7 උන්වහන්සේ තමන් බලයෙන් සදාකල් ආණ්ඩුකරනසේක; උන්වහන්සේගේ ඇස් ජාතීන් කෙරෙහි යොමා තිබේ. කැරළිකාරයෝ තුමූම උඩඟු නොවෙත්වා.
8 මනුෂ්‍ය වර්ගයෙනි, අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව්, උන්වහන්සේට නඟන ප්‍රශංසා හඬ ඇසෙන්ට සලස්වව්.
9 අපේ ප්‍රාණය ජීවත්කරන්නෙක් අපේ පාද ලිස්සන්ට නාරින්නෙත් උන්වහන්සේය.
10 මක්නිසාද දෙවියන්වහන්ස, ඔබ අප සෝදිසිකළසේක. රිදී පරීක්ෂාකරන්නාක්මෙන් ඔබ අප පරීක්ෂාකළසේක.
11 ඔබ අප දැලට පැමිණෙවුසේක; අපේ තුනටිය පිට තද බරක් තැබූසේක.
12 ඔබ මනුෂ්‍යයන් අපේ හිසට උඩින් යැවූසේක; ගිනි මැදින් හා ජල මැදින්ද ගියෙමුව; නුමුත් ඔබ අප එයින් සාරවත් තැනකට පැමිණවූසේක.
13 මම දවන පූජා රැගෙන ඔබගේ ගෘහයට ඇතුල්වෙන්නෙමි, මාගේ විපත්තියේදී මාගේ තොල්වලින් කීවාවූ,
14 මාගේ මුඛයෙන් කථාකළාවූ මාගේ භාර ඔබට ඔප්පුකරන්නෙමි.
15 බැටළුවන්ගේ සුවඳ දුම් සහිතව, තර සතුන් දවන පූජාවන් කොට ඔබට පුදන්නෙමි; ගොනුන්ද එළුවන් සමඟ පූජාකරන්නෙමි.
16 දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇති සියල්ලෙනි, ඇවිත් අසව්, උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශකරන්නෙමි.
17 මාගේ මුඛයෙන් උන්වහන්සේට මොරගැසීමි, මාගේ දිවෙන් උන්වහන්සේ උසස් කරනු ලැබූසේක.
18 අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසනසේක.
19 නුමුත් සැබවින්ම දෙවියන්වහන්සේ ඇසූසේක; මාගේ යාච්ඤා ශබ්දයට කන්දුන්සේක.
20 මාගේ යාච්ඤාවද මා කෙරෙන් තමන් කරුණාවද පහ නොකළාවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.



ගීතාවලිය 67

1 පොළොවෙහි ඔබගේ මාර්ගයද සියලු ජාතීන් අතරේ ඔබගේ ගැළවීමද ප්‍රකාශවෙන පිණිස
2 දෙවියන්වහන්සේ අපට කරුණා කරනසේක්වා, ආශීර්වාදකරනසේක්වා, ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවනසේක්වා.
3 දෙවියන්වහන්ස, මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා; සියලු මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා.
4 ජාතීහු සන්තෝෂව ප්‍රීතියෙන් ගී කියත්වා. මක්නිසාද ඔබ යුක්තියෙන් මනුෂ්‍ය වර්ගයන් විනිශ්චයකරනසේක, පොළොවේ ජාතීන් පාලනය කරනසේක.
5 දෙවියන්වහන්ස, මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා; සියලු මනුෂ්‍ය වර්ගයෝ ඔබට ප්‍රශංසාකෙරෙත්වා.
6 පොළොව ස්වකීය වර්ධනය දී තිබේ. දෙවියන්වහන්සේ, එනම් අපේම දෙවියන්වහන්සේ, අපට ආශීර්වාද කරනසේක.
7 දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරනසේක; පොළොවේ සියලු සීමාවෝද උන්වහන්සේට භයවන්නෝය.



ගීතාවලිය 68

1 දෙවියන්වහන්සේ නැගිටිනසේක්වා, උන්වහන්සේගේ සතුරෝ විසිර යෙත්වා; උන්වහන්සේට වෛරවන්නෝද උන්වහන්සේ ඉදිරියෙන් පලායත්වා.
2 දුම් පහව යන්නාක්මෙන් ඔවුන් පහ කළ මැනව. ගිනි ඉදිරිපිට ඉටි දියවන්නාක්මෙන් දුෂ්ටයෝ දෙවියන්වහන්සේ හමුයෙහි විනාශවෙත්වා.
3 නුමුත් ධර්මිෂ්ඨයෝ සතුටුවෙත්වා; දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වෙත්වා. එසේය, ඔව්හු සන්තෝෂයෙන් ප්‍රීතිවෙත්වා.
4 දෙවියන්වහන්සේට ගීතිකාකරව්, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී කියව්. කාන්තාර මැදින් නැගී යන්නාවූ උන්වහන්සේට මාවතක් සාදව්; යාඃ යනු උන්වහන්සේගේ නාමයවේ; උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වව්.
5 ස්වකීය ශුද්ධ නිවාසයෙහි වැඩවසන දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද වනසේක.
6 දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති.
7 දෙවියන්වහන්ස, ඔබ තමන් සෙනඟට පෙරටුව නික්ම ගිය කලද වනාන්තරය මැදින් ගිය කලද
8 පොළොව කම්පාවූවාය, දෙවියන්වහන්සේ අභිමුඛයෙහි අහස් තලයද පොද හෙළීය. සීනයි පවා දෙවියන්වහන්සේ, එනම් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, අභිමුඛයෙහි වෙවුලීය.
9 දෙවියන්වහන්ස, ඔබ මහත් වර්ෂාවක් එවූසේක, ඔබගේ උරුමය විඩාවූ විට ඔබ එය ශක්තිමත්කළසේක.
10 ඔබගේ රැළ එහි වාසයකළාය. දෙවියන්වහන්ස, ඔබගේ යහපත්කමින් ඔබ දුප්පතුන්ට උවමනාදේ සපයාදුන්සේක.
11 ස්වාමීන්වහන්සේ වචනය දෙනසේක. ආරංචිය පතුරුවන ස්ත්‍රීහු මහත් සේනාවක්ය.
12 සේනාවන්ගේ රජවරු පලායති, ඔව්හු පලායති. ගෙදර සිටින තැනැත්තීද කොල්ලය බෙදාගන්නීය.
13 රිදී පැහැ ඇති කොබෙයියෙකුගේ පියාපත් මෙන්ද උගේ කහපාට රත්රන් අත්තටු මෙන්ද වූ ඔබ සැම බැටළු ගාල්වල සයනය කරන්නහුද?
14 සර්වපරාක්‍රමයාණන්වහන්සේ විසින් රජවරුන් එහි විසිරවූ කල, එය ශල්මෝන පිටට හිම වැටෙන්නාක්මෙන් විය.
15 බාෂාන් කන්ද දෙවියන්වහන්සේගේ කන්දක්ය; බාෂාන් කන්ද උස් කන්දක්ය.
16 එම්බා උස් කඳු, දෙවියන්වහන්සේ ස්වකීය වාසස්ථානය කොට ගන්ට කැමතිවූ කන්ද දෙස ඔබ සැම කුමට ඊර්ෂ්‍යයාවෙන් බලවුද? එසේය, ස්වාමීන්වහන්සේ එහි සදාකල් වසනසේක.
17 දෙවියන්වහන්සේගේ රථ විසිදහසක්ය, දහස්වර දහස් ගණන්ය. ස්වාමීන්වහන්සේ සීනයිහි මෙන්, ශුද්ධස්ථානයෙහි, ඒවා මැද වනසේක.
18 ඔබ උසස්ථානයට නැගී ගියසේක, වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙනගියසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ එනම් කැරළිකාරයන් අතරේ පවා වාසයකරන පිණිස ඔබ ඔවුන් අතරේ තෑගි ලැබූසේක.
19 දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.
20 දෙවියන්වහන්සේ වනාහි අපට ගැළවීම දෙන දෙවිකෙනෙක්ය; මරණින් මිදෙන මාර්ග අයිතිවන්නේ ස්වාමිවූ යෙහෝවඃවහන්සේටය.
21 නුමුත් දෙවියන්වහන්සේ තමන්ගේ සතුරන්ගේ හිස, එනම් තමාගේ වරදෙහි නිතර පවතින්නාගේ කේස සහිතවූ මුදුන පොඩිකරනසේක.
22 ඔබේ පාදය ලෙයෙහි ගල්වන පිණිසත්, ඔබේ බල්ලන්ගේ දිවට සතුරන්ගෙන් කොටස ලැබෙන පිණිසත්,
23 මම ඔවුන් නැවත බාෂාන් සිට ගෙනෙන්නෙමි, මුහුදේ ගැඹුරේ සිට ඔවුන් නැවත ගෙනෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීසේක.
24 දෙවියන්වහන්ස, ඔව්හු ඔබගේ ගමන්, එසේය, ශුද්ධස්ථානයට යන මාගේ රජවූ මාගේ දෙවියන්වහන්සේගේ ගමන් දුටුවෝය.
25 රබන් ගසන කන්‍යාවන් මැද ගී කියන්නෝ පෙරටුව ගියෝය, ගායනාකාරයෝ පසුව ගියෝය.
26 ඉශ්‍රායෙල්ගේ උල්පතෙන්වූ තැනැත්තෙනි, දෙවියන්වහන්සේට, එසේය, ස්වාමීන්වහන්සේට සභාවලදී ප්‍රශංසාකරව්.
27 ඔවුන්ගේ ආණ්ඩුකාරයා වන කුඩා බෙන්යමින්ද යූදාගේ අධිපතීන් හා මන්ත්‍රී සභාවද සාබුලොන්ගේ අධිපතීන් හා නප්තලීගේ අධිපතීහුද එහි සිටිති.
28 ඔබේ දෙවියන්වහන්සේ ඔබේ ශක්තිය නියමකළසේක, දෙවියන්වහන්ස, ඔබ අපට ඉෂ්ටකර දුන් දේ ස්ථිරකළ මැනව.
29 යෙරුසලමෙහි ඔබගේ මාලිගාව නිසා රජවරු ඔබ වෙතට පඬුරු ගෙනෙන්නෝය.
30 නළාගස් අතරෙහිවූ වල් සතාටද ගොන් සමූහයා සහ වස්සන් වැනි ජනයන්ටද තරවටුකළ මැනව; රිදී මිල සහිතව එකිනෙකා යටත්වේ; යුද්ධයට ප්‍රියවූ මනුෂ්‍ය වර්ගයන් විසිස්රවුව මැනව.
31 මිසරයෙන් අධිපතීහු නික්ම එන්නෝය; කූෂ් දේශය දෙවියන්වහන්සේ දෙසට අත් දිගුකරන්ට ඉක්මන්කරන්නේය.
32 පොළොවේ රාජ්‍යයෙනි, දෙවියන්වහන්සේට ගී කියව්; ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියව්; පෙර සිට පවත්නා ආකාශවල ආකාශයන්හි නැගීයන්නාවූ තැනන්වහන්සේට ගී කියව්;
33 බලව, උන්වහන්සේ ස්වකීය හඬ එනම් බලවත්වූ හඬක් නික්මවනසේක.
34 බලය දෙවියන්වහන්සේට අයිති බව කියව්. උන්වහන්සේගේ උතුම්කම ඉශ්‍රායෙල් කෙරෙහිය, උන්වහන්සේගේ ශක්තිය ආකාශයන්හිය.
35 දෙවියන්වහන්ස, ඔබගේ ශුද්ධස්ථානවල සිට ඔබ භයංකරව පෙනෙනසේක. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේම ස්වකීය සෙනඟට ශක්තියත් බලයත් දෙනසේක. දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.



ගීතාවලිය 69

1 දෙවියන්වහන්ස, මා ගැළෙවුව මැනව; මක්නිසාද ජලධාරා මාගේ ප්‍රාණයතෙක් පැමිණ තිබේ.
2 සිටින්ට තැනක් නැති ගැඹුරු මඩෙහි කිදී සිටිමි. ගැඹුරු ජලයට පැමිණ සිටිමි, ජල ධාරාවෝ මා උඩින් ගලායති.
3 මාගේ මොරගැසීමෙන් වෙහෙසව සිටිමි; මාගේ උගුර වියළී තිබේ. මාගේ දෙවියන්වහන්සේ ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
4 නිෂ්කාරණයේ මට වෛරවන්නෝ මාගේ ඉසකේවලට වැඩිය. අයුතුලෙස මට සතුරුව මා සිඳ දමන්ට කැමැත්තෝ බලවත්ය. එවිට මා විසින් පැහැර නොගත් දෙය දෙන්ට සිදුවිය.
5 දෙවියන්වහන්ස, ඔබ මාගේ අඥානකම දන්නාසේක; මාගේ පව්ද ඔබගෙන් සැඟවී නැත.
6 සේනාවල දෙවිවූ ස්වාමිනි, ඔබ කෙරෙහි බලාසිටින්නෝ මා නිසා ලජ්ජාවට නොපැමිණෙත්වා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ සොයන්නෝ මා නිසා අගෞරවයට නොපැමිණෙත්වා.
7 මක්නිසාද මම ඔබ නිසා නින්දා ඉවසීමි; මාගේ මුහුණ ලජ්ජාවෙන් වැසී ගියේය.
8 මාගේ සහෝදරයන්ට ආගන්තුකයෙක්ව, මාගේ මෑණියන්ගේ දරුවන්ට විදේශියෙක්ව සිටිමි.
9 මක්නිසාද ඔබගේ ගෘහය සඳහා ඇති ජ්වලිතය මා දැවුවේය; ඔබට නින්දාකරන්නන්ගේ නින්දා මා පිට වැටී තිබේ.
10 මා ඇඬූ කලද නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට දුක් ඉපදවූ කලද එය මට නින්දාවක් විය.
11 ගෝණි මාගේ ඇඳුම් කොට ගත් කල මම ඔවුන්ට නින්දා වාක්‍යයක් වීමි.
12 නුවර දොරකඩ හිඳින අය මා ගැන කථාකෙරෙති; බේබද්දන්ගේ කවි මා ගැන වෙයි.
13 එහෙත් ස්වාමිනි, මම වනාහි පිළිගන්නා කාලයකදී මාගේ යාච්ඤාව ඔබට පුදමි. දෙවියන්වහන්ස, ඔබගේ අධික දයාවෙන්, ඔබගේ ගැළවීමේ සැබෑකමින් මට උත්තරදුන මැනව.
14 ගිලීයන්ට නොදී මා මඩෙන් ගොඩ ගත මැනව. මට වෛරවෙන්නන්ගෙන්ද ගැඹුරු ජලයෙන්ද ගැළවෙම්වා.
15 ජලගැල්ම මා යට නොකෙරේවා, ගැඹුර මා ගිල නොගනීවා; වළද මා රැගෙන කට පියා නොගනීවා.
16 ස්වාමිනි, මට උත්තරදුන මැනව; මක්නිසාද ඔබගේ කරුණාගුණය යහපත්ය. ඔබගේ දයාබරකම් රාශිය ලෙස මා දෙසට හැරුණ මැනව.
17 ඔබගේ මෙහෙකරුවාගෙන් ඔබගේ මුහුණ සඟවා නොගත මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; ඉක්මනින් මට උත්තරදුන මැනව.
18 මාගේ ප්‍රාණයට ළංවී එය මිදුව මැනව. මාගේ සතුරන් නිසා මා නිදහස්කළ මැනව.
19 ඔබ මාගේ නින්දාවද ලජ්ජාවද අවනම්බුවද දන්නාසේක. මාගේ සියලු එදිරිකාරයෝ ඔබ ඉදිරියෙහිය.
20 නින්දාවෙන් මාගේ සිත බිඳුණේය; මම ශෝකයෙන් පිරී සිටිමි. අනුකම්පාකරන්නෙකු බලාසිටියෙම් නුමුත් කිසිවෙක් නොවීය; සනසන්නන් සෙවීමි, නුමුත් සම්බ නොවීය.
21 ආහාර පිණිස ඔව්හු මට තික්ත ද්‍රව්‍ය දුන්නෝය; පිපාසාවූ කල කාඩි බොන්ට දුන්නෝය.
22 ඔවුන්ගේ මේසය ඔවුන් ඉදිරියෙහි මලපතක් වේවා; ඔවුන්ට සමාදානය ඇති කල එය උගුලක්ද වේවා.
23 නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරුවේවා; ඔවුන්ගේ කටි නිතරම වෙවුලන්ට සැලැස්සුව මැනව.
24 ඔවුන් පිට ඔබගේ කෝපය වත්කළ මැනව. ඔබගේ කෝපාග්නිය ඔවුන් පිට වැටේවා.
25 ඔවුන්ගේ වාසස්ථානය පාළුවේවා; ඔවුන්ගේ කූඩාරම්වල වාසය කරන්නෙක් නොවේවා.
26 මක්නිසාද ඔබ පහරදුන් අයට ඔව්හු පීඩාකෙරෙති; ඔබ තුවාලකළ අයගේ දුක ගැන කථාකෙරෙති.
27 ඔවුන්ගේ අයුතුකමට අයුතුකම එකතුකළ මැනව. ඔව්හු ඔබගේ ධර්මිෂ්ඨකමට ඇතුල් නොවෙත්වා,
28 ඔව්හු ජීවන පොතෙන් මැකීයෙත්වා, ධර්මිෂ්ඨයන් සමඟ නොලියවෙත්වා.
29 එහෙත් මම දුප්පත්මි, දුක්ඛිතයෙමි. දෙවියන්වහන්ස, ඔබගේ ගැළවීම මා උසස්කෙරේවා.
30 ගීතිකාවකින් දෙවියන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරන්නෙමි, ස්තුතිකිරීමෙන් උන්වහන්සේ උසස් කරන්නෙමි.
31 ගොනෙකුට හෝ අං ඇති කුර ඇති හරකෙකුට වඩා ස්වාමීන්වහන්සේ මීට ප්‍රසන්න වනසේක.
32 මොළොක්ගුණ ඇත්තෝ ඒ දැක සන්තෝෂවෙති. දෙවියන්වහන්සේ සොයන්නෙනි, ඔබ සැමගේ සිත ජීවත්වේවා.
33 මක්නිසාද ස්වාමීන්වහන්සේ දිළිඳුන්ට කන්දෙනසේක, තමන් හිරකාරයන් සුළුකොට නොසිතනසේක.
34 අහස හා පොළොවද මුහුදු හා එහි හැසිරෙන සියල්ලෝද උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා.
35 මක්නිසාද දෙවියන්වහන්සේ සියොන් ගළවනසේක, යුදාගේ නුවරවල් ගොඩනගනසේක; ඔව්හු එහි වෙසෙමින් එය භුක්ති විඳින්නෝය.
36 උන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ වංශය එහි උරුමය ලබන්නෝය. උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්නෝ එහි වාසයකරන්නෝය.



ගීතාවලිය 70

1 දෙවියන්වහන්ස, මා මිදුව මැනව; ස්වාමිනි, මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.
2 මාගේ ජීවිතය සොයන්නෝ ලජ්ජාවෙත්වා, වියවුල් වෙත්වා. මට පැමිණි අන්තරාය ගැන ප්‍රීතිවන්නෝ පසුබසිත්වා, අගෞරවයට පැමිණෙත්වා.
3 ඔහෝ! ඔහෝ! කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා පසුබසිත්වා;
4 ඔබ සොයන සියල්ලෝම ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා, සන්තෝෂවෙත්වා; ඔබගේ ගැළවීමට ප්‍රේමවන්නෝ: දෙවියන්වහන්සේ උසස්වනසේක්වයි නිතරම කියත්වා.
5 නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; දෙවියන්වහන්ස, මා වෙතට ඉක්මනින් අවමැනව. මාගේ පිහිටත් මිදුම්කාරයාණොත් ඔබය; ස්වාමිනි, පමා නූන මැනව.



ගීතාවලිය 71

1 ස්වාමිනි, ඔබ විශ්වාසකරමි. කිසිකලකත් ලජ්ජා නොවෙම්වා.
2 ඔබගේ ධර්මිෂ්ඨකමින් මා මුදා නිදහස් කළ මැනව. ඔබගේ කන මා දෙසට නමා මා ගැළෙවුව මැනව.
3 මා නිතරම යන පිණිස මට පර්වත නිවාසයක් වුව මැනව. මා ගළවන්ට ඔබ අණ දී තිබේ; මක්නිසාද මාගේ පර්වතය හා බලකොටුවත් ඔබය.
4 මාගේ දෙවියන්වහන්ස, දුෂ්ටයාගේ අතින්, එනම් අධර්මිෂ්ඨවූ කෲරවූ මනුෂ්‍යයාගේ අතින්, මා මුදාගත මැනව.
5 මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ බලාපොරොත්තුව ඔබය. තරුණ වයස පටන් මාගේ විශ්වාසය ඔබය.
6 මවු ගැබෙහි පටන් ඔබ මා ඉසුලූසේක. මවු කුසින් මා පිටතට ගත්තේ ඔබය. මාගේ ප්‍රශංසාව නිතරම ඔබ ගැන වන්නේය.
7 මම බොහෝ දෙනෙකුට විස්මයක් මෙන් වෙමි; නුමුත් ඔබ මාගේ බලවත් රක්ෂාස්ථානයය.
8 මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබට ප්‍රශංසාකිරීමෙන්ද ගෞරවකිරීමෙන්ද පිරෙන්නේය.
9 මහලු වයසේදී මා ඉවත නොහළ මැනව; මාගේ ශක්තිය පිරිහෙන කල මා අත්නෑරිය මැනව.
10 මක්නිසාද මාගේ සතුරෝ මා ගැන කථාකෙරෙති; මාගේ ප්‍රාණය ගැන රැකසිටින්නෝ එක්ව මන්ත්‍රණයකරමින්:
11 දෙවියන්වහන්සේ ඔහු අත්හැරිය සේක. ලුහුබඳිමින් ඔහු අල්වාගනිව්; මක්නිසාද ඔහු මුදන්ට කිසිවෙක් නැතැයි කියති.
12 දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුනූව මැනව, මාගේ දෙවියන්වහන්ස, මට උපකාර කරන්ට ඉක්මන්වුව මැනව.
13 මාගේ ප්‍රාණයට විරුද්ධව සිටින්නෝ ලජ්ජාවටත් විනාශයටත් පැමිණෙත්වා; මට අන්තරායකරන්ට සොයන්නෝ නින්දාවෙනුත් අගෞරවෙයනුත් වැසීයෙත්වා.
14 එහෙත් මම නිතරම බලාපොරොත්තු වෙමින් වඩ වඩා ඔබට ප්‍රශංසාකරන්නෙමි.
15 මාගේ මුඛය දවස මුළුල්ලේ ඔබගේ ධර්මිෂ්ඨකම හා ඔබගේ ගැළවීම ප්‍රකාශකරන්නේය; මක්නිසාද එහි ගණන නොදනිමි.
16 ස්වාමිවූ දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා පෙරටුකොටගෙන එන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨකම පමණක්ම සඳහන්කරන්නෙමි.
17 දෙවියන්වහන්ස, මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්වූ සේක; මේ දක්වා ඔබගේ ආශ්චර්ය ක්‍රියා ප්‍රකාශකෙළෙමි.
18 දෙවියන්වහන්ස, ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශකරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්නෑරිය මැනව.
19 දෙවියන්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය; මහත් දේවල් කළාවූ දෙවියන්වහන්ස, ඔබට සමාන කවුද?
20 බොහෝ තද දුක් අපට පැමිණෙවු ඔබ නැවත අප ජීවත්කොට, පොළොවේ ගැඹුරු තැන්වලින් අප නැවත ගොඩගන්නාසේක.
21 මාගේ උතුම්කම වැඩිකොට, නැවත හැරී මා සැනසුව මැනව.
22 මාගේ දෙවියන්වහන්ස, ඔබ, එනම් ඔබගේ සැබෑකම, කුඩා වීණාවෙන් වර්ණනාකරන්නෙමි. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්ස, මහ වීණාවෙන් ඔබට ගායනාකරන්නෙමි.
23 මා විසින් ඔබට ප්‍රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්‍රීතිවන්නේය.
24 මාගේ දිවද දවස මුළුල්ලේම ඔබගේ ධර්මිෂ්ඨකම ගැන කථාකරන්නේය. මක්නිසාද මට අන්තරායකරන්ට සොයන්නෝ ලජ්ජාවටත් වියවුල් භාවයටත් පැමුණුණෝය.



ගීතාවලිය 72

1 දෙවියන්වහන්ස, රජ්ජුරුවන්ට ඔබගේ විනිශ්චයන්ද රාජ පුත්‍රයාණන්ට ඔබගේ ධර්මිෂ්ඨකමද දුන මැනව.
2 උන්වහන්සේ, ඔබගේ සෙනඟ ධර්මිෂ්ඨකමින්ද ඔබගේ දුප්පතුන් යුක්තියෙන්ද විනිශ්චයකරන්නේය.
3 කඳුද හෙල්ද ධර්මිෂ්ඨකමින් සෙනඟට සමාදානය හටගන්වන්නේය.
4 උන්වහන්සේ සෙනඟ අතරේහි වූ දුප්පතුන් විනිශ්චයකරන්නේය, දිළිඳුන්ගේ දරුවන් ගළවන්නේය, පීඩාකරන්නා කැබලිකරන්නේය.
5 ඔව්හු හිර සඳ පවතිනා තෙක් සියලු පරම්පරාවල ඔබට භය වන්නෝය.
6 තණකොළ කැපූ කෙත් පිට වැස්ස මෙන්ද බිම තෙමන වැසිවලා මෙන්ද උන්වහන්සේ පහළවන්නේය.
7 උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය.
8 උන්වහන්සේ මුහුදෙන් මුහුදටත් ප්‍රාත් ගංගාව පටන් පොළොවේ කෙළවර දක්වාත් අධිපතිකම් කරන්නේය.
9 වනයෙහි වසන්නෝ උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය; උන්වහන්සේගේ සතුරෝද ධූලි ලෙවකන්නෝය.
10 තර්ෂීෂ් රටේද ද්වීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. ෂෙබායේද සෙබායේද රජවරු පඬුරු පුදන්නෝය.
11 එසේය, සියලු රජවරු උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය. සියලු ජාතීහු උන්වහන්සේට මෙහෙකරන්නෝය.
12 මක්නිසාද උන්වහන්සේ මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය.
13 උන්වහන්සේ දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පාකරන්නේය, දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය.
14 උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ උන්වහන්සේගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.
15 ඔව්හු ජීවත්වන්නෝය; ෂෙබායේ රන් උන්වහන්සේට දෙනු ලබන්නේය. මනුෂ්‍යයෝ නොකඩව උන්වහන්සේ උදෙසා යාච්ඤාකරන්නෝය; දවස මුළුල්ලේම උන්වහන්සේට ප්‍රශංසාකරන්නෝය.
16 පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය වන්නේය; එහි කරල් ලෙබනොන් මෙන් ළෙල දෙන්නේය. නුවර වැසියෝ පොළොවේ තෘණ මෙන් සඵලවන්නෝය.
17 උන්වහන්සේගේ නාමය සදාකල් පවතින්නේය; හිරු පවත්නා තෙක් උන්වහන්සේගේ නාමය පවතින්නේය. මනුෂ්‍යයෝ උන්වහන්සේ කරණ කොටගෙන ආශීර්වාද ලබන්නෝය; සියලු ජාතීහු උන්වහන්සේ වාසනාවන්තයයි කියන්නෝය.
18 ආශ්චර්ය කිරීමේ එකම කර්තෘවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ, ස්වාමීවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.
19 උන්වහන්සේගේ ශ්‍රීමත් නාමයට සදාකල් ප්‍රශංසාවේවා; මුළු පොළොව උන්වහන්සේගේ මහිමයෙන් පිරේවා. ආමෙන්, ආමෙන්.
20 යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ගේ යාච්ඤා නිමි.



ගීතාවලිය 73

1 සැබවින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට, එනම් පිරිසිදු සිත් ඇත්තන්ට, යහපත්ය.
2 එහෙත් මාගේ පාද ඉවතයන්ට ළං විය; මාගේ අඩි නොලිස්සුවා පමණය.
3 මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි.
4 මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරය.
5 වෙන මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත. වෙන මනුෂ්‍යයන්ට මෙන් පීඩාද නැත.
6 එබැවින් ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය; බලාත්කාරය වස්ත්‍රයක් මෙන් ඔවුන් සරසයි.
7 ඔවුන්ගේ ඇස් තරකමින් නෙරා තිබේ. ලබන්ට ආශාවෙනවාටත් වඩා ඔවුන්ට සම්පත් ඇත.
8 ඔව්හු ගර්හාකෙරෙති, දුෂ්ටකමින් බලාත්කාරය ගැන කථාකෙරෙති. උඩඟුලෙස කථාකෙරෙති,
9 ඔව්හු තමුන්ගේ මුඛය අහසෙහි තබා තිබේ, ඔවුන්ගේ දිවද මුළු පොළොවෙහි සංචාරයකරයි.
10 එබැවින් උන්වහන්සේගේ සෙනඟ මෙතැනට හැරී එති. පිරුණු කුසලානකින් ඔව්හු වතුර බේරා බොති.
11 ඔව්හු කථාකොට: දෙවියන්වහන්සේ කෙසේ දන්නාසේක්ද? මහෝත්තමයාණන්ට දැනුම ඇද්දැයි කියති.
12 බලව, දුෂ්ටයෝ මොව්හුය; මොව්හු නිතර සැපසේ වෙසෙමින් වස්තුවෙන් වර්ධනයවෙති.
13 සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය;
14 මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි.
15 මම මෙසේ කථාකරන්නෙමියි කීයෙම් නම්; බලව, ඔබගේ දරුවන්ගේ පරම්පරාවට ද්‍රෝහියෙක් වෙමි.
16 මා විසින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්,
17 එය මට අධික වේදනා සහිත විය; එය දැනගත හැකි කෙසේදැයි සිතමින් සිටියෙමි.
18 සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක. ඔබ ඔවුන් විනාශයට හෙළනසේක.
19 ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි! භීතිවලින් ඔව්හු සහමුලින්ම විනාශ වූවෝය.
20 යමෙක් පිබිදෙන කල ඔහුට හීනයක් යම්සේද, ස්වාමිනි, ඔබ පිබිදෙන කල ඔබ ඔවුන්ගේ රූපාකාරය එසේ හෙළාදක්නාසේක.
21 එහෙත් මාගේ සිත කැලඹුණේය, මාගේ හෘදයට ඇන්නාක්මෙන් විය
22 මම මෘගාකාර වීමි, අඥාන වීමි; ඔබ ඉදිරියෙහි තිරිසනෙකු මෙන් වීමි.
23 එසේ නුමුත් මම නිතරම ඔබ සමඟය. ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක.
24 ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක.
25 ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත.
26 මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.
27 මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය. මිථ්‍යාචාරලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශකළසේක.
28 දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.



ගීතාවලිය 74

1 දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?
2 ඔබ පුරාණ කාලයේදී මිලේට ගත්තාවූ, ඔබගේ උරුම-ගෝත්‍රය වන පිණිස මුදාගත්තාවූ ඔබගේ සභාවද ඔබ විසූ සියොන් කන්දද සිහිකළ මැනව.
3 ශුද්ධස්ථානයෙහි සතුරා විසින් කර තිබෙන මුළු හානිය වන නිරන්තර විනාශයන් කරා ඔබගේ පාද නගා අවමැනව.
4 ඔබගේ එදිරිකාරයෝ ඔබගේ සභා මධ්‍යයෙහි ගර්ජනාකළෝය; ලකුණු පිණිස තමුන්ගේ කොඩි එසෙවුවෝය.
5 ඔව්හු මූකළානේදී පොරෝ ඔසවන්නන් මෙන් පෙනුණෝය.
6 දැන් ඔව්හු පොරොවෙන් හා මිටිවලින් එහි කැටයම් වැඩ සහමුලින්ම කඩා දමති.
7 ඔව්හු ඔබගේ ශුද්ධස්ථානය ගිනිලෑවෝය; ඔබගේ නාමයේ නිවාසය බිම හෙළා දූෂණයකළෝය.
8 සහමුලින්ම ඔවුන් විනාශ කරන්නෙමුයයි ඔව්හු සිතින් කීවෝය. දේශයෙහි දෙවියන්වහන්සේගේ සිනගෝග සියල්ල පුලුස්සාදැමූය.
9 අපේ ලකුණු අපට නොපෙනෙයි. අනාගතවක්තෘ කෙනෙක් තවත් නැත්තේය; කොතෙක් කල්දැයි දන්නාවූ කිසිවෙකුත් අප අතරෙහි නැත.
10 දෙවියන්වහන්ස, එදිරිකාරයා නින්දා කරන්නේ කොපමණ කල්ද? සතුරා ඔබගේ නාමයට සදාකල් අපහාසකරන්නේද?
11 ඔබගේ අත, එසේය ඔබගේ දකුණත, කුමක් නිසා නවතනසේක්ද? එය ඔබගේ ළයෙන් ඉවත ගෙන ඔවුන් විනාශකළ මැනව.
12 පොළෝ මැද ගැළවීම සිදුකරන දෙවියන්වහන්සේ පුරාතන සිට මාගේ රජ්ජුරුවෝය.
13 ඔබ ස්වකීය ශක්තියෙන් මුහුද බෙදූසේක. ඔබ ජලයෙහි මහා සත්වයන්ගේ හිස් බින්දසේක.
14 ඔබ ළෙවියාතන්ගේ හිස පොඩිකොට, වනයෙහි වාසයකරන සෙනඟට හෝ භෝජන පිණිස දුන්සේක.
15 ඔබ උල්පතට හා ජලධාරාවටත් මාර්ගය දැදුරුකළසේක. මහත් ගංගා වියළවූසේක.
16 දිවාභාගය ඔබගේය, රාත්‍රියත් ඔබගේය. ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළකළසේක.
17 ඔබ පොළොවේ සියලු සීමා පිහිටෙවුසේක. ග්‍රීෂ්ම කාලයද ශීත කාලයද සෑදූසේක.
18 ස්වාමිනි, සතුරා නින්දාකළ බවත් අඥාන සෙනඟක් ඔබගේ නාමයට අපහාසකළ බවත් සිහිකළ මැනව.
19 ඔබගේ කොබෙයියාගේ ප්‍රාණය වනමෘගයාට නුදුන මැනව. ඔබගේ අසරණ රැළ සදාකාලේටම සිහිනැති නොකළ මැනව.
20 ගිවිසුම සැලකුව මැනව. මක්නිසාද පොළොවේ අඳුරු තැන් බලාත්කාරයේ වාසස්ථානවලින් පිරී තිබේ.
21 පීඩා ලත් තැනැත්තේ ලජ්ජාවී ආපසු නොඒවා, දුප්පතාද දිළිඳාද ඔබගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.
22 දෙවියන්වහන්ස, නැගිට ඔබගේ යුක්තිය කියා සිටිය මැනව. අඥානයා දවස මුළුල්ලේ ඔබට නින්දා කරන හැටි සිහිකළ මැනව.
23 ඔබගේ විරුද්ධකාරයන්ගේ ශබ්දය සිහිනැති නොකළ මැනව. ඔබට විරුද්ධව නැගිටින්නන්ගේ කෝලාහල ශබ්දය නිතර නැඟේ.



ගීතාවලිය 75

1 දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති කරමුව; ඔබගේ නාමය සමීප බැවින් ස්තුති කරමුව. මනුෂ්‍යයෝ ඔබගේ පුදුම ක්‍රියා ප්‍රකාශකරති.
2 නියම කාලය ලැබූ කල මම අවංකලෙස විනිශ්චයකරන්නෙමි.
3 පොළොවද එහි සියලු වැසියෝද දියව ගියෝය. මම ඒකේ ටැම් සිටුවීමි.
4 අහංකාරලෙස ක්‍රියා නොකරව්යයි අහංකාරීන්ටත් අඟ උසස් නොකරව්යයි දුෂ්ටයන්ටත් කීමි.
5 ඔබ සැමගේ අඟ උස් නොකරව්; තද කුළල් ඇතිව කථා නොකරව්.
6 මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය.
7 නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය. උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.
8 මක්නිසාද ස්වාමීන්ගේ අතේ කුසලානක් ඇත, එහි මුද්‍රිකපානය පෙණ දමයි; එය මිශ්‍ර ද්‍රව්‍යයෙන් පිරී තිබේ, උන්වහන්සේ එයින් වත්කරනසේක. සැබවින් පොළොවේ සියලු දුෂ්ටයෝ එහි මණ්ඩි මිරිකා බොන්නෝය.
9 එහෙත් මම සදාකල් ප්‍රකාශ කරන්නෙමි, යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
10 දුෂ්ටයන්ගේ අං සියල්ලද කපාදමන්නෙමි; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ අං ඔසවනු ලබන්නේය.



ගීතාවලිය 76

1 දෙවියන්වහන්සේ යූදාහි ප්‍රසිද්ධසේක. ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ නාමය උතුම්ය.
2 උන්වහන්සේගේ මණ්ඩපය සාලෙම්හිය, උන්වහන්සේගේ වාසස්ථානය සියොන්හිය.
3 එහිදී උන්වහන්සේ දුන්නේ ඊගස් හා පලිහද කඩුව හා සටනද බින්දසේක.
4 කොල්ලගත් කඳුවල සිට ඔබ තේජෝමහිමයෙන් යුක්තවනසේක.
5 සවි සිත් ඇත්තෝ කොල්ලකනු ලැබුවෝය, තමුන්ගේ නින්දට පැමිණියෝය; බලවත්වූ කිසිවෙකුගේ අතෙහි ශක්තිය නොවීය.
6 යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ තරවටුකිරීමෙන් රථ සේනාව සහ අසරුවෝ බර නින්දට හෙළනු ලැබුවෝය.
7 භයවිය යුත්තේ ඔබටය, ඔබට පමණක්මය. ඔබ කෝපවූ කල්හි ඔබ ඉදිරියෙහි සිටින්ට හැකි කාටද?
8 ඔබ ස්වර්ගයෙන් නඩුතීන්දුව ඇසෙන්ට සැලැස්වූසේක; පොළොවේ සියලු යටහතුන් ගළවන පිණිස
9 දෙවියන්වහන්සේ විනිශ්චයට නැගිටි කල, පොළොව භයව නිශ්චලවිය.
10 සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක. 76:10 නොහොත්, නවත්වනසේක.
11 ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්ට භාරයක්වී එය ඔප්පුකරව්. උන්වහන්සේ වටකර සිටින සියල්ලෝ භයවිය යුතුවූ උන්වහන්සේට පඬුරු ගෙනෙක්වා.
12 උන්වහන්සේ අධිපතීන්ගේ එඩි මඩිනසේක. පොළොවේ රජුන්ට භයංකර වන සේක.



ගීතාවලිය 77

1 මාගේ හඬින් දෙවියන්වහන්සේට, එසේය, මාගේ හඬින් දෙවියන්වහන්සේට මොරගසන්නෙමි, උන්වහන්සේ මට කන්දෙනසේක.
2 දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකමැතිවිය.
3 මම දෙවියන්වහන්සේ සිහිකොට චංචලව සිටිමි. මම මෙනෙහිකරමි, මාගේ ආත්මයද ශෝකයෙන් පිරී ගියේය.
4 ඔබ මාගේ ඇස්වලින් නින්ද වලක්වනසේක. කථාකරන්ට බැරි තරම් කැලඹී සිටිමි.
5 මම පුරාණයේ දවස්ද පූර්ව කාලවල අවුරුදුද කල්පනාකෙළෙමි.
6 රාත්‍රියේ මාගේ ගීතිකාව සිහිකොට, මාගේම සිත සමඟ කථාකරමි; මාගේ ආත්මයද ඕනෑකමින් විමසුවේය.
7 ස්වාමීන්වහන්සේ සදාකාලේටම පහකරනසේක්ද? තවත් කරුණා නොකරනසේක්ද?
8 උන්වහන්සේගේ දයාව සහමුලින්ම පහව ගියේද? උන්වහන්සේගේ පොරොන්දුව සදාකල් ඉෂ්ට නොවන්නේද?
9 දෙවියන්වහන්සේ කරුණාකරන්ට මතකනැතිකළසේක්ද? කෝපයෙන් ස්වකීය දයාව වැලැක්වූසේක්ද?
10 එවිට මම කථාකොට: මේ මාගේ දුර්වලකමය; නුමුත් මහෝත්තමයාණන්ගේ දකුණතේ අවුරුදු සිහිකරන්නෙමි.
11 ස්වාමීන්ගේ ක්‍රියා සඳහන් කරන්නෙමි; මක්නිසාද ඔබගේ පුරාණ ආශ්චර්යයන් සිහිකරන්නෙමි.
12 ඔබගේ කර්මාන්ත සියල්ල ගැන භාවනාකරන්නෙමි, ඔබගේ ක්‍රියා ගැන මෙනෙහි කරන්නෙමියි කීයෙමි.
13 දෙවියන්වහන්ස, ඔබගේ මාර්ගය ශුද්ධස්ථානයෙහිය. දෙවියන්වහන්සේ මෙන් උතුම් දෙවි කෙනෙක් කවුද?
14 පුදුම දේ කරන දෙවියන්වහන්සේ නම් ඔබය. ඔබ මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබගේ ශක්තිය දැක්වූසේක.
15 ඔබ යාකොබ්ගේද යෝසෙප්ගේද පුත්‍රයන් වන ඔබගේ සෙනඟ ඔබගේ බාහුවෙන් මුදාගත්සේක.
16 දෙවියන්වහන්ස, ජලධාරාවෝ ඔබ දුටුවෝය; ජලධාරාවෝ ඔබ දැක භයවූවෝය. ගැඹුරු තැන්ද සෙලවුණෝය.
17 වලාකුල් දිය වැගිරෙවුවෝය; අහස ශබ්දයක් නික්මවිය. ඔබගේ ඊගස්ද විහිද ගියේය.
18 ඔබගේ ගර්ජනා ශබ්දය සුලි හුළඟෙහි විය; විදුලිද ලෝකය ආලෝකකෙළේය. පොළොව සෙලවී කම්පාවූවාය.
19 ඔබගේ මාර්ගය මුහුදේ විය, ඔබගේ මාවත් මහත් ජලධාරාවන්හි විය, ඔබගේ පා සලකුණු ප්‍රකාශ නොවීය.
20 ඔබ මෝසෙස් හා ආරොන් ලවා බැටළු රැළක් මෙන් ඔබගේ සෙනඟ ගෙනගියසේක.



ගීතාවලිය 78

1 එම්බා මාගේ සෙනඟ, මාගේ ව්‍යවස්ථාවට කන්දෙව්. මාගේ මුඛයේ වචනවලට කන් යොමු කරව්.
2 උපමාවකින් මාගේ කට අරින්නෙමි; අප විසින් ඇසුවාවූ, දැනගත්තාවූ,
3 අපේ පියවරුන් අපට කියාදුන්නාවූ පුරාණයේ වාක්‍යයන් ප්‍රකාශ කරන්නෙමි.
4 අපි ඔවුන්ගේ දරුවන් කෙරෙන් ඒ දේ නොසඟවා, ස්වාමීන්ගේ ප්‍රශංසාවත් ශක්තියත් උන්වහන්සේ කළ ආශ්චර්ය ක්‍රියාත් මතු එන පරම්පරාවට ප්‍රකාශ කරන්නෙමුව.
5 එසේ උන්වහන්සේ යාකොබ්හි සාක්ෂියක් පිහිටුවා, ඉශ්‍රායෙල්හි ව්‍යවස්ථාවක් පනවා, ඒවා තමුන්ගේ දරුවන්ට දන්වන්ට අපේ පියවරුන්ට අණකළසේක.
6 මෙසේ කළේ එන්නාවූ පරම්පරාව, එනම් උපදින්ට සිටින දරුවන්, ඒවා දැනගෙන, නැගිට ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්,
7 තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්,
8 මුරණ්ඩු කැරළිකාර පරම්පරාවක් වූ, තමුන්ගේ සිත් එකඟකර නොගත්තාවූ, දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතක් නැත්තාවූ පරම්පරාවක්ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් නොවන පිණිසත්ය.
9 යුද්ධයට සැරසී දුනු ගත් එප්‍රායිම් පුත්‍රයෝ සටන් දවසේදී පස්සට හැරුණෝය.
10 ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම රක්ෂා නොකළෝය, උන්වහන්සේගේ ව්‍යස්ථාව ලෙස හැසිරෙන්ට නොකැමැතිවූවෝය;
11 උන්වහන්සේ කළ දේද උන්වහන්සේ තමුන්ට දැක්වූ ආශ්චර්ය ක්‍රියාද ඔව්හු මතකනැතිකළෝය.
12 උන්වහන්සේ මිසර දේශයෙහි ශෝවාන් කෙතේදී ඔවුන්ගේ පියවරුන්ගේ ඇස් හමුයෙහි පුදුම දේ කළසේක.
13 උන්වහන්සේ මුහුද බෙදා ඔවුන් ඒ මැදින් යන්ට සැලැස්වූසේක; උන්වහන්සේ ජලධාරාවන් කන්දක් මෙන් සිටෙවුසේක.
14 දවාලේ වලාකුළකින්ද මුළු රෑ ගිනි එළියකින්ද උන්වහන්සේ ඔවුන් ගෙනගියසේක.
15 වනාන්තරයෙහිදී පර්වත පළා, ගැඹුරුවලින් මෙන් බොහෝකොට ඔවුන්ට වතුර බොන්ට දුන්සේක.
16 පර්වතයෙන් දිය පාරවල්ද නගා, ගංගා මෙන් ජලය ගලායන්ට සැලැස්වූසේක.
17 එහෙත් ඔව්හු කාන්තාරයෙහිදී මහෝත්තමයාණන්ට විරුද්ධව කැරළි ගසමින්, උන්වහන්සේට විරුද්ධව තව තව පව්කළෝය.
18 තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝය.
19 එසේය, ඔව්හු දෙවියන්වහන්සේට විරුද්ධව කථාකරමින්: වනාන්තරයෙහි මේසයක් පිළියෙළ කරන්ට දෙවියන්වහන්සේට පුළුවන්ද?
20 බලව, උන්වහන්සේ පර්වතයට ගැසූ කල ජලය වැගුරුණේය, දියපාරවල් ගලාගියේය; රොටිත් දෙන්ට හැකිසේක්ද? ස්වකීය සෙනඟට මාංස සපයාදෙන සේක්දැයි කීවෝය.
21 එබැවින් ස්වාමීන්වහන්සේ අසා උදහස්වූසේක. යාකොබ්ට විරුද්ධව ගින්නක් ඇවුළුණේය, ඉශ්‍රායෙල්ට විරුද්ධව කෝපයද නැංගේය;
22 මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ කෙරෙහි නොඇදහුවෝය, උන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම විශ්වාස නොකළෝය.
23 එසේ වුවත් උන්වහන්සේ ඉහළින් ආකාශයට අණකොට, ස්වර්ගයේ දොරවල් ඇරියසේක;
24 කෑම පිණිස මන්නා වස්වමින්, ස්වර්ග ශස්‍යයෙන් ඔවුන්ට දුන්සේක.
25 මනුෂ්‍යයා බලවතුන්ගේ රොටි කෑයේය. සෑහෙන පමණ ආහාර උන්වහන්සේ ඔවුන්ට එවුසේක.
26 උන්වහන්සේ අහසෙහි පෙරදිග සුළඟ හමන්ට සැලැස්වූසේක. ස්වකීය බලයෙන් දකුණු දිග සුළඟ ගෙනාසේක.
27 උන්වහන්සේ ධූලි මෙන් මාංසද මුහුදු වැලි මෙන් පියාපත් ඇති පක්ෂීන්ද ඔවුන් පිට වැස්සෙවුසේක.
28 එය ඔවුන්ගේ වාසස්ථාන අවට කඳවුර මැදට හෙළූසේක.
29 ඔව්හු මෙසේ කා බොහෝසේ තෘප්තියට පැමිණියෝය; ඔවුන් ආශාවූ දේ උන්වහන්සේ ඔවුන්ට දුන්සේක.
30 ඔවුන්ගේ ආශාව සංසිදෙන්ට ප්‍රථම, කෑම ඔවුන්ගේ කටේ තිබියදීම,
31 දෙවියන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව හටගෙන, ඔවුන්ගෙන් ඉතා පුෂ්ටිමත්වූවන් නසා, ඉශ්‍රායෙල්ගේ තරුණයන්ට පහරදුන්සේක.
32 මේ සියල්ල සිදුවුවත් ඔව්හු තවත් පව්කළෝය, උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා විශ්වාස නොකළෝය.
33 එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ දවස් නිෂ්ඵලකමෙන්ද ඔවුන්ගේ අවුරුදු භීතියෙන්ද ගෙවෙන්ට සැලැස්වූසේක.
34 උන්වහන්සේ ඔවුන් මැරූ කල ඔව්හු උන්වහන්සේ ගැන විචාළෝය. ඔව්හු හැරී අප්‍රමාදව දෙවියන්වහන්සේ සෙවුවෝය.
35 දෙවියන්වහන්සේ තමුන්ගේ පර්වතය බවත් මහෝත්තම දෙවියන්වහන්සේ තමුන්ගේ මිදුම්කාරයාණන් බවත් ඔව්හු සිහිකළෝය.
36 නුමුත් ඔව්හු කටින් උන්වහන්සේට චාටුකළෝය, දිවෙන් උන්වහන්සේට බොරු කීවෝය.
37 මක්නිසාද ඔවුන්ගේ සිත් උන්වහන්සේ කෙරෙහි ස්ථිර නොවීය, උන්වහන්සේගේ ගිවිසුමට ඔව්හු විශ්වාසව නොසිටියෝය.
38 නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක. එසේය, උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්සේක.
39 ඔවුන් මාංසයම බවත් පහව යන්නාවූ නැවත නොඑන්නාවූ හුළඟක් බවත් සිහිකළසේක.
40 කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද!
41 ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය.
42 ඔව්හු උන්වහන්සේගේ හස්තයවත්, උන්වහන්සේ සතුරාගෙන් තමුන් මුදාගත් දවසවත්,
43 මිසර දේශයේදී ස්වකීය හාස්කම් සහ ශෝවාන් කෙතේදී ආශ්චර්යයන් කළ හැටිවත් සිහි නොකළෝය.
44 බොන්ට බැරි ලෙස උන්වහන්සේ ඔවුන්ගේ ගංගාද දිය පාරවල්ද ලේ කළසේක.
45 උන්වහන්සේ ඔවුන් අතරට නාස්ති කරන මැසි රංචුද විනාශකරන මැඩියන්ද යැවූසේක.
46 ඔවුන්ගේ භෝග දළඹුවන්ටත් ඔවුන්ගේ ගොවිතැන් පළඟැටියන්ටත් දුන්සේක.
47 ඔවුන්ගේ මිදිවැල් ගල් වැස්සෙන්ද අත්තික්කා ගස් තුෂාරයෙන්ද විනාශ කළසේක.
48 උන්වහන්සේ ඔවුන්ගේ ගවයන් ගල් වැස්සටත් සිව්පා රැළවල් හෙණගින්නටත් පාවාදුන්සේක.
49 උන්වහන්සේ විපත්ති දායක දූත සමූහයක් වන දැඩි රෝෂය සහ උදහසත් කෝපය සහ දුකත් ඔවුන් පිට හෙළූසේක.
50 උන්වහන්සේ ස්වකීය කෝපයට මාවතක් සෑදූසේක; ඔවුන්ගේ ප්‍රාණය මරණයෙන් නොවලක්වා, ඔවුන්ගේ ජීවිතය වසංගතයට භාර කළසේක;
51 හාම්ගේ කූඩාරම්වල සිටි ඔවුන්ගේ ශක්තියේ ප්‍රථමඵලවූ මිසරයේ සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.
52 නුමුත් උන්වහන්සේ ස්වකීය සෙනඟ බැටළුවන් මෙන් පිටතට ගෙනගොස්, බැටළු රැළක් මෙන් වනාන්තරයේදී ඔවුන්ට මගපෙන්වූසේක.
53 උන්වහන්සේ ඔවුන් සුරැකිකොට ගෙන ගිය බැවින් ඔව්හු භයනුවූවෝය. නුමුත් මුහුද ඔවුන්ගේ සතුරන් වසා ගත්තේය.
54 උන්වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයේ සීමාවට එනම් තමන් දකුණතින් ගත් මේ කන්දට ඔවුන් ගෙනාසේක.
55 ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.
56 එසේවී නුමුත් ඔව්හු මහෝත්තමයාණන්වූ දෙවියන්වහන්සේ පරීක්ෂා කරමින්, උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝය, උන්වහන්සේගේ ශික්ෂා රක්ෂා නොකළෝය.
57 තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ආපසු හැරී ද්‍රෝහි ලෙස ක්‍රියාකළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය.
58 මක්නිසාද ඔව්හු තමුන්ගේ උස්තැන්වලින් උන්වහන්සේ කෝපයට පැමිණෙවුවෝය, තමුන්ගේ කැපූ රූපවලින් උන්වහන්සේගේ ජ්වලිතය ඇවිස්සුවෝය.
59 දෙවියන්වහන්සේ මේ අසා උදහස්වූසේක, ඉශ්‍රායෙල් ඉතා පිළිකුල්කළසේක.
60 මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයන් අතරේ තමන් පිහිටෙවු කූඩාරම වන ෂීලෝහි මණ්ඩපය අත්හැරදමා,
61 ස්වකීය ශක්තිය වහල්කමටත් ස්වකීය මහිමය එදිරිකාරයාගේ අතටත් පාවාදුන්සේක.
62 ස්වකීය සෙනඟ කඩුවට භාරදුන්සේක; ස්වකීය උරුමයට උදහස්වූසේක.
63 ගින්න ඔවුන්ගේ තරුණයන් නාස්ති කෙළේය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීයක් නොවීය.
64 ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටුණෝය; ඔවුන්ගේ වැන්දඹුවෝ නොවැලපුණෝය.
65 එවිට ස්වාමීන්වහන්සේ නින්දෙන් පිබිදි අයෙකු මෙන්ද මුද්‍රික පානය බී ඝෝෂාකරන බලවන්තයෙකු මෙන්ද පිබිදිසේක.
66 උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ට ගසා ආපසු එළවා, ඔවුන් නිරන්තර නින්දාවකට පත්කළසේක.
67 උන්වහන්සේ යෝසෙප්ගේ කූඩාරම එපාකළසේක, එප්‍රායිම් ගෝත්‍රය තෝරා නොගත්සේක;
68 නුමුත් යූදා ගෝත්‍රය, තමන් ප්‍රේමකළ සියොන් කන්ද, තෝරාගත්සේක.
69 උන්වහන්සේ උස්වූ ස්ථාන මෙන්ද සදාකාලේට තමන් පිහිටෙවු පොළොව මෙන්ද ස්වකීය ශුද්ධස්ථානය ගොඩනැගූ සේක.
70 උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ දාවිත් තෝරාගෙන, බැටළු ගාල්වලින් ඔහු ගත්සේක.
71 උන්වහන්සේ තමන්ගේ සෙනඟවූ යාකොබ් සහ ස්වකීය උරුමයවූ ඉශ්‍රායෙල් පෝෂණයකරන පිණිස කිරි දෙන බැටළු දෙනුන් අනුව යාමෙන් ඔහු ගත්සේක.
72 මෙසේ ඔහු තමාගේ සිතේ සත්‍ය‍තාවෙන් ඔවුන් පෝෂණයකළේය; තමාගේ අත්වල සමර්ථකමෙන් ඔවුන්ට මගපෙන්විය.



ගීතාවලිය 79

1 දෙවියන්වහන්ස, අන්‍ය ජාතීහු ඔබගේ උරුමයට ඇතුල්වූවෝය; ඔව්හු ඔබගේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කළෝය; යෙරුසලම ජරාවාස ගොඩවල් කළෝය.
2 ඔබගේ මෙහෙකරුවන්ගේ මළකඳන් ඔව්හු ආකාශ පක්ෂීන්ටද ඔබගේ ශුද්ධවන්තයන්ගේ මාංස පොළෝතලයේ සතුන්ටද ගොදුරු කොට දුන්නෝය.
3 ඔවුන්ගේ ලේ යෙරුසලම හාත්පස ජලය මෙන් වැගිරෙවුවෝය; ඔවුන් වළලන්ට කිසිවෙක් නොවීය.
4 අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව.
5 ස්වාමිනි, කොපමණ කල් ඔබ නිරන්තරයෙන් උදහස්ව සිටිනසේක්ද? ඔබගේ ජ්වලිතය ගින්න මෙන් දැවෙන්නේද?
6 ඔබ නාඳුනන අන්‍ය ජාතීන් පිටද ඔබගේ නාමයෙන් යාච්ඤා නොකරන රාජ්‍යයන් පිටද ඔබගේ උදහස වැගිරෙවුව මැනව.
7 මක්නිසාද ඔව්හු යාකොබ් නාස්ති කොට ඔහුගේ වාසස්ථාන පාළුකළෝය.
8 අපේ පියවරුන්ගේ අයුතුකම් අපට විරුද්ධව සිහි නොකළ මැනව. අප බොහෝසෙයින් පහත වැටී සිටින බැවින්, ඔබගේ මෘදුවූ දයාව වහාම අප කෙරෙහි පැමිණේවා.
9 අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව. ඔබගේ නාමය උදෙසා අප නිදහස් කොට අපේ පව් පහකරදැමුව මැනව.
10 මොවුන්ගේ දෙවියෝ කොතැනදැ යි අන්‍ය ජාතීහු කුමට කියත්ද? ඔබගේ මෙහෙකරුවන්ගේ වගුළ ලේ ගැන පලිගන්න බව අන්‍ය ජාතීන් අතරේ අපේ ඇස් හමුයෙහි ප්‍රකාශවේවා.
11 හිරකාරයාගේ සුසුම්ලීම ඔබ ඉදිරියට පැමිණේවා; මරණයට කැපවූවන් ඔබගේ බලයේ උතුම්කම ලෙස රක්ෂාකළ මැනව.
12 ස්වාමිනි, අපේ අසල්වාසීන් විසින් ඔබට කළ නින්දාව ඔවුන්ගේ ළයට සත් ගුණයක් කොට හරවාදුන මැනව.
13 එවිට ඔබගේ සෙනඟද ඔබ පාලනය කරන බැටළුවෝද වූ අපි සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමුව; සියලු පරම්පරාවලට ඔබගේ ප්‍රශංසාව ප්‍රකාශකරන්නෙමුව.



ගීතාවලිය 80

1 බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.
2 එප්‍රායිම්ද බෙන්යමින්ද මනස්සේද ඉදිරියෙහි ඔබගේ බලය පාමින්, අප ගළවන පිණිස වැඩිය මැනව.
3 දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.
4 සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟගේ යාච්ඤාවට විරුද්ධව කොපමණ කල් උදහස්ව සිටිනසේක්ද?
5 ඔබ කඳුළු නමැති කෑම ඔවුන්ට කැවූසේක, බොහෝකොට කඳුළු පෙවූසේක.
6 අපේ අසල්වාසීන්ට අප දබරයට හේතුවක් වෙන්ට ඔබ සලස්වනසේක; අපේ සතුරෝ ඔවුනොවුන් අතරේ සිනාසෙති.
7 සේනාවල දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.
8 ඔබ මිසරයෙන් මිදිවැලක් ගෙනාසේක. ඔබ ජාතීන් එළවා එය රෝපණය කළසේක.
9 ඔබ ඊට ඉඩමක් එළිකළසේක, එය ගැඹුරට මුල් ඇද්දේය, එයින් දේශය පිරුණේය.
10 ඒකේ සෙවණෙන් කඳු වැසුණේය, ඒකේ අතු දෙවියන්වහන්සේගේ කිහිරි ගස් මෙන් විය.
11 ඒකේ අතු මුහුද දක්වාත් ඒකේ රිකිළි ප්‍රාත් ගංගාව දක්වාත් විහිද ගියේය.
12 මග යන සියල්ලන් විසින් එයින් නෙළාගන්නා ලෙස ඔබ ඒකේ වැටවල් කුමට බිඳ දැමූසේක්ද?
13 වල් ඌරා එය විනාශකරයි, කෙත්හි වල් සත්තු එය කති.
14 සේනාවල දෙවියන්වහන්ස, හැරී අවමැනව, ස්වර්ගයේ සිට ඇස් යොමා මේ මිදිවැලද
15 ඔබගේ දකුණතින් රෝපණයකළ මුල හා ඔබටම සවිකරගත් අත්තද විමසා බැලුව මැනව.
16 එය ගින්නෙන් දවනලද්දේය, කපා දමනලද්දේය. ඔව්හු ඔබගේ මුහුණේ තර්ජනයෙන් විනාශවෙති.
17 ඔබගේ හස්තය ස්වකීය දකුණෙත් මනුෂ්‍යයා කෙරෙහි, එනම් ඔබටම ඔබ ශක්තිමත්කළ මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි, වේවා.
18 එවිට අපි ඔබ කෙරෙන් ආපසු නොයන්නෙමුව. අප ජීවත්කළ මැනව, අපිද ඔබගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමුව.
19 සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.



ගීතාවලිය 81

1 අපේ ශක්තියවූ දෙවියන්වහන්සේට උස්වූ ශබ්ද නගා ගී කියව්. යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රීතිනාද පවත්වව්.
2 ගීතිකා පටන්ගෙන, රබානත් මිහිරි වීණාව සහ කුඩා වීණාවත් ගෙනෙව්.
3 අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්.
4 මක්නිසාද එය ඉශ්‍රායෙල්ට නියෝගයක්ය, යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ පනතක්ය.
5 මා විසින් නොදත් භාෂාවක් ඇසුවාවූ මිසර දේශයෙහි උන්වහන්සේ ගිය කල, මෙය යෝසෙප්ට සාක්ෂියක් කොට නියමකළසේක.
6 ඔහුගේ කර බරෙන් නිදහස් කෙළෙමි. කූඩා ඇදීමෙන් ඔහුගේ අත් මිදුණේය.
7 විපතේදී ඔබ අඬගැසුවෙහිය, මම ඔබ මිදුවෙමි; ගර්ජනාවේ රහස් තැනදී ඔබට උත්තර දුනිමි; මෙරිබාහි වතුර ළඟදී ඔබ පරීක්ෂා කෙළෙමි.
8 මාගේ සෙනඟෙනි, අසව්, මම ඔබ සැමට සාක්ෂිදෙන්නෙමි; අහෝ, ඉශ්‍රායෙල්, මට ඇහුම්කන් දෙන්නෙහි නම් යහපත!
9 ඔබ වෙත අන් දෙවියෙක් නොවේවා; විදේශි දෙවියෙකුටද නමස්කාර නොකරව.
10 මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනාවාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මමය. ඔබේ කට හොඳටම හරුව, මමද එය පුරවන්නෙමි.
11 එහෙත් මාගේ සෙනඟ මාගේ ශබ්දය නොඇසූය; ඉශ්‍රායෙල්ද මට කිසි සැලකිල්ලක් නොකළෝය.
12 එහෙයින් ඔවුන් තමුන්ගේ මන්ත්‍රණවල හැසිරෙන ලෙස ඔවුන්ගේ සිත් දැඩිකමෙහි ඔවුන් අත්හැරියෙමි.
13 අහෝ මාගේ සෙනඟ මට කන් දුන්නොත් ඉශ්‍රායෙල් මාගේ මාර්ගවල හැසුරුණොත්, යහපත!
14 එවිට මම ඉක්මනින් ඔවුන්ගේ සතුරන් දමනයකරන්නෙමි, ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධව මාගේ අත හරවන්නෙමි.
15 ස්වාමීන්ට වෛරවන්නෝ උන්වහන්සේට යටහත්වන්නෝය. නුමුත් මොවුන්ගේ කාලය සදාකල් පවත්නේය.
16 උන්වහන්සේ ඉතා හොඳ ගෝධුමයෙන් ඔවුන් පෝෂණය කරනසේක. පර්වතයෙන් ගත් මීපැණියෙන් මම ඔබ තෘප්තියට පමුණුවන්නෙමි.



ගීතාවලිය 82

1 දෙවියන්වහන්සේ දේව සභාවෙහි නැගිට සිටිනසේක; උන්වහන්සේ දෙවිවරුන් අතරේ විනිශ්චයකරනසේක.
2 ඔබ සැම කොතෙක් කල් අසාධාරණ ලෙස විනිශ්චයකරමින් දුෂ්ටයන්ගේ තරාතිරම් සලකන්නහුද?
3 දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්. පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්.
4 දුප්පතා හා දිළිඳා මුදාහරිව්. දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස් කරව්.
5 ඔව්හු නොදනිති, තේරුම්ද නොගනිති; අන්ධකාරයෙහි ඔබ මොබ හැසිරෙති. පොළොවේ අත්තිවාරම් සියල්ල සෙලවේ.
6 ඔබ සැම දෙවිවරුය, ඔබ සැම සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝයයි කීයෙමි.
7 එහෙත් ඔබ සැම මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය, අධිපතීන්ගෙන් එක්කෙනෙකු මෙන් වැටෙන්නහුය.
8 දෙවියන්වහන්ස, නැගිට පොළොව විනිශ්චයකළ මැනව. මක්නිසාද ඔබ සියලු ජාතීන් හිමිකර ගන්නාසේක.



ගීතාවලිය 83

1 දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව; දෙවියන්වහන්ස, කථා නොකර නොසිටිය මැනව, නිශ්චලනූව මැනව.
2 මක්නිසාද ඔබගේ සතුරෝ කෝලාහලකෙරෙති. ඔබට වෛරවන්නෝ හිස ඒසෙවුවෝය.
3 ඔව්හු ඔබගේ සෙනඟට විරුද්ධව ප්‍රයෝග උපා යොදති, ඔබගේ සඟවනලද්දවුන්ට විරුද්ධව මන්ත්‍රණයකෙරෙති,
4 ඔව්හු කථාකොට: වරෙව්, ඉශ්‍රායෙල් යන නම මතු සිහි නොවන පිණිස, ජාතියක් නොවන ලෙස ඔවුන් සිඳ දමමුයයි කියති.
5 ඔව්හු එක අදහසින් එක්ව මන්ත්‍රණය කළෝය; ඔබට විරුද්ධව ඔව්හු ගිවිසුමක් කෙරෙති.
6 ඔව්හු වනාහි ඒදොමේ කූඩාරම් වැසියන් සහ ඉෂ්මායෙලිතයෝය; මෝවබ් සමඟ හගරීනයෝය;
7 ගෙබාල්, අම්මොන් සහ අමෙලක්ය; තීර් වැසියන් සමඟ පිලිස්තියෝය.
8 අෂූර් ද ඔවුන්ට එකතුවූවෝය; ඔව්හු ලොත්ගේ පුත්‍රයන්ට උපකාර කළෝය.
9 මිදියන්ටත් කීෂොන් ගඟ ළඟදී සිසෙරාටත් යාබින්ටත් කළ ලෙස මොවුන්ට කළ මැනව.
10 ඔව්හු එන්දෝර්හි විනාශවී, බිමට පෝර මෙන් වූවෝය.
11 ඔවුන්ගේ උත්තමයන් ඔරෙබ් සහ ශීබ් මෙන්ද ඔවුන්ගේ අධිපතීන් සියල්ලන් සෙබා සහ ශල්මුන්නා මෙන්ද කළ මැනව.
12 දෙවියන්වහන්සේගේ වාසස්ථාන හිමිකරගනිමුයයි ඔව්හු කීවෝය.
13 මාගේ දෙවියන්වහන්ස, ඔවුන් කර කැවෙන ධූලි මෙන්ද සුළඟින් විසිරයන ඉපනැලි මෙන්ද කළ මැනව.
14 වනය පුලුස්සන ගිනි යම්සේද, කඳු දල්වන ගිනිදැල යම්සේද,
15 එසේම ඔබගේ කුණාටුවෙන් ඔවුන් ලුහුබඳවා, ඔබගේ සැර සුළඟෙන් ඔවුන් භය ගැන්නුව මැනව.
16 ස්වාමිනි, ඔබගේ නාමය සොයන පිණිස ඔවුන්ගේ මුහුණ වියවුලෙන් පිරෙවුව මැනව.
17 යෙහෝවා නම්වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ඔවුන් දැනගන්නා පිණිස,
18 ඔව්හු සදාකල් ලජ්ජාවී තැතිගනිත්වා; එසේය, වියවුල්වී විනාශවෙත්වා.



ගීතාවලිය 84

1 සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මණ්ඩප කොපමණ පියකරුද!
2 ස්වාමීන්ගේ මන්දිර උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වෑරීයයි; මාගේ සිතත් මාගේ මාංසයත් ජීවමාන දෙවියන්වහන්සේට මොරගසති.
3 එසේය, ගේකිරිල්ලියට ගෙයක්ද වැහිලිහිණියට ඇගේ පැටවුන් තබන පිණිස කැදැල්ලක් සම්බවිය. එනම්, සේනාවල ස්වාමිනි, මාගේ රජ්ජුරුවන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබගේ පූජාසනමය.
4 ඔබගේ ගෘහයෙහි වසන්නෝ ආශීර්වාදලත්තෝය. ඔව්හු නිරතුරුම ඔබට ප්‍රශංසා කරන්නෝය.
5 තමාගේ ශක්තිය ඔබ තුළෙහි ඇත්තාවූ, සියොන්ට යන මාවත් තමාගේ සිතෙහි ඇත්තාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
6 ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති; එසේය, ප්‍රථම වර්ෂාව එය ආශීර්වාදවලින් වසයි.
7 ඔව්හු බලයෙන් බලයට යෙති, දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියොන්හිදී එකිනෙකා පෙනී සිටිති.
8 සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, මාගේ යාච්ඤාව ඇසුව මැනව. යාකොබ්ගේ දෙවියන්වහන්ස, කන්දුන මැනව.
9 අපේ පලිහවූ දෙවියන්වහන්ස, බැලුව මැනව, ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ මුහුණ බැලුව මැනව.
10 මක්නිසාද ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි.
11 මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.
12 සේනාවල ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසයකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.



ගීතාවලිය 85

1 ස්වාමිනි, ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක.
2 ඔබගේ සෙනඟගේ අයුතුකම කමා කළසේක, ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක.
3 ඔබගේ මුළු උදහස පහකරදැමූසේක. ස්වකීය තද කෝපයෙන් හැරුණුසේක.
4 අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, අප හැරෙවුව මැනව, අප කෙරෙහි වූ ඔබගේ කෝපය නැවැත්වුව මැනව.
5 ඔබ අප සමඟ සදාකල්ම උදහස් වනසේක්ද? සියලු පරම්පරාවලට ඔබගේ උදහස පවත්වනසේක්ද?
6 ඔබගේ සෙනඟ ඔබ කෙරෙහි ප්‍රීතිමත් වන පිණිස අප නැවත ජීවත් නොකරනසේක්ද?
7 ස්වාමිනි, ඔබගේ කරුණාව අපට දැක්වුව මැනව, ඔබගේ ගැළවීම අපට දුන මැනව.
8 දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා.
9 තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය.
10 කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය.
11 සැබෑකම පොළොවෙන් හටගනී; ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය.
12 එසේය, ස්වාමීන්වහන්සේ යහපත් දේ දෙනසේක; අපේ දේශයද එහි ඵල දෙන්නේය.
13 ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පා සලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය.



ගීතාවලිය 86

1 ස්වාමිනි, ඔබගේ කන නමා මට උත්තරදුන මැනව; මක්නිසාද මම දුප්පත්මි, දිළින්දෙමි.
2 මාගේ ප්‍රාණය රක්ෂාකළ මැනව; මක්නිසාද මම භක්තිවන්තයෙමි. මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකරන ඔබගේ මෙහෙකරුවා ගැළෙවුව මැනව.
3 ස්වාමිනි, දවස මුළුල්ලේම ඔබට හඬා සිටින බැවින් මට කරුණාකළ මැනව.
4 ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවන බැවින් ඔබගේ මෙහෙකරුවාගේ ආත්මය ප්‍රීතිමත්කළ මැනව.
5 මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.
6 ස්වාමිනි, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.
7 මාගේ විපත්ති දවසේදී ඔබට යාච්ඤා කරන්නෙමි; මක්නිසාද ඔබ මට උත්තරදෙනසේක.
8 ස්වාමිනි, දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත; ඔබගේ ක්‍රියාවන්ට සමානවූ ක්‍රියාද නැත.
9 ස්වාමිනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාරකරමින්, ඔබගේ නාමයට ගෞරවකරන්නෝය.
10 මක්නිසාද ඔබ උතුම්ය, ආශ්චර්ය ක්‍රියා කරනසේක. ඔබ පමණක් දෙවියන්වහන්සේය.
11 ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව.
12 මාගේ දෙවිවූ ස්වාමිනි, මාගේ මුළු සිතින් ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකල් ඔබගේ නාමයට ගෞරව කරන්නෙමි.
13 මක්නිසාද මා කෙරෙහි ඔබගේ කරුණාව මහත්ය; ඉතා ගැඹුරු වළෙන් ඔබ මාගේ ප්‍රාණය මුදාගත්සේක.
14 දෙවියන්වහන්ස, උදාරම්කාරයෝ මට විරුද්ධව නැගිට සිටිති, බාලාත්කාරකරන්නන්ගේ සභාව මාගේ ප්‍රාණය සෙවීය, ඔවුන් තමුන් ඉදිරියෙහි ඔබ තබාගන නැත.
15 එහෙත් ස්වාමිනි, ඔබ අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණවූ, කෝපවීමට ප්‍රමාදවන්නාවූ, දයාවෙන් හා සත්‍යයෙන් මහත්වූ දෙවිකෙනෙක්ය,
16 මා දෙසට හැරී මට කරුණාකළ මැනව; ඔබගේ මෙහෙකරුවාට ඔබගේ ශක්තිය දී, ඔබගේ මෙහෙකාරීගේ පුත්‍රයා ගැළෙවුව මැනව.
17 ස්වාමිනි, ඔබ මට උපකාරකොට සැනසූ බැවින්, මට වෛරවෙන්නන් විසින් දැක ලජ්ජාවන පිණිස, මා සඳහා ශුද්ධ නිමිත්තක් පෙන්නුව මැනව.



ගීතාවලිය 87

1 උන්වහන්සේගේ [නුවර] අත්තිවාරම ශුද්ධ කඳුවලය.
2 ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටුවලට ප්‍රේමවනසේක.
3 එම්බා දෙවියන්වහන්සේගේ නුවර, ඔබ ගැන කීර්තිමත් දේ කියා තිබේ.
4 මා අඳුනන්නන් අතරෙහි මෙන් රාහබ් සහ බබිලෝනිය ගැන සඳහන්කරන්නෙමි. පිලිස්තියා සහ තීර්ද කූෂ් රටද බලව; මේ තෙමේ එහි උපන්නේය.
5 එසේය, සියොන් ගැන: ඔහුද මොහුද ඈ තුළ උපන්නේයයි කියනු ලබන්නේය; මහෝත්තමයාණෝම ඈ ස්ථිර කරනසේක.
6 ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන්ගේ නම් ලියන කල: මේ තෙමේ එහි උපන්නේයයි ගණන්ගන්නාසේක.
7 ගී කියන්නෝද නටන්නෝද: මාගේ උල්පත් සියල්ල ඔබ තුළෙහියයි කියන්නෝය.



ගීතාවලිය 88

1 මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනි, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි.
2 මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණේවා; ඔබගේ කන මාගේ මොරගැසීමට යොමුකළ මැනව.
3 මක්නිසාද මාගේ ආත්මය දුකින් පිරී තිබේ, මාගේ ප්‍රාණය ෂෙයෝලට ළංවේ.
4 වළට බසින්නන් සමඟ ගණන්ගනු ලබමි, පිහිටක් නැති කෙනෙකු මෙන් වෙමි.
5 ඔබ විසින් තවත් සිහිනොකරන්නාවූ, ඔබගේ අත කෙරෙන් පහව ගියාවූ, මරනාලදුව මිනීවළේ නිදනවුන් මෙන්, මළවුන් අතරේ හරිනාලද්දෙමි.
6 ඔබ ඉතා ගැඹුරු වළෙහි අඳුරු තැන්වලත් ගැඹුරු තැන්වලත් මා තැබූසේක.
7 ඔබගේ උදහස මා පිට බරවේ, ඔබගේ සියලු රැළවලින් ඔබ මට පීඩා කළසේක.
8 මා අඳුනන්නන් ඔබ මාගෙන් දුරු කළසේක; ඔවුන්ට මා පිළිකුලක් කළසේක. හිරකරනලදුව පිටත එන්ට නොහැක්කෙමි.
9 පීඩාව නිසා මාගේ ඇස ක්ෂයවේ. ස්වාමිනි, දවස්පතා ඔබට යාච්ඤා කෙළෙමි, ඔබ දෙසට මාගේ අත් දිගුකෙළෙමි.
10 ඔබ මළවුන්ට ආශ්චර්යයන් දක්වනසේක්ද? මළාහු නැගිට ඔබට ප්‍රශංසාකරන්නෝද?
11 ඔබගේ කරුණාගුණය මිනීවළේදීත් ඔබගේ විශ්වාසකම විනාශස්ථානයෙහිදීත් ප්‍රකාශකරනු ලබන්නේද?
12 ඔබගේ ආශ්චර්යයෝ අඳුරේදීත් ඔබගේ ධර්මිෂ්ඨකම මතක් නොවෙන දේශයේදීත් දන්වනු ලබන්නේද?
13 එහෙත් ස්වාමිනි, මම ඔබට මොරගැසීමි; උදය මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණෙන්නේය.
14 ස්වාමිනි, කුමට මාගේ ආත්මය ඉවතලනසේක්ද? කුමට ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා ගන්නාසේක්ද?
15 බාල වයසේ පටන් මම පීඩිතව මරණාසන්නවෙමි. ඔබගෙන් පැමිණෙන භීති විඳින කල විකලවෙමි.
16 ඔබගේ තද උදහස මා මතුයෙන් ගියේය; ඔබගෙන් පැමිණෙන භීති මා සිඳදැම්මේය.
17 ඒවා දවස මුළුල්ලේම ජලය මෙන් මා වටකර ආයේය; එකට රැස්ව මා වටකෙළේය.
18 ප්‍රේමකරන්නාත් මිත්‍රයාත් ඔබ මා කෙරෙන් දුරුකොට, මා අඳුනන්නන් අඳුරෙහි හෙළූසේක.



ගීතාවලිය 89

1 ස්වාමීන්ගේ කරුණාවන් ගැන සදාකල් ගීතිකාකරන්නෙමි, මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි.
2 මක්නිසාද: කරුණාව සදාකාලේටම පිහිටුවනු ලබන්නේය, ඔබගේ විශ්වාසකම ස්වර්ගයන්හිම ඔබ පිහිටුවනසේකැයි කීයෙමි.
3 ඔබේ වංශය සදාකල් ස්ථිර කරන්නෙමි, ඔබේ සිංහාසනය සියලු පරම්පරා වලට පිහිටුවන්නෙමියි කියා
4 මාගේ තෝරාගත් තැනැත්තා සමඟ ගිවිසුමක් කළෙමි, මාගේ මෙහෙකරුවූ දාවිත්ට දිවුරුම් දුනිමි.
5 ස්වාමිනි, ස්වර්ගයෝ ඔබගේ ආශ්චර්යයන් වර්ණනාකරන්නෝය; ශුද්ධවන්තයන්ගේ රැස්වීමේදී ඔබගේ විශ්වාසකම වර්ණනාකරනු ලබන්නේය.
6 මක්නිසාද ආකාශයෙහි කවරෙක් ස්වාමීන්ට සමානකළ හැකිද? බලවතුන්ගේ පුත්‍රයන්ගෙන් කවරෙක් ස්වාමීන්ට සමාන වන්නේද?
7 උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.
8 සේනාවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, යාඃ නම්වූ ඔබ හා සමාන බලසම්පන්න කෙනෙක් කවරේද? ඔබගේ විශ්වාසකම ඔබ හාත්පසය.
9 ඔබ මුහුදේ උඩඟුකම දමනයකරනසේක. එහි රැළ නගින කල ඒවා නිශ්චල කරනසේක.
10 රාහබ් 89:10 එනම්, මිසර දේශය. මරනු ලැබූ කෙනෙකු මෙන් කැබලිකොට බින්දසේක; ඔබගේ බලය නමැති බාහුවෙන් ඔබගේ සතුරන් පළවාහැරියසේක.
11 ස්වර්ගයෝ ඔබගේය, පොළොවත් ඔබගේය. ලෝකයද එහි පූර්ණකමද ඔබ පිහිටෙවුසේක.
12 උතුරත් දකුණත් මැවුවේ ඔබය. තාබොර් සහ හෙර්මොන් ඔබගේ නාමය කෙරෙහි ප්‍රීතිවෙති.
13 ඔබට බලවත් බාහුවක් ඇත්තේය ඔබගේ අත ශක්තිමත්ය, දකුණත උසස්ය.
14 ධර්මිෂ්ඨකමත් යුක්තියත් ඔබගේ සිංහාසනයේ අත්තිවාරමය. කරුණාවත් සැබෑකමත් ඔබට පෙරටුව යති.
15 ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය. ස්වාමිනි, ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති.
16 ඔව්හු දවස මුළුල්ලේම ඔබගේ නාමය ගැන ප්‍රීතිමත්වෙති. ඔබගේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන උසස් භාවයට පැමිණෙති.
17 මක්නිසාද ඔවුන්ගේ ශක්තියේ අලංකාරය නම් ඔබය. ඔබගේ කරුණාවෙන් අපේ අඟ උසස්වන්නේය.
18 මක්නිසාද අපේ පලිහ ස්වාමීන්ටත් අපේ රජ්ජුරුවන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේටත් අයිතිය.
19 ඔබගේ ශුද්ධවන්තයන්ට ඔබ දර්ශනයකින් කථාකොට: උපකාරකිරීමේ භාරය බලවන්තයෙකුට පැවරුවෙමි; සෙනඟ අතරෙන් තෝරාගත් කෙනෙකු උසස්කෙළෙමි.
20 මාගේ මෙහෙකරුවූ දාවිත් සොයාගෙන, මාගේ ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළෙමි.
21 මාගේ හස්තය ඔහු සමඟ ස්ථිරවන්නේය; මාගේ බාහුවද ඔහු ශක්තිමත්කරන්නේය.
22 සතුරා ඔහුට පීඩා නොකරන්නේය; දුෂ්ටකමේ පුත්‍රයා ඔහුට හිංසා නොකරන්නේය.
23 ඔහුගේ එදිරිකාරයන් ඔහු ඉදිරියෙහි යටත්කරන්නෙමි, ඔහුට වෛරවන්නන්ට පහරදෙන්නෙමි.
24 මාගේ විශ්වාසකමත් මාගේ කරුණාවත් ඔහු සමඟ වන්නේය; මාගේ නාමයෙන් ඔහුගේ අඟ උසස්වන්නේය.
25 ඔහුගේ අත මුහුද පිටත් ඔහුගේ දකුණු අත ගංගා පිටත් තබන්නෙමි.
26 ඔහු මට මොරගසා: ඔබ මාගේ පියාණෝය, මාගේ දෙවියන්වහන්සේය, මාගේ ගැළවීමේ පර්වතයයයි කියන්නේය.
27 මමද ඔහු මාගේ කුලුඳුලා කොටද පොළොවේ රජුන්ට උත්තමයා කොට ද තබන්නෙමි.
28 මාගේ කරුණාව සදාකල් ඔහු උදෙසා පවත්වන්නෙමි, මාගේ ගිවිසුම ඔහු සමඟ ස්ථිරව පවතින්නේය.
29 ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය ස්වර්ගයේ දවස් මෙන්ද පවතින්ට සලස්වන්නෙමි.
30 ඔහුගේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව අත්හැර, මාගේ විනිශ්චයවල නොහැසිරෙත් නම්,
31 මාගේ පනත් කඩකොට, මාගේ ආඥාවන් රක්ෂා නොකෙරෙත් නම්,
32 ඔවුන්ගේ අපරාධයට ඉපෙලන්ද ඔවුන්ගේ අයුතුකමට පහරවලින්ද දඬුවම්කරන්නෙමි.
33 එහෙත් මාගේ කරුණාව ඔහු කෙරෙන් සහමුලින්ම අහක්කර නොගන්නෙමි, මාගේ විශ්වාසකමත් පිරිෙහන්ට නොදෙන්නෙමි.
34 මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි, මාගේ තොල්වලින් නික්මුණු දේද වෙනස් නොකරන්නෙමි.
35 මාගේ ශුද්ධකම කියා එක් වරක් දිවිරීමි; දාවිත්ට බොරු නොකියන්නෙමි;
36 ඔහුගේ වංශය සදාකල්ද ඔහුගේ සිංහාසනය මා ඉදිරියෙහි සූර්යයා මෙන්ද පවතින්නේය.
37 එය චන්ද්‍රයා මෙන්ද ආකාශයෙහි විශ්වාස සාක්ෂිය මෙන්ද සදාකල් පිහිටුවනු ලබන්නේයයි කීසේක.
38 එහෙත් ඔබ පහකොට එපාකළ සේක, ඔබගේ අභිෂේකලත් තැනැත්තා සමඟ උදහස්වූසේක.
39 ඔබගේ මෙහෙකරුවාගේ ගිවිසුමට ඔබ පිළිකුල්කළසේක. ඔහුගේ ඔටුන්න බිම හෙළා දූෂණය කළසේක.
40 ඔහුගේ සියලු වැටවල් ඔබ බිඳ හෙළූසේක; ඔහුගේ බලකොටු ඔබ විනාශ කළසේක.
41 මග යන සියල්ලෝ ඔහුගෙන් කොල්ලකති. තම අසල්වාසීන්ට ඔහු නින්දා භූමියක්වී සිටී.
42 ඔබ ඔහුගේ එදිරිකාරයන්ගේ දකුණත උසස්කළසේක; ඔහුගේ සියලු සතුරන් ප්‍රීතිකෙරෙවුසේක.
43 එසේය, ඔබ ඔහුගේ කඩු මුවාත නැමූසේක, සටෙන්දී ඔහුට කෙළින් සිටින්ට නුදුන්සේක.
44 ඔහුගේ දීප්තිය ඔබ කෙළවරකළසේක, ඔහුගේ සිංහාසනය බිම හෙළූසේක.
45 ඔහුගේ යෞවන දවස් ලුහුඬුකොට, ඔහු ලජ්ජාවෙන් වැසූසේක.
46 ස්වාමිනි, ඔබ කොපමණ කල් නිරන්තරයෙන් සැඟවෙනසේක්ද? ඔබගේ උදහස කොපමණ කල් ගිනි මෙන් ඇවිළෙන්නේද?
47 මාගේ කාලය කොපමණ ලුහුඬුදැයි සිහිකළ මැනව. ඔබ සියලු මනුෂ්‍ය පුත්‍රයන් මැවුවේ කුමන නිෂ්ඵලකමකටද!
48 මරණය නොදැක ජීවත්වෙන, ෂෙයෝලේ බලයෙන් ස්වකීය ප්‍රාණය ගළවාගන්න මනුෂ්‍යයා කවරේද?
49 ස්වාමිනි, ඔබගේ විශ්වාසකමින් දාවිත්ට දිවුළාවූ ඔබගේ පළමු කරුණාවල් කොයිද?
50 ස්වාමිනි, ඔබගේ මෙහෙකරුවන්ට පැමිණි නින්දාව, එනම් සියලු බලවත් මනුෂ්‍ය වර්ගයන්ගෙන් ලැබෙන බර, මාගේ ළයෙහි දරන බව සිහිකළ මැනව.
51 ස්වාමිනි, ඔබගේ සතුරෝ නින්දා කළෝය. ඔබගේ අභිෂේකලත් තැනැත්තාගේ පා සලකුණුවලට නින්දාකළෝය.
52 ස්වාමීන්ට සදාකල් ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.



ගීතාවලිය 90

1 ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.
2 කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය.
3 ඔබ මනුෂ්‍යයා විනාශයට 90:3 හෙවත්, දූවිල්ලට. හරවමින්: මනුෂ්‍ය පුත්‍රයෙනි, හැරී වරෙව්යයි කියනසේක.
4 මක්නිසාද ඔබ ඉදිරියෙහි අවුරුදු දහයක් පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය.
5 ඔබ සැඩපාරකින් මෙන් ඔවුන් ගෙනයනසේක; ඔව්හු නින්දක් මෙන්ය. උදය කාලයේදී ඔව්හු වැඩෙන්නාවූ තණකොළ සමානවෙති.
6 උදයේ ඒවා සශ්‍රීකවෙමින් වැඩෙයි; සවස කපනු ලැබ වියළීයයි.
7 මක්නිසාද ඔබගේ කෝපයෙන් අපි විනාශවෙමුව, ඔබගේ උදහසින් කැලඹෙමුව.
8 ඔබ අපේ අයුතුකම් ඔබ ඉදිරියෙහිද අපේ රහස් පව් ඔබගේ මුහුණේ එළියෙහිද තැබූසේක.
9 මක්නිසාද අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවීයයි. අපේ අවුරුදු කථාවක් මෙන් කෙළවරකරමුව.
10 අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.
11 ඔබගේ කෝපයේ බලයත් ඔබට භයවිය යුතු ප්‍රමාණයේ හැටියට ඔබගේ උදහසත් දන්නේ කවුද?
12 ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.
13 ස්වාමිනි, හැරී අවමැනව; කොපමණ කල්ද? ඔබගේ මෙහෙකරුවන් ගැන තැවුණ මැනව.
14 අපේ සියලු දවස්වලදී ප්‍රීතිසන්තෝෂ වෙන පිණිස, උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙවුව මැනව.
15 ඔබ අපට පීඩාකළ දවස් ගණන ලෙසද අප විසින් නපුර දුටු අවුරුදු ගණන ලෙසද අප සන්තෝෂකළ මැනව.
16 ඔබගේ ක්‍රියාව ඔබගේ මෙහෙකරුවන්ටත් ඔබගේ තේජස ඔවුන්ගේ දරුවන් කෙරෙහිත් පෙනේවා.
17 අපේ දෙවිවූ ස්වාමීන්ගේ අලංකාරය අප කෙරෙහි වේවා. අපේ අත්වල වැඩ අප කෙරෙහි ස්ථිර කළ මැනව; එසේය, අපේ අත්වල වැඩ ස්ථිරකළ මැනව.



ගීතාවලිය 91

1 මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.
2 උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.
3 මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද ඔබ මුදාහරිනසේක.
4 උන්වහන්සේ ස්වකීය පියාපතින් ඔබ වසනසේක, ඔබ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය.
5 රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,
6 අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් ඔබ භය නොවන්නෙහිය.
7 ඔබේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය ඔබට ළං නොවන්නේය.
8 ඔබේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.
9 මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. ඔබ මහෝත්තමයාණන් ඔබේ වාසස්ථානය කරගත්තෙහිය;
10 ඔබට කිසි නපුරක් නොපැමිණෙන්නේය, ඔබේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.
11 මක්නිසාද ඔබේ සියලු මාර්ගවලදී ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට ඔබ ගැන අණදෙනසේක.
12 ඔව්හු ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට ඔබ උසුලාගන්නෝය.
13 ඔබ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.
14 ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.
15 ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.
16 දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.



ගීතාවලිය 92

1 ස්වාමීන්ට ස්තුතිකිරීමත්, මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කීමත් යහපත.
2 තත් දසයේ වීණාවෙන්ද කුඩා වීණාවෙන්ද මහා වීණාවේ ගරුවූ ශබ්දයෙන්ද
3 උදය ඔබගේ කරුණාගුණයත් සෑම රාත්‍රියේම ඔබගේ විශ්වාසකමත් ප්‍රකාශකිරීම යහපත.
4 මක්නිසාද ස්වාමිනි, ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක. ඔබගේ හස්තකර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.
5 ස්වාමිනි, ඔබගේ ක්‍රියා කොපමණ මහත්ද! ඔබගේ කල්පනා ඉතා ගැඹුරුය.
6 මේක මෝඩ මනුෂ්‍යයා නොදනියි; අඥානයා තේරුම් නොගනියි;
7 දුෂ්ටයන් තණකොළ මෙන් වැඩෙන්නෙත්, අයුතුකම්කරන සියල්ලන් සඵලවන්නෙත්, ඔවුන් සදාකාලේට විනාශවන පිණිසය.
8 නුමුත් ස්වාමිනි, ඔබ සදාකල්ම උසස්ථානයෙහි වැඩසිටිනසේක.
9 මක්නිසාද ස්වාමිනි, ඔබගේ සතුරෝ, එසේය, ඔබගේ සතුරෝ, විනාශවන්නෝය; අයුතුකම්කරන සියල්ලෝම විසුරුවනු ලබන්නෝය.
10 නුමුත් ඔබ කුළු ගොනාගේ අඟ මෙන් මාගේ අඟ උස්කළසේක; මම අලුත් තෙලින් ගාගන සිටිමි.
11 මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසට පෙනුණේය, මට විරුද්ධව නැගිටින්නාවූ නපුරුකම්කරන්නන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ කන්වලට ඇසුණේය.
12 ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය.
13 ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය.
14 ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස,
15 ඔව්හු මහලු වයසේදීත් ඵලදෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීකවන්නෝය.



ගීතාවලිය 93

1 ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටිනසේක; ස්වාමීන්වහන්සේ පැළඳ සිටිනසේක, උන්වහන්සේ ශක්තිය නමැති ඉඟපටිය බැඳගන සිටිනසේක. ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ.
2 ඔබගේ සිංහාසනය ආදියේ පටන් පිහිටා තිබේ. ඔබ සදාකාලයේ පටන් සිටිනසේක.
3 ස්වාමිනි, ජල ධාරාවෝ නැගුණෝය, ජල ධාරාවෝ ශබ්දනැගුවෝය; ජල ධාරාවෝ රැළ නඟිති.
4 මහත් ජල ඝෝෂාවන්ටත් මුහුදේ බලවත් රැළවලටත් වඩා උසස්ථානයෙහි ස්වාමීන්වහන්සේ බලවත්ය.
5 ඔබගේ ශික්ෂා ඉතා ස්ථිරය. ස්වාමිනි, සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය.



ගීතාවලිය 94

1 පළිගැන්ම අයත් දෙවිවූ ස්වාමිනි, පළිගැන්ම අයත් දෙවියන්වහන්ස, බැබළුව මැනව.
2 පොළොවේ විනිශ්චයකාරයාණෙනි, නැගුටුණ මැනව. උඩඟුවූවන්ට ප්‍රතිඵල දුන මැනව.
3 ස්වාමිනි, දුෂ්ඨයෝ කොපමණ කල්, දුෂ්ටයෝ කොපමණ කල් ජය ඝෝෂා කරන්නෝද?
4 ඔව්හු දොඩවති, අහංකාරලෙස කථා කෙරෙති. අයුතුකම්කරන සියල්ලෝම පාරට්ටු කරගනිති.
5 ස්වාමිනි, ඔව්හු ඔබගේ සෙනඟ කැබලිකරති, ඔබගේ උරුමයට පීඩාකෙරෙති.
6 ඔව්හු වැන්දඹුව සහ විදේශියාද නසති, පියා නැත්තන් මරති.
7 ස්වාමීන්වහන්සේ නොදක්නාසේක, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නොසලකනසේකැයි කියති.
8 සෙනඟ අතරේ මෝඩයෙනි, කල්පනාකරව්. ආඥානයෙනි, ඔබ සැම කවදා ඥානවන්තවන්නහුද?
9 කන පිහිටෙවු තැනන්වහන්සේට නොඇසෙන්නේද? ඇස සෑදූ තැනන්වහන්සේට නොපෙනෙන්නේද?
10 ජාතීන්ට දඬුවම්කරන තැනන්වහන්සේ, එනම් මනුෂ්‍යයාට ඥානය උගන්වන්නාවූ තැනන්වහන්සේ, දඬුවම් නොකරනසේක්ද?
11 මනුෂ්‍යයාගේ සිතිවිලි නිෂ්ඵල බව ස්වාමීන්වහන්සේ දන්නාසේක.
12 ස්වාමිනි, දුෂ්ටයාට වළ හෑරෙන තුරු, විපත්ති දවස්වලින් නිවාඩු දෙන පිණිස,
13 ඔබ විසින් දඬුවම්කොට ඔබගේ ව්‍යවස්ථාවෙන් උගන්වනු ලබන මනුෂ්‍යයා පිනැත්තෙක්ය.
14 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.
15 මක්නිසාද විනිශ්චය ධර්මිෂ්ඨකමට හැරෙන්නේය. අවංක සිත් ඇති සියල්ලෝ එය අනුව යන්නෝය.
16 නපුරුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට නැගිටින්නේ කවුද? අයුතුකම්කරන්නන්ට විරුද්ධව මාගේ පක්ෂයට සිටින්නේ කවුද?
17 ස්වාමීන්වහන්සේ මට පිහිට නුවූසේක්නම් මාගේ ආත්මය නිශ්ශබ්ද ස්ථානයෙහි වාසයට ළංවිය.
18 මාගේ පාද ලිස්සන්නේයයි මා කීකල, ස්වාමිනි, ඔබගේ කරුණාව මා ඉසිලීය.
19 මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි.
20 පනතෙන් නපුර යොදන්නාවූ දුෂ්ටකමේ සිංහාසනය ඔබ හා සම්බන්ධ වන්නේද?
21 ධර්මිෂ්ඨයාගේ ප්‍රාණයට විරුද්ධව ඔව්හු රැස්ව නිදොස් 94:21 හෙවත්, නිදොස් තැනැත්තා. ලෙය වරදට පත්කරති.
22 නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ බලකොටුව වූසේක; මාගේ දෙවියන්වහන්සේ මාගේ ආරක්ෂා පර්වතය වූසේක.
23 උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම ඔවුන් පිටට පෙරළූසේක, ඔවුන්ගේම නපුරුකමෙහි ඔවුන් සිඳ දමනසේක; අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් සිඳදමනසේක.



ගීතාවලිය 95

1 එව්, ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.
2 ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු.
3 මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය.
4 පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතෙහිය; කඳු ශිඛරද උන්වහන්සේගේය.
5 මුහුද උන්වහන්සේගේය, උන්වහන්සේ එය මැවූසේක; උන්වහන්සේ ස්වකීය අත්වලින් වියළි බිම තැනූසේක.
6 එව්, නමස්කාරකරමින් වැඳවැටෙමු; අපේ මැවුම්කාර ස්වාමින් ඉදිරියේ දණගසමු.
7 මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ ඔබ සැම උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!
8 විවාදයෙහි මෙන්ද වනාන්තරයේදී පරීක්ෂාකළ දවසෙහි මෙන්ද ඔබ සැමගේ සිත් දැඩිකර නොගනිව්.
9 එකල ඔබ සැමගේ පියවරු මා පරීක්ෂා කොට මා විමසා මාගේ ක්‍රියාව දුටුවෝය.
10 මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී: ඔව්හු සිතින් මුළාවයන සෙනඟක්ය, ඔව්හු මාගේ මාර්ගයන් දැන නොගත්තෝයයි කීයෙමි.
11 එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.



ගීතාවලිය 96

1 ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගීතිකාකරව්; පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ගීතිකාකරව්.
2 ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.
3 උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.
4 මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය; උන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා භයංකරය.
5 මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.
6 ගෞරවයත් මහිමතාවත් උන්වහන්සේ ඉදිරියෙහිය. ශක්තියත් අලංකාරයත් උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිය.
7 මනුෂ්‍ය වර්ගයෙනි, ස්වාමීන්ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන්ට දෙව්.
8 ස්වාමීන්ගේ නාමයට දිය යුතු මහිමය දෙව්. පූජාවක් රැගෙන උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුල්වව්.
9 ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්. පොළොවේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් සිටිව්.
10 ස්වාමීන්වහන්සේ රජකම්කරනසේක කියාත්, නොසෙලවෙන ලෙස ලෝකය පිහිටා තිබේය කියාත්, උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින් විනිශ්චයකරනසේක කියාත් ජාතීන් අතරේ කියව්.
11 ආකාශය සන්තෝෂවේවා, පොළොව ප්‍රීතිවේවා; මුහුදත් එහි පූර්ණකමත් ගර්ජනාකෙරෙත්වා;
12 කෙත සහ එහි ඇති සියල්ලද ප්‍රීතිමත් වේවා; එවිට වනයෙහි සියලු ගස් ස්වාමීන් ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියන්නේය.
13 මක්නිසාද උන්වහන්සේ එනසේක; පොළොව විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් පොළොවද, ස්වකීය සැබෑකමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චයකරනසේක.



ගීතාවලිය 97

1 ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; පොළොව ප්‍රීති වේවා; ද්වීප සමූහය සන්තෝෂවෙත්වා.
2 වලාකුල් සහ අන්ධකාරය උන්වහන්සේ හාත්පසය. ධර්මිෂ්ඨකම සහ යුක්තිය උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරමය.
3 උන්වහන්සේ ඉදිරියේ ගින්නක් යමින් හාත්පස උන්වහන්සේගේ විරුද්ධකාරයන් දවයි.
4 උන්වහන්සේගේ විදුලි ලෝකය ආලෝකකෙළේය. පොළොව ඒ දැක කම්පාවිය.
5 හෙල් ස්වාමීන් ඉදිරියෙහි, එනම් මුළු පොළොවේ ස්වාමීන් ඉදිරියෙහි, ඉටි මෙන් උණුවූය.
6 ආකාශය උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරයි, සියලු මනුෂ්‍ය වර්ගයෝ උන්වහන්සේගේ මහිමය දුටුවෝය.
7 රූපවලට මෙහෙකරන්නාවූ, පිළිම ගැන පාරට්ටුකරගන්නාවූ සියල්ලෝ ලජ්ජාවෙත්වා. දෙවිවරු සියල්ලෙනි, උන්වහන්සේට නමස්කාරකරව්.
8 ස්වාමිනි, සියොන් අසා සන්තෝෂවූවාය, යූදාගේ දූවරු ඔබගේ විනිශ්චයන් නිසා ප්‍රීතිවූය.
9 මක්නිසාද ස්වාමිනි, ඔබ මුළු පොළොවට උතුම්සේක. ඔබ සියලු දෙවිවරුන්ට වඩා අතිශයින් උසස්ව සිටිනසේක.
10 ස්වාමීන්ට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්. උන්වහන්සේ ස්වකීය ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂාකරනසේක; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවන සේක.
11 ධර්මිෂ්ඨයන්ට එළියත් අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරනලද්දේය.
12 ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවව්. උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.



ගීතාවලිය 98

1 ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මක්නිසාද උන්වහන්සේ ආශ්චර්යයන් කළසේක. ස්වකීය දකුණු අතින්ද ශුද්ධවූ බාහුවෙන්ද තමන්වහන්සේට ගැළවීම ඉෂ්ටකරගත්සේක.
2 ස්වාමීන්වහන්සේ ස්වකීය ගැළවීම දැන්වූසේක. ස්වකීය ධර්මිෂ්ඨකම ජාතීන්ගේ ඇස් හමුයෙහි එළිදරව්කළසේක.
3 උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශය කෙරෙහි ඇති ස්වකීය කරුණාවත් විශ්වාසකමත් සිහිකළසේක. පොළොවේ සියලු සීමාවෝ අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දුටුවෝය.
4 පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීති නාද පවත්වව්. ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්.
5 ස්වාමීන්ට වීණාවෙන්ද වීණාවෙන් හා ගී නාදයෙන්ද ගායනා කරව්.
6 හොරණෑවලින්ද නළා ශබ්දයෙන්ද රජවූ ස්වාමීන් ඉදිරියේ ප්‍රීතිනාද පවත්වව්.
7 මුහුදද එහි ඇති සියල්ලද ගර්ජනාකෙරෙත්වා; ලෝකයද එහි වැසියෝද ගර්ජනාකෙරෙත්වා.
8 ස්වාමීන් ඉදිරියෙහි ජල ධාරාවෝ අත් පොළසන්දෙත්වා; හෙල්ද එක්ව ප්‍රීතියෙන් ගී කියත්වා;
9 මක්නිසාද උන්වහන්සේ ලෝකය විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ලෝකය ධර්මිෂ්ඨකමින්ද මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින්ද විනිශ්චයකරනසේක.



ගීතාවලිය 99

1 ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳිනසේක; පොළොව සෙලවේවා.
2 ස්වාමීන්වහන්සේ සියොන්හි උතුම්ය; උන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා උසස්ය.
3 ඔව්හු ඔබගේ උතුම්වූ භයංකරවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; උන්වහන්සේ ශුද්ධසේක.
4 රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රියවෙයි; සාධාරණකම පිහිටුවන්නේ ඔබය, යාකොබ්හි යුක්තියත් ධර්මිෂ්ඨකමත් සිදුකරන්නේ ඔබය.
5 අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ පාපුටුව වෙත නමස්කාරකරව්. උන්වහන්සේ ශුද්ධසේක.
6 උන්වහන්සේගේ පූජකයන් අතරේ මෝසෙස් සහ ආරොන්ද උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන්නන් අතරේ සාමුවෙල්ද ස්වාමීන්ට යාච්ඤාකළෝය, උන්වහන්සේද ඔවුන්ට උත්තරදුන්සේක.
7 උන්වහන්සේ වලා ටැඹින් ඔවුන්ට කථාකළසේක. ඔව්හු උන්වහන්සේගේ ශික්ෂා හා ඔවුන්ට දුන් පනත පැවැත්වූවෝය.
8 අපේ දෙවිවූ ස්වාමිනි; ඔබ ඔවුන්ට උත්තරදුන්සේක. ඔබ ඔවුන්ගේ ක්‍රියාවලට පළිගත් නුමුත්, ඔවුන්ට කමාව දුන් දෙවිකෙනෙක් වූසේක.
9 අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාරකරව්; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ශුද්ධසේක.



ගීතාවලිය 100

1 පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව්.
2 ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙකරව්. ගීතිකාකරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණවේ.
3 ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවූසේක, අපි උන්වහන්සේගේය; අපි උන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය.
4 ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණවේ. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.
5 මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය; උන්වහන්සේගේ කරුණාව සදාකාලේටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.



ගීතාවලිය 101

1 කරුණාවද යුක්තියද ගැන ගී කියන්නෙමි. ස්වාමිනි, ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
2 නුවණැතිව නිර්දෝෂ මාර්ගයක හැසිරෙන්නෙමි. ඔබ කවදා මා වෙත එනසේක්ද? මම නිදොස් සිතකින් මාගේ ගෙයි හැසිරෙන්නෙමි.
3 මාගේ ඇස් හමුයෙහි කිසි නීච දෙයක් තබා නොගන්නෙමි. ඉවතට හැරෙන්නන්ගේ ක්‍රියාව නූරුස්සමි; එය මට නොඇලෙන්නේය.
4 මුරණ්ඩු සිතක් මා කෙරෙන් දුරුවන්නේය. නපුරු දෙයක් දැන නොගන්නෙමි.
5 යමෙක් ස්වකීය අසල්වාසියා ගැන රහසේ කේලාම්කියයිද ඔහු විනාශකරන්නෙමි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොඉවසන්නෙමි.
6 දේශයේ විශ්වාසකටයුතු අය මා සමඟ වසන පිණිස ඔවුන් කෙරෙහි මාගේ ඇස් යොමා තිබෙන්නේය. නිර්දෝෂ මාර්ගයෙක්හි හැසිරෙන තැනැත්තේම මට මෙහෙකරන්නේය.
7 වංචාකරන කිසිවෙක් මාගේ ගෙයි නොවසන්නේය; බොරුකියන කිසිවෙක් මාගේ ඇස් හමුයෙහි පිහිටුවනු නොලබන්නේය.
8 අයුතුකම් කරන සියල්ලන් ස්වාමීන්ගේ නුවරින් සිඳදමන පිණිස දේශයේ සියලු දුෂ්ටයන් උදයක් පාසා විනාශකරන්නෙමි.



ගීතාවලිය 102

1 ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව, මාගේ මොරගැසීම ඔබ වෙතට පැමිණේවා.
2 මට විපත්ති පැමිණි දවසේදී ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. මා දෙසට ඔබගේ කන යොමුකළ මැනව; මා අඬගසන දවසේ ඉක්මනින් මට උත්තරදුන මැනව.
3 මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.
4 මාගේ සිත තණකොළ මෙන් තැළී වියළී තිබේ; මක්නිසාද ආහාර ගැනීම මට මතක නැතිවෙයි.
5 මාගේ සුසුම්ලීමේ ශබ්දය නිසා මාගේ ඇට මසට ඇලෙයි.
6 මම වනයේ කරවැල්කොකෙකු සමානවෙමි; පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.
7 මම නිදා නොගෙන වහල පිට තනිව සිටින ගේකුරුල්ලෙකු සමානවෙමි.
8 මාගේ සතුරෝ දවස මුළුල්ලේ මට නින්දාකෙරෙති; මට ක්‍රෝධවන්නෝ මා මතක්කොට ශාපකරති.
9 ඔබගේ කෝපය හා උදහස නිසා ආහාර මෙන් අළු අනුභවකෙළෙමි,
10 මාගේ බිම වැලපීමෙන් මිශ්‍රකෙළෙමි. මක්නිසාද ඔබ මා ඔසවා පහතට හෙළූසේක.
11 මාගේ දවස් බැසයන සෙවණැල්ලක් මෙන්ය; මම තණකොළ මෙන් වියළී සිටිමි.
12 එහෙත් ස්වාමිනි, ඔබ සදාකල් වැඩ ඉන්නසේක; ඔබ සිහිවීමද සියලු පරම්පරාවලට වන්නේය.
13 ඔබ නැගිට සියොන්ට කරුණාකරනසේක. ඊට අනුකම්පාකළ යුතු කාලය දැන්ය, එසේය, නියම කාලය පැමිණ තිබේ.
14 මක්නිසාද ඔබගේ මෙහෙකරුවෝ එහි ගල්වලට ප්‍රියවෙති, එහි දූවිල්ලට අනුකම්පාකෙරෙති.
15 එහෙයින් ජාතීහු ස්වාමීන්ගේ නාමයටත් පොළොවේ සියලු රජවරු ඔබගේ මහිමයටත් භයවන්නෝය.
16 මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් ගොඩනැගූසේක, ස්වකීය මහිමයෙන් ප්‍රකාශවූසේක;
17 උන්වහන්සේ අසරණයන්ගේ යාච්ඤාව සැලකූසේක, ඔවුන්ගේ යාච්ඤාව හෙළා නොදැක්කසේක.
18 මෙය මතු එන පරම්පරාව උදෙසා ලියනු ලබන්නේය. මවනු ලබන සෙනඟක්ද ස්වාමීන්ට ප්‍රශංසාකරන්නේය.
19 මනුෂ්‍ය වර්ගයන්ද රාජ්‍යවල්ද ස්වාමීන්ට මෙහෙකිරීමට එකට රැස් වූ කල,
20 මනුෂ්‍යයන් විසින් සියොන්හිදී ස්වාමීන්ගේ නාමයත් යෙරුසලමේදී උන්වහන්සේගේ ප්‍රශංසාවත් ප්‍රකාශකරන පිණිස,
21 හිරකාරයාගේ සුසුම්ලීම අසන්ටත් මරණයට නියමවූවන් මුදන්ටත්
22 ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධවූ උසස්ථානයේ සිට පහළ බැලූසේක; උන්වහන්සේ ස්වර්ගයේ සිට පොළොව බැලූසේක.
23 උන්වහන්සේ මාර්ගයේදී මාගේ ශක්තිය හීනකොට, මාගේ දවස් ලුහුඬුකළසේක,
24 මමද කථාකොට: මාගේ දෙවියන්වහන්ස, මාගේ දවස් මාධ්‍යයෙහිදී, මා අහක් නොකළ මැනව. ඔබගේ අවුරුදු සියලු පරම්පරාවලට වන්නේයයි කීයෙමි.
25 ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ.
26 ඒවා විනාශවන්නේය, නුමුත් ඔබ පවත්නාසේක. එසේය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය; උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරුකරනසේක, ඒවාද මාරුවන්නේය.
27 නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු කෙළවර නොවන්නේය.
28 ඔබගේ මෙහෙකරුවන්ගේ දරුවෝ පවතින්නෝ, ඔවුන්ගේ වංශයද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේය.



ගීතාවලිය 103

1 මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්.
2 මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව.
3 උන්වහන්සේ ඔබේ සියලු අයුතුකම් කමාකරනසේක; ඔබේ සියලු රෝග සුවකරනසේක;
4 ඔබේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් ඔබ සරසනසේක.
5 රාජාලියෙකු මෙන් ඔබ සැමගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබ සැමගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.
6 ස්වාමීන්වහන්සේ පීඩා විඳින සියල්ලන් උදෙසා ධර්මිෂ්ඨ ක්‍රියා හා යුක්තිය ඉෂ්ටකරනසේක.
7 උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තමන් ක්‍රියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් දැන්වූසේක.
8 ස්වාමීන්වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක, කෝ‍පය අතිශයෙන් කරුණාවන්තය.
9 උන්වහන්සේ නිතර තරවටු නොකරනසේක; සදාකාලයට කෝපය නොපවත්වන සේක,
10 උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක.
11 මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.
12 නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක.
13 පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක.
14 මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරනසේක.
15 මනුෂ්‍යයාගේ දවස් වනාහි තණකොළ මෙන්ය; ඔහු කෙතේ මලක් මෙන් සශ්‍රීකවේ.
16 මක්නිසාද හුළඟ වැදී එය නැතිවී යයි; එය තිබුණු ස්ථානයද තවත් එය දැනනොගන්නේය.
17 නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේ
18 එනම් උන්වහන්සේගේ ගිවිසුම රක්ෂාකරන්නන්ටත් උන්වහන්සේගේ ශික්ෂා ඉෂ්ටකිරීම පිණිස ඒවා සිහිකරන්නන්ටත්ය.
19 ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවුසේක; උන්වහන්සේගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි.
20 උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
21 ස්වාමීන්ගේ සේනා සියල්ලෙනී මැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
22 ස්වාමීන්ගේ රාජ්‍යයේ සියලු තැන්හි තිබෙන උන්වහන්සේගේ සියලු කර්මාන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව.



ගීතාවලිය 104

1 මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසාකරව; මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබ ඉතා උතුම්සේක; ඔබ ගෞරවයෙන් හා මහිමයෙන් සැරසී සිටිනසේක.
2 ඔබ වස්ත්‍රයක් මෙන් එළිය පොරවාගන්නසේක; වියනක් මෙන් ආකාශය දිගහරිනසේක.
3 ඔබ තමන් උඩුමහල් දිය පිට පිහිටුවනසේක; වලාකුල් ස්වකීය රථය කරගන්නසේක; හුළං නමැති පියාපත් පිට යනසේක.
4 උන්වහන්සේ හුළං ස්වකීය දූතයන්ද ඇවිළෙන ගිනි දළු ස්වකීය මෙහෙකරුවන්ද කරගන්නසේක.
5 පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස උන්වහන්සේ ඒකේ අත්තිවාරම් ලූසේක.
6 උතුරු සළුවකින් මෙන් ගැඹුරෙන් එය පෙරවූසේක; ජලය කඳුවලට ඉහළින් විය.
7 ඔබගේ තරවටුවෙන් ඒවා පලාගියේය; ඔබගේ ගර්ජනා ශබ්දයට ඒවා යුහුව ගියේය.
8 ඒවා කඳුවලින් නැගී ඔබ ඊටම පිහිටෙවු ස්ථානයට මිටියාවත්වලින් බැස ගියේය.
9 ජලය ගලා නොයන පිණිසත්, පොළොව වසාගන්ට නැවත හැරී නොඑන පිණිසත්, ඔබ සීමාවක් තැබූසේක.
10 උන්වහන්සේ මිටියාවත්වලට උල්පත් යවනසේක. ඒවා කඳු අතරේ ගලායයි.
11 ඒවා වනයේ සියලු මෘගයන්ට පැන් දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සන්සිඳුවාගනිති.
12 ඒවා අද්දර ආකාශ පක්ෂීහු වැස, අතු අතරේ නාදකෙරෙති.
13 උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය.
14 උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්,
15 මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.
16 ස්වාමීන්ගේ වෘක්ෂයෝ, එනම් උන්වහන්සේ සිටෙවු, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති;
17 එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති. මානකොකාගේ ගෙය නම් දේවදාර ගස්ය.
18 උස් කඳු වල් එළුවන්ටය; පර්වත සාවුන්ට ආරක්ෂාස්ථානයක්වේ.
19 උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක. සූර්යයා තමාගේ බැසයාම දනියි.
20 ඔබ අඳුර පමුණුවනසේක, එවිට රෑවේ; එකල වනයේ සියලු මෘගයෝ බැහැරයති.
21 තරුණ සිංහයෝ ගොදුරු ගැන ගර්ජනාකරමින්, දෙවියන්වහන්සේගෙන් කෑම ඉල්ලති.
22 හිරු උදාවන කල උන් පහවගොස් උන්ගේ ගුහාවල ලගිති.
23 මනුෂ්‍යයා සවස දක්වා තමාගේ කර්මාන්තයටත් වැඩටත් නික්ම යයි.
24 ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.
25 අන්න මහත්වූ විශාලවූ මුහුද, එහි කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති.
26 එහි නැව් යති; එහි ක්‍රීඩාකරන්ට ඔබ සෑදූ ලෙවියාතන් එහි සිටියි.
27 උන්ගේ කෑම සුදුසු කාලයේදී ඔබගෙන් ලබන පිණිස උන් සියල්ලෝ ඔබ දෙස බලා සිටිති.
28 ඔබ උන්ට දෙන දේ උන් එකතුකර ගනිති; ඔබගේ අත විදහන කල යහපතින් තෘප්තියට පැමිණෙති.
29 ඔබගේ මුහුණ සඟවන කල උන් කැලඹෙති; ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී දූවිල්ලට හැරීයති.
30 ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති; ඔබ පොළෝතලය අලුත් කරනසේක.
31 ස්වාමීන්ගේ මහිමය සදාකල් පවතීවා; ස්වාමීන්වහන්සේ ස්වකීය කර්මාන්ත කෙරෙහි සන්තෝෂවනසේක්වා.
32 උන්වහන්සේ පොළොව දෙස බලන කල එය කම්පාවේ; උන්වහන්සේ කඳු ස්පර්ශකරන කල එයින් දුම් නගියි.
33 දිවි ඇති තාක් ස්වාමීන්ට ගී කියන්නෙමි. මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
34 මාගේ භාවනාව උන්වහන්සේට මිහිරි වේවා. මම ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි.
35 පව්කාරයෝ පොළොවෙන් විනාශවෙත්වා. දුෂ්ටයෝ තවත් නොසිටිත්වා. මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 105

1 ස්වාමීන්ට ස්තුතිකරව්. උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.
2 උන්වහන්සේට ගීතිකාකරව්, ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කථාකරව්.
3 උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත්වේවා.
4 ස්වාමීන් හා උන්වහන්සේගේ ශක්තිය සොයව්; උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්.
5 උන්වහන්සේගේ මෙහෙකරුවූ ආබ්‍රහම්ගෙන් පැවතඑන්නෙනි, උන්වහන්සේ විසින් තෝරාගත්තවුන් වන යාකොබ්ගේ දරුවෙනි,
6 උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු විනිශ්චයන්ද සිහිකරව්.
7 උන්වහන්සේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. උන්වහන්සේගේ විනිශ්චයෝ මුළු පොළොවෙහිය.
8 උන්වහන්සේ පරම්පරා දහසකට ආඥා කළ වචනය වන ස්වකීය ගිවිසුම සදාකාලයට සිහිකළසේක.
9 ඒ වනාහි උන්වහන්සේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමය, ඊසාක්ට දුන් උන්වහන්සේගේ දිවුරුමය;
10 එය උන්වහන්සේ යාකොබ්ට පනතක්ද ඉශ්‍රායෙල්ට සදාකාල ගිවිසුමක්ද කොට ස්ථිරකරමින්:
11 ඔබ සැමගේ උරුම කොටස වූ කානාන් දේශය ඔබට දෙන්නෙමියි කියා,
12 ඔවුන් ගණනින් ස්වල්පව, එසේය, ඉතා ස්වල්පව, එහි විදේශීව සිටියදී ඔවුන්ට කීසේක.
13 ඔව්හු ජාතියකින් ජාතියකටත් එක රාජ්‍යයකින් තවත් සෙනඟක් වෙතටත් ගියෝය.
14 උන්වහන්සේ ඔවුන්ට අයුත්තක් කරන්ට කිසිවෙකුට අවකාශ නුදුන්සේක; එසේය, ඔවුන් ගැන රජුන්ට තරවටුකරමින්:
15 මාගේ අභිෂේකලද්දවුන්ට අත නොගසව්, මාගේ අනාගතවක්තෘවරුන්ට හිංසා නොකරව්යයි කීසේක.
16 උන්වහන්සේ දේශයට දුර්භික්ෂයක් පමුණුවා, මුළු ආහාර වෘත්තිය සිඳදැමූසේක.
17 ඔවුන්ට පෙරටුව මනුෂ්‍යයෙකු යැවූසේක; යෝසෙප් දාසයෙක් කොට විකුණන ලද්දේය.
18 ඔව්හු ඔහුගේ පාද විලංගු ලා රිදෙවුවෝය; ඔහු යදම්වලින් බඳිනලද්දේය.
19 ඔහුගේ වචනය සිදුවන තෙක් ස්වාමීන්ගේ වාක්‍යය ඔහු පරීක්ෂාකෙළේය.
20 රජතෙම මනුෂ්‍යයන් යවා ඔහු මිදුවේය; එසේය, මනුෂ්‍ය වර්ගයන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස්කර ඇරියේය.
21 තමාගේ ආණ්ඩුකාරයන් කැමතිලෙස බඳින්ටත්, තමාගේ මන්ත්‍රීන්ට නුවණ දෙන්ටත්,
22 තමාගේ ගෙට ස්වාමියෙක්ද තමාගේ සියලු සම්පත්තියට අධිපතියෙක්ද කොට ඔහු පත්කෙළේය.
23 ඉශ්‍රායෙල්ද මිසරයට ආයේය; යාකොබ් හාම්ගේ දේශයෙහි විදේශීව සිටියේය.
24 උන්වහන්සේ ස්වකීය සෙනඟ අතිශයින් වැඩිකරමින්, ඔවුන්ගේ එදිරිකාරයන්ට වඩා බලවත්කළසේක.
25 උන්වහන්සේගේ සෙනඟට වෛරකරන්ටත් උන්වහන්සේගේ මෙහෙකරුවන්ට ප්‍රයෝගකරන්ටත් ඔවුන්ගේ සිත් හැරෙවුසේක.
26 උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ මෝසෙස්ද තමන් විසින් තෝරාගත් ආරොන්ද යැවූසේක.
27 ඔව්හු ඔවුන් අතරේ උන්වහන්සේගේ ලකුණුද හාම්ගේ දේශයෙහි ආශ්චර්යයන්ද කළෝය.
28 උන්වහන්සේ අන්ධකාරය යවා එය අඳුරුකළසේක; ඔව්හු උන්වහන්සේගේ වචනයට විරුද්ධව කැරළි නොගැසුවෝය.
29 උන්වහන්සේ ඔවුන්ගේ ජලය ලේ කොට, ඔවුන්ගේ මත්ස්‍යයන් නැසූසේක.
30 ඔවුන්ගේ දේශය, තමුන්ගේ රජුන්ගේ ඇතුල් ගෙවල්හි පවා, මැඩියන්ගෙන් පිරී ගියාය.
31 උන්වහන්සේ කථාකළසේක, එවිට මැසිරංචුද ඔවුන්ගේ රට මුළුල්ලෙහි කිනිතුල්ලෝද පිරුණෝය.
32 උන්වහන්සේ ඔවුන්ට වැසි වෙනුවට ගල් වැස්සද ඔවුන්ගේ දේශයට ගිනිදැල්ද එවූසේක.
33 ඔවුන්ගේ මිදිවැල් සහ අත්තික්කා ගස්වලට පහරදී, ඔවුන්ගේ සීමා තුළ ගස් බින්දසේක.
34 උන්වහන්සේ කථාකළසේක, පළඟැටියෝද අසංඛ්‍ය ගණන් දළඹුවෝද අවුත්,
35 ඔවුන්ගේ දේශයෙහි සියලු පලාජාති කෑවෝය, ඔවුන්ගේ භූමියේ ඵලද කෑවෝය.
36 උන්වහන්සේ ඔවුන්ගේ සකල ශක්තියේ මුලවූ ඔවුන්ගේ දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.
37 තවද උන්වහන්සේ රන්රිදී ඇතුව ඔවුන් පිටත ගෙනාසේක. උන්වහන්සේගේ ගෝත්‍රවල කිසි දුර්වලයෙක්ද නොසිටියේය.
38 ඔවුන් පිටත්ව ගිය කල මිසරය සන්තෝෂවූවාය. මක්නිසාද එහි වැසියන්ට ඔවුන් ගැන භයක් පැමිණ තිබුණේය.
39 උන්වහන්සේ ආවරණය පිණිස වලාකුළක්ද රාත්‍රියේදී එළිය දීමට ගින්නක්ද විදහා තැබූසේක.
40 ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.
41 උන්වහන්සේ පර්වතය විවරකළසේක, ජලය පැනනැගී, ගංගාවක් මෙන් වියළි ස්ථානවල ගලාගියේය.
42 මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වචනයද තමන් මෙහෙකරුවූ ආබ්‍රහම්ද සිහිකළසේක.
43 උන්වහන්සේ ස්වකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයද ඇතුව පිටත ගෙනාසේක.
44 ඔවුන් උන්වහන්සේගේ පනත් රක්ෂාකරන පිණිසත්, උන්වහන්සේගේ ව්‍යවස්ථා පවත්වන පිණිසත්,
45 උන්වහන්සේ ජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන්සේක; ඔව්හු මනුෂ්‍ය වර්ගයන්ගේ උත්සාහයේ ලාභය අයිතිකරගත්තෝය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 106

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
2 ස්වාමීන්ගේ බලවත් ක්‍රියා කියන්ටත් උන්වහන්සේගේ සියලු ප්‍රශංසාව ප්‍රකාශකරන්ටත් කාට පුළුවන්ද?
3 යුක්තිය රක්ෂාකරන්නෝද හැම කල්හි ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාද ආශීර්වාදලද්දෝය.
4 මා විසින් ඔබගේ තෝරාගත්තවුන්ගේ ශුභසිද්ධිය දකින පිණිසත්, ඔබගේ ජාතියගේ සන්තෝෂයට භාගිවන පිණිසත්, ඔබගේ උරුමයවූවන් සමඟ ජය ප්‍රකාශකරන පිණිසත්,
5 ස්වාමිනි, ඔබගේ සෙනඟ කෙරෙහි පවත්වන කරුණාවෙන් මා සිහිකළමැනව; ඔබගේ ගැළවීම මට ගෙනදුන මැනව.
6 අපි අපේ පියවරුන් හා සමඟ පව්කෙළෙමුව. අයුතුකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියාකෙළෙමුව.
7 අපේ පියවරු මිසරයේදී ඔබගේ ආශ්චර්යයන් තේරුම් නොගත්තෝය; ඔබගේ කරුණා රාශිය සිහි නොකළෝය; මුහුද, එනම් රතු මුහුද ළඟදී කැරළිගැසුවෝය.
8 එසේ වුවත් උන්වහන්සේ තමන් බලපරාක්‍රමය දක්වන පිණිස ස්වකීය නාමය නිසා ඔවුන් ගැළවූසේක.
9 උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක.
10 ඔවුන්ට වෛරවූවාගේ අතින් ඔවුන් ගැළවූසේක, සතුරාගේ අතින් ඔවුන් මිදූසේක.
11 ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය.
12 එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.
13 ඔව්හු උන්වහන්සේගේ ක්‍රියා වහාම සිහිනැතිකරමින්, උන්වහන්සේගේ මන්ත්‍රණය බලානොසිටියෝය.
14 වනාන්තරයේදී අධිකලෙස තෘෂ්ණාවට අසුවී, කාන්තාරයේදී දෙවියන්වහන්සේ පරික්ෂාකළෝය.
15 උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ටකළසේක; නුමුත් ඔවුන්ගේ ආත්මය කෘශභාවයට පැමිණවූසේක.
16 කඳවුරේදී ඔව්හු මෝසෙස්ටත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධ තැනැත්තාවූ ආරොන්ටත් ඊර්ෂ්‍යාකළෝය.
17 පොළොව විවරව දාතාන් ගිලගත්තාය, අබිරාම්ගේ කණ්ඩායමද වසාගත්තාය.
18 ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේය; ගිනිදැල දුෂ්ටයන් දවාදැමීය.
19 ඔව්හු හොරේබ්හිදී වස්සෙකු සාදා; වාත්තු රූපයකට නමස්කාරකළෝය.
20 මෙසේ ඔව්හු තමුන්ගේ මහිමයවූ තැනන්වහන්සේ තණකොළ කන ගොනෙකුගේ ස්වරූපයට මාරුකළෝය.
21 ඔව්හු මිසරයේදී මහත් දේද හාම්ගේ දේශයේදී ආශ්චර්ය ක්‍රියාද
22 රතු මුහුද ළඟදී භයංකර ක්‍රියාද කළාවූ තමුන්ගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ මතකනැතිකළෝය.
23 එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.
24 ඔව්හු ප්‍රිය උපදවන දේශය හෙළාදැක්කෝය, උන්වහන්සේගේ වචනය අදහා නොගත්තෝය.
25 නුමුත් තමුන්ගේ කූඩාරම්වලදී කොඳුළෝය, ස්වාමීන්ගේ ශබ්දයට ඇහුම්කන් නුදුන්නෝය.
26 එබැවින් උන්වහන්සේ, ඔවුන් වනාන්තරයෙහි හෙළා දමන බවත්, ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ හෙළා දමන බවත්,
27 ඔවුන් දේශවල විසුරුවන බවත් කියා, ස්වකීය හස්තය ඔසවා දිවුළසේක.
28 ඔව්හු බාල්පෙයොර්ටත් බැදී, මළවුන්ට පිදූ දේ කෑවෝය.
29 මෙසේ ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කෙරෙවුවෝය; වසංගතයද ඔවුන් අතරට පැමිණියේය.
30 එවිට පීනෙහාස් නැගිට යුක්තිය ඉෂ්ටකෙළේය. මෙසේ වසංගතය නවත්වනලද්දේය.
31 එය සදාකල්ම සියලු පරම්පරාවලට ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය.
32 ඔව්හු මෙරිබාහි වතුර ළඟදීත් උන්වහන්සේ උදහස්කළෝය, එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට නපුර සිදුවිය.
33 මක්නිසාද ඔව්හු ඔහුගේ ආත්මයට විරුද්ධව කැරළිගැසුවෝය, ඔහුද තමාගේ කටින් අවිචාරයෙන් කථාකෙළේය.
34 ස්වාමීන් අණකළ ලෙස ඔව්හු මනුෂ්‍ය වර්ගයන් විනාශ නොකොට,
35 අන්‍ය ජාතීන් හා මිශ්‍රව, ඔවුන්ගේ ක්‍රියා ඉගෙනගත්තෝය.
36 ඔව්හු ඔවුන්ගේ රූපවලට මෙහෙකළෝය, ඒවා මොවුන්ට මලපතක් විය.
37 එසේය, ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද යක්ෂයන්ට පූජාකළෝය,
38 ඔව්හු නිදොස් ලේ, එනම් කානාන්හි රූපවලට පූජාකරනු ලැබූ තමුන්ගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ලේ වැගිරෙවුවෝය; දේශයද ලෙයින් දූෂණය විය.
39 මෙසේ ඔව්හු ස්වකීය කර්මාන්තවලින් කිලුටුව, තමුන්ගේ ක්‍රියාවලින් වේශ්‍යාකම්කළෝය.
40 එබැවින් ස්වාමීන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධව ඇවුළුණේය, උන්වහන්සේ තමන් උරුමය පිළිකුල්කොට,
41 ජාතීන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක; ඔවුන්ට වෛරවූවෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකළෝය.
42 ඔවුන්ගේ සතුරෝද ඔවුන්ට පීඩාකළෝය, ඔව්හු සතුරන්ගේ අත යට යටත්කරනු ලැබුවෝය.
43 උන්වහන්සේ බොහෝ වර ඔවුන් මිදූසේක; නුමුත් ඔව්හු ස්වකීය මන්ත්‍රණයෙන් කැරළිගසා, ස්වකීය අයුතුකම නිසා පහත්කරනු ලැබුවෝය.
44 එසේ වී නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම අසා, ඔවුන්ගේ විපත්තිය බැලූසේක.
45 ඔවුන් උදෙසා ස්වකීය ගිවිසුම සිහිකොට, තමන් අධික කරුණාව ලෙස තැවුණුසේක.
46 ඔවුන් වහල්කොට ගෙනගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්ට සැලැස්වූසේක.
47 අපගේ දෙවිවූ ස්වාමිනි, ඔබගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරන පිණිසත්, ඔබට ප්‍රශංසාකිරීමෙන් ජය නාද පවත්වන පිණිසත්, අප ගළවා ජාතීන් අතරෙන් රැස්කොටගත මැනව.
48 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. මුළු සෙනඟ ආමෙන් කියත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 107

1 ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
2 ස්වාමීන් විසින් මුදනලද්දෝ එසේ කියත්වා. මක්නිසාද උන්වහන්සේ එදිරිකාරයාගේ අතින් ඔවුන් මුදා,
3 දේශවලින් එනම් නැගෙනහිරින් හා බස්නාහිරින්ද උතුරෙන් හා දකුණෙන්ද ඔවුන් රැස්කොට ගත්සේක.
4 ඔව්හු වනාන්තරයෙහි කාන්තාර මාර්ගයක මුළාව ගියෝය; වාසයට නුවරක් නොලැබුවෝය.
5 සයින් පීඩිතව පිපාසිතව, ඔවුන්ගේ ආත්මය ඔවුන් තුළ ක්ලාන්තවිය.
6 එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් මුදාගත්සේක.
7 වාසයකිරීමට යෝග්‍යවූ නුවරකට පැමිණෙන පිණිස උන්වහන්සේ හරි මගකින් ඔවුන් ගෙනගියසේක.
8 ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
9 මක්නිසාද උන්වහන්සේ පිපාසිතයා තෘප්තියට පමුණුවා, ක්ෂුධා ඇත්තා යහපතින් පිනවනසේක.
10 සමහරෙක් පීඩාවෙන් සහ යදමින් බඳිනු ලැබ, අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටියෝය;
11 කුමක් හෙයින්ද ඔව්හු දෙවියන්වහන්සේගේ වචනවලට විරුද්ධව කැරළිගසා, මහෝත්තමයාණන්ගේ මන්ත්‍රණය හෙළාදැක්කෝය.
12 ඒ නිසා උන්වහන්සේ වෙහෙස පැමිණවීමෙන් ඔවුන්ගේ සිත් පහත්කළසේක. ඔව්හු වැටුණෝය, පිහිටවෙන්ට කිසිවෙක් නොවීය.
13 එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගැළෙවුසේක.
14 උන්වහන්සේ අඳුරෙන්ද මරණ සෙවණෙන්ද ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ බැමි බින්දසේක.
15 ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
16 මක්නිසාද උන්වහන්සේ පිත්තල දොරවල් බිඳ, යකඩ පොලු කපාදැමූසේක.
17 මෝඩයෝ තමුන්ගේ අපරාධ නිසාත් අයුතුකම් නිසාත් පීඩා විඳිති.
18 ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රියවේ; ඔව්හු මරණ ද්වාරවලට ළංවෙති.
19 එවිට ඔව්හු තමුන්ගේ විපෙත්දී ස්වාමීන්ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවනසේක.
20 උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක.
21 ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
22 ඔව්හු ස්තුති පූජා පුදා, ගී කීමෙන් උන්වහන්සේගේ ක්‍රියාවන් ප්‍රකාශකෙරෙත්වා.
23 නැව්වලින් මුහුදේ යන්නාවූ, මහත් ජලයේ වැඩකරන්නාවූ තැනැත්තෝ
24 ස්වාමීන්ගේ ක්‍රියාද ගැඹුරෙහි උන්වහන්සේගේ පුදුමද දකිති.
25 මක්නිසාද උන්වහන්සේ අණකොට, එහි රැළ නංවන්නාවූ තද කුණාටුව හටගන්වනසේක.
26 ඔව්හු අහසට නගිති, ගැඹුරට බසිති. ඒ විපතින් ඔවුන්ගේ ප්‍රාණය දියවෙයි.
27 ඔව්හු බේබද්දෙකු මෙන් ඇලෙවවී ඔබ මොබ වැනි වැනී යති, ඔවුන්ගේ නුවන නැතිවී යයි.
28 එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක.
29 උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක.
30 එවිට නිශ්චලයක්වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති; උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක.
31 ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා.
32 ඔව්හු ජන සමාගමේදී උන්වහන්සේ උසස්කරමින්, වැඩිමහල්ලන්ගේ ආසනයේදී උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා.
33 උන්වහන්සේ ගංගා කාන්තාරයක්ද දිය උල්පත් වියළි බිමක්ද කරනසේක;
34 වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක.
35 උන්වහන්සේ කාන්තාරයක් දිය පොකුණක්ද වියළි බිමක් දිය උල්පත්ද කරනසේක.
36 බඩගිනිවූවන් විසින් වාසයට යෝග්‍යවූ නුවරක් සාදන පිණිසත්, කෙත් වපුරා, මිදිවතු වවා,
37 ඵල ලබාගන්නා පිණිසත්, ඔවුන් එහි වාසයකරවනසේක.
38 ඔවුන් අතිශයින් බෝවන ලෙස උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකරනසේක; ඔවුන්ගේ සිව්පාවුන් අඩුවෙන්ට නොදෙනසේක.
39 ඉන්පසු ඔව්හු පීඩා, විපත්ති හා දුක් නිසා අඩුවී පහත්කරනු ලබති.
40 උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, මං නැති පාළු තැන්වල මුළාවයන්ට සලස්වනසේක.
41 එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක.
42 අවංකයෝ ඒ දැක සන්තෝෂවන්නෝය; සියලු ආකාර අයුතුකමද කට පියාගන්නේය.
43 නුවණැත්තේ මේ දේ සිතට ගනියි, ඔව්හු ස්වාමීන්ගේ කරුණාවන්තකම් කල්පනාකරන්නෝය.



ගීතාවලිය 108

1 දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය; මම ගී කියන්නෙමි, එසේය, මාගේ මහිමයෙන් ප්‍රශංසා ගී කියන්නෙමි.
2 වීණාව සහ මහා වීණාව පිබිදෙව්, මමද ඉතා අලුයම පුබුදින්නෙමි.
3 ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
4 මක්නිසාද ඔබගේ කරුණාව ස්වර්ගය ඉක්මවා මහත්ව තිබේ, ඔබගේ සත්‍යයද අහස දක්වා පවත්නේය.
5 දෙවියන්වහන්ස, ඔබ ස්වර්ගවලට වඩා උසස්වුව මැනව. ඔබගේ මහිමයද මුළු පොළොවෙහි උසස්වේවා.
6 ඔබගේ ප්‍රිය තැනැත්තන් මුදනුලබන පිණිස, ඔබගේ දකුණතින් ගළවා, අපට උත්තරදුන මැනව.
7 දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධකමින් කථාකළසේක; මම ප්‍රීතිමත්වන්නෙමි. ෂෙකෙම් බෙදන්නෙමි, සුක්කොත් මිටියාවත මැනදෙන්නෙමි.
8 ගිලියද් මාගේය; මනස්සේ මාගේය; එප්‍රායිම්ද මාගේ හිසට ආරක්ෂාවය; යූදා මාගේ ජයකොන්තයය.
9 මෝවබ් මාගේ පා සෝදන භාජනයය; ඒදොම පිට මාගේ වහන් හෙළන්නෙමි, පිලිස්තියාව සඳහා ජයඝෝෂා පවත්වන්නෙමි.
10 බලකොටු සහිත නුවරට මා පමුණුවන්නේ කවුද? ඒදොමට මා ගෙනගියේ කවුද?
11 දෙවියන්වහන්ස, ඔබ අප පහනොකළසේක්ද? දෙවියන්වහන්ස, ඔබ අපේ සේනාවන් සමඟ නොයනසේක.
12 එදිරිකාරයාට විරුද්ධව අපට පිහිටවුව මැනව, මක්නිසාද මනුෂ්‍යයාගේ පිහිට නිෂ්ඵලය.
13 දෙවියන්වහන්සේ කරණකොටගෙන වික්‍රමාන්විතව ක්‍රියාකරන්නෙමුව. මක්නිසාද අපේ එදිරිකාරයන් පාගා හෙළන්නේ උන්වහන්සේය.



ගීතාවලිය 109

1 මාගේ ප්‍රශංසා භූමියවූ දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව;
2 මක්නිසාද දුෂ්ටයාගේ මුඛයද රැවටිලි මුඛයද මට විරුද්ධව ඇරියෝය. ඔව්හු බොරු කියන දිවකින් මට කථාකළෝය.
3 ඔව්හු ද්වේෂ වචනවලින් මා වටකොට නිෂ්කාරණයේ මට විරුද්ධව සටන්කළෝය.
4 මාගේ ප්‍රේමය වෙනුවට ඔව්හු මට එදිරිකාරයෝව සිටිති. නුමුත් මම යාච්ඤාවෙහිම යෙදීසිටිමි.
5 තවද මට ඔව්හු යහපතට අයහපතද මාගේ ප්‍රේමයට වෛරයද කළෝය.
6 ඔහු කෙරෙහි දුෂ්ටයෙකු පත්කළ මැනව. විරුද්ධකාරයෙක් ඔහුගේ දකුණතින් සිටීවා.
7 විනිශ්චයේදී ඔහු වරදකාරයෙක් වේවා; ඔහුගේ යාච්ඤාවද පාපයක් වේවා.
8 ඔහුගේ දවස් ස්වල්ප වේවා, ඔහුගේ තනතුර අනිකෙක් ගනීවා,
9 ඔහුගේ දරුවෝ පියා නැත්තෝ වෙත්වා, ඔහුගේ භාර්යාවද වැන්දඹුවක් වේවා.
10 ඔහුගේ දරුවෝ පාදඩයෝව සිඟාකත්වා; ඔව්හු තමුන්ගේ පාළු ඉඩම්වලින් කෑම සොයත්වා.
11 ණය හිමියා ඔහු සන්තක සියල්ලම අල්වා ගනීවා; විදේශියෝ ඔහුගේ උත්සාහයේ ලාභය කොල්ලකත්වා.
12 ඔහුට කරුණාකරන්ට කිසිවෙක් නොවේවා; ඔහුගේ පියා නැති දරුවන්ට අනුකම්පාකරන්ට කිසිවෙක් නොසිටීවා.
13 ඔහුගෙන් පැවතඑන්නෝ සිඳදමනු ලබත්වා; එන පරම්පරාවේදී ඔවුන්ගේ නම මැකේවා.
14 ඔහුගේ පියවරුන්ගේ අයුතුකම ස්වාමීන් ඉදිරියෙහි සිහිව පවතීවා, ඔහුගේ පාපය නොමැකේවා.
15 ඔවුන් සිහිවීම ස්වාමීන් විසින් පොළොවෙන් සිඳදමන පිණිස ඒවා උන්වහන්සේ ඉදිරියෙහි නිතරම පවතීවා.
16 මක්නිසාද ඔහු දයා පැවැත්වීම සිහිනොකොට, දුප්පතා හා දිළිඳාද බිඳුණු සිත් ඇත්තාද මරන පිණිස පීඩාකෙළේය.
17 එසේය, ශාපකිරීමට ඔහු ප්‍රියවිය, ඒක ඔහුට පැමුණුණේය; ඔහු ආශීර්වාදකිරීමට ප්‍රිය නොවීය, ඒක ඔහුගෙන් දුරුව තිබුණේය.
18 ඔහු ශාපකිරීම තමාගේ වස්ත්‍රය මෙන් හැඳගත්තේය, එය ඔහු තුළට දිය මෙන්ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන්ද ආයේය.
19 එය තමා පොරවන වස්ත්‍රය මෙන්ද නිතර බඳින ඉඟපටිය මෙන්ද ඔහුට වේවා.
20 මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය.
21 නුමුත් ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ නාමය නිසා මා සමඟ ක්‍රියා කළ මැනව. ඔබගේ කරුණාව යහපත් බැවින් මා මුදාගත මැනව.
22 මක්නිසාද මම දුප්පත්මි, දිළින්දෙමි, මාගේ සිත මා තුළේ තුවාලවී තිබේ.
23 බැසයන සෙවණැල්ලක් මෙන් පහවයමි. පළඟැටියා මෙන් ඔබ මොබ එළවනු ලබමි.
24 නිරාහාරව සිටීමෙන් මාගේ දණහිස් දුර්වලය; මාගේ මාංසයේ තරකමක් නැත.
25 මම ඔවුන්ට නින්දාවක්ව සිටිමි. ඔව්හු මා දකිනවිට හිස් වනති.
26 මාගේ දෙවිවූ ස්වාමිනි, මට පිහිටවුව මැනව; ඔබගේ කරුණාව ප්‍රකාර මා ගැළෙවුව මැනව.
27 එවිට මෙය ඔබගේ හස්තය බවත්, ස්වාමිනි, ඔබ මේක කළ බවත් ඔව්හු දැනගන්නෝය.
28 ඔවුන් ශාපකළාවේ, නුමුත් ඔබ ආශීර්වාදකළ මැනව; ඔව්හු නැගිටින කල ලජ්ජාවන්නෝය, නුමුත් ඔබගේ මෙහෙකරුවා ප්‍රීතිවන්නේය.
29 මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් පළඳනු ලබත්වා, උතුරු සළුවකින් මෙන් තමුන්ගේ ලජ්ජාවෙන් තමුන්ම වසාගනිත්වා.
30 මාගේ මුවෙන් ස්වාමීන්ට බොහෝසෙයින් ස්තුතිකරන්නෙමි; එසේය, සමූහයා අතරේදී උන්වහන්සේට ප්‍රශංසාකරන්නෙමි.
31 මක්නිසාද දිළිදාගේ ආත්මය විනිශ්චය කරන්නන්ගෙන් ගළවන පිණිස උන්වහන්සේ ඔහුගේ දකුණතින් සිටිනසේක.



ගීතාවලිය 110

1 ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් ඔබේ සතුරන් ඔබේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක
2 ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ඔබගේ ශක්තිය නැමති සැරයටිය එවනසේක. ඔබගේ සතුරන් මැද ආණ්ඩුකළ මැනව.
3 ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය.
4 ඔබ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන්වහන්සේ දිවුළසේක; එය වෙනස් නොකරනසේක.
5 ඔබගේ දකුණු පැත්තෙහි සිටින ස්වාමීන්වහන්සේ ස්වකීය උදහසේ දවසේදී රජුන් ගසා හෙළනසේක.
6 උන්වහන්සේ ජාතීන් අතරෙහි විනිශ්චයකරනසේක, මළකඳන්වලින් දේශයන් පුරවමින්, බොහෝ රටවල අධිපතීන් ගසාහෙළනසේක.
7 උන්වහන්සේ මාර්ගයෙහිදී දොළින් පානයකරනසේක; එබැවින් හිස ඔසවනසේක.



ගීතාවලිය 111

1 ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරව්. අවංකයින්ගේ සමාගමේදීද සභාවේදීද මාගේ මුළු සිතින් ස්වාමීන්ට ස්තුති කරන්නෙමි.
2 ස්වාමීන්ගේ ක්‍රියා මහත්ය, ඒවාට ප්‍රියවන සියල්ලෝ ඒවා සොයා මෙනෙහිකරති.
3 උන්වහන්සේගේ ක්‍රියාව ගෞරවයෙන් හා මහිමයෙන් යුක්තය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.
4 උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්‍රියා සිහිවෙන්ට සැලැස්වූසේක. ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය.
5 උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට කෑම දුන්සේක. උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදාකල්ම සිහිකරනසේක.
6 උන්වහන්සේ ජාතීන්ගේ උරුමය තමන් සෙනඟට දීමෙන් තමන් ක්‍රියා බලය ඔවුන්ට පෙන්වූසේක.
7 උන්වහන්සේගේ කර්මාන්තයෝ සත්‍යය හා යුක්තිය වෙති; උන්වහන්සේගේ පනත් සියල්ල නියතය.
8 ඒවා නිතරම සදාකාලයටම පිහිටුවා තිබේ, ඒවා සැබෑකමෙන් හා අවංකකමින් කරන ලද්දේය.
9 උන්වහන්සේ තමන් සෙනඟට මිදීම එවුසේක; තමන් ගිවිසුම සදාකාලයටම නියමකළසේක. උන්වහන්සේගේ නාමය ශුද්ධය. ගරුකටයුතුය.
10 ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය.



ගීතාවලිය 112

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය.
2 ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශීර්වාද ලබන්නේය.
3 සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.
4 සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය.
5 කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභසිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.
6 මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය.
7 ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.
8 ඔහුගේ සිත සවිව තිබේ, තමා කැමති ලෙස එදිරිකාරයන්ට සිදුවෙනවා දකිනතුරු ඔහු භය නොවන්නේය.
9 ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.
10 දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය; ඔහු දත්මිටිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය.



ගීතාවලිය 113

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසාකරව්, ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්.
2 මෙතැන් පටන් සදාකල් ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාවේවා;
3 නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කටයුතුය.
4 ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය.
5 උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ
6 බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්ට සමාන කවුද?
7 අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස
8 උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.
9 උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 114

1 ඉශ්‍රායෙල් මිසරයෙන්ද යාකොබ්ගේ වංශය අන්‍ය භාෂාවක් ඇති මනුෂ්‍ය ජාතියකින්ද නික්ම ගිය කල
2 යූදා උන්වහන්සේගේ ශුද්ධස්ථානය විය, ඉශ්‍රායෙල් උන්වහන්සේගේ රාජ්‍යය විය.
3 මුහුද ඒ දැක පලාගියේය; යොර්දාන් ගඟ ආපසු හරවනු ලැබුවාය.
4 කඳු බැටළුවන් මෙන්ද කුඩා හෙල් බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළියෝය.
5 එම්බා මුහුද, ඔබ පලායන්නෙත්, යොර්දාන, ඔබ ආපසු හැරෙන්නෙත් ඔබ සැමට කුමක් වෙලාද?
6 එම්බා කඳු, ඔබ සැම බැටළුවන් මෙන්ද කුඩා හෙල්, ඔබ සැම බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළින්ගේ ඔබ සැමට කුමක් වෙලාද?
7 එම්බා පොළොව පර්වතය දිය පොකුණක්ද ගිනිගල දිය උල්පතක්ද කළාවූ
8 ස්වාමීන් ඉදිරියෙහි, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි, වෙවුලව.



ගීතාවලිය 115

1 ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.
2 ඔවුන්ගේ දෙවියෝ දැන් කොතැන්හිදැයි ජාතීන් විසින් කියන්ට ඉඩදෙන්නේ මන්ද?
3 එහෙත් අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය. උන්වහන්සේ කැමති කොයි දෙයක් නුමුත් කළසේක.
4 ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයෝය.
5 ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති;
6 කන් ඇත, එහෙත් නොඅසති; නාස් ඇත, එහෙත් ගඳ සුවඳ නොදනිති;
7 අත් ඇත, එහෙත් නාල්ලති; පා ඇත, එහෙත් නොඇවිදිති; උගුරෙන් කථා නොකෙරෙති.
8 ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාස තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.
9 එම්බා ඉශ්‍රායෙල්, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
10 එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
11 ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්.’ ඔවුන්ගේ උපකාරයන් පලිහත් උන්වහන්සේය.
12 ස්වාමීන්වහන්සේ අප සිහිකළසේක; අපට ආශීර්වාදකරනසේක. උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට ආශීර්වාදකරනසේක; උන්වහන්සේ ආරොන්ගේ වංශයට ආශීර්වාදකරනසේක.
13 ස්වාමීන් කෙරෙහි භය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
14 ස්වාමීන්වහන්සේ ඔබ සැම හා ඔබ සැමගේ දරුවන් වඩ වඩා වර්ධනයකරනසේක්වා.
15 අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගෙන් ඔබ සැම ආශීර්වාදලද්දෝය.
16 ස්වර්ග වනාහි ස්වාමීන්ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.
17 මළාහුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නාහුවත් ස්වාමීන්ට ප්‍රශංසා නොකෙරෙති;
18 නුමුත් අපි මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් වර්ණනාකරන්නෙමුව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 116

1 ස්වාමීන්ට ප්‍රේමකරමි, මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක.
2 උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් ජීවත්ව සිටින තෙක් මම උන්වහන්සේට යාච්ඤාකරන්නෙමි.
3 මරණයේ රැහැනෙන් වටකරනු ලැබීමි, ෂෙයෝලේ1 16:3 හෙවත්, පාතාලයේ. වේදනා මා අල්වාගත්තේය. විපත හා දුක මට පැමුණුණේය.
4 එවිට මම ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: ස්වාමිනි, මාගේ ප්‍රාණය මිදුව මැනවයි කීයෙමි.
5 ස්වාමීන්වහන්සේ දයාවන්තය, ධර්මිෂ්ඨය; එසේය, අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තය.
6 ස්වාමීන්වහන්සේ යටහතුන් ආරක්ෂාකරනසේක. මම පහත්කරනු ලැබීමි, උන්වහන්සේ මා ගළවාගත්සේක.
7 මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබට බොහෝසේ යහපත්කම් කළසේක.
8 මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය මරණයෙන්ද මාගේ ඇස් කඳුළෙන්ද මාගේ පාද පැකිලීමෙන්ද ගැළවූසේක.
9 ජීවතුන්ගේ දේශයෙහි ස්වාමීන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
10 මම විශ්වාසකරමි, එබැවින් කථාකරන්නෙමි. මම බොහෝසේ පීඩිතවීමි.
11 සියලු මනුෂ්‍යයෝම බොරුවකැයි මාගේ ඉක්මන්කමින් කීමි.
12 ස්වාමීන් විසින් මට කළාවූ සියලු යහපත්කම් ගැන උන්වහන්සේට කුමක් දෙම්ද?
13 මම ගැළවීමේ කුසලාන රැගෙන, ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.
14 එසේය, ස්වාමීන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ භාර උන්වහන්සේට ඉෂ්ටකරන්නෙමි.
15 ස්වාමීන්ගේ ශුද්ධවන්තයන්ගේ මරණය උන්වහන්සේ ඉදිරියෙහි අනර්ඝය.
16 ස්වාමිනි, සැබවින් මම ඔබගේ මෙහෙකරුයෙමි. ඔබගේ මෙහෙකරුයෙමි, ඔබගේ දාසියගේ පුත්‍රයෙමි; ඔබ මාගේ බැඳුම් මිදූසේක.
17 මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි. ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.
18 එසේය, ස්වාමීන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ භාර උන්වහන්සේට ඉෂ්ටකරන්නෙමි.
19 ස්වාමීන්ගේ ගෘහ මළුවලදීත් එම්බා යෙරුසලම, ඔබ මැදදීත් එසේ කරන්නෙමි. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 117

1 සියලු ජාතීනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්; සියලු මනුෂ්‍යවර්ගයෙනි, උන්වහන්සේ වර්ණනාකරව්.
2 මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය; ස්වාමීන්ගේ සැබෑකම සදාකාලයට පවත්නේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 118

1 ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය.
2 උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ඉශ්‍රායෙල් දැන් කියත්වා.
3 උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ආරොන්ගේ වංශය දැන් කියත්වා.
4 ස්වාමීන්ගේ කරුණාව සදාකාලයට පවත්නේයයි උන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ දැන් කියත්වා.
5 මාගේ විපත්තියේදී ස්වාමීන්ට යාච්ඤාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්, නිදහස් තැනක මා සිටෙවුසේක.
6 ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?
7 මට උපකාරකරන්නන් අතරෙහි ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය. එබැවින් මට වෛරවන්නන්ට මාගේ ආශාව සිද්ධවෙනවා දකින්නෙමි.
8 මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.
9 අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.
10 සියලු මනුෂ්‍ය ජාතීහු මා වටකළෝය. ස්වාමීන්ගේ නාමයෙන් මම ඔවුන් සිඳදමන්නෙමි.
11 ඔව්හු මා වටකළෝය; එසේය, මා වටකළෝය. ස්වාමීන්ගේ නාමයෙන් මම ඔවුන් සිඳදමන්නෙමි.
12 ඔව්හු මීමැස්සන් මෙන් මා වටකළෝය; කටු දර ගින්නක් මෙන් නිවීගියෝය. ස්වාමීන්ගේ නාමයෙන් ඔවුන් සිඳදමන්නෙමි.
13 වැටෙන පිණිස ඔබ තදින් මා නෙරපූයෙහිය. නුමුත් ස්වාමීන්වහන්සේ මට පිහිටවූසේක.
14 ස්වාමීන්වහන්සේ මාගේ ශක්තිය හා ගීතිකාවය; උන්වහන්සේ මාගේ ගැළවීම වී සිටිනසේක.
15 ප්‍රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි.
16 ස්වාමීන්ගේ දකුණු හස්තය උසස්ය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි.
17 මම නොනැසී, ජීවත්ව සිට, ස්වාමීන්ගේ ක්‍රියා ප්‍රකාශකරන්නෙමි.
18 ස්වාමීන්වහන්සේ දඬුවම්කොට මා හික්මවූසේක. නුමුත් මා මරණයට පාවා නුදුන්සේක.
19 මට ධර්මිෂ්ඨකමේ දොරටු හරිව්. මම එයින් ඇතුල්ව ස්වාමීන්ට ස්තුතිකරන්නෙමි.
20 ස්වාමීන්ගේ දොරටුව මේය; ධර්මිෂ්ඨයෝ එයින් ඇතුල්වන්නෝය.
21 මම ඔබට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඔබ මට උත්තරදී, මාගේ ගැළවීම වී සිටිනසේක.
22 ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය.
23 මේක ස්වාමීන්ගේ ක්‍රියාවය; එය අපේ ඇසට ආශ්චර්යමත්ය.
24 ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.
25 ස්වාමීනි, දැන් අප ගැළෙවුව මැනව. ස්වාමීනි, දැන් අප සඵලකළ මැනව.
26 ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය. ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි ඔබ සැමට ආශීර්වාදකෙළෙමුව.
27 ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක. පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්.
28 ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි.
29 ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.



ගීතාවලිය 119

1 නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
2 උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
3 එසේය, ඔව්හු කිසි අධර්මිෂ්ඨකමක් නොකෙරෙති; ඔව්හු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති.
4 අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක.
5 ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ග ස්ථිර නම් කොපමණ යහපත්ද!
6 ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි.
7 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් මා ඉගෙනගන්න කල සිතේ අවංකකමින් ඔබට ස්තුතිකරන්නෙමි.
8 ඔබගේ පනත් පවත්වන්නෙමි, මා සහමුලින්ම අත් නොහළ මැනව.
9 තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.
10 මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව.
11 ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.
12 ස්වාමිනි, ඔබ ප්‍රශංසිතය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
13 ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි.
14 සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත්වීමි.
15 ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි.
16 ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි.
17 මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව; එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි.
18 ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.
19 මම පොළොවෙහි විදේශිකයෙක්ව සිටිමි. ඔබගේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.
20 සෑමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ.
21 ඔබගේ ආඥාවලින් මුළාව යන්නාවූ, ශාපලද්දාවූ උඩඟුවූවන්ට ඔබ තරවටුකළසේක.
22 නින්දාවත් අවමානයත් මා කෙරෙන් පහකළ මැනව; මක්නිසාද ඔබගේ ශික්ෂා රක්ෂාකෙළෙමි.
23 අධිපතියෝද හිඳගෙන මට විරුද්ධව කථාකළෝය. නුමුත් ඔබගේ මෙහෙකරුවා ඔබගේ පනත් භාවනාකෙළේය.
24 ඔබගේ ශික්ෂාද මාගේ ප්‍රීතිය හා මාගේ මන්ත්‍රීහුය.
25 මාගේ ආත්මය ධූලියට ඇලේ. ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
26 මාගේ මාර්ග කියාදුනිමි, ඔබ මට උත්තරදුන්සේක. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
27 ඔබගේ නියෝග මාර්ගය මට තේරුම්කරදුන මැනව. එවිට ඔබගේ ආශ්චර්ය ක්‍රියා ගැන භාවනාකරන්නෙමි.
28 ශෝකය නිසා මාගේ ආත්මය දියවේ.‍ ඔබගේ වචනය පරිද්දෙන් මා ශක්තිමත්කළ මැනව.
29 වංකකමේ මාර්ගය මා කෙරෙන් පහකළමැනව. ඔබගේ ව්‍යවස්ථාව කරුණාවෙන් මට දුන මැනව.
30 විශ්වාසකමේ මාර්ගය තෝරාගතිමි. ඔබගේ විනිශ්චයන් මා ඉදිරියෙහි තබාගතිමි.
31 ඔබගේ ශික්ෂාවලට ඇලුම්වෙමි. ස්වාමිනි, මා ලජ්ජාවට නොපැමිණවුව මැනව.
32 ඔබ මාගේ සිත පහදන කල්හි ඔබගේ ආඥා මාර්ගයෙහි දුවන්නෙමි.
33 ස්වාමිනි, ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්නුව මැනව; එය කෙළවර දක්වා පවත්වන්නෙමි.
34 මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.
35 ඔබගේ ආඥා මාර්ගයෙහි මා යැවුව මැනව; මක්නිසාද ඊට ප්‍රියවෙමි.
36 ලාභයට නොව ඔබගේ ශික්ෂාවලට මාගේ සිත යොමු කළ මැනව.
37 නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා, ඔබගේ මාර්ගයන්හි මා ප්‍රාණවත්කළ මැනව.
38 ඔබ කෙරෙහි භයවීමට හේතුවූ ඔබගේ වචනය ඔබගේ මෙහෙකරුවාට ස්ථිර කළමැනව.
39 මට භය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව; මක්නිසාද ඔබගේ විනිශ්චයෝ යහපත්ය.
40 ඔබගේ නියෝගවලට ආශාවීමි. ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ප්‍රාණවත් කළ මැනව.
41 ස්වාමිනි, ඔබගේ වචනය පරිද්දෙන් ඔබගේ කරුණාව, එනම් ඔබගේ ගැළවීම, මා වෙතට පැමිණේවා.
42 එවිට මට නින්දාකරන්නාට දිය යුතු උත්තරයක් මට ඇතිවන්නේය; මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි විශ්වාසකරමි.
43 තවද සත්‍ය වචනය මාගේ කටින් සහමුලින්ම ඉවත් නොකළ මැනව; මක්නිසාද ඔබගේ විනිශ්චයන් කෙරෙහි බලාපොරොත්තුවීමි.
44 මෙසේ ඔබගේ ව්‍යවස්ථාව සදාකල්හිම නිතරම පවත්වන්නෙමි.
45 මම නිදහස්ලෙස හැසිරෙන්නෙමි; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි.
46 රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි.
47 මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි.
48 මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් දෙස මාගේ අත් ඔසවමින්, ඔබගේ පනත් භාවනාකරන්නෙමි.
49 බලාපොරොත්තුවෙන්ට ඔබ මට සැලැස්වූ හෙයින් ඔබගේ මෙහෙකරුවාට කී වචනය සිහිකළ මැනව.
50 මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත්කෙළේය.
51 උඩඟු අය මට අතිශයින් අපහාස කළෝය. එහෙත් මම ඔබගේ ව්‍යවස්ථාවෙන් ඉවත නොගියෙමි.
52 ස්වාමිනි, පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබාගතිමි.
53 ඔබගේ ව්‍යවස්ථාව අත්හරින දුෂ්ටයන් නිසා ඇවිළෙන කෝපය මා පිටට පැමිණියේය.
54 මාගේ නවාතැන් ගෙයිදී ඔබගේ පනත් මාගේ ගායනා විය.
55 ස්වාමිනි, රාත්‍රියේදී ඔබගේ නාමය සිහිකොට ඔබගේ ව්‍යවස්ථාව පැවැත්වීමි.
56 මෙය මට ලැබුණේ මා ඔබගේ නියෝග රක්ෂාකළ නිසාය.
57 මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේය. ඔබගේ වචන පවත්වන්නෙමියි කීයෙමි.
58 මාගේ මුළු සිතින් ඔබගේ කරුණාව ඉල්ලීමි. ඔබගේ වචනය පරිද්දෙන් මට කරුණාකළ මැනව.
59 මාගේ මාර්ග කල්පනාකොට ඔබගේ ශික්ෂාවලට මාගේ පාද හරවා ගතිමි.
60 ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි.
61 දුෂ්ටයන්ගේ රැහැන් මා වටේ එතුණේය; නුමුත් ඔබගේ ව්‍යවස්ථාව සිහිනැතිනොකෙළෙමි.
62 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා මධ්‍යම රාත්‍රියෙහි ඔබට ස්තුතිකරන්ට නැගිටින්නෙමි.
63 මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.
64 ස්වාමිනි, පොළොව ඔබගේ කරුණාවෙන් පිරී තිබේ. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
65 ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර ඔබගේ මෙහෙකරුවාට ඔබ යහපත කළසේක.
66 යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව; මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කෙළෙමි.
67 මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි; නුමුත් දැන් ඔබගේ වචනය පවත්වමි.
68 ඔබ යහපත්ය, යහපත කරනසේක; ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
69 උඩඟු අය මට විරුද්ධව බොරුවක් යෙදුවෝය. මාගේ මුළු සිතින් ඔබගේ නියෝග රක්ෂාකරන්නෙමි.
70 ඔවුන්ගේ සිත් තෙල මෙන් තරය; නුමුත් මම ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි.
71 ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණ යහපති.
72 රන්රිදී දහස් ගණනකට වඩා ඔබගේ මුඛයෙන් නික්මුණු ව්‍යවස්ථාව මට යහපත්ය.
73 ඔබගේ හස්තයෝ මා සාදා නිර්මිත කළෝය. ඔබගේ ආඥා ඉගෙනගන්නා පිණිස මට නුවණ දුන මැනව.
74 ඔබ කෙරෙහි භය ඇත්තෝ මා දැක සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවීමි.
75 ස්වාමිනි ඔබගේ විනිශ්චයන් ධර්මිෂ්ඨ බවත්, විශ්වාසකමින් ඔබ මට පීඩාකළ බවත් දනිමි.
76 ඔබගේ මෙහෙකරුවාට ඔබ කී වචනය පරිද්දෙන් ඔබගේ කරුණාගුණය මාගේ සැනසීම පිණිස වේවා.
77 මා ජීවත්වන පිණිස ඔබගේ අනුකම්පාව මා කරා පැමිණේවා. මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතියය.
78 උඩඟු අය අයුතුලෙස මා හෙළාදැමූ බැවින් ඔව්හු ලජ්ජාවෙත්වා. නුමුත් මම ඔබගේ නියෝග භාවනා කරන්නෙමි.
79 ඔබ කෙරෙහි භය ඇත්තෝ මා වෙතට හැරී එත්වා, එවිට ඔව්හු ඔබගේ ශික්ෂා දැනගන්නෝය.
80 මා ලජ්ජා නොවන පිණිස මාගේ සිත ඔබගේ පනත්වල සම්පූර්ණව පවතීවා.
81 මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි. මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
82 ඔබ කවදා මා සනසන සේක්දැයි කියන අතර ඔබගේ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
83 මක්නිසාද මම දුමෙහි තුබූ සම්භාජනයක් මෙන් වීමි; නුමුත් ඔබගේ පනත් සිහිනැති නොකරමි.
84 ඔබගේ මෙහෙකරුවාගේ දවස් කොපමණද? මට පීඩාකරන්නන් කෙරෙහි ඔබ කවදා යුක්තිය ඉෂ්ටකරනසේක්ද?
85 ඔබගේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන්නාවූ උඩඟු අය මට වළවල් හෑරුවෝය.
86 ඔබගේ ආඥා සියල්ල විශ්වාස කටයුතුය. ඔව්හු අයුතුලෙස මට පීඩාකෙරෙති; මට පිහිටවුව මැනව.
87 ඔව්හු පොළොවේදී සහමුලින්ම වාගේ මා නැතිකළෝය; එහෙත් මම ඔබගේ නියෝග අත් නොහැරියෙමි.
88 ඔබගේ කරුණාගුණය ලෙස මා ප්‍රාණවත්කළ මැනව; එවිට ඔබගේ මුඛයේ ශික්ෂාව පවත්වන්නෙමි.
89 ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ.
90 ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්නේය. ඔබ පොළොව පිහිටෙවූසේක, ඒක පවතී.
91 ඔබගේ නියමයන් ලෙස ඒවා අද දක්වා පවතී; කුමක්හෙයින්ද ඒ සියල්ල ඔබට මෙහෙකරුය.
92 ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපත්තියේදී මා විනාශවෙන්ට තිබුණේය.
93 ඔබගේ නියෝග කිසිකලක සිහි නැති නොකරන්නෙමි; මක්නිසාද ඔබ එයින් මා ප්‍රාණවත් කළසේක.
94 මම ඔබගේය, මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි.
95 දුෂ්ටයෝ මා විනාශකරන්ට බලා සිටියෝය; එහෙත් මම ඔබගේ ශික්ෂා කල්පනා කරන්නෙමි.
96 සියලු සම්පූර්ණකමේ කෙළවර දුටිමි; එහෙත් ඔබගේ ආඥාව අති විශාලය.
97 ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.
98 ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි; මක්නිසාද ඒවා නිතර මා සමඟය.
99 මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ ඇත්තේය; මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා ගැනය.
100 මා ඔබගේ නියෝග රක්ෂාකළ බැවින් වැඩිමහල්ලන්ට වඩා මට තේරුම් ඇත්තේය.
101 ඔබගේ වචනය පවත්වන පිණිස සියලු නපුරු මාර්ගවලින් මාගේ පාද වලක්වාගතිමි.
102 ඔබගේ විනිශ්චයන්ගෙන් ඉවත්ව නොගියෙමි; මක්නිසාද ඔබ මට ඉගැන්වූසේක.
103 ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද! එසේය, ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය.
104 ඔබගේ නියෝගවලින් මට නුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.
105 ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.
106 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි.
107 මම බොහෝසේ පීඩිතයෙමි. ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර මා ප්‍රාණවත්කළ මැනව.
108 ස්වාමිනි, මාගේ මුඛයෙන් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව.
109 මාගේ ප්‍රාණය නිතරම මාගේ අතෙහිය; එහෙත් ඔබගේ ව්‍යවස්ථාව සිහි නැති නොකරමි.
110 ුෂ්ටයෝ මට මලපතක් තැබුවෝය; එහෙත් ඔබගේ නියෝගවලින් මුළාව නොගියෙමි.
111 ඔබගේ ශික්ෂා සදාකාලයට උරුමයක් කොට ගතිමි; මක්නිසාද ඒවා මාගේ සිතේ ප්‍රීතියය.
112 සදාකාලේටම, අන්තිම දක්වා, ඔබගේ පනත් ඉෂ්ටකරන්ට මාගේ සිත නැමුවෙමි.
113 දෙසිත් ඇත්තවුන්ට ද්වේෂකරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.
114 ඔබ මාගේ සැඟවෙන ඉඩමත් පලිහත්ය. ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
115 නපුරුකම් කරන්නෙනි, මා වෙතින් පහවයව්. මාගේ දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන්නෙමි.
116 මා ජීවත්වන පිණිස ඔබගේ වචනය ප්‍රකාර මා දැරුව මැනව; මාගේ බලාපොරොත්තුව ගැන ලජ්ජා නොවෙම්වා.
117 මා දැරුව මැනව, එවිට මම සුරක්ෂිතව සිට, ඔබගේ පනත් නිතරම සලකන්නෙමි.
118 ඔබගේ පනත්වලින් මුළාවයන සියල්ලන් ඔබ සුළුකොට සිතූසේක. මක්නිසාද ඔවුන්ගේ වංචාව නිෂ්ඵලය.
119 ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් බොර මෙන් පහකරනසේක. එබැවින් ඔබගේ ශික්ෂාවලට ප්‍රේම කරමි.
120 ඔබට භයින් මාගේ මාංසය තැති ගනියි; ඔබගේ විනිශ්චයන්ට භයවෙමි.
121 ුක්තියත් ධර්මිෂ්ඨකමත් කෙළෙමි. මට පීඩාකරන්නන්ට මා නොහැරිය මැනව.
122 යහපත පිණිස ඔබගේ මෙහෙකරුවාට ඇපවුව මැනව. උඩඟු අය මට පීඩා නොකෙරෙත්වා.
123 ඔබ දෙන ගැළවීම හා ඔබගේ ධර්මිෂ්ඨ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
124 ඔබගේ කරුණාව පරිද්දෙන් ඔබගේ මෙහෙකරුවාට ක්‍රියාකරමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
125 මම ඔබගේ මෙහෙකරුයෙමි; ඔබගේ ශික්ෂා දැනගන්නා පිණිස මට නුවණ දුන මැනව.
126 ස්වාමීන්වහන්සේ විසින් ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන්ය; මක්නිසාද ඔව්හු ඔබගේ ව්‍යවස්ථාව කඩකළෝය.
127 එබැවින් රනට වඩා, එසේය, පවිත්‍ර රනට වඩා, ඔබගේ ආඥාවලට ප්‍රේමකරමි.
128 එබැවින් සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි සලකමි; සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.
129 ඔබගේ ශික්ෂා ආශ්චර්යමත්ය. එබැවින් මාගේ ආත්මය ඒවා රක්ෂා කරයි.
130 ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.
131 මම ඔබගේ ආඥාවලට ආශාවූ නිසා කට ඇර හතිදැමීමි.
132 ඔබගේ නාමයට ප්‍රේමවන්නන්ට ඔබගේ ව්‍යවහාරය ලෙස, මා දෙසට හැරී මට කරුණාකළ මැනව.
133 ඔබගේ වාක්‍ය මාර්ගයෙහි මාගේ පාද හැසිරෙවුව මැනව; කිසි අයුත්තකට මා කෙරෙහි බල පවත්වන්ට ඉඩ නුදුන මැනව.
134 මනුෂ්‍යයාගේ බලාත්කාරයෙන් මා මිදුව මැනව. එවිට ඔබගේ නියෝග පවත්වන්නෙමි.
135 ඔබගේ මුහුණ ස්වකීය මෙහෙකරුවා කෙරෙහි බබළවමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
136 මනුෂ්‍යයන් ඔබගේ ව්‍යවස්ථාව නොපවත්වන බැවින්, මාගේ ඇස්වලින් දිය ධාරා ගලා යෙති.
137 ස්වාමිනි, ඔබ ධර්මිෂ්ඨය, ඔබගේ විනිශ්චයෝ සෘජුය.
138 ඔබ ධර්මිෂ්ඨකමින්ද මහත් විශ්වාසකමින්ද ඔබගේ ශික්ෂා නියමකළසේක.
139 මාගේ එදිරිකාරයන් ඔබගේ වචන සිහි නැතිකළ නිසා මාගේ ජ්වලිතය මා සිඳදැම්මේය.
140 ඔබගේ වචනය ඉතා පිරිසිදුය; එබැවින් ඔබගේ මෙහෙකරුවා ඊට ප්‍රේමකරයි.
141 මම සුළු කෙනෙක්මි, නින්දා ලද්දෙක්මි. එහෙත් ඔබගේ නියෝග සිහිනැති නොකරමි.
142 ඔබගේ ධර්මිෂ්ඨකම සදාකාලික ධර්මිෂ්ඨකමක්ය, ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යයය.
143 විපත හා සිත් වේදනාව මා කරා පැමිණ තිබේ. එහෙත් ඔබගේ ආඥා මාගේ ප්‍රීතියය.
144 ඔබගේ ශික්ෂා සදාකාලේටම ධර්මිෂ්ඨය. මා ජීවත්වන පිණිස මට නුවණ දුන මැනව.
145 මම මුළු සිතින් යාච්ඤාකෙළෙමි; ස්වාමිනි, මට උත්තරදුන මැනව. ඔබගේ පනත් රක්ෂාකරන්නෙමි.
146 මම ඔබට අඬගැසීමි; මා ගැළෙවුව මැනව, එවිට ඔබගේ ශික්ෂා පවත්වන්නෙමි.
147 මම අලුයමට පළමුවෙන් නැගිට මොරගැසීමි, ඔබගේ වචන කෙරෙහි බලාපොරොත්තුවීමි.
148 ඔබගේ වචනය භාවනාකරන පිණිස රෑ යාම්වලට පළමුවෙන් මාගේ ඇස් ඇරුණේය.
149 ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මාගේ ශබ්දය ඇසුව මැනව. ස්වාමිනි, ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව.
150 දුෂ්ටකම අනුව යන්නෝ ළංවෙති; ඔව්හු ඔබගේ ව්‍යවස්ථාවෙන් දුරුව සිටිති.
151 ස්වාමිනි, ඔබ ළංව සිටිනසේක; ඔබගේ සියලු ආඥා සත්‍යයය.
152 ඔබගේ ශික්ෂා සදාකාලේටම පිහිටෙවු බව පෙර සිට එයින් දැනගතිමි.
153 මාගේ විපත්තිය බලා මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව සිහිනැති නොකරමි.
154 මාගේ යුක්තිය කියා මා මිදුව මැනව; ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
155 ගැළවීම දුෂ්ටයන්ගෙන් දුරය; මක්නිසාද ඔව්හු ඔබගේ පනත් නොසොයති.
156 ස්වාමිනි, ඔබගේ අනුකම්පා මහත්ය. ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව.
157 මට පීඩාකරන්නෝද මාගේ එදිරිකාරයෝද බොහෝය; එහෙත් මම ඔබගේ ශික්ෂාවලින් ඉවත නොගියෙමි.
158 මම ද්‍රෝහිකම්කරන්නන් දැක දුක්වීමි; මක්නිසාද ඔව්හු ඔබගේ වචනය නොපවත්වති.
159 ඔබගේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි කල්පනාකළ මැනව. ස්වාමිනි, ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මා ප්‍රාණවත්කළ මැනව.
160 ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය; ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකල් පවත්නේය.
161 අධිපතීහු නිකරුණේ මට පීඩාකළෝය; නුමුත් මාගේ සිත ඔබගේ වචන වලට භයින් පවතී.
162 මහත් කොල්ලයක් ලබන කෙනෙකු මෙන් මම ඔබගේ වචනයෙහි ප්‍රීතිමත්වෙමි.
163 බොරුවට වෛරකොට පිළිකුල් කරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.
164 ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා දවසට සත් වරක් ඔබට ප්‍රශංසා කරමි.
165 ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිළීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.
166 ස්වාමිනි, ඔබගේ ගැළවීම බලා සිටියෙමි, ඔබගේ ආඥා ඉෂ්ටකෙළෙමි.
167 මාගේ ආත්මය ඔබගේ ශික්ෂා පැවැත්විය; මම ඊට බොහෝසෙයින් ප්‍රේමකරමි.
168 මම ඔබගේ නියෝග හා ශික්ෂා පැවැත්වීමි; මක්නිසාද මාගේ සියලු මාර්ග ඔබ ඉදිරියෙහිය.
169 ස්වාමිනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේවා. ඔබගේ වචනය පරිද්දෙන් මට නුවණ දුන මැනව.
170 මාගේ අයදීම ඔබ ඉදිරියට පැමිණේවා. ඔබගේ වචනය ලෙස මා මිදුව මැනව.
171 ඔබගේ පනත් ඔබ මට උගන්වන බැවින් මාගේ තොල් ප්‍රශංසාව ප්‍රකාශ කෙරේවා.
172 ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨකම වන බැවින් මාගේ දිව ඔබගේ වචනය ගැන ගී කියාවා.
173 ඔබගේ හස්තය මට උපකාර පිණිස සූදානම්වේවා; මක්නිසාද මම ඔබගේ නියෝග තෝරාගතිමි.
174 ස්වාමිනි, මම ඔබ දෙන ගැළවීම ගැන ආශාවෙමි; ඔබගේ ව්‍යවස්ථාවද මාගේ ප්‍රීතියය.
175 මාගේ ආත්මය ජීවත්වේවා, එවිට එය ඔබට ප්‍රශංසාකරන්නේය; ඔබගේ විනිශ්චයෝ මට උපකාර කෙරෙත්වා.
176 නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි; ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව; මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.



ගීතාවලිය 120

1 මාගේ විපත්තියේදී ස්වාමීන්ට, මොරගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන්සේක.
2 ස්වාමිනි, බොරු කියන තොල්වලින්ද වංචාකාර දිවෙන්ද මාගේ ආත්මය ගැළෙවුව මැනව.
3 එම්බා වංචාකාර දිව, ඔබට දිය යුත්තේ කිමෙක්ද? ඔබට තවත් කරන්නේ කිමෙක්ද?
4 රෝතෙම් ගිනි අඟුරු සමඟ බලවන්තයාගේ තියුණු ඊගස්ය.
5 අහෝ, මෙෂෙක්හි විදේශීව සිටීමද කේදාර්හි කූඩාරම් අතරේ වාසය කිරීමද මට දුකක්ය.
6 සමාදානයට ද්වේෂකරන්නා සමඟ මාගේ ආත්මය බොහෝ කල් වාසය කෙළේය.
7 මම සමාදානයට කැමැත්තෙමි. නුමුත් මා කථාකරන කල ඔව්හු සටනට සැරසෙති.



ගීතාවලිය 121

1 කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?
2 මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය.
3 උන්වහන්සේ ඔබේ පය සෙලවෙන්ට නොදෙනසේක. ඔබ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක.
4 බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය.
5 ස්වාමීන්වහන්සේ ඔබ ආරක්ෂා කරන තැනන්වහන්සේය. ස්වාමීන්වහන්සේ දකුණතින් ඔබට සෙවණය.
6 දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් ඔබට පහර නොදෙන්නේය.
7 ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් ඔබ ආරක්ෂාකරනසේක. ඔබේ ප්‍රාණය ආරක්ෂාකරනසේක.
8 දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ ඔබේ යාම ඊම ආරක්ෂාකරනසේක.



ගීතාවලිය 122

1 ස්වාමීන්ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.
2 එම්බා යෙරුසලම, අපේ පාද ඔබේ දොරටු ඇතුළේ තබා තිබේ.
3 එම්බා යෙරුසලම, මනාකොට සෑදූ නුවරක් මෙන් ඔබ ගොඩනගනලද්දීය.
4 ගෝත්‍රයෝ, ස්වාමීන්ගේ ගෝත්‍රයෝ, ඉශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමීන්ගේ නාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති.
5 මක්නිසාද සිංහාසන, එනම් දාවිත්ගේ වංශයේ සිංහාසන, විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ.
6 යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤාකරව්. ඔබට ප්‍රේමකරන්නෝ දියුණුවන්නෝය.
7 ඔබේ පවුරු ඇතුළත සමාදානයත් ඔබේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා.
8 මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා: ඔබ ඇතුළේ සමාදානය වේවයි කියමි.
9 අපේ දෙවිවූ ස්වාමීන්ගේ ගෘහය නිසා ඔබේ යහපත සොයන්නෙමි.



ගීතාවලිය 23

1 ස්වර්ගයෙහි වැඩහිඳින තැනන්වහන්ස, ඔබ දෙසට මාගේ ඇස් ඔසවමි.
2 බලව, මෙහෙකරුවන්ගේ ඇස් ඔවුන්ගේ ස්වාමියාගේ අත දෙසත් මෙහෙකාරියෙකුගේ ඇස් ඇගේ ස්වාමි දුවගේ අත දෙසත් බලන්නාක්මෙන්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට කරුණාකරන තෙක්, අපේ ඇස් උන්වහන්සේ දෙස යොමා තිබේ.
3 ස්වාමිනි, අපට කරුණාකළ මැනව, අපට කරුණාකළ මැනව. මක්නිසාද අපි අධික ලෙස නින්දා වෙන් පිරී සිටිමුව.
4 සැපෙන් සිටින [අභක්තීන්ගේ] අපහාසයෙන්ද අහංකාරීන්ගේ නින්දාවෙන්ද අපේ ආත්මය අධික ලෙස පිරී තිබේ.



ගීතාවලිය 124

1 ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,
2 මනුෂ්‍යයන් අපට විරුද්ධව නැගිටි කල අපේ පක්ෂයෙහි සිටියේ ස්වාමීන්වහන්සේ නොවී නම්,
3 ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු කල, ඔවුන් අප පණපිටින් ගිලගන්ට තිබුණේය.
4 එකල්හි ජලය අප වසාගන්නවා ඇත, දියපාර අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.
5 එකල්හි උඩඟු ජලය අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.
6 ඔවුන්ගේ දත්වලට අප ගොදුරු කොට නුදුන් ස්වාමීන්ට ප්‍රශංසාවේවා.
7 පක්ෂි වැද්දන්ගේ උගුලෙන් පක්ෂියෙකු මෙන් අපේ ප්‍රාණය ගැළවුණේය. උගුල බිදී ගියේය, අපි ගැළවුණෙමුව.
8 අපේ උපකාරය අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගේ නාමය කෙරෙහිය.



ගීතාවලිය 125

1 ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝ සෙලවිය නොහැකිවූ සදාකල් පවතින්නාවූ සියොන් කන්ද මෙන්ය.
2 යෙරුසලම හාත්පස කඳු තිබෙන්නාක්මෙන්, දැන් පටන් සදාකල්ම, ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟ හාත්පසින් සිටිනසේක.
3 මක්නිසාද ධර්මිෂ්ඨයන් අයුතුකමට අත් දිගු නොකරන පිණිස දුෂ්ටකමේ ජයකොන්තය ධර්මිෂ්ඨයන්ගේ උරුමකොටසෙහි නොරඳන්නේය.
4 ස්වාමිනි, යහපතුන්ටත් අවංක සිත් ඇත්තන්ටත් යහපත කළ මැනව.
5 නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහි ස්වාමීන්වහන්සේ අයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක. ඉශ්‍රායෙල් කෙරෙහි සමාදානය වේවා.



ගීතාවලිය 126

1 ස්වාමීන්වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව.
2 එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල: ස්වාමීන්වහන්සේ මොවුන් උදෙසා මහත් දේ කළසේකැයි ජාතීන් අතරේ කියනලද්දේය.
3 ස්වාමීන්වහන්සේ අප උදෙසා මහත් දේ කළසේක; එබැවින් අපි සන්තෝෂවෙමුව.
4 ස්වාමිනි, අපෙන් වහල්ව සිටින්නන් දකුණු දිසාවේ ඇළවල් මෙන් ආපසු ගෙන අව මැනව.
5 කඳුළු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය.
6 ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය.



ගීතාවලිය 127

1 ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.
2 වේලාසනින් නැගිටීමත්, බොහෝ රෑවෙනකල්ම නිවාඩු නොගැනීමත්, වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් ඔබ සැමට නිෂ්ඵලවේ. මක්නිසාද උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක.
3 බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.
4 බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය.
5 එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. ඔව්හු දොරටුවේදී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝය.



ගීතාවලිය 128

1 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය.
2 මක්නිසාද ඔබ ඔබේ අත් වැඩේ ඵල කන්නෙහිය. ඔබ වාසනාවන්තවන්නෙහිය, ඔබට ශුභ සිද්ධවන්නේය.
3 ඔබේ භාර්යාව ඔබේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය. ඔබේ දරුවෝ ඔබේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.
4 බලව, ස්වාමීන් කෙරෙහි භයවන තැනැත්තේ මෙසේ ආශීර්වාදකරනසේක.
5 ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ඔබට ආශීර්වාදකරනසේක. ඔබේ ජීවිතයේ සියලු දවස්වල යෙරුසලමේ යහපත දක්නෙහිය.
6 එසේය, ඔබේ දරුවන්ගේ දරුවන් දක්නෙහිය. ඉශ්‍රායෙල්ට සමාදානය වේවා.



ගීතාවලිය 129

1 ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය.
2 මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය. එහෙත් මාගෙන් ජය නොගත්තෝය.
3 හී හාන්නෝ මාගේ පිටෙහි හෑවෝය; තමුන්ගේ හීවිටි දීර්ඝකොට හෑරූය.
4 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය. උන්වහන්සේ දුෂ්ටයන්ගේ බැමි කපාහැරියසේක.
5 සියොන්ට ද්වේෂකරන සියල්ලෝ ලජ්ජාවී ආපසු හරවනු ලබත්වා.
6 වැඩෙන්ට පළමුවෙන් වියළීයන්නාවූ වහල පිට තෘණ මෙන් වෙත්වා.
7 කපන්නා එයින් තමාගේ මිටවත් මිටි බඳින්නා තමාගේ තුරුල්ලවත් නොපුරවයි.
8 මගයන්නෝද: ස්වාමීන්ගේ ආශීර්වාදය ඔබ සැමට වේවා; ස්වාමීන්ගේ නාමයෙන් ඔබ සැමට ආශීර්වාදකරමුයයි නොකියති.



ගීතාවලිය 130

1 ස්වාමිනි, ගැඹුරු තැන්වල සිට ඔබට මොරගැසීමි.
2 ස්වාමිනි, මාගේ ශබ්දය ඇසුව මැනව. මාගේ කන්නලව් ශබ්දයට ඔබගේ කන් යොමුවේවා.
3 ස්වාමිනි, ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද?
4 නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.
5 මම ස්වාමීන් කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
6 අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, එසේය, අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියි.
7 එම්බා ඉශ්‍රායෙල්, ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද ස්වාමීන් වෙත දයාව ඇත්තේය, උන්වහන්සේ වෙත බොහෝසෙයින් මිදීමද ඇත්තේය.
8 උන්වහන්සේ ඉශ්‍රායෙල් ඔහුගේ අයුතුකම් සියල්ලෙන් මුදා හරිනසේක.



ගීතාවලිය 131

1 ස්වාමිනි, මාගේ සිත උඩඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ; මහත් කාරණාවලවත් මාගේ පමණට වැඩිවූ මහත් ක්‍රියාවලවත් මැදි නොවෙමි.
2 සැබවින් මාගේ ආත්මය සනසා නිශ්චලකරගතිමි; කිරිවැරූ ළදරුවෙක් මවු වෙත යම්සේද, මාගේ ආත්මය මා වෙත කිරිවැරූ ළදරුවෙකු මෙන් වේ.
3 එම්බා ඉශ්‍රායෙල්, මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තු වෙව.



ගීතාවලිය 132

1 ස්වාමිනි, දාවිත්ගේ දුක් සියල්ල ඔහු උදෙසා සිහිකළ මැනව;
2 එනම් ස්වාමීන්ට ස්ථානයක්ද යාකොබ්ගේ පරාක්‍රමයාණන්වහන්සේට මණ්ඩපයක්ද සොයාගන්නා තෙක්
3 සැබවින් මාගේ ගෙයි මණ්ඩපයට ඇතුල් නොවන්නෙමි, මාගේ යහනට නොනගින්නෙමි;
4 මාගේ ඇස්වලට නින්දවත් ඇසිපියවලට නිදිබරවත් නොදෙන්නෙමියි කියා
5 ඔහු ස්වාමීන්ට දිවුරමින් යාකොබ්ගේ පරාක්‍රමයාණන්වහන්සේට භාරයක් වූ හැටි සිහිකළ මැනව.
6 බලව, එප්‍රාතාහිදී එපවත් ඇසීමුව. වන පෙදෙසේහි එය අපට සම්බවුණේය.
7 අපි උන්වහන්සේගේ මණ්ඩපවලට යන්නෙමුව; උන්වහන්සේගේ පාපුටුව ළඟ නමස්කාරකරන්නෙමුව,
8 ස්වාමිනි, නැගිට ඔබගේ ශක්තියේ ගිවිසුම්-පෙට්ටිය ඇතිව, ඔබගේ නිවාඩු ස්ථානයට වැඩිය මැනව.
9 ඔබගේ පූජකයෝ ධර්මිෂ්ඨකමින් සැරසෙත්වා; ඔබගේ ශුද්ධවන්තයෝ ප්‍රීතිශබ්ද කෙරෙත්වා.
10 ඔබගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔබගේ අභිෂේකලත් නැනැත්තාගේ මුහුණ ඉවත් නොකළ මැනව.
11 ඔබේ ශරීර ඵලයෙන් ඔබේ සිංහාසනයෙහි හිඳුවන්නෙමියි කියාද, ඔබේ පුත්‍රයෝ මාගේ ගිවිසුමද මා ඔවුන්ට උගන්වන ශික්ෂාද රක්ෂාකරන්නෝ නම්,
12 ඔවුන්ගේ පුත්‍රයොත් ඔබේ සිංහාසනය පිට සදාකල් හිඳින්නෝය කියාද, ස්වාමීන්වහන්සේ දාවිත්ට සැබෑ ලෙසින් දිවුළසේක; උන්වහන්සේ එයින් නොහැරෙන සේක.
13 මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් තෝරාගත්සේක; ස්වකීය නිවාසය ලෙස ඊට ආශාවූසේක.
14 මෙය සදාකල්ම මාගේ නිවාඩු ස්ථානයය. මෙහි වසන්නෙමි; මක්නිසාද ඊට ආශාවීමි.
15 සියොනේ ආහාරයට බොහෝසෙයින් ආශීර්වාදකරන්නෙමි. එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි.
16 එහි පූජකයන්ද ගැළවීමෙන් පළඳවන්නෙමි. එහි ශුද්ධවන්තයොත් ප්‍රීතියෙන් ඝෝෂාකරන්නෝය.
17 එහි දාවිත්ගේ අඟ ලියලවන්නෙමි. මාගේ අභිෂේකලත් තැනැත්තාට පහනක් පිළියෙළකෙළෙමි.
18 ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්‍රයෙන් පළඳවන්නෙමි. නුමුත් ඔහු මත්තේ ඔහුගේ ඔටුන්න ශෝභමාන වන්නේය.



ගීතාවලිය 133

1 බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!
2 එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය;
3 සියොන් කඳු පිටට බසින්නාවූ හෙර්මොන්හි පිනි හා සමානය. මක්නිසාද ස්වාමීන්වහන්සේ එහිදී ආශීර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළ සේක.



ගීතාවලිය 134

1 රාත්‍රීභාගයේ ස්වාමීන්ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමීන්ගේ සියලු මෙහෙකරුවෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
2 ශුද්ධස්ථානය දෙසට අත් ඔසවා, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
3 ස්වාමීන්වහන්සේ, එසේය, අහසත් පොළොවත් මැවූ තැනන්වහන්සේ, සියොන්හි සිට ඔබට ආශීර්වාදකරන සේක්වා.



ගීතාවලිය 135

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්; ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි,
2 ස්වාමීන්ගේ ගෘහයෙහි, අපේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
3 ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ නාමය ප්‍රියකරු නිසා ගී කියමින් එය වර්ණනාකරව්.
4 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ටම යාකොබ්ද තමන්ගේ විශේෂ වස්තුව කොට ඉශ්‍රායෙල්ද තෝරාගත්සේක.
5 මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් බවත් අපේ ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උසස් බවත් දනිමි.
6 ස්වාමීන්වහන්සේ යමකට කැමතිවූසේක්ද එය අහසෙහිද පොළොවෙහිද මුහුදු වල සහ හැම ගැඹුරු තැන්හිද ඉෂ්ටකළසේක.
7 උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.
8 උන්වහන්සේ මිසරයේ මනුෂ්‍යයන්ගෙත් මෘගයන්ගෙත් කුලුඳුලන්ට පහරදුන්සේක.
9 එම්බා මිසරය, ඔබ මැදට, ඵාරාවෝ සහ ඔහුගේ සියලු මෙහෙකරුවන් කෙරෙහි, උන්වහන්සේගේ ලකුණු හා හාස්කම් පැමිණවූසේක.
10 උන්වහන්සේ බොහෝ ජාතීන්ට පහරදී, බලවත් රජුන් නැසූසේක;
11 අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා,
12 ඔවුන්ගේ දේශය උරුමයක් පිණිස, ස්වකීය සෙනඟවූ ඉශ්‍රායෙල්ට උරුමයක් පිණිස, දුන්සේක.
13 ස්වාමිනි, ඔබගේ නාමය සදාකල් පවත්නේය; ස්වාමිනි, ඔබ සිහිකිරීම සියලු පරම්පරා දක්වා වන්නේය.
14 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ විනිශ්චයකරනසේක, ස්වකීය මෙහෙකරුවන් ගැන තැවෙනසේක.
15 ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය.
16 ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති;
17 කන් ඇත, එහෙත් නොඅසති; ඒවායේ කටවල හුස්මත් නැත.
18 ඒවා සාදන්නොත්, එසේය, ඒවා කෙරෙහි විශ්වාසකරන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.
19 එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
20 එම්බා ලෙවී වංශය, ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
21 යෙරුසලමෙහි වසන ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ප්‍රශංසා ලබන සේක්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 136

1 ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
2 දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
3 ස්වාමිවරුන්ගේ ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
4 මහත් ආශ්චර්යයන් කරන එකම තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
5 නුවණින් අහස මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය.
6 ජල මතුයෙහි පොළොව අතුළාවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
7 මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
8 දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
9 රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
10 කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
11 ඔවුන් අතරෙන් ඉශ්‍රායෙල් පිටත ගෙනා උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
12 බලවත් හස්තයකින් හා දිගුකළ බාහුවකින් එසේ කළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
13 රතු මුහුද දෙකට බෙදූ තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
14 ඉශ්‍රායෙල්වරුන්ද ඒ මැදින් යැවූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය.
15 ඵාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ හෙළාදැමූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
16 ස්වකීය සෙනඟ කාන්තාරය මැදින් ගෙනගිය තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
17 මහත් රජුන්ට පහරදුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
18 කීර්තිමත් රජුන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
19 අමෝරිවරුන්ගේ රජවූ සීහොන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්]. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
20 බාෂාන්හි රජවූ ඕග්ද නැසූ උන්වහ්නසේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
21 ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
22 ස්වකීය මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට එය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
23 අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
24 අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
25 උන්වහන්සේ මාංසමයවූ සියල්ලන්ට ආහාර දෙනසේක. මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
26 ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.



ගීතාවලිය 137

1 බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව,--එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව.
2 එහි මැද නළාගස්වල අපේ වීණා එල්ලා තැබීමුව.
3 මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය: සියොන් ගීතිකාවලින් එකක් කියා සෙල්ලම්කරන්ට කිවුය.
4 අන්‍ය දේශයකදී ස්වාමීන්ගේ ගීය කෙසේ ගායනා කරමුද?
5 එම්බා යෙරුසලම, ඔබ මට සිහිනැතිවී නම්. මාගේ දකුණු අතට ඒකේ හුරුකම සිහිනැතිවේවා.
6 මම ඔබ සිහි නොකෙරෙම් නම්, මාගේ ප්‍රධාන ප්‍රීතියට වඩා යෙරුසලම උතුම්කොට නොසිතම් නම්, මාගේ දිව උඩුතල්ලේ ඇලේවා.
7 බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්‍රයන්ට විරුද්ධව, ස්වාමිනි, යෙරුසලමේ දවස සිහිකළ මැනව.
8 විනාශයට කැපවූ බබිලොන් දියණියෙනි, ඔබ අපට කළාක්මෙන් ඔබට විපාකදෙන තැනැත්තේ වාසනාවන්තවන්නේය.
9 ඔබේ ළදරුවන් රැගෙන ගලේ ගසන තැනැත්තේ වාසනාවන්තවන්නේය.



ගීතාවලිය 138

1 මාගේ මුළු සිතින් ඔබට ස්තුතිකරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගීයෙන් ප්‍රශංසාකරන්නෙමි.
2 ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට නමස්කාරකරමින්, ඔබගේ කරුණාගුණය සහ සත්‍යය නිසා ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි. මක්නිසාද ඔබගේ මුළු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම්කළසේක.
3 මා ඔබට අඬගැසූ දවසේදී ඔබ මට උත්තරදී, මාගේ ආත්මය ශක්තිමත්කොට ධෛර්යදුන්සේක.
4 ස්වාමිනි, පොළොවේ සියලු රජවරු ඔබගේ මුඛයේ වචන ඇසූ බැවින් ඔබට ස්තුතිකරන්නෝය.
5 එසේය, ස්වාමීන්ගේ මහිමය උතුම් නිසා, ඔව්හු ස්වාමීන්ගේ මාර්ගය ගැන ගීතිකාකරන්නෝය.
6 මක්නිසාද ස්වාමීන්වහන්සේ උසස් නුමුත් පහත් අය සලකනසේක. නුමුත් උඩඟු අය දුරදීම දන්නාසේක.
7 මම විපත්ති මැද හැසිරෙම් නුමුත් ඔබ මා ප්‍රාණවත්කරනසේක; ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධව ඔබගේ හස්තයද දිගුකරනසේක, ඔබගේ දකුණු හස්තයද මා ගළවන්නේය.
8 ස්වාමීන්වහන්සේ මා සම්බන්ධ කාරණය සම්පූර්ණකරනසේක. ස්වාමිනි, ඔබගේ කරුණාව සදාකල් පවත්නේය; ඔබගේම හස්තකර්ම අත් නොහළ මැනව.



ගීතාවලිය 139

1 ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක.
2 ඔබ මාගේ හිදීමද නැඟිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි.
3 ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක.
4 මක්නිසාද, ස්වාමීනි, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.
5 ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වටකරමින්, ඔබගේ හස්තය මා පිට තැබූසේක.
6 මෙවැනි ඥානය මට අතිශයින් පුදුමය; එය උසස්ය, ඊට ළඟාවෙන්ට නොහැකිවෙමි.
7 ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද?
8 මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි1 39:8 හෙවත්, පාතාලයෙහි. මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය.
9 මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්;
10 එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නෝය.
11 සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්‍රිය වන්නේයයි කීයෙම් නුමුත්,
12 අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය.
13 මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක.
14 මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.
15 මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය.
16 ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය.
17 දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!
18 ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය. මම පිබිදෙන විටත් ඔබ සමඟ වෙමි.
19 දෙවියන්වහන්ස, සැබවින් ඔබ දුෂ්ටයා මරනසේක. එබැවින් මිනීමරුවෙනි, මා වෙතින් අහක්ව යව්.
20 මක්නිසාද ඔව්හු දුෂ්ටලෙස ඔබට විරුද්ධව කථාකෙරෙති, ඔබගේ සතුරෝ ඔබගේ නාමය නිරර්ථකයේ කියති.
21 ස්වාමිනි, ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව ගැනිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද?
22 සම්පූර්ණ වෛරයකින් ඔවුන්ට වෛර කරමි. ඔවුන් මාගේ සතුරන් කොට ගණන් ගනිමි.
23 දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව.
24 යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.



ගීතාවලිය 140

1 ස්වාමිනි, නපුරු මනුෂ්‍යයාගෙන් මා ගැළෙවුව මැනව; බලාත්කාරකරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව.
2 ඔව්හු සිතින් නපුරු උපා යොදති; නොකඩවම යුද්ධ උපදවති.
3 ඔව්හු සර්පයෙකු මෙන් තමුන්ගේ දිව තියුණුකළෝය, ඔවුන්ගේ තොල් යට පොළොං විෂ ඇත.
4 ස්වාමීනි, දුෂ්ටයාගේ අත්වලින් මා රැකගත මැනව; බලාත්කාරකරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පාද නෙරපාදමන්නට සිතුවෝය,
5 උඩඟු අය මට මලපතක් තබා රැහැන් ඇද්දෝය; ඔව්හු මග අසබඩ දැලක් එළා, මට මලපත් තැබූය.
6 ඔබ මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන්ට කීමි. ස්වාමිනි, මාගේ කන්නලව් ශබ්දයට ඇහුම්කන්දුන මැනව.
7 මාගේ ගැළවීමේ ශක්තියවූ ස්වාමීවූ දෙවියන්වහන්ස, යුද්ධ දවසේදී ඔබ මාගේ හිස වැසූසේක.
8 ස්වාමිනි, දුෂ්ටයාගේ ආශාව ඉෂ්ට නොකළ මැනව; ඔහුගේ නපුරු උපා දියුණු නොකළ මැනව; කළහොත් ඔව්හු උඩඟු වන්නෝය.
9 මා වටකරගන සිටින්නන්ගේ හිස තමුන්ගේම තොල්වල නපුරුකමින් වැසේවා.
10 ඔවුන් පිට ගිනි අඟුරු වැටේවා. ඔව්හු ගින්නෙහිද ගොඩ එන්ට බැරි ගැඹුරු වළවලද හෙළනු ලබත්වා.
11 නපුරුවූ කේලාම්කාර මනුෂ්‍යයා පොළොවෙහි ස්ථිර නොවන්නේය. බලාත්කාරකරන්නා හෙළන පිණිස නපුර ලුහුබැඳින්නේය.
12 ස්වාමීන්වහන්සේ පීඩිතයාගේ කාරණයත් දිළින්ඳාගේ යුක්තියත් ඉෂ්ටකරන බව දනිමි.
13 සැබවින් ධර්මිෂ්ඨයෝ ඔබගේ නාමයට ස්තුතිකරන්නෝය. අවංකයෝ ඔබ ඉදිරියෙහි වාසයකරන්නෝය.



ගීතාවලිය 141

1 ස්වාමීනි, මම ඔබට යාච්ඤාකෙළෙමි; මා ළඟට ඉක්මනින් අව මැනව. ඔබට යාච්ඤාකරන කල මාගේ ශබ්දයට ඇහුම්කන්දුන මැනව.
2 මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.
3 ස්වාමිනි, මාගේ කටෙහි රැකවලක් තබා, මාගේ තොල් නමැති දොර රක්ෂාකළ මැනව.
4 අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොකළ මැනව; ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකෙරමේවා.
5 ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා. මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ යාච්ඤාව පවතින්නේය.
6 ඔවුන්ගේ විනිශ්චයකාරයෝ ප්‍රපාතවලින් හෙළනු ලබති; ඔව්හු මාගේ වචන අසන්නෝය; මක්නිසාද ඒවා මිහිරිය.
7 පොළොව හාලා පෙරළන කල්හි මෙන් අපේ ඇට මිනීවළේ කට ළඟ ඉසිරී තිබේ.
8 එසේය, ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ ඇස් ඔබ දෙස යොමුවී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි; මාගේ ප්‍රාණය අසරණවෙන්ට නොහළ මැනව.
9 ඔවුන් මට තැබූ මලපතින්ද අයුතුකම්කරන්නන්ගේ උගුල්වලින්ද මා ආරක්ෂාකළ මැනව.
10 මා ගැළවීයන අතර දුෂ්ටයෝ තමුන්ගේම දැල්වල වැටෙත්වා.



ගීතාවලිය 142

1 මාගේ ශබ්දය නගා ස්වාමීන්ට මොරගසමි; ස්වාමීන්ට මාගේ ශබ්දය නගා කන්නලව් කරමි.
2 මාගේ විලාපය උන්වහන්සේ ඉදිරියෙහි වගුරුවමි; උන්වහන්සේ ඉදිරියෙහි මාගේ දුක පෙන්වා සිටිමි.
3 මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවූ කල ඔබ මාගේ මාවත දැනගත් සේක. මා ගමන්කරන මාර්ගයෙහි ඔව්හු මට මලපතක් සඟවා තැබුවෝය.
4 මාගේ දකුණතට ඇස් හෙළා බැලුව මැනව; මක්නිසාද මා අඳුනන කිසිවෙක් නැත්තේය. මට රක්ෂාස්ථානයත් නැතිවිය; කිසිවෙක් මාගේ ප්‍රාණය ගැන සලකන්නේ නැත.
5 ස්වාමිනි, මම ඔබට මොරගැසීමි; ඔබ මාගේ රක්ෂාස්ථානයත් ජීවතුන්ගේ දේශයෙහි මාගේ කොටසත්යයි කීයෙමි.
6 මාගේ මොරගැසීමට කන්දුන මැනව; මක්නිසාද මම ඉතා පහත්කරනු ලැබීමි. මට පීඩාකරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය.
7 මා විසින් ඔබගේ නාමයට ස්තුතිකරන පිණිස මාගේ ආත්මය හිරගෙයින් මිදුව මැනව. ඔබ මට යහපත්කම්කරන බැවින් ධර්මිෂ්ඨයෝ මා පිරිවරාගන්නෝය.



ගීතාවලිය 143

1 ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව; මාගේ කන්නලව්වට ඇහුම්කන්දුන මැනව. ඔබගේ විශ්වාසකමින්ද ධර්මිෂ්ඨකමින්ද මට උත්තරදුන මැනව.
2 ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වෙන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.
3 සතුරා මාගේ ආත්මයට පීඩාකෙළේය; ඔහු මාගේ ජීවිතයට පහරදී බිම හෙළුවේය. ඔහු වනාහි මැරී බොහෝ කල් ගියවුන් මෙන් අඳුරු තැන්වල විසීමට සැලැස්විය.
4 එබැවින් මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවේ; මාගේ සිත මා තුළෙහි සැනසීම් රහිතය.
5 පුරාණ දවස් සිහිකරමි; ඔබගේ සියලු ක්‍රියා භාවනාකරමි ඔබගේ හස්තකර්ම මෙනෙහිකරමි.
6 මාගේ අත් ඔබ දෙසට දිගුකරමි. වියළි බිමක් මෙන් මාගේ ආත්මය ඔබට පිපාසාවේ.
7 ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව; මාගේ ආත්මය ක්ලාන්තවේ. වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
8 උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව; මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව; මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි.
9 ස්වාමිනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙවුව මැනව. සැඟවෙන පිණිස ඔබ වෙතට පලාඑමි.
10 ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.
11 ස්වාමිනි, ඔබගේ නාමය උදෙසා මා ප්‍රාණවත්කළ මැනව ඔබගේ ධර්මිෂ්ඨකම නිසා මාගේ ආත්මය විපතින් මිදුව මැනව.
12 ඔබගේ අධික කරුණාවෙන් මාගේ සතුරන් සිඳදමා, මාගේ ආත්මයට පීඩාකරන සියල්ලන් විනාශකළ මැනව; මක්නිසාද මම ඔබගේ මෙහෙකරුයෙමි.



ගීතාවලිය 144

1 යුද්ධයට මාගේ අත්ද සටනට මාගේ ඇඟිලිද පුරුදුකරවන්නාවූ මාගේ පර්වතයවූ ස්වාමීන්ට ප්‍රශංසා වේවා.
2 උන්වහන්සේ මට කරුණා නිධානයය, මාගේ බලකොටුවය, මාගේ උස් කොටුව හා මාගේ මිඳුම්කරුය; මාගේ පලිහ හා මා විසින් විශ්වාසය තබන තැනැන්වහන්සේය; මාගේ සෙනඟ මට යටත්කරදෙන්නේ උන්වහන්සේය.
3 ස්වාමිනි, ඔබ විසින් මනුෂ්‍යයා ගැන කල්පනාකිරීමට හෝ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට හෝ ඔහු කවුද?
4 මනුෂ්‍යයා වනාහි හිස්කමට සමානය. ඔහුගේ දවස් පහවයන සෙවණැල්ලක් වැනිය.
5 ස්වාමිනි, ඔබගේ අහස නමාගෙන බැස්ස මැනව. කඳු ස්පර්ශකළ මැනව, එවිට එයින් දුම් නගින්නේය.
6 විදුලි විහිදුවා ඔවුන් විසිරවුව මැනව; ඔබගේ ඊගස් විද ඔවුන් පැරදවුව මැනව.
7 ඉහළින් ඔබගේ හස්තය දිගුකළ මැනව; මහත් ජලධාරාවලින්ද විදේශීන්ගේ අතින්ද මා උදුරා මුදාගත මැනව.
8 ඔවුන්ගේ මුඛය නිෂ්ඵල දේ කියයි, ඔවුන්ගේ දකුණත බොරුවෙන් යුක්තවූ දකුණතක්ය.
9 දෙවියන්වහන්ස, ඔබට අලුත් ගීයක් ගායනාකරන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.
10 රජුන්ට ගැළවීම දෙන්නෙත් ස්වකීය මෙහෙකරුවූ දාවිත් හිංසා කරන කඩුවෙන් මුදාගන්නෙත් උන්වහන්සේය.
11 විදේශීන්ගේ අතින් මා උදුරා මුදාගත මැනව. ඔවුන්ගේ මුඛය නිෂ්ඵලදේ කියයි, ඔවුන්ගේ දකුණත බොරුවෙන් යුක්තවූ දකුණතක්ය.
12 යම් කලෙක අපේ පුත්‍රයෝ තරුණ වයසේදී වැඩුණු පැළ මෙන් හා අපේ දූවරු මාලිගා කැටයම් ප්‍රකාර කැටයම් කළ කොනේ ගල් මෙන් වන්නෝද,
13 අපේ ගබඩාවල් සියලු ආකාර ධාන්‍යයෙන් පිරී තිබෙන්නේද, අපේ කෙත්වලදී බැටළුවෝ දහස් ගණන්, දස දහස් ගණන්, වර්ධනය වන්නෝද,
14 අපේ ගොන්නු මනාසේ බර පටවනු ලබන්නෝද, බලාත්කාරයෙන් ඇතුල්වීමක්වත් පිටත යාමක්වත් නොවන්නේද, අපේ වීථිවල කෝලාහලයක්වත් නොවන්නේද,
15 එකල්හි ඒ ආකාර සෙනඟ වාසනාවන්තයෝය. එසේය, ස්වාමීන්වහන්සේ තමුන්ගේ දෙවියන්වහන්සේ කොට ගත් සෙනඟ වාසනාවන්තයෝය.



ගීතාවලිය 145

1 මාගේ දෙවිවූ රජ්ජුරුවන්වහන්ස, ඔබ උසස්කරන්නෙමි; ඔබගේ නාමයට සදාකාලේටම ප්‍රශංසාකරන්නෙමි.
2 සැමදාම ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකාලේටම ඔබගේ නාමය වර්ණනා කරන්නෙමි.
3 ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය; උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.
4 එක් පරම්පරාවක් තවත් පරම්පරාවකට ඔබගේ කර්මාන්ත වර්ණනාකරමින්, ඔබගේ බලවත් ක්‍රියා ප්‍රකාශකරන්නේය.
5 මම ඔබගේ ගෞරවයේ තේජෝමහිමයත් ඔබගේ පුදුම ක්‍රියාත් මෙනෙහිකරන්නෙමි.
6 මනුෂ්‍යයෝ ඔබගේ භයානක ක්‍රියා බලය ගැන කථාකරන්නෝය; මමද ඔබගේ උතුම්කම ප්‍රශංසාකරන්නෙමි.
7 ඔව්හු ඔබගේ මහත් යහපත්කමේ සිහිවීම ප්‍රකාශකරමින්, ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ගී කියන්නෝය.
8 ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය; උදහස්වීමට ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය.
9 ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.
10 ස්වාමිනි, ඔබගේ සියලු කර්මාන්තයෝ ඔබට ස්තුතිකරන්නෝය; ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසාකරන්නෝය.
11 දෙවියන්හන්සේගේ බලවත් ක්‍රියාත් උන්වහන්සේගේ රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වන පිණිස,
12 ඔව්හු ඔබගේ රාජ්‍යයේ මහිමය වර්ණනාකරන්නෝය, ඔබගේ බලය ගැනද කථාකරන්නෝය.
13 ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය, ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවලම පවත්නේය.
14 ස්වාමීන්වහන්සේ වැටෙන සියල්ලන්ට ආධාරසේක, නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක.
15 සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමුකර තිබේ; ඔබද සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙනසේක.
16 ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරනසේක.
17 ස්වාමීන්වහන්සේ ස්වකීය සියලු මාර්ගයන්හි ධර්මිෂ්ඨය, ස්වකීය සියලු ක්‍රියාවලින් දයාවන්තය.
18 ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.
19 උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ගේ ආශාව ඉෂ්ටකරදෙන සේක; ඔවුන්ගේ මොරගැසීම අසා ඔවුන් ගළවනසේක.
20 ස්වාමීන්වහන්සේ තමන්ට ප්‍රේමකරන සියල්ලන් ආරක්ෂාකරනසේක; නුමුත් සියලු දුෂ්ටයන් විනාශ කරනසේක.
21 මාගේ මුඛය ස්වාමීන්ගේ ප්‍රශංසාව කියන්නේය, මාංසමයවූ සියල්ලෝද සදාකාලේටම උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකෙරෙත්වා.



ගීතාවලිය 146

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසාකරව.
2 දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
3 අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.
4 ඔහුගේ හුස්ම නික්මයයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.
5 යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය.
6 උන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූසේක; උන්වහන්සේ සදාකල්ම සත්‍යය පවත්වනසේක.
7 උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ටකරනසේක; උන්වහන්සේ බඩගිනිවූවන්ට කෑම දෙනසේක. ස්වාමීන්වහන්සේ හිරකාරයන් මුදනසේක.
8 ස්වාමීන්වහන්සේ අන්ධයන්ගේ ඇස් පහදනසේක; ස්වාමීන්වහන්සේ නැමී ගියවුන් කෙළින් සිටුවනසේක; ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට ප්‍රේමකරනසේක;
9 ස්වාමීන්වහන්සේ විදේශීන් ආරක්ෂා කරනසේක; පියානැත්තා හා වැන්දඹුවට උන්වහන්සේ උපකාරකරනසේක; නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය වියවුල් කරනසේක.
10 එම්බා සියොන් නගරය, ස්වාමීන්වහන්සේ, එනම් ඔබේ දෙවියන්වහන්සේ, සදාකාලේටද සියලු පරම්පරා දක්වාද රජකම්කරනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 147

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.
2 ස්වාමීන්වහන්සේ යෙරුසලම ගොඩනගනසේක; පන්නාදමනු ලැබූ ඉශ්‍රායෙල් සෙනඟ රැස්කරනසේක.
3 උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක.
4 උන්වහන්සේ තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබනසේක.
5 අපේ ස්වාමීන්වහන්සේ උතුම්ය, මහා බලයෙන් යුක්තය; උන්වහන්සේගේ ඥානය අනන්තය.
6 ස්වාමීන්වහන්සේ යටහතුන්ට උපකාරකරනසේක; දුෂ්ටයන් බිම හෙළනසේක.
7 ස්තුති දීමෙන් ස්වාමීන්ට ගී කියව්; වීණාවෙන් අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්.
8 උන්වහන්සේ අහස වලාකුළින් වසනසේක, පොළොවට වැසි වස්වනසේක, කඳුවල තෘණ අටගන්වනසේක.
9 උන්වහන්සේ මෘගයාටත් අඬන කපුටු පැටවුන්ටත් කෑම දෙනසේක.
10 අශ්වයාගේ ශක්තියට උන්වහන්සේ ප්‍රිය නොවනසේක. මනුෂ්‍යයෙකුගේ පාදයන්හි උන්වහන්සේට ප්‍රසන්නයක් නැත.
11 ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.
12 එම්බා යෙරුසලම, ස්වාමීන්ට ප්‍රශංසාකරව; සියොන් නගරය, ඔබේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකරව.
13 මක්නිසාද උන්වහන්සේ ඔබේ වාසල් දොරටුවල අගුල් සවිකළසේක; ඔබ තුළ ඔබේ දරුවන්ට ආශීර්වාද කළසේක.
14 ඔබේ සීමා තුළ සමාදානය සිදුකරනසේක. ඉතා උතුම් ගෝධුමයෙන් ඔබ පුරවන සේක.
15 උන්වහන්සේ ස්වකීය ආඥාව පොළොවෙහි යවනසේක; උන්වහන්සේගේ වචන යුහුව දුවයි.
16 උන්වහන්සේ බැටළු ලොම් මෙන් හිම වස්වනසේක; අලු මෙන් මිඳුණු පිනි විසුරුවනසේක.
17 ස්වකීය හිම කැට කැබෙලි කොට වීසිකරනසේක. උන්වහන්සේගේ ශීත හමුයෙහි සිටින්ට පුළුවන් කාටද?
18 උන්වහන්සේ තමන් වචනය යවා ඒවා දියකරනසේක. උන්වහන්සේ තමන් හුළඟ හමන්ට සලස්වනසේක, එවිට ජලධාරාවෝ ගලායති.
19 උන්වහන්සේ යාකොබ්ට ස්වකීය වචනයද ඉශ්‍රායෙල්ට ස්වකීය පනත් සහ විනිශ්චයන්ද පෙන්වනසේක.
20 උන්වහන්සේ වෙන කිසි ජාතියකට මෙසේ නොකළසේක. උන්වහන්සේගේ විනිශ්චයන් වනාහි ඔව්හු දැන නොගත්තෝය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 148

1 ස්වාමීන්ට ප්‍රශංසා කරව්. ස්වර්ගවල සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්. උස් තැන්හිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්.
2 උන්වහන්සේගේ සියලු දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මුළු සේනාව, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
3 චන්ද්‍ර සූර්යයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. දීප්තිමත් තාරකා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
4 ස්වර්ගවල ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
5 ඒ සියල්ලෝ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අණකළ සේක, එවිට ඒවා මවනලද්දේය.
6 උන්වහන්සේ සදාකාලේටම ඒවා පිහිටෙවුසේක. උන්වහන්සේ නැතිනොවන නියෝගයක් කළසේක.
7 මහා සර්පයන් හා ගැඹුරු තැන් සියල්ලෙනි,
8 ගිනි සහ ගල් වර්ෂාවෙනි, හිම සහ වාෂ්පයෙනි, උන්වහන්සේගේ ආඥාව ඉෂ්ටකරන මාරුතයෙනි,
9 කඳු හා හෙල් සියල්ලෙනි, ඵල දෙන ගස් හා කිහිරි වෘක්ෂ සියල්ලෙනි,
10 තිරිසනුන් හා සියලු සිව්පාවෙනි, උරගුන් හා පියාඹන පක්ෂීනි,
11 පොළොවේ රජුන් හා සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අධිපතීන් හා පොළොවේ සියලු විනිශ්චයකාරයෙනි,
12 තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
13 මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.
14 උන්වහන්සේ ස්වකීය සෙනඟගේ අඟ එසෙවුසේක, ස්වකීය සියලු ශුද්ධවන්තයන්ට එනම් තමන්ට ළංව සිටින සෙනඟක් වන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට, ප්‍රශංසා හේතුවක් නැගූසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 149

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව් ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්.
2 ඉශ්‍රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා.
3 නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා.
4 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්නවනසේක. යටහතුන් ගැළවීමෙන් සරසනසේක.
5 ශුද්ධවන්තයෝ මහිමයෙන් යුක්තව සන්තෝෂවෙත්වා; තමුන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනාකෙරෙත්වා.
6 ඔවුන්ගේ මුඛවල දෙවියන්වහන්සේට උතුම් ප්‍රශංසාද අතෙහි දෙමුවහත් කඩුවක්ද වේවා;
7 කුමටදයත්, ජාතීන් කෙරෙහි පළිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිසත්,
8 ඔවුන්ගේ රජුන් යදමින්ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවකින්ද බඳින පිණිසත්,
9 ලියනලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන පිණිසත්ය. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.



ගීතාවලිය 150

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ බල පවත්නා අහස් තලයෙහි උන්වහන්සේට ප්‍රශංසාකරව්.
2 උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මහෝත්තමභාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
3 හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. කුඩා වීණාව හා මහා වීණාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
4 රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. වීණා තතින් හා නළාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
5 මහත් ශබ්ද දෙන අත්වලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්. උස් රැව්දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
6 හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.