හිතෝපදේශ

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31


පරිච්ඡේදය 1

1 ඉශ්‍රායෙල්ගේ රජවූ දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ හිතෝපදේශ.
2 ඒවා වනාහි ප්‍රඥාවද ගුරුකමද දැනගැනීමටත්; බුද්ධිමත් වාක්‍ය තේරුම්ගැනීමටත්;
3 ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත්;
4 අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය.
5 හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට
6 ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබා ගන්නේය.
7 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.
8 මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
9 මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.
10 මාගේ පුත්‍රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න.
11 ඔවුන් කථාකොට: අප සමඟ එන්න, ලෙය ගැන රැක සිට, නිකරුණේ නිර්දෝෂ අය ගැන සැඟවී සිටිමු;
12 ෂෙයෝල මෙන් අපි ඔවුන් පණපිටින්ද වළට බසින්නන් මෙන් සහමුලින්ද ගිලගනිමු;
13 සියලු ආකාර අනර්ඝ වස්තු අපට සම්බවේ, අපේ ගෙවල් කොල්ලයෙන් පුරවා ගන්නෙමු;
14 නුඹ අප සමඟ පංගුකාර වෙන්න; අප සියල්ලන්ට එක පසුම්බියක්ම තිබේවයි කියන නුමුත්,
15 මාගේ පුත්‍රය, ඔවුන් සමඟ ඒ මාර්ගයේ නොයන්න; නුඹේ පය ඔවුන්ගේ මාවතින් වළක්වාගන්න.
16 මක්නිසාද ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු ලේ වැගිරීමට ඉක්මන්වෙති.
17 යම්කිසි පක්ෂියෙකුට පෙනෙන ලෙස දැල එළාතැබීම නිෂ්ඵලය.
18 ඔව්හු වනාහි තමුන්ගේම ලෙය ගැන රැක සිටිති, තමුන්ගේම ප්‍රාණය විරුද්ධව සැඟවී සිටිති.
19 ලාභයට ලෝභිවූ සියල්ලන්ගේ මාර්ග එසේමය; එය හිමිකාරයන්ගේ ප්‍රාණය එයින්ම හානිවේ.
20 ප්‍රඥාව වීථියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි;
21 මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි.
22 එනම් නුවණ නැත්තෙනි, නුඹලා අනුවණකමට කැමතිවන්නෙත්, නින්දාකරන්නන් නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත්, අඥානයන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද?
23 මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.
24 මක්නිසාද මම අඬගැසීමි, නුඹලා අකැමැතිවූහුය; මාගේ අත දිගුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත;
25 නුඹලා මාගේ සියලු දැනමුතුකම් සුළුකොට, මාගේ අවවාදය කොහෙත්ම පිළිනොගත්තාහුය.
26 එබැවින් මමත් නුඹලාගේ විපත්ති දවසේදී සිනාසෙන්නෙමි; නුඹලාට භය පැමිණෙන විටද,
27 නුඹලාගේ භීතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද, නුඹලාගේ විනාශය සුළි හුළඟක් මෙන් එනවිටද, නුඹලා කෙරෙහි විපතත් දුකත් පැමිණෙන විටද, මම සරදම්කරන්නෙමි.
28 එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත.
29 මක්නිසාද ඔව්හු දැනගැන්මට ද්වේෂකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තෝරා නොගෙන සිටියෝය.
30 ඔව්හු මාගේ දැනමුතුකමට මුළුමනින්ම අප්‍රසන්නවී, මාගේ සියලු අවවාද සුළුකළෝය.
31 එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.
32 මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය. අඥානයෝ තමුන්ගේ නොසැලකිලිකම නිසා නැතිවන්නෝය.
33 නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය.



පරිච්ඡේදය 2

1 මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන,
2 ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්,
3 එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්,
4 නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්,
5 නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.
6 මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහන්සේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.
7 උන්වහන්සේ අවංක තැනැත්තන්ට හරි ප්‍රඥාව රැස්කර තබනසේක, සෘජුලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ පලිහක් වනසේක.
8 එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිතකරනසේක.
9 එවිට නුඹ ධර්මිෂ්ඨකමද යුක්තියද සෘජුකමද, එසේය, සියලු යහපත් මාවත්ද තේරුම්ගන්නෙහිය.
10 මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය;
11 සිහිය නුඹ රැකවල්කරන්නේය, ඥානයද නුඹ ආරක්ෂාකරන්නේය;
12 නපුරාගේ මාර්ගයෙන්ද ප්‍රයෝග කථාකරන මිනිසුන්ගෙන්ද නුඹ ගළවන්නේය.
13 ඔව්හු අන්ධකාරයේ මාර්ගවල යන පිණිස අවංක මාවත් අත්හරිති;
14 ඔව්හු නපුර කිරීමට සන්තෝෂවී, නපුරුකමේ ප්‍රයෝගවලට ප්‍රීතිමත්වෙති.
15 ඔව්හු තමුන්ගේ මාර්ගවල වංකව තමුන්ගේ මාවත්වල ඇදව සිටිති.
16 එසේම අන්‍ය ස්ත්‍රියෙක් වන, තමාගේ වචනවලින් ඉච්චාකරන්නාවූ, තම යෞවන වයසේ මිත්‍රයා අත්හරින්නාවූ,
17 තමාගේ දෙවියන්වහන්සේගේ ගිවිසුම සිහි නැතිකරන්නාවූ අන් තැනැත්තියගෙන් නුඹ ගැළවෙනවා ඇත.
18 මක්නිසාද ඇගේ ගෙය මරණයටද ඇගේ මාවත් මළවුන් වෙතටද යොමුවන්නේය.
19 ඇය ළඟට යන්නන්ගෙන් කිසිවෙකු හැරී එන්නේවත්, ජීවනයේ මාවත්වලට පැමිණෙන්නේවත් නැත.
20 මෙසේ කියන්නේ නුඹ යහපතුන්ගේ මාර්ගයේ හැසිරෙමින්, ධර්මිෂ්ඨයන්ගේ මාවත්වල ගමන්කරන පිණිසය.
21 මක්නිසාද අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය.
22 නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.



පරිච්ඡේදය 3

1 මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න.
2 මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.
3 කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.
4 එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුයෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.
5 නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න
6 නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
7 නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.
8 ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.
9 නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න.
10 එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.
11 මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න.
12 මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.
13 ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය.
14 මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්‍රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය.
15 ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක.
16 ඇගේ දකුණතෙහි දීර්ඝායුෂද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත.
17 ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය.
18 ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය.
19 ස්වාමීන්වහන්සේ ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක.
20 උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වෑස්සෙන්නේය.
21 මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නොවේවා; සාරවූ ඥානයද සිහියද තබාගන්න;
22 එවිට ඒවා නුඹේ ආත්මයට ජීවනයත් නුඹේ ගෙලට අලංකාරයත් වන්නේය.
23 එවිට නුඹේ පය නොපැකිල, නුඹ සුවසේ නුඹේ මාර්ගයෙහි යන්නෙහිය.
24 නුඹ සැතපෙන කල භය නොවන්නෙහිය. එසේය, නුඹ සැතපුණාම නුඹේ නින්ද මිහිරිවන්නේය.
25 හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.
26 මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ විශ්වාස භූමියව, නුඹේ පය අසු නොවන ලෙස ආරක්ෂාකරනසේක.
27 කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න.
28 නුඹ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමියි නුඹේ අසල්වාසියාට නොකියන්න.
29 නුඹේ අසල්වාසියා නුඹ සමීපයෙහි නිසැකව වාසයකරද්දී ඔහුට විරුද්ධව නපුරක් නොයොදන්න.
30 මනුෂ්‍යයෙක් නුඹට අනදරයක් නොකර සිටිද්දී නිකරුණේ ඔහු සමඟ පොරට නොයන්න.
31 බලහත්කාරකම්කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.
32 මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.
33 ස්වාමීන්වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
34 නින්දාකරන්නන්ට සැබවින්ම උන්වහන්සේ නින්දාකරනසේක, යටහතුන්ට නම් කරුණාව දෙනසේක.
35 ඥානවන්තයන්ට ගෞරවය උරුමවේ; නුමුත් අඥානයන්ට ලැබෙන්නේ ලජ්ජාවය.



පරිච්ඡේදය 4

1 මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරන්න.
2 මක්නිසාද මම යහපත් ඉගැන්වීම නුඹලාට දෙමි; මාගේ උපදෙස් අත් නොහරින්න.
3 මක්නිසාද මම මාගේ පියාට ප්‍රිය පුත්‍රයෙක්ව, මාගේ මවු ඉදිරියෙහි මෘදුවූ එකම පුත්‍රයෙක්ව සිටියෙමි.
4 ඔහු මට උගන්වමින් මෙසේ කීයේය: ඒ මාගේ වචන නුඹේ සිතේ තබාගන්න; මාගේ ආඥා රක්ෂාකොට ජීවත්වන්න.
5 ප්‍රඥාව ලබාගන්න, නුවණ ලබා ගන්න; එය සිහිනැති නොකරන්න, මාගේ මුඛයේ කීම්වලින් අහක්ව නොයන්න.
6 ප්‍රඥාව අත් නොහරින්න, එවිට ඈ නුඹ ප්‍රවේසම්කරනවා ඇත; ඈට ප්‍රේමකරන්න, ඈද නුඹ ආරක්ෂාකරනවා ඇත.
7 ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, නුඹ ලබාගන්න සියල්ල ඇතුළුව, නුවණ ලබාගන්න.
8 ඇය ශ්‍රේෂ්ඨකරන්න, ඈද නුඹ උසස්කරන්නීය. නුඹ ඇය වැලඳගත්තාම, ඈ නුඹ ගෞරවයට පමුණුවන්නීය.
9 ඈ නුඹේ හිසට ශෝභන මාලාවක් දෙන්නීය; අලංකාර ඔටුන්නක්ද ඈ නුඹට පළඳවන්නීය.
10 මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය.
11 ප්‍රඥාවේ මාර්ගය මම නුඹට උගන්වා, හරිවූ මාවත්වල නුඹ ගෙනගියෙමි.
12 නුඹ යන කල නුඹේ පාද අවහිරනොවන්නේය; දුවන කල නුඹ නොපැකිලෙන්නෙහිය.
13 ගුරුකම තදින් අල්ලාගෙන, අතනෑර, එය තබාගන්න; මක්නිසාද එය නුඹේ ජීවනයය.
14 දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න.
15 එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.
16 මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.
17 මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති.
18 නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.
19 දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමූ කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.
20 මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න.
21 ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න.
22 මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.
23 සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.
24 වංචා මුඛය නුඹෙන් පහකොට, වංක තොල් නුඹෙන් දුරුකරන්න.
25 නුඹේ ඇස් ඉස්සරහම බලත්වා, නුඹේ ඇසිපියද නුඹ ඉදිරියෙහි කෙළින්ම බලත්වා.
26 නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා.
27 දකුණටවත් වමටවත් නොහැරෙන්න. නුඹේ පාද නපුරෙන් පහකරන්න.



පරිච්ඡේදය 5

1 මාගේ පුත්‍රය, සිහිනුවණ රක්ෂා කරගැනීම පිණිසද දැනගැන්ම නුඹේ තොල්වල පවතින පිණිසද
2 මාගේ ප්‍රඥාවට ඇහුම්කන්දී, මාගේ ඥානයට නුඹේ කන නමන්න.
3 මක්නිසාද අන් ස්ත්‍රියෙකුගේ තොල්වලින් මීපැණි වෑස්සෙන්නේය, ඇගේ මුඛය තෙල්වලටත් වඩා සිනිඳුය.
4 එහෙත් ඇගේ අන්තිමය කොසඹ මෙන් තික්තව, දෙමුවහත් කඩුවක් මෙන් තියුණුව තිබේ.
5 ඇගේ පාද මරණයට බසින්නේය; ඇගේ අඩි ෂෙයෝලටම පැමිණෙන්නේය.
6 ඈට ජීවනයේ මාවත නොපෙනෙන ලෙස ඇගේ පාරවල් ඇදව තිබේ, ඈ ඒ බව නොදන්නීය.
7 එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දී, මාගේ මුඛයේ කීම්වලින් ඉවත් නොවී සිටින්න.
8 නුඹේ ශෝභනකම අනුන්ටත් නුඹේ අවුරුදු කෲර අයටත් නොදෙන පිණිසද,
9 නුඹේ සම්පතින් අන්‍යයන් තෘප්තියට නොපැමිණෙන පිණිසද, නුඹේ වීර්යයේ ඵල අන්‍ය ගෙදරකට නොලැබෙන පිණිසද,
10 අන්තිමේදී නුඹේ මාංසයද ශරීරයද ක්ෂයවන කල නුඹ කෙඳිරිගා:
11 අහෝ, මා ගුරුකමට වෛරවී, මාගේ සිත අවවාදය සුළුකළ හැටි!
12 මාගේ ගුරුවරුන්ගේ හඬට කීකරුනොවී, මාගේ ඉගැන්නුම්කාරයන්ට මාගේ කන නොනමා සිටිය හැටි! කියාත්,
13 මම සභාව සහ සම්මුතිය මැදදී හැම නපුරු ක්‍රියාවලම වාගේ පැවතුණෙමියි කියාත් නොකියන පිණිසද,
14 නුඹේ මාර්ගය ඇය වෙතින් ඉවත්කරන්න. ඇගේ ගෙයි දොරකඩට ළං නොවන්න.
15 නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බොන්න.
16 නුඹේ උල්පත් පිටතටත් ජල ගංගා වීථිවලටත් විසිරයා යුතුද?
17 ඒවා නුඹ සමඟ අන්‍යයන්ට නොව නුඹට පමණක්ම වේවා.
18 නුඹේ උල්පතට ආශීර්වාද ලැබේවා; නුඹේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න.
19 ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.
20 එසේය, මාගේ පුත්‍රය, නුඹ මක්නිසා අන්‍ය ස්ත්‍රියෙකු කෙරෙහි ප්‍රීතිමත්ව, අන්‍ය තැනැත්තියෙකුගේ ළය වැළඳගන්නෙහිද?
21 මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග ස්වාමීන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.
22 දුෂ්ටයා තමාගේ අපරාධවලින්ම අසුවන්නේය, තමාගේ පාප නමැති ලනුවලින් බඳිනු ලබන්නේය.
23 ඔහු ඉගැන්වීම නැතිකම නිසා නසින්නේය; ඔහු තමාගේ මෝඩකමේ මහත්කම නිසා මුළාවයන්නේය.



පරිච්ඡේදය 6

1 මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියාට නුඹ ඇපවී, අන් කෙනෙකු උදෙසා නුඹේ අත් ගසා,
2 නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,
3 මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියා අතට නුඹ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවීයන්න: නුඹ ගොස් නුඹේ අසල්වාසියාගේ පාමුල වැටී කන්නලව්කරන්න.
4 නුඹේ ඇස්වලට නින්දවත් නුඹේ ඇසිපියවලට නිදිබරවත් නොදී,
5 දඩයක්කාරයාගේ අතින් තිත්මුවෙකුමෙන්ද පක්ෂි වැද්දාගේ අතින් පක්ෂියෙකු මෙන්ද ගැළවීයන්න.
6 අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙන්න.
7 ඌට ප්‍රධානියෙක්වත් මුළාදෑනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්,
8 ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම් කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.
9 අලසය, නුඹ කොපමණ වේලා නිදා ඉන්නෙහිද? නුඹේ නින්දෙන් නුඹ නැගිටින්නේ කොයි වේලාවේද?
10 තව ටිකක් නිදාගැනීමක්ය, ටිකක් සැතපීමක්ය, නින්දට ස්වල්ප අත්පොරවාගැනීමක්යයි
11 කියන නුඹට දිළිඳුකම හොරෙකු මෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.
12 ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නාවූ, තමාගේ ඇස්වලින් ඉඟිකරන්නාවූ, තමාගේ පාදවලින් හැඟුම් දෙන්නාවූ,
13 තමාගේ ඇඟිලිවලින් සංඥාකරන්නාවූ තැනැත්තේ දුර්ජනයෙක්ය, අපරාධකාරයෙක්ය.
14 ඔහුගේ හිතේ ප්‍රයෝගය ඇත්තේය, ඔහු නිතරම නපුර යොදා, භේද පතුරුවයි.
15 එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි; ගැළවීමක් නැතුව ඔහු මොහොතකින් පොඩිකරනු ලබයි.
16 ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ:
17 උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය,
18 දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය,
19 මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය.
20 මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
21 ඒවා නිතරම නුඹේ සිතෙහි බැඳගෙන, නුඹේ ගෙලෙහි ගැටගසාගන්න.
22 නුඹ යන එන විට ඒවා නුඹ ගෙනයන්නේය; නුඹ නිදන කල නුඹ ළඟ රැකවල්කරන්නේය; නුඹ පුබුදින කලද නුඹ සමඟ කථාකරන්නේය.
23 මක්නිසාද නපුරු ස්ත්‍රියගෙන්ද අන් තැනැත්තියෙකුගේ දිවේ ඉච්චාවෙන්ද නුඹ ආරක්ෂාකරන පිණිස
24 ආඥාව පහනක්ය; උපදේශය එළියක්ය; ගුරුකමේ අවවාද ජීවනයේ මාර්ගයෝය.
25 ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශානොවන්න; ඇගේ ඇසිපියවලින් ඈ නුඹ අසුකරනොගනීවා.
26 මක්නිසාද වේශ්‍යා ස්ත්‍රියෙක් නිසා මනුෂ්‍යයෙකුට ඉතුරුවෙන්නේ රොටි කැබෙල්ලක් පමණක්ය. මිථ්‍යාචාරි ස්ත්‍රීද අනර්ඝ ප්‍රාණය අල්ලාගන්ට ලුහුබඳින්නීය.
27 මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?
28 යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද?
29 තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය.
30 හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිඳුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති.
31 නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.
32 ස්ත්‍රියෙකු හා සමඟ කාමමිථ්‍යාචාරය කරන්නා නුවණ නැති කෙනෙක්ය. එය කරන්නා තමාගේම ප්‍රාණය නාස්තිකරන්නේය.
33 තුවාල හා ලජ්ජාව ඔහුට වන්නේය; ඔහුගේ නින්දාවද මැකී නොයන්නේය.
34 මක්නිසාද කාම ක්‍රෝධය පුරුෂයෙකු උදහස්කරවන්නේය; පළිගන්න දවසේදී ඔහු කරුණා නොකරන්නේය.
35 ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත; නුඹ බොහෝ තෑගි දුන්නත් ඔහු සතුටුවෙන්නෙත් නැත.



පරිච්ඡේදය 7

1 මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න.
2 මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න.
3 ඒවා නුඹේ ඇඟිලිවල බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න.
4 අන් ස්ත්‍රියෙක් වන තමාගේ කීම්වලින් ඉච්චාකරන අන්‍ය තැනැත්තියගෙන් නුඹ ආරක්ෂාවෙන පිණිස
5 ප්‍රඥාවට: නුඹ මාගේ සහෝදරීය කියාත්, නුවණ යෙහෙළිය කියාත් කියන්න.
6 මක්නිසාද මාගේ ගෙයි කවුළුවෙන් ගරාදි අස්සෙන් බලා සිටිද්දී,
7 මොළය නැති තරුණයෙක් අනුවණයන් අතරේ මට පෙනුණේය; ඔහු යෞවනයන් අතරේ ඉන්නවා දුටිමි.
8 ඔහු සවස ඇඳිරියෙහි, මධ්‍යම රාත්‍රියේ කළුවරෙහි,
9 ඇගේ ගෙයි කොන ළඟ වීථිය පසුකොට, ඇගේ ගෙට යන මාර්ගයෙහි ගියේය.
10 එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය.
11 ඈ ඝෝෂාකාරවූ හිතුවක්කාර තැනැත්තියෙක්ය; ඇගේ පාද ඇගේ ගෙයි නොරඳයි.
12 ඈ සමහරවිට වීථිවලද සමහරවිට එළිමහන් ඉඩම්වලද සිටින්නීය, සියලු මංසන්ධිවලද රැක සිටින්නීය.
13 මෙසේ ඈ ඔහු අල්ලා සිඹ, ලජ්ජා නැති මුහුණක් ඇතුව ඔහුට කථාකොට:
14 ශාන්ති පූජා මා ළඟ තිබේ; අද මාගේ භාර ඉෂ්ටකෙළෙමි.
15 එබැවින් නුඹේ මුහුණ සොයා, නුඹ සම්බවෙන පිණිස පිටතට ආවෙමි, මෙසේ නුඹ සම්බවිය.
16 මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ.
17 සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි.
18 එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්‍රීතිවෙමු.
19 මක්නිසාද ස්වාමිපුරුෂයා ගෙදර නැත, ඔහු දුර ගමනක් ගියේය.
20 ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේයයි කීවාය.
21 ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි.
22 ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, අඥානයෙකු විලංගුවේ දඬුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු,
23 මලපත තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය.
24 එබැවින් මාගේ පුත්‍රයෙනි, මාගේ වචන අසා, මාගේ මුඛයේ කීම්වලට ඇහුම්කන් දෙන්න.
25 නුඹේ සිත ඇගේ මාර්ගවලට හැරීනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න.
26 මක්නිසාද ඈ බොහෝ දෙනෙකු තුවාළකොට හෙළාදැමුවාය. එසේය, ඇගේ මැරුම්කෑ අය මහත් සමූහයක්ය.
27 ඇගේ ගෙය ෂෙයෝලට යන්නාවූ, මරණයේ ඇතුළු ගබඩාවලට බසින්නාවූ මාර්ගයක්ය.



පරිච්ඡේදය 8

1 ප්‍රඥාතොමෝ මොර නොගසන්නීද? ඥානයද ඇගේ හඬ නොනගින්නීද?
2 ඈ මග අසල උස් තැන්වල මුදුනෙත් මංසන්ධිවලත් සිටින්නීය;
3 නගරයට පැමිණෙන වාසල් ළඟත් පිවිසෙන දොරවලත් ඈ ශබ්දනඟා කියන්නී:
4 මනුෂ්‍යයෙනි, නුඹලාට අඬගසමි; මනුෂ්‍ය පුත්‍රයන්ට මාගේ හඬ පවත්වමි.
5 අඥානයෙනි, ඥානය ලබාගන්න; මෝඩයෙනි, තේරුම් ඇති අය වෙන්න.
6 අසන්න, මක්නිසාද මම උතුම් කාරණා කියන්නෙමි; මාගේ තොල්වලින්ද හරි කරුණු නික්මෙන්නේය.
7 එසේය, මාගේ කට සැබෑව කියනවා ඇත; දුෂ්ටකමද මාගේ තොල්වලට පිළිකුලක්ය.
8 මාගේ මුඛයේ සෑම වචන ධර්මිෂ්ඨය; ඒවා අතරෙහි වංකවූ හිතුවක්කාරවූ කිසිවක් නැත.
9 ඒ සියල්ල නුවණ ඇත්තාට පැහැදිලිව, දැනගැන්ම ලබාගන්නන්ට හරිව පෙනෙන්නේය.
10 රිදී නොව මාගේ ගුරුකමද අනර්ඝ රනට වඩා දැනගැන්මද පිළිගන්න.
11 මක්නිසාද ප්‍රඥාව රතුකැටවලට වඩා හොඳය; ආශාවිය හැකි සියලු දේවල්ද ඊට සමාන නොවේ.
12 ප්‍රඥාව වන මම නුවණ සමඟ වාසයකොට, දැනගැන්මද සිහිකල්පනාවද සොයා දැනගනිමි.
13 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.
14 මන්ත්‍රණය සහ සාරවූ ඥානය මට තිබේ. මම නුවණය, මට පරාක්‍රමය තිබේ.
15 මා කරණකොටගෙන රජවරු රජකම්කරති, ආණ්ඩුකාරයෝද යුක්තිය නියමකරති.
16 මා කරණකොටගෙන අධිපතීහුද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති.
17 මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි; මා සොයන්නන්ට මම සම්බවන්නෙමි;
18 වස්තුවද ගෞරවයද එසේය, පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ.
19 රන්වලටත් පිරිසිදු රත්රන්වලටත් වඩා මාගේ පලදාවද අනර්ඝ රිදීවලට වඩා මාගේ ආදායමද හොඳය.
20 මට ප්‍රේමවෙන්නන්ට වස්තුව උරුමකරදෙන්ටද, ඔවුන්ගේ ගබඩා පුරවන්ටද,
21 මම ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහිත් යුක්තියේ මාවත්වලත් හැසිරෙමි.
22 ස්වාමීන්වහන්සේ තමන් පුරාතන ක්‍රියාවලට පළමුවෙන්, උන්වහන්සේගේ මාර්ගයේ පටන්ගැන්මේදී පිහිටෙවුසේක.
23 පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබීමි.
24 ගැඹුරු තැන් නොතිබුණු කල, ජලයෙන් පිරුණු උල්පත් නැති කල, මම ඉපිද සිටියෙමි.
25 කඳු පිහිටෙන්ට ප්‍රථමයෙන්, හෙල්වලට පළමුවෙන්,
26 උන්වහන්සේ පොළොව සහ කෙත්ද ලෝකයේ පළමු ධූලිද සාදන්ට පෙර මම ඉපිද සිටියෙමි.
27 උන්වහන්සේ ස්වර්ගයන් පිහිටෙවු කල එහි සිටියෙමි. උන්වහන්සේ ගැඹුර මතුයෙහි චක්‍රයක් ඇන්ද කලද,
28 ඉහළින් අහස පිහිටෙවු කලද, ගැඹුරේ උල්පත් සවිවූ කලද,
29 මුහුදේ ජලය එහි ඉම පසුකර නේන ලෙස උන්වහන්සේ මායිම් තැබූ කලද, පොළොවේ අත්තිවාරම් ලකුණුකළ කලද,
30 මම උන්වහන්සේ වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි; සෑමකල්හිම උන්වහන්සේ ඉදිරියෙහි නිතර සන්තෝෂවෙමින්, දවසින් දවස උන්වහන්සේගේ ප්‍රීතිය වීමි.
31 උන්වහන්සේගේ වාසයට යෝග්‍යවූ ලෝකය ගැන සන්තෝෂවෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සමීපයෙහි ප්‍රීතිවුණෙමි.
32 එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දෙන්න. මක්නිසාද මාගේ මාර්ග රක්ෂාකරන්නෝ වාසනාවන්තයෝය.
33 ඉගැන්වීම එපා නොකොට, එය අසා නැණවත් වෙන්න.
34 දවසින් දවස මාගේ දොරටු ළඟ බලාසිට, මාගේ දොරකඩ කණු ළඟ රැකවල්කර, මාගේ වචන අසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
35 මක්නිසාද මා සම්බවන අයට ජීවනය සම්බවෙයි, ස්වාමීන්වහන්සේගෙන් කරුණාවද ලබාගන්නේය.
36 නුමුත් මාගෙන් මුළාවයන්නා තමාගේම ප්‍රාණයට අනතුරුකරගන්නේය; මට වෛරවෙන සියල්ලෝම මරණයට ප්‍රේමවන්නෝය.



පරිච්ඡේදය 9

1 ප්‍රඥාතොමෝ ඇගේ ගෙය ගොඩනඟා, ඇගේ කුළුනු සත කපා තිබේ.
2 ඇගේ සතුන් මරා ,ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ.
3 ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි
4 නගරයේ උස්තැන්හි සිට මොරගසන්නීය. තේරුම් නැති තැනැත්තාට ඈ මෙසේ කියයි:
5 එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න.
6 මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.
7 නින්දාකරන්නෙකුට අවවාදකරන්නා තමාට ලජ්ජාවද, දුෂ්ටයෙකුට තරවටුකරන්නා තමාට කැලලක්ද පමුණුවාගන්නේය.
8 නින්දාකරන්නෙකුට තරවටු නොකරන්න, එසේ කළොත් ඔහු නුඹට වෛරවෙයි. ඥානවන්තයෙකුට තරවටුකරන්න, ඔහු නුඹට ප්‍රේමකරයි.
9 ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය.
10 ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ.
11 මක්නිසාද මා කරණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ.
12 නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය.
13 අඥාන ස්ත්‍රිය ඝෝෂාකාරීව, මෝඩව, කිසිත් නොදැන සිටින්නීය.
14 තමුන්ගේ මාර්ගවල කෙළින්ම යමින් ගමනේ යෙදෙන අයින්ට අඬගසන පිණිස,
15 ඈ නගරයේ උස් තැන්වල ඇගේ ගෙයි දොරකඩ ආසනයක හිඳගන්නීය.
16 අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවායි කියන්නීය. තේරුම් නැති අයට ඈ කථාකොට:
17 සොරෙන් ගත් වතුර මිහිරිය, රහසින් කන කෑම රසවත්යයි කියන්නීය.
18 නුමුත් මළවුන් එහි සිටින බවත් ඇය විසින් කැඳවාගත් අය ෂෙයොලේ මිටියාවත්වල ඉන්න බවත් ඔහු නොදනියි.



පරිච්ඡේදය 10

1 සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.
2 දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.
3 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක.
4 අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය.
5 ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.
6 ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය.
7 ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.
8 ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි; එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ.
9 ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.
10 ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි; එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ.
11 ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසයි.
12 වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.
13 නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සම්බවේ. එහෙත් තේරුම්නැත්තාගේ පිටට ඉපලක් ඇත්තේය.
14 ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති; එහෙත් මෝඩයාගේ මුඛය ළඟම විනාශය ඇත්තේය.
15 ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය.
16 ධර්මිෂ්ඨයාගේ උත්සාහලාභය ජීවනය සඳහාය; දුෂ්ටයාගේ ලාභය ඔහු පාපය කරා පමුණුවයි.
17 ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය; එහෙත් අවවාදය එපාකරන්නා මුළාවයන්නේය.
18 වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය; කේලමක් පතළකරන්නාද අඥානයෙක්ය.
19 වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.
20 ධර්මිෂ්ඨයාගේ දිව අනර්ඝ රිදී මෙන්ය; දුෂ්ටයන්ගේ සිත අගය නැත.
21 ධර්මිෂ්ඨයාගේ තොල් බොහෝදෙන පෝෂණයකෙරෙති; එහෙත් මෝඩයෝ තේරුම් මදිකම නිසා මියයෙති.
22 ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.
23 නපුරුකම්කිරීම අඥානයාට සෙල්ලමක් වැනිය; නුවණ ඇති මනුෂ්‍යයාට ප්‍රඥාවත් එසේමය.
24 දුෂ්ටයා භයවෙන දේම ඔහු පිටට පැමිණෙයි; ධර්මිෂ්ඨයා ආශාවන දේ ඔහුට දෙනුලබන්නේය.
25 සුළිහුළඟ ගසන කල්හි දුෂ්ටයා නැතිවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා සදහටම අත්තිවාරමක්ය.
26 දත්වලට කාඩිත් ඇස්වලට දුමත් යම්සේද, අලසයා ඔහු මෙහෙයවන අයට එසේමය.
27 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් දවස් වැඩිවෙයි; එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු හීනවන්නේය.
28 ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය; එහෙත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන්වන්නේය.
29 ස්වාමීන්වහන්සේගේ මාර්ගය අවංක අයට බලකොටුවක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.
30 ධර්මිෂ්ඨයා කිසිකලෙක නොසෙලවන්නේය; එහෙත් දුෂ්ටයන්ට දේශයෙහි වාසයක් නොලැබේ.
31 ධර්මිෂ්ඨයාගේ මුඛය ප්‍රඥාව නිකුත්කරයි; එහෙත් ප්‍රයෝගකාර දිව සිඳදමනු ලැබේ.
32 ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනියි; එහෙත් දුෂ්ටයාගේ මුඛය ප්‍රයෝග කථාකරයි.



පරිච්ඡේදය 11

1 හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය.
2 උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ.
3 ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.
4 උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.
5 නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි.
6 ඇද නැත්තන්ගේ ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි; එහෙත් ද්‍රෝහිකාරයෝ තමුන්ගේ ප්‍රයෝගයෙන් අසුවනු ලබති.
7 දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි; අයුතුකම්කරන්නන්ගේ ප්‍රාර්ථනාවද නැතිවෙයි.
8 ධර්මිෂ්ඨයා විපතින් මුදනු ලබයි, දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත්වෙයි.
9 අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි; එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය.
10 ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධවන කල නගරය ප්‍රීතිවෙයි; දුෂ්ටයන් නැතිවනකල ඔල්වරහඬ පවත්වයි.
11 ඇද නැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස්වෙයි; එහෙත් දුෂ්ටයන්ගේ මුඛයෙන් එය පෙරළාදමනු ලබයි.
12 තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා නිශ්ශබ්දව සිටියි.
13 කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරයි; එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සඟවයි.
14 ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.
15 අන්‍යයෙකුට ඇපවෙන්නාට දුක් පැමිණෙයි; එහෙත් ඇපවීමට මැලිකරන්නා සුරක්ෂිතව සිටින්නේය.
16 ශෝභන ස්ත්‍රියෙක් ගෞරවය රැකගන්නීය; බලාත්කාරකම්කරන්නෝ වස්තුව රැකගනිති.
17 කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.
18 දුෂ්ටයා වංචාකාර ලාභයක් සම්බකරගන්නේය; එහෙත් ධර්මිෂ්ඨකම වපුරන්නා ස්ථිර ප්‍රතිඵල ලබන්නේය.
19 ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය; නපුර අනුව යන්නා තමාට මරණය ළඟාකරගන්නේය.
20 වංක සිත් ඇත්තෝ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නසේක.
21 අතට* අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය; (* නොහොත්, ඒකාන්තයෙන්ම) එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.
22 ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය;
23 ධර්මිෂ්ඨයන්ගේ ආශාව යහපතමය; දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව උදහසය.
24 විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.
25 ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.
26 ධාන්‍ය නොදෙන්නාට සෙනඟ ශාපකරනවා ඇත; එහෙත් එය විකුණන්නාගේ හිසට ආශීර්වාදයක් පැමිණෙයි.
27 යහපත ගැන වීර්යකරන්නා කරුණාව සොයන්නේය; එහෙත් නපුර සොයන්නාට ඒකම පැමිණෙන්නේය.
28 තමාගේ වස්තුව කෙරෙහි විශ්වාසකරන්නා වැටෙන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීකවෙයි.
29 තමාගේ පවුල කලඹන්නාට සුළං උරුමවන්නේය; මෝඩයා ප්‍රඥා සිතක් ඇත්තාට වැඩකාරයෙක් වන්නේය.
30 ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවන වෘක්ෂයක්ය; ආත්ම දිනාගන්නා ඥානවන්තයෙක්ය.
31 බලව, ධර්මිෂ්ඨයා පොළොවේදී ප්‍රතිඵල විඳින්නේ; ඊට කොපමණ වැඩියෙන් දුෂ්ටයාටත් පව්කාරයාටත් විපාක නොලැබෙන්නේද!



පරිච්ඡේදය 12

1 අවවාදයට ප්‍රේමකරන්නා දැනගැන්මට ප්‍රේමකරන්නේය; එහෙත් තරවටුවට ද්වේෂකරන්නා මෝඩයෙක්ය.
2 සත්පුරුෂයා ස්වාමීන්වහන්සේ ගෙන් කරුණාව ලබයි; එහෙත් උන්වහන්සේ දුෂ්ට උපා යොදන්නා වරදට පත්කරනසේක.
3 මනුෂ්‍යයෙක් දුෂ්ටකමෙන් ස්ථිර නොවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල කිසි කලකත් නොසෙල්වෙන්නේය.
4 ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය; එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය.
5 ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය; දුෂ්ටයන්ගේ මන්ත්‍රණ වංචාසහිතය.
6 දුෂ්ටයන්ගේ වචන ලෙය ගැන රැකසිටීමක් වේ; එහෙත් අවංක අයගේ මුඛය ඔවුන් ගළවන්නේය.
7 දුෂ්ටයෝ හෙළාදමනු ලැබ නැතිවන්නෝය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාව පවතින්නේය.
8 මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ; එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ.
9 කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය.
10 ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.
11 තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය.
12 දුෂ්ටයා නපුරන්ගේ දැල සොයන්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ මුල ඵලදෙන්නේය.
13 තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය.
14 මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත්වන්නේය; මනුෂ්‍යයෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දෙනු ලැබේ.
15 මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය; එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය.
16 මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය.
17 සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය.
18 කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.
19 සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.
20 නපුර යොදන්නන්ගේ සිත්වල වංචාව තිබේ; එහෙත් සමාදානය පිණිස මන්ත්‍රණය කරන්නන්ට ප්‍රීතිය ඇත්තේය.
21 ධර්මිෂ්ඨයන්ට කිසි අනතුරක් නොවන්නේය; එහෙත් දුෂ්ටයෝ විපතෙන් පිරීයන්නෝය.
22 බොරුකාර තොල් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය.
23 බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය; එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.
24 කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය; එහෙත් අලසයෝ දාස වැඩට යටත්වන්නෝය.
25 මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි; එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂකරයි.
26 ධර්මිෂ්ඨයා තම අසල්වාසියාට මගපෙන්වන්නෙක් වේ; එහෙත් දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළාකරයි.
27 අලසයා දඩයමෙන් ගත් දේ පුලුස්සානොගනියි; එහෙත් කඩිසරවීම මනුෂ්‍යයන්ට අනර්ඝ සම්පතක්ය.
28 ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය වේ; ඒකේ මාර්ගයෙහිද මරණය නැත.



පරිච්ඡේදය 13

1 ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.
2 මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලයෙන් යසස භුක්තිවිඳියි; එහෙත් ද්‍රෝහීන්ගේ ප්‍රාණය බලාත්කාරය විඳියි.
3 කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.
4 අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත; එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි.
5 ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂකෙරේ; එහෙත් දුෂ්ටයා පිළිකුලක්ව ලජ්ජාවට පත්වෙයි.
6 ධර්මිෂ්ඨකම සෘජු හැසිරීම ඇත්තා රැකවල්කරයි; එහෙත් දුෂ්ටකම පාපිෂ්ඨයා පෙරළා දමයි.
7 කිසිත් නැති නුමුත් වස්තුකාරයන් මෙන් පෙන්වන්නෝ සිටිති; බොහෝ සම්පත් ඇති නුමුත් දිළිඳුන් මෙන් පෙන්වන්නෝද සිටිති.
8 මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය; එහෙත් දිළින්දාට තර්ජනයෙන් කමක් නැත.
9 ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි; එහෙත් දුෂ්ටයන්ගේ පහන නිවීයයි.
10 උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.
11 සැහැල්ලුලෙස ලැබූ සම්පත් අඩුවී යන්නේය; එහෙත් අතේ උත්සාහයෙන් රැස්කරගන්නාට ඒවා වැඩිවන්නේය.
12 පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය; එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්ය.
13 දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.
14 ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය.
15 හොඳ නුවණ නිසා කරුණාව ලැබේ; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය.
16 බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි; එහෙත් අඥානයා තමාගේ මෝඩකම පළකරයි.
17 දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි; එහෙත් විශ්වාස තානාපතියා සුව උපදවයි.
18 අවවාදය පිළිනොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය; එහෙත් තරවටුව සලකන්නා ගෞරවයට පැමිණෙයි.
19 ආශාව ඉෂ්ටවීම ආත්මයට මිහිරිය; එහෙත් නපුරෙන් වෙන්වීම අඥානයන්ට පිළිකුලක්ය.
20 ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
21 විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි; එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ.
22 සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.
23 දිළිඳුන්ගේ ගොවිතැනෙන් බොහෝ කෑම ලැබේ; එහෙත් අයුක්තිය නිසා නාස්තියට පැමිණෙන්නෝද සිටිති.
24 ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.
25 ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ; එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.



පරිච්ඡේදය 14

1 ඥානවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය* ගොඩනගන්නීය; (* එනම්, පවුල) එහෙත් අඥාන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමයි.
2 තමාගේ සෘජුකමෙන් හැසිරෙන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවෙන්නේය; එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ සුළුකොට සලකන්නේය.
3 මෝඩයාගේ මුඛයෙහි උඩඟුකම නමැති ඉපලක් ඇත්තේය; එහෙත් ප්‍රඥාවන්තයන්ගේ තොල් ඔවුන් ආරක්ෂා කරයි.
4 ගවයන් නැති ගාල පවිත්‍රය; එහෙත් ගොනාගේ ශක්තියෙන් බොහෝ අස්වැන්න ලැබේ.
5 විශ්වාස සාක්ෂිකාරයෙක් බොරු නොකියයි; එහෙත් බොරු සාක්ෂිකාරයා බොරු නික්මවයි.
6 නින්දාකරන්නා ප්‍රඥාව සොයන නුමුත් එය සම්බ නොවන්නේය; එහෙත් නුවණ ඇත්තාට දැනගැන්ම පහසුය.
7 අඥානයා ඉදිරියට යන්න, එවිට ඔහුට දැනගැනීමේ තොල් නැති බව නුඹට පෙනෙන්නේය.
8 බුද්ධිමත් අයගේ ප්‍රඥාව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය; එහෙත් අඥානයන්ගේ මෝඩකම වංචාවය.
9 මෝඩයෝ වරද ගැන සරදම්කෙරෙති; එහෙත් අවංකයන් අතරේ දේව කරුණාව ඇත්තේය.
10 සිත තමාගේම ශෝකය දනියි; එහි ප්‍රීතියට අන්‍යයෙක් මැදි නොවෙයි.
11 දුෂ්ටයන්ගේ ගෙය හෙළාදමනු ලබන්නේය; එහෙත් අවංක අයගේ කූඩාරම සඵලවන්නේය.
12 මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ.
13 සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ; ප්‍රීතියේ කෙළවරද ශෝකයය.
14 සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.
15 නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.
16 ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි.
17 ඉක්මනින් කිපෙන්නා අඥානලෙස ක්‍රියාකරයි; දුෂ්ට උපා යොදන්නාද වෛරය ලබයි.
18 නුවණ නැත්තන්ට මෝඩකම උරුම වන්නේය; එහෙත් බුද්ධිමත්හු දැනගැන්ම නමැති ඔටුන්න පැළඳගනිති.
19 නපුරෝ යහපතුන් ඉදිරියෙහිද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයාගේ දොරටු ළඟද වැඳ වැටෙති.
20 දිළින්දාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි; එහෙත් වස්තුකාරයාට මිත්‍රයෝ බොහෝය.
21 තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.
22 නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය.
23 සියලු වැඩවලින් ලාභ උපදියි; එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය.
24 ප්‍රඥාවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නක්ය; එහෙත් අඥානයන්ගේ උතුම්කම නම් මෝඩකමය.
25 සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි.
26 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.
27 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය.
28 රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය.
29 කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.
30 මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.
31 දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.
32 දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.
33 නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; එහෙත් අඥානයන් තුළ තිබෙන දේ ප්‍රකාශවේ.
34 ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනඟකට වුවත් පාපය නින්දාවක්ය.
35 රජුගේ ප්‍රසන්නකම නුවණින් හැසිරෙන සේවකයා කෙරෙහිය; එහෙත් ලජ්ජාව උපදවන්නාට ඔහුගේ උදහස පැමිණේ.



පරිච්ඡේදය 15

1 මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.
2 ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම වගුරුවයි.
3 ස්වාමීන්වහන්සේගේ ඇස් සෑමතැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන්නේය.
4 ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය; එහෙත් එහි වංචාව ආත්මය පොඩි කිරීමක්ය.
5 මෝඩයා තමාගේ පියාගේ උපදෙස් සුළුකරයි; එහෙත් අවවාදය සලකන්නා නුවණ ලබාගනියි.
6 ධර්මිෂ්ඨයාගේ ගෙයි බොහෝ වස්තු තිබේ; එහෙත් දුෂ්ටයාගේ ආදායමෙහි කරදර ඇත්තේය.
7 ප්‍රඥාවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි; එහෙත් අඥානයන්ගේ සිත ස්ථිර නැත.
8 දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.
9 දුෂ්ටයාගේ මාර්ගය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ධර්මිෂ්ඨකම අනුව යන්නාට උන්වහන්සේ ප්‍රේමකරනසේක.
10 මාවත අත්හැර යන්නාට තද දඬුවමක් පැමිණේ; අවවාදයට ද්වේෂකරන්නා නසින්නේය.
11 ෂෙයෝලද අබද්දොනද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේ; ඊට කොපමණ වැඩියෙන් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් එසේ නොතිබේද!
12 නින්දාකරන්නා අවවාද ලබන්ට කැමති නැත; ඔහු ප්‍රඥාවන්තයන් ළඟට නොයන්නේය.
13 තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි; එහෙත් සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.
14 නුවණ ඇත්තාගේ සිත දැනගැන්ම සොයයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම අනුභවකරයි.
15 දුක්ඛිතයාගේ සියලුම දවස් නරකය; එහෙත් සතුටු සිත නිරන්තර මංගල්‍යයක්ය.
16 කරදර ඇතුව බොහෝ වස්තු ඇතිවීමට වඩා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඇතුව ස්වල්පයක් හොඳය.
17 වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.
18 තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි.
19 අලසයාගේ මාර්ගය කටු වැටක් වැනිය; එහෙත් අවංක අයගේ මාවත මහ පාරක්ය.
20 ප්‍රඥාවත් පුත්‍රයෙක් පියා ප්‍රීතිකරවයි; එහෙත් අඥාන මනුෂ්‍යයෙක් තම මවු සුළුකරයි.
21 නුවණ නැත්තාට මෝඩකම ප්‍රීතියකි; එහෙත් ඥානවන්තයා සෘජුලෙස හැසිරෙයි.
22 මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.
23 මනුෂ්‍යයෙකුට තමාගේ මුඛයේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ; කලට සුදුසු වචනය කොපමණ හොඳද!
24 පහළින් තිබෙන ෂෙයෝලෙන් අහක්වෙන පිණිස නුවණින් හැසිරෙන්නා ඉදිරියෙහි ජීවිතයේ මාවත ඉහළට යන්නේය.
25 ස්වාමීන්වහන්සේ උඩඟු අයගේ ගෙය උදුරාදමනසේක; එහෙත් වැන්දඹුවගේ සීමාව උන්වහන්සේ ස්ථිරකරනසේක.
26 දුෂ්ටයන්ගේ යෝජනා, ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් පවිත්‍රයන්ගේ වචන උන්වහන්සේට ප්‍රසන්නය.
27 ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය; එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.
28 ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරුකම් වගුරුවයි.
29 ස්වාමීන්වහන්සේ දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටිනසේක; එහෙත් උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසනසේක.
30 ඇස්වල එළියෙන් සිත සන්තෝෂවේ; යහපත් ආරංචියෙන් ඇට තරවේ.
31 ජීවනදායක අවවාදය අසන කන ප්‍රඥාවතුන් අතරෙහි පවතියි.
32 ගුරුකම එපාකරන්නා තමාගේම ප්‍රාණය සුළුකරන්නේය; එහෙත් අවවාදය අසන්නා නුවණ ලබාගන්නේය.
33 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ප්‍රඥාවේ ගුරුකමය; ගෞරවයට පළමුවෙන් යටත්කම ඇත්තේය.



පරිච්ඡේදය 16

1 සිත පිළියෙළකිරීම මනුෂ්‍යයාට අයිතිය. එහෙත් දිවේ උත්තරය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.
2 මනුෂ්‍යයෙකුගේ සියලුම මාර්ග තමාගේම ඇසට පිරිසිදුව පෙනේ; එහෙත් ස්වාමීන්වහන්සේ ආත්ම කිරා බලනසේක.
3 නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න; එවිට නුඹේ යෝජනා ස්ථිරවන්නේය.
4 ස්වාමීන්වහන්සේ ඒ ඒ දෙය ඒ ඒ අදහසටද දුෂ්ටයා පවා විපත්ති දවසටද නියම කළසේක.
5 උඩඟු සිත් ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; අතට* අත එකතුවුණත් ඔහු දඬුවම් නොලැබ නොසිටින්නේය. (* නොහොත්, ඒකාන්තයෙන්ම)
6 කරුණාවත් සැබෑකමත් කරණකොටගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.
7 මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.
8 අයුක්තිය ඇතුව බොහෝ සම්පත්වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව ස්වල්පයක් හොඳය.
9 මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේය.
10 රජුගේ මුවෙහි දිව්‍ය වාක්‍යයක් ඇත; විනිශ්චයේදී ඔහුගේ මුඛය වරද නොකරන්නේය.
11 යුතු තුලාවක්ද තරාදිද ස්වාමීන්වහන්සේට අයිතිය; මල්ලේ තිබෙන සියලු කළන්පඩිද උන්වහන්සේගේ වැඩය.
12 දුෂ්ටකම්කිරීම රජවරුන්ට පිළිකුලක්ය; මක්නිසාද සිංහාසනය ස්ථිරවෙන්නේ ධර්මිෂ්ඨකමෙන්ය.
13 ධර්මිෂ්ඨ තොල්වලට රජවරු ප්‍රියවෙති; යුතුලෙස කථාකරන්නාටද ඔව්හු ප්‍රේමවෙති.
14 රජුගේ උදහස මරණයේ දූතයන් වැනිය; එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයා එය සහනයකරන්නේය.
15 රජුගේ මුහුණේ එළියෙන් ජීවත්වීම ඇත; ඔහුගේ කරුණාව අන්තිම වර්ෂා කාලයේ වලාකුළක් මෙනි.
16 ප්‍රඥාව ලබාගැනීම රන්වලට වඩා කොපමණ හොඳද! එසේය, නුවණ ලබාගැනීම රිදීවලටත් වඩා අනර්ඝය.
17 අවංක අයගේ මහා මාර්ගය නම් නපුරෙන් ඉවත්ව සිටීමය; තමාගේ මාර්ගය බලාගන්න තැනැත්තා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය.
18 විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.
19 උදාරම් අය සමඟ කොල්ලයක් බෙදාගැනීමට වඩා දිළිඳු අය සමඟ යටත් සිතක් ඇතුව සිටීම හොඳය.
20 දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය.
21 සිතින් ප්‍රඥාවත් අය බුද්ධිමත් කෙනෙකැයි කියනු ලබන්නේය; තොල්වල මිහිරිකමින්ද ඉගෙනගැන්ම වැඩිවේ.
22 නුවණ ඇත්තාට ඒක ජීවන උල්පතක්ය; එහෙත් අඥානයන්ගේ ගුරුකම මෝඩකමය.
23 ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතුකරයි.
24 ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.
25 මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර නම් මරණයේ මාර්ගය.
26 වැඩකරන්නාගේ බඩගින්න ඔහු උදෙසා වැඩකරයි; මක්නිසාද ඔහුගේ කට ඔහු පොළඹවයි.
27 දුර්ජන මනුෂ්‍යයා නපුරු උපා යොදයි; ඔහුගේ තොල්වල ඇවිළෙන ගිනිවැන්නක් තිබේ.
28 ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.
29 බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමතිකරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය.
30 ඔහු ප්‍රයෝග යොදන පිණිස තමාගේ ඇස් පියාගන, තමාගේ තොල් විකාගන නපුර පමුණුවයි.
31 පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි;
32 බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.
33 පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.



පරිච්ඡේදය 17

1 තරඟ ඇත්තාවූ, මංගල භෝජනවලින් පිරී තිබෙන ගෙයකට වඩා සමාදානය ඇතුව වියළි රොටි කෑල්ලක් හොඳය.
2 නුවණින් හැසිරෙන මෙහෙකරුවෙක් ලජ්ජාව උපදවන පුත්‍රයෙකු කෙරෙහි ආණ්ඩුකරයි, සහෝදරයන් අතරේද ඔහු උරුමය බෙදාගනියි.
3 රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; එහෙත් සිත් සෝදිසිකරන්නේ ස්වාමීන්වහන්සේය.
4 නපුර කරන්නා දුෂ්ට තොල්වලට ඇහුම්කන්දෙයි; බොරුකාරයා ප්‍රයෝගකාර දිවට කන් යොමුකරයි.
5 දිළින්දාට සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි; විපත්තියට ප්‍රීතිවෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.
6 මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය; දරුවන්ගේ පාරට්ටුව ඔවුන්ගේ පියවරුය.
7 උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය; බොරුකාර දිව උත්තමයෙකුට ඊටත් වඩා නොහොබනේය.
8 තෑග්ගක් ලබන්නාට එය මැණිකක් මෙන් පෙනේ; එය කොයි අතට හැරෙතත් සඵලවේ.
9 වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය.
10 අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය.
11 කැරළිකාරයා නපුර පමණක් සොයන්නේය; එබැවින් ඔහුට විරුද්ධව කෲර පණිවිඩකාරයෙක් යවනු ලැබේ.
12 අඥානයෙකු තමාගේ මෝඩකමේදී සම්බවීමට වඩා පැටවුන් නැතිවුණු වැලහින්නියක් මනුෂ්‍යයෙකුට සම්බවීම හොඳය.
13 යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය.
14 ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.
15 දුෂ්ටයා නිදොස්කරන්නාද ධර්මිෂ්ඨයා වරදට පත්කරන්නාද යන දෙදෙනාම ස්වාමීන්වහන්සේට එකාකාර පිළිකුලක්ය.
16 තේරුම් නැතුව තිබියදී, ප්‍රඥාව ලබාගැනීමට අඥානයාගේ අතෙහි මිල තිබීම කුමටද?
17 මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.
18 තේරුම් නැති මනුෂ්‍යයා අතගසමින් තම අසල්වාසියා ඉදිරියෙහි ඇපවෙන්නේය.
19 ඩබරයට ප්‍රියවෙන්නා වරදට ප්‍රියවෙයි; තමාගේ දොරකඩ උස්කොට සාදන්නා විනාශය සොයයි.
20 වංක සිතක් ඇත්තාට ශුභසිද්ධ නොවන්නේය; දිව් දෙකක් ඇත්තාද විපතට වැටෙන්නේය.
21 අඥානයෙකු උපදවන්නාට ශෝකය වන්නේය. මෝඩයෙකුගේ පියාට සන්තෝෂයක් නැත.
22 තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.
23 යුක්තියේ මාවත් පෙරළීමට දුෂ්ටයා ඔඩොක්කුවෙන් තෑග්ගක් පිළිගනියි.
24 තේරුම් ඇත්තා ඉදිරියෙහිම ප්‍රඥාව ඇත්තේය; එහෙත් අඥානයාගේ ඇස් පොළොවේ කෙළවරට යන්නේය.
25 අඥාන පුත්‍රයා තම පියාට ශෝකයක්ය, ඔහු බිහිකළ තැනැත්තීටද දුකක්ය.
26 ධර්මිෂ්ඨයාට දඩගැසීමවත් අවංකකම නිසා උත්තමයන්ට පහර දීමවත් හොඳ නැත.
27 තමාගේ වචන ස්වල්පකරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය; නිශ්චල ආත්මයක් ඇත්තාද ඥානවන්තයෙක්ය.
28 මෝඩයෙක් පවා නිශ්ශබ්දව සිටින විට ප්‍රඥාවන්තයෙකු මෙන්ද, ඔහු තමාගේ තොල් පියාගන සිටිනවිට තේරුම් ඇත්තෙකු මෙන්ද සලකනු ලැබේ.



පරිච්ඡේදය 18

1 තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.
2 අඥානයා තමාගේ සිතිවිලි එළිදරව් කිරීමට මිස නුවණට ප්‍රසන්න නැත.
3 දුෂ්ටයා එන කල හෙළාදැකීමත් අවනම්බුව සමඟ අපහාසයත් එන්නේය.
4 මනුෂ්‍යයෙකුගේ මුඛයේ වචන ගැඹුරු වතුරුය; ප්‍රඥාව නමැති උල්පත වනාහි ගලායන ඔයක්ය.
5 දුෂ්ටයාගේ තරම සැලකීමද විනිශ්චයේදී ධර්මිෂ්ඨයාගේ යුක්තිය පෙරළීමද හොඳ නැත.
6 අඥානයාගේ තොල් ඔහු විවාදයට පමුණුවයි; ඔහුගේ මුඛයද පහරවලට අඬගසයි.
7 අඥානයාගේ මුඛය ඔහුට විනාශයක්ය, ඔහුගේ තොල්ද ඔහුගේ ප්‍රාණයට මලපතක්ය.
8 කේලාම්කියන්නෙකුගේ වචන රසවත් බොදුන් මෙනි; ඒවා බඩ තුළටම බැසයයි.
9 තවද තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.
10 ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.
11 පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ,
12 විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.
13 අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.
14 මනුෂ්‍යයෙකුගේ ආත්මය තමාගේම දුක උසුලන්නේය; එහෙත් බිඳුණු ආත්මය දරන්ට පුළුවන් කාටද?
15 තේරුම් ඇත්තාගේ සිත දැනගැන්ම ලබාගනියි; ප්‍රඥාවන්තයාගේ කනද දැනගැන්ම සොයයි.
16 මනුෂ්‍යයෙකුගේ තෑග්ග ඔහුට ඉඩ ලබාදී, උත්තමයන් ඉදිරියට ඔහු පමුණුවයි,
17 තමාගේ පැමිණිල්ල පළමුකොට කියන අය ධර්මිෂ්ඨව පෙනේ; එහෙත් ඔහුගේ අසල්වාසියා ඇවිත් ඔහු සෝදිසිකරන්නේය.
18 පසඇටය තරඟය නවත්වා, බලවතුන් අතරේ බේරුම්කරයි.
19 කෝපවූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් දිනාගැනීමට වඩා අමාරුය; එබඳු දබර වනාහි මාලිගාවක අගුල් මෙන්ය.
20 මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි; තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සෑහීමට පැමිණෙයි.
21 මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.
22 භාර්යාවක සොයන්නා යහපතක් සොයන්නේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් කරුණාවද ලැබේ.
23 දිළින්දා බැගෑපත්ව කථාකරයි, එහෙත් වස්තුකාරයා රළු ලෙස උත්තරදෙයි.
24 බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.



පරිච්ඡේදය 19

1 වංචාකාර තොල් ඇති අඥානයෙකුට වඩා තමාගේ අවංකකමෙන් හැසිරෙන දිළින්දා උතුම්ය.
2 දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත; තමාගේ පාදවලින් ඉක්මන්වෙන්නා වරදට වැටෙන්නේය.
3 මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි; එවිට ඔහුගේ සිත ස්වාමීන්වහන්සේට විරුද්ධව කිපෙයි.
4 වස්තුව බොහෝ මිත්‍රයන් එකතුකරදෙයි; එහෙත් දිළින්දාගේ මිත්‍රයා ඔහුගෙන් වෙන්වෙයි.
5 බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය.
6 බොහෝදෙනෙක් ත්‍යාගවන්ත අයගේ හොඳ හිත ලබාගන්නට සොයති; තෑගි දෙන මනුෂ්‍යයාට කවුරුත් මිත්‍රයෝය.
7 දිළින්දාගේ සියලු සහෝදරයෝ ඔහුට වෛරවෙති; ඔහුගේ මිත්‍රයෝ කොපමණ වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද්ද? ඔහු ඔවුන්ගේ කීම් පස්සේ දුවයි, එහෙත් ඔවුන් නැත.
8 ප්‍රඥාව ලබාගන්නා තමාගේ ආත්මයට ප්‍රේමවන්නේය; ඥානය තබාගන්නාට ශුභසිද්ධවේ.
9 බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි.
10 සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය.
11 සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය.
12 රජුගේ උදහස සිංහයෙකුගේ ගර්ජනාවට සමානය; එහෙත් ඔහුගේ කරුණාව තෘණ පිට පිනි මෙන්ය.
13 අඥාන පුත්‍රයෙක් ඔහුගේ පියාට විපත්තියක්ය; භාර්යාවකුගේ තරඟද නොනවතින වතුර බින්දු වැටීමක්ය.
14 ගෙයක් හා සම්පත් පියවරුන්ගෙන් ලැබෙන උරුමයක්ය; නුමුත් නුවණින් හැසිරෙන භාර්යාවක් ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ ගෙන්ය.
15 අලසකම තද නින්දට පමුණුවයි; කම්මැළි තැනැත්තේ බඩගිනි විඳියි.
16 ආඥාව රක්ෂාකරන්නා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය; එහෙත් තමාගේ මාර්ග ගැන නොසලකන්නා නසින්නේය.
17 දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.
18 බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න; නුමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න.
19 අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි.
20 නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න.
21 මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය.
22 මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය; බොරුකාරයෙකුට වඩා දිළින්දෙක් උතුම්ය.
23 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි.
24 අලසයා තමාගේ අත තළියේ දමන නුමුත්, ඒක නැවත තමාගේ කටට ගන්නේවත් නැත.
25 නින්දාකරන්නාට තළන්න, එවිට අනුවණයා නැණවත් වේ; තේරුම් ඇත්තාට අවවාදකරන්න, එවිට ඔහු දැනගැන්ම තේරුම්ගනියි.
26 තමාගේ පියාගෙන් කොල්ලකමින් තමාගේ මවු පන්නාදමන්නා ලජ්ජා උපදවන්නාවූ, නින්දා පමුණුවන්නාවූ පුත්‍රයෙක්ය.
27 මාගේ පුත්‍රය, දැනගැනීමේ වචන කෙරෙන් මුළාකරවන ගුරුකම නොඅසා එයින් වලකින්න.
28 දුර්ජන සාක්ෂිකාරයා යුක්තියට නින්දාකරයි; දුෂ්ටයාගේ මුඛයද අයුතුකම ගිලගනියි. නින්දාකරන්නන්ට දඬුවමද
29 අඥානයන්ගේ පිටට පහරද පිළියෙළකර තිබේ.



පරිච්ඡේදය 20

1 මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඥානවන්ත නොවෙයි.
2 රජුගේ භයංකරය සිංහයාගේ ගර්ජනාව මෙන්ය; ඔහු කෝපකරවන්නා තමාගේම ප්‍රාණයට විරුද්ධව වරදකරගන්නේය.
3 තරඟයෙන් වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි; එහෙත් හැම මෝඩයෝම දබරකරති.
4 අලසයා ශීත කාලය නිසා හාන්නේ නැත. එහෙයින් ඔහු ගොයම් කපන කාලයේ හිඟමින් කිසිත් නැතුව සිටියි.
5 මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය.
6 බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවේද?
7 තමාගේ ඇදනැතිකමින් හැසිරෙන්නා ධර්මිෂ්ඨයෙක්ය, ඔහුට පසු ඔහුගේ දරුවෝ වාසනාවන්තයෝ වෙති.
8 රජකෙනෙක් විනිශ්චයාසනයේ හිඳ තමාගේ ඇස්වලින් නපුරුවූ සියල්ල විසුරුවා දමන්නේය.
9 මම මාගේ සිත පවිත්‍රකොට, මාගේ පාපයෙන් පිරිසිදුවී සිටිමියි කියන්ට පුළුවන් කාටද?
10 ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේම ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
11 ළමයෙකුගේ ක්‍රියාවලින් පවා හරිව තිබේදැයි ඔහුගේ හැසිරීම පිරිසිදුව ප්‍රකාශවේ.
12 අසන කනද දකින ඇසද යන දෙකම ස්වාමීන්වහන්සේ සෑදූසේක.
13 නුඹ දිළිඳු නොවන පිණිස නින්දට ඇලුම් නොවන්න; නුඹේ ඇස් ඇර සිටින්න, එවිට නුඹ කෑමෙන් තෘප්තියට පැමිණෙන්නෙහිය.
14 නරකය, නරකය කියා මිලයට ගන්නා කියයි; එහෙත් අහක්ව ගොස් ඔහු පාරට්ටු කරගනියි.
15 රන්ද රතුකැට රාශියක්ද ඇත්තාහ; එහෙත් දැනගැන්ම ඇති තොල් අනර්ඝ මාණික්‍යයක්ය.
16 අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න; අනුන් නිසා ඔහුගෙන් උකසක් ගන්න.
17 වංචාවේ කෑම මනුෂ්‍යයෙකුට මිහිරිය; එහෙත් පසුව ඔහුගේ කට බොරළුවලින් පිරෙයි.
18 සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිරවේ; ඥානවන්ත ගුරුකම් පිට යුද්ධකරන්න
19 කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරන්නේය; එබැවින් බොහෝසෙයින් කට අරින්නා සමඟ සමාගම් නොපවත්වන්න.
20 තමාගේ පියාට හෝ මවුට හෝ දෙස්කියන්නාගේ පහන ඝනාන්ධකාරයේදී නිවීයන්නේය.
21 මුලදී ඉක්මනින් ලබාගන්න උරුමය කෙළවරදී සඵල නොවන්නේය.
22 නපුරට ප්‍රථිඵල දෙමියි නොකියා ස්වාමීන්වහන්සේ කෙරෙහි බලාසිටින්න, උන්වහන්සේ නුඹ ගළවනසේක.
23 ද්වීප්‍රකාර කළන්පඩි ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; හොර තරාදි හොඳ නැත.
24 මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන්වහන්සේගෙන් පැමිණේ; එසේ නම් මනුෂ්‍යයා තමාගේ මාර්ගය තේරුම්ගන්නේ කොහොමද?
25 මේක කැපයයි ඉක්මන්වී කියා, බාරවල් වුණාට පසු විභාගකිරීම මනුෂ්‍යයෙකුට මලපතක්ය.
26 ප්‍රඥාවන්ත රජෙක් දුෂ්ටයන් විසුරුවාදමන්නේය; රෝදයක්ද ඔවුන් පිට අදින්නේය.
27 මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමීන්වහන්සේගේ පහනය, එය සියලුම ඇතුල් කොට්ඨාස සෝදිසිකරන්නේය.
28 කරුණාවද සැබෑකමද රජ්ජුරුවන් ආරක්ෂාකරයි, ඔහුගේ සිංහාසනය කරුණාව හේතුකොටගෙන ස්ථිරවන්නේය.
29 තරුණයන්ගේ පාරට්ටුව ඔවුන්ගේ ශක්තියය; වෘද්ධයන්ගේ අලංකාරය නම් පැසුණු හිසය.
30 තුවාලකරන තැළීම් නපුර පහකරයි; පහරවල්ද ඇතුල් කොට්ඨාසවලටම වදියි.



පරිච්ඡේදය 21

1 රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.
2 මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි; එහෙත් ස්වාමීන්වහන්සේ සිත් කිරාබලනසේක.
3 පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේට ප්‍රියව තිබේ.
4 අහංකාර බැල්මද උඩඟු සිතද යන දුෂ්ටයන්ගේ පහන පාපයය.
5 කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.
6 බොරුකාර දිවකින් වස්තු ලබාගැන්ම හුළඟට ගසාගනයන දුමාරයක්ය; ඒවා මරණයේ මලපත්ය.
7 දුෂ්ටයෝ යුක්තිය කිරීමට අකමැති නිසා තමුන්ගේ බලාත්කාරකමෙන් බැහැර කරනු ලබන්නෝය.
8 වරදෙන් බරවූ අයගේ මාර්ගය ඉතා ඇදය; එහෙත් පිරිසිදු අයගේ ක්‍රියාව සෘජුය.
9 ඩබරකාර ස්ත්‍රියෙකු සමඟ පොදු ගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.
10 දුෂ්ටයාගේ ආත්මය නපුරට ආශාවන්නේය; ඔහුගේ අසල්වාසියාට ඔහුගේ ඇස් හමුයෙහි කරුණාව නොලැබේ.
11 නින්දාකරන්නාට දඬුවම් ලැබෙන විට නුවණ නැත්තා ප්‍රඥාවන්ත වේ. ප්‍රඥාවන්තයාට දැනමුතුකම් දෙන විට ඔහු දැනගැන්ම ලබයි.
12 ධර්මිෂ්ඨ තැනන්වහන්සේ දුෂ්ටයාගේ වංශය ගැන කල්පනාකරනසේක; උන්වහන්සේ දුෂ්ටයන් විපතට හෙළාදමනසේක.
13 දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.
14 රහසින් දෙන තෑග්ගකින් උදහසද ඔඩෙක්කුවට දෙන දීමනාවකින් තද කෝපයද සන්සිඳෙයි.
15 යුක්තිය කිරීම ධර්මිෂ්ඨයාට ප්‍රීතියක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.
16 ප්‍රඥාවේ මාර්ගයෙන් මුළාවයන මනුෂ්‍යයා මළවුන්ගේ සමාගමේ වසන්නේය.
17 සැප සෙල්ලමට ඇලුම්වෙන්නා හිඟමනට පැමිණෙයි; මුද්‍රිකපානයටත් තෙලටත් ඇලුම්වෙන්නා පොහොසත් නොවන්නේය.
18 දුෂ්ටයා ධර්මිෂ්ඨයා උදෙසා මිදීමේ මිලයක්ය; අවංක අය වෙනුවට ද්‍රෝහියා පැමිණෙයි.
19 ඩබරකාරවූ තරහ ගති ඇති ස්ත්‍රියෙක් සමඟ විසීමට වඩා කාන්තාර දේශයක සිටීම හොඳය.
20 අනර්ඝ වස්තුවද තෙල්ද ප්‍රඥාවන්තයාගේ නිවසෙහි ඇත; එහෙත් අඥානයා ඒවා ගිලදමයි.
21 ධර්මිෂ්ඨකමද කරුණාවද අනුව යන්නාට ජීවිතයද ධර්මිෂ්ඨකමද ගෞරවයද ලැබේ.
22 ප්‍රඥාවත්තෙම බලවතුන්ගේ නුවරට නැගී, ඔවුන් විශ්වාසකරන බලය හෙළා දමන්නේය.
23 තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.
24 උඩඟු අහංකාර අයගේ නම නින්දාකරන්නාය, ඔහු අහංකාර මානයෙන් ක්‍රියාකරන්නේය.
25 අලසයාගේ ආශාව ඔහු මරයි; මක්නිසාද ඔහුගේ අත් වැඩකරන්ට අකැමතිය.
26 දවස මුළු‍ල්ලේ ගිජුලෙස ආශාවන්නෙක් ඇත; එහෙත් ධර්මිෂ්ඨයා නොවලක්වා දෙන්නේය.
27 දුෂ්ටයාගේ පූජාව පිළිකුලක්ය; ඔහු එය ප්‍රයෝග සිතින් ගෙනෙන විට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
28 බොරු සාක්ෂිකාරයා විනාශවන්නේය; එහෙත් ඇහුම්කන්දෙන්නා අවහිරයක් නැතුව කථාකරන්නේය.
29 දුෂ්ටයා තමාගේ මුහුණ දැඩිකරගනියි; එහෙත් අවංක තැනැත්තා තමාගේ මාර්ගය කල්පනාකර බලයි.
30 ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.
31 අශ්වයා යුද්ධ දවසට සැදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.



පරිච්ඡේදය 22

1 බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණාවද අගනේය.
2 පොහොසතාද දුප්පතාද සම්මුඛවෙති; ඔවුන් සියල්ලන්ගේ මැවුම්කාරයා ස්වාමීන්වහන්සේය.
3 නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.
4 යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.
5 කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත; තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නා ඒවායින් දුරව සිටියි.
6 දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.
7 වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.
8 අයුක්තිය වපුරන්නා විපත්තිය කපාගන්නේය; ඔහුගේ උදහස නමැති ඉපල නැතිවන්නේය.
9 කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ; මක්නිසාද ඔහු තමාගේ කෑමෙන් දිළින්දාට දෙන්නේය.
10 නින්දාකරන්නා පන්නාදමන්න, එවිට තරඟය පහවේ; එසේය, විවාදයත් ලජ්ජාවත් නවතියි.
11 සිතේ පිරිසිදුකමට ඇලුම්වෙන්නාවූ, ප්‍රසන්න තොල් ඇත්තාවූ අයට රජ්ජුරුවෝ මිත්‍රයෙක්ය.
12 ස්වාමීන්වහන්සේගේ ඇස් දැනගැන්ම ඇත්තා බලාගන්නේය, නුමුත් ද්‍රෝහියාගේ වචන උන්වහන්සේ පෙරළාදමනසේක.
13 අලසයා කථාකොට: පිටත සිංහයෙක් ඇත. වීථිවලදී මට මැරෙන්ට වේයයි කියන්නේය.
14 අන් ස්ත්‍රීන්ගේ මුඛය ගැඹුරු වළක්ය; එහි වැටෙන්නේ ස්වාමීන්වහන්සේ කෝපකරවන තැනැත්තේය.
15 මෝඩකම ළමයෙකුගේ සිතට බැදී තිබේ; දඬුවම්කිරීමේ ඉපල එය ඔහුගෙන් දුරුකරයි.
16 තමාට ලාභය වැඩිකරගන්න පිණිස දිළින්දාට පීඩාකරන්නාද පොහොසතුන්ට දෙන තැනැත්තාද සැබවින්ම හිඟකමට පැමිණෙයි. ධර්මිෂ්ඨකම හා බුද්ධිය ගැන උපදේශ.
17 නුඹේ කන නමා ප්‍රඥාවන්තයන්ගේ බස් අසා, නුඹේ සිත මාගේ ඉගැන්වීමට යොමුකරන්න
18 මක්නිසාද ඒවා නුඹ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම නුඹේ තොල්වල පිහිටන්නේ නම් එය ප්‍රසන්න දෙයක්ය.
19 නුඹේ විශ්වාසය ස්වාමීන්වහන්සේ කෙරෙහි තිබෙන පිණිස මම අද ඒවා නුඹට, එසේය, නුඹට දැන්නුවෙමි.
20 නුඹ එවූවන් වෙතට නුඹ සැබෑකමේ වචනවලින් උත්තර ගෙනෙන පිණිස සැබෑකමේ වචනවල හරිකම නුඹට දන්වන්ට,
21 මම මන්ත්‍රණ සහ දැනගැන්මත් ගැන උතුම්වූ කාරණා නුඹට නොලිවුවෙම්ද?
22 දිළින්දා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවේදී පීඩා නොකරන්න.
23 මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් වෙනුවට විත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.
24 තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න; කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැවසෙන්න.
25 එසේ කළොත් සමහරවිට නුඹත් ඔහුගේ මාර්ගවල පුහුණුවී, නුඹේ ප්‍රාණයට මලපතක් පමුණුවාගන්නෙහිය.
26 නුඹ අත්ගසන්නෙක්වත් ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න.
27 ගෙවන්ට නුඹට කිසිවක් නැතුව, ඔහු කුමක් නිසා නුඹ නිදාඉන්න ඇඳ ගෙනයන්නේද?
28 නුඹේ පියවරුන් පිහිටෙවුවාවූ පුරාණ මායිම් වෙනස් නොකරන්න.
29 තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.



පරිච්ඡේදය 23

1 නුඹ ආණ්ඩුකාරයෙකු සමඟ කෑමට හිඳින කල, නුඹ ඉදිරිපිට තිබෙන දේ හොඳට කල්පනාකර,
2 නුඹ ගිජු කෙනෙක් නම්, නුඹේ උගුරට පිහියක් තබාගන්න.
3 ඔහුගේ රසවත් කෑමවලට ආශා නොවෙන්න, ඒවා රැවටිලි කෑමය.
4 පොහොසත් වෙන්ට නොවෙහෙසෙන්න; ඒ අදහස අත්අරින්න.
5 නැතිවීයන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.
6 අප්‍රසන්න බැල්මක් ඇත්තාගේ කෑම නොකන්න, ඔහුගේ රස කෑමවලට ආශා නොවන්න.
7 මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය. කන්න බොන්නැයි ඔහු නුඹට කියයි; නුමුත් ඔහුගේ සිත නුඹ සමඟ නැත.
8 නුඹ කෑ දෙය නුඹ වමාරන්නෙහිය, නුඹේ ප්‍රසන්න වචනද නැතිවන්නේය.
9 අඥානයා ඉදිරියේ කථා නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ වචනවල සාරකම සුළුකරන්නේය.
10 පුරාණ මායිම වෙනස් නොකරන්න; පියා නැත්තන්ගේ බිම්වලට ඇතුල්නොවන්න.
11 මක්නිසාද ඔවුන්ගේ මිදුම්කාරයා බලවත්ය; උන්වහන්සේ නුඹට විරුද්ධව ඔවුන්ගේ විත්තිය කියනවා ඇත.
12 නුඹේ සිත ඉගැන්වීමටද නුඹේ කන් දැනගැනීමේ වචනවලටද යොමුකරන්න
13 දරුවාගෙන් දඬුවම නොවලක්වන්න; ඉපලෙන් නුඹ ඔහුට තළන්නෙහි නම් ඔහු නගින්නේ නැත.
14 ඉපලෙන් ඔහුට තළන්න; එයින් නුඹ ඔහුගේ ප්‍රාණය ෂෙයෝලෙන් ගළවන්නෙහිය.
15 මාගේ පුත්‍රය, නුඹේ සිත ප්‍රඥාවන්ත නම් මාගේ සිතත් ප්‍රීතිමත් වන්නේය.
16 එසේය, නුඹේ තොල් හරි දේවල් පවසන විට මාගේ හෘදය පිනායන්නේය.
17 නුඹේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා.
18 මක්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්ට තිබේ; නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලැබේ.
19 මාගේ පුත්‍රය, අසා ප්‍රඥාවන්ත වී, නුඹේ සිත හරි මාර්ගයෙහි ගෙනයන්න.
20 මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න.
21 මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය; නිදිමතද වැරහැලි ඇදීමට පමුණුවන්නේය.
22 නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසන්න; නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.
23 සත්‍යයද ප්‍රඥාවද ඉගනගැන්මද නුවණද මිලේට ගන්න, ඒවා නොවිකුණා තබාගන්න.
24 ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය; බුද්ධිමත් දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය.
25 නුඹේ පියාද මවුද සතුටුවෙත්වා, එසේය, නුඹ වැදූ තැනැත්තී ප්‍රීතිමත්වේවා.
26 මාගේ පුත්‍රය, නුඹේ සිත මට දෙන්න, නුඹේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීතිවේවා.
27 මක්නිසාද වේශ්‍යාවක් වනාහි ගැඹුරු අගළක්ය; අන් ස්ත්‍රියද පටු වළක්ය.
28 එසේය, ඈ කොල්ලකාරයෙකු මෙන් රැකසිට, මනුෂ්‍යයන් අතරේ අවිශ්වාසයන් වැඩිකරන්නීය.
29 දුක ඇත්තේ කාටද? කාලකණ්ණිකම කාටද? තරඟ කාටද? මැසිවිලි කාටද? නිෂ්කාරණ තුවාළ කාටද? රතු ඇස් ඇත්තේ කාටද?
30 මුද්‍රිකපානය ළඟ පමාවෙන්නන්ටය; මිශ්‍රකළ මිදියුස සොයා යන්නන්ටය.
31 මුද්‍රිකපානය රතුව පෙනෙන විටත්, පාත්‍රයෙහි දිලිහෙන විටත්, සිනිදුලෙස වැක්කෙරෙන විටත්, ඒ දෙස නොබලන්න.
32 අන්තිමේදී එය සර්පයෙකු මෙන් හපාකා, පොළඟෙකු මෙන් දෂ්ටකරයි.
33 නුඹේ ඇසට අද්භූත* දේවල් පෙනෙන්නේය, නුඹේ සිත හිතුවක්කාර දේවල් කථාකරන්නේය. (* නොහොත්, අන්‍ය ස්ත්‍රීන්)
34 නුඹ මුහුද මැද නිදාගන්නෙකු මෙන්ද කුඹගසක මුදුනේ නිදන කෙනෙකු මෙන්ද වන්නෙහිය.
35 ඔව්හු මට පහරදුන්නෝය, නුමුත් මට රිදුණේ නැත; ඔව්හු මට ගැසුවෝය, නුමුත් ඒක මට දැනුණේ නැත; මට කොයි වේලේ ඇහැ ඇරේද? නැවත එය තවත් සොයන්නෙමියි නුඹ කියන්නෙහිය.



පරිච්ඡේදය 24

1 දුෂ්ට මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්න, ඔවුන් සමඟ සිටීමට ආශා නොවන්න.
2 මක්නිසාද ඔවුන්ගේ සිත නාස්තිකරන්ට කල්පනාකරයි, ඔවුන්ගේ තොල්ද අනතුරුකිරීම ගැන කථාකරයි.
3 ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ.
4 දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.
5 ප්‍රඥාවත් මනුෂ්‍යයා බලවන්තය; එසේය, දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි.
6 මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.
7 ප්‍රඥාව මෝඩයාට උසස් වැඩිය; දොරටුවේදී ඔහු තමාගේ මුඛය නොහරියි.
8 නපුර කිරීමට උපා යොදන්නාට ප්‍රයෝගකාරයෙකැයි මනුෂ්‍යයෝ කියන්නෝය.
9 මෝඩයාගේ යෝජනාව පාපයය; නින්දාකරන්නාද මනුෂ්‍යයන්ට පිළිකුලක්ය.
10 නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.
11 මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න.
12 අපි මෙය නොදත්තෙමුයයි නුඹ කියන්නෙහිනම්, සිත් කිරාබලන තැනන්වහන්සේ එය නොබලනසේක්ද? නුඹේ ප්‍රාණය ආරක්ෂාකරන තැනන්වහන්සේ එය නොදන්නාසේක්ද? උන්වහන්සේ ඒ ඒ මනුෂ්‍යයාට තම තමාගේ ක්‍රියාවේ හැටියට විපාක නොදෙනසේක්ද?
13 මාගේ පුත්‍රය, මීපැණි හොඳ බැවින් ඒවාද නුඹේ දිවට මිහිරිවූ මීවදයේ පැණිද කන්න.
14 නුඹේ ප්‍රාණය උදෙසා ප්‍රඥාව එසේම බව දැනගන්න; එය නුඹට සම්බවුණොත් විපාකයක් ලැබෙන්නේය, නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලබන්නේය.
15 දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසෙට විරුද්ධව රැක නොසිටින්න; ඔහුගේ වාසස්ථානය කොල්ලනොකන්න.
16 මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය.
17 නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්‍රීතිමත් නොවේවා.
18 නැත්නම් සමහරවිට ස්වාමීන්වහන්සේ ඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක.
19 නපුර කරන්නන් නිසා කලනොකිරෙන්න; දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොවෙන්න.
20 මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය; දුෂ්ටයන්ගේ පහන නිවීයයි.
21 මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේත් රජුටත් භයවෙන්න; වෙනස්වන සුලු අය සමඟ සමාගම් නොපවත්වන්න.
22 මක්නිසාද ඔවුන්ගේ විපත්තිය හදිසියෙන් පැමිණෙයි; ඒ දෙදෙනාගෙන් පැමිණෙන විනාශය දන්නේ කවුද?
23 මේවාත් ප්‍රඥාවන්තයන්ගේ කීම්ය. විනිශ්චයේදී තරම බැලීම හොඳ නැත.
24 නුඹ ධර්මිෂ්ඨය කියා දුෂ්ටයාට කියන්නාට ජනයෝ ශාපකරන්නෝය, ජාතීහු ඔහු පිළිකුල්කරන්නෝය.
25 එහෙත් ඔහුට තරවටුකරන්නන්ට ප්‍රීතිය වන්නේය, ශුභාශීර්වාදයක්ද ඔවුන් පිටට පැමිණෙන්නේය.
26 සුදුසු උත්තරයක් දෙන අය තොල් සිඹින්නේය.
27 නුඹේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගන්න; පසුව නුඹේ ගේ සාදන්න.
28 කාරණයක් නැතුව නුඹේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, නුඹේ තොල්වලින් වංචා නොකරන්න.
29 ඔහු මට කළ ලෙසම ඔහුටත් කරන්නෙමි, ඒ මනුෂ්‍යයාගේ ක්‍රියාවේ හැටියට ඔහුට ප්‍රතිඵල දෙන්නෙමියි නොකියන්න.
30 අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි;
31 එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය.
32 එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි.
33 තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි
34 කියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.



පරිච්ඡේදය 25

1 මේවාත් යූදාහි රජවූ හෙස කියාගේ මිනිසුන් එකතු කොට ලිවුවාවූ සාලමොන්ගේ හිතෝපදේශය.
2 කාරණයක් සඟවාතැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය: රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැනගැනීමය.
3 උස නිසා අහසද ගැඹුර නිසා පොළොවද රජුන්ගේ සිතද සොයා දැනගන්ට බැරිය.
4 රිදීවලින් බොර පහකරපන්න, එවිට රන්කරුවාට භාජනයක් නික්මෙයි.
5 දුෂ්ටයා රජු ඉදිරියෙන් පහකරන්න, එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමෙන් ස්ථිරවෙයි.
6 රජු ඉදිරියේදී ඉස්සරහට නොයන්න; උත්තමයන්ගේ ඉඩමෙහි නොසිටින්න.
7 මක්නිසාද නුඹේ ඇස්වලින් දුටු අධිපතියා ඉදිරියෙහි නුඹ පහතට යැවීමට වඩා මෙහි ඉහළට එන්නැයි නුඹට කීම හොඳය.
8 නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න, ගියොත්, අන්තිමේදී නුඹේ අසල්වාසියා නුඹ ලජ්ජාවට පත්කළාම, නුඹ කරන්නේ කුමක්ද?
9 නුඹේ අසල්වාසියා සමඟම නුඹේ කාරණය කථාකරන්න, අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.
10 එසේ කළොත්, එය ඇසූ අය නුඹට නින්දාකරන්නේය, නුඹේ අපකීර්තියද පහවෙන්නේ නැත.
11 කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ජම්බුමෙනි.
12 ප්‍රඥාවන්තලෙස අවවාදකරන්නා, අසන කනට රන් කුණ්ඩලාභරණයක්ද පවිත්‍ර ස්වර්ණාභරණයක්ද මෙනි.
13 විශ්වාස පණිවිඩකාරයා තමා යවන්නන්ට ගොයම් කපන කාලයේ හිමේ ශීතල මෙනි; ඔහු තමාගේ ස්වාමිවරුන්ගේ ආත්මය ප්‍රාණවත්කරන්නේය.
14 යමක් දෙන්නෙමියි කියා බොරුවට වර්ණනාකරන්නා වර්ෂා නැති වලාකුල්ද හුළඟද මෙනි.
15 ඉවසිලිවන්තකමෙන් ආණ්ඩුකාරයෙකු නමාගත හැක, මොළොක් දිවෙන් ඇට බිඳෙයි.
16 නුඹට මීපැණි සම්බවුණොත්, එයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස, සෑහෙන තරමට පමණක් කන්න.
17 නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු නුඹ ගැන වෙහෙසවී, නුඹට වෛරවෙයි.
18 තමාගේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි කියන්නා පොල්ලක්ද කඩුවක්ද තියුණු ඊයක්ද වැනිය.
19 විපත්ති දවසේදී අවිශ්වාස මනුෂ්‍යයෙකු කෙරෙහි විශ්වාසකිරීම බිඳුණු දතකුත් වෙවුලන පාදයකුත් මෙනි.
20 දුක්වූ සිතකට ගීතිකාකරන්නා ශීත කාලයේදී වස්ත්‍රය ගළවාදමන්නෙක්ද වෙඩිලුණුවලට කාඩිද වැනිය.
21 නුඹේ සතුරාට බඩගිනි නම් ඔහුට කන්ට දෙන්න, පිපාසා නම් බොන්ට වතුර දෙන්න.
22 එසේ නුඹ ඔහුගේ ඉස පිට ගිනි අඟුරු ගොඩකරන්නෙහිය, ස්වාමීන්වහන්සේද නුඹට විපාක දෙනසේක.
23 උතුරු හුළඟ වර්ෂාව ගෙනෙයි; එසේම කේලාම්කියන දිව තරහ මුහුණක් උපදවයි.
24 ඩබරකාර ස්ත්‍රියෙක් සමඟ පොදුගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.
25 දුර රටකින් ලැබෙන හොඳ ආරංචි පිපාසා ඇත්තෙකුට ඇල්වතුර මෙන්ය.
26 දුෂ්ටයා ඉදිරිපිට පසුබසින ධර්මිෂ්ඨයා කලඹා තිබෙන උල්පතක්ද නරක්කළ ජලාකරයක්ද මෙන්ය.
27 බොහෝ මීපැණි කෑම හොඳ නැත; එමෙන්ම මනුෂ්‍යයන්ට තමුන්ගේම ගෞරවය සෙවීම ගෞරවයක් නොවේ.
28 තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.



පරිච්ඡේදය 26

1 ග්‍රීෂ්ම කාලයට හිම මෙන්ද, ගොයම් කපන කාලයට වර්ෂාව මෙන්ද, අඥානයෙකුට ගෞරවය නොහොබෙන්ය.
2 ඔබ මොබ යන ගේකුරුල්ලා මෙන්ද, ඉඟිලී යන වැහිලිහිණියා මෙන්ද, කාරණයක් නැතුව කරන ශාපය නොවදින්නේය.
3 අශ්වයාට කසයක්ද කොටළුවාට කටකලියාවක්ද අඥානයන්ගේ පිටට ඉපලක්ද වෙත්.
4 නුඹත් අඥානයාට සමාන නොවන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න.
5 අඥානයා තමා ප්‍රඥාවන්තයෙකැයි නොසිතන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තරදෙන්න.
6 අඥානයෙකු අත පණිවිඩ අරින්නා තමාගේ පාද කපා දමා අලාභ විඳින්නේය.
7 කොරෙකුගේ කකුල් වලංගු නැත. අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාවත් එසේමය.
8 අඥානයෙකුට ගෞරවය දෙන්නා ගල්* ගොඩක තබනලද මැණික් පසුම්බිය මෙන්ය. (* ඇතැම් පිටපතක: ගල් පටියක ගලක් බඳින්නෙකු මෙනි)
9 අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාව බේබද්දෙක් අතින් වනන කටුගහක් මෙන්ය.
10 අඥානයෙකු කුලියට ගන්නාද මග යන්නන් කුලියට ගන්නාද සියල්ලන්ට තුවාලකරන දුනුවායෙකු මෙනි.
11 බල්ලා උගේ වමනයට හැරීයන්නාක් මෙන් අඥානයා තමාගේ අඥානකම නැවතත් කරන්නේය.
12 තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.
13 අලසයා කථාකොට: සිංහයෙක් මාර්ගයේ සිටියි; වීථිවල සිංහයෙක් ඇතැයි කියන්නේය.
14 දොර ඒකේ අසව්ව පිට කරකැවෙන්නාක්මෙන් අලසයා තමාගේ ඇඳ පිට පෙරළෙන්නේය.
15 අලසයා තමාගේ අත තලියේ තබන නුමුත් නැවත එය තමාගේ කටට ගැනීම ඔහුට වෙහෙසක්ය.
16 අලසයා නුවණින් උත්තරදෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්‍රඥාවතෙකැයි සිතන්නේය.
17 පාරේ යමින් තමාට වැදගැන්මක් නැති දබරයකට මැදිවෙන්නා උගේ කන්වලින් බල්ලෙකු අල්ලාගන්න කෙනෙක් මෙන්ය.
18 තමාගේ අසල්වාසියා රවටමින්: මම සෙල්ලමට එය කෙළෙමියි කියන මනුෂ්‍යයා,
19 තමා වටකර ගිනි පෙනෙලිද ඊගස්ද මරණයද විසිකරන පිස්සෙක් වැනිය.
20 දර නැති තැන ගින්න නිවීයයි; එසේම කේලාම්කියන්නෙක් නැති කල තරඟය නවතින්නේය.
21 ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය.
22 කේලාම්කියන්නෙකුගේ වචන රසවත් භෝජන මෙනි; ඒවාත් ඔබ තුළටම බැසයන්නේය.
23 සිත නපුරුව තිබෙද්දී ජ්වලිතව තිබෙන තොල් රිදී බොර ගෑවාවූ මැටි භාජනයක්මෙනි.
24 වෛරවෙන්නා තමාගේ තොල්වලින් වංචාකම් කර, තමා තුළ ප්‍රයෝග තබාගනියි.
25 ඔහු ප්‍රිය වචන කථාකරන කල විශ්වාස නොකරන්න; මක්නිසාද ඔහුගේ සිතේ පිළිකුල් කාරණා සතක් ඇත්තේය.
26 ඔහුගේ වෛරය ප්‍රයෝගයෙන් වසා තිබෙන නුමුත් ඔහුගේ දුෂ්ටකම සභාව ඉදිරියෙහි එළිදරව්වන්නේය.
27 වළක් හාරන්නා එහි වැටෙන්නේය; ගලක් පෙරළාගන යන්නා පිටටම ඒක හැරී එන්නේය.
28 බොරුකාර දිව එයින් තුවාලවූවන්ට වෛරකරයි; ඉච්චා මුඛයද නාස්තිය උපදවයි.



පරිච්ඡේදය 27

1 හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය.
2 එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ.
3 ගලක් බරය, වැලිත් බරය. එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය බරය.
4 උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද?
5 ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.
6 මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ;
7 තෘප්තියට පැමිණි අය මීවදයට අප්‍රිය කරයි; එහෙත් ක්ෂුධාවත් අයට සෑම තික්ත දෙයම මිහිරිය.
8 තමාගේ ස්ථානයෙන් ඈත්ව යන මනුෂ්‍යයා කැදැල්ලෙන් ඈත්ව යන පක්ෂියෙකු මෙන්ය.
9 විලවුන් හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීතිකරන්නේය; එසේම යමෙකුගේ මිත්‍රයාගේ හිතේසි මන්ත්‍රණයෙන් ලැබෙන මිහිරිකමද සිත ප්‍රීතිකරයි.
10 නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.
11 මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න.
12 නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි; අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.
13 අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න. අන් ස්ත්‍රියෙකුට ඇපවෙන්නාගෙන්ද උකසක් ගන්න.
14 අලුයම නැගිට තමාගේ මිත්‍රයාට මහත් හඬින් ආශීර්වාදකරන්නාට එය ශාපයක් කොට ගණන්ගනු ලබන්නේය.
15 තද වර්ෂා දවසක නොකඩව වතුර බින්දු වැටීමක්ද ඩබරකාර ස්ත්‍රියෙක්ද ඒකාකාරය.
16 ඈ නවත්වන්ට හදන්නා හුළඟ නවත්වන්නේය. ඔහුගේ දකුණතින් තෙල් අල්ලාගන්නේය.
17 යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.
18 අත්තික්කා ගස බලාගන්න අය එහි ඵල කන්නේය; තම ස්වාමියා ගැන සලකන්නාද ගෞරවයට පැමිණෙන්නේය.
19 වතුරෙහි මුහුණ මුහුණට සමානවාක් මෙන් මනුෂ්‍යයාගේ සිත මනුෂ්‍යයාට සමානය.
20 ෂෙයෝලද අබද්දොනද කිසිකලක තෘප්තියට පැමිණෙන්නේ නැත; මනුෂ්‍යයාගේ ඇස්ද කිසිකලෙක තෘප්තියට නොපැමිණේ.
21 රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; මනුෂ්‍යයෙක් ඔහුට ලැබෙන ප්‍රශංසාවෙන් පරීක්ෂාකරනු ලබයි.
22 නුඹ මෝඩයෙකු වංගෙඩියේ දමා ධාන්‍ය සමඟ මෝලෙන් කෙටුවත් ඔහුගේ මෝඩකම ඔහුගෙන් පහනොවන්නේය.
23 නුඹේ එළු බැටළු රැළවල අන්දම හොඳට දැනගන්න; නුඹේ ගැව රැළවලට සිත යොමුකරන්න.
24 මක්නිසාද වස්තු සෑමදාම නොපවතියි; ඔටුන්නවත් පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේද?
25 තණකොළ පහවී ලා තෘණ පෙනෙන්නේය, කඳුවල පලා ජාති එකතුකරනු ලබන්නේය.
26 බැටළු පැටව් නුඹේ ඇඳුම් පිණිසද එළුවෝ කෙතක අගය පිණිසද වෙති,
27 නුඹේ කෑමටත් නුඹේ ගෙයි වැසියන්ගේ කෑමටත් නුඹේ තරුණියන්ගේ නඩත්තුවටත් සෑහෙන පමණ එළුකිරි ඇතිවන්නේය.



පරිච්ඡේදය 28

1 කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
2 දේශයක කැරළිකාරකම නිසා එහි අධිපතියෝ බොහෝ වෙති; එහෙත් තේරුම සහ දැනගැන්ම ඇති මනුෂ්‍යයන් කරණකොට එය බොහෝ කල් පවතින්නේය.
3 දුප්පතුන්ට පීඩාකරන දිළිඳු මනුෂ්‍යයෙක් කෑම ඉතිරි නොවන ලෙස ගහගෙන යන වැස්සක් මෙන්ය.
4 ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති.
5 නපුරු මනුෂ්‍යයෝ යුක්තිය තේරුම් නොගනිති; එහෙත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්නෝ සියල්ල තේරුම්ගනිති.
6 වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙක්ට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය.
7 ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ඥානවත් පුත්‍රයෙක්ය; එහෙත් නාස්තිකාරයන්ගේ යහළුවා තමාගේ පියා ලජ්ජාවට පමුණුවයි.
8 පොළිය හා ලාභයෙන් තමාගේ වස්තුව වැඩිකරගන්න අය ඒවා එකතුකර තබන්නේ දිළිඳුන්ට කරුණාකරන්නාටය.
9 ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.
10 නපුරු මාර්ගයක යන ලෙස අවංක අය මුළාකරන තැනැත්තා තමාගේම වළේ වැටෙයි; එහෙත් සම්පූර්ණ අයට යහපත උරුමවේ.
11 වස්තුකාරයා තෙමේ ප්‍රඥාවතෙකැයි සිතන්නේය; එහෙත් තේරුම් ඇති දිළින්දා ඔහු සොයා බලා තේරුම්ගනියි.
12 ධර්මිෂ්ඨයන් ජය ලබන කල මහත් තේජස තිබේ; එහෙත් දුෂ්ටයන් උසස් වන කල මනුෂ්‍යයෝ සැඟවෙති.
13 තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.
14 නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි.
15 දිළිඳු සෙනඟක් ආණ්ඩුකරන දුෂ්ටයෙක් වනාහි ගොරවන සිංහයෙක්ද ගොදුරු සොයා ඇවිදින වලසෙක්ද මෙනි.
16 නුවණින් හීනවූ අධිපතියා දරුණු පීඩාකාරයෙක් වන්නේය; එහෙත් අයුතු ලාභයට ද්වේෂකරන්නා ආයුෂ වැඩිකරගන්නේය.
17 යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය; කිසිවෙක් ඔහු නොවලක්වාවා.
18 ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය.
19 තමාගේ බිම අස්වද්දන්නාට බොහෝසෙයින් කෑම ලැබේ; එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණවේ.
20 විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.
21 මනුෂ්‍යයන්ගේ තරම බැලීම හොඳ නැත; රොටි කෑල්ලක් නිසා අපරාධකිරීමද හොඳ නැත.
22 අප්‍රසන්න බැල්මක් ඇති මනුෂ්‍යයා වස්තුව පස්සේ වේගයෙන් යන්නේය, තමාට හිඟකම පැමිණෙන බව ඔහු නොදන්නේය.
23 ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ.
24 තමාගේ පියාගෙන් හෝ මව්ගෙන් හෝ සොරාගෙන: වරදක් නැතැයි කියන්නා විනාශකාරයෙකුගේ යහළුවෙක්ය.
25 ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි.
26 තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය.
27 දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය.
28 දුෂ්ටයන් උසස්වෙන කල මනුෂ්‍යයෝ සැඟවෙති; එහෙත් ඔවුන් විනාශවෙන කල ධර්මිෂ්ඨයෝ වැඩිවෙති.



පරිච්ඡේදය 29

1 බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.
2 ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනඟ ප්‍රීතිවෙති; එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩුකරන කල සෙනඟ සුසුම්ලති.
3 ප්‍රඥාවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය; එහෙත් වේශ්‍යාවන් ආශ්‍රයකරන්නා තමාගේ සම්පත් නැතිකරන්නේය.
4 රජ තෙමේ යුක්තියෙන් දේශය ස්ථිරකරයි; එහෙත් බලෙන් තෑගි ලබාගන්න මනුෂ්‍යයා ඒක පෙරළාදමයි.
5 තමාගේ අසල්වාසියාට ඉච්චාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි.
6 නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත. එහෙත් ධර්මිෂ්ඨයා ගීතිකා කියමින් සන්තෝෂවෙයි.
7 ධර්මිෂ්ඨයා දුප්පතුන්ගේ පැමිණිල්ල දැනගන්නේය; දුෂ්ටයාට ඒක දැනගන්ට තේරුමක් නැත.
8 නින්දාකරන මනුෂ්‍යයෝ නගරයෙහි ගිනි අවුළුවති; එහෙත් ප්‍රඥාවන්තයෝ උදහස පහකරති.
9 ප්‍රඥාවත් මනුෂ්‍යයෙක් මෝඩ මනුෂ්‍යයෙකු සමඟ විවාදකරන විට ඔහු කෝපවුණත් සිනාසුණත් කාරණය තීන්දු නොවේ.
10 මිනීමරුවූ මනුෂ්‍යයෝ නිර්දෝෂ අයට වෛරකෙරෙති. එහෙත් අවංක අය ඔහුගේ ප්‍රාණය ආරක්ෂාකරති.
11 අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි;
12 ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති.
13 දිළින්දාද පීඩාකරන්නාද සම්මුඛ වෙති; ඔවුන් දෙදෙනාගේම ඇස් එළිය කරන්නේ ස්වාමීන්වහන්සේය.
14 දැහැමින් දුප්පතුන් විනිශ්චයකරන රජුගේ සිංහාසනය සදාටම ස්ථිරවන්නේය.
15 ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.
16 දුෂ්ටයන් බහුලවන කල අපරාධ වැඩිවෙයි; එහෙත් ධර්මිෂ්ඨයෝ ඔවුන්ගේ වැටීම දකින්නෝය.
17 නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු නුඹේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය.
18 දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාරවෙති; එහෙත් ව්‍යවස්ථාව රක්ෂාකරන්නා වාසනාවන්තයෙක්ය.
19 වැඩකාරයෙක් වචනවලට නොහික්මෙන්නේය; මක්නිසාද ඔහුට තේරෙන නුමුත් උත්තරදෙන්නේ නැත.
20 තමාගේ වචනවලින් ඉක්මන්වෙන මනුෂ්‍යයෙකු නුඹ දුටුවෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.
21 තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්‍රයෙක් වන්නේය.
22 තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය.
23 මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි.
24 හොරෙකු සමඟ හවුල්වෙන අය තමාගේම ප්‍රාණයට වෛරවන්නේය; ඔහු දිවුරවීම අසන නුමුත් කිසිවක් නොපවසයි.
25 මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.
26 බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති; එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.
27 දුෂ්ට මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨයන්ට පිළිකුලක්ය; සෘජුව හැසිරෙන්නා දුෂ්ටයන්ට පිළිකුලක්ය.



පරිච්ඡේදය 30

1 යාකේගේ පුත්‍රවූ ආගුර්ගේ වචන, එනම් විශිෂ්ට කියමන්ය. ඒ මනුෂ්‍යයා ඉතියෙල්ට, එනම් ඉතියෙල්ට සහ උකාල්ට, මෙසේ කීවේය:
2 සැබවින් මම සියල්ලන්ටම වඩා මූඪව සිටිමි, මනුෂ්‍ය නුවණ මට නැත.
3 මම ප්‍රඥාව ඉගෙන නොගතිමි, ශුද්ධ තැනන්වහන්සේ ගැන දැනගැන්ම මට නැත.
4 ස්වර්ගයට නැගී බැස ආවේ කවුද? තමාගේ මිටෙහි සුළඟ අඩංගුකරගත්තේ කවුද? වතුර තමාගේ සළුවෙහි බැඳගත්තේ කවුද? පොළොවේ සියලු සීමා පිහිටෙවුවේ කවුද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත්‍රයාගේ නම මොකද? දන්නෙහිනම් කියන්න.
5 දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.
6 උන්වහන්සේ නුඹට තරවටු නොකරන පිණිසත් නුඹ බොරුකාරයෙක් නොවන පිණිසත් උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න.
7 කාරණා දෙකක් ඔබගෙන් ඉල්වීමි; මාගේ මරණය දක්වා ඒවා මට නොදී නොසිටිය මැනව.
8 වංචාවත් බොරුවත් මාගෙන් දුරුකළ මැනව; මා පූර්ණවී ඔබ එපාකර: ස්වාමීන්වහන්සේ කවුදැයි නොකියන පිණිසත්, මා දිළිඳුවී සොරකම්කොට,
9 මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ‍්‍යකළ මැනව.
10 වැඩකාරයෙකු ගැන ඔහුගේ ස්වාමියාට කේලාම් නොකියන්න, එසේ කළොත් සමහරවිට ඔහු නුඹට ශාපකරන්නේය, නුඹද වරදකාරයෙක් වී දඬුවම් විඳිනවා ඇත.
11 තමුන්ගේ පියවරුන්ට ශාපකරන්නාවූ, තමුන්ගේ මව්වරුන්ට ආශීර්වාද නොකරන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
12 තමුන්ගේ කිලුටුකම සෝදා නොදැමූ නුමුත් තමුන් පිරිසිදුයයි සිතන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
13 උදාරම් ඇස්ද උඩුකුරුකරගත් ඇසිපියද ඇති පරම්පරාවක් ඇත්තේය.
14 පොළෝතලයෙන් දිළින්දන්ද මනුෂ්‍යයන් අතරෙන් අසරණයන්ද කා දමන්ට කඩු වැනි දත් සහ පිහියා වැනි හකුදත්ද ඇති පරම්පරාවක් ඇත්තේය.
15 දෙන්න, දියන්නැයි කියන දූවරු දෙදෙනෙක් කූඩැල්ලාට ඇත. කිසිකලක තෘප්තියට නොපැමිණෙන්නාවූ දේවල් තුනක් තිබේ, එසේය, ඇතැයි නොකියන දේවල් සතරක් තිබේ.
16 එනම්, මිනීවළද; වඳ ගැබද; ජලයෙන් තෘප්තියට නොපැමිණෙන පොළොවද; ඇතැයි නොකියන ගින්නද යන මේවාය.
17 පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.
18 මට ඉතා පුදුමවූ කාරණා තුනක් තිබේ, එසේය, මා නොදන්න කාරණා සතරක් තිබේ.
19 එනම්, ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය; පර්වතයක් උඩ සර්පයෙක් යන මාර්ගය; මුහුද මැද නැවක් යන මාර්ගය; කන්‍යාවකු හා සමඟ පුරුෂයෙකුගේ මාර්ගය යන මේවාය.
20 මිථ්‍යාචාරික ස්ත්‍රියෙකුගේ මාර්ගයත් එසේමය; ඈ කාලා කට පිහදමා: මම දුෂ්ටකමක් නොකෙළෙමියි කියන්නීය.
21 කාරණා තුනකට පොළොව චංචල වෙයි, ඊට දරන්ට බැරි සතරක්ද තිබේ.
22 එනම්, රජබවට පැමිණෙන සේවකයෙක්ය; කෑමෙන් තෘප්තියට පැමිණියාවූ මෝඩයෙක්ය;
23 ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය; ස්වාමිදුවට උරුමක්කාරිය වෙන දාසියක්ය යන මේවාය.
24 කුඩා නුමුත් ඉතා ඥානවත්වූ ජාති සතරක් පොළොවෙහි ඇත:
25 කුහුඹුවෝ බල නැති සමූහයක්ය, එහෙත් උන් ග්‍රීෂ්ම කාලයෙහි උන්ගේ කෑම සපයති;
26 බෙන්හාවෝ බෙලහීන ජාතියක්ය, එහෙත් උන් තමුන්ගේ ගෙවල් පර්වතවල සාදාගනිති;
27 පළඟැටියන්ට රජෙක් නැත, එහෙත් උන් සියල්ලෝ කණ්ඩායම් වශයෙන් පිටත්ව යති;
28 හූනා දෑතින් අල්ලාගන, රජ මාළිගාවල සිටියි.
29 අලංකාරලෙස අඩි තබා යන තුන්දෙනෙක් සිටිති, එසේය, අලංකාරලෙස ඇවිදින සතරදෙනෙක් සිටිති:
30 මෘගයන් අතරෙන් ඉතා බලවන්තයාවූ, කිසිවෙකු වෙතින් හැරී නොයන්නාවූ සිංහයා;
31 හුළංබල්ලා; එළුවා; සේනා සහිතව යන රජ යන මොව්හුය
32 නුඹ උඩඟුවීමෙන් මෝඩකම් කෙළෙහි නම්, නොහොත් නපුරක් සිතුවෙහි නම්, අතින් කට වසාගන්න.
33 මක්නිසාද කිරි ඇලලීමෙන් වෙඬරු හැදෙන්නේය, නාසය මිරිකීමෙන් ලේ එන්නේය. එසේම උදහස ඇවිස්සීමෙන් තරඟය හටගන්නේය.



පරිච්ඡේදය 31

1 ලෙමුවෙල් රජුගේ වචනය; ඔහුගේ මෑණියන් විසින් ඔහුට ඉගැන්වූ කීම්ය.
2 මාගේ පුත්‍රය, මොකද? අනේ මාගේ කුස ඔත් පුත්‍රය, මොකද? මාගේ බාරවල පුත්‍රය, මොකද?
3 නුඹේ ශක්තිය ස්ත්‍රීන්ටත් නුඹේ මාර්ග රජවරුන් නාස්ති කරන්නියන්ටත් නොදෙන්න.
4 ලෙමුවෙල්, මුද්‍රිකපානය බීම රජුන්ටත් සුරාපානයට ආශාවීම අධිපතීන්ටත් සුදුසු නැත.
5 බීවොත් ඔව්හු සමහරවිට නීතිය සිහිනැතිකොට අසරණයන්ගේ නඩුව පෙරළන්නෝය.
6 විනාශවෙන්ට යන අයට සුරාපානයද ශෝක සිත ඇත්තන්ට මුද්‍රිකපානයද දෙන්න.
7 ඔහු බී තමාගේ දිළිඳුකම සිහිනැතිකොට, තමාගේ කාලකණ්ණිකම තවත් මතක් නොකර සිටීවා
8 නුඹේ මුඛය නිශ්ශබ්දව සිටින්නන් උදෙසාද අනාථවූ සියලු දරුවන්ගේ කාරණය උදෙසාද අරින්න.
9 නුඹේ මුඛය ඇර, ධර්මිෂ්ඨලෙස නිශ්චයකර, අසරණයාටත් දිළින්දාටත් යුක්තිය කරන්න.
10 ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය.
11 ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි, ඔහුට ලාභයෙන් අඩුවක් නොවන්නේය.
12 ඇගේ ජීවිතයේ සියලු දවස්වල ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නීය.
13 ඈ ලොම් සහ හණ සොයාගන ප්‍රීතියෙන් ඇගේ අත්වලින් වැඩකරන්නීය.
14 ඈ වෙළඳ නැව් මෙන්ය; ඇගේ කෑම දුරස්තරයෙන් ගෙන්වාගනියි.
15 ඈ රැයින්ම නැගිට ඇගේ පවුලේ අයට ආහාරත් ඇගේ දාසීන්ට වැඩත් දෙන්නීය.
16 ඈ කෙතක් ගැන කල්පනාකොට ඒක මිලයට ගන්නීය, ඇගේ අත්වල ලාභයෙන් ඈ මිදිවත්තක් වවන්නීය.
17 ඈ සවිලෙස ඉඟටිය බැඳගෙන, ඇගේ අත් සවිකරගන්නීය.
18 තම වෙළඳාමෙන් හොඳ ලාභ ලැබෙන බව ඈට දැනේ; රාත්‍රියේ ඇගේ පහන නොනිවේ.
19 ඈ ඉද්දට ඇගේ අත් පොවා, ඇගේ හස්තවලින් වවුන්න අල්ලයි.
20 ඇගේ හස්තය අසරණයා දෙසට විහිදන්නීය; එසේය , ඇගේ අත් දිළින්දා වෙතට දිගුකරන්නීය;
21 හිම නිසා ඇගේ පවුල ගැන ඈට භයක් නැත; මක්නිසාද අගේ පවුලේ සියල්ලෝ රතු වස්ත්‍ර ඇඳ සිටිති.
22 ඈ ඇතිරිළි සාදාගන්නීය; ඇගේ ඇඳුම් සිහින් හණ රෙදිවලින්ද රත්නිල් රෙදිවලින්ද සාදා තිබේ.
23 ඇගේ පුරුෂයා දේශයේ වැඩිමහල්ලන් සමඟ දොරටුවල ඉඳගන්නා කල සලකනු ලබන්නේය.
24 ඈ සිහින් රෙදි සාදා විකුණයි; වෙළෙන්දාට බඳපටිත් දෙන්නීය.
25 බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය; ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය.
26 ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය; ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ.
27 ඈ අලසකමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනියි.
28 ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකරමින්:
29 බොහෝ දූවරු ගුණවත්කමින් හැසුරුණෝය, නුමුත් නුඹ ඔවුන් සියල්ලන්ට වඩා උතුම්යයි කියන්නේය.
30 රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.
31 ඇගේ අත්වල ඵලයෙන් ඈට දෙන්න; ඇගේ ක්‍රියා දොරටුවලදී ඈට ප්‍රශංසා කෙරෙත්වා.