දේශනාකාරයා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12


පරිච්ඡේදය 1

1 දාවිත්ගේ පුත්‍රවූ යෙරුසලමේ රජවූ දේශනාකාරයාගේ වචනයි.
2 නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශකතෙමේ කියන්නේය.
3 මනුෂ්‍යයා ඉර යට ගන්නාවූ තමාගේ සියලුම වෙහෙසවලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?
4 පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය.
5 තවද හිරු උදාවන්නේය, හිරු බැස යන්නේය, ඒක උදාවුණ තැනටම නැවත ඉක්මනින් පැමිණෙන්නේය.
6 සුළඟ දකුණු දිගට ගොස් උතුරට හැරීයන්නේය; සුළඟ නිතරම ඒකේ මාර්ගයෙහි මාරු වෙවී ගොස් ඒකේ වටවූ ගමන්වලට නැවත පැමිණෙන්නේය.
7 සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.
8 හැම දේම වෙහෙසින් පූර්ණය; මනුෂ්‍යයෙකුට ඒක විස්තරකරන්ට බැරිය. දැකීමෙන් ඇස තෘප්තියට පැමිණෙන්නේවත් ඇසීමෙන් කන පිරීයන්නේවත් නැත.
9 මතු ඇතිවන්නේ තිබුණාවූ දේමය; කරන්ට තිබෙන්නේ කළාවූ දේමය. මෙසේ ඉර යට අමුතු දෙයක් නැත.
10 මෙන්න, මේක අමුතුයයි මනුෂ්‍යයන් විසින් කියන්ට කිසිවක් ඇද්ද? ඒක අපට පළමුවෙන්වූ පුරාණ කාලවල තිබුණේය.
11 පළමු සිටි අය ගැන සිහිවීමක් නැත; මතු පැමිණෙන පරම්පරා ගැනද ඉන් පසුව එන්නන් අතරේ සිහිවීමක් නොවන්නේය.
12 දේශනාකාරයා වන මම ඉශ්‍රායෙල් කෙරෙහි යෙරුසලමෙහි රජව සිටියෙමි.
13 මම අහස යට කෙරෙන සියල්ල ගැන ප්‍රඥාවෙන් සොයා විභාගකරන්ට මාගේ සිතයොමුකෙළෙමි. ඒ වනාහි ව්‍යාවෘතවීමට දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබෙන අමාරු වැඩක්ය.
14 ඉර යට කෙරෙන සියලු කර්මාන්ත දුටිමි; ඒ සියල්ල නිෂ්ඵලකමක්ද හිස්වූ උත්සාහයක්ද වේ.
15 ඇද දේ කෙළින්කරන්ට බැරිය. නැති දේ ගණින්ටද නොහැකිය.
16 මම මාගේ සිත සමඟ කථාකොට: මට පළමුවෙන් යෙරුසලමෙහි සිටි සියල්ලන්ට වඩා මහත් ප්‍රඥාව ලබාගතිමි. එසේය, මාගේ සිතට ප්‍රඥාවත් දැනගැන්මත් ගැන බොහෝ අත්දැකීම ලැබුණේයයි කීමි.
17 මෙසේ ප්‍රඥාව දැනගන්ටත් මෝහය හා අඥානකම දැනගන්ටත් මාගේ සිත යොමුකෙළෙමි. එවිට මේකත් හිස්වූ උත්සාහයක් බව දැනගතිමි.
18 මක්නිසාද බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැන්ම වැඩිකර ගන්නා ශෝකය වැඩිකරගන්නේය.



පරිච්ඡේදය 2

1 මම කථාකොට: ඉතින් එන්න, ප්‍රීතිය කරණකොටගෙන නුඹ සෝදිසිකරන්නෙමි; ඒ නිසා සැප විඳන්නැයි සිතින් කියාගතිමි. බලව, මේකත් නිෂ්ඵලකමක්ය. සිනාසීම ගැන: ඒක පිස්සුකමය.
2 ප්‍රීතියෙන් ඇති ප්‍රයෝජනය මොකදැයි කීමි.
3 මනුෂ්‍ය පුත්‍රයන්ට තමුන්ගේ ජීවිතයේ සියලුම දවස්වල අහසින් යට කිරීමට හොඳව තිබෙන්නේ මොකද කියා දකින තුරු, මාගේ සිත ප්‍රඥාවෙන් මා හසුරුවන අතර, මාගේ මාංසය මුද්‍රිකපානයට භාරදෙන්නෙත් මෝඩකම අල්ලාගන්නෙත්කොහොමදැයි මාගේ සිතින් විභාගකෙළෙමි.
4 මම මහත් කර්මාන්ත කෙළෙමි; මම ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගත්තෙමි;
5 මම වතුද උයන්ද සාදා, සියලු ආකාර ඵලදෙන ගස් ඒවායෙහි සිටවාගතිමි.
6 ගස් වවන තවානට වතුර වත්කරන පිණිස මම දිය පොකුණු සාදාගතිමි.
7 මම දාසයන්ද දාසීන්ද මිලේට ගතිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයොත් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය.
8 මම රන් රිදීද රජවරුන්ගෙත් දේශවලත් වස්තුද රැස්කරගතිමි. මම ගායනාකාරයන් හා ගායනාකාරියන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රීතිය වන බොහෝ භාර්යාවන්ද සපයාගතිමි.
9 මෙසේ යෙරුසලමෙහි මට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා මම උතුම්ව දියුණුවීමි. මාගේ ප්‍රඥාවත් මා තුළ පැවතුණේය.
10 මාගේ ඇස් ආශාකළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්‍රීතියකින්ද මාගේ සිත නොවැලැක්වීමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්‍රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මේය.
11 නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි. ඥානය පවා නිෂ්ඵලය.
12 එවිට මම ප්‍රඥාවත් මෝහයත් අඥානකමත් බලන්ට හැරුණෙමි. මක්නිසාද රජුට පසුව එන මනුෂ්‍යයාට කරන්ට පුළුවන් කුමක්ද? පුරාණයේදී කළ ඒවාමය.
13 එවිට අන්ධකාරයට වඩා එළිය උතුම්ව තිබෙන ලෙසම අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දුටිමි.
14 ප්‍රඥාවන්තයාගේ ඇස් ඔහුගේ හිසේය, අඥානයා අන්ධකාරයෙහි ඇවිදින්නේය. එහෙත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ම බව දැනගතිමි.
15 එකල: අඥානයාට මෙන් මටත් සිදුවන්නේය; එසේ නම් මා වඩා ප්‍රඥාවන්තව සිටින්නේ මක්නිසාදැයි මාගේ සිතින් සිතාගත්තෙමි. එකල: මේකත් නිෂ්ඵලකමක්යයි මාගේ සිතින් සිතුවෙමි.
16 මක්නිසාද පැමිණෙන්ට තිබෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඥානයා ගැන මෙන්ම ප්‍රඥාවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය. අහෝ අඥානයාමෙන් ප්‍රඥාවන්තයාත් නසින හැටි!
17 එබැවින් ඉර යට කෙරෙන වැඩ මට අයහපත්ව පෙනුණු නිසා, ජීවිතයට අප්‍රියවීමි. මක්නිසාද සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
18 එසේය, ඉර යට මා වීර්යයෙන් කළාවූ, මට පසුව එන මනුෂ්‍යයාට මා විසින් තබායන්ට ඕනෑවූ මාගේ මුළු වැඩේට අප්‍රියවීමි.
19 ඔහු ප්‍රඥාවන්තයෙක් වේද අඥානයෙක් වේද කියා දන්නේ කවුද? එහෙත් ඉර යට මා වීර්යයෙන්ද ප්‍රඥාවෙන්ද කළාවූ මාගේ මුළු වැඩය කෙරෙහි ඔහු බලය පවත්වා ඇත. මේකත් නිෂ්ඵලකමක්ය.
20 එබැවින් මා ඉර යට වීර්යයෙන් කළාවූ මාගේ මුළු වැඩය ගැන මාගේ සිත කලකිරෙන්ට හැරියෙමි.
21 මක්නිසාද ප්‍රඥාවෙන්ද දැනගැන්මෙන්ද සමර්ථකමින්ද වැඩක් කළාවූ මනුෂ්‍යයෙක් ඇත; එහෙත් ඒ ගැන වෙහෙස නූණාවූ මිනිසෙකුට කොටසක් කොට ඔහු ඒක තබා යන්ට ඕනෑය. මේකත් නිෂ්ඵලකමක්ව මහත් නපුරක්ව තිබේ.
22 මක්නිසාද මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වෑයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද?
23 ඔහුගේ හැම දවස් ශෝකයම වේ, ඔහුගේ වෙහෙසීමද දුකක්ය; එසේය, රාත්‍රියේ පවා ඔහුගේ සිතට නිවාඩු නොලැබෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.
24 කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත. මේකත් දෙවියන්වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි.
25 මක්නිසාද උන්වහන්සේගෙන් වෙන්ව අනුභවකරන්ටත් සැප භුක්තිවිඳින්ටත් කාට පුළුවන්ද?
26 දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.



පරිච්ඡේදය 3

1 සෑම දේටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත.
2 උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය;
3 මරන්ට කාලයක් සහ සුවකරන්ට කාලයක්ය; කඩාදමන්ට කාලයක් සහ ගොඩනගන්ට කාලයක්ය;
4 අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය;
5 ගල් අහකදමන්ට කාලයක් සහ ගල් රැස්කරන්ට කාලයක්ය; වැලඳගන්ට කාලයක් සහ වැලඳගැනීමෙන් වලකින්ට කාලයක්ය;
6 සොයන්ට කාලයක් සහ නැතිවීමට අරින්ට කාලයක්ය; තබාගන්ට කාලයක් සහ අහකදමන්ට කාලයක්ය;
7 ඉරන්ට කාලයක් සහ මහන්ට කාලයක්ය; නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්ය;
8 ප්‍රේමකරන්ට කාලයක් සහ ද්වේෂකරන්ට කාලයක්ය; යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය.
9 යමක් කරන්නාට තමා වෙහෙසෙන දෙයින් කවර ප්‍රයෝජනයක්ද?
10 දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කරන්ටදී තිබෙන වැඩ මම දුටිමි.
11 උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.
12 ඔවුන් තමුන්ගේ ජීවිතයේදී ප්‍රීතිවී යහපත කරගැනීමට වඩා හොඳක් ඔවුන්ට නැති බව දනිමි.
13 තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.
14 දෙවියන්වහන්සේ කරන සියල්ල සදාකාලයටම පවතින බව දනිමි. ඊට එකතුකරන්ට කිසිවක් නැත, එයින් අඩුකරන්ටත් කිසිවක් නැත. දෙවියන්වහන්සේ එය කළේ මනුෂ්‍යයන් තමන්වහන්සේ ඉදිරියෙහි භයවන පිණිසය.
15 දැන් තිබෙන දේ ඉහතත් තිබුණේය; වෙන්ට තිබෙන දේ ඉස්සරත් තිබුණේය. දෙවියන්වහන්සේ පහව ගිය දේ නැවත පමුණුවනසේක.
16 තවද ඉර යට විනිශ්චයේ ස්ථානයෙහිම දුෂ්ටකමද යුක්තියේ ස්ථානයෙහිම දුෂ්ටකමද තිබෙන බව දුටිමි.
17 එවිට මම: දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාත් දුෂ්ටයාත් විනිශ්චයකරනවා ඇත; මක්නිසාද සියලු කාරණාවලටත් සියලු වැඩවලටත් කාලයක් පැමිණේයයි මාගේ සිතින් සිතාගත්තෙමි.
18 මනුෂ්‍ය පුත්‍රයන්ගේ කාරණා මෙසේ වන්නේ දෙවියන්වහන්සේ ඔවුන් සෝදිසිකරන පිණිසත් තමුන් තිරිසනුන් බව ඔවුන්ට පෙනීයන පිණිසත්යයි මාගේ සිතින් සිතාගත්තෙමි.
19 මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධවෙන්නේ තිරිසනුන්ට සිද්ධවෙන දේමය; ඔවුන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ය. උන් නසින්නාක්මෙන් ඔව්හුත් නසින්නෝය; එසේය, සියල්ලන්ටම ඇත්තේ එක හුස්මය; මෙසේ තිරිසනුන්ට වඩා මනුෂ්‍යයාට වාසියක් නැත. මක්නිසාද සියල්ලම නිෂ්ඵලකමක්ය.
20 සියල්ලෝම එකතැනකට යන්නෝය; සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.
21 මනුෂ්‍ය පුත්‍රයන්ගේ පණ ඉහළට නැගී යනවාද කියාවත් තිරිසනාගේ පණ පොළොව යටට බසිනවාද කියාවත් දන්නේ කවුද?
22 මෙසේ මනුෂ්‍යයා තමාගේ වැඩවලින් ප්‍රීතිවෙනවාට වඩා සැපයක් නැති බව දුටිමි; ඒක ඔහුගේ කොටසය. මක්නිසාද තමාට පසුව සිදුවන දේ දකින්ට ඔහු ආපසු ගෙනෙන්නේ කවුද?



පරිච්ඡේදය 4

1 නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.
2 එබැවින් තවම ජීවත්ව සිටින්නන්ට වඩා මැරී ගියාවූ අයගේ ස්වභාව යෙහෙකැයි කීයෙමි.
3 එසේය, ඒ දෙපක්ෂයටම වඩා ඉර යට කෙරෙන නපුරු ක්‍රියා නුදුටුවාවූ, තවම නූපන්නාවූ මනුෂ්‍යයා හොඳයයි සිතීමි.
4 තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
5 අඥානයා තමාගේ අත් පෙරවාගන, තමාගේම* මාංසය කන්නේය. (* එනම් - තමාගේ ජීවිතය නාස්තිකරගත්තේය)
6 වෙහෙසීමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දෑත පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගන ඉදීම හොඳය.
7 එකල මම හැරී තව නිෂ්ඵලකමක් ඉර යට තිබෙන බව දුටිමි.
8 තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිම්දැයි ඔහු නොකියන්නේය. මේකත් නිෂ්ඵලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ.
9 එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය; මක්නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය.
10 ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත. එහෙත් තමා නැඟුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි.
11 තවද දෙදෙනෙක් එක්ව සැතපුණොත් ඔවුන්ට උණුහුම ලැබෙන්නේය. නුමුත් තනි කෙනෙක් උණුහුම්වෙන්නේ කොහොමද?
12 යමෙක් තනි කෙනෙකු පරදවන නුමුත් ඔහුට විරුද්ධව සිටින්ට දෙන්නෙකුට පුළුවන්වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය.
13 දැනමුතුකම් ලබන්ට නොදන්නාවූ අඥාන මහලු රජෙකුට වඩා දුප්පත් ප්‍රඥාවන්ත යෞවනයෙක් හොඳය.
14 මක්නිසාද ඔහු රජවෙන්ට හිරගෙයින් පිටතට ආයේය; එසේය, ඔහු තමාගේ රාජ්‍යයෙහි දිළින්දෙක්ව උපන්නේය.
15 ඉර යට ඇවිදින ජීවමාන සියල්ලන්ම ඒ තැනැත්තා වෙනුවට නැගිටින ඒ යෞවනයා සමඟ සිටිනවා දුටිමි.
16 ඔහු කෙළවරක් නැති සෙනඟක් ඉදිරියෙහි සිටියේය. එහෙත් පසුව එන්නෝ ඔහු ගැන ප්‍රීති නොවන්නෝය. සැබවින් මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.



පරිච්ඡේදය 5

1 නුඹ දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලාගන්න; අඥානයන් මෙන් පූජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති.
2 නුඹේ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, නුඹේ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවේවා; මක්නිසාද දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, නුඹ පොළොවෙහිය; ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා.
3 මක්නිසාද ස්වප්නය කාරණා රාශියක්ද අඥානයාගේ හඬ වචන රාශියක්ද ඇතුව පැමිණෙන්නේය.
4 නුඹ දෙවියන්වහන්සේට බාරයක් වුණාම එය ගෙවන්ට ප්‍රමාද නොවෙන්න; මක්නිසාද උන්වහන්සේ අඥානයන් කෙරෙහි ප්‍රසන්න නැත.
5 නුඹ වුණ බාරය ගෙවන්න. නුඹ බාරයක්වී නොගෙවා සිටිනවාට වඩා බාරයක් නොවී සිටීම හොඳය.
6 නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද?
7 මක්නිසාද ස්වප්න හා නිෂ්ඵලකම් රාශියකිනුත් බොහෝ වචනවලිනුත් මෙසේ සිදුවේ. එබැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන්න.
8 දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.
9 ඇරත් බිමේ ප්‍රයෝජනය සියල්ලන්ටම වේ; රජ්ජුරුවෝ පවා කෙතෙන් රක්ෂාවන්නාහ.
10 රිදීයට ඇලුම්වෙන්නා රිදීයෙන්වත් සම්පත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.
11 දේපළ වැඩිවන විට ඒවා භුක්තිවිඳින්නෝද වැඩිවෙති. ඒවා අයිතිකාරයාට තමාගේ ඇස්වලින් ඒවා බැලීම මිස එයින් ඇති ප්‍රයෝජනය මොකද?
12 වැඩකරන්නා ටිකක් කෑවත් හුඟක් කෑවත් ඔහුගේ නින්ද මිහිරිය. නුමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.
13 ඉර යට මා දුටු මහත් වරදක් තිබේ, එනම් අයිතිකාරයා විසින් තමාට අන්තරාය වන ලෙස වස්තුව තබාගැනීමය.
14 ඒ වස්තු යම් නපුරු සිද්ධියකදී නැතිවෙයි; මෙසේ ඔහුට දාව පුත්‍රයෙක් සිටියත් ඔහු අතේ කිසිත් නැත.
15 ඔහු තමාගේ මවුගේ කුසෙන් නික්ම ආ ලෙසම නිර්වස්ත්‍රව නැවත යන්නේය, තමාගේ අතින් ගෙනගිය හැකි කිසිවකුත් තමාගේ වැඩෙන් ඔහු ගෙනයන්නේ නැත.
16 මේකත් මහත් වරදක්ය: සියලු ආකාරයෙන්, ඔහු ආ ලෙසම ඔහු යන්නේය. සුළඟ ගැන වෙහෙසවෙන්නාවූ ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?
17 ඔහුගේ සියලු දවස්වල ඔහු අන්ධකාරයෙහි කෑම කන්නේය, ඔහුට තද දුකද වේදනාවද කෝපයද තිබේ.
18 බලව, මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිදීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය.
19 තවද දෙවියන්වහන්සේ යම් මනුෂ්‍යයෙකුට වස්තුද සම්පත්ද දී, ඒවා භුක්තිවිඳින්ටත් තමාගේ කොටස රැගෙන තමාගේ වැඩෙන් ප්‍රීතිවෙන්ටත් බලය දී තිබේද? එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.
20 මක්නිසාද ඔහුගේ සිතේ ප්‍රීතිය තැබීමෙන් දෙවියන්වහන්සේ ඔහුට උත්තරදෙන බැවින් ඔහු තමාගේ ජීවිතයේ දවස් වඩා සිහිකරන්නේ නැත.



පරිච්ඡේදය 6

1 ඉර යට මා දුටුවාවූ වරදක් තිබේ, එය මනුෂ්‍යයන් කෙරෙහි මහත් බරක්ව තිබේ.
2 මනුෂ්‍යයෙක් ආශාවෙන කොයි දෙයක්වත් ඔහුට නොලැබී නොයන හැටියට දෙවියන්වහන්සේ ඔහුට වස්තුද සම්පත්ද ගෞරවයද දෙන නුමුත්, ඒවා භුක්තිවිඳින්ට ඔහුට බලය නොදෙන බැවින්, අන්‍ය කෙනෙක් ඒවා භුක්තිවිඳින්නේය. මේක නිෂ්ඵලකමක්ය, බලවත් ආබාධයක්ය.
3 මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.
4 මක්නිසාද එය නිෂ්ඵල ලෙස පැමිණ අන්ධකාරයට යයි, ඒකේ නමද අන්ධකාරයෙන් වසනු ලබන්නේය;
5 තවද ඒක ඉර දුටුවේවත් දැනගත්තේවත් නැත; ඔහුට වඩා එයට නිශ්චලය තිබේ.
6 එසේය, ඔහු සැපය භුක්ති නොවිඳ අවුරුදු දෙදහසක් ජීවත්වෙතත්, සියල්ලන් එක තැනකට යනවා නොවේද?
7 මනුෂ්‍යයාගේ මුළු වෙහෙසීම ඔහුගේ කට උදෙසාය, එහෙත් ඔහුගේ ආශාව පූර්ණ නොවේ
8 මක්නිසාද අඥානයාට වඩා ප්‍රඥාවන්තයාට ඇති වාසිය කුමක්ද? ජීවත්වෙන්නන් ඉදිරියෙහි හැසිරෙන්ට දන්න දුප්පතාටත් ඇති වාසිය කුමක්ද?
9 සිත ආශාවෙන ඒවාට වඩා ඇස්වලට පෙනෙන ඒවා හොඳය. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
10 යමක් තිබුණේද ඒකේ නම පුරාණයේදීම දෙනලද්දේය, ඒ වනාහි මනුෂ්‍යයා බවත් ඔහුට වඩා බලවත් තැනන්වහන්සේ සමඟ විවාදකරන්ට ඔහුට බැරි බවත් දැනගන්නාලද්දේය.
11 මක්නිසාද නිෂ්ඵලකම වැඩිකරන බොහෝදේ තිබේ; මනුෂ්‍යයාට එයින් ඇති වාසිය මොකද?
12 මනුෂ්‍යයාගේ ජීවිතයෙහි එනම් ඔහු සෙවණැල්ලක් මෙන් ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිතයේ දවස්වල ඔහුට හොඳව තිබෙන්නේ කිමෙක්දැයි දන්නේ කවුද? නොහොත් මනුෂ්‍යයෙකුට ඔහුගෙන් පසුව ඉර යට සිදුවන්නේ කුමක්ද කියා දන්වන්ට පුළුවන් කාටද?



පරිච්ඡේදය 7

1 හොඳ නාමයක් අනර්ඝ තෛලයට වඩා උතුම්ය; උපන් දවසට වඩා මැරෙන දවස හොඳය.
2 මංගල්‍ය ගෙදරට යාමට වඩා වැලපීමේ ගෙදරට යාම හොඳය. මක්නිසාද එය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ; ජීවත්ව සිටින්නා ඒක සිතට ගන්නවා ඇත.
3 සිනාසීමට වඩා ශෝකවීම හොඳය. මක්නිසාද මුහුණේ දුඃඛිතකමෙන් ආත්මයට හොඳක් සිදුවේ.
4 ප්‍රඥාවන්තයන්ගේ සිත වැලපීමේ ගෙදරද අඥානයන්ගේ සිත ප්‍රීතිවීමේ ගෙදරද තිබේ.
5 අඥානයන්ගේ ගීතිකාව ඇසීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුව ඇසීම මනුෂ්‍යයෙකුට හොඳය.
6 මක්නිසාද සැළිය යට තිබෙන කටුදරවල ශබ්දය යම්සේද අඥානයාගේ සිනාවත් එසේමය. ඒකත් නිෂ්ඵලකමක්ය.
7 සැබවින්ම බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය; අල්ලසක් සිත මුළාකරන්නේය.
8 යම් දෙයක අන්තිමය එහි පටන්ගැන්මට වඩා හොඳය. උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය.
9 කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.
10 පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න; මක්නිසාද නුඹ මේ ගැන ප්‍රඥාවෙන් යුක්තව විමසනවා නොවේ.
11 ප්‍රඥාව උරුමයක්මෙන් හොඳය; එසේය, ඉර දකිනවුන්ට එය මහත් වාසියක්ය.
12 මක්නිසාද මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.
13 දෙවියන්වහන්සේගේ වැඩය මෙනෙහිකරන්න; මක්නිසාද උන්වහන්සේ ඇද කළ දේ ඇද අරින්ට පුළුවන් කාටද?
14 සම්පත්ති කාලයේදී ප්‍රීතිවෙන්න; නුමුත් විපත්ති කාලයේදී කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒකත් මේකත් ළංකොට තැබුවේ මනුෂ්‍යයා විසින් තමාට පසුව සිදුවෙන්නාවූ කිසිවක් දැනනොගන්න පිණිසය.
15 මාගේ නිෂ්ඵලකමේ දවස්වලදී මේ සියල්ල දුටිමි. සමහරවිට ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙහි නැතිවන්නේය, දුෂ්ටයෙක්ද තමාගේ දුෂ්ටකමෙහි බොහෝ කල් ජීවත්වන්නේය.
16 පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න; පමණට වඩා ඥානවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා නුඹම විනාශකරගන්නෙහිද?
17 පමණට වඩා දුෂ්ටව නොසිටින්න, අඥානයෙක්ද නොවෙන්න. නුඹේ කාලයට පළමුවෙන් නුඹට නසින්ට වෙන්නේ මක්නිසාද?
18 නුඹ මෙය අල්වා ගන්නවා නම් හොඳය; එසේය, අනික් එකෙනුත් නුඹේ අත පහකර නොගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තා ඒ සියල්ලෙන් ගැළවෙනවා ඇත.
19 ප්‍රඥාව වනාහි නුවරක වසන අධිපතීන් දස දෙනෙකුට වඩා ඥානවන්තයාට ශක්තියක්ය.
20 පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.
21 මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට නුඹේ සිත යොමු නොකරන්න; එසේ කළොත් සමහරවිට නුඹේ වැඩකාරයා නුඹට දෙස්කියන බව නුඹ අසනවා ඇත.
22 මක්නිසාද නුඹත් නොයෙක් වර අනුන්ට දෙස් කිවු බව නුඹේ සිත දන්නේය.
23 මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කෙළෙමි. මම ප්‍රඥාවන්තවන්නෙමියි කීමි; නුමුත් එය මාගෙන් දුරව තිබුණේය.
24 දුරව ඉතා ගැඹුරුව තිබෙන දේ සොයා දැනගන්නේ කවුද?
25 මම ප්‍රඥාවද කාරණාවල හේතුවද දැනගන්ටත් සෝදිසිකරන්ටත් සොයාගන්ටත්, දුෂ්ටකම අඥානකම බවද මෝහය උමතුකම බවද දැනගන්ටත් මාගේ සිතින් හැරුණෙමි.
26 එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.
27 බලව, කාරණය දැනගන්න පිණිස එකක් එකක් පාසා විමසමින්: මේක මම දැනගතිමියි දේශනාකාරයා කියන්නේය.
28 මට සම්බ නූණාවූ, මාගේ සිත තවමත් සොයන්නාවූ, කාරණයක් මෙසේය: දහසක් අතරෙහි එක මිනිහෙක් මට සම්බවුණ නුමුත් එපමණ දෙනෙක් අතරෙහි එක ස්ත්‍රියක් මට සම්බනොවීය.
29 මෙන්න, මෙය පමණක් මට සම්බවිය, එනම් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ඇද නැතුව මැවූසේක; නුමුත් ඔවුන් බොහෝ අමුතු උපා යොදාගත් බවය.



පරිච්ඡේදය 8

1 ප්‍රඥාවන්තයාට සමාන කවරෙක්ද? කාරණයක අර්ථය දන්නේ කවුද? මනුෂ්‍යයෙකුගේ ප්‍රඥාව නිසා ඔහුගේ මුහුණ පැහැපත්වන්නේය, ඔහුගේ මුහුණේ රළුකමද වෙනස්වන්නේය.
2 රජුගේ ආඥාව රක්ෂාකරන්ට නුඹ දෙවියන්වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්ට මම නුඹට අවවාදකරමි.
3 ඔහු ඉදිරියෙන් යන්ට ඉක්මන් නොවන්න; නපුරු දෙයක නොපවතින්න. මක්නිසාද ඔහු කැමති කොයි දෙයක් නුමුත් ඔහු කරනවා ඇත.
4 එසේය, රජුගේ වචනය බල සහිතය; ඔබ මක්කරනවාදැයි ඔහුට කියන්නේ කවුද?
5 ආඥාව රක්ෂාකරන්නා අනතුරක් නොවිඳින්නේය; ප්‍රඥාවන්තයාගේ සිතද කාලයත් විනිශ්චයත් දන්නේය.
6 මක්නිසාද හැම කාරණයටම කාලයකුත් විනිශ්චයකුත් තිබේ; එසේය, මනුෂ්‍යයාගේ දුක ඔහු කෙරෙහි මහත්ව තිබේ.
7 මක්නිසාද මතු සිදුවෙන්නේ මොකද කියා ඔහු නොදනියි; ඒක වෙන්නේ කොහොමද කියා ඔහුට දන්වන්නේ කවුද?
8 ප්‍රාණය නවත්වාගන්න හැටියට ප්‍රාණය කෙරෙහි බලය ඇති කෙනෙක් නැත; මරණයේ දවස කෙරෙහි බලය ඇති කෙනෙකුත් නැත; ඒ යුද්ධයෙන් මිදීමකුත් නැත. දුෂ්ටකම්කරන්නාද දුෂ්ටකම නිසා නිදහස්වෙන්නේ නැත.
9 මෙකී සියල්ලම මම දැක, ඉර යට කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමුකෙළෙමි. මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ.
10 තවද දුෂ්ටයන් තැන්පත්කරනු ලබන බවද ඔවුන් මිනීවළට පැමිණෙන බවද යුක්තිය ඉෂ්ටකළ අය ශුද්ධස්ථානයෙන් ඉවත්ව ගොස් නුවරෙහි මතක නැතිකරනු ලබන බවද දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ය.
11 නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.
12 පව්කාරයෙක් සිය වරක් නපුර කර බොහෝකල් ජීවත්වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි.
13 නුමුත් දුෂ්ටයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි භය නොවන බැවින් ඔහුට යහපත සිද්ධවෙන්නේවත් සෙවණැල්ලක් වැනි ඔහුගේ දවස් දීර්ඝවෙන්නේවත් නැත.
14 පොළොවෙහි කෙරෙන නිෂ්ඵලකමක් ඇත; එනම් සමහරවිට දුෂ්ටයන්ගේ ක්‍රියාවේ හැටියට ධර්මිෂ්ඨයන්ට සිද්ධවීමත් ධර්මිෂ්ඨයන්ගේ ක්‍රියාවේ හැටියට දුෂ්ටයන්ට සිද්ධවීමත්ය. මේකත් නිෂ්ඵලකමක්යයි කීමි.
15 එවිට ප්‍රීතිය හොඳයයි සිතුවෙමි, මක්නිසාද කා බී ප්‍රීතිවීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත්තේය. දෙවියන්වහන්සේ ඉර යට ඔහුට දෙන ඔහුගේ ජීවිතයේ දවස්වල ඔහුගේ වෙහෙසීමෙන් ඔහුට ඉතිරිවන්නේ ඒකය.
16 ප්‍රඥාව දැනගන්ටත් පොළොවෙහි කෙරෙන වැඩ දකින්ටත් මාගේ සිත යොමුකෙළෙමි. (මක්නිසාද දාවල්වත් රෑවත් තමාගේ ඇස්වලින් නින්ද නොදකින කෙනෙක් ඇත).
17 එවිට මම දෙවියන්වහන්සේගේ මුළු වැඩය වන ඉර යට කෙරෙන වැඩය මනුෂ්‍යයාට තේරුම්ගන්ට බැරි බව දුටිමි. මක්නිසාද මනුෂ්‍යයා ඒක සොයා දැනගන්ට කොපමණ උත්සාහකළත් ඒක තේරුම් ගන්ට පුළුවන්වෙන්නේ නැත; ප්‍රඥාවන්තයා ඒක දැනගන්ට සිතන නුමුත් ඔහුට පවා තේරුම්ගන්ට බැරිවන්නේය.



පරිච්ඡේදය 9

1 මක්නිසාද මෙකී සියල්ල මාගේ සිතේ තබාගන ඒ සියල්ලද සෝදිසි කෙළෙමි; එනම් ධර්මිෂ්ඨයන්ද ප්‍රඥාවන්තයන්ද ඔවුන්ගේ ක්‍රියාද දෙවියන්වහන්සේගේ අතේ පවතින නුමුත් එයින් උන්වහන්සේගේ ප්‍රේමයවත් වෛරයවත් මනුෂ්‍යයා නොදන්නා බවය. සියල්ල ඔවුන් ඉදිරියෙහි තිබේ.
2 සියලු දේ සියල්ලන්ට ඒකාකාරයෙන් සිදුවන්නේය. ධර්මිෂ්ඨයාට සහ දුෂ්ටයාටත් යහපත් අයට සහ පවිත්‍ර අයටත් අපවිත්‍ර අයටත් පූජාකරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධවෙන්නේ එක දෙයක්ය. යහපත් මනුෂ්‍යයා සහ පව්කාරයාත් දිවුරන්නා සහ දිවුරුමට භය ඇත්තාත් ඒකාකාරය.
3 ඉර යට කෙරෙන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය. එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ, ඉන්පසු ඔව්හු මළවුන් ළඟට යන්නෝය.
4 ජීවත්වන සියල්ලන්ට බලාපොරොත්තුවක් තිබේ. එසේය, මළ සිංහයෙකුට වඩා පණඇති බල්ලෙක් හොඳය.
5 මක්නිසාද ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය.
6 ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යයාවද දැන් නැතිවී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත. කාලික සැප භුක්තිවිදීමට සහ කඩිසරකම.
7 නුඹ ගොස් ප්‍රීතියෙන් නුඹේ කෑම කා තුෂ්ටිමත් සිතින් නුඹේ මුද්‍රිකපානය බොන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටිනසේක.
8 නුඹේ වස්ත්‍ර නිතරම සුදුව තිබේවා; නුඹේ ඉස තෙල් නැතුව නොතිබේවා.
9 නුඹේ සියලු නිෂ්ඵල දවස්වල, උන්වහන්සේ ඉර යට නුඹට දී තිබෙන නුඹේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල, නුඹ ප්‍රේමකරන නුඹේ භාර්යාව සමඟ ජීවිතය භුක්තිවිඳින්න. මක්නිසාද ජීවිතයෙන්ද ඉර යට නුඹ ගන්නාවූ නුඹේ වෙහෙසෙන්ද නුඹට ලැබෙන කොටස ඒකය.
10 කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.
11 නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.
12 මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.
13 ඉර යට මෙයාකාර ප්‍රඥාවක් දුටිමි, එය මට මහත්ව පෙනුණේය.
14 මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඇති කුඩා නුවරක්විය; මහත් රජෙක් ඊට විරුද්ධව ඇවිත්, එය වටලාගන, ඊට විරුද්ධව මහත් බලකොටු ගොඩනැඟුවේය.
15 එහි දිළිඳුවූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු තමාගේ ප්‍රඥාවෙන් ඒ නුවර ගැළෙවුවේය. එහෙත් කිසිවෙක් ඒ දිළිඳු මනුෂ්‍යයා සිහිකළේ නැත.
16 එවිට මම: බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳයයි කීවෙමි. එහෙත් දිළින්දාගේ ප්‍රඥාව සුළුකරනු ලැබේ, ඔහුගේ වචනද අසනු නොලැබේ.
17 අඥානයන් අතරේ ආණ්ඩුකරන්නාගේ කෑගැසීමට වඩා නිශ්චලකමෙන් කියන ප්‍රඥාවන්තයන්ගේ වචන අසනු ලැබේ.
18 යුද්ධායුධවලට වඩා ප්‍රඥාව වටනේය. නුමුත් එක පව්කාරයෙක් හොඳ බොහෝ කාරණා නැතිකරයි.



පරිච්ඡේදය 10

1 මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.
2 ප්‍රඥාවන්තයාගේ* හෘදය ඔහුගේ දකුණු පැත්තෙහි තිබේ; නුමුත් අඥානයාගේ හෘදය ඔහුගේ වම් පැත්තෙහිය. (* එනම්, ප්‍රඥාවන්තයාගේ සිත හරි දේටද අඥානයාගේ සිත වැරදි දේටද යොමුවෙයි යනුයි.)
3 එසේය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ සිහිය මදිවී, තමා මෝඩයෙක්යයි සියල්ලන්ට කියන්නේය.
4 ආණ්ඩුකාරයාගේ සිත නුඹට විරුද්ධව ඇවිස්සුණොත්, නුඹේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකීයයි.
5 අධිපතියා ඉදිරියෙන් නික්මෙන වැරැද්දක් වන ඉර යට කෙරෙන නරකක් දුටිමි.
6 එනම්, අඥානකම බොහෝ උසස් ස්ථානවල පිහිටුවා තිබියදී, උත්තමයන් පහත් තැන ඉන්න බවය.
7 වැඩකාරයන් අශ්වයන් පිට යනවාත් අධිපතීන් වැඩකාරයන් මෙන් පයින් යනවාත් දුටිමි.
8 වළක් හාරා තබන්නා එහි වැටෙන්නේය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ටකරයි.
9 ගල් කපන්නාට එයින් තුවාලවෙයි; ලී පළන්නාට එයින් අන්තරාය සිදුවෙයි.
10 යකඩ මොට්ටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඕනෑය. ප්‍රඥාව වනාහි සඵලය දෙන වාසි ඇති දෙයකි.
11 මතුරන්ට පළමුවෙන් සර්පයා දෂ්ටකළොත් මතුරන්නාගෙන් ප්‍රයෝජන නැත.
12 ප්‍රඥාවන්තයාගේ මුඛයේ වචන ප්‍රසන්නය; නුමුත් අඥානයාගේ තොල් ඔහු විනාශකරයි.
13 ඔහුගේ මුඛයේ වචනවල පටන්ගැන්ම අඥානකමය. ඔහුගේ කථාවේ තීන්දුවද අන්තරාදායක මෝඩකමය.
14 අඥානයා වචන වැඩිකරයි. මනුෂ්‍යයා මතු සිදුවන දේ නොදනියි; ඔහුට පසුව සිදුවන දේ ඔහුට දන්වන්නේ කවුද?
15 අඥානයන්ගේ වැඩ හැමදෙනාටම වෙහෙසක් වන්නේය, මක්නිසාද ඔහු නුවරට යන්ටවත් දන්නේ නැත.
16 එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ!
17 එම්බා දේශය, නුඹේ රජ වංශවත් දරුවෙක් වන විටද, නුඹේ අධිපතීන් ගිජුකමට නොව ශක්තිය පිණිස නිසි වේලාවට කෑම කන විටද, නුඹ වාසනාවන්තය!
18 කම්මැළිකම නිසා වහල දිරා වැටෙන්නේය; අත්වල අලසකම නිසා ගෙය තෙමෙන්නේය.
19 සිනාසීම පිණිස භෝජන පිළියෙළකරනු ලැබේ, මුද්‍රිකපානයද ජීවිතය ප්‍රීතිකරයි. තවද මුදලෙන් සියලු දේ ඉෂ්ටවෙයි.
20 නුඹේ සිතෙන්වත් රජුට දෙස් නොකියන්න; නුඹේ සැතපෙන ගෙයිදීවත් වස්තුකාරයන්ට දෙස් නොකියන්න. මක්නිසාද ආකාශයේ පක්ෂියෙක් ඒ හඬ ගෙනයනවා ඇත, පියාපත් ඇති සතෙක්ද කාරණය දන්නවා ඇත.



පරිච්ඡේදය 11

1 නුඹේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.
2 සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා නුඹ නොදන්නෙහිය.
3 වලාකුල් පිරී තිබෙන විට වැස්ස පොළොවට වැගිරෙන්නේය. ගසක් දකුණට හෝ උතුරට හෝ වැටුණොත් ඒක වැටෙන තැනම තිබෙයි.
4 හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය.
5 සුළඟේ මාර්ගය කොහේද කියාවත් ගර්භණියගේ කුසේ ඇට සෑදෙන්නේ කෙසේද කියාවත් නුඹ නොදන්නාක්මෙන් සියල්ල කරන දෙවියන්වහන්සේගේ වැඩත් නුඹ නොදන්නෙහිය.
6 උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා නුඹ නොදන්නෙහිය.
7 සැබවින් එළිය මිහිරිය, ඉර දැකීම ඇස් වලට ප්‍රසන්න දෙයක්ය.
8 එසේය, මනුෂ්‍යයෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීතිවේවා; එහෙත් ඔහු අඳුරු දවස් සිහිකෙරේවා, මක්නිසාද ඒවා බොහෝ වන්නේය. පැමිණෙන සියල්ලම නිෂ්ඵලකමක්ය.
9 තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.
10 එසේ නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය.



පරිච්ඡේදය 12

1 තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.
2 ඉරත් එළියත් සඳත් තාරකාත් අඳුරුවන්නේය, වැස්සට පසුව වලාකුල් හැරී එන්නේය.
3 ඒ කාලයෙහි ගෙයි රැකවල්ලු වෙවුලන්නෝය, බලවන්තයෝ නැමෙන්නෝය, අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය, කවුළුවලින් බලන්නෝ අඳුරුවන්නෝය;
4 වීදියේ දොරවල් වසනු ලබන්නේය, ඇඹරීමේ ශබ්දය බාලවන්නේය, ඔහු කුරුල්ලාගේ හඬට නැගිටින්නේය, ගීතිකා කියන සෑම දූවරුද බෙලහීනවන්නෝය;
5 ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.
6 රිදී ලනුව ලිහී රන් භාජනය පොඩිවෙන්ටත්, උල්පතේදී කළය බිඳෙන්ටත්, ළිඳේ චක්‍රය කැඩෙන්ටත්,
7 දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.
8 නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ල නිෂ්ඵලකමයයි දේශනාකාරයා කියන්නේය.
9 තවද දේශනාකාරයා ප්‍රඥාවන්තව සිටි නිසා ඔහු සෙනඟට තවත් දැනගැන්ම ඉගැන්වූවේය; එසේය, ඔහු බොහෝ උපදේශ සෝදිසිකොට, සොයාගෙන, පිළියෙළකෙළේය.
10 දේශනාකරන ප්‍රිය වචන සොයාගන්ට උත්සාහකෙළේය, ලියා තිබෙන ඒවාද හරිවූ සත්‍යවූ කාරණාය.
11 ප්‍රඥාවන්තයාගේ වචන කෙවිටිවලටද ඔහුගේ උපදේශ සංග්‍රහය හොඳට ගසා තැබූ ඇණවලටද සමානය, ඒවා එක එඬේරෙකු විසින් දෙනලද්දේය.
12 තවද මාගේ පුත්‍රය, මෙයින් දැනමුතුකම් ලබන්න. බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත; බොහෝ ඉගෙනගැන්මෙන්ද මාංසයට වෙහෙස පැමිණෙන්නේය.
13 සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.
14 මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.