සාලමොන්ගේ ගීතිකාව

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8


පරිච්ඡේදය 1

1 සාලමොන්ගේ උතුම් ගීතිකාවය.
2 ඔහු තමාගේ මුඛයේ සිඹීම්වලින් මා සිඹීවා. මක්නිසාද නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයට වඩා හොඳය.
3 නුඹේ විලවුන් මිහිරි සුවඳින් යුක්තය; නුඹේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය; එබැවින් කන්‍යාවෝ නුඹට ප්‍රේමකෙරෙති.
4 මා ඇදගන්න; අපි නුඹ අනුව දුවන්නෙමුව. රජ තමාගේ ඇතුල් ගෙවලට මා පැමිණෙවුවේය. අපි නුඹ කෙරෙහි ප්‍රීති සන්තෝෂවන්නෙමුව, මුද්‍රිකපානයට වඩා නුඹේ ප්‍රේමය සඳහන්කරන්නෙමුව. ඔවුන් නුඹට ප්‍රේමකරනවා හරිය.
5 යෙරුසලමේ දූවරුනි, මම කේදාර්හි කූඩාරම් මෙන් කළු නුමුත්, සාලමොන්ගේ තිර මෙන් ශෝභනව සිටිමි.
6 අව්ව මා පිට වැටීමෙන් මා කළුවී සිටින නිසා, මා දෙස බලානොසිටින්න; මාගේ මවුගේ පුත්‍රයෝ මට කෝපවී, මිදිවතු බලාගන්ට මට නියමකළෝය; මාගේම මිදිවත්ත මම බලා නොගතිමි.
7 මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්ත, නුඹේ රැළට කවන්නේ කොහේද? ඉරමුදුන් වේලේ උන් ලග්ගවන්නේ කොහේද කියා මට දන්වන්න. නුඹේ යහළුවන්ගේ රැළවල් ළඟ මුහුණ වසාගත්තියෙකු මෙන් සිටින්ට ඕනෑ මන්ද?
8 ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, නුඹ නොදන්නෙහි නම්, රැළේ අඩිපාරේම ගොස්, එඬේරුන්ගේ කූඩාරම් ළඟ නුඹේ එළු පැටවුන්ට කවන්න.
9 මාගේ සොඳුර, ඵාරාවෝගේ රථවල අශ්වධේනුවකට නුඹ සමානකෙළෙමි.
10 නුඹේ කම්මුල් හිසකේ ගෙතීම්වලින්ද නුඹේ බෙල්ල මැණික් මාලාවලින්ද ශෝභනව තිබේ.
11 රිදී පොහොට්ටු ඇති රන් මාලා නුඹට සාදා දෙන්නෙමුව.
12 රජ තමාගේ මේසය ළඟ හිඳිද්දී මාගේ ජටාමාංශ තෙලේ සුවඳ විහිදුණේය.
13 මාගේ ප්‍රේමවන්තයා මට මාගේ පියයුරු අතරේ තිබෙන සුවඳලාටු පොදියක් හා සමානය.
14 මාගේ ප්‍රේමවන්තයා මට එන්ගෙදියේ උයන්වල වැවුණ සපුමල් පොකුරක් වැනිය.
15 බලව, මාගේ සොඳුර, නුඹ රුව ඇත්තීය; එසේය, නුඹ රුව ඇත්තීය; නුඹේ ඇස් පරෙවියන් හා සමානය.
16 බලව, මාගේ ප්‍රේමවන්තය, නුඹ රුව ඇත්තෙහිය, එසේය, ප්‍රියකරුය. අපේ යහනද නිල්පාටය.
17 අපේ ගෙයි බාල්ක කිහිරි ගස්ය, අපේ පරාළ දේවදාර ගස්ය.



පරිච්ඡේදය 2

1 මම ෂාරොන්හි සෙව්වන්දි මලක්ය, මිටියාවත්වල මහනෙල් මලක්ය.
2 කටුගස් අතරේ මහනෙල් මලක් යම්සේද, දූවරුන් අතරේ මාගේ සොඳුරත් එසේය.
3 වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය. මම ඔහුගේ සෙවණෙහි ප්‍රීතියෙන් හිඳගතිමි, ඔහුගේ ඵලද මාගේ කටට මිහිරි විය.
4 ඔහු මිදිපැන් ගෙයට මා ගෙනායේය, මට උඩින් ඔහුගේ කොඩිය ප්‍රේමයය.
5 වියළි මිදිපලවලින් මා ශක්තිමත්කර, ජම්බුවලින් මා ප්‍රාණවත්කරන්න. මක්නිසාද මම ප්‍රේමාතුරව සිටිමි.
6 ඔහුගේ වමත මාගේ හිස යටය, දකුණතද මා වැළඳගනියි.
7 යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමැතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් මුවදෙනුන් සහ වනයේ ඕලුදෙනුන් නමින් නුඹලා දිවුරවමි.
8 අන්න, මාගේ ප්‍රේමවන්තයාගේ හඬ! බලව, ඔහු කඳුවල පනිමින්ද හෙල්වල පැන නගිමින්ද එන්නේය.
9 මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුවපැටවෙකු මෙන්ය. අන්න, ඔහු අපේ තාප්පයට පිටතින් සිට, කවුළුවලින් බලයි, ගරාදි අතුරෙන් එබීබලයි.
10 මාගේ ප්‍රේමවන්තයා කථාකර මට කියන්නේ: මාගේ සොඳුර, ශෝභන තැනැත්තිය, නැගිට එන්න.
11 මක්නිසාද ශීත කාලය පසුවිය, වැස්ස නැවතුණේය;
12 පොළොව පිට මල් පෙනෙයි; කුරුල්ලන් නාදකරන කාලය පැමිණියේය, කොබෙයියාගේ හඬ අපේ දේශයෙහි ඇසෙයි;
13 දිඹුල් ගසේ අමු ගෙඩි ඉදීගන එයි, මිදිවැල්වල මල් පිපී, සුවඳ හමයි. මාගේ සොඳුර, මාගේ ශෝභන තැනැත්තිය, නැගිට එන්න.
14 පර්වත විවරවලද උස් කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරෙවිදෙන, නුඹේ මුහුණ මට දකින්ටත් නුඹේ හඬ අසන්ටත් දෙන්න; මක්නිසාද නුඹේ හඬ මිහිරිය, නුඹේ මුහුණ ශෝභනයයි කීවේය.
15 මිදිවැල් නරක්කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලාදෙන්න; මක්නිසාද අපේ මිදිවැල්වල මල් පිපී තිබේ.
16 මාගේ ප්‍රේමවන්තයා මාගේය, මම ඔහුගේය. ඔහු මහනෙල් අතරේ රැළ කවයි.
17 මාගේ ප්‍රේමවන්තය, දහවල් සිසිල්වී සෙවණැලි පහවන තුරු, බෙතෙර් කඳු පිට යන මුවෙක් නොහොත් මුව පැටියෙක්මෙන් හැරී එන්න.



පරිච්ඡේදය 3

1 රාත්‍රියෙහි මාගේ යහනේදී මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සෙවීමි. ඔහු සෙවු නුමුත් මට සම්බවුණේ නැත.
2 ඉතින් මම නැගිට නුවර වීදිවලද එළිමහන් තැන්හිද ඇවිද: මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සොයන්නෙමියි කීයෙමි. ඔහු සෙවු නුමුත් මට සම්බවුණේ නැත.
3 නුවර ඇවිදින රැකවලුන් මට සම්බවී: මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා දුටුවහුදැයි ඇසීමි.
4 මා මදක් දුර ඔවුන් පසුකර ගියවිට, මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා මට සම්බවිය. මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙටත් මා බිහිකළ තැනැත්තියගේ ඇතුල් ගෙටත් ඔහු පමුණුවන තෙක් ඔහු යන්ට නෑරියෙමි.
5 යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමැතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදු වන ලෙසත් වනයේ මුවදෙනුන් සහ ඕලුදෙනුන් නමින් නුඹලා දිවුරවමි.
6 ගන්ධරස හා තුවරලාවලත් වෙළෙන්දාගේ සියලු කුඩුවලත් සුවඳින් යුක්තව, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැගීඑන මේ තැනැත්තිය කවුද?
7 බලව, ඒ සාලමොන්ගේ දෝලාවය; ඉශ්‍රායෙල් බලවතුන්ගෙන් බලවන්තයන් සැටදෙනෙක් එය පිරිවරා සිටිති.
8 ඔවුන් සියල්ලෝ කඩුගත් යුද්ධ දක්ෂයෝය. රාත්‍රියෙහි භය නිසා එකිනෙකා තම තමාගේ කඩුව කළවයේ බැඳගෙන සිටියි.
9 සාලමොන් රජ ලෙබනොන්හි ලී වලින් යහනාවක් සාදාගත්තේය.
10 එහි කණු රිදීයෙන්ද එහි පතුළ රනින්ද, එහි ආසනය රත්නිල් රෙදිවලින්ද සෑදීය, එහි ඇතුළත යෙරුසලමේ දූවරුන්ගේ ප්‍රේම ලකුණෙන් සරසනලද්දේය.
11 සියොන් දූවරුනි, පිටත ගොස්, සාලමොන් ස්වකීය සරණවීමේ දවසේදී, තමාගේ සිතේ ප්‍රීතියේ දවසේදී, ඔහුගේ මෑණියන් විසින් ඔහුට පැළඳෙවු ඔටුන්න පැළඳ සිටිනවා බලන්න.



පරිච්ඡේදය 4

1 බලව, මාගේ සොඳුර, නුඹ රුව ඇත්තීය; එසේය නුඹ රුව ඇත්තීය; නුඹේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන නුඹේ ඇස් පරෙවියන් වැනිය. නුඹේ වරලස ගිලයද් කඳු බෑවුමෙහි ලැග ඉන්න එළු රැළක් මෙන්ය.
2 නුඹේ දත් වනාහි තනිවූ එකෙක්වත් නැතුව, සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, ලොම් කපා නාවනු ලැබ නැගීඑන්නාවූ බැටළු රැළකට සමානය.
3 නුඹේ තොල් රතු නූලක් මෙන්ය, නුඹේ මුඛය ශෝභමානය. නුඹේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන නුඹේ කම්මුල් දෙළුම් පළුවක් මෙන්ය.
4 නුඹේ බෙල්ල බලවතුන්ගේ වැසුම් වන පලිස් දහසක් එල්ලා තිබෙන්නාවූ, ආයුධ තැබීමට ගොඩනැගූ දාවිත්ගේ කොත මෙන්ය.
5 නුඹේ දෙතන මහනෙල් අතරේ ගොදුරු කන මුවදෙනකුගේ නිඹුල් පැටවුන් දෙදෙනෙකු මෙන්ය.
6 දවාල සිසිල්වී සෙවණැලි පහව යනතුරු මම ගන්ධරස කන්දටත් තුවරලා හෙලටත් යන්නෙමි.
7 මාගේ සොඳුරිය, නුඹ මුළුමනින්ම රුව ඇත්තීය; කැලලක් නැත්තීය.
8 මාගේ මනමාලිය, ලෙබනොන්හි සිට, එසේය, ලෙබනොන්හි සිට මා සමඟ එන්න. අමානායේ මුදුනෙත් සෙනීර් සහ හෙර්මොන් මුදුනෙත් සිංහයන්ගේ ගුහාවලත් අඳුන්දිවියන්ගේ කඳුවලත් සිට බලන්න.
9 මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹ මාගේ සිත අල්ලාගත්තෙහිය; නුඹේ එක ඇසකින්, නුඹේ බෙල්ලේ එක මාලාවකින්, මාගේ සිත අල්ලාගත්තෙහිය.
10 මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹේ ප්‍රේමය කොපමණ මිහිරිද! නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයටත්, නුඹේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ හොඳද!
11 මාගේ මනමාලිය, නුඹේ තොල්වලින් මීවදය මෙන් පැණි වැගිරෙයි. නුඹේ දිව යට මීපැණිත් කිරිත් තිබේ; නුඹේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන්ය.
12 මාගේ සහෝදරී, මාගේ මනමාලී, වැටකින් වටකළ උයනක්ය, වසා තිබෙන ළිඳක්ය, මුද්‍රාකර තිබෙන උල්පතක්ය.
13 නුඹේ පැලෑටි පංක්තිය වනාහි දෙළුම් ගසුත් අනර්ඝ ඵල ගසුත් සපු සහ ජටාමාංසත්
14 ජටාමාංස හා කුංකුමත් වදකහ සහ කුරුඳුත් සෑම තුවරලා ගසුත් ගන්ධරස හා අගිල්ද සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍යද දරන ගසුත් යන මේවාය.
15 නුඹ උයන් උල්පතකුත් ජීවමාන දිය ඇති ළිඳකුත් ලෙබනොන් සිට ගලායන ඔයවලුත්ය.
16 එම්බා, උතුරු හුළඟ, පිබිදෙන්න; දකුණු හුළඟ, එන්න; මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට හමාඑන්න. මාගේ ප්‍රේමවන්තයා තමාගේ උයනට ඇවිත් තමාගේ අනර්ඝ ඵල කෑවාවේ.



පරිච්ඡේදය 5

1 I am come into my garden, my sister, my spouse: I have gathered my myrrh with my spice; I have eaten my honeycomb with my honey; I have drunk my wine with my milk: eat, O friends; drink, yea, drink abundantly, O beloved.
2 මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.
2 මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය.
3 මාගේ සැට්ටය මුදා තැබීමි; මා ඒක අඳින්නේ කොහොමද? මාගේ පාද සේදීමි; ඒවා මම කෙසේ කිලුටුකරන්නෙම්දැයි කීවෙමි.
4 මාගේ ප්‍රේමවන්තයා දොර සිදුරෙන් අත දැමූයේය, මාගේ හෘදයද ඔහු කෙරෙහි ඇදී ගියේය.
5 මාගේ ප්‍රේමවන්තයාට දොර අරින්ට නැගිට්ටෙමි; එවිට අගුළේ මිටිවල තිබුණු ගන්ධරස මාගේ අත්වලද දියවර ගන්ධරස මාගේ ඇඟිලිවලද තැවරී වැටුණේය.
6 මාගේ ප්‍රේමවන්තයාට දොර ඇරියෙමි; නුමුත් මාගේ ප්‍රේමවන්තයා අහක්ව ගිහින්ය. ඔහු කථාකළ විට මට සිහිනැතිවිය. මම ඔහු සෙවීමි, නුමුත් සම්බවුණේ නැත; මා ඔහුට අඬගැසූ නුමුත් ඔහු මට උත්තරදුන්නේ නැත.
7 නුවර ඇවිඳින රැකවල්ලු මට සම්බවී, මට ගසා තුවාලකළෝය; පවුරුවල රැකවල්ලු මාගේ පොරෝණය මාගෙන් පැහැරගත්තෝය.
8 යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා නුඹලාට සම්බවුණොත්, මා ප්‍රේමාතුරව සිටින බව දන්වන ලෙස නුඹලා දිවුරවමි.
9 ස්ත්‍රීන්ගෙන් ඉතා ලක්ෂණ තැනැත්තිය, වෙන ප්‍රේමවන්තයෙකුට වඩා නුඹේ ප්‍රේමවන්තයාට ඇති උතුම්කම මොකද? නුඹ මෙසේ අප දිවුරවන්නේ වෙන ප්‍රේමවන්තයෙකුට වඩා නුඹේ ප්‍රේමවන්තයාට ඇති උතුම්කම මොකද?
10 මාගේ ප්‍රේමවන්තයා සුදුය, රතු කම්මුල් ඇත්තේය, දසදහසක් අතරේ උතුම්ය.
11 ඔහුගේ හිස ඉතා පවිත්‍ර රත්රන් මෙන්ය, ඔහුගේ කෙස් රොද ඝනය, කපුටුවා මෙන් කළුය.
12 ඔහුගේ ඇස් දිය දොළවල් ළඟ ඉන්න පරෙවියන් වැනිව, කිරෙන් සේදී, හොබනා ලෙස පිහිටා තිබේ.
13 ඔහුගේ කම්මුල් සුවඳ ගස් පාත්තියක්ද සුවඳ පැළ ඇති ගොඩැලිද මෙන්ය. ඔහුගේ තොල් මානෙල් මෙනි, දියවර ගන්ධරස එයින් වෑහෙන්නේය.
14 ඔහුගේ අත් ලශුනීය මැණික් ඇල්ලූ රන්මුදු වැනිය. ඔහුගේ ඇඟ නීලමාණික්‍යවලින් සැරසූ ඇත්දත් කර්මාන්තයක් මෙන්ය.
15 ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු මෙන්ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් හා සමානය, කිහිරිගස් මෙන් උතුම්ය.
16 ඔහුගේ මුඛය ඉතා මිහිරිය. එසේය, ඔහු මුළුමනින්ම ප්‍රියකරුය. යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා මේ ආකාරය, මාගේ මිත්‍රයා මෙබන්දෙක්ය.



පරිච්ඡේදය 6

1 ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, නුඹේ ප්‍රේමවන්තයා කොතැනට ගියේද? නුඹේ ප්‍රේමවන්තයා කොයි දෙසට හැරීගියේද? අපි නුඹ සමඟ ඔහු සොයන්නෙමුව.
2 මාගේ ප්‍රේමවන්තයා උයන්වල රැළ කවන පිණිසත් මහනෙල් නෙලාගන්න පිණිසත් තමාගේ උයනෙහි සුවඳ ගස් පාත්තිවලට ගියේය.
3 මම මාගේ ප්‍රේමවන්තයාගේය, මාගේ ප්‍රේමවන්තයා මාගේය. ඔහු මානෙල් අතරේ තමාගේ රැළ කවයි.
4 මාගේ සොඳුර, නුඹ තිර්සා මෙන් අලංකාරය. යෙරුසලම මෙන් ශෝභනය, කොඩි ගත් සේනාවක් මෙන් බලසම්පන්නව සිටින්නීය.
5 නුඹේ ඇස් මා වෙතින් හරවාගන්න, මක්නිසාද ඒවා මා වසඟකරයි. නුඹේ වරලස ගිලියද්හි ලැග ඉන්න එළු රැළක් මෙන්ය.
6 නුඹේ දත් තනිවූ එකෙක්වත් නැතුව සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, නාවනු ලැබ නැගී එන්නාවූ බැටළුදෙනුන් රැළක් මෙන්ය.
7 නුඹේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන නුඹේ කම්මුල් දෙළුම් පළුවක් මෙන්ය.
8 බිසෝවරුන් සැටක්ද උපභාර්යාවන් අසූවක්ද ගණන් නැති කන්‍යාවෝද සිටිති.
9 මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, අසමාන තැනැත්තීය. ඈ ඇගේ මවුගේ එකම දරුවාය; ඈ වැදූ ඇත්තීගේ ප්‍රිය තැනැත්තීය. දූවරු ඈ දැක ඈ වාසනාවන්තීයයි කීවෝය; එසේය, බිසෝවරු උපභාර්යාවෝද දැක ඇය වර්ණනාකළහ.
10 අරුණාලෝකය මෙන් නැගීඑන්නාවූ, සඳ මෙන් රුව ඇත්තාවූ, ඉර මෙන් දිළෙන්නාවූ, කොඩි ගත් සේනාවක් මෙන් බලසම්පන්නවූ මෑ කවුද?
11 මම මිටියාවත් ගස් කොළන් බලන්ටත්, මිදිවැල් දළු දැමුවේද? දෙළුම්ගස්වල මල් පිපුණේදැයි බලන්ටත්, කොට්ටම්බා උයනට බැස ගියෙමි.
12 මට දැනෙන්ට පළමුවෙන් මාගේ ආත්මය මාගේ වංශාධිපති සෙනඟගේ රථ අතරේ මා තැබීය.
13 ෂූලම්මීය, හැරී එන්න, හැරී එන්න; අප නුඹ බලන පිණිස හැරී එන්න, හැරී එන්න. මහනායිම්හි* නැටුම මෙන් නුඹලා ෂූලම්මීය බලන්ට කැමතිවන්නේ මක්නිසාද? (* හෙවත්, සේනා දෙකේ)



පරිච්ඡේදය 7

1 අධිපතියාණන්ගේ දුවණියෙනි, වහන් සහිත නුඹේ අඩි තැබීම කොපමණ ලක්ෂණද! නුඹේ කළවා සන්ධි දක්ෂ කම්කරුවෙකුගේ අතින් කළ ආභරණ මෙන්ය.
2 නුඹේ නාභිය මිශ්‍රකළ පානයෙන් පූර්ණවූ වටකුරුවූ පාත්‍රයක් මෙන්ය, නුඹේ උදරය මානෙල්වලින් වටවූ තිරිඟු ගොඩක් මෙන්ය.
3 නුඹේ දෙතන නිඹුල් මුවපැටවුන් දෙදෙනෙකු මෙන්ය.
4 නුඹේ ග්‍රීවය ඇත්දත් කුළුනක් මෙන්ය; නුඹේ ඇස් හෙෂ්බොන්හි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණු මෙන්ය; නුඹේ නාසය දමස්කය දෙස පිහිටි ලෙබනොන් කොත මෙන්ය.
5 නුඹේ මතුයෙහි තිබෙන නුඹේ සිරස කර්මෙල් කන්ද මෙන්ය, නුඹේ හිසකේ රත්නිල් කෙඳි මෙන්ය; රජතෙමේ ඒ රොදවලින් වසඟවී සිටියි.
6 එම්බා, සොඳුරිය, ප්‍රීතිය වඩවන්ට නුඹ කොපමණ ලක්ෂණද! කොපමණ ප්‍රියකරුද!
7 මේ නුඹේ උස ප්‍රමාණය තල් ගසකටත් නුඹේ පියයුරු මිදි පොකුරුවලටත් සමානය.
8 මම තල් ගසට නැගී එහි අතු අල්ලන්නෙමියි කීමි. නුඹේ පියයුරු මිදි පොකුරු මෙන්ද නුඹේ හුස්මේ සුවඳ ජම්බු මෙන්ද
9 නුඹේ මුඛය ඉතා හොඳ මුද්‍රිකපානය මෙන්ද වේවා; ඒවා මාගේ ප්‍රේමවන්තයාට හරියන්නේය, නිදාඉන්නන්ගේ තොල් සෙමින් සොලවන්නේය.
10 මම මාගේ ප්‍රේමවන්තයාගේය, ඔහුගේ ආශාවද මා කෙරෙහිය.
11 මාගේ ප්‍රේමවන්තය, එන්න, අපි ගම් පෙදෙසට ගොස්, ගම්වල නැවතී සිටිමු.
12 අපි අලුයම නැගිට මිදිවතුවලට ගොස්, මිදිවැල් දළුලා මල් පිපුණේද, දෙළුම් ගස්වල මල්පිපී තිබේදැයි බලමු. එහිදී මාගේ ප්‍රේමය නුඹට දෙන්නෙමි.
13 දූදා ඵල සුවඳක් විහිදුවයි, අපේ දොරටු ළඟ අලුත්වූද පරණවූද සියලු ආකාර අනර්ඝ පලතුරු තිබේ, මාගේ ප්‍රේමවන්තය, ඒවා නුඹ උදෙසා තබාගතිමි.



පරිච්ඡේදය 8

1 අනේ, නුඹ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවාවූ මාගේ සොහොයුරා මෙන් වී නම් කැමැත්තෙමි! එවිට පිටතදී නුඹ මට සම්බවූ කල සිඹගත්තත්, කිසිවෙක් මා හෙළා නොදක්නේය.
2 මම නුඹ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි, නුඹ මට උගන්වන්නෙහිය. මිශ්‍රකළ මුද්‍රිකපානයද දෙළුම් යුසද නුඹට බොන්ට දෙන්නෙමි.
3 ඔහුගේ වමත මාගේ හිස යට තිබේ, දකුණතද මා වැළඳගනියි.
4 යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් නුඹලා දිවුරවමි.
5 තම ප්‍රේමවන්තයාට හේත්තුවී කාන්තාරයෙන් නැගීඑන්නාවූ මේ තැනැත්තිය කවුද? ජම්බු ගස යටදී මම නුඹ පිබිදෙවු වෙමි. එහි නුඹේ මෑණියෝ නුඹ ගැන රුජා වින්දාහ, එහි නුඹේ දිනිතිය බිහිකරන වේදනාවෙන් සිටියාය.
6 මුද්‍රාවක් කොට නුඹේ සිතෙහිද මුද්‍රාවක් කොට නුඹේ හස්තයෙහිද මා තබාගන්න. මක්නිසාද ප්‍රේමය මරණය මෙන් බලවත්ය; කාම ක්‍රෝධය මිනීවළ* මෙන් කෲරතරය. (* ෂෙයෝල) ඒකේ දැල්ල ගිනිදැල්ය, ස්වාමීන්වහන්සේගෙන් වූ ඇවිළෙන ගිනිදැල්ලක්මය.
7 බොහෝ වතුරුවලින් ප්‍රේමය නිවන්ට බැරිය, ගංගාවලට එය යටකරන්ටත් බැරිය. මනුෂ්‍යයෙක් ප්‍රේමය දිනාගන්ට තමාගේ ගෙයි සියලු සම්පත දෙතත්, ඔහු සහමුලින්ම සුළුකරනු ලැබේ.
8 අපට කුඩා සහෝදරියක් සිටින්නීය, ඈට පියයුරු නැත. අපේ සහෝදරී ගැන කථාකරන දවසේදී අපි ඈ ගැන මක්කරමුද?
9 ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩනගන්නෙමුව. ඈ දොරක් නම්, කිහිරි ලෑලිවලින් ඈ වටකරන්නෙමුව.
10 මම පවුරක්ව සිටියෙමි, මාගේ පියයුරු එහි කොත්කුළුනු මෙන්ය; එවිට මම ඔහුගේ ඇස් හමුයෙහි සමාදානය ලද්දියෙකු මෙන් වීමි.
11 බාල්-හාමොන්හි සාලමොන්ට මිදිවත්තක් තිබුණේය; ඔහු ඒ මිදිවත්ත බලන්නන්ට භාර දුන්නේය; එහි ඵල වෙනුවට රිදී දහසක් බැගින් ගෙනෙන්ට එකිනෙකාට නියමවිය.
12 මට අයිති මගේ මිදිවත්ත මා ඉදිරියෙහි තිබේ. සාලමොන්, ඔබට දහසද එහි ඵල බලාගන්නන්ට දෙසියයක්ද දෙනු ලැබෙන්නේය.
13 උයන්වල වසන තැනැත්තිය, යහළුවෝ නුඹේ හඬට ඇහුම්කන්දෙති. ඒක මට අසන්ට ලැබේවා.
14 මාගේ ප්‍රේමවන්තය, ඉක්මන්කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත්මුවෙකු නොහොත් මුවවස්සෙකු මෙන් යුහුසුලුවෙන්න.