යෙසායා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66


පරිච්ඡේදය 1

1 යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය.
2 ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකරනසේක: මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය.
3 ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක.
4 අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනඟක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය.
5 නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.
6 පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.
7 නුඹලාගේ දේශය පාළුවී තිබේ; නුඹලාගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; නුඹලාගේ භූමිය නුඹලා ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ.
8 සියොන් දුව මිදිවත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැලක් මෙන්ද වටලනලද නුවරක් මෙන්ද අත්හරිනු ලැබුවාය.
9 සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.
10 සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.
11 නුඹලාගේ පූජා රාශියෙන් මට කම් කිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි.
12 නුඹලා මා ඉදිරියෙහි පෙනෙන්ට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා නුඹලාගෙන් ඉල්ලුවේ කව්ද?
13 නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය.
14 නුඹලාගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය ද්වේෂකරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි.
15 නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.
16 නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.
17 යහපත්කම්කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වන්න, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසන්න.
18 ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.
19 නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.
20 නුඹලා අකමැතිව කැරළිගසන්නහු නම්, කඩුවෙන් මැරුම්කන්නහුය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළසේක.
21 අනේ, විශ්වාස නුවර වේශ්‍යාවක් වූ හැටි! ඒක යුක්තියෙන් පිරී තිබුණේය! එහි වාසයකළේ ධර්මිෂ්ඨකමය, නුමුත් දැන් සිටින්නේ මිනීමරන්නෝය.
22 නුඹේ රිදී බොරවිය, නුඹේ මුද්‍රිකපානයෙහි වතුර මිශ්‍රවී තිබේ.
23 නුඹේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.
24 එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.
25 මාගේ අත නුඹ පිටට හරවා, නුඹේ බොර සහමුලින්ම ඉවත්කර, නුඹේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි.
26 මම පළමු ලෙස නුඹේ විනිශ්චයකාරයන්ද මුලදී තිබුණු ලෙස නුඹේ මන්ත්‍රීවරුන්ද නැවත පිහිටුවන්නෙමි. ඉන්පසු නුඹ ධර්මිෂ්ඨකමේ නුවරය, විශ්වාස නගරයයයි කියනු ලබන්නීය.
27 සියොන විනිශ්චය කරණකොටගෙනද ඈ තුළ [දෙවියන්වහන්සේ වෙතට] හැරෙන්නෝ ධර්මිෂ්ඨකම කරණකොටගෙනද මුදනු ලබන්නෝය.
28 නුමුත් ද්‍රොහිකම් කරන්නන්ගේද පව්කාරයන්ගේද විනාශය එකවිටම සිදුවන්නේය, ස්වාමීන්වහන්සේ අත්හරින්නෝ විනාශවන්නෝය.
29 මක්නිසාද නුඹලා ආශාවූ අලෝන ගස් නිසා ඔව්හු ලජ්ජාවන්නෝය, නුඹලා තෝරාගත් උයන් නිසා නුඹලා වියවුල්වන්නහුය.
30 මක්නිසාද නුඹලා කොල පරවෙන අලෝන ගසක් මෙන්ද දියනැති උයනක් මෙන්ද වෙනවා ඇත.
31 බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියනසේක.



පරිච්ඡේදය 2

1 යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටු කාරණයය.
2 මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.
3 බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.
4 උන්වහන්සේ ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරනසේක. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත. ආශීර්වාදයට පළමුවෙන් දඬුවම.
5 අහෝ යාකොබ්ගේ වංශය, එන්න, ස්වාමීන්වහන්සේගේ එළියෙහි ගමන්කරමු.
6 ඔබ යාකොබ්ගේ වංශය වන ඔබගේ සෙනඟ අත්හැරියසේක, මක්නිසාද ඔව්හු පෙරදිග සිරිත්වලින් පිරී පිලිස්තිවරුන් මෙන් පේනකියන්නෝව සිටිති, විදේශීන්ගේ පුත්‍රයන් සමඟ අතට අත ගසති.
7 ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී තිබේ, ඔවුන්ගේ වස්තුවලට කෙළවරක්ද නැත; ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී තිබේ, ඔවුන්ගේ රථද කෙළවරක් නැතුව තිබේ.
8 ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී තිබේ; තමුන්ගේම අත්වැඩය වන තමුන්ගේම ඇඟිලිවලින් සෑදූ දේට ඔව්හු වඳිති.
9 මෙසේ පහත් මිනිහා යටත් කරනු ලැබේ, උසස් මනුෂ්‍යයාද පහත් කරනු ලැබේ. ඒ නිසා ඔවුන්ට කමානූව මැනව.
10 නුඹ පර්වතයට ඇතුල්වී ස්වාමීන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් ධූලියෙහි සැඟවෙන්න.
11 මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, ඒ දවසේ ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය.
12 මක්නිසාද උඩඟුවූ අහංකාරවූ සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද
13 උස්වූ උසස්ව තිබෙන ලෙබනොන්හි සියලු කිහිරි ගස්වලට විරුද්ධවද බාෂාන්හි සියලු අලෝන ගස්වලට විරුද්ධවද;
14 උස්වූ කඳුවලට විරුද්ධවද උසස්ව තිබෙන සියලු හෙල්වලට විරුද්ධවද;
15 උස්වූ සියලු කොත්වලට විරුද්ධවද සුරක්ෂිත සියලු පවුරුවලට විරුද්ධවද;
16 තර්ෂිෂ්හි සියලු නැව්වලට විරුද්ධවද අලංකාර පෙනීමක් ඇති සියල්ලට විරුද්ධවද, ඒවා පහත්කරන පිණිස, සේනාවල ස්වාමීන්වහන්සේගේ දවසක් පැමිණෙන්නේය.
17 මෙසේ මනුෂ්‍යයන්ගේ උඩඟුකම යටත්කරනු ලබන්නේය, මිනිසුන්ගේ ආඩම්බරයද පහත්කරනු ලබන්නේය. ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය.
18 පිළිම සහමුලින්ම පහවන්නේය.
19 පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය.
20 පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස,
21 මනුෂ්‍යයෝ නමස්කාරකිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය.
22 තමාගේ නාසාපුටවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරන්න. මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද?



පරිච්ඡේදය 3

1 බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ යෙරුසලමෙන්ද යූදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් පහකරනසේක. එනම් මුළු ආහාරපාන වෘත්තීයද;
2 බලවන්තයා සහ යුද්ධකාරයාද; විනිශ්චයකාරයා සහ ප්‍රොපේතයාද පේනකියන්නා සහ වැඩිමහල්ලාද;
3 පනසාධිපතියා සහ ගරුතර තැනැත්තාද මන්ත්‍රියාද දක්ෂ ශිල්පියාද මායම් දන්න තැනැත්තාද පහකරනසේක.
4 මම දරුවන් ඔවුන්ගේ අධිපතීන් කොට පත්කරන්නෙමි, බාලයෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.
5 සෙනඟ එකිනෙකාගෙන්ද තම තමාගේ අසල්වාසියාගෙන්ද පීඩා විඳින්නෝය. බාලයා මහල්ලාටත් නීචයා උත්තමයාටත් උඩඟුකම් පාන්නෝය.
6 මනුෂ්‍යයෙක් තම පියාගේ වංශයෙහි තමාගේ සහෝදරයා අල්වා කථාකොට: නුඹට සළුවක් ඇත්තේය, නුඹ අපේ ආණ්ඩුකාරයා වී, මේ නාස්තිය නුඹේ අත යටතේ වේවයි කීවොත්,
7 ඔහු ඒ දවසේදී ශබ්දනගා: මම සුවකරන්නෙක් නොවන්නෙමි; මක්නිසාද මාගේ ගෙයි කෑමවත් සළුවක්වත් නැත. මා සෙනඟගේ ආණ්ඩුකාරයා නොකරන්නැයි කියන්නේය.
8 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජාන්විත ඇස් උදහස්කරවන පිණිස ඔවුන්ගේ දිවත් ක්‍රියාත් උන්වහන්සේට විරුද්ධව තිබෙන බැවින්, යෙරුසලම නාස්තිවී යූදා වැටී තිබේ.
9 ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂිදෙයි; සොදොම මෙන් ඔව්හු තමුන්ගේ පාපය නොසඟවා ප්‍රකාශකෙරෙති. ඔවුන්ගේ ආත්මයට දුක් වේ! මක්නිසාද ඔව්හු තමුන්ටම අනතුරුකරගත්තෝය.
10 ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේයයි කියන්න. මක්නිසාද ඔව්හු තමුන්ගේ ක්‍රියාවල ඵල භුක්තිවිඳින්නෝය.
11 අහෝ දුෂ්ටයාට දුක් වේ! ඔහුට විපත පැමිණේ. මක්නිසාද ඔහුගේ අත්වල විපාකය ඔහුට ලැබෙන්නේය.
12 මාගේ සෙනඟගේ පීඩාකාරයෝ නම් දරුවෝය, ස්ත්‍රියෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරති. මාගේ සෙනඟෙනි, නුඹට මගපෙන්වන්නෝ නුඹ මුළාකර නුඹ යායුතු මාර්ගය නැතිකරදමති.
13 ස්වාමීන්වහන්සේ කාරණා කියන්ට නැගිට ජනයන් විනිශ්චයකරන්ට සිටිනසේක.
14 ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ වැඩිමහල්ලන්ද ඔවුන්ගේ අධිපතීන්ද විනිශ්චයකිරීමට පැමිණෙනසේක. මිදිවත්ත කාදැමුවේ නුඹලාය; අසරණයන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ ගෙවල තිබේ.
15 නුඹලා මාගේ සෙනඟ පාගා දමන්නෙත් අසරණයන්ගේ මුහුණු පොඩිකරන්නෙත් මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.
16 තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියොන් දූවරුන් උඩඟුව, බෙල්ල උස්කොට, ඇස් කොනින් බලබලා, කොට පියවර තබා ඇවිදිමින්, තමුන්ගේ පාදවලින් ශබ්ද නගමින් යන බැවින්,
17 ස්වාමීන්වහන්සේ සියොන් දූවරුන්ගේ ඉස්මුදුනේ කබලු අටගන්වනසේක, ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ රහසඟ නග්නකරනසේක.
18 ඒ දවසේ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පාවළලුවල අලංකාරයද ඉස් දැල්ල වන්ද්‍රලේකාභරණද;
19 කුණ්ඩලාභරණද අත්වළලුද මුවවස්නාද;
20 මකුටද පාද දාමද ඉඟපටිද සුවඳ හෙප්පුද යන්ත්‍රද;
21 මුදුද නාසාභරණද;
22 මංගල්‍ය වස්ත්‍රද සළුද උතුරු සළුද පසුම්බිද;
23 අත් කැඩපත්ද සිහින් හණරෙදිද තලප්පාද ඇඟ වැසුම්ද පහකරදමනසේක.
24 එවිට සුගන්ධ ද්‍රව්‍ය වෙනුවට කුණුද බඳපටිය වෙනුවට ලනුවක්ද හොඳට ගෙතූ වරලස වෙනුවට මුඩුකමද චෝලිය වෙනුවට ගෝණි බැඳගැනීමද හොබනාකම වෙනුවට හන්වඩුද ඇතිවන්නේය.
25 නුඹේ පුරුෂයෝ කඩුවෙන්ද නුඹේ බලවන්තයෝ යුද්ධයෙන්ද වැටෙන්නෝය.
26 ඇගේ දොරටු වැලපෙන්ටත් හඬන්ටත් යෙදෙනවා ඇත; ඈ අසරණව බිම හිඳගන්නවා ඇත.



පරිච්ඡේදය 4

1 ඒ කාලයේදී ස්ත්‍රීන් සත්දෙනෙක් එක පුරුෂයෙකු අල්ලාගෙන: අපි අපේම කෑම කන්නෙමුව, අපේම වස්ත්‍ර අඳින්නෙමුව. නුඹේ නම පමණක් අපට ලැබේවා; අපේ නින්දාව පහකරන්නැයි කියන්නෝය.
2 ගැළවුණු ඉශ්‍රායෙල්වරුන්ට ඒ දවසේ ස්වාමීන්වහන්සේගේ පැළෑටියද අලංකාරව දීප්තිමත් වන්නේය, දේශයේ ඵල උතුම්ව ශෝභන වන්නේය.
3 තවද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ ආත්මයෙන් සහ දැවීමේ ආත්මයෙන් සියොන් දූවරුන්ගේ කිලුටුකම සෝදා, යෙරුසලම මැදින් රුධිර අපරාධය පහකළ විට,
4 සියොන්හි ගැළවී සිටින්නාද යෙරුසලමෙහි ඉතුරුවෙන්නාද, එනම් යෙරුසලමෙහි ජීවනය පිණිස ලියවී සිටින සියල්ලෝ, ශුද්ධයයි කියනු ලබන්නෝය.
5 ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ මුළු වාසස්ථානයටත් එහි රැස්වීම්වලටත් ඉහළින් දවාලේ වලාකුළක් හා දුමාරයක්ද රාත්‍රියෙහි ඇවිළෙන ගින්නක් දීප්තියද මවා තබනසේක. මක්නිසාද මුළු තේජස පිට ඉහළින් වියනක් වන්නේය.
6 දවාලේදී ග්‍රීෂ්මයෙන් මුවාවීමට සෙවණක් පිණිසත් රක්ෂාස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් සැඟවෙන ස්ථානයක් පිණිසත් කූඩාරමක් වන්නේය.



පරිච්ඡේදය 5

1 මාගේ ප්‍රේමවන්තයාගේ මිදිවත්ත ගැන ඔහුගේ ගීතිකාව මාගේ ප්‍රේමවන්තයා උදෙසා ගීතිකාකරන්නෙමි. මාගේ ප්‍රේමවන්තයාට ඉතා සාරවත් කන්දක මිදිවත්තක් තිබුණේය.
2 ඔහු ඒක වටකොට අගළක් කපා, ගල් අහක්කොට, ඉතා හොඳ මිදිවැල් හිටුවා, එහි මැද මුරකොටුවක් ගොඩනගා එහි මිදි යන්ත්‍රයක් සාදා, හොඳ මුද්‍රික ඵල හටගන්නවා ඇත කියා බලාසිටියේය. නුමුත් හටගත්තේ වල් මිදි ඵලය.
3 ඉතින්, යෙරුසලමේ වැසියෙනි, යූදාහි මනුෂ්‍යයෙනි, මා සහ මාගේ මිදිවත්ත අතරේ විනිශ්චයකරන්න.
4 මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද? එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා මා බලාසිටි විට වල් මුද්‍රික ඵල හටගත්තේ මක්නිසාද?
5 ඉතින් මාගේ මිදිවත්තට කරන්ට යන දෙය නුඹලාට කියමි. මම එහි වැට පහකරන්නෙමි, එවිට ඒක පාගාදමනු ලබන්නේය. එහි තාප්පය බිඳ දමන්නෙමි, එවිට එය මඩිනු ලබන්නේය.
6 මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.
7 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත නම් ඉශ්‍රායෙල් වංශයය, උන්වහන්සේගේ ප්‍රිය පැළෑටිය නම් යූදා මනුෂ්‍යයෝය. උන්වහන්සේ යුක්තිය දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ අයුක්තියය; ධර්මිෂ්ඨකම දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ විලාපයය.
8 දේශ මැද තමුන්ම පමණක් වාසය කරන පිණිස, ඉඩ නැතිවෙන තරම්, ගෙයකට ගෙයක් එකතුකරගන්නාවූ, කෙතකට කෙතක් වැඩිකරගන්නාවූ අයට දුක් වේ!
9 සැබවින්ම මහත්වූ අලංකාරවූ බොහෝ ගෙවල් වැසියන් නැතුව පාළුවන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ මාගේ කන්වලට කියනසේක.
10 අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.
11 මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ!
12 ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාව සලකන්නේවත් උන්වහන්සේගේ අත්වල ක්‍රියාව කල්පනාකළේවත් නැත.
13 එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.
14 එබැවින් මිනීවළ ස්වකීය ආශාව අධික කොට, ප්‍රමාණයක් නැතුව කට ඇරගත්තෝය. ඔවුන්ගේ ඉසුරද ඔවුන්ගේ සමූහයාද ඔවුන්ගේ ඝෝෂාවද ඔවුන් අතරේ ප්‍රීතිවන්නාද ඊට බැසයනවා ඇත.
15 මෙසේ පහත් මනුෂ්‍යයා යටත්කරනු ලැබේ, උසස් මනුෂ්‍යයාද පහත් කරනු ලැබේ, උඩඟු අයගේ ඇස්ද පහත්කරනු ලැබේ.
16 නුමුත් සේනාවල ස්වාමීන්වහන්සේ විනිශ්චය කරණකොටගෙන උසස්වනසේක. ශුද්ධ තැනන්වහන්සේ වන දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන ශුද්ධ බව ප්‍රකාශවෙයි.
17 එකල බැටළු පැටව් උන්ගේ පිට්ටනිවල මෙන් තෘණ කන්නෝය, ධනවතුන්ගේ පාළු තැන්ද විදේශියෝ භුක්තිවිඳින්නෝය.
18 නිෂ්ඵලකම නැමති ලනුවලින් අයුතුකමත් ගැල් රැහැණකින් මෙන් පාපයත් අදින්නාවූ,
19 අපට පෙනෙන පිණිස උන්වහන්සේ ඉක්මන්වී තමන්ගේ ක්‍රියාව කඩිනම්කරනසේක්වා, අප විසින් දැනගන්ට ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ මන්ත්‍රණය ළංව ඒවයි කියන්නාවූ අයට දුක් වේ!
20 නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ, මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරත් තබන්නාවූ අයට දුක් වේ!
21 තුමූ ප්‍රඥාවන්තයෝයයි සිතන්නාවූද තුමූ නුවණැත්තෝයයි කල්පනාකරන්නාවූද අයට දුක් වේ!
22 මුද්‍රිකපානය බීමට සමර්ථවූ, සුරා මිශ්‍ර කිරීමට ධෛර්යමත් මනුෂ්‍යයෝවූ,
23 අල්ලසකට දුෂ්ටයා නිදොස්කර ධර්මිෂ්ඨයාගේ යුක්තිය ඔවුන්ගෙන් පහකරන්නාවූ අයින්ට දුක් වේ!
24 එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලායන්නාක්මෙන්ද වියළි තෘණ ගින්නට වැටීයන්නාක්මෙන්ද ඔවුන්ගේ මුල දිරුම මෙන් වන්නේය, ඔවුන්ගේ මල ධූලි මෙන් නැගීයන්නේය. මක්නිසාද ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකර, ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ වචනය සුළුකළෝය.
25 එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිඟුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
26 තවද උන්වහන්සේ දුර සිටින ජාතීන්ට කොඩියක් ඔසවා, පොළොවේ කෙළවර සිටින ඔවුන්ට සංඥාකර අඬගසනසේක. බලව, ඔව්හු ඉක්මන්වී වේගයෙන් එන්නෝය.
27 ඔවුන් අතරෙන් කිසිවෙක් ක්ලාන්තවෙන්නේවත් පැකිලෙන්නේවත් නැත; කිසිවෙක් නිදිමත නොවන්නේය, නිදා නොගන්නේය; ඔවුන්ගේ ඉඟපටි නොලිහෙන්නේය, මිරිවැඩි පටිය නොකැඩෙන්නේය.
28 ඔවුන්ගේ ඊගස් තියුණුකර තිබේ, ඔවුන්ගේ සියලු දුනු තැත්කවා තිබේ; ඔවුන්ගේ අසුන්ගේ කුර ගිනිගල්ද ඔවුන්ගේ රථචක්‍ර සුළිහුළඟද කොට ගණන්ගනු ලැබේ.
29 ඔවුන්ගේ ගෙරවීම සිංහ නාදයකට සමානය, ඔව්හු තරුණ සිංහයන් මෙන් ගොරවන්නෝය. එසේය, ඔව්හු ගර්ජනාකොට, ගොදුර අල්ලා සුරැකිව ගෙනයන්නෝය,ගළවන්ට කිසිවෙක්ද නොවන්නේය.
30 ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.



පරිච්ඡේදය 6

1 උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය.
2 උන්වහන්සේ අවටින් සෙරාප්වරු සිටියෝය. එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය; දෙකකින් මුහුණ වසාගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කෙළේය.
3 ඔව්හු එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය.
4 එවිට මොරගැසූ තැනැත්තාගේ හඬට එළිපත්වල අත්තිවාරම් සෙලවුණේය, ගෘහයද දුමෙන් පිරුණේය.
5 එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.
6 එවිට සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන්ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්,
7 ඒක මාගේ මුඛයෙහි තවරා කථාකොට: බලව, මේක නුඹේ තොල්වල තැවරුණේය; මෙසේ නුඹේ අපරාධය පහකරනලද්දේය, නුඹේ පාපය කමාකරනලද්දේයයි කීය.
8 එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි.
9 උන්වහන්සේ: නුඹ ගොස් මේ සෙනඟට කථාකොට-නුඹලා අසමින්ම තේරුම් නොගෙන දකිමින්ම දැන නොගෙන සිටින්නැයි කියන්න.
10 මේ සෙනඟ තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්නැයි කීසේක.
11 එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,
12 ස්වාමීන්වහන්සේ විසින් මනුෂ්‍යයන් ඈතට පහකිරීමත්, දේශයෙහි මහත් හිස්කමක් වීමත් සිදුවෙන තුරුය.
13 පසුව දසයෙන් කොටසක් එහි ඉතුරුවුණත් ඒක නැවත නාස්තිකරනු ලබන්නේය. එහෙත් ඒලොන් ගසක්ද අලෝන ගසක්ද කපාදැමූ කල එහි පණ තිබෙන්නාක්මෙන්ම ශුද්ධවූ වංශය ඔවුන්ගේ ප්‍රාණයයයි කීසේක.



පරිච්ඡේදය 7

1 තවද උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ පුත්‍රයා වන යූදාහි රජවූ ආහාස්ගේ දවස්වලදී සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ, ඉශ්‍රායෙල්හි රජවූ පෙකාද යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට ආවෝය; නුමුත් ජයගන්ට නොහැකි වූවෝය.
2 සිරියවරුන් එප්‍රායිම්හි සිටින බව දාවිත්ගේ වංශයට දන්වන ලද්දේය. එවිට රජුගේ සිතද ඔහුගේ සෙනඟගේ සිතද වනයේ ගස් හුළඟට සෙලවෙන්නාක්මෙන් චංචලවුණේය.
3 එකල ස්වාමීන්වහන්සේ යෙසායාට කථාකොට: නුඹ සහ නුඹේ පුත්‍රවූ ෂෙයාර්-යාෂුබ් ආහාස් සම්බවෙන්ට අපුල්ලන්නන්ගේ පිටියේ මාවතෙහි ඉහළ පොකුණේ කාණුවේ කෙළවරට ගොස් ඔහුට කථාකොට:
4 නුඹ භය නොවී නිශ්චලව සිටින්ට බලාගන්න; දුම්නගින ඒ ගිනිපෙනෙලි දෙකෙළවරවූ රෙශීන් සහ සිරියවරුන්ගෙත් රෙමලියාගේ පුත්‍රයාගෙත් තද කෝපය නිසා නුඹේ සිත දුර්වල නොවේවා.
5 සිරියවරුද එප්‍රායිම්ද රෙමලියාගේ පුත්‍රයාද කථාකොට:
6 අපි යූදාට විරුද්ධව ගොස්, ඊට පීඩාකර, ඒක බිඳගන ඇතුළුවී, ඒ මැද ටාබෙයෙල්ගේ පුත්‍රයා රජකොට තබමුව කියා නුඹට විරුද්ධව නපුරක් යොදාගත් බැවින්,
7 ඒක ස්ථිර නොවන්නේය, සිද්ධ නොවන්නේයයි ස්වාමීවූ දෙවියන්වහන්සේ කියනසේක.
8 මක්නිසාද සිරියේ ඉස නම් දමස්කයේ, දමස්කයේ ඉස නම් රෙශීන්ය. තව හැටපස් අවුරුද්දකින් එප්‍රායිම් සෙනඟක්ව නොසිටින හැටියට සුනුවිසුණු කරනු ලබන්නේය.
9 එප්‍රායිම්ගේ ඉස නම් සමාරියය, සමාරියේ ඉස නම් රෙමලියාගේ පුත්‍රයාය. නුඹලා විශ්වාස නොකරන්නහු නම් සැබවින්ම නුඹලා ස්ථිර නොවන්නහුයයි ඔහුට කියන්නැයි කීසේක.
10 ස්වාමීන්වහන්සේ තවදුරටත් ආහාස්ට කථාකොට:
11 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැයි කීසේක.
12 නුමුත් ආහාස්: මම නොඉල්ලමි, ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමියි කීවේය.
13 එවිට ඔහු කථාකොට: එම්බා දාවිත්ගේ වංශය, ඉතින් අසන්න; නුඹලා මාගේ දෙවියන්වහන්සේ වෙහෙසන්නේ මනුෂ්‍යයන් වෙහෙසනවා මදිවාටද?
14 එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.
15 ඔහු නපුර එපාකොට යහපත තෝරාගන්ට දැනගන්නා කල, දීකිරිත් මීපැණිත් කන්නේය.
16 මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් නුඹ භයවෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේයයි කීවේය.
17 එප්‍රායිම් යූදාගෙන් වෙන්වුණ කාලයේ පටන් නොවූ විධියේ දවස් අෂූර්හි රජු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ නුඹ පිටටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ පිය වංශය පිටටත් පමුණුවනසේක.
18 ඒ දවසෙහි, ස්වාමීන්වහන්සේ මිසරයේ ගංගාවල් අසබඩ ඉන්න මැස්සන්ටත් අෂූර් දේශයෙහි ඉන්න මීමැස්සන්ටත් සංඥාකර හඬගසාගන්නවා ඇත. උන් සියල්ලෝම ඇවිත්,
19 පාළු මිටියාවත්වලද පර්වත විවරවලද සියලු කටු ගස්වලද සෑම ගොදුරු බිම්වලද රඳන්නෝය.
20 ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවට එගොඩින් කුලියට ගත් දැළිපිහිය වන අෂූර්හි රජු ලවා හිසේද පාදවලද කේශ කපාදමනවා ඇත. රැවුලත් එයින් සිඳදමනු ලබන්නේය.
21 ඒ දවසෙහි මනුෂ්‍යයෙක් තරුණ එළදෙනකුත් බැටළුවන් දෙන්නෙකුත් තබාගන, උන් දෙන කිරි බොහෝ නිසා දීකිරි කන්නේය.
22 මක්නිසාද දේශයෙහි ඉතුරු වෙන සියල්ලෝම දීකිරි සහ මීපැණිත් කන්නෝය.
23 ඒ දවසෙහි රිදී දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම ඉඩම්වල කටු ගස්ද ගොකටුද හටගන්නවා ඇත.
24 එහි යන තැනැත්තා ඊගස්ද දුනුද ඇතුව යා යුතුය; මක්නිසාද දේශය මුළුල්ලෙහි කටු ගස්ද ගොකටුද ඇතිවන්නේය.
25 උදැල්ලෙන් කොටන සියලු කඳුවලට වුවත් කටුගස්වලට සහ ගොකටුවලට භය නිසා නුඹ නොයන්නෙහිය, එය වනාහි ගවයන් දක්කා හරින්නාවූ බැටළුවන් පාගන්නාවූ ස්ථානයක් වන්නේය.



පරිච්ඡේදය 8

1 ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මහත් ලෑල්ලක් ගෙන මනුෂ්‍යයෙකුගේ පන් හිඳෙන් ‍ මහෙර්-ෂාලාල්-හාෂ්-බස්යයි* එහි ලියන්න. (* එනම්, කොල්ලය ඉක්මන්වේ; කොල්ලකෑම කඩිනම්වේ. ‍)
2 මමද විශ්වාස සාක්ෂිකාරයින් වන උරියා පූජකයාත් යෙබෙරෙකියාගේ පුත්‍රවු සෙකරියාත් සාක්ෂියට ගන්නෙමියි කීසේක.
3 මම අනාගතවක්ත්‍රිය කරා ගියෙමි; ඈ ගර්භිණීව පුත්‍රයෙකු වැදුවාය. එවිට ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔහුට මහෙර්-ෂාලාල්-හාෂ්-බස්* යන නම තබන්න. (* එනම්, කොල්ලය ඉක්මන්වේ; කොල්ලකෑම කඩිනම්වේ)
4 මක්නිසාද: තාත්තේ, අම්මේ කියා හඬගසන්ට දරුවා දැනගන්ට පළමුවෙන් දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් අෂූර්හි රජු ඉදිරියට ගෙනයනු ලබන්නේයයි කීසේක. අසිරියයන්ගේ වටලෑම කලින් දැන්වීම; ඊට භය නොවීම.
5 ස්වාමීන්වහන්සේ නැවතත් මට කථාකොට:
6 මේ සෙනඟ හෙමින් බැස යන්නාවූ ෂිලොවාහි ජලය එපාකොට රෙශීන්ද රෙමලියාගේ පුත්‍රයාද කෙරෙහි ප්‍රීතිවන බැවින්,
7 බලව, ස්වාමීන්වහන්සේ අෂූර්හි රජද ඔහුගේ මුළු තේජසද වන ගංගාවේ බලවත්වූ බොහෝවූ ජලයන් ඔවුන් පිටට පමුණුවනසේක. ඒක එහි සියලු පාරවලින් පිටතට පැමිණ, එහි සියලු ඉවුරු උඩින් ගලා ඇවිත්,
8 යූදාට වැද ගලා යටකරගන, බෙල්ල දක්වාම නගිනවා ඇත. එම්බා එම්මානුවෙල්, ඔහුගේ පියාපත් විහිදීමෙන් නුඹේ දේශය මුළුල්ලම පිරෙනවා ඇතැයි කීසේක.
9 ජනයෙනි, ඝෝෂාකරන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය;
10 නුඹලා එක්ව මන්ත්‍රණයකරන්න, ඒක නිෂ්ඵලවන්නේය; වචනය කථාකරන්න, ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ අප සමඟ සිටිනසේක.
11 තවද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයක් ඇතුව මට කථාකොට, මේ සෙනඟගේ මාර්ගයෙහි නොයන හැටියට මට දැනමුතුකම් දෙමින්, මෙසේ කීසේක:
12 මේ සෙනඟ විසින් ද්‍රෝහිකාරකමය කියන සියල්ලට නුඹලා ද්‍රෝහිකාරකමයයි නොකියන්න; ඔවුන් භයවන දේට භයනොවෙන්න, තැති නොගන්න.
13 සේනාවල ස්වාමීන්වහන්සේම ශුද්ධයයි සලකන්න; නුඹලා භයවෙන්ටත් තැතිගන්ටත් ඕනෑ උන්වහන්සේ ඉදිරියෙහි පමණක්ය.
14 උන්වහන්සේ ශුද්ධස්ථානයක් පිණිස වනසේක, එහෙත් ඉශ්‍රායෙල් වංශ දෙකට බාධාවීමේ ගලක්ව, පැකිලීමේ පර්වතයක්ව, යෙරුසලමේ වැසියන්ට උගුලක්ව, මලපතක්ව සිටිනසේක.
15 බොහෝ දෙනෙක්ද එහි වැටී, පොඩිවී, මලපතට වැටී, අසුවෙනවා ඇත.
16 නුඹ සාක්ෂිය බැඳ, ව්‍යවස්ථාව මුද්‍රාකර, මාගේ ගෝලයන් අතරේ තබන්නැයි කීසේක.
17 මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.
18 බලව, මමද ස්වාමීන්වහන්සේ මට දුන් දරුවෝද සියොන් කන්දෙහි වසන සේනාවල ස්වාමීන්වහන්සේ කෙරෙන් ඉශ්‍රායෙල්ට ලකුණුද පුදුමද පිණිස සිටිමුව.
19 ඔව්හු කෙඳිරිගාන්නාවූ තොල් මතුරන්නාවූ ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරන්නැයි නුඹලාට කියන විට, සෙනඟක් විසින් ස්වකීය දෙවියන්වහන්සේගෙන් විභාගකරන්ට යුතු නොවේද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරන්ට යුතුදැයි අසන්න.
20 ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.
21 ඔව්හු අමාරුවට වැටී, බඩගිනිව, රටෙහි ඔබ මොබ යන්නෝය. ඔවුන්ට බඩගිනිවන විට තරහවී, තමුන්ගේ රජුටද තමුන්ගේ දෙවියන්වහන්සේටද දෙස් කියා උඩ බලන්නෝය.
22 ඔව්හු පොළොව දෙසත් බලන්නෝය, එහි විපතද අන්ධකාරයද ශෝකයේ අඳුරද තිබේ;



පරිච්ඡේදය 9

1 ඔව්හු ඝණාන්ධකාරයට පන්නනු ලබන්නෝය. එහෙත් තද වේදනාවෙන් සිටියාවූ ඈට අඳුරක් නොවන්නේය. පළමු කාලයේදී උන්වහන්සේ සාබුලොන් රටද නප්තලී රටද පහත් කළසේක, නුමුත් අන්තිම කාලයේදී උන්වහන්සේ යොර්දාන් අසබඩ මුහුදු පළාතවූ ජාතීන්ගේ ගලීලය මහිමතාවට පැමිණවූසේක.
2 අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය.
3 ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති.
4 මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක.
5 තවද කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සියලු යුද්ධ වහන්ද ලෙයෙහි පෙඟු වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය.
6 මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.
7 මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.
8 ස්වාමීන්වහන්සේ යාකොබ්ට වචනයක් එවූසේක, ඒක ඉශ්‍රායෙල් වෙතට බැස්සේය.
9 ගඩොල් වැටීගිය නුමුත් අපි කැපූ ගල්වලින් ගොඩනගන්නෙමුව; අත්තික්කා ගස් කපාදැමූ නුමුත් අපි ඒ වෙනුවට කිහිරි ගස් වවන්නෙමුයයි
10 සිතේ එඩිතරකමෙන්ද අහංකාරයෙන්ද කියන්නාවූ එප්‍රායිම් සහ සමාරියේ වැසියෝද වන මුළු සෙනඟ ඒක දැනගන්නෝය.
11 එබැවින් ස්වාමීන්වහන්සේ රෙශීන්ගේ එදිරිකාරයන් ඔවුන්ට විරුද්ධව උසස්කර, ඔවුන්ගේම සතුරන්ද පොළඹවනසේක;
12 සිරියවරු ඉස්සරින්ද පිලිස්තිවරු පස්සෙන්ද ඇවිත් මුඛය හැර ඉශ්‍රායෙල් කාදමන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
13 එහෙත් සෙනඟ තමුන්ට පහරදුන් තැනන්වහන්සේ වෙතට නොහැරී, සේනාවල ස්වාමීන්වහන්සේ නොසෙවුවෝය.
14 එබැවින් ස්වාමීන්වහන්සේ හිස සහ වල්ගයද තල්අත්ත සහ පන්ගසද එක දවසේදීම ඉශ්‍රායෙල්ගෙන් කපාදමනසේක.
15 හිස නම් වෘද්ධයා සහ ගෞරව ඇත්තාය; වල්ගය නම් බොරු උගන්වන අනාගතවක්තෘය.
16 මක්නිසාද මේ සෙනඟට මග පෙන්වන්නෝ ඔවුන් මුළාකරවති; ඔවුන් විසින් ගෙනයනු ලබන්නෝද නාස්තිවෙති.
17 එබැවින් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ යෞවනයන් කෙරෙහි ප්‍රීති නොවනසේක, ඔවුන්ගේ පියා නැත්තන්ටත් වැන්දඹුවන්ටත් අනුකම්පා නොකරනසේක. මක්නිසාද ඔවුන් සියල්ලෝම අභක්තිකයෝද නපුර කරන්නෝද වෙති, සියලු මුඛද නින්දිත දේ කථාකෙරෙති. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
18 මක්නිසාද දුෂ්ටකම ගින්න මෙන් දවයි; ඒක කටුගස්ද ගොකටුද නාස්ති කරයි; එසේය, එය කැලෑවේ අකුල්වල ඇවිළී, ඝනවූ දුම්-වලාකුල් ඉහළට නගිති.
19 සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහසින් දේශය දාලා ගියාය. සෙනඟද ගින්නට දර මෙන් වෙති; කිසිවෙක් තමාගේ සහෝදරයාට කරුණා නොකෙරෙයි.
20 කෙනෙක් දකුණු පැත්තෙහි ගසාකන නුමුත්, බඩගිනිව සිටියි; ඔහු වම් පැත්තෙහි කන නුමුත්, ඔව්හු තෘප්තියට නොපැමිණෙති. එකිනෙකා තම තමාගේ බාහුවේ මාංසය කන්නේය.
21 මනස්සේ විසින් එප්‍රායිම්ද එප්‍රායිම් විසින් මනස්සේද කාදමනවා ඇත. ඔවුන් දෙගොල්ලම එකතුව යූදාට විරුද්ධවන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.



පරිච්ඡේදය 10

1 දුර්වලයන් විනිශ්චයෙන් අහක් කරන පිණිසත්, මාගේ සෙනඟගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරළන පිණිසත්, වැන්දඹුවන් තමුන්ගේ කොල්ලය වන පිණිසත්, පියා නැත්තවුන් තමුන්ගේ ගොදුර කරගන්න පිණිසත්,
2 අධර්මිෂ්ඨ නියෝග නියමකරගන්නන්ටද අයුක්ති සටහන්කර තබන්නන්ටද දුක් වේ!
3 පළිගැනීමේ දවසේදීත් දුරින් එන විනාශයේදීත් නුඹලා කුමක් කරන්නහුද? උපකාර ලැබීම පිණිස නුඹලා කා ළඟට පලායන්නහුද? නුඹලාගේ තේජස කොතැන තබා යන්නහුද?
4 ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
5 අහෝ මාගේ උදහස නැමැති පොල්ලවූද මාගේ කෝපය නැමති සැරයටිය ස්වකීය අතෙහි ඇත්තාවූද අෂූරියය!
6 අභක්තික ජාතියකට විරුද්ධව ඔහු එවන්නෙමි, මාගේ උදහසේ සෙනඟගෙන් කොල්ලකන්ටද සම්පත් උදුරාගන්ටද වීථිවල මඩ මෙන් ඔවුන් පාගාදමන්ටද ඔවුන්ට විරුද්ධව ඔහුට අණදෙන්නෙමි.
7 නුමුත් ඔහු එසේ අදහස්කරන්නේවත් ඔහුගේ සිතින් එසේ සිතන්නේවත් නැත; ස්වල්ප ගණනක් නොවන ජාතීන් විනාශකරන්ටද සිඳදමන්ටද ඔහුගේ සිතෙහි තිබේ.
8 ඔහු කථාකොට: මාගේ අධිපතීන් සියල්ලෝම රජවරු නොවෙද්ද?
9 කල්නෝ කර්කෙමිෂ් වාගේ නොවේද? හමාත් අර්පද් වාගේ නොවේද? සමාරිය දමස්කය වාගේ නොවේද?
10 යෙරුසලමෙත් සමාරියෙත් රූපවලට වඩා රූප ඇති දේවතාවන්ගේ රාජ්‍යයන් මාගේ අතට අසුවුණු ලෙසම,
11 මා විසින් සමාරියටත් එහි පිළිමවලටත් කළ ලෙස යෙරුසලමටත් එහි පිළිමවලටත් නොකරන්නෙම්දැයි කියන්නේය.
12 මෙසේ ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් තමන්ගේ මුළු වැඩය තීන්දුකළ පසු, මම අෂූර්හි රජුගේ සිතේ අහංකාරකමේ ඵලය ගැනත් ඔහුගේ උඩඟු ඇස්වල එඩිතරකම ගැනත් දඬුවම්කරන්නෙමි.
13 මක්නිසාද ඔහු කථාකොට: මා ඒක කළේ මාගේ අතේ සවියෙනුත් මාගේ ප්‍රඥාවෙනුත්ය. මට නුවණ ඇත්තේය. මම ජනයන්ගේ සීමා පහකෙළෙමි, ඔවුන්ගේ සම්පත්ද පැහැරගෙන, සිංහාසන පිට උන් අය බලවන්තයෙකු මෙන් හෙළාදැමීමි.
14 ජනයන්ගේ වස්තු පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසුවිය; අත්හැරදැමූ බිජු එකතුකරන්නාක්මෙන් මම මුළු පොළොව එකතුකරගත්තෙමි. පියාපත් සෙලවීමක්වත් කට ඇරීමක්වත් ශබ්ද කිරීමක්වත් නොවීයයි කීයේය.
15 පොරොව ඒකෙන් කපන්නාට විරුද්ධව පාරට්ටු කරගනීද? නොහොත් කියත එයින් ඉරන්නාට විරුද්ධව උඩඟුවේද? ඒ වනාහි පොල්ලක් විසින් ඒක ඔසවන්නන් සොලවන්නාක්මෙන්ද සැරයටියක් විසින් ලී නොවන තැනැත්තා ඔසවන්නාක්මෙන්ද වන්නේය.
16 එබැවින් සේනාවල ස්වාමීවූ ස්වාමීන්වහන්සේ ඔහුගේ තර අය පිටට කෙට්ටුකම යවනසේක; ඔහුගේ ඉසුර යටද ගිනි ඇවිළීමක් මෙන් ඇවිළීමක් වන්නේය.
17 ඉශ්‍රායෙල්වරුන්ගේ ආලෝකය ගින්නක් පිණිසද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේ ගිනි දළුවක් පිණිසද වන්නේය. එය ඔහුගේ කටු ගස් හා ගොකටු එක දවසේදීම දවා නැතිකර දමන්නේය.
18 උන්වහන්සේ ඔහුගේ වනයේද ඔහුගේ සාරවූ කෙතේද අලංකාරය, ශරීර ප්‍රාණ ඇතුළුව නැතිකරදමනසේක. ඒක කොඩිය උසුලන්නෙකුගේ ක්ලාන්තභාවය මෙන් වෙයි.
19 ඔහුගේ වනයේ ඉතිරි ගස්වල ගණන ළමයෙකුට ලියන්ට පුළුවන් ලෙස ස්වල්ප වෙයි.
20 ඒ දවසෙහි ඉශ්‍රායෙල්ගෙන් ඉතිරිවන්නාවූ, යාකොබ්ගේ වංශයෙන් ගැළවෙන්නාවූ අය තමුන්ට පහරදුන් අය කෙරෙහි තවත් පිහිටා නොසිට, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙහි සැබෑකමින් පිහිටා සිටිනවා ඇත.
21 ඉතිරි අය, එනම් යාකොබ්ගේ ඉතිරි අය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේ වෙතට හැරී එනවා ඇත.
22 මක්නිසාද, ඉශ්‍රායෙල්, නුඹේ සෙනඟ මුහුදේ වැලි මෙන් වුණත්, ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් හැරී එනවා ඇත. දිව්‍ය සාධාරණකම හොඳ හැටි දක්වන්නාවූ නාස්තියක් නියමකර තිබේ.
23 එසේය, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මුළු පොළොවෙහි නිශ්චිත නිෂ්ඨාවක් සිද්ධකරනවා ඇත.
24 එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක්: සියොන්හි වසන මාගේ සෙනඟෙනි, අෂූරියයා පොල්ලෙන් නුඹට ගසා, මිසරය කළාක්මෙන් තමාගේ සැරයටිය නුඹට විරුද්ධව ඔසවන නුමුත්, ඔහුට භය නොවන්න.
25 මක්නිසාද තව ඉතා ස්වල්ප කලකින් කෝපය හා මාගේ උදහස ඔවුන් විනාශකිරීමෙන් සම්පූර්ණවන්නේය.
26 සේනාවල ස්වාමීන්වහන්සේ ඕරෙබ් පර්වතය ළඟදී මිදියන් මරාදැමූ ලෙස, ඔහුට විරුද්ධව ‍කසයක්* ඔසවා තමන්ගේ සැරයටිය මුහුදට උඩින් තබනවා ඇත, මිසරයේදී කළාක් මෙන් එය ඔසවනවා ඇත. (* එනම්, විනාශකාරයෙක් නැගුටුවා)
27 තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.
28 ඔහු අයාතට පැමිණ මිගේ‍රා‍්න මැදින් ගියේය; මික්මාෂ්හි ඔහු තමාගේ බඩු තබන්නේය.
29 ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.
30 ගල්ලීම් දියණියෙනි, නුඹේ හඬ නඟා මොරගසන්න! ලයිෂා, ඇහුම්කන්දෙන්න! අනේ අසරණ අනතොත්!
31 මද්මේනා පලාගියේය; ගේබිම් වැසියෝ පලායන්ට රැස්වෙති.
32 ඔහු අද දවසේම නොබ්හි රඳන්නේය. ඔහු යෙරුසලම් හෙල වන සියොන් දුවගේ කන්දට විරුද්ධව තමාගේ අත සොලවන්නේය.
33 බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ භයංකරකමින් අතු කපාදමනසේක. උසින් උසස්වූ ඒවා කපනු ලබන්නේය, උඩඟු ඒවාද පහත්කරනු ලබන්නේය.
34 උන්වහන්සේ කැලෑවේ අකුල් යකඩෙන් කපාදමනසේක, ලෙබනොන්ද බලවන්තයෙක් කරණකොටගෙන වැටෙන්නේය.



පරිච්ඡේදය 11

1 තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵලදරන්නේය.
2 ස්වාමීන්වහන්සේගේ ආත්මය, එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේ ආත්මයද, උන්වහන්සේ කෙරේ පිහිටන්නේය.
3 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය වන්නේය; උන්වහන්සේ තමන් ඇසට පෙනෙන හැටියට නිශ්චයකරන්නේවත් තමන්ගේ කනට ඇසෙන හැටියට නිශ්චයකරන්නේවත් නැතුව,
4 ධර්මිෂ්ඨකමෙන් දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් නිශ්චයකරනසේක. ස්වකීය මුඛය නැමති යෂ්ටියෙන් පොළොවට පහරදී, තමන්ගේ තොල්වල හුස්මෙන් දුෂ්ටයන් මරනසේක.
5 ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ ඉඟපටියද විශ්වාසකම උන්වහන්සේගේ බඳපටියද වන්නේය.
6 වෘකයා බැටළුපැටවා සමඟ වාසයකරන්නේය, දිවියාද එළුපැටවා සමඟ ලගින්නේය; වස්සාද තරුණ සිංහයාද තර සතාද එක්ව සිටින්නෝය; කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය.
7 එළදෙනත් වලසාත් එක්ව තෘණ කන්නෝය; උන්ගේ පැටවුද එක්ව ලගින්නෝය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය.
8 කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය, කිරිවැරූ දරුවා පොළඟාගේ ගුල පිට තමාගේ අත තබන්නේය.
9 මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.
10 තවද ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නාවූ, යෙස්සේගේ රිකිල්ලවූ උන්වහන්සේ වෙතට ජාතීහු රැස්වන්නෝය; උන්වහන්සේගේ නිවාසස්ථානයද තේජවත් වන්නේය.
11 තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.
12 උන්වහන්සේ ජාතීන්ට කොඩියක් ඔසවා, පන්වනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් රැස්කර, විසුරුවනු ලැබූ යූදාවරුන් පොළොවේ සතර කොනින් එකතුකරනසේක.
13 එප්‍රායිම්ගේ ඊර්ෂ්‍යාව පහවයන්නේය, යූදාට හිංසාකරන්නෝ සිඳ දමනු ලබන්නෝය. එප්‍රායිම් යූදාට ඊර්ෂ්‍යාකරන්නේවත් යූදා එප්‍රායිම්ට හිංසාකරන්නේවත් නැත.
14 ඔව්හු ඉගිලී ගොස්, බටහිරෙන් පිලිස්තිවරුන්ගේ කර පිටට බසින්නෝය; ඔව්හු එක්ව පෙරදිග වැසියන්ගෙන් කොල්ලකා, තමුන්ගේ අත ඒදොම් සහ මෝවබ් පිටට දිගුකරන්නෝය; අම්මොන් පුත්‍රයෝද ඔවුන්ට කීකරුවන්නෝය.
15 ස්වාමීන්වහන්සේ මිසර මුහුදේ ‍අත්ත* සහමුලින්ම නැතිකර දමනසේක; උන්වහන්සේ තමන් බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිඟුකොට, මනුෂ්‍යයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩවෙන්ට පුළුවන්වන ලෙස දිය පාර සතකට බෙදීයන්ට ඊට ගසනසේක. (* හෙවත්, වරාය)
16 ඉශ්‍රායෙල් මිසර දේශයෙන් ආ දවසේදී මෙන් අෂූරෙන් ඉතුරුවන්නාවූ උන්වහන්සේගේ සෙනඟට මහ මාවතක් වන්නේය.



පරිච්ඡේදය 12

1 ඒ දවසෙහි නුඹ කථාකොට: ස්වාමීන්වහන්ස, ඔබට ස්තුති කරමි; මක්නිසාද ඔබ මා කෙරෙහි උදහස්ව සිටිය නුමුත් ඔබගේ උදහස පහවගියේය, ඔබ මා සනසනසේක.
2 බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමීවූ යෙහෝවඃවහන්සේමගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.
3 එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.
4 ඒ දවසෙහි නුඹලා කථාකොට: ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්න, උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, උන්වහන්සේගේ නාමය උසස් බව සඳහන්කරන්න.
5 ස්වාමීන්වහන්සේට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවයි කියන්නහුය.
6 එම්බා සියොන් වැසිය, ශබ්ද පවත්වා මොරගසන්න; මක්නිසාද නුඹ මධ්‍යයෙහි ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උතුම්ව සිටිනසේක.



පරිච්ඡේදය 13

1 ආමොස්ගේ පුත්‍රවූ යෙසායාට බබිලොන් ගැන එළිදරව්වූ දිව්‍ය ප්‍රකාශනයය.
2 උත්තමයන්ගේ දොරටුවලට ඇතුල් වන පිණිස ගස් නැති කන්දක් උඩ කොඩියක් ඔසවන්න, ශබ්දනගා ඔවුන්ට හඬගසන්න, අත වනන්න.
3 මාගේ කැපවූවන්ට මම අණ කෙළෙමි, එසේය, උඩඟුව ප්‍රීතිමත්වන්නාවූ මාගේ බලවන්තයන්ට මාගේ උදහස සඳහා අඬගැසීමි.
4 මහත් සෙනඟක ඝෝෂාව මෙන් සමූහයක ඝෝෂාවක් කඳුවල ඇත්තේය. ඒ රැස්වූ ජාතීන්ගේ රාජ්‍යවල කෝලාහල ඝෝෂාවය! සේනාවල ස්වාමීන්වහන්සේ සටනට සේනාව එක්කරනසේක.
5 ස්වාමීන්වහන්සේ සහ උන්වහන්සේගේ උදහසේ ආයුධ වන ඔව්හු මුළු දේශය වනසන්ට දුර දේශයකින් අහසේ කෙළවර සිට එති.
6 මොරගසා වැලපෙන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ; එය සර්වපරාක්‍රමයාණන් විසින් එවන විනාශයක් මෙන් පැමිණෙයි.
7 එබැවින් සෑම අත් බෙලහීන වන්නේය, සියලු මනුෂ්‍යයන්ගේ සිත්ද දියවන්නේය.
8 ඔව්හු කැලඹෙන්නෝය; වේදනාද රුජාද අල්ලා ඔව්හු බිහිකරන ස්ත්‍රියෙකුමෙන් වේදනා විඳින්නෝය. ඔව්හු එකිනෙකා දෙස විස්මයෙන් බලන්නෝය; ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නෝය.
9 බලව, දේශය පාළුකර එහි සිටින පව්කාරයන් එයින් නැතිකර දමන පිණිස ස්වාමීන්වහන්සේගේ දවස රෞද්‍රව, කෝපය හා බලවත් උදහස ඇතුව එන්නේය.
10 මක්නිසාද අහසේ තාරකාද ග්‍රහ පංක්තිද ඒවායේ එළිය නොදෙන්නෝය. ඉර ස්වකීය ගමනේදී අඳුරුවන්නේය, සඳද තමාගේ එළිය බැබළෙන්ට නොදෙන්නේය.
11 මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම නිසාත් දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම නිසාත් දඬුවම්කරන්නෙමි; උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලාත්කාරකරන්නන්ගේ ආඩම්බරය පහත්කරන්නෙමි.
12 මම මනුෂ්‍යයෙකු අමිශ්‍ර රනට වඩා එනම් ඕපීර්හි පවිත්‍ර රත්රන්වලට වඩා දුර්ලභවන්ට සලස්වන්නෙමි.
13 එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේගේ කෝපයේදීද උන්වහන්සේගේ තද උදහස් දවසේදීද මම අහස චංචලකරන්නෙමි, පොළොවද එහි ස්ථානයෙන් සෙලවී පහවයන්නේය.
14 එවිට එළවනලද තිත් මුවෙකු මෙන්ද කවුරුවත් එක්කර නොගන්නාවූ බැටළුවන් මෙන්ද ඔවුන් එකිනෙකා තම තමාගේ සෙනඟ වෙතට හැරී, තම තමාගේ දේශයට පලායනවා ඇත.
15 සම්බවෙන එකිනෙකා ඇනුම් කනවා ඇත; අසුවෙන එකිනෙකා කඩුවෙන් වැටෙනවා ඇත.
16 ඔවුන්ගේ ළදරුවෝද ඔවුන්ගේ ඇස් ඉදිරියේදී බිම ගසා මරනු ලබන්නෝය; ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේය, ඔවුන්ගේ භාර්යාවෝ අවමන්කරනු ලබන්නෝය.
17 බලව, මම මේදවරුන් ඔවුන්ට විරුද්ධව පොළඹවන්නෙමි. ඔවුන් රිදී සලකන්නේවත් රනට ප්‍රියවෙන්නේවත් නැත.
18 ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලිකරන්නෝය; ඔව්හු ගර්භයේ ඵලයට අනුකම්පා නොකරන්නෝය; ඔවුන්ගේ ඇස දරුවන්ට කරුණා නොකරන්නේය.
19 මෙසේ රාජ්‍යවල අලංකාරයද කල්දිවරුන්ගේ උඩඟුකමේ තේජසද වූ බබිලෝනීය දෙවියන්වහන්සේ විසින් නාස්තිකළ සොදොමටද ගොමොරාවටද සමානවන්නේය.
20 එහි කවදාවත් වැසියෙක් නොවන්නේය, පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය. අරාබියයා එහි තමාගේ කුඩාරම තබාගන්නේවත් එඬේරු තමුන්ගේ බැටළුවන් එහි ලග්ගවන්නේවත් නැත.
21 වන මෘගයන් එහි ලගිනවා ඇත; ඔවුන්ගේ ගෙවල් විලාප හඬදෙන සතුන්ගෙන් පිරෙනවා ඇත; පැස්බරුන් එහි වසනවා ඇත. වල් එළුවන්ද එහි නටනවා ඇත.
22 වෘකයන් ඔවුන්ගේ මාළිගාවලත් සිවලුන් ඔවුන්ගේ සැප මාළිගාවලත් කෑගසනවා ඇත. ඇගේ කාලය පැමිණෙන්ට ළඟය, ඇගේ දවස් ප්‍රමාද නොවන්නේය.



පරිච්ඡේදය 14

1 මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්‍රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය.
2 ජාතීහු ඔවුන් කැඳවාගන ඔවුන්ගේ ස්ථානයට ඔවුන් ගෙනෙන්නෝය. ඉශ්‍රායෙල් වංශයද ස්වාමීන්වහන්සේගේ දේශයේදී ඔවුන් දාසයන්ද දාසීන්ද කොට උරුමකරගන්නෝය. ඔව්හු තමුන්ව වාලට ගත් අය වාලට ගෙන, තමුන්ගේ පීඩාකාරයන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.
3 නුඹේ දුකෙනුත් නුඹේ කැලඹීමෙනුත් නුඹ ලවා කෙරෙවු බර වැඩෙනුත් ස්වාමීන්වහන්සේ නුඹට නිදහස දෙන දවසේදී,
4 නුඹ බබිලෝනියේ රජුට විරුද්ධව මේ උපමාව කියන්නෙහිය: අහෝ පීඩාකාරයා නැවතුණු හැටි! රන් නුවර නැවතුණු හැටි!
5 ජනයන්ට නිරන්තර පහරකින් කෝපයෙන් ගැසුවාවූද, කිසිවෙකු විසින් නොවැලැක්වූ පීඩාවකින් උදහසින් ජාතීන් ආණ්ඩුකළාවූද
6 දුෂ්ටයන්ගේ මුගුරත් ආණ්ඩුකාරයන්ගේ යෂ්ටියත් ස්වාමීන්වහන්සේ බිඳ දැමූසේක.
7 මුළු පොළොව නිෂ්කලංකව නිශ්චලව තිබේ; මනුෂ්‍යයෝ ගී කියමින් මොරගසති.
8 එසේය, දේවදාර ගස්ද ලෙබනොන්හි කිහිරි ගස්ද කථාකොට: නුඹ හෙළනු ලැබූ තැන් පටන් අප කපාදමන්ට කිසිවෙක් නැගී නායේයයි කියමින් නුඹ ගැන ප්‍රීතිවන්නෝය.
9 යට තිබෙන පාතාලය නුඹේ ඊමේදී පෙරමගට එන්ට නුඹ නිසා චංචලවේ; එම මළවුන්, එනම් පොළොවේ සියලු ප්‍රධානීන්, නුඹ නිසා පුබුදුවයි; එය ජාතීන්ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටෙවුවේය.
10 ඔවුන් සියල්ලෝ නුඹට කථාකොට: නුඹත් අප මෙන් බෙලහීනවූයෙහිද? නුඹ අප හා සමානවූයෙහිදැයි කියන්නෝය.
11 නුඹේ ඓශ්වර්යයද නුඹේ වීණාවල ශබ්දයද පාතාලයට බැසආවේය, නුඹ යට ඇතිරී ඇත්තේ පණුවාය, නුඹ වසාගන්නෙත් පණුවෝය.
12 දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි!
13 නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි.
14 මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය.
15 එහෙත් නුඹ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත.
16 නුඹ දකින්නෝ නුඹ දෙස ඕනෑකමින් බලමින් කල්පනාකොට: පොළොව වෙවුලවා රාජ්‍යයන් සෙලෙවුවාවූ,
17 ලෝකය කාන්තාරයක් මෙන් කළාවූ, එහි නුවරවල් නාස්තිකළාවූ, තමාගේ හිරකාරයන් ගෙදරට යන්ට නෑරියාවූ මනුෂ්‍යයා මොහුදැයි කියන්නෝය.
18 ජාතීන්ගේ රජවරු සියල්ලෝම ගෞරවය ඇතුව එකිනෙකා තම තමාගේ ගෘහයෙහි සැතපී හිඳිති.
19 නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද නුඹේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය.
20 නුඹ නුඹේ දේශය නාස්තිකොට, නුඹේ සෙනඟ මරාදැමූ බැවින්, ඔවුන් සමඟ වළලනු නොලබන්නෙහිය; නපුර කරන්නන්ගේ වංශය කවදාවත් සඳහන්කරනු නොලබන්නේය.
21 ඔහුගේ පුත්‍රයන් නැගිට, දේශය හිමිකරගෙන, පොළෝතලය නුවරවලින් නොපුරවන පිණිස, ඔවුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසා ඔවුන් මරන්ට සෑදී සිටින්න.
22 සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: මම ඔවුන්ට විරුද්ධව නැගිටින්නෙමියි කියනසේක. බබිලෝනියෙන් නාම මාත්‍රයද ඉතිරි අයද දරුමුනුබුරන්ද සිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
23 මම ඒක ඉත්තෑවුන්ට උරුමයක්ද දිය පොකුණුද කරන්නෙමි. ඒක විනාශය නැමති මුස්නෙන් අතුගාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
24 සේනාවල ස්වාමීන්වහන්සේ දිවුරා කථාකොට: මා යෝජනාකළ ලෙසම සිදුවන්නේය; මා අදහස්කළ ලෙසම ස්ථිරවන්නේය.
25 එනම්, මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේයයි කීසේක.
26 මුළු පොළොව කෙරෙහි අදහස්කර තිබෙන අදහස මේය. සෑම ජාතීන් කෙරෙහි දිගුකර තිබෙන හස්තයත් මේය.
27 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ අදහස්කළසේක, එය අවලංගුකරන්නේ කවුද? උන්වහන්සේගේ අත දිගුකර තිබේ, එය ආපසු හරවන්නේ කවුද?
28 ආහාස් රජු මැරුණු අවුරුද්දේ මේ දිව්‍ය ප්‍රකාශනය විය.
29 අහෝ, මුළු පිලිස්තිය, නුඹට පහරදුන් අයගේ යෂ්ටිය කැඩී ගිය බැවින් ප්‍රීති නොවන්න. මක්නිසාද සර්පයාගේ මුලෙන් පොළඟෙක් නික්මෙන්නේය, උගේ ඵලය ඉගිලෙන ගිනි සර්පයෙක් වන්නේය.
30 දුප්පතුන්ගේ කුලුඳුලන්ට කෑම ලැබෙන්නේය, දිළින්දෝද සුවසේ නිදාගන්නෝය. මම සාගතයෙන් නුඹේ මුල නසන්නෙමි, එයින් නුඹේ ඉතිරි අයද නසනු ලබන්නෝය.
31 එම්බා දොරටුව, මොරගසව; එම්බා නුවර, කෑගසව; අහෝ මුළු පිලිස්තිය, නුඹ දියවී ගියෙහිය; මක්නිසාද උතුරෙන් දුමක් එන්නේය, ඔහුගේ කණ්ඩායම්වල යුද්ධ පිළිවෙළින් නොසිටින කෙනෙක් නැත්තේය.
32 එවිට ජාතියේ තානාපතියන්ට දිය යුතු උත්තරය කිමෙක්ද? ස්වාමීන්වහන්සේ සියොන් පිහිටුවා තිබේ, උන්වහන්සේගේ සෙනඟ අතරෙන් පීඩිත අය එහි ආරක්ෂාව ලබන්නෝය කියාය.



පරිච්ඡේදය 15

1 මෝවබ් ගැන දිව්‍ය ප්‍රකාශනයය.
2 අඬන පිණිස ඔහු ගෘහයටත් දීබොන්හි උස් තැන්වලටත් ගියේය. මෝවබ් වනාහි නෙබෝ සහ මේදෙබා ගැන කෑමොරගසයි. ඔවුන් සියල්ලන්ගේ ඉස් මුඩුකර තිබේ, සෑම රැවුල් කපා තිබේ.
3 තමුන්ගේ වීථිවල ඔව්හු ගෝණිරෙදි හැඳ ඉඳිති. ඔවුන් සෑමදෙනම තමුන්ගේ පියසි උඩද එළිමහන් ඉඩම්වලද බොහෝකොට අඬා කෑමොරගසති.
4 හෙෂ්බොන්ද එලෙයාලේද කෑගසති; ඔවුන්ගේ හඬ යාහශ් දක්වා ඇසෙයි. ඒ නිසා මෝවබ්හි යුද්ධකාරයෝ ඝෝෂාකරති; එක් එක්කෙනාගේ ආත්මය ඔහු තුළ කැළඹෙයි.
5 මාගේ සිත මෝවබ් නිසා කෑගසයි; ඇගේ උත්තමයෝ ශෝවාර්ටත් එග්ලත්-ෂෙලිෂියටත් පලා යති. මක්නිසාද ඔව්හු අඬ අඬා ලූහිත්හි ගොඩැල්ලෙන් නැගී යති; එසේය, හොරොනායිම් මාර්ගයේදී ඔව්හු විනාශයේ ඝෝෂාවක් පවත්වති.
6 තවද නිම්රිම්හි ජලවල් සිඳී පාළුවන්නේය. එසේය, තෘණ මැළවී අමු තෘණ නැතිවී තිබේ, අමුවූ කිසිවක්ද නොතිබේ.
7 එබැවින් ඔව්හු සපයාගත් සම්පත්ද රැස්කර තබාගත් දේද නළාගස් ඔය ළඟට ගෙනයන්නෝය.
8 මක්නිසාද කෑගැසීම මෝවබ්හි සීමාව වටකරින්ම ගියේය; එහි කෑමොරගැසීම එග්ලයිම් දක්වාද එහි කෑමොරගැසීම බෙයෙර්-එලීම් දක්වාද ගියේය.
9 දීමොන්හි ජලවල් ලෙයින් පිරී තිබේ. මක්නිසාද දීමොන් පිටට තව විපත්ති පමුණුවන්නෙමි, ගැළවෙන මෝවබ්වරුන් පිටත් දේශයේ ඉතිරි අය පිටත් සිංහයෙකු පමුණුවන්නෙමි.



පරිච්ඡේදය 16

1 කාන්තාරය දෙස පිහිටා තිබෙන සේලා සිට සියොන් දුවගේ කන්දට, දේශයේ ආණ්ඩුකාරයාට, බැටළු පැටවුන් යවන්න.
2 මක්නිසාද මෝවබ්හි දූවරු මුළාව යන කුරුල්ලන්මෙන්, අත්හරිනලද පක්ෂි කැදැල්ලක්මෙන්, අර්නොන්හි තොටුපළවල සිටින්නෝය.
3 උපදෙස් දෙන්න, යුක්තිය කරන්න; ඉරමුදුන් වේලෙහිම නුඹේ සෙවණැල්ල රාත්‍රියට සමානකරන්න. නෙරපනලද්දවුන් සඟවාගන්න; පලාඑන තැනැත්තා පාවා නොදෙන්න.
4 නෙරපනලද්දාවූ මාගේ ජනයාට නුඹ සමඟ සිටින්ට ඉඩදෙන්න; මෝවබ්ට නුඹ කොල්ලකාරයා ඉදිරියෙන් ආවරණයක්වෙන්න. මක්නිසාද පැහැරගන්නා නැතිවිය, කොල්ලකෑම නවතියි, පීඩා කරන්නෝ දේශයෙන් විනාශකරනු ලබති.
5 මෙසේ සිංහාසනයක් කරුණාවෙන් පිහිටෙන්නේය, ඒ පිට දාවිත්ගේ කූඩාරමෙහි කෙනෙක් සැබෑකමෙන් සැරහී හිඳ, විනිශ්චයකර, යුක්තිය පවත්වා, ධර්මිෂ්ඨකම ඉෂ්ටකරන්ට යුහුවන්නේය.
6 ඉතා උඩඟුවූ මෝවබ්ගේ උඩඟුකමද ඔහුගේ උදාරම්කමද ඔහුගේ ආඩම්බරයද ඔහුගේ උදහසද ගැන ඇසීමුව, ඔහුගේ පාරට්ටුකිරීම් හිස්ය.
7 එබැවින් මෝවබ්වරු මෝවබ් නිසා කෑමොරගසන්නෝය. සියල්ලෝම කෑමොරගසන්නෝය. කීර්-හරෙසෙත්හි මිදිපල කැවිලි නිසා නුඹලා වැලපෙන්නහුය, ඒක මුළුමනින්ම පහර ලැබුවේය.
8 මක්නිසාද හෙෂ්බොන්හි කෙත්ද සිබ්මාහි මිදිවැල්ද මැළවේ; ජාතීන්ගේ ස්වාමීහු එහි හොඳ වැල් කඩාදැමුවෝය; ඒවා යාසෙර් දක්වා විහිදී, කාන්තාරයෙහි එහා මෙහා ගියේය; එහි අතුද විහිදී, මුහුදෙන් එතරට ගියේය.
9 එබැවින් යාසෙර් අඬන්නාක්මෙන් මම සිබ්මාහි මිදිවැල ගැන අඬන්නෙමි. අනේ, හෙෂ්බොන් සහ එලෙයාලේ, නුඹලා මාගේ කඳුළුවලින් තෙමන්නෙමි. මක්නිසාද නුඹේ නියඟ කාලයේ ඵල පිටද අස්වැන්න පිටද යුද්ධ ඝෝෂාව පැමිණෙන්නේය.
10 සාරවත් කෙතෙන් සතුටද ප්‍රීතියද පහකරනලද්දේය; මිදිවතුවල කවිකීමවත් ප්‍රීති ඝෝෂාවවත් නොවන්නේය. කිසි මඩින්නෙක් මිදිපැස්වල මුද්‍රිකඵල මැඩ නොගන්නේය; මම මිදිඵල නෙළීමේ ප්‍රීති ඝෝෂාව නැවැත්වීමි.
11 එහෙයින් මෝවබ් ගැන මාගේ අතුණුද කීර්-හෙරෙස් ගැන මාගේ හෘදයද වීණාවක්මෙන් ශබ්ද දෙන්නේය.
12 තවද මෝවබ් උසස්ථානයෙහි පෙනී, වෙහෙසවී, යාච්ඤාකරන්ට තමාගේ ශුද්ධස්ථානයට ඇතුල්වූ කල්හි ඔහුට පිහිට නොලැබේ.
13 ස්වාමීන්වහන්සේ මෝවබ් ගැන පළමු කී වචනය මේය.
14 නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තුන් අවුරුද්දකින් මෝවබ්ගේ ඉසුරුමත්කම ඔහුගේ මහත් සමූහයා ඇතුළුව නීචකමට පැමිණෙනවා ඇත; ඉතිරිවෙන්නේ ඉතා ස්වල්පවූ දුර්වලවූ කොටසක්යයි කීසේක.



පරිච්ඡේදය 17

1 දමස්කය ගැන දිව්‍ය ප්‍රකාශනයය.
2 අරොයෙර්හි නුවරවල් අත්හරිනලද්දේය. ඒවා වනාහි කිසිවෙකුගෙන් භයක් නොලැබ ලගින එළු බැටළු රැළවලටය.
3 එප්‍රායිම්ගෙන් බලකොටුවද දමස්කයෙන් රජකමද සිරියෙන් ඉතිරි කොටසද පහවන්නේය; ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ තේජස මෙන් වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
4 ඒ දවසෙහි යාකොබ්ගේ තේජස හීනවන්නේය, ඔහුගේ මාංසයේ තරකමද ක්ෂයවන්නේය.
5 තවද ගොයම් කපන්නා ගොයම් එකතුකොට තමාගේ අතින් කරල් කපන්නාක්මෙන්ද රෙපාවරුන්ගේ මිටියාවතෙහි යමෙක් ගොයම් කරල් ඇහිඳගන්නාක්මෙන්ද සිදුවන්නේය.
6 නුමුත් ඔලීව ගසක් සොලවන කල ඉහළ මුදුන් අත්තේ ගෙඩි දෙකක් තුනක්ද ඵල ඇති ගහේ එහාම අතුවල ගෙඩි හතරක් පහක්ද ඉතිරිවෙන්නාක් මෙන් එහි ස්වල්ප දෙනෙක් ඉතිරිවන්නේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
7 ඒ දවසෙහි මනුෂ්‍යයෙක් තමාගේ අත් වැඩය වන පූජාසන දෙස බලා නොසිට, තමාගේ ඇඟිලිවලින් සෑදූ දේ වන අෂේරා කණුවත් සූර්ය රූපවත් නොසලකා,
8 තමාගේ මැවුම්කාරයාණන් දෙස බලන්නේය, ඔහුගේ ඇස්ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙසට හැරෙන්නේය.
9 ඒ දවසෙහි ඔහුගේ සවි ඇති නුවරවල් කැලෑවෙහිද කඳුමුදුන්වලද ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් අත්හැරීගිය ඉඩම්මෙන් වී, පාළුවක් වන්නේය.
10 මක්නිසාද නුඹ නුඹේ ආරක්ෂා පර්වතය සිහිනොකර, නුඹේ ගැළවීමේ දෙවියන්වහන්සේ මතක නැතිකෙළෙහිය; එබැවින් නුඹ ප්‍රියකරු ගස් පංක්ති හිටවන්නෙහිය; අන්‍ය පැළෑටිද එහිම වවන්නෙහිය.
11 නුඹ හිටවන දවසේදී වැට බඳින්නෙහිය, උදය නුඹේ පැළෑටි ලියල වන්නෙහිය. එහෙත් ශෝකය සහ තද දුකේ දවසක් පැමිණ අස්වැන්න පහවීයන්නේය.
12 අන්න, බොහෝ ජනසමූහයන්ගේ ඝෝෂාවක්! මුහුදුවල ඝෝෂාව මෙන් ඔව්හු ඝෝෂාකරති; ජාතීන්ගේ ගර්ජනාවක්ද ඇසෙන්නේය, බොහෝ ජලවල ගර්ජනාව මෙන් ඔව්හු ගර්ජනාකරති.
13 ජාතීන් බොහෝ ජලවල ගර්ජනාව මෙන් ගර්ජනාකරන නුමුත් උන්වහන්සේ ඔවුන්ට සැරකරනසේක, ඔව්හු ඈතට පලාගොස් කඳුවල තිබෙන බොල් හුළඟටත් රොඩු සුළිහුළඟටත් ගහගනයන්නාක්මෙන් පන්නාදමනු ලබන්නෝය.
14 බලව, සවස් වේලේ භීතියක්ය; පහන්වන්ට පළමුවෙන් ඔව්හු නැත. අප නාස්තිකරන්නන්ගේ කොටසද අපෙන් කොල්ලකන්නන්ගේ විපාකයද ඒකය.



පරිච්ඡේදය 18

1 එම්බා සේනා පියාපත්වල ශබ්ද ඇත්තාවූ, කූෂ් දේශයේ ගංගාවලට එගොඩින් සිටින්නාවූ,
2 මුහුදෙන්ද ජල පිට පන් නැව්වලින්ද තානාපතියන් අරින්නාවූ දේශක්කාරයෙනි, ශීඝ්‍ර පණිවුඩකාරයෝවූ නුඹලා, උස්වූ සිනිඳුවූ ජාතියක්ව, මුල පටන් මේ දක්වා භයානක සෙනඟක්ව, මනින්නාවූ, පාගාදමන්නාවූ, ගංගාවලින් බෙදී තිබෙන දේශයක් ඇත්තාවූ ජාතියක්ව සිටින තැනැත්තන් ළඟට යන්න.
3 ලෝකයේ වැසියෝද පොළොවෙහි වාසයකරන්නෝද යන සියල්ලෙනි, කඳු පිට කොඩියක් ඔසවන විට බලන්න; හොරණෑව පිඹින විට අසන්න.
4 මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම අව්වෙහි ඇති තද උෂ්ණය මෙන්ද ගොයම් කපන කාලයෙහි පිනි වලාකුළක් මෙන්ද මාගේ වාසස්ථානයෙහි නිශ්චලව බලාසිටින්නෙමියි කීසේක.
5 එසේය, කපන කාලයට පළමුවෙන් වැඩීම තීන්දුවී මල්වලින් ඵල සෑදී ඉදෙන විට, උන්වහන්සේද කැතිවලින් රිකිලි කපාදමා අතුත් කපා පහකරනවා ඇත.
6 ඒවා කඳුවල ගිජු පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් එකසේ අත්හරිනු ලබන්නේය. ඒවා අතරෙහි පක්ෂීහු ග්‍රීෂ්ම කාලයද ඒවා අතරෙහි පොළොවේ සියලු මෘගයෝ ශීත කාලයද පසුකරන්නෝය.
7 ඒ කාලයෙහි උස්වූ සිනිඳුවූ සෙනඟක්ව, මුලපටන් මේ දක්වා භයානක සෙනඟක්ව, මනින්නාවූ, පාගාදමන්නාවූ, ගංගාවලින් බෙදී තිබෙන දේශයක් ඇත්තාවූ ජාතියක්ව සිටින තැනැත්තන්ගෙන් සේනාවල ස්වාමීන්වහන්සේගේ නාම-ස්ථානය වන සියොන් කන්දට සේනාවල ස්වාමීන්වහන්සේ වෙතට තෑග්ගක් ගෙනෙනු ලබන්නේය.



පරිච්ඡේදය 19

1 මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය.
2 එකිනෙකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ යහළුවාටත් විරුද්ධවද නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධවද යුද්ධකරන ලෙස මම මිසරය මිසරයටම විරුද්ධව පොළඹවන්නෙමි.
3 මිසරවරුන්ගේ ආත්මයද ඔවුන් තුළ හිස්වන්නේය; මම ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්නෙමි. ඔවුන් පිළිමවලින්ද මතුරන්නන්ගෙන්ද ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරනවා ඇත.
4 මම මිසරවරුන් කෲර ස්වාමියෙකුගේ අතට භාරදෙන්නෙමි; බලාත්කාරවූ රජෙක් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.
5 මුහුදෙන් ජලය පහවන්නේය, ගංගාවද හිදී වියළෙන්නේය.
6 ගංගා ගඳගසයි; මිසරයේ ඔයවල් හිස්වී සිඳීයයි. බටගස්ද පන්ද මැළවෙයි.
7 නයිල් ගඟ ළඟත් ගංගාව අසබඩත් තිබෙන පිට්ටනිද ගංගාව ළඟ වපුරන සියල්ලද වේළී පහවී නැතිවන්නේය. මසුන් අල්ලන්නෝ වැලපෙන්නෝය,
8 නයිල් ගඟේ බිළිබාන සියල්ලෝ ශෝකවන්නෝය, ජලය පිට දැල් හෙළන්නෝද මලානිකවන්නෝය.
9 තවද හණ පීරන කර්මාන්තකාරයෝද සුදු රෙදිවියන්නෝද ලජ්ජාවට පත්වන්නෝය.
10 එහි කුලුනු කඩාදමනු ලබන්නේය, කුලියට වැඩකරන සියල්ලෝ ශෝක සිත් ඇති වන්නෝය.
11 ශොවන්හි අධිපතීහු මහා අඥානයෝය; ඵාරාවෝගේ ඉතා ප්‍රඥාවන්ත මන්ත්‍රීන්ගේ මන්ත්‍රණය මෝඩවී තිබේ. මම ප්‍රඥාවන්තයන්ගේ පුත්‍රයෙක්ව පුරාතන රජවරුන්ගේ පුත්‍රයෙක්ව සිටිමියි නුඹලා ඵාරාවෝට කියන්නේ කොහොමද?
12 ඉතින් නුඹේ ප්‍රඥාවන්තයෝ කොතැනද? සේනාවල ස්වාමීන්වහන්සේ මිසරය ගැන නියම කළේ කුමක්ද කියා ඔව්හු නුඹට දන්වත්වා; නොහොත් තුමූම දැනගනිත්වා.
13 ශොවන්හි අධිපතීහු අඥානයෝ වුණෝය, නොප්හි අධිපතීහු රැවටුණෝය; මිසරවරුන්ගේ ගෝත්‍රවල මූලිකයෝ ඔවුන් මුළාකෙරෙවුවෝය.
14 ස්වාමීන්වහන්සේ එහි මැද විකල් ආත්මයක් ආරූඪ කළසේක. ඔව්හුද බේබද්දෙක් තමාගේ වමනයකිරීමේදී මුළාවෙන්නාක්මෙන් මිසරවරුන් ඔවුන්ගේ සියලු ක්‍රියාවලදී මුළාකෙරෙවුවෝය.
15 හිසටවත් වල්ගයටවත් තල්අත්තටවත් පන්ගහටවත් මිසරය උදෙසා කළ හැකි කිසිවැඩක් නොවන්නේය.
16 ඒ දවසේ මිසරවරු ස්ත්‍රීන් මෙන් වී, සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව සොලවන උන්වහන්සේගේ, අතේ සෙලවීමට භයපත්වී, වෙවුලන්නෝය.
17 යූදා දේශය මිසරවරුන්ට භීතියක් වන්නේය, එය සඳහන්කරනවා අසන සියල්ලෝම සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව නියමකර තිබෙන නියමයට වෙවුලන්නෝය.
18 ඒ දවසෙහි කානාන් භාෂාව කථාකරන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේට දිවුරුම් දෙන්නාවූ නුවරවල් පහක් මිසර දේශයෙහි වන්නේය; එකකට විනාශයේ නුවරයයි කියනු ලබන්නේය.
19 ඒ දවසෙහි ස්වාමීන්වහන්සේට මිසර දේශය මැද පූජාසනයකුත් එහි සීමාව ළඟ ස්වාමීන්වහන්සේට කණුවකුත් වන්නේය.
20 තවද ඔවුන් පීඩාකාරයින් නිසා ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන විට උන්වහන්සේ බලවත් ගැළවුම්කාරයෙකු ඔවුන් වෙතට යවා ඔවුන් ගළවනවා ඇත. සේනාවල ස්වාමීන්වහන්සේ උදෙසා එය මිසර දේශයෙහි ලකුණක්ද සාක්ෂියක්ද වන්නේය.
21 ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට ප්‍රකාශවනසේක, මිසරවරු ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ඇඳිනගන යාගවලින්ද ආහාර පූජාවලින්ද නමස්කාරකරන්නෝය, ස්වාමීන්වහන්සේට භාරයක් වී එය ඉෂ්ටකරන්නෝය.
22 මෙසේ ස්වාමීන්වහන්සේ මිසරයට පහරදෙනසේක, පහරදී සුවකරනසේක; ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙනවා ඇත, උන්වහන්සේද ඔවුන්ගේ කන්නලව්ව පිළිගෙන, ඔවුන් සුවපත්කරනවා ඇත.
23 ඒ දවසෙහි මිසරයේ සිට අෂූර්ට මහ මාවතක් වන්නේය, අෂූරියයා මිසරයටත් මිසරයා අෂූර්ටත් පැමිණෙනවා ඇත; මිසරවරුද අෂූර්වරුන් සමඟ නමස්කාර කරන්නෝය.
24 ඒ දවසෙහි ඉශ්‍රායෙල් මිසරයද අෂූර්ද සමඟ තුන්වෙනිව සිට පොළාව මැද ආශීර්වාදයක් වන්නේය.
25 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: මාගේ සෙනඟවූ මිසරයටත් මාගේ හස්තකර්මාන්තයවූ අෂූර්ටත් මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ටත් ආශීර්වාදවේවයි කියා ඔවුන්ට ආශීර්වාදකළසේක.



පරිච්ඡේදය 20

1 අෂූර්හි රජවූ සර්ගොන් විසින් එවුවාවූ තර්තාන් අෂ්දෝද්ට ඇවිත් ඊට විරුද්ධව යුද්ධකොට අල්වාගත් අවුරුද්දේදී,
2 ස්වාමීන්වහන්සේ ආමොස්ගේ පුත්‍රවූ යෙසායා ලවා කථාකරමින්: නුඹ ගොස් නුඹේ ඉඟටියෙන් ගෝණි රෙද්ද මුදා නුඹේ පාදවලින් වහන් ගළවන්නැයි කීසේක. ඔහු එසේ කොට වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දේය.
3 ස්වාමීන්වහන්සේ කථාකොට: මාගේ මෙහෙකරුවූ යෙසායා තුන් අවුරුද්දක් මිසරය ගැනත් කූෂ් දේශය ගැනත් ලකුණක්ද පුදුමයක්ද වශයෙන් වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දාක්මෙන්,
4 අෂූර්හි රජ වාලට ගන්නාලද මිසරවරුන්ද පිටිවහල්ව සිටින කූෂ්වරුන්ද රැගෙන, වස්ත්‍ර හා වහන් නැතුව, ඔවුන්ගේ තට්ටම් නග්නව තිබෙද්දී, මිසරයට නින්දාවක් කොට ගෙනයනවා ඇත.
5 ඔව්හු තමුන්ගේ බලාපොරොත්තුව වන කූෂ් ගැනද තමුන්ගේ පාරට්ටුව වන මිසරය ගැනද කැලඹී ලජ්ජාවට පැමිණෙන්නෝය.
6 මේ මුහුදුබඩ වැසියෝ ඒ දවසෙහි කථාකොට: බලව, අෂූර්හි රජුගෙන් ගැළවෙන පිණිස පිහිට ලබන්ට අප පලාආවාවූ ස්ථානය වන අපේ බලාපොරොත්තුවට මෙසේ වූයේ නම් අපි කෙසේ ගැළවෙන්නෙමුදැයි කියනවා ඇතැයි කීසේක.



පරිච්ඡේදය 21

1 මුහුදු කාන්තාරය ගැන දිව්‍ය ප්‍රකාශනයය.
2 දුඃඛිත දර්ශනයක් මට ප්‍රකාශකරනලද්දේය; වංචාකාරයා වංචාකරන්නේය, නාස්තිකාරයා නාස්තිකරන්නේය. එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න; එහි සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි.
3 එබැවින් මාගේ ඉඟටිය වේදනාවෙන් පිරී තිබේ; බිහිකරන ස්ත්‍රියෙකුගේ විළිරුජා මෙන් රුජා මට අල්ලා තිබේ. කන් නොඇසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි; ඇස් නොපෙනෙන තරම් කැලඹී සිටිමි.
4 මාගේ සිත තිගැස්සිවන්නේය, භයංකරය මා භයගැන්නෙවුවේය. මා ආශාවූ සැන්දෑ කාලය මට වෙවුලුම වී තිබේ.
5 ඔව්හු මේසය සූදානම් කෙරෙති, මුර සිටුවති, කමින් බොමින් සිටිති. අධිපතිවරුනි, නැගිට පලිහ ආලේපකරන්න.
6 මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ ගොස් මුරකාරයෙක් සිටවන්න; ඔහු දකින දේ දන්වාවා.
7 ඔහු මෘගයන් පිට එනම් දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිටද කොටළුවන් පිටද මනුෂ්‍යයන් නැගී එනවා දකිනකල ඉතා ඕනෑකමින්ම ඇහුම්කන්දෙන්නේයයි කීසේක.
8 ඔහු සිංහයෙකු මෙන් මොරගසා: ස්වාමීන්වහන්ස, මම මුරකොටුව උඩ දවාලේ නිතරම සිටිමි, රෑ මුළුල්ලේත් මාගේ මුරපළේ සිටිමි,
9 අන්න, දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිට මනුෂ්‍යයෝ නැගී එතියි කීවේය. ඔහු උත්තරදෙමින්: බබිලෝනිය වැටුණාය, වැටුණාය; ඇගේ දෙවිවරුන්ගේ කැපූ රූප සියල්ලම කඩා බිමදමනලද්දේයයි කීවේය.
10 අහෝ, මඩිනු ලැබූ මාගේ සෙනඟෙනි, මාගේ පාවරේ දරුවෙනි, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගෙන් මා ඇසූ දේ මම නුඹලාට දැන්නුවෙමි.
11 දූමා ගැන දිව්‍ය ප්‍රකාශනයය.
12 මුරකාරයාද: පහන් වේලාව එන්නේය, රාත්‍රියත් එන්නේය. නුඹලා විභාගකරන්ට නම් කැමති නැවත ඇවිත් විභාගකරන්නැයි කීවේය.
13 අරාබිය ගැන දිව්‍ය ප්‍රකාශනයය.
14 තේමා දේශයේ වැසියෝ පිපාසා ඇත්තාගේ පෙරමගට වතුර ගෙනාවෝය, පලායන අය වෙතට කෑම රැගෙන ආවෝය.
15 මක්නිසාද ඔව්හු කඩු ඉදිරියෙන්ද ඇදගත් කඩුව ඉදිරියෙන්ද තැත්කැවූ දුන්න ඉදිරියෙන්ද යුද්ධයේ තදකම ඉදිරියෙන්ද පලාගියෝය.
16 මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තව අවුරුද්දකින් කේදාර්හි මුළු තේජස නැතිව යන්නේය.
17 කේදාර් පුත්‍රයන්ගේ බලවන්තයන්වූ දුනුකාරයන්ගේ ගණනෙන් ඉතිරි අය ස්වල්පවන්නෝය. මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේ වදාළසේකැයි කීවේය.



පරිච්ඡේදය 22

1 දර්ශන මිටියාවත ගැන දිව්‍ය ප්‍රකාශනයය.
2 නුඹ තුළ මැරුම්කෑ අය කඩුවෙන් මරනලද්දෝවත් සටනේදී මැරුණෝවත් නොවෙති.
3 නුඹේ සියලු අධිපතියෝ එක්ව පලාගිය නුමුත් දුනුකාරයන්ට අසුවුණෝය; දුරට පලාගියාවූ, නුඹ තුළ සම්බවුණු සියල්ලෝ අසුවුණෝය.
4 එබැවින්: මා කෙරෙන් ඉවත බලන්න. මම තද ශෝකයෙන් අඬන්නෙමි; මාගේ සෙනඟවූ දුවගේ නාස්තිය ගැන මා සනසන්ට වෑයම් නොකරන්නැයි කීමි.
5 මක්නිසාද ඒ දවස සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් වූ දර්ශන මිටියාවතෙහි කැලඹීමේද පාගාදැමීමේද වියවුලේද දවසක්ය; පවුරු බිඳ දැමීමක් හා කඳුවලට මොරගැසීමක්දවේ.
6 ඒලාම් වනාහි රථ සේනාවද අසරුවන්ද ඇතුව සිට ඊකොපුව දැරුවේය; කීර්ද පලිහෙන් වැස්ම ඇරියේය.
7 මෙසේ නුඹේ ඉතා හොඳ මිටියාවත් රථවලින් පිරී තිබුණේය, අසරුවෝද දොරටුව ඉදිරියෙහි සිටගත්තෝය.
8 යූදාගේ වැස්ම අහක්කරනලද්දේය, නුඹ ඒ දවසෙහි වනය නම් ගෘහයේ යුද්ධායුධ දෙස බැලුවෙහිය.
9 දාවිත්ගේ නුවර බිඳුම් බොහෝ බව නුඹලා දැක පහළ පොකුණේ දිය රැස්කළහුය.
10 යෙරුසලමේද ගෙවල් ගණන්කොට පවුර සවිකරන පිණිස ගෙවල් බිඳ හෙළූය.
11 පරණ පොකුණේ වතුරට පවුරු දෙක අතරේ ජලාශයක් සෑදුවහුය. එහෙත් ඒක කළ තැනන්වහන්සේ දෙස නුඹලා බැලුවේවත් මීට බොහෝ කලකට පළමුවෙන් ඒක තැනූ තැනන්වහන්සේ සැලකුවේවත් නැත.
12 ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ඇඬීමටත් වැලපීමටත් හිස මුඩුකරගන සිටීමටත් ගෝණිරෙදි ඇඳගැනීමටත් අඬගැසූසේක.
13 එහෙත් ප්‍රීති සන්තෝෂයත් ගොනුන් සහ බැටළුවන් මැරීමත් මස් කෑමත් මුද්‍රිකපානය බීමත් තිබේ. අපි කමු, බොමු, මක්නිසාද හෙට මියන්නෙමුයයි කියති.
14 සේනාවල ස්වාමීන්වහන්සේ මාගේ කනට එළිදරව් කරමින් කියනසේක්: නුඹලා නසිනතුරුම සැබවින් මේ අපරාධය නුඹලාගෙන් පහකරනු නොලබන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේකැයි වදාළසේක.
15 සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක්: ගෘහාධිපතිවූ ෂෙබ්නා නම්වූ මේ ගබඩාකාරයා ළඟට නුඹ ගොස් මෙසේ කියන්න,
16 එනම්: නුඹට මෙහි ඇතිකම මොකද? නුඹ මෙහි සොහොනක් කොටාගත්තේ මෙහි නුඹේ කවුරු සිටින නිසාද? උස්තැනක තමාට සොහොනක් කොටා ගන්නේය, පර්වතයෙහි තමාට වාසස්ථානයක් කපාගන්නේය!
17 බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ නුඹ හෙළාදමා, වැස්මකින් නුඹ වසා,
18 නුඹ අකුළා ගුළියක් කර, විශාල දේශයකට පන්දුවක්මෙන් සැබවින්ම නුඹ වීසිකරදමනසේක; එහිදී නුඹ නසින්නෙහිය, නුඹේ ස්වාමියාගේ වංශයේ ලජ්ජාවට හේතුවූ තැනැත්ත, එහිදී නුඹේ තේජසේ රථ තිබෙන්නේය.
19 මම නුඹේ නිලයෙන් නුඹ නෙරපාදමන්නෙමි, ඔහු නුඹේ ඉඩමෙන්ද නුඹ ඇද දමන්නේය.
20 තවද ඒ දවසෙහි හිල්කියාගේ පුත්‍රවූ මාගේ මෙහෙකරුවූ එලියාකීම් අඬගස්වා,
21 නුඹේ සළුව ඔහුට අඳවා, නුඹේ පටියෙන් ඔහු සවිකොට, නුඹේ ආණ්ඩුව ඔහු අතට භාරදෙන්නෙමි. ඔහු යෙරුසලමේ වැසියන්ටත් යූදා වංශයටත් පියෙක් වන්නේය.
22 දාවිත්ගේ වංශයේ යතුරද ඔහුගේ කර පිට තබන්නෙමි; කිසිවෙක් නොපියන ලෙස ඔහු අරින්නේය; කිසිවෙක් නාරින ලෙස ඔහු පියන්නේය.
23 මම සවි තැනක ඇණයක් මෙන් ඔහු පිහිටුවන්නෙමි; ඔහු වනාහි තමාගේ පිය වංශයට ඉසුරුමත් ආසනයක් පිණිස වන්නේය.
24 ඔහුගේ පියාගේ වංශයේ මුළු ඉසුරවූ වංශය සහ පෙළපතද පාත්‍රා භාජන පටන් කළගෙඩි දක්වා සියලු කුඩා භාජනද ඔහු පිට එල්ලා තබනවා ඇත.
25 ඒ දවසෙහි සවි තැනක පිහිටුවා තිබුණු ඇණය පහවන්නේය; එය කපා දමනු ලැබ වැටෙන්නේය, ඒ පිට තිබුණ බර සිඳදමනු ලබන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මක්නිසාද ස්වාමීන්වහන්සේ එසේ වදාළසේක.



පරිච්ඡේදය 23

1 තීර් ගැන දිව්‍ය ප්‍රකාශනයය.
2 මුහුදු බඩ වැසියෙනි, නිශ්ශබ්ද වෙන්න; මුහුදේ යාත්‍රාකරන ශීදොන් වෙළඳුන් විසින් නුඹ පූර්ණකොට තිබේ.
3 මහා ජලයන් කරණකොටගෙන ෂිහොර්හි බීජ වන නයිල් ගංගාවේ අස්වැන්න ඇගේ ආදායම විය; ඈ ජාතීන්ගේ වෙළඳාම්පළ වූවාය.
4 එම්බා ශීදොන්, ලජ්ජාවෙන්න; මක්නිසාද මුහුද, එනම් මුහුද බලකොටුව කථාකොට: මම බිහිකරන වේදනා නොවින්දෙමි, දරුවන් බිහිනොකළෙමි, තරුණයන් පෝෂ්‍ය නොකෙළෙමි, කන්‍යාවන් ඇති නොකෙළෙමියි කීවාය.
5 එය මිසරයට සැලවූ කල තීර්හි ආරංචිය ගැන ඔවුන්ට තද ශෝක ඇතිවන්නේය.
6 තර්ෂිෂ්ට යාත්‍රාකරන්න; මුහුදුබඩ වැසියෙනි, කෑමොරගසන්න.
7 පුරාණ කාලයේ සිට පවත්නාවූ, වාසය පිණිස බොහෝ දුර පයින් ගමන්ගත් නුඹලාගේ ප්‍රීතිමත් නුවර මේකද?
8 ඔටුනු පළඳ වන නුවරවූ තීර්ට විරුද්ධව මේක යෝජනාකළේ කවුද? ඇගේ වෙළෙන්දෝ අධිපතියෝය, ඇගේ ගනුදෙනුකාරයෝ පොළොවේ නම්බුකාරයෝය.
9 සියලු අලංකාරකම්වල උඩඟුකම කෙළහන්ටත් පොළොවේ සියලු නම්බුකාරයන් නින්දාවට පමුණුවන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ එය යෝජනාකළසේක.
10 එම්බා තර්ෂිෂ්හි දියණියෙනි, නයිල් ගංගාව මෙන් නුඹේ දේශයෙහි පැතිරෙන්න; නුඹ අවටින් බැම්මක් තවත් නැත.
11 උන්වහන්සේ තමන්ගේ හස්තය මුහුද කෙරෙහි දිගුකර රාජ්‍යයන් සෙල්වූසේක. කානාන්හි බලකොටු නැතිකරන ලෙස ස්වාමීන්වහන්සේ ඒ ගැන අණකළසේක.
12 බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක.
13 කල්දිවරුන්ගේ දේශය බලනු; ඒ සෙනඟ තවත් නැත. අෂූර්වරුන් විසින් ඒක වන මෘගයන්ට නියමකරනලද්දේය. ඔව්හු තමුන්ගේ බලකොටු ගොඩනගා, එහි මාළිගාවල් නාස්තිකරදමා, එය ජරාවාසයක් කළෝය.
14 තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න. මක්නිසාද නුඹලාගේ බලකොටුව නාස්තිවිය.
15 තවද ඒ දවසෙහි එක රජෙකුගේ දවස් මෙන් තීර් අවුරුදු සැත්තෑවක් මතක නැතිවන්නේය. අවුරුදු සැත්තෑවකට පසුව වේශ්‍යාවගේ ගීතිකාව මෙන් තීර්ට සිදුවන්නේය.
16 එම්බා මතකනැතිවුණු වේශ්‍යාව, වීණාවක් ගෙන නුවර ඇවිද, නුඹ ගැන මතක්වෙන පිණිස මිහිරි ගී නාද කොට, බොහෝසේ ගී කියන්න.
17 තවද අවුරුදු සැත්තෑවකට පසුව ස්වාමීන්වහන්සේ තීර් දෙස බලනසේක, ඈද තමාගේ කුලියට හැරී ඇවිත්, පොළෝ මතුපිට ලෝකයේ සියලු රාජ්‍යවල් සමඟ ගනුදෙනුකරනවා ඇත.
18 ඇගේ වෙළඳාමද කුලියද ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබේ. ඒවා නිධාන කරනු ලබන්නේවත් රැස්කරනු ලබන්නේවත් නැත; මක්නිසාද ඇගේ වෙළඳාම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වාසයකරන්නන්ට සෑහෙන පමණ කන පිණිසත් අලංකාර වස්ත්‍ර පිණිසත් වන්නේය.



පරිච්ඡේදය 24

1 බලව, ස්වාමීන්වහන්සේ පොළොව හිස්කොට පාළුකරනසේක, ඒක පෙරළා එහි වැසියන් විසුරුවාදමනසේක.
2 සෙනඟට මෙන් පූජකයාටත් වැඩකරුවාට මෙන් ඔහුගේ ස්වාමියාටත් වැඩකාරීට මෙන් ඇගේ ස්වාමිදුවටත් මිලේට ගන්නාට මෙන් විකුණන්නාටත් ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත් පොළීගන්නාට මෙන් පොළීදෙන්නාටත් සිදුවන්නේය.
3 පොළොව සහමුලින්ම හිස්කරනු ලැබ සහමුලින්ම කොල්ලයක් වන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ වචන වදාළසේක.
4 පොළොව වැලපී මලානිකවේ, ලෝකය ක්ලාන්තව මලානිකවේ, පොළොවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්තවෙති.
5 පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.
6 එබැවින් ශාපයෙන් පොළොව නාස්තිවී, එහි වැසියෝ වරදකාරයෝව සිටිති. ඒ නිසා මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරුවෙන හැටියට පොළෝ වැසියෝ දවනු ලැබ සිටිති.
7 අලුත් මිදියුස වැලපේ, මිදිවැල මැලවේ, සන්තෝෂ සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම්ලති.
8 රබන්වල ප්‍රීතිය නවතියි, ප්‍රීතිවන්නන්ගේ ඝෝෂාව අත්හිටියි, වීණාවේ ප්‍රීතිය නවතියි.
9 ඔවුන් ගී කිය කියා මිදිරස බොන්නේ නැත; මද්‍යපාන බොන්නන්ට ඒවා තික්තවන්නේය.
10 පාළුවූ නුවර කඩාදමා තිබේ. කිසිවෙක් ඇතුල් නොවන ලෙස සියලු ගෙවල් වසාතිබේ.
11 මුද්‍රිකපානය නිසා වීථිවල කෑගැසීමක් තිබේ; මුළු ප්‍රීතිය අඳුරුවී, දේශයේ සන්තෝෂය පහව ගියේය.
12 නුවර ඉතුරුව තිබෙන්නේ පාළුකමය, දොරටුව නාස්තිවන සේ පහර ලැබීය.
13 මක්නිසාද ඔලීව ගසක් සොලවන්නාක් මෙන්ද මිදිපල කඩා නිමවූ කල ඉතිරි මිදිපල නෙළාගන්නාක්මෙන්ද පොළොව මැද ජනයන් අතරේ සිදුවන්නේය.
14 මොව්හු හඬනගා ප්‍රීතියෙන් මොරගසා ස්වාමීන්වහන්සේගේ මහන්තත්වය නිසා මුහුදේ සිට ශබ්ද පවත්වන්නෝය.
15 එබැවින් නැගෙනහිර දිසාවලදී ස්වාමීන්වහන්සේටත් මුහුදේ දිවයින්වලදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයටත් ගෞරවකරන්න.
16 ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකා පොළොවේ කෙළවරේ සිට ඇසීමුව. එහෙත් මම කථාකොට: මම ක්ෂයවෙමි, මම ක්ෂයවෙමි, මට දුක්වේ! වංචාකාරයෝ වංචාකළෝය; එසේය, වංචාකාරයෝ බොහෝසෙයින් වංචාකළෝයයි කීමි.
17 එම්බා පොළෝ වැසිය, භයානකකමක්ද වළක්ද මළපතක්ද නුඹ පිට තිබේ.
18 තවද භය ඝෝෂාව නිසා පලායන්නා වළේ වැටෙන්නේය; වළෙන් ගොඩවෙන්නා මලපතට අසුවන්නේය. මක්නිසාද ඉහළ කවුළු ඇරී තිබේ, පොළොවේ අත්තිවාරම්ද සෙලවෙන්නේය.
19 පොළොව සහමුලින්ම කැඩී තිබේ, පොළොව එහෙම පිටින්ම දියවී තිබේ, පොළොව අතිශයින් කම්පාවේ.
20 පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබ මොබ සෙලවෙනවා ඇත; එහි අපරාධය එය කෙරෙහි බරව තිබෙන බැවින් ඒක වැටී තවත් නොනැගිටින්නේය.
21 ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ උසස්ථානයෙහි සිටින උත්තමයන්ගේ සේනාවටත් පොළොවේ සිටින පොළොවේ රජවරුන්ටත් දඬුවම්කරනසේක.
22 හිරකාරයන් වළක රැස්කර තබන්නාක්මෙන් ඔව්හු එකට හිරගෙයි වසාතබනු ලබන්නෝය, බොහෝ දවසකට පසු දඬුවම් ලබන්නෝය.
23 එකල චන්ද්‍රයා වියවුල්වන්නේය, සූර්යයා ලජ්ජාවන්නේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියෙහිද මහිමයෙන් රජකම්කරනසේක.



පරිච්ඡේදය 25

1 ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.
2 එසේය, ඔබ නුවරක් පස් ගොඩකටද බලකොටු නුවරක් ජරාවාස ගොඩකටද විදේශීන්ගේ මාළිගාවක් නුවරක් නොවන ලෙසද හැරෙවුසේක; ඒක කවදාවත් ගොඩනගනු නොලබන්නේය.
3 එබැවින් බලවත් සෙනඟ ඔබට ගෞරවකරන්නෝය, භයානක ජාතීන්ගේ නගරයද ඔබට භයවන්නේය.
4 මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක.
5 වියළි තැනක ග්‍රීෂ්මය මෙන් ඔබ අන් දේශක්කාරයන්ගේ ඝෝෂාව පහකරනසේක; වලාකුළක සෙවණ කරණකොටගෙන ග්‍රීෂ්මය පහවයන්නාක්මෙන් භයානකයන්ගේ ජයගීය යටත්කරනු ලැබේ.
6 සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.
7 උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැතිකරදමනසේක.
8 උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.‍
9 ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක. මේ තැනන්වහන්සේ ස්වාමීන්වහන්සේය; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමුව.
10 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය මේ කන්දෙහි රඳන්නේය, නුමුත් මෝවබ් කසළගොඩේ වතුරෙහි පිදුරු මඩින්නාක්මෙන් තමාගේ ඉඩමේ මඩිනු ලබන්නේය.
11 පීනන්නෙකු පීනන්ට අත් විදහන්නාක්මෙන් ඔහු එහි තමාගේ අත් විදහන්නේය; නුමුත් උන්වහන්සේ ඔහුගේ ආඩම්බරයත් ඔහුගේ අත්වල ප්‍රයෝගයත් පහත්කරදමනසේක.
12 උන්වහන්සේ නුඹේ පවුරුවල උස් බලකොටුව හෙළාදමා, පහත්කොට, බිමේ දූවිල්ලටම පමුණුවනසේක.



පරිච්ඡේදය 26

1 ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක.
2 විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න.
3 ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.
4 ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.
5 මක්නිසාද උන්වහන්සේ උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් හෙළාදැමූසේක. උන්වහන්සේ එය පහත්කරනසේක, බිමටම ඒක පහත්කර ධූලියටම පමුණුවනසේක.
6 පාදය ඒක පාගන්නේය; දිළිඳුන්ගේ පාදත් දුර්වලයන්ගේ අඩිත් ඒක පාගනවා ඇත.
7 ධර්මිෂ්ඨයාගේ මාර්ගය ඇදනැති මාර්ගයක්ය. සෘජුගුණාන්විතවූ තැනන්වහන්ස, ඔබවහන්සේ ධර්මිෂ්ඨයාගේ මාවත හසුරුවනසේක.
8 එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය.
9 මාගේ ආත්මයෙන් මම රාත්‍රියෙහි ඔබ කෙරෙහි ආශාවීමි; එසේය, මා තුළ මාගේ ආත්මයෙන් අලුයම ඔබ සොයන්නෙමි. මක්නිසාද ඔබගේ විනිශ්චයන් පොළොවේ ඇතිකල්හි ලෝ වැසියෝ ධර්මිෂ්ඨකම ඉගෙනගනිති.
10 දුෂ්ටයාට කරුණාව ලැබෙන නුමුත් ඔහු ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත; යුක්තිය ඇති දේශයෙහිත් ඔහු අපරාධ ක්‍රියාකරනවා ඇත, ඔහු ස්වාමීන්වහන්සේගේ මහන්තත්ත්වයද නොදක්නේය.
11 ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.
12 ස්වාමීන්වහන්ස, ඔබ අප උදෙසා සමාදානය ප්‍රදානයකරනසේක. මක්නිසාද අපේ සියලු කාරණාම ඔබ අප උදෙසා කරදුන්සේක.
13 අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඇර වෙන ස්වාමිවරු අප ආණ්ඩුකළෝය; නුමුත් අපි ඔබ සහ ඔබගේ නාමය පමණක් සඳහන්කරන්නෙමුව.
14 මළාවූ ඔව්හු ජීවත්නොවන්නෝය; නැසීගියාවූ ඔව්හු නොනැගිටින්නෝය. එසේය, ඔබ ඔවුන් විමසා බලා ඔවුන් විනාශකොට, ඔවුන් ගැන මුළු සිහිවීම නැති කළසේක.
15 ස්වාමීන්වහන්ස, ඔබ සෙනඟ වැඩිකළසේක, ඔබ සෙනඟ වැඩිකර ගෞරවය ලබාගත්සේක. ඔබ දේශයේ සියලු මායිම්ද විශාලකළසේක.
16 ස්වාමීන්වහන්ස, විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය.
17 ගර්භණියක් බිහිකරන්ට ළංවෙන විට විළිරුජාවෙන් මිරිකී කෑගසන්නාක්මෙන්, ස්වාමීන්වහන්ස, ඔබ ඉදිරියෙහි අපි සිටි-යෙමුව.
18 අපි ගර්භිණීව සිට වේදනා විඳිමින් හුළඟ බිහිකළාක්මෙන් බිහිකෙළමුව; දේශයෙහි කිසි මිදීමක් ඉෂ්ට නොකෙළෙමුව; ලෝවැසියෝද නොවැටුණෝය.
19 ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.
20 මාගේ සෙනඟ එන්න, නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගන, කෝපය පහවයන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න.
21 මක්නිසාද මෙන්න, ස්වාමීන්වහන්සේ, පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.



පරිච්ඡේදය 27

1 ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ තමන්ගේ තදවූ මහත්වූ බලවත්වූ කඩුවෙන් ශීඝ්‍ර සර්පයාවූ ලෙවියාතන්ටත් වක්වෙවීයන සර්පයාවූ ලෙවියාතන්ටත් දඬුවම්කර, මුහුදේ ඉන්න දීර්ඝයාද මරනසේක.
2 ඒ දවසෙහි ප්‍රියකරු මිදිවත්තක් ඇතිවේ,
3 ඒ ගැන ගීතිකාකරන්න. ස්වාමීන්වහන්සේ වන මම ඒක ආරක්ෂාකරමි; මොහොතින් මොහොත ඊට වතුර වත් කරන්නෙමි. කිසිවෙක් ඊට අන්තරා නොකරන ලෙස මම රෑ දාවල් ඒක ආරක්ෂාකරන්නෙමි.
4 මා තුළ කෝපය නැත. කටුගස්ද ගොකටුද මට විරුද්ධව යුද්ධයට සිටියොත් යහපති! මම ඒවා පාගා එකට දවාදමන්නෙමි.
5 නැතහොත් ඔහු මාගේ ශක්තිය අල්වාගෙන මා සමඟ සමාදාන වේවා; එසේය, ඔහු මා සමඟ සමාදාන වේවා.
6 මතු පැමිණෙන දවස්වල යාකොබ් මුල් අදින්නේය; ඉශ්‍රායෙල් මල්ගෙන දළුලන්නේය. ඔවුන් පොළෝතලය ඵලයෙන් පුරවනවා ඇත.
7 ඔහුට පහරදුන් අයට උන්වහන්සේ පහරදුන්නාක්මෙන් උන්වහන්සේ ඔහුටත් පහරදුන්සේක්ද? නොහොත් ඔවුන් මැරුම්කෑවා වාගේ ඔහු මැරුම් කෑවේද?
8 ඈ අහකට ඇරීමෙන් ඔබ මදක් ඈට දඬුවම්කරනසේක; පෙරදිගින් හුළඟ ගසන දවසේදී උන්වහන්සේ තමන්ගේ තද හුළඟින් ඈ පහකළසේක.
9 එබැවින් මෙයින් යාකොබ්ගේ අපරාධය මැකීයන්නේය, එහි මුළු ඵලය නම්, පූජාසනයේ සියලු ගල් පොඩිවුණ හුණුගල් මෙන් ඔහු විසින් කරන හැටියටත් අෂේරා කනුද සූර්ය රූපද තවත් නොනැගිටින හැටියටත් ඔහුගේ පාපය පහකිරීමය.
10 මක්නිසාද බලකොටු නුවර කාන්තාරය මෙන් පාළුවූ අත් අරිනලද නිවාසයක්ව, හුදකලාව තිබේ. වස්සා ඒකේ තෘණ කන්නේය, ඌ එහි ලැග ඒකේ අතු කන්නේය.
11 ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.
12 තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවේ සැඩපාරේ පටන් මිසරයේ ඔය දක්වා ඔහුගේ ඵල නෙළාගන්නාසේක. එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා එක් එක්කෙනෙක් පාසා රැස්කරනු ලබන්නහුය.
13 තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.



පරිච්ඡේදය 28

1 එප්‍රායිම් බේබද්දන්ගේ උදාරතර ඔටුන්නටත් මුද්‍රිකපානයට වසඟවෙන්නන්ගේ සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන එහි අලංකාර දීප්තිමත්කම වන පරවෙන මලටත් දුක් වේ!
2 බලව, ස්වාමීන්වහන්සේගේ බලවත්වූ සවිවූ කෙනෙක් සිටින්නේය; ගල්වැස්ස සහිත කුණාටුවක් මෙන්ද විනාශකරන හුළඟක් මෙන්ද ගලායන මහත් ජලගැලීමක් මෙන්ද ඔහු ඒවා අතින් බිමට හෙළන්නේය.
3 එප්‍රායිම්හි බේබද්දන්ගේ උදාරතර ඔටුන්න පයින් පාගාදමනු ලබන්නේය.
4 සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන අලංකාර දීප්තිමත්කම වන පරවෙන මල නියඟ කලට පෙර පළමුවෙන් ඉදෙන අත්තික්කා ගෙඩියක්මෙන් වන්නේය; ඒක දකින අය එය දුටුවාම අතට ගත් කෙණෙහිම ගිලගන්නේය.
5 ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ තමන්ගේ ඉතිරි සෙනඟට අලංකාර ඔටුන්නක්ද දීප්තිමත් කිරීටයක්ද,
6 විනිශ්චය කිරීමට හිඳින්නාට විනිශ්චයේ ආත්මයක්ද දොරටුව ළඟදී සටන ආපසු හරවන්නන්ට බලයද වනසේක.
7 එහෙත් මොව්හුද මුද්‍රිකපානය කරණකොටගෙන වැනි වැනී යති, සුරාපානය කරණකොටගෙන මුළාව යති; පූජකයාද අනාගතවක්තෘද සුරාපානය කරණකොටගෙන වැනි වැනී යති, මුද්‍රිකපානයෙහි ගිලී මද්‍යපානය කරණකොටගෙන මුළාව යති; ඔව්හු දර්ශනය වරද්දාගන විනිශ්චයේදී පැකිලෙති.
8 මක්නිසාද සියලුම මේස පවිත්‍ර තැනක් නැති තරමට වමනයෙනුත් කැත දෙයිනුත් පිරී තිබේ.
9 ‍උන්වහන්සේ දැනගැන්ම උගන්වන්නේ කාටද? පණිවිඩය තේරුම්කරදෙන්නේ කාටද? කිරි වැරූවන්ට සහ තනෙන් වෙන්වුණ දරුවන්ටද?
10 මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය.
11 එසේය, උන්වහන්සේ වියවුල් තොල්වලින්ද වෙන භාෂාවකින්ද මේ සෙනඟට කථාකරනවා ඇත.
12 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නිවාඩුව මේය, වෙහෙසවූ අයට නිවාඩු දෙන්න; නිෂ්කලංකයත් මේයයි කීසේක. එහෙත් ඔව්හු අසන්ට අකමැතිවූහ.
13 එබැවින් ඔවුන් ගොස් පස්සට වැටී පොඩිවී මලපතක වැටී අසුවෙන පිණිස: අණපිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය යන පිළිවෙළින් ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට වන්නේය.
14 එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.
15 අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.
16 ඒ නිසා ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය.
17 මම විනිශ්චය ලනුවද ධර්මිෂ්ඨකම ලඹයද කොට පාවිච්චිකරන්නෙමි. බොරුවේ රක්ෂාස්ථානය ගල් වර්ෂාවට පහවන්නේය, සැඟවෙන ඉඩමද වතුරට යටවන්නේය.
18 මරණය සමඟ තිබෙන නුඹලාගේ ගිවිසුම අවලංගුවන්නේය, පාතාලය සමඟ තිබෙන නුඹලාගේ පොරොන්දුව පවතින්නෙත් නැත; ගලාඑන විපත පැමිණෙන විට නුඹලා එයින් පාගාදමනු ලබන්නහුය.
19 එය එන එන විට නුඹලාව අල්ලාගන්නවා ඇත; මක්නිසාද උදයෙන් උදයද රෑ දාවල්ද එය එනවා ඇත. ඒ ආරංචිය තේරුම්ගැනීමම භීතියක්ව තිබෙයි.
20 මක්නිසාද යමෙකුට දිගාවීමට ඇඳ දිග මදිය; පෙරවාගැනීමට වැස්ම පළල මදිය.
21 එසේය, ස්වාමීන්වහන්සේ තමන්ගේ ක්‍රියාව වන තමන්ගේ අපූරු ක්‍රියාව කිරීමටත් තමන්ගේ වැඩය වන තමන්ගේ අපූරු වැඩය ඉෂ්ටකිරීමටත් පෙරාශීම් කන්දේදී මෙන් නැගිටිනසේක, ගිබියොන් මිටියාවෙත්දී මෙන් කෝපවනසේක.
22 ඒ නිසා නුඹලාගේ බැඳුම් තද නොවන පිණිස නින්දාකරන්නෝ නොවෙන්න. මක්නිසාද මුළු දේශයට විරුද්ධව විනාශයක් නියමකර තිබෙන බව මම සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේගෙන් ඇසීමි.
23 නුඹලා කන් යොමුකර මාගේ හඬ අසන්න; ඇහුම්කන්දී මාගේ වචන අසන්න.
24 හාන්නා වපුරන පිණිස සෑමදාම හාන්නේද? තොර නැතුව තමාගේ බිම හාරා පස්කැටි කඩන්නේද?
25 ඔහු බිම සමතලාකොට, කොල්ලු ඉස, දුරු වපුරා, තිරිඟු පේළි වශයෙන්ද යව ඊට නියම ඉඩමේද තණහාල් එහි මායිමේද හිටවනවා නොවේද?
26 මෙසේ ඔහුගේ දෙවියන්වහන්සේ හරි විධිය ඔහුට පෙන්වා ඔහුට උගන්වනසේක.
27 තවද කොල්ලු තියුණු යන්ත්‍රයකින් මඩින්නේවත් දුරු පිට රථ රෝදයක් කරකවන්නේවත් නැත; කොල්ලු ලීයකින්ද දුරු කෝටුවකින්ද මඩින්නේය.
28 රොටි-ධාන්‍ය අඹරනු ලබන්නේය; මක්නිසාද ඔහු ඒවා නිතරම තළ තළා නොසිටින්නේය. තමාගේ රථ රෝද සහ තමාගේ අශ්වයන් ඒවා පිට ගෙනගොස් ඒවා විසුරුවන නුමුත් ඒවා පොඩිකරවන්නේ නැත.
29 මේකත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි, උන්වහන්සේ මන්ත්‍රණයෙන් අපූරුව ප්‍රඥාවෙන් උතුම්ව සිටිනසේක.



පරිච්ඡේදය 29

1 දාවිත් අන්දායම් බැන්ද නුවරවන අරියෙල්, අරියෙල්, නුඹට දුක් වේ! අවුරුද්දට අවුරුද්ද එකතුකරන්න; නියම මංගල්‍ය පැමිණේවා.
2 එකල මම අරියෙල්ට විපත පමුණුවන්නෙමි, එකල්හි ශෝකය සහ වැලපීම වන්නේය. ඒකද මට අරියෙල් මෙන් වන්නේය.
3 මම නුඹට විරුද්ධව හාත්පසින් අන්දායම් බැඳ, කොටුවක් තනා, නුඹට විරුද්ධව ගොඩැලි සාදන්නෙමි.
4 නුඹ පහත්කරනු ලැබ බිම සිට කථාකරනවා ඇත, නුඹේ කථාවද පහත්වී ධූලියෙන් පැමිණෙන්නේය; නුඹේ හඬ ආත්ම බන්ධනකාරයෙකුගේ හඬ මෙන් බිමෙන් නගින්නේය, නුඹේ කථාව ධූලියෙන් හෙමින් පැමිණෙන්නේය.
5 එහෙත් නුඹට සතුරුවූ විදේශි සමූහයා සිහින් ධූලි මෙන්ද බලාත්කාර සමූහයා පහව යන බොල් මෙන්ද වන්නේය. එසේය, ඇසිල්ලකින්ම එය සිදුවන්නේය.
6 සේනාවල ස්වාමීන්වහන්සේ වෙතින් ගර්ජනාවක්ද පොළෝකම්පාවක්ද මහත් ඝෝෂාවක්ද සුළිහුළඟක්ද කුණාටුවක්ද විනාශකරන ගිනිදළුවක්ද ඈ පිටට පැමිණෙන්නේය.
7 අරියෙල්ට විරුද්ධව සටන්කරන සියලු ජාතීන්ගේ සමූහයා එනම් ඈට සහ ඇගේ බලකොටුවට විරුද්ධව සටන්කරන්නාවූද ඈට විපත පමුණුවන්නාවූද සියල්ලෝ හීනයක් එනම් රාත්‍රියේ දර්ශනයක් මෙන් වන්නෝය.
8 බඩගිනි ඇත්තා කනවාය කියා හීනෙන් දකින්නාක්මෙන් වේ; ඔහු පිබිදුණාම ඔහුගේ බඩ හිස්ව තිබේ. නොහොත් පිපාසා ඇත්තා බොනවාය කියා හීනෙන් දකින්නාක්මෙන්ය; පිබිදුණාම ඔහු ක්ලාන්තව පිපාසාව සිටින්නේය. සියොන් කන්දට විරුද්ධව සටන් කරන සියලු ජාතීන්ගේ සමූහයාට එසේම වන්නේය.
9 නැවතී සිට විස්මපත්වෙන්න; සැපවිඳ අන්ධවෙන්න. ඔව්හු මත්ව සිටිති, නුමුත් මුද්‍රිකපානයෙන් නොවේ; ඔව්හු වැනෙති, නුමුත් සුරාපානයෙන් නොවේ.
10 මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි නිදිමත භාවයක් වගුරුවා, අනාගතවක්තෘවරුන් වන නුඹලාගේ ඇස් පියෙවූසේක; දර්ශනකාරයන් වන නුඹලාගේ හිස්ද වැසූසේක.
11 දර්ශන සියල්ලද මුද්‍රාකර තිබෙන ලියවිල්ලක වචන මෙන් නුඹලාට වී තිබේ; අකුරු දන්න කෙනෙකුට ඒක දී: මේක කියවන්නැයි කීවාම ඔහු-මුද්‍රකර තිබෙන නිසා මට කියවන්ට බැරියයි කියන්නේය
12 අකුරු නොදන්න කෙනෙකුට ලියවිල්ල දී: මේක කියවන්නැයි කීවාම-මම අකුරු නොදනිමියි ඔහු කියන්නේය.
13 ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,
14 මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැතිවී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවීයන්නේයයි කීසේක.
15 ස්වාමීන්වහන්සේගෙන් තමුන්ගේ අදහස සඟවන පිණිස කාරණා ගැඹුරුකර, තමුන්ගේ ක්‍රියාවල් අන්ධකාරයෙහිකර: අප දකින්නේ කවුද? අප ඇඳිනගන්නේ කවුදැයි කියන්නාවූ අයට දුක්වේ.
16 නුඹලා කාරණා පෙරළන හැටි! කුම්භකාරයා මැටි වාගේයයි සිතන්ට යුතුද? කර්මාන්තය ඒක සෑදූ තැනැත්තා ගැන-ඔහු මා සෑදුවේ නැතැයි කියන්ටවත්, සෑදූ දෙයක් ඒක සෑදූ තැනැත්තා ගැන-ඔහුට දැනුමක් නැතැයි කියන්ටවත් යුතුද?
17 තව ස්වල්ප කලකින් ලෙබනොන් වනය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන් ගනු ලබන්ටත් තිබෙනවා නොවේද?
18 ඒ දවසෙහි බිහිරන් පොතේ වචන අසනවා ඇත, කළුවරෙහිත් අන්ධකාරයෙහිත් සිටින අන්ධයන්ගේ ඇස්ද පැහැදෙනවා ඇත.
19 යටහත් අය ස්වාමීන්වහන්සේ කෙරෙහි වඩ වඩා ප්‍රීතිවෙනවා ඇත, මනුෂ්‍යයන් අතරෙන් දිළින්දෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වෙනවා ඇත.
20 මක්නිසාද බලාත්කාරකම් කරන්නා පහවුණේය, නින්දාකරන්නා නැතිවී යයි, අයුතුකම්කරන්ට බලා සිටින සියල්ලෝද සිඳදමනු ලැබුවෝය.
21 ඔව්හු යම් කාරණයකදී මනුෂ්‍යයන් වරදටම පත්කොට දොරටුවේදී අවවාදකරන්නාට මලපතක් තබති, ප්‍රයෝගයෙන් ධර්මිෂ්ඨයාගේ යුක්තියද පෙරළති.
22 එබැවින් ආබ්‍රහම් මිදුවාවූ ස්වාමීන්වහන්සේ යාකොබ් වංශය ගැන කථාකොට: යාකොබ් දැන් ලජ්ජා නොවන්නේය, ඔහුගේ මුහුණද දැන් සුදුමැලි නොවන්නේය.
23 එහෙත් මාගේ අත්වල වැඩ වන තමාගේ දරුවන් තමා සමඟ සිටිනවා ඔහු දුටුවාම ඔව්හු මාගේ නාමයට ගෞරවකරන්නෝය; එසේය, ඔව්හු යාකොබ්ගේ ශුද්ධ තැනන්වහන්සේට ගෞරවකොට, ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව සිටින්නෝය.
24 ආත්මයෙන් මුළාවූ අය නුවණ දැනගන්නෝය, කැරළිකාර අය ධර්මය ඉගෙනගන්නෝයයි කීසේක.



පරිච්ඡේදය 30

1 පාපයට පාපය එකතුකරන ලෙස මාගෙන් නොව අන්‍යයන්ගෙන් මන්ත්‍රණය සොයන්නාවූද, මාගේ ආත්මය නැතුව ගිවිසුමක් කරගන්නාවූද,
2 ඵාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්ටත් මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාසකරන්ටත් මාගේ මුඛයෙන් නොවිචාරා මිසරයට යාමට පිටත්වෙන්නාවූද, කැරළිකාර දරුවන්ට දුක් වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
3 එබැවින් ඵාරාවෝගේ ශක්තිය නුඹලාට ලජ්ජාවක්ද මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාසකිරීම නුඹලාට වියවුලක්ද වන්නේය.
4 මක්නිසාද ඔහුගේ අධිපතීහු ශොවන්හි සිටිති, ඔහුගේ තානාපතීහුද හානේස්ට ඇවිත් සිටිති.
5 ඔවුන් සියල්ලෝම තමුන්ට ප්‍රයෝජන නොවන්නාවූ, ලජ්ජාවක් සහ නින්දාවක් පමුණුවනවා මිස පිහිටක් හෝ උපකාරයක් නොවන්නාවූ සෙනඟක් ගැන ලජ්ජාවන්නෝය.
6 දකුණු දිසාවේ මෘගයන් ගැන දිව්‍ය ප්‍රකාශනයය.
7 මිසරයේ උදව්ව නිෂ්ඵලය, නිරර්ථකය. එබැවින් නිකම් ඉන්න රාහබ්යයි ඈට නම් තැබුවෙමි.
8 ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස නුඹ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.
9 මක්නිසාද ඔව්හු කැරළිකාර සෙනඟක්ය, බොරුකාර දරුවෝය, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝය.
10 ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:
11 නුඹලා මාර්ගයෙන් පහවී මාවතින් අහක්ව යන්න, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ අප ඉදිරියෙන් පහකරන්නය කියාද කියති.
12 එබැවින් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා මේ වචනය සුළුකර, බලාත්කාරකම සහ වංකකම කෙරෙහි විශ්වාසකොට,
13 ඒ කෙරෙහි පිහිටා සිටින බැවින්, මේ අපරාධය උස්වූ බිත්තියක පිපිරී වැටෙන්ට තිබෙන කැඩුමක් මෙන් නුඹලාට වන්නේය. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේය.
14 ලිපෙන් ගින්දර ගන්ටවත් පොකුණෙන් වතුර ගන්ටවත් කබලක් සම්බ නොවන ලෙස, ඉතුරු නොකර පොඩිකරන කුම්භකාරයෙකුගේ භාජනයක් බිඳින්නාක්මෙන් උන්වහන්සේ ඒක බිඳිනසේක.
15 මක්නිසාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක්: හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන නුඹලා ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාසකිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේයයි කීසේක. නුමුත් නුඹලා අකමැතිවී කථාකොට:
16 එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් නුඹලා පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි නුඹලා කීවහුය; එබැවින් නුඹලා ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.
17 නුඹලා කන්ද මුදුනේ රිටක් මෙන්ද හෙලක් පිට කොඩි ගහක් මෙන්ද ඉතිරිවෙන තුරු, එකදාහක් එක්කෙනෙකුගේ තර්ජනයටද නුඹලා පස්දෙනෙකුගේ තර්ජනයටද පලායනවා ඇත.
18 එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාකරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පාකරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ගැන බලාසිටින සියල්ලෝම වාසනාවන්තයෝය.
19 මක්නිසාද සෙනඟ සියොන්හි යෙරුසලමේ වාසයකරන්නෝය. නුඹ තවත් අඬන්නේ නැත; උන්වහන්සේ නුඹේ මොරගැසීමේ හඬට නුඹට දයාවෙනවාම ඇත; ඇසුණු කෙණෙහිම උන්වහන්සේ නුඹට උත්තරදෙනවා ඇත.
20 ස්වාමීන්වහන්සේ විපත නැමති කෑමද පීඩාව නැමති වතුරද නුඹලාට දෙන නුමුත්, නුඹේ ගුරුවරයා තවත් සැඟවී නොසිටින්නේය, නුඹේ ඇස්වලින් නුඹේ ගුරුවරයා දකින්ටත්,
21 නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.
22 නුඹේ කැපූ රූපවල රිදී වැස්මත් නුඹේ වාත්තු රූපවල රන් වැස්මත් නුඹලා අපවිත්‍රකරන්නහුය. නුඹ ඒවා කිලුටුකමක් කොට විසුරුවා දමා: අහක්වෙවයි ඊට කියන්නෙහිය.
23 උන්වහන්සේද නුඹ පොළොවෙහි වපුරන නුඹේ බීජවලට වර්ෂාවද බිමේ අස්වැන්නෙන් කෑමද දෙනසේක, එය සාරවත්ව වර්ධනයවන්නේය. ඒ දවසෙහි නුඹේ සිව්පාවෝ විශාල ගොදුරු බිම්වල තෘණ කන්නෝය.
24 එසේම බිම හාන ගවයෝද තරුණ කොටළුවෝද ස්කෝප්පයෙන් හා කුල්ලෙන් හෙළූ ලුණු මිශ්‍රවූ ගොදුරු කන්නෝය.
25 බලකොටු වැටෙන මහත් මරාදැමීමේ දවසේ සියලු උස්කඳු පිටත් සියලු උස් හෙල් පිටත් ඔයවල් සහ වතුර දොළවල් වන්නේය.
26 තවද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ තුවාලය බැඳ ඔවුන්ට ලැබුණු පහරේ තුවාලය සුවකරන දවසේදී හඳේ එළිය ඉරේ එළිය මෙන්ද ඉරේ එළිය සත් ගුණයක් වැඩිවී සත් දවසක එළිය මෙන්ද වන්නේය. ‍
27 ස්වාමීන්වහන්සේගේ නාමය උන්වහන්සේගේ ඇවිළෙන කෝපයද නගින්නාවූ ඝන දුම් කඳක්ද ඇතුව දුර සිට එන්නේය. උන්වහන්සේගේ තොල් උදහසින් පිරී තිබේ, උන්වහන්සේගේ දිවද දවා දමන ගින්නක් මෙන්ය.
28 උන්වහන්සේගේ හුස්මද උතුරා කුළල දක්වා ගලන ඔයක් මෙන් විනාශය නැමති කුල්ලෙන් ජාතීන් පොළන පිණිසත්, මුළාකරවන කටකලියාවක් ජනයන්ගේ හකුවල දමන පිණිසත් පැමිණෙන්නේය.
29 ශුද්ධ මංගල්‍යයක් පවත්වන රාත්‍රියේදී මෙන් ගීතිකාවක්ද ස්වාමීන්වහන්සේගේ කන්දටත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් වෙතටත් පැමිණෙන්ට නළාවක් පිඹිමින් යන අයගේ ප්‍රීතිය මෙන් සිතේ ප්‍රීතියද නුඹලාට වන්නේය.
30 ස්වාමීන්වහන්සේද තමන්ගේ මහිමාන්විත හඬ අස්වනසේක, උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනිදළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වනසේක.
31 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හඬින් අෂූරියයා පොඩිකරනු ලබන්නේය, උන්වහන්සේ තමන් යෂ්ටියෙන් ඔහුට පහරදෙනසේක.
32 ස්වාමීන්වහන්සේ විසින් ඔහු පිටට පමුණුවන්නාවූ නියමකළ සැරයටියේ සියලු පහරවල් සමඟ රබන් ගැසීමත් වීණා ගෑමත් වන්නේය. කලඹන සුලු යුද්ධවලින්ද උන්වහන්සේ ඔහු සමඟ යුද්ධකරනවා ඇත.
33 මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේගේ හුස්මට එය ඇවිළීයයි.



පරිච්ඡේදය 31

1 ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙස බලන්නේවත් ස්වාමීන්වහන්සේ සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නාවූ, අශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නාවූ, රථ බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාසකරන්නාවූ අයවලුන්ට දුක්වේ! නුමුත් උන්වහන්සෙත් ප්‍රඥාවන්තසේක;
2 උන්වහන්සේ තමන්ගේ වචන අවලංගු නොකර, විපත පමුණුවා නපුර කරන්නන්ගේ වංශයටත් අයුතුකම් කරන්නන්ගේ උපකාරයටත් විරුද්ධව නැගිටිනසේක.
3 මිසරවරු දෙවියන්වහන්සේ නොව මනුෂ්‍යයෝ පමණක්ය; ඔවුන්ගේ අශ්වයෝද ආත්මය නොව මාංසයය. ස්වාමීන්වහන්සේ තමන් අත දිගුකරනවිට උපකාරකරන්නා පැකිලෙන්නේය, උපකාර ලබන්නාද වැටෙන්නේය, ඔව්හු සියල්ලෝම එක්ව නාස්තිවන්නෝය.
4 මක්නිසාද ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: සිංහයා වූවත් තරුණ සිංහයා වූවත් ඌට විරුද්ධව එඬේරුන් රාශියක් අඬගසනු ලැබූ කල උගේ ගොදුර කෙරෙහි ගොරවා, ඔවුන්ගේ හඬට නොකැලඹී, ඔවුන්ගේ ඝෝෂාවට යටත් නොවී සිටින්නාක්මෙන්ම, සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දද එහි හෙලද පිට සටන්කරන්ට බසිනසේක.
5 පැටවුන් මත්තෙහි කරන කුරුල්ලන්ගේ පියාසරය මෙන් සේනාවල ස්වාමීන්වහන්සේ යෙරුසලම ආවරණකරනසේක; ඒක ආරක්ෂාකොට ගළවනසේක, එය මතුපිට හැසිරෙමින් ප්‍රවේසම්කරනසේක.
6 එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා විසින් බොහෝසෙයින් අත්හරිනු ලැබූ තැනන්වහන්සේ වෙතට හැරෙන්න.
7 මක්නිසාද පාපයක් වන ලෙස නුඹලාගේ අත්වලින් නුඹලා සාදාගත්තාවූ නුඹලාගේ රිදී රූපද රන් රූපද ඒ දවසෙහි ඔවුන් එකිනෙකා අහක දමනවා ඇත.
8 එකල අෂූරියයා මනුෂ්‍යයාගේ නොවන කඩුවකින් වැටෙන්නේය; මනුෂ්‍යයන්ගේ නොවන කඩුවකින් ඔහු විනාශවන්නේය. ඔහු කඩුව ඉදිරියෙන් පලායන්නේය, ඔහුගේ තරුණයෝ රාජකාරියට යටත්වන්නෝය.
9 ඔහුගේ පර්වතය භීතිය නිසා පහවී, ඔහුගේ අධිපතීහු කොඩියට කැලඹෙන්නෝයයි සියොන්හි ගින්නක්ද යෙරුසලමෙහි උඳුනක්ද ඇත්තාවූ ස්වාමීන්වහන්සේ කියනසේක.



පරිච්ඡේදය 32

1 බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම්කරන්නේය, අධිපතීහුද දැහැමින් අධිපතිකම් කරන්නෝය.
2 මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.
3 දකින්නන්ගේ ඇස් අඳුරු නොවන්නේය, අසන්නන්ගේ කන් ඇහුම්කන්දෙන්නේය.
4 ඉක්මන්කාරයන්ගේ සිත දැනගැන්ම තේරුම්ගන්නේය, වික්කලුන්ගේ දිව පහසුවෙන් පැහැදිලිලෙස කථාකරන්නේය.
5 අධමයා උත්තමයෙක්ය කියාවත් ප්‍රයෝගකාරයා ගුණවන්තයෙක්ය කියාවත් තවත් කියනු නොලබන්නේය.
6 මක්නිසාද අධමයා අභක්තික ලෙස හැසිරෙමින්ද ස්වාමීන්වහන්සේට විරුද්ධව අපහාස කථාකරමින්ද බඩගිනි අයගේ ප්‍රාණය හිස්කරමින්ද පිපාසා ඇත්තාගේ පානය අහක්කරමින්ද දුෂ්ටලෙස කථාකරන්නේය, ඔහුගේ සිතද අයුතුකම් කරන්නේය.
7 ප්‍රයෝගකාරයාගේ උපකරණ නපුරුය. දිළින්දා යුක්තිය කථාකරන විට පවා ඔහු බොරු වචනවලින් යටහතුන් විනාශකරන්ට දුෂ්ට උපා යොදන්නේය.
8 එහෙත් ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේ යෝජනාකරයි; ඔහු වනාහි ත්‍යාගවත් දේවලම යෙදී සිටියි.
9 එම්බා නොසැලකිලි ස්ත්‍රීවරුනි, නැගිටින්න, මාගේ හඬ අසන්න; අප්‍රවේසම් දූවරුනි, මාගේ බසට ඇහුම්කන්දෙන්න.
10 අප්‍රවේසම් තැනැත්තියෙනි, අවුරුද්දකට වැඩි කාලයකින් නුඹලා කැලඹෙන්නහුය. මක්නිසාද මුද්‍රිකඵල ඉවරවන්නේය; ඵල නෙළාගැනීමක් නොපැමිණෙන්නේය.
11 නොසැලකිලි ස්ත්‍රීවරුනි, වෙවුලන්න; අප්‍රවේසම් තැනැත්තියෙනි, චංචලවෙන්න; වස්ත්‍ර ගළවා දමා, නිර්වස්ත්‍රවී, ඉඟටිවල ගෝණිරෙදි බැඳගන්න.
12 ඔව්හු ප්‍රසන්න කෙත් ගැනත් සාරවත් මිදිවැල් ගැනත් ළයට ගසාගන්නෝය.
13 මාගේ සෙනඟගේ බිම්වල කටුද ගොකටුද හටගන්නේය; ප්‍රීතිමත් නගරයේ සියලුම ප්‍රිය ගෙවල්වල පවා එසේ වන්නේය.
14 මක්නිසාද මාළිගාව පාළුවී ජනගහනවූ නුවර අත්හරිනු ලබන්නේය; හෙළත් මුරකොටුවත් හැමකාලයටම ගුහාවල්ද වල් කොටළුවන්ට ප්‍රීතියක්ද රැළවලට තෘණ බිම්ද වන්නේය.
15 එසේවන්නේ උසස්ථානයෙන් ආත්මය අප කෙරෙහි වගුරුවන්ටත් කාන්තාරය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන්ගනු ලබන්ටත් යෙදෙන තුරුය.
16 එකල යුක්තිය කාන්තාරයෙහි වාසයකරන්නේය, ධර්මිෂ්ඨකම උයනෙහි පවතින්නේය.
17 ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය.
18 මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.
19 නුමුත් වනය වැටීයාමේදී ගල්වර්ෂාවක් වහිනවා ඇත;
20 නුවරද සහමුලින්ම පහත්කමට පැමිණෙනවා ඇත. සෑම දියපාරවල් ළඟ වපුරන්නාවූ, ගොනාගෙත් කොටළුවාගෙත් පාද මුදන්නාවූ නුඹලා වාසනාවන්තයෝය.



පරිච්ඡේදය 33

1 කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ නුඹට දුක්වේ! නුඹ කොල්ලකා නිමවූ විට නුඹෙන් කොල්ලකනවා ඇත; නුඹ ද්‍රෝහිකම් කොට නිමවූ විට නුඹට ද්‍රෝහිකම්කරනවා ඇත.
2 ස්වාමීන්වහන්ස, අපට දයාවුව මැනව; අපි ඔබ ගැන බලාසිටියෙමුව. උදයක් පාසා ඔවුන්ගේ බල-හස්තයද විපත්ති කාලයේදී අපේ ගැළවීමද වුව මැනව
3 කෝලාහල හඬට ජනයෝ පලාගියෝය; ඔබගේ උසස්වීමට ජාතීහු විසිර ගියෝය.
4 දළඹුවා එකතුකරන්නාක්මෙන් නුඹලාගෙන් කොල්ලය එකතුකරනු ලබන්නේය. පළඟැටියන් පනින්නාක්මෙන් ඔව්හු ඒ පිටට පනින්නෝය.
5 ස්වාමීන්වහන්සේ උසස්වී සිටිනසේක; මක්නිසාද උන්වහන්සේ උසස්ථානයෙහි වාසයකරනසේක. යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද උන්වහන්සේ සියොන් පිරෙවුසේක.
6 නුඹේ කාලවලදී ආරක්ෂාවත් අධික ගැළවීමත් ප්‍රඥාවත් දැනගැන්මත් වන්නේය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඔහුගේ සම්පතය.
7 බලව, ඔවුන්ගේ වික්‍රමාන්විතයෝ පිටතදී මොරගසති. සමාදානයේ තානාපතියෝ දුක්ඛිත ලෙස අඬති.
8 මහමාවත් පාළුවී තිබේ, මගයන කෙනෙක් නැත. ඔහු ගිවිසුම කඩකෙළේය, නුවරවල් සුළුකෙළේය, ඔහු කිසි මනුෂ්‍යයෙකු නොසලකයි.
9 දේශය ශෝකවී මැලවේ. ලෙබනොන් ලජ්ජාවී වියලෙයි. ෂාරොන් කාන්තාරයක් මෙන්ය; බාෂාන් සහ කර්ල් කොළ හෙළාදමයි.
10 දැන් නැගිටින්නෙමි; දැන් උසස්වෙන්නෙමි, දැන් උසස්කමට පැමිණෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
11 නුඹලා බොල් පිළිසිඳගෙන ඉපනැලි බිහිකරනවා ඇත. නුඹලාගේ හුස්මද ගින්නක් මෙන් නුඹලා නාස්තිකරනවා ඇත.
12 ජනයෝ හුණු පිළිස්සීම් මෙන්ද කපා ගින්නෙන් දවාදමනු ලබන කටුගස් මෙන්ද වන්නෝය.
13 දුර සිටින්නෙනි, මා කළ දේ අසන්න; ළඟ සිටින්නෙනි, මාගේ බලපරාක්‍රමය දැනගන්න.
14 සියොන්හි පව්කාරයෝ භයවෙති; අභක්තීන්ට වෙවුලුම හදිසියෙන් අල්ලා තිබේ. නාස්තිකරන ගින්නෙහි සිටින්ට අපෙන් කාට පුළුවන්ද? සදාකාල දැවීම්වල සිටින්ට අපෙන් කාට පුළුවන්ද?
15 ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නාවූ, අවංකකමින් කථාකරන්නාවූ, බලාත්කාරකමේ ප්‍රයෝජනය එපාකරන්නාවූ, අල්ලසක් නාල්ලා අත් අහකට ගන්නාවූ, මිනීමැරීම ගැන නෑසෙන ලෙස කන් වසාගන්නාවූ, නපුර නොදකින්ට ඇස් පියාගන්නාවූ තැනැත්තාම
16 උසස්ථානවල වාසයකරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.
17 ස්වකීය ශෝභනකමෙන් යුක්තවූ රජ්ජුරුවන් නුඹේ ඇසින් දකින්නෙහිය. විශාලවූ දේශයක් ඔව්හු දකින්නෝය.
18 නුඹේ සිත භීතිය ගැන මෙනෙහිකරන්නේය. ලේකම කොහේද? ආදායම කිරා බලන්නා කොහේද? කොටු ගණන්කරන්නා කොහේද?
19 නුඹට නොදැනෙන ගැඹුරු භාෂාවක්ද නොතේරෙන වික්කල් දිවක්ද ඇති සෙනඟක් වන ඒ රෞද්‍ර සෙනඟ නුඹ තවත් නොදක්නෙහිය.
20 අපේ මංගල්‍ය නගරය වන සියොන් බලන්න. යෙරුසලම නිශ්චල වාසස්ථානයක්ව අහක් නොවෙන කූඩාරමක්ව තිබෙනවා නුඹේ ඇස්වලින් දකිනවා ඇත. ඒකේ ඇණ කවදාවත් උගුලනු නොලබන්නේය; ඒකේ කිසි ලනුවක් කඩනු නොලබන්නේය.
21 එසේය, එහි ස්වාමීන්වහන්සේ මහිමයෙන් යුක්තව අප සමඟ වනසේක, එය පළල් ගංගා සහ ඔයවල් ඇති ස්ථානයක්ය; හබල්වලින් පදින නැවක් එහි නොයන්නේය, මහ නෞකාවක්ද ඒ ළඟින් යාත්‍රා නොකරන්නේය.
22 මක්නිසාද ස්වාමීන්වහන්සේම අපේ විනිශ්චයකාරයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ නීතිදායකයාණෝය, ස්වාමීන්වහන්සේ අපේ රජ්ජුරුවෝය; උන්වහන්සේම අප ගළවනසේක.
23 නුඹේ යොත් බුරුල්වී තිබේ; ඒවායින් කුඹගහ කෙළින් හිටවන්ටවත් රුවල විදහන්ටවත් නුපුළුවන්විය. එවිට මහත් කොල්ලයක් බෙදාගන්නාලද්දේය;
24 කොරුත් කොල්ලය ගත්තෝය. තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය. එහි වාසයකරන සෙනඟගේ අයුතුකම කමාකරනු ලබන්නේය.



පරිච්ඡේදය 34

1 ජාතීනි, අසන්ට ළංවෙන්න; ජනයෙනි, ඇහුම්කන්දෙන්න. පොළොව සහ ඒකේ පූර්ණකමත් ලෝකය සහ එහි හටගන්න සියල්ලත් අසත්වා.
2 මක්නිසාද ස්වාමීන්වහන්සේ සෑම ජාතීන් කෙරෙහි උදහසද ඔවුන්ගේ සියලු සේනාවල් කෙරෙහි කෝපයද ඇතුව සිටිනසේක. උන්වහන්සේ ඔවුන් විනාශයට කැපකොට මැරුම්කෑමට භාරදී තිබේ.
3 ඔවුන් අතරෙන් මැරුම්කෑ අය අහක දමනු ලබන්නෝය, ඔවුන්ගේ මළකඳන් ගඳගසන්නේය, කඳු ඔවුන්ගේ ලෙයින් දියවන්නේය.
4 මුළු අහස් සේනාව ක්ෂයවී, අහස අකුළන පොතක් මෙන් ඇකිළී, එහි මුළු සේනාව මිදිවැලෙන් වැටෙන කොළ මෙන්ද අත්තික්කා ගහෙන් වියළී වැටෙන කොළයක් මෙන්ද වැටෙන්නේය.
5 මක්නිසාද මාගේ කඩුව උදහසින් ස්වර්ගයෙහි නෑවී තිබේ. බලව, ඒක විනිශ්චය පිණිස ඒදොම පිටටත් මා විසින් ශාපයට කැපකළාවූ සෙනඟ පිටටත් බසින්නේය.
6 ස්වාමීන්වහන්සේගේ කඩුව ලෙයින් පිරී තිබේ, ඒක තෙලින්ද බැටළු පැටවුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින්ද බැටළුවන්ගේ වකුගඩු තෙලින්ද තරවී තිබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේට බොශ්රාහි පූජාවක්ද ඒදොම් දේශයෙහි මහත් මරාදැමීමක්ද තිබේ.
7 වල් මීවෝ උන් සමඟද ගොන්නාම්බෝ ගොන් සමඟද බැසඑන්නෝය; ඔවුන්ගේ දේශයද ලෙයින් පෙඟියන්නේය, ඔවුන්ගේ ධූලි තෙලෙන් තරවන්නේය.
8 මක්නිසාද මේක ස්වාමීන්වහන්සේගේ පළිගන්න දවසය, සියොන්හි පැමිණිල්ල ගැන විපාකදෙන අවුරුද්දය.
9 එහි ඔයවල් කීල්ද එහි ධූලි ගෙන්දගම්ද වන්නේය, ඒ දේශයද ඇවිළෙන කීල් වන්නේය.
10 ඒක රෑ දාවල් නොනිවී තිබෙයි; ඒකේ දුම සෑමකල්ම නගින්නේය. පරම්පරාවෙන් පරම්පරාවට එය පාළුව තිබෙයි; සදාකාලයටම කිසිවෙක් ඒ මැදින් නොයන්නේය.
11 ඔටුමානාටත් ඉත්තෑවාටත් එය උරුමවන්නේය; බකමූණාද කපුටාද එහි වාසයකරති; ඒක පිට පාළුකම නැමති ලනුවද හිස්කම නැමති ලඹකැටයද අල්ලනු ලැබේ.
12 ඔව්හු ඒකේ උත්තමයන් රාජ්‍යයට කැඳවන්නෝය, නුමුත් එහි කිසිවෙක් නොවන්නේය, ඒකේ සියලුම අධිපතියෝද නැතිවන්නෝය.
13 ඒකේ මාළිගාවල කටුද ඒකේ බලකොටුවල කසඹිලියා සහ ගොකටුද හැදෙන්නේය. ඒක සිවලුන්ට වාසයක්ද පැස්බරුන්ට මළුවක්ද වන්නේය.
14 වනයේ වල් මෘගයෝද වෘකයෝද සම්මුඛවන්නෝය, වල් එළුවා උගේ සමාගම්කාරයාට කෑගසන්නේය; එසේය, උලමාත් එහි ලැග නිශ්චල ඉඩමක් ලබාගන්නේය.
15 එහි පනින සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුල්කරගන්නීය. එසේය, කුරුළුගොයිද එකිනෙකා සමඟ එහි එකතුවන්නෝය.
16 ස්වාමීන්වහන්සේගේ පොතෙන් සොයා කියවන්න. මුන්ගෙන් එකෙක්වත් අඩු නොවන්නේය, එකෙකුට එකෙක් සම්බ නොවී නොයන්නේය. මක්නිසාද එය අණකෙළේ උන්වහන්සේගේ මුඛයය, උන් රැස්කළෙත් උන්වහන්සේගේ ආත්මයය.
17 උන්වහන්සේම උන් උදෙසා පසඇට දමා, තමන් අතින් එය ලනුවෙන් උන්ට බෙදාදුන්සේක. උන් එය සදාකාලයට හිමිකරගන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසයකරනවා ඇත.



පරිච්ඡේදය 35

1 වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්ය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය.
2 සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීතිමත්වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොත්හි අලංකාරකමත් ඊට දෙනුලබන්නේය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද දකින්නෝය.
3 බෙලහීන අත් බලවත්කර, වෙවුලන දණහිස් සවිකරන්න.
4 භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියන්න.
5 එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය.
6 එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.
7 මිරිඟු වැල්ල පොකුණක්ද වියළි භූමිය දිය උල්පත්ද වන්නේය. සිවලුන් ලැග්ගාවූ නිවාසයෙහි බට සහ පන් හටගන්න ඉඩමක් වන්නේය.
8 එහි මාර්ගයක් වන මහමාවතක් වේ, ඊට ශුද්ධකමේ මාර්ගයයයි කියනු ලබන්නේය; අපිරිසිදු කෙනෙක් එහි නොයන්නේය; ඒක ඔවුන්ටම වන්නේය. ඒ මාර්ගයෙහි යන කවුරු නුමුත් අඥානව සිටිතත් මුළාවෙන්නේ නැත.
9 සිංහයෙක් එහි සිටින්නේවත් කිසි චණ්ඩ මෘගයෙක් එහි නැගීයන්නේවත් උන් එහි සම්බවෙන්නේවත් නැත; මුදනු ලැබූ අයවල්ම එහි ඇවිදින්නෝය.
10 ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.



පරිච්ඡේදය 36

1 තවද හෙසකියා රජුගේ දහ හතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරීබ් තෙමේ යූදාහි පවුරු ඇති සියලු නුවරවලට විරුද්ධව අවුත් ඒවා අල්ලාගත්තේය.
2 අෂූර්හි රජ රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ්හි සිට හෙසකියා රජු ළඟට යෙරුසලමට යැවීය. ඔහු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කානුව ළඟ සිටියේය.
3 එවිට රජ ගෙදර ප්‍රධානියාවූ, හිල්කියාගේ පුත්‍රවූ එලියාකීම්ද ලේකම්වූ ෂෙබ්නාද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද ඔහු ළඟට ගියෝය.
4 එවිට රබ්-ෂාකේ ඔවුන්ට කථාකොට: අෂූර්හි රජ වන මහ රජ්ජුරුවෝ මෙසේ කියන්නාහ-නුඹ විශ්වාසය තබන ඔය දේ මොකක්ද?
5 යුද්ධයට නුවණත් බලයත් ඇතැයි යන නුඹේ කීම හිස් වචනය. ඉතින් නුඹ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාස කරගෙනද?
6 බලව, නුඹ විශ්වාසකරන්නේ ඒ තැළුණු බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බරවුණොත් ඒක ඔහුගේ අතේ ඇනී හිල්වන්නේය. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එයාකාරය.
7 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි අපි විශ්වාසකරමුයයි නුඹ සමහර විට මට කියනවා ඇත. නුමුත්: නුඹලා මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි හෙසකියා යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා පහකරදැමුවේ උන්වහන්සේගේ උස් තැන් හා පූජාසන නොවේද?
8 ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.
9 එසේ නුඹට බැරි නම්, රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගෙන නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එළවා දමන්නේ කොහොමද?
10 මා දැන් මේ දේශය විනාශකරන්ට ඊට විරුද්ධව ආවේ ස්වාමීන්වහන්සේ නැතුවද? ඒ දේශයට විරුද්ධව ගොස් ඒක විනාශකරන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක කියා හෙසකියාට කියන්නැයි කීවේය.
11 එකල එලියාකීම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේට කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙවු භාෂාවෙන් අපට කථා නොකොට, නුඹේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් අපට කථාකළ මැනවියි කීවෝය
12 නුමුත් රබ්-ෂාකේ කථාකොට: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ නුඹේ ස්වාමියාත් නුඹත් ළඟටද? නොහොත් පවුර පිට ඉඳගන ඉන්න මනුෂ්‍යයන් විසින් නුඹලා සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මුත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට මා එවුවා නොවේදැයි කීවේය.
13 එකල රබ්-ෂාකේ නැගිට සිට යුදෙව් භාෂාවෙන් මහත් ශබ්දයකින් මොරගසා: අෂූර්හි රජවූ මහ රජ්ජුරුවන්ගේ වචන අසන්න.
14 නුඹලා රවටන්ට හෙසකියාට ඉඩ නොදෙන්න; මක්නිසාද නුඹලා ගළවාගන්ට ඔහුට බැරිය.
15 ස්වාමීන්වහන්සේ සැබවින් අප ගළවාගන්නාසේක කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාද ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලා විශ්වාසකරවන්ට හෙසකියාට ඉඩනාරින්න.
16 හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද අෂූර්හි රජ මෙසේ කියන්නේය-මා සමඟ සමාදානයකට පැමිණ මා වෙතට එන්න.
17 එවිට මම ඇවිත් නුඹලාගේ දේශයට සමානවූ දේශයකට, ධාන්‍ය හා මුද්‍රිකපානයද කෑම හා මිදිවතුද ඇති දේශයකට නුඹලා ගෙනයන තුරු, නුඹලා කාටත් තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන.
18 ස්වාමීන්වහන්සේ අප ගළවාගන්නසේකැයි කියා හෙසකියා නුඹලා නොපොළඹවන ලෙස බලාගන්න. ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කවුරු තම තමුන්ගේ දේශ අෂූර්හි රජුගේ අතින් කිසිසේත් ගළවාගත්තෝද?
19 හමාත්හිද අර්පාද්හිද දෙවිවරු කොයිද? සෙපර්වයිම්හි දෙවිවරු කොයිද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝද?
20 ස්වාමීන්වහන්සේ යෙරුසලම මාගේ අතින් ගළවාගන්නවා ඇත කියා සිතන්ට පුළුවන්වන ලෙස තමුන්ගේ දේශ මාගේ අතින් ගළවාගත්තේ ඒ දේශවල සියලු දෙවිවරුන්ගෙන් කවුරුදැයි කීවේය.
21 නුමුත් ඔව්හු ඔහුට කිසි උත්තරයක් නොදී නිශ්ශබ්දව සිටියෝය. මක්නිසාද: ඔහුට උත්තර දෙන්ට එපාය කියා රජුගේ ආඥාවක් තිබුණේය.
22 එවිට රජගෙදර ප්‍රධානියා වන, හිල්කියාගේ පුත්‍රවූ එලියාකීම්ද ලේකම් වන ෂෙබ්නාද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.



පරිච්ඡේදය 37

1 තවද හෙසකියා රජ ඒ අසා, තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පෙරවාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වී,
2 ගෝණි රෙදි හැඳගත් රජගෙදර ප්‍රධානියාවූ එලියාකීම්ද ලේකම් වන ෂෙබ්නාද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට හැරියේය.
3 ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය-අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්නට ශක්තිය නැත.
4 ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචන ගැන උන්වහන්සේ තර්ජනයක් කරනවා ඇත. එබැවින් තවම ඉතුරුව සිටින සෙස්සන් උදෙසා නුඹේ යාච්ඤාව ඔප්පුකරන්නැයි කීවෝය.
5 මෙසේ හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමුණුණෝය.
6 යෙසායා ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-නුඹ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාසකොට කීවාවූ වචනවලට භය නොවන්න.
7 ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.
8 අෂූර්හි රජු ලාකීෂ් හැර ගිය බව රබ්-ෂාකේ අසා ආපසු ගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය.
9 කූෂ්හි රජවූ තිර්හකා තමාට විරුද්ධව යුද්ධ කරන්ට එන්නේයයි ඔහුට සැලවිය. ඔහු ඒ අසා හෙසකියා ළඟට පණිවිඩකාරයන් එවමින් කියනුයේ:
10 නුඹලා යූදාහි රජවූ හෙසකියාට මෙසේ කියන්න-අෂූර්හි රජුට යෙරුසලම අසු නොවන්නේය කියා නුඹව රවටන්ට නුඹ විශ්වාසකරන නුඹේ දෙවියන්ට ඉඩ නොදෙන්න.
11 ඉතින් අෂූර්හි රජවරුන් සියලු දේශවලට කළ දේ එනම් ඒවා විනාශකර දැමූ බව නුඹ අසා තිබේ. එසේ නම් නුඹ ගැළවෙනවා ඇද්ද?
12 මාගේ පියවරුන් විසින් නැතිකළාවූ ගෝසාන්ද හාරාන්ද රෙශෙප්ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් පුත්‍රයන්ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවාගත්තෝද?
13 හමාත්හි රජද අර්පාද්හි රජද සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජද කොතැනදැයි කියන්නැයි කීවේය.
14 හෙසකියා පණිවිඩකාරයන්ගේ අතින් ලියුම ගෙන කියවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒක දිගහැර,
15 ස්වාමීන්වහන්සේට යාච්ඤා කරමින්:
16 කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ, ඔබ පමණක්ම, දෙවියන්වහන්සේය; අහසත් පොළොවත් මැවුවේ ඔබවහන්සේය.
17 ස්වාමීන්වහන්ස, ඔබගේ කන නමා ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන පිණිස සෙනකෙරීබ් කියා එවූ වචන ඇසුව මැනව.
18 ස්වාමීන්වහන්ස, අෂූර්හි රජවරුන් සියලු දේශවාසීන්ද ඔවුන්ගේ රටවල්ද පාළුකොට,
19 ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තවූ ලී සහ ගල්ව තිබුණේය. ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය.
20 එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.
21 එවිට ආමොස්ගේ පුත්‍රවූ යෙසායා හෙසකියාට මෙසේ කියා ඇරියේය: අෂූර්හි රජවූ සෙනකෙරීබ් ගැන නුඹ මට යාච්ඤාකළ බැවින්,
22 ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-සියොන් කන්‍යා දුව නුඹ සුළු කරනවාය, නුඹට සරදම්කරනවාය; යෙරුසලම් දුව නුඹට පස්සෙන් ඉස වනනවාය.
23 නුඹ නින්දාකළෙත් අපහාසකළෙත් කාටද? නුඹ හඬ නැගුවෙත් උඩඟුවෙන් නුඹේ ඇස් එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය. ඔහු ගැන ස්වාමීන්වහන්සේ කී වචනය මේය.
24 නුඹේ සේවකයන් ලවා නුඹ ස්වාමීන්වහන්සේට අපහාසකරවා කථාකොට-මාගේ රථ රාශිය සමඟ මම කඳුවල මුදුනට එනම් ලෙබනොන්හි ඈත පළාත්වලට නැගුණෙමි; එහි උස්වූ කිහිරි ගස්ද අනර්ඝ දේවදාර ගස්ද කපාදමන්නෙමි. එහි උයන් වතු සහිත වනය වන ඉතා දුරවූ උස් ප්‍රදේශයටත් ඇතුල්වන්නෙමි.
25 මම හාරා වතුර බීවෙමි, මාගේ පය තැබීමෙන් මිසරයේ සියලු ගංගා හින්දවන්නෙමියි කීයෙහිය.
26 මම බොහෝ කාලයක සිට එය අභිප්‍රායකර පුරාණයේ දවස්වල පටන් එය නියමකළ බව නුඹ ඇසුවේ නැද්ද? දැන් නුඹ පවුරු ඇති නුවරවල් නාස්තිකොට ජරාවාස ගොඩවල් කරන හැටියට ඒක ඉෂ්ටකෙළෙමි.
27 එබැවින් ඒවායේ වැසියෝ බෙලහීනව සිටියෝය, ඔව්හු කැළඹී වියවුල්වූහ; ඔව්හු කෙතෙහි තෘණද, අමු පලාද, පියසි උඩ තණකොළද, වැඩෙන්ට පළමුවෙන් වේළුණු ගොයම්ද මෙන් වූවෝය.
28 නුමුත් මම නුඹේ හිදීමද නුඹේ යාම ඊමද මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකමද දනිමි.
29 මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකම නිසාද නුඹේ අහංකාර වචන මාගේ කන්වලට පැමුණුණ නිසාද නුඹේ නාසයේ මාගේ වළල්ලත් නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා, නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවායවන්නෙමි යනුයි.
30 මේ වනාහි නුඹට ලකුණක් වන්නේය, එනම් මේ අවුරුද්දේ ඉබේම හට ගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
31 යූදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළ ඵල දරනවා ඇත.
32 මක්නිසාද ඉතිරි ගණනක් යෙරුසලමෙන්ද මිදී යන ගණනක් සියොන් කන්දෙන්ද නික්මෙනවා ඇත. සේනාවල ස්වාමීන්වහන්සේ ජ්වලිතය මෙය ඉෂ්ටකරන්නේය.
33 එබැවින් ස්වාමීන්වහන්සේ අෂූර්හි රජු ගැන මෙසේ කියනසේක: ඔහු මේ නුවරට ඇතුල්වෙන්නේවත් ඊගහක් ඊට විදින්නේවත් ඒ ඉදිරිපිටට පලිහක් රැගෙන එන්නේවත් ඊට විරුද්ධව ගොඩැල්ලක් නගන්නේවත් නැත.
34 ඔහු මේ නුවර තුළට නෑවිත් ආ මගින්ම හැරී යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
35 මක්නිසාද මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම මේක ආවරණය කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා හැරියේය.
36 ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.
37 එවිට අෂූර්හි රජවූ සෙනකෙරීබ් පිටත්ව හැරී ගොස් නිනිවෙහි වාසයකෙළේය.
38 තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රවූ අද්‍රමෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට සැඟවී ගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජවිය.



පරිච්ඡේදය 38

1 ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරවිය. ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
2 එවිට හෙසකියා තමාගේ මුහුණ බිත්තිය දෙසට හරවාගෙන ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්:
3 අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.
4 එවිට ස්වාමීන්වහන්සේගේ වචනය යෙසායා වෙතට පැමිණ කියනුයේ:
5 නුඹ ගොස් හෙසකියාට මෙසේ කියන්න-නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දුටිමි. නුඹේ වයසට අවුරුදු පහළොහක් එකතුකරන්නෙමි.
6 මම අෂූර්හි රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා, මේ නුවර ආවරණයකරන්නෙමි.
7 ස්වාමීන්වහන්සේ කී දේ උන්වහන්සේ ඉෂ්ටකරන බවට උන්වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණ මේය:
8 බලව, ආහාස්ගේ හෝරායන්ත්‍ර මණ්ඩලය පිට සෙවණැල්ල බැස ගිය තැනින් අංශක දශයක් පස්සට යන්ට සලස්වන්නෙමියි කියන්නැයි කීවේය. එසේ හෝරායන්ත්‍ර මණ්ඩලය පිට සූර්ය-ඡායාව බැස ගොස් තිබුණු තැනින් අංශක දසයක් පස්සට හැරී ආවේය.
9 යූදාහි රජවූ හෙසකියා රෝගීව සිට සුවපත්වූ පසු ලියූ ලියවිල්ල මේය-
10 මාගේ වයසේ මද්දහනේදී මට මිනීවළේ දොරටුවලට යන්ට වෙන්නේය, මාගේ ඉතිරි අවුරුදු මාගෙන් පහකර තිබේයයි කීමි.
11 ජීවත්ව සිටින්නන්ගේ දේශයේදී ස්වාමීන්වහන්සේ, එසේය, ස්වාමීන්වහන්සේ දකින්ටවත් ලෝ වැසියන් සමඟ සිට මනුෂ්‍යයන් බලන්ටවත් තවත් මට නොලැබෙන්නේයයි කීමි.
12 එඬේර කූඩාරමක් මෙන් මාගේ වයස මාගෙන් පහකරනු ලැබ මා වෙතින් ගෙනයනලද්දේය. වියන්නෙකු සේ මම මාගේ ජීවිතය අකුලාගතිමි; අළුවෙන් කපාදමන්නාක් මෙන් උන්වහන්සේ මා සිඳ දමනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක.
13 උදය දක්වා මම කල්පනාකෙළෙමි;‍ උන්වහන්සේ සිංහයෙකු මෙන් මාගේ සියලු ඇට බිඳිනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක.
14 වැහිලිහිණියෙකු නොහොත් කොකෙකු මෙන් කෑගැසීමි; පරෙවියෙකු මෙන් වැලපුණෙමි. උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වලවී තිබේ; අහෝ ස්වාමීන්වහන්ස, මම පීඩා විඳිමි, ඔබ මට ඇපවුව මැනව.
15 මම කුමක් කියම්ද? උන්වහන්සේ මට වදාරා, උන්වහන්සේම ඉෂ්ටකළ සේක. මාගේ ආත්මයේ තද ශෝකය නිසා මාගේ සියලු අවුරුදුවල සන්සුන්කමින් යන්නෙමි.
16 ස්වාමීන්වහන්ස, මේවායින්ම මනුෂ්‍යයෝ ජීවත්වෙති, ඒවා කෙරෙහිම මාගේ ආත්මයත් ජීවත්වන්නේය. එබැවින් මා ශක්තිමත්කොට, මා ජීවත්කළ මැනව.
17 බලව, මට තද ශෝකය පැමුණුණේ මාගේ සමාදානය පිණිසය. නුමුත් ඔබ මාගේ ආත්මයට ඇති ප්‍රේමය නිසා විනාශය නැමති වළෙන් එය මුදාගත්සේක; එසේය, ඔබ මාගේ පව් සියල්ල ඔබ පිටිපස්සට දැමූසේක.
18 මක්නිසාද ඔබට ප්‍රශංසාකරන්ට මිනී වළටවත් ඔබ වර්ණනාකරන්ට මරණයටවත් බැරිය. වළට බසින්නෝ ඔබගේ විශ්වාසකම ගැන බලා නොසිටින්නෝය.
19 ජීවත්ව සිටින්නා-ජීවත්ව සිටින්නාම-අද මා වාගේ ඔබට ස්තුතිකරන්නේය. පියා දරුවන්ට ඔබගේ විශ්වාසකම ගැන දන්වන්නේය.
20 ස්වාමීන්වහන්සේ මා ගළවන්ට සෑදී සිටිනසේක. එබැවින් අපේ ජීවිතයේ සියලුම දවස්වල ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී මාගේ ගීතිකා ගායනාකරන්නෙමු.
21 යෙසායා කථාකොට: ඔව්හු අත්තික්කා කැටියක් ගෙන කොටා වණය පිට තබත්වා, එවිට ඔහුට සුවවන්නේයයි කියා තිබුණේය.
22 හෙසකියාද: මා ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන බවට තිබෙන ලකුණ මොකදැයි අසා තිබුණේය.



පරිච්ඡේදය 39

1 ඒ කාලයේදී බලදාන්ගේ පුත්‍රවූ බබිලෝනියේ රජවූ මෙරොදක්-බලදාන් හෙසකියා ලෙඩින් සිට සුවවුණ බව අසා ලියුම් සහ තෑග්ගක් ඔහු වෙතට එවුවේය.
2 හෙසකියාද ඔවුන් ගැන ප්‍රීතිවී, තමාගේ වස්තු ගබඩාවද එහි තිබුණු රන්රිදීද සුවඳ ද්‍රව්‍යද අනර්ඝ තෙල්ද තමාගේ මුළු යුද්ධායුධ ගෘහයද තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. හෙසකියා තමාගේ ගෙයිවත් මුළු රාජ්‍යයෙහිවත් ඔවුන්ට නොපෙන්වූ කිසිවක් නොතිබුණේය.
3 එවිට අනාගතවක්තෘවූ යෙසායා හෙසකියා රජු ළඟට ඇවිත්: ඒ මනුෂ්‍යයන් කීවේ මොකද? ඔව්හු කොතනින් නුඹ ළඟට ආවෝදැයි ඔහුගෙන් ඇසුවේය. ඔව්හු දුර දේශයක්වූ බබිලෝනියේ සිට මා ළඟට ආවෝයයි හෙසකියා කීවේය.
4 එවිට ඔහු: ඔව්හු නුඹේ ගෙයි මොනවා දුටුවෝදැයි ඇසීය. හෙසකියා උත්තරදෙමින්: මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරේ මා ඔවුන්ට නොපෙන්වූ කිසිවක් නැතැයි කීවේය.
5 එවිට යෙසායා හෙසකියාට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න:
6 බලව, නුඹේ ගෙයි තිබෙන සියල්ලත් නුඹේ පියවරුන් විසින් අද දක්වා රැස්කර තැබූ දේත් කිසිවක් ඉතිරි නොකර බබිලෝනියට ගෙනයන දවස් පැමිණෙන්නේය.
7 නුඹ තුළින් නික්මෙන, නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් ගෙනයනු ලබන්නෝය; ඔව්හු බබිලෝනියේ රජුගේ මාළිගාවෙහි නපුංසකයෝ වන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
8 එවිට හෙසකියා: නුඹ කී ස්වාමීන්වහන්සේගේ වචනය යහපතැයි යෙසායාට කීවේය. මක්නිසාද සමාදානයත් සැබෑකමත් මාගේ දවස්වලදී වන්නේයයි ඔහු වැඩිදුරටත් කීවේය.



පරිච්ඡේදය 40

1 මාගේ සෙනඟ සනසන්න, සනසන්නැයි නුඹලාගේ දෙවියන්වහන්සේ වදාරනසේක.
2 යෙරුසලමට කරුණාවෙන් කථාකොට: ඇගේ සටන කෙළවරවීයයි කියාද ඇගේ වරද ගෙවී ගියේය කියාද ඇගේ සියලු පාපවලට ස්වාමීන්වහන්සේ අතින් ඈට දෙගුණයක් ලැබුණේය කියාද ඈට මොරගසා කියන්න.
3 කාන්තාරයෙහි ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාදා, අපේ දෙවියන්වහන්සේට වනයෙහි මාවතක් සමතලාකරන්න.
4 සියලු මිටි තැන් උස්වන්නේය, සියලු කඳු හා හෙල් පහත්කරනු ලබන්නේය. ඇද තැන් ඇදහරිනු ලබන්නේය, රළු තැන් සමතලාකරනු ලබන්නේය.
5 එවිට ස්වාමීන්වහන්සේගේ තේජස ප්‍රකාශවන්නේය, සියලු මනුෂ්‍යයෝ එක්ව එය දකින්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළසේකැයි මොරගසන්නෙකුගේ හඬක් වන්නේය.
6 මොරගසන්නැයි කියන කෙනෙකුගේ හඬක් වේ. මම කුමක් කියා මොරගසම්දැයි කෙනෙක් ඇසීය. මාංසමයවූ සියල්ලෝ තෘණය, ඔවුන්ගේ සියලු අලංකාරය කෙතේ මලක් මෙන්ය.
7 ස්වාමීන්වහන්සේගේ හුස්ම ඒවාට ගසන බැවින් තණකොළ වියළෙයි, මල පරවෙයි; සැබවින් සෙනඟ තෘණය.
8 තණකොළ වියළෙයි, මල පරවෙයි. නුමුත් අපේ දෙවියන්වහන්සේගේ වචනය සදාකාලේටම පවත්නේය කියාය.
9 සියොනට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ උස් කන්දට නගින්න; යෙරුසලමට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ හයියෙන් හඬගසන්න. භය නැතුව හඬනගා: මෙන්න, නුඹලාගේ දෙවියන්වහන්සේයයි යූදා නුවරවලට කියන්න.
10 බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවන්තයෙකු මෙන් එනසේක, උන්වහන්සේගේ හස්තයද උන්වහන්සේ උදෙසා ආණ්ඩුකරන්නේය. උන්වහන්සේගේ බැළය උන්වහන්සේ සමඟය; උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය.
11 එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.
12 තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද?
13 ස්වාමීන්වහන්සේගේ ආත්මයට මගපෙන්නුවෙත් උන්වහන්සේගේ මන්ත්‍රීව සිට උන්වහන්සේට ඉගැන්නුවෙත් කවුද?
14 උන්වහන්සේ කා සමඟ මන්ත්‍රණයකළසේක්ද? උන්වහන්සේට ගුරුකම් දී, යුතු මාර්ගය ගැන උන්වහන්සේට උගන්වා, දැනගැන්මද උගන්වා, බුද්ධියේ මාර්ගය උන්වහන්සේට පෙන්නුවේ කවුද?
15 බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් උස්සනසේක.
16 දැවීමට ලෙබනොන් මදිය, දවන පූජාවකට එහි සත්තුත් මදිය.
17 සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියෙහි කිසිත් නැතිකම මෙන්ය; ඔව්හු උන්වහන්සේට කිසිත් නැතිකමද හිස්කමද කොට ගණන්ගනු ලැබෙති.
18 එහෙයින් නුඹලා දෙවියන්වහන්සේ කාට සමකරන්නහුද? නොහොත් කොයි රූපාකාරයක් උන්වහන්සේට සමානකරන්නහුද?
19 කැටයම් රූපය වනාහි කම්කරුවෙකු විසින් වාත්තු කරනලද්දේය, රන්කරුවා ඒක රනින් වසා ඊට රිදී දම්වැල් සාදයි.
20 එබඳු යාගයක් පිදීමට වත්කම නැති අය නොදිරන ගහක් තෝරාගනියි; ඔහු නොසෙල්වෙන කැපූ රූපයක් පිහිටුවන්ට දක්ෂ කම්කරුවෙකු සොයාගනියි.
21 නුඹලා දන්නේ නැද්ද? අසා නැද්ද? මුල පටන් නුඹලාට දන්වා නැද්ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් නුඹලා ඒක තේරුම් නොගත්තහුද?
22 පෘථිවිචක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය, එහි වැසියෝ පළඟැටියන් වැනිය; අහස ඇතිරිල්ලක් මෙන් දිගහැර, වාසයකිරීමට කූඩාරමක් මෙන් එය අතුරා තබන්නෙත්,
23 අධිපතීන් නාස්තියට පමුණුවන්නෙත්, පොළොවේ විනිශ්චයකාරයන් හිස්කමක් කරන්නෙත් උන්වහන්සේය.
24 එසේය, ඔවුන් සිටවනු ලැබූ වහාම, වපුරනු ලැබූ වහාම, එසේය, ඔවුන්ගේ කඳ පොළොවෙහි මුල් ඇද්ද වහාම, උන්වහන්සේ ඔවුන්ට පිඹිනසේක, ඔව්හු වියළෙති, ඉපනැලි මෙන් ඔව්හු සුළිහුළඟට ගහගනයති.
25 ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසනසේක.
26 නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.
27 මාගේ මාර්ගය ස්වාමීන්වහන්සේගෙන් සැඟවී තිබේය කියාත් මාගේ විනිශ්චය මාගේ දෙවියන්වහන්සේ වෙතින් පහවේය කියාත් එම්බා යාකොබ්, නුඹ කියන්නෙත් එම්බා ඉශ්‍රායෙල්, නුඹ කථාකරන්නෙත් මක්නිසාද?
28 පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය.
29 උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක.
30 තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය.
31 නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.



පරිච්ඡේදය 41

1 ද්වීපයෙනි, මා ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න; ජනයෝ තමුන්ගේ සවිය අලුත්කරගන, ළංව, පසුව කථාකෙරෙත්වා. අපි එක්ව විනිශ්චය පිණිස ළඟාවෙමු.
2 පෙරදිගින් කෙනෙකු නැගුටුවා ධර්මිෂ්ඨකමින් තමන්ගේ පාමුලට කැඳවාගත්තේ කවුද? උන්වහන්සේ ඔහු ඉදිරියේ ජාතීන් පාවාදී, ඔහු ලවා රජුන් ආණ්ඩුකරවනසේක; උන්වහන්සේ ඔහුගේ කඩුවට ධූලි මෙන්ද ඔහුගේ දුන්නට හුළඟින් ගසාගනයන ඉපනැලි මෙන්ද ඔවුන් පාවාදෙනසේක.
3 ඔහු ඔවුන් ලුහුබඳවා, ඊට ප්‍රථම තමාගේ පාදවලින් නොගිය මාර්ගයකින් සුවසේ යන්නේය.
4 පටන්ගැන්මේ සිට පරම්පරාවලට කැඳවමින් කාරණා හසුරුවා ඉෂ්ටකළේ කවුද? පළමුවෙනියාවූ, අන්තිමයන් සමඟත් සිටින්නාවූ ස්වාමීන්වහන්සේ වන මමය, මම ඒ තැනන්වහන්සේය.
5 ද්වීපයෝ දැක භයවූවෝය; පොළොවේ සීමාවෝ වෙවුලුවෝය. ඔව්හු ළංවී ආවෝය;
6 එක එකා තම තමාගේ අසල්වාසියාට උපකාරකොට, තම තමාගේ සහෝදරයාට: ධෛර්යවත්වෙන්නැයි කීවෝය.
7 මෙසේ වඩුවා රන්කරුවාටද මිටියෙන් මට්ටම්කරන්නා කිණිහිරය පිට තළන්නාටද ධෛර්යදුන්නේය, පෑස්සීම හොඳයයි කියා ඔහු ඒක නොසෙල්වෙන ලෙස ඇණවලින් සවිකෙළේය.
8 නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්‍රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්‍රයාවූ ආබ්‍රහම්ගේ වංශය,
9 මා විසින් පොළොවේ කෙළවරින් අල්ලාගෙන, එහි සීමාවලින් කැඳවාගෙන: නුඹ මාගේ මෙහෙකරුවාය, මම නුඹ පහකර නොදමා තෝරාගතිමියි කියා මා විසින් කියනලද්දාවූ නුඹ,
10 භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
11 නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. නුඹ සමඟ විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය.
12 නුඹ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් නුඹ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය.
13 මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි.
14 පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
15 බලව, මම නුඹ මුවහත්වූ අලුත් දැති ඇත්තාවූ මඩින යන්ත්‍රයක් කරන්නෙමි. නුඹ කඳු මැඩ පොඩිකර, හෙල් බොල්මෙන් කරන්නෙහිය.
16 නුඹ ඒවා පොළන්නෙහිය, එවිට ඒවා සුළඟට ගහගන යන්නේය, සුළිහුළඟින් විසිරයන්නේය. නුඹ වනාහි ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිමත්වී, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෙහිය.
17 අසරණයන්ද දිළින්දන්ද වතුර සොයා නොලැබ ඔවුන්ගේ දිවි පිපාසායෙන් වේලෙන කල, ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ට උත්තරදෙන්නෙමි, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ වන මම ඔවුන් අත්නාරින්නෙමි.
18 මම මුඩු කඳු මුදුන්වල ගංගාද මිටියාවත් මැද උල්පත්ද විවරකරන්නෙමි. කාන්තාරය දිය පොකුණක්ද වියළි දේශයන් ජල උල්පත්ද කරන්නෙමි.
19 මම කාන්තාරයෙහි කිහිරි ගස්ද ෂිට්ටීම් ගස්ද මරඳ ගස්ද තෙල් ගස්ද හිටවන්නෙමි; වනයෙහි දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂූර් ගස්ද එකට තබන්නෙමි.
20 එසේ කරන්නේ ස්වාමීන්වහන්සේගේ හස්තය මේක කළ බවද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ ඒක හටගැන්වූ බවද ඔවුන් එක්ව දැක, දැනගෙන, සිතට ගෙන, තේරුම්ගන්න පිණිසය.
21 නුඹලාගේ පැමිණිල්ල ඉදිරියට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලාගේ බලවත් කාරණා පෙන්වන්නැයි යාකොබ්ගේ රජ්ජුරුවෝ කියනසේක.
22 ඔව්හු ඒවා ඉදිරිපත්කොට, සිද්ධවෙන්ට තිබෙන දේවල් අපට දන්වත්වා. ඉස්සර දේවල් මොනවාදැයි අප විසින් කල්පනාකොට ඒවායේ කෙළවර දැනගන්නා පිණිස ඒවා අපට දන්වන්න; නොහොත් පැමිණෙන්ට තිබෙන දේවල් අපට ප්‍රකාශකරන්න.
23 මතු සිද්ධවෙන්ට තිබෙන දේවල් දන්වන්න, එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්ට ලැබෙනවා ඇත. එසේය, අප එක්ව තැතිගෙන බලන පිණිස හොඳක් හෝ නරකක් කරන්න.
24 බලව, නුඹලා කිසිත් නැතිකමය, නුඹලාගේ ක්‍රියාවත් හිස්කමය. නුඹලාව තෝරාගන්න තැනැත්තේ පිළිකුලක්ය.
25 මම උතුරු දිගින් කෙනෙක් නැගිටවීමි, ඔහු ඇවිත් සිටියි; නැගෙනහිර පටන් ඔහු මාගේ නාමය කියා යාච්ඤාකරන කෙනෙක්ය. බදාම මෙන්ද කුම්භකාරයා මැටි පාගන්නාක්මෙන්ද ඔහු ආණ්ඩුකාරයන් පිටට පැමිණෙනවා ඇත.
26 අප විසින් දැනගන්න පිණිස පටන්ගැන්මේ සිටත්: ඔහු ධර්මිෂ්ඨයයි අප විසින් කියන පිණිස පුරාණයේදීත් දැන්නුවේ කවුද? එසේය, දන්වන කිසිවෙක් නැත. එසේය, ප්‍රකාශකරන කිසිවෙක් නැත, එසේය, නුඹලාගේ වචන අසන කිසිවෙකුත් නැත.
27 බලන්න, බලන්නැයි පළමුකොට සියොනට කීවේ මමය; ශුභ ආරංචි ගෙනෙන කෙනෙකු මම යෙරුසලමට දෙන්නෙමි.
28 මා විසින් බලන කල කිසිවෙක් නැත. මා ඔවුන්ගෙන් අසන කල කිසි උත්තරයක් දෙන්ට පුළුවන් මන්ත්‍රියෙක් ඔවුන් අතරේ නැත.
29 බලව, ඔවුන් සියල්ලෝම කිසිත් නැතිකමය, ඔවුන්ගේ වැඩ නිෂ්ඵලකමය; ඔවුන්ගේ පිළිම සුළඟ සහ වියවුලය.



පරිච්ඡේදය 42

1 මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය.
2 ඔහු මොර නොගසන්නේය. ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය.
3 ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය, දුම්ගහන පහන්තිරයක් නොනිවන්නේය. ඔහු සැබෑවෙන් විනිශ්චය ප්‍රකාශකරන්නේය.
4 පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.
5 ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
6 ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසාගතිමි, මම නුඹේ අත අල්ලාගන, නුඹ ආරක්ෂා කොට, සෙනඟගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක්ද කොට නියමකරන්නෙමි.
7 එසේ කරන්නේ අන්ධවූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය.
8 මම ස්වාමීන්වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.
9 බලව, පළමු කී දේවල් මෙන්න සිද්ධවී තිබේ, මම අමුතු දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශකරමි. ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගීයක්.
10 මුහුදට බැසයන්නෙනි, එහි පිරී සිටින සියල්ලෙනි, දිවයින් හා එහි වැසියෙනි, ස්වාමීන්වහන්සේට අලුත් ගීතිකාවක් ද පොළෝ සීමාවේ සිට උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරන්න.
11 කාන්තාරය සහ එහි නුවරවල්ද කේදාර්වරුන් වාසයකරන ගම්ද ශබ්දනගත්වා; පර්වතවල වැසියෝ ඔල්වරහඬ දෙත්වා, කඳු මුදුන්වල සිට මොරගසත්වා.
12 ඔව්හු ස්වාමීන්වහන්සේට ගෞරවය දී, උන්වහන්සේගේ ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශකෙරෙත්වා.
13 ස්වාමීන්වහන්සේ බලවන්තයෙකු මෙන් නික්ම එනසේක; උන්වහන්සේ යුද්ධකාරයෙකු මෙන් ජ්වලිතය උපදවනසේක; උන්වහන්සේ කෑගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවන්තකම් කරනසේක.
14 මම බොහෝ කල් නිශ්ශබ්දව සිටියෙමි; නිශ්චලව කථා නොකර සිටියෙමි. දැන් විළිරුජා ඇති ස්ත්‍රියෙකු මෙන් කෑගසන්නෙමි; එකවිටම කට ඇර හතිදමන්නෙමි.
15 මම කඳු සහ හෙල් පාළුකර, ඒවායේ සියලු පලාජාති වියළවන්නෙමි, ගංගා ගොඩකර, පොකුණු හින්දවන්නෙමි.
16 අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙනයන්නෙමි; ඔවුන් නොදන්නා මාවත්වලින් යන්ට සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියෙහි අන්ධකාරය එළිය කොට, ඇද තැන් ඇද අරින්නෙමි. මම මේ දේවල් කරන්නෙමි, ඔවුන් අත්නාරින්නෙමි.
17 රූප කෙරෙහි විශ්වාසකරන්නාවූ, නුඹලා අපේ දෙවිවරුයයි පිළිමවලට කියන්නාවූ අය පස්සට හරවනු ලබන්නෝය, බොහෝසෙයින් ලජ්ජාවට පත්වන්නෝය.
18 බිහිරෙනි, අසන්න; අන්ධයෙනි, දකින පිණිස බලන්න.
19 මාගේ මෙහෙකරුවා මිස අන්ධව සිටින්නෙත් මාගේ පණිවිඩකාරයා මෙන් බිහිරිව සිටින්නෙත් කවුද? මා හා සමාදානයෙන් සිටින්නා මෙන් අන්ධව සිටින්නෙත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවා මෙන් අන්ධව සිටින්නෙත්‍ කවුද?
20 නුඹ බොහෝදේ දකින නුමුත් නොසලකන්නෙහිය; ඔහුගේ කන් ඇරී තිබෙද්දීත් ඔහු අසන්නේ නැත.
21 ස්වාමීන්වහන්සේ තමන්ගේ ධර්මිෂ්ඨකම නිසා ව්‍යවස්ථාව උතුම් කොට ඊට ගෞරවකරන්ට සතුටුවූසේක.
22 එහෙත් මොව්හු කොල්ලකෑමද පැහැරගැන්මද වින්දාවූ සෙනඟක්ය; මොවුන් සියල්ලෝම වළවල්හි අසුවී, ඇඳිරි ගෙවල්වල සඟවනු ලැබ සිටිති. කිසිවෙකු විසින් ගළවනු නොලැබ, ඔව්හු කොල්ලයක්ව සිටිති; නිදහස්කරන්නැයි කිසිවෙකු කියන්නේ නැතුව නාස්තියක්වී සිටිති.
23 නුඹලා අතරෙන් කවුරු මීට ඇහුම්කන්දී අසා, මින් මත්තට කීකරුවන්නේද?
24 යාකොබ් කොල්ලයක් පිණිසද ඉශ්‍රායෙල් කොල්ලකාරයන්ටද දුන්නේ කවුද? ස්වාමීන්වහන්සේ නොවේද? අප පව්කළේ උන්වහන්සේට විරුද්ධවය, ඔවුන් යන්ට අකමැතිවුණේ උන්වහන්සේගේ මාර්ගවලය; ඔවුන් අකීකරුවුණේ උන්වහන්සේගේ ව්‍යවස්ථාවටය.
25 ඒ නිසා උන්වහන්සේ තමන්ගේ බලවත් උදහස සහ සටනේ දරුණුකම ඔවුන් කෙරෙහි වැගිරෙවුසේක; එයින් ඔවුන් වටකර ඔවුන්ට ගිනිඇල්ලූ නුමුත්, ඔව්හු එය නොදත්තෝය; එයින් ඔවුන් දැවූ නුමුත්, ඒක සිතට නොගත්තෝය.



පරිච්ඡේදය 43

1 එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්‍රායෙල්, නුඹව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය.
2 නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.
3 මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.
4 නුඹ මා ඉදිරියේ අනර්ඝව ගරුකටයුතුවූ බැවින්ද, මා නුඹට ප්‍රේමකළ බැවින්ද, නුඹ වෙනුවට මිනිසුන්ද නුඹේ ජීවිතය වෙනුවට ජනයන්ද දෙන්නෙමි.
5 භයනොවෙන්න; මක්නිසාද මම නුඹ සමඟ සිටිමි. නුඹේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, බස්නාහිරින්ද නුඹ රැස්කරන්නෙමි;
6 මම උතුරු දිසාවට කථාකොට: දෙන්නැයි කියාත්, දකුණු දිසාවට: නවත්වා නොගන්නැයි කියාත්, දුර සිට මාගේ පුත්‍රයන්ද පොළොවේ කෙළවරින් මාගේ දූවරුන්ද,
7 එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.
8 ඇස් ඇති අන්ධ සෙනඟද කන් ඇති බිහිරන්ද පිටතට ගෙනෙන්න.
9 සියලු ජාතීහු එකට රැස්වෙත්වා, ජනයෝද එකතුවෙත්වා. ඔවුන්ගෙන් කවුරු මෙය දන්වා පළමු දේවල් අපට ප්‍රකාශකරනවා ඇද්ද? ඔව්හු තමුන්ගේ සාක්ෂිකාරයන් ගෙනැවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්වා. නැත්නම් ඔව්හු අසා: ඒක සැබෑයයි කියත්වා.
10 මම ඒ තැනන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත.
11 මම, මමම, ස්වාමීන්වහන්සේය; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.
12 මමම දැන්වීමි, මමම ගැළවීමි, මමම ප්‍රකාශකෙළෙමි, අන් දෙවිකෙනෙක් නුඹලා අතරේ සිටියේ නැත. එබැවින් නුඹලා මාගේ සාක්ෂිකාරයෝය, මම දෙවියන්වහන්සේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
13 එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද?
14 නුඹලාගේ මිදුම්කාරයාණෝද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹලා උදෙසා බබිලෝනියට යවා, ඔවුන් සියල්ලන්, එනම් කල්දිවරුන්, ඔවුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත නැව්වලම හිරකරුවන් කොට ගෙනෙන්නෙමි.
15 මම නුඹලාගේ ශුද්ධ තැනන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ මැවුම්කාරයාද නුඹලාගේ රජද වන ස්වාමීන්වහන්සේය.
16 මුහුදෙහි මාර්ගයක්ද මහ ජලයන් මැදින් පාරක්ද සාදන්නාවූ,
17 රථද අශ්වයන්ද සේනාවද බලවන්තයන්ද පිටතට පමුණවා, ඔවුන් නොනැගිටින ලෙස එක්ව වැටීමට සහ සිදීයාමටද පහන්තිරය මෙන් නිවීයාමටද සලස්වන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
18 පළමු කාරණ සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න.
19 බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.
20 මා විසින් තෝරාගත් මාගේ සෙනඟට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය.
21 මා විසින් මටම උපදවාගත් ඒ සෙනඟ මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත.
22 එහෙත්, යාකොබ්, නුඹ මට යාච්ඤා නොකෙළෙහිය; ඉශ්‍රායෙල්, නුඹ මා ගැන කලකිරුණෙහිය.
23 නුඹේ දවන පූජාවල එළු බැටළුවන් නුඹ මට ගෙනාවේවත් නුඹේ යාගවලින් මට ගෞරව කළේවත් නැත. මම ආහාර පූජාවලින් නුඹට බරක් නොවීමි, දුම් පූජාවලින් නුඹ නොවෙහෙසීමි.
24 නුඹ මට සුවඳ දඬු මිලේට-ගත්තේවත් නුඹේ පූජාවල තෙලෙන් මා තෘප්තියට පැමිණෙවුවේවත් නැත. නුඹේ පාපවලින් නුඹ මට බරක්වී, නුඹේ අයුතුකම්වලින් මා වෙහෙසෙවුවා පමණක්ය.
25 මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට, නුඹේ වරද මකාදමන තැනන්වහන්සේය.
26 මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. නුඹ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස නුඹම නුඹේ විත්තිය කියන්න.
27 නුඹේ මුල් පියා පව් කෙළේය, නුඹේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය.
28 එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.



පරිච්ඡේදය 44

1 නුමුත්, මාගේ මෙහෙකරුවූ යාකොබ්, මා විසින් තෝරාගත් ඉශ්‍රායෙල්, දැන් අසන්න.
2 නුඹ මාව කුසේ පටන් නුඹ සෑදුවාවූ, නුඹට උපකාරකරන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, මා විසින් තෝරාගත් යෙෂුරූන්, භය නොවෙන්න.
3 මක්නිසාද පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියළි භූමිය කෙරෙහි ජලධාරාද වගුරුවන්නෙමි. නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි.
4 ඔවුන් වතුර ළඟ තෘණ මෙන්ද දිය ඔයවල් ළඟ නළා ගස් මෙන්ද වැඩෙනවා ඇත.
5 එක්කෙනෙක්: මම ස්වාමීන්වහන්සේගේ යයි කියනවා ඇත; තවත් කෙනෙක් යාකොබ් යන නාමය තබාගන්නවා ඇත; තවත් කෙනෙක්ද තමා ස්වාමීන්වහන්සේට අයිතියයි තමාගේ අතෙහි ලියා තබා, ඉශ්‍රායෙල් යන දෙවෙනි නාමයක් පවරාගන්නවා ඇත.
6 ඉශ්‍රායෙල්ගේ රජද ඔහුගේ මිදුම්කාරයාද වූ ස්වාමීවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම පළමුවෙනියාය, අන්තිමයාත් මමය; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.
7 මා විසින් පුරාණ සෙනඟ පිහිටෙවු තැන් පටන් මා වාගේ ප්‍රකාශකර, යමක් දන්වා, පිළිවෙළට මට කියන්නේ කවරෙක්ද? ඔව්හු සිද්ධවෙන දේවල්ද පැමිණෙන්ට තිබෙන දේවල්ද දන්වත්වා.
8 තැතිගන්ටවත් භයවෙන්ටවත් එපා; මම පුරාණයේ පටන් නුඹට ප්‍රකාශකර නොදැන්නුවෙම්ද? නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. මා ඇර වෙන දෙවිකෙනෙක් ඇද්ද? නැත, වෙන පර්වතයක් නැත; අන් කිසිවෙකු ඇති බවක් නොදනිමි.
9 රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්‍රිය දේවලින් ප්‍රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය.
10 දෙවිකෙනෙකු සාදා ප්‍රයෝජන නැති රූපයක් වාත්තුකෙළේ කවුද?
11 බලව, ඒකට සම්බන්ධව සිටින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති; කර්මාන්තකාරයෝ පවා මනුෂ්‍යයෝය. ඔවුන් සියල්ලෝම රැස්වී නැගිට සිටිත්වා; ඔව්හු භයව එක්ව ලජ්ජාවන්නෝය.
12 ආචාරියා පොරොවක් සාදමින්, ගිනි අඟුරුවලින් වැඩකරමින්, මිටිවලින් ඒක තළා, තමාගේ සවි හස්තයෙන් ඒක සාදයි. එසේය, ඔහුට බඩගිනිව ඔහුගේ ශක්තිය හීනවෙයි; ඔහු වතුර නොබී ක්ලාන්තවෙයි.
13 වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණුකර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණුකොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත් මනුෂ්‍යයෙකුගේ ශෝභනකම ප්‍රකාරයටත් ඒක සාදන්නේය.
14 ඔහු කිහිරි ගස් කපාගන්නේය. ඔහු තිර්සා ගහක්ද අලෝන ගහක්ද රැගෙන වනයේ ගස් අතරෙහි වවන්නේය. ඔහු දේවදාර ගහක් හිටවයි, ඒක වර්ෂාවෙන් වැවේ.
15 එවිට ඒක ගිනිදැල්වීම පිණිස මනුෂ්‍යයෙකුට ලැබේ; ඔහු එයින් රැගෙන ගිනිතපින්නේය; එසේය, එය පත්තුකොට රොටිද පුලුස්සන්නේය. එයින් ඔහු දෙවිකෙනෙකුත් සාදා නමස්කාරකරන්නේය. එයින් රූපයක්ද තනා ඊට වැඳවැටෙන්නේය.
16 ඔහු එයින් කොටසක් ගින්නෙන් දවන්නේය, කොටසකින් මස් පිස කන්නේය; ඔහු කෑම පුලුස්සා කා තෘප්තියට පැමිණෙන්නේය. එසේය, ඔහු ගිනි තැප: ඔහෝ මම උණුසුම්වීමි, ගින්දර දුටිමියි කියන්නේය.
17 ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය.
18 ඔව්හු නොදනිති, ඔව්හු කල්පනා නොකෙරෙති. මක්නිසාද නොපෙනෙන හැටියට ඔවුන්ගේ ඇස්ද තේරුම් නොගන්න හැටියට ඔවුන්ගේ සිත්ද වසා තිබේ.
19 මම කොටසක් දවා එහි අඟුරු පිට රොටි පිලිස්සීමි; මස් පුලුස්සා කෑවෙමි; ඉතිරි ඒවායෙන් පිළිකුල් දෙයක් සාදා ලී කඳකට වැඳවැටෙම්දැයි කියන්ට කිසිවෙක් සිතට ගන්නේවත් ඒ අයට දැනගැන්මද තේරුමද ඇත්තේවත් නැත.
20 ඔහු කන්නේ අළුය. තමාගේ ප්‍රාණය ගළවාගන්ටවත්: මාගේ දකුණතේ බොරුවක් තිබෙනවා නොවේදැයි කියන්ටවත් බැරි ලෙස ඔහුගේ සිත රැවටී, ඔහු මුළාව ගොස් සිටියි.
21 එම්බා යාකොබ්, ඉශ්‍රායෙල්, මේ දේවල් සිහිකරන්න, මක්නිසාද නුඹ මාගේ මෙහෙකරුවාය. මම නුඹ සෑදීමි; නුඹ මාගේ මෙහෙකරුවාය. ඉශ්‍රායෙල්, නුඹ මාගේ සිහියෙන් තොර නොවන්නෙහිය.
22 මම නුඹේ අපරාධ වලාපටළයක් මෙන්ද නුඹේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී එන්න; මක්නිසාද මම නුඹ මිදුවෙමි.
23 ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.
24 නුඹේ මිදුම්කාරයාවූ, කුසේ පටන් නුඹ සෑදුවාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමීවූ මම සියල්ලම කරන්නාවූ තැනන්වහන්සේය; මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිග හරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනන්වහන්සේය.
25 මම බොරුකාරයන්ගේ ලකුණු හිස්කරන්නාවූ, පේනකියන්නන් උමතු කරන්නාවූ, ශාස්ත්‍රවන්තයන් පස්සට හරවන්නාවූ, ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවන්නාවූ තැනන්වහන්සේය.
26 මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ටකරන්නාවූ, වැසියෝ එහි සිටින්නෝය කියා යෙරුසලම ගැනද, ගොඩනගනු ලැබේය කියා යූදාහි නුවරවල් ගැනද: එහි පාළු ඉඩම් උස්සන්නෙමියි කියාද කියන්නාවූ තැනන්වහන්සේය.
27 ගැඹුරට: හිඳෙන්න කියාද, මම නුඹේ ගංගා හිඳවන්නෙමියි කියාද කියන තැනන්වහන්සේය.
28 කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරමින්-යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන තැනන්වහන්සේය.



පරිච්ඡේදය 45

1 තමන්ගේ අභිෂේකලත් තැනැත්තාවූ කෝරෙෂ් ඉදිරියෙහි ජාතීන් යටත්කිරීමටත් රජවරුන්ගේ ඉඟටි ලිහීමටත් දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියෙහි දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලාගත්තාවූ ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ කියනසේක:
2 මම නුඹට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලාකොට, පිත්තල දොරවල් බිඳ දමා, යකඩ අගුල් කපාදමන්නෙමි.
3 නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි.
4 මාගේ මෙහෙකරුවූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඉශ්‍රායෙල් නිසාත් නුඹේ නම කියා කැඳවීමි. නුඹ මා නෑඳින්න නුමුත් නුඹට නමක් තැබීමි.
5 මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.
6 මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස නුඹ මා නෑඳින්න නුමුත් මම නුඹේ ඉඟටිය බඳින්නෙමි. මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
7 එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේයයි කියනසේක.
8 එම්බා අහස, ඉහළින් පොද හෙළව, වලාකුල් ධර්මිෂ්ඨකම වගුරුවත්වා. ගැළවීම හටගන්න පිණිස පොළොව ඇරේවා, එකට වැවෙන පිණිස ධර්මිෂ්ඨකමද නැගී ඒවා; ස්වාමීන්වහන්සේ වන මම ඒක සැලැස්වීමි.
9 තමාගේ මැවුම්කාරයා හා සමඟ පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! නුඹ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් නුඹ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද?
10 නුඹ ජාතකකරන්නේ මොකක්දැයි පියෙකුටවත් නුඹ බිහිකරන්නේ කුමක්දැයි ස්ත්‍රියෙකුටවත් කියන්නාට දුක්වේ.
11 ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද ඔහුගේ මැවුම්කාරයාද වූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මතු පැමිණෙන දේ ගැන මාගෙන් අසන්න; මාගේ පුත්‍රයන් ගැනද මාගේ අතේ ක්‍රියාවල් ගැනද මට අණකරන්න.
12 පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි.
13 ඔහු අධර්මිෂ්ඨකමින් නැගිටෙවුවේ මමය, ඔහුගේ සියලු මාර්ග සමතලාකරන්නෙමි. ඔහු මාගේ නුවර ගොඩනගන්නේය, පිටවහල්ව සිටින මාගේ ජනයන් නිදහස්කරන්නේය; එසේ කරන්නේ මිලයක්වත් තෑග්ගක්වත් පිණිස නොවේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
14 ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිතිවන්නෝය; ඔව්හු නුඹ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ: සැබවින්ම නුඹ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව්කරන්නෝයයි කියනසේක.
15 ගැළවුම්කාරවූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සැබවින්ම ඔබ සැඟවෙන දෙවිකෙනෙක්ය.
16 දේවරූප සාදන්නෝ සියල්ලෝම ලජ්ජාවී, නින්දාවට පත්ව, එක්ව වියවුල් බවට පැමිණෙන්නෝය.
17 නුමුත් ස්වාමීන්වහන්සේ විසින් සදාකාල ගැළවීමකින් ඉශ්‍රායෙල් ගළවනු ලබන්නෝය. නුඹලා සදාකාලයටම ලජ්ජාවටවත් වියවුල් බවටවත් නොපැමිණ සිටිනවා ඇත.
18 මක්නිසාද ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
19 මා කථාකළේ රහසින් නොවේය, පොළොවේ අඳුරු තැනකදී නොවේය. නිකමට මා සොයන්නැයි යාකොබ්ගේ වංශයට නොකීවෙමි. ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨ දේ කියමි, යුතු දේ ප්‍රකාශකරමි.
20 ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත.
21 ඒක දන්වා, ඉදිරියට ගෙනෙන්න; එසේය, ඔව්හු එක්ව මන්ත්‍රණයකෙරෙත්වා. මේක පුරාණයේ සිට ප්‍රකාශකළෙත් පූර්වයේ පටන් දැන්නුවෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවෙම්ද? මා ඇර වෙන දෙවිකෙනෙක් නැත; මම ධර්මිෂ්ඨවූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය; වෙන කෙනෙක් නැත.
22 පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
23 සියලු දණහිස් මට නැමෙනවා ඇත. සියලු දිව්ද මා ගැන දිවුරනවා ඇත කියා මම මා ගැනම දිවුළෙමි, අවලංගු නොවන ධර්මිෂ්ඨකමේ වචනයක් මාගේ මුඛයෙන් නික්මුණේය.
24 ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ උන්වහන්සේ කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය.
25 මුළු ඉශ්‍රායෙල් වංශය ස්වාමීන්වහන්සේ තුළම ධර්මිෂ්ඨකරනු ලැබ පාරට්ටුකරගන්නවා ඇත.



පරිච්ඡේදය 46

1 බේල් පහත්වෙයි, නෙබෝ නැමෙයි; ඒවායේ රූප මෘගයින් පිටද සිව්පාවුන් පිටද තිබේ. නුඹලා විසින් ගෙනගිය ඒවා වෙහෙසවෙන මෘගයන් පිට බරක් කොට පටවා තිබේ.
2 ඒ දෙවිවරු එක්ව නැමී පහත්වෙති; ඒ බර ගළවාගන්ට නොහැකිව, තුමූම වහල්කමට ගොස් සිටිති.
3 ගර්භයේ සිට මා විසින් උසුලනලද්දාවූ, කුසේ සිට ගෙනයනලද්දාවූ යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ ඉතිරිවූ සියල්ලෙනි, මාගේ වචන අසන්න:
4 මහලු වයස දක්වාත් මම එසේමය, හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. මම සෑදීමි, මමම නුඹලා දරාගෙන මමම උසුලාගන ගළවන්නෙමි.
5 අප එකාකාර වන සේ නුඹලා මා සමාන කරන්නෙත් එක සම කරන්නෙත් සදෘශ කරන්නෙත් කාටද?
6 වස්තුකාරයෝ මල්ලෙන් ගන්න රන්ද රිදීද තරාදියෙන් කිරා, රන්කරුවෙකු කුලියට ගෙන, ඒවායින් දෙවිකෙනෙකු සාදවාගෙන, ඊට වැඳවැටී නමස්කාරකෙරෙති.
7 ඔව්හු එය කර පිට තබා, උසුලා, එය ගෙන ගොස්, ඊට නියම ඉඩමේ තබති, එයද සිටෙවු ස්ථානයෙන් නොයයි. එසේය, යමෙක් ඊට යාච්ඤාකරන නුමුත් උත්තර දෙන්ටවත් විපතෙන් ඔහු ගළවන්ටවත් එයට බැරිය.
8 මේක සිහිකොට මනුෂ්‍යයන් මෙන් හැසිරෙන්න. ද්‍රෝහිකාරයෙනි, ඒක සිතට ගන්න.
9 පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත.
10 මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණ දේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය.
11 මම නැගෙනහිරින් ගිජු පක්ෂියෙක්ද දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවාගන්න තැනන්වහන්සේය. එසේය, මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.
12 ධර්මිෂ්ඨකමින් ඈත්ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මාගේ වචන අසන්න.
13 මාගේ ධර්මිෂ්ඨකම ළංකරන්නෙමි, ඒක ඈත්ව නොතිබෙන්නේය, මාගේ ගැළවීමද ප්‍රමාද නොවන්නේය; මාගේ ගෞරවයවූ ඉශ්‍රායෙල්ට සියොන්හි ගැළවීම දෙන්නෙමි.



පරිච්ඡේදය 47

1 කන්‍යාවවූ බබිලොන් දියණිය, බැස ධූලියෙහි හිඳගන්න; කල්දිවරුන්ගේ දියණිය, සිංහාසනයක් නැතුව බිම හිඳගන්න. මක්නිසාද: මෘදුවූ සිව්මැළිවූ තැනැත්තීයයි තවත් නුඹට කියනු නොලැබේ.
2 ඇඹරුම් ගල්ගෙන පිටි අඹරන්න. නුඹේ මුහුණු වැස්ම අහක්කොට, පිට ඇඳුම ගළවා දමා, කකුල් නග්නකර, ගංගාවලින් එගොඩවෙන්න.
3 නුඹේ නග්න භාවය ප්‍රකාශවන්නේය, නුඹේ ලජ්ජාවත් පෙනෙන්නේය. මම පළිගන්නෙමි, කිසි මනුෂ්‍යයෙකු පිළි නොගන්නෙමි.
4 අපේ මිදුම්කාරයා නම් සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
5 කල්දිවරුන්ගේ දියණිය, නිශ්ශබ්දව ඉඳ අන්ධකාරයට ඇතුල්වෙන්න. මක්නිසාද නුඹ: රාජ්‍යවල ස්වාමිදුවයයි තවත් කියනු නොලබන්නීය.
6 මම මාගේ සෙනඟ කෙරෙහි උදහස්වී, මාගේ උරුමය කෙලහා, ඔවුන් නුඹ අතට දුනිමි. නුඹ ඔවුන්ට අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන් පිට නුඹේ වියගහ ඉතා බර කෙළෙහිය.
7 මම සෑම කල්ම ස්වාමිදුවව සිටින්නෙමියි නුඹ කීවෙහිය. මෙසේ නුඹ මේ දේවල් සිතට ගත්තේවත්, එහි අන්තිමය සිහිකළේවත් නැත.
8 ඉතින් සැප ජීවිකාවට ඇලුම්වූ, නොසැලකිලිකමින් වාසයකරන්නාවූ: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි කියාද මා වැන්දඹුවක් වෙන්නේවත් දරුවන් නැතිවීමක් අත්දකින්නේවත් නැතැයි කියාද සිත තුළ කියාගන්නාවූ නුඹ මේක අසන්න.
9 නුමුත් ඒ දෙකම එනම් දරුවන් නැතිවීමද වැන්දඹුකමද එක දවසේම හදිසියෙන් නුඹට පැමිණෙන්නේය. නුඹේ බොහෝ මායම්ද නුඹේ රාශි ගණන් මන්ත්‍රද තිබෙද්දීත් ඒවා සම්පූර්ණයෙන්ම නුඹ පිටට පැමිණෙන්නේය.
10 මක්නිසාද නුඹේ දුෂ්ටකමෙහි නුඹ නොසැලකිලිව සිට: මා දකින කෙනෙක් නැතැයි කීවෙහිය; නුඹේ ප්‍රඥාව හා නුඹේ දැනගැන්ම කරණකොටගෙන නුඹ මුළාවී: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි නුඹේ සිත තුළ සිතාගත්තෙහිය.
11 ඒ නිසා විපත්තිය නුඹ පිටට පැමිණෙන්නේය; ඒක මතුරා හරින්ට නුඹ නොදන්නෙහිය. නුඹට පහකරගන්ට බැරි නාස්තියක් නුඹ පිටට වැටෙන්නේය. නුඹ නොදන්න විනාශයක්ද හදිසියෙන් නුඹ පිටට පැමිණෙන්නේය.
12 ඉතින් නුඹේ බාල වයසේ පටන් නුඹ විසින් වෙහෙස ඇතුව පුරුදුකළාවූ නුඹේ මන්ත්‍රද බොහෝවූ නුඹේ මායම්ද භාවිතාකරන්න; සමහරවිට නුඹට වාසි ලබාගත හැකිවන්නේය, සමහර විට නුඹ සතුරන්ට භය උපදවන්නෙහිය.
13 නුඹේ බොහෝ මන්ත්‍රණවලින් නුඹ වෙහෙසවී සිටිනෙහිය. ඉතින් නක්ෂත්‍රකාරයෝද තාරකා බලන්නෝද අමාවක්වලදී කාරණා දන්වන්නෝද නැගිට, නුඹ පිටට පැමිණෙන දේවලින් නුඹ ගළවත්වා.
14 බලව, ඔව්හු ඉපනැලි මෙන් වන්නෝය; ගින්න ඔවුන් දවන්නේය; ඔව්හු ගිනිදැල්ලේ බලයෙන් තමුන්ම ගළවා නොගන්නෝය. එය ගිනි තපින්ට අඟුරක්වත් ළංව ඉන්ට ගින්නක්වත් නොවන්නේය.
15 නුඹ යම් යම් දේ සමඟ වෙහෙසුණෙහිද ඒවා නුඹට එයාකාරවන්නේය. නුඹේ යෞවන වයසේ පටන් නුඹ සමඟ වෙළඳාම්කළ අයවල් තම තමුන්ගේ දිශාවලට අහක්ව යන්නෝය; නුඹ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.



පරිච්ඡේදය 48

1 ඉශ්‍රායෙල් යන නාමය දරන්නාවූ, යූදා උල්පතෙන් නික්මුණාවූ, සැබෑකමෙන්වත් ධර්මිෂ්ඨකමෙන්වත් නොවන නුමුත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ සඳහන්කරන්නාවූ තැනැත්තන් වන යාකොබ්ගේ වංශය, මේක අසන්න.
2 මක්නිසාද තමුන් ශුද්ධ නුවරට අයිතියයි කියාගන ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටිති.
3 පළමු කාරණා පූර්වයේ පටන් දැන්වීමි; එසේය, ඒවා මාගේ මුඛයෙන් නික්මුණේය, මමද ඒවා ප්‍රකාශකෙළෙමි. මම ඒවා හදිසියෙන් කෙළෙමි, ඒවා සිදුවුණේය.
4 නුඹ දැඩි බවත් නුඹේ බෙල්ල යකඩ නහරයක් බවත් නුඹේ නළල පිත්තල බවත් මා දන්නා බැවින්,
5 මම පූර්වයේ පටන් නුඹට දන්වා, එය පැමිණෙන්ට පළමුවෙන් නුඹට ප්‍රකාශකෙළෙමි. එසේ කළේ: මාගේ දේව රූපය ඒවා කෙළේය කියාද මාගේ කැටයම් රූපය සහ මාගේ වාත්තු පිළිමයත් ඒවා නියම කෙළේය කියාද නුඹ නොකියන පිණිසය.
6 නුඹ එය අසා තිබේ; මේ සියල්ල බලන්න; නුඹලාත් දන්වන්නේ නැද්ද? මෙතැන් පටන් අමුතු දේවල්ද නුඹ නොදන්නාවූ සඟවා තිබෙන දේවල්ද නුඹට ප්‍රකාශකරමි.
7 පූර්වයේ පටන් නොව දැන්ම ඒවා උපදවනලද්දේය. බලව, මම ඒවා දැනගතිමියි නුඹ නොකියන පිණිස අද දවසට පළමුවෙන් නුඹ ඒවා නොඇසුවෙහිය.
8 එසේය, නුඹ ඇසුවේවත් දැනගත්තේවත් නැත; එසේය, පූර්වයේ පටන් නුඹේ කන් අරිනු ලැබුවේවත් නැත. මක්නිසාද නුඹ ඉතා ද්‍රෝහිව ක්‍රියාකළ බවද කුසේ පටන් අපරාධකාරයෙකැයි නුඹට කියනලද බවද මම දැනගන සිටියෙමි.
9 මාගේ නාමය නිසා මාගේ කෝපය ප්‍රමාදකරන්නෙමි, නුඹ සිඳ නොදමන පිණිස මාගේ ප්‍රශංසාව උදෙසා නුඹ ගැන එය නවත්වන්නෙමි.
10 බලව, මම නුඹ පවිත්‍රකෙළෙමි, නුමුත් රිදී මෙන් නොවේය; පීඩා නැමති උඳුණේදී නුඹ තෝරාගතිමි.
11 මා නිසා, මා නිසාම, ඒක කරන්නෙමි; මක්නිසාද මාගේ නාමය කෙලහෙන්ට දෙන්නේ කොහොමද? මාගේ ගෞරවය වෙන කෙනෙකුට නොදෙන්නෙමි.
12 එම්බා යාකොබ්, මා විසින් කැඳවාගත් තැනැත්තාවූ ඉශ්‍රායෙල්, මට ඇහුම්කන්දෙන්න. මම [සදාකල්] සිටින්නාවූ තැනන්වහන්සේය; මම පළමුවෙනියාය; අන්තිමයාත් මමය.
13 එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය.
14 නුඹලා සියල්ලෝම රැස්වී අසන්න; ඔවුන් අතරෙන් මේ දේ දැන්නුවේ කවුද? ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක. ඔහු උන්වහන්සේගේ කැමැත්ත බබිලෝනිය කෙරෙහි ඉෂ්ටකරනවා ඇත, ඔහුගේ හස්තය කල්දිවරුන් පිටට පැමිණෙන්නේය.
15 මමම කථාකෙළෙමි; එසේය, මම ඔහු අඬගසාගතිමි. ඔහු ගෙන්වාගතිමි, ඔහු තමාගේ මාර්ගය සඵලකරගන්නේය.
16 මා ළඟට ඇවිත් මේක අසන්න; මා පටන්ගැන්මේ සිට රහසින් කථාකළා නොවේය; ඒක ඇතිවු කාලයේ සිට ම එහි සිටිමි. දැනුදු ස්වාමිවූ දෙවියන්වහන්සේ මාත් උන්වහන්සේගේ ආත්මයත් එවූසේක.
17 නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.
18 අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.
19 නුඹේ වංශය වැලි මෙන්ද නුඹෙන් පැවත එන්නෝ එහි වැලිඇට මෙන්ද වන්නෝය. ඔහුගේ නම මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේවත් නැති කරනු ලබන්නේවත් නැත.
20 බබිලෝනියෙන් පිටතට යන්න, කල්දිවරුන් වෙතින් දුවන්න; ප්‍රීතිමත් හඬින් මෙය දන්වා, ප්‍රකාශකර, පොළොවේ කෙළවර දක්වා එය පතළ කරන්න. එනම්: ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවාවූ යාකොබ් මිදූසේක.
21 උන්වහන්සේ ඔවුන් කාන්තාරය මැදින් ගෙනගිය විට ඔවුන්ට පිපාසාවුණේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්ට සැලැස්වූසේක. උන්වහන්සේ පර්වතය විවරකළ විට වතුර ගලා ආයේයයි කියන්න.
22 දුෂ්ටයන්ට සමාදානය නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.



පරිච්ඡේදය 49

1 ද්වීපයෙනි, මාගේ බස් අසන්න; දුර සිටින සෙනඟෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ කුසේ පටන් මා කැඳවා, මාගේ මවු ගර්භයේ පටන් මාගේ නම සඳහන් කළසේක.
2 උන්වහන්සේ මාගේ මුඛය තියුණු කඩුවක් මෙන් කොට, තමන්ගේ අත් සෙවණෙහි මා සැඟෙවුසේක; උන්වහන්සේ මා මුවහත්කර තිබෙන ඊගසක් මෙන් කොට, තමන්ගේ කොපුවේ වසා තබා:
3 ඉශ්‍රායෙල්, නුඹ මාගේ මෙහෙකරුවාය; නුඹ කරණකොටගෙන ගෞරව ලබාගන්නෙමියි මට කීසේක.
4 නුමුත් මම කථාකොට: මම පලක් නැතුව වෙහෙසුණෙමි, හිස්කමටත් නිෂ්ඵලකමටත් මාගේ ශක්තිය නැති කරගතිමි. එසේ වී නුමුත් සැබවින්ම මාගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ වෙතද මාගේ විපාකය මාගේ දෙවියන්වහන්සේ වෙතද තිබේයයි කීමි.
5 ඉතින් තමන් වෙතට යාකොබ් හැරවීමටත් ඉශ්‍රායෙල්වරුන් තමන් වෙතට රැස්කිරීමටත් කුසේ පටන් මා තමන්ට සේවකයෙක් කරගත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක: (මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි මට ගෞරව ඇත්තේය, මාගේ දෙවියන්වහන්සේ මාගේ බලයව සිටිනසේක.)
6 එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක.
7 ඉශ්‍රායෙල්වරුන්ගේ මිදුම්කාරයාද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකරන්නාවූ, ජාතිය විසින් පිළිකුල්කරන්නාවූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙක්වූ තැනැත්තාට කථාකොට: විශ්වාසව සිටින්නාවූ, නුඹව තෝරාගත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ නිසා රජවරු දැක නැගිටින්නෝය; අධිපතීහු නමස්කාරකරන්නෝයයි කියනසේක.
8 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පිළිගත යුතු කාලයකදී මම නුඹට උත්තරදී, ගැළවීමේ දවසකදී නුඹට උපකාරකෙළෙමි. දේශය ප්‍රකෘතිමත් කිරීමටත් පාළුවූ උරුමවල් ඔවුන්ට හිමිකරදීමටත්,
9 හිරකාරයන්ට: පිටතට එන්නැයිද අඳුරේ සිටින්නන්ට: පෙනීසිටින්නැයිද කීමටත්, මම නුඹ ආරක්ෂා කොට සෙනඟට ගිවිසුමක් කොට දෙන්නෙමි. මාර්ගවල ඔවුන්ට කෑම ලැබෙයි, සියලු මුඩු කඳු පිටද ඔවුන්ට තණබිම තිබෙයි.
10 ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.
11 මමද මාගේ සියලු කඳු මාර්ගයක් කරන්නෙමි, මාගේ මහ මාවත්ද උස්වන්නේය.
12 බලව, සමහරෙක් දුරින් එන්නෝය. බලව, සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන්ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන්ද එන්නෝය.
13 ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක.
14 නුමුත් සියොන්: යෙහෝවඃවහන්සේ මා අත්හැරියසේක, ස්වාමීන්වහන්සේ මා මතකනැතිකළසේකැයි කීවාය.
15 ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් නුඹ මතකනැති නොකරන්නෙමි.
16 බලව, මම මාගේ අතුල්වල නුඹ කොටාගතිමි; නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ.
17 නුඹේ දරුවෝ ඉක්මනින් එති; නුඹව විනාශකළ අයද නුඹව පාළුකළ අයද නුඹ වෙතින් අහක්ව යන්නෝය.
18 නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. මොවුන් සියල්ලෝම එකතුව නුඹ ළඟට එති. මා ජීවත්වෙනවා සැබෑවාසේම, නුඹ ඔවුන් සියල්ලන් සැබවින්ම ආභරණයක් මෙන් පැළඳගන්නවා ඇත, මනමාලියෙකු මෙන් ඔවුන් බැඳගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
19 මක්නිසාද නුඹේ නටබුන් තැන්ද පාළු ඉඩම්ද විනාශකරනලද නුඹේ දේශයද සැබවින් එහි වැසියන්ට මදි වන්නේය, නුඹ ගිලගත්තෝද දුරුවන්නෝය.
20 නුඹේ දරුවන් නැතිවුණායින් පසු නුඹට ලැබෙන දරුවෝ: මේ ඉඩම මට මදිය, මට වාසයකරන්ට ඉඩ දෙන්නැයි නැවත කියනවා නුඹට ඇසෙනවා ඇත.
21 එවිට නුඹේ සිතින් නුඹ කල්පනාකොට: මොවුන් මට ඉපදෙවුවේ කවුද? මම දරුවන් නැතුව වඳව, රටෙන් පිට වහල්වී, ඔබ මොබ ගියෙමි; මොවුන් ඇතිකළේ කවුද? මම තනිව සිටියෙමි; මොවුන් සිටියේ කොතැනදැයි කියනවා ඇත.
22 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ජාතීන්ට මාගේ අත ඔසවා, ජනයන්ට මාගේ කොඩිය නඟන්නෙමි. ඔව්හු නුඹේ පුත්‍රයන් වඩාගෙන එන්නෝය, නුඹේ දූවරුද ඔවුන්ගේ කර පිට ගෙනෙනු ලබන්නෝය.
23 රජවරු නුඹ ඇතිකරන පියවරුද ඔවුන්ගේ බිසෝවරු නුඹේ කිරිමවුවරුද වන්නෝය. ඔව්හු මුහුණින් බිමට නැමී නුඹට වැඳ, නුඹේ පාදවල ධූලි ලෙවකන්නෝය; නුඹද ස්වාමීන්වහන්සේ වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.
24 බලවන්තයාගෙන් කොල්ලය ගන්ට නොහොත් යුතුලෙස වාලට අසුවුණ අය මුදන්ට පුළුවන්ද?
25 නුමුත් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලවන්තයාගේ වාලුන් පවා පැහැරගන්නවා ඇත, භයානකයාගේ කොල්ලයද මුදනවා ඇත. මක්නිසාද නුඹ සමඟ විවාදකරන්නා සමඟ මම විවාදකරන්නෙමි, නුඹේ දරුවන්ද මම ගළවන්නෙමි.
26 නුඹට පීඩාකරන්නන්ට ඔවුන්ගේම මාංසය කවන්නෙමි; ඔව්හු මුද්‍රිකයුසයෙන් මෙන් තමුන්ගේම ලෙයින් මත්වන්නෝය. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයාද යාකොබ්ගේ බලවන්තයාණන්ද බවත් මාංසමයවූ සියල්ලෝම දැනගන්නෝය.



පරිච්ඡේදය 50

1 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹලාගේ මවු අත්හැරිය විට ඈට දුන් අත්හැරීම්-පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණය දුන් අයගෙන් කාටද? බලව, නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මවු අත්හරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය.
2 මා ආවිට කිසිවෙක් නොසිටියෙත් මා අඬගැසූ විට උත්තරදෙන්ට කිසිවෙක් නොසිටියෙත් මක්නිසාද? මුදන්ට බැරි හැටියට මගේ අත ඇත්තටම කොටවී තිබේද? නොහොත් ගළවන්ට මා වෙත බලය නැද්ද? බලව, මාගේ තරවටුකිරීමෙන් මුහුද හින්දවමි, ගංගාවන් කාන්තාරයක් කරමි; වතුර නැති නිසා එහි මත්ස්‍යයන් ගඳගසනවා ඇත, පිපාසායෙන් මැරෙනවා ඇත.
3 මම අහසට කළුවර අඳවා එය ගෝණි රෙදිවලින් වසන්නෙමි.
4 විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.
5 ස්වාමීවූ දෙවියන්වහන්සේ මාගේ කන පැහැදූසේක, මා කැරළිකාරවුණේවත් පස්සට හැරුණේවත් නැත.
6 මම මාගේ පිට තළන්නන්ටත් මාගේ කම්මුල් රැවුල් උදුරන්නන්ටත් දුනිමි. මාගේ මුහුණ නින්දාවෙනුත් කෙළගැසීමෙනුත් සඟවා නොගතිමි.
7 මක්නිසාද ස්වාමිවූ ස්වාමීවූ දෙවියන්වහන්සේ මට උපකාරවනසේක; එබැවින් වියවුල් නොවෙමි. එබැවින් මාගේ මුහුණ ගිනිගලක් මෙන් තබාගන සිටිමි, මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.
8 මා ධර්මිෂ්ඨකරන තැනන්වහන්සේ ළංව සිටිනසේක; මට එදිරිව සිටින්නේ කවුද? අපි දෙදෙනාම නැගිට සිටිමු. මාගේ විරුද්ධකාරයා කවුද? ඔහු මා ළඟට ඒවා.
9 බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ මට උපකාරකරනසේක; මා වරදට පත්කරන්නේ කවුද? බලව, ඔවුන් සියල්ලෝම වස්ත්‍රයක් මෙන් පරණවන්නෝය; කාවා ඔවුන් කාදමන්නේය .
10 නුඹලා අතරෙන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ මෙහෙකරුවාගේ හඬට කීකරුවෙන්නාවූ තැනැත්තා කවුද? ආලෝකය නැතුව අඳුරෙහි ඇවිදින්නාවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසකර තමාගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටීවා.
11 ගින්නක් දල්වා ගිනි පෙනෙලි වටකර තබාගන්නාවූ සියල්ලෙනි, නුඹලාගේ ගින්නේ එළියෙහිත් නුඹලා පත්තුකර තිබෙන ගිනිපෙනෙලි අතරේත් හැසිරෙන්න. මා අතින් නුඹලාට ලැබෙන්නේ මේකය; නුඹලා තද වේදනාවෙන් වැතිර සිටින්නහුය.



පරිච්ඡේදය 51

1 ධර්මිෂ්ඨකම අනුවයන්නාවූ, ස්වාමීන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෙනි, මට කන්දෙන්න. නුඹලාව කොටාගත්තේ මොන පර්වතයකින්ද කියාත් නුඹලාව හාරාගත්තේ මොන ගල්වළකින්ද කියාත් බලන්න.
2 නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.
3 මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.
4 මාගේ සෙඟෙනි, මට ඇහුම්කන්දෙන්න; මාගේ ජනයෙනි, මට කන්යොමුකරන්න. මක්නිසාද ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත්වන්නේය, මාගේ විනිශ්චයද ජාතීන්ට එළියක් කොට පිහිටුවන්නෙමි.
5 මාගේ ධර්මිෂ්ඨකම ළංව තිබේ, මාගේ ගැළවීම පිටත්ව ගියේය, මාගේ හස්තයන්ද ජනයන් විනිශ්චයකරනවා ඇත; ද්වීපයෝ මා ගැන බලාසිට, මාගේ හස්තය කෙරෙහි බලාපොරොත්තුවෙනවා ඇත.
6 නුඹලාගේ ඇස් අහස දෙසට ඔසවන්න, පහළ තිබෙන පොළොවත් බලන්න. මක්නිසාද අහස දුම මෙන් පහවීයන්නේය, පොළොවද වස්ත්‍රයක් මෙන් පරණවන්නේය, එහි වාසයකරන්නෝද එයාකාරයෙන්ම නසින්නෝය. නුමුත් මාගේ ගැළවීම සදාකාලේටම පවතින්නේය, මාගේ ධර්මිෂ්ඨකමද කඩ නොවන්නේය.
7 ධර්මිෂ්ඨකම දන්නාවූ, මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවූ සෙනඟෙනි, මට කන්දෙන්න; මනුෂ්‍යයන්ගේ නින්දාකිරීමට භය නොවෙන්න, ඔවුන්ගේ අපහාසවලට නොකැලඹෙන්න.
8 මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කාදමන්නේය, පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය. පුරාණයේදී මෙන් බලය දක්වන ලෙස දෙවියන්වහන්සේට අයදීම.
9 එම්බා ස්වාමීන්වහන්සේගේ හස්තය, පිබිදෙන්න, පිබිදෙන්න, බලය පැළඳගන්න; ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කෑලිකොට කැපුවෙත් දීර්ඝයා ඇනදැමුවෙත් නුඹ නොවේද?
10 මහ ගැඹුරේ ජලය වන මුහුද හින්දවා, මිදුණු අයට එතරවීමට මුහුදේ ගැඹුරු මාර්ගයක් කළේ නුඹ නොවේද?
11 ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.
12 නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ,
13 අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?
14 රටින් පිට වහල්වී සිටින්නා ඉක්මනට මුදනු ලබන්නේය; ඔහු වළේදී නසින්නේවත් ඔහුගේ කෑම පිරිහෙන්නේවත් නැත.
15 මම වනාහි මුහුදේ රැළ ගර්ජනාකරන ලෙස එය අවුස්සන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
16 මා විසින් අහස පිහිටුවීමටත්, පොළොවේ පදනම් තැබීමටත්: නුඹ මාගේ සෙනඟයයි සියොන්ට කීමටත්, මාගේ වචනය නුඹේ මුඛයෙහි තබා, මාගේ අතේ සෙවණෙහි නුඹ සැඟෙවුවෙමි.
17 ස්වාමීන්වහන්සේ අතින් උන්වහන්සේගේ කෝපය නැමති කුසලානෙන් බී, වැනෙන්ට සලස්වන පාත්‍ර කුසලානෙන් උරාබීවාවූ යෙරුසලම, පිබිදෙන්න,නැගිටින්න.
18 ඈ වැදූ සියලුම පුත්‍රයන් අතරෙන් ඈට මගපෙන්වන්ට කෙනෙක් නැත; ඈ ඇතිකළ සියලුම පුත්‍රයන් අතරෙන් ඇගේ අත අල්වාගන්ට කිසිවෙක් නැත.
19 මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් නුඹට පැමිණී තිබේ; නුඹට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම නුඹ කෙසේ සනසන්නෙම්ද?
20 නුඹේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ කෝපය වන නුඹේ දෙවියන්වහන්සේගේ තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.
21 එබැවින් පීඩිතවූ, මුද්‍රිකපානය නැතුව මත්වී සිටින්නාවූ තැනැත්තිය, මේක අසන්න.
22 නුඹේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේ වන තමන්ගේ සෙනඟ වෙනුවට මැදහත්වන්නාවූ නුඹේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝය නැමති පාත්‍ර කුසලාන නුඹේ අතින් ගත්තෙමි; නුඹ තවත් එයින් නැවත නොබොන්නෙහිය.
23 නුමුත්: අප විසින් නුඹ පාගායන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන් ද තැබුවෙහිය



පරිච්ඡේදය 52

1 සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.
2 යෙරුසලම නුඹ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, නුඹේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න.
3 මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.
4 තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මුලදී මාගේ සෙනඟ මිසරයෙහි විදේශිව සිටින්ට එහි ගියෝය. අෂූර්වරු නිෂ්කාරණයේ ඔවුන්ට පීඩාකළෝය.
5 දැනුත් මට මෙහි තිබෙන්නේ කුමක්ද? මක්නිසාද මාගේ සෙනඟ නිකමට ගෙනයනලද්දේය. ඔවුන්ගේ ආණ්ඩුකාරයෝ කෑමොරගසති, මාගේ නාමයද නිතරම දවස මුළුල්ලෙහි අපහාසකරනු ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
6 එබැවින් මාගේ සෙනඟ මාගේ නාමය දැන ගන්නවා ඇත. එබැවින් කථාකරන්නේ මා බව ඒ දවසේදී ඔවුන් දැනගන්නවා ඇත. බලව, ඒ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
7 ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!
8 අන්න, නුඹේ මුරකාරයන්ගේ හඬ! ඔව්හු හඬ නගති, ඔව්හු එක්ව ගී කියති; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් වෙතට හැරී එනවා ඔවුන් ඇසින්ම දකිනවා ඇත.
9 යෙරුසලමේ පාළු ඉඩම්, ප්‍රීතියෙන් ඝෝෂාකරමින් එක්ව ගී කියව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සනසා, යෙරුසලම මුදාගන තිබේ.
10 ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ හස්තය සියලු ජාතීන් ඉදිරියෙහි [සටන් පිණිස] නග්නකළසේක; පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝය.
11 පිටත්වෙන්න, පිටත්වෙන්න, ඔතනින් පිටතට යන්න, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට යන්න; ස්වාමීන්වහන්සේගේ භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටින්න.
12 මක්නිසාද නුඹලා ඉක්මනින් පිටතට යන්නේවත් නුඹලා පලායාමකින් යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට පෙරටුව යනසේක; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ නුඹලාට පස්සෙන් එනසේක.
13 බලව, මාගේ සේවකයා නුවණින් ක්‍රියාකරමින් උසස්වී උතුම්වී, ඉතා උත්කෘෂ්ට වෙනවා ඇත.
14 උන්වහන්සේගේ පෙනීම කිසි මනුෂ්‍යයෙකුටත් උන්වහන්සේගේ ස්වරූපය මනුෂ්‍ය පුත්‍රයන්ටත් වඩා අවලක්ෂණව තිබුණු බැවින් බොහෝ දෙනෙක් උන්වහන්සේ නිසා විස්මපත්වුණාක්මෙන්ම,
15 උන්වහන්සේ ‍බොහෝ* ජාතීන්ට ඉසිනවා ඇත; රජවරු උන්වහන්සේ නිසා තමුන්ගේ මුඛ වසාගන්නවා ඇත. මක්නිසාද ඔවුන්ට කියා නුදුන් දේ ඔවුන් දකිනවා ඇත, ඔවුන් නොඇසූ දේ තේරුම්ගන්නවා ඇත. (* හෙවත්, බොහෝ ජාතීන්ගෙන් බුහුමන් ලබනවා ඇත)



පරිච්ඡේදය 53

1 අප විසින් දැන්වූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමීන්වහන්සේගේ හස්තය කාට එළිදරව්වීද?
2 මක්නිසාද උන්වහන්සේ ළා පැලයක් මෙන්ද වියළි බිමින් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියෙහි හටගත්සේක. උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත; අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණකමක්ද නැත.
3 උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන්වහන්සේ සුළුකරනු ලැබූසේක, අපිද උන්වහන්සේ නොසැලකුවෙමුව.
4 සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව.
5 නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.
6 අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.
7 උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක.
8 උන්වහන්සේ බලහත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහකරනු ලැබූසේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන්වහන්සේ සිඳදමනු ලැබූ බව උන්වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනාකළේද? උන්වහන්සේ තළනු ලැබුවේ මාගේ සෙනඟගේ වරද නිසාය.
9 ඔව්හු උන්වහන්සේගේ මිනීවළ දුෂ්ටයන් අතරෙහි තිබෙන්ට නියමකළෝය, නුමුත් උන්වහන්සේගේ මරණයේදී එය වස්ත්‍රකාරයන් සමඟ විය; මක්නිසාද උන්වහන්සේ අධර්මිෂ්ඨකමක් කළේවත් උන්වහන්සේගේ මුඛයෙහි කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත.
10 එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.
11 උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන්වහන්සේම දරාගන්නවා ඇත.
12 එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි, බලවන්තයන් සමඟද උන්වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම්කරනසේක.



පරිච්ඡේදය 54

1 දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
2 නුඹේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න, ඔව්හු නුඹේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගන්න. නුඹේ ලනු දික්කර නුඹේ ඇණ සවිකරන්න.
3 මක්නිසාද නුඹ දකුණටත් වමටත් පැතිරයනවා ඇත; නුඹේ වංශය ජාතීන්ගේ දේශ හිමිකරගෙන, පාළුවූ නුවරවල් වැසියන්ගෙන් පුරවනවා ඇත.
4 භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.
5 කුමක් හෙයින්ද නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය. නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ.
6 මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහරකන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ නුඹ කැඳවාගත්සේකැයි නුඹේ දෙවියන්වහන්සේ කියනසේක.
7 මම ලුහුඬු මොහොතකට නුඹ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් නුඹ නැවත කැඳවාගන්නෙමි.
8 මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් නුඹෙන් සඟවා ගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් නුඹට අනුකම්පාකරමියි නුඹේ මිදුම්කාරයා වන ස්වාමීන්වහන්සේ කියනසේක.
9 මේක මට නෝවාගේ ජලගැලීම මෙන්ය. මක්නිසාද නෝවාගේ ජලගැලීම තවත් පොළොවේ නොගලන හැටියට මා විසින් දිවුරුවාක්මෙන්ම, නුඹ කෙරෙහි උදහස් නොවන බවටත් නුඹට තරවටු නොකරන බවටත් මම දිවුළෙමි.
10 මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.
11 අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.
12 නුඹේ කොත් රක්ත මාණික්‍යවලින්ද නුඹේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද නුඹේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි.
13 නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.
14 නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය.
15 මෙන්න, මාගේ සංඥාවක් නැතුව මනුෂ්‍යයන් රැස්වෙනවා ඇත. නුඹට විරුද්ධව එකතුවෙන කවුරු නුමුත් නුඹ නිසා වැටෙන්නෝය.
16 අඟුරුගින්න පිඹ නියම වැඩයට ආයුධයක් සාදන්නාවූ ආචාරියා මැවුවේ මමය; වැනසීමට නාස්තිකාරයා මැවුවෙත් මමය.
17 නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.



පරිච්ඡේදය 55

1 එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න.
2 කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිදීවා.
3 නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.
4 බලව, උන්වහන්සේ ජනයන්ට සාක්ෂිකාරයෙක්ද ජනයන්ට අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්ද කොට දුනිමි.
5 බලව, නුඹ නොදන්න ජාතියක් නුඹ අඬගසාගන්නෙහිය, නුඹව නොදැන සිටි ජාතියක්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සහ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා නුඹ ළඟට දුව එනවා ඇත. මක්නිසාද උන්වහන්සේ නුඹට ගෞරවකර තිබේ.
6 ස්වාමීන්වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාච්ඤාකරන්න.
7 දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.
8 මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9 අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.
10 එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්,
11 මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.
12 මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.
13 කටු ගස වෙනුවට දේවදාරු ගසද තිබොල් ගස වෙනුවට මරඳ ගසද අටගන්නේය. ඒක ස්වාමීන්වහන්සේට නාමයක් සහ මැකී නොයන සදාකාල ලකුණක්ද පිණිස වන්නේය.



පරිච්ඡේදය 56

1 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය.
2 මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තය.
3 ස්වාමීන්වහන්සේට එකතුවී සිටින විදේශියාද: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ වෙතින් මා සැබවින් වෙන්කරනසේකැයි නොකියාවා. නපුංසකයාද: බලව, මම වියළි ගසක්යයි නොකියාවා.
4 මක්නිසාද මාගේ සබත් දවස් රක්ෂාකර, මා ප්‍රසන්න දේ තෝරාගෙන, මාගේ ගිවිසුම අල්ලාගෙන සිටින නපුංසකයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
5 එනම් මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා සිහිවීම් ලකුණක්ද නාමයක්ද ඔවුන්ට දෙන්නෙමි; සිදී නොයන සදාකාල නාමයක් ඔවුන්ට දෙන්නෙමි.
6 ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද,
7 මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.
8 පිටකරනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් එකතුකරන ස්වාමිවූ දෙවියන්වහන්සේ : ඔවුන් වෙතට එකතුවී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙතට එකතුකරදෙන්නෙමියි කියනසේක.
9 වනයේ සියලු සත්වයෙනි, කැලෑවෙහි සියලු සත්වයෙනි, කාදමන්ට එන්න.
10 ඔහුගේ මුරකාරයන් සියල්ලෝම අන්ධව, දැනගැන්ම නැතුව සිටිති; සියල්ලෝම බුරන්ට බැරි ගොළු බල්ලෝය; ඔව්හු හීන දකිති, ලැග හිඳිති, නිදා ඉන්ට කැමැත්තෝය.
11 එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේම මාර්ගයට තීන්දුවටම හැරීගියෝය.
12 ඔව්හු කථාකොට: එන්න, මම මුද්‍රිකපානය ගෙනෙන්නෙමි, අපි සුරාපානයෙන් මත්වන්නෙමුව; හෙටත් අද වාගේ අධිකතර ලොකු දවසක් වන්නේයයි කියති.



පරිච්ඡේදය 57

1 ධර්මිෂ්ඨයා පහවයන්නේය, නුමුත් කිසිවෙක් එය සිතට නොගන්නේය; භක්තිවන්ත මනුෂ්‍යයෝද පහකරනු ලබති, නුමුත් ධර්මිෂ්ඨයා විපත්තිය ඉදිරියෙන් ගෙනයනු ලබන බව කිසිවෙක් කල්පනාකරන්නේ නැත.
2 ඔහු සමාදානයට පැමිණෙයි; තමුන්ගේ අවංකකමින් හැසිරෙන්නෝ තමුන්ගේ යහන්වල නිශ්චලව සිටින්නෝය.
3 එහෙත් මායාකාරීගේ පුත්‍රයෙනි, පරදාරිකයාගෙත් වේශ්‍යාවගෙත් වංශය, මෙහි ළංවෙන්න.
4 නුඹලා කාට විරුද්ධව කවටකම්කරන්නහුද? නුඹලා කාට විරුද්ධව කට අයා දිව දික්කරන්නහුද?
5 අලෝන ගස් අතරෙන් සියලුම ගස් යටත් රාගයෙන් දැවෙන්නාවූ, මිටියාවත්වල පර්වත විවර යට දරුවන් මරන්නාවූ නුඹලා කැරළිකාරකමේ දරුවොත් බොරුකාර වංශයකුත් නොවන්නහුද?
6 නුඹේ කොටස තිබෙන්නේ මිටියාවතේ සිනිඳු ගල් අතරෙහිය; ඒවාම නුඹේ කොටසය. ඒවාට නුඹ පාන පූජාවක් වගුරුවා ආහාර පූජාවක්ද ඔප්පුකෙළෙහිය. මේ දේවල් තිබියදී මා නිශ්චලව සිටින්නේ කොහොමද?
7 උස්වූ උසස්වූ කන්දක් උඩ නුඹේ යහන නුඹ තබාගත්තෙහිය. එතැනද පූජා ඔප්පුකිරීමට නුඹ නැගී ගියෙහිය.
8 දොරටත් උළුවස්සටත් එහායින් නුඹේ සලකුණ නුඹ තබා තිබේ. මක්නිසාද නුඹ මට නොව අනිකෙකුට නුඹම ප්‍රකාශවී නැගී ගියෙහිය; නුඹේ යහන පළල්කොට ඔවුන්ගෙන් පොරොන්දු ලබාගත්තෙහිය; ඔවුන්ගේ යහන දුටු තැනදී ඊට ආලය වූයෙහිය.
9 නුඹ රජු වෙතට තෛල රැගෙන පැමුණුනෙහිය, නුඹේ සුවඳ දේද වැඩිකරගත්තෙහිය, නුඹේ තානාපතීන් නුඹ දුරු රටවලට ඇර, පාතාලය දක්වා පහතට බැස්සෙහිය.
10 නුඹේ මාර්ගයේ දීර්ඝකම නිසා නුඹ වෙහෙසවූවෙහිය; එසේ වුවත්: එය නිෂ්ඵලයයි නුඹ නොකීවෙහිය. නුඹේ අතේ ප්‍රාණවත්කම සම්බවූ බැවින් නුඹ දුර්වල නූණෙහිය.
11 නුඹ මා සිහි නොකොට, ඒක සිතට නොගෙන, බොරුකීවේ කාට තැතිගෙන භයවෙලාද? මම බොහෝ කලක්ම නිශ්ශබ්දව නොසිටියෙම්ද? නුමුත් නුඹ මා කෙරෙහි භයක් නැත.
12 මම නුඹේ ධර්මිෂ්ඨකම දන්වන්නෙමි; නුඹේ ක්‍රියාවලින් නම් නුඹට ප්‍රයෝජන නොලැබේ.
13 නුඹ මොරගසන විට නුඹ විසින් රැස්කරගත් ඒ දේවල් නුඹ ගළවා ගනීවා; ඒ සියල්ලම හුළඟට ගහගන යන්නේය, හුස්මකට පහවන්නේය. නුමුත් මා කෙරෙහි විශ්වාසකරන්නා දේශය අත්කරගෙන, මාගේ ශුද්ධවූ කන්ද උරුමකරගන්නේය.
14 කෙනෙක් කථාකොට: සමතලාකරන්න. සමතලාකර, මාර්ගය පහදා පැකිලවන දේ මාගේ සෙනඟගේ මාර්ගයෙන් අහක්කරන්නැයි කියනවා ඇත.
15 මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.
16 මම සදාකල්ම විවාද නොකරන්නෙමි, සෑම කල්ම උදහස්ව නොසිටින්නෙමි. එසේ සිටියොත් මා ඉදිරියෙහි ආත්මයද මා විසින් මැවූ ප්‍රාණද ක්ලාන්තවී යන්නෝය.
17 ඔහුගේ තණ්හාවේ වරද නිසා මම උදහස්වී ඔහුට පහරදී, සැඟවී උදහස්ව සිටියෙමි. එහෙත් ඔහු හිතුවක්කාරව තමාගේ සිතේ මාර්ගයෙහිම ගියේය.
18 මම ඔහුගේ මාර්ග දුටිමි, ඔහු සුවකරන්නෙමි. මම ඔහුට මගපෙන්වා, ඔහුටත් ඔහු සමඟ වැලපෙන්නන්ටත් නැවත සැනසීම දෙන්නෙමි.
19 මම තොල්වල ඵල උපදවමි. දුර සිටින්නාටත් ළඟ සිටින්නාටත් සමාදානය වේවා, සමාදානය වේවා; මම ඔහු සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
20 නුමුත් දුෂ්ටයෝ කැලඹී තිබෙන මුහුදට සමානය; මක්නිසාද ඊට නිශ්චලවන්ට නුපුළුවන, එහි ජලය මඩ හා කුණු මතුකරයි.
21 දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ දෙවියන්වහන්සේ කියනසේක.



පරිච්ඡේදය 58

1 නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.
2 ඔව්හු දවස් පතා මා සොයති, මාගේ මාර්ගයන් දැනගන්ට ප්‍රසන්නවෙති. ධර්මිෂ්ඨකම්කොට තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියෝගය අත්නෑර සිටින ජාතියක්මෙන් ඔව්හු ධර්මිෂ්ඨ නියෝග මාගෙන් ඉල්ලති, දෙවියන්වහන්සේ වෙතට ළංවීමට ප්‍රසන්නවෙති.
3 අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාදැයි කියති. බලව, නුඹලාගේ උපවාස දවසේදී නුඹලා සැප ගනිති, නුඹලාගේ සියලුම වැඩද කරවාගනිති.
4 නුඹලා නිරාහාරව සිටින්නේ විවාදයටත් තරඟයටත් දුෂ්ටකමේ මිටින් ගසන්ටත්ය. නුඹලාගේ හඬ උසස්ථානයේ ඇසෙන්ට සැලසෙන පරිද්දෙන් නුඹලා අද නිරාහාරව සිටින්නේ නැත.
5 මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රාණය යටත්කරගන්න දවසක් වන මා විසින් තෝරාගත් උපවාසය එයාකාරද? එය තමාගේ හිස පන් ගසක් මෙන් නමාගෙන, ගෝණිරෙදි සහ අළු අතුරාගන හිදීමද? මීට උපවාසයක් සහ ස්වාමීන්වහන්සේට ප්‍රසන්නවූ දවසක්යයි නුඹ කියනවාද?
6 මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?
7 බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?
8 එවිට නුඹේ එළිය පහන්වේලාව මෙන් උදාවන්නේය, නුඹේ සුවයද ඉක්මනින් හටගන්නේය. නුඹේ ධර්මිෂ්ඨකම නුඹට පෙරටුවෙන් යන්නේය; ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹට පස්සෙන් එන්නේය.
9 එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. නුඹ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්,
10 බඩගිනි ඇත්තා කෙරෙහි කරුණාව පෙන්වා, අසරණ ප්‍රාණය තෘප්තියට පමුණුවන්නෙහි නම්, අඳුරේදී නුඹේ එළිය නැගී එන්නේය, නුඹේ කළුවරකම ඉරමුදුන් වේලාව මෙන් වන්නේය.
11 ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද ශක්තිමත්කරනසේක; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.
12 නුඹෙන් පැවතඑන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. නුඹ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය; කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අලුත්වැඩියාකරන්නායයි නුඹට කියනු ලැබේ
13 නුඹ මාගේ ශුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට නුඹේ පාද සබත් දවසේදී නවත්වාගන, සබත් දවස ප්‍රිය එකක්ය කියාද ස්වාමීන්වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය එකක්ය කියාද කියන්නෙහි නම්, නුඹේම මාර්ගවල නොහැසිර නුඹේම කැමැත්ත නොසොයා, හිස් වචන කථා නොකර, ඊට ගෞරවකරන්නෙහි නම්,
14 නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය; මමද පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට නුඹට සලස්වා, නුඹේ පියවූ යාකොබ්ගේ උරුමයෙන් නුඹ පෝෂණයකරන්නෙමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය ඒක වදාළේය.



පරිච්ඡේදය 59

1 බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත.
2 නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය, උන්වහන්සේ නොඅසන ලෙස නුඹලාගේ පාපද උන්වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙවුවේය.
3 මක්නිසාද නුඹලාගේ අත් ලෙයින්ද නුඹලාගේ ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; නුඹලාගේ තොල් බොරු කීවේය, නුඹලාගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය.
4 ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහිකරති.
5 ඔව්හු පොළොං බිජු රකිති, මකුළු දැල් වියති. ඔවුන්ගේ බිජු කන අය මැරෙති, බිඳෙන බිජුවෙන් පොළඟෙක් නික්මෙයි.
6 ඔවුන්ගේ නූල් ඇඳුම්වලට ගන්ටවත් තමුන්ගේ වැඩවලින් ඇඟ වසාගන්ටවත් ඔවුන්ට බැරිවෙයි. ඔවුන්ගේ වැඩ අපරාධ වැඩය, බලාත්කාර ක්‍රියා කිරීමද ඔවුන්ගේ අත්වල තිබේ.
7 ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු නිදොස් ලේ වැගිරවීමට ඉක්මන්වෙති. ඔවුන්ගේ සිතිවිලි අයුතුකමේ සිතිවිලිය; නාස්තිය හා විනාශය ඔවුන්ගේ මාවත්වල තිබේ.
8 සමාදානයේ මාර්ගය ඔව්හු නොදනිති; ඔවුන්ගේ මාවත්වල යුක්තිය නැත. ඔව්හු තමුන්ට ඇද මාවත් සාදාගත්තෝය; එහි යන්නාවූ කිසිවෙක් සමාදානය නොදන්නේය.
9 එබැවින් විනිශ්චය අපෙන් දුරව තිබේ, ධර්මිෂ්ඨකම අපට ළං නොවන්නේය. අප එළිය ගැන බලාසිටින නුමුත් තිබෙන්නේ අඳුරය; දීප්තිමත්කම ගැන බලාසිටින නුමුත් යන්නේ කළුවරෙහිය.
10 අන්ධයන් මෙන් අපි බිත්තිය අතගගා යමුව, එසේය, ඇස් නැත්තන් මෙන් අපි අතගගා යමුව. අඳුරේදී මෙන් අපි ඉරමුදුන් වේලාවේ පැකිල, මළවුන් මෙන් ඝනාන්ධකාරයෙහි සිටිමුව.
11 අපි සියල්ලෝම වලසුන් මෙන් ගොරවමුව, කොබෙයියන් මෙන් කෙඳිරිගාමුව. අපි විනිශ්චය ගැන බලාසිටිමුව, නුමුත් එය එන්නේ නැත; ගැළවීම ගැන බලා සිටිමුව, නුමුත් එය අපෙන් දුරව තිබේ.
12 මක්නිසාද අපේ අපරාධ ඔබවහන්සේ ඉදිරියෙහි වැඩිවී තිබේ. අපේ පව්ද අපට විරුද්ධව සාක්ෂිදෙති. අපේ අපරාධ අප සමඟ තිබේ, අපේ අයුතුකම් අපි දනිමුව.
13 එනම් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ දෙවියන්වහන්සේ වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.
14 යුක්තිය පස්සට හරවාදමනු ලැබීය. ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම වීථියේ වැටුණේය, අවංකකමට ඇතුල්වෙන්ට බැරිය.
15 එසේය, සැබෑකම ඇත්තේ නැත; නපුරෙන් පහවන්නාද කොල්ලයක් වන්නේය. ස්වාමීන්වහන්සේ ඒ දැක යුක්තිය නැති බැවින් අප්‍රසන්නවූසේක.
16 උන්වහන්සේද කිසිවෙක් නැති බව දැක, මැදහත්කාරයෙක් නැති බැවින් පුදුමවූසේක. ඒ නිසා උන්වහන්සේගේම බාහුව තමන්වහන්සේට ගැළවීම ගෙනායේය; උන්වහන්සේගේම ධර්මිෂ්ඨකම උන්වහන්සේව ඉසුලුවේය.
17 උන්වහන්සේ යුද්ධ සැට්ටයක් කොට ධර්මිෂ්ඨකමද තමන් හිසේ ගැළවීම නැමති තොප්පියද පැළඳගත්සේක; තවද ඇඳුම පිණිස පළිගැනීම නැමති වස්ත්‍ර පැළඳගෙන, ජ්වලිතකම සළුවක්කොට පෙරවාගන සිටිසේක.
18 උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවල හැටියට තමන්ගේ එදිරිකාරයන්ට කෝපයද තමන්ගේ සතුරන්ට දඬුවමද ප්‍රතිඵල කොට දෙනවා ඇත; උන්වහන්සේ දිවයින්වලට ප්‍රතිඵල දෙනසේක.
19 එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක,
20 මිදුම්කාරයෙක් සියොන් වෙතටත් යාකොබ් තුළ අපරාධ අත්හරින්නන් වෙතටත් එනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
21 තවද: ඔවුන් සමඟ කරන මාගේ ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ කෙරෙහි තිබෙන මාගේ ආත්මයද මා විසින් නුඹේ මුඛයෙහි තබා තිබෙන මාගේ වචනද නුඹේ මුඛයෙන්වත් නුඹේ වංශයේ මුඛයෙන්වත් නුඹේ මාංසයෙන් පැවතඑන්නන්ගේ මුඛයෙන්වත් මෙතැන් පටන් සදාකාලේටම පහ නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.



පරිච්ඡේදය 60

1 නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය.
2 එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.
3 ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.
4 නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.
5 එකල නුඹ දැක ප්‍රීතිවන්නෙහිය, නුඹේ සිතද පිනාගොස් විශාලවන්නේය; මක්නිසාද මුහුදේ සම්පත් නුඹ වෙත හැරීඑන්නේය, ජාතීන්ගේ වස්තුද නුඹ ළඟට පැමිණෙන්නේය.
6 ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද නුඹේ ස්ථානය පිරෙන්නේය; ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංචල්ද ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසා ප්‍රකාශකරනවා ඇත.
7 කේදාර්හි සියලු එළු බැටළු රැළවල් නුඹ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ නුඹට සේවයකරත්. උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි.
8 වලාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක්මෙන්ද අර ඉගිලී එන අය කවුරුද?
9 සැබවින් ද්වීපයෝද පළමුකොට තර්ෂිෂ්හි නැව්ද මා ගැන බලාසිටින්නෝය. බලාසිටින්නේ දුරින් නුඹේ පුත්‍රයන්ද ඔවුන් සමඟ ඔවුන්ගේ රන්රිදීද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා ගෙනෙන පිණිසය; මක්නිසාද උන්වහන්සේ නුඹට ගෞරවකර තිබේ.
10 විදේශීහු නුඹේ පවුරු ගොඩනගන්නෝය, ඔවුන්ගේ රජවරුද නුඹට සේවයකරන්නෝය. මක්නිසාද මම මාගේ උදහසෙන් නුඹට පහරදුන් නුමුත් මාගේ කරුණාවෙන් නුඹට අනුකම්පාකෙළෙමි.
11 ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.
12 මක්නිසාද නුඹට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය.
13 මාගේ ශුද්ධස්ථානය අලංකාරකිරීමට ලෙබනොන්හි තේජසද දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂුර් ගස්ද එක්ව නුඹ ළඟට පැමිණෙනවා ඇත; මමද මාගේ පාදස්ථානය තේජවත්කරන්නෙමි.
14 නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: ස්වාමීන්වහන්සේගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.
15 කිසිවෙක් නුඹ ළඟින් නොයන ලෙස නුඹ අත්හරිනු ලැබ වෛරය විඳිනවා වෙනුවට, මම නුඹ සදාකාල උතුම්කමක්ද පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රීතියක්ද කරන්නෙමි.
16 නුඹ ජාතීන්ගේ කිරි උරා බොන්නෙහිය, රජුන්ගේ තන උරන්නෙහිය. ස්වාමීන්වහන්සේ වන මම නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයා යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේ බවත් නුඹ දැනගන්නවා ඇත.
17 මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.
18 නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.
19 ඉර තවත් නුඹේ දවාලේ එළිය නොවන්නේය; දීප්තිය පිණිස සඳද නුඹට එළිය නොදෙන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ නුඹට සදාකාල එළියක්ද නුඹේ දෙවියන්වහන්සේ නුඹේ තේජසද වනසේක.
20 නුඹේ ඉර තවත් බැසයන්නේවත්, නුඹේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ සදාකාල එළිය වනසේක, නුඹේ වැලපීමේ දවස් කෙළවරවන්නේය.
21 නුඹේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවු පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්තිවිඳින්නෝය.
22 කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමිවූ මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.



පරිච්ඡේදය 61

1 ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,
2 ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද,
3 සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.
4 ඔව්හු පරණ නටබුන් ඉඩම් ගොඩනගන්නෝය, ඉස්සර කාලයේ නටබුන්වූ තැන් හරිගස්සන්නෝය, නාස්තිවී පරම්පරාවෙන් පරම්පරාවට පාළුවට ගොස් තිබුණු නුවරවල් අලුත්වැඩියාකරන්නෝය.
5 විදේශියෝ සිට නුඹලාගේ බැටළු රැළවල් පෝෂ්‍යකරන්නෝය, විදේශියෝ නුඹලාගේ ගොවියෝද නුඹලාගේ මිදිවතු වවන්නෝද වන්නෝය.
6 නුඹලා වනාහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝයයි කියනු ලබන්නෝය. මනුෂ්‍යයන් නුඹලාට: අපේ දෙවියන්වහන්සේගේ සේවකයෝයයි කියනවා ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්තිවිඳ, ඔවුන්ගේ තේජස හිමිකරගන්නවා ඇත.
7 නුඹලාගේ ලජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්නහුය; නින්දාව වෙනුවට ඔව්හු තමුන්ගේ කොටස ගැන ප්‍රීතිමත්වන්නෝය. එබැවින් ඔව්හු තමුන්ගේ දේශයෙහි දෙපංගුවක් භුක්තිවිඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය.
8 මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම යුක්තියට ප්‍රියව, අධර්මිෂ්ඨකමින් කොල්ලකෑමට ද්වේෂකරමි; ඉන් නිසා මම ඔවුන්ගේ විපාකය සැබෑකමින් දෙන්නෙමි, සදාකාල ගිවිසුමක්ද ඔවුන් සමඟ කරන්නෙමි.
9 ඔවුන්ගේ වංශය ජාතීන් අතරේද ඔවුන්ගෙන් පැවතඑන්නෝ ජනයන් අතරේද ඇඳිනගනු ලැබෙත්. ඔවුන් ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාදලත් වංශය බව ඔවුන් දකින සියල්ලෝම දැනගන්නෝය.
10 මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.
11 මක්නිසාද පොළොව ස්වකීය දළු උපදවන්නාක්මෙන්ද උයන එහි වපුළ දේ ලියලවන්නාක්මෙන්ද ස්වාමිවූ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත.



පරිච්ඡේදය 62

1 මම සියොන් උදෙසාත් යෙරුසලම උදෙසාත් නිශ්ශබ්දව නොසිටින්නෙමි, එහි ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන්ද නික්මෙන තුරු නොනවතින්නෙමි.
2 ජාතීන් නුඹේ ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් කියවෙන අලුත් නමක්ද නුඹට කියන්ට යෙදෙනවා ඇත.
3 නුඹ ස්වාමීන්වහන්සේගේ අතෙහි අලංකාර ඔටුන්නක්ද නුඹේ දෙවියන්වහන්සේගේ අතෙහි රාජකිරීටයක්ද වන්නෙහිය.
4 නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ ‍හෙප්ශීබා* කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ. (* එනම්, ඈ කෙරෙහි ප්‍රසන්නවෙම් කියාද නුඹේ දේශය‍ බෙයුලාඑනම්, සරණ පාවාගනු ලැබුවා)
5 මක්නිසාද තරුණයෙකු විසින් කන්‍යාවක් පාවගන්නාක්මෙන් නුඹේ පුත්‍රයෝ නුඹ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්‍රීතිවන්නාක්මෙන් නුඹේ දෙවියන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රීතිවනසේක.
6 එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි,
7 උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න.
8 ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය.
9 නුමුත් ඒවා එකතුකළ අය ඒවා කා, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්නෝය; ඒවා රැස්කළ අය මාගේ ශුද්ධ මළුවලදී ඒවා බොන්නෝයයි කීසේක.
10 දොරටුවලින් ඇතුල්වෙන්න, ඇතුල්වෙන්න; සෙනඟගේ මාර්ගය පහදන්න; මහ මාවත සමතලාකරන්න, සමතලාකරන්න; ගල් අහක්කරන්න; ජනයන්ට කොඩියක් නගන්න.
11 බලව, ස්වාමීන්වහන්සේ පොළොවේ කෙළවර දක්වා මෙසේ ප්‍රකාශකර තිබේ; අන්න නුඹේ ගැළවීම එන්නේය; අන්න උන්වහන්සේගේ බලය උන්වහන්සේ සමඟය, උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය කියා සියොන් දුවට කියන්න.
12 ඔව්හු: ශුද්ධ සෙනඟය කියාත් ස්වාමීන්වහන්සේගේ මුදාගත් අයය කියාත් කියනු ලබන්නෝය. නුඹ වනාහි: සොයාගත් තැනැත්තීය, අත්නෑරිය නුවරක්ය කියා කියනු ලබන්නෙහිය.



පරිච්ඡේදය 63

1 ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.
2 ඔබගේ ඇඳුම් රතුව, ඔබගේ වස්ත්‍ර මුද්‍රික පැස පාගන්නෙකුගේ ඇඳුම් මෙන් තිබෙන්නේ මක්නිසාද?
3 මම තනියම මිදියන්ත්‍රය පෑගීමි; ජනයන්ගෙන් කිසි මනුෂ්‍යයෙක් මා සමඟ නොසිටියේය. එසේය, මාගේ උදහසින් ඔවුන් පෑගීමි, මාගේ කෝපයෙන් ඔවුන් පොඩිකෙළෙමි; ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසිරී තිබේ, එයින් මාගේ සියලු ඇඳුම් කැලැල්කරගතිමි.
4 මක්නිසාද පළිගැනීමේ දවස මාගේ සිතේ තිබුණේය, මා විසින් මුදනු ලැබූවන්ගේ අවුරුද්දත් පැමිණ තිබේ.
5 මම බැලීමි, පිහිටවෙන්ට කිසිවෙක් නොවීය; උසුලන්ට කිසිවෙක් නැති බැවින් පුදුමවීමි. ඒ නිසා මාගේම හස්තය මට ගැළවීම ගෙනදුන්නේය; මාගේ කෝපය මා උසුලාගත්තේය.
6 මාගේ උදහසින් ජනයන් පාගා, මාගේ කෝපයෙන් ඔවුන් මත්කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙවුවෙමි.
7 මම ස්වාමීන්වහන්සේගේ කරුණාවල්ද, ස්වාමීන්වහන්සේ අපට ගෙන දුන් සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසාවල්ද, උන්වහන්සේගේ අනුකම්පාවල හැටියටත් උන්වහන්සේගේ කරුණා රාශියේ හැටියටත් ඉශ්‍රායෙල් වංශයට පැවැත්වූ මහත් යහපත්කමද සඳහන්කරන්නෙමි.
8 මක්නිසාද උන්වහන්සේ කථාකොට: සැබවින් ඔව්හු මාගේ සෙනඟය, ද්‍රෝහිකමින් ක්‍රියානොකරන දරුවෝයයි කීසේක. උන්වහන්සේද ඔවුන්ගේ ගැළවුම්කාරයා වූසේක.
9 ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.
10 නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවුවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.
11 එවිට උන්වහන්සේ පුරාතන දවස්ද මෝසෙස් සහ තමන්ගේ සෙනඟද සිහිකළසේක. තමන්ගේ රැළේ එඬේරා සමඟ ඔවුන් මුහුදෙන් ගෙනා තැනන්වහන්සේ කොයිද? තමන් ශුද්ධාත්මය ඔවුන් මැද තැබූ තැනන්වහන්සේ කොයිද?
12 මෝසෙස්ගේ දකුණත ළඟ ස්වකීය තේජවත් බාහුව යන්ට සැලැස්සුවාවූ, තමන්ට සදාකාල නාමයක් ලබාගැනීමට ඔවුන් ඉදිරියෙන් ජලය බෙදා,
13 කාන්තාරයෙහි යන අශ්වයෙකු මෙන් නොපැකිලෙන හැටියට ඔවුන් ගැඹුරු මැදින් ගෙන ගියාවූ තැනන්වහන්සේ කොයිද?
14 ගවරැළ මිටියාවතට බසින්නාක්මෙන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් නිශ්චල භාවයට පැමිණෙවුසේක. තේජවත් නාමයක් ලබාගැනීමට ඔබ එසේ ඔබගේ සෙනඟ ගෙනගියසේක.
15 ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබගේ ශුද්ධකම සහ තේජසේ නිවාසයේ සිට බැලුව මැනව. ඔබගේ ජ්වලිතකම සහ බලවත් ක්‍රියා කොයිද? මා කෙරෙහි වූ ඔබගේ දයාවද අනුකම්පාද නැවතී තිබේ.
16 මක්නිසාද ඔබ අපේ පියාණෝය, ආබ්‍රහම් අප නොදන්න නුමුත්, ඉශ්‍රායෙල් අප නාඳුනන නුමුත්, ස්වාමීන්වහන්ස, ඔබම අපේ පියාණෝය, අපේ මිදුම්කාරයාණෝය; එය පුරාණයේ සිට ඔබගේ නාමයය.
17 ස්වාමීන්වහන්ස, ඔබගේ මාර්ගවලින් අප මුළාවයන්ටත් ඔබ කෙරෙහි භය නොවන සේ අපේ සිත් දැඩිවෙන්ටත් හරින්නේ මක්නිසාද? ඔබගේ උරුම-ගෝත්‍ර වන ඔබගේ මෙහෙකරුවන් නිසා හැරී අව මැනව.
18 ස්වල්ප කලකට ඔබගේ ශුද්ධවූ සෙනඟ එය භුක්තිවින්දෝය. අපේ එදිරිකාරයෝ ඔබගේ ශුද්ධස්ථානය පාගාදැමුවෝය.
19 අපි ඔබ විසින් කිසිකලක ආණ්ඩු නොකළවුන් මෙන්ද ඔබගේ නාමය නොදැරූ අය මෙන්ද වී සිටිමුව.



පරිච්ඡේදය 64

1 අහෝ ඔබගේ එදිරිකාරයන්ට ඔබගේ නාමය දන්වන පිණිසද ඔබ ඉදිරියෙහි ජාතීන් වෙවුලවන පිණිසද ඔබවහන්සේ අහස පළාගන බසින්ටත්,
2 ගින්න කැලෑව දල්වන්නාක්මෙන්ද ගින්න වතුර උතුරවන්නාක්මෙන්ද ඔබ ඉදිරියෙන් කඳු දියවයන්ටත් යෙදුණොත් හොඳය!
3 අප බලා නොසිටිය භයානක දේ කරමින් ඔබ බැස්සසේක,
4 ඔබ ඉදිරියේ කඳු දියව ගියේය. තමන් ගැන බලා සිටින අය උදෙසා ක්‍රියා කරන්නාවූ ඔබ හැර වෙන දෙවිකෙනෙක් ඇති බවක් පුරාණයේ සිට අසන්ට යෙදුණේවත් කනට වැටුණේවත් ඇසින් දකින්ට යෙදුණේවත් නැත.
5 ප්‍රීතිවී ධර්මිෂ්ඨකම් කරන්නාවූ, ඔබගේ මාර්ගවලදී ඔබ සිහිකරන්නාවූ අයට ඔබ සම්බවනසේක. මෙන්න, ඔබ කෝපවූසේක. අපි පව්කෙළමුව. බොහෝ කලක සිට අපි ඒවායේ පැවතුණෙමුව, අපට ගැළවීම ලැබේද?
6 අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
7 ඔබගේ නාමය කියා යාච්ඤාකරන්නාවූ, ඔබ අල්වාගන්න පිණිස තමාම ප්‍රබෝධ කරගන්නාවූ කිසිවෙක් නැත. මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මුහුණ අපෙන් සඟවා අපේ අපරාධ නිසා අප දියව යන්ට හැරියසේක.
8 ඉතින් ස්වාමීන්වහන්ස, ඔබ අපේ පියාණෝය, අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය.
9 ස්වාමීන්වහන්ස, ඉතා උදහස්නූව මැනව, අයුතුකම් සෑම කල්ම සිහිනොකළ මැනව. අනේ බැලුව මැනව, අපි සියල්ලෝම ඔබගේ සෙනඟය.
10 ඔබවහන්සේගේ ශුද්ධ නුවරවල් කාන්තාරයක්වී, සියොන් කාන්තාරයක්වී, යෙරුසලම පාළුවී තිබේ.
11 අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.
12 ස්වාමීන්වහන්ස, ඔබ මේවා තිබෙද්දීත් නිකම් සිටිනසේක්ද? ඔබ නිශ්ශබ්දව සිට අප තද දුකට පමුණුවනසේක්ද?



පරිච්ඡේදය 65

1 මා ගැන විභාග නොකළ අයට ප්‍රකාශවුණෙමි; මා නොසෙවු අයට සම්බවුණෙමි. මාගේ නාමය නොදැරූ ජාතියකට: මම මෙහිය, මම මෙහියයි කීවෙමි.
2 කැරළිකාරවූ, තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි.
3 ඒ සෙනඟ මා ඉදිරියේදී නිතරම මා කෝපකරති, උයන්වල පූජාකරති, ගඩොල් පිටද සුවඳ දුම් ඔප්පුකරති.
4 ඔව්හු සොහොන් අතරේ හිඳිති, රහස් ස්ථානවලද රාත්‍රිය පසුකරති. ඔව්හු ඌරු මස් කති, පිළිකුල් ද්‍රව්‍යවල හොදිද ඔවුන්ගේ භාජනවල තිබේ.
5 මට ළංනොවී ඈතින් සිටින්න, මම නුඹට වඩා ශුද්ධයෙමියි ඔව්හු කියති. මොව්හු මාගේ නාසයට ධූමයක්ය, දවස මුළුල්ලේම ඇවිළෙන ගින්නක්ය.
6 බලව, ඒක මා ඉදිරියෙහි ලියා තිබේ. මම විපාක දෙනතුරු නිශ්ශබ්දව නොසිටිමි.
7 එසේය, නුඹලාගේ අයුතුකම්ද කඳු උඩ සුවඳ දුම් ඔප්පුකොට හෙල් උඩ මට අපහාස කළාවූ නුඹලාගේ පියවරුන්ගේ අයුතුකම්ද නිසා ඔවුන්ගේ ළයට ප්‍රතිඵල දෙන්නෙමි, ඔවුන්ගේ පළමු ක්‍රියාවල් ඔවුන්ගේ ළයට මැනදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
8 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මිදිවල්ලෙහි යුස තිබෙන බව යමෙක් දැක-එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය නාස්ති නොකරන්නැයි කියන්නාක්මෙන්, මාගේ මෙහෙකරුවන් නිසා කරන්නෙමි, මම සියල්ලන් විනාශ නොකරන්නෙමි.
9 මම යාකොබ්ගෙන් වංශයකද යූදාගෙන් මාගේ කඳුවල උරුමක්කාරයෙක්ද නැඟුටුවන්නෙම්. මාගේ තෝරාගත් අය ඒක උරුම කරන්නවා ඇත.
10 මා සෙවුවාවූ මාගේ සෙනඟ උදෙසා ෂාරොන් එළු බැටළු රැළවලට තෘණ බිමක්ද ආකොර් මිටියාවත ගව රැළවලට ලැගුම්පළක්ද වන්නේය.
11 නුමුත් ස්වාමීන්වහන්සේ, අත්හැර, මාගේ ශුද්ධ කන්ද සිහිනැති කර, ශ්‍රීකාන්තාවට* මේසයක් පිළියෙළ කරන්නාවූ, මිශ්‍රවූ මද්‍යපානය ඉරණම නම් දේවතාවීට පුරවා දෙන්නාවූ තැනැත්තෙනි, (* එනම්, වාසනාවේ දේවතාවී)
12 නුඹලා මම කඩුවට නියමකරන්නෙමි; නුඹලා සියල්ලෝම මැරුම්කෑමට අසුවන්නහුය. මක්නිසාද මා අඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහුය, මා කථාකළ විට නුඹලා නොඅසා, මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කොට, මා කැමැති නැති දේ තෝරාගත්තහුය.
13 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී නුඹලාට බඩගිනි වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබෙද්දී නුඹලාට පිපාසා වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීතිවෙද්දී නුඹලාට ලජ්ජාව ඇතිවන්නේය.
14 මෙන්න, මාගේ මෙහෙකරුවන් සිතේ ප්‍රීතියෙන් ගීකියන කල්හි නුඹලා සිතේ වේදනාවෙන් කෑගසමින් ආත්මයේ පෙළීම නිසා කෑමොර ගසන්නහුය.
15 නුඹලාගේ නාමය ශාපයක් පිණිස මාගේ තෝරාගත්තවුන්ට නුඹලා තබා යන්නහුය, ස්වාමිවූ දෙවියන්වහන්සේ නුඹ නසා තමන්ගේ මෙහෙකරුවන්ට වෙන නාමයක් තබනවා ඇත.
16 එයින් පොළොවෙහි තමාට ආශීර්වාදකරගන්න අය සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා ආශීර්වාදකරගන්නේය; පොළොවෙහි දිවුරන අයද සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා දිවුරන්නේය; මෙසේ වන්නේ පළමු විපත්ති මතක නැතිවී, ඒවා මාගේ ඇස්වලින් සැඟවී තිබෙන නිසාය.
17 මක්නිසාද, බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත.
18 එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනඟ ප්‍රීතියක්දකොට මවමි.
19 මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනඟ කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය.
20 දවස් ගණනක ළදරුවෙක්වත් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්දු නොවී, බාල දරුවා අවුරුදු සියයක් වයස්ව නසිනවා ඇත. නුමුත් අවුරුදු සියයක් වයස්වූ පව්කාරයා ශාප ලබනවා ඇත.
21 ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය.
22 ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.
23 ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ වන්නෝය.
24 ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.
25 වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.



පරිච්ඡේදය 66

1 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?
2 මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.
3 ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.
4 මමත් ඔවුන්ට නිසි විපත්ති නියමකොට, ඔවුන් භයවන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි; මක්නිසාද මා අඬගැසූ විට කිසිවෙක් උත්තර නුදුන්නේය; මා කථාකළ විට ඔව්හු නොඇසුවෝය; ඔව්හු මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කර, මා කැමැති නැති දේ තෝරාගත්තෝය.
5 ස්වාමීන්වහන්සේගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, උන්වහන්සේගේ වචනය අසන්න. මාගේ නාමය නිසා නුඹලාට වෛරවී නුඹලා පන්වා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ ස්වාමීන්වහන්සේ ගෞරව ලබාගන්නසේක්වා, එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේයයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත.
6 ඝෝෂා හඬක් නුවරින් පැමිණෙන්නේය, දේව මාළිගාවෙන් හඬක් පැමිණෙන්නේය; එය වනාහි තමන්ගේ සතුරන්ට ප්‍රතිඵලදෙන ස්වාමීන්වහන්සේගේ හඬය.
7 ප්‍රසව වේදනාව පැමිණෙන්ට පළමුවෙන් ඈ බිහිකළාය; ඈට විළිරුජාව අල්ලන්ට පළමුවෙන් ඈ පිරිමි දරුවෙකු ප්‍රසූතකළාය.
8 මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනඟක් එකවිටම උපදිනවා ඇද්ද? සියොන් ප්‍රසව වේදනා වින්ද ඇසිල්ලෙහිම ඇගේ දරුවන් බිහිකළාය.
9 බිහිවෙන්ට ළංකරන්නාවූ මම උපදින්ට නොසලස්වන්නේම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. නොහොත් බිහිවන්ට සලස්වන්නාවූ මමම ගර්භය පියන්නෙම්දැයි නුඹේ දෙවියන්වහන්සේ කියනසේක.
10 යෙරුසලමට ප්‍රේමකරන සියල්ලෙනි, ඈ සමඟ සන්තෝෂවී, ඈ කෙරෙහි ප්‍රීතිමත්වෙන්න; ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීතිවෙන්න.
11 මෙසේ නුඹලා ඇගේ සැනසිලි නැමති තන උරා තෘප්තියට පැමිණෙනවා ඇත; ඇගේ තේජසේ පූර්ණකමින් දොවාගන භුක්තිවිඳිනවා ඇත.
12 මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම සමාදානය ගංගාවක් මෙන්ද ජාතීන්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈ වෙතට හරවමි, නුඹලා එයින් උරා බොන්නහුය; උකුළේ ගෙනයනු ලබන්නහුය, දෙදණ පිට සුරතල්කරනු ලබන්නහුය.
13 මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි; යෙරුසලම තුළද නුඹලා සැනසෙනවා ඇත.
14 නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත
15 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනිදැල්වලින්ද ඉෂ්ටකරන පිණිස ගිනි සහිතවද උන්වහන්සේගේ රථ සුළිහුළඟ මෙන්ද එනවා ඇත.
16 එසේය, ස්වාමීන්වහන්සේ ගින්නෙන්ද තමන්ගේ කඩුවෙන්ද මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනවා ඇත. බොහෝ දෙනෙක්ද ස්වාමීන්වහන්සේගෙන් මැරුම් කනවා ඇත.
17 මැද සිටින කෙනෙකුට පස්සෙන් උයන්වලට යන පිණිස තමුන් ශුද්ධ පවිත්‍රකරගන්නාවූ, ඌරු මස් සහ පිළිකුල් දේද මීයන්ද කන්නාවූ අය එක්ව නැතිවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
18 මක්නිසාද මම ඔවුන්ගේ ක්‍රියා සහ යෝජනා දනිමි. සියලු ජාතීන් සහ භාෂාවන් මා විසින් රැස්කිරීමට කාලය පැමිණෙන්නේය; ඔව්හු ඇවිත් මාගේ තේජස දකින්නෝය.
19 මම ඔවුන් අතරේ ලකුණක් තබා, ඔවුන්ගෙන් ගැළවීයන අය මාගේ කීර්තිය නෑසුවාවූ, මාගේ තේජස නුදුටුවාවූ දුරස්තර ද්වීපයන් වන තර්ෂිෂ්හිද පූල්හිද දුනුවායන් සිටින ලූද්හිද තුබල්හිද යාවාන්හිද සිටින ජාතීන් වෙතට යවන්නෙමි; ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස දන්වනවා ඇත.
20 ඉශ්‍රායෙල් පුත්‍රයන් පිරිසිදු භාජනයක ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්නාක්මෙන් ඔවුන් නුඹලාගේ සියලු සහෝදරයන් සියලු ජාතීන් අතරෙන් අශ්වයන් පිටින්ද රථවලින්ද දෝලාවලින්ද අශ්වතරයන් පිටින්ද ඔටුවන් පිටින්ද මාගේ ශුද්ධ කන්ද වන යෙරුසලමට ස්වාමීන්වහන්සේට පඬුරක් කොට ගෙනෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
21 ඔවුන් ගෙන්ද සමහරුන් මම පූජකයන් සහ ලෙවීවරුන් කොට ගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
22 මක්නිසාද මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
23 තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
24 ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.