විලාප ගී

පරිච්ඡේදය: 1 2 3 4 5


පරිච්ඡේදය 1

1 සෙනඟගෙන් පිරී තිබුණු නුවර තනිව හිඳින හැටි! ඈ වැන්දඹුවක් මෙන් වූ හැටි! ජාතීන් අතරෙහි උතුම්ව දනව් අතරෙහි කුමාරිකාවක්ව සිටි තැනැත්තී ආදායමට යටත්වූ හැටි!
2 ඈ රාත්‍රියෙහි අතිශයින් හඬයි, ඇගේ කඳුළු ඇගේ කම්මුල් පිට තිබේ; ඇගේ සියලු ප්‍රේමවතුන්ගෙන් ඈ සනසන්ට කිසිවෙක් නැත. ඇගේ සියලු මිත්‍රයෝ ඈට ද්‍රෝහිකම් කළෝය, ඔව්හු ඈට සතුරෝ වී සිටිති.
3 පීඩාව නිසාද අධික දාසකම නිසාද යූදා වහල්කමට ගියාය; ඈ මිථ්‍යාදෘෂ්ටි ජාතීන් අතරෙහි වසයි, ඈ කිසි සහනයක් නොලබයි ඈ පස්සේ එළවාගෙනගිය හැමදෙන කඳු පාරවලදී ඈ අසුකරගත්තෝය.
4 මංගල්‍ය රැස්වීමට එන කෙනෙක් නැති බැවින් සියොන්ට යන මාර්ගයෝ වැලපෙන්නාහ; ඇගේ සියලු දොරටු පාළුව තිබේ, ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කන්‍යාවෝ ශෝකවෙති, ඈම තික්තකමෙහි සිටියි.
5 ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති; මක්නිසාද ඇගේ අපරාධ රාශිය නිසා ස්වාමීන්වහන්සේ ඈට පීඩාකළසේක. ඇගේ බාලයෝ එදිරිකාරයාට පෙරටුවෙන් වහල්කමට ගියෝය.
6 සියොන් දියණියගේ මුළු මහිමශ්‍රීය ඇගෙන් පහව ගියේය. ඇගේ අධිපතීහු කෑම නොලැබූ මුවන්ට සමානවුණෝය, එළවාගෙන එන්නා ඉදිරියෙහි ඔව්හු බෙලහීනව ගියෝය.
7 යෙරුසලම ඇගේ පීඩාව සහ දුක් දවස්වලදී පුරාණ දවස් පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහිකරයි. ඈට උපකාරකරන්නෙක් නැතුව, ඇගේ සෙනඟ එදිරිකාරයා අතට අසුවූ විට, එදිරිකාරයෝ ඈ දැක, ඇගේ විනාශය ගැන සිනාසුණෝය.
8 යෙරුසලම බලවත්ලෙස පව්කළ බැවින් ඈ කිලුටක් වී සිටින්නීය. ඈට ගෞරවකළ සියල්ලෝම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළාදකිති. එසේය, ඈ සුසුම්ලා පස්සට හැරීයයි.
9 ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේය; ඈ තමාගේ මතු කාලය සිහි නොකළාය; එබැවින් ඈ පුදුමලෙස පහළ බැස්සාය; ඈට සැනසිලිකාරයෙක් නැත. ස්වාමීන්වහන්ස, මාගේ දුක බැලුව මැනව, මක්නිසාද සතුරා උඩඟුකම්කෙළේය.
10 එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළුවේය. මක්නිසාද ඔබගේ සභාවට ඇතුල් නොවෙන හැටියට ඔබ අණකළ ජාතීන් ඇගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙනවා ඈ දුටුවාය.
11 ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති; පණ රැකගන්න පිණිස ඔව්හු තමුන්ගේ ප්‍රිය දේ ආහාර වෙනුවට දුන්නෝය. ස්වාමීන්වහන්ස, මා නීචවී සිටින බව බලා සැලකුව මැනව.
12 මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න.
13 උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි. උන්වහන්සේ මාගේ පාදවලට දැලක් හෙළූසේක, මා පස්සට හැරවූසේක; මා පාළුවක්ද දවස මුළුල්ලේ බෙලහීනයෙක්ද කළසේක.
14 මාගේ අපරාධ නැමති වියගහ බැඳ තිබෙන්නේ උන්වහන්සේගේ අතින්ය; ඒවා ගෙතී මාගේ බෙල්ල පිට ඝනවී තිබේ; එයින් මාගේ ශක්තිය හීනවිය. මට නැගිටින්ට බැරිලෙස සතුරන් අතට ස්වාමීන්වහන්සේ මා පාවා දුන්සේක.
15 මා තුළ සිටි මාගේ සියලු බලවතුන් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක සේක; මාගේ යෞවනයන් සුන්කරන්ට උන්වහන්සේ මට විරුද්ධව මංගල්‍ය සභාවක් අඬගසාගත්සේක. ස්වාමීන්වහන්සේ මිදි පැසක් මෙන් යූදාගේ කන්‍යා දුව පෑගූසේක.
16 මේ දේවල් නිසා අඬමි; මාගේ ඇසින්, එසේය, මාගේ ඇසින් කඳුළු ගලන්නේය; මක්නිසාද මා ප්‍රාණවත්කරන්නාවූ සැනසිලිකාරයා මාගෙන් ඈත්ව සිටියි. සතුරා ජයගත් බැවින් මාගේ දරුවෝ අසරණව සිටිති.
17 සියොන් ඇගේ අත් විදහාගන ඉඳයි; ඈ සනසන්ට කෙනෙක් නැත; යාකොබ් අවට සිටින්නන් ඔහුගේ සතුරන් වන ලෙස ස්වාමීන්වහන්සේ අණකර තිබේ. යෙරුසලම ඔවුන් අතරෙහි කිලුටක්වී තිබේ.
18 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය; මක්නිසාද මම උන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගැසීමි. අනේ සියලු ජනයෙනි, අසා මාගේ ශෝකය බලන්න. මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද වහල්කමට ගියෝය.
19 මාගේ ප්‍රේමවන්තයන්ට අඬගැසීමි, නුමුත් ඔව්හු මා රුවටුවෝය. මාගේ පූජකයෝද මාගේ වැඩිමහල්ලෝද තමුන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමුන්ට කෑම සොයන අතර නුවරදී නැසී ගියෝය.
20 ස්වාමීන්වහන්ස, බැලුව මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; මාගේ බඩවැල් කැලඹී තිබේ; මාගේ හෘදය මා තුළ පෙරළී තිබේ; මක්නිසාද මම බලවත්ලෙස කැරළිගැසීමි. පිටතදී කඩුව දරුවන් නැතිකරන්නේය, ගෙයි මරණය වැන්නක් ඇත්තේය.
21 මා සුසුම්ලනවා ඔව්හු ඇසුවෝය; මා සනසන්ට කෙනෙක් නැත; මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝය; ඔබ ඒක කළ නිසා ඔව්හු සතුටුවෙති. ඔබ ප්‍රකාශකළ දවස ඔබ පමුණුවන සේක, ඔව්හුද මා හා සමානවන්නෝය.
22 ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණේවා; මාගේ සියලු අපරාධ නිසා ඔබ මට කළාක්මෙන් ඔවුන්ටත් කළ මැනව. මක්නිසාද මාගේ සුසුම්ලෑම් බොහෝය, මාගේ සිතද ක්ලාන්තව තිබේ.



පරිච්ඡේදය 2

1 ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි! ‍‍ උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ අලංකාරය ස්වර්ගයෙන් පොළොවට හෙළූසේක, තමන් උදහසේ දවසේදී තමන් පා පුටුව සිහි නොකළසේක.
2 ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට, යාකොබ්ගේ සියලු වාසස්ථාන නටබුන්කළසේක; උන්වහන්සේ තමන් කෝපයෙන් යූදා දුවගේ බලකොටු බිඳහෙළූසේක; ඒවා බිමටම ගෙනාසේක. උන්වහන්සේ රාජ්‍යයද එහි අධිපතීන්ද කෙලහූසේක.
3 උන්වහන්සේ බලවත් උදහසෙන් ඉශ්‍රායෙල්ගේ අඟ සහමුලින් සිඳ දැමූසේක; තමන්ගේ දකුණත සතුරා ඉදිරියෙන් පස්සට ඇදගත්සේක. වටකරින් නාස්තිකරන ඇවිළෙන ගින්නක් මෙන් උන්වහන්සේ යාකොබ් දැවූසේක.
4 උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවුසේක.
5 ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්‍රායෙල් නටබුන් කළසේක; උන්වහන්සේ ඇගේ සියලු මාළිගා නටබුන්කොට, ඔහුගේ බලකොටු විනාශකළසේක. යූදා දුව කෙරෙහි වැලපීමත් ශෝකයත් වැඩිකළසේක.
6 උන්වහන්සේ තමන් මණ්ඩපය වත්තක් මෙන් පාළුකරදැමූසේක; ස්වකීය රැස්වීමේ ස්ථානය විනාශකළසේක. ස්වාමීන්වහන්සේ සියොන්හි මංගල්‍යය සහ සබත් දවස මතකනැති කෙරෙවුසේක, තමන් උදහසේ කෝපයෙන් රජු සහ පූජකයා එපාකළසේක.
7 ස්වාමීන්වහන්සේ තමන් පූජාසනය අහකදැමූසේක, තමන් ශුද්ධස්ථානය පිළිකුල්කළසේක, ඇගේ මාළිගාවල පවුරු සතුරා අතට පාවාදුන්සේක. මංගල්‍ය දවසකදී මෙන් ඔව්හු ස්වාමීන්වහන්සේ ගෘහයෙහි ශබ්ද පැවැත්තුවෝය.
8 ස්වාමීන්වහන්සේ සියොන් දුවගේ පවුර නාස්තිකරන්ට අදහස්කළසේක; ලනුව ඇද නටබුන්කිරීමෙන් තමන් අත අහක්කර නොගත්සේක. උන්වහන්සේ කොටු-තාප්පය සහ පවුර වැලපෙන්ට සැලැස්වූසේක; ඒවා එක්ව මලානිකවෙති.
9 ඇගේ දොරටු පොළොවට ගිලුණේය; උන්වහන්සේ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූසේක. ඇගේ රජද අධිපතීහුද ජාතීන් අතරේ සිටිති; ව්‍යවස්ථාවක් නැත. එසේය, ඇගේ ප්‍රොපේතවරු ස්වාමීන්වහන්සේගෙන් දර්ශනයක් නොලබති.
10 සියොන් දුවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි හැඳ සිටිති. යෙරුසලමේ කන්‍යාවෝ තමුන්ගේ හිස් බිමට නමාගෙන හිඳිති.
11 මාගේ දියණිය වන සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස් කඳුළින් ක්ෂයවේ, මාගේ බඩවැල් කැලඹී, මාගේ අක්මාව බිම වැගිරී තිබේ; මක්නිසාද ළමයින් සහ කිරි දරුවෝ නුවර වීථිවලදී ක්ලාන්තවෙති.
12 නුවර වීථිවල තුවාලවූවන් මෙන් ඔව්හු ක්ලාන්තවෙමින්, තමුන්ගේ ප්‍රාණ තමුන්ගේ මවුවරුන්ගේ ළයෙහි වගුරුවන කල්හි, ධාන්‍ය සහ මුද්‍රිකපානයත් කොයිදැයි තමුන්ගේ මවුවරුන්ට කියති.
13 යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද? නුඹට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරම්ද? මක්නිසාද නුඹේ බිඳුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?
14 නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.
15 මග යන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පුඩිගසති; ඔව්හු පරිහාසකොට, යෙරුසලම් දුවට විරුද්ධව තමුන්ගේ හිස්වනමින්: පරම අලංකාරකමය, මුළු පොළොවට ප්‍රීති හේතුවයයි කී නුවර මේකදැයි කියති.
16 නුඹේ සියලු සතුරෝ නුඹට විරුද්ධව තමුන්ගේ මුඛය විදහා, පරිහාසකොට, දත්මිටිකති; අපි ඈ නටබුන්කෙළෙමුව, සැබවින්ම අප බලා සිටි දවස මේය; අපි ඊට පැමිණ දුටිමුයයි කියති.
17 ස්වාමීන්වහන්සේ තමන් යෝජනා කළ දේ ඉෂ්ටකළසේක; උන්වහන්සේ පුරාණ දවස්වල සිට නියමකර තිබුණු තමන් කීම සම්පූර්ණකළසේක; උන්වහන්සේ අනුකම්පා නොකොට, හෙළාදැමූසේක. සතුරා නුඹට විරුද්ධව සන්තෝෂවෙන්ට සලස්වා, නුඹේ එදිරිකාරයන්ගේ අඟ එසෙවුසේක.
18 ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේට කෑගැසීය. අහෝ සියොන් දුවගේ පවුර, රෑ දාවල් ගඟක් මෙන් කඳුළු වගුරුවන්න; නිස්කලංක නොගන්න; නුඹේ ඇසේ කළුඉංගිරියාව නොනවතීවා.
19 නැගිට, රාත්‍රී යාමවල මුලදී ඝෝෂා කොට, නුඹේ සිත ස්වාමීන්වහන්සේගේ මුහුණ ඉදිරිපිට වතුර මෙන් වගුරුවන්න. සියලු වීථි සන්ධිවලදී බඩගින්නෙන් ක්ලාන්තවෙන්නාවූ නුඹේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා නුඹේ අත් උන්වහන්සේ දෙසට ඔසවන්න.
20 ස්වාමීන්වහන්ස, ඔබ මෙසේ කළේ කාටදැයි බලා කල්පනාකළ මැනව. ස්ත්‍රීහු ස්වකීය ඵල වන අත දරුවන් කන්නෝද? පූජකයා සහ ප්‍රොපේතයාත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී මරනු ලබන්නෝද?
21 බාලයාද මහල්ලාද වීථිවල බිම වැතිර සිටිති; මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද කඩුවෙන් වැටුණෝය. ඔබ ස්වකීය උදහසේ දවසේදී ඔවුන් නැසූසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක.
22 මංගල්‍ය රැස්වීමකදී මෙන් භීති මා වටකරින්ම එන ලෙස ඔබ අඬගැසූසේක; කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ගැළවී ඉතුරු නොවීය. මා විසින් වඩා ඇතිකළවුන් මාගේ සතුරා නාස්තිකෙළේය.



පරිච්ඡේදය 3

1 උන්වහන්සේගේ කෝපය නැමති දණ්ඩෙන්දුක අත්දුටුවාවූ මනුෂ්‍යයා මමය.
2 උන්වහන්සේ මා ගෙනගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්ට සැලැස්වූසේක.
3 සැබවින්ම උන්වහන්සේ දවස මුළුල්ලේ මට විරුද්ධව නැවත නැවත තමන් අත හරවනසේක.
4 උන්වහන්සේ මාගේ මාංසයත් හමත් ජරාවට පමුණුවා, මාගේ ඇට බින්දසේක.
5 උන්වහන්සේ මට විරුද්ධව පවුරු ගොඩනඟා, තික්තකමෙන්ද ගාවිනාවෙන්ද මා වටකළසේක.
6 පුරාණයේ නැසීගියවුන් මෙන් උන්වහන්සේ අඳුරු තැන්වල විසීම මට සැලැස්වූසේක.
7 පිටත යන්ට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක; මාගේ විලංගුව බරකළසේක.
8 එසේය, මා කෑගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාච්ඤාව වලක්වනසේක.
9 උන්වහන්සේ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා, මාගේ මාවත් ඇදකළසේක.
10 උන්වහන්සේ මාහට රැක සිටින වලසෙක්ද රහස් තැන්වල ඉන්න සිංහයෙක්ද මෙන්ය.
11 උන්වහන්සේ මාගේ මාර්ග ඉවත්කොට මා ඉරාදැමූසේක; මා පාළුකළසේක.
12 උන්වහන්සේ තමන් දුන්න තැත්කවා, ඊගහට ඉලක්කයක් කොට මා තැබූසේක.
13 උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක.
14 මම මාගේ මුළු සෙනඟට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කවියද වී සිටිමි.
15 උන්වහන්සේ තික්ත රසයෙන් මා පුරවා, මට කොසඹ පෙවූසේක.
16 උන්වහන්සේ බොරළුවලින් මාගේ දත් බින්දසේක, අලුයෙන් මා වැසූසේක.
17 ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය.
18 මාගේ සවියත් ස්වාමීන්වහන්සේ කෙරෙන් මාගේ බලාපොරොත්තුවත් නැතිවී ගියේයයි කීමි.
19 කොසඹ සහ වසද වැනිවූ මාගේ පීඩාවත් මාගේ දුකත් සිහිකළ මැනව.
20 මාගේ ආත්මය තවම ඒවා සිහිකර මා තුළ පහත්වන්නේය.
21 මේක මතක්කරගන්නෙමි, එබැවින් මට බලාපොරොත්තුව ඇත්තෝය.
22 අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.
23 ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.
24 මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේයයි මාගේ ආත්මය කියයි; එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි.
25 ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය.
26 ස්වාමීන්වහන්සේගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.
27 තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත.
28 උන්වහන්සේ ඒක ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්දව සිටීවා.
29 සමහරවිට බලාපොරොත්තුවක් තිබේය කියා තමාගේ මුඛය දූවිල්ලෙහි තබාගන හිදීවා.
30 ඔහු තමාට පහරදෙන අයට කම්මුල පෑවාවේ; නින්දාවෙන් පූර්ණවුණාවේ.
31 මක්නිසාද ස්වාමීන්වහන්සේ සදාකාලයටම අහකදමන්නේ නැත.
32 උන්වහන්සේ ශෝකය පමුණුවන නුමුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක.
33 මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක, ඔවුන් ශෝකයට නොපමුණුවනසේක.
34 පොළොවේ සෑම හිරකාරයන් පාදයට පොඩිකිරීමටත්,
35 මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේදී මනුෂ්‍යයෙකුගේ යුක්තිය පෙරළා දැමීමටත්,
36 මනුෂ්‍යයෙකුට ඔහුගේ නඩුවේදී අයුක්තිය කිරීමටත් ස්වාමීන්වහන්සේ සතුටු නොවනසේක.
37 ස්වාමීන්වහන්සේ අණ නොකළසේක්නම් යමක් සිද්ධවේයයි කියන්නේ කවුද?
38 මහෝත්තමයාණන්ගේ මුඛයෙන්ම විපතත් සැපතත් නොනික්මේද?
39 ජීවත්ව සිටින මනුෂ්‍යයෙක් තමාගේ පව් ගැන දඬුවම ලබන නිසා කොඳුරන්නේ මන්ද?
40 අපේ මාර්ග සෝදිසිකර වීමසා ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරෙමු.
41 ස්වර්ගයෙහි සිටින දෙවියන්වහන්සේ වෙතට අපගේ අත් සමඟ අපේ සිත්ද ඔසවමු.
42 අපි වනාහි වරදකොට කැරළිගැසීමුව; ඔබ කමා නොකළසේක.
43 ඔබවහන්සේ උදහසින් සැඟවී සිට අප පස්සේ එළවාගෙන ආසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක.
44 අපේ යාච්ඤාව ඔබ වෙතට නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබම වසාගෙන සිටිනසේක.
45 ඔබ ජනයන් අතරෙහි අප කසළ සහ බොර මෙන් කළසේක.
46 අපේ සියලු සතුරෝ අපට විරුද්ධව බොහෝසේ කට ඇරියෝය.
47 භයානකකම සහ වළත් නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ.
48 මාගේ සෙනඟ වන දියණියගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලන්නේය.
49 ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලා සලකන තුරු,
50 මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙන්නේය.
51 මාගේ නුවර සියලු දූවරුන් නිසා මාගේ ඇස්වලින් මාගේ ආත්මයට වේදනා පැමිණෙන්නේය.
52 නිෂ්කාරණයේ මට සතුරුව සිටින අය මා කුරුල්ලෙකු මෙන් තදින් එළෙවුවෝය.
53 ඔව්හු මාගේ ප්‍රාණය හිරගෙයිදී සිඳ දමා, මා පිට ගලක් හෙළුවෝය.
54 වතුරු මාගේ හිසට උඩින් ගලා ගියේය; මම සිඳදමනු ලැබීමියි කීවෙමි.
55 ස්වාමීන්වහන්ස, මම ගැඹුරු වළේ සිට ඔබගේ නාමය කියා යාච්ඤා කෙළෙමි;
56 ඔබ මාගේ හඬ ඇසූසේක; මාගේ හුස්ම ගැනීමටත් මාගේ හඬගැසීමටත් ඔබගේ කන වසා නොගත මැනව.
57 මා ඔබට යාච්ඤාකළ දවසේදී ඔබ ළංවී: භය නොවන්නැයි කීසේක.
58 ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ආත්මය වෙනුවට කාරණ කීසේක; මාගේ ප්‍රාණය මිදූසේක.
59 ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පීඩාව දුටුසේක; මට යුක්තිය කරදුන මැනව.
60 ඔවුන්ගේ සියලුම පළිගැනීම් සහ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ සියලු යෝජනා ඔබ දුටුසේක.
61 ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ සියලු යෝජනාද,
62 මට විරුද්ධව නැගුටුණවුන්ගේ වචනද දවස මුළුල්ලේ මට විරුද්ධව තිබෙන ඔවුන්ගේ අදහස්ද ඔබ ඇසූසේක.
63 ඔවුන්ගේ හිදීමත් නැගිටීමත් බැලුව මැනව; මම ඔවුන්ගේ කවියය.
64 ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ අත්වල ක්‍රියා ලෙස ඔබ ඔවුන්ට ප්‍රතිඵල දෙනසේක.
65 සිත් දැඩිකම වන ඔබගේ ශාපය ඔබ ඔවුන්ට දෙනසේක.
66 ඔබ උදහසින් ඔවුන් එළවාගෙන ගොස්, ස්වාමීන්වහන්සේගේ අහස යටින් ඔවුන් විනාශකරදමන සේක.



පරිච්ඡේදය 4

1 රත්රන් අඳුරුවී තිබෙන හැටි! පවිත්‍ර රත්රන් වෙනස්වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු වීථි සන්ධිවල විසුරුවා තිබේ.
2 රනට සමානවූ සියොන්හි උතුම් පුත්‍රයන් කුම්භකාරයාගේ අත්වල වැඩ වන මැටි භාජන මෙන් සලකනු ලබන හැටි!
3 සිවල්දෙන්නු පවා තනන ඇද උන්ගේ පැටවුන්ට කිරි පොවති. මාගේ සෙනඟගේ දුව කාන්තාරයේ පැස්බරුන් මෙන් කෲරවූවාය.
4 කිරිදරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි. ළමයි කෑම ඉල්ලති, කිසිවෙක් ඔවුන්ට කඩා නොදෙයි.
5 රස කෑම කෑ අය අසරණව වීථිවල හිඳිති. රතු ඇතිරිලි පිට හිඳ ඇතිවුණ අය කසළ ගොඩවල් වැලඳගෙන හිඳිති.
6 මක්නිසාද, කිසිවෙකු විසින් අත් හෙළන්නේ නැතුව ඇසිල්ලකින් මෙන් විනාශවුණ සොදොමේ පාපයට වඩා මාගේ සෙනඟ වන දියණියගේ අයුතුකම මහත්ය.
7 ඇගේ වංශාධිපතීහු හිමවලට වඩා පිරිසිදුව කිරිවලට වඩා සුදුව සිටියෝය, රතුකැටවලට වඩා ඔවුන්ගේ ශරීර රතුව තිබුණේය, ඔවුන්ගේ ඔපය නීලමාණික්‍යය මෙන් විය.
8 දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළුය; ඔවුන් වීථිවලදී ඇඳිනගන්ට බැරිය. ඔවුන්ගේ හම ඔවුන්ගේ ඇටවලට ඇලෙයි; ඒක වියළී, ලීයක් මෙන්වී තිබේ.
9 සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේය; මක්නිසාද මොව්හු කෙතේ අස්වැන්න නැතිකමින් පීඩිතව ක්ෂයවී යති.
10 දයාවන්ත ස්ත්‍රීහු තමුන්ගේ අත්වලින් සිය දරුවන් පිසුවෝය; උන් මාගේ සෙනඟ වන දුවණියගේ විනාශයේදී ඔවුන්ට කෑම විය.
11 ස්වාමීන්වහන්සේ තමන් කෝපය තීන්දුවට ඉෂ්ටකොට, තමන් බලවත් උදහස වැගිරෙවුසේක; සියොන්හි ගින්නක් ඇවුළූසේක, එයින් එහි අත්තිවාරම් දාගියේය.
12 පොළොවේ රජවරු ද ලෝකයේ සියලු වැසියෝද එදිරිකාරයා සහ සතුරා යෙරුසලමේ දොරටුවලට ඇතුල්වන්නේයයි විශ්වාස නොකළෝය.
13 මෙසේ වුණේ ධර්මිෂ්ඨයන්ගේ ලේ ඈ තුළ වැගිරෙවුවාවූ ප්‍රොපේතවරුන්ගේ පව් නිසාත් පූජකයන්ගේ අපරාධ නිසාත්ය.
14 ඔව්හු අන්ධයන් මෙන් වීථිවල ඔබ මොබ යති, මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්ට බැරි තරමට ඔව්හු ලෙයින් කිලුටුවී සිටිති.
15 අහක්වෙන්න, අපවිත්‍රය! අහක් වෙන්න, අහක්වෙන්න, තැවරෙන්ට එපායයි ඔව්හු ඔවුන්ට මොරගැසුවෝය. ඔවුන් පලාගොස් ඔබමොබ ගිය විට: ඔව්හු තවත් මෙහි නොසිටින්නෝ යයි ජාතීන් අතරේ කියනලද්දේය.
16 ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් භේදකෙළේය; උන්වහන්සේ තවත් ඔවුන් නොසලකනසේක. ඔව්හු පූජකයන්ගේ මුහුණට ගරු නොකළෝය, වැඩිමහල්ලන්ට කරුණා නොකළෝය.
17 නිෂ්ඵලවූ උපකාර ගැන බලාසිටීමෙන් අපේ ඇස් තවම ක්ෂයවන්නේය. ගළවන්ට බැරි ජාතියක් ගැන මුර කුළුනු උඩ අපි බලා සිටියෙමුව.
18 අපේ වීථිවල අපට යන්ට බැරිවන ලෙස ඔව්හු අපේ අඩිපාරේ එළවති. අපේ අන්තිමය ආසන්නය, අපේ දවස් තීන්දුය; මක්නිසාද අපේ අන්තිමය පැමුණුණේය.
19 අප පස්සේ එළවාගන ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත්වූහ. ඔව්හු කඳුවල අප පස්සේ එළවාගන ආවෝය, අප අල්ලන්ට කාන්තාරයෙහි රැක සිටියෝය.
20 ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය.
21 ඌශ් දේශයෙහි වාසයකරන ඒදොම් දුව, ප්‍රීති සන්තෝෂවෙයන්න. කුසලාන නුඹ වෙතටත් පැමිණෙන්නේය; නුඹ මත්ව නිර්වස්ත්‍රව සිටින්නීය.
22 එම්බා සියොන් දියණිය, නුඹේ අයුතුකමේ දඬුවම ඉෂ්ටවිය; උන්වහන්සේ තවත් නුඹ වාලට ගෙන නොයනසේක. එම්බා ඒදොම් දියණිය, උන්වහන්සේ නුඹේ අයුතුකමට දඬුවම්කරනසේක; නුඹේ පව් එළිදරව්කරනසේක.



පරිච්ඡේදය 5

1 ස්වාමීන්වහන්ස, අපට සිද්ධවී තිබෙන දේ සිහිකළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව.
2 අපේ උරුමය අන්‍යයන්ටත් අපේ ගෙවල් විදේශීන්ටත් අයිතිවී තිබේ.
3 අපි කාත් නැත්තෝය, පියා නැති දරුවෝය, අපේ මවුවරුන් වැන්දඹුවන් මෙන්ය.
4 අපි අපේම වතුර මිලේට ගෙන බීමුව, අපේම දර අපට විකුණනු ලැබේ.
5 අප ලුහුබඳින්නෝ අපට ඉතා ආසන්නය. අපි වෙහෙසුණෙමුව, අපට සහනයක් නැත.
6 සෑහෙන පමණ කෑම ලැබෙන පිණිස මිසරවරුන්ටත් අෂූර්වරුන්ටත් අත දුනිමුව.
7 අපේ පියවරු පව්කළෝය, ඔව්හු නැත; අපි ඔවුන්ගේ අයුතුකම් දැරුවෙමුව.
8 වැඩකාරයෝ අප කෙරෙහි ආණ්ඩුකරති. ඔවුන් අතින් අප ගළවාගන්ට කෙනෙක් නැත.
9 කාන්තාරයේ තිබෙන කඩුව නිසා, අපේ ප්‍රාණයට අන්තරාය ඇතුව අපේ කෑම ලබාගනිමුව.
10 සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උඳුනක් මෙන් රත්ව තිබේ.
11 සියොන්හි ස්ත්‍රීන්ටත් යූදා නුවරවල කන්‍යාවන්ටත් ඔව්හු බලාත්කාරකළෝය.
12 අධිපතීහු තමුන්ගේ අත්වලින් එල්ලනු ලැබුවෝය. වැඩිමහල්ලන්ගේ මුහුණුවලට ගෞරව නොලැබුණේය.
13 යෞවනයෝ ඇඹරුම්ගල උසුලාගන ගියෝය, ළමයි දරවල බරින් වැටී ගියෝය.
14 වැඩිමහල්ලෝ දොරටුවෙන් පහව ගියෝය. යෞවනයෝ තමුන්ගේ ගීතිකාකිරීමෙන් වැලකුණෝය.
15 අපේ සිතේ ප්‍රීතිය නැවතුණේය; අපේ නැටීම වැලපීමට පෙරළුණේය.
16 අපේ හිසින් ඔටුන්න වැටුණේය. අපට දුක්වේ! මක්නිසාද අපි පව් කෙළෙමුව.
17 මේ නිසා අපේ සිත ක්ලාන්තවී තිබේ; මේ දේවල් නිසා-
18 පාළුව තිබෙන සියොන් කන්ද නිසා-අපේ ඇස් අඳුරුවී තිබේ; සිවල්ලු එහි ඇවිදිති.
19 ස්වාමීන්වහන්ස, ඔබ සදාකාලයටම සිටිනසේක; ඔබගේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේය.
20 ඔබ නිතරම අප මතකනැතිකරන්නෙත් මෙපමණ කල් අප අත්හරින්නෙත් මක්නිසාද?
21 ස්වාමීන්වහන්ස, අප හැරී එන පිණිස ඔබ වෙතට අප හරවාගත මැනව; පුරාණයේදී මෙන් අපට [සමාදන] දවස් නැවත දුන මැනව.
22 මක්නිසාද ඔබ සහමුලින් අප පහකර දැමූසේක, ඔබ අප කෙරෙහි අතිශයින් කෝපව සිටිනසේක.