හොෂෙයා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14


පරිච්ඡේදය 1

1 යූදාහි රජවරුවූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වල සහ යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබෝවම්ගේ දවස්වලත් බෙයේරීගේ පුත්‍රවූ හොෂෙයාට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
2 හොෂෙයා ලවා ස්වාමීන්වහන්සේ කියෙවු කාරණාවල පටන්ගැන්මය. ස්වාමීන්වහන්සේ හොෂෙයාට කථාකොට: නුඹ ගොස් වේශ්‍යා භාර්යාවක්ද වේශ්‍යා දරුවන්ද අරගන්න. මක්නිසාද දේශය ස්වාමීන්වහන්සේගෙන් අහක්වී බොහෝසේ වේශ්‍යාකම්කෙරේයයි කීසේක.
3 එවිට ඔහු ගොස්, දිබ්ලයිම්ගේ දූවූ ගොමෙර් පාවාගත්තේය; ඈ ගර්භිණීව ඔහු නිසා පුත්‍රයෙකු බිහිකළාය.
4 ස්වාමීන්වහන්සේද: ඔහුට යෙස්‍රෙයෙල් යන නම තබන්න; මක්නිසාද තව ස්වල්ප කාලයකින් යෙස්‍රෙයෙල්හි ලේ ගැන යේහුගේ වංශයට දඬුවම්කොට, ඉශ්‍රායෙල් වංශයේ රාජ්‍යය නැතිකරන්නෙමි.
5 ඒ දවසේ යෙස්‍රෙයෙල් මිටියාවතේදී ඉශ්‍රායෙල්වරුන්ගේ දුන්න බිඳින්නෙමියි කීසේක.
6 ඈ නැවත ගර්භිණීව දුවෙකු බිහිකළාය. ස්වාමීන්වහන්සේද: ඈට ලෝ-රුහාමා යන නම තබන්න. මක්නිසාද මම ඉශ්‍රායෙල් වංශයට කමාවන ලෙස ඔවුන්ට නැවත තවත් අනුකම්පා නොකරන්නෙමි.
7 නුමුත් මම යූදා වංශයට අනුකම්පාකොට, ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කරණකොටගෙන ඔවුන් ගළවන්නෙමි, දුන්නවත් කඩුවවත් යුද්ධයවත් අශ්වයන්වත් අසරුවන්වත් කරණකොටගෙන මම ඔවුන් නොගළවන්නෙමියි ඔහුට කීසේක.
8 ලෝ-රුහාමා කිරිවැරෙවුවායින් පසු ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය.
9 ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ඔහුට ලෝ-අම්මී* යන නම තබන්න. මක්නිසාද නුඹලා මාගේ සෙනඟ නොවේය, මමත් නුඹලාගේ දෙවියන්වහන්සේව නොසිටින්නෙමි. (* එනම්, මාගේ සෙනඟ නොවේ)
10 එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ.
11 යූදා පුත්‍රයෝද ඉශ්‍රායෙල් පුත්‍රයෝද එක්ව රැස්වී, තමුන්ට එක ප්‍රධානියෙකු පත්කරගන, (වහල්කමේ) දේශයේ සිට නැගී එන්නෝය. මක්නිසාද යෙස්‍රෙයෙල්හි දවස මහත් වන්නේය.



පරිච්ඡේදය 2

1 නුඹලාගේ සහෝදරයන්ට අම්මී* කියාද කියන්න. (* අනුකම්පාලත්තී)
2 නුඹලාගේ මව්ට විරුද්ධව පැමිණිලිකරන්න, පැමිණිලිකරන්න; මක්නිසාද ඈ මාගේ භාර්යාව නොවේ, මමද ඇගේ පුරුෂයා නොවෙමි. එබැවින් ඈ ඇගේ වේශ්‍යාකම් ඇගේ මුහුණෙන්ද ඇගේ කාමමිථ්‍යාචාරකම් ඇගේ පියයුරු අතරෙන්ද පහකරාවා;
3 නැත්නම් මම ඈ නග්නකොට, ඈ උපන් දවසේදී මෙන් ඈ සිටුවා, කාන්තාරයක් මෙන් කර, වියළි දේශයක් මෙන් තබා, ඈ පිපාසායෙන් නසන්නෙමි;
4 එසේය, ඇගේ දරුවන්ටද අනුකම්පා නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු වේශ්‍යා දරුවෝය.
5 ඔවුන්ගේ මව් වේශ්‍යාකම්ද ඔවුන් බිහිකළ තැනැත්තී නින්දිතකම්දකර තිබේ. මක්නිසාද ඈ කථාකොට: මට කෑමද වතුරද ලොම්ද හණද තෙල්ද බීමද දෙන්නාවූ මාගේ ප්‍රේමවන්තයන් පස්සේ යන්නෙමියි කීවාය.
6 එබැවින් නුඹේ මාර්ගය කටුවලින් අහුරන්නෙමි, ඇගේ මාවත් ඈට සොයාගන්ට බැරිවන ලෙස තාප්පයක් ගොඩනගන්නෙමි.
7 ඈද ඇගේ ප්‍රේමවන්තියන් පස්සේ දුවන නුමුත් ඔවුන් කරා නොපැමිණෙන්නීය; ඈ ඔවුන් සොයන නුමුත් ඔව්හු ඈට සම්බ නොවන්නෝය. එවිට ඈ කථාකොට: මාගේ පළමු පුරුෂයා ළඟට හැරීයන්නෙමි; මක්නිසාද දැනට වඩා ඒ කාලය මට යහපත්ව තිබුණේයයි කියන්නීය.
8 නුමුත් ධාන්‍යද මිදියුසද තෙල්ද ඈට දුන්නෙත් ඔවුන් විසින් බාල් රුප සෑදීමට ගත් රිදීද රන්ද ඈට වැඩිකළෙත් මා බව ඈ නොදැන සිටියාය.
9 එබැවින් මම නියම කාලයට මාගේ ධාන්‍යද නියම සෘතුවට මාගේ මිදියුසද අහක්කරන්නෙමි, ඇගේ නග්නභාවය වසන්ට තිබුණු මාගේ ලොම්ද මාගේ හණද උදුරාගන්නෙමි.
10 දැන් ඇගේ ප්‍රේමවන්තයන්ගේ ඇස්වලට ඇගේ සල්ලාලකම පෙන්වන්නෙමි, කිසිවෙක් මාගේ අතින් ඈ නොගළවන්නේය.
11 ඇගේ සියලු ප්‍රීතියද ඇගේ මංගල්‍යයන්ද ඇගේ අමාවක්ද ඇගේ සබත් දවස්ද ඇගේ සියලු නියම රැස්වීම්ද පහකරන්නෙමි.
12 මේවා මාගේ ප්‍රේමවන්තයන් මට දුන් පණයම්යයි ඈ කියන්නාවූ ඇගේ මිදිවැල් සහ අත්තික්කා ගස් මම නාස්තිකර කැලෑවක් කරන්නෙමි, වන මෘගයෝ ඒවා කන්නෝය.
13 ඈ ඇගේ මුදුද ආභරණද පැළඳගෙන, ඇගේ ප්‍රේමවන්තයන් පස්සේ ගොස්, මා සිහිනැතිකොට, ඈ විසින් සුවඳදුම් ඔප්පුකරන්ට යෙදුණාවූ බාල් දේවතාවුන්ගේ දවස් නිසා ඈට දඬුවම් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
14 එබැවින් මම ඈ කැමැතිකරවාගෙන, ඈ කාන්තාරයට පමුණුවා, ඈට කරුණාවෙන් කථාකරන්නෙමි.
15 එතැන් පටන් ඇගේ මිදිවතුද පැතීමේ දොරක් පිණිස ආකොර් මිටියාවතද ඈට දෙන්නෙමි. එහි ඇගේ යෞවන දවස්වලදී මෙන්ද ඈ මිසර දේශයේ සිට ආ කාලයේදී මෙන්ද ඈ උත්තරදෙනවා ඇත.
16 ඒ කාලයේදී බාලී* කියනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. (* එනම්, මාගේ පුරුෂයාය)
17 මක්නිසාද මම බාල් දේවතාවුන්ගේ නාම ඇගේ කටින් පහකර දමන්නෙමි, ඒ දේවතාවෝ ඔවුන්ගේ නාමයෙන් තවත් කියනු නොලබන්නෝය.
18 ඒ කාලයේදී මම ඔවුන් උදෙසා වනයේ මෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද භූමියේ බඩගායන සතුන්ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. දුන්නද කඩුවද යුද්ධයද දේශයෙන් නැතිකරදමා, ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි.
19 මම නුඹ සදාකාලේටම පාවාගන්නෙමි; එසේය, ධර්මිෂ්ඨකමද විනිශ්චයද කරුණාවද අනුකම්පාවද ඇතුව නුඹ පාවාගන්නෙමි.
20 විශ්වාසකමින් නුඹ පාවාගන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේ ඇඳිනගන්නෙහිය.
21 ඒ කාලයේදී මම උත්තරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. අහසට උත්තරදෙන්නෙමි, අහස පොළොවට උත්තරදෙන්නේය;
22 පොළොව ධාන්‍යවලටත් මිදියුසයටත් තෙල්වලටත් උත්තරදෙනවා ඇත; ඒවාද යෙස්‍රෙයෙල්ට උත්තරදෙනවා ඇත.
23 මම ඈ දේශයෙහි මට වපුරාගන, කරුණාව නොලත් ඇත්තීට අනුකම්පාකරන්නෙමි; මාගේ සෙනඟ නොවූවන්ට: නුඹ මාගේ සෙනඟයයි කියන්නෙමි; ඒ අයද: ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.



පරිච්ඡේදය 3

1 තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන් අන් දෙවිවරුන් වෙතට හැරී [ඔවුන්ට පිළිගන්වන] මුද්‍රිකඵල කැටිවලට ඇලුම්වෙන නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකරන්නාක්මෙන්ම නුඹ නැවත ගොස්, මිත්‍රයෙකුගේ ප්‍රේමවන්තියක් වී කාමමිථ්‍යාචාරිණියක්ව සිටින ස්ත්‍රියෙකුට ප්‍රේමවෙන්නැයි කීසේක.
2 මමද රිදී පහළොහකටත් යව හෝමෙර් එකහමාරකටත් ඈ මිලයට ගෙන:
3 නුඹ වේශ්‍යාකම් නොකර, පුරුෂයෙකුට නොබැඳී, බොහෝ දවස් මා ගැන බලාසිටින්න. මමත් නුඹ ගැන එසේම බලාසිටින්නෙමියි ඈට කීවෙමි.
4 මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.
5 පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.



පරිච්ඡේදය 4

1 ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.
2 දෙස් තිබීමද බොරු කීමද මිනීමැරීමද සොරකම්කිරීමද කාමමිථ්‍යාචාරයද මිස වෙන කිසිවක් නැත; ලේ වැගිරවීම පිට ලේ වැගිරවීම වෙයි.
3 එබැවින් දේශය වැලපෙනවා ඇත, එහි වසන සියල්ලෝ වනයේ මෘගයන් හා ආකාශයේ පක්ෂීන්ද ඇතුළුව මලානිකවන්නෝය; මුහුදු මත්ස්‍යයෝ පවා පහකරනු ලබන්නෝය.
4 එහෙත් කිසිවෙක් පැමිණිලි නොකෙරේවා, කිසිවෙක් අවවාද නොකෙරේවා; මක්නිසාද නුඹේ සෙනඟ පූජකයා සමඟ පැමිණිලිකරන අය වාගේය.
5 එබැවින් නුඹ දවාලේ වැටෙනවා ඇත, අනාගතවක්තෘද නුඹ සමඟ රාත්‍රියේදී වැටෙනවා ඇත; නුඹේ මෑණියන්ද නාස්තිකරන්නෙමි.
6 මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්තිවී සිටිති. නුඹ දැනගැන්ම එපාකළ නිසා මට පූජකකම්කිරීමෙන් මමත් නුඹ එපාකරන්නෙමි. නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතකනැතිකළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.
7 ඔව්හු බෝවෙන්ට බෝවෙන්ට මට විරුද්ධව වඩ වඩා පව්කළෝය. ඔවුන්ගේ ගෞරවය ලජ්ජාවට හරවන්නෙමි.
8 ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍යවෙති, ඔවුන් වරදකරනවාටත් ආශාවෙති.
9 එබැවින් සෙනඟට මෙන්ම පූජකයාටත් සිද්ධවෙයි. මම ඔවුන්ගේ මාර්ගවල හැටියට ඔවුන්ට දඬුවම්කර, ඔවුන්ගේ ක්‍රියා නිසා ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමි.
10 ඔව්හුද කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නෝය; ඔව්හු වේශ්‍යාකම්කරන නුමුත් වැඩි නොවන්නෝය. මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ සැලකීම අත්හැරියෝය.
11 වේශ්‍යාකමද මුද්‍රිකපානයද මිදියුසද නිසා සිහිය පහවයන්නේය.
12 මාගේ සෙනඟ තමුන්ගේ දණ්ඩෙන් විභාගකරති, ඔවුන්ගේ සැරයටියද ඔවුන්ට දන්වන්නේය. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් මුළාකෙරෙවුවේය, ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙන් වෙන්ව ගොස් වේශ්‍යාකම් කළෝය.
13 ඔව්හු කඳු මුදුන්වල යාග කරති, හෙල් උඩ අලෝනද ලිබ්නාද ඒලාද යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම්ද ඔප්පුකරති. එබැවින් නුඹලාගේ දූවරු වේශ්‍යාකම් කරති, නුඹලාගේ යෙහෙළියෝද කාමමිථ්‍යාචාරයකරති.
14 නුඹලාගේ දූවරුන් වේශ්‍යාකම් කරන නිසාත් නුඹලාගේ යෙහෙළියන් කාමමිථ්‍යාචාරයකරන නිසාත් මම ඔවුන්ට දඬුවම් නොකරන්නෙමි; මක්නිසාද ඔව්හුම වේශ්‍යාවන් සමඟ අහක්ව යති, දේවාල වේශ්‍යාවන් සමඟ යාගකරති. තේරුම් නැති සෙනඟද හෙළාදමනු ලබන්නෝය.
15 එම්බා ඉශ්‍රායෙල්, නුඹ වේශ්‍යාකම්කරන නුමුත් යූදා වරද නොකෙරේවා. ගිල්ගල්ට නොපැමිණෙන්න, බෙතාවෙන්ට නොයන්න, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා නොදිවුරන්න.
16 මක්නිසාද ඉශ්‍රායෙල් මුරණ්ඩු එළදෙනෙක් මෙන් මුරණ්ඩුවූවාය. දැන් ස්වාමීන්වහන්සේ ඔවුන් බැටළුපැටවෙකු මෙන් විශාල ඉඩමක පෝෂ්‍යකරනවා ඇත.
17 එප්‍රායිම් දේවරූපවලට බැඳී සිටියි; ඔහු නිකම් සිටියාවේ.
18 ඔව්හු බීලා තීන්දුවුණාම වේශ්‍යාකම්කරති; ඇගේ ප්‍රධානියෝ නින්දිතකමට ඇලුම්වන්නෝමය.
19 හුළඟ ඒකේ පියාපත්වලින් ඈ අසුකරගන ගියේය; එසේ ඔව්හු තමුන්ගේ පූජාවල් ගැන ලජ්ජාවන්නෝය.



පරිච්ඡේදය 5

1 පූජකයෙනි, මෙය අසන්න, ඉශ්‍රායෙල් වංශය, ඇහුම්කන්දෙන්න, රාජ වංශය නුඹලාත් කන්යොමුකරන්න; කුමක් හෙයින්ද නුඹලා මිශ්පායෙහි මලපතක්ව තාබොර් උඩ අතුරාපු දැලක්ව සිටින නිසා මේ විනිශ්චය නුඹලාට විරුද්ධය.
2 විපක්ෂවාදීහු භයානක ලෙස මරණ සිදුකළෝය; නුමුත් මම ඔවුන් සියල්ලන්ට දඬුවම්කරමි.
3 මම එප්‍රායිම් අඳුනමි, ඉශ්‍රායෙල්ද මාගෙන් සැඟවී නැත. මක්නිසාද, එප්‍රායිම්, නුඹ දැන් වේශ්‍යාකම්කර තිබේ, ඉශ්‍රායෙල් අපවිත්‍රවී සිටියි.
4 තමුන්ගේ දෙවියන්වහන්සේ වෙතට හැරීඑන්ට ඔවුන්ගේ ක්‍රියාවලින් අවකාශ නොලැබේ. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් තුළ තිබේ, ඔව්හු ස්වාමීන්වහන්සේ නෑඳින සිටිති.
5 ඉශ්‍රායෙල්ගේ අහංකාරකම [වූ දේවරූප] ඔහුගේ මුහුණ ඉදිරියෙහිම සාක්ෂිදෙයි. ඒ නිසා ඉශ්‍රායෙල් සහ එප්‍රායිම් තමුන්ගේ අයුතුකමෙන් පැකිල වැටෙන්නෝය; යූදාත් ඔවුන් සමඟ වැටෙනවා ඇත.
6 ඔව්හු තමුන්ගේ බැටළුවන් සහ ගවයන්ද ඇතුව ස්වාමීන්වහන්සේ සොයායන්නෝය; නුමුත් උන්වහන්සේ ඔවුන්ට සම්බවන්නේ නැත. උන්වහන්සේ ඔවුන්ගෙන් පහව සිටිනසේක.
7 ඔව්හු ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය; මක්නිසාද අවජාත දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. ඉතින් මාසයකින් ඔවුන්ද ඔවුන්ගේ කොටස්ද නාස්තිවෙනවා ඇත.
8 ගිබියාහි හොරණෑවක්ද රාමාහි නළාවක්ද පිඹින්න. බෙත්-ආවෙන්හි ඝෝෂාකරන්න; අහෝ බෙන්යමින්, [සතුරා] නුඹ පස්සෙන්ය.
9 දඬුවම්කිරීමේ දවසේදී එප්‍රායිම් පාළුවක් වන්නේය. සැබවින්ම පැමිණෙන දේ මා විසින් ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි දන්වා තිබේ.
10 යූදාහි අධිපතීන් මායිම් කණු වෙනස්කරන්නන් වැනිය. ඔවුන් කෙරෙහි මාගේකෝපය ජලය මෙන් වගුරුවන්නෙමි.
11 එප්‍රායිම් කැමැත්තෙන්ම හිස්කම පස්සේ ගිය බැවින් ඔහු විනිශ්චයට යටවී පොඩිවන්නේය.
12 මමද එප්‍රායිම්ට කාවෙකු මෙන්ද යූදා වංශයට දිරුම මෙන්ද වෙමි.
13 එප්‍රායිම් තමාගේ රෝගාතුරකමද යූදා තමාගේ තුවාලයද දුටුකල එප්‍රායිම් අෂූර් ළඟට ගියේය, (යූදාද) විරුද්ධකාර රජු ළඟට පණිවුඩ ඇරියේය. නුමුත් නුඹලාට සුවකරන්ට ඔහුට බැරිය, ඔහු නුඹලාගේ තුවාලය සනීපකරන්නෙත් නැත.
14 මක්නිසාද මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන්ය, යූදා වංශයට තරුණ සිංහයෙකු මෙන්ය. මම, මමම, ඉරාදමායන්නෙමි; ගළවන්ට කිසිවෙකුට ඉඩ නොතබා අල්ලාගන යන්නෙමි.
15 ඔවුන් දඬුවම් විඳ මාගේ මුහුණ සොයන තුරු, මම මාගේ ස්ථානයට හැරීයන්නෙමි. ඔවුන්ට විපත පැමිණෙන විට ඔවුන් ඕනෑකමින් මා වෙතට එනවා ඇත.



පරිච්ඡේදය 6

1 එන්න, අපි ස්වාමීන්වහන්සේ වෙතට හැරීයමු. මක්නිසාද ඉරා දැමුවේ උන්වහන්සේය, උන්වහන්සේ අප සුවකරනවා ඇත; පහරදෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත.
2 දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත.
3 එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.
4 අහෝ එප්‍රායිම්, මම නුඹට කුමක් කරම්ද? අහෝ යූදා, මම නුඹට කුමක් කරම්ද? නුඹලාගේ යහපත්කම උදයේ වලාකුළද ඉක්මනින් පහව යන පිනිද මෙන්ය.
5 එබැවින් ප්‍රොපේතවරුන් ලවා මම ඔවුන් කැප්පෙවුවෙමි; මාගේ මුඛයේ වචනවලින් ඔවුන් මරාදැමුවෙමි. ඔබවහන්සේගේ විනිශ්චයෝද පැතිරෙන එළිය මෙන්ය.
6 මම පූජාවට නොව කරුණාවටත් දවන පූජාවලට වඩා දෙවියන්වහන්සේ ඇඳිනගැන්මටත් කැමැත්තෙමි.
7 නුමුත් ඔව්හු ආදම් මෙන් ගිවිසුම කඩකළෝය. එහි ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.
8 ගිලියද් අපරාධකාරයන්ගේ නුවරක්ය, ලේමය අඩිවලින් එය පිරී තිබේ.
9 කොල්ලකාර සමුදාවල් මනුෂ්‍යයෙකු ගැන රැකසිටින්නාක්මෙන් පූජක සභාව ෂෙකෙම්ට යන මාර්ගයෙහි මිනී මරති. එසේය, ඔවුන් සල්ලාලකම් කර තිබේ.
10 ඉශ්‍රායෙල් වංශය අතරෙහි භයංකර දෙයක් මා විසින් දැක තිබේ. එහි එප්‍රායිම්ගේ වේශ්‍යාකම ඇත්තේය, ඉශ්‍රායෙල් අපවිත්‍රවී සිටින්නේය.
11 මම මාගේ සෙනඟගේ වහල්කම පහකරන විට, එම්බා යූදා, නුඹටත් ගොයම් කැපීමක් පැමිණෙන්ට නියමකර තිබේ.



පරිච්ඡේදය 7

1 මා විසින් ඉශ්‍රායෙල්ට සුවකරන්ට කැමැතිවූ කල එප්‍රායිම්ගේ අයුතුකමද සමාරියේ දුෂ්ටකම්ද එළිදරව්වී තිබේ; මක්නිසාද ඔව්හු බොරුවෙන් ක්‍රියාකරති. සොරාද ඇතුල්වෙයි, කොල්ලකාර සමුදාව පිටත කොල්ලකති.
2 ඔවුන්ගේ සියලු දුෂ්ටකම් මට මතක තිබෙන බව ඔව්හු තමුන්ගේ සිත්වලින් කල්පනා නොකරති. දැන් ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් වටවී සිටිති; ඒවා මාගේ මුහුණ ඉදිරිපිට තිබේ.
3 ඔව්හු තමුන්ගේ දුෂ්ටකමෙන් රජුද තමුන්ගේ බොරුවලින් අධිපතීන්ද ප්‍රසන්නකරති.
4 ඔවුන් සියල්ලෝම කාමමිථ්‍යාචාරිකයෝය; ඔවුන් රොටි සාදන්නා විසින් රත්කළ උදුනක් මෙන්ය; ඔහු එය රත්කිරීමෙන් නවතින්නේ පිටිඇනීමේ පටන් ඒවා පිපෙන තුරු (පමණක්) ය.
5 අපේ රජුගේ දවසේදී අධිපතීහු මුද්‍රිකපානයේ උෂ්ණයෙන් ලෙඩවූවෝය; ඔහු තමාගේ අත නින්දාකරන්නන් සමඟ දිගුකෙළේය.
6 මක්නිසාද ඔව්හු උදුනක් සමාන සිත් ඇතුව තමුන්ගේ ප්‍රයෝගය ඉෂ්ටකිරීමට ආවෝය. ඔවුන්ගේ රොටි-සාදන්නා මුළු රාත්‍රියෙහි නිදන්නේය; උදය ගිනිදැල්ලක් මෙන් ඇවිළෙන්නේය.
7 ඔවුන් සියල්ලෝම උදුනක් මෙන් රත්වී, තමුන්ගේ විනිශ්චයකාරයන් නාස්තිකරති; ඔවුන්ගේ සියලු රජවරු වැටුණෝය. මට අඬගසන කෙනෙක් ඔවුන් අතරෙහි නැත.
8 එප්‍රායිම් ජනයන් අතරෙහි මිශ්‍රවන්නේය; එප්‍රායිම් නොපෙරළා පිලිස්සූ රොටියක්ය.
9 විදේශියෝ ඔහුගේ සවිය නාස්තිකළෝය, නුමුත් ඔහු එය නොදන්නේය. පැසුණු ඉසකේ ඔහු මතුයෙහි තැනින්තැන තිබේ, නුමුත් ඔහු නොදන්නේය.
10 ඉශ්‍රායෙල්ගේ පාරට්ටුවවූ දේවරූප ඔහුගේ මුහුණටම සාක්ෂිදෙයි. මේ සියල්ල මෙසේව තිබෙන නුමුත්, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ නොසෙවුවෝය.
11 එප්‍රායිම් අනුවණ පරෙවියෙකු මෙන් සිතක් නැතුව සිටින්නේය. ඔව්හු මිසරයට අඬගසති, අෂූර්ට යති.
12 ඔවුන් යන කල මාගේ දැල ඔවුන් පිට හෙළන්නෙමි; ආකාශ පක්ෂීන් මෙන් ඔවුන් පහළට අදින්නෙමි. ඔවුන්ගේ සභාවට දන්වා තිබෙන හැටියට ඔවුන්ට දඬුවම්කරන්නෙමි.
13 ඔවුන් මාගෙන් පලාගිය නිසා ඔවුන්ට දුක්වේ! ඔවුන් මට විරුද්ධව කැරළිගැසූ නිසා ඔවුන්ට විනාශය පැමිණෙන්නේය! මම ඔවුන් මුදාගන්ට කැමැතිවීමි, නුමුත් ඔව්හු මට විරුද්ධව බොරු කීවෝය.
14 ඔව්හු තමුන්ගේ යහන්වලදී කෑගසන විට තමුන්ගේ සිත්වලින් මට මොර නොගැසුවෝය. ඔව්හු ධාන්‍යයද මිදියුසද ගැන රැස්වී, මට විරුද්ධව කැරළිගසති.
15 මමම දැනමුතුකම් දී ඔවුන්ගේ හස්තයන් සවිකළ නුමුත්, ඔව්හු මට විරුද්ධව නපුර යෝජනා කරති.
16 ඔවුන් හැරෙන නුමුත් මහෝත්තමයාණන් වෙතට නොවේය; ඔවුන් හොර දුන්නක් මෙන්ය. ඔවුන්ගේ අධිපතීහු තමුන්ගේ දිව්වල අහංකාරකම නිසා කඩුවෙන් වැටෙන්නෝය. මිසර දේශයේදී මේක ඔවුන්ට නින්දාවක් වන්නේය.



පරිච්ඡේදය 8

1 හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.
2 මාගේ දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල් වන අපි ඔබ අඳුනමුව කියා ඔවුන් මට මොරගසනවා ඇත.
3 ඉශ්‍රායෙල් වනාහි යහපත එපාකෙළේය. සතුරා ඔහු පස්සේ එළවාගනයනවා ඇත.
4 ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත්කරගත්තෝය. ඔව්හු සිඳදමනු ලබන ලෙස තමුන්ගේ රන් රිදීවලින් දේවරූප සාදාගත්තෝය.
5 එම්බා සමාරිය, නුඹේ වස්සා මට පිළිකුළක්ය; මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබේ. ඔවුන් නිදොස් බවට පැමිණෙන්ට කොපමණ කල් යනවා ඇද්ද?
6 මක්නිසාද මේකත් ඉශ්‍රායෙල්වරුන්ගෙන්ය; ඒක සෑදුවේ කම්කරුවෙක්ය, ඒක දෙවියන්වහන්සේ නොවේ. එසේය, සමාරියේ වස්සා කැබෙලිකරනු ලබන්නේය.
7 ඔව්හු හුළඟ වපුරා, සුළිහුළඟ කපාගන්නෝය. ඔවුන්ට ගොයම් නැත; කොළවල කරල් නැත; තිබුණත්, අන්‍ය දේශීන් ඒවා ගිලගන්නවා ඇත.
8 ඉශ්‍රායෙල් ගිලිනු ලැබීය. දැන් ඔව්හු ජාතීන් අතරෙහි අප්‍රියවූ භාජනයකට සමානව සිටිති.
9 මක්නිසාද ඔව්හු තනියම සිටින වල් කොටළුවෙකු මෙන් අෂූර්ට ගියෝය. එප්‍රායිම් ප්‍රේමවන්තයන් කුලියට ගත්තේය.
10 එසේය, ඔවුන් ජාතීන් අතරෙන් ඔවුන් කුලියට ගන්න නුමුත්, මමත් ඔවුන්* රජුගේද අධිපතීන්ගේද බර නිසා පිරිහෙන්ට පටන්ගනිති. (* එනම්, ඉශ්රායෙල්වරු)
11 පව් කිරීම පිණිස එප්‍රායිම් පූජාසන වැඩිකරගත් බැවින් පූජාසන ඔහුට පව්කරන පිණිස විය.
12 මා විසින් මාගේ ව්‍යවස්ථාවේ කාරණා ඔහු උදෙසා දසදහස් ගණනකින් ලියතත්, ඒවා අන්‍ය කාරණයක් කොට සලකනු ලබන්නේය.
13 මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔව්හු මස් පූජාකොට කති; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහිකොට, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක; ඔවුන් මිසරයට හැරීයනවා ඇත.
14 තවද ඉශ්‍රායෙල් තමාගේ මැවුම්කාරයා මතකනැතිකොට, මාළිගා ගොඩනගාගන සිටී; යූදාද බලකොටු නුවරවල් වැඩිකරගන සිටී. නුමුත් මම ඔහුගේ නුවරවලට ගින්නක් යවන්නෙමි, එයින් එහි මාළිගා දාලායනවා ඇත.



පරිච්ඡේදය 9

1 එම්බා ඉශ්‍රායෙල්, ජාතීන් මෙන් අධිකලෙස ප්‍රීති නොවන්න; මක්නිසාද නුඹේ දෙවියන්වහන්සේගෙන් නුඹ වේශ්‍යාලෙස අහක්වුණෙහිය, නුඹ සියලු කමත්වල පණයම් ලබන්ට ආශාවූයෙහිය.
2 පාවරෙන්වත් මිදි පැසෙන්වත් ඔව්හු පෝෂ්‍ය නොවන්නෝය, මිදියුසද එහි නොවන්නේය.
3 ඔවුන්ට ස්වාමීන්වහන්සේගේ දේශයෙහි වසන්ට නොලැබේ; එප්‍රායිම් මිසරයට හැරී යන්නේය, අෂූර්හිත් ඔවුන් අපවිත්‍ර ආහාර කනවා ඇත.
4 ඔවුන් මුද්‍රිකපානය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන්නේවත් ඔවුන්ගේ පූජාවලට උන්වහන්සේ ප්‍රසන්නවන්නේවත් නැත. ඒවා ඔවුන්ට ශෝකයේ ආහාර මෙන් වන්නේය; ඒවා කන සියල්ලෝම අපවිත්‍රවන්නෝය. මක්නිසාද ඔවුන්ගේ කෑම ඔවුන්ගේ බඩගින්න නිසා පමණක්ය; ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.
5 නියම රැස්වීමේ දවසේදීත් ස්වාමීන්වහන්සේගේ මංගල්‍ය දවසේදීත් නුඹලා මක්කරනවාද?
6 මක්නිසාද ඔව්හු විනාශය වෙතින් ඉවත්ව ගියෝය, නුමුත් මිසරය ඔවුන් එකතුකරගන්නේය, මෙම්පිස්හි ඔව්හු වළලනු ලබන්නෝය. ඔවුන්ගේ ප්‍රියවූ රිදී බඩු කහඹිලියාවලට හිමිවන්නේය. ගොකටුද ඔවුන්ගේ කූඩාරම්වල හැදෙන්නේය.
7 දඬුවම්කිරීමේ දවස් පැමිණ තිබේ, ප්‍රතිඵල දීමේ දවස් පැමිණ තිබේ; ඉශ්‍රායෙල් ඒක දැනගන්නවා ඇත. ප්‍රොපේත තෙම අඥානයෙක්ය, ආත්මය ඇති මනුෂ්‍යයා උමතු කෙනෙක්ය. (මෙසේ වන්නේ) නුඹේ අයුතුකමේ මහත්කමද එදිරිකාරකමේ අධිකකමද නිසාය.
8 එප්‍රායිම් මාගේ දෙවියන්වහන්සේ වෙත රැකවලෙක් විය. ප්‍රොපේත තෙම තමාගේ සියලු මාර්ගවල පක්ෂී වැද්දාගේ මලපතක්ව, තමාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි එදිරිකාරකමක්ව සිටින්නේය.
9 ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.
10 කාන්තාරයෙහි මුද්‍රිකඵල මෙන් ඉශ්‍රායෙල් මට සම්බවිය; අත්තික්කා ගසේ පළමු සෘතුවේ නාඹුල් ඵල මෙන් නුඹලාගේ පියවරුන් දුටිමි. නුමුත් ඔව්හු බාල්-පෙයෝර්ට අවුත්, නින්දිතයාට කැපවී, තමුන්ගේ ඒ ප්‍රේමවන්තයා මෙන් පිළිකුල්වූවෝය.
11 ඉපදීමක්වත් ගැබ්ගැනීමක්වත් පිළිසිඳීමක්වත් නොවන හැටියට එප්‍රායිම්ගේ තේජස කුරුල්ලෙකු මෙන් ඉගිලීයන්නේය.
12 ඔවුන් දරුවන් ඇතිකරතත් මනුෂ්‍යයෙක් නොසිටින හැටියට ඔවුන් තුරන්කරන්නෙමි. එසේය, මා විසින් ඔවුන් අත්හැර යන කල ඔවුන්ට දුක්වේ!
13 මා දුටු ලෙස තීර්මෙන් එප්‍රායිම් ප්‍රසන්න තැනක පිහිටා තිබේ. එහෙත් එප්‍රායිම් තමාගේ දරුවන් මිනීමරන්නා ළඟට පිටතට ගෙනෙන්නේය.
14 ස්වාමීන්වහන්ස, ඔවුන්ට [ප්‍රතිඵල] දුන මැනව. ඔබ කුමක් දෙනසේක්ද? ගබ්සාවන ගර්භයක්ද කිරි නැති තනද ඔවුන්ට දුන මැනව.
15 ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ගිල්ගල්හි ඇත්තේය; මම ඔවුන්ට එහිදී ද්වේෂකෙළෙමි. ඔවුන්ගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ ගෘහයෙන් ඔවුන් පන්නාදමන්නෙමි. ඔවුන්ට තවත් ප්‍රේමනොකරන්නෙමි; ඔවුන්ගේ සියලු අධිපතීහු කැරළිකාරයෝය.
16 එප්‍රායිම් පහර ලැබ සිටින්නේය, ඔවුන්ගේ මුල වියළී ගියේය, ඔව්හු ඵල නොදරන්නෝය. එසේය, ඔවුන් වැදුවත් මම ඔවුන්ගේ ගර්භයේ ප්‍රිය ඵල නසන්නෙමි.
17 ඔවුන් මාගේ දෙවියන්වහන්සේට කීකරු නූණනිසා උන්වහන්සේ ඔවුන් පහකරදමනසේක. ඔවුන් අන්‍ය ජාතීන් අතරෙහි මුළාවූ අය වන්නෝය.



පරිච්ඡේදය 10

1 ඉශ්‍රායෙල් විහිදීයන්නාවූ, ඵල දරන මිදිවැලක්ය. තමාගේ ඵල වැඩිවූ පමණට ඔහු පූජාසන වැඩිකෙළේය; ඔහුගේ දේශයේ සාරභාවය හැටියට ඔව්හු අලංකාරවූ රූපස්තම්භ සෑදුවෝය.
2 ඔවුන්ගේ සිත බෙදී තිබේ; දැන් ඔවුන් අච්චුවිඳිනවා ඇත. උන්වහන්සේම ඔවුන්ගේ පූජාසන පෙරළාදමා, ඔවුන්ගේ රූපස්තම්භ නාස්තිකරනසේක.
3 සැබවින් ඔව්හු දැන් කථාකොට: අපට රජෙක් නැත. මක්නිසාද අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි භය නැත්තෙමුව; රජු අපට මක්කරනවා ඇද්දැයි කියන්නෝය.
4 ඔව්හු බොරුවට දිවුරා ගිවිසුමක් කරමින්, නිෂ්ඵල වචන කියති. එබැවින් විනිශ්චයද කෙතේ හීවිටිවල හටගන්න කොසඹ මෙන් හටගනියි.
5 සමාරියේ වැසියෝ බෙත්-ආවෙන්හි වස්සන් නිසා භයින් සිටින්නෝය. මක්නිසාද උගේ සෙනඟ ඌ ගැන වැළපෙන්නෝය, උගේ තේජස උගෙන් පහවගිය බැවින් උගේ කපුවෝ ඌ ගැන වෙවුලන්නෝය.
6 ඌද විරුද්ධකාර රජුට තෑග්ගක් පිණිස අෂූර්ට ගෙනයනු ලබන්නේය. එප්‍රායිම් ලජ්ජාවට අසුවන්නේය, ඉශ්‍රායෙල්ද තමාගේ මන්ත්‍රණය ගැන ලජ්ජාවන්නේය.
7 සමාරියේ රජ වනාහි සිඳිනලද්දේය, ඔහු ජලය මතුපිට තිබෙන පතුරක් මෙන්ය.
8 ඉශ්‍රායෙල්ගේ පාපය වන ආවෙන්හි උස්තැන්ද නාස්තිවෙයි. කටු සහ ගොකටු ඔවුන්ගේ පූජාසනවල හටගන්නවා ඇත. ඔවුන්: අප වසාගන්නැයි කඳුවලටත් , අප පිටට වැටෙන්නැයි හෙල්වලටත් කියනවා ඇත.
9 අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?
10 ඔවුන්ට අච්චුකරන්ට මාගේ කැමැත්තක් තිබේ; ඔවුන් තමුන්ගේ අපරාධ දෙකට බැදී සිටින කල ජනයෝ ඔවුන්ට විරුද්ධව රැස්කරනු ලබන්නෝය.
11 එප්‍රායිම් පුරුදුවූ, මැඩීමට කැමැතිවූ එළනෑම්බියක්ය; එහෙත් මමම ඇගේ ශෝභන බෙල්ල පිටට පැමිණ සිටිමි. එප්‍රායිම් පිට දක්කන්නෙකු හිඳුවන්නෙමි; යූදා හාන්නේය, යාකොබ් බිම සමතලාකරන්නේය.
12 ධර්මිෂ්ඨකම පිණිස වපුරාගන, කරුණාවේ හැටියට කපාගන්න; පුරන් බිම කොටාගන්න. ස්වාමීන්වහන්සේ ඇවිත් නුඹලාට ධර්මිෂ්ඨකම වස්වන තුරු, දැන් උන්වහන්සේ සොයන්ට කාලයය.
13 නුඹලා දුෂ්ටකම හෑවහුය, අයුතුකම කපාගත්තහුය; බොරුවල ප්‍රතිඵල කෑවහුය. මක්නිසාද නුඹ නුඹේ මාර්ගයත් නුඹේ බලවතුන් රාශියත් කෙරෙහි විශ්වාස කෙළෙහිය.
14 එබැවින් නුඹේ සෙනඟ අතර ඝෝෂාවක් හටගන්නවා ඇත. මෑණියන් ඇගේ දරුවන් සමඟ පොඩිකරනු ලැබූ යුද්ධ දවසේදී ෂල්මාන් විසින් බෙත්-අර්බේල් නාස්තිකළ ලෙස නුඹේ සියලු බලකොටු නාස්තිකරනු ලබනවා ඇත.
15 නුඹලාගේ මහත් නපුරුකම නිසා බෙතෙල් නුඹලාට එසේ කරන්නේය. අලුයම් වේලෙහි ඉශ්‍රායෙල් රජ සහමුලින්ම සිඳිනු ලබන්නේය.



පරිච්ඡේදය 11

1 ඉශ්‍රායෙල් බාලව සිටි කල මම ඔහුට ප්‍රේමකොට, මාගේ පුත්‍රයාවූ ඔහු මිසරයෙන් කැඳවාගතිමි.
2 ඔවුන් කැඳවූ පමණටම ඔව්හු ඔවුන් වෙතින් ඉවත්ව ගියෝය. ඔව්හු බාල් දේවතා වුන්ට යාගකළෝය, කැපූරූපවලට සුවඳ දුම් ඔප්පුකළෝය.
3 එහෙත් මම එප්‍රායිම්ට ඇවිදින්ට ඉගැන්වීමි; මාගේ අත්වලින් ඔවුන් වඩාගතිමි; එහෙත් ඔවුන්ට සුවකළේ මා බව ඔව්හු නොදැන සිටියෝය.
4 මනුෂ්‍ය ලනුවලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි; ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ උස්සන්නන් මෙන් මම ඔවුන් උදෙසා සිට, ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.
5 ඔහු මිසර දේශයට හැරී නොයන්නේය; එහෙත් ඔවුන් හැරීඑන්ට අකමැතිවූ නිසා අෂූරියයා ඔහුගේ රජ වන්නේය.
6 ඔවුන්ගේ මන්ත්‍රණ නිසා කඩුව ඔහුගේ නුවරවල් පිටට පැමිණ, ඔහුගේ පොලු විනාශකොට, ඔවුන් නාස්තිකරන්නේය.
7 මාගේ සෙනඟ මා කෙරෙන් පසුබටවීමට ඇලුම්ව සිටිති. උසස් තැන්හි වසන තැනන්වහන්සේ වෙතට එන්ට ඔවුන් කැඳවන නුමුත්, කිසිවෙක් උන්වහන්සේව උසස් නොකරන්නේය.
8 එප්‍රායිම්, මම කෙසේ නුඹ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, නුඹ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් නුඹට කරන්නෙම්ද? කෙසේ නුඹව ෂෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.
9 මාගේ බලවත් උදහස ඉෂ්ට නොකරන්නෙමි, එප්‍රායිම් නැවත විනාශ නොකරන්නෙමි. මක්නිසාද මම මනුෂ්‍යයෙක් නොව දෙවියන්වහන්සේය; නුඹලා අතරෙහි සිටින ශුද්ධ තැනන්වහන්සේය.
10 මම නුවරට ඇතුල් නොවන්නෙමි. ස්වාමීන්වහන්සේ සිංහයෙකු මෙන් ගොරවන කල, ඔව්හු උන්වහන්සේ පස්සේ යන්නෝය. මක්නිසාද උන්වහන්සේ ගොරවනසේක, දරුවෝද වෙවුලමින් බස්නාහිර සිට එන්නෝය.
11 ඔව්හු ගේකුරුල්ලෙකු මෙන් මිසරයෙන්ද පරෙවියෙකු මෙන් අෂූර් දේශයෙන්ද වෙවුලමින් එන්නෝය. මම ඔවුන්ගේ ගෙවල්වල ඔවුන් වාසයකරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
12 එප්‍රායිම් බොරුවද ඉශ්‍රායෙල් වංශය වංචාවද ඇතුව මා වටකරගන සිටිති; එහෙත් යූදා දෙවියන්වහන්සේ එනම් විශ්වාසවූ ශුද්ධ තැනන්වහන්සේ කෙරෙහි තවම අස්ථිරව සිටියි.



පරිච්ඡේදය 12

1 එප්‍රායිම් සුළං කන්නේය, පෙරදිග සුළං පස්සේද එළවාගන යන්නේය. ඔහු බොරු සහ බලාත්කාරකම නිරතුරුම වැඩිකරන්නේය; ඔව්හු අෂූර් සමඟ ගිවිසුමක් කරති, මිසරයට තෙල් ගෙනයති.
2 ඒ නිසා යූදාට විරුද්ධව ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් ඇත්තේය, උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ මාර්ගවල හැටියට දඬුවම්කරනසේක; ඔහුගේ ක්‍රියාවල හැටියට ඔහුට විපාකදෙනසේක.
3 ගර්භයේදී ඔහු තමාගේ සහෝදරයාගේ විලුඹ අල්වාගත්තේය; පුරුෂ වයසේදී ඔහු දෙවියන්වහන්සේ වෙත බලපෑවේය.
4 එසේය, ඔහු දේවදූතයා කෙරෙහි බලපාමින් ජයගත්තේය. ඔහු අඬා උන්වහන්සේට කන්නලව්කෙළේය. බෙතෙල්හිදී උන්වහන්සේ ඔහුට සම්බවිය.
5 එහිදී උන්වහන්සේ එනම්, යෙහෝවා යන ස්මෘති නාමය ඇති සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය, අප සමඟ කථාකළසේක.
6 එබැවින් නුඹ නුඹේ දෙවියන්වහන්සේ වෙතට හැරී, කරුණාවද විනිශ්චයද පවත්වා, නුඹේ දෙවියන්වහන්සේ ගැන නිතරම බලාසිටින්න.
7 වෙළෙන්දෙක් වන ඔහුගේ අතේ හොර තරාදි තිබේ. ඔහු ප්‍රයෝගකරන්ට කැමැතිය.
8 නුමුත් එප්‍රායිම් කථාකොට: සැබවින් මම පොහොසත්වී සිටිමි, සම්පත් ලබාගන සිටිමි. මාගේ සියලු වැඩ අතරේ පාපයවූ අයුතුකමක් මට තිබෙන බව ඔවුන්ට සම්බ නොවන්නේයයි කීය.
9 එහෙත් මිසර දේශයේ පටන් මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මංගල්‍ය දවස්වලදී මෙන් මත්තටත් නුඹ කූඩාරම්වල වාසයකරවන්නෙමි.
10 ඇරත් මම ප්‍රොපේතවරුන්ට කථාකොට, මමම බොහෝ දර්ශන පෙන්වා, ප්‍රොපේතවරුන් කරණකොටගෙන උපමා භාවිතාකෙළෙමි.
11 ගිලියද් අයුතුකමද? ඔව්හු සහමුලින්ම නිෂ්ඵලකමය; ඔව්හු ගිල්ගල්හිදී ගොනුන් පූජාකරති. එසේය, ඔවුන්ගේ පූජාසනද කෙතේ හීවිටි පිට තිබෙන ගල්ගොඩවල් මෙන්ය.
12 යාකොබ් අරාම් රටට පලාගියේය, ඉශ්‍රායෙල්ද භාර්යාවක් සඳහා වැඩකර, භාර්යාවක් සඳහා බැටළුවන් බලාගත්තේය.
13 ප්‍රොපේතවරයෙකු ලවා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙන්වූසේක, ප්‍රොපේතවරයෙකු ලවා ඔව්හු ආරක්ෂාකරනු ලැබුවෝය.
14 එප්‍රායිම් විසින් තද ලෙසම කෝප උපදවා තිබේ. එබැවින් ඔහුගේ ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහු පිටට පැමිණෙන්ට ඉඩ ඇර, ඔහුගේ නින්දිතකම ඔහු පිටට පමුණුවනවා ඇත.



පරිච්ඡේදය 13

1 එප්‍රායිම් කථාකළ විට වෙවුලුමක් විය; ඔහු ඉශ්‍රායෙල් අතරෙහි උසස්වුණේය. නුමුත් ඔහු බාල් කරණකොටගෙන වරදකර නැසුණේය.
2 දැන් ඔවුන් තව තව පව්කරමින්, පිළිම වන දේවරූප තමුන්ගේ ඥානයේ හැටියට තමුන්ගේ රිදීවලින් සාදාගන තිබේ, ඒ සියල්ල කම්කරුවාගේ වැඩය. පූජාකරන මනුෂ්‍යයෝ වස්සන් සිඹගනිත්වයි ඔව්හු ඒවා ගැන කියති.
3 එබැවින් ඔව්හු උදයේ වලාකුළ මෙන්ද ඉක්මනින් පහවයන පිනි මෙන්ද සුළිහුළඟ කරණකොටගෙන කමතෙන් ගසාගෙනයන බොල් මෙන්ද දුම් කවුළුවෙන් යන දුම මෙන්ද වන්නෝය.
4 නුමුත් මම මිසර දේශයේ පටන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේව සිටිමි; මා ඇර අන්‍ය දෙවි කෙනෙකු ඇඳින නොගන්න, මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.
5 මම වනාහි නිරුදක දේශයක් වන කාන්තාරයේදී නුඹ ඇඳින්නෙමි.
6 ඔවුන්ගේ ගොදුරු-බිම් ප්‍රකාරයට ඔව්හු තෘප්තියට පැමින්නෝය; තෘප්තියට පැමිණි විට ඔවුන්ගේ සිත උඩඟුවිය. එබැවින් ඔව්හු මා මතකනැතිකළෝය.
7 මමද ඔවුන්ට සිංහයෙකු මෙන් වෙමි. මග අසල දිවියෙකු මෙන් බලාසිටිමි.
8 පැටවුන් නැතිවුණ වැලහින්නියක් මෙන් මම ඔවුන්ට විරුද්ධව පැමිණ, ඔවුන්ගේ හෘදයේ අතුණුවැටිය ඉරන්නෙමි. එහිදී සිංහයෙකු මෙන් ඔවුන් නාස්තිකරන්නෙමි; වල් මෘගයා ඔවුන් ඉරාදමන්නේය.
9 අනේ ඉශ්‍රායෙල්, නුඹ විනාශයට පැමිණ සිටින්නේ නුඹේ ආධාරකාරයා වන මට විරුද්ධව සිටීමෙන්ය.
10 ඉතින් නුඹේ රජ කොතනද? ඔහු නුඹේ සියලු නුවරවලදී නුඹ ගළවාවා. නුඹේ විනිශ්චයකාරයෝ (කොතනද)? මක්නිසාද: මට රජෙකු සහ අධිපතීන් දුන මැනවයි නුඹ කීයෙහිය.
11 මාගේ උදහසින් නුඹට රජෙකු දුන්නෙමි, මාගේ කෝපයෙන් ඔහු පහකෙළෙමි.
12 එප්‍රායිම්ගේ අපරාධය බැඳ තබා තිබේ; ඔහුගේ පාපය නිදන්කර තිබේ.
13 බිහිකරන ස්ත්‍රියෙකුගේ රුජා ඔහුට පැමිණෙනවා ඇත. ඔහු ප්‍රඥාව නැති පුත්‍රයෙක්ය; මක්නිසාද ඔහු ගර්භාග්‍රයෙහි නොසිටීමෙන් බිහිවන්ට ප්‍රමාදවන්නේය.
14 මම ඔවුන් මිනීවළේ බලයෙන් නිදහස්කරන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි. එම්බා මරණය, නුඹේ වසංගත කොතැනද? එම්බා මිනීවළ, නුඹේ විනාශය කොතැනද? පසුතැවිල්ල මාගේ ඇස්වලින් සැඟවී තිබෙයි.
15 ඔහු සහෝදරයින් අතරේ සඵලව සිටින නුමුත්, පෙරදිග හුළඟක් වන ස්වාමීන්වහන්සේගේ හුස්ම කාන්තාරයෙන් නැගී ඇවිත්, ඔහුගේ උල්පත හිදීයන්නේය, ඔහුගේ ළිඳද වියළීයනවා ඇත. ඒ අය සියලු ප්‍රිය භාජන වන වස්තු කොල්ලකනවා ඇත.
16 සමාරිය ස්වකීය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිගැසූ නිසා අච්චුලබන්නීය. ඔව්හු කඩුවෙන් වැටෙන්නෝය; ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝය, ඔවුන්ගේ ගර්භිණීන්ද ඉරාදමනු ලබනවා ඇත. පශ්චාත්තාපවීමට ආරාධනාව.



පරිච්ඡේදය 14

1 ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්න; මක්නිසාද නුඹේ අයුතුකම නිසා නුඹ වැටී ඉන්නෙහිය.
2 නුඹලා වචන රැගෙන ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඇවිත්, උන්වහන්සේට කථාකොට: අපේ සියලුම අපරාධවලට කමාවී, කරුණාවෙන් අප පිළිගත මැනව. එවිට අපේ තොල්වල පූජා ගොනුන් පූජාකරන්නාක්මෙන් ඔප්පු කරන්නෙමුව.
3 අෂූර් අප නොගළවන්නේය; අපි අසුන් පිට නැගී නොයන්නෙමුව. නුඹලා අපේ දෙවිවරුයයි අපේ අතින් සෑදූ දේට අපි තවත් නොකියන්නෙමුව. මක්නිසාද පියා නැත්තාට ඔබගෙන් අනුකම්පාව ලැබේයයි කියන්න.
4 මම ඔවුන්ගේ පසුබටවීම සුවකර, සිය කැමැත්තෙන්ම ඔවුන්ට ආදරේවන්නෙමි. මක්නිසාද මාගේ උදහස ඔවුන් කෙරෙන් පහවගියේය.
5 මම ඉශ්‍රායෙල්ට පිනි මෙන් වන්නෙමි. ඔහු මානෙල් මෙන් මල් දරන්නේය, ලෙබනොන් මෙන් මුල් අදින්නේය.
6 ඔහුගේ අතු පැතිරී ගොස්, ඔහුගේ අලංකාරය ඔලීව ගස මෙන්ද ඔහුගේ සුවඳ ලෙබනොන් මෙන්ද වන්නේය.
7 ඔහුගේ සෙවණෙහි වසන්නෝ හැරී එන්නෝය; ඔව්හු ගොයම මෙන් නැවත ප්‍රාණවත්වී, මුද්‍රිකවැල මෙන් දළුදමන්නෝය. එහි සුවඳ ලෙබනොන්හි මුද්‍රිකපානය මෙන් වන්නේය.
8 එප්‍රායිම්ද: දේවරූපවලින් මට තවත් කම මොකදැයි කියනවා ඇත. මමම ඔහුට උත්තරදුනිමි, ඔහු සලකන්නෙමි. මම වනාහි කොළ නොවේලෙන දේවදාර ගසක් මෙන්ය; නුඹේ ඵල ලැබී තිබෙන්නේ මාගෙන්ය.
9 මේවා තේරුම්ගැනීමට ප්‍රඥාවන්තව, මේවා දැනගැනීමට බුද්ධිමත්ව සිටින්නේ කවුද? මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මාර්ග හරිය, ධර්මිෂ්ඨයෝ එහි ඇවිදින්නෝය; නුමුත් අපරාධකාරයෝ එහිදී වැටෙන්නාහුය.