යෝවෙල්

පරිච්ඡේදය: 1 2 3


පරිච්ඡේදය 1

1 පෙතුයෙල්ගේ පුත්‍රවූ යෝවෙල් වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
2 මහල්ලෙනි, මේක අසන්න, දේශයේ සියලුම වැසියෙනි, කන් යොමුකරන්න. නුඹලාගේ දවස්වල හෝ නුඹලාගේ පියවරුන්ගේ දවස්වල හෝ මෙබඳු දෙයක් සිද්ධවීද?
3 නුඹලාගේ දරුවන්ට ඒ ගැන කියාදෙන්න, නුඹලාගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවෝ තවත් පරම්පරාවකටත් කියාදෙත්වා.
4 පළඟැටි පණුවන් ඉතිරි කළ ඒවා පළඟැටියෝ කෑවෝය; පළගැටියන් ඉතිරිකළ ඒවා කෙඳි-පළඟැටියෝ කෑවෝය; කෙඳි-පළඟැටියන් ඉතිරි කළ ඒවා කපන-පළඟැටියෝ කෑවෝය.
5 සුරාසොඬුනි, පිබිද අඬන්න; මුද්‍රිකපානය බොන සියල්ලෙනි, මිදියුස නුඹලාගේ මුඛවලින් පහවුණු නිසා ඒ ගැන කෑමොරගසන්න.
6 මක්නිසාද බලවත්වූ ගණනාවක් නැති ජාතියක් මාගේ දේශයට නැගී ආවෝය; උන්ගේ දත් සිංහ දත්ය, සිංහ ධේනුවෙකුගේ දළදත්ද උන්ට තිබේ.
7 උන් මාගේ මිදිවැල පාළුකොට, මාගේ අත්තික්කා ගහ කඩාදමා, එහි පොතු ගළවා හෙළාදැමුවෝය; එහි අතුද සුදුවී තිබේ.
8 තරුණ වයසේ පුරුෂයා නිසා ගෝණි රෙදි ඇඳසිටින කන්‍යාවක් මෙන් වැලපෙන්න.
9 ආහාර පූජාවද පාන පූජාවද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් පහවගියේය; ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ පූජකයෝ වැලපෙන්නෝය.
10 කෙත් නාස්තිවී තිබේ, දේශය වැලපෙයි; මක්නිසාද ගොයම් නාස්තිවී, මිදියුස සිදී, තෙල් හීනවී තිබේ.
11 ගොවියෙනි, තිරිඟු සහ යව ගැන ලජ්ජාවෙන්න, මිදිවතුකාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද කෙතේ අස්වැන්න නාස්තිවිය.
12 මිදිවැල වියළී, අත්තික්කා ගස මැලවී, දෙළුම් ගසද තල් ගසද ජම්බු ගසද යනාදිවූ කෙතේ සියලුම ගස් වියළී තිබේ. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ගෙන් ප්‍රීතිය පහවගියේය.
13 පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.
14 ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකර, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට වැඩිමහල්ලන්ද දේශයේ සියලුම වැසියන්ද රැස්කර, ස්වාමීන්වහන්සේට මොරගසන්න.
15 අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ, ඒක සර්වපරාක්‍රමයාණන්වහන්සේ එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය.
16 අපේ ඇස් ඉදිරියෙහිම කෑමත් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් ප්‍රීති සන්තෝෂයත් පහවගියා නොවේද?
17 බීජ ඒවායේ පිඩලි යට දිරායයි; අටු පාළුවී, ගබඩා කඩාවැටී තිබේ; මක්නිසාද ගොයම් වියළී තිබේ.
18 සිව්පාවුන් කෙඳිරිගාන හැටි! ගව රැළවලට තෘණ නැති නිසා උන් කැලඹී ඇවිදිති; එසේය, බැටළු රැළවලුත් නාස්තිවුණෝය.
19 ස්වාමීන්වහන්ස, ඔබට යාච්ඤාකරමි. මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම් ගින්නෙන් නාස්තිවී ගියේය, කෙතේ සියලු ගස්ද ගිනිදැල්ලට දාගියේය.
20 වනයේ මෘගයෝ පවා ඔබවහන්සේ දෙස බලා හතිදමති. මක්නිසාද වතුර ඔයවල් හිදීගියේය, කාන්තාරයේ පිට්ටනිද ගින්නෙන් නාස්තිවිය.



පරිච්ඡේදය 2

1 සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධවූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න; දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙයි, ඒක ළංව තිබේ;
2 ඒක අඳුරුවූ කළුවරවූ දවසක්ය, වලාකුල්ද තද අන්ධකාරයද ඇති දවසක්ය; කඳු පිට අලුයම් එළිය පැතිරයන්නාක්මෙන් මහත්වූ බලවත්වූ සෙනඟක් එන්නේය; ඒ ආකාර සෙනඟක් කවදාවත් සිටියේ නැත, ඉන්පසු බොහෝ පරම්පරාවල අවුරුදු දක්වාම එසේ සිටින්නෙත් නැත.
3 උන්ට පෙරටුවෙන් ගින්නක් නාස්තිකරන්නේය; උන්ට පස්සෙන් ගිනිදැල්ලක් ඇවිළෙන්නේය. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබී, උන්ට පස්සෙන් පාළු කාන්තාරයක් වන්නේය; උන්ගෙන් කිසිවක් නොගැළවුණේය.
4 උන්ගේ පෙනීම අසුන්ගේ පෙනීම මෙන්ය; උන් අසරුවන් මෙන් දුවති.
5 කඳු මුදුන් පිට යන්නාවූ රථ ශබ්දය මෙන්ද ඉපනැලි දවන ගිනිදැල්ලේ ශබ්දය මෙන්ද යුද්ධ පිළිවෙළට සිටින බලවත් සෙනඟක් මෙන්ද උන් පනින්නෝය.
6 උන් ඉදිරියෙහි ජනයෝ වෙවුලති. සියලු මුහුණු සුදුමැලිවී තිබේ.
7 උන් බලවතුන් මෙන් දුවති; යුද්ධකාරයන් මෙන් පවුරට ගනිති; උන් තමුන්ගේ මාවත්වලින් අහක් නොවී, එක එකා තම තමාගේ මාර්ගයෙන්ම යන්නෝය.
8 උන් එකිනෙකාට නොහැපී, තම තමාගේ පාරවලම යන්නෝය. උන් යුද්ධායුධ අතරේ වැටුණත් තුවාලවන්නේ නැත.
9 උන් නුවර එහාමෙහා දුවති; පවුර පිට නැගීයති; ගෙවල්වලට නගිති; සොරෙකු මෙන් කවුළුවලින් ඇතුල්වෙති.
10 උන් ඉදිරියෙහි පොළොව වෙවුලන්නේය; අහස සෙලවෙන්නේය. ඉර හඳ අඳුරුවන්නේය, තාරකාවල දිලිහීමද නවතින්නේය.
11 ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?
12 එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැලපීමෙන්ද මා වෙතට හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක,
13 එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගන, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක.
14 සමහරවිට උන්වහන්සේ හැරී ඇවිත් තැවී, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකිරීමට ආහාර පූජාවක්ද පාන පූජාවක්ද අඩංගුවූ ආශීර්වාදයක් දීලා යනවා ඇද්දෝයි දන්නේ කවුද?
15 සියොන්හි හොරණෑව පිඹ, ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකරන්න.
16 සෙනඟ රැස්කර, ශුද්ධවූ සභාවක් පවත්වන්න, මහල්ලන් එකතුකර, ළමයින්ද කිරිදරුවන්ද එක්කාසුකරන්න. මනමාලයා තමාගේ ගෙයින්ද මනමාලී ඇගේ ඇතුල් ගෙයින්ද පිටතට එත්වා.
17 ස්වාමීන්වහන්සේගේ සේවකවූ පූජකයෝ ද්වාරමණ්ඩපය සහ පූජාසනය අතරෙහි සිට අඬමින්: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟට කරුණාකළ මැනව, ඔවුන් කෙරෙහි ජාතීන් විසින් ආණ්ඩුකරන හැටියට ඔබගේ උරුමය නින්දාවට පාවා නුදුන මැනව. ඔවුන්ගේ දෙවියන්වහන්සේ කොතනදැයි ජනයන් අතරේ මක්නිසා කියනු ලබන්නේදැයි කියත්වා.
18 එකල ස්වාමීන්වහන්සේ තමන්ගේ දේශය ගැන ජ්වලිතවී, තමුන්ගේ සෙනඟට අනුකම්පාකළසේක.
19 ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට උත්තරදෙමින්: මෙන්න, නුඹලා තෘප්තියට පැමිණෙන ලෙස ධාන්‍යද මිදියුසද තෙල්ද නුඹලා වෙත එවමි. මම ජාතීන් අතරෙහි නුඹලා තවත් නින්දාවක් නොකරන්නෙමි.
20 මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත්කර, ඔවුන් නිසරු පාළු දේශයකටත්, ඔවුන්ගේ ඉස්සරහ කොටස නැගෙනහිර මුහුදටත්, පසු කොටස බස්නාහිර මුහුදටත් පන්නාදමන්නෙමි; මෙසේ ඔවුන් උඩඟුකම්කළ බැවින්, ඔවුන් ගඳගසා, ඔවුන්ගේ දුර්ගන්ධය නගින්නේයයි කියනවා ඇත.
21 එම්බා දේශය, භය නොවී, ප්‍රීතිසන්තෝෂවෙන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දේ කළසේක.
22 වනයේ මෘගයෙනි, භය නොවව්; මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම්වල තෘණ අටගනියි, ගස්ද ඵලදෙයි, අත්තික්කා ගසද මිදි වැලද ඒවායේ ස්වරසය දෙති.
23 ඉතින් සියොන් පුත්‍රයෙනි, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිසන්තෝෂවෙන්න. මක්නිසාද උන්වහන්සේ නුඹලාට පළමුවෙනි වර්ෂාව නිසිතරමට දුන්සේක, තද වැස්ස වන පළමුවෙනි වර්ෂාවද පළමුවෙනි මාසයේ අන්තිම වර්ෂාවද උන්වහන්සේ නුඹලා උදෙසා වස්වනවා ඇත.
24 එවිට කමත් ධාන්‍යවලින් පිරෙනවා ඇත, මිදියුසද තෙල්ද පැස්වලින් ඉතිරෙනවා ඇත.
25 මා විසින් නුඹලා අතරට එවුවාවූ මාගේ මහත් සමුදාව වන පළඟැටියන්ද කෙඳි-පළඟැටියන්ද කපන-පළඟැටියන්ද පළඟැටි පණුවන්ද නාස්තිකළාවූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නෙමි.
26 නුඹලා වනාහි කෑම කා තෘප්තියට පැමිණ, නුඹලා ගැන පුදුමලෙස ක්‍රියා කළාවු නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය වර්ණනාකරන්නහුය. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට පත් නොවන්නෝය.
27 මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය.
28 ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත.
29 ඒ දවස්වලදී දාසයන් සහ දාසීන් කෙරෙහි පවා මාගේ ආත්මය වගුරුවන්නෙමි.
30 තවද අහසෙහිත් පොළොවෙහිත් පුදුම එනම් ලේද ගිනිද දුම්-කණුද පෙන්වන්නෙමි.
31 ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.
32 තවද ස්වාමීන්වහන්සේගේ නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ ස්වාමීන්වහන්සේ කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත. .



පරිච්ඡේදය 3

1 එසේය, මා විසින් යූදාගේද යෙරුසලමේද වහල්කම පහකරන ඒ දවස්වලදී ඒ කාලයෙහිදීත්,
2 මම සියලු ජාතීන් රැස්කොට, යෙහෝෂාපාත්* මිටියාවතට පමුණුවා, එහි මාගේ සෙනඟද මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ද ගැන ඔවුන් සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි. මක්නිසාද ඔව්හු මොවුන් ජාතීන් අතරට විසුරුවා, මාගේ දේශය බෙදාගත්තෝය. (* යෙහෝවාගේ විනිශ්චයේ මිටියාවතට)
3 ඔව්හු මාගේ සෙනඟ ගැන පසඇට දමා, පිරිමි ළමයෙකු වේශ්‍යාවක් නිසා දුන්නෝය, ගෑනු ළමයෙකු මුද්‍රිකපානය බොන පිණිස වික්කෝය.
4 ඇරත් තීර් සහ ශීදොන්ද පිලිස්තියේ සියලු පළාත්ද යන නුඹලා මට මොකක්ද? නුඹලා මා පිටට ප්‍රතිඵල පමුණුවන්නහුද? එසේ මා පිටට පැමිණෙවුවොත් කඩිනමින්ම නුඹලාගේ ප්‍රතිඵල නුඹලාගේ හිස් පිටට වහාම හරවන්නෙමි.
5 නුඹලා මාගේ රන් රිදී අරගන ගොස්, මාගේ හොඳවූ ප්‍රියවූ දේවල් නුඹලාගේ මාළිගාවල තැබුවහුය.
6 තවද නුඹලා යූදා දරුවන්ද යෙරුසලමේ දරුවන්ද නුඹලාගේ සීමාවෙන් ඈත්කරන පිණිස ඔවුන් ග්‍රීක්වරුන්ගේ පුත්‍රයන්ට වික්කහුය.
7 ඉතින් නුඹලා ඔවුන් විකුණා ඇරිය ස්ථානයෙන් මම ඔවුන් නැගුටුවා, නුඹලාගේ ක්‍රියාව නුඹලාගේ හිස් පිටට හරවා,
8 නුඹලාගේ පුත්‍රයන්ද දූවරුන්ද යූදා පුත්‍රයන් අතට විකුණන්නෙමි, ඔවුන් වනාහි දුරස්තර ජාතියක් වන ෂෙබාවරුන්ට ඔවුන් විකුණනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ එසේ කීසේක.
9 ජාතීන් අතරේ මේක ප්‍රකාශකරන්න; යුද්ධයට පේවී, බලවතුන් නැගුටුවන්න; සියලු යුද්ධකාරයෝ ළංවී නැගී එත්වා.
10 නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.
11 වටකර සිටින සියලු ජාතීනි, ඉක්මන්කර එන්න, එසේ ඔව්හු රැස්වෙත්වා. ස්වාමීන්වහන්ස, ඔබගේ බලවතුන් එහි පැමිණෙවුව මැනව.
12 ජාතීහු නැගිට යෙහෝෂාපාත් මිටියාවතට නැගී එත්වා. මක්නිසාද වටකර සිටින සියලු ජාතීන් විනිශ්චයකරන්ට එහි හිඳගන්නෙමි.
13 ගොයම් පැසුණු නිසා දෑකැත්ත පොවන්න. මුද්‍රික යන්ත්‍රය පිරී තිබෙන බැවින් ඇවිත් බසින්න; මිදි යන්ත්‍රය පිරී තිබේ, පැස් ඉතිරීයන්නේය; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මහත්ය.
14 රාශි ගණන් සමූහයෝ තීන්දු කිරීමේ මිටියාවතෙහි සිටින්නෝය. මක්නිසාද තීන්දු කිරීමේ මිටියාවතෙහි ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ.
15 ඉර හඳ අඳුරුවී තිබේ, තාරකාවල දිලිහීමද පහවෙයි.
16 ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනසේක; අහසද පොළොවද සෙලවෙනවා ඇත. එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට රක්ෂාස්ථානයක්ව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බලකොටුවක්ව සිටිනසේක.
17 මෙසේ ස්වාමීන්වහන්සේ වන මා මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි වසන නුඹලාගේ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය. එකල යෙරුසලම ශුද්ධව තිබෙන්නේය, විදේශියෝ එහි මැදින් තවත් නොයන්නෝය.
18 ඒ කාලයෙහි කඳුවලින් මිදි පැන් වැගිරෙනවා ඇත, හෙල්වලින් කිරි ගලනවා ඇත, යූදාහි සියලු ඔයවල වතුර ගලා යනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් උල්පතක් නික්ම ෂිට්ටීම් මිටියාවතට වතුර දෙනවා ඇත.
19 යූදා දරුවන්ගේ දේශයෙහි නිදොස් ලේ වගරුවා ඔවුන්ට කළ බලාත්කාරකම නිසා මිසරය පාළුවක්ද ඒදොම් පාළු කාන්තාරයක්ද වන්නේය.
20 නුමුත් යූදා සදාකාලේටත් යෙරුසලම පරම්පරාවෙන් පරම්පරාවටත් පවතිනවා ඇත.
21 මා විසින් නිදොස් නොකළ ඔවුන්ගේ ලේ නිදොස්කරන්නෙමි; ස්වාමීන්වහන්සේද සියොන්හි වාසය කරනවා ඇත.