මීකා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7


පරිච්ඡේදය 1

1 යෝතාම්ද ආහාස්ද හෙසකියාද යන යූදාහි රජවරුන්ගේ දවස්වලදී මොරෂ්තිය මීකා වෙතට පැමින්නාවූ, සමාරිය සහ යෙරුසලම ගැන ඔහු දුටුවාවූ ස්වාමීන්වහන්සේගේ වචනයය.
2 ජනයෙනි, නුඹලා සියල්ලෝ අසන්න; පොළොව සහ එහි ඇති සියල්ල, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධවූ මාළිගාවේ සිට නුඹලාට විරුද්ධව සාක්ෂිකාර වනසේක්වා.
3 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් ස්ථානයෙන් පිටත්වී බැස ඇවිත්, පොළොවේ උසස්ථාන පිට ඇවිදිනසේක.
4 උන්වහන්සේ යට කඳු දියවන්නේය, ගින්න ඉදිරියෙහි ඉටි මෙන්ද පල්ලමක වගුරුවන වතුර මෙන්ද මිටියාවත් පැළෙන්නේය.
5 මේ සියල්ල වන්නේ යාකොබ්ගේ වරද සහ ඉශ්‍රායෙල් වංශයේ පාපවල් නිසාය. යාකොබ්ගේ වරද මොකද? සමාරිය නොවේද? යූදාහි උස්තැන් මොනවාද? යෙරුසලම නොවේද?
6 එබැවින් මම සමාරිය කෙතේ ගොඩක්ද මිදිවතුද කරන්නෙමි. එහි ගල් මිටියාවතට වගුරුවා, එහි අත්තිවාරම් ප්‍රකාශකරන්නෙමි.
7 එහි කැපූ රූප සියල්ල පොඩිකරනු ලබනවා ඇත, එහි පණයම් සියල්ලම ගින්නෙන් දවනු ලබනවා ඇත, එහි දේවරූප සියල්ලද නාස්තිකරන්නෙමි. මක්නිසාද ඈ වේශ්‍යාවෙකුගේ පණයම්වලින් ඒවා එක්කරගත්තාය; ඒවා වනාහි වේශ්‍යාවෙකුගේ පණයම්වලට හැරෙනවා ඇත.
8 ඉන්නිසා මම වැලපී කෑගසන්නෙමි, වස්ත්‍ර ගළවා නිර්වස්ත්‍රව යන්නෙමි. සිවලුන් මෙන් විලාපයක් කරන්නෙමි, පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.
9 මක්නිසාද ඇගේ තුවාල අසාධ්‍යව තිබේ. එය යූදා දක්වාත් පැමුණුණේය; මාගේ සෙනඟගේ දොරටුව දක්වාම යෙරුසලම ළඟටම ආයේය.
10 ගාත්හි එය නොදන්වව්, අක්කොවෙහි නාඬව්. බෙත්-ලෙ-අප්‍රාහි දූවිල්ලේ පෙරළී ඉඳින්න.
11 ෂාපීර්හි වාසයකරන්නිය, නිර්වස්ත්‍රව, ලජ්ජා ඇතිව යන්න. ශයනාන්හි වසන්නී පිටතට ආවේ නැත; බෙත්-ඒශෙල්හි වැලපීම නිසා එහි පිහිට නුඹලාගෙන් පහවන්නේය.
12 මාරෝත්හි වාසයකරන්නී යහපත ගැන ආශාවෙන් බලාසිටියි. මක්නිසාද විපත්තිය ස්වාමීන්වහන්සේ වෙතින් යෙරුසලමේ දොරටුව ළඟට බැස තිබේ.
13 අහෝ ලාකීෂ්හි වාසයකරන්නිය, ශීඝ්‍ර අශ්වයා රථයේ බඳින්න. ඈ වනාහි සියොන් දුවට පාපයේ පටන්ගැන්මය; මක්නිසාද ඉශ්‍රායෙල්ගේ වරද නුඹ තුළ සම්බවිය.
14 එබැවින් නුඹ මෝරෙෂත්-ගාත්ට අත්ඇරීම් පත්‍රයක් දෙනවා ඇත. අක්සීබ් වංශ ඉශ්‍රායෙල් රජුන්ට රැවටිල්ලක් වන්නේය.
15 එම්බා මරේෂාහි වාසය කරන්නිය, නුඹ හිමිකරගන්නා නැවත නුඹ ළඟට පමුණුවන්නෙමි. ඉශ්‍රායෙල්ගේ තේජස අදුල්ලාම්ට පවා පැමිණෙන්නේය.
16 නුඹේ හිස බූගා, නුඹේ ප්‍රිය දරුවන් නිසා හිස මුඩුකොට, නුඹේ මුඩුකම රාජාලියා මෙන් පළල්කරගනින්න; මක්නිසාද ඔව්හු නුඹ වෙතින් වහල්කමට ගියෝය.



පරිච්ඡේදය 2

1 තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළකරන්නන්ට දුක්වේ! පසුවදා එළිවෙන කොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔව්හු ඒක ඉෂ්ටකරති.
2 ඔව්හු කෙත්වලට ආශාවී, ඒවා අල්ලාගනිති; ගෙවල්වලටත් ආශාවී, ඒවා පැහැරගනිති. ඔව්හු පුරුෂයෙකුට සහ ඔහුගේ ගෙදරටත්, එසේය, පුරුෂයෙකුට සහ ඔහුගේ උරුමයටත් බලාත්කාරකම් කරති.
3 එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ වංශයට විරුද්ධව විපත්තියක් යොදමි, එයින් නුඹලාගේ කුළල් අහකට ගන්ටවත් උඩඟුලෙස ඇවිදින්ටවත් නුඹලාට බැරිවන්නේය; මක්නිසාද ඒක විපත්ති කාලයක්ය.
4 ඒ කාලයේදී ඔවුන් නුඹලා ගැන උපමාවක් කියමින්ද දුක්මුසුවූ ළතෝනියකින් ළතෝනි කියමින්ද: අපි සහමුලින්ම නාස්තිවුණෙමුව. උන්වහන්සේ මාගේ සෙනඟගේ කොටස මාරුකරනසේක. ඒක මාගෙන් පහකරන හැටි! කැරළිකාරයන්ට උන්වහන්සේ අපේ කෙත් බෙදාදෙනසේකැයි කියනවා ඇත.
5 එබැවින් ස්වාමීන්වහන්සේගේ සභාවෙහි පසඇට දැමීමෙන් ලනුවක් අදින කෙනෙක් නුඹට නොසිටින්නේය.
6 අනාගතවාක්‍ය නොපවසන්නැයි ඔව්හු අනාගතවාක්‍ය කියති. නින්දාවල් පහව නොයන්නේයයි ඔව්හු කියති.
7 යාකොබ් වංශයේ තැනැත්තෙනි, ස්වාමීන්වහන්සේගේ ආත්මය අඩුවෙලාද? මේවා උන්වහන්සේගේ ක්‍රියාද? අවංකලෙස හැසිරෙන්නාට මාගේ වචනවලින් යහපත සිද්ධ වෙනවා නොවේද?
8 එහෙත් පුරාණයේ සිට මාගේ සෙනඟ සතුරෙකු මෙන් නැගුටුණාය. යුද්ධයෙන් හැරීඑන අය මෙන් භය නැතුව යන්නන්ගෙන් නුඹලා සළුව ඇතුළුව පොරෝණයත් ගළවාගන්නහුය.
9 නුඹලා මාගේ සෙනඟගේ ස්ත්‍රීන් තමුන්ගේ ප්‍රිය ගෙවල්වලින් පන්නා දමන්නහුය; ඔවුන්ගේ බාල දරුවන්ගෙන්ද මාගේ මහිමය සදාකාලේටම පහකරන්නහුය.
10 මේක නුඹලාගේ නිවාසය නොවන නිසා නැගිට යන්න. අපවිත්‍රකම නිසා බලවත් විනාශයකින් ඒක නුඹලාව විනාශකරනවා ඇත.
11 සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.
12 එම්බා යාකොබ්, මම සැබවින් නුඹලා සියල්ලන් රැස්කර, ඉතුරු ඉශ්‍රායෙල්වරුන් එකතුකර, බොශ්රාහි බැටළුවන්මෙන් ඔවුන් එක්කාසුකරන්නෙමි. ගොදුරු බිම මැද සතුන් රැළක් මෙන් මිනිසුන් රාශිය නිසා ඝෝෂාවක් වන්නේය.
13 කඩාදමන්නා ඔවුන්ට පෙරටුව නැගී ගියේය. ඔව්හු බිඳගෙන දොරටුව පසුකර, එයින් පිටතට ගියෝය. ඔවුන්ගේ රජ ඔවුන්ට ඉස්සරින් ගියේය, ස්වාමීන්වහන්සේ ඔවුන්ට පෙරටුව ගියසේක.



පරිච්ඡේදය 3

1 තවද මම මෙසේ කීවෙමි: යාකොබ්ගේ ප්‍රධානියෙනි, ඉශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, අසන්න. විනිශ්චය දැනගැනීම නුඹලාගේ යුතුකමක් නොවේද?
2 නුඹලා යහපතට ද්වේෂකොට නපුරට ප්‍රේමවන්නහුය; නුඹලා ඔවුන්ගෙන් ඔවුන්ගේ හමද ඔවුන්ගේ ඇටවලින් ඔවුන්ගේ මාංසද ගළවන්නහුය.
3 එසේ ඒ අය මාගේ සෙනඟගේ මාංස කන්නෝය; ඔවුන්ගේ හම ඔවුන්ගෙන් ගළවන්නෝය, ඔවුන්ගේ ඇටද පොඩිකර, ඇතිලියේ දැමීමට මෙන්ද කටාරමේ මාංසය මෙන්ද කෑලි කරන්නෝය.
4 එකල ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසන්නෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නොදී, ඔවුන් නපුරු ක්‍රියාවල් කළ හෙයින් ඒ කාලයේදී තමන්ගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නාසේක .
5 මාගේ සෙනඟ මුළාකරවන්නාවූ, තමුන්ගේ දත්වලින් හපාකන අතර: සමාදානයයයි මොරගසන්නාවූ, තමුන්ගේ කටට කෑම නොදෙන අයට විරුද්ධව යුද්ධයට පේවෙන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක:
6 නුඹලා එසේ කරන බැවින් දර්ශනයක් නැතුව නුඹලාට රෑවෙනවා ඇත; පේනකීමක් නැතුව නුඹලාට අන්ධකාරවෙනවා ඇත; අනාගතවක්තෘවරුන්ට ඉර බසිනවා ඇත, දවාලද ඔවුන්ට උඩින් කළුවරවෙනවා ඇත.
7 දර්ශනකාරයන් ලජ්ජාවටත් පේනකියන්නන් වියවුල්කමටත් පැමිණ, දෙවියන්වහන්සේගෙන් උත්තරයක් නැති නිසා ඔවුන් සෑමදෙනාම තමුන්ගේ තොල් වසාගන්නවා ඇත.
8 එහෙත් මම වනාහි යාකොබ්ට ඔහුගේ වරදත් ඉශ්‍රායෙල්ට ඔහුගේ පාපයත් දන්වන්ට ස්වාමීන්වහන්සේගේ ආත්මය ඇතුව, බලයෙන්ද යුක්තියෙන්ද ධෛර්යයෙන්ද පූර්ණව සිටිමි.
9 යුක්තියට පිළිකුල්කොට, සියලු යුතුකම් පෙරළා, සියොන් ලේවලින්ද යෙරුසලම අධර්මිෂ්ඨකමෙන්ද ගොඩනගන්නාවූ,
10 යාකොබ්ගේ වංශයේ ප්‍රධානියෙනි, ඉශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, මේක අසන්න.
11 එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.
12 එබැවින් නුඹලා නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද වෙනවා ඇත.



පරිච්ඡේදය 4

1 නුමුත් මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස්වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය.
2 බොහෝ ජාතීන්ද ගොස් කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත්වන්නේය.
3 උන්වහන්සේ බොහෝ ජනයන් අතරේ විනිශ්චයකොට, දුරින් සිටින බලවත් ජාතීන්ට තීන්දුව කියනසේක; ඔවුන් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධය ඉගෙනගන්නේවත් නැත.
4 තවද ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළේය.
5 එසේය, සියලු ජනයෝ තම තමුන්ගේ දෙවිවරුන්ගේ නාමයෙන් හැසිරෙන්නෝය, අපිද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමුව.
6 ඒ කාලයේදී මම කොරගසගසා යන්නන් රැස්කර, පන්නාදමනු ලැබූවන්ද මා විසින් විපත්තියට පැමිණවූ අයද එකතුකරන්නෙමි;
7 මම කොරගසගසා යන්නන් ඉතුරුවෙන්ට සලස්වා, ඈත්කරනු ලැබූ අය බලවත් ජාතියක් කරන්නෙමි. ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ ඔවුන් කෙරෙහි මෙතැන් පටන් සදාකාලයටම රජකම්කරනසේක.
8 එම්බා රැළේ කොත, සියොන් දුවගේ හෙල, නුඹ වෙතට පළමු ආණ්ඩුව එන්නේය, එසේය, යෙරුසලම් දුවගේ රාජ්‍යය එන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9 ඉතින් නුඹ ඝෝෂාකරන්නේ මන්ද? නුඹ තුළ රජෙක් නැද්ද? නුඹේ මන්ත්‍රීවරු නැතිවූද? මක්නිසාද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාව නුඹට අල්ලා තිබේ.
10 සියොන් දුව, බිහිකරන ස්ත්‍රියෙකු මෙන් වේදනා විඳ බිහිකරන්න. මක්නිසාද නුඹ දැන් නගරයෙන් පිටතට ගොස් එළියේ වාසයකොට, බබිලෝනියට පැමිණෙන්නීය; එහිදී නුඹ නිදහස්කරනු ලබන්නීය; එහිදී ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන්ගේ අතින් නුඹ මුදාගන්න සේක.
11 දැන් වනාහි බොහෝ ජාතීන් නුඹට විරුද්ධව රැස්ව සිට: ඈ කිලුටුකරනු ලබාවා, සියොන් කෙරෙහි අපේ ඇසේ ආශාව ඉෂ්ටවේවායි කියති.
12 නුමුත් ඔව්හු ස්වාමීන්වහන්සේගේ අදහස් නොදනිති, උන්වහන්සේගේ මන්ත්‍රණය, එනම් උන්වහන්සේ පාවරෙහි ගොයම් මිටි මෙන් ඔවුන් එකතුකරගත් බව ඔව්හු තේරුම් නොගනිති.
13 සියොන් දුව නැගිට මඩින්න. මක්නිසාද මම නුඹේ අඟ යකඩ කරන්නෙමි, නුඹේ කුර පිත්තල කරන්නෙමි. නුඹ බොහෝ ජනයන් පොඩිකර, ඔවුන්ගෙන් ගන්න කොල්ලය ස්වාමීන්වහන්සේටත් ඔවුන්ගේ සම්පත් මුළු පොළොවේ ස්වාමීන්වහන්සේටත් කැප කරන්නෙහිය.



පරිච්ඡේදය 5

1 ඉතින් හමුදාවල දියණියනි, හමුදා වශයෙන් රැස්වෙන්න. ඔහු අපට විරුද්ධව බලකොටු බැඳ තිබේ. ඔව්හු ඉශ්‍රායෙල්ගේ විනිශ්චයකාරයාගේ කම්මුලට දණ්ඩකින් පහරදෙන්නෝය.
2 නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.
3 එබැවින් බිහිකරන තැනැත්තියගේ ප්‍රසූත කාලය දක්වා උන්වහන්සේ ඔවුන් පාවාදෙනවා ඇත. උන්වහන්සේගේ සහෝදරයන්ගෙන් ඉතිරි අයද ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට හැරී එනවා ඇත .
4 උන්වහන්සේ සිටගෙන ස්වාමීන්වහන්සේගේ බලයෙන් සහ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයේ මහිමයෙන්ද තමන් රැළ පෝෂ්‍යයකරනවා ඇත. ඔව්හු පවතින්නෝය; මක්නිසාද උන්වහන්සේ එකල පොළෝ සීමා දක්වා උතුම්ව සිටිනවා ඇත.
5 මේ මනුෂ්‍යයා අපේ සමාදානය වන්නේය. අෂූරියයා අපේ දේශයට එන කලත් අපේ මාළිගාවලට ඇතුල්වන කලත් අපි ඔහුට විරුද්ධව එඬේරුන් සත්දෙනෙකුත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් අටදෙනෙකුත් නැගුටුවන්නෙමුව.
6 ඔව්හු කඩුවෙන් අෂූර් දේශයද ඇතුල්වෙන තැන්වල නිම්රොද් දේශයද පාලනයකරනවා ඇත. මෙසේ අෂූරියයා අපේ දේශයට එන කලත් අපේ සීමාවලට පය තබන කලත් උන්වහන්සේ ඔහුගෙන් අප ගළවන සේක.
7 යාකොබ්ගේ ඉතිරිවූ අය බොහෝ ජනයන් අතරෙහි ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙන පිනි මෙන්ද මනුෂ්‍යයා ගැන ප්‍රමාද නොවී, මනුෂ්‍ය පුත්‍රයන් ගැන පමා නොවී, පලා ජාති පිටට බසින වැහිබින්දු මෙන්ද සිටිනවා ඇත.
8 තවද යාකොබ්ගේ ඉතිරි අය ජාතීන් අතරෙහිද බොහෝ ජනයන් මැදද කැලෑවේ මෘගයන් අතරෙහි සිටින සිංහයෙකු මෙන්ද බැටළු රැළවල් අතරට වන කල්හි ගළවන්ට කිසිවෙකු නැතුව උන් පාගා ඉරාදමන තරුණ සිංහයෙකු මෙන්ද සිටිනවා ඇත.
9 ඔබගේ අතද ඔබගේ එදිරිකාරයන්ට වඩා උසස් වේවා, ඔබගේ සියලු සතුරෝද සිඳදමනු ලබත්වා.
10 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි මම නුඹ වෙතින් නුඹේ අශ්වයන් සිඳදමා, නුඹේ රථ විනාශකරන්නෙමි.
11 නුඹේ දේශයේ නුවරවල් සිඳදමා, නුඹේ සියලු බලකොටු බිඳදමන්නෙමි.
12 මම නුඹේ අතින් මායම් සිඳදමන්නෙමි; පේනකියන්නෝ තවත් නුඹට නොසිටින්නෝය.
13 නුඹේ දේව රූපද නුඹේ රූපස්තම්භද නුඹ වෙතින් සිඳදමන්නෙමි; නුඹද නුඹේ අත්වල වැඩයට තවත් නමස්කාර නොකරන්නෙහිය.
14 මම නුඹේ අෂේරා කණු නුඹ වෙතින් උදුරාදමා, නුඹේ නුරවල් විනාශකරන්නෙමි.
15 ඇහුම්කන් නුදුන්නාවූ ජාතීන් පිටට උදහසෙනුත් කෝපයෙනුත් ප්‍රතිඵල දෙන්නෙමි.



පරිච්ඡේදය 6

1 ඉතින් ස්වාමීන්වහන්සේ කියනදේ අසන්න. නැගිට කඳු ඉදිරියෙහි පැමිණිලිකරන්න, හෙල්ද නුඹේ හඬ අසාවා.
2 එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ විවාදකරනසේක.
3 මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම්ද? කුමකින් නුඹ වෙහෙසුවෙම්ද? මට විරුද්ධව සාක්ෂි දෙන්න.
4 මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.
5 මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න.
6 මම ස්වාමීන්වහන්සේ ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස්වූ දෙවියන්වහන්සේට වඳිම්ද? මම දවන පූජාද අවුරුද්දක්වූ එළවස්සන්ද රැගෙන උන්වහන්සේ ඉදිරියට පැමිණෙම්ද?
7 දහස් ගණන් බැටළුවන්ටවත් දස දහස් ගණන් තෙල් ගංගාවලටවත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? මාගේ වරද නිසා මාගේ කුලුඳුලාත් මාගේ ආත්මයේ පාපය නිසා මාගේ ශරීරයේ ඵලයත් දෙම්ද?
8 එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද? සෙනඟගේ අපරාධ නිසා දෙවියන්වහන්සේගේ උදහස සහිත තර්ජනය.
9 ස්වාමීන්වහන්සේගේ හඬ නුවරට මොරගසන්නේය, ඥානවන්තයා ඔබගේ නාමය දකිනවා ඇත. දණ්ඩටත් ඒක නියමකළ තැනන්වහන්සේටත් යටත්වෙන්න.
10 දුෂ්ටයාගේ ගෙයි දුෂ්ටකමේ වස්තුද පිළිකුල්වූ අඩු ඒඵාවද තවම තිබෙනවාද?
11 දුෂ්ටකමේ තරාදි සහ හොර කළන් පඩි මල්ලකුත් තබාගන සිටිද්දී මට නිදොස්කමක් ඇද්ද?
12 මක්නිසාද එහි වස්තුකාරයෝ බලාත්කාරකමෙන් පිරී සිටිති, එහි වැසියෝ බොරුකියති, ඔවුන්ගේ දිව් ඔවුන්ගේ මුඛවල වංචාකාරව තිබේ.
13 එබැවින් මමත් නුඹට තදලෙස පහරදී, නුඹේ පාප නිසා පාළුකෙළෙමි.
14 නුඹ කන නුමුත් තෘප්තියට නොපැමිණ, නුඹේ ඇතුළත හිස්ව තිබෙයි. නුඹ අහකට ගෙනයන නුමුත් ගළවා නොගන්නෙහිය; නුඹ ගළවාගන්න දේත් මම කඩුවට පාවාදෙන්නෙමි.
15 නුඹ වපුරන නුමුත් කපාගන්ට නොලැබේ. නුඹ ඔලීව ඵල මඩින නුමුත් තෙල් ගාගන්ට නොලැබේ; නුඹ මිදියුස මිරිකන නුමුත් මුද්‍රිකපානය බොන්ට නොලැබේ.
16 මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.



පරිච්ඡේදය 7

1 අනේ, මාගේ දුකේ හැටි! මක්නිසාද ඵල නෙළාගන්ටත් මුද්‍රිකවලු තීන්දුවටම කපාගන්ටත් යෙදුණට පසු මෙන් සිටිමි. කන්ට කිසි වල්ලක්වත් මාගේ ආත්මය ආශාවන ප්‍රථම අත්තික්කා ඵලවත් නැත.
2 භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝම ලේ වගුරුවන පිණිස රැක සිටිති; එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසුකරගන්ට යති.
3 නපුර වීර්යයෙන් කරන්ට දෑත පොවා තිබේ; අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති; උත්තමයාද තමාගේ සිතේ නපුරු ආශාව කියයි. එසේ ඔව්හු ඒක යොදාගනිති.
4 ඔවුන්ගෙන් වඩා හොඳ අය කටුගසක් වාගේය. වඩා අවංක අයද කටු වැටකට වඩා නරකය. නුඹේ මුරකාරයන් විසින් කීවාවූ නුඹේ දඬුවමේ දවස පැමිණ තිබේ; දැන් ඔවුන්ගේ වියවුල්කම වන්නේය.
5 මිත්‍රයෙකු විශ්වාස නොකරන්න, හිතේසි මිත්‍රයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න. නුඹේ ළයෙහි සැතපෙන්නියගෙන් නුඹේ මුඛයේ දොරවල් රැකගන්න.
6 මක්නිසාද පුත්‍රයා පියාට අගෞරව කරයි, දුව ඇගේ මවට විරුද්ධවද යෙහෙළී ඇගේ නැන්දාට විරුද්ධවද නැගිටියි. මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් තමාගේම පවුලේ අයවල්ය.
7 මම වනාහි ස්වාමීන්වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. මාගේ දෙවියන්වහන්සේ මාගේ වචන අසනවා ඇත.
8 එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.
9 ස්වාමීන්වහන්සේ මාගේ විපත්තිය කියා මාගේ විනිශ්චය ඉෂ්ටකරන තුරු, මා උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් උන්වහන්සේගේ උදහස ඉවසන්නෙමි. උන්වහන්සේ මා ආලෝකයට පමුණුවනවා ඇත, මමද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි.
10 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොතැනදැයි මට කී මාගේ සැතිරීත් ඒ දැක ලජ්ජාවෙන් වැසීයනවා ඇත; මාගේ ඇස් ඇගේ දඬුවම දකිනවා ඇත; දැන් ඈ වීථිවල මඩ මෙන් පාගාදමනු ලබන්නීය.
11 නුඹේ පවුරු ගොඩනගන්ට කාලයක් පැමිණෙන්නේය. ඒ කාලයෙහි නියෝගයක් දුරට පතළවී යනවා ඇත.
12 ඒ කාලයෙහි අෂූර් කෙරෙන්ද මිසරයේ නුවරවලින්ද මිසරයේ පටන් ගංගාව දක්වාද මුහුදෙන් මුහුදටද කන්දෙන් කන්දටද තිබෙන පළාත්වලින් මිනිසුන් නුඹ ළඟට එනවා ඇත.
13 නුමුත් දේශය එහි වැසියන් නිසා එනම් ඔවුන්ගේ ක්‍රියාවල ඵල නිසා පාළුවන්නේය.
14 කර්මෙල් තුළ වනයෙහි වෙන්ව වසන්නාවූ ඔබගේ සෙනඟ වන ඔබගේ උරුමයවූ බැටළු රැළ ඔබගේ සැරයටියෙන් පාලනයකළ මැනව. බාෂාන්හිද ගිලියද්හිද පුරාණයේ දවස්වල මෙන් ඔව්හු පෝෂ්‍යවෙත්වා.
15 නුඹ මිසර දේශයෙන් පිටතට ආ දවස්වල මෙන් මම ඔවුන්ට ආශ්චර්යමත් දේ පෙන්වන්නෙමි.
16 ජාතීන් දැක තමුන්ගේ මුළු බලවන්තකම ගැන ලජ්ජාවට පත්ව, අතින් කට වසාගන්නවා ඇත, ඔවුන්ගේ කන් බිහිරිවෙනවා ඇත.
17 ඔව්හු සර්පයෙකු මෙන් දූවිල්ල ලෙවකන්නෝය; පොළොවේ බඩගායන සතුන් මෙන් ඔව්හු තමුන්ගේ බලකොටුවල සිට වෙවුලමින් නික්ම එන්නෝය. ඔව්හු අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට භයෙන් යුක්තව පැමිණෙන්නෝය, නුඹ නිසාද භයවෙනවා ඇත.
18 අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක.
19 උන්වහන්සේ නැවත අපට අනුකම්පාකරනසේක; අපේ අපරාධ පාගාදමනසේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළනසේක.
20 පුරාණයේ දවස්වල පටන් ඔබවහන්සේ අපේ පියවරුන්ට දිවුළාවූ සැබෑකම යාකොබ්ටත් කරුණාව ආබ්‍රහම්ටත් ඔබ ඉෂ්ටකරනසේක.