නාහුම්

පරිච්ඡේදය: 1 2 3


පරිච්ඡේදය 1

1 නිනිවය පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයය. එල්කොෂියවූ නාහූම්ගේ දර්ශනයේ පොතය.
2 ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ පළිගන්න දෙවිකෙනෙක්ය; ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය; ස්වාමීන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නාසේක, තමන්ගේ සතුරන්ට උදහස තබාගන සිටින සේක.
3 ස්වාමීන්වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටිනසේක, වරදකාරයන් කොයි ප්‍රකාරයකින්වත් නිදොස් නොකරනසේක. ස්වාමීන්වහන්සේගේ මාර්ගය සුළිහුළඟෙහිද කුණාටුවෙහිද ඇත්තේය, වලාකුල් උන්වහන්සේගේ පාදවල ධූලිය.
4 උන්වහන්සේ මුහුදට තරවටුකොට, හින්දවා, සියලු ගංගාද හින්දවනසේක. බාෂාන්ද කර්මෙල්ද මැලවෙති, ලෙබනොන්හි දළුත් මැලවෙති,
5 කඳු උන්වහන්සේට භයින් වෙවුලති, හෙල්ද දියවෙති; උන්වහන්සේ ඉදිරියෙහි පොළොවද ලෝකය සහ එහි වාසයකරන සියල්ලෝද කම්පාවෙති.
6 උන්වහන්සේගේ කෝපය ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේගේ බලවත් උදහසේදී පවතින්නේ කවුද? උන්වහන්සේගේ කෝපය ගිනි මෙන් වැගිරෙන්නේය, පර්වතද උන්වහන්සේ ඉදිරියෙහි කඩාවැටෙන්නේය.
7 ස්වාමීන්වහන්සේ යහපත්ය, විපත්ති දවසේදී බලකොටුවක්ය; උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක.
8 නුමුත් ගලායන ජලගැල්මකින් උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන් සහමුලින්ම විනාශකරනසේක, තමන්ගේ සතුරන්ද අන්ධකාරයට පන්නාදමනසේක.
9 [අෂූර්වරුනි,] නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කුමක් යෝජනාකරන්නහුද? උන්වහන්සේ මුළුමනින්ම තීන්දුවක් කරනසේක. විපත්තිය දෙවරක් නොපැමිණෙන්නේය.
10 මක්නිසාද ඔව්හු කටු ගස් වාගේ පටලැවී, තමුන්ගේ සුරාපානයෙන් පෙඟී සිටියත්, හොඳට වේළී තිබෙන ඉපනැලි මෙන් දාලායන්නෝය.
11 ස්වාමීන්වහන්සේට විරුද්ධව නපුර යෝජනාකරන්නාවූ, දුෂ්ටකම් ගැන මන්ත්‍රණයකරන්නාවූ කෙනෙක් නුඹෙන් නික්ම ආයේය.
12 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් සම්පූර්ණව එපමණ වැඩිව සිටින නුමුත් ඔවුන් එසේ කපාදමනු ලැබ, ඔහුද පහවීයන්නේය. [යූදා,] මම නුඹට පීඩාකළ නුමුත් තවත් නුඹට පීඩා නොකරන්නෙමි.
13 දැන් මම ඔහුගේ වියගහ නුඹ කෙරෙන් බිඳදමා, නුඹේ බැඳුම් කඩාදමන්නෙමි.
14 [අෂූරියයා,] නුඹ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ අණකළසේක: නුඹේ නාමය තවත් පැවත නොඑන්නේය. මම නුඹේ දෙවිවරුන්ගේ ගෘහයෙන් කැපූ රූපයත් වාත්තු රූපයත් සිඳදමා, නුඹ නීච නිසා නුඹේ මිනීවළ පිළියෙළකරන්නෙමි.
15 අන්න, ශුභාරංචි දන්වන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ අයගේ පාද කඳු පිට එති! එම්බා යූදා, නුඹේ මංගල්‍යවල් පවත්වා නුඹේ බාරවල් ඉෂ්ටකරන්න. මක්නිසාද දුෂ්ටයා නුඹ මැදින් තවත් නොඑන්නේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලැබීය.



පරිච්ඡේදය 2

1 කැබෙලිකොට කඩන්නා නුඹේ මුහුණට විරුද්ධව නැගී ආයේය. බලකොටුව රැකවල්කර, මාර්ගය මුරකර, ඉඟටි බලවත්කර, නුඹේ ශක්තිය ඉතා බලවත්කරගන්න.
2 එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යාකොබ්ගේ තේජසත් නැවත පිහිටුවනසේක. මක්නිසාද හිස්කරන්නෝ ඒවා හිස්කර, ඒවායේ රිකිලි නාස්තිකළෝය.
3 ඔහුගේ බලවතුන්ගේ පලිස්වලට රතු සායම් පොවා තිබේ, යුද්ධකාර මනුෂ්‍යයෝ රතු වස්ත්‍ර ඇඳගන සිටිති. ඔහුගේ සූදානම්වීමේ දවසේදී රථ වානෙන් දිලිහෙති, දේවදාර හෙල්ලද සොලවන්නේය.
4 රථ වීථිවල වේගයෙන් යති, පළල් මාර්ගවල එහා මෙහා දුවති. ඒවායේ පෙනීම පන්දම් මෙන්ය, ඒවා විදුලි මෙන් දුවති.
5 ඔහු තමාගේ උත්තමයන් සිහිකරයි. ඔව්හු යනකොට පැකිලෙමින් එහි පවුරට ඉක්මනින් යති, මුවාවද පිළියෙළකරනු ලබන්නේය.
6 ගංගාවල දොරටු අරිනු ලැබ, මාළිගාව දියවී තිබේ.
7 හුශබ්* නිර්වස්ත්‍රව ගෙනයනු ලබන්නීය, ඇගේ මෙහෙකාරියෝද තමුන්ගේ ළයට ගසාගනිමින්, පරෙවියන්ගේ හඬින් මෙන් සුසුම්ලති. (* බිසොව)
8 නිනිවය පුරාණයේ සිට වතුර පොකුණක් මෙන් (මිනිසුන්ගෙන්) පිරී තිබුණේය. නුමුත් ඔව්හු පලායති; සිටින්න, සිටින්නය කියන නුමුත් කිසිවෙක් හැරී නොබලයි.
9 රිදී කොල්ලකාගන්න, රන් කොල්ලකාගන්න. වස්තුද නිමක් නැත, අනර්ඝවූ සියලු ආකාර බඩු රාශියක් ඇත්තේය.
10 ඈ හිස්ව ශුන්‍යව පාළුව සිටියි. සිත දියවීමද දණහිස් වෙවුලීමද සියලු තුනටිවල රුජාවද තිබේ, ඔවුන් සියල්ලන්ගේ මුහුණුද සුදුමැලිව තිබේ.
11 සිංහයන්ගේ ගුහාවත් තරුණ සිංහයන්ගේ ගොදුරු ඉඩමත් කොයිද? එහි කිසිවෙකුගෙන් භයක් නොලැබ සිංහයාත් සිංහධේනුවත් සිංහපැටවාත් ඇවිද්දෝය.
12 සිංහයා උගේ පැටවුන්ට සෑහෙන පමණ ගොදුරු ඉරාදී, උගේ සිංහධේනුන්ට සතුන් මරාදී, උගේ ලෙනවල් ගොදුරෙන්ද උගේ ගුහාවල් ගොදුරුවලින්ද පිරෙවුවේය.
13 බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; ඇගේ රථ දවා දුම් කරන්නෙමි, කඩුවද නුඹේ තරුණ සිංහයන් කාදමන්නේය. මම නුඹේ ගොදුර පොළෝතලයෙන් සිඳදමන්නෙමි, නුඹේ පණිවිඩකාරයන්ගේ හඬ තවත් නෑසෙන්නේය.



පරිච්ඡේදය 3

1 ලේ වගුරුවන නුවරට දුක්වේ! ඒක මුළුල්ලම වංචාවෙන්ද බලාත්කාරයෙන්ද පිරී තිබේ; කොල්ලකෑම නොනවතියි.
2 කස ශබ්දයත් චක්‍ර කරකැවෙන ශබ්දයත් ඇත්තේය; අශ්වයෝ වේගයෙන් දුවති, රථද පැනයති;
3 අසරුවෝ නගිති, කඩුව දිලිහෙන්නේය, හෙල්ලයද බැබළෙන්නේය; සමූහයක් මැරුම්කන්නේය, මළකඳන් ගොඩගැසී තිබේ. මළකඳන් නිමක් නැත; ඔවුන්ගේ මළකඳන්වල හැපී ඔව්හු පැකිලෙති.
4 මෙසේ වෙන්නේ මන්ත්‍රකාරීවූ ඉතා ශෝභමාන වේශ්‍යාවීගේ වේශ්‍යාකම් රාශිය නිසාය; ඇගේ වේශ්‍යාකම්වලින් ඈ ජාතීන්ද ඇගේ මන්ත්‍රවලින් පවුල්ද විකුණන්නීය.
5 බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මම නුඹේ කඩ නුඹේ මුහුණ පිට හෙළා, ජාතීන්ට නුඹේ නග්නකමද රාජ්‍යවලට නුඹේ ලජ්ජාවද පෙන්වන්නෙමි.
6 පිළිකුල් දේවල් නුඹ පිට හෙළා, නුඹට අගෞරව කර, නුඹ කෝලමක් කරන්නෙමි.
7 නුඹව දකින සියල්ලෝද නුඹ වෙතින් පලාගොස් කථාකොට: නිනිවය නාස්තිවිය, ඈට අනුකම්පාව පෙන්වන්නේ කවුද? සනසන්නන් මම කොතනින් නුඹට සොයාදෙන්නෙම්දැයි කියන්නෝය.
8 නුඹ නෝ-ආමොන්ට වඩා හොඳද? ඈ ගංගා අතරේ පිහිටා, ඈ වටකරින් ජල ඇතුව තිබුණාය; ඇගේ අගළ මුහුද විය, ඇගේ ප්‍රාකාරය මුහුදේ පිහිටුවා තිබුණේය.
9 කූෂ් සහ මිසරය ඇගේ බලයය, නිමක්ද නැත; පූට් සහ ලූබ්වරු නුඹේ උපකාරකාරයෝ වූවෝය.
10 නුමුත් ඈ පවා අසුවී වහල්කමට ගියාය. ඇගේ දරුවෝද සියලු වීථි සන්ධිවල බිමගසා මරනු ලැබුවෝය. ඇගේ නම්බුකාරයන් ගැන පසඇට දැමුවෝය, ඇගේ සියලු උත්තමයෝ දම්වැල්වලින් බඳිනු ලැබුවෝය.
11 නුඹත් මත්වී සැඟවෙන්නෙහිය; නුඹත් සතුරාගෙන් ගැළවෙන්ට රක්ෂස්ථානයක් සොයන්නෙහිය.
12 නුඹේ සියලු බලකොටු ප්‍රථම ඵල ඇති අත්තික්කා ගස් වාගේය. ඒවා සෙලවුවොත් කන්නාගේ කටට වැටෙනවා ඇත.
13 නුඹ තුළ සිටින නුඹේ සෙනඟ ගැහැනුය; නුඹේ දේශයේ දොරවල් නුඹේ සතුරන්ට සම්පූර්ණයෙන් ඇරලා තිබේ. නුඹේ අගුල් ගින්නෙන් දාලාගියේය.
14 වටලෑම නිසා වතුර ඇද තබාගන්න, නුඹේ බලකොටු සවිකරන්න. මැටි පිටට පැමිණ, බදාම පාගා, ගඩොල් වැඩ සවිකරන්න.
15 එහි ගින්න නුඹ දවාදමන්නේය; කඩුවද නුඹව සිඳදමන්නේය, කෙඳි-පළඟැටියන් වාගේ එය නුඹ කාදමන්නේය. කෙඳි-පළඟැටියන් මෙන් වැඩිවෙන්න, පළඟැටියන් මෙන් වැඩිවෙන්න.
16 නුඹ නුඹේ වෙළඳුන් අහසේ තාරකාවලට වඩා වැඩිකරගත්තෙහිය. කෙඳි-පළඟැටියෝ පැතිර ඉගිලීගියෝය.
17 නුඹේ උත්තමයෝ පළඟැටියන් මෙන්ය, නුඹේ සේනාපතියෝ පළඟැටි රාශියක් මෙන්ය, උන් ශීතල දවසේදී තාප්පවල රැස්වී ඉඳ, ඉර පායන කල පලායති, උන් ඉන්න ඉඩමද කිසිවෙක් දන්නේ නැත.
18 අෂූර් රජ්ජුරුවෙනි, නුඹේ එඬේරු නිදාහිඳිති. නුඹේ උත්තමයෝ සැතපෙති. නුඹේ සෙනඟ කඳුවල විසිරී ගියෝය, ඔවුන් එකතුකරන්ට කිසිවෙක්ද නැත.
19 නුඹේ තුවාලයට සහනයක් නැත; නුඹට වැදුණු පහර තදය. නුඹේ ප්‍රවෘත්තිය අසන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පොළසන්දෙති; මක්නිසාද නුඹේ දුෂ්ටකම නිතරම නොපැමුණුණේ කා පිටටද?