හබක්කුක්

පරිච්ඡේදය: 1 2 3


පරිච්ඡේදය 1

1 අනාගතවක්තෘවූ හබක්කුක් දුටු දිව්‍ය ප්‍රකාශනයය.
2 ස්වාමීන්වහන්ස, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසනසේක; බලාත්කාරය ගැන ඔබට කෑගසමි, එහෙත් ඔබ නොගළවනසේක.
3 ඔබවහන්සේ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්තිකිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. භේද තිබේ, තරඟයද හටගනියි.
4 එබැවින් ව්‍යවස්ථාව බෙලහීනවී, විනිශ්චය කවදාවත් නොනික්මෙයි. මක්නිසාද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයා වටකරති; ඒ නිසා විපරීත විනිශ්චයක් සැලසේ.
5 ජාතීන් අතරෙහි බලා, කල්පනාකර, ඉතා විස්මපත්වෙන්න. මක්නිසාද නුඹලාට කීවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක් නුඹලාගේ දවස්වලදී කරමි.
6 එසේය, රෞද්‍රවූ කඩිසරවූ ජාතියක් වන කල්දිවරුන් නැගුටුවමි; ඔව්හු තමුන්ට අයිති නැති වාසස්ථාන හිමිකරගන්ට පොළොවේ දුරස්තර තැන් දක්වාම යති.
7 ඔව්හු භයානකව භයංකරව සිටිති. ඔවුන්ගේ විනිශ්චයද උසස්කමද ඔවුන්ගෙන්ම පැමිණේ.
8 ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රය, සැන්දෑ වෘකයන්ට වඩා සැරය; ඔවුන්ගේ අසරුවෝ විසිරයති. එසේය, ඔවුන්ගේ අසරුවෝ දුර සිට එති; ගොදුරු කරා වේගයෙන් යන රාජාලියෙකු මෙන් පියාඹති.
9 ඔවුන් සියල්ලෝම බලාත්කාරය පිණිස එති; ඔවුන්ගේ මුහුණු නැගෙනහිර දෙසට යොමුකර තිබේ; ඔව්හු වැලි මෙන් වහලුන් රැස්කරගනිති.
10 එසේය, ඔව්හු රජුන්ට නින්දා කරති, අධිපතීහුද ඔවුන්ට කවටකමක්ය. ඔව්හු සියලු බලකොටුවලට සිනාසී, පස් ගොඩකර, ඒවා අල්ලාගනිති.
11 එකල තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් ඔව්හු හුළඟක් මෙන් ගහගන ගොස් පහවන්නෝය, වරදකාරද වන්නෝය.
12 මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මාගේ ශුද්ධ තැනන්වහන්ස, ඔබ පුරාණයේ සිට නොසිටිනසේක්ද? අපි නොනසින්නෙමුව. අහෝ ස්වාමීන්වහන්ස, ඔබ ඔහු විනිශ්චය පිණිස නියමකර තිබේ; අහෝ පර්වතයාණෙනි, ඔබ ඔහු දඬුවම පිණිස පිහිටුවා තිබේ.
13 නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ, හිංසාව බලාසිටින්ට නොහැකිවූ ඔබවහන්සේ ද්‍රෝ‍්හීන් දෙස බලාසිටින්නෙත්, දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්තිකරන කල ඔබ නිශ්ශබ්දව සිටින්නෙත්,
14 මුහුදේ මත්ස්‍යයන් මෙන්ද තමුන් කෙරෙහි ආණ්ඩුකාරයෙකු නැති බඩගායන සතුන් මෙන්ද වෙන්ට මනුෂ්‍යයන්ට සලස්වන්නෙත් මක්නිසාද?
15 ඔහු බිළිකටුවෙන් සියල්ලන් අල්ලාගන්නේය, තමාගේ දැලෙන් ඔවුන් ඇදගන, තමාගේ අතංගුවෙන් ඔවුන් එකතුකරගන්නේය. ඉන්නිසා ඔහු ප්‍රීතිව සන්තෝෂවන්නේය.
16 එබැවින් ඔහු තමාගේ දැලට පූජා ඔප්පුකොට, තමාගේ අතංගුවට සුවඳ දුම් දමන්නේය; මක්නිසාද ඒවායින්ම ඔහුගේ කොටස තරවී, ඔහුගේ ආහාර පුෂ්ටිමත්ව තිබේ.
17 ඒ පිණිස ඔහු තමාගේ දැල හිස්කොට ජාතීන් නිතරම මරා දැමීමෙන් නොවැලකෙන්නේද?



පරිච්ඡේදය 2

1 මම මාගේ මුරපළ උඩට පැමිණ, බලකොටුව උඩ සිටගන, උන්වහන්සේ මට කියන්නේ මොකද කියාත් මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියාත් දැනගන්ට බලාසිටින්නෙමි.
2 ස්වාමින්වහන්සේ මට උත්තරදෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න.
3 මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.
4 බලව, ඔහුගේ සිත උඩඟුය, එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක.
5 ඇරත් මුද්‍රිකපානය ද්‍රෝහියෙක්ය, අහංකාරවූ, ගෙදර නැවතී නොසිට තමාගේ ආශාව පාතාලය මෙන් විශාලකරගන, මරණය මෙන් තෘප්තියට නොපැමිණ, තමා වෙතට සියලු ජාතින් රැස්කර ගන්නාවූ තමා වෙතට සියලු ජනයන් එකතුකරගන්නාවූ මනුෂ්‍යයෙක්ය.
6 ඔවුන් සියල්ලෝම ඔහුට විරුද්ධව උපමාවක් සහ නින්දාකරන උපහැරණයක් නොකියද්ද? එනම්: තමාට අයිති නැතිදේ වැඩිකරගන්නාවූ, උකස් බඩු තමා පිට පටවාගන්නාවූ අයට දුක්වේ! කොපමණ කල්ද?
7 නුඹ හපාකෑමට මනුෂ්‍යයෝ හදිසියෙන් නොනැගිටින්නෝද? නුඹට හිරිහැරකිරීමට නොපිබිදෙන්නෝද? නුඹ වනාහි ඔවුන්ට කොල්ලයක් වන්නෙහිය.
8 නුඹ බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ බැවින්, මනුෂ්‍යයන්ගේ ලේ නිසාද දේශයටත් නගරයටත් එහි සියලු වැසියන්ටත් කළ බලාත්කාරය නිසාද ඉතිරිවූ සියලුම ජනයන් නුඹෙන් කොල්ලකනවා ඇත.
9 තමාගේ කූඩුව ඉහළින් සාදන පිණිසද, විපත්තියේ බලයෙන් මිදෙන පිණිසද අධර්මයෙන් ගත් දෙයක් තමාගේ ගෙට ගෙනෙන්නාට දුක්වේ!
10 බොහෝ ජනයන් සිඳදැමීමෙන් නුඹේ වංශයට ලජ්ජාව පැමිණෙන ලෙස නුඹ මන්ත්‍රණයකොට නුඹේම ප්‍රාණයට විරුද්ධව පව්කෙළෙහිය.
11 මක්නිසාද බිත්තිය කෙරෙන් ගල මොරගසන්නේය, ලී වැඩය කෙරෙන් බාල්කය ඊට උත්තරදෙන්නේය.
12 ලේවලින් නුවරක් ගොඩනගන්නාවූ, අධර්මිෂ්ඨකමෙන් නගරයක් පිහිටුවන්නාවූ අයට දුක්වේ!
13 බලව, ජනයන් ගින්න පිණිස වැඩකිරීමත් ජාතීන් හිස්කමට වෙහෙසීමත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් නොවේද?
14 මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.
15 අසල්වාසීන්ගේ නග්නභාවය පෙනෙන ලෙස, නුඹේ කෝප විෂය යොදා, ඔවුන්ට බොන්ට දී මත්කරවන්නාවූ අයට දුක්වේ!
16 නුඹ ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් පිරී සිටින්නෙහිය. නුඹත් බී අචර්මඡේදිත බව පෙන්වන්න. ස්වාමීන්වහන්සේගේ දකුණතේ පාත්‍රය නුඹ වෙතටත් කැත නින්දිතකම නුඹේ මහිමය පිටටත් පැමිණෙනවා ඇත.
17 මක්නිසාද මනුෂ්‍යයන්ගේ ලේ නිසාත් දේශයටද නගරයටද එහි සියලු වාසීන්ටද කළ බලාත්කාරය නිසාත් ලෙබනොන්ට කළ බලාත්කාරය සහ මෘගයන් භයගැන්වූ උන්ගේ විනාශය නුඹ වසාගන්නේය.
18 කැපූ රූපය සාදන්නා විසින් ඒක කැපූ නිසා රූපයෙන්වත්, ගොළු රූප සාදන්නා ඒවා සාදමින් තමාගේ වැඩ කෙරෙහි විශ්වාසකරන නිසා වාත්තු පිළිමයෙන්වත්, බොරු උගන්වන්නාගෙන්වත් ඇති ප්‍රයෝජනය මොකද?
19 ලීයට: පිබිදියන්න කියාත් ගොළු ගලට: නැගිටින්න කියාත් කියන්නාට දුක්වේ! ඒක උගන්වනවා ඇද්ද? අන්න, ඒක රනිනුත් රිදීයෙනුත් වසා තිබේ. කිසි හුස්මක් ඒක තුළ ඇත්තෙම නැත.
20 ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ මාළිගාවෙහි සිටිනසේක. මුළු පොළොව උන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවේවා.



පරිච්ඡේදය 3

1 අනාගතවක්තෘවූ හබක්කුක් විසින් ෂිගියොනොත් වෘත්තයට ලියනලද යාච්ඤාවක්ය.
2 ස්වාමීන්වහන්ස මම ඔබගේ ප්‍රවෘත්තිය අසා භයවීමි. ස්වාමීන්වහන්ස, අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියාකිරීම ප්‍රාණවත්කළ මැනව. අවුරුදු අතරතුරේ දැන්වුව මැනව; උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව.
3 දෙවියන්වහන්සේ තේමාන් සිටද ශුද්ධ තැනන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරුණේය.
4 උන්වහන්සේගේ දීප්තිය එළිය මෙන් විය; උන්වහන්සේගේ හස්තයෙන් රශ්මි නික්මුණේය. උන්වහන්සේගේ පරාක්‍රමයද එහි සැඟවී තිබුණේය.
5 උන්වහන්සේට පෙරටුවෙන් වසංගතය ගියේය, උන්වහන්සේගේ පාදවලින් ගිනි අකුණු නික්මුණේය.
6 උන්වහන්සේ සිට, පොළොව සෙලෙවූසේක; උන්වහන්සේ බලා, ජාතීන් වෙවුලෙවුසේක. සදාකාල කඳු විසිරුණේය, පුරාණ හෙල්ද නැමුණේය; උන්වහන්සේගේ ගමන් පුරාණෙහි මෙන් විය.
7 කූෂාන්හි කූඩාරම් විපත්තියට යටවී තිබෙනවා දුටිමි. මිදියන් දේශයේ තිර වෙවුලුවේය.
8 ස්වාමීන්වහන්ස, ඔබගේ උදහස ගංගාවලට විරුද්ධව ඇවුළුණේද? එය ගංගාවලට විරුද්ධව තිබුණේද? ඔබගේ අසුන් පිටද ගැළවීම නැමති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ ඔබගේ කෝපය මුහුදට විරුද්ධව තිබුණු නිසාද?
9 ගෝත්‍රවලට දුන් දිවුරුම් වචනය ප්‍රකාරයට, ඔබගේ දුන්නේ වැස්ම ඇරලාම තිබුණේය. ගංගා සෑදෙන ලෙස ඔබ පොළොව පැළූසේක.
10 කඳු ඔබ දැක භයවූය; ජලධාරාව වැගුරුණේය. ගැඹුර සිය හඬ පවත්වා, සිය අත් ඉහළ එසවිය.
11 විහිදුණාවූ ඔබගේ ඊගස්වල එළියටත් ඔබගේ දිලිහෙන සෙල්ලයේ දීප්තිමත්කමටත් ඉර සඳ ඒවායේ විමානවල නැවතී සිටියෝය.
12 ඔබවහන්සේ කෝපයෙන් දේශයෙහි ගමන්කළසේක, උදහසින් ජාතීන් මැඩලූසේක.
13 ඔබගේ සෙනඟගේ ගැළවීම පිණිසත් ඔබගේ අභිෂේකලත් තැනැත්තා ගැළවීමටත් ඔබ පිටත්ව ගොස්, දුෂ්ටයාගේ වංශයේ ප්‍රධානියා පොඩිකර, බෙල්ල දක්වාම අත්තිවාරම ඇරියසේක.
14 ඔබ ඔහුගේ අධිපතීන්ගේ ප්‍රධානියාට ඔහුගේම හෙල්ලවලින් ඇන්නසේක. ඔව්හු මා විසුරුවාදමන්ට සුළි හුළඟක් මෙන් ආවෝය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්තිකිරීමටය.
15 මුහුද එනම් මහත් ජලස්කන්ධ පිට ඔබගේ අසුන් ඇතුව ඔබ පාගාගියසේක.
16 මා ඇසූ විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි.
17 මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්;
18 මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි.
19 ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක.