ශෙපනියා

පරිච්ඡේදය: 1 2 3


පරිච්ඡේදය 1

1 ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වලදී හෙසකියාගේ පුත්‍රවූ අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත්‍රවූ කූෂීගේ පුත්‍රයා වන ශෙපනියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
2 මම භූමිය මතුපිටින් සියලු දේ සහමුලින් නැතිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ, කියනසේක.
3 මනුෂ්‍යයා සහ මෘගයා නැතිකරන්නෙමි; ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්‍යයන්ද දුෂ්ටයන් ඇතුළුව පැකිලවන දේවල්ද නැතිකරන්නෙමි; භූමිය මතුපිටින් මනුෂ්‍යයා සිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
4 තවද මම යූදාටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමි; බාල්ගේ ඉතිරි පංගුවද, පූජකයන් සමඟ කපුවන්ගේ නාමද,
5 ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට, දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරනන්ද,
6 ස්වාමීන්වහන්සේ වෙතින් පසුබටවූවන්ද, ස්වාමීන්වහන්සේ නොසෙවුවාවූ, උන්වහන්සේගෙන් විභාග නොකළාවූ අයද මේ ස්ථානයෙන් සිඳදමන්නෙමි.
7 ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ. ස්වාමීන්වහන්සේ පූජාවක් පිළියෙළකොට, තමන් විසින් කැඳෙවු අය කැපකර තිබේ.
8 එසේ ස්වාමීන්වහන්සේගේ පූජාවේ දවසේදී අධිපතීන්ටද රජුගේ පුත්‍රයන්ටද විදේශි ඇඳුම් අඳින සියල්ලන්ටද දඬුවම්කරන්නෙමි.
9 ඒ දවසේම එළිපත්ත උඩින් පැන තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප්‍රයෝගයෙන්ද පුරවන සියල්ලන්ටත් දඬුවම්කරන්නෙමි.
10 එම දවසේම මත්ස්‍ය දොරටුවෙන් ඝෝෂාවක්ද දෙවෙනි කොටසෙන් කෑමොරගැසීමක්ද හෙල්වලින් බිදීම් ගබ්දයක්ද වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
11 මක්තේෂ්හි වැසියෙනි, කෑමොරගසාපල්ලා, මක්නිසාද කානාන්හි සියලු සෙනඟ නාස්තිවී ගියාය. මුදල් රැස්කරගත් සියල්ලෝ සිඳදමනු ලැබුවෝය.
12 ඒ කාලයේදී මම පහන් දල්වා යෙරුසලම සෝදිසිකරන්නෙමි; තවද තමුන්ගේ මණ්ඩි පිට තදවී සිටින්නාවූ, ස්වාමීන්වහන්සේ යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි තමුන්ගේ සිත් තුළ සිතාගන්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම්කරන්නෙමි.
13 ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද වන්නේය. එසේය, ඔවුන් ගෙවල් ගොඩනගන නුමුත් ඒවායේ වාසයකරන්නේවත් මිදිවතු වවන නුමුත් එයින් මුද්‍රිකපානය බොන්නේවත් නැත.
14 ස්වාමීන්වහන්සේගේ මහත් දවස ළංව තිබේ, ඒක, එනම් ස්වාමීන්වහන්සේගේ දවසේ ශබ්දය, ළංව ඉතා ඉක්මනට එන්නේය. එකල බලවතා තදලෙස කෑගසන්නේය.
15 ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිතවූ විපත්ති දවසක්ය, නාස්තිවීමේ හා සුනත්වීමේ දවසක්ය, අන්ධකාරවූ කළුවරවූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය,
16 පවුරු ඇති නුවරවලටත් උස්වූ කොත්වලටත් විරුද්ධව හොරණෑ පිඹීමේද ඝෝෂාකිරීමේද දවසක්ය.
17 ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් ඒ මනුෂ්‍යයන් අන්ධයන්මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන්ද ඔවුන්ගේ මාංසය කසළ මෙන්ද වගුරනු ලබන්නේය.
18 ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; උන්වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද උන්වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, පමුණුවනසේක.



පරිච්ඡේදය 2

1 එම්බා ලජ්ජා නැති ජාතිය, නියමය ඉෂ්ටවෙන්ට පළමුවෙන්ද, දවස බොල් මෙන් පහවී ගොස් ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද,
2 ස්වාමීන්වහන්සේගේ උදහස් දවස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද, නැමී යටත්වෙන්න.
3 ස්වාමීන්වහන්සේගේ විනිශ්චය ඉෂ්ටකළාවූ දේශයේ මොළොක් ගුණ ඇති සියල්ලෙනි, උන්වහන්සේ සොයන්න; ධර්මිෂ්ඨකම සොයන්න, මොළොක් ගුණය සොයන්න. සමහරවිට නුඹලා ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.
4 මක්නිසාද ගාසා අත්හරිනු ලබන්නේය, අෂ්කෙලොන් පාළුවක් වන්නේය. ඔව්හු මද්දහන් වේලාවේ අෂ්දොද්වරුන් එළවා දමන්නෝය, එක්‍රොන්ද උදුරනු ලබන්නේය.
5 මුහුදුබඩ වැසියන් වන කෙරෙතිය ජාතියට දුක්වේ! එම්බා පිලිස්තිවරුන්ගේ දේශය වන කානාන්, ස්වාමීන්වහන්සේගේ වචනය නුඹට විරුද්ධව තිබේ. වැසියෙක් නොසිටින ලෙස නුඹ විනාශකරන්නෙමි.
6 මුහුදුබඩ වනාහි එඬේරුන්ට පැල්ද බැටළු ගාල්ද ඇති පිට්ටනි වන්නේය.
7 තවද මුහුදුබඩ පළාත යූදා වංශයේ ඉතිරි අයට ලැබී, ඔවුන් එහි මෘග රැළවල් පෝෂ්‍යකරනවා ඇත. සවස ඔව්හු අෂ්කෙලොන්හි ගෙවල්වල නිදාගන්නෝය; මක්නිසාද ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් දෙස බලා ඔවුන්ගේ වහල්කම පහකරනසේක.
8 මාගේ සෙනඟට නින්දාකළාවූ, ඔවුන්ගේ සීමාවට විරුද්ධව උඩඟුවුණාවූ මෝවබ්ගේ නින්දාකිරීමත් අම්මොන් පුත්‍රයන්ගේ අපහාස වචනත් ඇසීමි.
9 එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවත්ව සිටින බව සැබෑවා සේම මෝවබ් සොදොම මෙනුත් අම්මොන් පුත්‍රයෝ ගොමොරාව මෙනුත් කහඹිලියා බිමක්ද ලුණු වළවල්ද නිරන්තර පාළුවක්ද වන්නෝය. මාගේ සෙනඟගෙන් ඉතිරි අය ඔවුන්ගෙන් කොල්ලකන්නෝය; මාගේ ජාතියෙන් ඉතිරි තැනැත්තෝ ඔවුන්ගේ රට උරුමකරගන්නෝය.
10 මේක ඔවුන්ට පැමිණෙන්නේ ඔවුන් නින්දාකර, සේනාවල ස්වාමීන්වහන්සේගේ සෙනඟට විරුද්ධව උඩඟුවී පෙන්නූ උදාරම්කම නිසාය.
11 ඔවුන් කෙරෙහි ස්වාමීන්වහන්සේ භයංකරව සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පොළොවේ සියලුම දෙවිවරුන් ක්ෂයකරනසේක; ජාතීන්ගේ සියලුම ද්වීපවල වැසියෝද තම තමුන්ගේ ස්ථානවල සිට උන්වහන්සේට නමස්කාර කරන්නෝය.
12 එම්බා කූෂ්වරුනි, නුඹලාත් මාගේ කඩුවෙන් මැරුම්කන්නහුය.
13 උන්වහන්සේ තමන් අත උතුරු දිගට විරුද්ධව දිගුකර, අෂූර් විනාශකොට, නිනිවය කාන්තාරය මෙන් දියසීරා නැති පාළුවක් කරනවා ඇත.
14 එහි තුළ මෘග රැළවල් වන සියලු වර්ගවල සත්වයෝ ලගින්නෝය. කරවැල් කොකාද ඉත්තෑවාද එහි පේකඩවල රැය පසුකරන්නෝය. උන්ගේ හඬ කවුළුවල ඇසෙන්නේය; එළිපතුවල පාළුකම ඇතිවන්නේය. මක්නිසාද උන්වහන්සේ කිහිරි ලී කර්මාන්තය බිඳහෙළා තිබේ.
15 ප්‍රීතිමත්ව අප්‍රවේසමෙන් වාසයකරමින්: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි සිත තුළ සිතාගත්තාවූ නුවර මේය. ඒක පාළුවක්ද මෘගයන් ලගින තැනක්ද වූ හැටි! ඒ ළඟින් යන හැම දෙනම කවටකම්කර අත සොලවනවා ඇත.



පරිච්ඡේදය 3

1 කැරළිකාරවූ, අපවිත්‍රවූ, පීඩාකරන්නාවූ නුවරට දුක්වේ!
2 ඈ හඬට කීකරු නුවූවාය; අවවාදය පිළිනොගත්තාය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස නොකළාය; ඇගේ දෙවියන්වහන්සේට ළංවුණේ නැත.
3 ඈ තුළ සිටින ඇගේ අධිපතීහු ගොරවන සිංහයෝය; ඇගේ විනිශ්චයකාරයෝ සැන්දෑ වෘකයෝය; ඔව්හු පසුවදාට කිසිවක් ඉතිරි නොකරති.
4 ඇගේ ප්‍රොපේතවරු අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. ඇගේ පූජකයෝ ශුද්ධ දේ කෙලසුවෝය, ව්‍යවස්ථාව පෙරළුවෝය.
5 ඈ තුළ ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨව සිටිනසේක; උන්වහන්සේ අධර්මිෂ්ඨකම නොකරනසේක; නොවරදවා උදයක් පාසා උන්වහන්සේ තමන්ගේ විනිශ්චය එළියට ගෙනෙනසේක; නුමුත් අධර්මිෂ්ඨයාට ලජ්ජාව නොදැනෙයි.
6 මම ජාතීන් සිඳදැමීමි, ඔවුන්ගේ පවුරු මුදුන් පාළුවී තිබේ; ඔවුන්ගේ වීථිවල කිසිවෙක් නොයන හැටියට ඒවා පාළුකෙළෙමි. ඔවුන්ගේ නුවරවල මනුෂ්‍යයෙක්වත් වැසියෙක්වත් නොසිටින ලෙස ඒවා නටබුන්වී තිබේ.
7 මා විසින් ඈ ගැන නියමකළ සියල්ල ලෙස ඇගේ වාසස්ථානය සිඳදමනු නොලබන පිණිස: නුඹ මා කෙරෙහිම භයවී අවවාදය පිළිගන්නෙහියයි කීවෙමි. එහෙත් ඔව්හු අලුයම නැගිට තමුන්ගේ සියලු ක්‍රියාවල් දූෂ්‍යකළෝය.
8 එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.
9 එකල සියලු ජනයන් ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකොට, එක්සිත්ව උන්වහන්සේට සේවයකරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි.
10 විසිරගිය මාගේ සෙනඟ වන මට කන්නලව්කරන්නෝ කූෂ් ගංගාවලට එගොඩින් මාගේ පඬුර ගෙනෙන්නෝය.
11 නුඹ මට විරුද්ධව කළාවූ නුඹේ සියලු අපරාධ ක්‍රියා නිසා ඒ කාලයේදී නුඹ ලජ්ජාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද මම එකල නුඹේ උඩඟුවූ ප්‍රීතිමත්වන්නන් නුඹ තුළෙන් පහකරන්නෙමි, නුඹද මාගේ ශුද්ධවූ කන්දෙහි තවත් උදාරම් නොවන්නෙහිය.
12 මම නුඹ තුළ යටහත්වූ දිළිඳුවූ සෙනඟක් ඉතිරිකරන්නෙමි, ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසය තබන්නෝය.
13 ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය. මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ, කෑම කා නිදාගන්නෝය.
14 සියොන් දියණියෙනි, ගී කියන්න; ඉශ්‍රායෙල්, ඝෝෂාකරන්න; යෙරුසලම් දියණියෙනි, මුළු සිතින් සන්තෝෂවී ප්‍රීතිමත්වෙන්න.
15 ස්වාමීන්වහන්සේ නුඹේ විනිශ්චයන් පහකළසේක, නුඹේ සතුරන් පිටත හෙළූසේක. ඉශ්‍රායෙල් රජවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක. නුඹ තවත් විපත්තියට භය නොවන්නෙහිය.
16 ඒ කාලයේදී යෙරුසලමට කියනුයේ: භයනොවන්න. සියොන්, නුඹේ අත් හෙළාවැටී නොතිබේවා.
17 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.
18 මංගල්‍ය රැස්වීම ගැන ශෝකවන්නන් රැස්කරන්නෙමි, ඔව්හු නුඹට අයිතිව සිටියෝය. එහි නින්දාව ඔවුන්ට බරක් විය.
19 ඒ කාලයේදී නුඹට පීඩාකරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. කොරගසගසා යන්නන් ගළවා, පන්නාදැමූවන් රැස්කොට, ඔවුන් ලජ්ජාව වින්දාවූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නෙමි.
20 මා විසින් නුඹලා රැස්කරන ඒ කාලයෙහිම නුඹලා ඇතුළට ගෙනෙන්නෙමි. මක්නිසාද මම නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලාගේ වහල්කම පහකරන විට, පොළොවේ සියලු ජනයන් අතරෙහි නුඹලා නාමයක්ද ප්‍රශංසාවක්ද කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.