සෙකරියා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14


පරිච්ඡේදය 1

1 දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ:
2 ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන් කෙරෙහි ඉතා අප්‍රසන්නවූසේක.
3 එබැවින්: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න-මා වෙතට හැරීඑන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, එවිට මම නුඹලා වෙතට හැරීඑන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
4 නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙන්න, පළමු අනාගතවක්තෘවරුන්: නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුවේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
5 නුඹලාගේ පියවරු කොයිද? අනාගතවක්තෘවරු සැමකල්ම ජීවත්වෙද්ද?
6 නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුණා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.
7 දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ ෂබොට් නම්වූ එකොළොස්වෙනි මාසයේ විසිහතර-වෙනිදා ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමිණ මෙසේ කීයේය:
8 මම රාත්‍රියේදී බලා මනුෂ්‍යයෙක් රතු අශ්වයෙකු පිට නැගී ඉන්නවා දුටිමි, ඔහු පහළ තිබුණු රටමරඳ ගස් අතරේ සිටියේය; ඔහුට පිටිපස්සේ රතුවූ දුඹුරුවූ සුදුවූ අශ්වයෝ සිටියෝය.
9 එවිට මම: මාගේ ස්වාමිනි, මොව්හු කවුරුදැයි ඇසුවෙමි. මා සමඟ කථාකළ දූතයාද: මොව්හු කවුරුද කියා මම නුඹට පෙන්වන්නෙමියි කීවේය.
10 එවිට රටමරඳ ගස් අතරේ සිටි මනුෂ්‍යයා උත්තරදෙමින්: මොව්හු වනාහි පොළොවෙහි ඇවිදින්ට ස්වාමීන්වහන්සේ විසින් ඇරිය තැනැත්තෝයයි කීවේය.
11 ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි ස්වාමීන්වහන්සේගේ දූතයාට උත්තරදෙමින්: අපි පොළොවෙහි ඇවිද්දෙමුව, මුළු පොළොව නිස්කලංකව නිශ්චලව තිබේයයි කීවෝය.
12 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා උත්තරදෙමින්: සේනාවල ස්වා-මීන්වහන්ස, ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස දැක්වූ යෙරුසලමටත් යූදාහි නුවරවලටත් කොපමණ කල් අනුකම්පා නොකර සිටින සේක්දැයි කීවේය.
13 ස්වාමීන්වහන්සේ මා සමඟ කථාකළ දූතයාට යහපත්වූ සැනසිලිදායක වචනවලින් උත්තර දුන්සේක.
14 මා සමඟ කථාකළ දූතයාද: නුඹ මොරගසා මෙසේ කියන්න-සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම යෙරුසලම සහ සියොන් ගැන මහත් ජ්වලිතයකින් ජ්වතිලව සිටිමි.
15 නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය.
16 එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම අනුකම්පා ඇතුව යෙරුසලම වෙතට හැරී සිටිමි; මාගේ ගෘහය එහි ගොඩනගනු ලැබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, ලනුවක්ද යෙරුසලම උඩ අදිනු ලබන්නේය.
17 නැවත මොරගසා මෙසේ කියන්න: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. නැවත මාගේ නුවරවලින් යසස ඉතිරීයන්ටත් ස්වාමීන්වහන්සේ විසින් සියොන් නැවත සනසා යෙරුසලම නැවත තෝරාගන්ටත් යෙදේයයි කීය.
18 තවද මාගේ ඇස් ඔසවා බැලූ විට අං සතරක් දුටිමි.
19 එවිට මම: මේවා මොනවාදැයි මා සමඟ කථාකළ දූතයාගෙන් ඇසීමි. මේවා යූදා සහ ඉශ්‍රායෙල්ද යෙරුසලමද විසිරෙවු අංයයි ඔහු මට කීවේය.
20 ස්වාමීන්වහන්සේද ආචාරියන් සතරදෙනෙකු මට පෙන්වූසේක.
21 එවිට මම: මොවුන් මක්කරන්ට එනවාදැයි ඇසීමි. උන්වහන්සේ කථාකොට: මේවා වනාහි කිසිවෙකු විසින් තමාගේ හිස නොඔසවන තරම් යූදා විසුරුවාදැමූ අංය. මොවුන් එන්නේ ඒවා භයගන්වා, යූදා දේශය විසුරුවාදමන්ට අඟ එසෙවූ ජාතීන්ගේ අං හෙළාදමන්ටයයි කීසේක.



පරිච්ඡේදය 2

1 තවද මා ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් මනින ලනුවක් තමාගේ අතේ ඇතුව ඉන්නවා දුටිමි.
2 එවිට මම: නුඹ කොතනට යනවාදැයි ඇසීමි. යෙරුස-ලමේ පළල කොපමණද කියාත් දිග කොපමණද කියාත් මැන බලන පිණිසයයි මට කීවේය.
3 එවිට මා සමඟ කථාකළ දූතයා පිටත්ව ගියේය, වෙන දූතයෙක් ඔහුගේ පෙරමගට ඇවිත් ඔහුට කථාකොට:
4 නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර-යෙරුසලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසයකරන්නෝය.
5 මක්නිසාද මම්ම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීය.
6 හෝ, හෝ, උතුරු දේශයේ සිට පලා එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම ආකාශයේ සතර දිග හුළං මෙන් නුඹලා විසිරෙවුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
7 මෙන්න, බබිලෝන් දුව වෙත වසන සියොන්, මිදී වරෙන්නය.
8 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුණයින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අත-ගසන්නේය.
9 එසේය, මම ඔවුන්ට විරුද්ධව මාගේ අත සොලවන්නෙමි, ඔව්හු තමුන්ට මෙහකෙළවුන්ට කොල්ලයක් වන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේ මා යැවූ බව නුඹලා දැනගන්නවා ඇත.
10 සියොන් දුවණියෙනි, ගී කියා ප්‍රීතිවෙන්න. මක්නිසාද මම ඇවිත් නුඹ තුළෙහි වාසයකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
11 ඒ කාලයෙහි බොහෝ ජාතීහු ස්වාමීන්වහන්සේට එකතුවී මාගේ සෙනඟ වන්නෝය. මම නුඹ තුළෙහි වාසයකරන්නෙමි, නුඹද සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹ ළඟට එවූ බව දැනගන්නෙහිය.
12 ස්වාමීන්වහන්සේද ශුද්ධවූ දේශයෙහි තමන්ගේ කොටස ලෙස යූදා උරුමකරගන, යෙරුසලම නැවත තෝරාගන්නසේක.
13 මාංසමයවූ සියල්ලෙනි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවෙන්න. මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගුටුණුසේක.



පරිච්ඡේදය 3

1 තවද උත්තම පූජකයාවූ යෝෂුවා ස්වාමීන්වහන්සේගේ දූතයා ඉදිරියෙහිද, ඔහුගේ එදිරිකාරයා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තෙහිද සිටිනවා ඔහු මට පෙන්නුවේය.
2 ස්වාමීන්වහන්සේ සාතන්ට කථාකොට: සාතන්, ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වා; එසේය, යෙරුසලම තෝරාගත් ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වා. මොහු ගින්නෙන් ඇදලාගත් පෙනෙල්ලක් නොවේදැයි කීසේක.
3 යෝෂුවා වනාහි කිලුටු වස්ත්‍ර ඇඳගන දූතයා ඉදිරියෙහි සිටියේය.
4 දූතයා තමා ඉදිරියෙහි සිටිය තැනැත්තන්ට කථාකොට: කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගළවාදමන්නැයි කීය. තවද ඔහුට කථාකොට: මෙන්න නුඹේ අපරාධකම නුඹෙන් පහකෙළෙමි, මංගල්‍ය වස්ත්‍ර නුඹට පළඳවමියි කියා-
5 මොහුගේ හිසේ ශෝභන මකුටයක් තබත්වයි කීය. එසේ ඔව්හු ශෝභන මකුටයක් ඔහුගේ හිසේ තබා ඔහුට වස්ත්‍ර පැළඳවූවෝය; ස්වාමීන්වහන්සේගේ දූතයාද නැගිට එහි සිටියේය.
6 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා යෝෂුවාට අනුශාසනාකරමින්:
7 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චයකරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි.
8 ඉතින් උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹ අසන්න, නුඹ ඉදිරියෙහි ඉඳගන්නාවූ නුඹේ සහායකාරයන්ද සලකුණක් පිණිස වූ මනුෂ්‍යයන් බැවින් ඔව්හුද අසත්වා. මක්නිසාද මාගේ මෙහෙකරුවාවූ පැළෑටිය පැමිණෙන්ට සලස්වන්නෙමි.
9 මෙන්න, යෝෂුවා ඉදිරියේ මා විසින් තබා තිබෙන ගල වූ ඒ එක ගල පිට ඇස් සතක් ඇත්තේය. මම්ම එහි කැටයම්කරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, ඒ දේශයේ අපරාධය එක දවසකින් පහකරන්නෙමි.
10 ඒ කාලයෙහි නුඹලා එකිනෙකා තම තමාගේ මිත්‍රයා මුද්‍රිකවැල යටටත් අත්තික්කා ගස යටටත් කැඳවාගන යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.



පරිච්ඡේදය 4

1 මා සමඟ කථාකළ දූතයා නැවත ඇවිත් නින්දෙන් පුබුදුවනු ලබන්නාවූ මනුෂ්‍යයෙකු මෙන් මා පුබුදුවා:
2 නුඹට පෙනෙනෙන් මොකදැයි මාගෙන් ඇසුවේය. මමද: මුළුමනින්ම රන්මයවූ පහන් රුකක් මට පෙනෙයි; ඒකේ මුදුනේ ඒකේ භාජනයත් ඒක උඩ ඒකේ පහන් සතකුත්, ඒක උඩ තිබෙන පහන්වලට නළ සතකුත්,
3 ඒක ළඟ පාත්‍රයට දකුණෙන් එකක්ද වමෙන් එකක්ද බැගින් ඔලීව ගස් දකෙකුත් තිබේයයි කීවෙමි.
4 තවද මා සමඟ කථාකළ දූතයාට මම උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, මේවා මොනවාදැයි ඇසුවෙමි.
5 මා සමඟ කථාකළ දූතයා මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි මට කීවේය. මාගේ ස්වාමිනි, නැතැයි මම කීවෙමි.
6 එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
7 එම්බා මහත් කන්ද, නුඹ කවුද? සෙරුබ්බාබෙල් ඉදිරියෙහි නුඹ සමභූමියක් වන්නෙහිය. ඔහුද: ඊට කරුණාව ලැබේවා, කරුණාව ලැබේවයි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනෙනවා ඇතැයි කීය.
8 තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
9 සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවාක්මෙන් ඔහුගේ අත්වලින් ඒක තීන්දුකරනවා ඇත; එසේ සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලා ළඟට මා එවූ බව නුඹ දැනගන්නවා ඇත.
10 මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය.
11 මම තවත් කථාකොට: පහන්රුකට දකුණෙනුත් වෙමනුත් තිබෙන මේ ඔලීව ගස් දෙක මොනවාදැයි ඔහුගෙන් අසා,
12 නැවත කථාකොට: රන් නළ දෙකෙන් රන් වැනි තෙල් වත්කරදෙන ඔලීව අතු දෙක මොනවාදැයි ඔහුගෙන් ඇසුවෙමි.
13 ඔහු මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි ඇසුවේය. මාගේ ස්වාමිනි, නැතැයි මම කීමි.
14 මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ වෙත සිටින ආලේපලත් දෙදෙනායයි ඔහු කීය.



පරිච්ඡේදය 5

1 නැවත මම මාගේ ඇස් ඔසවා බැලීමි, එවිට අකුළන පොතක් ඉගිලයනවා දුටිමි.
2 නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඔහු මාගෙන් ඇසුවේය. මමද: අකුළන පොතක් ඉගිලයනවා මට පෙනෙයි; එහි දිග රියන් විස්සක්ය, පළල රියන් දසයක්යයි කිමි.
3 එවිට ඔහු මට කථාකොට: මේක දේශය මුළුල්ලෙහි පිටත්ව යන ශාපයය. මක්නිසාද එහි මේ පැත්තේ ලියා තිබෙන හැටියට, සොරකම්කරන සියල්ලෝ පහකරනු ලබන්නෝය; එහි අනිත් පැත්තේ ලියා තිබෙන හැටියට බොරුවට දිවුරන සියල්ලෝද පහකරනු ලබන්නෝයයි කීය.
4 ඒක සොරාගේ ගෙටත් මාගේ නාමයෙන් බොරුවට දිවුරන අයගේ ගෙටත් වැද, ඔහුගේ ගෙය තුළ නැවතී, එහි දඬුත් ගලුත් ඇතුළුව නැතිකරන පිණිස පිටත්කර හරින්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
5 එවිට මා සමඟ කථාකළ දූතයා පිටතට ඇවිත් මට කථාකොට: මේ පිටතට එන්නේ මොකද කියා නුඹේ ඇස් ඔසවා බලන්නැයි කීවේය.
6 ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එන ඒවාවයයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි කීවේය.
7 (බලව, ඊයම් තෙලන්තයක් උස්සනු ලැබුවේය.) එක් ස්ත්‍රියක් ඒඵාව තුළ ඉඳගන උන්නාය.
8 ඔහු: මෑ නම් දුෂ්ටකමයයි කියා. ඇය ඒඵාව ඇතුළට හෙළා, එහි කටට ඊයම් බර තැබුවේය.
9 එවිට මම මාගේ ඇස් ඔසවා බලා, ස්ත්‍රීන් දෙදෙනෙක් එනවා දුටිමි, ඔවුන්ගේ පියාපත්වල හුළඟ තිබුණේය; කනකොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබුණේය. ඔව්හු අහසටත් පොළොවටත් අතරේ ඒඵාව උස්සාගෙන ගියෝය.
10 එවිට මම: ඒඵාව ඔවුන් කොතනට ගෙනයනවාදැයි මා සමඟ කථාකළ දූතයාගෙන් ඇසීමි.
11 ෂීනාර් දේශයේ ඈට ගෙයක් ගොඩනගන්ටය. ඒක පිහිටෙවු කල්හි ඈ එහි ඇගේම ඉඩමෙහි සිටුවනු ලබන්නීයයි ඔහු මට කීය.



පරිච්ඡේදය 6

1 නැවත මම මාගේ ඇස් ඔසවා බැලූ විට රථ සතරක් කඳු දෙකකට අතරෙන් පිටත්ව එනවා දුටිමි; ඒ කඳු වනාහි පිත්තල කඳුය.
2 පළමුවෙනි රථයට රතු අශ්වයෝද දෙවෙනි රථයට කළු අශ්වයෝද,
3 තුන්වෙනි රථයට සුදු අශ්වයෝද හතරවෙනි රථයට ලප ඇත්තාවූ දුඹුරුපාට අශ්වයෝද යොදා සිටියෝය.
4 එකල මම මා සමඟ කථාකළ දූතයාට කථාකොට: මාගේ ස්වාමිනි, මේ මොකදැයි ඇසුවෙමි.
5 දූතයා මට උත්තරදෙමින්: මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිට පිටත්ව යන්නාවූ ආකාශයේ හුළං සතරයයි කීවේය.
6 එහි කළු අශ්වයන් බැඳ සිටින රථය උතුරු දේශයට පිටත්ව යයි; සුදු අශ්වයෝ එවුන් පස්සේ ගියෝය; ලප ඇති එවුවෝ දකුණු දේශයට ගියෝය.
7 දුඹුරුපාට එවුවෝ පිටත්ව දේශයෙහි ඇවිදීමට යන්ට වෑයම්කළෝය. ගොස් දේශයෙහි ඇවිදින්නැයි උන්වහන්සේ කීසේක. එවිට උන් දේශයෙහි ඇවිද්දෝය.
8 එකල උන්වහන්සේ මට අඬගසා මට කථාකොට: උතුරු දේශයට පිටත්ව ගිය එවුවෝ උතුරු දේශය කෙරෙහි මාගේ ආත්මය සංසිඳෙවුවෝයයි කීසේක.
9 තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
10 වහල්කමට ගිය අයගෙන්, එනම් බබිලෝනියේ සිට ආවාවූ හෙල්දයිගෙන්ද ටෝබියාගෙන්ද යෙදායාගෙන්ද නුඹ රන් රිදී ලබාගන, ඒ දවසේදී ශෙපනියාගේ පුත්‍රවූ යොෂියාගේ ගෙදරට පැමිණ ඇතුල්වී,
11 ඔටුනු සාදා, යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ඉසේ තබා,
12 ඔහුට මෙසේ කියන්න-සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, පැළෑටිය නම්වූ මනුෂ්‍යයා තමන්ගේ ස්ථානයෙන් ගැළවී ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගනවා ඇත.
13 උන්වහන්සේම ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගා, උන්වහන්සේම මහිමය දරමින්, තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩුකරනසේක; තමන් සිංහාසනයෙහිම පූජකයෙක්වද සිටිනසේක. ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි.
14 ඒ ඔටුනු වනාහි හේලෙම්ද ටෝබියාද යෙදායාද ශෙ පනියාගේ පුත්‍රවූ හේන්ද උදෙසා සිහිවීමක් පිණිස ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි තිබෙයි.
15 තවද දුර සිටින්නෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනැගීමට උදව්වන්නෝය, සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹලා ළඟට එවූ බව නුඹලා දැනගන්නහුය. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹලා ඇත්තටම කීකරුවුණොත් මෙසේ සිදුවේයයි කීයේය.



පරිච්ඡේදය 7

1 දාරියුස් රජුගේ සතරවෙනි අවුරුද්දේ කිස්ලෙව් වන නවවෙනි මාසයේ සතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙතට පැමිණියේය.
2 මක්නිසාද: මෙපමණ අවුරුදුවල කළාක්මෙන් අප පස්වෙනි මාසයේ සැපතින් වැලකී සිට අඬන්ට ඕනෑදැයි කියා සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටින පූජකයන්ගෙනුත් අනාගතවක්තෘවරුන්ගෙනුත් අසා,
3 ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට බෙතෙල්හි වැසියෝ ෂෙරෙශර් ද රෙගෙම්මෙලෙක්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇරියෝය.
4 එවිට සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
5 නුඹ දේශයේ මුළු සෙනඟටත් පූජකයන්ටත් කථාකරමින්-නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් පස්වෙනි සහ හත්වෙනි මාසවල නිරාහාරව සිට විලාපකියද්දී නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද?
6 නුඹලා කන විටත් බොන විටත් කන්නෙක් බොන්නෙක් නුඹලාම උදෙසා නොවේද?
7 යෙරුසලමෙහිත් ඒ වටකර ඒකේ නුවරවලත් වැසියන් සුවසේ සිටිද්දීද දකුණු දිශාවෙහි සහ පාත රටෙහිත් වැසියන් සිටිද්දීද පළමු අනාගතවක්තෘවරුන් අතින් ස්වාමීන්වහන්සේ ප්‍රකාශකළ වචන මේවා නොවේද කියා කියන්නැයි කීය.
8 තවද ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙතට පැමිණ කියනුයේ:
9 සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: සැබෑලෙස විනිශ්චයකරන්න, එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වන්න.
10 වැන්දඹුවට සහ පියා නැත්තාටත් විදේශියාට සහ අසරණයාටත් පීඩා නොකරන්න; නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුර යෝජනා නොකරල්ලායයි කීසේක.
11 එහෙත් ඔව්හු ඇහුම්කන්දෙන්ට අකමැතිව, කර ඇරියෝය, නොඅසන පිණිස තමුන්ගේ කන් වසාගත්තෝය.
12 එසේය, ඔව්හු ව්‍යවස්ථාවත් සේනාවල ස්වාමීන්වහසේ තමන් ආත්මයෙන් පළමු අනාගතවක්තෘවරුන් අතින් එවූ වචනත් නාසන ලෙස තමුන්ගේ සිත් වජ්‍රයක් මෙන් කරගත්තෝය. එබැවින් මහත් කෝපයක් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණේය.
13 එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන් ඔවුන් අඬගසන කල මමත් නාසා සිට,
14 ඔවුන් නොදන්නාවූ සියලු ජාතීන් අතරට සුළිහුළඟකින් ඔවුන් විසුරුවාදමන්නෙමි. මෙසේ ඔවුන් ගියායින් පසු දේශය මැදින් යන එන කෙනෙක් නැතුව ඒක පාළුවෙන හැටියට ඔව්හු ප්‍රියවූ දේශය පාළුවක් කළෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.



පරිච්ඡේදය 8

1 තවද සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2 මම සියොන් උදෙසා මහත් ජ්වලිතයෙන් ජ්වලිතවී, මහත් කෝපයෙන් ඈ ගැන ජ්වලිතව සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
3 මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසයකරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබන්ට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
4 නැවත මහල්ලෝද මහලු ස්ත්‍රීහුද එකිනෙකා වයස් වැඩිකම නිසා තමාගේ සැරයටිය අතේ තබාගන යෙරුසලමේ වීථිවල ඉඳගන ඉන්නවා ඇත.
5 එහි වීථිවල සෙල්ලම්කරන පිරිමි ළමයින්ගෙන් හා ගෑනු ළමයින්ගෙන් නුවර වීථි පිරී තිබෙන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
6 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ සෙනඟගෙන් ඉතිරි අයට ඒ දවස්වලදී ඒක පුදුමයක්ව පෙනුණත් මටත් පුදුමයක්ව පෙනේදැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
7 බලව, මම මාගේ සෙනඟ නැගෙනහිර දේශයෙන්ද බස්නාහිර දේශයෙන්ද මුදා, ඔවුන් යෙරුසලම තුළ වාසයකරන පිණිස ඔවුන් ගෙනෙන්නෙමි;
8 ඔව්හු සැබෑකෙමනුත් ධර්මිෂ්ඨකෙමනුත් මාගේ සෙනඟවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
9 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහය වන මාළිගාව ගොඩනැගීමට එහි අත්තිවාරම තැබූ දවසේදී අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් ලැබුණ මේ වචන මේ දවස්වලදී අසන්නාවූ නුඹලාගේ අත් බලවත් වේවා.
10 මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් මනුෂ්‍යයාට කුලියක් ලැබුණේවත් මෘගයාට කුලියක් තිබුණේවත් නැත; පිටතට යන අයටත් ඇතුළට එන අයටත් එදිරිකාරයා නිසා සමාදානය තිබුණෙත් නැත. එසේය, මම සියලු මනුෂ්‍යයන් එකිනෙකාට විරුද්ධකෙළෙමි.
11 නුමුත් දැන් මේ සෙනඟගෙන් ඉතිරි අයට මම පළමු දවස්වල මෙන් නොකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
12 මක්නිසාද සමාදාන බීජ තිබෙයි; මුද්‍රිකවැල එහි ඵලද භූමිය එහි අස්වැන්නද ආකාශය එහි පිනිද දෙනවා ඇත; මේ සෙනඟගෙන් ඉතිරි අයට මේ සියල්ල උරුමකරදෙන්නෙමි.
13 එම්බා යූදා වංශය, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් නුඹලා ආශීර්වාදයක් වෙන හැටියට මම නුඹලා ගළවන්නෙමි. භය නොවන්න, නුඹලාගේ අත් බලවත් වේවා.
14 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා උදහස්කෙරෙවු විට නුඹලා විපත්තියට පමුණුවන්ට අදහස්කොට මා නොතැවී සිටියාක්මෙන්ම,
15 මේ දවස්වලදී යෙරුසලමටත් යූදා වංශයටත් යහපත කරන්ට මම නැවත අදහස්කරගන සිටිමි. භය නොවෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
16 නුඹලා විසින් කටයුතු දේ මේවාය-එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න; නුඹලාගේ දොරටුවල සැබෑලසෙත් සමාදානය පිණිසත් විනිශ්චයකරන්න.
17 නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුරු යෝජනා නොකරන්න; බොරු දිවිරීමට ප්‍රිය නොවෙන්න. මක්නිසාද මේ සියල්ලටම මම ද්වේෂකරමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
18 තවද සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
19 හතරවෙනි මාසයේ උපවාසයත් පස්වෙනි මාසයේ උපවාසයත් සත්වෙනි මාසයේ උපවාසයත් දසවෙනි මාසයේ උපවාසයත් යූදා වංශයට ප්‍රීති සන්තෝෂ ප්‍රස්තාවල්ද ප්‍රසන්නවූ මංගල්‍යවල්ද වන්නේය; එබැවින් සැබෑකමටත් සමාදානයටත් ප්‍රේමවෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
20 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍ය වර්ගයෝද බොහෝ නුවරවල වැසියෝද මින්මතු එන්නෝය.
21 එක් නුවරක වැසියෝ තවත් නුවරකට ගොස්-අපි ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ සොයන්ටත් ඉක්මනින් පිටත්ව යමු, මමත් යමියි කියන්නෝය.
22 එසේය, බොහෝ සෙනඟද බලවත් ජාතීහුද සේනාවල ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි සොයන්ටත් ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ඉල්ලන්ටත් එන්නෝය.
23 ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන-අපි නුඹලා සමඟ යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.



පරිච්ඡේදය 9

1 හද්‍රාක් දේශය කෙරෙහි ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය, එය පිහිටෙන තැන දමස්කයය. මක්නිසාද මනුෂ්‍යයන්ගෙත් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලත් ඇස් ස්වාමීන්වහන්සේ දෙසටය.
2 ඊට යාව තිබෙන හමාතටත් ඉතා ප්‍රඥාවන්ත තීර්ටත් සීදොන්ටත් ඒක විරුද්ධය.
3 තීර් වනාහි බලකොටුවක් ගොඩනඟාගන, දූවිලි මෙන් රිදීද වීථිවල මඩ මෙන් රන්ද රැස්කරගත්තාය.
4 බලව, ස්වාමීන්වහන්සේ එය අල්ලාගෙන එහි පවුර මුහුදේ හෙළාදමනවා ඇත; එය ගින්නෙන් විනාශවන්නේය.
5 අෂ්කෙලොන් ඒ දැක භයවෙනවා ඇත; ගාසාත් ඒ දැක තද වේදනා විඳින්නීය; එක්‍රොන්ටද එසේම සිදුවේ, මක්නිසාද එහි බලාපොරොත්තුව ලජ්ජාවට පැමිණෙන්නේය. ගාසායෙන් රජ නැතිවීයන්නේය, අෂ්කෙලොන්හිද වැසියෝ නොසිටින්නෝය.
6 අෂ්දොද්හි අවජාත සෙනඟක් වසන්නෝය, පිලිස්තිවරුන්ගේ පාරට්ටුවද සිඳදමන්නෙමි.
7 ඔහුගේ ලේ ඔහුගේ කටින්ද ඔහුගේ පිළිකුල්කම් ඔහුගේ දත් අතරෙන්ද පහකරන්නෙමි; ඔහු අපේ දෙවියන්වහන්සේ උදෙසා ඉතිරිවී, යූදාහි අධිපතියෙකු මෙන් සිටිනවා ඇත, එක්‍රොන් යෙබූසියයෙකු මෙන් වන්නේය.
8 මම සේනාව නිසා කිසිවෙකුට යන්ටවත් එන්ටවත් නොලැබෙන ලෙස මාගේ ගෘහය අවටින් අන්දායම් බැඳගන සිටින්නෙමි. පීඩාකරන්නෙක් තවත් ඔවුන් මැදින් නොයන්නේය. මක්නිසාද දැන් මාගේ ඇසින්ම දුටිමි.
9 සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.
10 මම එප්‍රායිම් කෙරෙන් රථයද යෙරුසලමෙන් අශ්වයාද සිඳදමන්නෙමි, යුද්ධ දුන්නද සිඳිනු ලබන්නේය; උන්වහන්සේද ජාතීන්ට සමාදානය ප්‍රකාශකරනසේක. උන්වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේය.
11 නුඹ ගැන වනාහි නුඹේ ගිවිසුමේ ලේ නිසා නුඹේ හිරකාරයන් වතුර නැති වෙළන් පිටත යැවීමි.
12 බලාපොරොත්තු ඇති හිරකාරයෙනි, බලකොටුවට හැරී එන්න. මම නුඹට දෙගුණයක් දෙන්නෙමියි අදම ප්‍රකාශකරමි.
13 මක්නිසාද මම යූදා දුන්නක් කොට තැත්කවා, එප්‍රායිම් ඊගහක් කොට තබාගතිමි; එම්බා සියොන්, මම නුඹේ පුත්‍රයන් ග්‍රීසියේ පුත්‍රයන්ට විරුද්ධව පොලඹවා, නුඹ බලවන්තයෙකුගේ කඩුවක් මෙන් කරන්නෙමි.
14 ස්වාමීන්වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙනසේක, උන්වහන්සේගේ ඊගහද විදුලිය මෙන් විහිදෙන්නේය. ස්වාමිවූ දෙවියන්වහන්සේ හොරණෑව පිඹ, දකුණු දිශාවේ කුණාටුව ඇතුව යනවා ඇත.
15 සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන් ආරක්ෂාකරනසේක; ඔව්හුද කාදමා ගල්පටියේ ගල් පාගාදමන්නෝය; ඔව්හු බී මුද්‍රිකපානය බීවාක්මෙන් ඝෝෂාකරන්නෝය. පාත්‍රාද පූජාසනයේ කොන්ද මෙන් ඔව්හු පුරවනු ලබන්නෝය.
16 ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් සෙනඟවූ රැළ මෙන් ඒ දවසේ ඔවුන් ගළවනසේක. මක්නිසාද ඔව්හු උන්වහන්සේගේ දේශය කෙරෙහි එසවී තිබෙන ඔටුන්නක මැණික් මෙන් වන්නෝය.
17 එසේය, උන්වහන්සේගේ යහපත්කම කොපමණ මහත්ද! උන්වහන්සේගේ අලංකාරකම කොපමණ මහත්ද! ධාන්‍යයෙන් තරුණයෝද අලුත් මිදිරසින් තරුණියෝද සමෘද්ධවන්නෝය.



පරිච්ඡේදය 10

1 අන්තිම වර්ෂා කාලයට ස්වාමීන්වහන්සේගෙන්, එනම් විදුලිකොටවන ස්වාමීන්වහන්සේගෙන් වර්ෂාව ඉල්ලන්න; උන්වහන්සේද ඔවුන්ට තද වර්ෂාවත් එකිනෙකාට පිට්ටනියෙහි තෘණත් දෙනවා ඇත.
2 තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති.
3 මාගේ උදහස එඬේරුන්ට විරුද්ධව ඇවිළී තිබේ, මම එළුවන්ගෙන් පිරිමි සතුන්ට දඬුවම්කරන්නෙමි. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ තමන්ගේ රැළවූ යූදා වංශය බලා, යුද්ධයේදී ඔවුන් තමන්ගේ ශෝභන සෛනේධවයා මෙන් කරනසේක.
4 ඔහුගෙන්ම කොනේ ගලත් ඔහුගෙන්ම ඇණයත් ඔහුගෙන්ම යුද්ධ දුන්නත් ඔහුගෙන්ම එක එක ආණ්ඩුකාරයාත් එක්ව පැමිණෙනවා ඇත.
5 ඔවුන් බලවතුන්ව, යුද්ධයේදී සතුරන් වීථිවල මඩේ පාගා දමා, ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ සිටින නිසා සටන්කර, අශ්වයන් පිට නැගීයන්නන් ලජ්ජාවට පමුණුවනවා ඇත.
6 මම යූදා වංශය බලවත්කර, යෝසෙප් වංශය ගළවා, ඔවුන් නැවත ගෙනෙන්නෙමි, මක්නිසාද මම ඔවුන්ට අනුකම්පාකරමි; ඔව්හුද මා විසින් ඔවුන් අහක නොදැමුවාක්මෙන් සිටින්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, මම ඔවුන්ගේ බස් අසන්නෙමි.
7 එප්‍රායිම්වරු බලවන්තයෙකු මෙන් වන්නෝය, ඔවුන්ගේ සිත්ද මුද්‍රිකපානයෙන් මෙන් ප්‍රීතිවන්නේය. එසේය, ඔවුන්ගේ දරුවෝත් ඒ දැක ප්‍රීතිවන්නෝය; ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය.
8 මම ඔවුන් කැඳවා රැස්කරන්නෙමි; මක්නිසාද මම ඔවුන් මුදාගත්තෙමි. ඔව්හු වැඩිවී සිටින්නාක්මෙන්ම වැඩිවන්නෝය.
9 මම ඔවුන් ජනයන් අතරෙහි වපුරන්නෙමි; ඔවුන් දුරු රටවලදී මා සිහිකොට, තමුන්ගේ දරුවන් සමඟ ජීවත්ව සිට හැරී එනවා ඇත.
10 මම ඔවුන් මිසර දේශයෙන් නැවත ගෙනෙන්නෙමි, අෂූර් දේශයෙන් ඔවුන් රැස්කර, ගිලියද් දේශයටත් ලෙබනොන්ටත් පමුණුවන්නෙමි; ඒත් ඔවුන්ට ඉඩ මදිවන්නේය.
11 විපත්තිය නැමති මුහුද මැදින් එන විට උන්වහන්සේ මුහුදේ රැළවලට ගසනවා ඇත, නයිල් ගංගාවේ සියලු ගැඹුරු තැන්ද හිදීයනවා ඇත. අෂූර්හි උඩඟුකම පහත්වී, මිසරයේ ජයකොන්තයද පහවෙනවා ඇත.
12 මම ඔවුන් ස්වාමීන්වහන්සේ තුළ බලවත්කරන්නෙමි; ඔව්හු උන්වහන්සේගේ නාමයෙන් හැසිරෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.



පරිච්ඡේදය 11

1 ලෙබනොන්, නුඹේ කිහිරි ගස් ගින්නෙන් දාලායන පිණිස නුඹේ දොරවල් අරින්න.
2 එම්බා දේවදාර වෘක්ෂය, කෑමොරගසන්න, මක්නිසාද කිහිරි ගස වැටුණේය, උත්තමයෝ නාස්තිවුණෝය. බාෂාන්හි අලෝන වෘක්ෂ, කෑමොරගසන්න, මක්නිසාද දුර්ග වනය හෙළාදමනු ලැබුවේය.
3 එඬේරුන්ගේ ඓශ්වර්යය නාස්තිවූ බැවින් ඔවුන්ගේ කෑමොරගැසීමේ හඬ ඇසෙන්නේය. යොර්දානේ මහිමය නාස්තිවූ බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ ඇසෙන්නේය.
4 මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: මරනු ලබන්ට සිටින බැටළු රැළ පෝෂ්‍යකරන්න;
5 ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නුමුත් වරදට පත් නොවී සිටිති; උන් විකුණන්නෝද කථාකොට- ස්වාමීන්වහන්සේට ස්තුතිවේවා, මම පොහොසත්යයි කියති. ඔවුන්ගේ එඬේරුද උන්ට කරුණා නොකරති.
6 මක්නිසාද මම දේශයේ වැසියන්ට තවත් කරුණා නොකර, ඒ මනුෂ්‍යයන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා අතටත් තම තමාගේ රජු අතටත් අසුකරදෙන්නෙමි. ඔවුන් දේශය නටබුන්කර දමනවා ඇත, මම ඔවුන්ගේ අතින් ඔවුන් මුදා නොගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියන සේක.
7 එසේ මරන්ට සිටි බැටළු රැළ පෝෂණයකෙළෙමි, ඔව්හු සැබෑවටම අසරණ රැළක්ය. මම සැරයටි දෙකක් රැගෙන එකකට ප්‍රසන්නකම ය කියාද අනිකට බැඳුම්ය කියාද නම් තබා, බැටළු රැළ පෝෂණයකළෙමි.
8 එක මාසයකදී එඬේරුන් තුන්දෙනා සිඳදැමීමි; මක්නිසාද මාගේ ආත්මය ඔවුන් ගැන වෙහෙසට පත්විය, ඔවුන්ගේ ආත්මයද මට පිළිකුල්කෙළේය.
9 එවිට මම කථාකොට: නුඹලා පෝෂණය නොකරන්නෙමි. නසින අය නසීවා; සිඳදමනු ලබන අය සිඳදමනු ලැබේවා; ඉතිරි අයද එකිනෙකාගේ මාංස කත්වයි කීමි.
10 එවිට මම සියලු ජනයන් සමඟ කළාවූ මාගේ ගිවිසුම වලංගුකරන පිණිස ප්‍රසන්නකම නම්වූ මාගේ සැරයටිය රැගෙන කඩාදැමුවෙමි.
11 එසේ ඒ දවසේදී එය අවලංගුවීමෙන්, මා සැලකුවාවූ අසරණ බැටළු රැළ එය ස්වාමීන්වහන්සේගේ වචනය බව දැනගත්තෝය.
12 මමද: නුඹලාට හොඳව පෙනේනම් මාගේ කුලිය දෙන්න; නැත්නම් නොදී සිටින්නැයි ඔවුන්ට කීවෙමි. ඔව්හු මාගේ කුලිය වන රිදී තිහක් කිරාදුන්නෝය.
13 ඔවුන් විසින් මා මිලකළ වටිනා අගය වන ඒවා කුම්භකාරයාට හෙළන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක. මමද රිදී තිහ රැගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කුම්භකාරයාට හෙළීමි.
14 තවද යූදා සහ ඉශ්‍රායෙල් අතරේ තිබුණු සහෝදරකම බඳින පිණිස බැඳුම් නම්වූ මාගේ අනික් සැරයටිය කඩාදැමුවෙමි.
15 ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ නැවත අඥාන එඬේරෙකුගේ ආයුධ අරගන්න.
16 මක්නිසාද එඬේරෙකු දේශයෙහි නැගුටුවමි, ඔහු සිඳිනු ලබන්නන් බලාගන්නේවත් විසුරුවනු ලබන්නන් සොයන්නේවත් තුවාල වෙන එකාට සුවකරන්නේවත් නවතින එකාට කෑම ගෙනදෙන්නේවත් නැතුව, තරවූ එකාගේ මස් කමින් උන්ගේ කුර කඩාදමන්නේය.
17 රැළ අත්හරින්නාවූ නොවටිනා එඬේරාට දුක් වන්නේය! ඔහුගේ හස්තයටත් දකුණු ඇසටත් විරුද්ධව කඩුවක් පැමිණෙන්නේය. ඔහුගේ හස්තය වේළීයන්නේය, ඔහුගේ දකුණැසද අන්ධවන්නේයයි කීසේක.



පරිච්ඡේදය 12

1 ඉශ්‍රායෙල් ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
2 බලව, අවටින් සිටින සියලුම ජනයන්ට යෙරුසලම වැනීමේ පාත්‍රයක් කරන්නෙමි, යෙරුසලම වටලෑමේදී යූදාට එසේම වන්නේය.
3 ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය.
4 ඒ කාලයෙහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහරදෙන්නෙමි. නුමුත් යූදා වංශය කෙරේ මාගේ ඇස් අරගන ඉඳ, ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
5 යෙරුසලමේ වැසියෝ ඔවුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කරණකොටගෙන මාගේ බලය වන්නෝයයි යූදාහි ප්‍රධානීහු තමුන්ගේ සිතින් කියාගන්නෝය.
6 ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යූදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසයකරනවා ඇත.
7 දාවිත්ගේ වංශයේ මහිමයද යෙරුසලමේ වැසියන්ගේ මහිමයද යූදාට වඩා උසස් නොවෙන පිණිස ස්වාමීන්වහන්සේ පළමුකොට යූදාහි කූඩාරම් ගළවනවා ඇත.
8 ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙරුසලමේ වැසියන් ආරක්ෂාකරනසේක; ඔවුන් අතරෙහි සිටින දුර්වලයා පවා ඒ කාලයෙහි දාවිත් මෙන් වන්නේය; දාවිත්ගේ වංශයද දෙවියන්වහන්සේ මෙන්, එනම් ඔවුන්ට පෙරටුව යන්නාවූ ස්වාමීන්වහන්සේගේ දූතයා මෙන් වන්නේය.
9 තවද ඒ කාලයේදී යෙරුසලමට විරුද්ධව එන සියලු ජාතීන් විනාශකරන්ට සොයන්නෙමි.
10 දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලෙපනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.
11 ඒ කාලයේ මෙගිද්දොන් සමභූමියෙහිදී වූ හදද්රිම්මොන්හි වැලපීම මෙන් යෙරුසලමෙහි මහත් වැලපීමක් වන්නේය.
12 එසේ දේශයේ පෙළපත් වෙන් වෙන් වශයෙන් විලාපකියනවා ඇත; දාවිත්ගේ වංශය පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, නාතාන්ගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද,
13 ලෙවීගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, ෂිමෙහි පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද,
14 ඉතිරිව සිටින සියලු පෙළපත් වෙන් වෙන් වශයෙන් සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද විලාපකියන්නෝය.



පරිච්ඡේදය 13

1 ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.
2 තවද ඒ කාලයේදී දේවරූපවල නාමවල් තවත් සිහි නොවෙන හැටියට ඒවා දේශයෙන් සිඳදමන්නෙමි. මම අනාගතවක්තෘවරුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
3 නුමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කීවොත් ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවු අයම: නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් බොරුවූ දේ කථාකරන බැවින් නුඹට ජීවත්වෙන්ට නොලැබේයයි ඔහුට කියා, ඔහු අනාගතවාක්‍ය කියන විට ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවු අයම ඔහුට ඇන මරනවා ඇත.
4 ඒ කාලයේදී අනාගතවක්තෘවරුන් අනාගතවාක්‍ය කියන විට එකිනෙකා තම තමාගේ දර්ශනය ගැන ලජ්ජාවෙනවා ඇත; රවටන පිණිස ඔවුන් රෝමමය සළුවක් අඳින්නෙක් නැත.
5 එකිකොද: මම අනාගතවක්තෘ කෙනෙක් නොව ගොවියෙක්ය; මක්නිසාද මාගේ බාල වයසේ පටන් දාසකමෙහි සිටියෙමියි කියන්නේය.
6 එවිට: නුඹේ අත්වල තිබෙන ඔය තුවාල මොනවාදැයි කෙනෙක් ඔහුගෙන් අසන්නේය. මාගේ ප්‍රේමවන්තයන්ගේ ගෙදරදී මා ලැබූ තුවාලයයි ඔහු කියන්නේය.
7 එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.
8 තවද මුළු දේශයෙහි තුනෙන් දෙකොටසක් සිඳදමනු ලැබ මැරෙනවා ඇත; නුමුත් තුන්වෙනි කොටස එහි ඉතිරිවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9 තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.



පරිච්ඡේදය 14

1 බලව, ස්වාමීන්වහන්සේගේ දවසක් පැමිණෙන්නේය, එකල නුඹේ කොල්ලය නුඹ තුළ බෙදනුලැබේ.
2 එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස්කරන්නෙමි; නුවරද අසුවී, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාරකරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳදමනු නොලැබේ.
3 තවද ස්වාමීන්වහන්සේ පිටත්වී උන්වහන්සේ යුද්ධකළ සටෙන් දවසේදී මෙන් ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධකරනවා ඇත.
4 ඒ කාලයේදී උන්වහන්සේගේ පාද යෙරුසලමට ඉදිරිපිටින් නැගෙනහිරට තිබෙන ඔලීව කන්ද පිට සිටිනවා ඇත, එවිට ඔලීව කන්ද නැගෙනහිර දෙසටත් බස්නාහිර දෙසටත් මැදින් පැළී, ඉතා මහත් මිටියාවතක් වන්නේය; කන්දෙන් භාගයක් උතුරු දෙසටත් අනික් භාගය දකුණු දෙසටත් අහක්ව යනවා ඇත.
5 නුඹලාද මාගේ කඳුවල මිටියාවතින් පලායනවා ඇත; මක්නිසාද කඳුවල මිටියාවත ආශෙල් දක්වා වන්නේය. එසේ යූදාහි රජවූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළෝකම්පාව ඉදිරියෙන් පලාගියාක්මෙන් නුඹලා පලායනවා ඇත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද ඔබ සමඟ සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත.
6 ඒ කාලයේදී එළිය දීප්තිමත් නොවන්නේය, කළුවරද තිබෙයි.
7 එහෙත් දවල් සහ රෑ නොවී, සවස් වේලාවට එළිය ඇත්තාවූ, ස්වාමීන්වහන්සේ දන්නාවූ එක්තරා දවසක් පැමිණෙන්නේය.
8 ඒ කාලයෙහි ජීවමාන වතුර යෙරුසලමෙන් නික්ම, එයින් කොටසක් නැගෙනහිර මුහුදටත් කොටසක් බස්නාහිර මුහුදටත් ගලායනවා ඇත. ග්‍රීෂ්ම කාලෙයත් ශීත කාලෙයත් එසේ වන්නේය.
9 ස්වාමීන්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත, උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය.
10 මුළු දේශයද ගෙබා පටන් යෙරුසලමට දකුණෙන් රිම්මොන් දක්වා තිබෙන අරබා සමභූමියට සමානවන්නේය; නුවරද උස්සනු ලැබ, ඒකේ ස්ථානයෙහිම බෙන්යමින් දොරටුවේ පටන් පළමු දොරටුවේ ඉඩම දක්වාත් කොන්වල දොරටුව දක්වාත් හනෙන්ල්ගේ කොතේ පටන් රජුගේ මුද්‍රික තටාකය දක්වාත් පිහිටා තිබෙයි.
11 මනුෂ්‍යයෝ එහි වසන්නෝය; සිඳදැමීමේ ශාපයක්ද නොපැමිණ යෙරුසලම සුවසේ පවතින්නේය.
12 යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවාවූ සියලුම ජනයන්ට ස්වාමීන්වහන්සේ පමුණුවන්නාවූ පීඩාව මේය: ඔවුන් හිටගන සිටිද්දීම ඔවුන්ගේ මාංසය ක්ෂයවන්නේය, ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ක්ෂයවන්නේය; ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කෙට්ම ක්ෂයවන්නේය.
13 ඒ කාලයෙහි මහත් වියවුල්කමක් ස්වාමීන්වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ, ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත, එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත.
14 යූදා යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්නේය; අවට සියලු ජාතීන්ගේ සම්පත් වන රන් රිදීද වස්ත්‍රද මහත් රාශියක් එකතුකරනු ලබන්නේය.
15 මේ පීඩාව මෙන් අශ්වයන්ටත් අශ්වතරයන්ටත් ඔටුවන්ටත් කොටළුවන්ටත් ඒ අන්දායම්වල සිටින සියලුම මෘගයන්ටත් පීඩාවක් වන්නේය.
16 තවද යෙරුසලමට විරුද්ධව ආවාවූ සියලු ජාතීන්ගෙන් ඉතුරු වෙන සියල්ලෝම රජවූ සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද නැගීඑන්නෝය.
17 රජවූ සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන පිණිස පොළොවේ වර්ගයන්ගෙන් යෙරුසලමට නේන අයට වැසිවසින්නේ නැත.
18 මිසර වර්ගය නැගීඑන්නේ නැත්නම් ඔවුන්ටත් වැසි වසින්නේ නැත; කූඩාරම් මංගල්‍යය පවත්වන්ට නේන ජාතීන්ට ස්වාමීන්වහන්සේ පමුණුවන පීඩාව ඔවුන්ටත් වන්නේය.
19 මිසරයේ දඬුවමත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ට නේන සියලු ජාතීන්ගේ දඬුවමත් ඒකය.
20 ඒ කාලයෙහි අශ්වයන්ගේ මිණිගෙඩිවල: ස්වාමීන්වහන්සේට ශුද්ධය කියා ලියා තිබෙනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සැළිද පූජාසනය ඉදිරියෙහි තිබෙන පාත්‍රා මෙන් වන්නේය.
21 යෙරුසලමෙහිද යූදාහිද තිබෙන සැළි සියල්ලත් සේනාවල ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබෙනවා ඇත. පූජාකරන සියල්ලෝ ඇවිත් ඒවායින් කැමති ඒවා රැගෙන, ඒවායේ උයන්නෝය. ඒ කාලයේදී සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කානානියයෙක් තවත් නොසිටින්නේය.