මාර්ක්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16


පරිච්ඡේදය 1

1 දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පටන්ගැන්මය.
2 බලව, මම මාගේ දූතයා නුඹට පෙරටුව යවමි, හෙතෙම නුඹේ මාර්ගය සාදන්නේය;
3 ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළ කරව්, උන්වහන්සේගේ මාවත් සමතලා කරව්යයි වනාන්තරයේ හඬගසන්නෙකුගේ ශබ්දයය කියා අනාගතවක්තෘවූ යෙසායාගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට,
4 යොහන් ආවේය. ඔහු වනාන්තරයෙහිදී බව්තීස්මකරමින් පව්කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය ප්‍රකාශකෙළේය.
5 එවිට මුළු යුදා රටවාසීහුද යෙරුසලමේ සියල්ලෝද ඔහු වෙතට පැමිණ තමුන්ගේ පව් කියාදෙමින් ඔහුගෙන් යොර්දාන් ගඟෙහි බව්තීස්මය ලැබුවෝය.
6 යොහන් ඔටුරෝම වස්ත්‍ර හැඳ ඉඟටියේ සම්පටියක් බැඳ සිටියේය, ඔහු පළඟැටියන්ද වනමීද කෑවේය.
7 ඔහු දේශනාකරමින්: මට වඩා බලවත් කෙනෙක් මට පසුව එනසේක, මම නැමී උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් නොවටිමි.
8 මම නුඹලා වතුරෙන් බව්තීස්ම කෙළෙමි, නුමුත් උන්වහන්සේ නුඹලා ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරනසේකැයි කීය.
9 ඒ දවස්වලදී යේසුස්වහන්සේ ගලීලයේ නාසරෙත් සිට ඇවිත් යොහන්ගෙන් යොර්දානෙහි බව්තීස්මය ලැබූසේක.
10 උන්වහන්සේ දියෙන් ගොඩනැගුණු කෙණෙහිම අහස විවරවී, ආත්මයාණන්වහන්සේ පරෙවියෙකු මෙන් තමන් පිටට බැස එනවා දුටුසේක.
11 තවද: නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්මුණේය.
12 එකෙණෙහිම ආත්මයාණන්වහන්සේ උන්වහන්සේ වනාන්තරයට පැමිණෙවුසේක.
13 උන්වහන්සේ සාතන් විසින් පරීක්ෂාකරනු ලබමින් සතළිස් දවසක් වනාන්තරයේ සිටිසේක; උන්වහන්සේ වන මෘගයන් අතරේ සිටිසේක; දේව දූතයෝ උන්වහන්සේට උපස්ථාන කළෝය.
14 යොහන් පාවාදෙනු ලැබුවායින් පසු යේසුස්වහන්සේ ගලීලයට පැමිණ දෙවියන්වහන්සේගේ ශුභාරංචිය දේශනාකරමින්:
15 කාලය සම්පූර්ණවිය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගන්නැයි කීසේක.
16 උන්වහන්සේ ගලීලයේ මුහුද අද්දර යද්දී, මසුන් අල්ලන්නන්වූ සීමොන්ද සීමොන්ගේ සහෝදරවූ අන්දෘද මුහුදේ දැලක් හෙළනවා දැක:
17 මා අනුව එන්න, මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් වෙන්ට සලස්වන්නෙමියි ඔවුන්ට කීසේක.
18 එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය.
19 උන්වහන්සේ එතැනින් මදක් දුර ගොස්, සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද ඔරුවේ හිඳ දැල් අලුත්කරනවා දැක,
20 එකෙණෙහිම ඔවුන්ට අඬගැසූසේක. ඔව්හුද තමුන්ගේ පියවූ සෙබදී වැඩකාරයන් සමඟ ඔරුවේ ඉන්ට හැර උන්වහන්සේ පස්සේ ගියෝය.
21 ඔව්හු කපර්ණවුමට පැමිණියෝය; එකෙණෙහිම සබත් දවසේ උන්වහන්සේ සිනගෝගයට ඇතුල්වී ඉගැන්වූසේක.
22 උන්වහන්සේගේ ඉගැන්වීම ගැන ඔව්හු විස්මිතවූවෝය. මන්ද උන්වහන්සේ ලියන්නන් මෙන් නොව බලය ඇති කෙනෙකු මෙන් ඉගැන්වූසේක.
23 එකෙණෙහිම ඔවුන්ගේ සිනගෝගයේ අශුද්ධාත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සිටියේය.
24 ඔහු මොරගසමින්: නාසරිය යේසුස්වහන්ස, ඔබට අපෙන් කම මොකද? අප විනාශ කරන්ට ආසේක්ද? ඔබවහන්සේ කවුද කියා දනිමි, ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ තැනන්වහන්සේයයි කීය.
25 යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකරව, මොහුගෙන් පිටවෙවයි කීසේක.
26 එවිට අශුද්ධාත්මය ඔහු තදින් වෙවුලවා, මහත් හඬින් මොරගසමින්, ඔහුගෙන් පිටවූයේය.
27 එකල ඔවුන්ගේ පුදුමය කෙතරම් වීදයත්, සියල්ලෝම: මේ කිමෙක්ද? අලුත් ඉගැන්වීමක්ය. මුන්වහන්සේ බලයෙන් යුක්තව අශුද්ධාත්මයන්ට පවා අණකරනසේක, ඔව්හු උන්වහන්සේට කීකරුවෙතියි ඔවුනොවුන් අතරේ කථාකරගත්තෝය.
28 එකෙණෙහිම උන්වහන්සේ ගැන ප්‍රවෘත්තිය මුළු ගලීල පළාතේ අවට සෑමතැනම පතළවිය.
29 ඔව්හු සිනගෝගයෙන් පිටත්ව ආ කෙණෙහිම යාකොබ් සහ යොහන් සමඟ සීමොන්ගේද අන්දෘගේද ගෙදරට පැමිණියෝය.
30 සීමොන්ගේ භාර්යාවගේ මවු උණෙන් ඔත්පළව සිටියාය. එකෙණෙහිම ඔව්හු ඈ ගැන උන්වහන්සේට කීවෝය.
31 උන්වහන්සේ ඇවිත් ඇගේ අත අල්ලා ඈ නැගිටෙවුසේක; එවිට උණරෝගය ඈ කෙරෙන් පහව ගියේය, ඈ ඔවුන්ට උපස්ථානකළාය.
32 සවස්වී ඉර බැස්ස කල ඔව්හු රෝගාතුරවූ සියල්ලන්ද යක්ෂාවේශවූවන්ද උන්වහන්සේ ළඟට ගෙනාවෝය.
33 මුළු නුවර වැසියෝ දොර ළඟ රැස්ව සිටියෝය.
34 උන්වහන්සේ අනේකාකාර රෝගවලින් පීඩිතවූ බොහෝ දෙනෙකු සුවකළසේක, බොහෝ යක්ෂයන්ද දුරුකළසේක; ඒ යක්ෂයන් උන්වහන්සේ හැඳින්න බැවින් කථාකරන්ට උන්වහන්සේ ඔවුන්ට අවසර නුදුන්සේක.
35 උදය පහන්වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස්, එහිදී යාච්ඤාකළසේක.
36 සීමොන් සහ ඔහු සමඟ සිටි අයද උන්වහන්සේ පස්සේ ගොස්,
37 උන්වහන්සේ සම්බවූ කල: සියල්ලෝම ඔබ සොයතියි උන්වහන්සේට කීවෝය.
38 එවිට උන්වහන්සේ: වෙන තැන්වලත් මා විසින් දේශනා කරන පිණිස අසල නුවරවලට යමු; ඒ සඳහාම පිටත්ව ආවෙමියි ඔවුන්ට කීසේක.
39 උන්වහන්සේ දේශනාකරමින්ද යක්ෂයන් දුරුකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඔවුන්ගේ සිනගෝගවලට ගියසේක.
40 එවිට කුෂ්ඨරෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් දණින් හිඳ: ඔබවහන්සේ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කියා අයැද සිටියේය.
41 උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අත දිඟුකොට ඔහු පිට තබා: කැමැත්තෙමි, පවිත්‍රවෙන්නැයි ඔහුට කීසේක.
42 එකෙණෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවී, ඔහු පවිත්‍රකරනු ලැබීය.
43 උන්වහන්සේ: කිසිවෙකුට කිසිවක් නොකියන්ට බලාගන්නැයි ඔහුට තදින් අණකොට-
44 නුඹ ගොස් ඔවුන්ට සාක්ෂි පිණිස පූජකයාට පෙනී, නුඹේ පවිත්‍රවීම ගැන මෝසෙස් විසින් අණකළ දේවල් පූජාකරන්න කියා එකෙණෙහිම ඔහු යැවූසේක.
45 නුමුත් ඔහු පිටත්ව ගොස් ඒ කාරණය බොහෝසෙයින් ප්‍රසිද්ධකරන්ටත් පතළකරන්ටත් පටන් ගත්තේය. ඒ නිසා යේසුස්වහන්සේ ප්‍රසිද්ධයෙන් නුවරකට තවත් ඇතුල්වන්ට නොහැකිව, වනාන්තර ස්ථානවල පිටත සිටිසේක. මනුෂ්‍යයෝ සියලු දිශාවලින් උන්වහන්සේ වෙතට ආවෝය.



පරිච්ඡේදය 2

1උන්වහන්සේ දවස් ගණනකට පසු කපර්ණවුමට නැවත ඇතුල්වූ කල, උන්වහන්සේ ගෙයි සිටින බව ආරංචිවිය.
2 එවිට දොරකඩ ළඟවත් ඉඩ නැති තරමට බොහෝ දෙනෙක් රැස්වූවෝය. උන්වහන්සේ ඔවුන්ට වචනය කීසේක.
3 එකල සතරදෙනෙකු විසින් උසුලනලද අංශභාග රෝගියෙකු රැගෙන ඔව්හු උන්වහන්සේ වෙතට ආවෝය.
4 සමූහයා නිසා උන්වහන්සේ ළගට එන්ට නොහැකිව, ඔව්හු උන්වහන්සේ සිටි තැන සෙවිල්ල හැර, පියස්ස කඩා, අංශභාග රෝගියා ඔත් යහන බැස්සෙවුවෝය.
5 යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, නුඹේ පව් කමාකරනලදැයි අංශභාග රෝගියාට කීසේක.
6 එහෙත් එතැන ඉඳගන උන් ලියන්නන්ගෙන් සමහරෙක්:
7 මොහු මෙසේ කථාකරන්නේ මක්නිසාද? මොහු දෙවියන්වහන්සේට අපහාසකරයි. එක්කෙනෙකුට එනම් දෙවියන්වහන්සේට මිස පව් කමාකරන්ට කාට පුළුවන්දැයි තමුන්ගේ සිත්වලින් කල්පනාකරගත්තෝය.
8 ඔවුන් තමුන් තුළ මෙසේ කල්පනාකළ බව යේසුස්වහන්සේ තමන්ගේ ආත්මයෙන් එකෙණෙහිම දැන, ඔවුන්ට කියනසේක්: නුඹලා කුමක් නිසා මේ කාරණා සිතින් කල්පනාකරව්ද?
9 අංශභාග රෝගියාට-නුඹේ පව් කමාකරනලදැයි කීමෙනුත්-නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි කීමෙනුත් වඩා පහසු කෝකද?
10 නුමුත් පොළොවේදී පව් කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව නුඹලා විසින් දැනගන්නා පිණිසය කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කථාකොට:
11 නැගිට නුඹේ යහන රැගෙන ගෙදර යන්නැයි නුඹට කියමියි කීසේක.
12 ඔහු නැගිට එකෙණෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය; ඒ නිසා සියල්ලෝම විස්මපත්වී: මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමුව කියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝය.
13 නැවත උන්වහන්සේ පිටත්ව මුහුද අයිනේ ගියසේක; මුළු සමූහයා උන්වහන්සේ වෙතට ආවෝය, උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වූසේක.
14 උන්වහන්සේ මග යන අතර, අල්පෙවුස්ගේ පුත්‍රවූ ලෙවී සුංගම්පළේ වාඩිවී ඉඳිනු දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය.
15 තවද උන්වහන්සේ ඔහුගේ ගෙයි කෑමට හුන් කල, බොහෝ සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමඟ ඉඳගත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක් සිටියෝය, ඔව්හු උන්වහන්සේ අනුව ගියෝය.
16 උන්වහන්සේ සුංගම් අයකරන්නන් හා පව්කාරයන් සමඟ කනවා ඵරිසිවරුන්ගේ ලියන්නෝ දැක, උන්වහන්සේ සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කනබොනසේකැයි උන්වහන්සේගේ ගෝලයන්ට කීවෝය.
17 යේසුස්වහන්සේ ඒ අසා: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත. මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි ඔවුන්ට කීසේක.
18 යොහන්ගේ ගෝලයෝද ඵරිසිවරුද නිරාහාරව සිටියෝය. ඔව්හු ඇවිත්: යොහන්ගේ ගෝලයන්ද ඵරිසිවරුන්ගේ ගෝලයන්ද නිරාහාරයෙන් සිටිද්දී ඔබගේ ගෝලයන් නිරාහාරයෙන් නොසිටින්නේ මක්නිසාදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
19 යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටියදී ඔවුන්ට නිරාහාරව සිටින්ට පුළුවන්ද? මනමාලයා ඔවුන් සමඟ සිටින තෙක් නිරාහාරව සිටින්ට ඔවුන්ට බැරිය.
20 නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය, එවිට ඒ දවසේ ඔව්හු නිරාහාරව සිටින්නෝය.
21 කිසිවෙක් තාන් රෙදි කැබෙල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් රෙදි කෑල්ලට පරණ රෙද්ද ඇදී, වඩා ලොකු ඉරුමක් වේ.
22 තවද කිසිවෙක් අලුත් මුද්‍රිකපානය පරණ සම්භාජනවල වත් නොකරයි; වත්කළොත් මුද්‍රිකපානයෙන් සම්භාජන පැළී, මුද්‍රිකපානයත් භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරතියි කීසේක.
23 තවද උන්වහන්සේ සබත් දවසේදී ගොයම් කෙත් මැදින් ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝ යමින්ම කරල් කඩන්ට පටන්ගත්තෝය.
24 එවිට ඵරිසිවරු කථාකොට: මෙන්න, සබත් දවසේදී නොකටයුතු දේ මොවුන් කරන්නේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය.
25 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: දාවිත් තමාටද තමා සමඟ සිටියවුන්ටද හිඟයක් වී බඩගිනිවූ කල්හි කළ දේ,
26 එනම් උත්තම පූජකයාවූ අබියාතර්ගේ කාලයේදී දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට විනා වෙනකාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කා, තමා සමඟ සිටියවුන්ටත් දුන් බව නුඹලා කවදාවත් කියෙවුවේ නැද්දැයි කීසේක.
27 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මනුෂ්‍යයා සබත් දවස උදෙසා නොව සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියමකරනලද්දේය.
28 එබැවින් මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ පවා ස්වාමීයයි කීසේක.



පරිච්ඡේදය 3

1 උන්වහන්සේ නැවත සිනගෝගයට ඇතුල්වූසේක; වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් එහි සිටියේය.
2 එවිට ඔව්හු උන්වහන්සේට වරදතබන පිණිස උන්වහන්සේ සබත් දවසේදී ඔහු සුවකරනසේක්දෝ කියා බල බලා සිටියෝය.
3 උන්වහන්සේ: නැගිට ඉදිරියට එන්නැයි වියළුණු අත ඇති මනුෂ්‍යයාට කියා,
4 ඔවුන්ට කථාකොට-සබත් දවසේදී සුදුසුවන්නේ යහපත කිරීමද නොහොත් නපුර කිරීමද? ප්‍රාණයක් ගැළවීමද නොහොත් නාස්තිකිරීමදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය.
5 උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය.
6 ඵරිසිවරු පිටත්ව ගොස් උන්වහන්සේ නසන්නේ කෙසේද කියා උන්වහන්සේට විරුද්ධව හෙරොදිවරුන් සමඟ එකෙණෙහිම මන්ත්‍රණයකළෝය.
7 යේසුස්වහන්සේ එයින් අහක්ව තමන් ගෝලයන් සමඟ මුහුද ළඟට ගියසේක. ගලීලයෙන් මහත් සමූහයක්ද උන්වහන්සේ අනුව ගියෝය. යුදයෙන්ද
8 යෙරුසලමෙන්ද ඉදුමයෙන්ද යොර්දාන් එගොඩින්ද තීර් සහ සීදොන් අවටින්ද මහත් සමූහයක් උන්වහන්සේ විසින් කරනලද මහත් ක්‍රියා ගැන අසා උන්වහන්සේ ළඟට ආවෝය.
9 සමූහයාගෙන් උන්වහන්සේ නොතෙරපෙන පිණිස තමන්ට කුඩා ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ගෝලයන්ට කීසේක.
10 මක්නිසාද උන්වහන්සේ බොහෝ දෙනෙකු සුවකළ හෙයින් රෝගවලින් පීඩිතවූ සියල්ලෝම උන්වහන්සේගේ ඇඟේ අත් තබන්ට උන්වහන්සේට තෙරපීගන ආවෝය.
11 අශුද්ධාත්මයෝද උන්වහන්සේ දුටු කල උන්වහන්සේ ඉදිරියෙහි වැටී: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි මොරගසා කීවෝය.
12 තමන් ප්‍රසිද්ධ නොකරන ලෙස උන්වහන්සේ බොහෝසේ ඔවුන්ට අණකළසේක.
13 උන්වහන්සේ කන්දට නැගී තමන්වහන්සේ කැමතිවූවන් තමන් ළඟට කැඳෙවුසේක. ඔව්හු උන්වහන්සේ ළඟට ආවෝය.
14 උන්වහන්සේද තමන් සමඟ සිටින පිණිසත්, දේශනාකරන්ට පිටත්කර අරින පිණිසත්,
15 යක්ෂයන් දුරු කිරීමේ බලය දරන පිණිසත්, දොළොස්දෙනෙකු නියමකළසේක.
16 (ඔව්හු කවුරුද යත්:) උන්වහන්සේ විසින් පේතෘස්යයි නම්කළ සීමොන්ද,
17 ගර්ජනාවේ පුත්‍රයෝය යන අර්ථය ඇති බොවනර්ගස්යයි උන්වහන්සේ විසින් නම් තබනලද සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ද,
18 අන්දෘ සහ පිලිප්ද, බර්තොලොමෙව් සහ මතෙව්ද, තෝමස් සහ අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද, තද්දියුස් සහ කානානියවූ සීමොන්ද,
19 උන්වහන්සේ පාවාදුන් යූදස් ඉස්කාරියොත්ද යන මොව්හුය.
20 ඔවුන්ට කෑම කන්ට පමණවත් අවකාශ නැතිවන තරමට සමූහයා නැවත රැස්වුණෝය.
21 උන්වහන්සේගේ නෑයෝ ඒ අසා, උන්වහන්සේට ඔල්මාදයයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝය.
22 යෙරුසලමෙන් ආවාවූ ලියන්නෝ: මොහුට බෙල්සෙබුබ් ඇත්තේය කියාත් යක්ෂාධිපතියාගේ බලයෙන් මොහු යක්ෂයන් දුරුකරයිය කියාත් කීවෝය.
23 එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා උපමාවලින් කථාකරමින්: සාතන් දුරුකරන්ට සාතන්ට පුළුවන් කොහොමද?
24 යම් රාජ්‍යයක් ඒකටම විරුද්ධව භේද වුණොත් ඒ රාජ්‍යය පවතින්ට නොහැකිය.
25 යම් ගෙයක් ඒකටම විරුද්ධව භේදවුණොත් ඒ ගෙය පවතින්ට නොහැකිවන්නේය.
26 සාතන් තමාටම විරුද්ධව නැගිට භේදවේ නම් ඔහු පවතින්ට නොහැකිව කෙළවරවයි.
27 නුමුත් බලවන්තයා පළමුකොට බැඳලා මිස ඔහුගේ ගෙට වැද ඔහුගේ බඩු කොල්ලකන්ට කාටවත් නුපුළුවන; බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය.
28 සැබවක් නුඹලාට කියමි-මනුෂ්‍ය පුත්‍රයන්ට ඔවුන්ගේ සියලු පව්ද ඔවුන් දෙවියන්වහන්සේට කරන සියලු ආකාර අපහාසද කමාකරනු ලබන්නේය.
29 නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේට අපහාස කරන කෙනෙකුට කොයි කලකවත් කමාව නොලැබෙන්නේය, ඔහු සදාකාලික පාපයක් ගැන වරදකාරයෙකැයි කීසේක.
30 මෙසේ කීවේ උන්වහන්සේට අශුද්ධාත්මයක් ඇත්තේයයි ඔවුන් කී බැවින්ය.
31 එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ඇවිත් පිටත සිට උන්වහන්සේ කැඳවන්ට යැවුවෝය.
32 සමූහයක් උන්වහන්සේ අවට වාඩිවී උන්නේය. බැලුව මැනව, ඔබවහන්සේගේ මෑණියොත් සහෝදරයොත් පිටත සිට ඔබ සොයතියි ඔව්හු උන්වහන්සේට කීවෝය.
33 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් කවුරුදැයි කියා,
34 තමන් අවට වාඩිවී උන්නවුන් දෙස වටේට බලා: මෙන්න, මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත්!
35 මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියොත්යයි වදාළ සේක.



පරිච්ඡේදය 4

1 නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්ට පටන්ගත්සේක. එකල ඉතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැගී වැඩහුන්සේක; මුළු සමූහයාද මුහුද ළඟ ගොඩ සිටියෝය.
2 උන්වහන්සේ බොහෝ කාරණා උපමාවලින් ඔවුන්ට ඉගැන්වූසේක. උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී ඔවුන්ට කියනසේක්:
3 අසන්න-වපුරන්නා වපුරන්ට ගියේය.
4 ඔහු වපුරන කල මෙසේ සිදුවිය: සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය.
5 සමහරක් වඩා පස් නැති ගල් බිමේ වැටී, පස් ඝන නොවූ නිසා වහාම පැළවී,
6 ඉර උදාවූකල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය.
7 අන් සමහරක් කටු අතරේ වැටුණේය, කටු වැවී ඒවා යටකළ බැවින් ඒවා ඵල නුදුන්නේය.
8 තවත් සමහරක් සරුබිමේ වැටුණේය; ඒවා පැළවී වැඩී, ඵලදෙමින්, එකෙන් තිහක් ද එකෙන් හැටක්ද එකෙන් සියයක්ද බැගින් අස්වැන්න ඉපදවිය.
9 ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.
10 උන්වහන්සේ තනියම සිටියදී දොළොස්දෙනා සමඟ උන්වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය.
11 එවිට උන්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස නුඹලාට දී තිබේ. නුමුත් පිටත සිටින්නන්ට සියල්ලම උපමා වලින් කියනු ලැබේ.
12 මක්නිසාදයත්: යම් හෙයකින් ඔවුන් හැරී කමාව නොලබන ලෙස දැක දැකත් නොදක්නා පිණිසය, අස අසාත් තේරුම් නොගන්නා පිණිසයයි කීසේක.
13 තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේ උපමාව නුඹලා නොදනිවුද? එසේ නම් නුඹලා සියලු උපමා කෙලෙස දැනගන්නහුද?
14 වපුරන්නා වචනය වපුරයි.
15 වචනය ඇසූ කල තමුන්ගේ සිත් තුළ වපුළ වචනය සාතන් එකෙණෙහිම ඇවිත් පැහැරගනීද, වචනය වපුරනලද මග අසල වූවෝ නම් ඔව්හුය.
16 එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්,
17 තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්;
18 කටු අතරේ වපුරනලද අනික් අයවල් නම්, වචනය ඇසූ නුමුත්,
19 මේ ලෝකය සම්බන්ධ කරදරද වස්තු මායාවද අනිකුත් දේවලට තෘෂ්ණාවද පැමිණීම කරණකොටගෙන වචනය යටකරනු ලැබ ඵල නොදෙන්නෝ වෙති.
20 සරුබිමේ වපුරනලද්දෝ නම්, වචනය අසා, පිළිගෙන, තිස් ගුණයක්ද සැට ගුණයක්ද සියක් ගුණයක්ද බැගින් ඵල දරන්නෝයයි කීසේක.
21 තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පහන ගෙනෙන්නේ කුරුණිය යට හෝ ඇඳ යට හෝ තබන පිණිසද? පහන් රුක උඩ තැබීමට නොවේද?
22 මක්නිසාද මතු එළිදරව් නොවන සඟවනලද දෙයක්වත්, මතු ප්‍රසිද්ධකරනු නොලබන රහසේ තැබූ කිසි දෙයක්වත් නැත්තේය.
23 යමෙකුට ඇසීමට කන් ඇත්තේද ඔහු අසාවයි කීසේක.
24 තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අසන කාරණා ගැන බලාගන්න. නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද, එයින්ම නුඹලාටත් මැනදෙනු ලැබේ. නුඹලාට තව වැඩියෙන් දෙනුලැබේ.
25 මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබේ යමෙකුට නැත්තේද ඔහුට ඇති දේ පවා ඔහුගෙන් ගනු ලැබේයයි කීසේක.
26 තවද උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය වනාහි මනුෂ්‍යයෙකු විසින් පොළොවෙහි බීජ වැපිරීමට සමානය.
27 ඔහු රාත්‍රියේ නිදන්නේය, දහවල් නැගිට සිටින්නේය, ඔහු නොදන්නා ප්‍රකාරයකින් ඒ බීජ පැළවී වැඩෙන්නේය.
28 පොළොවෙන්ම ඵල හටගන්නේය; පළමුව කොළද දෙවනුව කරල්ද ඉන්පසු කරළේ සම්පූර්ණ ධාන්‍යයද හටගන්නේය.
29 ගොයම් පැසුණු කල, කපන කාලය පැමුණුණ බැවින්, ඔහු වහාම දෑකැත්ත යොදන්නේයයි කීසේක.
30 තවද උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානකරමුද? නොහොත් කවර උපමාවකින් එය දක්වාදෙමුද?
31 එය අබ ඇටයකට සමානය. එය පොළොවෙහි වපුරන කල පොළොවෙහි තිබෙන සියලු බීජවලට වඩා කුඩා නුමුත්,
32 වපුළායින් පසු එය වැඩී, සියලුම පලා ගස්වලට වඩා ලොකුවී, ඒකේ සෙවණෙහි ආකාශයේ පක්ෂීන්ට ලගින්ට පුළුවන් තරමට මහත් අතු විහිදන්නේයයි කීසේක.
33 ඔවුන්ට දරන්ට පුළුවන් ප්‍රමාණයට මෙබඳු බොහෝ උපමාවලින් උන්වහන්සේ වචනය ඔවුන්ට කීසේක.
34 උපමාවක් නැතුව උන්වහන්සේ ඔවුන්ට කථානොකළසේක. නුමුත් උන්වහන්සේ තමන්ගේම ගෝලයන්ට සියල්ල රහසේ තොරාදුන්සේක.
35 එදා සවස්වූ කල: අපි එගොඩට යමුයයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.
36 ඔව්හු සමූහයා අත්හැර, උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමඟ උන්වහන්සේ ගෙනගියෝය. ඒ සමඟ වෙනත් ඔරුද තිබුණේය.
37 එවිට සැඩ සුළඟක් හමා, ඔරුව පිරෙන තරමට ඒ තුළට රැළ ගැසුවේය.
38 උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය පිට නිදාහුන්සේක. ඔව්හු උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, අප විනාශවන බව ඔබ සලකන්නේ නැද්දැයි උන්වහන්සේට කීවෝය.
39 උන්වහන්සේ නැගිට සුළඟට තරවටුකොට: නිශ්ශබ්දවෙව, නිශ්චලවෙවයි මුහුදට කීසේක. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය.
40 උන්වහන්සේද: නුඹලා භයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දැයි කීසේක.
41 ඔව්හු ඉතා යහපත්වී: සුළඟ සහ මුහුද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරෙක්දැයි එකිනෙකා කථාකරගත්තෝය.



පරිච්ඡේදය 5

1 ඔව්හු මුහුදෙන් එතර ගෙරසේනයන්ගේ රටට පැමිණියෝය.
2 උන්වහන්සේ ඔරුවෙන් බැස්ස කෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සොහොන් ගෙවලින් පිටත්ව එනවා උන්වහන්සේට සම්බවිය.
3 ඔහු සොහොන් ගෙවල වාසයකෙළේය. දම්වැලකින් පවා ඔහු තවත් නවත්වන්ට කිසිවෙකුට නුපුළුවන්විය.
4 මක්නිසාද විලංගුවලින්ද දම්වැල්වලින්ද බොහෝ වර බඳිනු ලැබූ නුමුත් ඔහු දම්වැල් කඩාදමා විලංගු බිඳදැම්මේය. ඔහු දමනයකරන්ට කිසිවෙකුට ශක්තිය නොවීය.
5 ඔහු නිතරම රෑ දාවල් මොරගසමින්ද ගල්වලින් කපාගනිමින්ද සොහොන් ගෙවල්හිත් කඳුවලත් සිටියේය.
6 ඔහු යේසුස්වහන්සේ දුරදීම දැක දුවගන ඇවිත් උන්වහන්සේට වැඳ:
7 මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්ස, ඔබවහන්සේට මාගෙන් කම මොකද? මට වද නොදෙනමෙන් දෙවියන්වහන්සේගේ නාමයෙන් උදක්ම ඉල්ලමියි මහත් හඬින් මොරගසා කීවේය.
8 එසේ කීවේ: අශුද්ධාත්මය, මොහුගෙන් දුරුවෙවයි උන්වහන්සේ ඔහුට කී නිසාය.
9 නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. මගේ නම ලෙගියොන්ය; මක්නිසාද අපි බොහෝ දෙනෙක් වමුයයි ඔහු කීය.
10 රටෙන් තමුන් දුරු නොකරන හැටියට ඔහු බොහෝසෙයින් උන්වහන්සේගෙන් ඉල්ලුවේය.
11 එතැන කන්ද අයිනේ මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය.
12 ඔව්හුද: ඌරන්ට වැහෙන පිණිස අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
13 උන්වහන්සේ ඔවුන්ට අවසරදුන්සේක. අශුද්ධාත්මයන් නික්ම ගොස් ඌරන්ට වැහුණු කල, දෙදහසක් පමණවූ ඒ ඌරු රැළ ප්‍රපාතය පහළට වේගයෙන් දුව ගොස් මුහුදේ වැටී ගිලී මළෝය.
14 ඌරු රැකවල්ලු පලාගොස් නුවරත් ගම්වලත් එපවත් දැන්නුවෝය. එවිට සිදුවූ දේ කුමක්දැයි බලන පිණිස මනුෂ්‍යයෝ පිටත්ව ඇවිත්,
15 යේසුස්වහන්සේ ළඟට පැමිණ, ලෙගියොන් නම් යක්ෂාවේශවූ මනුෂ්‍යයා වස්ත්‍ර හැඳ සිහි ඇතුව වාඩිවී ඉන්නවා දැක, භයවූවෝය.
16 ඒ දුටු අය යක්ෂාවේවූ මනුෂ්‍යයාට සිදුවුණු හැටිත් ඌරන් ගැනත් ඔවුන්ට දැන්නුවෝය.
17 ඔව්හු වනාහි තමුන්ගේ සීමාවලින් අහක්ව යන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලන්ට පටන්ගත්තෝය.
18 උන්වහන්සේ ඔරුවට නගිද්දී, යක්ෂාවේශව සිටි මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ සිටින ලෙස උදක්ම ඉල්ලා සිටියේය.
19 නුමුත් උන්වහන්සේ ඔහුට අවසර නොදී: නුඹ ගෙදර නුඹේ නෑ මිතුරන් ළඟට ගොස්, ස්වාමීන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියාත් උන්වහන්සේ නුඹට කරුණාකළ හැටිත් ඔවුන්ට දන්වන්නැයි ඔහුට කීසේක.
20 ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා දෙකපොලිසෙහි ප්‍රකාශ කරන්ට පටන්ගත්තේය. සියල්ලෝ මවිතවූවෝය.
21 යේසුස්වහන්සේ නැවත ඔරුවෙන් එගොඩවූ කල මහත් සමූහයක් උන්වහන්සේ ළඟට රැස්වූවෝය. උන්වහන්සේද මුහුද ළඟ සිටිසේක.
22 එකල සිනගෝගයේ මුලාදෑනීන්ගෙන් කෙනෙක්වූ යායිරස් නැමැත්තෙක් ඇවිත් උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී:
23 මාගේ කුඩා දුව මරණාසන්නව සිටින්නීය. ඈ සුවවී ජීවත්වන පිණිස ඔබ ඇවිත් ඈ පිට අත් තැබුව මැනවයි උන්වහන්සේගෙන් බොහෝසෙයින් ඉල්ලුවේය.
24 උන්වහන්සේ ඔහු සමඟ වැඩියසේක; මහත් සමූහයක්ද උන්වහන්සේට තෙරපෙමින් උන්වහන්සේ අනුව ගියෝය.
25 දොළොස් අවුරුද්දක් මහෙල් රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක්
26 නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ, තමා සතු සියල්ල වියදම්කළ නුමුත් කිසි පලක් නොලැබ, වඩා අමාරුවට පැමිණ සිටියාය.
27 ඈ යේසුස්වහන්සේ ගැන අසා, සමූහයා අතරෙන් පස්සෙන් ඇවිත්, උන්වහන්සේගේ සළුවට අතගැසුවාය.
28 මක්නිසාද: උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අතගැසුවොත් මට සුවය ලැබේයයි ඈ කීවාය.
29 එකෙණෙහිම ඇගේ ලේ ධාරාව වියළී ගොස්, ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ශරීරය තුළෙහි ඈට දැනුණේය.
30 එකෙණෙහිම යේසුස්වහන්සේ තමන් කෙරෙන් නිකුත් වන ආනුභාව පිටවී ගිය බව දැන,, සමූහයා මැද හැරී: මාගේ වස්ත්‍රවලට අතගැසුවේ කවුදැයි ඇසූසේක.
31 උන්වහන්සේගේ ගෝලයෝ: ඔබට තෙරපෙීගන සිටින්නාවූ සමූහයා දැක දැකත්-මට අතගැසුවේ කවුද කියා අසනසේක්දැයි කීවෝය.
32 ඒ දේ කළ ස්ත්‍රිය දකින පිණිස උන්වහන්සේ අවට බැලූසේක.
33 නුමුත් ස්ත්‍රී තමාට සිදුවූ දේ දැන භයවී වෙවුලමින්, ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී, සම්පූර්ණ ඇත්ත උන්වහන්සේට කීවාය.
34 උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේය; සමාදානයෙන් ගොස්, නුඹේ පීඩාවෙන් සුවපත්ව සිටින්නැයි ඈට කීසේක.
35 උන්වහන්සේ කථාකරද්දීම සිනගෝ-ගයේ මුලාදෑනියාගේ ගෙදරින් සමහරු ඇවිත්: නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට තවත් කුමට වෙහෙසකරන්නෙහිදැයි කීවෝය.
36 නුමුත් යේසුස්වහන්සේ ඒ කීම නොසලකා, සිනගෝගයේ මුලාදෑනියාට කථාකොට: භයනොවී ඇදහිල්ලෙන්ම සිටින්නැයි ඔහුට කීසේක.
37 උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යාකොබ්ගේ සහෝදරවූ යොහන්ද හැර වෙන කාටවත් තමන් සමඟ එන්ට නොදී,
38 සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙට ආසේක. එවිට උන්වහන්සේ කෝලාහලයක්ද බොහෝසේ හඬාවැලපෙන්නවුන්ද බලා,
39 ගෙට ඇතුල්ව: නුඹලා ඝෝෂාකරන්නෙත් හඬන්නෙත් මක්නිසාද? දරුවා මැරිලා නොවේ, නිදන්නීයයි ඔවුන්ට කීසේක.
40 එවිට ඔව්හු උන්වහන්සේට සිනාසුණෝය. නුමුත් උන්වහන්සේ සියල්ලන් බැහැරකොට, දරුවාගේ පියාද මවුද තමන්වහන්සේ සමඟ සිටියවුන්ද කැඳවාගෙන, දරුවා හුන් තැනට ගොස්,
41 ඇගේ අත අල්ලා: තලීතාකූමි කියා ඈට කීසේක; එහි අර්ථය-යෞවනිය, නැගිටින්නැයි නුඹට කියමි යනුය.
42 දොළොස් අවුරුදු වයස්වූ ඒ යෞවනී එකෙණෙහිම නැගිට ඇවිද්දාය. එකෙණෙහිම ඔව්හු මහත් විස්මයකින් විස්මිත වූවෝය.
43 උන්වහන්සේ මෙය කිසිවෙකු දැන නොගන්නා ලෙස ඔවුන්ට තදින් අණකොට, ඈට කෑම දෙන්ට කීසේක.



පරිච්ඡේදය 6

1 උන්වහන්සේ එතැනින් පිටත්ව ගොස් තමන්ගේම රටට පැමිණිසේක; ගෝලයෝ උන්වහන්සේ කැටුව ගියෝය.
2 සබත් දවස පැමිණි කල උන්වහන්සේ සිනගෝගයෙහි උගන්වන්ට පටන්ගත්සේක. බොහෝ දෙනෙක් ඒ අසා මවිතව: මොහුට මේ දේවල් කොයින්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහුගේ අතින් කරනලද බලවත් ක්‍රියාවලින් හැඟෙන්නේ කිමෙක්ද?
3 මොහු මරියාගේ පුත්‍රවූද යාකොබ්, යෝසෙස්, යූදස් සහ සීමොන්ගේ සහෝදරවූද වඩුවා නොවේද? මොහුගේ සහෝදරියෝ මෙහි අප අතරේ සිටිනවා නොවේද කියා උන්වහන්සේ ගැන බාධාවූහ.
4 එවිට යේසුස්වහන්සේ කථාකොට: අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටේදීත් තමාගේම නෑයන් අතරේදීත් තමාගේම ගෙදරදීත් මිස ගෞරව නැතුව නොසිටීයයි කීසේක.
5 එහිදී රෝගීන් ස්වල්පදෙනෙකු පිට අත් තබා සුවකළා මිස වෙන කිසි බලවත් ක්‍රියාවක් කරන්ට උන්වහන්සේට නොහැකිවූයේය.
6 ඔවුන්ගේ විශ්වාසය නැතිකම ගැන උන්වහන්සේ මවිතවූසේක. උන්වහන්සේ උගන්වමින් අවට ගම්වල ඇවිද්දසේක.
7 එකල උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, ඔවුන් දෙදෙන දෙදෙනා බැගින් යවන්ට පටන්ගෙන, අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලයදී,
8 ගමනට සැරයටියක් පමණක් මිස රොටිවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් යන කිසි දෙයක් නොගෙන,
9 වහන් පයලා, ඇඳුම් දෙකක් නොහැඳ යන ලෙස ඔවුන්ට අණකළසේක.
10 තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා යම් තැනකදී ගෙදරකට ඇතුල්වූ කල, එයින් පිටත්ව යනතෙක් එහිම සිටින්න.
11 යම් තැනකදී ඔවුන් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, එතැනින් පිටත්ව යන කල ඔවුන්ට සාක්ෂියක් පිණිස නුඹලාගේ පාද යට තිබෙන ධූලි ගසාදමන්නැයි කීසේක.
12 ඔව්හු පිටත්ව ගොස්: පසුතැවිලිවෙන්නැයි දේශනාකළෝය.
13 ඔව්හු බොහෝ යක්ෂයන්ද දුරුකොට, බොහෝ ලෙඩුන් තෙලින් ආලේපකොට, සුවකළෝය.
14 එකල උන්වහන්සේගේ නාමය ප්‍රසිද්ධවූ බැවින්, හෙරොද් රජ ඒ අසා: යොහන් බව්තීස්ත මළවුන්ගෙන් නැගුටුණේය, එබැවින් මේ ආශ්චර්ය බලය ඔහු තුළ ක්‍රියාකරන්නේයයි කීවේය.
15 නුමුත් සමහරෙක්: ඔහු එලියායයි කීවෝය. අන් සමහරෙක්: අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙකු මෙන් ඔහු අනාගතවක්තෘ කෙනෙක්යයි කීවෝය.
16 නුමුත් හෙරොද් ඒ ඇසූකල: මේ වනාහි මා විසින් හිස කප්පවනලද යොහන්ය, ඔහු (මළවුන්ගෙන්) නැගිට සිටින්නේයයි කීයේය.
17 මක්නිසාද හෙරොද් තමා සරණපාවාගත්, තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා මිනිසුන් යවා යොහන් අල්ලා හිරඅඩස්සි කෙළේය.
18 මෙසේ කළේ: නුඹේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම නුඹට යුතු නැතැයි යොහන් හෙරොද්ට කී නිසාය.
19 එබැවින් හෙරෝදියස් ඔහුට වෛරබැඳ, ඔහු මරන්ට කැමතිවූවාය; නුමුත් ඈට නොහැකිවිය;
20 මක්නිසාදයත් යොහන් ධර්මිෂ්ඨවූ ශුද්ධවූ මනුෂ්‍යයෙකු බව හෙරොද් දැන, ඔහුට භයව, ඔහු ආරක්ෂාකෙළේය. තවද ඔහුගේ බස් අසා හෙරොද් බොහෝසේ වියවුල්විය; නුමුත් සන්තෝෂයෙන් ඔහුට ඇහුම්කන්දුන්නේය.
21 තවද පහසු දිනක් පැමිණියෙන්, හෙරොද් තමා උපන් දවසේදී තමාගේ උත්තමයන්ටද ප්‍රධාන සේනාධිපතීන්ටද ගලීලයේ ප්‍රධානීන්ටද මංගල්‍යකෑමක් දුන්නේය.
22 එවිට හෙරෝදියස්ගේ දුව එහි පැමිණ නටා, හෙරොද් සහ ඔහු සමඟ කෑමට වාඩිව හුන් අය ප්‍රසන්නකළාය; එකල රජතෙම තරුණියට කථාකොට: නුඹ කැමති මොන දෙයක් නුමුත් මාගෙන් ඉල්ලන්න, ඒක නුඹට දෙමියි කීය.
23 ඔහුද: නුඹ මාගෙන් ඉල්ලන කොයිදෙයක් වුවත්, මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුවත්, නුඹට දෙමියි කියා ඈට දිවුරුම් දුන්නේය.
24 ඈ පිටතට ගොස්: මා කුමක් ඉල්ලන්ටදැයි ඇගේ මවුගෙන් ඇසුවාය. යොහන් බව්තීස්තගේ හිසයයි ඈ කීවාය.
25 එකෙණෙහිම ඈ ඉක්මනින් රජු වෙතට පැමිණ: ඔබ විසින් යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා දැන්ම මට දෙනවාට කැමැත්තෙමියි කියා ඉල්ලුවාය.
26 රජතෙමේ අතිශයින් ශෝකවිය; නුමුත් ඔහුගේ දිවුරුම් නිසාත්, ඔහු සමඟ කෑමට වාඩිව සිටි අයවල් නිසාත්, බැරියයි ඈට කියන්ට නොකැමතිවිය.
27 එකෙණෙහිම රජ මුරකාර හේවායෙකු යවා, යොහන්ගේ හිස ගෙනෙන්ට අණකෙළේය. ඔහු ගොස් හිරගෙයිදී ඔහුගේ හිස කපා,
28 තැටියක ලා ගෙනවුත් යෞවනියට දුන්නේය; යෞවනීද ඒක ඇගේ මවුට දුන්නාය.
29 ඔහුගේ ගෝලයෝ ඒ අසා ඇවිත්, ඔහුගේ මළකඳ ගෙනගොස් සොහොන් ගෙයක තැබුවෝය.
30 ප්‍රේරිතයෝ යේසුස්වහන්සේ වෙතට රැස්ව තමුන් විසින් කළාවූද ඉගැන්නුවාවූද සියල්ල උන්වහන්සේට දැන්නුවෝය.
31 එවිට උන්වහන්සේ: නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්නැයි ඔවුන්ට කීසේක. මක්නිසාදයත් ඔවුන්ට කෑම කන්ටවත් අවකාශ නැති තරමට එන්නෝ යන්නෝ බොහෝ වූවෝය.
32 එවිට ඔව්හු පමණක් ඔරුවෙන් වනාන්තර ස්ථානයකට ගියෝය.
33 සෙනඟ ඔවුන් යනවා දැක, බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සියලු නුවරවලින් එක්ව පයින් දුවගොස්, ඔවුන්ට පළමුවෙන් එහි පැමිණියෝය.
34 උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක.
35 දවාල බොහෝසේ ගෙවුණු කල උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ඇවිත්: මේ වනාහි වනාන්තර ස්ථානයක්ය, දවාල බොහෝසේ ගෙවී තිබේ.
36 ඔවුන් අවට තිබෙන ජනපදයට හා ගම්වලට ගොස් තමුන්ට යම් දෙයක් කන්ට මිලදී ගැනීම පිණිස ඔවුන් හැරිය මැනවයි කීවෝය.
37 නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. එවිට ඔව්හු: අප ගොස් මසු දෙසියයක රොටි මිලේටගෙන ඔවුන්ට කන්ට දෙන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
38 නුඹලා ළඟ රොටි කීයක් තිබේද කියා ගොස් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු දැනගත් කල: රොටි පහකුත් මසුන් දෙන්නෙකුත්යයි කීවෝය.
39 උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් නිල් තණකොළ පිට හිඳුවන්ට ඔවුන්ට අණකළසේක.
40 ඔව්හු පේළි වශයෙන් සියය බැගින්ද පණහ බැගින්ද ඉඳගත්තෝය.
41 උන්වහන්සේ රොටි පහද මසුන් දෙදෙනද අරගෙන, ස්වර්ගය දෙස බලා ස්තුතිකොට, රොටි කඩා, ඔවුන් ඉදිරියෙහි තබන්ට ගෝලයන්ට දී, මසුන් දෙදනෙක් ඔවුන් සියල්ලන්ට බෙදාදුන්සේක.
42 සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය.
43 ඉතිරි කැබලිවලින්ද මසුන්ගෙන්ද පැස් දොළොසක් පුරවාගත්තෝය.
44 රොටි කෑවාවූ පුරුෂයෝ පන්දහසක්ය.
45 එකෙණෙහිම උන්වහන්සේ සමූහයා යවන අතර, තමන්ට පළමුවෙන් ඔරුවට නැගී බෙත්සයිදාවට එගොඩට යන්ට තමන්ගේ ගෝලයන්ට සැලැස්සූසේක.
46 උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වූ පසු, යාච්ඤාකරන පිණිස කන්දට ගියසේක.
47 සවස්වූ කල ඔරුව මුහුද මැද තිබුණේය, උන්වහන්සේ වනාහි තනියම ගොඩ සිටිසේක.
48 සුළඟ ඔවුන්ට විරුද්ධව තිබුණු බැවින් ඔවුන් ඔරුව පැදීමෙන් හිරිහැර විඳිනවා උන්වහන්සේ දැක, රෑ සතරවෙනි යාමය පමණේදී ඔවුන් වෙතට මුහුද පිට පයින් යමින්, ඔවුන් පසුකර යන්ට හැදූසේක.
49 ඔව්හු උන්වහන්සේ මුහුද පිට පයින් යනවා දැක, අවතාරයකැයි සිතා මොරගැසූහ.
50 මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ දැක කැලඹුණෝය. නුමුත් උන්වහන්සේ එකෙණෙහිම ඔවුන් සමඟ කථාකොට: ධෛර්යවත්ව සිටින්න. මමය; භය නොවෙන්නැයි කියා,
51 ඔවුන් වෙතට ගොස් ඔරුවට නැගුණුසේක; එකල සුළඟ නැවතුණේය. ඔව්හු තමුන් තුළ අතිශයින් විස්මපත්වූවෝය;
52 මක්නිසාද ඔවුන්ගේ සිත් දැඩිව තිබුණු බැවින් රොටි පිළිබඳ කාරණය ඔව්හු තේරුම් නොගත්තෝය.
53 ඔව්හු එගොඩ ගෙන්නෙසරෙත් රටට පැමිණ ඔරුව වෙරළේ බැන්දෝය.
54 ඔවුන් ඔරුවෙන් බැස්ස කෙණෙහිම මිනිස්සු උන්වහන්සේ හැඳින,
55 එහි වටකර රට මුළුල්ලේ දුවගොස්, උන්වහන්සේ සිටින බව ඇසූ ඇසූ තැන්වලට රෝගාතුරයන් යහන් පිටින් උසුලා ගෙනෙන්ට පටන්ගත්තෝය.
56 යම්කිසි ගමකට හෝ නුවරකට හෝ ජනපදයකට හෝ උන්වහන්සේ ඇතුල්වූසේක්ද, එතැන්හි ඔව්හු රෝගාතුරයන් කඩපිල්වල තබා, ඔවුන්ට උන්වහන්සේගේ සළුවේ දාවල්ලට පමණවත් අතගසන්ට ඉඩදෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලන්ටම සුවය ලැබුණේය.



පරිච්ඡේදය 7

1 යෙරුසලමෙන් ආවාවූ ඵරිසිවරුද ලියන්නන්ගෙන් සමහරෙක්ද උන්වහන්සේ වෙතට රැස්ව,
2 උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරුන් අපවිත්‍රවූ එනම් නොසේදූ අත්වලින් කෑමකනවා දුටුවෝය.
3 මක්නිසාද ඵරිසිවරුත් සියලු යුදෙව්වරුත් වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග රක්ෂාකරන බැවින් හොඳට අත් සෝදාගන මිස කන්නේ නැත.
4 කඩේ සිට ආවාම තමුන්ම සෝදාගන මිස ඔව්හු කෑම නොකති. ඔවුන් විසින් රක්ෂාකරන්ට පිළිගෙන තිබෙන වෙනත් බොහෝ දේ ඇත, එනම් කුසලාන් කළගෙඩි සහ පිත්තල භාජන සේදීමය.
5 ඵරිසිවරුද ලියන්නෝද උන්වහන්සේට කථාකොට: ඔබගේ ගෝලයන් වැඩිමහල්ලන්ගේ නියෝග ලෙස නොහැසිර, අපවිත්‍රවූ අත්වලින් කෑම කන්නේ මක්නිසාදැයි ඇසුවෝය.
6 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේ සෙනඟ ඔවුන්ගේ තොල්වලින් මට ගෞරවකරති, එහෙත් ඔවුන්ගේ සිත මාගෙන් දුරය.
7 මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, නිරර්ථකයේ මට නමස්කාරකරතියි ලියා තිබෙන ලෙස වංචාකාරවූ නුඹලා ගැන යෙසායා මනාලෙස අනාගතවාක්‍යයෙන් කීයේය.
8 නුඹලා දෙවියන්වහන්සේගේ ආඥාව හැරදමා මනුෂ්‍යයන්ගේ නියෝග රක්ෂාකරන්නහුයයි කීසේක.
9 උන්වහන්සේ ඔවුන්ට තවත් කථාකොට: නුඹලාගේ නියෝග පවත්වන පිණිස නුඹලා දෙවියන්වහන්සේගේ ආඥාව එපාකරන හැටි කදිමයි.
10 මක්නිසාද-නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරන්න; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මරනු ලබන්ටම ඕනෑයයි මෝසෙස් කීවේය.
11 එහෙත්-මාගෙන් නුඹට ප්‍රයෝජනවෙන්ට පුළුවන්ව තිබුණු දේ කොර්බාන්, එනම් පඬුරක්යයි යම් මනුෂ්‍යයෙක් පියාටවත් මවුටවත් කීවොත්,
12 එතැන් පටන් ඔහුගේ පියාටවත් මවුටවත් උපකාරකරන්ට නුඹලා ඔහුට ඉඩදෙන්නේ නැත.
13 මෙසේ නුඹලා භාරදී තිබෙන නුඹලාගේ නියෝගවලින් නුඹලා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකරන්නහුය. නුඹලා තවත් එබඳු බොහෝ දේ කරන්නහුයයි කීසේක.
14 උන්වහන්සේ සමූහයා තමන් ළඟට නැවත කැඳවා කියනසේක්: නුඹලා සියල්ලෝම මාගේ වචනය අසා තේරුම්ගන්න.
15 පිටතින් මනුෂ්‍යයා තුළට වැද ඔහු අපවිත්‍රකරන්ට පුළුවන්වූ කිසි දෙයක් නැත.
16 මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහු තුළින් නික්මෙන දේවලින්යයි කීසේක.
17 උන්වහන්සේ සමූහයාගෙන් වෙන්ව ගෙට ඇතුල්වූ කල ගෝලයෝ ඒ උපමාව ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය.
18 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලාත් එසේම තේරුම් නැතුව සිටින්නහුද? පිටතින් මනුෂ්‍යයා තුළට පැමිණෙන කිසි දෙයක්වත් ඔහු අපවිත්‍රකරන්ට නොහැකි බව නුඹලාට තේරෙන්නේ නැද්ද?
19 මක්නිසාද එය ඔහුගේ සිතට නොව බඩට ඇතුල්ව වැසිකිළියට යන්නේයයි කීසේක. මෙසේ සියලු ආකාර කෑම පවිත්‍රයයි උන්වහන්සේ ප්‍රකාශකළසේක.
20 නැවතද උන්වහන්සේ: නුමුත් මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය.
21 මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතිවිලි, වේශ්‍යාකම්, සොරකම්, මිනීමැරීම්, කාමමිථ්‍යාචාරකම්,
22 තණ්හා, දුෂ්ඨකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාසකිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මෙයි.
23 මේ සියලු නපුරුදේ ඇතුළතින් නික්මී මනුෂ්‍යයා අපවිත්‍රකෙරේයයි කීසේක.
24 උන්වහන්සේ එතැනින් නැගිට තීර් සහ සීදොන්හි සීමාවලට පිටත්ව ගොස් ගෙයකට ඇතුල්ව, ඒ බව කිසිවෙකු දැන නොගන්නවාට කැමැතිවූසේක. නුමුත් උන්වහන්සේට සැඟවී සිටින්ට බැරිවිය.
25 එකෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ කුඩා දුවෙක් ඇති ස්ත්‍රියෙක් උන්වහන්සේ ගැන අසා ඇවිත් උන්වහන්සේගේ පාමුල වැටුණාය.
26 ඈ වනාහි සිරෝපිනීසි ජාතියේ ග්‍රීක් ස්ත්‍රියෙක්ය. ඇගේ දුවගෙන් යක්ෂයා දුරුකරන ලෙස ඈ උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවාය.
27 උන්වහන්සේ කථාකොට: පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණෙත්වා. මක්නිසාද දරුවන්ගේ රොටි ගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි ඈට කීසේක.
28 එහෙත් ඈ උත්තරදෙමින්: එසේය, ස්වාමිනි. මේසේ යට සිටින බල්ලෝ පවා දරුවන්ගේ කෑම කැබෙලිවලින් ගෙන කතියි උන්වහන්සේට කීවාය.
29 උන්වහන්සේද: මේ කීම නිසා යන්න; යක්ෂයා නුඹේ දුවගෙන් දුරුව ගියේයයි ඈට කීසේක.
30 ඈ ගෙදර ගිය කල ඇගේ දුව ඇඳේ සැතපී ඉන්න බවද යක්ෂයා දුරුවී සිටින බවද දුටුවාය.
31 නැවතත් උන්වහන්සේ තීර් සීමාවලින් පිටත්ව, සීදොන් මැදින් ගොස්, දෙකපොලිසේ සීමා මැදින් ගලීලයේ මුහුද ළඟට පැමුණුණුසේක.
32 එකල ඔව්හු වික්කල් බිහිරෙකු උන්වහන්සේ වෙතට ගෙනැවිත්, ඔහු පිට අත තබන ලෙස උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවෝය.
33 උන්වහන්සේ රහසින් ඔහු සමූහයා කෙරෙන් අහකට ගෙන ගොස්, ඔහුගේ කන්වල තමන්ගේ ඇඟිලි බහා, කෙළගසා, ඔහුගේ දිව ස්පර්ශකොට,
34 ස්වර්ගය දෙස බලා, සුසුම්ලා: එප්ඵාතා, එනම් ඇරේවයි ඔහුට කීසේක.
35 එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම් මිදී ඔහු පැහැදිලි ලෙස කථාකෙළේය.
36 ඒ බව කාටවත් නොකියන්ට උන්වහන්සේ ඔවුන්ට අණ දුන්සේක. නුමුත් උන්වහන්සේ යම් පමණ අණකළසේක්ද ඔව්හු එපමණටත් වඩා බොහෝසෙයින් එය ප්‍රසිද්ධ කළෝය.
37 තවද ඔව්හු අප්‍රමාණලෙස මවිතව: උන්වහන්සේ සියල්ල යහපත්ලෙස කළසේක. උන්වහන්සේ බිහිරන්ට පවා ඇසෙන්ටත් ගොළුවන්ට කථාකරන්ටත් සලස්වනසේකැයි කීවෝය.



පරිච්ඡේදය 8

1 ඒ දවස්වලදී නැවත ඉතා මහත් සමූහයක් රැස්වූ කල, ඔවුන්ට කන්ට කිසිවක් නොතිබුණු බැවින් උන්වහන්සේ තමන් ගෝලයන් කැඳවා:
2 සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති, ඔවුන්ට කන්ට කිසිවක් නැත.
3 ඔවුන් තමුන්ගේ ගෙවලට නිරාහාරයෙන් යන්ට හැරියෙම් නම් ඔවුන් මාර්ගයේදී කලාන්තවෙනවා ඇත; ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිතියි කීසේක.
4 උන්වහන්සේගේ ගෝලයෝ උත්තරදෙමින්: මෙහි වනාන්තර ස්ථානයකදී මොවුන් කෑමෙන් තෘප්තිමත්කරන්ට කාට පුළුවන්දැයි උන්වහන්සේට කීවෝය.
5 නුඹලා ළඟ රොටි කීයක් තිබේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.
6 සතකැයි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ සමූහයාට බිම ඉඳගන්ට අණදී, රොටි සත රැගෙන ස්තුතිකොට කඩා, ඔවුන් ඉදිරියෙහි තබන පිණිස තමන් ගෝලයන්ට දුන්සේක; ඔව්හුද සමූහයා ඉදිරියෙහි ඒවා තැබුවෝය.
7 ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක්ද තිබුණේය. උන්වහන්සේ ඒවාට ආශීර්වාදකොට, ඒවාත් ඔවුන් ඉදිරියෙහි තබන්ට අණකළසේක.
8 ඔව්හු වනාහි කාලා තෘප්තියට පැමිණියෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කුඩා සතක් පුරාවාගත්තෝය.
9 කෑවාවූ අය සාරදහසක් පමණ වූහ. උන්වහන්සේ ඔවුන් යන්ටහැරියසේක.
10 එකෙණෙහිම උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවට නැගී දල්මනූතයේ පළාත්වලට පැමිණිසේක.
11 එකල ඵරිසිවරු ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, අහසෙන් ලකුණක් උන්වහන්සේගෙන් ඉල්ලමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට පටන්ගත්තෝය.
12 උන්වහන්සේ තමන් ආත්මයෙන් බලවත්ලෙස සුසුම්ලා: මේ පරම්පරාව ලකුණක් සොයන්නේ මක්නිසාද? සැබවක් නුඹලාට කියමි-මේ පරම්පරාව ලකුණක් දෙනු නොලබන්නේයයි කියා,
13 ඔවුන් අත්හැර නැවත ඔරුවට නැගී එගොඩට ගියසේක.
14 රොටි ගෙනයන්ට ඔවුන්ට මතක නැතිවිය; ඔරුවේ ඔවුන් ළඟ එක රොටියකට වඩා නොතිබුණේය.
15 උන්වහන්සේ: ඵරිසිවරුන්ගේ මුහුන්වලිනුත් හෙරොද්ගේ මුහුන්වලිනුත් ප්‍රවේසම්වෙන්ට බලාගන්නැයි ඔවුන්ට අණකළසේක.
16 අපට රොටි නැති නිසාය කියා ඔව්හු තම තමුන් අතරේ කථාකරගත්තෝ ය.
17 යේසුස්වහන්සේ ඒ දැන: නුඹලාට රොටි නැති නිසා නුඹලා අතරේ කථාකරගන්නේ මක්නිසාද? නුඹලාට තවම දැනෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? නුඹලාගේ සිත දැඩිව තිබේද?
18 ඇස් ඇති කොට නුඹලාට පෙනෙන්නේ නැද්ද? කන් ඇති කොට නුඹලාට ඇසෙන්නේ නැද්ද? නුඹලාට මතක නැද්ද?
19 මා විසින් රොටි පහ කඩා පන්ද-හසකට දුන් විට ඉතුරු කැබෙලිවලින් පැස් කීයක් නුඹලා පුරවාගත්තහුදැයි ඇසූසේක. දොළොසකැයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
20 රොටි සත සාර දහස අතරේ බෙදාදුන් විට කැබෙලිවලින් කූඩා කීයක් පුරවාගත්තහුදැයි ඇසූසේක. සතකැයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
21 නුඹලාට තවම තේරෙන්නේ නැද්දැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.
22 ඔව්හු බෙත්සයිදාවට පැමිණියෝය. එවිට ඔව්හු උන්වහන්සේ වෙතට අන්ධයෙකු ගෙනැවිත් ඔහු පිට අත් තබනමෙන් උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවෝය.
23 උන්වහන්සේ අන්ධයා අතින් අල්ලා, ගමෙන් පිටතට ගෙනැවිත්, ඔහුගේ ඇස්වලට කෙළගසා, ඔහු පිට අත් තබා: නුඹට යමක් පෙනේදැයි ඔහුගෙන් ඇසූසේක.
24 ඔහු ඇස් ඔසවා කියනුයේ: මට මනුෂ්‍යයන් පෙනේ; මක්නිසාද ගස් වාගේ (ඔවුන්) ඇවිදිනවා මට පෙනේයයි කීවේය.
25 එවිට උන්වහන්සේ ඔහුගේ ඇස් පිට නැවත අත් තැබූසේක; ඔහු ස්ථිරලෙස බලා, සුවය ලැබ, සියල්ල පැහැදිලිලෙස දුටුවේය.
26 උන්වහන්සේද: ගමට ඇතුල්වෙන්ටවත් එපාය කියා ඔහුගේ ගෙදරට ඔහු හැරියසේක.
27 යේසුස්වහන්සේද තමන් ගෝලයෝද පිලිප්පි කායිසාරියේ ගම්වලට පිටත්ව ගියෝය. මගදී උන්වහන්සේ: මා කවරෙකු කියා මනුෂ්‍යයෝ කියද්දැයි ගෝලයන්ගෙන් ඇසූසේක.
28 ඔව්හු උත්තරදෙමින්, යොහන් බව්තීස්තය කියාත් සමහරෙක් එලියාය කියාත් සමහරෙක් අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක්ය කියාත් කියතියි කීවෝය.
29 නුමුත් නුඹලා මා කවරෙකු කියා කියන්නහුදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. පේතෘස් උත්තරදෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේයයි උන්වහන්සේට කීවේය.
30 උන්වහන්සේද තමන් ගැන කාටවත් නොකියන්ට ඔවුන්ට අණකළසේක.
31 එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත්, ප්‍රධානීන්ද නායක පූජකයන්ද ලියන්නන්ද විසින් එපාකරනු ලබන්ටත්, මරනු ලබන්ටත්, තුන් දවසකට පසු නැවත නැගිටින්ටත් ඕනෑ බව ඔවුන්ට උගන්වන්ට පටන්ගත්සේක.
32 උන්වහන්සේ ඒකීම ප්‍රසිද්ධයෙන් කීසේක. එකල පේතෘස් උන්වහන්සේව කැඳවාගන, උන්වහන්සේට තරවටුකරන්ට පටන්ගත්තේය.
33 නුමුත් උන්වහන්සේ හැරී, තමන් ගෝලයන් දැක, පේතෘස්ට සැරකරමින්: සාතන් මා පස්සට යව. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණ මිස දෙවියන්වහන්සේගේ කාරණ කල්පනාවට ගන්නේ නැතැයි කීසේක.
34 එවිට උන්වහන්සේ සමූහයා තමන් ගෝලයන් සමඟ ළඟට කැඳවා ඔවුන්ට කියනසේක්: කවරෙක් නුමුත් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේ කැමැත්ත අත්හැර, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
35 මක්නිසාද තමාගේ ජීවිතය ගළවාගන්ට කැමති කවරෙකුට නුමුත් ඒක නැතිවන්නේය; මා නිසාද ශුභාරංචිය නිසාද තමාගේ ජීවිතය නැතිකරගන්න කවරෙක් නුමුත් එක් ගළවාගන්නේය.
36 මක්නිසාද යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?
37 නොහොත් මනුෂ්‍යයෙකුට තමාගේ ජීවිතය හිලව්වට මොකක් දෙන්ට පුළුවන්ද?
38 එසේ හෙයින් මේ කාමමිථ්‍යාචාරිකවූ පාපිෂ්ඨවූ පරම්පරාවේදී යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්ගේ තේජසින් ශුද්ධ දේවදූතයන් සමඟ එන කල, උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජාවෙනවාඇතැයි කීසේක.



පරිච්ඡේදය 9

1 තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි-මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක.
2 සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද පමණක් වෙන්කොට, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙනගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක් වූසේක.
3 උන්වහන්සේගේ වස්ත්‍ර පොළොවෙහි කවර අපුල්ලන්නෙකුටවත් සුදුකරන්ට බැරි තරම් ඉතා සුදුවී දීප්තිමත්විය.
4 එවිට එලියා මෝසෙස් සමඟ ඔවුන්ට පෙනුණේය. ඔව්හු යේසුස්වහන්සේ සමඟ කථාකරමින් සිටියෝය.
5 පේතෘස් යේසුස්වහන්සේට කථාකොට: රබ්බි, මෙහි සිටීම අපට හොඳය. ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මණ්ඩප තුනක් සාදමුයයි කීවේය.
6 මක්නිසාද ඔවුන් ඉතා භයපත්වූ බැවින්, කිය යුතු දේ කුමක්දැයි ඔහු නොදැන සිටියේය.
7 තවද වලාපටලයක් පැමිණ ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. එවිට: මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහුට ඇහුම් කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය.
8 ඔව්හු හදිසියෙන් වටකර බලා, තමුන් සමඟ යේසුස්වහන්සේම මිස අන් කිසිවෙකු තවත් නුදුටුවෝය.
9 ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු ඔවුන් දුටුදේ කාටවත් නොකියන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණකළසේක.
10 මළවුන්ගෙන් නැගිටීම නම් කුමක්දැයි ඔව්හු ඔවුනොවුන් විචාරමින් ඒ කීම ධාරණයකරගත්තෝය.
11 තවද ඔව්හු කථාකොට: එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ මක්නිසා කියද්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
12 උන්වහන්සේ කථාකොට: එලියා පළමුවෙන් ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේමය. මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත් සුළුකරනු ලබන්ටත් ඕනෑයයි ඔහු ගැනත් ලියා තිබෙන්නේ කෙලෙසද?
13 නුමුත් නුඹලාට කියමි-එලියා ආවේමය, ඔහු ගැන ලියා තිබෙන ලෙසම ඔව්හු තමුන් කැමතිදේ ඔහුට කළෝයයි කීසේක.
14 ඔව්හු ගෝලයන් ළඟට ආ කල ඔවුන් අවට මහත් සමූහයක් සිටිනවාත් ලියන්නන් ඔවුන් සමඟ විවාදකරනවාත් දුටුවෝය.
15 එකෙණෙහිම මුළු සමූහයා උන්වහන්සේ දුටු කල ඉතා විස්මිතව, ඉදිරියට දුවගොස් උන්වහන්සේට ආචාර කළෝය.
16 නුඹලා ඔවුන් සමඟ කුමක් ගැන විවාදකරනවාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.
17 සමූහයාගෙන් එක්කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින්: ආචාරීන්වහන්ස, ගොළු ආත්මයක් ආවේශවූ මාගේ පුත්‍රයා ඔබවහන්සේ ළඟට ගෙනාවෙමි.
18 ඒ ආත්මය, ඔහුට ආවේශවන කොතැනකදී නුමුත්, ඔහු බිම හෙළන්නේය. එවිට ඔහු පෙණදමා, දත්මිටිකා, දුර්වලවේගන යන්නේය. ඒ ආත්මය දුරුකරන ලෙස මම ඔබවහන්සේගේ ගෝලයන්ට කීයෙමි; නුමුත් ඔවුන්ට බැරිවියයි කීවේය.
19 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති පරම්පරාව, කොපමණ කල් නුඹලා සමඟ සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? ඔහු මා ළඟට ගෙනෙන්නැයි කීසේක.
20 එවිට ඔව්හු උන්වහන්සේ ළඟට ඔහු ගෙනාවෝය. ඔහු උන්වහන්සේ දුටු කෙණෙහිම ආත්මය ඔහු තදින් වෙවුලෙවුවේය; ඔහු බිම වැටී, පෙණදමමින්, පෙරළි පෙරළී හුන්නේය.
21 මේක මොහුට පැමිණ කොපමණ කල්දැයි උන්වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තරදෙමින්: ළදරු කාලේ පටන්ය.
22 තවද ඒ ආත්මය නොයෙක්වර ඔහු විනාශකරන පිණිස ගින්නෙහිද වතුරෙහිද හෙළීය. ඔබට යමක් කරන්ට පුළුවන් නම්, අපට අනුකම්පාකර පිහිටවුව මැනවයි කීවේය.
23 යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.
24 එකෙණෙහිම දරුවාගේ පියා: මම විශ්වාසකරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනවයි මොරගසා කීවේය.
25 සමූහයක් දුව එමින් රැස්වෙන බව යේසුස්වහන්සේ දුටු කල, උන්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකර: ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් පහව යව, තවත් මොහුට ආවේශ නොවන්ට නුඹට අණකරමියි කීසේක.
26 එවිට ආත්මය මොරගසා, බොහෝසේ ඔහු වෙවුලවමින්, පිටතට ආවේය. ඔහු මළ කෙනෙකු මෙන් විය; එබැවින් ඔහු මැරුණේයයි වැඩිදෙනා කීවෝය.
27 නුමුත් යේසුස්වහන්සේ ඔහුගේ අත අල්ලා නැගිටෙවුසේක; එවිට ඔහු නැගිට සිටියේය.
28 උන්වහන්සේ ගෙට පැමිණි කල උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: ඒ ආත්මය දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි රහසින් උන්වහන්සේගෙන් විචාළෝය.
29 උන්වහන්සේද යාච්ඤාවෙන් මිස වෙන ආකාරයකින් මේ ජාතිය දුරුකරන්ට නුපුළුවනැයි ඔවුන්ට කීසේක.
30 ඔව්හු එතැනින් පිටත්ව ගලීලය මැදින් ගියෝය; ඒ බව කිසිවෙක් දැනගන්නවාට උන්වහන්සේ කැමති නොවූසේක.
31 මක්නිසාද උන්වහන්සේ තමන් ගෝලයන්ට උගන්වමින්: මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවාදෙනු ලැබේ, ඔව්හුද ඔහු මරන්නෝය; මරනු ලැබූ පසු, තුන් දවසකින් ඔහු නැවත නැගිටින්නේයයි ඔවුන්ට කීසේක.
32 නුමුත් ඒ කීම ඔවුන්ට තේරුණේ නැත, උන්වහන්සේගෙන් අසන්ටද ඔව්හු භය වූවෝය.
33 ඔව්හු කපර්ණවුමට ආවෝය. උන්වහන්සේ ගෙයි සිටි කල: නුඹලා මාර්ගයේදී කුමක් ගැන විවාදකළහුදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
34 නුමුත්: වඩා උතුම් තැනැත්තා කවුදැයිකියා ඔවුන් මාර්ගයේදී තමුන් අතරේ විවාදකළ බැවින් ඔව්හු කථා නොකර සිටියෝය.
35 එකල උන්වහන්සේ වාඩිවී, දොළොස්දෙනා කැඳවා: යමෙක් පළමුවෙනියා වෙන්ට කැමති නම් ඔහු සියල්ලන්ට අන්තිමයාත් සියල්ලන්ගේ සේවකයාත් වේවයි ඔවුන්ට කීසේක.
36 උන්වහන්සේ කුඩා දරුවෙකු ගෙන ඔවුන් මැද සිටුවා, ඔහු වඩාගෙන:
37 මෙබඳු කුඩා දරුවන්ගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නාවු කවරෙක් නුමුත් මා පිළිගන්නේය. මා පිළිගන්න කවරෙක් නුමුත් මා පිළිගන්නවා නොව මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේයයි ඔවුන්ට කීසේක.
38 යොහන් උන්වහන්සේට කථාකොට: ආචාරිනි, ඔබගේ නාමයෙන් කෙනෙක් යක්ෂයන් දුරුකරනවා දුටිමුව. ඔහු අප අනුව නේන නිසා අපි ඔහුට තහනම් කෙළෙමුයයි කීවේය.
39 නුමුත් යේසුස්වහන්සේ කියනසේක්: ඔහුට තහනම් නොකරන්න. මක්නිසාද මාගේ නාමයෙන් බලවත් ක්‍රියාවක් කරන කිසිවෙකුට මා ගැන ඉක්මනින්ම නපුර කථාකරන්ට නොහැකිවේ.
40 අපට විරුද්ධ නැති තැනැත්තේ අපගේ පක්ෂයටය.
41 නුඹලා ක්‍රිස්තුස්වහන්සේට අයිතිය කියා යමෙක් ඒ නාමයෙන් නුඹලාට බොන්ට වතුර කෝප්පයක් දෙන්නේද, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමි.
42 තවද මා කෙරේ අදහන මේ බාලයන්ගෙන් එකෙකුටවත් බාධාකරන්නෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට හොඳය.
43 නුඹේ අත නුඹට බාධාකෙරේ නම්, ඒක කපාදමන්න. අත්දෙක ඇතුව නිරයට එනම් නොනිවෙන ගින්නට පැමිණීමට වඩා අබ්බාගාතව ජීවනයට ඇතුල්වීම නුඹට හොඳය.
44 (නිරයේදී ඔවුන්ගේ පණුවා නසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත.)
45 නුඹේ පය නුඹට බාධාකෙරේ නම් ඒක කපාදමන්න. දෙපය ඇතුව නිරයෙහි හෙළනු ලැබීමට වඩා කොරව ජීවනයට ඇතුල්වීම නුඹට හොඳය.
46 (නිරයේදී ඔවුන්ගේ පණුවා නසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත.)
47 නුඹේ ඇස නුඹට බාධාකරේ නම් ඒක උගුලාදමන්න. ඇස් දෙක ඇතුව නිරයේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම නුඹට හොඳය.
48 නිරයේදී ඔවුන්ගේ පණුවා නසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත.
49 සියල්ලෝම ගින්නෙන් ලුණුලනු ලබන්නෝය.
50 ලුණු හොඳය. නුමුත් ඒවායේ ලුණු ගතිය නැතිවුණොත් ඒවා රස කරන්නේ කුමකින්ද? නුඹලා තුළ ලුණු ඇතුව සිටින්න, එකිනෙකා සමඟ සමාදානයෙන් සිටින්නැයි කීසේක.



පරිච්ඡේදය 10

1 උන්වහන්සේ එතැනින් නැගිට යුදයේ සීමාවලටත් යොර්දානෙන් එගොඩ පළාතටත් පැමිණිසේක. සමූහයෝ උන්වහන්සේ වෙතට නැවත රැස්වූවෝය; උන්වහන්සේද තමන් පුරුද්ද ලෙස නැවත ඔවුන්ට ඉගැන්නූසේක.
2 ඵරිසිවරු උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්: පුරුෂයෙකු විසින් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
3 උන්වහන්සේ උත්තරදෙමින්: මෝසෙස් නුඹලාට අණකළේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක.
4 අත්හැරීම් පත්‍රයක් ලියා ඈ අත්හරින්ට මෝසෙස් අවසර දුන්නේයයි ඔව්හු කීවෝය.
5 නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලාගේ සිත් දැඩිකම නිසා ඔහු මේ ආඥාව නුඹලාට ලියා දුන්නේය.
6 නුමුත් මැවීමේ පටන්ගැන්මේ සිට උන්වහන්සේ පුරුෂයෙකු හා ස්ත්‍රියෙකු වශයෙන් ඔවුන් මැවූසේක.
7 එබැවින් මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය;
8 ඒ දෙදෙනාද එක මාංසය වන්නෝය. මෙසේ ඔව්හු එතැන් පටන් දෙදෙනෙක් නොව එක මාංසය වෙති,
9 එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.
10 ගෝලයෝ ගෙයිදී මේ කාරණය ගැන නැවතත් උන්වහන්සේගෙන් ඇසුවෝය.
11 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු පාවාගන්න කවරෙක් නුමුත් ඈට විරුද්ධව කාමමිථ්‍යාචාරය කෙරේ.
12 ඒ ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නී නම්, ඈද කාමමිථ්‍යාචාරය කරන්නීයයි කීසේක.
13 ඔව්හු ළදරුවන් පිට උන්වහන්සේගේ අත තබවාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. නුමුත් ගෝලයෝ ඔවුන්ට සැරකළෝය.
14 යේසුස්වහන්සේ ඒ දැක ඉතා අමනාපවී: ළදරුවන් මා ළඟට එන්ට හරින්න; ඔවුන් වලක්වන්ට එපා. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.
15 සැබවක් නුඹලාට කියමි-යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළි නොගත්තොත් ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේයයි ඔවුන්ට කීසේක.
16 උන්වහන්සේ ඔවුන් වඩාගෙන, ඔවුන් පිට අත් තබා, ඔවුන්ට ආශීර්වාදකළසේක.
17 උන්වහන්සේ මාර්ගයට යද්දී එක්තරා කෙනෙක් දුවගන ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි දණින් හිඳ: යහපත් ආචාරීන්වහන්ස, සදාකාල ජීවනය උරුමකර ගන්නා පිණිස මා විසින් කුමක් කරන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
18 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මා යහපත්යයි නුඹ මට කියන්නේ මන්ද? එක්කෙනෙක් එනම් දෙවියන්වහන්සේ මිස වෙන කිසිවෙක් යහපත් නොවේ.
19 මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරුසාක්ෂි නොකියව, වංචාකම් නොකරව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා නුඹ දන්නෙහියයි කීසේක.
20 ඔහුද: ආචාරීන්වහන්ස, මේ සියල්ල මාගේ යෞවන අවස්ථාවේ පටන් රක්ෂාකෙළෙමියි උන්වහන්සේට කීවේය.
21 යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේමකොට: නුඹට එකක් අඩුය. ගොස් නුඹ සන්තක සියල්ල විකුණා දිළිඳුන්ට දෙන්න, ස්වර්ගයෙහි නුඹට වස්තු ඇතිවන්නේය. නුඹ මා අනුව එන්නැයි ඔහුට කීසේක.
22 එහෙත් ඔහුට බොහෝ සම්පත් තිබුණු බැවින් ඔහු ඒ කීම නිසා මුහුණ මැලවී, ශෝකයෙන් යන්ට ගියේය.
23 එවිට යේසුස්වහන්සේ අවට බලා: ධනවන්තයන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුදැයි ගෝලයන්ට කීසේක.
24 ගෝලයෝ උන්වහන්සේගේ වචනවලට විස්මපත් වූවෝය. නුමුත් යේසුස්වහන්සේ නැවතත් උත්තරදෙමින්: දරුවෙනි, වස්තුව කෙරෙහි විශ්වාසකරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුද!
25 ධනවන්තයෙකු ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉදිකටු සිදුරෙන් ඔටුවෙකුට යන්ට පහසුයයි කීසේක.
26 ඔව්හු අතිශයින් මවිතවී: එසේ නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි උන්වහන්සේට කීවෝය.
27 යේසුස්වහන්සේ ඔවුන් දෙස බලා: මනුෂ්‍යයන්ට නම් නුපුළුවන, නුමුත් දෙවියන්වහන්සේට එසේ නොවේය. මක්නිසාද දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.
28 පේතෘස් උන්වහන්සේට කථා කරන්ට පටන්ගෙන: මෙන්න, අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුයයි කීය.
29 යේසුස්වහන්සේද: සැබවක් නුඹලාට කියමි-මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්,
30 දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනගාත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.
31 නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි කීසේක.
32 ඔවුන් යෙරුසලමට යන කල මගදී යේසුස්වහන්සේ ඔවුන්ට පෙරටුව ගියසේක. ඔව්හු විස්මපත්වුවෝය; පස්සෙන් ගිය අය භයවූවෝය. උන්වහන්සේ දොළොස්දෙනා නැවත කැඳවා, තමන්වහන්සේට සිදුවෙන්ට තිබෙන දේ කියන්ට පටන්ගෙන:
33 බලව, අපි යෙරුසලමට යමුව; මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයන්ටත් ලියන්නන්ටත් පාවාදෙනු ලබන්නේය; ඔව්හු වනාහි ඔහු මරණයට නියමකොට අන්‍යජාතීන්ට පාවාදෙන්නෝය.
34 ඔව්හු ඔහුට නින්දාකොට, කෙළගසා, තළා, ඔහු මරන්නෝය; නුමුත් තුන් දවසකට පසු ඔහු නැවත නැගිටින්නේයයි කීසේක.
35 සෙබදීගේ පුත්‍රයෝවූ යාකොබ්ද යොහන්ද උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරිනි, අප ඉල්ලන්නාවූ කොයිදෙයක් නුමුත් ඔබ අපට කරදෙනවාට අපි කැමැත්තෙමුයයි කීවෝය.
36 මා විසින් නුඹලාට කුමක් කරදෙනවාට නුඹලා කැමැත්තහුදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක.
37 ඔබගේ තේජසේදී එක්කෙනෙක් ඔබගේ දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද හිඳගන්ට අපට වරදුන මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
38 නුමුත් යේසුස්වහන්සේ: නුඹලා ඉල්ලන්නේ කුමක්දැයි නුඹලා නොදන්නහුය. මා බොන කුසලානෙන් බොන්ට හෝ මා ලබන බව්තීස්මයෙන් බව්තීස්මකරනු ලබන්ට හෝ නුඹලාට පුළුවන්දැයි ඔවුන්ට කීසේක.
39 අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: මා බොන කුසලානෙන් නුඹලා බොන්නහුය; මා ලබන බව්තීස්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුය.
40 නුමුත් මාගේ දකුණු පැත්තේද වම් පැත්තේද හිඳගන්ට දීම මාගේ නොවේය. යමෙකුට එය සූදානම්කර තිබේද ඔවුන්ටයයි කීසේක.
41 එවිට දසදෙනා ඒ අසා යාකොබ් සහ යොහන් කෙරේ කෝපවෙන්ට පටන්ගත්තෝය.
42 යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා කියනසේක්: අන්‍ය ජාතීන් අතරේ ආණ්ඩුකාරයෝයයි සලකනු ලබන්නන් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දන්නහුය.
43 නුමුත් නුඹලා අතරේ එසේ නොවේය. නුඹලා අතරේ උතුම්වෙන්ට කැමති කවරෙක් නුමුත් නුඹලාගේ සේවකයා වන්නේය.
44 නුඹලා අතරේ ප්‍රධානියා වෙන්ට කැමති කවරෙක් නුමුත් සියල්ලන්ගේ දාසයා වන්නේය.
45 මක්නිසාද සැබවින් මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්ටද ආයේයයි කීසේක.
46 ඔව්හු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත් සමූහයක් සමඟ යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමේයුස්ගේ පුත්‍රවූ බර්තිමේයුස් නම් අන්ධවූ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගන උන්නේය.
47 ඒ නාසරිය යේසුස්වහන්සේ බව ඔහු අසා: දාවිත්ගේ පුත්‍රවූ යේසුස්වහන්ස, මට කරුණාකළ මැනවයි මොරගසන්ට පටන්ගත්තේය.
48 එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. නුමුත් ඔහු: දාවිත්ගේ පුත්‍රය, මට කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය.
49 යේසුස්වහන්සේ නැවතී සිට: ඔහුට අඬගසන්නැයි කීසේක. ඔව්හු අන්ධයාට අඬගසා: ධෛර්යවත්වෙන්න. නැගිටින්න, උන්වහන්සේ නුඹට අඬගසනසේකැයි කීවෝය.
50 ඔහු තමාගේ සළුව ඉවත දමා, පැනනැගී යේසුස්වහන්සේ ළඟට ආයේය.
51 යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මා විසින් නුඹට මක්කරනවාට නුඹ කැමතිදැයි ඔහුගෙන් ඇසූසේක. රබ්බෝනි, පෙනීම ලබාගන්ටයයි අන්ධයා උන්වහන්සේට කීයේය.
52 යේසුස්වහන්සේද: යන්න, නුඹේ ඇදහිල්ල නුඹට සුවකළේයයි ඔහුට කීසේක. එවේලේම ඔහු පෙනීම ලැබ, මාර්ගයෙහි උන්වහන්සේ අනුව ගියේය.



පරිච්ඡේදය 11

1 ඔවුන් යෙරුසලමට ළංව, ඔලීව කන්දට නුදුරුවූ බෙත්පාගයටද බෙතානියටද පැමිණි කල, උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින්:
2 නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න. එහි ඇතුල්වූ කෙණෙහිම, කිසි මනුෂ්‍යයෙක් නොනැගුණු කොටළු වස්සෙකු බැඳ සිටිනවා නුඹලාට සම්බවන්නේය; ඌ ලිහා ගෙනෙන්න.
3 නුඹලා මේක කරන්නේ මක්නිසාදැයි යමෙක් නුඹලාට කියන්නේ නම්, ස්වාමීන්වහන්සේට උගෙන් ඕනෑකමක් තිබේ; උන්වහන්සේ වහාම ඌ ආපසු මෙහි එවනසේකැයි ඔහුට කියන්නැයි ඔවුන්ට කීසේක.
4 ඔව්හු ගොස්, දොර ළඟ පිටත මාවත අසල බැඳ සිටි කොටළු වස්සෙකු දැක ඌ ලිහුවෝය.
5 එහි සිටියවුන්ගෙන් සමහරෙක් කථාකොට: කොටළු වස්සා ලිහන්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
6 යේසුස්වහන්සේ කී ලෙසම ඔව්හු ඔවුන්ට කීවෝය. එවිට ඔව්හු ඔවුන්ට යන්ට හැරියෝය.
7 ඔව්හු කොටළු වස්සා යේසුස්වහන්සේ ළඟට ගෙනැවිත්, තමුන්ගේ වස්ත්‍ර ඌ පිට ලූවෝය; උන්වහන්සේ ඌ පිට හිඳගත්සේක.
8 එවිට බොහෝ දෙනෙක් තමුන්ගේ වස්ත්‍රද තවත් අය කෙත්වලින් කපාගත් අතුද මග අතුළෝය.
9 පෙරටුවෙන්ද පස්සෙන්ද ගිය අය: හෝසන්නා; ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේය කියාත්,
10 පැමිණෙන්නාවූ අපේ පියවූ දාවිත්ගේ රාජ්‍යය ආශීර්වාද ලද්දේය කියාත්, ඉතා උසස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය.
11 උන්වහන්සේද යෙරුසලමට පැමිණ, දේවමාළිගාවට ඇතුල්ව, අවට සියල්ල බලා, සවස්වී තිබුණු බැවින් දොළොස්දෙනා සමඟ බෙතානියට පිටත්ව ගියසේක.
12 පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත්ව එද්දී, උන්වහන්සේට බඩගිනිවිය.
13 කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක, එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස වෙන කිසිවක් සම්බ නොවීය; මක්නිසාද ඒ වනාහි අත්තික්කා වාරය නොවීය.
14 උන්වහන්සේ කථාකොට: මෙතැන් පටන් කිසිකලක කිසිවෙක් නුඹෙන් ඵල නොකාවයි ගසට කීසේක. ඒ කීම උන්වහන්සේගේ ගෝලයන්ට ඇසුණේය.
15 ඔව්හු යෙරුසලමට පැමිණියෝය. උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව, එහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි අය පිටතට පන්නාහරින්ට පටන්ගෙන, මිලමාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළා දමා,
16 දේවමාළිගාව මැදින් කිසි භාජනයක් ගෙනයන්ට කිසිවෙකුට ඉඩ නුදුන්සේක.
17 උන්වහන්සේ උගන්වමින් ඔවුන්ට කියනසේක්: මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුයයි කීසේක.
18 නායක පූජකයෝද ලියන්නෝද ඒ අසා, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි සෙවුවෝය. මක්නිසාද උන්වහන්සේගේ ඉගැන්වීම ගැන මුළු සමූහයා විස්මයට පත්වූ බැවින්, ඔව්හු උන්වහන්සේට භයවූවෝය.
19 සවස්වූ කල්හි උන්වහන්සේ නුවරින් පිටත්ව ගියසේක.
20 ඔව්හු පසුවදා උදේ යන කල අත්තික්කා ගහ මුල පටන් වියළී තිබෙනවා දුටුවෝය.
21 පේතෘස්ද සිහිකොට: රබ්බි, බැලුව මැනව, ඔබ ශාපකළ අත්තික්කා ගහ වියළී තිබේයයි කීවේය.
22 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න.
23 සැබවක් නුඹලාට කියමි-කවරෙක් නුමුත් මේ කන්දට කථාකොට: ඉදිරී මුහුදේ වැටෙන්නැයි කියා, තමාගේ සිතින් සැක නොකොට, තමා කියන දේ සිදුවේයයි අදහන්නේ නම්, ඒක ඔහුට සිදුවන්නේය.
24 එබැවින් නුඹලාට කියමි-නුඹලා යාච්ඤාකොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහන්න, ඒවා නුඹලට ලැබෙන්නේය.
25 නුඹලා යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙන්න.
26 (පුරාණ පිටපත් කීපයක
26 වෙනි පදයක් මෙයාකාර තිබේ: නුමුත් නුඹලා කමා නොවෙනවා නම් ස්වර්ගයෙහි සිටින් නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරදවලටත් කමා නොවෙනසේක.)
27 ඔව්හු නැවත යෙරුසලමට ආවෝය. උන්වහන්සේ දේවමාළිගාවේ සක්මන් කරන කල නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලෝද උන්වහන්සේ වෙතට ඇවිත්:
28 නුඹ කවර බලයක් පිට මේ දේ කරන්නෙහිද? නොහොත් මේ දේවල් කරන්ට මේ බලය නුඹට දුන්නේ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
29 යේසුස්වහන්සේද ඔවුන්ට කියනසේක්: නුඹලාගෙන් එක් ප්‍රශ්නයක් අසමි, මට උත්තරදෙන්න, එවිට මම මේ දේවල් කරන්නේ මොන බලයක් පිටදැයි නුඹලාට කියන්නෙමි.
30 යොහන්ගේ බව්තීස්මය වූයේ ස්වර්ගයෙන්ද නොහොත් මනුෂ්‍යයන්ගෙන්ද? මට උත්තරදෙන්නැයි ඔවුන්ට කීසේක.
31 ඔව්හු ඔවුනොවුන් අතරේ කථාකොට: ස්වර්ගයෙන්යයි කියමු නම්-ඔහු අදහා නොගත්තේ මක්නිසාදැයි අපට කියනවා ඇත.
32 නුමුත් මනුෂ්‍යයන්ගෙන්යයි කියමු නම්-යොහන් සැබෑවටම අනාගතවක්තෘ කෙනෙකැයි සියල්ලන් සැලකූ බැවින් සෙනඟට භයවී:
33 අපි නොදනිමුයයි යේසුස්වහන්සේට උත්තරදුන්නෝය. යේසුස්වහන්සේද: මා විසින් මේ දේවල් කරන්නේ මොන බලයක් පිටද කියා මමත් නුඹලාට නොකියමියි ඔවුන්ට කීසේක.



පරිච්ඡේදය 12

1 උන්වහන්සේ උපමාවලින් ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, මිදියන්ත්‍රය සඳහා වළක් හාරා, කොතක් ගොඩනගා, ගොවීන්ට බදුදී, අන් රටකට ගියේය.
2 ඔහු මිදිවත්තේ ඵල කොටස ගොවීන්ගෙන් ලබා ගන්න පිණිස ඵල වාරයේදී ගොවීන් ළඟට දාසයෙකු යැවීය.
3 ඔව්හු ඔහු අල්ලා, ඔහුට තළා, හිස් අතින් හැරියෝය.
4 නැවත ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙතට හැරියේය; ඔව්හු ඔහුගේ හිස තුවාලකොට ඔහුට නිග්‍රහකළෝය.
5 ඔහු තවත් කෙනෙකු යැවීය; ඔව්හු ඔහු මැරුවෝය. තවත් බොහෝ දෙනෙකුගෙන් සමරහෙකුට තැළුවෝය, සමරහෙකු මැරුවෝය.
6 ඔහුට තව එක්කෙනෙක් එනම් ප්‍රේමවන්ත පුත්‍රයෙක් සිටියේය. ඔවුන් මාගේ පුත්‍රයාට ගෞරව කරනවා ඇත කියා අන්තිමේදී ඔහුත් ඔවුන් වෙතට යැවීය.
7 නුමුත් ඒ ගොවියෝ තමුන් අතරේ කථාකොට: මොහු උරුමක්කාරයාය; එන්න, ඔහු මරමු,
8 එවිට උරුමය අපට වන්නේය කියා, ඔහු අල්ලා, මරා, මිදිවත්තෙන් පිටතට දැමුවෝය.
9 එබැවින් මිදිවත්තේ ස්වාමියා කුමක් කරන්නේද? ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේය.
10 ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල කරනු ලැබීය.
11 මෙය ස්වාමීන්වහන්සේ කෙරෙන් වූයේය, ඒ වනාහි අපගේ ඇස්වලට පුදුමයක්ය යන මේ ලියවිල්ලවත් නුඹලා කියෙවුවේ නැද්දැයි කිසේක.
12 උන්වහන්සේ මේ උපමාව තමුන්ට විරුද්ධව කී බව ඔව්හු දැන උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් ඔව්හු සමූහයාට භයව සිටියෝය. ඔව්හු වනාහි උන්වහන්සේ අත්හැර ගියෝය.
13 ඔව්හු කථාවෙන් උන්වහන්සේ අසුකරගන්න පිණිස ඵරිසිවරුන්ගෙන්ද හෙරෝදිවරුන්ගෙන්ද සමරහෙකු උන්වහන්සේ වෙතට යැවුවෝය.
14 ඔව්හු ඇවිත්: ආචාරිනි, ඔබ සැබෑවූ කෙනෙකු බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකුට භය නොවී දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන බවත් දනීමුව. කායිසර්ට අයබදු දීම යුතුද අයුතුද?
15 දෙමුද නොදෙමුදැයි උන්වහන්සේට කීවෝය. නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ වංකකම දැන: නුඹලා මා පරික්ෂාකරන්නේ මක්නිසාද? මට බලන්ට මස්සක් ගෙනෙන්නැයි ඔවුන්ට කීසේක.
16 ඔව්හු ගෙනාවෝය. උන්වහන්සේද: මේ රූපයත් සටහනත් කාගේදැයි ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය.
17 එවිට යේසුස්වහන්සේ: කායිසර්ගේ දේ කායිසර්ටද දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටද දෙන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු උන්වහන්සේ ගැන බොහෝසෙයින් පුදුමවූවෝය.
18 නැවත-නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු උන්වහන්සේ ළඟට ඇවිත් කථාකොට:
19 ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ තමාගේ භාර්යාව සිටියදී මළොත් ඔහුගේ සහෝදරයා ඔහුගේ භාර්යාව පාවාගෙන තමාගේ සහෝදරයා නමට දරුවන් ඉපදවිය යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ.
20 සහෝදරයෝ සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවක් පාවා ගෙන දරුවන් නොලැබ මැරුණේය;
21 දෙවෙනියාත් ඈ පාවාගෙන දරුවන් නොලැබ මැරුණේය; තුන්වෙනියාත් එසේමය.
22 සත්දෙනාම දරුවන් නොලැබ මැරුණෝය. සියල්ලන්ට පසු ස්ත්‍රීත් මළාය.
23 සත්දෙනාම ඈ භාර්යාව කොට පාවාගත් බැවින් නැවත-නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නීදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
24 යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා වරද්දාගන්නේ ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදන්න නිසා නොවේද?
25 මක්නිසාද ඔව්හු මළවුන්ගෙන් නැගිටින කල සරණපාවාගන්නේවත් සරණපාවාදෙන්නේවත් නැතුව ස්වර්ගයේ දේවදූතයන් මෙන් වෙති.
26 තවද මළවුන් නැගිටින බව ගැන නම්, දෙවියන්වහන්සේ කථාකොට: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි මෝසෙස්ට කී බව ඔහුගේ පොතේ පඳුර ගැන සඳහන්වූ තැන නුඹලා කියෙවුවේ නැද්ද?
27 උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවත්වන්නන්ගේ දෙවියන්වහන්සේය. නුඹලා බොහෝසේ වරද්දාගන්නහුයයි කීසේක.
28 එවිට ලියන්නන්ගෙන් එක්කෙනෙක් ඇවිත් ඔවුන් එකතුව ප්‍රශ්න විචාරනවා අසා, උන්වහන්සේ මනාසේ ඔවුන්ට පිළිතුරු දුන් බව දැන: සියලු ආඥාවලින් කොයි එක ප්‍රධානදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
29 යේසුස්වහන්සේ උත්තරදෙමින්: ප්‍රධාන එක නම්-අහෝ ඉශ්‍රායෙල්, අසන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය උන්වහන්සේ එකම (දෙවියන්වහන්සේ)ය.
30 නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන්න යන එකය.
31 දෙවෙනි එක නම්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යනුය. මේවාට වඩා උතුම්වූ අන්කිසි ආඥාවක් නැතැයි කීසේක.
32 එවිට ලියන්නා: ආචාරීන්වහන්ස, සැබවින් උන්වහන්සේ එකම තැනන්වහන්සේයයි ඔබ හරිලෙස කීයෙහිය; උන්වහන්සේ හැර වෙන කිසි දෙවිකෙනෙක් නැත.
33 මුළු හෘදයෙන්ද මුළු ඥානයෙන්ද මුළු ශක්තියෙන්ද උන්වහන්සේට ප්‍රේමකිරීමත් තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකිරීමත් සියලු මුළු දවන පූජාවලට හා යාගවලටත් වඩා උතුම්යයි කීය.
34 ඔහු නුවණින් උත්තරදුන් බව යේසුස්වහන්සේ දැක: නුඹ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට නුදුරුව සිටින්නෙහියයි ඔහුට කීසේක. ඉන්පසු උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට කිසිවෙකුට ධෛර්ය නොතිබුණේය.
35 යේසුස්වහන්සේ දේවමාළිගාවේ උගන්වද්දී උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයායයි ලියන්නෝ කෙසේ කියද්ද?
36 දාවිත්ම ශුද්ධාත්මයාණන් කරණකොට කථාකරමින්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කොට තබන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි කීය.
37 දාවිත්ම උන්වහන්සේට ස්වාමින්වහන්සේයයි කියයි; එසේ නම් උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේදැයි ඇසූසේක. සාමාන්‍ය ජනයා උන්වහන්සේට සන්තෝෂයෙන් ඇහුම් කන්දුන්නෝය.
38 උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී කියනසේක්: උතුරු සළු ඇඳ ඇවිදීමටත් කඩපිල්වලදී ආචාර ලැබීමටත්
39 සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටත් මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටත් කැමතිවන්නාවූද,
40 වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකන්නාවුද, වංචාවට දීර්ඝ යාච්ඤාකරන්නාවුද ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න; ඔව්හු වඩා බරපතළ දඬුවමක් ලබන්නෝයයි කීසේක.
41 උන්වහන්සේ මුදල් ගබඩාව ඉදිරියෙහි වැඩහිඳ සෙනඟ ගබඩාවට මුදල් දමන හැටි බලාහුන්සේක. වස්තුකාරයෝ බොහෝ දෙනෙක් හුඟක් දැමුවෝය.
42 දිළිඳු වැන්දඹුවක් ඇවිත් ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය.
43 උන්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා: සැබවක් නුඹලාට කියමි-ගබඩාවේ මුදල් දමන සියල්ලන්ට වඩා මේ දිළිඳු වැන්දඹුව දැමුවාය.
44 මක්නිසාද ඒ සියල්ලෝ තමුන්ගේ වැඩිමනත් දෙයින් දැමුවෝය. නුමුත් මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.



පරිච්ඡේදය 13

1 උන්වහන්සේ දේවමාළිගාවෙන් පිටත්ව යද්දී උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්: ආචාරිනි, බැලුව මැනව, කොයි ආකාර ගල්ද, කොයි ආකාර ගොඩනැගිලිද! කියා උන්වහන්සේට කීයේය.
2 යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මේ මහත් ගොඩනැගිලි දකින්නෙහිද? ගලක් පිට ගලක් ඉතුරු නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක.
3 උන්වහන්සේ දේවමාළිගාව ඉදිරියෙහි ඔලීව කන්දේ වැඩහුන් කල පේතෘස්ද යාකොබ්ද යොහන්ද අන්දෘද රහසින් උන්වහන්සේට කථාකොට:
4 ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද කියා අපට කිව මැනවයි කීවෝය.
5 යේසුස්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන හැටියට බලාගන්න.
6 බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් ඇවිත්-මම ඒ තැනන්වහන්සේය කියා බොහෝ දෙනෙක් මුළාකරන්නෝය.
7 යුද්ධ සහ යුද්ධ කථා ගැන නුඹලා අසන කල නොකැලඹෙන්න. මේ දේවල් සිදුවෙන්ට ඕනෑය;
8 නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පා වන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය.
9 එහෙත් නුඹලා ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔව්හු මන්ත්‍රණ සභාවලට නුඹලා පාවාදෙන්නෝය; සිනගෝගවලදී නුඹලා තළනු ලබන්නහුය; අධිපතින්ද රජුන්ද ඉදි-රියේ නුඹලා මා නිසා ඔවුන්ට සාක්ෂියක් පිණිස සිටිනවා ඇත.
10 තවද ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු ලබන්ට ඕනෑය.
11 ඔවුන් නුඹලා පාවාදෙන්ට ගෙනයන කල කුමක් කියන්නෙමුදැයි කලින් කනස්සලු නොවෙන්න. එහෙත් ඒ පැයේදී නුඹලාට යමක් දෙනු ලැබේද ඒක කියන්න. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව ශුද්ධාත්මයාණන්වහන්සේය.
12 තවද සහෝදරයා සහෝදරයාද පියා දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය;
13 මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරකරන්නෝය. නුමුත් අන්තිමය දක්වාම ස්ථීරව සිටින්නා ගළවනු ලබන්නේය.
14 තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා.
15 ගෙය උඩ සිටින්නා බසින්ටවත් තමාගේ ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුල්වෙන්ටවත් නොයෙදේවා.
16 කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා.
17 නුමුත් ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ!
18 ශීත කාලයේදී මේවා සිද්ධ නොවෙන පිණිස යාච්ඤාකරන්න.
19 මක්නිසාද දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය.
20 ස්වාමීන්වහන්සේ ඒ දවස් ලුහුඬු නොකළසේක් නම් කිසිකෙනෙක් ගැළවෙන්නේ නැත. නුමුත් උන්වහන්සේ තමන් තෝරාගත්තවුන් උදෙසා ඒ දවස් ලුහුඬුකළසේක.
21 එකල: මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙහිය; නොහොත්: අන්න එහියයි යමෙක් නුඹලාට කීවොත් විශ්වාස නොකරන්න.
22 මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට, පුළුවන් නම් තෝරාගත්තවුන් මුළාකරන පිණිස ලකුණුද පුදුමද දක්වන්නෝය.
23 නුමුත් නුඹලා ප්‍රවේසම්වෙන්න. ඔන්න, කල් ඇතුව නුඹලාට සියල්ල කීයෙමි.
24 ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පසු ඉර අඳුරුවන්නේය, සඳ එළිය නොදෙන්නේය,
25 තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ ඇති බලපරාක්‍රමයෝද සොලවනු ලබන්නෝය.
26 එකල මනුෂ්‍ය පුත්‍රයා මහත් බලයෙන්ද තේජසින්ද යුක්තව වලාකුල්වල එනවා ඔව්හු දකින්නෝය.
27 එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතර දිගින් තමන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරවනවා ඇත.
28 අත්තික්කා ගහේ උපමාව ඉගෙනගන්න. එහි අත්ත මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය.
29 එසේම මේ දේ සිද්ධවෙනවා නුඹලා දකින කල උන්වහන්සේ දොරටුව ළඟම බව දැනගන්න.
30 සැබවක් නුඹලාට කියමි-මේ සියල්ල සිදුවන තෙක් මේ පරම්පරාව පහවනොයන්නේය.
31 අහසත් පොළොවත් පහවන්නේය. නුමුත් මාගේ වචන පහනොවන්නේය.
32 නුමුත් ඒ දවසවත් ඒ පැයවත් පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත, ස්වර්ගයෙහි සිටින දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති.
33 ඒ කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව ඉඳ යාච්ඤාකරන්න.
34 ඒ වනාහි තමාගේ දාසයන්ට බලයද එකිනෙකාට තම තමාගේ වැඩද දී, අවදිව සිටින්නැයි දොරටුපාලයාට අණ දී, තමාගේ ගෙදරින් පිටත්ව ගොස් අන් රටක නැවතී සිටින මනුෂ්‍යයෙකුට සමානය.
35 එබැවින් ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් නුඹලා නිදාඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටින්න.
36 මක්නිසාද ඔහු එන්නේ කොයි වේලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේද අලුයමදැයි නුඹලා නොදන්නහුය.
37 මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි-අවදිව සිටින්නැයි කීසේක.



පරිච්ඡේදය 14

1 පාස්කුවද මුහුන් නොදැමූ රොටි කන මංගල්‍යයද දෙදවසකට පසු පැමිණෙන්ට තිබුණේය. නායක පූජකයෝද ලියන්නෝද උන්වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මරන්නේ කෙසේද කියා සොයමින් සිටියෝය.
2 මක්නිසාද: සෙනඟ අතරේ කෝලාහලයක් නොවන පිණිස මංගල්‍යයෙහිදී නොකරමුයයි ඔව්හු කීවෝය.
3 උන්වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගීවු සීමොන්ගේ ගෙයි කෑමට ඉඳගෙන ඉඳද්දී ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ ජටාමාංස තෙලින් පිරූ සුදුගල් කරඬුවක් ගෙනැවිත්, ඒ කරඬුව බිඳ, උන්වහන්සේගේ හිසේ වත්කළාය.
4 නුමුත් එහි සිටි සමහරෙක් තම තමුන් අතරේ කිපී:
5 මේ තෙල නාස්තිකළේ කුමක් නිසාද? මේ තෙල මසු තුන්සියයකට වැඩියෙන් විකුණා දිළිඳුන්ට දෙන්ට පුළුවන්ව තිබුණේය කියා ඈට විරුද්ධව කොඳුළෝය.
6 නුමුත් යේසුස්වහන්සේ කියනසේක්: ඈ නිකම් උන්නාවේ; නුඹලා ඈට කරදරකරන්නේ මක්නිසාද? ඈ මට කළේ යහපත් ක්‍රියාවක්ය.
7 මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති, නුඹලා කැමති කලක ඔවුන්ට යහපත කරන්ට නුඹලාට පුළුවන. නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමි.
8 ඈට පුළුවන් දේ ඈ කළාය. භූමදානය පිණිස ඈ කල් ඇතුව මාගේ ශරීරය ආලේපකළාය.
9 සැබවක් නුඹලාට කියමි-ලොව මුළුල්ලේ ශුභාරංචිය ප්‍රකාශකරනු ලබන සෑම තැන්වලදීම මේ ස්ත්‍රිය කළ ක්‍රියාවත් ඈ ගැන සිහිවීමක් කොට කියනු ලබන්නේයයි කීසේක.
10 දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස් ඉස්කාරියොත් උන්වහන්සේ නායක පූජකයන්ට පාවාදෙන පිණිස ඔවුන් වෙතට ගියේය.
11 ඔව්හු ඒ අසා සතුටුව ඔහුට මිල දෙන්ට පොරොන්දු වූවෝය. එවිට ඔහු උන්වහන්සේ පාවාදීමට පහසු ප්‍රස්තාවක් සෙවීය.
12 පාස්කුව පූජාකරන මුහුන් නුමුසු රොටි කන පළමුවෙනි දවසේ උන්වහන්සේගේ ගෝලයෝ: ඔබ පාස්කුව කන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට කැමතිසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
13 එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින් ඔවුන්ට කියනසේක්: නුවරට යන්න, එකල වතුර කළයක් ගෙන යන මනුෂ්‍යයෙක් නුඹලාට සම්බවන්නේය.
14 ඔහු පස්සේ ගොස්, ඔහු යම් ගෙදරකට ඇතුල්වන්නේද එහි ස්වාමියාට කථාකොට-මාගේ ගෝලයන් සමඟ මා විසින් පාස්කුව කන මාගේ ආගන්තුක ශාලාව කොතැන්හිදැයි ආචාරීන්වහන්සේ අසනසේකැයි කියන්න.
15 එවිට සූදානම්ව පිළියෙළකර තිබෙන මහත් උඩුමහලක් ඔහුම නුඹලාට පෙන්වන්නේය. එහි අපට පිළියෙළකරන්නැයි කීසේක.
16 ගෝලයෝ ගොස්, නුවරට පැමිණ, උන්වහන්සේ ඔවුන්ට කී ලෙසම සම්බව, පාස්කුව පිළියෙළකළෝය.
17 සවස්වූ කල උන්වහන්සේ දොළොස්දෙනා සමඟ ආසේක.
18 ඔවුන් හාන්සිවී කමින් සිටියදී යේසුස්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි-මා සමඟ කන්නාවූ කෙනෙක් වන නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.
19 ඔව්හු ශෝකවන්ටත් එක්කෙනෙක් එක්කෙනෙක් පාසා: මමද මමදැයි උන්වහන්සේගෙන් අසන්ටත් පටන්ගත්තෝය.
20 උන්වහන්සේද: දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ මා සමඟ තළියේ අත ලන තැනැත්තේය.
21 මක්නිසාද තමා ගැන ලියා තිබෙන හැටියටම මනුෂ්‍ය පුත්‍රයා යන්නේය. නුමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවාදෙන මනුෂ්‍යයාට දුක්වේ! ඒ මනුෂ්‍යයා නූපන්නා නම් ඔහුට හොඳයයි කීසේක.
22 ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ඔවුන්ට දී: ගන්න. මේක මාගේ ශරීරයයයි කීසේක.
23 උන්වහන්සේ කුසලානක්ද ගෙන ස්තුතිකොට ඔවුන්ට දුන්සේක. ඔවුන් සියල්ලෝ එයින් බීවෝය.
24 තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේක බොහෝ දෙනෙකු උදෙසා මා විසින් වගුරුවන ගිවිසුමේ මාගේ ලේය.
25 සැබවක් නුඹලාට කියමි-දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී මුද්‍රිකඵල අලුතෙන් බොන දවස දක්වා එය තවත් නොබොන්නෙමියි කීසේක.
26 ඔව්හු ගීතිකාවක් කළායින් පසු ඔලීව කන්දට පිටත්ව ගියෝය.
27 එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා සියල්ලෝම බාධාවන්නහුය. මක්නිසාද-මම එඬේරාට පහරදෙන්නෙමි, එවිට බැටළුවෝ විසුරුවනු ලබන්නෝයයි ලියා තිබේ.
28 එසේ වී නුමුත් මම නැගුටුවනු ලැබූ පසු නුඹලාට පෙරටුව ගලීලයට යන්නෙමියි ඔවුන්ට කීසේක.
29 එහෙත් පේතෘස් කථාකොට: සියලුදෙනාම බාධාවෙතත් මම නම් බාධා නොවෙමියි උන්වහන්සේට කීය.
30 යේසුස්වහන්සේද: සැබවක් නුඹට කියමි-අද, මේ රාත්‍රියේම. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියයි ඔහුට කීසේක.
31 නුමුත් ඔහු: මට ඔබවහන්සේ සමඟ නසින්ට වෙතත්, ඔබ නාඳුනමියි කියන්නේ නම් තැතැයි ඉතා තදලෙස කීවේය. ඔවුන් සියල්ලෝද එසේම කීවෝය.
32 ඔව්හු ගෙත්සෙමනේ නම්වූ ස්ථානයකට පැමුණුණෝය. උන්වහන්සේද: මා යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉන්නැයි ගෝලයන්ට කීසේක.
33 උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද තමන් සමඟ කැඳවාගෙන ගොස්, බොහෝසෙයින් විස්මපත්වෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන් ගත්සේක.
34 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ සිත ඉතා ශෝකවෙයි. නුඹලා මෙහි නැවතී අවදිව සිටින්නය කියා,
35 මඳක් ඉස්සරහට ගොස්, බිම වැටී, පුළුවන් නම් ඒ පැය තමන් කෙරෙන් පහව යන ලෙස යාච්ඤාකරමින්:
36 අබ්බා පියාණෙනි, ඔබට සියල්ලම පුළුවන; මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නුමුත් මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවයි කීසේක.
37 උන්වහන්සේ ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: සීමොන්, නුඹ නිදාඉන්නවාද? නුඹට එක පැයක් අවදිව ඉන්ට බැරිවුණ ද?
38 නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව හිඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය දුර්වලයයි කීසේක.
39 උන්වහන්සේ නැවතත් ගොස් එම වචනම කියා යාච්ඤාකළසේක.
40 උන්වහන්සේ නැවත හැරී ඇවිත්, ඔවුන් නිදාඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් ඉතා නිදිබරව තිබුණේය; උන්වහන්සේට මොන උත්තරයක් දෙන්ටදැයි ඔව්හු නොදැන සිටියෝය.
41 උන්වහන්සේ තුන්වෙනි වර ඇවිත් ඔවුන්ට කියනසේක්: දැන් නිදාගන නිවාඩු ගන්න; ඉතින් ඇත; පැය පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි.
42 නැගිටින්න, අපි යමු. මෙන්න, මා පාවාදෙන්නා ළඟයයි කීසේක.
43 එකෙණෙහිම, උන්වහන්සේ කථාකරද්දීම, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් ලියන්නන් හා වැඩිමහල්ලන් කෙරෙන් සමූහයක්ද කඩු මුගුරු රැගෙන ආවෝය.
44 උන්වහන්සේ පාවාදෙන්නා කථාකොට: මම යමෙකු සිඹගනිම්ද ඒ ඔහුය; ඔහු අල්ලා ප්‍රවේසමෙන් අරගන යන්නැයි ලකුණක් ඔවුන්ට දී තිබුණේය.
45 ඔහු ආ කෙණෙහිම උන්වහන්සේ ළඟට පැමිණ: රබ්බි කියා උන්වහන්සේ සිඹගත්තේය.
46 ඔව්හුද උන්වහන්සේ පිට අත්හෙළා උන්වහන්සේ අල්ලාගත්තෝය.
47 ළඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් කඩුව ඇද උත්තරම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය.
48 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද?
49 මම දේව මාළිගාවේ උගන්වමින් දවස්පතා නුඹලා සමඟ සිටියෙමි, නුඹලා මා ඇල්ලුවේ නැත. නුමුත් ලියවිලි සම්පූර්ණවෙන පිණිස මෙසේ සිදුවීයයි කීසේක.
50 එවිට සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය.
51 තමාගේ නග්න ශරීරයෙහි හණ රෙද්දක් පොරාගත් එක්තරා තරුණයෙක් උන්වහන්සේ පස්සේ ගියේය. ඔව්හු ඔහු ඇල්ලුවෝය;
52 නුමුත් ඔහු හණ රෙද්ද අත්හැර, නග්නව පලාගියේය.
53 ඔව්හු යේසුස්වහන්සේ උත්තම පූජකයා වෙතට ගෙනගියෝය. සියලු නායක පූජකයෝද වැඩිමහල්ලෝද ලියන්නෝද ඔහු සමඟ රැස්වුණෝය.
54 පේතෘස් දුරින් උන්වහන්සේ පස්සේ උත්තම පූජකයාගේ මළුව දක්වා ගොස්, එහි ඇතුළේ සේවකයන් සමඟ ඉඳගන ගිනිතපිමින් හුන්නේය.
55 නායක පූජකයෝද මුළු මන්ත්‍රණ සභාවද යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව සාක්ෂි සෙවුවෝය; නුමුත් සම්බවුණේ නැත.
56 මක්නිසාද බොහෝ දෙනෙක් උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි කී නුමුත් ඔවුන්ගේ සාක්ෂි එකඟවුණේ නැත.
57 එවිට සමහරු නැගිට සිට උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි කියමින්:
58 අතින් සාදනලද මේ දේවමාළිගාව මම කඩා දමා, අතින් නොසාදනලද අනිකක් තුන් දවසකින් ගොඩනගමියි ඔහු කියනවා අපි ඇසුවෙමුයයි කීවෝය.
59 නුමුත් මේ ආකාරයෙන්වත් ඔවුන්ගේ සාක්ෂි එකඟ නොවීය.
60 උත්තම පූජකයා නැගිට මැද සිට: නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට විරුද්ධව කියන සාක්ෂි කිමෙක්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.
61 නුමුත් උන්වහන්සේ කථා නොකර, කිසි උත්තරයක් නොදී සිටිසේක. නැවත උත්තම පූජකයා කථාකොට: නුඹ ආශීර්වාදලත් තැනන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස් වහන්සේදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
62 යේසුස්වහන්සේද: එසේය. තවද මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වැඩඉන්නවාත් අහසේ වලාකුල් පිරිවරාගන එනවාත් නුඹලා දකින්නහුයයි කීසේක.
63 එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන: සාක්ෂිකාරයන්ගෙන් තවත් අපට කම මොකද?
64 දේව අපහාසය නුඹලාට ඇසුණේය. නුඹලා සිතන්නේ මොකදැයි ඇසුවේය. ඔවුන් සියල්ලෝ උන්වහන්සේ මරණයට සුදුස්සෙක්යයි තීන්දුකොට කීවෝය.
65 එකල සමහරෙක් උන්වහන්සේට කෙළගසන්ටත් උන්වහන්සේගේ මුහුණ වසා උන්වහන්සේට ගුටි ඇන: දිවස් කියන්නැයි උන්වහන්සේට කියන්ටත් පටන්ගත්තෝය. සේවකයෝද අතුල්පහර දී උන්වහන්සේ භාරගත්තෝය.
66 පේතෘස් මළුවෙහි පහළ සිටියදී උත්තම පූජකයාගේ මෙහෙකාර තරුණියන්ගෙන් එක්කෙනෙක් ඇවිත්
67 පේතෘස් ගිනිතපිනවා දැක, ඔහු දෙස බලා: නුඹත් නාසරිය යේසුස් සමඟ සිටියෙහියයි කීවාය.
68 නුමුත් ඔහු: නැත, නුඹ කියන දේ මා දන්නේවත් මට තේරෙන්නේවත් නැතැයි කියා පිට ශාලාවට ගියේය; එවිට කුකුළා හඬලීය. ඒ තරුණී ඔහු දැක:
69 මොහු ඔවුන්ගෙන් එක්කෙනෙක්යයි ළඟ සිටියවුන්ට නැවතත් කියන්ට පටන්ගත්තාය.
70 නුමුත් ඔහු නැවතත්: නැතැයි කීවේය. ස්වල්ප වේලාවකට පසු නැවත ළඟ සිටිය අය: සැබෑවටම නුඹ ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; මක්නිසාද නුඹ ගලීලයෙක්යයි පේතෘස්ට කීවෝය.
71 නුමුත් ඔහු: නුඹලා කියන ඒ මනුෂ්‍යයා නාඳුනමියි කියා දෙස් තබාගන්නටද දිවුරන්ටද පටන්ගත්තේය.
72 එකෙණෙහිම කුකුළා දෙවෙනි වර හඬලීය. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන්නෙහියයි යේසුස්වහන්සේ තමාට කී වචනය පේතෘස් සිහිකොට, ඒ ගැන සිත සිතා හැඬුවේය.



පරිච්ඡේදය 15

1 පහන්වූ කෙණෙහිම නායක පූජකයෝ වැඩිමහල්ලන්ද ලියන්නන්ද මුළු මන්ත්‍රණ සභාවද සමඟ මන්ත්‍රණයක් පවත්වා, යේසුස්වහන්සේ බැඳගෙන ගොස් පිලාත්ට භාරදුන්නෝය.
2 නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි පිලාත් උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ උත්තරදෙමින්: නුඹ කියන්නෙහියයි ඔහුට කීසේක.
3 නායක පූජකයෝ බොහෝ දේ ගැන උන්වහන්සේට වරද තැබුවෝය.
4 පිලාත් නැවත කථාකොට: නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට කොපමණ වරද තබනවාද කියා බලන්නැයි උන්වහන්සේට කීයේය.
5 නුමුත් යේසුස්වහන්සේ තවත් කිසි උත්තරයක් නුදුන්සේක; එහෙයින් පිලාත් මවිතවිය.
6 මංගල්‍යයේදී ඔවුන් ඉල්ලන හිරකාරයෙකු ඔහු විසින් ඔවුන්ට මුදාදෙන සිරිතක් තිබුණේය.
7 කැරළිගසා, ඒ කැරළි ගැසීමේදී මිනීමැරු මිනිසුන් සමඟ බඳිනු ලැබූ බරබ්බස් නම් කෙනෙක් විය.
8 සමූහයා නැගීගොස් ඔහු තමුන්ට කළ සිරිතේ හැටියට කරදෙන ලෙස ඔහුගෙන් ඉල්ලන්ට පටන්ගත්තෝය.
9 පිලාත් උත්තරදෙමින්: මා විසින් යුදෙව්වරුන්ගේ රජ නුඹලාට නිදහස්කරදෙනවාට නුඹලා කැමතිදැයි ඔවුන්ගෙන් ඇසුයේය.
10 මක්නිසාද නායක පූජකයන් විසින් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවා දුන් බව ඔහු දැනගන සිටියේය.
11 නුමුත් එසේ නොව ඔහු විසින් බරබ්බස් ඔවුන්ට මුදා දෙන පිණිස නායක පූජකයෝ සමූහයා පෙලෙඹවුවෝය.
12 පිලාත් නැවත ඔවුන්ට උත්තරදෙමින්: එසේනම් යුදෙව්වරුන්ගේ රජයයි නුඹලා කියන්නාවූ මොහුට කුමක් කරම්දැයි කීය.
13 ඔහු කුරුසියෙහි ඇණගැසුව මැනවැයි නැවතත් ඔව්හු මොරගැසුවෝය.
14 එකල පිලාත්: ඒ මන්ද? මොහු මොන නපුරක් කෙළේදැයි ඔවුන්ගෙන් ඇසුවේය. නුමුත් ඔව්හු: ඔහු කුරුසියෙහි ඇණගැසුව මැනවැයි අතිශයින් මොරගැසුවෝය.
15 පිලාත් සමූහයා සතුටුකරන්ට කැමතිව, බරබ්බස් ඔවුන්ට මුදාදී, යේසුස්වහන්සේට තළවා, උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන්ට භාරදුන්නේය.
16 හේවායෝ උන්වහන්සේ ප්‍රේතෝරියම්* නම් ශාලාව ඇතුළට ගෙනගොස්, මුළු හේවා සමුදාව රැස්කළෝය. (* මතෙව්
27 ;27 බලන්න)
17 ඔව්හු උන්වහන්සේට රත්නිල් වස්ත්‍රයක් අඳවා, කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා:
18 යුදෙව්වරුන්ගේ රජ්ජුරුවනි, ඔබට ශුභසිද්ධවේවයි කියා, උන්වහන්සේට ආචාරකරන්ට පටන්ගත්තෝය.
19 ඔව්හු බට දණ්ඩකින් උන්වහන්සේගේ හිසට ගසා, උන්වහන්සේට කෙළගසා, දණ නමා උන්වහන්සේට නමස්කාරකළෝය.
20 ඔව්හු උන්වහන්සේට සරදම්කළ පසු, රත්නිල් වස්ත්‍රය මුදා උන්වහන්සේගේම වස්ත්‍ර අඳවා, කුරුසියෙහි ඇණගසන පිණිස උන්වහන්සේ පිටතට ගෙනගියෝය.
21 ඔව්හු අලෙක්සන්දර්ගෙත් රූපස්ගෙත් පියවූ, පිටිසරින් ඇවිත් ඒ මග ගියාවූ කිරේනියේ සීමොන් නම් කෙනෙකුට උන්වහන්සේගේ කුරුසිය උසුලාගන යන පිණිස ඔවුන් සමඟ යන්ට බලකළෝය.
22 ඔව්හු ඉස්කබලස්ථානය යන අර්ථ ඇති ගොල්ගොතා නම්වූ ඉඩමට උන්වහන්සේ ගෙනගොස්,
23 ගන්ධරස මිශ්‍රවූ මුද්‍රිකපානය උන්වහන්සේට දුන්නෝය. නුමුත් උන්වහන්සේ ඒ පිළිනොගත්සේක.
24 ඔව්හු උන්වහන්සේ කුරුසියෙහි ඇණගසා, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදාගනිමින්, එක එකාට කුමක් ලැබේදෝ කියා ඒවා ගැන දාදු දැමුවෝය.
25 එය තුන්වෙනි පැය විය, ඔව්හු උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවෝය.
26 යුදෙව්වරුන්ගේ රජය කියා උන්වහන්සේගේ වරද පත්‍රය ලියා උඩින් තබා තිබුණේය.
27 ඔව්හු සොරු දෙදෙනෙකු, එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තෙහිද එක්කෙනෙකු වම් පැත්තෙහිද උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.
28 (නොයෙක් පුරාණ පිටපත්වල
28 වෙනි පදයක් ඇතුළත්කර තිබේ: මෙසේ උන්වහන්සේ වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබුසේක යන ශුද්ධ ලියවිල්ල සම්පූර්ණවිය.)
29 මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන්වහන්සේට අපහාසකරමින්: ඔහෝ! දේවමාළිගාව කඩාදමා තුන් දවසකින් ගොඩනගන්නාවු නුඹ,
30 නුඹම ගැළවී කුරුසියෙන් බසින්නැයි කීවෝය.
31 නායක පූජකයොත් ලියන්නන් සමඟ ඒ ආකාරයෙන්ම තමුන් අතරේ උන්වහන්සේට කවටකම්කරමින්: ඔහු අනුන් ගැළවුවේය; තමාම ගළවාගන්ට බැරිය.
32 අප විසින් දැක අදහන පිණිස ඉශ්‍රායෙල්ගේ රජවූ ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසීවයි කීවෝය. උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබූ අයද උන්වහන්සේට නින්දාකළෝය.
33 හවෙනි පැය පැමුණුණ විට, නවවෙනි පැය දක්වා රට මුළුල්ලේ අන්ධකාරයක් විය.
34 නවවෙනි පැයේදී යේසුස්වහන්සේ: එලොයි, එලොයි, ලාමා සබක්තානි කියා මහත් හඬින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුය.
35 ළඟ සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා: අන්න, ඔහු එලියාට හඬගසනවායයි කීවෝය.
36 කෙනෙක් දිවගොස් මූදුහත්තක් කාඩියෙන් පොඟවා බට දණ්ඩක ගසා උන්වහන්සේට බොන්ට දී: නිකම් සිටින්න; මොහු බස්වාගන්ට එලියා එන්නේදැයි බලමුයයි කීවෝය.
37 යේසුස්වහන්සේ මහත් හඬක් නඟා ආත්මය හළසේක.
38 එවිට දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේය.
39 උන්වහන්සේ ඉදිරියෙහි සිටි සියයකට මුලාදෑනියා උන්වහන්සේ මෙසේ ආත්මය හළ බව දුටු කල: සැබෑවිටම මේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීය. ස්ත්‍රීවරුද දුරින් බලාසිටියෝය.
40 ඔවුන් අතරේ උන්වහන්සේ ගලීලයේ සිටි කල්හි උන්වහන්සේ කැටුව ගියාවූ,
41 උන්වහන්සේට උපස්ථානකළාවූ මග්දලායේ මරියාත් කුඩා යාකොබ්ගේද යෝසෙස්ගේද මවුවූ මරියාත් සලෝමිත් උන්වහන්සේ සමඟ යෙරුසලමට ආවාවූ වෙන බොහෝ ස්ත්‍රීවරුත් සිටියෝය.
42 ඒ දවස සූදානම්කිරීමේ දවස වන සබත් දවසට ප්‍රථම දවස බැවින්, සවස්වූ කල,
43 ගරුතර මන්ත්‍රියෙක්වූ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන බලා සිටියාවූ අරිමාතියේ යෝසෙප් ඇවිත්, ධෛර්යගෙන පිලාත් ළඟට ගොස්, යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය.
44 පිලාත් උන්වහන්සේ එපමණ ඉක්මනට නැසුණු බවට පුදුමවී, සියයකට මුලාදෑනියා කැඳවා, උන්වහන්සේ මැරී බොහෝවේලා ගියේදැයි ඇසුයේය.
45 ඒ බව හෙතෙම සියයකට මුලාදෑනියාගෙන් දැනගෙන, යෝසෙප්ට මිනිය භාරදුන්නේය.
46 ඔහු හණ රෙද්දක් මිලේට ගෙන, උන්වහන්සේ බාගෙන ඒ රෙද්දෙහි ඔතා, පර්වතයක කපනලද සොහොන්ගෙයක තබා, එහි දොරකඩට ගලක් පෙරළා තැබුවේය.
47 මග්දලායේ මරියාද යෝසෙස්ගේ මවුවූ මරියාද උන්වහන්සේ තැබූ ස්ථානය දුටුවෝය.



පරිච්ඡේදය 16

1 සබත් දවස පසුවූ කල මග්දලායේ මරියාද යාකොබ්ගේ මවුවූ මරියාද සලෝමිද ඇවිත් උන්වහන්සේ ආලේපකරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලේට ගෙන,
2 සතියේ පළමුවෙනිදා ඉතා උදය ඉර පෑවූ කල සොහොන් ගේ ළඟට ආවෝය.
3 ඔව්හු: අපට සොහොන්ගෙයි දොරකඩින් ගල අහකට පෙරළා දෙන්නේ කවුදැයි ඔවුනොවුන් අතරේ කථාකළෝය.
4 මක්නිසාද ඒක ඉතා මහත්ව තිබුණේය. ඔව්හු ඇස් ඔසවා බැලූ කල ගල අහකට පෙරළා තිබුණු බව දුටුවෝය.
5 එකල ඔව්හු සොහොන්ගෙට ඇතුල්ව, සුදු සළුවක් පැළඳගත් තරුණයෙක් දකුණු පැත්තේ ඉඳගන ඉන්නවා දැක, භීතවූහ.
6 ඔහු ඔවුන්ට කථාකොට: භීත නොවෙන්න. නුඹලා වනාහි කුරුසියෙහි ඇණගසනලද නාසරිය යේසුස්වහන්සේ සොයන්නහුය. උන්වහන්සේ නැගුටුණුසේක; උන්වහන්සේ මෙහි නැත. මෙන්න, ඔවුන් උන්වහන්සේ තැබූ ස්ථානය!
7 නුමුත් නුඹලා ගොස්: උන්වහන්සේ නුඹලාට පළමුවෙන් ගලීලයට යනසේකැයි කියාත් උන්වහන්සේ නුඹලාට කී ලෙස එහිදී නුඹලා උන්වහන්සේ දකිනවා ඇත කියාත් උන්වහන්සේගේ ගෝලයන්ටද පේතෘස්ටද කියන්නැයි කීවේය.
8 ඔව්හු පිටතට ඇවිත්, සොහොන් ගෙයින් පලාගියෝය; මක්නිසාද වෙවුලුම සහ විස්මයත් ඔවුන් කෙරෙහි පැමිණ තිබුණේය. ඔව්හු භයව සිටි බැවින්, කිසිවෙකුට කිසිවක් නොකීවෝය.
9 උන්වහන්සේ සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ නැගිටි කල පළමුකොට මග්දලායේ මරියාට පෙනුණුසේක. ඈ වනාහි උන්වහන්සේ විසින් යක්ෂයන් සත්දෙනෙකු දුරුකරනු ලැබූ තැනැත්තීය.
10 ඈ ගොස් උන්වහන්සේ සමඟ සිටි අය අඬමින් වැලපෙමින් සිටිද්දී ඔවුන්ට දැන්නුවාය.
11 උන්වහන්සේ ජීවත්ව සිටින බවද ඈ විසින් දක්නාලද බවද ඇසූ විට ඔව්හු අවිශ්වාසකළෝය.
12 ඉන්පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් පිටිසරට යන කල උන්වහන්සේ අන්‍යාකාරයකින් ඔවුන්ට ප්‍රකාශවූසේක.
13 ඔව්හු ගොස් අනික් අයට දැන්නුවෝය. ඔව්හු ඔවුන්වත් විශ්වාස නොකළෝය.
14 පසුව උන්වහන්සේ එකොළොස්දෙන කෑමට හාන්සිවී සිටියදී ඔවුන්ට පෙනී, නැගුටුණයින් පසු තමන්වහන්සේව දුටු අයව ඔවුන් විශ්වාස නොකළ නිසා, ඔවුන්ගේ විශ්වාසය නැතිකමටත් සිත් දැඩිකමටත් ඔවුන්ට දොස්තැබූසේක.
15 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න.
16 අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය.
17 අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;
18 සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.
19 මෙසේ ස්වාමිවූ යේසුස්වහන්සේ ඔවුන්ට කථාකළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූසේක.
20 ඔව්හු පිටත්ව ගොස්, සියලු තැන්වලම දේශනා කළෝය. ස්වාමීන්වහන්සේද ඔවුන් සමඟ ක්‍රියාකරමින් ඔවුන් අතින් සිදුවූ ලකුණුවලින් වචනය ස්ථිරකළසේක. ආමෙන්.