ලූක්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24


පරිච්ඡේදය 1

1 අති උත්තමවූ තියෝපිලස්නි, පටන්ගැන්මේ සිට ඇසින් දුටුවාවුන් හා වචනයේ සේවකයන්ව සිටි අය විසින් අපට දන්වා දුන් ප්‍රකාරයට,
2 අප අතරෙහි ඉෂ්ටවී තිබෙන කාරණා ගැන කථාවස්තුවක් රචනාකරන්ට බොහෝ දෙනෙකු විසින් පටන්ගෙන තිබෙන බැවින්,
3 ඔබ යමක් ගැන ඉගෙනීම ලැබුයෙහිද ඒ කාරණාවල සත්‍යකම ඔබ විසින් දැනගන්නා පිණිස,
4 මමත් මුල පටන් ක්‍රමයට සියලු කාරණා හරියාකාර විමසා බලා, ඒ දේ පිළිවෙළින් ඔබට ලියා එවීම සුදුසුයයි සිතුවෙමි.
5 යුදයේ රජවූ හෙරොද්ගේ කාලයේදී අබියාගේ පංතියෙහි සෙකරියස් නම් එක්තරා පූජකයෙක් සිටියේය. ඔහුට ආරොන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් වූවාය, ඇගේ නම එලිසබෙත්ය.
6 ඔවුන් දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය.
7 එලිසබෙත් වඳ බැවින් ඔවුන්ට දරුවෙක් නොවීය, ඔවුන් දෙදෙනාම වයස්ගතව සිටියෝය.
8 තවද ඔහු තමාගේ පංතියේ ක්‍රමය ලෙස දෙවියන්වහන්සේ ඉදිරියෙහි පූජක මෙහෙය කරන කල,
9 ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්ව සුවඳ දුම් ඔප්පුකිරීමට වාරය පූජකයාගේ නිලයේ සිරිත ලෙස පසඇට දැමීමෙන් ඔහුට වැටුණේය.
10 සුවඳ දුම් ඔප්පුකරන වේලාවේ මුළු සමූහයා යාච්ඤාකරමින් පිටත සිටියෝය.
11 එවිට දුම් පූජාසනයට දකුණු පැත්තේ ස්වාමීන්වහන්සේගේ දූතයෙකු සිටිනවා ඔහුට පෙනුණේය.
12 සෙකරියස් ඔහු දැක කැලඹී භයපත්වූයේය.
13 නුමුත් දේවදූතයා ඔහුට කථාකොට: සෙකරියස්, භය නොවන්න. මක්නිසාද නුඹේ කන්නලව්ව අසනලද්දේය, නුඹේ භාර්යාවවූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු බිහිකරන්නීය, ඔහුට යොහන් යන නම තබන්න.
14 නුඹට ප්‍රීතියත් සන්තෝෂයත් වන්නේය; බොහෝ දෙනෙක් ඔහුගේ ඉපදීමට ප්‍රීතිවන්නෝය.
15 මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උත්තමයෙක් වන්නේය, ඔහු මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් නොබොන්නේය; මවු කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය.
16 ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හරවන්නේය.
17 ඔහු පියවරුන්ගේ සිත් දරුවන් දෙසටත් අකීකරුවන් ධර්මිෂ්ඨයන්ගේ ඥානයෙහි හැසිරීමටත් හරවන පිණිසද, සූදානම්වූ සෙනඟක් ස්වාමීන්වහන්සේට පිළියෙළ කරන පිණිසද, එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද උන්වහන්සේට පෙරටුව යන්නේයයි කීවේය.
18 සෙකරියස්ද: මම මේක කුමකින් දැනගනිම්ද? මක්නිසාද මම මහල්ලෙක්ය, මාගේ භාර්යාවත් වයස්ගතයයි දේවදූතයාට කීවේය.
19 දේවදූතයා උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාවූ ගාබ්‍රියෙල්ය; නුඹ සමඟ කථාකරන්ටත් මේ යහපත් ආරංචිය නුඹ වෙත ගෙනෙන්ටත් එවනලද්දෙමි.
20 බලව, නියම කාලයට සම්පූර්ණවන්නාවූ මාගේ වචන නුඹ විශ්වාස නොකළ බැවින්, මේ කාරණා සිදුවන දවස දක්වා, නුඹ කථාකරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නෙහියයි කීවේය.
21 සෙකරියස් එන තෙක් බලා සිටි සෙනඟ දේවමාළිගාවේ ඔහුගේ පමාවීම ගැන මවිතවූවෝය.
22 ඔහු පිටත ආ කල ඔවුන්ට කථාකරන්ට ඔහුට බැරිවිය. ඔහු දේවමාළිගාවේදී දර්ශනයක් දුටු බව ඔව්හු දැනගත්තෝය; ඔහු ගොළුව ඔවුන්ට සංඥාකරමින් සිටියේය.
23 තවද තමාගේ මෙහෙකිරීමේ දවස් සම්පූර්ණවූ කල ඔහු ස්වකීය ගෙදරට ගියේය.
24 භාර්යාවූ ඒ දවස්වලට පසු ඔහුගේ එලිසබෙත් ගර්භිණීව:
25 මනුෂ්‍යයන් අතරේ වූ මාගේ නින්දාව පහකරන පිණිස ස්වාමීන්වහන්සේ මා දෙස බැලූ දවස්වලදී මට මෙසේ කරුණාකළසේකැයි කියා, පස් මසක් සැඟවී සිටියාය.
26 සවෙනි මාසයේදී, ගලීලයේ නාසරෙත් නම් නුවරක විසූ, දාවිත්ගේ වංශයෙහිවූ යෝසෙප් නම් මනුෂ්‍යයෙකුට විවාහබස් දී සිටි,
27 කන්‍යාවකු වෙතට දෙවියන්වහන්සේ වෙතින් ගාබ්‍රියෙල් නම් දූතයා යවනලද්දේය; ඒ කන්‍යාවගේ නාමය මරියාය.
28 ඔහු ඈ සිටි තැනට පැමිණ: බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභසිද්ධවේවා, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීවේය.
29 නුමුත් ඈ ඔහුගේ කීමට බොහොසේ කැලඹී, මේ කෙබඳුවූ ආචාරයක්ද කියා කල්පනාකරමින් සිටියාය.
30 දේවදූතයා ඈට කථාකොට: මරියා, භය නොවන්න. මක්නිසාද නුඹට දෙවියන්වහන්සේගෙන් කරුණාව ලැබුණේය.
31 බලව, නුඹ භාර්භණීව පුත්‍රයෙකු බිහිකරන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න.
32 උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙනසේක.
33 උන්වහන්සේ යාකොබ්ගේ වංශය කෙරෙහි සදාකාලේටම රජකම්කරනසේක; උන්වහන්සේගේ රාජ්‍යය කෙළවර නොවන්නේයයි කීයේය.
34 එවිට මරියා දේවදූතයාට කථාකොට: මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින්, මේක වෙන්නේ කෙසේදැයි කීවාය.
35 දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.
36 බලව, නුඹට නෑවූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසිඳ ඉන්නීය. වඳීයයි කියන ලද ඈට දැනට සවෙනි මාසයය.
37 මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.
38 මරියාද: බැලුව මැනව, ස්වාමීන්වහන්සේගේ දාසීය; ඔබගේ වචනය ලෙස මට වේවයි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් ගියේය.
39 ඒ දවස්වලදී මරියා නැගිට කඳු රට කරා, යුදයේ නුවරකට, වහාම ගොස්,
40 සෙකරියස්ගේ ගෙට ඇතුල්ව, එලිසබෙත්ට ආචාරකළාය.
41 එලිසබෙත් මරියාගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා පැන නැංගේය. එවිට එලිසබෙත් ශුද්ධාත්මයෙන් පූර්ණව,
42 මහත් ශබ්දයකින් හඬනගා කියන්නී: නුඹ ස්ත්‍රීන් අතරෙහි ආශීර්වාදලද්දීය, නුඹේ ගර්භයේ ඵලයද ආශීර්වාදලද්දේය.
43 මාගේ ස්වාමීන්වහන්සේගේ මෑණියන් මා ළඟට පැමිණීම කෙසේ සිද්ධවීද?
44 මක්නිසාද නුඹේ ආචාර ශබ්දය මාගේ කන්වල වැටුණු කෙණෙහිම, මාගේ කුසෙහි දරුවා ප්‍රීතියෙන් පැන නැංගේය.
45 විශ්වාසකළ තැනැත්තී ආශීර්වාදලද්දීය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් ඈට කියනලද දේ සම්පූර්ණවන්නේයයි කීවාය.
46 එවිට මරියා කියන්නී: මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි,
47 මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්විය.
48 මක්නිසාද උන්වහන්සේ ස්වකීය දාසියගේ පහත්කම බැලූසේක. බලව, මෙතැන් පටන් සියලු පරම්පරාවෝ මට ආශීර්වාදලද්දීයයි කියන්නෝය.
49 මක්නිසාද බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක; උන්වහන්සේගේ නාමය ශුද්ධය.
50 උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේට භයවන්නන් කෙරෙහි පරම්පරාවෙන් පරම්පරාවට පවතියි.
51 උන්වහන්සේ ස්වකීය බාහුවෙන් බලය පෑසේක; තමුන්ගේ සිත්වල කල්පනාවෙන් අහංකාරීවූ අය විසිරෙවුසේක.
52 උන්වහන්සේ අධිපතීන් සිංහාසන වලින් හෙළා, පහත් අය උසස්කළසේක.
53 බඩගිනිවූවන් යහපත් දෙයින් තෘප්තියට පමුණුවා, වස්තුකාරයන් හිස් අතින් හැරිය සේක.
54 උන්වහන්සේ අපේ පියවරුන්ට කී ලෙස, ආබ්‍රහම්ටද ඔහුගේ වංශයටද
55 සදාකල්ම ස්වකීය කරුණාව සිහිකරන අදහසින්, තමන් මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට පිහිටවූසේකැයි කීවාය.
56 මරියා ඈ සමඟ තුන් මසක් පමණ වාසයකොට, තමාගේම ගෙදරට හැරී ගියාය.
57 එලිසබෙත්ගේ බිහිකරන කාලය සම්පූර්ණවූ කල ඈ පුත්‍රයෙකු බිහිකළාය.
58 ඇගේ අසල්වාසියෝද නෑයෝද ස්වාමීන්වහන්සේ ඈ කෙරෙහි ස්වකීය කරුණාව විශාලකළ බවඅසා, ඈ සමඟ ප්‍රීතිවූවෝය.
59 තවද අටවෙනිදා දරුවා චර්මඡේදනයකරන පිණිස ඔව්හු ඇවිත්, ඔහුගේ පියාගේ නාමය ලෙස ඔහුට සෙකරියස්යයි නම් තබන්ට හැදුවෝය. නුමුත් ඔහුගේ මවු උත්තරදෙමින්:
60 එසේ නොවේ; ඔහුට යොහන් යන නාමය තබන්ට ඕනෑයයි කීවාය.
61 නුඹේ නෑයන් අතරේ මේ නාමය ඇති කෙනෙක් නැතැයි ඔව්හු ඈට කීවෝය.
62 ඔහුගේ පියා ඔහුට මොන නමක් තබන්ට කැමැත්තේද කියා දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥාකළෝය.
63 ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන: ඔහුගේ නම යොහන්යයි ලියුවේය. සියල්ලෝද මවිතවූවෝය.
64 එකෙණෙහිම ඔහුගේ මුඛය ඇරී, දිවද ලිහී, ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, කථාකළේය.
65 ඔවුන් අවට විසූ සියල්ලන් කෙරෙහි භය පැමිණියේය. මේ සියලු කීම් යුදයෙහි මුළු කඳු රටේ පතළවී ගියේය.
66 ඒ ඇසූ සියල්ලෝ ඒ දේ තමුන්ගේ සිත්වල තබාගෙන: එසේ නම් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේදැයි කීවෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හස්තය ඔහු සමඟ වූයේය.
67 ඔහුගේ පියවූ සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව අනාගතවචන කියමින්:
68 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදාදුන්සේක.
69 ලෝකයේ පටන්ගැන්මෙහි සිට විසූ ස්වකීය ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවු ලෙස
70 අපේ සතුරන්ගෙන්ද අප කෙරේ වෛර බැඳගත් සියල්ලන් අතින්ද
71 අප ගළවන්නාවූ අඟක් තමන් දාසවූ දාවිත්ගේ වංශයෙන් අපට නැගුටුවාදුන්සේක.
72 මෙසේ උන්වහන්සේ අපේ සතුරන්ගේ අත්වලින් අප ගළවා, අපේ සියලු දවස්වල භයක් නැතුව උන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින්ද ධර්මිෂ්ඨකමින්ද
73 උන්වහන්සේට සේවයකරන්ට වරදෙන පිණිස,
74 අපේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම වන
75 තමන්ගේ ශුද්ධවූ ගිවිසුම සිහිකොට, අපේ පියවරුන්ට කරුණාව පෙන්වනසේක.
76 එසේය, දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ අනාගතවක්තෘයයි කියනු ලබන්නෙහිය. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ මාර්ග පිළියෙළකරන්ට,
77 එනම් අපේ දෙවියන්වහන්සේගේ දයාබරකම කරණකොටගෙන උන්වහන්සේගේ සෙනඟට පව් කමාවීමෙන් ලැබෙන ගැළවීම දන්වන්ට,
78 උන්වහන්සේට පෙරටුව යන්නෙහිය. ඒ දයාබරකමෙන් අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටින්නන්ට එළිය දෙන පිණිසත්,
79 අපේ පාද සමාදාන මාර්ගයට පමුණුවන පිණිසත්, ඉහළින් අරුණාලෝකය අප කරා පහළවන්නේයයි කීයේය.
80 දරුවා වැඩී, ආත්මයෙන් ශක්තිමත්ව, ඉශ්‍රායෙල්ට තමා ප්‍රකාශවන දවස දක්වා වනාන්තර ස්ථානවල සිටියේය.



පරිච්ඡේදය 2

1 තවද ඒ දවස්වලදී මුළු ලෝකයාගේ ලේඛනයක් සෑදීමට කායිසර් අගොස්තුස් කෙරෙන් නියෝගයක් නිකුත්ව ගියේය.
2 මේ වනාහි කිරේනියස් සිරියාගේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළමුවෙනි ලේඛනයයි.
3 සියල්ලෝ ලියවෙන්ට තම තමුන්ගේ නුවරවලට ගියෝය.
4 යෝසෙප්ද දාවිත්ගේ වංශයටත් පෙළපතටත් අයිති බැවින්,
5 තමාට විවාහබස් දුන් ගර්භිණීව සිටි මරියා සමඟ ලියවෙන්ට, ගලීලයෙහිවූ නාසරෙත් නුවරින් පිටත්ව යුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවරට ගියේය.
6 තවද ඔවුන් එහි සිටියදී ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවිය.
7 ඈ කුලුඳුල් පුත්‍රයා බිහිකර, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය.
8 තවද එම රටෙහි එඬේරු රෑ යාමයෙන් යාමට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය.
9 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔවුන් ළඟ සිටියේය, ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුණේය. ඔව්හු අතිශයින් භයපත්වූහ.
10 දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි.
11 මක්නිසද ස්වාමීවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක.
12 රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය.
13 එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්:
14 ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.
15 තවද දේවදූතයන් ඔවුන් කෙරෙන් ස්වර්ගයට ගිය කල එඬේරු ඔවුනොවුන් කථාකොට: දැන්ම බෙත්ලෙහෙමට ගොස් ස්වාමීන්වහන්සේ විසින් අපට දන්වනලද සිද්ධවූ මේ දෙය බලමුව කියා,
16 වහාම ගොස්, මරියාද යෝසෙප්ද ගවයන් කන ඔරුවේ බාවා උන් ළදරුවාද දුටුවෝය.
17 ඔව්හු ඒ දැක, මේ ළදරුවා ගැන තමුන්ට කී දේ දැන්වුවෝය.
18 ඒ ඇසූ සියල්ලෝ තමුන්ට එඬේරුන් විසින් කියනලද දේවලට පුදුමවූවෝය.
19 නුමුත් මරියා ඒ සියලු කීම් සිතේ තබාගෙන මෙනෙහිකළාය.
20 එඬේරු වනාහි තමුන්ට කී ලෙසම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන්වහන්සේට ගෞරවකරමින්ද ප්‍රශංසාකරමින්ද හැරී ගියෝය.
21 උන්වහන්සේ චර්මඡේදනයකිරීමට අට දවස සම්පූර්ණවූ කල, උන්වහන්සේ කුසෙහි පිළිසිඳෙන්ට පළමුවෙන් දේව දූතයා විසින් කියනලද යේසුස් යන නාමය උන්වහන්සේට තබනලද්දේය.
22 මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ඔවුන්ගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල: කුලුඳුල්වූ සියලු පිරිමි ස්වාමීන්වහන්සේට කැපයයි කියනු ලබන්නෝයයි
23 ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස, උන්වහන්සේ ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිසද,
24 ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි කියා තිබෙන හැටියට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජාකරන පිණිසද, ඔව්හු උන්වහන්සේ යෙරුසලමට ගෙනාවෝය.
25 බලව, යෙරුසලමෙහි සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය; මේ මනුෂ්‍යයා ඉශ්‍රායෙල්ගේ සැනසීම බලා සිටියාවූ ධර්මිෂ්ඨවූ භක්තිවන්තවූ කෙනෙක්ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු කෙරෙහිවූසේක.
26 ස්වාමීන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නේය කියා ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ඔහුට එළිදරව්කර තිබුණේය.
27 ඔහු ආත්මයාණන් කරණකොටගෙන දේවමාළිගාවට ආවේය. ළදරු යේසුස්වහන්සේට ව්‍යවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මවුපියන් විසින් උන්වහන්සේ ගෙනා විට,
28 ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් කියනුයේ:
29 ස්වාමීන්වහන්ස, දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරිනසේක;
30 මක්නිසාද අන්‍යජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඉශ්‍රායෙල් සෙනඟගේ තේජසදවූ
31 සියලු මනුෂ්‍යයන් ඉදිරියෙහි ඔබ විසින් පිළියෙළකළාවූ
32 ගැළවීම මාගේ ඇස්වලින් දුටිමියි කීවේය.
33 උන්වහන්සේ ගැන කී කාරණාවලට උන්වහන්සේගේ පියාද මෑණියෝද මවිතවෙමින් සිටියෝය.
34 සිමියොන් ඔවුන්ට ආශීර්වාදකර, උන්වහන්සේගේ මවුවූ මරියාට කථාකොට: බලව, මේ ළදරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත් නැගිටීම පිණිසත් විරුද්ධව කථාකරනු ලබන ලකුණක් පිණිසත් නියමවී සිටියි;
35 එසේය, නුඹේම ආත්මයට කඩුවකින් අනිනු ලැබේ; මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි කල්පනා එළිදරව්වන පිණිසයයි කීවේය.
36 තවද ආෂෙර්ගේ ගෝත්‍රයේ ඵානුයෙල්ගේ දූවූ, ඉතා වයස්ගතවූ, ආනා නම් අනාගතවක්ත්‍රියක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවෙහි සිට සත් අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමඟ වාසයකළාය,
37 අවුරුදු අසූහතරක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය; ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය.
38 ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය.
39 ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ටකළ පසු, ගලීලයෙහිවූ නාසරෙත් නම් තමුන්ගේම නුවරට හැරී ගියෝය.
40 ළදරුවා වැඩී, ශක්තිමත්ව, ප්‍රඥාවෙන් පූර්ණවූසේක. දෙවියන්වහන්සේගේ කරුණාවද උන්වහන්සේ කෙරෙහි විය.
41 උන්වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු මංගල්‍යය පිණිස යෙරුසලමට ගියෝය.
42 උන්වහන්සේට දොළොස් අවුරුදු වයස්වූ කල ඔව්හු මංගල්‍ය සිරිත් ලෙස ගියෝය.
43 ඔවුන් නියම දවස් ගතකොට හැරී එද්දී, යේසුස් නම් ළමයා යෙරුසලමෙහි නැවතී සිටිසේක; නුමුත් උන්වහන්සේගේ මවුපියෝ ඒ බව නොදැන,
44 උන්වහන්සේ ගමන් යන අය සමඟයයි සිතා, දවසක ගමන් ගොස්, නෑයන්ද අඳුනන්නවුන්ද අතරෙහි උන්වහන්සේ සෙවුවෝය.
45 උන්වහන්සේ සම්බ නුවූ බැවින්, ඔව්හු උන්වහන්සේ සොයමින් යෙරුසලමට ආපසු ගියෝය.
46 තවද තුන් දවසකට පසු, උන්වහන්සේ දේවමාළිගාවෙහි පණ්ඩිතයන් මැද වාඩිවී, ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා ඔව්හු දුටුවෝය.
47 උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූහ.
48 ඔව්හු උන්වහන්සේ දැක මවිතවූවෝය. උන්වහන්සේගේ මෑණියෝ: පුත්‍රය, කුමක් නිසා අපට මෙසේ කෙළෙහිද? බලව, නුඹේ පියාද මමද සෝකවෙමින් නුඹ සෙවුවෙමුයයි කීවාය.
49 එවිට උන්වහන්සේ: නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්දැයි ඔවුන්ට කීසේක.
50 නුමුත් උන්වහන්සේ ඔවුන්ට කී කීම ඔවුන් තේරුම්ගත්තේ නැත.
51 උන්වහන්සේ ඔවුන් සමඟ ගොස් නාසරෙත්ට පැමිණ, ඔවුන්ට යටත්ව සිටිසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියලු කීම් සිතේ තබාගත්තාය.
52 යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක.



පරිච්ඡේදය 3

1 පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාවද, හෙරොද් ගලීලයට අධිපතියාවද, ඔහුගේ සහෝදරවූ පිලිප් ඉතුරයටත් ත්‍රකොනිතිස් නම්ලත් පළාතටත් අධිපතියාවද, ලූසානියස් අබිලේනියට අධිපතියාවද, අන්නස් සහ කායාඑස් උත්තම පූජකයෝවද සිටි කාලයෙහි,
2 තිබේරියස් කායිසර් රාජ්‍යයට පැමිණි පසළොස්වෙනි අවුරුද්දෙහි, දෙවියන්වහන්සේගේ වචනය වනයෙහිදී සෙකරියස්ගේ පුත්‍රවූ යොහන් වෙතට පැමිණියේය.
3 ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළ කරව්. උන්වහන්සේගේ මාවත් සමතලා කරව්.
4 සෑම මිටිතැන් පුරවනු ලබන්නේය, සෑම කඳු සහ හෙල් පහත්කරනු ලබන්නේය; ඇද තැන් ඇද හරිනු ලැබ රළු මාවත් සමතලාවන්නේය;
5 සියලු මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගේ ගැළවීම දකින්නෝයයි වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දයය කියා අනාගතවක්තෘවූ යෙසායාගේ වචන සඳහන්වූ පොතෙහි ලියා තිබෙන ලෙස,
6 යොහන් පව්කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය දේශනාකරමින්, යොර්දාන් වටකර මුළු පළාතට ආවේය.
7 එකල ඔහු තමාගෙන් බව්තීස්මය ලබන්ට ආවාවූ සමූහයන්ට කථාකොට: පොළොං වංශය, පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාද කළේ කවුරුද?
8 එබැවින්-ආබ්‍රහම් අපගේ පියාණෝයයි සිතින් කියන්ට පටන් නොගෙන පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.
9 තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේයයි කීවේය.
10 එවිට සමූහයෝ: එසේවී නම් අප විසින් කුමක් කරන්ට ඕනෑදැයි ඔහුගෙන් ඇසුවෝය.
11 ඔහු උත්තරදෙමින්: අඳනා දෙකක් ඇති අය නැති අයට දේවා; කෑම ඇති අයද එසේම කෙරේවයි ඔවුන්ට කීවේය.
12 සුංගම් අයකරන්නෝද බව්තීස්මය ලබන්ට ඇවිත්: ආචාරිනි, අප විසින් කුමක් කරන්ට ඕනෑදෑයි ඔහුගෙන් ඇසුවෝය.
13 නුඹලාට නියමකර තිබෙන පමණට වඩා අයකර නොගන්නැයි ඔහු ඔවුන්ට කීයේය.
14 හේවායෝද: ඉතින් අප විසින් කරන්ට ඕනෑ මොකක්දැයි ඇසුවෝය. කාටවත් බලාත්කාර නොකරන්න, අයුත්තෙන් යමක් අයකර නොගන්න; නුඹලාගේ කුලී පමණින් සතුටුවෙන්නැයි ඔහු ඔවුන්ට කීවේය.
15 සෙනඟ බලාපොරොත්තුවෙන් සිටි අතරද සියල්ලන් යොහන් ගැන, ඔහු ක්‍රිස්තුස්වහන්සේ දෝහෝයි සිතින් කල්පනාකරමින් සිටි අතරද
16 යොහන් සියල්ලන්ට උත්තර දෙමින්: මම වනාහි වතුරෙන් බව්තීස්ම කරමි; නුමුත් මට වඩා බලවන්තයා එනසේක, උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් මම නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්ම කරනසේක.
17 කමත හොඳහැටි පවිත්‍රකරන්ටත් ධාන්‍ය තමන් අටුවට රැස්කරන්ටත් උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේගේ අතේය; නුමුත් බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.
18 මෙසේ වෙනත් බොහෝ අනුශාසනාවලින් ඔහු සෙනඟට ශුභාරංචිය දේශනාකෙළේය;
19 නුමුත් දේශාධිපතිවූ හෙරොද් තමාගේ සහෝදරයාගේ භාර්යාවවූ හෙරෝදියස් නිසාද තමා කළ සියලු නපුරු දේ නිසාද යොහන්ගෙන් තරවටු ලැබ,
20 යොහන් හිරගෙයි දැමීමෙන් ඒ සියල්ලට වැඩි නපුරක් කෙළේය.
21 තවද සියලු සෙනඟ බව්තීස්මය ලැබූවිට යේසුස්වහන්සෙත් බව්තීස්මය ලැබ, යාච්ඤාකරන කල, අහස විවරවී,
22 ශුද්ධාත්මයාණන්වහන්සේ රූපාකාරයෙන් පරෙවියෙකු මෙන් උන්වහන්සේ පිටට බැස්සසේක. එවිට: නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය; නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්ම ආයේය.
23 යේසුස්වහන්සේ උගන්වන්ට පටන්ගත් කල අවුරුදු තිහක් පමණ වයස්ව සිටිසේක; උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයායයි මනුෂ්‍යයෝ සිතුවෝය. යෝසෙප් හේලීගේ පුත්‍රයාය,
24 ඔහු මත්තාත්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය, ඔහු මෙල්කීගේ පුත්‍රයාය, ඔහු යන්නයිගේ පුත්‍රයාය, ඔහු යෝසෙප්ගේ පුත්‍රයාය,
25 ඔහු මත්තාතියස්ගේ පුත්‍රයාය, ඔහු ආමොස්ගේ පුත්‍රයාය, ඔහු නාහුම්ගේ පුත්‍රයාය, ඔහු එස්ලීගේ පුත්‍රයාය, ඔහු නග්ගයිගේ පුත්‍රයාය,
26 ඔහු මායත්ගේ පුත්‍රයාය, ඔහු මත්තාතියස්ගේ පුත්‍රයාය, ඔහු සෙමෙයින්ගේ පුත්‍රයාය, ඔහු යෝසෙක්ගේ පුත්‍රයාය, ඔහු යෝදාගේ පුත්‍රයාය,
27 ඔහු යොවාන්ගේ පුත්‍රයාය, ඔහු රෙසාගේ පුත්‍රයාය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයාය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයාය, ඔහු නේරිගේ පුත්‍රයාය,
28 ඔහු මෙල්කීගේ පුත්‍රයාය, ඔහු අද්දිගේ පුත්‍රයාය, ඔහු කෝසම්ගේ පුත්‍රයාය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයාය,
29 ඔහු ඒර්ගේ පුත්‍රයාය, ඔහු යේසුස්ගේ පුත්‍රයාය, ඔහු එලියේශෙර්ගේ පුත්‍රයාය, ඔහු යෝරිම්ගේ පුත්‍රයාය, ඔහු මත්තාත්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය,
30 ඔහු සිමියොන්ගේ පුත්‍රයාය, ඔහු යූදස්ගේ පුත්‍රයාය, ඔහු යෝසෙප්ගේ පුත්‍රයාය, ඔහු යෝනාම්ගේ පුත්‍රයාය, ඔහු එලියාකීම්ගේ පුත්‍රයාය,
31 ඔහු මෙලෙයාගේ පුත්‍රයාය, ඔහු මෙන්නාගේ පුත්‍රයාය, ඔහු මත්තතාගේ පුත්‍රයාය, ඔහු නාතන්ගේ පුත්‍රයාය, ඔහු දාවිත්ගේ පුත්‍රයාය,
32 ඔහු යෙස්සේගේ පුත්‍රයාය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයාය, ඔහු බෝවාශ්ගේ පුත්‍රයාය, ඔහු සල්මොන්ගේ පුත්‍රයාය, ඔහු නාෂොන්ගේ පුත්‍රයාය,
33 ඔහු අමිනාදබ්ගේ පුත්‍රයාය, ඔහු අර්නීගේ පුත්‍රයාය, ඔහු හෙශ්‍රෙන්ගේ පුත්‍රයාය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයාය, ඔහු යූදාගේ පුත්‍රයාය,
34 ඔහු යාකොබ්ගේ පුත්‍රයාය, ඔහු ඊසාක්ගේ පුත්‍රයාය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයාය, ඔහු තේරාගේ පුත්‍රයාය, ඔහු නාහොර්ගේ පුත්‍රයාය,
35 ඔහු සෙරූග්ගේ පුත්‍රයාය, ඔහු රෙව්ගේ පුත්‍රයාය, ඔහු පෙලෙග්ගේ පුත්‍රයාය, ඔහු ඒබෙර්ගේ පුත්‍රයාය, ඔහු ෂෙලාගේ පුත්‍රයාය,
36 ඔහු කායිනන්ගේ පුත්‍රයාය, ඔහු ආර්පක්සද්ගේ පුත්‍රයාය, ඔහු ෂෙම්ගේ පුත්‍රයාය, ඔහු නෝවාගේ පුත්‍රයාය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයාය,
37 ඔහු මෙතුසෙලාගේ පුත්‍රයාය, ඔහු ඒනොක්ගේ පුත්‍රයාය, ඔහු යාරෙද්ගේ පුත්‍රයාය, ඔහු මහලලේල්ගේ පුත්‍රයාය, ඔහු කායිනන්ගේ පුත්‍රයාය,
38 ඔහු ඒනොස්ගේ පුත්‍රයාය, ඔහු සෙත්ගේ පුත්‍රයාය, ඔහු ආදම්ගේ පුත්‍රයාය, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාය.



පරිච්ඡේදය 4

1 යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, යොර්දානෙන් හැරී ඇවිත්, යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබමින්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන
2 සතළිස් දවසක් වනයෙහි ගෙනයනු ලැබූසේක. ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොකාසිටිසේක. ඒ දවස් නිමවූ පසු උන්වහන්සේ බඩගිනිවිය.
3 එකල යක්ෂයා උන්වහන්සේට කථාකොට: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටි වෙන්ට අණකළ මැනවයි කීවේය.
4 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මනුෂ්‍යයා රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.
5 එවිට ඔහු උන්වහන්සේ උස් ඉඩමකට ගෙනගොස්, ක්ෂණයකින් ලෝකයේ සියලු රාජ්‍යයන් උන්වහන්සේට පෙන්වා,
6 උන්වහන්සේට කථාකොට: මේ මුළු බලයද එහි ඓශ්වර්යයද ඔබට දෙන්නෙමි. මක්නිසාද ඒවා මට භාරදී තිබේ; මම කැමති කෙනෙකුට ඒවා දෙමි.
7 එබැවින් ඔබ මා ඉදිරියෙහි නමස්කාරකරන්නෙහි නම් ඒ සියල්ලම ඔබට වන්නේයයි උන්වහන්සේට කීවේය.
8 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි කීසේක.
9 එවිට ඔහු උන්වහන්සේ යෙරුසලමට ගෙනගොස්, දේවමාළිගාව මුදුනේ සිටුවා: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් පහතට පනින්න;
10 මක්නිසාද, ඔබ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ තමන්ගේ දූතයන්ට ඔබ ගැන අණදෙනසේක කියාත්,
11 ඔබගේ පය යම් හෙයකින් ගලක නොවදින පිණිස ඔව්හු අත් පිට ඔබ උසුලාගන්නෝය කියාත් ලියා තිබේයයි උන්වහන්සේට කීවේය.
12 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරවයි කියා තිබේයයි කීසේක.
13 යක්ෂයා පරීක්ෂා සියල්ල නිමවා, කලකට උන්වහන්සේගෙන් ඉවත්ව ගියේය.
14 එවිට යේසුස්වහන්සේ ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්තව ගලීලයට හැරී ආසේක. උන්වහන්සේ ගැන කීර්තියක්ද අවට මුළු පළාතෙහි පතළව ගියේය.
15 උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවලදී උගන්වමින්, සියල්ලන්ගෙන් ප්‍රශංසා ලැබූසේක.
16 උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ, තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස නැගුටුණුසේක.
17 එවිට අනාගතවක්තෘවූ යෙසායාගේ පොත උන්වහන්සේට දෙනලද්දේය. උන්වහන්සේ පොත දිගහැර:
18 ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද
19 ස්වාමීන්වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශකරන්ටද උන්වහන්සේ මා එවුසේකැයි ලියා තිබෙන ස්ථානය සොයාගෙන,
20 පොත අකුළා සේවකයාට දී, වැඩහුන්සේක. එකල සිනගෝගයෙහි සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි ඇස් හෙළාගෙන සිටියෝය.
21 උන්වහන්සේ ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණවීයයි කීසේක.
22 සියල්ලෝ උන්වහන්සේට සාක්ෂිදෙමින්, උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුමව: මොහු යෝසෙප්ගේ පුත්‍රයා නොවේදැයි කීවෝය.
23 එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: වෙදාණෙනි, තමාම සුවකරගන්න යන මේ උපහැරණ කීම මට කියා, නුඹ කපර්ණවුමෙහිදී කළාය කියා අප විසින් ඇසූ දේම නුඹේ රටවූ මෙහිදීත් කරන්නැයි නිසැකින්ම මට කියනවා ඇත.
24 සැබවක් නුඹලාට කියමි-කිසි අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටෙහිදී පිළිගනු නොලබන්නේය.
25 සැබවක් නුඹලාට කියමි-එලියාගේ දවස්වලදී තුන් අවුරුදු සමසක් අහස පියවී, රට මුළුල්ලෙහි මහත් සාගතයක් පැවති කල, ඉශ්‍රායෙල්හි බොහෝ වැන්දඹුවන් සිටිය නුමුත්,
26 සීදොන් දේශයෙහි සරෙප්තාවේ වැන්දඹු ස්ත්‍රියෙක් වෙතට මිස ඔවුන්ගෙන් කිසිවෙකු වෙතට එලියා යවනු නොලැබුයේය.
27 අනාගතවක්තෘවූ එලිෂාගේ කාලයේදී ඉශ්‍රායෙල්හි බොහෝ කුෂ්ඨරෝගීන් සිටිය නුමුත්, සිරියාවේ නාමන් මිස ඔවුන්ගෙන් කිසිවෙක් පවිත්‍රකරනු නොලැබුයේයයි කීසේක.
28 සියල්ලෝ ඒ අසා, සිනගෝගයෙහිදී ක්‍රෝධයෙන් පිරී,
29 නැගිට, උන්වහන්සේ නුවරින් පිටත දමා, උන්වහන්සේ පහතට හෙළන පිණිස තමුන්ගේ නුවර ගොඩනගනලද කන්ද අද්දරට ගෙනගියෝය.
30 නුමුත් උන්වහන්සේ ඔවුන් මැදින් ගොස් යන්ට ගියසේක.
31 උන්වහන්සේ ගලීලයේ නුවරක්වූ කපර්ණවුමට පැමිණ, සබත් දවසේදී ඔවුන්ට උගන්වමින් සිටිසේක.
32 උන්වහන්සේගේ වචනය බලයෙන් යුක්තවූ බැවින් උන්වහන්සේගේ ඉගැන්වීමට ඔව්හු විස්මිතවූවෝය.
33 අශුද්ධ යක්ෂආත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සිනගෝගයෙහි සිටියේය;
34 ඔහු මහත් හඬින් මොරගසමින්: අහෝ! නාසරිය යේසුස්වහන්ස, ඔබට අපෙන් කම මොකද? ඔබ අප විනාශකරන්ට ආසේක්ද? ඔබ කවුද කියා දනිමි, ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ තැනන්වහන්සේයයි කීවේය.
35 යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකර මොහුගෙන් පිටවෙවයි කීසේක. එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙළා, ඔහුට හිංසාවක් නොකොට, ඔහුගෙන් පිටතට ආයේය.
36 සියල්ලෝ විස්මිතව: මේ වචනය කිමෙක්ද? මක්නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අණදෙනසේක, ඔව්හු පිටවෙතියි ඔවුනොවුන් අතරෙහි කථාකරගත්තෝය.
37 තවද වටකර පළාතේ සෑමතැන්හි උන්වහන්සේ ගැන ආරංචියක් පතළවිය.
38 උන්වහන්සේ සිනගෝගයෙන් නැගිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුල්වූසේක. සීමොන්ගේ භාර්යාවගේ මවුට බලවත් උණරෝගයක් වැළඳී තිබුණේය; ඔව්හු ඈ උදෙසා උන්වහන්සේට කන්නලව් කළෝය.
39 උන්වහන්සේ ඈ ළඟ සිට උණට සැරකළසේක; උණරෝගය ඇගෙන් පහවගියේය. එකෙණෙහිම ඈ නැගිට ඔවුන්ට උපස්ථානකළාය.
40 ඉර බසින කල අනේකාකාර රෝගවලින් පීඩිතවූ රෝගකාරයන් ඇති සියල්ලෝම උන්වහන්සේ වෙතට ඔවුන් ගෙනාවෝය; උන්වහන්සේ ඔවුන් එකිනෙකා පිට අත් තබා, ඔවුන් සුවපත් කළසේක.
41 යක්ෂයෝද: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා මහත් ශබ්ද පවත්වමින්, බොහෝ දෙනෙකුගෙන් දුරුවුණෝය. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔවුන් දැනගන සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට සැරකරමින් කථාකරන්ට ඉඩ නුදුන්සේක.
42 පහන්වූ කල උන්වහන්සේ පිටත්ව වනාන්තර ස්ථානයකට ගියසේක. සමූහයෝ උන්වහන්සේ සොයමින් උන්වහන්සේ ළඟට පැමිණ, ඔවුන් කෙරෙන් නොයන ලෙස උන්වහන්සේ නවත්වාගන්ට උත්සාහකළෝය.
43 නුමුත් උන්වහන්සේ: මා විසින් අනික් නුවරවලත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ යහපත් ආරංචිය දේශනාකරන්ට ඕනෑය. මක්නිසාද ඒ පිණිස එවනලද්දෙමියි ඔවුන්ට කීසේක.
44 උන්වහන්සේ ගලීලයේ සිනගෝගවලදී දේශනාකරමින් සිටිසේක.



පරිච්ඡේදය 5

1 තවද උන්වහන්සේ ගෙන්නෙසරෙත්නම් විල ළඟ සිටියදී සමූහයෝ දෙවියන්වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගන සිටියෝය.
2 විල ළඟ ඔරු දෙකක් තිබෙනවා උන්වහන්සේ දුටුසේක. මසුන් අල්ලන්නෝ ඒවායින් බැස තමුන්ගේ දැල් සෝදමින් සිටියෝය.
3 උන්වහන්සේ ඒ ඔරුවලින් එකක් වන සීමොන්ගේ ඔරුවට නැගී, ගොඩින් ටිකක් ඈත්කරන්ට ඔහුගෙන් ඉල්ලා, ඔරුවෙහි වැඩහිඳගන සමූහයන්ට ඉගැන්වූසේක.
4 උන්වහන්සේ කථාකොට නිමවූ කල: ගැඹුරට ගොස් මසුන් අල්ලන්ට දැල් හෙළන්නැයි සීමොන්ට කීසේක.
5 සීමොන් උත්තරදෙමින්: ස්වාමිනි, අපි මුළු රාත්‍රියෙහිම වෙහෙසවීමුව, නුමුත් මොකවත් ඇල්ලුවේ නැත. එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමියි කීවේය.
6 ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසුවිය; ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන්ගත්තේය;
7 ඇවිත් තමුන්ට උපකාරකරන්ට අනික් ඔරුවෙහි සිටි හවුල්කාරයන්ට ඔව්හු සංඥාකළෝය. ඔව්හු ආ කල්හි, ගිලෙන තරමට ඔරු දෙකම පුරවාගත්තෝය.
8 සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමිනි, මා වෙතින් ගිය මැනව; මම පව්කාර මනුෂ්‍යයෙකැයි කිවේය.
9 මක්නිසාද ඔහු සහ ඔහු සමඟ සිටි සියල්ලෝ තමුන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිතවූවෝය.
10 සීමොන්ගේ හවුල්කාරයෝවූ සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද යොහන්ද එසේම විස්මිතවූවෝය. යේසුස්වහන්සේ: භයනොවන්න, මෙතැන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇතැයි සීමොන්ට කීසේක.
11 ඔව්හු තමුන්ගේ ඔරු ගොඩට ඇද, සියල්ල අත්හැර, උන්වහන්සේ අනුව ගියෝය.
12 තවද උන්වහන්සේ එක් නුවරක සිටියදී කුෂ්ඨයෙන් පිරුණු මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු යේසුස්වහන්සේ දැක මුහුණින් වැටී: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කියා උන්වහන්සේට කන්නලව්කෙළේය.
13 උන්වහන්සේ අත දිඟුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි ඔහුට කීසේක. එකෙණෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහවගියේය.
14 කාටවත් එය නොකියන්ට උන්වහන්සේ ඔහුට අණකොට: නුඹ ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ දේවල් ඔවුන්ට සාක්ෂි පිණිස නුඹේ පවිත්‍රවීම සඳහා ඔප්පුකරන්නැයි කීසේක.
15 එහෙත් උන්වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩ වඩා පතළවිය. බොහෝ සමූහයෝ වචනය අසන්ටත් තමුන්ගේ රෝග සුවකරවා ගන්ටත් රැස්වූහ.
16 නුමුත් උන්වහන්සේ වනාත්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤාකළසේක.
17 ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල, ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවාවූ ඵරිසිවරුත් ව්‍යවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය. සුවකරන පිණිස ස්වාමීන්වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමඟ වූයේය.
18 එවිට මිනිස්සු අංශභාග රෝගියෙකු ඇඳක තබා ගෙනාවෝය. ඔහු ඇතුළට ගෙනැවිත් උන්වහන්සේ ඉදිරියෙහි තබන්ට ඔව්හු සෙවුවෝය.
19 නුමුත් සමූහයා නිසා ඇතුළට ගෙනයන්ට අන්දමක් නොදැක, වහලට නැගී සෙවිල්ල ඇර, යේසුස්වහන්සේ ඉදිරියෙහි ඇඳත් සමඟ ඔහු මැදට බැස්සෙවුවෝය.
20 උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: මනුෂ්‍යය, නුඹේ පව් නුඹට කමාකරනලදැයි කීසේක.
21 එවිට ලියන්නෝද ඵරිසිවරුද: දෙවියන්වහන්සේට අපහාස වචන කියන මොහු කවුද? පව් කමාකරන්ට දෙවියන්වහන්සේට මිස වෙන කාට පුළුවන්දැයි කල්පනාකරන්ට පටන්ගත්තෝය.
22 යේසුස්වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාගේ සිත්වලින් නුඹලා කල්පනාකරගන්නේ කිමෙක්ද?
23 වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමාකර තිබේයයි කීමද? නොහොත්-නැගිට ඇවිදින්නැයි කීමද?
24 නුමුත් පොළොවෙහිදී පව් කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා දැනගන්නා පිණිසය කියා, උන්වහන්සේ අංශභාග රෝගියාට කථාකොට: නැගිට ඇඳ රැගෙන නුඹේ ගෙදරට යන්නැයි නුඹට කියමියි කීසේක.
25 එකෙණෙහිම ඔහු ඔවුන් ඉදිරියෙහි නැගිට, තමා ඔත් ඇඳ රැගෙන, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, තමාගේ ගෙදරට ගියේය.
26 සියල්ලෝ විස්මපත්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: අද පුදුම දේ දුටිමුව කියා භයෙන් පිරුණෝය.
27 මින්පසු උන්වහන්සේ පිටත්ව ගොස් ලෙවී නම් සුංගම් අයකරන්නෙක් සුංගම් පළේ ඉඳගන ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක.
28 ඔහු සියල්ල අත්හැර නැගිට උන්වහන්සේ අනුව ගියේය.
29 ලෙවී තමාගේ ගෙයි උන්වහන්සේට මහත් මංගල්‍ය කෑමක් සාදා දුන්නේය. සුංගම් අයකරන්නන්ගෙන් හා අන්‍යයන්ගෙන් මහත් සමූහයක් ඔවුන් සමඟ කෑමට වාඩිවී සිටියෝය.
30 එකල ඵරිසිවරුද ඔවුන්ගේ ලියන්නෝද උන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව කොඳුරමින්: නුඹලා සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කන්නෙත් බොන්නෙත් මක්නිසාදැයි කීවෝය.
31 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් ඕනෑකමක් නැත.
32 පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් පසුතැවිලිවීමට කැඳවන්ට මම නාවෙමියි කීසේක.
33 එවිට ඔව්හු උන්වහන්සේට කථාකොට: යොහන්ගේ ගෝලයෝ නොයෙක්වර නිරාහාරව සිට යාච්ඤා ඔප්පු කරති: ඵරිසිවරුන්ගේ ගෝලයොත් එසේමය; නුමුත් ඔබගේ ගෝලයෝ කමින් බොමින් සිටිතියි කීවෝය.
34 යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මඟුල් ගෙදර අය සමඟ මනමාලයා සිටියදී ඔවුන් නිරාහාරයෙන් සිටුවන්ට නුඹලාට පුළුවන්ද?
35 නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය; එකල ඒ දවස්වලදී ඔවුන් නිරාහාරව සිටිනවා ඇතැයි කීසේක.
36 උන්වහන්සේ ඔවුන්ට උපමාවක්ද කියමින්: කිසිවෙක් අලුත් වස්ත්‍රයකින් කැබෙල්ලක් ඉරාගෙන පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මැහුවොත් අලුත් එක ඉරෙනවාත් ඇර අලුත් එකෙන් ගත් කැබෙල්ල පරණ එකට සම නොවන්නේය.
37 කිසිවෙක් අලුත් මුද්‍රිකපානය පරණ සම්භාජනවල වත් නොකරයි; වත්කළොත් අලුත් මුද්‍රිකපානයෙන් සම්භාජන පැළී, මුද්‍රිකපාන වැගිරී ගොස්, සම්භාජනත් නාස්තිවන්නේය.
38 නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කළ යුතුය.
39 තවද පරණ මුද්‍රිකපානය බීවාවූ කිසිවෙක් අලුත් ඒවාට කැමති නොවෙයි. මක්නිසාද: පරණ ඒවා හොඳය කියා ඔහු කියන්නේයයි කීසේක.



පරිච්ඡේදය 6

1 තවද එක් සබත් දවසක උන්වහන්සේ ගොයම් කෙත් මැදින් යමින් සිටිසේක; උන්වහන්සේගේ ගෝලයෝ කරල් කඩා අතින් පොඩිකර කෑවෝය.
2 එවිට ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: සබත් දවසේදී නොකටයුතු දෙයක් නුඹලා කරන්නේ මක්නිසාදැයි කීවෝය.
3 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දාවිත් තමාටද තමා සමඟ සිටිය අයටද බඩගිනිවූ කල්හි කළ දේ,
4 එනම් දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට මිස වෙන කාටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි රැගෙන කා, තමා සමඟ සිටි අයටත් දුන් කාරණයවත් නුඹලා කියවා නැද්දැයි කීසේක.
5 තවද: මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියායයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.
6 තවත් සබත් දවසක උන්වහන්සේ සිනගෝගයට ඇතුල්ව ඉගැන්වූසේක. එහි දකුණත වියළී තිබුණු මනුෂ්‍යයෙක් සිටියේය.
7 එවිට ලියන්නෝද ඵරිසිවරුද උන්වහන්සේට වරද තබන්ට මාර්ගයක් සොයාගන්නා පිණිස උන්වහන්සේ සබත් දවසෙදී සුවකරනවා ඇද්ද කියා බලා සිටියෝය.
8 නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන: නැගිට මැද සිටින්නැයි වියළි අත ඇති මනුෂ්‍යයාට කීසේක. ඔහු නැගිට මැද සිටියේය.
9 එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සබත් දවසේදී යුතුවන්නේ යහපතක් කිරීමද? නොහොත් නපුරක් කිරීමද? ප්‍රාණයක් ගැළවීමද? නොහොත් නැතිකිරීමදැයි නුඹලාගෙන් අසමියි කීසේක.
10 තවද උන්වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටකර බලා, ඔහුට කථාකොට: නුඹේ අත දිගුකරන්නැයි කීසේක. ඔහු එසේ කෙළේය.
11 එවිට ඔහුගේ අත සුවවිය. නුමුත් ඔව්හු උමතුවෙන් පිරී: යේසුස්වහන්සේට කුමක් කරමුදැයි එකිනෙකා අතරේ කථාකරගත්තෝය.
12 තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඤාකරන පිණිස කන්දකට ගොස් දෙවියන්වහන්සේට යාච්ඤාකරමින් මුළු රාත්‍රිය ගතකළසේක.
13 පහන්වූ කල උන්වහන්සේ තමන්ගේ ගෝලයන් කැඳවා ඔවුන්ගෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ප්‍රේරිතයෝයයි නම් තැබූසේක.
14 ඔව්හු කවුරුදයත්-උන්වහන්සේ විසින් පේතෘස්ය කියා නම්කළ සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘද, යාකොබ් සහ යොහන්ද, පිලිප් සහ බර්තොලොමෙව්ද,
15 මතෙව් සහ තෝමස්ද, අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ ජ්වලිතයාය කියනලද සීමොන්ද,
16 යාකොබ්ගේ පුත්‍රවූ යූදස් සහ ද්‍රෝහියාවු යූදස් ඉස්කාරියොත්ද යන මොව්හුය.
17 උන්වහන්සේ ඔවුන් සමඟ බැස ඇවිත් සමභූමියක නැවතී සිටිසේක, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් මහත් සමූහයක්ද උන්වහන්සේගේ වචන අසන්ටත් තමුන්ගේ රෝග සුවකරවාගන්ටත් මුළු යුදය හා යෙරුසලමෙනුත් තීර් හා සීදොන්හි මුහුදුකරෙනුත් ආවාවූ බොහෝ දෙනෙක්ද සිටියෝය;
18 අශුද්ධාත්මයන්ගෙන් පීඩිතවූවෝ සුව කරනු ලැබුවෝය.
19 උන්වහන්සේගෙන් ආනුභාවය නික්මවිත් ඔවුන් සියල්ලන් සුවකළ බැවින්, මුළු සමූහයා උන්වහන්සේට අතගසන්ට උත්සාහකළෝය.
20 එවිට උන්වහන්සේ තමන් ගෝලයන් දෙසට ඇස් ඔසවා කියනසේක්: දිළිඳුවූ නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගේය.
21 දැන් බඩගිනි ඇති නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද නුඹලා තෘප්තියට පැමිණෙන්නහුය. දැන් හඬන්නාවූ නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද නුඹලා සිනාසෙන්නහුය.
22 මනුෂ්‍ය පුත්‍රයා නිසා මනුෂ්‍යයන් නුඹලාට වෛරකරන කලද තමුන්ගේ සමාගමෙන් නුඹලා වෙන්කර, නුඹලාට නින්දාකර, නුඹලාගේ නාමය නපුරුයයි පහකරන කලද නුඹලා ආශීර්වාදලද්දෝය.
23 ඒ දවසේදී ප්‍රීතිවෙන්න, ප්‍රීතියෙන් නටන්න. මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. ඔවුන්ගේ පියවරු අනාගතවක්තෘවරුන්ටත් එසේම කළෝය.
24 නුමුත් ධනවන්තවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලාගේ සැනසීම නුඹලාට ලැබී තිබේ.
25 දැන් තෘප්තියට පැමිණ සිටින නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා බඩගිනිවීමට පැමිණෙන්නහුය. දැන් සිනාසෙන්නාවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා ශෝකව අඬන්නහුය.
26 සියලු මනුෂ්‍යයන් නුඹලා ගැන හොඳ කියන කල නුඹලාට දුක්වේ! මක්නිසාද ඔවුන්ගේ පියවරු බොරු අනාගතවක්තෘන්ටත් එසේම කළෝය.
27 නුමුත් අසන්නාවූ නුඹලාට මම කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට වෛරකරන්නන්ට යහපත කරන්න,
28 නුඹලාට ශාපකරන්නන්ට ආශීර්වාදකරන්න, නුඹලාට නින්දාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.
29 නුඹේ එක කම්මුලකට ගසන්නාට අනිකත් හරවන්න; නුඹේ උතුරු සළුව උදුරාගන්නාගෙන් අඳනා රෙද්දත් වලක්වා නොගන්න.
30 නුඹෙන් ඉල්ලන සියල්ලන්ට දෙන්න; නුඹේ දේපළ පැහැරගන්නාගෙන් නැවත ඒවා නොඉල්ලන්න.
31 මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියාකරනවාට නුඹලා කැමතිද, නුඹලාත් ඔවුන්ට එසේම කරන්න.
32 තවද නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලාත් ප්‍රේමකරනවා නම් නුඹලාට කවර ස්තුතියක්ද? මක්නිසාද පව්කාරයෝ පවා තමුන්ට ප්‍රේමකරන්නන්ට ප්‍රේම කරති.
33 නුඹලාට යහපත කරන්නන්ටම නුඹලාත් යහපත කරනවානම් නුඹලාට කවර ස්තුතියක්ද? මක්නිසාද පව්කාරයෝ පවා එසේම කරති.
34 නුඹලා නැවත ලබන්ට බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම් නුඹලාට කවර ස්තුතියක්ද? පව්කාරයෝ පවාදුන් පමණ නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති.
35 නුමුත් නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, යහපත කරන්න, සැක නොසිතා ණයට දෙන්න; එවිට නුඹලාගේ විපාකය මහත්වන්නේය; නුඹලා මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද කෘතෝපකාර නොසලකන්නන්ටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කරුණාවන්තව සිටිනසේක.
36 නුඹලාගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක්මෙන් නුඹලාත් දයාවන්තව සිටින්න.
37 විනිශ්චය නොකරන්න, එවිට නුඹලාත් විනිශ්චයකරනු නොලබන්නහුය. වරදට පත් නොකරන්න; එවිට නුඹලාත් වරදට පත්කරනු නොලබන්නහුය. මුදාහරින්න, එවිට නුඹලාත් මුදාහරිනු ලබන්නහුය.
38 දෙන්න, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.
39 තවද උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියමින්: අන්ධයෙකුට මගපෙන්වන්ට අන්ධයෙකුට පුළුවන්ද? ඔවුන් දෙදෙනම වළක නොවැටෙන්නෝද?
40 ගෝලයා ගුරුවරයාට වඩා උතුම් නැත. නුමුත් සම්පූර්ණත්වයට පැමිණි සෑමදෙනම තමුන්ගේ ගුරුවරයා මෙන් වන්නෝය.
41 නුඹේම ඇසේ තිබෙන දැවය නොබලා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ බලන්නේ මක්නිසාද?
42 නොහොත් නුඹේම ඇසේ තිබෙන දැවය නොබලා: සහෝදරය, නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ අරන්දමන්ට ඉඩදෙන්නැයි සහෝදරයාට කියන්ට නුඹට කෙසේ හැකිවේද? වංචාකාරය, පළමුකොට නුඹේම ඇසෙන් දැවය අරන්දමන්න, එවිට නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ අරන්දමන්ට නුඹට හොඳහැටි පෙනෙනවා ඇත.
43 මක්නිසාද නරක ඵල දරන හොඳ ගහක්වත් හොඳ ඵල දරන නරක ගහක්වත් ඇත්තේ නැත.
44 මක්නිසාද එක එක ගහ එහිම ඵලයෙන් දැනගනු ලැබේ. මනුෂ්‍යයෝ කටුගස්වලින් අත්තික්කා ඵල නෙළා නොගනිති, ගොකටු පඳුරකින් මුද්‍රික ඵල කඩා නොගනිති.
45 යහපත් මනුෂ්‍යයා තමාගේ සිතෙහිවූ යහපත් සම්පතෙන් යහපත් දේද නපුරු මනුෂ්‍යයා නපුරු සම්පතෙන් නපුරුදේද පිටතට ගෙනෙන්නේය. මක්නිසාද මුඛය කථාකරන්නේ සිතේ පූර්ණකමෙන්ය.
46 මා කියන දේ නොකර: ස්වාමීනි, ස්වාමීනියි මට කියන්නේ මක්නිසාද?
47 මා ළඟට ඇවිත්, මාගේ වචන අසා, ඒවා පවත්වන අය කාට සමානදැයි නුඹලාට පෙන්වමි:
48 ඔහු ගැඹුරට හාරා, පර්වතයක් පිට අත්තිවාරම ලා, ගෙයක් සාදාගත් මනුෂ්‍යයෙකුට සමානය. ජල ගැල්මක් පැමිණ සැඩපාර ඒ ගෙට ගැසූ නුමුත්, ඒක හොඳින් ගොඩනගා තිබුණු බැවින් සොලවන්ට බැරිවිය.
49 නුමුත් අසා, නොකරන අය අත්තිවාරමක් නැතුව පොළොව පිට ගෙයක් සාදාගත් මනුෂ්‍යයෙකුට සමානය; සැඩපාර ඒ ගෙට ගැසුවේය, එවෙල්ම ඒක වැටුණේය; ඒ ගෙයි විනාශයද මහත්වියයි කීසේක.



පරිච්ඡේදය 7

1 උන්වහන්සේ සෙනඟ අසමින් සිටියදී තමන්ගේ සියලු වචන කියා නිමකළායින් පසු, උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූසේක.
2 එක්තරා සියයකට මුලාදෑනියෙකුගේ ප්‍රියවූ දාසයෙක් රෝගීව මරණාසන්නව සිටියේය.
3 ඔහු යේසුස්වහන්සේ ගැන අසා, උන්වහන්සේ ඇවිත් තමාගේ දාසයා සුවපත්කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් උන්වහන්සේ වෙතට යැවීය.
4 ඔව්හු යේසුස්වහන්සේ ළඟට පැමිණ: ඔහු ඔබගෙන් ඒක ලබන්ට සුදුස්සෙක්ය.
5 ඔහු අපේ ජාතියට ප්‍රේමවන්නේය, ඔහුම අපේ සිනගෝගය අපට සාදාදුන්නේය කියා බොහෝසෙයින් ඉල්ලුවෝය.
6 එවිට යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගියසේක. උන්වහන්සේ ගෙට නුදුරුව සිටිද්දී සියයකට මුලාදෑනියා උන්වහන්සේ ළඟට මිත්‍රයන් යවා: ස්වාමීනි, වෙහෙස නූව මැනව. ඔබ මාගේ පියස්ස යටට එන්ට මම නොවටිමි.
7 එහෙයින් ඔබ ළඟට එන්ටත් මම වටින්නෙක්යයි නොසිතුවෙමි. නුමුත් වචනයකින් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවා සුවපත්වේ.
8 මක්නිසාද මමත් ආණ්ඩුබලයට යටත් මනුෂ්‍යයෙක්මි, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට-යවයි මා කී කල ඔහු යන්නේය; තවත් කෙනෙකුට එවයි කී කල ඔහු එන්නේය; මාගේ දාසයාට-මේක කරවයි කී කල ඔහු ඒක කරන්නේයයි උන්වහන්සේට කියා යැවීය.
9 යේසුස්වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිතව, හැරී තමන් අනුව ආ සමූහයාට කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරේවත් මෙබඳු මහත් ඇදහිල්ලක් මට සම්බවුණේ නැතැයි නුඹලාට කියමියි කීසේක.
10 යවනලද්දෝ ගෙට හැරී ගිය කල දාසයා සුවපත්ව සිටිනවා දුටුවෝය.
11 ඉන්පසු උන්වහන්සේ නායින් නම් නුවරකට ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ සමඟ ගියෝය.
12 උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය.
13 ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට: අඬන්ට එපායයි ඈට කීසේක.
14 උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අතගැසූසේක. එවිට උසුලාගෙනයන්නෝ නැවතුණෝය. උන්වහන්සේ: යෞවනය, නැගිටින්නැයි නුඹට කියමියි කීසේක.
15 එවිට මළාවූ ඔහු නැගිට හිඳ කථාකරන්ට පටන්ගත්තේය. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔහු භාරදුන්සේක.
16 එකල සියල්ලෝම භයපත්ව: උතුම්වූ අනාගතවක්තෘ කෙනෙක් අප අතරෙහි නැගුටුණුසේක, දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ දෙස බැලූසේක කියා දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.
17 උන්වහන්සේ ගැන මේ ප්‍රවෘත්තිය මුළු යුදයෙහිද වටකර රට මුළුල්ලෙහිද පතළවිය.
18 යොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වුවෝය.
19 එවිට යොහන් තමාගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙන කෙනෙකු බලා සිටිය යුතුද කියා අසන්ට ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් යැවීය.
20 ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙනකෙනෙකු බලා සිටිය යුතුදැයි අහන පිණිස යොහන් බව්තීස්ත අප ඔබ වෙතට එවුවේයයි කීවෝය.
21 ඒ පැයේදී උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ රෝගද ව්‍යාධිද සුවකර, දුෂ්ටාත්ම පහකර, නොයෙක් අන්ධයන්ට පෙනීම දුන්සේක.
22 උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඇසූ දුටු දේ ගොස් යොහන්ට දන්වන්න; බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍රකරනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.
23 යමෙකුට මම පැකිලීමේ හේතුවක් නොවන්නේද ඔහු ආශීර්වාදලද්දෙකැයි ඔවුන්ට කීසේක.
24 යොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බටගසක්ද?
25 නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, අලංකාර වස්ත්‍ර හැඳ සැපජීවිකාවෙන් සිටින්නෝ රාජමාළිගාවල සිටිති.
26 නුමුත් කුමක් බලන්ට ගියහුද? අනාගතවක්තෘ කෙනෙක්ද? එසේය, නුඹලාට කියමි, අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය.
27 බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යවමි, ඔහු නුඹ ඉදිරියෙහි නුඹේ මාර්ගය සාදන්නේය කියා ලියා තිබෙන්නේ මොහු ගැනය.
28 ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතුරෙන් යොහන්ට වඩා උත්තමයෙක් ඇත්තේ නැතැයි නුඹලාට කියමි. එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.-
29 මුළු සෙනඟද සුංගම් අයකරන්නෝද ඒ අසා, ඔවුන් යොහන්ගේ බව්තීස්මයෙන් බව්තීස්මය ලැබ සිටි නිසා, දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බව ඒත්තුගත්තෝය.
30 නුමුත් ඵරිසිවරු ව්‍යවස්ථාව උගන්වන්නෝද ඔහුගෙන් බව්තීස්මය නොලැබ, දෙවියන්වහන්සේගේ අදහස තමුන්ටම එපාකළෝය.-
31 මේ පරම්පරාවේ මනුෂ්‍යයන් කුමකට සමාන කරම්ද? මොන දෙයකට ඔවුන් සමානද?
32 අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත; නුඹලාට විලාප කීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළදාම්පළේ හිඳ ඔවුනොවුන්ට හඬගසා කියන්නාවූ දරුවන් හා සමාන වෙති.
33 මක්නිසාද යොහන් බව්තීස්ත ඇවිත් රොටි නොකා මුද්‍රිකපානය නොබී සිටියි; එබැවින් ඔහු යක්ෂාවේශ කෙනෙකැයි නුඹලා කියන්නහුය.
34 මනුෂ්‍ය පුත්‍රයා ඇවිත් කමින් බොමින් සිටියි; නුඹලා කථාකොට: බලව, ගිජු මනුෂ්‍යයෙක්ය, මුද්‍රිකපානය බොන්නෙක්ය, සුංගම් අයකරන්නන්ගෙත් පව්කාරයන්ගෙත් මිත්‍රයෙක්යයි නුඹලා කියන්නහුය.
35 එහෙත් ප්‍රඥාව නිදොස් බව ඇගේ සියලු දරුවන් කරණකොටගෙන ඔප්පුවී තිබේයයි කීසේක.
36 ඵරිසිවරුන්ගෙන් එක්කෙනෙක් තමා සමඟ කෑමට එන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලුවේය. උන්වහන්සේ ඵරිසියාගේ ගෙට ඇතුල්ව කෑමට හිඳගත්සේක.
37 ඒ නුවර සිටි පව්කාර ස්ත්‍රියෙක් උන්වහන්සේ ඵරිසියාගේ ගෙයි කෑමට ඉඳගන හුන් බව දැන, සුවඳ තෙලින් පිරූ සුදුගල් කරඬුවක් ගෙනැවිත්,
38 උන්වහන්සේගේ පාද ළඟ පිටිපසින් හඬ හඬා සිට, උන්වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඒවා ඇගේ හිසකේවලින් පිසදමා, උන්වහන්සේගේ පාද සිඹ සිඹ, ඒ සුවඳ තෙල් ගෑවාය.
39 උන්වහන්සේව කැඳවාගත් ඵරිසියා ඒ දැක: මුන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙක් නම් තමාට අතගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත, මක්නිසාද ඈ පව්කාරියෙකැයි තමාගේ සිත තුළ සිතා ගත්තේය.
40 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සීමොන්, නුඹට කාරණයක් කියන්ට මට තිබේයයි ඔහුට කීසේක. ආචාරිනී, කිව මැනවයි ඔහු කීවේය.
41 එක්තරා ණයහිමියෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙක් මසු පන්සියයක්ද අනික් තැනැත්තා පණසක්ද ණයව සිටියෝය.
42 ණය ගෙවන්ට ඔවුන්ට කිසිවක් නැති හෙයින් ඔහු ඒ දෙදෙනාටම කමාවූයේය. එබැවින් ඔවුන්ගෙන් කොයි තැනැත්තා ඔහුට වැඩිව ප්‍රේමකරනවා ඇද්දැයි කීසේක.
43 සීමොන් උත්තරදෙමින්: යමෙකුට ඔහු වැඩියෙන් කමාවූයේද ඔහුය කියා මම සිතමියි කීවේය. එවිට උන්වහන්සේ: නුඹේ විනිශ්චය හරියයි ඔහුට කියා,
44 ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කථාකොට: මේ ස්ත්‍රිය නුඹට පෙනෙනවාද? මම නුඹේ ගෙදරට ඇතුල්වුණෙමි, නුඹ මාගේ පාද සෝදන්ට වතුර දුන්නේ නැත. නුමුත් මෑ තමාගේ කඳුළෙන් මාගේ පාද තෙමා, ඇගේ හිසකේවලින් ඒවා පිසදැමුවාය.
45 නුඹ මා සිම්බේ නැත. නුමුත් මෑ මා ආ වේලේ පටන් මාගේ පාද සිඹීමෙන් නැවතුණේ නැත.
46 නුඹ මාගේ හිසේ තෙල් ගෑවේ නැත. නුමුත් මෑ මාගේ පාදවල සුවඳ තෙල් ගෑවාය.
47 එබැවින් නුඹට කියමි-බොහෝවූ ඇගේ පව් ඈට කමාකරන ලද්දේය; මක්නිසාද ඈ බොහෝකොට ප්‍රේමකළාය. නුමුත් යමෙකුට ස්වල්පයක් කමාකරනලද්දේද ඔහු ස්වල්ප කොට ප්‍රේමකෙරේයයි කීසේක.
48 එවිට උන්වහන්සේ: නුඹේ පව් නුඹට කමාකරනලදැයි ඈට කීසේක.
49 උන්වහන්සේ සමඟ කෑමට හිඳගන උන් අය: පව්කමාව පවා දෙන මොහු කවුදැයි තමුන් තුළ කියාගන්ට පටන්ගත්තෝය.
50 නුමුත් උන්වහන්සේ: නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙවුවේය, සමාදානයෙන් යන්නැයි ඒ ස්ත්‍රීට කීසේක.



පරිච්ඡේදය 8

1 ඉන්පසු උන්වහන්සේ දේශනාකරමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශකරමින්, නුවරවලත් ගම්වලත් සංචාරණයකළසේක; උන්වහන්සේ සමඟ ගෝලයෝ දොළොස්දෙනාද,
2 දුෂ්ටාත්මවලින් හා දුර්වලකම්වලින් සුවවුණාවූ සමහර ස්ත්‍රියෝද තමා කෙරෙන් යකුන් සත්දෙනෙක් දුරුව ගියාවූ මග්දලේනා නම් මරියාද,
3 හෙරොද්ගේ ගබඩාකාරවූ කුසාගේ භාර්යාවූ යොවන්නාද සූසානාද තමුන්ගේ වස්තුවෙන් උන්වහන්සේට උපස්ථානකළ වෙනත් බොහෝ ස්ත්‍රියෝද සිටියෝය.
4 මහත් සමූහයක් රැස්වූ කලද ඒ ඒ නුවරින් මනුෂ්‍යයන් උන්වහන්සේ වෙත පැමිණි කලද උන්වහන්සේ උපමාවකින් කථාකරනසේක්:
5 වපුරන්නා බීජ වපුරන්ට ගියේය. ඔහු වපුරන කල්හි සමහරක් මග අසල වැටුණේය; ඒවා පයින් පාගනලද්දේය, ආකාශ පක්ෂීහු ඒවා අවුලා කෑවෝය.
6 තවත් ඒවා ගල පිට වැටී, පැළවූ කෙණෙහිම, දියසීරාව නැති බැවින් වියළී ගියේය.
7 තවත් ඒවා කටු අතරේ වැටුණේය; කටුද ඒවා සමඟ වැවී, ඒවා යටකරදැම්මේය.
8 තවත් ඒවා සරුබිමේ වැටී, පැළවී, එකෙන් සියයක් ඵල දුන්නෝයයි කීසේක. උන්වහන්සේ මේ දේවල් කියා: අසන්ට කන් ඇත්තේ අසාවයි ශබ්දනගා කීසේක.
9 උන්වහන්සේගේ ගෝලයෝ මේ උපමාව කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
10 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ. නුමුත් දකිමින්ම නොදක්නා පිණිසත් අසමින්ම තේරුම් නොගන්නා පිණිසත් සෙස්සන්ට උපමාවලින් කියනු ලැබේ.
11 ඉඳින් උපමාව මෙසේය. බීජ නම් දෙවියන්වහන්සේගේ වචනයය.
12 මග අසල ඒවා නම් වචනය ඇසූ අයය; එකල ඔවුන් අදහා නොගැළවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් වචනය උදුරාගන්නේය.
13 ගල පිට ඒවා නම් වචනය අසා සන්තෝෂයෙන් පිළිගන්න නුමුත්, මුල්නැති බැවින්, කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටීයන්නෝය.
14 කටු අතරේ වැටුණ ඒවා නම් වචනය අසා, තමුන්ගේ ජීවිත ගමෙන්දී එහි වෙහෙසීම්වලින්ද වස්තුවෙන්ද සැපජීවිකාවෙන්ද වචනය යටව, සම්පූර්ණ ඵල නොදරන්නෝය.
15 සරුබිමේ ඒවා නම් අවංකවූ යහපත් සිතින් වචනය අසා, තදින් අල්ලාගෙන, ඉවසීමෙන් ඵලදරන්නෝය.
16 කිසිවෙක් පහනක් දල්වා භාජනයකින් නොවසයි; ඇඳක් යටද නොතබයි; නුමුත් ඇතුල්වන්නන්ට එළිය පෙනෙන පිණිස පහන්රුක උඩ තබයි.
17 මක්නිසාද එළිදරව්කරනු නොලබන සඟවනලද දෙයක් නැත; නොහොත් දැනගනු නොලබන්නාවූ එළිදරව් නොවන්නාවූ කිසි රහසක්ද නැත.
18 එබැවින් නුඹලා අසන්නේ කෙසේද කියා බලාගන්න. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලබන්නේය; යමෙකුට නැත්තේද ඔහුට ඇතැයි සිතන දේත් ඔහුගෙන් පැහැරගනු ලබන්නේයයි කීසේක.
19 උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ වෙතට ආවෝය, නුමුත් සමූහයා නිසා උන්වහන්සේ ළඟට එන්ට නුපුළුවන්විය.
20 එවිට: ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ දකිනු කැමතිව පිටත සිටිතියි උන්වහන්සේට කියනලද්දේය.
21 එහෙත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් නම් දෙවියන්වහන්සේගේ වචනය අසා පිළිපදින්නාවූ මොව්හුයයි වදාළසේක.
22 තවද ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඔරුවකට නැගී: අපි විලෙන් එගොඩ යමුයයි ඔවුන්ට කීසේක. එවිට ඔව්හු ඔරුව දියත්කළෝය.
23 ඔවුන් යාත්‍රාකරද්දී උන්වහන්සේ නිදාගත්සේක. එකල මහත් කුණාටු හුළඟක් විලට පහත්වී ඒ පිට හැමුවේය; ඔරුවට වතුර පිරෙමින් ඔව්හු අන්තරායට පැමින්නෝය.
24 ඔව්හු උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, ආචාරිනි, අපි විනාශවෙනවායයි කීවෝය. උන්වහන්සේ පිබිද, හුළඟටත් චණ්ඩ රැළගැසීමටත් සැරකළසේක. එකල ඒවා නැවතී නිශ්චලයක් විය.
25 නුඹලාගේ ඇදහිල්ල කොයිදැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු භයව විස්මපත්වෙමින්: මුන්වහන්සේ කවුද? හුළඟටත් වතුරටත් අණකරන විට ඒවා පවා උන්වහන්සේට කීකරුවෙතියි කියා ඔවුනොවුන් කථාකළෝය.
26 ඔව්හු ගලීලය ඉදිරියෙහි තිබෙන ගෙරසේනයන්ගේ රටට පැමිණියෝය.
27 උන්වහන්සේ ගොඩබැස්ස කල, නුවරින් පිටවූ යක්ෂාවේශවූ මනුෂ්‍යයෙක් උන්වහන්සේට සම්බවුණේය; ඔහු බොහෝ කලක සිට ඇඳුම් නොහැඳ සිටියේය, ගෙයක නොව සොහොන් ගෙවල්හි විසුවේය.
28 ඔහු යේසුස්වහන්සේ දැක මොරගසා, උන්වහන්සේ ඉදිරියෙහි වැටී: මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්ස, ඔබට මාගෙන් කම මොකද? මට වධ නොදෙන මෙන් ඉල්ලමියි මහත් හඬින් කීවේය.
29 මක්නිසාද ඒ මනුෂ්‍යයාගෙන් දුරුවෙන්ට උන්වහන්සේ අශුද්ධාත්මයට අණකළසේක. අශුද්ධාත්මය වනාහි නොයෙක් වර ඔහු අල්ලාගත් බැවින්, දම්වැල්වලින්ද විලංගුවලින්ද බැඳ ඔහු රැකවල්කරනලද්දේය; ඔහු වනාහි බැඳුම් කඩාදැමුවේය, යක්ෂයා විසින් වනාන්තරවලට ඔහු එලවනලද්දේය.
30 නුඹේ නම කිමෙක්දැයි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. ඔහුට බොහෝ යක්ෂයන් ආවේශව සිටි නිසා, ඔහු: ලෙගියොන්යයි* කීවේය. (* එනම් රංචුව.)
31 එවිට පාතාලයට යන්ට තමුන්ට අණනොකරන ලෙස ඔව්හු උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
32 එතැන කන්දේ මහත්වූ ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝය. උන්ට වැහෙන්ට යක්ෂයෝ උන්වහන්සේගෙන් අවසර ඉල්ලුවෝය. උන්වහන්සේ ඔවුන්ට අවසර දුන්සේක.
33 යක්ෂයෝ ඒ මනුෂ්‍යයාගෙන් දුරුවී ගොස් ඌරන්ට වැහුණෝය. එකල ඌරු රැළ ප්‍රපාතය දිගේ වේගයෙන් විලට දිව ගොස් ගිලී මළෝය.
34 ඌරු රැකවල්ලු සිදුවූ දේ දැක, පලාගොස්, නුවරත් ගම්වලත් එපවත් දැන්වුවෝය.
35 සිදුවූ දේ බලන පිණිස මනුෂ්‍යයෝ පිටත්ව ගොස් යේසුස්වහන්සේ වෙතට පැමිණ, යක්ෂයන් දුරුවුණ මනුෂ්‍යයා වස්ත්‍ර ඇඳ සිහි ඇතුව යේසුස්වහන්සේගේ පාමුල ඉඳගන ඉන්නවා දැක, භයවූවෝය.
36 එය දුටු අය යක්ෂයන් වැහී සිටි මනුෂ්‍යයා සුවකරනු ලැබූ හැටි ඔවුන්ට කීවෝය.
37 එවිට වටකර සිටි ගෙරසේනයන්ගේ රටේ මුළු සෙනඟ මහත් භයට පැමිණ, ඔවුන් කෙරෙන් අහක්ව යන්ට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ ඔරුවකට නැගී හැරී ගියසේක.
38 යක්ෂයන් දුරුවුණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ සිටින්ට උන්වහන්සේගෙන් ඉල්ලුවේය. නුමුත් උන්වහන්සේ ඔහු යවමින්:
39 නුඹේ ගෙදරට හැරී ගොස්, දෙවියන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා ප්‍රකාශකරන්නැයි කීසේක. ඔහු ගොස්, යේසුස්වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා නුවර මුළුල්ලේ ප්‍රසිද්ධකෙළේය.
40 යේසුස්වහන්සේ හැරී ආ කල සමූහයා උන්වහන්සේ පිළිගත්තෝය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ එනවා බලා සිටියෝය.
41 බලව, සිනගෝගයේ මුලාදෑනියෙක්වූ යායිරස් නම් මනුෂ්‍යයෙක් ඇවිත් යේසුස්වහන්සේගේ පාමුල වැටී, තමාගේ ගෙදරට එන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය;
42 මක්නිසාද දොළොස් අවුරුද්දක් පමණ වයස් ඇති ඔහුගේ එකම දුව මරණාසන්නව සිටියාය. උන්වහන්සේ යන කල සමූහයෝ උන්වහන්සේට තෙරපෙමින් සිටියෝය.
43 දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව, වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම්කොටත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්ට බැරිවූවාවූ ස්ත්‍රියෙක් පස්සෙන් ඇවිත්,
44 උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අතගැසුවාය. එකෙණෙහිම ඇගේ ලේ ධාරාව නැවතුණේය.
45 එවිට යේසුස්වහන්සේ: මට අතගැසුවේ කවුදැයි ඇසූසේක. අප නොවේයයි සියල්ලන් කී කල්හි පේතෘස්ද ඔහු සමඟ සිටියෝද කථාකොට: ආචාරිනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිතියි කීවෝය.
46 එහෙත් යේසුස්වහන්සේ: කවුරු නුමුත් මට අතගැසුවේය. මක්නිසාද මාගෙන් ආනුභාවය නිකුත්වූ බව මට දැනුණේයයි කීසේක.
47 ඒ ස්ත්‍රී තමා අප්‍රකාශව නොසිටි බව දැක, වෙවුලමින් ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී, තමා විසින් උන්වහන්සේට අතගැසුවේ මක්නිසාද කියාත් එකෙණෙහිම තමා සුවවුණ හැටිත් මුළු සෙනඟ ඉදිරියේ ප්‍රකාශකළාය.
48 උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේය; සමාදානයෙන් යන්නැයි ඈට කීසේක.
49 උන්වහන්සේ කථාරද්දීම සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙදරින් කෙනෙක් ඇවිත්: නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට කරදර නොකරන්නැයි කීවේය.
50 යේසුස්වහන්සේ ඒ අසා: භය නොවන්න. ඇදහිල්ලෙන්ම සිටින්න, එවිට ඈට සුවවන්නේයයි උත්තරදුන්සේක.
51 උන්වහන්සේ ගෙදරට ආ කල, පේතෘස්ද යොහන්ද යාකොබ්ද යෞවනීගේ පියාද මවුද හැර වෙන කාටවත් තමන් සමඟ ඇතුල්වෙන්ට අවසර නුදුන්සේක.
52 සියල්ලෝම ඈ ගැන අඬමින්ද වැලපෙමින්ද සිටියෝය. එහෙත් උන්වහන්සේ කථාකොට: අඬන්ට එපා; ඈ මැරිලා නොවේ, නිදන්නීයයි කීසේක.
53 ඔව්හු ඈ මළ බව දැන, උන්වහන්සේට නින්දා වශයෙන් සිනාසුණෝය.
54 නුමුත් උන්වහන්සේ ඇගේ අත අල්ලා: යෞවනිය, නැගිටින්නැයි ශබ්දනගා කීසේක.
55 එවිට ඇගේ ආත්මය හැරී ඇවිත්, ඈ එකෙණෙහිම නැගුටුණාය. ඈට කන්ට දෙන ලෙස උන්වහන්සේ අණදුන්සේක.
56 ඇගේ මවුපියෝ විස්මිත වූවෝය. නුමුත් සිදුවූ දේ කාටවත් නොකියන්ට උන්වහන්සේ ඔවුන්ට අණකළසේක.



පරිච්ඡේදය 9

1 එකල උන්වහන්සේ දොළොස්දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුවකරන්ටද බලය සහ වරය ඔවුන්ට දී,
2 දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්ටත් රෝගීන් සුවකරන්ටත් ඔවුන් යැවූසේක.
3 තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගමනට කිසිවක් එනම් සැරයටියක්වත් මල්ලක්වත් රොටිවත් මුදල්වත් කබා දෙකක්වත් නොගන්න.
4 නුඹලා ඇතුල්වන්නේ යම් ගෙදරකටද එහි වාසයකොට, එතැනින් පිටත්ව යන්න.
5 නුඹලා පිළිනොගන්න යම් පමණ දෙනෙක් ඇද්ද නුඹලා ඒ නුවරින් පිටත්ව යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂි පිණිස නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්නැයි කීසේක.
6 ඔව්හු පිටත්ව හැම තැන්හිම ශුභාරංචිය දේශනාකරමින්ද රෝග සුවකරමින්ද ගමින් ගමට ගියෝය.
7 සිද්ධවූ සියල්ල ගැන දේශාධිපතිවූ හෙරොද් අසා බොහෝ වියවුල්වුණේය. මක්නිසාද සමහරෙක්: යොහන් මළවුන්ගෙන් නැගුටුණේය කියාත්,
8 සමහරෙක්: එලියා පහළවුණේය කියාත්, අන් සමහරෙක්: පෙර සිටි අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් නැගුටුණේය කියාත් කීවෝය.
9 එවිට හෙරොද් කථාකොට: මම යොහන්ගේ හිස කැප්පවීමි. නුමුත් මා අසන මෙබඳු දේ කරන තැනැත්තා කවුදැයි කීවේය. ඔහු උන්වහන්සේ දකින්ට සෙවීය.
10 ප්‍රේරිතයෝ හැරී ඇවිත් තමුන් කළ දේවල් උන්වහන්සේට ප්‍රකාශකළෝය. එවිට උන්වහන්සේ ඔවුන් වෙන්කොට කැඳවාගෙන බෙත්සයිදා නම් නුවරකට ගියසේක.
11 එහෙත් සමූහයෝ එය දැනගෙන උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ ඔවුන් පිළිගෙන, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කථාකොට, සුවය ඕනෑ අයට සුවකළසේක.
12 සවස්වෙන්ට පටන්ගත් කල දොළොස්දෙනා උන්වහන්සේ ළඟට ඇවිත් කථාකොට: මෙහි වනාන්තර ස්ථානයක අප සිටින බැවින් වටකර තිබෙන ගම් හා නියම්ගම්වලට ගොස් නවාතැන්ද කෑමද සපයාගන්ට සමූහයා හැරිය මැනවයි කීවෝය.
13 එහෙත් උන්වහන්සේ: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිලදී ගත්තොත් මිස අප ළඟ රොටි පහකටත් මසුන් දෙදෙනෙකුටත් වඩා නැතැයි ඔව්හු කීවෝය.
14 මක්නිසාද පුරුෂයෝම පන්දහසක් පමණ සිටියෝය. එවිට උන්වහන්සේ: ඔවුන් පණස් දෙනා බැගින් කණ්ඩායම් වශයෙන් හිඳුවන්නැයි ගෝලයන්ට කීසේක.
15 ඔව්හු එසේ කොට සෑම දෙනාම හිඳගන්ට සැලැස්සුවෝය.
16 එකල උන්වහන්සේ රොටි පහත් මසුන් දෙදනෙක් රැගෙන, ස්වර්ගය දෙස බලා ඒවාට ආශීර්වාදකොට, කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ගෝලයන්ට දුන්සේක.
17 සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය. ඔවුන් නොකා ඉතිරිවූ කැබලිවලින් කූඩා දොළොසක් එකතුකරගන්නාලද්දේය.
18 ඉන්පසු උන්වහන්සේ තනියම යාච්ඤා කරද්දී ගෝලයෝ උන්වහන්සේ සමඟ සිටියෝය. එවිට උන්වහන්සේ: මා කවුරුය කියා මනුෂ්‍යයෝ කියද්දැයි ඔවුන්ගෙන් ඇසූසේක.
19 ඔව්හු උත්තර දෙමින්: යොහන් බව්තීස්තය; එහෙත් සමහරෙක් එලියාය; අන් සමහරෙක්, පුරාණ අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් නැවත නැගිට සිටීය කියා කියතියි කීවෝය.
20 නුමුත් නුඹලා මා කවුරුය කියනවාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. පේතෘස් උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්යයි කීවේය.
21 උන්වහන්සේද මෙය කාටවත් නොකියන ලෙස ඔවුන්ට තදින් අණකොට:
22 මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වධවිඳින්ටත් වැඩිමහල්ලන් විසින්ද නායක පූජකයන් විසින්ද ලියන්නන් විසින්ද එපාකරනු ලබන්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගිටින්ටත් ඕනෑයයි කීසේක.
23 උන්වහන්සේ සියල්ලන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේම ආශා වලකාගෙන, දවස්පතා තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
24 මක්නිසාද තමාගේ ජීවිතය ගළවාගන්නට කැමති අයට එය නැතිවේ; නුමුත් මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්න අය එය ගළවාගන්නේය.
25 මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාම නැති කරගත්තොත් නොහොත් විනාශකර ගත්තොත් ඔහුට මොන ලාභයක්ද?
26 මක්නිසාද යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේද පියාණන්ගේද ශුද්ධවූ දේවදූතයන්ගේද තේජසින් යුක්තව එන කල උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජාවනසේක.
27 එහෙත් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.
28 තවද මේ වචන කියා අට දවසකට පමණ පසු උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යාකොබ්ද කැඳවාගෙන යාච්ඤාකරන පිණිස කන්දට නැගුණුසේක.
29 උන්වහන්සේ යාච්ඤාකරද්දී උන්වහන්සේගේ මුහුණේ ආකාරය වෙනස්විය, උන්වහන්සේගේ වස්ත්‍ර සුදුව බැබළුණේය.
30 එවිට මනුෂ්‍යයෝ දෙදෙනෙක් උන්වහන්සේ සමඟ කථාකළෝය, ඔව්හු නම් මෝසෙස් සහ එලියාය.
31 ඔව්හු තේජසින් යුක්තව පෙනී, උන්වහන්සේ යෙරුසලමේදී සිදුකරන්ට තිබුණු උන්වහන්සේගේ ඉකුත්වීම ගැන කථාකරමින් සිටියෝය.
32 පේතෘස්ද ඔහු සමඟ සිටියෝද නිදිබරව උන්නෝය. ඔව්හු හොඳටම පිබිද, උන්වහන්සේගේ තේජසද උන්වහන්සේ සමඟ සිටි මනුෂ්‍යයන් දෙදෙනාද දුටුවෝය.
33 තවද ඔවුන් උන්වහන්සේ වෙතින් වෙන්ව යද්දී, පේතෘස් තමා කියන්නේ කුමක්දැයි නොදන්නේ: ආචාරිනි, අපට මෙහි සිටීම යහපත. එබැවින් කූඩාරම් තුනක් සාදමු; ඔබට එකක්ය, මෝසෙස්ට එකක්ය, එලියාට එකක්යයි උන්වහන්සේට කීවේය.
34 ඔහු මේ කාරණා කියද්දීම වලාපටලයක් පැමිණ. ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. වලාකුළට ඇතුල්වූ කල ඔව්හු භයවූවෝය.
35 එවිට මේ මාගේ පුත්‍රයාණෝය, මාගේ තෝරාගත් තැනැත්තේය. මොහුට ඇහුම්කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය.
36 ඒ හඬ පැමිණි කල යේසුස්වහන්සේ තනියම සිටිනවා පෙනුණේය. ඔව්හු නිශ්ශබ්දව සිට, තමුන් දුටු දේවලින් කිසිවක් ඒ දවස්වලදී කාටවත් නොකීවෝය.
37 තවද පසුවදා ඔවුන් කන්දෙන් බැස්ස කල මහත් සමූහයක් උන්වහන්සේට සම්මුඛවූවෝය.
38 සමූහයා අතරෙන් එක්කෙනෙක් මොරගසමින් කියනුයේ: ආචාරිනි මාගේ පුත්‍රයා දෙස බලන මෙන් ඔබගෙන් ඉල්ලමි; මක්නිසාද ඔහු මාගේ එකම දරුවාය.
39 ආත්මයක් ඔහුට ආවේශවේ, ඔහුද හදිසියෙන් මොරගසයි; ඒ ආත්මය ඔහුට පීඩා කොට, වෙවුලවා, පෙණදම්මවා, බොහෝ තුවාලකොට, අමාරුවෙන් ඔහුගෙන් අහක්වයයි.
40 ඔහු දුරුකරන මෙන් ඔබවහන්සේගේ ගෝලයන්ගෙන් ඉල්ලුවෙමි; නුමුත් ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය.
41 යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැත්තාවූ හිතුවක්කාර පරම්පරාව, මම කොපමණ කල් නුඹලා සමඟ සිට නුඹලා ගැන ඉවසම්ද? නුඹේ පුත්‍රයා මෙහි ගෙනෙන්නැයි කීසේක.
42 ඔහු එද්දීම යක්ෂයා ඔහු බිම හෙළා, ඔහුට බොහෝසේ පීඩාකෙළේය. නුමුත් යේසුස්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකොට, ළමයා සුවකර, ඔහු පියාට නැවත භාරදුන්සේක.
43 ඔවුන් සියල්ලෝම දෙවියන්වහන්සේගේ මහන්තත්වය ගැන විස්මයට පත්වූවෝය.
44 මේ වචන නුඹලාගේ කන්වල බහාගන්න. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නේයයි කීසේක.
45 නුමුත් ඔවුන්ට ඒ කීම තේරුණේ නැත. ඒක ඔවුන්ට නොහැඟෙන ලෙස සැඟවී තිබුණේය. ඔව්හු ඒ කීම ගැන උන්වහන්සේගෙන් අසන්ට භයවූවෝය.
46 තමුන්ගෙන් වඩා උතුම් තැනැත්තා කවුද කියා ඔවුන් අතරේ විවාදයක් හටගත්තේය.
47 යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතේ කල්පනාව දැන, කුඩා ළමයෙකු ගෙන තමන් ළඟ සිටුවා:
48 යමෙක් මාගේ නාමයෙන් මේ කුඩා ළමයා පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. යමෙක් මා පිළිගන්නේද ඔහු මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය. කුමක් හෙයින්ද නුඹලා සියල්ලන් අතරෙහි ඉතා කුඩා අයම උතුම්යයි ඔවුන්ට කීසේක.
49 යොහන් උත්තරදෙමින්: ආචාරිනි, එක්කෙනෙකු ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරුකරනවා දුටිමුව; ඔහු අප අනුවනේන නිසා ඔහුට තහනම්කෙළෙමුයයි කීවේය.
50 නුමුත් යේසුස්වහන්සේ: තහනම්කරන්ට එපා. මක්නිසාද නුඹලාට විරුද්ධව නැති තැනැත්තේ නුඹලාගේ පක්ෂයටයයි ඔහුට කීසේක.
51 තවද උන්වහන්සේ ඔසවාගනු ලබන දවස් ආසන්නවූ කල, උන්වහන්සේ යෙරුසලමට යන පිණිස ස්ථිරලෙසින් තමන් මුහුණ යොමුකොට, තමන්ට පෙරටුව දූතයන් ඇරියසේක.
52 ඔව්හු ගොස් උන්වහන්සේට උවමනා දේ පිළියෙළකරන පිණිස සමාරිවරුන්ගේ ගමකට ඇතුල්වූවෝය.
53 නුමුත් උන්වහන්සේ යෙරුසලම දෙසම බලා යන්නාක්මෙන් පෙනුණු නිසා ඔව්හු උන්වහන්සේ පිළි නොගත්තෝය.
54 උන්වහන්සේගේ ගෝලයෝවූ යාකොබ්ද යොහන්ද ඒ දැක: ස්වාමිනි, ඔවුන් නාස්තිකරන පිණිස අහසින් ගිනි බසින්ට අප අණකරනවාට ඔබ කැමතිසේක්දැයි ඇසුවෝය.
55 නුමුත් උන්වහන්සේ හැරී ඔවුන්ට තරවටුකළසේක.
56 එවිට ඔව්හු වෙන ගමකට ගියෝය.
57 ඔවුන් මාර්ගයේ යද්දී එක්තරා මනුෂ්‍යයෙක්: ඔබවහන්සේ යන කොතැනට නුමුත් මමත් ඔබ අනුව එන්නෙමියි කීවේය.
58 යේසුස්වහන්සේද: සිවලුන්ට බෙනත් ආකාශයේ පක්ෂීන්ට කූඩුත් තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක.
59 උන්වහන්සේ තවත් කෙනෙකුට: මා අනුව එන්නැයි කීසේක. නුමුත් ඔහු: ස්වාමීනි, පළමුකොට ගොස් මාගේ පියාණන් භූමදානකරන්ට මට අවසර දුන මැනවයි කීවේය.
60 උන්වහන්සේද: මළාවූ අය තමුන්ගේ මළවුන් තැන්පත්කරත්වා; නුඹ ගොස් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්නැයි ඔහුට කීසේක.
61 තවත් කෙනෙක්ද: ස්වාමිනි, ඔබ අනුව එන්නෙමි; නුමුත් පළමුකොට මාගේ ගෙදර සිටින්නන්ගෙන් අවසර ගෙන එන්ට මට ඉඩදුන මැනවයි කීවේය.
62 එහෙත් යේසුස්වහන්සේ: නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි ඔහුට කීසේක.



පරිච්ඡේදය 10

1 ඉන්පසු ස්වාමීන්වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු නියමකොට තමන් යන්ට සිටිය සියලු නුවරවලටත් ස්ථානවලටත් ඔවුන් දෙදෙනා බැගින් තමන්ට පෙරටුව යැවූසේක.
2 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගොයම බොහෝය, මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය. ඒ නිසා තමන්ගේ ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන ලෙස ගොයමේ ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන්න.
3 නුඹලා යන්න. බලව, වෘකයන් මැදට බැටළු පැටවුන් මෙන් නුඹලා යවමි.
4 පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් ගෙන නොයන්න. මාර්ගයේදී කාටවත් ආචාර නොකරන්න.
5 නුඹලා යම් ගෙයකට ඇතුල්වූ කල: මේ ගෙට සමාදානය වේවයි පළමුකොට කියන්න.
6 සමාදානයේ පුත්‍රයෙක් එහි සිටී නම් නුඹලාගේ සමාදානය ඔහු කෙරෙහි රඳන්නේය. නැතහොත් එය නුඹලා කරා පැමිණෙන්නේය.
7 ඔවුන් දෙන දෙයක් කමින් බොමින් එම ගෙයිම නැවතී සිටින්න. මක්නිසාද වැඩකාරයා තමාගේ කුලිය ලබන්ට සුදුසුය. ගෙයින් ගෙට නොයන්න.
8 නුඹලා යම් නුවරකට ඇතුල්වූ කල ඔව්හු නුඹලා පිළිගන්නෝ නම්, නුඹලා ඉදිරියෙහි තබන දේ කන්න.
9 එහි ඉන්න රෝගීන් සුවකරන්න. දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ළඟට පැමුණුණේයයි ඔවුන්ට කියන්න.
10 නුමුත් යම් නුවරකට නුඹලා ඇතුල්වූ කල ඔව්හු නුඹලා පිළිනොගන්නෝ නම් ඒ නුවර වීථිවලට ගොස්:
11 අපේ පාදවල ඇලෙන නුඹලාගේ නුවර ධූලි පවා නුඹලාට විරුද්ධව අපි ගසාදමමුව. එසේවී නුමුත් දෙවියන්වහන්සේ රාජ්‍යය ළංවී තිබෙන බව දැනගන්නැයි කියන්න.
12 නුඹලාට කියමි-ඒ දවසෙහි ඒ නුවරට වඩා සොදොමට ඉවසිය හැකි වන්නේය.
13 කොරාශින්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කළ බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි කළා නම්, ඔව්හු මීට ප්‍රථම ගෝනිරෙදි ඇඳ, අලුයෙහි ඉඳ, පසුතැවිල්ලට පැමුණුණෝ වෙති.
14 එසේවී නුමුත් විනිශ්චයෙහිදී නුඹට වඩා තීර් හා සීදොන්ට ඉවසිය හැකිවන්නේය.
15 එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස්කරනු ලබන්නීද? පාතාලය දක්වා පහතට හෙළනු ලබන්නීය.
16 නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි; නුඹලා එපාකරන්නා මා එපාකරයි; මා එපාකරන්නා මා එවූ තැනන්වහන්සේ එපාකරන්නේයයි කීසේක.
17 ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය.
18 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.
19 බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.
20 එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.
21 ඒ පැයේදීම උන්වහන්සේ ශුද්ධාත්මයෙන් ප්‍රීතිමත්ව කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ටත් නුවණ ඇත්තන්ටත් මේ කාරණා සඟවා බාලයන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි. එසේය, පියාණෙනි; මක්නිසාද ඔබගේ කැමැත්ත එසේ විය.
22 මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදී තිබේ. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා කවුද කියා නොදනියි; පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට කැමතිද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුද කියා දන්නේ නැතැයි කීසේක.
23 එවිට උන්වහන්සේ ගෝලයන් දෙසට හැරී අප්‍රසිද්ධයෙන් කියනසේක්: නුඹලා දකින දේ දකින ඇස් වාසනාවන්තය.
24 මක්නිසාද නුඹලාට කියමි-නුඹලා දකින දේ දකින්ටත් අසන දේ අසන්ටත් බොහෝ අනාගතවක්තෘවරුද රජවරුද ආශාවෙන් සිටියෝය; නුමුත් දුටුවේවත් ඇසුවේවත් නැතැයි කීසේක.
25 බලව, ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය.
26 උන්වහන්සේද: ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? නුඹ කියවන්නේ කෙසේදැයි ඇසූසේක.
27 ඔහු උත්තරදෙමින්: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේමකරව යනුයයි කීවේය.
28 උන්වහන්සේ: නුඹ උත්තරදුන්නා හරිය. එසේ කරන්න, එවිට නුඹ ජීවත්වන්නෙහියයි ඔහුට කීසේක. නුමුත් ඔහු නිදොස්වෙන්ට කැමතිව:
29 මාගේ අසල්වාසියා කවුදැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.
30 යේසුස්වහන්සේ උත්තරදෙමින් කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහරදී, ඔහු අඩපණකර ගියෝය.
31 එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයෙන් යනුයේ ඔහු දැක අනික් පැත්තෙන් ගියේය.
32 එසේම ලෙවීයයෙක්ද එතැනට පැමිණ ඔහු දැක අනික් පැත්තෙන් ගියේය.
33 නුමුත් එක්තරා සමාරියයෙක් ගමන් යන අතර ඔහු සිටි තැනට ඇවිත්, ඔහු දැක අනුකම්පාකොට,
34 ළඟට ගොස්, ඔහුගේ තුවාලවලට තෙල්ද මුද්‍රිකපානයද වත්කොට තුවාල බැඳ, තමාගේම මෘගයා පිට හිඳුවාගෙන, තානායමකට ගෙන ගොස්, ඔහු බලාගත්තේය.
35 පසුවදා ඔහු මසු දෙකක් රැගෙන තානායම්කාරයාට දී: මොහු බලාගන්න; මීට වැඩියෙන් නුඹ වියදම්කරන දෙයක් මම නැවත ආ කල නුඹට ගෙවන්නෙමියි කීවේය.
36 ඉඳින් සොරුන් අතට අසුවූ තැනැත්තාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වාසියා වුණේ කවරෙක් කියා නුඹ සිතන්නෙහිදැයි ඇසූසේක.
37 ඔහුට කරුණාකළ තැනැත්තේයයි ඔහු කීවේය. නුඹත් ගොස් එලෙසම කරන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.
38 තවද ඔවුන් යද්දී උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල්වූසේක. එවිට මාර්තා නම් එක්තරා ස්ත්‍රියෙක් තමාගේ ගෙදරට උන්වහන්සේ පිළිගත්තාය.
39 ඈට මරියා නම් සහෝදරියෙක් සිටියාය; ඈ ස්වාමීන්වහන්සේගේ පාද මූලයෙහි හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය.
40 නුමුත් මාර්තා බොහෝ උපස්ථානකිරීමෙන් කරදරව සිටියාය; ඈ උන්වහන්සේ වෙතට ඇවිත්: ස්වාමිනි, මාගේ සහෝදරී තනියම උපස්ථානකරන්ට මා හැරිය බව ඔබ සලකන්නේ නැද්ද? එබැවින් මට උපකාරකරන ලෙස ඈට කිව මැනවයි කීවාය.
41 නුමුත් ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: මාර්තා, මාර්තා, නුඹ බොහෝ දේවල් ගැන නලංගුවී කැලඹෙන්නෙහිය. නුමුත්
42 ඕනෑකරන්නේ එක දෙයක්ය. මරියා වනාහි ඈ කෙරෙන් බැහැර ගනු නොලබන්නාවූ යහපත් කොටස තෝරාගත්තායයි කීසේක.



පරිච්ඡේදය 11

1 තවද උන්වහන්සේ එක් තැනක යාච්ඤාකරමින් සිට නිමවූ පසු, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කථාකොට: ස්වාමිනි, යොහන් තමාගේ ගෝලයන්ට ඉගැන්නුවාක්මෙන් අපටත් යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනවයි කීවේය.
2 උන්වහන්සේද ඔවුන්ට කියන සේක්: නුඹලා යාච්ඤාකරන කල-පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවවේවා. ඔබගේ රාජ්‍යය ඒවා.
3 අපේ* දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව. (* නොයෙක් පුරාණ පිටපත්වලට මෙය එකතු කර තිබේ: ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා. ශු. මතෙව් 11:14 බලනු.)
4 අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව* මැනවයි කියන්නැයි කීසේක. (* නොයෙක් පුරාණ පිටපත්වලට මෙය එකතු කර තිබේ: නොපමුණුවා නපුරාගෙන් (නොහොත් නපුරෙන්) අප ගැළෙවුව මැනව. ශු. මතෙව්[ref]6:13 බලනු.)
5 තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අතරෙහි මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියෙහි ඔහු ළඟට ගොස්: මිත්‍රය, රොටි තුනක් මට ණයට දෙන්න;
6 මක්නිසාද ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටියි, ඔහු ඉදිරියෙහි තබන්ට කිසිවක් මා ළඟ නැතැයි කියන්නේ නම්,
7 ඔහු ඇතුළේ සිට උත්තරදෙමින්: මට වෙහෙස නොකරන්න. දැන් දොර වසා තිබේ, මාගේ දරුවෝ මා සමඟ නිදාගෙන සිටිති; නැගිට නුඹට දෙන්ට බැරියයි කියයිද?
8 නුඹලාට කියමි-ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත්, ඔහුගේ කන්නලව්ව නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේයයි කීසේක.
9 මමද නුඹලාට කියමි: ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න; එවිට නුඹලාට දොර හරිනු ලැබේ.
10 මක්නිසාද ඉල්ලන සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ.
11 නුඹලා අතරෙන් කොයි පියෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලුවාම ඔහුට ගලක් දෙයිද? නොහොත් මත්ස්‍යයෙකු ඉල්ලුවාම මත්ස්‍යයා වෙනුවට ඔහුට සර්පයෙකු දෙයිද?
12 නොහොත් බිත්තරයක් ඉල්ලුවාම ඔහුට ගෝනුස්සෙකු දෙයිද?
13 මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිව් නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසේක්දැයි කීසේක.
14 උන්වහන්සේ ගොළු යක්ෂයෙකු දුරුකරමින් සිටිසේක. තවද යක්ෂයා දුරුවූ කල ගොළුවා කථාකෙළේය; සමූහයෝ පුදුමවූවෝය.
15 නුමුත් ඔවුන්ගෙන් සමහරෙක් කථාකොට: ඔහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙනයයි කීවෝය.
16 අන්සමහරු උන්වහන්සේ පරීක්ෂාකරමින්, අහසෙන් ලකුණක් උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
17 නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කියනසේක්: තමාටම විරුද්ධව භේදවූ යම් රාජ්‍යයක් ඇද්ද ඒක පාළුවන්නේය; ගෙදරකට භේදවූ ගෙදරක් වැටීයන්නේය;
18 ඉදින් සාතන් තමාටම විරුද්ධව භේදව සිටි නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේද? මක්නිසාද මා යක්ෂයන් දුරුකරන්නේ බෙල්සෙබුබ් කරණකොටගෙනයයි නුඹලා කියන්නහුය.
19 නුමුත් මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, නුඹලාගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන ඔවුන් දුරුකරද්ද? එහෙයින් ඔව්හු නුඹලාගේ විනිශ්චයකාරයෝ වන්නෝය.
20 නුමුත් මම දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් යක්ෂයන් දුරුකරම් නම්, සැබවින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කෙරෙහි පැමිණ තිබේ.
21 යුද්ධායුධවලින් සැරසුණාවූ බලවන්තයා තමාගේ ගෙය රක්ෂාකරන කල, ඔහුගේ දේපළ සුරක්ෂිතව තිබේ.
22 නුමුත් ඔහුට වඩා බලවන්තයෙක් ඔහු කරා පැමිණි කල, ඔහු පරාජයකොට, ඔහු විශ්වාසකළ ඔහුගේ සියලු යුද්ධායුධ උදුරාගෙන, කොල්ලකාගත් දේ බෙදාදෙන්නේය.
23 මගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවන්නේය.
24 අශුද්ධාත්මය මනුෂ්‍යයාගෙන් දුරුව ගිය කල, නිවාඩු සොයමින්, දිය නැති තැන්වල ඇවිද, එය නොලැබුණු බැවින්. ඔහු කථාකොට: මම පිටත්ව ආ මාගේ ගෙට හැරී යමියි කියයි.
25 ඔහු එහි පැමිණි කල, එය අතුගා සරහා තිබෙනවා සම්බවේ.
26 එවිට ඔහු ගොස් තමාට වඩා නපුරුවූ වෙන ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය; ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එවිට ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේයයි කීසේක.
27 තවද උන්වහන්සේ මේ වචන කියද්දී සමූහයා අතරෙන් එක්තරා ස්ත්‍රියෙක් ශබ්දනගා: ඔබවහන්සේ දැරූ කුසයද ඔබවහන්සේට කිරිදුන් තනද වාසනාවන්තයයි උන්වහන්සේට කීවාය.
28 උන්වහන්සේද කථාකොට: එසේය, ඊට වඩා දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝයයි කීසේක.
29 සමූහයන් උන්වහන්සේ වෙත රැස්ව එන කල්හි උන්වහන්සේ කථාකරන්ට පටන්ගෙන: මේ පරම්පරාව නපුරු පරම්පරාවක්ය. ඔව්හු ලකුණක් සොයති; නුමුත් යෝනාගේ ලකුණ මිස වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය.
30 මක්නිසාද යෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වීද, එසේම මනුෂ්‍ය පුත්‍රයා මේ පරම්පරාවට ලකුණක් වන්නේය.
31 දකුණු දික්හි බිසව මේ පරම්පරාවේ මනුෂ්‍යයන් සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවල සිට ආවාය. බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
32 නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාව සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාවෙන් ඔව්හු පසුතැවිලි වූවෝය. බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
33 කිසිවෙක් පහනක් දල්වා, ඇතුල්වන්නන්ට එළිය ලැබෙන පිණිස පහන්රුක උඩ තබනවා මිස, යට ගබඩාවකවත් කුරුණියක් යටවත් නොතබයි.
34 ශරීරයේ පහන නම් නුඹේ ඇසය. නුඹේ ඇස පැහැදිලිව තිබෙන විට නුඹේ මුළු ශරීරයත් එළියවන්නේය; නුමුත් එය නරකව තිබෙන විට නුඹේ ශරීරයත් අඳුරුවන්නේය.
35 එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරු නොවන ලෙස බලාගන්න.
36 ඒ නිසා නුඹේ මුළු ශරීරය එහි අඳුරු තැනක් නැතුව එළියෙන් පිරී තිබේ නම්, පහන දීප්තිමත්ව බැබළීමෙන් නුඹට එළිය දෙන ලෙසම, ඒක සම්පූර්ණයෙන්ම එළියවන්නේයයි කීසේක.
37 උන්වහන්සේ කථාකරද්දී ඵරිසියෙක් තමා සමඟ කෑම කන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලුවේය. උන්වහන්සේ ඇතුල්ව කෑමට වැඩහුන්සේක.
38 ඵරිසියා ඒ දැක උන්වහන්සේ කෑමට පළමුවෙන් අත් නොසේදූ නිසා පුදුමවුණේය.
39 ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: ඵරිසිවරුවූ නුඹලා කුසලානේද තලියේද පිට පැත්ත පවිත්‍රකරන්නෝය; නුමුත් නුඹලාගේ ඇතුල් පැත්ත කොල්ලකෑමෙන්ද දුෂ්ටකමෙන්ද පිරී තිබේ.
40 අඥානයෙනි, පිට පැත්ත සෑදූ තැනන්වහන්සේ ඇතුල් පැත්තත් නොසෑදූසේක්ද?
41 එසේවී නුමුත් ඇතුළේ තිබෙන ඒ දෙයින් දන් දෙන්න; එවිට සියල්ලම නුඹලාට පවිත්‍රවේ.
42 ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳ තළාවලින්ද දුරුවලින්ද සියලු පලා වර්ගවලින්ද දශයෙන් එකක් දෙන නුමුත් යුක්තියද දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද අත්හරින්නහුය. එහෙත් නුඹලා විසින් ඒ දේත් නෑර මේ දේත් කටයුතුව තිබුණේය.
43 ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද කැමතිවන්නහුය.
44 නුඹලාට දුක්වේ! මක්නි-සාද නුඹලා නොපෙනෙන සොහොන් ගෙවලට සමානය, ඒවා උඩ ඇවිදින මිනිස්සු ඒවා නොදනිතියි කීසේක.
45 ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන් එක්කෙනෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබ මෙසේ කීමෙන් අපටත් දෝෂාරෝපණයකරනසේකැයි කීවේය.
46 උන්වහන්සේ කියනසේක්: ව්‍යවස්ථාව උගන්වන්නෙනි, නුඹලාටත් දුක්වේ! මක්නිසාද උසුලන්ට අමාරු බර නුඹලා මනුෂ්‍යයන් පිට තබන්නහුය, නුමුත් නුඹලාගේ එක ඇඟිල්ලක්වත් ඒ බරවලට තබන්නේ නැත.
47 නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලාගේ පියවරුන් විසින් මැරූ අනාගතවක්තෘවරුන්ගේ සොහොන්කොත් නුඹලා ගොඩනගන්නහුය.
48 මෙසේ නුඹලා නුඹලාගේ පියවරුන්ගේ ක්‍රියාවලට සාක්ෂිකාරයෝව, ඊට එකඟවන්නහුය. මක්නිසාද ඔව්හු ඔවුන් මැරුවෝය, නුඹලා ඔවුන්ගේ සොහොන්කොත් ගොඩනගන්නහුය.
49 එහෙයින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව තොමෝ කියන්නී: අනාගතවක්තෘන්ද ප්‍රේරිතයන්ද ඔවුන් ළඟට යවන්නෙමි; ඔව්හු ඔවුන්ගෙන් සමහරෙකු මරා සමහරෙකුට පීඩාකරන්නෝය;
50 මෙසේ ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත් ශුද්ධස්ථානයටත් අතරෙහි මරන ලද සෙකරියාගේ ලේ දක්වා,
51 ලෝකය මැවීමේ පටන් වගුරුවනලද සියලු ප්‍රොපේතවරුන්ගේ ලේ මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි කීසේක. එසේය, මේ පරම්පරාවෙන් අයකරනු ලබන්නේයයි නුඹලාට කියමි.
52 ව්‍යවස්ථාව උගන්වන්නෙනි, නුඹලාට දුක්වේ! නුඹලා දැනගැනීමේ යතුර රැගෙන ගියහුය. නුඹලාම ඇතුල්වුණේ නැත, ඇතුල්වන්නන්ද වැලැක්වුවහුයයි කීසේක.
53 උන්වහන්සේ එතැනින් පිටත්ව ආ කල්හි ලියන්නෝද ඵරිසිවරුද උන්වහන්සේ ගැන රැක සිට, උන්වහන්සේගේ මුඛයෙන් යමක් අසුකරගන්න පිණිස උන්වහන්සේ තදලෙස පොළඹවා,
54 උන්වහන්සේ ලවා බොහෝ දේ ගැන කථාකරවන්ටත් පටන්ගත්තෝය.



පරිච්ඡේදය 12

1 ඒ අතරතුරේදී, ඔවුනොවන් පෑගෙන තරම් සමූහයාගෙන් දහස් ගණන් රැස්ව සිටියදී, උන්වහන්සේ පළමුකොට තමන් ගෝලයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා ඵරිසිවරුන්ගේ වංචා නැමති මුහුන්වලින් ප්‍රවේසම්වෙන්න.
2 මක්නිසාද එළිදරව් නොවන වසනලද දෙයක්වත් දැනගන්ට නොලැබෙන සඟවනලද දෙයක්වත් නැත.
3 එබැවන් නුඹලා අඳුරෙහිදී කී දේ එළියෙහිදී අසනු ලබන්නේය; ඇතුල් ගෙවලදී නුඹලා කනට කී දේත් ගෙවල් මුදුන්වලදී ප්‍රසිද්ධ කරනු ලබන්නේය.
4 මාගේ මිත්‍රයෙනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවෙන්නැයි නුඹලාට කියමි.
5 නුමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි. නැසුවායින් පසු නිරයෙහි හෙළන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේට භයවෙන්න; එසේය, උන්වහන්සේටම භයවෙන්නැයි නුඹලාට කියමි.
6 ගේ කුරුල්ලන් පස්දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මතකනැති නොවන්නේය.
7 නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. භයනොවෙන්න. නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා අගේය.
8 තවද යමෙක් මනුෂ්‍යයන් ඉදිරියේදී මා පිළිගන්නේ ද, මනුෂ්‍ය පුත්‍රයාත් දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී ඔහු පිළිගන්නේය.
9 නුමුත් මනුෂ්‍යයන් ඉදිරියේදී මා එපාකළ තැනැත්තේ දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියේදී එපාකරනු ලබන්නේයයි නුඹලාට කියමි.
10 මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන කවරෙකුට නුමුත් කමාව ලැබෙන්නේය. නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව අපහාසකරන්නාට කමාව නොලැබෙන්නේය.
11 ඔවුන් සිනගෝගවලටද ප්‍රධානීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියටද නුඹලා ගෙනයන කල, උත්තර දෙන්නේ කෙසේද කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතා කනගාටු නොවෙන්න.
12 මක්නිසාද නුඹලා විසින් කියයුතු දේ ඒ පැයේදීම ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට උගන්වනවා ඇතැයි කීසේක.
13 සමූහයාගෙන් එක්කෙනෙක් කථාකොට: ආචාරීන්වහන්ස, මා සමඟ උරුමය බෙදාගන්ට මාගේ සහෝදරයාට කිව මැනවයි උන්වහන්සේට කීවේය.
14 නුමුත් උන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා, නුඹලා කෙරෙහි විනිශ්චයකාරයෙකු නොහොත් බෙදන්නෙකු කොට මා පත්කළේ කවුදැයි ඔහුට කීසේක.
15 තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.
16 උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්: එක් වස්තුකාරයෙකුගේ බිමෙහි බොහෝ භෝග හටගත්තේය.
17 එවිට ඔහු තමාගේ සිත තුළ කල්පනාකරනුයේ: කුමක් කරම්ද? මාගේ භෝග රැස්කර තබන්ට ඉඩ නැත.
18 මම මෙසේ කරමි: මාගේ ගබඩා කඩාදමා, වඩා ලොකු ඒවා ගොඩනගා, එහි මාගේ සියලු ධාන්‍යද බඩුද රැස්කර තබා-
19 ප්‍රාණය, නුඹට බොහෝ අවුරුදු ගණනකට හොඳවූ බොහෝ දේ රැස්කර තිබේ. පහසුගෙන, කා බී, ප්‍රීතියෙන් සිටින්නැයි මාගේ ප්‍රාණයට කියමියි කීවේය.
20 නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: අඥානය, අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අයකරනු ලැබේ; එවිට නුඹ සූදානම්කරගත් දේ කාට වන්නේදැයි කීසේක.
21 දෙවියන්වහන්සේ කෙරෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස්කරගන්න අය එයාකාරයයි කීසේක.
22 තවද උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: එහෙයින් නුඹලාට කියමි-කුමක් කමුද කියා ජීවිතය ගැනවත්-කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න.
23 මක්නිසාද කෑමට වඩා ජීවිතයද ඇඳීමට වඩා ශරීරයද උතුම්ය.
24 කපුටුවන් ගැන කල්පනාකර බලන්න: උන් වපුරන්නේවත් කපන්නේවත් නැත; උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැත; නුමුත් දෙවියන්වහන්සේ උන් පෝෂණයකරනසේක. නුඹලා පක්ෂීන්ට වඩා කොපමණ වටින්නහුද!
25 කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක්වත් වැඩිකරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද?
26 ඉඳින් සුළු දෙයක්වත් කරගන්ට නුඹලාට බැරි නම්, නුඹලා අනික් කාරණා ගැන කනස්සලුවන්නේ මක්නිසාද?
27 මානෙල් වැඩෙන හැටි කල්පනාකරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත; එහෙත් තමාගේ මුළු ඉසුරුමත්කමේදී සාලමොන්වත් මේවායින් එකක් ලෙස පැළඳී සිටියේ නැතැයි නුඹලාට කියමි.
28 විශ්වාසය මදි තැනැත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතෙහි තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද?
29 එබැවින් නුඹලා කරන්නේ මොනවාද බොන්නේ මොනවාදැයි නොසොයන්න, සැක නොසිතන්න.
30 මක්නිසාද මේ සියල්ල ලෝකයේ ජාතීහු සොයති. මේ දේවල් නුඹලාට වුවමනා බව නුඹලාගේ පියාණන්වහන්සේ දන්නාසේක.
31 එහෙත් උන්වහන්සේගේ රාජ්‍යයම සොයන්න, එවිට මේ දේවලුත් නුඹලාට දෙනු ලබන්නේය.
32 කුඩා රැළ, භය නොවෙන්න; මක්නිසාද නුඹලාට රාජ්‍යය දෙන්ට නුඹලාගේ පියාණන්වහන්සේ ප්‍රසන්නව සිටිනසේක.
33 නුඹලා සන්තක දේ විකුණා දන් දෙන්න; පරණ නොවන පසුම්බිද නැති නොවන වස්තුවක්ද ස්වර්ගයෙහි නුඹලාට සපයාගන්න; එහි සොරෙක් ළංවන්නේවත් කාවෙක් කන්නේවත් නැත.
34 මක්නිසාද නුඹලාගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද නුඹලාගේ සිතත් එහිම තිබෙන්නේය.
35 නුඹලාගේ ඉඟටි බැඳ නුඹලාගේ පහන්ද දල්වා තිබේවා.
36 නුඹලාද තමුන්ගේ ස්වාමියා සරණ මංගල්‍යයෙන් හැරී ඇවිත් තට්ටුකරන වහාම ඔහුට දොර අරින පිණිස ඔහුගේ ඊම බලා සිටින මනුෂ්‍යයන්ට සමානවෙන්න.
37 ස්වාමියා එන කල දාසයන් අවදිව සිටිනවා ඔහු දුටුවොත්, ඔව්හු වාසනාවන්තයෝය. සැබවක් නුඹලාට කියමි-ඔහු තමාගේ ඉඟටිය බැඳගෙන, ඔවුන් කෑමට හිඳුවා, ඇවිත් ඔවුන්ට උපස්ථානකරන්නේය.
38 ඔහු දෙවෙනි යාමයේදීවත් තුන්වෙනි යාමයේදීවත් ඇවිත් එසේම දකින්නේ නම්, ඒ දාසයෝ වාසනාවන්තයෝය.
39 නුමුත් සොරා කොයි පැයේදී එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිට තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැනගන්න.
40 එබැවින් නුඹලාත් සූදානම්ව සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේයයි කීසේක.
41 එවිට පේතෘස්: ස්වාමිනි, ඔබ මේ උපමාව කියන්නේ අපටද නොහොත් සියල්ලන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවේය:
42 එකල ස්වාමීන්වහන්සේ කියනසේක්: ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වේලාවට කෑම කොටස දෙන්ට ඔවුන් කෙරේ පත්කරන විශ්වාසවූ නුවණ ඇති ගබඩාකාරයා කවුද?
43 ස්වාමියා ආවාම යම් දාසයෙක් එසේ කරනවා ඔහු දුටුවොත්, ඒ දාසයා වාසනාවන්තයෙක්ය.
44 තමා සන්තක සියල්ල කෙරෙහි ඒ ස්වාමියා ඔහු පත්කරන්නේයයි සැබවින් නුඹලාට කියමි.
45 නුමුත් ඒ දාසයා: මාගේ ස්වාමියාගේ ඊම ප්‍රමාදවන්නේය කියා සිතින් සිතාගෙන, දැසිදසුන්ට ගහන්ටත් කන්ටත් බොන්ටත් මත්වෙන්ටත් පටන්ගත්තොත්,
46 ඔහු බලා නොසිටින දවසකදීද නොදන්නා පැයකදීද ඒ දාසයාගේ ස්වාමියා ඇවිත් ඔහුට තදබලලෙස දඬුවම්කර, අවිශ්වාසයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය.
47 තමාගේ ස්වාමියාගේ කැමැත්ත දැනගනත් සූදානම් නොකළාවූ, ඔහුගේ කැමැත්ත ලෙස නොකළාවූ දාසයා බොහෝ පහර ලබන්නේය.
48 නුමුත් නොදැන, පහර ලැබීමට සුදුසු දේ කළාවූ අය පහර ස්වල්පයක් ලබන්නේය. යමෙකුට බොහෝ දේ දෙනලද්දේද, ඔහුගෙන් බොහෝ දේ අයකරනු ලබන්නේය. යමෙකුට බොහෝ දේ භාරදෙනලද්දේද, ඔහුගෙන් වඩා ඉල්ලනු ලබන්නේය.
49 පොළොව මතුයෙහි ගිනිලන්ට ආවෙමි; එය දැනටම ඇවිළ තිබේ නම් මම කොපමණ කැමතිවෙම්ද?
50 නුමුත් මට බව්තීස්මයක් ලබන්ට තිබේ: ඒක ඉෂ්ටවෙන තුරු කොපමණ ගාවිනාවෙන් යුක්තවෙම්ද?
51 පොළොවට සමාදානය දෙන පිණිස මම ආවෙමියි නුඹලා සිතවුද? එසේ නොව, භේද උපදවන පිණිසයයි නුඹලාට කියමි.
52 මක්නිසාද මෙවක් පටන් එක ගෙයක සිටින පස්දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධව තුන්දෙනෙක්ද තුන්දෙනෙකුට විරුද්ධව දෙදෙනෙක්ද භේදව සිටින්නෝය.
53 පියා පුත්‍රයාටත් පුත්‍රයා පියාටත් මවු දුවටත් දුව මවුටත් නැන්දා යෙහෙළීටත් යෙහෙළී නැන්දාටත් විරුද්ධව භේද වන්නෝයයි කීසේක.
54 තවද උන්වහන්සේ සමූහයන්ට කථාකර: බස්නාහිරින් වලාකුළක් නගිනවා නුඹලා දකින විට-වර්ෂාවක් එන්නේයයි නුඹලා එවලේම කියන්නහුය; එසේම වන්නේය.
55 දකුණෙන් හුළඟ ගසන කල-ග්‍රීෂ්මය වන්නේයයි නුඹලා කියන්නහුය; එසේම වන්නේය.
56 වංචාකාරයෙනි, පොළෝතලයත් අහස්තලයත් විසඳන්ට නුඹලා දනිහුය; නුමුත් මේ කාලය විසඳන්ට නොදැන සිටින්නේ කොහොමද?
57 යුතු දේ නුඹලාම විනිශ්චය නොකරන්නේ මක්නිසාද?
58 ඉඳින් නුඹේ එදිරිකාරයා සමඟ නඩුකාරයා ඉදිරියට යන විට පාරේදීම ඔහුගෙන් බේරෙන්ට උත්සාහකරන්න; නැත්නම් සමහරවිට ඔහු විනිශ්චයකාරයා ළඟට නුඹ ඇදගන යන්නේය, විනිශ්චයකාරයාද නුඹ සේවයකයාට භාරදෙන්නේය; සේවකයා නුඹ හිරගෙයි දමන්නේය,
59 අන්තිම සල්ලිය ගෙවන තුරු නුඹ එතනින් පිටවී නොඑන්නෙහියයි නුඹට කියමියි කීසේක.



පරිච්ඡේදය 13

1 තවද ඒ ප්‍රස්තාවේදීම එහි සිටි සමහරෙක් කථාකොට: පිලාත් විසින් ගලීලයන්ගේ ලේ ඔවුන්ගේ යාග සමඟ මිශ්‍රකරනලදැයි උන්වහන්සේට දැන්නුවෝය.
2 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ඒ ගලීලයෝ ඒ දේ වින්ද බැවින් සියලු ගලීලයන්ට වඩා පව්කාරයෝව සිටියෝයයි සිතවුද?
3 එසේ නොවේයයි නුඹලාට කියමි. පසුතැවිලි නූණොත් නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝය.
4 නොහොත් සිලෝවම් කොටුව වැටී යටවී මැරුණු දසඅටදෙන යෙරුසලමේ වාසයකරන සියලු මනුෂ්‍යයන්ට වඩා වැරදිකාරයෝව සිටියෝයයි නුඹලා සිතවුද?
5 එසේ නොවේයයි නුඹලාට කියමි. නුඹලා පසුතැවිලි නූණොත්, නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝයයි කීසේක.
6 උන්වහන්සේ මේ උපමාව කියනසේක්: එක් මනුෂ්‍යයෙකුගේ මිදිවත්තෙහි අත්තික්කා ගහක් හිටවා තිබුණේය. ඔහු ඒ ගහේ ගෙඩි සොයමින් ආවේය, නුමුත් කිසිවක් සම්බවුණේ නැත.
7 එවිට ඔහු මිදිවත්ත බලන්නාට කථාකොට: බලව, මේ තුන් අවුරුද්දේම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආ නුමුත් කිසිවක් සම්බවුණේ නැත. ඒක කපාදමන්න; පොළොවට බරව තිබෙන්නෙත් මක්නිසාදැයි කීවේය.
8 ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, ඒක වටකර හාරා, පෝර දමන තුරු, මේ අවුරුද්දෙත් තිබුණාවේ.
9 ඉන්පසු ඵල දැරුවොත් යහපත; නැත්නම් ඒක කපාදමන්ට පුළුවනැයි ඔහුට කීවේයයි කීසේක.
10 උන්වහන්සේ සබත් දවසෙහි එක් සිනගෝගයක උගන්වමින් සිටිසේක.
11 බලව, දසඅට අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇතිවූ, කොයි ප්‍රකාරයකින්වත් කෙලින් වෙන්ට බැරි ස්ත්‍රියෙක් එහි සිටියාය.
12 යේසුස්වහන්සේ ඈ දැක අඬගසා: ස්ත්‍රිය, නුඹේ දුර්වලකමින් නුඹ මිදුණෙහිය කියා, ඈ පිට අත් තැබූසේක.
13 එකෙණෙහිම ඈ කෙලින්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකළාය.
14 යේසුස්වහන්සේ සබත් දවසේදී සුවකළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා කෝපව, සමූහයාට උත්තරදෙමින්: වැඩකළ යුතුවූ සදවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිත් සුවය ලබාගන්නැයි කීවේය.
15 නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: වංචාකාරයෙනි, නුඹලාගෙන් එකිනෙකා සබත් දවසේදී තම තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර පොවන්ට ගෙන නොයන්නේද?
16 එසේ නම්, දසඅට අවුරුද්දක් මුළුල්ලෙහි සාතන් විසින් බැඳ සිටි, ආබ්‍රහම්ගේ දුවෙක්වූ මේ ස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන්ට යුතුව තිබුණා නොවේදැයි කීසේක.
17 උන්වහන්සේ මෙසේ කී කල්හි උන්වහන්සේගේ සියලු විරුද්ධකාරයෝ ලජ්ජාවට පැමිණියෝය. මුළු සමූහයාද උන්වහන්සේ විසින් කළ සියලු තේජවන්ත දේවල් ගැන ප්‍රීති වුණෝය.
18 එබැවින් උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානද? ඒක කුමකට සමානකරම්ද?
19 එක් මනුෂ්‍යයෙකු විසින් අරගෙන තමාගේ වත්තේ දැමූ අබ ඇටයකට සමානය; ඒක වැඩී ගසක් විය; ආකාශයේ පක්ෂීහු එහි අතුවල ලැග්ගෝයයි කීසේක.
20 නැවතත් උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානකරම්ද?
21 ස්ත්‍රියෙකු විසින් පිටිනැළි තුනක් සහමුලින්ම පිපෙන තෙක් එහි දමා තිබූ මුහුන්වලට එය සමානයයි කීසේක.
22 උන්වහන්සේ යෙරුසලමට ගමන්කරද්දී උගන්වමින් නුවරවල් සහ ගම් මැදින් ගියසේක.
23 එක් කෙනෙක් කථාකොට: ස්වාමිනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්:
24 පටු දොරකඩින් ඇතුල්වෙන්ට වීර්යකරන්න. මක්නිසාද බොහෝ දෙනෙක් ඇතුල්වෙන්ට සොයන නුමුත් බැරිවන්නේයයි නුඹලාට කියමි.
25 ගෙයි ස්වාමියා නැගිට දොර වැසුවායින් පසු, නුඹලා පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමියි නුඹලාට කියන්නේය.
26 එවිට නුඹලා: අපි ඔබ ඉදිරියෙහි කෑවෙමුව, බීවෙමුව, ඔබ අපේ වීථිවල ඉගැන්වූසේකැයි කියන්ට පටන්ගන්නහුය.
27 නුමුත් උන්වහන්සේ කථාකොට: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමි; අයුතුකම් කරන සියල්ලෙනි, මා වෙතින් යන්නැයි කියන්නේය.
28 ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සියලු අනාගතවක්තෘවරුන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි සිටිනවාත් නුඹලාම පිටත දමනු ලබනවාත් නුඹලා දකින කල, එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේය.
29 තවද මනුෂ්‍යයෝ නැගෙනහිරින්ද බස්නාහිරින්ද උතුරෙන්ද දකුණෙන්ද ඇවිත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි හිඳගන්නෝය.
30 බලව, දැන් අන්තිමයෝව සිටින්නාවූ සමහරෙක් ප්‍රථමයෝද දැන් ප්‍රථමයෝව සිටින්නාවූ සමහරෙක් අන්තිමයෝද වන්නෝයයි කීසේක.
31 ඒ පැයේදීම ඵරිසිවරුන්ගෙන් සමහරෙක් ඇවිත්: මෙයින් අහක්ව ගිය මැනව. මක්නිසාද හෙරොද් ඔබ මරන්ට කැමතිව සිටින්නේයයි උන්වහන්සේට කීවෝය.
32 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මා අදත් හෙටත් යක්ෂයන් දුරුකර, රෝග සුවකර, තුන්වෙනිදා සම්පූර්ණවීමට පැමිණෙන බව නුඹලා ගොස් ඒ හිවලාට කියන්න.
33 එසේ වුවත්, අදත් හෙටත් අනිද්දාත් මා විසින් ගමන්කරන්ට ඕනෑය. කුමක්හෙයින්ද යෙරුසලමෙන් පිටදී අනාගතවක්තෘ කෙනෙකුගේ විනාශය නොවන්නේය.
34 අනේ! අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ලඟට එවූවන්ට ගල් ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකරගන්ට මම කී වරක් කැමතිවීම්ද! නුමුත් නුඹලා කැමතිවුණේ නැත.
35 මෙන්න, නුඹලාගේ ගෘහය (පාළුව) නුඹලාට අත්හරිනු ලබන්නේය. තවද: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාදලත්තෙකැයි නුඹලා කියන තුරු නුඹලා මා නොදක්නහුයයි නුඹලාට කියමියි කීසේක.



පරිච්ඡේදය 14

1 තවද උන්වහන්සේ සබත් දවසකදී කෑම කන පිණිස ඵරිසිවරුන්ගෙන් ප්‍රධානියෙකුගේ ගෙදරට පැමිණි කල ඔව්හු උන්වහන්සේ ගැන රැක බලා සිටියෝය.
2 බලව, උන්වහන්සේ ඉදිරියෙහි දියඋදර රෝගීවූ මනුෂ්‍යයෙක් සිටියේය.
3 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සබත් දවසේදී සුවකරන්ට යුතුද නැද්දැයි ව්‍යවස්ථාව උගන්වන්නන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද ඇසූසේක.
4 නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය. උන්වහන්සේ ඔහු අතින් අල්ලා, සුවකොට ඇරියසේක.
5 උන්වහන්සේ ඔවුන්ට කථාකරමින්: නුඹලාගෙන් කවරෙකුගේවත් කොටළුවෙකු හෝ ගොනෙකු හෝ සබත් දවසේදී ළිඳක වැටුණොත් එකෙණෙහිම ඌ ගොඩට ඇදගන්නේ නැද්දැයි ඇසූසේක.
6 ඊට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණේය.
7 කැඳවනු ලැබූවන් ප්‍රධාන ආසන තෝරාගන්න බව උන්වහන්සේ දැක, ඔවුන්ට උපමාවක් කියනසේක්:
8 යමෙක් විසින් සරණ මංගල්‍යයකට නුඹ කැඳවනු ලැබූ කල්හි ප්‍රධානාසනයෙහි ඉඳ නොගන්න. සමහරවිට නුඹට වඩා උතුම් කෙනෙක් කැඳවනු ලැබුවේ නම්,
9 නුඹත් ඔහුත් කැඳවූ තැනැත්තා ඇවිත්-මොහුට ඉඩදෙන්නැයි නුඹට කීවොත්, නුඹ ලජ්ජාවෙන් පහත් ස්ථානයට යන්ට පටන් ගන්නෙහිය.
10 නුමුත් නුඹ කැඳවනු ලැබූ කල, ගොස් පහත් ස්ථානයෙහි ඉඳගන්න; එවිට නුඹ කැඳවූ තැනැත්තේ ඇවිත්: යහළුව, ඉහළ ඉඩමකට එන්නැයි නුඹට කීවොත්, නුඹ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි නුඹ ගෞරව ලබන්නෙහිය.
11 මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනාම පහත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක.
12 උන්වහන්සේ තමන් කැඳවූ තැනැත්තාටත් කථාකොට: නුඹ දවල් කෑමක් හෝ රාත්‍රි කෑමක් හෝ පිළියෙළකරන කල, නුඹේ යහළුවන්වත් සහෝදරයන්වත් නෑයන්වත් පොහොසත් අසල්වාසීන්වත් නොකැඳවන්න; සමහරවිට ඔව්හු නැවත නුඹ කැඳවන්නෝය, එවිට නුඹට ප්‍රතිඵලයක් ලැබෙන්නේය.
13 නුමුත් නුඹ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න.
14 නුඹට ප්‍රතිඵල දෙන්ට ඔවුන්ට නුපුළුවන් බැවින් නුඹට ආශීර්වාද ලැබෙන්නේය. මක්නිසාද ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමේදී නුඹට ප්‍රතිඵල ලැබෙන්නේයයි කීසේක.
15 උන්වහන්සේ සමඟ කෑමට හිඳගත්තවුන්ගෙන් එක්කෙනෙක් ඒ දේ අසා: දෙවියන්වහන්සේගේ රාජ්‍යහිදී කෑම කන තැනැත්තේ වාසනාවන්තයෙකැයි උන්වහන්සේට කීවේය.
16 නුමුත් උන්වහන්සේ ඔහුට කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් මහත් රාත්‍රි කෑමක් පිළියෙළකොට බොහෝ දෙනෙකු කැඳෙවුවේය.
17 කෑම වේලාව පැමිණි කල: එන්න, සියල්ලම දැන් සූදානම්යයි කැඳවනු ලැබූවන්ට කියන පිණිස ඔහු තමාගේ දාසයා යැවීය.
18 නුමුත් ඔවුන් සියල්ලෝම නෑවිත් සිටීමට එකලෙස කාරණා කියන්ට පටන්ගත්තෝය. පළමුවෙනියා: මම කෙතක් මිලේට ගතිමි, ඒක බලන්ට යන්ටම ඕනෑය. මට කමාවෙන මෙන් නුඹෙන් ඉල්ලමියි ඔහුට කීවේය.
19 තවත් කෙනෙක්: මම ගොන් පස්බානක් මිලේට ගතිමි, උන් හොඳද කියා බලන්ට යමි. මට කමාවෙන මෙන් නුඹෙන් ඉල්ලමියි ඔහුට කීවේය.
20 තවත් කෙනෙක්ද: මම භාර්යාවකු සරණපාවා ගතිමි, එබැවින් එන්ට බැරියයි කීවේය.
21 ඒ දාසයා ඇවිත් තමාගේ ස්වාමියාට මේ කාරණා දැන්නුවේය. එවිට ගෙදර ස්වාමියා කෝපවී: නුඹ නුවර වීථිවලටද අතුරු පාරවලටද වහාම ගොස්, දිළිඳුන්ද අබ්බාගාතයන්ද අන්ධයන්ද කොරුන්ද මෙහි ගෙනෙන්නැයි තමාගේ දාසයාට කීවේය.
22 දාසයාද: ස්වාමිනි, ඔබ අණකළ ලෙස කරනලද්දේය, නුමුත් තව ඉඩ තිබේයයි කීවේය.
23 එවිට ස්වාමියා දාසයාට කථාකොට: නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස්, මාගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරන්නැයි කීවේය.
24 මක්නිසාද නුඹලාට කියමි-කැඳවනු ලැබූවන්ගෙන් එක්කෙනෙක්වත් මාගේ රාත්‍රි කෑමෙහි රස නොබලන්නේයයි කීයේය.
25 තවද බොහෝ සමූහයෝ උන්වහන්සේ සමඟ ගියෝය. උන්වහන්සේ ආපසු හැරී ඔවුන්ට කියනසේක්:
26 මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය.
27 තමාගේ කුරුසිය උසුලාගෙන මා පස්සේ නේන තැනැත්තාට මාගේ ගෝලයා වෙන්ට බැරිය.
28 මක්නිසාද කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?
29 එසේ නොකළොත්, අත්තිවාරමක් දමා නිමකරන්ට බැරිවූ විට ඒ දකින සියල්ලෝ:
30 මේ මනුෂ්‍යයා ගොඩනගන්ට පටන්ගත් නුමුත් නිමකරන්ට ඔහුට බැරිවීයයි කියා ඔහුට සරදම්කරන්ට පටන්ගන්නෝය.
31 නොහොත් වෙන රජෙකුට විරුද්ධව යුද්ධයට යන කවර රජෙක් තමාට විරුද්ධව විසිදහසක් ගෙනඑන්නාවූ ඔහු ඉදිරියට දසදහසක් සමඟ යන්ට පුළුවන්දෝ කියා පළමුකොට හිඳ මන්ත්‍රණය නොකරන්නේද?
32 බැරිනම් ඒ රජ දුර සිටියදීම ඔහු පණිවිඩයක් යවා, සමාදාන ගිවිසුම් ඉල්ලා සිටියි.
33 එසේම නුඹලා අතරෙහි තමා සන්තක සියල්ලම අත්නාරින කවරෙකුටවත් මාගේ ගෝලයා වෙන්ට බැරිය. ඉඳින් ලුණු හොඳය.
34 නුමුත් ලුණෙහි පවා ලුණු ගතිය නැතිවුණොත්, ඒවා රසකරන්නේ කුමකින්ද?
35 පොළොවටවත් කසළ ගොඩටවත් ඒවා සුදුසු නැත. ඒවා අහක දමති. අසන්ට කන් ඇත්තේ අසාවයි කීසේක.



පරිච්ඡේදය 15

1 තවද සියලු සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේගේ වචන අසන පිණිස උන්වහන්සේට ළංවෙවී ආවෝය.
2 ඵරිසිවරුද ලියන්නෝද කථාකොට: මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය කියා කොඳුළෝය.
3 උන්වහන්සේ මේ උපමාව ඔවුන්ට කියනසේක්:
4 නුඹලා අතරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක් නුමුත්, උන්ගෙන් එකෙක් නැතිවුණොත්, එකුන්සියය වනයේ හැර, නැතිවූ එකා පස්සේ ගොස්, ඌ සම්බවෙන තුරු නොසොයන්නේද?
5 ඌ සම්බවූ විට ඔහු ප්‍රීතිවෙමින්, ඌ තමාගේ කරේ තබාගෙන,
6 ගෙදර ඇවිත් මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා: මා සමඟ ප්‍රීතිවෙන්න, මක්නිසාද මාගේ නැතිවූ බැටළුවා සම්බවීයයි ඔවුන්ට කියයි.
7 එලෙසම පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් එකුන්සියයකට වඩා පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය වන්නේයයි නුඹලාට කියමි.
8 නොහොත් රිදී මිල දසයක් ඇති කවර ස්ත්‍රියෙක් එයින් එකක් නැති වුණොත් පහනක් දල්වා, ගෙය අතුගා, ඒක සම්බවෙන තුරු උත්සාහයෙන් නොසොයන්නීද?
9 ඒක සම්බවූ විට ඈ මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා: මා සමඟ ප්‍රීතිවෙන්න, මක්නිසාද මාගේ නැතිවූ රිදී මිලය සම්බවීයයි ඔවුන්ට කියන්නීය.
10 එලෙසම පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමියි කීසේක.
11 තවද උන්වහන්සේ කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය.
12 ඔවුන්ගෙන් බාලයා: පියාණෙනි, ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නැයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදාදුන්නේය.
13 නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතුකරගෙන, දුර රටකට ගොස්, එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත්වෙමින්, තමාගේ වස්තුව නාස්තිකෙළේය.
14 ඔහු සියල්ල වියදම්කළ පසු, ඒ රටේ මහත් සාගතයක් හටගැනී, ඔහුට හිඟවෙන්ට පටන් ගත්තේය.
15 එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුණේය; හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය.
16 ඔහු ඌරන් කෑ කරල්වලින් තමාගේ බඩ පුරවා ගන්ට කැමතිවූයේය; කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත.
17 එහෙත් ඔහු සිහිඋපදවා කථාකොට: මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවාට වඩා කෑම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නසිමි!
18 මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි.
19 තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමියි කියා,
20 නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය.
21 එවිට පුත්‍රයා ඔහුට කථාකොට: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමියි කීවේය.
22 නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න.
23 තරකළ වස්සා ගෙනැවිත් මරන්න, අපි කමින් ප්‍රීතිවෙමු.
24 මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි; ඔහු නැතිවී, සම්බවීයයි කීවේය. එවිට ඔව්හු ප්‍රීතිවෙන්ට පටන්ගත්තෝය.
25 ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය. ඔහු ඇවිත් ගෙදරට ළංවූ කල, තූර්යනාදයත් නැටීමත් ඇසී,
26 දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: මේ මොකදැයි විචාළේය.
27 ඔහුද: ඔබගේ සහෝදරයා ආවේය; ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින්, තරකළාවූ වස්සා මැරෙව්වේයයි කීවේය.
28 එවිට ඔහු කිපී, ගෙට ඇතුල්වෙන්ට නොකැමති වූයේය. එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත්, එන මෙන් ඔහුගෙන් ඉල්ලුවේය.
29 නුමුත් ඔහු උත්තරදෙමින්: මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවයකරමින් සිටිමි, කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකෙළෙමි. එසේවී නුමුත් මාගේ මිත්‍රයන් සමඟ ප්‍රීතිවෙන්ට ඔබ එළු පැටවෙකුවත් කිසිකලක මට නුදුන්නෙහිය.
30 නුමුත් ඔබගේ සම්පත වේශ්‍යාවන් සමඟ නාස්තිකළාවූ මේ ඔබගේ පුත්‍රයා ආ වේලේ, ඔහු නිසා තරකළ වස්සා මැරුවෙහියයි පියාට කීවේය.
31 ඔහුද: පුත්‍රය, නුඹ නිතරම මා සමඟ සිටිනෙහිය, මා සන්තක සියල්ලද නුඹේය.
32 නුමුත් අප විසින් ප්‍රීති සන්තෝෂවෙන්ට යුතුව තිබුණේය. මක්නිසාද මේ නුඹේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටියි; නැතිවී සම්බවීයයි කීයේයයි කීසේක.



පරිච්ඡේදය 16

1 තවද උන්වහන්සේ ගෝලයන්ට කියන සේක්: එක්තරා ධනවන්තයෙකුට ගබඩාකාරයෙක් සිටියේය; ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්තිකෙරේයයි ඔහුට දන්වනලද්දේය.
2 එවිට ඔහු ගබඩාකාරයාට අඬගසා: නුඹ ගැන මා අසන මේ කාරණය කිමෙක්ද? නුඹේ ගබඩාකාරකමේ ගණන දෙන්න; මක්නිසාද නුඹට තවත් ගබඩාකාරයාව සිටින්ට නුපුළුවනැයි කීවේය.
3 ගබඩාකාරයාද: මාගේ ස්වාමියා ගබඩාකාර තනතුර මාගෙන් පැහැර ගන්න නිසා කුමක් කරම්ද? බිම කොටන්ට මට ශක්තිය නැත; සිඟන්ට ලජ්ජාවෙමි.
4 ගබඩාකාර තනතුරෙන් මා අහක්කළ කල්හි; ඔවුන්ගේ ගෙවලට මා පිළිගන්නා පිණිස, මා විසින් කුමක් කටයුතුදැයි නියමකරගෙන සිටිමියි තමා තුළම කියාගත්තේය.
5 මෙසේ ඔහු තමාගේ ස්වාමියාගේ ණයකාරයන් එක එකා බැගින් අඬගස්වා, පළමුවෙනියාට කථාකොට: මාගේ ස්වාමියාට නුඹ කොපමණ ණයදැයි ඇසුවේය.
6 තෙල් බාත් සියයකැයි ඔහු කීවේය. ඔහු කථාකොට: නුඹේ ගණන් පත්‍රය රැගෙන වහාම ඉඳගෙන, පණසකැයි ලියන්නැයි ඔහුට කීවේය.
7 තවත් කෙනෙකුට: නුඹ කොපමණ ණයදැයි ඇසුවේය. ගෝධුම අමුණු සියයකැයි ඔහු කීවේය. නුඹේ ගණන් පත්‍රය රැගෙන අසූවකැයි ලියන්නැයි ඔහුට කීවේය.
8 අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියාකළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසාකළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය.
9 මමත් නුඹලාට කියමි: අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න; එවිට එය පහවයන කල ඔව්හු නුඹලා සදාකාල කූඩාරම්වලට පිළිගන්නවා ඇත.
10 ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි.
11 එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම්, සැබෑවූ වස්තුව නුඹලාට භාරදෙන්නේ කවුද?
12 අනිකෙකුගේ දේ ගැන නුඹලා විශ්වාසව නොසිටියා නම්. නුඹලාගේම දේ නුඹලාට දෙන්නේ කවුද?
13 ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසි වැඩකාරයෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවන්නේය, අනික් අයට ප්‍රේමවන්නේය. නොහොත් එක්කෙනෙකුට ඇලුම්වන්නේය, අනික් අය හෙළාදක්නේය. දෙවියන්වහන්සේටත් වස්තුවටත් සේවයකරන්ට නුඹලාට බැරියයි කීසේක.
14 ඵරිසිවරු මුදලට ආශා ඇත්තෝ බැවින් මේ සියල්ල අසා උන්වහන්සේට කවටකම්කළෝය.
15 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි තමුන් ධර්මිෂ්ඨකරගන්න අයය; නුමුත් දෙවියන්වහන්සේ නුඹලාගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතරේ උතුම්කොට සලකන දෙය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය.
16 ව්‍යවස්ථාවද අනාගතවක්තෘහුද යොහන් දක්වා පැවතුණෝය. එතැන් පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරනු ලැබේ, සියල්ලෝද බලෙන් ඊට ඇතුල්වෙති.
17 එහෙත් ව්‍යවස්ථාවෙන් එක බින්දුවක් පහවීමට වඩා අහසත් පොළොවත් පහවයාම පහසුය.
18 තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණපාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරයි. පුරුෂයෙකු විසින් අත්හරිනලද ස්ත්‍රිය සරණපාවා ගන්න තැනැත්තේද කාමමිථ්‍යාචාරය කරයි.
19 රත්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇන්දාවූ, දවස් පතා සැපජීවිකාවෙන් කාලය ගතකළාවූ එක්තරා ධනවතෙක් සිටියේය.
20 වණවලින් ගැවසීගත් ලාසරුස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබනලද්දේය.
21 ඔහු ධනවතාගේ මේසයෙන් වැටුණු කැබෙලි කන්ට කැමතිවූයේය; එසේය, බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වණලෙවුවෝය.
22 තවද හිඟන්නා නැසී, දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ළැපැත්තට ගෙනයනලද්දේය. ධනවතාත් නැසී, තැන්පත්කරනලද්දේය.
23 ඔහු හේදිසියෙහි වධ විඳිමින්, ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ළැපැත්තේ හුන් ලාසරුස්ද දුර සිට දැක,
24 මොරගසා: පියවූ ආබ්‍රහම්. මට කරුණාකොට, තමාගේ ඇඟිල්ලේ අග දියේ ගලා, මාගේ දිව සිසිල්කරන්ට ලාසරුස් එවුව මැනව; මක්නිසාද මම මේ ගිනිදැලෙහි වේදනා විඳිමියි කීවේය.
25 නුමුත් ආබ්‍රහම් කියනුයේ: පුත්‍රය, නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත් එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහිකරන්න. නුමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳියි, නුඹ වේදනා විඳිනෙහිය.
26 මේ සියල්ල ඇර, මෙහෙන් නුඹලා ළඟට යන්ටත් ඔහෙන් අප ළඟට එන්ටත් කැමතිවූවන්ට බැරි වන ලෙස අපටත් නුඹලාටත් අතරෙහි මහත් කුහරයක් පිහිටා තිබේයයි කීවේය.
27 ඔහුද: එසේ නම්, පියාණෙනි, මට සහෝදරයන් පස්දෙනෙක් සිටිති;
28 ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට සාක්ෂි දෙන්ට ඔහු මාගේ පියාගේ ගෙදරට අරින ලෙස ඉල්ලමියි කීවේය.
29 නුමුත් ආබ්‍රහම්: මෝසෙස් සහ අනාගතවක්තෘවරු ඔවුන්ට සිටිති; ඔව්හු ඔවුන්ගේ වචන අසත්වයි කීවේය.
30 ඔහු කථාකොට: එසේ නොවේ, පියවූ ආබ්‍රහම්. මළවුන්ගෙන් යමෙක් ඔවුන් වෙතට ගියොත් ඔවුන් පසුතැවිලිවෙනවා ඇතැයි කීවේය.
31 ආබ්‍රහම්ද: මෝසෙස්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් වචන ඔව්හු නොඅසත් නම්, යමෙක් මළවුන්ගෙන් නැගුටුණත් ඔවුන් විශ්වාස කරන්නේ නැත කියා ඔහුට කීවේයයි කීසේක.



පරිච්ඡේදය 17

1 උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: බාධා නොපැමිණි තිබෙන්ට බැරිය. නුමුත් යමෙකු කරණකොටගෙන ඒවා පැමිණේද ඔහුට දුක්වේ.
2 යමෙක් මේ කුඩා අය ගෙන් එක්කෙනෙකුට බාධාකරනවාට වඩා, එසේ කරන්නාගේ බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා, ඔහු මුහුදේ දැමීම ඔහුට යහපත.
3 නුඹලා ප්‍රවේසම්වෙන්න. නුඹේ සහෝදරයා පව්කළොත් ඔහුට තරවටුකරන්න; ඔහු පසුතැවිලිවේ නම් ඔහුට කමාවෙන්න.
4 ඔහු දවසකට සත්වරක් නුඹට විරුද්ධව පව්කොට, සත්වරක් නුඹ වෙතට හැරී: මම පසුතැවිලිවෙමියි කීවොත්, ඔහුට කමාවෙන්නැයි කීසේක.
5 එවිට ප්‍රේරිතයෝ කථාකොට: අපේ ඇදහිල්ල වැඩිකළ මැනවයි ස්වාමීන්වහන්සේට කීවෝය.
6 ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත.
7 නුමුත් නුඹලා අතරෙහි යමෙක් හාන්නාවූ නොහොත් බැටළුවන් පාලනයකරන්නාවූ තමාගේ දාසයා කෙතේ සිට ආ කල: වහාම ඇවිත් කන්ට ඉඳගන්නැයි ඔහුට කියන්නේද?
8 එසේ නොව: මට කෑම බීම පිළියෙළකොට, ඉඟටිය බැඳ, මා විසින් කනබොන තුරු මට උපස්ථානකරන්න, ඉන්පසු කන්න බොන්නැයි කියන්නේ නැද්ද?
9 ඒ දාසයා තමාට අණකළ දේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තුතිකරයිද?
10 එසේම නුඹලාත් නුඹලාට අණකළ සියල්ල කළ පසු: අපි නිෂ්ප්‍රයෝජන දාසයෝය; අප විසින් කටයුතුව තිබුණු දේ කළෙමුයයි කියන්නැයි කීසේක.
11 තවද ඔවුන් යෙරුසලමට යද්දී උන්වහන්සේ සමාරියද ගලීලයද මැදින් ගියසේක.
12 උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල්වන කල, කුෂ්ඨරෝගීන් දසදෙනෙක් උන්වහන්සේට සම්මුඛවූවෝය.
13 ඔව්හු දුරින් සිට: යේසුස්වහන්ස, ආචාරීන්වහන්ස, අපට කරුණාකළ මැනවයි ශබ්දනගා කීවෝය.
14 උන්වහන්සේ ඔවුන් දැක: නුඹලා ගොස් පූජකයන්ට පෙනීසිටින්නැයි කීසේක.
15 තවද ඔව්හු යද්දී පවිත්‍රවූවෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුවවූ බව දැක, මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ගෞරවකරමින් හැරී ඇවිත්,
16 උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය. ඔහු සමාරියයෙක්ය.
17 යේසුස්වහන්සේ උත්තරදෙමින්: දසදෙනාම පවිත්‍රවුණා නොවේද? නුමුත් නවදෙනා කොයිද?
18 මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා,
19 ඔහුට කථාකොට: නැගිට යන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි කීසේක.
20 දෙවියන්වහන්සේගේ රාජ්‍යය කොයි කලක එන්නේදැයි ඵරිසිවරුන් විසින් ඇසූ බැවින් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය පෙරහැර සහිතව නොඑන්නේය.
21 බලව, ඒක මෙතැනය! එතැනයයි නොකියන්නෝය; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළේයයි කීසේක.
22 උන්වහන්සේ ගෝලයන්ට කියනසේක්: නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලින් එකක් දකින්ට ආශාවන නුමුත් එය දකින්ට නුඹලාට නොලැබෙන කාලයක් පැමිණෙන්නේය.
23 බලව, එතැනය! බලව, මෙතැනයයි ඔවුන් නුඹලාට කියන කල්හි පිටත්ව නොයන්න, ඔවුන් පස්සේ නොයන්න.
24 මක්නිසාද ආකාශයේ එක් දිසාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනික් දිසාව දක්වා බැබලළෙන්නාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයා තමන් දවසේදී වන්නේය.
25 නුමුත් පළමුකොට ඔහු බොහෝ දුක්විඳ මේ පරම්පරාව විසින් එපාකරනු ලබන්ට ඕනෑය.
26 තවද නෝවාගේ දවස්වලදී වූවාක්මෙන්ම මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්වලදීත් වන්නේය.
27 නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා මනුෂ්‍යයෝ කමින්, බොමින්, සරණපාවාගනිමින්, සරණ පාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ලන්ම විනාශකළේය.
28 ලොත්ගේ දවස්වලදීත් එසේම වූයේය; ඔව්හු කමින්, බොමින් මිලේට ගනිමින්, විකුණමින්, වවමින්, ගොඩනගමින් සිටියෝය;
29 නුමුත් ලොත් සොදොම්හි සිට පිටත්ව ගිය දවසේ අහසෙන් ගිනි සහ ගෙන්දගම් වැස, සියල්ලන් විනාශකළේය.
30 මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශවන දවසේදීත් ඒ ආකාරම වන්නේය.
31 ඒ දවසේ ගේ උඩ සිටින්නා ගෙයි තිබෙන තමාගේ බඩු ගෙනයන්ට නොබසීවා. එසේම කෙතේ සිටින්නා ආපසු නොඒවා.
32 ලොත්ගේ භාර්යාව සිහිකරන්න.
33 තමාගේ ජීවිතය ලබාගන්ට සොයන්නා ඒක නැතිකරගන්නේය. තමාගේ ජීවිතය නැතිකරගන්නා ඒක ආරක්ෂා කරගන්නේය.
34 නුඹලාට කියමි-ඒ රාත්‍රියේ මනුෂ්‍යයෝ දෙදෙනෙක් එක යහනක වන්නෝය; එක්කෙනෙක් ගනුලබන්නේය, අනික් එක්කෙනා අත්හරිනු ලබන්නේය.
35 ස්ත්‍රියෝ දෙදෙනෙක් එකට අඹරමින් සිටින්නෝය; එක තැනැත්තියක් ගනු ලබන්නීය, අනික් තැනැත්තී අත්හරිනු ලබන්නීයයි කීසේක.
36 එවිට ඔව්හු උත්තරදෙමින්: ස්වාමිනි, කොතැන්හිදැයි උන්වහන්සේට කීවෝය.
37 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: යම් තැනක මළකඳ ඇද්ද, එතැනට ගිජුලිහිණියොත් රැස්වන්නෝයයි කීසේක.



පරිච්ඡේදය 18

1 තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්:
2 දෙවියන්වහන්සේට භය නැත්තාවූ, මනුෂ්‍යයන්ට ගරු නොකළාවූ විනිශ්චයකාරයෙක් එක් නුවරක සිටියේය.
3 ඒ නුවර වැන්දඹුවක්ද සිටියාය; ඈ නොයෙක්වර ඔහු ළඟට ගොස්: මාගේ විරුද්ධකාරයා ගැන මට යුක්තිය කළමැනවයි කීවාය.
4 ඔහු කලක් නොකැමතිවිය. පසුව ඔහු තමා තුළ කථාකොට: මම දෙවියන්වහන්සේට භය නොවෙම් නුමුත්, මනුෂ්‍යයන්ට ගරු නොකරම් නුමුත්,
5 මේ වැන්දඹුව මට කරදරකරන හෙයින්, ඈ නිතර ඊමෙන් මා නොපෙළෙන පිණිස, ඈට යුක්තිය කරන්නෙමියි කීයේයයි කීසේක.
6 එවිට ස්වාමීන්වහන්සේ කියනසේක්: මේ අධිර්මිෂ්ඨ විනිශ්චයකාරයා කියන දේ අසන්න.
7 දෙවියන්වහන්සෙත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද? උන්වහන්සේ ඔවුන් කෙරෙහි බොහෝ ඉවසිල්ලෙන් සිටිනසේක.
8 උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ටකරනසේකැයි නුඹලාට කියමි. එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේදැයි කීසේක.
9 තවද තුමූම ධර්මිෂ්ඨයෝයයි විශ්වාසකොට, අනික් සියල්ලන් සුළුකළාවූ සමහරෙකුට උන්වහන්සේ මේ උපමාවද කියනසේක්:
10 මනුෂ්‍යයෝ දෙදෙනෙක් යාච්ඤාකරන පිණිස දේවමාළිගාවට නැගී ගියෝය; එක්කෙනෙක් ඵරිසියෙක්ය, අනික් තැනැත්තා සුංගම් අයකරන්නෙක්ය.
11 ඵරිසියා සිටගෙන තමා තුළ යාච්ඤාකරමින්: දෙවියන්වහන්ස, මම කොල්ලකාරවූ අධිර්මිෂ්ඨවූ කාමමිථ්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නාමෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබවහන්සේට ස්තුතිකරමි.
12 සතියකට දෙවරක් නිරාහාරයෙන් සිටිමි; මට ලැබෙන සියල්ලෙන් දසයෙන් කොටස දෙමියි කීවේය.
13 නුමුත් සුංගම් අයකරන්නා දුරින් සිට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා බලන්ටවත් නොසිතා, තමාගේ ළැපැත්තට ගසාගනිමින්: දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනවයි කීවේය.
14 නුඹලාට කියමි-අනික් තැනැත්තා නොව මොහු ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබ තමාගේ ගෙදරට ගියේය. මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනා යටත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක.
15 ඔව්හු තමුන්ගේ ළදරුවන් පිට උන්වහන්සේගේ අත් තබාගන්න පිණිස ඔවුන් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. ගෝලයෝ ඒ දැක ඔවුන්ට තරවටුකළෝය.
16 නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: ළදරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහරින්න; මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.
17 සැබවක් නුඹලාට කියමි-යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළි නොගන්නේද, ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේයයි කීසේක.
18 එවිට එක්තරා මුලාදෑනියෙක් උන්වහන්සේට කථාකොට: යහපත් ආචාරිනි, සදාකාල ජීවනය උරුමකරගන්නා පිණිස මම කුමක් කරම්දැයි ඇසුවේය.
19 යේසුස්වහන්සේද: මට යහපත්යයි නුඹ කියන්නේ මක්නිසාද? එක්කෙනෙක්, එනම්, දෙවියන්වහන්සේ මිස වෙන කිසිවෙක් යහපත් නොවේ.
20 කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව යන මේ ආඥා නුඹ දන්නවායයි ඔහුට කීසේක.
21 මේ සියල්ල මාගේ යෞවන අවස්ථාවේ පටන් රක්ෂාකෙළෙමියි ඔහු කීවේය.
22 යේසුස්වහන්සේ ඒ අසා: නුඹට තව එක දෙයක් අඩුය. නුඹ සන්තක සියල්ල විකුණා, දිළිඳුන්ට බෙදාදෙන්න, එවිට ස්වර්ගයෙහි නුඹට වස්තුව ලැබෙන්නේය. මා අනුවයන්ට එන්නැයි ඔහුට කීසේක.
23 නුමුත් ඔහු ඒ අසා, බොහෝ ධනවත්ව සිටි බැවින්, අතිශයින් ශෝකවූයේය.
24 යේසුස්වහන්සේ ඔහු දෙස බලා කියනසේක්: වස්තු ඇති අය දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්නේ කොපමණ අමාරුවෙන්ද!
25 ධනවතෙකු දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීමට වඩා ඉදිකටුවක සිදුරෙන් ඔටුවෙකුගේ ගමන පහසුයයි කීසේක.
26 ඒ ඇසූ අය: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය.
27 උන්වහන්සේද: මනුෂ්‍යයන්ට නුපුළුවන් දේ දෙවියන්වහන්සේට පුළුවනැයි කීසේක.
28 එවිට පේතෘස් කථාකොට: අපි වනාහි අප සන්තක දේ අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුයයි කීවේය.
29 උන්වහන්සේ: සැබවක් නුඹලාට කියමි-දෙවියන්වහන්සේගේ රාජ්‍යය නිසා ගෙය හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ දෙමවුපියන් හෝ දරුවන් හෝ අත්හැරිය කවරෙක් නුමුත්,
30 මේ කාලයේදී ඊට බොහෝ වැඩියෙන්ද පරලොවදී සදාකාල ජීවනයද නොලැබ නොසිටින්නේයයි කීසේක.
31 උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා ඔවුන්ට කියනසේක්: බලව, අපි යෙරුසලමට යමුව, මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘවරුන් විසින් ලියා තිබෙන සියල්ල සම්පූර්ණවන්නේය.
32 මක්නිසාද ඔහු අන්‍යජාතීන්ට පාවාදෙනු ලැබ, කවටකම් සහ නින්දාද කෙළගැසීමද ලබන්නේය.
33 ඔව්හු ඔහුට තලා ඔහු මරන්නෝය. නුමුත් තුන්වෙනිදා ඔහු නැවත නැගිටින්නේයයි කීසේක.
34 මේ දේවලින් කිසිවක් ඔව්හු තේරුම් නොගත්තෝය. කී දේ ඔවුන්ට නොතේරී, මේ කීම ඔවුන්ගෙන් සැඟවී තිබුණේය.
35 තවද උන්වහන්සේ යෙරිකෝව ළඟට පැමිණි කල, එක්තරා අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගන උන්නේය.
36 සමූහයක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, ඒ කුමක්දැයි ඇසුවේය.
37 එවිට ඔව්හු නාසරිය යේසුස්වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කීවෝය.
38 ඔහුද: යේසුස්වහන්ස, දාවිත්ගේ පුත්‍රය, මට කරුණාකළ මැනවයි මොරගැසුවේය.
39 පෙරටුවෙන් ගිය අය ඔහු නිශ්ශබ්ද වෙන පිණිස ඔහුට තරවටුකළෝය. නුමුත් ඔහු ශබ්ද නගා: දාවිත්ගේ පුත්‍රය, මට කරුණාකළ මැනවයි තව වඩ වඩා මොරගැසුවේය.
40 යේසුස්වහන්සේ නැවතී සිට ඔහු තමන් ළඟට ගෙනෙන්ට අණකළසේක. ඔහු ළඟට ආ කල:
41 මා විසින් නුඹට කුමක් කරනවාට නුඹ කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක. ස්වාමිනි, මට පෙනීම ලැබේවයි ඔහු කීවේය.
42 යේසුස්වහන්සේ: පෙනීම ලබන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි ඔහුට කීසේක.
43 එකෙණෙහිම ඔහු පෙනීම ලැබ, දෙවියන්වහන්සේ වර්ණනාකරමින්, උන්වහන්සේ අනුව ගියේය. මුළු සෙනඟද ඒ දැක දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.



පරිච්ඡේදය 19

1 උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී,
2 සුංගම් අයකරන්නන්ගේ ප්‍රධානියෙක්වූ සාකෙවුස් නම්ලත් පොහොසත් මනුෂ්‍යයෙක්,
3 යේසුස්වහන්සේ කවුද කියා බලන්ට සෙවීය; නුමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකිවිය.
4 උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින්, ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහකට නැගුණේය.
5 යේසුස්වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා ඔහුට කථාකොට: සාකෙවුස්, වහාම බසින්න, මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයයි ඔහුට කීසේක.
6 ඔහු වහාම බැස ඇවිත්, ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය.
7 ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය.
8 සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.
9 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය, කුමක්හෙයින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය.
10 මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.
11 මෙසේ කාරණා ඔවුන් ඇසූ කල, උන්වහන්සේ යෙරුසලමට සමීපව සිටි බැවින්ද, දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහාම එළිදරව්වේයයි ඔවුන් සිතූ බැවින්ද, උන්වහන්සේ තව දුරටත් උපමාවක් කීසේක.
12 එබැවින් උන්වහන්සේ කථාකොට: එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය.
13 ඔහු තමාගේ දාසයන් දසදෙනෙකුට අඬගසා, ඔවුන්ට* පවුම් දසයක් දී: මා එන තෙක් මෙයින් වෙළඳාම්කරන්නැයි කීවේය. (* මෙහි පවුමක් රුපියල්
50 ක් පමණය.)
14 එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.
15 තවද ඔහු රාජ්‍යය ලබාගෙන ඇවිත්, තමා විසින් මිල දුන් දාසයෝ වෙළඳාමෙන් කොපමණ උපදවාගත්තෝදැයි දැනගන්නා පිණිස ඔවුන් තමා ළඟට කැඳවන්ට අණකළේය.
16 එවිට පළමුවෙනියා ඔහු ඉදිරියට ඇවිත්: ස්වාමීනි, ඔබගේ පවුමෙන් පවුම් දසයක් ඉපදවීමියි කීවේය.
17 ඔහුද: ඉතා හොඳය, යහපත්වූ දාසය. නුඹ ඉතා ස්වල්පයක් ගැන විශ්වාසවූ බැවින් නුවරවල් දසයක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය.
18 දෙවෙනියාද ඇවිත්: ස්වාමීනි, ඔබගේ පවුමෙන් පවුම් පහක් ඉපදවීමියි කීවේය.
19 එවිට ඔහු: නුඹත් නුවරවල් පහක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය.
20 තවත් එක්කෙනෙක් ඇවිත්: ස්වාමීනි, මෙන්න, ඔබගේ පවුම! එය රෙදිකඩක ඔතා තැබීමි.
21 මක්නිසාද ඔබ නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙකු බැවින්, ඔබට භයවූයෙමියි කීවේය.
22 එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය;
23 එසේ නම් මා ආ කල්හි පොළිත් සමඟ අයකරගන්න පිණිස මාගේ මුදල බැංකුවට නුදුන්නේ මක්නිසාද කියා,
24 ළඟ සිටියවුන්ට කථාකොට: පවුම ඔහුගෙන් රැගෙන පවුම් දසය ඇත්තාට දෙන්නැයි කීවේය.
25 එවිට ඔව්හු: ස්වාමීනි, ඔහුට පවුම් දසයක් ඇත්තේයයි කීවෝය.
26 ඇත්තාවූ සියල්ලන්ට දෙනු ලැබේ; නැති අයගෙන් ඔහුට ඇති දේත් පැහැරගනු ලැබේයයි නුඹලාට කියමි.
27 එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.
28 උන්වහන්සේ මෙසේ කියා යෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව ගියසේක.
29 තවද උන්වහන්සේ ඔලීව නම්වූ කන්ද ළඟ බෙත්පාගයටද බෙතානියටද සමීපවූ කල, තමන්ගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින්:
30 නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න. එහි ඇතුල්වූවිට, කිසි කලෙක මනුෂ්‍යයෙකු නොනැගුණාවූ කොටළු පැටවකු එහි බැඳ සිටිනවා නුඹලාට සම්බවන්නේය. ඌ ලිහා ගෙනෙන්න.
31 ඌ ලිහන්නේ මක්නිසාදැයි යමෙක් නුඹලාගෙන් ඇසුවොත්, ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි කියන්නැයි කීසේක.
32 යවනු ලැබුවෝ ගොස්, උන්වහන්සේ ඔවුන්ට කී ලෙසම දුටුවෝය.
33 ඔවුන් කොටළුපැටවා ලිහන කල ඌ අයිතිකාරයෝ: නුඹලා කොටළුපැටවා ලිහන්නේ මක්නිසාදැයි ඔවුන්ට කීවෝය.
34 ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි ඔව්හු කීවෝය.
35 ඔව්හු කොළුපැටවා උන්වහන්සේ ළඟට ගෙනැවිත්, තමුන්ගේ වස්ත්‍ර ඌ පිට අතුරා, යේසුස්වහන්සේ ඒ පිට හිඳෙවුවෝය.
36 උන්වහන්සේ යද්දී ඔව්හු තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය.
37 උන්වහන්සේ ඔලීව කන්දේ බැස්ම ළඟට පැමිණි කල්හි, මුළු ගෝල සමූහයා ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්ටත් පටන්ගෙන:
38 ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ රජ ආශීර්වාදලත්තෙක්ය. ස්වර්ගයෙහි සමාදානයද ඉතා උස්තැන්හි මහිමයද වේවයි කීවෝය.
39 එවිට සමූහයා අතරෙන් සමහර ඵරිසිවරු: ආචාරිනි, ඔබගේ ගෝලයන්ට තරවටුකළ මැනවයි උන්වහන්සේට කීවෝය.
40 උන්වහන්සේ උත්තරදෙමින්: ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේයයි නුඹලාට කියමියි කීසේක.
41 උන්වහන්සේ ළංවී, නුවර දැක, ඒ ගැන හඬමින්
42 අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත! එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ.
43 නුඹ විමසා බලන කාලය නුඹ නොදැන සිටි බැවින්, නුඹේ සතුරන් විසින් නුඹ වටේට පස්වැටියක් නගා, නුඹ වටකොට, සියලු දිසාවෙන්ම නුඹ කොටුකරගෙන,
44 නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයයි කීසේක.
45 උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව, විකුණන්නන් බැහැරකරන්ට පටන්ගෙන:
46 මාගේ ගෘහය යාච්ඤා ගෘහයක් වන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කර තිබේයයි ඔවුන්ට කීසේක.
47 උන්වහන්සේ දවස්පතා දේවමාළිගාවේ ඉගැන්වූසේක. නුමුත් නායක පූජකයෝද ලියන්නෝද සෙනඟගේ ප්‍රධානීහුද උන්වහන්සේ නසන්ට සෙවුවෝය.
48 මුළු සෙනඟ උන්වහන්සේගේ වචන ඇලුම්කමින් ඇසූ බැවින්, උන්වහන්සේට කිසිවක් කරන්ට ඔවුන්ට නොලැබුණේය.



පරිච්ඡේදය 20

1 තවද උන්වහන්සේ ඒ දවස්වලින් එකකදී දේවමාළිගාවේ සෙනඟට උගන්වමින්, ශුභාරංචිය දේශනාකරමින් සිටියදී, නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේ ළඟට පැමිණ කථාකොට:
2 නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? නොහොත් මේ බලය නුඹට දුන්නේ කවුදැයි අපට කියන්නැයි උන්වහන්සේට කීවෝය.
3 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් ප්‍රශ්නයක් අසමි; ඒක මට කියන්න:
4 යොහන්ගේ බව්තීස්මය වුණේ ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක.
5 එවිට ඔව්හු තමුන් අතරේ කථාකොට: ස්වර්ගයෙන්යයි කීවොත්, ඔහු අදහා නොගත්තේ මක්නිසාදැයි කියනවා ඇත.
6 මනුෂ්‍යයන්ගෙන්යයි කීවොත්, යොහන් අනාගතවක්තෘ කෙනෙක් කොට මුළු සෙනඟ විශ්වාසකරන බැවින්, ඔවුන් අපට ගල් ගසනවා ඇතැයි කියා,
7 කොතැනින් වුණේදැයි නොදැනිමුයයි උත්තරදුන්නේය.
8 එවිට යේසුස්වහන්සේ: මමත් මොන බලයකින් මේ දේ කරම්දැයි නුඹලාට නොකියමියි ඔවුන්ට කීසේක.
9 උන්වහන්සේ සෙනඟට මේ උපමාව කියන්ට පන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, ගොවීන්ට බදුදී, බොහෝ කලකට වෙන රටකට ගියේය.
10 ඵල අවස්ථාවේදී ගොවියන් විසින් මිදි වත්තේ ඵල කොටස ඔහුට දෙන පිණිස ඔහු ඔවුන් ළඟට දාසයෙකු යැවීය. නුමුත් ගොවීහු ඔහුට තළා, ඔහු හිස් අතින් ඇරියෝය.
11 පසුව ඔහු වෙන දාසයෙකු යැවීය. ගොවියෝ ඔහුටත් තළා, නිග්‍රහකොට, ඔහු හිස් අතින් ඇරියෝය.
12 නැවතද ඔහු තුන්වෙනියෙකු යැවීය. ඔව්හු ඔහුටත් තුවාලකොට පිටතට දැම්මෝය.
13 එවිට මිදිවත්තේ ස්වාමියා කථාකොට: මම මක්කරම්ද? මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා යවමි. සමහරවිට ඔවුන් ඔහුට ගෞරවකරනවා ඇතැයි කීවේය.
14 නුමුත් ගොවීහු ඔහු දැක, ඔවුනොවුන් කථාකොට: මොහු උරුමක්කාරයාය. උරුමය අපට වෙන පිණිස මොහු මරමුව කියා,
15 ඔහු මිදිවත්තෙන් පිටත දමා මැරුවෝය. එහෙයින් මිදිවත්තේ ස්වාමියා ඔවුන්ට කුමක්කරනවා ඇද්ද?
16 ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට, මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේයයි කීසේක. ඔව්හු ඒ අසා: එසේ නොවේවයි කීවෝය.
17 නුමුත් උන්වහන්සේ ඔවුන් දෙස බලා: එසේවී නම්, ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය යන ලියවිල්ලේ අර්ථය මොකද?
18 ඒ ගල පිට වැටෙන කවුරු නුමුත් කැබලිකරනු ලබන්නේය; ඒ ගල යමෙකු පිට වැටෙන්නේද, එයින් ඔහු සුණුවිසුණු කරනු ලබන්නේයයි කීසේක.
19 නායක පූජකයෝද ලියන්නෝද මේ උපමාව ඔවුන්ට විරුද්ධව උන්වහන්සේ කී බව දැන, ඒ පැයේදීම උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය; නුමුත් සෙනඟට භයවූවෝය.
20 ඔව්හු උන්වහන්සේගේ වචන අල්ලාගෙන, උන්වහන්සේ ආණ්ඩුවටද ආණ්ඩුකාරයාගේ බලයටද භාරදෙන පිණිස බලාසිට, තුමූ ධර්මිෂ්ඨයෝයයි හඟවන්නාවූ ඔත්තුකාරයන් යැවුවෝය.
21 ඔව්හු: ආචාරීන්වහන්ස, ඔබ යුතුලෙස කථාකරන බවත් උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, සැබෑලෙස දෙවියන්වහන්සේගේ මාර්ගය උගන්වන බවත් දනිමුව.
22 කායිසර්ට ආදායම් දීම අපට යුතුද අයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
23 එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රයෝගය දැන: මට මස්සක් පෙන්වන්න.
24 එහි තිබෙන රූපයත් සටහනත් කාගේදැයි ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය.
25 එසේවී නම් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක.
26 සෙනඟ ඉදිරියෙහිදී උන්වහන්සේගේ කීම අල්ලාගන්ට බැරිවිය. ඔව්හු උන්වහන්සේගේ උත්තරයට පුදුමව, නිශ්ශබ්දව සිටියෝය.
27 නැවත-නැගිටීමක් නැතැයි කියන්නාවු සද්දුසිවරුන්ගෙන් සමහරෙක් උන්වහන්සේ ළඟට ඇවිත්:
28 ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් භාර්යාවක් ඇතුව සිට දරුවෙකු නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඒ භාර්යාව පාවාගෙන, තමාගේ සහෝදරයාගේ නමට දරුවන් උපදවන්ට යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ.
29 ඉඳින් සහෝදරයන් සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණේය.
30 දෙවෙනියාත්,
31 තුන්වෙනියාත් ඈ පාවාගත්තෝය; සත්දෙනාම එසේම දරුවන් නොලැබ මැරුණෝය.
32 පසුව ස්ත්‍රීත් මළාය.
33 සත්දෙනාම ඈ සරණපාවාගත් බැවින්, නැවත-නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය.
34 යේසුස්වහන්සේද: මේ ලෝකයේ දරුවෝ සරණපාවාගනිති, සරණපාවාදෙනු ලබති.
35 නුමුත් ඒ ලෝකයටත් නැවත-නැගිටීමටත් පැමිණෙන්ට සුදුස්සෝයයි ගණන්ගනු ලබන අය සරණපාවාගන්නේවත් සරණපාවාදෙනු ලබන්නේවත් නැත.
36 මක්නිසාද ඔවුන්ට තවත් මැරෙන්ට නුපුළුවන. ඔව්හු දේවදූතයන් හා සමානවෙති; නැවත-නැගිටීමේ පුත්‍රයන් බැවින් ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.
37 නුමුත් මළවුන් නැගුටුවනු ලබන බව මෝසෙස් පාවා පඳුර සම්බන්ධ කාණ්ඩයෙහි: ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීමෙන් පෙන්වාදී තිබේ.
38 උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ උදෙසා ජීවත්ව සිටිතියි කීසේක.
39 එවිට ලියන්නන්ගෙන් සමහරෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබ කීවා යහපතැයි කීවෝය.
40 මක්නිසාද උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට ඔවුන්ට තවත් ධෛර්යය නොතිබුණේය.
41 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ක්‍රිස්තුස් වනාහි දාවිත්ගේ පුත්‍රයායයි ඔවුන් කියන්නේ කෙසේද?
42 මක්නිසාද: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි
43 ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි දාවිත්ම ගීතිකා පොතේ කියා තිබේ.
44 මෙසේ දාවිත් උන්වහන්සේට: ස්වාමීන්වහන්සේයයි කියයි, ඉඳින් උන්වහන්සේ ඔහුගේ පුත්‍ර වන්නේ කෙසේදැයි කීසේක.
45 මුළු සෙනඟ අසමින් සිටියදී උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්:
46 දිග උතුරු සළු ඇඳ ඇවිදීමට කැමතිවූ, වෙළඳාම්පළවලදී ආචාරවලටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටද ආශා ඇති,
47 වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකමින්, වංචා පිණිස දීර්ඝ යාච්ඤාකරන්නාවූ ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු වඩා බරපතළ දඬුවමට පත්කරනු ලබන්නෝයයි කීසේක.



පරිච්ඡේදය 21

1 උන්වහන්සේ ඇස් ඔසවා, ධනවතුන් තමුන්ගේ පඬුරු ගබඩාවට දමනවා දුටුසේක.
2 එක්තරා දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක් එහි දමනවාත් උන්වහන්සේ දැක:
3 සැබවක් නුඹලාට කියමි-මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය.
4 මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.
5 සමහරු දේවමාළිගාව ගැන කථාකොට, ඒක ශෝභමාන ගල්වලින්ද කැපකළ දේවලින්ද සරසා තිබෙන හැටි කී කල්හි, උන්වහන්සේ කථාකොට:
6 නුඹලා බලන මේ දේවල් වනාහි ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේයයි කීසේක.
7 ආචාරිනි, ඒ දේ කොයි කලක වන්නේද? ඒවා සිදු වෙන්ට එන කල ලකුණ කිමෙක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.
8 උන්වහන්සේ කියනසේක්: මුළා නොවෙන්ට බලාගන්න. මක්නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඇවිත්-ඒ මමය කියාත් කාලය ළඟය කියාත් කියන්නෝය. ඔවුන් පස්සේ නොයන්න.
9 යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවන්න. මක්නිසාද මේ දේවල් පළමුකොට සිදුවෙන්ට ඕනෑය; නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේයයි කීසේක.
10 එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.
11 මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය; භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය
12 නුමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු නුඹලා පිට අත්හෙළා, සිනගෝගවලටත් හිරගෙවලටත් නුඹලා පාවාදෙමින්, නුඹලාට පීඩාකරන්නෝය, නුඹලා රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනයන්නෝය.
13 ඒක නුඹලාට සාක්ෂියක් පිණිස වන්නේය.
14 එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට නුඹලාගේ සිත්හි නියමකරගන්න.
15 මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරුකරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.
16 එහෙත් මවුපිය සහෝදර නෑ මිත්‍රයන් විසින්ම නුඹලා භාරදෙනු ලබන්නහුය; ඔව්හු නුඹලාගෙන් සමහරෙකු මරණයට පත්කරවන්නෝය.
17 මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරවන්නෝය.
18 නුමුත් නුඹලාගේ හිසකෙසක්වත් නැති නොවන්නේය.
19 නුඹලා ක්ෂාන්ති ගුණයෙන් සිටීමෙන් නුඹලාගේ ආත්ම දිනාගන්නහුය.
20 එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න.
21 එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.
22 මක්නිසාද ලියනලද සියල්ල සම්පූර්ණවන පිණිස ඒ දවස් පළිගැනීමේ දවස් වන්නේය.
23 ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේදනාද මේ සෙනඟ කෙරෙහි උදහසද වන්නේය.
24 ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය. සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.
25 ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය.
26 මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය.
27 එකල මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව වලාකුළකින් එනවා ඔව්හු දකින්නෝය.
28 මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්නැයි කීසේක.
29 තවද උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්: අත්තික්කා ගසද සියලු ගස්ද බලන්න.
30 ඒවා දළුලන විට, ඒ දැක ග්‍රීෂ්ම කාලය දැනටම ළඟ බව නුඹලාම දැනගන්නහුය.
31 එලෙසම මේ දේ සිදුවෙනවා දකින කල, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළඟ බවත් දැනගන්න.
32 සැබැවක් නුඹලාට කියමි-සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.
33 අහසත් පොළොවත් පහව යන්නේය. නුමුත් මාගේ වචන පහව නොයන්නේය.
34 එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.
35 මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය.
36 එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්නැයි කීසේක.
37 උන්වහන්සේ දවාලේ දේවමාළිගාවෙහි උගන්වමින් සිට, රාත්‍රියේ පිටත්ව ගොස්, ඔලීව නම් කන්දේ නැවතී සිටිසේක.
38 මුළු සෙනඟද උන්වහන්සේගේ වචන අසන පිණිස දේවමාළිගාවේ සිටි උන්වහන්සේ වෙතට උදයේම ආවෝය.



පරිච්ඡේදය 22

1 පාස්කුව නම්වූ මුහුන් නොදැමූ රොටි කන මංගල්‍යය ළං විය.
2 නායක පූජකයෝද ලියන්නෝද උන්වහන්සේ නසන්නේ කෙසේදැයි සෙවුවෝය; මක්නිසාද ඔව්හු සෙනඟට භයව සිටියෝය.
3 එවිට දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඉස්කාරියොත් නම් යූදස්ට සාතන් ආවේශවිය.
4 ඔහු ගොස්, නායක පූජකයන්ට සහ අධිපතීන්ටත් උන්වහන්සේ පාවාදෙන්නේ කෙසේද කියා ඔවුන් සමඟ කථාකරගත්තේය.
5 ඔව්හු සතුටුව ඔහුට මිල දෙන්ට ගිවිස්සෝය.
6 ඔහු ඊට එකඟවී, සමූහයා ළඟ නැති විටක උන්වහන්සේ ඔවුන්ට පාවාදෙන්ට ප්‍රස්තාවක් සෙවීය.
7 තවද පාස්කුව පූජාකළ යුතුවූ මුහුන් නොදැමූ රොටි කන දවස පැමුණුණේය.
8 එවිට උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යවමින්: නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙළකරන්නැයි කීසේක.
9 කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමතිසේක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.
10 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: බලව, නුඹලා නුවරට ඇතුල්වූ විට, මනුෂ්‍යයෙක් පැන් කළයක් ගෙනයනවා නුඹලාට සම්බවන්නේය; ඔහු යන ගෙදරට ඔහු පස්සේ ගොස්,
11 ගෙයි ස්වාමියාට කථාකොට: මා විසින් මාගේ ගෝලයන් සමඟ පාස්කුව කන්ට හැකිවූ ආගන්තුක ශාලාව කොතනද කියා ආචාරීන් අසනවායයි කියන්න.
12 සූදානම්කර තිබෙන මහත් උඩුමහලක් ඔහු නුඹලාට පෙන්වනවා ඇත. එහි පිළියෙළකරන්නැයි කීසේක.
13 ඔව්හු ගොස්, උන්වහන්සේ කී ලෙස සම්බව, පාස්කුව පිළියෙළකළෝය.
14 පැය පැමිණි කල උන්වහන්සේද උන්වහන්සේ සමඟ ප්‍රේරිතයෝද හිඳගත්තෝය.
15 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: වධවිඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශයෙන් ආශාවුණෙමි.
16 මක්නිසාද නුඹලාට කියමි-දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහිදී ඒක සම්පූර්ණවන තුරු මම ඒක නොකන්නෙමියි කීසේක.
17 උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිකොට: මේක ගෙන නුඹලා අතරේ බෙදාගන්න.
18 මක්නිසාද නුඹලාට කියමි-දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මෙතැන් පටන් මම මිදිවැලේ ඵලයෙන් නොබොන්නෙමියි කීසේක.
19 උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
20 එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.
21 එහෙත් මා පාවාදෙන්නාගේ අත මා සමඟ මේසයෙහි තිබේ.
22 මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නියමකර තිබෙන හැටියට යන්නේමය. නුමුත් ඔහු පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ යයි කීසේක.
23 එවිට, ඒක කරන්ට යන්නේ ඔවුන්ගෙන් කවරෙක්දැයි ඔව්හු තමුන් අතරේම විචාරන්ට පටන්ගත්තෝය.
24 ඔවුන්ගෙන් ඉතා උතුම්කොට ගණන්ගනු ලබන්නේ කවරෙක්දැයි ඔවුන් අතරේ විවාදයක්ද හටගත්තේය.
25 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අන්‍ය ජාතීන්ගේ රජවරු ඔවුන් කෙරෙහි අධිපතිකම් පවත්වති; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ වනාහි උපකාරකාරයෝයයි කියනු ලබති.
26 නුමුත් නුඹලා එසේ නොව, නුඹලා අතරෙන් වඩා උත්තමයා බාලයා මෙන් වේවා; ප්‍රධානයා උපස්ථානකරන්නා මෙන් වේවා. වඩා උතුම් කවුද?
27 කෑමට හිඳින තැනැත්තාද? නොහොත් උපස්ථානකරන්නාද? කෑමට හිඳින තැනැත්තේ නොවේද? නුමුත් මම වනාහි නුඹලා මධ්‍යයෙහි උපස්ථානකරන්නා මෙන් වෙමි.
28 මාගේ පරීක්ෂාවලදී මා සමඟම සිටි අය නම් නුඹලාය.
29 එබැවින් මාගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් නියම කළාක් මෙන්ම,
30 මාගේ රාජ්‍යයෙහිදී මාගේ මේසයේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියමකරමි; නුඹලා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නහුය.
31 සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය.
32 නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.
33 ඔහුද: ස්වාමිනි, ඔබ සමඟ හිරගෙටත් මරණයටත් යන්ට සූදානම්ව සිටිමියි උන්වහන්සේට කීවේය.
34 උන්වහන්සේද: පේතෘස්, නුඹට කියමි-නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන තුරු, අද කුකුළා අඬලන්නේ නැතැයි කීසේක.
35 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් නැතුව මා නුඹලා යැවූ කල නුඹලාට කිසිවක් හිඟවීදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නැතැයි ඔව්හු කීවෝය.
36 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුමුත් දැන් පසුම්බියක් ඇත්තෙක් ඒක ගනීවා, එසේම මල්ලකුත් ගනීවා. කඩුවක් නැත්තා තමාගේ සළුව විකුණා, කඩුවක් මිලේට ගනීවා.
37 මක්නිසාද නුඹලාට කියමි-උන්වහන්සේ අපරාධකාරයන් සමඟ ගණන්ගනු ලැබූසේකැයි ලියා තිබෙන මේ දේ මා කෙරෙහි සම්පූර්ණවිය යුතුය; මක්නිසාද මා ගැන ලියා තිබෙන දේ සම්පූර්ණවන්නේයයි කීසේක.
38 ඔව්හු: ස්වාමිනි, බැලුව මැනව, කඩු දෙකක් මෙහි තිබේයයි කීවෝය. උන්වහන්සේද: ඇතැයි ඔවුන්ට කීසේක.
39 එවිට උන්වහන්සේ පිටත්ව, තමන්ගේ පුරුද්ද ලෙස ඔලීව කන්දට ගියසේක; ගෝලයොත් උන්වහන්සේ අනුව ගියෝය.
40 උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කථාකොට: නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාච්ඤා කරන්නැයි ඔවුන්ට කීසේක.
41 ගලක් ගසන දුර පමණ උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වී, දණින් හිඳ යාච්ඤා කරමින්:
42 පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක.
43 එකල ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත්කළේය.
44 උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.
45 උන්වහන්සේ යාච්ඤාවෙන් නැගිට, ගෝලයන් ළඟට ඇවිත්, ඔවුන් ශෝකයෙන් නිදා ඉන්නවා දැක:
46 නුඹලා නිදා ඉන්නේ මක්නිසාද? පරීක්ෂාවට නොපැමිණෙන පිණිස නැගිට යාච්ඤාකරන්නැයි ඔවුන්ට කීසේක.
47 උන්වහන්සේ කථාකරද්දීම, බලව, සමූහයක් ආවෝය; දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස් කියන අයද ඔවුන්ට පෙරටුව ඇවිත් යේසුස්වහන්සේ සිඹින පිණිස උන්වහන්සේට ළංවුණේය.
48 යේසුස්වහන්සේද: යූදස්, නුඹ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙනවාදැයි ඔහුට කීසේක.
49 උන්වහන්සේ අවට සිටි අය පැමිණෙන්ට තිබෙන දේ දැක: ස්වාමිනි, කඩුවෙන් ගසමුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
50 ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපාදැමීය.
51 නුමුත් යේසුස්වහන්සේ උත්තරදෙමින්: මෙපමණකට ඉඩදෙන්නය කියා, ඔහුගේ කන අතගා සුවකළසේක.
52 යේසුස්වහන්සේ තමන්ට විරුද්ධව ආවාවූ නායක පූජකයන්ටද දේවමාළිගාවේ අධිපතීන්ටද වැඩිමහල්ලන්ටද කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩුමුගුරු රැගෙන ආවහුද?
53 දවස්පතා මා දේවමාළිගාවෙහි නුඹලා සමඟ සිටියදී නුඹලා මට විරුද්ධව අත් දිගුකළේ නැත. නුමුත් මෙය නුඹලාගේ පැයත් අන්ධකාරයේ බලයත්යයි කීසේක.
54 ඔව්හු උන්වහන්සේ අල්ලාගෙන යන්නාහු, උත්තම පූජකයාගේ ගෙදරට ගෙනගියෝය.
55 එහෙත් පේතෘස් ඈතින් පස්සේ ගියේය. ඔවුන් ශාලාව මැද ගිනි පත්තුකොට, එකතුව හිඳගෙනඋන් කල, පේතෘස් ඔවුන් මැද හිඳගත්තේය.
56 එවිට එක් යෞවනියෙක් ඔහු ගිනි ළඟ ඉන්නවා දැක, ඔහු දෙස හොඳට බලා: මොහුත් ඔහු සමඟ සිටියේයයි කීවාය.
57 නැත, ස්ත්‍රිය, මම ඔහු නාඳුනමියි ඔහු කීවේය.
58 ස්වල්ප වේලාවකට පසු වෙන කෙනෙක් ඔහු දැක: නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්යයි කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, මම එසේ නොවෙමියි කීවේය.
59 පැයකට පමණ පසු තවත් එක්කෙනෙක් කථාකොට සැබෑවටම මොහුත් ඔහු සමඟ සිටියේය. මක්නිසාද මොහු ගලීලෙයකැයි සැක නොකොට ස්ථිරලෙස කීවේය.
60 පේතෘස්ද: මනුෂ්‍යය, නුඹ කියන දේ නොදනිමියි කීවේය. එකෙණෙහිම, ඔහු කථාකරද්දීම, කුකුළා හඬලීය.
61 ස්වාමීන්වහන්සේ හැරී පේතෘස් දෙස බැලූසේක. පේතෘස්ද: අද කුකුළා හඬලන්ට පළමුවෙන් ඔහු නාඳුනමියි තුන් වරක් නුඹ මා ගැන කියන්නෙහියයි ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය සිහිකොට,
62 පිටතට ගොස්, බලවත් දුකින් හැඬුවේය.
63 එකල යේසුස්වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන්වහන්සේට කවටකම්කරමින්, පහර දුන්නෝය.
64 ඔව්හු උන්වහන්සේගේ ඇස් බැඳ: නුඹට ගැසුවේ කවුදැයි දිවැසින් කියන්නැයි උන්වහන්සේට කීවෝය.
65 ඔව්හු තවත් බොහෝ දේ උන්වහන්සේට විරුද්ධව කියමින්, උන්වහන්සේට අපහාසකළෝය.
66 පහන්වූ කෙණෙහිම සෙනඟගේ වැඩිමහල්ලන්ගේ සභාව වන නායක පූජකයෝද ලියන්නෝද රැස්ව, තමුන්ගේ මන්ත්‍රණසභාව අභිමුඛයට උන්වහන්සේ ගෙනගොස්:
67 නුඹ ක්‍රිස්තුස් නම් අපට කියන්නැයි කීවෝය. උන්වහන්සේද: මා නුඹලාට කීවත් නුඹලා විශ්වාසකරන්නේ නැත;
68 මා නුඹලාගෙන් ඇසුවත් නුඹලා උත්තරදෙන්නේ නැත.
69 නුමුත් මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්වහන්සේගේ පරාක්‍රමයේ දකුණු පැත්තේ වැඩහිඳිනවා ඇතැයි ඔවුන්ට කීසේක.
70 ඔවුන් සියල්ලෝ: එසේ නම් නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයාදැයි ඇසුවෝය. උන්වහන්සේද: ඒ මම බැවින් නුඹලා කියන්නහුයයි ඔවුන්ට කීසේක. ඔව්හුද: තවත් සාක්ෂි අපට කුමටද?
71 මක්නිසාද ඔහුගේම කටින් කියනවා අපිම ඇසීමුයයි කීවෝය.



පරිච්ඡේදය 23

1 එවිට ඔවුන්ගේ මුළු සමූහයා නැගිට, උන්වහන්සේ පිලාත් ඉදිරිපිටට ගෙනගියෝය.
2 ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද, අපි දැනගතිමුයයි කීවෝය.
3 පිලාත්ද: නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: එසේයයි කීසේක.
4 එවිට පිලාත් නායක පූජකයන්ටද සමූහයන්ටද කථාකොට: මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට පෙනෙන්නේ නැතැයි කීවේය.
5 නුමුත් ඔව්හු: මොහු ගලීලයේ පටන් මෙතැන දක්වා යුදය මුළුල්ලෙහි උගන්වමින්, සෙනඟ කලඹනවායයි වඩා තදින් කීවෝය.
6 පිලාත් ඒ අසා, මේ මනුෂ්‍යයා ගලීලයෙක්දැයි විචාළේය.
7 එවිට පිලාත් උන්වහන්සේ හෙරොද්ගේ නඩුකාර පළාතට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වලදී යෙරුසලමේ සිටි බැවින් ඔහු වෙතට උන්වහන්සේව යැවීය.
8 හෙරොද් යේසුස්වහන්සේ දැක, ඉතා සන්තෝෂවූයේය. මක්නිසාද ඔහු උන්වහන්සේ ගැන අසා තිබුණු බැවින්, බොහෝ කලක සිට උන්වහන්සේ දකින්ට කැමතිව සිටියේය, උන්වහන්සේ යම් ආශ්චර්යයක් කරනවා දකින්ටද ඔහු බලාපොරොත්තුවූයේය.
9 ඔහු බොහෝ වචනවලින් උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසූ නුමුත්, උන්වහන්සේ කිසි උත්තරයක් ඔහුට නුදුන්සේක.
10 නායක පූජකයෝද ලියන්නොද් නැගිට සිට, තදලෙස උන්වහන්සේට වරද තැබුවෝය.
11 හෙරොද් තමාගේ හේවායන් සමඟ උන්වහන්සේ සුළුකොට, උන්වහන්සේට සරදම්කොට, දිලිසෙන්නාවූ වස්ත්‍රයක් හඳවා, පිලාත් ළඟට උන්වහන්සේ ආපසු යැවීය.
12 හෙරොද්ද පිලාත්ද ඒ දවසේදීම මිත්‍රවූවෝය. මක්නිසාද ඔව්හු පළමු එදිරිව සිටියෝය.
13 පිලාත් නායක පූජකයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරවා,
14 ඔවුන්ට කියනුයේ: නුඹලා මේ මනුෂ්‍යයා සෙනඟ මුළාකරන්නෙක් කියා මා ළඟට ගෙනාවහුය. බලව, නුඹලා ඉදිරියෙහිම මා විසින් ඔහු විභාගකළ විට, නුඹලා විසින් මොහු කෙරෙහි තබන ලද ඒ වරදවලින් කිසිවක් ඔහු අත මට සම්බ නූණේය.
15 හෙරොද්ටත් සම්බවුණේ නැත. මක්නිසාද ඔහු අප ළඟට මොහු නැවත එවීය; බලව, මරණයට සුදුසු කිසිවක් ඔහු විසින් නොකරනලද්දේය.
16 එබැවින් මම ඔහුට තළා, නිදහස්කොට හරිමියි කීයේය.
17 මක්නිසාද ඒ මංගල්‍යයේදී එක්කෙනෙකු ඔහු විසින් ඔවුන්ට නිදස්කර දියයුතුව තිබුණේය.
18 නුමුත් ඔවුන් සියල්ලෝම: මොහු පහකොට බරබ්බස් අපට නිදහස්කර දුනමැනවයි එක්ව මොරගැසුවෝය.
19 බරබ්බස් වනාහි නුවරදී කළ කැරළිගැසීමක්ද මිනීමැරීමක්ද නිසා හිරගෙයි දමනලද කෙනෙක්ය.
20 පිලාත් යේසුස්වහන්සේ මුදාහරින්ට කැමතිව, නැවතත් ඔවුන්ට කථාකෙළේය;
21 නුමුත් ඔව්හු: මොහු කුරුසියෙහි ඇණගැසුව මැනව, කුරුසියෙහි ඇණගැසුව මැනව, කියා මොරගැසුවෝය.
22 ඔහු තුන්වෙනි වර කථාකොට: කිමෙක්ද? මොහු කවර නපුරක් කෙළේද? මරණයට සුදුසු කිසිදෙයක් මොහු අත මට සම්බ නූණේය. එබැවින් මොහුට තළා මුදාහරිමියි ඔවුන්ට කීවේය.
23 නුමුත් උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන ලෙසම ඔව්හු වඩ වඩා ශබ්දනගා ඉල්ලා සිටියෝය. තවද ඔවුන්ගේ මොරගැසීමට ජය ලැබුණේය.
24 පිලාත් ඔවුන් ඉල්ලූ දේ ඉෂ්ට වෙන ලෙස තීන්දුව දුන්නේය.
25 තවද ඔහු කැරළිගැසීමත් මිනීමැරීමත් නිසා හිරගෙයිලා සිටියාවූ ඔවුන් ඉල්ලුවාවූ තැනැත්තා ඔවුන්ට මුදාහැර, යේසුස්වහන්සේ ඔවුන්ගේ කැමැත්තට භාරදුන්නේය.
26 ඔව්හු උන්වහන්සේ ගෙනයන කල, පිටිසරින් එන කිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලා, යේසුස්වහන්සේ පස්සෙන් කුරුසිය උසුලාගෙන යන්ට ඒක ඔහු පිට තැබුවෝය.
27 සෙනඟගෙන්ද උන්වහන්සේ නිසා හඬා වැලපෙන්නාවූ ස්ත්‍රීන්ගෙන්ද යුක්තවූ මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය.
28 යේසුස්වහන්සේ ඔවුන් දෙසට හැරී: යෙරුසලමේ දූවරුනි, මා නිසා නොහඬා, නුඹලා සහ නුඹලාගේ දරුවන් නිසාත් හඬන්න.
29 මක්නිසාද වඳ ස්ත්‍රීහුද දරුවන් බිහිනොකළ කුසද කිසිකලෙක කිරි නුදුන් තනද වාසනාවන්තයයි කියන දවස් පැමිණෙන්නේය.
30 ඒ කාලයේදී ඔව්හු කඳුවලට කථාකොට: අප පිට වැටෙන්න; හෙල්වලට: අප වසාගන්නැයි කියන්ට පටන්ගන්නෝය.
31 මක්නිසාද අමු ගසට මේ දේ කරත් නම්, වියළි ගසට කුමක් කරනු ලබන්නේදැයි කීසේක.
32 මරනු ලබන පිණිස වරදකාරයන්වූ තවත් දෙදෙනෙක්ද උන්වහන්සේ සමඟ ගෙනයනලද්දෝය.
33 ඔව්හු ඉස්කබල නම් ස්ථානයට පැමිණ එහිදී උන්වහන්සේද වරදකාරයන්ද කුරුසියෙහි ඇණගසන්නාහු, එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තෙහිද අනික් එක්කෙනා වම්පැත්තෙහිද ඇණගැසුවෝය.
34 යේසුස්වහන්සේ කථාකොට: පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි කීසේක. ඔව්හු උන්වහන්සේගේ වස්ත්‍ර දාදුදමා, තමුන් අතරේ බෙදාගත්තෝය.
35 සෙනඟද බල බලා සිටියෝය. මුලාදෑනීහු උන්වහන්සේට ගැරහුම්කරමින්: මොහු අනුන් ගැළවිය; මොහු දෙවියන්වහන්සේගේ තෝරාගත් ක්‍රිස්තුස් නම් තමාම ගළවාගනීවයි කීවෝය.
36 හේවායෝද උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට කාඩි ළංකොට:
37 නුඹ යුදෙව්වරුන්ගේ රජ නම් නුඹම ගළවාගන්න කියා සරදම්කළෝය.
38 ‍ යුදෙව්වරුන්ගේ රජ මොහුය කියා ලියවිල්ලක් උන්වහන්සේට උඩින් තබා තිබුණේය.
39 එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්: නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹත් අපත් ගළවාගන්නැයි කීවේය.
40 අනික් අය ඔහුට තරවටුකරමින්: එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන්වහන්සේටවත් භය නැද්ද?
41 අප දඬුවම් ලබන්නේ සාධාරණලෙසය; මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නුමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තරදුන්නේය.
42 තවද ඔහු: යේසුස්වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනවයි කීවේය.
43 උන්වහන්සේද: සැබවක් නුඹට කියමි-අදම නුඹ මා සමඟ පරාදීසයෙහි සිටින්නෙහියයි කීසේක.
44 ඒ වේලාව සවෙනි පැය පමණ විය, ඉර එළිය නැතිවී, නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය.
45 දේවමාළිගාවේ තිරයද මැදින් ඉරුණේය.
46 යේසුස්වහන්සේ මහත් ශබ්දයකින් මොරගසා: පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාරදෙමියි කීසේක. මෙසේ කියා උන්වහන්සේ ආත්මය හළසේක.
47 එවිට සියයකට මුලාදෑනියා සිද්ධවූ දේ දැක දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්: සැබවින් මේ මනුෂ්‍යයා ධර්මිෂ්ඨයෙකැයි කීවේය.
48 මේ කාරණය බලන්ට ආ සමූහයා සිද්ධවූ දේ දැක, ළය අත්ගසා ගනිමින් ආපසු ගියෝය.
49 උන්වහන්සේ අඳුනන සියල්ලෝද ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආ ස්ත්‍රිහුද ඒ දේවල් බල බලා දුරින් සිටියෝය.
50 බලව, මන්ත්‍රියෙක්ව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන බලාසිටියාවූ,
51 ඔවුන්ගේ මන්ත්‍රණයටද ක්‍රියාවටද එකඟ නූණවූ, සත්පුරුෂවූ, ධර්මිෂ්ඨවූ, යුදෙව්වරුන්ගේ නුවරක් වන අරිමාතියේවූ යෝසෙප් නම් මනුෂ්‍යයෙක්,
52 පිලාත් ළඟට ගොස් යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය.
53 ඔහු ඒක බාගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවෙකු නොතැබුවාවූ ගලක කපනලද සොහොන් ගෙයක උන්වහන්සේ තැබුවේය.
54 ඒ දවස සූදානම්වීමේ දවසය, සබත් දවසද ආසන්නවිය.
55 ගලීලයේ සිට උන්වහන්සේ සමඟ ආවාවූ ස්ත්‍රීහු ගොස්, සොහොන් ගෙයද උන්වහන්සේගේ මිනිය තැබූ අන්දමද බලා සිටියෝය.
56 ඔව්හු හැරී ඇවිත් සුගන්ධ ද්‍රව්‍යද සුවඳ තෙල්ද සූදානම්කළෝය.



පරිච්ඡේදය 24

1 නුමුත් සතියේ පළමුවෙනිදා ඉතා අලුයම තමුන් විසින් සූදානම්කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ඔව්හු සොහොන් ගෙය ළඟට ගොස්,
2 ගල සොහොන් ගෙයින් අහකට පෙරළා තිබෙනවා දුටුවෝය.
3 ඔව්හු ඇතුල්වූ කල ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශරීරය නුදුටුවෝය.
4 තවද ඔවුන් ඒ ගැන වියවුල්ව සිටියදී, බලව, දිලියෙන වස්ත්‍ර ඇන්දවූ මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියෝය.
5 ඔවුන් භයපත්ව තමුන්ගේ මුහුණු බිමට නමාගත් කල ඒ මනුෂ්‍යයෝ කථාකොට: ජීවත්ව සිටින තැනැත්තා මළවුන් අතරේ නුඹලා සොයන්නේ මක්නිසාද?
6 උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගුටුනුසේක.
7 මනුෂ්‍ය පුත්‍රයා පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්ටත් කුරුසියෙහි ඇණගසනු ලබන්ටත් තුන්වෙනිදා නැවත නැගිටින්ටත් ඕනෑය කියා උන්වහන්සේ ගලීලයේ සිටියදී කථාකළ හැටි සිහිකරන්නැයි ඔවුන්ට කීවෝය.
8 එකල ඔව්හු උන්වහන්සේගේ වචන සිහිකොට සොහොන් ගෙයින් හැරී ඇවිත්,
9 මේ සියල්ල එකොළොස් දෙනාටද අනික් සියල්ලන්ටද දැන්වුවෝය.
10 ඒ ස්ත්‍රීහු නම් මග්දාලායේ මරියාත් යොවන්නාත් යකොබ්ගේ මවුවූ මරියාත්ය. ඔවුන් සමඟ අනික් ස්ත්‍රීහුද ප්‍රේරිතයන්ට මේ දේ කීවෝය.
11 මේ වචන ඔවුන්ට නිරර්ථක කථාවක් මෙන් පෙනී, ඔව්හු ඔවුන් අවිශ්වාසකළෝය.
12 නුමුත් පේතෘස් නැගිට සොහොන් ගෙය ළඟට දුවගන ගොස්, නැමී බලා, හණ රෙදි පමණක් තිබෙන බව දැක, සිද්ධවූ කාරණාව ගැන පුදුමවෙමින් සිය නිවසෙට ගියේය.
13 බලව, ඔවුන්ගෙන් දෙදෙනෙක් ඒ දවසේම යෙරුසලමේ සිට දෙගව්වක් පමණ දුරවූ එම්මාවුස් නම් ගමකට යද්දී,
14 සිද්ධවූ ඒ සියල්ල ගැන කථාකළෝය.
15 තවද ඔවුන් කථාකරමින් විචාරමින් සිටියදී යේසුස්වහන්සේම ඔවුන් ළඟට පැමිණ ඔවුන් සමඟ ගියසේක.
16 නුමුත් ඔවුන් උන්වහන්සේ නාඳුනන ලෙස ඔවුන්ගේ ඇස් බැඳී තිබුණේය.
17 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කථාකර කර යන්නාවූ මේ කාරණා මොනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු දුක්ඛිත මුහුණුවලින් යුක්තව නැවතුණෝය.
18 ඔවුන්ගෙන් ක්ලෙයෝපස් නම් එක්කෙනෙක් උන්වහන්සේට උත්තරදෙමින්: මේ දවස්වලදී යෙරුසලමෙහි විදේශීව සිටිමින්, එහි සිදුවූ කාරණා නොදන්නේ නුඹ පමණක්දැයි උන්වහන්සේට කීවේය.
19 මොන කාරණාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට කථාකොට: නාසරිය යේසුස්වහන්සේ ගැන කාරණය. උන්වහන්සේ දෙවියන්වහන්සේද මුළු සෙනඟද ඉදිරියෙහි ක්‍රියාවෙහිත් කථාවෙහිත් බලවත්වූ අනාගතවක්තෘ කෙනෙක්ව සිටිසේක.
20 නායක පූජකයෝද අපගේ මුලාදෑනිහුද උන්වහන්සේ මරණයට පාවාදී කුරුසියෙහි ඇණගැසුවෝය.
21 නුමුත් ඉශ්‍රායෙල් මුදාගන්ට සිටි තැනන්වහන්සේ උන්වහන්සේයයි අපි බලාපොරොත්තුවුණෙමුව. එපමණකුත් නොව මේ දේ සිද්ධවී අදට තුන්වෙනි දවසය.
22 තවද අපේ සමාගම්කාරවූ සමහර ස්ත්‍රීහු අලුයම සොහොන් ගෙය ළඟට ගොස්,
23 උන්වහන්සේගේ ශරීරය නොදැක ඇවිත්, ඔවුන්ට දර්ශනයවූ දේවදූතයන් උන්වහන්සේ ජීවත්ව සිටිනසේකැයි කී බව කියා අප විස්මිතකළෝය.
24 අප සමඟ සිටියවුන්ගෙන් සමහරෙක් සොහොන්ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය. නුමුත් ඔව්හු උන්වහන්සේ නුදුටුවෝයයි කීවෝය.
25 එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අඥානයෙනි, අනාගතවක්තෘවරුන් විසින් කියනලද සියල්ල විශ්වාසකරන්ට ප්‍රමාද සිත් ඇත්තෙනි,
26 ක්‍රිස්තුස්වහන්සේ ඒ දේ විඳලාම ස්වකීය මහිමයට පැමිණෙන්ට යුතුව තිබුණා නොවේද කියා,
27 මෝසෙස්ගෙන්ද සියලු අනාගතවක්තෘවරුන්ගෙන්ද පටන්ගෙන, සියලු ලියවිලි වල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරාදුන්සේක.
28 ඔව්හු යන්ට ගිය ගමට ළංවූවෝය. උන්වහන්සේ වනාහි වඩා දුර යන්නාක්මෙන් දැක්වූසේක.
29 නුමුත් ඔව්හු: දවස බොහෝ ගතවී, සවස්වේගන එන බැවින්, අප සමඟ නැවතුණ මැනව කියා උන්වහන්සේට උදක්ම පෙරැත්තකළෝය. උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්ට ඇතුළට ගියසේක.
30 තවද උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට වාඩිවූ කල්හි, රොටි රැගෙන ආශීර්වාදකොට කඩා ඔවුන්ට දුන්සේක.
31 එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක.
32 එකල ඔව්හු: උන්වහන්සේ අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කථා කරගත්තෝය.
33 ඔව්හු එම පැයේදීම නැගිට යෙරුසලමට හැරී ඇවිත්, එකොළොස් දෙනාද ඔවුන් සමඟ සිටියවුන්ද රැස්ව:
34 ස්වාමීන්වහන්සේ සැබවින්ම නැගුටුණුසේක, සීමොන්ට පෙනුණුසේකැයි කියමින් සිටිනවා දුටුවෝය.
35 එවිට ඔව්හු මගදී සිද්ධවූ කාරණාද රොටි කැඩීමේදී ඔවුන් උන්වහන්සේ ඇඳිනගත් හැටිද කීවෝය.
36 ඔවුන් මෙසේ කථාකරමින් සිටියදී උන්වහන්සේ ඔවුන් මැද සිට: නුඹලාට සමාදානය වේවයි ඔවුන්ට කීසේක.
37 නුමුත් ඔව්හු ත්‍රස්තව, භයපත්ව, ආත්මයක් පෙනුණේයයි සිතුවෝය.
38 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කැලඹෙන්නේ මක්නිසාද? නුඹලාගේ සිත්වල ශංකා හටගන්නේ මක්නිසාද?
39 මාගේ අත් පා බලා, ඒ මමම බව දැනගන්න. මා අතගා බලන්න. මක්නිසාද මස් හා ඇට මට තිබෙනවා නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතැයි කීසේක.
40 උන්වහන්සේ මෙසේ කියා, තමන් අත් පා ඔවුන්ට පෙන්වූසේක.
41 ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකර පුදුමව සිටියදී, උන්වහන්සේ ඔවුන්ට කථාකොට: කන්ට යමක් මෙහි නුඹලා ළඟ තිබේදැයි ඇසූසේක.
42 ඔව්හු බැදපු මාලු කෑල්ලක් උන්වහන්සේට දුන්නෝය.
43 උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියෙහි කෑසේක.
44 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියනලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා නුඹලා සමඟ සිටියදීම නුඹලාට කී වචන මේයයි කීසේක.
45 එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා,
46 ඔවුන්ට කියනසේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්,
47 යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.
48 නුඹලා මේ දේවලට සාක්ෂිකාරයෝය.
49 බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.
50 උන්වහන්සේ ඔවුන් බෙතානිය දක්වා කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකළසේක.
51 තවද උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාද කරද්දී ඔවුන් කෙරෙන් වෙන්ව, ස්වර්ගයට ඔසවාගනු ලැබූසේක.
52 ඔව්හු උන්වහන්සේට නමස්කාරකොට, මහත් ප්‍රීතියෙන් යෙරුසලමට හැරී ඇවිත්,
53 නිතරම දේවමාළිගාවෙහි දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින් සිටියෝය.