යොහන්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21


පරිච්ඡේදය 1

1 පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.
2 උන්වහන්සේ පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ සමඟ සිටිසේක.
3 උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදනලද්දේය; සාදනලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු නොලද්දේය.
4 උන්වහන්සේ තුළ ජීවනය තිබුණේය; ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය.
5 ආලෝකය අන්ධකාරයෙහි බබළයි; අන්ධකාරයද එය ග්‍රහණය නොකෙළේය.
6 දෙවියන්වහන්සේ වෙතින් එවනලද යොහන් නම් මනුෂ්‍යයෙක් ආවේය.
7 ඔහු කරණකොටගෙන සියල්ලන් විසින් අදහන පිණිස ආලෝකය ගැන සාක්ෂිදෙන්ට ඔහු සාක්ෂි පිණිස ආවේය.
8 ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂිදෙන පිණිස ආ තැනැත්තේය.
9 ලෝකයට එන්නාවූ සියලු මනුෂ්‍යයන් ආලෝකකරන්නාවූ ආලෝකය සත්‍යවූ ආලෝකයය.
10 උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදනලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත.
11 උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය.
12 නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන්වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.
13 ඔව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය.
14 තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.
15 යොහන් උන්වහන්සේ ගැන සාක්ෂිදෙමින්: මට පසුව එන්නාවූ තැනන්වහන්සේ මට පළමුවෙන් සිටි බැවින් මට වඩා උතුම්වී සිටිනසේකැයි මා කීවේ යම් කෙනෙකු ගැනද ඒ මුන්වහන්සේමයයි මොරගසා කීයේය.
16 කුමක්හෙයින්ද උන්වහන්සේගේ පූර්ණකමෙන් අපි සියල්ලෝම අනුග්‍රහය ලැබීමුව.
17 මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.
18 කිසිවෙක් කිසිකලක දෙවියන්වහන්සේ දුටුවේ නැත; පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේම උන්වහන්සේ ප්‍රකාශකළසේක.
19 නුඹ කවරෙක්දැයි යොහන්ගෙන් අසන පිණිස යුදෙව්වරුන් විසින් යෙරුසලමේ සිට පූජකයන්ද ලෙවීයයන්ද යැවූ කල ඔහු දුන් සාක්ෂිය මේය.
20 ඔහු නොසඟවා ඇත්ත කියමින්: මම ක්‍රිස්තුස්වහන්සේ නොවෙමියි කීවේය.
21 ඔව්හුද: එසේ නම් මොකද? නුඹ එලියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගතවක්තෘදැයි ඇසූ කල, නැතැයි ඔහු උත්තරදුන්නේය.
22 එබැවින් ඔව්හු කථාකොට: අප එවූවන්ට උත්තරදෙන පිණිස, නුඹ කවරෙක්ද? නුඹ ගැනම නුඹ කියන්නේ කිමෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය.
23 ඔහුද: මම වනාහි අනාගතවක්තෘවූ යෙසායා කී හැටියට-ස්වාමීන්වහන්සේගේ මාර්ගය සමතලාකරන්නය කියා වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දය වෙමියි කීවේය.
24 ඔවුන් එවනු ලැබුවේ ඵරිසිවරුන් කෙරෙන්ය.
25 එවිට ඔව්හු කථාකොට: ඉඳින් නුඹ ක්‍රිස්තුස්වත් එලියාවත් අනාගතවක්තෘවත් නොවේ නම් බව්තීස්ම කරන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.
26 යොහන් ඔවුන්ට උත්තරදෙමින්: මම වතුරෙන් බව්තීස්මකරමි. නුඹලා නාඳුනන කෙනෙක් නුඹලා මැද සිටිනසේක,
27 එනම් මට පසුව එන තැනන්වහන්සේය, උන්වහන්සේගේ වහන්සඟලේ පටිය මුදන්ටවත් මම නොවටිමියි කීවේය.
28 මේ කාරණා සිද්ධවුණේ යොහන් බව්තීස්මකරමින් සිටි යොර්දානෙන් එගොඩ බෙතානියේදීය.
29 පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!
30 මට වඩා උතුම්වී සිටින මනුෂ්‍යයෙක් මට පසුව එන්නේයයි මා කීවේ මුන්වහන්සේ ගැනය. මක්නිසාද උන්වහන්සේ මට පළමුවෙන් සිටිසේක.
31 මම උන්වහන්සේ නෑඳින සිටියෙමි; නුමුත් මා වතුරෙන් බව්තීස්මකරමින් ආවේ උන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ප්‍රකාශවන පිණිසයයි කීවේය.
32 තවද යොහන් සාක්ෂිදෙමින්: ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බසිනවා දුටිමි; එය උන්වහන්සේ පිට නැවතුණේය.
33 මම උන්වහන්සේ නෑඳින සිටියෙමි. නුමුත් වතුරෙන් බව්තීස්මකරන්ට මා එවූ තැනන්වහන්සේම මට කථාකොට: ආත්මයාණන් යමෙකු පිට බැස නවතිනවා නුඹ දකින්නෙහිද ශුද්ධාත්මයෙන් බව්තීස්මකරන්නේ උන්වහන්සේයයි මට කීසේක.
34 මමද ඒ දැක: මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි සාක්ෂිදුනිමියි කීවේය.
35 නැවත පසුවදා යොහන් තමාගේ ගෝලයන් දෙදෙනෙකු සමඟ සිටියදී,
36 යේසුස්වහන්සේ යනවා දැක: අන්න! දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝයයි කීවේය.
37 ඒ ගෝලයන් දෙදෙනා ඔහුගේ කීම අසා යේසුස්වහන්සේ පස්සේ ගියෝය.
38 යේසුස්වහන්සේ හැරී ඔවුන් තමන් පස්සෙන් එනවා දැක: නුඹලා සොයන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හුද: රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොතැනදැයි කීවෝය. (රබ්බි යනු ආචාරිනී යන අර්ථයයි.)
39 ඇවිත් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ ඔව්හු ගොස් උන්වහන්සේ සිටින ස්ථානය දැක, එදින උන්වහන්සේ සමඟ නැවතුණෝය. ඒ වේලාව දසවෙනි පැය පමණ විය.
40 යොහන්ගේ කීම අසා උන්වහන්සේ පස්සේ ගියාවූ දෙදෙනාගෙන් එක්කෙනෙක් නම් සීමොන් පේතෘස්ගේ සහෝදරවූ අන්දෘය.
41 ඔහු පළමුකොට තමාගේම සහෝදරවූ සීමොන් දැක: අපට මෙසියස්වහන්සේ සම්බවූසේකැයි ඔහුට කීවේය. (මෙසියස් යන්නෙහි අර්ථය ක්‍රිස්තුස්වහන්සේ යනුය.)
42 ඔහු යේසුස්වහන්සේ ළඟට සීමොන් කැඳවාගෙන ආවේය. යේසුස්වහන්සේ ඔහු දෙස බලා: නුඹ යොහන්ගේ පුත්‍රවූ සීමොන්ය. නුඹට කේපස්ය කියනු ලබන්නේයයි කීසේක. (එහි අර්ථය නම් පේතෘස්ය.)‍
43 පසුවදා උන්වහන්සේ ගලීලයට පිටත්ව යන්ට අදහස්කොට පිලිප් දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක.
44 පිලිප් වනාහි අන්දෘ සහ පේතෘස් විසූ බෙත්සයිදා නුවර වැසියෙක්ය.
45 පිලිප් නතානියෙල් දැක: යම් කෙනෙකු ගැන මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහිත් අනාගතවක්තෘවරුන් විසිනුත් ලියන ලද්දේද උන්වහන්සේ අපට සම්බවූසේක. උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රවූ නාසරිය යේසුස්යයි ඔහුට කීවේය.
46 නතානියෙල්ද: නාසරෙත් නුවරින් යම් යහපතක් එන්ට පුළුවන්දැයි ඔහුට කීවේය. ඇවිත් බලන්නැයි පිලිප් ඔහුට කීවේය.
47 යේසුස්වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා දැක: මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැතැයි ඔහු ගැන කීසේක.
48 ඔබ මා අඳුනන්නේ කොහොමදැයි නතානියෙල් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: පිලිප් නුඹ කැඳවන්ට පළමුවෙන්, අත්තික්කා ගස යට නුඹ සිටියදී නුඹ දුටිමියි කීසේක.
49 නතානියෙල් උන්වහන්සේට උත්තරදෙමින්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය; ඔබ ඉශ්‍රායෙල්වරුන්ගේ රජ්ජුරුවෝයයි කීවේය.
50 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹ අත්තික්කා ගස යට සිටිනවා දුටිමියි මා නුඹට කී බැවින් විශ්වාසකරනවාද? මීට වඩා මහත් දේ නුඹ දකිනවා ඇතැයි කීසේක.
51 තවද උන්වහන්සේ: සැබවක් සැබවක් නුඹලාට කියමි- ස්වර්ගය විවරව, දෙවියන්වහන්සේගේ දූතයන් මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහි නගිනවා සහ බසිනවා නුඹලා දකිනවා ඇතැයි කීසේක.



පරිච්ඡේදය 2

1 තුන්වෙනිදා ගලීලයේ කානාහි සරණ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේගේ මෑණියෝද එහි සිටියාය.
2 යේසුස්වහන්සෙත් උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය.
3 මුද්‍රිකපානය ඉවරවූ කල: ඔවුන්ට මුද්‍රිකපානය නැතැයි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවාය.
4 යේසුස්වහන්සේද: ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුණේ නැතැයි ඈට කීසේක.
5 උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.
6 යුදෙව්වරුන්ගේ පවිත්‍රවීමේ ප්‍රකාරයට එක එකේ මෙත්‍රෙ දෙකක් තුනක් පමණ වතුර අල්ලන්නාවූ ගල් භාජන හයක් එහි තබා තිබුණේය.
7 භාජනවල වතුර පුරවන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු ඒවා කට දක්වා පිරෙවුවෝය.
8 උන්වහන්සේද: ඉතින් එයින් අරන් මංගල්‍යයේ ප්‍රධානියා ළඟට ගෙනියන්නැයි ඔවුන්ට කීසේක. ඔව්හු ගෙනගියෝය.
9 මංගල්‍යයේ ප්‍රධානියා මුද්‍රිකපානයවූ වතුර රස බලා, ඒවා කොතැනින් වීදැයි වතුර ගෙනා මෙහෙකරුවන් දන්න නුමුත් ඔහු නොදැන, මනමාලයාට අඬගසා:
10 කවුරුත් පළමුකොට හොඳ මුද්‍රිකපානයද මිනිසුන් හොඳටම බීවායින් පසු බාල මුද්‍රිකපානයද දෙති. නුඹ මේ වන තුරු හොඳ මුද්‍රිකපානය තබා ගෙන සිටියෙහියයි ඔහුට කීවේය.
11 යේසුස්වහන්සේ ගලීලයේ කානාහිදී තමන් ලකුණුවලින් මේ පළමුවෙනි එක කර, ස්වකීය මහිමය ප්‍රකාශකළසේක; උන්වහන්සේගේ ගෝලයෝද උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.
12 ඉන්පසු උන්වහන්සේද උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ගෝලයෝද කපර්ණවුමට ගියෝය. නුමුත් ඔවුන් බොහෝ දවස් එහි නැවතුණේ නැත.
13 යුදෙව්වරුන්ගේ පාස්කුව ළංව තිබුණේය, යේසුස්වහන්සේද යෙරුසලමට ගියසේක.
14 එවිට දේවමාළිගාවෙහි ගවයන් බැටළුවන් හා පරෙවියන් විකුණන්නන්ද මිල මාරුකරන්නන්ද වාඩිව ඉන්නවා දැක,
15 ලනුවලින් කසයක් සාදා, බැටළුවන්ද ගවයන්ද මාළිගාවෙන් පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මිල විසුරුවා මේස පෙරළාදැමූසේක.
16 තවද උන්වහන්සේ පරෙවියන් විකුණන්නන්ට කථාකොට: මේ දේවල් මෙතැනින් අරන් යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳාම් ගෙයක් නොකරන්නැයි කීසේක.
17 ඔබගේ ගෘහය ගැන ඇති ජ්වලිතය මා දවන්නේයයි ලියා තිබෙන බව උන්වහන්සේගේ ගෝලයන්ට මතක්විය.
18 එකල යුදෙව්වරු: නුඹ මේ දේවල් කරන බැවින් මොන ලකුණක් අපට පෙන්වන්නෙහිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
19 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ මාළිගාව කඩාදමන්න, එවිට තුන් දවසකින් එය නැගුටුවන්නෙමියි කීසේක.
20 යුදෙව්වරු කථාකොට: මේ මාළිගාව ගොඩනැගීමට සතළිස් සාවුරුද්දක් ගතවිය, නුඹ ඒක තුන් දවසකින් නැගුටු වන්නෙහිදැයි කීවෝය.
21 නුමුත් උන්වහන්සේ කථාකළේ තමන්ගේ ශරීරය නැමති මාළිගාව ගැනය.
22 එබැවින් උන්වහන්සේ මේක කී බව යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු උන්වහන්සේගේ ගෝලයෝ සිහිකර, ලියවිල්ලද උන්වහන්සේ කී වචනයද විශ්වාසකළෝය.
23 උන්වහන්සේ පාස්කු මංගල්‍යයේදී යෙරුසලමෙහි සිටි කල්හි බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ ලකුණු දැක, උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝය.
24 නුමුත් යේසුස්වහන්සේ සියල්ලන් දන්නා බැවින්ද මනුෂ්‍යයා තුළ තිබෙන්නේ කුමක්දැයි දන්න නිසා,
25 මනුෂ්‍යයා ගැන යමෙකුගේ සාක්ෂියෙන් උන්වහන්සේට ඕනෑකමක් නැති බැවින්ද තමන්ම ඔවුන්ට භාර නුවූසේක.



පරිච්ඡේදය 3

1 යුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක්වූ නිකොදේමුස් නම් ඵරිසියෙක් සිටියේය.
2 හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය.
3 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක.
4 නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනි වර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය.
5 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි-යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.
6 මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය.
7 නුඹලා අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න.
8 හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය නුඹට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක.
9 නිකොදේමුස් උත්තරදෙමින්: මේ දේ වෙන්ට පුළුවන් කොහොමදැයි උන්වහන්සේට කීවේය.
10 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල්හි ගුරුවරයාව සිටියදීත් මේ දේවල් දන්නේ නැද්ද?
11 සැබවක් සැබවක් නුඹට කියමි-අපි දන්නා දේ කියමුව, දුටු දේට සාක්ෂිදෙමුව; නුමුත් නුඹලා අපේ සාක්ෂිය පිළිගන්නේ නැත.
12 මා නුඹලාට පොළොවේ දේ කී කල්හි නුඹලා විශ්වාස නොකරනවා නම් ස්වර්ගීක දේ කීවොත් විශ්වාස කරන්නේ කෙසේද?
13 ස්වර්ගයෙන් බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.
14 මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද
15 උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම, සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක. ‍
16 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.
17 මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.
18 උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි.
19 විනිශ්චය නම් මේය-ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය.
20 නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති.
21 නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේයයි කීසේක.‍
22 ඉන්පසු යේසුස්වහන්සේද උන්වහන්සේගේ ගෝලයෝද යුදා දේශයට පැමිණියෝය; එහිදී උන්වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට, බව්තීස්මකළසේක.
23 යොහන්ද සාලිම් ළඟවූ ඒනොන් යන ස්ථානයෙහි බොහෝ වතුර තිබුණු බැවින් එහි බව්තීස්මකරමින් සිටියේය. මනුෂ්‍යයෝ ඇවිත් බව්තීස්ම කරනු ලැබුවෝය.
24 මක්නිසාද යොහන් ඒ වන තුරුම හිරගෙයි දමනු නොලැබුවේය.
25 එකල යොහන්ගේ ගෝලයන් හා යුදෙව්වෙකු අතරේ පවිත්‍රවීම ගැන වාදයක් හටගත්තේය.
26 එවිට ඔව්හු යොහන් ළඟට ඇවිත්: රබ්බි, යොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූද ඔබගෙන් සාක්ෂි ලැබුවාවූද තැනැත්තේම බව්තීස්මකරන සේක, සියල්ලෝද උන්වහන්සේ වෙතට පැමිණෙතියි ඔහුට කීවෝය.
27 යොහන් උත්තර දෙමින් මෙසේ කීවේය: මනුෂ්‍යයෙකුට ස්වර්ගයෙන් දෙනලද දෙයක් මිස වෙන කිසිවක් ලබන්ට බැරිය.
28 මම ක්‍රිස්තුස් නොවෙමි, නුමුත් උන්වහන්සේට පළමුවෙන් එවනලද්දෙමියි මා කී බවට නුඹලාම සාක්ෂිකාරයෝය.
29 මනමාලී ඇත්තා මනමාලයාය. නුමුත් මනමාලයා ළඟ සිට ඔහුගේ වචන අසන ඔහුගේ මිත්‍රයා මනමාලයාගේ හඬට බොහෝසෙයින් ප්‍රීතිවෙයි. එබැවින් මාගේ මේ ප්‍රීතිය සම්පූර්ණවී තිබේ.
30 උන්වහන්සේ වර්ධනවෙන්ටත් මා අඩුවෙන්ටත් ඕනෑය.
31 ඉහළින් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ට වඩා උතුම්ය. භූමියෙන් වූ තැනැත්තේ භූමිකව, භූමික දේ ගැන කථාකරන්නේය. ස්වර්ගයෙන් එන්නාවූ තැනන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය.
32 උන්වහන්සේ දුටුවා වූ ඇසුවා වූ දේ ගැන සාක්ෂිදෙනසේක; එහෙත් කවරෙක්වත් උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නැත.
33 උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත් තැනැත්තේ දෙවියන්වහන්සේ සැබෑවන්ත බවට මුද්‍රාව තබා තිබේ.
34 මක්නිසාද දෙවියන්වහන්සේ විසින් එවනලද තැනන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචන කථාකරනසේක. කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොදෙනසේක.
35 පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේමකරනසේක, සියල්ල උන් වහන්සේ අතට භාරදී තීබේ.‍
36 පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි.



පරිච්ඡේදය 4

1 එබැවින් (යේසුස්වහන්සේගේ ගෝලයන් මිස උන්වහන්සේම බව්තීස්ම නොකළ නුමුත්)
2 උන්වහන්සේ යොහන්ට වඩා ගෝලයන් සාදාගෙන් බව්තීස්මකරනසේකැයි ඵරිසිවරුන්ට ආරංචිවූ බව ස්වාමීන්වහන්සේ දැනගත් කල,
3 යුදය අත්හැර නැවත ගලීලයට ගියසේක.
4 උන්වහන්සේ සමාරිය මැදින් යන්ට ඕනෑ බැවින්,
5 යාකොබ් තමාගේ පුත්‍රවූ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සිඛාර් නම් සමාරියේ නුවරකට පැමිණිසේක.
6 එහි යාකොබ්ගේ ළිඳ තිබුණේය. යේසුස්වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්, ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ හවෙනි පැය පමණ විය.
7 සමාරියේ ස්ත්‍රියෙක් වතුර අදින්ට ආවාය. මට බොන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක.
8 මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්ට නුවරට ගොස් සිටියෝය.
9 එවිට සමාරිය ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. (මක්නිසාද සමාරියය‍න් සමඟ යුදෙව්වන්ගේ ගනුදෙනුවක් නැත.)
10 යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාන් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.
11 ස්ත්‍රීද: ස්වාමිනි, වතුර අදින්ට භාජනයක් ඔබට නැත, ළිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද?
12 ළිඳ අපට දුන් අපේ පියවූ යාකොබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිවුපාවෝද මෙයින් බීවෝයයි උන්වහන්සේට කීවාය.
13 යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ වතුර බොන හැමදෙනාට නැවත පිපාසාවන්නේය.
14 නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්වෙන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.
15 ස්ත්‍රීද: ස්වාමිනි, මට පිපාසා නොවන පිණිසත් වතුර අදින්ට මෙපමණ දුර නොඑන පිණිසත් එ වතුර මට දුන මැනවයි කීවාය.
16 ගොස් නුඹේ පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක .
17 ස්ත්‍රීද උන්වහන්සේට උත්තරදෙමින්: මට පුරුෂයෙක් නැතැයි කීවාය. යේසුස්වහන්සේ ඈට කිය්න්සේක්: මට පුරුෂයෙක් නැතැයි නුඹ කීවා හරිය.
18 මක්නිසාද නුඹට පුරුෂයන් පස්දෙනෙක් සිටියෝය; නුඹට දැන් සිටින තැනැත්තා නුඹේ පුරුෂයා නොවේ. එය නුඹ සැබෑලෙස කීවෙහියයි කීසේක.
19 ස්ත්‍රී උන්වහන්සේට කියන්නී: ස්වාමිනි, ඔබ අනාගතවක්තෘ කෙනෙකු බව මට පෙනේ.
20 අපගේ පියවරු මේ කන්දේදී නමස්කාරකළෝය; නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාරකරන්ට යුතු ස්ථානය යෙරුසලමේයයි නුඹවහන්සේලා කියන්නහුයයි කීවාය.
21 යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත්‍රිය, මා විශ්වාසකරන්න, මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය.
22 නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුනගෙන්ය.
23 නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.
24 දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.
25 ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: (ක්‍රිස්තුස්යයි කියන) මෙසියස්වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ආවාම සියල්ල අපට දන්වනසේකැයි කීවාය.
26 නුඹ සමඟ කථාකරන්නාවූ මම උන්වහන්සේයයි යේසුස්වහන්සේ ඈට කීසේක.
27 එවිට උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්, උන්වහන්සේ ස්ත්‍රියෙක් සමඟ කථාකරමින් සිටියාට මවිතවූවෝය; එහෙත් ඔබ කුමක් සොයනසේක්ද? නොහොත් ඈ සමඟ කථාකරන්නේ මක්නිසාදැයි කිසිවෙක් ඇසුවේ නැත.
28 එකල ස්ත්‍රී තමාගේ කළය තබා නුවරට ගොස්:
29 මා කළ සියල්ල මට කීවාවූ මනුෂ්‍යයෙකු බලන්ට එන්න. ඒ ක්‍රිස්තුස්වහන්සේදෝහෝයි මනුෂ්‍යයන්ට කීවාය.
30 එවිට ඔව්හු නුවරින් පිටත්ව උන්වහන්සේ වෙතට ආවෝය.
31 ඒ අතර ගෝලයෝ කථාකොට: රබ්බි, කෑව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය.
32 නුමුත් උන්වහන්සේ: නුඹලා නොදන්නා කෑමක් කන්නට මට තිබේයයි ඔවුන්ට කීසේක.
33 එබැවින්: කවුරුවත් උන්වහන්සේට කෑම ගෙනාවාදෝ කියා ගෝලයෝ එකිනෙකා කථාකරගත්තෝය.
34 යේසුස්වහන්සේද: මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්තකොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.
35 තව සාරමසක් ගිය කල ගොයම් කපන කාලය පැමිණෙන්නේයයි නුඹලා කියනවා නොවේද? මම නුඹලාට කියමි-නුඹලාගේ ඇස් ඔසවා කුඹුරු දෙසට යොමා, ගොයම් දැනටම කැපීමට පැහී තිබෙන බව බලන්න.
36 වපුරන්නාත් කපන්නාත් එක්ව සන්තෝෂවන පිණිස, කපන්නා කුලී ලැබ සදාකාල ජීවනයට අස්වැන්න එකතුකරගන්නේය.
37 මක්නිසාද: එක්කෙනෙක් වපුරන්නේය, වෙන කෙනෙක් කපන්නේය යන කීම මෙයින් සැබෑවේ.
38 නුඹලා විසින් වැඩ නොකළ ගොයම් කපන්ට මම නුඹලා යැවීමි. අන්‍යයෝ වැඩකළෝය, නුඹලා ඔවුන්ගේ වැඩට පැමින්නෝයයි කීසේක.
39 මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකැයි සාක්ෂිදුන් ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.
40 එවිට සමාරියවරු උන්වහන්සේ ළඟට ඇවිත්, තමුන් සමඟ නවතින ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ දෙදවසක් එහි නැවතුණුසේක.
41 වෙනත් බොහෝ දෙනෙක් උන්වහන්සේගේ වචන නිසා අදහා,
42 ස්ත්‍රියට කථාකොට: අප දැන් අදහන්නේ නුඹේ කීම නිසා නොවේ. මක්නිසාද අපිම අසා, සැබෑවටම මුන්වහන්සේ ලෝකයාගේ ගැළවුම්කාරයාණන් බව දනිමුයයි කීවෝය.
43 ඒ දෙදවසට පසු උන්වහන්සේ එතැනින් පිටත්ව ගලීලයට ගියසේක.
44 මක්නිසාද අනාගතවක්තෘ කෙනෙකුට තමාගේම රටේදී ගෞරව නැතැයි යේසුස්වහන්සේම සාක්ෂිදුන්සේක.
45 මෙසේ උන්වහන්සේ ගලීලයට පැමිණි කල, ගලීලයෝ මංගල්‍යයේදී උන්වහන්සේ විසින් යෙරුසලමෙහි කළ සියල්ල දැක උන්වහන්සේ පිළිගත්තෝය. මක්නිසාද ඔව්හුද මංගල්‍යයට පැමිණියෝය.
46 එවිට උන්වහන්සේ තමන් විසින් වතුරෙන් මුද්‍රිකපානය සෑදුවාවූ ගලීලයේ කානා නුවරට නැවත පැමිණිසේක. කපර්ණවුමෙහි රෝගීවු පුත්‍රයෙකු ඇති එක්තරා ඇමතියෙක් සිටියේය.
47 ඔහු යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ඇවිත් සිටින බව අසා, උන්වහන්සේ ළඟට ගොස්, ඇවිත් තමාගේ පුත්‍රයා සුවකරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය; මක්නිසාද ඔහු මරණාසන්නව සිටියේය.
48 යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹලා ලකුණුද පුදුමද නුදුටුවොත් කිසිසේත් විශ්වාසකරන්නේ නැතැයි ඔහුට කීසේක.
49 ස්වාමිනි, මාගේ දරුවා නසින්ට පළමුවෙන් අව මැනවයි ඇමතියා කීවේය.
50 යේසුස්වහන්සේද: යන්න, නුඹේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීසේක. ඒ මනුෂ්‍යයා තමාට යේසුස්වහන්සේ කී වචනය විශ්වාසකරගෙන ගියේය.
51 ඔහු යන කල ඔහුගේ දාසයෝ ඔහු පෙරමගට ඇවිත් ඔහුගේ පුත්‍රයා ජීවත්ව සිටීයයි ඔහුට කීවෝය.
52 එවිට ඔහුට සුවවෙන්ට පටන්ගත්තේ කොයි පැයේදීදැයි ඔහු ඔවුන්ගෙන් විචාළේය. ඊයේ සත්වෙනි පැයේදී උණ බැස්සේයයි ඔව්හු ඔහුට කීවෝය.
53 නුඹේ පුත්‍රයා ජීවත්ව සිටීයයි යේසුස්වහන්සේ තමාට කී පැය එයමයයි පියා දැන, ඔහුද ඔහුගේ ගෙයි සියල්ලෝද අදහාගත්තෝය.
54 මේ වනාහි යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි පසු කළාවූ දෙවෙනි හාස්කමය.



පරිච්ඡේදය 5

1 ඉන්පසු යුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේද යෙරුසලමට ගියසේක.
2 යෙරුසලමෙහි බැටළුදොර ළඟ හෙබ්‍රෙව් භාෂාවෙන් බෙතෙස්දා නම්වූ මණ්ඩප පහක් ඇති පොකුණක් තිබේ.
3 ඒවායේ අන්ධයෝය, කොරුය, වියළි අවයව ඇත්තෝය යන රෝගීන් සමූහයක් ඔත්පළව උන්නෝය.
4 (දේවදූතයෙක් බැස පොකුණේ වතුර කැලඹීමක් හතරවෙනි පදය සමහර පිටපත් වල ඇත.)
5 තිස්අට අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිතවූ එක්තරා මනුෂ්‍යයෙක් එහි සිටියේය.
6 ඔහු ඔත්පළව ඉන්නවා යේසුස්වහන්සේ දැක, ඔහු දැනට බොහෝ කලක සිට ඒ ආකාරව සිටි බව දැන: නුඹ සුවය ලබන්ට කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක.
7 රෝගියා උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, වතුර කැලඹෙනකල මා පොකුණට බස්වන්ට කිසිවෙක් මට නැත. මා යන කල වෙන කෙනෙක් මට පළමුවෙන් බසින්නේයයි කීවේය.
8 නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.
9 එකෙණෙහිම ඒ මනුෂ්‍යයා සුවපත්ව, තමාගේ යහන රැගෙන ගියේය.
10 ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය.
11 නුමුත් ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මා සුවකළ තැනැත්තේම-නුඹේ යහන රැගෙන යන්නැයි මට කීසේකැයි කීවේය.
12 නුඹේ යහන රැගෙන යන්නැයි නුඹට කී මනුෂ්‍යයා කවුදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.
13 ඒ ස්ථානයේ සමූහයක් සිටි බැවින් යේසුස්වහන්සේ අහක්ව ගොස් සිටිසේක; එබැවින් සුවකරනු ලැබූ මනුෂ්‍යයා උන්වහන්සේ කවුද කියා දැන නොගත්තේය.
14 ඉන්පසු යේසුස්වහන්සේ දේවමාළිගාවේදී ඔහු දැක: බලන්න, නුඹ සුවය ලැබුවෙහිය. නුඹට මීට වඩා නරකක් සිදු නොවන පිණිස, තවත් පව් නොකරන්නැයි ඔහුට කීසේක.
15 ඒ මනුෂ්‍යයා ගොස් යේසුස්වහන්සේ විසින් තමාට සුවකළ බව යුදෙව්වරුන්ට දැන්විය.
16 යේසුස්වහන්සේ මේ දේ සබත් දවසේදී කළ නිසා යුදෙව්වරු උන්වහන්සේට පීඩාකළෝය.
17 නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ පියාණන්වහන්සේ මේ දක්වාම ක්‍රියාකරනසේක, මමත් ක්‍රියාකරමියි කීසේක.
18 එබැවින් උන්වහන්සේ සබත් කඩකළා පමණක් නොව, දෙවියන්වහන්සේ තමන්ගේම පියාණෝයයි කියමින්, තමන් දෙවියන්වහන්සේ හා සමානකරගත් නිසා, යුදෙව්වරු උන්වහන්සේ මරන්ට වඩ වඩා සෙවුවෝය.
19 එබැවින් යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි-පියාණන්වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්ට ඔහුට බැරිය. මක්නිසාද උන්වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය.
20 කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක.
21 මක්නිසාද පියාණන්වහන්සේ මළවුන් නැගුටුවා ජීවත්කරන්නාක්මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත්කරන්නේය.
22 තවද සියල්ලන් විසින් පියාණන්වහන්සේට ගෞරවකරන්නාක් මෙන්ම පුත්‍රයාටත් ගෞරවකරන පිණිස,
23 පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.
24 සැබවක් සැබවක් නුඹලාට කියමි-මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.
25 සැබවක් සැබවක් නුඹලාට කියමි-දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය, දැනුත් පැමිණ තිබේ; අසන අය ජීවත්වන්නෝය.
26 මක්නිසාද පියාණන්වහන්සේ තමන් තුළම ජීවනය ඇතුව සිටින්නාක්මෙන් පුත්‍රයාටත් තමන් තුළම ජීවනය ඇතුව සිටින්ට උන්වහන්සේ වරය දුන්සේක.
27 ඔහු මනුෂ්‍ය පුත්‍රයා බැවින් විනිශ්චයකරන්ටද බලය දුන්සේක.
28 මේ ගැන මවිත නොවෙන්න. මක්නිසාද සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ,
29 යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත-නැගිටීමටත් පිටත්ව එන්නෝය.
30 මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය ධර්මිෂ්ඨය; මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයමි.
31 මම මා ගැනම සාක්ෂිදෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ.
32 මා ගැන සාක්ෂිදෙන්නේ වෙන කෙනෙක්ය; උන්වහන්සේ විසින් මා ගැන දෙන සාක්ෂිය සැබෑ බව දනිමි.
33 නුඹලා යොහන් ළඟට මනුෂ්‍යයන් යැවූහුය, ඔහු සත්‍යතාව ගැන සාක්ෂිදුන්නේය.
34 එහෙත් මා ලබන සාක්ෂිය මනුෂ්‍යයන්ගෙන් නොවේ. එසේ වූවත් නුඹලා ගැළවෙන පිණිස මේ දේ කියමි.
35 ඔහු ඇවිළෙන්නාවූ බබළන්නාවූ පහනව සිටියේය. නුඹලාද කාලයක් ඔහුගේ එළියෙහි ප්‍රීතිමත්වන්ට කැමැතිව සිටියහුය.
36 නුමුත් මට ඇත්තාවූ සාක්ෂිය යොහන්ගේ සාක්ෂියට වඩා උතුම්ය. මක්නිසාද මා විසින් ඉෂ්ටකරන පිණිස පියාණන්වහන්සේ මට භාරදුන්නාවූ මා කරන්නාවූ වැඩම, පියාණන්වහන්සේ මා එවූ බවට මා ගැන සාක්ෂිදෙයි.
37 තවද මා එවූ පියාණන්වහන්සේම මා ගැන සාක්ෂිදුන්සේක. නුඹලා කිසිකලක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරය දුටුවේවත් නැත.
38 උන්වහන්සේගේ වචනය නුඹලා තුළ පවතින්නෙත් නැත. මක්නිසාද උන්වහන්සේ විසින් එවනලද තැනැත්තා නුඹලා විශ්වාසකරන්නේ නැත.
39 ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි;
40 නුමුත් නුඹලා ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමැති නැත.
41 මම මනුෂ්‍යයන්ගෙන් ගෞරවය නොලබමි.
42 නුමුත් නුඹලා අඳුනමි, දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය නුඹලා තුළ නැති බව දනිමි.
43 මම මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි, නුමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම්, නුඹලා ඔහු පිළිගන්නවා ඇත.
44 එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?
45 පියාණන්වහන්සේ ඉදිරියෙහි මම නුඹලාට වරද තබන්නෙමියි නොසිතන්න. නුඹලාට වරද තබන කෙනෙක් ඇත, එනම් මෝසෙස්ය. නුඹලාගේ බලාපොරොත්තුව තබා තිබෙන්නේ ඔහු කෙරෙහිය.
46 මක්නිසාද නුඹලා මෝසෙස් විශ්වාසකරනවා නම් මාත් විශ්වාසකරනවා ඇත; කුමක් හෙයින්ද ඔහු මා ගැන ලියුවේය.
47 නුමුත් නුඹලා ඔහුගේ ලියවිලි විශ්වාස නොකරනවා නම්, මාගේ වචන විශ්වාසකරන්නේ කොහොමදැයි කීසේක.



පරිච්ඡේදය 6

1 ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයේ මුහුද වන තිබේරියස් මුහුදෙන් එගොඩට ගියසේක.
2 මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය, මක්නිසාද රෝගීන් කෙරෙහි උන්වහන්සේ විසින් දැක්වූ ලකුණු ඔව්හු දුටුවෝය.
3 යේසුස්වහන්සේ කන්දට නැගී තමන් ගෝලයන් සමඟ එහි වැඩහුන්සේක.
4 යුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළංව තිබුණේය.
5 යේසුස්වහන්සේ ඇස් ඔසවා තමන් ළඟට මහත් සමූහයක් එන බව දැක: මොවුන්ට කන්ට දෙන්ට අපි කොතැනින් රොටි මිලේට ගනිමුදැයි පිලිප්ගෙන් ඇසූසේක.
6 තමන් කරන්ට යන්නේ කිමෙක්ද කියා තමන්ම දැනගෙන, ඔහු සෝදිසිකරන පිණිස මෙසේ කීසේක.
7 පිලිප් උන්වහන්සේට උත්තරදෙමින්: එකිනෙකාට ටික ටිකවත් ලැබෙන පිණිස මසු දෙසියයක රොටිත් ඔවුන්ට මදියයි කීවේය.
8 උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්වූ සීමොන් පේතෘස්ගේ සහෝදරවූ අන්දෘ උන්වහන්සේට කථාකොට:
9 යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටියි. නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය.
10 මනුෂ්‍යයන් හිඳුවන්නැයි යේසුස්වහන්සේ කීසේක. එතැන්හි බොහෝ තණකොළ තිබුණේය. මෙසේ ගණන් වශයෙන් පන්දහසක් පමණ පුරුෂයෝ හිඳගත්තෝය.
11 එවිට යේසුස්වහන්සේ රොටි ගෙන, ස්තුතිකොට, ඉඳගෙන උන්නවුන්ට බෙදාදුන්සේක; එසේම මසුන්ගෙන්ද ඔවුන්ට කැමති පමණ දුන්සේක.
12 ඔවුන් තෘප්තියට පැමිණි කල: කිසිවක් නැති නොවන පිණිස ඉතිරිවූ කැබෙලි එකතුකරන්නැයි උන්වහන්සේ තමන් ගෝලයන්ට කීසේක.
13 මෙසේ මනුෂ්‍යයන් කාලා යව රොටි පහෙන් ඉතිරිවූ කැබෙලි එකතුකොට පැස් දොළොසක් පුරවාගත්තෝය.
14 එබැවින් ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ විසින් කළාවූ මේ හාස්කම දැක: සැබෑවටම මුන්වහන්සේ ලෝකයට එන්නාවූ අනාගතවක්තෘමයයි කීවෝය.‍
15 එබැවින් රජකමට පත්කරගන්නා පිණිස තමන්වහන්සේ බලාත්කාරයෙන් අල්ලාගන්ට ඔවුන් එන බව යේසුස්වහන්සේ දැන, නැවත තනියම කන්දට ගියසේක.
16 සවස්වූ කල උන්වහන්සේගේ ගෝලයෝ මුහුද ළඟට ගියෝය;
17 ඔව්හු ඔරුවකට නැගී මුහුදෙන් එගොඩව කපර්ණවුමට යන පිණිස ගියෝය. එවිට අන්ධකාරවී තිබුණේය, ඒතාක්ම යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් සිටියේ නැත.
18 තද හුළඟක් ගැසූ බැවින් මුහුද කැලඹි කැලඹී තිබුණේය.
19 ඔව්හු ගවුවක් පමණ පැදගෙන ගිය කල, යේසුස්වහන්සේ ඔරුව ළඟට මුහුද පිට පයින් එනවා දැක භයවූවෝය.
20 මමය, භය නොවෙන්නැයි උන්වහන්සේ කීසේක.
21 එබැවින් ඔව්හු උන්වහන්සේ ඔරුවට ගන්ට කැමතිවූවෝය. ඔරුව ඔවුන් යන්ට සිටි තැනට එකෙණෙහිම පැමුණුණේය.
22 පසුවදා මුහුද එගොඩ සිටි සමූහයා එහි එකම ඔරුවක් මිස වෙන එකක් නොතිබුණු බවද යේසුස්වහන්සේ තමන් ගෝලයන් සමඟ එහි නොනැගුණු බවද උන්වහන්සේගේ ගෝලයන් පමණක් ගිය බවද දුටුවෝය.
23 (එසේ වුවත් ස්වාමීන්වහන්සේ ස්තුතිකළායින් පසු ඔවුන් රොටි කෑවාවූ ස්ථානය සමීපයට තිබේරියස්හි සිට ඔරු වගයක් ආවෝය.)
24 එහෙයින් සමූහයෝ යේසුස්වහන්සේවත් උන්වහන්සේගේ ගෝලයන්වත් එහි නැති බව දැනගත් කල, තුමූත් ඔරුවලට නැගී යේසුස්වහන්සේ සොයමින් කපර්ණවුමට ආවෝය.
25 ඔව්හු මුහුදෙන් එගොඩදී උන්වහන්සේ දැක: රබ්බි, ඔබ කොයි වේලේ මෙතැනට ආසේක්දැයි ඇසුවෝය.
26 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි- නුඹලා මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටි කා තෘප්තියට පැමිණි නිසාය.
27 නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.
28 එබැවින් ඔව්හු කථාකොට: දෙවියන්වහන්සේගේ වැඩ ඉෂ්ටකරන පිණිස අප විසින් කුමක් කටයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
29 යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ වැඩය නම් උන්වහන්සේ විසින් එවූ තැනැත්තා කෙරෙහි නුඹලා විසින් අදහාගැන්මයයි කීසේක.
30 එබැවින් ඔව්හු: එසේවී නම් අප විසින් දැක ඔබ විශ්වාසකරන පිණිස ලකුණක් වශයෙන් ඔබ කුමක් කරනසේක්ද? ඔබ මොන වැඩක් කරනසේක්ද?
31 ඔවුන්ට කන පිණිස ස්වර්ගයෙන් කෑම දුන්නේයයි ලියා තිබෙන ලෙස අපේ පියවරු වනයේදී මන්නා කෑවෝයයි උන්වහන්සේට කීවෝය.
32 එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි-ස්වර්ගයෙන්වූ කෑම නුඹලාට දුන්නේ මෝසෙස් නොවේ; නුමුත් ස්වර්ගයෙන් පැමිණෙන සැබෑවූ කෑම මාගේ පියාණන්වහන්සේ නුඹලාට දෙනසේක.
33 මක්නිසාද දෙවියන්වහන්සේ දෙන කෑම නම් ස්වර්ගයෙන් බැස ලෝකයාට ජීවනය දෙන කෑමයයි කීසේක.
34 එබැවින් ඔව්හු: ස්වාමීනි, ඒ කෑම නිතරම අපට දුන මැනවයි කීවෝය.
35 යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.
36 නුමුත් නුඹලා මා දැකත් අදහන්නේ නැතැයි මම නුඹලාට කීමි.
37 පියාණන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.
38 මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය.
39 මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලෙන් කිසිවක් නැතිවෙන්ට නෑර මා විසින් අන්තිම දවසේදී එය නැගුටුවීමය.
40 මක්නිසාද මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නම්, පුත්‍රයාණන් බලා, ඔහු කෙරෙහි අදහන්නාවූ සැමදෙනම සදාකාල ජීවනය ලැබීමය; මමද අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමියි කීසේක.‍
41 එබැවින්: ස්වර්ගයෙන් බැස්සාවූ කෑම මමයයි උන්වහන්සේ කී නිසා යුදෙව්වරු උන්වහන්සේ ගැන කොඳුරමින්-
42 මොහු යෝසෙප්ගේ පුත්‍රවූ යේසුස් නොවේද? අපි මොහුගේ මවුපියන් අඳුනමුව; මම ස්වර්ගයෙන් බැස්සෙමියි මොහු දැන් කියන්නේ කොහොමදැයි කීවෝය.
43 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා අතරෙහි නොකොඳුරන්න.
44 මා එවූ පියාණන්වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.
45 සියල්ලෝම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. පියාණන්වහන්සේගෙන් අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.
46 එසේවී නුමුත් දෙවියන්වහන්සේ වෙතින් ආ තැනැත්තා මිස අන් කිසිවෙක් පියාණන්වහන්සේ නුදුටුවේය, ඔහු වනාහි පියාණන්වහන්සේ දුටුවේය.
47 සැබවක් සැබවක් නුඹලාට කියමි-අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය.
48 ජීවනදායක කෑම මමය.
49 නුඹලාගේ පියවරු වනයේදී මන්නා කෑවෝය, නුමුත් ඔව්හු මළෝය.
50 මේ කෑම නම්, එයින් කන කවුරු නුමුත් නොමැරෙන පිණිස ස්වර්ගයෙන් බැස එන්නාවූ කෑමය.
51 ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. එසේය, ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයයි කීසේක.
52 එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ වාදකරමින්: කන පිණිස තමාගේ මාංසය අපට දෙන්ට මොහුට පුළුවන් කොහොමදැයි කීවෝය.
53 ඒ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි- නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංස නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම්, නුඹලා තුළම ජීවනය නැත.
54 මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ අයට සදාකාල ජීවනය ඇත; මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි.
55 මක්නිසාද මාගේ මාංසය සැබෑවූ කෑමය, මාගේ ලේ සැබෑවු බීමය.
56 මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ තැනැත්තේ මා තුළෙහි පවතියි, මමද ඔහු තුළෙහි පවතිමි.
57 ජීවමාන පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ද මා පියාණන්වහන්සේ නිසා ජීවත්වන්නාක්මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත්වන්නේය.
58 ස්වර්ගයෙන් බැස ආවාවූ කෑම මේය. පියවරුන් කාලා මැරුණාක්මෙන් නොව, මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත්වන්නේයයි කීසේක.
59 උන්වහන්සේ කපර්ණවුමේ උගන්වමින් සිටිසේක්, මේ කාරණා සිනගෝගයේදී කීසේක.
60 එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය.
61 ගෝලයන් ඒ ගැන කොඳුරන බව යේසුස්වහන්සේ තමන් තුළ දැන, ඔවුන්ට කියනසේක්:
62 මේක නුඹලාට බාධාවක්ද? එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද?
63 ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.
64 නුමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරෙහි සිටිතියි කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියාත් තමන්වහන්සේ පාවාදෙන්ට සිටියේ කවුද කියාත් යේසුස්වහන්සේ මුල පටන් දැනගෙන සිටිසේක.
65 එහෙයින් උන්වහන්සේ කියනසේක්: මාගේ පියාණන්වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්ට බැරි බව නුඹලාට කීවෙමියි කීසේක.
66 මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය.
67 නුඹලාත් අහක්ව යන්ට කැමතිදැයි යේසුස්වහන්සේ දොළොසගෙන් ඇසූසේක.
68 සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.
69 අපිද ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනන්වහන්සේ බව විශ්වාසකරගෙන දැනගෙන සිටිමුයයි කීවේය.
70 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා විසින් නුඹලා දොළොස්දෙනා තෝරාගත්තා නොවේද? නුමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක්යයි කීසේක.
71 මෙසේ කීවේ සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍රවූ යූදස් ගැනය, මක්නිසාද දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඔහු උන්වහන්සේ පාවාදෙන්ට සිටියේය.



පරිච්ඡේදය 7

1 ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයෙහි සංචාරණයකළසේක. මක්නිසාද යුදෙව්වරු උන්වහන්සේ මරන්ට සෙවූ බැවින් උන්වහන්සේ යුදයෙහි සංචාරණයකරන්ට නොකැමැතිවූසේක.
2 එකල යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළංව තිබුණේය.
3 ඒ නිසා උන්වහන්සේගේ සහෝදරයෝ කථාකොට: නුඹ කරන ක්‍රියා නුඹේ ගෝලයන් විසින්ද දකින පිණිස මෙයින් පිටත්ව යුදයට යන්න.
4 මක්නිසාද ප්‍රසිද්ධවෙන්ට කැමති කිසිවෙක් කිසිදෙයක් රහසින් කරන්නේ නැත. නුඹ මේ දේ කරනවා නම් නුඹ ලෝකයාට ප්‍රකාශවෙන්නැයි කීවෝය.
5 මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහා ගත්තේ නැත.
6 එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: මාගේ කාලය තවම පැමුණුණේ නැත; නුඹලාගේ කාලය නිතර සූදානම්ව තිබේ.
7 නුඹලාට වෛරකරන්ට ලෝකයාට බැරිය; නුමුත් ඔවුන්ගේ ක්‍රියා නපුරු බවට මා විසින් සාක්ෂිදෙන බැවින් ඔව්හු මට වෛරකරති.
8 නුඹලා මංගල්‍යයට යන්න. මාගේ කාලය තවම සම්පූර්ණනුවූ හෙයින් මේ මංගල්‍යයට දැන්ම නොයමියි කීසේක.
9 උන්වහන්සේ මෙසේ ඔවුන්ට කියා, ගලීලයේ නැවතී සිටිසේක.
10 නුමුත් තමන් සහෝදරයන් මංගල්‍යයට ගියායින් පසු උන්වහන්සේද ප්‍රසිද්ධයෙන් නොව රහසින් මෙන් මංගල්‍යයට ගියසේක.
11 එකල යුදෙව්වරු මංගල්‍යයේදී උන්වහන්සේ සොයමින්: ඔහු කොතැන්හිදැයි ඇසුවෝය.
12 සමූහයන් අතරේ උන්වහන්සේ ගැන මහත් කෙඳිරීමක් විය. සමහරෙක්: ඔහු සත්පුරුෂයෙකැයි කීවෝය; සමහරෙක්: එසේ නොවේ, ඔහු සමූහයා මුළා කරන්නේයයි කීවෝය.
13 එසේ වුවත් යුදෙව්වරුන්ට භය නිසා කිසිවෙක් උන්වහන්සේ ගැන ප්‍රසිද්ධයෙන් කථාකෙළේ නැත.
14 නුමුත් මංගල්‍යය මැදදී යේසුස්වහන්සේ දේවමාළිගාවට ගොස් ඉගැන්වූසේක.
15 එබැවින් යුදෙව්වරු මවිතව: කිසිකලක ඉගෙන නොගත්තාවූ මොහු ලියවිලි දන්නේ කොහොමදැයි කීවෝය.
16 එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ තැනන්වහන්සේගේය.
17 යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්වීමක්ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය.
18 තමාම උපදවන දේ කියන්නා තමාගේම ගෞරවය සොයයි. නුමුත් තමා එවූ තැනන්වහන්සේගේ ගෞරවය සොයන්නා සැබෑවූ කෙනෙක්ය, ඔහු තුළ අධර්මිෂ්ඨකමක් නැත.
19 මෝසෙස් නුඹලාට ව්‍යවස්ථාව දුන්නා නොවේද? එහෙත් නුඹලාගෙන් කිසිවෙක් ව්‍යවස්ථාව නොපවත්වයි. මා මරන්ට සොයන්නේ මක්නිසාදැයි කීසේක.
20 සමූහයා උත්තරදෙමින්: නුඹට යක්ෂයෙක් ආවේශව සිටී. නුඹ මරන්ට සොයන්නේ කවුදැයි කීවෝය.
21 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: එක් ක්‍රියාවක් කෙළෙමි, ඊට නුඹලා සියල්ලෝම මවිතව සිටිති.
22 මෝසෙස් චර්මඡේදනය නුඹලාට දී තිබේ; (නුමුත් ඒක මෝසෙස්ගෙන් නොව පියවරුන්ගෙන්ය.) නුඹලා සබත් දවසේදී මනුෂ්‍යයෙකු චර්මඡේදනයකරති.
23 මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නොවන පිණිස මනුෂ්‍යයෙක් සබත් දවසේදී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේදී මනුෂ්‍යයෙකු සම්පූර්ණයෙන් සුවකළාට නුඹලා මා කෙරේ කෝපවවූද?
24 පෙනීමේ හැටියට විනිශ්චය නොකරන්න, ධාර්මික විනිශ්චයෙන් විනිශ්චය කරන්නැයි කීසේක.
25 එබැවින් යෙරුසලම් වාසීන්ගෙන් සමහරු කියන්නෝ: ඔවුන් මරන්ට සොයන්නේ මොහු නොවේද?
26 එහෙත් ඔහු ප්‍රසිද්ධයෙන් කථාකරයි, ඔව්හු කිසි දෙයක් ඔහුට නොකියති. මොහු ක්‍රිස්තුස්වහන්සේ බව මුලාදෑනීහු සැබෑවටම දැනගෙන සිටිනවාදෝ?
27 එසේ වුවත් මොහු ආවේ කොතැනින්දැයි අපි දනිමුව. නුමුත් ක්‍රිස්තුස්වහන්සේ එන කල උන්වහන්සේ කොතැනින්දැයි කිසිවෙක් දන්නේ නැතැයි කීවෝය.
28 ඒ නිසා යේසුස්වහන්සේ දේවමාළිගාවෙහි උගන්වමින් ශබ්දනගා: නුඹලා මා කවුද කියාත් මම කොතැනින් ආවෙම්ද කියාත් දන්නහුය; මම මාගේ කැමැත්තෙන් නායෙමි, නුමුත් මා එවූ තැනන්වහන්සේ සැබෑ කෙනෙක්ය; නුඹලා උන්වහන්සේ අඳුනන්නේ නැත.
29 මම උන්වහන්සේ අඳුනමි; කුමක්හෙයින්ද මම උන්වහන්සේ කෙරෙන් ආයෙමි, උන්වහන්සේද මා එවූසේකැයි කීසේක.
30 එබැවින් ඔව්හු උන්වහන්සේ අල්ලන්ට හැදුවෝය. නුමුත් උන්වහන්සේගේ වේලාව ඒතාක් පැමුණුණේ නැති බැවින් කිසිවෙක් උන්වහන්සේ පිට අත් නොතැබුවෝය.
31 නුමුත් සමූහයාගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. තවද ඔව්හු: ක්‍රිස්තුස්වහන්සේ ආ කල මුන්වහන්සේ කළ ලකුණුවලට වඩා උන්වහන්සේ කරනසේක්දැයි කීවෝය.
32 සමූහයා උන්වහන්සේ ගැන මේ දේවල් කියමින් කොඳුරනවා ඵරිසිවරුන්ට ඇසී, නායක පූජකයෝද ඵරිසිවරුද උන්වහන්සේ අල්ලන්ට සේවකයන් යැවුවෝය.
33 එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: තව ටික කලක් මම නුඹලා සමඟ සිටිමි, ඉන්පසු මා එවූ තැනන්වහන්සේ ළඟට යමි.
34 නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාට මා සම්බවෙන්නේ නැත. මා සිටින තැනට එන්ට නුඹලාට නුපුළුවනැයි කීසේක.
35 එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ කථාකරමින්: මොහු අපට සම්බ නොවෙන්ට කොතැනට යන්නේද? ග්‍රීකයන් අතරෙහි විසර සිටින්නන් වෙතට ගොස් ග්‍රීකයන්ට උගන්වනවා ඇද්ද?
36 නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාට මා සම්බවෙන්නේ නැත; මා සිටින තැනට එන්ට නුඹලාට නුපුළුවන කියා ඔහු කී වචනය කිමෙක්දැයි කීවෝය.
37 මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ.
38 මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක.
39 උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය.
40 එබැවින් සමූහයාගෙන් සමහරෙක් මේ වචන අසා: සැබෑවටම මුන්වහන්සේ අනාගතවක්තෘමයයි කීවෝය.
41 අන් සමහරෙක්: මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි කීවෝය. එහෙත් සමහරෙක්: කිමෙක්ද, ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් එනසේක්ද?
42 ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ වංශයෙන්ද දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්ද එනසේකැයි ශුද්ධලියවිල්ලෙහි කියා තිබෙනවා නොවේදැයි කීවෝය.
43 මෙසේ උන්වහන්සේ නිසා සමූහයා අතරෙහි භේදයක් හටගත්තේය.
44 ඔවුන්ගෙන් සමහරෙක් උන්වහන්සේ අල්ලන්ට කැමතිවූවෝය; නුමුත් කිසිවෙක් උන්වහන්සේ පිට අත් තැබුවේ නැත.
45 ඉක්බිති සේවකයෝ නායක පූජකයන් සහ ඵරිසිවරුන් ළඟට ආවෝය. නුඹලා ඔහු නොගෙනාවේ මක්නිසාදැයි ඔව්හු ඔවුන්ගෙන් ඇසුවෝය.
46 සේවකයෝ උත්තරදෙමින්: මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කථාකළේ නැතැයි කීවෝය.
47 එබැවින් ඵරිසිවරු ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් මුළාවෙලාද?
48 මුලාදෑනීන්ගෙන්වත් ඵරිසිවරුන්ගෙන්වත් යමෙක් ඔහු කෙරෙහි අදහාගත්තේද?
49 නුමුත් ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමූහයා ශාපලද්දෝයයි කීවෝය.
50 ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ (ඊට ප්‍රථම උන්වහන්සේ ළඟට ගියාවූ) නිකොදේමුස් ඔවුන්ට කථාකොට:
51 යම් මනුෂ්‍යයෙකුගෙන් පළමුකොට නොඅසා, ඔහු කරන්නේ කිමෙක්දැයි ඔහුගෙන්ම නොදැන, අපගේ ව්‍යවස්ථාව ඔහු විනිශ්චයකෙරේදැයි ඔවුන්ට කීවේය.
52 ඔව්හු උත්තරදෙමින්: නුඹත් ගලීලයෙන්ද? ගලීලයෙන් අනාගතවක්තෘ කෙනෙක් නොනැගිටින බව සොයා බලන්නැයි ඔහුට කීවෝය.
53 (මෙම පදය එවිට සියල්ලෝම තම තමුන්ගේ ගෙවලට ගියෝය. ලෙස සමහර පිටපත්වල ඇත.)



පරිච්ඡේදය 8

1 යේසුස්වහන්සේ ඔලීව කන්දට ගියසේක.
2 උන්වහන්සේ අලුයම දේවමාළිගාවට නැවත ආසේක, මුළු සෙනඟ උන්වහන්සේ ළඟට පැමිණියෝය; උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට ඉගැන්වූසේක.
3 එවිට කාමමිථ්‍යාචාරය කරද්දී අසුවූ ස්ත්‍රියෙක් ලියන්නන් හා ඵරිසිවරුන් විසින් ගෙනැවිත් මැද සිටුවා,
4 උන්වහන්සේට කථාකොට: ආචාරිනි, මේ ස්ත්‍රී කාමමිථ‍්‍යාචාරය කරද්දීම අල්ලනලද්දීය.
5 මෙබඳු අය ගල්ගසා මරන්ට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණකර තිබේ. නුමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.
6 ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂාකරමින් උන්වහන්සේට වරද තබන්ට කාරණයක් ලබන පිණිසය. නුමුත් යේසුස්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.
7 ඔවුන් උන්වහන්සේගෙන් අස අසා සිටියදී උන්වහන්සේ කෙලින්වී ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවයි කියා,
8 නැවතත් නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.
9 ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය.
10 යේසුස්වහන්සේ කෙලින් වී, ස්ත්‍රියට කථාකොට: ඔව්හු කොහේද? කිසිවෙක් නුඹ වරදට පත්කළේ නැද්දැයි ඇසූසේක.
11 ස්වාමිනි, නැතැයි ඈ කීවාය. එවිට යේසුස්වහන්සේ: මමත් නුඹ වරදට පත් නොකරමි. යන්න, මෙතැන් පටන් තවත් පව් නොකරන්නැයි ඈට කීසේක.]
12 එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.
13 එබැවින් ඵරිසිවරු: නුඹ නුඹ ගැනම සාක්ෂිදෙන්නෙහිය; නුඹේ සාක්ෂිය සැබෑ නැතැයි උන්වහන්සේට කීවෝය.
14 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මා ගැනම මා සාක්ෂිදෙතත් මාගේ සාක්ෂිය සැබෑය; මක්නිසාද මම කොතැනින් ආයෙම්ද කොතැනට යම්දැයි දනිමි; එහෙත් මා එන්නේ කොතැනින්ද යන්නේ කොතැනටදැයි නුඹලා දන්නේ නැත.
15 නුඹලා මාංසාකාරයෙන් විනිශ්චයකරවුය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි.
16 නුමුත් මම විනිශ්චයකරම් නම් මා තනියම නොව මා සහ මා එවූ පියාණන්වහන්සෙත් සිටින බැවින් මාගේ විනිශ්චය සැබෑය.
17 එසේය, මනුෂ්‍යයන් දෙදෙනෙකුගේ සාක්ෂිය සැබෑයයි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබේ.
18 මා ගැන සාක්ෂිදෙන්නේ මමය, මා එවූ පියාණන්වහන්සේද මා ගැන සාක්ෂිදෙනසේකැයි කීසේක.
19 එබැවින් ඔව්හු: නුඹේ පියාණන් කොතැන්හිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා මාවත් මාගේ පියාණන්වහන්සේවත් අඳුනන්නේ නැත. නුඹලා මා ඇඳින්නහු නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇතැයි කීසේක.
20 උන්වහන්සේ දේවමාළිගාවේ උගන්වමින් මුදල් ගබඩාවේදී මේ වචන කීසේක. උන්වහන්සේගේ වේලාව ඒතාක් නොපැමිණි බැවින් කිසිවෙක් උන්වහන්සේ ඇල්ලුවේ නැත.
21 එබැවින් උන්වහන්සේ නැවත ඔවුන්ට කථාකොට මම අහක්ව යමි, නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාගේ පාපයෙහි නුඹලා මැරෙනවා ඇත. මා යන ස්ථානයට නුඹලාට එන්ට නුපුළුවනැයි කීසේක.
22 එබැවින් යුදෙව්වරු: මා යන ස්ථානයට නුඹලාට එන්ට නුපුළුවනැයි මොහු කියන්නේ තමා නසාගන්ට යනවාදැයි කීවෝය.
23 උන්වහන්සේද: නුඹලා පහළින් වන්නහුය; මම ඉහළින් වෙමි. නුඹලා මේ ලෝකයෙන් වන්නහුය; මම මේ ලෝකයෙන් නොවෙමි.
24 එහෙයින්, නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතැයි නුඹලාට කීයෙමි. මක්නිසාද ඒ මමයයි නුඹලා විශ්වාසකළොත් මිස නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නහුයයි කීසේක.
25 එබැවින් ඔව්හු උන්වහන්සේට කථාකොට: නුඹ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස්වහන්සේ: මුල පටන් මා විසින් නුඹලාට කථාකළ එකමය.
26 නුඹලා ගැන කථාකරන්ටත් විනිශ්චයකරන්ටත් බොහෝ කාරණා මට ඇත්තේය. එසේ වුවත් මා එවූ තැනන්වහන්සේ සත්‍යවාදි කෙනෙක්ය; උන්වහන්සේගෙන් ඇසූ දේම මම ලෝකයාට කියමියි කීසේක.
27 උන්වහන්සේ පියාණන්වහන්සේ ගැන ඔවුන්ට කථා කළ බව ඔවුන්ට තේරුණේ නැත.
28 එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා මනුෂ්‍ය පුත්‍රයා එසවූ කල, මා ඔහුම බවත් මාගේම කැමැත්තෙන් මා කිසිවක් නොකර මාගේ පියාණන්වහන්සේ මට ඉගැන්වූ ලෙස මේ දේවල් කියන බවත් නුඹලා දැනගන්නවා ඇත.
29 මා එවූ තැනන්වහන්සේ මා සමඟ සිටිනසේක; උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරියසේක; මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමියි කීසේක.
30 උන්වහන්සේ මේ කාරණා කියද්දී බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.
31 එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය;
32 නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.
33 ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: අපි ආබ්‍රහම්ගේ වංශයය, කිසි කලක අපි කිසිවෙකුට වහල් නූණෙමුව. නුඹලා නිදහස්වන්නහුයයි නුඹ කියන්නේ කොහොමදැයි කීවෝය.
34 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹලාට කියමි-පව්කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය.
35 වාලා නිතරම ගෙදර නැවතී නොසිටියි. පුත්‍රයා නිතරම නැවතී සිටියි.
36 එහෙයින් පුත්‍රයා නුඹලා නිදහස්කරන්නේ නම් සැබැවින් නුඹලා නිදහස්වන්නහුය.
37 නුඹලා ආබ්‍රහම්ගේ වංශය බව දනිමි; එහෙත් නුඹලා තුළ නිදහස්ලෙස ක්‍රියාකරන්ට මාගේ වචනයට ඉඩ නැති බැවින්, මා මරන්ට සොයහුය.
38 මාගේ පියාණන්වහන්සේ ළඟදී දුටු දේ මම කියමි. එසේම නුඹලාත් නුඹලාගේ පියාගෙන් ඇසූ දේ කරහුයයි කීසේක.
39 ඔව්හු උත්තරදෙමින්: අපගේ පියාණෝ ආබ්‍රහම්යයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම්ගේ ක්‍රියා කරන්නහුය.
40 නුමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සැබෑව නුඹලාට කීවාවූ මනුෂ්‍යයෙක් වන මා මරන්ට දැන් නුඹලා සොයහුය. ආබ්‍රහම් එසේ නොකළේය.
41 නුඹලා නුඹලාගේ පියාගේ ක්‍රියා කරහුයයි කීසේක. එවිට ඔව්හු: අපි වේශ්‍යාකමින් උපන්නෝ නොවෙමුව; අපට ඇත්තේ එකම පියාණෝය, ඒ දෙවියන්වහන්සේයයි කීවෝය.
42 යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: දෙවියන්වහන්සේ නුඹලාගේ පියාණෝ නම් නුඹලා මට ප්‍රේමකරන්නහුය. මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමි; මාගේම කැමැත්තෙන් මා ආවා නොව උන්වහන්සේ මා එවුසේක.
43 මාගේ කථාව නුඹලාට නොතේරෙන්නේ මක්නිසාද? මාගේ වචනය නුඹලාට අසන්ට බැරි නිසාමය.
44 නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.
45 මා නුඹලාට සැබෑව කියන හෙයින් නුඹලා මා අදහාගන්නේ නැත.
46 මට පාපය ඇතැයි නුඹලාගෙන් කවරෙක් ඔප්පුකෙරේද? මම සැබෑව කියම් නම් නුඹලා මා අදහා නොගන්නේ මක්නිසාද?
47 දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තේ දෙවියන්වහන්සේගේ වචන අසයි. නුඹලා දෙවියන්වහන්සේගෙන් නොවන බැවින් ඒවා අසන්නේ නැතැයි කීසේක.
48 යුදෙව්වරු උත්තරදෙමින්: නුඹ සමාරියයෙක්ය, නුඹට යක්ෂයෙක් ආවේශවෙලාය කියා අප කියනවා හරි නොවේදැයි උන්වහන්සේට කීවෝය.
49 යේසුස්වහන්සේ උත්තරදෙමින්: මට යක්ෂයෙක් ආවේශවෙලා නොව මම මාගේ පියාණන්වහන්සේට ගෞරවකරමි, නුඹලා මට අගෞරවකරහුය.
50 නුමුත් මම මාගේම ගෞරවය නොසොයමි. එය සොයන්නාවූ විනිශ්චයකරන්නාවූ කෙනෙක් සිටිනසේක.
51 සැබවක් සැබවක් නුඹලාට කියමි-යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණය දකින්නේ නැතැයි කීසේක.
52 යුදෙව්වරු උන්වහන්සේට කථාකොට: නුඹට යක්ෂයෙක් ආවේශවී සිටින බව දැන් අපි දනිමුව. ආබ්‍රහම්ද අනාගතවක්තෘහුද මළෝය; යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණයේ රස නොවිඳින්නේමයයි නුඹ කියයි.
53 නුඹ අපගේ පියාවූ ආබ්‍රහම්ට වඩා උතුම් කෙනෙක්ද? ඔහු මළේය; අනාගතවක්තෘවරුද මළෝය. නුඹ කවරෙක කියා කියාගන්නෙහිදැයි කීවෝය.
54 යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම මටම ගෞරව කරම් නම් මාගේ ගෞරවය හිස්ය. මට ගෞරවකරන්නේ මාගේ පියාණන්වහන්සේය; උන්වහන්සේ නුඹලාගේ දෙවියන්වහන්සේයයි නුඹලා කියහුය; නුඹලා උන්වහන්සේ ඇඳිනගත්තේ නැත.
55 නුමුත් මම උන්වහන්සේ අඳුනමි; උන්වහන්සේ නාඳුනමියි කීවොත් මමත් නුඹලා හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. නුමුත් මම උන්වහන්සේ අඳුනමි; උන්වහන්සේගේ වචනයද රක්ෂාකරමි,
56 නුඹලාගේ පියවූ ආබ්‍රහම් මාගේ දවස දකින්ට ප්‍රීතියෙන් සිටියේය; ඔහු ඒ දැක සන්තෝෂවීයයි කීසේක.
57 එබැවින් යුදෙව්වරු: නුඹ තවම අවුරුදු පණහක් වයස නැතුව, ආබ්‍රහම් දුටුවෙහිදැයි උන්වහන්සේට කීවෝය.
58 යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් සැබවක් නුඹලාට කියමි- ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටියිමි කීසේක.
59 එබැවින් ඔව්හු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ සැඟවී දේවමාළිගාවෙන් පිටවී ගියසේක.



පරිච්ඡේදය 9

1 උන්වහන්සේ යද්දී, උපන්දා පටන් අන්ධවූ මනුෂ්‍යයෙකු දුටුසේක.
2 උන්වහන්සේගේ ගෝලයෝ: රබ්බි, මොහු අන්ධව ඉපදීමට පව්කළේ කවුද? මොහුද? මොහුගේ මවුපියෝදැයි ඇසුවෝය.
3 යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශවන පිණිස මිස මොහුවත් මොහුගේ මවුපියන්වත් පව්කළ නිසා නොවේ.
4 දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන.
5 මා ලෝකයෙහි සිටින කල මම ලෝකයේ ආලෝකයව සිටිමියි කීසේක.
6 උන්වහන්සේ මෙසේ කියා බිමට කෙළ ගසා, එයින් මඩ සාදා ඒවා ඔහුගේ ඇස්වල ගා:
7 නුඹ ගොස් සිලෝවම් පොකුණෙන් සෝදාගන්නැයි ඔහුට කීසේක. (සිලෝවම් යන වචනයේ අර්ථය එවනලද්දේය යනුයි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආවේය.
8 එබැවින් අසල්වාසියෝද ඔහු සිඟන්නෙක්ව සිටි බව පෙර දුටු අයද කථාකොට: ඉඳගෙන සිඟමන් ඉල්ලූ තැනැත්තා මොහු නොවේදැයි කීවෝය.
9 සමහරෙක්: මේ ඔහුයයි කීවෝය. තවත් අය: නැත, නුමුත් මොහු ඔහු වාගේයයි කීවෝය. ඒ මමයයි ඔහු කීවේය.
10 එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කොහොමදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.
11 ඔහු උත්තරදෙමින්: යේසුස් නම් මනුෂ්‍යයා මඩ සාදා මාගේ ඇස්වල ගා-නුඹ සිලෝවම්ට ගොස් සෝදාගන්නැයි මට කීවේය. මම ගොස් සෝදාගෙන පෙනීම ලැබීමියි කීවේය.
12 ඔහු කොතැන්හිදැයි ඔව්හු ඇසුවෝය. මම නොදනිමියි ඔහු කීවේය.‍
13 පළමු අන්ධව සිටි තැනැත්තා ඔව්හු ඵරිසිවරුන් ළඟට ගෙනගියෝය.
14 යේසුස්වහන්සේ මඩ සාදා ඔහුගේ ඇස් පෑදූ දවස වනාහි සබත් දවසය.
15 එබැවින් ඵරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කොහොමදැයි ඔහුගෙන් නැවත ඇසුවෝය. ඔහුද: උන්වහන්සේ මාගේ ඇස්වල මඩ ගෑසේක, මම සෝදාගෙන පෙනීම ලැබ සිටිමියි ඔවුන්ට කීවේය.
16 එබැවින් ඵරිසිවරුන්ගෙන් සමහරෙක්: ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේයයි කීවෝය. නුමුත් අන් සමහරෙක්: පව්කාරවූ මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්ට පුළුවන් කොහොමදැයි කීවෝය. මෙසේ ඔවුන් අතරේ භේදයක් විය.
17 එබැවින් ඔව්හු නැවත අන්ධයාට කථාකොට: ඔහු නුඹේ ඇස් පෑදූ නිසා, ඔහු ගැන නුඹ කියන්නේ කුමක්දැයි ඇසුවෝය. උන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙකැයි ඔහු කීවේය.
18 එබැවින් යුදෙව්වරු පෙනීම ලැබු ඒ අයගේ මවුපියන් කැඳවන තුරු ඔහු අන්ධව සිට පෙනීම ලැබූ බව විශ්වාස නොකොට:
19 අන්ධව උපන්නේයයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහුද? එසේවී නම් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
20 ඔහුගේ මවුපියෝ ඔවුන්ට උත්තරදෙමින්: මොහු අපගේ පුත්‍රයා බවද අන්ධව උපන් බවද අපි දනිමුව.
21 නුමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි නොදනිමුව; ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාත් අපි නොදනිමුව. ඔහුගෙන් අසන්න; ඔහුට වයස් ඇත්තේය; ඔහුම තමා ගැන කියනවා ඇතැයි කීවෝය.
22 ඔහුගේ මවුපියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට භයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේගේ ඒත්තුගත්තොත් ඔහු සිනගෝගයෙන් අහක්කරනු ලබන්නේයයි යුදෙව්වරුන් නියමකරගෙන තිබුණේය.
23 ඒ නිසා ඔහුගේ මවුපියෝ: ඔහුට වයස් ඇත්තේය, ඔහුගෙන් අසන්නැයි කීවෝය.
24 එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය.
25 එබැවින් ඔහු උත්තරදෙමින්: උන්වහන්සේ පව්කාරයෙක්ද නැද්දැයි මම නොදනිමි. එකක් දනිමි-මම අන්ධව සිටියෙමි, දැන් මට පෙනීම ඇත්තේයයි කීවේය.
26 එබැවින් ඔව්හු; ඔහු නුඹට කුමක් කෙළේද? නුඹේ ඇස් පෑදුවේ කොහොමදැයි ඔහුගෙන් ඇසුවෝය.
27 ඔහු ඔවුන්ට උත්තරදෙමින්: මම මේ දැන් නුඹලාට කීමි, නුමුත් නුඹලා ඇසුවේ නැත. නුඹලා නැවත අසන්ට කැමති මක්නිසාද? නුඹලාත් උන්වහන්සේගේ ගෝලයන් වෙන්ට කැමතිදැයි කීවේය.
28 ඔව්හු ඔහුට නින්දාකොට: නුඹ ඔහුගේ ගෝලයාය; අපි නම් මෝසෙස්ගේ ගෝලයෝය.
29 දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකර තිබෙන බව අපි දනිමුව. නුමුත් මේ මනුෂ්‍යයා ගැන නම් ඔහු කොතැනින්දැයි අපි නොදනිමුයයි කීවෝය.
30 ඒ මනුෂ්‍යයා ඔවුන්ට උත්තරදෙමින්: ඇයි, මේක පුදුමයක්ය, උන්වහන්සේ මාගේ ඇස් පාදා තිබියදීත් උන්වහන්සේ කොතැනින් ආසේක්ද කියා නුඹලා නොදන්නහුය.
31 දෙවියන්වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන්වහන්සේට නමස්කාරකරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්තකරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව.
32 කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් නෑසූ දෙයක්ය.
33 මුන්වහන්සේ දෙවියන්වහන්සේ කෙරෙන් නාසේක් නම් කිසිදෙයක් කරන්ට උන්වහන්සේට නුපුළුවනැයි කීවේය.
34 ඔව්හු උත්තරදෙමින්: සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදැයි කියා ඔහු අහක්කළෝය.
35 ඔවුන් ඔහු අහක්කළ බව යේසුස්වහන්සේට ආරංචිවිය; උන්වහන්සේට ඔහු සම්බව: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහනවාදැයි ඇසූසේක.
36 ඔහු උත්තරදෙමින්; ස්වාමිනි, උන්වහන්සේ කෙරෙහි මා අදහන පිණිස උන්වහන්සේ කවුදැයි ඇසීය.
37 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: නුඹ උන්වහන්සේ දුටුවෙහිය, නුඹ සමඟ කථාකරන්නෙත් උන්වහන්සේයයි කීසේක.
38 ස්වාමිනි, මම අදහමියි කියා ඔහු උන්වහන්සේට නමස්කාරකෙළේය.
39 යේසුස්වහන්සේ කථාකොට: ඇස් නොපෙනෙනවුන්ට පෙනෙන පිණිසද ඇස් පෙනෙනවුන් අන්ධවෙන පිණිසද විනිශ්චය සඳහා මේ ලෝකයට ආවෙමියි කීසේක.
40 උන්වහන්සේ සමඟ සිටියාවූ ඵරිසිවරුන්ගෙන් සමහරෙක් ඒ අසා: අපිත් අන්ධයෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
41 යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අන්ධයෝ නම් නුඹලාට පාපයක් නැත; නුමුත් දැන්-අපට පෙනේයයි නුඹලා කියන නිසා නුඹලාගේ පාපය පවතින්නේයයි ඔවුන්ට කීසේක.



පරිච්ඡේදය 10

1 සැබවක් සැබවක් නුඹලාට කියමි-දොරකඩින් බැටළුගාලට ඇතුල් නොවී වෙන මගකින් නැගී එන්නා සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ.
2 නුමුත් දොරකඩින් ඇතුල්වෙන්නා බැටළුවන්ගේ එඬේරාය.
3 ඔහුට දොරටු පාලයා දොර හරියි; බැටළුවෝ ඔහුගේ හඬ අසති. ඔහු තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬගසා උන් පිටතට ගෙනයයි.
4 ඔහු තමාගේම සියලු බැටළුවන් පිටතට හැරියාම ඔහු උන්ට පෙරටුව යයි, බැටළුවෝද ඔහුගේ හඬ අඳුනන බැවින් ඔහු පස්සේ යති.
5 උන් අන්‍යයන්ගේ හඬ නාඳුනන බැවින් අන්‍යයෙකු පස්සේ නොගොස් ඔහු වෙතින් පලායන්නේයයි කීසේක.
6 යේසුස්වහන්සේ මේ උපහැරණය ඔවුන්ට කී නුමුත් උන්වහන්සේ විසින් කියනලද කාරණා කිමෙක්දැයි ඔවුන් තේරුම්ගත්තේ නැත.
7 ඒ නිසා යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි-බැටළුවන්ගේ දොරකඩ මමය.
8 මට පළමු ආ සියල්ලෝම සොරු සහ කොල්ලකන්නො‍ත්ය. නුමුත් බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්නෝය.
9 දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද, ඔහු ආරක්ෂාකරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය.
10 සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.
11 මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය.
12 එඬේරෙක් නොවූ, බැටළුවන්ගේ අයිතිකාරයා නොවන්නාවූ කුලීකාරයා වෘකයා එනවා දැක බැටළුවන් අත්හැර පලායන්නේය, වෘකයා උන් අල්ලමින් විසුරුවාදමන්නේය.
13 ඔහු පලායන්නේ ඔහු කුලීකාරයෙකු නිසාත් බැටළුවන් ගැන නොසලකන නිසාත්ය.
14 මම යහපත් බැටළු එඬේරාය; පියාණන්වහන්සේ මා අඳුනන්නාක්මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්නාක්මෙන්ද, මම මාගේ බැටළුවන් අඳුනමි.
15 මාගේ බැටළුවෝද මා අඳුනති; බැටළුවන් උදෙසා මාගේ ප්‍රාණය දෙමි.
16 තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.
17 මා විසින් නැවත ගන්නා පිණිස මාගේ ප්‍රාණය දෙන බැවින් මාගේ පියාණන්වහන්සේ මට ප්‍රේමකරනසේක.
18 කිසිවෙක් ඒක මාගෙන් උදුරාගන්නවා නොව මමම ඒක දෙමි. ඒක දෙන්ට මට බලය තිබේ, නැවත ගන්ටද මට බලය තිබේ. මේ ආඥාව මාගේ පියාණන්වහන්සේගෙන් ලදිමියි කීසේක.
19 මේ වචන නිසා යුදෙව්වරුන් අතරේ නැවත භේදයක් හටගත්තේය.
20 ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්: ඔහු යක්ෂාවේශව උමතුව සිටියි; ඔහුට ඇහුම්කන්දෙන්නේ මක්නිසාදැයි කීවෝය.
21 අන් සමහරෙක්: මේවා යක්ෂාවේශවූ කෙනෙකුගේ කීම් නොවෙයි. අන්ධයන්ගේ ඇස් පහදන්ට යක්ෂයෙකුට පුළුවන්දැයි කීවෝය.
22 කැපකිරීමේ මංගල්‍යය යෙරුසලමේ විය.
23 ඒ කාලය ශීත සෘතුවය; යේසුස්වහන්සේ දේවමාළිගාවේ සාලමොන්ගේ ද්වාරමණ්ඩපයේ සක්මන්කරමින් සිටිසේක.
24 එබැවින් යුදෙව්වරු ඇවිත් උන්වහන්සේ අවටින් සිට: ඔබ කොපමණ කල් අප ශංකා පිට තබනසේක්ද? ඔබ ක්‍රිස්තුස් නම් පැහැදිලිලෙස අපට කිව මැනවයි උන්වහන්සේට කීවෝය.
25 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මම නුඹලාට කීමි, නුමුත් නුඹලා විශ්වාසකරන්නේ නැත. මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාම මා ගැන සාක්ෂිදෙති.
26 නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාසකරන්නේ නැත.
27 මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.
28 මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.
29 ඔවුන් මට දුන්නාවූ මාගේ පියාණන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය; පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය.
30 මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක.
31 යුදෙව්වරු උන්වහන්සේට ගසන්ට නැවතත් ගල් අතට ගත්තෝය.
32 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: පියාණන්වහන්සේගෙන් බොහෝ යහපත් ක්‍රියා නුඹලාට දැක්වීමි; එයින් කොයි ක්‍රියාව නිසා මට ගල්ගසන්නහුදැයි ඇසූසේක.
33 යුදෙව්වරු උන්වහන්සේට උත්තරදෙමින්: අප නුඹට ගල්ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව දේව අපහාසය නිසාය; මනුෂ්‍යයෙක්වූ නුඹ දෙවියන්වහන්සේ වෙන්ට සාදන නිසායයි කීවෝය.
34 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලා දෙවිවරුයයි මම කීමියි නුඹලාගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙනවා නොවේද? (ලියවිල්ල කඩවෙන්ට බැරිය.)
35 දෙවියන්වහන්සේගේ වචනය ලැබූවන්ට දෙවිවරුයයි උන්වහන්සේ කීසේක් නම්,
36 මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි මා කී නිසා පියාණන්වහන්සේ විසින් කැපකොට ලෝකයට එවනලද තැනැත්තා ගැන-නුඹ දෙවියන්වහන්සේට අපහාසකරන්නෙහියයි නුඹලා කියවුද?
37 මම මාගේ පියාණන්වහන්සේගේ ක්‍රියා නොකරම් නම්, මා විශ්වාස නොකරන්න.
38 නුමුත් ඒවා කරම් නම්, නුඹලා මා විශ්වාස නොකරතත් පියාණන්වහන්සේ මා තුළෙහිද මා පියාණන්වහන්සේ තුළෙහිද සිටින බව දැන තේරුම්ගන්නා පිණිස ක්‍රියා විශ්වාසකරන්නැයි කීසේක.
39 ඔව්හු නැවතත් උන්වහන්සේ අල්ලන්ට හැදුවෝය; නුමුත් උන්වහන්සේ ඔවුන් අතින් ගැළවී ගියසේක.
40 උන්වහන්සේ යොර්දානෙන් එගොඩ යොහන් පළමුවෙන් බව්තීස්මකරමින් සිටි ස්ථානයට ආයෙත් ගොස් එහි නැවතී සිටිසේක.
41 බොහෝ දෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: සැබවින් යොහන් කිසි ආශ්චර්යයක් කළේ නැත. නුමුත් මුන්වහන්සේ ගැන යොහන් කී සියල්ලම සැබෑයයි කීවෝය.
42 එහිදී බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.



පරිච්ඡේදය 11

1 මරියාගේද ඇගේ සහෝදරීවූ මාර්තාගේද ගමවූ බෙතානියෙහි ලාසරුස් නම් එක්තරා මනුෂ්‍යයෙක් රෝගීව සිටියේය.‍
2 ඒ මරියා නම් ස්වාමීන්වහන්සේට සුවඳ තෙල් ආලේප කොට ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැමූ තැනැත්තීය, රෝගීව සිටි ලාසරුස් ඇගේ සහෝදරයාය.
3 එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.
4 නුමුත් යේසුස්වහන්සේ ඒ අසා: ඒ රෝගය මරණය පිණිස නොව එයින් දෙවියන්වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පිණිස දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහායයි කීසේක.
5 යේසුස්වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරුස්ටද ප්‍රේමකළසේක.
6 ඔහු රෝගීව සිටින බව උන්වහන්සේ ඇසූ කල්හි, තමන් සිටි ස්ථානයේම තව දෙදවසක් නැවතුණුසේක.
7 ඉන්පසු උන්වහන්සේ: යුදයට නැවත යමුයයි ගෝලයන්ට කීසේක.
8 ගෝලයෝද: රබ්බි, මේ ළඟදී යුදෙව්වරු ඔබට ගල්ගසන්ට සෙවුවෝය; එතැනට ඔබ නැවත යනසේක්දැයි උන්වහන්සේට කීවෝය.
9 යේසුස්වහන්සේ උත්තරදෙමින්: දවාලට දොළොස් පැයක් තිබෙනවා නොවේද? යමෙක් දහවල් ඇවිදින්නේ නම්, මේ ලෝකයේ එළිය ඔහුට පෙනෙන බැවින් ඔහු නොපැකිලෙයි.
10 නුමුත් යමෙක් රාත්‍රියෙහි ඇවිදින්නේ නම්, ඔහු තුළ එළිය නැති නිසා ඔහු පැකිලේයයි කීසේක.
11 උන්වහන්සේ මෙසේ කියා, පසුව: අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමියි ඔවුන්ට කීසේක.
12 එබැවින් ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුවවේයයි කීවෝය.
13 යේසුස්වහන්සේ කීවේ ඔහුගේ මරණය ගැනය. ඔව්හු, නින්දේ පහසුගැනීම ගැන උන්වහන්සේ කීසේකැයි සිතුවෝය.
14 එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට පැහැදිලිලෙස කථාකොට: ලාසරුස් මැරිලාය.
15 නුඹලා විශ්වාසකරන පිණිස මා එහි නොසිටියාට නුඹලා නිසා සතුටුවෙමි; එසේවී නුමුත් ඔහු ළඟට යමුයයි කීසේක.
16 එහෙයින් දිදිමුස් නම්වූ තෝමස්: අපිත් මුන්වහන්සේ සමඟ නසින පිණිස යමුයයි සහකාර ගෝලයන්ට කීවේය.
17 එසේ යේසුස්වහන්සේ ආ කල ඔහු සොහොන්ගෙයි තබා එවකට සතර දිනක් වූ බව දැනගත්සේක.
18 බෙතානිය යෙරුසලමට කිට්ටුව හැතැප්ම දෙකක් පමණ දුරව තිබුණේය;
19 යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්ද මාර්තා සහ මරියා ඔවුන්ගේ සහෝදරයා ගැන සනසන පිණිස ඇවිත් සිටියෝය.
20 එබැවින් මාර්තා යේසුස්වහන්සේ එන බව ඇසූ විට උන්වහන්සේ සම්මුඛවන්ට ගියාය. නුමුත් මරියා ගෙයි ඉඳගෙන උන්නාය.
21 එසේ හෙයින් මාර්තා යේසුස්වහන්සේට කියන්නී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි.
22 දැනුත් ඔබ දෙවියන්වහන්සේගෙන් යමක් ඉල්ලනසේක් නම්, ඒක දෙවියන්වහන්සේ ඔබට දෙන බව දනිමියි කීවාය.
23 නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේයයි යේසුස්වහන්සේ ඈට කීසේක.
24 අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමියි මාර්තා උන්වහන්සේට කීවාය.
25 යේසුස්වහන්සේ: නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.
26 ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය. මේක විශ්වාසකරනවාදැයි ඈට කීසේක.
27 ඈ: එසේය, ස්වාමිනි ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ලෝකයට එන තැනන්වහන්සේවූ ක්‍රිස්තුස් බව විශ්වාසකරගන සිටිමියි උන්වහන්සේට කීවාය.
28 ඈ මෙසේ කියා ගොස් ඇගේ සහෝදරීවූ මරියා රහසින් කැඳවා: ආචාරීන්වහන්සේ ඇවිත් නුඹට අඬගසනසේකැයි කීවාය.
29 ඈ ඒ අසා වහාම නැගිට උන්වහන්සේ ළඟට ගියාය.
30 (ඒ වන තුරු යේසුස්වහන්සේ ගමට නොපැමිණ මාර්තා උන්වහන්සේට සම්මුඛවූ ස්ථානයේම සිටිසේක.)
31 එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටියාවූ යුදෙව්වරු, ඈ වහාම නැගිට පිටතට යන බව දැක, සොහොන්ගේ ළඟදී අඬන පිණිස එහි යන්නීයයි සිතා, ඈ පස්සේ ගියෝය.
32 එබැවින් මරියා යේසුස්වහන්සේ සිටි තැනට ඇවිත්, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම්, මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැයි උන්වහන්සේට කීවාය.
33 යේසුස්වහන්සේ ඈ අඬනවාත් ඈ සමඟ ආ යුදෙව්වරුන් අඬනවාත් දැක, ආත්මයෙන් සුසුම්ලා, කැලඹී:
34 ඔහු කොතැන තැබුවහුදැයි ඇසූසේක. ස්වාමීනි, ඇවිත් බැලුව මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
35 යේසුස්වහන්සේ ඇඬූසේක.
36 එහෙයින් යුදෙව්වරු කථාකොට: මුන්වහන්සේ මොහුට කොපමණ ආදරේවූසේක්දැයි බලන්නැයි කීවෝය.
37 නුමුත් ඔවුන්ගෙන් සමහරෙක්: අන්ධයාගේ ඇස් පැහැදුවාවූ මුන්වහන්සේට මේ තැනැත්තා නොමැරී සිටින්ට සලස්වන්ට බැරිවුණාදැයි කීවෝය.
38 එවිට යේසුස්වහන්සේ නැවතත් තමන් තුළ සුසුම්ලමින් සොහොන් ගේ ළඟට පැමිණිසේක. ඒක වනාහි ගුහාවක්ය, ඊට ගලක් හේත්තුකර තිබුණේය.
39 ගල අහක්කරන්නැයි යේසුස්වහන්සේ කීසේක. මළ තැනැත්තාගේ සහෝදරීවූ මාර්තා: ස්වාමීනි, ඔහු මැරී සතර දවසක් වන බැවින් දැන් ගඳ ඇතැයි කීවාය.
40 යේසුස්වහන්සේ: නුඹ විශ්වාසකළොත් දෙවියන්වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේදැයි ඈට කීසේක.
41 එවිට ඔව්හු ගල අහක්කළෝය. යේසුස්වහන්සේ ඇස් ඔසවා: පියාණෙනි, ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරමි.
42 ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. නුමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එවූ බව අවට සිටින්නාවූ සමූහයා විශ්වාසකරන පිණිස ඔවුන් නිසායයි කීසේක.
43 උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට එන්නැයි මහත් ශබ්දයකින් කීසේක.
44 මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හරින්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.
45 එබැවින් මරියා වෙතට ආවාවූ යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ කළ දෙය දැක උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.
46 නුමුත් ඔවුන්ගෙන් සමහරෙක් ඵරිසිවරුන් ළඟට ගොස් යේසුස්වහන්සේ කළ දේවල් ඔවුන්ට කීවෝය.
47 එබැවින් නායක පූජකයෝද ඵරිසිවරුද මන්ත්‍රණ සභාවක් රැස්කරවා: අපි කුමක් කරමුද? මේ මනුෂ්‍යයා බොහෝ හාස්කම් කරයි.
48 අපි ඔහුට මෙසේ ඉඩහැරියෙමු නම් සියල්ලන් ඔහු කෙරෙහි අදහාගන්නවා ඇත. එවිට රෝමවරුන් ඇවිත් අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇතැයි කීවෝය.
49 එවිට ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඒ අවුරුද්දට උත්තම පූජකවූ කායාඵස් ඔවුන්ට කියනුයේ: නුඹලා කිසිවක්ම දන්නේ නැත,
50 මුළු ජාතිය විනාශ නොවන පිණිස සෙනඟ උදෙසා එක මනුෂ්‍යයෙකුගේ මරණය නුඹලාට ප්‍රයෝජන ඇති බව නුඹලා කල්පනාකරන්නේ නැතැයි කීවේය.
51 ඔහු ඒ කීම තමා විසින්ම උපදවා කීවා නොවේය. ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටි බැවින්, යේසුස්වහන්සේ ඒ ජාතිය උදෙසා මැරෙන බවත්,
52 ඒ ජාතිය උදෙසා පමණක් නොව දෙවියන්වහන්සේගේ විසිරගියාවූ දරුවන් එකට රැස්කරන පිණිස මැරෙන බවත් අනාගතවාක්‍යයෙන් කීවේය.
53 මෙසේ එදා පටන් ඔව්හු උන්වහන්සේ මරන්ට මන්ත්‍රණයකළෝය.
54 එහෙයින් යේසුස්වහන්සේ යුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධයෙන් නොහැසිර, එයින් පිටත්ව වනාන්තරයට සමීප පළාතට පැමිණ, එප්‍රායිම් නම් නුවරකට ගොස් ගෝලයන් සමඟ එහි නැවතී සිටිසේක.
55 එකල යුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළංව තිබුණේය. බොහෝ දෙනෙක් තමුන්ම පවිත්‍රකර ගන්නා පිණිස පාස්කු මංගල්‍යයට පළමුවෙන් පිට පළාත්වලින් නික්ම යෙරුසලමට ගියෝය.
56 එවිට ඔව්හු යේසුස්වහන්සේ සොයමින්: නුඹලා කුමක් සිතනවාද? ඔහු මංගල්‍යයට නේනවාදෝ කියමින්, දේවමාළිගාවේ සිට ඔවුනොවුන් කථාකළෝය.
57 උන්වහන්සේ සිටින තැන යමෙක් දනිතොත් උන්වහන්සේ අල්ලාගන්න පිණිස ඒ බව කියන්ට නායක පූජකයන් හා ඵරිසිවරුන් විසින් අණ දී තිබුණේය.



පරිච්ඡේදය 12

1 යේසුස්වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පළමුවෙන් බෙතානියට ආසේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටෙවුවාවූ ලාසරුස් එහි සිටියේය.
2 එබැවින් ඔව්හු උන්වහන්සේට එහි කෑමක් පිළියෙළ කළෝය. මාර්තා උපස්ථානකළාය; එහෙත් ලාසරුස් උන්වහන්සේ සමඟ කෑමට හිඳගත්තවුන්ගෙන් එක්කෙනෙක් වූයේය.
3 එවිට මරියා ඉතා අනර්ඝ ජටාමාංස තෙල් රාත්තලක් රැගෙන යේසුස්වහන්සේගේ පාද ආලේපකොට, ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැම්මාය. තෙලේ සුවඳින් ගේ පිරුණේය.
4 එහෙත් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්වූ උන්වහන්සේ පාවාදෙන්ට සිටිය යූදස් ඉස්කාරියොත් කථාකොට:
5 මේ තෙල මසු තුන්සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මක්නිසාදැයි කීවේය.
6 ඔහු මේක කීවේ දිළිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවිනුත් මුදල් පසුම්බිය භාරව එහි දැමූ දේ රැගෙනගිය බැවිනුත්ය.
7 එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: මා තැන්පත්කරන දවසට මේ තෙල තබාගන්ට ඈට ඉඩ හරින්න.
8 මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමියි කීසේක.
9 එකල යුදෙව්වරුන්ගෙන් මහත් සමූහයක් උන්වහන්සේ එහි සිටිනසේකැයි දැන, යේසුස්වහන්සේ නිසා පමණක් නොව උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද ලාසරුස් දකින පිණිස ආවෝය.
10 නුමුත් නායක පූජකයෝ ලාසරුස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය.
11 මක්නිසාද ඔහු නිසා යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් අහක්ව ගොස් යේසුස්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.
12 පසුවදා මංගල්‍යයට ඇවිත් සිටිය මහත් සමූහයක් යේසුස්වහන්සේ යෙරුසලමට එන සේකැයි අසා,
13 තල් අතු රැගෙන උන්වහන්සේගේ පෙරමගට පිටත්ව ගොස්: හෝසන්නා! ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ තැනැත්තේ, එනම්, ඉශ්‍රායෙල්ගේ රජ ආශීර්වාදලද්දෙකැයි මොරගසා කීවෝය.
14 සියොන් දියණියෙනි, භය නොවව. බලව, නුඹේ රජ කොටළු පැටවෙකු
15 පිට නැගී එනසේකැයි ලියා තිබෙන හැටියට යේසුස්වහන්සේ කොටළු තරයෙකු ලැබ ඌ පිට හිඳගත්සේක.
16 උන්වහන්සේගේ ගෝලයෝ ඒ කාරණා පළමුවෙන් තේරුම් නොගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ මහිමයට පැමිණිකල උන්වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවද ඔවුන් උන්වහන්සේට එසේ කළ බවද ඔව්හු සිහිකළෝය.
17 එබැවින් උන්වහන්සේ ලාසරුස් සොහොන්ගෙයින් පිටතට කැඳවා මළවුන්ගෙන් නැගිටෙවු කල උන්වහන්සේ සමඟ සිටියාවූ සමූහයා සාක්ෂි දැරුවෝය.
18 මේ ලකුණ උන්වහන්සේ දැක්වූසේකැයි සමූහයාට ආරංචිවූ බැවින් ඔව්හු උන්වහන්සේගේ පෙරමගට ගියෝය.
19 එහෙයින් ඵරිසිවරු ඔවුනොවුන් කථාකරමින්: නුඹලාට කිසි ජයක් නැති හැටි බලන්න. අන්න, ලෝකයා ඔහු පස්සේ ගියෝයයි කීවෝය.
20 මංගල්‍යයේදී නමස්කාරකරන පිණිස පැමිණියවුන් අතරේ සමහර ග්‍රීකයෝ සිටියෝය.
21 එවිට ඔව්හු ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ: මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමුයයි කීවෝය.
22 පිලිප් ඇවිත් අන්දෘට කීවේය. අන්දෘද පිලිප්ද ඇවිත් යේසුස්වහන්සේට කීවෝය.
23 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමණුවනු ලබන පැය පැමිණ තිබේ.
24 සැබවක් සැබවක් නුඹලාට කියමි-ගෝධුම බීජය පොළොවෙහි වැටී නොමළොත් තනිව තිබෙයි; නුමුත් මළොත් බොහෝ ඵල දෙයි.
25 තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය; මේ ලෝකයෙහි තමාගේ ජීවිතයට වෛරකරන්නා සදාකාල ජීවනයට ඒක ආරක්ෂාකරගන්නේය.
26 යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.
27 දැන් මාගේ සිත කැලඹෙයි; ඉඳින් කුමක් කියම්ද? පියාණෙනි, මේ පැයෙන් මා ගැළෙවුව මැනව. නුමුත් මේ පිණිසම මේ පැයට පැමුණුණෙමි.
28 පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණෙවුව මැනවයි කීසේක. එවිට: මම එය මහිමයට පැමිණවීමි, නැවතත් මහිමයට පමුණුවන්නෙමියි අහසෙන් හඬක් නික්මුණේය.
29 එබැවින් ළඟ සිටියාවූ ඒ ඇසූ සමූහයා: අහස ගෙරෙවුවේයයි කීවෝය. තවත් සමහරෙක්: දේවදූතයෙක් උන්වහන්සේට කථාකළේයයි කීවෝය.
30 යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ හඬ මා නිසා නොව නුඹලා නිසා පැමිණියේය.
31 මේ ලෝකයේ විනිශ්චය දැන්ය. මේ ලෝකයේ අධිපතියා දැන් පිටත දමනුලබන්නේය.
32 මම වනාහි භූමියෙන් ඔසවනු ලැබුවොත් සියල්ලන් මා වෙතට ඇදගන්නෙමියි කීසේක.
33 උන්වහන්සේ මෙසේ කීවේ තමන්වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙන්ට සිටිසේක්දැයි හඟවන පිණිසය.
34 එබැවින් සමූහයා උන්වහන්සේට උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ සදාකල් සිටිනසේකැයි අපි ව්‍යවස්ථාවෙන් ඇසීමුව. එසේවී නම්-මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතුයයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුදැයි කීවෝය.
35 එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: තව ස්වල්ප කලක් ආලෝකය නුඹලා අතරේ තිබේ. අන්ධකාරය නුඹලා කරා වහාම නොපැමිණෙන පිණිස නුඹලාට ආලෝකය තිබෙන කල ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ තමා කොතැනට යන්නේදැයි නොදනියි.
36 නුඹලා ආලෝකයේ පුත්‍රයන් වන පිණිස ආලෝකය නුඹලාට තිබෙද්දී ආලෝකය කෙරෙහි අදහාගන්නැයි කීසේක. ‍
37 උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි මෙපමණ ලකුණු දැක්වූ නුමුත් ඔව්හු උන්වහන්සේ කෙරෙහි අදහා නොගත්තෝය.
38 මෙසේ සිද්ධවුණේ, ස්වාමීන්වහන්ස, අපේ ප්‍රවෘත්තිය විශ්වාසක‍ළේ කවුද?‍ ස්වාමීන්වහන්සේගේ බාහුව කාට ප්‍රකාශකරනලද්දේදැයි අනාගතවක්තෘවූ යෙසායා කී වචනය සම්පූර්ණ වන පිණිසය.
39 මේ නිසා ඔවුන්ට අදහාගන්ට නුපුළුවන්විය, මක්නිසාද යෙසායා නැවතත් කථාකොට:
40 ඔවුන් තමුන්ගේ ඇස්වලින් නොදකින පිණිසත් හිතෙන් තේරුම් නොගන්නා පිණිසත් හරවනු නොලබන පිණිසත් මා විසින් සුවකරනු නොලබන පිණිසත් උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධකළසේක, ඔවුන්ගේ හිත් දැඩිකළසේකැයි කීය.
41 යෙසායා උන්වහන්සේ ගැන කථාකරමින් මේ කාරණා කීවේ උන්වහන්සේගේ මහිමය දුටු නිසාය.
42 එසේවී නුමුත් මුලාදෑනීන්ගෙන් පවා බොහෝදෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය; නුමුත් සිනගෝගයෙන් අහක්කරනු නොලබන පිණිස ඵරිසිවරුන් නිසා ඒ බව ප්‍රකාශ නොකළෝය.
43 මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මනුෂ්‍යයන්ගෙන් ලැබෙන ගෞරවයට ප්‍රියවූවෝය.
44 යේසුස්වහන්සේ ශබ්ද පවත්වමින් කියනසේක්: මා කෙරෙහි අදහන තැනැත්තේ මා කෙරෙහි නොව මා එවූ තැනන්වහන්සේ කෙරෙහි අදහාගනියි.
45 මා දකින්නාද මා එවූ තැනන්වහන්සේ දකියි.
46 මා කෙරෙහි අදහාගන්න කවරෙක් නුමුත් අන්ධකාරයෙහි නොසිටින පිණිස මම ලෝකයට ආලෝකයක්ව ආවෙමි.
47 තවද යමෙක් මාගේ වචන අසා ඒවා නොපවත්වන්නේනම්, මම ඔහු විනිශ්චය නොකරමි. මක්නිසාද මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චයකරන්ට නොවේය.
48 මා එපා කොට මාගේ වචන පිළිනොගන්නා විනිශ්චයකරන්නෙක් සිටිනසේක. මා කී වචනයම අන්තිම දවසේදී ඔහු විනිශ්චයකරන්නේය.
49 මක්නිසාද මම මාගෙන්ම උපදවා කථා නොකෙළෙමි; නුමුත් මා එවූ මාගේ පියාණන්වහන්සේම මා විසින් කිය යුතු දේ ගැනත් කථාකළ යුතු දේ ගැනත් මට අණක් දී තිබේ.
50 උන්වහන්සේගේ අණ සදාකාල ජීවනය බවද දනිමි. එබැවින් මා කථාකරන දේ පියාණන්වහන්සේ මට කියාදුන් ලෙසම කථාකරමියි කීසේක.



පරිච්ඡේදය 13

1 පාස්කු මංගල්‍යයට පළමුවෙන්, යේසුස්වහන්සේ මේ ලෝකයෙන් පිටත්ව පියාණන්වහන්සේ ළඟට යන තමන්ගේ පැය පැමිණි තිබෙන බව දැන, ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළසේක.
2 යේසුස්වහන්සේ පාවාදෙන්ට සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණෙන්,
3 රාත්‍රිකෑම කද්දී, උන්වහන්සේ පියාණන්වහන්සේ විසින් තමන්ගේ අත්වලට සියල්ල දී තිබෙන බවද තමන් දෙවියන්වහන්සේ වෙතින් ආ බවද දෙවියන්වහන්සේ ළඟට යන බවද දැන,
4 රාත්‍රිකෑමෙන් නැගිට, උඩ ඇඳුම ගළවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි බැඳගත්සේක.
5 ඉන්පසු උන්වහන්සේ භාජනයට වතුර වත්කොට ගෝලයන්ගේ පාද සෝදන්ටත් තමන් ඉඟටියේ බැඳගත් රෙදිකඩින් පිසදමන්ටත් පටන්ගත්සේක.
6 උන්වහන්සේ සීමොන් පේතෘස් ළඟට ආසේක. ඔහු: ස්වාමීනි, ඔබ මාගේ පාද සෝදනසේක්දැයි කීවේය.
7 යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කුමක් කරම්දැයි දැන් නුඹ දන්නේ නැත; නුමුත් පසුව නුඹට තේරෙනවා ඇතැයි ඔහුට කීසේක.
8 ඔබවහන්සේට කිසිකලක මාගේ පාද සෝදන්ට නොදෙමියි පේතෘස් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම නුඹ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් නුඹට නැතැයි ඔහුට කීසේක.
9 සීමොන් පේතෘස්: ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත්ද හිසද (සේදුව මැනවයි) උන්වහන්සේට කීවේය.
10 යේසුස්වහන්සේද: නෑවාවු තැනැත්තේ මුළුමනින්ම පවිත්‍ර බැවින් ඔහුට ඕනෑකරන්නේ පාද සේදීම පමණක්ය. නුඹලා පවිත්‍රය, නුමුත් සියල්ලෝම නොවේයයි ඔහුට කීසේක.
11 නුඹලා සියල්ලෝම පවිත්‍ර නැතැයි කීවේ උන්වහන්සේ තමන් පාවාදෙන්නා දැනගෙන සිටි හෙයිනි.
12 මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදා තමන් ඇඳුම් ඇඳ නැවත හිඳගත්කල ඔවුන්ට කියනසේක්: මා නුඹලාට කළ දේ කිමෙක්දැයි නුඹලා දන්නහුද?
13 ආචාරිනි, ස්වාමීනි කියා නුඹලා මට කියහුය. නුඹලා කියනවා හරිය; මක්නිසාද මම එසේ වෙමි.
14 ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය.
15 මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.
16 සැබවක් සැබවක් නුඹලාට කියමි- දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නැත; පණිවුඩකාරයෙක්ද තමා යැවූ තැනැත්තාට වඩා උතුම් නැත.
17 ඉඳින් මේ දේවල් දන්නාවූ නුඹලා ඒවා කරනවා නම් නුඹලා ආශීර්වාදලද්දෝය.
18 මා කථාකරන්නේ නුඹලා සියල්ලන් ගැන නොවේය. මා විසින් තෝරාගත්තවුන් මම දනිමි. නුමුත් මාගේ භෝජනය කන තැනැත්තා මට විරුද්ධව විලුඹ එසවූයේයයි ලියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ විය යුතුය.
19 ඒක සිද්ධවුණාම මම උන්වහන්සේමයයි නුඹලා විශ්වාසකරන පිණිස ඒක පැමිණෙන්ට පළමුවෙන් මෙවක් පටන් නුඹලාට කියමි.
20 සැබැවක් සැබැවක් නුඹලාට කියමි-මා විසින් එවනලද කවරෙකු නුමුත් පිළිගන්නා මා පිළිගන්නේය; මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේව පිළිගන්නේයයි කීසේක.
21 යේසුස්වහන්සේ මෙසේ කියා ආත්මයෙන් කැලඹී සාක්ෂිදෙමින්: සැබැවක් සැබැවක් නුඹලාට කියමි-නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.
22 ගෝලයෝ උන්වහන්සේ කවරෙකු ගැන කීසේක්දෝ කියා සැකකොට ඔවුනොවුන් දෙස බැලුවෝය.
23 යේසුස්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක්වූ උන්වහන්සේ ප්‍රේමකළ තැනැත්තා මේසයෙහි උන්වහන්සේගේ ළයට හාන්සිවී උන්නේය.
24 එබැවින් සීමොන් පේතෘස් ඔහුට සංඥාකොට: උන්වහන්සේ කා ගැන කථාකරනසේක්දැයි (අපට) කියන්නැයි ඔහුට කීවේය.
25 ඔහු යේසුස්වහන්සේගේ ළයට හාන්සිව හිඳිමින්ම: ස්වාමීනි, ඒ කවුදැයි උන්වහන්සේට කීවේය.
26 එවිට යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කැබෙල්ල පොඟවා යමෙකුට දෙම්ද ඒ ඔහුමයයි කීසේක, මෙසේ උන්වහන්සේ කැබෙල්ල පොඟවා සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ට දුන්සේක.
27 කැබෙල්ල ගත් පසු සාතන් ඔහුට ආවේශවිය. එබැවින් යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ කරන දේ ඉක්මනට කරන්නැයි ඔහුට කීසේක.
28 මෙය කුමක් නිසා ඔහුට කීසේක්දැයි කෑමට හිඳගත්තවුන්ගෙන් කිසිවෙක් දැනගත්තේ නැත.
29 මක්නිසාද යූදස් මුදල් පසුම්බිය දැරූ බැවින්, මංගල්‍යයට ඕනෑ දේ මිලේට ගන්න, නොහොත් දිළිඳුන්ට යමක් දෙන්න කියා යේසුස්වහන්සේ ඔහුට කීසේකැයි සමහරු සිතුවෝය.
30 එවිට ඔහු කැබෙල්ල ගෙන එකෙණෙහිම පිටතට ගියේය. රාත්‍රියද විය.
31 ඔහු පිටතට ගිය කල යේසුස්වහන්සේ කියනසේක්: දැන් මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පැමුණුණේය, දෙවියන්වහන්සේද ඔහු තුළ මහිමයට පැමිණිසේක;
32 දෙවියන්වහන්සේ තමන් තුළම ඔහුව මහිමයට පමුණුවනසේක, උන්වහන්සේ ඔහුව වහාම මහිමයට පමුණුවනසේක.
33 දරුවෙනි, මා නුඹලා සමඟ සිටින්නේ තව ස්වල්ප වේලාවක්ය. නුඹලා මා සොයනවා ඇත. මා යන තැනට එන්ට නුඹලාට බැරියයි යුදෙව්වරුන්ට කී ලෙසම දැන් නුඹලාටත් කියමි.
34 මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි.
35 නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක.‍
36 සීමොන් පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, ඔබ කොතැනට යනසේක්දැයි ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මා යන තැනට දැන් මා අනුව එන්ට නුඹට බැරිය; නුමුත් පසුව එන්නෙහියයි කීසේක.
37 පේතෘස් උන්වහන්සේට කථාකොට: ස්වාමීනි, දැන්ම ඔබ අනුව මට එන්ට බැරි මක්නිසාද? ඔබ නිසා මාගේ ජීවිතය දෙමියි කීවේය.
38 යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹ මා නිසා නුඹේ ජීවිතය දෙන්නෙහිද? සැබැවක් සැබැවක් නුඹට කියමි-නුඹ මා නාඳුනමියි තුන්වරක් කියන තෙක් කුකුළා හඬලන්නේ නැතැයි කීසේක.



පරිච්ඡේදය 14

1 නුඹලාගේ සිත් නොකැලඹේවා. දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකරන්න; මා කෙරේත් විශ්වාසකරන්න.
2 මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත; මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි.
3 මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.
4 මා යන ස්ථානයට මාර්ගය නුඹලා දන්නහුයයි කීසේක.
5 තෝමස්ද: ස්වාමිනි, ඔබ කොතැනට යනසේක්දැයි අපි නොදනිමුව; මාර්ගය දන්නේ කොහොමදැයි උන්වහන්සේට කීවේය.
6 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,
7 නුඹලා මා ඇඳිනගත්තා නම් මාගේ පියාණන්වහන්සෙත් අඳුනනවා ඇත. මෙතැන් පටන් නුඹලා උන්වහන්සේව අඳුනති, දැකලාත් තිබේයයි කීසේක.
8 පිලිප්ද, ස්වාමිනි, පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනව, ඒ අපට ඇතැයි උන්වහන්සේට කීවේය.
9 යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: පිලිප්, මා මෙපමණ කල් නුඹලා සමඟ සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය; එසේවී නම්-පියාණන්වහන්සේ අපට පෙන්නුව මැනවයි නුඹ කියන්නේ කෙසේද?
10 මා පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටින බව විශ්වාසකරන්නේ නැද්ද? මා නුඹලාට කියන වචන මමම උපදවා කථා නොකරමි; නුමුත් පියාණන්වහන්සේ මා තුළෙහි වසමින් ස්වකීය ක්‍රියා කරනසේක.
11 මම පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටිනසේක යන මාගේ කීම විශ්වාසකරන්න. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාම විශ්වාසකරන්න.
12 සැබැවක් සැබැවක් නුඹලාට කියමි-මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; මා පියාණන්වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.
13 නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන්වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ටකරන්නෙමි.
14 නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ටකරන්නෙමි.
15 නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය.
16 මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක.
17 ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.
18 නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි.
19 තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති; නුමුත් නුඹලා මා දකින්නහුය. මා ජීවත්වන බැවින් නුඹලාත් ජීවත්වන්නහුය.
20 ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය.
21 යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.
22 ඉස්කාරියොත් නොවන යූදස් උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔබ ලෝකයාට ප්‍රකාශ නොවී අපට ප්‍රකාශවන්නේ කුමක් නිසාදැයි උන්වහන්සේට කීවේය.
23 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව.
24 මට ප්‍රේම නොකරන්නා මාගේ වචන රක්ෂා නොකරයි. නුඹලා අසන වචනය මාගේ නොව මා එවූ පියාණන්වහන්සේගේය.
25 මම නුඹලා සමඟ සිටියදීම මේ දේවල් නුඹලාට කීවෙමි.
26 නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.
27 නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.
28 මම අහක්ව ගොස් නුඹලා ළඟට නැවත එමියි මා නුඹලාට කී බව නුඹලා ඇසුවහුය. නුඹලා මට ප්‍රේමකළහු නම්, පියාණන්වහන්සේ ළඟට මා යන බැවින් නුඹලා සන්තෝෂවන්නහුය. මක්නිසාද පියාණන්වහන්සේ මට වඩා උතුම්ය.
29 ඒ දේ සිද්ධවූ කල නුඹලා විශ්වාසකරන පිණිස දැන් සිද්ධවෙන්ට පළමුවෙන් නුඹලාට කීවෙමි.
30 තවත් නුඹලා සමඟ බොහෝකොට කථා නොකරමි, මක්නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නුමුත් ඔහුට මා තුළ කිසිවක් නැත;
31 එහෙත් මේ දේ සිද්ධවෙන්නේ මා පියාණන්වහන්සේට ප්‍රේමකරන බවත් පියාණන්වහන්සේ මට අණකළ ලෙසම මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිසය. නැගිට මෙතැනින් යමුයයි කීසේක.



පරිච්ඡේදය 15

1 මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය.
2 මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.
3 මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය.
4 මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.
5 මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.
6 යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.
7 නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.
8 මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.
9 පියාණන්වහන්සේ මට ප්‍රේමකළාක්මෙන්ම මමත් නුඹලාට ප්‍රේමකෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.
10 මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.
11 මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.
12 මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.
13 යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.
14 මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.
15 දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.
16 නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.
17 මේ දේවල් මා නුඹලාට අණකරන්නේ නුඹලා එක් එක්කෙනාට ප්‍රේමකරන පිණිසය.
18 ලෝකයා නුඹලාට වෛරවෙනවා නම්, නුඹලාට පළමුවෙන් මට වෛරවුණ බව නුඹලා දනිහුය.
19 නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.
20 දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂාකරන්නෝය.
21 නුමුත් ඔවුන් මා එවූ තැනන්වහන්සේව නාඳුනන බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල නුඹලාට කරනවා ඇත.
22 මම ඇවිත් ඔවුන්ට කථා නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔවුන්ගේ පාපය ගැන ඔව්හු නිරුත්තරව සිටිති.
23 මට වෛරවෙන්නා මාගේ පියාණන්වහන්සේටත් වෛරවෙන්නේය.
24 වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මම ඔවුන් අතරෙහි නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔව්හු මාද මාගේ පියාණන්වහන්සේද දැක වෛරවූවෝය.
25 (මෙසේ වුණේ) ඔව්හු නිෂ්කාරණයේ මට වෛරවුණෝයයි ඔවුන්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන වචනය සම්පූර්ණවන පිණිසය.
26 නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.
27 පටන්ගැන්මේ සිට නුඹලා මා සමඟ සිටි බැවින් නුඹලාත් සාක්ෂිදෙන්නහුය.



පරිච්ඡේදය 16

1 නුඹලා බාධා නොවන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි.
2 ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.
3 ඔවුන් පියාණන්වහන්සෙත් මාත් නාඳුනන බැවින් මේ දේවල් කරනවා ඇත.
4 තවද මා විසින් මේ දේවල් නුඹලාට කීවේ ඒවායේ කාලය පැමිණි කල මා ඒවා කී බව නුඹලාට මතක්වෙන පිණිසය. මේ දේවල් පටන්ගැන්මේ සිට නුඹලාට නොකීවේ මා නුඹලා සමඟ සිටි නිසාය.
5 නුමුත් දැන් මා එවූ තැනන්වහන්සේ ළඟට යමි; කොතැනට යනසේක්දැයි නුඹලාගෙන් කිසිවෙක් මාගෙන් අසන්නේ නැත.
6 නුමුත් මා මේ දේවල් නුඹලාට කී බැවින් නුඹලාගේ සිත් දුකින් පිරී තිබේ.
7 එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි.
8 උන්වහන්සේ ආ කල, පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවාදෙනසේක.
9 පාපය ගැනයයි කීවේ ඔවුන් මා කෙරෙහි නොඅදහන නිසාය;
10 ධර්මිෂ්ඨකම ගැනයයි කීවේ මාගේ පියාණන්වහන්සේ ළඟට යන බැවින් තවත් නුඹලා මා නොදක්නා නිසාය;
11 විනිශ්චය ගැනයයි කීවේ මේ ලෝකයේ අධිපතියා විනිශ්චයකරනු ලැබ සිටින නිසාය.
12 නුඹලාට කියන්ට තව බොහෝ දේවල් මට ඇත්තේය, නුමුත් දැන් ඒවා දරන්ට නුඹලාට බැරිය.
13 එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආකල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.
14 උන්වහන්සේ මා ගෞරවයට පමුණුවනසේක. මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේක.
15 පියාණන්වහන්සේ සන්තක සියල්ල මාගේය. එහෙයින්: උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේකැයි කීවෙමි.
16 ස්වල්ප වේලාවකින් නුඹලා මා තවත් දකින්නේ නැත; නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇතැයි කීසේක.
17 එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරෙක් ඔවුනොවුන් කථාකොට: ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නේ නැත කියාත්, තව ස්වල්ප වේලාවකින් නුඹලා මා දකිනවා ඇත කියාත්, මා පියාණන්වහන්සේ ළඟට යන නිසාය කියාත් මුන්වහන්සේ අපට කියන මේ දේ කිමෙක්දැයි කීවෝය.
18 එබැවින් ඔව්හු කථාකොට: ස්වල්ප වේලාවකැයි උන්වහන්සේ කියන මේක මොකක්ද? උන්වහන්සේ කියන්නේ කුමක්ද කියා අපි නොදනිමුයයි කීවෝය.
19 තමන්ගෙන් අසන්ට ඔවුන් කැමති බව යේසුස්වහන්සේ දැන, ඔවුන්ට කියනසේක්: ස්වල්ප වේලාවකින් නුඹලා මා නොදක්නහුය, නැවත ස්වල්ප වේලාවකින් නුඹලා මා දකින්නහුයයි මා කී කාරණය ගැන නුඹලා එකිනෙකා විචාරවුද?
20 සැබැවක් සැබැවක් නුඹලාට කියමි-නුඹලා හඬා වැලපෙන්නහුය, නුමුත් ලෝකයා ප්‍රීතිවන්නෝය. නුඹලා ශෝකවන්නහුය, නුමුත් නුඹලාගේ ශෝකය ප්‍රීතියට හැරෙන්නේය.
21 ස්ත්‍රියෙක් බිහිකරන වේදනාවෙන් සිටින කල, ඇගේ වේලාව පැමිණි නිසා ඈට ශෝකය තිබේ. නුමුත් ඈ දරුවා බිහිකළ පසු, ලෝකයට මනුෂ්‍යයෙක් උපන්නේය යන ප්‍රීතිය නිසා, වේදනාව තවත් සිහි නොකරන්නීය.
22 එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.
23 ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් නුඹලාට කියමි-පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක.
24 මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය.
25 මේ දේ උපමාවලින් නුඹලාට කථාකෙළෙමි. නුමුත් උපමාවලින් තවත් නුඹලාට කථා නොකොට පැහැදිලිලෙස පියාණන්වහන්සේ ගැන නුඹලාට දන්වන්නාවූ කාලය පැමිණෙන්නේය.
26 ඒ දවසේදී මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන්නහුය. නුඹලා උදෙසා පියාණන්වහන්සේට යාච්ඤාකරන්නෙමියි නොකියමි;
27 මක්නිසාද නුඹලා මට ප්‍රේමවූ බැවින්ද මා දෙවියන්වහන්සේ වෙතින් ආ බව විශ්වාසකළ බැවින්ද පියාණන්වහන්සේම නුඹලාට ප්‍රේමවනසේක.
28 මම පියාණන්වහන්සේ වෙතින් පිටත්ව ලෝකයට ඇවිත් සිටිමි. නැවත මම ලෝකය අත්හැර පියාණන්වහන්සේ වෙතට යමියි කීසේක.
29 උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: දැන් ඔබ උපමා නැතුව පැහැදිලිලෙස කථාකරනසේක.
30 ඔබ සියල්ල දන්නා බවද කිසිවෙකු විසින් ඔබගෙන් විචාරන්ට ඕනෑ නැති බවද දැන් අපි දනිමුව. ඔබ දෙවියන්වහන්සේ වෙතින් ආ බව අපි මෙයින් විශ්වාසකරමුයයි කීවෝය.
31 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්:
32 නුඹලා දැන් විශ්වාසකරවුද? බලව, නුඹලා එකිනෙකා තම තමාගේ ස්ථානයට විසිර ගොස්, මා තනියම අත්හැර දමන පැය පැමිණෙන්නේය; එසේය, දැනටම පැමිණ තිබේ. එසේවී නුමුත් පියාණන්වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනියම නොවෙමි.
33 මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.



පරිච්ඡේදය 17

1 යේසුස්වහන්සේ මේ දේවල් කියා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා කියනසේක්: පියාණෙනි, පැය පැමිණ තිබේ;
2 ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස, පුත්‍රයා ඔබ ගෞරවයට පමුණුවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙවුව මැනව.
3 සදාකාල ජීවනය නම් මේය-එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.
4 ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දුකර පොළොවේදී ඔබ ගෞරවයට පැමිණවීමි.
5 දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව.
6 ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශකෙළෙමි. ඔව්හු ඔබ සන්තකවූවෝය, ඔබ ඔවුන් මට දුන්සේක; ඔව්හු ඔබගේ වචනය රක්ෂා කළෝය.
7 ඔබ මට දුන් සියල්ලම ඔබගෙන් පැමුණුණ බව ඔව්හු දැන් දනිති.
8 මක්නිසාද ඔබ මට දුන් වචන මම ඔවුන්ට දුනිමි; ඔව්හු ඒවා පිළිගෙන, මා ඔබ වෙතින් ආ බව සැබවින් දැන, ඔබ මා එවූ බව විශ්වාසකළෝය.
9 මම ඔවුන් ගැන යාච්ඤාකරමි; ලෝකයා ගැන යාච්ඤා නොකරමි, නුමුත් ඔබ මට දුන් ඔවුන් ගැන යාච්ඤාකරමි; මක්නිසාද ඔව්හු ඔබගේය.
10 මා සන්තක සියල්ල ඔබගේය, ඔබ සන්තක සියල්ල මාගේය. මමද ඔවුන් තුළ ගෞරවයට පැමිණ සිටිමි.
11 මම ලෝකයෙහි තවත් නොසිටිමි, ඔව්හු ලෝකයෙහි සිටිති, මමද ඔබ ළඟට එමි. ශුද්ධවූ පියාණෙනි, අප ඒකත්වයක්ව සිටින්නාක්මෙන්ම ඔවුන්ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔවුන් ඔබගේ නාමයෙන් ආරක්ෂාකළ මැනව.
12 මම ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ඔවුන් ආරක්ෂාකෙළෙමි. මම ඔවුන් ප්‍රවේසම්කෙළෙමි, ලියවිල්ල සම්පූර්ණ වන පිණිස විනාශයේ පුත්‍රයා හැර ඔවුන්ගෙන් කිසිවෙක් විනාශ නූණේය.
13 නුමුත් දැන් ඔබ ළඟට එමි; මා ලෝකයෙහිදී මේ දේවල් කථාකරන්නේ ඔවුන් මාගේ ප්‍රීතිය තමුන් තුළ සම්පූර්ණලෙස ලබන පිණිසය.
14 මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය.
15 ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි.
16 මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවෙති.
17 සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව.
18 ඔබගේ වචනය සත්‍යතාවය. ඔබ මා ලෝකයට එවුවාක්මෙන්ම මමද ඔවුන් ලෝකයට යැවීමි.
19 සත්‍යතාවෙන් ඔවුන්ද පවිත්‍රවන පිණිස ඔවුන් උදෙසා මා කැපකරගතිමි.
20 මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා කෙරෙහි විශ්වාසකරන්නවුන් ගැනත්,
21 ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක්මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාසකරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤාකරමි.
22 අප ඒකත්වයක්ව සිටින්නා සේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි.
23 මෙසේ කෙළේ මා ඔවුන් තුළෙහිද ඔබ මා තුළෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයට සම්පූර්ණලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මට ප්‍රේමකළාක්මෙන් ඔවුන්ටත් ප්‍රේමකළ බවද ලෝකයා දැනගන්නා පිණිසත්ය.
24 පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක.
25 ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝකයා ඔබ හැඳින්නේ නැත, නුමුත් මම ඔබ හැඳින්නෙමි; මොව්හුද ඔබ විසින් මා එවූ බව දැනගත්තෝය.
26 ඔබ මා කෙරෙහි ඇතුව සිටි ප්‍රේමය ඔවුන් තුළෙහිද මාත් ඔවුන් තුළෙහිද වන පිණිස ඔබගේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමියි කීසේක.



පරිච්ඡේදය 18

1 යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක.
2 යේසුස්වහන්සේ තමන් ගෝලයන් සමඟ නොයෙක් වර එහි ගිය බැවින්, උන්වහන්සේ පාවාදුන් යූදස් ඒ ස්ථානය දැනගෙන සිටියේය.
3 එබැවින් යූදස් නායක පූජකයන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද හේවා කණ්ඩායම සහ සේවකයන් ලබාගෙන, පහන්ද පන්දම්ද ආයුධද ඇතුව එතැනට ආවේය.
4 යේසුස්වහන්සේ තමන් කෙරේ පැමිණෙන්නාවූ සියලු දේ දැන, ඉදිරියට ගොස්: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
5 ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නාසරිය යේසුස්යයි කීවෝය. ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. උන්වහන්සේ පාවාදුන් යූදස්ද ඔවුන් සමඟ සිටියේය.
6 ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණෝය.
7 එබැවින් නැවතත් උන්වහන්සේ: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නාසරිය යේසුස්යයි ඔව්හු කීවෝය.
8 යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඒ මමයයි නුඹලාට කීවෙමි. එබැවින්, නුඹලා මා සොයවු නම්, මොවුන් යන්ට හරින්නැයි කීසේක.
9 මෙසේ වුණේ: ඔබ මට දුන්නවුන්ගෙන් එක්කෙනෙක්වත් නැතිවුණේ නැතැයි උන්වහන්සේ විසින් කියනලද වචනය සම්පූර්ණවන පිණිසය.
10 එවිට සීමොන් පේතෘස්ට කඩුවක් තිබුණෙන්, ඔහු ඒක ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපාදැමීය. ඒ දාසයාගේ නම මල්කස්ය.
11 එබැවින් යේසුස්වහන්සේ පේතෘස්ට කියනසේක්: කඩුව කොපුවේ දමන්න. පියාණන්වහන්සේ මට දී තිබෙන කුසලාන නොබොම්දැයි කීසේක.
12 එකල හේවාකණ්ඩායමද ප්‍රධාන සේනාපතියාද යුදෙව්වරුන්ගේ සේවකයෝද යේසුස්වහන්සේ අල්ලා බැඳ,
13 පළමුකොට අන්නස් ළඟට ගෙනගියෝය; මක්නිසාද ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාවූ කායාඵස්ගේ මාමාව සිටියේය.
14 ඒ කායාඵස් වනාහි එක් මනුෂ්‍යයෙකු විසින් සෙනඟ උදෙසා මරණය විඳීම ප්‍රයෝජන ඇතැයි යුදෙව්වරුන්ට උපදෙස් දුන් තැනැත්තේය.
15 සීමොන් පේතෘස්ද තව ගෝලයෙක්ද යේසුස්වහන්සේ පස්සේ ගියෝය. උත්තම පූජකයා ඒ ගෝලයා අඳුනන බැවින්, ඔහු යේසුස්වහන්සේ සමඟ උත්තම පූජකයාගේ ශාලාවට ඇතුල් විය;
16 නුමුත් පේතෘස් දොර ළඟ පිටත සිටියේය. එවිට උත්තම පූජකයා අඳුනන ඒ අනික් ගෝලයා පිටතට ගොස් දොරටුපාලීට කථාකොට, පේතෘස් ඇතුළට ගෙනාවේය.
17 එවිට දොරටුපාලීවූ තරුණී: නුඹත් ඒ මනුෂ්‍යයාගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්දැයි පේතෘස්ගෙන් ඇසුවාය. නැතැයි ඔහු කීවේය.
18 එකල ශීත බැවින් දාසයෝද සේවකයෝද අඟුරු දල්වා ගිනි තපිමින් සිටියෝය. පේතෘස්ද ඔවුන් සමඟ ගිනි තපිමින් සිටියේය.‍
19 එකල උත්තම පූජකයා යේසුස්වහන්සේගේ ගෝලයන් ගැනද ඉගැන්වීම ගැනද උන්වහන්සේගෙන් ඇසුවේය.
20 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි.
21 මාගෙන් විචාරන්නේ මක්නිසාද? මාගේ වචන ඇසූවන්ගෙන් මා ඔවුන්ට කීවේ කුමක්දැයි අසන්න. මෙන්න, මොව්හු මා කී දේ දනිතියි කීසේක.
22 උන්වහන්සේ මේක කී කල, ළඟ සිටියාවූ සේවකයන්ගෙන් එක්කෙනෙක්: නුඹ උත්තම පූජකයාට මෙසේ උත්තරදෙනවාද කියා, යේසුස්වහන්සේට අතුල්පහරක් ගැසීය.
23 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම අයුතුලෙස කථාකෙළෙම් නම්, ඒ අයුතුකම ගැන සාක්ෂිදෙන්න. යුතුලෙස කථාකෙළෙම් නම්, මට පහරදෙන්නේ මක්නිසාදැයි කීසේක.
24 එවිට බැඳසිටි උන්වහන්සේ අන්නස් විසින් උත්තම පූජකයාවූ කායාඵස් ළඟට යැවුවේය.
25 සීමොන් පේතෘස් ගිනිතපිමින් සිටියේය. ඔව්හු: නුඹත් ඔහුගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය. නැත, එසේ නොවේයයි ඔහු කීය.
26 උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක්කෙනෙක්වූ, පේතෘස් විසින් කන කැපූ තැනැත්තාගේ නෑයෙක් කථාකොට: නුඹ ඔහු සමඟ උයනේ සිටිනවා මම නුදුටිම්දැයි කීය.
27 එවිට පේතෘස් නැවතත්: නැතැයි කීවේය. එකෙණෙහිම කුකුළා හඬලීය.
28 එවිට ඔව්හු යේසුස්වහන්සේ කායාඵස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගියෝය. එය අලුයම් වේලාවය; ඔව්හු, අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස, ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූණෝය.
29 එබැවින් පිලාත් ඔවුන් වෙතට පිටතට ගොස්: මේ මනුෂ්‍යයාට විරුද්ධව මොන වරදක් තබවුදැයි ඇසුවේය.
30 ඔව්හු උත්තරදෙමින්: මොහු වරදකාරයෙක් නොවේ නම්, අප විසින් ඔහු ඔබට භාරදෙන්නේ නැතැයි කීවෝය.
31 එබැවින් පිලාත්: නුඹලාම ඔහු ගෙනගොස්, නුඹලාගේ ව්‍යවස්ථාව ලෙස විනිශ්චයකරන්නැයි ඔවුන්ට කීවේය. යුදෙව්වරු ඔහුට කථාකොට: කිසිවෙකු මරණයට පත්කරන්ට අපට බලය නැතැයි කීවෝය.
32 මෙසේ වුණේ, තමන්වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙනසේක්ද කියා හඟවාදෙමින් යේසුස්වහන්සේ කී වචනය සම්පූර්ණවන පිණිසය.
33 එබැවින් පිලාත් නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව, යේසුස්වහන්සේ කැඳවා: නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
34 යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹම මේක කියනවාද? නොහොත් වෙන අය මා ගැන නුඹට මේක කීවෝදැයි ඇසූසේක.
35 පිලාත් උත්තරදෙමින්: මම යුදෙව්වෙක්ද? නුඹේම ජාතියද නායක පූජකයෝද නුඹ මට භාරදුන්නෝය. නුඹ කළේ මොකදැයි ඇසුවේය.
36 යේසුස්වහන්සේ උත්තරදෙමින් මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධවී නම්, යුදෙව්වරුන්ට මා භාරදෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන්කරනවා ඇත. නුමුත් දැන් මාගේ රාජ්‍යය මෙලොවින් නොවේයයි කීසේක.
37 එබැවින් පිලාත්: එසේවී නම්, නුඹ රජෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම රජෙක්යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය. සත්‍යයෙන්වූ සියල්ලෝ මාගේ හඬ අසතියි කීසේක.
38 පිලාත් තෙමේ: සත්‍යය නම් කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
39 නුමුත් පාස්කුවේදී මා විසින් නුඹලාට එක්කෙනෙකු නිදහස්කර හරින සිරිතක් නුඹලාට තිබේ. එහෙයින් යුදෙව්වරුන්ගේ රජ මා විසින් නුඹලාට නිදහස්කර හරිනවාට නුඹලා කැමතිහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය.
40 එවිට ඔව්හු නැවත මොරගසමින්: මොහු නොව බරබ්බස්යයි කීවෝය. බරබ්බස් වනාහි සොරෙක් විය.



පරිච්ඡේදය 19

1 එවිට පිලාත් යේසුස්වහන්සේට තැළෙවුවේය.
2 හේවායෝද කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිසේ තබා, රත්නිල් වස්ත්‍රයක් උන්වහන්සේට පළඳවා, උන්වහන්සේ ළඟට ඇවිත්:
3 යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභ සිද්ධවේවා! කියා උන්වහන්සේට අතුල්පහර ගැසුවෝය.
4 පිලාත් නැවත පිටතට ගොස්: මොහු අත කිසිවරදක් මට නොපෙනෙන බව නුඹලා දැනගන්නා පිණිස, මෙන්න, මොහු නුඹලා ළඟට ගෙනෙමියි ඔවුන්ට කීවේය.
5 එකල යේසුස්වහන්සේ කටු ඔටුන්නද රත්නිල් වස්ත්‍රයද ඇතුව පිටතට ආසේක. පිලාත්ද: මෙන්න, ඒ මනුෂ්‍යයා! කියා ඔවුන්ට කීවේය.
6 එවිට නායක පූජකයෝද සේවකයෝද උන්වහන්සේ දුටු කල: කුරුසියෙහි ඇණගැසුව මැනව, ඇණගැසුව මැනව කියා මොරගැසුවෝය. පිලාත්ද: නුඹලාම මොහු රැගෙන ගොස් කුරුසියෙහි ඇණගසන්න. මක්නිසාද මොහු අත කිසිවරදක් ඇති බව මට නොපෙනේයයි කීවේය.
7 යුදෙව්වරු ඔහුට උත්තරදෙමින්: අපට ව්‍යවස්ථාවක් තිබේ, තමාම දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි ඔහු කී බැවින්, ඒ ව්‍යවස්ථාවේ හැටියට ඔහු මරනු ලැබිය යුතුයයි කීවෝය.
8 එබැවින් පිලාත් ඒ කීම අසා, වඩාත් භයවූයේ,
9 නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව: නුඹ කොතැනින්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය. නුමුත් යේසුස්වහන්සේ ඔහුට කිසි උත්තරයක් නුදුන්සේක.
10 නුඹ මට කථාකරන්නේ නැද්ද? නුඹ මුදාහරින්ට බලයද නුඹ කුරුසියෙහි ඇණගසන්ට බලයද මට ඇති බව නුඹ දන්නේ නැද්දැයි පිලාත් උන්වහන්සේට කීවේය.
11 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.
12 ඒ කීම නිසා පිලාත් උන්වහන්සේ නිදහස්කරන්ට සෙවීය. නුමුත් යුදෙව්වරු මොරගසමින්: ඔබ මොහු නිදහස්කර හැරියොත්, කායිසර්ගේ මිත්‍රයෙක් නොවේය. තමාම රජෙකු කරගන්න කවුරු නුමුත් කායිසර්ට විරුද්ධව කථාකෙරේයයි කීවෝය.
13 එබැවින් පිලාත් ඒ බස් අසා, යේසුස්වහන්සේ පිටතට ගෙනැවිත්, හෙබ්‍රෙව් භාෂාවෙන් ගබ්බතායයි කියන ගල් අතුළ ස්ථානයෙහි නඩු ආසනයේ හිඳගත්තේය.
14 ඒ වනාහි පාස්කුව සූදානම්කිරීමේ දවසේ හවෙනි පැය පමණ විය. ඔහු: මෙන්න, නුඹලාගේ රජ! යයි යුදෙව්වරුන්ට කීවේය.
15 එබැවින් ඔව්හු: ඔහු පහකළ මැනව, පහකළ මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව කියා මොරගැසුවෝය. නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ උත්තරදෙමින්: කායිසර් මිස අපට රජෙක් නැතැයි කීවෝය.
16 එකල ඔහු උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලබන පිණිස ඔවුන්ට භාරදුන්නේය.
17 උන්වහන්සේම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් භාෂාවෙන් ගොල්ගොතායයි කියනලද හිස්කබල ස්ථානයට පිටත්ව ගියසේක.
18 එහිදී ඔව්හු උන්වහන්සේව කුරුසියෙහි ඇණගැසුවෝය; මැද්දේ උන්වහන්සේද උන්වහන්සේ සමඟ දෙපැත්තේ තවත් දෙදෙනෙක්ද කුරුසිවල ඇණගැසුවෝය.
19 තවද පිලාත් නාම පත්‍රයක්ද ලියා කුරුසිය මත්තෙහි තැබීය. ‍ යුදෙව්වරුන්ගේ රජවූ නාසරිය යේසුස් කියා එහි ලියා තිබුණේය.
20 යේසුස්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලැබූ ස්ථානය නුවරට සමීපවූ බැවින්, යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් එය කියෙවුවෝය. හෙබ්‍රෙව් ලතින් ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබුණේය.
21 එබැවින් යුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කථාකොට: යුදෙව්වරුන්ගේ රජය කියා නොලියා, මම යුදෙව්වරුන්ගේ රජයයි ඔහු කීවේය කියා ලිව මැනවයි කීවෝය.
22 පිලාත් උත්තරදෙමින්: මා ලියූ දේ ලියුවාමයයි කීවේය.
23 හේවායෝ යේසුස්වහන්සේ කුරුසියෙහි ඇණගැසුවායින් පසු, උන්වහන්සේගේ වස්ත්‍ර රැගෙන, එක හේවායෙකුට එක කොටස බැගින් සතර කොටසක් කළෝය; උන්වහන්සේගේ සළුවද ගත්තෝය. ඒ සළුව වනාහි නොමහා උඩ පටන් මුළුල්ලම වියලා තිබුණේය.
24 එබැවින් ඔව්හු එකිනෙකා කථාකොට: මේක නොඉරා, කාට වේදෝයි දැනගන්නා පිණිස දාදු දමමුයයි කීවෝය. මෙසේ වුණේ, මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදාගෙන, මාගේ සළුව පිණිස දාදු දැමුවෝය යන ලියවිල්ල සම්පූර්ණවන පිණිසය. එහෙයින් හේවායෝ මේ දේ කළෝය.
25 යේසුස්වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරීවූ ක්ලෝපාස්ගේ භාර්යාවවූ මරියාද මග්දලායේ මරියාද උන්වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝය.
26 එකල යේසුස්වහන්සේ තමන්ගේ මෑණියන්ද ළඟ සිටියාවූ තමන් විසින් ප්‍රේමකළාවූ ගෝලයාද දැක: ස්ත්‍රිය, මෙන්න, නුඹේ පුත්‍රයා! යයි තමන් මෑණියන්ට කීසේක.
27 එවිට උන්වහන්සේ ගෝලයාට කථාකොට: මෙන්න, නුඹේ මෑණියෝ! යයි කීසේක. ඒ පැයේ පටන් ඒ ගෝලයා තමාගේ ගෙදරට ඇය පිළිගත්තේය.
28 ඉන්පසු යේසුස්වහන්සේ සියල්ල තින්දුවී තිබෙන බව දැන: මට පිපාසයයි කීසේක.
29 එහි කාඩියෙන් පිරුණු භාජනයක් තබා තිබුණේය. එබැවින් ඔව්හු කාඩි පොවාපු මූදුහත්තක් හිසොප් දණ්ඩක ගසා, උන්වහන්සේගේ මුඛයට ළංකළෝය.
30 යේසුස්වහන්සේ කාඩි ගත් පසු: තීන්දුවුණේය කියා හිස නමා, තමන් ආත්මය භාරදුන්සේක.
31 ඒ දවස සූදානම්වීමේ දවස බැවින්, සබත් දවසේදී ශරීර කුරුසියෙහිම නොතිබෙන පිණිස, ඔවුන්ගේ කෙණ්ඩා බිඳුවා, ඔවුන් පහකරන්ට යුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලුවෝය. මක්නිසාද ඒ සබත් දවස මහත් දවසක්ය.
32 එබැවින් හේවායෝ ඇවිත්, පළමුවෙනියාගෙත් ඔහු සමඟ කුරුසියෙහි ඇණගසනලද අනික් අයගෙත් කෙණ්ඩා බින්දෝය.
33 නුමුත් ඔව්හු යේසුස්වහන්සේ ළගට ආකල, උන්වහන්සේ මැරී සිටි බව දැක, උන්වහන්සේගේ කෙණ්ඩා නොබින්දෝය.
34 එසේ වුවත් හේවායින්ගෙන් එක්කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇළයට ඇන්නේය, එකෙණෙහිම ලේත් වතුරත් නික්මුණේය.
35 ඒ දුටු තැනැත්තේ සාක්ෂිදී තිබේ, ඔහුගේ සාක්ෂිය සැබෑය. නුඹලාත් විශ්වාසකරන පිණිස තමා සැබෑව කියන බව ඔහු දන්නේය.
36 මක්නිසාද මේ දේවල් සිද්ධවුණේ: උන්වහන්සේගේ ඇටයක්වත් බිඳිණු නොලැබෙන්නේයයි ලියා තිබුණු ලියවිල්ල සම්පූර්ණවන පිණිසය.
37 නැවතත්: ඔවුන් විසින් අනිනලද තැනන්වහන්සේ දෙස ඔව්හු බලන්නෝයයි වෙන ලියවිල්ලක කියා තිබේ.
38 ඉන්පසු යුදෙව්වරුන්ට භය නිසා රහසින් යේසුස්වහන්සේගේ ගෝලයෙක්ව සිටියාවූ අරිමාතියේ යෝසෙප් යේසුස්වහන්සේගේ මිනිය ගෙනයන පිණිස පිලාත්ගෙන් ඉල්ලුවේය, පිලාත් අවසර දුන්නේය. එහෙයින් ඔහු ඇවිත් යේසුස්වහන්සේගේ මිනිය ගෙනගියේය.
39 පළමුවෙන් රාත්‍රියෙහි උන්වහන්සේ ළඟට ආවාවූ නිකොදේමුස්ද ගන්ධරස මිශ්‍රවූ අගිලි රාත්තල් සියයක් පමණ රැගෙන ආවේය.
40 ඔව්හු යේසුස්වහන්සේගේ ශරීරය රැගෙන, යුදෙව්වරුන් තැන්පත් කරන සිරිත ලෙස, සුවඳ බඩු සමඟ සිහින් හණරෙදිවලින් එය වෙළූහ.
41 උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ ස්ථානයෙහි උයනක් තිබුණේය; ඒ උයනෙහි ඒතාක් කිසිකලෙක කිසිවෙකු නොතැබුවාවූ අලුත් සොහොන්ගෙයක් තිබුණේය.
42 ඒ සොහොන්ගෙය ළඟ තිබුණු බැවින්, යුදෙව්වරුන්ගේ සූදානම්වීමේ දවස නිසා, ඔව්හු යේසුස්වහන්සේව එහි තැබුවෝය.



පරිච්ඡේදය 20

1 සතියේ පළමුවෙනිදා අලුයම් වේලේ, අඳුර තිබියදීම, මග්දලායේ මරියා සොහොන්ගේ ළඟට ගොස්, සොහොන්ගෙයින් ගල අහක්කොට තිබෙන බව දුටුවාය.
2 එහෙයින් ඈ සීමොන් පේතෘස් ළඟටද යේසුස්වහන්සේ ප්‍රේමකළ අනික් ගෝලයා ළඟටද දුවගොස්: ඔවුන් ස්වාමීන්වහන්සේව සොහොන්ගෙයින් අහක්කොට ගෙනගොස් තිබේ, උන්වහන්සේව කොතැන තැබුවාද කියා අපි නොදනිමුයයි ඔවුන්ට කීවාය.
3 එබැවින් පේතෘස්ද අනික් ගෝලයාද පිටත්ව සොහොන් ගේ දෙසට ගියෝය.
4 ඔවුන් දෙදෙන එක්ව දිවුවෝය. අනික් ගෝලයා පේතෘස් පසුකර දුවගොස්, පළමුකොට සොහෙන්ගෙය ළඟට පැමිණ,
5 නැමී බලා, සිහින් හණරෙදි එහි තිබෙනවා දුටුවේය; නුමුත් ඇතුළට ගියේ නැත.
6 සීමොන් පේතෘස් ඔහුට පසුව පැමිණ, සොහොන්ගේ ඇතුළට ගොස්,
7 හණරෙදි තිබෙන බවත්, උන්වහන්සේගේ හිසේ තිබුණු රෙදිකඩ හණරෙදි සමඟ නැතුව වෙනම එක්තැනක අකුළා තබා තිබෙන බවත් දුටුවේය.
8 එකල පළමුකොට සොහොන්ගේ ළඟට ආවාවූ ඒ අනික් ගෝලයාද ඇතුළට ගොස්, දැක විශ්වාසකෙළේය.
9 මක්නිසාද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටින්ට ඕනෑයයි ලියනලද ලියවිල්ල ඒතාක්කල් ඔව්හු නොදැන සිටියෝය.
10 එවිට ගෝලයෝ නැවත තමුන්ගේම ගෙවලට ගියෝය.
11 නුමුත් මරියා සොහොන්ගෙය ළඟ පිටත හඬමින් සිටියාය. මෙසේ ඈ හඬන්නී, නැමී සොහොන්ගේ ඇතුළ බැලුවාය.
12 එවිට යේසුස්වහන්සේගේ ශරීරය තබනලද ස්ථානයෙහි සුදු වස්ත්‍ර හඳනාලද දේවදූතයන් දෙදෙනෙක් එක්කෙනෙක් හිස ළඟද එක්කෙනෙක් පාද ළඟද ඉඳගෙන ඉන්නවා දුටුවාය.
13 එකල ඔව්හු: ස්ත්‍රිය, මක්නිසා හඬනවාදැයි ඇගෙන් ඇසුවෝය. ඈ ඔවුන්ට කථාකොට: මාගේ ස්වාමීන්වහන්සේව අහක්කොට ගෙනගොස් කොතැන තබනලද්දේදැයි මා නොදන්නා නිසායයි කීවාය.
14 ඈ මෙසේ කියා, ආපසු හැරී, යේසුස්වහන්සේ සිටිනවා දුටුවාය, නුමුත් ඒ යේසුස්වහන්සේ බව ඈ නොදත්තීය.
15 යේසුස්වහන්සේ: ස්ත්‍රිය, නුඹ මක්නිසා හඬනවාද? කවරෙකු සොයනවාදැයි ඇගෙන් ඇසූසේක. ඈ උන්වහන්සේ උයන්ගොව්වායයි සිතා: ස්වාමීනි, නුඹ උන්වහන්සේව ගෙනගියානම්, උන්වහන්සේ කොතැන තැබුවාද කියා මට කිව මැනව, මම උන්වහන්සේ ඉවත්කොට ගෙනයමියි කීවාය.
16 යේසුස්වහන්සේ: මරියා කියා ඈට කීසේක. ඈ හැරී හෙබ්‍රෙව් භාෂාවෙන්: රබ්බෝනියි උන්වහන්සේට කීවාය; එහි අර්ථය ආචාරිනි යනුයි.
17 යේසුස්වහන්සේ: මට අත නොගසන්න; මක්නිසාද මම තවම පියාණන්වහන්සේ වෙතට නොනැංගෙමි. නුමුත් මාගේ සහෝදරයන් ළඟට ගොස්- මම මාගේ පියාණන්වහන්සේ හා නුඹලාගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි ඔවුන්ට කියන්නැයි ඈට කීසේක.
18 මග්දලායේ මරියා ඇවිත්, ඈ ස්වාමීන්වහන්සේව දුටු බවද උන්වහන්සේ ඒ දේවල් ඈට කී බවද ගෝලයන්ට දැන්නුවාය.
19 සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.
20 උන්වහන්සේ මෙසේ කියා, තමන්ගේ අත්ද ඇළයද ඔවුන්ට දැක්වූසේක. එවිට ගෝලයෝ ස්වාමීන්වහන්සේ දැක සන්තෝෂවූහ.
21 යේසුස්වහන්සේ: නුඹලාට සමාදානය වේවයි නැවතත් ඔවුන්ට කියා-පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ම මමත් නුඹලා යවමියි කීසේක.
22 උන්වහන්සේ මෙසේ කියා, ඔවුන් දෙසට හුස්ම හෙළා: ශුද්ධාත්මයාණන් පිළිගන්න.
23 යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේයයි ඔවුන්ට කීසේක.
24 යේසුස්වහන්සේ ආ කල, දොළොස් දෙනාගෙන් එක්කෙනෙක්වූ දිදිමුස් නම් තෝමස් ඔවුන් සමඟ නොසිටියේය.
25 එහෙයින් අනික් ගෝලයෝ: අපි ස්වාමීන්වහන්සේ දුටිමුයයි ඔහුට කීවෝය. නුමුත් ඔහු ඔවුන්ට කථාකොට: උන්වහන්සේගේ අත්වල ඇණ ලකුණු දැක, ඒ ලකුණුවල මාගේ ඇඟිල්ල තබා, උන්වහන්සේගේ ඇළයෙහි මාගේ අත තබා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමියි කීවේය.
26 අට දවසකට පසු උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය, තෝමස්ද ඔවුන් සමඟ සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවයි කීසේක.
27 එකල උන්වහන්සේ තෝමස්ට කථාකොට: නුඹේ ඇඟිල්ල මෙහි දිඟුකොට, මාගේ අත් බලන්න; නුඹේ අත දිඟුකොට, මාගේ ඇළයෙහි බහාලන්න. අවිශ්වාස නොකොට, විශ්වාසකරන්නැයි කීසේක.
28 තෝමස් උත්තරදෙමින්: මාගේ ස්වාමීනි, මාගේ දෙවියනියි උන්වහන්සේට කීවේය.
29 නුඹ මා දුටු බැවින් විශ්වාසකෙළෙහිය. නුදුටු නුමුත් විශ්වාසකළාවූ අය ආශීර්වාදලද්දෝයයි යේසුස්වහන්සේ කීසේක.
30 මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් යේසුස්වහන්සේ ගෝලයන් ඉදිරියෙහි කළසේක.
31 නුමුත් මේවා ලියනලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාසකරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය.



පරිච්ඡේදය 21

1 ඉන්පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟදී ගෝලයන්ට නැවත ප්‍රකාශවූසේක; උන්වහන්සේ ප්‍රකාශවුණේ මේ ආකාරයෙන්ය.
2 සීමොන් පේතෘස්ද දිදිමුස් නම් තෝමස්ද ගලීලයේ කානා නුවර නතානියෙල්ද සෙබදීගේ පුත්‍රයෝද උන්වහන්සේගේ ගෝලයන්ගෙන් තවත් දෙදෙනෙක්ද එක්ව සිටියෝය.
3 සීමොන් පේතෘස්: මසුන් අල්ලන්ට යමියි ඔවුන්ට කීවේය. අපිත් නුඹ සමඟ එමුයයි ඔව්හු ඔහුට කීවෝය. ඔව්හු පිටත්ව ගොස් ඔරුවට නැගුණෝය; නුමුත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත.
4 පහන්වන කල්හි යේසුස්වහන්සේ වෙරළෙහි සිටිසේක. එසේ වුවත් ඒ යේසුස්වහන්සේ බව ගෝලයෝ දැන නොගත්තෝය.
5 එවිට යේසුස්වහන්සේ: දරුවෙනි, නුඹලා ළඟ කන්ට යමක් ඇද්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නැතැයි කීවෝය.
6 ඔරුවේ දකුණු පැත්තෙන් දැල දමන්න, එවිට සම්බවේයයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ දැමූ කල, මසුන් රාශිය නිසා දැල ඇදගන්ට ඔවුන්ට බැරිවිය.
7 එබැවින් යේසුස්වහන්සේ ප්‍රේමකළ ගෝලයා පේතෘස්ට කථාකොට: ඒ ස්වාමීන්වහන්සේයයි කීවේය. එවිට සීමොන් පේතෘස් ඒ ස්වාමීන්වහන්සේ බව අසා, තමා ඇඳුම් නැතුව සිටි බැවින්, වස්ත්‍රයක් ඉණේ බැඳගෙන, මුහුදට පැන්නේය.
8 එහෙත් අනික් ගෝලයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන කුඩා ඔරුවෙන් ආවෝය; මක්නිසාද ඔව්හු වෙරළට නුදුරුව රියන් දෙසියයක් පමණ ඈත සිටියෝය.
9 මෙසේ ගොඩබැස්ස විට ඔව්හු එහි ගිනි අඟුරුද ඒ පිට මාලු තිබෙන බවද රොටිද දුටුවෝය.
10 නුඹලා දැන් ඇල්ලූ මසුන්ගෙන් ගෙනෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.
11 එබැවින් සීමොන් පේතෘස් ඔරුවට නැගී, ලොකු මසුන් එකසිය පණස් තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේය. එපමණ තිබුණු නුමුත් දැල ඉරුණේ නැත.
12 යේසුස්වහන්සේ කථාකොට: ඇවිත් කන්නැයි ඔවුන්ට කීසේක. ඒ ස්වාමීන්වහන්සේ බව දැන, ඔබ කවුදැයි උන්වහන්සේගෙන් අසන්ට ගෝලයන්ගෙන් කිසිවෙකුට ධෛර්ය නොතිබුණේය.
13 යේසුස්වහන්සේ ඇවිත් රොටි අරන් ඔවුන්ට දුන්සේක, එසේම මාලුත් දුන්සේක.
14 මේ වනාහි යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු ගෝලයන්ට ප්‍රකාශ වූ තුන්වෙනි වතාවය.
15 මෙසේ ඔවුන් කෑ පසු යේසුස්වහන්සේ සීමොන් පේතෘස්ට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, මොවුන්ට වඩා නුඹ මට ප්‍රේමකරනවාදැයි ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ: මාගේ බැටළුපැටවුන් පෝෂණයකරන්නැයි ඔහුට කීසේක.
16 නැවතත් දෙවෙනි වරක්: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ප්‍රේමකරනවාදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේද: මාගේ බැටළුවන් පාලනයකරන්නැයි ඔහුට කීසේක.
17 උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ-ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.
18 සැබවක් සැබවක් නුඹට කියමි-නුඹේ යෞවන කාලයේ නුඹේ ඉඟටිය බැඳගෙන කැමති තැන්වල ඇවිද්දෙහිය. නුමුත් නුඹ මහලුවූ කල නුඹේ අත් දිගුකරන්නෙහිය, වෙන කෙනෙක් නුඹේ ඉඟටිය බැඳ, නුඹ කැමති නැති තැනකට ගෙනයනවා ඇතැයි කීසේක.
19 ඔහු කොයි ආකාර මරණයකින් දෙවියන්වහන්සේව ගෞරවයට පමුණුවනවා ඇද්දැයි හඟවාදෙමින් උන්වහන්සේ මෙසේ කීසේක. මේ වචන කියා: මා අනුව එන්නැයි ඔහුට කීසේක.
20 පේතෘස් හැරී, යේසුස්වහන්සේ ප්‍රේම කළාවූද රාත්‍රිකෑමේදී උන්වහන්සේගේ ළපැත්තේ හාන්සිව සිට: ස්වාමීනි, ඔබ පාවාදෙන්නා කවුදැයි ඇසුවාවූද ගෝලයා පස්සෙන් එනවා දුටුවේය.
21 පේතෘස් ඔහු දැක: ස්වාමීනි, මොහු ගැන කිමෙක්දැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.
22 යේසුස්වහන්සේද: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකද? නුඹ මා අනුව එන්නැයි ඔහුට කීසේක.
23 එහෙයින් ඒ ගෝලයා මැරෙන්නේ නැත යන මේ කීම සහෝදරයන් අතරේ පතළවිය. එසේවී නුමුත් යේසුස්වහන්සේ: මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකදැයි කීවා මිස ඔහු මැරෙන්නේ නැතැයි නොකීසේක.
24 මේ දේ ගැන සාක්ෂිදෙන්නාවූ, මේ දේ ලියුවාවූ ගෝලයා මොහුය. මොහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමුව.
25 යේසුස්වහන්සේ කළ වෙනත් බොහෝ දේවල්ද ඇත්තේය, ඒවා එකින් එක ලියනලද්දේ නම්, ලියනු ලබන පොත් දරන්ට ලෝකයත් මදියයි සිතමි.