ක්‍රියා

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28


පරිච්ඡේදය 1

1 එම්බා තෙයෝපිලස්නි, යේසුස්වහන්සේ තමන් විසින් තෝරාගත් ප්‍රේරිතයන්ට ශුද්ධාත්මය කරණකොටගෙන අණදුන් පසු,
2 ඔසවාගනු ලැබූ දවස දක්වා, උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනයකෙළෙමි.
3 උන්වහන්සේ වද වින්ද පසු සතළිස් දවසක් අතරතුරේ ඔවුන්ට පෙනෙමින්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන කාරණා කියමින්ද බොහෝ ඔප්පු සාක්ෂිවලින් තමන්ම ජීවමානව ඔවුන්ට ප්‍රකාශවූසේක.
4 උන්වහන්සේ ඔවුන් සමඟ රැස්ව ඔවුන්ට ආඥාකරමින්: යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන්වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න.
5 මක්නිසාද යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය; නුමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුයයි කීසේක.
6 එහෙයින් ඔව්හු රැස්වූ විට: ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
7 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.
8 නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.
9 උන්වහන්සේ මේ කාරණා කී කල්හි, ඔවුන් බලා සිටියදීම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී, ඔවුන්ට නොපෙනී ගියසේක.
10 උන්වහන්සේ යන කල, ඔවුන් ස්වර්ගය දෙස ඕනෑකමින් බලා සිටියදී, සුදු වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට,
11 ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.
12 එකල ඔව්හු යෙරුසලමට සමීපවූ, සබත් දවසක ගමන් දුරවූ ඔලීව නම් ලත් කන්දේ සිට යෙරුසලමට හැරී ගියෝය.
13 ඔව්හු ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණෝය. ඔව්හු නම්: පේතෘස්ද යොහන්ද යාකොබ්ද අන්දෘද පිලිප් සහ තෝමස්ද බර්තොලොමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද ජ්වලිතයාවූ සීමොන්ද යාකොබ්ගේ පුත්‍රවූ යූදස්ද යනුය.
14 මේ සියල්ලෝම ස්ත්‍රීන්ද යේසුස්වහන්සේගේ මවුවූ මරියාද උන්වහන්සේගේ සහෝදරයන්ද සමඟ එක්සිත්ව නොකඩවම යාච්ඤාකරමින් සිටියෝය.
15 මේ දවස්වලදී එකසිය විසිදෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේතෘස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ:
16 සහෝදරයෙනි, යේසුස්වහන්සේ ඇල්ලූ අයට මගපෙන්නුවාවූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ දාවිත්ගේ මුඛයෙන් පෙර කීවාවූ වාක්‍යය සම්පූර්ණවෙන්ට ඕනෑව තිබුණේය.
17 මක්නිසාද ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ මෙහෙයේ තමාගේ කොටස ලැබුවේය.
18 (මේ මනුෂ්‍යයා තමාගේ අයුතුකමේ කුලියෙන් බිමක් මිලේට ගෙන, මුහුණින් වැටී, මැදින් පැළුණේය, ඔහුගේ බඩවැල් සියල්ලම පිටත වීසිවුණේය.
19 එය යෙරුසලම් වාසි සියල්ලන්ට සැලවිය; එහෙයින් ඒ බිමට ඔවුන්ගේ භාෂාවෙන් අකෙල්දමයයි කියනලදී, එනම් ලේ බිමය.)
20 කුමක්හෙයින්ද: (ඔහුගේ වාසස්ථානය පාළුවේවා, කිසිවෙක් එහි වාසය නොකෙරේවා කියාද ඔහුගේ තනතුර වෙන කෙනෙක් ගනීවා) කියාද ගීතිකා පොතෙහි ලියා තිබේ.
21 එහෙයින් යොහන්ගේ බව්තීස්මය පටන් ස්වාමිවූ යේසුස්වහන්සේ අප කෙරෙන් ඔසවාගනු ලැබූ දවස දක්වා,
22 උන්වහන්සේ අප අතරෙහි ආගිය මුළු කාලයෙහි නිතරම අප සමඟ සිටියාවූ මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමඟ සාක්ෂිකාරයෙක් විය යුතුයයි කීවේය.
23 එවිට ඔව්හු යුස්තස් කියනලද බර්සබ්බස් නම් යෝසෙප්ද මත්තියස්ද යන දෙදෙනෙක් ඉදිරිපිට සිටෙවුවෝය.
24 තවද ඔව්හු යාච්ඤාකරමින්: සියල්ලන්ගේ සිත් දන්නාවූ ස්වාමීන්වහන්ස, තමාගේම ස්ථානයට යන පිණිස යම් මෙහෙයකින්ද ප්‍රේරිතකමකින්ද යූදස් වැටී ගියේද,
25 ඒ මෙහෙයත් ප්‍රේරිතකමේ ස්ථානයත් ලැබීමට මොවුන් දෙන්නාගෙන් ඔබ විසින් තෝරාගත් තැනැත්තා පෙන්නුව මැනවයි කියා,
26 ඔවුන් ගැන පසඇට දැමුවෝය; එවිට පසඇටය මත්තියස්ට වැටුණේය; ඔහු ප්‍රේරිතයන් එකොළොස්දෙනා සමඟ ගණන්ගන්නාලද්දේය.



පරිච්ඡේදය 2

1 තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය.
2 තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.
3 ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය.
4 ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.
5 එකල අහසින් යට තිබෙන සියලු දේශවලින් ආවාවූ භක්තිවන්ත යුදෙව්වරු යෙරුසලමේ වාසයකරමින් සිටියෝය.
6 මේ ශබ්දය ඇසුණු කල සමූහයා එකතුව ඇවිත් වියවුල්විය, මක්නිසාද එකිනෙකා තම තමාගේ භාෂාවෙන් ඔවුන් කථාකරනවා ඇසුවේය.
7 ඔවුන් සියල්ලෝ විස්මිතව පුදුමවී: බලව, මේ කථාකරන සියල්ලෝ ගලීලයෝ නොවෙද්ද?
8 අප උපන් දේශවල අප එකිනෙකාගේම භාෂාවෙන් ඔවුන් කථාකරනවා කෙසේ අසමුද?
9 පාර්තිවරුද මේදවරුද ඒලාම්වරුද මෙසොපොතාමියෙහිත් යුදය සහ කපදෝකියෙහිත් පොන්තසය සහ ආසියාවෙහිත්,
10 පිරීගිය සහ පම්පිලියෙහිත් මිසරය සහ කිරේනිය වටකර ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීහුද රෝමයෙන් ආ විදේශීහුද යුදෙව්වරුන් සහ ඔවුන්ගේ ආගමට හැරුණු අයද,
11 ක්‍රීත්වරු සහ අරාබිවරුද යන අපි අපගේ භාෂාවලින් දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කථාකරනවා අසමුයයි කීවෝය.
12 ඔවුන් සියල්ලෝ විස්මිතව වියවුල්ව: මේ කිමෙක්දැයි ඔවුනොවුන් කථාකරගත්තෝය.
13 නුමුත් සමහරෙක් සරදම් කරමින්: මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය.
14 නුමුත් පේතෘස් එකොළොස්දෙනා සමඟ නැගිට ශබ්දනගා ඔවුන්ට කියනුයේ: යුදයේ මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වසන සියල්ලෙනි, මේක දැනගන්න. මාගේ වචනවලට කන්දෙන්න.
15 මක්නිසාද දැනට දවල් තුන්වෙනි පැය පමණක් බැවින් නුඹලා සිතන්නා සේ මොවුන් මත්වෙලා නොවේ.
16 නුමුත් මේ වනාහි අනාගතවක්තෘවූ යෝවෙල් කරණකොටගෙන කියනලද කාරණයය. කෙසේදයත්:
17 අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත.
18 එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.
19 තවද උඩ අහසෙහි පුදුමද පාත පොළොවෙහි ලකුණුද වන ලේ සහ ගිනිත් දුම් වලාපටලත් දක්වන්නෙමි.
20 ස්වාමීන්වහන්සේගේ මහත්වූ තේජවත්වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.
21 ස්වාමීන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන කවරේත් ගළවනු ලබන්නේයයි දෙවියන්වහන්සේ කියනසේක යනුයි.
22 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ වචන අසන්න-නුඹලාම දන්නා ලෙස නුඹලා අතරේ දෙවියන්වහන්සේ විසින් නාසරිය යේසුස්වහන්සේ ලවා කරවනලද බලවත් ක්‍රියාවලින්ද පුදුම වලින් ද ලකුණුවලින් ද දෙවියන්වහන්සේ විසින් ඒත්තුගනු ලැබූ මනුෂ්‍යයෙක්වූ එම යේසුස්වහන්සේ,
23 දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය.
24 නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය.
25 මක්නිසාද දාවිත් උන්වහන්සේ ගැන කථාකරමින්: ස්වාමීන්වහන්සේ නිතරම මා ඉදිරියෙහි සිටිනවා දුටිමි; මා සොලවනු නොලබන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටිනසේක.
26 එහෙයින් මාගේ සිත සන්තෝෂවිය, මාගේ දිව ප්‍රීතිවිය; තවද මාගේ මාංසය බලාපොරොත්තුවෙන් වසන්නේය.
27 මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්ටවත් ඔබගේ ශුද්ධ තැනන්වහන්සේ කුණු වෙන්ටවත් ඉඩ නොදෙනසේක.
28 ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්වූසේක; ඔබගේ මුහුණෙන් ඔබ මා සන්තෝෂයෙන් පූර්ණකරනසේකැයි කීය.
29 සහෝදරයෙනි, කුලජ්‍යෙෂ්ඨවූ දාවිත් මැරී තැන්පත්කරනු ලැබූ බව භය නැතුව කියන්ට පුළුවන, ඔහුගේ සොහොන්ගෙය අද දක්වා අප අතරේ තිබේ.
30 එහෙයින් ඔහු අනාගතවක්තෘ කෙනෙක්ව, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවනසේකැයි දෙවියන්වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව දැනගත්තේය.
31 ඔහු මෙය කලින් දැක ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන කථාකරමින් උන්වහන්සේගේ පාතාලයේ නවතින්ට හරිනු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංසය කුණු නොවූ බවත් කීවේය.
32 මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවුසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය.
33 එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.
34 මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නුමුත් ඔහු කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක්
35 මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි ඔහුම කියයි.
36 එබැවින් නුඹලා විසින් කුරුසියෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනීවයි කීවේය.
37 ඔව්හු ඒ අසා අනිනලද සිත් ඇතුව: සහෝදරයෙනි, අප විසින් මක්කරන්ට ඕනෑදැයි පේතෘස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය.
38 පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.
39 මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත්යයි කියා,
40 වෙනත් බොහෝ වචනවලින් සාක්ෂිදී: මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්නය කියමින් අවවාදකෙළේය.
41 එකල ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය. ඒ දවසේදී තුන් දාහක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතුකරනලද්දෝය.
42 තවද ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤාවලද ස්ථිරලෙස පැවතුණහ.
43 එවිට සියලුදෙනා කෙරෙහි භය පැමුණුණේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කරණකොටගෙන කරන ලද්දේය.
44 අදහාගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබාගත්තෝය;
45 ඔව්හු තමුන්ගේ ගම් බිම් සහ දේපළ විකුණා, එකිනෙකාට වුවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදාදුන්නෝය.
46 තවද ඔව්හු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින්, ගෙදරදී රොටි කඩමින්, ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින්, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්,
47 සෙනඟට ප්‍රිය උපදින ලෙස ක්‍රියාකරමින් පසුවුණෝය. ස්වාමීන්වහන්සේ වනාහි ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක්කළසේක.



පරිච්ඡේදය 3

1 පේතෘස්ද යොහන්ද යාච්ඤා වේලාවවූ නවවෙනි පැයේ දේවමාළිගාවට යද්දී,
2 මවුකුස පටන් කොරව සිටි එක්තරා මනුෂ්‍යයෙක් ගෙනයනු ලැබුවේය. ඔහු මාළිගාවට ඇතුල්වෙන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුවයයි කියන මාළිගාවේ දොරටුව ළඟ දවස්පතා තබනලද්දේය.
3 ඔහු පේතෘස්ද යොහන්ද දේවමාළිගාවට ඇතුල්වෙන්ට යනවා දැක, සිඟමන් ඉල්ලුවේය.
4 පේතෘස් යොහන් සමඟ ඔහු දෙස ඇස් හෙළා: අප දෙස බලන්නැයි කීවේය.
5 ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය.
6 පේතෘස්ද: රන් රිදී මට නැත; නුමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන්, ඇවිදින්නැයි කියා,
7 ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටෙවුවේය. එකෙණෙහිම ඔහුගේ පාද සහ ඇස්වට සවිවිය.
8 ඔහු පැනනැගී කෙලින් සිට, ඇවිදින්ට පටන්ගත්තේය; ඇවිදිමින්ද පැනනගිමින්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්ද ඔහු ඔවුන් සමඟ දේවමාළිගාවට ඇතුල්වුණේය.
9 මුළු සෙනඟ ඔහු ඇවිදිනවාත් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරනවාත් දැක,
10 දේවමාළිගාවේ සුදර්ශන දොරටුව ළඟ සිඟමින් ඉඳගන උන් තැනැත්තා ඔහු බව දැන, ඔහුට සිද්ධවූ කාරණය ගැන පුදුමයෙන්ද විස්මයෙන්ද පිරුණෝය.
11 ඔහු පේතෘස් සහ යොහන් අල්ලාගෙන සිටියදී, මුළු සෙනඟ ඉතා පුදුමව සාලමොන්ගේයයි කියන ද්වාරමණ්ඩපයේ සිටි ඔවුන් වෙතට එක්ව දිවුවෝය.
12 පේතෘස් ඒ දැක සෙනඟට උත්තරදෙමින්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, මේ මනුෂ්‍යයා ගැන නුඹලා පුදුමවන්නේ මක්නිසාද? නොහොත් අපගේම බලයෙන්වත් භක්තිවන්තකමින්වත් අප විසින් මොහු ඇවිදින්ට සැලැස්සුවාක්මෙන් අප දෙස ඇස් හෙළා සිටින්නේ මක්නිසාද?
13 ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ තමන් මෙහෙකරුවූ යේසුස්වහන්සේ ගෞරවයට පැමිණෙවුසේක. නුඹලා උන්වහන්සේ පාවාදී, පිලාත් උන්වහන්සේ නිදහස්කරන්ට තීන්දුකරගන සිටි කල, ඔහු ඉදිරියෙහිදී උන්වහන්සේව එපාකළහුය.
14 මෙසේ නුඹලා ශුද්ධවූ ධර්මිෂ්ඨවූ තැනන්වහන්සේව එපාකොට, මිනීමරුවෙකු නුඹලාට දෙන පිණිස ඉල්ලා,
15 ජීවනයේ අධිපතියාව මැරුවහුය; දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුසේක; අපි ඊට සාක්ෂිකාරයෝය.
16 උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ නාමයම නුඹලා දකින්නාවූ අඳුනන්නාවූ මේ මනුෂ්‍යයා සවිකෙළේය. එසේය, උන්වහන්සේ කරණකොටගෙන ඇත්තාවූ ඇදහිල්ල නුඹලා සියල්ලන් ඉදිරියෙහි මොහුට මේ සම්පූර්ණ සුවය දුන්නේය.
17 ඉතින්, සහෝදරයෙනි, නුඹලාගේ මුලාදෑනීන් කළාක්මෙන්ම නුඹලාත් නොදත්කමින් ඒක කළ බව මම දනිමි.
18 නුමුත් ස්වකීය ක්‍රිස්තුස්වහන්සේ විඳිනසේකැයි දෙවියන්වහන්සේ සියලු අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් පෙර දැන්නෙවුවාවූ දේවල් මෙසේ සම්පූර්ණකළසේක.
19 එබැවින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයන් පැමිණෙන ලෙසද,
20 නුඹලා උදෙසා නියමකරනලද්දාවූ ක්‍රිස්තුස්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, එවන පිණිසද, නුඹලාගේ පාපයත් මකාදමනු ලබන පිණිසද, පශ්චාත්තාපව හැරෙන්න.
21 දෙවියන්වහන්සේ ලෝකයේ පටන්ගැන්මේ සිට තමන්ගේ ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවුවාවූ, සියලු දේ නැවත පිහිටුවන්නාවූ කාලවල් දක්වා උන්වහන්සේ ස්වර්ගයෙහි සිටින්ට ඕනෑය.
22 මෝසෙස් කථාකොට: නුඹලාගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ මා සමාන අනාගතවක්තෘකෙනෙකු නුඹලාගේ සහෝදරයන් අතරෙන් නුඹලාට නැගුටුවාදෙනසේක; ඔහු නුඹලාට කථාකරන සියල්ල ගැන ඔහුට ඇහුම්කන්දෙන්න.
23 ඒ අනාගතවක්තෘට ඇහුම්කන් නොදෙන්නාවූ සැමදෙනම සෙනඟ අතරෙන් මුළුමනින්ම විනාශකරනු ලබන්නෝයයි කීවේය.
24 එසේය, සාමුවෙල් පටන් ඊට පසු පැමිණි යම් පමණ අනාගතවක්තෘහු කථාකළෝද, ඒ සියල්ලෝම මේ දවස් ගැන කථාකළෝය.
25 නුඹලා අනාගතවක්තෘවරුන්ගේද, නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු වර්ගයෝ ආශීර්වාද ලබන්නෝයයි ආබ්‍රහම්ට කියමින් දෙවියන්වහන්සේ විසින් නුඹලාගේ පියවරුන් සමඟ කළ ගිවිසුමේද පුත්‍රයෝය.
26 දෙවියන්වහන්සේ ස්වකීය සේවකයා නැගුටුවාදී, නුඹලාගෙන් එකිනෙකා තම තමාගේද අයුතුකම්වලින් හැරවීමෙන් නුඹලාට ආශීර්වාදකරන පිණිස, පළමුකොට නුඹලා වෙතට උන්වහන්සේව එවූසේකැයි කීවේය.



පරිච්ඡේදය 4

1 ඔවුන් සෙනඟට කථාකරද්දී පූජකයෝද දේවමාළිගාවේ සේනාපතියාද සද්දුසිවරුන්ට සෙනඟට ඔවුන් ඉගැන්වූ බැවිනුත්,
2 යේසුස්වහන්සේ කරණකොටගෙන මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවිනුත් අතිශයෙන් කැලඹී,
3 ඔවුන් කරා පැමිණ, ඔවුන් පිට අත් හෙළා, සවස්වූ බැවින් පසුවදා වන තුරු හිරගෙයි තැබුවෝය.
4 නුමුත් වචනය ඇසූවන්ගෙන් බොහෝ දෙනෙක් අදහාගත්තෝය; ඒ මනුෂ්‍යයන්ගේ ගණන පන්දහසක් පමණ විය.
5 තවද පසුවදා ඔවුන්ගේ මුලාදෑනියෝද වැඩිමහල්ලෝද ලියන්නෝද,
6 උත්තම පූජකයාවූ අන්නස්ද කායාඵස්ද යොහන්ද අලෙක්ෂන්දර්ද උත්තම පූජකයාගේ සියලු නෑයෝද යෙරුසලමෙහි රැස්වී ඔවුන් මැද සිටුවා:
7 නුඹලා මේක කළේ මොන බලයෙන්ද නොහොත් මොන නාමයෙන්දැයි විචාළෝය.
8 එවිට පේතෘස් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔවුන්ට කියනුයේ, සෙනඟගේ මුලාදෑනියෙනි, වැඩිමහල්ලෙනි,
9 දුර්වල මනුෂ්‍යයෙකුට කළාවූ යහපත් ක්‍රියාවක් ගැන, ඔහු සුවකරනු ලැබුවේ කොයි විධියෙන්දැයි අද අපි විභාගකරනු ලබමු නම්,
10 නුඹලා විසින් කුරුසියෙහි ඇණගසනලද්දාවූද දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූද නාසරිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටීයයි නුඹලා සියල්ලෝද සියලුම ඉශ්‍රායෙල් සෙනඟද දැනගනිත්වා.
11 උන්වහන්සේ වනාහි ගෙවල් සාදන්නන් වන නුඹලා විසින් සුළුකරනු ලැබුවාවූද කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවාවූද ගලය.
12 වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.
13 එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය.
14 සුවකරනු ලැබූ මනුෂ්‍යයා ඔවුන් සමඟ සිටිනවා දැක, ඊට විරුද්ධව කිසිවක් කියන්ට ඔවුන්ට නොහැකි විය.
15 නුමුත් මන්ත්‍රණ සභාවෙන් පිටතට යන්ට ඔවුන්ට ආඥාකොට, තම තමුන් අතරේ කථාකරගනිමින්: මේ මනුෂ්‍යයන්ට මක්කරමුද?
16 මක්නිසාද විශිෂ්ටවූ ආශ්චර්යයක් ඔවුන් කරණකොටගෙන කරනලද බව යෙරුසලමෙහි වසන්නාවූ සියල්ලන්ට ප්‍රකාශව තිබේ; ඒක නැතැයි කියන්ට අපට නුපුළුවන.
17 නුමුත් සෙනඟ අතරේ එය තවත් දුරට පතළ නොවන පිණිස, මින්මතු කාටවත් මේ නාමයෙන් කථා නොකරන්ට ඔවුන්ට තර්ජනයකරමුයයි කීවෝය.
18 තවද ඔව්හු ඔවුන් ගෙන්වා, යේසුස්වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කථා නොකරන ලෙසද නූගන්වන ලෙසද ඔවුන්ට ආඥාකළෝය.
19 නුමුත් පේතෘස්ද යොහන්ද ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේට ඇහුම්කන්දීමට වඩා නුඹලාට ඇහුම්කන්දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි හරිද කියා නුඹලාම විනිශ්චයකරන්න.
20 මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කථානොකර සිටින්ට අපට නුපුළුවනැයි කීවෝය.
21 සිද්ධවුණු දේ ගැන සියල්ලන් දෙවියන්වහන්සේට ප්‍රශංසාකළ බැවින්, සෙනඟ නිසා ඔවුන්ට දඬුවම්කරන්ට අන්දමක් නොදැක, ඔව්හු ඔවුන්ට තව දුරටත් තර්ජනයකොට යන්ට හැරියෝය.
22 මක්නිසාද මේ ආශ්චර්යයෙන් සුවකරනු ලැබූ මනුෂ්‍යයා සතළිස් අවුරුද්දකට වඩා වයස්ව සිටියේය.
23 ඔව්හු නිදහස්කරනු ලැබ, තමුන්ගේම සමාගමට ඇවිත්, නායක පූජකයන් හා වැඩිමහල්ලන් විසින් තමුන්ට කියන ලද සියල්ල දැන්වූවෝය.
24 ඔව්හු ඒ අසා එක්සිත්ව දෙවියන්වහන්සේට හඬනඟා: අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ස්වාමිනි,
25 ඔබගේ මෙහෙකරුවූ අපගේ පියවූ දාවිත්ගේ මුඛයෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ඔබ කථාකොට: අන්‍යජාතීහු කුමට කෝලාහල කළෝද? ජනයෝ කුමට නිෂ්ඵල දේ සිතත්ද?
26 ස්වාමීන්වහන්සේටද උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේටද විරුද්ධව පොළොවේ රජවරු සැරසී සිටියෝය, ආණ්ඩුකාරයෝ එක්ව රැස්වූවෝයයි කීසේක.
27 කුමක්හෙයින්ද ඔබගේ අතින්ද ඔබගේ මන්ත්‍රණයෙන්ද සිද්ධවන්ට නියමකළ කොයි දෙයක් නුමුත් ඉෂ්ටකරන පිණිස,
28 ඔබ ආලේපකළ ඔබගේ ශුද්ධ සේවකවූ යේසුස්වහන්සේට විරුද්ධව සැබවින් හෙරොද්ද පොන්තියුස් පිලාත්ද අන්‍ය ජාතීන් හා ඉශ්‍රායෙල් සෙනඟ සමඟ මේ නුවර රැස්වූවෝය.
29 දැනුදු ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන බලා සුවකිරීමට ඔබගේ අත දිගුකරන කල,
30 ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය.
31 ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.
32 අදහාගත් සමූහයා එක සිතකින් හා එක ආත්මයකින් යුක්තවූහ. කිසිවෙක් තමාට අයිති දේවලින් කිසිවක් තමාගේමයයි නොකීවේය; සියල්ල ඔවුන්ට පොදුවේ තිබුණේය.
33 ස්වාමිවූ යේසුස්වහන්සේගේ නැවත-නැගිටීම ගැන ප්‍රේරිතයෝ මහත් බලයෙන් සාක්ෂිදුන්නෝය. මහත් අනුග්‍රහය ඔවුන් සියල්ලන් කෙරෙහි තිබුණේය.
34 හිඟ ඇති කිසිවෙක් ඔවුන් අතරෙහි නොවීය. මක්නිසාද බිම් හෝ ගෙවල් හෝ ඇති සියල්ලෝ ඒවා විකුණා, විකුණනලද දේවල මිල ගෙනත්,
35 ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවෝය. එකල එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදාදෙන ලද්දේය.
36 කුප්‍රස් දේශිකයෙක් වන ලෙවියයෙක්වූ (අනුශාසනාවේ පුත්‍ර යන අර්ථ ඇති) බාර්ණබස් යන නාමය ප්‍රේරිතයන්ගෙන් ලැබුවාවූ යෝසෙප් වනාහි,
37 තමාට තිබුණු බිමක් විකුණා, මිල ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය.



පරිච්ඡේදය 5

1 නුමුත් අනනියස් නම් එක්තරා මනුෂ්‍යයෙක් සප්පිරා නම් තමාගේ භාර්යාව සමඟ, ඉඩමක් විකුණා,
2 තමාගේ භාර්යාවත් දැනුවත්ව මිලෙන් කොටසත් තබාගෙන, එක්තරා කොටසක් ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය.
3 නුමුත් පේතෘස් කථාකොට: අනනියස්නි, ශුද්ධාත්මයාණන්වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබාගන්ට සාතන් නුඹේ සිත පිරෙවුවේ මක්නිසාද?
4 ඒක තිබියදී නුඹටම අයිතිව තිබුණා නොවේද? වික්කායින් පසුත් මිල නුඹේ කැමැත්ත යටතේ තිබුණා නොවේද? නුඹේ සිතින් මෙබඳු දෙයක් යෝජනාකරගන්ට යෙදුණේ කොහොමද? නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේටයයි කීවේය.
5 අනනියස් ඒ වචන අසා වැටී මළේය. ඒ ඇසූ සියල්ලන්ට මහත් භයක් පැමුණුණේය.
6 තරුණයෝ නැගිට ඔහු ඔතා, පිටතට ගෙනගොස් වැළලුවෝය.
7 ඊට තුන් පැයකට පමණ පසු ඔහුගේ භාර්යාව සිද්ධවූ දේ නොදැන එහි පැමුණුණාය.
8 එවිට පේතෘස් ඈට උත්තරදෙමින්: නුඹලා බිම වික්කේ මෙපමණටදැයි මට කියන්නැයි කීවේය. එසේය, එපමණටයයි ඈ කීවාය.
9 එවිට පේතෘස් ඈට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් පරීක්ෂාකරන්ට නුඹලා එකඟවෙන්ට යෙදුණේ කොහොමද? අන්න, නුඹේ පුරුෂයා වැළලූ අයගේ පාද දොර ළඟය, ඔව්හු නුඹද පිටතට ගෙනයන්නෝයයි ඈට කීවේය.
10 එකෙණෙහිම ඈ ඔහුගේ පාමුල වැටී මළාය. තරුණයෝ ඇතුල්වී ඈ මැරී සිටිනවා දැක, ඈ පිටතට ගෙනගොස් ඇගේ පුරුෂයා ළඟ වැළලුවෝය.
11 මුළු සභාවටද මේ දේ ඇසූ සියල්ලන්ටද මහත් භයක් පැමිණියේය.
12 තවද ප්‍රේරිතයන්ගේ අත්වලින් බොහෝ හාස්කම්ද පුදුම සෙනඟ අතරේ කරනලද්දේය; ඔවුන් සියල්ලෝම එක්සිත්ව සාලමොන්ගේ ද්වාරමණ්ඩපයෙහි සිටියෝය.
13 අනික් අයගෙන් කිසිවෙකුට ඔවුන් සමඟ එකතුවෙන්ට ධෛර්ය නොතිබුණේය. එසේවී නුමුත් සෙනඟ ඔවුන් වර්ණනාකළෝය;
14 අදහාගන්නන් වන පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද මහත් සමූහයක් වැඩි වැඩිව ස්වාමීන්වහන්සේට එක්කරනලද්දෝය.
15 එහෙයින් පේතෘස් එන විට ඔහුගේ සෙවණැල්ල පමණවත් යම් රෝගියෙකු පිට වැටෙන පිණිස ඔව්හු ඔවුන් පිටත වීථිවලට ගෙනැවිත් ඇඳන්වලද යහන්වලද තැබුවෝය.
16 යෙරුසලම අවට නුවරවලින් සමූහයෝ රෝගීන්ද අශුද්ධාත්මවලින් පීඩිතවූවන්ද ගෙන රැස්වූවෝය. ඔවුන් සියල්ලෝද සුවකරනු ලැබුවෝය.
17 නුමුත් උත්තම පූජකයාද සද්දුසිවරුන්ගේ ලබ්ධියෙහිවූ ඔහු සමඟ සිටි සියල්ලෝද නැගිට, ඊර්ෂ්‍යාවෙන් පිරී,
18 ප්‍රේරිතයන් අල්ලා ප්‍රසිද්ධ හිරගෙයි දැමුවෝය.
19 නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් රාත්‍රියේ හිරගෙයි දොරවල් ඇර ඔවුන් පිටතට ගෙනැවිත්:
20 නුඹලා ගොස් දේවමාළිගාවේ සිට මේ ජීවනය සම්බන්ධ සියලු වචන සෙනඟට කථාකරන්නැයි කීවේය.
21 ඔව්හු ඒ අසා, අලුයම් වේලෙහි දේවමාළිගාවට ඇතුල්වී ඉගැන්නුවෝය. නුමුත් උත්තම පූජකයාද ඔහු සමඟ සිටියෝද ඇවිත් මන්ත්‍රණ සභාව හා ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලන් රැස්කරවා, ඔවුන් ගෙනෙන පිණිස හිරගෙට මනුෂ්‍යයන් යැවුවෝය.
22 නුමුත් ගියාවූ සේවකයෝ හිරගෙයි ඔවුන් නොදැක ආපසු ඇවිත්:
23 හිරගේ ඉතා ප්‍රවේසමෙන් වසා තිබුණු බවත් රැකවලුන් දොරකඩ ඉදිරියෙහි සිටි බවත් දුටිමුව. නුමුත් දොර ඇරිය කල ඇතුළෙහි කිසි මනුෂ්‍යයෙක් සම්බ නූණේයයි දැන්නුවෝය.
24 දේවමාළිගාවේ අධිපතියාද නායක පූජකයෝද මේ වචන අසා, මෙයින් කුමක් වන්නේදෝ කියා බොහෝ වියවුල් වූහ.
25 නුමුත් එක්කෙනෙක් ඇවිත්: අන්න, නුඹලා හිරගෙයි දැමූ මනුෂ්‍යයෝ දේවමාළිගාවෙහි සෙනඟට උගන්වමින් සිටිතියි ඔවුන්ට කීවේය.
26 එවිට අධිපතියා සේවකයන් සමඟ ගොස්, බලාත්කාර නොකොට ඔවුන් ගෙනාවෝය; මක්නිසාද සෙනඟ ගල් ගසතියි කියා ඔව්හු භයවූවෝය.
27 ඔව්හු ඔවුන් ගෙනැවිත් සභාව ඉදිරියෙහි සිටෙවුවෝය. උත්තම පූජකයා කථාකොට:
28 මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥාකෙළෙමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා, ඒ මනුෂ්‍යයාගේ ලේ අප පිට පමුණුවන්ට සාදන්නහුයයි ඔවුන්ට කීවේය.
29 පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.
30 නුඹලා විසින් ගසක එල්ලා මැරුවාවූ යේසුස්වහන්සේව අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නැගිටෙවුසේක.
31 ඉශ්‍රායෙල්ට පශ්චාත්තාපයත් පව් කමාවත් දෙන අධිපතියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස දෙවියන්වහන්සේ තමන්ගේ දකුණතින් උන්වහන්සේව උසස්කළසේක.
32 අපි මේ කාරණාවලට සාක්ෂිකාරයෝය; එසේම දෙවියන්වහන්සේ විසින් තමන්ට කීකරුවෙන්නන්ට දුන් ශුද්ධාත්මයාණන්වහන්සෙත් සාක්ෂිකාරයෙකැයි කීවෝය.
33 ඔව්හු ඒ අසා, අතිශයෙන් කෝපවී, ඔවුන් මරන්ට අදහස්කළෝය.
34 නුමුත් ව්‍යවස්ථාචාර්යයෙක්වූ සියලු මනුෂ්‍යයන් විසින් ගරුකරනලද්දාවූ ගමාලියෙල් නම් එක් ඵරිසියෙක් සභාවෙහි නැගිට සිට, ඒ මනුෂ්‍යයන් ස්වල්ප වේලාවකට පිටතට ගෙනයන්ට අණකොට, කියනුයේ:
35 ඉශ්‍රයෙල් මානුෂ්‍යයෙනි, නුඹලා මේ මනුෂ්‍යයන්ට කරන්ට යන කාරණය ගැන ප්‍රවේසම්වෙන්න.
36 මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් තුදාස් තෙමේ තමාත් වැදගත් කෙනෙක්ය කියා නැගිට්ටේය; ගණනින් හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඔහුට එකතු වුණෝය. ඔහු මරනලද්දේය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරුවූවෝද ඒ සියල්ලෝම විසුරුවනු ලැබ නැතිවී ගියෝය.
37 ඔහුට පසුව ලේඛනය කරන දවස්වලදී ගලීලයේ යූදස් නැගිට සෙනඟගෙන් සමහරෙක් තමා වෙතට ඇදගත්තේය. ඔහුත් විනාශ විය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරු වූවෝද ඔව්හුත් විසුරුවනු ලැබුවෝය.
38 ඉඳින් මා නුඹලාට කියන්නේ නම්, මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් නොකරන ලෙසය. මක්නිසාද මේ මන්ත්‍රණය හෝ මේ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, ඒක පෙරළාදමනු ලබන්නේය.
39 නුමුත් ඒක දෙවියන්වහන්සේගෙන් වී නම්, ඔවුන් පරාජය කරන්ට නුඹලාට බැරිය; එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා දෙවියන්වහන්සේට විරුද්ධව පවා යුද්ධකරන්නහුවන්ට පුළුවනැයි කීවේය.
40 ඔව්හු ඔහුගේ වචනයට එකඟවී, ප්‍රේරිතයන් තමුන් වෙතට ගෙන්වා, ඔවුන්ට තළා, යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන්ට අණකොට යන්ට හැරියෝය.
41 එහෙයින් ඔව්හු ඒ නාමය නිසා නින්දා විඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින් සන්තෝෂව, සභාව ඉදිරියෙන් පිටත්ව ගොස්,
42 දවස්පතාම දේව මාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.



පරිච්ඡේදය 6

1 ඒ දවස්වලදී ගෝලයන්ගේ ගණන වැඩිවෙන කල, දවස්පතා කෙරුණු උපස්ථානයේදී හෙල්ලීන යුදෙව්වරුන්ගේ වැන්දඹුවන් නොසලකනු ලැබූ නිසා හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධව කෙඳිරීමක් විය.
2 එවිට දොළොස්දෙනා ගෝල සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: අප විසින් දෙවියන්වහන්සේගේ වචනය හැරදමා මේසවල සේවයකිරීම සුදුසු නැත.
3 එහෙයින්, සහෝදරයෙනි, මේ වැඩට අප විසින් පත්කරන පිණිස යහපත්යයි ප්‍රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයාගන්න.
4 අපි වනාහි යාච්ඤාවෙහිද වචනයේ මෙහෙකිරීමෙහිද ස්ථිරලෙස යෙදී සිටින්නෙමුයයි කීවෝය.
5 ඒ කීම මුළු සමූහයාට ප්‍රියවිය. එවිට ඔව්හු ඇදහිල්ලෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක් වන ස්තේපන්ද පිලිප්ද ප්‍රොකොරස්ද නිකනොර්ද තීමොන්ද පර්මෙනස්ද යුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලස්ද තෝරාගෙන,
6 ඔවුන් ප්‍රේරිතයන් ඉදිරියෙහි සිටෙවුවෝය. ඔව්හු යාච්ඤාකොට ඔවුන් පිට අත් තැබුවෝය.
7 තවද දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය.
8 ස්තේපන් අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව, පුදුමද හාස්කම්ද සෙනඟ අතරේ සිදුකෙළේය.
9 එහෙත් ලිබර්තීනයන්ගේ සිනගෝගය කියන සිනගෝගයට අයිතිවූවන්ගෙන්ද කිරේනියයන්ගෙන්ද අලෙක්ෂන්ද්‍රියයන්ගෙන්ද කිලිකිය සහ ආසියාවේ වැසියන්ගෙන්ද සමහරෙක් නැගිට ස්තේපන් සමඟ විවාදකළෝය.
10 ඔහු ප්‍රඥාවෙන්ද ආත්මයාණන් කරණකොටගෙනද කළ කථාවේ බලයට විරුද්ධව සිටින්ට ඔවුන්ට නොහැකිවිය.
11 එවිට ඔහු මෝසෙස්ටත් දෙවියන්වහන්සේටත් විරුද්ධව අපහාස වචන කියනවා ඇසුවෙමුයයි කියන්ට ඔව්හු මනුෂ්‍යයන් පෙළෙඹවුවෝය.
12 තවද ඔව්හු සෙනඟද වැඩිමහල්ලන්ද ලියන්නන්ද කලඹා, ඔහුට විරුද්ධව ඇවිත් ඔහු අල්ලා මන්ත්‍රණ සභාවට ගෙනැවිත්:
13 මේ මනුෂ්‍යයා මේ ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධව කථාකිරීම නොනවත්වයි.
14 කුමක්හෙයින්ද මේ නාසරිය යේසුස් මේ ස්ථානය කඩාදමා, මෝසෙස් විසින් අපට භාරදුන් නියෝග වෙනස්කරනවා ඇතැයි ඔහු කියනවා ඇසීමුයයි කියන්නාවූ බොරු සාක්ෂිකාරයන් පැමිණෙවුවෝය.
15 මන්ත්‍රණ සභාවේ ඉඳගන උන් සියල්ලෝම ඔහු දෙස ඇස් හෙළා සිටියදී, ඔහුගේ මුහුණ දේවදූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට පෙනුණේය.



පරිච්ඡේදය 7

1 එවිට උත්තම පූජකයා: මේ දේවල් මෙසේදැයි ඇසුයේය.
2 ස්තේපන් කථාකොට කියනුයේ:
3 නුඹේ දේශයෙන්ද නෑයන් කෙරෙන්ද තුරන්ව, මා නුඹට පෙන්වන දේශයට එවයි කීසේක.
4 එකල ඔහු කල්දියයන්ගේ දේශයෙන් පිටත්ව හාරන්හි විසුවේය. ඔහුගේ පියා මළ කල්හි, දෙවියන්වහන්සේ ඔහු එතැනින් නුඹලා දැන් වසන්නාවූ මේ දේශයට ගෙනාසේක.
5 එහි එක පියවරක් තබන්ට පමණවත් ඔහුට උරුමයක් නොදී ඔහු දරුවෙකු නොලැබ සිටියදී, මේ දේශය ඔහුටද ඔහුගෙන් පසු ඔහුගේ වංශයටද උරුම කොට දෙන්ට පොරොන්දුවූසේක.
6 තවද දෙවියන්වහන්සේ මෙසේ කීසේක, කෙසේද: ඔහුගේ වංශය අන්‍ය දේශයක විදේශීව සිටිනවා ඇත, ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන, අවුරුදු හාරසියයක් මුළුල්ලෙහි ඔවුන්ට පීඩාකරනවා ඇත.
7 දෙවියන්වහන්සේ කථාකොට-ඔව්හු යම් ජාතියකට වහල්වන්නෝද ඒ ජාතිය විනිශ්චයකරන්නෙමි. ඉන්පසු ඔව්හු පිටත්ව ඇවිත් මේ ස්ථානයෙහි මට මෙහෙකරන්නෝයයි කීසේක.
8 උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආහ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජ්‍යෙෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය.
9 කුලජ්‍යෙෂ්ඨයෝ යෝසෙප්ට ඊර්ෂ්‍යාකොට ඔහු මිසරයට වික්කෝය.
10 නුමුත් දෙවියන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියෙහි කරුණාවත් ප්‍රඥාවත් ඔහුට දුන්සේක; ඒ රජ මිසරයටද තමාගේ මුළු ගෙටද ඔහු ආණ්ඩුකාරයා කොට පත්කෙළේය.
11 එකල මුළු මිසර දේශයෙහිද කානාන්හිද සාගතයක් හා මහත් විපත්තියක් විය. අපේ පියවරුන්ට කිසි ආහාරයක් නොලැබුණේය.
12 නුමුත් මිසරයෙහි ධාන්‍ය ඇති බව යාකොබ් අසා, පළමුවාරයේ අපේ පියවරුන් යැවුවේය.
13 දෙවෙනි වාරයේදී යෝසෙප් තමාගේ සහෝදරයන්ට අඳුන්වාදෙනලද්දේය; යෝසෙප්ගේ ගෝත්‍රය ඵාරාවෝ දැනගත්තේය.
14 එකල යෝසෙප් හැත්තෑ පස්දෙනෙක් වන ස්වකීය පියවූ යාකොබ්ද තමාගේ සියලු නෑයන්ද තමා වෙතට කැඳවා හැරියේය.
15 යාකොබ් මිසරයට ගියේය; ඔහුද අපගේ පියවරුන්ද මළෝය;
16 ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය.
17 නුමුත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුවේ කාලය ළංවී,
18 යෝසෙප් නොහඳුනන අන් රජෙක් මිසරය කෙරෙහි පැමිණෙන තුරු සෙනඟ මිසරයෙහි වැඩී බොහෝ වූවෝය.
19 හෙතෙම අපේ ජාතියට විරුද්ධව උපා යොදා තමුන්ගේ ළදරුවන් ජීවත් නොවන පිණිස ඔවුන් අහක දමන ලෙස අපගේ පියවරුන්ට පීඩා කෙළේය.
20 ඒ කාලයේදී මෝසෙස් උපන්නේය, ඔහු අතිශයින් ශෝභනව සිටියේය; ඔහු ස්වකීය පියාගේ ගෙයි තුන් මසක් පෝෂණයකරනු ලැබුවේය.
21 ඔහු පිටතට දමනු ලැබූ කල, ඵාරාවෝගේ දුව ඔහු රැගෙන, තමාගේම පුත්‍රයා කොට ඇතිකරගත්තාය.
22 මෝසෙස් තෙම මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු ලැබ, තමාගේ වචනවලින් ද ක්‍රියාවලින්ද බලවත්ව සිටියේය.
23 ඔහු සතළිස් අවුරුදු වයසට ළංවූ කල ඉශ්‍රායෙල් පුත්‍රයන් වන තමාගේ සහෝදරයන් බලන්ට යන ලෙස ඔහුගේ සිතෙහි අදහසක් හටගත්තේය.
24 එකල ඔහු කෙනෙකුට අයුක්තියක් සිදුවෙනවා දැක, ඔහුට උදවුවී, මිසරයාට පහරදෙමින්, පීඩා වින්ද අයට යුක්තිය කෙළේය.
25 මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු කරණකොටගෙන ඔවුන්ට ගැළවීම දෙන බව තමාගේ සහෝදරයන් දන්නවායයි ඔහු සිතුවේය; නුමුත් ඔව්හු තේරුම් නොගත්තෝය.
26 පසුවදා ඔවුන් ඩබරකරන විට ඔහු ඔවුන්ට පෙනී: මනුෂ්‍යයෙනි, නුඹලා සහෝදරයෝය; කුමක් නිසා එකිනෙකාට අයුතුකම් කරවුදැයි කියමින් සමාදානකරන්ට ගියේය.
27 නුමුත් තමාගේ අසල්වාසියාට අයුක්තිය කළ අය ඔහු නෙරපා: අප කෙරෙහි නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක්ද කොට පත්කළේ කවුද?
28 නුඹ ඊයේ මිසරයා මැරූ ලෙස මාත් මරන්ට හදනවාදැයි කීවේය.
29 ඒ කීම නිසා මෝසෙස් පලාගොස්, මිදියන් දේශයෙහි විදේශිව විසුවේය, එහිදී ඔහුට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය.
30 සතළිස් අවුරුද්දක් සම්පූර්ණවූ කල, දේවදූතයෙක් සීනයි කන්දේ වනයෙහි පඳුරක ගිනි ජාලාවෙක්හි ඔහුට පෙනුණේය.
31 මෝසෙස් ඒ දැක, දර්ශනයට පුදුමව, බලන පිණිස ළඟට ගිය කල:
32 මම නුඹේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවියන්වහන්සේය කියා ස්වාමීන්වහන්සේගේ හඬක් විය. මෝසෙස් වෙවුලමින්, බලන්ට භයවූයේය.
33 ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: නුඹේ පාදවලින් වහන් මුදව; මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියක්ය.
34 මිසරයෙහි වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින් දුටිමි, ඔවුන්ගේ සුසුම්ලෑම අසා, ඔවුන් ගළවන පිණිස බැස්සෙමි. ඉතින් එන්න, නුඹ මිසරයට යවන්නෙමියි කීසේක.
35 නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක් කොට පත්කරනලද්දේ කවරෙකු විසින්ද කියා ඔවුන් එපාකළාවූ මෙම මෝසෙස් ප්‍රධානියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස, දෙවියන්වහන්සේ පඳුරේදී ඔහුට පෙනුණු දූතයාගේ හස්තය ඇතුව යැවූසේක.
36 මිසරයෙහිදීත් රතු මුහුදේදීත් සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි කාන්තාරයේදීත් පුදුමද හාස්කම්ද කොට මේ මනුෂ්‍යයා ඔවුන් පිටතට ගෙනගියේය.
37 දෙවියන්වහන්සේ මා හා සමාන අනාගතවක්තෘකෙනෙකු නුඹලාගේ සහෝදරයන් අතරෙන් නුඹලාට නැගුටුවාදෙනසේකැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවාවූ මෝසෙස් මේය.
38 සීනයි කන්දේදී තමාට කථාකළ දේවදූතයා සමඟද අපගේ පියවරුන් සමඟද කාන්තාරයේ සභාවෙහි සිටියෙත්, අපට දෙන පිණිස ජීවන වාක්‍යයන් ලැබුවෙත් මොහුය.
39 අපේ පියවරු ඔහුට කීකරුවෙන්ට නොකැමැතිව, ඔහු නෙරපා, තමුන්ගේ සිත්වලින් මිසරය දෙසට හැරී,
40 ආරොන්ට කථාකරමින්: අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනවි. කුමක්හෙයින්ද මිසර දේශයෙන් අප ගෙනාවාවූ ඒ මෝසෙස්ට කුමක් වුණාද කියා නොදනිමුයයි කීවෝය.
41 ඔව්හු ඒ දවස්වලදී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ගෙනැවිත්, තමුන්ගේ හස්තකර්ම ගැන ප්‍රීතිවුණෝය.
42 එවිට දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන් අත්හැර දැමූසේක; අනාගත වක්තෘවරුන්ගේ පොතේ ඒ ගැන මෙසේ ලියා තිබේ, කෙසේද: එම්බා ඉශ්‍රායෙල් වංශය, මැරුවාවූ මෘගයන් හා යාග නුඹලා වනයෙහිදී සතළිස් අවුරුද්දක් මට පූජාකළහුද?
43 නමස්කාරකරන පිණිස නුඹලා විසින් සාදනලද රූප එනම් මොලොක්ගේ කූඩාරමද රෙපාන් දෙවියාගේ තාරකාවද ඔසවාගෙනගියහුය. එබැවින් නුඹලා බබිලෝනියෙන් එපිටට ගෙනයන්නෙමි යනුයි.
44 තමා දුටුවාවූ ආදර්ශය මෙන් සාක්ෂියේ කූඩාරම සාදන්ට මෝසෙස්ට කී තැනන්වහන්සේ නියමකළ ලෙස අපගේ පියවරුන්ට ඒක වනයෙහි තිබුණේය.
45 අපේ පියවරු ඒක භාරගෙන, දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ දේශය අයිතිකරගන්න විට යෝෂුවා සමඟ ඇතුළට ගෙනැත්, දාවිත්ගේ දවස් දක්වා තබාගත්තෝය.
46 ඔහු දෙවියන්වහන්සේගේ ඇස් හමුයෙහි කරුණාව ලැබ, යාකොබ්ගේ දෙවියන්වහන්සේට වාසස්ථානයක් සාදන්ට ඉල්ලුවේය.
47 නුමුත් උන්වහන්සේට ගෘහයක් ගොඩනැගුවේ සාලමොන්ය.
48 එසේ ද වුවත් අතින් සෑදුවාවූ ගෘහවල මහෝත්තමයාණන්වහන්සේ වාසය නොකරනසේක; අනාගතවක්තෘවූ කියන හැටියට:-
49 ස්වර්ගය මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. කෙබඳු ගෘහයක් නුඹලා මට ගොඩනගවුද? නොහොත් මාගේ විශ්‍රාමස්ථානය කිමෙක්ද?
50 මේ සියල්ල මාගේ අතින් නොසාදන ලද්දේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
51 තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය.
52 නුඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රොපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔව්හු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්වූවන් මැරුවෝය; නුඹලා දැන් උන්වහන්සේව පාවාදෙන්නන්ද මරන්නන්ද වී සිටිති;
53 නුඹලා දේවදූතයන් කරණකොටගෙන නියමකරන ලද ආකාරයෙන් ව්‍යවස්ථාව ලැබත්, එය රක්ෂා නොකළහුය යනුයි.
54 ඔව්හු ඒ දේ ඇසූ විට, අනිනලද සිත් ඇතුව, ඔහුට විරුද්ධව දත්මිටිකෑවෝය.
55 නුමුත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව, ස්වර්ගය දෙස බලා, දෙවියන්වහන්සේගේ මහිමයත් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ යේසුස්වහන්සේ නැගිට සිටිනවාත් දැක:
56 බලව, ස්වර්ගය විවරවී තිබෙනවාත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවාත් මට පෙනේයයි කීවේය.
57 නුමුත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරගසා, තමුන්ගේ කන් වසාගෙන, එක්සිත්ව ඔහු කරා වේගයෙන් දිව ගොස්,
58 ඔහු නුවරින් පිටතලා ඔහුට ගල්ගැසුවෝය. සාක්ෂිකාරයෝ වනාහි තමුන්ගේ වස්ත්‍ර සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබුවෝය.
59 ස්වාමිවූ යේසුස්වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනව කියා ස්තේපන් යාච්ඤාකරද්දී ඔව්හු ඔහුට ගල්ගැසුවෝය.
60 ඔහු දණින් වැටී: ස්වාමීන්වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවයි මහත් හඬින් මොරගසා කීවේය. ඔහු මෙසේ කියා සැතපුණේය.



පරිච්ඡේදය 8

1 ඔහු මරාදැමීම ගැන සාවුල්ද එකඟව සිටියේය.
2 භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදානකොට, ඔහු ගැන බොහෝසෙයින් වැලපුණාහ.
3 නුමුත් සාවුල් සියලු ගෙවලට වැද, පුරුෂයන්ද ස්ත්‍රීන්ද ඇදගෙන ගොස් හිර ගෙට භාරදෙමින්, සභාව නාස්තිකෙළේය.
4 එබැවින් විසුරුවනු ලැබූ ඔව්හු ගිය ගිය ස්ථානවල වචනය ප්‍රකාශකළෝය.
5 පිලිප් සමාරිය නුවරට ගොස් එහි සිටියවුන්ට ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශකෙළේය.
6 සමූහයෝ ඇහුම්කන්දී, පිලිප් කළ ආශ්චර්යයන් දුටු කල, ඔහු කී කරුණු එක්සිත්ව සැලකුවෝය.
7 කුමක්හෙයින්ද අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහත් හඬින් මොරගසමින් අහක්වගියෝය. බොහෝ අංශභාග රෝගීහුද කොරුද සුවකරනු ලැබුවෝය.
8 ඒ නුවර මහත් ප්‍රීතියක් වූයේය.
9 නුමුත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අභ්‍යාසකළාවූ, තමා උත්තමයෙකැයි ප්‍රකාශකරමින් සමාරිය වැසියන් විස්මිත කළාවූ සීමොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය.
10 මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලයයයි කියමින්, කුඩා අය පටන් ලොකු අය දක්වා හැමදෙනා ඔහුට ඇහුම්කන්දුන්නෝය.
11 ඔවුන් විසින් ඔහු එසේ සලකනලද්දේ ඔහුගේ මායාවලින් බොහෝ කලක පටන් ඔවුන් විස්මිතකළ නිසාය.
12 නුමුත් ඔව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යයද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද ගැන ශුභාරංචිය දේශනාකළාවූ පිලිප් විශ්වාසකොට, පුරුෂයෝද ස්ත්‍රීහුද බව්තීස්මකරනු ලැබුවෝය.
13 එකල සීමොන්ද විශ්වාසකොට, බව්තීස්ම කරනු ලැබ, පිලිප් සමඟ නිතර සිට, ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යයන්ද දැක විස්මිතවූයේය.
14 සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යෙරුසලමේ සිටියාවූ ප්‍රේරිතයෝ අසා, පේතෘස් සහ යොහන් ඔවුන් ළඟට යැවුවෝය.
15 ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤාකළෝය.
16 මක්නිසාද ඔවුන් ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවා මිස, ශුද්ධාත්මය ඒ වන තුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණී තිබුණේ නැත.
17 ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය.
18 සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක, ඔවුන් වෙතට මුදල් ගෙනැවිත්:
19 යමෙකු පිට මම අත් තබම්ද, ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැයි කීවේය.
20 නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමඟ විනාශවේවා.
21 මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ සිත හරි නැත.
22 ඒ නිසා නුඹේ සිතේ කල්පනාව නුඹට කමාකරනු ලැබේදෝ කියා බලන පිණිස, නුඹේ මේ දුෂ්ටකම ගැන පශ්චාත්තාපව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න.
23 මක්නිසාද නුඹ තික්තකමේ පිතේද අයුතුකම නැමති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය.
24 සීමොන් උත්තරදෙමින්: නුඹලා කීවාවූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස, මා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි කීවේය.
25 එබැවින් ඔව්හු සාක්ෂිදී දෙවියන්වහන්සේගේ වචනය කියාදුන්නායින් පසු, යෙරුසලමට හැරී යද්දී සමාරියයන්ගේ බොහෝ ගම්වල ශුභාරංචිය ප්‍රකාශ කළෝය.
26 එහෙත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් පිලිප්ට කථාකොට: නැගිට දකුණු දෙස යෙරුසලමේ සිට ගාසාට බහින පාරට යන්නැයි කීවේය. එය කාන්තාර පාරක්ය.
27 ඔහු නැගිට ගියේය. එකල එතියෝපිය රට වැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තාවූද, ඇගේ මුළු වස්තුවේ භාණ්ඩාගාරිකවූද, නපුංසකවූ එතියෝපියයෙක් නමස්කාරකරන පිණිස යෙරුසලමට ගොස් ආපසු යන්නේ,
28 තමාගේ රථයේ හිඳ, අනාගතවක්තෘවූ යෙසායාගේ පොත කියවමින් උන්නේය.
29 එවිට ආත්මයාණන්වහන්සේ පිලිප්ට කථාකොට: නුඹ මේ රථය ළඟට ගොස් එක්වෙයන්නැයි කීසේක.
30 පිලිප් ඔහු ළඟට දිව ගොස්, අනාගතවක්තෘවූ යෙසායාගේ පොත ඔහු කියවනවා අසා: නුඹ කියවන දේ නුඹට තේරෙනවාදැයි ඇසුවේය.
31 යමෙක් මගපෙන්නුවොත් මිස නැත්නම් මට තේරුම්ගන්ට පුළුවන් කොහොමදැයි කියා, රථයට නැගී තමා සමඟ ඉඳගන්ට ඔහු පිලිප්ගෙන් උදක්ම ඉල්ලුවේය.
32 ඔහු කියවමින් සිටි ශුද්ධලියවිලි කොට්ඨාසය නම්: උන්වහන්සේ බැටළුවෙකු මෙන් මරණයට ගෙනයනු ලැබ, බැටළු පැටවෙක් උගේ ලෝම කපන්නා ඉදිරිපිට ගොළුව සිටින්නාක්මෙන් තමන් මුඛය නාරිනසේක.
33 උන්වහන්සේගේ පහත්වීමේදී උන්වහන්සේ විනිශ්චය බැහැර කරනලද්දේය. උන්වහන්සේගේ පරම්පරාව ප්‍රකාශකරන්නේ කවුද? මක්නිසාද උන්වහන්සේගේ ජීවිතය භූමියෙන් පහකරනලද්දේය යනුයි.
34 නපුංසකයා පිලිප්ගෙන් විචාරමින්: අනාගතවක්තෘ මේක කියන්නේ කා ගැනද? තමාම ගැනද නොහොත් වෙන කෙනෙකු ගැනදැයි කියන ලෙස නුඹෙන් ඉල්ලමියි කීවේය.
35 එවිට පිලිප් මුඛය හැර, ඒ ලියවිල්ලෙන් පටන්ගෙන, යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේය.
36 ඔව්හු මාර්ගයේ යද්දී, වතුර තිබෙන තැනකට පැමුණුණහ; නපුංසකයා කථාකොට: මෙන්න, වතුර තිබේ; බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේදැයි කියා,
37 (සමහර පිටපත්වල
37 වෙනි පදය මෙසේ ඇත - පිලිප් කථා කොට - නුඹ නුඹේ මුළු සිතින් අදහන්නෙහි නම් එසේ පුළුවනැයි කීය ඔහු උත්තර දෙමින්: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව මම අදහමියි කීයේය.)
38 රථය නවත්වන්ට අණකෙළේය. එවිට පිලිප්ද නපුංසකයාද දෙදෙනම වතුරට බැස්සෝය; පිලිප් ඔහුව බව්තීස්මකෙළේය.
39 ඔවුන් වතුරෙන් ගොඩනැගුණු කල ස්වාමීන්වහන්සේගේ ආත්මයාණෝ පිලිප් රැගෙන ගියසේක; නපුංසකයා තවත් ඔහුව නුදුටුයේය, මක්නිසාද ඔහු ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය.
40 නුමුත් පිලිප් අසෝතසේදී දක්නාලද්දේය. ඔහු කායිසාරියට එන තෙක් සියලු නුවරවල් මැදින් යමින් ශුභාරංචිය ප්‍රකාශකෙළේය.



පරිච්ඡේදය 9

1 නුමුත් සාවුල් තව දුරටත් ස්වාමීන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද, උත්තම පූජකයා වෙතට ගොස්,
2 ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය.
3 තවද ඔහු ගමන්කොට දමස්කයට ළංවූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළුණේය.
4 ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය.
5 උන්වහන්සේද: මම වනාහි නුඹ පීඩාකරන යේසුස්ය.
6 නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, නුඹ විසින් කටයුතු දේ නුඹට කියනු ලබන්නේයයි කීසේක.
7 ඔහු සමඟ ගමන්කළ මනුෂ්‍යයන්ට ඒ හඬ ඇසුණ නුමුත්, ඔව්හු කිසිවෙකු නොදැක, කථාකරන්ට නොහැකිව සිටියෝය.
8 සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය.
9 ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේය.
10 දමස්කයෙහි අනනියස් නම් එක්තරා ගෝලයෙක් සිටියේය; ස්වාමීන්වහන්සේ දර්ශනයකින්: අනනියස්නි කියා ඔහුට කීසේක. ස්වාමිනි, මම මෙහියයි ඔහු කීවේය.
11 ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට සෘජු නම්වූ වීථියට ගොස්, තාර්සස්හි මනුෂ්‍යයෙක්වූ සාවුල් නම් කෙනෙකු ගැන යූදස්ගේ ගෙයි විභාගකරන්න.
12 මක්නිසාද ඔහු යාච්ඤාකරමින් සිටිනුයේ, තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මනුෂ්‍යයෙක් පැමිණ තමා පිට අත් තබනවා දුටුවේයයි කීසේක.
13 එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි.
14 මෙහිදීත්, ඔබගේ නාමයට යාච්ඤාකරන සියල්ලන් බඳින්ට නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටීයයි කීවේය.
15 නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.
16 ඔහු මාගේ නාමය නිසා කොපමණ දේ විඳින්ට ඕනෑද කියා ඔහුට දක්වන්නෙමියි කීසේක.
17 අනනියස් පිටත්ව ගොස්, ගෙට ඇතුල්වී, ඔහු පිට අත් තබා: සහෝදරවූ සාවුල්, නුඹ පෙනීම ලබන පිණිසද ශුද්ධාත්මයෙන් පූර්ණකරනු ලබන පිණිසද ස්වාමීන්වහන්සේ, එනම් නුඹ ආවාවූ මාර්ගයෙහිදී නුඹට පෙනුණාවූ යේසුස්වහන්සේ, මා එවූසේකැයි කීවේය.
18 එකෙණෙහිම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී, ඔහු පෙනීම ලැබුවේය;
19 ඔහු නැගිට බව්තීස්ම කරනු ලැබ, කෑම කා ශක්තිමත්විය.
20 ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය.
21 ඒ ඇසූ සියල්ලෝ විස්මිතව: මෙම නාමයට යාච්ඤාකරන්නන් යෙරුසලමේදී නාස්තිකළ තැනැත්තේ මොහු නොවේද? මොහු මෙහි ආවෙත් ඔවුන් බැඳගන නායක පූජකයන් ඉදිරිපිටට ගෙනයන අදහස පිටයයි කීවෝය.
22 නුමුත් සාවුල් වඩ වඩා බලවත්ව, මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔප්පුදෙමින්, දමස්කයෙහි විසූ යුදෙව්වරුන් වියවුල් කෙළේය.
23 බොහෝ දවස් ගිය කල, යුදෙව්වරු ඔහු මරන්ට මන්ත්‍රණයකළෝය.
24 නුමුත් ඔවුන්ගේ උපාය සාවුල්ට දැනගන්ට ලැබුණේය. ඔහු මරන පිණිස ඔව්හු රෑදාවල් දොරටුවල රැකසිටියෝය.
25 නුමුත් ඔහුගේ ගෝලයෝ රාත්‍රියේ ඔහු රැගෙන, කූඩයක බාමින් ඔහු පවුරෙන් බැස්සෙවුවෝය.
26 ඔහු යෙරුසලමට පැමිණියේ, ගෝලයන්ට එක්වෙන්ට උත්සාහකළේය. නුමුත් ඔහු ගෝලයෙකු බව විශ්වාස නොකොට ඔවුන් සියල්ලෝ ඔහු ගැන භයවූහ.
27 නුමුත් බාර්ණබස් ඔහු ගෙන ප්‍රේරිතයන් ළඟට කැඳවාගෙන ගොස්, මාර්ගයෙහිදී ඔහු ස්වාමීන්වහන්සේව දුටු හැටිත්, උන්වහන්සේ ඔහුට කථාකළ බවත්, දමස්කයෙහිදී යේසුස්වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීතලෙස දේශනාකළ හැටිත් ඔවුන්ට කියාදුන්නේය.
28 ඔහුද ඔවුන් සමඟ සිට යෙරුසලමෙහි හැසිරෙමින්,
29 ස්වාමීන්වහන්සේගේ නාමයෙන් භය නැතුව කථාකෙළේය. ඔහු ග්‍රීක් යුදෙව්වරුන් සමඟ කථාකරමින් වාදකෙළේය; නුමුත් ඔව්හු ඔහු මරන්ට සෙවුවෝය.
30 සහෝදරයෝ ඒ දැන, ඔහු කායිසාරියට ගෙන ගොස්, තාර්සස්ට යැවුවෝය.
31 මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.
32 තවද පේතෘස් සියලු පළාත්වල ගමන්කරන්නේ, ලිද්දායෙහි විසූ ශුද්ධවන්තයන් වෙතටද ආවේය.
33 එහි අට අවුරුද්දක් අංශභාග රෝගියෙක්ව ඔත්පළවහුන් අයිනෙයස් නම් එක්තරා මනුෂ්‍යයෙක් ඔහුට සම්බවුණේය.
34 පේතෘස් ඔහුට කථාකොට: අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹ සුවකරනසේක. නැගිට, නුඹේ ඇඳ සකස්කරන්නැයි කීවේය. එකෙණෙහිම ඔහු නැගිට්ටේය.
35 ලිද්දායෙහිද ෂාරොනෙහිද විසූ සියල්ලෝ ඔහු දැක, ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය.
36 දොර්කස්* යන අර්ථ ඇති තබීතා නම් එක්තරා ගෝල ස්ත්‍රියෙක් යොප්පාවෙහි සිටියාය. මේ ස්ත්‍රී බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටියාය. (* මුවදෙන යන අර්ථයි)
37 තවද ඒ දවස්වල ඈ රෝගීව මළාය. ඔව්හු ඈ නාවා, උඩුමහලක තැබුවෝය.
38 ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය.
39 එවිට පේතෘස් නැගිට ඔවුන් සමඟ ගියේය. ඔහු ආ කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගන ගියෝය. සියලු වැන්දඹුවෝ ඔහු ළඟ සිට හඬ හඬා, දොර්කස් තමුන් සමඟ සිටියදී මහපු ඇඳුම් සහ වස්ත්‍ර පෙන්නුවෝය.
40 නුමුත් පේතෘස් ඔවුන් සියල්ලන් බැහැරකොට, දණින් හිඳ, යාච්ඤාකර, පසුව මිනිය දෙසට හැරී: තබීතා, නැගිටින්නැයි කීවේය. එවිට ඈ ඇස් ඇර, පේතෘස් දැක හිඳගත්තාය.
41 ඔහු ඈට අත දී නැගුටුවා, ශුද්ධවන්තයන්ද වැන්දඹුවන්ද කැඳවා, ජීවත්වූ ඈ ඔවුන්ට භාරදුන්නේය.
42 එය යොප්පාව මුළුල්ලෙහි ප්‍රකාශවිය. බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.
43 තවද ඔහු සීමොන් නම් සම්කරුවෙකු වෙත යොප්පාවෙහි බොහෝ දවසක් නැවතී සිටියේය.



පරිච්ඡේදය 10

1 ඉතාලික කණ්ඩායමයයි කියන හේවා කණ්ඩායමේ සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් නම් එක්තරා මනුෂ්‍යයෙක් කායිසාරියෙහි සිටියේය.
2 ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය.
3 ඔහු දහවල් නවවෙනි පැය පමණේදී දෙවියන්වහන්සේගේ දූතයෙකු තමා ළඟට එනවා සහ: කොර්නේලියස්යයි තමාට කියනවාත් දර්ශනයකින් පැහැදිලිලෙස දැක,
4 ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.
5 ඉදින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම් සීමොන් කැඳවාගන්න.
6 ඔහු මුහුද අද්දර සීමොන් නම් සම්කරුවෙකුගේ ගෙදර නවාතැන් ගෙන සිටීයයි කීවේය.
7 ඔහු සමඟ කථාකළ දේවදූතයා ගිය කල, ඔහු තමාගේ ගෙදර වැඩකාරයන්ගෙන් දෙදෙනෙකුත් තමාට නිතර මෙහෙකළවුන්ගෙන් භක්තිවන්ත හේවායෙකුත් කැඳවා,
8 ඔවුන්ට සියල්ල දන්වා, යොප්පාවට ඔවුන් යැවීය.
9 පසුවදා ඔවුන් ගමන්කොට ඒ නුවරට ළංවනකල, පේතෘස් සවෙනි පැය පමණේදී යාච්ඤාකරන්ට ගේ උඩට ගියේය.
10 ඔහු බඩගිනිව, කෑම කන්ට කැමති වූයේය. නුමුත් ඔවුන් එය පිළියෙළ කරද්දී ඔහු මූර්ඡාවිය.
11 එවිට අහස විවරව, සතර කොනින් මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් පොළොවට බැස එනවා ඔහු දුටුවේය.
12 පොළොවේ සියලු ආකාර සිවුපාවෝද බඩගාන ජාතීහුද ආකාශයේ පක්ෂීහුද එහි සිටියෝය.
13 පේතෘස්, නැගිට, මරා කන්න යන හඬක් ඔහු වෙතට පැමුණුණේය.
14 නුමුත් පේතෘස්: ස්වාමිනි, එසේ නොවේවා; මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් නොකෑවෙමියි කීවේය.
15 නැවත: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ අකැපයයි නුඹ නොකියන්නැයි දෙවෙනි වර හඬක් ඔහු වෙත පැමිණියේය.
16 මෙය තුන්වරක් කරනලද්දේය. එකෙණෙහිම ඒ භාජනය අහසට ඔසවාගනු ලැබීය.
17 තවද, තමා දුටු දර්ශනයේ අර්ථය කුමක් විය හැකිදැයි සිතා පේතෘස් වියවුල්ව සිටියදී, කොර්නේලියස් විසින් එවනලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේදැයි විභාගකර, දොරටුව ඉදිරියෙහි සිට:
18 පේතෘස් නම්ලත් සීමොන් මෙහි නවාතැන්ගෙන සිටීදැයි හඬගසා ඇසූහ.
19 පේතෘස් වනාහි දර්ශනය ගැන කල්පනාකරමින් සිටියදී, ආත්මයාණන් වහන්සේ කථාකොට: බලව, මනුෂ්‍යයෝ තුන්දෙනෙක් නුඹ සොයති.
20 එබැවින් නැගිට, බැස, කිසිසේත් සැක නොකොට, ඔවුන් සමඟ යන්න. මක්නිසාද මම ඔවුන් එවීමියි කීසේක.
21 එවිට පේතෘස් ඒ මනුෂ්‍යයන් වෙතට බැස: නුඹලා සොයන තැනැත්තා මමය. නුඹලා ආ කාරණය කිමෙක්දැයි ඇසුවේය.
22 ඔව්හු කථාකොට: ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්වූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්වූ, යුදෙව්වරුන්ගේ මුළු ජාතිය විසින් යහපතැයි ප්‍රකාශකරනලද්දාවූ, සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් තමාගේ ගෙදරට නුඹ කැඳවා, නුඹෙන් වචන අසන පිණිස දෙවියන්වහන්සේ විසින් ශුද්ධවූ දේවදූතයෙකු ලවා අණදෙනු ලැබුවේයයි කීවෝය.
23 එකල ඔහු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේය.
24 ඊට පසුවදා ඔව්හු කායිසාරියට පැමිණියෝය. කොර්නේලියස් තමාගේ නෑයන්ද හිතේසි මිත්‍රයන්ද කැඳවාගන ඔවුන්ගේ ඊම බලා සිටියේය.
25 තවද පේතෘස් ගෙට ඇතුල්වන කල, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස්, ඔහුගේ පාමුල වැටී නමස්කාරකෙළේය.
26 නුමුත් පේතෘස්: නැගිටින්න, මමත් මනුෂ්‍යයෙකැයි කියා ඔහු නැගිටෙව්වේය.
27 පේතෘස් ඔහු සමඟ කථාකරමින්, ගේ ඇතුළට ගොස්, බොහෝ දෙනෙකු රැස්ව සිටිනු දැක,
28 ඔවුන්ට කියනුයේ: යුදෙව් මනුෂ්‍යයෙකුට අන්‍යජාතී කෙනෙකු හා සමාගම් වීමවත් ඔහු ළඟට ඊමවත් අයුතු බව නුඹලාම දන්නහුය; නුමුත් කොයි මනුෂ්‍යයෙක්වත් අකැපය නොහොත් අපවිත්‍රයයි නොකියන්ට දෙවියන්වහන්සේ මට දැන්වූසේක.
29 එබැවින් මා කැඳවා යැවූ කල මම අකමැති නොවී ආවෙමි. මොන අදහසක් පිණිස නුඹලා මා කැඳෙවුවාද කියා අසමියි කීවේය.
30 එවිට කොර්නේලියස් කියනුයේ, සතර දවසකට පළමුවෙන් මේ පැය දක්වා, නවවෙනි පැයේදී මාගේ ගෙදර යාච්ඤාකරමින් සිටියෙමි; එවිට දිලියෙන වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයෙක් මා ඉදිරියෙහි සිට:
31 කොර්නේලියස්, නුඹේ යාච්ඤාව අසනලද්දේය, නුඹේ දානද දෙවියන්වහන්සේගේ ඇස් හමුයෙහි සිහිකරන ලද්දේය.
32 එබැවින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම්ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන්ගෙන සිටීයයි කීවේය.
33 එහෙයින් එකෙණෙහිම නුඹට කියා යැවීමි; නුඹද ආ එක යහපත්ය. දැනුදු අපි සියල්ලෝ ස්වාමීන්වහන්සේ විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි දෙවියන්වහන්සේගේ ඇස් හමුයෙහි සිටිමුයයි කීවේය.
34 එවිට පේතෘස් තමාගේ මුඛය හැර කථාකොට:
35 සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.
36 උන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සමාදානයේ යහපත් ආරංචිය ප්‍රකාශකරවමින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එවනලද වචනය නුඹලා දන්නහුය;
37 එනම් ගලීලය පටන් යුදය මුළුල්ලෙහි පතළාවූ වචනය වන, යොහන් විසින් ප්‍රකාශකරනලද බව්තීස්මයට පසු,
38 දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුවකරමින්ද හැසුරුණු බවත්ය.
39 උන්වහන්සේ විසින් යුදෙව්වරුන්ගේ රටෙහිද යෙරුසලමෙහිද කරනලද සියල්ලට අපි සාක්ෂිකාරයෝය; ඔව්හු උන්වහන්සේව ගසක එල්ලා මැරුවෝය.
40 දෙවියන්වහන්සේ තුන්වෙනිදා උන්වහන්සේව නැගුටුවා ප්‍රකාශවෙන්ට සැලැස්සූසේක;
41 නුමුත් මුළු සෙනඟට නොව, දෙවියන්වහන්සේ විසින් කලින් තෝරාගන්නාලද සාක්ෂිකාරයන් වන, උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණු පසු උන්-වහන්සේ සමඟ කෑවාවූ බීවාවූ අපටමය.
42 ජීවත්වන්නන්ටද මළවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවියන්වහන්සේ විසින් නියමකරනලද තැනැත්තේ මුන්වහන්සේ බව සෙනඟට ප්‍රකාශකරන්ටත් සාක්ෂිදෙන්ටත් උන්වහන්සේ අපට අණකළසේක.
43 උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට උන්වහන්සේගේ නාමය කරණකොටගෙන පාප කමාව ලැබෙන බවට සියලු අනාගතවක්තෘවරු උන්වහන්සේ ගැන සාක්ෂිදෙතියි කීවේය.
44 පේතෘස් මේ වචන කථාකරද්දීම වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේ පහළවූසේක.
45 පේතෘස් සමඟ ආවාවූ චර්මඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිතවූවෝය.
46 මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනාකරනාවත් ඔවුන්ට ඇසුණේය. එවිට පේතෘස් උත්තරදෙමින්:
47 අපට ලැබුණාක්මෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබූ මොවුන් බව්තීස්මකරනු නොලබන පිණිස වතුර තහනම්කරන්ට කාට පුළුවන්දැයි කීවේය.
48 ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම කරනු ලබන්ට අණකෙළේය. එවිට ඔව්හු දවස් ගණනක් තමුන් සමඟ නැවතී සිටින්ට ඔහුගෙන් ඉල්ලුවෝය.



පරිච්ඡේදය 11

1 අන්‍යජාතීන් විසින්ද දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යුදයෙහි සිටියාවූ ප්‍රෙරිතයන්ටත් සහෝදරයන්ටත් ආරංචිවිය.
2 පේතෘස් යෙරුසලමට ආ කල චර්මඡේදිතයෝ ඔහු සමඟ වාදකරමින්:
3 නුඹ අචර්මඡේදිත මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන් සමඟ කෑයෙහියයි කීවෝය.
4 නුමුත් පේතෘස් ඒ කාරණය මුල පටන් ක්‍රමයෙන් ඔවුන්ට කියාදෙන්ට පටන්ගෙන:
5 මම යොප්පා නුවර යාච්ඤාකරමින් සිටිකල මූර්ඡාවූයෙම්, සතර කොනෙන් අහසෙන් බස්වනලද මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් බැස එනවා දර්ශනයෙන් දුටිමි; ඒක මා ළඟටම පැමිණියේය.
6 ඒ දෙස මාගේ ඇස් යොමා කල්පනාකළ විට, පොළොවේ සිවුපාවුන්ද වන මෘගයන්ද බඩගාන ජාතීන්ද ආකාශ පක්ෂීන්ද දුටිමි.
7 පේතෘස්, නැගිට මරා කන්නැයි මට කියන ශබ්දයකුත් ඇසීමි.
8 මමද: ස්වාමිනි, එසේ නොවේවා. මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් මාගේ කටට ඇතුල් නොවීයයි කීවෙමි.
9 නුමුත් ශබ්දයක් දෙවෙනි වාරයෙහි අහසෙන් මට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ නුඹ අකැපයයි නොකියන්නැයි කීය.
10 තුන්වරක්ම මෙය කරනලද්දේය. නැවත සියල්ල අහසට ඇදගන්නාලද්දේය.
11 තවද එවේලේම කායිසාරියෙන් මා ළඟට එවනලද මනුෂ්‍යයෝ තුන්දෙනෙක් අප උන් ගෙය ඉදිරියෙහි සිටියෝය.
12 ආත්මයාණන්වහන්සේද, ප්‍රභේදයක් නොකොට ඔවුන් සමඟ යනලෙස මට අණකළසේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියෝය; අපි ඒ මනුෂ්‍යයාගේ ගෙට ඇතුල්වුණෙමුව.
13 එවිට ඔහු තමාගේ ගෙයි දේවදූතයා සිටිනවා දුටු හැටිත්, යොප්පාවට මනුෂ්‍යයන් යවා පේතෘස් නම්ලත් සීමොන් කැඳවන්න,
14 ඔහු වනාහි නුඹ සහ නුඹේ ගෙයි වැසි සියල්ලන්ද ගැළවීමට පමුණුවන්නාවූ වචන නුඹට කියන්නේයයි තමාට කී බවත් අපට දැන්වූයේය.
15 මා කථාකරන්ට පටන්ගත්කල, ශුද්ධාත්මයාණන්වහන්සේ මුලදී අප කෙරෙහි මෙන්ම ඔවුන් කෙරෙහිත් පහළවූසේක.
16 එකල: යොහන් වතුරෙන් බව්තීස්මකෙළේය, නුඹලා ශුද්ධාත්මයෙන් බව්තීස්ම ලබන්නහුයයි ස්වාමීන්වහන්සේ කී වචනය මට මතක්විය.
17 එහෙයින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේව අදහාගත් කල්හි අපට දුන්නාක්මෙන්ම දෙවියන්වහන්සේ ඔවුන්ටත් එම දීමනාව දුන් බැවින්, දෙවියන්වහන්සේට විරුද්ධව සිටින්ට මම කවරෙක්දැයි කීවේය.
18 ඔව්හු ඒ අසා, නිශ්ශබ්දවී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: එසේවී නම් දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ටත් ජීවනය පිණිස වූ පශ්චාත්තාපය දුන්සේකැයි කීවෝය.
19 ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබුවාවූ අය යුදෙව්වරුන්ට මිස වෙන කාටවත් වචනය නොකියා, පෙනිකියද කුප්‍රසද අන්තියෝකියද දක්වා ගමන්කළෝය.
20 නුමුත් කුප්‍රසේද කිරේනියේද මනුෂ්‍යයෝවූ ඔවුන්ගෙන් සමහරෙක් අන්තියෝකියට පැමිණ ග්‍රීකයන්ටත් කථාකරමින්, ස්වාමිවූ යේසුස්වහන්සේ ගැන දේශනාකළෝය.
21 ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයේය. විශ්වාසකළාවූ විශාල ගණනක් ස්වාමීන්වහන්සේ වෙතට හැරුණෝය.
22 ඔවුන් ගැන ප්‍රවෘත්තිය යෙරුසලමෙහි සභාවට සැලවිය. ඔව්හුද; අන්තියෝකිය දක්වා යන්ට බාර්ණබස් යැවුවෝය.
23 ඔහු ඇවිත් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක, සන්තෝෂවී, ස්වාමීන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතින් ඇලුම්ව සිටින්ට ඔවුන් සියල්ලන්ට අවවාදකෙළේය.
24 මක්නිසාද ඔහු යහපත්වූ ශුද්ධාත්මයෙන්ද ඇදහිල්ලෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක්ය. මහත් සමූහයක්ද ස්වාමීන්වහන්සේට එක්කරනලද්දෝය.
25 ඔහු සාවුල් සොයන්ට තාර්සස්ට ගොස්,
26 ඔහු සම්බව, අන්තියෝකියට කැඳවාගන ආවේය. තවද ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහිම සභාව සමඟ රැස්ව, මහත් සමූහයකට ඉගැන්නුවෝය; ගෝලයෝ ක්‍රිස්තියානිකාරයෝයයි පළමුකොට කියනු ලැබුවේ අන්තියෝකියේදීය.
27 ඒ දවස්වලදී යෙරුසලමෙන් ප්‍රොපේතවරු අන්තියෝකියට ආවෝය.
28 ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැගිට, මුළු ලෝකයෙහි මහත් සාගතයක් වන්නේයයි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දැන්වූයේය. ඒ වනාහි ක්ලෞදියස්ගේ දවස්වලදී සිදුවිය.
29 එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයෙහි විසූ සහෝදරයන්ට ආධාරෝපකාර යවන්ට නියමකරගත්තෝය.
30 ඔව්හු එසේ කරමින්, බාර්ණබස් සහ සාවුල් අත වැඩිමහල්ලන්ට ඒවා හැරියෝය.



පරිච්ඡේදය 12

1 ඒ කාලය පමණේදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්ට අත දිගුකෙළේය.
2 ඔහු යොහන්ගේ සහෝදරවූ යාකොබ් කඩුවෙන් මැරුවේය.
3 ඊට යුදෙව්වරුන් ප්‍රසන්නවූ බව දැක, ඔහු පේතෘසුත් ඇල්ලුවේය. ඒ කාලය මුහුන් නුමුසු රොටි කන දවස්ය.
4 ඔහු අල්ලා හිරගෙයි තබා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට පිටත ගෙනෙන්ට සිතා, හේවායින් සතර දෙනෙකු බැගින් ඇති කාණ්ඩ සතරකට ඔහු රැකවල්කරන්ට භාරදුන්නේය.
5 එබැවින් පේතෘස් හිරගෙයි රැකවල්කරනලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤාකළාය.
6 හෙරොද් ඔහු පිටතට ගෙනෙන්ට සිටිය දාට ප්‍රථම රාත්‍රියේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ හේවායන් දෙදෙනෙකු මැද නිදාඋන්නේය. රැකවල්ලු දොර ඉදිරියෙහි හිරගෙය රැක සිටියෝය.
7 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔහු ළඟ සිටියේය, ආලෝකයක් කාමරයෙහි බැබළුණේය. ඔහු පේතෘස්ගේ ඇළයට ගසා, ඔහු පුබුදුවමින්: ඉක්මනින් නැගිටින්නැයි කීය. ඔහුගේ දම්වැල් අත්වලින් ගැළවී වැටුණේය.
8 දූතයා ඔහුට කථාකොට: ඉඟටිය බැඳ, වහන් දමාගන්නැයි කීවේය. ඔහු එසේ කෙළේය. නුඹේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැයි ඔහුට කීවේය. ඔහු පිටත්ව ඔහු පස්සෙන් ගියේය;
9 දූතයා විසින් කරනලද දේ ඇත්තක් බව ඔහු නොදැන, තමා දර්ශනයක් දකින්නේයයි සිතුවේය.
10 ඔවුන් පළමුවෙනි දෙවෙනි මුරපළවල් පසුකොට, නුවරට යන යකඩ දොරටුව ළඟට ගිය කල, ඒක ඔවුන්ට ඉබේම ඇරුණේය. ඔවුන් පිටතට ගොස් එක වීථියක් පසුකළ කෙණෙහිම දේවදූතයා ඔහු කෙරෙන් අහක්ව ගියේය.
11 පේතෘස් සිහි ලැබ කථාකොට: ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවා හෙරොද්ගේ අතින්ද යුදෙව් සෙනඟගේ මුළු බලාපොරොත්තුවෙන්ද මා මිදූ බව දැන් සැබවින් දනිමියි කීවේය.
12 ඔහු ඒ ගැන කල්පනාකොට මාර්ක් නම්ලත් යොහන්ගේ මවුවූ මරියාගේ ගෙදරට පැමිණියේය; එහි බොහෝ දෙනෙක් රැස්ව යාච්ඤාකරමින් සිටියෝය.
13 ඔහු පිට-දොරට තට්ටුකළ විට, රොදානම් තරුණියෙක් බලන්ට ආවාය.
14 ඈ පේතෘස්ගේ කටහඬ හැඳින, ප්‍රීතිය නිසා දොර නෑර, ඈ තුළට දිවගොස්, පේතෘස් දොරටුව ළඟ සිටින බව කීවාය.
15 නුඹට ඔල්මාදයයි ඔවහු කීවෝය. නුමුත් ඈ: ඒ ඔහුමයයි සහතිකකොට කීවාය. ඒ ඔහුගේ දූතයායයි ඔව්හු කීවෝය.
16 නුමුත් පේතෘස් තට්ටුකරමින් සිටියේය. ඔව්හු දොර හැරිය කල ඔහු දැක, විස්මිතවූහ.
17 නුමුත් ඔහු ඔවුන්ට නිශ්ශබ්දවෙන්ට අතින් සංඥාකොට, ස්වාමීන්වහන්සේ තමා හිරගෙයින් පිටතට ගෙනා හැටි ඔවුන්ට ප්‍රකාශකොට: යාකොබ්ටද සහෝදරයන්ටද මේ කාරණා දන්වන්නැයි කියා, පිටත්ව වෙන තැනකට ගියේය.
18 පහන්වූ කල, පේතෘස්ට කුමක් සිදුවීදැයි හේවායින් අතරේ මහත් කැලඹීමක් විය.
19 හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, රැකවලුන්ගෙන් විචාරා, ඔවුන් මරන්ට අණකොට, යුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේය.
20 ඔහු තීර් සහ සීදොන් වැසියන්ට ඉතා කෝපව සිටියේය. ඔව්හු තමුන්ගේ රට රජුගේ රටෙන් පෝෂණයකරනු ලැබූ බැවින්, එක්සිත්ව ඔහු ළඟට ඇවිත්, රජුගේ ගෙයි ඇමතියා වන බ්ලාස්තුස් මිත්‍රකරගෙන, සමාදානය ඉල්ලුවෝය.
21 නියම දවසක හෙරොද් රාජාභරණ පැළඳ සිංහාසනය පිට හිඳ, ඔවුන්ට ප්‍රසිද්ධ කථාවක් කෙළේය.
22 සෙනඟ හඬනගා කථාකොට: මෙය මනුෂ්‍යයෙකුගේ හඬ නොව දෙවිකෙනෙකුගේ හඬයයි කීවෝය.
23 ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.
24 නුමුත් දෙවියන්වහන්සේගේ වචනය පතළවී දියුණුවිය.
25 බාර්ණබස්ද සාවුල්ද තමුන්ගේ උපස්ථානය සම්පූර්ණකොට, මාර්ක් නම්ලත් යොහන් කැඳවාගෙන, යෙරුසලමෙන් හැරී ආවෝය.



පරිච්ඡේදය 13

1 අන්තියෝකියේ පිහිටි සභාවෙහි ප්‍රොපේතවරු සහ ගුරුවරු සිටියෝය; එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන්ද කිරේනියේ ලුකියස්ද දේශාධිපතිවූ හෙරොද් සමඟ ඇතිදැඩිවුණාවූ මානායින්ද සාවුල්ද යන අයවල්ය.
2 ඔවුන් ස්වාමීන්වහන්සේට මෙහෙකරමින් නිරාහාරයෙන් උන් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්ණබස්ද සාවුල්ද කැඳවූ වැඩය පිණිස ඔවුන් මට වෙන්කරන්නැයි කීසේක.
3 එවිට ඔව්හු නිරාහාරයෙන් හිඳ යාච්ඤාකොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත්කර හැරියෝය.
4 මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්‍රසට ගියෝය.
5 ඔව්හු සලමියට පැමිණි කල, යුදෙව්වරුන්ගේ සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශකළෝය. යොහන් ඔවුන්ගේ සේවකයාව සිටියේය.
6 ඔව්හු මුළු දිවයින මැදින් පාපස් දක්වා ගිය කල, එක්තරා මායාකාරයෙක් වන බොරු අනාගතවක්තෘ කෙනෙක්වූ බාර්-යේසුස් නම් යුදෙව් මනුෂ්‍යයෙකු දුටුවෝය.
7 ඔහු බුද්ධිමත් මනුෂ්‍යයෙක්වූ සර්ගියස් පාවුලස් නම් අධිපතියා සමඟ සිටියේය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ වචනය අහන්ට ආශාවුණේය.
8 නුමුත් මායාකාර යන අර්ථ ඇති එලිමස් නම් තැනැත්තේ අධිපතියා ඇදහීමෙන් ඉවතට හරවාගන්ට අදහස්කරමින්, ඔවුන්ට විරුද්ධව සිටියේය.
9 නුමුත් පාවුල් යන නමක්ද ඇති සාවුල් ශුද්ධාත්මයෙන් පූර්ණව, ඔහු දෙස ඇස් යොමා:
10 සියලු වංචාවෙන් හා සියලු දුෂ්ටකමින් පූර්ණවූ තැනැත්ත, යක්ෂයාගේ පුත්‍රය, සියලු ධර්මිෂ්ඨකමට සතුරුවූ නුඹ ස්වාමීන්වහන්සේගේ හරි මාර්ගයන් පෙරළීමෙන් නවතින්නේ නැද්ද?
11 ඉදින්, මෙන්න, ස්වාමීන්වහන්සේගේ හස්තය නුඹ පිට තිබේ, නුඹ අන්ධවී කලකට ඉර නොදක්නෙහියයි කීවේය. එකෙණෙහිම දුමාරයක්ද අඳුරක්ද ඔහු පිටට පැමුණුණේය; ඔහුද තමාගේ අත අල්ලාගෙන යන්ට මිනිසුන් සොයමින් ඇවිද්දේය.
12 එකල අධිපති තෙමේ සිද්ධවූ දේ දැක, ස්වාමීන්වහන්සේගේ ඉගැන්වීමට විස්මපත්ව, අදහාගත්තේය.
13 පාවුල්ද ඔහු සමඟ සිටියෝද පාපස් කෙරෙන් නැව් නැගී ගොස්, පම්පිලියේ පර්ගායට පැමුණුණෝය. එවිට යොහන් ඔවුන් කෙරෙන් අහක්වී යෙරුසලමට හැරී ගියේය.
14 නුමුත් ඔව්හු පාර්ගායෙන් පිටත්ව ගමන්කොට, පිසිදියේ අන්තියෝකියාට ඇවිත් සබත් දවසේදී සිනගෝගයට ඇතුල්වී හිඳගත්තෝය.
15 ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය.
16 එවිට පාවුල් නැගිට සිට අතින් සංඥාකොට: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙනි, ඇහුම්කන්දෙන්න.
17 මේ ඉශ්‍රායෙල් සෙනඟගේ දෙවියන්වහන්සේ අපේ පියවරුන් තෝරාගන, මිසර දේශයෙහි විදේශීව සිටියදී සෙනඟ උසස්කොට, බලවත් බාහුවකින් ඔවුන් එයින් පිටතට ගෙනාසේක.
18 උන්වහන්සේ සතළිස් අවුරුද්දක් පමණ කාලයක් වනයෙහිදී ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසේක.
19 උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක.
20 එයින් පසු අනාගතවක්තෘවූ සාමුවෙල් දක්වා උන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් දුන්සේක.
21 ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලුවෝය. දෙවියන්වහන්සේ බෙන්යමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙක්වූ කීෂ්ගේ පුත්‍රවූ සාවුල් සතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන්සේක.
22 උන්වහන්සේ ඔහු අහක්කොට, දාවිත් ඔවුන්ගේ රජවන පිණිස නැගිටෙවුසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂිදෙමින්: යෙස්සේගේ පුත්‍රවූ, මාගේ සිතට එකඟ මනුෂ්‍යයෙක්වූ, මාගේ මුළු කැමැත්ත කරන්නාවූ දාවිත් මට සම්බවීයයි කීසේක.
23 ඔහුගේ වංශයෙන් දෙවියන්වහන්සේ පොරොන්දුවූ ලෙස ඉශ්‍රායෙල්ට යේසුස් නම් ගැළවුම්කාරයෙකු පමුණුවා දුන්සේක.
24 උන්වහන්සේගේ ඊමට පෙර යොහන් ඉශ්‍රායෙල්ගේ මුළු සෙනඟට පශ්චාත්තාපයේ බව්තීස්මය ප්‍රකාශ කෙළේය.
25 තවද යොහන් තමාගේ මෙහෙය ඉෂ්ටකරමින් සිටියදී: මම කවුරුය කියා නුඹලා සිතවුද? මම උන්වහන්සේ නොවෙමි. බලව, මට පසුව කෙනෙක් එනසේක, උන්වහන්සේගේ පාදවල වහන් මුදන්ටවත් මම නොවටිමියි කීවේය.
26 සහෝදරයෙනි, ආබ්‍රහම්ගේ වංශයේ පුත්‍රයෙනි, නුඹලා අතරේ දෙවියන්වහන්සේ කෙරෙහි බය ඇත්තෙනි, මේ ගැළවීමේ වචනය එවනලද්දේ අපටය.
27 මක්නිසාද යෙරුසලමෙහි වසන්නෝද ඔවුන්ගේ මුලාදෑනිවරුද උන්වහන්සේවත් සියලු සබත් දවස්වල කියවෙන අනාගතවක්තෘවරුන්ගේ හඬවත් නොදැන, උන්වහන්සේ වරදට පත්කිරීමෙන් ඒවා සම්පූර්ණකළෝය.
28 උන්වහන්සේ කෙරෙහි මරණයට සුදුසු කිසිවක් සම්බනූණ නුමුත්, උන්වහන්සේව මරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලුවෝය.
29 උන්වහන්සේ ගැන ලියා තිබුණු සියල්ල ඔවුන් සම්පූර්ණකළ විට, ගසෙන් උන්වහන්සේව බාගෙන, සොහොන්ගෙයක තැබුවෝය.
30 නුමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුසේක.
31 උන්වහන්සේ තමන්වහන්සේ සමඟ ගලීලයෙන් යෙරුසලමට ගියවුන්ට බොහෝ දවසක් පෙනි පෙනී සිටිසේක. ඔව්හු දැන් සෙනඟට උන්වහන්සේගේ සාක්ෂිකාරයෝය.
32 එබැවින් දෙවියන්වහන්සේ පියවරුන්ට දුන් පොරොන්දුව යේසුස්වහන්සේව නැගිටවීමෙන් අපේ දරුවන්ට සම්පූර්ණයෙන් ඉෂ්ටකළසේකැයි යන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමුව.
33 එසේම: නුඹ මාගේ පුත්‍රයාය, අද නුඹ ජනිතකෙළෙමියි දෙවෙනි ගීතිකාවේ ලියා තිබේ.
34 තවත් කුණුවීමට නොහැරෙන ලෙස දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටෙවු බවට මෙයාකාරයෙන් කීසේක, එනම්: දාවිත්ගේ ශුද්ධවූ ස්ථිරවූ ආශීර්වාද නුඹලාට දෙන්නෙමියි යනුයි.
35 ඇරත් වෙන ගීතිකාවකද: ඔබගේ ශුද්ධ තැනැත්තා කුණුවීමට පැමිණෙන්ට ඉඩ නොදෙනසේකැයි කීසේක.
36 කුමක්හෙයින්ද දාවිත් දෙවියන්වහන්සේගේ මන්ත්‍රණය ලෙස තම පරම්පරාවේදී මෙහෙකළ පසු සැතපී, තමාගේ පියවරුන් ළඟ තබනලදුව, කුණුවීමට පැමුණුණේය.
37 නුමුත් දෙවියන්වහන්සේ විසින් නැගුටුවනලද තැනන්වහන්සේ කුණුවීමට නොපැමිණිසේක.
38 එහෙයින්, සහෝදරයෙනි, උන්වහන්සේ කරණකොටගෙන පව් කමා කිරීම නුඹලාට ප්‍රකාශකරනු ලබන බව දැනගන්න.
39 අදහාගන්නාවූ සියල්ලෝ උන්වහන්සේ කරණකොටගෙන සියලු දේවල් පිළිබඳව නිර්දෝෂකරනු ලබති. එසේ නුඹලාට මෝසෙස්ගේ ව්‍යවස්ථාව කරණකොටගෙන නිර්දෝෂ කරනු ලබන්ට නුපුළුවන්විය.
40 එබැවින්: හෙළාදකින්නෙනි, බලව්, පුදුමවව්, විනාශවව්; මක්නිසාද නුඹලාගේ දවස්වලදී ක්‍රියාවක් කරමි, ඒ ක්‍රියාව ගැන යමෙක් නුඹලාට ප්‍රකාශකළත් නුඹලා කිසිසේත් එය විශ්වාස නොකරන්නහුයයි
41 අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්නැයි කීවේය.
42 ඔවුන් නික්ම යද්දී එම වචන ඊළඟ සබත් දවසෙහිත් තමුන්ට ප්‍රකාශකරන ලෙස ඔව්හු ඉල්ලුවෝය.
43 සමූහයා විසිර ගියායින් පසු යුදෙව්වරුන්ගෙන්ද යුදෙව් ආගමට හැරුණ භක්තිවන්තයන්ගෙන්ද බොහෝ දෙනෙක් පාවුල් සහ බාර්ණබස් අනුව ගියෝය. ඔව්හු ඔවුන්ට කථාකරමින්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙහි පවතින්ට ඔවුන්ට අවවාද කළෝය.
44 ඊළඟ සබත් දවසේ දෙවියන්වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝම වාගේ රැස්වුණෝය.
45 නුමුත් යුදෙව්වරු සමූහයන් දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල් විසින් කියනලද කාරණාවලට විරුද්ධව කථාකරමින් අපහාසකළෝය.
46 එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.
47 මක්නිසාද ස්වාමීන්වහන්සේ අපට මෙසේ අණකළසේක, කෙසේදයත්: නුඹ පොළොවේ සීමා දක්වා ගැළවීම වන පිණිස අන්‍යජාතීන්ට නුඹ එළියක් කොට තැබුවෙමියි කියා තිබේයයි කීවෝය.
48 අන්‍යජාතීහු ඒ අසා සන්තෝෂව, දෙවියන්වහන්සේගේ වචනයට ගෞරවකළෝය. සදාකාල ජීවනය ලැබීමට නියම කරනලද සියල්ලෝම අදහාගත්තෝය.
49 ස්වාමීන්වහන්සේගේ වචනය ඒ පළාත මුළුල්ලෙහි පතළව ගියේය.
50 නුමුත් යුදෙව්වරු භක්තිවන්ත කුල ස්ත්‍රීන්ද නුවර ප්‍රධානීන්ද පොලඹවා, පාවුල් සහ බාර්ණබස්ට විරුද්ධව පීඩාවක් උපදවා, තමුන්ගේ සීමාවලින් ඔවුන් පිටතට ලූවෝය.
51 එහෙත් ඔව්හු තමුන්ගේ පාදවල ධූලි ඔවුන්ට විරුද්ධව ගසා දමා, ඉකෝනියට පැමිණියෝය.
52 ගෝලයෝ වනාහි ප්‍රීතියෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූහ.



පරිච්ඡේදය 14

1 තවද ඉකෝනියේදී ඔව්හු එක්ව යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වී, යුදෙව්වරුන්ගෙන්ද ග්‍රීක්වරුන්ගෙන්ද මහත් සමූහයක් අදහාගන්නා පරිද්දෙන් කථාකළෝය.
2 නුමුත් අකීකරුවූ යුදෙව්වරු අන්‍යජාතීන්ගේ සිත් කලඹා, ඔවුන් සහෝදරයන්ට විරුද්ධව එදිරිකෙරෙවුවෝය.
3 එහෙයින් ඔව්හු ස්වාමීන්වහන්සේ තුළ නිර්භීතලෙස කථාකරමින් බොහෝ කලක් නැවතී සිටියෝය. උන්වහන්සේ ඔවුන්ගේ අත්වලින් හාස්කම්ද පුදුමද කරවමින්, ස්වකීය අනුග්‍රහයේ වචනයට සාක්ෂි දැරූසේක.
4 නුමුත් නුවර සමූහයෝ භේදව, සමහරෙක් යුදෙව්වරුන්ගේ පක්ෂයටද අන් සමහරෙක් ප්‍රේරිතයන්ගේ පක්ෂයටද සිටියෝය.
5 අන්‍යජාතීන්ද යුදෙව්වරුන්ද තමුන්ගේ ප්‍රධානීන් සමඟ ඔවුන්ට නිග්‍රහකරන්ටත් ගල්ගසන්ටත් යෝජනාවක් කළ කල්හි,
6 ඔව්හු ඒ දැන, ලුකෝනියේ නුවරවල්වූ ලුස්ත්‍රාවටද දර්බයටද අවට පළාතටද පලාගොස්,
7 එහිදී ශුභාරංචිය දේශනාකළෝය.
8 මවුකුස පටන් කොරවූ, පාද දුර්වලවූ කිසිකලකත් නෑවිද්දාවූ එක්තරා මනුෂ්‍යයෙක් ලුස්ත්‍රාවෙහි ඉඳගන උන්නේය.
9 ඔහු පාවුල් කථාකරනවා ඇසුවේය. පාවුල් ඔහු දෙස ඇස් යොමා, සුවය ලබන්ට ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක:
10 නැගිට නුඹේ පාදවලින් කෙලින් සිටින්නැයි මහත් හඬින් කීවේය. එවිට ඔහු පැන නැගී ඇවිද්දේය.
11 එකල සමූහයෝ පාවුල් කළ දේ දැක ශබ්දනගා: දෙවිවරු මනුෂ්‍ය වේශයෙන් අප ළඟට බැස සිටිතියි ලුකෝනියේ භාෂාවෙන් කීවෝය.
12 ඔව්හු බාර්ණබස්ට සියුස්ය කියාද පාවුල් ප්‍රධාන කථාකාරයා බැවින් ඔහුට හෙර්මීස්ය කියාද නම් තැබූහ.
13 නුවර ඉදිරියෙහි පිහිටියාවූ සියුස්ගේ දේවාලයේ පූජක තෙමේ ගොන්ද මල්මාලාද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාගකරන්ට හැදුවේය.
14 එහෙත් ප්‍රේරිතවූ බාර්ණබස් ද පාවුල්ද ඒ ගැන අසා, තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, සමූහයා අතරට දුව ගොස්, මොරගසා:
15 මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව.
16 උන්වහන්සේ පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට ඉඩ හැරියසේක.
17 එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කීවෝය.
18 ඔව්හු මෙසේ කීමෙන්, තමුන්ට පූජා ඔප්පු නොකරන ලෙස සමූහයන් අමාරුවෙන් වැලැක්වූවෝය.
19 නුමුත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරු ඇවිත් සමූහයන් පොළඹවාගන, පාවුල්ට ගල්ගසා, ඔහු නැසුණේයයි සිතා නුවරින් පිටතට ඇද්දෝය.
20 නුමුත් ගෝලයන් ඔහු අවට රැස්ව සිටි කල, ඔහු නැගිට නුවරට ඇතුල්වී, පසුවදා බාර්ණබස් සමඟ දර්බයට ගියේය.
21 ඔව්හු ඒ නුවර ශුභාරංචිය දේශනාකොට, බොහෝ දෙනෙක් ගෝලයන් කර, ලුස්ත්‍රාවටද, ඉකෝනියටද අන්තියෝකියටද හැරී ඇවිත්:
22 අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය.
23 ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී,
24 පිසිදිය මැදින් ගමන්කොට, පම්පිලියට ආවෝය.
25 ඔව්හු පර්ගායේදී වචනය කියාදී, අත්තාලියට බැස,
26 එයින් නැව් නැගී, යම් වැඩක් කරන පිණිස දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට අන්තියෝකියේදී ඔවුන් භාරදෙනලදද, ඒ වැඩ සම්පූර්ණකොට, එම අන්තියෝකියට ආවෝය.
27 ඔව්හු ආ කල, සභාව රැස්කරවා, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියල්ලද අන්‍යජාතීන්ට උන්වහන්සේ ඇදහිල්ලේ දොරක් ඇරදුන් බවද දැන්වුවෝය.
28 තවද ඔව්හු ගෝලයන් සමඟ එහි බොහෝ කලක් සිටියෝය.



පරිච්ඡේදය 15

1 යුදයෙන් සමහර දෙනෙක් ඇවිත්: මෝසෙස්ගේ නියෝගය ලෙස නුඹලා චර්මඡේද්‍යකරනු නොලැබුවොත් නුඹලාට ගැළවෙන්ට නුපුළුවනැයි සහෝදරයන්ට ඉගැන්නුවෝය.
2 එහෙයින් පාවුල්ද බාර්ණබස්ද ඔවුන් සමඟ මහත් භේදයක් සහ වාදයක් ඇතිවූ කල්හි, පාවුල් සහ බාර්ණබස්ද ඔවුන්ගෙන් තවත් සමහරෙක්ද මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්ගෙන් විචාරන පිණිස යෙරුසලමට යන්ට නියමකරනු ලැබුවෝය.
3 එබැවින් ඔව්හු සභාව විසින් ඇරලන ලදුව, පෙනීකියද සමාරියද මැදින් ගොස්, අන්‍යජාතීන්ගේ හැරීම ප්‍රකාශකරමින්, සියලු සහෝදරයන්ට මහත් ප්‍රීතියක් ඉපදෙවුවෝය.
4 ඔව්හු යෙරුසලමට පැමිණි කල සභාව විසින්ද ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් විසින්ද පිළිගන්නාලදුව, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියලු දේ දැන්වුවෝය.
5 නුමුත් අදහාගත්තාවූ, ඵරිසිවරුන්ගේ ලබ්ධියට අයිතිවූ සමහරෙක් නැගිට, චර්මඡේද්‍යකරන්ටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව රක්ෂාකරන ලෙස ඔවුන්ට අණකරන්ටත් ඕනෑයයි කීවෝය.
6 ප්‍රේරිතයෝද වැඩිමහල්ලෝද මේ කාරණාව ගැන කල්පනාකර බලන පිණිස රැස්වූහ.
7 බොහෝ වාද හටගත් පසු පේතෘස් නැගිට ඔවුන්ට කියනුයේ:
8 සිත් දන්නාවූ දෙවියන්වහන්සේ අපට මෙන්ම ඔවුන්ටත් ශුද්ධාත්මය දී, ඔවුන් ගැන සාක්ෂිදුන්සේක;
9 උන්වහන්සේ ඔවුන් සහ අප අතරේ කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍රකළසේක.
10 එබැවින් අපගේ පියවරුන්ටවත් අපටවත් දරන්ට නොහැකිවුණු වියගහක් ගෝලයන්ගේ කරේ තැබීමෙන් නුඹලා කුමක් නිසා දෙවියන්වහන්සේව පරීක්ෂා කරවුද?
11 එසේ නොව ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන ඔවුන් මෙන් අපත් ගළවනු ලබන බව විශ්වාසකරමුයයි කීවේය.
12 එවිට මුළු සමූහයා නිශ්ශබ්දව සිටියෝය; තවද පාවුල් සහ බාර්ණබස් තමුන් ලවා දෙවියන්වහන්සේ අන්‍ය ජාතීන් අතරේ කොපමණ මහත් ලකුණු සහ පුදුම කෙරෙවූසේක්දැයි කියනවා ඔව්හු අසාගන සිටියෝය.
13 ඔවුන් නිශ්ශබ්දවූ ඉක්බිති යාකොබ් උත්තරදෙමින් කියනුයේ:
14 සහෝදරයෙනි, මට ඇහුම්කන්දෙන්න. දෙවියන්වහන්සේ තමන්ගේ නාමයට අන්‍යජාතීන්ගෙන් සෙනඟක් ගන්නා පිණිස පළමුවෙන් ඔවුන් දෙස බැලූ හැටි සිමියොන් කියාදුන්නේය.
15 අනාගතවක්තෘවරුන්ගේ වචනය ඊට එකඟය; කෙසේදයත්:
16 ඉතිරිවූ මනුෂ්‍යයන්ද මාගේ නාමය දරන සියලු අන්‍යජාතීන්ද විසින් ස්වාමීන්වහන්සේව සොයන පිණිස
17 මෙයින් පසු මම හැරී ඇවිත්, දාවිත්ගේ වැටුණාවූ මණ්ඩපය නැවත ගොඩනඟා, එහි නටබුන් තැන් නැවත ගොඩනගා, ඒක පිහිටුවන්නෙමියි
18 ලෝකයේ පටන්ගැන්මේ සිට මේ සියල්ල දන්වන්නාවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියනලද්දේය.
19 එබැවින් අන්‍යජාතීන් අතරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරෙන්නන් චංචල නොකර,
20 රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.
21 මක්නිසාද ආදි පරම්පරාවල සිට මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්නෝ සියලු නුවරවල සිටිති, ඔව්හු සියලු සබත් දවස්වල එය සිනගෝගවලදී කියවතියි කීවේය.
22 එකල තමුන්ගේ සමාගමෙන් මනුෂ්‍යයන් තෝරාගන පාවුල් හා බර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැයි ප්‍රේරිතයන්ටද වැඩිමහල්ලන්ටද මුළු සභාවටද පෙනීගියේය; තෝරාගනු ලැබුවෝ නම් සහෝදරයන් අතරේ ප්‍රධානවූ අය වන බර්සබ්බස් නම්ලත් යූදස් සහ සීලස්ය.
23 ඔවුන් අත මෙසේ ලියා යැවුවෝය: ප්‍රේරිතයන්ද සහෝදරවූ වැඩිමහල්ලන්ද අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් කිලිකියෙහිත් වසන අන්‍යජාතිවූ සහෝදරයන්ට ශුභසිද්ධවන ලෙස ලියා එවන වගනම්-
24 අපෙන් අණ නොලැබුවාවූ සමහරෙක් අප අතරෙන් පිටත්ව ගොස්, වචනවලින් නුඹලා කලඹමින්, නුඹලාගේ සිත පෙරළුෑ බව ඇසූ හෙයින්,
25 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමය නිසා තමුන්ගේ ජීවිත උපද්‍රවයට පැමිණවූ,
26 අපගේ ප්‍රේමණීය බාර්ණබස්ද පාවුල්ද සමඟ මනුෂ්‍යයන් තෝරාගන නුඹලා ළඟට එවීම යහපතැයි එක්සිත්ව රැස්වූ අපට පෙනීගියේය.
27 එහෙයින් යූදස්ද සීලස්ද එවීමුව, ඔවුනුත් එම කාරණා නුඹලාට කටින් කියනවා ඇත.
28 එනම් රූපවලට පූජාකළ දේවලින්ද ලෙයින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද නුඹලා වලකින්ට ඕනෑවා මිස, වෙන කිසි බරක් නුඹලා පිට නොතබන්ට ශුද්ධාත්මයාණන්ටත් අපටත් යහපතැයි පෙනීගියේය.
29 මේවායින් නුඹලා වලකින්නහුනම් නුඹලාට යහපත වන්නේය. නුඹලාට ශුභසිද්ධවේවා යනුයි.
30 මෙසේ ඔව්හු යවනු ලැබ, අන්තියෝකියට පැමිණ, සමූහයා එකතුකරවා, ලියුම් භාරදුන්නෝය.
31 ඔව්හු එය කියවා, ඒ සැනසිල්ල ගැන ප්‍රීතිවූවෝය.
32 යූදස් සහ සීලස්, තුමූ ප්‍රොපේතවරු බැවින්, බොහෝ වචනවලින් සහෝදරයන්ට අවවාදකර, ඔවුන් ස්ථිරකළෝය.
33 ඔව්හු කලක් එහි සිටි පසු, ඔවුන් එවූ අය වෙතට සමාදානයෙන් සහෝදරයන් වෙතින් යවනලද්දෝය.
34 (සමහර පිටපත්වල
34 වෙනි පදය මෙසේ ඇත - නමුත් එහි නැවතීම හොඳ යයි සීලස්ට පෙනුණේය.)
35 නුමුත් පාවුල්ද බාර්ණබස්ද වෙනත් බොහෝ දෙනෙකු සමඟ ස්වාමීන්වහන්සේගේ වචන උගන්වමින්ද ප්‍රකාශකරමින්ද අන්තියෝකියෙහි නැවතී සිටියෝය.
36 කීප දවසකට පසු පාවුල් බාර්ණබස්ට කථාකොට: අප විසින් ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රකාශකළාවූ සියලු නුවරවල වසන සහෝදරයෝ කෙලෙස සිටිත්දැයි අපි නැවත ගොස් බලමුයයි කීවේය.
37 බාර්ණබස්ද මාර්ක් නම්ලත් යොහන්ද තමුන් සමඟ කැඳවාගන යන්ට කැමැතිවූයේය.
38 නුමුත් පාවුල්, ඒ වැඩේට නොගොස් පම්පිලියේදී තමුන්ගෙන් අහක්ව ගියාවූ තැනැත්තා තමුන් සමඟ කැඳවාගන යාම නුසුදුසුයයි සිතුවේය.
39 ඒ ගැන සැර විවාදයක් හටගත් බැවින් ඔව්හු එකිනෙකාගෙන් වෙන්ව ගියෝය, බාර්ණබස් මාර්ක් කැඳවාගෙන, කුප්‍රසට නැවෙන් ගියේය;
40 නුමුත් පාවුල් සීලස් තෝරාගෙන, සහෝදරයන් විසින් ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහයට භාරදෙනලදුව පිටත්වී,
41 සභාවන් ස්ථිරකරමින්, සිරියාව සහ කිලිකියාව මැදින් ගමන් කළේය.



පරිච්ඡේදය 16

1 තවද ඔහු දර්බයටත් ලුස්ත්‍රාවටත් ආවේය. ඇදහිලිවන්ත යුදෙව් ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ තිමෝතියස් නම් ගෝලයෙක් එහි සිටියේය;
2 ඔහුගේ පියා ග්‍රීකයෙක්ය. ඔහු ලුස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන් අතරේ යහපත්යයි ප්‍රසිද්ධවූ කෙනෙක්ය.
3 තමා සමඟ ඔහු යනවාට පාවුල් කැමතිව, ඒ පළාත්වල සිටි යුදෙව්වරුන් නිසා ඔහු කැඳවා චර්මඡේද්‍යකෙළේය. මක්නිසාද ඔහුගේ පියා ග්‍රීකයෙක් බව ඒ සියල්ලෝ දැනගන සිටියෝය.
4 ඔව්හු නුවරින් නුවරට ගමන්කරද්දී යෙරුසලමේ සිට ප්‍රේරිතයන් විසින්ද වැඩිමහල්ලන් විසින්ද පනවනලද නියෝග පවත්වන්ට ඔවුන්ට භාරදුන්නෝය.
5 මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි ස්ථිරව, දවස්පතා ගණනින් වැඩිවූහ.
6 ඔව්හු ආසියාවේදී වචනය කියාදෙන්ට ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරනු ලැබ, පිරිගිය සහ ගලාතිය පළාත මැදින් ගියෝය;
7 ඔව්හු මිසිය ඉදිරියට ඇවිත්, බිතිනියට යන්ට උත්සාහකළෝය; නුමුත් යේසුස්වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්සේක.
8 එවිට ඔව්හු මිසිය පසුකර ත්‍රෝවසට බැස ආවෝය.
9 පාවුල්ට රාත්‍රියෙහි දර්ශනයක් පෙනුණේය; එනම්: මකිදෝනියට ඇවිත් අපට උපකාරකරන්නැයි කියමින් මකිදෝනියේ මනුෂ්‍යයෙක් නැගිට සිට ඔහුගෙන් අයැද සිටියේය.
10 ඔහු දර්ශනය දුටු කල, ඔවුන්ට ශුභාරංචිය දේශනාකරන්ට දෙවියන්වහන්සේ අඬගැසූ බව තේරුම්ගෙන, එකෙණෙහිම මකිදෝනියට යන්ට අපි උත්සාහකෙළෙමුව.
11 එහෙයින් අපි ත්‍රෝවසෙන් නැව් නැගී, කෙලින්ම සමොත්‍රාකියටද පසුවදා නෙයාපොලිසටද යාත්‍රාකර,
12 එයින් මකිදෝනියේ නුවරක්වූ, ඒ දිශාවේ ප්‍රධාන නුවර හා රෝමයන්ගේ වාසයක් වූ පිලිප්පියට ඇවිත්, ඒ නුවර කීප දවසක් නැවතී සිටියෙමුව.
13 සබත් දවසේදී අපි පිටත්වී නුවර දොරටුවෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැයි අපට කල්පනාවුණ ගංගාවක් අද්දරට ගොස් හිඳ, රැස්ව සිටි ස්ත්‍රීන්ට කථාකෙළෙමුව.
14 තියාතිරා නුවර විසූ රත්නිල් පිළි විකුණන්නාවූ ලිදියා නම් දේවභක්ති ස්ත්‍රියෙක් අපේ වචන අසාගන සිටියාය. පාවුල් විසින් කියනලද කාරණා සලකන ලෙස ස්වාමීන්වහන්සේ ඇගේ සිත විවරකළසේක.
15 ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිනු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.
16 අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවුවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය.
17 ඈ පාවුල් සහ අප පස්සේ එමින්: මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසියෝයයි මොරගසා කීවාය.
18 ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. එවිට පාවුල් අතිශයෙන් අප්‍රසන්නවී, හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය.
19 නුමුත් ඇගේ ස්වාමිවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැතිවූ බව දැක, පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පළට ඇදගන ගොස්,
20 මුලාදෑනීන් ඉදිරියෙහි සිටෙවුවෝය, නඩුකාරයන් ළඟටද ඔවුන් ගෙනගොස්: යුදෙව්වරුවූ මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්,
21 රෝමයන්වූ අප විසින් පිළිගන්ටවත් පවත්වන්ටවත් නුසුදුසුවූ චාරිත්‍ර උගන්වතියි කීවෝය.
22 එවිට සමූහයා ඔවුන්ට විරුද්ධව එක්ව නැගුටුණෝය. නඩුකාරයෝද ඔවුන්ගේ වස්ත්‍ර ඉරාදමා, ඔවුන්ට කෝටුවලින් තළන්ට අණකළෝය.
23 ඔව්හු ඔවුන්ට බොහෝ පහර දුන්නායින් පසු හිරගෙයි දමා, ඔවුන් ප්‍රවේසමෙන් රැකවල්කරන්ට හිරගෙයි මුලාදෑනියාට අණකළෝය.
24 ඔහු එවැනි අණක් ලැබූ බැවින් ඔවුන් ඇතුල් හිරගෙයි දමා, ඔවුන්ගේ පාද සවිලෙස දඬුගැසුවේය.
25 නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම් කන්දීගන සිටියෝය;
26 හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය.
27 එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය.
28 නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය.
29 එකල ඔහු එළි ඉල්ලාගන ඇතුළට පැන, භයින් වෙවුලමින්, පාවුල් සහ සීලස් ඉදිරියෙහි වැටී,
30 ඔවුන් පිටතට කැඳවා කථාකොට: ස්වාමිවරුනි, ගැළවෙන පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය. ඔව්හු කථාකොට:
31 ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්න, එවිට නුඹ ගැළවෙන්නෙහිය, නුඹද නුඹේ ගෙයි වැසියෝද එසේමයයි කීවෝය.
32 තවද ඔව්හු ඔහුගේ ගෙදර වැසි සියල්ලන් ඇතුළුව ඔහුට ස්වාමීන්වහන්සේගේ වචනය කියාදුන්නෝය.
33 ඔහු රාත්‍රියේ ඒ පැයේදීම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාල සේදුවේය; ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද එකෙණෙහිම බව්තීස්මකරනු ලැබුවෝය.
34 ඔහු ඉහළ තමාගේ ගෙට ඔවුන් කැඳවාගන ගොස්, ඔවුන් ඉදිරියෙහි කෑම මේසයක් තබා, තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ අදහමින් බොහෝසේ ප්‍රීතිවූයේය.
35 පහන්වූ කල නඩුකාරයෝ: ඒ මනුෂ්‍යයන් යන්ට හරින්නැයි සේවකයන් අත කියා යැවුවෝය.
36 එවිට හිරගෙයි මුලාදෑනියා ඒ වචන පාවුල්ට දන්වා: නුඹලා මුදාහරින්ට නඩුකාරයෝ කියා එවුවෝය. එබැවින් පිටතට ඇවිත් සමාදානයෙන් ගිය මැනවියි කීවේය.
37 නුමුත් පාවුල් ඔවුන්ට කථාකොට: ඔව්හු රෝමයන්වූ අප විනිශ්චය නොකොට ප්‍රසිද්ධයෙන් අපට තළා, හිරගෙයි දැමුවෝය; දැන් ඔවුන් රහසින් අප අරිනවාද? එසේ නොව, ඔව්හුම ඇවිත් අප පිටතට ගෙනයත්වයි ඔවුන්ට කීවේය.
38 සේවකයෝ ඒ බස් නඩුකාරයන්ට දැන්නුවෝය. ඔවුන් රෝමයන් බව ඇසූ විට ඔව්හු භයවී,
39 ඇවිත් ඔවුන්ට කන්නලව්කර, ඔවුන් පිටතට කැඳවා, නුවරින් පිටත්ව යන ලෙස ඉල්ලා සිටියෝය.
40 එකල ඔව්හු හිරගෙයින් පිටත්ව ගොස් ලිදියාගේ ගෙට පැමිණියෝය. එහිදී සහෝදරයන් දැක, ඔවුන් ධෛර්ය කොට පිටත්ව ගියෝය.



පරිච්ඡේදය 17

1 ඔව්හු අම්පිපොලිස හා අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආවෝය, එහි යුදෙව්වරුන්ගේ සිනගෝගයක් තිබුණේය.
2 පාවුල් තමාගේ පුරුද්ද ලෙස ඔවුන් ළඟට ගොස්, සබත් දවස් තුනක් ඔවුන්ට කථාකර, ලියවිලි තෝරාදෙමින්,
3 ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕනෑය කියාද, නුඹලාට මා විසින් ප්‍රකාශකරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේය කියාද පෙන්වා ප්‍රකාශකෙළේය.
4 ඔවුන්ගෙන් සමහරෙක්ද භක්තිවන්තවූ ග්‍රීක්වරුන්ගෙන් මහත් සමූහයක්ද ප්‍රධාන ස්ත්‍රීන්ගෙන් කීපදෙනෙක්ද ඇදහීමට පමුණුවනු ලැබ, පාවුල් හා සීලස් සමඟ සමාගම් වූවෝය.
5 නුමුත් යුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, අධමයන් අතරෙන් සමහර අසත්පුරුෂයන් කැඳවාගන, සමූහයක් රැස්කරවා, නුවර කලඹා යාසොන්ගේ ගේ ළඟට පැමිණ, සමූහයා වෙතට ඔවුන් පිටතට ගෙනෙන්ට තැත්කළෝය.
6 නුමුත් ඔව්හු ඔවුන් සොයා නොදැක, යාසොන් සහ සමහර සහෝදරයන්ද නුවර මුලාදෑනීන් ළඟට ඇදගන ගොස්: ලෝකය පෙරළුවාවූ මොව්හු මෙහිත් ඇවිත් සිටිති;
7 යාසොන් ඔවුන් පිළිගත්තේය. මොවුන් සියල්ලෝද යේසුස් නම් අන් රජෙක් ඇතැයි කියා කායිසර්ගේ නියෝගවලට විරුද්ධව ක්‍රියාකරතියි මොරගසා කියමින්,
8 මේ කාරණා ඇසූ සමූහයාද නුවර මුලාදෑනීන්ද කැලඹෙවුවෝය.
9 ඔව්හු යාසොන්ගෙන්ද අනික් අයවලුන්ගෙන්ද ඇප ගෙන ඔවුන් යන්ට ඇරියෝය.
10 එවේලේම සහෝදරයෝ රාත්‍රියේ පාවුල් හා සීලස් බෙරීයයට ඇරියෝය. ඔව්හු එහි පැමිණ යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වූවෝය.
11 ඔව්හු තෙසලෝනිකයෙහි අයවලුන්ට වඩා උතුම් වූවෝය. මක්නිසාද ඔව්හු මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින්, සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය.
12 එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ග්‍රීක් කුල ස්ත්‍රීන් හා පුරුෂයන්ගෙන් කීපදෙනෙක්ද අදහාගත්තෝය.
13 නුමුත් පාවුල් විසින් බෙරීයයෙහිදීත් දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව තෙසලෝනිකයේ යුදෙව්වරු දැන, එතැනටත් පැමිණ, සමූහයා පොලඹා කැලඹෙවුවෝය.
14 එවිට සහෝදරයෝ පාවුල් මුහුද දක්වා යන්ට එවේලේම ඔහු පිටත්කර ඇරියෝය. සීලස්ද තිමෝතියස්ද එහිම නැවතී සිටියෝය.
15 පාවුල් කැඳවාගන ගිය අය අතීනසය දක්වා ඔහු ගෙනගොස්, ඔහු ළඟට පුළුවන් ඉක්මනින් එන්ට කියා සීලස්ටද තිමෝතියස්ටද කියන ලෙස අණලැබ, පිටත්ව ගියෝය.
16 පාවුල් අතීනසයේදී ඔවුන්ගේ ඊම බලා සිටි කල නුවර දේවරූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ ආත්මය ඔහු තුළ චංචලවූයේය.
17 එබැවින් ඔහු සිනගෝගයේදී යුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟද දවස්පතා වෙළඳාම්පළේදී සම්බවූවන් සමඟද වාදකෙළේය.
18 එපිකුරීය සහ ස්තෝයික පණ්ඩිතයන්ගෙන් සමහරෙක්ද ඔහුට මුණගැසුණෝය. සමහරෙක්ද: මේ වාචාලයා මක්කියන්ට හදනවාදැයි කීවෝය. තව සමහරෙක්: ඔහු අන් දේවතාවන් ප්‍රකාශ කරන්නෙකු මෙන් පෙනේයයි කීවෝය. මෙසේ කීවේ ඔහු යේසුස්වහන්සේ හා මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශකළ බැවින්ය.
19 එබැවින් ඔව්හු ඇරියෝපගයට ඔහු ගෙනගොස්: නුඹ කියන මේ අලුත්වූ ඉගැන්වීම කිමෙක්දැයි අපට දැනගන්ට පුළු-වන්ද?
20 මක්නිසාද සමහර අමුතු කාරණා නුඹ අපේ කන්වල හෙළන්නෙහිය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක්ද කියා දැනගන්ට කැමැත්තෙමුයයි කීවෝය.
21 (මක්නිසාද සියලු අතීනසයෝද එහි පොරොත්තුව සිටියාවූ විදේශීහුද අමුතු කාරණයක් කීමෙන් නොහොත් ඇසීමෙන් මිස වෙන සැටියකින් කාලය ගත නොකළෝය.)
22 එවිට පාවුල් ඇරියෝපගය මැද සිට කියනුයේ:
23 මක්නිසාද මා නුඹලාගේ නමස්කාරයට අඩංගු දේවල් බලමින් යන අතර: නාඳුනන දෙවි කෙනෙකුටය යන ලියවිල්ල ඇති පූජාසනයකුත් දුටිමි. එබැවින් නුඹලා නොදන්නාකමින් නමස්කාරකරන ඒ දෙය මම නුඹලාට ප්‍රකාශකරමි.
24 ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන්වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක්, අතින් සාදනලද මාළිගාවල නොවසනසේක;
25 උන්වහන්සේ යම් දෙයකින් අඩුකමක් ඇති කෙනෙකු මෙන් මනුෂ්‍යයන්ගේ අත්වලින් උපස්ථාන නොලැබ උන්වහන්සේම සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙනසේක.
26 උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.
27 මෙසේ කළේ අතගා යමින්වත් යම් අන්දමකින් දෙවියන්වහන්සේව සම්බවන ලෙස ඔවුන් තමන්වහන්සේව සොයන පිණිසය; එහෙත් උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටිනසේක.
28 මක්නිසාද අප උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව. තවද: අපි උන්වහන්සේගේ දරුවෝයයි නුඹලාගේ කාව්‍යක්කාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ.
29 එහෙයින් දෙවියන්වහන්සේගේ දරුවන්වූ අප විසින් දේවත්වය වනාහි මනුෂ්‍ය ශිල්පයෙන් හා සමර්ථකමින් කැපූ රනටවත් රිදීයටවත් ගලටවත් සමානයයි නොසිතිය යුතුය.
30 ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලු මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක.
31 මක්නිසාද තමන්වහන්සේ විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේයයි කීවේය.
32 මළවුන්ගෙන් නැගිටීම ගැන ඔවුන් ඇසූ කල, සමහරු සරදම්කළෝය; සමහරෙක්: මේ ගැන අපි නැවතත් නුඹ කියන දේ අසන්නෙමුයයි කීවෝය.
33 එවිට පාවුල් ඔවුන් අතරෙන් අහක්ව ගියේය.
34 නුමුත් සමහර මනුෂ්‍යයෝ ඔහුට එකතුවී අදහාගත්තෝය. ඔවුන් අතරෙහි ඇරියෝපගිය දියොනිසියස්ද දමරිස් නම් ස්ත්‍රියෙක්ද ඔවුන් සමඟ වෙනත් අයද වූවෝය.



පරිච්ඡේදය 18

1 මෙයින් පසු පාවුල් අතීනසයෙන් පිටත්ව, කොරින්තියට ආවේය.
2 ක්ලෞදියස් සියලු යුදෙව්වරුන්ට රෝමයෙන් අහක්ව යන්ට අණකර තිබුණු බැවින්, ඉතාලියෙන් අලුත ආවාවූ පන්තස්හි උපන් මනුෂ්‍යයෙක්වූ අකිලානම් එක්තරා යුදෙව්වෙක් ප්‍රිස්කිලා නම් ඔහුගේ භාර්යාව සමඟ පාවුල්ට සම්බවී, ඔහු ඔවුන් වෙතට ගොස්,
3 දෙගොල්ලම එම කර්මාන්තය කරන්නෝ බැවින්, ඔවුන් සමඟ නැවතී සිට වැඩකළේය; ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීමය.
4 ඔහු සියලු සබත් දවස්වල සිනගෝගයෙහිදී තර්කකර, යුදෙව්වරුන්ද ග්‍රීක්වරුන්ද ඇදහිල්ලට පමුණුවාගන්ට උත්සාහකළේය.
5 නුමුත් සීලස්ද තිමෝතියස්ද මකිදෝනියෙන් ආ කල, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්මයයි පාවුල් යුදෙව්වරුන්ට සාක්ෂිදෙමින්, වචනය දේශනාකිරීමේ වැඩේම යෙදී සිටියේය.
6 එහෙත් ඔවුන් විරුද්ධව සිට අපහාසකළ කල්හි, ඔහු තමාගේ වස්ත්‍ර ගසාදමා, ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලේ නුඹලාගේම හිස් පිට වේවා; මම නිදොස්වෙමි. මෙතැන් පටන් අන්‍යජාතීන් ළඟට යමියි කීවේය.
7 ඔහු එතැනින් අහක්ව ගොස්, දෙවියන්වහන්සේට නමස්කාරකළාවූ තීතස් යුස්තස් නම් මනුෂ්‍යයෙකුගේ ගෙදරට ගියේය; ඔහුගේ ගේ සිනගෝගයට යාව තිබුණේය.
8 සිනගෝගයේ මුලාදෑනියාවූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තේය; කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක්ද අසා අදහාගෙන බව්තීස්මකරනු ලැබුවෝය.
9 ස්වාමීන්වහන්සේ රාත්‍රියෙහි දර්ශනයකින් පාවුල්ට කථාකොට: නුඹ භය නොවී, නිශ්ශබ්දව නොසිට, කථාකරන්න.
10 මක්නිසාද මම නුඹ සමඟ සිටිමි, කිසිවෙක් නුඹට අනතුරුකරන ලෙස නුඹට විරුද්ධව නොඑන්නේය. මට මේ නුවර බොහෝ සෙනඟ සිටිතියි කීසේක.
11 ඔහු දෙවියන්වහන්සේගේ වචනය ඔවුන් අතරේ උගන්වමින් එක් අවුරුදු සමසක් එහි වාසයකෙළේය.
12 එහෙත් ගලියෝ අකායේ අධිපතියාව සිටියදී යුදෙව්වරු එක්සිත්ව පාවුල්ට විරුද්ධව නැගිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්:
13 මොහු ව්‍යවස්ථාවට වෙනස්ලෙස දෙවියන්වහන්සේට නමස්කාරකරන්ට මනුෂ්‍යයන් පොලඹවන්නේයයි කීවෝය.
14 පාවුල් මුඛය අරින්ට හදන කල ගලියෝ යුදෙව්වරුන්ට කථාකොට: එම්බා යුදෙව්වරුනි, මේ කාරණය අපරාධයක්වත් නපුරු දුෂ්ටකමක්වත් වී නම්, නුඹලා ගැන මා විසින් ඉවසිය යුතුය.
15 නුමුත් මේවා වනාහි වචනවල්ද නාමවල්ද නුඹලාගේම ව්‍යවස්ථාවද ගැන වාදවල් නම්, නුඹලාම බලාගන්න; මේ දේවල් ගැන මම විනිශ්චයකාරයෙක් නොවන්නෙමියි කියා,
16 ඔවුන් නඩු ආසනය වෙතින් එලෙවුවේය.
17 එවිට ඒ සියල්ලෝ සිනගෝගයේ මුලාදෑනියාවූ සොස්තෙනේස් අල්ලා නඩු ආසනය ඉදිරියේදී ඔහුට තැළුවෝය. ගලියෝ මේ දේවලින් කිසිවක් ගැන සැලකුවේ නැත.
18 මෙයින් පසු පාවුල් බොහෝ දවස් එහි නැවතී සිට, සහෝදරයන්ට ආයුබෝවන් කියා, තමා බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේදී හිසකේ බූගා, සිරියාවට යන්ට නැව් නැගුණේය, ප්‍රිස්කිලාද අකිලාද ඔහු සමඟ ගියෝය.
19 ඔවුන් එපීසයට පැමිණ, ඔහු ඔවුන් එහි සිටින්ට හැර, තමාම සිනගෝගයට ගොස් යුදෙව්වරුන් සමඟ තර්කකෙළේය.
20 තවත් කලක් නැවතී සිටින ලෙස ඔවුන් ඔහුගෙන් ඉල්ලූ කල්හි ඔහු එකඟ නොවී,
21 ඔවුන්ට ආචාරකොට: දෙවියන්වහන්සේ කැමතිසේක් නම් නුඹලා ළඟට නැවත එන්නෙමියි කියා එපීසයෙන් නැව් නැගුණේය.
22 ඔහු කායිසාරියට ගොඩබැස, ගොස්, සභාවට ආචාරකොට, අන්තියෝකියාට බැස ගියේය.
23 ඔහු එහි කලක් පසුකොට පිටත්ව පිළිවෙළින් ගලාතියේ සහ පිරිගියේ පළාත මැදින් ගොස් සියලු ගෝලයන් ස්ථිරකෙළේය.
24 අලෙක්ෂන්ද්‍රියෙහි උපන්නාවූ, උගතෙක්වූ, අපොල්ලොස් නම් එක්තරා යුදෙව්වෙක් එපීසයට ආවේය; ඔහු වනාහි ලියවිලි ගැන බලවත්ව සිටියේය.
25 මේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේගේ මාර්ගය ගැන උගන්වනු ලැබ ආත්මයෙන් ජ්වලිතව සිට, යේසුස්වහන්සේගේ කාරණා ගැන හරි ආකාර කථාකර ඉගැන්නුවේය. එහෙත් ඔහු යොහන්ගේ බව්තීස්මය පමණක් දැනගන සිටියේය.
26 ඔහු සිනගෝගයේදී නිර්භීතව කථාකරන්ට පටන්ගත්තේය. ප්‍රිස්කිලාද අකිලාද ඔහුගේ බස් අසා, ඔහු තමුන් ළඟට කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා හරිලෙස ඔහුට තෝරාදුන්නෝය.
27 තවද ඔහු අකායට යන්ට සිතූ කල්හි, සහෝදරයෝ ඔහු ධෛර්යකොට, ඔහු පිළිගන්නා ලෙස ගෝලයන්ට ලියා ඇරියෝය. ඔහු එහි පැමිණි කල, අනුග්‍රහය කරණකොටගෙන අදහාගන සිටි අයට බොහෝ උපකාරකෙළේය.
28 මක්නිසාද ඔහු යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව ලියවිලිවලින් පෙන්වා, ප්‍රසිද්ධයෙන් බලවත් ලෙස යුදෙව්වරුන් පරාජයකෙළේය.



පරිච්ඡේදය 19

1 තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී පාවුල් ඉහළ පළාත් මැදින් ගොස්, එපීසයට ඇවිත්, සමහර ගෝලයන් සම්බව:
2 නුඹලා අදහාගත් කල ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබුවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: නැත, ශුද්ධාත්මයාණන්වහන්සේ ඇති බවවත් නොඇසීමුයයි කීවෝය.
3 එසේවී නම් නුඹලා මොන බව්තීස්මයක් ලැබුවහුදැයි ඔහු ඇසුවේය. යොහන්ගේ බව්තීස්මයයයි ඔව්හු කීවෝය.
4 පාවුල් කථාකොට: යොහන් පසුතැවිල්ලේ බව්තීස්මයෙන් බව්තීස්මකොට සෙනඟට කථාකරමින්, තමාට පසුව එන තැනන්වහන්සේ කෙරෙහි, එනම් යේසුස්වහන්සේ කෙරෙහි, අදහාගන්න ලෙස සෙනඟට කීවේයයි කීය.
5 ඔව්හු ඒ අසා ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවෝය.
6 පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය.
7 ඒ මනුෂ්‍යයන් සියල්ලෝම දොළොස් දෙනෙක් පමණ වූවෝය.
8 ඔහු සිනගෝගයට ඇතුල්වී දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්බන්ධ කාරණා ගැන තර්කකරමින්ද උගන්වමින්ද තුන්මසක් අතරතුරේ භය නැතුව කථාකෙළේය.
9 නුමුත් සමහරු මුරණ්ඩුව, අකීකරුව, සමූහයා ඉදිරියෙහි ඒ ලබ්ධි මාර්ගය ගැන දොස් කී කල්හි ඔහු ඔවුන් ළඟින් අහක්ව, ගෝලයන් වෙන්කරගන, තුරානස්ගේ ශිල්ප ශාලාවෙහි දවස්පතා තර්කකරමින් සිටියේය.
10 මෙය දෑවුරුද්දක් කෙරීගන ගියේය; මෙසේ ආසියාවේ විසූ සියල්ලෝ වන යුදෙව්වරුද ග්‍රීක්වරුද ස්වාමීන්වහන්සේගේ වචනය ඇසූහ.
11 දෙවියන්වහන්සේ පාවුල්ගේ අත්වලින් අපූරුවූ ආශ්චර්යයන් කෙරෙවූසේක.
12 ඔහුගේ ශරීරයෙන් පිස්නාකඩවත් රෙදිකඩවත් ලෙඩුන් ළඟට ගෙනගිය පමණින් රෝග ඔවුන්ගෙන් පහවිය, නපුරු ආත්මයෝද දුරුව ගියෝය.
13 නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට අණකරමියි කීවෝය.
14 ප්‍රධාන පූජකයෙක්වූ ස්කෙවා නම් යුදෙව්වෙකුගේ පුත්‍රයන් සත් දෙනෙක් මෙසේ කළෝය.
15 නුමුත් නපුරු ආත්මය උත්තරදෙමින්: යේසුස්වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි; නුමුත් නුඹලා කවුරුදැයි ඔවුන්ට කීවේය.
16 නපුරු ආත්මය වැහී සිටි මනුෂ්‍යයා ඔවුන් පිටට පැනනැගී දෙදෙනාම දමනයකොට, ඔවුන් පරදවාදැම්මේය, මෙසේ ඔව්හු නිර්වස්ත්‍රව, තුවාලවී, ඒ ගෙයින් පලා ගියෝය.
17 මෙය එපීසයෙහි විසූ සියලු යුදෙව්වරුන්ටද ග්‍රීක්වරුන්ටද දැනගන්ට ලැබුණේය; ඔවුන් සියල්ලන් කෙරෙහි භයක් පැමුණුණේය, ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයටද ගෞරව පැමුණුණේය.
18 අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ඇවිත් තමුන්ගේ ක්‍රියාවන් ප්‍රකාශකරමින් ඒවා කියාදුන්නෝය.
19 යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය. ඒවායේ මිල ගණන් බලා, රිදීමිල පනස් දහසක් බව දැනගත්තෝය.
20 එපමණ බලගතු ලෙස ස්වාමීන්වහන්සේගේ වචනය වර්ධනයවී, බලවත්වුණේය.
21 මේ දේවල් නිමවූ කල, පාවුල්: මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑය කියා. මකිදෝනිය සහ අකාය මැදින් ගොස්, යෙරුසලමට යන්ට ආත්මයෙන් නියමකරගත්තේය.
22 ඔහු තමාට සේවයකළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස්ද එරස්තස්ද මකිදෝනියට යවා, තමාම කලක් ආසියාවෙහි නැවතී සිටියේය.
23 ඒ කාලය පමණේදී ඒ ලබ්ධි මාර්ගය ගැන මහත් කැලඹීමක් හටගත්තේය.
24 මක්නිසාද අර්තෙමිස්ගේ දේවාලයේ රිදී රූප සාදන්නාවූ දෙමේත්‍රියස් නම් රිදී කරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවාදුන්නේය.
25 ඔහු ඔවුන්ද එබඳුවූ කර්මාන්තකාරයන්ද රැස්කරවා: මහත්වරුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව නුඹලා දන්නහුය.
26 මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ.
27 එහෙයින් අපගේ මේ කර්මාන්තය සුළු බවට පැමිණෙන්ට පුළුවන්වා පමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාරකරන්නාවූ මහත් දේවතාවී වූ අර්තෙමිස්ගේ මාළිගාව අගෞරවයට පත්වීමද ඇගේ මහන්තත්වය පවා පහවීයාමද වෙන්ට පුළුවනැයි කීවෝය.
28 ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී: එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීයයි මොරගසමින් කීවෝය.
29 එවිට නුවර වියවුලෙන් පිරුණාය. ඔව්හු, පාවුල් සමඟ ගමන්කළාවූ ඔහුගේ ගමන් හවුල්කරු මකිදෝනියේ මනුෂ්‍යයන්වූ ගායස්ද අරිස්තාර්කස්ද අල්ලාගෙන එක්සිත්ව නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවුවෝය.
30 පාවුල් සෙනඟ මැදට යන්ට සිතූ කල ගෝලයෝ ඔහුට ඉඩ නොහැරියෝය.
31 ඔහුට මිත්‍රව සිටිය ආසියාවේ අධිපතීන්ගෙන් සමහරෙක්ද නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින්වත් ඇතුල් නොවන ලෙස ඉල්ලා ඔහුට කියා ඇරියෝය.
32 සභාව වියවුල්වූ බැවින්, සමහරෙක් එකක්ද අන් සමහරෙක් වෙන එකක්ද කියමින් මොරගැසුවෝය; ඔවුන්ගෙන් වැඩි කොටස තුමූ මොන කාරණාවක් නිසා එකතුවුණෝදැයි නොදැන සිටියෝය.
33 යුදෙව්වරුන් විසින් ඉදිරිපත් කරනලද අලෙක්ෂන්දර් ඔව්හු සමූහයා අතරෙන් ගෙනාවෝය. අලෙක්ෂන්දර්ද අතින් සංඥාකොට, සමූහයාට උත්තරදෙන්ට කැමතිවිය.
34 නුමුත් ඔහු යුදෙව්වෙක් බව ඔව්හු දැනගත් විට: එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීය කියා දෙපැයක් පමණ සියල්ලෝම එක හඬින් මොරගැසූහ.
35 නුවර ලේකම් තැන සමූහයා සන්සිඳුවා: එපීසයේ මනුෂ්‍යයෙනි, එපීසවරුන්ගේ නුවර වනාහි අර්තෙමිස්ගේ මාළිගාවේද සියුස් ළඟින් වැටුණාවූ රූපයේද රැකවලී බව නොදන්න මනුෂ්‍යයා කවුද?
36 මෙසේ මේ දේවලට විරුද්ධව යමක් කියන්ට බැරි හෙයින් නුඹලා ඉක්මනින් කිසිවක් නොකොට නිශ්චලව සිටින්ට යුතුය.
37 මක්නිසාද නුඹලා මෙහි ගෙනාවාවූ මේ මනුෂ්‍යයෝ දේවාලවලින් සොරකම්කරන්නෝවත් අපේ දේවතාවීට අපහාසකරන්නෝවත් නොවෙති.
38 එහෙයින් යමෙකුට විරුද්ධව දෙමේත්‍රියස්ගේද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේද පැමිණිල්ලක් ඇත්නම්, නඩු දවස් තිබේ, අධිපතියෝද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධව පැමිණිලිකරත්වා.
39 නුමුත් නුඹලා වෙන කාරණා ගැන විචාරවු නම්, එය නියම සභාවේදී නිශ්චයකරනු ලැබේ.
40 මක්නිසාද මේ කෝලාහල රැස්වීම ඇතිවීම ගැන අපට උත්තරදෙන්ට පුළුවන්වන ලෙස ඊට කිසි කාරණාවක් නැති බැවින්, අද දවසේ කැරැල්ල ගැන අප කෙරෙහිත් දෝෂාරෝපණයක් පැමිණෙන්ට පුළුවනැයි කීවේය.
41 ඔහු මෙසේ කියා සභාව යන්ට ඇරියේය.



පරිච්ඡේදය 20

1 කෝලාහලය නැවතුණු පසු පාවුල් ගෝලයන් කැඳවා අවවාදකොට, ඔවුන්ට ආයුබෝවන් කියා, මකිදෝනියට යන්ට පිටත්වුණේය.
2 ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන්ට බොහෝ අවවාද දී, ග්‍රීසියට ආවේය.
3 එහි ඔහු තුන් මාසයක් ගතකොට, නැවෙන් සිරියාවට යන්ට සූදානම්ව සිටියදී, ඔහුට විරුද්ධව යුදෙව්වරුන් උපායක් යෙදූ කල, මකිදෝනිය මැදින් හැරී යන්ට නියමකරගත්තේය.
4 පුරස්ගේ පුත්‍රවූ බෙරීයයේ සෝපතර්ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස්ද දර්බයේ ගායස් සහ තිමෝතියස්ද ආසියාවේ තුඛීකස් සහ ත්‍රොපීමස්ද ඔහු සමඟ ආසියාව දක්වා ගියෝය.
5 මොව්හු ඉස්සරව ගොස්, ත්‍රෝවසේදී අපගේ ඊම බලා සිටියෝය.
6 මුහුන් නොදැමූ රොටි කන දවස්වලට පසු අපි පිලිප්පියෙන් නැව් නැගී, පස් දවසකින් ත්‍රෝවසෙහි සිටියාවූ ඔවුන් ළඟට ඇවිත්, එහි සත් දවසක් නැවතී සිටියෙමුව.
7 සතියේ පළමුවෙනිදා අපි රොටි කඩන්ට රැස්වූ කල, පාවුල් පසුවදා යන්ට අදහස්කරගෙන, ඔවුන්ට අනුශාසනාකෙළේය; ඔහුගේ කථාව මධ්‍යම රාත්‍රිය දක්වා පැවතුණේය.
8 අප රැස්ව සිටි උඩුමහලේ බොහෝ පහන් තිබුණේය.
9 යුතිකස් නම් එක් තරුණයෙක් බොහෝ නිදිබරව කවුළුව උඩ ඉඳගෙන උන්නේය; පාවුල් තව දුරට අනුශාසනාකරද්දී යුතිකස් නින්දේ තදකම නිසා තුන්වෙනි මහලින් පහළට වැටුණේය, ඔහු ඔසවාගත් කල මැරී සිටියේය.
10 එවිට පාවුල් බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳගන: ඝෝෂා නොකරන්න; මක්නිසාද මොහුගේ ප්‍රාණය මොහු තුළ තිබේයයි කීවේය.
11 ඔහු නැවත උඩට ගොස්, රොටි කඩා කා, ඔවුන් සමඟ බොහෝ වේලාවක් එනම් පහන්වන තුරු කථාකර, පසුව පිටත්ව ගියේය.
12 ඔව්හු ඒ ළමයා පණපිටින් ගෙනැවිත්, බොහෝසේ සැනසුණෝය.
13 එහෙත් අපි අසොස්හිදී පාවුල් නංවාගන්ට අදහස්කරගන, පෙරටුව නැව ළඟට ගොස්, එහි යන්ට නැගුණෙමුව. මක්නිසාද ගොඩින් යන්ට අදහස්කළ ඔහු, එසේ යන්ට අපට නියමකර තිබුණේය.
14 අසොස්හිදී ඔහු අපට සම්බවූ කල ඔහු නංවාගන මිතුලේනට ආවෙමුව.
15 අපි එතැනින් යාත්‍රාකොට, පසුවදා කියොස් ඉදිරියට පැමිණ, ඊට පසුවදා සාමොස්ට ළඟාවී, ඊළඟ දවසේ මිලේතසට පැමිණියෙමුව.
16 එසේ කළේ, හැකිවී නම් පෙන්තකොස්ත දවසේ යෙරුසලමේ සිටින්ට පාවුල් ඉක්මන්කළ බැවින්, ආසියාවෙහි කල්ගතකරන්ට නොවන පිණිස නැවෙන් එපීසය පසුකරයන්ට ඔහු නියමකරගන සිටි නිසාය.
17 ඔහු මිලේතසෙන් එපීසයට පණිවිඩ යවා, සභාවේ වැඩිමහල්ලන් කැඳවූයේය.
18 ඔවුන් ඔහු ළඟට ආ කල ඔහු ඔවුන්ට කථාකොට:
19 මම සිතේ සියලු ආකාර යටත්කමින්ද කඳුළුවලින්ද යුදෙව්වරුන්ගේ උපා නිසා පැමිණි අමාරුකම්වලින්ද යුක්තව, ස්වාමීන්වහන්සේට සේවයකෙළෙමි.
20 ප්‍රයෝජනවත්වූ කිසි දෙයක් ප්‍රකාශකිරීමෙන් නොවැලකී, ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින්,
21 දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.
22 දැන් ඉතින් ආත්මයෙන් බඳිනු ලැබ, මම යෙරුසලමට යමි, එහිදී මට මක්වේද කියා නොදනිමි.
23 නුමුත් බැඳුම්ද දුක්ද මට පැමිණේයයි ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නුවරවලදී සාක්ෂිදෙනසේක.
24 නුමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ යේසුස්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි.
25 ඉතින් රාජ්‍යය ගැන දේශනාකරමින් නුඹලා අතරෙහි ඇවිද්දාවූ මාගේ මුහුණ නුඹලා සියල්ලන් තවත් නොදකින බව දනිමි.
26 එහෙයින් මම සියල්ලන්ගේ ලෙයින් නිදොස්වෙමියි අද දවසේ නුඹලාට සාක්ෂිදෙමි.
27 මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.
28 දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.
29 මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි.
30 නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත.
31 එබැවින් මා තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට, අවදිව සිටින්න.
32 දැන් දෙවියන්වහන්සේටද, නුඹලා ඉදිකරන්ටත් පිරිසිදුකරනලද සියල්ලන් අතරෙහි නුඹලාට උරුමයක් දෙන්ටත් හැකිවූ උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටද නුඹලා භාරදෙමි.
33 කිසිවෙකුගේ රිදීයටවත් රනටවත් ඇඳුම්වලටවත් ආශා නොවීමි.
34 මටත් මා සමඟ සිටියවුන්ටත් වුවමනාවූ දේ සපයාගැනීමට මේ අත්වලින් වැඩකළ බව නුඹලාම දන්නහුය.
35 මෙසේ වැඩකරමින් නුඹලා දුර්වලයන්ට උපකාර කටයුතු බවද: ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී නුඹලාට ආදර්ශයක් වූයෙමියි කීවේය.
36 ඔහු මෙසේ කියා දණින් හිඳ ඔවුන් සියල්ලන් සමඟ යාච්ඤාකෙළේය.
37 ඔවුන් සියල්ලෝ, තවත් තමාගේ මුහුණ ඔව්හු නොදකින්නෝයයි පාවුල් කී වචනය ගැන සියල්ලට වඩා කනගාටුවෙමින්, අතිශයෙන් හඬා,
38 ඔහුගේ බෙල්ල වැළඳගන ඔහු සිඹගත්තෝය. ඔව්හු නැව ළඟට ඔහු සමඟ ගියෝය.



පරිච්ඡේදය 21

1 අපි ඔවුන්ගෙන් වෙන්ව නැවෙන් පිටත්වී කෙලින්ම ගොස්, කෝස්ටද පසුවදා රෝදස්ටද, එතැනින් පතරටද ආවෙමුව.
2 එහිදී පෙනීකියට යන්නාවූ නැවක් සම්බව එහි නැගී පිටත්වුණෙමුව.
3 අපට කුප්‍රස පෙනුණු විට ඒක වමට හැර සිරියාවට ගොස්, තීර්හිදී ගොඩබැස්සෙමුව. මක්නිසාද එහි බඩු ගොඩබාන්ට තිබුණේය.
4 ගෝලයන් සොයාගෙන එහි සත් දවසක් සිටියෙමුව. යෙරුසලමට යන්ට එපායයි ඔව්හු ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන පාවුල්ට කීවෝය.
5 නුමුත් ඒ දවස් ගතවූ විට පිටත්ව අපේ ගමන ගියෙමුව; අප නුවරින් පිටවන තුරු ඔව්හු සියල්ලෝ තමුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ අප කැටුව ආවෝය. අපි වෙරළෙහි දණින් හිඳ යාච්ඤාකොට,
6 එකිනෙකාට ශුභාචාරකොට, නැවට නැගුණෙමුව, නුමුත් ඔව්හු තමුන්ගේ නිවාසවලට හැරී ගියෝය.
7 අපි තීර් සිට විත් අපේ මුහුදු ගමන නිමකොට තොලිමයිසට පැමිණියෙමුව; එහිදී සහෝදරයන්ට ආචාරකොට ඔවුන් සමඟ දවසක් නැවතී සිටියෙමුව.
8 පසුවදා අපි පිටත්ව කායිසාරියට ඇවිත්, සත්දෙනාගෙන් එක්කෙනෙක්වූ එවැන්ජලිස්ත පිලිප්ගේ ගෙට පැමිණ ඔහු සමඟ නැවතී සිටියෙමුව.
9 ප්‍රොපේතවාක්‍ය කියන්නාවූ කන්‍යා දූවරු සතරදෙනෙක් ඔහුට සිටියෝය.
10 බොහෝ දවස් අප එහි නැවතුණු අතර, අගබස් නම් එක් අනාගතවක්තෘ කෙනෙක් යුදයෙන් ඇවිත්,
11 අප වෙතට පැමිණ පාවුල්ගේ ඉඟපටිය රැගෙන තමාගේම අත්පා බැඳගන: යුදෙව්වරු මේ ඉඟපටිය අයිතිවූ මනුෂ්‍යයා යෙරුසලමේදී මේ ආකාරයෙන් බැඳ අන්‍යජාතීන්ගේ අත්වලට පාවාදෙන්නෝයයි ශුද්ධාත්මයාණන්වහන්සේ කියනසේකැයි කීවේය.
12 අප මේ දේ ඇසූ කල, අප සහ ඒ ස්ථානයේ වැසියෝ, යෙරුසලමට නොයන ලෙස ඔහුගෙන් උදක්ම ඉල්ලුවෝය.
13 එවිට පාවුල් උත්තරදෙමින්: නුඹලා කුමක් කරනවාද? අඬා මාගේ හිත පළන්නේ මක්නිසාද? මම යෙරුසලමේදී ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය නිසා බඳිනු ලබන්ට පමණක් නොව මැරෙන්ටත් සූදානම්ව සිටිමියි කීවේය.
14 ඔහු එකඟ නුවූකල: ස්වාමීන්වහන්සේගේ කැමැත්ත වේවයි කියමින් අපි නැවතුණෙමුව.
15 ඒ දවස්වලට පසු අපි බඩුබාහිරාදිය රැගෙන යෙරුසලමට ගියෙමුව.
16 ගෝලයන්ගෙන් සමහරෙක්ද කායිසාරියෙන් අප සමඟ ඇවිත්, බොහෝ කලක පටන් ගෝලයෙක්ව සිටියාවූ මිනාසොන් නම්වූ කුප්‍රසේ කෙනෙකු වෙත නවාතැන්ගන්ට අප කැඳවාගෙන ගියෝය.
17 අප යෙරුසලමට ආ කල සහෝදරයෝ සන්තෝෂයෙන් අප පිළිගත්තෝය.
18 පසුවදා පාවුල් අප සමඟ යාකොබ් වෙතට ගියේය; සියලු වැඩිමහල්ලෝද එහි සිටියෝය.
19 ඔහු ඔවුන්ට ආචාරකොට, තමාගේ මෙහෙයෙන් දෙවියන්වහන්සේ අන්‍යජාතීන් අතරෙහි කෙරෙවුවාවූ කාරණා එකක් එකක් පාසා කියාදුන්නේය.
20 ඔව්හු ඒ අසා දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය; තවද ඔව්හු ඔහුට කථාකොට: සහෝදරය, අදහාගත්තවුන් අතරේ යුදෙව්වරු කොපමණ දහස් ගණන් සිටිත්ද කියා නුඹට පෙනෙන්නේය; ඔවුන් සියල්ලෝ ව්‍යවස්ථාව ගැන ජ්වලිතව සිටිති.
21 නුඹ අන්‍යජාතීන් අතරේ සියලු යුදෙව්වරුන්ට, තමුන්ගේ දරුවන් චර්මඡේද්‍යකරන්ටවත් නියෝග පවත්වන්ටවත් එපාය කියමින් මෝසෙස් අත්හරින්ට උගන්වනවායයි නුඹ ගැන ඔවුන්ට දැනුම්දී තිබේ.
22 එහෙයින් කුමක් කටයුතුද? නුඹ ඇවිත් සිටින බව නිසැකවම ඔවුන් දැනගන්නවා ඇත.
23 එබැවින් අප විසින් නුඹට කියන දේ කරන්න. බාරයක් වුණාවූ මනුෂ්‍යයෝ සතරදෙනෙක් අප අතරේ සිටිති;
24 ඔවුන් රැගෙන නුඹද ඔවුන් සමඟ පවිත්‍රව, ඔවුන්ගේ හිස් මුඩුකරන්ට වියදම දරන්න. එවිට නුඹ ගැන තමුන්ට ආරංචිවූ කාරණාවලින් එකක්වත් සැබෑ නොවන බවත් නුඹම ව්‍යවස්ථාව රක්ෂාකරමින් හැසිරෙන බවත් සියල්ලන්ම දැනගන්නවා ඇත.
25 නුමුත් අදහාගන සිටින අන්‍යජාතීන් ගැන නම්, ඔවුන් රූපවලට පුදනලද දෙයින්ද ලෙයින්ද බොටුව මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද වැලකී සිටින ලෙස අපිම නියම කර ලියා ඇරියෙමුයයි කීවෝය.
26 එවිට පාවුල් ඒ මනුෂ්‍යයන් රැගෙන, පසුවදා ඔවුන් සමඟ පවිත්‍ර වී දේවමාළිගාවට පැමිණ, ඔවුන් එකිනෙකා උදෙසා පූජාවක් ඔප්පුකරන තුරු පවිත්‍රවීමේ දවස් සම්පූර්ණකරන බව දැන්නුවේය.
27 ඒ දවස් සත සම්පූර්ණවෙන්ට ළංවූ කල ආසියාවෙන් ආවාවූ යුදෙව්වරු දේවමාළිගාවේදී ඔහු දැක, මුළු සමූහයා කලඹා, ඔහු පිට අත් හෙළා: ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, උපකාරකරන්න.
28 සෙනඟටද ව්‍යවස්ථාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නාවූ මනුෂ්‍යයා මොහුය. එපමණකුත් නොව ග්‍රීක්වරුන්ද දේවමාළිගාවට කැඳවාගෙනවිත්, ඔහු මේ ශුද්ධස්ථානය අපවිත්‍රකෙළේයයි මොරගසා කීවෝය.
29 මක්නිසාද එපීසියවූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනවා ඔවුන් පළමුවෙන් දැක තිබුණු බැවින්, පාවුල් ඔහු දේවමාළිගාවට කැඳවාගෙන ගියේයයි ඔව්හු සිතුවෝය.
30 එවිට මුළු නුවර කැලඹී සෙනඟ එකට දුවගන ඇවිත් පාවුල් අල්ලාගෙන මාළිගාවෙන් පිටතට ඇද්දෝය. එකෙණෙහිම දොරවල් වසනලද්දේය.
31 ඔවුන් ඔහු මරන්ට උත්සාහකරමින් සිටින අතර මුළු යෙරුසලම වියවුල්වීයයි හේවා සමුදාවේ අධිපතියාට දන්වනලද්දේය.
32 ඔහු එවේලේම හේවායන්ද සියයකට මුලාදෑනීන්ද රැගෙන ඔවුන් වෙතට දිවුවේය. ඔව්හු අධිපතියා සහ හේවායන් දැක, පාවුල්ට තැළීමෙන් නැවතුණෝය.
33 එවිට අධිපතියා ළංවී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්ට අණකොට: මොහු කවුද? කුමක් කෙළේදැයි විචාළේය.
34 එවිට සමූහයා අතරේ සමහරෙක් එකක්ද සමහරෙක් අනිකක්ද මොරගසා කීවෝය. ඒ කෝලාහලය නිසා ඇත්ත දැනගන්ට ඔහුට බැරිවී, ඔහු කොටුවට ගෙනයන්ට අණකෙළේය.
35 පාවුල් එහි තිබුණු පඩිපෙළ පිටට පැමිණි කල, සමූහයාගේ බලාත්කාරය නිසා හේවායන් විසින් ඔහු උසුලාගෙනයන්ට සිදුවිය.
36 මක්නිසාද: ඔහු නැතිකරන්නැයි ජනසමූහයා මොරගසමින් පස්සෙන් ගියෝය.
37 පාවුල් කොටුව ඇතුළට ගෙනයනු ලබද්දී: ඔබට වචනයක් කියන්ට මට අවසර ඇද්දැයි ඔහු අධිපතියාගෙන් ඇසුවේය. එවිට ඔහු: නුඹට ග්‍රීක් භාෂාව පුළුවන්ද?
38 එසේ නම් මේ දවස්වලට පළමුවෙන් කැරලිගස්වා මිනීමරන්නන් සාරදහසක් වනයට ගෙන ගියාවූ මිසරයා නුඹ නොවේදැයි ඇසුවේය.
39 නුමුත් පාවුල්: මම නම් කීර්තිමත් නුවරක් වන කිලිකියේ තාර්සස්හි යුදෙව්වෙක්ය. සෙනඟට කථාකරන්ට මට අවසරදෙන මෙන් ඔබගෙන් ඉල්ලමියි කීවේය.
40 ඔහු අවසරදුන් කල, පාවුල් පඩිපෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥාකෙළේය; මහත් නිශ්ශබ්දයක් වූ කල ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් කථාකරමින්-



පරිච්ඡේදය 22

1 සහෝදරයෙනි, පියවරුනි, මා දැන් නුඹලාට කියන්නාවූ මාගේ විත්තිය අසන්නැයි කීවේය.
2 ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් තමුන්ට කථාකරන බව ඇසූ විට ඔව්හු වඩාම නිශ්ශබ්දව සිටියෝය. ඔහු කථාකොට:
3 මම කිලිකියේ තාර්සස්හි උපන් යුදෙව්වෙක්ය, නුමුත් මේ නුවර වැඩී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාදමූලයෙහි උගන්වනු ලැබ, අද නුඹලා සියල්ලන් සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ ගැන ජ්වලිතව සිටියෙමි.
4 පුරුෂයන්ද ස්ත්‍රීන්ද බැඳ හිරගෙවලට භාරදෙමින්, මරණය දක්වා මේ ලබ්ධි මාර්ගයට පීඩාකෙළෙමි.
5 ඒ ගැන උත්තම පූජකයාද වැඩිමහල්ලන්ගේ මුළු සභාවද මට සාක්ෂි දරති. ඔවුන්ගෙනුත් සහෝදරයන්ට ලියුම් ලබාගන, දමස්කයේ සිටි අයටත් දඬුවම්කරන පිණිස ඔවුන් බැඳ යෙරුසලමට ගෙනෙන්ට එතැනට ගමන්කෙළෙමි.
6 තවද මා ගමන්කරමින් දමස්කයට ළංවූ කල, ඉරමුදුන් වේලාව පමණේදී හදිසියෙන් අහසින් මහත් ආලෝකයක් මා වටකර බැබළුණේය.
7 මම බිම වැටුණෙමි. එවිට සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි මට කියන හඬක් ඇසුණේය.
8 මම උත්තරදෙමින්: ස්වාමිනි, ඔබ කවුදැයි ඇසුවෙමි. උන්වහන්සේද: මම නම් නුඹ පීඩාකරන්නාවූ නාසරිය යේසුස්යයි මට කීසේක.
9 මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝය, නුමුත් මට කථාකළ තැනන්වහන්සේගේ හඬ ඔවුන්ට ඇසුණේ නැත.
10 මමද: ස්වාමීනි, මම මක්කරම්දැයි ඇසුවෙමි. ස්වාමීන්වහන්සේ මට කථාකොට: නැගිට දමස්කයට යන්න; නුඹ විසින් කරන්ට නියමකර තිබෙන සියල්ල එහිදී නුඹට කියනු ලැබේයයි කීසේක.
11 ඒ ආලෝකයේ තේජස නිසා මාගේ ඇස් නොපෙනී ගිය කල, මා සමඟ සිටියවුන් විසින් මාගේ අත අල්ලා ගෙනයනු ලැබ, දමස්කයට පැමිණියෙමි.
12 එවිට ව්‍යවස්ථාව ප්‍රකාරයට භක්තිවන්තවූ, එහි වසන සියලු යුදෙව්වරුන් විසින් යහපත් කෙනෙකැයි කියනලද්දාවූ
13 අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත ඇවිත් මා ළඟ සිට: සහෝදරවූ සාවුල්, පෙනීම ලබන්නැයි මට කීවේය. මමද ඒ පැයේදීම ඔහු දෙස බැලීමි.
14 ඔහු කථාකොට: අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්ටත් ධර්මිෂ්ඨ තැනන්වහන්සේව දකින්ටත් උන්වහන්සේගේ මුඛයෙන් හඬක් අසන්ටත් නුඹව නියමකළසේක.
15 මක්නිසාද නුඹ ඇසූ දුටු දේ ගැන සියලු මනුෂ්‍යයන්ට නුඹ උන්වහන්සේ උදෙසා සාක්ෂිකාරයෙක් වන්නෙහිය.
16 ඉඳින් ප්‍රමාදවෙන්නේ මක්නිසාද? නැගිට උන්වහන්සේගේ නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, නුඹේ පව් සෝදාදමන්නැයි කීවේය.
17 තවද මම යෙරුසලමට නැවත ඇවිත් දේවමාළිගාවෙහි යාච්ඤාකරමින් සිටියදී මූර්ඡාවුණෙමි.
18 එවිට උන්වහන්සේ මට දර්ශනයවී: නුඹ ප්‍රමාද නොවී ඉක්මනින් යෙරුසලමෙන් යන්න. මක්නිසාද මා ගැන නුඹේ සාක්ෂිය ඔව්හු පිළි නොගන්නෝයයි මට කීසේක.
19 එකල මම කථාකොට: ස්වාමීනි, ඔබ කෙරෙහි ඇදහූවන් මා විසින් හිරගෙවල දමා, සියලු සිනගෝගවලදී ඔවුන්ට තැළුෑ බව ඔව්හුම දනිති.
20 ඔබගේ සාක්ෂිකාරවූ ස්තේපන්ගේ ලේ වැගිරෙවු කල මමත් ළඟ සිට, ඊට එකඟවෙමින්, ඔහු මැරූවන්ගේ වස්ත්‍ර ප්‍රවේසම්කෙළෙමියි කීවෙමි.
21 එවිට උන්වහන්සේ මට කථාකොට: පිටත්වෙන්න. මක්නිසාද මම නුඹ මෙයින් බොහෝ ඈතට අන්‍ය ජාතීන් වෙතට යවන්නෙමියි කීසේකැයි කීවේය.
22 ඔව්හු මේ වචනය දක්වා ඔහුට ඇහුම්කන්දුන්නෝය; එවිට ඔව්හු ශබ්දනගා: මෙබඳු මනුෂ්‍යයා පොළොවෙන් අහක්කරන්න. මක්නිසාද මොහු ජීවත්වෙන්ට යුතු නැතැයි කිවෝය.
23 ඔවුන් මොරගසමින්, තමුන්ගේ උතුරුසළු ගළවා වීසිකරමින්, ධූලි ඉහළට දමමින් සිටි බැවින්,
24 අධිපතියා ඔහු කොටුවට ගෙනයන්ට අණකොට මොන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධව එසේ මොරගැසුවෝදැයි දැනගන්නා පිණිස ඔහුට කසෙන් තළා විභාගකරන්ට නියමකෙළේය.
25 නුමුත් ඔවුන් පටිවලින් ඔහුව බැන්ද විට පාවුල් කථාකොට: රෝමයෙක්වූ මනුෂ්‍යයෙකු විනිශ්චය නොකොට ඔහුට කසෙන් තළන්ට නුඹලාට අවසර තිබේදැයි ළඟ සිටියාවූ සියයකට මුලාදෑනියාට කීවේය.
26 සියයකට මුලාදෑනියා ඒ අසා අධිපතියා ළඟට ගොස්: ඔබ මක්කරන්ට යනවාද? මේ මනුෂ්‍යයා රෝමයෙකැයි කීවේය.
27 එවිට අධිපතියා ඇවිත්: නුඹ රෝමයෙක්ද කියා මට කියන්නැයි ඔහුට කීවේය. එසේයයි ඔහු කීවේය.
28 අධිපතියා උත්තරදෙමින්: මම බොහෝ මිලදී මේ නාගරිකත්වය ලබාගතිමියි කීවේය; පාවුල්ද: මම රෝමයෙක්ව උපන්නෙමියි කීවේය.
29 එබැවින් ඔහු විභාගකරන්ට සිටි අය එවෙල්ම ඔහු වෙතින් අහක්ව ගියෝය. ඔහු රෝමයෙක් බව දැනගත් කල ඔහු බැන්ද බැවින් අධිපතියාද භයවූයේය.
30 පසුවදා, හෙතෙම යුදෙව්වරු මොන කාරණයක් ගැන ඔහුට වැරදි තබත්දැයි හරියාකාර දැනගන්ට කැමතිව, ඔහු මුදා, නායක පූජකයන්ට සහ මුළු මන්ත්‍රණ සභාවට රැස්වෙන්ට අණකොට, පාවුල් ගෙනැවිත් ඔවුන් ඉදිරියෙහි සිටෙවුවේය.



පරිච්ඡේදය 23

1 පාවුල් ඉතා ඕනෑකමින් සභාව දෙස ඇස් හෙළා: සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු ආකාර යහපත් හෘදයසාක්ෂියක් ඇතුව හැසුරුණෙමියි කීවේය.
2 එවිට උත්තම පූජකවූ අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුන්ට අණකෙළේය.
3 එවිට පාවුල්: සුදුකළ බිත්තියක් බඳුවූ නුඹට දෙවියන්වහන්සේ ගසනසේක. ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චයකරන්ට ඉඳගනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අණකෙරෙහිදැයි කීවේය.
4 එවිට ළඟ සිටි අය: නුඹ දෙවියන්වහන්සේගේ උත්තම පූජකයාට නින්දාකරනවාදැයි කීවෝය.
5 පාවුල්ද: සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා බව මම නොදැන සිටියෙමි. මක්නිසාද-නුඹේ සෙනඟගේ අධිපතියෙකු ගැන අගුණ නොකියන්නැයි ලියා තිබේයයි කීවේය.
6 එහෙත් පාවුල් සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුද අනික් කොටස ඵරිසිවරුද බව දැක සභාවෙහි මොරගසා: සහෝදරයෙනි, මම ඵරිසියෙක්මි, ඵරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන්ගේ බලාපොරොත්තුවද නැවත-නැගිටීමද ගැන විචාරනු ලබමියි කීවේය.
7 ඔහු මෙසේ කී කල ඵරිසිවරුන් හා සද්දුසිවරුන් අතරේ භේදයක් හටගත්තේය. රැස්වූ අය බෙදුණෝය.
8 මක්නිසාද සද්දුසිවරු නැවත-නැගිටීමක්වත් දේවදූතයෙක්වත් ආත්මයක්වත් නැතැයි කියති. නුමුත් ඵරිසිවරු දෙකම ඇතැයි කියති.
9 එකල මහත් මොරගැසීමක් විය. ඵරිසිවරුන්ගේ පක්ෂයේ ලියන්නන්ගෙන් සමහරෙක් නැගිට විවාදකොට: මේ මනුෂ්‍යයා අත කිසි නපුරක් අපට නොපෙනේ. ඉඳින් ආත්මයක්වත් දේවදූතයෙක්වත් මොහුට කථාකෙළේනම් කිමෙක්දැයි කීවෝය.
10 නුමුත් මහත් භේදයක් හටගත් කල ඔවුන් විසින් පාවුල් කැබෙලිකොට ඉරාදමනවා ඇත කියා අධිපතියා භයව, හේවායන්ට කථාකොට, ඔවුන්ගෙන් ඔහුව පැහැරගෙන කොටුවට ගෙනයන්ට අණකෙළේය.
11 එදා රාත්‍රියේ ස්වාමීන්වහන්සේ ඔහු ළඟ සිට: ධෛර්ය ඇතුව සිටින්න. නුඹ විසින් යෙරුසලමේදී මා ගැන සාක්ෂිදුන් සේම රෝමයේදීත් සාක්ෂි දෙන්ට ඕනෑයයි කීසේක.
12 පහන්වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරුමකින් බැඳුණෝය.
13 මේ කුමන්ත්‍රණය කළාවූ අය සතළිස් දෙනෙකුට වැඩිව සිටියෝය.
14 ඔව්හු නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට ගොස්: පාවුල් මරන තුරු අපි කිසි කෑමක රස නොබලන්ට මහත් දිවිරිල්ලකින් අපම බැඳගතිමුව.
15 එබැවින්, නුඹලා ඔහුගේ කාරණා ගැන වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ, හෙට නුඹලා ළඟට ඔහු ගෙනෙන ලෙස සභාව සමඟ අධිපතියාට දන්වා අරින්න. ඔහු මෙහාට ළංවෙන්ට පළමුවෙන් අපි ඔහු මරන්ට සූදානම්ව සිටිමුයයි කීවෝය.
16 ඒ ඔවුන්ගේ රැකසිටීම ගැන පාවුල්ගේ සහෝදරීගේ පුත්‍රයා අසා ඇවිත්, කොටුවට ඇතුල්වී, පාවුල්ට දැනුම්දුන්නේය.
17 එවිට පාවුල් සියයකට මුලාදෑනීන්ගෙන් එක්කෙනෙකු කැඳවා: මේ යෞවනයා ප්‍රධාන සේනාපතියා ළඟට ගෙනියන්න. ඔහුට කාරණයක් දන්වන්ට තිබේයයි කීවේය.
18 එසේ ඔහු අධිපතියා ළඟට ඔහුව ගෙනගොස්: හිරකාරවූ පාවුල් මා කැඳවා, ඔබට දන්වන්ට කාරණයක් ඇත්තාවූ මේ යෞවනයා ඔබ වෙතට ගෙනෙන්ට මාගෙන් ඉල්ලුවේයයි කීවේය.
19 එකල අධිපතියා ඔහුගේ අත අල්ලා අහකට ගෙනගොස්: මට දන්වන්ට නුඹට තිබෙන කාරණය මොකදැයි ඇසුවේය.
20 ඔහු කථාකොට: පාවුල් ගැන ඔබ වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස යුදෙව්වරු ඔබගෙන් ඉල්ලන්ට නියමකරගත්තෝය.
21 නුමුත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මක්නිසාද ඔවුන්ගෙන් හතළිහකට වැඩි දෙනෙක් ඔහු මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවිරිල්ලකින් තමුන්ම බැඳගෙන රැකසිටිති. දැන් ඔව්හු සූදානම්ව ඔබගේ පොරොන්දුව බලාසිටිතියි කීවේය.
22 එවිට අධිපතියා: නුඹ මේ දේවල් මට දැන්නූ බව කාටවත් කියන්ට එපායයි අණකොට යෞවනයා යන්ට හැරියේය.
23 එවිට ඔහු සියයකට මුලාදෑනීන් දෙදෙනෙකුට අඬගසා: කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක්ද අසරුවන් සැත්තෑවක්ද හෙල්ල දරන්නන් දෙසියයක්ද රාත්‍රියේ තුන්වෙනි පැයට සූදානම්කරන්නැයි කීවේය.
24 පීලික්ස් නම් ආණ්ඩුකාරයා ළඟට ප්‍රවේසමෙන් පාවුල් නංවාගන යන පිණිස මෘගයන් සපයා තබන්ටද අණකෙළේය.
25 තවද ඔහු මෙසේ ලියුමක් ලියුවේය:
26 ක්ලෞදියස් ලිසියස් විසින් අති උත්තමවූ පීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට ශුභසිද්ධවේවයි ලියා එවන වග නම්-
27 යුදෙව්වරුන් විසින් මේ මනුෂ්‍යයා අල්ලා මරන්ට සාදන කල, ඔහු රෝමයෙකු බව මම දැනගන, හේවායන් සමඟ ගොස් ඔහු ගළවාගතිමි.
28 ඔවුන් ඔහුට තබන වරද මම දැනගන්ට කැමතිව, ඔවුන්ගේ සභාවට ඔහු ගෙනගියෙමි.
29 එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු යම් දෝෂයක් ඔහු පිට නොතබන බව දැනගතිමි.
30 නුමුත් ඒ මනුෂ්‍යයාට විරුද්ධව උපායක් යොදන්ට යන බව මට දන්වන්ට යෙදුණු බැවින් එවේලේම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධව තිබෙන දේවල් ඔබ ඉදිරියේ කියන්ට වරද තබන්නන්ට අණකෙළෙමි යනුයි.
31 මෙසේ හේවායන්ට අණකළ ප්‍රකාරයට ඔව්හු පාවුල් රැගෙන රාත්‍රියෙහි අන්තිපත්‍රිසට ගියෝය.
32 පසුවදා අසරුවන් ඔහු සමඟ යන්ට හැර, ඔව්හු කොටුවට හැරී ආවෝය.
33 අසරුවෝ කායිසාරියට ඇවිත් ආණ්ඩුකාරයාට ලියුම භාරදී පාවුල්ද ඔහු ඉදිරියෙහි සිටෙවුවෝය.
34 එවිට ඔහු ඒ ලියුම කියවා. ඔහු කොයි පළාතේ කෙනෙක්ද කියා අසා, කිලිකියේ කෙනෙකු බව දැනගත් විට:
35 නුඹට වැරදි තබන්නන් ආවාම නුඹේ මුළු කාරණය විභාගකරන්නෙමියි කියා, හෙරොද්ගේ මාළිගාවෙහි ඔහු රැකවල් කරන්ට අණකෙළේය.



පරිච්ඡේදය 24

1 පස් දවසකට පසු උත්තම පූජකවූ අනනියස් සමහර වැඩිමහල්ලන්ද තෙර්තුලස් නම් එක්තරා ව්‍යක්තයෙක්ද සමඟ බැස ඇවිත් පාවුල්ට විරුද්ධව ආණ්ඩුකාරයාට පැමිණිලිකෙළේය.
2 ඔහු කැඳවනු ලැබූ කල, තෙර්තුලස් ඔහුට වරද තබන්ට පටන්ගෙන කථාකරමින්:
3 සෑම විටම සෑම තැන්වලදීම සියලු ආකාර ස්තුතිවන්තකමෙන් අපි ඒත්තුගනිමුව.
4 නුමුත් මම වඩා ඔබට වෙහෙස නොකරන පිණිස ලුහුඬෙන් අප කියන දේ ඔබගේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි.
5 මක්නිසාද මේ මනුෂ්‍යයා දුර්ජනයෙක් බවද ලෝකයේ සියලු යුදෙව්වරුන් අතරෙහි කැරලි උපදවන්නෙක් බවද නාසරියයන්ගේ ලබ්ධියේ මූලිකයෙක් බවද දැනගතිමුව,
6 මොහු දේවමාළිගාව අපවිත්‍ර කරන්ටත් හැදුවේය. අපි ඔහු අල්ලාගතිමුව.
7 (සමහර පුරාණ පිටපත්වල වැඩිදුර මෙසේ පෙනේ: අප විසින් අපේ ව්‍යවථාව පරිද්දෙන් ඔහු විනිශ්වය කරන්ට කැමතිවුණ නුමුත්, අධිපතියාවූ ලිසියස් ඇවිත් මහත් බලහත්කාරයෙන් අපේ අත්වලින් ඔහු උදුරාගන ගොස්, ඔහුට වරද තබන්නන්ට ඔබ වෙතට එන්ට අණකෙළේය.)
8 යමක් ගැන අපි මොහුට වරද තබමුද ඒ සියල්ල මොහුගෙන්ම විචාරා දැනගන්ට ඔබට පුළුවනැයි කීවේය.
9 යුදෙව්වරුද ඒ කාරණා එසේමයයි කියමින් පැමිණිල්ලට එකඟවූවෝය.
10 පාවුල්ට කථාකරන්ට ආණ්ඩුකාරයා සංඥාකළ කල්හි ඔහු උත්තරදෙමින්:
11 නමස්කාර කරන පිණිස මා යෙරුලමට ගොස් දැනට දොළොස් දවසකට වඩා නැති බව ඔබට දැනගන්ට පුළුවන.
12 දේවමාළිගාවේදීවත් සිනගෝගවලදීවත් නුවරදීවත් කිසිකෙනෙකු සමඟ මා වාදකරනවා හෝ සමූහයන් කළඹනවා ඔව්හු නුදුටුවෝය.
13 ඔවුන් දැන් මා කෙරෙහි තබන වරද ඔබට ඔප්පුකරන්ටත් ඔවුන්ට බැරිය.
14 නුමුත් මේක ඔබ ඉදිරියෙහි ඒත්තුගනිමි: එනම්, ලබ්ධියක්යයි කියා ඔවුන් කියන්නාවූ මාර්ගය ලෙස මම අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට සේවයකරමි. ව්‍යවස්ථාවේද අනාගතවාක්‍යවලද ලියා තිබෙන සියල්ලත් විශ්වාසකරමි.
15 ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි මොවුන් බලා සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.
16 ඒ නිසා මම දෙවියන්වහන්සේ කෙරෙහිත් මනුෂ්‍යයන් කෙරෙහිත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්ටද නිතරම උත්සාහකරමි.
17 ඉතින් අවුරුදු කීපයකට පසු මාගේ ජාතියට දානවල්ද පූජාද දෙන පිණිස ආවෙමි.
18 ඒ අතරේදී සමූහයක්වත් කෝලාහලයක්වත් නැතුව, මා දේවමාළිගාවෙහි පවිත්‍රකරනු ලැබ සිටිනවා ඔවුන්ට සම්බවිය. එහෙත් ආසියාවේ සිට ආවාවූ සමහර යුදෙව්වරු එහි සිටියෝය.
19 මට විරුද්ධව යමක් ඔවුන්ට තිබුණේ නම්, මට දෝෂාරෝපණයකරන පිණිස මෙහි ඔබ ඉදිරියට එන්ට ඔවුන්ට යුතුව තිබුණේය.
20 නැතහොත්, මම මොවුන් අතරේ සිට: අද නුඹලා ඉදිරියේදී මා විචාරනු ලබන්නේ මළවුන්ගෙන් නැගිටීම ගැනයයි මොරගසා කී එකම කීම මිස,
21 මා සභාව ඉදිරියෙහි සිටි කල මා අත මොන අපරාධයක් මොවුන්ට සම්බවුණද කියා මොව්හුම කියත්වයි කීවේය.
22 නුමුත් පීලික්ස් ඒ මාර්ගය ගැන කාරණා වඩා හරිලෙස දැන සිටියේ, අධිපතිවූ ලිසියස් ආ කල නුඹලාගේ කාරණය තීන්දුකරන්නෙමියි කියා ඔවුන් නැවැත්තුවේය.
23 තවද ඔහු රැකවල් කරන්ටත් ඔහුට නිදහස දෙන්ටත් ඔහුගේ මිත්‍රයන්ගෙන් කිසිවෙකු විසින් ඔහුට උපස්ථානකිරීම තහනම් නොකරන්ටත් සියයකට මුලාදෑනියාට ඔහු අණකෙළේය.
24 කීප දවසකට පසු පීලික්ස් යුදෙව් ස්ත්‍රියෙක්වූ තමාගේ භාර්යාව වන දෘසිල්ලා සමඟ ඇවිත් පාවුල් ගෙන්වා, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇත්තාවූ ඇදහිල්ල ගැන ඔහු කථාකරනවා ඇසුවේය.
25 ඔහු ධර්මිෂ්ඨකමද පමණ දැන ක්‍රියාකිරීමද පැමිණෙන්නාවූ විනිශ්චයද ගැන කථාකරද්දී පීලික්ස් භයපත්ව: දැනට යන්න; මට ප්‍රස්තාවක් ලැබුණාම නුඹට අඬගස්වන්නෙමියි කීවේය.
26 ඒ ඇර තමාට පාවුල් මුදල් දෙනවා ඇතැයි ඔහු බලාපොරොත්තුවුණේය. එබැවින් නැවත නැවත ඔහු කැඳවා ඔහු සමඟ කථාකෙළේය.
27 නුමුත් දෑවුරුද්දක් සම්පූර්ණවූ කල පීලික්ස්ගේ නිලයට පොර්කියුස් පෙස්තුස් පත්කරනලද්දේය; පීලික්ස් වනාහි යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල් නිදහස් නොකර ගියේය.



පරිච්ඡේදය 25

1 මෙසේ පෙස්තුස් තෙමේ ඒ පළාතට පැමිණි කල තුන් දවසකට පසු කායිසාරියේ සිට යෙරුසලමට ගියේය.
2 නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ ප්‍රධානීහුද පාවුල්ට විරුද්ධව පෙස්තුස්ට දැනුම්දී,
3 ඔවුන්ට කරුණාවක් වශයෙන් ඔහු යෙරුසලමට යවන ලෙස පෙස්තුස්ගෙන් ඉල්ලුවෝය. එසේ කළේ ඔවුන් මාර්ගයේ රැකසිට ඔහුව මරන පිණිසය.
4 නුමුත් පෙස්තුස් උත්තරදෙමින්: පාවුල් කායිසාරියෙහි හිරබාරේ සිටින බවත් තමාද ඉක්මනින් එහි යන්ට ඉන්න බවත් කීවේය.
5 එහෙයින් නුඹලා අතරෙහි වැදගත් අය මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් දෝෂයක් ඇත්නම් ඔහුට වරද තබත්වයි කීවේය.
6 ඔහු ඔවුන් අතරෙහි දවස් අටකට නොහොත් දහයකට වඩා ප්‍රමාද නොවී කායිසාරියට ගොස්, පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුල් ගෙනෙන්ට අණකෙළේය.
7 ඔහු ආ කල, යෙරුසලමෙන් ඇවිත් සිටි යුදෙව්වරු පාවුල් වටකර සිට ඔහුට විරුද්ධව ඔප්පුකළ නොහැකිවූ බරපතළවූ බොහෝ පැමිණිලි කළෝය.
8 පාවුල් තමාගේ නිදහසට උත්තරදෙමින්: මම යුදව්වරුන්ගේ ව්‍යවස්ථාවටවත් දේවමාළිගාවටවත් කායිසර්ටවත් විරුද්ධව කිසි වරදක් නොකෙළෙමියි කීවේය.
9 නුමුත් පෙස්තුස් යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල්ට උත්තරදෙමින්: නුඹ යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන මා ඉදිරියෙහි විනිශ්චයකරනු ලබන්ට කැමැත්තෙහිදැයි ඇසුවේය.
10 නුමුත් පාවුල්: මම කායිසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මෙහිදී මා විනිශ්චයකරන්ට යුතුය. යුදෙව්වරුන්ට මා විසින් කිසි වරදක් කළේ නැත, ඒ බව ඔබටත් හොඳාකාර පෙනීයන්නේය.
11 ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු කිසිවක් කෙළෙම් නම්, මරණය නොලබන ලෙසට නොඉල්ලමි. නුමුත් මොවුන් මට තබන වරදවලින් එකක්වත් සැබෑ නොවේ නම්, මා ඔවුන්ට පාවාදෙන්ට කිසිවෙකුට බැරිය. මම කායිසර්ගේ විනිශ්චය ඉල්ලමියී කීවේය.
12 එවිට පෙස්තුස් මන්ත්‍රණ සභාව සමඟ කථාකොට: නුඹ කායිසර්ගේ විනිශ්චය ඉල්ලුවෙහිය. කායිසර් ළඟට යන්නෙහියයි උත්තරදුන්නේය.
13 කීප දවසකට පසු අග්‍රිපා රජද බර්නීකිද කායිසාරියට ඇවිත් පෙස්තුස්ට ආචාරකළෝය.
14 ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටියදී පෙස්තුස් පාවුල්ගේ කාරණය රජුට දන්වමින්: පීලික්ස් නිදහස් නොකර ගිය එක් හිරකාරයෙක් සිටියි.
15 මා යෙරුසලමට ගිය විට නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද ඔහු ගැන මට දන්වමින්, ඔහුට විරුද්ධව විනිශ්චය ඉල්ලුවෝය.
16 මම ඔවුන්ට උත්තරදෙමින්: යම් වරද තබනු ලැබූවෙකු ඉදිරියට වරද තබන්නන් ගෙන්වා වරද ගැන උත්තරදීමට ඔහුට ඉඩදෙන්ට පළමුවෙන් ඔහු පාවාදීම රෝමයන්ගේ සිරිතක් නොවේයයි කීවෙමි.
17 එහෙයින් ඔවුන් මෙහි රැස්වූ කල, මම ප්‍රමාදයක් නොකොට පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ ඒ මනුෂ්‍යයා ගෙනෙන්ට අණකෙළෙමි.
18 වරද තබන්නන් නැගිට සිටි විට මා සිතූ දේවල් ගැන කිසි වරදක් නොතබා,
19 තමුන්ගේ ආගම ගැනද ජීවත්ව සිටිනසේකැයි පාවුල් කියා සිටි යේසුස් නම් මළාවූ කෙනෙකු ගැනද ඔහුට විරුද්ධව සමහර වාද කාරණා ඔවුන්ට තිබුණේය.
20 මේ දේවල් ගැන විභාගකරන්නේ කෙසේදැයි වියවුල්වූ මම වනාහි, ඔහු යෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන විනිශ්චයකරනු ලබන්ට කැමතිදැයි ඔහුගෙන් ඇසුවෙමි.
21 නුමුත් අධිරාජතුමාගේ තීරණයට නඩුව නවත්වාගන්න මෙන් පාවුල් ඉල්ලූ කල, ඔහු කායිසර් ළඟට යවන තුරු රැකවල්කර තබන්ට මම අණකෙළෙමියි කීවේය.
22 එවිට අග්‍රිපා: මමත් ඒ මනුෂ්‍යයා කථාකරනවා අසන්ට කැමැත්තෙමියි පෙස්තුස්ට කීවේය. හෙට ඔබට අසන්ට ලැබේයයි ඔහු කීවේය.
23 එසේ පසුවදා අග්‍රිපාද බර්නීකිද මහත් පෙරහැරකින් ඇවිත් ප්‍රධාන සේනාපතීන් සහ නුවර ප්‍රධාන මනුෂ්‍යයන් සමඟ නඩුශාලාවට පැමිණි කල, පෙස්තුස්ගේ ආඥාවෙන් පාවුල් ගෙන්වන ලද්දේය.
24 පෙස්තුස් කථාකොට: අග්‍රියා රජ්ජුරුවනි, මෙහි අප සමඟ සිටින සියලු මනුෂ්‍යයෙනි, මොහු තවත් ජීවත්ව සිටින්ට නොවටනේයයි මොරගසමින් මුළු යුදෙව් සමූහයා යමෙකු ගැන යෙරුසලමේදීත් මෙහිදීත් මට පැමිණිලිකළෝද ඒ මනුෂ්‍යයා මෙහි දක්නහුය.
25 නුමුත් මරණයට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනුණේය. ඇරත් මොහුම අධිරාජතුමාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු යවන්ට නියම කෙළෙමි.
26 ඔහු ගැන මාගේ ස්වාමීන්ට ලියා ඇරීමට යමක් මට ලැබෙන පිණිස නුඹලා ඉදිරියටද ප්‍රධානකොට, අග්‍රිපා රජ්ජුරුවනි, ඔබ ඉදිරියටද ඔහු ගෙනාවෙමි.
27 මක්නිසාද හිරකාරයාට විරුද්ධව ගෙනා පැමිණිලි නොදන්වා ඔහු යැවීම අනුවණ දෙයක් බව මට පෙනේයයි කීවේය.



පරිච්ඡේදය 26

1 එවිට අග්‍රිපා තෙමේ: නුඹ ගැන උත්තරදෙන්ට නුඹට අවසර තිබේයයි පාවුල්ට කීවේය. එකල පාවුල් අත දිඟුකොට තමා ගැන මෙසේ උත්තරදුන්නේය-
2 අග්‍රිපා රජ්ජුරුවනි, යුදෙව්වරුන් විසින් මට තබන සියලු වැරදි ගැන අද ඔබ ඉදිරියෙහි උත්තරදෙන්ට මා සිටින බැවින් මම වාසනාවන්තයෙකැයි සිතමි.
3 ප්‍රධානකොටම එසේ සිතන්නේ යුදෙව්වරුන් අතරේ පවතින සියලු සිරිත්ද වාදද ඔබට හොඳාකාර තේරෙන නිසාය. එහෙයින් මාගේ වචන ඉවසිල්ලෙන් අසන ලෙස ඉල්ලමි.
4 යෞවන අවස්ථාවේ පටන් මාගේ ජාතීන් අතරෙහිද යෙරුසලමෙහිද මාගේ හැසිරීම මුල පටන් සියලු යුදෙව්වරු දනිති.
5 ඔවුන් සාක්ෂිදෙන්ට කැමති නම් අපේ ආගමේ ඉතා දෘඪතර ලබ්ධිය අනුව මා ඵරිසියෙක්ව ජීවත්වූ බව මුල පටන් මා අඳුනන ඔව්හු දනිති.
6 දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන්ට දෙනලද පොරොන්දුව බලා සිටීම ගැන මම දැන් විනිශ්චයකරනු ලබන්ට සිටිමි.
7 අපගේ දොළොස් ගෝත්‍රයෝ රෑ දාවල් උනන්දුකමින් දෙවියන්වහන්සේට සේවයකරමින්, ඒ පොරොන්දුවට පැමිණෙන්ට බලාපොරොත්තුව සිටිති. රජ්ජුරුවනි, යුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව ගැනයි.
8 දෙවියන්වහන්සේ මළවුන් නැගුටුවනසේක් නම් එය විශ්වාසකරන්ට බැරි දෙයක්යයි මක්නිසා කල්පනාකරන්නහුද?
9 නාසරිය යේසුස්වහන්සේගේ නාමයට විරුද්ධව බොහෝ දේ මා විසින් කටයුතුයයි මමත් සිතුවෙමි.
10 එලෙසම යෙරුසලමේදීත් කෙළෙමි. නායක පූජකයන්ගෙන් බලය ලැබ, ශුද්ධවන්තයන්ගෙන් බොහෝ දෙනෙකු හිරගෙවල දැමුවෙමි, ඔවුන් මරණයට පත්කරන කල්හි ඊට කැමැත්තද දුනිමි.
11 තවද සියලු සිනගෝගවලදී නොයෙක්විට ඔවුන්ට දඬුවම්කරමින්, ඔවුන් ලවා අපහාසකරවන්ට උත්සාහකෙළෙමි; මම ඔවුන් ගැන අතිශයෙන් උමතුව සිට, අන් නුවරවල් දක්වාත් ඔවුන්ට පීඩාකෙළෙමි.
12 ඒ ගැන නායක පූජකයන්ගෙන් බලයද අවසරද ලැබ, දමස්කයට මා ගමන්කරද්දී,
13 රජ්ජුරුවනි, මාර්ගයෙහිදී ඉරමුදුන් වේලෙහි, මාද මා සමඟ යන්නාවුන්ද වටකර සූර්ය තේජසට වැඩිවූ එළියක් බබළනවා දුටිමි.
14 අප සියල්ලෝම බිම වැටුණු කල: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාද? කෙවිටට පයින් ගැසීම නුඹට අන්තරාදායකයයි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන්නාවූ ශබ්දයක් ඇසීමි.
15 මමද: ස්වාමිනි, ඔබ කවුදැයි ඇසුවෙමි. ස්වාමීන්වහන්සේද: මම නම් නුඹ පීඩාකරන යේසුස්ය.
16 නුමුත් නැගිට කෙලින් සිටින්න. මක්නිසාද යම් යම් දේ සඳහා නුඹ මා දුටුයෙහිද, නුඹට ප්‍රකාශවන්නෙම්ද, ඒ දේවල් ගැන නුඹ සේවකයෙක්ද සාක්ෂිකාරයෙක්ද කොට නියමකරන පිණිස මම නුඹට පෙනුණෙමි.
17 සෙනඟගෙන්ද අන්‍යජාතීන්ගෙන්ද නුඹ ගළවන්නෙමි; මා කෙරෙහි ඇදහීමෙන් ඔවුන් පව්-කමාවද පිරිසිදු කරනු ලැබූ අයවලුන් අතරෙහි උරුමයක්ද ලබන පිණිස,
18 ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමියි කීසේක.
19 එසේහෙයින්, අග්‍රිපා රජ්ජුරුවනි, මම ස්වර්ගය දර්ශනයට අකීකරු නොවී,
20 පළමුකොට දමස්කයේද පසුව යෙරුසලමේද යූදා රට මුළුල්ලෙහිද වසන්නන්ටත්, අන්‍යජාතීන්ටත්, පසුතැවිලිව දෙවියන්වහන්සේ වෙතට හැරී, පසුතැවිල්ලට සුදුසු ක්‍රියාවන් කරන්ට කියා ප්‍රකාශකෙළෙමි.
21 මේ කාරණය නිසා යුදෙව්වරු දේවමාළිගාවේදී මා අල්ලා මරන්ට හැදුවෝය.
22 එසේවී නුමුත් දෙවියන්වහන්සේගෙන් වන පිහිට ලැබ, ලොකු කුඩා අයට සාක්ෂිදෙමින්, ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ට ඕනෑ බව සහ පළමුකොට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ සෙනඟටද අන්‍යජාතීන්ටද එළිය ප්‍රකාශ කරනසේකැයි යන
23 අනාගතවක්තෘවරුන් විසින්ද මෝසෙස් විසින්ද මතු සිද්ධවන්නේයයි කියනලද කාරණා ගැන මිස වෙන කිසිවක් නොකියා අද දක්වා සිටිමියි කීයේය.
24 ඔහු මෙසේ තමා ගැන උත්තරදෙද්දී පාවුල්, නුඹට ඔල්මාදය; බොහෝ උගත්කමෙන් නුඹ ඔල්මාදවී සිටින්නෙහියයි පෙස්තුස් මහත් හඬින් කීවේය.
25 නුමුත් පාවුල්: උත්තම පෙස්තුස්නි, මට ඔල්මාද නැත; මම සත්‍යවූ සිහියට හුරුවූ වචන කියමි.
26 මේ දේවල් රජ්ජුරුවන්ට තේරෙන්නේය, එබැවින් එතුමාට නිදහස්ලෙස කථාකරමින්, මක්නිසාද මෙය මුල්ලකදී නොකළ බැවින් මේ දේවලින් කිසිවක් එතුමාට සැඟවී නැතැයි විශ්වාසකරමි.
27 අග්‍රිපා රජ්ජුරුවෙනි, ඔබ අනාගතවක්තෘවරුන් විශ්වාසකරන්නෙහිද? විශ්වාසකරන බව මම දනිමියි කීවේය.
28 එවිට අග්‍රිපා කථාකොට: වැඩි පෙළඹීමක් නැතුවම නුඹ මා ක්‍රිස්තියානිකාරයෙක් කරන්ට සිතනවායයි පාවුල්ට කීවේය.
29 පාවුල් කථාකොට: ඔබ පමණක් නොව අද මාගේ වචන අසන සියල්ලන්ද, වැඩියෙන් හෝ අඩුවෙන් හෝ, මේ බැඳුම් හැර මා වාගේ වෙන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤාකරමියි කීවේය.
30 එවිට රජද ආණ්ඩුකාරයාද බර්නීකිද ඔවුන් සමඟ උන් තැනැත්තෝද නැගිට,
31 ඉවතට ගොස්: මේ මනුෂ්‍යයා මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු කිසිදෙයක් කරනවා නොවේයයි ඔවුනොවුන් කථාකරගත්තෝය.
32 අග්‍රිපා පෙස්තුස්ට කථාකොට: මේ මනුෂ්‍යයා කායිසර්ගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහුව මුදාහරින්ට පුළුවන්ව තිබුණේයයි කීවේය.



පරිච්ඡේදය 27

1 ඉතාලියට නැව් නැගී යන්ට අපට නියමකරනු ලැබූ කල්හි පාවුල්ද වෙනත් සමහර හිරකාරයෝද අගොස්තීනු කණ්ඩායමට අයිතිවූ ජුලියස් නම් සියයකට මුලාදෑනියෙකුට භාරදෙනලද්දෝය.
2 අපි ආසියාවේ මුහුදුබඩ ස්ථානවලට යාත්‍රාකරන්ට තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැගී පිටත්වුණෙමුව; තෙසලෝනිකයේ මකිදෝනියෙක්වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේය.
3 පසුවදා සීදොන්ට පැමිණියෙමුව. ජුලියස් පාවුල්ට මිත්‍රකම් පෙන්වමින්, ඔහුගේ මිත්‍රයන් ළඟට යන්ටද පහසු ලබන්ටද ඔහුට ඉඩ ඇරියේය.
4 එතැනින් පිටත්වී, හුළඟ විරුද්ධව තිබුණු බැවින් කුප්‍රසේ මුවාවෙන් යාත්‍රාකර ගියෙමුව.
5 කිලිකිය සහ පම්පිලිය ළඟ මුහුද මැදින් යාත්‍රාකර, මුරා නම් ලුකියේ නුවරකට පැමිණියෙමුව.
6 එහිදී සියයකට මුලාදෑනියා ඉතාලියට යන අලෙන්ෂද්‍රියාවේ නැවක් දැක අප එහි නැංගෙවුවේය.
7 හුළඟ අප වැලකූ බැවින් බොහෝ දවසක්ම හෙමින් යාත්‍රාකර, කනීදස ඉදිරියට අමාරුවෙන් පැමිණ, ක්‍රීතයේ මුවාවෙන් සල්මොන ඉදිරියට ඇවිත්,
8 අමාරුවෙන් ඒක පසුකොට ලසේය නුවරට සමීපවූ සුන්දර වරාය නම් ස්ථානයකට පැමිණියෙමුව.
9 බොහෝ කල් ගතවී උපවාසය පසුවූ බැවින් මුහුදේ ගමන අන්තරාය සහිතවූයෙන්, පාවුල් ඔවුන්ට දැනමුතුකම් දෙමින්:
10 මනුෂ්‍යයෙනි, මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව අපේ ජීවිතවලටත් අන්තරාය සහ බොහෝ අලාභත් පමුණුවන එකක් බව මට පෙනේයයි කීවේය.
11 නුමුත් සියයකට මුලාදෑනියා පාවුල් කී දේවලට වඩා නැව්පතියාගේද නැව අයිතිකාරයාගේද කීම සැලකුවේය.
12 ශීත කාලයේ නැවතී සිටීමට ඒ වරාය හොඳ නැති බැවින්, එතැනින් පිටත්වී පුළුවන් නම් ඊශානටත් ගිනිකොණටත් ඉදිරියෙහි තිබෙන්නාවූ ක්‍රීතයේ වරායක්වූ පෙනීකියට පැමිණ එහි ශීත කාලය ගතකරන්ට යන ලෙස වැඩිදෙනා දැනමුතුකම් දුන්නෝය.
13 දකුණු හුළඟ හීන්සැරේ ගැසූකල, ඔව්හු, තමුන්ගේ අදහස ඉෂ්ටවුණේයයි සිතා, නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ අසලින්ම ගියෝය.
14 නුමුත් මඳ වේලාවකින් එව්රකුලොන් නම් කුණාටු-හුළඟක් එතැනින් හැමුවේය.
15 නැව ඊට අසුවී හුළඟ ඉදිරියට යන්ට බැරිවූ බැවින්, හුළඟට ගහගන යන්ට ඉඩ හැරියෙමුව.
16 තවද ක්ලෞද කියන සුළු දිවයිනක මුවාවට දුවගොස් අමාරුවෙන් ඔරුව ගත්තෙමුව.
17 ඔව්හු ඒක ඔසවාගත් විට ආධාර කඹ නැව යටින් දමා බැන්දෝය; සොරවැල්ලේ වැටේය යන භයින් ඔව්හු කුඹ දැව බා, එසේ ගෙනයනු ලැබුවෝය.
18 තද කුණාටුවට අසුවී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලුකරන්ට පටන්ගත්තෝය;
19 තුන්වෙනිදා තමුන්ගේම අත්වලින් නැවේ උපකරණ වීසිකළෝය.
20 බොහෝ දවස් ඉරවත් තාරකාවත් නොපෙනුණ බැවින්ද තද කුණාටුවක් පැවතුණු බැවින්ද අපේ ගැළවිල්ල ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් නැතිවී ගියේය.
21 කෑමෙන් අප බොහෝසෙයින් වැලකී සිටියාට පසු පාවුල් ඔවුන් මැද සිට: මනුෂ්‍යයෙනි, මේ අන්තරාය සහ අලාභයත් නොපැමිණෙන පිණිස ක්‍රීතයෙන් පිටත් නොවන්ට මා කී වචනයට ඇහුම්කන් දෙන්ට යුතුව තිබුණේය.
22 දැන් ඉතින් ධෛර්යවත්ව සිටින ලෙස නුඹලාට අවවාදකරමි. මක්නිසාද නැව මිසක් නුඹලා අතරේ ජීවිත නැතිවීමක් නොවන්නේය.
23 කුමක්හෙයින්ද මා අයිතිවූ, මා සේවයකරන්නාවූ දෙවියන්වහන්සේගේ දූතයෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට:
24 පාවුල් භය නොවන්න; නුඹ කායිසර් ඉදිරියෙහි සිටින්ට ඕනෑය. බලව, නුඹ සමඟ නැවෙන් යන්නාවූ සියල්ලන්ද දෙවියන්වහන්සේ නුඹට දුන්සේකැයි කීවේය.
25 එබැවින්, මනුෂ්‍යයෙනි, ධෛර්ය ඇතුව සිටින්න. මක්නිසාද මම දෙවියන්වහන්සේව විශ්වාසකරමි, මට කියන්ට යෙදුණු ප්‍රකාරයටම සිද්ධවන්නේයයි විශ්වාසකරමි.
26 එසේ වුවත් අප එක් දිවයිනකට වැටෙන්ට ඕනෑයයි කීවේය.
27 දසසතරවෙනි රාත්‍රිය පැමිණ අප අද්‍රිය මුහුදේ ඔබ මොබ ගෙනයනු ලබන කල, මධ්‍යම රාත්‍රිය පමණේදී නැව්කාරයෝ, අප ගොඩකට ළංවෙනවායයි සිතා,
28 ගැඹුර බලා විසි බඹයක් බව දැනගත්තෝය. තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා, පසළොස් බඹයක් බව දැනගත්තෝය.
29 එකල අප ගල් ඉඩම්වල වැටේය යන භයින් ඔව්හු අවරෙන් නැංගුරම් හතරක් දමා, පහන්වෙනවා ආශාවෙන් බලා සිටියෝය.
30 නැව්කාරයන් නැවෙන් පලායන්ට සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්ට යන්නාක්මෙන් ඔරුව මුහුදට බැස්සෙවු කල,
31 පාවුල් කථාකොට: මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් නුඹලාට ගැළවෙන්ට නුපුළුවනැයි සියයකට මුලාදෑනියාටද හේවායන්ටද කීවේය.
32 එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඒක යන්ට ඇරියෝය.
33 පහන්වේගන එන කල්හි පාවුල් ඔවුන් සියල්ලන්ට කෑම කන්ට අවවාදකරමින්: නුඹලා බලාසිටිමින්, කිසිත් නොකා නිරාහාරව සිට අදට දසසතරවෙනි දවසය.
34 එබැවින් කෑම කන මෙන් නුඹලාට අවවාදකරමි. මක්නිසාද එය නුඹලාගේ ආරක්ෂාව පිණිස ඕනෑකෙරේ. නුඹලාගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේයයි කීවේය.
35 ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන්වහන්සේට ස්තුති කොට කඩා කන්ට පටන්ගත්තේය.
36 එවිට ඔවුන් සියල්ලොත් ධෛර්ය ලැබ, තුමූද කෑම කෑවෝය.
37 නැවේ සිටි අපි සියල්ලෝම, දෙසිය සැත්තෑ සදෙනෙක්ය.
38 කෑම කා තෘප්තියට පැමුණුණ විට ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලුකළෝය.
39 පහන්වූ කල ඔව්හු ඒ දේශය කිමෙක්දැයි නොහැඳින්නෝය. නුමුත් වෙරළක් ඇති බොකු වරායක් දැක, එහි නැව පමුණුවන්ට පුළුවන්වේදෝ කියා කථාකරගත්තෝය.
40 නැංගුරම් පහකරදමා මුහුදේ තිබෙන්ට හැර, ඒ එක්කම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල හුළඟට නගා වෙරළ බලා ගියෝය.
41 නුමුත් මුහුදු දෙකක් යාවෙන තැනකට පැමිණ නැව බිමට වැද්දෙවුවෝය; එවිට ඇණිය එරී තදවුණේය, රැළවල වේගය නිසා අවරය බිඳෙන්ට පටන්ගත්තේය.
42 තවද හිරකාරයන්ගෙන් කිසිවෙක් පීනා ගැළවී නොයන පිණිස ඔවුන් මැරීමට හේවායන්ගේ අදහසක් වූයේය.
43 නුමුත් සියයකට මුලාදෑනියා පාවුල් ආරක්ෂා කරනු කැමතිව ඒ අදහසින් ඔවුන් වලක්වා, පීනන්ට පුළුවන් අයට පළමුකොට මුහුදට පැන ගොඩට යන්ටත්,
44 සෙස්සන්ට සමහරු ලෑලිවලින්ද සමහරු නැවේ කෑලිවලින්ද ගොඩට යන්ටත් අණකෙළේය. මෙසේ සියල්ලෝම ගැළවී ගොඩට පැමින්නෝය.



පරිච්ඡේදය 28

1 මෙසේ ගැළවුණු කල ඒ ද්වීපයට මෙලීතයයි කියන බව දැනගතිමුව.
2 එහි සිටි ම්ලේච්ඡයෝ අපට බොහෝ මිත්‍රකම් පෙන්නුවෝය. මක්නිසාද පැවතුණාවූ වර්ෂාව නිසාද ශීතලය නිසාද ඔව්හු ගිනි පත්තුකරදී අප සියල්ලන් පිළිගත්තෝය.
3 පාවුල් දරමිටියක් එක්කොට ගින්නෙහි ලූ කල ගිනි උෂ්ණය නිසා සර්පයෙක් පිටවී ඇවිත් ඔහුගේ අතේ එල්ලුණේය.
4 ඒ සතා ඔහුගේ අතේ එල්ලී ඉන්නවා ම්ලේච්ඡයෝ දැක: ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙක්ය, ඔහු මුහුදෙන් ගැළවුණ නුමුත් ඔහුට ජීවත්වෙන්ට යුක්තිය තෙමේ ඉඩ නොහරින්නේය කියා කථාකරගත්තෝය.
5 නුමුත් ඔහු ඒ සතා ගින්නට ගසාදමා කිසි උපද්‍රවයකට නොපැමිණ සිටියේය.
6 ඔහු ඉදිමෙන්නේය නොහොත් හදිසියෙන් මැරී වැටෙන්නේය කියා ඔව්හු බලා සිටියෝය. නුමුත් බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව ඔව්හු දුටු කල, තමුන්ගේ කල්පනාව වෙනස්කොට, ඔහු දෙවිකෙනෙකැයි කීවෝය.
7 ඒ දිවයිනට ප්‍රධානියාවූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේය. ඔහු අප පිළිගෙන, තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාරකෙළේය.
8 තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ රක්තාතිසාරයෙන් පීඩිතව ඔත්පළව උන්නේය. පාවුල් ඔහු උන් තැනට ගොස් යාච්ඤාකොට, ඔහු පිට අත් තබා, ඔහු සුවකෙළේය.
9 මෙය සිදුවූ කල දිවයිනේ ලෙඩ ඇති අනික් අයද පැමිණ සුවකරනු ලැබුවෝය.
10 ඔව්හු අපට බොහෝ ගරුනම්බුකොට, අප පිටත්ව යන කල අපට වුවමනාදේ නැවේ පැටෙවුවෝය.
11 තුන් මාසයකට පසු ශීත කාලය ඒ දිවයිනේ ගතකළාවූ නිඹුල් සොහොයුරු යන සටහන ඇති අලෙක්ෂන්ද්‍රීයාවේ නැවකට නැගී පිටත්වුණෙමුව.
12 අපි සිරාකුසට පැමිණ එහි තුන් දවසක් සිටියෙමුව.
13 එතනින් පිටත්ව වටකර ගොස්, රෙගියනට පැමිණ, එක දවසකට පසු දකුණු හුළඟ ගැසූ බැවින්, දෙවෙනිදා පොතියොලට ආවෙමුව.
14 එහිදී අපට සහෝදරයන් සම්බවී, තමුන් සමඟ සත් දවසක් නැවතී සිටින්ට ඔව්හු අපගෙන් ඉල්ලුවෝය. මෙසේ අපි රෝමයට පැමිණියෙමුව.
15 සහෝදරයෝ අප ගැන අසා, එතැනින් අපියුස්ගේ වෙළඳාම්පළද තානායම් තුනද දක්වා අප පෙරමගට ආවෝය. පාවුල් ඔවුන් දැක, දෙවියන්වහන්සේට ස්තුතිකොට, ධෛර්ය ලැබුවේය.
16 අප රෝමයට ඇතුල්වුණ කල පාවුල්ට තමා මුරකළ හේවායා සමඟ තනියම සිටින්ට අවසර ලැබුණේය.
17 තුන් දවසකට පසු පාවුල් යුදෙව්වරුන්ගේ ප්‍රධානීන් කැඳෙවුවේය. ඔවුන් රැස්වූ කල ඔහු ඔවුන්ට කථාකොට: සහෝදරයෙනි, මම සෙනඟටවත් අපේ පියවරුන්ගේ නියෝගවලටවත් විරුද්ධව කිසි දෙයක් නොකෙළෙමි. නුමුත් හිරකාරයෙක්ව යෙරුසලමෙන් රෝමයන්ගේ අත්වලට භාරදෙනු ලැබීමි.
18 ඔව්හු මා ගැන විභාගකර, මරණයට සුදුසුවූ කිසි දෙයක් මා අත නොතිබුණු බැවින් මා නිදහස්කරන්ට කැමතිවූවෝය.
19 නුමුත් යුදෙව්වරුන් විසින් ඊට විරුද්ධව කථාකළ කල්හි, කායිසර්ගේ විනිශ්චය ඉල්ලන්ට මට ඕනෑවිය. එහෙත් එසේ කළේ මාගේ ජාතියට කිසි දෝෂයක් තබන අදහසින් නොවේ.
20 මේ කාරණය නිසා නුඹලා දකින්ටද නුඹලා සමඟ කථාකරන්ටද නුඹලා කැඳෙවුවෙමි. කුමක් හෙයින්ද මා මේ දම්වැළෙන් බඳිනු ලැබ සිටින්නේ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව නිසායයි කීවේය.
21 එවිට ඔව්හු කථාකොට: යුදයෙන් නුඹ ගැන අපට ලියුම් ලැබුණේවත් ආවාවූ සහෝදරයන්ගෙන් කවුරුවත් නුඹ ගැන කිසි දෝෂයක් දැන්නුවේවත් නැත.
22 නුමුත් මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථාරකන බව අපි දනිමුව. එබැවින් නුඹ සිතන්නේ මොකද කියා නුඹෙන් අසන්ට කැමැත්තෙමුයයි කීවෝය.
23 තවද ඔව්හු ඔහුට දවසක් නියමකොට, බොහෝ දෙනෙක් ඔහු ළඟට, ඔහුගේ නවාතැනට, ආවෝය; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂිදෙමින්, යේසුස්වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් හා අනාගතවක්තෘවරුන්ගේ පොත්වලින් කාරණා තේරුම්කරදුන්නේය.
24 කියන ලද දේ සමහරු විශ්වාසකළෝය, සමහරු අවිශ්වාසකළෝය.
25 ඔව්හු ඔවුනොවුන් එකඟ නොවී පාවුල් එක කාරණයක් කී පසු, අහක්ව ගියෝය.
26 එනම්: නුඹ මේ සෙනඟ ළඟට ගොස් කථාකොට-ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; දැකීමෙන් දකින නුමුත් කිසිසේත් නොපැහැදෙන්නහුය.
27 මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදක්නා පිණිසද, කන්වලින් නොඅසන පිණිසද, සිතින් තේරුම්ගෙන නොහැරෙන පිණිසද, මා විසින් ඔවුන් සුව නොකරන පිණිසද, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔව්හු තමුන්ගේ ඇස් පියාන සිටිතියි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන ශුද්ධාත්මයාණන්වහන්සේ අපේ පියවරුන්ට මනාකොට කියෙවු වාක්‍යයය.
28 එහෙයින් දෙවියන්වහන්සේගේ මේ ගැළවීම අන්‍යජාතීන්ට යවනලද බව නුඹලාට දැනේවා. ඔවුන්ද ඒක අසනවා ඇතැයි කීවේය.
29 ඔහු මෙසේ කී පසු යුදෙව්වරු තමුන් අතරෙහි බොහෝ විවාද කරමින් අහක්ව ගියෝය.
30 ඔහු තමා විසින් කුලියට ගත් ගෙයි දෑවුරුද්දක්ම වාසයකොට, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන,
31 කිසිම භයක්වත් තහනමක්වත් නැතුව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනාකරමින්, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කාරණා ඉගැන්නුවේය.