රෝම

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16


පරිච්ඡේදය 1

1 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්වූ, ප්‍රේරිතයෙක් වෙන්ට කැඳවනු ලැබුවාවූ,
2 දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයා වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාගතවක්තෘවරුන් ලවා ශුද්ධ ලියවිලිවල පූර්වයෙහි පොරොන්දුකෙරෙවු උන්වහන්සේගේ ශුභාරංචියට වෙන්කරනු ලැබුවාවූ පාවුල්,
3 දෙවියන්වහන්සේට ප්‍රියවූ, ශුද්ධවන්තයන්ව සිටින්ට කැඳවනු ලැබුවාවූ, රෝමයෙහි සිටින සියල්ලන්ට ලියා එවන වගනම්:
4 අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා.
5 ඒ පුත්‍රයාණන්වහන්සේ මාංසාකාරයෙන් දාවිත්ගේ වංශයෙන් ඉපිද, ශුද්ධකමේ ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයාණන් හැටියට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශකරනු ලැබූසේක.
6 උන්වහන්සේගේ නාමය නිසා සියලු ජාතීන් අතරෙහි ඇදහීමේ කීකරුකමට පැමිණවීම පිණිස උන්වහන්සේගෙන් අනුග්‍රහයත් ප්‍රේරිතකමත් ලැබීමුව.
7 ඔවුන් අතරෙහි නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සන්තකවන පිණිස කැඳවනු ලැබුවහුය.
8 පළමුකොට, නුඹලාගේ ඇදහිල්ල මුළු ලෝකයෙහි ප්‍රසිද්ධව තිබෙන නිසා නුඹලා සියල්ලන් ගැන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
9 මාගේ යාච්ඤාවලදී කඩ නැතුව නුඹලා සඳහන්කරමින්, දැන්වත් යම් අන්දමකින් නුඹලා වෙතට එන්ට දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් මාර්ගයක් සැලසෙන ලෙස නිතරම ඉල්ලන බවට,
10 තමන් පුත්‍රයාණන්ගේ ශුභාරංචියෙහි මාගේ ආත්මයෙන් මා විසින් සේවයකරන දෙවියන්වහන්සේ මට සාක්ෂිය.
11 මක්නිසාද නුඹලා ස්ථිරවන හැටියට නුඹලාට යම් කිසි ආත්මික දීමනාවක් දෙන ලෙස නුඹලා දක්නට ආශාවෙමි.
12 මෙසේ කියන්නේ නුඹලාගෙත් මාගෙත් අන්‍යෝන්‍ය ඇදහිල්ල කරණකොටගෙන නුඹලා සමඟ මටත් සැනසිල්ල ලැබෙන පිණිසය.
13 සහෝදරයෙනි, වෙන අන්‍යජාතීන් අතරෙහි මෙන් නුඹලා අතරෙහිද මට යම් ඵලයක් ලැබෙන පිණිස මම නුඹලා වෙතට එන්ට නොයෙක් වර අභිප්‍රායකළ බවත් මේ වන තෙක්ම වලකනු ලැබූ බවත් නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි.
14 මම ග්‍රීක්වරුන් හා ම්ලේච්ඡයන්ටත් ඥානවන්තයන් හා අඥානයන්ටත් ණයකාරයෙක්ව සිටිමි.
15 එසේ රෝමයෙහි සිටින්නාවූ නුඹලාටත් මට පුළුවන් ප්‍රමාණයට ශුභාරංචිය දේශනාකරන්ට මම සෑදී සිටිමි.
16 මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය.
17 කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.
18 මක්නිසාද සත්‍යය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වී තිබේ;
19 මක්නිසාද දෙවියන්වහන්සේ ගැන දැනගන්ට පුළුවන් දේ ඔවුන් තුළ ප්‍රකාශව තිබේ; කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ එය ඔවුන්ට ප්‍රකාශකළසේක.
20 මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති.
21 මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන්වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමුණුණෝය, ඔවුන්ගේ අඥාන සිත්ද අඳුරුවිය.
22 තුමූම ප්‍රඥාවන්තයෝයයි කියමින් ඔව්හු අඥානයෝව,
23 ජරාවට නොපැමිණෙන්නාවූ දෙවියන්වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නාවූ මනුෂ්‍යයාගේද පක්ෂීන් හා සිවුපාවුන්ගේද බඩගායන ජාතීන්ගේද රූපවලට සමානවෙන ලෙස මාරුකළෝය.
24 එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරණකොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන්නකරගන්න හැටියට දෙවියන්වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවාදුන්සේක.
25 එසේ කළේ ඔවුන් දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන්වහන්සේට නොව මැවිල්ලට නමස්කාරකමින් මෙහෙකළ නිසාය. උන්වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටිනසේක. ආමෙන්.
26 ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය.
27 එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව, පුරුෂයෝ පුරුෂයන් සමඟ අශෝභන දේ කරමින්, තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුළම ලැබුවෝය.
28 තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක.
29 ඔව්හු වනාහි සියලු අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද ලෝභකමින්ද නපුරුකමින්ද පූර්ණව, ඊර්ෂ්‍යාවෙන්ද මිනීමැරීමෙන්ද ඩබරයෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පිරී සිටියෝය. ඔව්හු කනට කොඳුරන්නෝව,
30 කේලාම් කියන්නෝව, දෙවියන්වහන්සේට පිළිකුල්වූවෝව, නින්දාකරන්නෝව, උඩඟුවූවෝව, පාරට්ටුකරගන්නෝව, නපුරු දේවල් උපදවන්නෝව, මවුපියන්ට අකීකරුවෝව,
31 අඥානයෝව, ගිවිසුම් කඩකරන්නෝව ජම්ම ස්නේහය නැත්තෝව, දයා නැත්තෝව සිටියෝය.
32 මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝය යන දෙවියන්වහන්සේගේ නියෝගය ඔව්හු දැනගනත් ඒ දේ කරති, එපමණක් නොව ඒ දේ කරන්නන් සමඟ එකඟද වෙති.



පරිච්ඡේදය 2

1 එබැවින් විනිශ්චයකරන මනුෂ්‍යය, නුඹ කවරෙක් වුවත් නිරුත්තරව සිටිනෙහිය. මක්නිසාද යමක් ගැන නුඹ අනිකෙකු විනිශ්චයකෙරෙහිද, නුඹම එම දේවල් කරන නිසා නුඹටම වරද තබාගන්නෙහිය.
2 එබඳු දේ කරන්නන්ට විරුද්ධව දෙවියන්වහන්සේගේ විනිශ්චය සැබෑවේ ප්‍රකාරයට පවත්නා බව දනිමුව.
3 එබඳු දේ කරන්නන් විනිශ්චයකරමින් එම දේ කරන මනුෂ්‍යය, නුඹ දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ගැළවෙන්නෙහියයි සිතන්නෙහිද?
4 නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන්වහන්සේගේ යහපත්කම පවතින බව නොදැන, උන්වහන්සේගේ යහපත්කමේද ක්ෂාන්තියේද ඉවසීමේද බහුලත්වය සුළුකොට සිතා,
5 නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?
6 උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට තම තමුන්ගේ ක්‍රියා ලෙස විපාකදී,
7 ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණභාවයද සොයන්නන්ට සදාකාල ජීවනය දෙනසේක;
8 නුමුත් සැබෑකමට අකීකරුවූ, අධර්මිෂ්ඨකමට කීකරුවූ විරුද්ධවාදීන්ට උදහස හා තද කෝපයත්,
9 නපුරුකම් කරන සියලු මනුෂ්‍ය ආත්මවලට, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, පීඩාව හා සිත් වේදනාවත් පැමිණෙන්නේය.
10 නුමුත් යහපත්කම් කරන්නාවූ සියලු මනුෂ්‍යයන්ට, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, මහිමයත් ගෞරවයත් සමාදානයත් ලැබෙන්නේය.
11 මක්නිසාද දෙවියන්වහන්සේ තරාතිරම් නොබලනසේක.
12 එබැවින් මාගේ ශුභාරංචියේ ප්‍රකාරයට දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලවා මනුෂ්‍යයන්ගේ රහස් විනිශ්චය කරවන දවසේදී,
13 ව්‍යවස්ථාවක් නැතුව පව්කළාවූ සියල්ලෝ ව්‍යවස්ථාව නැතුව විනාශවන්නෝය. ව්‍යවස්ථාවක් ඇතුව පව්කළාවූ සියල්ලෝ ව්‍යවස්ථාව කරණකොටගෙන විනිශ්චයකරනු ලබන්නෝය.
14 මක්නිසාද ව්‍යවස්ථාව අසන්නන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨයන්ව සිටිනවා නොව, ව්‍යවස්ථාව පවත්වන්නෝ ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලබන්නෝය.
15 මක්නිසාද ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල, ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති; කෙසේද?
16 ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.
17 එහෙත් නුඹ යුදෙව්වෙක්යයි කියනු ලැබ ව්‍යවස්ථාවෙහි පිහිටා සිට දෙවියන්වහන්සේ ගැන පාරට්ටුකරගන්නෙහි නම්,
18 ව්‍යවස්ථාවෙන් උගන්වනු ලැබ, උන්වහන්සේගේ කැමැත්ත දැන, වඩා උතුම් කාරණා මොනවාදැයි විමසා බලන්නෙහිනම්, නුඹ දැනගැනීමේද සැබෑකමේද විලාසය ව්‍යවස්ථාවෙන් ලැබ,
19 නුඹම අන්ධයන්ට මගපෙන්වන්නෙක්ය, අඳුරෙහි සිටින්නන්ට එළියක්ය,
20 අඥානයන්ට ගුරුකෙනෙක්ය, බාලයන්ට ඉගැන්නුම්කාරයෙක්ය කියා නිසැකව විශ්වාස කෙරෙහි නම්,
21 අනිකෙකුට උගන්වන්නාවූ නුඹ නුඹටම උගන්වා ගන්නේ නැද්ද? සොරකම් නොකළ යුතුයයි දේශනාකරන්නාවූ නුඹ සොරකම්කරනවාද?
22 කාමමිථ්‍යාචාරය නොකළ යුතුයයි කියන්නාවූ නුඹ කාමමිථ්‍යාචාරය කරනවාද? දේවරූපවලට පිළිකුල්කරන්නාවූ නුඹ දේවගෘහයන් කොල්ලකනවාද?
23 ව්‍යවස්ථාව ගැන පාරට්ටුකරගන්නාවූ නුඹ ව්‍යවස්ථාව කඩකිරීමෙන් දෙවියන්වහන්සේට අගෞරවකරනවාද?
24 මක්නිසාද ලියා තිබෙන ප්‍රකාරයට නුඹලා කරණකොටගෙන අන්‍යජාතීන් අතරෙහි දෙවියන්වහන්සේගේ නාමය අපහාසකරනු ලබයි.
25 මක්නිසාද නුඹ ව්‍යවස්ථාව පවත්වන්නෙක් නම් චර්මඡේද්‍යයෙන් නුඹට ප්‍රයෝජන ඇත. නුමුත් නුඹ ව්‍යවස්ථාව කඩකරන්නෙක් නම් නුඹේ චර්මඡේද්‍යය අචර්මඡේද්‍යයක් වී තිබේ.
26 එබැවින් අචර්මඡේදිතයා ව්‍යවස්ථාවේ නියෝගයන් පවත්වන්නේ නම්, ඔහුගේ අචර්මඡේද්‍යය චර්මඡේද්‍යය මෙන් ගණන්ගනු නොලබන්නේද?
27 මෙසේ ස්වභාවෙන් අචර්මඡේදිතව සිටින්නා ව්‍යවස්ථාව සම්පූර්ණකරන්නේ නම්, ලියවිල්ලත් චර්මඡේද්‍යයත් ඇතුව ව්‍යවස්ථාව කඩකරන්නාවූ නුඹව විනිශ්චය නොකරන්නේද?
28 මක්නිසාද පිටාතර පෙනීමෙන් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් නොවේ; මාංසයේ පිටාතර චර්මඡේද්‍යය චර්මඡේද්‍යයක් නොවේ.
29 නුමුත් ඇතුළතින් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් වේ; චර්මඡේද්‍යය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි වූ එකය; එබඳු අයට මනුෂ්‍යයන්ගෙන් නොව දෙවියන්වහන්සේගෙන් ප්‍රශංසාව ලැබේ.



පරිච්ඡේදය 3

1 එසේවී නම් යුදෙව්වාට ඇති වාසිය මොකද? නොහොත් චර්මඡේද්‍යයෙන් ඇති ප්‍රයෝජනය මොකද?
2 සියලු ආකාරයෙන් බොහෝය. පළමුවෙන්ම, දෙවියන්වහන්සේගේ වාක්‍ය ඔවුන්ට භාරදෙනලද්දේය.
3 ඉඳින් සමහරෙක් ඇදහිල්ල නැතුව සිටියොත් කිමෙක්ද? ඔවුන්ගේ ඇදහිලි නැතිකමෙන් දෙවියන්වහන්සේගේ විශ්වාසකම හිස්වේද?
4 එසේ නොවේවා. ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චයකරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.
5 එහෙත් (මම මනුෂ්‍ය ව්‍යවහාරය ලෙස කථාකරමි) අපේ අධර්මිෂ්ඨකම කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වර්ණනාකරනු ලැබේ නම් කුමක් කියමුද? උදහස පාන්නාවූ දෙවියන්වහන්සේ අධර්මිෂ්ඨද?
6 එසේ නොවේවා. එසේ වුවොත් දෙවියන්වහන්සේ ලෝකයා විනිශ්චයකරන්නේ කොහොමද?
7 නුමුත් මාගේ බොරුව කරණකොටගෙන දෙවියන්වහන්සේගේ මහිමය පිණිස උන්වහන්සේගේ සැබෑකම වැඩිවූයේ නම් මමත් මක්නිසා පව්කාරයෙකු මෙන් තවත් විනිශ්චයකරනු ලබම්ද?
8 ඒ හැටියට යහපත සිද්ධවීම පිණිස නපුර කරමුයයි නොකියමුද? (අපි එසේ කියමුයයි අපට අපහාස වශයෙන් සමහරු අප ගැන කියති.) ඔවුන්ගේ දඬුවම සාධාරණය.
9 එසේවී නම් කිමෙක්ද? අපි ඔවුන්ට වඩා අඩු තත්ත්වයකද? කිසිසේත් නැත. මක්නිසාද යුදෙව්වරුද ග්‍රීක්වරුද යන සියල්ලෝ පාපයට යටත්ව සිටිතියි කියා අපි පළමු දොස්තැබුවෙමුව.
10 ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත;
11 තේරුම්ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන්වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත;
12 ඔවුන් සියල්ලෝ අහක්ව ගියෝය, එක්ව නිෂ්ප්‍රයෝජනවූවෝය; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක් පමණවත් නැත.
13 ඔවුන්ගේ උගුර විවරවූ මිනීවළක්ය; ඔව්හු තමුන්ගේ දිව්වලින් වංචාකම් කළෝය. ඔවුන්ගේ තොල් යට පොළොං විෂ තිබේ.
14 ඔවුන්ගේ මුඛය ශාපයෙන්ද තික්තකමෙන්ද පූර්ණය.
15 ඔවුන්ගේ පාද ලේ වැගිරීමට කඩිසරය;
16 ඔවුන්ගේ මාර්ගවල විනාශයත් කාලකණ්ණිකමත් තිබේ;
17 ඔව්හු සමාදානයේ මාර්ගයද දැන නොගත්තෝය.
18 ඔවුන්ගේ ඇස් හමුයෙහි දෙවියන්වහන්සේ කෙරෙහි භයක් නැත යනුයි.
19 ඉඳින් ව්‍යවස්ථාවෙහි කියනලද සියල්ලම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියනලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන්වහන්සේගේ විනිශ්චයට යටත්කරනු ලබන පිණිසත්ය.
20 කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.
21 නුමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව, ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘවරුන්ගෙන් සාක්ෂි ලබමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශකරනලද්දේය.
22 එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත;
23 මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.
24 එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
25 ඇදහීම කරණකොටගෙන උන්වහන්සේ ස්වකීය ලෙයින් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන්වහන්සේ නියමකළසේක. කුමටද? දෙවියන්වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා, පසුගිය පව් ගණන් නොගෙනහැරීම කරණකොටගෙන, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය.
26 එනම් තමන්වහන්සේ ධර්මිෂ්ඨවෙන හැටියටද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨකරන්නා හැටියටද, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය.
27 එසේවී නම් පාරට්ටුකර ගැනීම කොයිද? එය බැහැරකරනලද්දේය. කෙබඳු ව්‍යවස්ථාවකින්ද? ක්‍රියාවල ව්‍යවස්ථාවෙන්ද? නැත; ඇදහීමේ ව්‍යවස්ථාවකින්ය.
28 එහෙයින් මනුෂ්‍යයෙක් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ඇදහීමෙන් ධර්මිෂ්ඨකරනු ලැබේයයි අපි ගණන්ගනිමුව.
29 නැත්නම් දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ පමණක්ද? අන්‍යජාතීන්ගේත් දෙවියන්වහන්සේ නොවේද? එසේය, අන්‍යජාතීන්ගේත් දෙවියන්වහන්සේය.
30 දෙවියන්වහන්සේ එකම කෙනෙක්ව සිටිමින්, චර්මඡේදිතයන් ඇදහිල්ලෙන්ද අචර්මඡේදිතයන් ඇදහිල්ල කරණකොටගෙනද ධර්මිෂ්ඨකරනසේක.
31 එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.



පරිච්ඡේදය 4

1 එසේවී නම් මාංසාකාරයෙන් අපේ මුල් පියවූ ආබ්‍රහම්ට කුමක් ලැබුණේයයි කියමුද?
2 මක්නිසාද ආබ්‍රහම් ක්‍රියා කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනලද්දේවී නම්, ඔහුට පාරට්ටුකරගැනීමට කාරණයක් ඇත; නුමුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නොවේය.
3 මක්නිසාද ලියවිල්ලේ කුමක් කියා තිබේද? ආබ්‍රහම් දෙවියන්වහන්සේව විශ්වාසකෙළේය, එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය කියාය.
4 ඉඳින් වැඩකරන්නාට කුලිය ණයක් වශයෙන් මිස කරුණාවක් වශයෙන් ගණන්ගනු නොලැබේ.
5 නුමුත් වැඩ නොකරන්නාවූ, අභක්තිකයන් ධර්මිෂ්ඨකොට ගණන්ගන්න තැනන්වහන්සේ කෙරෙහි අදහන්නාවූ අයට ඔහුගේ ඒ ඇදහිල්ල ධර්මිෂ්ඨකම කොට ගණන්ගනු ලැබේ.
6 එලෙසම දෙවියන්වහන්සේ යමෙකුට ධර්මිෂ්ඨකම ක්‍රියා නැතුව ගණන් තබනසේක්ද, ඔහුගේ ආශිර්වාදලත්කම දාවිත් දක්වමින්:
7 තමුන්ගේ අයුතුකම්වලට කමාවත් තමුන්ගේ පාපයට වැස්මත් ලැබූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය.
8 ස්වාමීන්වහන්සේ විසින් පාපය ගණන් නොතබන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේයයි කියයි.
9 එසේවී නම් මේ ආශීර්වාදය ප්‍රකාශකරනලද්දේ චර්මඡේදිතයන් කෙරෙහිද? නොහොත් අචර්මඡේදිතයන් කෙරෙහිත්ද? මක්නිසාද: ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලදැයි අපි කියමුව.
10 එසේවී නම් ගණන්ගන්නාලද්දේ කෙසේද? ඔහු චර්මඡේදිතව සිටිය කල්හිද? නොහොත් අචර්මඡේදිතව සිටිය කල්හිද? චර්මඡේදිතව සිටිය කල්හි නොව අචර්මඡේදිතව සිටිය කල්හිමය.
11 ඔහු අචර්මඡේදිතව සිටියදී තමාට තිබුණාවූ ඇදහිල්ලේ ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් කොට චර්මඡේද්‍යය නම් ලකුණ ලැබුවේය. මෙසේ වුණේ අචර්මඡේදිතව සිටිය නුමුත් ධර්මිෂ්ඨකම සඳහා ගණන්ගැනීම පිණිස අදහන්නාවූ සියල්ලන්ගේ පියා වන පිණිසත්, චර්මඡේදිතයෝව පමණක් නොව,
12 අපගේ පියවූ ආබ්‍රහම් අචර්මඡේදිතව සිටිය කල්හි ඔහුට තිබුණු ඇදහිල්ලේ අඩිපාරේ යන්නෝව සිටින්නන්ට චර්මඡේද්‍යයේ පියා වන පිණිසත්ය.
13 මක්නිසාද ආබ්‍රහම්ට හෝ ඔහුගේ වංශයට හෝ ලෝකය උරුමවන්නේය යන පොරොන්දුව ව්‍යවස්ථාව කරණකොටගෙන නොව ඇදහිල්ලේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන වූයේය.
14 ව්‍යවස්ථාවෙහි වූවෝ උරුමක්කාරයෝ නම් ඇදහිල්ල අවලංගුවේ, පොරොන්දුවද නිෂ්ඵලවී තිබේ.
15 මක්නිසාද ව්‍යවස්ථාව උදහස උපදවන්නීය; නුමුත් ව්‍යවස්ථාවක් නැති තැන වරද කිරීමකුත් නැත.
16 මේ නිසා අනුග්‍රහය ප්‍රකාරයට සිද්ධවන පිණිස එය ඇදහිල්ලෙන් වේ. කුමටද? පොරොන්දුව මුළු වංශයට ස්ථිරවන පිණිසය, එනම් ව්‍යවස්ථාවෙහි වූ වංශයට පමණක් නොව ආබ්‍රහම්ගේ ඇදහීමෙන් වූ වංශයටත්ය.
17 (නුඹ බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමියි ලියා තිබෙන ලෙස) ආබ්‍රහම් තමා විශ්වාසකළාවූ, මළවුන් ජීවත්කරන්නාවූ, නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්නාවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප සියල්ලන්ගේ පියාණෝය.
18 නුඹේ වංශය මෙසේ වන්නේය කියා තිබෙන ලෙස, ආබ්‍රහම්, බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස, බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාසකෙළේය.
19 ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී,
20 එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්,
21 පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය.
22 ඒ නිසා එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය.
23 ඉඳින් ඔහුට එය ගණන්ගන්නාලදැයි ලියනු ලැබුවේ ඔහු නිසා පමණක් නොව අප නිසාත්ය.
24 මක්නිසාද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ කෙරෙහි අදහන්නාවූ අපටත් එය ගණන්ගනු ලබන්නේය.
25 උන්වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබීම සඳහා නැගුටුවනු ලැබූසේක.



පරිච්ඡේදය 5

1 එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.
2 අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ළඟාවී සිටිමුව; තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත්වෙමු.
3 එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද,
4 ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.
5 බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.
6 මක්නිසාද අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළසේක.
7 ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්ට කැමතිවීම දුර්ලභය. සමහරවිට සත්පුරුෂයා උදෙසා මැරෙන්ට යමෙකු ධෛර්ය ඇතුව සිටින්ට පුළුවන.
8 නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.
9 එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලැබූ අපි උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ උදහසෙන් ගළවනු ලබන්නෙමුව.
10 මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.
11 එපමණක් නොව, සමඟිකිරීම අපට ලබාදුන්නාවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිද වෙමුව.
12 එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.
13 මක්නිසාද ව්‍යවස්ථාව දෙන තෙක් පාපය ලෝකයෙහි තිබුණේය. නුමුත් ව්‍යවස්ථාවක් නැති කල්හි පාපය ගණන්ගනු නොලැබේ.
14 එසේවී නුමුත් ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වරදකිරීමේ ආකාරයෙන් පව් නොකළවුන් කෙරෙහි පවා මරණය රජකම්කෙළේය. ඒ ආදම් වනාහි එන්නාවූ තැනන්වහන්සේගේ ආදර්ශයක්ය.
15 නුමුත් වරද යම්සේද නොමිලයේ දීමනාව එසේ නොවේ. මක්නිසාද එක්කෙනාගේ වරදෙන් බොහෝදෙනා මළාහු නම්, ඊටත් වඩා දෙවියන්වහන්සේගේ කරුණාවත් එකම මනුෂ්‍යයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් වූ දීමනාවත් බොහෝ දෙනා සඳහා වැඩිවූයේය.
16 ඇරත් දීමනාව වනාහි පව්කළ එක්කෙනෙකු කරණකොටගෙන මෙන් නොවේය. මක්නිසාද විනිශ්චය දඬුවම උදෙසා එක්කෙනෙකුගෙන් පැමුණුණේය, නුමුත් දීමනාව වනාහි බොහෝ වරදවලින් ධර්මිෂ්ඨකරනු ලැබීම සඳහාය.
17 මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.
18 එබැවින් එක වරදක් කරණකොටගෙන දඬුවමට පත්කිරීම පිණිස විනිශ්චය සියලුම මනුෂ්‍යයන් කෙරෙහි පැමුණුණාක් මෙන්ම, එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරණකොටගෙන ජීවනයේ ධර්මිෂ්ඨකිරීම පිණිස දීමනාව සියලු මනුෂ්‍යයන් කෙරෙහි වූයේය.
19 මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පව්කාරයන් කරනු ලැබුවා සේම, එක්කෙනාගේ කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨකරනු ලබන්නෝය.
20 ඒ ඇර ව්‍යවස්ථාව පැමුණුණේ වරද බොහෝ වන පිණිසය;
21 නුමුත් පාපය මරණයෙහි රජකම්කළාක්මෙන්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම්කරන පිණිස, පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය.



පරිච්ඡේදය 6

1 එසේවී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද?
2 එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද?
3 නොහොත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම ලැබුවාවූ අප සියල්ලන් උන්වහන්සේ මරණයට බව්තීස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද?
4 එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බව්තීස්මය කරණකොටගෙන උන්වහන්සේ සමඟ තැන්පත්කරනු ලැබුවෙමුව.
5 මක්නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධවී සිටිමු නම්, උන්වහන්සේ නැගිටීමේ සමානත්වෙයනුත් සම්බන්ධවන්නෙමුව.
6 මින්මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස, අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද බව දනිමුව.
7 මක්නිසාද මැරුණාවූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂකරනු ලැබ සිටියි.
8 තවද මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ ක්‍රිස්තුස්වහන්සේ තවත් නොමැරෙන බවත් මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන බවත් අපි දන්නා බැවින්,
9 අපි උන්වහන්සේ සමඟ මැරුනෙමු නම්, උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුයයි විශ්වාසකරමුව.
10 මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එක වරක් පාපයට මළසේක, නුමුත් ජීවත්වන ජීවිතයෙන් දෙවියන්වහන්සේට ජීවත්වනසේක.
11 එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතාගන්න.
12 එබැවින් නුඹලා නුඹලාගේ මරණීයවූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා.
13 නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න.
14 කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.
15 එසේවී නම් කිමෙක්ද? අපි ව්‍යවස්ථාව යටතෙහි නොව කරුණාව යටතෙහි සිටින නිසා පව්කරමුද? එසේ නොවේවා.
16 නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිවුද?
17 එහෙත් නුඹලා පාපයේ දාසයන්ව සිටි නුමුත්, යම් ඉගැන්වීම් ක්‍රමයකට නුඹලා භාරදෙනලදද, ඊට සිතින්ම කීකරුවී,
18 පාපයෙන් නිදහස්කරන ලදුව, ධර්මිෂ්ඨකමේ දාසයන් වූ බැවින්, දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
19 නුඹලාගේ මාංසයේ දුර්වලකම නිසා මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කථාකරමි. නුඹලා නුඹලාගේ අවයවයන් අපවිත්‍රකමටත් අයුතුකම පිණිස අයුතුකමටත් දාසයන්කොට භාරදුන් සේම, දැන් නුඹලාගේ අවයවයන් ශුද්ධකම පිණිස ධර්මිෂ්ඨකමට දාසයන් කොට භාරදෙන්න.
20 මක්නිසාද නුඹලා පාපයාගේ දාසයෝව සිටියදී ධර්මිෂ්ඨකම සම්බන්ධව නිදහස්ව සිටියහුය.
21 ඉඳින් නුඹලා දැන් යම් දෙයකට ලැජ්ජාව සිටිවුද, එකල්හි ඒ දෙයින් කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙළවර නම් මරණයය.
22 නුමුත් දැන් නුඹලා පාපයෙන් නිදහස්කරනලදුව, දෙවියන්වහන්සේගේ දාසයෝ වී, ශුද්ධකම සඳහා ඵල දරන්නහුය, එහි කෙළවරද සදාකාල ජීවනයය.
23 මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.



පරිච්ඡේදය 7

1 නොහොත්* සහෝදරයෙනි, මනුෂ්‍යයා ජීවත්ව සිටින තෙක් ව්‍යවස්ථාව ඔහු කෙරේ බලය පවත්වන බව නුඹලා නොදැන සිටිවුද? (මා කථාකරන්නේ ව්‍යවස්ථාව දන්නන්ටය.) (* මෙය 6 වෙනි පරිඡේදයේ 14 පදය හා සම්බන්ධයි)
2 පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය.
3 පුරුෂයා ජීවත්ව සිටියදී ඈ අන් පුරුෂයෙකුට බැඳුණොත්, ඈ කාමමිථ්‍යාචාරිනීයයි කියනු ලබන්නීය. නුමුත් පුරුෂයා මැරුණු පසු ඈ අන් කෙනෙකුට බැඳුණත්, ඈ කාමමිථ්‍යාචාරිනියක් නොවන ලෙස ඒ ව්‍යවස්ථාවෙන් නිදහස්ව සිටින්නීය.
4 එබැවින්, මාගේ සහෝදරයෙනි, අප විසින් දෙවියන්වහන්සේට ඵල උපදවන පිණිස නුඹලාද අන් කෙනෙකුට එනම් මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ තැනන්වහන්සේට බැදී, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය කරණකොටගෙන ව්‍යවස්ථාවට මළ අය කරනු ලැබුවහුය.
5 මක්නිසාද අප මාංසයෙහි සිටියදී ව්‍යවස්ථාවෙන්වූ පාප තෘෂ්ණා මරණයට ඵල උපදවන පිණිස අපේ අවයව තුළ ක්‍රියාකෙළේය.
6 නුමුත් අපි යමකට බැදී සිටියෙමුද, ඊට නැසී, ව්‍යවස්ථාවෙන් නිදහස්කරනලදුව, පදාර්ථයේ පැරණි ආකාරයෙන් නොව ආත්මයේ අලුත් ආකාරයෙන් සේවයකරමුව.
7 එසේවී නම් කුමක් කියමුද? ව්‍යවස්ථාව පාපයද? එසේ නොවේවා. නුමුත් ව්‍යවස්ථාවෙන් දැන නොගත්තා නම් පාපය කුමක්දැයි මා නොදැන සිටිනවා ඇත. මක්නිසාද: තණ්හා නොවෙන්නැයි ව්‍යවස්ථාවෙහි කියා නොතිබුණා නම් තණ්හාව කුමක්දැයි මා විසින් නොදැන සිටිනවා ඇත.
8 නුමුත් පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා තුළ සියලු ආකාර තණ්හා ඉපදෙවුවේය. මක්නිසාද ව්‍යවස්ථාවෙන් වෙන්ව පාපය නැසී තිබේ.
9 මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නුමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය, මමද මැරුණෙමි.
10 මෙසේ ජීවනය පිණිස වූ ආඥාවෙන් මට මරණය පැමිණෙන බව දැනගතිමි.
11 මක්නිසාද පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා රවටා, එයින් මා මැරුවේය.
12 එබැවින් ව්‍යවස්ථාව ශුද්ධය, ආඥාවද ශුද්ධය, ධර්මිෂ්ඨය, යහපත්ය.
13 එසේවී නම් ඒ යහපත් දේ මට මරණය වූයේද? එසේ නොවේවා. නුමුත් මෙසේ වුණේ යහපත්වූ එක කරණකොටගෙන මට මරණය ඉපදවීමෙන් පාපය පාපය ලෙස පෙනෙන පිණිසත්, ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය ඉතා පාපිෂ්ඨව පෙනෙන පිණිසත්ය.
14 මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි.
15 මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය.
16 ඉඳින් මම අකමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තුගනිමි.
17 එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය.
18 මක්නිසාද මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය.
19 මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි.
20 ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය.
21 එබැවින් යහපත කරන්ට කැමතිවූ මා හට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව මට පෙනේ.
22 මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි.
23 නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.
24 අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?
25 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති කරමි. මෙසේ මමම සිතින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට සේවයකරමි; නුමුත් මාංසයෙන් සේවයකරන්නේ පාපයාගේ ව්‍යවස්ථාවටය.



පරිච්ඡේදය 8

1 එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.
2 මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.
3 මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාපමාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.
4 එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය.
5 මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති.
6 මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.
7 කුමක්හෙයින්ද, මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරුකමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත්වෙන්ටත් බැරිය.
8 මෙසේ, මාංසයෙහි සිටින්නන්ට දෙවියන්වහන්සේ සතුටුකරන්ට නොහැකිය.
9 නුමුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසයකරනසේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත.
10 ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සිටිනසේක් නම්, පාපය නිසා ශරීරය මැරී තිබෙන නුමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත්වෙයි.
11 තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.
12 එබැවින් සහෝදරයෙනි, අපි ණයකාරයෝව සිටිමුව, නුමුත් මාංසිකලෙස ජීවත්වෙන්ට මාංසයට නොවේය.
13 මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත.
14 මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.
15 මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.
16 අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.
17 තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.
18 මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි.
19 මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි.
20 මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී,
21 දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ තැනන්වහන්සේ නිසාය.
22 මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.
23 එපමණක් නොව ආත්මයාණන්වහන්සේ නැමති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම, එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම, බලා සිටිමින් අප තුළෙහිම කෙඳිරිගාමුව.
24 මක්නිසාද අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද?
25 නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව.
26 එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.
27 ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.
28 තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.
29 මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.
30 පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවුසේක.
31 එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?
32 තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?
33 දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද?
34 මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවෙත්, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස්වහන්සේය.
35 ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද?
36 ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ.
37 නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.
38 මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්,
39 උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.



පරිච්ඡේදය 9

1 මට බලවත් ශෝකයද හෘදයෙහි නිරන්තර වේදනාවද තිබේයයි බොරු නොකියා ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑව කියමි.
2 ඒ බවට ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ මාගේ හෘදයසාක්ෂිය මා එක්ව සාක්ෂිදෙයි.
3 මාංසාකාරයෙන් මාගේ නෑයන්වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාපලද්දෙක් වෙන්ට පුළුවන්නම් ඊටත් කැමතිවෙමි.
4 ඔව්හු ඉශ්‍රායෙල්වරුය; පුත්‍රකමත් මහිමයත් ගිවිසුමුත් ව්‍යවස්ථාව දීමත් දේව සේවයත් පොරොන්දුත් ඔවුන්ගේය;
5 පියවරුද ඔවුන්ගේය, මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ පැමුණුණෙත් ඔවුන්ගෙන්ය; උන්වහන්සේ සියල්ලන්ටම උතුම්වූ සදාකාල ආශීර්වාදලත් දෙවියන්වහන්සේය. ආමෙන්.
6 එහෙත් දෙවියන්වහන්සේගේ වචනය නිරර්ථකවුණා නොවේය.
7 මක්නිසාද ඉශ්‍රායෙල්ගෙන් වූ සියල්ලෝම ඉශ්‍රායෙල්වරු නොවෙති. ඔවුන් ආබ්‍රහම්ගේ වංශය නිසාම සියල්ලෝම දරුවෝද නොවෙති. නුමුත්: නුඹේ වංශය නම්කරනු ලබන්නේ ඊසාක් කෙරෙහියයි (කියා තිබේ.)
8 එනම්, මාංසයෙන් වූ දරුවෝම දෙවියන්වහන්සේගේ දරුවෝ නොවෙති. නුමුත් වංශයක් ලෙස ගණන්ගනු ලබන්නේ පොරොන්දුවේ දරුවෝය.
9 මක්නිසාද: මේ කාලයේ හැටියට මම එන්නෙමි, සාරාට පුතෙක් ලැබෙන්නේය යන වචනය පොරොන්දුවේ වචනයක්ය.
10 එපමණක්ද නොවේය; එක්කෙනෙකු නිසා එනම් අපේ පියවූ ඊසාක් නිසා රෙබෙකා ගර්භිණීවූ කල්හිද,
11 ඒ තාක් දරුවන් නොඉපද, යහපතවත් අයහපතවත් නොකර සිටි කල්හිද, ක්‍රියා නිසා නොව කැඳවන තැනන්වහන්සේ නිසා, තෝරාගැනීමේ ප්‍රකාරයට දෙවියන්වහන්සේගේ නියමය ස්ථිරවන පිණිස:
12 වැඩිමහල්ලා බාලයාට සේවයකරන්නේයයි ඈට කියනලද්දේය.
13 එසේම: මම යාකොබ්ට ප්‍රේමකෙළෙමි, ඒසව්ට අප්‍රියවීමියි ලියා තිබේ.
14 එසේවී නම් කුමක් කියමුද? දෙවියන්වහන්සේ වෙත අධර්මිෂ්ඨකම ඇද්ද? එසේ නොවේවා.
15 මක්නිසාද: මම දයාවෙන්ට කැමති තැනැත්තාට දයාවන්නෙමි, අනුකම්පාකරන්ට කැමති තැනැත්තාට අනුකම්පාකරන්නෙමියි උන්වහන්සේ මෝසෙස්ට කීසේක.
16 ඒ නිසා එය කැමතිවන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තාගෙන්වත් නොව, දයාවෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් වේ.
17 මක්නිසාද: නුඹ කෙරෙහි මාගේ බලය පෙන්වා මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවන පිණිසම නුඹ නැගිටවීමියි ලියවිල්ලේ ඵාරාවෝට කියා තිබේ.
18 මෙසේ උන්වහන්සේ කැමති කෙනෙකුට දයාවනසේක, කැමති කෙනෙකු දැඩිකරනසේක.
19 එසේවී නම් උන්වහන්සේ තවම දොස් තබන්නේ මක්නිසාද? උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව සිටින්නේ කවුදැයි නුඹ මට කියනවා ඇත.
20 නුමුත්, අනේ මනුෂ්‍යය, දෙවියන්වහන්සේට විරුද්ධව උත්තරදෙන්නාවූ නුඹ කවුද? සාදනලද දේ එය සෑදූ අයට: නුඹ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදැයි කියයිද?
21 එක මැටි පිඩෙන් එක් භාජනයක් ගෞරවය පිණිසත් අනිකක් අගෞරවය පිණිසත් සාදන්ට කුම්භකාරයාට මැටි කෙරෙහි බලය නැද්ද?
22 දෙවියන්වහන්සේ තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශකරන්ටත් කැමතිව, විනාශයට සූදානම්කරනලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසා,
23 මහිමය පිණිස පූර්වයෙන් තමන්වහන්සේ විසින් සූදානම් කරනලද දයාවේ භාජනවූ,
24 යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්‍යජාතීන්ගෙන්ද කැඳවනලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍ර්‍රකාශකරන්ට කැමතිවූසේක් නම් කිමෙක්ද?
25 එසේම උන්වහන්සේ හොෂෙයාගේ පොතෙහි: මාගේ සෙනඟව නොසිටියවුන්ට මාගේ සෙනඟය කියාත් ප්‍රිය නොවූ තැනැත්තියට ප්‍රිය තැනැත්තිය කියාත් කියන්නෙමියි කියාද
26 නුඹලා මාගේ සෙනඟ නොවන්නහුයයි ඔවුන්ට කියා තිබෙන තැන නුඹලා ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය කියනු ලබන්නහුයයි කියාද කීසේක.
27 තවද යෙසායා මොරගසා ඉශ්‍රායෙල් ගැන කියන්නේ: ඉශ්‍රායෙල් දරුවන්ගේ ගණන මුහුදේ වැලිමෙන් වන නුමුත්, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය.
28 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් වචනය තීන්දුකොට, එය අප්‍රමාදව පොළොව පිට ඉෂ්ටකරනසේක කියාය.
29 පළමුවෙනුත් යෙසායා කියා තිබෙන ප්‍රකාරයට, සේනාවල ස්වාමීන්වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළසේක් නම් අපි සොදොම මෙන් වීමුව, ගොමොරාවට සමාන කරනු ලැබීමුයයි කියාය.
30 එසේවී නම් කුමක් කියමුද? ධර්මිෂ්ඨකම අනුව නොගියාවූ අන්‍යජාතීහු ධර්මිෂ්ඨකමට එනම් ඇදහිල්ලෙන්වූ ධර්මිෂ්ඨකමට පැමිණියෝය,
31 ඉශ්‍රායෙල් වනාහි ධර්මිෂ්ඨකමේ ව්‍යවස්ථාවක් අනුව ගොස් ඒ ව්‍යවස්ථාවට නොපැමිණියේය කියාය.
32 ඒ මක්නිසාද? ඔවුන් එය ඇදහිල්ලෙන් නොව ක්‍රියාවලින් මෙන් සෙවූ නිසාය. ඔව්හු පැකිලීමේ ගලෙහි පැකුලුණෝය.
33 කෙසේදයත්: පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද සියොනෙහි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියා තිබෙන ලෙසය.



පරිච්ඡේදය 10

1 සහෝදරයෙනි, ඔවුන් උදෙසා මාගේ සිතේ ආශාවත් දෙවියන්වහන්සේට කරන කන්නලව්වත් නම් ඔවුන් ගැළවෙන පිණිසය.
2 මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නුමුත් එය දැනගැම්ම ඇතුව නොවේ.
3 මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.
4 මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.
5 මක්නිසාද ව්‍යවස්ථාවෙන් වූ ධර්මිෂ්ඨකම ගැන නම්: මේ දේ කරන තැනැත්තා එයින් ජීවත්වන්නේයයි මෝසෙස් ලියා තිබේ.
6 නුමුත් ඇදහිල්ලෙන් වූ ධර්මිෂ්ඨකම කථාකොට,-ක්‍රිස්තුස්වහන්සේව බස්සවාගන්න පිණිස-'ස්වර්ගයට නගින්නේ කවුද කියාවත්,-
7 ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් ගෙනෙන පිණිස,-'පාතාලයට බසින්නේ කවුද කියාවත් නුඹේ සිතින් නොසිතන්නැයි කියන්නේය. තවත් කුමක් කියන්නේද?
8 වාක්‍යය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය.
9 කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.
10 මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.
11 උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.
12 මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.
13 මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.
14 එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?
15 (සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.
16 නුමුත් ඔවුන් සියල්ලම ඒ යහපත් ආරංචියට ඇහුම්කන්දුන්නේ නැත. මක්නිසාද: ස්වාමිනි, අපේ දැන්වීම විශ්වාසකළේ කවුදැයි යෙසායා කියයි.
17 මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.
18 නුමුත් ඔව්හු නොඇසුවෝදැයි මම අසමි. එසේය, සැබවින්, ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.
19 නුමුත් ඉශ්‍රායෙල් නොදැන සිටියේදැයි අසමි: ජාතියක් නොවන්නන් කරණකොටගෙන නුඹලා ජ්වලිතකරවන්නෙමි, තේරුම් නැත්තාවූ ජාතියක් කරණකොටගෙන නුඹලා කෝපකරවන්නෙමියි පළමුකොට මෝසෙස් කියයි.
20 ඇරත් යෙසායා ඉතා නිර්භීතව කථාකරමින්: මා නොසෙවුවන්ට සම්බවීමි; මා ගැන විභාග නොකළවුන්ට ප්‍රකාශවීමියි කියයි.
21 නුමුත් ඔහු ඉශ්‍රායෙල් ගැන කථාකොට: අකීකරුවූ විරුද්ධවාදීවූ සෙනඟකට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගෙන සිටියෙමියි කියයි.



පරිච්ඡේදය 11

1 එසේවී නම් දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ අත්හැරදැමූසේක්දැයි අසමි. එසේ නොවේවා. මක්නිසාද මමත් ආබ්‍රහම්ගේ වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ ඉශ්‍රායෙලිතයෙක්ය.
2 දෙවියන්වහන්සේ පෙර ඇඳිනගත් තමන්ගේ සෙනඟ අත්හැර නොදැමූසේක. නොහොත් ලියවිල්ල එලියා ගැන කුමක් කියන්නේද කියා දන්නේ නැද්ද? ඔහු ඉශ්‍රායෙල්ට විරුද්ධව දෙවියන්වහන්සේට කාරණා කියමින්:
3 ස්වාමිනි, ඔව්හු ඔබගේ අනාගතවක්තෘවරුන් මැරුවෝය, ඔබගේ පූජාසන බිඳහෙළුවෝය. මම පමණක් ඉතුරුව සිටිමි, ඔව්හු මාගෙත් දිවි නසන්ට සොයතියි කීවේය.
4 නුමුත් දෙවියන්වහන්සේගේ උත්තරය ඔහුට කුමක් කියන්නේද? බාල්ට දණ නොනැමූ සත් දහසක් මනුෂ්‍යයන් මටම ඉතුරුකරගතිමියි යනුය.
5 එසේම මේ කාලයේදීත් අනුග්‍රහයේ තෝරාගැනීමේ ප්‍රකාරයට ඉතිරිවූ කොටසක් සිටියි.
6 ඉඳින් අනුග්‍රහයෙන් නම් තවත් ක්‍රියාවලින් නොවේ. එසේ නොවේ නම් අනුග්‍රහය තවත් අනුග්‍රහය නොවේ. එසේවී නම් කිමෙක්ද?
7 ඉශ්‍රායෙල් සොයන දේ ඔහු ලබා නොගත්තේය; තෝරාගනු ලැබූවන්ට එය ලැබුණේය, සෙස්සෝ දැඩිකරනු ලැබුවෝය.
8 කලින් ලියා තිබෙන ලෙස දෙවියන්වහන්සේ අද දවස දක්වාම ඔවුන්ට නිදිමතකමේ ආත්මයක්ද නොපෙනෙන ඇස්ද නොඇසෙන කන්ද දුන්සේක.
9 තවද දාවිත් කථාකොට: ඔවුන්ගේ මේසය ඔවුන්ට මලපතක් හා උගුලක්ද බාධාවක් හා විපාකයක්ද කරනු ලැබේවා.
10 නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරුවේවා, නිතරම ඔවුන්ගේ පිට නැමුව මැනවයි කියයි.
11 එසේවී නම් ඔවුන් පැකුලුණේ වැටෙන පිණිසදැයි අසමි. එසේ නොවේවා. එහෙත් ඔවුන් ජ්වලිතකරවන පිණිස ඔවුන්ගේ වැටීම කරණකොටගෙන අන්‍යජාතීන්ට ගැළවීම පැමිණ තිබේ.
12 ඉඳින් ඔවුන්ගේ වැටීම ලෝකයාට සම්පතද ඔවුන්ගේ අලාභය අන්‍යජාතීන්ට සම්පතද වේ නම්, ඔවුන්ගේ සම්පූර්ණත්වය ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
13 නුමුත් මම අන්‍යජාතීවූ නුඹලාට කථාකරමි. මම අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්ව සිටින බැවින් මාගේ මෙහෙයට ගෞරවකරමි.
14 කුමටද? යම් හෙයකින් මාගේම මාංසය වූවන්ට ජ්වලිතය උපදවා, ඔවුන්ගෙන් සමහරෙක් ගළවාගන්න පිණිසය.
15 මක්නිසාද ඔවුන් අත්හැරදැමීම ලෝකයා සමඟිකිරීම නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස වෙන කුමක්ද?
16 තවද ප්‍රථම පිටි ශුද්ධ නම් පිඩද එසේමය. මුල ශුද්ධ නම් අතුද එසේමය.
17 නුමුත් සමහර අතු කඩාදමනලද්දේ වී නම්, වල් ඔලීව ගසක්වූ නුඹ ඒවා අතරේ පාස්සනු ලැබ, ඔලීව ගසේ සාරවත්කමේ මුලට පංගුකාරයෙක් වූයෙහි නම්,
18 අතුවලට විරුද්ධව පාරට්ටුකර නොගන්න. නුමුත් පාරට්ටුකරගන්නෙහි නම්, නුඹ විසින් මුල දරනවා නොව මුල නුඹව දරන්නේය.
19 එසේවී නම් මා පාස්සනු ලබන පිණිස අතු කඩාදමන ලදැයි නුඹ කියන්නෙහිය.
20 හොඳයි; අවිශ්වාසකම නිසා ඒවා කඩාදමනලද්දේය, නුඹද නුඹේ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්නෙහිය. උඩඟු නොවී, භයවෙන්න.
21 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වාභාවික අතු ඉතුරු නොකළසේක් නම්, නුඹවත් ඉතුරු නොකරනසේක.
22 එබැවින් දෙවියන්වහන්සේගේ යහපත්කමත් සැරකමත් බලන්න. වැටුණුවුන් කෙරෙහි සැරකමය; නුමුත් නුඹ උන්වහන්සේගේ යහපත් කමෙහි පවතින්නෙහි නම් නුඹ කෙරෙහි දෙවියන්වහන්සේගේ යහපත්කමය. එසේ නොපවතින්නෙහි නම් නුඹත් කපාදමනු ලබන්නෙහිය.
23 ඔව්හුද අවිශ්වාසකමෙහිම නොපවතිත් නම් පාස්සනු ලබන්නෝය. මක්නිසාද ඔවුන් නැවත පාස්සන්ට දෙවියන්වහන්සේට පුළුවන.
24 මක්නිසාද නුඹ ස්වභාවයෙන්ම වල් ඔලීව ගසින් කපනු ලැබ, ස්වභාවයට විරුද්ධව හොඳ ඔලීව ගසකට පාස්සන ලද්දෙහි නම් ස්වාභාවික අතු වන මොව්හු තමුන්ගේම ඔලීව ගසට කොපමණ වැඩි වශයෙන් පාස්සනු නොලබන්නෝද?
25 මක්නිසාද සහෝදරයෙනි, නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන පිණිස, මේ අභිරහස නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි, එනම් අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තුරු ඉශ්‍රායෙල්වරුන්ට තරමක් දුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය.
26 මේ ආකාරයෙන් මුළු ඉශ්‍රායෙල් ගළවනු ලබන්නේය. ඒ හැටියට, සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ එනසේක; උන්වහන්සේ යාකොබ්ගෙන් අභක්තිය දුරුකරනසේක.
27 මා ඔවුන්ගේ පාප දුරලන කල ඔවුන් කෙරෙහි මාගේ ගිවිසුම මේයයි ලියනලද්දේය.
28 ශුභාරංචිය ගැන නම් ඔව්හු නුඹලා නිසා සතුරෝය. නුමුත් තෝරාගැනීම ගැන නම් ඔව්හු පියවරුන් නිසා ප්‍රේමලද්දෝය.
29 මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.
30 මක්නිසාද පසුගිය කාලයෙහිදී නුඹලා දෙවියන්වහන්සේට අකීකරුව සිට, ඔවුන්ගේ අකීකරුකම නිසා දැන් යම්සේ කරුණාව ලැබුවහුද,
31 එසේම නුඹලාට දක්වනලද කරුණාව කරණකොටගෙන ඔවුනුත් දැන් කරුණාව ලබන පිණිස ඔව්හුද දැන් අකීකරුව සිටිති.
32 මක්නිසාද දෙවියන්වහන්සේ සියල්ලන්ටම කරුණාකරන පිණිස සියල්ලන්ම අකීකරුකමෙහි වසා තැබූසේක.
33 අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!
34 එසේය, ස්වාමීන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නොහොත් උන්වහන්සේට මන්ත්‍රියා වුණේ කවුද!
35 නොහොත් පළමුවෙන් උන්වහන්සේට යමක් දුන්නේ කවුද? දුන්නා නම් ඔහුට ප්‍රතිඵල ලැබේ.
36 මක්නිසාද සියල්ල උන්වහන්සේ කෙරෙන්ය, උන්වහන්සේ කරණකොටගෙනය, උන්වහන්සේ උදෙසාය. උන්වහන්සේට සදාකල්ම මහිමය වේවා. ආමෙන්.



පරිච්ඡේදය 12

1 එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.
2 නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
3 නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.
4 මක්නිසාද යම්සේ අපට එකම ශරීරයෙහි බොහෝ අවයව තිබෙන නුමුත් ඒ සියලු අවයවයන්ට එකම ක්‍රියාවක් නැතුවාක්මෙන්,
5 බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව.
6 එහෙයින් අපට දෙනලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තාවූ අපට ලැබුණේ අනාගතකීම නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වචන කියමු.
7 සේවය නම් අපගේ සේවයෙහි යෙදී සිටිමු. උගන්වන්නා තමාගේ ඉගැන්වීමටත්,
8 උපදේශ දෙන්නා තමාගේ උපදේශ දීමටත් භාරවේවා. දෙන තැනැත්තේ ත්‍යාගවන්තකමෙන්ද ආණ්ඩුකරන තැනැත්තේ උනන්දුකමෙන්ද කරුණාව පෙන්වන තැනැත්තේ ප්‍රසන්න ලීලාවෙන්ද එසේ කෙරේවා.
9 ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.
10 සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;
11 උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන්වහන්සේට සේවයකරන්න;
12 බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න;
13 ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.
14 නුඹලාට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න.
15 ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.
16 එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න.
17 කාටවත් නපුරට නපුර නොකරන්න. සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්ට සිතට ගන්න.
18 පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.
19 ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.
20 නුමුත් නුඹේ සතුරාට බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය.
21 නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.



පරිච්ඡේදය 13

1 හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් නියමකර තිබේ.
2 එබැවින් මුලාදෑනිකමට විරුද්ධව සිටින්නා දෙවියන්වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය.
3 මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. නුඹ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරන්න, එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ.
4 මක්නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.
5 එබැවින් උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය.
6 එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය; මක්නිසාද ඔව්හු මේ කාරණයෙහිම නොකඩව යෙදී සිටින්නාවූ දෙවියන්වහන්සේගේ සේවකයෝය.
7 එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න.
8 එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ.
9 මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, ලෝභ නොවව යන ආඥාද, වෙන යම් ආඥාවක් ඇත්නම් ඒ ආඥාවද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේ කීමෙහි අන්තර්ගතය.
10 ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ නැත. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය.
11 තවද කාලය දැන, එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ.
12 රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු.
13 ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.
14 නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.



පරිච්ඡේදය 14

1 ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා පිළිගන්න, එහෙත් සැක සහිතවූ වාදකිරීමට නොවේය.
2 සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාසකරන්නේය; නුමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය.
3 කන තැනැත්තා නොකන තැනැත්තා සුළුකොට නොසිතාවා; නොකන තැනැත්තාද කන තැනැත්තා විනිශ්චය නොකෙරේවා. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු පිළිගත්සේක.
4 අනිකෙකුගේ වැඩකාරයා විනිශ්චයකරන්නාවූ නුඹ කවුද? ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය, ඔහු සිටුවනු ලබන්නේය; කුමක් හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමීන්වහන්සේට බලය ඇත්තේය.
5 එක්කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුමැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලු දවස්ම එකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා.
6 දවස සලකන්නා ස්වාමීන්වහන්සේ උදෙසා ඒක සලකන්නේය. කන තැනැත්තාද දෙවියන්වහන්සේට ස්තුතිකරන බැවින් කන්නේ ස්වාමීන්වහන්සේ උදෙසාය. නොකන තැනැත්තාත්, ස්වාමීන්වහන්සේ උදෙසා නොකා සිට දෙවියන්වහන්සේට ස්තුතිකරන්නේය.
7 මක්නිසාද අපෙන් කිසිවෙක් තමාම උදෙසා ජීවත්වෙන්නේ නැත, කිසිවෙක් තමාම උදෙසා නසින්නෙත් නැත.
8 මක්නිසාද ජීවත්වෙමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත්වෙමුව; නසිමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා නසිමුව. ඒ නිසා ජීවත්වෙතත් මැරෙතත් අපි ස්වාමීන්වහන්සේගේය.
9 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නැසුණෙත් නැවත ජීවත්වුණෙත් මළවුන්ගේද ජීවතුන්ගේද ස්වාමීන්වහන්සේ වන පිණිසය.
10 එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව.
11 මක්නිසාද: මා ජීවත්ව සිටිනු සැබෑවා සේම සෑම දණහිස් මට නමන්නේය, සෑම දිව්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.
12 එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙනවා ඇත.
13 එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු. නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.
14 යමෙක් යම් දෙයක් අපවිත්‍රයයි සිතන්නේ නම් එය ඔහුට අපවිත්‍රවා මිස, ස්වභාවෙන්ම අපවිත්‍ර දෙයක් නැතැයි ස්වාමිවූ යේසුස්වහන්සේ කරණකොටගෙන ඒකාන්තයෙන්ම දනිමි.
15 කෑම නිසා නුඹේ සහෝදරයා දුකට පැමිණේ නම්, නුඹ තවත් ප්‍රේමයෙන් යුක්තව හැසිරෙන්නේ නැත. යමෙකු නිසා ක්‍රිස්තුස්වහන්සේ මළසේක්ද ඔහු නුඹේ කෑමෙන් විනාශ නොකරන්න.
16 එබැවින් නුඹලාට තිබෙන යහපත ගැන අගුණ කියනු නොලබාවා.
17 මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.
18 කුමක්හෙයින්ද ඒ කාරණාවලින් ක්‍රිස්තුස්වහන්සේට සේවයකරන අය දෙවියන්වහන්සේට ප්‍රසන්නවූද මනුෂ්‍යයන් විසින් යහපතැයි ඒත්තු ගන්නාවූද කෙනෙක්ය.
19 එබැවින් අපි සමාදානය උපදවන කාරණාද එකිනෙකා වැඩිදියුණුකරන්ට පුළුවන් කාරණාද අනුව යමු.
20 කෑම නිසා දෙවියන්වහන්සේගේ වැඩේ නාස්ති නොකරන්න. සියලු දේම පවිත්‍රය; නුමුත් බාධා උපදවන ලෙස කන මනුෂ්‍යයාට නපුරය.
21 මස් කෑමෙන්වත් මුද්‍රිකපානය බීමෙන්වත් වෙන යමකින්වත් නුඹේ සහෝදරයා බාධාවට පැමිණේද, එය නොකර සිටීම හොඳය.
22 නුඹට තිබෙන ඇදහිල්ල දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹටම තබාගන්න. තමා විසින් යහපත්ය කියා පිළිගන්නාවූ කාරණය ගැන තමාට දෝෂ පමුණුවා නොගන්නාවූ තැනැත්තා වාසනාවන්තය.
23 නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.



පරිච්ඡේදය 15

1 ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය.
2 අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා.
3 මක්නිසාද: ඔබට නින්දාකළවුන්ගේ නින්දා මා පිටට පැමිණියේයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස්වහන්සේද තමන්ම සතුටුකර නොගත්සේක.
4 මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.
5 නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස,
6 ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.
7 එහෙයින් දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස්වහන්සේ නුඹලා පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකා පිළිගන්න.
8 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ සත්‍යතාව උදෙසා චර්මඡේද්‍යයේ මෙහෙකරුවෙක් වූසේකැයි කියමි. කුමටද, පියවරුන්ට දුන් පොරොන්දු ස්ථිරකරන පිණිසත්,
9 අන්‍යජාතීන් විසින් දෙවියන්වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරවකරන පිණිසත්ය. ඒ හැටියට: එබැවින් අන්‍යජාතීන් අතරේ ඔබ වර්ණනාකරන්නෙමි, ඔබගේ නාමයට ගීතිකා කියන්නෙමියි ලියා තිබේ.
10 නැවතත්: අන්‍යජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවෙන්නැයි කියා තිබේ.
11 නැවතත්: සියලු අන්‍යජාතීනි, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න; සියලු වර්ගයෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියා තිබේ.
12 නැවතත් යෙසායා: යෙස්සේගේ මුලවූද අන්‍යජාතීන් කෙරෙහි රජකම්කරන්ට නැගිටින්නාවූද තැනන්වහන්සේ එනසේක; උන්වහන්සේ කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තුවන්නෝයයි කියයි.
13 ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
14 මාගේ සහෝදරයෙනි, නුඹලාම යහපත්කමින් පිරී, සියලු දැනගැන්මෙන් පූර්ණව, එකිනෙකාට දැනමුතුකම් දෙන්ට පොහොසත්වූ අය බව මමම ඒකාන්තයෙන්ම දනිමි.
15 එහෙත් මා විසින් නුඹලාට නැවත සිහිකරවන්ට මෙන් වඩා නිර්භීතකමින් තරමක් දුරට ලියන්නේ, අන්‍යජාතීන් නමැති පූජාව ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ශුද්ධ කරනලදුව පිළිගත යුතු වන පිණිස,
16 දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.
17 එහෙයින් දෙවියන්වහන්සේට අදාළ කාරණා ගැන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ පාරට්ටු කරගැනීමක් තිබේ.
18 මක්නිසාද අන්‍ය ජාතීන්ගේ කීකරුවීම පිණිස වචනයෙන්ද ක්‍රියාවෙන්ද, ලකුණුවල සහ පුදුමවලත් බලයෙන්ද, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ද,
19 ක්‍රිස්තුස්වහන්සේ විසින් මා කරණකොටගෙන කරවනලද කාරණා ගැන මිස, අන් කිසිවක් ගැන කථාකරන්ට සිතටවත් නොගතිමි. එසේම යෙරුසලම පටන් ඉල්ලුරිකය දක්වා අවට රටවල ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්පූර්ණ වශයෙන් දේශනාකෙළෙමි.
20 එසේය, වෙන කෙනෙකුගේ අත්තිවාරම පිට ගොඩ නොනගන පිණිස ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන්කරනු ලැබූ තැන්වල නොව:
21 උන්වහන්සේ ගැන ආරංචි නොලැබූ අය දකින්නෝය, උන්වහන්සේ ගැන නෑසූ අය තේරුම්ගන්නෝයයි ලියා තිබෙන ලෙස, ශුභාරංචිය දේශනාකරන්ට අභිප්‍රායකෙළෙමි.
22 නුඹලා ළඟට මාගේ ඊම කීප වරක් වැලකුණෙත් ඒ නිසාය.
23 නුමුත් දැන් මේ රටවල මට තවත් ඉඩක් නැති බැවින්ද, බොහෝ අවුරුදු ගණනක පටන් නුඹලා ළඟට එන්ට මහත් ආශාවක් මට තිබෙන බැවින්ද,
24 මම ස්පාඤ්ඤයට යන කල එන්නෙමි. (මක්නිසාද ගමෙන්දී නුඹලා දකින්ටත්, නුඹලා එක්ව සමාගම්වීමෙන් තරමක් දුරට තෘප්තියට පැමුණුණායින් පසු නුඹලා විසින්ම එහාට ඇරලනු ලබන්ටත් බලාපොරොත්තුවෙමි.)
25 නුමුත් දැනට මම ශුද්ධවන්තයන්ට උපස්ථාන කරන පිණිස යෙරුසලමට යමි.
26 මක්නිසාද යෙරුසලමෙහි සිටින ශුද්ධවන්තයන් අතරෙහිවූ දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මකිදෝනියෙත් අකායෙත් සභාවෝ ප්‍රසන්නවූවෝය.
27 එසේය, එය ඔවුන්ගේ ප්‍රසන්නය වූයේය; තවද ඔව්හු ඔවුන්ගේ ණයකාරයෝය. මක්නිසාද අන්‍යජාතීහු ඔවුන්ගේ ආත්මික දේවල පංගුකාරයෝ වූවෝ නම්, මාංසික දේවලින් ඔවුන්ටත් සේවයකිරීමට ඔව්හු ණයව සිටිති.
28 එහෙයින් මම මෙය ඉෂ්ටකර, මේ ඵලය ඔවුන්ට මුද්‍රාකොට දුන් ඉක්බිති, නුඹලා ළඟින් ස්පාඤ්ඤයට යන්නෙමි.
29 මා නුඹලා ළඟට එන කල ක්‍රිස්තුස්වහන්සේගේ ආශීර්වාදයේ පූර්ණත්වය ඇතුව මා එන බව දනිමි.
30 සහෝදරයෙනි, යුදයෙහි සිටින අකීකරුවන්ගෙන් මා ගළවනු ලබන ලෙසත්, යෙරුසලම උදෙසා මා කරන උපස්ථානය ශුද්ධවන්තයන්ට ප්‍රසන්න වන ලෙසත්,
31 දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන සතුටින් නුඹලා ළඟට ඇවිත් නුඹලා සමඟ නිවාඩු ලබන ලෙසත්,
32 නුඹලා මා උදෙසා දෙවියන්වහන්සේට කරන නුඹලාගේ යාච්ඤාවලදී මා සමඟ බලවත්ලෙස වීර්යකරන හැටියට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසාද ආත්මයාණන්වහන්සේගේ ප්‍රේමය නිසාද නුඹලාගෙන් ඉල්ලමි.
33 ඉඳින් සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සියල්ලන් සමඟ සිටිනසේක්වා. ආමෙන්.



පරිච්ඡේදය 16

1 කෙංක්‍රයේ තිබෙන සභාවෙහි මෙහෙකාරියෙක්වූ පේබී නම් අපගේ සහෝදරී ශුද්ධවන්තයන්ට ඔබිනාලෙස නුඹලා විසින් ස්වාමීන්වහන්සේ තුළ පිළිගනු ලබන ලෙසත්,
2 ඈට නුඹලාගෙන් ඕනෑකරන කවර කාරණයකදී නුමුත් උපකාරකරන ලෙසත්, නුඹලාට ඈ භාරකරමි. මක්නිසාද ඈ බොහෝ දෙනෙකුගේද මාගේද උපකාරකාරියෙක්ව සිටියාය.
3 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් වැඩකාරයන්වූ, මාගේ ජීවිතය උදෙසා තමුන්ගේ බෙල්ල දුන්නාවූ ප්‍රිස්කාටද අකිලාටද ආචාරකරන්න.
4 මා පමණක් නොව අන්‍යජාතීන්ගේ සියලු සභාවෝද ඔවුන්ට ස්තුතිකරති.
5 ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේට ආසියාවේ ප්‍රථම ඵලවූ මාගේ ප්‍රියවූ එපීනතස්ට ආචාරකරන්න.
6 නුඹලා නිසා බොහෝ වෙහෙස දැරුවාවූ මරියාට ආචාරකරන්න.
7 ප්‍රේරිතයන් අතරෙහි ප්‍රසිද්ධවූ, මට පළමුවෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටියාවූ, මාගේ නෑයන්වූ, මාගේ හවුල් හිරකාරයන්වූ අන්ද්‍රෝනිකස්ට හා යූනියස්ට ආචාරකරන්න.
8 ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ අම්ප්ලියාතුස්ට ආචාරකරන්න.
9 ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ හවුල් සේවකයෙක්වූ උර්බානස්ටද මාගේ ප්‍රියවූ ස්තාකිස්ටද ආචාරකරන්න.
10 ක්‍රිස්තුස්වහන්සේ තුළ පිළිගනු ලැබූ අපොල්ලස්ට ආචාරකරන්න. අරිස්තොබුලස්ගේ ගෙට අයිතිවූවන්ට ආචාරකරන්න.
11 මාගේ නෑයාවූ හෙරෝදියෝන්ට ආචාරකරන්න. නාර්කිසස්ගේ ගෙට අයිතිවූවන්ගෙන් ස්වාමීන්වහන්සේ තුළ සිටින්නන්ට ආචාරකරන්න.
12 ස්වාමීන්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාටද තෘපෝසාටද ආචාරකරන්න. ස්වාමීන්වහන්සේ තුළ බොහෝ වෙහෙස දැරුවාවූ ප්‍රියවූ පර්සිස්ට ආචාරකරන්න.
13 ස්වාමීන්වහන්සේ තුළ තෝරාගනු ලැබූවාවූ රූපස්ටද ඔහුගෙත් මාගෙත් මෑණියන්ටද ආචාරකරන්න.
14 අසින්ක්‍රිතස්ටද ප්ලෙගෝන්ටද හෙර්මෙස්ටද පත්‍රොබස්ටද හෙර්මස්ටද ඔවුන් සමඟ සිටින්නාවූ සහෝදරයන්ටද ආචාරකරන්න.
15 පිලොලොගස්ටද ජූලියාටද නේරියස්ටද ඔහුගේ සහෝදරීටද ඔලිම්පස්ටද ඔවුන් සමඟ සිටින්නාවූ සියලු ශුද්ධවන්තයන්ටද ආචාරකරන්න.
16 ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ නුඹලාට ආචාරකරති.
17 සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.
18 මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති.
19 මක්නිසාද නුඹලාගේ කීකරුකම සියල්ලන්ටම ප්‍රකාශවී තිබේ. එබැවින් නුඹලා ගැන ප්‍රීතිවෙමි. එසේවී නුමුත් නුඹලා යහපත ගැන ප්‍රඥාවන්තව, නපුර ගැන නිවටව සිටිනවාට කැමැත්තෙමි.
20 සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකරනසේක.
21 මාගේ හවුල් සේවකයෙක්වූ තිමෝතියස්ද මාගේ නෑයෝවූ ලූකියස්ද යාසෝන්ද සෝසිපාතර්ද නුඹලාට ආචාරකරති.
22 මේ ලියුම ලියන තර්තියස් නම් මම ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට ආචාරකරමි.
23 මටද මුළු සභාවටද ආගන්තුක සත්කාරකරන්නා වන ගායස් නුඹලාට ආචාරකරයි. නුවර භාණ්ඩාගාරිකවූ එරස්තස්ද සහෝදරවූ ක්වර්තස්ද නුඹලාට ආචාරකරති.
24 (ඇතැම් පුරාණ පිටපත්වල: අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා. ආමෙන් කියා
24 වෙනි පදයක් පෙනේ. ඒ පිටපත්වල
20 වෙනි පදයට ඇතුළත් මීට සමාන කොටස අත්හැර තිබේ.)
25 ඉතින් සදාකාලය පටන් නිශ්ශබ්දව තිබී, දැන් එළිදරව්වී තිබෙන, අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් ප්‍රකාශ කරනලදුව, ඇදහිල්ලේ කීකරුකම පිණිස සියලු ජාතීන්ට සදාකාලික දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස දන්වනු ලැබුවාවූ,
26 ඒ රහස එළිදරව්වීමේ හැටියටද, මාගේ ශුභාරංචියේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනාකිරීමේ හැටියටද, නුඹලා ස්ථිරකරන්ට සමර්ථවූ,
27 එකම ප්‍රඥාවන්තවූ දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සදාකල්ම ගෞරවය වේවා. ආමෙන්.