2 කොරින්ති

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13


පරිච්ඡේදය 1

1 දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්වූ පාවුල්ද අපගේ සහෝදරවූ තිමෝතියස්ද කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටත් අකාය මුළුල්ලෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් ලියා එවන වග නම්:
2 අපේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.
3 දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.
4 අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.
5 මක්නිසාද යම්සේ ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීම් අප කෙරෙහි අධිකවන්නේද, එසේම ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපගේ සැනසිල්ලත් අධිකවන්නේය.
6 අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි නුඹලාගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ නුඹලාගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය.
7 නුඹලා ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථිරව පවත්නේය; මක්නිසාද නුඹලා දුක්වලට පංගුකාරව සිටින ලෙසම සැනසීමටත් පංගුකාරවන බව අපි දනිමුව.
8 එබැවින්, සහෝදරයෙනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට, උසුලන්ට බැරි පමණ, අප පිටට බර පැමුණුණ බවය.
9 එසේය, මළවුන් නැගුටුවන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ-තීන්දුව අප තුළේම තිබුණේය.
10 උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ;
11 නුඹලාත් එක්ව නුඹලාගේ කන්නලව් කරණකොටගෙන අප වෙනුවට උපකාර කරන්නහුය. එසේ කරන්නේ බොහෝදෙනෙකු කරණකොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුතිකරන පිණිසය.
12 මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍යවූ ශුද්ධකමින් හා අවංකකමින්, මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, හැසුරුණෙමුව යන අපේ හෘදයසාක්ෂියය.
13 එසේය, නුඹලා කියවන්නාවූද ඒත්තුගන්නාවූද කාරණයන් හැර වෙන කාරණයන් නුඹලාට නොලියමුව, නුඹලා කෙළවර දක්වා ඒවා ඒත්තුගන්නහුයයි බලාපොරොත්තුවෙමි.
14 අපි එසේ නුඹලාගේ පාරට්ටුවය කියා නුඹලාගෙන් සමහර දෙනෙක් අප ඒත්තුගත්තෝය; එමෙන්ම නුඹලාත් අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ දවසේදී අපේ පාරට්ටුව වන්නහුය.
15 මේ විශ්වාසයෙන් නුඹලාට දෙවනුත් අනුග්‍රහයක් ලැබෙන පිණිස පළමුවෙන් නුඹලා ළඟට ඇවිත්,
16 නුඹලා වෙතින් මකිදෝනියට යන්ටද නැවත මකිදෝනියෙන් නුඹලා ළඟට ඇවිත් යුදයට යනගමනේදී නුඹලා විසින් ඇරලනු ලබන්ටද සිතට ගතිමි.
17 ඉදින් මෙසේ සිතීමෙන් මම අස්ථිරලෙස ක්‍රියාකළෙම්ද? නොහොත් එසේය එසේය කියාත් නැත නැත කියාත් මා කියන පිණිස, මා අදහස්කරන දේ මාංසාකාරයෙන් අදහස් කරම්ද?
18 නුමුත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටින සේම නුඹලා වෙතට පැමිණෙන අපේ වචනය එසේය කියාද නැත කියාද නොවේ.
19 මක්නිසාද අප කරණකොටගෙන, එනම් මාද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින්, නුඹලා අතරෙහි දේශනාකරනු ලැබූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එසේය කියාත් නැත කියාත් වූවා නොව උන්වහන්සේ තුළ එසේය කියා වේ.
20 මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.
21 ඉදින් නුඹලා සමඟ අප ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරකරන්නෙත් අප ආලේපකළෙත් දෙවියන්වහන්සේය.
22 උන්වහන්සේ අප මුද්‍රාකොට අපේ සිත් තුළ ආත්මයාණන්වහන්සේ නැමති අත්තිකාරම අපට දුන්සේක.
23 මම කොරින්තියට නාවේ නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් බවට මාගේ ප්‍රාණය පිට දෙවියන්වහන්සේ සාක්ෂියක් කොට ගනිමි.
24 එහෙත් නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව.



පරිච්ඡේදය 2

1 මක්නිසාද නුඹලා පිහිටා සිටින්නේ ඇදහිල්ල කරණකොටගෙනය, ශෝකයෙන් යුක්තව නුඹලා ළඟට නැවත නොඑන්ට මම මාගේ සිතින් නියමකරගතිමි.
2 මක්නිසාද මම නුඹලා ශෝකයට පත්කරම් නම්, මා විසින් ශෝකයට පත්කරන අයම මිස මා සන්තෝෂකරන්නේ වෙන කවුද?
3 මේ කාරණය මා ලියා එවුවේ මාගේ ප්‍රීතිය නුඹලා සියල්ලන්ගේ ප්‍රීතියයයි නුඹලා සියල්ලන් ගැන විශ්වාසකරමින්, මා ආවාම මා ප්‍රීතිකරන්ට ඕනෑ අයවලුන්ගෙන් මට ශෝකය නොපැමිණෙන පිණිසය.
4 මක්නිසාද බොහෝ දුක්වලින්ද හෘදය වේදනාවෙන්ද බොහෝ කඳුළෙන්ද යුක්තව නුඹලාට ලිවීමි. එසේ කළේ නුඹලා ශෝකයට පත්කරන්ට නොව නුඹලා කෙරෙහි ඇත්තාවූ මාගේ ඉතා මහත් ප්‍රේමය නුඹලා විසින් දැනගන්නා පිණිසය.
5 එහෙත් යමෙක් ශෝක ඉපදෙවුවේ නම් ඔහු මට නොව, පමණක් දුරට නුඹලා සියල්ලන්ටම ශෝක ඉපදෙවුවේය. මෙසේ කියන්නේ පමණට වඩා බර නොකරන පිණිසය.
6 බොහෝ දෙනා විසින් පමුණුවනලද මේ දඬුවම එබඳු තැනැත්තාට ඇත.
7 අනික් අතට එබඳු තැනැත්තා යම් විධියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නුඹලාට යුතුය.
8 එබැවින් ඔහු කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමය ස්ථිරකරන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.
9 තවද මේ නිසා මා ලියුවෙත් සියල්ලෙහිදී නුඹලා කීකරුව සිටිනවාද කියා සෝදිසිකර දැනගන්නා පිණිසය.
10 නුඹලා යමෙකුට යමක් ගැන කමාවෙනවා නම් මමත් කමාවෙමි. මම යමක් ගැන කමාවීම් නම්, එසේ කමාවී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය,
11 ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ.
12 තවද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශකරන්ට මා ත්‍රෝවසට පැමිණිකල ස්වාමීන්වහන්සේ තුළ මට දොරක් ඇර තිබෙද්දීත්,
13 මාගේ සහෝදරවූ තීතස් සම්බ නූවූ බැවින් මාගේ ආත්මයට කිසි පහසුවක් නොලැබ, ඔවුන්ගෙන් අවසරගෙන මම මකිදෝනියට පිටත්ව ගියෙමි.
14 තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නැමති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
15 මක්නිසාද ගැළවෙන්නවුන් කෙරෙහිද විනාශවන්නන් කෙරෙහිද අපි දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳක්ව සිටිමුව;
16 එක පක්ෂයකට මරණය පිණිස මරණයේ සුවඳක්ය; අනික් පක්ෂයට ජීවනය පිණිස ජීවනයේ සුවඳක්ය. ඉතින් මේ දේවලට සමර්ථ කවුද?
17 මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ වචනය බොහෝදෙනා මෙන් නරක් නොකර, අවංකකමින්ද දෙවියන්වහන්සේගෙන් ලැබුණු ලෙසද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළ කථාකරමුව.



පරිච්ඡේදය 3

1 අපි නැවත අප ගැනම සාක්ෂි දෙන්ට පටන්ගනිමුද? නොහොත් සාක්ෂිපත්‍ර නුඹලාට දෙන්ට හෝ නුඹලාගෙන් ගන්ට හෝ සමහරුන්ට මෙන් අපට ඕනෑකරනවාද?
2 අපගේ පත්‍රය නම් නුඹලාය; එය අපේ සිත්වල ලියා තිබේ, සියලු මනුෂ්‍යයෝද එය දැනගන කියවති.
3 මක්නිසාද නුඹලා අපේ සේවය කරණකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත් නැමති ලෑලිවලද ලියා තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ.
4 එබඳු විශ්වාසයක් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි අපට ඇත්තේය.
5 එහෙත් අපෙන්ම වුණාක්මෙන් අප තුළෙන්ම යමක් යෝජනාකරන්ට අපගේ සමර්ථකමක් නැත; අපගේ සමර්ථකම දෙවියන්වහන්සේගෙන්ය.
6 තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.
7 ඉදින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෝසෙස්ගේ මුහුණේ තිබුණු නැතිවීයන්නාවූ තේජස නිසා ඔහුගේ මුහුණ දෙස ඇස් හෙළා සිටින්ට බැරි ලෙස ගල්වල ලියා කොටනලද මරණයාගේ සේවය තේජසින් යුක්තව පැමිණියේ නම්,
8 ආත්මයේ සේවය ඊට වඩා කොපමණ තේජසින් යුක්තව නොතිබේද?
9 මක්නිසාද වරදට පත්කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවයේ තේජස ඊට වඩා බොහෝසෙයින් වැඩිව තිබේ.
10 එසේය, තේජස ඇතුව තිබුණු එක පවා ඉතා වැඩිව තිබෙන තේජස නිසා මේ කාරණයෙන් තේජස නැතුව තිබේ.
11 මක්නිසාද නැතිවී යන්නාවූ එක තේජසින් යුක්තවී නම්, පවතින්නාවූ එක ඊට වඩා බොහෝසෙයින් තේජසින් යුක්තව තිබේ.
12 එහෙයින් මෙබඳුවූ බලාපොරොත්තුවක් ඇතුව අපි ඉතා පැහැදිලිලෙස කථාකරමුව.
13 පහවීයන්නාවූ දෙයේ අවසානය දෙස ඉශ්‍රායෙල් පුත්‍රයන් ඇස් හෙළාගන නොසිටින පිණිස මෝසෙස් තමාගේ මුහුණේ වැස්මක් දමාගත් ලෙස අපි නොකරමුව.
14 ඔවුන්ගේ සිත් දැඩිවුණේය. එසේය, අද දක්වාම පරණ ගිවිසුම කියවන කල එම වැස්ම පවතින්නේය. ඒ වැස්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ නැතිකරනලද්දේය.
15 අද දක්වා මෝසෙස්ගේ ලියවිලි කියවන කල වැස්මක් ඔවුන්ගේ සිත් පිට තිබේ.
16 එසේවී නුමුත් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන කල ඒ වැස්ම අහක්කරනු ලැබේ.
17 ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය.
18 අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව.



පරිච්ඡේදය 4

1 ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව.
2 ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.
3 නුමුත් අපේ ශුභාරංචිය වැසී තිබේනම්, එය වැසී තිබෙන්නේ විනාශවෙන්නන්ටය.
4 නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.
5 මක්නිසාද අපි අප ගැනම නොව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේය කියාද යේසුස්වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශකරමුව.
6 එසේය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය බැබළෙන පිණිස, අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්ට කීවාවූ දෙවියන්වහන්සේය.
7 නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.
8 අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය;
9 ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.
10 යේසුස්වහන්සේගේ ජීවත්වීම අපේ ශරීරයෙහි ප්‍රකාශවෙන පිණිස අපි යේසුස්වහන්සේගේ මරනු ලැබීම අපේ ශරීරයෙහි නිතරම දරාගෙන යමුව.
11 මක්නිසාද අපේ මරණීයවූ මාංසයෙහි යේසුස්වහන්සේගේ ජීවනයත් ප්‍රකාශවන පිණිස ජීවත්වන්නාවූ අපි යේසුස්වහන්සේ උදෙසා නිතරම මරණයට පාවා දෙනු ලබමුව.
12 මෙසේ අප තුළ මරණයද නුඹලා තුළ ජීවනයද ක්‍රියාකරන්නේය.
13 තවද: මම විශ්වාසකළෙමි, ඒ නිසා කථාකළෙමියි ලියා තිබෙන ලෙස, ඇදහිල්ලේ එම ආත්මය ඇත්තාවූ අපිත් විශ්වාසකරමුව, එබැවින් කථාකරමුව.
14 මක්නිසාද ස්වාමීවූ යේසුස්වහන්සේව නැගිටෙවු තැනන්වහන්සේ යේසුස්වහන්සේ සමඟ අපත් නැගුටුවා, නුඹලා සමඟ තමන්වහන්සේ ඉදිරියෙහි සිටවන බව අපි දනිමුව.
15 මක්නිසාද අනුග්‍රහය වැඩිදෙනා කරණකොටගෙන අධිකවී, ස්තුතිකිරීම දෙවියන්වහන්සේගේ තේජස සඳහා අධිකවන පිණිස ඒ සියල්ල නුඹලා උදෙසා වන්නේය.
16 එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.
17 මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට,
18 ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.



පරිච්ඡේදය 5

1 කූඩාරමක්වූ අපේ භූමික ගෙය කඩාවැටුණත් දෙවියන්වහන්සේගෙන්වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව.
2 මක්නිසාද මේකේදී අපි කෙඳිරිගාමින් අපගේ ස්වර්ගීය වාසස්ථානය පැළඳගන්ට ආශාවමුව.
3 මෙසේ වූ කල්හි අපි පළඳනලදුව, නග්නව සිටිනවා දකිනු නොලබමුව.
4 එසේය, මේ කූඩාරමේ සිටින්නාවූ අපි බර උසුලමින් කෙඳිරිගාමුව; මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීයවූ එක ජීවනයෙන් ගිලිනු ලබන පිණිස, අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමුව.
5 ඉදින් මේ පිණිසම අප පිළියෙළකළේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ ආත්මයාණන් නැමති අත්තිකාරම අපට දුන්සේක.
6 අපි ශරීරය නැමති ගෙදර සිටින විට ස්වාමීන්වහන්සේගෙන් ඈත්ව සිටින බව දැන නිතරම ධෛර්යවත්ව සිටිමුව.
7 (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)
8 එසේය, අපි ධෛර්යවත්ව, ශරීරයෙන් ඈත්ව ස්වාමීන්වහන්සේ සමඟ සිටින්ට වඩා කැමැතිවෙමුව.
9 එහෙයින් උන්වහන්සේ වෙත සිටින නුමුත් ඈත්ව සිටින නුමුත් උන්වහන්සේට ප්‍රසන්නවූ තැනැත්තන් වීම අපේ අභිප්‍රාය කරගනිමුව.
10 මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය.
11 එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.
12 අපි නැවත අප ගැනම නුඹලාට සාක්ෂි නොදෙමුව, නුමුත් හිතෙන් නොව පෙනීමෙන් පාරට්ටුකරගන්නන්ට උත්තරදෙන්ට නුඹලාට පුළුවන්වන පිණිස අප ගැන පාරට්ටුකරන්ට අපි නුඹලාට කාරණා දෙමුව.
13 මක්නිසාද අපට ඔල්මාද නම් ඒ දෙවියන්වහන්සේ උදෙසාය. අපි සිහි ඇත්තෝ නම් ඒ නුඹලා උදෙසාය.
14 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්,
15 උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ තැනන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිසය කියාත්, අපි නිශ්චයකොට කියමුව.
16 එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.
17 එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.
18 සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.
19 එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන්වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක.
20 එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.
21 අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට * පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. (* එනම් - පාපය තමන් පිටට ගන්ට)



පරිච්ඡේදය 6

1 තවද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරන්නෝව, නුඹලා උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන ලෙස ඉල්ලා සිටිමුව.
2 මක්නිසාද- පිළිගත යුතුවූ කාලයකදී නුඹට ඇහුම්කන්දුනිමි, ගැළවීමේ දවසකදී නුඹට පිහිට වුණෙමියි උන්වහන්සේ කියනසේක. මෙන්න, දැන් පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.
3 අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී,
4 බොහෝ ඉවසීමෙන්ද පීඩාවලින්ද හිඟකම්වලින්ද විපත්තිවලින්ද,
5 පහරකෑම්වලින්ද හිරඅඩස්සිවීම්වලින්ද කෝලාහලවලින්ද වෙහෙසවලින්ද නිදිමැරීම්වලින්ද නිරාහාරව සිටීම්වලින්ද;
6 පිරිසිදුකමින්ද දැනගැන්මෙන්ද ඉවසිලිවන්තකමින්ද ගුණවත්කමින්ද ශුද්ධාත්මයෙන්ද අවංක ප්‍රේමයෙන්ද;
7 සත්‍යතාවේ වචනයෙන්ද දෙවියන්වහන්සේගේ බලයෙන්ද දකුණෙහිත් වමෙහිත් ධර්මිෂ්ඨකම නමැති සන්නාහය කරණකොටගෙනද.
8 ගෞරවය සහ අගෞරවය කරණකොටගෙනද, අපකීර්තිය සහ කීර්තිය කරණකොටගෙනද, වංචාකාරයන් මෙන් පෙනෙන නුමුත් සත්‍යවාදී අය මෙන්ද;
9 නාඳුනනු ලබන්නන් මෙන් පෙනෙන නුමුත් හොඳට අඳුනනු ලබන්නන් මෙන්ද, මැරෙන්නාක්මෙන් පෙනෙන නුමුත්, බලව, ජීවත්වෙන්නන් මෙන්ද, දඬුවම් ලබන්නාක්මෙන් පෙනෙන නුමුත් මරනු නොලබන්නන් මෙන්ද;
10 ශෝකවෙන්නන් මෙන් පෙනෙන නුමුත් නිතර ප්‍රීතිවෙන්නන් මෙන්ද, දිළින්දන් මෙන් පෙනෙන නුමුත් බොහෝ දෙනෙක් ධනවන්ත කරන්නන් මෙන්ද, කිසිවක් නැත්තන්මෙන් පෙනෙන නුමුත් සියල්ල ඇත්තවුන් මෙන්ද යන මේ සියල්ලෙන් අපි දෙවියන්වහන්සේගේ සේවකයන් මෙන් අපම පිළිගන්වමුව.
11 එම්බා කොරින්තිවරුනි, අපේ මුඛය නුඹලාට කථාකරන පිණිස ඇරී තිබේ, අපේ සිත විශාලවී තිබේ.
12 නුඹලා හිරවී සිටින්නේ අප තුළ නොවේ, නුඹලාගේම සිත් තුළ නුඹලා හිරවී සිටිහුය.
13 එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස නුඹලාත් සිතින් විශාලවෙන්න; දරුවන්ට මෙන් මෙසේ කියමි.
14 නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?
15 බෙලියෙල් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමඟ ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද?
16 දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.
17 එබැවින්- නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,
18 නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.



පරිච්ඡේදය 7

1 එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.
2 නුඹලාගේ සිත් අපට විවරකරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකළෙමුව, කිසිවෙකු නරක් නොකළෙමුව, කිසිවෙකුගෙන් වාසි නොගතිමුව.
3 මා එසේ කියන්නේ නුඹලාට වරද තබන පිණිස නොවේ. මක්නිසාද නුඹලා එක්ව මැරෙන්ටත් එක්ව ජීවත්වෙන්ටත් නුඹලා අපේ සිත්වල දරමුයයි පළමුවෙන්ම කීවෙමි.
4 නුඹලා කෙරෙහි තිබෙන මාගේ විශ්වාසය මහත්ය, නුඹලා ගැන මාගේ පාරට්ටුකිරීම මහත්ය. සැනසිල්ලෙන් පූර්ණව සිටිමි, අපේ සියලු දුක්වලදී ප්‍රීතියෙන් පිනමි.
5 මක්නිසාද අප මකිදෝනියට ආ කල පවා අපේ මාංසයට කිසි පහසුවක් නැතුව හැම අතින්ම දුක්වින්දෙමුව; පිටතින් විරුද්ධකම්ද ඇතුළතින් භයද විය.
6 නුමුත් යටහතුන් සනසන්නාවූ තැනන්වහන්සේ එනම් දෙවියන්වහන්සේ තීතස්ගේ ඊමෙන් අප සැනසූසේක;
7 ඔහුගේ ඊමෙන් පමණක් නොව නුඹලා ගැන ඔහු ලැබූ සැනසිල්ලත් කරණකොටගෙනය; නුඹලාගේ මහත් ආශාවද නුඹලාගේ වැලපීමද මා උදෙසා නුඹලාගේ ජ්වලිතකමද ගැන ඔහු දැන්වූ කල, මම තව වඩා ප්‍රීතිවීමි.
8 මෙසේ මම ඒ ලියුමෙන් නුඹලා ශෝකයට පැමිණෙවු නිසා කනගාටුවූ නුමුත්, දැන් කනගාටු නොවෙමි; කලකට පමණක් වුවත් ඒ ලියුම නුඹලා ශෝකයට පැමිණෙවු බව මට පෙනේ.
9 නුඹලා ශෝකයට පමුණුවනු ලැබූ නිසා නොව පසුතැවිලිවීම සඳහා නුඹලා ශෝකයට පමුණුවනු ලැබූ බැවින් දැන් ප්‍රීතිවෙමි. එසේය, කොයි ප්‍රකාරයකින්වත් නුඹලා අපෙන් අලාභ නොවිඳින පිණිස දේවකැමැත්තේ හැටියට නුඹලා ශෝකවුණහුය.
10 මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.
11 එසේය, මෙන්න, දේවකැමැත්තේ හැටියට ශෝකවීම යන කාරණයෙන් නුඹලා තුළ කොපමණ උනන්දුකමත් කොපමණ නිදොස්කරගැනීමත් කොපමණ අමනාපවීමත් කොපමණ භයත් කොපමණ ආශාවත් කොපමණ ජ්වලිතකමත් කොපමණ යුක්තිය සිදුකිරීමේ අදහසත් හටගත්තා නොවේද! මේ කාරණය සම්බන්ධව නුඹලා නිදොස් බව නුඹලා සියලු ආකාරයෙන්ම ඔප්පුකළහුය.
12 ඉතින් මා නුඹලාට ලියා එවූ නුමුත් එසේ ලියුවේ අයුතුකම කළ අය නිසාවත් අයුතුකම වින්ද අය නිසාවත් නොව, අප ගැන නුඹලාගේ ඇති මහත් සැලකිල්ල දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාටම ප්‍රකාශවන පිණිසය.
13 එහෙයින් අපි සැනසීම ලබා සිටිමුව. නුමුත් අපේ සැනසිල්ලේදී අප වඩාම ප්‍රීතිවුණේ තීතස්ගේ ප්‍රීතිය නිසාය, මක්නිසාද ඔහුගේ ආත්මයට නුඹලා සියල්ලන්ගෙන් පහසුව ලැබී තිබේ.
14 එසේය, මම නුඹලා ගැන පාරට්ටුකර ඔහුට යමක් කීවෙම් නම්, මම ලජ්ජාවට පමුණුවනු නොලැබුවෙමි; එහෙත් අප නුඹලාට සැබෑකමින් සියල්ල කී හැටියටම තීතස් ඉදිරියෙහි අප විසින් නුඹලා ගැන කළ පාරට්ටුවත් සැබෑවුණේය.
15 තවද නුඹලා සියල්ලන්ගේ කීකරුකම, එනම් භයත් වෙවුලුමත් ඇතුව ඔහුව පිළිගත් හැටි ඔහු සිහිකරන කල, ඔහුගේ මෘදු ප්‍රේමය නුඹලා කෙරෙහි වඩාත් අධිකවන්නේය.
16 සියලු කාරණාවලදී මම නුඹලා ගැන නිසැකව සිටින බැවින් ප්‍රීතිවෙමි.



පරිච්ඡේදය 8

1 තවද, සහෝදරයෙනි, මකිදෝනියේ සහාවලට දී තිබෙන දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අපි නුඹලාට දන්වමුව.
2 එනම්, බොහෝ දුක්විඳීම නැමති පරීක්ෂාවකදී ඔවුන්ගේ ප්‍රීතිය වැඩිවූ බවත්, ඔවුන්ගේ මහත් දිළිඳුකමේ ප්‍රමාණයට ඔවුන් ඔවුන්ගේ තෑගිවන්තකම නැමති ධනයෙන් වැඩිවූ බවත්ය.
3 මක්නිසාද, තමුන්ගේ පුළුවන්කමේ ප්‍රකාරයටත්, එසේය, ඊට වැඩියෙනුත්, ස්වකීය කැමැත්තෙන්ම ඔව්හු දුන්නෝයයි සාක්ෂිදෙමි.
4 ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීමට පංගුකාරයන්වීමේ ප්‍රසාදය බොහෝ කන්නලව් ඇතුව ඔව්හු අපගෙන් ඉල්ලුවෝය.
5 අප සිතූ ලෙස නොව පළමුකොට තුමූම ස්වාමීන්වහන්සේටද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන අපටද භාරවුණෝය.
6 එහෙයින් තීතස් පළමුවෙන් පටන්ගත් ලෙසම මේ අනුග්‍රහයත් නුඹලා අතරෙහි සම්පූර්ණකරන්ට අපි ඔහුට අවවාදකළෙමුව.
7 ඉදින් නුඹලා සියලු දෙයින්, එනම් ඇදහිල්ලෙන්ද කථාවෙන්ද ඥානයෙන්ද සියලු උත්සාහවලින්ද අප කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමයෙන්ද අධිකව සිටින්නාක්මෙන්ම මෙම අනුග්‍රහයෙන්ද අධිකවන්ට බලාගන්න.
8 මේක මා කියන්නේ අණක් ලෙස නොව වෙන අයවලුන්ගේ උත්සාහවන්තකමෙන් නුඹලාගෙත් ප්‍රේමයේ සැබෑකම විභාගකරන පිණිසය.
9 මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස, නුඹලා උදෙසා දිළිඳුවූ බව නුඹලා දන්නහුය.
10 මේ කාරණය ගැන මාගේ කල්පනාව කියමි. මක්නිසාද අවුරුද්දකට ප්‍රථම සිට ඒක කරන්ට පමණක් නොව ඊට කැමැතිවෙන්ටත් පටන්ගත් නුඹලාට ඒක ප්‍රයෝජනවත්ය.
11 ඉතින් කැමතිවීමට සූදානම්ව සිටියාක්මෙන්ම නුඹලාගේ පුළුවන්කමේ හැටියට එහි තීන්දුවත් පැමිණෙන පිණිස දැන් කිරීමත් තීන්දුකරන්න.
12 මක්නිසාද මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.
13 මෙසේ කියන්නේ අනුන්ට පහසුවත් නුඹලාට අමාරුවත් පැමිණෙන පිණිස නොව සමකම පිණිසය;
14 මේ කාලයේ නුඹලාගේ වැඩිකම ඔවුන්ගේ හිඟකමට ආධාරයක් වූයෙන්, (මත්තට) ඔවුන්ගේ වැඩිකමත් නුඹලාගේ හිඟකමට ආධාරයක් වීමෙන් සමකමක් වන පිණිසය.
15 එසේම: බොහෝ එකතුකළ අයට වැඩිවුණේවත් ස්වල්පයක් එකතුකළ අයට අඩුවුණේවත් නැතැයි ලියා තිබේ.
16 ඉතින් නුඹලා ගැන එම උනන්දුකම තීතස්ගේ සිතට දුන් දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
17 මක්නිසාද ඔහු අපේ අවවාදය සැබවින් පිළිගත්තේය; නුමුත් තමාම ඉතා උනන්දුව සිටිය බැවින්, ඔහු තමාගේම කැමත්තෙන් නුඹලා ළඟට ආයේය.
18 තවද ශුභාරංචිය ගැන සියලු සභාවලින් ප්‍රශංසාව ලබන සහෝදරයා ඔහු සමඟ එවීමුව;
19 එපමණක් නොව අපේ සේවයෙන් ඉෂ්ටකරන්නාවූ මේ ප්‍රසාදය ගැන අප සමඟ ගමන්කිරීමට ස්වාමීන්වහන්සේගේ ගෞරවයද අපගේ මනාපවීමද සඳහා ඔහුත් සභාවන් විසින් නියමකරනලද්දේය.
20 මෙසේ, අපේ සේවයෙන් ඉෂ්ටකරන මේ දීමනාව ගැන කිසිවෙක් අපට දෝෂාරෝපණය නොකරන පිණිස ප්‍රවේසම්වෙමුව.
21 මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව.
22 තවද නොයෙක්විට නොයෙක් කාරණාවලදී උනන්දු කෙනෙක් බව අපට ඔප්පුවුණාවූ, දැන් නුඹලා කෙරෙහි ඇති මහත් විශ්වාසය නිසා ඊටත් වඩා උනන්දුකම ඇත්තෙක්වූ අපේ සහෝදරයා ඔවුන් සමඟ එවීමුව.
23 තීතස් වනාහි මාගේ පංගුකාරයෙක්ව, නුඹලා උදෙසා මාගේ හවුල් සේවකයෙක්ව සිටින්නේය. අපගේ සහෝදරයෝ වනාහි සභාවල ප්‍රේරිතයෝව, ක්‍රිස්තුස්වහන්සේගේ තේජසක්ව සිටිති.
24 එහෙයින් නුඹලාගේ ප්‍රේමයේද නුඹලා ගැන අපේ පාරට්ටුවේද ඔප්පුව ඔවුන්ට සභාවන් ඉදිරියෙහිදී පෙන්වන්න.



පරිච්ඡේදය 9

1 ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීම ගැන මා විසින් නුඹලාට ලිවීම ඕනෑ නැත.
2 මක්නිසාද නුඹලාගේ මනාපකම දනිමි, අකාය ගිය අවුරුද්දේ පටන්ම සූදානම්ව සිටියායයි මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි; නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය.
3 එසේවී නුමුත් මේ ගැන නුඹලා උදෙසා අපේ පාරට්ටුව හිස් නොවන පිණිසද මා කී හැටියට නුඹලා සූදානම්ව සිටින පිණිසද සහෝදරයන් එවීමි.
4 නැත්නම් යම් විධියකින් මකිදෝනිවරු මා සමඟ එන්ට යෙදී නුඹලා සූදානම් නැති බව දුටුවොත්, නුඹලා කොහොම නුමුත් අපි නම් මේ විශ්වාසය නිසා ලජ්ජාවට පැමිණෙන්නෙමුව.
5 එබැවින් කලින් පොරොන්දු වුණාවූ නුඹලාගේ දීමනාව බලාත්කාරයෙන් ගැනීමක් මෙන් නොව ත්‍යාගවත් දීමනාවක්ව තිබෙන පිණිස කලින් නුඹලා වෙතට ඇවිත් එය පිළියෙළ කරන ලෙස ඒ සහෝදරයන්ගෙන් ඉල්ලන්ට යුතුයයි සිතුවෙමි.
6 නුමුත් මේක කියමි: මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය.
7 කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.
8 තවද නුඹලා සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට සියලු අනුග්‍රහය වැඩිකරදෙන්ට දෙවියන්වහන්සේට පුළුවන.
9 ඒ හැටියට- ඔහු විසිරෙවුවේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවතින්නේයයි ලියා තිබේ.
10 ඉතින් වපුරන්නාට බීජද කෑමට රොටිද සපයාදෙන්නාවූ තැනන්වහන්සේ නුඹලාට වැපිරීම පිණිස බීජ සපයාදී, වැඩිකොට, නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනයකරනසේක.
11 මෙසේ නුඹලා සියලු ත්‍යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නහුය, එය අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති උපදවන්නේය.
12 මක්නිසාද මේ උපස්ථානකිරීමේ සේවයෙන් ශුද්ධවන්තයන්ගේ හිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන්වහන්සේට බොහෝ ස්තුතිදීම්ද උපදින්නේය.
13 මේ උපස්ථානයෙන් නුඹලා සෝදිසිකිරීම කරණකොටගෙන ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නුඹලා විසින් පිළිගැනීමේ කීකරුකමද, ඔවුන් සහ සියල්ලන් කෙරෙහි නුඹලාගේ සම්මාදමේ ත්‍යාගවන්තකමද නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසාකරනවාත් හැර,
14 නුඹලා උදෙසා කන්නලව්කරමින්, නුඹලා කෙරෙහි ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ඉතා මහත් අනුග්‍රහය නිසා තුමූම නුඹලා කෙරෙහි ඉතා ඇලුම්වෙති.
15 දෙවියන්වහන්සේගේ කියා නිමකළ නොහැකි දීමනාව ගැන උන්වහන්සේට ස්තුතිවේවා.



පරිච්ඡේදය 10

1 ඉදිරියෙහි සිටින කල නුඹලා අතරෙහි යටහත්වූ, ඈත්ව සිටින කල නුඹලා කෙරෙහි නිර්භීතවූ පාවුල් නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ මෘදුකම සහ මොළොක් ගුණය නිසා නුඹලාගෙන් ඉල්ලීමක් කරමි.
2 එසේය, අප මාංසාකාරයෙන් හැසිරෙන්නන් කොට ගණන්ගන්නා සමහරුන්ට විරුද්ධව පාන්නට මා සිතන විශ්වාසයෙන්, නුඹලා වෙත සිටින විට මට නිර්භීතවෙන්ට නොසලස්වන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.
3 මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.
4 (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)
5 අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.
6 නුඹලාගේ කීකරුකම සම්පූර්ණවූ කල සියලු අකීකරුකමට දඬුවම්කිරීමටද අපි සූදානම්ව සිටිමුව.
7 නුඹලා පෙනීමේ හැටියට කාරණා බලන්නහුද? යමෙක් තමා ක්‍රිස්තුස්වහන්සේට අයිතියයි සිතාගන සිටින්නේ නම්, තමා ක්‍රිස්තුස්වහන්සේට අයිතිවා සේම අපිත් අයිති බව තමාම කල්පනාකරගනීවා.
8 මක්නිසාද (නුඹලා බිඳහෙළීම පිණිස නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ අපට දුන්) බලය ගැන මම ටිකක් වැඩිවශයෙන් පාරට්ටුකරතත් ලජ්ජා නොවන්නෙමි.
9 [එසේ කියන්නේ] මම මාගේ ලියුම්වලින් නුඹලා භයගන්වන්නාක් මෙන් නොපෙනෙන පිණිසය.
10 මක්නිසාද: ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුයයි ඔව්හු කියති.
11 මෙන්න, අපි ඈත්ව සිටින කල ලියුම්වල වචනවලින් යම් ආකාරව සිටිමුද ළඟ සිටින කල ක්‍රියාවෙනුත් එසේමයයි එබඳු අය තේරුම්ගනීවා.
12 මක්නිසාද තමුන් ගැනම සාක්ෂිදෙන්නාවූ සමහරුන් සමඟ අප ගණන්ගන්ට නොහොත් ඔවුන්ට අපම සමානකරගන්ට අපට ධෛර්යය නැත. නුමුත් තමුන්ගේම මිම්මෙන් තමුන්ම මැනගන්නාවූ, තමුන්ටම තමුන් සමානකර බලන්නාවූ ඔව්හු තේරුම් නැතුව සිටිති.
13 නුමුත් අපි ප්‍රමාණයට වඩා නොව, නුඹලා ළඟට පවා පැමිණෙන පිණිස, දෙවියන්වහන්සේ විසින් අපට මැනදුන් මායිමේ ප්‍රමාණයේ හැටියට පාරට්ටුකරගන්නෙමුව.
14 මක්නිසාද අප නුඹලා ළඟට නොපැමුණුණාක්මෙන්, [අපේ මේ කීමෙන්] අපේ මායිමෙන් එපිට යනවා නොවේ. එසේය, නුඹලා දක්වාත් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඇතුව ආවෙමුව.
15 අපේ පමණට වඩා, එනම් අනුන්ගේ වැඩ ගැන, අපි පාරට්ටු නොකරමුව.
16 නුමුත් නුඹලාගේ ඇදහිල්ල වැඩිවන විට, අපේ අත්වලට සූදානම්ව තිබෙන අනුන්ගේ මායිමේ වැඩ ගැන පාරට්ටු නොකොට, නුඹලාට එහායින් තිබෙන පළාත්වලත් ශුභාරංචිය දේශනාකරන පිණිස වර්ධනයවීමට ඇත්තාවූ අපේ මායිමේ ප්‍රමාණයලෙස නුඹලා නිසා විශාලකමක් ලබන්නෙමුයයි බලාපොරොත්තුවෙමුව.
17 නුමුත් පාරට්ටුකරගන්නා ස්වාමීන්වහන්සේ තුළ පාරට්ටුකරගනීවා.
18 මක්නිසාද ඔප්පු සාක්ෂි තිබෙන්නේ තමා ගැනම සාක්ෂිදෙන අයට නොව ස්වාමීන්වහන්සේගෙන් සාක්ෂි ලබන අයටය.



පරිච්ඡේදය 11

1 ස්වල්ප අඥානකමකදී නුඹලා මා ගැන ඉවසන්නහු නම් කැමැත්තෙමි. එසේය, මා ගැන ඉවසන්න.
2 මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වන එක පුරුෂයෙකුට පාවාදීම පිණිස මා විසින් විවාහබස් දුන් බැවින් දිව්‍යවූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි.
3 නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.
4 මක්නිසාද එන්නාවූ තැනැත්තේ අප දේශනා නොකළ වෙන යේසුස් කෙනෙකු ගැන දේශනාකෙරේ නම්, නොහොත් නුඹලා නොලැබූ වෙන ආත්මයක්වත් නුඹලා පිළි නොගත් වෙන ශුභාරංචියක්වත් නුඹලා ඔහුගෙන් පිළිගන්නහු නම්, ඔහු ගැන ඉවසීම හොඳය.
5 නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා මම කොයි ආකාරයකින්වත් අඩු නැතැයි සිතමි.
6 මම කථාවට නිවට නුමුත් දැනගැන්මෙන් නිවට නොවෙමි; එපමණක් නොව අපි හැම දෙයින්ම සියල්ලන් අතරේ නුඹලා උදෙසා ඒ බව ප්‍රකාශකළෙමුව.
7 නොහොත් නුඹලා උසස්වෙන ලෙස මා විසින් මාම පහත්කරගනිමින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නිකමට දේශනාකළ නිසා පාපයක් කළෙම්ද?
8 නුඹලාට සේවයකරන පිණිස වෙන සභාවලින් කුලී ගනිමින් ඔවුන්ට අලාභකළෙමි.
9 තවද මම නුඹලා ළඟ සිටියදී හිඟවූ කල කිසිවෙකුට බරක් නොවීමි; මක්නිසාද සහෝදරයෝ මකිදෝනියෙන් ආ කල මාගේ හිඟකම පිරිමැසුවෝය; සියලු කාරණාවලදී නුඹලාට බරක් නොවී සිටියෙමි, එසේම සිටින්නෙමි.
10 ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍යතාව මා තුළ තිබෙන ලෙස අකායේ පළාත්වලදී මේ මාගේ පාරට්ටුකිරීම නවත්වන්ට කිසිවෙකුට ඉඩ නාරින්නෙමි.
11 ඒ මක්නිසාද? මා නුඹලාට ප්‍රේම නොකරන නිසාද? දෙවියන්වහන්සේ දන්නාසේක.
12 නුමුත් මා කරන දේ, ප්‍රස්තාවක් සොයන්නවුන්ගේ ප්‍රස්තාව සිඳදමන පිණිස, මතුත් කරන්නෙමි; එසේ කරන්නේ ඔවුන් පාරට්ටුකරගන්නාවූ කාරණයේදී ඔවුන් අප වාගේ පෙනෙන පිණිසය.
13 එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නාවූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ;
14 මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි.
15 එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ; ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය.
16 මා අඥානයෙක්ය කියා කිසිවෙක් නොසිතාවයි මම නැවත කියමි; නුමුත් නුඹලා එසේ සිතුවත් මාත් මඳක් පාරට්ටුකරගන්න පිණිස අඥානයෙකු හැටියට මා පිළිගන්න.
17 පාරට්ටුකිරීමේ විශ්වාසයෙන් යුක්තව මා කථාකරන දේ ස්වාමීන්වහන්සේ අනුව නොව අඥානකමින් මෙන් කථාකරමි.
18 මාංසාකාරයෙන් බොහෝ දෙනෙක් පාරට්ටුකරගන්නා බැවින් මමත් පාරට්ටුකරගනිමි.
19 මක්නිසාද ඥානවන්තව සිටින නුඹලා, අඥානයන් ගැන සන්තෝෂයෙන් ඉවසන්නහුය.
20 යමෙක් නුඹලා වහල්කමට පමුණුවන්නේ නුමුත්, යමෙක් නුඹලා කාදමන්නේ නුමුත්, යමෙක් නුඹලා අසුකරගන්නේ නුමුත්, යමෙක් තමා උසස්කරගන්නේ නුමුත්, යමෙක් නුඹලාගේ මුහුණට පහරදෙන්නේ නුමුත්, නුඹලා ඉවසන්නහුය.
21 අපි නම් දුර්වලව සිටියෙමුය කියා අවනම්බුවක් වශයෙන් කියමි. එසේවී නුමුත් කොයි කාරණයකදීවත් යමෙක් නිර්භීත නම් මමත් නිර්භීතව සිටිමියි අඥානලෙසින් කියමි.
22 ඔව්හු හෙබ්‍රෙව්වරුද? මමත් එසේමය. ඔව්හු ඉශ්‍රායෙලිතයෝද? මමත් එසේමය. ඔව්හු ආබ්‍රහම්ගේ වංශයද? මමත් එසේමය.
23 ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්‍රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය.
24 යුදෙව්වරුන්ගෙන් පස්වරක් එකුන් සතළිසක් පහරකෑවෙමි.
25 තුන් වරක් වේවැල්වලින් තැළුම්කෑවෙමි, එක වරක් ගල්ගසනු ලැබීමි, තුන් වරක් නැව් බිඳී උපද්‍රවයට පැමුණුනෙමි, රාත්‍රියකුත් දවාලකුත් ගැඹුරේ සිටියෙමි.
26 තවද බොහෝවිට ගමන්වලටද, ගංගා උපද්‍රවවලටද, සොර උපද්‍රවවලටද, මාගේ රට වැසියන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, අන්‍යජාතීන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, නුවරෙහි උපද්‍රවවලටද, වනයේ උපද්‍රවවලටද, මුහුදේ උපද්‍රවවලටද, බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්‍රවවලටද;
27 වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි.
28 බාහිරවූ ඒ දේ හැර සියලු සභාවන් ගැන සිතේ බරක් දවස්පතා මට ඇත්තේය.
29 යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද?
30 මා විසින් පාරට්ටුකරන්ට යුතු නම් මාගේ දුර්වලකම සම්බන්ධ කාරණා ගැන පාරට්ටුකරන්නෙමි.
31 මා බොරු නොකියන බව අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ පියවූ සදාකල්ම ප්‍රශංසනීයවූ දෙවියන්වහන්සේ දන්නාසේක.
32 දමස්කයේදී අරෙතස් රජු යටතේවූ ආණ්ඩුකාරයා මා අල්ලන පිණිස දමස්කවරුන්ගේ නුවර මුර සිටුවා රැකසිටි විට,
33 මම කූඩයක ලා කවුළුවක සිට පවුරෙන් බස්වනු ලැබ, ඔහුගේ අත්වලින් ගැළවුණෙමි.



පරිච්ඡේදය 12

1 පාරට්ටුකිරීම ප්‍රයෝජන නැති නුමුත් එය මට ඕනෑකෙරේ; නුමුත් ස්වාමීන්වහන්සේගේ දර්ශනයන්ද එළිදරව්කිරීම්ද කියන්නෙමි.
2 ක්‍රිස්තුස්වහන්සේ තුළවූ මනුෂ්‍යයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇදගන්නාලද්දේය. එසේවුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක.
3 එයාකාර මනුෂ්‍යයෙක් පාරාදීසයට ඇදගනු ලැබ, කියන්ට බැරිවූ, මනුෂ්‍යයෙකු විසින් නොකිය යුතුවූ වචන ඇසූ බව දනිමි.
4 (මෙසේ වුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක).
5 එබඳු තැනැත්තෙකු ගැන පාරට්ටුකරමි. නුමුත් මාගේ දුර්වලකම් ගැන මිස මා ගැනම පාරට්ටු නොකරමි.
6 එහෙත් මම පාරට්ටුකරගන්ට කැමතිවෙතත් අඥානයෙක් නොවන්නෙමි. මක්නිසාද මම ඇත්ත කියන්නෙමි. එසේවී නුමුත් මා කෙරෙහි දකින දේට නොහොත් මාගෙන් අසන දේට වඩා මම උතුමැයි කිසිවෙකු නොසිතන පිණිස එයින් වලකිමි.
7 තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.
8 ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන තුන්වරක් ස්වාමීන්වහන්සේගෙන් ඉල්ලුවෙමි.
9 උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.
10 එහෙයින් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.
11 මම අඥානයෙක් වී සිටිමි. ඊට නුඹලා මා සැලැස්සුවහුය. මා ගැන සාක්ෂිදෙන්ට යුතුව තිබුණේ නුඹලා විසින්ය. මක්නිසාද, මම කිසිත් නොවෙම් නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා කොයි ආකාරයකින්වත් අඩු නොවීමි.
12 සැබවින් ලකුණුවලින්ද පුදුමවලින්ද බලවත් ක්‍රියාවලින්ද ප්‍රේරිතයෙකුගේ ලකුණු සියලු ආකාර ඉවසීම ඇතුව නුඹලා අතරෙහි කරනලද්දේය.
13 මා නුඹලාට බරක්ව නොසිටිය කාරණයෙන් මිස වෙන මොන දෙයකින් නුඹලා අනික් සභාවලට අඩුව සිටියහුද? ඒ වරැද්දට මට කමාවෙන්න.
14 මෙන්න, තුන්වෙනි වරට නුඹලා වෙතට එන්ට සූදානම්ව සිටිමි. නුමුත් නුඹලා මිස නුඹලාගේ දේපළ මා නොසොයන නිසා මම නුඹලාට බරක් නොවන්නෙමි. මක්නිසාද රැස්කර තබන්ට යුතුව තිබෙන්නේ දරුවන් විසින් මවුපියන්ට නොව මවුපියන් විසින් දරුවන්ටය.
15 මම ඉතා සන්තෝෂයෙන් නුඹලාගේ ආත්ම ගැන මට ඇති දේ වියදම්කරන්නෙමි, මම්ම වැයවන්නෙමි. මම වැඩියෙන් නුඹලාට ප්‍රේමකරන තරමට අඩුවෙන් ප්‍රේමකරනු ලබම්ද?
16 එසේ වුණාවේ, මම්ම නුඹලාට බරක් නූණෙමි; නුමුත් ප්‍රයෝගකාරයෙක් වූයෙන්, මම වංචාවෙන් නුඹලා අල්ලාගතිමි.
17 මා නුඹලා ළඟට එවූවන්ගෙන් යමෙකු ලවා නුඹලාගෙන් වාසියක් ලබාගතිම්ද?
18 මම තීතස්ට අවවාදකොට, ඔහු සමඟ ඒ සහෝදරයා එවීමි. තීතස් නුඹලාගෙන් යම් වාසියක් ලබාගත්තේද? අප ගමන් කළේ එම ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නොවේද? එක අඩිපාරේ නොවේද?
19 අපිම නුඹලා ඉදිරියෙහි නිදොස්වන්ට උත්සාහකරමුයයි මෙපමණ කල් නුඹලා සිතන්ට ඇත. අප කථාකරන්නේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළය. නුමුත්, ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල නුඹලාගේ වර්ධනයවීම පිණිසය.
20 මක්නිසාද මා ආකල යම් විධියකින් නුඹලා මා කැමති ආකාර නොවන බවත්, මා නුඹලා කැමති ආකාර නොවන බවත් පෙනේදෝ කියාද, යම් විධියකින් විවාද, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කේලාම්, කනට කෙඳිරීම්, උඩඟුකම්, කෝලාහල පවතිනවා ඇද්දෝ කියාද,
21 මා නැවත ආකල මාගේ දෙවියන්වහන්සේ නුඹලා ඉදිරියෙහි මා යටත්කරනසේකැයි කියාද, මේ දක්වා පව්කොට තමුන් කළ අපිරිසිදුකමද වේශ්‍යාකමද සල්ලාලකමද ගැන පසුතැවිලි නුවූ බොහෝදෙනා උදෙසා මට වැලපෙන්ට වේදෝ කියාද භයවෙමි.



පරිච්ඡේදය 13

1 මේක මා නුඹලා ළඟට එන තුන්වෙනි වතාවය. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේවත් තුන්දෙනෙකුගේවත් මුඛයෙන් සියලු වචන ස්ථිරකරනු ලැබේ.
2 මම නැවත ආවොත් මේ දක්වා පව්කළවුන්ටද අනික් සියල්ලන්ටද අච්චු නොකර නාරින්නෙමියි කියා මම දෙවෙනි වතාවේ ළඟ සිටියදී කලින් කී ලෙස, දැන් ඈත්ව සිටියදීත් කලින් කියමි.
3 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා තුළ කථාකරන බවට නුඹලා ඔප්පුවක් සොයන්නහුය; උන්වහන්සේ නුඹලා කෙරෙහි දුර්වලව නොව නුඹලා අතරෙහි බලවත්ව සිටිනසේක.
4 මක්නිසාද උන්වහන්සේ දුර්වලකමින් කුරුසියෙහි ඇණගසනු ලැබූ නුමුත් දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත්වනසේක. එසේම අපිද උන්වහන්සේ තුළෙහි දුර්වලව සිටින නුමුත් උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් නුඹලා උදෙසා ජීවත්වන්නෙමුව.
5 නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලන්න; නුඹලාවම සෝදිසිකර බලන්න. නොහොත්, නුඹලා එපා කරනලද තැනැත්තෝ නොවෙත් නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළෙහි වසන බව නුඹලාම නොදනිවුද?
6 නුමුත් අප එපාකරනලද තැනැත්තන් නොවන බව නුඹලා දැනගන්නවා ඇතැයි බලාපොරොත්තුවෙමි.
7 නුමුත් නුඹලා කිසි නපුරක් නොකරන ලෙස අපි දෙවියන්වහන්සේට යාච්ඤාකරමුව. එසේ කරන්නේ අපි ඒත්තුගත් තැනැත්තන් බව පෙනෙන පිණිස නොව, අපි එපාකරනලද තැනැත්තන් මෙන් වූ නුමුත්, නුඹලා විසින් ගරුකටයුතු දේ කරන පිණිසය.
8 මක්නිසාද සැබෑව උදෙසා මිස සැබෑවට විරුද්ධව කිසිවක් කරන්නට අපට බැරිය.
9 අප දුර්වලව නුඹලා බලවත්ව සිටින කල අපි ප්‍රීතිවෙමුව. තවද නුඹලාගේ සම්පූර්ණවීම සඳහා අපි යාච්ඤාද කරමුව.
10 මේ නිසා, බිඳ හෙළීමට නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ මට දුන් බලය ලෙස මා නුඹලා ළඟ සිටින විට සැරකම පාවිච්චි නොකරන පිණිස, ඈත්ව සිටින විට මේ දේවල් ලියා එවමි.
11 ඉතින් සහෝදරයෙනි, සුවසේ සිටින්න, සම්පූර්ණවෙන්න; සැනසී සිටින්න; එක්සිත්වෙන්න; සමාදානයෙන් සිටින්න. එකල ප්‍රේමයේ හා සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ වනසේක.
12 ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න.
13 සියලු ශුද්ධවන්තයෝ නුඹලාට ආචාර කරති.
14 ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවද දෙවියන්වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිකමද නුඹලා සියල්ලන් හා සමඟ වේවා.