ගලාති

පරිච්ඡේදය: 1 2 3 4 5 6


පරිච්ඡේදය 1

1 මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කරණකොටගෙනවත් නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු පියවූ දෙවියන්වහන්සේ කරණකොටගෙන ප්‍රේරිතයෙක් වන පාවුල් නම් මා විසින්ද,
2 මා සමඟ සිටින සියලු සහෝදරයන් විසින්ද, ගලාතියේ සභාවලට ලියා එවන වග නම්:
3 පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා.
4 උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගළවන පිණිස අපගේ පියවූ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවාදුන්සේක.
5 උන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ගෞරවය වේවා. ආමෙන්.
6 ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව කරණකොටගෙන නුඹලා කැඳවූ තැනන්වහන්සේ කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය ශුභාරංචියකට හැරී යනවාට මවිතවෙමි.
7 සමහරු නුඹලා කලඹා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පෙරළන්ට කැමතිවා මිස, ඒක වෙන ශුභාරංචියක් නොවේ.
8 නුමුත් අප විසින් නුඹලාට ප්‍රකාශකළ ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශකරතොත් ඔහු ශාපලද්දෙක් වේවා.
9 නුඹලා පිළිගත් ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් යමෙක් නුඹලාට දේශනාකරතොත් ඔහු ශාපලද්දෙක් වේවයි අප වරක් කී හැටියටම මම දැන් නැවතත් කියමි.
10 ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි.
11 ඉතින්, සහෝදරයෙනි, මා දේශනා කළාවූ ශුභාරංචිය වනාහි මනුෂ්‍ය ප්‍රකාරවූ එකක් නොවන බව නුඹලාට දන්වමි.
12 මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්කිරීමෙන් මිස මා එය මනුෂ්‍යයන්ගෙන් ලැබුවේවත් උගන්වනු ලැබුවේවත් නැත.
13 මක්නිසාද මා පසුගිය කාලයේ යුදෙව්වරුන්ගේ ආගමෙහි හැසුරුණු අන්දම, එනම් දෙවියන්වහන්සේගේ සභාවට අප්‍රමාණ ලෙස පීඩාකොට එය නාස්තිකළ හැටි, නුඹලා ඇසුවහුය.
14 මාගේ පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජ්වලිතව සිටීමෙන්, මාගේ රටවැසියන් අතරේ මාගේ වයසේ බොහෝදෙනෙකුට වඩා යුදෙව්වරුන්ගේ ආගමේ වර්ධනයවුණෙමි.
15 නුමුත් මවුකුස පටන් මා වෙන්කළාවූද තමන්ගේ කරුණාව කරණකොටගෙන මා කැඳෙවුවාවූද දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයාණන්වහන්සේ ගැන අන්‍යජාතීන් අතරේ මා විසින් දේශනාකරන පිණිස,
16 උන්වහන්සේ මා තුළෙහි ප්‍රකාශකරන්ට කැමතිවූ කෙණෙහිම, මාංසය හා රුධිරය සමඟ මන්ත්‍රණය නොකොට,
17 මට පළමුවෙන් ප්‍රේරිතව සිටියවුන් ළඟට යෙරුසලමට නොගොස්, අරාබියට පිටත්ව ගොස්, නැවත දමස්කයට හැරී ආවෙමි.
18 තවද තුන් අවුරුද්දකට පසු කේපස් දකින පිණිස යෙරුසලමට ගොස්, ඔහු සමඟ පසළොස් දවසක් නැවතී සිටියෙමි.
19 නුමුත් ස්වාමීන්වහන්සේගේ සහෝදරයා වන යාකොබ් හැර අනික් ප්‍රේරිතයන්ගෙන් වෙන කවරෙකුවත් නුදුටිමි.
20 මා නුඹලාට ලියා එවන මේ කාරණා සම්බන්ධව මා බොරු නොකියන බව, මෙන්න, දෙවියන්වහන්සේ ඉදිරිපිට කියාසිටිමි.
21 පසුව සිරිය, කිලිකිය යන පළාත්වලට ආවෙමි.
22 ක්‍රිස්තුස්වහන්සේ තුළවූ යුදයේ සභාවෝ ඒතාක්ම මාගේ මුහුණ දැක ඇඳිනගෙන නොසිටියෝය.
23 වරක් අපට පීඩාකළ තැනැත්තා තමා විසින් වරක් නාස්තිකළාවූ ඇදහිල්ල දැන් දේශනාකරන්නේය යන ප්‍රවෘත්තිය පමණක් ඔවුන්ට ලැබුණේය.
24 ඔව්හු මා ගැන දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.



පරිච්ඡේදය 2

1 තවද දසසතර අවුරුද්දකට පසු තීතස්ද මා කැටුව ගෙන බාර්ණබස් සමඟ යෙරුසලමට නැවත ගියෙමි.
2 එහි ගියේ එළිදරව්වීමක් නිසාය. එහි ගොස් මම අන්‍යජාතීන් අතරෙහි ප්‍රකාශකරන ශුභාරංචිය ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි. නුමුත් මා දුවන්නාවූ නොහොත් දිවුවාවූ දිවීම යම් හෙයකින් නිෂ්ඵල නොවන පිණිස, ප්‍රධාන තැනැත්තන්ට එය දැන්නුවේ රහසින්ය.
3 එහෙත් මා සමඟ සිටියාවූ ග්‍රීකයෙක් වන තීතස්ට නුමුත් රහසින් ඇතුල්වුණ බොරු සහෝදරයන් නිසාවත් චර්මඡේද්‍යය ලබන්ට බලකළේ නැත.
4 ඔව්හු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට ඇත්තාවූ නිදහස්කම ගැන ඔත්තු බලා, අප වහල්කමට පමුණුවන පිණිස රහසින් ඇතුල්වුණෝය.
5 ශුභාරංචියේ සත්‍යතාව නුඹලා අතරේ නොකඩව පවතින පිණිස, යටත්වීමෙන් අපි පැයකටවත් ඔවුන්ට ඉඩ නුදුනිමුව.
6 නුමුත් ප්‍රධානයන්ය කියා සිතනලද තැනැත්තන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත. (ඔවුන් කොහොම අයවල්ව සිටියත් මට කමක් නැත; දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ තරාතිරම නොබලනසේක.) එසේය, ඒ ප්‍රධානයන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත.
7 නුමුත් අනික් අතට පේතෘස්ට චර්මඡේද්‍යයේ ශුභාරංචිය භාරදී තිබෙන්නාක්මෙන් මට අචර්මඡේද්‍යයේ ශුභාරංචිය භාරදී තිබෙන බව ඔව්හු දුටුවෝය.
8 (මක්නිසාද චර්මඡේද්‍යයේ ප්‍රේරිතකමට පේතෘස් තුළෙහි ක්‍රියාකළාවූ තැනන්වහන්සේම අන්‍යජාතීන් උදෙසා මා තුළ ක්‍රියාකළසේක.)
9 එවිට කණු මෙන් සලකනු ලැබුවාවූ යාකොබ්ද කේපස්ද යොහන්ද, මට දෙනලද අනුග්‍රහය දැනගත් කල, මටද බාර්ණබස්ටද පංගුකාරකමේ දකුණත දුන්නෝය. එසේ කළේ අප අන්‍යජාතීන් වෙතටද ඔවුන් චර්මඡේදිතයන් වෙතටද යන පිණිසය.
10 අප විසින් දිළිඳුන් සිහිකරන ලෙස ඔවුන් ඉල්ලුවා පමණක්ය; එම දේ කරන්ට මමද ආශාවෙන් සිටියෙමි.
11 තවද කේපස් අන්තියෝකියට ආ කල, ඔහු වරද කරලා සිටි බැවින් ඔහු ඉදිරිපිටදීම ඔහුට විරුද්ධව සිටියෙමි.
12 මක්නිසාද යාකොබ් වෙතින් සමහරුන් එන්ට පළමුවෙන් ඔහු අන්‍යජාතීන් සමඟ කෑවේය. නුමුත් ඔවුන් ආ කල ඔහු චර්මඡේද්‍යවූවන්ට භයව පසුබැස වෙන්ව සිටියේය.
13 අනික් යුදෙව්වරුද ඔහු සමඟ එසේම වංකකම් කළෝය; එසේය, බාර්ණබස් පවා ඔවුන්ගේ වංකකමට ඇදී ගියේය.
14 නුමුත් මම වනාහි ඔවුන් ශුභාරංචියේ සැබෑවේ හැටියට ඇදනැතිකමින් නොහැසුරුණු බව දැක, සියල්ලන් ඉදිරියෙහි කේපස්ට කථාකරමින්: නුඹ යුදෙව්වෙක්ව සිට, යුදෙව්වරුන් ලෙස නොව අන්‍යජාතීන් ලෙස හැසිරෙනවා නම්, අන්‍යජාතීන්ට යුදෙව්වරුන් මෙන් හැසිරෙන්ට බල කරන්නේ කෙසේදැයි කීමි.
15 තවද අන්‍යජාති පව්කාරයන් නොව ස්වභාවෙන් යුදෙව්වරුන් වන අපි,
16 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි.
17 නුමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ධර්මිෂ්ඨකරනු ලබන්ට සොයමින්ම අපිම පවා පව්කාරයෝව පෙනෙමු නම්, ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් වනසේක්ද? එසේ නොවේවා.
18 මක්නිසාද මා විසින් කඩා දමනලද දේවල්ම මම නැවත ගොඩනගන්නෙම් නම්, මා වරදකාරයෙකු බව මමම ඔප්පුකරමි.
19 ඇරත් මම දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිස ව්‍යවස්ථාව කරණකොටගෙන ව්‍යවස්ථාවට මැරුණෙමි.
20 මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.
21 දෙවියන්වහන්සේගේ කරුණාව නිෂ්ඵල නොකරමි. මක්නිසාද ධර්මිෂ්ඨකම ව්‍යවස්ථාව කරණකොටගෙන වේ නම් ක්‍රිස්තුස්වහන්සේ නිකරුණේ මළසේක.



පරිච්ඡේදය 3

1 අහෝ අඥාන ගලාතිවරුනි, කුරුසියෙහි ඇණගසනලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධලෙස දක්වනු ලැබූ නුමුත් නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද?
2 නුඹලාගෙන් මේක පමණක් දැනගන්ට කැමැත්තෙමි: එනම්, නුඹලා ආත්මයාණන්වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙනද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද? නුඹලා මෙපමණ අඥානද?
3 ආත්මයාණන් තුළ පටන්ගත් නුඹලා දැන් මාංසයෙහි සම්පූර්ණව සිටිහුද?
4 නුඹලා එපමණ දේ නිෂ්ඵලලෙස වින්දහුද? ඇත්තටම එය නිෂ්ඵලද?
5 ඉදින් නුඹලාට ආත්මයාණන්වහන්සේ දෙන්නාවූ, නුඹලා අතරෙහි ආශ්චර්යයන් කරන්නාවූ තැනන්වහන්සේ එසේ කරන්නේ ව්‍යවස්ථාවේ ක්‍රියාවලින්ද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද?
6 මෙසේ ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාසකළේය, එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගනු ලැබුවේය.
7 එබැවින් ඇදහිල්ලෙහි පිහිටෙන්නෝම ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගන්න.
8 තවද දෙවියන්වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන අන්‍යජාතීන් ධර්මිෂ්ඨකරන බව ලියවිල්ල කල්මත්තෙන් දැක: නුඹ තුළ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා ශුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප්‍රකාශකළේය.
9 මෙසේ ඇදහිල්ලෙහි පිහිටෙන්නෝ ඇදහිලිවන්තවූ ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති.
10 මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති. මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ.
11 ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය.
12 ව්‍යවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොවේ; නුමුත්: ඒ දේ කරන තැනැත්තේ එයින් ජීවත්වන්නේය.
13 ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.
14 මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය.
15 සහෝදරයෙනි, මම මනුෂ්‍යාකාරයෙන් කථාකරමි. මනුෂ්‍යයෙකුගේ ගිවිසුම්පත්‍රයක් වුවත් ස්ථිරවී නම්, කිසිවෙක් එය අවලංගුකරන්නේවත් ඊට කිසිවක් එකතුකරන්නේවත් නැත.
16 ඉතින් පොරොන්දු දෙනලද්දේ ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝදෙනෙකුට මෙන්: වංශයන්ටය නොකියා, එක්කෙනෙකුට මෙන්: නුඹේ වංශයටයයි උන්වහන්සේ කියනසේක.
17 ඒ වංශය නම් ක්‍රිස්තුස්වහන්සේය. ඉදින් මා කියන්නේ නම්: දෙවියන්වහන්සේ විසින් කලින් ස්ථිරකරනලද ගිවිසුමක්, ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමුණුණාවූ ව්‍යවස්ථාවෙන්, පොරොන්දුව නිෂ්ඵලවන ලෙස, අවලංගුකරන්ට නුපුළුවන් බවය.
18 මක්නිසාද උරුමය ව්‍යවස්ථාවෙන් වේ නම් තවත් පොරොන්දුවෙන් නොවේ. නුමුත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට ඒක දුන්නේ පොරොන්දුවෙන්ය.
19 එසේවී නම් ව්‍යවස්ථාව කිමෙක්ද? ඒක වනාහි පොරොන්දුව ලැබූ ඒ බීජය එන තුරු දේවදූතයන් ලවා මැදහත්කාරයෙකුගේ අතින් නියමකරවනු ලැබ, පසුව අපරාධ නිසා එකතුකරන ලද්දේය.
20 තවද මැදහත්කාරයෙක් සිටින්නේ එක්කෙනෙකු පිළිබඳව නොවේය; නුමුත් දෙවියන්වහන්සේ එක්කෙනෙක්ය.
21 එසේවී නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධද? එසේ නොවේවා. මක්නිසාද ජීවත්කරන්ට පුළුවන්වූ ව්‍යවස්ථාවක් දෙනලද්දේ නම්, ධර්මිෂ්ඨකම සැබවින් ව්‍යවස්ථාවෙන් වෙනවා ඇත.
22 එසේවී නුමුත් අදහන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් වූ පොරොන්දුව දෙනු ලබන පිණිස, ලියවිල්ල සියල්ලන්ම පාපය යට වසා තැබුවේය.
23 නුමුත් එළිදරව්වෙන්ට තිබුණු ඇදහීම පිණිස, ඒ ඇදහීම පැමිණෙන්ට පළමුවෙන්, අපි හිරඅඩස්සිවී ව්‍යවස්ථාව යටතේ ආරක්ෂාකරනු ලැබුවෙමුව.
24 මෙසේ අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ.
25 නුමුත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින්, අපි තවත් ගුරුවරයෙකු යටතේ නොවමුව.
26 මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.
27 මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්මකරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය.
28 නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.
29 ඉදින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නම්, නුඹලා ආබ්‍රහම්ගේ වංශයද පොරොන්දුව ලෙස උරුමක්කාරයෝද වන්නහුය.



පරිච්ඡේදය 4

1 උරුමක්කාරයා සියල්ලටම ස්වාමියා නුමුත්, ඔහු බාලයෙක්ව සිටින තුරු දාසයෙකුට වඩා වෙනසක් නැතුව,
2 පියා විසින් නියමකළ කාලය දක්වා, ප්‍රවේසම්කරන්නන් හා ගබඩාකාරයන් යටතේ සිටින්නේයයි කියමි.
3 එසේම අපිත් බාලයන්ව සිටියදී, ලෝකයේ ගුරුකම් යටතේ දාසව සිටියෙමුව.
4 නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන්වහන්සේ එවූසේක.
5 එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූවන් මුදාගැනීමටය.
6 තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක.
7 මෙසේ නුඹ තවත් දාසයෙක් නොව පුත්‍රයෙක්ය; පුත්‍රයෙක් නම් දෙවියන්වහන්සේ කරණකොටගෙන උරුමක්කාරයෙක්ය.
8 එසේවී නුමුත් නුඹලා ඒ කාලයේදී දෙවියන්වහන්සේ නෑඳින, ස්වභාවෙන් දෙවිවරුන් නොවන්නන්ට වහල්ව සිටියහුය.
9 නුමුත් දැන් නුඹලා දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද?
10 නුඹලා දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය.
11 සමහරවිට නුඹලා උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵලවේදෝ කියා නුඹලා ගැන භයවෙමි.
12 සහෝදරයෙනි, මා නුඹලා මෙන් සිටින බැවින්, නුඹලාත් මා ලෙස සිටිනමෙන් නුඹලාගෙන් ඉල්ලමි. නුඹලා මට කිසි වැරැද්දක් කළේ නැත.
13 මාංසයේ දුර්වලකමක් නිසා පළමුකොට මා නුඹලාට ශුභාරංචිය ප්‍රකාශකළ හැටි නුඹලා දන්නහුය.
14 මාගේ මාංසය සම්බන්ධයෙන් නුඹලාට පරීක්ෂාවක්ව තිබුණු දේ නුඹලා සුළුකළේවත් එපාකළේවත් නැතුව, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ද, එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මෙන්ද මා පිළිගත් බව නුඹලා දන්නහුය.
15 එසේවී නම් නුඹලාට තිබුණු ඒ ප්‍රීතිය කොයිද? මක්නිසාද පුළුවන්නම් නුඹලාගේ ඇස් උගුලා මට දෙන්ට පවා නුඹලා කැමතිව සිටිය බවට නුඹලා ගැන සාක්ෂිදෙමි.
16 එසේවී නම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටිම්ද?
17 ඔවුන් නුඹලා ගැන ජ්වලිතව සිටින්නේ යහපත් ආකාරයෙන් නොවේය. නුමුත් අනික් අතට නුඹලා ඔවුන් ගැන ජ්වලිතවන පිණිස නුඹලා අපෙන් වෙන්කරගන්ට ඔව්හු ආශාවෙති.
18 නුමුත් මා නුඹලා ළඟ සිටින කල පමණක් නොව නිතරම, යහපත් කාරණයකදී, ජ්වලිතලෙස සොයනු ලැබීම යහපත.
19 මාගේ දරුවෙනි, ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසවවේදනා විඳිමි.
20 එසේය, පුළුවන් නම් දැන් නුඹලා ළඟ සිටින්ටද වෙන ආකාරයකින් කථාකරන්ටද කැමැත්තෙමි; මක්නිසාද නුඹලා ගැන වියවුල්ව සිටිමි.
21 ව්‍යවස්ථාව යටතේ සිටින්ට කැමැත්තෙනි, නුඹලා ව්‍යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියන්න.
22 මක්නිසාද ආබ්‍රහම්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය, එක්කෙනෙක් දාසියගෙන්ය, එක්කෙනෙක් නිර්දාසියගෙන්ය.
23 නුමුත් දාසියගේ පුත්‍රයා මාංසිකලෙසද නිර්දාසියගේ පුත්‍රයා පොරොන්දුව කරණකොටගෙනද උපන්නේයයි ලියා තිබේ.
24 මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්‍රීහු ගිවිසුම් දෙකක්ය; සීනා පර්වතයෙන් දුන් ගිවිසුම තොමෝ දාසකමට දරුවන් උපදවන්නීය, ඒ හාගර්ය.
25 මේ හාගර් නම් අරාබියෙහි සීනා පර්වතයය, ඒ දැන් තිබෙන යෙරුසලමට අදාළවේ. මක්නිසාද ඈ තමාගේ දරුවන් සමඟ දාසකමෙහි සිටින්නීය.
26 නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය.
27 මක්නිසාද: දරුවන් බිහිනොකරන වඳ තැනැත්තිය, ප්‍රීතිවෙව; බිහිකරන වේදනා නොවිඳන තැනැත්තිය, ශබ්දනගා මොරගසව. මක්නිසාද පුරුෂයා ඇති තැනැත්තියට වඩා අත්හරිනු ලැබූ තැනැත්තියට දරුවෝ බොහෝයයි ලියා තිබේ.
28 ඉදින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය.
29 නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය.
30 එසේවී නුමුත් ලියවිල්ලේ කුමක් කියා තිබේද? දාසිය සහ ඇගේ පුත්‍රයාත් පිටත දමන්න. මක්නිසාද දාසියගේ පුත්‍රයාට නිර්දාසියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේය යනුයි.
31 එබැවින්, සහෝදරයෙනි, අපි දාසියෙකුගේ නොව නිර්දාසියගේ දරුවෝය.



පරිච්ඡේදය 5

1 ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.
2 ඉදින් නුඹලා චර්මඡේද්‍යය ලබන්නහු නම්, ක්‍රිස්තුස්වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි.
3 එසේය, චර්මඡේද්‍යය ලබන සෑමදෙනම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට ණයකාරයෝව සිටින්නෝයයි නැවත සාක්ෂිදෙමි.
4 ව්‍යවස්ථාව කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන්ට සතුටුවූ නුඹලා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්කරනලද්දහුය. නුඹලා අනුග්‍රහයෙන් වැටී සිටින්නහුය.
5 මක්නිසාද අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුව ගැන බලාසිටිමුව.
6 මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.
7 නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද?
8 ඔය පෙලඹීම නුඹලා කැඳවන තැනන්වහන්සේගෙන් නොවේය.
9 මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන්නේය.
10 නුඹලා වෙන කල්පනාවකින් යුක්තව සිටින්නේ නැත කියා ස්වාමීන්වහන්සේ තුළ මම නුඹලා ගැන විශ්වාසකරමි. නුමුත් නුඹලාව වියවුල්කරන තැනැත්තේ කවරෙක් නුමුත් ඔහු තමාගේ දඬුවම විඳිනවා ඇත.
11 නුමුත් සහෝදරයෙනි, මම තවම චර්මඡේද්‍යය ප්‍රකාශකරම් නම් මක්නිසා තවම පීඩාකරනු ලබම්ද? එසේවී නම් කුරුසියේ බාධාව පහකරන ලද්දේය.
12 නුඹලාව වියවුල්කරන්නෝ තමුන්ම සිඳගන්නෝ නම් කැමැත්තෙමි.
13 මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.
14 මක්නිසාද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යන එක වාක්‍යයෙන්ම මුළු ව්‍යවස්ථාව සම්පූර්ණවේ,
15 නුමුත් නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න.
16 නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.
17 මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති.
18 නුමුත් නුඹලා ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන්නහු නම්, නුඹලා ව්‍යවස්ථාව යටතේ නොවන්නහුය.
19 ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම;
20 රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;
21 වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.
22 නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,
23 විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.
24 තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.
25 අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු.
26 නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.



පරිච්ඡේදය 6

1 සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න.
2 එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණකරන්න.
3 මක්නිසාද කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටාගනියි.
4 නුමුත් එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ.
5 මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.
6 වාක්‍යය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා.
7 නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.
8 ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය.
9 තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.
10 එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.
11 කොපමණ ලොකු අකුරුවලින් මාගේම අතින් නුඹලාට ලිවීම්දැයි බලන්න.
12 මාංසාකාරයෙන් උතුම්ව පෙනෙන්ට කැමති සියල්ලෝ චර්මඡේද්‍යය ලබන්ට නුඹලාට බලකරති. එසේ කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ගැන පීඩා නොලබන පිණිස පමණක්ය.
13 මක්නිසාද චර්මඡේද්‍යය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපවත්වති; නුමුත් නුඹලාගේ මාංසය ගැන ඔවුන් පාරට්ටුකරන පිණිස නුඹලා චර්මඡේද්‍යකරවාගන්ට කැමතිවෙති.
14 නුමුත් අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරට්ටුකරගන්ට මට නම් සිද්ධ නොවේවා; ඒ කරණකොටගෙන ලෝකය මටද මා ලෝකයටද කුරුසියෙහි ඇණ ගසනුලද්දේ විය.
15 මක්නිසාද අලුත් මැවිල්ල මිස, චර්මඡේද්‍යවත් අචර්මඡේද්‍යවත් කිසිවක් නොවේ.
16 තවද යම් පමණ දෙනෙක් මේ විධිය ප්‍රකාර හැසිරෙන්නෝද, ඔවුන්ට, දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ට, සමාදානයත් දයාවත්වේවා.
17 මින්මතු කිසිවෙක් මට කරදර නොකෙරේවා. මක්නිසාද මම යේසුස්වහන්සේගේ සළකුණු මාගේ ශරීරයේ දරමි.
18 සහෝදරයෙනි, අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්මයන් සමඟ වේවා. ආමෙන්.