කොලොස්සි

පරිච්ඡේදය: 1 2 3 4


පරිච්ඡේදය 1

1 දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක් වන පාවුල්ද සහෝදරයා වන තිමෝතියස්ද විසින්,
2 ක්‍රිස්තුස්වහන්සේ තුළ කොලොස්සේ සිටින ශුද්ධවන්තයන්වූ විශ්වාස සහෝදරයන්ට ලියා එවන වග නම්: අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන් කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.
3 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි නුඹලාගේ ඇදහීමත් සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා නුඹලාගේ ප්‍රේමයත් ගැන අප ඇසූ බැවින්, ස්වර්ගයෙහි නුඹලාටත් තබා තිබෙන්නාවූ බලාපොරොත්තුව නිසා,
4 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට අපි ස්තුතිකර, නිතරම නුඹලා ගැන යාච්ඤාකරමුව.
5 ඒ බලාපොරොත්තුව ගැන ශුභාරංචියේ සැබෑවේ වචනයෙන් නුඹලා පළමු ඇසුවහුය.
6 ඒ ශුභාරංචිය මුළු ලෝකයට මෙන් නුඹලා වෙතටත් පැමිණී තිබේ; නුඹලා එය අසා දෙවියන්වහන්සේගේ කරුණාව සැබෑවෙන් දැනගත් දා පටන් ඒ නුඹලා අතරේ මෙන් මුළු ලෝකයෙහිත් ඵල දරමින් වර්ධනයවන්නේය.
7 එසේ අප උදෙසා ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාස සේවකයෙක්ව සිටින අපේ ප්‍රේමවන්ත හවුල් වැඩකාරවූ එපප්‍රස්ගෙන් නුඹලා ඉගෙනගත්තහුය.
8 ඔහු ආත්මයාණන්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ ප්‍රේමයත් අපට දැන්නුවේය.
9 එබැවින් අපිත් ඒ ඇසූ දා පටන් නුඹලා උදෙසා නොකඩවම යාච්ඤාකරමින්, නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී,
10 සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවියන්වහන්සේ දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද,
11 ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද,
12 ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට අප සුදුස්සන් කළාවූ පියාණන්වහන්සේට ස්තුතිකරමින්ද, නුඹලා ස්වාමීන්වහන්සේට ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව.
13 පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.
14 උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ.
15 උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය, මුළු මැවිල්ලේ කුළුඳුලාණෝය;
16 මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ;
17 උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක, සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේය.
18 උන්වහන්සේ සභාව නැමති ශරීරයට හිසව සිටිනසේක. උන්වහන්සේ පටන්ගැන්මව මළවුන්ගෙන් කුළුඳුලාව සිටිනසේක. එසේව සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප්‍රධානව සිටින පිණිසය.
19 මක්නිසාද උන්වහන්සේ තුළ මුළු පූර්ණකම පැවතීමටත්, උන්වහන්සේගේ කුරුසියේ ලෙයින් සමාදානය උපදවා,
20 උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක.
21 පසුගිය කාලයේදී අන්‍යයන්ව, නුඹලාගේ නපුරු ක්‍රියාවලින් සිතින් සතුරන්ව සිටියාවූ නුඹලා,
22 ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරගන්න පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොටගෙන සමඟිකරගත්සේක.
23 නුඹලා ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී, ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරචිය නුඹලා ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි.
24 දැන් මම නුඹලා උදෙසා විඳින දුක් ගැන ප්‍රීතිව, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා, උන්වහන්සේගේ දුක්වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංසයෙන් සම්පූර්ණකරමි.
25 පූර්ව කාලවලද පරම්පරාවලද පටන් සැඟවී තිබී, දැන් දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට ප්‍රකාශවුණාවූ රහස වන,
26 දෙවියන්වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට, නුඹලා උදෙසා මට දෙනලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට, සභාවේ සේවකයෙක් කරනු ලැබීමි.
27 අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.
28 අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව.
29 ඒ ඇර, මා තුළ බලවත් ලෙස කෙරෙන උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ඒ සඳහා මම පොරඅල්ලමින් වීර්යකරමි.



පරිච්ඡේදය 2

1 එසේය, නුඹලා උදෙසාත් ලවොදිකයෙහි සිටින්නන් උදෙසාත් මාංසාකාරයෙන් මාගේ මුහුණ නුදුටු සියල්ලන් උදෙසාත් කොපමණ මහත් පොරඇල්ලීමක් මට තිබේද කියා නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.
2 ඒ වනාහි ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධවී, තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නැමති සියලු සම්පත භුක්තිවිඳිමින්, ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත්, දෙවියන්වහන්සේගේ රහස වන ක්‍රිස්තුස්වහන්සේ දැනගන්නා පිණිසත්ය.
3 ඒ තැනන්වහන්සේ තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර ඇත්තේමය.
4 මෙසේ මා කියන්නේ සිත් ප්‍රසන්න කරන කථාවෙන් කිසිවෙකු විසින් නුඹලා මුළා නොකරන පිණිසය.
5 මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිෙවළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.
6 එබැවින් නුඹලා ස්වාමීවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව,
7 නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.
8 ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.
9 මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසයකරන්නේය.
10 සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය.
11 අතින් නොකළ චර්මඡේද්‍යයක් වන මාංසයේ ශරීරය පහකිරීම නැමති ක්‍රිස්තුස් වහන්සේගේ චර්මඡේද්‍යයෙන් උන්වහන්සේ තුළ නුඹලා චර්මඡේද්‍ය කරනු ලැබුවහුය.
12 නුඹලා උන්වහන්සේ සමඟ බව්තීස්මයෙහි තැන්පත්කරනු ලැබ, උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුවාවූ දෙවියන්වහන්සේගේ ක්‍රියාකිරීම කෙරෙහි ඇදහීම කරණකොටගෙන, උන්වහන්සේ සමඟ නැගුටුවනු ලැබුවහුය.
13 නුඹලාගේ වරදවලද මාංසයේ අචර්මඡේද්‍යයෙහිද මැරී සිටියාවූ නුඹලා, උන්වහන්සේ සමඟ ජීවත්කරවූසේක. එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමාකළසේක;
14 අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක.
15 උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලයලත්තන්ද පහකොට, ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා, කුරුසිය කරණකොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශකළසේක.
16 එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් නුඹලා විනිශ්චයකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න.
17 ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය; නුමුත් සිරුර ක්‍රිස්තුස්වහන්සේගේය.
18 පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,
19 මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැදී සිටින්නේය.
20 නුඹලා ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ මැරුණහුනම්, ලෝකයෙහි ජීවත්වන්නාක් මෙන් මනුෂ්‍යයන්ගේ ශික්ෂා හා ධර්ම අනුව:
21 අල්ලන්ටවත් රසබලන්ටවත් අතගසන්ටවත් එපාය යන නියෝගවලට යටත්වන්නේ මක්නිසාද?
22 මේ සියල්ල පාවිච්චිකිරීමෙන් දිරායන්ට තිබේ.
23 ඒ දේවල් වනාහි කැමතිලෙස නමස්කාර කිරීමෙන්ද පහත්වීමෙන්ද ශරීරයට හිංසාකරගැනීමෙන්ද ඥානවන්තකමක් මෙන් පෙනේ; නුමුත් මාංසයේ තෘෂ්ණා වැලැක්වීම සඳහා ඒවායේ කිසි වටිනාකමක් නැත.



පරිච්ඡේදය 3

1 ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.
2 පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.
3 මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.
4 අපේ ජීවනය වන ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශවන කල, නුඹලාත් උන්වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශවන්නහුය.
5 එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැදීමවූ තණ්හාවත් නසන්න.
6 මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.
7 නුඹලාත් පසුගිය කාලයෙහි ඒ දේවල ජීවත්වූ කල ඒවායෙහි හැසුරුණහුය.
8 නුමුත් දැන් නුඹලා ඒ සියල්ලකෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කථාව-පහකරන්න.
9 එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,
10 අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.
11 එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මජේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.
12 එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,
13 එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න.
14 මේ සියල්ල උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.
15 ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;
16 ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීගයන්න.
17 තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක්කරතත්, සියල්ලම ස්වාමීවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.
18 භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.
19 පුරුෂයෙනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවී ඔවුන්ට ප්‍රේමකරන්න.
20 දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙන්න, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය.
21 පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න.
22 දාසයෙනි, මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හිතේ අවංකකමෙන්, මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරුවෙන්න.
23 නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන,
24 නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.
25 මක්නිසාද අයුක්තිය කරන්නා තමා කළාවූ අයුක්තියේ ඵල ලබන්නේය. තරාතිරම් බැලීමක් නැත්තේය.



පරිච්ඡේදය 4

1 ස්වාමිවරුනි, ස්වර්ගයෙහි නුඹලාටත් ස්වාමි කෙනෙක් සිටින බව දැන, නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨවූ සාධාරණවූ දේ දෙන්න.
2 ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න;
3 තවද මා විසින් කථාකළයුතුව තිබෙන අන්දමට ක්‍රිස්තුස්වහන්සේගේ රහස එළිදරව්කරන පිණිස,
4 එය කියාදීමට දෙවියන්වහන්සේ අපට වචනයේ දොරක් අරින ලෙස අප උදෙසාත් යාච්ඤාකරන්න. ඒ රහස නිසා මම බැඳුම් ලැබ සිටි.
5 නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.
6 නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.
7 ස්වාමීන්වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද හවුල් දාසයාද වූ තුඛීකස් මාගේ සියලු කාරණා නුඹලාට දන්වනවා ඇත.
8 ඒ පිණිසම එනම් නුඹලා අපේ කාරණා දැනගන්න පිණිසත්, ඔහු නුඹලාගේ සිත් සනසන පිණිසත්,
9 නුඹලාගෙන් එක්කෙනෙක් වන විශ්වාස ප්‍රේමවන්ත සහෝදරයාවූ ඔනේසිමස් සමඟ ඔහු නුඹලා ළඟට එවමි. මෙහි සියලු කාරණා ඔවුන් නුඹලාට දන්වනවා ඇත.
10 මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න.
11 චර්මඡේදිතයන්ගෙන් මොව්හු පමණක් මට සැනසිල්ලක් වූවෝය, මොව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා මාගේ හවුල් සේවකයෝවද සිටිති.
12 නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසෙයක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය; නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය.
13 මක්නිසාද නුඹලා උදෙසාත් ලවොදිකයෙහිද හියරපොලිසෙහිද සිටින්නන් උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන බවට මම සාක්ෂිදරමි.
14 ලූක් නම් ප්‍රේමවන්ත වෛද්‍යාචාරි තැනද දේමස්ද නුඹලාට ආචාරකරති.
15 ලවොදිකයෙහි සිටින සහෝදරයන්ටත් නිම්පස්ටත් ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න.
16 මේ ලියුම නුඹලා අතරෙහි කියෙවු පසු, මේක ලවොදිකයන්ගේ සභාවෙහිද කියවනු ලබන්ට සලස්වන්න; ලවොදිකයෙන් ලැබෙන ලියුම නුඹලාත් කියවන්ට බලාගන්න.
17 ස්වාමීන්වහන්සේ තුළ නුඹ ලැබූ සේවය සම්පූර්ණකරන පිණිස ඒ ගැන බලාගන්නැයි අර්කිපස්ට කියන්න.
18 පාවුල් නම්වූ මාගේම අතින් ලියන ආචාරයය. මාගේ බැඳුම් සිහිකරන්න. අනුග්‍රහය නුඹලා සමඟ වේවා.