1 තෙසලෝනික

පරිච්ඡේදය: 1 2 3 4 5


පරිච්ඡේදය 1

1 පාවුල්ද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින් පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන තෙසලෝනිකවරුන්ගේ සභාවට ලියා එවන වගනම්: නුඹලාට අනුග්‍රහයත් සමාදානයත් වේවා.
2 අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීර්යයද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකඩව සිහිකරමින්,
3 අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක්කරමින්, නුඹලා සියල්ලන් ගැන සෑමවේලේම දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
4 එසේය, දෙවියන්වහන්සේ ප්‍රේමකරන්නාවූ සහෝදරයෙනි, උන්වහන්සේ නුඹලා තෝරාගත් බව අපි දනිමුව.
5 මක්නිසාද අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් බොහෝ නිසැකකමත් ඇතුවය. එසේය, නුඹලා නිසා අපි නුඹලා අතරෙහි කොයි ආකාර අය වීමුදැයි නුඹලා දන්නහුය.
6 නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්වහන්සේද අනුවයන්නෝ වූහ.
7 මෙසේ නුඹලා මකිදෝනියෙහි සහ අකායෙහි සිටින සියලු ඇදහිලිවන්තයන්ට ආදර්ශවුණහුය.
8 මක්නිසාද නුඹලා වෙතින් ස්වාමීන්වහන්සේගේ වචනයේ හඬ මකිදෝනියෙහිත් අකායෙහිත් පැතිර ගියා පමණක් නොව අප විසින් කිසිවක් කියන්ට ඕනෑ නොකරන හැටියට දෙවියන්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ල සෑම තැනම ප්‍රකාශවිය.
9 එසේ නුඹලා වෙතට අපේ පැමිණීම කොයි ආකාරව තිබුණේද කියාත් නුඹලා ජීවමානවූ සැබෑවූ දෙවියන්වහන්සේට මෙහෙකරන පිණිසද, උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූ,
10 පැමිණෙන උදහසින් අප ගළවන්නාවූ තමන්ගේ පුත්‍රවූ යේසුස්වහන්සේ ස්වර්ගයෙන් එනවා බලාසිටින පිණිසද, නුඹලා දේවතාරූප කෙරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරුණ හැටිත් ඔව්හුම දන්වති.



පරිච්ඡේදය 2

1 මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා වෙතට අපේ පැමිණීම නිෂ්ඵලවී නැති බව නුඹලාම දන්නහුය.
2 නුඹලා දන්න හැටියට අපි ප්‍රථමකොට පිලිප්පියේදී දුක්ද නිග්‍රහද ලැබූ නුමුත්, මහත් පොරඇල්ලීමක් ඇතුව දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට කියාදෙන්ට අපගේ දෙවියන්වහන්සේ තුළ නිර්භීතවුණෙමුව.
3 මක්නිසාද අපේ අනුශාසනාව මුළාවෙන්වත් අපවිත්‍රකමින්වත් වංචාවෙන් යුක්තවවත් නොවේය.
4 නුමුත් ශුභාරංචිය භාරගැනීමට අපි සුදුස්සෝයයි දෙවියන්වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම, මනුෂ්‍යයන් නොව අපේ සිත් විමසන දෙවියන්වහන්සේව සතුටුකරන ලෙස කථාකරමුව.
5 මක්නිසාද නුඹලා දන්නා හැටියට අප විසින් කිසිකලක ඉච්චා වචනවත් තණ්හාවේ උපායක්වත් ව්‍යවහාරකළේ නැත-දෙවියන්වහන්සේ සාක්ෂිය.
6 අප ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් හැටියට නුඹලාට බරක්වෙන්ට අපට පුළුවන්කම තිබුණු නුමුත්, නුඹලාගෙන්වත් අන්‍යයන්ගෙන්වත් මනුෂ්‍ය ගෞරවය නොසෙවුවෙමුව.
7 එසේ නොව, කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව.
8 එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව.
9 මක්නිසාද, සහෝදරයෙනි, අපේ වීර්යයත් වෙහෙසත් නුඹලාට මතක තිබේ. අපි නුඹලාගෙන් කිසිවෙකුට බර නොවන පිණිස රෑ දාවල් වැඩකරමින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට දේශනා කෙළෙමුව.
10 අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය.
11 එසේය, තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් නුඹලා කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹලා හැසිරෙන හැටියට,
12 පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් නුඹලාට අවවාදකරමින්, ධෛර්යදෙමින්, අණ දෙමින්, නුඹලා එක් එක්කෙනාට ක්‍රියාකළ හැටි නුඹලා දනිහුය.
13 එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
14 මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ යුදයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවන් අනුවයන්නෝවී, ඔවුන් යුදෙව්වරුන්ගෙන් වින්ද දේවල්ම නුඹලාත් නුඹලාගේම රටවැසියන්ගෙන් වින්දහුය.
15 ඒ යුදෙව්වරු වනාහි ස්වාමිවූ යේසුස්වහන්සේද අනාගතවක්තෘවරුන්ද මැරුවෝය, අපත් පන්නාදැම්මෝය; ඔව්හු දෙවියන්වහන්සේ ප්‍රසන්න නොකරති, සියලු මනුෂ්‍යයන්ටද විරුද්ධව සිටිති;
16 අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.
17 නුමුත් සහෝදරයෙනි, අපි හිතෙන් නොව පෙනීමෙන් නුඹලා වෙතින් ස්වල්ප කාලයකට අහක්ව සිටිය කල, නුඹලාගේ මුහුණ දකින්ට මහත් ආශාවෙන් බොහෝ උත්සාහකළෙමුව.
18 මක්නිසාද අපි, එනම් පාවුල් යන මම, වරක් දෙවරක් නුඹලා වෙතට එන්ට කැමතිව සිටියෙමි; නුමුත් සාතන් අපට බාධාකළේය.
19 අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාම නොවේද?
20 එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප්‍රීතියත්ය.



පරිච්ඡේදය 3

1 එහෙයින්, අපට තවත් ඉවසාගන්ට නොහැකිවූ කල, අතීනසෙහි තනියම අත්හරිනු ලැබීමට අපි සතුටුවී,
2 මේ දුක්වලින් කිසිවෙක් චංචල නොවන පිණිස, නුඹලා ස්ථිරකිරීමටත් නුඹලාගේ ඇදහිල්ල ගැන අවවාද කිරීමටත්, අපේ සහෝදරයාද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙහි දෙවියන්වහන්සේගේ සේවකයාද වූ තිමෝතියස් එවීමුව.
3 මක්නිසාද අප දුක් විදීමට නියමව තිබෙන බව නුඹලාම දනිහුය.
4 මක්නිසාද අප දුක් විඳින්ට සිටින බව, නුඹලා සමඟ සිටියදී කලින් නුඹලාට කීවෙමුව; එලෙසම සිදුවුණු බව නුඹලා දන්නහුය.
5 මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.
6 දැන් තිමෝතියස් නුඹලා වෙතින් අප ළඟට ඇවිත්, නුඹලාගේ ඇදහිල්ලත් ප්‍රේමයත් නිතරම නුඹලා අප හොඳාකාර සිහිපත්කරමින්, අප නුඹලා දකින්ට ආශාවෙන් සිටින්නාක්මෙන්ම අප දකින්ට නුඹලාත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල,
7 සහෝදරයෙනි, අපේ සියලු අමාරුවලදීත් පීඩාවලදීත් නුඹලාගේ ඇදහිල්ල නිසා නුඹලා සම්බන්ධව සැනසීම ලැබීමුව.
8 මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්නහු නම් අපි ජීවත්වමුව.
9 මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සඳහා ප්‍රීතිවන සියලු ප්‍රීතිය නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට මොන ස්තූතියක් දෙන්ට අපට පුළුවන්ද?
10 නුඹලාගේ මුහුණ දකින පිණිසද නුඹලාගේ ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණකරන පිණිසද අපි රෑ දාවල් ඉතා අධිකලෙස යාච්ඤාකරමුව.
11 ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේමද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද නුඹලා වෙතට එන්ට අපට මාර්ගය සලස්වාදෙනසේක්වා.
12 අප නුඹලාට ප්‍රේමකරන්නාක්මෙන්ම ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් එකිනෙකා කෙරෙහිත් අනික් සියල්ලන් කෙරෙහිත් නුඹලාගේ ප්‍රේමය වැඩිකර, එයින් නුඹලා පුරවා,
13 මෙසේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමඟ එන කල නුඹලාගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිරකරනසේක්වා.



පරිච්ඡේදය 4

1 ඉතින්, සහෝදරයෙනි, නුඹලා කොයි ආකාර හැසිර දෙවියන්වහන්සේ ප්‍රසන්නකරන්ට ඕනෑද කියා නුඹලා අපෙන් දැනගත් ලෙසද, නුඹලා හැසිරෙන ලෙසද, වඩ වඩා කරන මෙන් ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ අපි නුඹලාගෙන් ඉල්ලමින් අවවාදකරමුව.
2 මක්නිසාද අපි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් නුඹලාට මොන ආඥා දුනිමුද කියා නුඹලා දන්නහුය.
3 දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය-නුඹලා වේශ්‍යාකමින් වැලකී,
4 නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, දෙවියන්වහන්සේ නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාමරාගයෙහි නොව,
5 ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගන සිටීමත්,
6 මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.
7 දෙවියන්වහන්සේ අප කැඳෙවුවේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය.
8 එබැවින් එපාකරන්නා මනුෂ්‍යයාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් නුඹලාට දෙන්නාවූ දෙවියන්වහන්සේව එපා කරන්නේය.
9 එහෙත් සහෝදර ප්‍රේමය ගැන නම් නුඹලාට ලියන්ට වුවමනා නැත. මක්නිසාද එකිනෙකාට ප්‍රේමකරන්ට නුඹලාම දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහුය.
10 සැබවින් නුඹලා මකිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ ප්‍රේමකරන්නහුය. එහෙත්, සහෝදරයෙනි, වඩ වඩා එසේ කරන මෙන්ද,
11 පිටත සිටින්නන් ගැන ඔබිනලෙස හැසිරෙන පිණිසත් කිසි හිඟයක් නැතුව සිටින පිණිසත්,
12 අප නුඹලාට අණකළ ලෙස නිශ්චලව සිටින්ට උත්සාහකරන මෙන්ද, නුඹලාගේම කාරණා බලාගන්න මෙන්ද, නුඹලාගේ අත්වලින් වැඩකරන මෙන්ද, අපි නුඹලාට අවවාදකරමුව.
13 තවද, සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව.
14 මක්නිසාද යේසුස්වහන්සේ මැරී නැවත නැගුටුණුසේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමඟ ගෙනෙනසේක.
15 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරුවෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුයයි ස්වාමීන්වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව.
16 මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය.
17 එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමඟ සිටින්නෙමුව.
18 ඉන්නිසා මේ වචනවලින් එකිනෙකා සනසාගන්න.



පරිච්ඡේදය 5

1 නුමුත් සහෝදරයෙනි, කාලවල්ද ප්‍රස්තාවයන්ද ගැන නුඹලාට යමක් ලියන්ට වුවමනා නැත.
2 මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳහැටි දනිහුය.
3 සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.
4 නුමුත් සහෝදරයෙනි, ඒ දවස සොරෙකු මෙන් නුඹලා කෙරේ පැමිණෙන්ට නුඹලා අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති.
5 කුමක්හෙයින්ද නුඹලා සියල්ලෝ ආලෝකයේද දවාලේද පුත්‍රයෝය. අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති නොවමුව;
6 එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී සිටිමු.
7 මක්නිසාද නිදාගන්නෝ රාත්‍රියෙහි නිදාගනිති; මත්වෙන්නෝ රාත්‍රියෙහි මත්වෙති.
8 නුමුත් දවාලට අයිතිවූ අපි ඇදහිල්ල සහ ප්‍රේමය නැමති ළයවැස්මත් ගැළවීමේ බලාපොරොත්තුව නැමති ආරක්ෂා තොප්පියත් පැළඳගෙන මත් නොවී සිටිමු.
9 මක්නිසාද දෙවියන්වහන්සේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබාගැනීමට අප නියමකළසේක.
10 අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමඟ එක්ව ජීවත්වන පිණිස ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මළසේක.
11 එබැවින් නුඹලා කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න.
12 තවද, සහෝදරයෙනි, නුඹලා අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ නුඹලා කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, නුඹලාට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන,
13 ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න.
14 ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.
15 කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.
16 නිතරම ප්‍රීතිවෙන්න;
17 නොකඩව යාච්ඤාකරන්න;
18 සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
19 ආත්මයාණන්වහන්සේ නොනිවන්න;
20 අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න;
21 සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න;
22 සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.
23 සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා.
24 නුඹලා කැඳවන තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඒක ඉෂ්ටද කරනසේක.
25 සහෝදරයෙනි, අප උදෙසා යාච්ඤාකරන්න.
26 සියලු සහෝදරයන්ට ශුද්ධවූ සිඹීමකින් ආචාරකරන්න.
27 මේ ලියුම සියලු සහෝදරයන්ට කියවාදෙන ලෙස ස්වාමීන්වහන්සේගේ නමින් නුඹලාට අණකරමි.
28 අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලා සමඟ වේවා.