1 තිමෝති

පරිච්ඡේදය: 1 2 3 4 5 6


පරිච්ඡේදය 1

1 අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේද අපගේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේද ආඥාව ලෙස ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්,
2 ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවාවූ තිමෝතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා.
3 අමුතු ධර්ම නූගන්වන හැටියටද, ප්‍රබන්ධත් ඇදහිල්ලෙහිවූ දෙවියන්වහන්සේගේ මාර්ගය වර්ධනයකිරීම වෙනුවට විවාද උපදවන,
4 කෙළවරක් නැති පෙළපත් කථාත් නොසලකන හැටියටද, නුඹ විසින් සමහරුන්ට ආඥාකරන පිණිස, එපීසයෙහි නැවතී සිටින්ට කියා මා මකිදෝනියට යන කල නුඹට අවවාද කෙළෙමි, දැනුත් එසේ කරමි.
5 ආඥාවේ අභිප්‍රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමයය.
6 ඒ දේවලින් සමහරු අහක්ව නිෂ්ඵල කථාවට හැරී ගියෝය.
7 තමුන් කියන්නේ කිමෙක්ද කියාවත් නිසැකකොට සහතිකකරන්නේ කුමන දේ ගැනද කියාවත් තේරුම් නොගෙන සිටින නුමුත්, ඔව්හු ව්‍යවස්ථාවේ ගුරුවරු වෙන්ට කැමැත්තෝය.
8 නුමුත් යමෙක් ව්‍යවස්ථාව නියමලෙස භාවිතාකරන්නේ නම්, ව්‍යවස්ථාව යහපත් බව අපි දනිමුව.
9 ඔහු මෙය දන්නවා ඇත: එනම්, ව්‍යවස්ථාව වනාහි ධර්මිෂ්ඨයෙකු නිසා නොව අධර්මිෂ්ඨයන් සහ අකීකරුවන්ද අභක්තීන් සහ පව්කාරයන්ද අපිරිසිදුවන් සහ දේව අපහාසිකයන්ද පියවරුන් මරන්නන් හා මවුවරුන් මරන්නන්ද මිනීමරන්නන්ද,
10 වේශ්‍යාකම්කරන්නන්ද පුරුෂයන් සමඟ දූෂ්‍ය ක්‍රියාකරන්නන්ද මිනිසුන් සොරකම්කරන්නන්ද බොරුකාරයන්ද බොරු දිවුරන්නන්ද නිසාත්,
11 මට භාරදෙනලද ශුභාන්විත දෙවියන්වහන්සේගේ තේජවත්වූ ශුභාරංචියේ හැටියට සාරවූ ඉගැන්වීමට විරුද්ධවූ වෙන කිසිවක් ඇද්ද, ඒ නිසාත් පිහිටුවනලද බවය. 12මම විශ්වාසයෙකැයි ගණන්ගෙන තමන්වහන්සේගේ සේවයට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා පත්කළ බැවින් මට බලය දුන්නාවූ උන්වහන්සේට ස්තුතිකරමි.
13 පළමුවෙන් මම අපහාසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දාකරන්නෙක්ව සිටියෙම් නුමුත්, නොදන්නාකමින් හා ඇදහිලි නැතිකමින් එසේ කළ බැවින්, දයාව ලැබුවෙමි.
14 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ඇදහිල්ලද ප්‍රේමයද සමඟ අපගේ ස්වාමීන්වහන්සේගේ කරුණාව ඉතා අධිකවිය.
15 පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය; ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය.
16 එසේවී නුමුත් මට කරුණාව ලැබුණේ මේ නිසාය. එනම්, සදාකාල ජීවනය ලැබීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට සිටින අයට ආදර්ශයක් කොට උන්වහන්සේ විසින් ප්‍රධාන පව්කාරයාවූ මා කෙරෙහි තමන්වහන්සේගේ මුළු ඉවසිලිවන්තකම දැක්වීම පිණිසය.
17 ඉඳින් අමරණීයවූ, අදෘශ්‍යමානවූ, එකම දෙවිවූ, සදාකාල රජ්ජුරුවන්වහන්සේට ගෞරවයද තේජසද සදාකාලේටම වේවා. ආමෙන්.
18 මාගේ පුත්‍රවූ තිමෝතියස්නි, නුඹ ගැන කලින් කීවාවූ අනාගතවාක්‍ය ලෙස මේ ආඥාව නුඹට භාරදෙමි.
19 එනම් නුඹ ඇදහිල්ල සහ යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිට, ඒ වාක්‍යවලින් යහපත් යුද්ධය කරන ලෙසය. සමහරු ඒ හෘදයසාක්ෂිය අත්හැරදමා, ඇදහිල්ල නැමති නැව බිඳගත්තෝය.
20 හිමෙනියස්ද අලෙක්ෂන්දර්ද එබඳු තැනැත්තෝය. අපහාස නොකරන්ට දැනමුතුවෙන පිණිස ඔවුන් සාතන්ට භාරදුනිමි.



පරිච්ඡේදය 2

1 ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව,
2 සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.
3 මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ,
4 අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ.
5 මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය.
6 උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නාවූ, මනුෂ්‍යයාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේය. ඊට සාක්ෂිය නියම කාලවලදී ලැබේ.
7 ඒ පිණිස මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ඇදහිල්ල සහ සත්‍යය ගැන අන්‍යජාතීන්ගේ ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි. ඒ ගැන මම බොරුවක් නොකියා සැබෑව කියමි.
8 එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි.
9 එසේම ස්ත්‍රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්‍රවලින්වත් නොව,
10 දේවභක්ති නාමය දරන ස්ත්‍රීන්ට සුදුසුලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි.
11 ස්ත්‍රී නිශ්චලව සියලු ආකාර යටත්කම ඇතුව ඉගෙනගනීවා.
12 උගන්වන්ටවත් පුරුෂයා කෙරෙහි බලය පවත්වන්ටවත් ස්ත්‍රියෙකුට ඉඩ නාරිමි, ඈ නිශ්ශබ්දව සිටීවා.
13 මක්නිසාද පළමුකොට ආදම්ද පසුව ඒවද සාදනු ලැබීය;
14 තවද ආදම් රැවටුණේ නැත, නුමුත් ස්ත්‍රී රැවටී, වරදට වැටී සිටින්නීය.
15 නුමුත් ඔව්හු විනීත භාවයෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් ප්‍රේමයෙහිත් ශුද්ධකමෙහිත් පවතින්නෝ නම්, දරුවන් බිහිකිරීමේදී ගැළවෙනවා ඇත.



පරිච්ඡේදය 3

1 යමෙක් සභාවේ නායක තනතුර ලබන්ට ආශාවන්නේ නම් ඔහු යහපත් වැඩකට ආශාවන්නේය යනු විශ්වාසවූ කීමක්ය.
2 එහෙයින් නායක තෙමේ නිර්දෝෂවූ, එක භාර්යාවකට පුරුෂයාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙලක්ද ඇත්තාවූ, ආගන්තුක සත්කාරයට කැමතිවූ, උගන්වන්ට සමර්ථවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.
3 ඔහු බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, ඉවසිලිවන්තවූ, ඩබරකාරයෙක් නොවූ, වස්තු තෘෂ්ණාව නැත්තාවූ,
4 තමාගේම පවුල හොඳින් හසුරුවාගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවාගන්නාවූ තැනැත්තෙක්ව සිටිය යුතුය.
5 (නුමුත් යමෙක් තමාගේම පවුල හසුරුවාගන්ට නොදන්නේ නම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව ප්‍රවේසම්කරන්නේ කෙසේද?)
6 ඔහු උඩඟුවී යක්ෂයාට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙක් නොවිය යුතුය.
7 ඇරත් නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය.
8 එසේම උපස්ථායකයන් සන්සුන්වූ, දෙයාකාර කථා නැත්තාවූ, බොහෝ මුද්‍රිකපානයට ඇලුම් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ,
9 ඇදහිල්ලේ රහස පිරිසිදු හෘදයසාක්ෂියකින් දරන්නාවූ අයවල්ව සිටින්ට යුතුය.
10 තවද ඔව්හුද පළමුකොට සෝදිසිකරනු ලැබ, ඉන්පසු නිදොස්නම්, උපස්ථායකයන් මෙන් මෙහෙකරත්වා.
11 එසේම ස්ත්‍රීවරුන් සන්සුන්වූ, කේලාම් නොකියන්නාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සියල්ලේදී විශ්වාසවූ අයව සිටින්ට ඕනෑය.
12 උපස්ථායකයෝ වනාහි එක එක භාර්යාවකට පුරුෂයෝව, තමුන්ගේ දරුවන්ද තමුන්ගේ ගෙදරවාසීන්ද හොඳහැටි හසුරුවාගන්නෝව සිටිත්වා.
13 මක්නිසාද උපස්ථායකයන්ව යහපත්ලෙස සේවයකළාවූ අය තමුන්ටම උසස් තත්වයක්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ලෙහි බොහෝ නිසැකකමද ලබාගනිති.
14 නුඹට මේ කාරණා මා ලියා එවන්නේ, ඉක්මනින් නුඹ ළඟට එන්ට බලාපොරොත්තුවෙන නුමුත්,
15 මා ප්‍රමාදවුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය.
16 දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.



පරිච්ඡේදය 4

1 එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.
2 එසේ වන්නේ බොරුකියන්නාවූ, තමුන්ගේම හෘදයසාක්ෂියෙහි හංවඩු ලකුණු ඇත්තාවූ, සරණපාවාගැනීම තහනම්කරන්නාවූ,
3 සැබෑව දැනගන සිටින ඇදහිලිවන්තයන් විසින් ස්තුතිදීමෙන් පිළිගන්නා පිණිස දෙවියන්වහන්සේ මැවූ කෑමවලින් වැලකීමට අණකරන්නාවූ මිනිසුන්ගේ වංකකම කරණකොටගෙනය.
4 දෙවියන්වහන්සේ මැවූ සියල්ල යහපත්ය, ස්තුතිදීමෙන් යුක්තව පිළිගන්නවා නම් කොයිදෙයක්වත් එපාකරන්ට යුතු නැත.
5 මක්නිසාද එය දෙවියන්වහන්සේගේ වචනයෙන්ද යාච්ඤාවෙන්ද පිරිසිදු කරනු ලබන්නේය.
6 නුඹ මේ දේවල් සහෝදරයන්ට සිහිකරවන්නෙහි නම්, ඇදහිල්ලේද මේ දක්වා නුඹ අනුව ගිය යහපත් ගුරුකමේද වචනවලින් නුඹ පෝෂ්‍යවී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් සේවකයෙක් වන්නෙහිය.
7 නුමුත් අපහාසිකවූ මැහැලියන්ගේ ප්‍රබන්ධ එපාකොට, භක්තිවන්තකම පිණිස ව්‍යායාම පවත්වන්න.
8 මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය.
9 මේක විශ්වාසවූ සර්වප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය.
10 එසේය, ඒ පිණිස අපි වැඩකරමුව, වීර්යකරමුව, මක්නිසාද සියලු මනුෂ්‍යයන්ගේ, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ, ගැළවුම්කාරයාණන්වූ ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි අපි බලාපොරොත්තුවී සිටිමුව.
11 මේ දේවල් ආඥාකොට උගන්වන්න.
12 නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න.
13 මා එනතුරු කියවීමෙහිද අවවාදකිරීමෙහිද ඉගැන්වීමෙහිද යෙදී සිටින්ට බලාගන්න.
14 වැඩිමහල්ලන්ගේ අත් තැබීම ඇතුව අනාගතවාක්‍යයෙන් නුඹට දෙනලද නුඹ තුළ තිබෙන දීමනාව ව්‍යවහාර නොකර නොසිටින්න.
15 නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසරලෙස භාවිතාකරමින් එහිම යෙදී සිටින්න.
16 නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම්වෙන්න. ඒවායේ පවතින්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය.



පරිච්ඡේදය 5

1 මහලු කෙනෙකුට සැර නොකර, පියෙකුට මෙන්ද, යෞවනයන්ට සහෝදරයන්ට මෙන්ද,
2 වැඩිමහල් ස්ත්‍රීන්ට මවුවරුන්ට මෙන්ද, යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට මෙන්ද අවවාදකරන්න.
3 ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට ගෞරවකරන්න.
4 නුමුත් යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ.
5 ඇත්තටම අසරණව සිටින වැන්දඹු තැනැත්තී දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙමින් රෑ දාවල් කන්නලව්වලද යාච්ඤාවලද පවතින්නීය.
6 නුමුත් සැප සෙල්ලමින් පසුවෙන තැනැත්තී ජීවත්ව සිටියදීම මැරී සිටින්නීය.
7 ඔවුන් නිදොස්ව සිටින පිණිස මේ දේත් ආඥා කරන්න.
8 යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.
9 වැන්දඹුවන්ගේ ගණනට ලියවෙන්ට යුතුව සිටින්නී නම්, වයසින් හැටකට අඩු නැත්තාවූ, එකම පුරුෂයෙකුට භාර්යාවව සිටියාවූ,
10 යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.
11 නුමුත් යෞවන වැන්දඹුවන් එපාකරන්න. මක්නිසාද ඔව්හු ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධවූ තෘෂ්ණාවලින් පෙලඹුණාම සරණපාවාගන්ට ආශාවෙති.
12 මෙසේ ඔව්හු තමුන්ගේ පළමු විශ්වාසය අත්හැරිය බැවින් වරදට පැමිණෙති.
13 ඇරත් ඔව්හු ගෙයින් ගෙට ඇවිදිමින් කම්මැළිවෙන්ටත් ඉගෙනගනිති; කම්මැළිවෙනවා පමණක් නොව නුසුදුසු දේ කථාකරමින්, වාචාලියෝද අනුන්ගේ කාරණා සොයන්නෝද වෙති.
14 එබැවින් යෞවන වැන්දඹුවන් විවාහවී දරුවන් බිහිකරනවාටත් ගෙදර ආණ්ඩුකරනවාටත් නින්දා කිරීමට කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි.
15 මක්නිසාද දැනටත් සමහරු අහක්ව සාතන් පස්සේ ගොස් සිටිති.
16 යම් ඇදහිලිවන්තියෙකුට වැන්දඹු ස්ත්‍රීහු සිටිත් නම්, ඈ ඔවුන්ට උපකාර කරාවා, සභාව විසින් ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට උපකාරකරන පිණිස අනික් අය ඒ සභාවට බර නොවෙත්වා.
17 යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.
18 මක්නිසාද: ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියාද වැඩකරන්නාට තමාගේ කුලිය ලැබෙන්ට යුතුය කියාද ලියවිල්ලෙහි කියා තිබේ.
19 සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට මිස නැත්නම් වැඩිමහල්ලෙකුට විරුද්ධව වරද තැබීමක් පිළි නොගන්න.
20 අනික් අය භයවෙන පිණිස, පව්කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටුකරන්න.
21 කලින් නිශ්චයකරගනවත් පක්ෂපාත කමින්වත් කිසිවක් නොකර, මේ සියල්ල පවත්වන්ට දෙවියන්වහන්සේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේද තෝරාගත් දේවදූතයන්ද ඉදිරියෙහි නුඹට අණකරමි.
22 ඉක්මන්වී කිසිවෙකු කෙරෙහි අත් නොතබන්න, අනුන්ගේ පාපවලට පංගුකාරයෙක්ද නොවෙන්න.
23 නුඹම පිරිසිදුව සිටින්න. මින්මතු වතුරම බොන්නෙක් නොවී, නුඹේ ආමාශය උදෙසාද නොයෙක්විට පැමිණෙන නුඹේ දුර්වලකම් නිසාද, මුද්‍රිකපානය ටිකක් භාවිතාකරන්න.
24 සමහර මනුෂ්‍යයන්ගේ පාප ඉතා පැහැදිලිය, විනිශ්චයට පළමුවෙන් ඒවා ප්‍රකාශය; සමහරුන්ගේ පාප පසුව එළිදරව්වන්නේය.
25 එසේම පැහැදිලිව ප්‍රකාශවන්නාවූ යහපත් ක්‍රියාද ඇත; එසේ නොවන ඒවාත් සැඟවී තිබෙන්ට බැරිය.



පරිච්ඡේදය 6

1 වියගහට යටත්වූ යම් පමණ දාසයෝ ඇද්ද, දෙවියන්වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස නොපැමිණෙන පිණිස ඔව්හු තමුන්ගේ ස්වාමිවරු සියලු ආකාර ගෞරවය ලබන්ට වටින්නෝයයි සිතත්වා.
2 ඇදහිලිවන්ත ස්වාමිවරුන් ඇත්තෝ වනාහි, ස්වාමිවරු සහෝදරයන් නිසා ඔවුන් සුළු නොකර, ප්‍රයෝජන ලබන්නෝ ඇදහිලිවන්තයන්ද ප්‍රේමවන්තයන්ද වන බැවින්, වඩා සතුටින් ඔවුන්ට වැඩකරත්වා. මේ කාරණා උගන්වා අවවාදකරන්න.
3 යමෙක් සාරවූ වචනවලට, එනම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම්,
4 ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්‍රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්‍යවුණ සිත් ඇත්තාවූ,
5 සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය.
6 ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය.
7 මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය.
8 තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව.
9 නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.
10 මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.
11 නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.
12 ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.
13 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීම දක්වා නුඹ මේ ආඥාව කැලලක්ද දෝෂයක්ද නැතුව පවත්වන ලෙස,
14 සියල්ල ජීවත්කරන්නාවූ දෙවියන්වහන්සේද පොන්තියුස් පිලාත් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කළාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේද ඉදිරියෙහි නුඹට ආඥාකරමි.
15 ශුභාන්විත එකම අධිපතියාණන්වහන්සේ වන රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව සිටින එකම අමරණීයවූ,
16 කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ, කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවාවූ, දකින්ටත් බැරිවූ තැනන්වහන්සේ ඒ ප්‍රකාශවීම නියම කාලවලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක්‍රමයත් වේවා. ආමෙන්.
17 මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,
18 යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්,
19 සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ටත් අණකරන්න.
20 තිමෝතියස්නි, දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද අහක්ව සිට, නුඹට භාරදුන් දෙය ආරක්ෂාකරන්න;
21 සමහරු ඒ දැනගැන්ම තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණේය. අනුග්‍රහය නුඹ සමඟ වේවා.