2 තිමෝති

පරිච්ඡේදය: 1 2 3 4


පරිච්ඡේදය 1

1 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන්වන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්,
2 මාගේ ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා.
3 මම රෑ දාවල් කඩනැතුව මාගේ යාච්ඤාවලදී නුඹ සිහිකරමින්, මුතුන් මුත්තණුවන් පටන් පවිත්‍ර හෘදයසාක්ෂියකින් මා සේවයකරන දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
4 එසේය, නුඹේ කඳුළු සිහිකර, නුඹ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි.
5 ඒ ඇදහිල්ල පළමුකොට නුඹේ ආච්චිවූ ලොයිස් තුළද නුඹේ මෑණියන්වූ එවුනීකි තුළද වාසයකළාය. නුඹ තුළත් එය වාසයකරන බව විශ්වාසකරගන සිටිමි.
6 ඒ කාරණය නිසා මාගේ අත්තැබීම කරණකොටගෙන නුඹ තුළ තිබෙන දෙවියන්වහන්සේගේ දීමනාව පුබුදුකරන හැටියට නුඹට සිහිකරවමි.
7 මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.
8 එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමඟ දුක් විඳින්න.
9 උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන්වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙනලද කරුණාවේද ප්‍රකාරයට අප ගළවා, ශුද්ධවූ කැඳවීමකින් කැඳවාගත්සේක.
10 මරණය නැතිකර ජීවනයත් අමරණභාවයත් ශුභාරංචිය කරණකොටගෙන එළිදරව්කළාවූ අපගේ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීමෙන් ඒ කරුණාව දැන් ප්‍රකාශවී තිබේ.
11 ඒ ශුභාරංචියට මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි.
12 ඒ කාරණය නිසා මේ දේවලුත් විදීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.
13 නුඹ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගන සිටින්න.
14 නුඹට භාරදුන් යහපත් දෙය අප තුළ වසන ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ආරක්ෂාකරන්න.
15 පිගෙලස්ද හර්මොගෙනිස්ද ඇතුළුව ආසියාවේ සිටින සියල්ලන් මාගෙන් අහක්ව ගිය බව නුඹ දන්නෙහිය.
16 ඔනේසිපොරස්ගේ පවුලට ස්වාමීන්වහන්සේ කරුණාකරනසේක්වා. මක්නිසාද ඔහු නොයෙක් වර මා ප්‍රාණවත්කළේය, මාගේ යදම් ගැනත් ඔහු ලජ්ජා නූණේය;
17 ඔහු රෝමයට ආකල බොහෝ උත්සාහයෙන් මා සොයා මා සම්බවෙන්ට ආවේය.
18 (ඒ දවසේදී ඔහුට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලැබෙන්ට ස්වාමීන්වහන්සේ සලස්වනසේක්වා.) ඔහු එපීසයෙහිදී කොපමණ දේවලින් සේවයකළේද කියා නුඹ හොඳහැටි දන්නෙහිය.



පරිච්ඡේදය 2

1 එබැවින්, මාගේ දරුව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන කරුණාවෙන් ශක්තිමත්වෙන්න.
2 බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි නුඹ මාගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්ට සමර්ථවූ විශ්වාසවූ මනුෂ්‍යයන්ට භාරදෙන්න.
3 ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විඳීමට පංගුකාරයෙක් වෙන්න.
4 හේවාකම් කරන්නාවූ කිසිවෙක්, ඔහු හේවායෙකු මෙන් ලියාගත් අය සතුටු කරන පිණිස, මේ ජීවිතයේ කාරණාවලට පටලැවෙන්නේ නැත.
5 තවද යමෙක් ක්‍රීඩාවන්හි පොරට යන්නේද, ඔහු නියමලෙස නොයන්නේ නම් ඔටුන්න පැළඳගන්ට ලැබෙන්නේ නැත.
6 වැඩකරන ගොවියාම පළමුකොට ඵල භුක්තිවිඳින්ට ඕනෑය.
7 මා කියන දේ කල්පනාකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල ගැන නුඹට දැනගැන්ම දෙනවා ඇත.
8 මාගේ ශුභාරංචියේ ප්‍රකාරයට දාවිත්ගේ වංශයෙන් උපන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටින බව සිහිකරන්න.
9 ඒ ශුභාරංචිය නිසා වරදකාරයෙකු මෙන් බැඳුම් යන දුක පවා විඳිමි; නුමුත් දෙවියන්වහන්සේගේ වචනය බැඳලා නැත.
10 එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇත්තාවූ ගැළවීම සදාකාල තේජස සමඟ ලබන පිණිස, ඔවුන් නිසා සියල්ල ඉවසමි.
11 මේක විශ්වාසවූ කීමක්ය: අපි උන්වහන්සේ සමඟ මැරුණෙමු නම් උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුව.
12 අපි ඉවසමු නම් උන්වහන්සේ සමඟ රජකම්කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම්, උන්වහන්සෙත්: නුඹලා නාඳුනමියි කියනසේක.
13 අප අවිශ්වාසවුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. මක්නිසාද තමන්වහන්සේගේ වචනය බොරුකරන්ට උන්වහන්සේට බැරිය.
14 මේ දේවල් සිහිකරවමින්, කිසි ප්‍රයෝජනයක් නැතුව, අසන්නන්ට හානිය සිදුවන ලෙස වචන ගැන තරඟ නොකරන්ට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට අණකරන්න.
15 සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.
16 නුමුත් අපහාසිකවූ හිස් දෙඩවිලිවලින් අහක්ව සිටින්න. ඔවුන් අභක්තියේ තව දුරට ගමන්කරනවා ඇත,
17 ඔවුන්ගේ වචනයද පිළිකාවක් මෙන් කාවදිනවා ඇත. හිමෙනියස්ද පිලේතස්ද එබඳු අයවල්ය; ඔව්හු මළවුන්ගෙන් නැගිටීම දැනටම සිද්ධවෙලායයි
18 කියමින් සැබෑකම ගැන මුළාවී, සමහරුන්ගේ ඇදහිල්ල පෙරළති.
19 එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.
20 ඉඳින් ලොකු ගෙයක රන් රිදී භාජන පමණක් නොව ලී මැටි භාජනත් ඇත්තේය; සමහරක් ගෞරවය පිණිසය, සමහරක් අගෞරවය පිණිසය.
21 එබැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍රකරගනී නම්, ඔහු පිරිසිදුකරනු ලැබුවාවූ, ස්වාමියාගේ පාවිච්චියට සුදුසුවූ, සියලු යහපත් වැඩවලට සූදානම්වූ, ගෞරවය පිණිසවූ භාජනයක් වන්නේය.
22 යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නන් සමඟ ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න.
23 නුමුත් මෝඩවූ අඥානවූ විවාදවලින් ඩබර උපදින බව දැන, ඒවා එපාකරන්න.
24 ස්වාමීන්වහන්සේගේ දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තවූ, උගන්වන්ට සමර්ථවූ, ඉවසිලිවන්තවූ කෙනෙක්ව සිට,
25 විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද, යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසුකරගත් ඔවුන් මත්කමෙන් පිබිද,
26 ඔහුගේ මලපතෙන් මිදෙන පිණිසද, දෙවියන්වහන්සේ ඔවුන්ට පසුතැවිල්ල දෙනසේක්දෝයි බලමින් මෘදුකමින් ඔවුන්ට තරවටුකරන්ට ඕනෑය.



පරිච්ඡේදය 3

1 නුමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න.
2 මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව,
3 ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව,
4 ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව,
5 දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න.
6 මක්නිසාද මොවුන්ගෙන් සමහරු ගෙවල්වලට ඇතුල්වී, පාපවලින් බරවූ, අනේකාකාර තෘෂ්ණාවලින් ගෙනයනු ලබන්නාවූ,
7 නිතර ඉගෙනගන්න නුමුත් කිසිකලකත් සත්‍යය දැනගැනීමට පැමිණෙන්ට බැරිවූ, මෝඩ ස්ත්‍රීන් වහල්කරගන්නාවූ අයවෙති.
8 යන්නෙස් සහ යම්බ්‍රේස් මෝසෙස්ට විරුද්ධව සිටියාක්මෙන් මොව්හු සැබෑවට විරුද්ධව සිටිති; මොව්හු දූෂ්‍ය සිත් ඇත්තාවූ ඇදහිල්ල සම්බන්ධව නිෂ්ප්‍රයෝජනවූ මනුෂ්‍යයෝය.
9 නුමුත් මොවුන්ට තවත් දුර යන්ට ලැබෙන්නේ නැත. මක්නිසාද ඒ තැනැත්තන්ගේ අනුවණකම ප්‍රකාශවුනාක්මෙන්ම මොවුන්ගේ අනුවණකමත් සියල්ලන්ට ප්‍රකාශවෙනවා ඇත.
10 නුමුත් නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද ඉවසිලිවන්තකමද ප්‍රේමයද ක්ෂාන්තියද,
11 අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි, ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදූසේක.
12 එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.
13 නුමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.
14 එහෙත් නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත්,
15 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.
16 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස.
17 දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.



පරිච්ඡේදය 4

1 දෙවියන්වහන්සේ ඉදිරියෙහිද, ජීවත්ව සිටින්නන් සහ මලවුන්ද විනිශ්චයකරන්ට සිටින ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියෙහිද, උන්වහන්සේගේ ප්‍රකාශවීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණකරන්නේ නම්:
2 වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.
3 මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන,
4 සත්‍යයට කන් නොදී, ප්‍රබන්ධවලට හැරීයන කාලය පැමිණෙන්නේය.
5 නුමුත් නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටින්න, දුක් ඉවසන්න, ශුභාරංචිය ප්‍රකාශකරන්නෙකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණකරන්න.
6 මක්නිසාද මම දැන් * යාගකරනු ලබමින් සිටිමි, මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ. (* එනම් - දියර පූජාවක් මෙන් වගුරුවනු ලබමි)
7 මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි.
8 මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ, එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන්වහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත.
9 මා ළඟට නොපමාව එන්ට වෑයම් කරන්න.
10 මක්නිසාද දේමස් මේ ලෝකයට ආලයවී, මා අත්හැර තෙසලෝනිකයට ගියේය. ක්‍රෙස්කෙන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියෝය.
11 ලූක් පමණක් මා සමඟ සිටියි. මාර්ක් නුඹ කැටුව කැඳවාගෙන එන්න. මක්නිසාද සේවය ගැන ඔහු මට ප්‍රයෝජනවත්ය.
12 තුඛීකස් එපීසයට යැවීමි.
13 ත්‍රෝවසෙහි කාර්පස් ළඟ මා තබා ආ සළුවද පොත්ද, ප්‍රධානකොට සම්පොත්ද, නුඹ එන විට ගෙනෙන්න.
14 ලෝකරුවාවූ අලෙක්ෂන්දර් මට බොහෝ නපුරුකම් පෑවේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ ක්‍රියාවල් ලෙස ඔහුට විපාකදෙනවා ඇත.
15 ඔහු අතිශයින් අපගේ වචනවලට විරුද්ධව සිටිය නිසා නුඹත් ඔහුගෙන් ප්‍රවේසම්වෙන්න.
16 මාගේ පළමුවෙනි උත්තර දීමේදී කිසිවෙක් මා සමඟ නොසිට සියල්ලෝම මා අත්හැර ගියෝය. ඒක ඔවුන්ගේ ගණනට තබන්ට නොයෙදේවා.
17 නුමුත් මා කරණකොටගෙන පණිවිඩය සම්පූර්ණලෙස ප්‍රකාශවන පිණිසත් එය සියලු අන්‍යජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමීන්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත්කළසේක. මම සිංහයාගේ කටින් මුදනු ලැබීමි.
18 ස්වාමීන්වහන්සේ හැම නපුරු වැඩවලින් මා මුදා ආරක්ෂාකොට, තමන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයට මා පමුණුවනසේක. උන්වහන්සේට සදාකාලයටම මහිමය වේවා. ආමෙන්.
19 ප්‍රිස්කාටද අකිලාටද ඔනේසිපොරස්ගේ පවුලටද ආචාරකරන්න.
20 එරස්තස් කොරින්තියෙහි නැවතුණේය. නුමුත් ත්‍රොපිමස් ලෙඩවූ බැවින් මිලේතසෙහි නවත්වා ආවෙමි.
21 ශීත කාලයට පළමුවෙන් එන්ට වෑයම්කරන්න. යුබුලස්ද පුදෙන්ස්ද ලීනස්ද ක්ලෞදියාද සියලු සහෝදරයෝද නුඹට ආචාරකරති.
22 ස්වාමීන්වහන්සේ නුඹේ ආත්මය සමඟ සිටිනසේක්වා. අනුග්‍රහය නුඹලා සමඟ වේවා.