තීතස්

පරිච්ඡේදය: 1 2 3


පරිච්ඡේදය 1

1 බොරු නොකියන දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ,
2 අපේ ගැළවුම්කාරයා වන දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස මට භාරදෙනලද පණිවිඩයෙන් තමන්වහන්සේගේ වචනය ප්‍රකාශකිරීමෙන් නියම කාලවලදී එළිදරව්කළාවූ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සඳහා,
3 දෙවියන්වහන්සේගේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ලද දේවභක්තියේ හැටියට තිබෙන සත්‍යය දැනගැන්මද උදෙසා, දෙවියන්වහන්සේගේ දාසයෙක්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්,
4 පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවාවූ තීතස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ගැළවුම්කාරයාවූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් වේවා.
5 මා එන විට නුඹ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණූ දේවල් නුඹ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා නුඹට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරන පිණිසත්ය;
6 පත්වෙන අය වනාහි නිදොස්ව, එක භාර්යාවකට පුරුෂයාව, අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව සිටින්ට ඕනෑය.
7 මක්නිසාද නායකයා දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක්මෙන් නිදොස්වූ, හිතුවක්කාර නොවූ, නොකිපෙන්නාවූ, බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ,
8 ආගන්තුක සත්කාරයට කැමතිවූ, යහපතට ප්‍රේමකරන්නාවූ, සන්සුන් සිතක් ඇත්තාවූ, ධර්මිෂ්ඨවූ, ශුද්ධවූ, පමණ දැන ක්‍රියාකරන්නාවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.
9 තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය.
10 මක්නිසාද මුරණ්ඩුවූ, නිෂ්ඵල කථාකාරයෝවූ, රැවටිලිකාරවූ බොහෝදෙනෙක් සිටිති, ප්‍රධානකොට එසේව සිටින්නේ චර්මඡේදිතයෝය.
11 ඔවුන්ගේ කට පියවන්ට ඕනෑය; ඔව්හු නීච ලාභය නිසා යුතු නැති දේ උගන්වමින් මුළු පවුල් පෙරළති.
12 ක්‍රීත්වරු නිතරම බොරුකාරයෝය, නපුරු මෘගයෝය, කම්මැලි කෑදරයෝයයි ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඔවුන්ගේම ප්‍රොපේත කෙනෙක් කියා තිබේ.
13 මේ සාක්ෂිය සැබෑය. මේ කාරණය නිසා ඔවුන් යුදෙව් ප්‍රබන්ධද සැබෑකමෙන් අහක්ව යන මනුෂ්‍යයන්ගේ ආඥාද නොසලකා,
14 ඇදහිල්ලෙහි හරිලෙස සිටින පිණිස ඔවුන්ට තදින් තරවටුකරන්න.
15 පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.
16 ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති.



පරිච්ඡේදය 2

1 නුමුත් නුඹ සාරවූ ගුරුකමට හොබනා දේ කථාකරන්න.
2 එනම් මහලු පුරුෂයන් පමණ දැන, සන්සුන්ව, සිහියෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් ප්‍රේමයෙහිත් ඉවසීමෙහිත් හරිලෙස සිටිය යුතුය.
3 එසේම මහලු ස්ත්‍රීවරුන් ශුද්ධකමට ඔබිනලෙස හැසිරෙන, කේලාම් නොකියන, බොහෝ මුද්‍රිකපානයට නොවහල්වූ, යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව සිටිය යුතුය.
4 මෙසේ සිටිය යුතු වන්නේ, දෙවියන්වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස යෞවන ස්ත්‍රීන් තමුන්ගේ පුරුෂයන්ටත් දරුවන්ටත් ප්‍රේමකරමින්,
5 සිහියෙන් යුක්තව, පිරිසිදුව, ගෙදර වැඩ කරන්නියන්ව, කරුණාවන්තව, තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට ඔවුන් විසින් පුරුදුකර වන පිණිසය.
6 එසේම යෞවනයන්ට සිහියෙන් යුක්තව සිටින්ට අවවාදකරන්න.
7 සියල්ලෙහිදී නුඹම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න; විරුද්ධකාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව,
8 ලජ්ජාවන පිණිස නුඹේ ගුරුකමෙන් පිරිසිදුකමත් සන්සුන්කමත් නිවැරදිවූ සාරවූ කථාවත් පෙන්වන්න.
9 දාසයන් විසින්, අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ධර්මය සියලු කාරණාවලදී අලංකාර කරන පිණිස තමුන්ගේ ස්වාමිවරුන්ට යටත්ව සිට, සියලු කාරණාවලදී ඔවුන් ප්‍රසන්නකරන හැටියටද,
10 විරුද්ධවාදිව නොසිට, සොරකම් නොකොට, සියලු ආකාර හොඳ විශ්වාසකම පෙන්වන හැටියටද ඔවුන්ට අවවාදකරන්න.
11 මක්නිසාද සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙනෙන්නාවූ දෙවියන්වහන්සේගේ කරුණාව ප්‍රකාශවී තිබේ.
12 අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපාකර, ආශීර්වාදලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන්වහන්සේගේද අපගේ ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේද තේජසේ ප්‍රකාශවීම ගැනත් බලාසිටිමින්,
13 සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨලෙසද භක්තිවන්තලෙසද මේ ලෝකයෙහි ජීවත්වෙන පිණිස ඒ කරුණාව අප දැනුමැතිකරන්නේය.
14 උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.
15 මේ දේවල් සියලු ආකාර බලය ඇතුව කියා, අවවාදකොට, තරවටුකරන්න. කිසිවෙකුට නුඹ සුළුකොට සිතන්ට ඉඩනාරින්න.



පරිච්ඡේදය 3

1 අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත් වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද,
2 කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද ඔවුන්ට සිහිකරවන්න.
3 මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.
4 නුමුත් අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්‍රකාශවූ කල,
5 අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.
6 එසේය, උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨකරනු ලැබ, සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස,
7 උන්වහන්සේ අපගේ ගැළවුම්කාරයාණන්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මය අධිකලෙස අප පිට වැගිරෙවූසේක.
8 මේක විශ්වාසවූ කීමක්ය. දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලාගන්නා පිණිස නුඹ විසින් මේ දේවල් සහතිකලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත්වූ ප්‍රයෝජනවත්වූ දේවල්ය.
9 නුමුත් මෝඩ වාද, පෙළපත් කථා, විවාද, ව්‍යවස්ථාව ගැන ඩබර යන මේවායින් අහක්වෙන්න; මක්නිසාද ඒවා නිෂ්ඵලය, නිරර්ථකය.
10 භේදකාර මනුෂ්‍යයා පෙරළී ඉන්න බවත් දැනගනම පව්කරන බවත් නුඹ දන්න බැවින්.
11 පළමුවෙනි දෙවෙනි අවවාදයෙන් පසු ඔහු එපාකරන්න.
12 මම නිකපොලිසෙහි ශීත කාලයේ සිටින්ට නියමකරගත් බැවින් අර්තිමස් හෝ තුඛීකස් හෝ නුඹ ළඟට එවුවාම එහි මා ළඟට එන්ට උත්සාහකරන්න.
13 නීතිඥයෙක්වූ සේනස්ටත් අපොල්ලොස්ටත් කිසි අඩු පාඩුවක් නොවන පිණිස ඔවුන්ගේ ගමනට කඩිසරලෙස උපකාරකරන්න.
14 තවද අපේ අයවලුත් ඵල නැතුව නොසිටින පිණිස වුවමනාකරන දේවල් සඳහා යහපත් වැඩවල යෙදී සිටින්ට ඉගෙනගනිත්වා.
15 මා සමඟ සිටින සියල්ලෝම නුඹට ආචාරකරති. ඇදහිල්ලෙහි අපට ප්‍රේමකරන්නන්ට ආචාරකරන්න. අනුග්‍රහය නුඹලා සියල්ලන් සමඟ වේවා.