හෙබ්‍රෙව්

පරිච්ඡේදය: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13


පරිච්ඡේදය 1

1 දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා,
2 මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.
3 උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.
4 මෙසේ දේවදූතයන්ට වඩා උත්කෘෂ්ට නාමයක් උන්වහන්සේට උරුමව තිබෙන ලෙසම ඔවුන්ට වඩා එපමණ උතුම්වූසේක.
5 මක්නිසාද: නුඹ මාගේ පුත්‍රයාය, මම අද නුඹ ජනිතකෙළෙමියි කියාත්, මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේය කියාත්, දේවදූතයන්ගෙන් කවරෙකුට යම් කලක උන්වහන්සේ කීසේක්ද?
6 උන්වහන්සේ තමන්ගේ කුළුඳුල් පුත්‍රයා ලෝකයට නැවත ගෙනෙන කල: දෙවියන්වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාරකරත්වයි කියනසේක.
7 දේවදූතයන් ගැන වනාහි: උන්වහන්සේ ස්වකීය දූතයන් සුළංද ස්වකීය සේවකයන් ගිනි දැලක්ද කරනසේකැයි කියනසේක.
8 නුමුත් පුත්‍රයා ගැන කථාකොට: දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවත්නේය; ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය යුක්තියේ ජයකොන්තයක්ය.
9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂකළසේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකාරයන්ට වඩා ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබ ආලේපකළසේකැයි කියනසේක.
10 නැවතද: ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති.
11 ඒවා විනාශවන්නේය; නුමුත් ඔබ පවතිනසේක. ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණවන්නේය;
12 ඔබ ඒවා සළුවක් මෙන් අකුළනසේක, වස්ත්‍රයක් මෙන් ඒවා මාරුවන්නේය. නුමුත් ඔබ එකාකාරමය, ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේයයි කියනසේක.
13 නුමුත්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද?
14 ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?



පරිච්ඡේදය 2

1 ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය.
2 මක්නිසාද දේවදූතයන් කරණකොටගෙන කියනලද වචනය ස්ථිරවී, සියලු වරද ක්‍රියාවලටත් අකීකරුකම්වලටත් සාධාරණ විපාකයක් ලැබුණේ වීනම්,
3 පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?
4 දෙවියන්වහන්සෙත් ලකුණුවලින්ද පුදුමවලින්ද අනේකාකාර ආශ්චර්යවලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවලින්ද ඊට සාක්ෂිදුන්සේක. ‍
5 මක්නිසාද අපි යම් ලෝකයක් ගැන කථාකරමුද, පැමිණෙන්ට තිබෙන ඒ ලෝකය උන්වහන්සේ යටත්කළේ දේවදූතයන්ට නොවේය.
6 නුමුත් එක් කෙනෙක් එක් තැනක සාක්ෂිදෙමින්: ඔබ විසින් මනුෂ්‍යයා සිහිකරන්ට නොහොත් මනුෂ්‍ය පුත්‍රයා දෙස බැලීමට ඔහු කවරෙක්ද?
7 ඔබ දේවදූතයන්ට වඩා ඔහු මඳක් පහත්කළසේක; ඔබ තේජසද ගෞරවයද නමැති ඔටුන්න ඔහුට පැළඳවූසේක, ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු ආණ්ඩුකාරයා කළසේක.
8 ඔබ සියල්ලම ඔහුගේ පාදවලට යටත්කළසේකැයි කීය. එසේය, උන්වහන්සේ සියල්ල ඔහුට යටත්කළ බැවින් කිසිවක් යටත් නොකොට හැරියේ නැත. එහෙත් දැන් සියල්ල ඔහුට යටත්කර තිබෙන බව තවම අපට නොපෙනේ.
9 නුමුත් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා මරණය විඳින පිණිස දේවදූතයන්ට වඩා මඳක් පහත්කරනු ලැබුවාවූ උන්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, මරණය වින්ද නිසා තේජස හා ගෞරවය නමැති ඔටුන්න පැළඳගන සිටින බව අපට පෙනේ.
10 කුමක්හෙයින්ද යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනන්වහන්සේ විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙනයන කල ඔවුන්ගේ ගැළවීමේ කර්තෲන්වහන්සේ දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ කරන්ට යුතුවූයේය.
11 මක්නිසාද පිරිසිදු කරන්නාද පිරිසිදුකරනු ලබන්නෝද යන සියල්ලෝම එක්කෙනෙකුගෙන්ය. ඒ කාරණය නිසා උන්වහන්සේ ඔවුන්ට සහෝදරයෝයයි කියන්ට ලජ්ජා නොවී:
12 මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශකරන්නෙමි, සභාව මධ්‍යයෙහි ඔබට ප්‍රශංසා ගීතිකාකරන්නෙමියි කියනසේක.
13 නැවතද: මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නෙමියි කියාද, ආයෙත්: මෙන්න, මමත් දෙවියන්වහන්සේ මට දුන් දරුවොත්ය කියාද කීසේක.
14 එහෙයින් දරුවන් ලේ හා මාංසයට පංගුකාරයන්ව සිටින නිසා උන්වහන්සෙත් එම ආකාරයෙන් ඒවාට පංගුකාරයෙක් වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයාව මරණය කරණකොටගෙන බල නැතිකොට,
15 ජීවිතය මුළුල්ලෙහි මරණයට භයින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස්කරන පිණිසය.
16 මක්නිසාද [පිහිටවීම සඳහා] සැබවින් උන්වහන්සේ අල්ලාගන්නේ දේවදූතයන් නොව ආබ්‍රහම්ගේ වංශයය.
17 එබැවින් සෙනඟගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පුකිරීමට දෙවියන්වහන්සේ පිළිබඳ කාරණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවෙන්ට උන්වහන්සේට යුතුවූයේය.
18 මක්නිසාද උන්වහන්සේම පරීක්ෂාකරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂාකරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන.



පරිච්ඡේදය 3

1 එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.
2 මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයෙහි විශ්වාසව සිටිසේම මුන්වහන්සේද තමන්ව පත්කළ තැනන්වහන්සේට විශ්වාසව සිටිසේක.
3 ගෘහයට වඩා ගෘහය සෑදූ අයට ගෞරවය තිබෙන්නාක්මෙන්ම, මුන්වහන්සේ මෝසෙස්ට වඩා ගෞරවය ලබන්ට වටිනසේකැයි ඒත්තුගන්නාලද්දේය.
4 මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවු තැනන්වහන්සේ දෙවියන්වහන්සේය.
5 සැබවින් මෝසෙස් මතු කියන්ට තිබුණු දේ ගැන සාක්ෂියක් ලෙස උන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයෙකු මෙන් විශ්වාසව සිටියේය;
6 නුමුත් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටිසේක. අපි අන්තිමය දක්වා අපේ බලාපොරොත්තුවේ නිසැකකමද පාරට්ටුවද ස්ථිරලෙස අල්ලාගන සිටිමු නම්, උන්වහන්සේගේ ගෘහය අපිය.
7 එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්,
8 කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්න.
9 එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසිකර බැලීමෙන් පරීක්ෂාකොට, සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය.
10 එබැවින් මම ඒ පරම්පරාවට අප්‍රසන්නවී: ඔව්හු නිතරම සිතින් මුළාවෙති; මාගේ මාර්ගයන්ද ඔව්හු දැන නොගත්තෝය.
11 ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමියි කියන ලෙස,
12 සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.
13 නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.
14 මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,
15 අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.
16 එසේය, ඇසූ කල්හි උදහස් ඉපදෙවූවෝ කවරහුද? මෝසෙස් කරණකොටගෙන මිසරයෙන් පිටත්ව ආවාවූ සියල්ලෝ නොවෙද්ද?
17 තවද උන්වහන්සේ සතළිස් අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව්කළාවූ, තමුන්ගේ මළකඳන් කාන්තාරයේ වැටුණාවූ තැනැත්තන් කෙරෙහි නොවේද?
18 තමන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඔව්හු ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූ තැනැත්තන් ගැන නොවේද?
19 මෙසේ නොඇදහිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල්වෙන්ට නුපුළුවන්වූ බව අපට පෙනෙන්නේය.



පරිච්ඡේදය 4

1 එබැවින් උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වීමේ පොරොන්දුවක් ඉතුරුව තිබෙද්දීත් නුඹලාගෙන් යමෙකුට ඊට පැමිණෙන්ට බැරිවූ බැව් පෙනේදෝ කියා භයවෙමු.
2 මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.
3 මක්නිසාද අදහාගත් අපි ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙමුව; ඒ ප්‍රකාරයට: මාගේ උදහසින් දිවුළ ලෙස ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ කියා තිබේ. එසේවුවත් ලෝකය මැවීමේ සිට වැඩ නිමවී තිබුණේය.
4 මක්නිසාද උන්වහන්සේ එක් තැනක සත්වෙනි දවස ගැන කථාකොට: දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ සියලු වැඩවලින් සත්වෙනි දවසේදී නිවාඩු ගත්සේකැයි කියා තිබේ.
5 නැවත මේ පදයෙහිත්: ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි කියා තිබේ.
6 එබැවින් සමහරුන් ඊට ඇතුල්වන්ට ඕනෑ බැවිනුත් ඒ ශුභාරංචිය පළමුකොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුල් නූණ බැවිනුත්,
7 උන්වහන්සේ දාවිත් ලවා එපමණ කාලයකට පසු කථාකරවමින්, ඉහත කීවාක්මෙන්: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්, නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි, අදය කියා, නැවත එක්තරා දවසක් නියමකරනසේක.
8 මක්නිසාද යෝෂුවා ඔවුන්ට නිවාඩුව දුන්නේ නම් ඉන්පසු වෙන දවසක් ගැන උන්වහන්සේ කථාකරන්නේ නැත.
9 එබැවින් දෙවියන්වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ.
10 මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තාක්මෙන්, උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු ගත්තේය.
11 එබැවින් ඒ අකීකරුකමේ ආදර්ශය අනුව කිසිවෙකු නොවැටෙන පිණිස ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙන්ට උත්සාහකරමු.
12 මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.
13 උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.
14 එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.
15 මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැෙනන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.
16 එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.



පරිච්ඡේදය 5

1 මක්නිසාද සියලු උත්තම පූජකයෝ මනුෂ්‍යයන් අතරෙන් ගනු ලැබ පඬුරුත් පව් උදෙසා පූජාවලුත් ඔප්පුකරන පිණිස දෙවියන්වහන්සේට අයිති කාරණා සම්බන්ධව මනුෂ්‍යයන් උදෙසා පත්කරනු ලබන්නෝය.
2 ඔවුනුත් දුර්වලකමින් වටව සිටින බැවින් අඥානයන්ද මුළාවෙන්නන්ද ගැන මෘදුකමින් හැසිරෙන්ට ඔවුන්ට පුළුවන;
3 ඒ දුර්වලකම නිසා, සෙනඟ උදෙසා වාගේම තමුන් උදෙසාත් පව් ගැන පූජා ඔප්පුකරන්ට ඔවුන්ට ඕනෑව තිබේ.
4 තවද ආරොන් මෙන් දෙවියන්වහන්සේ විසින් කැඳවාගන්න අය මිස වෙන කවුරුවත් ඒ ගෞරවය තමාටම නොගන්නේය.
5 එසේම ක්‍රිස්තුස්වහන්සෙත් උත්තම පූජකයෙක් වීමේ ගෞරවය තමන්වහන්සේම ගත්තේ නැත. නුමුත්: නුඹ මාගේ පුත්‍රයාය, මම අද නුඹ ජනිතකළෙමියි උන්වහන්සේට කී තැනන්වහන්සේ ඒ ගෞරවය දුන්සේක;
6 එලෙසම වෙන තැනක: නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙළ ප්‍රකාර සදාකල්ම පූජකයෙක්ව සිටින්නේයයි උන්වහන්සේ කියනසේක.
7 උන්වහන්සේ මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැබ,
8 උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නුමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්සේක.
9 මෙසේ උන්වහන්සේ සම්පූර්ණකරනු ලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට උත්තම පූජකයෙක්ය යන නම දෙවියන් වහන්සේගෙන් ලැබ,
10 තමන්වහන්සේට කීකරුවෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැළවීමේ කර්තෘවූසේක.
11 ඒ ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය, නුමුත් නුඹලා ඇසීමට මැළිව සිටින බැවින් ඒවා තේරුම්කරදෙන්ට අමාරුය.
12 මක්නිසාද කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට යුතුව තිබියදීත්, දෙවියන්වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්ට ඕනෑව තිබේ; නුඹලා ඝන ආහාර නොව කිරි ඕනෑකරන අයව සිටින්නෝය.
13 ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති.
14 නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.



පරිච්ඡේදය 6

1 ඒ නිසා මළ ක්‍රියාවල් ගැන පසුතැවිලිවීමද දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහීමද බව්තීස්මකිරීම් ගැනත් අත්තැබීම ගැනත් මළවුන්ගේ නැගිටීම ගැනත්, සදාකාල විනිශ්චය ගැනත්
2 ඉගැන්වීමද නමැති අත්තිවාරමක් නැවත නොතබා, ක්‍රිස්තුස්වහන්සේගේ මුල් කාරණා පසුකර, සම්පූර්ණවීමට පැමිණෙමු.
3 දෙවියන්වහන්සේ ඉඩදෙනසේක් නම්, අපි එසේ කරන්නෙමුව.
4 මක්නිසාද වරක් ආලෝකකරනු ලැබුවාවූ, ස්වර්ගීය දීමනාවේ රසය වින්දාවූ, ශුද්ධාත්මයාණන්වහන්සේට පංගුකාරයන් වුණාවූ,
5 දෙවියන්වහන්සේගේ යහපත් වචනයේද මතු පැමිණෙන කාලයේ බලවලද රසය බැලුවාවූ තැනැත්තන්,
6 වැටීගිය කල්හි ඔවුන් නැවත පසුතැවිල්ලට පමුණුවන්ට නුපුළුවන; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයා තමුන්ටම දෙවනු කුරුසියෙහි ඇණගසා නින්දාවට පමුණුවති.
7 මෙසේ නොයෙක් වර වහින වැස්ස උරාගනිමින් වවන්නන්ට සුදුසු භෝග උපදවන පොළොවට දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේ.
8 නුමුත් කටුගස්ද ගොකටුද දරනවා නම් එපාකරනු ලැබ, ශාපයකට ළංව තිබේ; එහි කෙළවර දවනු ලැබීමය.
9 එහෙත්, ප්‍රේමවන්තයෙනි, අපි මෙසේ කථාකරන නුමුත් යහපත්වූ, ගැළවීමට අනුකූලවූ කොටසට නුඹලා අයිති බව අපි නිසැකව විශ්වාසකරමුව.
10 මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.
11 නුමුත් නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්වනවාට අපි ආශා ඇත්තෙමුව.
12 ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.
13 මෙසේ දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුව දුන් කල, තමන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන්ම ගැන දිවුරමින්:
14 සැබවින්ම නුඹට බොහෝසෙයින් අශීර්වාද කරන්නෙමි, බොහෝසෙයින් නුඹ වර්ධනයකරන්නෙමියි කීසේක.
15 ඒ හැටියට ඔහු ඉවසිල්ලෙන් සිට, පොරොන්දුව ලබාගත්තේය.
16 සැබවින්ම මනුෂ්‍යයෝ වඩා උත්තමයා ගැන දිවුරති. ඔවුන්ගේ සියලු විවාදවලදී ස්ථිරකිරීම පිණිස කරන අන්තිම දේ නම් දිවිරීමය.
17 ඒ නිසා දෙවියන්වහන්සේ පොරොන්දුවේ උරුමක්කාරයන්ට තමන්වහන්සේගේ අභිප්‍රාය වෙනස් නොවන බව බොහෝසෙයින්ම පෙන්වන්ට කැමතිව දිවුරුමකින් මැදහත්වූසේක.
18 මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.
19 ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථිරවූ, තිරයෙන් ඇතුළට යන්නාවූ නැංගුරමක් මෙන් අපට ඇත්තේය.
20 යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක් වී, අප උදෙසා පෙරටුව යන්නෙක් මෙන් එහි ඇතුල්වූසේක.



පරිච්ඡේදය 7

1 එසේය, සාලමේ රජවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයෙක්වූ, මේ මෙල්කිසදෙක් ආබ්‍රහම් රජුන් මැරීමෙන් හැරී එද්දී සම්මුඛව ඔහුට ආශීර්වාදකෙළේය.
2 ආබ්‍රහම් සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. පළමුකොට ඔහුගේ නාමය, අර්ථයේ හැටියට, ධර්මිෂ්ඨකමේ රජය, දෙවනුව සමාදානයේ රජයයි අර්ථ ඇති සාලමේ රජ්ජුරුවෝය.
3 තවද පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ජීවිතයේ කෙළවරක්වත් නැත්තාවූ මේ තෙමේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාට සමානකරනු ලැබ නිතරම පූජකයෙක්ව පවතින්නේය.
4 ඉතින් මොහු කොපමණ උතුම් කෙනෙක්ව සිටියේදැයි කල්පනාකරන්න.
5 පියවූ ආබ්‍රහම් පවා කොල්ලගත් දේවලින් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක තනතුර ලබන්නෝ ව්‍යවස්ථාව ලෙස සෙනඟගෙන්-එනම්, ආබ්‍රහම්ගෙන් පැවත ආවාවූ තමුන්ගේ සහෝදරයන්ගෙන් පවා-දසයෙන් කොටසක් ගන්ට ආඥාවක් ලැබ සිටිති.
6 නුමුත් ඔවුන්ගේ පෙළපතට ඇතුළත් නැත්තාවූ තැනැත්තා දසයෙන් කොටසක් ආබ්‍රහම්ගෙන් ලබාගෙන, පොරොන්දු ඇත්තාවූ ඔහුට ආශීර්වාදකෙළේය.
7 ආශීර්වාදකරන්නේ උතුම් අය විසින් කුඩා අයට බව වාද රහිතය.
8 නුමුත් මෙහිදී දසයෙන් කොටස ලබන්නෝ නසින්නාවූ මනුෂ්‍යයෝය; නුමුත් එහිදී ලබන්නේ ජීවත්වන බවට සාක්ෂි ලබන කෙනෙක්ය.
9 ඇරත් දසයෙන් කොටස ලබන්නාවූ ලෙවී පවා ආබ්‍රහම් කරණකොටගෙන දසයෙන් කොටස ගෙවුවේයයි කිය හැකිය.
10 මක්නිසාද මෙල්කිසදෙක් ආබ්‍රහම්ට සම්මුඛවූ විට, ලෙවී තමාගේ පියාගේ කටියේ සිටියේය.
11 ඉඳින් ලෙවීගේ පූජකකමෙන් සම්පූර්ණකම පැමිණේ නම් (මක්නිසාද ඒ සම්බන්ධව සෙනඟ ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙළේ හැටියට කියනු නොලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද?
12 මක්නිසාද පූජකකම වෙනස්වූ බැවින් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතුමය.
13 එසේය, යමෙකු ගැන මේ දේ කියනලද්දේද, ඒ තැනන්වහන්සේ වෙන ගෝත්‍රයකට අයිතිය, ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවයකළේ නැත.
14 මක්නිසාද අපගේ ස්වාමීන්වහන්සේ යුදා ගෝත්‍රයෙන් නැගුටුණු බව ඉතා පැහැදිලිය; ඒ ගෝත්‍රය ගැන පූජකයන් සම්බන්ධවූ කිසිවක් මෝසෙස් කීවේ නැත.
15 ඇරත් මාංසයට අයිති ආඥාපනතේ හැටියට නොව පහ නොවන ජීවිතයක හැටියට පත්කරනු ලැබූ,
16 අන් පූජකයෙක් මෙල්කිසදෙක්ගේ සමානත්වයේ හැටියට නැගිටින්නේ නම්, අප කියන දේ ඉතාමත්ම පැහැදිලිව තිබේ.
17 මක්නිසාද: ඔබ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලයටම පූජකයෙක්ව සිටිනසේකැයි උන්වහන්සේ ගැන සාක්ෂි දී තිබේ.
18 මෙසේ ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවක් සම්පූර්ණ නොවූ බැවින්, පළමු තිබුණු ආඥාවේ දුර්වලකම හා නිෂ්ප්‍රයෝජනකම නිසා ඒක අවලංගුකිරීමද,
19 වඩා යහපත් බලාපොරොත්තුවක් පැමිණවීමද සිද්ධවේ. ඒ බලාපොරොත්තුව කරණකොටගෙන අපි දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙමුව.
20 ඉතින් ඔව්හු සැබවින් දිවුරුමක් නැතුව පූජකයෝවී සිටිති.
21 නුමුත් උන්වහන්සේ පූජකයෙක්ව සිටින්නේ: ඔබ සදාකාල පූජකයෙක්ය කියා තමන්වහන්සේ නොතැවෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළසේකැයි උන්වහන්සේට කී තැනන්වහන්සේ කරණකොටගෙන දිවුරුමක් ඇතුවය.
22 මෙසේ දිවුරුමක් නැතුව නොවන නිසා, එපමණටම යේසුස්වහන්සේ වඩා උතුම් ගිවිසුමක ඇපකාරයා වී සිටිනසේක.
23 තවද ඔවුන්ට මරණය නිසා පවතින්ට බැරි බැවින් ඔව්හු ගණනින් බොහෝ පූජකයෝව සිටිති.
24 නුමුත් මුන්වහන්සේ, සදාකාලේටම පවතින හෙයින්, උන්වහන්සේගේ පූජකකම පහවෙන්නේ නැත.
25 එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.
26 එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.
27 ඒ උත්තම පූජකයන් මෙන් පළමුකොට තමුන්ගේම පව් උදෙසාත් පසුව සෙනඟගේ පව් උදෙසාත් දවස්පතා පූජාවල් ඔප්පුකරන්ට උන්වහන්සේට වුවමනාවක් නැත. මක්නිසාද උන්වහන්සේ තමන්ම පූජාකිරීමෙන් එකවරක්ම ඒක කළසේක.
28 මක්නිසාද ව්‍යවස්ථාව දුර්වලකම් ඇත්තාවූ මනුෂ්‍යයන් උත්තම පූජකයන් කොට පත්කරන්නේය; නුමුත් ව්‍යවස්ථාවට පසු පැමුණුණාවූ දිවුරුමේ වචනය තෙම සදාකාලේටම සම්පූර්ණව සිටින පුත්‍රයාණන් පත්කරන්නේය.



පරිච්ඡේදය 8

1 ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් ස්වර්ගවල මහෝත්තමයාණන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳගත්තාවූ,
2 මනුෂ්‍යයා විසින් නොව ස්වාමීන්වහන්සේ විසින් පිහිටුවනලද ශුද්ධස්ථානයේ හා සැබෑවූ මණ්ඩපයේ සේවකයෙක්වූ උත්තම පූජකයෙක් අපට සිටින බවය.
3 සියලු උත්තම පූජකයෝ පඬුරු සහ පූජා ඔප්පුකරන පිණිස පත්කරනු ලබති. එසේ හෙයින් පූජාකිරීමට මේ උත්තම පූජකයාටත් යමක් තිබෙන්ට ඕනෑය.
4 එහෙත් ව්‍යවස්ථාව ප්‍රකාර පඬුරු ඔප්පුකරන්නන් සිටින බැවින් උන්වහන්සේ [තවමත්] පොළොවේ සිටිසේක් නම්, උන්වහන්සේට කිසිසේත් පූජකයෙක්ව සිටින්ට නුපුළුවන.
5 මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල: කන්දේදී නුඹට පෙන්වනලද ආදෘශය ලෙස සියල්ල සාදන්ට බලාගන්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති.
6 නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නා සේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක.
7 මක්නිසාද පළමුවෙනි ගිවිසුම නිදොස්ව තිබුණ නම්, දෙවෙනි එකකට ඉඩ සොයන්නේ නැත.
8 එසේය, උන්වහන්සේ දොස් තබමින් ඔවුන්ට කථාකොට: බලව, මා විසින් ඉශ්‍රායෙල් වංශය සහ යුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9 ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා විසින් ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේය; මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණෝය, මමද ඔවුන් නොසැලකුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
10 එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.
11 ස්වාමීන්වහන්සේ ඇඳිනගන්න කියා එකිනෙකා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයාටත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා ඇඳිනගන්නෝය.
12 එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණාකරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා තිබේ.
13 අලුත් ගිවිසුමක්යයි කීමෙන් පළමුවෙනි ගිවිසුම පරණකළසේක. ඉඳින් පරණවන්නාවු මහලුවන්නාවූ දෙය නොපෙනීයාමට ළඟය.



පරිච්ඡේදය 9

1 තවද පළමුවෙනි ගිවිසුමට පවා දේවමෙහෙයේ නියෝගද භූමික ශුද්ධස්ථානයද තිබුණේය.
2 මක්නිසාද ශුද්ධස්ථානයය කියන පළමුවෙනි මණ්ඩපය සාදනලද්දේය, එහි පහන්රුකද මේසයද පිදීමේ රොටිද තිබුණේය;
3 ඊට ශුද්ධස්ථානයයි කියනලදී. දෙවෙනි තිරය ඇතුළෙන් අති ශුද්ධස්ථානයයයි කියනලද මණ්ඩපය තිබුණේය.
4 එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය.
5 ඒක උඩ තේජසේ කෙරුබ්වරු කරුණාසනය වසාගන සිටියෝය; දැන් මේවා ගැන වෙන් වශයෙන් කථාකරන්ට අපට නුපුළුවන.
6 ඉඳින් මේ දේවල් මෙසේ සූදානම්කොට තිබෙද්දී, පූජකයෝ මෙහෙයන් ඉෂ්ටකරමින් නිතරම පළමුවෙනි මණ්ඩපයට ඇතුල් වෙති.
7 නුමුත් දෙවෙනි මණ්ඩපයට උත්තම පූජකයා පමණක් අවුරුද්දකට එක වරක් ඇතුල්වේ. ඒත් ලේ නැතුව නොවේය, ඒ ලේ ඔහු තමා උදෙසාත් සෙනඟගේ වැරදි උදෙසාත් ඔප්පුකරන්නේය.
8 මෙයින් ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් හඟවන්නේ ඒ පළමුවෙනි මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශවී නැති බවය.
9 ඒ මණ්ඩපය වර්තමාන කාලයට උපහැරණයක්ය. ඒ ප්‍රකාරයට හෘදයසාක්ෂිය සම්බන්ධව සේවයකරන්නා සම්පූර්ණකරන්ට නොහැකිවූ පඬුරු සහ පූජා ඔප්පුකරනු ලබන්නේය.
10 මේවා (කෑමවලින්ද බීමවලින්ද නානාප්‍රකාර සේදීම්වලින්ද යුක්තවූ,) සකස්කිරීමේ කාලය දක්වා පවතින්නාවූ, මාංසයට අයිති නියෝගවා පමණක්ය.
11 නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මතු පැමිණෙන්නාවූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ, වඩා උතුම්වූ වඩා සම්පූර්ණවූ අතින් නොසෑදුවාවූ, එනම් මේ [භූමික] මැවිල්ලට අයිති නොවන්නාවූ මණ්ඩපය මැදින්,
12 එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක.
13 මක්නිසාද එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද, අශුද්ධවී සිටින්නන්ට එළනෑම්බියෙකුගේ අළු ඉසීමෙන්ද මාංසය පවිත්‍රවෙන හැටියට පිරිසිදුකරනු ලබන්නේ නම්,
14 කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?
15 මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කාරයාව සිටිනසේක. එසේ වන්නේ පළමුවෙනි ගිවිසුමේ කාලයේදී කළ වරදවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධවූ බැවින්, කැඳවනු ලැබුවාවූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය.
16 මක්නිසාද* ගිවිසුමක් තිබෙන තැන ගිවිසුම කළාවූ අයගේ මරණයද පෙන්විය යුතුය. (* මුල් වචනයෙන් - 'අන්තිම කැමැත්ත' යන අර්ථයත් හැඟේ)
17 එසේය, ගිවිසුමක් ස්ථිරවෙන්නේ මරණය සිදුවුණායින් පසුය. ගිවිසුම කළ තැනැත්තා ජීවත්ව සිටින තුරු එය කිසිසේත් වලංගු නැත.
18 එහෙයින් පළමුවෙනි ගිවිසුමවත් ලේ නැතුව පිහිටුවනු නොලැබුවේය.
19 මක්නිසාද මෝසෙස් ව්‍යවස්ථාවේ හැටියට මුළු සෙනඟට සියලු ආඥා කියාදුන් පසු, වස්සන්ගෙත් එළුවන්ගෙත් ලේ, වතුරද රතු ලොම්ද හිසොප්ද සමඟ ගෙන:
20 මේවා දෙවියන්වහන්සේ විසින් නුඹලා ගැන නියෝගකළ ගිවිසුමේ ලේයයි කියමින් පොතටත් මුළු සෙනඟටත් ඉස්සේය.
21 එසේම මණ්ඩපයටත් සේවයේ සියලු භාජනවලටත් ඔහු ලේ ඉස්සේය.
22 ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.
23 එබැවින් ස්වර්ගයේ තිබෙන දේවල සටහන් මේවායින් පවිත්‍රකරන්ට ඕනෑව තිබුණේය; නුමුත් ස්වර්ගීය දේවල්ම මේවාට වඩා උතුම් පූජාවලින් පවිත්‍රකරනු ලබන්ට යුතුය.
24 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල්වූසේක.
25 එහෙත් උත්තම පූජකයා අන්‍ය ලේ රැගෙන අවුරුදුපතා ශුද්ධස්ථානයට ඇතුල්වන්නාක්මෙන් උන්වහන්සේ බොහෝ වර තමන්ම ඔප්පුකරන පිණිස [ඇතුල්වුණා] නොවේය.
26 එසේ ඇතුල්වෙන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොයෙක්වර වධවිඳින්ට ඕනෑව තිබුණේය. නුමුත් තමන්ම පූජාකිරීම කරණකොටගෙන පාපය පහකරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එක වරක් ප්‍රකාශවූසේක.
27 තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම,
28 බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.



පරිච්ඡේදය 10

1 මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන.
2 පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද?
3 නුමුත් ඒ යාගවලින් අවුරුදුපතා පව් ගැන සිහිකිරීමක් ඇත්තේය.
4 මක්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන.
5 එහෙයින් උන්වහන්සේ ලෝකයට එන කල කථාකර: ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම්කර දුන්සේක;
6 මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ ප්‍රසන්න නුවූසේක.
7 එවිට මම කථාකොට: දෙවියන්වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීසේක.
8 ව්‍යවස්ථාවේ හැටියට ඔප්පුකරන පූජාවලටත් පඬුරුවලටත් මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ කැමතිවන්නේවත් සතුටුවන්නේවත් නැතැයි ඉහත කී පසු:
9 මෙන්න, ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමියි උන්වහන්සේ කීසේක. උන්වහන්සේ දෙවෙනි එක පිහිටුවන පිණිස පළමුවෙනි එක අහක්කරනසේක.
10 ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව.
11 තවද සියලු පූජකයෝ සිටගෙන, දවස්පතා සේවය කරමින්, කිසි කලෙකත් පාපය පහකරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පුකරති.
12 නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.
13 එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලාසිටිනසේක.
14 මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක.
15 ශුද්ධාත්මයාණන්වහන්සෙත් අපට සාක්ෂිදෙමින්:
16 ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට:
17 ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක.
18 ඉඳින් ඒවාට කමාව තිබෙන තැන, පාපය ගැන පූජා ඔප්පුකිරීමක් තවත් නැත.
19 එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්,
20 උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද,
21 දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද,
22 නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.
23 අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.
24 තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු.
25 සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.
26 මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්,
27 විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවාදමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලාසිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත.
28 මෝසෙස්ගේ ව්‍යවස්ථාව සුළුකළ අය දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට කරුණාව නොලැබ මරනු ලබන්නේය.
29 නුඹලා සිතන්නේ මොකද? දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගාදමා, තමා පිරිසිදුකළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට අපහාසකළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන්ගනු නොලබන්නේද?
30 මක්නිසාද: පළිගැනීම මට අයිතිය, මම්ම ප්‍රතිඵල දෙන්නෙමියි කියාද, ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරනසේක කියාද කී තැනන්වහන්සේ අපි දනිමුව.
31 ජීවමානවූ දෙවියන්වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්ය.
32 නුමුත් නුඹලා ආලෝකකරනු ලැබුවාට පසු නුඹලා දුක් නැමති මහත් පොරබැදීමක් ඉසුලුවාවූ පළමු දවස් සිහිකරන්න.
33 එසේ වුණේ නින්දා සහ පීඩා කරණකොටගෙන පරිහාස හේතුවක් කරනු ලැබීමෙනුත්, එසේ කරනු ලැබූවන්ට හවුල්කාරයන් වීමෙනුත්ය.
34 මක්නිසාද හිරකාරයන්ව සිටින්නන්ට නුඹලා අනුකම්පාව දැක්වූවා පමණක් නොව, වඩා උතුම්වූ පවතින්නාවූ වස්තුවක් නුඹලාට ඇති බව දැනගෙන, නුඹලාගේ දේපල කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසුවහුය.
35 එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න.
36 මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.
37 මක්නිසාද එන්නාවූ තැනන්වහන්සේ ප්‍රමාද නොවී, තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක.
38 ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.
39 නුමුත් අපි වනාහි විනාශවන ලෙස පසුබටවීමට නොව ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිතිවමුව.



පරිච්ඡේදය 11

1 ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.
2 එයින්, වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය.
3 දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේ වලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව.
4 ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පුකෙළේය. ඔහුගේ දීමනා ගැන දෙවියන්වහන්සේ සාක්ෂිදුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය. ඔහු මළ නුමුත් ඒ ඇදහීමෙන් තවම කථාකරන්නේය.
5 ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොදකින ලෙස ගෙනයනු ලැබුවේය; දෙවියන්වහන්සේ ඔහු ගෙනගිය හෙයින් ඔහු සම්බ නොවීය. ඔහුගේ ගෙනයාමට ප්‍රථම, ඔහු දෙවියන්වහන්සේව ප්‍රසන්නකළ බවට සාක්ෂි ලැබුවේය.
6 නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.
7 ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.
8 ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවනු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්ට තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරුවී, තමා කොතැනට යනවාදැයි නොදැන පිටත්ව ගියේය.
9 ඇදහිල්ලෙන්, ඔහු අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී, එම පොරොන්දුවට උරුමක්කාරයන් වූ ඊසාක් සහ යාකොබ් සමඟ කූඩාරම්වල වාසයකළේය.
10 මක්නිසාද අත්තිවාරම් ඇත්තාවූ, දෙවියන්වහන්සේ විසින් යෝජනාකර සෑදුවාවූ නුවර ගැන ඔහු බලාසිටියේය.
11 ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.
12 එහෙයින් මළ කෙනෙකු වැනි එක තැනැත්තෙකුගෙන් පවා ගණනින් අහසේ තාරකා මෙන්ද ගණන්කළ නොහැකි මුහුදු වෙරළේ වැලි මෙන්ද වූ සමූහයක් හටගත්තේය.
13 මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා දැක ප්‍රසන්නවී, පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී, ඇදහිල්ල ඇතුව මැරුණෝය.
14 මක්නිසාද මෙබඳු දේ කියන තැනැත්තෝ තමුන්ගේම රටක් සොයන බව හොඳහැටි ප්‍රකාශකරති.
15 තවද ඔව්හු තමුන් පිටත්ව ආවාවූ රට සිහිකළෝ නම්, එහි හැරී යන්ට ඔවුන්ට ඉඩප්‍රස්ථා තිබුණේය.
16 නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.
17 ආබ්‍රහම් පරීක්ෂාකරනු ලැබූ කල, ඇදහිල්ලෙන් ඊසාක් පූජාකළේය.
18 එසේය: නුඹේ වංශය ප්‍රකාශවන්නේ ඊසාක්ගෙන්යයි යමෙකුට කියනලද්දේද, ඒ පොරොන්දු සන්තෝෂයෙන් පිළිගත් ඔහු තමාගේ ඒකජාතක පුත්‍රයාව පූජා කරමින් සිටියේය,
19 මළවුන්ගෙන් පවා නැගුටුවන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි ඔහු කල්පනාකොට, උපහැරණ වශයෙන් මරණයෙන් ඔහු නැවත ලබාගත්තේය.
20 ඇදහිල්ලෙන්, ඊසාක් මතු පැමිණෙන දේ ගැන පවා යාකොබ්ට සහ ඒසව්ට ආශීර්වාදකළේය.
21 යාකොබ් නසින විට, ඇදහිල්ලෙන් යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාදකොට, තමාගේ සැරයටියේ මුදුනට හාන්සිව නමස්කාරකළේය.
22 යෝසෙප් තමාගේ අන්තිමය ළංවූ කල, ඇදහිල්ලෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිටත්ව යැම සඳහන්කොට, තමාගේ ඇට ගැන අණදුන්නේය.
23 මෝසෙස් උපන් කල ඔහුගේ මවුපියෝ ඔහු ශෝභමාන ළමයෙකු බව දැක, රජුගේ ආඥාවට භය නොවී, ඇදහිල්ලෙන් ඔහු තුන් මාසයක් සඟවාගත්තෝය.
24 මෝසෙස් වැඩුණායින් පසු ඵාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහීමෙන් එපාකර,
25 විපාකය දෙස බැලූ බැවින් මිසරයේ වස්තුවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ නින්දාව මහත් සම්පතක්යයි සිතා,
26 කලකට පාපයේ සැප භුක්තිවිදීමට වඩා දෙවියන්වහන්සේගේ සෙනඟ සමඟ දුක්විඳීම තෝරාගත්තේය.
27 ඇදහිල්ලෙන්, ඔහු රජුගේ උදහසට භය නොවී, මිසරය අත්හැර ගියේය. මක්නිසාද අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.
28 කුලුඳුලන් විනාශකළ තැනැත්තා ඔවුන්ට අත නොගසන පිණිස පාස්කුවද ලේ ඉසීමද ඇදහිල්ලෙන් ඔහු පැවැත්තුවේය.
29 ඇදහිල්ලෙන්, ඔව්හු රතුමුහුද මැදින් වියළි බිමින් මෙන් ගියෝය. මිසරවරු එසේ කරන්ට උත්සාහකොට ගිලී මළෝය.
30 සත් දවසක් යෙරිකෝවේ පවුරු වටකර ඇවිද්දායින් පසු, ඇදහිල්ලෙන් ඒවා වැටුණේය.
31 ඇදහිල්ලෙන්, වේශ්‍යාවවූ රාහබ් ඔත්තුකාරයන් සමාදානයෙන් පිළිගත් බැවින්, කීකරුනූණ තැනැත්තන් සමඟ විනාශ නොවී සිටියාය.
32 මම තව මක්කියම්ද? ගිඩියොන්ද බාරක්ද සම්සොන්ද යෙප්තාද දාවිත්ද සාමුවෙල්ද ප්‍රොපේතවරුන්ද ගැන කියන්ට කල් මදිය.
33 ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත්කළෝය, ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබාගත්තෝය, සිංහයන්ගේ මුඛ පියෙවුවෝය,
34 ගින්නේ උෂ්ණය නිවුවෝය, කඩුමුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය.
35 ස්ත්‍රීහු නැවත-නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය. වෙන අය වඩා උතුම් නැවත-නැගිටීමක් ලබන පිණිස, මිදීම පිළි නොගෙන වධකරනු ලැබුවෝය.
36 තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂාකරනු ලැබුවෝය.
37 ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.
38 ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.
39 මොවුන් සියල්ලෝ ස්වකීය ඇදහිල්ල කරණකොටගෙන සාක්ෂිය ලැබත්, පොරොන්දුව නොලැබුවෝය.
40 එසේ වුණේ ඔවුන් අප නැතුව සම්පූර්ණ නොවන පිණිස දෙවියන්වහන්සේ වඩා උතුම් දෙයක් අප ගැන කලින් පිළියෙළකර තිබුණු නිසාය.



පරිච්ඡේදය 12

1 එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.
2 උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.
3 ඒ නිසා නුඹලා, නුඹලාගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන්වහන්සේ කල්පනාකර බලන්න.
4 නුඹලා පාපයට විරුද්ධව පොරට සිට, තවම ලේ වැගිරෙන තෙක් විරුද්ධව සිටියේ නැත.
5 ඇරත් පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතකනැතිකළහුය, ඒ කවරද යත්: මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ දඬුවම සුළු නොකරන්න, උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න;
6 මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක, උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තළනසේක යනුයි.
7 නුඹලා ඉවසන්නේ දඬුවම් පිණිසය; දෙවියන්වහන්සේ පුත්‍රයන්ට මෙන් නුඹලා කෙරෙහි ක්‍රියාකරනසේක; මක්නිසාද පියා දඬුවම් නොකරන පුත්‍රයා කවුද?
8 එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්නහු නම්, නුඹලා පුත්‍රයෝ නොව අවජාතකයෝය.
9 තවද අපට දඬුවම්කළාවූ මාංසයේ පියවරු අපට සිටියෝය. අපි ඔවුන්ට ගෞරවකළෙමුව. ඊට බොහෝ වැඩියෙන් අප විසින් ආත්මවල පියාණන්වහන්සේට යටත්ව ජීවත්වෙන්ට යුතු නොවේද?
10 මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.
11 කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.
12 එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න.
13 කොර කකුල් අහක්කරනු නොලැබ, සුවවෙන පිණිස, නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න.
14 සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.
15 කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,
16 වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න.
17 මක්නිසාද පසුව ඔහු ආශීර්වාදය උරුමකරගන්ට කැමතිවුණ නුමුත් ඔහු එපාකරනු ලැබූ බව නුඹලා දනිහුය; මක්නිසාද ඔහු කඳුළෙන් යුක්තව ඕනෑකමින් එය සෙවූ නුමුත්, වෙනස්කිරීමට ඉඩක් ලැබුණේ නැත.
18 තවද නුඹලා ළඟාවී සිටින්නේ ස්පර්ශකරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත්,
19 හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේය; ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කථා නොකරන ලෙස ඉල්ලා සිටියෝය.
20 මක්නිසාද: මෘගයෙක්වත් කන්දේ හැපුණොත් ඌ ගල්ගසා මැරිය යුතුය කියා කළාවූ අණ ඔවුන්ට දරන්ට බැරිවිය.
21 ඒ දර්ශනය එපමණ භයානකව තිබුණු බැවින් මෝසෙස්ද කථාකොට: මම භයවෙමි, වෙවුලමියි කීය.
22 නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,
23 ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුලුඳුලන්ගේ මහ රැස්වීමට හා සභාවටත්, සියල්ලන්ගේ විනිශ්චයකාරවූ දෙවියන්වහන්සේද සම්පූර්ණකරනලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද,
24 අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේද ආබෙල්ට වඩා උතුම්ලෙස කථාකරන ඉසීමේ ලේද වෙතටත්ය.
25 කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?
26 උන්වහන්සේගේ ශබ්දයෙන් ඒ කාලයේදී පොළොව සෙලවුණාය. නුමුත් දැන් උන්වහන්සේ: මම පොළොව පමණක් නොව ස්වර්ගයත් තව වරක් කම්පාකරවන්නෙමියි කියා පොරොන්දුවී තිබේ.
27 තව වරක්ය කී වචනයෙන් පෙන්වන්නේ නොසෙලවෙන්නාවූ දේවල් පවතින පිණිස සෙලවෙන ඒවා සෑදූ දේවල් මෙන් පහකරන බවය.
28 එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන්වහන්සේට ප්‍රසන්නවන ලෙස සේවයකරන පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු.
29 මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.



පරිච්ඡේදය 13

1 සහෝදර ස්නේහය පවතීවා.
2 ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.
3 නුඹලාත් බැඳී සිටින්නාක්මෙන් බැඳුම්වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක්විඳින්නන්ද සිහිකරන්න.
4 විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.
5 නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.
6 මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.
7 දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරන්න; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න.
8 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය.
9 අනේකාකාරවූ අමුතු ඉගැන්වීම් කරණකොටගෙන අහකට ගෙනයනු නොලබන්න. මක්නිසාද කෑම ගැන ව්‍යාවෘතවූවන්ට ප්‍රයෝජනයක් වුණේ නැති නිසා කෑමවලින් නොව, අනුග්‍රහයෙන් සිත ස්ථිරවීම යහපත්ය.
10 අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත.
11 මක්නිසාද උත්තම පූජකයා විසින් පාපය නිසා යම් යම් සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙනයනු ලැබේද, ඒ සතුන්ගේ ශරීර කඳවුරෙන් පිටතදී පුළුස්සාදමති.
12 එහෙයින් යේසුස්වහන්සෙත් තමන්ගේම ලෙයින් සෙනඟ පිරිසිදුකරන පිණිස දොරටුවෙන් පිටතදී වධවින්දසේක.
13 ඉතින් අපි උන්වහන්සේගේ නින්දාව දරාගනිමින් කඳවුරෙන් පිටත උන්වහන්සේ වෙතට යමු.
14 මක්නිසාද පවතින නුවරක් මෙහි අපට නැත, අප විසින් සොයන්නේ මතු පැමිණෙන නුවරය.
15 එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.
16 නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක.
17 නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.
18 අප ගැන යාච්ඤාකරන්න. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව.
19 වඩා ඉක්මනින් මා නුඹලාට නැවත දෙනු ලබන පිණිස, එසේ කරන්ට මම වඩා ඕනෑකමින් නුඹලාට අනුශාසනාකරමි.
20 ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ,
21 තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන * අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්. (* නොහොත්, නුඹලා තුළ)
22 සහෝදරයෙනි, මේ අනුශාසනාවේ වචනය ඉවසන හැටියට නුඹලාගෙන් ඉල්ලමි. මක්නිසාද ලුහුඬින් මම නුඹලාට ලියුවෙමි.
23 අපේ සහෝදරවූ තිමෝතියස් නිදහස්කරනු ලැබූ බව දැනගන්න; ඔහු ඉක්මනින් ආවොත්, ඔහු සමඟ නුඹලා බලන්ට එන්නෙමි.
24 නුඹලාගේ සියලු ප්‍රධානීන්ටත් සියලු ශුද්ධවන්තයන්ටත් ආචාරකරන්න. ඉතාලියේ අය නුඹලාට ආචාරකරති.
25 අනුග්‍රහය නුඹලා සියල්ලන් සමඟ වේවා. ආමෙන්.