යාකොබ්

පරිච්ඡේදය: 1 2 3 4 5


පරිච්ඡේදය 1

1 දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්:
2 මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන,
3 අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න.
4 නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය සම්පූර්ණලෙස ක්‍රියාකෙරේවා.
5 නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.
6 නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.
7 එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා.
8 ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය.
9 නුමුත් පහත් අඩියක සිටින සහෝදරයා තමාගේ උසස්වීම ගැනද,
10 ධනවතා තමාගේ පහත්වීම ගැනද පාරට්ටුකෙරේවා. මක්නිසාද ඔහු තණ මලක් මෙන් පහවයන්නේය.
11 මක්නිසාද සූර්යයා තද රස්නයෙන් යුක්තවූ සුළඟින් උදාවී, තණකොළ වියළවයි; ඒවායේ මල් වැටී පෙනීමේ අලංකාරය නැතිවීයන්නේය. එසේම ධනවතා තමාගේ මාර්ගවලදී මැළවී යන්නේය.
12 පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය.
13 යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂානොකරනසේක.
14 නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි.
15 එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.
16 මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න.
17 සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.
18 අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපදවූසේක.
19 මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.
20 මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය.
21 එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.
22 නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.
23 මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.
24 මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙල්ම මතක නැතිකරයි.
25 නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.
26 යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය.
27 අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.



පරිච්ඡේදය 2

1 මාගේ සහෝදරයෙනි, අපගේ තේජවන්ත ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ තරාතිරම් සැලකීම ඇතුව නොදරන්න.
2 රන් මුද්දක්ද අලංකාර වස්ත්‍රද පැළඳගන ඉන්න මනුෂ්‍යයෙකුත් කිලුටු ඇඳුම් ඇඳගන ඉන්න දිළින්දෙකුත් නුඹලාගේ සිනගෝගයට ආවොත්,
3 නුඹලා අලංකාර වස්ත්‍ර පැළඳගන ඉන්න අය සලකා: මෙහි හොඳ තැනක හිඳගන්ටය කියාද, දිළින්දාට: නුඹ ඔහේ සිටින්න, නොහොත් මාගේ පාපුටුව ළඟ ඉඳගන්නැයි කියාද, කියනවා නම්,
4 නුඹලා භේදවූ අදහස් ඇත්තෝව, නපුරු සිතිවිලිවලින් යුක්ත විනිශ්චයකාරයෝ නොවන්නෝද?
5 මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය.
6 ධනවතුන් නුඹලාට පීඩාකරනවා නොවේද? නඩුශාලාවලට නුඹලා ඇදගන යනවා නොවේද?
7 නුඹලා දරන උතුම් නාමයට අපහාසකරන්නේ ඔවුන් නොවේද?
8 එසේ වුවත්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන රාජකීය ව්‍යවස්ථාව ලියවිල්ලේ හැටියට පවත්වන්නහු නම්, නුඹලා කරන එක යහපත්ය.
9 නුමුත් තරාතිරම් සලකන්නෝ නම්, නුඹලා වරදකාරයන් බව ව්‍යවස්ථාවෙන් ඔප්පුවෙන බැවින් නුඹලා කරන්නේ පාපයය.
10 මක්නිසාද යමෙක් මුළු ව්‍යවස්ථාව රක්ෂාකොට, එක අණක් කඩකළේ නම්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක්වී සිටී.
11 මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරවයි කී තැනන්වහන්සේ: මිනීනොමරව කියාත් කීසේක. ඉඳින් නුඹ කාමමිථ්‍යාචාරය නොකරන නුමුත්, මිනීමරනවා නම්, ව්‍යවස්ථාව කඩකරන්නෙක්ව සිටිනෙහිය.
12 නිදහස්කමේ ව්‍යවස්ථාවකින් විනිශ්චයකරනු ලබන්ට සිටින තැනැත්තන් මෙන් කථාකරන්න, ක්‍රියාකරන්න.
13 මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.
14 මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද?
15 සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී,
16 නුඹලාගෙන් යමෙක්: සමාදානයෙන් යන්න, උණුහුම්වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්නැයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද?
17 එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය.
18 එසේය, යමෙක් කථාකොට: නුඹට ඇදහිල්ල තිබේ, මට ක්‍රියාවල් තිබේ. ක්‍රියා නැතුව නුඹේ ඇදහිල්ල මට පෙන්වන්න, මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වන්නෙමියි කියනවා ඇත.
19 ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව නුඹ විශ්වාසකරන්නෙහිය; නුඹ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාසකර වෙවුලති.
20 නුමුත්, හිස්වූ මනුෂ්‍යය, ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද?
21 අපේ පියවූ ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් පූජාසනය පිට ඔප්පුකළ විට ක්‍රියාවලින් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබුවා නොවේද?
22 ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමඟ ක්‍රියාකළ බවත් ඇදහිල්ල ක්‍රියාවලින් සම්පූර්ණවූ බවත් නුඹට පෙනේ.
23 මෙසේ: ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණවුණේය; තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබුවේය.
24 මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු ලබන බව නුඹලාට පෙනෙන්නේය.
25 එසේම වේශ්‍යාවවූ රාහබ් පණිවිඩකාරයන් පිළිගෙන අන් මගකින් පිටත්කර ඇරිය කල, ක්‍රියාවලින් ඈ ධර්මිෂ්ඨකරනු ලැබුවා නොවේද?
26 මක්නිසාද ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නාක්මෙන්ම ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ.



පරිච්ඡේදය 3

1 මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන) අපට, වඩා බරපතළ විනිශ්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයන්න,
2 මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.
3 අශ්වයන් අපට කීකරුකරගන්න පිණිස උන්ගේ කටවල කටකලියා දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයත් හරවාගනිමුව.
4 මෙන්න, නැව් එපමණ මහත් නුමුත්, තද හුළංවලින් ගෙනයනු ලබන නුමුත්, ඉතා කුඩා සුක්කානමකින් එය අල්ලන්නා විසින් කැමති අතට හරවනු ලබයි.
5 එලෙසම දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටුකරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද? දිවද ගින්නක්ය.
6 එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරය කිලුටුකොට, සකල ලෝකයට ගිනි අවුලවයි, ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය.
7 එසේය, සියලු ආකාර වන මෘගයෝද පක්ෂීහුද බඩගායන ජාතීන් හා මුහුදේ සත්වයෝද මනුෂ්‍යයන් විසින් දමනයකරනු ලබති, දමනයකරනු ලැබුවෝය.
8 නුමුත් දිව දමනයකරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. ඒක කැරළිකාරවූ, මරණීය විෂයෙන් පූර්ණවූ, නපුරු දෙයක්ය.
9 එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව.
10 ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.
11 උල්පත එක සිදුරෙන් මිහිරි දියත් තික්ත දියත් නිකුත්කරයිද?
12 මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගහේ ඔලීව ඵලවත් මුද්‍රික වැලේ අත්තික්කා ඵලවත් හටගන්ට පුළුවන්ද? කරදියෙන් මිරිදිය නික්මෙන්ට නුපුළුවන.
13 නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම්ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා.
14 නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න.
15 ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ.
16 මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය.
17 නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.
18 තවද සමාදානකරන්නන් උදෙසා ධර්මිෂ්ඨකමේ ඵලය සමාදානයෙන් වපුරනු ලැබේ.



පරිච්ඡේදය 4

1 නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළෙහි යුද්ධකරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද?
2 නුඹලා ආශාවන්නහුය, නුමුත් නොලැබෙන්නේය. නුඹලා මිනීමරන්නහුය, ඊර්ෂ්‍යාවන්නහුය, නුමුත් ලබාගන්ට බැරිවන්නේය. නුඹලා ඩබරද යුද්ධද කරන්නහුය; නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය.
3 නුඹලා ඉල්ලන නුමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදිලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත.
4 කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.
5 නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?
6 නුමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.
7 එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.
8 දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න.
9 දුක්වෙමින් වැලපෙමින් හඬන්න. නුඹලාගේ සිනාසීම ශෝකයටත් නුඹලාගේ ප්‍රීතිය කනගාටුවටත් හැරේවා.
10 ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙන්න, එවිට උන්වහන්සේ නුඹලා උසස්කරනසේක.
11 සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධව කථා නොකරන්න. සහෝදරයෙකුට විරුද්ධව කථාකරන්නා නොහොත් තමාගේ සහෝදරයා විනිශ්චයකරන්නා ව්‍යවස්ථාවට විරුද්ධව කථාකරන්නේය, ව්‍යවස්ථාව විනිශ්චයකරන්නේය. ඉඳින් නුඹ ව්‍යවස්ථාව විනිශ්චයකරන්නෙහි නම්, නුඹ ව්‍යවස්ථාව පවත්වන්නෙක් නොව විනිශ්චයකාරයෙක්ය.
12 නීතිදායකයාද විනිශ්චයකාරයාද එක්කෙනෙක්ය, එනම් ගළවන්ටත් විනාශකරන්ටත් පුළුවන් තැනන්වහන්සේය. නුමුත් නුඹේ අසල්වාසියා විනිශ්චයකරන නුඹ කවුද?
13 මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න.
14 මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.
15 එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය.
16 නුමුත් දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.
17 එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය.



පරිච්ඡේදය 5

1 මෙන්න, ධනවතුනි, නුඹලා කෙරේ පැමිණෙන්ට තිබෙන නුඹලාගේ කාලකණ්ණිකම් නිසා මොරගසා හඬන්න.
2 නුඹලාගේ වස්තුව දිරා ගියේය, නුඹලාගේ වස්ත්‍ර කාවෝ කෑවෝය.
3 නුඹලාගේ රන්රිදී මලකඩකා තිබේ; ඒ මලකඩ නුඹලාට විරුද්ධව සාක්ෂියක් වී, ගිනි මෙන් නුඹලාගේ මාංස දවනවා ඇත. අන්තිම දවස්වලදී නුඹලා වස්තු රැස්කොට තැබුවහුය.
4 බලව, නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීමද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය.
5 නුඹලා පොළොවේදී සැපජීවිකාවෙන් වැස, අලංකාරකමින් පසුවුණහුය; මැරුම්කන දවසකදී නුඹලාගේ සිත් නුඹලා පෝෂ්‍යකරගත්තහුය.
6 නුඹලා ධර්මිෂ්ඨයා වරදට පත්කොට මැරුවහුය; ඔහු නුඹලාට විරුද්ධව සිටින්නේ නැත.
7 එබැවින්, සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ඉවසන්න. බලව, ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පොළොවේ අනර්ඝ ඵල ගැන බලාසිටී.
8 නුඹලත් ඉවසිල්ලෙන් සිටින්න; ස්වාමීන්වහන්සේගේ ඊම ළංව තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථිරකරගන්න.
9 සහෝදරයෙනි, නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස එකිනෙකාට විරුද්ධව නොකොඳුරන්න. බලව, විනිශ්චයකාරයාණන්වහන්සේ දොරකඩ ඉදිරියෙහි සිටිනසේක.
10 සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ නමින් කථාකළ ප්‍රොපේතවරුන් පීඩාවිඳීමෙත් ඉවසීමෙත් ආදර්ශයක්කොට ගන්න.
11 ඉවසූ අය ආශීර්වාදලද්දෝයයි අප කියමුව. යෝබ්ගේ ඉවසීම ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.
12 නුමුත්, මාගේ සහෝදරයෙනි, නුඹලා වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරන්නැයි ප්‍රධානකොට කියමි. නුඹලාගේ එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා.
13 නුඹලා අතරෙහි යමෙක් දුක්විඳින්නේද? ඔහු යාච්ඤාකරාවා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද? ඔහු ගී කියාවා.
14 නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා.
15 එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.
16 එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.
17 එලියා අප සමාන ගති ඇති මනුෂ්‍යයෙක්ව සිටිය නුමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දුකමින් යාච්ඤාකළේය; එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේය.
18 ඔහු නැවත යාච්ඤාකළේය; එවිට අහසින් වැසි වැස, පොළොවේ ඵල හටගත්තේය.
19 මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙන් යමෙක් සැබෑකමෙන් මුළාව ගියේද, යමෙක් ඔහු හරවාගන්නේ නම්,
20 පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව ඔහු දැනගනීවා.