1 පේත්‍රැස්

පරිච්ඡේදය: 1 2 3 4 5


පරිච්ඡේදය 1

1 යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙක්වූ පේතෘස් විසින් පොන්තස්හිද ගලාතියෙහිද කප්පදොකියෙහිද ආසියාවෙහිද බිතිනියෙහිද විසරගොස් විදේශීව සිටින්නාවූ,
2 ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමෙන් කීකරුවීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත්, පියවූ දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබූවන්ට ලියා එවන වග නම්: අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.
3 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,
4 නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන,
5 ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.
6 ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.
7 එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.
8 නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,
9 නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.
10 නුඹලාට පැමිණෙන්ට තිබුණු අනුග්‍රහය ගැන අනාගතවාක්‍ය කී අනාගතවක්තෘවරුන් ඒ ගැළවීම ගැන බොහෝසෙයින් විභාගකොට සෙවුවෝය.
11 ඔවුන් තුළෙහිවූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේට නියමවූ වධවිඳීමද ඊට පසු පැමිණෙන තේජසද ගැන කලින් සාක්ෂිදුන් විට, කවර කාලයක් නොහොත් කොයි ප්‍රකාර කාලයක් හැඟවූසේක්ද කියා ඔව්හු සෙවුවෝය.
12 ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.
13 ඉන්නිසා නුඹලාගේ සිත් නැමති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.
14 නුඹලාගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්,
15 නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.
16 මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.
17 තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චයකරන තැනන්වහන්සේට පියාණෝය කියා නුඹලා යාච්ඤාකරන්නහු නම්, නුඹලාගේ විදේශීව සිටීමේ කාලය භයින් පසුකරන්න.
18 මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව,
19 කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.
20 ලෝකය මැවීමට පළමුවෙන් නියමකරනු ලැබූ උන්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා, උන්වහන්සේට මහිමය දුන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි උන්වහන්සේ කරණකොටගෙන අදහන්නාවූ නුඹලා උදෙසා,
21 උන්වහන්සේ කාලවල කෙළවරදී ප්‍රකාශකරනු ලැබූසේක; මෙසේ නුඹලාගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි ඇත්තේය.
22 සහෝදරයන්ට අවංකකමින් ප්‍රේමකරන පිණිස සත්‍යතාවට කීකරුවීමෙන් නුඹලාගේ ආත්ම පිරිසිදු කරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දුලෙස ප්‍රේමකරන්න.
23 මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.
24 කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ.
25 නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය. මේ වනාහි නුඹලාට දේශනාකරනලද ශුභාරංචි වචනයය.



පරිච්ඡේදය 2

1 එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රුවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා,
2 ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්,
3 ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න.
4 මනුෂ්‍යයන් විසින් එපාකළ නුමුත් දෙවියන්වහන්සේ විසින් තෝරාගත්තාවූ අනර්ඝ ජීවමාන ගලක් වැනි උන්වහන්සේ වෙතට පැමිණ,
5 නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය.
6 ඉන්නිසා: බලව, ගලක්, අනර්ඝ, කොනේ ප්‍රධාන ගලක්, සියොන්හි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ලේ අන්තර්ගතව තිබේ
7 එබැවින් අදහන්නාවූ නුඹලාට ඒ ගෞරවය ඇත්තේය. නුමුත් නොඅදහන්නන්ට, ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල කරනලද්දේය.
8 තවද, එය පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරනලද්දේය. මක්නිසාද ඔව්හු වචනයට අකීකරුව සිට පැකිලෙති. ඊටද ඔව්හු නියම කරනලද්දෝය.
9 නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.
10 වරක් නුඹලා සෙනඟක්ව සිටියේ නැත, නුමුත් දැන් දෙවියන්වහන්සේගේ සෙනඟව සිටින්නහුය; දයාව නොලැබ සිටිය නුමුත් දැන් දයාව ලැබ සිටින්නහුය.
11 ප්‍රේමවන්තයෙනි, නුඹලා ආගන්තුකයන්ද විදේශීන්ද මෙන්, ආත්මයට විරුද්ධව යුද්ධකරන මාංසික තෘෂ්ණාවලින් වැලකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.
12 නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.
13 උත්තමයාව සිටින රජුට වේවා, නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත් රජු විසින් එවනලද්දාවූ ආණ්ඩුකාරයන්ට වේවා,
14 සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමීන්වහන්සේ නිසා යටත්වෙන්න.
15 මක්නිසාද මෙසේ නුඹලා යහපත කිරීමෙන් අනුවණ මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්දකිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තය.
16 එසේය, නුඹලා නිදහස් අය නුමුත්, ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවියන්වහන්සේගේ දාසයන් මෙන් ව්‍යවහාරකරන්න. සියල්ලන්ටම ගෞරවකරන්න.
17 සහෝදර සමාගමට ප්‍රේමකරන්න. දෙවියන්වහන්සේට භයවෙන්න. රජ්ජුරුවන්ට ගෞරවකරන්න.
18 වැඩකාරයෙනි, යහපත්වූ සෞම්‍යවූ ස්වාමිවරුන්ට පමණක් නොව නුඹලාගේ රළුවූ ස්වාමිවරුන්ටත් සියලු ආකාර භයින් යටත්වෙන්න.
19 මක්නිසාද යමෙක් දෙවියන්වහන්සේ කෙරෙහිවූ හෘදයසාක්ෂිය නිසා අයුතුලෙස පීඩා විඳිමින් දුක් ඉවසන්නේ වී නම්, ඒක ප්‍රශංසනීය දෙයක්ය.
20 මක්නිසාද නුඹලා වරදකොට ඒ ගැන පහර ලබන කල්හි ඉවසන්නහු නම්, එය මොන උතුම්කමක්ද? නුමුත් යහපත්කම් කොට ඒ ගැන දුක්විඳින කල්හි ඉවසන්නහු නම්, ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයක්ය.
21 එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක.
22 උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත,
23 උන්වහන්සේ නින්දාකරනු ලැබූ කල නින්දා නොකළසේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට කාරණය භාරදුන්සේක.
24 අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුවකරනු ලැබුවහුය.
25 මක්නිසාද නුඹලා බැටළුවන් මෙන් මුළාවයමින් සිටියහුය; නුමුත් දැන් නුඹලාගේ ආත්මවල එඬේරාද රැකවලාද වෙතට හැරී ඇවිත් සිටින්නහුය.



පරිච්ඡේදය 3

1 එසේම, භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්,
2 ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙන්න.
3 නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව,
4 දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා.
5 මක්නිසාද පුරාණ කාලයෙහි දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවුණ ශුද්ධවූ ස්ත්‍රීවරු තමුන්ගේ පුරුෂයන්ට යටත්ව මෙලෙස අලංකාරවුණෝය.
6 එලෙස සාරා ආබ්‍රහම්ට ස්වාමියායයි කියමින් කීකරුවුණාය. නුඹලාත් කිසි භීතියක් කරණකොටගෙන භය නොවී යහපත කරන්නහු නම්, ඇගේ දරුවෝව සිටින්නහුය.
7 එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න.
8 අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.
9 නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.
10 මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා.
11 නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා;
12 මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ. නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ.
13 තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද?
14 එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා;
15 නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.
16 නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.
17 මක්නිසාද නුඹලා යහපත කර දුක්විඳීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නපුර කර දුක්විඳීමට වඩා ඒක හොඳය.
18 මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු ලැබූසේක.
19 එම ආත්මයෙන් උන්වහන්සේ ගොස් හිරගෙයි සිටි ආත්මවලට දේශනාකළසේක.
20 ඒ ආත්ම නෝවාගේ දවස්වලදී, නැව සාදන අතර, දෙවියන්වහන්සේ ඉවසිල්ලෙන් බලා සිටි කාලයෙහි අකීකරුව සිටියෝය. ඒ නැවට ස්වල්ප දෙනෙක් එනම් අටදෙනෙක් [ඇතුල්වී] වතුර කරණකොටගෙන ගැළවුණෝය.
21 ඊට සමානව තිබෙන බව්තීස්මයේ වතුරෙන් එනම් මාංසයේ කිලිටුකම පහකිරීමෙන් නොව, යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන්වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන ගැළවෙන්නහුය.
22 උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටිනසේක; දේවදූතයෝද බලයලත්තෝද පරාක්‍රමධාරීහුද උන්වහන්සේට යටත්කරනලද්දෝ වෙති.



පරිච්ඡේදය 4

1 ඉතින් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් (අප උදෙසා) වධවින්ද බැවින්, මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව,
2 දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගන්න. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.
3 සල්ලාලකම්වලද තෘෂ්ණාවලද බීමත්කම්වලද නපුරු මංගල්‍යවලද මත්පැන්බීම්වලද පිළිකුල්වූ රූපඇදහීම්වලද හැසිර, අන්‍යජාතීන්ගේ කැමැත්ත කරමින් නුඹලා ගතකළාවූ කාලය ඉතා ඇත.
4 ඔවුන් සමඟ එම අනාචාර බහුලත්වයට නුඹලා නොයන බැවින් ඔව්හු ඊට පුදුමව නුඹලාට අපහාසකරති.
5 ඔවුන් විසින් ජීවතුන්ද මළවුන්ද විනිශ්චයකරන්ට සූදානම්ව සිටින තැනන්වහන්සේට ගණන්දෙන්ට වෙනවා ඇත.
6 මක්නිසාද මළවුන්ට පවා ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබුවේ, ඔවුන් මනුෂ්‍යාකාරයෙන් මාංසයෙන් විනිශ්චය කරනු ලැබූ නුමුත්, දේවාකාරයෙන් ආත්මයෙන් ජීවත්වෙන පිණිසය.
7 නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.
8 ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.
9 කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.
10 දෙවියන්වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවයකරන්න.
11 යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.
12 ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක්මෙන් පුදුම නොවෙන්න.
13 නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙන්න.
14 ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා නින්දාකරනු ලබන්නහු නම් නුඹලා ආශීර්වාදලද්දහුය; මක්නිසාද මහිමයේ ආත්මයාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි රඳනසේක.
15 නුඹලාගෙන් කිසිවෙක් මිනීමරන්නෙක්වත් සොරෙක්වත් නපුර කරන්නෙක්වත් අනුන්ගේ කාරණාවලටම දිවන්නෙක්වත් මෙන් දුක් නොවිඳීවා.
16 නුමුත් යමෙක් ක්‍රිස්තියානිකාරයෙකු මෙන් දුක්විඳී නම්, ඔහු ලජ්ජා නොවී, ඒ නාමය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරාවා.
17 මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?
18 ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැළවෙන්නේ නම් අභක්තිකයාද පව්කාරයාද කොතැන පෙනෙද්ද?
19 එබැවින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස දුක්විඳින්නෝ යහපත කරමින්, විශ්වාස මැවුම්කාරයාණන්ට තමුන්ගේ ආත්ම භාරදෙත්වා.



පරිච්ඡේදය 5

1 ඉතින් වැඩිමහල්ලෙක්ද ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව්වෙන්ට තිබෙන තේජසට පංගුකාරයෙක්ද වන මම, නුඹලා අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනාකරමි.
2 නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,
3 නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න.
4 එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශවන කල්හි නුඹලා තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.
5 එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.
6 එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;
7 උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න.
8 සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.
9 ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.
10 එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.
11 උන්වහන්සේට සදාකාලේටම පරාක්‍රමය වේවා. ආමෙන්.
12 මෙය දෙවියන්වහන්සේගේ සැබෑ කරුණාව බවට මම සාක්ෂිදෙමින්ද අනුශාසනාකරමින්ද අපේ විශ්වාස සහෝදරයෙක්යයි මා සලකන සිල්වානස් අත ලුහුඬින් නුඹලාට ලියා එව්වෙමි. එහි ස්ථිරව පිහිටා සිටින්න.
13 නුඹලා සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි සිටින තැනැත්තී නුඹලාට ආචාරකරන්නීය; මාගේ පුත්‍රවූ මාර්ක් එසේම නුඹලාට ආචාරකරයි.
14 ප්‍රේමයේ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින නුඹලා සියල්ලන්ට සමාදානය වේවා.