2 පේත්‍රැස්

පරිච්ඡේදය: 1 2 3


පරිච්ඡේදය 1

1 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්:
2 දෙවියන්වහන්සේද අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේද දැනගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.
3 මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට දී තිබේ.
4 ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.
5 එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැනගැන්මද,
6 දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරීමද, පමණ දැන ක්‍රියාකිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද,
7 දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න.
8 මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමෙහි කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි.
9 නුමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට, ළඟ තිබෙන දේ පමණක් බලමින්, අන්ධව සිටියි.
10 එබැවින්, සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීමද තෝරාගැනීමද ස්ථිරකරගන්න පිණිස වඩා කඩිසරව ක්‍රියාකරන්න. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත.
11 මක්නිසාද මෙසේ අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාල රාජ්‍යයට ඇතුල්වීම නුඹලාට බොහෝසේ දෙනුලැබේ.
12 එබැවින් නුඹලා මේ දේවල් දැන නුඹලාට තිබෙන සත්‍යතාවෙහි පිහිටා සිටින නුමුත් මම නුඹලාට මේ දේවල් සිහිකරවන්ට නිතර සූදානම්ව සිටිමි.
13 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට පෙන්වූ ලෙසම මාගේ කූඩාරම පහකරදැමීමේ කාලය වහාම පැමිණෙන බව දැන,
14 මම මේ කූඩාරමෙහි සිටින තුරු, නුඹලාට සිහිකරවීමෙන් නුඹලා පුබුදුවන්ට යුතුයයි සිතමි.
15 එසේය, මාගේ ඇවෑමෙන් පසු නුඹලාට මේ දේවල් හැම කල්හිම සිහිකරගන්ට පුළුවන්වන පිණිස කඩිසරව ක්‍රියාකරන්නෙමි.
16 මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයත් ඊමත් අප නුඹලාට දැන්වූ කල, උන්වහන්සේගේ මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදනලද ප්‍රබන්ධ අනුව එසේ නොකෙළෙමුව.
17 මක්නිසාද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළවූ කල්හි, පියවූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත් තේජසත් උන්වහන්සේ ලැබූසේක.
18 උන්වහන්සේ සමඟ ශුද්ධවූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමුව. ඊට වඩා ස්ථිරකරනලද්දාවූ අනාගතවාක්‍යය අපට තිබේ.
19 ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්‍රායෙන්ම හට නොගන්න බව පළමුකොට දැන,
20 අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායනතුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය.
21 මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.



පරිච්ඡේදය 2

1 නුමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය, එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් ආචාරීන්වහන්සේව එපාකරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.
2 ඔවුන්ගේ සල්ලාලකම් අනුව බොහෝ දෙනෙක් යනවා ඇත; ඔවුන් නිසා සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙන්නේය.
3 තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය, ඔවුන්ගේ විනාශයද නිදා නොගනියි.
4 මක්නිසාද දේවදූතයන් පව්කළ විට දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර නෑර, විනිශ්චය පිණිස ඉතිරිකොට තැබීමට නිරයෙහි හෙළා අන්ධකාරයේ ගුහාවලට භාරදුන්සේක් නම්,
5 උන්වහන්සේ අභක්තීන්ගේ ලෝකය පිට ජලගැලීමක් පැමිණෙවු කල පුරාණ ලෝකය ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්වූ නෝවා තවත් සත්දෙනෙකුත් සමඟ ආරක්ෂාකළසේක් නම්,
6 සොදොම හා ගොමොරාව යන නුවරවල් අළුකරමින් ඒවා පෙරළා දමා විනාශයට නියමකොට, මතු අභක්තිකලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම්,
7 දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට පැමිණියාවූද,
8 ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවාගත්තාවූද, ධර්මිෂ්ඨවූ ලොත් ගැළවූසේක් නම්,
9 භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය,
10 දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක. භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු උත්තමයන්ට නින්දාකරන්ට තැති නොගනිති.
11 එහෙත් දේවදූතයෝ පරාක්‍රමයෙන්ද බලයෙන්ද වඩා උතුම් නුමුත්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට විරුද්ධව නින්දා සහිත විනිශ්චයක් නොපමුණුවති.
12 නුමුත්, අල්ලා විනාශකරනු ලබන්ට උපන්, ජම්මයෙන් නුවණ නැත්තාවූ තිරිසනුන් මෙන්, මොව්හු, නොදන්නා දේට අපහාසකරමින්, අධර්මිෂ්ඨකමේ කුලිය ලබමින්, තමුන්ගේම කිලුටුකමෙන් සැබවින් විනාශවන්නෝය;
13 ඔව්හු දවාලෙහි ක්‍රීඩා ඝෝෂාව ප්‍රීතියක්යයි සලකති, ඔව්හු ලප හා කැලැල්ව සිටිති, ඔව්හු නුඹලා සමඟ මංගල්‍ය පවත්වන අතර තමුන්ගේ මංගල්‍යවලදී ක්‍රීඩා ඝෝෂා පවත්වති;
14 ඔව්හු කාමමිථ්‍යාචාරයෙන් පිරුණාවූ, පාපයෙන් වලකින්ට නුපුළුවන් ඇස් ඇත්තෝය; ඔව්හු අස්ථිර ආත්ම පොලඹවන්නෝය; තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය; ශාපයේ දරුවෝය;
15 ඔව්හු හරි මාර්ගය අත්හැර, අයුතුකමේ කුලියට කැමතිවූ බෙයොර්ගේ පුත්‍රවූ බාලාම්ගේ මාර්ගය අනුව මුළාව ගියෝය;
16 නුමුත් ඔහු තමාගේම අපරාධය ගැන තරවටුකරනු ලැබුවේය. ගොළු කොටළුවෙක් මනුෂ්‍ය හඬින් කථාකොට අනාගතවක්තෘගේ උමතුව වැලැක්වූයේය.
17 ඔව්හු වතුර නැති උල්පත්ය, තද සුළඟින් ගසාගනයන මීදුම්ය; ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම ඉතුරුකර තබා තිබේ.
18 මක්නිසාද ඔව්හු නිෂ්ඵලකමේ මහත් ආඩම්බර වචන කථාකරමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවීයන්නන් මාංසයේ තෘෂ්ණාව වන සල්ලාලකමෙන් ඇදගනිති;
19 ඔව්හු තුමූම දූෂ්‍යකමේ දාසයන්ව සිටින අතර ඔවුන්ට නිදහස දෙන්ට පොරොන්දුවෙති; මක්නිසාද යමෙක් යමෙකුගෙන් පරාජයවුණොත් ඔහු ඒ තැනැත්තාට වහල්ව සිටියි.
20 මක්නිසාද ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමෙන් ලෝකයේ කිලුටුකම්වලින් මිදුණායින් පසු ඔවුන් නැවත ඒවාට පටලැවී වහල්වුණොත්, ඔවුන්ගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේය.
21 මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධවූ ආඥාවෙන් හැරීයනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය.
22 බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරළීමටත් හැරී ගියෝය යන සැබෑවූ උපමාවේ ප්‍රකාරයට ඔවුන්ට සිදුවී තිබේ.



පරිච්ඡේදය 3

1 ප්‍රේමවන්තයෙනි, දැන් මේක මා නුඹලාට ලියා එවන දෙවෙනි ලියුමය.
2 ශුද්ධවූ අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියනලද වචනද නුඹලාගේ ප්‍රේරිතයන් කරණකොටගෙන කියෙවු ස්වාමිවූ ගැළවුම්කාරයාණන්ගේ ආඥාවද නුඹලාට මතක්වෙන පිණිස, මතක්කරවීම කරණකොටගෙන නුඹලාගේ අවංකවූ සිත් මේ ලියුම් දෙකින්ම පුබුදුකරවමි.
3 අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ:
4 පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගන්න.
5 මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ පොළොවක්ද තිබුණු බවත්,
6 ඒ කරණකොටගෙන එකලට තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශවූ බවත් ඔව්හු කැමැත්තෙන්ම මතකනැතිකරති.
7 නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.
8 නුමුත්, ප්‍රේමවන්තයෙනි, ස්වාමීන්වහන්සේට එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න.
9 ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.
10 එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය.
11 මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන්වහන්සේගේ දවස පැමිණීම බලාසිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියාකරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද?
12 ඒ නිසා අහස ගිනි ඇවිලී නාස්තිවෙනවා ඇත, මහාභූතයෝද දාලා උණුවීයන්නෝය.
13 එහෙත් ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.
14 ඉන්නිසා, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් බලාසිටින බැවින්, උන්වහන්සේ ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරන්න.
15 අපේ ප්‍රේමවන්ත සහෝදරවූ පාවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එවුවාක්මෙන්, අපගේ ස්වාමීන්වහන්සේගේ ඉවසිලිවන්තකම ගැළවීමයයි සලකන්න.
16 එමෙන්ම සියලු ලියුම්වලත් ඔහු මේ දේවල් ගැන කථාකර තිබේ; එහි තේරුම්ගන්ට අමාරු සමහර දේ තිබේ, නූගත් අස්ථිර තැනැත්තෝ අන් ලියවිලිමෙන් තමුන්ගේම විනාශයට ඒවාත් පෙරළති.
17 එබැවින්, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් කලින් දැනගන සිටින බැවින්, දුෂ්ටයන්ගේ මුළාවෙන් ඇදීගොස් නුඹලාගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරෙස්සම්වෙන්න.
18 එහෙත් අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනයවෙන්න. දැනටත් සදාකාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමෙන්.